Saturday, September 28, 2013

69 පාසල් සේවය

සිරා කොලුවා 5 සිස්සත්තෙ සමත් වුනාට පස්සෙ නගරෙ තිබුන එකම බාලක පාසලට ඇතුලත් කරන්න මගේ මැණියන් තීරණය කලා. ඒ වෙද්දි තාත්තා විදේශගතව හිටපු හින්දා මේ තීරණය ගැනීමේ පූර්ණ බලතල ඇයට තමයි පැවරී තිබුනේ. අන්න එතැනදි තමයි පුංචි පහේ පුරස්නයක් පැන නැග්ගෙ.

මේ පොඩි කොලුවා බස් එකේ තනියම යවන්න පුලුවනෑ...එවකට ජීවතුන් අතර සිටිය අපේ තාත්තගෙ අම්මා හෙවත් අපේ ආච්චි එහෙම කිව්වා. බස් එකේ බෙල් එක ගහන්නවත් උස නැති පොඩි එකාව (ඒ උනාට මම ඒ දවස් වල හිතාගෙන හිටියෙ මම හරි ලොකුයි කියලා) බස් රථයෙන් පාසල් යවන්නෙ නැතුව පාසල් සේවා වෑන් රථයක යවන්න මගේ මව්තුමිය තීරණයකට බැස්සෙ මේ කරුණු කාරණා සලකා බැලීමෙන් අනතුරුව.

1993 වගේ කාල සීමාවකදිත් අපේ පලාතෙ ඉදන් ගම්පහ විද්‍යාල වලට වගේම කොළඹ පාසල් වලටත් සේවා පවත්වපු පාසල් සේවා වෑන් රථ විශාල ප්‍රමාණයක් තිබුනා. ඒ අතරින් මට ගැලපෙන එකක් තෝරා දුන්නෙ ගමේ අම්මා නම් වූ ඥාතීත්වයෙන් මට මිත්තනියක වූ තවත් කෙනෙක්. මේ අය අද ජීවතුන් අතර නෑ.

ඔන්න සිරා එක්කම පොඩි ඉස්කෝලෙන් එකම ලකුණු අරගෙන සිස්සත්තෙ සමත් වෙලා නගරෙ පාසලට යන්න සුදුසුකම් ලබපු මාලනී නැන්දගෙ පුතා උදිතයත් මේ වෑන් රථයටම ඔබන්න ඒ අයත් කම්පනා කොර තිබුන නිසා මට භය වෙන්න දෙයක් තිබුනෙත් නෑ. මොකද මේ අවදියෙදි සිරා හරිම ලැජ්ජාකාරයා.

පුතේ හෙට ඉදන් වෑන් එකේ යන්න පුලුවන්...ගමේ අම්මා අපේ අම්මට පණිවිඩේ දුන්නා. ඒ දවස්වල මම උදේට නැගිටින්න අදිමදි කරනකොට අම්මා අහන්නෙ...

අර අලුත් සපත්තු දෙක දාගෙන ඉස්කෝලෙ යන්න ආශා නැද්ද කියලයි... ඒ වගේ වචනයක් ඇහුනම සිරා බල්ටියකුත් ගහගෙන ඇදෙන් බිමට පැන්න බව මට තවමත් මතකයි. මම ඉස් ඉස්සෙල්ලාම පාසල් වෑන් රථයට ගොඩවෙච්ච දවසෙ වෑන් රථයට භාර දෙන්න අපේ අම්ම එක්ක ගමේ අම්මත් ආවා.

Toyota LH 30


ඒ වෙද්දිත් මට කලින් හන්දියකින් වෑන් රථයට ගොඩ වෙන උදිතයා ඒක ඇතුලෙ. මාත් එක්ක වෙනත් විද්‍යාලයක කෙනෙක් අපේ හන්දියෙන්ම පාසල් සේවයට ගොඩ වුනා. අපරාදෙ කියන්න බෑ..ඇති පදම් ඉඩ...ඉදගෙන නෙමෙයි නිදියගෙන උනත් යන්න පුලුවන්...වෑන් රථය එළවන වයසක ඩැයිවර් මාම පවු...මේ විදියට කට්ටිය අඩුවෙන් අරගෙන ගිහිං එයාට පාඩුත් ඇති...මගේ සූටි මොළේට එහෙමත් හිතුනා.

පාසල ඉවර උනාට පස්සෙ වෑන් රථය නවත්වන තැන...එතැන කීය වෙනතුරු ඉන්නවද වගේ දේවල් ඩැයිවර් මාමා බොහොම කාරුණිකව කියලා දුන්නා. මම පස්සෙ දැනගත්ත විදියට ඒ වෑන් රථය ඩැයිවර් මාමගෙම එකක්.

කොහොමද වෑන් එක....ගෙදර ආවම අම්මා ඇහුවා...

හොදට ඉඩ තියෙනවා නියමයි....මමත් ඉතිං බත් කන්න අත හෝදන ගමන් එහෙම කිව්වා.

ඔන්න ඉතිං අති සාර්ථක දෙවැනි දවසටත් පාසල් වෑන් රථයට ගොඩ වුනා...නැග්ග ගමන් පිටිපස්සෙ සීට් එකකට යන්න හදද්දිම කෙල්ලෙක්ගෙ කකුල පෑගුනා...ඌයි... කොහෙ යනවද මන්දා...ඒකි බෙරිහන් දුන්නා...

කව්ද නංගි අලුත් කෙනෙක්ද ? තවත් එකියක් එහෙම ඇහුවා. එතකොට තමයි මට තරු පෙනුනෙ...කලින් දවසෙ හිටිය නැති කාන්තා පරාණ රාශියක් වෑන් එකේ පිටිපස්සෙ සැමන් ටින් එකක වගේ අඩුක් කර තියෙන රමණීය දර්ශනය.

පිටිපස්සෙ ඇගිල්ලක් ගහන්න ඉඩක් නෑ...කෝ බොලේ උදිතයා...මම වහාම පිටිපස්ස බැලුවා. Toyota LH30 වෑන් රථයෙ රියදුරාට පිටිපස්සෙ ඇන්ජින් ආවරණය උඩ සකසා තිබුන කෙට්ටු සීට් එකක වෑන් රථයේ පුරුෂ පක්ෂය ඉන්දවලා තිබුනා. මමත් ඉතිං ලැජ්ජාවෙන් රතු වෙච්ච මූණ හංගගෙන එතනින් වාඩි උනා...ඇන්ජිමේ රස්නෙත් පස්සා පැත්තට යන්තමට දැනෙන්න සලස්වලා වෑන් රථය හැමදාමත් පාසලට ලගා වුනා. මේ සීට් එකේ ඉදගත්තම පිටිපස්සෙන් ඉන්න කෙල්ලන්ගෙ මූණු ටික හොදට පේනවා. කකුල් තියාගන්නත් ඉඩක් නැති උනාට ඩැයිවර් මාමා අපෙනුත් අනිත් අයගෙන් අය කරන මුදලම අය කොලා.

ටික දවසක් යද්දි මගේ අක්මාවට වැටහුනා...අපේ පාසල් වෑන් රථයෙ තියෙන්නෙ තනිකරම කාන්තා පාලනයක් බව...වෑන් රථයටම හිටියෙ කොල්ලො 5 දෙනයි. ඒ අතරින් වැඩිමල් එකා ඩැයිවර් මාමා එක්ක ඉස්සරහම සීට් එකේ. අනිත් හතර දෙනා ඉතිං මම කලින් කිව්ව හීනි සීට් කබලෙ පේලියට දිගේලි උනා. අපේ පුකට කුෂන් සීට් අරහං හින්දද මන්දා වෑන් එකේ ගිය පළවෙනිම දවසින් පස්සෙ එහෙම චෑන්ස් එකක් ආයෙ කවදාවත් වෑන් රථයෙන් ඉවත් වන තුරාවටම වැදුනෙම නෑ.

අපේ පාසල් වෑන් රථය මම කලින් කිව්ව මාදිලියෙ සුදු පැහැති එකක්. ඒක වටේටම නිල් පාට ඉරි ගහලා තිබුන නිසා අනිත් වෑන් රථ අතරින් පහසුවෙන් හදුනාගැනීමේ හැකියාව පුංචි අපට ලැබුනා. වෑන් රථය ඇතුලෙ හිටිය කාන්තා පරාණ සියල්ලම එකම පාසලක. ඒ තමයි අපේ පාසල ලගම පිහිටි රතු ටයි පටියක් හිමි ඉස්කෝලෙ.

වෑන් රථය ඇතුලෙ මේ දැරිවියො කල්ලි දෙකක් විදියට පිල් බෙදිලා හිටියෙ. පොඩිම එකීගෙ ඉදන් ලොකුම එකී දක්වා හැම වයස් පරාසයකම අය මේ කල්ලි දෙකට අයත් වුනා. මුන් දෙගොල්ල වෑන් රථය ඇතුලෙ හැමදාම මරා ගත්තා. ඒ පිටිපස්සෙ සීට් එක ලබා ගන්න.

උදේට බැරි උනොත් හැන්දෑවට හරි පිටිපස්සෙ සීට් එක අල්ලගන්නවා කියන අධිෂ්ඨානයෙන් තමයි කෙල්ලො ගවුම් කරේ තියාගෙන වෑන් එකට දුවගෙන එන්නෙ. ඉස්සෙල්ලාම ආවෙ පොඩි කෙල්ලෙක් නම් තමන්ගෙ පිලේ ලොකු අක්කලා වෙනුවෙන් පිටිපස්සෙ සීට් එක වෙන් කරගන්න ඒකෙ වාඩි වෙනවා. ඊළගට එන්නෙ අනිත් පිලේ වැඩිමල් කෙල්ලෙක් නම් අර චූටි කෙල්ලගෙ කොණ්ඩ කරලෙන් අල්ලලා තල්ලු කරලා එතන ඉද ගන්නවා...ඊට පස්සෙ එකා දෙන්නා ගානෙ ඇවිල්ලා වෑන් එකේ පැක් උනාට පස්සෙ තමයි ජල්ලිය අල්ලන්නෙ.

පිරිමි අපි මේ දෙපාර්ශවයටම සහයෝගයක් නැති මධ්‍යස්ථව සිටි පිරිසක්. මුන් දෙගොල්ල වෑන් එක ඇතුලෙ මරාගන්න ඒ පරම පවිත්‍ර පිවිතුරු දර්ශනය අපි හැමදාමත් දැකලා සාමාන්‍ය දෙයක් බවට පත් වුනා.

තමුසෙ මොකද අපේ චූටි නංගිගෙ කොණ්ඩෙන් ඇද්දෙ...

ඇයි තමුසෙ ඒකිගෙ අක්කද ? අනිත් එකිත් මරියකඩේ කට සැර වෙළෙන්දියෙක් වගේ උත්තරේ දෙනවා.

ආයෙ එහෙම වෙලා තියෙන්න බෑ හරිද.

මෙන්න මේ විදියට සමහර දවස් වල වලිය වැඩිදුර නොගොස් නතර වෙනවා.

සමහර දවස් වලට නැගලම යනවා...එදාට නම් කියලා වැඩක් නෑ.....ජොලිය වැඩි වෙලා අපිට පාසල් වෑන් රථය ආතල් පුරයක් වගේ දැනෙන්න ගන්නවා.

අත අරිනවා මගේ කොණ්ඩේ...එකියක් මොර දෙනවා...

අනේ අක්කෙ මගේ ගවුම ඉරුවා...

ඌයි...මගේ කකුල පාගන්නෙ...ගන්නවා අහකට...

මෙන්න මේ වගේ වලිය නැගලම යන වෙලාවට ඩැයිවර් මාමා වාහනේ නවත්තලා පිටිපස්සට ඔලුව කරකෝලා, බලලා.

අනේ දුවේ ගහ මරා ගන්නෙ නැතුව සාමකාමීව යන්නකෝ....කියලා බොහොම බැගෑපත්ව ඉල්ලා හිටිනවා...අන්න ඒ වෙලාවට තමයි සද්දෙ පොඩ්ඩක් හරි අඩු වෙන්නෙ.

පාසල් නිවාඩු දෙන දවසට තත්වෙ මීට වඩා බොහෝ සෙයින් වෙනස්...එදාට මේ කිව්ව සැට් එක ඉස්කෝලෙ ඇතුලෙ වතුර වලින් ගහගෙන ගවුම් ඉරාගෙන තමයි වෑන් රථයට ගොඩ වෙන්නෙ.

බලන්නකො අක්කෙ අරකි ටැප් එක ලගදි මාව අල්ලගෙන ගවුම ඉරුවනෙ...ඒ කිව්වෙ ගවුම ඉරපු කෙනත් වෑන් රථයෙ යන කෙනෙක්...ඇතුලෙ ප්‍රශ්න සමහර වෙලාවට උන් පාසල ඇතුලෙත් විසදගන්නවා...හරිම සීදේවි කෙල්ලො. අද උන්ව බැදගෙන ඉන්න උන්ට දෙවියන්ගේම පිහිටයි ආරක්ෂාවයි.

මේ කියන පාසල් සේවයේ කැසට් පට කීපයක්ම තිබුනත් මාස 6ක විතර කාලයක් එක දිගට උදේ හවස වාදනය කලේ එකම කැසට් පටයක්. ඒ තමයි නාමල් උඩුගමගෙ වේදනා. මේකෙ තිබුන සින්දු වලට වෑන් එකේ හිටිය කෙල්ලො රෑන වශී වෙලා හිටියෙ. කෙටියෙන්ම කියනවා නම් උන් නාමල් ගොයියට වහ වැටිලා හිටියෙ. හැමදාම එකම සින්දුව අහලා මට ඒ දවස් වල ඒ කැසට් පටියෙ ගීතාවලිය කටපාඩම් වෙලා තිබුනෙ. වෑන් රථයෙ පුරුෂාධිපත්‍යයක් තිබුනෙ නැති නිසා උන්ට කැමති දෙයක් කරගන්න දීලා කොල්ලො ටික ඇන්ජිම උඩ පුක රත්වෙන සීට් එකේ වෙනදා වගේම ගියා ආවා.

නාමල්ට පස්සෙ උන් වහ වැටුනෙ සමුදුර පත්තරෙත් එක්ක ඒ දවස් වල නොමිලයේ ලබා දුන් ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙ පෝස්ටර් එකතු කරන්න. ඒ අතරින් අරවින්දට සහ රොෂාන් මහානාමට තමයි කෙල්ලන්ගෙ වැඩි කැමැත්ත ලැබුනෙ.

මෙන්න මේ අතරෙ දවසක තමයි බොලව් මටයි උදිතයටයි අමතක නොවන වැඩක් වුනේ. පන්ති දෙකක හිටිය අපි දෙන්නා පාසල අවසන් උනාට පස්සෙ එකම තැනකදි මුණ ගැහිලා එකටම තමයි වෑන් රථයට ගොඩ වෙන්න යන්නෙ. අර මම කලිනුත් කිව්ව නිල් පාට ඉරි සැට් එක හින්දා වගේම හැමදාම නවත්වන්නෙ එකම තැන නිසා මේ රථය හදුනාගන්න එතරම් අපහසු නෑ. ඒත් මේ කියන දවසෙ ඇහේ කලු බබාට සෑහෙන්න මහන්සිය දැනෙන තුරු වෑන් රථය හෙව්වත් ඒක එතන තිබුනෙ නෑ. ඒ කිව්වෙ අන්තරස්දාන වෙලා.

වැඩක් නෑ බං තවත් හොයලා වෑන් එක අපි දෙන්නවා දාලා ගිහිල්ලා.

උදිතයා පරාජිත හැගීමෙන් එහෙම කිව්වා.

දැන් ඉතිං මක්ක කරන්නද...ගෙදර යන්නත් එපායැ. මගේ කලිසම් සාක්කුවෙ කඩචෝරු කාලා ඉතුරු වෙච්ච රුපියල් 3ක් තිබුනෙ පෙර පිනකට වගේ. උදිතයා ලග ශත 5ක් අතේ නෑ. ඒ දවස් වල ගම්පහ ඉදන් අපේ හන්දියට ගාන රුපියල් 1.50. දැන් දෙන්නටම බස් එකේ ගෙදර යන්න මුදල් ඇති. උදිතයත් මට පින් දෙන ගමන් එදා මාත් එක්ක අලුත් පාසලට ආවට පස්සෙ පළමු වරට බස් රථයක නැගලා ගෙදර ගියා. මට මතක විදියට එතකොට අපි හිටියෙ 6 පන්තියෙ.

ගෙදර යද්දි වෙනදට වඩා ප්‍රමාද වෙලා තිබුන හින්දා අපේ අම්මා කාරණේ විමසුවා. එතකොට තමයි බට කැළෑවට ගිණි ගත්තා වගේ ගින්න පැතිරුනේ. මේ පොඩි උන්ව බස් වල යවන්න බැරි හින්දා නේද අපි වැඩි ගානක් දීලා වෑන් එකකට දැම්මෙ. මාලනී නැන්දත් මේ කථාබහට එකතු වුනා. මම හෙට ඉදන් අපේ එකාව ඔය වෑන් එකෙන් අයින් කරනවා, නැන්දට නප්පියට නැගලා.

පහුවදා උදේම මාලනී නැන්දා අපේ ඩැයිවර් අංකල්ට මදි නොකියන්න දොස් කියලා..ඒ මාසෙ ආගිය ඒවට ගණන් බේරලා උදිතයව බස් එකකට නග්ගලා. අපේ අම්මත් මාත් එක්ක හන්දියට ඇවිල්ලා ඩැයිවර් මාමාගෙන් ඇහුවා ඇයි එහෙම කලේ කියලා...

කවුද ඇතුලෙ හිටිය කුපාඩියෙක් කියලා අපි දෙන්නා අද හවස පාසලෙන් පස්සෙ පුහුණූවීමකට ඉන්නවා කිව්වා කියලා. ඉතිං ඩැයිවර් මාමා අපිව හලලා ගිහිල්ලා.

මගේ මව ඒ කාරණය ඒ විදියට විසදගෙන මාව නැවතත් ඒ රථයටම බාර දුන්නා. එතැනින් පස්සෙ උදිතයා නැතුව ටික කාලයක් මම තව දුරටත් පාසල් වෑන් රථයෙ පාසල් ගියා.

මේ අවු අස්සෙ අපේ පාසලේ 75 වෙන සැමරුමට දැවැන්ත අධ්‍යාපනික ප්‍රදර්ශනයක් සංවිධානය කලා. හැම සිසුවෙකුටම ඒ පිළිබද විස්තර ඇතුලත් මුද්‍රිත පෝස්ටර් 3 බැගින් ලබා දුන්නෙ තම තමන්ගෙ නිවාස ඇති ඉසව්වෙ ප්‍රසිද්ධ ස්ථාන වල ඒවා අලවන පොරොන්දුව ඇතිව.

අනේ මගේ පෝස්ටර් 3 මට ගෙදර ගෙනල්ලා දිග ඇරලා බලන්නවත් බැරි උනා.

ඒ කිව්වෙ වෑන් රථයේ කාන්තා ආධිපත්‍යයට මාව හසුවුනා. මගේ පෝස්ටර් උන් අලවන්නම් කියලා ඉතාමත් සාහසික ලෙස පැහැර ගත්තා. මක්ක කරන්නද ඉතිං මම සුපුරුදු සීට් එකට බර දීලා අපේ හන්දියෙන් බිමට පැන්නා.

පාසල් වෑන් රථයට අපේ හන්දියට පස්සෙ ගොඩවුනේ එකම කොල්ලෙක් විතරයි. ඒකාට උපතින්ම කථා කරන්න බැරි නිසා ගම්පහ වෙනත් පාසලක විශේෂ ළමයි අධ්‍යාපනය ලබන පන්තියක ඉගෙන ගත්තෙ. මේ ළමයව එතනින් බස්සන්න යන්න තිබුනෙ බොහොම කෙට්ටු මාර්ගයක. වාහන දෙකකට මාරු වෙන්න බෑ. ඒ නිසා සමහර දවසට හරි ජංජාල තමයි වුනේ. වැඩි හරියක්ම අපිට උනේ පාසල් සේවයක නිරත වූ බර කරත්තයක් පිටිපස්සෙන් යන්න. කරත්තෙ යන වේගෙන් තමයි එතකොට ඩැයිවර් මාමට යන්න වුනේ. සමහර දවස් වලට මාමගෙ ඉවසීම පනිනවා අනිත් ළමයින්ට පාසල් යන්න පරක්කු වෙන ස්වභාවයක් තිබුනොත්...අන්න එදාට...

ඕයි...හරක් දෙන්නා පන්නලා ඕකට ඇන්ජිමක් හයි කරගන්නවකො කියලා කෑ ගහනවා.

සිරා කොලුවා දවසක් සුපුරුදු ලෙස හන්දියට ගියේ පාසල් වෑන් රථයට ගොඩ වෙන්න. ඒත් එදා සෑහෙන වෙලා බලාගෙන හිටියත් වෑන් එක ආවෙ නෑ. රතු ටයි අක්කලගෙන් කෙනෙක් බස් රථයක ඉදන් ඔලුව දාලා කෑ ගැහුවෙ මල්ලි අද වෑන් එක නෑ...බස් එකක යන්න කියලා.

එදා මම පාසල් යන්නෙ නැතුව ආයෙත් ගෙදර ගිය බවයි මතකයේ තියෙන්නෙ. පහුවදා ඉදන් පරණ වෑන් එක වෙනුවට වෙනත් රථයක් තමයි පැමිණියේ....අලුත් ඩැයිවර් මාමා කියපු කථාවෙන් පස්සෙ සමහර කෙල්ලො වෑන් එක ඇතුලෙ ඇඩුවා.

එයා කිව්ව විදියට අපේ ඩැයිවර් මාමා අන්තිමට අපිව පාසලෙන් අරන් ආපු දවසෙ සියල්ලන්ම නිවෙස් වලට ඇරලලා මළ ගෙදරක කුලී ගමනක් ගිහිං...ඒ ඇත්තන්වත් බස්සලා ආපහු තමන්ගෙ නිවසට එද්දි හදිසියේ ඇති වෙච්ච හෘදයාබාදයක් නිසා වෑන් රථය තුලම මිය ගිහිල්ලා. රථය නිවෙසක තාප්පයක් කඩාගෙන ගිහිල්ලා නතර වෙලා. ඇන්ජිම පණගැන්වී තිබූ රථයේ සුක්කානම උඩ හිස තියාගෙන ඉදලා තියෙන ඩැයිවර් මාමා ගැන ඊට ටික වෙලාවකට පස්සෙ පාරෙ ගිය කෙනෙක් විපරම් කරන තුරු කිසිවෙක් බලලා නෑ. ගෙදර ඇත්තන්ට සද්දෙ ඇහිලත් බලලා නෑ...එහෙම වේලාසනින් බැලුවා නම් සමහර විට ඩැයිවර් මාමා ආයෙත් අපිව ඉස්කෝලෙ එක්කගෙන යන්න ජීවතුන් අතරට එන්න ඉඩ තිබුනා කියලත් ඒ දවස් වල මට හිතුනා.

