Saturday, August 25, 2012

74 පන්සලේ අපි කල පාඩම්....

අද කියන්න යන්නෙ 2001 වර්ෂයෙ සිදුවුන අවාසනාවට ඇත්ත කථාවක්... මේ වසරෙ සිරා අ.පො.ස උ/පෙ විභාගයට පෙනී සිටි නිසා බොහොම වැර වීරියෙන් පාඩම් කරමින් සිටි කාලයක්... ගෙදර වටේම උන් රාත්තිරියට මහ හයියෙන් ටෙලි ජවනිකා ආදිය බලන නිසා සිරා ඇතුලු මිතුරො සැට් එක සෙට් උනා පාඩම් කරන්න අපේ පළාතෙ පන්සලකට... මේ කියන පන්සලේ නායක හිමියනුත් ඒ අවදියේ අපේ පාසලේ ගුරු මණ්ඩලයේ සේවය කල නිසාත්, අපි තුමාලා අපේ ඉසව්වෙ වැදගත් දෙමාපියන්ගෙ බෝ පැළ වගේ දරුවො ටිකක් නිසාත්,  අපි අහන සැනින් අවසරය ලැබුනා...


පුෂ්පෙ,නගා,වනිගෙ,රුවන්,අකිල, චින්තක ඔන්න සැට් එකේ නම්... නගා කිව්වෙත් කොලුවෙක්.. උගෙ වැඩ නිසා තමයි ඒ තරම් මසුරන් නමක් ඌට යෙදුනෙ.. මේ අය අතරින් රුවන් කන්තලේ , චින්තක පොළොන්නරුව වගේ ඈත පළාත් වල අය, ගම්පහ ප්‍රදේශයේ පවතින හොද යයි සම්මත අතිරේක පන්ති වලට සහභාගි වෙන්න චින්තක පන්සලේ නතර වෙලා හිටියෙ... රුවන් අපේ පන්තියේ එකෙක්...සැට් එකම හවස 6ට විතර පාඩම් කරන තැනදි හම්බවෙනවා... අකිලත් පන්සලේ නැවතිලා හිටියෙ... උගෙ ගම් පළාත ගම්පහ උනත් කොල්ලො රැලට වැටිලා රස්තියාදුවෙ යන නිසා උගෙ දෙමව්පියො බලෙන්ම වගේ ඒකව පන්සලේ නවත්තලා තිබුනෙ.

පුෂ්පෙ පන්සල ලගම එකා නිසා හවසට එන්නෙ විශාල උණුවතුර ප්ලාස්කුවක කට කපලා තේ එකක් අරගෙන... පාඩම් කරන්න ගත්ත මුල් දවස් වල පැය දෙකට තේ එක ඉවර කරලා හැමෝම නිදාගත්ත... පස්සෙ පස්සෙ ඒ ගතිය නැති වෙලා හැමෝම උනන්දුවෙන් වැඩ කොලා. පන්සලේ නැවතිලා හිටිය අයට තිබුනා දෛනික කාල සටහනක් ලොකු හාමුදුරුවො සකස් කල...

අවදි වීම උදේ 5.00, දත කට මැදගෙන පිරිසිදු වීමෙන් අනතුරුව මිදුල ඇමදීම/මල් ආසන පිරිසිදු කිරීම ආදී කාර්යයන්/ ඉන් පස්සෙ පාසල් හෝ පන්ති සදහා සහභාගි වීම, සවස් කාලයේ මල් පැල වලට වතුර දැමීම ආදි කාර්යයන්, මේ පන්සලේ නායක හාමුදුරුවන් උඩරට පළාතක කෙනෙක් හින්දා ඒ පළාත් වලින් ගෙනල්ලා  හිටවලා තිබුනා ලස්සන මල් වර්ග බොහෝමයක්... කෙසේ හෝ මොන වැඩේ තිබුනත් පන්සලේ උන් රාත්‍රී 7 වෙනකොට පාඩම් කරන්න ඉදගන්න ඕනෙ...ඒක තමයි නීතිය.. හාමුදුරුවො රාත්‍රියට ආහාර අනුභවයක් නැති නිසා උන්ට රාත්‍රී ආහාර නෑ... කැමති දෙයක් කඩෙන් කන්න පුලුවන්.... ලොකු හාමුදුරුවො පන්සලේ ඉන්නවා නම් රුවන්,චින්තක වගේම අකිල  ගොයියත් මේ නීති අකුරටම පිළිපැද්දා....

නමුත් හිටපු ගමන් ලොකු හාමුදුරුවො විදේශ ගත වෙනවා මාස 2ක් හෝ 3ක්  වගේ කාලයකට, මේ වගේ අවස්ථා වල ඒ ගමන පිටත්වෙන්න කලින් පන්සලේ වැඩ වාසය කල අනිත් හිමි වරුන් දෙදෙනාට වගේම නැවතිලා සිටි ගිහි අයටත්  සෑහෙන උපදෙස් කන්දරාවක් දීලා තමයි උන් වහන්සේ ඒ ගමන වඩින්නෙ. ලොකු හාමුදුරුවො නැති කල රුවන් ,අකිල වගේම චින්තකයත් පුදුම සතුටෙන් ඉන්නෙ... කාල සටහනක් තිබ්බද කියලත් උන්ට ඒ කාලෙට මතකයක් නෑ...

ඒ වගේ කාලෙට රුවනගෙ සාමාන්‍ය කථා බහ මෙහෙමයි....

පුෂ්පෙ උඹ තේ එක ගෙනා එක හොදයි... අද පන්සලට ලැබුනා කැවුම් කෙහෙල්ගෙඩි තොගයක්... මම රෑ වෙලා ගේන්නම්....මෙන්න සයිස් ආනමාලු... හෙට උදේට පොඩි මහත්තයලගෙ ගෙදරින් දානෙ... පොඩි මහත්තයාගෙ චූටි දුවවත් බලලා ඉදි ආප්ප ටිකකුත් කාලා යන්න ඉදපල්ලා උඹලට පරක්කු නැත්නම්...

තවත් දවසක හැන්දෑවෙ 6 ට පමණ

මට අද නිදිමතයි බන් මම නිදා ගන්නවා... උඹලා රෑ වෙලා තැඹිලි බාන වෙලාවට මට කථා කරපන්... මම මන්නෙකුත් අරන් එන්නම් තැඹිලි කපන්න....

පන්සලේ වාසය කල අනෙක් හිමිවරුන් දෙන්නා රාත්‍රියේ ආවාසෙන් එළියට එන්නෙත් නැති නිසා පන්සලම අපේ වගේ...

දවසක් වනිගෙ

අපේ ගෙදර ඉස්සරහා රෙඩ් ෆාම් පැලයක් හිටෙව්වොත් ලස්සනයි බන් ගලවමුද පැලයක් හාමුදුරුවො නැති එකේ....

ගිණි පෙට්ටියක් අවසන් වෙනතුරු ගිණි කූරු එළියෙන් කඩි ප්‍ර‍හාර වලට ලක් වෙවී අත් වලින් මල් පෝච්චි හාරමින් එදා රෙඩ් ෆාම් පැල ගැලෙව්වා...

තවත් දවසක

අර පාට දෙකේ බෝගන්විලා මල් ලස්සනයි නේද බන්... ගලවමුද ඒකෙනුත් පැලයක්... අර ආවාසෙ කිට්ටුව ගහේ එල්ලලා තියෙන මුට්ටියෙ තියෙන වී ඇට වගේ ගහත් ලස්සනයි... ඒකෙනුත් පැලයක් ගලවමු... මේ විදියට පන්සල පුරාම මල් පෝච්චි වලින් හැම රැයකම පැල එකින් එක අතුරුදහන් උනා..

සමහර දිණ වලට පුෂ්පෙ

මචං නිදිමතයි බන්... හොද පැහිච්ච තැඹිලි වල්ලක් තිබුනා පඩිපෙළ ලග ගහේ, රුවාට කථා කරලා පිහියක් ඉල්ලලා දීපන් මම ගහට නගින්න....

ඔන්න ඉතිං ඒ වගේ දවස්වලට රුවා නාහින් අඩ අඩා කඩා හැලෙන සරන් කොටයත් උස්සගෙන මන්නයත් අරන් වැනි වැනි ඇවිල්ලා මෙහෙම කියනවා...

යකෝ තාම රෑ 11 යි. උඹලා වෙනදා 2ට විතරනෙ බන් තැඹිලි කඩන්නෙ...මට අද ඉස්සරහා ගහෙන් කුරුම්බයක් කඩලා දීපන් හොදද.... එතකොටම ඌට ප්‍ර‍තිඋත්තර ලෙස ලැබෙන කුණුහරුප සංග්‍ර‍හයෙන් අනතුරුව .... ආ එහෙනං කාරි නෑ මටත් තැඹිලි ගෙඩියක්ම කපලා දීපන් කියලා ඌ ගහ ළග ඇන තියා ගන්නවා...

සමහර දවස් වලට නගා (මිනිහා නිකන් ළදක් වගේ තමයි කථා කරන්නෙ...)

ඒයි යමන්කො බන් චූ පාරක් දාලා එන්න......

එවිට අනිත් උන් අතරින් එකෙක්...

මොන මගුලක්ද බොල... ආපු වෙලේ ඉදන් තේ බොනවා ඉවරයක් නෑ... ඔය තේ බීම අඩු කරපන් අපිට වද නොදී... උඹට හුජ්ජ බර නම් ගිහින් කොරගනින්කො අපේ ආතල් කඩන්නෙ නැතුව... මම මේ අරයගෙ ව්‍යාපෘති වාර්තාව හදනවා... නැත්නම් හෙට මීට් වෙලා ඉවරයි...

පරාජය පිළිනොගන්නා නගා...

මම කලුවරට බය හින්දනේ බන් උඹලට කථා කලේ.... උඹලා එන්නෙ නැත්නම් මම මෙතනම කරනවා...

නගාගෙ තර්ජනාංගුලිය හමුවේ ඌට බැන බැනා එකෙක්  උගෙ පසුපස යාම සාමාන්‍ය සම්ප්‍ර‍දාය....

ඔන්න දවසක් ලොකු හාමුදුරුවො විදේශ ගමනක් නිම කරලා ලංකාවට සැපත් වෙලා... කඨින පිංකම හින්දා පහුවදා ශ්‍ර‍මදානයක් ලෑස්ති කරලා පන්සල ශුද්ධ පවිත්‍ර‍ කොරන්න. අපිත් ඉතිං බෑ නොකියා සහභාගි වුනා.

ශ්‍ර‍මදානය දවසෙ ලොකු හාමුදුරුවො

රුවන් අර තැඹිලි ගහේ ගෙඩි අස්සෙන් මොකක්ද පේන්නෙ......

රුවන් - මන්නයක් වගෙයි හාමුදුරුවනේ....

ලොකු හාමුදුරුවො - පන්සලේ මන්නෙ මෙතනට නිකම්ම වැඩියද ? ගෝලයෝ නිකං ඉදලා නෑ වගේ මම             හිටපු නැති දොහේ... කවුද ගස් බඩගෑවෙ ?

රුවන් - හන්දියෙ ගෙදර පුෂ්පෙ තමා කැඩුවෙ.... අපිත් ඉතිං ඔක්කොම හවුල් උනා...

ලොකු හාමුදුරුවො  - පුෂ්ප පුතේ.... අර ඊට මෙහායින් තියෙන තැඹිලි වල්ලත් හොදට පැහිලා... ඒකත් කඹයක් දාලා බාගෙන බොන්න... නිකං පොල් වෙන්න අරින්න ඕනයෑ නේද? පරිස්සමෙන් ගහට බඩගාන්න පුතේ... රෑ දෙගොඩ හරියෙ ගස් බඩගානවා වගේ නෙමෙයිනෙ නේද ?

එදා ඉතිං පුෂ්පයා මහ දවාලෙ ගස් බඩගාලා ඉක්මනට තැඹිලි වල්ල බිමට සම්ප්‍රාප්ත කොලා.... ඊට පෙර දවසක වැරදීමකින් ගහේ දාලා ආපු මන්නයත් එක්කම...

ඔන්න ඉතිං මේ වගේ සිද්ධි අතරින් ඉතා රසවත්ව හැන්දෑවට හැන්දෑවට පන්සලේ පාඩම් වැඩසටහන ක්‍රියාත්මක වෙනවා... සමහර දවස් වලට ලොකු හාමුදුරුවෝම ඒ අයට ලැබෙන වැඩිපුර කෑම බීම අපිට ලබා දෙනවා... තවත් දවසක රාත්‍රී යාමේ හොරෙන් නැගිටලා බලාගෙන ඉන්නවා පන්සලේ උන් 3 දෙනා පාඩම් කරනවද නිදිද කියලා....

සිරිත් පරිදි මේ කියන දවසෙත් අපේ සැට් එක පාඩම් කොරමින් හිටියෙ... රාත්තිරී 11 ට විතර  පන්සලට යාබද නිවසක කෙල්ලෙක් යටි ගිරියෙන් කෑ ගහන සද්දයක් ඇහිලා හැමෝම තුෂ්නිම්භූත වුනා.... විනාඩි දෙක තුනක් ඇවෑමෙන් සද්දෙ නතර  වුනේ ලොකු කෑ කෝ ගැසීමක් එක්ක.... එදා ලොකු හාමුදුරුවො පන්සලේ වැඩ සිටියෙ නැති දවසක්...

සද්දෙ ආපු නිවසේ වෙසෙන්නෙ ඉටි රූප දෙකක් වගේ ගැටිස්සියො දෙන්නෙක්... ගම්පහ ප්‍ර‍ධාන කාන්තා පාසලක ඉගෙන ගත්තෙ.. උන්ට යමක් කමක් තිබුන නිසාත්... රූපයෙන් සෑහෙන්න ලස්සන නිසාත් අපි වගේ කබ්බො සත පහකට ගනන් ගත්තෙ නෑ... පාරෙදි දැක්කත් මූණක් වත් බැලුවෙ නෑ....

කාමරේ නිදියගෙන හිටිය රුවන් වෙඩි වැදුන ඌරෙක් වගේ එකසැරේම පාඩම් කරන තැනට දුවගෙන ආවෙ කාටද බන් යකා ගැහුවෙ කියලා අහගෙන... ඌත් එක්කම ආවා පන්සලේ හැදෙන පින්ගොනා වගේ ඉන්න බොක්සර් වර්ගයේ දඩෝරියා.....මේකා පන්සලේ ඉන්න නිසා හරිම හීලෑයි...  අපිත් ඉතිං පාඩම පැත්තක දාලා අඩියට දෙකට අතට අහුවෙන ඉදල, කොස්ස, සවල,රේක්කෙ ආදිය අරගෙන පන්සල් වැට පැන්නා...දඩෝරියත් අපිත් එක්ක ආවා...

හැබෑටම ඊට පස්සෙ මොකද  උනේ ?  තරහා නැතුව ඒ ටික ඊළග දවසෙ කියවමුද ?


මම සයිබරයේ අලුත් මිතුරා සිරා


ප.ලි

සාංඝික දේ ගැනීම එක්තරා පවකි... ඒ නිසාමදෝ අපේ උන් හිටවපු කිසිම පැළයක් දිගු ආයුෂ වින්දේ නැත.

දිණ කීපයක් නිවසින් බැහැරව යන නිසා උත්තර බැදීමේදි සිදුවන පමාව පිළිබද සමාව භජනය කරන්න..

පාඩම් කරපු නඩෙන් කැම්පස් ගියේ එකෙකි... අනිත් උන් ද කැම්පස් නොගියාට වෘත්තීය ජීවිත ජයගෙන ඇත.












Tuesday, August 21, 2012

63 අරංතලාවේ ඛේදවාචකය

අරංතලාව ස්මාරකය
පොරොන්දුවක් වී නම් එය  ඉටුකල යුතුමය.. එසේ නොහැකිනම් පොරොන්දු නොවී සිටිය යුතුය.                      
දින හතරේ ආගිය තොරතුරු 4 වන කොටසේදී අරංතලාව ගැන පසුව ලියන්නට සිරා පොරොන්දු  විය.
මේ ඒ පොරොන්දුව ඉටුවන දවසයි. මේ පෝස්ටුව අග කොටස දක්වාම කියවන්න.. මන්ද මෙහි වැදගත්ම අපේක්ෂාව ඇත්තේ අග කොටසේ හෙයිනි.

අවවාදයයි - වඩා සංවේදී හදවත් ඇති අය මෙහි ඇති ඡායාරූප මගහැර පෝස්ටුව පමණක් කියවන්න.

