Sunday, December 29, 2013

106 2014 ට මත්තෙන්

අංශක 23 හමාරක ආනතියක් සහිතව පිහිටලා තියෙන පෘථිවිය තමන්ගෙ අක්ෂය වටා කැරකැවෙන්න ගත කරන පැය 23 විනාඩි 56 තත්පර 4 ක කාල සීමාව හෙවත් දින එකින් එක ගතවෙලා දින 365 ක් නොහොත් වසරක් ගෙවී ගිහිල්ලා...එහෙමත් නැත්තං අපේ පෘථිවිය තමන්ගෙ අක්ෂය වටා භ්‍රමණය වෙලා නිකං ඉන්නෙ නැතුව සූර්යයා වටාත් ඉලිප්සාකාර මාර්ගයක චාරිකාවක් ගිහිල්ලා ගමන් ආරම්භයට නැවතත් ලගා වෙන දවසක්. ඒ අව් අස්සෙ වර්තමාන පෘථිවි දිනයක් මිලි තත්පර 1.7 කින් දැනට වසර 100 කට පෙර පැවති පෘථිවි දිනයකට වඩා දිගුවෙලාලු. චන්ද්‍රයා පෘථිවිය කෙරේ දක්වන ගුරුත්වාකර්ෂණ බලපෑමේ වෙනස් වීම ඒ වෙනස ඇති කර තිබේලු.

ඇත්තටම පෘථිවිය භ්‍රමණය වෙන්නෙ කෙතරම් වේගයකින්ද....එය පැයකට කිලෝමීටර් 1670 ක අති මහත් වේගයක්. එනම් සෑම තත්පරයකටම අපි කිලෝමීටර් භාගයකට ආසන්න දුරක් අපට නොදැනීම මේ විශ්වය තුල චලනය වෙනවා....එහෙම බැලුවාම මේ ක්‍රියාදාමයන් විශ්වාස කල නොහැකි මායාවන් බදු සිදුවීම් නොවේද ?

සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා අපි පුංචි සන්දියෙ වැඩිහිටියො සුභ පැතුවෙ සිංහල අලුත් අවුරුදු දවස් වලට....ඒත් කාලයේ ඇවෑමෙන් වසරක් ගෙවිලා අලුත් වසරක් උදා වෙද්දිත් අපි දැන් සුභ නව වසරක් වේවා කියලා සුභ පතනවා...ඒ අනුව වසරකට දෙවරක් අලුත් අවුරුදු සුභ පැතුම් එකතු කරන්න දැන් හැකියාව ලැබිලා.

කාලෙකට කලියෙන් කිසිවෙකුට මතකයක් තිබුනෙ නැති පෙම්වතුන්ගේ දිනය හෙවත් වැලන්ටයින් දිනය පසුකාලීනව විකුණගෙන කන තැනට වැඩ සිදුවුනා වගේම අලුත් වසරක් උදාවෙන පැයේදිත් විකුණන්න පුලුවන් හැම දේම විකුණන්න අපේ වෙළද ප්‍රජාව පසුබට වෙන්නෙ නෑ. අලුත් අලුත් වෙළද රැලි අතර අපේ මිනිස්සු මං මුලා වෙලා. එක රැයකට ලක්ෂ ගනන් වියදම් කරලා වසරේ අවසන් රාත්‍රිය සමරන්න හැකි අය වගේම එදා වේල කන්න නැති දිළින්දොත් එක සේ දරාගෙන පෘථිවිය වෙනදා වගේම කැරකෙනවා. දිනෙන් දින ගෙවෙනවා....වසරෙන් වසර අපේ ජීවිතයේ අවසානය කරා අපි ලං වෙනවා. ඔතන තමයි ජීවිතයේ යථාර්ථය කැටි වෙලා තියෙන්නෙ. අපි හැමෝම යම් දවසක මේ ජීවිතයෙන් සමු ගන්න බව බොහෝ දෙනෙකුට මතක නෑ. ඒ හින්දමයි ඒ අය වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව වගේ දුර්ගුණ පමණක් තමන්ගෙ ජීවිතයට ලං කරගෙන ජීවන මග තරණය කරන්නෙ.

ඇත්තටම වසරක් ගෙවිලා අලුත් වසරක් ලබද්දි කරන්න තියෙන හොදම දේ විදියට මම දකින්නෙ ගත වුන වසර තුල තමා කල කී දෑ පිළිබද ස්වයං විවේචනයක නිරත වීම. තමාගේ විවේචකයා තමාම වන කල හොද ආත්ම විශ්වාසයකින් අනාගත අභියෝග ජයගැනීමට හැකියාව ඇති බව මගේ විශ්වාසයයි. තමාගේ රැකියාව, පවුල් ජීවිතය හෝ වෙනත් ඉසව් කරාද මේ අදහස සාර්ථකව යොදා ගන්න පුලුවන්.

ගෙවිලා යන වසරේ මම සාර්ථක වෘත්තිකයෙක්ද ? සාර්ථක සැමියෙක්ද ? සාර්ථක බිරිදක්ද ? සාර්ථක සිසුවෙක්ද? සේවකයන්ට සාර්ථක ස්වාමියෙක්ද ? ඔබට ඔබෙන්ම අහන්න පුලුවන්. ඔබේ හෘද සාක්ෂිය මේ ගැටලු වලට ඔබට පිළිතුරු දෙනු ඇති.

සිරා කොලුවා වන මම පුද්ගලිකව සෑහෙන කාලයක සිට අනුගමනය කරන මනෝවිද්‍යාත්ම පිළිවෙතක් තියෙනවා නව වසර පිළිගැනීමට මත්තෙන් ඉටු කරන, ඒ පිළිබද මගේ කාමරයට එන යන අය දැනුවත් කරන්නයි දැන් ඔන්න මම සැරසෙන්නෙ. උසස් පෙළ කරන අවධියෙදි එක්තරා ගුරු භවතෙකු තමයි මේ ක්‍රමය මට ඉගැන්වූවෙ.

වසර පුරාම එක සේ කාර්යක්ෂමව තමන්ගේ කටයුතු කරන්න ඇතැම් විට අපිට හැකියාව ලැබෙන්නෙ නෑ. කායිකව වගේම මානසිකව තියෙන ඒකාග්‍රතාව බිද වැටෙන තැන්....ආයෙමත් නැගිටින තැන් සෑම වසරකම ඕනෑම පුදගලයෙකු සතුව තිබෙනවා. ජයග්‍රහණයේදී සතුටු වෙනවා වගේම පරාජයක් ලද තැනක අනවශ්‍ය විදියට දුක් නොවී පරාජයට හේතු විමසා කෙටි කලකින් එය නිවැරදි කරගන්න හැකි නම් සෑම කෙනෙකුම ජයග්‍රාහකයෙකු වේවි.

දෙසැම්බර් 31 රාත්‍රිය නිමාවෙලා අලුත් වසරක අලුත් දිනයක් ලබන්න ඔන්න මෙන්න තිබෙන අවස්ථාව තමයි මම මේ කියන කාරිය සදහා ඉතාමත් යෝග්‍ය. ගන්න හිස් කොලයක්...එළඹෙන වසරේ අත්පත් කරගැනීමට බලාපොරොත්තු වන ඉලක්කයන් ඇතුලු හදෙන් විමසන්න. මොහොතක් නිහඩ පරිසරයක තනිවෙන්න. හිතට එකගව පැහැදිලි අකුරෙන් කඩදාසිය මත ඒවා සටහන් කරන්න.

ඉලක්කයන් තෝරා ගැනීමේදී තමන්ට දැනට වඩා උත්සාහයක් දරා එළඹෙන වසරේදී සාක්ෂාත් කරගත හැකි මට්ටමේ ඉලක්කයන් ලියන්නට ඔබ අවංක විය යුතුයි. නැත්තං මේ ලිවිල්ලෙන් කිසිම ප්‍රයෝජනයක් නෑ. (උදාහරණයකට....මම ලබන වසරේ හදට යනවා කියා ඔබ ලියන්නේ නම් එය ඉටුකරගැනීමට අජටාකාශ ගාමියෙකු නොවන ඔබට අවස්ථාවක් නොලැබෙන බව ඉතාමත් පැහැදිලි කාරණයක්...එවැනි දෑ ලිවීම නිෂ්ඵලයි.)

උපරිම වශයෙන් ඉලක්ක 5 ක් පමණ ලිවීම ප්‍රමාණවත්...ඉටුකර ගැනීමට ඇති හැකියාවේ ප්‍රමුඛතාව මත ඒවායේ පිළිවෙල යොදාගන්න. දැන් මේ කඩදාසිය කීප වාරයක් නමලා ඔබට මතක තියෙන, නමුත් නෙත නොගැටෙන තැනක සගවා තබන්න.

කඩදාසියක ලියූ පමණින් බලාපොරොත්තු ඉටු වේවිද ? මෙය කියවන ඔබ මගෙන් අසාවි. මගේ පිළිතුර කිසිසේත් නැත යන්නයි. එය එසේ වේ නම් අපි සියල්ලෝම කඩදාසියක අනාගත අරමුණු සටහන් කොට ඒ දෙස බලාසිටින්නෝ පමණක් වන්නට ඉඩ තිබුනි.

හිස් කඩදාසියේ ලියූ කාරණා පිළිබද ඔබට හොද මතකයක් තිබිය යුතුයි. අලුත් වසරේ එළඹෙන සෑම දිනයකම ඒවා පිළිබද වෙන් වෙන් වශයෙන් සිහිපත් කරමින් ඉලක්කයන් ජය ගැනීමට අධිෂ්ඨානයක් ඔබේ සිත තුල ඔබ විසින්ම ජනිත කරගත යුතුයි. ඊට අමතරව ඒවා වෙත එළඹෙන ඔබේම ක්‍රමයක් ඔබට අත්හදා බලන්න පුලුවන්.

මේ ක්‍රියාදාමය මේ අයුරින් ඉදිරියට යන යම් කාල සීමාවකට පසු ඔබේ අරමුණු ඔබේ යටි සිත හා බද්ධ වෙනවා. යටි සිතට යමක් ඇතුලත් කර ගැනීම එක්වර කල නොහැකි දෙයක් වුවත් ඒ කාරිය සිදු වූ පසු ඔබට පහසුවෙන් ඉලක්ක හඹා යන්න පුලුවන්. එයයි මිනිස් සිතේ හාස්කම. ඔබ නොදන්නා ශක්තියක් ඔබේ සිත තුල නිදි වැදී තිබෙනවා. නිසි ලෙස එය අවදිකරගන්නට ඔබට හැකියාව ලැබේ නම්...නිසැකවම ඔබ සාර්ථක පුද්ගලයෙකු බවට පත්වේවි.

මේ ආකාරයෙන් කෙමෙන් කෙමෙන් වසර අවසානයටත් අපි ලගා වෙනවා. කලින් වසරෙදි වගේම දෙසැම්බර් 31 වෙනිදාවක් උදා වෙනවා. ඊළග වසරට අදාළ ඉලක්කයන් කඩදාසි කොළයක ලියන්න මොහොතකට පෙර තමයි කලින් වසරෙදි ඔබ ලියූ කොළ කැබැල්ල සගවා ඇති තැනින් ඉවතට ගන්නෙ. දිගහැර බලන්න ඔබ ලියූ ඉලක්ක කීයක් වසර තුලදි ඔබ අත්පත් කරගෙන තියෙනවද කියලා...අත්පත් කරගන්නට නොහැකි වූ අරමුණු වලට එසේ වූයේ ඇයි. ඔබම ඒ පිළිබද විනිශ්චයකට එන්න. ඔබ භාවිතා කල සැලසුම් වල වැරැද්දක්ද? නැතිනම් ඒ වෙත ලං වෙන්නට උත්සාහ දැරූ ක්‍රමයේ වැරැද්දක්ද ?  ඔබ හොදින් දැන් දන්නවා...ඇයි මට ඒ ඉලක්ක ජය ගන්නට නොහැකි වුනේ කියා....

ගන්න ඊළග වසරේ ඉලක්ක ලියන කඩදාසිය, කලින් වසරේදී සාක්ෂාත් කරගැනීමට නොහැකි වූ ඉලක්කයන් නැවත් වරක් මේ කඩදාසියෙත් ලියන්න...ඉටු කරගෙන තිබෙන ඒවා වෙනුවට නව ඒවාත් සමගින්...(උදාහරණයකට...ඔබ විවාහක පුද්ගලයෙකු නම් ...ලබන වසරේදී මම පිය පදවියට පත් වෙනවා...වැනි ඉලක්කයක් වුවත් ඔබට මේ කඩදාසියේ ලියන්න පුලුවන් ) සියල්ල සටහන් කල පසු කලින් වගේම නිතර නොපෙනෙන තැනක සගවන්න. ලියූ ඉලක්කයන් නිතිපතා ස්මරණය කරන්න...ඒවා වෙත ලගා වෙන ආකාරය සැලසුම් කරන්න. සෑම වසරකම අවසාන මොහොතේ මේ කාරිය පුරුද්දක් ලෙසට කරන තත්වයට පත් වෙන්න.

මේ ක්‍රමයෙන් ඔබ ලබන සාර්ථක භාවය පිළිබද ඔබ තෘප්තිමත් නම් ඊළග වසර උදාවන්නට මත්තෙන් ඔබේ හිත මිත්‍රාදීන් අතරත් මේ ක්‍රමය බෙදා දෙන්න. හොද දෙයක් හැකි තරම් මිනිසුන් අතර බෙදා දීම හොද වැඩකි. ඒ සිතුවිල්ලෙන් මම මෙය අකුරු කළෙමි.

පසු සටහන

නිමාවෙන්නට යන 2013 වසරේ මාස කීපයක් සිරාගේ කාමරයට ලිපි ලිවීමෙන් වැළකී සිටින්නට මට අකමැත්තෙන් හෝ සිදුවුනා. රැකියාව සම්බන්ධව ඇතිවුන අනපේක්ෂිත තත්වයන් ඊට හේතු බව මම මීට කලිනුත් කියා තිබෙනවා. කෙසේ හෝ උදාවෙන 2014 වසරෙදි කාමරයේ ලෑලි දොරට තට්ටුව දමා මෙහි පැමිණෙන ඔබ වෙනුවෙන් වඩා හොද යමක් කියවන්නට දෙන්නට මම මේ වන විටත් කල්පනා කරමින් ඉන්නෙ. රැකියාවෙන් අනතුරුව නිදි දෙව්දුව වැළදගන්නට තිබෙන කාලයෙන් සෑහෙන කොටසක් කැප කර මේ විදියට සිරාගේ කාමරයේ ලිපි පලවෙන්නෙ මට ශක්තියක් වූ පාඨක ඔබ සැම නිසයි. ඒ නිසාම එළඹෙන 2014 වසරටත් අපේ මේ බැදීම තව තවත් ශක්තිමත් වෙන්නට පතනවා.

2014 වසරෙදි අලුත් ලේබල් දෙකක් මෙහි ඇලවේවි. ඉන් එකක් පාඨක ඔබේ සිතුවිලි ලියන්නට වෙන් වූ එකක්. එනම් මෙතෙක් කල් මගේ කථා පමණක් කියවූ සිරාගේ කාමරයේ පාඨකයන්ට තමන්ගෙ සිතුවිලි අකුරු කරලා තමන්ගේම නමින් මෙහි ඵලකරන්නට ලබාදෙන අවස්ථාවක්....ඒ අනුව එළඹෙන වසරේ සිට මාසයකට එක් ලිපියක් ලියන්නෙ මම නොවෙයි ඔබ. සභ්‍යත්වයේ සීමාව හදුනාගෙන ඔබට කැමති දෙයක් ගැන ලියන්නට නිදහස තියෙනවා. ඔබ ලියූ දෑ infosira2012@gmail.com යන මගේ විද්යුත් ලිපිනයට එවන්න. ඒවා මට ලැබෙන ප්‍රමුඛතාව අනුව නිසැකවම මෙහි ඵලවේවි. බ්ලොග් අඩවියක් නොමැති එහෙත් ලියන්නට ආශාව හා උනන්දුවක් තියෙන ඔබ සැමටම මේ අවස්ථාව විවෘතයි.

එසේ නම් මා ප්‍රිය මිත්‍ර වරුනි. විවිධ හැලහැප්පීම් මැද වුවත් හිස කෙලින් තබාගෙන ඉදිරියට යන්නට හැකියාව මට ලැබුන 2013 වසරෙන් අපි සමුගනිමු. 2013 වසරේ ලියනා අවසන් බ්ලොග් සටහන නිමා කරන්නට මත්තෙන් ඔබේ යහපත් සිතුවිලි ඉටුවෙන වාසනාවන්ත 2014 වසරක් ඔබ සැමටම උදාවෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරන්නම්....ජය !









මම කාමරේ වෙසෙන සත්ගුණවත් සිරා කොලුවා.



ප.ලි

ඉලක්ක සටහන් කිරීමේදී කඩදාසියේ ලියූ ඉලක්කයන් අතරින් මට බොහෝ විට සාර්ථක කර ගන්නට හැකියාව ලැබුනේ ඉලක්කයන් 3 පමණ ප්‍රමාණයකි. ඉලක්ක හඹා යන්නට ඔබ සැලසුම් කරනා ක්‍රමවේදයන් මෙන්ම ඒ සදහා ගන්නා උත්සාහයේ ප්‍රමාණයද මත ඔබ සාර්ථක කරගන්නා ඉලක්ක ප්‍රමාණය විචලනය වන බැව් සිහිතබා ගන්න.

පෘථිවියේ වේගය හොයලා තියෙන්නෙ මෙන්න මෙහෙම. ඒ තොරතුරු අන්තර්ජාලයෙන්

නිරක්ෂයේ සිට පෘථිවියේ වට ප්‍රමාණය = කිලෝමීටර් 40,070
එක් වටයක් (දිනයක්) යාමට ගත වන කාලය = පැය 24

පැයකට වේගය = 40,070 බෙදීම 24

පිළිතුර = කිලෝමීටර් 1669.583








Tuesday, December 24, 2013

86 ඔටු නැටුම් සහ සංගීතේ

පොඩි වැඩක් තියෙනවා කරමුද ? පාසලේ 12 කැලෑසියෙ මම හිටපු පේලියෙම හිටිය බඩියා මගෙන් එහෙම ඇහුවෙ දවසක්දා උදෑසනක පාසල පටන් ගත්ත විගසම වගේ...

මොකක්ද බොල වැඩේ...කියහං බලන්න...කොරන්න පුලුවන් දෙයක් නම් කොරමු....

නෑ බොල මේකයි කාරණේ...අපේ ගමේ යෞවන සමාජෙ මෙදා පොටේ අවුරුදු උත්සවයක් එක්ක සංගීතෙකුත් අටවලයි තියෙන්නෙ...අපිට පොඩි පුරස්නයක් තියෙනවා....


ඡායාරූපය ikman.lk වෙතිනි.



හෑ....ඒ මොකක්ද?

අපිට සින්දු කියන්න ගායකයො නෑ....බඩියා එහෙම කියලා අසරණ බැල්මක් දැම්මා...

එතකොට මේක ආධුනික ප්‍රසංගයක්ද...මමත් පෙරළා විචාලා....

ඔව් ඔව් බං...ප්‍රසිද්ධ උන් ගේන්න අපිට සල්ලි තිබ්බා නම් උඹලට එන්න කියනවද ?  එක වේදිකාවක අපේ ගමේ උන් එක්ක අහල පහල ගම් වල බෑන්ඩ් දෙකකුත් එදාට ගහනවා...ඔක්කොම බෑන්ඩ් 3යි. ඒ උනාට අපේ ගමේ කියලා එකෙක්වත් සින්දුවක් කියන්න ඉදිරිපත් වෙන්නෙ නෑ බං... උන් ඔක්කොම භයයි සින්දුව වැරදිලා උන්ට නරඹන්නන්ගෙන් ගල් පාර කන්න වෙයි කියලා....බලහං...පුරුෂ දහිරිය තියෙන එකෙක් නෑ.

හැබෑට...අපි වැඩේ කොරමු එහෙනං...ගෙවීම් එහෙම කොහොමද....

උඹ මගෙන් කුණු හබ්බ අහගන්න එපා...කන්න බොන්න දීලම බොක්ක පාත් කරලා යවන්නම්...ඒ මදිද ?

ඇති බං...ඒ හොදටම ඇති..මම මේ විහිලුවට එහෙම ඇහුවෙ....ඒක නෙමෙයි, උඹලගෙ ගමේ ලස්සන කෙලියො එහෙම නැද්ද බං....ඒ දවස් වල අනංගයා මගේ වටේ කැරකි කැරකි හිටි නිසා තමයි එහෙම ඇහුවෙ.

මොකෑ බොල නැත්තෙ....ඔය ඉන්නෙ කීප දෙනෙක්ම...එදාට ඇවිල්ලා බලා ගං.....

අඩේ කෙල්ලො ඉන්නවා නම් මාත් එනවා උඹලා එක්ක එදාට සංගීතෙට යන්න...පැත්තක හිටිය ඔටුවා සින්දු කියන්න පුලුවන් එකෙක් වගේ අපේ මේ කථාව මැද්දට පැන්නා.

මේකව එක්කගෙන යනවා නම් උඹලගෙ ගමට මුගෙ කට විදලා ඉබ්බෙක් දාපන්.. නැත්තං ගමේ උන්ගෙන් ගුටි කන්න වෙන්නෙ බොට...මම බඩියට එහෙමත් කිව්වා...මොකද ඔටුවා කියන්නෙ ජාතියක් ජම්මයක්, හැදියාවක් නැති එකා.