මේ සිදුවීම අපිට ආරංචි වෙලා සතියකට පස්සෙ පරණ වෑන් රථය නැවතත් පාසල් සේවයට ආවෙ ඩැයිවර් මාමගෙ තරුණ පුතා රියදුරු අසුනෙ ඉන්දවමින්. ඒ වෙද්දිත් වෑන් රථයෙ ඉදිරිපස පොඩි උන තැන් එහෙමම තිබුනා. අර රණ්ඩු වෙන කෙල්ලො දෙපාර්ශවය එදායින් පස්සෙ කවදාවත් රණ්ඩු උනෙත් නෑ. ඒ අතර හිටිය සමන්ති, ගගුලි, සොනාලි, කියන දැරිවියන්ගෙ නම් කීපයත් එක්ක Toyota LH 30 වෑන් රථයක් වර්තමානයේත් මහමග ඉද හිට දකින හැම වෙලාවෙම මට මතක් වෙන්නෙ සූටි එකා කාලෙ සිරා පාසල් ගිය පාසල් සේවය.

මම කාමරේ වෙසෙන සත්ගුණවත් සිරා කොලුවා.

Tuesday, September 24, 2013

87 අයිය බඩා

සිරාගෙ කාමරයට එන යන අයට අයිය බඩා කියන්නෙ තව දුරටත් අමුත්තෙක් නෙමෙයි. රතු කොණ්ඩෙ ගැන කියද්දි තමයි ඉස්සෙල්ලාම මේ හාදයා ඔබට මුලිච්චි උනේ. 9 වසරෙදි පාසලේ බටහිර තූර්ය වාදක ඛණ්ඩයට සිරාට ටිකක් කලියෙන් තමයි මිනිහත් බැදුනෙ. පස්සෙ කාලෙක ඊට නායකත්වය දීලා තමන්ගෙ හැකියාවන් හොදටම පෙන්වන්න මගේ මිත්තරයට හැකි වුනා.

මුල් කාලයෙදි මට මේකව දිරෙව්වෙම නෑ...අපි දෙන්න හමුවෙච්ච හැම තැනකම වචන හුවමාරුවකින් තමයි කථාව අවසන් වුනේ...නමුත් කිසි දිනක ගුටි ඇණගත්තෙ නෑ... වසර දෙක තුනක් ඇවෑමෙන් කිසිදාක නැසෙන්නෙ නැති බොහොම ශක්තිමත් මිත්‍රත්වයකට අඩිතාලම දාන්න අපිට හැකි වුනා. ඒ හින්දමනෙ ඒකා 11 වසරෙදි සිරාගෙ ප්‍රථම ප්‍රේමයට බොක්කෙන්ම සහයෝගය දුන්නෙ.

ඒ දවස් වල අ.පො.ස සා/පෙ ජයගන්න අපි ගණිතය සහ විද්‍යාව විෂයට අතිරේක පන්ති ගියෙ ගම්පහ රෝහල කිට්ටුව තිබුන පුද්ගලික ආයතනයකට. බාලක පාසලක ඉගෙන ගත්ත අපිට හිතවත් වුන හැම දැරිවියක්ම මෙතනදි තමයි මුලිච්චි උනේ. සිරාගෙ හිත හාපුරා කියලා ඇදිලා ගිය රතු කොණ්ඩෙත් මේ කියන දවස් වල මෙතැන ශිෂ්‍යාවක්...අද එක්දරු මවක්. සිරාගෙ ආදරේ උපන් ගෙයිම වලපල්ලට යද්දි ඒ මාවතේ ඊට පස්සෙ ඉදිරියට ආවෙ මේ කිව්ව අයිය බඩා.

හැබෑටම බොලාට කියන්න බැරි වුනා නොවැ මේ සාඩම්බර නම මේකාට හිමි වුනේ කොහොමද කියලා. දවසක් අපේ එකෙක් අයිය බඩාගෙ ගෙදර යන වෙලාවක බඩාගෙ මල්ලි මහ හයියෙන් බෙරිහන් දෙනවලු ඒ නම කිය කියා...ඒ අනුව අයිය බඩාට මේ සාඩම්බර නම තිළිණ කරලා තියෙන්නෙ එක බඩවැල කඩාගෙන ආපු බාල සහෝදරයා. ඒ පැත්තෙ කැරකුන අපේ පින්වතාට පිං සිද්ද වෙන්න ඊට පස්සෙ මේ සාඩම්බර නම පාසලට සේන්දු වුනා. උසස් පෙළ කරලා අපි පාසලෙන් සමුගන්න තුරාවටම බොහෝ උන් අයිය බඩා කියන නමින්ම තමයි මගේ මිත්තරයා ආමන්ත්‍රණය කලේ.

දෛවයේ සරදමකට වගේ මගේ හිත පැහැරගත්ත නිල්පාට ඉරි පාසලේ දැරිවියක්ම තමයි අපේ අයිය බඩාගෙ හිතත් පැහැරගෙන තිබුනෙ. ගණිතය පන්තියෙ ඉදිරියෙන්ම තියෙන පේළියෙ හැමදාම ඉන්න..බැලූ බැල්මට බොහොම විනීත වගේම සුන්දර පෙනුමකුත් තිබුන දැරිවියක් තමයි මේ කියන කෙනා. පන්තියෙදි වැඩිය කොල්ලො දිහා උනන්දුවෙන් බලන්නෙ නැති ඉගෙනීමට හැම තිස්සෙම මුල් තැන දීලා තිබුන මේ වර්ගයේ කෙල්ලෙක් එක්ක ආදර සම්බන්ධයක් පටන් ගන්න පුලුවන් උනා නම් ඒකා වීරයෙක් විදියටයි ඒකාලෙ කොල්ලන්ගෙ සමාජය පිළිගත්තෙ.

අපේ මේ ගණිත පන්තියෙ ගුරුතුමා තමන්ගෙ පන්තියෙ කොල්ලො කෙල්ලො ආදර සම්බන්ධතා වල පැටලෙනවට බොහොම විරුද්ධ උන කෙනෙක්...ඒ හින්දම ඒ වෙද්දි පන්තියේ ආදර සම්බන්ධතා වල පැටලිලා හිටපු ජෝඩු සර්ට හොරෙන් බොහොම කල්පනාවට තමයි තමන්ගෙ කාර්යයන් කරගෙන ගියේ. මොකද සෑර්ට අහුවුනොත් පන්තියට සහභාගි වීම තහනම් කරනවා වගේම දෙපාර්ශවයේම දෙමාපියන්ව පන්තියට කැදවලා තමන්ගෙ දුවගෙ /පුතාගෙ හපන්කම ගැන දැනුවත් කරන්නත් ආදරය ඇලජික් මේ ගුරුතුමා කටයුතු කොලා.

මේ ආදර රෝගය ගැන මම කලිනුත් කියලා තියෙනවා නොවැ. හැදුනොත් විනාශයි...කෙල්ල හා කිව්වොත් රෝගය සුවයි..බෑ කිව්වොත් වසලා හමාරයි. හා කියලා පස්සෙ බෑ කිව්වොතින් සෑහෙන්න අසාධ්‍යයි. ඉතිං අපේ අහිංසක අයිය බඩාගෙ හිත මේ කෙල්ල පැහැරගත්ත දවසෙ ඉදන් තමන්ගෙ අදහස ප්‍රකාශ කරගන්න ආකාරයක් තමයි මේ අහිංසකයා සැලසුම් කොලේ.

ඔන්න අර සිරා කොලුවට උදව් කලා වගේ ආදර ඔස්තාද්ලා අයිය බඩාටත් උදව්වට පැමිණියා. කෙල්ලගෙ අම්මා ඉංග්‍රීසි ටීචර් කෙනෙක් වෙච්ච හින්දා ඒකිට හොදට ඉංගිරිසි පුලුවන් කියලා ආරංචියකුත් ආවා. ඒ හින්දා ආදර හසුන ඉංගිරිසියෙන් ලියන්න තීරණය වුනේ ආදර අත්දැකීම් තියෙන මහදැනමුත්තන්ගෙ අත්දැකීම් වලට අනුව.



ඒ අනුව පාසල් වෙලාවෙන් පස්සෙ අපේ පන්තිය ඇතුලෙදි පෙම් හසුන ලියවුනේ දහසක් ප්‍රාර්ථනා මැද්දෙ. ඉංග්‍රීසි පිළිබද හසල දැනුමක් ඇති විද්වතුන් පවා මේ අවස්ථාවට එක් වුනා. මේ කියන කාලෙ ඉතිං කෙල්ලෙක්ගෙන් කෙලින්ම ඩිරෙක්ට් ඇහුවෙ එහෙමත් එකෙක්. පෙම් හසුනෙන් තමයි බොහෝ උන් වැඩේ ගොඩ දාගත්තෙ. ලියුම කෙල්ලගෙ යාලුවෙක් අතේ එව්වොත් මේකා කොන්ද පණ නැති එකෙක් කියලා දැරිවි හිතන නිසා තමන් විසින්ම ඉදිරිපත් කිරීම තමයි ඵලදායී ක්‍රමේ.

ඔන්න ඉතිං වෙනදා වගේම ටික් ටික් හඩින් කාලය ගත වෙලා ලියුම පෙර කිව්ව සීදේවි දැරිවියගෙ අතට පත් කරන ඒ සුභ මොහොත උදා වුනා. පන්තිය ඇතුලෙ ඇති පදම් ඇහැ කරකවලා තමන්ගෙ හිතේ තියෙන අදහස යන්තම් පදම් කියලා තිබුන හින්දා ඒ දැරිවිටත් යන්තම් අවබෝධයක් තිබුනා ඒ වෙද්දි මගෙ හිතේ.

පාසල් නිමවෙලා දැරිවියො ගම්පහ නගරය පුරා යන වෙලාවක බස් නැවතුම අසලදි පෙම් හසුන පුදන්නට දැන් සියලුම වැඩ කටයුතු ලහිලහියේ සූදානම්. එතකොට ගම්පහ - ජා-ඇල බස් නැවතුම හදාගෙන යන කාලෙ. ගොඩනැගිල්ල වට කරලා ඉදි කරලා තිබුන තහඩු ආවරණය ලගට වෙන්න අපේ කථා නායිකාව දෙපසට වැනෙමින් යාලුවෙක් සමග කයියකට සැට් වෙලා හිටියෙ.

අයිය බඩාගෙ හිත ධෛර්යමත් කරලා වැඩේ ගොඩ දාගන්න සප් එක දෙන්න ඒ දැරිවි ගමන් ගන්නා මාර්ගයේ යන එන අයිය බඩාගෙ මිතුරො ඔක්කොම දැන් මේ උත්කර්ෂවත් අවස්ථාවට සහභාගි වෙලා. සත්ගුණවත් සිරා කොලුවත් ඒ අතරින් එකෙක්. වෙන උන් වගේ කැළඹිලි සහගත පෙනුමක් මම එදා උගෙන් දැක්කෙ නෑ. බොහොම අධිෂ්ඨානශීලී බැල්මක් එක්ක බොහොම සැහැල්ලුවෙන් ටවුමෙ තාර කට්ට හින්දා ගිණියම් වෙච්ච ඔක්සිජන් උගෙ නාස් කුහර අස්සෙන් ඇතුලට රිංගුවෙ.

පිදුරුතලාගල කන්දත් ඇදිලා එන තරමේ ලොකු හුස්මක් ඉහළට අරගෙන අයිය බඩා වැඩේට ඇන්ටර් උනේ අපේ සුභ පැතුම් මැද්දෙන්. අපේ එකා ටිකෙන් ටික ලගට එද්දි අර දැරිවි කලබල වෙන ආකාරය නම් ඒ දෙසට මානගෙන හිටිය අපේ කැමරා කාච වල සටහන් වුනා වගේ මතකයි.

අයිය බඩා පෙරට තිබ්බ එක පියවරට තවත් පියවර රාශියක් එකතු වෙලා. ඒකා දැන් උගේ හිත ගත් ඒ සීදේවි මූණු පොඩ්ඩ සමීපයට ගිහින් නැවතත් පිටිපස්ස හැරිලා බලලා අතේ ගුලි කරගෙන තිබුන ලියුං කරදහිය එළියට ඇදලා ගෑණු දරුවට දික් කලා....

වටපිට බලලා කොමල හිනාවක් පෑව ඒ දැරිවි නැවතත් වට පිට බලනවා අපිට පැහැදිලිව පේනවා.

අනේ මේක අම්මා දැක්කොත් මම මොකද කරන්නෙ

මම මේක අම්මට නෙමෙයි ඔයාට දෙන්නෙ. කියවලා බලලා උත්තරයක් දෙන්න. අන්න ඒ විදියටයි එතැන දෙබස් හුවමාරු උනේ කියලයි අදාළ කටයුත්ත නිමකරගෙන අපේ ළගට ආව අයිය බඩා අපිට පස්සෙ කිව්වෙ.

දිණ කීපයක් ගත වුනා. තවමත් කෙල්ලගෙන් උත්තරයක් නෑ. ඇගේ පිළිතුර දැනගන්නකං මේකාට උදව් වෙච්ච අපිටත් ඉවසිල්ලක් නෑ. කොහොම හරි ඒ සති අන්තෙ අතිරේක පන්තිය නිමවෙලා යන අතරතුර තමන් යෝජනාවට කැමති බව සටහන් කල කුඩා කොළ කැබැල්ලක් අයිය බඩා අත තබන්න ඇය කටයුතු කර තිබුනා.

එදායින් පස්සෙ මේ දෙන්නගෙ ආදර කථාව බොහොම ලස්සනට ගලාගෙන ගියා..කෙල්ල අයිය බඩාගෙ උපන් දිනයට දෙන කාඩ්පතේ ලියන හරබර ඉංග්‍රීසි වචන තේරුම් බේරුම් කරන්න අපි ශබ්ද කෝෂයකුත් අරන් තමයි ඉස්සර පන්ති කාමරේ උගෙ ඩෙස්ක් එක වටේට එකතු වෙන්නෙ. ඒ වගේ සහයෝගයක් තමයි උගෙ යාලුවො හැටියට අපි ඒ කාලෙ ලබා දුන්නෙ. කාටවත් ඉරිසියාවක්, කුහක කමක් නෑ...අදත් මේ අතීතය මතක් කලාම දැනෙන්නෙ පුදුමාකාර සතුටක්.

බඩා උසස් පෙළ කරන කාලෙදි තමයි ආදර කවි කොළ තැපෑලෙන් ගෙදරට ලැබෙන්න ගත්තෙ. තවත් ටික කාලෙකින් ලියුම් කෑලිත් ගෙදරට තැපෑලෙන් ලැබුනා.

ඇයි අයියෙ මාව මේ විදියට මගඅරින්නෙ...මට මේ ලැබෙන්න ඉන්න දරුවා ඔයාගෙ කියලා මම කටක් ඇරලා කාටවත් කියන්නෙ කොහොමද....එදා ඔයා මම බෑ කියද්දි නේද මට මේ අපරාධෙ කලේ. අනේ අයියෙ හෙටවත් ඉස්කෝලෙ ඉවරවෙලා අපේ ඉස්කෝලෙ ලගට නොවරදවාම එන්න.......මම බලන් ඉන්නවා...හොදද...මට තව වැඩි දවසක් මේ රහස හංගගෙන ඉස්කෝලෙ එන්න බැරි වෙයි.

එක ලිපියක මෙහෙම කුප්ප කථාවකුත් ලියවිලා තිබුනා.... මේ ලිපි පාසලෙන් සමුගත්තටත් පස්සෙයි අයිය බඩා මට පෙන්නුවෙ. ලියුම් යවපු කෙනා හිතුවෙ බඩාගෙ ගෙදර උන් මේ ලිපි කියවලා කලබල වෙලා මේකාට නෙලයි කියලා. ඒත් මේ ලිපි අපේ කථා නායකයගෙ අම්මා විවෘත කරලා බලලා කොල්ලෙක්ගෙ අත්අකුරු වගේ හින්දා එච්චර ගනන් අරන් නෑ...හිනාවෙලා තමයි අන්න තමුන්ට ගෑණු ළමයෙක් ලියුම් එවනවා කියලා දීලා තියෙන්නෙ. ඒ ලිපි ඔක්කොම ජපන් චමියා ආතල් එකට යවපුවා.

ඉස්සර දවසක ගම්පහ ටවුමෙ රස්තියාදුවක් ගහන වෙලාවක සිරා කොලුවට ජපන් චමියා හමුවුනොත් අපි දෙන්නා අනිවාර්යෙන්ම නවතින්නෙ ගම්පහ ඉදන් සෑහෙන දුරකින් පිහිටි බඩාගෙ ගෙදර...දවල්ට කන්න තමයි එහෙට යන්නෙ. හැමදාම මේ වැඩේ වෙන නිසාත් බඩාත් බඩගින්නෙ ඉන්නවා අපිත් එක්ක අපිට රිටර්න් එක දෙන්න. මොකද අපි දෙන්නා හැමදාම එහෙ ගියේ අත වන වනා. බිස්කට් පැකට් එකක් වත් ගන්න විදියක් නෑ. වත මිලින වෙලා. ඒත් ජපන් චමියා

මොනවද බන්...ගෙදරට අමුත්තො ආපුවාම උන්ට කන්න බොන්න දෙන සිරිතක් උඹලා දන්නෙ නැද්ද....කියලා ඇහුවට පස්සෙ අයිය බඩා අහන්නෙ

ඈ බොල...ගෙදරකට එද්දි අත වන වනා එන සිරිතක් තියෙනවද.... කියලා

මේ දෙබස අස්සෙන් හැමදාමත් වගේ අපේ මිත්තරයගෙ අම්මා බත් කන්න ලෑස්ති කරනවා. ඒ බත් පතට කුකුල් මස් කරියක් වැරදුනේම නෑ. මොකද බඩාගෙ ගෙදරම සිල්ලර කඩයක් අම්මා විසින් පවත්වාගෙන ගියා...ඒකෙ අයිස් පෙට්ටියෙ කුකුලො කූඩු වෙලා හිටියා ඇති පදමට.

11 පන්තියෙදි සිරා කොලුවා, කිඩා, අයිය බඩා සජ්ජා...හිටියෙ එක ලග පිහිටි ඩෙස්ක් වල...මේ අතරින් සජ්ජා නියෝජනය කලේ පෙරදිග තූර්ය වාදක ඛණ්ඩය...පස්සෙ කාලෙක අයිය බඩා බටහිර තූර්ය වාදක ඛණ්ඩයට නායකත්වය දෙනකොට...ඒ වසරෙම පෙරදිග තූර්ය වාදක ඛණ්ඩයට නායකත්වය දුන්නෙ සජ්ජා...පන්තිය තුල ඇතිවෙලා තිබුන මේ සහෝදරත්වය නිසාම බෑන්ඩ් කණ්ඩායම් දෙකක් විදියට අපි දෙපාර්ශවය ඉතාම සහයෝගයෙන් කටයුතු කලා. උන්ගෙ සිම්බල් එක කැඩුන වෙලාවට අලුත් එකක් ලැබෙන තුරු උන් පාවිච්චි කරන්නෙ අපිට අයත් අතිරේක සිම්බල් ජෝඩුවක්...වතාවක් රාජ්‍ය අනුග්‍රහයෙන් ගම්පහ පැවති නිදහස් දින සැමරුම් උත්සවයකදි අපි නියම වැඩක් කලා...හැබැයි ඒ ගැන අද කියන්න අදහසක් නෑ...ඉදිරි දවසක බලමු.

ඉතින් සංගීත කාරයො ටික එකලග ඉන්න නිසාම ගුරුවරයෙක් නැති වෙලාවට පන්තියෙ ඉන්න අනිත් උන් සින්දුවක් කියන්න සැට් වෙන්නෙ අපේ පොට් එකේ...ඒ වෙලාවට ප්‍රසංගය ආමන්ත්‍රණය කරන්න මයික්‍රෆෝනය අතට ගන්නෙ ඒ වෙද්දි කථික තරග වලින් සමස්ත ලංකා ජයග්‍රහණ රාශියක් අපේ පාසලට අරන් ආපු මාලක. සරසවි අධ්‍යාපනයෙන් පස්සෙ අද මෙතුමා ගම්පහ වැඩිම ශිෂ්‍ය පිරිසක් ඉගෙන ගන්න දේශපාලන විද්‍යා පන්තියේ කොල්ලන්ගෙ කෙල්ලන්ගෙ ආදරණීය ගුරුතුමා.

බෑන්ඩ් එකේ සයිඩ් ඩ්‍රම් ගහපු නිසාම සංගීත ප්‍රසංගයේදි කවකටු පෙට්ටියෙන් ඩ්‍රම්ස් ගහන්න සැට් වෙන්නෙ අයිය බඩා...සිරා කලේ අසන්නන්ගේ ඉල්ලීම් ඉටු කරපු එක ඒ කිව්වෙ ගායනය. සංගීතෙ නැගලම යනකොට අහල පහල පන්ති වල එවුනුත් අපිට සැට් වෙනවා. එකෙක් කියනවා මචං ප්‍රියාගෙ හදවත ඉල්ලා දීපන්....තව එකෙක් කියනවා අඩෝ...සමිතගෙ රණ හංස යුවල දීපන්...ඒ අස්සෙ නිවේදකයා පන්තියෙ තමන් එක්ක අරියාදුවෙන් ඉන්න උන්ට වදින විදියට සංගීතය මැද්දෙන් පොඩි පොඩි නිවේදන කෑලිත් දානවා...සද්දෙ උපරිම වෙලා නැගලම යන සංගීතෙ කඩාකප්පල් වෙන්නෙ අහල පහල ගුරුතුමෙක් පන්තියට කඩා පාත් උනාට පස්සෙ.

අපේ අභිනව පෙම්වතා අයිය බඩා අතිරේක පන්තිය තුල කාටවත් නොදැනෙන ලෙස උගේ ආදරය රැකගෙන ඉදිරියට ගියා වගේම මේ දෙපළම ඉතාම හොද අපොස සා/පෙ ප්‍රතිඵලත් ලබා ගත්තා. එතැනින් පස්සෙ උසස් පෙළ අවසන් වෙද්දිත් කිසිදු අපලයක් උපද්‍රවයකින් තොරව ආදරය නිදහසේ ගලාගෙන ගියා.

ඒත් උසස් පෙළින් පස්සෙ බෑන්ඩ් කණ්ඩායමෙන් ලැබිච්ච ආභාෂය නිසාම තමන්ගෙ අනාගත මාවත ලෙස නාවික හමුදාවට වාදකයකු ලෙස අනුයුක්ත වෙන්න බඩා තීරණය කර තිබුනා. ලංකාවෙ ඉතාම අග්‍රගණ්‍ය බටහිර තූර්ය වාදක ඛණ්ඩය හිමි නාවික හමුදාවට නිසා...ඒ කණ්ඩායමට සැබවින්ම දක්ෂයකුට මිස අනෙකෙකුට සම්බන්ධ වෙන්න කිසිම ඉඩක් නෑ.

