Sunday, July 29, 2012

80 අදින් පස්සෙ උඹ මගේ කෙල්ලෙ..


ඔන්න සිරා අද කියන්න යන්නෙත් වෙනස් කථාවක්... අලුත් කථා අහන්න, කාමරේට එන ඇත්තො බොහොම මනාපයි කියලා දැනගත්තට පස්සෙ ඒවායින් තව එකක් කියන්නයි මේ වෑයම...  මම මේ කියන්නෙ මීට දශකයකට එහා වෙච්ච සිදුවීමක්.  සිරාට වඩා වසරකින් බාල ගමේ හිච්චො කාලෙ ඉදන් හිටපු යාලුවෙක් හිටියා ලක්මාල් කියලා. මේ හාදයා මේ කියන අවුරුද්දෙදි තමා අ.පො.ස උ/පෙළට පෙනී හිටියෙ ඒ ගණිත අංශයෙන්... කොතරම් දක්ෂයෙක් වුනත් විභාගෙ නම් අන්තිමටම අනා ගත්තා... ඒ ලව් හුටපටයක් නිසා... අනේ සංසාරේ මට ඒ කාලෙ මතක් වෙනකොටත් බඩ පපුව දාලා යනවා.. ඒ තරම් පවු මේ කොලුවා...

සිරා , ඇතුලු කාණ්ඩෙම උසස් පෙළට පාඩම් කරන්න ගම්පහ ටවුමෙ මහජන පුස්තකාලෙට තමා ගියෙ... පුස්තකාලෙ එක් කොටසක් වෙන් වෙලා තියෙන්නෙ විභාග වලට පාඩම් කරන අපි වගේ අයට...  සාමාජික කාඩ්පත ගත්තට පස්සෙ මේ කොටසේ පාඩම් කරන්න යන්න කාටත් පුලුවන්... උදේ 8.00 සිට සවස 6.00 දක්වා එතැන සිටිය හැකියි. ගෑණු දරුවොත්  පාඩම් කොරන්න එන නිසා අපේ කොල්ලන්ටත් උනන්දුව වැඩියි... ඇතුලෙදි කිසිම කථා බහක් බෑ පාඩම් විතරයි.. ඒත් අංග චලන වලින්, ඇහැ භාගෙට වහලා ගහන ඒවායින් දෙපිරිස අදහස් හුවමාරු කරගත්තා. ලක්මාල් කොලුවත් මේ කොටසට ආවා ගියා...

අපේ ගමේම දැරිවියක් තමයි දේශානි කියන්නෙ... මෙයා වගේම ලක්මාලුත් එකම වයසේ.. දෙන්නගෙ නිවෙස් පිහිටා තිබුනෙත් එකිනෙකට මුහුණලා ටිකක් දුරින්... දේශානි ඇත්තටම උදේ පිපිච්ච මලක් වගේ සුන්දර කෙල්ලෙක්... කරල් දෙකට කොන්ඩෙ ගොතලා මුතුකැට වගේ දත් පෙන්නලා හිනාව දාගෙන යද්දි, ලෙඩක් නැති ඕනෙ කොල්ලෙක් එයා දිහා බලනවා... ගම්පහ ප්‍ර‍ධාන පාසල් වල තමයි මේ කියන චරිත දෙකම අධ්‍යාපනය ලැබුවෙ.. ගමේ කමට ලක්මාල් එක්ක එයා හරිම හිතවත් ඒ යාලුකමක් විතරමයි...

ඔන්න ඉතිං කෙලපි තාප්පෙට කියලා මේ කෙල්ලත් අපේ පාඩම් කරන කොටසට ආවා...ඒ වෙද්දි ඒගොල්ලන්ට උ/පෙ ලියන්න වසරක්ම තිබ්බා.. ඒ උනාට සිරා උ/පෙ ලියන වසර,  වසරකට කලින් ඉදන් මේ විදියට මහන්සි වෙන්නෙ ගොඩ යන්න ආසාව තියෙන කෙල්ලො / කොල්ලො නිසා සිරාගෙ වයසෙ අය මේ වගේ අයට නොදන්න දේවල් කියා දුන්නා කිසිම ලෝභ කමක් නැතුව...

දැන් ලක්මාල් වගේම දේශානිත් පුස්තකාල ගොඩනැගිල්ලට වෙලා අනාගත සිහින සාක්ෂාත් කරගන්න පාඩමේ යෙදෙනවා... ටික දවසකින් අර බෝවෙන ලෙඩේ හැදුනෙ නැතෑ මේ ලක්මාල් කියන එකාට

මොන ලෙඩේද ?

ලව් අමාරුව බොලව්,  ලව් අමාරුව

තමන්ගෙ ගමේ හැමදාම දැකපු කෙල්ල ගැන මේකාට හිතක් පහළවෙලා, පුස්තකාලෙට පාඩම් කරන්න ආවට පස්සෙ. මේ වගේ සද්කාර්යයකට පුස්තකාලෙ හිටපු සිරා ඇතුලු කොලු නඩේම සපෝට් එක දෙන්නෙ පැනපු ගමන්... එතනදි පාසල කොහෙද අරව මේවා නෑ... කොල්ලො ඔක්කොම එක පවුලක් වගෙයි හිටියෙ... ඒත් දැරිවියො නම් එහෙම හිටියෙ නෑ.. උන් එකෙක්ට එකෙක් නෑ...බොලව් ඇත්තමයි.. ජන්ම ගතිය වෙන්න ඇති.

දැන් ලක්මාල්ගෙ හිතේ දේශානි රජවෙලා.. ඌට රෑ හීනෙන් කථා කරනවලු / මල්වතු උයන්වතු වල සිරි නරඹන්න අඩගහනවලු/  බැන්දට පස්සෙ ලැබෙන ළමයින්ට දාන නම් මොනවද කියලා අහනවලු... කෙටියෙන් කියනවා නම් මේකා සෙවල පෙරාගෙන දැන් ෆුල් ලව්.

මුලින් මුලින් ඉගියෙන් පටන් ගත්තා,  තව ටික කාලෙකින් එකට බස් එකේ යන්න පටන් ගත්තා, තවත් ටික කාලෙකින් නිවාඩු දවස් වලට බයිසිකල් කටුවකින් ගෙවල් පැත්තෙ හවසට හවසට කැරකෙන්න වුනා . අන්තිමට ඕනෙ මගුලක් කියලා අපි වගේ උන්ගෙ උපදෙස් පිට කෙලින්ම ඩිරෙක්ට් කැමැත්ත විමසුවා...

මොනවා වෙන්න ඇති කියලද බොලා හිතෙන්නෙ ?

මම වතුර වීදුරැවක් බීලා  එනකම් හිතපල්ලා බලන්න, උඹලටත් යමක් කමක් තේරෙන
උන්ද කියලා දැනගන්න.
,,
,,
,,
,,
,,
,,
,,
,,
,,
,,

වෙන මොනවා වෙන්නද බොලව් කෙල්ල ගත් කටටම බෑ කිව්වා, මට ඔයාව හැමදාම යාලුවෙක් විතරයි මට එතනින් එහාට දෙයක් ඔයාගෙන් එපා කියලමයි දේශානි කෙල්ල කිව්වෙ. ලක්මාලයා ඒ වෙනකොටත්  ඇගේ  පාසලේම දැරිවියො කීප දෙනෙකුටම සෙනේ කොල යවා තිබීමත් / පාසල් යන උන් අතර නමක් දිනා සිටි බේබද්දෙකු වීමත් එයට හේතු වුනා...

අනේ හොදට වැඩ කරගෙන ආපු ලක්මාල් දැන් දැන් කිසිම වැඩක් කරන්නෙ නෑ... උගෙ විෂයම කරපු කොල්ලො ඌට පුලුවන් තරම් උදව් කලා මානසිකව සන්සුන් වෙන්න. ඒත් අර කෙල්ල පේන්න නැත්නම් මේකා ගිණි කසයා වගේ වැඩ ඒ දැරිවි ආපු ගමන් එයා දිහා බලාගෙන මනෝලොව රජ වෙනවා.. ටික දවසක් ගියාට පස්සෙ ඌට අලුත් ලෙඩක් හැදුනා.. දේශානිව දැක්ක ගමන් පොත් පත් ටික අකුලගෙන ගෙදර යන තරමට අපේ කොලුවගෙ ලෙඩේ උත්සන්න උනා. දවසක් මේකා ගෙදර යනකොට කොල්ලො පිරිස උගෙ පොත් ටික උදුරලා ගත්තා ගෙදර යන්න එපා කියලා.. උඹලා එහෙනං ඔය ටික තියා ගනින් කියලා ඌ එදත් ගෙදර ගියා..... 

අවසානයේ මේ වැනසී යන ජීවිතය වෙනස් කරන්න අපි හැමෝම ඌට උදව් වුනා... අපේ සාම සාකච්ඡා වලින් පස්සෙ දේශානිගෙ යාලුවො පවා  දෙන්නා සැට් කරන්න ට්‍ර‍යි එක දුන්නත් ඒකි නෙමෙයි වචනෙ වෙනස් කලේ...

පවට පින දෙන්න බෑ කිව්ව වගේ අවසානයේ  සිරාගෙ වයසෙ පිරිස විභාගෙ හෙම ලියලා පුස්තකාලෙන් සමුගත්ත නිසා මේ ප්‍රේම පුරාණයට මොකද වුනේ කියලා දැනුවත් වීම අඩු වුනා... එක ගමේ ජීවත් වුනාට මේ දෙන්නම ඊට පස්සෙ මටත් හමුවුන වාර ගණන අඩුයි.

ඔන්න කාලයක් ගත වුනාට පස්සෙ ලක්මාල්ගෙ ලගම යාලුවෙක් වෙච්ච කොලුවෙක් මට ඒ විස්තරය  දෙසා බෑවා... ඌට අපි කියමුකො සංජය කියලා...

පුස්තකාලෙන් අපේ පිරිස සමුගත්තට පස්සෙ ලක්මාල්ගෙ සහයට හිටිය අයත් නැතිවුන නිසා ඌ සෑහෙන්න මානසිකව වැටිලා  පුස්තකාලෙට යන ප්‍ර‍මාණය අඩු කරලා  බිමත්කමට ඇබ්බැහිවෙලා / අරක්කු / සූස්ති වලින් සැනසෙන්න පටන් අරන්... ගංජා  ගහලා හැමදාම දේශානිගෙ නම කියලා කෑ ගහලා අඩනවලු...  මේ වගේ සංවේදී දසුනක් තවත් බලන් ඉන්න බැරි කමත්, විසදුමක් සෙවීමේ අපහසුවත් නිසා මේ පිරිස ඊළගට යොමුවෙලා තියෙන්නෙ නොපෙනෙන බලවේග වල පිහිට පැතීම හෙවත් හිංහලෙන් කියනවා නම් වශී කොරන්න.

සංජය කියන්නෙ නුවර පලාතෙ වලව් පැලැන්තියෙන් පැවත ආපු එකෙක්... ගම්පහ නෑදෑ ගෙදරක නැවතිලා තමයි අධ්‍යාපනය ලැබුවෙ.. ලක්මාල් වගේම සංජයත් එකම පාසලේ..  මැණික් හින්නෙ ගුරෙක් මගින් වශී කිරීමෙන් පීඩිතයා වෙත සැනසුම ගෙන ඒම තමයි උන්ගෙ අදහස වෙලා තියෙන්නෙ... කවුරු කොහොම කලත් මේවා නම් මහ සහගහන අපරාධ හැටියට තමයි සිරා නම් පිළිගන්නෙ. මම දැනුවත්ම හැබැයි මේ වගේ දේවල් වලින් වශී කරගත්ත එකෙක්වත් නෑ...

සංජය ඒ පළාත කිට්ටුවම කෙනෙක් නිසා  මේ වැඩේට මැදිහත් වෙලා, ලක්මාල් කැටුව ඒ ඉසව්වට ගිහින් තියෙන්නෙ, උගෙ ඉල්ලීම අනුව, ගිය දවසෙ ඉදන් මල් සුවය හෙව්වට කවුරැවත් ඒකාට මලක් පේන්න වත් තියලා නෑ... කොහොම හරි ගුරා මාර්ගයෙන් කස්ටිය වැඩේ කරගෙන.

දරැවො මේ මතුරපු වැලි ඒ දැරිවිගෙ මිදුලට ඉහළා වරු තුනක්  යනතුරැ එයාට පේන්න එහෙ මෙහෙ යන්න,  මේ සුරය ඉනේ බැදගෙන... හැබැයි කථාවට යන්න එපා... ඔන්න ගුරුන්නාන්සේගේ අවවාදය.. දහසින් බැදි පියළි එහෙම පුදලා මේ පිරිස දැන් නුවර ඉස්ටේසුමෙන් කොළඹ එන සීඝ්‍ර‍ගාමී දුම්රියකට නැගලා...

දුම්රියට නගින්න ඉතා ආසන්නව ලක්මාල් කොලුවා ඒ පැත්තෙන් මත්වෙන පෙත්තක්  වෙනුවට පෙති කීපයක අරන් පානය කරලා.. ඒ  ගන්න ඕනෙ මාත්‍රාවට ඉතාම වැඩියෙන්... දුම්රියෙ ඇතුලෙදි මේකගෙ සිහිය විකල් වෙලා දැන් පිස්සෙක් වගේ දගලන වලු... කෙල්ලගෙ ගෙදර මිදුල කියලා දුම්රිය ඇතුලෙම මතුරපු වැලි ඉහින්න හදනවලු,  ලෙඩ ගොඩයි... අනේ තනියට ගිය උන්ට දැන් දහසක් ප්‍ර‍ශ්න.. එකෙක් වැලි මල්ල පරිස්සම් කරනවලු... එකෙක් සුරය පරිස්සම් කරනවලු.. තව එකෙක්  මේකා දුම්රිය මගීන් ගෙන් හොදට සප්පායම් වෙයි කියලා  සීට් එකට හේත්තු කරලා නිදිකරවන්න හදනවලු... 

කොහොමින් කොහොම පිරිස ගම්පහ දුම්රිය ස්ථානයටත් ආවා කියමුකො... දුම්රියෙන් බැහැලා  ඉදිරියට එනකොටම ලක්මාල් වැලි මල්ල උදුරගෙන  ඉස්සරහට දුවලා... අනිත් උන් උගෙ පස්සෙත් එළෙව්වත් සුනංගු වැඩී.

අදින් පස්සෙ උඹ මගෙයි කෙල්ලෙ 
කියපු ලක්මාල් ගම්පහ දුම්රිය පොල ඉදිරිපිට තාර පාරට දේශානිගෙ ගෙදර මිදුල කියලා හිතලා දහස් ගාණක් වියදම් කරගෙන, දවස් ගාණක් මහන්සි වෙලා ගෙනාපු වැලි ටික දමා ගහලා.... ඒ ටියුෂන් පන්ති ඇරිලා ගෙදර යන සිය ගණනක් කෙල්ලන්ගෙ උසුලු විසුලු මධ්‍යයේ.