මගේ මේ කාමරේට මේ කියන චරිත ටික හදිසියේ කඩා පාත් වුනේ පහුගිය කථාවෙන් නොවැ...ඒ නිසා තවම බොලාට මේ අය ගැන වැඩි අවබෝධයක් නැති බව මම දන්නවා....ඔහොම යන කොට යම් අවබෝධයක් ඇති වේවි....

බඩියා මට ඉස්සෙල්ලාම මුලිච්චි උනේ 9 වසරෙදි...ඒ වෙනකං වෙනත් පන්තියක ඉදලා තාක්ෂණ විෂයන්ට අනුව පන්ති කළවම් කරද්දි තමයි අපි දෙන්නත් කළවම් උනේ....පුංචි ශරීරයක් තිබ්බ හිත හොද, බොහොම ප්‍රිය මනාප එකා නිසා හැමෝම මේකාට කැමතියි....ඒ හින්දම තමයි බඩී කියලා නමකුත් වැටුනෙ...

මේ කියන හාදයට බොහොම ලස්සනට චිත්‍ර අදින්න පුලුවන්....පෑන් පහරවල් දෙක තුනකින් ලස්සන ගැටිස්සියක් අදින එක ඌට මහ කජ්ජක් නෙමෙයි. ඇරත් ඒ කාලෙ පන්තියෙ කොල්ලො කී දෙනෙකුගේ නම් ආදර හසුන් බඩියගෙ  චිත්‍ර වලින් හැඩ වුනා කියලද, චිත්‍ර ඇදීමේ හැකියාව නිසාම බඩියා ටික කලකින්ම පංතියේ ඉදිරිපෙළ එකෙක් බවට පත් වුනා.

ඉතිං බොලව්...දවසින් දවස පැයෙන් පැය කාලය ගත වෙලා බඩියලගෙ ගමේ අවුරුදු සාදය බොක්කෙන්ම සමරන්න ගමේ කොල්ලො කෙල්ලො එක ඉත්තක පිපුනු මල් වගේ  මහන්සි වෙලා සංවිධානය කරලා තිබුන අවුරුදු උත්සවයට ආරාධිතයො විදියට අපි සැපත් වෙන දවස උදා වුනා...

මේ ගමන යන්න පෙර දවසෙත් ඔටුවාගෙන් බේරිල්ලක් තිබුනෙ නෑ අපට....අනේ බං මට සින්දු කියන්න බැරි උනත් උඹලා සින්දු කියන වෙලාවට බිම ඉදලා  මම දෙන්නං රටක් වටින නැටුමක්...මාව හලන්නෙ නැතුව එක්ක යනවා නේද....

වරෙං වරෙං...උඹ වගේ එකෙකුත් එතැන ඉන්න ඕනෙ තමා....අපි එහෙම කියලා අපේ කාණ්ඩෙට ඔටුවාවත් එකතු කර ගත්තා..මා එක්කම විද්‍යාලයීය ගායන කණ්ඩායම නියෝජනය කරපු කමල් ගොයියත් මේ ගමනට එකතු උනා.

හැන්දෑ වරුවක ගම්පහ ටවුමට එක්කාසු වෙච්ච අපි 211 දිවුලපිටිය බස් එකකට නැග ගත්තා...ඊට කලියෙන් කවදාවත් බඩියගෙ ගෙදර ගිහිල්ලා නෑ වගේම මේ බස් රථය ධාවනය වන මාර්ගයේ ගිහිල්ලත් නෑ...ඒ දවස් වල ජංගම දුරබණුවක් අපේ අත් වල තිබුනෙ නැති හින්දම සෑහෙන දුකක් විදගෙන උඩුගම හන්දියෙන් බැහැලා අපේ මිත්තරයා පන්තියෙදි අපිට ඇදලා දුන්න සිතියම දිහා බලාගෙන අපි දැන් අතුරු මාර්ගයක ගමන් කරනවා....

සිතියමේ තියෙන තොරතුරු එක්ක මාර්ගයේ තියෙන සළකුණු හරියටම ගැලපුනු නිසා අපි අපහසුවකින් තොරව අපේ මිත්තරයගෙ නිවස කිට්ටුවම තියෙනවා කියපු  පුංචි වෙළදසැල ලගටත් ආවා.....මේ සිංහල අලුත් අවුරුද්දෙ ගෙදරකට යන්න පුලුවන්ද අත වන වනා....ඒ සිතිවිල්ල නිසාම අපේ පසුම්බි වල අග්ගිස්සෙ හැංගුන අන්තිම රුපියල දෙකත් යොදලා පුංචි පහේ බිස්කැට් ටින් එකක් ගන්නයි ඔටුවගෙ ආශාව.

අපිට අවශ්‍ය දේ මිළදීගෙන අපි කඩේ මුදලාලිගෙන් ඇහුවා අහ වලාගෙ ගෙදර කොහෙද තියෙන්නෙ කියලා...ඊට පස්සෙ කඩේ මුදලාලි අපෙන් ඇහුවා එයාගෙ තාත්තා මොනවා කරන කෙනෙක්ද කියලා....අපි ඉතිං අපේ ගජ මිත්තරයගෙ පවුලෙ තොරතුරු රාශියක් දැන හිටිය හින්දම ඒ ප්‍රශ්නය අපහසු එකක් උනේ නෑ... එයාගෙ තාත්තා දිවයින පත්තරේ ප්‍රාදේශීය වාර්තාකාරයනෙ අංකල්....අපි එහෙම උත්තර දුන්නා...

කෝ දෙන්න කියලා අපි ගත්ත බිස්කැට් ටින් එක ආයෙමත් අරන් මුදලාලි මුදල් ආපසු  දුන්නා...ඔටුවා උගෙ ඇස් ගෙඩි දෙක ලොකු කරගෙන බලාන ඉන්නවා මේ මොන හරුපයක්ද කියලා....

නෑ නෑ මේවා ඕනෙ නෑ...ඔන්න ඔය වත්ත දිගේ පහළට යන්න...අර පේන්නෙ එයාගෙ ගෙදර...මුදලාලි එහෙම කිව්වා....ඇයි බිස්කට් එක ආයෙම ගත්තෙ...ඔටුවා  ඇහුවා....

ඔය කියන හාදයා මගේ පොඩි පුතා. අපේ ගෙදරට අපේ කඩෙන්ම බිස්කට් අරං යන්න ඕනැයි....නැද්ද හාමිනේ.... බඩියගෙ  පෙනුම ඒ විදියටම අම්මගෙ මුහුණ තුලින් විද්‍යාමාන වෙච්ච හින්දම තවත් සැක සංකා තියාගන්න අවශ්‍ය වුනේ නෑ.  ඒ වෙනකං අපි දැනන් උන්නෙ නෑ අපේ මිත්තරයගෙ දෙමව්පියො සතුව කඩයක් තියෙන විත්තියක්...

සරුවට වැඩිලා තිබුන පොල් වත්තක් දිගේ අපි පල්ලම් බැස්සා...බඩියලගෙ නිවෙස ඇතුලෙ ඒ වෙද්දිත් උගේ ගමේ මිත්තරයො කීප දෙනෙක්ම සංවිධාන වැඩ වලට ඇවිල්ලා....

වරෙල්ලා වරෙල්ලා....තොපි තුන්දෙනා එනකං තමයි අපි මේ මග බලාන උන්නෙ...නැත්තං සංගීතෙට කික් එකක් නෑ. ජනක, ප්‍රදීප්, වසන්ත මේ තමයි අපේ ආරාධිත ගායකයො.....බඩියා ගමේ උන්ට අපිව හදුන්වා දුන්නා. මේ අපේ අයියා නෙවිල්....කොළඹ තරු හෝටලයක ඒ වන විටත් සේවය කරමින් උන්න අපේ මිත්තරයගෙ අයියා තමයි සංවිධායක කමිටුවෙ ප්‍රධානියා.

අපේ ගමන් මළු නිවස තුල තියලා ඒ වෙද්දිත් ක්‍රියාත්මක වෙමින් තිබුන අවුරුදු ක්‍රීඩා බලන්න අවුරුදු උත්සවේ පැත්තට ඇදුනෙ ඊටත් පස්සෙ. අපි එහි යද්දි සංවිධායක මණ්ඩලයට රුපියලක් දීලා  ගිණි කූරක් අරගෙන වැඩිම ඉටි පන්දම් ප්‍රමාණයක් දල්වන අලුත් ආරක තරගයක් තමයි එහි තිබුනෙ...ඒක කොර කොරා හිටියෙ ගමේ පොල් මුදලාලිගෙ දුව සාමා...සුන්දර නිහතමානී දැරියක්....අපේ පළමු හමුවීම උනත් ඇය අප සමග ඉක්මනින් හිතවත් උනා....

ඔටුවා දැන් එතනින් හෙල්ලෙන්නෙ නෑ....රුපියල් 10 ක විතර ඉටිපන්දම් පත්තු කරලා සාමාව ගිලින්න වගේ සාමා දිහා බලාන ඉන්නවා...මුගෙ කුප්ප වැඩ ගැන දන්න නිසා අපිත් බලාගෙන ඉන්නවා ඔටුවා අපේ නම තියාවි අපූරුවට කියලා...

පුටුවක ඉදගෙන මේ කටයුතු කරමින් හිටිය සාමා කුමක් හෝ අවශ්‍යතාවකට නැගිට්ටා....ඒ ඇසිල්ලෙම ඇයට හොරෙන් ඒ පුටුව ඉවත් කරපු ඔටුවා...ඇය වාඩි වෙන්නට දරන උත්සාහයේදි වැටෙන්න යනකොට අල්ලන්න සූදානමෙන් වගේ හොර ගල් අහුලමින් උන්නා....නමුත් තමන්ට පිටුපසින් අමුත්තක් දැනුන නිසාදෝ  ඇය හැරිලා බැලුවාම ඔටුවගේ හොරේ අතේ මාට්ටු....ඇයි....ඇය ඔටුවට කණට ගැහුවා වගේ ඇහුවා.....නෑ නෑ මොකුත් නෑ...ඔටුවා රතු වෙච්ච මූණ හංගගෙන එතනින් මාරු උනා....

ඔය ඉන්න කෙල්ලො අපේ මේ කොල්ලන්ගෙ අක්කලා නංගිලා....උන්ට අරවා මේවා කරන්න ගිහිල්ලා ගුටි කෑවොත් මම නෑ....බලහං උඹේ ඇග දිහා...කටු විතරයි මස් කලදක් නෑ...යකෝ කෙල්ලෙක් කැමති කරගන්න තව ටිකක් මස් ලියලනකං ඉදිං.... බඩියා වටේ පිටේ බලලා ඔටුවගෙ භෞමික අඛන්ඩතාව කීතු කීතු වලට ඉරලා දැම්මා.

කෙමෙන් කෙමෙන් අදුර වැටෙද්දි  අපි නැවතත් මිත්තරයගෙ නිවසට සම්ප්‍රාප්ත උනා...උඹලා ඇගපත හෝදගෙන හෙමීට ලෑස්ති වෙයල්ලා...අරහෙ සංගීත බඩු ටික  අරගෙන කට්ටිය ඇවිල්ලා මම ඒක බලලා එන්නම්...බඩියා එහෙම කියලා අපෙන් සමුගත්තා....

මමත් ගායක කමලත් සංගිත පෙනුමෙන් සන්නද්ධ වෙලා අවසන් වෙද්දි....ඔටුවා බතික් සරමක් ඇදගෙන ඊට උඩින් කමිසයක් ඇද ගත්තා.....

ඔය මොකද බොල ඔය....කමලා ඔටුවගෙන් අහුවා.

කලබල නොවී හිටහල්ලකො....මම ලස්සන නැටුමක් පෙන්නන්නං....උඹලා සින්දු කියන වෙලාවට....

තවත් ටික වේලාවක් ගත උනාට පස්සෙ සංගීත භාණ්ඩ සුසර කරන හඩ ශබ්ද විකාශන උපකරණ ඔස්සේ ඇහෙන්න ගත්තා...

මේක පොඩි සංගීතයක් කිව්වට බං පොඩිම නෑ වගේ...බලහංකො සද්දෙ....ඔටුවා කාමරේ මුලු වල තියෙන විවිධ පාර්සල් මොනවද කියලා බලන්න ඔබන ගමන් අපිට ඇහෙමින් තියෙන හඩ ගැන උගේ අදහස ඉදිරිපත් කොලා...

උඹලා කියපල්ලා අමුවෙන් සින්දු කියන්න බෑ කියලා...ප්‍රසිද්ධ ගායකයොත් එකක් දෙකක් අනුමත වෙලානෙ සින්දු කියන්නෙ...ඇරත් බඩියා කිව්වනෙ රිදෙන්න සළකන්නම් කියලා....ඔටුවා හිතට එන  දේවල් එක එක වෙලාවට කියනවා....

තවත් මොහොතක් ඇවෑමෙන් බඩියා ගෙදර ආවෙ හිස ගිණි ගත්ත ගානට... මොකෝ බන් අවුලක්ද ?

බෑන්ඩ් 3 ක්ම ඉන්නවනෙ බං අපේ වැඩේට.....ඒ හින්දා මුන් ගහන පිළිවෙල තෝරන්න තුණ්ඩු ඇද්දා....අල්ලපු ගමේ උන්ට පළවෙනි නොම්බරේ ලැබුනෙ....ඒකට අපේ ගමේ උන් විරුද්ධයි...උන් කියනවා අපේ ගමේ වැඩේ අපි තමයි ඉස්සෙල්ලා ගහන්නෙ කියලා....එතන ගිණි විජ්ජුම්බරයයි බන්....සවුන්ඩ් ගෙනාපු උනුත් භය වෙලා සවුන්ඩ් වලට කෙළවෙයි කියලා...

අඩේ කැත සිද්ධිය.....දැන් මොකද උනේ....සංගීතෙ හුටස් ද ? ඔටුවා එහෙම අහනකොට දොර රෙද්ද මෑත් කරගෙන කාමරේට එබුනෙ බඩියගෙ අයියා නෙවිල්....

පික්සුද මල්ලි...අපි ඉන්නකං ඒම වෙනවද...අපේ ගමේ උන්ට අපි කිව්වා පිට ගමකින් ආවම ආගන්තුක සත්කාරයක් කියලා දෙයක් තියෙනවා ඒ හින්දා උඹලා දෙවැනියට ගහපල්ලා, ඒක අවනම්බුවක් නෙමෙයි කියලා....උනුත් ඒක අන්තිමට හරි පිළිගත්ත හින්දා ගින්න ලොකුවට ගියේ නෑ....

බඩියො....මුන්ට අමුවෙන්ම සින්දු කියන්න අමාරුයි කියන්නෙ...සෘතියෙ හරියට පිහිටන්න බෑලු...ඔටුවා සරමෙ කොණක් උස්සගෙන එහෙම කියන්නෙ උගෙ බොක්ක ගැන පමණක් හිතලා විත්තිය අපි දන්නවා...

එතකොට බොල ඉස්සර මුන් පන්තියෙදි සින්දු කිව්වෙ බීලද ?

අඩේ ඒ කථාව වැරදියි...මුන් දෙන්නා වගේ ඉස්කෝලෙ ඉන්න ජේෂ්ඨ ගායකයො දෙන්නෙක්  මේ දුරු කතර ගෙවාගෙන වැලේ එල්ලිලා උඹේ ගමට ආවම ඔහොම සළකලා බෑ මස්සිනා...අරි...උඹ එන්න ඉස්සෙල්ලා කෝමද කිව්වෙ රිදෙන්න සලකන්නම් කියලා....අපි මේ රිදෙන්න සළකනකං බලාන ඉන්නෙ....

ඔටුවා සමහර වෙලාවට තරහා ගියා වගේ මෙහෙම කථා කරන්නෙ ඇත්තටම නෙමෙයි....එහෙම කථා කරලා ඒකා අමුතුම වින්දනයක් ගන්න විත්තිය ලගින් ආශ්‍රය කරන උන් විදියට අපි දැනගෙන හිටියෙ.

උන්ට නම් ඕනෙ නෑ...ඒත් උඹට නම් ඕනෑ පාටයි....අර සාමත් මගෙන් ඇහුවා කවුද අනේ අර කටුස්සෙක් වගේ එකෙක් ඇවිල්ලා ඉන්නෙ කියලා.....

ඒකි ඒම කිව්වද....මොනවද ඕට්ටු...මම සංගීතෙ යන වෙලාවට ඒකිව බදාගෙන නටනවා...උඹ මොකද කියන්නෙ....උඹට අවුල්ද ? ඔටුවත් පස්ස ගහන්නෙ නෑ.

මට ඇති අවුලක් නෑ බොල...උඹ ඔය සරම ගලවගන්නෙ නැතුව ඕනෙ නැටුමක් නටා ගනු....හැබැයි සාමාගෙ තාත්තා පොල් බිදින මහ මන්නයෙන් අත පය විතරක් ගලව ගන්න එපා. වරෙන්කො එළියෙන් කාමරේ ජනේලෙ ලගට....එහෙම කිව්වා විතරයි ඔටුවා අඩියට දෙකට කාමරෙන් එළියට ගිහිල්ලා ජනේලය අද්දරට පිටතින් ඔන්දස්පොට් උනා...එතෙක් වේලා කාමරේ මුල්ලක සැතපිලා තිබුනු සිංහ රුවක් සහිත දුඹුරු පැහැති බෝතල් කීපයක් කාමරේ ජනේලය හරහා එළියට ගමන් කරන දසුනක් අපිට දකින්නට ලැබුනා...

මේවා කොහෙද බොල තියන්නෙ....ඔටුවා එළියෙ ඉදං මොර දෙනවා...
උඹේ සරමට දා ගනිං...බඩියා උත්තර දෙනවා....

බෝතල් 10 විතර මේ විදියට හුවමාරු කලා...එත් අන්තිම බෝතලේ ගන්නකොට ඔටුවගෙ අතින් ඒක ග්‍රිල් කූරක තදට වැදිලා ලොකු සද්දයක් ඇති වුනා...ඒ සද්දෙ මොකක්ද බලන්න බඩියගෙ තාත්තත් ඉක්මනට කාමරේට ආවා.....බඩු අතේ මාට්ටු....

අපේ පුත්තරයා එහෙනං යාලුවන්ට හොදට සළකන පාටයි.... පියතුමා හීන් හිනාවක් දැම්මා....

එහෙමට කියලා නෑ තාත්තෙ....මෙච්චරයි තියෙන්නෙ....බඩියා එහෙම කියලා ජාමෙ බේරගත්තා....

අයියෝ බන්...බියර් විතරද...මම එහෙම අහුවෙ සීතල නැති බියර් බොන එක එපා කරපු වැඩක් නිසයි....සීතල නැති උනාම ඒවා හරිම තිත්තයි....

තව සැර ජාති තියෙනවා බන්...උඹලා ආව වෙලාවෙ ඉදන් බොන්නමනෙ බොලව් ඉල්ලන්නෙ...ඉස්සෙල්ලා සින්දු කියලා බැහැපල්ලා...ඊට පස්සෙ බොන්න නෙමෙයි නාන්න දෙන්නම්....

එහෙනං ඔහොමම යමු සංගීතෙ පැත්තට...තව ටිකකින් වැඩේ පටන් ගන්නවා....අයියත් ගියා පොල්තෙල් පහන පත්තු කරන උන් ටික හොයාගෙන එන්න....බඩියා එහෙම කියලා නිවසින් පිටතට ඇවිල්ලා පිළිකන්නෙ හිටිය ඔටුවගෙන් බෝතල් දෙක තුනක් අරන් කලුවරේම පොල් වත්තෙ ඉදිරියට ගියා...

අඩේ මට මෙච්චර ගෙනියන්න බෑ බොල...මගේ සරම කඩන් වැටෙන්න එනවා....කැහැපට ගහපු සරම තුලට බියර් ලෝඩ් එක පටවලා තිබුන ඔටුවා එහෙම කෑ ගැහුවෙ පොල් වත්තෙ භාගයක් දුර ආවට පස්සෙ....සරම කැඩුනොත් ආයෙ ඇද ගනින්....බඩියා ගනනකට නොගෙන උත්තර දුන්නා....

මම ජොකා දාලා නෑ යකෝ.... අහල පහල කෙල්ලෙක්වත් දැක්කොත්...ඒ කථාවට නම් අවට හිටිය ඔක්කොම ඔටුවගෙ ඇස් රතුවෙනකං හිනා වුනා....

එකා දෙන්නා බැගින් ඇවිත් දැන් සංගීත සංදර්ශනය පවත්වන පුංචි පිට්ටනිය අතුරු සිදුරු නැතුව පිරිලා...ගම්මානයකට මෙහෙම අවස්ථාවක් හැමදාමත් උදා වෙන්නෙ නැති නිසා අවස්ථාවක් ලද විටෙක හැම දෙනාම එතැනට එකදු පහදු වෙන්නෙ අවුරුදු උදාවත් එක්ක ඇති වෙන චිත්ත ප්‍රීතිය දෙගුණ කරගන්න බව මගේ අක්මාවට දැනෙමින් තිබුනා.

නෙවිල් අයියා මයික්‍රෆෝනය අතට අරගෙන සහය දුන් හැමටම මුලින්ම ස්තූති කරලා සාර්ථක ආරම්භයක් ලබා දීලා පොල්තෙල් පහන් දල්වන්න ආරාධිතයන්ට ආරාධනා කලා....ඒ හැමෝම ගමේ ඇත්තො...විවිධ විදිහට මේ කටයුතු වලට උදව් වෙච්ච අය....සාමගෙ හැඩි දැඩි තාත්තා දැක්කම නම් ඔටුවා ගැස්සුනාද කොහෙද....

