Thursday, November 28, 2013

118 මගුල් හටන්

මගේ වෘත්තීය ජීවිතයේ දෙවන නැවතුම වූ කලී දැන්වීම් ප්‍රචාරණ කටයුතු කරනා ලංකාවේ ප්‍රකට ආයතනයකි. පුවත් පතක පළවී තිබූ දැන්වීමකට අනුව අයදුම් කර පරීක්ෂණ ආදියෙන් සමත් වී, ඔවුන් සමග එක් වූ මා හට වැඩිකල් නොගොස්ම ආයතනයේ පිරිසක් සමග සුහද සාදයකට එක් වන්නට වරම් ලැබුනි. ඒ අපේ සීනියර් ඩිසයිනර් ගොයියාගේ වෙඩිම කන්නට.....

මල්ලි....උඹත් මගේ වෙඩිමට වරෙන්...මගේ නමට අකුරු කල කාඩ් පතක් මා අත තබමින් හෙතෙම මා හටද ගෞරව සම්ප්‍රයුක්තව ආරාධනා කොලේය. සුපුරුදු පරිදි ටික් ටික් හඩින් ගලා ගිය කාලය අප වෙඩිමට යන දිනය ආසන්නයටම කැදවාගෙනද ගියේය.

වෙඩිම තියෙන්නේ සෑහෙන දුරකය. එනම් හැටන් පැත්තේ කොටගල නම් ඉසව්වේය. ඒ නිසාම දැරිවියෝ එහි යන්නට එන්නේ නැති බව කීවෝය. තවත් සමහරු මම ඔච්චර දුර යනවට අරයා කැමති නෑ, නැන්දම්මා කැමති නෑ...අල්ලපු ගෙදර සුදු අයියා කැමති නෑ ආදී ලෙස විවිධ කරුණු දක්වමින් ආරාධනය මග හරින ලකුණු පෙන්වයි. එකෙක් දෙන්නෙක් අනේ මට හොද සාරියක් නෑ යනුවෙන් මුචලින්ද ප්‍රමාණයේ නාගයන්ද ඔපීසිය කියා බලන්නේ නැතුව ඔහේ මුදා හැරියෝය.

හැටන් කියන්නෙ සීතල පැත්ත....අපිට එදාට ගහන්න පුලුවන් කොල්ලො රිදෙන්න...මත්ලෝලී පොදු ජනමනයා එසේ පැවසූහ. කොහොමත් මගුලකට යන්නට පිරිමි පාර්ශවයට එතරම් දේ අවශ්‍ය නැත. මූණේ විසිතුරු මතු කරන්නට වැලි කඩදාසි, පොටි වැනි දෑ අවශ්‍යද නැත. ඒ නිසාම මේ මගුලට යන්නට පිරිමි පාර්ශවය සිටියේ දත කට මදිමිනි.

මස්සිනා, අපිට මගුලෙ යන්න හොද වාහනයක් ලැස්ති කරපන්. ආයතනයේ වාහන භාරව සිටි තැනැත්තාට වේලාසනින් මේ වග පවසා වැඩේ සැටමෝල් කර ගන්නට තරම් අපේ පිරිමි පාර්ශවය දූර දර්ශී ඇත්තන්ම වූහ.

මංගල උත්සවයට පිටත් වන දිනය උදා වන විට අප සමග යන්නට කිසිම බවලතෙක් නොවූයෙන් එය තනිකරම විනෝද චාරිකාවක් සේ දිස්විය. ගෙදරදී මැදගෙන පොඩි නොවන සේ ගෙනා මගුලට අදිනා ඇදුම් වෙනම බෑගයක අසුරාගෙන ඩෙනිමකින් හා ටී ෂර්ටයකින් සැරසී මගුල් නඩේ ගමනට මුලපුරන්නටයි දැන් සූජානම.

වාහන බාරව සිටි පුද්ගලයා කදිම බුවෙක්ය. අපට යන්නට තිබූ සියලුම වාහන විවිධ කාර්යයන්ට මුද හැර ඇති සෙයකි. දැන් මොකේද බොල යන්නෙ ? උඹට වේලාසනින්ම කිව්වා නේද අපිට වාහනයක් තියපන් කියලා...

අනේ මට සමාවෙන්න ලොකු අයියේ....අත්‍යවශ්‍යම වැඩකට තමයි ඕගොල්ලන්ට යන්න වෙන් කරපු වෑන් එක වෙන ගමනක් යැව්වෙ.

දැන් මොකක්ද එහෙනං යන්න තියෙන්නෙ...

කැමති නම් අර ඩීමෝ බට්ටව අරන් යන්න.


බට්ටා........
බට්ටා අල්ලලා ගහ ගනිං උඹේ -කේ.

නප්පියට තද වූ එකෙක් වාහන භාරව කටයුතු කරන සුපින්වතාට දෙස් දෙයි.

ඩීසල් ගහන්නට සොච්චමක් දී යන්නට හැකි නිසාම කෙසේ හෝ අවසානයේ සැට් එක බට්ටා මතට ගොඩ වූහ. ඒ තරමක කාලයක් ගෙන එය මොඩ් කලාට පසුවය. පිටුපස කොටසට කෘතිම වහලයක් සකසා...තට්ටුව මත නිවෙසක සාලයේ තිබෙන ආකාරයේ සෝෆා සැට් දෙකක් තැබූ පසු එය සුවපහසු වාහනයකි. යකඩ හා ලී භාවිතයෙන් කදිම වැඩ කල හැකි වැඩ කරුවන් සිටිනා වැඩ පලකින් යුතු වූ (Work Shop) මේ කියන ආයතනයේදී පෙර කියූ ලෙස බට්ටා සැකසීම එතරම් අමාරු කාරියක් නොවුනි.

පොල් ගසා, දුම් අල්ලා, දෙවියන්ට යාථිකා කිරීමෙන් පසු අපේ ගමන ඇරඹිනි. බට්ටා ඒ මේ අතට පැද්දෙමින් තැන්නේ හැටට හැටේ දුවයි. එහෙත් කන්දක් දුටු විගස හති හලයි. එදා අප සමග සිටි අය අතර අපේ කොම්පැණියේ සුපරීක්ෂකයෙකු, අළෙවි ප්‍රවර්ධකයෙකු, ස්ටිකර් අලවන්නෙකු මෙන්ම වෑල්ඩින් කරුවන් දෙදෙනෙකුද සිටි බව මට මතකය. රථය පැදෙව්වේ කොම්පැණියේම රියදුරු සගයෙකි.

අපේ පළමු ගමනාන්තය වූයේ බෝපත් ඇල්ලයි... බට්ටා දැන් ගමන් කරන්නේ ඒ ඉසව්ව වෙතය. එක ආයතනයක සේවය කලද  අප විවිධ අංශ වලට අයත් වීමත්...ඒවා එක් ස්ථානයක නොව විවිධ තැන්හි පිහිටා තිබීමත් නිසාම මේ ගමනේදි හමුවන ඇතැමුන් මට ආගන්තුකයෝය. ස්ටිකර් කරුවා සහ වෙල්ඩින් කරුවෙකු ගෑණු දැක නැති උන් බැව් මට ඒ වන විටත් වැටහී තිබුනි.  පිටුපස විවෘත බට්ටා ඉදිරියට ඇදෙද්දී මාර්ගයේ ගමන් ගන්නා සෑම යුවතියකටම උන් දෙන්නාගේ අවඥා සහගත විහිලු වලින් ගැලවෙන්නට නොලැබීම එයට හේතුවයි.

අනෙක් වෙල්ඩින් කරුවා තරමක වයසක අයෙකි. නමුත් ජොලිය කොතැනද එතැනදී කොල්ලන්ටත් වඩා පෙරමුණ ගන්නෙකි. හෙතෙම ලීනස් නම් විය. ස්ටිකර් අලවන්නා ලලිත් වන විට අනෙක් වෑල්ඩින් කරුවා අනුර නම් විය.

බෝපත් ඇල්ලෙන් නා කියා ගෙන පිරිස මගුල් සූට් එකට මාරු වුනේ ඇදුම් මාරු කරන්නට එහි වූ, කුලියට දෙන ලෑලි කාමර තුල සිටය. සැට් එකම මනමාල පෙනුමෙන් සන්නද්ද වූ පසු බට්ටා හැටන් බලා කන්ද නගින්නේ දැන්නම් මට සෑහෙන්න අමාරුයි කොලුවෝ කියමිනි.

මගුල පැවැත්වූයේ තේ වත්තක් මැද වූ රමණීය ස්ථානයකය. සිහින් මීදුමත්, ඇගට දැනෙන කදිම සිසිලත් නිසාම බොහෝ උන් සිටියේ මත් වතුරෙන් බොක්ක තෙමා ගන්නේ කොයි වේලාවේදෝයි සිතමිනි. ඒ නිසාවෙන්ම මගුලට පිවිසි සැනකින් මංගල යුවලට සුභ පැතීමද පසෙකලා සියල්ලෝ බෝතලය ඇති ඉසව්වට ඉව ඇල්ලූහ.

අප එහි යන විටත් අපිටත් කලියෙන් එහි පැපත් වූ අපේ ආයතනයේ තවත් ඇත්තන් පිරිසක් විසින් බෝතලය කරළියට ගෙනවිත් තිබුනි. මනමාලයා පව්ය. නැත්නම් මේ වගේ බේබද්දන් පිරිසකට මෙවැනි ප්‍රදේශයක වෙඩිමකට ආරාධනා කරන්නේ නැතිය. එකෙකුට එකෙක් දෙවැනි නැත. බෝතල්ම ඉල්ලයි.

කොච්චර ගැහුවත් වදින්නෙ නෑ බං....මොනවද බන් මේ බ්‍රැන්ඩි...හොරට ගහන එකක්ද මන්දා....

බලාපොරොත්තු වන කික් එක නොමැති කල බැනුම් අසන්නේ බෝතලය නිපදවූ සමාගමයි.

කෝ බන් ලලියා....මත් වතුර අතරින් එකෙක් විමසයි.

මම දැක්කා වැනි වැනී හෝටලේ ඉස්සරහා පැත්තට යනවා... තවකෙක් උත්තර බදියි.

මේකා කොහේ හරි ගොස් කුප්ප වැඩක පැටලී ඇතැයි  භියෙන් මම ඉක්මනින් ඒකා සොයා ගියෙමි. මා යන විට ලලිත් සිටියේ හෝටලයේ ඉදිරිපසට වන්නට තිබූ රෙස්ටූරන්ට් එක තුලය. ප්‍රධාන මාර්ගයේ ගමන් ගන්නා මගීන්ට  ආහාර පාන ආදිය ලබා ගත හැකි තැනක් වූ එයින් කිරි තේ කෝප්පයක් බී මුදල් නොගෙවා මගුලට ආ අයෙකු ලෙස පාරම් බාමින් සිටි හෙයින්ම එහි වූයේ උණුසුම් වාතාවරණයකි. කාර්ය මණ්ඩලයේ සුන්දර මුහුණු ඇති යුවතියන්ගේ කෝපයෙන් රතු වූ දිගැස් ලලියා දෙසටම යොමුවී තිබේ.

ඒ වන විටත් හෝටලයේ කළමණාකාරතුමාද ගැටලුව විසදීමට පැමිණ සිටි අතර මනාලයාගේ පියතුමා හා මවිසින් කාරණය පැහැදිලි කොට අදාළ පාර්ශව වෙත කණගාටුව ප්‍රකාශ කල පසු තේ කෝප්පයේ බිල ගෙවා යන ලෙසට අවසන් තීරණය ලැබිනි.

මනාලයාගේ පියා සැනෙකින් ඒ මුදල ගෙවූයෙන්..ලලියාගේ මෙන්ම මංගල උත්සවයේද ගෞරවය රැකුනේය.

උඹ මොකද බන් පිස්සු කෙළින්නෙ...මොනවටද මේ අරක්කුත් බීලා කිරි කෝපි බොන්න ගියේ... තාත්තගෙ බස් අසා ඒ ඉසව්වට පැමිණි මනමාල තුමා එහෙම ඇහුවෙ ටිකක් සැරෙන්.

කවුද බන් දන්නෙ...මම හිතුවෙ මගුල් ගෙදරට ගේන්න එතන තමයි කෝපි හදන්නෙ කියලා...මම ගියේ එතන කෙල්ලෙක්ව ලයින් කර ගන්න...නිකං ඉන්න බැරි කමට තමයි කෝපි එක ගත්තෙ...පස්සෙ මතක් වුනේ පර්ස් එක වාහනේ ඇතුලෙ කියලා.

උඹලා ඇති තරම් බීපල්ලා...කාපල්ලා...මම අපේ මාමලටත් කිව්වා ඔෆිස් එකේ උන්ට රිදෙන්න සලකන්න කියලා...ඒකෙ කිසිම අවුලක් නෑ...අනේ වදින්නම්...කෙල්ලන්ට තුණ්ඩු කෑලිනම් දෙන්න හදන්න එපා. මෙතන ඉන්න ගොඩාක් අය අපේ නෑදෑයො.එහෙම කියපු මනාල ගොයියා ආපහු හැරුනා....හැබෑටම ඇයි ඒකා එහෙම කිව්වෙ....කලින් වතාවක ඔෆිස් එකේ උන් එක්ක මේ වගේ ගමනක් ගිහිල්ලා වෙච්ච දෙයක් නිසාද...මම තනිවම කම්පනා කොලා.

දිවා භෝජනය උදෙසා ආරාධිතයන් එක්ව ඇරඹූ පෝලිමේ දිග දැකීමෙන් දිවා ආහාරය ටක්කෙටම ලැබේදෝයි සැක සංකා පහල විය. ඒ නිසාම  අපිද සුනංගු නොවී වහ වහා ඒ මගම ගියෙමු. ඔයින් මෙයින් හිරු අවරට යන්නට යන්නට අවට පරිසරයේ සෙන්ට්‍රිග්‍රේඩ් අගය පහල ගිය හෙයින් දිවා භෝජනයෙන් පසුද බෝතල් කොට විවිධ අහුමුලුවලින් ප්‍රාතූර්භූත වී අවසන් බින්දුව දක්වාම අපේ උන්ට සේවය සැලසීය. එහි ආනුභාවයෙන් බමන මතින් යුතු පිරිසක්ද මංගල සභාවේ අසුන් ගත්හ.

මේ කියන දිනය සිරා කොලුවා වන මටද රිදෙන්නට වැදුනු දවසකි. එහෙත් බීමට පෙර මෙන්ම පසුවද සාමකාමී චරිතයක් නිසාම මාගෙන් කිසිවෙකුටත් කරදරයක් නැත.

නව යුවල මධු සමයට පිටත් වීමට ප්‍රථමයෙන් දැන් දෙපාර්ශවයේම වැඩිහිටියන් තම තමන්ගේ කුල පරම්පරාවන්හි නම්බුකාර බව මොනවට පසක් කරමින් නව යුවල වෙත අවවාද අනුශාසනා කරන අවස්ථාවටයි දැන් අපි එළඹ සිටින්නේ...එකෙකුට එකෙකු දෙවැනි නැත. තම තමන්ගේ වරිගයා ඉතාම හොද අයවලුන් බව රගපා පෙන්වයි. ඹමන මතින් යුතු වුවද අනුර සහ ලලිත් කෙල්ලක දැලේ දා ගන්නට  මාන බලයි.

උඹට හිත ගිය කෙල්ලෙක් එහෙම නැද්ද මෙතන....ලලියා මගෙන් විමසූයේ මේ අතරය.

ඒ වෙද්දී මගේ හිත ගත් රූමත් එකියක මංගල සභාවේ වූයෙන් මම ඈ පෙන්වීමි.

උඹ මොකද කියන්නෙ...උඹේ ටෙලිෆෝන් නොම්බරේ මම ඔය කෙල්ලට දුන්නොත්...ලලිත් මා සමග අලුත් කාර්යයකට අතගසයි.

ඔට්ටුයි බෑ....මම පිළිවදන් සැපයූවෙමි.

උඹ දන්නෙ නෑ බන්...මේ ලලිත් කවුද කියලා...පොඩ්ඩක් හිටපං....මම කොළයක් හොයාගෙන එනකං...

මංගල සභාව වටේ රවුමක් ගිය ලලිත් කොලුවා නැවතත් මට සම්මුඛ වූයේ හිස් සිගරට් පැකට්ටුවකින් ඉරා ගත් කාඩ්බෝඩ් කැබැල්ලක්ද සමගිනි.

ඕකෙ ලියපං නොම්බරේ... හොද සිහියෙන් ඉන්න වෙලාවට ඔලුව පහත් කර යටහත් පහත්ව කථා කරනා මේකා දැන් දැන් රැස්පොට්ය.

සෑහෙන වෙහෙසක් දරා සොයාගත් පෑන් කබලකින් මම ඉක්මනින් පැහැදිලි ලෙස නොම්බරය සටහන් කළෙමි.

උඹ බලාගෙන ඉදහං..මම මේක ඒ කෙල්ලගෙම අතට දෙන හැටි....අපි ඩෝ ෆේස් ටු ෆේස් ගේම් ගහන කොල්ලො අරිද ? ඕක්....ලලියාට වැඩි වී ඇති සෙයකි.

මම කියූ සී දේවි යුවතිය හිදගෙන සිටිනුයේ උත්සව සභාවේ කෙළවරකට වන්නට තිබූ ස්ථානයකය. අහස් නිල් පාටට සමාන නිල් පැහැයක් සමග කලු පැහැය මිශ්‍ර වූ  ඔසරියකින් සැරසී සිටි ඇය අතිශයින්ම රූමත්ය. බැලූ බැල්මට ඇය සිටිනුයේ තනිවමය. හොර පූසෙකු මෙන් වට පිට බල බලා ලලියා ගොදුරට ළං වන විටම කොහේදෝ සිට ඈ වෙත ඇස ගසා සිටින ඇගේ මාතාව යැයි කිවහැකි වැඩිහිටි කාන්තාවක් මේ දර්ශන පෙළ අතරට කඩා පාත් වෙයි. ෂේප් න්‍යායෙන් ආපසු හැරෙනා ලලිත් කිසිවක් නොවූ ලෙස නැවතත් මා කරා එයි.

කෙල්ලගෙ අම්මා එක්ක බෑ බං...ඒකිට ඇහැ ගහගෙනමයි ඉන්නෙ...ඒකා නිදහසට කාරණා ඉදිරිපත් කරයි.

තවත් විනාඩි කීපයක් ඇවෑමෙන් ලලියා නැවතත් උත්සාහ කරයි. ප්‍රතිඵලය පෙර පරිදිමය. පරාජිත හැගීමකින් ඒකා මා වෙත සම්මුඛ වෙයි.

මොනවද බන්...උඹේ පුරාජේරුව විතරනෙ...කෝ කොලාද ?

මාගේ උපහාස බස් තවදුරටත් අසා සිටිනු නොහැකි තැන ලලියා ඊ ගහක වේගයෙන් ඒ දෙසට නැවත වාරයක් ඇදුනේ මෙදා පොටේ නම් දෙන එක දෙනවාමයි යනුවෙන් මා හට ශපත කරමිනි.

දැන් සිරා කොලුවා සිටින්නේ මේ වටිනා දර්ශනය හොදින් දෑසට හසුකර ගත හැකි ස්ථානයකය. මා හට මෙහි සිට එක එල්ලේ  තොරණේ විස්තරය අපූරුවට පෙනේ. එවර ලලියා කෙසේ හෝ ඇය තනිකර ඈ වෙත ලං වන්නට සමත් වුවද තුණ්ඩුව දෙන්නට කලියෙන් සිරිත් පරිදි මව්තුමිය සැපත් වූවාය.

මව් තුමිය  සමග මද වේලාවක් සුහද කථා බහක නිරත වූ ලලියා ඈ වෙත තුණ්ඩුව දී මා සිටිනා ඉසව්ව පෙන්නන්නට හැරුනත් එහි මා නොවූයෙන් තරමක අපහසුතාවකට පත් වන බව පෙනුනි. ඒ අවසරයෙන් ඔවුන්ගෙන් සමුගෙන ඒකා මා සොයා පැමිණියේය.

