Thursday, February 28, 2013

118 පාසල් වේදිකාවෙන් නිමා වූ කෙටවල ෆන්

පාසල් ප්‍ර‍ධාන ශාලාව මීයට පිම්බාක් මෙනි. අ.පො.ස සා/පෙ කඩුල්ල පනින්නට සූජානම් ව සිටින කොලු නඩේ  වෙනදා නැති උනන්දුවකින් විභාගයට පෙර පැවැත්වෙන අවසාන දේශන කීපයට සවන් දෙමින් සිටී. දේශන පවත්වන අයවලුන් පාසලට පිටස්තරින් පැමිණි ඇත්තන් නිසාදෝ හැම කෙනෙකුම ඉතා උවමනාවෙන් ඔවුන්ට කන් යොමා ඇති සෙයකි. හැම එකාම වරින් වර හිස් සටහන් කොළ වල කුමක් හෝ සටහන් කරයි.

අපි එහෙනං බලමු පුතාලා කොහොමද අපි මේ විභාගයට කලින් දවසෙ සූදානම් වෙන්නෙ කියලා... දේශක තුමා ඉදිරියෙන් තබා ඇති වයිට් බෝඩයේ පෑනකින් යමක් සටහන් කරමින් උපදෙස් මාලාවක් නිකුත් කරයි. වඩා වැදගත් දේ තමයි...අපිට උත්තර සපයන්න ලැබෙන සුළු කාලය කොහොමද වඩා ඵලදායී ලෙස කලමණාකරනය  කරගන්නෙ කියන කාරණේ...

මෙවැනි දේශන උදෙසා සම්පත් දායකයින් සෑහෙන තරමේ මුදලක් වියදම් කරමින් පාසලට රැගෙන එන නිසාදෝ සති කීපයක සිටම ශිෂ්‍යයන්ට අවධාරනය කරන්නේ.. විභාගයට පෙර පැවැත්වෙන සම්මන්ත්‍ර‍ණ මාලාවට අනිවාර්යෙන්ම සහභාගි විය යුතු බවකි. ඒ නිසාමදෝ සාමාන්‍ය පෙළ සිසුන්ගෙන් බහුතරයක් මේ කියන දින කීපයේ ප්‍ර‍ධාන ශාලාවේ අසුන් ගනී.

සම්මන්ත්‍ර‍ණයේ විවේක කාලයට තවත් වේලා තිබුනත් හදිසියේ පැමිණි නියෝජ්‍ය විදුහල්පති වරයෙකු විසින් පිටතින් පැමිණ සිටි දේශක මහතා ඇතුළු පිරිස ප්‍ර‍ධාන කාර්යාලය තුලට කැදවාගෙන යන දසුන කාගේත් කුතුහලය ඉහළට එසවීය. මොකෝ බන් මේ එකපාරටම සැට් එක ගියේ...මා පිටුපස සිටි එකෙක් තට්ටුවක් දමමින් විමසයි.

ඒ අතරතුර බ්රාස් යන අනුකරණයෙන් එකතැන තිරිංග පෑගුනු සුදු පැහැති වෑන් රථයක් විදුහල්පති කාර්යාලය අසලට ලගා විය. ඒ තුලින් පාසල නිළ ඇදුම සහිතව කිප දෙනෙකු බිමට බසිනා දර්ශනය යන්තමින් දර්ශනය වෙයි. යුරෝපීය ඇදුමෙන් සැරසුනු විද්‍යාලයාධිපති තුමා ඒ සමගම ප්‍ර‍ධාන ශාලාවට වාර්තා කලේ  ගොනුන් තලනා කෙවිටක් බදු වේවැලක්ද සමගිනි. වෑන් එකෙන් සම්ප්‍රාප්ත වූ සැට් එකට පෝරියල් එක ලැබෙන බව දැන් ඉතිං කිරි ගහට මන්නෙන් කෙටුවා සේ පැහැදිලිය.

ප්‍ර‍ධාන ශාලාව තුල දැන් සිටින්නේ විද්‍යාලයේ සිසුන් හා ගුරු භවතුන් පමණකි.  චූදිතයෝ මාධ්‍යයට භයේ මුහුණු සගවා ගැනීමට උත්සාහ නොකලෝය... උනුන් බිම බලාගත් වනම ලග අඩි තියමින් පේළියට පැමිණියෝය.

අනේ ඇත්තට මුන්ට මෙච්චර කට කැඩෙනකන් සම්මන්ත්‍ර‍ණයට එන්න කියලත් ගිහිල්ලා මගුල් නටන්න...මගේ පන්තියෙ නාම්බෙකුත් ඔය ඉන්නෙ... ගුරුතුමියක් තමන්ගේ පන්තියේ චූදිතයෙක් දෙස බලා තම සිතැගි හෙළි කරයි.

ශාලාවේ තැන් තැන් වල කසු කුසු ඇසුනත් වෙච්ච සන්තෑසිය තවමත් පැහැදිලි නැත. කාට කාටත් හොදට තමුන්ගෙ මූණු බලාගන්න නගිනවලා ස්ටේජ් එක උඩට...විදුහල්පති තුමාගේ ගරු ගාම්භීර කටහඩ ප්‍ර‍ධාන ශාලාව තුල රැව් පිළිරැව් දෙයි. තවත් මොහොතකින් වැරදිකරුවන් දස දෙනෙකු පමණ වේදිකාව මතට නැගී සිය රූප සොභාව අවශේෂ මිත්‍ර‍යන්ට පෙන්වමින් සිටියි. පසුතැවිල්ලක සේයා ඒ මුහුණු වලින් හොදින් දිස්වෙයි.

ඉන් අනතුරුව එළැඹියේ චූදිතයන්ගේ පශ්චාත් කලාපය සමග වේවැල වේගයෙන් ඝට්ටනය වූ ඒ උද්වේගකාරී අවස්ථාවයි... සැට් එකම පුක රත්වෙන්නට දෙක, තුන , හතර බැගින් කෑවෝය... එහෙත් උන් කල වැරැද්ද දැන ගැනීමට තවත් පමා වූයේ දඩුවම් ලාභීන් සමග වචනයක් දෙකක් දොඩන්නට අපට අවස්ථාව ලැබෙන්නට ගත වූ කාල පමාව හෙයිනි.

විදුහල්පතිතුමාගේ කාරුණික භාවය නිසාම විභාගය අතළග තබාගෙන පන්ති තහනම් කිරීම, විභාග ප්‍රවේශ පත්‍ර‍ ලබා නොදීම වැනි දරුණු දඩුවමකට යටත් නොවී වැඩේ නුලෙන් ගොඩදාගන්නට උන්ට හැකි විය. ඒ අවසරයෙන් සිද්ධියේ සුළ මුල අකුරක් නෑර දිගහැරීමට පශ්චාත් කලාපයේ වේදනාව සමනය වූ සැනින් ගුටි කෑ එවුන් ඉදිරිපත් විය.

සම්මන්ත්‍ර‍ණ වලට ඉදලා කාටද බන් හරිගියෙ අපි කෙටවල ගිහින් නාලා ෆන් එකක් දාමු...පාප මිත්‍රයෙක් කල ඒ යෝජනාව සම්මත වෙන්නට වැඩි වේලාවක් ගොස් නැත. කෙටවල යනු 50 දශකයේදී ගම්පහ ප්‍රදේශයේ කෙත්වතු වෙත ජල සම්පාදනය පිණිස ඇති කල අමුණක් හෙවත් ඇනිකට් එකකි...මෙම ස්ථානයේ දියනෑම විශේෂයෙන් ගම්පහ තරුණ පරපුර අතර ඉතා ජනප්‍රිය අතර වසරකට කිප දෙනෙකු අනිවාර්යෙන්ම ජීවිතයට සමුදෙන ස්ථානයකි.

කෙටවල දසුනක්
http://farm8.staticflickr.com/7257/7643015938_1828657852_z.jpg

ඔන්න ඉතිං ආයුබොවන් මුන් ටික එදා සම්මන්ත්‍ර‍ණයට කට් එක දිලා..නිදහසේ නා කියා ගන්න කියලා කෙටවල පැත්තට ගිහින්...ඔය ගමන යන්නෙ පා ගමනින්  රේල් පාර දිගේ...ගම්පහ සහ දාරළුව දුම්රිය පලවල් අතර තමයි මෙය පිහිටා තියෙන්නෙ. කෙටවල කිට්ටුවට ගියාම තියෙනවා දුම්රිය හරස් මාර්ගයක්...අන්න එතැනදි වමට හැරිලා ගෙවල් කිපයක් පසුකරගෙන තමයි අදාළ තැනට යන්න ඕනෙ...

ඒ අතර තිබූ නිවසක සිටි කාන්තාවකට තමන්ගෙ දරුවත් මේ පාසලේ ඉගෙන ගන්න නිසා නිළ ඇදුම හොදට හුරුයි. ඒ නිසාම අහලා තියෙනවා...ඉස්කෝලෙන් කට්ටි පැනලද නාන්න යන්නෙ...කරුණාකරලා ආපහු යන්න කියලා...මෙන්න මේ වෙලාවෙ නාන්න ගිය උන් පිළිතුරු විදියට දිලා තියෙන්නෙ කුණු හරුප වැළක්...කාන්තාව එයින් පසු පසුබා ගියත්...ඇය පාසලට ඇමතුමක් අරන් විස්තරය දැනුම් දී තිබෙනවා.

කෙටවල දෙසට එන වාහනයක් ඈත දීම පෙනෙන නිසා මේ පිරිස අල්ලාගන්නා එකත් ගැටලුවක්...විද්‍යාලයේ විනය කමිටුව සාමූහිකව සාකච්ඡා කරලා තරමක් මහන්සි විය යුතු සැලසුමක් හදාගෙන...ඒ අනුව විද්‍යාලයේ ගුරුභවතෙකුගෙ පුද්ගලික වාහනයකින් ඒ ඉසව්වට යනවා... නමුත් ගුරුවරුන් ඈත තියාම හදුනාගත හැකි නිසා ඔවුන් ඒ සදහා විකල්ප ඇදුම් ප්‍රයෝජනයට අරන්...ඒ කිව්වෙ වෙස් මාරුකරගෙන.

ඒ කිව්වෙ...සපත්තු , කලිසම්, කමිස වලින් මිදිලා සරමක්, බැණියමක් කාරිය ඇදලා... බුලත් විටකුත් හපන ගමන් තමයි පිරිස නාන සැට් එකට කිට්ටු කරලා තියෙන්නෙ...ඔය අතර හිටියා නන්දසේන කියලා ගුරුභවතෙක්...ගණිතය විෂය තමයි ඉගැන්නුවෙ... එතුමා ඇදන් ඉන්න සරමට අමතරව තවත් සරමකින් මුහුණ හදුනාගත නොහැකි ආකාරයට ආවරණය කරගෙන තමයි මෙහෙයුම ක්‍රියාත්මක කරන්න සුදානම් වෙලා තියෙන්නෙ...

ඔන්න දැන් පිරිස නාන උන් ලගට කිට්ටු වෙලා... මේ වයසක උන්දැලට සමහර උන් කෝචොක් එක දාන ගමන් එක එක දේවල් ඉල්ලලා....මේ වෙලාවෙ තමයි...හෙණ ගැහුවා වගේ විනය කමිටුව ක්‍රියාත්මක වෙලා මුන් ටික බෙල්ලෙන් අල්ලගෙන වෑන් එක ලගට ඇදගෙන ඇවිල්ලා පාසල් නිල ඇදුම අන්දලා වාහනේට පටවලා තියෙන්නෙ...නාන්න ගිහිල්ලා ගිලුනා නම් කවුද වග කියන්නෙ... මේ ප්‍ර‍ශ්නෙ තමා පාසල් බලධාරීන් නාන්න ගිය නඩෙන් අහපු එකම ප්‍ර‍ශ්නෙ...

ඇයි යකෝ ඔච්චර උඹලට ඔය සර්ලව අදුන ගන්න බැරි උනාද ? සමහරු චූදිතයන්ගෙන් එහෙමත් ඇහුවා... කවුද බන් හිතන්නෙ අපේ නන්දසේන සර් බුලත් විටකුත් හප හපා සරමක් ඇදලා ජටාවක් ගහගෙන ඔතනට එයි කියලා...අපේ උන් ඩබල් සරම් කියලා විහිලුත් කලා බන්...හරියටම කුරුං ගුරුං වගේ තමයි හිටියෙ...අදුන ගන්න බෑ. මෙහෙම සභාව ඉස්සරහටම ගෙනල්ලා ගහයි කියලා නිකමටවත් හිතුවෙ නෑ බන් ...ප්‍රින්සිපල්ට යන්තම් වැදලා වැදලා විභාගෙ ලියන්න චෑන්ස් එක ගත්තෙ..දැන් ඉතිං පුක නෑ වගේ වේවැල් පාර වැදිලා....ආයෙ නම් කෙටවල පැත්තවත් බලන්න හිතෙන්නෙ නෑ බොල...ඇත්තමයි....අද දවස පට්ටම කුජීතයි.