කොටි ත්‍ර‍ස්තයා යනු හිතක් පපුවක් නැති ම්ලේඡ නරුමයෝ රැළක්ම වූහ.  විමුක්ති සටනක් යැයි අරුත් ගැන්නුවද මනුෂ්‍යත්වය අතික්‍ර‍මණය කල අමානුෂික  ගතිගුණ උන් කෙරෙන් ප්‍ර‍කට වූයේ වරක් දෙකක් නොවේ. මායිම් ගම්මානයන්හි  කිරිකැටියාගේ සිට මහල්ලන් දක්වා ගැහැණු පිරිමි භේදයකින් තොරව අහිංසක නිරායුධ සිවිල් වැසියන්  පෙති ගසා උණුන්ගේ විමුක්තිය සෙවූ ත්‍ර‍ස්තවාදියාට සුදු හුණු ගාන්නට පසු කලෙක උත්සාහ කල NGO හොර නඩේට මෙන්ම තමන්ගේ රෙද්ද පල්ලේ වැගිරෙන කුණු හංගාගෙන අනුන්ගේ පැටිකිරිය අවුස්සන ඇමරිකානු මානව හිමිකම් ඇත්තන්  කිසිවෙකුටත්  ත්‍ර‍ස්තයා අතින් අමු අමුවේ තිරිසන් අන්දමින් ඝාතනයට ලක්වූ නිරායුධ අහිංසක බුද්ධ පුත්‍ර‍යාණන් වහන්සේලා තිස් එක් නමකගේ මෙන්ම ගිහියන් තිදෙනෙකුගේ ඉරණම විසදුනු මේ සිදුවීම පිළිබද අල්පමාත්‍ර‍යකුදු අනුකම්පාවක්, මතකයක් නොවීය. අද අප නිදහසේ හුස්ම විදින්නේ මෙවැනි කාළකණ්නි ඉතිහාසයක් පසුකර ගෙන පැමිණීමෙන් බව අපේ මතු පරපුරට හෝ දැනගනු රිසියෙන් සිරා මේ සටහන තබන්නට උත්සුක වුනේ.

දින හතරේ චාරිකාව අතරතුර අරංතලා භික්ෂු ඝාතනය සිදුවුන ස්ථානය නරඹන්න ගිය ගමනේදි තමයි මේ කථාව මට විස්තර කල ප්‍රියන්ත අයියා හමුවුනේ... ඒ ප්‍රදේශයේම සිවිල් ආරක්ෂකයකු ලෙස රාජකාරී කරන  ඔහුගෙ මතකයෙ සටහන් වෙච්ච ආකාරයට  රටක් හැඩවූ මේ සිදුවීම මෙන්න මේ විදිහයි.

1987 ජූනි මස 2 වෙනිදා අම්පාර ප්‍රදේශයට වෙනදා වගේම කිසිම වෙනසකින් තොරව හිරු උදාවුනා. ත්‍ර‍ස්ත  භීතියෙන්  ගෙවෙන ජන ජීවිතය බියෙන් සැකෙන් එදිනෙදා වැඩකටයුතු ආරම්භ කරද්දි අම්පාර මහාවාපි විහාරයේ නායක හිමියන් සහ කුඩා හාමුදුරුවරුන් වන්දනා ගමනක්  යන්නයි සූදානම් වෙලා හිටියෙ.  ඒ කුඩා හාමුදුරුවරුන්ට බෞද්ධ සිද්ධස්ථාන පෙන්නන්න නුවර ප්‍රදේශය හරහා  කතරගම පුදේශයට. ඔවුන් සිද්ධිය වන විට අම්පාර මහියංගනය මාර්ගයේ කිලෝමීටර් 40 කට මදක් වැඩි දුරක් පැමිණ තිබුනා.

අම්පාර මහාවාපි විහාරාධිපති, ශ්‍රී විද්‍යානන්ද පරිවේණාධ්‍යක්ෂ , උතුරු නැගෙනහිර දෙපලාතේ ප්‍ර‍ධාන අධිකරණ සංඝ නායක සද්ධම්මාවාගීස්වර සිරි සුමනතිස්ස අතිපූජ්‍ය හෑගොඩ ශ්‍රී ඉන්ද්‍ර‍සාර නාහිමියන් වහන්සේ  තමයි මේ ගමනේ ප්‍ර‍ධාන තැන ඉසුලුවෙ. ධර්ම දර විනය දර භික්ෂූන් වහන්සේ නමක් ලෙස පතල වෙලා හිටිය උන් වහන්සේ.... නියම සංඝ පීතෘෘ වහන්සේ කෙනෙකුගේ ගතිගුණ විද්‍යාමාන කරමින් ත්‍ර‍ස්ත භියෙන් සලිතවෙලා ඉන්න ගම්වාසීන්ට සවියක් වෙලා අම්පාර ප්‍රදේශයේම වැඩ සිටිමින් ඔවුන්ට ශක්තිය ධෛර්යය සැපයූවා. මෙහි ගම්වැසියන් අදත් උන් වහන්සේ සිහි කරන්නෙ හද පිරි බැතියෙන්.

අපවත් වූ අතිපූජ්‍ය හෑගොඩ ශ්‍රී ඉන්ද්‍ර‍සාර නායක හිමි

ප්‍රියන්ත අයියාගෙ වචනෙන්ම එතැන සිට කථාව මෙහෙමයි...

ඔය කියන කාලෙ මම පිරිවෙනට දහම්පාසල්  යන කාලෙ... අම්පාර ඩිපෝ එකේ ලංගම බස් එකක තමයි මේ හාමුදුරුවරු ඇතුලු පිරිස ගමන යන්න සූදානම් වෙලා තිබුනෙ. ඒ දවස් වල ආමි එකේ STF එකේ ලොකු කෑම්ප් මේ හරියෙ තිබුනෙ නෑ.. තිබුනෙ ග්‍රාමාරක්ෂයන්ගෙ ගෙවල් දෙකක් තුනක් විතරයි. පාර දෙපැත්තෙම  රූස්ස තේක්ක ගස් පිරුන මාන කැලේ. අද ප්‍ර‍ධාන පාර අද්දර බුදුමැදුර හදලා තියෙන තැන  ගෙවල් තිබුනට ඒ කාලෙ එතැන තිබුනෙ හේන් වලට යන අඩිපාරක් විතරයි. ඔය කියන දවසෙ උදේ 6.30 ට විතර  මේ හරියෙදි තේක්ක කොටයක් දාලා පාර හරස් කරලා වයස අවුරැදු 20 - 22 වගේ   ආමි එකේ ඇදුමට සමාන ඇදුමක් ඇදපු LTTE කොටියෙක්. හෝව් හෝව් කියලා මේ බස්රථය නතර කලා කියලයි කියන්නෙ. මේ බස්රථයේ ඩ්‍රැයිවර් මහත්තයා මේ කියන පිරිවෙන හරියෙම කෙනෙක් නිසා යුධ හමුදා මාර්ග බාධකයක් කියලා හිතලා බස් එක නවත්තලා..

මහත්තයෝ මේ හාමුදුරුවො වන්දනා යන බස් එකක් කියලා කොටියට පිළිතුරු දීලා.. ඒ වෙද්දි රියදුරා දැකලා තියෙනවා බස් එක නවත්තපු කොටියට අමතරව  පාර වම් පැත්තෙ අයිනෙ  තවත් දෙන්නෙක් තුන් දෙනෙක් කැති, පොරෝ තියාගෙන ඉන්න අන්දම,

එවිටම වගේ නවත්තපු බස් එකට මේ අය නැගලා ඩ්‍රැයිවර්ව භය ගන්නලා ගේන්න තියා හිතන්නවත් බැරි තේක්ක/මාන කැලේ මීටර් 200 ක් විතර බස් එක අරගෙන ඇවිල්ලා,  තව දුරටත් කැළෑව නිසා ඉදිරියට යන්න බැරි තැන නතර වුන බස් රථයේ ඉදිරි ටයර් වලටයි වින්ඩ්ස්ක්‍රීන් වලටයි වෙඩි තියලා තියෙනවා.. මේ වෙලාවෙ ලොකු හාමුදුරුවො හිතලා තියෙන්නෙ කොල්ල  කල්ලියක් බස් එක කොල්ල කන්න කැළේට අරන් ඇවිත් කියලා,

එදා බස්රථය කැළෑවට ධාවනය කල මාර්ගය අද

මගෙ පොඩි කට්ටියට මොනවත් කරන්න එපා
මාව ඕනෙ නම් මරපල්ලා... මම සල්ලි ඕනෙනම් සල්ලි දෙන්නම්.. කියලා ලොකු හාමුදුරුවො කෑ ගහලා තියෙනවා.

එතකොටම පළවෙනි කඩුපාර ගහලා තියෙනවා ලොකු හාමුදුරුවන්ගෙ ඔලුවට... ඊට පස්සෙ වෙඩි 2ක් තියලා තියෙනවා. වැඩිය වෙඩි තියලා නෑ සද්දෙ ඇහේවි කියලා... අර පිච්චිලා වගේ පේන ගහ ළගට (ප්‍රියන්ත අයියා ස්මාරකයට මද දුරකින් පිහිටි ගසක් පෙන්වයි)  තමයි බස් එක ගෙනල්ලා නවත්තලා තිබුනෙ.

පාර අයිනෙ හිටපු ග්‍රාමාරක්ෂකයො හය හත් දෙනෙක් දැකලා තියෙනවා ටිකකට කලියෙන් හාමුදුරුවො පිරිස පිරිත් කියාගෙන බස් එකේ යන අන්දම, ඒ ගොල්ලන්ටත් වෙඩි සද්දෙ ඇහිලා තියෙනවා... මොකද ඒ දවස් වල වැඩියෙන්ම වෙඩි සද්දෙ අහුනෙ තොප්පිගල, මඩකලපුව පැත්තෙන් හින්දා ඒ ගොල්ලොත් වෙඩි තියාගෙන සැකේට වගේ කැලෙන් කැලෙන් මේ පැත්තට ඇවිල්ලා තියෙනවා...



Google මගින් ලබාගත් මියගිය හිමිවරුන්ගේ මෘතදේහ පිළිබද ඡායාරූප

ඒ ගොල්ලො බස් එක ලගට එනකොට වෙන්න තියෙන හැමදේම වෙලා ඉවරයි. හාමුදුරුවො 39 දෙනෙක් අතරින් 31 නමක් ම ඝාතනය වෙලා ඉවරයි... ඒ අතරින් කිසිම තුවාලයක් හෝ නැතුව කම්පනය නිසා මියගිය කුඩා හාමුදුරුවන් තිදෙනෙක් ඉදලා තියෙනවා. එක කොටියෙක්ගෙ වත් මිනියක් හම්බුනේ නෑ.. උන් කැලේ පැත්තෙන්ම පලා ගිහිල්ලා කිසිම හානියක් නැතුව. ග්‍රාමාරක්ෂකයො මේ පැත්තට වෙඩි තියාගෙන ආපු නිසා 8 නමක් බේරුනා.. එකම එක හාමුදුරු නමක් විතරක් කිසිම සීරිමක් හෝ නැතුව බේරිලා තිබුනා... කොටි බස් එකේ ඉස්සරහ ඉදන් පිටිපස්සට කපාගෙන කොටාගෙන එනකොට මේ හාමුදුරුවො කලන්තෙ දාලා සීට් එක අස්සට වැටිලා.. ඊට පස්සෙ එයා උඩින් අපවත් වුනු අනිත් හාමුදුරු වරු වැටිලා ඉදලා තියෙන නිසා එයා බේරුනා. අනිත් 7 දෙනාගෙන් පස් දෙනෙකු වගේ සිවුරු අතඇරලා තියෙන්නෙ... මොකද ඒගොල්ලො ආබාධිත වුන නිසා. මහියංගනේ ආදාඋල්පත පන්සලේ ඉන්නවා... රූපවාහිනියටත්  වඩින හාමුදුරු නමක් සුසුම්නාව කැපිලා ආබාධිත වෙච්ච හින්දා රෝද පුටුවෙන් තමයි උන් වහන්සේ ගමන් කරන්නෙ. තවත් හාමුදුරු කෙනෙක් ඉන්නවා පුඥ්ඥසාර කියලා  කල්මුණේ පාරෙ, උන් වහන්සේ මනසින් අතපයින් ආබාධිත වෙලා තියෙන්නෙ.

සියල්ලන්ම කපලා කොටලා මරලා දාලා බස් එක පුච්චන්න තමයි  කැළේට බස් එක ගෙනල්ලා තියෙන්නෙ. ඩැයිවර් මහත්තයා වැදලා කියලා තියෙනවා බුදු මහත්තයෝ මාව මරන්න එපා මට ළමයි හය දෙනෙක් ඉන්නවා.. මම මළොත් උන්ට කන්න දෙන්න කෙනෙක් නෑ කියලා... හොදටම කපලා කොටලා තිබුන ඩ්‍රැයිවර්ගෙ මිනිය තිබ්බෙ බස් එකේ ඉස්සරහ ෆුට් බෝඩ් එකේ. ඒ වගේම කොන්දොස්තර තැන වගේම ආවතේව කටයුතු වලට ආපු කෙනාවත් උන් මරා දාලා තිබුන.


මේ සිද්ධිය වෙන්න අවුරුද්දකට වගේ කලින් අරන්තලාවෙ හේන් ගොවිතැන්  කරමින් හිටපු , බඩදරු අම්මා කෙනෙක් එක්ක 28 දෙනෙක් කපලා කොටලා මරලා දාලා තිබුනා. මේ ගම්වල පරණ අය හුග දෙනෙක් කපලා කොටලම තමයි මරා දැම්මෙ.

පිහිටි ගලක් තිබුන නිසා ඒක උපයෝගී කරගෙන තමයි මේ ස්මාරකය මෙතැන ඉදිකරලා තියෙන්නෙ. ඊට අමතරව  ඉන්දියාවෙන් රැගෙන විත් රෝපණය කල ජය ශ්‍රී මහා බෝධි අංකුරයක් වගේම බුදු මැදුරකුත්  තිබෙනවා.. ප්‍ර‍ධාන මාර්ගයෙන් මේ අතුරු පාරට හැරෙන් ස්ථානයෙත් බුදු මැදුරක් තනා තියෙනවා.

බෝධි ප්‍රාකාරය සහ බුදු මැදුර

කිරිදිවැල සෝමරතන හාමුදුරුවො තමයි දැන් නායක හාමුදුරුවො විදියට කටයුතු කරන්නෙ.. උන් වහන්සේ ඒ කාලෙ කැම්පස් එකේ ඉගෙන ගත්ත නිසා මේ ගමනට ආවෙ නෑ... නැත්නම් මේ ඉරණමටම ලක්වෙන්න ඉඩ තිබුනා. එහෙම කියපු ප්‍රියන්ත අයියා දිග හුස්මක් ගත්තා.

හෑගොඩ විපස්සි කියන හාමුදුරුවො පස්සෙ කාලෙක මේ සිද්ධිය ගැන සදහන් කරලා පොතක් ලියලා තියෙනවා ඒ පොතෙන් උපුටාගත්ත සමහර තොරතුරු මේ විදියට දක්වන්නම්.


අරන්තලාවේදී ඝාතනයට ලක් වූ තිස් නම (නායක ස්වාමීන් වහන්සේ හැර අනෙක් අය)

 1    පූජ්‍ය පරගහකැලේ විජිතනන්ද හිමි (වයස 24 )
 2    පූජ්‍ය කලුගල ආනන්ද සාගර හිමි  (වයස 19 )
 3    පූජ්‍ය වාවින්නේ සද්ධාවංශ හිමි  (වයස 19 )
 4    පූජ්‍ය කෙහෙල්පොත සුගතපාල හිමි  (වයස 18 )
 5    පූජ්‍ය තල්ගමුවේ උපරතන හිමි  (වයස 18 )
 6    පූජ්‍ය වාවින්නේ සද්ධාතිස්ස හිමි  (වයස 18 )
 7    පූජ්‍ය වාවින්නේ ගුණවංස හිමි  (වයස 17 )
 8    පූජ්‍ය වාවින්නේ අත්ථදස්සි හිමි  (වයස 17 )
 9    පූජ්‍ය මහියංගනයේ ගුණසෝම හිමි  (වයස 17 )
10   පූජ්‍ය කුරුපනාවෙල කෝලිත හිමි  (වයස 17 )
11   පූජ්‍ය මන්ත්‍රීතැන්නේ ධම්මදස්සි හිමි  (වයස 16 )
12   පූජ්‍ය කොමාරියේ විමලජෝති හිමි  (වයස 16 )
13   පූජ්‍ය හදුන්ගමුවේ අරියවංස හිමි  (වයස 15 )
14   පූජ්‍ය දම්මරාවේ මහින්ද හිමි  (වයස 15 )
15   පූජ්‍ය මාවාවින්නේ විජිත හිමි  (වයස 14 )
16   පූජ්‍ය කොටවෙහෙර විමලබුද්ධි හිමි  (වයස 14 )
17   පූජ්‍ය කුරුණෑගල පඥ්ඥානන්ද හිමි  (වයස 14 )
18   පූජ්‍ය හදුන්ගමුවේ බුද්ධරක්ඛිත හිමි  (වයස 13 )
19   පූජ්‍ය රජගලතැන්නේ පුණ්ණජ හිමි  (වයස 13 )
20   පූජ්‍ය කුරුපනාවෙල ධම්මපාල හිමි  (වයස 13 )
21   පූජ්‍ය දේවාලහිද ධම්මරක්ඛිත හිමි  (වයස 12 )
22   පූජ්‍ය අඹගහවැල්ලේ සරණ හිමි  (වයස 12 )
23   පූජ්‍ය මහිහංගනයේ වජිරබුද්ධි  හිමි  (වයස 12 )
24   පූජ්‍ය මහියංගනයේ සුමන හිමි  (වයස 12 )
25   පූජ්‍ය මහියංගනයේ ආනන්ද හිමි  (වයස 11 )
26   පූජ්‍ය මහියංගනයේ විපුලසාර හිමි  (වයස 11 )
27   පූජ්‍ය දේවාලහිද අනෝමදස්සි හිමි  (වයස 10 )
28   පූජ්‍ය කලුගල පාලිත හිමි  (වයස 09 )
39   පූජ්‍ය තෙරිපැහැ සෝභිත හිමි  (වයස -)
30   පූජ්‍ය රාහුල ආනන්ද හිමි  (වයස - )

මේ සිද්ධියෙන් ඝාතනය වූ කුඩා හිමිවරුන් පවා සිංහල , දෙමළ හා  ඉංග්‍රීසි  භාෂාවලින් ධර්ම දේශනා පැවැත්වීමට පුහුණුවක් ලබා තිබූ බවත්, ඉගෙනීමට, කවි සෑදීමට, චිත්‍ර‍ ඇදීමට උපන් හපන් කම් තිබූ කුඩා හිමිවරුන් කීප දෙනෙක්ම සිටි බවත් සදහන්... මේ සියල්ලෝම අපවත් වූ නාහිමියන්ගෙ ගෝලයෝය.



