Wednesday, January 29, 2014

115 පරණ පින්තූර

2013 වසරෙදි සිරා අතින් ලියවුනු අවසන් පෝස්ටුවෙදි මම බොලාට දැනුම් දුන්නා අභිනව 2014 වසරෙ ඉදලා කාමරේ දොරේ අලුත් ලේබල් දෙකක් අලවන වග. ඒ ලේබල් දෙකෙන් පළවෙනි ලේබලේ විදියට ජාලෙන් අරන් ඇවිල්ලා ප්ලාස්ටික් ගැන කියාදුන්නා ඔබට මතක ඇති...අද එහෙනම් හා පුරා කියලා අලවන දෙවැනි ලේබලය...පාඨක ඔබේ නිර්මාණ හෙවත් පාඨක සටහන්.

අද මම ආරම්භයක් විදියට පලකරන්නෙ පසුගිය වසරෙ ඔක්තොම්බර් මස ඊ පණිවිඩයක දවටා ප්‍රසන්න නම් සිරාගෙ කාමරේට නිතර යන එන හිතවතා මට එවපු අතීත ලංකාවේ සුන්දර මතක සටහන් කීපයක්....ඔබේ බ්ලොග් අඩවියේ මේවා පලකරන්න කියන ඉල්ලීමත් එක්කමයි ඔහු මෙය එවා තිබුනේ....ඉන් පසුව තමයි පාඨක අදහස් වලටත් ඉඩක් වෙන් කරන්න සිරා කොලුවා වන මට කම්පනාවට ආවෙ.

ඇත්තම කියනවා නම් පහත පලවන ඡායාරූප පිළිබද විස්තර කරන්න මගේ දැනුමක් නෑ....එහෙත් මෙය කියවන ඔබට ඒ දැනුම තියෙනවා නම් කරුණාකරල කමෙන්ටුවක් විදියට ඒ අදහස එකතු කරලා කියවන්න එන අනිත් අය සමගත් ඔබේ දැනුම බෙදාහදා ගන්න කියලා මම බොහොම යටහත් පහත්ව ඉල්ලා සිටිනවා.



ප්‍රසන්න....ඔබට බොහොම ස්තූතියි...මෙවැනි වටිනා ඡායාරූප එකතුවක් බොහෝ පිරිසකගේ දැකගැන්ම උදෙසා මවෙත එව්වාට....ජීවිතේ පළමු වරට මේ ඡායාරූප එකතුවෙන් මම දැකපු දේත් තිබුනා. ඒ නිසා නිසැකවම ඔබ නොදුටු දේත් මෙතැන ඇති....අදින් පසු එළඹෙන සෑම මාසයකම සිරාගේ කාමරේ පලවන මාසයේ අන්තිම ලිපිය හෙවත් හත්වෙනි ලිපිය ලියන්නට ඔබට බාරයි.

අන්තර්ජාල වේගය අඩු කෙනෙක්ට මේ පින්තූර සැට් එක මෙතැනින්  භාගත කරගෙන බලන්නත් පුලුවන්.


















මේ ඡායාරූපයන්හි අයිතිය ඒවායේ මුල් හිමිකරුවන් සතු විය යුතු බව අවධාරනය කරමි. ඇතැම් ඡායාරූප Lankapura.com වෙතින් උපුටාගත් ඒවාය.


මතකනේ මම කිව්ව දේ....මෙතැන තියෙන එක ඡායාරූපයකට හරි අදාළව ඔබ දන්නා තොරතුරක් වේ නම් කමෙන්ටුවක් විදියට කොටලාම යන්න.


මම කාමරේ වෙසෙන සත්ගුණවත් සිරා කොලුවා.

Sunday, January 26, 2014

66 පෙරහැර සහ අලියා

මලයාගේ කථාව නිසා යටගිය අලියාගෙ ඉතිරි කථාව අද කියන්නෙමි. මගේ අලි කථාව තුල වඩාත් අවධාරනයෙන් ඔබට පවසන්නට සිටියේද මේ කොටස බැව් කිව යුතුය.

සොබාව ධර්මයාගේ කදිම දායාදයන් රැසක් දෝතින් දරාගත් ශ්‍රී ලංකාව වූ කලී සුන්දර දිවයිනක් බැව් ලොව බොහෝ දෙනා පිළිගන්නා කාරණයක් බැව් සැබවි. ඒ සුන්දරත්වය නිසාම අපේ පුංචි දිවයිනට සංචාරකයන් බොහෝ සෙයින් පැමිණෙන බවද සැබෑවකි. එහි වැඩි කොටසක් ලංකාව පුරා ඇති අභය භූමි, තෙත් බිම් හා ජාතික උද්‍යාන මගින් ආවරණය කරන අතර ඒ තුල වෙසෙන සත්ව ප්‍රජාවද එහි හවුල් කරුවෝ වෙති.

ඇතැම් සංචාරකයන් ලංකාවට සැපත් වන්නේ ස්වභාවික පරිසරයේ සිටින සුන්දර ශ්‍රී ලංකා අලියා දැක ගන්නටය. ඒ අනුව අලියා යනු සංචාරක කර්මාන්තයටද සෘජුව දායක වන සත්වයෙක් බව පැහැදිලි වෙයි. අති මහත් බහුතරයක් සංචාරකයන් නොවරදවාම පින්නවල අලි අනාථාගාරය නැරඹීමට යාමෙන්ද ඒ බව මොනවට පැහැදිලි වෙයි.

විසිතුරු ඇදුමින් සරසවා පෙරහැර වල ගියත්...අනාථාගාරය තුල කෑම කවන්නට අවස්ථාව සලසා දුන්නත්, සංචාරකයන් පිට මත තබාගෙන වනගත පෙදෙස් වල විසිතුරු පෙන්වුවත් මිනිසුන් ඇසුරේ සිටිනා අපගේ බොහෝ අලීන්ගේ ජීවිත දුක්බරය. කටුකය.


මලයාගේ කාචයට හසුවූ පෙරහැර අලි

බුදු දහම හා බැදුනු සංස්කෘතික රාමුවකින් වටවූ රටක් නිසාම කුඩා කල සිටම ආගමික ඉගැන්වීම් තුල මෙන්ම පෙරහැර නම් ආගමික අංගය තුලද හස්තියා වරින් වර අපට සමීප වෙයි. නාලාගිරි දමනය මෙන්ම බුද්ධත්වයෙන් පසු එළඹි දස වන වස් කාලය ගත කිරීමට පාරිලෙයිය වනයට වැඩම කල බුදු රදුන් උදෙසා පළතුරු ආදියෙන් සංග්‍රහ කල පාරිලෙයිය වනයේ ඇතා ගැනද ජාතක කථාවන්හි සදහන් වන නිසාවෙන් බොදුනුවන් හට අලියා වඩාත් සමීප සත්වයකු ලෙස දැනෙයි. සියලු සත්වයෝ කෙරෙහි මෙත් සිත පැතිරවූ බුදු රජානන් වහන්සේ හට  වර්තමානයේදී සිදුවන දෑ දකින්නට හැකි නම් ශාසනයේ නාමයෙන් දුක් විදින අලියා පිළිබද අසීමිතව කම්පා වනු නියතය.

අනුරාධපුර යුගයේ රජ කල මහසෙන් රජතුමාගේ පුත්‍ර රත්නය වූ කිත්සිරි මෙවන් හෙවත් කීර්ති ශ්‍රී මේඝවර්ණ රජතුමාගේ රාජ්‍ය සමයේ (ක්‍රි.ව 301 - ක්‍රි.ව 308)  දන්ත ධාතූන් වහන්සේ ලංකාවට සැපත් විය. එයට උපහාර පිණිස මුලින්ම දළදා පෙරහැරක් පැවැත්වීමේ ගෞරවයද මේ රජතුමාටම හිමි වෙයි. එතුමා විසින් සකස් කල ධාතු මන්දිරයක තැන්පත් කර තිබූ දන්ත ධාතූන් වහන්සේ අභයගිරිය විහාරය සතු ශාලාවකට වැඩම කරවා ජනතා ප්‍රදර්ශනයට තැබීමේ කාර්යය හා මේ කියන පෙරහැර සම්බන්ධ වී තිබුනි. ඉදිරියේ පදවි ප්‍රාප්ත වන සියලු රජදරුවන්ගේ අවධානය පිණිස දළදා වහන්සේ උදෙසා කලයුතු වත්පිළිවෙත් මෙන්ම පෙරහැර පැවැත්වීම ගැනත් කිත්සිරි මෙවන් රජතුමා සෙල් ලිපියක් පවා කරවූ බවට ප්‍රකටය. ඒ පෙරහැර නම් සංකල්පය ආරම්භ වූ ආකාරය පිළිබද අතීත කථාවයි.

මේ අයුරින් ආරම්භ වූ පෙරහැර මංගල්ලයට හස්තියා සම්බන්ධ වූයේ කොතැනින්දැයි ඉතිහාසයේ නියමාකාර පිළිතුරක් නැති වුවත්....Benz, BMW හෝ ඊටත් වඩා සුපිරි වාහන නොතිබූ එසමයෙහි රජුගේද වාහනය වූ හස්තියා ඒ සදහා යොදා ගන්නට ඇතැයි සිතිය හැක. ඒ තුලින් දළදා වහන්සේ කෙරේ තමන්ගේ උපරිම ගෞරවාදරය දැක්වීම රජුගේ අරමුණ වන්නට ඇත. නැතිනම් අවට රැස් වී සිටින දහස් ගණනක් වන ජනතාවගේ දෘෂ්ඨියට පහසුවෙන් හසුවන සේ පෙරහැරේ උසම ස්ථානය වන හස්තියා පිට මත තැන්පත් කරන්නට ඇත.

පෙරහැර යනු අවිවාදයෙන්ම සංස්කෘතික මංගල්ලයකි. ශ්‍රී ලාංකික සංස්කෘතිය සෙවනේ වැඩුනු කලාංගයන් රැසක් මේ පෙරහැර තුල දක්නට ලැබීම ඒ ඒ කලාවන්ගේ පැවැත්මට මෙන්ම විකාශනයටත් හේතු වන්නට ඇතැයි විටෙක මට සිතෙයි. එහෙව් කලා මංගල්‍යයක් තමන්ට හැකි ඉතාම උසස් අයුරින් පැවැත්වීමට පෙරහැර පටන් ගත් මුල්කාලයේ සිටම පැරණි රජවරු අදහස් කරන්නට ඇත.