මම කාමරේ වෙසෙන, සත්ගුණවත් සිරා කොලුවා


ප.ලි

සිරාගේ කාමරේ දොර විවෘත කර ගතවූ මාස 9 පුරාවටම 7 ගුණාකාරයෙන්, කියවන ඔබ වෙනුවෙන් එක හුස්මට ලිව්වෙමි. ඒ ලිවිල්ලට මද විරාමයක් තියන්නට දැන් ඉතිං කාලය එළැඹ තිබේ. පුද්ගලික ජීවිතේ ඇති බලාපොරොත්තු හා අනාගතය පිළිබද ඇති අපේක්ෂාවන් සාක්ෂාත් කරගැනීමේ අරමුණින් මවුබිමෙන් සමු ගනිමි. සිරාගේ කාමරයට කෙටි විරාමයක් තබමි. එනමුදු නුදුරු දිනයක නැවතත් කාමරයට යන එන ඔබ වෙනුවෙන් නිසැකවම ලියමි. මගේ සහෘද බ්ලොග්කරුවන්ගේ ලියවිලි මේ කාලය ඇතුලත කියවන්නට මට ඉඩක් නැත්තේය. ඒ ගැන අමනාප නොවනු ඇතැයි සිතමි. බ්ලොග් කලාවේ අතදරුවෙකු වන මා හට නන් අයුරින් සහාය වූ සියලුම සත්පුරුෂයන් ආදරයෙන් මතක් කරමි. ඔබට ජය !



Monday, February 25, 2013

83 පින්තූර කථාවක්

අල්ලට සිගාවත් රස නැති කැවිලි        කකා
වල්කොළ බිම අතුට නිදි නොලැබ දුක්  තකා
කල්ගිය රෙදි වැරලි ඇද දැලි කුණෙන්    වකා
ඇල්මෙන් අකුරු උගනිවු ඉදිරි වැඩ      තකා

වේවැල් කෝටු නාරං සියඹලා        අතු
කිතුල් පොල් ඉරටු වැල් කහඹිලියා අතු
මෙවැනි ඉපල් මගෙ දැසට නොපෑ    යුතු
පමා නොවී එමි අකුරට මෙයින්       මතු

තිබු තැනක සොර සතුරන් ගත  නොහෙනා
එසැඩ මනාවත් වතුරෙන් වල    නොහෙනා
කෝප වුවත් රජ මැතිදුන් ගත    නොහෙනා
උගත මනා ශිල්පයමයි මතු         රැකෙනා

මේවා අපි පොඩි සන්දියෙ නිතර දෙවේලෙ  අහපු / හඩ නගා කියපු කවි...අද පරම්පරාවෙ ශිෂ්‍යයො නම් සමහර විට මේ කවි කවදාවත් අහලා නැතුව ඇති. ඒ ගැන පුදුමයකුත් නෑ...ගුණ ධර්ම මග හලාගෙන පිම්මෙ රේස් එකක් දුවන නුතන අධිවේගී සමාජ ක්‍ර‍මය තුල අධ්‍යාපනය විතරක් උඩු ගං බලා යන්න විදියක් නෑ නොවැ. මේ කවි පෙළ  වදන් කවි පොතෙන් උපුටා ගත් එවා...


අතීත සමාජයේ ගුරුවරයා හා ශිෂ්‍යා අතර තිබූ අනෝන්‍ය බැදියාව හා චර්යාවන් සියුම් ලෙස ග්‍ර‍හණයට ගත් රචනාවක් ලෙස අපට ඇතැම් කවි හදුනාගත හැකියි. ඒ අනුව පමා වී පාසලට පැමිණී කල දඩුවම් ලබා දීමට පාවිච්චි කල උපකරණ පිළිබදවත් යම් හැදින්වීමක් මේ  කවියක අන්තර්ගතයි. කුමන දුකක් හෝ විද දරාගෙන අනාගත සුභ සිද්ධිය උදෙසා අධ්‍යාපනය ලැබිය යුතු බවට ශිෂ්‍යන් වෙත යම් අවධාරනයක් කරන්නේ පරිණත වැඩිහිටියෙකුගේ  කෝණයෙන් බවයි මගේ අදහස. තමන්ගේ වැරදි උදෙසා කෙරෙන දඩුවම් මගින් වැලකීමට තමා තුලම අධිෂ්ඨානය ඇති කරගත් පැරණි ශිෂ්‍යා ප්‍ර‍ජාවගෙන් නූතන ශිෂ්‍යයන් වෙනස් වන්නේ ශිෂ්‍යයාගේ වරදට දඩුවම් කරන ගුරුවරුන් නීතිය හමුවට පමුණුවාලීමට ඔවුන් කටයුතු කරන හෙයිනි. 

කුමන බාධකය ආවත්..ඒවා මැඩගෙන අධ්‍යාපනය ලැබිය යුතු බවත්, එලෙසින් ලබන අධ්‍යාපනය මතු කලෙක ප්‍රයෝජනවත් වන ආකාරයත් ශිෂ්‍ය මනසට ගෝචර වන පරිද රචනා කර ඇති අන්දම අපූරුයි. හැම් බේකන්, චීස්, බටර්, අනුභව කර සුඛෝපභෝගී බෙන්ස්, BMW රථ ඇසුරේ පාසල් යන එන දරු පැටව් ඇති ලෝකයක, තමන් උපන් දේශයේ දරිද්‍ර‍තාවයේ සෙවනැලි වලින් පීඩාවට පත් දරුවන්ද සිටින වග අප අමතක කල යුතු නොවේ. එය අපේ ලංකාවට පමණක් සීමා වූ කාරණයක්ද නොවේ.

ඉහතින් දැක්වූ  කවි පෙලේ අරුත යලිත් වතාවක්  මට හොදින් පසක් වුනේ මේ සමග ඇති ඡායාරූප සමූහය දැකීමෙන්. තෙවෙනි ලෝකයට අයත් රටවල වැසියනගේ දුවා දරුවන්  පාලකයන්ගෙ නිද්‍රාශීලී ප්‍ර‍තිපත්ති හේතුවෙන් මේ අයුරින්  පීඩාවට පත්වී තිබෙනවා...වරද කාගේ වුවත් මේ දරුවන් තම දිවි පරදුවට තබා...අධ්‍යාපනය ලබාගන්නට දරන වෙහෙස පිළිබදව ඇතිවෙන්නෙ සංවේගය මුසු වූ සතුටක්.

යටිතල පහසුකම් වල  පවතින ඌණතාවයන් හමුවේ නොසැලී කෙසේ හෝ මතු දියුණුව උදෙසා ධෛර්යයෙන් අකුරට යන මේ පොඩි පැටව්  පිළිබද ඡායාරූප මට ලැබුනේ විද්යුත් තැපෑලෙන්...මිතුරෙකු මාර්ගයෙන්... වචන දහසකින් කිව යුතු  දේ එක් පින්තූරයකට පැවසිය හැකියැයි කියවෙන නිසාවෙන්...තවත් වචන නාස්ති නොකර ඒ සියල්ල නැරඹීමටත්...ඒ තුලින් කියවෙන දරිද්‍ර‍තාවයේ හෝ ඌණ යටිතල පහසුකම් පිළිබද කථාවත් ...ඒ හමුවේ බිද නොවැටුනු සිසු දරුවන්ගේ ඉගෙනීමේ ආශාව පිළිබදවත් සිතා බලන්න... ලෝකයේ කොහේ සිටියත් ඔව්හුද දරුවෝය...ඉගෙනගැනීමට ඇති අයිතිය උදෙසා ඔවුන් දරණ මහන්සිය කෙතරම් දුක්ඛසහගතද ?




























මම කාමරේ වෙසෙන, සත්ගුණවත් සිරා කොලුවා.


ප.ලි

මේ රට තමයි ඉන්දුනීසියාව

මේ ආකාරයෙන් පාසල් යන්නට දුක් විදින දරුවන් අපේ රටේද සිටී. ඒවා බලලෝභී දේශපාලුවන්ට නොපෙනීම නම් සැබැවින්ම අභාග්‍යයකි.

Friday, February 22, 2013

81 අපි නොදන්න ටෙඩී සහ ඔබ නොදන්න අසංක

අසංක, ඉගෙන ගන්නෙ නැත්නම් ඉගෙන ගන්න ළමයෙකුටවත් ඉගෙන ගන්න දීලා පැත්තකට වෙලා ඉන්නවා... 5 වසර සිංහල පොත අතට ගෙන පන්ති භාර ලලිතා ටීචර් කෑ ගසයි.  කට කැඩෙනකන් කිව්වත් මේකා ඉගෙන ගන්නෙ නැති හැටියක් ...ඒ මදිවාට හැමදාම පැමිණිලි...අදින්නෙත් හරිම අපිරිසුදු විදියට... සිරා කොලුවා සිස්සත්තෙට ඉදගත්ත 92 වසරේ ඇසුනු කථා බහක් තමයි ඒ...

5 A ...ඒ තමයි අපේ පන්තිය...අපේ කාලෙ පන්තියෙ අගට අරලිය,වැටමාර, ඕලු,සමන්,වතුසුද්ද වගේ නම් තිබුනෙ නැති නිසා අපේ පන්තිය හැදින්වුවෙ ඒ විදියට...පළමු වසරෙ ඉදන් එකටම ආපු සිසු සිසුවියන් තමා අපේ මේ පන්තියෙ හිටියෙ... ගම්බද කුඩා පාසලක් උවත්...එහි හිටිය ගුරු දෙමව්පියන් ඉතාමත් උවමනාවෙන් සිස්සත්ත කඩඉම ජයගන්න පුංචි අපිට මහා අත්වැලක් වූ බව නොකියාම බෑ... කිසිම වැටුපක්...වරදානයක් අපේක්ෂාවකින් තොරව මාරුවෙන් මාරුවට විවිධ ගුරුවරු පාසලෙන් පසු හවස් කාලයේ අපට පන්ති පැවැත්වූවා...ඒ සම්පූර්ණයෙන්ම නොමිලේ...

3 පන්තියෙදි තමයි සිස්සත්ත තරගෙ පටන් ගන්නෙ... ඒ පන්තිය භාරව ඉන්න ටීචර් හැම දරුවෙක්වම උනන්දු කරලා හැකියාවන් වර්ධනය කරන්නට මහන්සි වුවත් ඒ මහන්සිය අපතේ ගිය අවස්ථාත් ඕනෙ තරම් තියෙනවා...ඒ ඉගෙනගන්න කිසිම උනන්දුවක් නැති අසංක වගේ චරිත නිසා...

අපි තුනෙන් හතරෙ පන්තියට එද්දි....පැරණි පන්ති භාර ටීචර් අලුත් පන්ති භාර ටීචර්ට දෙන තත්ව සහතිකය තුල අසංකගෙ නම නිතරම කියැවුනා. මේ පන්තියෙ ඉන්න අසංක කියන කොල්ලා නම් කිසිම වැඩක් කරන්නෙ නෑ...ගෙදර වැඩ දෙන ඒවා කිසිදවසක කරගෙන එන්නෙත් නෑ...ඒ මදිවට දාංගලේ...හැමදාම කාටහරි ළමයෙක්ට ගහලා....රැස්වීමකට එන්න කිව්වට ගෙදරින් කවුරුවත් එන්නෙත් නෑ...අනේ මන්දා මට නම් තේරෙන්නෙ නෑ...මේකා මොනවා කරන්න හිතාගෙන ඉන්නවද කියලා... ඔන්න ඔහොමයි අසංකයගෙ ගුණ වැයෙන්නෙ...

5 පන්තියට එද්දි ඉගෙනගන්න උනන්දුව තියෙන පිරිස ගුරුවරුන් හදුනගෙන තියෙන නිසා ඒ අයට විශේෂ සැළකීමක් තියනවා සිස්සත්තෙ කඩඉම ජයගන්න...කිසිම වැඩක් නොකරන අසංක වගේ උන්ට ඉගෙනගන්න කියලා වද නොදී තමන්ගෙ පාඩුවෙ වැඩක් කරගෙන ඉන්න ඒ දවස්වල පන්තියෙ අවස්ථාව තිබුනා... විශ්වාස කරන්න විභාගෙට මාස ගාණක් තියෙද්දිත් අසංකයට තුනේ පන්තියෙ ළමයෙක් විසදන ගණිත ගැටලුවක් වත් විසදාගන්න හැකියාවක් තිබුනෙ නෑ...සංඛ්‍යා දෙකක් එකතු කිරීම අඩු කිරීම පවා මේකට බෑ.

ඒ දවස්වල අසංකගෙ අම්මා තාත්තා ගැන වැඩි විස්තරයක් මට දැන් මතකයේ නැතත් මව මැදපෙරදිග ගෘහසේවිකාවක් ලෙස රැකියාව කරපු නිසා ආච්චිගේ භාරකාරත්වය යටතේ අසංක පාසල් ආගිය බව තමා මට මතක...ඒ දවස්වල ඉතිං ලලිතා චීටර්ට යකා ආවේශ වෙනවා මේ අසංකයා හින්දා...තුනේ පන්තියෙන් නැත්නම් දෙකේ පන්තියෙන් හරි හැමදාම පැමිණිලි...ළමයි එක්ක රණ්ඩු වෙනවා කියලා...ඒවට කොච්චර දඩුවම් කලත් හැදුන එකෙක් නෙමෙයි අසංක...


http://sphotos-a.xx.fbcdn.net/hphotos-ash4/247246_10151839104497814_1587190891_n.jpg

ඔයින් මෙයින් කාලය ගතවෙලා අපි සිස්සත්තෙත් ලිව්වා. 92 අවුරුද්දෙ අපේ පුංචි පාසලේ සිස්සත්තෙ සමත් ළමයි 10 දෙනා අතර සිරා කොලුවත් සිටිය නිසා නගරයේ ප්‍ර‍ධාන බාලක පාසලට ඇතුලත් වෙන්න මට හැකි වුනා...විභාගෙන් උඩින්ම ෆේල් වෙච්ච අසංක ගමේ පිරිවෙන වෙත උසස් අධ්‍යාපනය වෙත යොමු වුනා...එක පන්තියක අකුරු කරපු අපි ඉන් අනතුරුව බොහොම කලාතුරකින් මග තොටදි තමයි හමුවුනේ...