ඝාතනයට ලක් වූ ගිහියන් තිදෙනා

01   ජී.ජී. සමරපාල  (රියදුරු මහතා )
02   එන්. පී. ජිනදාස  (කොන්දොස්තර මහතා )
03   වසන්ත ජයවර්ධන තරුණ මහතා (ආවතේවකරු)

දිවිගලවාගත් අට නම

01  අම්පාර ශ්‍රී විද්‍යානන්ද පිරිවෙණේ ජේෂ්ඨ ආචාර්ය, පුවීනාචාර්ය වළල්ලාවිට විමලඥාණ මහා ස්ථවිර
02  හගුරන්කෙත පුඥ්ඥසාර හිමි
03  හෑගොඩ දේවානන්ද හිමි
04  ආදාඋල්පත බුද්ධසාර හිමි
05  නුගේලන්දේ ඉන්ද්‍ර‍සුමන හිමි
06  රිදින්ගමුවේ  ඉන්ද්‍ර‍සුමන හිමි
07  හදුන්ගමුවේ දයාලංකාර හිමි
08  වාවින්නේ සිරිනන්ද හිමි



ඔන්න දැන් තමයි අපි වැදගත්ම කොටසට එළඹෙන්නෙ


කුරිරු ත්‍ර‍ස්තවාදයේ ප්‍ර‍තිඵලයක් ලෙස දැයට අහිමි වුනු මේ බුද්ධ පුත්‍ර‍යාණන් වහන්සේලා අධ්‍යාපන කටයුතු කල අම්පාර ශ්‍රී විද්‍යානන්ද පිරිවෙන තමයි පුදේශයේ විශාලම පිරිවෙන් විද්‍යාස්ථානය.  මේ සිදුවීමෙන් මිය ගිය ස්වාමීන් වහන්සේලා 31 නම වෙනුවෙන් සෑම වසරකම ජූනි මස 2 වෙනිදා කුල දරුවන් 31 දෙනෙකු පැවිදි කරනවා. ඒ අනුව සෑම විටකම අඩුම තරමින් 100 - 150 ත් අතර කුඩා ශිෂ්‍ය  භික්ෂූන් වහන්සේලා පිරිසක් පිරිවෙනේ නොයෙකුත් අවහිරතා මධ්‍යයේ අධ්‍යාපනය ලබනවා...

උන් වහන්සේලාට ජලය හිගයි. මේ වගේ විශාල පිරිසකට ලැබෙන නළ ජලය ප්‍ර‍මාණවත් නෑ... ඒ නිසා අලුත් නළ ලිදක්වත් ඉදිකරන්න වෙනවා, ඉගෙනීමට  අවශ්‍ය අධ්‍යාපන උපකරණ ඒ කිව්වෙ පොත් පත්, පෑන් ,පැන්සල් ආදියත් ප්‍ර‍මාණවත් පරිදි නෑ ,  පරිගණක අධ්‍යාපනය ලබන්න මේ හැමෝටම තියෙන්නෙ පරිගණක 2ක් පමණයි., එදිනෙදා ලැබෙන දානය ප්‍ර‍මාණවත් නැති නිසා පුලුවන් විදියට නායක හාමුදුරුවො කෑම සකසන්න කටයුතු යොදාගෙන තියෙනවා...

මේ කුඩා හාමුදුරුවරු අපේ බුද්ධ ශාසනයේ හෙට දවසයි. අධ්‍යාපනය අවසන් උනාට පස්සෙ ලංකාව පුරාම බෞද්ධ ප්‍රබෝධය ඇති කරන්න උන් වහන්සේලා  ගම් නියම් ගම් පාසා වැඩම කරාවි. අර්ථයෙන් ධර්මයෙන් කටයුතු කරන්නට ජනතාවට කියාදේවි. ඒ සදහා අවැසි අධ්‍යාපනය යහපත් අන්දමින් ලබා ගන්න ඒ පිරිසට දායකත්වයක් දක්වන්න පුලුවන් නම් හොදයි නේද ?

සල්ලිකාර දායක දායිකාවන් නැති අහිංසක ගොවීන් වෙසෙන , මේ ප්‍රදේශයේ ඇත්තො තමන්ට හැකි උපරිමයෙන් මේ අඩුපාඩු සපුරාගන්නට උදව් කලත් එය සම්පූර්ණ නෑ.. ඒ නිසාම

ආර්ථික අතින් යහපත් තැනක සිටින ඔබ යහපත් සමාජකටයුත්තකට මුදල් පරිත්‍යාග කරන්න සූදානමෙන් සිටිනවා නම් මේ කටයුත්ත ඊට ගැලපෙනවා විය හැකියි...

ඔබ සමාජ සත්කාර්යයක නිරත වෙන්න කැමැත්තෙන් සිටින ආයතනයක් නම් මේ ඊට හොදම අවස්ථාව විය හැකියි.

එසේත් නැතිනම් මෙය කියවන ඔබ එවැනි කෙනෙකු හදුනනවා  විය හැකියි... ඔබට හැකි නම් මේ තොරතුරු එවැනි අයගේ අවධානයට යොමු කරන්න.

කාලයක් පුරාවට ත්‍ර‍ස්තවාදයෙන් බැට කෑවත්, බුද්ධ ශාසනයේ නාමයෙන් භියේ  සැගව නොගොස් අපේම අහිංසක සිංහල ගම්වාසී ජනතාවගේ සුභ සිද්ධියට කැපවුනු මේ  සංඝ පරපුරට අපේ උපරිමයෙන් උදව් කරමු.

වැඩිවිස්තර  මේ දුරකථන මාර්ග වලින් දැනගන්න පුලුවන්.

අම්පාර මහාවාපි විහාරාධිපති, දිගාමඩුල්ල ශ්‍රී විද්‍යානන්ද පරිවේණාධ්‍යක්ෂ උතුරු නැගෙනහිර පළාත් පිරිවෙන් අධ්‍යාපන සම්බන්ධීකරණ අධ්‍යක්ෂ, අරන්තලා ඉන්ද්‍ර‍සාර බෞද්ධ මධ්‍යස්ථානාධිපති.

ශාස්ත්‍ර‍පති පූජ්‍ය කිරිදිවැල සෝමරතන හිමි 
දුරකථන අංක

0718 333322 / 063 2222314


මම සයිබරයේ අලුත් මිතුරා සිරා

ප.ලි

සිරා මේ වන විට මෙම කාර්යය සදහා මුද්‍රිත ජනමාධ්‍යයේ සහයෝගය ලබා ගැනීමට කටයුතු කරමින් සිටී.

පිරිවෙන් විහාරස්ථානයේ පවතින අඩුපාඩු පිළිබද තොරතුරු ලබා ගත්තේ පූජ්‍ය ගල්කන්දේ අස්සජී හිමියන් මගිනි.

ආධාර පත්‍ර‍ එකතු කිරීමක් නැත. හැකියාවක් ඇති අයට  ඉහත දුරකථන අංක වෙත අමතා විහාරාධිපති හිමියන් සම්බන්ධ කර ගත හැක.



Sunday, August 19, 2012

60 කිරි අම්මා නික්ම ගියාය

අනිච්ඡාවත සංඛාරා, පණ නම් තණ අග පිණි බිදු වැන්නේ, ප්‍රියෙහි විප්පයෝගෝ දුක්ඛෝ (ප්‍රියයන්ගෙන් වෙන් වීම දුකකි), හා සංයොගා වියෝ ගන්තා (සෑම හමුවීමකම වෙන්වීමක් ඇත)

නානා ප්‍ර‍කාර අදහස් රැගත් මරණ බැනර් ධවල පැහැයෙන් නිවෙස වටා දිවෙන කොළ පාට දැලේ එල්ලී ඇත. ඇගේ අවසන් කටයුතු වලින් ඉක්බිති ගෘහය පුරා තවමත් ඇත්තේ වචනයෙන් කිව නොහැකි පාලුවකි. නිවැසියෝ තැන් තැන් වල කල්පනා ශරීරයෙන් සිටින අතර සාලයේ පොල්තෙල් පහනක් දින කීපයක් පුරා නොනිමී දැල්වේ. ජීවිත ගමනේ අනිත්‍ය පිළිබද බුදු පියාණන් දෙසූ ධර්මය පසක් කරමින් සිරාගේ ජීවිතයට තවත් අසුන්දර ඉරිදාවක් එක් කර ඇය ගම්පහ රෝහලේදී  ගිය ඉරිදා අවසන් හුස්ම හෙලුවාය. ඉන් ඉක්බිති සදුදා හවස් යාමයේ සිරාගේ කිරි අම්මා රූපකායෙන් අප සැමගෙන් සමුගෙන කනත්තේ පස් යට සැගවුනාය. ඒ ඇගේ අවසන් ඉල්ලීම පරිදි පැය 24ක් ඇතුලතය.

ඉකුත් අප්‍රියෙල් මස අවුරුදු සාදයේදී කිරි අම්මා මුහුණ දුන් අවසන් ඡායාරූප වලින් එකක්...
දකුණු පස කෙළවරේම සිරාගෙ තාත්තා හා ඊට යාබදව සිරාගේ එකම සහෝදරයා වේ.
ඉරිදා උදෑසන හීනියට පටන් ගත් පපුවේ රිදිල්ල නිසා ඇයගේ කැමැත්තද නොවිමසා කිරි අම්මා ඉක්මනින් රෝහල් ගත කලේ ඇගේ ජීවිතයට අවධානමක් එමගින් අත් වේ යැයි භියෙන්. වෛද්‍යවරුන් පපුවේ අමාරුවක් යැයි හදුනා ගත් සැණින් කල යුතු සියල්ල කලෝය. වෛද්‍යවරියන්  ර්‍අම්මේ ර්‍ යැයි ආමන්ත්‍ර‍ණය කරමින් ඇයගේ සුරත අතපත ගෑවාය.. ඇය සමග විහිලු කලාය.. ලෙඩ ඇදේ සිට හෝ ඒවාට ප්‍ර‍තිචාර දැක්වීමට කිරි අම්මාද සමර්ථ වූවාය. තත්වය එන්න එන්නම නරක අතට හැරෙන විට ජීවකයානෝ බොහෝ පිරිසක් ඇගේ ඇද වටා විය. ඇගේ හෘර්දය සම්භාහනය සදහා වඩා උස නොවූ හෙදි සොයුරියකට අපහසු  වීම නිසා ඇය ඒ කාර්යය සදහා ඇද මතට නැග්ගේ නයිටිංගේල් පරපුරේ නූතන නියෝජනය ගැන මා සිතේ ගෞරවයක් ඇති කරවමිනි. කෙසේ හෝ මිනිත්තු කීපයක ඇවෑමෙන් මරුවා ජයගත්තේය. ජීවිත ගමනේ 78 වන කඩඉමේදී කිරි අම්මා අපට සමුදුන්නාය. එය තවමත් හීනයකි... උදෑසන අප සමග කථා බහ කල ඈ රාත්‍රී යාමය වන විට මිනී පෙට්ටියක නිස්කලංකව සැතපී ඇති ආකාරය දුටු විට මා හට අදහා ගත නොහැකි විය. ලෝක ධර්මතාව හමුවේ එය තවත් එක් මරණයක් පමණක් විය හැක... එහෙත් මානුෂීය බැදීම් හමුවේ අප වඩාත් සංවේගයට පත් වූ දිණයකි.

කුඩා එකකු කාලයේ සිට අද දක්වාම ඈ මා වෙත දැක්වූ සෙනෙහස, හිල් පොල් කට්ටෙන් දිය නෑවූ අතීතය, ජරා ජීරණ වූ කල අලුත් ඇදුම් අන්දවා පියරු බිදක් ඉස නලල මැද්දට වෙන්න ලොකු මොට්ටුවක් තැබූ යුගය මට කදුලු අතරින් සිහිපත් විය. මා කැටුව පන්සල් ගිය හැටි, මා වෙනුවෙන් උයා පිහා දුන් හැටි මා හට  තව තවත් රිදවීය. කෙනෙකු ජීවත් ව සිටින තාක් කල් නොදැනෙන අගයක් මිය ගිය පසුව දැනෙන අරුමය විදිමි.

ජීවිතය නම් මායා රගමඩලේ අපි සියල්ලෝම නලු නිලියෝ නොවෙත්ද ? දිනය එළැඹුනු කල එතෙක් කල් ගොඩ ගැසූ ධනය,බලය, සියල්ල හැරදමා මේ තාවකාලික නවාතැනින් සමුගත යුතු නොවේද ? අහෝ ... අභාග්‍ය නම් සමහරුන් කිසිදා නොමියෙන්නන් ලෙස අනුන් පෙලා තමා ජීවත් කරවන්නට යත්න දරන ඛේදනීය උත්සාහයයි.  මෙය කියවන ඔබද එවැනි අයෙකු යැයි ඔබේ හෘද සාක්ෂිය සන් කරනවා වෙන්නටත් පුලුවන්.. එසේනම් දැන්වත් වෙනසකට මුල පුරන්න යැයි මම ඔබට ඇරයුම් කරමි. විශේෂයෙන් ඔබ ආදරණීයව මේ ලොව තුල උස් මහත් කල අය වෙනුවෙන් ඔබේ යුතුකම් කොටස ඉටු කරන්නට අවධාරනය කරමි.

කෑගල්ලේ නෙලුම්දෙනියේ ඉපිද විවාහය සමග ගම්පහ පුරවරයට සැපත් වූ ඇය... මිය යන විට සිටියේ ඇගේ වැඩිමල් දියණිය හෙවත් සිරාගේ මව සමග අපේ නිවසේ වාසය කරමිනි. අප නිවසට පැමිණෙන කෙටි කාලය අතර තුර වුව ඇය වටාපිටාවේ අයට පෑ දයාවේ ආනුභාවයෙන් ඈ  වටා කෙතරම් නම් ජනතාවක් සිටියේද යන්න අපට ප්‍ර‍ත්‍යක්ෂ වූයේ ඇයට සමුදෙන්නට නිවසට පැමිණි ජනතාව දුටු විටය. සිරාගේ තාත්තාද සිය නැන්දනියට මවක මෙන් පුදසත්කාර කළේය. ඒ ඔහුගේ මව මේ වන විටත් අහිමි වී තිබීමේ අඩුව ඔහුට මදක් හෝ එමගින් සම්පූර්ණ වන්නට ඇති නිසා යැයි මට සිතේ. අවමංගල අවස්ථාවට අවැසි සෑමදේම අසල්වැසි පිරිස් ස්වේච්චාවෙන් සම්පාදනය කලේ අප ගම් පෙදෙසේ තවමත් මනුෂ්‍යත්වය ඉතිරි වී ඇති බවට දෙස් දෙමිනි.

අවසන් කටයුතු සිදුකල දින  මතක වස්ත්‍ර‍ පූජා කර පැන් වැඩීමෙන් අනතුරුව සාරධර්ම දේශක ගිල්බට් කරුණාරත්න මහතා මව්ගුණ ගැන ඉතා සංවේදී කථාවක් පැවැත්වූයේය. කථාව අතරතුර මව අහිමි ඔහු මෙන්ම තවත් අය ප්‍ර‍සිද්ධියේ සිය කදුලු ගංගාවට ඔහේ ගලා යන්නට ඉඩ දුන්නේ මව් ගුණ යනු අපේ ඇට මස් ලේ නහර විනිවිද ගිය මහා බලයක් බව පසක් කරමිනි. පාංශු කූලය සදහා වැඩම කල කුඩා ස්වාමීන් වහන්සේ නමකගේ දෑසින් වැගිරෙන කදුලු බිදු කථාව ඇරඹීමට කලියෙන් පැන්වැඩීමට බිම හිදගෙන සිටි මා හට පෙනින. උන් වහන්සේටද මවගේ අරුම සැනින් දැනෙන්නට ඇත.. චීවරය ගත දරා අලුත් ඉමකට ප්‍ර‍විශ්ඨ වී නිවන් මග සොයන බුද්ධ පුත්‍ර‍යකු බව අමතක වන්නට ඇත.