පේනවනෙ තාත්තා....උඹව අල්ලලා කිහිල්ලෙ ගහ ගනී...පරිස්සමෙන් හිටපං....කමලා ඔටුවට හීනියට කෝචොක් එකක් දැම්මා....

පළවෙනි සංගීත කණ්ඩායම තමන්ගෙ කටයුතු ආරම්භ කලා....මට දැන් මේ කණ්ඩායම් වල නම් මතක නෑ...ඒ නිසා පළවෙනි කණ්ඩායමට භාග්‍යා කියලා කියමු....මොකද කණ්ඩායමක් දෙකක් එවැනි නම් වලින් තමයි එදා සන්නද්ධ වෙලා හිටියෙ.

භාග්‍යා  සතුව හිටියෙ එකම එක ගායකයයි...ගායකයො පැමිණෙන්නෙ නැති ආධුනික ප්‍රසංගයක් නිසාම...දිගින් දිගටම ගීත ගායනා කරන්න වෙන්නෙ බෑන්ඩ් එකටම තමයි....මේ වාදක කණ්ඩායම් 3 සමගම කථා කරලා අපි ගයන්න සුදානම් වෙලා තිබුන ගීත වාදනය කරන්න පුලුවන් අය සමගයි අපේ ගායනා ඉදිරිපත් කරන්න අපි යොදාගෙන තිබුනෙ....ඒ අනුව මට නියමිත වෙලා තිබුනෙ දෙවැනි කණ්ඩායම එක්ක....ඒ කිව්වෙ බඩියගෙ ගමේ සැට් එක එක්ක සින්දුවට ඇන්ටොර් වෙන්න.....

අපි ඉතිං සින්දු කියන්න නියමිත වෙලා හිටියට...සංවිධායක වැඩ එක්ක හිරවෙලා හිටිය අපේ මිත්තරයා බඩියා එක්ක එහෙ මෙහෙ ඇවිද ඇවිද තමයි වැඩි වේලාවක් ගත කලේ... සංගීතය පටන් අරන් දැන් පැය දෙකකටත් වැඩියි....දැන් වාදන කටයුත්ත භාර අරගෙන ඉන්නෙ දෙවැනි කණ්ඩායම හෙවත් ගමේ කණ්ඩායම...

පොඩ්ඩක් වරෙං...මේ ගෙදරට ගිහිල්ලා ස්ටේජ් එක ලගට යමු.... අපේ යෞවන සමාජෙ භාණ්ඩාගාරික කෙල්ල ඉන්නෙ මේ ගෙදර. අපේ ගමේ උන් එක්ක නේද උඹ සින්දු කියන්නෙ.... එහෙම කියලා බඩියා සංගීතය පැවැත්වෙන ස්ථානයට යාබදව තිබුන නිවසක් ඇතුලට රිංගුවා....මමත් ඒ නිවසට යද්දි සාලෙ පුටුවක සතපවා හිටිය කලු කොල්ලෙක්ට සුදු කෙල්ලො කීප දෙනෙක් වටවෙලා පවන් ගහනවා....

මොකාද බන් මේ....මම එහෙම ඇහුවා...

මේ මචං භාග්‍යා බෑන්ඩ් එකේ ගායකයා....ඌට සින්දු කියලා වැඩි වෙලා කලන්තෙ දාලා..... මට මතක විදියට මිනිහා එදා එක දිගට සින්දු 20 කට වඩා ගායනා කලා.

කෙල්ලො ටිකක් ලග ඉන්න හින්දද කොහොද ඒකා සෑහෙන්න අමාරු බවකුයි පෙන්නුවෙ....

මා ප්‍රිය සංගීතලෝලී හිතවතුනි හිතවතියනි...අපේ සංගීත සංදර්ශනයට ප්‍රථම ආරාධිත ආධුනික ගායකයා ඉදිරිපත් කරන්නයි අපේ මේ සූදානම.....

ඔය උඹ ගැන කියන්නෙ යමං එතනට.....අපේ නම් වල අගට අපි ගායනා කරන ගීත වල ඇත්ත ගායකයගෙ වාසගම දාලා කියන්න කියලා නිවේදකයට උපදෙස් දීලා තිබුනෙ පඩත්තර ඔටුවා....මිල්ටන් මල්ලවආරච්චි ගායකයගෙ ගීත ගායනා කල මගේ නම අගට මල්ලවආරච්චි කොටසක් එකතු වුනා...චන්දන ලියනාරච්චිගෙ ගීත ගායනා කරපු කමලා....කමල් ලියනාරච්චි උනා....

ඔය විදියට රටේ නැති බොරු ටිකක් හලලා සිරා කොලුවව වේදිකාවට නැග්ගුවා.....මොකාද බොල මේ කියලා බලන්න වගේ...නරඹන්නො දැන් වේදිකාවට බොහොම ලං වෙලා....ඒ අතර ඉන්න සී දේවී දැරිවියන්ගෙ මූණු ටික මම වෙනම හොයලා බැලුවා. ඒ ඉතිං වෙන මොකටවත් නෙමෙයි...පස්සෙ කාලෙක යුග ගීතයක් ගායනා කරන්න.

මෙන්න බොලේ ගීතය ආරම්භ වනවාත් සමගම වගේ කොහේදෝ අකුලක ඉදලා ඔටුවා දුවගෙන ඇවිල්ලා වේදිකාව ඉදිරිපස භූමියෙ බිම තිබුන පොල්තෙල් පහන අද්දරට වෙලා ආරාධිත අමුත්තන්ටත් ඉදිරියෙන් සරම අත්දෙකෙන්ම උස්සගෙන අමුතුම නැටුමක් නටන්න ගත්තා...මට හොදටම විශ්වාසයි...ඔටුවට ඒ වෙද්දි ජොකා නෑ කියලා අමතක වෙලයි හිටියෙ.

මට ගීත 3 ක් ගායනා කරන්න නියමිත වෙලා තිබුනත් ඒ අතරින් එක් ගීතයක පද මට මතකයේ තිබුනෙම නෑ....ඒ හින්දා පුංචි කොළ කැබැල්ලක් අතේ තියාගෙන තමයි වැඩේ යන්නෙ....ගමේ කොල්ලොත් ගමේ කෙල්ලො ඉස්සරහා වාදනය කරන හින්දද මන්දා...දුං පිටවෙන්න වැඩේ දෙනවා...වාදනය ඉතාම හොද මට්ටමක තියෙනවා....පළවෙනි ගීත දෙක අපහසුවකින් තොරව ගායනා කරලා //මා හා සෙනෙහස පාලා//....මගේ අවසන් ගීතයටත් ලං වුනා.

කොළ කැබැල්ල අතට ගන්නවත් එක්කම ගීතයේ ආරම්භක වාදනය පටන් ගත්තා...ඒ එක්කම මම රැදී හිටිය ස්ථානයට ඉහළින් තිබුන විදුලි පහන නිවී ගියා...වේදිකා පරිපාලකයා හිතෙන හිතෙන විදියට ලයිට් සෙල්ලං කරන නිසා මට ඉළින් තියෙන බල්බය දැල්වෙන්නෙ තත්පර ගානකට පමණයි....ගීතය ගායනා කරන්න පටන් ගන්න ඔන්න මෙන්න තියෙද්දිම බල්බය පත්තු උනා...ඒ සැනින් ආයෙමත් නිවුනා....පද කිසිවක් මතක නැති නිසා මට කොළය බලාගෙන කීම අත්‍යවශ්‍යයි. ඒකෙ ලියලා තියෙන අකුරු කරුවලේ පේන්නෙ නෑ....විදුලි එළිය වැටුනම මම පේළි කිපයක් ඉදිරියට මතක තියා ගන්නවා....ඒ පේළිය අවසන් වෙන්න ඔන්න මෙන්න තියෙද්දි පෙර පිනකට වගේ ආයෙමත් බල්බය දැල්වෙනවා...මගේ හදවත දෙගුණයක් වේගයෙන් ගැහෙනවා. බඩ ඇතුලෙ සමනල්ලු පියාඹනවා.

ඒ මදිවට ඉස්සරහා ඉදන් කොමිටල් නැටුමක් සභාවට ඉදිරිපත් කරන ඔටුවා...සරම දෙපසින් ඉහළට ඔසවාගෙන කණමදයා වගේ බීලා කෙලින් ඉන්න පණ නැති එකෙකුගේ චරිතය රගපානවා. උගෙ රංගනයත්, නර්ථනයත් ගීතය ගායනා කරන අතරෙදි දුටුවොත් මට හිනාවක් පනිනවා සහතිකයි. ඒ නිසාම මම වෙන ඉසව්වක් බලාගෙන සින්දුව කිව්වෙ. සමහර දැරිවියො සංගීතෙ වෙනුවට ඔටුවගෙ යන්තමට පෙනෙන පශ්චාත් කලාපය දෙසම බලාගෙනත් හිටියා..ඒකට වගේ වගක් නෑ...සරම ඉහළටම උස්සගෙන අමුතුම නැටුමක් නටනවා... ගීතයේ පද වලින් කියවන දෑ අත් වලින් විවිධ හැඩතල මවලා නරඹන්නන්ට පැහැදිලි කරනවා....

අතුරෙ යනවා වගේ ඇන ගන්නෙ නැතුව කලුවරේ ජරමරේ අස්සෙ මම යන්තං ගීතය අවසාන කරගත්තා....නරඹන්නොත් ලෝභ නැතුව ලොකු අත්පුඩියකුත් ගහපු නිසා හිතට කික්....තුන්වෙනි කණ්ඩායම වේදිකාවට එද්දි  ඒකෙ උන් ඔක්කොටම වගේ හොදටම වැදිලා...වේදිකාවට පිටිපස්සෙ සංවිධායකයො ජංගම ස්කාගාරයක් පවත්වාගෙන ගොස් තියෙන බවක් මට වැටහුනේ  ඊට පස්සෙ...

ඩ්‍රම්ස් වාදකයට කුණු වෙරි...මිනිහා මූණ ඇදකරගෙන ඇස් ලොකු කරගෙන ඩ්‍රම්ස් වාදනය කරපු ආකාරය මනහරයි....දැකුම් කළුයි, චිත්තාකර්ෂණීයයි. ඒ මොනවා උනත් බීට් එක තිතට වදිනවා...සින්දුවත් අපූරුවට ගලාගෙන යනවා.

සංගීතකාමී පරපුරක ඊළග පරම්පරාවේ නියෝජනය...පිළිගන්න කමල් ලියනාරච්චි......ඔන්න අපේ අනිත් ගායකයා කමලත් වේදිකාරූඩ  වුනා...මිනිහට ආලෝකය පිළිබද ගැටලුවක් ආවෙ නෑ...නමුත් ඔටුවගෙ සුපුරුදු නැටුම ආයෙත් විද්‍යාමාන උනා....

කවුද බන් අතන අර වෙරිමර ගාතෙ සරමත් උස්සගෙන නටන එකා....කණට දෙකක් ගහලා පැත්තකට දාපන්කො..පොඩි උනුත් බලාගෙන ඉන්නවනෙ....නෙවිල් අයියට මද වේලාවකට කලියෙන් ගෙදර හිටිය ඔටුවව දැන් අදුන ගන්න බෑ.

ඔයින් මෙයින් හෝරා කීපයක් අවසානයේ සංගීතය නිමා වුනා...ශබ්ද විකාශන උපකරණ වගේම වේදිකාවත් මහ රාත්තිරියෙම ප්‍රවාහනය කරන එක තමයි ඒවා ගෙන එන අයගෙ සිරිත...ඒ අල්ල පනල්ලෙ නටලා නටලා හති වැටිලා හිටිය ඔටුවා තටු අකුලගෙන අපේ ලගට ආවා....

කොහොමද මගේ නැටුම....

නොදකින්....උඹ දිහා බැලුවා නම් මට වමනෙ යන හින්දා මම ඈත හිටිය කෙල්ලෙක් දිහා බලාගෙන සින්දු කිව්වෙ...කමලා එහෙම කිව්වා....

අපේ බඩියත් සංවිධායක වරයෙක් විදියට තමන්ට තිබුන රාජකාරි අවසන් කරලා...වේදිකාව පිටුපස තිබුන ජංගම ස්කාගාරයට අපිව කැටුව ගියේ පොඩ්ඩක් රත් වෙන්න සලකන්න...ඒ හරියෙ තිබුනා මදක් උසට වැවුණු තණකොළ යායක්....

මචං ඔය තණකොළ අස්සෙ බියර් බෝතල් ඇති...කකුලෙන් පාගලා හොයාගනිල්ලා....

ඔටුවො බැරි වෙලාවත් නයෙක්,පොළගෙක් වගේ අහුවුනොත්...ඒකා උඹම තියා ගනින් අපිට දෙන්න හදන්න එපා. බඩියා එහෙමත් කිව්වා.

ඔයින් මෙයින් සීදුවෙ ගල් වලට සෝඩා කලවම් වෙලා වට දෙක තුනක් ගියා...ඒත් අමධ්‍යප සංගමයෙ හිටිය කමලා කටේ තියන්නෙ නෑ....

මොනවද බන්....පොඩ්ඩක් ගනින්කො.... අද වගේ ලස්සන දවසක....පණුවන්ටත් හොද බේතක් මේක...

ඔටුවා කමලට නැටුම් තෙල්  පිළිබද වරුණාව කියනවා..වටේ පිටේ බේබද්දන් අතර නොබී හිටිය එකම එකා ඒකා වෙච්චි කොට කමලා තීරණය කලා පොඩි ෂොට් එකක් ජීවිතේ පළවෙනි වතාවට උගුරෙන් පහලට හලලා බලන්න.

භය වෙන්න එපා යකෝ...පොඩි එකක් ගනින්....ඔටුවා එහෙම කියලා අහිංසක කමලට පෙරැත්ත කරපු නිසාම ගල් බෝතලේ මූඩියෙන් පොඩි ෂොට් එකක් ගන්න කමලා පසුබට උනේ නෑ.

කොහොමද ආතල්ද ? ඔටුවගෙ පුරස්නෙට කමලගෙන් උත්තරයක් නෑ....

තවත් විනාඩි 10 කට විතර පස්සෙ මිනිහා ගල් මූඩියෙන් දෙවැනි එකත් ළග නමා ගත්තා...කාගෙවත් ආරාධනයකින් තොරවම....ඊටත් පස්සෙ කමල් ලියනාරච්චි එක දිගට ගල් මූඩියෙන් ලග නමාගෙන නමාගෙන ගියා....

රස හදුනන්නෝ ගල්ම ගහන්නෝ.... ඔටුවා ගලේ වරුණාව මහ හඩින් පවසමින් වීදුරු එක දෙක හිස් කරනවා...

මචංලා....සවුන්ඩ් ගෙනාපු ලොරිය ස්ටාර්ට් වෙන්නෙ නෑ....පොඩි තල්ලුවක් දෙමුද ?

බඩියා හැති දාගෙන දුවගෙන ඇවිල්ලා දුන්න පණිවිඩේ හින්දම අපිත් සුනංගු නොවී ඉක්මනට ඒ පැත්තට දිව්වා...ගල් බෝතලේ ඔටුවා තමන්ගෙ ඉන ප්‍රදේශයට හිර කරලා සරම තදට ඇද ගත්තා...

ලොරිය බොහොම පරණ ඔස්ටින් වර්ගයේ එකක්....ඒ වෙද්දිත් රියදුරා ඇන්ජිම පණ ගන්වා ගන්න දන්න සෙල්ලම් ඔක්කොම දාලා හැති වැටිලා හිටියෙ...

මොනවද මල්ලි ඉනේ...මිනිහා අපේ ඔටුවාගෙන් ඇහුවා....

ගල් බෝතලයක් අයියෙ.....

අපේ මුදලාලිට හදිස්සි උනාට මට ඇති හදිස්සියක් නෑ මල්ලි....ලොරිය ඇතුලෙම හීනියට ගම්මු....

එහෙම කියලා රියදුරා හංගපු තැනකින් ප්ලාස්ටික් කෝප්පයක් අරන් අපිත් එක්ක එකතු පහදු වෙච්චි හින්දා කඩල ගොට්ටක්, හිල වඩයක් අපි ඉදිරියේ කටගැස්ම බවට පත්වුනා.

කමල් ලියනාරච්චි තාමත් මූඩියත් එක්ක සෙල්ලම් කරනවා...මේ විදියට බෝතලේ එක දෙක වෙලා...ලොරිය ඇතුලෙ නාටකේ අවසන් උනා....

කොහොමද දැන් මේ බඩකඩිත්තුව ස්ටාර්ට් කරන්නෙ....ඔටුවා රියදුරාගෙන් ඇහුවා...

මට දැන් ක්‍රමයක් මතක් වුනා කොල්ලො....ඔටුවට තට්ටුවක් දාලා රියදුරු තැන ගල් බෝතලයක ඉතිරි වෙලා තිබුන අමෘතයෙන් ටිකක් ලොරියෙ ඇන්ජිං පෙට්ටියට ඉදිරියෙන් තිබුන රේඩියේටරයට වතුර දාන හෝස් පයිප්පයට හැලුවා...ඊටත් පස්සෙ පත්තර පිටුවක් අරන් ඒක හොදට පොඩි කරලා ලයිටරයකින් ඒ කඩදාසිය පත්තු කොලා...ඊටත් පස්සෙ ගිණිගන්නා කඩදාසිය හොස් පයිප්පයට ලං කොලා....

හෝස් පයිප්පය ඇතුලෙන් දැන් ගිණි ගන්නවා...අපිට හිතා ගන්න බෑ...මේ කුමන ක්‍රමයක්ද කියලා...බොද වෙලා පේන ඇස් ගෙඩි  නිසාම අපිට දැන් දැන්  පේන්නෙ ලොරියෙ ඇන්ජිමටත් ගිණි අරන් වගෙයි....ඒ භයටම ඔටුවා සරම කරේ තියන් ලොරියෙන් බිමට පැන්නා....

රියදුරා අසුනට බර උනා....යතුර කැරකුවේ එක වරයි....කෙදිරි ගාගෙන ලොරිය පණ ගැන්වුනා....අපි සියල්ලන්ටම සැලියුට් එක බැගින් තිළිණ කර ඔහු අපෙන් සමුගත්තා...නමුත් රථය පණගැන්වුන විදිය නම් මට තවමත් ප්‍රහේලිකාවක්....

ඔයින් මෙයින් සංගීතයේ කටයුතු අවසානයි....සංවිධායකයො , ගායකයො, වාදකයො සියල්ලන්ම බඩියගෙ ගමේ මිත්තරයා වෙච්චි වසන්තයගෙ නිවසට ආවෙ අමෘතයේ ඉතිරියක් තියෙනවා නම් එයත් අවසන් කරන අටියෙන්.

ඒ වෙද්දිත් වසන්තයගෙ නිවසේ ස්කාගාරයේ ඇති පදම් බඩු තිබුනා...නමුත් සැන්ටිං අවසන්...

අපි ඉස්සරහා වත්තෙන් තැඹිලි වලු දෙක තුනක් බාමු....වසන්තයගෙ යෝජනාවට ගමේ කොල්ලො දෙන්නෙක් කඹ දෙකකුත් උරහිසේ පටලවාගෙන සුටුස් ගාලා ගස් බඩ ගෑවා...

දැන් ඔන්න තැඹිලි වතුර එක්ක ගල් යුෂ අපේ ආමාෂ සිප ගන්නවා...මේ විදියට ගත වෙච්ච පැය දෙක තුනකින් පස්සෙ බඩියගෙ නිවසෙ කෙටි නින්දක් ලබලා මම පසුදා උදෑසනම නිවෙස බලා පිටත් වුනා.

නිවෙසට ලගා වෙලා සුළු මොහොතකින් ඔටුවා ඇතුලු අපේ පිරිසෙ සැපදුක් බලන්නයි ඒ පැත්තට ඇමතුමක් ගත්තෙ.

ඇමතුමට කථා කලේ බඩීගෙ තාත්තා...

ඊයෙ රෑ මොනවද කට්ටිය කෑවෙ බිව්වෙ....අර ඔටුවා කියන මිනිහටයි...සින්දු කිව්ව හාදයටයි...උපේ උන් දෙන්නටයි....එක දිගට බඩ යනවා....ගෙදර කක්කුස්සියට අපිට යන්න විදියක් නෑ...මුං ටික මාරුවෙන් මාරුවට යනවා එනවා. දැන් ඔන්න ඔක්කොම ඒක ඉස්සරහ ඇණ තියාන ඉන්නවා මුරට දැම්මා වගේ.  මමත් මේ අල්ලපු ගෙදරට දුවලා  ගිහින් මගේ උවමනාව කොරගෙන ආවෙ.

එහා පැත්තෙන් දුරකථනය තියෙනවත් එක්කම....මහා අන්ත්‍රය, කුඩා අන්ත්‍රය, බොකු බඩවැල්, උණුඩුක පුච්ච මැදින් ගුද මාර්ගය දෙසට වෙන්නට කොටපු විදුලියක් එක්ක අහවල් කැත සිග්නල් එක මටත් වැදුනා. එතැනින් පස්සෙ මමත් මගේ මිත්තරයන්ගෙ ක්‍රියාකාර කොමටම එකතු උනා. අහ වල් එක මුර කොලා.

ගද ගහන කථාවක් අස්සෙන් සුවද හමන පැතුමක්....


ඔබ හැමටම ප්‍රීතිමත් නත්තලකට ආසිරි...


මම කාමරේ වෙසෙන සත්ගුණවත් සිරා කොලුවා....



ප.ලි

සිරා කොලුවා ඉස්සර මෙහෙම උනාට...අද මෙහෙම නැතිය. දැන් සෑහෙන්න නිවිලාය.