මුල් කාලයේ රජවරුන් සතුව සිටි රාජකීය සැප විදි රාජකීය හස්තීන් මේ කාර්යය උදෙසා සම්බන්ධ වුවත් වර්තමානය වන විට ගිහි පුද්ගලයන් සතු හෝ විහාරස්ථාන වල ඇති කරන අලි ඇතුන් මාර්ගයෙන් පෙරහැර පවත්වන්නට කාලය පැමිණ තිබේ. අලියාට විසිතුරු ඇදුමක් මෙන්ම ඒ ඇදුමට විදුලි බබුළුද එක් විය. ඒවා දැල්වුනේ උගේ හිසේ පසුපසට වෙන්නට රැදවූ බැටරියකිනි. අවසානයේ සත්ව හිංසනයට විරුද්ධ,  ඒ බැව් සංඛේතවත් කරමින් සිල් පදයක් පවා ඇති බුදුදහමේ නාමයෙන්ම අලියා දුක් විදින්නට විය.

මා ඊලගට ඔබට කියන්නට යන සමහර කාරණා ඇතැම් විටක මීට පෙර ඔබ අසා නැතුවාට සැකයක් නැත. මෙවැනි කරුණු වැඩි වශයෙන් සමාජගත නොවීම එයට හේතුවයි. පන්සලක පෙරහැරක වැනි වැනී යන හස්තීන් බෙර හඩට නටන්නේ යැයි කියන ශ්‍රද්ධාවන්ත උවැසි උවැසියන් සිටිනා සාධු සමාජයකට මා මේ කියනා කාරණා විෂ වෙන්නටද පුලුවන.

කලින් අලි කථාවේද අලි ප්‍රේමීන් කීප දෙනෙකුම පෙරහැර තුල පීඩාවට පත්වන අලි සම්පත ගැන අදහස් දක්වා තිබුනි. ඒ සෑම තැනකම මා පැවසුවේ ඒ පිළිබද ඊළග පෝස්ටුවෙන් කථා කරනා බවකි. මේ ඒ අවස්ථාවයි.

සිරා කොලුවා වන මා සිස්සත්ත විභාගයෙන් අනතුරුව එළැඹි කාලසමයේ වැඩි වශයෙන් ගහකොළට, සතා සීපාවට ආදරය කරන්නට මටත් හොරෙන්ම පෙළඹුනා කීවොතින් නිවැරදිය. කලින් ඉතා ආශාවෙන් නැරඹූ බෞද්ධ පෙරහැර තුල සද්ධන්ත අලි අපහසුතාවකට පත්වන බව නිසිආකාරව දැනගත් දින සිටම මම ඒවා නැරඹීම වර්ජනය කළෙමි. නමුත් මම බෞද්ධයෙක්මි. එහෙත් සත්ව හිංසනය අනුමත නොකරමි. අදද කිසිදු කිසිවිටෙක අලි ඇතුන් සහභාගි වන බෞද්ධ පෙරහැර නැරඹීමෙන් මම ඈත් වන්නෙමි. ඒවා නැරඹූ සෑම විටෙකම පෙරහැරේ විසිතුරු වෙනුවට පෙරහැර තුල ගමන් කරනා අලි ඇතුන්ගේ දුක් බර දෙනෙත් මට සම්මුඛ වෙයි. කියාගත නොහැකි වේදනාවකින් පුපුරු ගසනා ඔවුන්ගේ චිත්ත සන්තානයේ මුලු ගැන්වී ඇති හැගීම් ඒ තුලින් මට විද්‍යාමාන වෙයි. ලොකු කුඩා කාගෙත් නෙතග දිලිසෙන කදුලක් පෙනෙයි. විසිතුරු ගෙත්තම් වලින් යුතු අලි සැට්ටය හෙවත් අලි ඇදුමට යටින් විලංගු ලූ කකුල් පෙනෙයි.

එය වූ කලී සත්ව හිංසාවට විරුද්ධව හඩ නගනා බෞද්ධ දහම තුලම සතුන් හිංසාවට ලක්වන අවස්ථාවකි. මෙවැනි සටහනකින් කුපිත වන ඊනියා බෞද්ධයන් සිටිය හැකි මුත් මට ඒවා ගැන සිතන්නට වේලාවක් නැත. මගේ සිතැගි සට පට හඩින් යතුරු පුවරුවෙන් යුනිකෝඩ් බවට පෙරළෙයි.

අලියා යනු සොබාදම් දිනිතියගේ අපූරු නිර්මාණයක් බැව් මීට පෙර ලිපියෙන්ද ශපථ කළෙමි. ආහාර සොයමින් වනාන්තරය තුල දිනකට කිලෝ මීටර් 25 කට ආසන්න දුරක් ගමන් කරන්නට මේ අය කැමතිය. ඒ දුරු කතර ගෙවන්නේ තෘණ වර්ග, ගස් වල අතු ඉති, ඉදුණු පළතුරු වර්ග වලින් තම කුස පුරවා ගන්නා අතර තුරය. දිනකට 200 Kg ක පමණ ආහාර ප්‍රමාණයක් වැඩුනු අලියෙකුට අවශ්‍යය. ඒ ප්‍රමාණය විවිධත්වයක් ඇති ආහාර මගින් සන්තර්පණය කර ගන්නට මේ කියන දුර ගමන තුල ඔවුනට හැකිය. හිරු රශ්මිය දැඩිව නැගෙනා විටෙක ජලාශයකට බැස දියනාන්නටත්, රැළේ අනෙක් උන් හා දිය කෙළියේ යෙදෙන්නටත් මේ සද්දන්තයක් කැමතිය. කොටින්ම කෙණෙරක හෝ ඇතින්නියක කිසිම කිසි දිනෙක සිය රංචුව අත හැර යන්නේ නැත. කණ්ඩායමක් ලෙස ගැවසීමට ප්‍රිය මේ සතුන් සත්ව උද්‍යානයක කොටු කර උගේ නිදහස නැති කර තිබෙන අවස්ථාවක අප දකිනා  විටෙක සහ නිදහස් පරිසරයක දකිනා විටෙක ඇති සුන්දරත්වය අතර ඇත්තේ විශාල පරස්පරයකි.

හස්තියා සහ පෙරහැර අතර අනාධිමත් කාලයක සිට පැවතෙන සහ සම්බන්ධයක් ඇතත් ඒ කිසිවක් හස්තියාගේ කැමැත්තෙන් සිදූ වූ දේ නොවේය. උගේ ස්ව කැමැත්තෙන් වනාන්තරයේ ගත කල නිදහස් ජීවිතය අහිමි කරගන්නට තරම් පිස්සුවක් අලියාට තිබිය නොහැක. මනසින් උසස් මිනිසා නම් ජීවියා වන අප අපට හිතුමතේ අන් සියලු සත්වයින්ද පාලනය කරන්නට රිසි වූයෙන් උන්ගේ කැමැත්ත අකමැත්ත නොවිමසා අපට කැමැත්තක් කරන්නටම සිත මෙහෙයවූයෝ වෙති. ඉදින් එය කෙතරම් සාධාරණද...සෑම සත්වයෙකුටම නිදහසේ ජීවත් වීමට ඇති අයිතිය මෙසේ ආගමික ක්‍රියාවලියක් උදෙසා ජීවිත කාලයම කූඩු කරන තැනට පත්වීම කෙතරම් නම් ඛේදජනකද ?

ඔබ පෙරහැර නරඹන්නට නිතර යනෙන කෙනෙකු නම් ඊළග වතාවේ සාධුකාර දීමට කලියෙන් මා මේ කියනා දේ හොදින් නිරීක්ෂණය කරන්න. මේ සියල්ල විසිතුරු අලි සැට්ටය නම් කඩතුරාවෙන් වසා ඇති හෙයින් බොහෝ දෙනෙකුගේ දෙනෙතට සම්මුඛ නොවෙයි.

පෙරහැරක් ඇති කලෙක සමහරක් හස්තීන් ලොරි රථ මගින් ප්‍රවාහනය කලත් සතාට නියම සෙනෙහසක් දක්වන කිසිවෙකුත් ඒ කාරිය කරන්නේ නැත. ශරීරයේ බර දරාගෙන දෙපසට වැනෙමින් වාහනයක යාම අලීන්ට ඉතා වෙහෙසකර කටයුත්තකි. පෙරහැරට දවස් දෙක තුනකට කලියෙන් පන්සල් භූමියේ ගැටගසා පෙනුමට තබනා මේ සත්වයින්ට දෙන ආහාර පරිමාව පිළිබද ඔබේ නෙත ගැටී තිබෙන්නට හැක. කිලෝග්‍රෑම් 200 කට ආසන්න ආහාර ප්‍රමාණයක් කැළෑ අලීන් අනුභව කරනා විටක පෙරහැරේ යන අලින්ට එවැනි තරමක ආහාර ලබා දෙනවාද ? පෙරහැර දිනයේ අලි ඇදුමෙන් සැරසී විදුලි බුබුළු වලින්ද අලංකාර වන මේ සත්වයිනගේ කකුල් විලංගු ලා ඇති ආකාරය ඔබ දැක තිබේද ? කිසිදු සත්වයෙකු විලංගු වලින් තොරව ගමන් කරනවා මා දැක නැත. සාමාන්‍ය පරතරයෙන් අඩි බිම තබා යා නොහැකි වන පරිදි ලග ලග අඩි තබා යා යුතු වන සේ මේවා ගැට ගසන්නේ අලියා තව තවත් අසරණ කරමිනි. විලංගු නිසා දෙකකුල් වල ඇති වන තුවාල මතින්ම නැවතත් විලංගු ලා තිබූ ඉතා සංවේදි අවස්ථාද මා නෙත ගැටී තිබේ. එවැනි විටෙක තබනා අඩියක් අඩියක් පාසා ඒ සත්වයා කෙතරම් දුකක් විදිනු ඇතිද ? කිලෝ මීටර් කීයක දුරක් මේ විදියට ඇවිදින්නද ? මේ පෙරහැර අවසන් වන විට අලි හිමිකරුවා තවත් පෙරහැරක් බාර අරන්...බුදුන් වහන්සේ අදත් ලොව පහලව සිටියා නම් මේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම නවතා දමනු ඇති බවට කිසිදු තර්කයක් නැත.