ගිල්බට් මහතා එදා පැවසූ කථාවක් මෙසේය.
බුද්ධ කාලයේ එක්තරා සිටු නිවෙසක ප්‍ර‍ත්‍ර‍යෙක් මහන දම් පිරීමට  නිවෙසින් නික්මී සසුන් ගත විය. එම දෙමාපියන් සතු එකම පුත්‍ර‍ රත්නය වු ඔහු බුදු සසුනට ඇතුලු වීමෙන් අනතුරුව ගම් නියම් ගම් පුරා ධර්මප්‍ර‍චාරය සිදු කර සෑහෙන කල් ඉක්ම ගිය පසු නැවතත් තමා කුඩා කල විසූ ජනපදයට වැඩම කළේය. ගෙයින් ගෙට පිඩු සිගා වඩින ගමනේදී  තම නිවසටද පැමිණියෙන් මහලු පුද්ගලයකු බවට පත්ව සිටි පියා  වැඩම කර ඇත්තේ තම පුතු බව නොදැන හුනස්නෙන් නැගිට නිවෙස තුලට ගොස් ඇඹේනියගෙන් විමසුවේ පිඩු සිගා වඩින හිමි නමක් පැමිණි බවත් දන් දීමට කිසිත් නැතිද යන වගත්ය.  අපිට බොන්න හදාගත්ත කැද කෝප්ප දෙක මිස කිසිත් නොමැති බවට ඈ දුන් පිළිතුර ශ්‍රවණය වූ හිමි නම බොහෝ සංවේගයට පත් විය. මහලු වියට එළඹ ඇති සිය මාපියන් හට කිසිවෙකුගේ සරණක් නොමැති හෙයින් උපැවිදිව ඔවුන්ට උවටැන් කිරීමට සිතීය. චීවරයේ සිට මේ කාර්යය කිරීමට නොහැකි බව උන් වහන්සේ මුලින් සිතුවත් පසුව ඒ අදහස අතහැර චීවරයේ සිටිමින්ම දෙමාපියන් පෝෂණය කිරීමට ඉටා ගත්තේය.

දැන් මේ භික්ෂුව දිනපතා පිඩුසිගා වඩී.. ලැබෙන දෙයින් දෙමාපියන් පෝෂණය කර ඉතුරු වන දෙයක් වේ නම් උන්වහන්සේ වළදයි. කෙසේ හෝ මේ පුවත කෙටි කලකින්ම අනෙකුත් භික්ෂූන් වෙත දැනගන්නට ලැබී පවුල් නඩත්තු කරන භික්ෂුවක් ලෙස හංවඩු ගසා බුදු රදුන් ඉදිරියට පමුණවා ඇත.

ශ්‍ර‍මණය !! මේ කියන කථාව ඇත්තක්ද ? යනුවෙන් බුදු රදුන් විචාළෝය...

එසේය ස්වාමීනී යනුවෙන් පිළිවදන් සැපයූ භික්ෂුව තමා මුහුණ පෑ සිදුවීම නොවලහා හෙලි කළේය. තමා පැවිදි වීම හේතුවෙන් මහලු වියට පත් දෙමාපියන් හට පිළිසරණක් නොමැති හෙයින් මෙසේ ක්‍රියා කරන බව දැන්වීය.

ඒ බස් ඇසු තිලෝගුරු බුදු රජානන් වහන්සේ සාධුකාර පැවැත්වූ සේක !!! 

දෙමාපියන්ට සැළකීම යනු තමන් වහන්සේට සැලකීමටත් වඩා උතුම් වූ පිනක් බවත්  බුදු බවට පත් බුදු කෙනෙකුටත් වඩා ඉදිරියෙන් මව හා පියා තබවා ඔවුන් වෙත කරනා පුද සත්කාර ඉමහත් ආනිශංස සහිත බවත් පහදා ධර්මය දේශනා කල සේක.... ගෙදර බුදුන් අම්මා යැයි බුදුන් වහන්සේ දේශනා කර ඇත්තේ මවක් සිය ජීවිත කාලය තුල දරුවන් වෙනුවෙන් කරනා අසීමිත කැප කිරීම් නිසා බැව්  මේ කථාබහ සභාවට ගෙන හැර පෑ ගිල්බට් කරුණාරත්න මහතා පැවසූවෙන් අවමංගල සභාව බොහෝ සේ හැගීම්බර විය. ඇතමෙක් තැන් තැන් වල තනිව හැඩුවේ තම තමන්ගේ නැසී ගිය මව්වරුන් සිහිපත් වීම නිසා විය යුතුය.

කථාබස් අවසානයේ කිරිඅම්මා සහිත දෙන ඉහළට එසැවිනි. එහි බර දරාගෙන එක් කෙළවරක මාද තවත් කෙළවරක මගේ මළනුවන්ද විය... අප දෙදෙනාම කුඩා කල හදා වඩා ගැනීමට මවට දැක්වූ සහයෝගය ඇතුලු බොහෝ දේ මට කනත්ත දක්වා ප්‍ර‍ධාන මාර්ගයේ පාගමනින් ගිය ඒ ගමනේදී සිහිපත් විය. ඉදිරියට පැමිණි බොහෝ රථ වල රියැදුරන් අසුනෙන් නැගී සිට ගෞරව දක්වන විට මට සිහිපත් වුනේ අපේ සමාජයේ තවමත් සාරධර්ම සුරකින පුද්ගලයන් සිටිනවා නොවේද යන්නයි.

ලොවේ ඇතිවන සෑම දේම දිනෙක නැසෙන සුලුය. වර්ෂ 2600 කටත් එහා අතීතයේදී බුදු රජානන් වහන්සේ අපට කියා දුන් ඒ පාඩම සිහිපත් කරගෙන දුක තුනී කරගත් දෑසින් මම හාත්පස බැලීමි. සුවබර නින්දකට සියල්ල සම්පූර්ණය... ඇගේ ඉදිරි ආත්මය වඩාත් යහපත් එකක් වන්නට පතමින් දෑසින් ගලන කදුලු තදකරගෙන අවසාන වශයෙන් ඇගේ මිනී වලට වැලි අහුරු කීපයක් එක් කළෙමි.

දැන් ඉතින් සියල්ල අවසන්... ඔබේ සිනහව, ඔබේ කථාබහ, ඔබේ කරුණාව අදින් පසු අපහට විදිය නොහැක... ඒ සුන්දර අතීතය තවත් බොහෝ කල් මගේ හදවත පාරන බැව් මම ඉදුරාම දනිමි. ජීවතුන් අතර සිටින කල මා අතින් සිදු වූ කුඩා වැරැද්දකට වුව මා හට කමා කල මැන.

කිරි අම්මේ!!   අප වැනි උන් උස් මහත් කරන්නට ඔබ දැරූ වීරියේ බලයෙන්ම ඔබට නිවන් මග දොර විවර වේවා !

කිරි අම්මා ජීවතුන් අතර සිටි කල සිරා ලියූ පෝස්ටුව මෙතැනින්

මම සයිබරයේ අලුත් මිතුරා සිරා. 



ප.ලි

එදින අවමංගල සභාවේ වැඩ කටයුතු මෙහෙයවූ තරුණ හිතවතාද ජීවතුන් අතර සිටින සිය මවට නොසලකන අයෙකි.. ගිල්බට් මහතාගේ සාරගර්භ කථා බහෙන් අනතුරුව ඔහු දැන් සිය නිවෙසට නැවතත් මව් තුමිය කැදවා ගෙන පැමිණ ඇති බව පසුව සැළ විය. ඒ පින ගිල්බට් මහතාට අනුමෝදන් විය යුතුය.

ඔබේ මිත්තනිය/මව මේ දෙදෙනාම උදාර කාන්තාවන්ය... මේ ආත්ම භවයේදී නැවතත් මෙවැනි ඇසුරක් ඔවුන් සමග ඇති නොවන හෙයින් ඔබේ ශක්ති පුමාණයෙන් ඔවුන් රැක බලාගන්නට කැපවන්න.
සිරාගේ ආයාචනය එයයි.

ඇගේ ඇදුම්, ඇය භාවිතා කල කෝප්පය ඇතුලු බොහෝ උපකරණ තවමත් ඒ ඒ තැන්වලම තබා ඇත්තේ.. ඒවා ඉවත් කිරීමට තරම් ධෛර්යයක් මගේ මවට නැති නිසාය.

කිරි අම්මාගේ නිසල දේහයේ කිසිම ඡායාරූපයක් මා ගත්තේ නැත. ඒ එලෙස  ඡායාරූපයක ඈ දකින්නට මගේ කැමැත්තක් නැති නිසාවෙනි.

Tuesday, August 14, 2012

75 එලොව දැක මෙලොව ආ දවසක්


ජලාශ වල දියනෑමට, ක්‍රීඩා කිරීමට බාල මහලු හැමෝම කැමතියි...  ජීවිත අවධානම අඩු කරගෙන විනෝද වෙන්න නම් පිහිනීමට හැකිවීම ඉතා වැදගත්.  හදිසි අවස්ථාවක එමගින් ලැබෙන පිළිසරණ අපමනයි. පීනන්න ඉගෙන ගන්න කාලෙ සිරාට වෙච්ච සිදුවීමක් තමයි අද සිරාගෙ කාමරෙන් හෙළි කරන්න යන්නෙ.

ඒ සිදුවීම මතක් වෙද්දි තාමත් මගේ ඇග ගැහෙනවා වගෙයි... මරුවා දැක දැක  තාත්තගෙ පිහිටෙන් නැවතත් මෙලොව වෙසෙන්නට අවස්ථාව ලද ඒ උද්වේගකර අවස්ථාව මෙහෙමයි.

සිරා කුඩා අවධියෙ තාත්තා සිටියෙ විදේශගත වෙලා ඒ කාලයක් රාජ්‍ය සේවයේ නිරත වෙලා සිටීමෙන් අනතුරුව, අපේ ගම හරහා ගලා යන්නෙ අත්තනගලු ඔය. මේ නිසාම ගමේ පැරණි පරම්පරාවෙ හැම දෙනාටම ගෑණු පිරිමි භේදයකින් තොරව ඉතා හොදින් පිහිනන්න පුලුවන්... පිහිනීමට හැකිවීමේ වටිනාකම කියලා නිම කරන්න බෑ... තමන්ගෙ ජීවිතය හෝ තවෙකෙකුගේ ජීවිතය බේරාගන්නට එමගින් ඉඩ සැලසෙන්නෙ කුමන අවස්ථාවේද කියලා කාටවත්ම නිශ්චිතව කියන්නත්  බෑ... ඉතින් තමන්ගෙ කොල්ලො දෙන්නටත් පිහිනීම කියා දෙන්න අපේ තාත්තටත් ලොකු ආශාවක් තිබ්බා... තාත්තගේ සීයා, ආච්චි, තාත්තා, අම්මා,අක්කලා,නංගිලා මේ හැමෝම හොදින් පිහිනන්න හැකි අය වගේම තවත් අයගෙ ජීවිතත් බේරා ගෙන තිබීමත් මේ සිතුවිල්ලට පාදක වෙන්න ඇති...

ඉතින් මේ කාර්යය පටන් ගන්න පොඩි පරහකට හිටියෙ තාත්තා ලංකාවෙ නොමැති වීම... ඉස්සර දැන් වගේ අන්තර් ජාලයේ ව්‍යාප්තියක් තිබුනෙ නැති හින්දා මාසෙකට එක බැගින් මමත් මල්ලිත් තාත්තට ලියුම් ලිව්වා...තාත්තා එවන හැම ලියුමකම වගේ පීනන්න ඉගෙනගන්න සුදානමෙන් ඉන්න කියලා ලියන්නත් තාත්තා අමතක කලේ නෑ.... වර්තමානයේ ගමේ හැමෝම වතුර මලට ඔලුව ඇල්ලුවට ඒ කාලෙ ඔයට ගිහිල්ලා තමයි රෙදි හෝදගෙන ස්නානය කලේ.. මම හිච්චි එකා සංදියෙ ඉතාම මහලු අය පවා කාණ්ඩ ගැහිලා අඩුම කුඩුම අරගෙන නාන්න ගිය හැටි තවම මතකයි. එක්කෙනෙක් යද්දි එක්කෙනෙක් නාන තැනදි හමුවුන නිසා අදට වඩා ගමේ සුහදත්වයත් ඒ කාලෙ වැඩි වෙන්න ඇති කියලත් හිතෙනවා...

ඉතින් ඔන්න කාලයේ ඇවෑමෙන් සිරාගෙ තාත්තා සියරට පැමිණියා... නෑදෑ හිතවතුන් කාරිය බැහැදැකලා සතියක් විතර ඇවෑමෙන් පිහිනුම් පාසල පටන් ගන්න තමයි තාත්තගෙ අදහස වුනේ... අද වගේ පිහිනුම් තටාක, පිහිනුම් පාසල් තිබ්බෙ නැති නිසාම මේ ක්‍ර‍මය පමණයි කෙනෙකුට මේ ශිල්පය ඉගෙන ගන්න තිබ්බෙ. මුලින්ම පුහු පොල් ගෙඩි දෙකක් අරන් ඒවායේ ලෙල්ල එක තැනකින් තීරුවක් විදියට ගලවලා පොල් ගෙඩි දෙක එමගින් සම්බන්ධ කරලා පුංචි පහේ ජීවිතාරක්ෂක උපකරණයක් අපිවත් සහභාගි කරගෙන තාත්තා හැදුවා. මේ ගැජට් එක කිහිල්ල යටින් දෙපසට සමබර වෙන්න තබා ගත්තම වතුරෙ ගිලෙන්නෙ නැතිව පාවීමේ හැකියාව ලැබෙනවා... ජීවිතාරක්ෂක උපකරණයක් හොයා ගැනීමේ අපහසුවක් තියෙනවා නම් ඔබටත් මේ ක්‍ර‍මය අත්හදා බලන්න පුලුවන්...

රූපයේ ආකාරයට පොල් ලෙල්ල භාවිතයෙන් දෙපසින් සම්බන්ධ කල යුතුය

එක එල්ලේ අත්තනගලු ඔයට බහින්නෙ නැතුව ඊට මෙහායින් තියෙන කුඩා දොළ පාරක තමයි ඔන්න නමෝවිත්තියෙන් මේ වැඩේ ආරම්භ වුනේ. පුහු පොල් ආශ්‍රිතව සෑදු ගැජට් එක භාවිතයෙන් මුලින්ම පාවීමට හුරුවුනා... මුලින්ම සිරා සහ සිරාගෙ මල්ලි පමණක් මේ වැඩේට හවුල් උනාට අපේ වෑයම දැකපු තවත් අවිවේකී දෙමාපියන් තමන්ගෙ දූ දරුවනුත් මේ කාර්යයට සම්බන්ධ කලේ මම මුලින් කිව්වා වගේ පිහිනීමට හැකි වීමේ වාසිය නිසාමයි. දැන් සිරාගෙ තාත්තා පොදු පුහුණුකරුවෙක් තත්වෙට පත්වෙලා... අපේ උපකරණය මේ හැමෝම භාවිතා කලා.. දින කීපයක් ගතවුනාට පස්සෙ පුහුණුවීම් වල ප්‍ර‍ගතිය මේ යැයි කියමින් කොල්ලො කෙල්ලො අඩි කීපයක් එහා මෙහා පීනුවා.

දැන් ඉතින් මේ තත්වය වර්ධනය කරගැනීම තමයි ඊළග පියවර... ඊළග පියවර හැටියට මුලින් සිටි තැනට වඩා ගැඹුරින් වැඩි ස්ථානයක් තෝරගත්තා. එම ස්ථානය ප්‍ර‍ධාන මාර්ගයටත් පෙනෙන නිසා තවත් අය අපට එකතු උනා... ඒ වගේම තාත්තගෙ සම වයසෙ අයත් උපදෙස් දුන්නා. සිරාගෙ තාත්තා ඔලුව පහළට හරවලා අත් දෙකත් දික්කරගෙන වතුරට පනිද්දි කොල්ලො හිමින් මුමුණනවා අනේ අපිටත් මෙහෙම පනින්න පුලුවන් නම් කියලා... මටත් එහෙම තමා හිතුනෙ... පීනන්න බැරිව හිටපු අපට ටිකෙන් ටික ශිල්පය පුරුදුවෙන කොට තව තවත් උනන්දුව වැඩි වුනා . මාසයක් විතර ගතවෙනකොට හැමෝම වගේ පීනන්න හුරු වුනා... ඒහෙත් තාත්තා කිසිම කෙනෙක් අත්තනගලු ඔයට යොමුකරන්න ඉක්මන් වුනේ නෑ... ඒකට හේතුව තමයි එහි ගැඹුර වගේම... වැලි ගොඩ දැමීම නිසා ඇතිවුන ගැඹුරු වළවල් වල අවධානම, මෙන්න මේ වගේ ටිකෙන් ටික කාලය ගත වුනා. කිසිම අවස්ථාවක අපි තනියෙන් නාන්න ගියේ නෑ... හැමවෙලාවකම තාත්තා හෙවනැල්ල වගේ පිටිපස්සෙ.