බඩියා යනු වර්තමානයේ වෙළද දැන්වීම්/ ගීත රූප රචනා/ කෙටි චිත්‍රපට/ යන සියලු අංශයන්හි තම හැකියාව හොදින් පෙන්වා ඇති ජනප්‍රිය තලයේ දක්ෂ අධ්‍යක්ෂක වරයෙකි. මේ වන විට සම්මාන රාශියකින්ද පිදුම් ලබා තිබේ. එයටත් අමතරව ත්‍රිමාණ සජීවීකරණය පිළිබද හසල දැනුමක් සහිත කෙනෙකි.

ඔටුවා දැන් දෙදරු පියෙකි...වැඩිමල් දරුවා 2 වසරේ ඉගෙනුම ලබයි. පියාගේ ව්‍යාපාර වැඩිදියුණු කරගෙන ධාර්මිකව කල් ගෙවයි. ඉස්සර තිබූ වාචාල කට දැන් නැත. අවසන් වරට මට ඒකාව මුලිච්චි වූ කමලාගේ වෙඩිමේදීද ඔටුවා දැහැමෙන් සෙමෙන් කල් ගත කලේය.

අවසර ගෙන පසුව එකතු කොලා.....

අපේ බඩියා සම්මානයට පාත්‍ර වූ එක් රූප රචනයක්.... ඉරාජ්ගෙ ...පොලිසිය
2011 - Best Video / Best reggae  - Derana Music Awards















Thursday, December 19, 2013

83 ඔටුවා සමග අපි

ඔටුවා යනු, සිරා කොලුවා වන මම අ.පො.ස  සා/පෙ පන්තියේ ඉගෙන ගන්නා කාලයේ මගේ පන්තියේ සිටි පතෝල මෙන් මෙලෝ රහක් නැති එකෙකි. මේකා සුදුය...කෙට්ටුය, උසය...උගේ කට ඇරියොත් ඒ කටින් පිටවෙන වචන තවෙකෙකු සමච්චලයට ලක් කරන ඒවාමය. ඒ නිසාම පන්තියේ කවුරු කවුරුත් ඔටුවා සමග යාප්පුවෙන් දිවි ගෙවන්නට තීරණය කලේ මේකා අපිට මුලිච්චි වූ 9 වසරේ කැලෑසියේ සිටමය.

ඔටුවා යමක් පවසන විටෙක එය තවත් පන්ති කාමර ගණනාවකට ඇසෙයි. එය උගේ හඩ පාලන ගැජට්ටුවේ අප්සැට් එකක්ද, නැතිනම් ජාන වලින් ලද බෙලෙක් කටහඩේ ජන්ම ගතියක්දැයි මට තවමත් සිතා ගත නොහැක. මේ ලියවිල්ල අතරතුර ඒ ගැන කල්පනා කරන්නට ගියොත් මා මානසිකව ඇද වැටී තුවාල වීමට ඉඩ ඇති හෙයින් මම ඒ කාරිය නොකරමි.

9 වන කැලෑසියට පැමිණි පසු තාක්ෂණික විෂයන් අනුව පන්ති කාමර වර්ග කිරීමේ ක්‍රමවේදයක් අපේ පාසලේ තිබුනි...ඒ අනුව තමන් තෝරා ගන්නා විෂය අනුව 6 වසරේ සිට මෙතෙක් සිටි පන්තිය ඇතමෙකුට අහිමි විය. එතෙක් E පන්තියේ සිටි මම F පන්තියට වැටුනේද මේ ක්‍රියාදාමය නිසාය. අන්න ඒ අයුරින් වෙනත් පන්තියක සිටි ඔටුවාද අපි සියල්ලෝ පෙර කලෙක කල පින්කදක මහිමයෙන් අපේ පන්තියටම පැමිණියේය.

මල් ජංගියාට එසේ කියන්නේ ඇයිදැයි මා තවමත් නොදන්නවා සේම ඔටුවාට එසේ කියන්නේ ඇයි කියාද මම නොදනිමි. එනමුදු මට අවිශ්වාසයක් නැත...පුංචි එකා සන්දියේ කල මහා තුප්පහි වැඩක ජාතක කථාවක් ඒ නම පිටුපස තිබිය යුතුමය. අපි පුංචි පහේ සිස්සත්වය සමත් වී නගරයේ පාසලට පැමිණෙන විට පරණ පාසලෙන් තවත් කීප දෙනෙකු හෝ නව පාසලට පැමිණියහොත් උන් එන්නේ හිස් අතින් නම් නොවේ....පුංචි පාසලේදී කියූ පජාත අන්වර්ථ නමක්ද රැගෙනය. ජංගි කථා මෙන්ම ඔටු කථාද එසේ වූ ඒවා වන්නටත් බැරි කමක් නැත.

කෙසේ හෝ ඔටුවා සමග අපි දැන් පන්තියේ ඉගෙන ගන්නෙමු. මුගෙ මූණත් තහඩුව සම්පූර්ණයෙන්ම ගුටිකන වර්ගයේ එකකි..ඒ නිසාම අපිද ඔටුවාව ඇති පදම් සමච්චලයට ලක් කළෙමු...මෙවැනි කාර්යයන් සදහා එකල අප පන්තියේ සිටි, රට බල්ලා,අල පඩයා, දත් දිගා, මහා රාණි, සොබ්බයා, ලතා, පිටි මෝල, බඩියා, කට කලුවා වැන්නවුන්ගේ සහයෝගයද ලැබුනු හෙයින් ඔටුවා කා සමගවත් පුද්ගලික තරහක් ඇති කරගත්තේ නැත. සබද, මා මේ මතක් කරගෙන යන්නේ වසර 15 කට එහා ඉතිහාසයක් බව සැලකුව මනාය. මතක් කල පමණින් වුවත් මට දැනෙන්නේ පුදුමාකාර සතුටකි. සැනසිල්ලකි...ඒ ඉතිහාසය එතරම් රසවත්ය..ඔබේ පාසල් අතීතය පිළිබද කරනා ස්මරණයක්... ඔබටත් එවැනිම සුවයක් ගෙන දෙන බැව් මමද ඉදුරාම දනිමි.

මගේ උසස් පෙළ වසරට අදාළ ආදි ශිෂ්‍ය හමුවක දසුනක්...
අපේ මුල් කාලීන ගුරු පියවරු කීප දෙනෙක් මැද්දෙන් ඉන්නෙ.
පන්තියේ එතරම් පිළිගැනීමක් නැතිව සිටි ඔටුවා එක්වරම කරළියට එන්නේ ඒකා විසින් එක එකා වෙත පුද්ගලිකව කියා දුන් කෙහෙල් ගෙඩි දෙකේ කථාව නම් අතිශයින් වැඩිහිටියන්ට පමණයි වර්ගයේ කථාව නිසාය. ඔටුවාගේ කථාව අසන හිතවතා එහි එක් තැනකදී දැඩිව කුපිත වෙයි...ඔටුවා නිසි ආකාරයෙන් කථාව කිව්වා නම් එය එසේ විය යුතුමය. එහෙත් ඉන් පසුව දහ අතේ වැද තමාගේ කථාව අසා සිටින මිතුරා සුහද කරගන්නා ඔටුවා...අන්තිම කෙහෙල් ගෙඩියට කල යුතු දේ කියනවාත් සමගම ශ්‍රාවකයෝ බහුතරයක් උගේ කෙහෙල්ගෙඩිය ගලවන්නට තැත් කොලහ.

කෙහෙල්ගෙඩි දෙකට පින් සිදු වන්නට දැන් ඔටුවා පන්තියේ නමක් ඇති එකෙකි. තාත්තා මහා පරිමාණ වී මෝල් සහ හාඩ්වෙයාර් කීපයක හිමිකරුවෙකු වූ නිසාම ඔටුවා ක්ලීන් සූට් වර්ගයේ කොලුවෙකි...එහෙත් උගේ පොකැට්ටුවෙන් මුදලක් ගන්නවාට වඩා...එකල අප විද්‍යාලයේ ආපන ශාලාව කරගෙන ගිය අශෝක අයියාගේ පරිප්පු හොද්ද සමග පාන් කනවා පහසුය. ඇට නැති පරිප්පු හොද්දේ ඇටයක් අහම්බෙන් හෝ හමු වූ දිනක් වූයේ නම් ඒ හොද්ද හදපු එකාට අත් වැරදීමක් වූ දිනයක් විය යුතුමය.

පන්ති කීපයක සිටි කොල්ලන් එකට එක් කර තැනූ නව පන්තියේ මාස දෙක තුන ගත වෙද්දි බොක්කෙ ෆිට් සමග පුංචි පහේ හතුරන්ද සිටියහ. එය ඕනෑම පාසලක මෙන්ම පසුකාලීනව රාජකාරී කරන තැන් වලද සාමාන්‍ය ක්‍රමවේදයයි. බටහිර හා පෙරදිග තූර්ය වාදක ඛණ්ඩ නියෝජනය කල සාමාජිකයන් හතර දෙනෙකුම පන්තියේ සිටි නිසා ගුරුවරයෙකු නැති කාලජේදයක් අපටම ආවේණික ශෛලියකින් යුතු වූ  සජීවි සංගීත ප්‍රසංග කලාව පෙරට ගෙන එන්නට අපි එකල යොදා ගත්තෙමු. සමස්ත ලංකා කථික තරග පිට පිට වසර කීපයක් ජයගත් අපේ සගයෙකුට නිරතුරුව ප්‍රසංග ආමන්ත්‍රණය හිමි වුනි. සංගීත සංදර්ශනයට ගායකයන් නැග්ගවීම සහ බැස්සවීම පමණක් නොව අනුග්‍රාහක භවතුන්ගේ දැන්වීම් ප්‍රචාරයද සිදු විය. එහෙත් මේ දැන්වීම් බොහොමයක් නිවේදකයාගේ පුද්ගලික තරහකරුවන් කිපෙන සුලු ඒවා හෙවත් උන්ට මඩ ගසන වර්ගයේ ඒවාය.

හිටපන්...උඹට මම හවසට වැලි පිට්ටනියෙදි අල්ලන් නෙලන්නම්.... එසේ කීවේ අල පඩයාය.

අඩෝ...උඹ ඉතින් කන්න තමයි....මෙසේ කියා දත්මිටි කෑවේ අපට සිංහල ඉගැන්වූ නන්දාවතී ගුරු මාතාව තිළිණ කල සාඩම්බර නමකින් සන්නද්ධ වු බර්නාඩ්ය.

නම වැටුන කථාවත් කිව යුතුම වර්ගයේ කථාවකි. නන්දාවතී ගුරු මෑණියෝ ඒ වන විටත් අප පාසලේ වසර 30 කට ආසන්න කාලයක් සේවය කර තිබුනි. ශිෂ්‍යයන් ලෙස තමාගේ ගුරු ජීවිතයේ මුල් අවධියේදී ඇයට සමීප වූ ඇතැම් පරණ ගෝලයින්ගේ නම් යොදා එතුමිය හිටිවනම වර්තමාන උන්ද අමතයි...එය අත්වැරදීමකි. එසේ එක් දිනක් ජගත් නම් මේ කොලුවාව එතුමිය ඇමතුවේ, බර්නාඩ්... ඔය පොත අරගෙන මෙහෙට එන්න යනුවෙනි... එදා සිට ඒකා බර්නාඩ් නම් විය.... තවත් දිනෙක ෂ්‍යාම් නම් තවත් එකෙකුට එතුමිය කථා කලේ... ලෙස්ලි මොකද...ඔච්චර කටේ සද්දෙ කියාය.. එදා සිට ඒ අසරණයා ලෙස්ලි නම් විය....

කෙසේ හෝ අපේ 11 F පන්තියේ  සජීවී බජව්ව නැගලා ගියේ අයිය බඩාගේ කවකටු පෙට්ටියේ ඩ්‍රම්ස් වාදනයේ පිහිටෙනි. සිරාගේ දායකත්වය ලැබුනේ ගායනාවන්ටය. එකල පාසලේ ගායනා කණ්ඩායම මවිසින් නියෝජනය කල නිසාම මේ අවස්ථාව මට නිරතුරුව හිමි විය. ඇරත් සිරා අදටත් හොදින් ගීත ගායනා කරන එකෙකි. බොලාට සැක නම් ඔබ මා හමු වූ දිනෙක මගේ සුරතේ කීයක් හෝ ගුලිකර සින්දුවක් කියවා ගන්නට අවස්ථාවක් මම ඔබට දෙමි.  තූර්ය වාදක ඛණ්ඩය තුලත් සයිඩ් ඩ්‍රම් වාදනය කල අයිය බඩා සතුව උපතින් ගෙනා අපූරු වාදන හැකියාවක් විය... ඒ නිසාම පසුකලෙක ලංකාවේ දක්ෂයන්ට පමණක් ඇතුලු විය හැකි නාවික හමුදා තූර්ය වාදක ඛණ්ඩයේ දොරද අයිය බඩා නමින් විවෘත විය.

අද මෙන්ම එකලත් දීර්ග ශාලාවක එක ලග පිහිටි අයුරින් අ.පො.ස සා/පෙ පන්ති පිහිටා තිබුනි. ඇතැම් විටෙක වෙනත් පන්තියක එකෙකු ගෙදර වැඩ කර නොතිබූ පාඩමකට ගුරුවරයා පැමිණ ඇති විටෙක දඩුවම්  මග අරින්නට අපේ පන්තියට වී බජව්වට සම්බන්ධ වෙයි. මේ අයුරින් විවිධ පන්තිවලින්ද  රසියකයන් පැමිණ වට වූ කලෙක බජව්ව උච්චතම අවස්ථාවට එළඹෙයි. අන්න ඒ වෙලාවට කොහේ හෝ සිට ඒ කරා එන චරිතය ඔටුවායි....

උඹලා තාම ප්‍රියාගෙ හදවත ඉල්ලා ගැහුවෙ නෑ නේද...ඒකත් ගහල්ලකො බන්.... රතු හෝ කොළ ටයි පටියකින් හදවත ඉල්ලන්නට ගොස් මුහුණ දුන් සාටර් සිදුවීමක් නිසාදෝ ඔටුවා හැමදාමත් ඉල්ලුවේ ඒ ගීතය පමණමය. නැතිනම් ඒකා වෙන ගීත දන්නේ නැතුවා වන්නටත් පුලුවන.

කෙසේ හෝ සා/පෙ මග ගෙවාගෙන අ.පො.ස උ/පෙ පන්ති වලට එළඹෙන විට අපේ පන්ති වල සිටි බොහෝ උන් විද්‍යාව හෝ ගණිතය හැදෑරීමට ගොස් සිටි නිසා අපි අතර තිබූ සහජීවනය මදක් දුරස්ථ විය. එහෙත් මා සමගම මල් ජංගියා / ඔටුවා / බඩියා / මහා රාණි වැන්නවුන්ද  වාණිජ්‍ය විෂය හැදෑරීමට තෝරාගෙන තිබූ නිසා එතැන් සිටද අපේ මිත්‍රත්වය තවත් දුරකට විහිදින.

සා/පෙ විභාගයෙන් ලද ප්‍රතිඵල අනුව උ/පෙ පන්ති වෙන්කර තිබුනි. ඒ අනුව බුලට් සැට් එක එක පන්තියකය. ඊට මදක් අඩු උන් ඊළග පන්තියේය...මේ අයුරින් පන්ති කාමර 5ක් පමණ වාණිජ්‍ය විෂයට වෙන්වී තිබුනි. ඔටුවා සිටියේ ශාලාවේ කොණටම වෙන්න සිටි පජාතම සැට් එක සිටි පන්තියේය. තත්වය එසේ වුවත් වර්තමාන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු බලකායේ සිටින හිත හොද නිත්‍ය සාමාජිකයකුද ඔටුවා සිටි පන්තියෙන්ම බිහි විය.

මේ කියන පන්තියේ සිටියේ නාහෙට අහන්නේ නැති සොමිබර බුවාලා සැට් එකකි. ඒ පන්තියට ඉගැන්වූ ගුරු වරුන්ද එවැනිම විනෝදජනක පිරිසකි. ඉංග්‍රීසි විෂය ඉගැන්වූ ගුරුතුමෙකු මේ වටිනා කියන පන්තිය භාරව සිටියේය. නමුත් ඔහු උගන්වන ඉංගිරිසියක් නැත. හැමදාමත් වචනයක් දෙකක් දෙසා පන්තියෙන් පැන ගනී. සරසවි කඩඉම ජයගන්නට ඉංග්‍රීසියේ සම්බන්ධයක් නොතිබූ නිසා එය ඉගෙනගැනීමට ඒකලාට උවමනාවක් නොතිබුනා වන්නටත් පුලුවන...එහෙත් නවනිංගිරාව විදින්නට වූයේ පෙර කියූ ගුරු පියාටය....සාමාන්‍යයෙන් වැඩක් නොකර කර ඇර සිටින බුවාලා හදුන්වන්නේ අයිස් ගහනවා යනුවෙනි...එහෙත් මෙතුමාට පන්තියේ සිටි කුපාඩි කොල්ලෝ නම තැබූයේ ගැලැසියර් යනුවෙනි..ඒ අනුව ගුරුතුමාගේ තරම ඔබට සිතාගත හැකි වනු ඇත.

ග්ලැසියර්ට වුවද ඇතැම් දිනයක උගන්වන සිතක් පහල වේ..එහෙත් ඊට හරස් කපන පන්තියේ සිටින වදකාරයන් ඔහුට හිස රදයකි....කොයි වෙලාවෙත් පෑනකින් ඩ්‍රම්ස් ගහනා කොට සංජීවයාද එහෙම එකෙකි. ඒකාට වරක් එතුමා දී තුබූ දඩුවම වූයේ වාණිජ්‍ය අංශය ඉදිරියෙන් තිබූ ගසකට පෑනෙන් නොනවත්වා ඩ්‍රම්ස් ගසන ලෙසයි...මේ පන්තියේම සිට ලයිෂන් චණ්ඩියෙකුට වරක් දුන් දඩුවම වූයේ කොලුවාගේ බෙල්ලෙන් පහළට යැවිය හැකි ලෙස නිර්මාණය කල බ්‍රිස්ටල් බෝඩ් එකක // මම නැවතත් කිසිවෙකුගේ මුදල් බලෙන් නොඉල්ලමි // යනුවෙන් සදහන් කර විවේක කාලයේදී පාසලේ හැමටම පෙනෙන තැනක ඇවිදීමට අවස්ථාව උදා කර දීමයි....එහෙත් පන්තියේ සිටි හොදම කරදර කාරයාට ගැලැසියර් මෙවැනි දඩුවම් දුන්නේ නැත...අයිසෙ මෙහෙ එනවා...තමුසෙ මේ පන්තියෙ හිටියොත් අනිත් ළමයෙක්ටවත් ඉගෙන ගන්න නෑ...අර පබ්ලික් හෝල් එකට අලුත් පිචර් එකක් ඇවිල්ලා...හොද එකා වගේ 10.30 බලලා එනවකො....ආ සල්ලි.... 

තවත් වරෙක ව්‍යාපාර අධ්‍යයනය ඉගැන්වූ පාසලට අලුතින් පැමිණි හුරුබුහුටි චූටි ගුරුතුමියක් පන්තියේ සිර කර පිටතින් අගුලු ලා තිබුනි....ඇගේ ඉල්ලීම් නොසලකා දොර හරින්නට පරක්කු වූයෙන්...අලුත් මිස් හැඩුම් දරාගෙන දිව්වේ ප්‍රධාන කාර්යාලයටය. එහි සිටි විදුහල්පති තුමාට සිද්ධියේ අකුරක් නෑරම  පැවසූ පසු පන්තියේ සියල්ලන්ටම කාර්යාලයට පැමිණෙන ලෙස ඇරයුම් ලැබුනි...ඒ අතර අපේ ඔටුවාද සිටියේය. මුල් ගුරුතුමාගේ වේවැල් කසායෙන් පස්සා  පැත්ත සනහාගෙන එදා ඔටුවා ඇඹරි ඇඹරී ගෙදර ගිය අයුරු මට අද මෙන් මතකය.

කෙසේ හෝ කාලයේ ඇවෑමෙන් මේ ලොව කිසිදිනෙක කිසිවෙකුට වෙනස් කල නොහැකි යථාර්ථයට අපි සියල්ලෝ මුහුණ දුන්නෙමු. උසස් පෙළ පන්තියේ දෑ වසරක් අවසානයේ දශකයකටත් වැඩි පාසල් ජීවිතයට සමුදෙමින් මිතුරන් හා සතුරන් උනුන් වැලදගෙන පාසලෙන් සමුගත් දිනය තවමත් මගේ නෙත් කෙවෙනි අගට කදුලක් එක් කරයි...වර්තමාන සමාජයේ ඉන්නා ආකාරයේ පොතටම ඇලුනු පොත් ගුල්ලන් එදවස අපේ පාසලේ බොහෝ හිග විය. තමාගේ දෙවැනි මව් ලෙස සලකා බොහෝ උන් පාසලට දැඩි සේ ආදරය කලේය...පන්ති කාමරයේ කුමන දඩබ්බර වැඩක් කලත් පාසලේ නම බබලවන්නට බාහිර ක්‍රියාකාරකමකින් හෝ ඉදිරියට ගියහ. ඇතමෙකුගේ පසුකාලීන ජීවන වෘත්තිය බවටද එයම පත් විය. දශක එක හමාරකට පසු අද ආපසු හැරී බලද්දී බාහිර ක්‍රියාකාර කම් සමග අධ්‍යාපනය සමගාමීව කල උන් ජීවන ගමනේ අනෙක් අයවලුන්ට වඩා දුරක් ගොස් ඇති බවක් පෙනේ....