ඒ කාලෙ බොහොම තදට යුද්ධෙ ඇවිලිලා තිබුන වකවානුව..වාදකයකු ලෙස සම්බන්ධ වුනත් අවශ්‍යතාව අනුව යුධ පෙරමුණටත් යන්න වේවි කියන භය හිතේ තිබුන හින්දම බඩාගෙ පෙම්වතිය මේ තීරණයට දැඩිව විරුද්ධ වුනා. තමන්ගෙ අරමුණ මොකක්ද කියලා අයිය බඩා කොච්චර තේරුම් කරන්න උත්සාහ කලත් මේ කෙල්ල නෙමෙයි තමන්ගෙ අදහස වෙනස් කලේ.

ඔයා නාවික හමුදාව හරි මාව හරි දෙකෙන් එකක් තෝර ගන්න...ඔන්න ඔහොමයි ඇය බඩාගෙ අදහස වෙනස් කරන්න බැරිම වෙච්ච අවස්ථාවෙ ඉදිරිපත් කල කඩඉම් පුරස්නෙ.

හරි මට කරන්න දෙයක් ඇත්තෙම නෑ. මම නාවික හමුදාව තෝරාගන්නවා. කෙල්ලෙක් නිසා තමන්ගෙ අනාගතය වෙනස් කරගන්න අයිය බඩා කැමති වුනේ නෑ. තමන්ගෙ පෙම්වතිය කැප කරලා මේකා නාවික හමුදා වාදක කණ්ඩායමට එකතු වුනා වගේම ටික කාලයක් ඇතුලත හැකියාවන් තවත් ඔප මට්ටම් කරගෙන එහි ප්‍රමුඛ පෙළේ සාමාජිකයෙකුත් උනා. රටවල් ගණනාවක පුහුණුවීම් වගේම තමන්ගෙ ජීවිතයට හරියටම හරියන යුවතියත් ඊට පස්සෙ කාලෙක ඔහුට හමු උනා.

ලංකාවෙ ඈත කොණක රාජකාරිය කරන අපේ අයිය බඩා දැන් විවාහකයි. ඔහුගේ බිරිද ගෙදර තියෙන ඡායාරූප ඇල්බමයක මේකාට කලින් පෙම්වතිය ලබා දුන් ඡායාරූප කීපයක් බොහොම සුරක්ෂිතව තබා තියෙනවා. සිරා කොලුවා වන මා ඇතුලු මගේ තූර්ය වාදක මිත්‍රයන් එහි යන සෑම විටෙකම පරණ කථා ඇවිස්සෙන සෑම මොහොතකම,

ආ එයාද? එයාගෙ ෆොටෝ මම තමයි මේ පරිස්සම් කරලා අරගෙන තියලා තියෙන්නෙ

යනුවෙන් පවසමින් මේ ඡායාරූප ඇල්බමය සිනා මුසුව ගෙනැවිත් පෙන්වීම ඇගේ සිරිතක්.

මෙවැනි සුහද හමුවක් බඩාගෙ නිවසෙදි පැවැත්වෙන්නෙ බොහෝවිට විදේශගතව ඉන්න අපේ එවකට තූර්ය වාදක කණ්ඩායමේ සාමාජිකයෙක්, දෙන්නෙක් ලංකාවට ආපු වෙලාවක තමයි. ඒ වෙලාවට පැවැත්වෙන මධු සාදයෙදි ගීත ගැයීම ආරම්භ කරන්නෙ හැමදාම එකම ගීතයකින්. ඒ හැම විටෙකම බඩා බිරිද දෙස බලමින් සිනාසීම දැන් අපට හොදට හුරුපුරුදුයි.

සදාදර නයෝ ඔබේ මංගල දිනේ.......ඇරයුම් නැතත් මෙසේ ආවා ප්‍රියේ.......



මම කාමරේ වෙසෙන සත්ගුණවත් සිරා කොලුවා.



ප.ලි

පසු කලෙක බඩාගේ පළමු පෙම්වතියද විවාහ ජීවිතයට එළැඹුන බවත්...දැන් එක්දරු මවක බවත් සිරා කොලුවා වන මට වාර්තා වී තිබේ. 

එදා මෙන්ම අදද සිරා කොලුවා වන මම තනිකඩය...දුකේ බෑ අයියෝ...



Friday, September 20, 2013

69 මළ බෑන්ඩ්

උඹ තාම නිදිද....නැගිටලා ඉක්මනට ලෑස්ති වෙයන් යකෝ...අපිට මළ බෑන්ඩ් ගහන්න වෙලා....සිහින ලෝකෙ සැරිසරමින් සුර කුමරියො සමග මල් නෙලමින් සිටි සිරාගෙ නින්ද කැඩුවෙ නිවසේ දුරබණුවට බෑන්ඩ් එකේ අයිය බඩා ගත්ත ඇමතුම හින්දා.

ඈ....හ් කවුද බොල මළේ...මේ ඉරිදා....තවමත් පියවෙන්නම ට්‍රයි කොරන ඇස් කෙවෙනි දකුණු අතින් හීනියට විවර කරගන්න උදව් වෙමින් සිරා කොලුවා රිසීවරය වම් අතින් කණට තද කොරගෙන ඇහුවා.

අපේ එකෙක් නෙමෙයි බන්...මේ කොහෙවත් යන මරාළයක් අපිට පාත් වෙලා...අද ඉරිදා උඹලා පන්ති ගිහිල්ලා කෙල්ලො ලග පැණි හලන්න ගත්තට පස්සෙ අල්ලනවා බොරු හින්දා තමයි මම මේ උදේ පාන්දරම බොට කථා කලේ...බෑන්ඩ් කණ්ඩායමේ නායකත්වය දරපු අයිය බඩා එහෙම කිව්වා. ඒ කාලෙ කණ්ඩායමේ දෙවෙනියා තමයි මේ කථාව අද ඔබට කියන සිරා කොලුවා.

අනේ එහෙමත් වේදනාවක්...අපේ පන්තියෙ සීදේවි කෙල්ලො කීයක් නම් හිටියද...මේ එකක්වත් සැට් කොරගන්න සිරා ඇහේ පොට යනකං කරකවකවා හිටපු අවධියක එක දවසක් පන්ති යන්න නෑ කියන්නෙ සුලු පටු පාඩුවක්ද හැබෑටම මගේ ව්‍යායාමයට.

මොකද උඹ සද්ද නැත්තෙ...අයිය බඩා යටි ගිරියෙන් ගිගුරුවා..කණේ කලාදුරු කලබවාගෙන ඒ හඩ මගේ කම්බෙරය උත්තේජනය කොලා.

නෑ බං මං මේ කම්පනා කොලේ අද ඉරිදා දවසෙ කොච්චර වැඩ තියෙනවද බොල...පන්ති යන්නත් තියෙනවනෙ...විභාගෙත් ලගයිනෙ....

ඔව් ඔව් ගවුම් කෑලිත් ගොඩාක් පන්තියට එනවනෙ...මට තේරෙනවා උඹට තියෙන ප්‍රශ්නෙ....අයිය බඩා කෝචොක් එකට කැත හිනාවක් දැම්මා.

එහෙම කියලා බෑ බං...මේ මළගෙදර අහවල් ඉස්කෝලෙ ප්‍රින්සිපල්ගෙ....ඒ ඉස්කෝලෙ බෑන්ඩ් කණ්ඩායමක් නෑ කියලයි සෑහෙන වටයක් ගහලා මේ වැඩේ අපිට භාරදීලා තියෙන්නෙ...අර උඹත් එක්ක හිතවත් කොමනි, කුවේණි උන් දෙන්නත් ඒ ඉස්කෝලෙ නේද....

එහෙම කියන්න එපායැ....අසල්වැසි පාසලක් නම් ඉතිං අපි උදව් කරන්න එපායැ බං....නම් දෙක අහලා ආපු කික් එකේ වැඩි කමට මට එහෙම කියවුනා. මොකද කොමනි කියලා කියන්නෙ අතිශයින්ම රූමත් දැරිවියක්...දකින දකින කොල්ලා ඒකිට වහ වැටෙන හින්දා Common කියන වචනෙන් තමයි ඒකිගෙ ආරූඩ නම හැදිලා තිබුනෙ.

එහෙනං දෙයියො...උඹට පුලුවන් හැමෝටම පණිවිඩේ බෙදලා ඉක්මනට ඉස්කෝලෙට වරෙන් මගෙ අම්මා...උඹ නැතුව මේ කාරිය කොරන්න බැරි බව දන්නවනෙ....රතු කොණ්ඩෙට ආදරේ කොරන්න මට උදව් වෙච්ච මගේ අතිජාත මිත්තරයා අයිය බඩා එහෙම කියලා දඩාස් යන අනුකරණයෙන් රිසීවරය තිබ්බා.

මළගෙදරක බෑන්ඩ් ගහන්න අපේ උන්ට ඒ වෙනකං අවස්ථාවක් ලැබිලා තිබුනෙම නෑ...අවාසනාවන්ත ලෙස ජීවිතයෙන් සමුගන්න අපේ පාසලේ ශිෂ්‍යයෙකුගේ අවසන් කටයුතු සදහා පාසලෙන් හැම විටම සහභාගි කෙරෙව්වෙ පාසලේ පෙරදිග තූර්ය වාදක ඛණ්ඩය...අපි ඉතිං අපරදිග බව මීට පෙර මම ලිව්ව බෑන්ඩ් කථා කියවපු අය දන්නවා නොවැ.

සිරා කොලුවා පාසලට යද්දි කණ්ඩායමේ බොහෝ පිරිසක් රැස් වෙලා හිටියෙ තමන්ට තියෙන අතිරේක පන්ති, නිවාඩු දවසෙ අරයත් එක්ක රවුමක් යන්න තියෙන අවස්ථාව වගේම තවත් බොහෝ කටයුතු අත ඇරලා. තවත් මොහොතකින් අපේ බෑන්ඩ් මාස්ටර් පිරිස ඉදිරියේ සම්මුඛ උනා.

මීට ඉස්සර අපි කවදාවත් මළ ගෙදරක බෑන්ඩ් ගහලා නෑ. මේ වගේ අවස්ථාවල වාදනය කරන සංගීත ඛණ්ඩ වෙනම තියෙනවා...ඒ උනාට අපි කවදාවත් ඒවා පුහුණු වෙලා නෑ.....ඒයි අහගෙන ඉදපං....වෙන අවධානයක ඉන්න එකෙක් දෙසට ඇගිල්ල දික් කරලා සෑර් සැර කෙරුවා.

මේ දේවල් අවශ්‍යතාවක් ඇති වුනොත් විතරයි පුහුණු වෙන්නෙ....නිකරුණේ පුහුණු වෙන්න හොද නෑ...හරිම මූසල ගතියක් තමයි මේ හඩේ තියෙන්නෙ....ඒ හින්දා උඹලා ඉගෙනගන්න ඉස්කෝලෙ ඉදන් මේවා පුහුණු වෙන්න හොද නෑ.

මාස්ටර්ගෙ කීම අනුව සැට් එකම තම තමන්ගෙ වාදන භාණ්ඩ අහුරගෙන පාසලට ටිකක් දුරින් පිහිටා තියෙන ශ්‍රී බෝධි ක්‍රීඩාංගනයට පේලියට පිවිසුනා... එදා ගල් බොරළු තිබ්බ රළු භූමියක් වෙච්ච මේ ක්‍රීඩාංගනයෙ අව්වට පිච්චෙමින්...බඩගින්නෙන් පීඩා විදිමින් බෑන්ඩ් ගහන්න තිබ්බ ආශාව හින්දා එක පවුලක උන් වගේ අපේ කණ්ඩායම වෙහෙස මහන්සි වෙච්ච ආකාරය මේ අවස්ථාවෙ මට බොහොම භක්තිමත්ව සිහිපත් වෙනවා. මේ ක්‍රීඩාංගනය අද අංග සම්පූර්ණ ක්‍රීඩා පිටියක් ලෙස පිහුනම් තටාක සංකීර්ණයකුත් සමගයි නවීකරණය වී ඇත්තෙ.

ක්‍රීඩාංගනයෙ කොණකට වෙන්න නිවෙස් වලින් තොරව හුදෙකලාව පැවති තැනක අපේ පුහුණුව ඇරඹුනා.පළමු වතාවට තමයි මේ වගේ සංගීත ඛණ්ඩයක් පුහුණු වෙන්න යන්නෙ...මුලදි මුලදි හරිම කම්මැලි කමක් දැනුනත් පස්සෙ පස්සෙ හැමෝම බොහොම උනන්දුවෙන් ජාමෙ බේරාගන්න පුලුවන් වෙන තරමට පුහුණු වුනා. අපරාදෙ කියන්න බෑ මාස්ටර් කියපු විදියට හරිම ශෝකාකූල පරාජිත හැගීමක් තමයි ඒ සංගීතය ශ්‍රවණය වෙද්දි හිතට දැනෙන්නෙ.

සංගීතය පුහුණු වෙන්න අපිට වැඩි කාලයක් නෑ...ඇදුම් පැලදුම් ලෑස්ති කරගෙන, සපත්තු ටික පොලිෂ් කරගන්නම සෑහෙන වෙලාවක් යන නිසා...අයිය බඩා නියම නායකත්වයේ ලක්ෂණ විදහා පාමින් මේ කටයුතු නිසිආකාරව මෙහෙව්වා. බෑන්ඩ් මාස්ටර් අධීක්ෂණය කොලා.

සියලු කටයුතු නිමකරගෙන අවසන් වෙන්නත් කලින් පිරිසට ප්‍රවාහන පහසුකම් දෙන්න බස් කබලකුත් පාසල් භූමියට සම්ප්‍රාප්ත උනා...තදින් දැනෙන කුසගින්න අමතක කරලා ඔන්න පිරිස දැන් රථයේ අසුන් අරන්... කණ්ඩායමක් විදියට මේ වගේ හදිසි ගමනක් යන බව ආරංචි වෙන අපේ පරණ සාමාජිකයො දෙන්නෙක් තුන්දෙනෙකුත් කණ්ඩායමේ සහයෝගයට එන්නෙ බෑන්ඩ් උණ ලේසියෙන් ඇරෙන්නෙ නැති රෝගයක් නිසාම වෙන්න ඇති.

රථය නුවර කොළඹ මාර්ගයට පිවිසිලා ටික දුරක් ගියාට පස්සෙ අතුරු පාරකට හැරවුනා...මියගිය තැනැත්තා විදුහල්පති වරයෙක් හින්දමද කොහෙද කට කපලා සෙනග....එතුමගෙ පාසල මිශ්‍ර පාසලක් හින්ද කොල්ලො වගේම කෙල්ලොත් හරි හරියට මළ ගෙදර වැඩට උදව් වෙනවා පාසල් නිළ ඇදුමෙන්ම.

පුතාලා මෙතන ඉන්න...අපේ පිරිසට වෙන් කරපු ස්ථානය අපට දක්වමින් ඒ පාසලේ ගුරු භවතෙක් එහෙම කිව්වා.

තවත් ටිකකින් සීදේවි දැරිවියො පිරිසක් අපිට සංග්‍රයක් කරන්න සූජානමෙන් ඇවිත්...

අයියෙ බිස්කට් බෙදාගෙන පෙට්ටිය දෙන්න...එකියක් කොමළ හිනාවක් පාන ගමන්ම කිව්වා...

මොනවා දෙන්නද නංගි පෙට්ටියත් අපිම බෙදා ගන්නම්...ජපන් චමියද කොහෙද එහෙම අවලං කථාවක් කිව්වා....

අපේ පාසල ඉතිං ගම්පහ පුරවරයෙ තියෙන එකම බාලක පාසල විදියට නම රදවගෙන ඉන්න හින්දද කොහෙද මේ වගේ පාසල් වල දැරිවියො අපේ එකෙක් එක්ක යාලු වෙන්න හරිම මනාපයි. ඒ මනාපයට උන්ගෙ පාසලේ කොල්ලො අමනාපයි. දැරිවියො ටිකත් වට කරගෙන සතුටු සාමීචිය නැගලා යද්දි තමයි මදාවි පෙනුමක් තියෙන කොල්ලො දෙන්නෙක් තුන්දෙනෙක් අපි ඉදිරියට ආවෙ.

අප්පට හුඩු...බලහංකො බන්...අපේ මැරිච්ච පිනා වැඩ කාරයනෙ බන්... අපි ඉද්දි තිබුනෙ නැති වැස්ටර්න් බෑන්ඩ් එකකුත් දැන් තියෙනවනෙ බොල....අඩෝව් උඹලා පොඩි උන් ඩෝ අපි ඉස්කෝලෙ සෙල්ලං දානකොට....

අපේ පාසලේ අනන්‍යතාව පෙන්වන කිසිම දෙයක් අපේ කණ්ඩායමෙන් පිළිඹිබු වෙන්නෙ නැතිකොට ඒ කථාවෙ වැරැද්දක් නෑ...මළගෙදරක් නිසා වර්ණවත් ඇදුම් අදින්නෙ නැතුව සාමාන්‍ය සුදු ඇදුමෙන් තමයි අපේ පිරිස ඉන්නෙ.. ඒත් තමන්ගෙ වැඩ පාඩු කරගෙන කිසිම අදාළත්වයක් නැති මළ ගෙදරකට බඩගින්නෙම ආවා මදිවට මුන්ගෙ කථා අහන්නත් සිදු වෙච්ච එක ගැන අපේ පරණ ඇත්තන්ට අපිට වඩා කේන්තියි...

මෙහෙ වරෙන්....අපේ පරණ උත්තමයෙක් අර පිරිසෙ එකෙක්ට කථා කලා...උඹ කොහෙ කියලද කිව්වෙ...උඹලගෙ ඉස්කෝලෙට අදටත් බෑන්ඩ් එකක් නෑ ඩෝ...අපි අහවල් ඉස්කෝලෙ...අපේ කොල්ලන්ට පන්ති යන්නත් දෙන්නෙ නැතුව බලෙන්ම මේ රෙද්දට අද අරගෙන ඇවිල්ලා තියෙන්නෙ...උඹලා පොරවල් නම් මුන්ට බඩගින්නෙ බෑන්ඩ් ගහන්න තියන්නෙ නැතුව කන්න දෙයක් ගෙනත් දීපල්ලා...

ඒ කථාවට උන් මොකුත් කිව්වෙ නෑ එහෙට මෙහෙට ඇඹරුනා මිසක්...මොකද ගම්පහ නගරෙ පිරිස් බලය අතින් අපේ පාසලේ උන් පරදවන්න කාටවත් බැරි නිසා අතිරේක පන්ති වලට ගම්පහට එන වෙනත් පාසලක එකෙක් දැනුවත්ව අපේ උන් එක්ක පැටලෙන්න යන්නෙ නෑ.

මෙන්න මේ අතරෙදි තමයි පෙර කිව්ව කුවේණී මගේ නෙතට හසු වුනේ....

ආනේ ඔයාලත් ආවද ? ඇය දුටුවනම එහෙම ඇහුවා...

නෑ අපි ආවෙ නෑ...අපිව බලෙන් ගෙන්නුවා...මම එහෙම කිව්වා.

කන්න බොන්න මොකුත් ලැබුනද ? ඇය නැවතත් ඇහුවා.

කන්න නම් ලැබුනා බොන්න තමයි මොකුත් නැත්තෙ....ඒ කථාවෙන් පස්සෙ කුවේණිගෙ මග පෙන්වීමෙන් අපිට බීම බෝතල් කිපයකුත් ලැබුනා.

කනත්තට ගොඩාක් දුරද අයියෙ...ඕනෙම තැනකට ගියාම ඒ අවට ඉන්න පිරිස එක්ක ඉක්මනට හිතවත් වෙන ජපන් චමියා එහෙම ඇහුවා....බෑන්ඩ් එකේ තියෙන වාදන භාණ්ඩ වලින් බරින් වැඩිම භාණ්ඩය බේස් ඩ්‍රම් එකට තලන රාජකාරිය භාරගෙන හිටිය හින්දයි ඒකා එහෙම ඇහුවෙ.

වැඩිය නෑ මල්ලි මීටර් 200 ක් විතර ඇති. පිළිතුරත් ලැබුනා

කාලය ටික් ටික් හඩින් ගලාගියා. ඔන්න දැන් ගුණ කථන, ස්තූති කථා, කරපු සේවය අගය කරන කථා මාලාවකින් පස්සෙ ලතෝනියක් ඇහුනා...මෘත දේහය නිවසින් පිටතට ගන්න සූජානම් වෙන බව තමයි ඉන් වැටහුනේ.

ගනිල්ලා බෑන්ඩ් එක ඉක්මනට පාරට...අපේ පරණ එකෙක් බෙරිහන් දුන්නා...

කෝ අයිය බඩා...ඒකා මේ වෙලාවෙම අතුරුදහන් වෙලා...

පළවෙනියා නැත්නම් දෙවැනියා ගනින් බෑන්ඩ් එක ඉස්සරහට... මළගෙදර තදබදේ අස්සෙ පරණ උන් එක එකා කෑ ගහනවා...

දෙවැනියා විදියට සිරා කොලුවා කණ්ඩායම භාරගන්න හදනකොටම කොහෙද රෝන්දයක් ගහන්න ගිහිල්ලා හිටපු අයිය බඩා සම්ප්‍රාප්ත උනා.

දැන් සැට් එක වැඩේට ෆිට්. ඔන්න ඉතිං දැන් අවසන් කටයුතු සදහා කනත්ත කරා යන සෙමින් ගමන ඇරඹුනා. අපේ පිරිස වාදනය කරන්න පටන් ගන්නකොට උදේ පුහුණු වෙච්ච මෙලෝ සසරක් මතක නෑ...කොළ වල සටහන් කරගන්න වෙලාවක් තිබුනෙත් නැති නිසා සැට් එක හිතෙන හිතෙන ඒවා ගහනවා...හරිම පංකාදුයි... බෑන්ඩ් මාස්ටර්ගෙ මුහුණ විලියෙන් ඇඹරෙනවා.

අපි පුහුණු වෙච්ච සංගීත ඛණ්ඩය ටිකක් විතර අම්මා සදකි - ටී. එම් ජයරත්න මහත්තයගෙ ජනප්‍රිය ගීතයෙ ආරම්භක සංගීත ඛණ්ඩයෙ මුල කොටසට සමානයි. දැන් සමහරු ඒ මතකයට ඒ ගීතය වාදනය කරනවා...වටේ පිටේ උන්ට මේ වැඩේ මාට්ටු නොවෙන්න ජපන් චමිනා බේස් ඩ්‍රමට උපරිමයෙන් තලනවා. සයිඩ් ඩ්‍රම් සැට් එකත් ඒකට උපරිමයෙන් සහයෝගය දෙනවා. ඔයින් මෙයින් ඔන්න සැට් එක අතුරු පාරෙන් නුවර -කොළඹ ප්‍රධාන මාර්ගයට පිවිසුනා. ඒත් එක්කම උදේ පුහුණු වෙච්ච දේවල් ටිකෙන් ටික මතක් වෙලා වටේ පිටේ රැස් වෙලා ඉන්න පිරිස ඉදිරියෙ දැන් දැන් කදිමෙට වාදනය කරනවා...අපිට පිටිපස්සෙන් අවමංගල රථය...ඊටත් පිටිපස්සෙන් ශෝකාභරිත මූණත් තහඩු එල්ලගෙන ගමන් කරන පවුලේ උදවිය, පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යාවො සමග ගමේ ජනතාව.