දවසක් ඔයේ වතුර හොදටම අඩුවෙලා එහා මෙහා ඇවිදින්න පුලුවන් තරමටම... අන්න එදා හාපුරා කියලා සිරාට ඔයට බහින්න අවසර ලැබුනා, අපේ පිහිනුම් කාණ්ඩයෙන් මම විතරයි එදා හිටියෙ .... තාත්තා රෙදි වගයක් හෝදන්න ගත්තා, අපේ අසල්වැසි කාන්තාවකුත් නාන්න ඇවිල්ලා හිටියා.. වතුර අඩු නිසාම ටිකෙන් ටික ඈතට ඇවිදගෙන ගිහින් වතුර මට්ටම සාමාන්‍ය තැනක සිරා පීනන්න පටන් ගත්තා. වටයක් පීනලා ඇවිල්ලා නතරවුනා... අඩිය බිම තිබ්බට වදින්නෙ නෑ... යටට යටට යනවා අන්තිමට වතුර මට්ටමෙන් සෑහෙන තරමෙ යටකට ගිහින් කකුල වැදුනා... මට දැනුනා මම වතුරෙ ගිලුනා කියලා...

ඒත් මේ වගේ තැනකදි ගැලවෙන හැටි ගැන ඒ වෙනකොට මට දැනුමක් තිබුනෙ නෑ... සිරා භයටම උඩ පැන්නා, එතකොටම ආයෙත් උඩට ඇවිත් ජල මට්ටමෙන් උඩට හිස එසවුනා... ඒ උනත් ඒ එක්කම වගේ ආයෙත් යටට යනවා... මේ විදියට වාර කීපයක්ම උඩ යට ගියා... උඩට එද්දි මට පේනවා තාත්තා රෙදි හෝදන අන්දම... මම කෑ ගහනවා ඒත් එයාට ඇහෙන්නෙ නෑ... අනේ මම අසරණයි... ආයෙත් යටට යනවා... ආයෙත් උඩට එනවා ... කෑ ගහනවා, තාත්තට ඇහෙන්නෙ නෑ... එයා තවමත් මට පිටුපාගෙන රෙදි හෝදනවා... දැන් සිරාගෙ ඇගේ ශක්තියත් හීන වේගෙන එනවා... යටට ගියාම ජල මට්ටමට උඩින් අහස්තලයත් පේනවා...

උඩ යට යන මේ සෙල්ලම තව දුරටත් කරන්න බැරි වෙයි කියලා හිතෙනකොටම අවසන් වතාවට උඩ ඇවිල්ලා කෑ ගහලා යට යන අවස්ථාවේ අසල්වැසි කාන්තාව මාව දැකලා තාත්තට පෙන්නනවා වගේම තාත්තා හීයක වේගෙන වතුරට පනින හැටිත් මම දැක්කා... ක්ෂණයකින් මගේ අතින් අල්ලලා තාත්තා මාව උඩට ගත්තා හීනෙන් වගේ මතකයි... ඒ වෙනකොට මම හිටියෙ වතුර යට... තාත්තා මාව උස්සගෙන ඇවිල්ලා ඔයේ ඉවුරෙ තියනකොට මට කෙලින් ඉන්නත් පණ නෑ... ඒ තමා සිරා තාත්තගෙ පිහිටෙන්  පණ බේරගත්ත දෙවැනි අවස්ථාව.... ඉස්සෙල්ලාම පණ බේරුව කථාව කාමරේ ඇරලා හාපුරා ලිව්ව පෝස්ටුවෙ ලිව්වා. ඒක මෙතැනින්

සෑහෙන වෙලාවක් ගතවුනාට පස්සෙ තමයි තාත්තා කට ඇරියෙ...

ඔයාව වැටිලා හිටියෙ වැලි ගත්ත පරණ වලක, දැන් තේරෙනවා නේද පීනන්න පුලුවන් උනාට තවත් දේවල් ‍ඉගෙන ගන්න තියෙනවා කියලා... ඒ හින්දා ඒ දේවලුත් ඉගෙන ගන්න... මේ සිද්ධිය මතක තියා ගන්න... තාත්තා කිව්වෙ එහෙමයි.

ඈතට ගිය හින්දා මට හොදටම බැනුම් අහන්න වෙයි කියලා හිතන් හිටියත් එහෙම දෙයක් වුනේ නෑ... සිද්ධිය ඇහුවට පස්සෙ නම් අම්මා සෑහෙන්න විරුද්ධ උනා ඔයට නාන්න යනවට. මේ සිද්ධියෙන් තවත් මාසයක් පමණ ගතවෙද්දි පිහිණුම් පාඨමාලාව අවසන් උනා... හැමෝම හොද පිහිනුම්කරුවන් බවට පත්කරමින්... එතැන් පටන් අපේ සැට් එක හැමදාම පැය 3ක් පමණ අත්තනගලු ඔයේම ගතකරන්න හුරු වුනා... තාත්තාගෙ සහභාගිත්වයක් නැතුව. ඇස් දෙක ගොරක මද වගේ රතුවෙලා නහයෙන් හොටු පෙරෙනකන්, අපි ඔට්ටු තිබ්බා... පාලම් ගැට්ටෙ ඉදන් ඔයට පැන්නා... දියයටින් ගිහිල්ලා නාන්න ආපු අය භය කලා... ඔය දිගේ පහළට පීනලා හොරෙන් කුරුම්බා කැඩුවා... මේ විදියට ළමා කාලය සුන්දරව ගෙවුනා.. අද ළමයින්ට කොහෙන්ද මේවා කරන්න චෑන්ස් එකක්...

පස්සෙ කාලෙක ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයට සම්බන්ධ වෙලා හිටපු සිරාගෙ මල්ලි ජපන් ජාතිකයන් යටතේ ජීවිතාරක්ෂක පුහුණුවත් ලබාගත්තා.... එදා ඉදන් ඔහු මට වඩා පිහිනීමේදී වේගවත්. මළයා කාලයක් මීගමුව Browns Beach අසල ජීවිතාරක්ෂක රාජකාරියෙත් නිරත වුනා... ඒ  ගැන තාත්තා හුගාක් සතුටු වුනා. ජීවිතාරක්ෂක රාජකාරියෙදි මැරෙන්න ගිහින් බේරුන සමහර අය තමන්ව බේරගත්ත කෙනාට දණ ගහලා වදිනවා... පවුලේ අයත් එහෙමයි... ඒ වගේ අවස්ථා ඉතාම සංවේදියි.  ජීවිතාරක්ෂකයො බහුතරයක් මේ සේවය ලබා දෙන්නෙ හුදෙක්  ආත්ම තෘප්තියට මිස මුදලට නොවෙයි. තමන් විසින් ජීවිත බේරාගත් පුද්ගල සංඛ්‍යාව එකතුවක් ලෙස මතක තබා ගැනීමත් ඔවුන්ගේ පුරුද්දක්. බහුතරයක් පුද්ගලයො බීමත්කම එක්ක නාන්න ගියාම තමයි ජලයේ ගිලෙන්නෙ.

සිරා මුලික ජීවිතාරක්ෂක පාඨමාලාව හැදෑරුවා වුවත් ඈත පළාතක සවාරියක් ගියාම... දෙයියනේ කියලා භය නැතුව නාන්න බහින්නෙ තාත්තට පින් සිද්ධ වෙන්න ලබාගත්ත දැනුමෙන්. පීනන්න බැරි උන් ගොඩ ඉදගෙන ලතැවෙන කොට එදා තාත්තා අපිට දීපු ශිල්පය කොච්චර නම් වටිනවද කියලා අද හිතෙනවා..

කාලෙකට  පස්සෙ ගමේ බිහිවෙච්ච අලුත් පරම්පරාව මූණු පොත, පරිගණක ක්‍රීඩා, අන්තර්ජාලය ආදියටම ඇබ්බැහි වුන හින්දා අත්තනගලු ඔයට පෙම් බදින්න වෙලාවක් තිබුනෙ නෑ... ඒ හින්දම උන් එකෙක්ටවත් පීනන්න බෑ.

දෙවරක්ම ජීවිතය බේරා දුන් නිසාමදෝ තාත්තා පිළිබද මා හට ඇත්තේ අසීමිත ගෞරවයක් හා ආදරයක්...පිරිමි ළමුන් මෑණියන් වෙත වැඩි සෙනේහයක් දක්වනවා යැයි පොදු අදහසක් තිබුනත් මා කෙරේ එය නිවැරදි නොවේ යැයි මට සිතේ. ඒ මා ඉතාමත් දැඩිව තාත්තාට  සමිප පුද්ගලයෙකු නිසාවෙනි.

බ්ලොග් කරුවන් සමග කථා බහේ යෙදෙන බස් රේඩියෝ බ්ලොග් අවෝඩ්ස් 2012   වැඩසටහනට පසුගිය මාසයේ දිනෙක සිරාගෙ කාමරයත් සම්බන්ධ වුනා... මෙගා බයිට්ටු ගැන ගැටලුවක් නැතිනම් අපේ කථාබහ  අහලා, සින්දුවක් රස විදලා, සිරා කොහොම එකෙක්ද කියලා දැනගෙන ගියාට, අනේ මගේ නම් කිසිම අමනාපයක් නෑ... අරිද ?  ඒ අතරතුර සිරාගෙ කාමරයට මාස දෙකකුත් සම්පූර්ණ වෙලා.... වැඩිම කමෙන්ට්ස් ගත්ත සංඛගෙ පෝස්ටුවට වඩා කැතම කැත පටි ජොකා ඉස්සරහට ඇවිල්ලා. පටි ජොකා නම් චීයා....

බ්ලොග් අවෝඩ්ස් 2012  වැඩසටහන සදහා සම්බන්ධීකරණය කල බස් රේඩියෝ හි ප්‍ර‍සා වෙත මාගේ ආචාරය !




මම සයිබරයේ අලුත් මිතුරා සිරා.


ප.ලි

සෙම්ප්‍ර‍තිෂ්‍යාව හේතුවෙන් මාගේ සුමධුර වොයිසය අප්සැට් වී තිබූ බව කරුණා‍වෙන් සළකන්න.

ඉහළම ඇති පින්තූරය කොප්ප ගැහුවෙ මෙතැනින්ලු..... http://www.rejoiceholidays.com/galleries/green_hill_exp/Horton_Plains4.jpg

Wednesday, August 8, 2012

64 බුලතා සෙනෙවියා සහ සොරබොර වැව

සොරබොර වැව
ඈතින් පෙනෙන කදු පෙදෙසට තමයි  ඉහත්තෑව කියන්නෙ

ලංකා ඉතිහාසයෙහි මහත් කාය ශක්තියෙන් යුත් යෝධ පුරුෂයින් ගැන සදහන්ව ඇත්තේය.  දුටු ගැමුණු රජුගේ නන්දිමිත්‍ර‍ ආදී දස මහා යෝධයින් ගැනද, එළාර රජුගේ දීඝජන්තු ආදී මහා යෝධයින් ගැනද, ගජබාහු රජුගේ නීල මහා යෝධයා ගැනද විශ්මයජනක කරුණු ඉතිහාස පොත්වල දක්නට ලැබේ. දුටු ගැමුණු රජතුමාගේ දස මහා යෝධයන්ට අමතරව යුද්ධ හමුදාවට එක් වූ යෝධයකු  පිළිබද ජන කථාවක් පහත දැක්වෙයි.

දුටුගැමුණු රජතුමා මහියංගන ප්‍රදේශය අත්පත් කර ගැනීමෙන් පසුව මහියංගන චෛත්‍ය ප්‍ර‍තිසංස්කරණය කිරීමට පටන් ගත්තේය. දාගැබ බදවමින් සිටිය දී රජතුමාට බුලත් මෙහෙ වැඩීමට උඩුදුම්බර ප්‍රදේශයේ  කිරි පට්ටිය නම් ගමෙහි උපන් ශක්ති සම්පන්න පුරුෂයකු පත් කර ගන්නා ලදී. රජවාසල හැමෝම ඔහුට බුලතා යි කීහ. ඔහුගේ රාජකාරිය වූයේ දවසකට හත් වරක් බුලත්විට සාදා රජතුමාට පිළිගැන්වීමයි.

උදේ හීල වැළදීමෙන් පසු ද, දහවල් දස පැයට අතුරුපසෙන් පසුද, දහවල් භෝජනයෙන් පසුද, සවස් වරුවේ අතුරු පසෙන් පසුද, තිස් පැය වේලාවට සවස තේ පානයෙන් පසුද, රාත්‍රී භෝජනයෙන් පසුද, රාත්‍රී නිදා ගැනීමට පෙරද බුලත්විට සාදා පිළිගැන්විය යුතු විය. එක් වරක් බුලත් මෙහෙ කිරීමෙන් පසු ඊළග වාරය පැමිණෙන තුරු අවට සංචාරය කිරීමට බුලතා පුරුදු වී සිටියේය.

දිනක් මහියංගනයෙන් උතුරු පෙදෙසෙහි සංචාරයෙහි යෙදුනු බුලතාට ගල් කදු දෙකක් අතරෙහි පිහිටි පහත් බිමක් දකින්නට ලැබුණේය. ඒ අතරින් විශාල දොළ පාරක් ගලා බසිමින් තිබිණි. දොළ පාර අහුරා ගල් කදු දෙක අතර බැම්මක් බැන්ද හොත් අලංකාර වැවක් සාදා ගත හැකි බව ඔහුට පෙනුණේය. වැව බැන්දහොත් වැවටත් ගගටත් අතරේ පිහිටි ගව් ගණනක් විශාල භූමිය කුඹුරු කල හැකි වේවි යැයි බුලතා සිතුවේය. රජුට බුලත් පිළිගැන්වීම් අතරතුර ඉතුරු වන සුලු කාලයෙහි වරින්වර වැඩෙහි යෙදීමට මොහු කල්පනා කළේය.

බුලතා ගේ උදැල්ල සාමාන්‍ය මිනිසෙකුට එසවීමටවත් නොහැකි තරම් විශාල එකක් විය. සාමාන්‍ය මිනිසුන් විස්සකටවත් එසවිය නොහැකි තරම් පස් ප්‍ර‍මාණයක් ඔහු එක් වරකට කූඩයෙන් ගෙනෙන්නේය.

මෙසේ ගෙනෙන, ගෙනෙන පස්, ගල් කදු දෙක අතරේ  දමමින් පාග පාගා වැව් කන්ද ගොඩනැගුවේය. ස්වල්ප කාලයකින් වැව් වේල්ල බැදීම අවසන් කල බුලතා එහි ජලය බැහැර කරන සොරොව්ව සෑදීමට අදහස් කළේය. වැව් කන්දේ දෙකෙළවරෙහි ම පිහිටියේ ගල් පර්වතය. ඔහු මෑත කෙළවරේ ගල කපා විශ්මයාකාර ගල් සොරොව්වක්ද, ඈත කෙළවරේ ගලෙහි වැඩි ජලය බැස යාම සදහා ජල පැන්නුමක්ද සෑදීය. මේ ආශ්චර්යවත් ගල් සොරොව්ව ඉදිකිරීමට බුලතා ගේ කටුවට හා මිටියට වැඩි කලක් ගත නොවීය.

බිසෝ කොටුව
ඊතලයෙන් පෙන්වා ඇති ගල් බුලතා යෝධයා විසින්ම තබන ලද  ඒවා  ලෙස සැලකේ.

බුලතා ගේ භාර්යාවද ඔහුටම සරිලන යෝධ කාන්තාවක් වූවාය. සාමාන්‍ය ස්ත්‍රීන් විස්සකගේ පමණ ශරීර ශක්තියක් ඇයට තිබුණේය. ඈ දිනපතාම කිරිපට්ටිය ගමේ සිට තම ස්වාමි පුරුෂයාට දවල් ආහාර ගෙන ගියාය. ගමන් පහසුව සදහා ගල් පඩි පෙළක් සෑදීමට ඇයට සිත් විය. ඈ යන විට ගල් කීපයක් ද, එන විට ගල් කීපයක් ද ගෙනැවිත් පඩි පෙළක් බැන්දාය. එහි අගය වැටහුණු බුලතා ද කදු මුදුනට විශාල ගල් ගෙනැවිත් දමා ඒවා බැදීම භාර්යාවට පැවරුවේය.

අඹුසැමි දෙදෙනාගේ මේ වැඩ දෙකද, දුටුගැමුණු රජතුමාගේ දාගැබ අලුත්වැඩියා කිරීමේ කටයුතුද එකවර නිම විය. මහියංගන චෛත්‍යයෙහි කොත පැළදවීමේ උත්සවයට මාගම්පුර, සිතුල්පව්ව ආදී ස්ථානවල වැඩ විසූ දහස් ගණන් භික්ෂූන් වහන්සේලා වැඩම කළහ. එමෙන්ම රුහුණු රටෙන් විශාල ජන සංඛ්‍යාවක් ද සහභාගි වූහ. මෙම උත්සවය අවසාන වූ දිනයෙහි බුලතා රජතුමා ඉදිරියට පැමිණ,

දේවයන් වහන්ස, මම තනිවම වැව් පොඩ්ඩක් බැන්දෙමි.  එය බලනු පිණිස වඩින මෙන් මම ආරාධනා කරමි. 
යැයි සැළ කළේය. බුලතා ගේ ඉල්ලීම පිළිගත් රජතුමා සිවුරග සෙනග පිරිවරා වැව බලන්නට ගියේය.