ඇතැම් විටෙක පෙරහැරක වුවද ඇත්ගොව්වා සිටිනුයේ බීමතිනි. එවැනි විටෙක හස්තියා පෙලන පීඩාවන් පිළිබද නිසි අදහසක් ඔහුට ඇති නොවේ. සුලු වරදකටද හෙණ්ඩුවෙන් අනියි.  අද කාලයේ පෙරහැර යනු රජදවස මෙන් චාරිත්‍ර වාරිත්‍ර අකුරටම ඉටු කරන ඉසව්වක් නොව සිවිල් සමාජය තුල තම පන්සලේ තරම මේ යැයි කියනා ව්‍යායාමයක් ලෙස මම දකිමි. පෙරහැර සුපිරි පෙරහැරක් වන්නේ එයට එක්කොට ඇති අලි ඇතුන් සංඛ්‍යාව මත වුවද ඒ සතුන් ප්‍රදර්ශන භාණ්ඩ මෙන් තැනින් තැනට රැගෙන ගියද......සත්වයාගේ මානසික පීඩා ගැන කිසිවෙකුත් සැළකිලිමත් නොවේ. උගේ නිදහස් ජීවිතය පෙර ආත්මයක කල මහා අකුසලයක් නිසාවෙන්දෝ පෙරහැර වලටම දියවෙයි. දිනකට කිලෝමීටර් 25 තබා මීටර් 25 ක්වත් ඇවිදිය නොහැකි ලෙස විලංගුවට හිර වෙයි. මෙවැනි වටපිටාවක ඒ සත්වයා ශාරීරිකව මෙන්ම මානසිකවද පිරිහෙයි.

පෙරහැර වලදී අලි ඇදුම අන්දන විටෙක  අලියාගේ කිහිල්ල ප්‍රදේශයේ ඇති නිලයක් තද වන සේ එහි පටි ගැට ගැසීම සිරිතක් බව මා හට සැලකලේ තරුණ සත්වවේදියෙකි. ඉන් පසු තමන්ට දැනෙන යම් කිසි තරමක වේදනාව නිසාම අලියා සන්සුන්ව ගමන් කරන බවත් හෙතෙම පැවසුවේය. කුසගින්න....විලංගු ලූ පයෙන් නැගෙනා වේදනාව, කිහිල්ලෙන් දැනෙන පීඩාවන් සහ මානසික හා ශාරීරික තෙහෙට්ටුව සමග මේ අලි තම ජීවිත කාලයම පෙරහැර උදෙසා දුක් විදිනවා නොවේද? නරඹන්නන් ඉදිරියට පැමිණ දෙපසට පැද්දෙන අලියෙකු දකින ඇතමෙකු....බෙරහඩට අලියා නටනවා කියා කීවද...මට සිතෙන්නේ ශරීරයේ ඇති අපහසුතා නිසා අලියා එලෙස පැද්දෙන බවයි.

මේ කියූ තරුණ සත්ව වේදියා ලංකාවේ රූපවාහිනී කලාව තුල සුප්‍රසිද්ධ තරුණ නළුවෙකි. මා ලංකාවේ සිටින කල මා සමග ඉතා හිතවත්ව සිටි කෙනෙකි. ඇතැම් දිනයක මරදාන දුම්රිය ස්ථානයෙන් ටිකට් පත රැගෙන දුම්රිය වේදිකාවට ඇතුලු වන තෙක් මා වෙනුවෙන් රැදී සිටින්නට තරම් නිහතමානී කමක් මෙන්ම මිත්‍රශීලීත්වයක්ද පල කල කෙනෙකි.

විටෙක කාඩ්බෝඩ් පෙට්ටියක දැමූ බළල් පැටියකු දෙන්නෙකු හෝ බලු පැටියකුද සමග හෙතෙම දුම්රියට ගොඩ වදියි. එවැනි කලෙක මේ කොහෙන්දැයි විමසූ විටෙක ඔහු දුන්නේ එකම එක පිළිතුරකි.

මල්ලි අද ෂූටිං තිබුන තැන මේ අය හිටියෙ....අපි දවල්ට කනකොට මම කන්න ටිකකුත්  දුන්නා....ආපහු එද්දි මගේ දිහා බලාගෙනම හිටියා ලගට වෙලා....මට දුක හිතුනා බන්....කන්න බොන්න දෙන්න කෙනෙකුත් නෑනෙ....මම ඉතිං අපේ කැමරා මල්ලි කෙනෙක්ට කියලා පෙට්ටියක් හොයාගෙන දාගෙන ආවා ගෙදර අරන් යන්න....දැන් ගෙදර බල්ලො 5ක් ඉන්නවා....

වයිෆ් බනින්නෙ නැද්ද අයියෙ...එවැනි විටෙක මම ඇසුවෙමි.

අනේ නෑ මල්ලි...එයා තමයි මේ අයව නාවලා රැක බලාගන්නෙ...මම නිතරම ගෙදර නෑනෙ....

එවැනි විටෙක මේ කියන දෑ අසන්නට මෙන් පෙට්ටියේ පියන් අතරින් හිස ඔසවන බළල් නාම්බෙකු දුටු කල්හි දුම්රිය මැදිරියේ සෙසු මගීන් සිනාවන අන්දම මට මෙන්ම ඔහුටද හුරු පුරුදුය.

මෙවැනි සුන්දර හදවතක් ඇති මිනිසුන් මේ ලෝකය පුරාම සිටියේ නම් මේ ලොව කෙතරම් සොදුරු තැනක් වේද....සතුන් කෙතරම් නිදහසේ ජීවත් වෙයිද....අවාසනාවකට හොද මිනිසුන්ට වඩා නරක මිනිසුන් මෙලොව වසන්නේ යැයි සිතෙන තරමට ලෝකය දූෂිත වී තිබේ.

දිනක් දුම්රිය ගමන අතරතුර අපි අලි ගැන කථා කලෙමු. එදා ඔහු මා වෙත පැවසූ අදහස් බිදුවකුදු වෙනස් නොකොට ඔබට කියනවා නම් ඒ මෙසේය.

මෙහෙමනේ මල්ලි....හැම පන්සලකම ලොකු හාමුදුරුවරු කැමතියි පන්සලට කියලා අලියෙක් තියා ගන්න...ඒ අලියට අවශ්‍ය පහසුකම් දෙන්න පුලුවන්ද බැරිද කියන එක ඒ අය එතරම් හිතන්නෙ නෑ...අලියා කියන සතාටත් මානසික පීඩා ඇතිවෙනවා කියන කාරණේ නම් කවදාවත්ම හිතන්නෙ නෑ....ඉතිං මේ හාමුදුරුවරු පන්සලට එන ප්‍රභූ යැයි සම්මත කෙනෙක්ට...එහෙමත් නැත්තං දේශපාලකයෙක්ට හරි මේ අදහස කියනවා...ඔය දේශපාලකයො අතර ඉන්නවා සමහර අය තමන්ගෙ කේන්දර බලන අය විසින් පන්සලකට අලියෙක් පූජා කරන්න වගේ බොහොම මිළ අධික දෙයක් කරන්න කියලා යෝජනා කරපු. ඒ අය මෙවැනි අවස්ථාවක් පාවිච්චි කරලා පන්සල් වලට අලි දෙනවා.

ඉතිං මල්ලි කඩෙන් බඩු ගන්නවා වගේ අලියෙක් ගන්න බෑනෙ. එක්කො පින්නවල අලි අනාථාගාරයෙන් ගන්න බලනවා. එහෙමත් නැත්තං කැලේ පැනලා අලි පැටියෙක් ගේනවා.

කොහොමද ඒ වැඩේ කරන්නෙ....මම විමසුවෙමි.

ඒක බොහොම දුක්බර කථාවක් මල්ලි...මිනිස්කමට මොන තරම් නිගාවක්ද කියලා ඔයාට හිතෙයි මේ කථාව ඇහුවම. ලොකු අලියෙක් අල්ලගන්න අමාරුයි වගේම හීලෑ කරගන්නත් අමාරු නිසා පැටවුන්ට තමයි හැමෝම ඇහැ දාන්නෙ. පැටවු බොහෝ විට ඉන්නෙ අම්මා එක්ක....කිව්වට විශ්වාස කරන්න පැටියා කිරිබොන වෙලාවක ඇතින්නට වෙඩි තියලා මරලා පැටියා උස්සගෙන ආපු අවස්ථාත් තියෙනවා. මේ සත්තු ප්‍රවාහනය කරන්නෙ ඩිෆෙන්ඩර් ජිප් වල....හොඩවැල තියලා ගැටගහලා අරන් එන්නෙ....වාහනේ සුපිරි පන්තියේ එකක් හින්දා කවුරුවත් නවත්තන්නෙ චෙක් කරන්නෙ නෑ...

ඊට පස්සෙ මේ කිරිබොන වයසෙ පොඩි පැටියට දවස් 3 ක් විතර යනකං කිසිම කෑමක් බීමක් දෙන්නෙ නෑ....තුන්වෙනි දවස වෙද්දි පැටියා බාගෙට මැරිලා වගේ ඉන්නෙ...අන්න ඒ වෙලාවෙ පිටිකිරි දුන්නම ඒ සතා බඩගින්න වැඩිකමට බොනවා. මුල් අවස්ථාවෙම දුන්නා නම් ප්‍රතික්ෂේප කරන හින්දා තමයි ඒ ක්‍රමය අනුගමනය කරන්නෙ. ස්වභාවික මව් කිරි වෙනුවට මේ පිටිකිරි මේ සතුන්ට කිසිසේත් ගැලපෙන්නෙ නෑ. සමහරු සතුන්ට අජීරණ තත්වයන් උත්සන්න වෙලා මැරෙනවා. සමහරු පශු වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ ලොකු මහත් වුනත් දුර්වල අලියෙකු තමයි හැදෙන්නෙ...

ඔයාට මේ කථාව කියද්දිත් කොළොන්නාව පැත්තෙ පන්සලක මේ විදියට ගෙනාව පොඩි පැටියෙක් ඉන්නවා...එයාගෙ විස්තර සියල්ල අපි මාධ්‍ය වලට දුන්නත් කිසි කෙනෙක් දේශපාලන බලයට භයේ මේවා ගැන කථා කරන්නෙ නෑ. හැම අලියෙක්ටම ඒ අලියගෙ වලංගු භාවය පිළිබද පත්‍රිකාවක් තියෙන නිසා අපි ඒ අලි පැටියගෙ පත්‍රිකාව ඉල්ලුවාම පන්සලේ ලොකු හාමදුරුවො කියනවා පන්සලේ ඇතින්නගෙ පැටියලු. මම දන්න විදියට මල්ලි ඒ පන්සලට ඇතින්නක් නෑ.