අ.පො.ස සා/පෙ අවසන් වෙලා තිබුන කාලෙ වතාවක් අසංක සෑහෙන කාලයකට පස්සෙ මට මුලිච්චි උනා...ඒ වෙද්දි ඒකගෙ හැසිරීමේ යම්කිසි වෙනසක් මම දුටුවා. ඉස්සර වගේ දගලන චරිතයක් නෙමෙයි. බොහොම තැන්පත් චරිතයක්...මම යන්තමට විභාගෙ පාස් වුනා බන්...කියලා අහිංසක විදියට හිනා වෙච්ච හැටි මට තවම මතකයි... සාමාන්‍ය සාමාර්ථ වලින් යන්තමට විභාගෙ ගොඩදාගෙන හිටිය උගෙන් මම ඊළගට  ඇහුවෙ උසස් පෙළට මොනවද බන් කරන්නෙ කියලා.... මම ගණිතයෙන් කරන්න හිතාගෙන ඉන්නෙ කියලා මගේ පිටටත් තට්ටුවක් දාගෙන පා පැදියෙ  නැගිලා එදා ඔහු මගෙන් සමුගත්තෙ...

සිරා කොලුවා වාණිජ අංශයෙන් උසස් පෙළට පෙනී ඉද්දි අසංක ගණිතයෙන් පෙනී සිටියා.. සිරා ඉතිං සරසවි කඩයිම අසලටම ඇවිල්ලා නැවතුනා... හිගය Z Score දශම දෙකක්. සරසවි යන්න බැරිවෙච්චි  දුක තමා එදා මෙදාතුර සිරා වින්ද බරපතලම වේදනාව...අන්න ඒ නිසයි සරසවි යන කොල්ලො කෙල්ලන්ට අදත් සිරා ගරු කරන්නෙ....මට කරගන්න බැරි වෙච්චි දෙයක් උන් කරපු නිසා... ප්‍ර‍තිඵල පිටවූ අලුතම වාගෙ  මට අසංකව හදිසියේ මහා මාර්ගයේදි නැවතත් මුලිච්චි උනා...කොහොමද බන් උඹේ ප්‍ර‍තිඵල කියලා මම ඇහුවාම...කලින් වාරෙ වගේම අහිංසක විදියට හිනාවෙලා...කණට ඇහෙන නෑහෙන ගාණට...මට එස් දෙකයි බන්...ආයෙමත් කරන්න හිතාගෙන ඉන්නවා කියලා කිව්වා. ඒ වෙද්දි අසංක සෑහෙන්න වෙනස් චරිතයක්...සිස්සත්ත පන්තියෙ හිටියෙ මේකමද කියලා හිතාගන්නත් බැරි තරම්...

සිරා ඉතින් උසස් ‍පෙළින් පස්සෙ වෙනත් මාර්ග වලින් උසස් අධ්‍යාපනය හදාරමින් සිටිය කාලෙදි... මගේ තවත් 5 වසර පන්ති සගයෙක්...යනෙන ගමනක් අතරතුර මුලිච්චි උනා...ආගිය තොරතුරු විමසලා...අපේ පන්ති සගයන් ගැන මතකය අලුත් කරනකොට තමයි...අසංකගෙ නමත් කියැවුනේ...උඹ දන්නවද අසංකයා දැන් ඉන්න තැන... මම දන්නෙ නෑ බන්...හුග කාලෙකින් මට මුලිච්චි වෙලා නෑ...මම එහෙම උත්තර දුන්නා... අපිත් එක්ක 5 පන්තියෙදි ඒකා හිටපු විදිය දන්න උන් කිසිකෙනෙක් මේ කථාව විශ්වාස කරන්නෙ නෑ බං...මම කීප දෙනෙකුටම මේ ගැන කිව්වා...උන් හැමෝම මට කිව්වෙ උඹ කියන්නෙ ඇත්තමද කියලා... අසංක දෙවැනි වාරෙ විභාගෙ ලියලා...දිස්ත්‍රික්කෙ 28 වෙනියා විදියට සමත් වෙලා...අන්න මොරටුව විශ්ව විද්‍යාලෙට යනවා ඉංජිනේරු ශිෂ්‍යයෙක් විදියට.

මේ ප්‍ර‍වෘත්තිය සිරා කොලුවා වන මමත් තවත් කීප දෙනෙකුටම ඉන්පසුව දැනුම් දුන්නා...ඒ හැමෝම මගෙන් ඇහුවෙත් මේක ඇත්තක්ද කියලා.. සිස්සත්ත පන්තියෙදි එකතු කිරීම අඩු කිරීම කරගන්න බැරි වෙච්ච අසංක...අද ඉංජිනේරුවෙක් විදියට ලෝකයේ කොහේ හරි රැකියාවේ නිරතව ඇති...මට ඉන් පසුව කිසිම දිනෙක ඔහු මුණගැසී නෑ...දකින්නත් ආසයි...

මේ කථාව මට හදිස්සියේ මතකයට ආවෙ...අන්තර්ජාලයෙන් ඊයෙ පෙරේදා දවසක දැක්ක කථාවක් නිසා...මේ කථාව පැවැත්වූයෙ මහාචාර්ය සරත් විජේසූරිය මහතා විසින්, බුද්ධිමතුන්ගේ  වේදිකාව නමින් ඉතාලියේ මිලානෝ නුවර වෙසෙන ලාංකිකයන්ගෙන් සමන්විත  සිංහල සාහිත්‍ය කලා සංගමය මගින් සංවිධානය කර පසුගිය ජනවාරි මස මිලානෝ නුවර දොන් බොස්කෝ ශාලාවේදී පැවැත්වූ වැඩසටහනකදී. ඔහුගේ දීර්ඝ කථාව අවසාන භාගයේ  නියම ගුරුවරයෙක් යන වදනට උදාහරණයක් ටෙඩී නම් දරුවකුගෙ සත්‍ය සිද්ධියක් ඇසුරින් ඔහු විස්තර කරනවා...අන්න ඒ කථාව අවසානයේදි මගේ මතකයට නිරායාසයෙන් නැගුනෙ අසංක...කලබලේ නැතුව....බොහොම නිවීසැනසිල්ලේ විනාඩි 20 ක් අරන් ටෙඩීගෙ කථාව අහලා බලන්න...මහාචාර්ය තුමාගෙ කථාවෙන් ටෙඩී සම්බන්ධ කොටස මේ විදියට මවිසින් සංස්කරණය කලා.

                                                         

ගුරු වෘත්තියට මනෝ විද්‍යාත්මක සිද්ධාන්ත වර්තමානය වන විට එකතු වී තිබුනත්...අතීතයේ තත්වය ඊට වෙනස්... මගේ පුද්ගලික විශ්වාසය අනුව විශිෂ්ඨ ගුරුවරයෙකු  විය හැක්කේ...පන්තියක ඉදිරි පෙළේ දක්ෂතා දක්වන සිසුවෙකු විභාගය සමත් කරවිමෙන්  නොව...දුර්වල සිසුවෙකු විභාගය සමත් කරවීමෙන්. අසංකගේ ලොවට නොපෙනුන පුද්ගලික ජීවිතයට එබිකම් කර කරුණාව දයාව දැක්වූ කවර හෝ ගුරුභවතකු හෝ කීප දෙනෙකු නිසාවෙන් ඔහු අවසානයේ ජීවිතය ජයගත් බවක් මට හැගෙන්නෙ... පන්තියක පසුගාමී තත්වයක ඉන්න දරුවකු වෙත මේ අයුරින් එළැඹිලා, තියෙන බාධක කම්කටොළු ගැන දැනුවත් වීමෙන් මේ වගේ ඵලදායී ගුරුවරයෙක් වෙන්න  සෑම ගුරුවරයෙකුටම පුලුවන්...අන්න ඒ අයට ගුරු දෙවිවරු කියන වදන බොහොම සාධාරණයි කියලා මට හිතෙනවා....


මහාචාර්ය තුමාගේ සම්පූර්ණ කථාව මෙතැනින්




මම කාමරේ වෙසෙන, සත්ගුණවත් සිරා කොලුවා






ප.ලි



මහාචාර්ය තුමාගේ සම්පූර්ණ කථාව අසා බලන මෙන් මම ඔබ සියල්ලන්ටම ඇරයුම් කරමි..එමගින් ඔබේ  ජීවිතයකට එකතු කර ගත හැකි මා හැගි කරුණු ගණනාවක් ඇති බව මම ශපත කරමි. මෙවැනි වැඩසටහන් සංවිධානය කරමින් නුතන අධිවේගී සමාජය තුල නැසී යන හර පද්ධතීන් රැක ගැනීමට උත්සාහ ගන්නා ඉතාලියේ මිලානෝ නුවර සිංහල සාහිත්‍යා කලා මණ්ඩලය වෙත මාගේ ප්‍ර‍ණාමය හිමි වේ.

ටෙඩීගේ කථාව ශ්‍ර‍වණය කිරීමෙන් ඔබේ නෙත් අගට කදුලක් ඉනුවා නම්...අවංකවම සතුටු වෙන්න ඔබ  ඔබ ගැනම...ඔබ සංවේදී හදවතක් සහිත මිනිසෙක්...


එකට සිටි මිතුරෙකු ලෙස අසංකයා පිළිබද  අපේ පරණ උන් හැමෝටම අද ඇත්තේ ගෞරවය මුසු වූ සතුටකි.


මේ දිනවල පුද්ගලික ජීවිතයේ කටයුතු සමග ඉතාමත් කාර්යබහුල බැවින් අනෙකුත් බ්ලොග් අස්සේ කරක් ගැහීමට නොහැකි වූ බැව් කරුණාවෙන් සලකන්න. ඉදිරි දින වල නොවැරදීම එමි. ගැත්තාට සමාව දෙනු මැන.




Monday, February 18, 2013

120 මිත්‍ර‍ත්වය සහ ආම්ස්ට්‍රෝන්ග් (Armstrong)

ජීවිතය යනු කුමක්ද ? එයට පැහැදිලි නිර්වචනයක් දිය හැකිද ? ඇතැම්හු ජීවිතය යනු සාංසාරික ගමන් මගේ තාවකාලික නැවතුම් පලක් ලෙස හදුන්වයි. තවත් සමහරෙක්  එය මායා රගමඩලක් ලෙසත් මෙලොව ජනිත වූ ජීවීන් එහි රැගුම් පාන්නන් ලෙසත් අර්ථ නිරූපනය කරයි.

තත්වය එසේ වුවත් ජීවිතය යනු ජීවිතයයි. එය ජීවත් කරවන්න..යන සරළ අදහසේ සිටිමින් අතීතය දෙස නැවතත් ආපසු හැරී බලන කල අප කෙතරම් නම් මිතුරන් ආශ්‍ර‍ය කලාද , එයින් කෙතරම් පිරිසක් අප හා සත්‍ය වශයෙන්ම මිතුරු දමේ බැදුනේද යන වග සිහිපත් කලහොත් ඔබට ලැබෙන්නෙ ඒ ඉතා ස්වල්ප දෙනෙක් යන පිළිතුර විය යුතුය...ඒ දහම සිරා කොලුවා වන මටද එකසේ ගැලපේ. පෙර පාසලේ සිට උසස් පෙළ දක්වා වූ කාල පරාසය තුල ජීවිතයට ලං වූ කෙතරම් මිතුරන්  සිටියත් පාසල් ජීවිතයෙන් ඉක්බිත්ව ගලා ගිය දශකයකට මදක් වැඩි කාල සමයෙන් පසුව තවමත් ඒ ශක්තිමත් මිතුරුදම අරුත්ගන්වන්නේ ඉතාම ස්වල්ප දෙනෙකි...

http://media1.santabanta.com/full1/Emotions/Friendship/friendship-48a.jpg

මේ කාරණයේදී සිරාගේ වටපිටාව තරමක් වෙනස් වෙයි. පන්ති කාමරයේ, ගමේ, මග තොටදී හමු වූ කෙතරම් මිතුරන් සිටියද අද සත්‍ය වශයෙන්ම සිරා හා මිතුරු වේශයෙන් ලග සිටින්නේ ඒ කිසිවෙකුත් නොවේ. මා අදහන අකලංක මිතු දම වූ කලී තනතුරු නම්බු නාම වලට හෝ ආදායම් තත්වයන් මත විචලනය විය හැක්කක් නොවේ..එය බොහොම හෘදයාංගම වූ බැදීමකි.

මෙන්න මේ කුලකයෙහි ලන්නට කෙසේ හෝ අවසානයේ සිරාට ඉතිරි වූයේ කලක් එකම පවුලක උන් මෙන් දුක සැප සමව වළදමින් එකම අරමුණකට යන්නට වෙර දැරූ මිතුරන් පිරිසකි. ඔව්හු බටහිර තූර්ය වාදක ඛණ්ඩ ආදි ශිෂ්‍යයෝ වෙති.

