Thursday, October 31, 2013

130 ලංගමෙන් ගහපු බල්ටිය

1998 කියන්නෙ සිරා කොලුවා අ.පො.ස  සා/පෙට  පෙනී හිටිය අවුරුද්ද...දෙමාපියන්ගෙ වගේම ඥාති හිත මිත්තරාදීන් රැසකගේ අවධානය මා කෙරේ යොමු වී තිබුන නිසාම තරමක පීඩනයකුත් දැනුන වසරක්. වසර උදාවෙද්දිම හිතට දැනුනෙ වසර අගට වෙන්න තියෙන විභාගෙ බර. ඒ බරින් කොටසක් හෑල්ලු කර ගන්න තමයි ගණිතය, විද්‍යාව, ඉංග්‍රීසි වගේ විෂයන්ට අතිරේක පන්ති ගෑටුවෙ.

ඒ කාලෙ ගම්පහ නගරයේ තිබුන හොදම යයි සම්මත ගණිතය උපකාරක පන්තියට තමයි සිරා කොලුවා ගියේ. මේ පන්තියෙදිම තමයි සිරාගෙ අභිමංගල ප්‍රේමය වෙච්ච රතු කොණ්ඩෙ මුලිච්චි උනෙත්... ඒ විතරක් නම් මදැයි, අයිය බඩාගෙ ප්‍රේම කථාවටත් පාර කිව්වෙ මේ පන්තියම තමයි. ඔය කිව්ව විෂයන් තුන අතරින් ගණිතය උගන්වපු ගුරුතුමා බොහොම දර දඩු නීතියට වැඩ කරපු කෙනෙක්...ඒ නිසාම ගණිතයට උනන්දු නැති උන්ට බලෙන්ම හරි උනන්දුව ඇති කරගත යුතු තත්වයක් තමයි පන්තිය තුල තිබුනෙ.

6 වසරෙ සිටම මේ පන්තියට ආව ගිය උන් හැටියට ඒ වෙද්දි ගුරුතුමා ගැන හොද විශ්වාසයක් වගේම අවබෝධයකුත් අපේ හිත්වල ඇතිවෙලයි තිබුනෙ. උගන්වන හැම තත්පරයක්ම ඒ වෙනුවෙන් උපරිමයෙන් කැපවෙලා ඒ කටයුතු වල නිරත වෙන ඔහුගේ නීති රීති වලට අනුව වැඩ කරන්න අමාරු උනත් ප්‍රතිඵල එන දවසට නම් ඒ වෑයම පිළිබද අනේකවාරයක් සතුටු වෙන්න පුලුවන්.

වසර මුලදිම අවුරුද්ද පුරා පන්ති පැවැත්වෙන ආකාරය පිළිබද දැනුවත් කිරීම එතුමාගෙ සිරිතක්. ඊට අමතරව ප්‍රසිද්ධ නිවාඩු දවස් වලත් අවශ්‍යතාව අනුව අතිරේක පන්ති පැවැත්වුනා. මේ කිව්ව 1998 මැයි 1 වෙනිදාත් එහෙම දවසක්.

කාටද මැයි පළවෙනිදා නිවාඩු ඕනෙ....එහෙම අය අත උස්සන්න බලන්න...සෑර් හඩ වැඩි කරලා කියනකොට අවශ්‍යතාව තියෙන එකාටත් ඒක අමතක වෙනවා... මේ මැයි පළවෙනිදට අතිරේක පන්තියක් තියෙනවා...විභාගයෙන් උසස් ප්‍රතිඵලයක් ගන්න කැමති අය අනිවාර්යෙන්ම එන්න ඕනෙ...මැයි පෙළපාලි වල යන අයට දිගටම අනිත් උන්ට හුරේ දදා පෙළපාලියෙම යන්න පුලුවන්...

මෙහෙම ඉතිං ගහෙං ගෙඩි එනවා වගේ එකපාරටම අතිරේක පන්තියක් දැම්මම අපේ ආතල් කැඩෙනවා උනාට..නොගියොත් ඊළග දවසෙ පන්ති ගිහිල්ලා හමාරයි. පැය 6 ක් උගන්වන දේවල් සුලුපටුද හැබෑටම...මේ පැය 6 ම ගණිතය විතරයි...ගණිතය විෂයට ඒ දවස්වල තිබුන අකමැත්ත අන්තිම ඉහළ වුනත් විභාගෙ ගොඩ දාගන්න ඕනෙ නිසා හැමෝම අමාරුවෙන් හරි පන්ති ආවා.

ඒත් ගොයියො මැයි 1 වෙනිදා පන්ති යන එක සෙල්ලං නෑනෙ කියලා අවබෝධ වෙන්නෙ පන්ති යන්න පාරට ආවට පස්සෙ. පුද්ගලික අංශයෙ බස් එදාට සෙනග අඩු නිසා නිවාඩු... රාජ්‍ය අංශයෙ බස් මැයි පෙළපාලි වලට යන ජාති මාමක ජනතාව ප්‍රවාහනය කරන්න ගිහිල්ලා.....බත් මුලක්, අරක්කු බෝතලයක් නොමිලේ දෙනවා කිව්වම මේ ජනතාව වැඩ කරන ජනතාවට පණ උනත් දෙන්න පෙරට එයි. හැබැයි ඒ සියල්ල මැයි 1 වෙනිදා නිමා වෙද්දිම නිමා වෙනවා.

මේ කිව්ව දවසෙත් වෙච්ච සංසිද්ධිය එමම තමයි. පන්තිය පටන් ගන්නෙ 8 කණිසමට...සිරා පාරට ආවෙ 7 ට. දැන් පැයක්ම බස් එකක් එනතුරු බලා ඉදලා ඉදලා නිකරුනේ ගෙවිලා..පරක්කු වෙලා පන්තියට එනවට අපේ සෑර් කැමතිත් නෑ...මොකක් හරි ඇනුම් පදයක් කියනවා...ඒකට කෙල්ලො සැට් එක හිචි හිචි ගානවා...ඒ හින්දා ප්‍රමාද වෙලා පන්ති යන එක මහ එපා කරපු වැඩක්....

මේ වකවානුවේ අපේ නගා කොල්ලා ගමේ පාසලට ගියේ...ඒ උනාට මේ අතිරේක පන්තියෙදි අදුනගත්ත නිසා මා සමග තරමක ඇයි හොදයියක් තිබුනා...පැයක්ම බස් නැතුව හිටියට පස්සෙ තමයි උගෙ ලද බොළද කටහඩ දෝරෙ ගැලුවෙ.

ඇයි බන් මේ නිවාඩු දවසක අපිට ගෙදරට වෙලා ඉන්න දෙන්නෙ නැතුව අතිරේක පන්තිදාලා පාරෙ රස්තියාදු කොරවන්නෙ...දැන් බලහං පැයක්ම පාරෙ හිටගෙන හිටියා..එක බස් එකක් නෑනෙ බන්....

සෑර් දැනගන්න ඕනෙ නේද මැයි පළවෙනිදට පාරෙ බස් නෑ කියලා... තව එකෙක් හීනියට හූමිට්ටක් තියනවා...

ඔන්න ඔය අතරෙදි තමයි DIMO යනුවෙන් මූණතේ නම ගහලා තියෙන කහපාට ලංගම බස් එකක් ප්‍රධාන මාර්ගයේ ඈත කොණෙන් මතු වුනේ...බස් එකේ දොර දෙකේම සැට් එක කට කපලා...පා පුවරුවෙ කකුල් තියාගෙන එල්ලෙන්න තියෙන හැම තැනම මගියො එල්ලිලා හිටියෙ හරියට බල්ලන්ගෙ ඇගේ මැක්කො එල්ලිලා ඉන්නවා වගෙයි. ඒත් පන්ති යන්න තියෙන උවමනාව නිසාම අපේ හන්දියෙ හිටිය නඩේ පාරට පැනලා අත දැම්මෙ බස් එක නවත්තගන්න.. බස් එකේ තවත් නගින්න ඉඩක් තිබුනෙ නැති හින්දම රියදුරා ඒක නොනවත්වාම ධාවනය කලා. මෙන්න මේ අතරෙදි බස් රථය තුල හිටිය අපේ මිත්තරයෙක් අපිටත් රථයට නගින්න අවස්ථාවක් ලබා දෙන්න රථයෙ සීනුව නාද කොලා.

මෙන්න මේ වගේ එකකින් තමා බල්ටිය ගැහුවෙ
‍ඒ හඩට සැර බාලවෙච්ච බස් රථය අපේ හන්දිය පහුකරගෙන මීටර් 100 විතර ගිහිං ඕන්න නතර වුනා..පන්ති යන්න බලාගෙන හිටිය මම, නගා ඇතුලු නඩේ රථය ලුහු බැන්දා...බහින එකා බහින තුරු බලාගෙන හිටිය රියදුරු තැන තවත් බලාගෙන හිදීමෙන් පලක් නැති බව වැටහුනාට පස්සෙ නැවතත් ඇන්ජිමට සැර දැම්මා ඉදිරියට ධාවනය වෙන්න...අන්න ඒ අවසරයෙන් රථයට කිට්ටු කරලා ඉදිරි පා පුවරුවෙ යකඩ පොල්ල අල්ලගන්න මට හැකි වුනා...ඒ වෙද්දිත් එතන එල්ලිලා හිටිය මම අදුරන ගොයියෙක් එක කකුලක් යන්තමට තියා ගන්න පුලුවන් තරමට මට ඉඩක් හදලා දුන්නත් බස් රථයෙ වේගය වැඩි නිසා මට හරියටම එතනට කකුල සැන්ටර් කොර ගන්න බැරි උනා. කකුල තිබ්බෙ බිමට...නමුත් මගේ අත තවමත් පා පුවරුවෙ පොල්ලෙ...ටික දුරක් බස් රථය සමග ඉදිරියට ඇදිල ගිය අසරණ සිරාට එක්වරම සිහි උනා පොල්ල අතඇරිය යුතු බව... පොල්ල අත ඇරිය සැනින් එකතැන කැරකිලා වගේ මගේ කකුල් දෙකම බස් රථය අස්සට ගිය බව මට දැනුනා...පිටි පස්සෙ රෝද ද්විත්වය දැන් දැන් කකුල් දෙක උඩින් යයි කියලා හිතුනත් අන්තිම මොහොතෙ කුමක් හෝ යමක වැදිලා මාව එළියටම විසි උනා.

ක්‍රිකට් තරගයක හතරෙ සීමාවෙදි පන්දුව නවත්තන්න තණ නිල්ල දිගේ ක්‍රීඩකයො ලිස්සලා යන විදියට තාර පාර දිගේ ටික දුරක් ගිහිල්ලා සිරා කොලුවා නැවතුනා...අපේ උන් ඉක්මනට ඇවිල්ලා මට නැගිටින්නට අත දුන්නා...මම ඉස්සෙල්ලාම බැලුවෙ ඔලුව තියෙනවද කියලා...ඒක අතට අහුවුන නිසා කුකුල් දෙක තියෙනවද බැලුවා...ඒකත් හරි...ඊට පස්සෙ තමයි වෙච්ච හානි දිහා බැලුවෙ...

අලුත්ම ටී ෂර්ට් එක ක්ලේමෝ ප්‍රහාරයකට ලක් වෙලා වගේ හැම තැනම ඉරිලා...කිරි ගොට්ටෙ වගේ හිල්...නිල්පාට ඩෙනිමෙ දණහිස ලග කොටස ගෙවිලා ගිහිල්ලා ලස්සන රවුම් දෙකක් කකුල් දෙකේම මතු වෙලා...එදා ඩෙනිම වෙනුවට වෙනත් මෘදු රෙද්දකින් නිම වෙච්ච කලිසමක් ඇදගෙන හිටියා නම් සිරාට දණිස් පොල්කටු දෙකක් කඩෙන් ගන්න වෙනවා...

වම් අතේ වගේම දකුණු අතෙත් ඇගිලි මුල තුවාල වෙලා පුංචි පුංචි රවුම් ආකාරයෙන්...ඒවායින් ලේ ගලනවා...සිරාට බරටම හානි...ඒ උනාට පන්ති යන්නෙ නැතුව ඉන්න මට හිත දෙන්නෙ නෑ...පාරෙ ගියපු වාහනයක් නවත්තගත්ත අපේ උන් මාවත් ඒකට පටවගෙන පන්තිය තියන ඉසව්වට ආවා...

මචං ඔය විදියට පන්තියට යන්න බෑනෙ...අපි බේත් දාගෙන යමු...

නෑ බොලව්..උඹලගෙ වෙලාව අපරාදෙ....මේ වෙලාවෙ ඉස්පිරිතාලෙ සෙනග වැඩි නම් සෑහෙන වෙලාවක් ඉන්න වේවි...ඒ හින්දා අපි කෙලින්ම පන්තියට යමු..

උඹට කලන්තෙ වගේ එහෙම නෑ නේද ? ඔලුව බිම වැදුනද ? නගා බොහොම ලෙංගතුකොමෙන් මගෙන් අහනවා..

ඔයින් මෙයින් අපි පන්තියටත් ආවා කියමුකො...ගණිතය සෑර් මගේ දෙමාපියන්ගෙ හිතවතෙක් වෙච්ච හින්දම මම හැමදාම පළවෙනි නැත්නම් දෙවැනි පේළියෙ තමයි වාඩි උනේ...එහෙම නැති උනා නම් අපේ නිවසට සෑර්ගෙන් පැමිණිලි එනවා. ඉදිරි පෙල වටේටම ඉන්න උන් මගේ යාලුවො වෙච්චි කොට කවදාවත් මගේ තැනට වෙන එකෙක් ආවෙ නෑ...එදත් මට නියමිත ස්ථානය ඉතිරිව තිබුනා...

මම අත් දෙකේම ලේ පෙරාගෙන පන්තියෙන් වාඩි උනා...මගේ දිහා ඉස්සෙල්ලාම බැලුවෙ දැරිවියන්ගෙ පැත්තෙ පළමු පේළියෙ අගට වෙන්න හැමදාම ඉන්න මංජුලා... ඒකි මා දිහා බැලුවා විතරයි අත් දෙකෙන් මූණ වහගෙන අල්ලපු දැරිවියගෙ උරහිසට හේත්තු උනා...මංජුලාට ලේ දැකලා කලන්තෙ දාලා...මම දන්නවද ඒකිට ලේ බලන්න බෑ කියලා...එහෙම උනා නම් නොපෙන්වා ඉන්න තිබුනා.

ඒ අස්සෙ සෑර් කලබලා වෙලා...මම වෙච්ච සන්තෑසිය ඔක්කොම කිව්වට පස්සෙ...ලේ ටික හෝදගෙන පන්තියට එන්න කියලා මට නියම කොලා...ඒ දවස්වල ඉතිං නව යොවුන් උන්මාදය තිබුන කාලෙ නොවැ...කොච්චර හානි උනත් කෙල්ලෙක් බලනකොට මාර කික්...ඒ හින්දම මට ලොකු වේදනාවක් දැනුනෙ නෑ...

තුවාල වල ලේ පැල්ලම් ජලයෙන් සෝදලා තවත් පැය දෙකකට පමණ පස්සෙ පන්තියට ලැබුනු විවේක කාලයෙදි ලග පාත තිබුන ගම්පහ රජයේ රෝහලට යන්න මම පිටත් වුනා...එතකොටම මගේ ලගට ආවෙ අපේ ගණිතය සෑර්...

මම කට කැඩෙනකං කිව්වා නේද  මේ පන්තියෙ කොල්ලන්ට, ජීවන්ත කකුල කඩා ගත්තට පස්සෙ බස් වල යද්දි පරිස්සමෙන් යන්න කියලා. ඔය අහලා තියෙන්නෙ අපූරුවට...

ජීවන්ත කියන්නෙත් මගේ පාසලේ මගේ ලගම මිත්තරයෙක්...මේ කියන දවස් වලට මාස දෙකකට විතර ඉස්සෙල්ලා දවසක මිනිහගෙ කකුල බස් රථයක පාපුවරුව සහ පාරෙ තිබුන කොන්ක්‍රීට් ගැට්ටක් අතරට අහුවෙලා සෑහෙන්න හානි උනා...මාස ගානක් කොළඹ මහ ඉස්පිරිතාලෙ නැවතිලා, කැඩුනු අස්ථි වෙනුවට කම්බි දාලා, සැත්කම් කීපයක් කරලා , කිහිළි කරුවෙන් තමයි අන්තිම කාලෙ පන්තියට ආවෙ...දැන් නම් ලොකු කැළලක් කකුලේ තිබුනා උනත් මිනිහා කිසිම අපහසුතාවකින් තොරව දෙයියනේ කියලා ඇවිදිනවා.

මම ඉතිං හිස පහත් කරලා සෑර්ගෙ ඔවදන් පිළි අරන් ඉස්පිරිතාලෙ බඩගෑවා...වෛද්‍යවරියක් මගේ නම ගම වයස වගේ දේවල් එක්ක පාසලේ නමත් ඇහුවා...මම ඉතිං උත්තරේ දුන්නම...

ආ ඒ ඉස්කෝලෙ කෙනෙක්ද ? ඒකෙ අයට තියෙන්නෙ පුදුම දැගලිල්ලක්නෙ...මේ කරගෙන තියෙන්නෙ...

අසරණ සිරා ලෙඩා බිම බලාගෙන හිටියා....ඊළගට බෙහෙත් දාපු සුදු නර්ස් නෝනා...

කොහෙද ඉස්කෝලෙ...

මගෙන් සුපුරුදු පිළිතුර...

ආ එහෙ එක්කෙනෙක්ද ? මෙයාලට පුදුම ගායක්නෙ තියෙන්නෙ...පාරවල් වල වෙන මිනිස්සු යනවා කියලා හිතන්නෙත් නෑ එච්චරට දැගලිල්ල... නර්ස් නෝනා අපේ පාසලේ වරුණාව වයසක ඇටෙන්ඩොන්ට් උන්දෙක්ට කියනවා...එයත් ලෝඹු කට ඇරලා හිනා වෙන ගමන් මගේ දිහාට ඇහැ කරකවලා හීනියට බලනවා.

යකෝ....මේක හරි කෙළියක්නෙ...ඉස්කෝලෙ නම කිව්වාමත් බනිනවා...මක්ක කරන්නද...එතැනදීත් සිරා ලෙඩ කපුටා වගේ ඔලුව පාත් කරගෙන ඉදලා බේත් ටික දාගත්තා...

එදා රෑ නින්දට යද්දි මගේ තුවාල සෑහෙන්න රිදුම් දෙන්න ගත්තා...දවස් ගාණක් හැන්දකින් බත් කෑවෙ. මේ සිද්ධියෙන් පස්සෙ කාලයක් යනතුරු මම කල්පනා කලේ බස් රථයෙ ඉදිරි පා පුවරුවෙන් බිමට වැටිලා බස් රථය අස්සට ගිය මගේ දෙපා බේරුනේ කොහොමද කියලා. මළගිය ඥාතියෙකුවත් පිහිට උනාද මන්දා....

බ්ලොගේ අද මොන කථාවද ලියන්නෙ කියලා හිතාගෙන යතුරු පුවරුවේ ඇගිලි තියාගෙන ඉද්දි...ඒවායෙ තියෙන පරණ ලප කැළැල් දැක්කම තමයි මගේ යටගියාවෙ මේ සිදුවීම මතක් උනේ ඔන්න....


අඩේ මේ DIMO බස් එක හොයන්න ගිහිල්ලා පට්ට බොගක් සැට් උනා....ලංගම බස් වල ජාතකේම එතන තියනවා...මේ ෆොටෝව ඉස්සුවෙත් එතැනින්...ඒ තැන තමයි මේ.


මම කාමරේ වෙසෙන සත්ගුණවත් සිරා කොලුවා.


ප.ලි

පාසල් යන වයසෙ දාංගලේ තියෙන කොලු කුරුට්ටො හරි, හැමදාම දුම්රියේ පා පුවරුවෙ එල්ලිලා වැඩට යන හිතවතෙක් හරි මේ සටහන කියවනවා නම්.....