කෙහෙද බොල ගියේ...මම අන්න කෙල්ලගෙ අම්මටම තුණ්ඩුව දුන්නා...අපි එහෙමයි...වැඩක් භාර ගත්තොත් තිතට ගේම දීලා ඇති...

ඉතින් බං මම කිව්වෙ කෙල්ලට දෙන්න කියලනෙ...උඹ අම්මට දුන්නෙ මොකද...

අම්මා මොකද කෙල්ල මොකද...උන්ගෙ අම්මත් හරි ජොලි බන්...මගෙන් ඇහුවා ඇයි පුතා හොරගල් අහුලන්නෙ කියලා....මමත් කිව්වා ඇන්ටි මේ යාලුවෙක්ගෙ වැඩකට කියලා...

ඉතිං උඹ දිගඇරියා ජාතකේම.. සිරා කොලුවා වන මම මැද්දට පැන්නෙමි. මේවා මනමාල ගොයියා දැනගත්තොත් වසලා හමාරය.

පොඩ්ඩක් ඉදපන්කො පැහැන්නෙ නැතුව...මම කිව්වා මගේ යාලුවෙක් ඔයාගෙ දුවට මනාපයි...එයාගෙ නොම්බරේ දෙන්න ආවෙ...දෙපාර්ශවය කථා කරගෙන ඉදිරි කටයුතු කරගන්න කියලා.

ඉතිං ඊට පස්සෙ මොකද උනේ...ලලියා නම් මාර බඩ්ඩක්..මගේ සිත මටම කියයි.

ඊට පස්සෙද...ඊට පස්සෙ අම්මා කෙල්ල දිහා බලලා තුණ්ඩුව ගත්තා...ගානකට නොගෙන කිව්වා...

මේවා දැන් දීලා වැඩක් වෙයිද මන්දා...මෙයාව බදින්න කියලා කෙනෙක් දැන් ගෙදරටම එනවා කියලා...
අන්න ඒ වෙලාවෙ තමයි බොල උඹව පෙන්නුවෙ...උඹ මාරු උනා නේද මාව ගිරේට අහු කරලා...

පික්සු කථා කරන්න එපා මස්සිනා..උඹව මම එහෙමත් අමාරුවෙ දානවද ? මම මේ අනුරයා කොහෙද කියලා බලන්න ගියා...

කවුද කවුද අපේ කෙල්ලට තුණ්ඩු දුන්නෙ....
ඇදලා ගනු ඕකට දෙකක් දෙන්න...

මංගල සභාවේ අවවාද දේශනා  අතරතුර අනතුරක සේයා මතුවෙයි....

හැබෑටම මක්ක වෙන්න ඇතිද ? සිරා කොලුවා ලලියත් එක්ක බඩකට පුරා කන්න ඇතිද ? නැත්නම් අපේ නිශ්ශබ්ද සහන් කියනවා වගේ ගං පෝරියල් එකක්ද ?

ඒ කොටහ ඊළග කොටසින්  කියවමු එහෙනං... එතකං ඒකත් මේකෙ ලිව්වෙ නෑ කිය කියා මට බැනහල්ලා.



මතු සම්බන්ධයි....



මම කාමරේ වෙසෙන සත්ගුණවත් සිරා කොලුවා.



ප.ලි

මෙහි එන සිදුවීම් ඇත්තම ඇත්ත වුවද පුද්ගල අනන්‍යතාව රැකගනු උදෙසා මනංකල්පිත නම් භාවිතා කල බැව් ඔබට කියන්නට රිසි වෙමි. ඒ අනුව මෙහි කිසිම නමක් ඒ ඒ චරිත සතු නියම නම් නොවේය.

මලේ..... පෝස්ටුවක් දෙකට කඩද්දි ඒකෙ කුතුහලය උපරිම තැනින් කඩහං යැයි මා හට අම්පාර ගමන අතරතුර ගුරුහරුකම් ලබා දුන් වෙනිවැල් මාමා ආදරයෙන් මතක් කොරමි. ඒ කිව් ලෙසම බැටේ දුන්නෙමි.












Sunday, November 24, 2013

184 රංජිත් අයියා සහ තේ පෙට්ටිය

විමලාවතී යනු අපේ ජෑස් කොල්ලාගේ බිරිදයි. ජෑස් කොල්ලා ගැන කියවූ අයට ඇය අමතක වන්නට ඉඩක් නැත. එසේත් නැත්නම් කසිප්පු කලුවාගේ නිවසට ගිය සිදුවීම සමගද මේ තැනැත්තිය කරළියට ආවාය. මේ කියන්නට යන තේ පෙට්ටිය ඇගේය. එය ඔබ හිතනා තේ පෙට්ටියට මදක් වෙනස්ය.

මා 3 වසර පන්තියේ පමණ ඉගෙන ගන්නා සන්දියේ පියාණන් සිටියේ විදේශගතවය. එකල මගේ මලයා පෙර පාසල් යන කුඩා එකෙකි. මලයාගේ පෙර පාසල මගේ කුඩා පාසලට යාබදව පිහිටා තිබුනෙහිය. දහවල් 12 ට එහි නිමාව සටහන් වුවත් මගේ පාසල නිමා වූයේ දහවල් 1.30 ටය. අද මෙන් තුන් රෝද රථ සුලභ නොවූ ඒ කාලයේ  ඒ ආශ්‍රිත පාසල් සේවයන්ද නොවූයෙන් සවස් වරුවේ අප දෙදෙනා නිවසට ගෙන යාමට මෑණියන්ට දෙවරක් ඒ සදහා පාසලට පැමිණෙන්නට සිදු වූවාය.

මේ වෑයම දෙස අනුකම්පා දෑසින් බලා සිටි එකල මගේ පන්තිය බාරව සිටි ගුරුපියා, මලයාගේ පෙර පාසල නිමා වූ පසු ඔහුට මගේ පන්තියට පැමිණෙන ලෙසත්, පාසල අවසානයේ දෙදෙනාම එක වර රැගෙන යන ලෙසත් මෑණියන් හට දැන්වූයෙන් එතැන් සිට ඇගේ කටයුතු පහසු විය.

කුඩා කල ඉතාම හුරුබුහුටි එකෙකු වූ මගේ මලයා නොබෝ දිනකින්ම අපේ පන්තියේ වූ මගේ වයසේ කොල්ලන් කෙල්ලන් සියල්ලන්ගේම හුරතලයට පාත්‍ර වූවෙහිය. විවේකයේදී අනුභව කරන්නට ගෙන එන බිස්කට්ටුවක් දෙකක් හෝ පාන් කැබැල්ලක් අපේ එකාට දෙන්නට ඉතිරි කර ගන්නට තරම් ඇතැම් උන් මද කාලයකින්ම ඔහුට ලෙංගතු විය. දාංගලය බෙහෙවින් අඩු හෙතෙම පන්තියේ ගුරුවරයෙකු පාඩම් කියා දෙන විට කුඩා පුටුවකට බර වී ඒ දෙස යොමාගත් දෑසින් බලා සිටියේය. දවස අවසානයේ අප දෙදෙනාටම එතැන් සිට එකටම වාගේ නිවෙස බලා යා හැකි විය.

මධ්‍යම තත්වයේ ආර්ථික තත්වයකට අපේ කුටුම්භය එකල හිමිකම් කිව්වද එය සම්පූර්ණයෙන්ම තාත්තා උපයන මුදලක් මත පදනම් වූයෙන් වෛවාරණ විදුලි උපකරණ අපේ නිවසේ සුලභ නොවීය. තාත්තාගේ අම්මාට හෙවත් මගේ මිත්තනියට බණ අසන්නට සාලයේ කුඩා රේඩියෝවක් වූ නමුදු අප නිවසේ රූප පෙට්ටියක් තිබුනේ නැත. වර්තමානයේ නම් රූප පෙට්ටියක් නොමැති නිවසක් සොයාගත නොහැකි වුවත් එකල අප ගම් පියසේ රූපවාහිනියක් තිබුනේ එහෙමත් තැනකය. ඇතැම් උන් ඒවා නරඹන්නට...විශේෂයෙන් එකල ඉතාමත්ම ජනප්‍රියව පැවති කෝපිකඩේ නරඹන්නට ඒ තැන් කරා ගියත් ඇතැම් විටෙක නිවෙස් හිමිකරුවන්ගේ රැවුම් ගෙරවුම් හේතුවෙන් ඒ උත්සාහයන්ට මද කලෙකින්ම තිත තැබිනි.

දවසේ නිමාව සටහන් කරමින් අදුර වැටෙන විට ටින් බෙලෙක්කයක් සොයාගෙන එයට ගසමින් මහ හඩින් ගීත ගායනා කිරීමේ පුරුද්දක් එකල මා සතු විය. විටෙක මගේ මලයාද මේ කාරියට දායක වුවත් එය සැමදාම සිදු නොවූවකි.

මගේ ගීතයන් අසා එහි හොද නරක වර්ණනා කරන්නට එකතු වූවෝ ජෑස් කොල්ලා සමග විමලාවතී යුවල වූහ. ගීතය නැගලා යන විටෙක අපේ නිවසට පැමිණ මිත්තනිය සමග කථා බහකට වැටීම මේ කියන ජෑස් කොල්ලාගේ දින චරියාවේ අංගයකි. රාත්‍රී බත් පත සූජානම් වන තුරුම මේ කථා බව පැවති බවයි මට මතක.

අරුමෝසම් උපකරණ නිවෙස් තුල හිග වූ මේ කියන කාල වකවානුව සැබැවින්ම සුන්දර කාල පරිජේදයකි. අසල්වැසියන් බොහෝ දෙනෙකු නිදා ගන්නා වේලාව උදා වන තුරුම අල්ලාප සල්ලාපයේ යෙදීම එකල ගමේ එකමුතු කම මෙන්ම සමගියටද බෙහෙවින් ඉවහල් විය. අද අප පාවිච්චි කරන ඇතැම් නවීන පහසුකම් මිනිසුන්ගේ වූ ඒ බැදියාව නැති කර ඔවුන් අතර පරතරයක් ඇති කිරීමට දායක වූ ඒවා යැයි විටෙක මට සිතේ.

අපේ ජෑස් කොල්ලාට සහ විමලාවතී යුවලට දරුවන් සිටියේ නැත. ඒ නිසාම ඔවුන් කුඩා අප කෙරේ වැඩි වැඩියෙන් සෙනෙහස දැක්වූවා වන්නටත් පුලුවන. විමලාවතී උන්දැගෙ පැත්තෙන් ඉතා ලග ඥාතීත්වයක් තිබූ රංජිත් අයියාට ඔවුන්ගේ නිවෙස පසු කලෙක ලියා පැවරීමට මේ යුවල කල්පනා කර තිබූයෙන් හමුදාවේ සේවයෙන් නිවාඩු ලැබ පැමිණෙන සෑම විටෙකම හෙතෙම අපේ ඉසව්වට පැමිණීම වැරදුනේ නැත.

සරමකින් හා කමිසයකින් නිතර සැරසී සිටි රංජිත් අයියා තරමක් කලු පැහැති සිරුරකින් හෙබි දේහදාරී නිවුනු ගති පැවතුම් තිබූ පුද්ගලයෙකි. යුද්ධය බොහෝ දරුණුවට ඇවිලී තිබූ එසමයෙහි අපේ වැඩි හිටියෝ ඔහුගෙන් ඒ පිළිබද විවිධ තොරතුරු විමසූ බැව් මට මතකය. සාමාන්‍යයෙන් යුද්ධය පිළිබද කිසිවක් නොකියන රංජිත් අයියා එවන් අවස්ථාවක පමණක් කුමක් හෝ දොඩයි.

ගම පුරාම කුඩා අප සමග ඇවිදින්නට යාමත්, අපේ අසල්වාසියකුගේ වත්තේ පිහිටි අති විශාල දිවුල් ගසේ ඉදුනු ගෙඩි අහුලන්නට යාමත්, සරුංගල් අරින්නට වෙල් ඉස්මත්තට පිවිසීමත් නිවාඩු ලැබ පැමිණි විටෙක ඔහුගේ රාජකාරීන්  අතරට එක් වෙයි. අපගේ වැඩිමහලු සොහොයුරෙකු මෙන් අපත් සමග සිටි රංජිත් අයියා පසු කලෙක ඉතාමත් අභාග්‍ය සම්පන්න ඉරණමකට මුහුණ දුන්නේය. ඒ ගැන ලිපිය අග සටහනක් තබමි.

දිනක් ලිපියක් අතැතිව අපේ නිවසට පැමිණි විමලාවතී නැන්දා එය කියවන්නට මා හට ලබා දුන්නාය. ඒ ලිපිය පෙර කිව් රංජිත් අයියාගෙනි. ලබන සතියේ නිවාඩු පැමිණෙන බවත් ඒ එන විට අගල් 14 වර්ණ රූපවාහිනියක් ගෙන එන බවත් එහි සටහන් වී තිබිනි. මෙය කියවා මමත් මලයාත් ප්‍රීතියෙන් පිනා ගියෙමු. ජෑස් කොල්ලාගේ  නිවෙසට රූපවාහිනියක් පැමිණෙනවා යනු අපේ නිවසට එකක් ගෙන එනවාට සමාන සිදුවීමකි. ඒ අප නිවෙස් දෙක අතර තිබූ සමීප සබදතාවත් ඥාතීත්වයත් නිසාවෙනි.

ඉස්කෝලෙ පන්ති කාමරයේදී  අප්පුවාගේ හා ඩිංගි මහත්තයාගේ කෙරුවාවල් ගැන කියවමින් සිනා හඩ නගන මගේ මිත්තරයන් දෙස අයාගත් දෑසින් බලා සිටි මට ඒ චරිත ඇස් පනා පිට දකින්නට දැන් ඉතින් වරම් ලැබී තිබේ.

රංජිත් අයියා එක් උදේ වරුවක ජෑස් කොල්ලාගේ නිවෙසට සැපත් විය. දෑතින්ම ඔසවා ගෙන පැමිණි කාඩ්බෝඩ් පෙට්ටියේ NEC යනුවෙන් සටහන් වී තිබූ අතර රූපවාහිනියක පින්තූරයක්ද එහි මුද්‍රණය කර තිබිනි. ගමන් විඩාව හරින්නට හෝ නොසිට එහි එකලස් කිරීම් කර නැවතත් ඔහු පිටව ගියේ ඇන්ටනාව සවි කිරීමට යකඩ බටයක් ගෙන එන්නටය. කෙසේ හෝ හැන්දෑ කොරේ වන විට රූප පෙට්ටියේ කටයුතු අවසන් වූයෙන් එහි අභිමංගල දර්ශනය නරඹන්නට එහි නිවැසියෝ අප හටද ආරාධනා කලෙන් අපිද එහි ගියෙමු. නැතහොත් මිටින් හල කුරුල්ලන් මෙන් ඉගිල ගියෙමු.

තේ පෙට්ටියෙ හැඩය මේ වගේ


රූප පෙට්ටියේ චලනය වන රූප මට අලුත් අත්දැකීමක් නොවේය. අපේ කිරි අම්මාගේ ගම්පහ නිවසේදී කලු සුදු රූප පෙට්ටියකින් මේවා කලින් දැක ඇතත් වර්ණ රූපවාහිනියක් නැරඹීම නම්  අලුත් අත්දැකීමකි. කලුසුදු රූපවාහිනී බහුලව තිබූ සමයක වර්ණ රූපවාහිනියක් තිබුනේද අතරින් පතර නිවෙසකය.

එදායින් ආරම්භ වූ මේ රූප කෙළිය සෑම දිනෙකම නරඹන තැනට වැඩකටයුතු සිදුවීමට වැඩි කාලයක් ගියේ නැත. විමලාවතී නැන්දා රූපවාහිනිය ක්‍රියාත්මක කිරීමට අප එනතුරු මග බලා සිටියෙන් එය ක්‍රියාත්මක වන මුල් අවස්ථාවේ සිටම සියලු දර්ශන අපට නැරඹීමට ලැබුනි.

රූප පෙට්ටියේ  පාලනය සිදුකලේ ඇය පමණි. ස්වාධීන රූපවාහිනියේ එකල විකාශය වූ මධුරසාංග වැඩසටහනත් එහි නිතරම පාහේ විකාශය වූ ඇම්. ඇස් ප්‍රනාන්දු ගායකයා ඔහුටම ආවේණික ශෛලියකින් නටමින් ඉදිරිපත් කල ගීතත් මේ මහලු යුවලට වඩාත් ගෝචර විය.

නොබෝ දිනකින්ම තවත් අසල් වැසි නිවෙසක පිරිසක් මේ රූප පෙට්ටිය නරඹන්නට ආයෙන් දැන් කිසිදු පාලුවක් නැත. ඔවුන් එහි හැමදාම පැමිණියේ නැති වුවත් රාත්තිරියේ සිංහල චිත්‍රපටයක් පෙන්වන දවසක නම් නොවැරදීම ආවෝය. මධ්‍යම රාත්‍රිය වන තුරා විකාශය වන සිංහල චිත්‍රපටයක් අතර තුර උණුසුම් තේ කෝප්පයකින් සංග්‍රහ ලැබීමට තරම් අපි  භාග්‍යවන්තයෝ වූවෙමු.

බොහෝවිට මගේ මෑණියන් සහ විමලාවතී උන්දෑ අල්ලාප සල්ලාපයේ යෙදෙමින් රූපවාහිනිය නැරඹීම සිරිත් ලෙස සිදු වන්නකි. හැන්දෑව උදාවෙත්ම කණ මදයා මෙන් ගිණිවතුරින් රත් වී, රාත්‍රී ආහාරයෙන් පසු පෙරේතයා පොළවේ ගැසුවාක් මෙන් දපනෙ වැටෙනා ජෑස් කොල්ලා රූපවාහිනිය නැරඹුවේ එහෙමත් දිනෙකය. මමත් මලයාත් හැන්දෑවේ කාටුන් නරඹන්නට පටන් ගත්තේ මවගේ නියමය පරිදි පාසලේ සියලුම අභ්‍යාස විසදූ පසුවය. අහවල් කාටූනය බලන්නට රූපවාහිනිය ක්‍රියාත්මක කරන ලෙස අප ඉල්ලීම් ඉදිරිපත් කල විටෙක විමලාවතී නැන්දා ගෙදර වැඩ කලාදැයි අම්මාගෙන් සැකහැර දැනගෙන මිස එය ක්‍රියාත්මක කලේ නැත.

වැසි සමය ඇරඹීම මට මෙන්ම මලයාටද අහිතකර ලෙස බල පෑවේය. විදුලි කොටනා කලෙක කුඩා දරුවකු මෙන් රෙදිකැබල්ලකින් වසා රූප පෙට්ටිය ආරක්ෂා කල විමලාවතී නැන්දා කිසිදු කලෙක එය ක්‍රියාත්මක නොකලාය. එවන් සමයක හොද කාලගුණ තත්වයක් යටතේ  හදිසියේ රූපවාහිනිය ක්‍රියාත්මක කලද එක්වරම දකිනා විදුලි කෙටීමකින් පසු නිවෙසින් එළියට අවුත් අහස දෙස කට ඇර බලා සිට නැවතත් විදුලියක් කෙටූ විගසම රූපවාහිනිය විවේක ගැන්වීමට ඇය රිසි වූවාය.

එවන් විටෙක විකාශය වෙමින් පැවති වැඩසහනෙන් ඇස් ඉවතට ගන්නට මැලී වූ කලෙක මමත් මලයාත් නොයෙක් ඉල්ලීම් ඉදිරිපත් කලත් ඒවා ගගට කැපූ ඉනි මෙන් පාවෙන්නේ අපේ සිත් සතන් තුලින් මතුවන සියුම් කෝපයක්ද සමගය.