හනේ හනිච්චේ.... පවු ඉතිං කාගෙ හරි දෙමාපියෙක්ගෙ දරුවෙක්නෙ...


බීපු පෙතිවල සැරට උගෙ මූන දවස් කීපයක් ඇද වෙලා තිබ්බෙ... සිරා ඇස්දෙකට දැක්කා උගෙ මූණ කුරැළෑ වලින් වැහිලා අදුනගන්න බැරි මට්ටමට තිබුන ඒ දින කීපය.

කාලයේ ඇවෑමෙන් දේශානි  කොල්ලෙක්ට සැට් වෙලා විවාහ වුනා, ඊට පස්සෙ විදේශ ගතවුනා...

ලක්මාල්  ගාමන්ට් පාඨමාලාවක් හදාරලා යන්තම් රැකියාවකුත් හොයා ගත්තා...  එතනදි තමන්ට ගැලපෙන්නෙ නැති ඈත පළාතක කෙල්ලෙක් එක්ක සැට් වෙලා විවාහ වුනා...

වර්තමානයේ මේ දෙන්නම ආයෙත් ගමේ ඉන්නවා... 

දේශානි දැන් අම්මා කෙනෙක්
ලක්මාල්  දැන් තාත්තා කෙනෙක්

තම තමන්ගෙ දරුවො වඩාගෙන ගෙයි මිදුලෙ හිටගෙන හැන්දෑවට හැන්දෑවට එකිනෙකා දිහා බලාගෙන ඉන්න මේ ජෝඩුව අදටත් සිරාගෙ නෙත ගැටෙනවා...ඒ අවස්ථාවක තමයි මේ  අතීත කථාව සිරාට ආයෙත් මතක් වුනේ.

තමන්ට අකමැති කෙල්ලෙක්/කොල්ලෙක් කවදාවත් මේ විදියට බලෙන් අයිතිකරගන්න හදන්න එපා... එයා අකමැති නම් ඒ ගැන අමතක කරලා තමන්ගෙ අනාගතේට වැඩ කරගන්න.. වශී හොරුන්ට සල්ලි පුදන්න යන්නෙ නැතුව.

ඒ ටික තමයි  මේ පෝස්ටුව කියවන අයට සිරාට දෙන්න තියෙන පණිවිඩේ...

මේක කියවපු බොලාලගෙ අදහසුත් පහළින් කොටලම යන්න...




මම සයිබරයේ අලුත් මිතුරා සිරා......



උඩ පින්තූරය කොප්ප ගැහුවෙ මෙතැනින්..

Wednesday, July 25, 2012

67 ගංජා සහ ඇගිල්ල


ඔන්න අද සිරාගෙ කාමරෙන් කියන්න යන්නෙ මෙතෙක් කල්  කියපු නැති අමුතුම තාලෙ කථාවක්. මේ කථාවෙ පුක කියන ඉතා දරැණු කුණුහරැප වචනෙ යෙදෙන නිසා  මෙතනින් එහාට කියැවීම හෝ නොකියවීම ඔබ සතුය.. පස්සෙ හෙම මට ගහන්න සිරාගෙ පස්සෙන් එළවන්න  හදන්න එපා ඔන්න, මොකද මම වේලාසනම ඒ ගැන කියා ඇත.

සිරාගෙ ගෙදර වත්තෙ තියෙන පොල් ගස් හතර පහ අවුරැදු 30 කට වඩා පරණයි... ඒ නිසා මේවා උස යන්න පුලුවන් උපරිම උසට ලගා වෙලා තියෙන්නෙ...  බිම ඉදන් බලපුවාම පොල් පේන්නෙ දෙල් සයිස් එකට, කාල සීමාව අනුව තමයි පොල් පැහිලා කියලා අනුමාන කරන්නෙ.. නැත්නම් පොල් පැහිලා කියලා පේන්නෙ නෑ. මේ කියන පොල් ගස් වල ගෙඩි කඩන්න සැදී පැහැදී ඉන්නෙ කබර අජිත් , ඒ උනාට අද ගේ ඉස්සරහට වෙලා පොල් කඩනවා කියලා කෑ ගහන්නෙ අලුත්ම කෙනෙක්... වයස 50 පැනලා.. කලින් දැකලා පුරැදු නැති නිසා සිරා ගෑටුවා මිදුලට...

සර් ගුඩ් මෝර්නින්  මම පොල් සෝමෙ
ලොකු සර් (සිරාගේ පියා) මාව හොදට දන්නවා.. මම අල්ලපු ගමේ... සර්ලගෙ සීයලා ආච්චිලා හිටපු කාලෙත් මම තමයි පොල් කැඩුවෙ.. පොල් කඩමු නේද?

කථා බහෙන් වගේම අංග චලනයෙනුත් මේ මනුස්ස පරාණය සිරාගෙ හිත ගත්තා... දකින හැමෝටම සර් කියලා තමා කථා කරන්නෙ... අනේ මට දුක හිතුනා.. එච්චර ලොකු ඇග පතකුත් නෑ.. පොල්කඩන වලල්ලට තද වෙලා කකුල් දෙකේම හමගිහිල්ලා , සෑහෙන කාලෙක ඉදන් මේ රස්සාවම කරන බවට සාක්ෂි තමයි ඒ...ඇදන් හිටපු සරම වගේම කමිසයත් ගලවලා.. කලිසම් කොටයක් පිටින්  පොල් ගස් තිබෙන ඉසව්වට සෝමෙ පැමිණියා..

අපේ වත්තෙ උසට උසේ තියෙන පොල් ගස් වලට නැගගන්න පුලුවන්ද කියලත්  සිරාට මේ එක්කම හිතුනා... කෝම හරි පොල් කඩන්න ගහක් ලගට ආවට පස්සෙ සිරාගෙ පියතුමත් ඔන්න ආවා පොල් කඩනවා බලන්න.. 

ලොකු සර් ගුඩ් මෝර්නින් ආයෙමත් පොල් සෝමෙ සුභ පැතුවා...

සර් කුරැම්බයක් එහෙම බොමු නේද? මම කඩන්නද ?

හා හා කඩමුකො එහෙනම් සිරාගෙ පියා අනුමැතිය දුන්නා....

ගහට නගින වලල්ල නිසියාකාරව සකසගෙන අපි ලගට ආපු සෝමෙ උන්නැහේ

තාත්තට වගේම මටත් ආයුබෝවන් කිව්වා...

සර් එහෙනම් මට ඉහළට යන්න අවසර... 
ගහට කීප සැරයක්ම වැදලා එහෙම පොල් සෝමෙ ගමන පිටත් වුනා...

අමාරැවෙන් අමාරැවෙන්  ආරම්භය ගත්ත සෝමෙ ඉතිරි හරිය වැඩි මහන්සියකින් තොරව ගිහිල්ලා කරටියට සම්ප්‍රාප්ත වෙලා යක්ෂාරෑඩ වෙච්ච කපුවා වගේ පොල් වල්ලට පිහියකින් ඇනගෙන ඇනගෙන ගියා....සැර වැඩිකමට පොල් ගෙඩි ගහ වටේටම පත බෑවෙනවා. දහ් දොහ් ගාගෙන...

ඔන්න ඉතිං සිරා කුරැම්බෙ වැටෙනකන් බලාගෙන ඉන්නවා...

පොල් වැටෙන එක නතර වුනාට පස්සෙ සිරා උඩ බැලුවා... කුරැම්බා නැතුවම පොල් සෝමෙ  පහතට රෑටනවා...

කෝ කඩනවා කියපු කුරැම්බා... සිරා විමසුවා..

මේ දවස්වල පොල් ගණන්නෙ සර්... කුරැම්බා ලොකු වුනාම පොල්... ඒක නිසා කුරැම්බා කියලා හිතලා අදට වතුර එකක් ගහන්න...
පොල් සෝමෙ ඇදලා පැදලා කියනකොට හිනා යන එක නවත්වාගැනීමත් අසීරැයි..

සාමාන්‍යයෙන් මේ වගේ උස ගස් වලට නැග්ගම ගාස්තුව සාමාන්‍ය ගාස්තුව වගේ එක හමාරක්...

ගමන් විඩාව නිමාගෙන සෝමෙ ආයෙත් හඩ අවදිකලා...
අනේ ඉතිං අපි තව ගහකත් කඩමුකෝ....

ඕනෙ නෑ සෝමෙ ආයෙ දවසක ඉතුරැ  ටික... සිරාගෙ පියා තීරණය ප්‍ර‍කාශයට පත් කලා...

සෝමෙ කියන්නෙ කථා රැසක එකතුවක් කියලා හිතුන නිසා සිරා, සෝමෙට  කථා පෙට්ටිය අරින්න ආරාධනා කලා... ඒ අතර ඔන්න සිරාගෙ මෑණියන් දෑ සෝමෙට තේ එකකුත් ලබා දුන්නා...

මම ඉතිං අටේ කැලෑසියට තමා ඉගෙන ගත්තෙ... ඒ වුනාට යන්තම් ඉංගිරිසියෙන් අස්සන් කරන්න පුරැදු වෙලා 10 පන්තිය සමත් කියලා කාලයක් සිකුරිටි වැඩක් කලා... එතනින් පැන්ෂන් ගියාට පස්සෙ තමා ආයෙත් මේ වැඩේට බැස්සෙ... තාම මට හොදට හයිය හත්තිය තියෙනවා ගස් නගින්න...

ඒකයෑ සර් පෙරේදා මට මාර වැඩක් නෙ උනේ...

මොකක්ද උනේ හැබෑටම... සිරා කොලුවා හූමිට්ටක් තිබ්බා...

අර සමන්ගෙ පොට් එකෙන්  (සිරා දන්න සමනෙක් නැත)  ගෙදර එන ගමන් ෂොට් එකක් ගහලා, කාලක් සිලි බෑග් එකකට දාලා කමිස සාක්කුවෙ දාගෙන මම ගුරැ පාරෙන් ගෙදර එන්න ආවා... එක පාරටම ආවෙ නැතැයි පොලිස් බයිසිකලයක්...

ලොකු උන්නැහේ  කමිසෙ සාක්කුව පොඩ්ඩක් බලමුද කියලා ඒ සර්ලා ඇහුවා... මමත් ඉතිං හා කිව්වා

ඉතිං කාල තිබ්බෙ එතන නේද ? සිරා කථාව කියන්න තව තවත් දිරිගන්නන අටියෙන් ඇහුවා..

ඒක නේන්නම්.. අත දාපු ගමන් කාල අහුවුනා.. මේ මොනවද කියලා ඇහුවා

ඉතිං මම කිව්වා... සර් මම පොල් කඩන එක කරන්නෙ... මට හැමදාම රෑට බොන්න ඕනෙ, මොකද මගෙ බඩවැල් පාත්වෙලා පුකෙන් ලේ යනවා කියලා.

බොරැනම් මේ බලන්න සර් කියලා මම සරම කඩලා  පොලිසියෙ සර්ලට පෙන්නුවා... ඒ සෑර්ලත් ඒක පිළිගත්තා... මගෙන් ඊට පස්සෙ ඒගොල්ලො ඇහුවා දැන් බිව්වා ඇතිද කියලා...

අනේ ඉතිං මමත් කිව්වා මොන ඇතියක්ද සර් මට තාම මදි කියලා.. එහෙනම් එනවකො ඉස්සරහට කියලා පොලිස් රාළහාමි ගියා සමනගෙ පොට් එකට... මම යද්දි කීප දෙනෙක්වම අල්ලගෙන.. එකෙක් ලග බෝතල් එක හමාරක්ම තිබ්බා...

සමන් මේ මනුස්සයට තව වීදුරැවක් දෙනවා කියලා සර්ලා කියපු නිසා මම ඉතිං ඒකත් ගැහුවා... දැන් ඇතිද කියලා ඒගොල්ලො ඇහුවම දැන් නම් ඇති සර් කියලා මම කිව්වා...

හා හා එහෙනම් අයින් වෙලා ගෙදර යනවකො කියලා ඒ මහත්තුරැ මාව අතඇරියනෙ... මම ඉතිං ගෙදර ඇවිල්ලා රෑට කාලා එහෙම ගෙනාපු කාල ගැහුවෙ... මගේ වයස දැකලා දුක හිතෙන්න ඇති මගෙ හිතේ,
අනේ හරිම හොද සීදේවි පොලිස් රාළහාමිලා ටිකක්...ජීවිතේටම දැක්කමයි...

සෝමෙ ගංජා එහෙම උරන්නෙ නැද්ද... සිරා අතුරැ ප්‍ර‍ශ්නයක් ඇහුවා....

ඉදලා හිටලා අදිනවා සර්...

ගංජා ගහලා වෙච්ච දේවල් නැද්ද? මම ආයෙමත් ඇහුවා...

ආ හොද එකක් මතක් වුනා කියන්න... එහෙම කියපු සෝමෙ හොදට හරි බරි ගැහිලා වාඩි වුනා...

දවසක් මම ලොකු වත්තක පොල් කඩන්න කුරැණෑගල ගියා... වැඩ ඉවරවෙලා ඉතිං මහන්සිය යන්නත් එක්ක වත්තෙ මුරකාරයත් එක්ක ලග පාත තැනකට ගියා සූස්තියක් අදින්න... වැඩේ ඉතිං හරිගියා.. බඩු ලැබුනා..අපිත් ඉතිං අහල පහල පදුරකට මුවාවෙලා වැඩේ කරගෙන යනකොටම පොලීසියෙන් පැන්නනෙ...

ඉතිං ඉතිං මොකද උනේ...සෝමෙ යන යන තැන පොලිසියෙන් පනින්නෙ ගිය ආත්මෙ හිරෙන් පැනලා ආවද ?  ඉවසුම් නැති තැන මම ඇහුවා.

පොඩි කොල්ලො දෙන්නෙකුයි.. තව හතර පස් දෙනෙකුයි අහු උනේ... ඔය ගොඩේ මමත් ඉන්නවා ඔන්න... මුරකාරයා පළාත දන්න නිසා ඌ නෑ, මටත් හොරෙන් මාරැ වෙලා....

අපි කට්ටිය පෝලිමකට තියලා පොලිස් රාළහාමිලා පෝලිමේ මුල ඉදන් අගට කටයි ඇගිලියි ඉඹ ඉඹා පෝලිමේ අග පැත්තට ගංජා සුරැට්ටු ඇදපු උන් හොයමින් එනවා...

ඇයි ඇගිලි ඉඹින්නෙ ? සිරාගෙන් ආයෙත් ප්‍ර‍ශ්නයක්...