සත්ව හිංසාව හෙළා දකිමින් ධර්මය දේශනා වන බෞද්ධ සිද්ධස්ථානවලදීම අසරණ සතුන්ගේ නිදහස නැති කර කොටු කොට තබා ගන්නා ආකාරය කිසි කළෙකත් අනුමත කල නොහැක. කොළඹ හුණුපිටියේ ගංගාරාම විහාරස්ථානයේ කල් ගෙවන ගංගා පිළිබද මේ වීඩියෝව පිළිබද මා දැනුවත් කලේ ගිය වර පෝස්ටුවෙදි පාඨක අදහස් දක්වන්නට එක් වෙච්ච චරිත් වීරක්කොඩි. ඒ වීඩියෝවෙන් මා ඔබට මෙතෙක් කියූ කථාව මොනවට පැහැදිලි වේවි.


ගංගාගේ ජීවිතය එහෙං පිටින්ම අපායකි. ඇයට නිදහසේ නිදාගන්න, කැමති කෑමක් කන්න, සිත්සේ නාගන්න, හිතේ හැටියට ඇවිදින්න ඉඩක් නැත. කුඩා දරුවකු බදු  මේ සත්වයා සිටින්නේ බෞද්ධ සිද්ධස්ථානයකම වීම කණගාටුවට කාරණයකි. ගංගාගේ මානසික පීඩනය මේ වීඩියෝව තුල පැහැදිලිව පේනවා. බුදු බණ වෙනුවට වැදි බණ දෙසනා ගණින්නාන්සේලාට නම් මේවා සැලකිය යුතු කාරණා නොවනු ඇත.

වසරකට මිනිස් ජීවිත 60 ක් පමණ අහිමි වන ලංකාවෙ අලි මිනිස් ගැටුම පිළිබදවත් යමක් සදහන් නොකළොත් එය මේ ලිපියට අඩුවක්. උතුරු මැද හා නැගෙනහිර පළාත් වලට අදාළව වැඩි වශයෙන් පවතින මේ ගැටලුව අද සමාජ ප්‍රශ්නයක් වන තරමට ඔඩු දුවලා. අලින්ගේ වාස භවන වූ භූමීන් ආක්‍රමණය කර මිනිස් ජනාවාශ ඉදිකිරීමත්...එක් වනාන්තර කොටසක සිට තවත් කොටසකට අලින් මාරු වන ස්ථාන (අලිමංකඩ) අහුරමින් විවිධ ඉදිකිරීම් කිරීමත් නිසා මේ ගැටලුව පැණ නැගී ඇති බවක් මට සිතෙන්නෙ. ජනතාවගේ ආරක්ෂාව උදෙසා විදුලි වැට ආදිය ඉදිකලත් එයිනුත් මේ ගැටලුව සම්පූර්ණයෙන් විසදිලා නෑ. භව භෝග වගාවෙන් ජීවිතය සරිකරගන්නා මේ පළාත් වල අහිංසක ගොවීන්ගේ වගාවන් එක රැයෙන් විනාශ කරන්න මේ සද්දන්තයින්ට පුලුවන්. ඇතැම් විටෙක ඔවුන්ගේ නිවාස වලටත් පහර දෙනවා...මේ ගැටලුව විසදන්න තවමත් දූරදර්ශී සැලසුමක් රජයට නොමැති බව ඉතාම පැහැදිලියි.

කැලේ හිටියත්, පෙරහැරේ ගියත් හැම විටම පීඩාවට පත්වෙන්නයි වර්තමාන අලියට වෙලා තියෙන්නෙ. මිනිස් අයිතිවාසිකම් ගැන හැමෝම කථා කලත්...කථා කල නොහැකි මේ අසරණ සතුන් වෙනුවෙන් හඩ නගන්නේ...ඒ අයගේ ඉල්ලීම් දිනා දෙන්නට උදව් කරන්නේ කවුද ?

අම්පාර බුද්ධංගල රක්ෂිතයේ සිටි එකම දළ ඇතා
පසුගිය දවසක මරු වසගයට ගියේ විදුලි සැර වැදීමෙන්. 

මගේ මේ ලිපිය උදෙසා අම්පාරේ චන්දන මෙම ඡායාරූපය තෑගි කළෙහිය.

අලි ක්‍රියාවන් නිසා කුපිත වන මිනිස් ප්‍රජාව අතින් වසරකට අලි ඇතුන් 200 - 250 අතර ප්‍රමාණයක් ඝාතනය වෙනවා...සමහරු උගුල් වල පැටලෙනවා...නැත්තං හක්ක පටස් වලින් මුඛය කෑලි වෙලා දවස් දෙක තුනක් අපා දුක් විදලා මරු වසගයට යනවා...මෙතරම් අලි මරණ සංඛ්‍යාවක් වසරකට වෙද්දි තව ටික කාලයකින් අපේ ලක් භූමියෙන් මේ සුන්දර සත්වයා වද වෙලාම යාවි. එදාට අ යන්නෙන් අම්මා වෙනුවට අලියා කියා හෝඩි පොතේ තිබෙන්නට බැරි කමකුත් නැත....කෙසේවෙතත් එය එසේ නොවේවා යන්න මගේ පැතුමයි.

දුක් විදින අසරණ සතෙකු පිළිබද ජාත්‍යන්තර PETA සංවිධානය දැනුවත් කරන්න ඔබටත් හැකියි. එය ඒ සත්වයාගේ නිදහස් අයිතීන් දිනා දීමට පිටිවහළක් වේවි. මේ පාරෙන් යන්න.


මම කාමරේ වෙසෙන සත්ගුණවත් සිරා කොලුවා.



ප.ලි

වීඩියෝවේ සිටින අහිංසක අලියා දෙස බලන්න....ඒ ජීවිතය මොන තරම් දුක්බරද ? චීවරධාරියන්ද සිටිනා තැනක ඒ සත්වයාගේ දුක පෙනෙන්නට, දැනෙන්නට කිසිවෙක් නැත.

බුද්ධංගල හස්තියා ගැන වැඩිදුර තොරතුරු මෙතැනින්..

මෙවැනි මිනිසුන් තවමත් අප අතර සිටීම කෙතරම් නම් සතුටක්ද ?















Monday, January 20, 2014

118 මයෙ මලයා

අලි ගැන කියන්න තියෙන ඊළග අලි කථාව පැත්තක තියලා මේ කථාව ලියන්න හිතුනෙ අද විශේෂ දවසක් හින්දයි. මේ කථාව බොලාට කියන්න කලියෙන් සුට්ටක් විතර අතීතයේ කිමිදිලා ඒ කිව්වෙ හිතින් ළමයෙක් වෙලා ඉන්න මට උවමනා කොලා. හැබෑට ඒ විදියට ඉද්දි හිතට දැනෙන සැහැල්ලුවත් ප්‍රීතියත් හරිම අපූරුයි. හැමදාමත් අපිට අපේ ලස්සන පුංචි කාලයේම ජීවත්වෙන්න තියේ නම් කියලා හිතුන තවත් දවසක් තමයි අද.

සිරා කොලුවා වන මා සතුව තියෙන පැරණිම මතකය මොකක්ද කියලා මගේ දුප්පත් කාමරය පටන් ගත්ත මුල්ම අවදියෙම බොලාට කිව්වා මතක ඇති. ඒ කාලෙ මගේ වයස අවුරුදු 3යි. අපේ පවුලෙ වැඩිමල් දරුවා විදියට මට ඒ තරම් වයසක් ගියාට පස්සෙ තමයි මගේ දෙමාපියො සිරා කොලුවට සෙල්ලං කරන්න, රණ්ඩු වෙන්න, තනිකම නැති කරගන්න මල්ලියෙක් ගෙනත් දෙන්න තීරණය කොලේ.

පවුලෙ දෙවැනි දරුවා විදියට කෙලියක් තමයි මගේ දෙමාපියන්ගෙ අපේක්ෂාව වෙලා තියෙන්නෙ. ඒ උනාට මේ කියන කාලය වෙද්දි අද තරම් තාක්ෂණය දියුණු වෙලා තිබුනෙ නැති හින්දම ස්කෑන් කොරලා බලලා වේලාසනින්ම ඉපදෙන්නෙ මොකාද කියලා කියන්නට හැකියාවක් තිබිලා නෑ. අලුතෙන් පවුලට එකතු වෙන කෙලි පොඩිත්ත පිළිගන්න අම්මා තාත්තා හැමදේම සූජානම් කොරලා තියෙන්නෙ රෝස පාටට උනත්...ඒ අයගෙ අහිංසක බලාපොරොත්තු කඩ කරමින් මේ ලෝකයට ආවෙ සුදුම සුදු බෝලයක් වගේ මල්ලි කොල්ලෙක්. හරියට අද කාලෙ කිරිපිටි දැන්වීම් වල ඉන්නවා වගේ කොලුවෙක්. පොඩිකාලෙ අපි දෙන්නා ඉන්න ඡායාරූපයක් ලංකාවෙන් ලැබුනොත් පස්සෙ මේ පෝස්ටුවටම අමුණන්නම්. 

මෙන්න මේ මල්ලි කොල්ලා රෝස කැලෙන් අහුලගෙන එන්න අපේ අම්මා ගම්පහ ඉස්පිරිතාලෙ නැවතිලා උන්නු කාලෙ ඇයට ගෙදර ඉදන් අරන් ගිය බත්මුල සපයන්න ගිය ගමන තමයි මේ ආත්මයේ මා සතුව තියෙන පැරණිම මතකය. තාත්තත් එක්ක පුෂ් බයිසිකලයෙන් ගිය මේ ගමන් බිමන් ලස්සන හීනයක් වගේ මගේ හිතේ කොණක තවමත් සැතපිලා තියෙනවා. බයිසිකලේ හරස් පොල්ල උඩින් පුංචි කොට්ටයක් තියලා...ඒක උඩින් පුංචි සිරා කොලුවව ඉන්දවලා...කිලෝමීටර් 5 කට ආසන්න දුරක් තාත්තා බයිසිකලය පදින්නෙ පුංචි පස්සා පැත්තා රිදෙනවා කියලා සිරා මැසිවිලි නගන සෑම විටකම අතර මැද පුංචි විරාමයක් තබමින්.