වර්තමානයේ නිතරම එක් තැනක මුලිච්චි නොවන මේ පිරිස  අප විද්‍යාලයේ නිවාසාන්තර ක්‍රීඩා උළෙල දිනයේදී එකට හමු වීම කලක සිට පැවත එන සිරිතකි. අතින් කටින් ළමා ලපටින් දරාගෙන ප්‍රිය බිරින්දෑවරු සමග ඇතැම්හු එදිනට පාසලට එන්නේ අප හද තුල කැකෑරෙන මිතුරුදම හොදින් හදුනන නිසාවෙනි. වර්තමාන සොයුරන්ගේ දක්ෂතා සියසින් දැකගෙන, ක්‍රීඩා උත්සවය අවසානයේ ඔවුන්ගේ අඩුපාඩු හා ඉදිරි වසරේ සැලසුම් පිළිබද අදහස් හුවමාරු කරගැනීමෙන් අනතුරුව වසරකට වරක් එළඹෙන මේ වර්ණවත් දිනය තවත් වර්ණවත් වන අවස්ථාව එළඹේ. බිරින්දෑ වරුන්ගේ සංගමයේ අයද බොහොම සුහදව එකිනෙකා ආශ්‍ර‍ය කරන නිසාවෙන් අර්බුද නැත. කාන්තා පාර්ශවයේ  සියල්ලන්ටම ලොකු අයියාගේ නිවසේ ආගිය තොරතුරු කථා බහ කරන්නට ඉඩ හසර වෙන්වන විට...ඊට යාබදව ඇති තැනක  පිරිමි පාර්ශවය මේසයක් වටා ඉද ගන්නේ අතීතය ස්මරණය කොට පපු කැනැත්ත සතුටෙන් පුරවාලන  අටියෙනි. එය සැබැවින්ම සුන්දර සන්ධ්‍යාවකි.

උඹ මගේ චරිතය ඝාතනය කරනවා කියලා ආරංචියක් ආවා... සිරාගේ බොටුව දැඩිව මිරිකමින් ආරම්භය ගත්තේ පටි ජොකා කථාවේ ප්‍ර‍ධාන චරිතයක් රගන VP ඉංජිනේරු තුමාය. ඔහුගේ දෙඅතේ ශක්තියට මැදිවූ මාගේ අහිංසක බෙලි කොටය යන්තම් බේරාගැනීමට හැකි වූ නිසාවෙන් සිද්ධියේ සුළ මුල සොයාගැනීමට මට හැකිවිය. සිරාගේ කාමරේ ලියැවෙන දේ පිළිබදව අදාළ අය වෙත ගින්න දී  ඇත්තේ ලොකු අයියාය. අපේ ෆොටෝ නොදා ඕනෙ මගුලක් ලියා ගනින්...සෙස්සෝ මා හට නිළ වශයෙන් එසේ අවසර දුන් හෙයින් සත්ගුණවත් සිරා කොලුවාට, අප හමු වූ අවසන් සැදෑවෙන් යමක් ඔබට  කියන්නට රිසි විය.

තවමත් සිරාගේ කාමරයෙන් කරළියට පැමිණියේ නැති පැරණි තූර්ය වාදක ඛණ්ඩ සාමාජිකයෙකු අද මම ඔබ වෙත ඉදිරිපත් කරමි. හේ තැන්පත් චරිතයකි, හැම විටම හොද අවධානයෙන් සිටිමින් අවශ්‍යම විටෙක පමණක් තම අදහස් දැක්වීමට ක්‍රියා කරන්නෙකි, මුදල් අවශ්‍යතාවක් ඇති වූ අවස්ථාවක් නම් නොමසුරුව ආධාර කරන්නෙකි. ගැටළුව ප්‍රේමය පිළිබදව නම් අතින් කාගෙන හෝ හරක් බැලීමට සහජයෙන් ලද පරිත්‍යාගශීලී ගුණ ඇත්තෙකි. ඔහු ආම්ස්ට්‍රෝන්ග් (Armstrong)  නම් වෙයි. මා දන්නා තරමින් චන්ද්‍ර‍යා තරණය කලා යැයි කියන නීල් ආම්ස්ට්‍රෝන්ග් හා කිසිම ඤාතීත්වයක් ඔහුට ඇත්තේ නැත. බෑන්ඩ් කණ්ඩායමේ සිටින කල ගමනේ යාම පුහුණු වූ  මුල්කාලයේදී ඔහුගේ දකුණු අත ගමන් කල විසුලු ස්වරූපය නිසාවෙන් එවැනි සාඩම්බර නමක් ඔහුට තිළිණ විය.

කාලයේ ඇවෑමෙන් ආම්ස්ට්‍රෝන්ග් යන්න තවත් කෙටි වී ආමා යනුවෙන් පරිණාමය විය. මේ කියන ආමා අද සංචාරක හෝටල් හිමියෙකු සහ එක්දරු පියෙකු නිසාවෙන් කාර්ය බහුලය. ඒ නිසාම අප එකතැනක හමුවන්නේද සෑහෙන කාලයකට වතාවකි. දුඹුරු පැහැ ද්‍රාවණයක් සහිත බෝතලයක් ඇති මේසයක් වටා හිදගත් පසු මේ හමුවීම රස ගුලාවකි.

පාසලෙන් සමුගෙන මද කාලයකට පසු උන්නාද මළාද කියා සොයාගැනීමට නොහැකි වූ ආමා එක්වරම ප්‍රාතූර්භූත වූයේ  ඔහුගේ විවාහයට දින නියම වූ පසු විවාහ ඇරයුම් පත දෙන්නට ලොකු අයියා හමුවෙන්නට පැමිණි පසුය. ඔහු පැමිණ ඇත්තේ රෝද හතරකිනි.

මගෙ අම්මෝ ආමා  උඹව දැක්ක කල්... උඹත් එහෙනං අමාරුවෙ වැටෙන්න නේද යන්නෙ...බොහොම සන්තෝෂයි බන්...යනුවෙන් වාහනයට හේත්තුවක් දමාගෙන කථාව ඇරඹූ ලොකු අයියා ඒ තුල සිටි ආමාගේ  අනාගත බිරිද දුටුවේ නැත. එහි වීදුරු තද කලුපාටින් ටින්ට් කර තිබීම එයට හේතුවයි. ඉතිං කියපන්කො බං කොයි එකද බදින්නෙ... අර ලියුම් වලින් ගේම ගහපු නයිවල නර්ස්ද ? නැත්නම් අර උඹ හීනියට ට්‍ර‍යි එක දීපු බෑන්ඩ් එකේ ---------- මල්ලිගෙ අක්කද ? එහෙමත් නැත්නම් මාත් එක්ක බයික් එකේම හැටන් ගිහින් අර කැළෑ පාරවල් වලින් ගෙදර ගිහිල්ලා වැඩිහිටියො එක්ක කථා කරගත්ත එකද ?

එදා මේ ප්‍ර‍ශ්න වලට පිළිතුරු දෙනවා වෙනුවට ආමා කලේ කාඩ්පත ලොකුඅයියාගේ සුරතේ තබා...එහෙනං අනිවාර්යෙන් එන්න යනුවෙන් තෙපලා සැනින් මාරු වීම වුවත්...ආපසු ගමන අතර මගදී අනාගත බිරිදගෙන් ආමාට වටිනා චරිත සහතිකයක් ලැබුනු බවක් පසුව අපට සැල විය.

ආගිය තොරතුරු වලින් ඇරඹී අතීතයේ රස මුසු තැන් පිළිබදව කථා බහක නිමග්නව සිටින විටෙක ආමා උගුර පාදා අලුත් කථාවකට ඉව ඇල්ලූ හෙයින් සියල්ලෝම ඔහුට අවස්ථාව ලබා දී නිහඩ වූහ.

උඹලා දන්නෙ නෑ නේද මම දවස් 3කට ඇතුලට ගිහින් ආවා කියලා... සියල්ලෝ නිහඩය...කවුද බන් දන්නෙ...උඹ ඉතිං අදනෙ අපිට කියන්නෙ...යනුවෙන් පිළිවදන් දුන් පිරිසට ප්‍ර‍තිචාර ලෙස අමාගේ මුවේ ඇදුනේ මන්දස්මිතියකි.

නීති විරෝධී වැඩක් කරලා නෙමෙයි බන්...පොලිසියෙ එකෙක්ට ගහලා...ආමා වීදුරුවට පණු බෙහෙත්  මිශ්‍ර‍ණය හලා ගනිමින්  කථාව ඉදිරියට රැගෙන යයි. සියල්ලෝ නිහඩව ආමාට සවන් දෙති.

මගේ මස්සිනාට (ආමාගේ බිරිදගේ අයියා) රථ වාහන නඩුවක් තිබුනා කොටුව උසාවියෙ...මම ඉතිං මේ කියන දවසෙ උගෙ තනියට ගියා. දවල් 1ට තමයි අපේ නඩුව ගන්න තිබුනෙ...ඒ උනාට බන් සෑහෙන්න පරක්කු උනත් නඩුව කථා කලේ නෑ.... ඔන්න ඔය වෙලාවෙ ඒ ළගපාත හිටිය සාජන් මහත්තයෙකුගෙන් මම ඇහුවා අපේ නඩුව තාම කථා කලේ නෑ මොකෝ දන්නෙ නෑ නේද කියලා...

මිනිහා ආවේශ වෙලා වගේ  මට බැණගෙන බැණගෙන ගියා බොහොම කැත වචන පාවිච්චි කරලා... මම ඉතිං බනින්න දෙයක් ඇහුවෙ නෑනෙ බන්...ආමා වීදුරුවේ අඩිය පාදා වීදුරුව පසෙකින් තබයි. ඉතිං ආයෙමත් ඇහුවා ඇයි මට ඔහොම බනින්නෙ කියලා... ඊට පස්සෙ මට අම්මව මතක් කරලා හරිම නරක විදියට බැන්නා. මට මාවම පාලනය කරගන්න බැරිවුනා.

ඉන් අනතුරුව ගතවූ නිමේෂය බොහොම සංවේදී එකකි. ආමා සංවේදීව කදුලු සලයි. උඹලා දන්නවනෙ අපේ තාත්තා මම පොඩි කාලෙම නැති වුනාට පස්සෙ...අපේ අම්මා මාව හදාගන්න විදලා තියෙන දුක්වේදනා ගැන...එහෙව් අම්මව මතක් කරලා මෙහෙම කැත කථා කියනකොට මම මොනවා කරන්නද බන්....මම පැන්න ගමන් ඒ පරයට නහය පොඩිවෙන්න පාරක් ගැහුවා...ඒකා ලේ පෙරාගෙන බිම පතබෑවුනා...මම තවත් පාරවල් දෙක තුනක්ම දුන්නා. උගෙ අවලං කට කැඩෙන්න... මිනිහා ආයෙත් නැගිට්ටෙ නෑ. ඒ වෙලාවෙ ලග පාත හිටපු පොලීසියෙ අය එකතු වෙලා මාව අල්ලලා උසාවියෙ හිර කූඩුවට දැම්මා...අන්න ඒ වෙලාවෙදි තමයි අහම්බෙන් අපේ ඉස්කෝලෙම ආදි ශිෂ්‍යයෙක් වෙච්ච මම අදුරන ජේලර් ගාඩ් කෙනෙක් දැක්කෙ... එයා මට කිව්වා භය නැතුව වැලේ ඇතුලට වරෙන් මම උඹ ගැන බලාගන්නම් කියලා.

එදා දවසෙ නඩු විභාගය ඉවරවෙලා බන්ධනාගාරයෙන් ගෙනාපු සැකකාරයො ආයෙත් බස් එකට පටවනකොට ඒ අයව මාංචු වලින් සම්බන්ධ කරලා තියෙන පොකුරටම මාවත් එකතුකරනවට තමයි වැලේ යනවා කියලා කිව්වෙ...

මම හින්දා ජේලර් අයියා දවස් තුනක් එක දිගට ඩියුටි කලා...පොලීසියෙන් ඒ වෙද්දිත් ඇතුලට පණිවිඩේ එවලා තිබුනා මට හොදට සළකන්න කියලා. ඒ හින්දයි එහෙම හිටියෙ. නැත්නම් සමහර විට අද ආමා නෑ. ඇතුලෙ හිටිය අනෙක් අය නම් මට වීරයෙක්ට වගේ සැළකුවා...ඒ අතර හිටිය ලොකු අයියලා ටිකකුත් අදුන ගත්තා... කොහොම හරි දවස් තුනකට පස්සෙ මම එළියට ආවා ඇප දීලා...

ඊට පස්සෙ ඉතිං මමත් නිකං හිටියෙ නෑ...අර ගුටි කාපු මෑන්ව මගේ තියෙන දේශපාලන සම්බන්ධතා මත වව්නියාවට මාරු කලා...දැන්වත් මිනිහා දන්නවා ඇති තව කෙනෙක්ට හිත රිදෙන්නෙ නැතිව කථා කරන්නෙ කොහොමද කියලා....

මම ඇතුලෙ හිටිය දවස් තුනට විශ්ව විද්‍යාලෙ ගිහිල්ලත් ඉගෙන ගන්න බැරි තරම් දේවල් ඉගෙනගත්තා...ඒ සමහර අත්දැකීම්  මගේ බිස්නස් වැඩ වලටත් මම පස්සෙ පාවිච්චි කලා. මේ දේවල් මම උඹලා එක්ක කියන්නෙ උඹලා මගේ අතිජාත සහෝදරයො වගේ මැරෙනකන්ම මා එක්ක ඉන්න උන් නිසා.

මට ඉස්සර අතේ සතේ නැතුව ඉන්න වෙලේ හිටියෙත් උඹලා. ලොකු අයියගෙ බයික් එකේ මම එදා හැටන් ගියේ මට වෙන වාහන වල යන්න සල්ලි තිබුනෙ නැති හින්දා..මම දැන් ඉන්න තැනට ආවෙ මගේම මහන්සියෙන්, මට අද වගේම හෙට ඉන්නෙත් උඹලා...සල්ලි වැඩිපුර අතගානකොට යාලුවො ඉන්නවා සෑහෙන්න. නමුත් කරදරයක් වුනාම එක බල්ලෙක් වත් නෑ...ඔය වගේ කථා රිමාන්ඩ් එකේ ඕනෙ තරම් තියෙනවා...