අපේ ඔටුවාගේ කථා වස්තුව ඇරඹෙන්නේ මෙතැන් සිටය...මේ ආරම්භයක් පමණි....පුංචි පියවරක් දිගු ගමනකට මුල පුරයි කියන්නා සේ මේ කථාවෙන් පසු නිසැකවම ඔටුවාගේ ජාතකේ මෙහි දිග හරිමි.




මම කාමරේ වෙසෙන සත්ගුණවත් සිරා කොලුවා.


ප.ලි

අපේ පරම්පරාව අදටත් පාසලට දක්වන්නේ සිය මවට දක්වන තරමේ සෙනෙහසකි. ඇල්මකි.

අපේ බජව්ව ලත් තැනම ලොප් වන අවස්ථාද නොතිබුනා නොවෙයි.... ඒ ආසන්න පන්ති වල ගුරුවරුන් හෝ වසර භාරව සිටි රංජිත් ප්‍රනාන්දු ගුරු පියාගේ ආගමනයෙනි....තදින් බැණ වැදුනාට එතුමා කිසිම කලෙක අපේ කලාකරුවන්ට දඩුවම් කර නැත. ඉහළ ඡායාරූපයේද මේ වටිනා මිනිසා සිටියි.

බජව්වේ නිවේදක තුමා වර්තමානය වන විට ජනප්‍රියම විෂයකට අදාළව  ගම්පහ වැඩිම ශිෂ්‍ය ප්‍රජාවක් සහභාගි වන උපකාරක පන්තියක ගුරුතුමාය...









Monday, December 16, 2013

91 නයා සහ එම්බාම්

මාතොට ආතා වාරු නැති දෙපා ආයාසයෙන් බිම තියමින් හැරමිටියේ වීරියෙන් ඕවිට කෑල්ලට එන විට ඉර මුදුන් වන්නට හෝරා කීපයක් තිබුනේය. නිදහසේ හමාගිය සුළං රොදක දැවටුන අතු ඉති ඒ මේ අත වැනෙද්දී ඇලෙක්සැන්ඩර් තවත්  දුම් උගුරක් ඉහළට ඇද තූ යන හඩින් කෙළ පිඩක් අසල වූ දිය හබරල කොළයක් මතට අත ඇරියෙන්. ඒ අසලම උන් කහ පැහැති සමනලයෙක් හබරල ගාලෙන් මිදී ඉහළට ඇදෙන දසුන දෙස පොඩි එකෙකු මෙන් බලාසිටින්නට ඔහුට හැකි විය.  අනේ ඇත්තට ඒකාට වගේ නිදහසක් මටත් තිබුනා නම්....ඔහුට එසේ සිතෙන්නටද ඇත.

ඇලෙක්සැන්ඩර්... ඇලෙක්සැන්ඩර්..... ඇලෙක්සැන්ඩරයෝ.....

උඹ මොකද බොල මෙතන මේ අහස පොළව ගැටලන්න වගේ කල්පනා කර කර කැවුත්ත පිරෙන්න දුං අදින්නෙ. අන්න අරහෙ මුලු ගමම ඇල්බට් මුදලාලිගෙ ගෙදරට එකදු පහදු වෙලා.

ආනේ...මාතොට මුත්තෙ...බොලා එනවා මට නිනව්වක් උනේ නෑ නොවැ...මං මේ කල්පනාවෙ උන්නෙ අහස් දිය වැටෙන්න තව දෙපෝයක් වත් යයිද කියලා.... දැනටමත් සුනංගුයි. එහා ගමේ ඒබරං ගොයියා මම ටවුම පැත්තෙ පද්දපු  වතාවක මුලිච්චි වෙලා කිව්වා නොවැ උන්ගෙ ගමේ කුඹුරු දැන් මඩවන්නත් පටන් අරං විත්තිය...අපේ ඉරිගේසං ඇළේ වතුර කාන්දුව තමයි මෙදා පාර හෙනේට හිටියෙ....

අනේ හැබෑටම කොලුවො...උඹ කේඩෑරි වීගෙන යනවා දවසෙන් දවස...මක්කට බොනවද බං...ඔය දහ ජරාව...ඔන්න ඔය දුං කූර විසි කරලා ගාටහං විගහට ඇල්බට් මුදලාලිගෙ ඉසව්වට...

හැබෑටම මට මේ වෙන කල්පනාවක හිටිය හින්දා අහන්නත් ඉස්පාසුවක් නැති උනා....මොකෑ ආතෙ කාරණේ.

ඇල්බට් මුදලාලි ගොයියට දෙණිය වත්තෙ පොල් මුරේ කඩවලා ආපහු එන ගමනෙදි නයෙක් දෂ්ඨ කොලාය කියන්නෙ. හීන් එකීලගෙ ගෙවල් මණ්ඩියෙදි. ඕන්න සෙයිලමේ ඉස්පිරිතාලෙට අරන් ගොහිල්ලලු.




හැබෑට...මමත් වතාවක් යන්තමින් බේරුනා නොවැ ඔය කියන හරියෙදිම...ඔය කියන නාගයා බොහොම පතාරියං එකෙක්. මෙන්න ප යන්න....වකුටු කල තම අත්ලෙන් නයාගේ ප යන්නේ පරිමාණය පෙන්වූ ඇලෙක්සැන්ඩර්...අඩියට දෙකට මුදලාලි නිවෙස බලා යන ගමන ආරම්භ කලේය.

මේ කියන පිටිසර ගමේ සිටි ධනවතා මෙන්ම බලවතාද ඇල්බට් මුදලාලිය. ගම්මුන්ගේ දුකේ මෙන්ම සැපතේද එකට සිටි විරල ගනයේ පුද්ගලයෙකු නිසාදෝ ඔහුට මිතුරන් මිස හතුරන් සිටියේ නැත. අඩාදොඩා කණපින්දම් ගසාගෙන එන දුප්පත් ගැහැණියකගේ දරුවකුගේ අසනීපයකට ඇගේ කණකර බඩුවක් කෙරෙහි ලෝභ නොවී මුදලක් අත තබන්නට තරම් තෙත් පපුවක් සහිත තැනැත්තෙකි ඇල්බට් මුදලාලි.

ඒ ආනුභාවයෙන්මදෝ කරන කියන හැම වැඩක්ම උන්දැගෙ වාසියටම හැරිනි. ගෙයි තිබෙන ලොකු වී බිස්ස වසර පුරාම පිරී පවතිනවා සේම මුදලාලිගේ වතුපිටි වලින් මෙන්ම අනෙකුත් මාර්ග වලින්ද ලැබුනු ආදායම් පැටවු ගැහුවේ අහැ පොවන මානයේදීමය. දරුවන් නොමැති වුවත් මේ දෙමහල්ලෝ සතුටෙන් සමාදානයෙන් පවුල් කෑවෝය.

හයියෝ මට තවත් ඉදලා වැඩක් නැතියෝ...මුදලාලි මහත්තයාට මොනවා හරි උනොත් මමත් මැරෙනවා එමලියො...මෙච්චර දොහක්  පවුල් කෑවා...එක දවසක් මට නිය පිටින් පාරක් පතබාලා නෑ මේ උන්දැ...අපිට මේ මොන නස්පැත්තියක් උනාද හැබෑටම....

අනේ හාමිනේ එහෙම හිතන්න එපා....දෙයියො බුදුන් පිහිට වෙලා මුදලාලි මහත්තයා ආයෙත් කකුල් කෙටි දෙකෙන් නැගිටීවි. එසේ කියූ එමලිං ජනෙල් කණ්ඩිය අද්දරට වූයේ ඈතින් එන වාහනයක හඩක් ඇගේ සවනත වැකුණ හෙයිනි.

මල් ශාලාවක පාවිච්චි කරනා ආකාරයේ කලු පැහැති දිග කාර් රථයක් පිටුපස ගමේ කොලු කුරුට්ටෝ රැසක් දුවගෙන එති. ඉතාම කලාතුරකින් වාහනයක් යනෙන මේ ගම්මානයේ මේ දසුන පොඩිහිටියන්ට මෙන්ම වැඩිහිටියන්ටද එකසේ කුහුලක් ගෙන දෙන සෙයකි. පොල්වත්තේ ඈතින් පිහිටි ගේට්ටුවෙන් ඇතුලු වූ රථය නිවස අද්දරට පැමිණෙන්නට වංගු ගනිමින් නයා ගියා බදු දීර්ඝ මගක් ගෙවිය යුතුය. මේ ආගන්තුක දසුනෙන් කැළඹුන නිවසේ හුන් නෑදෑ හිතවතුන් මෙන්ම ගමේ උන්ද දෑස් දල්වාගෙන දැන් දැන් ලග ලග පැමිණෙන රථය දෙස බලා සිටිති.

නිවසේ ආලින්දය අසල නැවතුන රථයෙන් ඉක්මනට බැස ගත්තේ සරම කැසපට කවාගෙන සිටි සිරිදාසයි. ටවුමේ අලුතින්ම ආරම්භ කල පද්මා මල් ශාලාවේ සේවය කරන හෙතෙම මේ ගමේම එකෙකි.

අනේ හාමිනේ දැනුම් දෙන්න එකලාසයක් තිබුනෙ නෑ.....මුදලාලි මහත්තයා තීන්දු ගමන් ගියා කියලා ආරංචි වෙච්ච හැටියෙම තමයි මම ඉස්පිරිතාලෙට බඩගාලා මේ වැඩ ටික ඉක්මනට එකලාසයක් කොලේ.

අයියෝ.......මගෙ දෙයියා....මහා විලාපයක් තබමින් සිහිසුන්ව බිම පත බෑවුනු  මුදලාලි හාමිනේ අස්වසන්නට මැගිලියාට තනියෙන් නම් නොහැක. ශරීරය කෘෂ එකියක වූ ඇය වටිනා කියන ආහාරයෙන් සන්තර්පනය වී සැපවත් ජීවිතයක් ගත කල මුදලාලි හාමිනේගේ විශාලා ශරීරය අභියස කුඩා එකියක් මෙනි....

මොකද බොලව් බලාන ඉන්නෙ...ඉක්මනට වරෙල්ලා....මේ හාමිනේව ඇතුලෙ කාමරේකට ඇන්න යන්න...මැගිලිං...තම ස්වාමි දියණිය කෙරේ පිළිපන් සැබෑ ස්නේහයකින් කෑ කොස්සං ගැසුවාය.

ඇලෙක්සැන්ඩර් මලයො...මෙන්න මේ මෘත කළේබරය ගේ  ඇතුලින් තියලා මේ සැරසිලි ටික කරන්න වරෙංකො සුනංගු නොවී. සිරිදාස වටේ පිටේ හිටි උන් සමග ඇලෙක්සැන්ඩර්ටද ආරාධනා කලේය.

හැබෑට සිරිදාස අයියෙ....ගහක් ගලක් වගේ හිටිය මේ මනුස්සයට මොකද වුනේ බොලං....මට නම් විශ්වාස කරන්නත් බැරි ගානයි...දරුවො නැති උනත් හරිම සමගියෙන් හිටිය ජෝඩුවක් නොවැ....දැන් ඉතිං හාමිනේ කොහොම හිත හදාගනීද මන්දා....

ඒවා එහෙම තමයි මලයො....උන්දැ ගෙනාව ආයුෂ ඉවර වෙන්ට ඇති...

පොඩි එකෝ මෙහෙ වරෙන්....අන්න අර මිදුලෙ තියෙන ඇන්තූරියම් ගස් වලින් මල් ටිකක් කපාගෙන ඇවිල්ලා මේ මල් පෝච්චි වලට දාහං...හොද එකා වගේ...

ඔන්න ඔය ඇත් දල ජෝඩුවත් ගත්තා නං මෙහෙට....

මැගිලියො...

සිරිදාස පුක කැඩුන කඩියෙකු මෙන් ඒ මේ අත දුවමින් විවිධ කටයුතු එකිනෙකාට පවරයි.

හාමිනේගෙ සුදු සාරි තියේ නම් අරං වරෙංකො මෙතන වියනක් බැදලා දාන්න...සිරිදාස තනියම යමක් මුමුණමින් පැවසුවේය.

කවුද සිරිදාස අයියෙ මුදලාලිව ටවුමෙ ඉස්පිරිතාලෙට ඇන්න ගියේ....

අර කන්ද ලග රබර් වත්ත සල්ලි වලට ගත්ත කොළඹ මහත්තැන් කියන්නෙ...අද උදේ වත්ත බලන්න ඇවිල්ලා ඉදලා ඒ තකහනියෙම...ලෙඩා අරන් ඉස්පිරිතාලෙටත්  බඩගාලා.... අපේ ගමේ උන්ට ඉතිං මොටෝ කාර් තියෙන එකක්යැ....

ඒ උනාට වෙද මුහන්දිරම් උත්තමයට කියලා බෙහෙතක් හේතක් කලා නම් මුදලාලිව බේරගන්නත් තිබුනා...ඇලෙක්සැන්ඩර් මිනී පෙට්ටිය යටට වෙන්නට බුමුතුරුණක් අතුරන ගමන් පැවසුවේය.

කොළඹ මහත්තයා තමයි කියලා තියෙන්නෙ...ලෙඩා බේරගන්න ඕනෙ නම් ඉස්පිරිතාලෙ යන එක හොදා කියලා....ඉතිං ගමේ උනුත් එතකොට ඔලුව පාත් කොර ගත්තලු. මට ඔය සංගෙදිය කිව්වෙ වංගුවෙ ගෙදර ඇන්තනියා.

මල්ශාලාවෙන් ගෙනා අඩුම කුඩුම නිසි ආකාරයෙන් ඒ ඒ තැන්හි තැන්පත් කල සිරිදාස...අවසන් වශයෙන් මිනී පෙට්ටිය අසබඩට වන්නට කඩදාසි මල් වලින් යුතු මල් වඩමක්ද කෙළින් කර සිටවා නිවසේ ආලින්දය අද්දරට වන්නට තිබුන සැපතිල්ලා ගසට පිට දී සිගරැට්ටුවක් පත්තු කොර ගත්තේය...ඉදා උඹටත්....

ඇලෙක්සැන්ඩර් සිගරැට්ටුව අතට ගත්තේ සිරිදාස කෙරේ උපන්  අනුපමේය භක්තියකිනි. මාතොට මුත්තාගේ අවවාදය ඔහුට අමතක වූයේය.  හැමදාමත් මුත්තයියා බීඩි දුම ඉහළට ඇද කට කාරවන ජරා රහ යන්නට හිතෙන හිතෙන තැන කෙළ ගසන ඇලෙක්සැන්ඩර්ට මෙය මහානර්ඝ  වස්තුවකි.

කොහෙන්ද බං අයියෙ......

මල් ශාලාවට ආව මහත්තයෙක් දුන්නා බොල....දවල්ට කාලා බොන්න හිටියෙ....උඹත් හිටි හින්දා පත්තු කොලේ.....

මලයො...හනිකට මාටියගෙ රා මණ්ඩියට ගාටමුද...රා සුට්ටක් සප්පායං වෙලා දෙණිය වත්තෙ පීල්ලෙන් දිය ඩිංගිත්තක් ඔලුවෙ හලාගෙන හැන්දැ කොරේ මේ පැත්තට ආයෙම එමු. ගොඩවෙයංකො එහෙනං කාර් එකට....රථයේ පසුපසින් නගින්නට තැත් කල ඇලෙක්සැන්ඩර් දෙස බලා සෝපාසය මුසු වූ බැල්මකින් සංග්‍රහ කල රියදුරු තෙමේ....ඉදිරියට එන ලෙස අතින් සංඥා කලේය.

කොහෙද බොල පිටිපස්සෙ බඩගාන්නෙ...තෝ මිනියක්ද. ?

මෙන්න මෙහෙන් නැගපිය....සිරිදාස බොරු තරහක් ආරූඩ කරගනිමින් පැවසූයේ ටවුමේ එකෙකු වූ රියදුරා ඉදිරියේ කැපී පෙනෙන්නට වෙන්නට ඇතැයි ඇලෙක්සැන්ඩර් පසුව සිතීය.

මේ ගම ගමේ කම පිරුනු ගමක් නිසාම අනාරාධිතවම තම තමන්ට කාර්යයන් පවරාගෙන ගම්මු වැඩෙහි යෙදෙති. සමහරු ගොක් කොළ තොරන්...ඉදිකරන්නට ගොක් කොළයක් කපන්නට පොල් ගස් බඩ ගාති. කාන්තාවෝ ඒ මේ අත ඇවිදිමින් වැඩෙහි යෙදෙන උන්ට තේ කහට ටිකකින් හෝ බෙලිමල්, රණවරා කෝප්පයකින් හෝ සංග්‍රහ කරති. මේ ඇසිල්ලේ නිවසට පැමිණියේ වයෝවෘද්ධ මුත් තේජස් පෙනුමක් ඇති ගමේ වෙද මුහන්දිරම් උත්තමයාය.

කවුද යකෝ.....මේ රටක් වටින මිනිහෙක්ව බලෙන්ම වල පල්ලට යැව්ව බැල්ලිගෙ පුතාලා......නිවසේ උළු උඩ යන තරමේ හඩකින් එක්වරම සලිත වූ ගම්මු භය පක්ෂපාතව වෙද මුහන්දිරම් වටා එකතු වූහ.

ඒ කිව්වෙ වෙද මහත්තයො....

දෑසින් නැගුන කදුලක් පිටි අල්ලෙන් පිස දමමින් මුදලාලි හාමිනේ මහත් ආයාසයකින් වෙද මහතා කරා ආවාය.

මේ අපේ මුදලාලි තවම තීන්දු ගමන් ගිහින් නෑ... සිහිනැතිවෙලයි මේ ඉන්නෙ...පරම්පරාවෙන් මට ලැබිලා තියෙන සාස්තරෙන් මම පෙන්නන්නම් වරුවෙන් දෙකෙන් මේ මනුස්සයව දෙපයින් හිට්ටවලා....උඹලා ඔලුව ඉදිමිච්ච උන් වගේ සුද්දගෙ බේත් හේත් පස්සෙ දිව්වට ඒවට කරන්න පුලුවන් කෙං ගෙඩියක් නෑ බොලව් නාගයො දෂ්ඨ කොලාම.

තේජස් බැල්මෙන් ඒ මේ අත බලමින් දකුණතේ වූ බස්තම බිම හප්පමින් උඩට කැරකවූ රැවුළ අතපත ගාමින් වෙද මුහන්දිරම් උන්නාන්සේ කියන දෙයක් නොකර සිටින්නට ගම්මුන්ට නොහැකිය.

තවත් මොනවද යකුනේ බලාන ඉන්නෙ....මේ මනුස්සයට තවත් අගෞරව නොකර සුනංගු නොවී බාවපල්ලා ඇදක් උඩ. රට වෙද්දු  පස්සෙ දුවන්නෙ නැතුව මා ගාවට එක එල්ලේ ඇන්න ආවා නම් මෙළහකටත් මුදලාලිව කෙළින් කරලා....

ඉක්මනින් මේ බෙහෙත් කාණ්ඩෙ හොයාගෙන වරෙව්....තමාට ආසන්නයේ උන් ගම්මුන් ඇමතූ වෙද මහතැන අතේ වූ කොළයක ලියා තිබූ ලැයිස්තුවක් ඔවුනට දැක්වූයේය.

තොපි හැකි ඉක්මනින් එන තරමට ලෙඩාට ගුණයි. එහෙ මෙහෙ නඩලං ගහන්න තනනවා නෙමෙයි.

අනේ වෙද දෙයියො.....මගේ දෙයියව ආයෙත් ජීවත් කරවලා දුන්නොත් ඔබ තුමාට බුදු බව අත්වෙයි. දණින් වැටී තම දෙපා අල්ලා සිටින වෙද හාමිනේ දෙස බලා ඇගේ හිස මත අත තැබූ වෙද මුහන්දිරම්....

නැගිටින්න හාමිනේ...මොකෑ මේ....පරම්පරාවෙන් මට දායාද වෙලා තියෙන දේ තමයි මම මේ කොරන්නෙ....මට මේ ගමේ කොයි මිනිහත් එකයි...අසරණයාට පිහිට වෙන්න කියලා තමයි මේ දේවල් පුරාණයේ ඉදලම අපේ මුතුන් මිත්තො පරිස්සං කරලා ඇන්න දීලා තියෙන්නෙ.

කඩි ගුලක් මෙන් හදිසියේ ඇවිස්සුන මුදලාලි නිවසේ වූ ගැමියෝ බෙහෙත් බඩු සොයා බැද්ද පීරති...සමහරු කසාය උණු කරන්නට විශාල ලිපක් සාදති. අලුත් බලාපොරොත්තුවකින් විකසිත වූ මද සිනහවක් සමගින් මුදලාලි හාමිනේ ඒ මේ අත ඇවිදිමින් සෑම දෙයක්ම සොයා බැලුවාය.

මැගිලිං...මේ වැඩ කරන මිනිස්සුන්ට බත් ඩිංගක් කන්න දෙන්න පිළිවෙලක් යොදපං...

එහෙමයි හාමිනේ.... බිමට නැමුන හිසින් යුත් මැගිලිං....මුදලාලි නැවතත් ජීවතුන් අතරට එන සිහිනය දකිමින් කුස්සියේ ඔබ මොබ ඇවිද්දාය.

......................................................................................................

සිරිදාස අයියා...බොට දැන් ජය පාටයි....

රා පොලේ මාටියා කැන්ද කොළයක තබා සම්බෝල සහ තැම්බූ මයියොක්කා කැබැල්ලක් සිරිදාස වෙත ලං කරමින් කීවේය.