මා නිහඩව සිටියද මගේ මලයාට මේ සිදුවීම ඉවසුම් නැත. අනේ විමලො වහගනින් උඹේ තේ පෙට්ටිය...අපි නම් ආයෙ ඕක බලන්න එන්නෙ නෑ යනුවෙන් ඒකා හැඩීමද නිතර සිදු වූවකි. එවන් විටෙක මලයාගේ කෝපය තවත් අවුලුවා සිනා සීම අපේ සතුට විය. මෙසේ හඩ ගෑවද ඊලග දිනයේ කිසිත් නොවූ අයුරින් රූපවාහිනිය නැරඹීමට පැමිණීමට ඔහු ක්‍රියා කලේ කිසිම සිදුවීමක් මතක නැති අයුරිනි.

රූපවාහිනියට ලැබුනු අලුත් නාමය වූ තේ පෙට්ටිය යන්න ඒ සිදුවීමේ සිට දිගටම භාවිතා විය. එහි හිමිකරුවෝද එයට උරන නොවූහ. එය පසුකලෙක නිකංම නිකං තේ පෙට්ටිය නොව විමලාගේ තේ පෙට්ටිය යනුවෙන් මොඩ් විය. පොඩි පොදයක් ගියත් විමලා තේ පෙට්ටිය රෙද්දේ ඔතයි. වැස්සක් නැතත් එළියට වී තරු කඩන් වැටෙනවාදෝයි  බලා සිටි ඇයට කොහේ හෝ එළියක් විදුලියක් මෙන් පෙනෙයි. විදුලියක් කෙටූවකැයි සිතා තේ පෙට්ටියට විරාමයක් දීමට සිතයි. මේ හේතුවෙන් අපේ මලයා තේ පෙට්ටියට සහ එහි ක්‍රියාකාරිණියට දොස් තැබීමත්...එය අසා හිත උණුවන ජෑස් කොල්ලා ඇඹේනිය සමග පැටලීමත් ඇතැම් දිනෙක සිදුවූ සිදුවීම්ය.

එහෙත් මා හට මතක ඇති පරිදි මහ වැස්සේ අකුණු ගැසීම් මැද වුවද තේ පෙට්ටිය නැරඹූ දිනයක් ඇත. ඒ හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා මරාගෙන මැරෙන බෝම්බයකට හසුව මිය ගිය දින රාත්‍රී ප්‍රවෘත්ති විකාශය නැරඹූ අවස්ථාවයි. රටේ නායකයා ඝාතනය වූ සිදුවීම නරඹා තේ පෙට්ටියට කෙළවුනත් කම් නැතැයි එදා නම් ඇයට සිතෙන්නට ඇත.

කාලයේ ඇවෑමෙන් විදේශගතව සිටි පියාණන් දුරස්ථ පාලකයකින් ක්‍රියාත්මක කල හැකි නවීනතම පන්නයේ විශාල රූපවාහිනියක්ද සමගින් සිය රට පැමිණි පසු තේ පෙට්ටිය නැරඹීම අපෙන් බැහැර විය. එහෙත් අපේ රූපවාහිනිය නැරඹීමට ඒ දෙපලට කල ආරාධනාව ඔවුන් පිළිගත්තේද නැත. අපිට අපේ තේ පෙට්ටිය හොදයි. විමලාවතී නැන්දා එසේ කීවා මතකය.


පසු සටහන

රූපවාහිනිය ගෙන ආ රංජිත් අයියා අවසන් වර නිවාඩු පැමිණ යන විටෙක අපේ වැඩිහිටියන් හා විහිලුවට මෙන් කියා තිබුනේ ඊළග වර නිවාඩු එන්නට ජීවතුන් අතර හිදීවි යැයි විශ්වාසයක් නොමැති බවකි. යුද්ධය එතරම් දරුණු ලෙස ඇවිලී ඇති බවක්ද ඔහු කියා ඇත්තේය. විවාහ වන්නට නියමිතව තිබූ හෙතෙම ඒ වෙද්දී සියලු කටයුතු සූදානම් කර ආරාධනා පත්‍ර පවා බෙදා අවසන්ව තිබිනි. කොටින්ම මංගල ඇදුම පවා මසා තිබිනි. මට මතක විදියට රංජිත් අයියාගේ අත ගන්නට නියමිතව තිබුනේ බණ්ඩාරවෙල ප්‍රදේශයේ තරුණියකි. මංගල උත්සවය උදෙසා නිවාඩු ලැබ කදවුරෙහි වූ ට්‍රක් රථයක නැගී බස් නැවතුම කරා එන විටෙක කොටි ත්‍රස්තයින් ට්‍රක් රථය වට කර තැබූ වෙඩි වරුසාවකට අන් සෙබලුන් සමගින් ගොදුරු වූ රංජිත් අයියා එදායින් පසු අපිත් සමග දිවුල් ඇහිදින්නට, සරුංගල් යවන්නට ආයෙත් ආවේ නැත. දහවල් වරුවක මහා හඩින් විලාප තියමින් හැඩූ විමලාවතී නැන්දා මේ දුක්බර පුවත අපට සැළ කලාය.

ඔහුගේ අවසන් කටයුතු සිදුවූ දින කිරිදිවැල මිල්ලතේ පිහිටි නිවෙසට කුඩා මමද ගියෙමි. මගේ ළමා මනස කැළඹු එවන් අවමංගල උත්සවයක් මට තවත් මතක නැත. රංජිත් අයියා සාලය මැද වූ මිනී පෙට්ටියක හමුදා ඇදුමින් සැරසී නිදා සිටියේය. මියයන අවස්ථාව වන විට යුධ හමුදාවේ කෝප්‍රල් නිලයේ සිටි රංජිත් අයියාගේ අවමගුල් පෙරහැරේ යුධ හමුදා තූර්යවාදක ඛණ්ඩායමක් වාදනය කල ශෝඛී සංගීත රාවය මට තවමත් ඇසෙන්නා වාගේය. ඔහුගේ අත ගන්නට සිටි තැනැත්තියද අව සිහියෙන් මෙන් සිටි අතර එතැනින් පසු සියලුම දානමය පුණ්‍ය කර්ම සදහා බණ්ඩාරවෙලින් එළවළුද එව්වාය. ජීවිතය තිබෙන තුරා තනිකඩව වෙසෙන්නටද ඇය තීරණය කර තිබුනාය.

ජෑස් කොල්ලාගේ හදිසි අභාවයෙන් පසු තනි වූ විමලාවතී නැන්දා පසුකලෙක සියලුම දේපල ගමේ අයෙකුට අඩු මුදලකට විකුණා සිය උපන් ගම වූ කිරිදිවැල බලා ගියාය. අද වන විටත් ඇය ජීවතුන් අතර සිටිනවා වන්නටත් පුලුවන.

දැන් දැන් අසන දකින දෑ අනුව රංජිත් අයියලා වැනි දහස් ගණනක් රණවිරුවන් කලා වූ කැප කිරීම් තවත් මද කාලයකට පසු අපේ රටට අමතකව යනු ඇත. එහෙත් ඔවුන් හෙලූ රුධිරයෙන් සාරවත් වූ ඒ බිමේ අලංකාර පුෂ්පයන් සුපිපී නිදහසේ මදනලින් ඒ මේ අත  වැනෙනු ඇත. මව්බිම බේරා ගනු රිසියෙන් එඩිතරව සටන් වැද මිය ගිය මේ රණවිරු කැළ ඒ පුෂ්පයන් අතරේ කෙළි දෙලෙන් දුවනා කුඩා දරු දැරියන්ව නැවතත් මේ බිම උපදින්නෝ වන්නාහ.


මම කාමරේ වෙසෙන සත්ගුණවත් සිරා කොලුවා.











Tuesday, November 19, 2013

145 අපිත් ගියානෙ මී මුරේ 3 (අවසන් කොටස)

බුර බුරා නැගෙන ගිණි මැලේ වටේට පිරිස දැන් එකදු පහදු වෙලා. රම් සුවදට ඉව අල්ලන ගමන් බැදපු හුරුල්ලො එකා දෙන්න කුස කරා ඇදෙනවා. ඒ අතරෙ ජීවන්තයගෙ කොංගෝව වෙනදා වගේම උගෙන් සෑහෙන්න පහර කනවා. කාත් කවුරුවත් අහලක පහලක නැති පාලු වනාන්තරයක...ගෙවෙන මේ රාත්‍රිය කොපමණ සොදුරුද...ඒ අත්දැකීම විදපු කෙනෙක් තමයි ඒ චමත්කාරය ගැන දන්නෙ.

කලින් කොටස් දෙක කියෙව්වෙ නැත්නම්
1 කොටස
2 කොටස

වනාන්තරයට රාත්‍රිය උදා උනාම හරිම ශාන්තයි...කිසිම හැළ හොල්මනක් නැති පරිසරයට එක්වෙච්ච එකම ශබ්දය ගලායන ජල පහරෙ හඩ විතරමයි. මළානික සද කිරණ ගස් අතු ඉති අස්සෙන් බේරිලා සීරුවට අපේ සිරුරු උඩ සැතපිලා.

සිංහල ගිත වංශකථාවේ සෑහෙන ප්‍රමාණයක ගීත ගිණි මැලේ අද්දර දැන් ගැයෙනවා. මේ සමහරක් ගීත මෙතැන ඉන්න සමහරුන්ගෙ පුද්ගලික ජීවිත එක්කත් සම්බන්ධයි.

මචං අපි දවාලෙ එකතු කරපු අනිත් කොට ටිකත් ගිණි මැලේට ලං කරලා තියමු...එතකොට ඒවාගෙ තියෙන තෙත ගතිය ටිකක් අඩු වෙයි. සෑහෙන වෙලාවකට පස්සෙ ගිතයේ රස වියැකුනේ චතුරයගෙ හඩට

කැලේක රැයක් ඉන්නවා කියන්නෙ සෑහෙන අවධානම් වැඩක්...සතා සිව්පාවගෙ වාස භවනට අනවසරයෙන් අපි රිංගලා ඉන්නෙ. ඒ අයට හානියක්, කරදරයක් නැතුව ඉන්න තුරාවට අපිටත් කරදරයක් නෑ කියන විශ්වාසය තමයි අපිට තියෙන්නෙ.

බෝතලයෙන් බෝතලය හිස් වෙද්දි හැමෝම දොඩමළුයි. තමන්ගේ රංගන ජීවිතය තුල ලබපු අත්දැකීම් අපේ පරණ නලුවො කියන්න ගත්තෙ කාගෙන්වත් ආරාධනාවකින් තොරව. ඒ කථා වලට ඔවුන්ගේ රංගන දායකත්වයත් ලැබෙන නිසා රසවත්ව ගලා යනවා. වර්තමාන ඇතැම් ජනප්‍රිය නිළියනුත් ඇතැම් කථා වල අග්ගිස්සට වෙන්න හිටියා. ඒ කථා මෙතන කිව්වොත් මගේ නමට අපහාස නඩු බර ගානක් වැටෙන නිසා කියන්න නම් විදියක් නෑ සුදෝ.

මචං බිත්තරයක් ඔම්ලට් දාමුද.... එකෙක් ජීවන්තයාගෙන් අහනවා...

මට අමතක වුනා බන් අන්තිම මොහොතෙ ඒකට උවමනා තාච්චිය ගේන්න...අපි දැනට මේ යකඩ පිගානෙන් ගොඩ යමු...

ජීවන්තයා තමන්ගෙ අතේ තිබුන පිගානට පොල් තෙල් ටිකක් තවරලා ගිණි මැලේට අල්ලලා හොදට රත් කලා...ඒ රස්නෙ මතට බිත්තර අතඇරලා, ලුණු කුඩු සමග ගම්මිරිස් කුඩු ටිකක් ඉසීමෙන් තමයි ක්ෂණික ඔම්ලට් එදා අපි හදා ගත්තෙ...ඔයින් මෙයින් ගතවෙච්ච පැය ගණන ගැන අපිට අවබෝධයක් නෑ...ගිණි මැලේ වටේ පැවැත්වුනු සාදයෙන් පස්සෙ, සමතලා නැති කලු ගල් කැබලි විසිරුනු බිමක හිටිය අපි....බොහොම පරිස්සමෙන් දවාලෙ අටවගත්ත කූඩාරම ඇතුලට රිංග ගත්තෙ ඒ ඇතුලත විදුලි පන්දමක ආධාරයෙන් හොදින් පරීක්ෂා කලාට පස්සෙ...කලු ගල් තලාවකට අයත් වුන කොටසක තමයි මට නිදියන්න ලැබුනෙ. කාමර කාමර ලෙස අපූරුවට බෙදී වෙන් උන කුටීරයන්ගෙන් යුක්ත වෙච්ච කූඩාරම අපි 6 දෙනාට හොදට සෑහුනා.


ඔම්ලට් හැදුවෙ මේ පිගන් වලින්
අපරාදෙ කියන්න බෑ දිවා කාලයේ බොහොම වෙහෙසට පත්ව සිටි නිසාමදෝ ඉතාමත් තද නින්දකට පිවිසෙන්න අපට වැඩි වේලාවක් ගියේ නෑ. පාන්දරින්ම ඇරඹෙන කුරුළු කූජනයේ මිහිරි හඩින් තමයි අපි නැවතත් අවදි වුනේ....රූස්ස ගස් වලට ඉහළින් පහළට පතිත වෙන්න පොර කන හිරු රැස් මැව්වෙ බොහොම චමත්කාර ජනක දර්ශනයක්.

මේ දර්ශනය දෙස බොහෝ වේලා බලාගෙන හිටියත් ඇති වීමක් නෑ.....එය එතරම් සුන්දර දසුනක්....ජීවිතයේ එක් වරක් හෝ විදගත යුතුම අත්දැකීමක්.

රැය පහන් කරලා තාමත් හිරිගඩු පිපෙන සීතලට දෙස් දෙන අපේ ඇත්තො


හැමෝම උදෑසනින්ම ගලායන පිරිසිදු ජලයෙන් ස්නානය කරලා, පිරිසිදු වෙලා කලින් දවසෙ ඇවිලුනු ගිණි මැලේ තවමත් සජීවීව පවතින අගුරු උඩ කේතලේ තියලා රත් කරපු වතුරෙන් තේ එකක් කාරිය බීලා අද දවසෙ වැඩ කටයුතු ගැන සාකච්ඡා කොලා.

ඉස්සෙල්ලාම උදේට මොනව හරි කාල ඉමු. අපි ලිපක් හදලා බත් ටිකක් උයා ගමු... ජීවන්තයා බොහොම මැනවින් කණ්ඩායම මෙහෙයවනවා.

එතකොට මොනවා එක්කද බත් කන්නෙ...සිරා ප්‍රශ්නයක් නැගුවා.

බැදපු හුරුල්ලො කලින් දා රාත්තිරියෙම අපට හොරා යලි නොඑන ගමන් ගිය නිසා දැන් කන්න දෙයක් ඉතිරිවෙලා නෑ.

අපි ගමට යමු...කඩේකින් පොල් ගෙඩියක් අරගෙන...එතනින්ම ගාගෙන ඇවිල්ලා සම්බෝලයක් හදමු...කැකුළු බතට සම්බෝලෙ මරු...චතුර අලුත් අදහසක් එකතු කොලා.

අද දවස අවසානය වෙද්දි ආයෙමත් නිවෙස් බලා යන්නත් තියෙන නිසා අපිට සුනංගු වෙන්න කාලයකුත් නෑ.

අපේ කණ්ඩායමෙන් දෙදෙනෙක් බත් උයන්න නතර වෙද්දි ...ඉතිරි පිරිස නැවතත් මී මුරේ ග්‍රාමයට පැමිණියේ පොල් ගාගෙන යන්න.

මචං...අපිට කිතුල් රා සුට්ටක් හොයාගන්න බැරිද ? සිරා කොලුවා උදේ පාන්දරම කිතුල් රා හෙව්වෙ  ඒ වෙද්දි කවදාවත් මේ වර්ගය බීලා තිබුනෙ නැති හින්දා රස බලන්න ඇතිවෙලා තිබුන කුතුහලය නිසාමයි.

පොල් වැඩේ කරගෙන එහෙමම යමු රා ටිකක් හොයාගන්න. ජීවන්ත එහෙම කිව්වා.

කිලෝමීටර් 3කට ආසන්න දුර ගෙවාගෙන අපි ආයෙමත් මී මුරේ ග්‍රාමයට සේන්දු උනා. ඉස්සෙල්ලාම නෙත ගැටුන සිල්ලර කඩය අද්දර වාහනය නතර වුනා. විශේෂයෙන් කියන්න තියෙන්නෙ මේ කඩ වල අළෙවියට තියෙන්නෙ ඉතාමත් සීමිත බඩු මුට්ටු ප්‍රමාණයක්...එළවළු පළතුරු කිසිවක් අළෙවිය පිණිස තබා තියෙනවා කිසිම තැනකදි මම දැක්කෙ නෑ . හැම ගැමියෙක්ම තමන්ගෙ ශක්ති ප්‍රමාණයෙන් එළවළු කොරටුවක් කාරිය වගා කරනවා ඇති කියන උපකල්පනය ඉන් පසු මට ඇති වුනා. කොහොමත් මී මුරේ වැසියන්ගෙ අවශ්‍යතා හරිම සරලයි.
කඩේ අක්කා...පොඩි පුතා....බලු මල්ලියා...සමග සිල්ලර කඩේ
හරිම අහිංසක මිනිස්සු
කඩේ මුදලාලි තරුණ කාන්තාවක්...කුඩා දරුවත් එක්කයි ඇය සිටියෙ. අපිව බොහොම සාදරයෙන් පිළි අරගෙන අපිට අවශ්‍ය අඩුම කුඩුම වගේම පොල් ගාගන්න හිර මනයකුත් දුන්නා..සුමේධ මල්ලි පොල් ගාන්න බාර ගත්තට පස්සෙ අවශේෂ අපි කිතුල් රා හොයන්න පිටත් වුනා...විශාල වතුර බූලියකුත් අරගෙන...


පොල් ගාන්න උපන් හපන් සුමේධ මලයා
දැන් වාහනේ විවිධ තැන් වල නතර කරමින් කිතුල් රා වලට ඉව අල්ලනවා...ගමේ කෙනෙකුගෙන් ඇහුවාම එක් එක් නිවාස පෙන්වනවා කිතුල් රා කර්මාන්තයේ යෙදෙන අයවලුන් කියලා...නමුත් අපේ කරුමෙට මේ කිසිම කෙනෙක් අපි යද්දි කිතුල් මලක් කපලා තිබුනෙ නෑ.

අවසානයේ ටිකක් වයසක ගැමියෙක් භාර ගත්තා මොන ලෝකෙන් හරි අපිට කිතුල් රා ටිකක් හොයලා දෙනවා කියලා. අපි එයත් එක්කම  ගමේ විවිධ අහුමුළු වල කරක් ගැහුවත් අන්තිමේදි උත්සාහය අසාර්ථකයි.

කොහෙවත් හොයන්න යන්න එපා මහත්තයා. ගිය සදුදා එහා මන්ඩියෙ කිතුලක් කපන්න ගිය කෙනෙක් ගහෙන් වැටිලා මලා...එහෙම උනාම සිරිතක් විදියට සතියක් යනතුරු කවුරුවත්ම ආයෙ කිතුලක් නගින්නෙ නෑ..කපලා තියෙන මල් වලින් මුට්ටි වලට එකතු වෙලා තියෙන තෙලිජ්ජ පැණි හදන්න ගන්නවා.

දැන් ඉතිං කාරණේ පැහැදිලියි. ප්ලාස්ටික් භාජන, මුට්ටි එල්ලලා තියෙන කිතුල් ගස් අපේ දෑස මානයේ සෑහෙන්න තිබුනත්...ඒවායෙ තෙලිජ්ජ පිරිලා තිබුනත් සම්ප්‍රදායට පිටින් යන්න කිසිවෙක් සූදානම් නෑ. මැරිච්ච කෙනාගෙ ආත්මය ඒ ඉසව්වෙ තවමත් සැරි සරනවා කියන විශ්වාසයෙන් තමයි කිසිවෙකු ගහට නගින්නෙ නැත්තෙ.