ගොඩාක් මිනිස්සුන්ට අවංක යාලුවො හදුනාගන්න අමාරුයි...එහෙමත් නැත්නම් හොයාගන්න නැති තරම්, ඒත් අපි බෑන්ඩ් ගහන කාලෙ කන්න නැත්නම් බඩගින්නෙ හිටියා එකට...ලැබෙන පුංචි දේත් බෙදාහදාගෙන කෑවෙ...පස්සෙ කාලෙක අපි වෙන්වෙලා ගියත්...මේ වගේ ආයෙත් එකට හම්බවෙන එකම දවසක් හරි මට හරියට වටිනවා...මගේ නෝනා මාස 3 පොඩි එකාවත් අරගෙන මේ ගමන යන්න මාත් එක්ක ආවෙ අපේ ඒ යාලුකම හොදට අදුනගෙන තියෙන නිසා...ජීවිතේ කියන්නෙ සල්ලිම නෙමෙයි බන්...ජීවිතේ කියන්නෙ සැනසීම...හිතේ ඇතිවෙන බොහොම අවංක සතුට....

ආමා කියූ ඒ වදන් සත්‍යද ? තීරණය ඔබට භාර කරමි. සැබෑ මිත්‍ර‍යන් ඇති තැනැත්තා සැබෑ වාසනාවන්තයෙකු ලෙස මමද අදහමි.




මම කාමරේ වෙසෙන සත්ගුණවත් සිරා කොලුවා.


ප.ලි

80 දශකයේ මැද භාගය වන විට රාජ්‍ය සේවකයන් දෙපළක් වූ ආමාගේ දෙමාපියන් සේවය කර ඇත්තේ බදුල්ලට ආසන්නව. ඒ ආසන්න කාලයේ ආමා සහ ඔහුගේ දෙමාපියන් ගමන් ගත් ලංගම බස් රථයක් විශාල ප්‍ර‍පාතයකට පෙරළීමෙන්  මගීන් හතර දෙනෙකු හැර ඉතිරි සියල්ලන්ම මිය ගිය අතර අමාගේ පියාද ඊට අයත් විය. දිවි බේරාගත් හතර දෙනාගෙන් කිසිදු හානියක් නැතිව බේරුනු එකම තැනැත්තා ආමා වූ අතර ආමාගේ මවගේ අත කැඩී තිබුනද අංගවිකල භාවයකින් තොරව ජීවත් වීමට වාසනාව තිබුනි. ජීවිතය බේරාගත් අනෙක් දෙදෙනාම සදාකාලික ආබාධිත බවට පත් වී ඇත.


ක්‍රීඩා උළෙල අවස්ථාවේ සිරාගේ පුංචි කාලයේ වැනිම රුවක් ඇති VP තුමාගේ පුංචි පුතා වඩාගෙන සිටීමට සිරාට අවස්ථාවක් ලැබුනි...මේ දර්ශනය දුටු මාගේ පැරණි පාසල් මිත්‍ර‍යන් මගෙන් ඇසූවේ සිරා මේ දෙවැනියාද යනුවෙනි. පුංචි එකා තුරුලු කරගෙන සිටි නිමේෂයේ මට දැනුනු හැගීම් නිසාදෝ ඉක්මනින් පියෙක් වෙන්නට කල්පනා කලෙමි...කවුද කැමති ඒ දරුවගෙ අම්මා වෙන්න ?
















Thursday, February 14, 2013

113 50 දශකයේ ඉට්ටයිල් සහ බියුටි කචල්

1 කොටස  2 කොටස

සීයාට පින් දෙමින් සිරාගේ කාමරේ දිගහැරෙන, පැරණි පුවත් පත් චමත්කාරය ඔබට ගෙන එන තෙවැනි දිනය අදයි. සීයාගේ පුවත් පත් එකතුවේ තිබූ වෙළද දැන්වීම් වලින් සිරා කොලුවා වන මා විසින් අද තෝරා ගත්තේ කාන්තා පාර්ශවයට වැඩිපුර ඇගෑලුම් කමක් ඇති මාතෘකාවකි. Beauty Culture ලෙස ලෝකයා හැදින්වුවද කුපාඩි කොල්ලෝ බියුටි කචල් ලෙස හදුන්වන මේ විෂය වූ කලී වර්තමානයේ ඉතාමත්ම පුලුල් වෙළද පලක් ඇති මාතෘකාවකි. කෑම කඩ තරමටම වර්තමානයේ හන්දියක් හන්දියක් ගානේ බිහි වී ඇති කාන්තා සැලූනයෝ මේ බහට නිහඩව සාක්ෂි සපයයි.

අතීතයට සාපේක්ෂව අද වන විට වැඩි වැඩියෙන් කාන්තා පරපුර සිරිලංකා ශ්‍ර‍ම බලකායට එකතු වීමත්, උසස් අධ්‍යාපනයට යොමු වීමත්, විවාහ උත්සව වලට ඡායාරූප කරණය අත්‍යවශ්‍ය සාධකයක් වීමත් තම රූපය ගැන අතීතයට වඩා  සැළකිලිමත් වීමේ කාලීන වෙනසට හේතු සාධක ලෙස සිරා කොලුවාගේ අක්මාවට වැටහේ. වර්තමානයේ ඉතාමත් මිළ අධික රූපලාවන්‍ය ක්‍ර‍ම/නිෂ්පාදන රාශියකි. හිසකෙස් සැකසීම, මුහුණේ ඇති වල ගොඩැලි  පුරවා කඩතොළු වසා දැමීම, අනවශ්‍ය රෝම ඉවත් කිරීම, ඉන්නන් එලොව යැවීම, ඇහිබැම සැකසීම  ඒ අතර ඇති සමහර රූපලාවන්‍ය ක්‍ර‍මෝපායන්ය.

නමුත් අතීතයේදී කුටුම්භයටම සීමා වී දුවා දරුවන් හදා වඩා ගනිමින්, ආහාර පිසිමින්  , ස්වාමියාගේ එදිනෙදා කටයුතු වලට සහාය දක්වමින් සිටි ගම්බද ශ්‍රීලාංකික වනිතාවන් බොහෝ විට රූපලාවන්‍ය කෙරේ සැළකිලිමත් වූයේ නැත...ඔවුන්ගේ හොදම රූපලාවන්‍ය ආම්පන්න වී ඇත්තේ ඖෂධීය වටිනාකම් සහිත ගසක පොත්තක්, ගෙඩියක් තලා ලබාගන්නා සාරය හෝ  සුවද සබන් කැටයක් / පුයර ටිකකි.

මේ කියන දින වල ලක් වනිතාවන් නිවසින් බැහැරට යන විට බොහෝ විට ඇන්දේ රෙද්ද හැට්ටය හෝ සාරියකි. සාරිය/ඔසරිය යන කාන්තා ඇදුම එකල බොහෝ විට උසස් යැයි සම්මත කුල කතුන් නිවසට පවා හැදි ඇදුමයි. කොළඹ නාගරික සංස්කෘතිය තුලද සාරිය ට හිමිව තිබුනේ අද්විතීය ස්ථානයක් බව පැරණි චිත්‍ර‍පට දර්ශන වලින්ද මොනවට පැහැදිලි වෙයි.

ඔන්න ඔය විදියට අද පෝස්ටුවට ප්‍රවේශය අරගෙන අපි එහෙනං මුලින්ම  සාරි වල මිළ ගණන් හා මෝස්තර බලාකියාගෙන ඉමු. මේ 1959 වර්ෂයේ සැප්තැම්බර් මස පැවති මිල ගනන්,


මෙන්න රෙදි වර්ග පිළිබද දැන්වීමක්...ඉන්දියාවෙන් ගෙන්වලා බෙදා හැරීම කරලා තියෙන්නෙ...මව් සමාගමේ ලංකා නියෝජිතයෙක් ඉන්න නැතුව ඇති කියලයි මට හිතෙන්නෙ...මේ කියන මාදිලි මොනවද කියන්න නම් මට දැනුමක් නෑ...දැනුම තියෙන ඇත්තෙක් ඉන්නවා නම් පහදා දෙන්නට ඇරයුම් කරමි.


කාන්තිමත් දෝති
කාන්තිමත් කෙහෙස්
මල් වැටුණු කාන්තිමත් ලෝන් හා වොයිල්
කාන්තිමත් වියූ බුට්ටාස්
පිටරට යැවීමේ එකම නියෝජිතවරු
සීමාසහිත විනූ බායි ඇන්ඩ් බ්‍ර‍දර්ස් ප්‍ර‍යිවෙට්
චර්ච්ගේට් හවුස්, වීර් නාරිමන් පාර, කොටුව, බොම්බාය - 1 (ඉන්දියාව)



මේ තියෙන සබන් වර්ගය ගෑවම  අම්මයි දුවයි අදුනගන්න බැරිවෙනවා කියලා තමයි පසුකාලීනව ප්‍ර‍චාරණ වැඩසහන්වල තේමාව ලෙස යොදාගත්තෙ. පුංචියට තියෙන අකුරු වලින් කියැවිලා තියෙන්නෙ...

රෙක්සෝනා සබන් වල
සම අති සිනිදු ලෙසත්, මෘදු ලෙසත්, තබා ගැනීමට ආධාර වන චර්මාලංකාරය ඇතිකරණ විශේෂ මිශ්‍ර‍ණයන් වූ කැවිල් අඩංගු වෙයි.


ඊළග දැන්වීම නාගරික පන්තියේ ලදුන්  ඉලක්ක කරගෙන පල කරපු එකක් කියලයි මට හිතෙන්නෙ...අද වාගෙ එකල ගම්බද ලදුන් මේ තොල් කූරු පාවිච්චි කලේ නෑ නොවැ...


තොල් පියකරුව තබාගැනීම ලෝකයේ සිත් වශී කරන නිළියන්ගේ රහසකි. ඔවුන් පාවිච්චි කරන්නේ මැක්ස් ෆැක්ටර් තොල් සායම්ය. ඕනෑම පාටක මැක්ස් ෆැක්ටර් ඔබට කිට්ටුව හොද වෙළද සැලෙකින් ලබාගත හැකිය. අදම  මැක්ස් ෆැක්ටර් තොල් සායම් ලබාගෙන ඔබ සිත් ගත් චිත්‍ර‍පටි නිළිය මෙන් පියකරුව සිටින්න.

රූපාලංකාරය පිළිබද ස්වර්ණමය සාංවත්සරිකය.


මේ දැන්වීම තෙල් පැහැති සමක් ගැන...වර්තමාන වෙළදපොලේ වැඩියෙන්ම රූපලාවන්‍යයට සම්බන්ධ නිෂ්පාදන නිපදවන්නෙ සම පැහැපත් කිරීමේ  අවශ්‍යතාව සපුරාලන්න. මේ අතර ශරීරයට හිතකර මෙන්ම අහිතකර ආලේපත් තියෙන වග සැළකිය යුතුයි.


කෘෘක්ස්ගේ සුප්‍රසිද්ධ ලැක්ටෝ කැලමයින් දියර, හැම කෙනෙකුම අගය කරන සුන්දර තෙල් පැහැති සම ඔබට ලබාදෙයි. දිවා කාලයෙහි පුයර පදනමක් වශයෙන් හා රාත්‍රී කාලයෙහි සම පෝෂණය කරන්නක් ලෙසද ලැක්ටෝ කැලමයින් ක්‍රියා කරයි. අදම මෙය මිලයට ගෙන, දිනෙන් දිනම ඔබේ සම වඩා පවිත්‍ර‍, වඩා පැහැපත්, වඩා ප්‍රියංකර වූවක් වන සැටි බලන්න.

පුංචි කොටුව ඇතුලෙ තියෙන්නෙ

ඔබ සාප්පුවේ සිටින විට ලැක්ටෝ කැලමයින් පුයරද ලබාගැනීමට සිහියේ තබාගන්න.


ඊළගට කියන්න යන්නෙ ඒ යුගයේ ජනප්‍රියම පුයර වර්ගයක් ගැන...ඒ තමයි කියුටිකුරා...පෙම්වතා පෙම්වතියට තෑගි දුන්නෙත්, පෙම්වතිය පෙම්වතා මුණගැහෙන විට තවරගෙන ආවෙත් මේ වර්ගයලු...ඔය පැරණි ජනසමාජය ගැන කියවෙන ටෙලි නාටක වලත් බොහෝවිට මේ පුයර වර්ගයේ නම කියවෙනවා මම අහලා තියෙනවා...




පේනවනෙ ඒ දවස් වල සබන් කෑල්ලත් සුඛෝපභෝගී භාණ්ඩයක්...

ගොයා සුවද කැවූ සබන් සියලුම ලෝක ප්‍ර‍සිද්ධ ගොයා සුවදින් ලබාගත හැකිවේ. ප්‍රියංකර පැස්ටල් වර්ණය ඇති හැම සබන් කෑල්ලකින්ම ඔබේ සමට කල් පවත්නා සුවදක් ලබා දේ.

පාස්පෝට්, බ්ලැක්රෝස්, නො 5 සහ ගාඩිනියා යන වර්ග වලින් තෝරාගන්න.
ගොයා  - ලන්ඩන් - පැරිස් - නිව්යෝක්

ලාල්වානි සහෝදරයෝ
107, කෙළින් වීදිය, කොළඹ, ලංකාව.


ඉදිරි දිණයක තවත් මාතෘකාවක් යටතේ පරණ පුවත්පත් දැන්වීම් කියවමු...



මම කාමරේ වෙසෙන සත්ගුණවත් සිරා කොලුවා.