ගංජා සුරැට්ටුව අල්ලලා දෙපාරක් තුන් පාරක් ඇද්දම ඇගිලි වලට ගංජා ඌෂ්ණෙ වදිනවා... ඒකයි ඇගිලි ඉඹින්නෙ....

අනේ ඒ රාළහාමිලා ඒ වෙනකන් එකෙක්ටවත් ගැහුවෙ නෑ... ඒත් මගෙ ඇගිලි ඉඹලා මට දුන්නනෙ පාරක් කැරකිලා වැටෙන්න....

ඒ මොකෝ ඒ.... සිරාගෙන් ප්‍ර‍ශ්නයක්...

ඇයි සර් මම රාළහාමිලට හොරෙන්  සරම අස්සට අත දාලා ගැහුවනෙ ඇගිලි දෙකක් පුකට, ගංජා ගද යන්න.

ඉතිං ඒ විදියට රාළහාමි මට ගහලා  මගෙ ඇගට කඩා පැන්නා... තව දෙක තුනක්ම ගහනවා හීනෙන් වගේ මට දැනුනා. ඒත් ඊට පස්සෙ කිව්ව මේ කථාව නම් මැරෙනකන් අමතක වෙන්නෙ නෑ සර් ඇත්තමයි.

යකෝ ගංජා ගැහුවට කමක් නෑ... ගංජා ගහලා පුකේ ඇගිලි ගහන්න එපා කියලා මට තවත් දෙක තුනක් ගහලා ජීප් එකට දාගත්තා සර්.... දවස් දෙකකට පස්සෙ ඒ සැරේ එළියට ආවෙ මුරකාරයා වත්තෙ මහත්තයට කියලා අමාරැවෙන් ඇප දීලා. එදා නම් උණ වගේ මට ගුටි කාලා

ඊට පස්සෙ  සෝමෙ සරමට බැහැලා ගාස්තුවත් අරගෙන මාරැ උනා..

සිරා ඉතිං කාමරේ දොර ඇරලා විස්තරේ කෙටුවා...

අද කථාව කැතද ?


පොටෝ එක කොප්ප ගැහුවෙ මෙතැනින්


මම සයිබරයේ අලුත් මිතුරා සිරා..


ප.ලි

සෑම අයෙකුටම පුකක් ඇත... එය කුණුහබ්බයක්ද  ශරීරයේ අංගයක්ද යන්න තීරණය ඔබේය.

මම දුමෙන් තොර නිසා ගංජා ගැසීමෙන් ලැබෙන දේ ගැන නොදනිමි.





Sunday, July 22, 2012

100 ඔයා සංඛ දිනෙත්ද ?

දින කීපයක් තිස්සේම චාරිකා සටහන් කියවලා  හෙම්බත් වෙලා ඉන්න සිරාගේ කාමරයට ගොඩ වදින ඔබ තමුන්නාන්සේලාට වෙනස්ම පෝස්ටුවක් තිළිණ කරන්නයි ඔන්න මේ වෑයම... පහුගිය වංගිය පුරාවට ඉතිහාසයට සම්බන්ධ දේවල්ම ඇද බාපු නිසා මගේ භාෂා ශෛලියත් ටිකක් විතර වෙනස් වෙලයි තිබුනෙ.. කාරි නෑ කාරි නෑ..  පුරැදු ක්‍රමේටම මෙන්න මේ කථාවත් අහන්න..... ඉඩ පහසුකම් තියෙන විදියට පුටු කබලක් දෙකක් අරන් ලං වුනොත් හොදා....

හැබෑටම ජනප්පියත්වය කියන්නෙ කොයි වගේ එකක්ද ? 
අපිට ජනප්පිය වෙන්න බෑද ? 

මොකෑ බැරි සිරා කොලුවගෙ ඉහේ කඩා වැටුනනෙ එහෙම චෑන්ස් එකක්, මේ කියන්න යන්නෙ ඒ ගැන.. සිරාගෙ ළගම මිතුරන් රාශියක් මේ කාමරේට ගොඩ වදින නිසා සිරාට බේගල් ඇද බාන්නට ඉඩක් නැතුවාය. ඒ නිසා මේ කථාව සහසුද්දෙන්ම ඇත්තකි. නයෙක් නොවේය.

සිරාගෙ මේ කියන දවස් වල පෙනුම කොයි වගේද ? එහෙම ඇහුවොත් මෙන්න උත්තරේ.... හැබැයි නිකටට උඩින් තියෙන සැවුල් කොටේ නම් සිරාට තිබුනේ නැතිය.

සැබෑ සංඛ දිනෙත් 
සිරා කොලුවත් මෙයාට ගොඩාක් සමානයි...


(මගේ ෆොටෝ එකක් නැතුව මේ කථාව අසම්පූර්ණයි වගේ දැනුන නිසා 

ඔන්න මම පසුව මේ  ෆොටෝ එක එකතු කලා. නිල් පාට ටී ෂර්ට් එකක් ඇදලා ඉන්නෙ සිරා...
සිරාට පිටිපස්සෙන් ඉන්න උස කෙනා තමයි තිසර චානක හෙවත්
Sirasa Super Star Generation 4 ජයග්‍රාහකයා...
මේ ඉන්න හැමෝම අපේ බෑන්ඩ් එකේ හිටපු සාමාජිකයන්
රංටැඹේ කදවුරැ භූමියට ලංකාවෙ අංක 1 වෙච්ච
අපේ වෙස්ටර්න් බෑන්ඩ් එක බලන්න  ගිය වෙලාවක ගත්තෙ...
රතුපාට ටී ෂර්ට් එක ඇදන් ඉන්න කෙනා ලගම ඉන්නෙ ජපන් චමී )

මේ සිදුවීම් සිදුවුන  සමයෙ  සිරා කොලුවා වැඩ කොලේ ඔය බොරැල්ල කොටා පාර පැත්තෙ දැන්වීම් ප්‍ර‍චාරන ආයතනයක... ගම්පහින් රේල්ලුවට නැගලා මරදානෙන් බැහැලා තමයි ඔන්න සිරා වැඩට ගාටන්නෙ...

අපිට ඉතිං මේ වගේ තැන් වල වැඩ කොරන කොට ගොඩාක් පිරිස සුහද වෙනවා , ඒ වගේම අදුන ගන්නත් ලැබෙනවා.... ඒ වෙද්දි සිරිලංකා රෑප පෙට්ටියට රියැලටි කලාව ගෙනාපු සිරස රෑපවාහිනියෙ සුපර් ස්ටාර් පළමු වැඩසටහන අවසන් වෙලා  දෙවන අදියර ආරම්භ වෙලා  අවසන් 24 දෙනා තරග කරමින් හිටිය කාලෙ.. සිරා මේ කියන දවස් වල මේ වැඩසටහන බැලුවෙ නෑ... අවසන් වටයට පිරිස තේරැනාම තමයි සිරා වැඩසටහන නරඹන්න පටන් ගන්තෙ

අපේ ඔපීසියට වෙළද  දැන්වීම් ගෙනාපු කෙනෙක් හිටිය රණසිංහ කියලා... අවුරැදු 50ක් විතර වයස තියෙන බොහෝම සුහද චරිතයක්...

දවසක් වැඩ කරමින් සිටි  සිරාට රණසිංහ උන්දැ මෙහෙම කියනවා...

ඔයාගෙ මල්ලි සිරස සුපර් ස්ටාර් එකේ ඉන්නවා‍ කියාල අපිට කිව්වෙවත් නෑ නේද කියලා....

මොකක්ද බොල මේ හරැපෙ.. මගෙ නට් ලූස්  උනා...

ඇයි බොලං ඒ මල්ලි නෙමෙයිද ? උඹ නිකන් බොරැව දාන්න එපා... කියලා රණසිංහ ගොයියා මට කියපි..

ඒ කථාව ඔන්න එදා ඒ  විදියට ඉවර වුනා කියමුකො.... කොළඹ නගර සභාවෙ ඒ දවස් වල මස් කඩ වල මස් පිළිබද ප්‍ර‍මිතිය පරීක්ෂා කරපු අනිල් පශු වෛද්‍ය තුමත් මේ ඔපීසියට නිතර යනෙන කෙනෙක්.. විනෝද  සාගරයක් ඒ චරිතය...

දවසක් එතුමා මට කියනවා...

අපිට කියන්නෙත් නැතුව උඹ සුපර් ස්ටාර් ගියා නේද ? මම ඊයේ ටීවී එක බලනකොට දැක්කෙ... ඕනෙ උදව්වක් දෙන්නම් කියලා....

සිරාට ආයෙත් අන්දොස්... මොකක්ද මේ හරැපෙ කියලා... ඔතනින් පටන් ගත්ත මේ කියැවිල්ල එකා දෙන්නා බවටත්, දෙන්නා තුන්දෙනා බවටත් පත්වෙන්න වැඩි දවසක් ගියෙ නෑ....ඊට පස්සෙ සිරා කවුද මේ හාදය කියලා සුපර් ස්ටාර් වැඩසටහන යන අතරෙදි බැලුවා... වැඩේ ඇත්ත මම වගේමයි...
එයාට කලින් මේ ලෝකෙට මම ආපු නිසා... කොපි කලේ මම නෙමෙයි...

සිරා ඒ දවස්වල ඇදුම් ගත්තෙ කොටුව ඉස්ටේසුම එහා පැත්තෙ තියෙන ලෝක වෙලද පොලේ සුදා ගෙන්.. හොද තත්වයේ ලස්සන ලස්සන ටී ෂර්ට් සුදා ලග අඩුවට තිබුනා. සුදා ඒ වෙනකොට ලෝක වෙලදපොලේ ජනප්‍රිය චරිතයක් වගේම සිරාගෙ බොක්කක්.

සුදා කියන්නෙ සිරාගෙ යාලුවො පිරිසකට අහම්බෙන් හමුවෙච්ච චරිතයක්... ඒ හමුවීමත් රසවත් එකක් නිසා ඔන්න කෙටියෙන් දක්වන්නම්....

අපේ උන් ඉතිං ඔය කොළඹ රටට ආගන්තුක කාලෙ ලෝක වෙළද පොල ලගින් කොහෙ හරි අවලං ගමනක් ගියා... ඒ ඉස්සරහ පදික වේදිකාවෙ ඇවිදන් යන උනුත් බලෙන්ම කඩ ඇතුලට දාන මාෆියාවක් ඒ කාලෙ ලෝක වෙළදපොලේ තිබුනා..මේ අත්දැකීම කියවන බොලාටත් සමහර විට ඇති. ඉතිං ඔන්න අපේ  එවුනුත් යන ගමන පැත්තක තියලා බලෙන්ම සුදාගෙ කඩ කාමරේට තල්ලු කොරලා..

සිගිත්තාගේ චූටි ජංගියේ සිට කලිසම් කොට් දක්වා මිළ දර්ශනය ඉදිරිපත් කරපු සුදා මොනවද ඕනෙ කියලා අපේ උන්ගෙන් අහලා... ඇදුම් ගන්න සුදානමක් කොහෙත්ම නොතිබූ නිසා උන් කියලා මොකුත් එපා අපි පාරෙ යද්දි බලෙන් එව්වෙ අයියෙ කියලා... මේ උත්තරේ අහපු සුදාට නස්පියට නැගලා .. උන් එව්වට තොපි මොන මගුලකටද යකෝ ආවෙ කියලා අඩි හප්පනකොට  ඇගපත හොදට තියෙන අපේ එකෙක් මීයෙක් වගේ බය වෙලා උගෙ ප්‍ර‍මාණෙට කයිසමක් අරන් මාරැ වෙලා... කයිසම හොද නිසා ඌ අපිටත් තව උන්ටත් විස්තරේ කිව්වා.  එදා ඉදන් අපේ මිත්තරයො බහුතරය ඇදුම් ගන්න සුදාව විසිට් කොලා... පස්සෙ කාලෙක අපි සුදාට සද්දෙ දැම්මා...

මෙන්න මේ කියන සුදා පස්සෙ පස්සෙ අපිත් එක්ක හොදටම හිතවත් වුනා... අපි හොයන ඇදුම සුදා ලග නැත්නම් / ඇදුම් විකුණන සුදා ලග  නැති සපත්තු,සෙරෙප්පු පවා තියෙන කඩේකට  අපිත් එක්ක ඇවිත්  මුදලාලිට කථා කරලා අඩුවට අරන් දෙන තරමට හිතවත් උනා...

මුලින් කියපු සුපර්ස්ටාර් කථාවට පස්සෙ දවසක් ටී ෂර්ට් එකකුයි ලේන්සුවකුයි ගන්න සිරා සුදාව හමු වුනා...මම යනකොට සුදා අලුතෙන් ගෙනාපු ටී ෂර්ට් වගයක් අඩුක් කරනවා... පොඩි බංකු කෑල්ලක ඉදගෙන සිරාත් ඔන්න දැන් වටපිට සිරි නරඹමින් ඉන්නවා ... ඈතින් තියෙන කඩයක් අස්සෙන් හයේ හතරෙ පොරක්  මගේ දිහා එක එල්ලේ බලාගෙන ඉදලා අතුරැදහන් උනා... පෙර වැරදිත් නැති නිසා මම කම්පනා කොලා මොන මගුලක්ද යකෝ මේ කියලා... ටිකකින් අර හාදයා ආයෙමත් ඊට මෙහායින් තිබ්බ කඩේකින් මතුවෙලා  මගෙ දිහා බලං ඉන්නවා.... සුදා තවමත් ටී ෂර්ට් අහුරනවා....

තවත් ටික වෙලාවකින් ඒ හාදයා මගේ ලගටම එනවා... ටිකෙන් ටික ටිකෙන් ටික ලංවෙන හැටි මට දැනුන.. මම බිම බලාගෙන හිටිය.. ඔහුගේ හෙවනැල්ල මගේ ඇගට වැටෙන තරම් ලං උනා...  මගෙත් හද ගැස්ම වැඩි වුනා... ඊළගට මක්ක වෙන්න ඇති කියලද හිතන්නෙ ?

ඔයා සුපර් ස්ටාර් සංඛ දිනෙත් නේද ?

අර මෑන් මගෙන් එහෙම ඇහුවා... මට බකස් ගාලා හිනාවක් ගියා... මම කිව්වා අනේ ඒ මම නෙමෙයි කියලා.... මිනිහා පුදුමෙන් වගේ මගේ දිහා බලාගෙන ඉදලා ආයෙමත් අහනවා එහෙනං ඒ ඔයාගෙ මල්ලිද කියලා..... මම ආයෙමත් කිව්වා අනේ නෑ කියලා.... මෑන් තවත් ටිකක් වෙලා බලාගෙන ඉදලා මේක පුදුම වැඩක්නෙ කියලා එතනින් මාරැ උනා... ඔය කියන සංඛ, මම ඒ වෙද්දි රෑප පෙට්ටියෙන් දැකලා තිබ්බ නිසා  ඒ කථාව මට එච්චර අරැමයක්  වුනේ නෑ... ලැබිලා තිබ්බ තොරතුරැ වලට අනුව පදිංචිය කලුතර කියලා දැනගෙන හිටියා....