කිතුල් රා හොයන්න ගම ඇතුලෙ හක්කොලං කරද්දි තමයි බොහෝ නොදුටු දර්ශන දුටුවෙ. මී මුරේ කුඹුරු සී සාමින් තිබුනෙ තනිකරම නගුලෙන්, හරකුන්ගෙ ශ්‍රම දායකත්වයෙන්. ට්‍රැක්ටර් වල කිසිම දායකත්වයක් අපි කිසිම තැනකදි දැක්කෙ නෑ. ඒ වගේමයි සෑම ඉසව්වකම දැකපු ගැමි කාන්තාවන් කුමක් හෝ හිස තියාගෙන යන්නෙ. අඩුම තරමෙ දර ලීයක් හෝ...ඔවුන් බෙහොම නිරෝගීව ශක්ති සම්පන්නව ජීවත් වන බවක් තමයි අපි දුටුවෙ.

මචෝ අර අක්කගෙ කඩේ දෙහි තිබුනෙ නෑ නේද ? සම්බෝලෙට මොනවද ඇඹුල් විදියට දාන්නෙ...ඉදලා ඉදලා එහෙම පුරස්නයක් ඇහුවෙ අපේ චතුර ගොයියා...අන්න ඒ වෙලාවෙ තමයි ජීවන්ත කොලුවා ටිකක් ඈතින් තිබ්බ අඹ ගහක් පෙන්නුවෙ...

ගැට අඹ හොදටම ඇඹුල්නෙ බන්....අපි අඹ තලලා දාමු....

වෙලාවෙ හැටියට ඒකත් නරක නෑ කියලයි පොලු පාරවල් දෙක තුනක් ඇවෑමෙන් අඹ ගෙඩි කීපයක් බිම පත බෑවුනේ. කිතුල් රා හෙවිල්ල නවත්තලා, කඩේ අක්කට නොසෑහෙන්න ස්තූති කරලා....ගාපු පොල් එක්ක සුමේධ මලයවත් පටවගෙන ආයෙත් රාත්‍රිය ගත කරපු තැනට ලගා වුනේ ඊටත් පස්සෙ.

පුංචි පුංචි තීරු වෙන්න කපපු අඹ කෑලි හොදට හෝදපු කළු ගලක තියලා තවත් කළු ගලකින් ගහලයි තලා ගත්තෙ...අඹ කෑලි ඇඹුලට හැපෙන බොහොම වටිනා සම්බෝලයක් එක්ක තමයි සුදු කැකුළු බත් අපේ අමාෂය කරා එදා ඇදුනෙ.

අම්බරුවො දෙන්නා දැක්කද ?

අම්මයි දුවයි...ජීවන සටනේ...




කිතුල් රා හොයමින් ඒ මේ අත සක්මන් කරපු වෙලාවෙ ගමේ එක් කෙළවරකදි අපිට රූස්ස කදු ගැටයක් පෙනෙන්න ගත්තා. ඒ කුමක්ද කියලා විපරම් කරද්දි තමයි පහළින් කියවෙන තොරතුරු අපිට ගම්වාසීන් මගින් අහන්න ලැබුනෙ.

ලකේ ගල


මී මුරේ නම් ගමේ ඉතිහාසය රජ කාලය දක්වාම දිව යන්නක්. ගම්මුන්ට අනුව මහනුවර රජ කල ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා ඉංග්‍රීසීන්ගෙන් බේරි පලයන්නට තමයි මී මුරේ ග්‍රාමය සැලසුම් කර තිබෙන්නෙ. නමුත් ඔහු ඒ කාරිය කරන්නට කලියෙන් ඉංග්‍රීසීන්ට හසු වී තිබෙනවා. දුම්බර මිටියාවතේ කදු වළල්ලකින් වට වී තියෙන නිසා රජතුමාට මෙහි කදිම ආරක්ෂාවක් දැනෙන්න ඇති. රජතුමාගේ පාවිච්චිය උදෙසාම ඉදිකල නිවසක් ගමේ තියෙන බැව් කිව්වාට එය බලන්නට යන්න අපිට වේලාවක් තිබුනෙ නෑ.

මී මුරේ ගම වටේට තියෙන දුම්බර මිටියාවතේ කදු පන්තියට නකල්ස්, හිරිගල්පොත්ත, කොබෝනිල්ල ගල, වමාරපු ගල, දුම්බොන ගල වගේ විවිධ නම් වලින් හදුන්වන ලොකු කුඩා කදු රාශියක් තිබෙනවා. ඒ අතරින් මී මුරේ ගමේදි බොහොම හොදින් අපේ ඇසට හසුවන මායිමේ පේන්න තියෙන්නෙ ලකේ ගල.

යක්ෂ නම් ඉපැරණි ජන කොට්ඨාශය මේ මී මුරේ ප්‍රදේශය අවට අතීතයේ ජනාවාශ ඇතිකරගෙන සිටි බවට විශ්වාසයක් තිබෙනවා. ඒ කථාව තරමක් තහවුරු වන්නෙ ලකේගල යන්නට යකාගල යනුවෙන් තවත් නාමයක් තියෙන හින්දයි. බුදු රජානන් වහන්සේ මහියංගනයට වැඩි පළමු අවස්ථාවේ ලගේ ගල මුදුනේ සිය ශ්‍රී පාද ලාංජනයක් තැබූ බවත්, රාවණා දඩු මොනරය පැදවූවේද ලකේ ගලට ඉහලින් වැටී තිබූ මාර්ගයක බවත් ඇතැම් පුරාවෘත වල සදහන් වෙනවාලු.

දැන් ඉතින් උදෑසන ආහාරයෙනුත් සන්තර්පණය වෙලා අහවරයි නොවැ. ඊටත් පස්සෙ අපේ බඩුබාහිරාදිය ඒ පරිසරයෙන් ඉවත් කරගත්තා. කිසිම දෙයක් අඩුම තරමින් කොළ කැබැල්ලක් හෝ අප නවාතැන් ගන්නා තැනක ඉතිරි කර ඒම අපි කිසිම කිසිදාක නොකරන දෙයක්...මේ කටයුතු සියල්ල නඩේ ගුරාගෙ අධීක්ෂණයට නිතර ලක් වෙනවා. ඔහු ඉතාම තදබල ලෙස පරිසරය අපවිත්‍ර කරනවාට විරුද්ධ පුද්ගලයෙක්. ඒ නිසා අතපසු වීමකින් හෝ යමක් අත ඇරුනොත් ඒ කෙරේ නැවතත් අවධානය යොමු වෙනවා.

මේ කටයුතු අවසන් කරලා සෑහෙන දුරක් කැළෑව තුල පාද යාත්‍රාව මගින් තරණය කරන්නත් අපි අමතක කලේ නෑ...මේ ගමනෙදි තමයි ඉතාමත් විසිතුරු දේ දැක ගත්තෙ...ජීවන්ත වගේම ඒකාගෙ ගෝලයෝ දෙන්නත් තරමක් උස පර්වත කොටස් ගල් කුහර අස්සට අත් තබමින් තරණය කලේ හරිම අවධානම් සහගත ආකාරයට...සිරා කොලුවා වන මම නම් ගිය ආත්මෙ උස් තැනකින් බිම වැටිලා මැරිච්ච එකෙක් නිසාදෝ උස් තැන් වල වැඩ වලට හරිම භයයි.

අපි නවාතැන් ගත් කොටසට යාබදව දියඇල්ලක් ආකාරයෙන් දිය පහර කඩා හැලෙන තැනක් තිබුනා. අපේ කණ්ඩායෙමන් මුලින්ම ඒ දර්ශනය හොයාගෙන අපිට ඒ තොරතුරු සැළකලේ සුමේධ මලයා. ඒ නිසාම ඒ ඇල්ලට අපි දුන්න නම තමයි සුමේධ ඇල්ල. එහි සිට අවට පරිසරය නරඹන විට නම් ලංකාව පාරාදීසයක් වගෙයි පෙනුනෙ. ඒ දර්ශනය එතරම් අලංකෘතයි.

මීදුමෙන් වැසුනු කදු මුදුන්

සුමේධ ඇල්ල
ජලය ඉතාමත් පිරිසිදුයි...මේ දර්ශන සජීවීව දැක ගන්න ඔබට කැමැත්තක් නැද්ද ?

කොහොමින් කොහොම මී මුරේ සංචාරය නිමා කරලා ලස්සන මතක සටහන් ටිකකුත් තුරුලු කරගෙන ආපසු එන්න පිටත් වුනාට තාම පොඩි අඩුපාඩුවක් හිතට වද දෙනවා. ඒ තමයි කිතුල් රා ඩිංගිත්තක රහ බලන්න නොලැබීම. කැබ් රථය පිටුපස බකට්ටුවට වෙලා සංචාරය පුරාම හිටිය ජීවන්තගෙ ගෝලයො දෙන්නා ලූල් වත්ත හන්දියට ටිකක් මෙහායින් එක පාරටම ලතෝනියක් දුන්නා.

චතුර එක් වරම වාහනය නවත්තලා බැහැලා ගියේ මුන් දෙන්නට යකෙක් ගැහුවද බලන්න. අනේ බැලින්නම් එතනට යාබදව කැලේ ඇතුලට වෙන්න තිබුන කිතුලක මුට්ටියක් එල්ලලා තියෙන වටිනා කියන දර්ශනයක් උන් දෙන්නා දැකලා.

ජීවන්ත අයියෙ මොකද කියන්නෙ..මුට්ටිය බිමට ගන්නද ?

ගෝලයගෙ අදහසට ගුරා අනුමැතිය දුන්නා...සැණෙකින් කිතුල් ගස සමීපයට ආව මහේන් කොලුවා කිතුල් ගසට තද කර වරපට මගින් බැද තිබුන උණ ලීයක් දිගේ ඉතාමත් වේගයෙන් මුට්ටියට මාන බලමින් ඉහළට ඇදුනා...ඒකා නගින නැගිල්ලට ගස් නැගීමට උපන් හපනෙක් බව අපි හැමෝටම මොනවට පැහැදිලි වුනා. තවත් සුලු මොහොතකින් කටින් එල්ලා ගත් කිතුල් රා මුට්ටියක් අප කරා ආවෙ අපේ සිත් සතන් තුල අලුත් බලාපොරොත්තුවක් ඇති කරමින්.

කිතුල් රා මුට්ටි සොයමින්
මුට්ටිය පිරෙන්නට කිතුල් රා........

අප සතුව තිබූ හිස් ප්ලාස්ටික් බෝතල වලට රා පුරවමින් දැන් රථය ඉදිරියට ඇදෙනවා. මුට්ටියක් සහිත කිතුලක් දුටු විගස අරුන් දෙන්නා බෙරිහන් දෙනවා. රථය නැවතෙනවා...දුර දක්නයෙන් කිතුල් මල අලුතෙන් කපපු එකක්ද කියන කාරණයත් සැක හැර දැනගන්නවා, එකෙක් ගහට බඩගානවා..මුට්ටිය පොළවට ලගා වෙනවා. මෙන්න මේ ආකාරයෙන් කිතුල් ගස් කීපයක් තමන්ගෙ ඵලදාව නොමසුරුව අපට බෙදා දුන්නා.

අන්තිම ගහ සමීපයට වටේ පිටේ තිබුන අකුල් අතරින් ලගා වෙද්දි තවත් පුද්ගලයෙක් එතන....අතේ තිබුන වක් පිහියෙන් වගේම අනිකුත් උපාංග වලින් අපිට වහාම තේරුම් ගියා මේ කිතුල් කපන පුද්ගලයා බව.

අයියෙ කිතුල් රා ටිකක් ගන්න නැද්ද ?

අනේ මහත්තයො.....මේවා මේ පැණි හදන්න....
බුලත් කහටින් දුර්වර්ණ වෙච්ච දත් පෙන්නමින් ඔහු බොහොම බයාදු ලෙස සිනාසුනා.

අපේ පපුකුහරයට හීනි රිදුමක් දැනුනා...මේ වගේ අහිංසක මනුස්සයෙකුගෙ දේවල් නේද අපි මෙච්චර වෙලා හොරා කෑවෙ...මල් කපන කෙනා භාවිතා කල මන්ද පෝෂණයෙන් පෙළෙන දරුවකු බදු පා පැදියත් ඒ හැගීම අපිට තව තවත් අවධාරණය කලා...

මහේන් මෙහෙ වරෙන්...

මල් කපන්නා එක්ක අනෙක් අයගෙ කථාව තව දුරටත් යන අතරෙ ගස් බඩගාපු මහේන් මලයට ජීවන්තගෙන් කැදවීමක්...

උඹ අන්තිමට බාපු රා මුට්ටිය යටින් මෙන්න මේක තියලා ඉක්මනට දුවලා වරෙන්....

මහෙන් තමන්ගෙ අතේ ගුලිවෙච්ච මුදල් නෝට්ටු කීපයකුත් එක්ක අකුල් අතරින් සැගව ගියා. තවත් විනාඩි 10 කට විතර පස්සෙ කොලුවා ආයෙමත් හති දාමින් අප අතරට ආවා.

වැඩේ හරිද?

කිරි ගහට මන්නෙන් කෙටුවා වගේ වැඩේ නියමෙට දුන්නා...

එහෙනං එච්චරයි...ජීවන්ත අපේ ආගන්තුකයගෙ පිටට තට්ටුවක් දමමින් රථයට නැගුනා.

සුදට සුදේ පෙණ කැටි වලින් අලංකාර වෙලා තියෙන කිතුල් රා බොන්න හැමෝම පොර කෑවා...මමත් ජීවිතේ පළමු වතාවට කිතුල් රං ඩිංගක රස බැලුවෙ එදා...රසය නම් උපරිමයි. කිතුල් රා ශරීරයට සෑහෙන්න ගුණයි කියලත් කවුදෝ කිව්වා.

බොහෝම සාර්ථකව මී මුරේ සංචාරය නිමා කරලා අපි අපේ නිවාසයන් කරා ලගා වුනා. වනාන්තරයක රාත්‍රිය ගත කල ඒ සොදුරු මොහොත සිහිපත් වන වාරයක් පාසා නැවතත් ඒ අත්දැකීම ලබාගන්නට තමයි හිත නලියන්නෙ. මීට කලින් සිරා මේ විදියෙම අත්දැකීමක් ලබපු ඇලි හතේ චාරිකාව ගැන ඉදිරි දිනයක සටහනක් තබන්නම්. කොටස් 3 ක් පුරාවට මේ කථාව කියවූ ඔබ සැමට තුති.



මම කාමරේ වෙසෙන සත්ගුණවත් සිරා කොලුවා.


ප.ලි

අද දින දිවිමගේ 31 වෙනි කඩඉම සලකුණු කල, සෑහෙන ඈතක සිට සිරාගේ කාමරයට නිතර පැමිණෙන මා මිත්‍ර මයික් කොලුවාට සුභම සුභ උපන් දිනයකට ආසිරි.

රාත්‍රී කාලයේ ඡායාරූප ගත හැකි උපකරණයන්ගේ බැටරි අපට හොරෙන් බැස ගොස් තිබූ නිසා එවැනි ඡායාරූප මා සතුව නැත.













Thursday, November 14, 2013

113 අපිත් ගියානෙ මී මුරේ 2

පාර අද්දරට වෙලා පොල් රොටියක් එක්ක ලුණුමිරිස් තවරලා කන ගමන් බොක්කට හලපු පණු බෙහෙත් කෝප්පෙන් දෙකෙන් පස්සෙ දැන් අපේ චාරිකා නඩේ සුට්ටක් විතර ප්‍රබෝධමත් වෙලා. දවල් කාලෙට පාර පැනගන්න බැරි තරමට වාහන යන එන මේ මාර්ගයෙ ඒ වෙලාවෙ වාහනයක් ගියේ බොහොම ඉදහිට...

පළමු කොටස කියවන්න ලැබුනෙ නැති ඇත්තො  මෙතැනින් කියවන්න.

අපි හුන්නස් ගිරියටම ගිහිල්ලා ඇලර්ට් එකක් දාමු...රථාචාර්ය චතුර ගොයියගෙ අදහසට හැමෝම එකගයි. නුවර - මහියංගනය මාර්ගය ඔස්සේ හුන්නස් ගිරියට අපේ රථය ලගාවෙද්දි අළුයම 4 විතර වෙන්න ඇති.  දැඩි සීතලක් හාත්පස දැනුන මේ අළුයම් කාලයේ නගරයේ කිසිම වෙළදසැලක් විවෘතව තිබුනෙත් නෑ... මිනිස් පුලුටක් දකින්න හිටියෙත් නෑ...අවශේෂ වාහන වලට අවහිරයක් නොවන පරිද වාහනය මාර්ගයේ අයිනකට වෙන්න නවත්තලා අපි සියල්ලෝ මොහොතක නිදි සුව සොයා ඇදුනා, වාහනය තුල 6 දෙනෙකු හිටියත් ඒ උණුසුම පිටතින් දැනුන සීතල පහ කරන්න තරම් ප්‍රමාණවත් වුනේ නෑ...පුදුම සීතලක්...වාහනේ වීදුරු වලට හේත්තු වෙන්න බැරි තරමට සීතලයි...නින්දත් නොනින්දත් අතර ස්ථානයක ගත වූ පැයකට විතර පස්සෙ අපි එකා දෙන්නට යන්තමට නින්ද ගියා.

මේ පළාත් වල තියෙන සීතලත් එක්ක මිනිස්සු තම තමන්ගෙ දෛනික කටයුතු ආරම්භ කරන්න ප්‍රමාද වෙනවා ඇති කියලා අපි හිතුවත් ඒ සිතිවිල්ල පුස්සක් බවට පත් කරමින් එහි සහෝදර ජනතාව උදේම තමන්ගේ කටයුතු ආරම්භ කරනවා අපි වාහනය තුල සිට බලාගෙන හිටියා. නගරයේ තිබුන ආපන ශාලාවකින් උණු උණුවෙම කිරි තේ එකක් බීලා , වැසිකිළි අවශ්‍යතාත් ඉටුකරගෙන ඔන්න දැන් ලූල්වත්ත හරහා මී මුරේ පැත්තට යන්නයි අපේ වෑයම.

ඒ ඇත්තො උදේම වැඩ පටන් අරගෙන සීතල පැත්තක තියලා

චතුර අයියේ වාහනේ පැච් එකක්...ඒ වෙද්දිත් සෑහෙන ප්‍රමාණයක් හුළං අඩුවෙච්ච ටයරය දිහා බලාන පිරිස අහස පොළව ගැටලන්න කල්පනා කරනවා...මේක ස්ටාර්ට් කරගන්න පුලුවන් වෙච්ච අපිට මේවා මොනවද බන්...එහෙම කියපු ජීවන්තයා වටේ පිටේ කරපු සෝදිසියකින් පස්සෙ ඒ ළග පාතින්ම ටයරය අළුත් වැඩියා කරන්න පුලුවන් තැනක් හොයාගන්න හැකි වෙච්ච නිසාම විශාල අපහසුතාවක් ඇති වුනේ නෑ.


උදේ පාන්දරම පැච් එකක් ගිය එක හොදයි...ලූල්වත්ත පැන්නට පස්සෙ උනා නම් ඇඩෙනවා...

අළුත්වැඩියාවෙන් පස්සෙ දැන් රථය ලූල්වත්ත පැත්තට ධාවනය වෙනවා...මේ කොටසෙදි තියෙන සුන්දරත්වය කියලා නිම කරන්න බෑ...ලංකාව කොච්චර සුන්දර රටක්ද කියලා හොදට දැනෙන්න නම් අපි හැමදාම චාරිකා යන සම්මත ලැයිස්තුවෙන් පිට ගමනක් යන්න ඕනෙ.