කෝ බන් මීටර් 200 ට දැන් 400 කටත් වඩා ආවනෙ. අරූගෙ මීටර් රබර් වගේ ඇදෙනවනෙ...බඩගින්නෙම බේස් ඩ්‍රමට තලන ජපන් චමියා වාදනය අතර තුර බෙරිහන් දෙනවා. ඉද්ද ගැහුවා වගේ කෙළින් තියෙන ප්‍රධාන මාර්ගයේ දිගටම සරසලා තියෙන විදියට තවත් කිලෝමීටරයක් විතර යන්න වෙන හැඩක් තමයි තියෙන්නෙ. යටිකය වෙව්ලනවා අප්පා යන්න තියෙන දුර දැක්කම....

යනව යනව ඉවරයක් නැතුව ගියාට පස්සෙ සැට් එක වාදනය නැවැත්තුවා...චමියා විතරක් ඇගට පතට නොදැනෙන ගානට බේස් ඩ්‍රමට පොඩ් තට්ටුවක් දානවා නිහඩ බව බිදින්න...මීටර් 100 ක් විතර මේ විදියට ගිහිල්ලා ආයෙත් සුපුරුදු විදියට වාදනය පටන් ගන්නවා. ආයෙත් නවත්තනවා, ආයෙත් පටන් ගන්නවා, කොහොමින් කොහොම කිලෝමීටරයකටත් වඩා දුර අවමංගල පෙරහැර ප්‍රධාන මාර්ගයේ ගමන් කලාට පස්සෙ අතුරු පාරකට හැරුනා...අපේ උන් දැන් පෙරටත් වඩා ශබ්දෙට වාදනය කරනවා කනත්ත අත ලග ඇති කියලා....


සිරා කොලුවා වන මා සමග උසස් පෙළ කරන අවධියේ එකම පන්තියක සිටි තූර්ය වාදක ඛණ්ඩ ආදි ශිෂ්‍යයකුගේ අවසන් කටයුතු උදෙසා අපෙන් පසු පරපුර මළ බෑන්ඩ් ගැසූ ශෝකජනක අවස්ථාවක්

මොන පිස්සුද...තාමත් කනත්ත පේන තෙක් මානෙක නෑ...ගැරඩියා ගියා වගේ ඒ මේ අතට හැරි හැරී යන පාර එන්න එන්නම කෙට්ටු වෙනවා...බෑන්ඩ් එකේ උන් දැන් එක පොදියට ලං වෙලා... හිතේ හිරවෙලා පොදිකන තරහා කුණු හබ්බ එක දෙක ලෙස එළියට පනිනවා...මොකද සෙමින් ගමන බොහෝ දුර යන්න අමාරුයි...බූට් දාලා තියෙන නිසා තවත් අමාරුයි.

ඔන්න තවත් විනාඩි 10 කට විතර පස්සෙ කනත්ත හමුවුනා. ඒකත් අමුතුම ආකාරයේ කනත්තක්..කනත්තට පිවිසෙන තැන තියෙන්නෙ හපුතලේ නගිනවා වගේ කන්දක්...සෑහෙන්න බර බේස් ඩ්‍රම ආයාසයෙන් දරාගෙන චමිනා කදු නගින හැටි බලන් හිටියාම දුකේ බෑ අයියෝ....කන්දක් නැග්ගට පස්සෙ පල්ලමක් තියෙන බව මට හොදටම තහවුරු වුනේ එදා...ඒකත් පල්ලමක් නෙමෙයි පල්ලම් රාජයෙක්...සෑහෙන බෑවුමක් තියෙන පල්ලම බහින චමිනට බේස් ඩ්‍රම හින්දා ඉදිරිය පෙනෙන්නෙ නෑ...කටු අකුල්, වල ගොඩැලි වල වැටි වැටී...ඒ මේ අතට වැනි වැනී පැද්දි පැද්දි යන උගේ ශ්‍රී මුඛයෙන් වලක වැටෙන වාරයක් පාසා කුණුහබ්බ එළිබහිනනවා. අන්තිමේදි අපි සොහොන කිට්ටුවට ලගා වුනා...මෘත දේහය අපෙන් සමුගෙන දකුණට හැරී ගමන් කලා...ජපන් චමියා හොදටම හෙම්බත්...ඒකගෙ මූණ කෝපයෙන් වෙව්ලනවා...මළගෙදරට අදාළ කිසිවෙක් වටපිටේ නැතිබව සැකහැර දැනගෙන චමියා තමන්ගෙ හිතේ තිබ්බ තරහා පිට කරගත්තා මහ හඩින්...

මේ හු------ට යකෝ බෑන්ඩ් එකක් හදලා මැරෙන්න තිබුනෙ නැද්ද....

පිටිපස්සෙන් ඇහුණු කිංකිණි හඩින් තමයි අපි දැක්කෙ ඒ වෙද්දිත් ඒ විදුහලේ ශිෂ්‍ය නායක කොල්ලො සහ කෙල්ලො සැට් එකක් අපේ පිටිපස්සෙන් පේළියට ඇවිල්ලා කියලා...ඒ අතර හිටිය කුවේණි මගේ දිහා හිනාව අතින් තදකරගෙන බලද්දි...මම හොද දරුවෙක් වගේ බිම බලා ගත්තා.





මම කාමරේ වෙසෙන සත්ගුණවත් සිරා කොලුවා.




ප.ලි

තූර්ය වාදක ඛණ්ඩය තුල එකට දුක සැප බෙදාගනිමින් කටයුතු කල අපේ පැරණි සහෝදර වරුන් දෙදෙනෙකුගේ අභාවයන් වෙනුවෙන් මෙම ලිපියෙන් කියවෙන සිදුවීමට  පසු මළ බෑන්ඩ් ගැසීමට අපේ ඊළග පරපුරට සිදුවිය. ඒ සිදුවීම් ගැන තොරතුරු ඉදිරි දිනක.

Monday, September 16, 2013

73 මස්සිනා

කාලවර්ණ දේහයකට හිමිකම් කියන මස්සිනා ඕනෑම අයෙකුගේ සිත් දිනා ගැනීමට සමත් පුද්ගලයෙකි. සිරා කොලුවා නොරටක සිට රැකියා අහේනියට ලක්ව ඒ මේ අත ගිය ගමනේදී මස්සිනා සේවය කල සේවා ස්ථානයෙන් රැකියාවක් ලැබුනු හෙයින් අපේ අද කථා නායකයා සමග සති දෙකක් පමණ ගත කරන්නට මා හට අවස්ථාව ලැබිනි. වයස අවුරුදු 25 කට මදක් වැඩි ඔහුගේ නියම නම අන් එකක් වුවත් බොහෝ අය ඔහු ඇමතුවේ මස්සිනා යන ආදරණීය නාමයෙනි. එතරම් මහත නැති ශරීර කූඩුවකින් හෙබි මේ කියන මස්සිනාට එසේ අමතන උන්ට දෙන්නට සහෝදරියන් නොමැති වුවද ඒකා හැමෝටම මස්සිනා වී ඇති සෙයකි.

ඔහුගේ මුහුණේ පෙනුම සිනා උපදවන සුළුය...හරියටම කියනවානම් කැමිලස්ගේ ගජමෑන් කාටූනයේ ගජමෑන් වාගේය. ඇරපු අතක් නැත ඒකා ගජමෑන්ගේ නිවුන් සහෝදරයෙකි. මස්සිනා දුටු පළමු දිනම උඹ නම් ගජමෑන් වගේමයි යනුවෙන් මා පැවසුවද....මගේ හොද වෙලාවටදෝ මේකා මේ කාටූනය කිසිදිනෙක දැක නැත. උදේම පල දෙකට බෙදා පොල්තෙල් හිස ගල්වන හෙතෙම තම ඉදිරි ඇන්දේ කැඩුනු දත පෙනෙන සේ සිනාසෙන විට එය බලාසිටින අපටද නිරායාසයෙන් සිනා යයි.

කැමිලස්ගේ ගජමෑන්
ගල්ගමුවට ආසන්න ගමක ජීවත් වී ඇති ඔහුට දරුවන් දෙදෙනෙකි. වැඩිමලා පාසල් යයි. වැඩිදුර අධ්‍යාපනයක් ලබා නොමැති නිසාම ජීවන සටන ගෙනයන්නට විවිධ දෑ ලංකාවේදී කර බැරිම තැන මා සිටින මැලේසියාවට ඒජන්තයකු මාර්ගයෙන් පැමිණියෙකි. සූර්ය පැනල මගින් විදුලිය ලබා ගැනීම සදහා ක්‍රියාත්මක වෙමින් පැවති කෙටි කාලීන රජයේ ව්‍යාපෘතියක කම්කරුවකු ලෙස ඔහු සේවය කරද්දී ඔවුනට අවශ්‍ය උපාංග අවශ්‍ය පරිදි නිකුත් කිරීම සහ ඒවා පිළිබද සංඛ්‍යා ලේඛණ පවත්වාගෙන යාම මට පැවරී තිබිනි. අප දෙදෙනාට සහ මෙහි සේවය කල අනෙකුත් ශ්‍රී ලාංකිකයන් කීප දෙනාට මෙම ව්‍යාපෘතිය භාරව කටයුතු කල සමාගම නවාතැන් සපයා තිබුනේ දර්ශණීය පෙදෙසක පිහිටා තිබුනු නිවාස සංකීර්ණයක් තුල වූ දෙමහල් නිවසක් තුලය. ඒ නිසාම සේවය නිම කල පසු මස්සිනා සමග දොඩමළු වන්නට ඇති තරම් කාලයක් මා හට තිබිනි.

උඹේ දතට මොකද උනේ....දිනක් මේ ව්‍යාපෘතිය යටතේ සේවය කල තවත් ශ්‍රී ලාංකිකයකු ඔහුගෙන් විමසීය. උඩ ඇන්දේ කෘන්තක දතක හරස් අතට භාගයක් පමණක් ඉතිරිව තිබීම කාටත් කුතුහලයක් උපදවයි. එදා මස්සිනා කල පැහැදිලි කිරීමෙන් පසු ඔහුට දතා සහ නයා ලෙස තවත් නම් දෙකක් පටබැදිනි.

අයියට කියන්න අයියා...දවසක් අපි පොඩි සොමියක් දදා ඉදලා බඩු මදිවෙලා තව ටිකක් ගේන්න ටවුමට ගියා මෝටර් සයිකලේ තුන්දෙනා ඩබල් දාලා...මම හිටියෙ පිටිපස්සෙ කොනේම....එක වංගුවකදි බයිසිකලේ වේගෙ වැඩි කමටද කොහෙද පෙරලුනා...මම උඩින්ම ඇළ බන්ට් එකට විසි උනා....ඇළ බන්ට් එකේ වැදිලා තමයි මේ දතේ කෑල්ලක් හැලුනෙ...

එතකොට අනිත් උන් දෙන්නා....

වැඩේ කියන්නෙ අයියා...බයිසිකලේ හරියට බෝලයක් පෙරළෙනවා වගේ කෙලින් අතට පෙරලිලා රෝද දෙක ආයෙත් පොළව උඩ හිට්ටා...අනිත් උන් දෙන්නා දිගටම ගියා...උන්ට හෙනවත් නෑ...මට විතරයි හානි.

අනේ පලයන් මස්සිනා...උඹ ඇරියෙ තඩි බොයන්නක් නේද...එතැන් සිට මස්සිනාට එරෙහිව නැගුනු අපවාද කිසිවකට පිළිතුරු නොදුන් හෙතෙම දත් කොටේ පෙන්වා සිනාසෙයි. තත්වය මෙසේ වුවත් විවේකයක් ඇති වෙලාවක හැගීම්බරව තමන්ගේ තොරතුරු අන් අයගේ සිත්හි කාවදින ලෙස කීමටද දතා හෙවත් නයා සමතෙකි.

මෙහෙ එන්න කලින් ලංකාවෙදි මොකද කලේ...දිනක් මා ඇසූ මේ පැනයට ඔහු පිළිතුරු දුන්නේ බොහොම හැගීම්බර පෙනුමක් ආරූඩ කරගනිමිනි. මම ඉතින් අයියලා තරම් ඉහළට ඉගෙන ගත්ත මිනිහෙක් නෙමෙයිනෙ. ඇරත් අපේ ගම් පළාත් වල ගොවිතැන ඇර කරන්න වෙන දේකුත් නෑ නොවැ. මම බැන්දෙ අවුරුදු 23 දි... දැන් ළමයි දෙන්නෙක්ගෙ තාත්තා කෙනෙක්.... කුලී වැඩ අරවා මේවා ගොඩාක් දේවල් කලා....අන්තිම කාලෙ නම් තේක්ක කැපුවා...

ඒ කිව්වෙ....මම මස්සිනාට අතුරු ප්‍රශ්නයක් යොමු කළෙමි.

තේක්ක කපනවා කිව්වෙ තේක්ක ගස් හොරෙන් කපන එකට... අපේ ගමට කිට්ටුව රක්ෂිතයක් තියෙනවා...ඒකෙ පිටිපස්සෙන් රාත්තිරියෙ ඇතුලු වෙලා කොහොම හරි ගහක් පෙරළගන්නවා...ඊට පස්සෙ ඒ රාත්තිරිය නිම වෙන්න කලින්ම ගහ පලු කරලා කරේ තමයි වාහන එන තැන වෙනකං අදින්නෙ...මේ බලන්න මගෙ උරපත්ත...නිකං ඇද වෙලා වගේ තියෙන්නෙ තේක්ක කොටන්ම ඇදලා...

ඉතිං බං උඹලා ඔය රෑ ගස් කපනවා කාටවත් ඇහෙන්නෙ නැද්ද ? එවැනි විටෙක කථාව අසා සිටින තවත් උන් සැකමුසු තැන් නිරාකරණය කර ගනී.

මහ කැලේ ගස් කපද්දි කාට ඇහෙන්නද ? ගම්මානෙන් ටිකක් දුර නොවැ...අපි තේක්ක කොට කුට්ටි කරන්නවත් විදුලි කියත පාවිච්චි කරන්නෙ නෑ...සද්දෙ ඇහෙන හින්දා, හැමදේම අතින් තමයි කරනනෙ...බණ්ඩි කියතෙන් ගහ කුට්ටි කරන්න කියතට අත හුරු මිනිහෙක් අනිත් පැත්තට අහු වුනොත් වැඩි වෙලාවක් යන්නෙ නෑ.
තේක්ක කොටන් ටික කරෙන්ම ඇදලා වාහනේට පැටෙව්වට පස්සෙ අත්පිට මුදල්...එකෙක්ට රුපියල් 7000 විතර වැටෙනවා...එක දවසක් වැඩ කලොත් ආයෙ වැඩේට බහින්නෙ සතියකට විතර පස්සෙ...ඒ අතරතුර කාලෙ අපි වගේ වැඩ කරන තව උන් ගස් පෙරළනවා...වනජීවී මහත්තුරුන්ට අහුවුනොත් ඉතිං ඔක්කොම ගස් තමයි. සමහරු එහෙම අහුවෙලා ගල්පල්ලිත් ගියා.

මේ කථාවන් අසා සිටින ඇතැමෙක් නයා හෙවත් මස්සිනා මේ තවත් නයෙක් අරින්නේදෝයි සිතාගත නොහැකිව බලා සිටී. කථාවක් කරනා විටෙක ඔහුගේ අංගචලනයන් මෙන්ම...ගැටළුවක් යොමු වූ විටෙක...මක්කැයි අයියා කීවේ යනුවෙන් හඩනගා අසනා විලාශයද...කිසිවෙකු ඔහුට එරෙහිව යමක් කී විට එහෙමද ටෝක් එක යනුවෙන් ඇසීමද මස්සිනාටම ආවේණික කථා විලාශයන්ය.

සිරාගේ කාමරයට එකතු කල හැකි යමක් මේකා තුල ඇති බව ඔහු හමුවී මද දිනකින්ම සිරා කොලුවා වන මගේ අක්මාවට එත්තු ගියෙන් දින කීපයක් තනිව මස්සිනා හා දොඩමළු වූයෙමි.

මේ සිද්ධිය වෙනකොට මම හිටියෙ 8 පන්තියෙ...ඉස්කෝලෙන් විනෝද චාරිකාවක් යන්න ලෑස්ති කරලා තිබුනා...යාලුවො ඔක්කොම ඒක යන්න ලෑස්ති වෙලා...ඒත් මට චාරිකාව යන්න දෙන්න තරම් මුදලක් අපේ අම්මා තාත්තා ලග තිබුනෙ නෑ. ඉතිං මම තීරණය කොලා ඒ ගමන යන්න සල්ලි මමම හොයාගන්නවා කියලා. අපේ ඉස්කෝලෙ තිබුනා ගෑස් කුකර් එකකුයි ගෑස් සිලින්ඩරේකුයි...මම හිතාගත්තා මේ දෙකෙන් එකක් උස්සන්න.

දිග කඹේකුත් අරන් සෑහෙන්න රෑ වෙලා ඉස්කෝලෙට ගියා. අපේ ඉස්කෝලවල ඉතිං මුරකාරයො නෑනෙ...ගෘහ විද්‍යා කාමරේ වහළෙ උළු අයින් කරලා කඹේ එක කොනක් ලග තිබුන ගහක අත්තක බැන්දා ...අනිත් කොන ඉන වටේ බැදගෙන මම බිත්තියට කකුල තිය තියා පල්ලෙහාට බැහැලා ගෑස් සිලින්ඩරේ කඹෙන් බැදලා ආයෙත් වහළෙට නැගලා රීප්ප දෙකක් අස්සෙන් අමාරුවෙන් උස්සලා එළියට ගත්තා. ආයෙමත් හොයන්න බැරි විදියට උළුත් තිබ්බා.


උඹ කොහොමද බන් 8 වසරෙදි ඔහොම හපන්කමක් කරන්නෙ...මම මගේ අදහස එකෙනෙහිම ප්‍රකාශ කළෙමි. අදද සිහින් ශරීරයක් ඇති මස්සිනා එවන් කුඩා වයසක මෙවන් යමක් කෙසේ කරන්නද...මගේ සිත මගෙන් ප්‍රශ්න කරයි.

මේක බොරුවක් නෙමෙයි අයියා, දෙයියම්පා...මම 8 වසරෙදි තමයි ගෑස් සිලින්ඩරේ වහළෙන් ගිහින් ඉස්සුවෙ...

ඒ කියන්නෙ ඉස්කෝලෙන් තව දේවල් උස්සලා තියෙනවද ?

නැතුව....ඊට පස්සෙ අවුරුද්දෙ තමයි ඉස්කෝලෙ තිබ්බ කාර් බැස්ටිය ඉස්සුවෙ.

ඉතිං පහුවදාම සිලින්ඩරේ ලගපාත තැනකට තව කෙනෙක් මාර්ගෙන් විකුණලා මම ගමන යන්න ගාන සැට් කර ගත්තා...ප්‍රින්සිපල් දවස් ගාණක් යනකං හොරාව හෙව්වා...ඒ උනාට අහු වුනේ නෑ...

මට බැස්ටිය උස්සපු හේතුව නම් දැන් හරියටම මතක නෑ...අර දරිද්‍රතාවය කියන්නෙ ඒක නිසා වෙන්න ඇති මගෙ හිතේ. අපේ ඉස්කෝලෙට කරන්ට් එක ලැබෙන්න කලින් තමයි බැස්ටිය පාවිච්චි කලේ...කරන්ට් එක ලැබුනට පස්සෙ මේක පාවිච්චි කරන්නෙ නැතුව අයිනකට දාලා තිබුනෙ...මම හිතුවා ඉතිං මේකෙන් කවුරුවත් වැඩක් ගන්නෙ නැත්නම් මම හරි වැඩක් ගන්නවා කියලා. ඒකත් ඔය රාත්තිරියක උස්සලා පොඩි ගාණකට විකුණලා දැම්මා...ගත්ත සල්ලි වලට කරපු දේවල් දැන් මතකයක් නෑ.


උඹ යකඩෝ කම්බ හොරෙක්නෙ... තමන් ඉගෙනගන්න ඉස්කෝලෙන් හොරකම් කරපු උඹ වගේ ශිෂ්‍යයෙක් මට මුලිච්චි උනාමයි. මගේ විශ්මය පලකරමින් මම මස්සිනාට කීවෙමි.

එහෙත් ඔහුගේ ප්‍රතිචාරය දත්කොටේ පෙනෙන මද සිනාවකි.

දිනක් සේවය කරමින් සිටින අතරතුර උතුර දකුණ මාරු වූ ආකාරයකින් අප ඉදිරියෙන් දිව ගියේ මේ කියූ මස්සිනාය. අර මනුස්සයාට මක් වෙලාද...ඒකා මෙන්ම මමද එකම රටේ උන් බැව් දන්නා මගේ ඉහළ නිලධාරියා වූ මැලේසියානු ජාතික සබ්රි මගෙන් විමසූවෙහිය. එහෙත් මස්සිනාට සිදුවූයේ කුමක්දැයි හරියටම දැනගැනීමට ලැබුනේ සේවය නිම වී නවාතැනට යාමෙන් පසුවය.

මොකද බං උඹ වෙඩි කාපු ඌරෙක් වගේ දවල් දිව්වෙ...

අයියාට කියන්න අයියා මම 99න් බේරුනේ....

ඒ කිව්වෙ... මම මේ කියන හරුපය තෝරා ගත නොහැකිව නැවතත් ඇසුවෙමි.

අද දවල්ට කෑවට පස්සෙ බඩ බුරු බුරු ගෑවා...මම ඉතින් හුළං වැදි වැදී වැඩේ කොරන්න පුලුවන් නිසා ඈතින් තියෙන පාලම යටට ගියා... වැඩේ කරගෙන හෝදගන්න ගගට බහින්න හදනකොටම ඇළ ලගට ආපු වාහනේකින් ගග ඉහළින් පාර්සල් වගයක් ගගට විසි කොරපි. මම ඉතිං බලාගෙන හිටියා මොනවද කියලා... ටිකකින් පාවෙලා මගේ පැත්තට ආවා. අම්මෝ...එතන විශාල සර්පයො පොදියයි....සමහරු වතුර යටට ගියා...සමහරු වතුරෙ පාවෙලා ආවා...මෙන්න අයියා එතන හිටිය නයෙක්ගෙ සයිස් එක.....මෙන්න පයන්නෙ සයිස් එක. මම හොද වෙලාවට දැක්කෙ...නැත්නම් පුක හෝදනකොට පිටිපස්සෙන් ඇවිත් හැපුවා නම්...මේ ටික ඔයාට කියන්න මම නෑ නේද...

උඹ හිතින් හෝදගන්නෙත් නැතුවද දිව්වෙ....මම නැවතත් ඇසුවෙමි.