පෙනෙන තෙක් මානයේ වතුර පිරී රැලි ගසමින් තිබෙන වැව දුටු රජතුමාගේ ප්‍රීතිය නිම්හිම් නැතිවිය. රජු සමග පැමිණ සිටි මැති ඇමති සෙන්පති ආදී පිරිසද, මහජනයාද, තනි මිනිසකුගේ වැඩක් වූ මේ මහා වැව දැක පුදුමයට පත් වූහ.

දරුව තෝ මේ වැඩය සදහා තව කොපමණ දෙනකුගේ සහාය ලබාගත්තෙහිද ? යි රජතුමා ප්‍ර‍ශ්න කළේය.

දේවහන් වහන්ස, මට සප්‍රාණික කිසිවකුගේ සහාය නොලැබුණේය. මට සහාය ලැබුණේ අප්‍රාණික මේ වස්තූන්ගෙන්
යැයි පසෙක සගවා තිබූ උදැල්ලත්, කූඩයත්, කටුව සහ මිටියත් රජතුමාට පෙන්වූයේය.

එම ද්‍ර‍ව්‍ය දුටු රජතුමා ඔහුගේ ශරීර ශක්තිය තේරුම් ගෙන ප්‍රීතියට පත්වී
දරැව! තොපගේ ඉතා හරබර වාරි කර්මාන්තය ගැන මම ඉමහත් සතුටට පත්වීමි.               රට ජාතිය දියුණුවට හා මතු පරම්පරාවට තොපගේ වැව් කර්මාන්තය පිහිට වන්නේයැ  යි  කියා ප්‍ර‍ශංසා කළේය.

එදා පටන් එම වැව හරබර වැව නමින් ප්‍ර‍සිද්ධ විය. හර බර යන්න පසු කලක දී සරබර, සොරබර ආදී වශයෙන් උච්චාරණය වී පසුව සොරබොර යන නමට පෙරලුනේ යැයි සිතිය හැකිය.

දුටුගැමුණු රජතුමා බුලතා යෝධයාද ඔහුගේ භාර්යාවද කැදවා ගෙන එවකට මහියංගනයේ තාවකාලික මාලිගාවෙහි සිටි මවු බිසව වෙත පැමිණියේය. බුලතා විසින් කරන ලද වැව ගැනත්, භාර්යාව විසින් කරන ලද ගල් පඩි පෙළ ගැනත් ඒවායේ ප්‍රයෝජන ගැනත් රජතුමා විස්තර කළේය.

ඒ ඇසූ විහාරමහා දේවිය බලවත් ප්‍රීතියට පත්ව තමන් ගෙල පැලදි වටිනා මුතු මාලය බුලතා ගේ භාර්යාවට පලදවා උපහාර දැක්වූවාය. රජතුමාද තමන් කර පැලදි වටිනා ස්වර්ණමය උර පළදනාව ගලවා බුලතා යෝධයාගේ කර පලදවා උපහාර දැක්වූයේය. රජතුමා ඔහුට ගමක් සහ නම්බු නාමයක්ද පිරිනැමුවේය. නන්දිමිත්‍ර‍ යෝධයාගේ ඉල්ලීම අනුව බුලතා යෝධයා ද දුටුගැමුණු රජතුමාගේ යුධ හමුදාවට බදවා ගන්නා ලදී. මහියංගන ප්‍රදේශයේ ව්‍යවහාරයෙහි පවත්නා ජන කවියක් මෙසේය.

ඔන්න බලාපන් බුලතා කරපු                 බලේ
යතුරු දාපු ගල්දොර යට වතුර              හැලේ
එන යන්නෝ ඉඩ නෑරම බැලුම්             ගලේ
සොරබොර වැව නුදුටු ඇස් මොටද පින්  කළේ

උපුටා ගැනීම

ඩී.පී. වික්‍ර‍මසිංහයන්ගේ  මහ දිගට ජන කථා ඇසුරින් 5 වසර සිංහල කියවීම් පොතේ තිබූ පාඩමකිනි.



පසු සටහන



ක්‍රිස්තු පූර්ව 102 දී පමණ එළාර රජ හා යුධ වැදීමට මාගම්පුර සිට රජරට දක්වා යන ගමනේ දුටු ගැමුණු රජතුමා සේනා සංවිධාන කටයුතු පිණිස කදවුරු බැදීම මහියංගණය ආශ්‍රිතව සිදු කර ඇත. මෙම කදවුරු බැද සිටි සමයේ තම සේනාව සංවිධානය කිරීම, ආහාර පාන රැස් කිරීම සිදු කල අතර ඊට අමතරව ප්‍රදේශයේ වැව් අමුණු, වෙහෙර විහාර ප්‍ර‍තිසංස්කරණයද සිදු කර ඇත.

උද්ධ චූලාභය රජු විසින් තිස් රියන් උසට කරවා තිබූ මියුගුණ සෑය ගරා වැටෙමින් තිබී ඇති අතර එය අසූ රියන් කර බදවන ලද බවට ථූපවංශය හා මහාවංශය ආදී අපේ වංශකථා වල සදහන් වේ.  මේ සෑය බදින ලද පිරිස් සදහා බත් බුලත් සපයා ඇත්තේ බුලතා නම් සෙනෙවියෙකි. රජුට සේවය පිණිස දිනපතා යන එන ගමන් මෙහි භූගෝලීය පිහිටීම දුටු බුලතා විසින් ගලින් ගල එක්තැන් කර සොරබොර වැව ඉදිකල බැව් ජනප්‍ර‍වාදයේ පවතී.

දේශීය වාරි කර්මාන්තයේ සොරබොර වැවට අද්විතීය ස්ථානයක් හිමිවන්නේ එහි ඓතිහාසික බව මෙන්ම  මෙම සොරොව්ව නිර්මාණයේදී දක්වා ඇති අති විශිෂ්ඨ වාරි ඉංජිනේරැ තාක්ෂණය නිසාවෙනි. ස්වභාවිකව පිහිටි ගල් පර්වතයක් සෙරොව්ව ඉදිකිරීමට යොදාගෙන ඇති අතර, සොරබොර වැව මේ තාක්ෂණය සහිත ලංකාවේ එකම නිර්මාණයයි.

පිහිටි ගල හෑරීමෙන් නිර්මාණය කල සොරොව්ව
ඉහත්තෑව නමින් හදුන්වන ජල පෝෂක ප්‍රදේශ මගින් පැමිණෙන ජලය කුලු වැව් නමින් හදුන්වන කුඩා වැව් 3 ක් හරහා ගමන් කරයි. පළමු වැනි වැව පිටාර යන විට දෙවැන්නටත්, දෙවැන්න පිටාර යන විට තෙවැන්නටත්, තෙවැන්න පිටාර යන විට සොරබොර වැවටත් මේ ජලය එක්වේ.  කුල්ල යනු අනවශ්‍ය දෑ බැහැර කර අවශ්‍ය දේ ලබා ගැනීමට ගේ දොර භාවිතා වන උපකරණයකි. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම එම තාක්ෂණය මෙහිදීද භාවිතා වේ. කදු සේදී යාමෙන්  වැසි ජලයට එකතු වන මඩ කුලු වැව් තුන හරහා යාමේදී බොහෝ අඩුවන අතර එමගින් සොරබොර වැවට මඩ එකතු වීම අවම මට්ටමකට පත් වී ඇත.  පිටවාන, සොරොව්ව, බිසෝ කොටුව, සළපනාව, වැව් බැම්ම ආදී  වැවක පොදු ලක්ෂණ වලින් සොරබොර වැව පොහොසත් වුවද, එහි මඩ සොරොව්වක් දක්නට නැත...වැවේ එකතුවෙන මඩ, ජලය ගමන් කිරීමේදී සොරොව්වෙන් යෙදෙන අධි පීඩනය නිසා බිසෝකොටුව හරහා සොරොව්වෙන් ඉවතට ගලා යයි. මේ මඩ ඇළ මාර්ග දිගේ ගමන් කර පසුව කුඹුරැ මත තැන්පත් වීමෙන් සාරවත් අස්වැන්නක් පොහොර යෙදීමකින් තොරව  ලබා දීමට  දායක වී ඇත.

සළපනාව
වැව් බැම්මේ ආරක්ෂාව උදෙසා මෙය ඉදිකරයි

එදවස දුටුගැමුණු රජතුමා යුද්ධයක් අභිමුව සේනාව රැස් කරමින් සිටි නිසාම, බුලතා යෝධයා එතුමාගේ වාරිමාර්ග ඇමති ලෙස පත් කල බවක්ද අසන්නට ලැබේ. යුද්ධ කිරීමට කාය ශක්තිය වැදගත් වන අතර කාය ශක්තිය සදහා ආහාර වැදගත්වේ. ඒ අනුව වැඩි ආහාර නිෂ්පාදනයක් සදහා වැව් අමුණු වල දායකත්වය ඉතා ඉහළින් ලබා ගැනීම ඔහු එම තනතුරට පත්කිරීමෙන් අපේක්ෂා කලා විය හැක.

වාරි තාක්ෂණය එතරම් දියුණුවට පත්නොවී තිබූ අවධියක මෙතරම් පීඩනයකින් ජලය ඉවතට යන සොරොව්වක් නිර්මාණයට බුලතා සෙනෙවියා දක්වන ලද කුශලතාව පුදුම සහගතය. කලුගල් පර්වතය මැද්දෙන් මෙම කැපුම සිදු කිරීමට ශාක කීපයක් මගින් ලබා ගත් යුෂ අනුසාරයෙන් කලුගල්  උණුකල හැකි රහස් සංයෝගයක් භාවිතා කල බවක්ද ජනප්‍ර‍වාදයේ පවතී.

බිසෝ කොටුව ආසන්නයේ කලුගල් තලාව මත බොහෝ දුරට ඛාදනය වී ගිය  ශිලා ලිපියක් ඇති අතර එය පුරාවිද්‍යා මහාචාර්ය සෙනරත් පරණවිතානයන් විසින් කියවීමට ලක්කර නැති බව ගම්වාසීන් මගින් දැනගතිමි.



වැවේ තාක්ෂණික තොරතුරු


ධාරා ප්‍රදේශය  ව.සැ 16.89
උපරිම ජල ධාරිතාව අක්කර අඩි 16800
පූර්ණ සැපයුම් මට්ටමේදී ජල පැතුරුම් ප්‍රදේශය  අක්කර 1440
වැව් බැම්මේ දිග අඩි 1590
වැව් බැම්මේ පළල අඩි 20
වගා බිම් ප්‍ර‍මාණය අක්කර 3000
වම් ඉවුර ප්‍ර‍ධාන ඇලේ දිග සැ. 1 දම්වැල්  32.5
දකුණු ඉවුර ප්‍ර‍ධාන ඇලේ දිග සැ. 3 දම්වැල් 20


චාරිකා සටහන් 4  වන පියවරේදී  පසුව ලියන්නේ යැයි සිරා පොරොන්දු වූ සොරබොර වැව පිළිබද කථා බහ මෙතෙකින් නිමා වේ.

මෙවැනි විශ්ව කර්ම නිර්මාණයකට දායක වී එහි ප‍්‍ර‍තිඵල වර්තමාන පරපුරටද ලබා ගැනීමට ඉඩ හල      බුලතා සෙනෙවියා ඇතුලු අපේ මුතුන්මිත්තන් සියල්ලන් හට අනේක වාරයක් පින් රැස් වේවා !

සොරබොර වැව පිළිබද යූ ටියුබ් හි වීඩියෝවක් මෙතැනින්




මම සයිබරයේ අලුත් මිතුරා සිරා.


ප.ලි

සියලුම ඡායාරූප මා විසින් ගත් ඒවාය.



Sunday, August 5, 2012

107 පටි ජොකා

ඔන්න සිරා තවත් නැවුම් දවසක දහසක් බලාපොරොත්තු හදේ දල්වාගෙන කාමරේ දොර ඇරියා.. කොයි කථාවද අද කියන්නෙ කියලා කම්පනා ලෝකෙ සැරිසරන කොට මෙන්න මේ කථාව මතක් වුනේ...  මේ සිදුවීම වුනේ සහශ්‍ර‍ය ලබපු ගමන්.. ඒ කියන්නෙ අදින් දශකයකටත් එහා... ඒ වෙද්දි සිරා උසස් පෙළ පන්තියේ ඉගෙන ගන්න අවදිය.. අධ්‍යාපනය වගේම බෑන්ඩ් ජීවිතයත් සමබරව ගලාගෙන ගිය කාලයක්...

අපේ වැස්ටර්න් බෑන්ඩ් එකේ 1997 වසරේ නියාමකයා තමයි ලොකු අයියා... මම කලින් කියලා තියෙන බූරු කථාව අස්සෙ කපිල් දේව් තුමාගෙන් හොදටම ගුටි කෑවෙත් මෙතුමාම තමයි.  බෑන්ඩ් එකේ හැමෝටම ලොකු අයියා කෙනෙක් වෙච්ච මේ චරිතය, කෙනෙක්ගෙ සැපේදි වගේම දුකේදිත් පිහිටවෙන පස්ට චරිතයක්... දෙයක් කරමු කිව්වොත් ඒක කරලම මිස පස්ස බලන්නෙ නැති කෙනෙක්... 

මම මේ කියන කාලයේ ලොකු අයියා බෑන්ඩ් එකෙන් සමුඅරගෙන රැකියාවකට එක්වෙලා හිටපු කාලෙ.. පරිගණක පුහුණුව ලබාදෙන ප්‍ර‍සිද්ධ ආයතනයක ආචාර්ය වරයෙක් විදියටයි කටයුතු කලේ.... සිරා ඒ වෙද්දිත්  බෑන්ඩ් ගහනවා...

අපේ පිරිස හදිසි රාජකාරියක් නැත්නම් පුහුණුවීම් කරන්නෙ බ්‍ර‍හස්පතින්දාට විතරයි... පුහුණුවීම් අවසන් උනාට පස්සෙ  ටවුමෙ නිමල් අයියගෙ ඇට්ටේරියා ගහ යට පොට් එකට (මේ කඩේ අද නැත එතැන බැංකුවක් අද ඇත)  එකතුවෙනවා ප්ලෙන්ටියක් ගහන්න. රැකියාව නිමවෙලා නිවෙස බලා යන අපේ පැරණි සාමාජිකයනුත් මේ තැනදීම අපිට හමුවෙනවා... බෑන්ඩ් එකේ හෙට දවස, පුහුණුවීම් වල ප්‍ර‍ගතිය, අඩුපාඩු සාකච්ඡා වෙන්නෙත් මෙතැනමයි... කඩේ හිමිකරැත් අපේ ආදිශිෂ්‍යයෙක් වීම නිසාම එතැන අපේම තැනක් වගෙයි දැනුනෙ. දවසක් ලොකුඅයියත් මෙතැනදි අපිට හමුවුනා...

උඹලා ඔන්න වැඩ දාගන්න එපා ඊළග සතියෙ සෙනසුරාදට...අරිද ?  මගේ උපන්දිනේට පොඩි පාටියක් දානවා ගෙදර... මම වැඩ කරන තැන ගෑල්ළමයි ටිකකුත් එනවා... උඹලා සැට් එකත් ඇවිල්ලා අඩියක් එහෙම ගහලා ජොලියක් දාමු.....

අපේ උන් ඔක්කොම හක හක ගාලා හිනාවුනා... අනේ යන්න ලොකු අයියා.. අපි නම් එයි... බලාගෙන ඉන්න.. ආයෙත් නම් අපි රැවටෙන්නෙ නෑ.... අපේ උන් එහෙම කිව්වා...

ඇයි එහෙම කිව්වෙ ?
බොලාලට ඒක ප්‍ර‍ශ්නයක් වෙන්න පුලුවන් නිසා මම නිධාන කථාවත් කියන්නම්...

මේ වගේම මීට කලින් දවසක ලොකු අයියා පාටියකට කියලා හැමෝටම ආරාධනා කලා....
අපේ ඔෆිස් එකේ කට්ටියත් එන නිසා ඔක්කොම හොද කිට් එකකට බැහැලා  උදේ 9 වෙද්දි ගෙදරට වරෙන් කියලයි එදා කිව්වෙ... සිරාට අමතර පන්තියක් නිසා එදා පාටියට යන්න බැරි උනා... පස්සෙ හිතුනා ගියේ නැති එකෙන් මගෙ ජාමෙ බේරුනා කියලා....

ඉතිං අපේ පිරිස කියපු වෙලාවට අත්දිග ෂර්ට් ඇදලා.. ටයි එකක් එහෙම දාලා මගුල් ගෙදරක යන තරම් උජාරැවෙන්  පාටි ගෙදරට ගියාට කිසිම හැලහොල්මනක් ඒ කිව්වෙ පාටියක ලකුණක් වත් තිබිලා නෑ... ඒ වෙනුවට පිරිස පිළිගත්ත ලොකු අයියා බක බක ගාලා හිනාවෙනවලු උගෙ එපාම කරපු මල්ලිලා දෙන්නත් එක්කම...

කොහෙද බන් මේ විදියට ඇදගෙන බොලාලා යන්නෙ ? 
ඇයි ඔයාගෙ උපන්දින පාටියටනෙ අනේ... මතක නැද්ද එන්න කිව්වා... පිරිස යටහත් පහත්ව උත්තර දීලා...