 මචං ඉන්න බෑ...පොඩ්ඩක් නවත්තහං... ඒ දවස් වල ඩියුඩ්සිරා හුජ්ජ බෑග් එක හොයාගෙන තිබුනෙත් නැති හින්දම සුළු දිය අවශ්‍යතාවට රථය නතර උනා. සියල්ලන්ම වගේ රථයෙන් බැහැලා තම තමන්ගෙ අවශ්‍යතාවයන් සපුරාගෙන රථයට නැගිලා මද දුරයි ගමන පිටත් වුනේ...

අඩේ, මොකෙක්ද කනවා වගේ බන් පොඩ්ඩක් නවත්තපං චතුර....ජීවන්තයා මොර දෙනවා....වාහනේ නැවතුනා. මේ මාර්ගයේ ධාවනය වන්නෙත් එකම එක වෑන් රථයක් නිසා වාහන තදබදයකුත් නෑ. ජීවන්තයා වාහනෙන් බිමට පැනලා පාර මැද්දෙම කලිසම ගලවලා බැලුවා....

මෙන්න බඩු....


මේ මගේ කලිසමේ හිටපු එකෙක්...


මෙන්න මෙයා තමයි නඩේ ගුරා ජීවන්ත...තාමත් සරම ගසනවා කූඩැල්ලො වැටෙයිද බලන්න.
ටිකක් ඈතින් පේන වෑන් රථය තමයි හුන්නස් ගිරියෙ ඉදන් ලූල්වත්තට මගීන් ප්‍රවාහනය කරන එකම රථය

මෙයා තමයි චතුර...අන්තිම මොහොතෙ අපිව ගොඩ දැම්ම ඉස්සර නලුවා

මගේ මිත්තරයගෙ අහවල් එකේ එල්ලිලා හිටිය කූඩැල්ලා ඒ වෙද්දිත් සෑහෙන්න ලේ බීලා පිම්බිලා හිටියෙ...අපේ කලිසම් වලිනුත් කූඩැල්ලො එකා දෙන්නා මතු වෙන්න ගත්තට පස්සෙ තමයි කූඩැල්ලො එක්කත් අපිට බේර ගන්න ගණුදෙනුවක් තියෙන බව වැටහුනේ.

ජීවන්තයා කලිසම ගලවලා සරමට බහින්නත්...සිරා කොලුවා කකුල් දෙකටම ඇදපු කලිසමෙන් බැහැර වෙලා කොට කලිසමකට බහින්නත් තීරණය කොලා. අතර මගක හමුවුන සුන්දර දිය ඇල්ලකින් අපේ මූණත් තහඩු හෝදාගෙන නැවතත් ගමන පිටත් වුනා.

ජීවන්තගෙ ගෝලයො දෙන්නගෙන් එක්කෙනෙක්...මහේන්
මග දිගට දකින සොදුරු දර්ශන වලින් අපි සියල්ලන්ම ඒ වෙද්දි වසග වෙලා හිටියෙ. නුවර සහ මාතලේ දිස්ත්‍රික්කයන් අතරට වෙන්න පිහිටා තියෙන මීදුම් සළුවෙන් වැහුනු හරිත පැහැයෙන් බැබලෙන දුම්බර කදු පන්තිය පුදුමාකාර ලස්සනයි. හමන සුළග හරිම සිසිලයි. කොච්චර වෙලාවක් මේ දර්ශනේ දිහා බලාන හිටියත් ඇති වෙන්නෙවත් නෙත් යුග විඩාවට පත්වෙන්නෙත් නෑ. නගරයේ වගේ වායු දූෂණයක් නැති නිසාද කොහෙද හුස්ම ගන්නා වාරයක් පාසා අමුතුම ආශ්වාදයකින් හිත පිරුනා.

ජීවන්තගේ පෙර සැලසුම් අනුව සකසා තිබුන සීනි සම්බෝල සමග අපි හුන්නස්ගිරියෙන් මිළදී ගත් පාන් උදෑසන ආහාරය ලෙස භුක්ති විදින්න රථය නතර උනා. තරමක බෑවුමක් තියෙන අනතුරුදායක තැනක් මේ සදහා තෝරාගත්තෙ අපේ අනිත් නළු මිත්තරයා දිනේෂ්. ට්‍රෝජන් කාන්තාවෝ  ඇතුළුව වේදිකා නාට්‍ය රැසක රගපා තිබුන මේ හාදයා කථා කරන හැම වෙලාවකම අංගචලනයෙන් අමුතුම මිහිරක් එකතු කලා. ඔහුගේ හැකියාව ගැන යම් අදහසක් ඔහුගේ රගපෑම් නොදැක්ක කෙනෙක්ට ලබා ගන්නත් ඒ පොඩ්ඩම ඇති.

උදෑසන කෑම විරාමය....අනිත් නලුවා දිනේෂ්...ඔය ලගම ඉන්නෙ...

ඔන්න බලන්න උදේට කෑම කන්න තෝරගත්ත තැනක හැටි...
නාය ගොස් තිබුනු තැනක්


කෑම විරාමයෙන් පස්සෙ කිසිම කෙනෙක් මට ආගන්තුක උනේ නෑ...හැමදෙනාම ඉතා හොදින් සුහදව අපේ චාරිකාවත් එක්ක ඒකාත්මික වෙලා හිටිය නිසා හැමෝම හිටියෙ සතුටින්. කෙමෙන් කෙමෙන් රථය ලූල්වත්ත හන්දියට ලගා වුනා. මේ මාර්ගයේ නිතරම වාහන යන්නෙ නැති නිසා අපි ගිය වාහනයෙන් ඒ වෙලාවෙ මාර්ගයෙ පයින් යමින් සිටි ගම්වැසියන්ට ප්‍රවාහන පහසුකම් සලසා දෙන්නත් අපි අමතක කලේ නෑ. ඒ ඇත්තො හරිම අහිංසක මිනිස්සු...කටපුරා හිනාවෙනකොට කොච්චර අව්‍යාජද කියලයි හැමවෙලේම මට හිතුනෙ.

ලූල්වත්ත හන්දියෙන් පස්සෙ කෙමෙන් කෙමෙන් ජනාවාශ නැතුව යනවා...එතනින් එහාට තියෙන්නෙ හුදෙකලා වෙච්ච මහා වනාන්තරය...මහා මාර්ගයත් බොහොම පටුයි. සමහර තැන් වල විශාල බෑවුම්...ඒ නිසාම රියදුරා හොද අත්දැකීම් සහිත කෙනෙක් වීම ඉතාම වැදගත්...ඒ වගේම ඇතැම් තැන් වල මාර්ගය කැඩිලා විශාල වල ගොඩැලි පිහිටලා තියෙන නිසා කාර් රථයක වගේ මේ ගමන යන්න බෑ. අපිට පිටිපස්සෙන් ආපු කාර් රථයක් අතර මගදි සෑහෙන විදියට අසරණ වෙච්ච අන්දම අපි දැක්කා. පොළව සහ වාහනය අතර උස (ground clearance) වැඩි ජිප් රථයක්, කැබ් රථයක්, වෑන් රථයක් තමයි මී මුරේ ගමනට වඩාත් සුදුසු.

මේ තමයි ලූල්වත්තෙන් පස්සෙ මී මුරේට යන්න තියෙන මාර්ගය...පේනවනෙ පළලෙ තරම
දැන් අපි මී මුරේ ගම්මානයට තමයි කෙමෙන් කෙමෙන් ලගා වෙන්නෙ. සූරිය අරණ චිත්‍රපටියෙන් පස්සෙයි මේ ඉසව්වට ගොඩාක් සංචාරකයන්ගෙ ඇල්ම බැල්ම ලැබුනෙ. චිත්තරපටිය පෙන්නුවට පස්සෙ ඒ ඉසව්වට ගාටපු මගේ ඇතැම්  මිත්තරයන්ගේ කථා ඇහුවම තමයි මටත් මී මුරේ යන්න දොළක් උපන්නෙ.

මේ මාර්ගයට නිතරම පෙනුන දෙයක් තමයි කිතුල් ගස්...ඒ නිසාම තමයි මම කිතුල් රා තියෙනවද කියලා ජීවන්තයාගෙන් ඇහුවෙ...

අම්බානට තියෙනවා...අපි හොද කිතුලකින් රා සුට්ටක් බොමු...අපේ රියදුරු තුමා චතුර ගොයියා වාහනේ පදවන ගමන්ම පිළිතුරු දුන්නා. මී මුරේ ඉසව්වෙ අපි යද්දි ජංගම දුරකථන තරංග ක්‍රියාත්මක වුනේ නෑ...ඒ වගේම හදිසියේම වාහනයක පැච් එකක් ගියත් හදාගන්න තැනක් තිබුනෙත් නෑ...ඒ නිසා සංචාරයට ඉස්සෙල්ලා ඒ සියල්ල ගැන කල්පනා කරන එක ඉතාම වටිනවා. චතුර වගේ හොද කාර්මිකයෙකු අපිත් එක්ක ඉද්දි මොනවට භය වෙන්නද...අපි එහෙම හිතලා හිත හදාගත්තා.

ඔයින් මෙයින් අපේ නඩේ මී මුරේ ගමට ලගා වුනා. ගමට කිට්ටු වෙද්දිම මාර්ගය කොන්ක්‍රීට් යොදා පිළිසකර කර තිබුනා සෑහෙන දුරක ඉදන්. විදුලිය පවා නැති අසරණ ගම්මුන් වෙසෙන ගමක් ලෙස මම හිතාගෙන හිටිය මී මුරේ පළවෙනි  නිවාස දෙක තුන දකිනකොටම ඒ සිතිවිල්ල වෙනස් වුනා. හොද තත්වයේ නිවාස වගේම විදුලියත් ඒ ඇත්තන්ට ඒ වෙද්දි තිබුනා. ඒ කිව්වෙ 2011 දෙසැම්බර් මාසය වෙද්දි තිබුනා. මේ චාරිකාව ගිය අලුතම මේ සටහන ලිව්වා නම් ගොඩාක් දේ එකතු කරන්න තිබුනා. ඒත් ඒ කාලෙ බ්ලොග් ලිවිල්ල කලේ නැති හින්දා ඇතැම් දේ මතකයෙන් ගිලිහී ගිය වටපිටාවක තමයි දැන් ලියාගෙන යන්නෙ.

දිවා ආහාරය පිළිබද වගේ වගක් නැතුව අපි වාහනෙන් බිමට බැහැලා ගම පුරාම ඇවිද්දා. ඒ කූඩාරම ඉදිකරන්න සුදුසු තැනක් හොයන්න. නොදන්නා පළාතක මේ වගේ රාත්‍රියක් නතර වෙද්දි සතා සීපාවාගෙන් ආරක්ෂා විය හැකි තැනක් තමයි ඉස්සෙල්ලාම තෝරා ගන්න ඕනෙ. ඒ වෙද්දිත් ගමට ඇවිල්ලා හිටිය ස්වදේශික සංචාරකයො කීප දෙනෙක් ගමේ විවිධ නිවාසයන්ගේ ලැගුම් ගෙන තිබුනා. එහෙත් අපේ නවාතැන වෙන්නෙ කැළෑව නිසා ඒ ගැන තැකීමට අවශ්‍යතාවයක් තිබුනෙ නෑ.

මෙතන හදමු....අයියෝ මෙතන හරියන්නෙ නෑ...එකෙක් කැමති වෙද්දි එකෙක් අකමැතියි. මේ විදියට සෑහෙන වෙලාවක් ගියාට පස්සෙ තමයි අපිට වැටහුනේ  මේ ගම්මානයට ඉක්මනින් කරුවල සැපත් වෙන බවත් ඊට කලියෙන් අටවන ලබ්බක් අටවාගත යුතු බවත්...ඒ නිසාම කාගෙත් වැඩි ඡන්දයෙන් මී මුරේ ගමෙන් පිටට ගිහිල්ලා කූඩාරම ඉදිකරන්න තීරණයක් ලැබුනා. අපි නැවතත් ගමෙන් ආපස්සට ආවා. කිලෝමීටර් 3 ක් පමණ ආවට පස්සෙ  වංගුවක් එක්කම පාලමක් තිබුන තැනක් විමර්ශණයෙන් පස්සෙ සුදුසු තැන විදියට තෝරා ගත්තා. මාර්ගයේ ඉදහිට ඇදෙන රථයක් මිස කිසිදු ජනාවාශයක් ඒ අවට තිබුනෙ නෑ.

අවසානයට තෝරාගත්ත තැන...මෙතැනින් පල්ලම් බැහැලා තමයි කූඩාරම් ගැහුවෙ


රථයෙන් බඩු බාහිරාදිය ඉක්මනින් බාගෙන පල්ලම් බැහැලා මාර්ගයට කුඩාවට පෙනුන දිය පහර තරණය කරන්න සූදානම් උනා. නමුත් අපි දුටුවාට වඩා ඒ දිය පහරෙ සැඩ ගතිය වැඩියි. සුමේධ වගේම මහේන්...ඒ කිව්වෙ ජීවන්තගෙ ගෝලයෝ දෙන්නා නම් කිසිම භයක් සැකක් නැතුව ගලෙන් ගලට පැනලා එහා පැත්තට පිවිසුනත් අවශේෂ අපිට එච්චර ධෛර්යයක් තිබුනෙ නෑ...ඒ නිසාම ඒ දෙදෙනා පොදු ජන යහපතා තකා පාලමක් ඉදිකරන්න කටයුතු කොලා. ඒ සදහා සෑහෙන වෙහෙසක් සහ කාලයක් ගත කරන්න උනේ සැඩපහර සෑහෙන්න දරුණු එකක් වෙච්ච හින්දයි. බැලූ බැලූ අත පෙනෙන නිල් කැටේට බබලන ජල මූලාශ්‍ර තමයි මී මූරේට සෑහෙන එළියක් දෙන්නෙ. ඉතාමත්ම නොඉදුල් පිරිසිදු ජලය නිසාම අප ආසන්නයෙන් ගලා ගිය ජලපහරෙන් තමයි අපේ පානීය අවශ්‍යතා සපුරා ගත්තෙත්. අන්න ඒ පාලමෙන් ගග තරණය කරලා..එහා පැත්තට පිවිසිලා කූඩාරම අටවගන්න බිම සමතලා කරගන්න සෑහෙන වෙහෙසක් ඊළගට ගන්න අපට  සිදු වුනා.

මී මුරේ අසිරිය වැඩි කරන  සුපිරිසිදු ජල සම්පත


ගෝලයො එහා පැත්තෙ...පැනගන්න බැරි වුන අය මෙහා පැත්තෙ














පාලම හදන්න කලියෙන් චතුරයා සැඩ පාරට අහුවෙච්ච හැටි
සර්පයන් පිළිබද අවධානමක් තියෙන හින්දා කොළ රොඩු  ඇතුලුව සියලු දේ ශුද්ධ පවිත්‍ර කරලා කූඩාරම අටවන වැඩේ ආරම්භ වුනා. මේ කූඩාරමේ හිමිකරුවා චතුර වීමත් එය මීට පෙර අවස්ථා ගණනාවකම සවි කර ලැබූ අත්දැකීමත් නිසා ඔහු තමයි හෙඩ් බාස්.

එහෙත් එදා නම් ඔහුටත් වැරදුනා...සෑහෙන වාර ගණනක් උත්සාහ කිරීමෙන් පස්සෙ තමයි නිවැරදි ක්‍රමය හොයාගත්තෙ. සිහින් වානෙ කම්බි යොදලා ශක්තිමත් භාවය ඇතිකරගත්තට පස්සෙ අපේ බඩු භාහිරාදිය ඒ තුල තැන්පත් කලා.

සෑහෙන්න කට්ට කාලා ගොඩ දාගත්ත අපේ කූඩාරම් රාජයා....

ඉන්න බෑ බඩගිනිනයි බොලව් මොනවා හරි කන්න දෙයක් හදමු...ජීවන්තයා මොර දෙනකොට තමයි අපිටත් සෑහෙන බඩ ගින්නක් තියෙන බව මතක් වුනේ. උගෙ ගෝලයෝ දෙන්නා නූඩ්ල්ස් හදන්න ලෑස්ති උනේ ගල් දෙබොක්කාවක හදපු දර ලිපක් එක්ක. නමුත් ගින්දර දල්වාගැනීම අපි හිතන තරම් සාර්ථක වුනේ නෑ. කැළෑවක් උනත් දර ලෙස භාවිතා කල හැකි වියලි ඉපල් කිසිවක් තිබුනෙ නැති නිසා කිතුල් ගස්වල වියලුනු කොල පමණයි භාවිතා කරන්න ලැබුනෙ. අවසානයේ අපට හැකි වුනේ නූඩ්ල්ස් යන්තම් තම්බා ගන්න පමණයි. බඩගින්න දරාගත නොහැකි වූ තැන තැම්බූ නූඩ්ල්ස් සමග ටින් මාලු  අමුවෙන්ම දෙසා බාලා බඩගින්න තුරන් කරලා දැම්මා. මේ වගේ ලෝකයෙන් හුදෙකලා වෙලා ඉන්නකොට තමයි අපේ නිවාස වල තියෙන පහසුකම් සහ ගෙදර ඉහුම් පිහුම් කරන අම්මලාගෙ සේවය පිළිබද හොද අවබෝධයක්  සහ වටිනාකමක් හිතට දැනෙන්නෙ.
සිරාගෙන් ගින්නට හුස්ම පොදක්
පේනවනෙ ගින්දරේ තරම

ටිකෙන් ටික අඩියෙන් අඩිය අදුර වැටුන මී මුරේ ගම අවසානයේ අදුරේ නෙපෙනීම ගියා. දවසක නිමාව සටහන් කරමින් විවිධ හඩ නගමින් සියොත් කැළ නිවෙස් සොයා ඇදුනා. නොදන්නා නුපුරුදු තැනක අපි 6 දෙනා හුදෙකලා වුනා. හීන් සිරුවේ එකා දෙන්නා දවල් වරුවේ ඉදන් එකතු කරගත්ත දරකොට කීපයක් ලංකර ගෙන ගිණිමැලයක් පත්තු කලා.  ඊටත් පස්සෙ ගමන් මහන්සිය නිවා ගන්න සුපිරිසිදු ජලය  ස්නානය කරලා හැමෝම වගේ ගිණි මැලය වටේට එකතු පහදු උනා.

හැමදාම චාරිකාවක් යනවා නම් ජීවන්තත් එක්ක නොවරදවාම දකින්න පුලුවන් කොංගෝව එදත් උගෙ උරහිසට සවි උනා. කෙමෙන් කෙමෙන් සද එළිය නොඉදුල් වන පියසට පතිත වෙද්දි ගෙදරදී ගැඹුරු තෙලේ බැදගෙන ආපු හුරුල්ලන් එකා දෙන්නා පිගන් වලට වැටුනා. එතැන් සිට  ජා-ඇලින් අපි රාත්තිරියෙම මිළදී ගත්ත කැලිප්සෝ රෙඩ් රම් අපිට තනි රැක්කා.


මතු සම්බන්ධයි.



මම කාමරේ වෙසෙන සත්ගුණවත් සිරා කොලුවා.












Saturday, November 9, 2013

105 අපිත් ගියානෙ මී මුරේ


අපි මීමුරේ යනවා උඹ එනවද ?
බස් කථාවෙදි කකුල කඩාගත්තා කිව්ව ජීවන්ත ගොයියා සිරාගේ ජංගම දුරබණුවට දුන්න ඇමතුමකින් එහෙම ඇහුවෙ පුදුම තදියමකින්.

කවදද බන් යන්නෙ...උඹලා මාර  මිනිස්සුනෙ...මෙහෙමත් හදිස්සියෙ ට්‍රිප් යන සිරිතක් තියෙනවද ? මම පෙරළා ප්‍රශ්න කොලා.