ඒ ගැන කියන්න මතකයක් නෑ අප්පා....නයා දැක්ක ගමන් මට වෙඩි වැදුනා වගේ....වතුර යට තව කීයක් ඉන්නවද කියලා කවුද දන්නෙ. අනිත් එක මැලේසියාවෙ ඉන්න නයි විෂ වැඩියි කියලත් කියනවනෙ....මස්සිනා එක හුස්මට කියයි.

මේ සිදුවීමෙන් දිණ කීපයකට පසු තනිපංගලමෙ මස්සිනා සමග කථා බස් කිරීමට අවස්ථාවක් මට නැවතත් එළැඹිනි. පිරිස බොහෝ සේ සිටිනා කලෙක හෙතෙම තමා කල කී දෑ කියන්නෙ අර පරිස්සමෙනි. ඒ අනෙක් උන් දක්වන ප්‍රතිචාර මස්සිනාට එරෙහිව වන නිසාය.

පවු බොලං උඹලගෙ ප්‍රින්සිපල්...ඒ මනුස්සයා උඹලා වගේ යක්ෂ පැටව් එක්ක කොහොම ඉස්කෝලෙ පාලනය කලාද කියලා මට නම් හිතාගන්න බෑ...

එහෙමද ටෝක් එක... මස්සිනා තනිවම සිනාසෙයි. මට ඔයා ඔහොම කියද්දි නියම සිද්ධියක් මතක් වුනා.

එතකොට මම හිටියෙ සාමාන්‍ය පෙළ පන්තියෙ. අපේ ලොකු සෑර්ගෙ ටිකක් ලොකු පොල් වත්තක් තිබුනා අපේ ගෙවල් කිට්ටුව...දවසක් ඉස්කෝලෙ යද්දි මම දැක්කා පොල්ටික ගානට පැහිලා තියෙනවා... අපිට ඉතිං අයියා වියදමට කියලා කීයක්වත් දෙන්න ගෙදර උන්ට වත්කමක් නැති නිසා කීයක් හරි හොයාගන්න තමයි හැම වෙලේම ට්‍රයි එක. මම ඉතිං එදා යාලුවො ටිකට පණිවිඩේ යවලා ඉස්කෝලෙ යන්නෙ නැතුව පොල් වත්ත පැත්තට හැරුනා.

වෙනදට ඉතිං පොල්ගෙඩිය දෙක ඇහුලුවාම අපි හන්දියෙ කඩේකට දීලා කීයක් හරි ගන්නවා, නැත්නම් අම්මට ගිහිං දෙනවා. මේ කියන දවස් වෙද්දි කරකුට්ටං වෙන්න පායනවා...සමහර ගස් වල පොල්ගෙඩි කලු වෙන්න ඇවිත්...එච්චරට පැහිලා. මම ඉතිං මගේ ගෙවල් වටේ ඉන්න යාලුවො 6 දෙනෙක් එක්ක ගේමට ඇන්ටර් උනේ ඉස්කෝලෙ වැඩ ඉවරවෙනකං ප්‍රින්සිපල් වත්ත පැත්ත පලාතක එන්නෙ නෑ කියලා දන්න හින්දා.

අපි ඉස්සෙල්ලාම ගස් යට වැටිලා තියෙන පොල් ටික එකතු කලා. ඊට පස්සෙ වත්ත පුරාම තියෙන ගල් කෑලි එකතු කරලා ගල් වලින් පොල් වලු වලට ගැහුවා. ඇති පදම් වේලිලා තිබුන හින්දා පොල් හැලෙනවා සර සර ගාලා. එකෙක් වත් ගස් නගින්නෙ නැතුව අපි පොල්ගෙඩි හරියටම 92ක් කැඩුවා.

පෝර උර වල දාලා කඩේ මුදලාලිට අපි පොල් තොගේම විකුණලා සමානව ගාන බේර ගත්තා. දවස් දෙකකට පස්සෙ උදේ වරුවක තමයි අපිට කෙළවුනේ...


උඹලව මාට්ටුද ? මම ඔහුගෙන් ඇසුවෙමි.

මාට්ටුදත් කියලා අහනවා...අපිත් එක්ක ගිය එකෙක් උගෙ මල්ලිට සිද්ධිය කියලා. ඒකා උගෙ යාලුවන්ට කියලා...අන්තිමට අපි 6 දෙනාගෙම නම් ගම් ඔක්කොම එක්ක විස්තරේ ප්‍රින්සිපල්ට ගිහිල්ලා. ඒ උත්තමයා කොච්චර හොදද කියනවා නම් වේවැලක් වන වනා ලිස්ට් එකත් අරන් දවසක් උදේම අපේ ගෙවල් වලටම හොයාගෙන ඇවිල්ලා.

අපි 6 දෙනාගෙ ගෙවල් තියෙන්නෙ මණ්ඩියට....ඒ කිව්වෙ ගමේ එක ලගට වෙන්න. පළවෙනි සැකකාරයගෙ ගෙදරට ගිහිල්ලා දෙමාපියන්ට විස්තරේ කියලා ඒකට හොද වේවැල් පාරවල් 3ක් ගහලා. ඔය විදියට පිළිවෙලට දැන් ප්‍රින්සිපල් ගෙවල් ගානෙ ගගහා එනවා.

මම මේ කියන වෙලාවෙ මගේ නැදෑ මල්ලි කෙනෙකුගෙ ගෙදර හිටියෙ....මිනිහත් ඔය පොල් හොරකමට සම්බන්ධයි. එහෙටත් අපේ ලොකු සෑර් ඇවිත් මල්ලිට කථා කලා....කථා කරන විදිය එච්චර සුභදායක නැති හින්දා මම දොර මුල්ලෙ හැංගුනා... මල්ලි නින්දෙන් නැගිට්ටා විතරයි. දොර ඇරපු ගමන් වේවැල් පාර ඒකටත් පුක හරහා වැදුනා. ඒ සද්දෙ ඇහෙනකොටම මම පිටිපස්සෙන් පැනලා ගියා අපේ ගෙදරට.

මම ඔන්න දැන් ගේ ඇතුලෙ හැංගිලා...නම් ලිස්ට් එකේ අන්තිමයා විදියට මාව හොයන්න ඔන්න දැන් ප්‍රින්සිපල් සෑර් අපේ ගෙදරට ඇවිල්ලා... වේවැල වන වනා කොලේ දික්කරං කෑ ගහනවා....

හිමිදිරියෙම මල්ලිට ලොකු සෑර් ගෙදරටම ඇවිල්ලා ගැහුවා කියලා ඒ වෙද්දිත් අපේ අම්මට ආරංචි වෙලා. ඔයාට කියන්න අයියා අපේ අම්මගෙ කට සැරයි. යකෙක්ටවත් භය නෑ...

අම්මා චීත්තෙ ටිකක් උඩට කරලා ඇදගෙන දිව්වෙ නැතෙයි මිදුලට...


අපේ ළමයි බල්ලො බළල්ලු කියලා හිතලද මේ උදේ පාන්දර වේවැලකුත් වන වනා ගෙවල් ගානෙ උන්ට ගගහා ඇවිදින්නෙ...දඩුවම් කරනවා නම් ඉස්කෝලෙදි කරන එකයි ඇත්තෙ. එහෙම කියලා අපේ අම්මා පැන්න ගමන් අපේ ලොකු සෑර්ට ගැහුවා කනේ පාරක් හෙණ ගැහුවා වගේ බිම පතබෑවෙන්නම...මිනිහගෙ ඔලුව මොකේකද වැදිලා තුවාලත් වුනා. අම්මා දන්නෙ අපි පොල් කැඩුවා කියලා විතරයි. ගෙඩි ගාන දන්නවා නම් අපිට ඒ වෙද්දිත් සම්බුව ලැබිලා.

උඹලා ඉතිං ආයෙත් ඉස්කෝලෙ යන්න නැතුව ඇති නේද....මම ඇසුවෙමි.

පිස්සුද අයියා...අපි ඊට පහුවෙනිදත් ගියා. ලොකු සෑර් හ්ම් කිව්වෙ නෑ... වෙච්ච සිද්ධියට මිනිහට ලැජ්ජයි. කටක් ඇරලා කියන්න පුලුවන්ද ගෑණියෙක් වැටෙන්නම ගැහුවා කියලා.

ඔය පොල් කියද්දි මට මතක් වුනේ...අපේ ලොකු සෑර්ගෙ වත්තෙ පොල්ගොඩ විකුණලා ඉවර උනාම පුහු පොල් ටික තෝරලා වෙනම ගොඩ ගහනවා....අපි දවසක් අන්න ඒ ගෙඩි ටික උස්සලා ලෙලි ගහන්නෙ නැතුව නියනකින් ගෙඩියෙ නැට්ට තියෙන පැත්තෙන් හිල් කරලා වතුර පිරෙව්වා. ඊට පස්සෙ මැටි දිය කරලා අර හිලත් වැහුවා.

පොල් තොගේම දැන් අපූරුවට වතුර හඩනවා. කඩේ මුදලාලිට දීලා සල්ලිත් ගත්තා. පැයක් දෙකක් ගියාට පස්සෙ අම්මා කෑ ගහනවා කුස්සියෙ ඉදන්,


හන්දියෙ කඩෙන් මේ දැන් ගෙනාව පොලේ...එතනදි හොදට වතුර හැඩුවා...දැන් හඩන්නෙ නෑනෙ...අම්මා පොල් ගෙඩිය බෑග් එකේ දාගෙන එද්දි අර මැටි ටික දියවෙලා වතුර ලීක් වෙලා. මම මොකුත් නොදන්න ගානට කිව්වා...කඩේ ගිහිල්ලා වෙන එකක් ගන්න කියලා.

මෙලෙස අප දෙදෙනා දොඩමළු වූ රාත්‍රීන් කීපයකින් පසු මස්සිනා මගේ කදිම මිතුරෙකු බවට පත් වී තිබුනි. ඔහු තුල ජීවත් වන අහිංසක මිනිසාගේ සැබෑ ස්වරූපය පිළිබදව මට යම් අවබෝධයක් ඇතිව තිබෙන විටෙක ඔහු කෙරේ මා වඩ වඩාත් පැහැදුනේ හෙතෙම ලංකාවෙන් පැමිණෙන විට රැගෙන විත් තිබූ සමපෝෂ පැකැට්ටු කීපයේ අන්තිම පැකැට්ටුවේ අන්තිම කොටස ඔහුගේ භාවිතයට ගැනීමට සූදානම්ව සිටියදී එසේ නොකොට මගේ තේ කෝප්පය තුලට මගේ ඉල්ලීමකින් තොරව එක් කිරීමෙනි.

මම බොන්න කියලා හැදුවෙ....කමක් නෑ අයියා බොන්න...මේ විදියට කලින් බීලා නැද්ද...සීනි දැමූ උණුසුම් තේ කෝප්පයෙහි සමපෝෂ දියකල පසු එය කදිම පානයකි. පළමු වරට මමද එය එසේ රස බැලුවේ එදාමය. කැමති නම් අත්හදා බලන්න.

සූර්ය පැනල ව්‍යාපෘතියේ අගභාගයේදී ඊට සම්බන්ධ වූ මා සති දෙකකට පමණ පසු එයින් සමුගන්නා දිණය එළැඹියේය. මා කරා පැමිණි මස්සිනා ඔහුගේ ලංකාවේ දුරකථන අංකය මා අත තබා...

ලංකාවට ආපු දවසක අපේ ගමට එන්න අයියා...මම තව අවුරුද්දක්...උපරිම එක හමාරක් මෙහ ඉදලා ආයෙත් ලංකාවට යනවා...ගේ පොඩ්ඩක් හදාගන්න තමයි කල්පනාව. කිසිම නරක දෙයක් නොකර සාධාරණව සල්ලි හම්බකරන්නයි මම ඉස්සරහට හිතාගෙන ඉන්නෙ. ඔයා එද්දි මතක ඇතුව කැමරාවක් අරන් එන්න...අපේ ගම හරිම ලස්සනයි...ගොඩාක් ෆොටෝ ගන්නත් පුලුවන්...මම අර දත කඩාගත්ත ඇළ බන්ට් එක අයිනෙ තැනක එදාට අපි සැට් වෙමු.

සති දෙකේ මිත්‍රත්වයේ උණුසුම සිතෙහි දරාගෙන මම මස්සිනාට සමු දුන්නෙමි. හෙතෙම අවසන් වතාවටත් දත්කොටේ පෙන්වමින් අව්‍යාජ සිනාවක් නැගූ අයුරු යුනිකෝඩ් මැදින් මට දැනුදු මැවී පෙනෙයි.



මම කාමරේ වෙසෙන සත්ගුණවත් සිරා කොලුවා.


ප.ලි

කාමරය තුල මා පෙනෙන්නට නොසිටි මාස දෙකක කාලය තුල මා ලද අත්දැකීම් ඉදිරි දිනෙක ඔබට කියන්නෙමි. ඒ කාලය තුල හමුවූ අපූරු පුද්ගලයන් කීප දෙනෙකි.

Tuesday, September 10, 2013

119 කලුවා සමග කසිප්පු චන්දරේ

කසිප්පු පිළිබද යම් සටහනක් මීට පෙර ලිපියේදී එක් කළෙමි. ගම්බද ජනතාවට විශේෂයෙන්ම අඩු මිළකට මත් වීම අරභයා මේ නිෂ්පාදනය ගම් ආශ්‍රිතව නිපදවූයේ ගම්වාසීන් කීප දෙනෙකු මිස කොම්පැණි කරුවන් නොවන නිසාම කසිප්පු සම්බන්ධයෙන් ඇති කථා බොහොමයකි.


කසිප්පු ගැන කථා කරනවා නම් කසිප්පු පෙරීම ගැන කථා නොකරම බැරිය. මක්නිසාද යත් කසිප්පු ආශ්‍රිතව ගොඩ නැගී ඇති රසකථා බොහොමයකටම අවස්ථා සම්බන්ධය ඒ ඔස්සේ වැටී ඇති හෙයිනි. සිරා කොලුවා කුඩා කල අප ප්‍රදේශයේ කසිප්පු වෙළදාම ජයටම කරගෙන ගියේ රිචී නම් අඩි 6කට වඩා උස තද කලු සමකට උරුමකම් කියූ පුද්ගලයෙකි. පුංචි අප මේ පුද්ගලයා දුටුවනම බියට පත් වූ අයුරු අදටත් මට සිහිපත් වෙයි. ඔහු පාරක තොටක යනවා නම් කිසිදු පොඩි එකෙකු එළිපහලියේ සිටින්නේ නැත. මුහුණ තුල ගිලුනු කපටි ඇස් ගෙඩි දෙකක් සහ සම්පූර්ණයෙන්ම සුදු පැහැගත් හිසකෙස් වලින් යුතු රිචී ගොයියාව පුංචිත්තන් විසින් හැදින්වූයේ රිචා යන නාමයෙනි. රිචාගේ ස්කාගාරය පිහිටා තිබුනේ අප ගම් පෙදෙසට ආසන්නව ගලා යන අත්තනගලු ඔය ආසන්නව වුවත් බෙදාහැරීමේ මධ්‍යස්ථානය පිහිටා තිබුනේ වෙල්යායේ අත්හැරී තිබු මඩ ඉඩම් තුල වූ බඩවැටි තුලය. ඔහුගේ හිතවතා සහ බෙදාහැරීමේ කළමණාකරු ලෙස කටයුතු කල ජෑස් කොල්ලාට අත් වූ ඉරණම මවිසින් වේලාසනින්ම ලියා තිබේ. ඔබ එය කියවා නැති නම් කියවා බලන්න මේ හොද වෙලාවයි.


මේ කියූ රිචාගේ ජංගම කසිප්පු අළෙවි සැල වෙල්යායේ විවිධ ස්ථාන වලින් වරින් වර ප්‍රාතූර්භූත වුවත් වඩිය පෙරන වේලාවට නම් එක එල්ලේ ඉහළ නගින කලු දුම් රොටු ඉද්ද ගැසුවාක් මෙන් ඒ දෙසට මග ගම්මුන්ට හෙළි කරයි. ගමේ වෙල්යාය පටන් පටන් ගන්නා එක් ඉසව්වක් සිරා කොලුවාගේ නිවස පිටුපසින් වැටී ඇති හෙයින් කසිප්පු අල්ලන්නට එන පොලිස් ඇත්තන් අපේ මිදුල උඩින් දිව ගිය අවස්ථා කීපයකි. වේලාසනින්ම පොලිසිය මග එන ආරංචිය ලැබෙන රිචා සිය කළමණාකරුවා සමග වහං වුවත් වතාවක් පණිවිඩය හරිහැටි සන්නිවේදනය නොවූ නිසාදෝ රිචාගේ බොටුවෙන් අල්ලා ජිප් රථයට පටවන දසුනක් දැකීමට පුංචි අපට හැකි විය.

පසුකළෙක මෙලොව විදින්නට ඇති බොහෝ දුක්ඛ දෝමනස්සයන් විදිමින් තමා කල පවු මෙලොවදීම ගෙවූ රිචා ඇදක් මත වසර දෙකක් පමණ එක්තැන්ව සිට අවසානයේ යටියන්තොට ගියේය. කසිප්පු බී ගෙදර පැමිණෙන සැමියාට දොස් පවරමින් කසිප්පු පෙරණ එකාට හෙන ඉල්ලූ ඇඹේනියන්ගේ ශාපයම රිචාට පලදුන්නා වන්නටත් පුලුවන. රිචාගේ සමුගැනීමෙන් පසු කසිප්පු බොන්නට හුරුව සිටි ජීවිතයේ සැදෑ සමය ගෙවූ බොහෝ ඇත්තන්ද ඒ මග ගියෙන් අපේ ගමේ කසිප්පු ඉල්ලුමට තිත තැබිනි. තරුණ පරපුර ඒ කෙරේ ආශක්ත නොවූයෙන් තව දුරටත් කසියා විකුණා බඩවියත රැකගැනීමට අපේ ගම් පියස සුදුසු තැනක් නොවූ නිසාදෝ අපට යාබද තවත් ගමක ඒ ව්‍යාපාරය ස්ථානගත විය. වර්තමානය වන විට අහළ ගම් හතක සුදුවා සොයා ගැනීමට නොහැකි වන ලෙස අප ගම් පලාතේ මේ දේශීය නිෂ්පාදනය විරල වී තිබේ.

යාබද ගමක සිට ඉල්ලුමට සැපයුම දුන් අලුත් පුද්ගලයාගේ නම කලුවා විය. රිචා මෙන්ම තද කලු සමකට උරුමකම් කිව්වද මේ කියන පුද්ගලයා ඊට වඩා බොහෝ සෙයින් මිටි පුද්ගලයෙකු විය. හෙතෙම තම කසිප්පු වඩිය පෙරීම උදෙසා බලශක්තිය සපයාගත්තේ පොල්කටු භාවිතයෙන් නිසා අප ගම් ප්‍රදේශයටද පැමිණ මුදල් දී පොල්කටු ගෙනයාමට කෙමෙන් කෙමෙන් හුරුවිය. නිකරුනේ අපතේ යන පොල්කටු කලුවාට දී කීයක් හෝ උපයාගත හැකි වීම නිසා ගෘහණියන් එතැන් සිට පොල්කටු ගෝනි තුල එකතු කර කලුවාට දෙන්නට මග බලා සිටියහ. මාසෙකට වරක් අත් ට්‍රැක්ටරයකින් පොල්කටු ගෙන යාමට පැමිණි කලුවා නිවැසියන් ඉදිරියේම පොල්කටු ගනන් කර අත්පිට මුදලට ඒවා මිළදී ගත් නිසාම මගේ මවද කලුවාට පොල්කටු විකුණුවාය. ඇගේ ඒ මුදල් බොහොමයක් රසකැවිලි වී අපේ කුස තුලට කිදා බැස්සේ හන්දියේ වූ කඩයට පින් සිදුවන්නටය.

කලුවාගේ ව්‍යාපාරය ජයටම කෙරීගෙන යන බව අපට දැනුනේ මුලදී මසකට වරක් පැමිණි කලුවා පසුව මසකට දෙවරක් පොල්කටු සොයා ආ බැවිනි.

අක්කේ, නංගියේ පොල්කටු තියෙනවා නම් එකතු කරලා තියන්න..ලබන සතියෙ ආයෙත් එනවා.....අපේක්ෂිත ඉලක්කය සපුරාගත නොහැකි වූ විට කලුවා එසේ පවසයි.

අනපේක්ෂිත ලෙස කලුවාගේ නිවසට යාමට මට දිනක් අවස්ථාව උදා වුනේ අපේ නිවසට යාබදව ජීවත් වූ ජෑස් කොල්ලාගේ බිරිද වූ විමලාවතී නැන්දාගේ ආරාධනයෙනි. තමන්ට දරුවන් නොමැති දුකටදෝ හැමදාම කටගොන්නක් බීගෙන නිවසට විත් විමලා සමග ගෝරිය අල්ලන ජෑස් කොල්ලා බොන්නේ කොහෙන්දැයි විපරම් කර බැලූ විමලාවතී නැන්දාට අවසානයේ සොයාගත හැකි වූයේ ඒ කලුවාගෙන් බවයි. තම සැමියා මුදල් දී කසිප්පු ඉල්ලුවත් ලබා නොදෙන ලෙස කලුවාගෙන් ඉල්ලීම ඇගේ අරමුණ විය.

අප එහි යන විට පොතක ආදායම් වියදම් සටහන් කරමින් සිටි කලුවා අප සාදරයෙන් පිළිගෙන අසුන් පනවා කාරණය විමසුවේය. විමලා නැන්දාගේ තරහා ඉහවහා ගොස් තිබූ නිසාම මොහොතකින් සාකච්ඡාව ගාලගෝට්ටියක් විය.

මට සල්ලි දෙනවා නම් මම ඕනෙ එකෙක්ට අරක්කු විකුණනවා....පුලුවන් නම් නවත්තලා බලනවා..කලුවා ගුගුරයි..

හිටපන් මම හෙට පොලීසියට ගිහිල්ලා උඹ ගැන කියලා උඹව කූඩු කරනවා....විමලාද දෙවැනි නොවෙයි.

විමලාවතී කියූ දේ කලාදැයි හරියටම මා දන්නේ නැති මුත් ඊට ටික දොහකට පසු කලුවා පොලීසියට හසුවුන පුවත ගම්පලාතේ පැතිරී ගියේ රසකථාවක්ද සමගිනි. කලුවා කසිප්පු බෝතල් 8 සමග පොලීසියට හසු වී අවශේෂ උපකරණ එකතුකර ගන්නා තෙක් පොලිස් ජිප් රථයේ පිටුපස අසුන් ගන්වා සිට ඇත.


අනේ සෑර් මේ දොර පොඩ්ඩක් අරින්නකො මම දොට්ට යන්න හිතාගෙන ඉද්දිම තමයි රාළහාමිලා මාව මේකට කුදලගෙන ආවෙ...දැන් නම් ඉන්න බැරි තරම් අමාරුයි....