අනේ වදින්නම් රත්තරනේ ටිකක් පරක්කු උනාට කමක් නෑ ඊළග එකේ ඇවිල්ලා තමන්ගෙ ජීවිතය වගේම කකුල් දෙකත් බේරා ගන්න. මම පත්තරේ වැඩ කොරපු සමයෙ වේයන්ගොඩදි දුම්රියට අහුවෙලා ඉනට පහලින් ශරීරය වෙන්වුනු තරුණයගෙ සංස්කරණය කරපු නැති ඔරිජිනල් ඡායාරූප පෙළ දැක්කා...ඒවා දැක්කම මට හිතුනෙ මේවා දකින්න අපිත් පවු කලා නේද කියලා....එය එතරම් වේදනාකාරියි....ශරීරය දෙකඩ වෙලා තියෙද්දිත් ඔහු පියවි සිහියෙන් මිතුරන් සමග කථාබහේ යෙදුනා...පසුව රෝහලේදි මිය ගියා... 



















Sunday, October 27, 2013

104 ගද ගහන බොක කථා

ඔන්න ඉතිං සිරා කොලුවා ඉදලා ඉදලා වෙනසකටත් එක්ක බැනුමක් දෙකක් අහගන්න තියෙන ආශාව වැඩි නිසාම බොක කථා කීපයක් ඔබට ඉදිරිපත් කරන්න කම්පනා කොලා. මේ මාතෘකාවෙ කථා ඇගට ජීරණය නොවෙන, මලබද්ධයෙන් පෙළෙන, මෙවැනි ලියවිලි දුටුවනම ඇලජික් වන විදග්ග පණ්ඩිතයන් මේ ලිපිය මග හැරියාට කම් නෑ. මේ ලියවිල්ලෙන් පස්සෙ කාමරේ ගද ගහන්න පුලුවන් හින්දම ඔන්න මම වේලාසනම කාමරේ දොර අයිනෙ හදුන්කූරු මිටියකුත් පත්තු කොලා.

මේ කාරණය  ඉටු කරගන්න සමහරුන්ට විවිධ දේ උදෑසනට අවශ්‍යයි. සමහරුන්ට කිරි තේ එක නැත්නම් එදාට සොරි...තවත් සමහරුන්ට සිගරට් එක නැත්තං එදාට බොක නෑ...තවත් සමහරු හිතේ ගතේ වීරියෙන් මේ අවශ්‍යතාව දරාගෙන ඉන්නවා ආයෙමත් ගෙදර එනකං...පිටතැන්වලට යන්නෙම නෑ...තවත් අයට කොමඩ් මිස ඊට කලින් පැමිණි වර්ගය දිරවන්නෙම නෑ... තවත් වර්ග දෙකක් ඉන්නවා. ඉන් එක් කොට්ඨාශයක්  තමයි බොක අවශ්‍යතාව තිබුනට ඒක පිටකරගන්න නොහැකි සැට් එක...ඒ අය මළබද්ධයෙන් පෙළෙනවා කියලයි දොස්තර මහත්තුරු කියන්නෙ. අනිත් වර්ගය නම් හරිම කුජීතයි...වැසිකිළියක් අද්දරට වෙලා තමයි බත් කන්න වෙන්නෙ. උන්ට තියෙන්නෙ කෑ හැටියේ බඩ යාම නම් පජාති ලෙඩක්.

බොග සහ බොක කියන්නෙ දෙකක්..ඒ හින්දා මේ පොඩි ළමයි මේ දෙක පටලවාගන්නවා හෙම නෙවෙයි ඔන්න. අපි ඉතිං යෞවන වයසට පා තියද්දි අර අහවල් කැත වැඩේ කරනවා හදුන්වන්න අලුතෙන් ආපු පදේ තමයි බොක...අපරාදෙ කියන්න බෑ ඕනෑම සමාජයක් ඉදිරියේ බයක් , සැකක්, කිසිම මෙව්වා එකක් නැතුව කියන්න පුලුවන් හින්දම මේ වචනෙ තරුණ සමාජයට ඉතා ඉක්මනින් එකතු උනා. ඇත්තටම මේ කාරිය හදුන්වන්න සම්මත වෙලා තියෙන වැඩිපුර භාවිතයේ තියෙන සිංහල වචනයට වඩා මේ පදය අලංකාරයි. කැත ගතිය අඩුයි.

අවේලාවෙ, වැසිකිලියක් / ජලය පේන තෙක් මානෙක නැති ඉසව්වක බොකක් ෆිට් වෙච්ච හාදයෙක්

සිරා කොලුවා ඉතිං ඔය අනිත් උන් වගේ බොක සිග්නල් වැදුන ගමන් ඒක ඉවසාන ඉන්න ට්‍රයි කරන එකෙක් නෙවෙයි. අහල පහල වැසිකිලියක් නැත්නම් ගහකට හරි මුවාවෙලා වැඩේ කොර ගන්න සිරා දස්සයා. ඔයින් මෙයින් අපි පීල්ලෙන් පනින්නයි යන්නෙ...ඒ හින්දා වැඩි කථා පසුවට තියලා අපි මාතෘකාවට බහිමු.

උසස් පෙළට සූජානම් වෙන කාලෙ ඉතිං අතිරේක පන්ති වැහි වැහැලා නොවැ... රාත්‍රී ජාමෙ පන්සලේ පාඩම් කොරලා පැදුරු කඩමල්ලක සැතපිලා උදෑසනම ගෙදර ඇවිත් නාලා කාලා ඉක්මනින් දුවන්න තියෙන්නෙ අතිරේක පන්තියට...මේවායෙ ඉතිං දහස් ගණනක් පිරිස අධ්‍යාපනය ලැබුවා.

උදේට අහුවෙන දෙයක් කාලා බස් කොටේක එල්ලිලා ගම්පහ ටවුමෙන් බැස්සට පස්සෙ ඉතිං පන්තියට පයින් යන දුර...පන්තියෙ ලෑලි බංකුවට ඉතිං පශ්චාත් භාගය තද කොලාට පස්සෙ ආයෙ ඒකට නිදහසක් ලැබෙන්නෙ පැය 4 ක් විතර ගියාට පස්සෙ...දහවල් ආහාරයෙන් පස්සෙ ආයෙමත් පන්තිය පටන් ගන්නවා.

මේ කියන දවසෙත් සිරා කොලුවා  මාලු බනිස් ගෙඩියක් දෙසා බාලා ඉක්මනට පන්තියට දිව්වා. ඒ මගේ කථා වල නිතරම කියවෙන මගේ එකල අතිජාත සගයෙක් වෙච්ච නගා කොලුවත් එක්ක. උගෙ තිබුන ගෑණු ගති හින්දම තමයි එවැනි අති සාඩම්බර නමක් ඒකාට වැටුනෙ.

අපි ඉතිං ඉගෙනීමට බර කොල්ලො නොවැ...ඒ කාලෙ පසුපෙළ ආසන අපිට දිරෙව්වෙ නෑ.. පිටිපස්සෙම හිටියෙ වළ බහින සෙට් එක ඒ කිව්වෙ එන්නන් වාලෙ පන්ති එන උන්...එතකොට ඉදිරි පෙළ, ඉදිරිම පෙළ දිරෙව්වෙත් නෑ..ඒකෙ හිටියෙ සෑර්ට කඩේ යන සහ ගොට්ට අල්ලන සැට් එක. මධ්‍යම ප්‍රතිපදාව හොදයි කියලා කවදත් මැද්දට වෙන්න තමයි අපි අසුන් ගත්තෙ.

පන්තිය පටන් ගන්න විනාඩි 5 ක් විතර තියෙද්දි ඔන්න දුවගෙන ඇවිල්ලා ලෑලි බංකුවෙ වාඩි උනා...වටේටම සූ ගාලා ජනතාව...ඒ අතර සිරාගෙ හිත කිති කවපු රුවැත්තියොත්  ඉන්නවා...ඔයින් මෙයින් ගුරුතුමා පන්තියට ඇවිල්ලා ඉගැන්වීමේ කටයුතු ආරම්භ උනා. විනාඩි 10 ක් විතර යද්දි සිරාට යම් වෙනසක් දැනෙන්න උනා..ඒ කිව්වෙ බොක සිග්නල් එකක් වදින්න ගත්තා....හප්පේ මේක දැන් පැය 4ක් තිස්සෙ කොහොම ඉවසන්නද ? උගන්වන ඒවා මතකයේ රැදෙන්නෙත් නැ...ගුරුතුමාගෙන් අවසර අරන් එළියට යන්න නම් පන්තිය ඉදිරියට වීරයා වගේ ගිහිල්ලා කාරණේ කියන්නත් වෙනවා...එතකොට ඉදිරිපෙල කෙල්ලන්ටත් ඒක ඇහෙනවා...මගෙ ඔලුව දැන් නිකං යකාගේ කම්මල වගේ...හිත වෙනත් කල්පනාවක නතර කරන්න සෑහෙන්න මහන්සි උනත් තේරුමක් නෑ...කෙමෙන් කෙමෙන් මද සුළග සුළි සුලගක් වේගෙන එන්නෙ...හිතේ භයටම වැඩේ ඉතා ඉක්මනින් වැඩේ කෙරෙන්නයි යන්නෙ.

ඒ අතර ගුරුතුමා ප්‍රශ්න අහනවා...කොල්ලො කෙල්ලො නැගිටලා පිළිතුරු දෙනවා...මොනවා ගැන ප්‍රශ්න අහනවද...මට නෑ කිසිම නිනව්වක්...මගෙ සිත බොක ලග. දැන් දැන් තත්වය ඉතාම භයානකයි...ක්ෂණික තීරණයක් ගත්තෙ නැත්නම් සිරාගෙ රෙදි පන්තිය ඇතුලෙ ගැලවෙනවා...

නගෝ....යමංකො පොඩ්ඩක් එළියට...

උඹට පිස්සුද බං...මේ සර් උගන්නන අස්සෙ...

බස් එකට රු 100 දුන්නා...ඉතුරු ගන්න බැරි උනා බං...උඹ ආවොත් මං උඹට ඒකෙන් 50 දෙනවා.

ආපෝ...උඹෙන් තියන වදයක්...පන්තිය පටන් ගන්න කලින් ඕක උඹට මතක් උනේ නැද්ද ?

නැති හින්දා නේන්නම් බොල දැන් කිව්වෙ...ඉතිං යමංකො...

සර්ගෙන් අවසර ගන්න වෙයි නේද බන්...

හොද එකා වගේ ගිහිං කියලා වරෙන්කො...

මීයට පිම්බා වගේ තියෙන දාහක් විතර ඉගෙන ගන්න පන්තියෙ එක්වරම නැගී සිටින්න මගේ දෙකකුල් එකග කරගන්නත් බෑ වගේ ඒවා මැඩ්ලින් ගහන්නමයි කැමැත්ත...ගෑණු දරුවො නම් ඉතිං එයාලට ස්වභාව ධර්මයා මාසයකට වරක් ලබා දුන්න දායාදය තුරුලු කරගෙන නිතර නිතර හොදම යාලුවා එක්ක අවසර ගන්නෙ නැතුවම නැගිටලා යනවා...ඒත් ඉතිං කොල්ලො දෙන්නෙක් එකට නැගිටිනකොට මොනවා හිතයිද...ප්‍රශ්න බොලව්...හැම අතේම ප්‍රශ්න...

නගා රිටක් වගේ එකපාරටම නැගී හිටියා..

ඉතිං යකෝ නැගිටපිය...ඒකා මගේ අත කෙණිත්තුවා...

ඔන්න ඉතිං මමත් බොක බර දරාගෙන ආයාසයෙන් නැගිටගත්තා..

අතින් පයින් නගා මොනවද සෑර් එක්ක කථා බහ කරගත්තා ඉන්න තැන ඉදලම...සෑරුත් ගිහිං එන්න කියලා කියනවා මට හීනෙන් වගේ මතකයි...

ඔන්න මම දැන් නගා එක්ක අතුරු පාරෙන් ප්‍රධාන පාරට ආවා...වමට හැරුනොත් බස් නැවතුම පැත්ත...දකුණට හැරුනොත් පොදු වැසිකිළිය...අතිරේක පන්ති වලට එන යන ජනතාව වැඩි හින්දම පන්ති වල තියෙන වැසිකිළි ඉතාම අපිරිසිදුයි..මුදල් ගෙවා යන්න ඕනෙ නිසා පොදු වැසිකිළිය පිරිසිදුයි.

මම දෙපාරක් හිතන්නෙ නැතුව දකුණට හැරුනා....

ඔහෙ කොහෙද බොල යන්නෙ...නගා මොර දෙනවා

මෙහෙට්ට තමා මට යන්න ඕනෙ...

ඇයි බොල ඉතුරු සල්ලි නේද ගන්න ඕනෙ කිව්වෙ...

මොන ඉතුරු සල්ලිද බං...උඹ මේ මගුලක් කථාකරනවා...මට ---------බරයි.

නෙදකින් මූසලයා...මට ඉගෙනගන්නත් නෑ...උඹ ඉගෙනගන්නෙත් නෑ...ඕවා ගෙදරදි කරගෙන එන්න එපෑ බොල...

ගෙදරදිත් කරගෙන තමයි බං ආවෙ...උඹ ලගට ආපු හින්දද මන්දා ආයෙමත් කරන්න උනා...

ගිහිං වරෙං, දැන් ආයෙමත් පන්තියට යන්න බෑ...ඉන්ටර්වල් එකේදි ආපහු යමන්...නගා එහෙම කියලා ආසන්නයේ තිබුන කණුවකට හේත්තුව දැම්මා. මම ඉතිං බරාස් පරාස් යන හඩින් හිතේ,ගතේ, වතේ, හිසේ තිබුන සියලුම බර පොදු වැසිකිළියට මුදා හැරලා මගේ වියදමින් අසරණ නගාට හොද කෑම වේලකුත් අරන් දීලයි එදා ආයෙමත් පන්තියට ගියේ. ඒ ගිහිල්ලත් විසුමක් නෑ අපේ අනෙකුත් මිත්තරයන්ගෙන්...

උඹලා දෙන්නත් කෙල්ලො දෙන්නෙක් වගේ නැගිටලා ගියේ අද අහවල් දිනේ හින්දද ? අයියෝ එතනින් එහා ඒවා ලියන්නෙ නෑ බොලව්...මට තනි ඇහැට ඇඩෙනවා ඒවා මතක් වෙනකොට...

දෛවයේ සරදමකට වගේ මේ වගේම වැඩක් මේ කිව්ව නගාටම උනේ අපි හපුතලේ යනකොට...ඒක කාර් එකක මිත්තරයො සමගින් ගිය චාරිකාවක්...මගදි බඩට හලපු තෝසෙ වගයක් විෂ වෙලා...නගාට බොකක් සැට් වෙලා...ඌ කොච්චර ඉල්ලීම් කලත් යාලුවො මේකව බයිට් එකට අරගෙන වාහනේ නවත්තන්නෙ නෑ...නගාට දැන් ඇඩෙන්න ඔන්න මෙන්න.

මේ බඩකඩිත්තුව නැවැත්තුවෙ නැත්තං මම මේක ඇතුලෙ රෙන එක රෙනවමයි...අම්මපා...ඌ එහෙම කියලා දිවුරලා උක්කුටික ඉරියව්වෙන් පිටිපස්සෙ සීට් එක උඩට නැග්ගට  පස්සෙ කාර් එක එළවපු ගොයියා ළග පාත තිබුන හෝටලයකට වාහනේ ඉක්මනටම අරගෙන ගියා. මොකද වාහනේ ඒකාගෙ.  එදා නගාගෙ බොකට පින් සිද්ද වෙන්න තමයි අපට හපුතලේ ඉතාම මනස්කාන්ත තැනක තිබ්බ මේ හෝටලේ මුලිච්චි උනේ...ප්‍රධාන පාරට එතරම් සුන්දරව නොපෙනෙනවා උනාට හොටලේ ආලින්දයට ගියාම කොළඹ - හපුතලේ පාරට නොපෙනෙන පැත්තෙ අසිරිය හොදට පේනවා...එතැන ඒ කාලෙ කාමර 3කින් යුක්ත ඉතාම අලංකාර තැනක්...හැන්දෑවෙ 5 විතර වෙද්දි මීදුම කාමර ඇතුලටම එනවා...අපි ගෙදර පුරුද්දට තේ එකක් ගෙනාවම කයිය ගගහා ඉන්නවා..අනේ විනාඩි 5ක් යද්දි තේ එක හොදටම නිවිලා. මම හිතන විදියට අද කාමර ගණන කලින්ට වඩා වැඩි ඇති. එදා රාත්තිරිය එතැන ගත කරලා...රසවත් ආහාර පාන ආදියෙන් සන්තර්පණය වෙලා හැමෝම වගේ නගාට හෙටත් අද වගේම බොකක් සැට් වෙන්නට ප්‍රාර්ථනා කොලා.

මීළගට කියන්න යන බොක කථාවෙ අයිතිකාරයා කවුරුත් දන්න අපේ ජපන් චමියා. අපි ඉතිං අපේ බෑන්ඩ් කණ්ඩායම රන්ටැඹේ කදවුරු ගතවුනාම ඒ අය බලන්න ගම්පහෙන් පිටත් වෙන්නෙ ගල් පාන්දර...මේ වෙලාවට අහවල් සිග්නල් වැඩ කරන්නෙ නැති හින්දා අතරමග තැනකදි තමයි ඉතිං වැඩි හරිය මුදා හරින්නෙ. ඒ න්‍යාය පත්‍රයට අනුව මේ කියන දවසෙ අපි වැඩ කලාට ජපන් චමියා ඒකට අනුගත උනේ නෑ. කොහොම හරි ආපහු එන ගමනෙදි කඩුගන්නාවෙ පල්ලම බහිනකොට පළතුරු කඩ තියෙන ඉසව්වෙදි චමියට අසාධ්‍ය උනා.

අම්මෝ...තවත් ඉන්න නම් බෑ බොලව්...වාහනේ නවත්තපල්ලා කියලා...චමියා වාහනෙන් බැහැලා දිව්වෙ දෙබරෙක් ඇන්න ගානට...ඒ හරියෙ ඉතිං වැසිකිළියක ලකුණක් වත් නෑ...මේකා දුවලා තිබ්බෙ හදාගෙන යන ගෙදරක පිළිකන්නට.. එදා එතන වැඩ නැති හින්දද කොහෙද කවුරුවත් හිටියෙ නෑ...චමියා දැන් අපිට පේන දුරින්  පුස් වෙඩි පිට කරමින් වැඩේ දෙනවා...අපිත් වටපිටේ ආරක්ෂාව තර කරගෙන බලාන ඉන්නවා...

මට වතුර එකක් දීපියෝ...ජපන් චමියා මද වේලාවක් ඇවෑමෙන් මොර දෙන්න පටන් ගත්තා.

අතන පොඩි දිය ඇල්ලක් තියෙනවා...එතනටම යන්න...ඈතින් පේන කුඩා දිය දහරාවක් පෙන්නලා එකෙක් කියනවා..

මචං...ඔය සිමෙන්ති කවරෙකින් කෑල්ලක් ඉරලා අරන් පිහදා ගනින්...අපි අපිනෙ බන්...කාටවත් කියන්නෙ නෑ තව එකෙක් එහෙම කියනවා.

වතුර දුන්නෙ නැත්නම් එන්න බෑ කිව්ව චමියා දිගටම ඇණ තියාන උන්නා..

දියපාරෙන් ජලය අරන් එන්න භාජනයක් නැති හන්දා  අපේ එකෙක් චමියට වතුර ගෙනාවෙ බදාම අනපු බාල්දියකට...ඒකෙ ඒ වෙද්දිත් සිමෙන්ති තිබුනා.

මම අර වේලාසනම කියපු අතිරේක පන්තියෙ හිටියා අපූරු චරිතයක්...මිනිහට අපි ඇත්ත නම වෙනුවට වෙනත් නමක් ආදේශ කරලා උදාර කියලා කියමු. මේ කියන උදාර ගම්පහ නගරයේම පදිංචිව සිටි ඇති හැකි පවුලක එකෙක්. පන්තිය පටන් ගන්න පැය භාගයකට විතර කලියෙන් ජැන්ඩියට ඇදගෙන ඇවිල්ලා, පන්ති යන දැරියන්ට ඇහැ කරකැවීම ඔහුගේ කාලයක සිට පැවතෙන සිරිතක්...නමුත් මේකාට පොඩි පුරස්නයක් තිබුනා...කවුරු හරි බොකක් ගැන කිව්වොත් මිනිහට අනිවාර්යෙන්ම වැසිකිළි ගත වෙන්න වෙනවා. ඒක උදාරට වැළදුන බොක ෆෝබියාවක් කියලයි අපි හිතාගෙන හිටියෙ...මේ හින්දම දන්න කියන කිසිම එකෙක් මේ යෝධයා ඉන්න තැනක බොක කියන වචනය දෙඩුවෙ නෑ....