උඹ ඉතිං දන්නවනෙ මේ ජීවන්තයගෙ හැටි...මේ හිතුවා මේ ගියා...ලොකු සැලසුම් නෑ...උඹ එනවද නැද්ද කියලා විතරක් කියපං...

හරි හරි පොඩ්ඩක් හිටිං...මොකද ඔච්චර හදිස්සි...
මට තව විස්තර ඕනෙ...මොකේද යන්නෙ...කවදද දිනේ....කොහෙද නවතින්නෙ ?

දිනේ දෙසැම්බර් 24 නත්තල උදාවෙන රෑ...පාරෙ බස් එකේ...අපි ජා-ඇලින් කොළඹ ගුණසිංහපුර බස් ස්ටෑන්ඩ් එකට ගියා...එතනින් නුවරට ගියා...නුවරින් හුන්නස්ගිරියට ගියා...එතනින් ලූල්වත්තට, ලුල්වත්ත කියන්නෙ මචෝ තේ වතු තියෙන පැත්තක්...ඒ වතු මැද්දෙන් යන පොඩි වෑන් එකක් තමයි තියෙන්නෙ සෙනග අරන් යන. ඒක මී මුරේටම යන්නෙ නැ...වෑන් එක යන තරමක් දුරට ගිහින් ඉතිරිය පයින් යනවා...එතකොට නවතින්නෙ මහ කැලේ මැද්දෙ අටවගන්න අපේ කූඩාරමේ...ඒ කිව්වෙ අපි Campsite (කූඩාරම්) ගහන්න යන්නෙ.

අඩේ තනි ඇහැට ඇඩෙන්නෙ...ඇළි හතෙන් පස්සෙ කැලෑවක නැවතුනේම නෑ. එතකොට තව කවුද යන්නෙ...

මගේ ලග වැඩ කරන කොල්ලො දෙන්නෙකුයි. මගේ යාලුවො දෙන්නෙකුයි...උන් දෙන්නව තාම උඹට සැට් වෙලා නෑ...දෙන්නම නළු බට්ටො. උඹත් ඉතිං කලාවට බර නිසා උන් දෙන්න අනිවාර්යෙන්ම උඹට අල්ලලා යයි.

මොකද කියන්නෙ උඹ සෙට්ද ? මම මේ බයිට් එකට හුරුල්ලො ගේන්න යන්න සෙට් වෙන ගමන්.. මට ඉක්මනට උත්තරයක් දීපන්...හෙට හරි කමක් නෑ...මොකද උඹ යන්නෙ නැත්නම් වෙන කාටහරි කථා කරන්න.

හෙට වෙනකං ඉන්න ඕනෙ නෑ බං...මම අනිවාර්යෙන්ම එනවා...මගේ නමත් ලිස්ට් එකට දාහං...

ඔන්න ඔහොමයි අපේ කථා බහ නිමාවට පත් වුනේ.

සෝමරත්න දිසානායක උන්නැහේගෙ සූරිය අරණ චිත්තර පටිය බලපු දවස් වල ඉදලාම ඒ සුන්දර ගැමි පරිසරය දකින්න පුදුමාකාර උවමනාවක් තමයි මට තිබුනෙ. ඒත් ඉතිං මේ වගේ ගමනක් ගෙදර ඇත්තො එක්ක ගිහිල්ලා කිසිම සොමියක් නැති නිසාම ආශාව හිතේ තෙරපගෙන හිටියා නිසි වෙලාව එනකං. ඔන්න බොලේ නිසි වෙලාව ඇවිල්ලා...තවත් මොනවා හිතන්නද මමත් එක පයින් කැමති උනා මී මුරේ බඩගාන්න.

ජීවන්ත කොලුවා කියන්නෙ යමක් කරන්න හිතුවොත් ඒ දේ කරලාම පස්ස බලන වර්ගයේ එකෙක්. මෙයා කවදාවත් අනුන් යටතෙ වැඩ කරලා නෑ...තමන්ගෙ කියලා එක එක බිස්නස් තමයි හැමදාම කලේ. මේ අවුරුද්දෙ කරන ව්‍යාපාරය නෙමෙයි ලබන අවුරුද්දෙ කරන්නෙ...ඒක නෙමෙයි ඊළග අවුරුද්දෙ...අත්තෙන් අත්තට පනින කුරුල්ලා වගේ හැමදාම එක එක දේවල් කලාට මිනිහා ඔන්න දැන් නම් හොදම එක තෝරාගෙන ඒකෙන් ඉදිරියට යනවා...මේ ළගදි රාජ්‍ය සම්මානයකුත් හම්බවුනා කියලත් මට දැන්වූවා. මේකා ගැන වෙනම පෝස්ටුවකට ගොනු කරන්න තරම් කරුණු තියෙන නිසා ඉතිරි විස්තර ඉදිරි දිනයක දෙසන්නම්.

හැමදාමත් වගේ කාලය ටික් ටික් හඩින් ගතවෙලා  ගියා...මොන හඩින්ද...ටික් ටික් හඩින්.....ඔය කියන මීමුරේ ගමන පිටත් වෙන්න තියෙන්නෙ නත්තල ලබන්න ඔන්න මෙන්න තියලා රාත්‍රී ජාමෙ. මගේ දෙමාපියන්ගෙන් අවසර වගේම ආශිර්වාදයත් ලබාගෙන බෑග් කඩමල්ලක දවස් දෙකකට ඇති වෙන්න අඩුම කුඩුම ටිකකුත් ඔබාගෙන මම කෙලින්ම ගියේ ජීවන්තගෙ නිවසට...මේ නිවස පාසල් යන කාලයේ සිටම ආගිය තැනක් නිසා මට හොදට හුරු පුරුදු තැනක්...ඒත් හැමදාම එහෙට යන්නෙ පුදුම භයකින්....

ජීවන්තයලගෙ ගෙදර එදා ඉදන් හිටිය බල්ලො කවදාවත් අමුත්තෙක් දැක්කට බුරන්නෙ නෑ...හොදට නැට්ට වනලා පිලිගන්නවා...අයියෝ මේකා හිත හොද බල්ලෙක් කියන අදහසින් අපි ඔලුවත් අතගාලා ඒකව පහුකරගෙන ඉදිරියට යද්දි තමයි පිටිපස්සෙන් ඇවිල්ලා හපන්නෙ...වතාවක් අපේ තවත් මිත්තරයෙක්ට මේ ඇබැද්දියම උනා...බල්ලා පිටිපස්සෙන් ඇවිල්ලා හපපු පාර උගෙ කටට ඩෙනිමෙ පිටිපස්සෙ සාක්කුවට දාගෙන තිබුන මුදල් පසුම්බිය සම්පූර්ණයෙන්ම අහුවුනා...පර්ස් එක බල්ලට දීලා පණබේරාගෙන දිව ගිය මේ මිත්තරයා පස්සෙ කාලෙක කිව්වෙ...මචෝ එදා පර්ස් එක තිබුනෙ නැත්නම් පුකෙන් භාගයක් බල්ලගෙ කටේ කියලයි.

ඉතිං පණ භයේ ගැහෙමින් මම ජීවන්තයට ආමන්ත්‍රණය කරද්දි ඒකා හිනාවක් එක්ක මතු වුනා. භය වෙන්න එපා බන් බල්ලා මලා පාරෙ ගිය වාහනේකට යට වෙලා...දැන් ඉන්නෙ පැටියෙක්...

පැටියා උනත් කොටි හපුවා වගේ අමුතුම පාටක එකෙක් හින්දා හිතට භයක් නැත්තෙ නෑ... මොකක්ද මේකගෙ නම...

මේ ගෑණු ළමයෙක්...මෙයාගෙ නම මල්කි...

මේ වගේ කොල්ලො සැට් වෙලා යන ගමන් බිමන් වලට මගේ මිත්තරයගෙ මව්තුමිය හැමදාමත් බොක්කෙන්ම හැල්ප්....එදත් ඒ විදියට මාලු පාර්සලයක් එහෙම බැදලා කාරිය පාර්සල් කරලා තිබුනා මේසෙ උඩ.

සියලු කළමනා අතට ගත්තට පස්සෙ ජීවන්තයා අම්මගෙ කකුල් දෙක අල්ලලා වැන්දා....ඒකා අම්මට අපිටත් වඩා ආදරෙයි කියලා හිතෙනවා වෙලාවකට...ඒ තරමට සමීපයි.

පරිස්සමින් යන්න පුතේ...තරමකට බොනවා...හොදද ?..එහෙම අවවාදයකුත් දුන්නා. මේ වගේ චාරිකාවකදි ඉතිං බෝතලයක් දෙකක් අමතර කාය ශක්තිය සපයන්න අපට වැය වෙන බව එතුමියත් දැන උන්නා.

කෝ බන් උඹේ ගෝලයො...

ආ උන් දෙන්නා කලින් වාහනේ චතුරයලගෙ ගෙදරට යැව්වා...උන් සැට් එක එහෙන් ජා-ඇලට එයි. අපි දෙන්නා විතරයි මෙහෙන් යන්නෙ...

ඔයින් මෙයින් පිරිස ජා-ඇල නගරයේදි එකිනෙකාට සම්මුඛ උනා. ඒ අතරෙදි ජීවන්තගෙ නලු මිත්තරයො දෙන්නව හදුනාගන්නත් මට හැකි වුනා.  ක්‍රිස්තියානි භක්තිකයින් වැඩි ප්‍රමාණයක් වෙසෙන මේ ප්‍රදේශයේ ඇත්තො ඒ වෙද්දිත් උදාවෙන නත්තල පිළිගන්න ඉතාම හොද සූජානමකින් හිටියෙ. සමහරු පල්ලි යනවා...තවත් සමහරු  විවිධ දේ මිළදී ගන්න සාප්පු සවාරියේ යෙදෙනවා...අපේ නඩෙත් පණු බෙහෙත් මිළදී ගන්න බාර් කොටේකට ලං වුනා.

එදා මට හිතුනෙ අරක්කු නිකං දෙනවදෝ  කියලයි...ඒ තරමට සෙනග පොර කනවා...රාත්තිරී 9 කණිසමට බාර් වැහෙන නිසා ඊට කලින් ඹෟෂධය අරන් ගෙදර යන්න තමයි හැමෝගෙම උවමනාව..හාල්මැස්සො අස්සෙ තෝරු මෝරු වගේ පෝලිමේ තෙරපෙන මහ ජනකාය මැද්දෙ ලයිෂන් චණ්ඩිත් රිංගලා...

අඩෝව් මට ගල් බෝතල් 5 ක් දියන් ඩෝ....නිකං අනම් මනම් ටොක් තියා ගන්න බෑ අරිද ? මෙන්න මේ වගේ තර්ජන ගර්ජන මැද්දෙ අපේ උනුත් තුන් හතර දෙනා විදියට බෙදිලා ගිහිල්ලා බඩු රැස්කොර ගත්තා. රැස්කොර ගත්ත ධනය ගමන් මල්ලක සුරක්ෂිත ආකාරයෙන් සැතපෙව්වට පස්සෙ තමයි අපේ ගමන නැවතත් ආරම්භ වුනේ.

ජීවන්ත අයියෙ අපි රෑට කෑවෙ නෑ නේද ? මොනවා හරි කමුද ?

ඒකාගෙ ගෝලයෙක් ගමන පටන් ගන්නත් කලියෙන් නාහින් අඩනවා. අනේ ඒ පොඩි දරුවට පින් සිද්ධ වෙන්න අපි සියල්ලන්ටම රාත්‍රී ආහාරය තමන්ගෙ වියදමින් ලබා දීලා ජීවන්ත කොලුවා සියල්ලන්ම කොළඹ බලා යන බසයකට නගින්න හැකි බස් නැවතුමට රැගෙන ගියා.

හලාවත / පුත්තලම/ කුරුණෑගල / අනුරාධපුර වගේ දුර පළාත් වල සිට කොළඹ බලා යන කිසිදු බස් රථයක ඇගිල්ලක් ගහන්න ඉඩක් නෑ. අපේ පිරිස 6 ක් වුනාට අපේ උරහිස් වල එල්ලිලා ඉන්න විශාල බෑග්  එක්ක මේ බස් රථයක කොළඹට යන්න වෙන්නෙ නෑ කියන එක අපිට දැනෙන්න තවත් පැයක් පමණ කාලයක් ගියා.

අඩේ අද අපිට බස් වල යන්න වෙන එකක් නෑ වගේ බන්...බලහල්ලකො සෙනග ඉන්න තරමක්... නඩේ ගුරා ජීවන්ත අප අතර වූ නිහඩතාව බිදිමින් අදහසක් එකතු කොලා.

චතුර අයියෙ....ගෙදර ඔච්චර වාහන තියෙන එකේ එක වාහනයක් ඉල්ලගන්නකො අපිට මේ ගමන යන්න...ජීවන්තයගෙ ගෝලයෙක් අයෙමත් හීනියට නාහින් අඩනවා...

චතුර කිව්වෙ කාලෙකට ඉස්සෙල්ලා ලංකාවෙ චිත්‍රපට වගේම ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයෙත් නමක් දිනාගෙන උන්නු නළුවෙක්..ජීවන්තගෙ යාලුවෙක්...මට ඉස් ඉස්සෙල්ලාම මේ ගමනෙදි හමු වූ නිසාම ඔහුගේ පැටිකිරිය ගැන අවබෝධයක් තිබුනෙ නෑ. පසුව තමයි දැනගත්තෙ ඔහුගෙ පියාට අයත් වාහන අළුත් වැඩියා කරන ආයතනයක් තිබෙන බවත්. නිවසේ ඔවුන්ගේම කියලා වාහන කීපයක්ම තිබෙන බවත්...

වැඩක් නෑ බං...ඒවා ඔක්කොම තාත්තගෙ...උඹලා දන්නවනෙ මම තාත්තත් එක්ක එච්චර හිත හොද නෑ කියලා මේ දවස් ටිකේ.

එහෙම කියන්න එපා අයියෙ...අම්මා එක්ක ෆිට් නෙ...අම්මාගෙන් හරි එකක් ඉල්ලගන්නකො... මදුරුවො තලමින් ජා-ඇල නගරයෙ අදුරු බස් නැවතුමක පාලු කපමින් හිටිය අපේ දෙකකුල් රිදෙන්න ගන්නකොට චතුර තමන්ගෙ මව්තුමියට ඇමතුමක් ගත්තෙ....

අනේ සුදු අම්මෙ...තාත්තට කියලා මට වාහනයක් ඉල්ලලා දෙන්නකො..ට්‍රිප් එක යන්න විදියක් නෑ අම්මෙ...කොළඹ යන බස් වල කොහොමවත් යන්න ඉඩක් නෑ...නිකටම හිතන්න මේ කොල්ලො....පවුනෙ අම්මෙ...උන්ව මදුරුවොත් කනවා...මෙතන සෑහෙන්න මදුරුවොත් ඉන්නවා...මදුරුවො කාලා ලෙඩක්වත් හැදුනොත්......

නෑ නෑ...ආපු විදියටම බස් එකේ යන්න...තාත්තව තරහා කරගත්තෙ මොකටද ? ඉස්සර වගේ හිටියා නම් ඉල්ලන්න කලින් නේද තාත්තා වාහනයක් දෙන්නෙ....චතුරගෙ අම්මා දුරබණුව විසන්දි කලා...

තවත් විනාඩි 10 කට පස්සෙ...

අනේ මොනවද අම්මෙ...පොඩ්ඩක් තාත්තට කියලා එකක් ඉල්ලලා දෙන්නකො....මං ගැන හිතන්න එපා...මේ කොල්ලො ගැන හිතන්නකො...උන් පවු...මදුරුවො තල තලා බෑග් උඩ ඉදගෙන නිදියගෙන ඉන්නෙ...එකෙක් මාලුත් බැදගෙන ඇවිල්ලා කිලෝ ගාණක්....

හෑ....මාලු බැදගෙන අරන් යන්නෙ බොන්නද ? මම කියලා තියෙනවා නේද පිට ගමන් ගියාම බොන්න එපා කියලා...

අනේ නෑ...මේ අපිට බත් කන්න තමයි ඒවා ගෙනැල්ලා තියෙන්නෙ....

වයස අවුරුදු 35 ක් පමණ වුවත් චතුරයා පොඩි එකෙක් වගේ අම්මා ඉදිරියේ වාහනයක් ඉල්ලලා බැගෑපත් වෙන්නෙ අප වෙනුවෙන් කියලා දැනුනම මට ඇත්තටම ඔහු ගැන අනුකම්පාවක් මුසු වුන ශක්තිමත් මිත්‍රශීලී හැගීමක් ඇති වුනා.

මේ විදියට වාර ගණනාවක්ම ඇමතුවත් අම්මාගෙන් සුහදශීලී ප්‍රතිචාරයක් ලැබුනෙම නෑ....ඒත් පැය දෙකකට කිට්ටු වෙන්න ගත්ත ඇමතුම් වලින් අන්තිම ඇමතුමේදි යම් සහනශීලී පිළිතුරක් ලැබුනා.

අන්න තාත්තා කියනවා අර හදන්න ගලවලා තියෙන කැබ් එක පුළුවන් නම් හදාගෙන අරගෙන යන්න කියලා.

මේ වචනෙන් පස්සෙ බිමට බරවෙච්ච බැරෑරුම් මුහුණකින් යුතුව චතුර ජීවන්ත දිහා බැලුවා.

මචං අපේ තාත්තා කියන්නෙ වාහන රෙපෙයාර් වලට හොදම වැඩ්ඩෙක්...ඔය වාහනේ මම දැක්කා දවස් දෙක තුනක් ගලවගෙන ඉන්නවා...එයා ඒක තාම හදලා ඉවර නෑ කියන්නෙ ඒකෙ ලොකු අවුලක් ඇති...මම එච්චර වැඩ්ඩෙක් නෙමෙයි සිරා. ඒත් අපිට දැන් වෙන කරන්න දෙයක් නැති හින්දා කොහොමහරි මේක අටවගන්න ට්‍රයි කොරමු. හැබැයි තව අවුලක් තියෙනවා...ඔය කියන වාහනේ ලයිෂන් ඉන්ෂුවරන්ස් දෙකම කල් පැනලා තියෙන්නෙ...මට ඕක අලුත් කරන්න යන්න වෙලාවක් තිබුනෙ නෑ බං... එක්කො කමක් නෑ බං...පොලෝසියට අහුවෙන එකක් නෑ...ඒක ඒ වෙලාවට බලමුකො...

ඉන් අනතුරුව නඩේ ඉතිරිය ජා-ඇල බස් නැවතුමේ තනිකර මම, ජීවන්ත සහ චතුර චතුරගෙ නිවස කරා ඉගිලුනේ ඒ මාර්ගයේ ගමන් ගන්නා අන්තිම බස් රථයෙ.

අපි නිවසට ලගා වෙද්දි නිවැසියො සියල්ලන්ම නිදි දෙව්දුව වැළදගෙන. ඒත් චතුරගේ මව ඔහු කරා අවුත් වාහනේ යතුර භාර දුන්නා. ඕක හදාගෙන යන්නලු...මට තාත්තා එක්ක තර්ක කරන්න බෑ...උත්සාහ කරලා බලන්න...බැරි වෙන එකක් නෑ....අම්මා එහෙම කියලා නිවස තුලට ගියා.

නිවසේ පසෙකට වෙන්න ඉදිකර තිබූ ඔවුන්ගේ පුද්ගලික රථ ගාලෙ තිබුන වටිනාකමින් අඩුම වාහනය තමයි මේ. ඉතාම සුවපහසුවෙන් යන්න පුලුවන් නවීනතම වාහන එතැන තිබුනත්..ඒවා අපිට හිමි නෑ.

වාහනය තියෙන ඉසව්වට අපි ලගා වෙද්දිත් වාහනේ බොනට්ටුව ඉහළට ඔසවලා තිබුනෙ...එතැන බිම සවිකරන්න ගත්ත මහ විශාල කෑලි බෑලි තොගයක්...