ලොකු අයියා ආයෙත් හයියෙන් හිනාවෙලා... මොන පාටිද බන් අපේ කුඹුරු වල අද ගොයම් කපනවා ඒකයි තොපිට එන්නෙ කිව්වෙ... ඔය ඇදුම් ගලවලා මේ සරම් කොටයක්, කොට කලිසමක් ගහගෙන, උදේට මොනා හරි සප්පායම් වෙලා කුඹුරට බහිමු කිව්වම කට්ටිය භූත වෙලා, කනේ තිබ්බ කට චූට්ටියට උන්ඩි වෙලා... උදේ ඉදන් හවස්වෙන කම් ගොයම් කපලා හීනියට ෂොට් එකක් දාගෙන වත්ත පහළ ලිදෙන් නාගෙන තමයි පිරිස ආයෙත් නිවෙස් බලා ගිහින් තිබ්බෙ.... ඔය හේතුව නිසා කාලයක් යනතුරු  හැමෝම ලොකු අයියගෙ උපන් දින පාටි වර්ජනය කොලා.

නෑ නෑ බන් මේ සැරේ ඇත්තටමයි උඹලට එන්න කියන්නෙ.... හැමදාමත් බොරු කරන්නෙ නෑනෙ බන්... සිරාවටම පාටියක් තියෙන්නෙ ඔන්න වරෙල්ලා  කියපු ලොකු  අයියා  නිමල් අයියගෙ පොට් එකෙන් අනතරස්දාන උනා...

දැන් ඔන්න බෑන්ඩ් එකේ ආරාධනා ලබපු අපි වගේ සීනියර් ඇත්තො පාටි ගෙදර ගිහින් දෙන තෑග්ග ගැන සාකච්ඡා කොලා... ඒ කාලෙ ගෙදරිනුත් කොකු දාගෙන බෑන්ඩ් ගහපු කාලයක් නිසාත්, රැකියාවක් නොකල නිසාත් අපි ළග අතේ සතේ නෑ... අවසානයේ ලොකු අයියා කරපු වැඩේට රිටර්න් එකක් දෙන්නත් එක්කම ගද ගහන පරණ සපත්තුවක් එක්ක ලොකුම ලොකු ගඩොලක් පාර්සල් කරලා... තෑගි ඔතන ලස්සන කොලයකින් ආවරණය කරලා  සෑහෙන්න විශාල තෑගි පාර්සලයක් සූජානම් කොලා...

ඔන්න පාටි ගෙදර යන දවස උදා වුනා, කලින් වගේ ගොයම් කැපීමක්ද කියලා අවධානයෙන් පිරිස හෙමින් හෙමින් ලොකු අයියගෙ නිවසට කිට්ටු වුනා.. ඔන්න එදා ඒ නිවස උත්සවශ්‍රීයෙන් බැබලෙනවා... හැමතැනම ක්‍රේප් කොල ඇදලා බැලුම් එල්ලලා... හරිම සිරියාවයි...

පිරිස ආදරයෙන්, සාදරයෙන් පිළිගත්ත ලොකු අයියා සාලයේ කොනක  අසුන් පැනවූවා... සාලයේ තිබුන ලොකු මේසයක් උඩ අපේ සම්භාවනීය තෑග්ග සැතපෙව්වා...

ඔන්න තවත් මද වේලාවක් ඇවෑමෙන් කිචි බිචියක් ඇහෙන්න ගත්තා... අනේ සීදේවි ගෑල්ළමයි රොත්තක්ම උපන් දින සාදෙට ඇවිල්ලා... ලොකුඅයියගෙ කාර්යාලයේ මිතුරියන්... හැමෝම එක වගේම පොෂ්... නෙත්,සිත්,හදවත් පැහැරගන්නවා... අපේ උන්ගෙ හෘද ස්පන්දනය වැඩි වෙලා ඒගොල්ලන්ගෙ සුන්දරත්වය දැකලා.... ඒ මදිවට සියල්ලන්ම තෑගි භෝග අතින් කටින් අරගෙන ඇවිල්ලා තිබුනෙ...

දෙපිරිස හදුනාගැනීමෙන් පස්සෙ සාදය ඇරඹුනා...  උපන්දින කේක් ගෙඩිය කපලා, කේක් කවලා, වැඩේ ඉස්සරහට යනකොට ලොකු අයියගෙ සම වයසෙ අපේ පැරණි බෑන්ඩ් සගයෙක් වෙච්චි VP තුමාත් පැමිණියා... ඉංග්‍රීසි අකුරැ දෙකකින් කියැවෙන ඉතා අසභ්‍ය නමක් තමයි එයාට යොදලා තිබුනෙ... ඒ නිසා අකුරු දෙකකින් තමයි හැමෝම ආමන්ත්‍ර‍ණය කොලේ...

මධු බදුන් එකින් එක හිස්වෙනකොට අපි කෙමෙන් කෙමෙන් පියවි ලොවින් ඈතට ඉගිල්ලුනා... ලයාන්විත සංගීත හඩ දසත පැතිරෙද්දි  සුන්දර මානවිකාවන් අප සමග නර්ථනයට පැමිණියා.. දැන් සාදය ඉතා උච්ච ස්ථානයක පවතින්නෙ... හැමෝම තරගෙට නටනවා..  ඒ අතර තමන්ගෙ හිත්ගත් ගෑල්ළමයින්ට සමහරැ එකිනෙක දේවල් කොදුරනවා...  මේ ආකාරයෙන් ඉතා තීව්ර අවස්ථා පසුකරගෙන දිවා භෝජන සංග්‍ර‍හයත් භුක්ති විදලා උපන්දින සාදයේ අවසන් අවස්ථාවට එළැඹුනා ... ඒ තමයි එකිනෙකා රැගෙන ආ ත්‍යාග ලබාදෙන අවස්ථාව.

මුලින්ම අපේ උන් ඔතාගෙන ආපු ත්‍යාගය... ඊටත් පස්සෙ VP තුමාගෙ ත්‍යාගය... මේ ආකාරයෙන් පිළිවෙලින් සාලයේ කොනක තිබුන මේසයක් උඩ ත්‍යාගයන් එකින් එක එකතු වෙනවා... මෙන්න මේ අතර තමයි අපි හීනෙන්වත් හිතපු නැති දෙයක් සිද්ධ වුනේ...

දැන් අලුත්ම ක්‍රමේ  තමයි.. ගෙනාපු තෑගි හැමෝම ඉස්සරහා කඩන ‍ එක... අපිත් එහෙම කරමු... ලස්සන එකියක් එහෙම කිව්වම එයාගෙ යාලුවොත් ඒකට පැනලා කැමති වුනා... උන්ට වුවමනා වුනේ ඒගොල්ලො ගෙනාපු තෑගි කොච්චර වටිනවද කියලා හැමෝටම පෙන්නන්න කියලා, පස්සෙ දවසක සිරාගෙ අක්මාවට වැටහුනා.අපේ උන් වගේම VP තුමත් මේ යෝජනාවට දැඩිව විරුද්ධ වුනා... එතෙක් පටන් පැවති නොයෙක් වාද විවාද  අවසානයේ ගෑල්ළමයින්ගෙ අදහසට එකග වෙන්න අපිටත් සිදුවුනා... තවත් මද වේලාවක් ඇවෑමෙන් අපේ සායම දියවී අපි ඉතාමත් සාටර් ජීවීන් කොටසක් වන අයුරු හීනෙන් වගේ පේන්න ගත්තා...

මුලින්ම ගෑල්ළමයි තම තමන් ගෙනාපු ත්‍යාග හැමෝම ඉදිරියේ විවෘත කරන ලෙස ලොකු අයියට ආරාධනා කලා.. ඔන්න දැන් වැඩේ ආරම්භ වුනා...  ෂර්ට්, සුවද විලවුන්, සපත්තු, ඔරලෝසු.... ආදී නානා ප්‍ර‍කාර වටිනා ත්‍යාගයන් කාර්යාල මිතුරියන් එයාට තිළිණ කරලා... දැන් ඔන්න අපේ වාරේ... තෑග්ග අතට ගන්නකොටම හැමෝම කෑ ගහනවා ඕකනම් කඩන්න එපා කියලා... ගෑල්ළමයි කෑ ගහනවා, නෑ ඕක කඩන්න ඕනෙමයි කියලා....

ලොකු අයියා අපේ තෑගි පෙට්ටිය අතට අරගත්තා... ටිකක් බරයි වගේ දැනුන නිසා පොඩ්ඩක් සොලවලා එහෙම බැලුවා...  ගඩොල් ගෙඩිය ඇතුලෙ හෙල්ලෙන සද්දෙ අපිට ඇහෙනකොට අපේ  ඔලුවත් හෙල්ලෙනවා වගේ දැනුනා...ඇයි බොලං අපේ  ආත්මගරුත්වය කීතු කීතු වෙන්න යන වෙලාවක් නොවැ...

තෑග්ග ඔතලා තිබුනු කොළේ ඉරලා අනිත් පැත්තට හරවනකොටම දඩාස් කියලා වැටුනෙ නෑතෑ දඩි ගඩොල... තව පොඩ්ඩෙන් සාලෙ බිමට අල්ලලා තිබුන ටයිල් එකකුත් බිදෙනවා ඒකෙ බරට... කෙල්ලො රංචුව කෑ ගහලා හිනාවෙනකොට ලොකු අයියගෙ ගෙදර අයත් එතනට රැස් වුනා. ඊටත් පස්සෙ  ගඩොල එක්ක තිබුන ගද ගහන පරණ සපත්තුවත් එළියට ඇවිල්ලා හැමෝම දිහා බලාගෙන හිටියා... අපේ උන් එකා දෙන්නා සාලෙන් වහං වෙනකොට ගෑල්ළමයි උඩ පැන පැන අපිට සාටරේට හිනා වුනා...

ඔන්න දැන් අන්තිම තෑග්ග... VP තුමා ගෙනාපු එක... ඒක කඩන්න නම් සෑහෙන්න අමාරැ උනා... මිනිහා ඉඩදෙන්නෙම නෑ... අපේ උන් ටිකත් ඒ වෙද්දි සාටර් වෙලා හමාර නිසා.. අපේ සම්පූර්ණ සහාය හිමි වුනා ත්‍යාගය විවෘත කරන්න... අවසානයේ ටික ටික ඔතලා තිබුන කොළේ අස්සෙන් තෑග්ග මතුවුනා...

ඉස්සෙල්ලාම තිබුනෙ තැටි පාන් රාත්තලක්... ඒක උඩ දත්බෙහෙත් වලින් හිංහලෙන් අමු කුණුහරුපයක් ලියලා...  අවසානයේ උපන්දිනයට සුභ පතලා... ලොකු අයියා පාන් රාත්තල උස්සනකොටම ඒකෙ පැටලිලා කලු පාට යමක් බිම වැටුනා... ඒ එක්කම VP ගොයියා විදුලි වේගයෙන් සාලෙන් මාරු වුනා...  අනේ ඒ මොකක්ද ? කියපු කෙල්ලො රොත්ත පැනපු ගමන් වැටුන එක අහුලලා උඩට ඉස්සුවා... ඊයා ඒ එක්කම ඇහුනා...

වවුලා වගේ දිග ඇරැනු පටි ජොකා  සීලිම දිහා බලාගෙන හිනැහෙද්දි... පාටි ගෙදර  එකම හූ ගොඩක් වුනා... තෑග්ග ගෙනාපු VP ගොයියා එතෙක් වෙලා ට්‍ර‍යි එක දිපු කෙල්ලටත් නොකියා  පාටියට සමු දීලා වත්ත පහළට ගිහින් තිබුනා...

ගෑල්ළමයි ඉන්න කඩේකට ගිහිල්ලා පටි ජොක්කු ඉල්ලන්නත් ලැජ්ජා කාලේ පොෂ් දැරිවියො පිරිසක් ඉස්සරහා වෙච්ච වැඩෙන් තෑග්ග ගෙනාපු කෙනා පත්වෙච්ච අපහසුතාව තේරුම් ගන්න පුලුවන්නෙ.


මම සයිබරයේ අලුත් මිතුරා සිරා

ප.ලි

පටි ජොකා (jockstrap)  යනු පොදුවේ සපෝටරය ලෙස කොල්ලන් හදුන්වන පිරිමින් අදිනා යට ඇදුම් විශේෂයකි..  ක්‍රීඩා කරන අය අතර ඉතා ජනප්‍රියය. පිටුපස කොටස නොමැති  අතර ඒ වෙනුවට ඇත්තේ පටි දෙකක් හෙයින් එය පටි ජොකා නම් වෙයි. පටි ජොකා ඉතා අවලස්සනය.

බෑන්ඩ් ගහන කාලයේ පටිජොකා ඇදීම සැමටම අනිවාර්යය.. විශේෂයෙන් ඉතා දැඩි වෙහෙසක් ගෙන පිඹීමෙන් වාදනය කල යුතු ට්‍ර‍ම්පට්,තොම්බ්‍රෝන්,සැක්සෆෝන්,ටියුබා, සූසාෆෝන්, ක්ලැරිනට් වැනි වාද්‍ය භාණ්ඩ  භාවිතයේදී ඇතිවිය හැකි සෞඛ්‍යමය ගැටලු අවම කිරීම එහි පරමාර්ථයයි... වරෙක අපේ නවක සාමාජිකයකු රෙදිපිළි වෙළදසැලකින් ඉල්ලා තිබුනේ තමන්ට පුක නැති ජොකෙක් දෙන ලෙසය...  අන්ද මන්ද වී ඇති මුදලාලි පසුව නිවැරදි එකක් ලබා දී ඇත. මේ කථාව  උගෙ මිතුරන් අතරද පැතිරුන අතර, මේ සිදුවීම උගෙ නමට මුලින් විශේෂණ පදයකටද  පසුදිනෙක මග විවර කලෙහිය.

මෙම සිද්ධියට අදාළ ජොකා හොදින් පාවිච්චි කර සේදීමකින් තොරව ගෙන ආ එකක් බව දැන සිටියේ VP තුමා පමණි. ඒ ගොයම් කැපීමේ හිලව්වටය.

බ්ලොග් අවකාශයේ මාතලන් උන්නැහේ පිරිමි යට ඇදුම් ගැන දක්වා ඇති වැදගත් පෝස්ටුවක්  මෙතැනින් 
දුෂ්‍යන්ත ආකාශ් වෛද්‍ය තුමාගෙ  තරැණයා බ්ලොගියේ පිරිමි යට ඇදුම් පිළිබද පෝස්ටුවක් මෙතැනින්

Wednesday, August 1, 2012

76 (අ) සුන්දර ඉරිදා


ඇත්තමයි... මෙහෙම කථාවක් කියන්න/ලියන්න මට කිසිම අදහසක් තිබ්බෙ නෑ.. ඒත් කරැණු සිද්ධ වෙච්ච විදිය අනුව අවසානයේ කෙසේ හෝ මෙය ලියන්නට අවස්ථාව එළැඹුනා... ඒ අනුව මේ පෝස්ටුවෙ මුල්හරිය ප්‍රීතිමත්, ඒ උනාට අග හරිය දුක්බරයි..

ගිය ඉරිදා ඒ කිව්වෙ (2012/07/29) දවසත් කිසිම අමුත්තකින් තොරව අපේ ගම්පෙදෙසට හිරු උදාවුනා... ඉරිදා දිනය කියන්නෙ සිරා ට උසස් අධ්‍යාපන කටයුත්තකට කොළඹ යන්න තියෙන දවස... ඒත් එදා යෙදිලා තිබ්බ වෙනත් හදිසි වැඩකට මීගමුවට යන්න සිද්ධ වුනු හින්දා  සිරා ආයෙත් නිවසට සේන්දු වුනේ ගොම්මන් අදුර වැටිලා තිබ්බ වෙලාවෙ... ඊට ඉස්සෙල්ලා දවසෙ හදිසියේ හිසේ නහරයක් පිපිරීමෙන් මියගිය අසල්වැසි කාන්තාවකගේ මළ ගෙයකුත් තිබුන නිසා ශෝකාකූල ගතියක් ගම පුරාම තිබුනෙ... එකමුතු කමේ බැම්මෙන් ඉතා තදින් බැදිලා ඉන්න අපේ ගමේ අය එකා දෙන්නා මල ගෙදරට එක්කාසු උනා... තරැණ පිරිස විශේෂයි... පිරිසක් කාඩ් ගහනවා, තවත් පිරිසක් කැරම් ගහනවා, තවත් පිරිසක් රස කථා, ආගිය කථා කියනවා, ගෑණු දරුවො, පිරිසට සංග්‍ර‍හ කටයුතු කරනවා. මළගෙදරට ටිකක් විතර එහාට වෙන්න කලුවරේම බූරු සෙල්ලමත් පටන් අරන්  තිබුනෙ.

ඔන්න සිරා කොලුවත්  ඔය කථා කියන සැට් එකට කිට්ටු වෙලා හිටියෙ. ඒ හොද කථාවක් ඇන්ටනාවට වැදුනොත් පෝස්ටුවක් විදියට දාන්නට පුලුවන් හින්දා..