දවසක් උදේ වරුවක මම පන්තියට යද්දි පිරිස රැස් වෙලා ඉන්නවා කඩයක් අයිනෙ...පන්තිය ආරම්භ වෙන්න තව වෙලාවත් තියෙන එකේ ඔන්න මමත් මුන්ට සැට් උනා කයියක් ගහන්න...

ටික වෙලාවකින් උදාරගෙ පෙර කිව්ව ආබාධය ගැන නොදන්න එකෙක්  උගෙ යාලුවෙක් ඉන්නවා දැකලා මෙතනට කඩාපාත් උනා.

කොහොමද මචංලා..උඹලා පන්ති යන්නද ?

උඹ කොහෙද යන්නෙ...එකෙක් උගෙන් ඇහුවා...

මම මේ බොකක් දාගන්න තැනක් හොයනවා බන්...කර මුලටම සෙට් වෙලා...

විනාඩි දෙක තුනකට පසු, නොදකින් මූසලයා, අලුත්ම ටී ෂර්ට් එකකුත් ඇදගෙන මම ආවෙ අර කෑල්ල ටෝක් කරන්න...බලහල්ලා බං...දැන් ඉතිං ගෙදර යන්න වෙනවනෙ...එදා බොක ගැන කියපු එකාට හොද ලුණු මිරිස් ඇතුව කියලා ගෙදර දිව්වෙ කවුද කියලා හිතා ගන්න පුලුවන් නොවැ. මොකද මිනිහට හදිස්සියක් උනාම පොදු වැසිකිළි දිරෙව්වෙ නෑ...ගෙදර එකම තමයි හරිගියෙ...

ඔය කියන උදාරයටම දවසක් කොළඹදි අහවල් එම වර්ගයේම එකක් සැට් වෙලා...ඒකා ඉතිං කොහොම හරි මේ කාරණේ දරාගෙන කොළඹ සිට දුම්රියෙන් සැපත් වෙලා...ගම්පහ ටවුමට බහිද්දි යන්න ඔන්න මෙන්න වගේලු...ඒත් මේකා සැලිලා නෑ...තුන් රෝද රථයක නැගිලා ගෙදරටම ගිහිල්ලා තමයි සැනසුම් සුසුමක් හෙලලා තිබ්බෙ.

තවත් අපූරු බොක කථාවක් මට කිව්වෙ මම ලංකාවෙදි ඉස්සර ආශ්‍රය කරපු ව්‍යාපාරික මහතෙක්...මුද්‍රණ ව්‍යාපාර කීපයක්ම තිබ්බ මෙතුමා නිතරම රට රටවල් වලත් සංචාරය කරන විනෝදකාමී කෙනෙක්... පරණ වාහන එකතු කිරීමත් ඔහුගේ පුරුද්දක්.

බලන්නකො පුතා හරි වැඩක්නෙ අන්තිම වතාවෙ ඉන්දියාවෙ ගිහිල්ලා අපිට උනේ...

හැබෑටම...මොකද උනේ...

මේ සැරේ අපි කේරළ පැත්තටනෙ ගියෙ..එහෙ  අර ගගේ පාවෙන පාරු ගෙදරක කාමර ගත්තෙ...ඔක්කොම අපි 6 දෙනයි. ඔය ඔරු පදින අය ගගෙන් මාලු අල්ලලා එවලෙම සුද්ධ කරලා බැදලා එහෙම දෙනවා...අපිත් ඉතිං බෝතලයක් දෙකක් එළියට අරං අර මාලු බයිට් එකෙන් අනුමත උනා...මාලු නම් හරිම රසයි...ඒ උනාට පහුවදා තමයි අපිට කෙළවුනේ....


මෙන්න මේ වගේ ගෙයක්


ඒ කිව්වෙ.....

ඒ කිව්වෙ පුතා...වක්කඩ කැඩුවා වගේ අපි සෙට් එකටම බඩ යන්න ගත්තා...කොහොමවත් නවත්තගන්න විදියක් නෑ...බැරිම තැන ඒ ළගපාත තැනකින් බේත් ගත්තා...ඒවට අනිත් උන්ට හරි ගියාට මට හරිගියේම නෑ...කොහොමහරි ඉතිං අන්තිම දවසත් ඔරුවෙම ඉදලා ලංකාවට එන්න ගුවන්තොටුපලට ඇවිල්ලත් එකක් දා ගත්තා...ප්ලයිට් එක ටිකක් දුර එද්දි ආයෙමත් හීනියට අවශ්‍යතාව මතුවේගෙන එනවා...ඒත් ඉතිං මම කටුනායක බහිනකොටම ඩ්‍රැයිවර් කාර් එක තියාගෙන ඉන්න හින්දා රාගම ගෙදරටම ගිහිල්ලා වැඩේ කරගන්න මම හිතාගත්තා...මේ ගමනට වැඩි වෙලාවක් යන්නෙත් නෑනෙ පුතා.

ඉතිං මම මගේ උවමනාව මිනිහට කිව්වම...මිනිහත් ඉගිල්ලිලා ගෙදර ගියා...ඔයින් මෙයින් අපි රාගම ගුවන් පාලම ලගටත් ආවා කියමුකො...හැමදාම පාලම උඩින් යන මේ මනුස්සයා එදා කරුමෙට වගේ යටින් දැම්මා...වෙනදට ඔය මහ මද්දහනෙ කෝච්චි යන්නෙ නෑ..ඒත් බලන්න මගේ වෙලාවටම අපි ලං වෙනකොටම ගේට්ටුව වැහුවා...දෙපැත්තටම කෝච්චි 3 ක් යනකං බලාන ඉන්න උනා...දැන් ඉතිං මට ඉන්න බැරි සයිස්...කාර් එක ඇතුලෙ මම ඇඹරෙනවා...ඔන්න ඉතිං ගේට්ටුව ඇරුනට පස්සෙ ගෙදරට විනාඩි 5යි. මම කාර් එකෙන් බැස්ස ගමන් බාත්රූම් එකට දිව්වා...බලන්නකො පුතා මගේ වෙලාවක තරම...මම එතනට යනකොට මගේ වයසක අම්මා.. දොර ලොක් කරගෙන ඒකෙ නානවා. එයාට කන් ඇහෙන්නෙත් ලාවට...

මගේ ව්‍යාපාරික හිතවතා මේ කරුම බොක නිසා ඉතාම කරදරයට පත් වූ බව දැන් ඔබ දන්නවා. බොක යන්න මාතෘකාව කොට  සිංහල සින්දු වලට එක එක කුපාඩි කොල්ලො විවිධ පද ගොතලා . ඒ අතරින් ඉදිරියේම තිබ්බෙ ජෝතිපාල මහත්තයගෙ “සුසුදු රැල්ල“ ගීතයට බැදපු පද පේළිය... හැබැයි මට හොදටම මතක හිටින කයිය ලියලා තිබුනෙ ඉස්කෝලෙ පාර්ලිමේන්තුවෙ...

ඒ කිව්වෙ ඉස්සර අපේ පාසලේ තිබුන වැසිකිළි පේළි එක එක අනුවර්ථ නාමයන් මගින් වෙන් කරලා තිබුනෙ...මේවා කලේ විද්‍යාලයේ නිසි බලධාරීන් නෙමෙයි...බොකට පෙම් බැදි අපේ කොල්ලො. අපේ පන්ති ලගම තිබුන එකේ පාර්ලිමේන්තුව කියලා පොල්ගෙඩි අකුරෙන් නම ලියලා තිබුනෙ පිට බිත්තියෙ....ඒකෙ ඇතුලෙ තිබ්බ කයිය මෙහෙමයි.

සැණකෙළියේ කිසිම තැනක තිබුනේ නෑ   වැසිකිළියක්
තිබුන එකම වැසිකිළියේ තිබුනේ නෑ         පනිට්ටුවක්  
ඉවසාගෙන සිටිය නමුත් පැය තුනකුත්        විනාඩියක්
ගෙදර ගිහිං බලන කලට කලිසම මැද -------   තලියක්

ඊළගට කියන සිදුවීමෙන් පස්සෙ මේ ගද ගහන පෝස්ටුවට තිත තියන්නයි මගේ කල්පනාව...මේ සිදුවීමට මම මුහුණ දුන්නෙ දැරණියගල ටවුමෙදි...එදා නම් පොදු වැසිකිළියට රිංගුවෙ මුත්තරා බරින් නිදහස් වෙන්න...මුදල් ගෙවා සේවය සලසාගත යුතු තැනක් බව පෙනුනෙ එළියට ආවට පස්සෙ...පුංචි බෙලෙක්කයකුත් තියාගෙන මැදි වයසෙ කෙනෙක් අයිනකට වෙන්න තිබුන මේස කොටේක ඉදගෙන අයකැමි වැඩේ  කොරනවා.

මමත් ඉතිං එතනට කිට්ටු කොලා....

අයියෙ ගාන කීයද ?

මල්ලි චූ ද ? ගූ ද ?

චූ නම් 5 යි ගූ නම් 10 යි.



මම කාමරේ වෙසෙන සත්ගුණවත් සිරා කොලුවා.




ප.ලි

හැබෑටම ඔය කරුම බොක නිසා බොලා අපහසුතාවයට පත්වෙලා නැද්ද ?

කයියේ හිස්තැනට අයත් වචනය නිසි බලධාරියා විසින් කපා දැමූ බව සංවේගයෙන් සිහිපත් කරමි.

ඒ කයිය නැගලා යන්නෙ // සැණකෙලියේ කිසිම තැනක දැනුනේ නෑ මට වෙනසක් // කියන ඉන්ද්‍රනි පෙරේරා මහත්මියගෙ ගීතයේ රිද්මයට අනුව බව නොකියාම බැරිය. උදේට වැඩ අල්ලන ගමන් කියන්න සෝක් කවිය...
















Wednesday, October 23, 2013

112 ඩ්‍රැගන් ෆෘට් දඩයම

සිංගප්පූරුවේදී  ලද අත්දැකීම් කල් යල් නොයවා සැනින් එසැනින් සිංහල යුනිකෝඩ් බවට පත් කලත් සිරාගේ මැලේසියාවේ අත්දැකීම් තවමත් හරි ආකාරයෙන් ලියා නැත. ලියනවා නම් ඉක්මනින් ලිවිය යුත්තේ හොර පාරෙන් ඒජන්තයන්ට හසු වී මෙහෙට නොපැමිණෙන ලෙසය. එහෙත් ඒ අඩුව මැළේ රාළ මැනවින් සපුරද්දී මම ලංකාවේ මගේ පැරණි මතකයන් ඔස්සේ වෙනත් දෑ ගැනම දිගටම ලියුවෙමි.

නැවතත් මැලේසියාව දෙසට යොමු වෙන්නට මට සිතක් පහල වූයේ මස්සිනාගේ කථාවේදී මා සමග සේවය කල සහෝදරයකු දුරබණුවෙන් මා හට ඇමතීමත් අදාළ ලිපිය පිළිබද මා දුන් ඔත්තුව මස්සිනාගේ අවදානයට යොමු කිරීමත්, ලිපිය කියවා මස්සිනා ප්‍රීති ප්‍රමෝදයට පත් වීමත් යන කරුණු කාරණා වලින් මගේ චිත්ත සන්තානය කිති කැවුනු බැවිනි.

මස්සිනා ඇතුලු අවශේෂ ශ්‍රී ලාංකිකයන් සමග මා නවාතැන් ගෙන සිටියේ නගරයෙන් දුරස්ථ රමණීය පෙදෙසක තිබූ නිවාස සංකීර්ණයක බැව් ඉකුත් ලිපියේදී මම සදහන් කලෙමි. එහෙත් එහි ගත කල කාලය තුල අපේ ක්‍රියාකාරකම් කියවුනේ නැත. අද ලිපිය ඒ ඌණ පූරණය උදෙසාය.

මේ චරිත සියල්ල එකල වාසය කල නිවාස සංකීර්ණය


මැලේසියාවේදී තාවකාලික පදනමට හෝ රැකියාවක් ලබාගැනීමට බොහෝ විට ඒජන්තයකුගේ මැදිහත් වීම අත්‍යවශ්‍යය. මේ ඒජන්තලා යනු පාර අයිනේ තැනක කාර්යාලයක් පවත්වාගෙන යන නියම ඒජන්ත වරු නොවේය. රැකියාවක් හොයන අයවලුන්ට මොන දිල්ලියෙන් හෝ රැකියාවක් සොයා දී රැකියාව ලබාගන්න තැනැත්තාගෙන් ඒ වෙනුවට මුදලක් ඉල්ලන කාක්කන් විශේෂයකි. අවංක ඒජන්තයෙකු සොයා ගැනීමට වඩා ඉබ්බාගෙන් පිහාටු ගැනීම පහසුය. ඒජන්තයෝ එතරම් කපටිය. අංග චලනයෙන් පණ පිහිටුවා විස්තර කරන රැකියාව රැකියා ස්ථානයට ගියාට පසු කිසිසේත් නැත. ප්ලාස්ටික් කොම්පැණියකට යවනවා කිව්වොත් ඇත්තටම එතැන කරන්නට ඇත්තේ නගරසභාවේ කුණු ගොඩේ ප්ලාස්ටික් තෝරන්නටය. මයික්‍රො චිප්  හදන තැනකට කියා වතාවක් යැවූ පිරිසකට කරන්න තිබුනේ ඇසිඩ් වර්ගයක් වාහන වලට පටවන්නය. මෙපරිද්දෙන් මුචලින්ද ප්‍රමාණයේ නයි ඇරීමට ඔවුන් අති ශූරය. මොවුන් සොයාදෙන රැකියාවක් අමාරුවෙන් හෝ කර පඩි ඉල්ලූ විට පඩි නැත. මේවා පිළිබද වැඩිදුර තොරතුරු ඉදිරි දින වල විවේක සුවයෙන් ලියමි.

ඉතිං අප භාරව සිටි ඒජන්තයාද කපටිකමේ ප්‍රතිමූර්තියක් බදු එකෙකි. ඔහුගේ ගිවිසුමේ අපට නවාතැන්, ප්‍රවාහනය සැපයීම මෙන්ම ආහාර පාන ආදිය සම්පාදනයද ඇතුලත්ව තිබුනි. එහෙත් මා එහි සිටි අවසන් සතියේ අප සතු කෑම සංචිතය අහවර වු පසුවත් ඒජන්තයා නොපැමිණි නිසා සෑහෙන කරදරයකට වැටෙන්නට එහි සිටි සියල්ලන්ටම සිදු විය. ඒ වෙද්දිත් පඩිපත අප සොයා පැමිණ සිටියේ නැති හෙයින් අප අත වූ මුදල සීමිත වීම මේ කරදරේ තවත් උග්‍ර කලෙහිය.

අපේ කෑම ඉවරයි...හවසට ගෙනත් දෙන්න..මා සමග සිටි උන් පළමු දිනයේම ඒජන්තයා අමතා එසේ පැවසූ කල ඒජන්තයාගේ පිළිතුර වූයේ රාත්‍රියට පැමිණෙන බවකි. එහෙත් එදායින් පසු ඔහුගේ ජංගම දුරබණුවද ක්‍රියා විරහිත වූයෙන් අපට සිදුවූයේ කබලෙන් ලිපට වැටෙන්නටය. එහෙත් මේ වෙලාවේ කාණ්ඩ දෙකක් ලෙස එක් නිවසක දෙපසක සිටි අප සියල්ලන්ම අන් කථා වල මෙන් නොව එකට එකතු වී ලංකාවේ නම තියන්නට කල්පනා කලෙන් තත්වය මදක් සමනය කරගත හැකි වටපිටාවක් ඇතිවුනි.

උඹලා ලග තියෙන බඩු මුට්ටු ඔක්කොම මෙතනට ගෙනෙල්ලා...අදින් පස්සෙ අපි තියෙන දෙයක් එකට උයමු...කන්න දෙයක් නැත්නම් එකට බඩගින්නෙ ඉමු...සැබෑ සහෝදර හැගීමෙන් එකකු පැවසූ එවදන් වලට ගරු කල සියල්ලෝ  එජන්තයා අවසන් වරට ලබා දී තිබුනු ආහාර ද්‍රව්‍ය වලින් තමන්ට හිමි වූ කොටසින් ඒ වෙද්දිත් ඉතිරිව තිබූ දෑ එක තැනකට ගෙනැවිත් ගොඩ ගැසුවෝය.

ඒ අනුව සහල් තවත් දිණ කීපයකට ප්‍රමාණවත් පරිදි තිබුනත් වෑංජනයක් හදන්නට දෙයක් නැත. ලංකාවේ මෙන් අහල පහල වෙල්දෙණි කියා දෙයක් හෝ ඒවා තුල ගොටුකොළ, මුකුණුවැන්න හෝ නොතිබුන හෙයින් යම් කිසි විකල්පයක් සෙවිය යුතුම අවස්ථාවකට අප එළඹ සිටියෙමු.

උඹලා ලග තියෙන කීය කීය හරි දීපල්ලා බලන්න...එකෙකු ආධාර වටයක් යයි. වටය අවසානයේ ලැබුනු මුදලින්  වෑංජනයක් හදන්නට යමක් මිළදී ගැනීමට  හැකියාව තිබේ. පංගුපේරු වැඩ නැත. කොටසක් බඩු ගෙන යන්නට කඩේ යද්දී තවත් කොටසක් ඒවා පිසින්නට සූදානම් වෙයි.

මේ අයුරින් ගතවූ දිණ කීපයකට පසුවත් ඒජන්තයා නැත...උගෙන් ප්‍රතිචාරයක්ද නැත...අපි උන්නාද මළාද කියාවත් නොසොයන මේකාගේ දෙමාපියන් පවුය. ඔව්හු එතරම් බැනුම් ඇසූහ. දැන් තත්වය ඉතාමත් බරපතලය. කඩේ යන්නට සල්ලියක් එකෙකු ලගවත් නැත...හාල් මිටියේ තවත් සුලු කොටසක් ඉතිරිව තියෙයි. එහෙත් මිරිස්, ලූණු, වැනි කිසිම දෙයක් අපේ කුස්සියේ නොමැත.

උද්ගත වී ඇති තත්වය හමුවේ දිනකට ආහාර වේල් දෙකකට පමණක් අනුමැතිය ලැබුනු පසු වෑංජනයක් සකසන්නට දෙයක් නැතිව සියල්ලෝ වට පිට බැලූහ. මෙන්න මේ අවස්ථාවේ පෙරට ආවේ කලින් වතාවක පෝස්ටුවක් තුලින් අපට හමුවූ අපගේ ආදරණීය මස්සිනාය.

උයන්න දේවල් මේක ඇතුලෙන්ම හොයාගමු...මම දැක්කා අතන හොද ඵලදාවක් තියෙන ගස්ලබු ගහක් තියෙනවා...දෙමුද ගේමක්....දත් කොටේ පෙන්වමින් මස්සිනා සුපුරුදු සිනහව පෙන්වයි.

මේ මහ දවල් සෙනගත් ඉන්නවනෙ බං...කොහොමද ඒකෙන් ගස්ලබු කඩන්නෙ...

යේක මම කොරන්නම්...කලින් කථාවේදී අපට මුලිච්චි නොවූ ප්‍රේමේ එසේ පැවසුවේය. දමිළ සහෝදරයෙකු වූ ප්‍රේමකුමාර් යාපනය ප්‍රදේශයේ අයෙකි. කකුල් දෙකෙහිම දණහිස්සෙන් පහළ සුව වූ විශාල තුවාල කැලැල් සංඛ්‍යාවක් තිබීමත්, මැලේසියාවේදී එක්සත් ජාතීන්ගේ සරණාගත වීසාවට අයදුම් කර තිබීමත් නිසා ඇතමෙක් ඒකා නැති තැන මූ නම් කොටි සංවිධානෙ හිටිය එකෙක්ද කොහෙද යනුවෙන් කීවත්...එය අපේ සමගියට බාධාවක් නොවීය....අඩු වශයෙන් සිංහල කථා කිරීමට ඔහුට හැකි වුවත් ඉංග්‍රීසි භාෂාව පිළිබද මනා දැනීමක් තිබූ නිසා අප අතර සන්නිවේදනයට එය රුකුලක් විය.