ප.ලි

මෙහි පලවෙන සියලුම දැන්වීම් සීයාගේ එකතුවෙන් තෝරාගෙන මවිසින් Scan කරන ලද ඒවා බව අවධාරනය කරමි. අන්තර්ජාලයේ තවත් තැනකින් උපුටා ගත් ඒවා නොවේය.

ගොයා සබන් වල තිබුන පාස්පෝට් සහ නො 5 සුවද මොන වගේ විය හැකිද ?

Sunday, February 10, 2013

167 සත්ගුණවත් සිරාගේ රෙදි ගැලවුනු දවස

සත්ගුණවත් සිරා කොලුවාට පිය පාර්ශවයෙන් නැන්දා වන චරිත 4 කි. මේ අය අතරින් අඹේපුස්සේ ජොශපින් නැන්දාගේ ගෙදර යන්න සිරා හිච්චි එකා කාලෙ ඉදලාම හරිම මනාපය. ඒ ජොශපින් නැන්දගෙ දරු කැළත් එක්ක තිබ්බ පයුරුපාසානම ඉතා දැඩි එකක් හින්දා. මගේ පියා පවුලෙ බාලයාට කලින් කෙනා හින්දා තාත්තගෙ සහෝදරියන් සෑහෙන්න වැඩිමහල්  වගේම ඒ අයගෙ දරුවොත් අපට වඩා සෑහෙන තරමට වැඩිමල්. අඹේපුස්සෙ නැන්දා  පුත්‍රයො තිදෙනෙකුගේ  සහ එක් දියණියකගේ මෑණියන්.

මේ එකම ගෑණු ළමයා...ඒ කිව්වෙ අක්කා බොහොම සුන්දර, විනීත, තැන්පත් ගතිගුණ තිබුන සීදේවි දැරිවි. පවුලෙ වැඩිමලා තමයි ප්‍රියන්ත අයියා...වෘත්තියෙන් කෝච්චියෙ කොළ පාට කොඩිය වනන එක තමයි එදා ඉදන් අද වෙනතුරුම කොරන්නෙ...මේ ප්‍රියන්ත අයියා බදින කෙනාගෙ සෑහෙන දේවල් හොයන්න ගිය හින්දද කොහෙද දශක තුන හමාරක් විතර ජීවන ගමන්මග දිගේ තනියෙන් ඇවිදන් ගියාට පස්සෙ තමා ඉතිං සහකාරිය මුණ ගැහුනෙ...

අඹේපුස්සෙ පවුලෙන්  මගුල්  කේක් කෑල්ලක් හා පුරා කියලා අපිට කැව්වෙ මෙන්න මේ ප්‍රියන්ත අයියා...ඒ වෙද්දි සිරා කොලුවා උසස් පෙළ එහෙමත් අවසන් කොරලා විවේකී සුවයෙන් සිටිය නිසා මේ මගුලට සහාය දෙන්න ඕනෙ තරම් වෙලාව තිබුනා....මගුල් ගෙදරට ආරාධනා කරන්න අපේ ගෙදර ආපු ජොශපින් නැන්දා අවධාරනය කරපු දෙයක් තමයි...පුතේ පුලුවන් නම් වේලාසනින් ඇවිල්ලා වැඩ කටයුතු වලට උදව්වක් කරලා දෙන්න කියපු ඉල්ලීම.

ඔන්න ඉතිං වෙඩිමට දින උදා වුනා...මනාලියගෙ පාර්ශවයෙ පුද සත්කාර, සංග්‍ර‍හ ආදිය එහෙම භුක්ති විදලා ප්‍රියන්ත අයියා පැණි හද දකින්න ගියා....ඊළග උත්සවයට ඒ කිව්වෙ දෙවැනි ගමනට (Home Coming) තියෙන්නෙ තව දවස් දෙක තුනයි. ප්‍රියන්ත අයියා අභිනවයෙන් ඉදි කරපු නිවසෙ තමයි දැන් වැඩේ පත්තු වෙන්න යන්නෙ.. උත්සව භාණ්ඩ, සපයන ආයතන වලින් ඒ ඒ දේවල් වරින් වර ගෙනල්ලා සිරා කොලුවත් ඉතිං බොක්කෙන්ම දැන් මේ සද් කාරියට පේ වෙලා හිටියෙ.

මේ සියලුම රාජකාරි අධීක්ෂණය කලේ අයියගෙ තාත්තා...ඒ කිව්වෙ අපේ සැම්සන් මාමා...වෙලාවට කලාවට වැඩේ නැත්නම් මාමා පරල වෙන්නෙ හරියට දේවාලෙ කපුවා වගේ... ඔන්න දැන් උත්සව දවස උදාවුනා... දවාලට රාජකාරි මිත්තරයො....රාත්‍රියට නෑදෑ සනුහරේ... දහවල් උත්සවය කිසිම ගැටලුවකින් තොරව අවසන් වුනා...ආගිය ඇත්තො තමන්ගෙ තරමට කාපු බීපු නිසා ඩෝප් සීන් මොකුත් නෑ... දුම්රිය රියදුරු තුමෙකුගේ වෙඩිමකුත් එදාටම යෙදිලා තිබුන නිසා... දුම්රිය රියදුරු සහ කොඩිය වනන ඇත්තො බහුතරයක් මේ මගුල් දෙකට බෙදිලා ගිහින්...ඒ හින්දමද කොහෙද එදා දවසටම කෝච්චි ගියෙත් දෙක තුනයි.

ඔන්න රාත්‍රිය උදා වුනා...සිරාගෙ නිවසෙ සාමාජිකයනුත් දැන් වෙඩිමට ඇවිල්ලා...ඒ උනාට සිරාට මගුලෙ  රාජකාරි පැවරිලා තිබුන නිසා ඔවුන් සමග අසුන් ගන්න විදියක් නෑ... සැම්සන් මාමා මගේ සහායට අපේ කෙහෙල්බද්දර පොඩි නැන්දගෙ පුත්‍ර‍ රත්නයත් කැදවාගෙන ආවා. මට වඩා අවුරුද්දකින් වැඩිමල් උනාට ඒකාට මම කවදාවත් අයියා කියලා කථා කරලා නෑ... නම තමයි කියන්නෙ...ඕනෑම දේකට ඔට්ටු චරිතයක්...නම දුමිත්.

එකා දෙන්නා බැගින් ඇවිල්ලා ඔන්න දැන් වෙඩිං ගෙදර එකම හිස්ගොඩක්...දුමිත් සහ මම සර්විස් අංශයෙ....ඒ කිව්වෙ වේටර් ජොබ් එක කරන ප්‍රියන්ත අයියගෙ සහෝදරයන්ට සහ මිත්‍ර‍යන්ට
බඩු සප්ලයි කලේ අපි...

නෙදකින් උඹලගෙ කැත හිනාව...මෙතන බඩු කිව්වෙ නැටුම් තෙල් අඩංගු බෝතල් වර්ග සහ බයිට් වර්ග වලට, අපේ රාජකාරිය තමයි ඒ දේවල් ඉල්ලුමට අනුව සැපයුම. ෆ්‍රීසරයක ඔබලා තියෙන බියර් බෝතල් වගේම සැර අරක්කු බෝතල් රාශියකුත්  පිරිවරාගෙන තමයි ඉතිං අපි එදා බාර් එක පවත්වාගෙන  ගියේ..වැඩේ ගිණි ගින්දරට මධ්‍යම රාත්‍රිය පහුවෙනකන් ඇදීගෙන ගියා. කකුල් දෙකෙන් ආපු උන් කකුල් හතරෙන් ගියා...සමහරු නෝනගෙ සාරි පොටේ එල්ලිලා ගෙදර ගියා...එකෙක් දෙන්නෙක්  දැන් එන්න බෑ උදේට එන්නම් කියලා වෙඩිම අස්සෙම මුනින් අතට හැරිලා ඩවුන් ගියා. අපේ අම්මත්...බොන්නෙ එහෙම නෑ කියලා මට දඹර ඇගිල්ල පෙන්නලා රාත්‍රියෙම තාත්තත් එක්ක ආපසු නිවෙස බලා ගියා.

වෙඩිම අහවරයි...ඒ උනාට මමයි දුමිත් කොලුවයි තාම අමුවෙන්....
වැඩ ඉවරයි නේද බන්...අපිත් මුල්ලක සෙට් වෙමුද ? දුමිත් මගෙන් ඇහුවා...
අවුලක් නෑ...සැට් වෙමු...එත් බයිට් ඉවරයිනෙ බන්...
උඹ භය වෙන්න එපා බන්...වෙඩිම අස්සෙ මම අපේ ප්‍රයෝජනේට බයිට් අරන් තිබ්බා...මේ තියෙන්නෙ...
අප්පට...මෙතන තව හතර දෙනෙක්ට බඩු තියෙනවනෙ බන්.... දෙන්න හිතෙනවා උඹට උම්මා එකක්...

ඔන්න ඔය විදියට කථාව ගිහින් අපි දෙන්නා අදුරු මුල්ලක අඩව්ව අල්ලන්න ඉදගත්තා...නිවැසියො තාමත්  තැනින් තැන ඉන්න නිසාත්, අපි ලැජ්ජ භයට හැදුනු බෝපැල වැනි කොල්ලො නිසාත්, සැර වර්ග භාවිතය අපි දෙන්නගෙම කීර්ති නාම වලට බලවත් කැළලක්...ඒ නිසාම සිංහයා බෝතල් 10 ක් පමණ ෆ්‍රීසරෙන් ගොඩ දාගෙනයි අපි ගේමට ඇන්ටර් උනේ....

දුමිත් ගෙනාපු බියර් වීදුරු වලින්  කට කපලා දෙකක් දැම්මාම බියර් බෝතලයක්.... ඔන්න නමෝ විත්තියෙන් පළමු බෝතලේ හිස් වුනා....මම නම් පළවෙනි එක  ඉවරයි....ඉක්මනට ගහපන්.... දුමිතා පෙරමුණේ රාළ වගේ මට අණ දෙනවා... විනාඩි 10 ක් ගියේ නෑ....මම දෙවැනි එකත් ඉවරයි...ඉක්මනට ගහපන්...දුමිතා බස් එකට ඩීසල් ගහනවා වගේ බෝතලේ කුස තුලට බස්සන්නෙ ගේමක් නැතුව, මේ විදියට බෝතල් 4ක් හිස්වුනා පැය භාගයක් ඇතුලත වගේ....පුද්ගලිකව අපි හිස් කරපු බෝතල් මේසය යටින් පේළියට තියා ගත්තා....එතැන හිස් බෝතල් වැඩි වෙන්න වැඩි වෙන්න අපේ සිංහ සිතුවිලි පීදුනා.  දුමිත් 5 වෙනි බෝතලේ අතේ තියාගෙන වීදුරුවට නමනවා... ඒත් එක්කම උගෙ කනෙන් අල්ලලා කවුද උඩට ඉස්සුවා...බලාගෙන ගියාම දුමිත්ගෙ අම්මා...මගේ පොඩි නැන්දා...

බේබද්දෙක් වගේ බොන්න එපා...උඹ දැන් බෝතල් කීයක් කියලා බිව්වද...මම ඈත ඉදන් බලාගෙන හිටියෙ...ඔය ඇති දැන් ගිහින් කාපන් කියලා...මොන්ටිසෝරි දරුවෙක් වගේ කනෙන් ඇදන්  ගිහින් බුෆේ එක ඉස්සරහින් හිටෙව්වා....ඒ වෙද්දි මට බඩු පැකට් වෙලා තිබුනෙ...ඒ කිව්වෙ සිරා කොලුවා තුල සිංහයා අවදි වෙලා....ලෝකය ගෝලාකාරයි කියපු කථාව ටක්කෙටම හරි කියලා මට දැන් දැන් වැටහෙනවා...හැම දේම භ්‍ර‍මණය වෙනවා...කබරයා මදින් මද හිස ඔසවනවා , මෙතෙක් මේ කථාව කියවගෙන ආ ඔබ තමුන්නාන්සේලා සියල්ලෝම පුල පුලා බලා සිටි ඒ උත්කර්ශවත්, පජාති අවස්ථාව එළැබුනා. මම සීරුවට පිරිස මග ඇරලා ගිහිල්ලා...කරුවල ඉසව්වක කබරයා දිගේලි කලා....හප්පේ...කෙලින් ඉන්න බෑ...මම මොකට මේ මළජරාව බිව්වද ? ආයෙ නම් දිවි තියෙන තුරා බොන්නෙ නම් නෑ.... වමනෙ දාලම කොර වෙච්ච මගේ බණ්ඩිය දකුණු අතින් තදකරගෙන මම කම්පනා කොලා.

මේ විදියට වරින් වර කබරයා දිගේලි කරමින් සිරා කොලුවා එම ඉසව්වෙ කොපමණ වෙලා හිටියද කියලා දන්නෙ එතැන රූස්ස ගහ මුදුනෙ හිටිය බකමූණො විතරයි. කෙලින් ඉන්න තියා ඇස් දෙක ඇරගන්නවත් බැරි තරමේ ශෝකජනක තත්වයක හිටිය නිසාම...මම අමාරුවෙන් ඊට එහායින් තිබුන සුදුවැලි මත සැතපුනා... වටේ පිටේ කවුරුවත් නෑ...උඹ විතරයි....ඇති තරම් වමනෙ දාපන්...කාගෙන්වත් හිරිහැරයක් නෑ...මගේ හිත මට කිව්වා...