උඹ ඇයි එහෙම කිව්වෙ...ඇස් හීන් කරමින් මාටියා දෙස බලා සිරිදාස ඇසුවේය.

නෑ ඉතිං...දැන් මොටෝ කාර් වල යන එන මහත්තැන් කෙනෙක් නොවැ.....

හා හා....සිරිදාසගේ මුවෙන් හදිසියේ එළියට පැනගත් හිනාව නිසාදෝ කටට වත්කර ගත් රා, රා පොලේ ඒ මේ අත විසිර ගියේ මල් වෙඩිල්ලක් පිපිරුනු අයුරිනි.

උඹ තව පොඩ්ඩෙන් මාව හිනස්සලා මරනවා මාටියො....මිනී අදින වාහනේ එල්ලිලා ගියා කියලා මම කොහොමද බොල මහත්තැන් කෙනෙක් වෙන්නෙ...ටවුමෙ ඉස්පිරිතාලෙ පැත්තෙ ගාටලා මිනියක් දෙකක් බදොයියගෙන ආවොත් තමයි අපේ ලොකු මුදලාලි මට කියලා කීයක් හරි මිට මොළවන්නෙ...

හැබෑට.... මත් ගතිය නිසාවෙන් බොදවී පෙනෙන සිරිදාසගේ රුව පැහැදිලි කරගැනීමේ අටියෙන් එක් ඇසක් තම අතින් ඈත් මෑත් කරන ගමන් ඇලෙක්සැන්ඩර් විමසුවේය.

දැන් හෝරා දෙක තුනකුත් ගත වුනා නෙව...එහෙනං අදට අහවරයි මාටියො...පංකාදු පහයි රා සුට්ට...නැද්ද බොල ඇලෙක්සැන්ඩරයො.

නැත්තං නැත්තං...මාටියා මිසක් වෙන කොයි එකාද මෙහෙම රහට ගිලින්න රා සුට්ටක් දෙන්න ඉන්නෙ මේ ගමේ....

පීල්ලෙන් නාගෙන මළ ගේ පැත්තට යමු මලයො....මාටියො රෑ වෙලා ගාටහං ඒ පැත්තට....මම වියදම එහෙදි පියවන්නං....

ආ...ඒක කොරගන්න බැරියැ සිරිදාස අයියෙ..... මාටින් රා බොන්නට තැබූ පොල්කටු කිහිපය එකතුකරමින්ම පැවසුවේය.

ඇල්බට් මුදලාලිගේ නිවස්නය වෙත නැවතත් පැමිණෙන විට සිරිදාසට මළ ගෙයක සිරියක් පෙනෙන්නට නොතිබුනේය....

නෙදකිං අවලං හැත්ත....මුන්ට මම පවරලා  ගිය එක වැඩක් කරලා නෑ...කපාගෙන ආව ගොක් අතු තාම ඒ තැන් වලමයි...අනේ ඇත්තට මුං වගේ ශරීර හොරු....

රා මත තවමත් සම්පූර්ණයෙන් පහව ගොස් නොමැති නිසාම දෙපසට පැද්දෙමින් පැමිණි සිරිදාස ආලින්දය අද්දර සැපතිල්ලා ගසට පිටදී තවත් මොහොතක් ගත කලේය. පිල්ලෙන් නා කියා ගත් පසු නැවතත් නිවසට ගොස් පැමිණෙනවා කියූ ඇලෙක්සැන්ඩර් එන්නටත් තව මොහොතක් ගත වෙනු ඇත.

කෝ යකෝ සාලෙ කෑල්ලෙ තිබ්බ මිනිය....සිරිදාසට එක් වරම කියවුනේය....තමා මේ දකින්නේ සිහිනයක්දෝයි සිතමින් සිරිදාස තම දෙ ඇස් පිස දමා නැවතත් ඒ දෙස බැලුවේය.

නිවස ඉදිරිපසින් කිසිම හාවක් හූවක් නැත. එහෙත් ඇතුල් කාමරයකින් කථා බහක හඩ මෙන්ම නිවසේ පිටුපස පෙදෙසින් ඉහළට නැගෙන දුම් කදක සේයාවකුත් අඩ අදුරේම සිරිදාසට පෙනෙයි.

සැපතිල්ලා ගසෙන් මෑත් වී නැවතත් ගමන ඇරඹූ සිරිදාස එවර සියල්ලන් රැස්ව උන් ඇතුල් කාමරය දක්වාම ඇදුනේය.

දැන් පොඩි ගුණයක් තියෙනවා නෙවෙද රාළහාමි....

යකුනේ තොපිට කී සැරයක් කියන්නද....මේ ලෙඩාට හුස්මක් කටක් ගන්න පුලුවන් වෙන්න පොඩ්ඩක් ඈත් මෑත් වෙලා අල්ලන කස්තිරමක් අල්ලපියව්කො.....

අර ඒදන්න කිව්ව කැද සුට්ට රත් වෙලා අහවරද හාමිනේ....වෙද රාළහාමිගේ කටහඩ නිවසේ රට උළු වහලයේ වැදී තම දෙකන් තුලට රිංගනවා මෙන් සිරි දාසට දැනේ...

මේ ඇන්න එනවා රාළහාමි.....මැගිලිං...ඔය කැද ඩිංගිත්ත ලිපෙන් ඈත් කරලා සුනංගු නොවී රස්නෙ අඩු කරලා මෙහෙට ගෙනෙන්....මුදලාලි හාමිනේද දැන් සිරිදාසගේ දසුනට හසු වෙයි.

මේ මොන අටමගලක්ද යකෝ මේ....යනුවෙන් තමාටම කියා ගනිමින් ඇල්බට් මුදලාලි බාවා තිබූ ඇද අසලට සිරිදාස  ලං වූයේය. කාමරයේ වූ ජනෙල් රෙදි අතරින් කොලු නාම්බෝ  මෙන්ම වැඩිහිටියෝද බිත්තියට එපිටින් හේත්තු වී බලා සිටිති.

කොට්ටය පිටින්ම ඉහළට ඔසවා ගත් මුදලාලිගේ හිස තමාට වත්තම් කර ගනිමින් වෙද රාළහාමි මුදලාලිට කැද පොවයි...තවත් ගැහැණියක් මුදලාලිගේ දෙපයේ  තෙල් වර්ගයක් උලයි....ඊට අමතරව සර්පයා දෂ්ඨ කල තැන බැද තිබූ විශාල බෙහෙත් පොට්ටනියකි.

කැද බිදක් පොවා වට පිට බැලූ වෙද මහතාගේ දැක්මට සිරිදාස හසු වූවේය.

උඹ මොකද ලෙඩා දිහා මූකලං බස්සෙක් වගේ  බලාන ඉන්නෙ සිරිදාසයො...මාටියා ලගින් පැලුන රා ගද මෙහෙට්ට එනවා....ඈ යකෝ... කථා කරපිය...

නෑ නෑ....වෙ වෙද......කියන්නට ආ දෙය උගුරේ හිර වී හඩ එළියට ආවේ නැති විත්තිය සිරිදාසට වැටහුනේය.

මොකද උඹ ගොළු වෙලාද ? වෙද රාළහාමිගේ රකුසු දෙනෙත් තමා වෙතම යොමු වී ඇති අන්දම දැක යම් කැලඹීමක් සිතේ ඇති වුනත් මෙවර නම් කියන්නට ඇති දෙය කියනවාමයි....සිරිදාස එසේ සිතා කට ඇරියේය.

වෙද රාළහාමි...ඔය පොවන කැදවල තියෙන සාරය ඇගට උරාගන්නෙ  මුදලාලිගෙ බොකු බඩවැල් වලින් නේද ?

නැත්තං මුදලාලිගෙ අහවල් එකෙන්ද බොල..

මම ඒ ටික හනික ගොහින් ඇන්න එන්නම් එහෙනං....දවාලෙ එම්බාම් කරපු වේලෙ අපේ පීටරයා මුදලාලිගෙ බොකු බඩවැල් එළියට ඇදලා පෝර කවරෙකට ඔබනවා මගේ මේ ඇස් පනාපිට මම දැක්කා.




මම කාමරේ වෙසෙන සත්ගුණවත් සිරා කොලුවා.



ප.ලි

මෙවැනි සිදුවීමක් ඇත්තටම සිදු විය හැකිද ? ඒ ගැන මා දන්නේ නැත....මා කුඩා කල ගැමුණු විජේසූරිය නම් පසුකලෙක නැසීගිය අසහාය කළාකරුවා විසින් මෙහෙයවූ ගුවන් විදුලියේ විකට වැඩ සටහනකින් මතකයේ රැදුනු සිදුවීමක් උපයෝගී කරගෙන මේ කථාව මට රිසි ලෙස ලියූ බව පමණක් සිතනු යෙහෙකි.

රහට ලියන උන් බ්ලොග් අවකාශයේ වද වී යන කලෙක...ඒ අඩුව පුරවන්නට පැමිණි මගේ පාසල් මිත්තරයෙකුද වන කලු ජෙමාගේ අතින් ලියවුන වීරයාගේ කථාව මෙවැනි යමක් ලියන්නට මා හට කැමැත්තක් ඇති කරවීය. ඔබත් ඒ ඉසව්වට ගොස් ජෙමාගේ කථාවක් කියවා ඒ රස විද බලන්න..දිගටම බ්ලොග් ලියන්නට ඔහුටද ධෛර්යයක් වන්න.

මෙහි ඇති බස් වහරේ මා හසලයකු  නොවුවත් ඉන් ජනිත වන රසයට මම අතිශයින් ඇළුම් කරමි. ඒ නිසාම මගේ ලියවිලි වල බොහෝ විට මෙහි එන වචන ඔබ කියවා තිබේ....මෙවර මේ කථාවේ රස වැඩිකර ගැනීමට මම ඒ පිළිබද ප්‍රවීනයකු හා දොඩමළු වූයෙමි. හේ අම්පාරේ චන්දන ලියන ආරච්චි නම් පුවත් පත් කලාවේදී හිතවතා වෙයි. කාර්ය බහුල පැයක මා හා දොඩමළුව කථාවෙහි අඩුපාඩු අවම කල නිසාම මගේ ආදර ස්තූතියි ඔහුටද හිමිවෙයි.


































Thursday, December 12, 2013

89 මල් ජංගියා කෑවෝ....

ඒ, විවේක කාලයෙන් පසු එළැඹි  කාලපරිජේදයක් විය යුතුය. මැංගුස් ගහ යට 10 F පන්තියේ සියල්ලෝ ගණිතය විෂය උගන්වන දිසානායක ගුරුපියාට ඇහුම් කන් දෙමින් සිටි අවස්ථාවකි. අපේ සෑර් හිත හොද කෙනෙකු වුනත් කෝපාග්නියෙන් දැවෙන කල දිගට දිගේ ඇති දෑත් විදුලි වේගයෙන් ක්‍රියා කරන හෙයින්දෝ පන්තියේ උන් ගණිතය උගන්වන වේලාවට බොහෝ කීකරුය. හරිම සංවරය. ගෙදර වැඩ ගෙදරදී කරගන්නට බැරි උනත් වේලාසනින් පාසලට පැමිණ අනෙකෙකුගේ යමක් හෝ කොප්ප ගැසීමට තරම් නුවණක්කාරයෝය.


බැරිවෙලාවත් කලුලෑල්ලේ යමක් ලියලා ආයෙත් පන්තිය පැත්තට හැරෙනකොට වෙනත් අවධානයක් සිටින කොලුවෙකු දුටුවහොත් අපේ සෑර් අතේ ඇති හුණු කැටයෙන් ඒකා වෙත ප්‍රහාරයක් එල්ල කරයි. එහෙමත් නැත්තං...උඹ මේසෙ අස්සෙ තියාගෙන කෙල්ලන්ට ලියු කරදහියක් ලියනවාදැයි...කෝචොක් හඩින් සිනාසෙමින්ම අසයි. එවන් විටෙක ඒ සිනහවට එක්වන පන්තියේ කටකාරයන්ගේ සිනා හඩත් මහා හඩක් ලෙස ඉවතට ගලා යන විට කෝපයෙන් යුතුව බලනා එක බැල්මකින් ඒ සියල්ල නිහඩ කරගැනීමට හැකි අපූරු හැකියාවකින්ද එතුමා සන්නද්ධ විය.

හිටපු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක කපිල් දේව්ගේ පෙනුමට බොහොම සමාන නිසාම වරත්තු කොල්ලෝ අපේ සෑර්ට කපිල් දේව් නම් විකට නමක් පටබැද තිබිනි. මේ කියන කපිල් දේව් සෑර් දිනක් අත දිග හැර සත්ගුණවත් සිරා කොලුවාගේ පිට මැද කලාපයේ ශක්තිය උරගා බැලූ අවස්ථාව පිළිබද මම කාමරේ දොර විවෘත කල අවදියේම සටහනක් එක් කර තිබේ. එය නොකියවා ඇති ඇත්තන් නිදහස් වේලාවක එයද කියවා බලන්න.

අපේ පාසල නගරයේ තිබූ  හොදම මෙන්ම එකම බාලක පාසලයි. ශිෂ්‍යත්වයෙන් ඉහළ ලකුණු ලබාගෙන බාලාංශයක් නැති මේ පාසලේ 6 වසරට ඇතුල් විය යුතු හෙයින්ම ශිෂ්‍යත්ව උද්යෝගයෙන්ම මුල් අවුරුදු දෙකක පමණ කාලය ගෙවෙන්නේය. එහෙත් ඉන් පසු මේ අලුත් සමාජයේ අලුත් අත්දැකීම් සමග ඕනාවට වඩා පයුරු පාසානම් පවත්වන්නට යන ඇතමෙක් මන්දෝත්සාහී වන විට ගුරු දෙවිවරුන් යැයි කිව හැකි මේ ගුරුවරුන් එදා අපේ පුක පැත්තට කිසිම ලෝභ කමකින් තොරව පහරක් දෙකක් ගසා හෝ නිවැරදි මාවතේ ඉදිරියට රැගෙන යාමට දැරූ උත්සාහය මෙය ලියන අවස්ථාව වන විටත් මට ගෞරවනීයව සිහිපත් වෙයි.

අපේ පාසලේ අභ්‍යන්තර ශබ්ද විකාශන පද්ධතියක් තිබුනත් එක් වසරකට හෝ දෙකකට පමණක් දැනුම් දිය යුතු පණිවිඩයක් වූ කලී පන්තියක් පන්තියක් ගානේ පණිවිඩකරුවෙකු යැවීම තමයි සිරිත. බොහෝවිට මෙසේ පණිවිඩ යැවීමට අවශ්‍යතාවක් පැන නගින්නේ සිසුන්ගේ බාහිර ක්‍රියාකාරකම් සම්බන්ධ කාරණා නිසාවෙන්ම පණිවිඩකරුවා හැමවිටම වෙනත් පන්තියක හෝ අප පන්තියේම ඉගෙන ගන්නා සිසුවෙක්ම තමයි.

මේ කියන කාලෙ වෙද්දි අපේ දිසානායක සෑර් බෑන්ඩ් කාමරේට රිංගලා ඒකෙ ඇතුලෙ බූරු ගහපු උන්ට නෙලලා බෑන්ඩ් ගහන උන් එක්ක ඌරු ජුවල් ඇතුව හිටි කාලයක් හින්දා එතුමා කොහේ හරි පන්තියක උගන්වන වෙලාවට බෑන්ඩ් එකේ විශේෂ පුහුණුවීමක් හරි රැස්වීමක් හරි දැනුම් දෙන්න කිසිම ජගතෙක් ඒ පන්තියට ගියේ නෑ.

අපේ අද කථා නායකයා වෙන මල් ජංගියා මගේ පන්තියේ  උසස් පෙළ අවදියේ හිටියත් මේ කියන කාලයේ වෙනත් පන්තියක තමයි හිටියෙ. මල් ජංගියාට ඒ වගේ ඉස්තරම් නමක් ලැබුනු විදිය ගැන නම් මම කවදාවත් අහලා නෑ..මේ කුණු නම ප්‍රසිද්ධ තැනක කියන්න බැරි හින්දම කොල්ලෝ ඒ වගේ තැනකදි  කථා කලේ මල් කියලා. පොඩි කාලෙදි දායාද වෙච්ච මේ කැත නම දරාගෙන උසස් පෙල පන්තියෙ හිටිය කාලෙදි උනත් මගේ මිත්තරයා කිසිම ලෙසකින් උරණ වුනේ නෑ ඒ නමින් ඒකව අමතනවට...

අපේ පාසලේ බාහිර ක්‍රියාකාරකමක නියැලෙන්නෙ නැති ළමයින්ට යමක් අනිවාර්යෙන්ම කරන්න කියලා කාලයක් නීතියක් පැනවුනා. අන්න ඒ කාලෙදි බෑන්ඩ් ගහන්නත් කීප දෙනෙක් ඉදිරිපත් වුනා. අපේ කණ්ඩායමට අලුතින් සාමාජිකයො ගන්නෙ වසරකට එක වතාවක් පමණයි. ඒ නිසා අලුතින් සැට් එක ගන්න අවශ්‍යතාවක් ආවොත් මගේ නමත් දීහන් කියලා මල් වේලාසන මට කියලා තිබුන නිසා මම කොහොම හරි මේ කොලුවව බෑන්ඩ් එකට ඔබලා දැම්මා....

තූර්ය වාදක ඛණ්ඩයට අලුතින් කෙනෙක් ආ විගස පුහුණුවීම් කරලා අපේ ඉදිරිපත් කිරීම් වලට ගන්න බෑ...ඒ සදහා සෑහෙන කාලයක් වගේම ලොකු පුහුණුවකුත් අවශ්‍යයි. ජීවිතේට අතපත ගාලා නැති වාදන භාණ්ඩයක් මුල ඉදන් ඉගෙනගන්නවා කියන්නෙත් වෙහෙසකාරී කටයුත්තක්. ඉතින් එවැනි නවකයින්ගෙන් අපි ගත්ත ප්‍රයෝජනය තමයි කලින් කිව්වා වගේ පණිවුඩ සේවය. එහෙමත් නැත්තං පණිවිඩකරුගේ  භූමිකාව රගන්නට අවස්ථාව ලබා දීම.

ඔන්න ඉතිං අපේ මල් ජංගියත් බෑන්ඩ් ගහන්න...ඒ පවුලෙ සාමාජිකයෙකු වෙන්න තියෙන ආශාව හින්දම මේ අලුත් රාජකාරිය බාර ගත්තා. තූර්යවාදක ඛණ්ඩයේ ඒ දවස් වල නායකත්වය දැරුවෙ උසස් පෙළ කරලා නිවාඩු පිට හිටිය ලොකු අයියා. හදිසියේ යමක් සාකච්ඡා කල යුතු වෙලාවක ඕනෑම බාහිර ක්‍රියාකාරමක නියලෙන අයෙකුට ඒ අදාළ කාමරයට යාමට පන්ති කාමරයෙන් නිදහස් කරන්න කියලා විදුහල්පතිතුමාගේ අත්සනින් යුතු ලියවිල්ලක් පන්තිකාමරයේ ඒ අවස්ථාවේ උගන්වමින් සිටින ගුරුභවතට ලබා දෙනවා. එහි ඒ ඒ බාහිර ක්‍රියාකාරකම බාරව ඉන්න ගුරුවරයාත් අත්සන් කල යුතුයි.

ඒත් ඉතිං අපේ ලොකු අයියගෙ වෙනස මේ අත්සන් දෙකම එයා ගහලා සීල් එකක් නැතුව තමයි ලිපිය යවන්නෙ....පණිවිඩය අරගෙන එන දූතයාම මේ ලිපි කියවන නිසා එතෙක් ගැටලුවක් ඇති උනෙත්  නෑ...සමහර වෙලාවට පන්තියෙන් එළියට යන්න ඕනෙ කෙනාගෙ නමත් එක්කම මේ ලිපි කියවුනත්...ඒ කණ්ඩායමම නියෝජනය කරන අපේ නම් නොකියවුනත්...කොහොම හරි බලෙන්ම එලියට පැන ගන්න තමයි ඉතිං ඒ දවස් වල අපේ හිත් මාන බැලුවෙ.

ඔන්න දැන් අපි මේ පෝස්ටුවෙ උඩම හරියට ආයෙමත් සම්බන්ධ වෙනවා...දැන් කවුද මැංගුස් ගහ යට F පන්තියෙ ගණිතය උගන්වන්නෙ......අපේ දිසානායක සෑර්...හෙවත් කපිල් දේව්. පන්තියෙ ඉන්නෙ බටහිර තූර්ය වාදක ඛණ්ඩ සාමාජිකයො 3 දෙනයි. ඒ අයියා බඩා, සිරා සහ දිනීර.

අපේ සෑර්ගෙ බෑන්ඩ් එකට තියෙන අකමැත්ත නොදැන මල් ජංගියා ඔන්න පන්තිය ලගට ඇවිල්ලා...පන්තිය ඇතුලට එන්න අවසර පතනවා....

Excuse me Sir.........

මොකක්ද කාරණේ....සෑර් උපැස් යුවලට යටින් බලලා එහෙම ඇහුවා.....

මේ බෑන්ඩ් එකෙන් පණිවිඩයක්...

වෙස්ටර්න් ද ? ඊස්ටර්න්ද ?

වෙස්ටර්න්....

ආ...එහෙනම් එනවකො බලන්න පන්තිය ඇතුලට....

මල් ජංගියා චකිතයකින් තොරව....අතේ ඇති ලියමන කියවාගෙන කියවාගෙන ගොස් අවසන් කරයි.

දැන් කවුද මේ නම් තියෙන අයට එන්න කියලා කිව්වෙ....