ප්‍රේම්කුමාර් ටික කලකදී ප්‍රේමේ විය...තවත් ටික දිනකින් එය ප්‍රේම් යනුවෙන් මොඩ් විය. ඒ අනුව ගස් ලබ්බට අත තියන්න බාරගත්තේ ප්‍රේම්ය. ප්‍රේම් ඕනෑම තැනක නෑ බෑ නොකියා වැඩට ඉදිරිපත් වෙන එඩිතර චරිතයකි. මෙතැනදීත් සිදූවූයේ එයමය. තමා ලග තිබූ කුඩා පිහියක් කොහෙන්දෝ හොයාගත් ලීයකට තබා බැදගත් හෙතෙම ගිණි මද්දහනේ නිවාස සංකීර්ණයේ කාටත් ඇස ගැසෙන තැනක සිටුවා ඇති ගස්ලබු ගසට ලං වෙන්නට මාන බලයි. ලීය එතරම් දිගු නැති නිසා...ගස්ලබු ගසේ භාගයක් දුර බඩගෑමට ප්‍රේම්ට සිදුවෙනු නිසැකය. මම තනියෙන් යන්නම් කවුරුත් එන්න එපා...ප්‍රේම් එසේ කීවෙන් අපේ කිසිවෙකු උගේ සහයට නැත. අපගේ නිවස පිහිටා තිබූ 4 වෙනි තට්ටුවට ලබු ගස හොදට පෙනෙයි.

මා සමගම සිටි මස්සිනා......

අයියා ලබු හොද්ද කාලා තියෙනවද ?

කවදාවත් අපේ ගෙදර උයලා නෑ බං...

එහෙමද ටෝක් එක...හරියට තුනපහ දාලා ගත්තම කැකිරි පරාදයි...ලංකාවට ගිය වෙලාවක එන්නකො අපේ ගෙවල් පැත්තෙ...ඔයා කෑවට පස්සෙ කියන එකක් නෑ මේ ගස් ලබු කියලා...අනිත් එක ඇගටත් සෑහෙන ගුණයිලු..මස්සිනා ලබු වෑංජනයේ අනර්ඝත්වය විස්තර කරයි.

කථා බහ අතරතුර අපේ අවධානය නිරතුරුව යොමු වී ඇත්තේ ප්‍රේම්කුමාර් වෙතය. ඒකා ගහ වටේ කැරකෙනවා මිසක ගෙඩි කඩන පාටක් නැත.

ඉක්මනට ගෙඩි දෙක තුනක් කඩපංකො ප්‍රේමයො..වටේ කැරකෙන්නෙ නැතුව...මස්සිනා මොර දෙයි...බලාගෙන ඉදලා වැඩක් නෑ අයියෙ එන්නකො මා එක්ක පල්ලෙහාට යන්න...මමද මස්සිනා සමග ලබු ගස ඇති ඉසව්වට ලගා වුනෙමි. එහි පසෙක විවේක සුවයෙන් සිටින්නට සැකසූ කුටියක් බදු තැනකි. එහි ඇති කුටියේ මම අසුන් ගත්තෙමි. ප්‍රේම් කොලුවාදා සෙල්ලං නැත...අප එතරම් බලාගෙන සිටියද අපේ ඇස් වලටත් වැලි ගසා ඒකා ඒ වන විටත් ලොකු ලබ්බක් බිම සතපවා තිබුනි.

විවේක සුවයෙන් ඉන්න හදපු කුටිය තමයි මේ පේන්නෙ

පළවෙනි එක කඩපු ගමන් කවුදෝ මේ පැත්තට ආවා මම ඉක්මනට බිමට පැන්නා...ප්‍රේමේ ඇසෙන නොඇසෙන ගානට කියයි.

ඔහොම භය වෙලා බෑ බං...මෙහෙ වරෙන් ඉතුරු ටික මම කඩලා දෙන්නම්...මස්සිනා ලබ්බට අත තියන්නට දැන් දැන් සැරසෙයි....වට පිට බැලූ හෙතෙම ලබු ගසේ කරටිය දක්වා ඉගිලුනේ අසුරු සැනිනි. දඩාස්  දඩාස් යන අනුකරණයෙන් බිම පතබෑවුනු ලබු ගෙඩි අසල පදුරු අස්සේ සැගවෙද්දී මස්සිනා හොද ළමයා මෙන් නැවතත් අප සමීපයට විය.

දැක්කා නේද...අන්න ඒමයි වැඩේ කරන්නෙ...ඇඹරි ඇඹරි ඉදලා බෑ...ඔහු ප්‍රේම් කොලුවාට උපදෙසක් දෙයි.

මස්සිනාගේ ලබු හොද්දේ ආනුභාවයෙන් දවල් දිනය ගත වුවත්....ඒ සමගම සහල් සංචිතයද අවසන් වීම හේතුවෙන් රාත්‍රි ආහාරයට වැට බැදිනි. දැන් ඉතිං මොකද කරන්නෙ...කිසිවෙකුගෙනුත් යෝජනාවක් නැත.

අපි අර රතු පාට ගෙඩි තියෙන වත්තට පනිමු. ඕවා මොන රහද අයියෙ...මම කවදාවත් කාලා නෑනෙ..මස්සිනා තමන්ගේ යෝජනාව සභාව හමුවේ ඉදිරිපත් කලේ එසේය. එවකට අප නවාතැන් ගෙන සිටි ස්ථානයට යාබදව පිහිටියේ අති විශාල ඩ්‍රැගන් ෆෘට් වගාවකි. රාත්‍රී 10 පමණ වනතුරු විදුලි පන්දම් එළියෙන් වත්ත තුල ඔබ මොබ යන එහි සේවකයෝ ඉන් පසු හාවක් හූවක් නැත. 4 වන තට්ටුවේ පිහිටි අපේ නවාතැනේ සිට බැලූ කල්හි රතු පාටින් බැබලෙන ඩ්‍රැගන් ෆෘට් ඵලදාවත්...ඩ්‍රැගන් ෆෘට් ගෙඩි වලින් පිරවුනු විල් බැරැක්ක තල්ලු කරන ස්වදේශික ලදුනුත් අගේට පෙනුනි.

අපගේ නිවස්නයට පෙනුන ඩ්‍රැගන් පෘට් වත්ත
වත්තෙ වැඩ කරන අය දවල්ට හිටියෙ නිල් පාටට පේන ටකරං මඩුවෙ

ඕවට පනින් යන්න එපා බොලව්...බැරිවෙලාවත් කරන්ට් වයර් එකක්වත් ඇදලා තිබුනොත් පනින උන් සුන්....මගේ අදහස මම නොවලහා ප්‍රකාශ කලෙමි. එහෙත් එය මේ කර්තව්‍ය වළකන්නට තරම් ප්‍රමාණවත් නොවුනි.

අර යකා එනකං කියලා කවදා වෙනකං බලන්නද අයියෙ...අපේ පාස්පෝට් උගෙ ලග නොතිබුනා නම් මෙළහකට අපි ජොබ් එකට හෙණ ගහපුදෙන් කියලා ගිහිල්ලනෙ...මොනවා කරන්නද අතේ සල්ලිත් නැති එකේ මෙහෙම දෙයක් හරි නොකර...

කවුද වත්තට පනින්නෙ...මස්සිනා විමසයි...ඉහළට එසැවුනු පළමු අත ප්‍රේමකුමාර්ගේය. ඉන් පසු තවත් අත් කීපයක් ඉහළට එසැවිනි. රෑ දෙකට විතර වැඩේට බහිමු...කරුවලේ පේන සුදු ඇදුම් එහෙම අදින්න එපා...කලුවට හුරු ඒවා ඇදපල්ලා...මස්සිනා තමා කුඩා කල සිට වැර වෑයමෙන් රැස් කරගත් හොර ඥාණය කොල්ලන් අතර නොමසුරුව බෙදයි.

උගේ කථා පෙට්ටියට පින් සිදු වෙන්නට කාලය ගෙවුනේ අපට හොරාය. දැන් දැන් බඩගින්න ලැව් ගින්නක් මෙන් පැතිරී ඇති සෙයකි. බඩේ පණුවන් කුපිත වී ඇති හැඩකි. හොර නඩයට නායකත්වය දෙමින් පහළට යන්නට ප්‍රථම අපගේ නිවස්නයේ සිට ඩ්‍රැගන් පෘට් වත්තේ ඒ මේ අත හොදින් බැලූ මස්සිනා...

වත්තට පනින්න ඕනෙ අන්න අතනින්...එතන ඔය පත්තු වෙලා තියෙන ලයිට් එක මම තව ටිකකින් ගලවනවා...උඹලා ඊට පස්සෙ වැට අයිනෙන්ම ඉස්සරහට යන්න ඕනෙ...බැරිවෙලාවත් වත්තෙ වැඩ කරන එකෙක් ආවොත් උඹලා මේ පැත්තට එන්න එපා...පුලුවන් තරම් වත්ත ඇතුලට පලයල්ලා...ෆෝන්වල සද්ද වහපල්ලා...අපේ ඉන්න ගානට විතරක් ගෙඩි කඩපල්ලා...මම දවල් දැක්ක විදියට අර කොණේ ගස් වල තමයි වැඩිපුර ගෙඩි තිබුනෙ...



හැබෑටම මේ වත්ත සෑහෙන විශාල එකක්

ඩ්‍රැගන් පෘට් ශාකයන්හි පිපුනු මල් තමයි සුදු පැහැයෙන් පේන්නෙ


මේ කෙහෙල් කැන නම් අපි එතනින් යනතුරාවට මස්සිනාගෙන් බේරිලා නිරුපද්‍රිතව තිබුනා

ඒ කියන්නෙ උඹ වත්තට පනින්නෙ නැද්ද...හොරුන්ගෙත් හොරා කම්බ හොරෙක් වූ මස්සිනාගේ නොපැමිණීම ගැන උරණ වූ එකෙකු ඒකාට බැන වදියි....උඹේ කයිය නම්...උඹ මහ ලොකුවට කිව්වෙ ඉස්කෝලෙන් අරක ඉස්සුවා මේක ඉස්සුවා කියලා...ඔක්කොම බොරුනෙ...උඹට මේ වත්තෙ වැට පැන ගන්න බෑනෙ...භයේ වෙව්ලනවා... තාමත් මස්සිනා සන්සුන්ය. දත් කොටේ පෙන්වා හෙතෙම සිනාසෙයි.

මම පුරුද්දක් විදියට හද තියෙන දවසට හොරකමේ යන්නෙ නෑ....ඒ හින්දයි මම එන්නෙ නැත්තෙ...

අනේ මේ වරෙල්ලා මේකගෙ බණ අහන්නෙ නැතුව...මුගෙ කයිය විතරයි...ඒ අවසරයෙන් නප්පියටම තද වූ එකෙකු ප්‍රේම් ද සමගින් පහළට යන්නට  සූදානම් වෙයි.

පොඩ්ඩක් පහළට යමු අයියෙ..අපි හැමෝගෙම බඩගින්න හින්දනෙ මුන් වත්තට පනින්නෙ...ඒ නිසා පොඩ්ඩක් උදව් කරමු. හොරකමට මම කැමති නැත. එහෙත් මෙතැන එය වැළකීමට කටයුතු කිරීමෙන් ප්‍රයෝජනයක්ද නැත. ඒ නිසාවෙන් මස්සිනා සමග ඇවිද යාමට පමණක් මම එකතු වූයෙමි.

අසළ වූ කෙහෙල් පදුරක් අසල පිරිස රැදවූ මස්සිනා තනිව ගොස් වට පිට තත්වය, අපේ නිවාස සංකීර්ණයේ තවමත් නිදි වර්ජිතව සිටින අය ආදී මෙකී නොකී තොරතුරු රාශියකින් සන්නද්ද වූ පසු වත්තට පනින්නට නියමිත ස්ථානයේ වූ විදුලි බල්බය සංයමයෙන් කරකවා ගැලවූවේය.

හා හා දැන් ඉතිං වැට පනින්න ලෑස්ති වෙයල්ලා...හැබැයි කලබල වෙන්න එපා...හිමින් සැරේ...වත්ත ඇතුලෙදි සද්දයක් බද්දයක් ආවොත් ගහකට මුවාවෙලා බලාගෙන ඉදපල්ලා...එක සැරේ දුවන්න එපා.. මස්සිනා හොරු වෙන්නට යන උන්ට හොර අත්දැකීම් අවසන් මොහොතෙත් බෙදා දෙයි.

මස්සිනාගේ සුරතට පින් සිදු වන්නට ලිහිල් වූ තැනක කම්බි පොටවල් කීපයක් අතරින් ප්‍රේම් සහ තවත් එකෙකු වත්ත තුලට බැස්සාහ. ඩ්‍රැගන් ෆෘට් වත්තේ වූ කෑළි කැපිය හැකි ඝන අදුරේ ඔවුන් නොපෙනී යද්දී මස්සිනාද ඒ දෙසට නෙත් යොමු කර අදුර ඇති තැනක සැගවුනි. කාලය ටික් ටික් හඩින් ගලාගෙන යන අතරේ මුන්ට කරදරයක් වේදෝයි සිතමින් මගේ හදවත වේගයෙන් කම්පොනය වෙයි.

විනාඩි 20 පමණ ගත වන්නට ඇත....ඩ්‍රැගන් ෆෘට් පදුරු අතරින් කළුවර සෙවනැලි දෙකක් වැට අද්දරට ලගා විය. වැට අයිනටම වෙන්නට තිබූ කෙසෙල් පදුරු අතරින් පැමිණි එකෙක්...

මස්සිනෝ ගනින් යකෝ...මේ ටික ඉක්මනට....රතට රතේ බැබලෙන අති විශාල ඩ්‍රැගන් ෆෘට් අහුරක් මස්සිනාගේ සරමට වැටෙයි...සරම කැඩෙයිදෝ සිතා නොසිතා මස්සිනා එක පිම්මට හතර වෙනි තට්ටුවට දුවයි. මෙහෙයුමට සහභාගි වූ යුවලද වැටේ කම්බිය පිළිසකර කර හොර පූසන් මෙන්...නිවස්නයට පැමිණෙයි.

බඩගින්නෙන් පීඩාවට පත්වී සිටි හැමෝම දැන් ඩ්‍රැගන් ෆෘට් වල රහ බලන්නට සූදානම්ය. ඒ අතරින් මීට පෙර මේවායේ රස බලා සිටියේ මා විතරක් විය යුතුය. මේවාගෙ කන්නෙ කොයි කොටහද අයියෙ...මස්සිනා විමසයි...ඉදිලා කියනනෙ මචං රිදෙන්න ඉදිලා...තව එකෙක් කියයි...බිමට එළන ලද පත්තර කොළයක් උඩ සැතපවූ ඩ්‍රැගන් ෆෘට් උඩ බලා සිනාසෙයි...

ඩ්‍රැගන් ෆෘට් ගෙඩියේ වටේ ඇති ලෙල්ල ඉවත්කල පසු පොල් ගෙඩියක් තරමේ අලංකාර දම් පාටකින් යුතු ඵලයක් එහි අභ්‍යන්තරයේ වෙයි. එය ආහාරයට ගත යුතු කොටස බව මා දැක්වීමෙන් පසු සියල්ලෝ ඉවසුමක් නැතුව ඩ්‍රැගන් ෆෘට් දෙසා බෑහ...ලංකාවේදී මා අනුභව කල සුදු පැහැති වර්ගයට වඩා මේ වර්ගය අතිශයින් රසවත්ය...එක් ගෙඩියක් අනුභව කල පමණින් කුසගින්න අතුරුදහන් වෙයි.



මස්සිනාගේ කූට මොළයට අනුව සුන්බුන් සියල්ල ඈතින් තිබූ කුණු බහාලන තැනක තැන්පත් කිරීමෙන් පසු මෙහෙයුම අවසන් විය. එහෙත් ඩ්‍රැගන් ෆෘට් අනුභයේදී අතේ ගෑවෙන යුෂ වල ඇති රෝස පැහැය නම් සබන් යොදා අත සේදුවත් යන්නේ නැත. මේ මෙහෙයුමෙන් දිණ දෙකකට පසු ඒජන්තයා පැමිණි අතර වැටුප් ආදිය ගෙවූ පසු පිරිසට විසිර යන්නට අවසර ලැබිනි. මෙයින් පසු දිනක නැවතත් ඩ්‍රැගන් පෘට් අනුභව කලද මේ කියන දවසේ ඒවා තරම් රසවත් නොවෙතැයි මට සිතේ. සහෝදරත්වයෙන් යුතු පිරිසක් සමග කෑ ඩ්‍රැගන් පෘට් එතරම් රසවත්ය.

සියවසේ පළතුර ලෙස හදුන්වන ඩ්‍රැගන් පෘට් පිළිබද කදිම විස්තරයක් මෙතැනින්



මම කාමරේ වෙසෙන සත්ගුණවත් සිරා කොලුවා



ප.ලි

හොරකම කිසිසේත් අනුමත නොකරමි. අන් අයකුගේ කුමන දේ හෝ හොරෙන් ලබා ගැනීම ඉතාමත් පිළිකුල් ක්‍රියාවකි. එහෙත් මෙහිදී සියල්ලන් පත්ව සිටි අසරණ කම නිසාම මෙවැනි ක්‍රියාවක නිරතවීමට මේ අයට මග පෑදු බව සටහන් කරමි.

Sunday, October 20, 2013

102 දරුවෝ නැති අම්මාලා

මීට පෙර ලිපියකදි දරුවන් කියන්නෙ ජීවිතේ වටිනාම සම්පත බව දොස්තර අංකල්ගෙ අදහස් ඇසුරින් සටහන් වුනා. ඒ සම්පත ලබාගන්න විවාහ ජීවිතයට එළැඹුන බොහෝ  දෙනා පෙරුම්පුරනා බව කවුරුත් දන්න කාරණයක්. සෑම කාන්තාවක්ම පරිපූර්ණ කාන්තාවක් වෙන්නෙත් මාතෘත්වය නම් උතුම් පදවිය ලැබුවට පස්සෙ කියලත් කථාවක් තියෙනවා. බොහෝ අවිවාහක කාන්තාවන්ගෙ පළවෙනි සිහිනය වෙන්නෙ තමන්ට ගැලපෙන පුරුෂයෙක් සමග දීගතලා යන එක, ඊටත් පස්සෙ ඇගේ සිහිනය වෙන්නෙ මව් පදවිය.

සමහරු දෙමාපියන්ගෙ මතයට විරුද්ධව තමන්ගෙ හිත ගත්ත කෙනා සමග කාටත් හොරෙන් විවාහ වෙනවා..තවත් සමහරු හද එළිය තියෙන දවසක කොහෙට හරි වහං වෙලා ගිහිල්ලා පොතේ ලියලා අත්සන් කරන්නෙත් නැතුවම දීග කනවා...මේ වගේ අවස්ථාවල

මගෙ එකා උනත් මම දැන් ඒකව/ඒකිව හිතින් අත් ඇරලා ඉවරයි...මම බලු කපුටු දානයකුත් දුන්නා ඌ මලා කියලා හිතාගෙන යනුවෙන් දැඩි කෝපයකින් යුතුව පවසන දෙමාපියන් මුලිච්චි වෙන්න මේ ජෝඩු ආයෙත් දවසක මහ ගෙදරට යන්නෙත් අලුත උපන් පැටියාවත් තුරුළු කරන්...තමන්ගෙ ක්‍රියාකලාපය පිළිබද දෙමාපියන්ගෙ හිතේ කැකෑරෙන ක්‍රෝධය පොඩි එකා දැක්ක ගමන් වෙඩරු පිඩක් වගේ උණුවෙලා යන බව ඒ ඇත්තො දන්නවා.

බස් එකකට නැග්ගත්, කෝච්චියකට නැග්ගත්...පොඩි එකෙක් ඉන්න යුවලකට ප්‍රමුඛතාව ලැබෙනවා. කාගෙත් අවධානය යොමු වෙනවා...කවුරුත් බලනවා...පොඩි එකා එක්ක හිනා වෙන්න..එයාව අතපත ගාන්න උත්සාහ කරනවා...තවත් සමහරු වඩා ගන්නවා... පොඩි උන්ගෙ හිතේ ක්‍රෝධය,වෛරය,ඊෂ්‍යාව නැති හින්දම ඒ අය දෙවියන්ට බොහොම ලගයි කියලත් කථාවක් තියෙනවා.

මේ පොඩි ඈයො ලොකු වෙද්දි මේ සමාජයෙන් උකහා ගන්න විෂ නොවන්නට මේ පුංචි හිත් මල් වගේ අහිංසකයි , සුවදයි. පුංචි එකෙක් කෑ කොස්සන් ගහන ගෙදරට සිරිදෙව්දුව වඩින බවත්..සියළු දෝෂ නිවාරණය වන බවත් ඇතැම් ගම්වල ඇත්තො අදත් විශ්වාස කරනවා. අමාරුවෙන් අම්මා කියමින් වචන හරඹය පාන්නට උත්සාහ කරන වකවානුවත්..තනියෙන් දෙකකුලින් නැගී සිටින්නට වෙර දරන අවදියත් මේ අයගෙ බොහොම සුන්දර දවස්.