සුදා වැඩේ ඉවර කරලා මා ලගට ආපු වෙලේ මම සිද්ධිය කිව්වා... සුදා මගෙ දිහා බලලා හීන් හිනාවක් දාලා කියනවා... ඇත්තමයි උඹ ඒ වගේමයි... උඹනම් මහ මි හරකෙක් ... කියන්න එපෑ බොල ඒ උඹ තමා කියලා  ඔන්න ඔය විදියටයි ඒකා මට දෝස් මුරයක් තිබ්බෙ... සුදාගෙන් ටී ෂර්ට් එක ගත්තට මිනිහා ලග ලේන්සු තිබ්බෙ නෑ... නියම ලේන්සු වගයක් තියෙන තැනක් තියෙනවා වරෙං  කියලා සුදා මට ඉස්සරවෙලා ලෝක වෙළදපොලේ තව කඩේකට යන්න පිටත් වුනා.

සුනිල්/වීරෙ/රාළහාමි/අජියා/මුරලි  සුදා නම් වගයක් කියලා කෑ ගැහුවා කඩ අස්සෙන් එකා දෙන්නා ඇවිත් පිරිසක් අපේ වටේට එකතු වෙලා....

මචං මේ තමා සිරස සුපර් ස්ටාර් එකේ සංඛ දිනෙත්... කලුතර ඉදන් ආවෙ මගෙන් ඇදුම් අරන් යන්න... (සුදා හීනියට වෙළද දැන්වීමකුත් දා ගත්තා) උඹලා ප්‍රෝග්‍රෑම් එක බලලා සප් එකක් දෙන්න ඕනෙ අරිද ....

හරි හරි සුදා අයියා, අපිත් ප්‍රෝග්‍රෑම් එක බලනවා
මල්ලි එලටම සිං කරනවා.. කෝම හරි සුපර් ස්ටාර් වෙන්න ඕනෙ. අපි ඉතිං දෙන්නම් ෆුල් බකප් එක... දන්නවනේ මේකෙ කොල්ලො ගැන... ආයෙ තනි රත්තරන් පපු කියලා කට්ටියම මට අතට අත දීලා සුභ පතලා එක කෙළියයි එතන... මේවා පුරැදුත් නැති අහිංසක සිරා යන්තම් හිනා වුනා විතරයි.

ඔන්න අපි ලේන්සු කඩේටත් ගියා... මට ඕනෙ එක තෝරගත්තට පස්සෙ සුදා අර රැකෝඩ් එක එලෙසම නැවතත් වාදනය කොලා... කඩේ වයසක මුදලාලිත් මට සුභ පතලා ලේන්සුවට සල්ලි එපා කිව්වා... කොච්චර දෙන්න හැදුවත් ගත්තෙම නෑනෙ බොලේ...

කාලය ගත වෙලා ඔන්න සිරස සුපර් ස්ටාර් දෙවන අදියරේ අවසන් 12 දෙනා සතියකට එකා බැගින් කැපීගෙන යන කාලෙ... වැඩසටහනේ ආකෘතියෙ වෙනස/කමල් අයියගෙ අමුතු ටෝක්/ තරගයෙන් ඉවත් වෙන ගෑල්ළමයි වැලහින්නියො වගේ ඇඩීම ආදිය හින්දම මේ වැඩසටහන සෑහෙන ජනප්‍රියත්වයක් දිනාගෙන තිබුනා.  මට මතක විදියට 5 වෙනියා විදියට කැපුනෙ සංඛ, ඒ වෙද්දි මෑන් උපරිම හිට්වෙලා මූණත් තහඩුව මිනිස්සුන්ට මතක හිටින විදියට.

මේ වෙද්දි සිරාට ජනප්‍රියත්වය කියන්නෙ කොයි වගේද, ඒක කොයි තරම් කරදරයක්ද කියන එක අගේට වැටහිලා තිබුනෙ

ගම්පහින් රේල්ලුවට නැග්ගට පස්සෙ හිටගෙන ඉන්න හැමෝම බලන්නෙ මගෙ දිහා.. මට ඒ වෙලාවල් වල දැනුන අපහසුතාවය වචනයෙන් කියන්න බෑ...

හැන්දෑවට මරදාන ඉස්ටේසුමට ඇවිල්ලා දුම්රිය වේදිකාව දිගේ ඉස්සරහට එද්දි අයියලා /අක්කලා/නංගිලා/මල්ලිලා/ආච්චිලා/සීයලා/ඇන්ටිලා /අන්කොල්ලා හැමෝම මගේ දිහා බලන් හිටියෙ අමුතු සතෙක් දිහා බලනවා වගේ... සිරා ඉස්ටේසුමේ තනියෙන් හිටගෙන හිටපු කෙනෙක් නිසා කථා කරන්න කෙනෙකුත් නෑ.... වටේ පිටේ උන් මටම ඇහැ දාගෙන හිතා ගන්න පුලුවන් නේද එහෙම ඉන්නකොට දැනෙන පන්ක් එක... මට නම් එපා වුනා අයියෝ.... ජනප්‍රියත්වය කියන්නෙ හරිම කරදරයක්...සැබෑ කෙනා මම නම් තව කමක් නෑ...

අක්කෙ අර සංඛ..... නෑ නෑ එයා වෙන්න බෑ... පිස්සුද අනේ එයාම තමයි... සමහර ගෑල්ලමයි එහෙම මුමුණනවා මට ඇහෙනවා

අර සුපර් ස්ටාර් එකේ සින්දු කියනා ළමයා නේද? කෝච්චියෙ ඇතුලෙදි ඇන්ටිලා එහෙම කියනවා ඇහෙනවා...

ඔය කියන කාලෙ සිරා හවසට ගියෙ මහව දුම්රියෙ... කවුරැත් දන්නවනේ මහව දුම්රිය කියන්නෙ උප සංස්කෘතියක් තියෙන සීට් වලට අයිතිකාරයො ඉන්න දුම්රියක් කියලා... මට ඉතිං  ඒ කාරණය ගැටලුවක් උනේ නෑ,  මොකද සිරා කියන්නෙත්  දුම්රියට අරක් ගත් නඩයක එකෙක්... මේ කියන නඩේ මල් වගේ  දැරිවියො වගේම සිරා වගේ අහිංසක කොල්ලොත් හිටියා... පිරිමි පාර්ශවයේ වැඩිපුර හිටියෙ මුස්ලිම් ජනතාව.. දවසක් ඔය අය අතරට අලුත් මුස්ලිම් කොල්ලෙක් ආවා.. මිනිහත් පළවෙනි දවසෙ මගේ දිහා බලන් හිටියට කථා කරන්න ඉඩක් ලැබුනෙ නෑ...

දවසක් ඔපීසියෙ වැඩ කරමින් ඉන්න වෙලාවක දුම්රියේ මුස්ලිම් මිතුරෙක් මට දුරබණුවෙන් ඇමතුවා..

මචං අර එදා අලුතෙන් ආව එකා අපෙන් ඇහුවා උඹ සංඛ ද කියලා අපිත් ඔව් කියලා ඌව ඇන්දුවා... කලුතර ඉන්න කෙනා ගම්පහට යන්නෙ ඇයි කියලත් ඇහුවා... අක්කගෙ ගෙදර යනවා කියලයි අපි කිව්වෙ ප්‍රෝග්‍රෑම් එකට යන්න ලේසි නිසා.... අද ඌ උඹ ගැන කෑල්ලට කියලා මහවෙ අපිත් එක්ක සංඛ යනවා කියලා... ඒ ගෑල්ළමයාට උඹව බලන්න ආසයි කියලා ඔන්න හවස ට්‍රේන් එකට එනවලු... උඹ සංඛයා වගේම ඉන්න ඕනෙ අරිද ?

මළ මගුලයි... මට එහෙම කියැවුනා... තව කෙනෙක් වගේ බොරැවට රගපාන්න මට කිසිම ආශාවක් නෑ... මම ඒක ඌට පැහැදිලි කලත්... අනේ අදට විතරක් කරපන් කියලා ඇමතුම දුන්න කෙනා බැගෑපත් වෙච්ච නිසා සිරා ඉතිං හා කිව්වා...

වෙනදාට මරදානෙන් දුම්රියට ගොඩවෙන සිරා එදා කොටුව දුම්රිය ස්ථානයෙන් අපේ උන් ඉන්න  10 වෙනි පෙට්ටියට සුපුරැදු විදියට ගොඩ වුනා... හරියටම දුම්රිය පෙට්ටිය දැන ගන්න මුල සිට අගට හිතින් ගැනගන්න ඕනෙ. දුම්රිය නවත්තන්න කලින්ම මාව දැකපු අර දැරිවි අත දික් කරලා පෙන්නුවලු අන්න සංඛ කියලා... අපේ ගැන්සිය ලගට කිට්ටු උනාම කෙල්ලො ටික කටපුරා හිනාවෙලා ආ සංඛ එන්න ඉදගන්න කියලා සීට් එකකුත් දුන්නා... අලුත් කොල්ලා කෙල්ලත් එක්ක මගේ දිහා බල බලා හිනා වෙනවා... සංඛ ඉතිං ආයෙත් කවදද රෙකෝඩින්.... අක්කලගෙ ගෙදර ඉදන්ද යන්නෙ.... ඊළග වටේට කියන්නෙ කාගෙ සින්දුවක්ද... ඔය වගේ ප්‍ර‍ශ්න වැලයි.... මමත් ඉතිං ෂේප් එකේ උත්තර දිලා ගම්පහෙන් බහිනකොට ඇත්ත සිද්ධිය දෙසා බෑවා.... එතකොට අර ගෑල්ළමයා කියනවා.... මටත් වෙනසක් දැනුනා මොකද ඔයා චුට්ටක් විතර වෙනස්, සංඛට පොඩි රැවුල් කොටයක් තියෙනවා ඒක ඔයාට නෑ කියලා....

ඊට පස්සෙ දවසක සිරා සති අන්ත දුම්රියක යමින් සිටියා... මට ඉස්සරහා සීට් එකේ ඇන්ටියෙක් සගරාවක් බලමින් උන්නෙ... ටික වෙලාවකින් එයා සගරාවට උඩින් මගේ දිහා බලාගෙනම ඉන්නවා... තවත් ටිකකින් සුපුරැදු ප්‍ර‍ශ්නය... ඔයා සංඛ නේද ?

ගම්පහ කොළඹ බස් ස්ටෑන්ඩ් එක හරියෙදි ත්‍රීවීල් සංගමේ නියෝජිතයෙකුත් මගේ පස්සෙන් පන්නගෙන ඇවිල්ලා  ඔයා සංඛ දැයි විමසු හැටි මතකයි... එදා මම හිතුවෙ මට ගහන්න එකෙක් එනවා කියලා...


මේ කිසිම සිද්ධියක් ඔෆීස් එකේ උන්නු පාප මිත්‍ර‍යන්ට කිව්වට උන් එකෙක් වත් පිළිගත්තෙ නෑ.. සිරා පට්ට පල් කෙබර අරිනවා කියා කියා උන් මට කෝචොක් එක දැම්මෙ.

අපි ඉස්සර මධුවිතට සැට් වෙන්නෙ කාසල් එක කිට්ටුව තිබ්බ හොවැංහෝ රෙස්ටූරන්ට් එකේ... ඔපීසියේ නඩේම දැන් ඔන්න ඉන්නවා... අනිත් පැත්තෙ මේසෙ හිටියෙ  දෙන්නයි. ඒ අය කොළඹ ප්‍ර‍ධාන පාසලක ආදි ශිෂ්‍යයෝ ටිකක්...  ඒ අතරත් එක්කෙනෙක් සිරා දිහා බල බලා ඉන්නවා...  වරෙකට එකා බැගින් තමා ඒ අයගෙ කෂ්ටිය සැට් වෙන්න ඇවිල්ලා ඉද ගන්නෙ... අලුතින් එන කෙනා අසුන් ගන්නවත් එක්කම මගෙ දිහාට අත දික් කරලා මුලින් හිටපු දෙන්නා සිරාව පෙන්නනවා...ඔය විදියට 8 දෙනෙක් විතර අවසානයේ දැන් සිරා දිහා වරින් වර බලනවා එහා පැත්තෙ මේසෙන්.

ටිකකින් එක්කෙනෙක් නැගිටලා ඇවිල්ලා කෙලින්ම ඇහුවා සුපුරැදු ප්‍ර‍ශ්නෙ... මල්ලි ඔයා  සංඛ නේද ?

මමත් හිනාවෙලා නෑ අයියෙ කිව්වා... ඔයා ඒ වගේමයි අපේ අය කථා වෙවි හිටියෙ ඒ ගැන කියලා මාරැ වුනා.

මේක කථා බහ ඇහුනු මගේ පාප මිත්‍රයෝ

මචං උඹ කියපු කථා මෙච්චර කල් අපි විශ්වාස කලේ නෑ... ඒත් දැන් ඇස් පනාපිට වෙච්ච දේ නිසා අපිට විශ්වාස කරන්න වෙනවා කියලා කිව්වා.

ඒ දවස්වල මගුල් ගෙදරකට ගියාමත් කසු කුසුව, අන්න අරයත් ඇවිල්ලා.. සින්දුවක් එහෙම අහන්න පුලුවන්... එහෙම කිව්වෙ කාන්තා පාර්ශවය.

අහිංසක සිරා හට තව දුරටත් ජාමෙ බේරාගෙන මගමග යන්නට නොහැකි කල එළැබුන විට නියම ප්‍ර‍මාණෙට වැවී තිබු ක්‍රේල් කොණ්ඩය නෝට් එකටම කපා දැම්මා

ඒ ඉන්පසුව හෝ මේ මළ වදෙන් ගැලවෙනු ඇතැයි හිතලා.. ඒ උනාට වැඩසටහන බලලා මම වගේ ඉන්න සංඛ මලයට දිගටම ඇස් ඇම් ඇස් නම් යැව්වා...

ඉන් පසු මා දුටු උන් කිව්වෙ කොණ්ඩෙ තිබ්බ නම් මෙයා සංඛ වගේමයි කියලා....