එන පොට හොද නැති බව මගේ අක්මාවට දැන් දැන් දැනේ....

බෑන්ඩ් එකේ අයියා තමයි එන්න කිව්වෙ...

එහෙම එන්න එන්න කියන තැන් වලට මගේ පන්තියෙ ළමයි යවන්න බෑනෙ....කෝ දෙනවා බලන්න ඔය ලියමන... කෝ මේකෙ විදුහල්පතිතුමාගෙ සීල් එකත් නෑනෙ...අත්සන් දෙකේම තීන්තයත් එක වගේ...

දැන් නම් වදින්න ගිය දේවාලය ඉහේ කඩා වැටෙන්නට ආසන්න බව පෙර සසරේ කල පිංකමක් නිසාදෝ දැනුනු මල් ජංගියා.... එහෙනං සෑර් මම යන්නම්...කියමින් මාරු වෙන්නට තැත් කොරයි...

මෙහෙ එනවා....ගිහිං අයියට කියනවා...ඌට ඕනෙ ඕනෙ වෙලාවට ළමයි එවන්න මේක අම්බලමක් නෙමෙයි කියලා....ආයෙ මම ඉන්න වෙලාවට මේ කොළ කෑලි උස්සගෙන එනවා එහෙම නෙමෙයි. හ්ම්....හැරෙනවා මෙහාට... එහෙම කියලා අපේ දූතයට දුන්නා නේද කණ රත්වෙන්න පාරක්....අනේ  අපේ මල් ජංගියා. එකම පවුලෙ එකෙක් හින්දා ඒ පහර මටත් වැදුනා වගේ දැනුනා....

මල් ජංගියා කෑවෝ....කියලා පන්තියේ පිටිපස්සෙන් ඒ එක්කම වගේ හඩක් නැගුනෙ කැනා කියලා විකට නමක් තිබුන එකෙක්ගෙ ශ්‍රී මුඛයෙන්....

කවුද බොල ජංගියා...මෙහෙ වරෙන් කියලා මිනිහවත් ලගට ගෙන්නගත්ත අපේ සෑර්...උගෙත් ඇගේ ශක්තිය මදි කියලා හිතුන තැනක් බලලා වේගවත් ප්‍රහාරයක් එල්ල කොරලා ඒ බව සැක හැර දැනගත්තා. එදායින් පස්සෙ බෑන්ඩ් එකේ කිසිම දූතයෙක් ගණිතය පාඩම වෙලාවට අපේ පන්තිය පැත්ත පළාතක ආවෙ නෑ.

කථාව ඒ විදියට වැඩිය දුර දිග නොයවා ඉවර කලේ අද මට තවත් කථාවක් කියන්න තියෙන නිසයි. මේ වෙද්දි බොහෝ අය මේ කථාව අහලා ඇති...ඒත් මටත් මේ ගැන ඔබට කියන්න යුතුකමක් තියෙනවා කියලා හිතුන නිසා ඔන්න මමත් කියනවා...

බ්ලොග් ලියන කියවන ඔබ හැමෝගෙම සුහදතාව වර්ධනය කරන්න වසරින් වසර විවිධ වැඩසටහන් කරළියට එනවා. get-together  යන වදනින් බිදිලා ආව මේ වචනය බ්ලොග් අවකාශයට අවශ්‍ය විදියට හැඩකරලා අපි කියන්නෙ ගෙට්ටුව කියලා. ඒ අනුව මේ වසරෙ මුල්ම මාසෙ ගම්පහදි පවත්වපු ගෙට්ටුව ගැන ඔබට මතක ඇති. එහි සංවිධායකයන්ගෙන් කෙනෙකු ලෙස මට මතකයි එදා එයට සහභාගි වෙන්න නොහැකි වූ අය ඒ පිළිබද විස්සෝප වූ ආකාරය. මෙදා පොටේ මේ වසර අවසන් කරන්නෙත් ගෙට්ටුවකින්...එය කලින් පවත්වා නැති ආකාරයේ වෙරළ තීරයකදී පැවැත්වෙන අමුතුම ගෙට්ටුවක්.....දිනය දෙසැම්බර් 21 වෙනිදා... තැන  ගල්කිස්සෙ ජො ජො ස් ප්ලේස් කියන අවන්හල අසල වෙරළ තීරය. රාත්තිරියට ගිණිමැලයක් ගහලා තවත් වැඩසටහනක් තියෙන බවකුත් ආරංචියි.  සිරා ලංකාවෙ ඉන්න කාලෙදි ඔය කියන තැනට කීප වතාවක්  ගිහිල්ලා හීනියට සොමියකුත් දාලා තියෙන නිසා මම දන්නවා තැන...බොහොම සුන්දර ස්ථානයක්...ලස්සන වෙරළ තීරයක්...අවශ්‍ය පහසුකම් සියල්ලත් එතැන තියෙන නිසා චකිතයකින් තොරව කාන්තා පිරිමි හැමෝටම මෙයට සහභාගි වෙන්න පුලුවන්. බ්ලොග් ලියන, කියවන හැමටම විවෘත මේ අවස්ථාවට එක් වෙලා බ්ලොග් අවකාශය තුල ඇතිකරගත්ත ඒ බැදීම තවත් ශක්තිමත් කරගන්නා හැටියට සිරා කොලුවා වන මම ඔබෙන් ඉල්ලා සිටිනවා.

මෙදා පොටේ මට යන්නට නොහැකි වුවත් යන්නට හැකි ඔබේ අවධානයට ඒ තොරතුරු යොමුවිය යුතුයි. මේ ගෙට්ටුව පිළිබද වැඩිදුර තොරතුරු මෙතැනින් කියවා දැනගන්න. එහෙනං ඔබ සැමටම බොහොම සතුටුදායක ගෙට්ටුවකට ආසිරි. ගෙට්ටුවේ වර්ණවත් මඩ ෆොටෝ දකිනතුරා ඇගිලි ගනිමින් සිටිමි. ඒ කටයුත්ත වල් රජාට නිතරගයෙන් හිමි වෙයි.

මේ තියෙන්නෙ ජනවාරි මාසෙ ගම්පහදි අපි පවත්වපු ගෙට්ටුවේ මතක සටහන් කීපයක්...මාස ගණනාවකට පසුව උවත් මේ ඡායාරූප පෙළ නැවත දකිනකොට අපි එදා ගත කරපු ඒ සුන්දර දවස තවත් සුන්දරව මට අනුස්මරණය වෙනවා. ඔබත් කැමතිද මේ සතුට ආයෙමත් විද ගන්න ?

සමකය වටේ නලින් අයියගෙ හිතවතා...අම්පාරෙ චන්දන තමයි මේ ඡායාරූප සියල්ල එකතු කරගෙන මේ විදියට අන්තර්ජාල ගත කලේ...ඔහුටත් මගේ ස්තුතිය.




මම කාමරේ වෙසෙන සත්ගුණවත් සිරා කොලුවා.


ප.ලි.

බ්ලොග් අවකාශයේ මට සිටින අතිජාතයින් අතරින් කෙනෙකු වන කබු නායක සෑමාට ප්‍රීතිමත් විවාහ ජීවිතයක් උරුම වෙන්නට පතමි. 









Sunday, December 8, 2013

135 පොලිසිය සහ හැංගිමුත්තන්

මේ පැත්තට තමා ආවෙ...අත අරින්න නරකයි. ඌ කවුරු කියලා හිතුවද දන්නෙ නෑ අපි දෙන්නා....පොලිස් නිලදරුවන් දෙදෙනෙකු පොලිස් බයිසිකලයකින් අල්ලපු ගෙදර පිළිකන්න දිගේ පසුපසට යන භීතිය කැටි වූ ත්‍රාසජනක දර්ශනයක් දැකලා තමයි කාමරේ උන්න සිරා කොලුවා එළියට පැන්නෙ.

ඡායාරූපය asiafoundation.org

හත්වලාමෙ මේ මොකද මේ...කාන්තා දූෂණයට නම් දරාපු උන් වත්, කසිප්පු පෙරන, මාල කඩන, කුඩු විකුණන උන් වත් අපේ ගමේ නැති කොට මොකද මේ පොලෝසිය පිළිකනු දිගේ බඩගාන්නෙ...භයානක අපරාධ කරුවෙක්වත් ගමට රිංගලාද ? එහෙම හිතන ගමන් තමයි මමත් අපේ ගෙදර වැට පැනලා සරම කැහැපට ගහගන්න ගමන් ඒ ඉසව්වට කකුල ඉස්සර කොලේ.

බලන්න.....බලන්න...ඔය කෙහෙල් පදුර අස්සෙත් බලන්න....

ආ.....මේ තියෙන්නෙ....ඌ හිතන්න ඇති අපි මේක හොයාගන්න එකක් නෑ කියලා.

කවුද ඌ...මොකක්ද කෙහෙල් පදුර මැද්දෙ තියෙන්නෙ...මට ප්‍රශ්න අටෝරාශියයි. ඒ බව දැනගන්නකං ඇතිවෙන කැසිල්ලේ බරපතල කොම හින්දම මමත් ඇවිදින වේගය වැඩි කරලා පොලිස් නිළදරුවන්ට සම්මුඛ උනා...

තමා කොයි ගෙදරද....දබර ඇගිල්ල මා දෙසට යොමු කරලා පොලිස් නිලධාරියෙක් මගෙන් විමසුවා.

මේ ගෙදර...ඒ ආසන්නයේම තියෙන අපේ නිවස පෙන්නලා මමත් උත්තරේ දුන්නා...

තමා දැක්කද මේක මේ පදුර අස්සෙ හංගලා ගිය කෙනාව ?

පොලෝසිය එක දිගට ප්‍රශ්න වැලක් මගෙන් අහගෙන යන්නෙ මගේ මූණත් තහඩුවෙන් අපරාද කාරයෙක්ගෙ දර්ශන දැකලා ඔකද වෙලාද කියලත් මට හිතුනා.

අනේ නෑ රාළහාමි...මම මේ ඩිසයින් වැඩක් කරමින් උන්නෙ...මම මේ සද්දෙ ඇහිලා බලන්න ආවෙ.

තමා කොහෙද වැඩ කරන්නෙ....

මම ඉතිං එවකට වැඩ කරපු ලංකාවෙ සුපතල පත්තරේක නමක් කිව්වා...මගේ රැකියාවේ ස්වභාවයත් කිව්වා.

ඊට පස්සෙ ඉතිං කොස්තාපල් රාළහාමිලා පොඩි ගරුසරුවක් දක්වලා දැන් දැන් කථා බහේ යෙදෙනවා... තමා... කියන කෑල්ල නිකම්ම ලොප් උනා.

බලන්න මහත්තයා...හෙල්මට් නැතුව ආපු නිසා අපි මේක පැදගෙන ආපු එකාට සංඥා කලා නවත්තන්න කියලා..කොහෙද මේකා අපිට වෙට්ටුවකුත් දාලා තමයි මේ පැත්තට පැන්නෙ...

අපිත් එක්ක කොහෙද ඒවා...පේනවනෙ අපේ බයික් එක, කිරි කිරි SUZUKI  GN 250 බයිසිකලේ පෙන්වන ගමන් එක රාළහාමි කෙනෙක් උජාරුවෙන් කිව්වා.

අපිත් මිනිහගෙ පස්සෙන් පැන්නුවා..හන්දියෙන් මේ පැත්තට හැරෙව්වට පස්සෙ...
අපි මේ පෙට්‍රල් සුවද දිගේ මෙතනට ආවෙ...

ඒ අතර තුර කෙහෙල් පදුර අස්සට එබිලා මමත් හොදහැටි ඒක මැද තියෙන යකඩ අස්පයා දිහා බැලුවා...හප්පද බොල මේ අපේ මංජු කොලුවගෙ දඩු මොණරෙ නොවැ... ඒත් ඉතිං කටක් ඇරලා කියන්නෙ කොහොමද....

මහත්තයා මේ බයිසිකලේ අදුනනවද ? නැත්තං පදින කෙනාව දන්නවද ?

අනේ නෑ රාළහාමි...මම කලින් දැකලා නෑ...ඒ උනාට අපේ පැත්තෙ ඒ වෙද්දිත් YAMAHA TZR එකක් පැද්දෙ මංජු මලයා විතරක් හින්දා මේ බයිසිකලේ ගමේ වැඩිහිටියෙක් උනත් හොදට අදුනගන්නවා සිකුරුයි.

යකඩ අස්පයා මෙන්න මේ වගේමයි...


ඒයි සිරි...පොඩ්ඩක් බලන්න ඕකෙ යතුර තියෙනවද කියලා... ඒ අවසරයෙන් එතනට කිට්ටු කොරපු කලු, උස මහත රාළහාමි බයිසිකලේ හැඩලය හොල්ලලා බැලුවා....

මූ නම් යකෙක්...හැන්ඩ්ල් එකත් ලොක් කරලයි මේ සුට්ටට පැනලා තියෙන්නෙ...කලු රාළහාමිට නප්පියටම තද වෙලා කියලා මට දැන් දැන් අක්මාවට දැනෙනවා. එතකොට එතන හිටිය අනිත් සුදු රාළහාමි නම් කථා කරන ඌරුව අනුව නුවර පළාතෙ කෙනෙක් වගෙයි. 

හැන්ඩ්ල් ලොක් එක කඩලා අරන් යමු...වෙන කරන්න දෙයක් නෑ...මහත්තයා අදුනන කෙනෙක් බේරගන්න අදහසින් නම් බයිසිකලේ අදුනන්නෙ නෑ කිව්වෙ පොඩ්ඩක් කල්පනා කරලා කියන්න...මොකද මේක අපි අරගෙන ගිහිල්ලා නඩු දැම්මොත් ආයෙත් පදින්න වෙන්නෙ නෑ...උසාවියෙම දිරලා යයි.

අන්න එතකොට තමයි මටත් නුවන පෑදුනේ...මංජු මලයගෙ රට ඉන්න අම්මා දුක් මහන්සියෙන් හම්බ කරලා එවපු සල්ලි වලින් ගත්ත මේ යන්තරේ ඒ විදියට නාස්ති උනා කියලා ඇහුවම කොච්චර දුකක් ඇතිවෙයිද ඒ ඇත්තිට......

මට දැන් නම් පොඩි මතකයක් එනවා....මම නොවලහා කිව්වා....

එතකොට රාළහාමිලට හීන් හිනාවකුත් ගියා...අපිත් ඉතිං රාජකාරි ජීවිතයෙදි හොදට තැම්බිච්චි මිනිස්සුනෙ මහත්තයා...අපි දන්නවා ඔයා මේක අදුනනවා කියලා. පණිවිඩයක් යවන්න එයාට...මෙතනට එන්න කියලා...නැත්තං ආයෙ මේ බයිසිකලේ පදින්න නම් වෙන්නෙ නෑ...

ඒ වෙලාවෙම එතනට ආපු අපේ තවත් අසල්වාසියෙකු එක්ක කථා කරලා මම තීරණය කලා මංජු මලයට පණිවිඩේ යවන්න...පුංචි කොල්ලෙක් පණිවිඩේ අරගෙන ඉගිලුනා... ඒ අතර අපේ අල්ලපු ගෙදර අනුලා නැන්දා බුලත් කහටින් විකසිත වෙච්ච දසන් පෙන්නලා මට පොඩි ඉගියක් දුන්නා පොඩ්ඩකට එන්න කියලා...එයාට ලං වුනාම එයා මට කිව්වෙ මංජු කොලුවා අහවල් ගෙදර අන්න භයට හැංගිලා ඉන්නවා කියලයි.

කාලය විනාඩි කිපයක් ගියත් මංජුවා නෑ...ඒ ගමන තමයි කළු රාළහාමිගෙ ඉවසීමේ සීමාව පැන්නෙ...තවත් බලන්න ඕනෙ නෑ...ලොක් එක කඩලා අරගෙන යමු...ගනුදෙනුව උසාවියෙදි බේරගන්න කියන්න. එහෙම කියලා බයිසිකලේ හැන්ඩ්ල් එක වැරෙන් සොලවන්න හදද්දිම තමයි ඈතින් මංජුවා මතු වුනේ...

මෙයාද මේකෙ අයිතිකාරයා..රාළහාමිලා දෙන්නම එකවර ඇහුවා. ඒ වෙද්දිත් මේ ස්ථානයේ ගමේ හිතවතුන් රාශියක් රැස් වෙලා. අපේ ගමේ කල කෝලාහල බොහොම විරල හින්දා පොලිස් නිළ ඇදුමක් දැක්ක ගමන් සැට් එක පිරෙනවා. මොකක්ද වෙලා තියෙන්නෙ බලන්න.

අඩිය ඉක්මන් කරලා එනවා...පොලීසියේ අණ නොතකා ධාවනය කරන එක වරදක් බව තමා දන්නෙ නැද්ද...සුදු රාළහාමි එහෙම ඇහුවා...ඒත් කලු රාළහාමි...

උඹ අපි කවුරු කියලද හිතුවෙ...නවත්තන්න කියද්දි වෙට්ටු දාගෙන ගියේ...දෙන්න හිතෙනවා උඹට....කියලා අත උස්සද්දිම තමයි බුලත් කෙළ පාරක් බිමට ගහගෙනම අනුලා නැන්දා සීන් එකට ඇන්ටොර් උනේ...අනේ අනේ රාළහාමි අපේ කොලුවට ගහන්න එපා. ඒකා භයටම තමයි ඔය වැඩේ කොරන්න ඇත්තෙ....වටේ පිටේ හිටිය උනුත් මංජුවගෙ සහායට හිටිය නිසා රාළහාමිලගෙ තරහා නිවාගන්න විදියක් නෑ...මංජුවා තනියෙන් හිටියා නම් ගුටියක් දෙකක් කන එක ස්ථිරයි.

අනේ රාළහාමි...මම භයටමයි එහෙම කලේ...

භයට කියලා එහෙම කරනවද බොල...උඹට අපි අපරාද කාරයෙක් කියලා වෙඩි තිබ්බා නම් මොකද වෙන්නෙ... පොලීසියට වෙට්ටු දාලා දුවන්න හිතනවා නම් ඒක බොරුවක්...

ඇත්ත කියහං...උඹට ලයිෂනුත් නෑ නේද ? එහෙම කියලා සුදු රාළහාමි කෝචොක් හිනාවක් දැම්මා...ඒත් අපේ මංජු මලයා ලැයිසොම පෙන්නුව හින්දා වරදේ ස්වභාවය වෙනස් වුනා. 

ඒත් තවමත් කළු රාළහාමිගෙ තරහා නිවිලා නෑ... මේක ගොඩින් බේරගන්න බෑ...උඹලා වගේ උන් හදන්න නඩු දාන්නම තමයි වටින්නෙ...එතකොට අනිත් දවසෙ මොළේ පෑදෙයි...

එහෙම කරන්න එපා රාළහාමි. තාම මේකට වැඩි වයසකුත් නෑනෙ...ඔය හෙල්මට් නැති එකට විතරක් දඩ කොළයක් ලියලා දීලා මේකව අත අරින්න..භයටමනෙ ඔහොම කොරලා තියෙන්නෙ...

ගමේ අයගෙ ඉල්ලීම හමුවෙ පොඩ්ඩක් විතර දැන් රස්නෙ අඩුවේගෙන යන්නෙ...

ඒ අතර සුදු රාළහාමි වටාපිටාවෙ අය එක්ක බොහොම දොඩමළුයි. 

මමත් මේ වගේම පොලීසිය නවත්තන්න කියද්දි අප්පච්චිගෙ මොටෝසයිකලේ නවත්තන්නෙ නැතුව ගෙදර ගිහිල්ලා හැංගුනා. පොලීසියෙන් ගෙදරට ආවා...අපේ අප්පච්චි හරිම නීති කාරයා...පොලීසියෙන් කාරණේ අහලා කාමරේ මුල්ලක හැංගිලා හිටිය මාව කනෙන් අල්ලලා මිදුලට ගෙනල්ලා පොලීසියෙ අය  ඉස්සරහම ගැහුවා කණට දෙකක් එලොව පොල් පෙනෙන්න. එදා පොලීසියෙ අය කිව්වා වෙන දඩුවමක් ඕනෙ නෑ. දඩුවම් ලැබුන නිසා කියලා.

එදායින් පස්සෙ තමයි මම හැදුනෙ...කරපු වැරැද්ද තේරුම් ගත්තෙ...ඒ හින්දා අදින් පස්සෙ මේ වගේ වැරදි කරන්න ආයෙම ලෑස්ති වෙන්න එපා. මම පොලීසියට බැදුනට පස්සෙත් එදා අප්පච්චිගෙන් කාපු කනේ පාර ගැන මතක් වෙනවා.

ගිය සතියෙ දවසක මේ වගේම වැඩක් උනා අපි දෙන්නට...එදත් මේකා වගේ එකෙක් අපිට වෙට්ටුව දාලා ගියා. අපිත් බයික් එකේ පැන්නුවා. ප්‍රධාන පාරෙන් අතුරු පාරකට දැම්මා..අපිත් ඒකට දැම්මා...ඊළගට ගුරු පාරකට දැම්මා අපිත් ඒකටම දැම්මා...ගුරු පාර ඉවරවෙලා කොල්ලා  වෙළක් මැදින් නියරක් දිගේ යන්න ගත්තා...අපිත් ඒ විදියටම ගියා...අන්තිමට වෙළ මැද කමතෙදි මිනිහා යන්න එන්න අතක් නැතුව නතර වුනා.

ඒ හින්දා අපිට වෙට්ටු දාලා දුවන්න හිතනවා නම් ඒක බොරුවක්....පේනවනෙ අපේ බයිසිකලේ...මේකෙන් ඕනෙ තූත්තු කුඩියක යන්න පුලුවන්. 