මේ කියන සිදුවීමෙන් පස්සෙ නැවතත් මගේ මතක ගබඩාවෙ මල්ලි කොල්ලා ගැන මතකයක් තියෙන්නෙ පුංචි මැටි කැටයකුත් එක්ක. මැටි කැටයක් කිව්වෙ සල්ලි දාන කැටයක්. අපේ මව්තුමිය අපි පුංචි කාලෙ ඉදලම සකසුරුවම් ජීවිතයක හුරුව ඇති කොරන්න කියලා හිතාගෙනද කොහෙද පොලේ ගිය වෙලාවක පුංචි මැටි කැටයක් ගෙනත් දුන්නා. ඒ වෙද්දි මගේ වයස අවුරුදු 6 විතර ඇති.

ඉතිං අපිට කැටයක් ලැබුනාම ඊලගට තියෙන ලොකුම ආශාව තමයි ඒක සල්ලි වලින් ඉක්මනින් පුරවන එක.

ආච්චිලගෙ ගෙදරට ගිහිල්ලා ඕකට කීයක් හරි දාගන්න....අම්මා එහෙම කිව්වෙ අපේ තාත්තගෙ නැන්දණියක් අපේ නිවාසය කිට්ටුව ජීවත් වෙච්ච හින්දා. ඔන්න ඉතිං මල්ලි කොල්ලයි මමයි අර පුංචි කැටයත් එකතු කරගෙන ආධාර වටයක් ගියා. ඒ ගෙදර හිටිය නැන්දලා මාමලා හැමෝම තමන්ගෙ අතේ තිබුන මාරු කාසි දෙවරක් නොහිතා අපේ කැටයට එඹුවා. කැටය ඇතුලට සල්ලි වැටෙද්දි ඇහෙන සද්දෙත් පංකාදුයි. වැඩි වැඩියෙන් කාසි ඔබලා ඒ සද්දෙ අහන් ඉන්න පුංචි අපේ හිත් ආශා කොලා.

දැන් කැටය සෑහෙන තරමකට බරයි..ආච්චිලගෙ ගෙදර ගිය ගමන නරකම නෑ...කාසි සෑහෙන්න වැටිලා...ආපහු එන ගමනෙදි  මේ කැටය හොල්ල හොල්ල ආව මල්ලි කොල්ලා ඒක පාර මැදම අත ඇරියා. කැටේ දෙපලු වෙද්දි ඇතුලෙ තිබුන කාසි ඉර එළියට දිළිසුනා. මගේ හිතේ ලොකු තරහක් ඇතිවුනා. ඒ තරහටම මම මල්ලි කොල්ලට තද පාරක් ගහලා ගෙදර දිව්වා. වටේ පිටේ හිටිය ඇත්තො කාසිත් එක්කම කැටේ සුන් බුන් ටික අහුලලා දීලා ඒකත් අරගෙන මගේ මලයා අඩ අඩා ගෙදර ආව හැටි මට යන්තමට වගේ තවමත් මතකයි.

අපේ මලයා දණ ගාන කාලෙ නලල බිම වැදිලා එතන ගෙඩියක් ආව බවත්...ළමා රෝහලේදි ඒ ගෙඩිය පළලා ප්‍රතිකාර කරපු බවකුත් අම්මා තාත්තා කිව්වත්...ඒ ගැන මට මතකයක් නෑ. හැබැයි මගේ මලයට පුංචි කාලෙ බොහොම තද අපල තියෙනවා කියලා කේන්දර කරුවො කියපු නිසාත්...අපේ ආච්චිලා සීයලා ඒවා බොහොම දැඩිව විශ්වාස කරපු නිසාත් මලයා පෙර පාසල් යන අවදිය වන විට රද්දොළුවෙ අපේ ලොකු නැන්දලගෙ ගෙදර නවාතැන් ගත්තා. අපේ තාත්තගෙ ලොකු අක්කා තමයි  මේ කියන නැන්දා. එයාගෙ දුව තමයි පෙර පාසල් ටීචර්...නෑ කමින් අපිට අක්කා. ඒ කාලෙදි මල්ලි කොල්ලා සමහර වචන උච්චාරණය කරපු විදිය මට තවමත් මතකයි. සීබ්‍රාට කිව්වෙ සිරිබ්බා කියලා. 

මේ ඡායාරූපය පසුව එකතු කරමි.
මේ මගේ මලයගෙ 3 වෙනි උපන් දිනය දවසෙ ගත්ත ඡායාරූපයක්...අද මේ ඡායාරූප ශාලාවත් ගම්පහ නෑ. 

මලයා රද්දොළුවෙ නැවතුනාට පස්සෙ මාසයකට සැරයක් විතර මමත් අම්මත් ඒකව බලන්න ගිය හැටිත් මට මතකයි. අපි ගිය වහාම බොහොම සතුටින් උඩ පනින මගේ මලයා අපි සමුගන්න අවස්ථාවෙදි බිම පෙරළි පෙරළි අඩපු හැටි මතක් වෙද්දි මගේ හිතට තවමත් දුකයි. ආයෙත් එනවනෙ පුතේ කියලා අපේ අම්මත් මල්ලිගෙන් සමුගන්නෙ නෙත් අග දිළිසෙන ලොකු කදුළු බින්දුවක් දෙකක් දරාගෙන.

පෙර පාසල් ජීවිතය ඒ විදියට ගත කරන්න මගේ සහෝදරයට ලැබුනෙ කෙටි කාලයයි. ඒකා නැතුව ජීවත්වෙන එක මගේ මවටත් ලොකු දුකක් නිසා අපල වලට ඕනෙ මගුලක් වෙද්දෙං කියලා ආයෙමත් ගෙදර ගෙනල්ලා අපේ පැත්තෙ පෙර පාසලකට ඇතුලු කොලා.

මේ කියන පෙර පාසල සහ මගේ පාසල අවසන් වුනේ වාර දෙකකට නිසා මව්තුමියට සිදු වුනා දෙවරක්ම ගිණි අව්වෙ අපිව නිවසට රැගෙන යන්න පාසල් එන්න. ඒ දිහා උපේක්ෂාවෙන් බලා හිටිය එකල මගේ පන්ති භාරව හිටිය විජිත සෑර් මලයට පෙර පාසලෙන් පස්සෙ මගේ පන්තියෙ රැදෙන්න අවස්ථාව ලබා දුන්නා. එතැනින් පස්සෙ අපි දෙන්නටම එකවරකට නිවෙසට යන්න හැකි වුනා.

මේ වකවානුවෙදි මගේ පන්තියෙ හිටිය කොල්ලො කෙල්ලො හැමෝම වගේ මලයා එක්ක ඉක්මනින්ම හිතවත් වෙච්ච හින්දම තමයි විවේකයට කන්න කියලා ඒ අය ගේන පාන් පෙත්තක් හරි බිස්කැට්ටුවක් හරි ඒකාට දෙන්න ඉතුරු කරලා තිබ්බේ.

පුංචි කාලෙ ඉදලම බොහොම නිශ්ශබ්ද...දාංගලය අඩු කෙනක් නිසාම මල්ලි කොල්ලා ගැන කාගෙන්වත් පැමිණිලි නෑ...සියලු පැමිණිලි මට එරෙහිවයි ඉදිරිපත් වුනේ. ඒ උනාට ඉදලා හිටලා මගේ දග වැඩ ගැන අම්මට කේළමක් දෙකක් කියන නිසාම තමයි මමත් මලයත් අතර ද්වන්ද්ව සටන් ඇති වුනේ. අද මට දුක හිතුනත් එදා මට දුකක් හිතුනෙ නැති නිසාම මලයා මගෙන් ගුටි කෑවා....හැමදාමත් ඇඩුවා....ඊට පස්සෙ නඩුව විභාග කරලා අම්මා ඉදලා හිටලා මට පාරක් ගැහුවා...සමහර දවස් වලට මමත් මල්ලි කොල්ලා එක්කම ඇඩුවා.

ඉස්සර තිබුන මුත් අද අපේ මිදුලෙ නැති දැවැන්ත කොස් ගහ යට සෙවනෙ ලී හිටවලා මමත් මලයත් ඉස්සර සෙල්ලං ගෙවල් හැදුවා. වලවල් හතරක් කපලා ලී කෝටු 4 ක් හිටවලා වහලෙටත් මොනවා හරි දැම්මම අපි දෙන්නගෙ ගේ අංග සම්පූර්ණයි. ගේ වටේ අහුරන්න අම්මගෙ පරණ සාරියක් දෙකක් දැම්ම බවකුත් මතකයි. එවැනි දවසක දවල්ට බත් කන්නෙත් ඒ ගේ ඇතුලෙ ඉදලා. මේ විදියට තමයි අපේ සුන්දර ළමා කාලය ගලාගෙන ගියේ.

ඒ උනාට දවසක් මලයාව අල්ලලා ඇද උඩට තල්ලු කරපු දවසක මගේ ඇස් රතු වුනා. ඒකගෙ ඔලුව ඇද විට්ටමේ වැදිලා පැලුනා. ලේ ගලනවා උනත්...ඒකා ඇඩුවෙ නෑ....දෙමාපියො නඩුව විසදන්න සුනංගු නොවී වහාම දොස්තර මහතෙක් කරා රැගෙන ගිහිල්ලා ඉක්මනින් තුවාලය හොද කලා. ඊට ටික දවසකට පස්සෙ තමයි මලයා මට පළවෙනි ප්‍රතිප්‍රහාරය එල්ල කලේ.

ආයෙමත් දවසක අපි දෙන්නා පැටලුනු වෙලාවක අලුතින්ම උල් කරලා තිබුන මගේ පැන්සලෙන් මලයා මගේ වම් ඇහැට අගලක් විතර යටට වෙන්න තදින් ඇන්නා. පැන්සල එළියට අදිනකොට ඒකෙ තිබුන තුඩ මගේ මූණ ඇතුලෙ. අපේ පවුලේ දොස්තර මහත්තයා අපේ තාත්තට කිව්වෙ මේක ගන්න නම් මෙතන පලන්න වෙනවා...එහෙම උනොත් මූණෙ පෙනුමත් කැත වෙනවා...තුඩ අපි එහෙමම තියමු මිනිරං ශරීරයට විෂ නෑ කියලයි. ඒ නිසා තවමත් මලයා ඇනපු මිනිරං තුඩ මූණෙ තියාගෙන තමයි සිරා කොලුවා ජීවත් වෙන්නෙ...ඒ කැළල යන්තමට වගේ තාමත් තියෙනවා.