සුපර් ස්ටාර් වැඩ සටහන අවසන් වී ටික කාලයකට පසු සිරාගේ මල්ලි කොල්ලා රැකියාව කොරන රතු කුරැස සමාජෙන් සුපර් ස්ටාර්  තරැ සහභාගි වන සංගීත සැදෑවක් සංවිධානය කොලා... ඒ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයෙ

සිරා කොලුවත් මේ ප්‍ර‍සංගය බලන්න ගියා... ප්‍ර‍සංගය අතරතුර මුත්‍රා අඩස්සිය හැදිලා මුත්‍රා බොක්ක පිපිරෙන්න පුලුවන් නිසා සිරා වේලාසනම සින්දුවක් කියන්න ගියා ඒ ඉසව්වට... වැඩේ අහවර කරලා එළියට එනකොට ඇතුලට ආවා මැදි වයසේ තුන් දෙනෙක්... එක්කෙනෙක් මා එක්ක හොදට හිනාවේගෙන ගියා... මට ටිකකින් ඇහෙනවා...

මචං ඒ ගියෙ සංඛ උඹලා දැක්කෙ නැද්ද කියලා...

ඔන්න ඉතිං ප්‍ර‍සංගය ඇරඹිලා සංඛ සින්දු කියන වාරය එළැඹුනා.... සිරා සිටි තැනම ඉහළින් විශාල තිරයක සජිවී රෑප රාමු වැටෙනවා ප්‍ර‍සංගයෙ,

ටික වේලාවකින් ළග පාත හිටපු නරඹන්නො  තිරය දිහා බලනවා සිරා දිහා බලනවා / තිරය දිහා බලනවා සිරා දිහා බලනවා, සිරාට චූ යන්න වගෙයි.

කාලයාගේ ඇවෑමෙන් සංඛ පොෂ් වීමත් සිරාගේ බඩ ගෙඩිය ඉදිරියට නෙරා ඒමත් නිසා අද මා සහ ඔහු අතර සැලකිය යුතු පරස්පරයක් ඇත. ලගකදී එකෙකු හෝ මාගෙන් මේ ගැන විමසාද  නැත. ඒ සිරාගේ පෙනුමේ වූ වෙනස් වීමක්ද, වැඩසටහන ප්‍ර‍චාරය වන සමයේ ඇතිවන ක්ෂණික ජනප්‍රියත්වය ගිලිහී යාම නිසාදැයි වැටහීමක් සිරා හට නොමැත.

සැබෑ ජීවිතයේදී සංඛ, සිරා හට තවමත් හමුවී නැති වුනත් ලගදීම දිනෙක හමුවිමට ඉඩ ඇත... එදාට අප දෙදෙනාම සිටිනා පින්තූරයක් දමමි. අද දින නැගී එන තරැණ සංගීත වේදීන් අතර සංඛ දිනෙත් තමාගේම මාවතක යන දක්ෂයකු බැව් සිරාගේ අදහසය.


ඇත්තටම මේ වගේ දෙයක් බොලා ලටත් උනොත් මක්ක වෙයිද ?


ජනප්‍රියත්වය කෙබදු එකක්දැයි අහම්බෙන් හෝ මමත් දැනගත්තා... එය වෙලාවකට කිසිම නිදහසක් නැති  කරදරයක් කියලා තමා සිරාගෙ අක්මාවට දැනුනෙ...





මම සයිබරෙයේ අලුත් මිතුරා සිරා......


ප.ලි

පම්පෝරි නොගැසූවෙමි... වෙච්ච දැ වෙච්ච පිලිවෙලටම ගලපා ඇත

සැබෑ සංඛ මෙය දුටුවහොත්... අනේ මා මරන්නට එපා... මා ඇල්වතුරද නිවා බොන ඉතා අහිංසක ජීවියෙකි...











Thursday, July 19, 2012

43 දින හතරේ ආගිය තොරතුරැ 4 කොටස

අද කියන්න යන්නෙ දින හතරේ චාරිකාවෙ 4 වන කොටස හෙවත් අවසන් කොටස....චාරිකාවට අනුව නම් තෙවන දිනය... හතරවන දිනයේදි නුවර එළියට යාම පමණයි සිදුවුනේ... ඒ ගැන විශේෂ යමක් ලියන්න නෑ... ඒ නිසා සිරාගෙ දින 4 චාරිකාව පිළිබද ලියැවුන සටහන් පෙල මේ පෝස්ටුවත් සමග අවසන් වෙනවා..

කියෙව්වෙ නැති අයට චාරිකාව පිළිබද  කථා පෙල පිළිවෙලින් මෙන්න
1 කොටස  2 කොටස  3 කොටස

සේනානායක සමුද්‍රය නැරඹීමෙන් අනතුරැව  අම්පාර පොල්වගා ජනපදයෙ ඔවාගිරිය පුරාණ විහාරයට තමයි අපේ නඩේ ගමන් ගත්තෙ රාත්‍රී නවාතැන් ගන්න... අතර මග එළවලු කඩෙන් විදුලිය නෑ කියන පණිවිඩේ ලැබුනට පස්සෙ ළග පාත කඩේකින් ඉටිපන්දම් ගන්න බැලුවත් ඒ වෙද්දිත් ප්‍රදේශවාසීන් ඒවායින් වැඩි කොටසකට වගකියලා තිබුනෙ, අපිට ලැබුනෙ ඉටි පන්දම් 4යි.

විදුලිය අහිමි වීමෙන් ගැටලු 2ක් ප්‍ර‍ධානව පැන නැගුනා... ආලෝකය නොමැති වීම, ජලනල පද්ධතිය ක්‍රියාත්මක වීමට විදුලිය අවැසි නිසා පන්සලේ ටැංකිය සතු ජලය අවසන් වූ පසු ජලය නොලැබී යාම....

ඔවාගිරිය රජමහා විහාරයේ පින්වත් කාරැණික ස්වාමින් වහන්සේලා කෙටි දැනුම් දීමකින් පැමිණි අපේ නඩේට පුදුමාකාර සහයෝගයක් දුන්නා.... පිරිමි පාර්ශවයට ස්වාමීන්වහන්සේලාගේ වැසිකිළි පවා භාවිතා කරන්නට ඉඩ දුන්නා.... අප නගරයේ දකින ස්වාමීන්වහන්සේලාට සාපේක්ෂව මනුෂ්‍යත්වය හදපුරා උතුරා යන සංඝපීතෘ ෘ වරැන් තමා මේ ප්‍රදේශවල ජීවත් වෙන්නෙ... දේශගුණික සාධක වලින් එල්ලවන අභියෝග වගේම කොටි ත්‍ර‍ස්තයන්ගෙන් එල්ළවුනු මරණීය තර්ජන හමුවේ පවා සැගවී නොගොස්  මේ ගම් නියං ගම්වල ජීවත් වෙන අපේම අහිංසක ජනතාවගේ හෙට දවස වෙනුවෙන් එතුමන්ලා කැපවුනු ආකාරය ප්‍ර‍ශංසනීයයි.



සම්පූර්ණයෙන්ම සිංහල පවුල් ජීවත් වෙන පෙදෙසක පිහිටි ඔවාගිරිය රජමහා විහාරය හා ගම්මු අතර ඇත්තේ ඉතා දැඩි බැදීමක්... අප නවාතැන් ගත් දින රාත්‍රී 8 පමණ වන විට විශාල පිරිසක් පන්සලට රැස් වී සිටියා.. තුන්රෝද රථ වගේම යතුරැ පැදි නිතරම පන්සලට පැමිණෙනවා.. බහුතරය තරැණ උදවිය. ඒ පිළිබදව සොයා බලන විට සිරා හට දැන ගන්නට ලැබුනේ මෙය සාමාන්‍ය තත්වයක් බවත්, ගම්වාසීන් සෑම දිනකම සංඝයා වහන්සේ හා සතුටු සාමීචියේ යෙදීමට මෙසේ පැමිණෙන බවත්ය.

ඔවාගිරිය කඩමණ්ඩිය
අපේ වාසනාවට අපේ නඩේ අයෙකු ලග හදිසියකදී දිගු වේලාවක් දැල්විය හැකි බැටරියෙන් ක්‍රියාත්මක වන විදුලි බුබුලක් තිබුනා (Emergency Light )  ඒ උපාංගයේ පිහිටෙන් හිච්චි අයියා යුහුසුලුව ආහාර පිළියෙල කලා... ජල ප්‍ර‍ශ්නයට විසදුමක් ලෙස පිරිසිදුවීමේ කටයුතු සදහා පන්සල පිටුපසින් ගලා යන  සේනානායක සමුද්‍රයේ වම් ඇළ භාවිතා කල හැකි වීම විශාල සහනයක් උනා... වයසින් වැඩි අය පවා කලාතුරකින් ලැබෙන අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන හිතේ හැටියට ස්නානය කලා... එහි ජලය ඉතාමත්ම පිරිසිදුයි.


වම් ඇළේ පන්සල පිටුපස නාන තොටුපල
පන්සලේ කුඩා ස්වාමීන් වහන්සේලා අප සමග ඉතා ඉක්මනින් සුහද වුනා... සමහරැ සෙල්ලම් කරන්නත් කථා කරනවා.. තව කෙනෙක් ලග තියෙන පුරාණ නටඹුන් පෙන්නන්න යන්න කථා කරනවා...

මොනවද තියෙන දේවල්  අපිට බලන්න.. සිරා විමසුවා

බුදුපිළිමයක් එක්ක ගොඩාක් දේ තියේ... මේ වෙලාවෙ ගියොත් පිළිමෙ දිලිසෙන හැටි බලාගන්න පුලුවන්...

ඒ කොහොමද ?

ඒක හදලා තියෙන්නෙ  චන්ද්‍ර‍කාන්ත පාෂාණ වලින්ලු..

එහෙත් විදුලිය පවා නොමැති නන්නාදුනන ඉසව්වක රාත්‍රී ගමන අවදානම් විය හැකි නිසා ඉතාමත්ම වටිනා අවස්ථාවක් සිරා හට ගිලිහී ගියා.... පසුදින මේ පිළිමය බලාගත හැකි වුවද දිලිසෙන ආකාරය දැකීමට නම් රාත්‍රියේම යා යුතුයි.... ඒ අසිරිමත් දසුන දකින්නට නොහැකි වීම ගැන ඇත්තමයි මා තවමත් තැවෙනවා.

පිරිස ඔන්න රාත්‍රී ආහාරයත් භුක්ති විදලා ඉන්න වෙලාවෙ රාත්‍රී 10 ට පමණ තරැණ ස්වාමින්වහන්සේ නමක් සමග අවුරැදු 6ක පමණ කුඩා ස්වාමීන්වහන්සේ නමක් අප අසලට වැඩියා...

මෙයාට බඩගිනියිලු ... බත් තියෙනවද කියලා බැලුවෙ... තාම පොඩි නිසා විනය නීති රීති මෙයාලට තදට ක්‍රියාත්මක කරන්නෙ නෑ.... තරැණ ස්වාමීන් වහන්සේ වදාළා...

ඒ වෙද්දි ඉතිරිය සුනඛ තෙමේ ලා හට ලබා දී තිබූ හෙයින්.. බිස්කට් පැකැට්ටුවක් සමග කෙසෙල් ඇවරියක් අප විසින් ලබා දුන්නා... කුඩා ස්වාමීන් වහන්සේ අපගේ පෙරැත්තය නිසාම ඒවා භාරගත්තා....

වැඩිහිටි හිමියන් සමග සිරා කථාවට වැටුනා.... උන් වහන්සේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය අවසන් කල මේ ප්‍රදේශයෙන්ම මහණ වූ කෙනෙක්... සිංහලකම ගැන වගේම ගම, ගම්වාසීන් ගැනත් ලොකු ආදරයකින් කථා කලේ...

මේ තරම් පොඩි වයසෙදි මහණ වෙන්නෙ සසර කළ කිරිලද ? සිරා කථාබහ අරඹමින් ප්‍ර‍ශ්නයක් ඇහුවා...

නෑ අයියෙ...මෙයාගෙ තාත්තා පොඩිකාලෙම නැති වෙලා... අම්මා වෙන කසාදයක් කරගෙන... ඒ මනුස්සයා මෙයාට ගහනවලු හරියට... වද දෙනවලු... පුච්චලා පවා තියෙනවා... ඉතිං ගම්මු මට විස්තර කිව්වම අම්මගෙ අවසරය අරන් මහණකලා... පොඩි හාමුදුරැවන්ට හරියට කේන්ති යනවා... තරහගියාම මට කියන්නෙ ඔයා තමයි මාව එක්කගෙන ආවෙ මාව ගෙදර ගිහින් ඇරලවන්න කියලා....  ඒත් ඉතිං අපේ පොඩි හාමුදුරැවන්ට  යන්න ගෙයක් කෝ.... එහෙම කිව්ව හාමුදුරැවො ලොකු හුස්මක් ගත්තා....

පසුදා උදෑසන සියල්ලන්ම වම් ඇලෙන් නැවතත් ස්නානය කරලා , පිළියෙල වූ ආහාර වලින් කොටසක් මහා සංඝ රත්නයටත් පූජා කරලා බුදුන් වැන්දා.... ඒ ප්‍රදේශයේ ඉතාමත්ම අලංකාර බුදු මැදුර තියෙන්නෙ මේ පන්සලේ කියලා ඇතැම් ගම්මු අපිට කිව්වා... රාත්‍රිය උදෑසන කියලා භේදයක් නෑ.. එළිය වැටුන විගසම පුරැදු පරිදි ගම්වාසීන් පන්සලේ.... මේ වගේ ගම හා පන්සල අතර ඉතා දැඩි බැදීමක් දකින්නට ලැබීමත් හරිම සතුටක්...

උදෑසන ආහාරයෙන් පස්සෙ අපේ අය නැවතත් අඩුම කුඩුම බස් රථයට පැටවීම ආරම්භ කලා...

අයියෙ... ඕනෙ නම් මේ අඹ ගහෙන් ගෙඩි කඩා ගන්න කියලා ලොකු හාමුදුරැවො කිව්වා...  පොඩි සාදු කෙනෙක් එහෙම කිව්වම මට පුදුම හිතුනා... නගරෙ පන්සල හා ගමේ පන්සල අතර වෙනස ගැන... නගරෙ ඇතැම් පන්සල් වලින් පවා දැන් දැන් මනුෂ්‍යත්වය හේදී ගිහින්....

සිරා එතකොට තමා අඹ ගහේ තිබුන ගෙඩි දැක්කෙ... ඇත්තමයි එච්චර ලොකු අඹ මීට කලින් කොහේදිවත් දැකලා තිබුනෙ නෑ.... කිලෝ ග්රෑම් 2 කට වඩා බරයි එක අඹයක්... පොල් අඹ කියලා තමා කියන්නෙ.... මල්ලි නියම අඹ මාලුවක් හදලා දෙන්නම්.. හිචිචි අයියා අනුමැතිය දුන්න නිසා පොලු පහර කීපයක් ඇවෑමෙන් ගෙඩි කීපයක් බිම පතබෑවුනා.