කලුවා පැන යන්නට පොටක් පාදනවා යැයි සිතූ පොලිස් නිලධාරියෙක්...

බොරු කියන්න එපා බොල...දෙනවා දෙකක් කන රත් වෙන්න...

අනේ සෑර් බොරු නෙමෙයි ඇත්තමයි මට දැන් නම් ඉන්නම බෑ...මාව වෙව්ලනවා වගේ...අර බඩවැටියට පොඩ්ඩක් වහං වෙලා එන්නද...

කොහෙ යන්නද බොල...තොට සැරයක් කිව්වා...කරන රෙද්දක් පොලීසියට ගිහින් කරපිය.

මද වේලාවකින් ජිප් රථයේ පිටුපස දොර හැරගත් පොලිස් නිලධාරියා පිටතට පැන ඇත්තේ

බලන්න සර් මේ කාලකන්නියා ජිප් එක ඇතුලෙ රිව්වා යැයි තම උසස් නිලධාරියාට කියමිනි.

එතැන් සිට කලුවාට පොලිස් බාහු බලයෙන් කදිම සංග්‍රහයක් ලැබී ඇති අතර ඒකා ලව්වාම ජිප් රථය සෝදා පිරිසිදු කර බෝතල් 8 දෙගුණයක් කර නඩු පැවරූ බවක් ආරංචි විය.

කසිප්පු පෙරූ බහුතරය එක් වරක් පොලීසියට හසු වුනා කියා තම කාර්යය නවත්වන්නේ නැත. මේ කියන කලුවාද එසේමය. නීතිමය ක්‍රියා මාර්ගයන්ගෙන් දඩුවම් විද කාලයකට පසු නැවතත් සුපුරුදු කර්මාන්තය කරගෙන ගියේය.

ඒ අප විහාරස්ථානයේ කථීන පිංකම පැවැත්වෙන වකවානුවයි. කඨින චීවරය රැගත් පෙරහැර කලුවාගේ නිවසට යාබද කුඩා මාර්ගයකද නොවරදවාම ගමන් කරයි. ඒ මාර්ගයේ එක් තැනක මාර්ගයට මායිම් වූ විශාල රබර් වත්තකි. පෙරහැර උදෙසා මාර්ගය සකසන මුවාවෙන් කසිප්පු පෙරීම උදෙසා රබර් දර සපයාගැනීමට කදිම අවස්ථාවක් එළඹ ඇතැයි සිතූ කලුවා මාර්ගය දෙසට වන්නට ඇති රබර් අතු සියල්ල කපා දමන්නට තීරණය කොට ඒ කාරිය කරමින් සිටියදී රබර් ගසකින් බිම පතබෑ වී සුසුම්නාව කුඩු වී සදා සොත්ති විය. අදටත් මේ කලුවා ජීවත් වුවත් ඇවිදීමට හැකියාවක් නැත. ඔහුගේ ව්‍යාපාරයටද එමගින් තිත තැබිනි. පසුකලෙක කලුවාගේ බිරිද කලුවාගේ අතවැසියෙකු සමග ගමෙන් වහං වූ බවක්ද දැනගන්නට ලැබිනි.

කසිප්පු අළෙවිය සදහා කූට උපක්‍රම යොදාගත් අපූරු පුද්ගලයෙකු පිළිබද මට තොරතුරු සැපයූවේ දැන් මා සේවය කරන ආයතනයට යාබද ආයතනයක සිටින ශ්‍රී ලාංකික මිතුරෙකි. ඒ කසිප්පු ගැන මා බ්ලොගේ ලියන්නට යන බැව් සැල කලාට පසුවය. මේ කියන පුද්ගලයා කැලණියට තදාසන්න පෙදෙසක ජීවත් වූවෙකි. අපි ඔහුට චන්දරේ යැයි කියමු.

චන්දරේ හැම විටම පොලීසියට ඇස නොගැටී තම කාර්යය කරගෙන යාමට තම කූට නුවන උපයෝගී කරගත්තෙකි. ඔහුගේ තිප්පලට පොලීසිය එන බව දැක දැකත් අවසන් මෙහොත වන තුරු කසිප්පු විකුණා යාබද ඇළට පැන එගොඩට පීනා එගොඩ ඉවුරේ සිට පොලීසියට සරම ඔසවා තම නිරුවත් පශ්චාත් භාගයේ රූ සිරි පෙන්වීමට ලොල්ය.

පලාතේ කසිප්පු වෙළදාමේ බලකණුව චන්දරේ බැව් පොලීසිය දන්නා මුත් මේකා අල්ලා ගැනීම ලෙහෙසි පහසු නැත. ඒ චන්දරේගේ කපටි නුවන හේතුවෙනි. ඇළ ඉවුර උඩින් පොලීසිය කසිප්පු දඩයමේ යද්දී ඇළ ඉවුර මැදින් ඇතුලට හාරා ඒ තුල බැරල් හා අඩුම කුඩුම සගවා ගෑස් භාවිතයෙන් කසිප්පු පෙරීමේ නිරතව සිටි එකෙකි මේ කියන චන්දරේ.

කෙසේ හෝ වරක් චන්දරේගේ නිවස පොලීසියෙන් වටලා ඇත්තේ ඒ තුල කසිප්පු තිබිය හැකි බව සිතමින් විය යුතුය. එහෙත් ඒ වන විට නිවසේ ජල ටැංකිය ලෙස කසිප්පු පිරවූ ටැංකියක් තබා කුස්සියේ ජල නලයෙන් කසිප්පු ලැබෙන පරිදි සකසා ඇති බවක් පොලීසිය දැන සිට නැත.


තවත් ටික කාලයකට පසු මේ ක්‍රමය වෙනස් කල හෙතෙම විශාල වීදුරු මාලු ටැංකියක් නිවසේ සාලයේ තබා එය තනිකරම කසිප්පු වලින් පුරවා ඒ තුල පාවෙන ප්ලාස්ටික් මාලු විශේෂයක් බහා ඇත. එවිට ගනුදෙනු කරුවන්ට බඩු ලැබෙන්නේ මාලු ටැංකියට කෝප්පය එබීමෙනි. කෙසේ හෝ මද කාලයක් ඇවෑමෙන් නැවතත් චන්දරේගේ නිවසට පැමිණි පොලිස් නිලධාරීන්ට එවරද කිසිවක් සොයාගත නොහැකි වී ඇත. ඒ වන විට කුඩා පරිමාණ වලින් නිවසේ කසිප්පු තබා ගනිමින් තමන්ට ලගම හිතවතුන්ට පමණක් නිවසේදී කසිප්පු විකුණන්නට හුරුව සිටි චන්දරේ ඒ වෙද්දී කසිප්පු ගබඩා කර තිබී ඇත්තේ නිවසේ වැසිකිලිය තුල තබා ඇති බාල්දිය තුලය. එය ඇත්තටම චන්දරේගේ පවුලේ අයවලුන් වැසිකිලිය තුල භාවිතා කරන බාල්දියම බැව් චන්දරේ ගැන පැවසූ මිතුරා මට කීවෙහිය.

ගුරුන්ටත් අකුරු වරදින දවසක් එනවා සේම චන්දරේට වැරදුන දිනයකුත් ඇත. මේ කියන දිනය වන විට චන්දරේ බඩු ගබඩා කරන්නේ පෙර පාසල් යන තම පුතුගේ වතුර බෝතලය තුලය. හදිසියේ නිවසට පැමිණි පොලීසිය

බොරු නොකියා ඇත්තම කියපන්...කොහෙද බඩු හංගලා තියෙන්නෙ...

අනේ සෑර් මම දැන් ඒ බිස්නස් එක නවත්තලා ගොඩක් කල්...මම දැන් ගගේ වැලි ගොඩ දාලා ජීවත් වෙන්නෙ...ඕනෙ කෙනෙක්ගෙන් අහලා බලන්න..

චන්දරේගේ පුංචි පුතා දුටු පොලිස් නිලධාරියෙක්...ඔහුව තනිකරගෙන හෝඩුවාවක් ගැනීමට ටොපී චොකලට් ආදිය දෙන බවට පොරොන්දු වූ පසු,

මාමි මාමිලාට ඕනෙ අලක්කුද ? ඒවා මගේ වතුල බෝතලේ ඇතුලෙ තියෙන්නෙ....

තටු ඇකුලුනු චන්දරේ නැවත ගෙදර පැමිණි දිනෙක තම පුංචි පුතාට කියා ඇත්තේ...බලපන් උඹ එක එකාට අරක්කු තියෙනවා කියන්න ගිහින් තාත්තට වෙච්ච දෙයක්...ආයෙමත් එහෙම කිව්වොත් තාත්තට මාස ගාණක් ගෙදර එන්න බැරි වෙයි. ඒ හින්දා අදුනන්නෙ නැති උන් අරක්කු තියෙනවද කියලා ඇහුවොත් දන්නෙ නෑ කියපිය. එදායින් පසු මේ පොඩි එකා කට හොල්ලා නැත.

පොලීසියට කී පරිදිම චන්දරේ උදේ වරුවේ වැලි ගොඩ දැමීමේද නිරත වී ඇති චරිතයකි. අඩි 15 - 20 පමණ දිය යට කිමිදී වැලි කැනීම කරන නිසා පාරුව තල්ලු කරන්නට උපයෝගී කරගෙන ඇත්තේ ඊටත් වඩා දිග රිටි කීපයකි. දිනක් ඉවුර ආසන්නයට වැලි පිරවූ පාරුව ලගා වෙමින් තිබියදී පාරුව පැදවූ පුද්ගලයාගේ අත වූ රිටේ දිග මදි වී ඇත්තේ ගගෙහි වූ වැලි වලක වැටීමෙනි. වහාම තම අත වූ රිට ඔහු දෙසට යොමු කල චන්දරේ,

ඕක දිග මදිනම් යකෝ මේරිට ඔබපන්........

ඒ වෙද්දි මේරි නම් තනිකඩ මැදිවයසේ කාන්තාවක් නාන මංකඩේ රෙදි සෝදමින් සිට ඇත.

ඈ බොල මේරිට ඔබන්න...ඊට නරකද උඹේ අම්_ _ ######$%%%%%%%#### නම්....වල් වනචරයා...





මම කාමරේ වෙසෙන සත්ගුණවත් සිරා කොලුවා..


ප.ලි

ඡායාරූපයන් admin.lankadeepa.lk අඩවියෙනි.

Friday, September 6, 2013

109 අරක්කු සහ ආතල්

සුරාපානය පිළිබදව ඇත්තේ අවුරුදු දහස් ගණනක ඉතිහාසයකි. මේ අපූරු සොයාගැනීම කලේ කිසිවෙකුදැයි නිශ්චිතව සනාථ කල නොහැකි වුවත් එක් විකට කථාවක එන පරිදි මත්පැන් සොයාගෙන ඇත්තේ චියර්ස් (Cheers) නම් සුද්දෙකු විසිනි. බොහෝවිට සාදයක ඇරඹුම හෙවත් පළමු ෂොට් එක බොකු බඩවැල් කරා යැවීමට ප්‍රථම චියර්ස් යනුවෙන් මතක් කරන්නේ ඒ අනර්ඝ සොයා ගැනීම කල සුද්දාවය. මත්පැනින් සන්තර්පණය වන ජනතාව වූ කලී එතරම් කලගුණ දත් සුදී ජනතාවකි. මත්පැන්හි ඉතිහාසය පිළිබද යම් අවබෝධයක් ගත හැකි එක් ප්‍රකට සිදුවීමක් බුද්ධ චරිතයේද වෙයි. ඒ රා පොවා බුදුන් වැඩි මගට යැව් නාලාගාරි හස්තියා පිළිබද කථාවයි. ඒ කථාවෙන්ද අපට ගම්‍ය වන්නේ මත්පැන් වලට වසර 2600 කටත් වඩා ඉතිහාසයක් ඇති බවකි. රා යනු පොල් ගසින් ලබාගන්නා ඵලයකි. මූලික අවස්ථාවේ මත්පැන් වර්ගයකි. ගසින් බාගත් වනම තෙලිජ්ජ ලෙස හදුන්වන මෙය මද වේලාවක් සුළගේ දැවටුනු පසු නියම පදමට එයි. මයියොක්කා හෝ ඌරුමස් කැබැල්ලක් හපමින් රා රස විදගත් උන් මේ ලියමන කියවන විටද පරිගණක තිරයට මුවා වී කෙළ ගිලිනවා විය යුතුය. කල්වේලා ගත ව ගිය පසු රා , විනාකිරි නම් සාඩම්බර නමකට හිමිකම් කියයි.

තාක්ෂණයේ දියුණුව සමග රා නම් මුල් අවස්ථාවේ මත් පැන් තවත් දියුණු කරමින් සැර වැඩි මත්පැන් නිපදවීමට මත්ලෝලී නව නිපැයුම්කරුවන් තම සිත් මෙහෙයවූහ. රා බිවු පසු බඩ බුරුලට යන රා ඇලජික් මත්ලෝලීන්ට සිත් සේ නව නිපැයුම භාවිතා කල හැකි විය. බෝතලයක දමා සුළං නොවදින ලෙස සීල් කර ගණුදෙනුකරුවා සොයා ආ නිසාදෝ ඒවා සීල් අරක්කු නම් විය. ඒ අනුව විවිධ දැවයන්ගෙන් නිපදවූ පීප්පයන්හි මිශ්‍රනය පදම් කරමින් පදම් කල වසර ගණන අනුව මිළ වැඩි වන පරිදි මත්පැන් නිපදවූවා සේම විවිධ ධාන්‍ය වර්ග අනුසාරයෙන් සැර මත්පැන් නිපදවීමට යුරෝපා ජාතීන් කටයුතු කලෝය. ඒවා විස්කි, බ්‍රැන්ඩි,වොඩ්කා ආදී සුඛෝපභෝගී නම් වලින් යුතු විය. මේ අතරතුර පොල්ගස් නැති අහිංසක ජපනා සහල් මගින් මත්පැන් නිපදවා ඒවාට සකේ කියා සුන්දර නමක් තැබුවෝය. රජයේ විභාගය ලියා සති දෙකේ පුහුණුවකින් පසු කොණ්ඩය කොටට කපාගෙන කොරියාවට පිටත් වූ අපේ කොල්ලන් අඩුවට තියෙන නිසාම දිනපතාම පාහේ පොඩි සොමියක් ගන්නේ සෝජු නම් මත්පැනට පින් සිදුවන්නටය.

යම් යම් තත්ව පාලනයන් යටතේ උසස් ප්‍රමිතීන්ට අනුව පාරිභෝගිකයාට මේ නිෂ්පාදන ලබා දීමට අදාළ සමාගම් කටයුතු කරන නිසා සහ රජයට බදු ලෙස විශාල මුදලක් දොල පිදේනි දිය යුතු නිසා නිෂ්චිත මිළ මට්ටමකින් සීල් අරක්කු මිළ ආරම්භ වෙයි. මේ අතරින් ගල් හා පොල් මත්පැන් ලෝලී පොදු ජනතාවගේ හද ගැස්ම හදුනාගත් ප්‍රමුඛ පෙළේ නිෂ්පාදන වෙයි. පොල් ගසින් පොල් අරක්කු උපදින විට ඔරිජිනල් ගල් අරක්කු ඉපදෙනුයේ සීදුවෙනි. එහෙත් ඔරිජිනල් ඕනෑම දෙයක් කොප්ප ගැසීම අපේ ඇත්තන්ට සිම්පොල් නිසා ප්‍රදේශයේ නම මුලට ඈදා වෙළද පොලට එන තවත් ගල් අරක්කු වර්ග ඈත පළාතක විනෝද සවාරියක් ගිය කල ඇස්පනාපිට දැකිය හැක. ඒවා පිටුපස අදෘෂ්‍යමාන දේශපාලන හස්තයන්ද ඇති බවක් කව්දෝ කිව්වා මතකය. මොණරා දෙස බලමින් සිනාසෙන ගල් බෝතලය ලෝක ආර්ථිකය තව දුරටත් මුහුණ දෙන දරුණු අවපාතය හමුවේ තනි මොණරෙකු පුදා මිළදී ගැනීමට නොහැකි වන බව දැන් දැන් සක්සුදක් සේ පැහැදිලිය.

ගල් වන්දනාවට සැරසෙන බැතිමතෙක්

වෙනත් පාන වර්ග පානය කලා බිව්වා ලෙස උච්චාරණය කලත් එය අරක්කු සමග යෙදෙන විට ගැහුවා ලෙස වෙනස් වෙයි. ඒ අනුව මම පෙරේදා ගල් භාගයක් ගැහුවා, ගිය සතියෙ පොල් මදි වෙලා ගල් ගැහුවා ආදී අනුකාරයෙන් විවිධ හැඩතල ගනී. මෙවැනි විටෙක අරක්කු ගැන හාංකවිසියක් නොදන්නා සුදනෝ සහ කාන්තා පාර්ශවය සිතනුයේ අදාළ පුද්ගලයා දඩාවතේ ගිය බල්ලෙකුට ගඩොල් භාගයකින් ගැහුවා හෝ නිවසේ ආහාර පිසින්නට පොල් නොමැති වූ හෙයින් පොල් කඩා ගැනීමට පොල් ගසට ගල් ගැසූ කථාන්දරයකි.

අපේ මුතුන් මිත්තන් ස්වභාවිකව නිපදවාගත් කිතුල්, තල්, පොල් ආදී රා විශේෂයකින් සන්තර්පණය වූ ඒ අතීතය වෙනස් වූයේ සිරිලංකාව බටහිර ජාතීන් විසින් යටත් කරගත් පසුව විය යුතුය. සීල් අරක්කු වල ඇති ගුණ සුවද හදුනාගත් මේ ජනතාවගෙන් පැවත එන පරපුර අදද හැන්දෑවට හැන්දෑවට මේ සුවදට ඉව අල්ලයි. මෙවැනි පුද්ගලයන්ට මගුල් ගෙයක් සුපිරිවන්නේ එහිදී ලබා දෙන අරක්කු වර්ගය අනුවය. මිළ අධික අරක්කු වර්ගයක් දුන්නොත් හත්පොලේ ගා ගෙන මගුල් ගෙදර යකා නටනා මෙවැනි ඇත්තන් පහුවදා ඒ සියල්ල අමතක කර ඊයෙ ගැහුවා රිදෙන්න යනුවෙන් පවසයි. මෙහිදී ගැහුවා ලෙස සංඛේතවත් කරන්නේද අපි මේ කථා කරනා මත්පැන් පානය කිරීම ගැනම බැව් සැළකුව මනාය. සත්‍ය ලෙසම රිදෙන්නේ සිය බිරිද හෝ මගුල්ගෙදරට සම්බන්ධ ඇත්තන් අතින් පයින් සැලකූ ඒවා බැව් වෙරිමත නිසාම අමතක වී ඇති සෙයකි. ඇතැම් මගුලක වෙරි මරගාතේ සුපිරි මත්පැන් හොරකම් කරන්නට ගොස් සිය පවුලේ සායමද යවාගෙන බත් වෙනුවට බඩ පුරා ගුටි බැට පූජාවට ලක් වූ අසරණයන් මම ඇතැම් විටෙක දැක ඇත්තෙමි. එවන් විටක අසරණ වන අහිංසක ඇඹේනිය සහ දරුවන් ගැන කියන්නට වදන් නැත. දිනපතා මත්පැනින් සන්තර්පණය වන පුද්ගලයන්ට පොදු ව්‍යවහාරයේදී බේබද්දා යන ගෞරව නාමය පට බැන්දත් මගුලක අරක්කු හොරකමේ ගොස් හසුවන මෙවැනි පුද්ගලයන්ටද ඒ නමම පටබැදේ.

මගුල ඇත්තේ රාත්තිරියේ නම් අරක්කු හොරු අල්ලන්නට සැදී පැහැදී සිටීමට මනාලයාගේ මිතුරන්ට සිදුවන තරමට අප සමාජය දැන් බේබද්දන්ගෙන් පිරී පවතී. විවාහ මංගල්ලයන්හිදී මෙසේ පජාති වන සැමියන් පිටුපස බොහෝ විට ඔහුගේ බිරිද වෙයි. සාර්ථක මිනිසෙකු පිටුපස කාන්තාවක් වෙයි යන කියමන මෙහිදී මදක් වෙනස් වෙයි. ඇතැම් බිරියන් තම පුද්ගලික කර්තව්‍යයන් උදෙසා හෝ පවුලේ යැපීමට ප්‍රමාණවත් ආදායමක් නොමැති කල්හි සිය සැමියාට මත්පැන් පානය සපුරා තහනම් කරන අතර සැමියාගේ අදෝවැඩියාව හමුවේ එහෙනම් මගුල් ගෙදරකදි, පාටියකදී වගේ තැනකදි විතරක් පොඩ්ඩක් බොනවා යනුවෙන් පොඩි බුරුලක් ලබාදෙයි. ඉන් පසු අරක්කු ඇති එවන් පරිසරයකට ඉද හිට යාමට අවස්ථාව ලැබෙන මේ අසරණ සැමියන් තමා අවිවාහකයෙකුව සිටි කාලයේ කුරුල්ලෙකු මෙන් සොමියේ සිටි අතීතය මතක් කර කනමදයෙකු ලෙස ලිමිට් කපා ගහයි. එවැනි විටෙක එදෙස බලා සිටින ඇත්තන් සිතනුයේ මේ මිනිහා සතුටට බොනු ඇතැයි කියා වුවද මිනිහා බොන්නේ වාවාගනු බැරි දුක නිසා යනුවෙන් ඒ සිතුවිල්ල වෙනස් විය යුතුය.

ධනයෙන්, නම්බු නාම ආදියෙන් උදම් නොවී නිරහංකාර පුද්ගලයා සැම විටම හිස පහත් කරන්නේ හරියට කිරි වදින විට වී කරලද බිමට නැමෙනා ආකාරයෙන් බවට කියමනක් ඇත. කියමන එසේ වුවද මගුල අස්සේ හිස සමග කරටියද පාත්වෙන මෙවැනි වර්ගයේ සැමියන් දෙස උපහාසයෙන් බලා බිරිදගේ යෙහෙලියන් ඒ බැව් ඇයට සැළකරන්නේ, අන්න ඔයාගෙ එක්කෙනාගෙ කන සාක්කුවේ හෝ අන්න ඔයාගෙ එක්කෙනාගෙ රතු කට්ට පැනලා යනුවෙනි. මෙහිදී කියවෙන රතු කට්ට ඇත්තේ කොතැනදැයි සිරා කොලුවා වන මට තවම නිනව්වක් නොමැත. හිස පහත් වුවද ඉහත කී නිරහංකාර කමක් ගැන මෙහිදී සදහනක් නැත. තත්වය තවත් දරුණු වුවහොත් කාපු බීපු දේ ශ්‍රී මුඛයෙන් නැවතත් පිටතට පැමිණෙන අතර සාමාන්‍ය ව්‍යවහාරයේදී වමනය යනවා හෝ වමනය දමනවා ලෙස මේ ක්‍රියාව හැදින්වුවත් කුපාඩි කොල්ලන් අද මේ ක්‍රියාව හදුන්වන්නේ කබරයා දමනවා යනුවෙනි. මෙලෙස මා විදේශ ගත වන්නට පෙර පැවති විවාහ මංගල්ලයක් අතර තුර පුංචි පහේ කබරයෙක් අත හැරි මගේ ඥාතියෙකු උත්සවය අවසන් වීමෙන් පසු සිනාසුනේම නැත. නිතරම සිනාමුසුව සිටින මේ මනුස්සයාට මක්ක උනාදැයි ඥාතීන් විමසන විට ඔහුගේ ඉදිරි ඇන්දේ බොරු දත් දෙක කබරයා සමග චුත වී ඇති බව හිමිහිට පැවසුවේ විස්සෝප වෙමිනි. හෙතෙම බොරු දත් පැළදි බැව් මම මෙන්ම බොහෝ අයද දැන ගත්තේද එදිනය. කෙසේ හෝ කබරයා දැමූ ස්ථානය පිළිබද ගැඹුරු විමර්ෂණයක් කර නැති වූ වස්තුව සොයා දීමට ඔහුට හිතවත් රහස් පරීක්ෂක කණ්ඩායමක් සමත් වූ බැව් පසුව අනාවරණය විය.