මේ දෙන්නා තනියම ගෙදර දාලා යන්න බෑ...එද්දි මොනවා කරගනීද මන්දා...අපේ අම්මා තාත්තට එහෙම කිව්වෙ මගෙත් මලයගෙත් නිරන්තර ගැටුම් නිසයි. එතැනින් පස්සෙ දෙන්නගෙන් කෙනෙක් අනිවාර්යෙන්ම මව හෝ පියා නිවසින් පිටතට යද්දි රැගෙන ගියා....ඒ කාලෙ අපි රණ්ඩු වුනේ මොන මොන හේතු වලටද කියලා මට දැන් මතකයක් නෑ.

මගේ ගුටි බැට වලින් මලයාට සහනයක් අත් කර දෙන්න තාත්තා තීරණය කලේ ඊටත් පස්සෙ. අපේ තාත්තා කරාටේ ක්‍රීඩාව සෑහෙන දුරකට ප්‍රගුණ කරපු කෙනෙක්...ඒ දැනුමෙන් යමක් මලයාට ලබා දෙන්න එතුමා කටයුතු කොලා....ඒ හැම වෙලාවකම තාත්තා කිව්වේ මේ දැනුම තමන්ගේ ආරක්ෂාවට මිස වැඩ පෙන්වන අරමුණෙන් කිසිම තැනක පාවිච්චි නොකල යුතු බවක්. නමුත් මට කිසිවක් කියා දුන්නෙ නෑ...තාත්තා ඉගැන්නූ දේ වලින් පහරවල් වළකාලන්නත්...සෙළවිය නොහැකි සේ ගැට දමන්නත්...කෙටි කාලයකදි මලයාට හැකි වුනා...ඔයින් මෙයින් ඒකාගෙන් මටත් පහරක් දෙකක් වදින කාලයක් ආවා. එතැනින් පස්සෙ අපි දෙන්නට ඇති තරම් ගහගන්න ඉඩ දුන්නා....හැබැයි එක කොන්දේසියක් උඩ ...අඩන කෙනාට ගෙදරින් ගුටි....ඒ නිසාම මලයා හිතට ධෛර්යය අරගෙන අඩන්නෙ නැතුව හැකි තරම් දුර සටන් කලත්...සමහර දවස් වලට මිනිහා අඩනවා....ඒත් වයසෙන් මුහුකුරා යද්දි...පවුලෙ වැඩිමලා විදියට මලයා ගැන වගකීමෙන් හිතලා ඒකාගෙ පහරකට ප්‍රතිප්‍රහාර දෙන්න යන්නෙ නැතුව නිහඩව ඉවසන්න මම පුරුදු වුනා. 

මේ වකවානුවෙන් පස්සෙ කාලයක් විදේශගත වෙලා හිටිය තාත්තා නැවත සියරට ඇවිල්ලා අපිට පීනන හැටි කියාදෙන්න අත්තනගළු ඔයට රැගෙන යන අවස්ථාවලත් හැම වෙලේම මලයත් මා එක්කම හිටියා...අපි දෙන්නම එක විටම තමයි පීනන්න ඉගෙන ගත්තෙ. නමුත් හැම වෙලේම මට වඩා කලියෙන් අලුත් යමක් ඉගෙන ගන්න ඔහුට කදිම හැකියාවක් තිබුනා. අනිත් කාරණේ ඔහුට වම දකුණ අත් දෙකම හුරුයි..දකුණු අත ලියන්න භාවිතා කරනවා නම් ඔහු ලීයක් කපන්න පිහිය අල්ලන්නෙ වම් අතින්. ක්‍රිකට් ක්‍රීඩා කරන වෙලාවට දකුණතින් පිත්ත හැසිරෙව්වත් පන්දු යවන්නෙ වම් අතින්.

ඔයින් මෙයින් ශිෂ්‍යත්වය සමත් කරගෙන සිරා නගරෙ පාසලට ගියාට පස්සෙ මගේ මලයත් ඒ පාරෙම ඇවිල්ලා අපේ පාසලට ඇතුලු වුනා. මලයා 6 හෝ 7 පන්තියෙ ඉද්දි ඒකට වඩා වසරක් වැඩිමල් එකෙක් පාසලේදි සද්දයක් දාලා සල්ලි ඉල්ලලා තිබුනා.  දවසක් දෙකක් බලලා බැරිම තැන ඒකා මට පැමිණිලි කලා. මම ඒ වෙද්දි පාසලේ දිග කලිසං අදින වයසට ඇවිල්ලා හිටිය හින්දා භය නැතුව පාසල් වෙලාවෙන් පස්සෙ අදාළ කොල්ලව කොටු කරගෙන....අතින් පයින් නැතුව වචන වලින් භය කරලා එලෙව්වා....එදායින් පස්සෙ කිසිම කරදරයක් වුනේ නෑ.

මම බෑන්ඩ් කණ්ඩායමට බැදෙද්දි එයත් ඒකටම එන්න පොරකෑවත් මගේ නිදහස නැති වේයැයි බියෙන් මම එයට විරුද්ධ වුනා. ඉන් පසුව ඔහුගෙ තේරීම උනේ රතු කුරුස සමාජය...මේ ඔස්සේ උනන්දුවෙන් කටයුතු කරලා එක් වසරක දකුණු කොරියාවෙ සංචාරයකට යන්න ලංකාවෙ බස්නාහිර පළාතින් තේරුනේ අපේ මලයා වුනත්...ඒ එක්කම ඒ කලාපෙ පැතිරී ගිය සාර්ස් වයිරසය නිසා ඒ චාරිකාව යන්න එයාට අවස්ථාවක් ලැබුනෙ නෑ.

මට හිතෙන විදියට මලයත් මමත් බොහොම සමීප උනේ මම උසස් පෙළ කරන කාලෙදි...සහෝදරත්වයට වඩා මිත්‍රශීලී හැගීමක් තමයි එතැන තිබුනෙ...වයසින් වැඩෙද්දි මගේ ලග තිබුන දගකාරකම් නැති වෙලා තැන්පත් තත්වයට මම පත්වෙද්දි...ඔහු තරහා ගිය විටෙක ආවේගශීලී කෙනෙකු බවට පත් වුනා. 

වතාවක් මගේ මවුන්ටන් බයිසිකලය රැගෙන මලයා කඩේ ගියා. ආපහු එද්දි ඒකෙ තිබුන ප්ලාස්ටික් ගැජට් කොටසක් නෑ...

කෝ බන් මේකෙ තිබුන කෑල්ල...

කොතනද කෑල්ලක් තිබුනෙ..

මේ මෙතන බං....ඒක දැන් නෑනෙ...

ආ...එහෙනං බිම වැටිලද දන්නෙ නෑ..

ඊට පස්සෙ දෙන්නම නැවතත් හන්දියට ගියා...බිම වැටිලත් නෑ...

කවුරු හරි බයිසිකලය ලග හිටියද ?

ඔව්...අර ...........හිටියා තව දෙන්නෙක් එක්ක..

එහෙනං ෂුවර් එකටම උන් වැඩේ දෙන්න ඇති.

හන්දියේ ඉදන් බැලුවාම  අපේ සැකකාරයො 3 දෙනා ඈතින් යනවා පේනවා...මලයවත් දාගෙන මම පැද්දා හැටට හැටේ...

හෝව් හෝව් ....පොඩ්ඩක් ඉදපල්ලා....මලයා එහෙම කියලා කාරණේ කිව්වා....

අනේ අපි ගත්තෙ නෑ....උන් එහෙම කිව්වා

ඒ උනාට මට උඹලවව සැකයි... අයියෙ මුංගෙ සාක්කු බලමු....එහෙම කියලා ඒවා බලාගෙන යද්දි එච්චර වෙලා ගත්තෙ නෑ කියපු ප්ලාස්ටික් කෑල්ල එකෙකු දුන්නා...

මේ වගේ වෙලාවට මම සාමකාමීව හිටියත්..මලයට එහෙම ඉන්න බෑ...මිනිහා පැන්න ගමන් කෑල්ල අරගෙන තිබුන එකාට ගැහුවා...ඒකා කෙහෙල් කදක් වගේ බිම වැටුනා...අනිත් උන් දෙන්නා මලයට ගහන්න පනිද්දි මම උන් දෙන්නට සැලකුවා මගේ සහෝදර ප්‍රේමය නිසා.

මේ වගේ අවස්ථා දෙක තුනකදි අපේ සහෝදර ප්‍රේමය ඉස්මතු උනා. තවත් ශක්තිමත් වුනා. තමන් පාසල් කාලයේ බාහිර ක්‍රියාකාරකමක් විදියට ඇසුරු කරපු රතුකුරුස සමාජයම ඔහුගේ මුල්ම රැකියා නවාතැනත් වුනා. ඇමරිකානු රතු කුරුස සමාජය ලංකාවේ දියත් කරපු ව්‍යාපෘතියකට සම්බන්ධ වෙලා සුනාමියෙන් අවතැන් වෙච්ච ජනතාවට සහාය වෙන්න ලංකාව වටේම ඔහු ගියා. සුනාමිය ඇවිල්ලා ගිය ගමන්ම ඔහු මාතර ගියේ එහේ ජනතාවට උදව් වෙන්න. කෙනෙකුට උදව් කිරීමේදීත් අසරණ සතුන්ට කරුණාව දැක්වීමේදීත් මගෙත් මලයගෙත් සිතුම් පැතුම් බොහොම සමානයි.

මලයා සම්බන්ධව පසු කාලීනව වෙච්ච සිදුවීම් වලින් අවස්ථා දෙකක් තියෙනවා මම බොහොම සංවේගයට පත් වෙච්චි. ඉන් පළමුවැන්න Appendicitis රෝග තත්වය වැඩිවෙලා සැත්කමක් සදහා රෝහල් ගත කරපු අවස්ථාව...රතු කුරුස සමාජයෙන් සියලු වියදම් දරණ නිසා පෞද්ගලික රෝහලකයි සැත්කම කලේ...එදා ඒ තීරණය ගන්න අපේ තාත්තා සියලු වගකීම් පැවරුවේ මට. මම අමාරුවෙන් ඉන්න මලයාගෙන් ඇහුවෙ ඔපරේෂන් කරමුද කියලා. ඔහු හා කිව්වා. සැත්කමෙන් පස්සෙ මලයා කෙමෙන් කෙමෙන් පියවි සිහියට එද්දි ඒ කාලය එදා මට දැනුනෙ කල්පයක් වගෙයි...ඒක තමයි මට හිතෙන්නෙ අසීමාන්තික සහෝදර බැදීම.