අනේ ඒ ආතොල් එක මගේ පාඩුවෙ ගන්න ප්‍රියන්ත අයියගෙ නිවැසියො වැඩි වෙලා අවස්ථාවක් දුන්නෙ නෑ.... විදුලි පන්දම් අතදරාගෙන හැමෝම සිරා කොලුවා හොයන බව මට ඉවෙන් වගේ දැනුන නිසා...මමත් බැරි බැරි ගාතෙ නිවසට සේන්දු වුනා...මොකද උඹට ඩෝප් ද ? ප්‍රියන්ත අයියගෙ මල්ලි කෙනෙක් මගෙන් එහෙම අහලා පිටට තට්ටුවක් දැම්මා....පුතා මේ කාමරෙන් නිදා ගන්න...ජොශපින් නැන්දා මාව කාමරයක් තුලට දාලා දොර වැහුවා....නිවසේ සියලුම විදුලි බල්බ නිවී ගියා....සිරා කොලුවා නිදාගැනීමේ පරම පවිත්‍ර‍ චේතනාවෙන් කොට්ටයට ඔලුව තැබුවා පමණයි... මා අවට පරිසරය නැවතත් භ්‍ර‍මණය වෙයි. කබරයා මදින් මද  කුස තුල මෝදු වෙයි. ආයාසයෙන් කලුවරේ මග සොයාගෙන නිවැසියන්ට නොදැනෙන සේ ප්‍ර‍ධාන දොර විවෘත කරගෙන අදුරේම නැවතත් පිටතට එන්න මේ සිරා එදා සමත් උනා...

නැන්දගෙ නිවසට මදක් ඈතින් තියෙන සුළු පරිමාන ගාමන්ට් ෆැක්ටේරිය තමා එවර මගේ ඉලක්කෙ උනේ... මම ගාමන්ට් එක වටේට කැරකි කැරකි කබරයා දිගේලි කලා...මටම පුදුමයි...ගිය ආත්මෙ කාපු ඒවත් වමනෙට යනවද මන්දා....යනවා කියලා මෙහෙමත් යන්නෙ කොහෙ තිබ්බ ඒවද බොලං...

සිරා කොලුවා නැවතත් සුදු වැලි මත සැතපී...ඉහළින් පෙනෙන පූර්ණ චන්ද්‍ර‍යා දෙස බලාගෙන හදේ හිටෙව්ව ඇමරිකන් කොඩිය හෙව්වා....ගතවුනේ සුළුවෙලාවයි....නැවතත් පොඩි කසුකුසුවක් ඇහෙනවා....ප්‍රියන්ත අයියගෙ නිවසෙ නැන්දා ප්‍ර‍මුඛ සෙබලු විදුලි පන්දම් එල්ල කරමින් අහිංසක සිරා හොයනවා... වැඩේ දෙල් වෙන්න කලියෙන් වැනි වැනී සිරා නැවතත් නිවසට කිට්ටු කොලා...

කොහෙ යනවද ? මෙන්න මෙහෙ එනවා...බොන්න ඕනෙ නම් පෙරේත කමට නැතුව  ටිකක් බොන්න ඕනෙ...මම කියන්නම්කො හෙට උදේට ....පුතණ්ඩියගෙ තරම අම්මට....ජොශපින් නැන්දට නහුතෙට නැගලා... කලිං කාමරේටම ගිහිල්ලා මාව ආයෙත් එබුවා....ඒ එක්ක ඒ නිවසෙ හිටිය එකම දියණිය...අපේ මයුරි අක්කා ඔන්න ඇවිත් මගේ සහායට....

ආයෙ කොහෙවත් යන්නෙ නෑ....මම ඇද යටින් පොලිතින් දැම්මා... වමනෙ යනවා නම් ඒවට දාන්න...කියලා සිරාගෙ හිස පරිස්සමට කොට්ටෙ උඩට පහත් කරලා...ඇය යන්න ගියා... නිවස නැවතත් සාමකාමීව අදුරේ ගිලුනා...පෙර කල පින් මහිම නිසාදෝ සිරා  ඒ අවස්ථාවෙ අතුරු උපද්‍ර‍වයකින් තොරව උදෑසන දක්වාම නිදි දෙව්දුව වැළද ගත්තා....

දැඩි හිසේ අමාරුවක් සමග පසුදා උදෑසන සිරා කොලුවා අවදි වුනා....සිංහයගෙ පවර් එක මම එදා තමයි හරියටම දැන ගත්තෙ...ඒ වෙද්දිත් සිරා කොලුවා වැනෙනවා. ඈතින් පොඩි කසු කුසුවක්....මිදුල අමදින හඩක් තමයි ඇහෙන්නෙ.... බලන්න අයියෙ කවුද බේබද්දෙක් ගාමන්ට් එක වටේටම ඊයෙ රෑ වමනෙ දාලා....උදේම සේවයට වාර්තා කොරපු කෙල්ලෙක් කිංකිණි හඩින් කා එක්කද සිරාගෙ ගුණ වයනවා අහන් ඉන්න ආසයි.

ප්‍රියන්ත අයියගෙ නිවසෙ උදවියගෙ අවඤා සහගත කථා වලින් කුල්මත් වෙලා මම හීන් සීරුවෙ මිදුලට බැහැලා වැනි වැනී මිදුලෙ තිබුන අලුපාට වෑන් එක ලගට ගියා...‍මනමාලයගෙ මල්ලි කෙනෙක් මොනවද බඩු වගයක් බාර දෙන්න නගරෙට යන්න....වෑන් රථය පණ ගැන්නුවා විතරයි....මර ලතෝනි දීගෙන , මිදුලෙ හිටිය අක්කා වෑන් එක ලගට දුවගෙන ආවා.

හප්පේ තව ඩිංගෙන් ජංජාලයයි.... මටත් වඩා කට් වෙච්ච දුමිතා වෑන් එක යට දොයි....කාට කාටත් කලින් දවසෙ රෑ ඒකව මග ඇරිලා....අක්කා දැක්කෙ නැත්නම්...මේකා මේ වෙද්දි මොන දිල්ලියක ඉදීද මන්දා...ඔන්න ඔහොමයි සිරා කොලුවගෙ රෙදි ගැලවුනු කතන්දරේ...

ලස්සන බේබද්දන්ගෙ ලස්සන පින්තූර කීපයක් මෙන්න....හොදම බේබද්දාගේ අංකය කොමෙන්ටුව තුල කොටා යන්න. පින්තූර ගත්තෙ මෙතැනින්

1

2

3

4

5

6

7

8

9

10

11

මම කාමරේ වෙසෙන, සත්ගුණවත් සිරා කොලුවා...



ප.ලි

අද සිට සිරාගේ කාමරේ හැඩ වෙන්නේ ඩියුඩ් සිරා හුජ්ජ බෑග් නම් ඉතාමත් වටිනා නව සොයාගැනීමක් සිදුකල  Henry Blog Walker හෙවත් හෙන්රි ශ්‍රීමතාණන් විසින් සිතුවම් කර මා වෙත එවූ සිතුවමකිනි. ඒ පිළිබද එතුමාට මාගේ බලවත් මෙව්වා එක පුද කරමි.

මා ප්‍රිය මිත්‍ර‍වරුනි...ඇත්ත වශයෙන්ම අද සිරා කොලුවා මෙලෙස කුජීත වෙන්නට බොන්නේ නැතිය....තමන්ගේ තරමට ඉදලා හිටලා හීනියට එකක් ගන්නවා මිස....ඇදගෙන නාන්නේ නැත...

ජොශපින් නැන්දාට කොන්ද රිදෙන තුරු වැද වැටී කල ඉල්ලීමක  ප්‍ර‍තිඵලයක් ලෙස මෙම කථා වස්තුව මගේ මව හෝ පියා අදටත් නොදනී...

අපට මගහැරුනු තවත් එකෙක් දෙන්නෙක්  පපුදා උදයේ වෙඩිං ගෙදර විවිධ අහුමුලු වලින් ප්‍රාතූර්භූත විය...ඒ අයට රාත්‍රී ආහාර වේලෙන් මෙන්ම  උදෑසන  තේ කෝප්පයකින්ද සප්පායම් වී නිවසට යාමේ විරල ගනයේ භාග්‍ය හිමි විය...

අරක්කු වලින් වගේ නෙමෙයි...බියර් වලින් ඩෝප් උනොත් පහුවදාටත් ඩෝප්....වගකීමෙන් කිව්වෙ...

අදින් පස්සෙ එකෙක් හරි මට බේබද්දා කියලා අහුඋනොත්.... දත් හලනවා....මේ සිරා හරි වසයි....අරිද ?










Monday, February 4, 2013

109 පත්තරේ දැන්වීම හා මාලදිවයින

ඒ 1990 වසරේ ජූනි මාසයට පෙර දිනයකි. ලංකාවේ ප්‍ර‍ධාන පුවත්පතක පල වී තිබූ දැන්වීමකි. ඔබ උපන්නේ 1965 ජූලි මස 27 වන දින නම් මාලදිවයින් නිදහස් දින උළෙලට ශ්‍රී ලංකාවෙන් සහභාගි වන රාජ්‍ය දුත කණ්ඩායමට එක්විමට ඔබටත් අවස්ථාවක්...වහාම අයදුම්පතක් යොමු කරන්න, යනුවෙන් අමාත්‍යාංශයක නමක් හා ලිපිනයක් ඊට යටින් විය.

මේ කියන කාලයේ අද පෝස්ටුවේ කථානායකයා වන ඉන්ද්‍ර‍නාම  25 හැවිරිදි වියේ පසු වූ භද්‍ර‍ යෞවනයෙකි. ඔහුගේ නෙතු මේ කියූ දැන්වීම නොදුටු මුත් ඔහුගේ මෑණියන්ගේ යුගදෙනෙත එම දැන්විම හා සම්මුඛ වී තිබුනි.

ඔයා ඉපදුන දවසෙ අයට ඉල්ලුම් කරන්න කියලා අන්න දැන්විමක් තිබ්බා පත්තරේ. ගිහිල්ලා පත්තරයක් අරන් එන්න...
http://www.piracyhappens.net/wp-content/uploads/2012/05/Extra.gif

මෑණියන්ගේ එවදන් හමුවේ මේ කියන පත්තරය සොයා ගැනීමට කථා නායකයාට  සෑහෙන දුරක් පුෂ් බයිසිකලේ පාගා යන්නට  සිදුවිය. අහන අහන තැන පත්තර අවසන්ය. කෙසේ හෝ නගරයේ අදුරු මුල්ලක තිබූ පත්තර කඩයක එකම එක පත්තරයක් ඉතිරි වී තිබිනි. ඒ පත්තරයේ සටහන් වූ පෙර කියූ දැන්වීම ඔහුට මෙතරම් සොදුරු සිහිනයක් දකින්නට අවකාශ සලසාවී යැයි කිසිවිටෙක  සිතන්නට නැත.

අයදුම්පත යොමුකර ටික දිනක් ඇවෑමෙන් ඉන්ද්‍ර‍නාම වෙත එම අමාත්‍යාංශයෙන් ලැබුනු ලිපියකි. එහි සටහන්ව තිබූයේ උක්ත කාරණය පිළිබද තෝරාගැනීමේ පරීක්ෂණයට පැමිණෙන ලෙසයි. එකම දින උපන් සිය ගණනක් සිටිය හැකි හෙයින් මේ පරීක්ෂණයෙන් තමා සමත් වේ යැයි කිසිදා නොසිතූ බැව් මේ කථාව මා හට පැවසූ අවස්ථාවේ ඔහු අවධාරනය කොලා.

මාලදිවයින පිළිබද නොයෙක් තොරතුරු වලින් සන්නද්ධව අමාත්‍යාංශය වෙත නියමිත දින උදෑසන ගිය ඔහු විශ්මයට පත්වී තිබුනි. සිය ගණනක් අපේක්ෂකයන් බලාපොරොත්තු වුවත් පැමිණ සිටියේ තවත් පිරිමි ඉල්ලුම්කරුවකු සහ ඉල්ලුම්කාරිනියක පමණි.

මාලදිවයින් රාජ්‍යයේ 25 වන නිදහස් සැමරුම යෙදී තිබූ  1990 වසරේ එම උත්සවය සදහා සහභාගි කරවා ගැනීමට නිදහස ලද දිනයේ උපන් තරුණියක හා තරුණයකු බැගින් ඉදිරිපත් කරන ලෙස හිටපු මාලදිවයින් ජනාධිපති මොහමඩ් අබ්දුල් ගයුම් මහතා සාක් කලාපයේ රටවල් වෙතින් කල ඉල්ලීමක ප්‍ර‍තිඵලයක් ලෙසයි මේ දැන්වීම පලවෙලා තියෙන්නෙ.

සම්මුඛ පරීක්ෂණයට පැමිණ සිටි  පිරිස අතර සිටියේ එක් කාන්තාවක් නිසා ඇයට තෝරාගැනීමේ පරීක්ෂණයක් පවත්වලා නෑ...පිරිමි තරගකරුවන් දෙදෙනාට ලංකාව පිළිබද ඉංග්‍රීසි භාෂාවෙන් රචනාවක් ලියන්න උපදෙස් ලැබිලා. ඉංග්‍රීසි භාෂාව පිළිබද අපේ කථානායකයට තිබුන පරිචය නිසාම ඔහු ලංකාව ගැන මෙන්ම මාලදිවයින සම්බන්ධයෙනුත් රචනා දෙකක් ලියලා...ඒ අනුව ඔහුට හැකිවෙනවා මාලදිවයින් රාජ්‍යයට යන අවස්ථාව උදා කරගන්න.