මගුල් අස්සේ සිදුවූ බොහෝ සිදුවීම් මගේ මතක ගබඩාවේ තැන්පත් වී ඇති නිසාම මගුල් ගැන කථා කරන විට කථා රැසක් මතකයට එයි. අතීතයේ අප සමග හොදින් කා බී ප්‍රීති වූ ළගම මිත්‍රයෙකු විය. නිසි කල වයස පැමිණි කල රූමත් සරසවි මානවිකාවක හා ප්‍රේමයෙන් වෙලුනු මේ හාදයා ඇගේ සියලු නීති රීති හිස් මුදුනින් පිළිගනිමින් අකමැත්තෙන් වුවද බීමට නැවතීම තැබුවෙහිය. තවත් කාලයක් ඇවෑමෙන් ඇය තම පාද පරිචාරිකාව ලෙස තෝරා පත්කරගෙන ඒ උත්සව ආදියෙන් පසු මිතුරන් විසින් පවත්වන කිසිදු මධුසාදයකට පැමිණීමෙන් වැළකී සිටියේය. එහෙත් ඇතැම් නිවාඩු දිනයක උදේ වරුවක ඉතා හදිසියෙන්, මචං අද උදේම වයිෆ් ඔෆිස් එකෙන් ට්‍රිප් එකක් ගියා...බොන්න ආසයි බන්...කට්ටිය සැට් කරගෙන ඉක්මනට ටවුමට වරෙංකො...මම ඉන්නවා බලාගෙන යනුවෙන් දුරබණුවෙන් සැළ කරයි. මෙවැනි විටෙක මේකා ගැන උපදින අනුපමේය අනුකම්පාව නිසාම ක්ෂණිකව සූදානම් කරන මධු සාදයට නිවාඩු දින සිත් සේ නිදාගන්නට සිතූ අයවලුන් නිදි ඇදෙන් ඔසවාගෙන විත් මේසයේ හිදුවන්නට සිරාට සිදු වෙයි. කෙසේ හෝ කාලයකින් එළැඹෙන මේ අවස්ථාවෙන් විපුල ඵල ලබන පෙර කී මිතුරා ඇති පදම් බී නිවසට ගොස් ඇල වෙන්නේ හැන්දෑ කොරේ ඇඹේනිය කැදවාගෙන ඒමට නැවතත් නගරයට යාමට අවැසි නිසාය. ඒ ගමන පිටත් වන්නට පෙර පේර කොළ දෙක තුනක් හපා පැය කාලක් පමණ කාලයක් දත් මැද පෙර සූදානම් වුවද ඇතැම් දිනයක හොර අසුවෙයි. එවිට ඔහුගේ බිරිද පොරොන්දු කඩ කල තම සැමියා සමග කිපී ඔහුට මේ අපරාධය කල මිතුරන් වෙත දුරබණුවෙන් අමතයි. එවැනි ඇමතුම් ලද විටෙක මම කිසිවිටෙක නිවසේ හෝ බස්නාහිර පළාත තුල සිටියේ නැත. හැම විටම ලංකාවේ ඈත කොනක විනෝද චාරිකාවක නිරත වන බැව්ම පැවසුවෙමි.

මේ අතරතුර දිනක් අපගේ තවත් කිට්ටු මිතුරෙකු තනි කමට තිත තබා යුග දිවියේ රහ බලන්නට තීරණය කළෙන් ඒ මංගල උත්සවයට අප සියල්ලන්ටම ආරාධනා කළේය. මේ මගුල පැවති ශාලාව තට්ටු දෙකකි. ඉහළ මාලය තනිකරම වෙන්කර තිබුනේ මධුසාදය සදහාය. ඒ සදහා මිතුරන් වෙත ඇරයුම් කිරීමට මනාලයා විසින් පත්කර සිටි නියෝජිතයා,බොනවා නම් උඩතට්ටුවට යන්න යැයි සෑම පිරිමියෙකුගේම කණට කොදුරමින් ගියහ. අපේ මේ බීමට තිත තැබූ අසරණයාගේ කනටද පෙර කිව් පණිවිඩය සන්නිවේදනය කරන විටම එය ශ්‍රවණය වූ ඔහුගේ බිරින්දෑද මිනිහා උනත් බඩු ෂුවර් නැති නිසා ඉහළ මහළට නැගුනාය. එදා ඒ මහලේ සිටි එකම කාන්තා පරාණය ඇය බැව් මට හොද හැටි මතකය. ඇගේ ආගමනය දුටු ඇතැම් මිතුරන් ඔහුට කෝචොක් එක දැම්මේ මචං උඹේ වයිෆ් බොන්න පටන් ගත්තේ කවදා ඉදන්දැයි ඇසීමෙනි. සිය බිරින්දෑ නිසා බීමට ඇති ලැදියාව අමාරුවෙන් වළකාගෙන කොකාකෝලා සහ ස්ප්‍රයිට් ආදී අවශේෂ පානයන්ගෙන් බඩ පුරවා ගත් ඔහු එදා පත්ව තිබූ අමාරුව වැනි අපහසුතාවකට කිසිදු ජීවී පරාණයක් ලක් නොවේවා යැයි මම අක්මාවෙන්ම පතමි.

මෙතෙක් වේලා මා කථා කලේ තත්වයෙන් උසස් යැයි සම්මත මත්පැන් පිළිබදවය. එහෙත් කය වෙහෙසා එදිනෙදා වේල සොයාගැනීමට වෙහෙසෙන සිරි ලංකාවේ අති මහත් වැඩ කරන ජනයාට ඒවා මිළදී ගන්නට මුදල් නැත. අමාරුවෙන් සොයාගත් දේ සීල් අරක්කු සදහා වැය කලොත් ගෙදර උන්ගේ බඩ වියත පිට කොන්දේ ඇලෙන නිසා මේ අය පානය කරන්නේ ගමේ බඩුය. සුදුවා, නැටුම් තෙල්, ඇති හිටියා, වෙල් ෆැන්ටා ආදී නොයෙක් නම් මේවාට පටබැදී ඇතිමුත් කවුරුත් දන්නා සුලභ නාමය කසිප්පු නම් වෙයි. කය වෙහෙසා වැඩකරන මේ මිනිසුන්ගේ අවශ්‍යතාව හොදින් දන්නා ඇත්තන් මේවා ඇළ ඉවුරක් හෝ බඩ වැටියක් අස්සේ සිට නිපදවන්නේ සිය රට දේ සිරි සැපදේ යන කියමනේ පිහිටමිනි. අතීතයේදී කජු ලෙලි, පොල් කටු හෝ දර භාවිතයෙන් කසිප්පු නිපදවන විට හොරා පොලිස් සෙල්ලමේ යෙදෙන පොලෝසියේ ඇත්තන්ට ඉහළට නගිනා දුම් කදෙන් කසිප්පු පොට් එක හදුනාගත හැකි නිසා කාලයේ ඇවෑමෙන් බල ශක්තිය ලෙස එල් පී ගෑස් එක් විය. දැන් එකදු දුම් රොටුවක් හෝ නැතිව වඩිය පෙරන්නට කසිප්පු මුදලාලිට හැකිය.

කිසිදු තත්ව පාලනයක් හෝ ආරක්ෂාව පිළිබද ප්‍රමිතියක් නැති නිසාම කසිප්පු වලට ඇති හිටියා නම් විකට නාමයක්ද තිබේ. වරක් වැලිවේරිය ප්‍රදේශයේදී මේ බැව් සනාථ කරමින් 20 කට මදක් වැඩි සංඛ්‍යාවක් මරු වැළදගත් ඛේදවාචකයක් තවමත් මගේ මතකයේ තිබේ. බිරින්දෑ වරු විවිධය. ඇතැම්හු සුරාවට සම්පූර්ණයෙන් තිත තියන විට ඇතැම් කාන්තාවන් සිය සැමියා කසිප්පු පානය කරනවාට පමණක් විරුද්ධය. එවැනි තැනක සැමියන් නිවසටම කසිප්පු ගෙන යන්නේ කසිප්පු වෙත කොකා කෝලා එකතු කර ක්ෂණිකව සීල් අරක්කු නිපදවීමෙනි. ඒ කොකාකෝලා හේතුවෙන් වර්ණය වෙනස් වන නිසාවෙනි.

කසිප්පු යන වදන ආදරේ වැඩි කමට ඇතැම්හු කසියා ලෙසද හදුන්වන අතර ඒවා නිතර පරිහරණය කරන අයවලුන් කෂ්ඨා ඩයල් ලෙස හදුන්වයි. මෙවැනි අඩු ආදායම් ලාභී අහිංසක මත්ලෝලීන්ට විස්කි, බ්‍රැන්ඩි, ආදී සුඛෝපභෝගී වර්ගයේ පිටරට මත්පැන් ලැබෙන්නේ ඉතාම කළාතුරකින් නිසාම ඒවා පරිහරණය කරන්නට ලැබුනු විටක සැර බාල කිරීමකින් තොරව ආශාව වැඩිකමටදෝ එක හුස්මට නිම කරන්නේ වටා පිටාවේ ඉන්නා උන්ට තමන් කෂ්ඨා ඩයල් බව හදුනාගැනීමට උදව් වෙමිනි.

වරක් මගේ මිතුරෙකුගේ පියාගේ අභාවය හේතුවෙන් අවසන් කටයුතු කිරීම සදහා කනත්තේ සොහොන ඉදි කලේ මෙවැනි පිරිසකි. මේ මිතුරාගේ වැඩිමහල් සහෝදරයන් දෙදෙනාම විදේශයන්හි සේවය කරන අය නිසාම අවසාන කටයුතු වලින් පසුව සොහොන ඉදිකිරීමට දායක වූ පිරිසට ඉස්තරම්ම වර්ගයේ විදේශීය විස්කි බෝතලයක් පිරිනැමුවේ අවශ්‍ය වුනොත් තව එකක් දෙන්නම් යනුවෙන් පවසමිනි. මේ පුද්ගලයන්ගේ දෙනෙත් බෝතලයේ කාන්තියෙන් බැබලුනු ආකාරය ඒ ආසන්නයේ සිටි මා හට මනාව දර්ශනය විය. අතින් අත යවමින් එකිනෙකා බෝතලයේ හැඩරුව බැලූ පසු වත්ත කොනට වන්නට පිහිටි ස්ථානයක මධු සාදය ඇරඹිනි. පෙර කී සහෝදරයන් මත්පැනෙහි සැර බාල කිරීමට සැන්ටිං ලබා දීමට ඉදිරිපත් වුවද මේ පිරිස එය ප්‍රතික්ෂේප කළෝය. මූඩිය කරකවා ඉවත් කර වීදුරුවට වත් කරගැනීමට උත්සාහ කලද මත්පැන් එන්නේ නැත. මේ අවස්ථාවේ ඔවුන් මේ ගැටළුව නිවැසියන්ට ඈතින් ඥාති වන පුද්ගලයෙකුට ඉදිරිපත් කරන අන්දම මම දුටිමි.

අපේ පුතාලා නැත්නම් උඹලා මේ වගේ එකක් ගහයි...මේක බං සෑහෙන ගාණක්...යනුවෙන් පවසමින් පුරසාරම් දෙඩූ ඔහු යතුරක් උපයෝගී කර ගනිමින් බෝතලයේ කට ඇතුලතින් ඇති ආරක්ෂාකාරී ආවරණය ඉවත් කිරීමට උත්සාහ කර බැරිම තැන ගැටලුව මවෙත ඉදිරිපත් විය. බෝතලය තනි කෙලින් ඉහළට එසවූ පසු අමෘතය ලැබෙන බැව් මම ඔවුනට පෙන්වූ පසු පිටරට අරක්කු වීදුරුවට වැටෙන්නෙත් හරි අමුතු විදියට නේද බං යනුවෙන් එකෙකු තෙපලුවෙහිය. මද වේලාවක් ඇවෑමෙන් සැට් එකම ඔන්දස්පොට් වූ හෙයින් තවත් බෝතලයක අවශ්‍යතාව එහිදී පැනනැගුනේ නැත.

කෂ්ඨා ඩයල් ලෙස අතැම්හු අවමන් කලද මරණයකදී හෝ හදිසි කරදරයකදී මහතුන් යැයි සමාජය සම්මත පුද්ගලයන් අහක බලාගන්නා විටෙක මේ මිනිසුන් තමන්ට හැකි පරිදි අදාළ පාර්ශවයන් වෙත උදව් කරනා බැව් ඔවුනට කරනා ගෞරවයක් ලෙස සටහන් කරමි. විශේෂයෙන් මරණයකදී කනත්තේ සිදු කල යුතු කාර්යයන් බොහොමයකට මේ මිනිසුන් ඉදිරිපත් වන්නේ අපේ ආරාධනයකින් හෝ තොරව බැව් කිරි අම්මාගේ මරණය අවස්ථාවේ මම පසක් කර ගත්තෙමි.

උසස් පෙළ කරන අවධියේ අපේ පාසලේ අමද්‍යප සංගමයේ සභාපති තනතුර දැරූ මා මිතුරෙක් ඒ දිනවල අප වෙත බැණ වැදුනේ මත්පැනෙහි ආදීනව කියා දෙමිනි. එහෙත් මා ලංකාවෙන් පිටත් වන්නට පෙර පැවති සාදයකදී කාලයකට පසු ඔහු හමුවූයේ කට කපා සිටි වෙලාවකය.

මොකෝ බං බීලා ,  උඹ අමද්‍යප සංගමේ සභාපති නේද ඒ කාලෙ?

ඒ ඉස්සර බං...සුරාවෙහි රසයත් එහි ඇති අගයත් බොන සුදනෝ මිස නොබොන දුදනෝ නොදනිත් කියලා කථාවක් තියෙන්නෙ....අන්න ඒ වගේ තමා බං...බිව්වට පස්සෙ තමයි මට තේරුනේ මාර කික් කියලා....ඕක්......



මම කාමරේ වෙසෙන සත්ගුණවත් සිරා කොලුවා.




ප.ලි

කවුරු කෙසේ කීවත් බීම හෝ නොබීම ඔබේ අයිතියකි. ඒ පිළිබද තීරණය ඔබ සතුය. මේ ලිපියෙන් මත්පැන් පානයට යම් පෙළඹවීමක් ඇති කිරීම මගේ උත්සාහය නොවන බැව් කාරුණිකව සළකන්න.


ලංකාවේ අරක්කු වර්ග ගැන හොද අත්දැකීම් ඇති අයෙක් ගල් වලට ඇයි එහෙම කියන්නෙ කියලා මෙන්න මෙහෙම බ්ලොග් සටහනක් තියා තිබුනා.

Monday, September 2, 2013

108 බයිසිකලේ

පා පැදිය හෙවත් බයිසිකලයට මා පෙම් බැන්දේ ඉතා කුඩා එකෙකු සන්දියේ සිට බැව් මට අද ඊයේ මෙන් මතකය. සිරා කොලුවා දුවන පනින අවදිය වන විට රජයේ සේවකයෙකුව සිටි මගේ පියා සතු වූයේද පා පැදියක් වීම එයට එක් හේතුවක් වන්නට බැරි නැත. කොළොන්නාවේ රජයේ කර්මාන්ත ශාලාවට සේවයට වාර්තා කිරීම පිණිස අප නිවසේ සිට ගම්පහ දුම්රිය ස්ථානය දක්වා ඇති කිලෝමීටර් හතරකට මදක් වැඩි දුර තාත්තා දිනපතා ආවේ ගියේ පාපැදියෙනි.

ගම්පහ විජයාරාම පාරේ පිහිටා තිබූ අම්මාගේ මහගෙදර යාමට මා තුල වූයේ නොසිදෙන ආශාවකි. සීයාගේ, කිරි අම්මාගේ මෙන්ම මාමාගේ සහ පුංචි අම්මාගේ සමාගමයට කුඩා මා ඉතාමත් ඇළුම් කිරීම එයට එක් හේතුවකි. තාත්තා නිවාඩු දින වල එහි යන්නේ නම් ඒ අනිවාර්යෙන්ම පා පැදියෙනි. එවන් විටෙක කුඩා සිරා කොලුවා හට බයිසිකලයේ හරහට ඇති පොල්ල මත අසුන් පනවන්නේ කුඩා කොට්ටයක්ද තැබීමෙන් පසුය. එහෙත් ගමන අතරතුර පස්සා පැත්ත රිදෙනවා යැයි මා නගනා මැසිවිලි හේතුවෙන් කිලෝමීටරයකට පමණ වරක් බයිසිකලය නවතා ගිමන් හැරීමට තාත්තාට සිදුවූ බැව් පැහැදිලි සිතුවමක් සේ මගේ මනසේ තවමත් නිමග්න වෙයි.

මෙලෙස මා හට මතකයක් නැති මුත් දෙමාපියන් පවසනා තවත් කථාවක් වෙයි. එකල ගම්පහ නගරයේ නම් දැරූ ඡායාරූප ශාලාවක් වූ රෝයල් ඡායාරූප ශාලාවෙන් ඡායාරූපයක් ගැනීමට කුඩා සිරා කැටුව ගිය ඔව්හු එහි වූ කුඩා රෝද 3 බයිසිකලයක් මත මා නංවා ඡායාරූපයක් ගෙන ඇත්තාහුය. ඡායාරූපය ගැනීමෙන් පසු ඒ කුඩා බයිසිකලය අවැසි බව පවසමින් මා තදින් හඩන්නට වූ බවත්, එම බයිසිකලය අතහැර යාම ප්‍රතික්ෂේප කබ බවත්, කුමන දේ කීවත් හැඩීම නතර කර ගැනීමට නොහැකි වූ තැන ගම්පහ නගරයේ වූ වෙළද සැලකින් ඒ වර්ගයේ රෝද 3 කුඩා බයිසිකලයක් මිළදී ගැනීමට සිදු වූ බවයි ඒ කථාව. ඒ අනුව මම බයිසිකලයට පෙම් බදින්නේ ඉතා කුඩා අවදියේ සිටය.



ශිෂ්‍යත්ව පන්තියේදී මා වටා උන් සම වයසේ ඇතැම් මිතුරන් බයිසිකල් පැදීමට පටන් ගත්තේ 3 පන්තියේදී විය යුතුය. පන්ති කාමරය තුලදී තම තමන්ගේ බයිසිකල් ගැන උනුන් පැවසූ කථා බස් බයිසිකලයක් නැති මගේ වර්ගයේ උන්ට ඉතාම රසවත් ඒවා විය. තාත්තාගේ පා පැදිය විවේක සුවයෙන් නිවසේ ඇති කලෙක එය නිවස වටා තල්ලු කිරීමටත් දකුණු කකුල වම්පස පැඩලය මත තබා තනි කකුලෙන් පැන පැන යාමටත් පමණක් මට එකල හැකිව තිබිනි. වම් පාදය වම්පස පැඩලය මත තබා බයිසිකල් පදින්නට පුරුදු වන ලෙස තාත්තා නොයෙක් වර මට යෝජනා කලත් මේ කියන බයිසිකලය පැරණි වර්ගයේ අධික බරකින් යුතු එකක් වූ නිසාමදෝ ඒ කාරිය කිරීමට මට තවත් කාලයක් ගත විය.

කුඩා ප්‍රමාණයේ පා පැදියක් මා සතු නොවූවද මා කිසි දිනෙක මිතුරන්ගෙන් පා පැදිය පැදීමට දෙන ලෙස ඉල්ලා නැත. සිරා කොලුවාගේ හැටි එහෙමය. තමන්ට කියා එකක් නැත්නම් ඒ පිළිබද කෙතරම් ආශාවන් ඇති වුවද දෙමාපියන්ට එය රැගෙන දෙන ලෙස කරදර නොකර තමන්ට ඇති කලෙක ඒ දෙය පුරුදු වීම මගේ ක්‍රමයයි. පසු කලෙකදී බයිසිමොටෝ පැදීමට මෙන්ම පරිගණකය හැසිරවීමට මා ඉගෙන ගත්තේද මටම කියා ඒ දේවල් මිළදී ගත් පසුවය.

මිශ්‍ර පාසලක් වූ එකල මා ඉගැනුම ලැබූ කුඩා පාසලේ ඇතැම් දැරිවියන් පවා ශිෂ්‍යත්ව අමතර පන්ති සදහා කුඩා පා පැදි වලින් හැන්දෑ කොරේ පාසලට පැමිණියද මා හට ඒ වන විටත් පා පැදියක් හැසිරවීමට හැකියාවක් නොවීය. ඒ පිළිබද මගේ කුඩා චිත්ත සන්තානය කණස්සල්ලට පත් වූ අයුරු තවමත් මට මෙනෙහි කල හැක.

සිරා කොලුවා ශිෂ්‍යත්ව විභාගයට සූදානම් වන අවදිය වන විට තාත්තා පිටරටක රැකියාව කරමින් සිටියේය. ශිෂ්‍යත්ව විභාගය සමත් වුවහොත් බයිසිකලයක් තෑගි කරන බැව් එතුමා එහි සිට මා හට ලියූ ලිපියක අකුරු කල හෙයින්දෝ විභාගය සමත් වීමේ දැඩි වුවමනාවක් මා හට ඇති වී තිබුනි. නගරයේ උසස් පාසලකට යාමේ අරමුණටත් වඩා බයිසිකලයක් ලබා ගැනීමේ ආශාව එයට වස්තු බීජය වන්නට ඇත.

මගේ අරමුණු සාක්ෂාත් විය. නගරයේ හොදම පාසලට යා හැකි වන පරිදි ශිෂ්‍යත්ව කඩඉම තරණය කිරීමට මා හට හැකියාව ලැබුනි. ප්‍රතිඵල තාත්තාට දන්වා යැවීමට මා බිදකුදු ප්‍රමාද නොවූයේ මගේ තෑග්ග ලබාගැනීමට සුදුසුකම් සපුරා තිබූ හෙයිනි.

ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් වී මාස දෙකක් පමණ ගතවූ පසු දිනෙක සැදෑ කලුවර ඔස්සේ කුඩා පාපැදියකින් අප නිවසට පැමිණි අමුත්තෙකි. හෙතෙම මගේ පියා සමග විදේශගතව සිටි රොහාන් අයියා යැයි කුඩා අප විසින් ඇමතූ අප පවුලේ හිතවතෙකි.

මෙන්න මල්ලි තෑග්ග.....

නිවාඩු ඇවිල්ලා දවස් දෙක තුනක්....ඒ උනාට මේක කෑලි දෙක තුනකට ගලවලා ගෙනාවෙ....අද තමයි හයිකරගන්න විවේකයක් ලැබුනෙ....රොහාන් අයියා මගේ මවට බයිසිකලය පිළිබද තවත් තොරතුරු දක්වයි.

බයිසිකලය අලුත්ම එකක් නොවූවද අලුත්ම පෙනුම තවමත් පවතී.

මල්ලි මේක ඇමරිකන් සුද්දෙක්ගෙ පොඩි පුතෙක් පැද්දෙ...ඒ අය ආපහු ඒ රටට යන නිසා තාත්තට දුන්නා...තාත්තා අලුතින් එකක් ගන්න හැදුවෙ...ඒත් මේක නියම ඇමරිකන් බයිසිකලයක්...හොදටම හයියයි...කාලයක් පදින්න පුලුවන් නිසා මම තාත්තට කිව්වා අලුතින් එකක් ගන්න එපා මේක මම ගිහින් දෙන්නම් කියලා.....

දැන් මගේ සතුට දෝරෙ ගලා ගොසිනි. මෙතෙක් කල් අනෙක් උන්ගේ බයිසිකල් දෙස බලා සිටි මට දැන් ඒ එකෙකුටවත් නැති වර්ගයේ මගේම කියා බයිසිකලයක් තිබේ...මගේ පුංචි සිත සියුම් අඩම්බරයකින් පිරී ගොසිනි. බයිසිකලය ඔස්සේ මගේ සුරත ඒ මේ අත ගමන් කරයි...2 පන්තියේ සිටි මගේ මලණුවන්ද මේ සතුටේ හවුල් කාරයෙකු වී ඇති සෙයකි. බයිසිකලයේ හැඩලය රතු පැහැයෙන් පින්තාරු කර බද කොටස තනිකරම සුදු පැහැයෙන් නිමවා තිබුනි. පාපැදියේ වර්ගය Formula 1 නම් විය. හරස් අතට වූ පොල්ලක ඒ නම සදහන් ස්ටිකරයකි. එදින රාත්‍රියේදී මා හට නින්ද බොහෝ දුර විය. කාලයක් තිස්සේ ආශාවෙන් සිටි යමක් ලැබෙන කල්හි අද වුවද මා හට නින්ද බොහෝ දුර වෙයි. එකල පිටරට දුරකථන ඇමතුම් මිළ අධික වූ හෙයින් ලිපි මගින් පමණක් අපි තාත්තා සමග තොරතුරු හුවමාරු කර ගත්තෙමු. තාත්තා එවූ තෑග්ගට ස්තූති කර ලිපියක් ලිවීම පසුදිනට කල් තැබුවෙමි.

පසුදා උදෑසනම නිවසින් පිටතට රැගෙන ගිය මගේ තෑග්ග සමවයසේ උන් පිළිගත්තේ ඉතාමත් හරසරිනි. ගම්වාසී මගේ සමවයසේ මිතුරන් බොහොමයකට පා පැදි නොවූ හෙයින් ඔව්හුද සිටියේ ප්‍රීතියෙනි. එයට පරිබාහිර මට වඩා වසර දෙක තුනක් පමණ වැඩිමලුන් මට බයිසිකල් පැදීමට කියා දීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් විය. බයිසිකලය මත මා හිදුවා එකෙකු පිටුපසින් වැටෙන්නට නොදී අල්ලාගෙන පා ගමනින් එයි. මට බයිසිකලය පා ගන්නට අණ කරයි...ටික දුරක් එසේ ගිය කල පිටුපසින් සිටි තැනැත්තා මටත් හොරෙන් අත ඉවතට ගනී...මද දුරක් සමබරව යන මා වැටෙන්නට නොදී අල්ලා ගන්නට තවෙකෙකු ඉදිරිපත් වෙයි. මේ ආකාරයෙන් වෙහෙස මහන්සි වී පැය දෙක තුනක කාලයක් තුල මා පා පැදිය හැසිරවීමට සමතෙකු වූයෙමි. එහෙත් මගේ මළණුවන් එය ඉගෙනගන්නට වැය කලේ හෝරාවක් පමණි. අලුත් යමක් ඉතා ඉක්මනින් ඉගෙන ගැනීමේ කදිම හැකියාවක් ඔහුට වෙයි.

අප බයිසිකල් පදින දෙස ආශාවෙන් බලා සිටින ගම්වාසී සගයන් දුටු කල්හි...

පුතේ ඔය මල්ලිටත් පදින්න දෙන්න.... ඔය නංගිටත් කියා දෙන්න යනුවෙන් මගේ මව මා හට යෝජනා කරයි. මෙතරම් පරාර්ථකාමී හිතක් අද සිරා හට ඇත්තේ මා කුඩා කල දෙමාපියන් එලෙස මා හට ආදර්ශයෙන්ම කටයුතු කලා නිසායැයි විටෙක මට සිතේ. එවැනි කලෙක හිතේ කිසිම කහටක් නැතිව මගේ තෑග්ග මම ඔවුනට පැවරූවේ මමද මෙසේ ආශාවෙන් දෑස් දල්වා බලා සිටි කාලයක් තිබූ හෙයිනි. මේ මිත්‍ර සමාගම නිසාම බයිසිකලයට යම් උවදුරක් වූ කල්හි එය නිවාරණය කරගෙන පැමිණීමට ඔව්හු සිය කැමැත්තෙන්ම ඉදිරිපත් වූහ. අප කල යුතු වූයේ ඒ සදහා වැය වන වියදම පමණක් ඔවුනට ලබා දීමයි. රෝදයක පැච් එකක් ඇති වූ කල්හි රෝදය ගලවා ගන්නා මේ සගයින් පා ගමනින්ම බයිසිකල් වැඩපොලක් කරා ගොස් එය පිළියම් කරගෙන නැවත පැමිණ බයිසිකලයට සවි කරදීමට තරම් කාරුණික විය.

මගේ පා පැදිය හොදින් හසුරුවන්නට හැකි වූ පසු තාත්තාගේ විශාල පා පැදිය මුලින් හරස් පොල්ල යටින් හා පසුව පොල්ලට උඩින් කකුල දමා හැසිරවීමට හැකි වූ අවදිය වන විට තාත්තා නැවතත් මවුබිමට පැමිණියේ BMX වර්ගයේ රතු පැහැති අලුත්ම වර්ගයේ කදිම පා පැදියක් මගේ මලයාට තිළිණ කරමිනි. එහි වූ විශේෂත්වය වූයේ සාමාන්‍ය අත් තිරිංග වෙනුවට පැඩලය පිටුපසට කරකවා තිරිංග තද කල හැකි ක්‍රමයක් (Paddle Brake) එහි වීමයි. හැඩලයට ආසන්නව සාමාන්‍ය පාපැදියක මෙන් තිරිංග ක්‍රියාත්මක කරන උපාංග නොවූ හෙයින් මේ බයිසිකලය වේගයෙන් පදිනා නොයෙක් වර මම මාර්ගයේ ගමන් ගත් වැඩිහිටියන්ගෙන් බැණුම් ඇසුවෙමි.

කොලුවො ඔය බයිසිකලේ බ්‍රේකුත් නෑ නේද...ඔච්චර හයියෙන් ඉගිල්ලෙන්න හදන්නෙ

අනේ ළමයො මේ බ්‍රේක් නැති බයිසිකල් පදිනවා නම් හිමින් පදිනවා...අපේ ළමයිනුත් මේ පාරවල් වල යනවා.

අනේ හැබෑටම බයිසිකලේ නවත්ත ගන්න ක්‍රමයකුත් නැතුව මේකා යන වේගයක්...

එවැනි විටෙක එවැනි ඇත්තන්ට පෙනෙන්නට එක තැන තිරිංග තද කිරීම මගේ පිළිතුර විය. ඒ දසුනින් අන්ද මන්ද වන ඇතැම්හු තිරිංග තද වූයේ කෙසේදැයි වටහාගත නොහැකිව බලා සිටී.

ගම මැදින් යන ගුරු පාර ඉතාම කලාතුරකින් වාහන යනෙන මාර්ගයක් වූ නිසාම දෙමාපියන්ගේ බාධාවකින් තොරව කුඩා උන් බයිසිකල් පැදීමට නිතර ආගිය තැන විය. දෙපසින්ම කුඹුරු ඉඩම් පිහිටා තිබූ එහි ලග ලග වංගු පැවතීම වැඩි වේගයකින් බයිසිකල් පැදීමට බාධාවක් විය. බයිසිකලයේ යා හැකි උපරිම වේගයෙන් යාම සැම විටෙකම මගේ අභිප්‍රාය වූ නිසාම මේ වංගු වලින් ඉවතට විසි වී මඩ නාගෙන ගොඩ පැමිණියේ වරක් දෙවරක් නොවේ. නමුත් මේ කාරියෙන් ඇස් රතු වූ දිනයක්ද එළැඹියේය. මලයාගේ බයිසිකලයෙන් නිවස ආසන්නයේ වූ වංගුවක් කෙලින් කර කුඹුරකට විසිවූ මගේ හිස පැල ගොයම් දරාගෙන සිටි මෘදු මෙළෙක් මඩෙහි සැගවිනි. ආයාසයෙන් මඩ පිසදා දෑස පාදාගෙන බයිසිකලයද කරට ගෙන කුඹුරු දෙසින් සැගවුනු මාර්ගයකින් නිවසට පැමිණි මට වෙනදා නැති අමුත්තක් දැනිනි.

වළලුකර සමීපයේ වූ සිහින් වේදනාව කෙමෙන් වැඩි වෙයි. සිරුරේ කිසිදු තැනක සීරිමකදු නොමැති වුවද මේ වේදනාව මට මහත් පීඩාකාරී විය. මඩ තැවරුනු ඇදුම් දර මැස්සෙහි සගවා බයිසිකලයද පිරිසිදු කර සිරුරේ තැවරුනු මඩද සෝදා හැර නිවස තුලට වැදී හොර පූසෙකු මෙන් සිටියද තව දුරටත් ඉවසනු නොහැකි වේදනාව හමුවේ සිදුවූ සන්තෑසිය මවට පැවසීමට මා හට සිදු විය. ඒ වන විටත් දකුණු කකුලේ අදාල පෙදෙස විශාල ලෙස ඉදිමීමට ලක්වී තිබූ හෙයින් මවගේ ආරාධනයෙන් නිවසට පැමිණි අප ඥාති හිතවතුන් විසින් ගෙනෙන ලද කිසිදු වේදනා නාශක ආලේපයකට මේ ඉදිමුම පැරදිය නොහැකි විය. එදින රාත්‍රිය ඉතාමත් අපහසුවෙන් ගත කර පසුදා උදෑසනම කැඩුම් බිදුම් සදහා අප ප්‍රදේශයේ ප්‍රචලිතව සිටි රත්මලේ වෙද මහතා හමුවීමට බාප්පා සමග යාමට තීරණය වී තිබුනි.

පසුදින උදෑසන කකුල බිම තබා ඇවිදීමට පවා නොහැකි වන තරමට තත්වය දරුණු වී තිබිනි. වළලුකර සමීපයේ ඇති රවුමට ඇති අස්ථිය දැඩි ලෙස ඉදිමී තිබූ අතර යටි පතුල ආසන්නව නහරයක් මෙන් තවත් ඉදිමුමක් විය. ඇවිදීමට අපහසු නිසාම මා ඔසවාගෙන තම යතුරු පැදියේ පසුපස තැබූ බාප්පා තදින් ඔහු අල්ලාගන්නා ලෙස පවසා කඩිනමින් වෙද මහතාගේ නිවස සොයා ඉගිලුනේය. මේ සිදුවීම වන විම මා සිටියේ 8 වසරේ විය යුතුය.

අප පැමිණියේ උදෑසනම හෙයින්දෝ වෙද ගෙදර තවමත් කිසිදු රෝගියෙක් නැත. අපේ ආගමනයෙන් අප කරා පැමිණි වෙද මහතා මගේ කකුල පරීක්ෂා කර පොඩි දෙයක් වෙලා තියෙන්නෙ භය වෙන්න එපා...මට ඩිංගිත්තක් වෙලාව දෙන්ට බුදුන්ට පාන පත්තු කරලා එනකම් යනුවෙන් පවසා නිවස තුලට වැදුනේය.

වෙද ගෙදර ඇති තෙල් බෙහෙත් සුවද හා මුසුවුනු හදුන්කූරු සුවදක් අවට පරිසරයේ පැතිරෙද්දී වෙද මහතා නැවතත් පැමිණියේ තම අත්ලට ගත් බෙහෙත් තෙල් ස්වල්පයකට මුව ලංකර යම් දෙයක් මුමුණමිනි. සිංහල කැඩුම් බිදුම් වෙදකමේදී වේදනාව දරා සිටීමට සිදුවන බැව් මා හට එයට මුහුණ පෑ අයගේ අදහස් තුලින් අවබෝධ වී තිබූ නිසා සිත පිරී තිබුනේ දැඩි භීතියකිනි.

සුව පහසු ආසනයක මා හිදවූ වෙද මහතා මගේ දකුණු කකුලේ ආපදාවට ලක්වූ පෙදෙසෙහි සෙමින් බෙහෙත් තෙල් තැවරුවේ මා සමග අදහස් හුවමාරු කර ගනිමිනි.

මොකද දරුවො උනේ...වෙද මහතා අසයි...

මෙයාට හෙමින් බයිසිකල් පදින්න දන්නෙ නැහැලුනෙ වෙද මහත්තයා, ඊයෙ බයිසිකලෙන් කරණමක් ගහලා.... මා වෙනුවට බාප්පා පිළිතුරු දෙයි.

ආ එහෙමද...එහෙනම් මීට පස්සෙවත් හෙමින් බයිසිකල් පදින්නෙ නැතැයි...වෙද මහතා එසේ කියමින් බුලත් කහටින් දුර්වර්ණ වූ දසන් දක්වා සිනාසෙයි.

දැන් කීය පන්තියේද ඉන්නෙ....වෙද මහතා නැවතත් විමසයි...

මම ආයාසයෙන් පිළිතුරු දෙමි. නමුත් තවමත් මා බලාපොරොත්තු වන ඒ වේදනාව නැත...

පවුනෙ ඉතිං නේද....කකුල මේ වගේ තියාගෙන ඉස්කෝලෙ යන්නත් බෑනෙ....අපි ඉතිං කකුල හොද කරමු නේද මහත්තයො...බාප්පා දෙස බලා ඉගිමැරූ වෙද මහතා ඉදිමීමට ලක්ව තිබූ නහරය බදු කොටස තදින් මිරිකද්දී බාප්පා දැගලිය නොහැකි වන සේ මා තදින් අල්ලා ගත්තේය.

එහෙත් ඒ සමගම නැගුනු විලාපය සමග වෙද මහතාගේ බිරින්දෑ මෙන්ම දියණියද නිවස තුල සිට ඉවතට දිව ආවෝය. මගේ විලාපය සමග තවත් විලාපයක් ඇසිනි. ඒ මගේ බාප්පාගෙනි.

මොකද මහත්තයත් කෑ ගැහුවෙ...වෙද මහතාගේ බිරිද බාප්පාගෙන් අසයි.

මේ මගෙ අත..... තව පොඩ්ඩෙන් වෙද මහත්තයට මගේ අතටත් බෙහෙත් කරන්න වෙනවා.

වේදනාව ඉවසනු නොහැකිව බාප්පාගේ බාහුව තදින් හපා ඇති බව මට වැටහුනේ එවිටය. ඔහුගේ අතේ ඉහළට වන්නට රවුමට කදිමෙට මගේ දත් පෙළ සටහන්ව තිබුනි.

වෙද මහතාගේ දියණිය එකල මා සහභාගි වූ ගණිත පන්තියේ සිටි සම වයසේ එකියක බැව් මා හදුනාගත්තේ දෙනෙතේ වූ කදුලැලි වියැකී ගිය පසුවය. එසැනින් වස ලැජ්ජාවක් දැනිනි.

ආයෙත් හයියෙන් බයිසිකල් පදිනවද ? බෙහෙත් මැල්ලුමක් කෙසෙල් කොලයක දවටා මගේ කකුල වටා ඔතමින් වෙද මහතා විමසයි.

මම දෙපසට ඔලුව වනා නැතැයි පිළිතුරු දුන්නෙමි.

ආයෙ අනිද්දට එන්න...බුලත් කොලයක තබා බාප්පා දුන් තුටු පඩුර සතුටු සිතින් පිළිගත් එතුමා අපට සමු දුන්නේය.

පළමු දිනයෙන් පසු නැවතත් එහි යන විට ඉදිමුම සැළකිව යුතු ලෙස අඩු වී තිබූ අතර මම කෑ ගැසීමකින් තොරව වේදනාව ඉවසා සිටියෙමි. මෙසේ ගතවූ දින කීපයකට පසු මගේ කකුල නිට්ටාවට සුව වූ අතර තවත් මද කාලයක් ඇවෑමෙන් නැවතත් සුපුරුදු වේගයෙන් බයිසිකලය පැද ගියෙමි.

බයිසිකලය නිසා මුහුණ දුන් තවත් අනතුරක තතු ඉදිරි දිනයක......



මම කාමරේ වෙසෙන සත්ගුණවත් සිරා කොලුවා.


ප.ලි

පසුකලෙක පාසලේදී දිගු දුර ධාවනයේ යෙදෙද්දී පවා මතු නොවන පරිදි මගේ ආබාධය සුවපත් කල මේ වෙද මහතා මීට දෑ අවුරුද්දකට පමණ ඉහත ලෝ දම් අනුව අපෙන් සමුගත් පුවත සංවේගයෙන් සටහන් කරමි.

එදා මා හට වෙද ගෙදරට යාමට උදව් වූ බාප්පා 2012 වසරේ මුහුණ පෑ යතුරු පැදි අනතුරක් නිසා දරුණු ලෙස වම් පාදයට හානි වී තිබූ අවස්ථාවක ඔහුගේ සහායට සිරා කොලුවා ඉදිරිපත් වූයේ දෛවයේ සරදමකට මෙනි.

පසුගිය මාස දෙකක කාලය තුල බ්ලොග් ලිවිල්ලෙන් අකමැත්තෙන් හෝ ඉවත්ව සිටීමට මා හට සිදු විය. ඊට පෙර අවසන් වශයෙන් පළවූ ලිපි කීපයක් මා වේලාසනින් ලියා Auto Publishing ක්‍රමයට පල කල ඒවා හෙයින් එම ලිපි අරභයා පාඨක ඔබ පල කල අදහස් උදෙසා පිළිතුරු දීමට ප්‍රමාද වීම පිළිබද සමාව භජනය කරමි. නොරටක සිටින මා රැකියාව නම් සාධකය මත ඒ මේ අත දෝලනය වෙමින් අවිනිශ්චිත තත්වයක සිටීම හේතුවෙන් වෙහෙසට පත්ව තිබූ මානසිකත්වයක් තුල බ්ලොග් ලිවීම උගහටය.

රැකියාව තුල පැන නැගුනු ගැටලු නිසා ඒ මේ අත වැනෙමින් සිටි මා හට අවසානයේ පිළිසරණ වූයේ ගාමිණී විලාවේදී දැන හදුනාගත් වෘත්තියෙන් රූපවාහිනී විකාශන ක්‍රමවේද පිළිබද ඉංජිනේරුවකු වන අන්කල් අයියාය. මා වෙසෙනා රටේ සිටිනා ඔහුගේ හිතවතෙකු වන රේ අයියා වෙත මා හදුන්වා දී ඔහු මාර්ගයෙන් මා ලංකාවේදී නිරත වූ පරිදිම රැකියාවකට සම්බන්ධ වීමට ලැබීම මගේ සියලු දොම්නස් දුරුකරවීය. මා හමුවූ පළමු දිනයේ රේ අයියා....

මල්ලි මම උඹට උදව් කරන්නෙ හේතු දෙකක් නිසා...

1 ඔයාව මට හදුන්වා දුන්න කෙනා මගේ හොදම යාලුවෙක්

2 මම ඔයාගේ බ්ලොග් එක පටන් ගත්ත කාලෙ ඉදන්ම කියවනවා...ඒ තුලින් ඔයා කවුද කියලා මට අවබෝධයක් තියෙනවා.


හිතේ සතුට උදෙසා පටන් ගත් මගේ බ්ලොග මෙලෙස මගේ අනාගත කඩයිම් තීරණය කරනට සාධනීය දායකත්වයක් දක්වාවි යැයි මම සිහිනෙකුදු නොසිතුවෙමි. ඒ නිසාම සයිබරයේ මගේ කාමරය මෙයින් මතු පාලුවට නොයනු ඇත. යහපත් වටපිටාවක, යහපත් මිනිසුන් සමග යහපත් වැටුපකට සේවය කරන මගේ සිත දැන් බොහොම සන්සුන්ය. මේ සදහා පාර පෙන්වූ අන්කල් අයියාට සහ රේ අයියාට අනේක වාරයක් ස්තූතිය පුදමි.

ඔබ ඔබට හැකි පරිදි යහපත් දේ තුලින් අන් අයට පිළිසරණ වේද, ඔබේ දුකකදී අන් අයද එසේම ඔබට පිළිසරණ වේවි. ඒ බැව් මම දැන් අත්දැකීමෙන් දනිමි. බ්ලොග නොලියූ මාස දෙකක කාලය තුල මා ගැන විමසා විද්යුත් පණිවිඩ එවූ හා මූණුපොතේ සටහන් තැබූ සැමටම ස්තූති වන්ත වෙමි. ඔබේ මේ සහෝදරත්වය සිරාගේ කාමරය තවත් කාලයක් විවෘත කර තබන්නට මට ශක්තිය ධෛර්යය එන්නත් කරනවා නොඅනුමානය.

රාජකාරීමය සංචාරයක් අතරතුර මා සිටිනා ඉසව්වට පැමිණ කෙසේ හෝ මා මුණගැසී ගිය සමකය වටේ අප කැන්දාගෙන යන නලින් අයියාද ගෞරවයෙන් සිහිපත් කරමි. මේ කියන රේ අයියා කවුදැයි ඔහු දන්නවා ඇතැයි සිතමි. නියම නමින් මේ සත්පුරුෂයන් හදුන්වා දී ඔවුනට ඇතිවිය හැකි අපහසුතා වැළැක්වීමට ආරූඩ නාමයන් භාවිතා කල බැව් සැළකුව මනාය.
Related Posts Plugin for WordPress, Blogger...