පසුකාලයකදි මලයා ඡායාරූප කලාව දෙසට දෝළනය වුනා. එහි හැදෑරීම් සදහා කොළඹ යන දවසක අපේ පාරෙ ගමන්ගත්ත පුද්ගලික බස් රථයක් ලංගමයක් සමග රේස් ගිහිල්ලා...තාර පාරෙන් ඉහළට එසවිලා තිබුන ගැට්ටක පිටුපස පා පුවරුව වැදිලා බස් රථයේ වේගය වැඩි කමට පා පුවරුව රථයෙන් ගැලවිලා ඉවතට විසි වෙලා තිබුනෙ ඒ වන විටත් පඩිපෙලේ සිටි අය සමගයි. ඒ අනතුරින් මල්ලි දරුණු ලෙස තුවාල ලැබුවා..අත් දෙකත් පිටත් හම ගහලා වගෙයි තිබුනෙ...එච්චර දරුණු ලෙස තුවාල වෙලා තිබුනත්...රතු කුරුසයේදි ලද පුහුණුව අනුව නිවැරදි ලෙස ඔසවලා බස් රථය අස්සට වැටිලා හිටිය තරුණියක් බේරාගන්නත් ඔහු එදා කටයුතු කොට තිබුනා.

මට මේ ආරංචිය ලැබිලා රෝහලට යද්දි මේ සිදුවීම වෙලා පැයකට ආසන්න කාලයක් ගත වෙලා. ගම්පහ රෝහලේ අලුතෙන් විවෘත වෙලා තියෙන ගොඩනැගිල්ලත් සමග රෝහලේ පහසුකම් දියුණු වුවත් මගේ මලයා බොහොම අසරණ විදියට වේදනාව දරාගෙන මා යන විටත් රෝහලේ පුටුවක ඉදගෙන හිටියා.

සහෝදර ප්‍රේමය නිසාම සන්සුන් සිරා එදා නොසන්සුන් උනා...ප්‍රධාන හෙද නිලධාරියා සමග බහින් බස් උනා...පැයක් යනතුරු කිසිම දෙයක් කරන්නට ඇයි ඔහේලට බැරි උනේ කියලා....එයින් පසු නැවතත් පුද්ගලික රෝහලකදි ප්‍රතිකාර කරලා නිවෙසට රැගෙන ගිය දා ඉදන්ම ඔහුගේ පිටේ තිබුන දරුණු තුවාලයට බෙහෙත් දැමුවෙ මම. ඒ තුවාල දකිනකොට ඔලුව කැරකෙනවා වගේ දැනුනත්...බෙහෙත් දැමීමේ කාර්යය මගේ වගකීමක් ලෙස සලකලා හිත දැඩිකරගෙන ඒ කාර්යය කරන්න එදා මම සමත් වුනා.

සේලයින් වලින් තුවායට එලලා තියෙන ගෝස් කෑල්ල තෙත් කරලා හෙමිහිට ගලවද්දි ඒ සමගම තුවාලයේ මතුපිට සම ගැලවිලා ආවත් ඒ දරුණු වේදනාව ඔහු කිසිම ලෙසකින් හඩක් පිට නොකර දරා ගත් ආකාරය ගැන මට අදත් පුදුමයි. මේ අනතුර නිසා යම්කිසි වන්ධි මුදලක් ගන්න හැකියාවක් තියෙනවා කියලා යමෙකු කිව්වත් ඒ මුදලත් මේ අනතුරින් දැඩි ලෙස තුවාල ලබපු පෙරකී තරුණිය වෙත ලබා දෙන්න කියලයි ඔහු කිව්වෙ.

බස් රථ අනතුරෙන් පසුවත් තමාගේ ශරීරයට වෙච්ච හානි ගැන බලන්න කලියෙන් තමා ලග තිබුන කැමරාවට වූ හානි පිළිබද සොයා බැලූ මගේ මලයා පසු කලෙක ඡායාරූප මාධ්‍යවේදියකු ලෙස ජාතික පුවත්පතකට එකතු වුනා. ඒ එම ක්ෂේත්‍රය පිළිබද හැදෑරීමක් කරලා වගේම  හිතේ තිබුන අප්‍රතිහත ධෛර්යයේත් ප්‍රතිඵලයක් ලෙස.

මේ ඡායාරූපයත් පසුව එකතු කරන්නෙ...මලයගෙ අවසරය අරගෙන...
මේ චෝගම් අස්සෙ කිළිනොච්චියට ගිය ගමනක්...
නිල් පැහැති ටී ෂර්ට් එක ඇදගෙන ඉන්නෙ මලයා....
මේ පෝස්ටුව කියවලා මලයත් සතුටු කදුලු හෙලුවයි කියන්නෙ.....



























ලෝකය පීර පීරා කාලයකට කලින් හොයපු KP එක්ක මගේ මලයා කිලිනොච්චියේදි
එතැනින් පස්සෙ තමන්ගෙ රැකියාව දේව කාරිය හා සමානව කරගෙන ඉදපු මගේ එකම සහෝදරයා තමන්ගෙ වෘත්තීය ජීවිතය තුලදි මාරක කඩඉමක් පැන්නෙ වැලිකඩ බන්ධනාගාරයේ රැදවියන් හා පොලීසිය අතර ඇතිවුන වෙඩි හුවමාරුව වෙලාවෙදි. එදා හිරගෙදර වහළෙ උඩට නැගලා T56 අවියක් දෙකක් ඉහළට ඔසවලා ඒ අය පොලිසියට ඔච්චම් කරමින් හිටිය වෙලාවෙ මල්ලි ඈත ඉදලා ගත්ත ෆොටෝ විශාලනය කරලා බලද්දි ඒ අවි වල මැගසිනය නැති බව දැකලා ඉහළ පොලිස් නිලධාරියෙකුට ඒවා පෙන්වමිනුයි ඉදලා තියෙන්නෙ. ඒ වෙලාවෙම තමයි රැදවියො මල්වෙඩි පත්තුකරනවා වගේ එක පාරටම පාර පුරා වෙඩි තියන්න පටන් අරගෙන තියෙන්නෙ....හිත හිතා ඉන්න වෙලාවක් නැති තැන ලගම තිබුන වාහනයක් යටට රිංගලයි මලයා ජීවිතේ බේරාගෙන තිබුනෙ.

ඔය කියපු දවසෙ ගත්ත පින්තූරයක්. මෙතන සමහරු අද ජීවතුන් අතර නෑ.
රතු කුරුසයට සේවය කරන කාලෙදි එහිම ඇති වෙච්ච ප්‍රේම සබදතාවක් මත මලයා 2012 වසරෙදි විවාහ උනා. එයින් පසු බොහොම වගකීම් සහගත ජීවිතයක් ගත කරමින් තමාගේ ඉදිරි වැඩ කටයුතු ගැන නිතරම සැලසුම් සකස් කරන ඔහු ඒ සදහා නිරන්තරයෙන්ම මගේ අදහසුත් විමසනවා.

දැනට මාස තුනකට විතර කලියෙන් මලයා මට බොහොම සතුටුදායක පණිවිඩයක් ජංගම දුරබණුවට කෙටි පණිවිඩයක් විදියට එවා තිබුනා. ඒ ආරංචිය ලද සැනින් මට මතක් වුනේ පොඩි කාලෙ ඉදන්ම අපි දෙන්නා හිටිය විදිය වෙනස් වෙලා වයසින් මුහුකුරා ගිය තත්වයට එන්න කාලය කොතරම් වේගයෙන් ගත වෙලාද කියලා...

අද මලයගෙ උපන්දිනය...මේ වසර එයාට සුවිශේෂීයි...ඒ සියලු කඩඉම් සාර්ථකව ජයගෙන තමන්ගෙ ජීවිතය අලුත් මානයකට රැගෙන යන්න මේ වසරෙදි මගේ ආදරණීය මලයාට හැකි වේවා කියලා මම බොහොම හෘදයාංගමව මේ බ්ලොග් ලිපියට මුවාවෙලා ප්‍රාර්ථනා කොරනවා.



අයියෙ....උඹ මහප්පෙක් වෙන්න යනවා.....එන්න එහෙමයි මට මලයා එවපු පණිවිඩේ සටහන් වුනේ. එතැනින් පස්සෙ දුරකථන තිරයෙ මට දිස් වුනේ පුංචි කාලෙ ගහමරාගත්ත, වෙල් එළියෙ සරුංගල් යවපු, අහල පහල ඔට්ටු දිව්ව ඒ ලස්සන අතීතය අපේ දෑස මානයේ ආයෙමත් විද්‍යාමාන කරන්න  පුංචි පැටියෙක් අපේ පවුලට එකතුවෙන සුන්දර කාල සමයක්. හැබෑට බොලං කාලය ගතවෙලා යන ඉක්මනක්....



මම කාමරේ වෙසෙන සත්ගුණවත් සිරා කොලුවා.



ප.ලි

අපේ නිවසෙ මේ වෙද්දි එක් මව්කුසක උපන් බළල් සහෝදරයො දෙන්නෙක් එකිනෙකාට හරිම ආදරයෙන් වැඩෙනවා. මේ දර්ශනය දකින අපේ අම්මට අපේ පොඩි අවධියත් මතක් වෙනවා ඇති.

මේ තියෙන්නෙ මම හදිස්සියේ හොයාගත්ත මලයගෙ පින්තූර ටිකක්...මේ ලිපිය ලියන්නෙ එයාට හොරෙන් නිසා එයාගෙන් කිසිම දෙයක් ඉල්ලන්න බෑ.










අපේ මලයා ගත්ත පින්තූර අතරින් මට දැනුන විදියට සංවේදීම පින්තූර දෙකක්.



මේ ආරක්ෂක අංශ ආබාධිත සෙබලුන්ගෙ ක්‍රීඩා උළෙලක්

කියන්න බැරි උනා නොවැ...මේ ලගදි දවසක මලයා විශේෂ කාර්ය බලකාය එක්ක තණමල්විල ගියා         ගංජා හේනක් වටලන අවස්ථාවක් වාර්තා කරන්න. මේ එහි ඡායාරූපයක්
නිර්මාණාත්මක පැත්තෙන් උසස් ඡායාරූප රාශියක් මලයා සතු වුවත් මේ හදිස්සියෙ ඒවා මට ඉල්ලගන්න විදියක් නෑ...ඉදිරි දිනයක බලමු.