මුලින්ම කථා පෙට්ටිය ඇරියෙ අපේ විමුක්ති මළයා

අපේ ඉසව්වෙ මෑතකදි වැඩ නිමකල දුරකථන කුලුනක් ඉදිකරනකොට සිදුවුන සිදුවීම් පෙළක් තමා මිනිහා ඇද බෑවෙ.. මීටර් 70 කට වඩා උස මේ කුලුන මුදුනටම නැග්ගම කොළඹ වරායත් පේනවලු. අපේ ගම හරහා ගලාගෙන යන අත්තනගලු  ඔය පේන්නෙ හරියටම කාණුවක් වගේ කියලා තමයි මිනිහා කථාව නැවැත්තුවෙ..

ඊට පස්සෙ කට ඇරියෙ සුරංග මාමා..  සිරාට වඩා වසර කීපයක් පමණක් වැඩිමහල් මෙතුමාට අපි කවුරුත් කිව්වෙ සුරංග අයියා කියලා... ඒ වුනාට කරකාර බැදලා දෙන්නා තුන්දෙනා වෙලා, තුන්දෙනා හතරදෙනා බවටත් පත්වුනාට පස්සෙ හැමෝම කිව්වෙ සුරංග මාම කියලා..

ජා-ඇල පැත්තෙ මළගෙදරක් එක දිගටම සතියක් විතර තිබුනලු... මෘත දේහයත් කලු වෙලා, කුණු ගද ගහන තත්වෙටම ඇවිල්ලා තිබ්බත් වළලන පාටක් පේන්න තිබිලා නෑ... බැරිම තැන අසල් වාසීන් පොලෝසියට පැමිණිල්ලක් දාලා. එතුමන්ලා මේ ගැන පරීක්ෂණ කරපුවාම හොයාගෙන තියෙන්නෙ කවුරුත් හිතපු නැති කථාවක්... කාත් කවුරුත් නැතිව තනියෙන් ජීවත් වෙලා ටවුමෙ අදුරු මුල්ලක මිය ගිය හිගන්නෙක්ගෙ මිනියක් තමයි මේ පිරිස තමන්ගෙ ඥාතියෙක්ගෙ කියලා එම්බාම් කරගෙන ගෙදරට ගෙනල්ලා තියෙන්නෙ... ඒ යහමින් බූරු ගහලා කීයක් හරි හම්බකර ගන්න.. සතියක් ගතවෙලා මිනිය කුණු වෙන තරමට ආවත්  උන්ට වලලන්න හිත දීලා නෑ.. මොකද මොණර කොළ රෑට රෑට ඒ පැත්තෙන් ඉගිල්ලෙන හින්දා... අන්තිමට සැට් එකටම හිරකූඩුවෙ කූරු ගනින්න තමා වෙලා තියෙන්නෙ...

ඊළග කථා වාරය උදා වුනේ  සුරංග මාමගෙ මල්ලිට... නම අනුරාධ එයාගෙ කථාව මෙහෙමයි...

එකෝමත් එක දවසක මද පමණ සප්පායම් වෙලා මිනිහෙක් මළගෙදරක ගියේලු...  එකා දෙන්නා බැගින් ඇවිල්ලා සෑහෙන පිරිසකුත් මේ කියන මළ ගෙදර හිටියට  කිසිම සොමියක් නෑලු.. ඒ කිව්වෙ කාඩ් කුට්ටමක්, කැරම් ලෑල්ලක්, බෙහෙතකට හොයා ගන්න නැතිලු... බිස්කට් එකක් තියා ප්ලේන්ටියක් ආසාවට දකින්න නෑලු. සෑහෙන වෙලාවක් කම්මැලි කමේ ගත කරපු මේ හාදයා හඩ අවදි කරලා. මළගෙදරට අදාළ කෙනෙක්ගෙන් අහනවලු...

මේ මල්ලි තාම මොකුත් නැතෙයි......
ඒ කිව්වෙ අයියෙ ?
නෑ මේ මම කිව්වෙ කාඩ් පැක් එකක් එහෙම... ඕමියක් බලන්න....
කාඩ් පැක් ගෙනාවොත් බූරු ගහයි කියලා ලොකු  අයියා ගේන්න එපා කිව්වනෙ
එතකොට මල්ලි කම්මැලිකමට කැරම් පාරක් වත් ගහන්න බෝඩ් එකක් නැද්ද ?
මාර වැඩේනෙ.. අපේ ගමේ කැරම් බෝඩ් තියෙන එකෙක්වත් දෙන්නෙ නෑනෙ..
මළ ගෙදර උන් සෙල්ලං කරලා සවුත්තු කරයි කියලා...

තවත් ටික වෙලාවකින්
මේ මල්ලි ප්ලේන්ටියක් එහෙම .......
අපේ ගෙදර ඉතිං මොකුත් හදන්න බෑනෙ අයියා... ගමේ කවුරු හරි ගේනකන් ඉන්න වෙනවා.. වැඩේ කියන්නෙ තාම එකෙක්වත් තේ පෝච්චියක් උස්සගෙන ආවෙ නෑනෙ....

මෙන්න මේ වෙලාවෙ ඊට ටිකක් දුරින් තිබ්බ තවත් මළ ගෙදරක හෝඩුවාවක් ලැබිලා මේ හාදයා මේ මළගෙදරින් සමුඅරන් ඒ මළගෙදර ගිහිල්ලා... එහෙ ඉතිං හැමදේම තිබිලා... ඒ කිව්වෙ කාඩ් පැක්, කැරම් බෝඩ්,  වගේම සංග්‍ර‍හ කටයුතුත් ගානට කෙරෙනවලු... ඉතිං බොහොම සතුටින් පැය කීපයක් ගත කරලා ගෙදර යන ගමන් අර මනුස්සයා තමන් කලින් හිටිය මළගෙදරට ආයෙමත් ගොඩවැදිලා... කාඩ් පැක් කැරම් බෝඩ් ගැන විමසූ කොල්ලට ආයෙත් කථා කරලා.

මේ මල්ලි තමුසෙලට අපි ඉල්ලන දේවල් දෙන්න බැරි නම්
මළ ගෙවල් ගන්න එපා ඕයි !

අර එහායින් තියෙන මළගෙදර වගේ ගන්නවකො... 
අන්න මළ ගෙවල් කියලා මිනිහා අදුරේම නොපෙනී ගිහින්....

මේ කථාව අහලා වටේ පිටේ හිටපු උන් මළගෙයක් කියලත් අමතක වෙලා සද්දෙට හිනාවක් දැම්මා...

මෙන්න මේ වෙලාවෙ තමා ධාවන තරගයක රථයක් පාරදිගේ ලිස්සලා යනකොට ටයර් වලින් නැගෙන හඩ වගේ හඩක් ඇහිලා දඩෝං ගාලා සද්දයක් ඇහුනෙ....
අනුමානයක් නෑ වාහනයක් හැප්පුනා කියපු කොල්ලො රොත්තම අඩියට දෙකට ප්‍ර‍ධාන පාරට දිව්වා.... අපේ හන්දියට ටිකක් ඈතින් බෝක්කුවක් ළග නවීන කාර් රථයක් පෙරලිලා තිබුනා...

අපි එතනට යනකොට එක්කෙනෙක් යටි ගිරියෙන් කෑ ගහනවා.... රියදුරු අසුන පැත්ත උඩට වෙන්න තමා රථය පෙරළිලා තිබුනෙ... අසීරුවෙන් එළියට ආපු තරුණ රියදුරා බිම ඉදගත්තා.. රථයේ ඉදිරිපස සිටි අනිත් කෙනත් අසීරැවෙන් එළියට ආවා... ඒත් පිටිපස අසුනෙන් සද්දයක් නෑ... බිදිලා තිබ්බ වීදුරැ අස්සෙන් බලපුවාම  කොල්ලො හතරදෙනෙක් අසුන උඩ කිටි කිටියෙ හිරවෙලා... අපේ උන් ආවේගශීලීව කෑගහනවා  ඉක්මනට බේරා ගම්මු කියලා.... හතර දෙනා අතරින් එක්කෙනෙක්ට විතරයි සිහිය තිබුනෙ... අනිත් තිදෙනා ඒ වෙද්දිත් සිහිසුන් වෙලා...

සීරුවට මාරුවට උඩ පැත්තට තිබුන දොරෙන් එක්කෙනා බැගින් අපේ කොල්ලො එළියට ගත්තා ඒත් අන්තිමට හිටපු කෙනා හිටියෙ අසාධ්‍ය තත්වයක... තුනට නැමිලා කාර් එක අස්සෙ හිරවෙලා තිබුන ටෙලිෆෝන් කණුවක් අස්සෙ එයාගෙ හිස හිරවෙලා.... මේ වෙලාවෙ හැමෝම හිසට වෙන්න පුලුවන් හානිය අවම කරලා එයාවත් කාරයෙන් එළියට ගත්තා... ඒ වෙනකොටත් එයාගෙ හිස සහ උරහිස බොහොම දරැණු විදියට තුවාල වෙලා.. ලේ විලක් එතන...

විශ්වාස කරන්න අඩි 3ක් පමණ පොළොව යටට වෙන්න සිටුවන කොන්ක්‍රීට් ටෙලිෆෝන් කණුව, වලෙන් උඩට ඇවිල්ලා තවත් අඩි 5 ක් විතර ඈතට විසිවෙලා කෑලි 3 ක් වෙන්න කැඩිලා... රථයේ වේගය හිතාගන්න පුලුවන් නේද?...

හැමෝම බේරා ගත්තට පස්සෙ රියදුරා හැර රථයේ පැමිණි සියල්ලන්ම ඉතා ඉක්මනින් රෝහල් ගත කලා... ඒ අවස්ථාවෙ මාර්ගයේ ධාවනය වුන හැම රථයක්ම ඒ සදහා සහාය දීමට ඉදිරිපත් වීම ප්‍ර‍ශංසනීයයි.

ඔන්න ඊට පස්සෙ රියදුරු තුමා බෝක්කුව උඩ ඉද ගත්තා... එයාට කිසිම හානියක් වෙලා නෑ මේ දරැණු අනතුරෙන්. කොල්ලො සැට් එක එයාගෙ ලගින් ඉද ගත්තා... මිනිහගෙ ඇස් දෙකෙන් කදුලු වැක්කෙරෙනවා අපිටත් හරිම දුකයි.... දමිළ සහෝදරයෙක් උනාට අපිට භේදයක් නෑ.. ඒ අපි හැමෝගෙම ලේ, වතුරට වඩා ඝනකම් නිසා...

කවුරුවත් බීමත්ව හිටියෙත් නෑ... එහෙනම් කොහොමද මෙහෙම දෙයක් වුනේ... මීටර් 20 කට වඩා දුරක් පාර අයිනෙ තිබුන කාණුවක් දිගේ වේගයෙන් ඇවිල්ලා තමා රථය කණුවෙ වැදිලා නතරවෙලා තියෙන්නෙ... පාර පුරාම පස් ,තණකොළ වගේ දේවල්...

අයියෙ.. රියදුරු මල්ලියා කට ඇරියා...මිනිහා ලංකාවෙ ප්‍ර‍ධානම මාධ්‍ය ආයතනයක සේවය කරන කෙනෙක්...         මේ තාත්තගෙ කාර් එක... තාත්ත දැනගත්තොත් මාව මරයි අයියෙ...
පිස්සුද බන් මේ යකඩ ගොඩකට වඩා තාත්තෙක්ට පුතාව වටිනවා.. උඹ භය නැතුව වෙච්ච දේ කියපන් අපේ උන් උත්තර සැපයූවා

ඊයෙ අපේ ආයතනයේ තිබ්බ වසරේ හොදම සේවකයන් තෝරන තරගයෙන් මගේ අංශයේ හොදම කෙනා විදියට තේරුනේ මාව... ඒ සම්මානයත් කාර් එකේ තිබ්බා හැප්පෙනකොට...  එහෙම කියලා එයා ආයෙත් අඩනවා... මගේ යාලුවොත් එක්ක අපි යන්න ගියේ අපේ ගෙදර පොඩි පාටියක් දාන්න... අපි ටිකක් වේගයෙන් ආවා.. අපිට ඉස්සරහින් මෝටර් සයිකලයක් ගියා... ඒක ඉස්සර කරන්න හදනකොටම එයත් බයිසිකලේ පාර පැත්තට ගත්තා... එයාව බේරන්න ගිහින් කාර් එක කාණුවට වැටිලා ඒක දිගේම ඇවිත් කණුවෙ වැදුනා... බ්‍රේක් කලාට නතර වුනේ නෑ...

මේ කථාව අතරතුර පොලෝසියෙ මහත්වරැත් ඉතා ඉක්මනට එතනට ඇවිල්ලා මූලික විමර්ශන කටයුතු ආරම්භ කලා... එතකොටම තුන්දෙනා ඩබල් දාලා වේගෙන් ආපු බයිසිමොටෝ එකක් එකතැන බ්‍රේක් ගහලා කාර් එක තිබ්බ පැත්තට විරැද්ධ පැත්තෙන් වෙලට වැටුනා.... පොලෝසියේ ඇත්තන්ටත් හිනා..  හිතපු නැති වෙලාවක මේ මහත්වරැ දැකපු උන් තුන්දෙනා භයටම වෙලට වැටිලා තියෙන්නෙ හෙල්මට් තිබ්බෙ නැති නිසා.

තවත් වේලාවක් ගියාට පස්සෙ රියදුරු තුමාගෙ පියතුමා එතැනට ආවා... කාර් එක දිහා උවමනාවට එපාවට බලපු එතුමා  ළමයින්ට කොහොමද කියලා තමයි පොලෝසියෙ මහත්වරැන්ගෙන් ඇහුවෙ... වාහනයට වෙච්ච හානිය ගැන කිසිම තැවීමක් අපි ඒ මූණෙ දැක්කෙ නෑ... තමන්ගෙ පුතා ලගට ඇවිල්ලා Take It Easy Man කියලා විතරයි කිව්වෙ... උදව් කලාට අපිටත් ගොඩාක් ස්තූති කලා...

වාහනය තිබ්බ තැනට පහළින් ගලා යන ඇලේ තිබිලා වාහනයේ තිබුන ලියකියවිලි, වගේම ලැබුනා කිව්ව සම්මානෙත් සොයා ගත්තා... සම්මානෙ නම් ඒ වෙද්දි කෑලි කෑලි වෙන්න කැඩිලා තිබුනෙ... ලොව පවතින සියලු දේ අනිත්‍ය යැයි බුදුන්ගේ ඉගැන්වීමත් සිහිපත් කරලා... තවත් පැයක් පමණ එතැන ගත කරලා සිරා ඉතින් සැට් එකත් එක්කම ආයෙත් මළගෙදරට ආවා... පසුව දැනගන්න ලැබුනා අසාධ්‍යව හිටපු කෙනා කොළඹ මහරෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කරපු බවක්...

මෙන්න මේ දේ තමා මට විශේෂයෙන්ම කියන්න උවමනා වුනේ

ඉදිරියෙන් ගිය බයිසිකලය හේතුවක් නැතුව ඒ කියන්නෙ විහිලුවට වගේ පාර මැද්දට ගත්තා කියලා තමා ඇසින් දුටු අය කිව්වෙ... කොහොම හරි ඒ අමනයගෙ වැඩෙන්  එක්කෙනෙකුට ජීවිතයත් මරණයත් අතර සටන් කරන්න සිද්ධ වුනා  වගේම වටිනා සැමරුමකුත් ඔවුන්ට අහිමි වුනා... අනතුර සිදුවුනාට පස්සෙ නැවතිලා උදව් කරන්න තරම්වත් මනුස්සකමක් ඌට තිබිලා නෑ.

නවීනම පන්නයේ වාහනයක් උනාට වායු මලු (Air Bags) ක්‍රියාත්මක වෙලා තිබුනෙ නෑ... ඒවා ක්‍රියාත්මක වීමට ආසන පටි පැළද සිටීම අත්‍යවශ්‍යයි.. ඒ අනුව රථයේ ආපු අය වැරදි දෙකක් කරලා...

1  පාලනය කරගත නොහැකි අධික වේගය
2  ආසන පටි පැළද නොසිටීම

මේ පෝස්ටුව කියවන ඔබත් රියදුරෙක් නම් මේ දේවල් තරයේ සිහිතබා ගත්තොත් හොදා නේද ?
අධික වේගය මරුවා කැදවයි !


මම සයිබරයේ අලුත් මිතුරා සිරා...


ප.ලි

කාර් රථය අනතුර වූ ස්ථානයෙන් ඉවත් කරන්න  ඒ සදහා අවශ්‍ය වාහනයක් ගෙනල්ල ඔසවන අවස්ථාවෙ මාර්ගයේ ඇතිවෙච්ච ක්ෂණික තදබදය අස්සෙ තවත් කාරයක් අනතුරට පත්වෙලා තිබුනා.....

ලංකාවෙ ප්‍ර‍ධාන මාර්ගයක් වන  A 33  දි තමයි මේ අනතුර උනේ...

ඉහළම පින්තූරෙ අනතුරට අදාළ එක නෙමෙයි... ඒක ගත්තෙ මෙතැනින්

අසාධ්‍යව සිටි කෙනා මියගිය බවට දැනගන්න ලැබුනත් එය සාවද්‍ය බව කොමෙන්ටුවකින් හෙළිවීම නිසා.. නැවතත් මෙම පෝස්ටුවේ ඒ බැව් පසුව සංස්කරණය කල බැව් සලකන්න...

Related Posts Plugin for WordPress, Blogger...