අනේ යන්තම් ඇති...අපේ පරපුර ගෙනියන්න ඔන්න කොලු පැටියෙක් දැන් ඉන්නවා...එහෙම වෙලාවට සීයලා ආච්චිලා වට පිටාවෙ ඇත්තන්ට ඇහෙන්න එහෙම කියන්නෙ රටක් රාජ්ජයක් ලැබුනු ගානට. පොඩි එකාගෙ අම්මට තාත්තටත් වඩා ඒකාට ආදරය කරන්නෙ ආච්චියි, සීයයි. අපේ වගේ සංස්කෘතික වටපිටාවෙන් පොහොසත් රටක දරුවෙක් බලාපොරොත්තුවෙන් ඉන්න අම්මා කෙනෙක්ට විශේෂ ආහාර වේලක් දෙන්න...එහෙමත් නැත්නම් කන්න ආශාවෙන් ඉන්න දෙයක් දෙන්න සමහරු හරිම කැමතියි. සත්ව ලෝකයටත් මේ කාරණය පොදුයි. පැටියා ලැබෙන්නට කලියෙන් හිටිය බැළලිය එහෙමත් නැත්නම් වැස්සි නෙමෙයි පැටියා ඉපදුනාට පස්සෙ ඉන්නෙ. කලින් වගේ හීලෑ නෑ. පැටියගෙ ආරක්ෂාවට දැන් බොහොම රෞද්‍රයි. දණ්ඩක් මුගුරක් ගත්තම භයෙන් සැගවෙච්ච අවදිය අමතක වෙලා වගේ දැන් බොහොම නිර්භීතව ඒ සත්තුත් පැටියා හැර නොයා ඒ ආසන්නයටම වෙලා ඉන්නවා. ඒක තමයි මාතෘත්වයේ ආශ්චර්යය.

සමහරුන්ට මේ ආශ්චර්යය විදින්න දෛවය ඉඩ දෙන්නෙ නෑ. අම්මා කෙනෙක් වෙන්න කොච්චර ආශාවක් හිතේ හිරකරගෙන හිටියත් ඒ වාසනාව හැම කාන්තාවටම ලැබෙන්නෙත් නෑ. තාත්තා කෙනෙක් වෙන්න වාසනාව හැම පිරිමියටම ලැබෙන්නෙත් නෑ. සමහරු අම්මලා උනාට යහපත් අම්මලා වෙන්නෙත් නෑ....එහෙම උන් තමයි මාතෘත්වයට නිගා දෙමින් කොහෙ හරි මුල්ලකට තමන්ගෙ කිරිකැටියව විසිකරලා දාන්නෙ. එහෙමත් නැත්නම් රුපියල් ශත වලින් මිළ නියම කරන්නෙ. මේ ආකාරයේ පිය වරුනුත් ඉන්න බව අමතක කරන්න නරකයි. උන්ට යන්න අපි නිතර දෙවේලෙ අහන අපාය ඇති වෙයිද කියලත් මට සැකයි.

ඉතිං මේ දරුවන් නැති අම්මලා ගැන තමයි මේ ලිපියෙන් අද මම අවධානය යොමු කරන්න උත්සාහ ගත්තෙ. මොකද ළමයි නැති පිරිමියා දිහා බලලා කවුරුවත් හිත රිදෙන යමක් නොකිව්වට ඒ තත්වයේම ඉන්න කාන්තාවගේ තත්වය ඊට වඩා හාත්පසින්ම වෙනස්. කසාද බැදලා අවුරුද්දක් දෙකක් යද්දි තමයි බාහිර සමාජය ඉස් ඉස්සෙල්ලාම මේ කාරණය ගැන ප්‍රශ්න කරන්නෙ.

තාම වෙනසක් නැද්ද ?

දැන් දරුවෙක් ගැන හිතන්න කාලෙ හොදා නේද ?

මේ විදියට ඇරඹෙන මේ සංවාදයට තව තවත් අලුතින් කරුණු කාරණා එක්වෙමින් ඉදිරියට යනවා...

වසර තුන හතරක් ගියාට පස්සෙ..

මොකද දුවේ ප්‍රශ්නෙ...දොස්තර කෙනෙක් මුලිච්චි උනේ නැද්ද ? මට බැදලා අවුරුදු 4ක් වෙද්දි ළමයි දෙන්නෙක්ම හිටියා.

ආදී වශයෙන් නැගෙන පීඩනය හමුවේ බොහෝවිට දරුවන් නැති විවාහක කාන්තාව අසරණ වෙනවා. තමන්ට තමන්ගේ පවුල තුලින් එල්ලවන පීඩනයට අමතරව බාහිර සමාජයෙන්, නෑදෑයන්ගෙන්, මිතුරන්ගෙන් ආදී වශයෙන් එල්ලවන පීඩනය බොහෝ අයට මානසික ආතතිය ඇති කරනවා. එහි අවසන් ප්‍රතිඵලය සියදිවි නසා ගැනීම බවට පත්වූ අවස්ථාත් නැතුවම නොවෙයි.

තූ නොදකිං...අපේ එකා ඉදලා ඉදලා උස්සගෙන ආවනෙ කොහෙද හිටිය වද බඩුවක්...ඇතැම් නැන්දම්මලා මේ අයුරින් පිටස්තර අය ඉදිරියේ තමන් ඉස්සර දවසක සිප වැළදගෙන නිවසට භාරගත්ත ලේලියට පරිභව කරන්නෙ මිනිසත් කමට නිගා දෙමින්.

ඉතිං හැබෑටම ඈ කුමක් කරන්නද ? වෛද්‍ය පරීක්ෂණවලදි අඩුපාඩුවක් ඇත්තෙ පිරිමි පාර්ශවයෙ බව ඇතැම් විටෙක කියවුනත් අපේ සමාජයෙ තියෙන පුරුෂාධිපත්‍ය හමුවේ අවසානයේ ඒ වැරැද්ද බැර වෙන්නෙත් කාන්තාවගේ ගිණුමට. සිය සැමියාට ඇති ආදරයත්..පවුලේ ගෞරවය රැකීම උදෙසාත් තමා තුල නැති වැරැද්දක් තමා පිට පටවා ගනිමින් සමාජයේ අවමානය විදින කාන්තාවන් කී දෙනෙකු මේ ලෝකෙ ඇතිද....

මේක බල බලා ඉදලා හරියන්නෙ නෑ පුතේ. උඹ තවම තරුණයි..අපෙන් පස්සෙ උඹට යන කළ දසාවක් තියෙන්නත් එපායැ...මේ මගුල කටුගාලා දාලා වෙන තැනකින් අපි කටයුත්තක් බලමු.

ඒ විදියට බොහොම සාපරාධී ලෙස තමන්ගෙ අවසන් තීන්දුව ඇතැම් දෙමාපියන් දෙන්නෙ කාන්තාව කියන්නෙ ඇට මස් ලේ නහර වලින් හැදුනු කෙනෙක් නොවෙන වගට හිතලද මන්දා.

දැන් කාලෙ හොදා නේද , මොකද තාම ප්‍රතිඵලයක් නැත්තෙ ආදී වශයෙන් මගේ මිතුරන්ගෙන් මිතුරියන්ගෙන් මම කිසිවිටෙක අහන්නෙ නෑ. ඒ අය අපිට නොකිව්වට මේ ගැටළුව නිසා සෑහෙන වශයෙන් මානසිකව පීඩා විදින බව ඒ අයට හිතෛෂී පිටස්තර අය විදියට අපට අවබෝධයක් තිබිය යුතුයි. මගේ මව අපේ නිවසට එන මගේ ඇතැම් මිතුරන්ගෙන් මේ ගැටළුව ඇසූ කාලයක් තිබුනා. නමුත් මගේ කරුණු පැහැදිලි කිරීමෙන් පස්සෙ ඇය ඒ වැරැද්ද තව දුරටත් කරන්නෙ නෑ.

මා සමග හොදින් දොඩමළු වන මෙවැනි ආකාරයේ ගැටළුවකට මුහුණ දී සිටින මගේ මිතුරෙකුගෙ සහෝදරියක් ඇගේ අත්දැකීම් පිළිබදව මා සමග ඉතා විවෘතව කථා බස් කර තිබෙනවා.

බැදලා අවුරුදු දෙකක් වගේ උපරිම ගියාට පස්සෙ එක එක්කෙනා ඉතිං අහනවා මොකද වෙනසක් නැද්ද කියලා...තවත් අවුරුද්දක් විතර ගියාම අහනවා ප්‍රශ්නයක් නම් කියන්න අපි දන්න හොද දොස්තර මහත්තයෙක් ඉන්නවා කියලා...තවත් ටික කාලයක් ගියාම අපිට මූණට නොකිව්වට තැන් තැන් වල කියනවා අපරාදෙ කොල්ලා..වද ගෑණියෙකුට අහුවුනා කියලා.

අපි බැදලා දැන් අවුරුදු 8ක්. මේක වෙලාවකට හිතට හරිම වදයක් මල්ලි. කොච්චර හොද මූඩ් එකකින් කොහෙ ගියත්..මේ ප්‍රශ්නය මගෙන් කවුරු හරි ඇහුවට පස්සෙ මම හිත ඇතුලෙන් හරියට අඩනවා. මමත් හිතක් පපුවක් තියෙන ගෑණියෙක්නෙ...බස් එකක හරි කෝච්චියක හරි මගේ ඉස්සරහින් පොඩි එකෙක් තියාගෙන කවුරු හරි ඉද ගත්තම මට පැනලා උදුර ගන්න හිතෙනවා. ගෙදර ගෙනිහින් තියාගන්න හිතෙනවා...ඒ තරමට මම දරුවෙකුට ආසයි. මට දරුවෙක් හිටියා නම් මගේ හිතේ තියෙන පීඩනය සෑහෙන්න අඩුවෙනවා කියලා මම දන්නවා. ගොඩාක් පරීක්ෂණ කරලා ඇති. ඒත් තාම ප්‍රතිඵලයක් නෑ. ඉස්සර ආත්මෙක කරපු මහා පාපයක් හින්දා මට දරු සම්පත මේ ආත්මෙ නෑ කියලත් වෙලාවකට හිතෙනවා. හැබැයි මම ජොබ් එක කරගෙන මේ විදියට හරි ජීවත් වෙන්නෙ මගේ මහත්තයා මාව හොදට තේරුම් අරගෙන ඉන්න නිසා. එයා කවදාවත් මට වැරදි පටවලා අනිත් අය ඉදිරියේ බේරෙන්න හදලා නෑ. අපි දෙන්නම තමයි හැම දේටම මූණ දෙන්නෙ. මේ ප්‍රශ්නෙ තිබුනා කියලා අපි අතර බැදීමට හානියක් වෙලත් නෑ.


බටහිර රටක පලවූ කාටූනයක්...

අපේ සිංහල ගීත සාහිත්‍යය තුලත් මේ තේමාවට ලියවුනු සංවේදී ගී කීපයක්ම තියෙනවා. ඒ අතරින් සංවේදීම ගීතය ගයන්නෙ නීලා වික්‍රමසිංහ බවයි මගේ පිළිගැනීම. ඇය ඇගේ සත්‍ය කථාව ගීතයෙන් ඉදිරිපත් කරන්නෙ ශ්‍රාවක අපට හිතන්න යමක් ඉතුරු කරමින් වගේම අපේ මනස සංවේදී ඉසව්වකට ගෙන යමින්.

දරුවෝ ඇති අම්මාලා
දරු සුරතල් පෙන්නාලා
හඩවා නෙත මා සිත පාරනවා
දරුවෝ නැත මා පතලා //

හඩනා කිරි දරුවෝ
තුරුල පුරා පැතුවා
පවු පුරවා සංසාරයේ
මව් පදවිය නැතුවා

දරුවෝ ඇති අම්මාලා......

කුරුළු මුවෝ සතුනේ
දරු සෙනෙහේ විදිනා
මිනිස් භවේ මහිමේ මගේ
මට දරුවෝ නොදෙනා

දරුවෝ ඇති අම්මාලා....

පද - ආචාර්ය අජන්තා රණසිංහ         සංගීතය - රූකාන්ත ගුණතිලක

                                     මේ ඝනයේම ලා හැකි අනිත් ගීතය ගයන්නෙ නිරංජලා සරෝජිනී..ඇය මව් පදවිය අපේක්ෂාවෙන් භාරයක් වෙන්නට මේ ගීතය ගැයූ බවක් මා අසා තියෙනවා. නීලාට මෙන්ම ඇයටත් දරුවන් නැහැ.

සිරීපාදෙ වන්දවන්න හිසඔලියල් බැදලා
සිරිමා බෝ සාමිනි මට පිරිමි පුතෙක් නැතුවා
කිරි ආහාර පූජාවට අලුත් සහල් පුදලා
සිරිමා බෝ සාමිනි මම පිරිමි පුතෙක් පැතුවා

ඇතෙක් වගේ තනිමංසල භයක් නැතුව යන්නයි
පොතක් වගේ සතර දිගට පෙනෙන්න බැබලෙන්නයි
සිරිමා බෝ සාමිනි මට පිරිමි පුතෙක් දෙන්නයි

ගෑණු අපට සංසාරේ බර හෑල්ලු වෙන්නයි
වී අහුලන කුරුළු කොබෙයි පෙරහැර කරවන්නයි
සිරිමා බෝ සාමිනි මට පිරිමි පුතෙක් දෙන්නයි

සිරීපාදෙ වන්දවන්න....

පද - රත්න ශ්‍රී විජේසිංහ      සංගීතය - ගුණදාස කපුගේ

                                  තමන්ට දාව උපන් දරුවෙක් නොමැති වුනත් පසුකලෙක දරුවකු හදාවඩා ගැනීමට ගත් මවකගේ සිතුවිලි ඇසුරින් ලියැවුනු තවත් සංවේදී ගීතයක් සිංහල ගීතාවලියෙ තියෙනවා. ඒ ගීතය ගයන්නෙ චන්ද්‍රෙල්ඛා පෙරේරා.

කිරි අම්මාවරු දනට වඩිනවා කිරි සුවදයි මුලු ගම්මානේ
අම්මා ඇයි ඒ දනට නොයන්නේ නොඅසන් පුතනුවනේ
මා සිත රිදෙන නිසා...

නෙත නිදිවරමින් කැත කුණු අතගා
මම නුඹ හැදුවෙමි දුක් විදලා
එනමුදු කුසයේ හොවමින් බිහිකර
ඇගලේ කිරි කර නැත පොවලා

කිරි අම්මාවරු......

නුඹගෙන් දරු සුරතල් බැලුවා මිස
මව් පදවිය නැත මා පතලා
මතු භවයේ මා දනට වඩින්නම්
නුඹ බිහිකර කිරි මව වීලා

කිරි අම්මාවරු....

පද - හෙක්ටර් විජේසිරි     සංගීතය - රෝහණ වීරසිංහ

                             මෙතෙක් දුර මා ඇති කරන්න උත්සාහ කලේ ඔබ අතින් නොදැනුවත්ව හෝ තවත් කෙනෙක්ගෙ හිත රිදෙන්න හේතුවෙන බොහොම සංවේදි කාරණයක් පිළිබද කථිකාවක්. මේ සටහනින් පස්සෙ හරි මේ ගැටලුව කාගෙන් හරි අහන්න සිතෙන සෑම වාරයකම නැවත වතාවක් ඒ ගැන හිතන්න. හැමදාමත් හිත ඇතුලෙන් හඩන එවන් චරිත තවත් හඩවන්නට නොදැනුවත්වම හෝ  ඔබත් දායක වූ කාලය අවසන් කරන්න.


හැමටම හිතන පතන විදියටම දරුවන් ලැබේවා !



මම කාමරේ වෙසෙන සත්ගුණවත් සිරා කොලුවා.


ප.ලි

ගීතයන්හි නිර්මාණ කරුවන් පිළිබද තොරතුරු ලබා දීමෙන් සහාය වූ  අස්වැන්නේ දයානන්ද රත්නායක අයියාට මාගේ නොමද ස්තූතිය හිමි වේ.













Wednesday, October 16, 2013

119 ඒ හීනෙට චුට්ටි දුරයි

සිරාගේ ජීවිතයේ  හා පුරා කියා නිරත වූ රැකියාවෙන් මිළදී ගත් දෑ අතරින් ශේෂ වී තිබූ අවසන් සැමරුමත් මගෙන් සමුගත්තේ ඉකුත් සතියේ දිනකය. එය වූ කලී අතේ බදිනා ඔරලෝසුවකි. මගේ දුකෙහිදී මෙන්ම සැපේදීද මගේ හද ගැහෙනා රිද්මයට සවන් දෙමින් මා සමගම සිටි මේ අජීවී වස්තුව වූ කලී මට ඔරලෝසුවක්ම පමණක් නොවීය. එය වැර වෑයමෙන් වෘත්තීය ජීවිතය තුල ඉහළට ආ මගේ ආරම්භය යළි යලිත් සිහිපත් කරන මතක සටහනක්ද විය. මෙකී කරුණු නිසාවෙන්ම මේ වස්තුව කුණු කූඩයකට විසිකර ඊට වඩා නවීන පන්නයේ ඔරලෝසුවක් මිළදී ගන්නට මගේ සිත එක්වරම නොනැමිනි.

කෙසේ හෝ මේ වස්තුව අළුත් වැඩියා කරගනිමී යන අධිෂ්ඨානයෙන් යුතුව ඔරලෝසු කාර්මිකයන් කීප පලක් වෙතම ඉදිරිපත් කලද ඔවුන් හැමගේම පිළිතුර වූයේ ඔරලෝසුව ඵලදායී ජීව කාලය අවසානයේ යළි නොඑනා ගමන් ගොස් ඇති බවකි. එසේ වූ නමුදු මගේ සිතුවිලි වෙනස් වූයේ නැත. තවදුරටත් මා මගේ මිත්‍රයාට පණ දෙන්නට සමත් ජීවකයකු සොයා ඒ මේ අත ඇවිද්දෙමි. එහි ප්‍රතිඵලයක් ලෙස මගේ කාර්යාලයට ආසන්න අතුරු මාර්ගයක තිබූ චීන ඔරලෝසු කාර්මිකයෙකුගේ සේවා ස්ථානයක් ඇස ගැටුනෙන් වහා ඒ කරා ගියේ සිතේ ජනිත වූ අලුත් බලාපොරොත්තුවක්ද තුරුලු කරගනිමිනි.

කාර්මික තැන වූ කලි වයෝවෘද්ධ පුද්ගලයෙකු විය. හෙතෙම පැලද සිටි උපැස් යුවලටත් පිටින් යමක් විශාල කර බැලිය හැකි තවත් කාචයක් පැළද ගනිමින් මගේ ඔරලෝසුවේ ධමනි, ශිරා සොයා ඒවා අවුස්සන අයුරු මම එකත්පස්ව බලා සිටියෙමි. ඔහුගේ යාබද මේසයේ සිටි අළුත්වැඩියා කාර්මිකයාද පෙර කියූ කාර්මික තැනගේ  මිත්‍රයෙකු කිව හැකි පෙනුමක් ඇති මහළු අයෙක්ම විය.

ඒ අතටත් මේ අතටත් ඔරලෝසුව හරවමින් ඊට පණ දෙන්නට වෙර දරන මහලු මිනිසාගේ මේසයට ඉදිරියෙන් වූයේ තරුණයකුගේ ඡායාරූපයක් රැගත් කළු සුදු දැන්වීම් පුවරු දෙකකි. ඉන් එකක් ලොව පතල ස්විට්සර්ලන්ත ඔරලෝසු නිෂ්පාදන සමාගමකින් ඔහු ලද කාර්මික පුහුණුවක් පිළිබද සහතිකයකි. අනෙක් සහතිකය නිකුත් කර තිබුනේ ජපානයේ තවත් සුප්‍රසිද්ධ සමාගමක් විසිනි. එහි වූ රුවත් වැඩෙහි යෙදෙන මහලු මිනිසා දෙසත් කීප වරක් බැලීමෙන් පසු ජීවිතයේ අනිත්‍ය පිළිබද ධර්මය නැවත වතාවක් මෙනෙහි කර ගැනීමට හැකි විය. දැන්වීමේ කොණකට වෙන්නට කුඩාවට මුද්‍රණය කර තිබූ එය නිකුත් කල වර්ෂය අදින් වසර 40 කට එහා එකකි. ඒ අනුව දැන්වීමේ සිටිනා තරුණ රුව රැගත් පුද්ගලයා කාලයේ ඇවෑමෙන් මහල්ලකු වී ඇති අන්දම අවබෝධ කරගත් පසු මා සිතේ ඇති වූයේ කණගාටුවකි. අපි කවුරුත් දවසක මේ කඩඉමට එනවා නේදැයි මගේ සිත මගෙන්ම ඇසුවෙහිය.