මේ කියන දවසෙන් පස්සෙ දිගින් දිගටම පැවති වැඩමුළු කීපයකදි ඔවුන් මේ ගමනට සූදානම් කරන්න එවකට රජය කටයුතු යොදලා තියෙනවා...හැමදේටම අනුග්‍ර‍හය ලංකා රජයෙන්...අලුත් ඇදුම්...අලුත් සපත්තු... රත්නපුර පදිංචිකාරියක් වෙච්ච අයදුම්කාරිය සිය පියා එක්ක මේ කටයුතු සදහා කොළඹ ආවම ඉන්ද්‍ර‍නාමගේ පානදුර නිවසටත් ඇවිල්ලා...ඒ නිසා මේ දෙපාර්ශවය අතරත් යම් සුහදත්වයක් ඇති වෙලා.

කෙමෙන් කෙමෙන් වැඩසටහනට යන දවසත් ලං වුනා කියමුකො...රත්නපුරේ ඇත්තිගෙ මෑණියෝ ඇගේ ආරක්ෂාව ගැන සලකා මේ ගමනට දැඩි ලෙස විරුද්ධ විම නිසා ඇය මාලදිවයින් සංචාරයට එක් වෙලා නෑ...අන්තිමට අපේ ඉන්ද්‍ර‍නාම උන්නැහේ තමයි ඉතිං කාන්තා පිරිමි දෙපාර්ශවය වෙනුවෙන්ම මේ අවස්ථාවට සහභාගි වෙලා තියෙන්නෙ.

ඒ කාලෙ ලංකාවෙ තිබුනෙ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ ආණ්ඩුව...අගමැති වෙලා හිටියෙ ඩී.බී. විජේතුංග මහතා, අගමැති තුමා ඇතුලු රාජ්‍ය නියෝජිතයන් සමග මේ ගමන යන්නට ඉන්ද්‍ර‍නාමට අවස්ථාව උදා වෙලා... කවදාවත් හිතපු නැති ගමනක්...ඇරත් මේ වගේ ලංකාවෙ දෙවැනි පුරවැසියා එක්ක, එකම ගුවන් යානයක..අනෙක් රටවලිනුත් ලස්සන කෙල්ලො එහෙම එයිද ? ඉන්ද්‍ර‍නාමගෙ හිත තරමක් නොසන්සුන්.

මෙතැන් පටන් මේ කථාවෙ ඉතිරි හරිය ඉන්ද්‍ර‍නාම මහත්තයගෙ වචනයෙන්ම ඉදිරිපත් කරන්නම්. ඇත්තමයි මම කවදාවත් හිතුවෙ නෑ මම වගේ සාමාන්‍ය පන්තියෙ පොඩි මිනිහෙක්ට ලංකාවෙ ඉහළම ප්‍ර‍භූන් එක්ක රතු පලසෙන් ගිහිල්ලා මේ වගේ උත්සවයකට සහභාගි වෙන්න ලැබේවි කියලා.  උත්සවයට පිටත්වෙන දවසෙ පානදුරේ අපේ ගෙදරටම අමාත්‍යාංශයෙන් බොහොම සැපපහසු කාර් එකක් එව්වා කටුනායක ගුවන්තොටුපලට යන්න. ඒ වගේම ගමනට අවශ්‍ය හැමදේම ලැබුනෙ රජයේ වියදමෙන්.... මම කටුනායකට ලගා වෙද්දි අගමැති තුමා ඇතුලු රාජ්‍ය නිලධාරීන් ගුවන්තොටුපලට ඇවිල්ලා හිටියෙ... අපේ කණ්ඩායමේ සියල්ලන්ම 60 විතර වෙන්න ඇති. අගමැති තුමා මගේ ලගට ඇවිල්ලා ඇදුම දිහා හොදට බලලා කොහොමද දැන් යන්න සූදානම් නේද කියලා හිනාවෙලා ඇහුවා.

ඉන්දියාවෙන් මේ උත්සවේට සහභාගි වෙන්න පැමිණෙන ජෝඩුවත් ලංකාවට ඇවිල්ලා තමයි මාලදිවයිනට පිටත් වුනේ... මම කොහොමත් හිතාගෙන හිටියෙ ඉන්දියාවෙන් එන කෙල්ල බොහොම ලස්සන වේවි කියලා...ඇත්තටම එහෙන් ආපු ගෑණු ළමයා හරිම ලස්සනයි. දහස් ගාණක් අතරින් තෝර ගත්ත කෙනෙක්නෙ.

ඉතිං ඔන්න අපිට ගුවන් යානයේ ව්‍යාපාරික පන්තියේ ආසන තමයි වෙන්කරලා තිබුනෙ අගමැති තුමා පෙනෙන මානයක තමයි මමත් හිටියෙ...මාලදිවයිනේ ගුවන් තොටුපලට යානය ගොඩ බැස්සුවට පස්සෙ මගේ බෑග් එක පවා අරන් යන්න කෙනෙක් එහෙ රජය පත්කරලා තිබුනා.... ලංකාවෙ සහ මාලදිවයිනේ කොඩි දෙක බැගින් අතින් ගත්තු කුඩා ළමයි පේලි දෙකකට දෙපසින් ඉදලා අපිව පිළිගත්තෙ රතු පලසින්. මට ඉතිං හිතට අමුතුම සතුටක් දැනුනා...

මාලදිවයින කියන්නෙ ඉතිං දූපත් දහස් ගාණකින් සැදුන රාජ්‍යයක් නිසා විවිධ දුපත් වල පිහිටි තරු පන්තියේ හෝටල්වල තමයි අපි එහෙ ගතකල සතියක පමණ කාලයක් හිටියෙ. තනි තනි වශයෙන් තමයි අපිට කාමර ලැබුනෙ...මගේ කාමරයට යාබදව ඉන්දියානු යුවතිය. ඊට පස්සෙ බංගලිදේශයෙන් ආපු ගෑණු ළමයා... මේ දෙන්නම හරිම ලස්සනයි. මුලින් මුලින් ටිකක් ආඩම්බර කමට තමයි හිටියෙ...ඒත් අපි ගියදවසෙ රාත්‍රියෙ මාලදිවයින් පාර්ලිමේන්තුවෙ තිබ්බ රාත්‍රී භෝජන සංග්‍ර‍හයෙදි අදුනගෙන කථා කලාට පස්සෙ ඒ ගතිය නැතිවෙලා ගියා. එයා මාව ඉන්දියා විදේශ ඇමති තුමාට අදුන්වා දුන්නා...මේ භෝජන සංග්‍ර‍හයෙදි මට කෑම බෙදුවෙ මාලදිවයින් පාර්ලිමේන්තුවෙ කථානායක තුමා....මම ඒ වෙලාවෙ කල්පනා කලා...අනේ මටත් ලැබුනු චෑන්ස් එකක් කියලා. ඉන්දියානු ගෑණු ළමයගෙ නම නිධි.

හෝටලයෙන් පිටත් වෙලා අපිට උවමනා තැනට යන්න රාජ්‍ය නායකයන් පාවිච්චි කරන ඉතාම සුඛෝපභෝගී බෝට්ටුවක් ලබා දී තිබුනා...ඉතිං මේ ගමන් වලදි ඉන්දියානු කෙල්ලයි බංගලිදේශ කෙල්ලයි මාත් එක්ක බොහොම හිතවත් වුනා.. අවුරුදු 25 වෙද්දි ඒ දෙන්නම MA උපාධියත් අරගෙන තිබුනෙ... ඉන්දියාවෙන් ආපු පිරිමි ළමයා ඒ වෙද්දි විශේෂඤ වෛද්‍ය වරයෙක්...එයා නිතරම පොත් කියවමින් සිටි නිසා අපිත් එක්ක එච්චර එකතු වුනේ නෑ. මේ ගෑණු දැරිවියො දෙන්න තවත් හිතවත් කරගන්න මම පොඩි උප්පරවැට්ටියක් දැම්මා.  මට අත බලා සාස්තර කියන්න පුලුවන් කියලා ඒ අයට කිව්වා.  ඔන්න දෙන්නම අත් දෙක එක සැරේ දික් කලා, මම ඉස්සෙල්ලාම නිධි ගෙ  අත අල්ලගත්තා...මට නිකං මොනවද වගේ ඒ වෙලාවෙ...ඒ ළමයා පුදුමාකාර  ලස්සනයි. මම ඉතිං  එයාගෙ අංග චලන ගැන අවධානයෙන් කථාව පටන් ගත්තා. සහෝදරයො 4 ඉන්නවා කිව්වම එයා එක පාරටම කිව්වා ලගටම ආවා... ඇත්තටම ඉන්නෙ 3 දෙනයි කියලා...උපාධියක් තියෙනවා කියලා කිව්වම එයා කිව්වා මම මාස්ටර් එකත් කරලා ඉවරයි කියලා...

ඔය විදියට බොහොම සුහද වුනා පැය කීපයකින්ම... ඊට පස්සෙ ඒ දෙන්නම රාත්‍රියට මගේ කාමරේට ඇවිල්ලා කථා බහ කරන්න, මගේ කාමරය අස්පස් කරන්න පුරුදු වුනා...මට ලංකා රජයෙන් රු 500 දුන්නා වියදමට...ඉතිං ඔය මුදලත් පාවිච්චි කරලා මම සාප්පු සවාරි ගියා මේ දෙන්නත් එක්ක...අපේ බෑග් මලු උස්සගෙන යන්න අපිට මාලදිවයින් රජය විශේෂ නිලධාරීන් පත්කරලා තිබුනා.... අපිට ලැබුනෙ VIP මට්ටමේ සැලකීම්.

මාලදිවයිනට ගිහිල්ලා දවස් දෙකකට පස්සෙ තමයි නිදහස් දිනය එළැඹුනේ...එදා එහෙ පාර්ලිමේන්තුවෙදි අපි අපේ උපන්දින කේක් කැපුවෙ විදේශීය රාජ්‍ය නායකයන් එක්ක... ප්‍ර‍ධාන උත්සවය නිමවෙලා ගතවුනු දවස් කිපයෙදි අපි අතර බැදීම බොහොම ශක්තිමත් වුනා... මම ඇයට හිතින් ආදරය කලා. ඒ ගැන ඇයට වැටහෙන විදියට කථා බහ කලා. මම හිතන්නෙ නිධි තේරුම් අරන් තිබුනා මගේ හිතේ තියෙන දේ ගැන. දේශසිමා මායිම් ආදරයට නැති බව මම ඇයට කිව්වා...

ඔය විදියට කාලය ගතවෙලා අපේ සංචාරයේ අවසන් දිනයට එළැඹුනා. අපි සමුගත්ත අවස්ථාව බොහොම හැගීම්බර එකක්...ගැණු ළමයි දෙන්නම මගේ ඉස්සරහා කදුලු සැලුවා. මට ෆොටෝ එකක් ගහගන්න කැමරාවක් තිබුනෙත් නෑ... නිධි සහ මම අපි දෙන්නගෙ  ලිපිනයන් හුවමාරු කරගෙන වෙන්වුනා.

ලංකාවෙ ඉදන් නිධි ට මම දිගටම ලිව්වා...එයත් පිළිතුරු එව්වා...අන්තිමට පවුලෙ අය එයාට එහෙන් කෙනෙක් යෝජනා කලා කියලා ලියලා එව්වම නම් මට යම් වේදනාවක් ඇති වුනා. එදායින් පස්සෙ අපි අතරෙ ලිපි හුවමාරුව අඩුවෙලා පස්සෙ නැතිවෙලාම ගියා.

මම කිප වතාවක් ඉන්දියාවට ගියා..එක සැරයක් නිධිගෙ ටවුම කිට්ටුවෙන්ම ගියත් මම එයාව හම්බවෙන්න උත්සාහ කලෙත් නෑ...අද මට කසාද බැදලා ළමයි දෙන්නෙක් ඉන්නවා වගේ එයත් කසාද බැදලා පුංචි පවුලක් හදාගෙන ඇති. පත්තරේ දැන්වීමක් මට ලබාදුන්න දේවල් හොදටම මදෑ....නැද්ද මල්ලි... එහෙම කියලා ඉන්ද්‍ර‍නාම කථාව අවසන් කලා.

ඉන්ද්‍ර‍නාම මහතා දැන් දිවුරුම් දුන් භාෂා පරිවර්ථකයෙක් වගේම ජනමාධ්‍යවේදීයෙක් ලෙසත් කටයුතු කරනවා...ඉංග්‍රීසි භාෂාව මෙන්ම ලෝක දේශපාලන ගමන් මග ගැනත්, ඒ ඒ රටවල සංස්කෘතික ගති ලක්ෂණ පිළිබදවත් ඔහුට තියෙන්නෙ පුදුමාකාර දැනුමක්. 2015 දි මාලදිවයින තමන්ගෙ 50 වෙනි ජාතික දිනය සමරනවා...එදාට නැවතත් පැරණි ආරාධිතයන් එක්කලොත් අනිවාර්යෙන්ම ඔහුට ඉන්දියානු යුවතිය දැක බලාගන්නට ලැබේවි.



මම කාමරේ වෙසෙන, සත්ගුණවත් සිරා කොලුවා.


ප.ලි

ඔහුගේ ඉල්ලීම මත නියම නම වෙනුවට ආරූඩ නාමයක් යෙදීමට සිදූ වූ බැව් කරුණාවෙන් සලකන්න.

මේ ගමනේදී හදුනාගත් රාජ්‍ය නිලධාරීන් නිසා පසුකලෙක ඔහුට රජයේ රැකියාවක් ලැබී තිබෙනවා.

එදා මෙහෙම යමක් මේ විදියට සිදුවුනත්, අද නම් ඇමතියෙකුගේ හෙන්චයියෙකු මෙවැනි අවස්ථාවක් සදහා යොදා ගනු ඇතැයි මට සිතේ.
















Related Posts Plugin for WordPress, Blogger...