පොල් අඹ
අඹ සංහාරයෙන් පස්සෙ නටඹුන් පෙන්නන්න පොල්වත්තේ පඥ්ඥාසාර පොඩි හාමුදුරැවො ඉදිරිපත් වුනා....බ්ලොගියෙ ලියන්න හිතාගෙනම හිටපු නිසා මම උන්වහන්සේගේ නම මගේ දුරබණුවෙ සටහන් කරගත්තා... නටඹුන් බලලා ඇවිල්ලා ඡායාරෑපයකුත් ගත්තා...  වටාපතත් පිළිවෙලකට  තියාගෙන මේ සූජානම් වෙලා ඉන්න දානෙ ගෙදරකට වඩින්න.


පොල්වත්තේ පඥ්ඥාසාර පොඩි හාමුදුරැවො


ඔවාගිරිය විහාරස්ථානයේ සිට පාගමනින් නටඹුන් තියෙන ඉසව්වට යා හැකියි...  ඔවාගිරිය කියන නම හැදිලා තියෙන්නෙ ගැමුණු හා තිස්ස කුමරැවන් අතර ඇතිවුන ගැටුම සමථයකට පත් කරන්න මහා සංඝරත්නය ඒ දෙන්නට ඔවදන් දුන් ස්ථානය කියන අරැතින්... මේ ස්ථානයේ ඉදිකිරීම් කිනම් රජ කෙනෙක් විසින් ඉදිකලාද කියලා හරියටම තොරතුරැ හොයාගන්න බැරිවුනත්.. මා විශ්වාස කරන්නෙ දුටුගැමුණු රජතුමාගේ මළනුවන් වන සද්ධාතිස්ස රජතුමා ඊට දායක වන්නට ඇති බව.


අතර මග නාන ලිදක් ලග මෙන්න මෙහෙම බෝඩ් කෑල්ලක් දර්ශනය වුනා... නරකයො කොහෙත් ඉන්නවා කියන එකට සාක්ෂියක් මේ.




ප්‍ර‍ධාන මාර්ගයට පිවිසිලා කුඩා ගුරැ පාරක් ඔස්සේ සශ්‍රීක කුඹුරැ යායක් පසුකර ගෙන  බුදු පිළිමය සහිත ප්‍රදේශයට පැමිණියේ..... ඒ ප්‍රදේශය රෑස්ස වනාන්තරයක් වගෙයි.. වළසුන් දෙදෙනෙකුත් ජීවත් වෙනවලු. ඇතුල්වන තැනම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සේවකයන් වෙනුවෙන් ඉදි වූ කුඩා කාර්යාලයක් දක්නට ලැබුනා...  ලගදීම මේ ප්‍රදේශයේ කැණීම් ආරම්භ කිරීමට තීරණය කර තිබෙන නිසා සේවකයන් යුහුසුලුව භූමියේ සුද්ධ පවිත්‍ර‍ කිරීම් කරමින් සිටියෙ.


ඔවාගිරිය වැඩබිමේ පුරාවිද්‍යා කාර්යාලය


තවත් මද දුරක් යන විට ගරා වැටුණු චෛත්‍යයක් දක්නට ලැබුණා...


ගරා වැටුණු චෛත්‍ය
ඊටත් පස්සෙදි පෙර දා රාත්‍රියේ  කුඩා ස්වාමීන් වහන්සේ විස්තර කල ඒ අසිරිමත් බුදුරැව දක්නට හැකිවුනා..


නටඹුන්ව තිබූ මේ ස්ථානය  ගල්ඔය නිම්න සංවර්ධන මණ්ඩලයෙ ඉල්ලීමක් අනුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් 1956 වර්ෂයේ දි ගවේෂණය කොට අනාවරණය කරගෙන තියෙන්නෙ..මෙම ස්ථානයේ තිබුන නටඹුන් වලින් විශාල ප්‍ර‍මාණයක් ගල් ඔය නිම්න සංවර්ධන ව්‍යාපාරයේදි ට්‍රැක්ටර් ධාවනයෙන් විනාශවෙලා තියෙනවා... ගල් කුලුණු හිස්, මුරගල්,කොරවක් ගල්, පැතලි උලු, වැනි දෑ මෙහිදී දැකබලා ගන්න පුලුවන්. අඩි 11 1/2 ක් පමණ උස ස්ථටික හුණු ගලින් නෙලන ලද දෙඅත් කැඩුණු කවන්ධ බුද්ධ ප්‍ර‍තිමාව 2008 වර්ෂයේදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ රසායන අංශය මගින් සංරක්ෂණය කිරීම ආරම්භ කර තිබෙනවා. සංරක්ෂණය ආරම්භ කරන අවස්ථාව වන විට බිම පතිත වී උරහිස් කොටස කැඩී තිබූ පිළිමය විශේෂයෙන් සකස් කරන ලද දැව රාමුවක සහ කප්පියක ආධාරයෙන් ඔසවා ස්ථාපිත කල බැව් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙ වෙබ් අඩවියේ සදහන් වෙනවා... ඒ අවස්ථාවේ ගත් මේ ඡායාරෑපත් එම වෙබ් අඩවියෙන්මයි උපුටා ගත්තේ. මෙන්න ඒ අඩවිය.


ඇද වැටී තිබූ පිළිමය යළි නගා සිටුවන අයුරැ

පිළිමයේ දෙපා ගල් කුඩු මිශ්‍ර‍යකින් ප්‍ර‍තිනිර්මාණය කරමින්

වෙන් වී තිබූ ශීර්ෂය නැවතත් සවි කරමින්

වැඩ අවසන් වූ පිළිමය
පිළිමය රාත්‍රී කාලයට දිළිසෙන බවට මා ඇසූ කථාව සත්‍යයක් බැව් එහි සේවයේ යෙදී සිටි පුරාවිද්‍යා සේවක මහතුන් කියා සිටියා...ස්ථටික හුණු ගලින් පිළිමය නිර්මිත වුවත් තැනින් තැන තිබෙන චන්ද්‍ර‍ කාන්ති පාෂාණ එයට හේතු වී තිබේ... මේ දිස්නය දෙන්නේ මැණික් ගල් යැයි සිතා නිධන් කොල්ලකරැවන් අවස්ථා කීපයකදීම මෙම පිළිමය කඩා බිද දමා තිබෙනවා... එහෙත් දැන් එම ස්ථානයේම කාර්යාලයක් තිබෙන නිසා ආරක්ෂාව තහවුරැ වෙලා. ඉතා නුදුරේදීම මෙම පිළිමය සම්පූර්ණයෙන්ම සුද්ධ පවිත්‍ර‍කරන බවත් ඉන් පසු වැඩි එළියක් විහිදේ යැයි අනුමාන කරන බවත් වැඩි දුරටත් ඔවුන් කියා සිටියා...

සුදු පාටින් දිස් වෙන්නෙ චන්ද්‍ර‍කාන්ති පාශාණ

ඈත අතීතයේ මෙම ස්ථානය ඉතාමත්ම සශ්‍රීකව පැවති බවට සාධක රාශියක් දැක ගන්න පුලුවන්...




පැතලි උලු

ගල්කණු හිසක්


නටඹුන් දැකබලා ගෙන නැවත පැමිණෙන විට මාර්ගය ආසන්නයේ මසුන් අළෙවි කරමින් සිටි අයෙකු දකින්නට ලැබුනා... දිවා ආහාරය සැකසීමට අපි ඔහුගෙන් මාලු මිළදී ගත්තේ අපේ ප්‍රදේශවල මෙවැනි මසුන් නොමැති හෙයින් රස බැලීමට ඇතිවූ කුහුල නිසාමයි... කැට්ලා මෙම මත්සයින්ගෙ නම... රජය මගින් අභිජනනය කොට සේනානායක සමුද්‍ර‍යට මුදා හැර ඇති විශාලව වැඩෙන මිරිදිය මත්ස්‍ය වර්ගයක්....


කැට්ලා මසුන්
නටඹුන් නැරඹීමෙන් අනතුරැව අපට නොමසුරැ ලෙස උපකාර කල බුද්ධ පුත්‍ර‍යාණන් වහන්සේලා හට ශීර්ෂ ප්‍ර‍ණාමයෙන් ස්තූති කොට අපි  ඔවාගිරිය රජමහා විහාරයෙන් සමුගත්තා...

අද දින රාත්‍රී නවාතැන මහියංගණය නිසා  ඒ දිශාවටයි දැන් බස් රථය ගමන් කරන්නෙ...  මේ මාර්ගයේ අපිට ඊළගට හමුවන වැදගත් ස්ථානයක් තමයි අරංතලාව භික්ෂු ඝාතනය සිදු වු තැන.. ම්ලේඡ කොටි ත්‍ර‍ස්තවාදින් සිදු කල මේ මහා අපරාධය පිළිබද වෙනම පෝස්ටුවක් ඉදිරි දිනයකදි සිරාගේ කාමරෙන් බලා ගන්න පුලුවන්..ඒ නිසා වැඩි විස්තර මෙයට ඇතුලත් කරන්නෙ නෑ....


ඉතිහාසයේ අදුරැතම දිනයක නුතන මතක සටහන - අරංතලාව ස්මාරකය


අරංතලාවෙන් පස්සෙ හමුවන මහඔය හන්දියෙන්  හැරී කිලෝමීටර් 2ක පමණ දුරක් ගියතැන හමුවන්නෙ මහඔය උණුවතුර ළිං... ලංකාවෙ වැඩිම උණුසුමක් සහිත උණුවතුර ළිං තිබෙන්නේ මෙහි බව බොහෝ අය පවසනවා...
ඉහළට නැගෙන පෙණ බුබුලු



1959 දී පමණ තමයි මේ ළිං සංවර්ධනය කිරීමේ මූලික කටයුතු කර තිබෙන්නෙ... අතීතයේ කැලෑවේ දඩයමේ ගිය වැද්දන් දඩ මස් සෝදාගැනීමටත්... තලගොයි බිත්තර තම්බා ගැනීමටත් මෙම ළිං භාවිතා කර තිබෙනවා කියලත් දැනගන්න ලැබුනා...ජලයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 55 ක් පමණ වෙනවලු. කුඩා දිය බුබුලු වරින් වර ළිං පතුලේ සිට ඉහළට එන අයුරැ දැකගත හැකියි. සිරා දෑතම මෙම ළිද තුලට දැම්මත් තත්පර ගණනකදි ආපසු ගන්නට සිදුවෙන්නෙ උෂ්ණත්වය දරා ගැනීමට අපහසු නිසයි. මෙහි ඇති සම්පූර්ණ ළිං සංඛ්‍යාව 7ක්. ඒ අතරින් එක ළිදක පමණක් නෑමට හැකි ලෙස ජලය උෂ්ණත්වය අඩුයි.


චර්ම රෝග,වාත රෝග,හිරිවැටීම,හන්දි ඉදිමීම වැනි රෝග වලට මෙම ජලය ස්නානය වඩා හොද බවයි තතු දන්නො කියන්නෙ. ත්‍ර‍ස්තවාදී තර්ජන නිසා නරඹන පිරිස ඒ කාලයේ අඩු වුවත් වර්තමානයේ පවතින සාමකාමී වටපිටාව නිසා ඕනෑම කෙනෙකුට එහි යා හැකියි.  මි පැණි වගේම ඒ ප‍්‍රදේශයේ නිපදවන තවත් දෑ එහි විකිණීමට තිබෙනවා.... මෙම ළිං 7න්ම දිය නාන කෙනෙකුට රැ. 750/- වටිනා මී පැණි බෝතලයක් නොමිලේ දෙන බව එහි සිටි අය අපට අභියෝග කරමින් පැවසුවා...  මේ ළිං සියල්ලෙන්ම නානවා කියන්නෙ රෝහල්ගත වෙන්න වෙන ක්‍රියාවක්....

උණුවතුර ළිං නැරඹීමෙන් අනතුරැව අපේ ගමනාන්තය උනේ දඹාන ආදිවාසී ගම්මානය... ප්‍ර‍ධාන මාර්ගයෙන් අතුරැ මාර්ගයට බස් රථය හරවන  හංදියේ සිටම ආදි වාසී ළමයින් එන අය පිළිගන්නට සැදී පැහැදී සිටිනවා... අපේ රථයටත් එවැනි ළමයෙකු නැගී ගී ගැයුවත් වැඩිහිටියෙකු කල විහිලුවකට ඔහු කිපී වැදි ගම්මානයේදී අපිට මග පෙන්වීම ප්‍ර‍තික්ෂේප කලා... ඒ වෙනුවට අපට එක්වුනේ නිහාල් ජයවර්ධන. ඔහුත් ආදිවාසී දරැවෙක් වයස අවු. 14.

නිහාල් ජයවර්ධන
සිරා කලින් මෙහි පැමිණ නැති නිසා වැදි ජීවිතයේ බොහෝ දෑ දැන ගත හැකි වේයැයි සිතූවත් අප සිතන තරම් දෙයක් එහි දැන් දක්නට නෑ... ආදි වාසීන් නුතන ජන ජීවිතයට බද්ධ වී තිබෙන හෙයින් ඔවුන්ගේ කථා බහ, වාසස්ථාන හැර වැඩිමනක් වෙනසක් දක්නට අමාරැයි.

බස් රථය නවත්වන තැනම තිබෙන්නේ ඔවුන්ගේ නිෂ්පාදන අළෙවි කරන කඩපිලක්
කිරිදි ඇට වලින් සෑදූ මල් වට්ටි/ ඇත් දත් වලින් සැකසූ මුදු/ කලුවර ලීයෙන් සෑදු ඊතල එහි අළෙවියට තබා තිබුනා.

වැදි නිෂ්පාදන අළෙවි කරන කුඩා කඩමණ්ඩිය

නිහාල් අපිට මග පෙන්වමින් තිසාහාමි හිටපු වැදි නායක තුමාගේ සොහොන දක්වා රැගෙන ගියා... ඒ සොහොනට යාබදව තිබෙන පොළොවේ සිටවූ කලු ගල්  තවත් සොහොන් කිපයක්... ඒ තිසාහාමිගේ බිරින්දෑගෙ සහ දරැවන්ගෙ...වත්මන් වැදි නායක ඌරැවරිගේ වන්නියලැ ඇත්තෝ තිසාහාමි ඇත්තන්ගෙ තවත් දරැවෙක්... අපි ඔහු බැහැ දකින්නට විස්තර ඇසුවත් නිහාල් ජයවර්ධන කිව්වෙ මේ වෙලාවෙ නායක ඇත්තො හේනට ගොහිල්ලා කියලා..