තාත්තා මේක හයිකරන්න හදලා තියෙනවා...එත් මොකක් හරි හින්දා නවත්තලා...මට පුලුවන් වෙයිද දන්නෙ නෑ මචං...තාත්තා ලේසියෙන් වැඩක් අතරමග නතර කරන කෙනෙක් නෙමෙයි....ඔන්න ඔය ලයිට් එක මෙහෙට අල්ලපන් බලන්න...

සිරා කොලුවටත් දැන් කෙලින් කටින් ඉන්න බෑ...එතරම් මහන්සියි...උදෑසන සේවයට ගිහිල්ලා විවේකයක් නොගෙනම තමයි මේ ගමනට එකතු වුනේ....වාහනය තුල ඉදගත්තම මටත් හොරෙන් ඇස් පියවෙන්නම ට්‍රයි කොරනවා.

එහෙත් අධිෂ්ඨානශීලිව පිරිස ගොඩදාන්න වළිකන චතුර එක්ක නඩේ ගුරා ජීවන්ත එකතු වෙලා...වරින් වර රථය පණගන්වන්නට යතුර කරකවමින් වැඩෙහි යෙදෙනවා.

මේකෙ බැටරියෙන් කරන්ට් එක එන්නෙ නැති සීන් එකක් තියෙන්නෙ...මේ බලහං මේ කනෙක්ටර් එකේ හොදටම ඔක්සයිඩ් බැදිලා...දැන් අලුත් ඒවා හොයන්න වෙලා නෑ...තාත්තගෙ පැජරෝ එකේ එක ගලවලා මේකට හයි කරලා බලමු....

එතෙක් වේලා බිම එලූ කාපටයක් මත සැතපී තිබූ වාහනයේ හෝස් පයිප්ප ඇතුලු විවිධ කොටස් චතුරගේ දැතේ පිහිටෙන් වාහනේට සවි වෙන්න වැඩි වෙලාවක් ගියේ නෑ. මම දන්න විදියට ඔක්කොම ෆිට් කලා බලමු...දැන් ස්ටාර්ට් උනේ නැත්නම් මේක මට හදන්න විදියක් නෑ... එහෙම කියලා චතුරයා වාහනේට නැගලා යතුර කැරකුවේ එක පාරයි...වාහනේ ටිකක් විතර කැහලා කැහලා නතර වුනා. ආයෙමත් බිමට බැහැලා කරපු පුංචි වෙනසකින් පස්සෙ වාහනේ පණ ගැන්වුනා. ඒ වෙලාවෙ අපිට දැනුන ප්‍රීතිය කියා නිමක් නෑ. නත්තල උදාවෙන විටම වගේ තමයි වාහනේ යථා තත්වයට පත් වුනේ..හතර අතින් රතිඥ්ඥා පිපිරෙන අහස් ගුන්ඩු ගුවන් ගත වන වේලාවක අපි දෙදෙනාම තමන්ගෙ දෑත් වලින් තරයේ වැළදගෙන චතුර ඒ සතුට වින්දෙ පොඩි එකෙක් වගෙයි.

දූවිලි බැදිලා තිබුන වින්ඩ්ස්ක්‍රීනය පිරිසිදු කරගෙන ඉක්මනට අපි පාරට ආවෙ අපේ ආගමනය බලාපොරොත්තුවෙන් ජා-ඇල රැදී ඉන්න අනිත් අයවත් රථයට නංවාගෙන දැනටමත් ප්‍රමාද වෙලා තියෙන අපේ චාරිකාව ආරම්භ කරන්න. ඒ වෙද්දිත් උන් දරුණු මදුරු ගහණයකට හසුවෙලා පීඩා විදින බව දුරබණුවෙන් කියලයි තිබුනෙ. වාහනේ ගොඩ ගිය බව කිව්වම ඒ සැට් එකත් තමන්ගෙ සතුට පල කලේ මහා සද්දෙන්. මග දිගට ගිණිකෙළි සන්දර්ශන පැවැත්වෙන අතරතුර එක් තැනකදි කුපාඩි කොල්ලෙක් වාහනය යටට විශාල රතිඥ්ඤා වැලක් පත්තු කරලා විසි කලා...රථය ඉදිරියට වෙන්න නවත්තලා චතුර වාහනය යටට රිංගුවෙ ඒක ගිණි ගන්නවද බලන්න...ජීවන්තයා කොල්ලා පස්සෙ පැන්නුවෙ උගෙ කණ රත් වෙන්න දෙකක් දෙන්න.

කණ්ඩායමේ ඉතිරිය ජා-ඇලින් රථයට ගොඩ උනාට පස්සෙ ජා-ඇල ගම්පහ මාර්ගය ඔස්සේ කොළඹ - නුවර මාර්ගයට අවතීර්ණ වෙලා රථය දැන් එක පිම්මෙ නුවර බලා ගමන් කරනවා...වාහනයේ සෑම උපාංගයක්ම තිතට වැඩ කරන බව අවබෝධ කරගත්තට පස්සෙ චතුර ටිකක් වේගයෙන් රථය ධාවනය කලා. නමුත් ඔහු බොහොම සංවර රියදුරෙක් බව තේරුම් ගන්න මට වැඩි වේලාවක් ගියේ නෑ.

බස් රථයක යන්න හිටිය ගමනක් මේ විදියට යන්න අවස්ථාව උදා වීම ගැන හැමෝම හිටියෙ සතුටින්...නුවර පහු කරලා ටිකක් දුර යනකොට තමයි කැබ් රථයෙ පිටුපස බකට් එකට ස්ව කැමැත්තෙන් ගොඩවෙලා හිටිය ජීවන්තයගෙ ගෝලයො දෙන්නා වෙච්ච සුමේධයි, මහේනුයි තවත් ඉන්න බෑ හරිම සීතලයි කියලා මොර දුන්නෙ. ඒ අවසරයෙන් මාර්ගය අද්දර රාත්‍රී කඩයක් ඉදිරිපිට රථය නවත්තලා පොල් රොටී හා ලුණු මිරිස් එක්ක සීතල යන්නත් එක්ක පණු බෙහෙත් ටිකක් බොන්න තීරණය වුනා.

එතනින් පස්සෙ මී මුරේ චාරිකාවට මොකද වුනේ....ඊළග කොටසින් ඒ සන්තෑසිය කියවමු එහෙනං...

මතු සම්බන්ධයි.


මම කාමරේ වෙසෙන සත්ගුණවත් සිරා කොලුවා.


ප.ලි

මේ කථාව හිතුවට වඩා දිගු වෙච්ච නිසාම කොටස් කීපයකට පල වේවි.











Tuesday, November 5, 2013

98 බස් කථා බස්

සිරාගේ ලංගම බස් පිළිබද මතකය සිරා සිස්සත්තය සමත් වීමට අතිරේක පන්ති බඩගෑ 92 වසර දක්වාම දිව යන්නකි. එදවස පන්ති නිමා වීමෙන් පසු බණ්ඩාරවත්ත හන්දියෙන් ලංගමයට අපේ මව්වරුන් සමග ගොඩවන විට හැමදාමත් මෙන් සිටියේ ප්‍රසන්න පෙනුමින් යුතු, සුදු ලස්සන ඩැයිවර් මාමෙකි. දවසින් දවස මේ හමුවීම් වාර ගනන වැඩිවෙද්දී අපේ සුහදතාවයද වර්ධනය වූයෙන් බස් රථය තුල කෙතරම් හිස් ආසන තිබුනත් පැරණි ලංගම රථයන්හි රියදුරු අසුනට පිටුපසින් වූ බැටරි පෙට්ටිය අපේ ආසනය වන්නට වැඩිකල් ගියේ නැත.රථයට නැගි පමණින් කුඩා අපි බැටරි පෙට්ටියේ අසුන සොයා පොර කෑවෙමු. ඒ අතර තුර ඩැයිවර් මාමා අපට නොයෙක් විහිළු තහළු මෙන්ම බසයේ නලාව නාද කරන ස්විචය එබීමටද අවස්ථාව දුන් බැව් මට අදත් සිහිපත් වෙයි. සෙමෙන් බසය ධාවන වන කල අනේ තව හයියෙන් යමුකෝ කියන්නටද අපි අමතක නොකළෙමු. එවන් විටක...ඔන්න බලන්න මම මේකට ඉස්සර කරනවා යනුවෙන් ඉදිරියෙන් වූ වාහනයක් පෙන්වා බස් රථය එයට ඉස්සර කර නැවතත් සුපුරුදු වේගයට වැටීම අපේ ඩැයිවර් මාමාගේ සිරිත විය.

සිස්සත්ත පන්ති යන කාලයේ නිතර ආවෙ ගියෙ මේ වගේ බස් එකක
ඡායාරූපය http://sltbbus.blogspot.com


මේ කියූ සිස්සත්තය සමත් වීමෙන් පසු සිරා කොලුවා පාසල් ගිය වෑන් රථයේ වග තුග දැනටමත් කාමරයට යන එන ඇත්තන්ට මම කියා ඇත්තෙමි. මේ කියූ වෑන් රථයෙන් ඉක්බිති සිරා පාසල් ගියේ සාමාන්‍ය පරිදි පාරේ බස් රථ වලට පින් සිදු වෙන්නටය. මේ වෑයම ආරම්භ වී මද දිනකින්ම බස් වලටම පදම් වූ මිත්තරයන් කීප දෙනෙකු මාර්ගයෙන් ලංගම සීසන් ටිකැට්ටුව ලබා ගන්නා ආකාරය දැනගැනීමත්, එය ලබාගැනීමත් මගේ බස් ගමනාගමනයට ආශිර්වාදයක්ම විය.

මුල් කාලයේ පාසල ආරම්භ වුයේ 7.30 ටය. විදුලි කප්පාදුව අස්සේ චන්ද්‍රිකා නෝනා ඔරලෝසුවේ කටු කැරකූ පසු එය 8.00 වූයේය.  එකල මා බස් රථයට ගොඩ වෙන්නට හන්දියට පැමිණියේ උදෑසන හතේ කණිසමටය. පාසල් යන සුන්දර දැරිවියන් කීප දෙනෙකුටම තමන්ගේ ගමනාරම්භය අපේ හන්දියෙන් වැටී තිබූ නිසාවෙන් බස් රථයේ ගමන ප්‍රියජනක එකක් විය. එහෙත් උදෑසනට       ජා - ඇල ඩිපෝවෙන් ඇරඹී අපේ හන්දියට ලගාවෙන ලංගම බසයේ ඉඩකඩ අහවර නිසාම නොබෝ දිනකින් සිරාට පා පුවරුවේ යාව ජීව සාමාජිකයකු වන්නට වරම් ලැබිනි. අපේ හන්දියේ සිටි දැරිවියන්ද අපේ ශරීර කූඩු වලටම හේත්තු වී පා පුවරුවේම ගමන් කල නිසා මා මෙන්ම ඔවුන් ආරක්ෂා කරමින් ඉෂ්ඨ දේවතාවුන් මෙන් බසයේ පා පුවරුවේ ගමන් ගත් අනෙක් කොල්ලන්ගේද දෑත් වලට යෝධ බල යෝධ ශක්තිය ලැබුනි.

එහෙත් හන්දියේ ඒ වේලාවට අපේ නිවස සමීපයේ කිසිවෙකු සිටියේ නම් නිසැකවම මේ ආරංචිය අපේ නිවසටද සම්ප්‍රාප්ත වෙයි.

අද බස් එකේ එල්ලිලා ගියා කියන්නෙ ඇත්තද ? අත පය කඩාගෙන ඉස්කෝල යන්නෙ නැතුව ගෙදර නවතින්නද කල්පනාව ? එවන් විටක මව්තුමියගේ අවලාද නැගිම් මේ කනින් අසා අනිත් කනින් පිට කිරීම මගේ සාමාන්‍ය සිරිත විය.

වැසි දිනට නම් කෙල්ලන්ට මක්ක වුනත් කම් නැතැයි සිතමින් බස් රථයේ හැකිතරම් ඇතුලට වීම අපේ සම්ප්‍රදායයි. නැතිනම් රෙදි හෝදන වෙලාවක පුංචි පුංචි තිත් ආකාරයෙන් කලිසම් කකුල් වර්ණවත් කරන මඩ බින්දු නැති කිරීම උහතෝකෝටික ගැටලුවකි.ඔයින් මෙයින් මද කාලයක් ඇවෑමෙන් බස් සංස්කෘතිය සිරා කොලුවාට හුරු  වූයෙන් බස් රථයක පාසල් යාම සහ ඒම ඉතා රසවත් අත්දැකීමක් විය. මුලදී සෙනග මැද තෙරපීම තරමක අපහසුතාවයක් ඇති කලත් බස් රථයේ යන එන අප විද්‍යාලයේ මිතුරන් හදුනා ගත් පසුව ඒ සියල්ල සාමාන්‍ය දෙයක් බවට පත් විය.

මගේ ජීවිතයේ මෙතෙක් මා වඩාත් අපහසුතාවට පත් වූ දිනය කිමෙක්දැයි කිසිවෙක් මගෙන් අසනවා නම් එයට දෙන පිළිතුර මේ දවස වේ යැයි එදින නිවෙසින් පිටවෙද්දී මම සිහිනයෙකුදු නොසිතුවෙමි. මේ කියන සිදුවීම වන විට මම  9 වසරේ ඉගෙන ගත් හුරු බුහුටි කොලුවෙක් වූවෙමි. කැරළි ගැසුනු කොණ්ඩය නිසාම සිරා අනෙක් උන් අතර කැපී පෙනුන වග නොකිව මනාය. අපේ මාර්ගයේ සෑහෙන කාලයක සිට ධාවනය වූ එකම පාසල් බස් රථය රතු පැහැති ටයි පටියේ භුක්තියට සවි වූ එකකි. තත්වය එසේ වුවත් එහි අනෙකුත් කාන්තා පාසල් වල ඇත්තියන්ටද යා හැකි විය. එහෙත් පිරිමි අපට සපුරා තහනම් විය. ජා-ඇල ඩිපෝවේ එකම බස් රථයක් මේ උදෙසා කාලයක් ධාවනය වුවත් හිටිවනම එය වෙනස් වීම කාලයෙන් කාලයට සිදු වූවකි. බසය මාර්ගයේ ඈත වංගුවකින් මතු වත්ම එය රතු පටියට හිමි එක බැව් අපේ අක්මා අප හට සන් කලෙන් අපි කිසිදු විටෙක එයට නැගීමට තැත් නොකලෙමු. එහෙත් හදිසියේ රථය වෙනස් වූ කලෙක එයට නැගීමට තැත් කිරීමත්... කොන්දොස්තර තැන විසින් මෙය ළදුන් පමණක් යන වර්ගයේ රථයක් බැව් අප හට පැවසීමත් තවත් කාලයක් යද්දී අපහට අරුමයක් නොවුනි.

මේ කියන දිනයද එබදු දිනයකි. අවසන් මොහොතේ හන්දියට දිව ආ මාගේ දර්ශන පථයට හසු වූයේ නවතා තිබී ඉදිරියට ධාවනය වීමට පටන් ගත් බස් රථයකි...ඇසිල්ලකුදු පමා නොවී වහා ඒ කෙරේ ලගා වී ධාවනය වන රථයට නැගීමට මම එදා සමත් වීමි. අහෝ ඛේදයකි. බැලූ බැලූ අත ළදුන්ය. ඔවුන් මා කෙරේ දැක්වූයේ සුහදශීලී බැල්මක් නොවේය. කොහෙද යන හාල්පාරුවෙකු උදේ පාන්දර අපේ බසයට ගොඩ වූවා නේදැයි වැනි හැගීමක් ඔවුන් කෙරෙන් ජනිත වූයෙන් මගේ නව යොවුන් සිත සසල විය. බසයටම සිටින්නේ පුරුෂ පරාණ 3කි. ඒ කොන්දොස්තර තැන රියදුරු තැන හා අහිංසක සිරා කොලුවාය.

කරන්නට දෙයක් නැත...බසය නොනවත්වා ධාවනය වෙයි. මැද පේළියෙන් ඉදිරිය සොයා ඇදෙද්දී කෙල්ලන්ගෙන් මා ඇසූ කථා නිමක් නැත.

කවුද අනේ මේ...
කෙල්ලො යන බස් එකට නැග්ගෙ මෙයත් කෙල්ලෙක්ද ?
පොඩි එකෙක් බන්...
මෙයා හිතලමද කොහෙද මේකටම නැග්ගෙ...

කෙමෙන් කෙමෙන් රියදුරු ආසනය කිට්ටුවට පැමිණි  විට ගැහැණුන්ට භයේ ගුලි ගැසුනු තවත් හාදයෙක් රථයේ විය. ඒකා අන් කිසිවෙක් නොව පාසල් වෑන් රථයේදී ඔබට හමු වූ උදිතයා හෙවත් මාගේ අතිජාත මිත්‍රයාය. එදා මට මෙන්ම ඒකාටද වැරදී මේ බඩකඩිත්තුවට නැග තිබිනි. ගම්පහ නගරයට ළගා වීමට ගත වූ විනාඩි 10 ක පමණ කාලය මට කල්ප කාලාන්තරයක් තරම් දිගු විය. රියදුරු තැනගේ අසුන ළගට වී ජාම බේරාගන්නට අපට එදා හැකි වුවද මේ කියූ දිනය කිසි දිනෙක මට අමතක නොවේ. රතු ටයි පටි එතරම් කටකාරය...

කොල්ලන් පමණක් ඉගෙනුම ලැබූ අපේ පාසලේ කකුල් දෙකටම කලිසම් අදින්නට අපට අවසර ලැබෙන්නේ 10 පන්තියේදීය. වසර මුල මේ නව වෙනසට ලක් වූ පසු අපට සිතෙනුයේ අප තරම් අයියලා තවත් නැතැයි යනුවෙන් නිසාදෝ...බස් රථයන්හි අයියලා මෙන් යෑමට අපි වගබලා ගත්තෙමු. එය එහි සේවකයන් සමග ගැටුම් ආරම්භ වීමටද මූලික හේතුවක් විය.

ගම්පහ නගරයෙන් ආරම්භ වූ ලංගම බස් රථයක මා නැගුනේ අපේ හන්දියේ සිට නගරය දක්වා වූ දුර පුද්ගලික රථයකින් තරණය කිරීමෙන් පසුවය. මේ කියන බස් රථයේ සීනුව බසයේ පසුපසට සම්බන්ධ කලේ කොහු ලණුවකිනි. අපේ පාසලේ වුවද ඒ කාලයේ කුපාඩි කොල්ලන්ගෙන් අඩුවක් නොවූ හෙයින් එකා දෙන්නා අවේලාවේ බෙල් එක නාද කිරීමෙන් රියදුරු තැන කුපිත කිරීමේ උත්සාහයක නිරත විය. එය සිතූ සේම සාර්ථක විය. රියදුරු තැන නොසරුප් වදන් දොඩනා තරමට කුපිත කිරීමට අපේ උන්ට හැකි විය. මෙවැනි ක්‍රියා වලට දායක වීමට අද මෙන්ම එදත් සිරා කොලුවා මැලි වූයෙන් බෙල් එක නාද කිරීමට මගේ සම්බන්ධයක් නොවීය.

අහෝ කරුමයක මහත මේ යැයි කියමින් පාසල කිට්ටු වද්දීම කොහු ලණුව කැඩී ගියෙන් දැන් බෙල් එක නාද කිරීමට ක්‍රමයක් නැත. කෝපයේ ගිණිදළුවලින් වෙලී සිටි රියදුරු මහතා හඩගෑවේ බෙල් එක කැඩුවා නම් බහින්න ඕනෙ එකෙක් හූ කියන ලෙසය. ඒ අවසරයෙන් පාසල ඉදිරිපිට බස් නැවතුමට රථය කිට්ටු වන විටම එකම හූ හඩකින් බස් රථය වෙලී ගිය බැව් මට තවමත් මතකය.