කරපු වැරැද්දට සමාව ඉල්ලපන් කොලුවො මේ රාළහාමිලාගෙන්...ආයෙ ඒ වැරැද්ද කරන්නෙ නෑ කියලා පොරොන්දු වෙයන්...ගමේ බවලත්තු කීප දෙනෙක් කොලුවා දිරිමත් කරලා එහෙම කෙරෙව්වට පස්සෙ ඒ අයගෙ හිත් උණු වෙලා මංජුවා දඩයක් කන්නෙ නැතුවම එදා බේරුනා...ජීවිතේට වැදගත් පාඩමකුත් ඉගෙන ගන්න ගමන්.

ඊට පස්සෙ කාලෙක අපි ගම්පහ පොලෝසියට ගියේ ගමේ සංවිධානය කරපු සංගීත සංදර්ශනයකට අවශ්‍ය බලපත්‍ර ගැනීමේ කටයුත්තකට....අන්න ඒ වෙලාවෙදි මංජු මලයව අදුනගෙන අවශ්‍ය පෝරම පුරවලා උපරිම සහයෝගයක් දුන්නෙ පෙර කිව්ව සුදු රාළහාමි. එදා ඒ දෙන්නා මිත්තරයො දෙන්නෙක් ගානට තමයි හැසිරුනේ. 

දැන් මම කියන්න යන කථාව මේ බයිසිකල් කථාවට අදාළ නෑ....බොහෝ අයට පොලීසියෙ ඇත්තො කිව්වාම හිතට එන්නෙ බොහොම අප්‍රසන්න අත්දැකීම් කීපයක මතක සටහන් වෙන්න පුලුවන්. නැත්තං අතීතයේ දවසක තමන් පුද්ගලිකව මුහුණ දීපු සිදුවීමක් එක්ක ඇතිවෙන තරහක් වෙන්න පුලුවන්. ඒත් පොලීසියෙ තාමත් බහුතරයක් ඉන්නෙ ඉතාම අවංක නිලධාරීන් කියන එක අපි අමතක කරන්න නරකයි. ඒ අයගෙ ප්‍රධාන වගකීම තමයි සිවිල් සමාජයේදි රටේ පුරවැසියන්ගෙ ජීවිත, දේපළ පිළිබද ආරක්ෂාව තහවුරු කිරීම සහ  පුරවැසියන් අනපේක්ෂිත ගැටලුවකට මැදි වුනාම ඒ අයගෙ සහායට ඉදිරිපත් වීම.

බොහෝ තරුණයන්ට පොලීසියෙ ඇත්තන් සමග අමනාප කම් තියෙන්නෙ රථ වාහන වැරදි එක්කයි.  ඇතැම් නිලධාරීන් බුරුලක් දුන්නත් සමහරු එහෙම නෑ...ජරාවක් කාරිය කන්න උත්සාහයක් ගන්නවා. ඒත් මගේ අත්දැකීම් අනුව ඒ අය සමග අපි කථා බහ කරන විලාශය තමයි  ඒ අය නම්‍යශීලී වීම හෝ අනම්‍යශීලී වීම තීරණය කරන්නෙ.

වතාවක් මම වේයන්ගොඩ දුම්රිය හරස් මග අසල තියෙන ගේට්ටුව වැහෙන්න ඔන්න මෙන්න තියෙද්දි මගේ ඇන්ටික් යකඩ අස්පයා එතැනින් එතෙර කලා. නමුත් ඊට ඉදිරියෙන් හිටිය පොලිස් නිලධාරියෙක් මාව නතර කලා. මටත් වැරැද්දක් හිතාගන්න බැරිවෙච්ච නිසා ඒ නිලධාරියාට සම්මුඛ වුනා. අපේ දෙබස මෙහෙමයි.

ඇයි රාළහාමි...
ඇයි කරපු වැරැද්ද දැක්කෙ නැද්ද ?
මම වහලා තිබුන ගේට්ටුවකින් නෙමෙයිනෙ දැම්මෙ
ඒ උනාට ගේට්ටුව වැහෙන්න යන වෙලාවෙ පත්තු වෙලා තිබුනෙ රතු පාට කියලා දැක්කෙ නැද්ද ?

ඒ දවස් වල මගේ බයිසිකලය අලුත්වැඩියා කරගෙන යන කාලෙ...ඒ වැඩකට ගිහින් එද්දිම තමයි මේ වැඩෙත් වුනේ...බොහෝ තැන් මළකඩ කාලා පින්තාරුව ඉරිතලලා හිගන වේශයෙන් තිබුන නිසාම ඒ දිහා අවඥා සහගත බැල්මක් හෙලලා සාජන් මහත්තයා මගේ දිහාට හැරුනා.

මේකට ලියකියවිලි තියෙනවද ?
ඔව් ඔව්...ඒවා ඔක්කොම තියෙනවා...
එහෙනං ගමු බලන්න...

ඔන්න මම ඒ සියල්ල ඉදිරිපත් කලා...සියලුම දේ එතන තිබුන නිසා එතැන ගැටලුවක් නෑ...

ඊළගට සුපුරුදු ප්‍රශ්න කීපය...

කොහෙද වැඩ කරන්නෙ...දැන් කොහෙද ගියේ....

මමත් ඉතිං බොහොම සංයමයෙන් උත්තර දුන්නා. රාළහාමි පුලුවන් නම් සහනයක් දෙන්න. මම වහපු ගේට්ටුවකින් නෙමෙයිනෙ දැම්මෙ... මම එච්චරයි කිව්වෙ... මද වෙලාවක් කල්පනා කොරලා බලලා......

සාජන් මහත්තයා මට කිව්වා...මීට පස්සෙ මේ වගේ වැරදි කරන්න එපා...මාර්ග නීති හදලා තියෙන්නෙ පදිකයො සහ  රථ වාහන වල යන අය ඇතුලුව  දෙපාර්ශවයේම ආරක්ෂාවට....නීති ගරුක රියදුරෙක් විදියට ඒවා පිළිපදින්න කියලා.

තවත් දෙයක් කිව්වා....මම අද මහත්තයව යවන්නෙ මහත්තයා කථා කරපු විදිය හින්දයි. මම අහවලා අදුනනවා, මෙයා අදුනනවා කියලා එක එකාට කෝල් අරන් අපිට කථා කරන්න කියලා  ෆෝන් එක දික් කලා නම් කවදාවත් යවන්නෙ නෑ...මොකද මහත්තයා අපිටත් තියෙනවා ආත්ම ගෞරවයක්..අපිත් තව කෙනෙක් ඉස්සරහා සෙකන්ඩ් වෙන්න කැමති නෑ.

දැන් තමයි මට ඔබට කියන්න තියෙන දේ කියන වෙලාව. මේ නිලඇදුමකට මුවාවෙලා ඉන්නෙත් ඔබ මම වගේම සිවිල් පුරවැසියෙක්...ඔහු කරන්නෙ ඔහුගෙ රාජකාරිය...එතැනදි එහි සීමා මායිම් අපි හදුනාගත යුතුයි. ඔහුගෙ රැකියාව එය වුනත් ඒ රැකියාව තුල ඔහු අත්විදින අත්දැකීම් අනෙක් රැකියාවකට වඩා හාත්පසින් වෙනස්. දේශපාලකයන්ගෙන් වගේම ඉහළ නිලධාරීන්ගෙනුත් මේ පහළ  නිළධාරීන් සෑහෙන්න බැට කනවා. ඉහළ යන ජීවන වියදමට සරිලන සේ වැටුප ප්‍රමාණවත් නොවීම, ඔබට මට මෙන්ම ඒ අයටත් දැනෙනවා. ඒ අයගෙ දරුවන්ටත් අසනීපයකදි බෙහෙත් ටිකක් අරන් දෙන්න, අධ්‍යාපන කටයුතු වලදි පොතක් පැන්සලක් අරන් දෙන්න වගේම ගෙදර නඩත්තුව වගේ වගකීම් නිළ ඇදුමක් ඇන්දත් ඒ උරහිස මතත් පැටවිලා තියෙනවා.  ඒ ගැටලු වලින් ඔහුට දැනෙන පීඩනය එක්කයි ඔහු රාජකාරිය කරන්නෙ...ඒ නිසා ඒ ස්වරූපය හදුනාගෙන ඔහු දෙස පොදුවේ පොලිස් නිලධාරියා දිහා බලන අසුභවාදී ආකල්පයකින් තොරව බලන්නේ නම් මැනවි කියායි මගේ අදහස.

ඔබ දැක ඇති ගිණි ගහන මද්දහනෙ, මහ වැස්සෙ එහෙමත් නැත්තං වාහන දුම් පිරුනු මහා මාර්ගයේ  අපේ සහායට වාහන හසුරුවන පොලීසියේ මහත්වරු. එවැනි වටිනා සේවයක් පිළිබද සමාජයේ යහපත් ආකල්පයක් නැත්තෙ සුළුතරයක් නිලධාරීන් කරන වැරදි ක්‍රියාවන් සහ දේශපාලන අතු ඉති පොලීසිය නම් රාජ්‍ය ආයතනය තුලට රිංගපු  නිසා කියලයි මට හිතෙන්නෙ. ඒ හින්දා අපි අලුතෙන් හිතමු. නිලඇදුමක් ඇන්දත් ඒ ඉන්නෙත් අපේම සහෝදරයෙක් කියන හැගීමෙන්.

මේ ලිපිය ලියාගෙන යන වෙලාවෙ මගේ ඡායාරූප මාධ්‍යවේදී මලයා එක්ක ඇතිවුන කථාබහකින් පස්සෙ තවත් කරුණු කීපයක් මේ ලිපියටම එකතු වුනා.

පත්තර රස්සාවට දිවා රෑ වෙනසක් නෑ කියන එක එවැනි තැනක සේවය කරන ඇත්තන්ටත් ඒ අයගෙ පවුල් වල අයටත් අමුතු දෙයක් නෙමෙයි. අන්න ඒ වගේ ඊයෙ පෙරේදා දවසක අපේ මලයත් ගම්පහට කෝච්චියෙන් ඇවිත් එතැන ඉදන් සුපුරුදු විදියට යතුරු පැදියෙන් ගෙදර එන්න පිටත් වෙලා...දැන් වෙලාව රාත්‍රී 12.30 යි. අපේ හන්දියට ආසන්නයෙන් සාමාන්‍යයෙන් රථවාහන පොලීසියෙ ඇත්තො රැදෙන්නෙම නැති තරම්. ඒත් එදා මේ කියන වෙලාවට එක් තැනක පොලීසියෙ දෙදෙනෙකු ඉදලා බයිසිකලය නවත්තලා...

ලියකියවිලි පරීක්ෂා කරන්නට වෙන්න ඇතැයි සිතූ මලයා ඒවා ගන්නට හදද්දී ඔවුන් කියා ඇත්තේ ඕවා අනවශ්‍ය බවත්...අපිට උදව්වක් කරන හැටියටත්...

ජරාවක් කන්න සිතූ බවක් වැටහුනු මලයා සල්ලි නැතෙයි කී විට... සල්ලි නෙමෙයි අපිට උදව්වක් කරන්න. අපේ බයිසිකලේ පෙට්‍රල් නැතිව නතර වෙලා...මේ වෙලාවෙ පෙට්‍රල් ගන්න ටවුමටම යන්න එපායැ...පුලුවන් නම් ඔයාගෙ බයිසිකලය දෙන්න...පෙට්‍රල් ටිකක් අරන් එන්න... ඒ අනුව මලයා බයිසිකලය ලබා දී අනෙක් නිලධාරියා සමග මාර්ගය අද්දර බෝක්කුවක් මත හිදගෙන හිද ඇත. ඒ සුළු මොහොතේදී මලයාගෙ පත්තර රස්සාව නිසාවෙන්දෝ මේ කියන කාරණා අදාළ ස්ථානයේ ඉතිරි වූ රාළහාමි විසින් එක හුස්මට පවසා තිබුනි.

මේ පොලීසියේ තියෙන අලුත් නීති රීති එක්ක අපි දැන්  දවසකට නඩු 50 ක් ගේන්න ඕනෙ....ඒ දේවල් වලට ඇති තරම් පෙට්‍රල් දෙන්නෙත් නෑ...ඒ හින්දයි අපේ බයිසිකලේ අද මෙතැන හිටියෙ... මම පොලිසියට ඇවිල්ලා දැන් අවුරුදු 20 කටත් වැඩි...ඒත් තාමත් උසස් වීමක් නෑ...කොටින්ම කියනවා නම් සාජන් පට්ටමක් වත් නෑ...හැබැයි ඔයා මේවා පත්තර වල එහෙම ලියන්න යන්න එපා. දැන් බලන්න අර කඹුරුපිටියෙ රාළහාමි මරපු සිද්ධිය...ඒ අහිංසක මනුස්සයවයි එයාගෙ නෝනවයි, අතදරුවයි මරලා දැම්මෙ...කැටයම් චින්තක කියලා හාදයෙක්...ඒ මිනිහගෙ ජාවාරම් පොලිසියට අල්ලලා දුන්නෙ අර මැරිච්ච රාළහාමි කියලා සැක කරලා. පොලිස් සේවයේ යෙදෙන එකේ ජීවිත අවධානමකුත් තියෙනවා. ඒ සිදුවීම එකක් විතරයි...කසිප්පු අල්ලන්න ගිහිල්ලා..අපරාධ කාරයො අල්ලන්න ගිහිල්ලා අපේ රාළහාමිලා කී දෙනෙක් නැති වෙලා තියෙනවද....



ඔබෙන් බැණුම් අසනා පොලීසිය තරුණයෙකුට සහාය වන අවස්ථාවක්
මේ ඡායාරූප දෙකේ විස්තරය මෙතැනින්
පොලීසියෙ වැඩ කලා කියලා අනිත් සිවිල් මිනිස්සුන්ට නැති අමුතු බලයක් අපිට නෑ... හැබැයි අනිත් මිනිස්සුන්ට වඩා අපි සේවයට කැප වෙලා ඉන්නවා. තර්ජන ගර්ජන වර්ජන ඉල්ලීම් මොකුත් නැතුව... පොලීසියෙ ඉහළ නිළධාරීන්ගෙන් වගේම දේශපාලකයන්ගෙන් එන නියෝග නිසා සමහර වෙලාවට සෑහෙන්න පීඩාවට පත් වෙනවා. හදිසි අවස්ථාවක් ආවොත්  සේවයට බැදී ඉන්නවා...එදාට ගෙදර දරුවෙකුගෙ උත්සවයක් තිබ්බත් රාජකාරි ස්ථානයේ ඉන්න වෙනවා. ඩියුටියකට දැම්මොත් එතැනින් අයින් වෙන්න  කියනකං ගිණි අව්වෙ..එහෙමත් නැත්තං මහ වැස්සෙ හරි ඉන්න ඕනෙ. ඒකට දිවා රෑ වෙනසක් නෑ...සමහර දවසකට පිට පළාත් ඩියුටියකට ගියාම බත් එක එන්නෙ හවස 4 ට විතර... ඒ එන බත් එකත් පිළුනු වෙලා...ඉතිං වතුර ටිකක් බීලා බඩ පුරවා ගන්නවා. ඒත් බහුතරයක් මිනිස්සුන්ට අපේ සේවය ගැන වටිනාකමක් නෑ...පොලීසියෙ නම කැත කරන එකෙක් දෙන්නෙක් හින්දා හැමෝම ඒ මිම්මෙන් මනිනවා.

අපේ තාත්තත් පොලීසියෙ රාජකාරිය කරපු හින්දයි පොඩි කාලෙම මටත් පොලිසියට බැදෙන්න ආශාවක් හිතුනෙ...ජිප් එකේ ඉස්සරහ සීට් එකේ කලු පාට පටිය හරහට දාලා උජාරුවෙන් යන්න, ඔය වගේ හීන තමයි ඒ දවස් වල දැක්කෙ...ඒත් මේ රස්සාව ඇතුලෙ මොන තරම් පීඩනයක්, හිත රිදෙන දේ උනත්..අපේ අහිංසක මිනිහෙක්ට සේවය කරලා ලබන සන්තෝෂය ඒ හැමදේම අපිට අමතක කරවනවා.

පොලීසියෙ ඇත්තන්ගෙ රැකියා වලට අදාළ තත්වය එහෙම වෙද්දි ඔබත් මමත් රාජකාරියෙදි ඇතිවන සුළු අත්වැරැද්දකට ඔවුන් සමග දැඩි සේ කිපෙනවා. පොලිස් නිලඇදුමක් දුටු පමණින් අහේතුක කෝපයක් උපදවා ගන්නවා. ඔබට හැකි නම් හෙට ඉදන් අලුත් ඇහැකින් පොලීසියේ නිලධාරියෙක් දිහා බලන්න උත්සාහ කරන්න. විශේෂයෙන් ජනතාවගෙන් වගේම පොලීසියෙ ඉහළින්ද පීඩාවට පත් වෙන පොලිස් පොඩ්ඩො දිහා.

පසු සටහන

මේ සිරාගේ කාමරයේ ලියවෙන 100 වෙනි ලිපියයි. ලිපි 100 ලිවීම කෙතරම් ආයාසකර කටයුත්තක්දැයි මම දැන් හොදින් දනිමි. ඒ ඉලක්කය කරා මා රැගෙන ගියේ කාමරයේ ලෑලි දොරට තට්ටුව දමා නිතරම මෙහි පැමිණෙන පාඨක ඔබ සහ  සහෝදර බ්ලොග් කරුවන්ය...ඒ සියල්ලන්ටම මගේ නොවක් ස්තූතිය මේ අවස්ථාවේ පිරි නමමි. මේ ලිපි 100 අතර වැදගම්මක් ඇති දෙයක් ලියවුනු ලිපි ප්‍රමාණය වැඩි වෙතැයි මම සිතමි. ලියූ ලිපි මල්ල හැකි තරම් විශාල කර ගන්නවා වෙනුවට යම් හරවත් යමක් ඔබට තිළිණ කරන්නට මා ගන්නා වෑයම නිසාම ආරම්භයේ සිටම තවමත් ලියන්නේ මසකට ලිපි 7 කි. ඒ නිසාම සිරාගේ කාමරය යනු හතේ හත වැදුනු බ්ලොග් අවකාශයේ ඇති එකම බොගයි. ඒ බව දකුණු පස ලිපි පෙන්වන ගැජට්ටුවෙන් මනාව දර්ශනය වෙයි. 7 ඉලක්කමෙන් ඇති කරනා කාල පරතරය ලිපියෙන් කියවෙන කාරණය පිළිබද යහපත් කථිකාවක් ඇති කිරීමට මෙන්ම පාඨක ප්‍රතිචාරයන් දැක්වීමටත් ප්‍රමාණවත් කාලයක් සපයන බව මගේ අදහසයි. ඉදින් සබද, මෙහි යනෙන ඔබ සැම වෙනුවෙන් හැකි තරම් කාලයක් සිරාගේ කාමරයේ දොර විවෘත කර තැබීම මගේ ඒකායන පැතුමයි. ඔබ සැමට ජය !


මම කාමරේ වෙසෙන සත්ගුණවත් සිරා කොලුවා.


ප.ලි

ශ්‍රී ලංකා පොලීසිය ඉතාම කාර්යශූර පිරිසක් බව, කිසිදු සාක්ෂියක් ඉතිරි නොකොට සිදුවුනු අපරාධයන්හි වැරදිකාරයන් අත්අඩංගුවට ගන්නා ලද අවස්ථාවලදි අපිට ඒත්තු ගියා. එහෙත් පොලීසියට අත තියන මහා බලපරාක්‍රමයක් ඇති දේශපාලුවන් හෝ ජරාවට, දේශපාලන හිතෛශීභාවයට තම නිළඇදුම පාවාදෙන නිලධාරීන් අතළොස්ස  නිසාම පොලීසියට ඒ කීර්තිනාමය ඇති කරගැනීමට ඉඩක් නොමැත.

දේශපාලන අතපෙවීම් නැති 100% ස්වාධීනව කටයුතු කල හැකි තැනකට අපේ පොලීසිය පත් කරන්නට හැකි නම් අපේ සමාජය නිසි මාවතේ යනු ඇත. එහෙත් එය දහවලේ දකිනා සිහිනයකි. රට කරවන අය මුලින්ම ආදර්ශය දිය යුතුය. දැනට නම් එහෙම යමක් මේ කපේට සිදුවෙතැයි පෙනෙන්නට නැත.

පොලිස් පොඩ්ඩා යනු පොලිස් රාජාකාරී ජීවිතය තුල මෙන්ම සිවිල් සමාජයෙන්ද වැඩි වශයෙන් පීඩනයට පත් වන්නාය. හෙතෙම ගිරයට අහු වූ පුවක් ගෙඩියක්මය. එවැනි  චරිත දෙස මින් පසුවවත් සානුකම්පිතව බලමු. ඉහළින් ලැබෙන අණ පිළිපදින්නට සිදුවූ නිසා අමාරුවේ වැටුන මෙවැනි චරිත රාශියකි. 

අපේ සමාජය වැරදි කරනා පොලිස් නිලධාරියෙකු හෝ නිලධාරීන් හට එළව එළවා පහර දුන්නත් සමාජයට හා මිනිසුන්ට අනේක කැප කිරීම් කරමින් හොද දේ කරනා නිලධාරීන් කිසි ලෙසකින් අගය කරන්නේ නැත. එය අපේ ජන සමාජයේ විඥාණය පිළිබද ගැටලුවක් ලෙස මම සිතමි.

පහළින් පල වූ ඡායාරූප දෙක මලයාගෙනි.



Related Posts Plugin for WordPress, Blogger...