තමාටම අවනත නැති වෙවුලන ‍අතගැලි වල පිහිටෙන් විනාඩි 10 ක් පමණ ඔරලෝසුව සමග පොර බැදූ මහලු මිනිසා අවසානයේ මට කීවේ මෙයට පණ දෙන්නට නොහැකි බවකි. කරන්නට දෙයක් නැත...මෙලොව ජනිත වන කවරක වුවද දිනක නැසෙයි යන කියමනේ පිහිටා අලුත් ඔරලෝසුවක් ගන්නට මම හිත හදා ගතිමි. අද මා අලුත් සගයකුගෙන් වේලාව බැලුවද පැරැන්නා තවමත් මා ලග සුරැකිව සිටී. ඒ ලංකාවට ගිය දිනක හෝ ඊට පණදෙන්නෙමියි යන බලාපොරොත්තුවෙනි.

ඔරලෝසු කාර්මිකයා මුණ ගැසුනු දින රැකියාව නිමකර රාත්‍රියේ නවාතැනේ තනි වූ පසුද වරින් වර මගේ චිත්ත රූපයන් තුල මැවුනේ ඒ මහලු රුවමය. වෙව්ලන අතැගිලි සමග ඔහු වැඩ කරන්නට දැරූ මහන්සිය මෙන්ම දැන්වීමේ තිබූ තරුණ රුවද වරින් වර මට මෙනෙහි විය. ජීවිතය යනු මායාවක්ද... තනතුරු,තාන්න මාන්න, ධනය මේ සියල්ලම තවෙකෙකුට පවරා මේ කුණු ශරීරයෙන් අපි දිනක නිදහස් වනවා නේද ? එසේ නම් ඒ ටික කාලයට ඇයි මේ මිනිස්සු  මිනිසාටම හතුරු කම් කරන්නෙ, ඇයි අපිට තවත් කෙනෙකුගේ ජීවිතයක් එළිය කරන්න පුලුවන් විදියකට උදව් කරන්න බැරි, මේ ආකාරයෙන් නොයෙක් සිතුවිලි සිත තුල ජනිතව නැසී ගියෝය.












අපහසුවෙන් හුස්ම ගන්නා යශෝධා

අයියෙ දැන් මට කලින්ට වඩා අමාරුයි... ආදරණීය නැගණිය මා වෙත දින කීපයකට පෙර එවා තිබූ පණිවිඩයක එසේ සටහන්ව තිබූ බවත් මා ඇය ගැන මගේ කුඩා කාමරයේ සටහනක් තබන බවක් ඇයට පොරොන්දු වූ බවත් මට එක් වරම සිහිවූයේද පෙර කියූ පසුබිම තුලමය.

යශෝධා නැගනිය මට මෙන්ම සමස්ත බ්ලොග් අවකාශයටම හදුන්වාදීමේ ගෞරවය හිමි වනුයේ අපි කවුරුත් හදුනන තහනම් අඩවියේ රජ මලයාටය. ඒකා මගේම පාසලේ මට වඩා වසර ගණනාවක් බාල සහෝදරයෙකි. මා සිංගප්පූරුවේ සිටියදී ඔහු මෙන්ම හිතාදර Sam Creations හි සෑමා සමගද වරින් වර අන්තර්ජාලයෙන් කථා බස් කලේ ඇයට සරණක් විය හැකි ආකාරයන් පිළිබදවය. ඒ අවස්ථාවේම ඇය ගැන ලියන්නට රජා ඉදිරිපත් වූයෙන් මම මගේ දායකත්වය බ්ලොග් වල එල්ලිය හැකි ගැජට්ටුවක් නිම කිරීමට ලබා දුන්නෙමි.


උපතින් නැගනියක නැති මට නැගනියක වූ මගේ මලයාගේ බිරිදට පසු ඒ ස්ථානයට අලුතින් එක් වූ තැනැත්තිය යශෝධා බැව් කීම අතිශෝක්තියක් නොවේය. මා අන්තර් ජාලයට පිවිසෙන සෑම විටකම සිරි ලංකාවේ හෝ ඈත රටක වෙසෙන මිතුරකු /මිතුරියක සමග ඇය ගැන කීවෙමි. ඇයට සරණක් වන ලෙස අයැද සිටියෙමි. ගෙඩි පිටින් ලක්ෂ 45 වැනි විශාල මුදලක් සෙවිය යුතු වටපිටාවක ඇයට තිබිය හැක්කේ ප්‍රාර්ථනාවක් පමණි. ඒ නිසාම මම නිර්මාණය කල ගැජට්ටුවටද ඒ කොටස යෙදුවෙමි. අන්තර්ජාලයේ යශෝධා දකින සෑම විටකම ඇගේ කාර්යයේ නවතම තතු විමසුවෙමි. ඇයද ඇගේ රෝගී තත්වය අමතකව මගේ සුව දුක් මෙන්ම රැකියාවේ තත්වයන් ගැනද නිරතුරුව විචාළාය. හැමදාමත් කථා බහ අවසානයේ බුදු සරණයි කියන්නටද අමතක නොකළාය.

ඒ අයුරින් ගත වූ කාලය දැන් මාස ගණනක් ගෙවා දමා ඇත. ඇගේ බලාපොරොත්තුවද දැන් අත පොවන මානයට පැමිණ ඇත.  අයියෙ මට දැන් ඉස්සරට වඩා සෑහෙන්න අමාරුයි. කොදු ඇට පේළියෙ තියෙන ඇදය එන්න එන්නම වැඩි වෙනවා...ඒ හින්දා හදවතයි අක්මාවයි පෙණහළුයි ඇග ඇතුලෙ තෙරපෙනවා කියලා දොස්තරලා කියනවා...දැන් හුස්ම ගන්නෙත් අමාරුවෙන්...ලබන මාසෙවත් මගේ ඔපරේෂන් එක කරගන්න පුලුවන් නම්...ඇය සුසුමක් හෙලයි...ඒ සුසුම ස්වභාවයෙන්ම සංවේදී හිතක් ඇති මට බරටම දැනෙයි. දෙනෙත් මුල කදුලක් මෝදු වෙයි.  මම ඔයා ගැන බ්ලොග් එකේ ලියන්නම්....මම එසේ ඇයට පොරොන්දු වූයෙමි.

භද්‍ර යෞවනයට පිවිසීමටත් කලියෙන් ඇයට පල දුන්නේ පෙර ආත්මයක කල මහා අකුසලයක් විය යුතුය. එක ඉත්තක පිපි මල් තුනක් අතර ඇය දෙවැනියාය. ශිෂ්‍යත්වය හොදින් සමත් වී කිරිබත්ගොඩ විහාර මහා දේවි බාලිකාවේ 6 වසර පන්තියේ ඉගෙනුම ලබමින් තම දක්ෂතාව ප්‍රකට කරන්නට පටන් ගන්නවාත් සමගම ඇගේ ඉනෙන් පහල කොටස පණ නැති වීමත්...ඉන් පසු එළැඹුන සමයේ  ඇගේ පියා පවුලෙන් වෙන් වීමත්, ඒ වන විට ගුරු වෘත්තියේ යෙදී සිටි මැණීයන් ඉන් ඉවත් වී ඇගේ කටයුතු උදෙසා අද දක්වාම කැපවී සිටීමත් එහි බලපෑම හේතුවෙන් පවුලේ අදායමට කණ කොකා හැඩීමත් යන සාධක මේ අසරණ යුවතිය තව තවත් අසරණ කලා වුවද යශෝධාගේ දිරිය මව එතැන් සිට අද දක්වාම කටයුතු කර ඇති ආකාරය නිසාම මා සිත තුල ඇය කෙරේ ඇති වෙන්නේ නොමද භක්තියකි. ඇගේ වැඩිමහලු විවාහක සහෝදරියගේ වැටුපෙන් වැඩි කොටසක් යශෝධා වෙනුවෙන් වැය වන වට පිටාවක අපට ස්පර්ශ වෙනුයේ සහෝදරත්වයේ බැදීම මේ යැයි කියනා නූතන කථාන්තරයකි.




ඇගේ වෛද්‍ය වාර්තා සමහරක්
ඉතාමත් ආයාසකර දුරු කතර ගෙවාගෙන ලක්ෂ 45 කඩඉම මේ වන විට ලක්ෂ 15ක් දක්වා පල්ලම් බැස තිබේ. ඒ සංවේදී හිතක් ඇති මනුස්ස කමේ ගුණ සුවද හොද හැටි හදුනන ඔබ නිසාමය. නැතහොත් මුද්‍රිත ටිකට් පත් රැගෙන ගෙයක් ගෙයක් ගානේ...නගරයක් නගරයක් පාසා ගොස් අළෙවි කරමින් ඇයට සුවදායක හෙටක් පැතූ පවුලේ අයට පිටස්තර මනුස්ස කම පිරි මිනිසුන් නිසාය. යලි දෙපයින් නැගී සිටීම කෙසේ වුවත් ඇගේ ජීවිතය හෝ බේරා ගැනීමට ලියුකේමියා තත්වයේ අතුරු ආබාධයක්  නිසා ඇද වූ පිට කොන්ද සැකසීමේ වගකීම කරට ගත් ඉන්දියාවේ ඇපලෝ රෝහලේ සජාන් හෙජ් ජීවක තුමා ලබා දුන් මාස 5 කාල සීමාවත් දැන් ඉක්මවා ගොස් තිබේ. තත්වය එසේ වුවත් ඇය තවමත් බලාපොරොත්තු සහගත දෑසින් පෙරමග බලා සිටින්නීය.

උපුටා ගත්තේ යශෝධාගේ ෆේස් බුක් ගිණුමෙනි


සමහරු වාහනයක් ගන්නට, ගෙයක් දොරක් හදාගන්නට සිහින දකිති, තවත් සමහරු ඉහළ රැකියාවක් ලබා ගන්නට, තමාගේ සිත දිනූ කෙනා සමග සම්බන්ධයක් ඇති කරගන්නට සිහින දකිති. මෙවන් වූ වටපිටාවක අසරණ යශෝධා සිහින දකින්නේ පරිත්‍යාග ශීලීන්ගේ පින්බර මුදලින් තමාගේ ඉලක්කය සපුරාගෙන සිරුරට දැනෙන පීඩාව නිමකරගන්නට බරපතල ඝනයේ සැත්කමකට මුහුණ දෙන්නටය. ඉතිං ඒ අහිංසක බලාපොරොත්තුවට පියඹායන්නට හැකි ඉක්මනින් අත්තටු දෙමුද ? තීරණය ඔබේ අතේ...

ඇගේ ඇද වූ පිට කොන්ද


තවමත් ඇය වෙනුවෙන් ආධාරයක් කරන්නට නොහැකි වූ ඔබ සැමගෙන් සිරා කොලුවා වන මම ආයාචනා කර සිටින්නේ නිකරුනේ නාස්ති කරන්නට සිතා සිටින රුපියල් 100 හෝ ඇගේ ගිණුමට බැර කර පින්වත් කාර්යයකට දායක වන ලෙසයි. මනුෂ්‍යයින් ලෙස මෙලොව  වෙසෙනා අප පින් දහම් කරන්නට මහළු විය එළඹෙන තෙක්ම කල් මැරීමට අවැසි නැත. ඒ සදහා පන්සලට හෝ පල්ලියට යා යුතුමද නැත. මේ කාරණයද මහත් ඵල මහත් ආනිශංස තිළිණ කරනා පින්කමකි.

ඒ සත් කාර්යයට මග කියනා තොරතුරු මෙන්න. බැංකු ගිණුම් දෙකක තොරතුරු මෙතන තියෙනවා.

Jayarathne Diyunugalge Yashodha Samindri
ගිණුම් අංකය : 273-2-001-4-0000208 
මහජන බැංකුව, කඩවත. 
PSBKLKLX (Swift code)

 ගිණුම් අංකය : 8150914277 
කොමර්ෂල් බැංකුව, මහනුවර නගර ශාඛාව CCEYLKLX (Swift code)

ඇය ඇමතීමට අවශ්‍ය නම්

077-5262396 / 072-8571983
yashodha.jayarathne@gmail.com

ඇගේ බලාපොරොත්තුව පරිදි මේ සැත්කම සදහා උවමනා ඉතිරි මුදල ඉක්මනින් සොයා ගැනීමට ඇයට හැකියාව ලැබේවා. සැත්කම අවසානයේ ඇය පෙළනා රුදුරු දුක් කරදර වලින් මිදී ඇයට පෙර මෙන් දෙපයින් නැගී සිටින්නට...යෞවනයේ සුන්දරත්වය අත්විදින්ට වරම් ලැබෙවා යයි සිරා කොලුවා වන මම ඉත සිතින් ප්‍රාර්ථනා කරමි.

ඉස්සර මම නිසදැස් ලියන්න රුසියෙක්. යාලුවන්ගෙ සමරු පොත් වල...ඒ අයට වෙනත් අය දෙන සමරු පොත් වල ඒ අයගෙ නමින් මම අකුරු කල නිසදැස් කීයක් නම් ඇත්ද ? ඒත් දැන් ඒ වසන්තය ගෙවිලා ගොඩාක් කල්...කාලයකට පස්සෙ ආයෙත් එකක් ලියැවුනේ යශෝධගෙ නමින්......

අමාවක  සද 
දැන් ඉතිං බැස යන්න
ඇගේ නෙත් මානයෙන්...
ඒ හිතේ පුංචියට
ජනිත වූ සිහිනයක්
මහ හඩින් කෑ ගසා
කියන්නට බැරි දුකක්....
පර වෙන්න ඉඩ නොදී
ගිලිහෙන්න වර නොදී
රැකගත්ත සිහිනයක්....
තටු ගසා ඉගිලෙන්න
සොම්නසට ඉඩ දෙන්න
අදුර වෙනුවට එළිය
ඇගේ ලොව වෙත දෙන්න......
පුරපසින් සද එඹෙන සද
මුකුලිත වූ සිනා මල්
ආයෙමත් පිබිදෙන්න...
හරියටම පෙර වගේ.....


තහනම් අඩවියේ යශෝධා පිළිබද රජා ලියූ ලිපියත් කියවා බලන්න.

යශෝධා පිළිබද සෑමා ලියූ ලිපිය මෙතැනින්

ඇය වෙනුවෙන් හිත හොද තරුණයෙකු අභිනවයෙන් නිමකල වෙබ් අඩවිය මෙතැනින්

මම කාමරේ වෙසෙන සත්ගුණවත් සිරා කොලුවා


ප.ලි

1999 සිට රෝදපුටුවක කල් ගෙවන වයස  අවුරුදු 24 ක ඇයට ලංකාවේ ප්‍රමුඛ පෙළේ, මා මිත්‍ර අධ්‍යක්ෂක වරයකු ලව්වා වීඩියෝ වාර්තාවක් සැකසීමට පසුගිය සති කීපයේ වෙහෙසුනත් ඇය දැන් සිටින තත්වයත් සමග එය අත හැර දමන්නට අපට සිදුවිය. කිසිම අයකිරීමකින් තොරව ඒ කාර්යය ඉටු කර දෙන්නට ශපත කල මගේ මිත්‍රයා මෙන්ම ඒ කටයුතු ලංකාවේ සිට මා වෙනුවෙන් සම්බන්ධීකරණය කල මගේ අතිජාත බ්ලොග් සහෝදරයා සෑම් වෙතද මගේ නොවක් ස්තූතිය.

වෛද්‍ය වාර්තා, X කිරණ ඡායාරූප හා ගිණුම් තොරතුරු තහනම් අඩවියේ යශෝධා පිළිබද පලවූ ලිපියෙනි.

මේ තියෙන්නෙ මෙදා සැරේ අලුතින් බ්ලොග් වල එල්ලන්න හදපු ගැජට් එක...හැමෝම තම තමන්ගෙ බ්ලොග් වල මේ ගැජට්ටුව එල්ලගෙන අසරණ යශෝධාට සහයෝගයක් දෙන්න තමන්ට හැකි විදියට මග පෙන්වන්න. පින්තූරයත් එක්ක මේ ලිපියට සබැදියකුත් එකතු කරන්න. පින්තූරෙ අර ගන්න මෙතන කොටන්න.






Saturday, October 12, 2013

69 දොස්තර අංකල්

කාලෙකට කලින් සිරා ලිව්ව හුජ්ජ පෝස්ටුවෙ මනමාලයගෙ මල්ලි තමයි ප්‍රියා. ඒ කිව්වෙ මම උසස් පෙළ කරන අවධියෙ මගේ ජීවිතයට ලං වෙච්ච කදිම මිතුරෙක්. අපේ මේ මිත්‍රත්වය දළු ලා වැඩෙද්දි තමයි අපි එකිනෙකාගෙ නිවෙස් වලට යාම් ඒම් කරන්න පටන් ගත්තෙ. මගේ මිතුරෙක් අපේ ගෙදර ආවොත් අපේ අම්මා දවල්ට කන්න දෙන්නෙ නැතුව යවන්නෙ නෑ වගේම උන්ගෙ ගෙදරකට මම ගියොත් ඒ නිවෙස් වල සත්කාරයත් එහෙමයි.

ප්‍රියාගෙ නිවස බොහොම පිළිවෙලයි. වැඩිමල් සහෝදරයො දෙන්නම විදේශයන්හි රැකියාව කරපු නිසා නිවසෙ හිටියෙ පවුලෙ බඩපිස්සා වෙච්ච ප්‍රියා කොලුවා, අම්මා, තාත්තා පමණයි. ප්‍රියාගෙ තාත්තා විශ්‍රාමික බටහිර වෛද්‍යවරයෙක්. ගම්පළාත නුවර. අන්තිමේදි ප්‍රියාගෙ අම්මගෙ ගමේ තමයි පදිංචියට ගෙවල් දොරවල් ගොඩ නගලා තිබුනෙ. තමන්ගෙන් බෙහෙත් ගන්න ආපු ලෙඩෙක් විදියට තමයි තමන්ගෙ පසුකාලීන බිරිද මුලින්ම හමුවුනේ කියලයි ප්‍රියාගෙ තාත්තා එහෙමත් නැත්නම් අපි ආමන්ත්‍රණය කරපු විදියට Doctor Uncle අපිට කිව්වෙ.



මට ජීවිතේ මුලිච්චි වෙච්ච අතිශය සුන්දර මනුස්සයෙක් තමයි මේ විශ්‍රාමික වෛද්‍යවරයා. අපේ ප්‍රියා නිසා ඒ නිවසට නිතර ආගිය අපි අන්තිමේදි පුතාට වඩා තාත්තා එක්ක හිතවත් වුනා කිව්වත් ඒකෙ වරදක් නෑ.

තමුසෙලත් ඉතිං දවල්ට කන වෙලාවම බලලා ගෙදරට එනවා නේද ? නගා එක්ක ප්‍රියාගෙ නිවසට යන ඇතැම් දවසක ආලින්දයේ හාන්සි පුටුවක විවේකී සුවයෙන් ඉන්න Doctor Uncle තමන් පැළදගෙන ඉන්න කණ්නාඩිය යටින් බලලා අපිට කියන්නෙ විහිළුවට මිස ඇණුම් පදයකට නොවන බැව් අපි ඒ වෙද්දි හොදට අවබෝධ කරගෙන හිටියෙ. මොකද ඒ නිවසට කොයි වෙලේ ගියත් කෑම මේසෙ ඉදගන්නෙ නැතුව අපිට ආපසු යන්න අවසර දුන්නෙ නැති හින්දා. එතුමාගේ ශබ්ද කෝෂයෙ “අයිසෙ කියන වචනය වැඩිපුර භාවිතා උනාට කිසිම අවස්ථාවක ඒ තවත් කෙනෙක් පහත් කරන්න නෙමෙයි කියන කාරණයත් ඒ වෙද්දි අපිට වැටහිලා තිබුනෙ. ඉතාම කරුණාවන්ත හදවතක් තිබ්බ මනුස්සයෙක් විදියට ප්‍රියාගෙ තාත්තව අපි හදුනගත්තෙ නිවසේ ඇති කරන සුරතල් සතුන් රෝගී උනාම ඒ වෙනුවෙන් ඇප කැප වෙලා බේත් හේත් කරන විදිය, දුප්පත් මිනිහෙක්ට ගෙදරට බඩු මල්ලක් ගන්න, පන්සලේ අඩුපාඩුවක් හදාගන්න නොමසුරුව පරිත්‍යාගයන් කරපු තැන්වල අපිත් හිටපු හින්දා.