එදින අප පාසලට පැමිණීමට ප්‍රමාද වූ දිනයකි. එවන් විටක ප්‍රධාන පිවිසුමෙ සිට නොයෙක් පරීක්ෂා කිරීම් වලට යටත්ව පාසලට පිවිසීමට අපට සිදුවෙයි. නිළ ඇදුම / කොණ්ඩය මෙන්ම නියපොතුද පරීක්ෂා කෙරෙයි. පාසල ඉදිරිපිට නැවතුන බස් රථය ඉදිරියට යෑමක් නැත. එය නැවතුන තැන එසේම පවතියි. කිසිදු මගියෙකු ඒ තුල නැත...එනම් රථයේ පැමිණ ඇත්තේ සීසන් ටිකට්ටුව අත රැදි අපේ පාසලේ ශිෂ්‍ය ප්‍රජාව පමණි.

තවත් මොහොතක් ඇවෑමෙන් පාසල් භූමිය තුල දර්ශනය වූයේ රථයේ කොන්දොස්තර මහතා සහ රියදුරු තැනය. අසරණ වූ  මුහුණු දෙකකින් හෙබි ඒ ඇත්තන් ඒ අවස්ථාවේ ප්‍රධාන පිවිසුමේ කටයුතු භාරව සිටි නන්දසේන ගුරු පියාට සම්මුඛ වූහ.

අනේ බලන්න සෑර්...මේ ඉස්කෝලෙ ළමයි අපේ බස් එකේ බෙල් එක කැඩුවා...යනුවෙන් කොන්දොස්තර මහතා යටහත් පහත්ව පැවසූයෙන් අපේ සෑර්ගේ මුහුණද යක්ෂාවේශ විය.

මේ බස් එකේ ආපු උන් වෙනම පෝලිමක් හදාපල්ලා...සෑර් ගුගුරයි. එහෙත් අනුන්ගේ පව් වලට වන්දි ගෙවන්නේ මක්කැයි සිතමින් සිරා කොලුවා වෙනත් පෝලිමකට සැට් වූයෙන් අතුරු ආන්තරාවකින් තොරව පන්ති කාමරයට ළගා වීමට හැකි විනි.

වෙනම සැදුන පෝලිමේ සිටි උන් සෑහෙන ආපදාවන්ට ලක් වී පශ්චාත් කලාපය වේදනාවෙන් මිරිකෙද්දී පන්ති වලට වැදුන බැව් පසුව අනාවරණය විය.

මේ කියන කාලයේ උසස් පෙළ පන්තියක ඉගෙනුම ලැබූ සිරාගේ මහප්පාගේ පුතණ්ඩියාද මේ ලෙසම බස් රථ වල ගමන් ගත් අපේ හන්දියට එහායින් තිබෙනා ඊළග හන්දියෙන් බැස ගිය කෙනෙකු වූයෙන් ඔහුගේ මිතුරන්ද කුඩා අපේ මිතුරන් වූහ. අප සතු සීසන් ටිකට් පත් කෙරෙහි උරන වෙන ලංගම බස් සේවකයන්ගේ ඒ සිතිවිල්ල නිසාම පාසල නිම වූ පසු ලංගම බස් රථයකට පාසල අසල බස් නැවතුමෙන් ගොඩ වීම උගහට විය. බස් රථයේ ආදායම අනුව සෑම දිනෙකම අවසානයේ ලැබෙන අතිරේක මුදල රැක ගැනීම ඔවුන්ගේ අරමුණ වන්නට ඇත. බස් රථයේ ඉඩ තිබියදීත් එය නොනවත්වා ධාවනය වන කල එයට කෙසේ හෝ ගොඩවී වාග් සංග්‍රාමයන්හි නිරත වීම අපේ අයියලාගේ සිරිත විය. එය ගැටුමක් දක්වා දුරදිග ගිය දිනයන්ද නොතිබුනා නොවේ.

පාසල නිම වී අපේ මාර්ගයේ ගමන් ගන්නා සිසුන්  බස් රථය අපේක්ෂාවෙන් සිටින විට කලින් ගැටුමක මතකය අවදිවන රියදුරු තැන බස් නැවතුමට සෑහෙන ඈතින් බස් රථය නවත්වා මගීන් බැස්සවීමත්...එයින් පසුව අපේ නැවතුමේ රථය නොනවත්වා වේගයෙන් ධාවනය කිරීමත් සාමාන්‍ය සිරිතක් වූවෙන් අයියලා මෙන් ඒ කෙරේ ඔට්ටු වීමට අපට හැකියාවක් නොවූ නිසා අපේ වයසේ උන් ගම්පහ නගරයට වෙනත් රථයක නැගී පැමිණ ලංගමයට නැගීමට පුරුදු වූයෙමු. එහෙත් කරදඩු උස් වූ මේ කියූ පිරිස සිරිත් පරිදි පාසල අසලින්ම කෙසේ හෝ බස් රථයට නැගීමේ උත්සාහයක නිරත වී සිටියහ.

දිනක් අප ගම්පහ නගරයෙන් බසයට ගොඩවෙන විට එහි දකුණු පැත්තේ කවුළු අසල හුන් සියල්ලෝ ජලයෙන් තෙමී නැහැවී සිටියහ. කාරණා කාරණා අපට ආරංචි වූයේ පසු දිනයි. රියදුරු මහතා සිරිත් පරිදි බසය නොනවත්වා ධාවනය කරනා විටෙක පාසල ඉදිරිපිට පොදු නාන ළිදේ සිටි පිරිසක් රථයට ජල ප්‍රහාරයක් එල්ල කර ඇති බවත්...එය නොතකා රථය ඉදිරියටම ධාවනය වූ බවත් ඒ ආරංචියයි.

කෙසේ හෝ තවත් දිනෙක අපේ අයියලා අතර හුන් තැනැත්තෙකු සමග කොන්දොස්තර මහතා ඉතාමත් දරුණු වාග් සංග්‍රාමයක පැටලිනි. අපේ එකා කථා කරන්නේ බස් රථය තුල අයියා වීමට නොව අපිට හැමදාමත් වන අසාධාරණය නිසාවෙන්ම අපද ඊට එකතු වූයෙමු. මොහොතකින් කාන්තා පරාණද එයට එකතු වූයෙන් එය කදිම සටනක් විය. අවසානයේ රථය ගම්පහ පොලෝසිය ඉදිරිපිට නවතා පොලෝසියට යන්නට රියදුරු තැන උත්සාහ කලත් බසයේ සිටි වැඩිහිටියන්ගේ මැදිහත් වීමෙන් එය වැළකුනි.

බස් කථා බස් වල යෙදෙන කල මා හට අමතක නොවන තවත් සිදුවීමක් සිදුවූයේ අ.පො.ස සා/පෙ පන්තියේ අධ්‍යාපනය ලැබූ වසරේදීය. සිරිත් පරිදි ලංගම රථයේ නිවෙස් බලා පැමිණෙන විට අපේ හන්දියට ඉතා නුදුරේදී රථයේ අසුනක් යටට වන්නට තිබූ මුදල් පසුම්බියක් නෙත ගැටුනෙන් එය අප විසින් වහා අහුලා ගනු ලදුව ඒ තුල වූ දෑ පරීක්ෂා කළෙමු. පසුම්බියටම තිබුනේ රුපියල් 10 කි. ඒ තුල වූ ඡායාරූපය බස් රථයේ හුන් සියල්ලන් හා සැසදුවත් ගලපා ගත නොහැකි වූ තැන....එකෙකු කීවේ...

අපි මේක ඉස්කෝලෙ ප්‍රින්සිපල් ලවා අයිතිකාරයාට දෙමු  කියාය.

ඒ අදහස සභා සම්මත වූයෙන් අපි නිහඩවම රථය තුල කල් මැරුවෙමු. එහෙත් මද වේලාවක් ඇවෑමෙන් බස් රථය මාර්ගයෙන් අයින් කර නැවැත්විනි. කොන්දොස්තර මහතා තදියමේ යමක් සොයයි.

ඔයා හොයන්නෙ පර්ස් එකක්ද ? අපේ එකෙක් නොවලහා විමසයි.

අනේ ඔව් හම්බවුනාද ?

ඔව් මේ තියනවා...ෆොටෝ එකෙන් අදුරගන්න බැරි උන නිසා අපි හැදුවෙ ඉස්කෝලෙට අරන් ගිහිල්ලා අයිතිකාරයාව හොයලා භාර දෙන්න.

අපට ස්තුතියක් හෝ නොකොට පසුම්බිය ඩැහැගත් පසු ඊළග නැවතුමෙන් අපි සියල්ලෝ ලංගමයට සමු දුන්නෙමු.

එහෙත් නිතර බස් රථයේ ආගිය මිශ්‍ර පාසලක කට හැකර අවලස්සන එකියක් පසු දා අප හට අපූරු කථාවක් ගොතා තිබිණි.

බලන්න අනේ අර ..............ඉස්කෝලෙ කොල්ලො ටික අපේ බස් එකේ කොන්දොස්තරටත් පික් පොකට් ගහලා...ලවක් දෙවක් නැතුව මේ කථාව හැම අතේම උන් දැරිවියන් හා දොඩමින් ගිය ඇයගේ අවාසනාවටදෝ අපිට හිතවත් කෙල්ලෙකුගේ කන් කුහරයටද මේ පුවත සමිප වූයෙන් එය අප හට දැනගැනීමට ලැබුනි. කෙල්ලෙකු සමග විවාදයට යාම නොහොබිනා ක්‍රියාවකැයි සිතා මා නිහඩ වුවද මගේ මිත්තරයෙක් බස් රථය තුල ප්‍රසිද්ධියේම ඇගේ රෙදි ගැලවෙන තරමේ ආවේගශීලී කථාවකින් ඇයට පිළිතුරු දීමෙන් පොකට් ගැසීමේ සිද්ධිය යට ගියේය.

දැන් සිරා අ.පො.ස උ/පෙ පටන් ගත් මුල්ම අවදියේ සිසුවෙකි. පාසල නිම වූ පසු කුඩා ශිෂ්‍යයන් රථය තුලට යොමු කර වැඩිහිටි ශිෂ්‍යයකුගේ භූමිකාවට රග දෙමින් පා පුවරුවේ බොහෝ විට ගිය සමයකි. මේ කාලයේ නිතරම වාගේ පාසල නිම වූ පසු ලංගම බසයේ රථාචාර්ය වරයා ලෙස කටයුතු කලේ මුහුණේ දරුණු කැපුම් තුවාලයක සුවවූ සළකුණක් තිබූ මදාවි පෙනුමකින් යුතු මැදිවියේ අයෙකි.

ඉදිරි දොරේ එල්ලී යන සිරාගේ තුන් හිතකවත් පොර වීමේ උවමනාවක් නොතිබූ බව මට සහතික ලෙස කිව හැක. එහෙත් ඩැයිවර අයියාට කෙල්ලන් ඉදිරියේ පොර වීමේ මානසිකත්වයක් තිබුනෙහිය. දිනක් කට කපා බසය ඉදිරියට ඇදෙන විට පැති කණ්නාඩියෙන් මා දෙස රවමින් රථය ධාවනය කල හෙතෙම බස් නැවතුම් කිපයක් ගිය පසු ඇතුල් වන්නට අණ කළෙහිය. එහෙත් රථය තුලට වන්නට සැබෑ ලෙසම ඉඩක් නොවූයෙන් තව දුරටත් එල්ලී යාමට මට සිදුවිය. ඒ කෙරේ කුපිත වූ හෙතෙම ඊළග නැවතුමේ රථය නවතා...

ඕයි...තමුසෙට කී සැරයක් කියන්නද....ඇතුලට එන්න බැරි නම් පව් නොදී බහිනවා අයිසෙ...

යනුවෙන් සමස්ත රථයටම ඇසෙන සේ හඩ නැගූයෙන්ද එය අසා  වතුර ටැංකිය අසල කොළ පාට ටයි පටියක් පැළදි පාසලේ උන් නැගූ සමච්චල් සහගත සිනහවෙන්ද  අසරණ වූ සිරා බස් රථයෙන් බැස නැවතත් ගම්පහ නගරයට පයින්ම යෑමට උත්සුක විය....

ස්ස්ස්ස්ස්ස්....විනාඩි කීපයකට පසු පිටුපසින් හඩක් ඇසිනි.

1 වසරේ සිටම මගේ මිත්තරයෙකු වූද...සිස්සත්තයෙන් එකම ලකුණු ගෙන මා සමග නගරයේ පාසලට පැමිණියා වූද..පාසල් වෑන් රථයේ කෙට්ටු සීට් කබලේ එකට හිදගෙන ගියා වූද උදිතයා තරමක් ඈතින් මා කරා එනු පෙනෙයි.

උඹට බහින්න කිව්වට පස්සෙ...ඒ බස් එකේ යන්න මටත් එපා වුනා බන්...ඊළග හෝල්ට් එකෙන් මමත් බැස්සා. මගේ කරවටා අතක් යවමින් ඒකා එසේ පැවසූවේ අපේ යාලුකමේ දැඩි බැදීම නිසා විය යුතුය.

මගේ ලංගම බස් අතීතයේ මතක අතරට එකතු වුන තවත් සිදුවීමක් වෙයි. එදිනද සුපුරුදු පරිදි පාසල් නිමවා පිරිස නිවෙස් බලා යමින් සිටී. ගම්පහ දුම්රිය හරස් මග අසල කිසියම් සිදුවීමක පෙරනිමිති පෙනෙයි. එහි වූ ගේට්ටුවද සෑහෙන වේලාවක් වැසී තිබීමෙන් පසු විවර වූ සෙයකි. බස් රථය දුම්රිය හරස් මගට පිවිසෙනවාත් සමග සිද්ධිය දැක ගන්නට සියල්ලෝ පොර කති. පසෙක අවමංගල රථයකි. ඒ අසලට වෙන්නට වියන ලද පොල් අත්තක් මත සැතපවූ මිය ගිය මහලු අයෙකුගේ සිරුරකි. හෙතෙම දුම්රියට පැන දිවිනසාගත් අයෙකු බව සැනෙකින් වැටහිනි.

එක්වරම රථයෙන් බිමට වන් මල් ශාලා සේවකයෙකු තනි අතින් ඔසවාගත්තේ ගෙලෙන් වෙන්ව තිබු පෙර කියූ පුද්ගලයාගේ හිස කොටසයි. ඒ සමගම බසයේ උන් පාසල් සිසුවියන් නැගූ භයංකාර හඩ එදා ගම්පහ නගරයටම ඇසෙන්නට ඇත.

කෙසේ හෝ කාලයේ ඇවෑමෙන් සිරා කොලුවා පාසල් ජීවිතයට සමු දී වෘත්තිකයෙකුගේ තත්වයට උසස් විය. දිනක් රැකියාව නිම වී කොළඹ සිට ගම්පහට පැමිණ නිවසට යන්නට පුද්ගලික බස් රථයකට නැග සිටි මොහොතකි. හාත්පස පැතිර තිබූ අඩ අදුර අතරින් වැටෙන සිහින් වැසි බිදු මවනා අපූරු රටාවන් දෙස නෙත් යොමා බලා සිටි මට එක්වරම ඇසුනේ බසයේ පිටුපස සිටි කොන්දොස්තර කොලුවා සමග බහින් බස් වන තරුණයකුගේ හඩයි.

අයියෙ සල්ලි දීලා යන්න....ඒ වන විට රථය ගමනාරම්භයේ සිට යම් දුරක් පැමිණ ගම්පහ නගරයේම තවත් නැවතුමක නවතා තිබිනි.

අපේ බස් වල යන්න මොනවටද අයිසෙ සල්ලි දෙන්නෙ...

අපේ බස් කියන්නෙ...මේවා ආණ්ඩුවෙ ඒවායැ...අපි අයිතිකාරයට හැන්දෑවට සල්ලි දුන්නොත් තමයි අපිට පඩි ලැබෙන්නෙ... කොන්දොස්තර ළමයාද පසුබහින්නේ නැත.

රුපියල් 6ක් වූ අවම ගාස්තුව නොගෙවා හයිරම් පෙන්නවු තරුණයා බහින් බස් වීමේ අවසන් අදියරේදි කොන්දොස්තර ළමයාගේ අතෙහි වූ මාරු කාසි අහුරට වැරෙන් පාරක් ගැසුවේය.

සිරි සිරි හඩින් ඒවා රථයේ විවිධ තැන්හි පතිත වන විට රථයේ පිටුපසට වන්නට සිටි මගේ හිත මිත්තරයෙක් ඒකා සමග බස් රථයෙන් බිමට බැස ගණුදෙනුව බේරාගන්නට කථිකා කරමින් සිටියෙහිය.

කැත වැඩ කරන්න එපා අයිසෙ....බස් එකකට නැග්ගා නම් ටිකට් ගන්නවා...සල්ලි නැත්නම් නෑ කියනවා නම්බුකාර විදියට...

අයියෙ මේ අයියා අයියගෙ වැඩක් බලාගෙන යනවද පවු නොදී...

මේ වදන ශ්‍රවනය වූ සැනින් උන් හිටි තැන් අමතක වූ සිරා කොලුවා ගැටුමට දැන් මැදිව සිටින්නේ මගේ මිතුරෙකුද වූ හෙයින් වහාම සටනට එළැඹිනි. මගේ කෝපය දැන් ඉහවහා ගොසිනි. කවදත් අසාධාරණයට එරෙහිවන මට මෙය කෝපය දනවන්නකි. අඩි 6 ක් පමණ උස පෙර කියූ තරණයාට සම්මුඛ වෙන්නට මට වැඩි වේලාවක්  ගියේ නැත.

මීට පස්සෙවත් බස් එකක යනවා නම් මනුස්සයෙක් විදියට යන්න යන්න පුරුදු වෙනවා...මම කීවේ එපමණකි...

කෝපාග්නියෙන් දැවුනු මගේ සිතුවිලි විසින් උත්පාදනය කරන ලද යෝධ බලයකින් සවිමත් වූ මගේ දකුණත ඔහුගේ කම්මුලක් පුරවා පතිත වූයේ ඒකාට හිතන්නටවත් වේලාවක් නොදෙමිනි. කෙතරම් වැරෙන් ඒ පහර වැදුනාද කියතොත් මගේ දකුණතේ ඇගිලි වලින් පටන් ගත් හිරි වැටීමක් උරහිස දක්වා විහිදිනි. මුහුණ අල්ලාගෙන පහත් වූ තරුණයා යලි නැගිට්ටේ නැත. තවත් විනාඩි 5ක් පමණ එම ස්ථානයේම රථය නවතා තිබුනද මට රිටර්න් එකක් දෙන්නට කිසිවෙකු ඉදිරිපත් වූයේද නැත.

මේ සිදුවීමෙන් පසු සතියේ සිට මා කෙරේ ලෙංගතුකම මුසු වූ සිනාවකින් සංග්‍රහ කරන්නටත්, ලංකාවෙන් රට පැටවෙන තුරාවට කෙතරම් මුදල් දෙන්නට උත්සාහ කලත් මගෙන් මුදල් අයනොකර සිටීමටත් මේ කොන්දොස්තර තරුණයා ක්‍රියා කළේය.

අදට අහවරයි...නැවතත් ඉදිරි දිනයක බස් කථා බස් තුලින් යලි හමු වෙමු.



මම කාමරේ වෙසෙන සත්ගුණවත් සිරා කොලුවා.


ප.ලි

ලංගමෙන් ගැසූ බල්ටිය නොසිතූ ලෙස ජනප්‍රසාදය දිනාගත් හෙයින් ඇති වූ කික් එක නිසාම තවත් බස් කථාවකට පාර කැපුනු බව සැලකුව මනාය.

මගෙන් ගුටි කෑ කොලුවාගෙන් රිටර්න් එකක් ඒවි යයි සිතා මම සතියක් වෙනත් මාර්ගයකින් නිවෙස බලා ගියෙමි. සිරා එතරම් නිර්භීතය.

















Related Posts Plugin for WordPress, Blogger...