හිටපු වැදි නායක තිසා හාමි ඇත්තන්ගේ සොහොන

අවශේෂ සොහොන්
සිත් ඇදබැද තබා ගත හැකි හුරතලයක් වගේම සිංහල භාෂාව මනාව හැසිරීමට ඇති හැකියාවත් නිසා නිහාල් ජයවර්ධන වෙත අපේ නඩේ මව්වරැන් වඩාත් සෙනෙහස පෑවා... ඔහුට යම්තරමකට ඉංග්‍රීසි භාෂාවත් පුලුවන්... නිහාල් ගෙ වැදි ගීත අසා අවසානයේ මුදලින් තිළිණ ලබා දුන්නෙ අධ්‍යාපනය සාර්ථක කරගන්න අවැසි දේ සපයාගන්න. ආදිවාසීන්ගේ ඉතිහාස කරැණු ඇතුලත් කෞතුගාරයක් තිබෙන මුත් අප ගිය දින එය වසා දමා තිබුනෙ.

නිහාල් ජයවර්ධනට වගේම වැදි හූරලගෙ ගම් පොජ්ජටත් සමුදී අපේ නඩේ,  බුලතා යෝධයා විසින් නිමැවු බවට පිළිගැනෙන සොරබොර වැව දැකබලාගන්න ගමන් කලා.. ඒ පිළිබද දැක්වීමට තොරතුරැ රාශියක් තිබෙන නිසා වෙනම පෝස්ටුවක් ලෙස ඉදිරි දිණකදි සිරාගේ කාමරෙන් එයත් ඉදිරිපත් වේවි.

සොරබොර වැව
සොරබොර වැවෙන් අනතුරැව පිරිස මහියංගණයට ලගා වුනා... මහියංගණ විහාරය ආශ්‍රිතව රාත්‍රිය ගත කරලා පසුදා උදේ මහියංගන වෙහෙර වැදපුදා ගෙන දිවා අහාරයට නුවර එළියට යන්නට අපට හැකි වුනා.. දින හතරක චාරිකාව නිමා වුනේ ඒ විදියට...

මහියංගනය දාගැබ

මහියංගනය විහාරයේදී දුටු සද්දන්තයෙක්

ඔන්න එහෙනං දින හතරේ චාරිකාව පිළිබද සටහන් පෙල මෙතෙකින් නිමා වෙනවා. එක පෙළටම චාරිකා සටහන් කියවන එක නීරස විය හැකි නිසා අරංතලාව හා සොරබොර වැව පිළිබද පෝස්ටු යථාකාලයේ තථා අයුරින් මෙහි වැටේවි.

චාරිකා සටහන පුරාවට කොමෙන්ටු මගින් හොද නරක දක්වා මා දිරිමත් කල බ්ලොග් අවකාශයේ මිතුරැ මිතුරියන් හැමටම සිරාගේ ආචාරය !


මම සයිබරයේ අලුත් මිතුරා සිරා.....




ප.ලි


නගරයේ පන්සල් තුල මෙවැනි මනුෂ්‍යත්වයක් මා අත්දැක නැති නිසා එලෙස ලිවීමි.










Saturday, July 14, 2012

37 දින හතරේ ආගිය තොරතුරැ 3 කොටස

ඔන්න අපි චාරිකාවේ 3 වන කොටසටත් ආවා... කලින් කථා කියවපු නැති අයට මෙන්න.... කියවගෙනම එන්න...
1 කොටස
2 කොටස

කතරගම ගංගාරාම විශ්‍රාම ශාලාවෙ පළමු දින රාත්‍රිය ගත කරලා  පසුදා උදේම කිරිවෙහෙර වදින්න අපි සූදානම් උනා... උදෙන්ම කිරිබත් සමග ලුණු මිරිස්  කෑමට සුදානම් කරල දුන්නෙ හිච්චි අයියා ...  පිරිස  බොහොම කඩිසරව ආහාර අනුභවය අවසන් කලාට  කිරිබත් ඉතිරිවෙලා.... ඒ ටික ලබාදීලා කාගෙ හරි කුසගින්නක් නිවන්න දායක වෙන එකත් පිනක් හින්දා මෙන්න මේ අයට උදේ කෑමට ආරාධනා කලා...


ලුණු මිරිස් බොහෝම අපූරැවට ඉවත් කරගෙන කිරිබත් විතරයි දෑතින්ම අල්ලන් ඒගොල්ලො කෑවෙ.......ශ්‍රීලාංකික කලු වදුරා අපේ රටටම අ‍‍වේණික සතෙක්....ඒ වගේම ජීව විද්‍යාත්මකව වටිනා සම්පතක්.

කතරගම හැමෝම යන එන නිසා ඒ ගැන විශාල විස්තරයක් කරන්න බලාපොරොත්තුවක් නෑ... පින්තූර කීපයක් විතරක් දාන්නයි හිතුවෙ...




කතරගමදි දකින්න ලැබුණු විශේෂම සිදුවීම තමයි අලියාගේ බඩ යටින් රිංගවීම... ගාස්තුව එක් අයෙකුට   රැ. 50/- එක පෙලට අලි තිදෙනෙක්ම මේ වැඩේට යොදවලා තිබුනා... ඇත්ගොව්වන් කියන විදියට  නින්ද නොයාම/ නපුරැ හීන පෙනීම/ ප්‍රේත දෝෂ ආදියට අලියාගේ බඩ යටින් රිංගීම සාර්ථක ප්‍ර‍තිඵල දේලු... කුඩා ළමයින් සමග වැඩිහිටියන් ඉතා උනන්දුවෙන් මේ කාර්යයට දායක වෙන හැටි සිරා දුටුවා.... දේවාලයෙන් පිටතට එන බැතිමතුන්ගේ පූජා වට්ටි වලින් කෙසෙල් ගෙඩියක්, කොමඩු පලුවක්, උක් පතුරක් ආදීය ලැබෙන නිසා මේ සද්ධන්තයන් වගේ වගක් නැතුව කුල්ලක් බදු කන් දෙපසට සොලවමින් සිටි ආකාරය නම් පංකාදුයි...



කිරිවෙහෙර දෙසට යද්දි ඊළගට හමුවෙන්නෙ  මෙන්න මේ අය...



මල්කෙල්ලන් යයි පොදු ව්‍යවහාරයේ හැදින්වුවත් අපෙනුත් මල් ගන්න යැයි කන්නලව් කරමින්... බුදු පුදට යන සැදැහැවතුන්ගෙන් මල් පොකුරට මුවා වී ජීවිතය ජීවත්කරන්නට කරනා වෑයම ඉතා සංවේදියි..... ඒ නිසාම සිරා නෙලුම් මල් පොකුරක් ලබා ගත්තේ ඔවුනට කරනා උපකාරයක් ලෙසින්...

සුදෝ සුදුව ඉහළට එසැවී තිබෙනා කිරිවෙහෙර චෛත්‍ය රාජයානන් නෙතට නම් රසදුනක්...


කිරිවෙහෙරින් සමු ගෙන ආපසු එන ගමනේදී මැණික් ගග අසබඩදි මේ අයත් හමු වුනා... ජීවිත ගමනේදී එල්ල වූ අභියෝගයන් වෙත දෙවියන්ගේ සරණ අපේක්ෂා කර එය ඉටුවූ පසු දෙවියන් වෙත කෘතගුණ දැක්විමක් ඔවුන් මේ සිදුකරන්නෙ....කාවාඩි නටමින්...



කතරගම  වන්දනාවෙන් අනතුරැව  බුත්තල කතරගම මාර්ගය ඔස්සේ අපි බුත්තල දෙසට ගමන් ගත්තා... ත්‍ර‍ස්තවාදී තර්ජන තිබූ සමයේ බස්රථයකට ක්ලේමෝ බෝම්බ ප්‍ර‍හාරයක් එල්ල වෙලා ජීවිත රාශියක් දැයට අහිමි වුනෙත් මේ මාර්ගයේම ගල් ගේ නම් ඉසව්වෙදි... ඒ අමිහිරි මතකයත් සිහිපත් කරන ගමන්ම අපේ පිරිස බුත්තලට ලගා වුනා...

බුත්තල මාළිගාවිල මාර්ගයේ කිලෝ මීටර් 6ක් පමණ ගමන් කලාම හමුවෙන පෞරාණික බෞද්ධ සිද්ධස්ථානය තමයි දෙමටමල් විහාරය... පිහිටා තියෙන්නෙ මොණරාගල දිස්ත්‍රික්කයේ.... චෛත්‍ය රාජයාගේ පැහැය නිසාම මෙම විහාරස්ථානය ඉතාමත් පෞරාණික ස්ථානයක් බව ඈතදීම සිරාට  සිතුනා....

කලු පැහැයට දිස්වෙන වෛත්‍ය රාජයාණන්

අවට සුන්දර පරිසරය

දෙමටමල් විහාරයේ ඓතිහාසික පසුබිම

බෝධි රෝපණයට පෙර නිධන් වස්තු තැන්පත් කල එකම විහාරය හැටියට මෙම ස්ථානය සැලකෙනවා.
ක්‍රි.පූ දෙවස සියවසේදි කාවන්තිස්ස රජු කරවූ ගමට්ඨවාලී විහාරය යනු මෙය බව සමහර ඉතිහාසඥයො කියනවා. එහෙත් ක්‍රි.පූ 3 වන සියවසේදි  දේවානම් පියතිස්ස රජුගේ දෙටු සොයුරැ රැහුණු රාජ්‍යයේ පාලකයා වූ මහානාග රජතුමා විසින් කරවූ දෙටුමල් වෙහෙර පසුකලෙක දෙමටමල් විහාරය වූ බවටයි බොහෝ අය පිළිගන්නෙ... ඒවගේම කාවන්තිස්ස , මහා පරාක්‍ර‍මභාහු රජවරැන්ගේ පාද ස්පර්ශය ලද පුණ්‍ය භූමියක්... පසු කලෙක චෛත්‍යයේ අලුත්වැඩියාවන් කාවන්තිස්ස රජතුමා කරවූ බවට පූජාවලියේ 34 වන පරිජේදයෙත් සදහන් ‍වෙනවා. මලියදේව මහරහතන් වහන්සේ ජජක්ක සූත්‍ර‍ය දේශනා කොට යෝගාවචරයන් හැට නමක් රහත් කල ස්ථානයද මෙයම වේ...ඒ බැව් සටහන් වන්නෙ ධර්ම ප්‍ර‍දීපිකාව නම් ඉපැරණි ග්‍ර‍න්ථයේ. සද්ධම්ම රත්නාවලිය රචනා කල ධර්මසේන හිමි වැඩ සිටියේද මේ විහාරයේමයි.... පොළොන්නරැ සමයේ රැහුණේ පාලකයකුව සිටි ශ්‍රී වල්ලභ රජුගේ ප්‍රියම්භිකාව,  සුගලා දේවිය දන්ත ධාතූන් වහන්සේ සතුරැ උපද්‍ර‍ව කෙරෙන් ආරක්ෂාකිරීමට සගවා ඇත්තේද මෙහිය.  දුටුගැමුණු කුමාරයාගේ මළනුවන් වන තිස්ස කුමරැ සිය අයියන්ඩිය (ගැමුණු)  සමග පැවති සටනකින් පැරදී පලා යන අතර තුර මෙම විහාරයේ නායක හාමුදුරැවන් සැතපෙන ඇද යට සැගවී සිට ඇත . දෙමහටමල් විහාරයේ අතීතය හාරා අවුස්සන විට මේ තිස්ස කුමරැගේ ඇද යට සැගවී සිටීමේ කථාව ඉතාමත් කුප්‍ර‍කට එකකි. ගැමුණු කුමාරය තම මළනුවන් දුටු ස්ථානය යන්නෙන් බිදි ආ දුටුමල් යන්න දෙටුමල් වි පසුව දෙමටමල් බවට පත් වූ බවට තවත් මතයක් තිබෙනවා....

මේ අයිය මලෝ  සටන පිළිබද කථාව වෙනම පෝස්ටුවක් ලෙස ඉදිරි දිනෙකදී සිරාගේ කාමරෙන්....

දෙමටමල් විහාරය සතු පෞරාණික චෛත්‍යයටම ආවේණික අපූරැ වෙනසක් ඇත... එය අදද දක්නට පුලුවන් එකකි... මහානාග රජතුමා මෙහි ඉදිකිරීම් කරන විට වෛත්‍ය සදහා කොතක් සවිකර නැත. ඒ සදහා උපයෝගී කරගෙන ඇත්තේ දේවතාකොටුවට ඉහළින් සවි කල අඩි 15 කට වඩා උස අඩි 5ක පමණ වටප්‍ර‍මාණයක් ඇති යූකාගල නමින් හැදින්වෙන ශිලාමය ස්ථම්භයකි. පසුකලෙක කාවන්තිස්ස රජතුමා විසින් දෙමටමල් විහාර චෛත්‍ය අලුත් වැඩියා කරන විට කොත් කැරැල්ලක් චෛත්‍යයට එකතු කර තිබුනද එක් තැනකින් යූකාගල පෙනෙන්නට ඉඩ තබා තිබේ.

යූකාගල 

දෙමටමල් විහාරයෙන් අනතුරැව අපේ නඩය මාළිගාවිල ඉසව්වට පිටත් වුනා... මාළිගාවිල පිහිටි  බුදු පිළිමය හා දඹේගොඩ බෝසත් පිළිමය නිසා   තමයි මේ ප්‍රදේශය හැමෝම දන්නෙ....

ඌව පළාතේ මොණරාගල දිස්ත්‍රික්කයේ බුත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ඔක්කම්පිටිය මාළිගාවිල ගමෙහි මෙම ස්ථානය පිහිටා ඇත. කොළඹ මොණරාගල ප්‍ර‍ධාන මාර්ගයේ කුඹුක්කන හන්දියෙන් දකුණට ඇති මාර්ගයේ සැතපුම් 8ක් පමණ ගියවිට මෙම ස්ථානය හමු වෙන්නෙ.

මාළිගාවිල බුදුපිළිමයට යන මාවත

වන වැදුනු අතීත උරැමය

ක්‍රි.ව 6 වන සියවසේ සිට 08 වන සියවස දක්වා කාලයට අයත් යැයි සැලකිය හැකි අක්කර 300 ක පමණ භූමි භාගයක පැතිරැන අරියකර විහාරය නමින් අතීතයේ හැදින්වී ඇති මෙම ස්ථානය ක්‍රි.ව 667 - 683 රජකල අග්ගබෝධි රජතුමා විසින් කරවූවක්... එතුමා රැහුණේ කණගාමයෙහි අන්ධයන් හා ගිලනුන් උදෙසා රෝහලක් කරවූ බවට වංශකථා වල සදහන් . එම ස්ථානයත් මෙයම විය හැකි බවටයි පුරා විද්‍යඥයන් සලකන්නෙ....