මට කියනවකො අපේ මිනිහට කෙල්ලෙක් එහෙම තාම සැට් වෙලා නැද්ද කියලා...ඇතැම් දවසක අපේ කථා බහ ආරම්භ වෙන්නෙ ඔය විදියට. අයිසෙ දැන් තමුසෙලත් බදින වයස නේද ? තාම බදින්න අදහසක් නැද්ද...ඕනෙ නම් මගේ යාලුවන්ගෙ දුවලා කීප දෙනෙක් ඉන්නවා කථා කරන්නම්.

දැන්ම බදින්න අදහසක් නෑ අංකල්....ගෙයක් දොරක් හදාගෙන වාහනයක් කාරිය ගන්නකම් බදින්න අදහසක් නෑ.

ඒවා ගත්තට පස්සෙ අයිසෙ නොබැද ඉන්න එක තමයි හොදම වැඩේ.

ඒ මොකද අංකල්...

මොකද ඔය ඔක්කොම සම්පූර්ණ කර ගන්නකොට අවුරුදු 40ත් පැනලා තියේවි නොවැ...

මම කියන දේ අහනවා...ඔය හැමදේම සම්පූර්ණ කර කර බදින්න බෑ. මමත් බැන්දෙ ඔය දේවල් ඇතුව නෙමෙයි. ඉස්සෙල්ලා බදිනවා. ඊට පස්සෙ තමන්ගෙ සහකාරියත් එක්ක සහයෝගයෙන් අනිත් දේවල් කරගන්නවා...ඔන්න ඕකයි ක්‍රමේ. හැබැයි බැදපු ගමන් දරුවෙක් හදනවා. නිකං කල් මර මර ඉන්නෙ නැතුව.

ඒ මොකද අංකල් එහෙම කියන්නෙ. මෙහෙම මාතෘකාවක් ගැන අපේ දෙමව්පියන් එක්ක කථා කරන්න අපි විළි ලැජ්ජා උනාට ප්‍රියාගෙ තාත්තා වෛද්‍ය වෘත්තියෙ නිරත වෙච්ච කෙනෙක් හැටියට අපිට එහෙම ලැජ්ජාවක් දැනුනෙ නෑ.

මෙහෙමනෙ අයිසෙ...ජීවිතේ වැදගත්ම දේ මොකක්ද කියලා කියනවා...ගෙවල් දොරවල්ද, වාහනද, රැකියාවද,

හිතාගන්න බෑ අංකල්...අපේ උත්තරේ එහෙමයි

ජීවිතේ වැදගත්ම සම්පත තමයි දරුවො, මම ඔය කලින් කියපු හැමදේම සපුරගත්තත් ළමයි නැති ජෝඩු කීයක් නම් මේ ලෝකෙ ඉන්නවද...ඒ හැමෝම කොච්චර සම්පත් තිබුනත් වේදනාවෙන් තමයි ජීවත් වෙන්නෙ දරු සම්පත නැතුව,

අද ඉන්න ජෝඩු කසාද බැදලා..ගෙවල් හදනකං...අරව මේවා ගන්නකං කිය කියා වැදගත්ම කාරිය පස්සට දානවා...දරුවො ලැබෙන එක වළක්වන්න බෙහෙත් බොනවා..ඔය බෙහෙත් වල රසායනික ද්‍රව්‍ය වල ක්‍රියාකාරීත්වය හින්දා සමහරුන්ට අතුරු ආබාධ හැදෙනවා. තවත් සමහරුන් තමන්ගෙ ඉලක්ක ජය අරන් ළමයෙක් බලාපොරොත්තු වෙද්දි ශරීරයේ සැකැස්ම සෑහෙන වෙනස් වෙලා. ඊට පස්සෙ දොස්තරලා පස්සෙ දුවනවා ලක්ෂ ගණන් වියදම් කර කර. ඒ හින්දයි මම කිව්වෙ ඉස්සෙල්ලාම වැදගත් රාජකාරිය කොරගෙන ඉන්නෙයි කියලා.

මම අදුරන පවුලක් දරුවො ලබාගැනීම කාලයක් පස්සට දාලා අවශ්‍ය කාලය ආවම දරුවෙක් හදාගන්න බැරුව හැම තැනම ගියා...ඒ අයට මිළ මුදල්, යාන වාහන, දේපළ ඇති තරම්. ඒත් වැදගත්ම දේ නෑ. අන්තිමේදි දොස්තරලා කිව්වා ගර්භාෂයෙ ප්‍රශ්නයක් තියෙනවා සැත්කමකින් යථාතත්වයට පත් කරන්න ඕනෙ ඒකට ලංකාවෙ පහසුකම් නෑ කියලා. මේ අය අන්තිමේදි සැත්කම කරන්න කැනඩාවට යන්න තීරණය කලා...වියදම කෝටි ගාණක්...අන්තිමට ගමන පිටත් වෙන්න මාස දෙක තුනකට කලින් දරුවෙක් ලැබෙන ලකුණු පහල උනා. ඒක ඒ අයගෙ වාසනාව. හැබැයි හැමෝටම එහෙම වාසනාවක් ලැබෙන්නෙ නෑ.

ප්‍රියාගෙ තාත්තා ඒ නිවසට යන හැම මොහොතකම වගේ කසාදය පිළිබද ගැටළුව ඉදිරිපත් කරන නිසා මම දවසක් කිව්වා

මම ඉතිං කලාවට බර හාදයනෙ අංකල්...ඒ හින්දා මට චිත්‍ර ටීචර් කෙනෙක් හොයලා දෙන්න කියලා.

සති දෙක තුනකට පස්සෙ Doctor Uncle ප්‍රියාගෙන් නොම්බරේ ඉල්ලන් මට කථා කරනවා ජංගම දුරබණුවෙන් ...

ඔන්න මට කියපු විදියට වැඩේ කලා...තමුන් මෙහෙ එනවා ළගදි දවසක, හොද නැටුම් ටීචර් කෙනෙක් ඉන්නවා...මාත් එක්ක වෙලාවක යමු ඒ ළමයගෙ ගෙවල් පැත්තෙ...

අංකල් ඒ ළමයා උඩරට නැටුම්ද කරලා තියෙන්නෙ...

මම දන්නෙ නෑ අයිසෙ..උඩරට පහතරට බැරි නම් දහඅට සන්නිය හරි නටයිනෙ...තමුසෙ මම කියනවට එනවකො ...

තවත් දවසක එහෙ ගියාම

බලනවා අයිසෙ මේ අපේ ප්‍රියා...දැන් ගෑණු කීයක් කියලා බලන්න ගියාද...මේ යෝධයා එකකට වත් කැමති වෙන්නෙ නෑනෙ...තමුසෙලා දෙන්නවත් අහලා කියනවකො මේ මිනිහට කොහෙ හරි කෙල්ලෙක් පැටලිලා ඉන්නවද කියලා ඉක්මනට කරලා දාන්න.

තවත් දවසක..

අයිසෙ සිරා...තමුසෙට ගෑණු හොයන එක මම නැවැත්තුවා..නැටුම් ටීචර් කෙනෙක් හෙව්වාම කියනවා චිත්‍ර ටීචර් කෙනෙක් ඕනෙලු...චිත්‍ර ටීචර් කෙනෙක් හෙව්වාම කියනවා සංගීත ටීචර් කෙනෙක් ඕනෙලු...ඔය කියන කියන විදියට ගෑණු හොයන්න තමුන් හිතුවද ගෑණු කියන්නෙ  කලාගාරයක් කියලා. මම කියන්නද හොදම වැඩේ..තමුසෙ පෙර පාසල් ටීචර් කෙනෙක් බදිනවා...එතකොට තමුන්ට ළමයි ඉන්න දවසක ඒ දරුවන්ට ආදරෙන් සළකගෙන ගෙදරදිම මූලික අධ්‍යාපනය දීගෙන ඉන්නෙ නැතැයි තමුන්ගෙ පවුල.

Doctor Uncle මගේ අතිජාත ස්කූටරය අළුත් වැඩියා කරන්නත් අදහස් වලින් සෑහෙන්න උදව් වෙච්ච කෙනෙක්...

අයිසෙ මම පේරාදෙණියෙ පැකල්ටියෙ ඉන්න කාලෙ මගෙ ලගත් තිබුනා vespa එකක්. ඒ දවස් වල ප්‍රියාගෙ අම්මගෙ තාත්තා තේ වත්තක සුපිරින්ටන්ඩ් කෙනෙක් හින්දා මේ පවුල හිටියෙත් නුවර... ඉතිං හැන්දෑවට හැන්දෑවට මම කුරුල්ලා වගේ යනවා ඇන්ටිව බලලා එන්න. ඒ දවස් වල මට මතක විදියට අපේ කැම්පස් එකේම සෑහෙන දෙනෙක් කොල්ලො පැද්දෙ ස්කූටර්...හැබැයි ඇන්ටි ස්කූටරේ ඉදගෙන යන්න කැමති නෑ..අමාරුයි කියලා...අපි දෙන්නා ඉතිං කොහේහරි යන දවසට අපේ තාත්තගෙ වොක්ස්වැගන් කාර් එක තමයි පාවිච්චි කලේ.

මේ බයිසිකලේ කෑලි අඩුයිනෙ. මෙන්න මෙතනට එනවා ස්විච් එකක්..ඒක මේකෙ නෑනෙ...මෙන්න මෙතනට එනවා මේ විදියෙ කෑල්ලක්...ඔය විදියට අඩුපාඩු පිළිබද උපදෙස් එතුමගෙන් ලැබුනා.

කොහොම හරි තාත්තගෙ නිසි මග පෙන්වීම හින්දම ප්‍රියා යෝජනාවකින් තමන්ට ගැලපෙන යුවතිය තෝරගෙන විවාහ ජීවිතේට එළැඹුනා. ඒ උත්සවය වගේම අයියලා දෙන්නගෙම විවාහ උත්සව වලටත් මගේ සහයෝගය විවිධ අංශ වලට ලබා දුන්න නිසාම ඒ වෙද්දි ප්‍රියාගෙ පවුලෙ ලගම හිතවතෙක් තරමටම මම ඔවුනට සමීප වෙලා හිටියෙ.

ඒ නිසාම විවාහ උත්සව වලට සංගීත කණ්ඩායමක් සොයා දීමේ වගකීම හැම විටම පැවරුනේ මට.
තමුන් ඉතිං සංගීතකාරයා නොවැ...අයියලට හොයලා දුන්නා වගේ වැඩි සද්ද බද්ද නැති හොද සංගීත කණ්ඩායමක් ප්‍රියාගෙ වැඩේටත් හොයලා දෙනවා...එහෙම වෙලාවට මට වගකීම් පැවරුනේ ඒ විදියට.

මම ඒ නිවසෙ දැක්ක වටිනාම දේ තමයි සමගිය සහ දෙමාපියන්ට දරුවො දක්වපු ගෞරවය. රාත්‍රියට කෑම මේසයට හැමෝම ඉදගත්තම තමයි Doctor Uncle දරුවන්ට කියන්න තියෙන දේවල් කියන්නෙ. අයියලා දෙන්නම නිවාඩුවට ලංකාවට එන්නෙ එකටම නිසා එහෙම දවසට මමත් රාත්‍රී භෝජනයකට ඒ ගෙදර ආරාධිතයෙක්. අයියලා විවාහ ජීවිත වලට එළැඹිලා තිබුනත් තාත්තා කියන දේවල් එක්ක කවදාවත් වාදයකට ගියේ නෑ. පුතාලා තුන්දෙනාම මත්පැන් කටේවත් තිබ්බෙ නැති උනාට Doctor Uncle කෑමට පෙර පොඩි එකක් අරන් කෑමෙන් පස්සෙ ඉක්මනට නිදාගන්නවා.

දවසක් මේ ගෙදරට ගිය වෙලේක Doctor Uncle කවදාවත් නැති අමුතුම කථාවක් කිව්වා. මම ආශාවන් කියන දේ සෑහෙන්න අඩු කරගෙන දැන් ජීවත් වෙන්නෙ. මට දරුවො සැළකුවත් එකයි, නැතත් එකයි. මම ඒ ගැන බලාපොරොත්තු තියාගෙන නෑ. අපි දෙන්නට ජීවත් වෙන්න මට ලැබෙන ආදායම් හොදටම ඇති. අපේ ජීවිත ගැන විශ්වාසයක් තියන්න බැරි හින්දා තමයි ප්‍රියාට උනත් ඉක්මනට කසාද බදින්න කියලා මම පස්සෙන් පැන්නුවෙ. දැන් ඉතිං ඒ වැඩකටයුතු ඔක්කොම ඉවරනෙ.

ප්‍රියාගෙ වෙඩිමෙ වැඩකටයුතු ඔක්කොම ඉවරවෙලා ආයෙත් නිවසට ආපු වෙලෙත්...මට තට්ටුවක් දාලා Doctor Uncle කිව්වෙ ඊළගට නගාට බැරි නම් තමුසෙවත් බදිනවා...හොද ළමයෙක් මම හොයලා දෙන්නම් කියලා. ඊට හරියටම මාසෙකට විතර පස්සෙ දවල් වරුවක ප්‍රියාගෙන් මට ඇමතුමක් ලැබුනා.

හෙලෝ ප්‍රියා...

සද්දයක් නෑ...ප්‍රියා ඉකිගහන හඩක් යන්තමට ඇහෙනවා...

මොකද බන්...කථා කරපන්...

ම...මචන්...තාත්තා නැති උනා බන්...ඒකාට එච්චරයි කියාගන්න ලැබුනෙ...දරුවෙක්ට ජීවිතේ කියන්න ලැබෙන දුක්බරම වචන ටික ඒ විදියට කියලා ප්‍රියා මහා හයියෙන් කෑ ගහලා අඩන්න ගත්තා...

මමත් ඉක්මනට කහ කුරුල්ලා පිටේ නැගලා ප්‍රියාගෙ නිවසට ගියා.

වෙච්ච සිද්ධිය මට කිව්වෙ අසල්වැසියෙක්...නිවැසියො සියල්ලෝම ඒ වෙද්දි රෝහලට ගිහින්...

දොස්තර මහත්තයා වෙනදා වගේ උදේ ටීවී බල බල සාලෙ පුටුවට වෙලා ඉදලා. නෝනා කුස්සියට ගිහිං තේ එකක් හදාගෙන එද්දි ඔලුව පැත්තකට බර වෙලා ඉදලා තියෙන්නෙ...මුලින් හිතලා තියෙන්නෙ නින්ද ගිහින් කියලා..ඒත් වෙනදට මේ වෙලාවට නිදියන්නෙ නැති හින්දා හොයලා බලනකොට තමයි නෝනා දැනගෙන තියෙන්නෙ සිහිය නෑ කියලා. අපි ඉතිං ඉක්මනට ඉස්පිරිතාලෙට යැව්වා..ඒ වෙද්දිත් නැති වෙලාලු...පපුවෙ අමාරුවක්...

මේ විදියෙ මරණයක් ලබන්න කෙනෙක් බොහොම පින් කරන්න ඕනෙ...මළගෙදර දවසෙ පන්සලේ නායක හාමුදුරුවො එහෙම දේශනා කලා. දොස්තර මහත්තයා ජීවතුන් අතර ඉද්දි මේ සමාජයට වගේම ගමට රටට කරපු සේවය මෙතෙකැයි කියන්න බෑ. මෙහෙම ආදර්ශමත් ජීවිත වලින් තමයි මේ ජීවත්වෙන ඇත්තොත් තමන්ගෙ ජීවිතේට යම් ආදර්ශයක් ගන්න ඕනෙ.

හැමෝගෙම සෝ සුසුම් මැද්දෙ ගහක් ගලක් වගේ හිටපු Doctor Uncle ගෙ සොහොනට කනත්තෙදි ගිණි ඇවිලෙන කොට එතුමා සිරාට මුලිච්චි වෙන හැම වෙලාවකම කටේ තිබුන වචන පෙළ මගේ හිත ඇතුලෙ දෝංකාර දුන්නා.

ඉක්මනට බදිනවා අයිසෙ....



මම කාමරේ වෙසෙන සත්ගුණවත් සිරා කොලුවා.




ප.ලි

ප්‍රියාගෙ තාත්තට පපුවෙ අමාරුව හැදුන දෙවැනි වතාව තමයි මේ. මීට පෙර එතුමා ගම්පහ ප්‍රධාන පුද්ගලික රෝහලක අධ්‍යක්ෂ වරයා ලෙස වැඩකටයුතු කරමින් ඉන්න වෙලාවක රාජකාරී ස්ථානයේදීම පපුවෙ අමාරුව හැදිලා ප්‍රතිකාර ලෙස ලබාදුන්න මිළ අධික එන්නතක පිහිටෙන් නැවතත් ජීවත් වෙන්න වරම් ලබාගෙන තිබුනා.

ඒ එන්නත ඒ දවස් වලත් රු 35000/- කට වැඩියි බන්...ඉස්පිරිතාලෙම ඉතුරු වෙලා තිබුනෙ එකම එකයි...තාත්තට අමාරුව හැදෙනකොට මමත් මොකක් හරි වැඩකට ගිහිං ඒ ළගමයි හිටියෙ...

දොස්තර කෙනෙක් එන්නත තියෙන ෆ්‍රිජ් එක පෙන්නුවාම ඒක එතනින් අරගෙන දුවලා ගියෙත් මමමයි. තාත්තගෙ ජීවිතේට අනතුරක් වෙයි කියලා ඒ වෙලාවෙ මගේ අත වෙව්ලුවා බන්...ඊට පස්සෙ තාත්තා කොලස්ට්‍රෝල්, සීනි හැමදේම එයාම චෙක් කරගෙන හොද මට්ටමක ඒ හැමදේම පවත්වගෙන ගියේ. මේ වතාවෙ එයාව බේරගන්න අපි කවුරුවත් ලග හිටියෙ නැති එක ගැන මට ජීවිත කාලෙම පසුතැවෙන්න වෙයි බන්. පස්සෙ දවසක ප්‍රියා එහෙම කිව්වා.

තාත්තා ජීවතුන් අතර ඉද්දි දුන්නු උපදෙස් අකුරටම පිළිපැද්ද ප්‍රියා කසාද බැදලා පළවෙනි අවුරුද්දෙදිම තාත්තා කෙනෙක් උනා.

Monday, October 7, 2013

128 බකිනි ගහේ බකිනි මලෙන් පාර අහන්නේ 2

එදිනෙදා යෙදුනු වැඩරාජකාරි අස්සෙ මේ සිදුවීම් පෙළ මට අමතක වෙලා තිබුන වෙලාවක තමයි වසරකට විතර පස්සෙ ගම්පහ දුම්රිය නැවතුමේදි ගයා කෙල්ල මට මුලිච්චි උනේ. එයත් මේ කිව්ව උපන් දින උත්සවේ දවසෙ එතන හිටියා. පුස්තකාලෙදි සුහද වෙච්ච තවත් යෙහෙළියක්.

ඔතනින් අවසන් වෙච්ච පළවෙනි කොටස කියෙව්වෙ නැති අය මෙතැනින් ඒ කොටස කියවගෙනම ආවොත් හොදා.

මගේ යාලුවෙකුගෙන් කැමැත්ත ඇහුවා කියලා ආරංචියක් ආවා...ගයා ඇගේ බොහෝ දිගුවන් කේශ කලාපය දෙපසට වනමින් ලාලිත්‍යයෙන් යුතුව මගෙන් විමසුවා.

ඔයාටත් ඒ කථාව ආරංචි උනාද...මම වටපිට බලලා හිමින් ඇහුවා.

මගේ හොදම යාලුවනෙ එයා...ඉතිං මට නොකියා ඉදීවිද ? මෝඩයා...මට කිව්වා නම් මම ඔයාට මේ වෙද්දි කැමැත්ත අරගෙන දීලා.

ඒ කොහොමද ඒ පරණ මතකයන් ඔස්සේ කිතිකැවුනු මගේ හඩ බොහොම සෞම්‍යයි.

පොඩ්ඩක් ඉන්නකෝ...මම හිමින් සැරේ වැඩේ කරලා දෙන්නම්...අපේ යාලුවන්ගෙන් එයාට විතරයි තාම කෙනෙක් නැත්තෙ.

ගයා මට අලුත් බලාපොරොත්තුවක් දීලා මගෙන් සමුගත්තා.

එදායින් පස්සෙ සතියකට දෙකකට සැරයක් ඇගේ ව්‍යායාමයෙ ප්‍රතිඵල මට දැනුම් දෙන්නත් ඇය අමතක කලේ නෑ.

ඔන්න ඔහොම ගත වෙච්ච එක දවසක ඇය මෙහෙම කිව්වා.

ඔන්න ගොයියො දැන් වැඩේ හරියාගෙන එන්නෙ...කෙල්ල දැන් ඔයා ගැන හිතනවා...තව ටික දවසකින් උත්තරයක් ලැබෙයි...මට වැඩේ හරිගියාම දෙන්නම එක්ක එකතු වෙලා පාටියක් දෙන්න ඕනෙ හරිද ?

පාටි එකට දෙකක් දෙන්න බැරියැ... මම එහෙම කිව්වා...

තවත් සතියකට විතර පස්සෙ ගයා මට නදීරා ගෙ දුරබණුවෙ අංකය දුන්නෙ එයාට ඔයා එක්ක කථා කරන්න ඕනෙලු කියමින්...

මම ඇයට ඇමතුවා...පාසල් යන වයස ඉක්මවා හිටි හින්දා වගකීමෙන් කථා කරන්න දැන් අපිට පුලුවන්. ඒ වගේම ඇයත් අවශ්‍ය දේ පමණක් කථා කලා.

මම මෙච්චර දවසක් කිසිම කොල්ලෙක්ට කැමති වුනේ නැත්තෙ දෙමාපියො අකමැති වුනොත් මටත් අකමැති වෙන්න වෙන හින්දා...මට එහෙම වුනොත් මගේ හිත රිදවා ගන්නවා වගේම තව කෙනෙක්ගෙ හිත රිදවන්න වෙනවා. ඒ හින්දයි එරන්දි මට ඔයා ගැන ගොඩාක් දේ කියලත් මම කැමති උනේ නැත්තෙ.

ඒ කියන්නෙ ඔයා දැන් මට කැමතිද ?

අකමැත්තක් නැති හින්දා නේන්නම් මෙච්චර කාලයක් කොල්ලෙක්ට දීලා නැති මගේ ෆෝන් නම්බර් එක ඔයාට දුන්නෙ. හැබැයි එක දෙයක්...

මම ඔයාට කැමති උනා කියලා මගේ අම්මා තාත්තා ඔයාට කැමති වෙයි කියලා හිතන්න එපා. ඒ අය ඔයාට කැමති උනොත් විතරයි මම ඔයා එක්ක සම්බන්ධයක් පටන් ගන්නෙ.

මට ටවුමෙ එහෙ මෙහෙ හම්බවෙන්න කථා කරන්න එපා. ඔයා කෙලින්ම අපේ ගෙදර ඇවිල්ලා අම්මා තාත්තගෙන් කැමැත්ත අරගන්න. ඒ අය කැමති උනොත් මමත් ඔයාට කැමතියි. හැබැයි ඒ අය අකමැති උනොත් මගේ කැමැත්ත ඉල්ලලා ආයෙත් මට කරදර කරන්න එපා ප්ලීස්. මම ඒ අයගෙ හිත රිදවන්න කැමති නෑ.

නදීරා එහෙම කිව්වට එදායින් පස්සෙ නොයෙක් වර මට අමතන්නත්...මගේ දුක සැප සොයාබලන්නත් කටයුතු කලා. ඇගේ ඒ කථා බහ මගේ සිත තවත් ඇය කෙරේ ආසක්ත කලා කිව්වොත් මම වැරදි නෑ. බහුරූප කෝලම් ඇති සමාජයක පොළවේ පය ගහලා ඉන්න කෙල්ලෙක් මුලිච්චි වීමේ ප්‍රීතිය මම එදා අත්වින්දා.

සමහර දවස්වලට ඇය කථා කරන වෙලාවට මම බොරැල්ලෙ Mint Leaf අවන්හලේ මිතුරන් සමග උපන් දින සැමරුමක්, මධු සාදයක්...

ඔයා කොහෙද ඉන්නෙ.....

තාම බොරැල්ලෙ...

දැන් වෙලාව රෑ 9.00 නෙ ඔයා කීයටද ගෙදර එන්නෙ

ගෙදර යද්දි රෑ 12 විතර වෙයි.

අනේ ගෙදර ගිය ගමන් මට මිස් කෝල් එකක් දෙනවද...මට භයයි ඔයා ගැන

ඔයා ඇයි අද නිදියන්නෙ නැද්ද....

නෑ...මම මේ හොස්ටල් එකේ පාඩම් කරන ගමන්....

ඇය එහෙම කථා කරනකොට...ඒ සිතේ පිරී තියෙන ආදරය දැනුනාම මේ ලෝකෙ හැමදේම බොහොම සුන්දරව තමයි මට එදා දැනුනෙ.

මම කාලෙකට ඉස්සෙල්ලා නිලන්තයගෙ කථාවෙදි කිව්ව වගේ වැඩක් තමයි ඔන්න දැන් මටත් සිද්ධ වෙලා තියෙන්නෙ. දැරිවිගෙ ගෙදරට ගිහිං දෙමාපියන් මුලිච්චි වෙලා කැමැත්ත ගන්න කියලා අභියෝගයක්. මම සතුටින් භාරගත්තා. සිරා අදත් අභියෝග වලට හරිම මනාපයි.

නිලන්තගෙ ගමනට සහභාගි වෙච්ච එකෙක් හැටියට මට දළ අවබෝධයක් තිබුනා කථා බහ කල යුතු දේ සහ මාතෘකාවට පිවිසෙන අන්දම ගැන. මේ ගමන තනියෙන් යන්න බැරි හින්දම නිලන්තගෙ ගමනටත් අපිත් එක්ක ආපු මගේ අතිජාත සගයා පුෂ්පයව එකතු කරගත්තා. මේ කියන දවස් වල ඉතිං රැකියාවල හැමෝම වගේ නිරතව හිටිය හින්දා මේ වගේ ගමනකට කලින් උපදෙස් දෙන්න මගේ මිත්තරයො එකෙක්වත් ළග හිටියෙ නෑ.

අපේ දුරකථන කථා බහෙන් සතියකට දෙකකට පස්සෙ ඇගේ නිවසට ගිහිල්ලා දෙමාපියන්ගෙන් කැමැත්ත විමසන්න මම හිතුවා. පුෂ්පයාට කාල වේලාව වේලාසනින් කියලා මිනිහගෙ දඩු මොණරෙන් ගමන පිටත් වෙන්න කථිකා කොර ගත්තා. ඊටත් සතියකට විතර කලියෙන් අපේ මලයා එයාගෙ වෘත්තීය ජීවිතයෙ පළවෙනි වැටුපෙන් අරන් මට තිළිණ කල අලුත්ම ටී ෂර්ට් එකෙන් හැඩවෙලා රැවුල කාරිය කපාගෙන ඔන්න මම මගට බැස්සා.



ගම්පහ නගරයෙන් සෑහෙන්න ලොකු අයිසිං කේක් ගෙඩියක් සල්ලි සල්ලි කියලා බලන්නෙ නැතුව අරගෙන ඇගේ නිවසට කිට්ටු වෙද්දි ගමන් මග නිසියාකාරව කියා දෙන්න එරන්දිකා පාර අද්දරට වෙලා අපේ ආගමනය බලාපොරොත්තුවෙන් හිටියා.

මෙන්න මේ පාරෙන් හැරුනට පස්සෙ දකුණට තියෙන පළවෙනි පාරෙ තුන් වෙනි ගේ.

භය වෙලාද ඉන්නෙ...මගේ බැරෑරුම් මූණ දැක්කම ඇය එහෙම ඇහුවා.

පිස්සුද....මට කිසිම භයක් නෑ. මම එහෙම කිව්වට පුංචි චකිතයක් හිතේ පැලපදියම් වෙලා තිබුනෙ.

හැමදේම සුභ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මෙන්න මගේ සුභ පැතුම්...ඇගේ සියුමැලි අතැගිලි මගේ දකුණත හා මුසු වුනා.

ඒ එක්කම වගේ නදීරා කෙල්ලත් දුරබණුවෙන් ඇමතුවා....

අද එන්නෙ නැද්ද අපේ ගෙදර...මල්ලිත් මෙච්චර වෙලා බලාගෙන හිටියා අනාගත මස්සිනාව දැක ගන්න ඕනෙ කියලා...එයා මේ දැන් එළියට ගියා. මම අම්මටයි තාත්තටයි කිව්වා අද ඔයා එනවා කියලා....මාව බොරුකාරියෙක් කරන්නෙ නෑ නේද?

අනේ නෑ...අපි දැන් ගේ කිට්ටුව ඉන්නෙ

නිවසේ ගේට්ටුව ආසන්නයටම යද්දි කොහෙදෝ මුල්ලක ඉදලා පැන්න ඇල්ශේෂන් වර්ගයේ දඩෝරියා හින්දා තව පොඩ්ඩෙන් කේක් ගෙඩියත් බිමට හැලෙනවා...මොකද මම නොදන්නා බල්ලන්ට හරිම භයයි. බල්ලාගෙන් මාව බේර ගෙන නිවස තුලට කැන්දාගෙන ගියේ නදීරා.

එරන්දිකාගෙ උපන් දිනයෙන් අවුරුද්දකටත් වැඩි කාලයකට පස්සෙ තමයි නදීරගෙ මුහුණ පොඩ්ඩ නැවත දැක ගත්තෙ. මෙච්චර දවසක් ඇගේ හඩ විතරයි දුරබණුවෙන් ශ්‍රවනය කලේ. එදාටත් වඩා ඇය දැන් සුන්දරයි. මගේ සිත තව තවත් ඇය කෙරේ බැදුනා.

දෙමාපියන්ගෙ ආගන්තුක සත්කාර වගේම...සිරා කොලුවා වන මට සංග්‍රහ කරන්නම ඇගේ අතින් නිමැවුන කේක් කැබැල්ලක රසත් බලලා ඉවර වෙද්දිම.

කේක් රසයිද ?

ඔව් ඔයාද හැදුවෙ ?

හ්ම්....මම එහෙම දෙයක් කරන්නෙ කලාතුරකින්...අද ඉතිං විශේෂ දවසක්නෙ...

පුතා ගැන අපේ දුව කියලා දැන් ගොඩාක් දවසක්...මගේ ආසන්නයෙන්ම අසුන් ගනිමින් ඇගේ තාත්තා මා සමග කථා බහට එකතු වුනා.

ගැලපෙන දෙයක් නම් අපේ අකමැත්තක් නෑ. අපේ දරුවා අපිට කවදාවත් බොරුවක් කියන්නෙ නෑ...අපිට ඉන්න එකම කෙල්ල නොවැ මේ. ඒ හින්දයි පුතාට අද කෙලින්ම අපේ ගෙදරටම ඇවිල්ලා මේ ගැන කථා කරන්න කිව්වෙ.

ඇගේ පියා රජයේ දෙපාර්තමේන්තුවක සේවය කරපු වමේ දේශපාලනයට බර කෙනෙක්...කථා බහ අතරෙදි මගේ දේශපාලන මතවාදය විමසද්දි මමත් ඉතිං නිරායාසයෙන් වමට බර උනා.

පුතාගෙ වයස එහෙම කොහොමද ? මොනවද රස්සාව විදියට කරන්නෙ, දෙමාපියන්ගෙ විස්තර පවුලෙ විස්තර එහෙම...

ඔය වගේ ගැටළු රාශියක් මට යොමුකලේ ඇගේ මව...ඇත්තම කථාව මම නදීරට වඩා මාස 3කට බාලයි. ඒ හින්දම අපි දෙන්නා සම වයසෙ කියලා එදා මම ෂේප් වුනේ.

ඔන්න ඉතිං අපේ කථා බහ අවසන් අදියරට එළැඹුනා.

හොදයි පුතා...අපේ ආරාධනය පිළිඅරන් අපේ ගෙදරට ආපු එක ගැන බොහොම සන්තෝෂයි. මගේ අයියා තමයි...(ලංකාවේ ප්‍රධාන ජාතික පුවත්පතක ප්‍රධාන කර්තෘ වරයකුගේ නමක් පවසයි). එයා එක්කත් කථා කරලා කේන්දරත් බලලා අපි උත්තරයක් දෙන්නම්.

එදා ඇගේ නිවසෙන් සමුගත්ත දවසෙ ඉදන් මගේ හිත කිව්වෙ වැඩේ කෙරෙන එකක් නෑ කියලා...ඒ අර මාස 3 හුටපටේ හින්දා...ඒ හින්දම මම හිතාමතාම කේන්දර කොපිය යැවීම සෑහෙන්න පරක්කු කලා.

මොකද අනේ තාම කේන්දරේ එව්වෙ නැත්තෙ.. නදීරා දවස් කීපයක්ම විමසුවා.

මම ඇත්තම කියන්නම්....මට භයයි මාස 3 ප්‍රශ්නෙ හින්දා ඔයාව මට නැතිවෙයි කියලා...මම අවංකව කිව්වා....

එහෙම කියලා මග අරින්න එපා අනේ...අපේ අම්මා අද උදෙත් ඇහුවා...ඔයාට කේන්දරේ එවන්න බැරිනම් උපන් වෙලාව මට දෙන්න.

ඇගේ ඉල්ලීම හමුවේ අවනත වෙලා මම උපන් වෙලාව ඇයට ලබා දුන්නා..උපන් දිනයත් එක්කම....

බැරි වෙලාවත් ගෙදරින් අකමැති උනොත්...මම කඩඉම් ප්‍රශ්නයක් යොමු කලා.

මම ඒකට උත්තරේ ඔයාට වේලාසනම දුන්නා නේද ? මතක නැද්ද ?

කාලය හැමදාමත් වගේ ටික් ටික් හඩින් ගලාගියා...ඒ අවුරුද්දෙ නිමාව සටහන් කරමින් දෙසැම්බර් 31 වෙනිදාවත් උදා උනා. නව වසර පිළිගන්න හැමෝම සතුටින් බලා ඉන්නවා. සිරාටත් පුංචි පහේ සාදයකට ඇරයුම් ලැබිලා මිත්තරයකුගෙ නිවසෙ. ඒ සදහා පිටත්වෙන්න සූජානම් වෙනකොට රාත්‍රී 9 පහුවෙලා නදීරාගෙන් ඇමතුමක්.

හලෝ....

ඇගෙන් කිසිම උත්තරයක් නෑ...

පුංචි ඉකිබිදුමක් විතරක් ඇහෙනවා...

මොකද උනේ...ඇයි අඩන්නෙ...

ඇය තාමත් කථා කරන්න ආයාසයෙන් වචන ගොනු කරනවා...

අපේ අම්මා ඔයාට කැමති නෑ. අද මම උදේ යද්දි ඔයාගෙ උපන්දිනේ ලියපු කොළ කෑල්ල අම්මට දීලා ගියේ..අද හවස අම්මා තාත්තට කිව්වා...කේන්දර බලන්න උවමනා නෑ මේ වැඩේ අත ඇරලා දාමු කියලා. තාත්තත් ඒකට කැමතියි...කොල්ලා කෙල්ලට වඩා වැඩිමල් වෙන්න ඕනෙ කියලා ඒගොල්ලො බොහොම තදට කියනවා.

මාස 3 ප්‍රශ්නෙ ඔයාටත් ප්‍රශ්නයක්ද ? මම ඇගෙන් විමසුවා.

මට ඒක ප්‍රශ්නයක් නෑ. ඒත් මගේ අම්මටයි තාත්තටයි ඒක සෑහෙන ප්‍රශ්නයක්. ඒ අය එක්ක තර්ක කරන්න මම කැමති නෑ. මම ඔයාට වේලාසනම කිව්ව දේවල් මතකයි නේද ?

ඔව්...

මගේ කැමැත්ත ඉල්ලලා මට ආයෙ කරදර කරන්න එපා. මම ඔයාට තමයි ජීවිතේ ඉස් ඉස්සෙල්ලාම කොල්ලෙක්ට කියලා ආදරේ කලේ....ඒත් මට දැන් අමාරුවෙන් හරි ඒක අමතක කරන්න වෙලා.

මම දන්නවා...ඔයා එහෙම කරන්න. මම පොරොන්දු වෙච්ච විදියටම ආයෙ මේ ගැන ඔයා එක්ක කථා කරන්නෙ නැතුව ඉන්නම්.

මා එක්ක තරහද ?

අපොයි නෑ...හමුවෙනවා...වෙන්වෙනවා...ඒක තමයි ස්වභාවය...සිහින මාළිගා සුනු විසුනු වෙලා කඩා වැටෙන වෙලාවෙ හිත අමාරුවෙන් ඉහළට ඔසවාගෙන මම ඇයට පිළිතුරු දුන්නා.

එහෙනං ඔයාට සුභම සුභ අනාගතයක් මම ප්‍රාර්ථනා කරනවා...මට වඩා හොද කෙනෙක් දවසක ඔයාට ලැබේවි.

මමත් ඔයාට කරුණාවන්ත නර්ස් නෝනා කෙනෙක් වෙන්නත්...ජීවිතේ ලස්සන වෙන්න කියලත් ප්‍රාර්ථනා කරනවා. ඇගේ ඉකි බිදුම කෙමෙන් වැඩි වෙද්දි මම දුරකථනය විසන්දි කලා. මගේ නෙත් කෙවෙනි තුල ගුලි වෙන්න ඉඩ නැති තැන කදුලු බින්දුවක් දෙකක් එළියට පනින්න පොර කනවා..

තවත් මොහොතකින් මම මිත්තරයො මැද, ප්‍රිය සාදයක් අභිමුව.

උන් හරිම ප්‍රීතියෙන්...තම තමන්ගෙ මේ වසරෙ ඉටුකරගත් බලාපොරොත්තු ගැන කථාව...මගේ කථාව මම කාටවත් කිව්වෙ නෑ.

එක්වරම හතර අතින් රතිඥ්ඤා හඩ වාතලයට මුසු උනා...ආසන්නයේ තියෙන ක්‍රිස්තියානි පල්ලියෙ ඝණ්ටාරයේ හඩත් ඊට එකතු වෙලා. රෑ 12 පූජාවෙ හඩ යන්තමින් ඇහෙනවා. අපේ කොල්ලො එකිනෙකාව වැළද ගනිමින් සුභ නව වසරකට ආසිරි එකතු කලා. පරණ අවුරුද්දෙ අදුරු මතකයන් නව අවුරුද්දෙ හිතින් අයින් කරගෙන ජීවිතය ජය ගන්නවා කියලා ඒ අතර තුර මමත් තරයේ අධිෂ්ඨාන කර ගත්තා.‍

මම කාමරේ වෙසෙන සත්ගුණවත් සිරා කොලුවා.




ප.ලි

මගේ මිත්තරයා නගා සහ එරන්දිකා ආදර සබදතාව දෙදරා ගියාට පස්සෙ මේ කථාවෙදි කියවුන දැරිවියො හැමෝම තම තමන්ගෙ විවාහයන් එක්ක අපෙන් ඈත් වුනා. සියල්ලන්ම සුහදව සිටි ඒ අතීතය මතක් වෙන වාරයක් පාසා සිහින් රිදුමක් දැනෙනවා.

මා එක්ක තනියට ගිය පුෂ්පයත් විවාහයෙන් පස්සෙ බිරිද සමග දැන් වෙනත් රටක වෙසෙන්නෙ.

මේ සිදුවීමෙන් පස්සෙ එකම එක වරක් හදිසියේ ඇය මට ගම්පහ නගරයේදි මුණ ගැසුනා. එදා ඇය මා දෙසා බලා සිට සිනාවකින් සංග්‍රහ කර ඉවතට දිව ගියා.

නැවත වරක් කිසියම් දිනක ඇය මට මුණ ගැසේවි. ඒ රෝහලකදී වෙන්නටත් පුලුවන්.

සීදූව පල්ලිය හන්දියේදී බයිසිමොටෝවෙන් කරණම් ගසා කටට යටින් මැහුම් 5 ක් දමාගත් හිතවත් බ්ලොග් සහෘදයා Chami4U වෙත ඉක්මන් සුවය පතමි.
Related Posts Plugin for WordPress, Blogger...