සමහංග හිටි ඉරියව්වෙන් යුත් මාළිගාවිල බුද්ධ ප්‍ර‍තිමාමේ උස අඩි 37 අගල් 10 , එමගින් නිරෑපනය වෙන්නෙ අභය මුද්‍රාව, සතුරැ උවදුරැ නිසා කාලයාගේ ඇවෑමෙන් වනගත වන මෙම ස්ථානය 1950 දී පමණ නැවතත් සොයා ගන්නා විට මෙම පිළිමය තිබී ඇත්තේ බිම වැටී කොටස් තුනකට කැබලි වී,  රණසිංහ ප්‍රේමදාස ජනාධිපති සමයේදී මෙම පිළිමය නැවතත් යථා තත්වයට පත් කරලා තියෙන්නෙ ශ්‍රීලාංකික ඉංජිනේරැ මහිමයෙන්... ප්‍රේමදාස ජනාධිපතිතුමා මෙම පිළිමය යථා තත්වයට පත් කරන ලෙස රාජ්‍ය ඉංජිනේරැ අංශ වෙත දැනුම් දුන්නත් එය කල නොහැකි දෙයක් ලෙස ඔවුන් දක්වා තිබෙනවා... එහෙත් මේ සම්බන්ධයෙන් දැඩි ස්ථාවරයක සිට ඇති ජනාධිපතිතුමා මෙය අනිවාර්යෙන්ම කල යුතු බව දිගින් දිගටම පැවසූ නිසා ඉංජිනේරැ අංශයන්ට මේ විස්මිත ප්‍රාතිහාර්ය පාන්නට අවසානයේ ඉඩ හසර ලැබෙනවා... ඒ සදහා කොන්ක්‍රීට් තාක්ෂණයේ පියා ලෙස විරැදාවලිය ලැබූ විද්‍යාජෝති කුලසිංහ මහා ඉංජිනේරැ තුමාගේ උපදෙසුත් ලැබී තිබෙනවා.... පිළිමය නැවත සිටවූ පසු ආධාරක ගඩොල් බැම්මක සහය ලබා දී තිබෙන්නෙ ශක්තිය වැඩි කරන්න. මේ මහගු පෞරාණික වස්තුව හෙට දවසට සුරක්ෂිත කොට දායාද කල, අද අප අතර නැති මේ දෙපළම ජාතියේ  නාමයෙන් සිරා ගෞරවයෙන් සිහිපත් කරනවා.....


ගඩොල් ආධාරකය



දඹේගොඩ අවලෝකිතේෂ්වර බෝධිසත්ව පිළිමය මාළිගාවිල ඇති අනෙක් හිටි පිළිමයයි.. බොහෝ අය බුදු පිළිමය පිළිබද අසා ඇති මුත් මේ පිළිබදව අහලා නෑ... දඹේගොඩ බෝසත් පිළිමය ලෙස තමා වර්තමානයේ හැදින්වෙන්න... මේ පිළිම දෙක පිහිටා තියෙන්නෙත් එක ලග නොවීම ඊට හේතුවක් වෙන්නත්  පුලුවන්.... බෝසත් පිළිමයත් කාලයේ ඇවෑමෙන් බිම වැටිලා කෑලි 100 කට වඩා කැඩිලා තිබිලා තියෙන්නෙ.... කලින් කිව්වා වගේම ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ අදහස අනුව කුලසිංහ ඉංජිනේරැ තුමාගේ උපදෙස්  පරිදි ඒ අපරිමාන උත්සාහයේ ප්‍ර‍තිඵලයක් ලෙස මෙම පිළිමයටත් නැවතත් නැගී සිටින්නට අවස්ථාව උදා වුනා.. සමහර කොටස් කොන්ක්‍රීට් මගින් සම්පූර්ණයෙන් ප්‍ර‍ති සකසා තියෙන්නෙ.. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට වසර 100 ක් පිරීම නිමිති කරගෙන මෙම පිළිමය නැවතත් ජනතාවගේ පුද සත්කාර්යයට විවෘත වෙලා තියෙන්නෙත් ප්‍රේමදාස ජනාධිපති තුමා අතින්.




මාළිගාවිල පුදබිමේ ඓතිහාසික බව තීවර කරණ ටැම් ලිපියක් පිහිටා තිබෙනවා..


හතරවන මහින්ද රජුගේ පාලන කාලයේ (ක්‍රි.ව 956 - 972 ) එනම් එතුමාගේ දසවන පාලන කාලයේ මධ්‍ය කාලීන් සිංහල අක්ෂරයෙන් ලියැවුන එකක්....


මධ්‍ය කාලින සිංහල අක්ෂර


හතරවන මහින්ද රජතුමාගේ දහවන රාජ්‍ය වර්ෂයේ මැදින් මස පුර පක්ෂයේ 13 වන දින මගුල් මහා පිරිවෙන කරවා එහි වැඩ වෙසෙන ස්වාමීන් වහන්සේලා වෙත සිව්පසය ලබා දිම පිළිබදව තොරතුරැ මෙහි සදහන් වේ. එසේම විහාරස්ථානයේ ශෛලමය බුදුපිළිම 3ක් කරවූ බවද, මහා විහාරය,පොළොන්නරැව මහා සෑය, ලෝවාමහා ප්‍රාසාදය, මහියංගන විහාරය, රැවන්වැලි සෑය ආදී විහාරස්ථාන කිහිපයක ස්වාමින් වහන්සේලා වෙත පැනවූ  නීති රීති පිළිබද තොරතුරැ ඇතුලත් වේ. භික්ෂූන් වහන්සේලා, ඉදිරියේදී  වාර්ෂික අයවැය ලේඛනයක් ඉදිරිපත් කල යුතු බවටද තොරතුරැ ඇතුලත්ය...


අපේ චාරිකාවෙ දෙවන දින ගමනේ සැලසුම ඡුලියන් අයියගේ කථාව දෙසා බාපු සිරාගෙ මහප්පගෙ... සිරිලංකා පොලීසියේ නිලධාරියෙකු ලෙස දිවයිනේ ප්‍රදේශ ගණනාවක සේවය කර විශ්‍රාම ගොස් සිටින කෙනෙක්....  දෙවන දවසේ අපි නැවතීමට තීරණය කරලා තිබුනේ බිබිල ප්‍රදේශයේ එයාගෙ හිතවතකුගේ නිවසේ... වසර 20 කට පෙර මහප්පගෙ මතකය අනුව මේ ප්‍රදේශයේ මාර්ගයන්හි පැවති තත්වයට අනුව ගත වන කාලය අනුවයි ඒ සැලසුම සිදු කර තිබුනේ... එහෙත් දැන් මාර්ග සියල්ලම කාපට් මාර්ග බවට පත් කර තිබූ හෙයින්  සවස 3 වෙද්දි අපි ඒ ඉසව්වට ලගා වූනා...  සංචාරයක් ලෙස ගතවන දිනයෙන් උපරිම ප්‍රයෝජන ගන්න නවාතැන වෙනස් කරලා ඒ ලැබෙන අමතර කාලයෙන් සේනානායක සමුද්‍ර‍ය දැකබලා ගෙන  අම්පාර පොල්වගා ජනපදයෙ ඔවාගිරිය පුරාණ පන්සලේ නවාතැන් ගන්න පිරිස තීරණය කලා ඒ  මහප්පගෙ හිතවතාගෙ කාරැණික මගපෙන්වීමෙන්....

ඔන්න ඉතිං ජීවිතේ පළමු වරට ලංකාවෙ  විශාලම ජලාශය වන සේනානායක සමුද්‍ර‍ය දෑසින් දැක ගන්නට සිරා ට අවකාශ ලැබුනා....

ජාතියේ පියා මහාමාන්‍ය ඩී.ඇස්. සේනානායක මැතිතුමා කියලා අහලා තිබුනත් එතුමා නිදහස් සටනේ පුරෝගාමියා බව දැන උන්නත් ඊට අවශේෂ කාරණා ගැන සිරා සිටියෙ දැනුවත් කමින් තොරව... එතුමා එසේ හැදින්වීම කොතරම් සාධාරණ දැයි කියන්න, ගල් ඔය, ඉගිනියාගලදි හරස් කර ඉදිකල මේ සමුද්‍ර‍යක් බදු විශාල ජලාශයම ප්‍ර‍මාණවත් කියලා සිරාට හිතුනෙ  ලංකාවෙ ඊසාන දිග නැගෙනහිර හා ඌව පළාත් වල පවතින කටුක දේශගුණ තත්වයත් එක්ක ජීවිකාව ගෙන යන්නට වලිකන අපේම හිතමිතුරන් වෙත මේ මහා සමුද්‍රයෙන් අද දවසේ සැලසෙන සේවය දැක්කම... එතුමාගේ අනාගත පුරෝකථනය කෙතරම් විශිෂ්ඨ දැයි මොනවට පැහැදිලි වෙනවා... ගල් ඔය ව්‍යාපාරයත් එක්කයි නැගෙනහිර පලාතෙ සිංහල ජනාවාස පැතිරෙන්නෙ... එසේ නොමැති වූයේ නම් කොටි ත්‍ර‍ස්තයින්ට ඉතාමත් ලෙහෙසියෙන් මේ ප්‍රදේශ අත්පත් කරගන්නත් ඉඩ තිබුනා... ඉදිරියේදී ඇතිවෙන ජනවාර්ගික ප්‍ර‍ශ්නය පිළිබදවත් එතුමා වේලාසන දැන සිටි බවයි එයින් අපට වැටහෙන්නෙ.. ඒ නිසා ජාතියේ පියානන් සෑම ශ්‍රීලාංකිකයෙකුගේම ගෞරව බහුමානයට නිබද පත්විය යුතුයි....



මකරය නම් පෙදෙස  පිහිටා ඇත්තෙ ඈතින් පෙනෙන කදු පෙදෙසට වෙන්න


මෙය 1948 න් පසු නිදහස් ශ්‍රීලංකාවේ ඇරඹුනු පළමු මහා පරිමාණ වාරි කර්මාන්තයයි... 1949 වැඩ ඇරඹී 1953 අවසන් කර තිබෙන අතර ශ්‍රීලංකාවේ ජලාශයක් සතු උසම වේල්ලද මෙයට අයත් වේ. එය අඩි 140 උසින් යුතුය.
වේල්ල මත

සේනානායක සමුද්‍ර‍ය අක්කර අඩි 770,000 ක් විශාලයි, ගොවිබිම් අක්කර 120,000 කට ජලය සපයනවා, ඒ වම් ඇළ හා දකුණු ඇළ නම් ජල මාර්ග දෙකක් ඔස්සේ, අම්පාර නගරයට පානීය ජලය සපයන පානීය ජල යෝජනා ක්‍ර‍මයකුත් ඒ සමගම ක්‍රියාත්මකයි. ඒ වගේම එහි ඇති විදුලි බලාගාරයෙන් මෙගාවොට් 1 ක විදුලි බලයක් ජාතික විදුලි සැපයුමට දායාද කරනවා... වාර්ෂික මත්ස්‍ය නිෂ්පාදනය කිලෝ ග්‍රෑම් 200,000 ක්

ජල පිරිපහදුව

සේනානායක සමුද්‍රයේ ජල පෝෂක ප්‍රදේශ ආරක්ෂා කිරීම අරමුණු කොට ගල්ඔය ජාතික වනෝද්‍යානය ආරම්භ කරලා තියෙන්නෙ... ඒ ජලාශයේ ඉදිකිරීම් අවසන් වූ පසු , 1954 පෙබරවාරි 12 වැනිදා.. වනසතුන්ගේ ආරක්ෂාව එහි තවත් අරමුණක්...

මොණරාගල හා අම්පාර දිස්ත්‍රික්ක පුරා පැතිරී ඇති ගල්ඔය ජාතික උද්‍යානය හා අභය භූමිය හෙක්ටයාර් 25900 ක් පමණ විශාලයි...

සේනානායක සමුද්‍ර‍ය පිළිබද තවත් තොරතුරැ මෙතැනින්

ඉර බසිමින් තිබූ සුන්දර සැන්දෑවක  සේනානායක සමුද්‍රයේ අලංකාරත්වය විදගෙන ඔන්න අපි ඔවාගිරිය ඓතිහාසික පුදබිමට ලගාවෙන්න සූදානම්... ගමන අතරතුර ආහාර සදහා එළවලු මිළදී ගැනීමට රථය නතර කලා... පොඩි ඉටිපන්දමක් දල්වාගෙන කඩේ අය වැඩ කරන්නෙ... විදුලි සැපයුමක් නැද්ද කියලා විමසුවාම ලැබුනේ ඉතාම සුවදායක පිළිතුරක්... මහත්තයෝ ඊයේ හවස 3 ඉදන් කරන්ට් එක නෑ... බදුල්ලෙන් එන ලයින් එකට ගහක් වැටිලලු... හෙට එයිද කියන්නත් බෑ...

විදුලි එළිය නැති රැයක හතලිස් ගනනක් සමග නවාතැන් ගැනීම,  ආහාර පිළියෙල කිරීමට / සනීපාරක්ෂක කටයුතු  සදහා....ලොකු අභියෝගයක්... ඒ අභියෝගයත් කෙසේ හෝ අපි ජය ගත්තා..... අදට මේ මදැයි....

4 වන කොටස හෙවත් අවසන් කොටස සමග නැවත හමුවෙමු .


මම සයිබරයේ අලුත් මිතුරා සිරා.....


මීළග කොටසින්


ඔවාගිරිය පන්සල් භූමියේ දුටු  අතිවිශාල පොල් අඹ
රැයට දිස්නය දෙන චන්ද්‍ර‍කාන්ති පාශානයෙන් නිර්මිත බුදුන්ගේ හිටි පිළිමය
අරන්තලාවේ භික්ෂු සංහාරය සිදුවූ ස්ථානය
මහඔය උණු වතුර ළිං
වැදි ගම්මානයේ අපි නොදන්න නිහාල් ජයවර්ධන




ප.ලි

ඉතිහාසය සම්බන්ධ තොරතුරැ වලින් මා සන්නද්ධ කල  පුරාවිද්‍යා උපාධිධාරී මාගේ පැරණි පෙම්වතිය ගෞරවයෙන් මෙහිලා සිහිපත් කල යුතුය. (අලුත් පෙම්වතියක් තවම නැත)  හේතු කීපයක් නිසා ඉතා සුහදව වෙන්වීමට අපට සිදුවිය,  සිය දෙවන උපාධියට සූදානම් වන ඇයගේ වටිනා කාලය කැප කර මාගේ ඉල්ලීමට අනුව මෙම තොරතුරැ මා අතට පත් කිරීම පිළිබද මා ඇයට අතිශය කෘතඥ පූර්වක වන බවද සිරාගේ පාඨකයන්  වෙත දන්වනු රිසි වෙමි. නිකම්ම නිකං චාරිකා සටහනක් වෙනුවට ගත හැක්කක් ඇති සටහනක් තිළිණ කිරීමට සිරා සැමවිටම කැමතිය...




Related Posts Plugin for WordPress, Blogger...