Friday, January 17, 2014

83 දුක් විදින අලියා

ක්ෂීරපායි හෙවත් මැමාලියා ගණයට අයත් අලියා ගැන නොඇසූ කථා කීපයක් ඔබට කියන්නට සිරා කොලුවා වන මම රිසි වෙමි. එහෙත් අලියාගේ බොහෝ තොරතුරු ඔබද දනියි. සමහරු කැපුවත් අලියා හැර නොයන බැව් කියති. නැතිනම් ආණ්ඩුවේ සිටිනා දේශපාලුවෙක් කියූ අලි බොරුවක් හෝ කරන ලද අලි වංචාවක් ගැන කථා වෙති. අනේ මගේ මූණෙ උලන්නට අලි ගැට පේර ගෙඩියක් දෙකක් අරන් එනවකො. බිරින්දෑවරු සැමියන් අමතා එසේ පවසති. බලනවකො...ඔය යකා අලි වැඩ්ඩෙක්....මෝටර් සයිකලය අලුත් වැඩියා කරන තැනක සිටිනා පාරිභෝගිකයකු බයිසිකල් බාස් පිළිබද තම හිතවතෙකුට එසේ හදුන්වාදෙති. එසේත් නැතිනම් තම හිතවතෙකු මිය ගිය කල්හි අලියා බීම බෝතල කීපයක්ද ඉදිරියෙන් තබාගෙන මතක පැන් වත් කරති. කලකට පෙර අපෙන් සමුගත් කෝපිකඩේ අලි ජේමිස් උන්නැහේද ඔබට අමතක විය නොහැක.

එහෙත් සබද....මා මේ කියන්නට යන්නේ ඒ අලීන් ගැන නොව පණ ඇති අලීන් ගැනය. කකුල් හතරේ අලියා වූ කලී විශාල ශරීරයක් සහිතව ඉපදී මෙලොව ඇති සියලු දුක්ඛ දෝමනස්සයන් දශක ගනනාවක් පුරාවට නිහඩව විද අවසන් ගමන් යන අහිංසක සත්ව ප්‍රජාවකි. සම්පූර්ණයෙන්ම ශාකභක්ෂක පිරිසකි. බොහෝ මිනිසුන් අවධානය යොමු නොකරන ඒ සද්දන්තයන් විදිනා දුක් ගැහැට මේ ලිපියටත් මෙයින් පසු ලියවෙන ලිපියකටත් පාදක වෙයි.

ගොඩබිම සිටිනා විශාලතම සත්වයා ලෙස විරුදාවලිය ලද අලියා වර්තමානය වන විට ආසියානු හා අප්‍රිකානු අලියා ලෙස වර්ග දෙකකට පමණක් සීමා වී සිටී. ඒ අතරිනුත් ආසියානු අලියා සුන්දරත්වයෙන් හා නුවනින් ඉහළ කෙනාය. එහෙත් තරහා ගිය කලෙක ප්‍රචණ්ඩත්වයෙන් ඉහළ කෙනා අප්‍රිකානු අලියාය. මේ අයගේ ආදිතමයා පෘථිවිය දැඩි ශීතලකින් යුතු වූ පලයිස්ටෝසීන යුගයේ ජීවත් වූ අඩි 14 පමණ උස, ශරීරය පුරාම ගණව රෝම වැවුනු වුලි මැමත් නම් නාමයකින් නූතන සත්ව විද්‍යාඥයන් විසින් හදුන්වන සත්වයාය. එහෙත් පසු කාලෙක පෘථිවිය තුල ඇතිවුන විවිධ වෙනස්කම් හමුවේ මැමත්ලා අප හැර සදහටම වෙන්වී ගියහ.

අලියාගේ සීයා...මැමත්


අලියා යනු සැබැවින්ම නෙතට රසදුනකි. ඒ නිසාමදෝ පුරාතණයේ සිටි අපේ මුතුන් මිත්තෝ...අලි බැලිල්ලයි බලි බැලිල්ලයි එපා නොවනා වගත් අලියන්ට ළමයින්ට නලියන්නමයි හිත ආදී ලෙස ඒ අලීන්ගේ වරුණ අපට කියන්නට අමතක නොකලහ. එසේත් නැති නම් ගොඩබිම වෙසෙන වෙනත් සත්වයෙකුට උරුම නොවූ අපූරු අංගෝපාංගයන්ගෙන් සමන්විත මේ අගනා ජෛව නිර්මාණය දෙස බලා ඔවුන්ගේ සෞන්දර්යවාදී සිත් අවදි කලහ. අපූරු ශරීර ලක්ෂන වලින් හෙබි වීමත්, ශරීරයේ ඇති විශාලත්වයත්, ශක්තිසම්පන්න භාවයත් නිසාම අන් සතුන් හට හිමි නොවූ සුවිශේෂී ස්ථානයක් අලියා නමින් මිනිස් සමාජයේ වෙන් වූයේ ඈත අතීතයේ සිටම බැව් අවිවාදයෙන් පිළිගත හැකි කාරණයකි. ගල් යුගය දක්වා දිවෙන ගුහා චිත්‍ර වලද අලියා සටහන් වී ඇත්තේ එබැවිනි.

ඈත අතීතයේදී රජවරු අලින් තම ප්‍රවාහන මාධ්‍ය ලෙස භාවිතා කල බවත් තම සිව්රග සේනාවන් තුල සාමාජිකයන් කොට යුධ සටන් සදහා පෙරමුණට යැවූ බවත් ඇතැම් කථාවක කියවෙයි. ඒ අනුව මිනිසා සහ අලියා අතර ඇති සැබැදියාවට සෑහෙන කාලයක ඉතිහාසයක් ඇත.

අලියා හෙවත් හස්තියා යනු සොබාදහමේ අපූරු නිර්මාණයක් බැව් යලි යලිත් කීම අවැසි නොවේ. බිම වැටුනු ඉදිකට්ටක් වුවද අහුලා ගත හැකි තරම් සංවේදීත්වයක් ඇති, හුස්ම ගැනීමටත්, ආහාර ලබා ගැනීමට ආධාරකයක් ලෙසත්, අතක් මෙන් හදිසියේ පහර දීමටත්, ඕනෑම දෙයක් අල්ලා ගැනීමටත් යන ආකාරයේ බහුවිද ප්‍රයෝජන වලින් යුතු හොඩවැල අලියා සතු විශාලම සම්පතයි. අන් කිසිදු සතකුට එවැනි යමක් නැති නිසාම අලියා කැපී පෙනෙයි. ඉදිරියට නෙරා එන උඩු ඇන්දේ කෘන්තක දත් දෙපලට මිනිස් සමාජය දළ නම් නමක් පට බදියි. එය අලියාට සුන්දරත්වයක් එකතු කලද...අද වන විට උන්ගේ ජීවිත වලට කණකොකා හඩා ඇත්තේද මේ කෙහෙල් මල් දළ දෙක නිසාය. අලින්ට තම ජීවිත කාලය තුල ගස් අතු ඇඹරීමට එසේත් නැතිනම් ආහාර කුඩා කැබලි වලට කඩා ගැනීමට දත් කට්ටල 6 ක් ලැබෙයි. 6 වන කට්ටලයද අවසාන වූ පසු ආහාර ගැනීමට ප්‍රථම ඒවා පොඩි කරගන්නට ක්‍රමයක් නොමැතිව සමහර අලින් ජීවිත සටන පරාද වන බැව් ඇතැම් තැනක මම කියවා තිබේ.

අපේ ජන සමාජයේ  විශාලව ඵලය හටගන්නා පුවක් ගෙඩිය, දෙල් ගෙඩිය, අඹ ගෙඩිය රට නම් විශේෂන පදයකට මුවා වූවා සේම දළ ඇති අලියා ඇතා නම් අපූරු නමකට හිමිකම් කියයි. ඇතාගේ කාන්තා පාර්ශවය ඇතින්න වන විටක අලියාගේ ගැහැණු පාර්ශවය කෙණෙර යනුවෙන් හදුන්වයි. එහෙත් බොහෝ දෙනා ඇතින්නිය ගැන අසා තිබුනත් කෙණෙරක ගැන අසා නැත.

වංගෙඩි මෙන් විශාලව වැඩී අලි සිරුරේ අලි බර දරණා අලි පාදයන්ද...එහි ඇති අලි නියපොතුද.... නරඹන්නන්ගේ නෙත් සිත් පැහැර ගනී. එහෙත් මිථ්‍යා විශ්වාසයන්ගේ එල්බගෙන, මහන්සියෙන් කිසිවක නිරත නොවන ඇතැමෙකු තම වාසනා මහිමය වැඩි කරගන්නට හදන්නේ අලි වලිගයෙන් කෙදි ගැලවීමෙනි. ඒවා ලග තබාගැනීමෙන් වාසනාව පහල වන බවට ඇති මේ තේරුමක් නැති කථාව නිසාම පෙරහැර අස්සේ වුවද අලි නැට්ටෙන් කෙදි ගැලවීමට ඇතැමුන් වෙර දරති.

ගමරාළ අලි වලිගයේ එල්ලී දිව්‍යලෝකේ ගිය කථාව පුංචි සන්ධියේ නොකියවූ ඇත්තෙකු සිටිය නොහැකි වන තරමට ජනප්‍රිය එකකි. අප කුඩා කල කියවූ කතන්දර වල අලියාගේ කන්පෙති සමාන කර තිබුනේ ධාන්‍ය වර්ගයන්හි අනවශ්‍ය කොටස් ඉවත් කර අවශ්‍ය දේ ඉතිරි කර ගැනීමට කුස්සියේ භාවිතා වන කුල්ල නම් උපරකරණයටයි. ඒ යෙදුම අදටත් ගැලපෙනවා යැයි මා සිතමි. නමුත් නාගරික දරුවන්ගෙන් බහුතරයක් කුල්ල යනු කුමක්දැයි නොදන්නා බව සිකුරුය. එවිට මට සිතෙන්නේ කාලය මැව් වෙනසක අරුමේ යනුවෙනි. කුල්ලෙන් පොලන්නට දෙයක් නැති නාගරික නිවසට...කුල්ලක් කුමකටද ?

අති විශාල අලි ශරීරයේ දාහය නිවා ගැනීමට අලියා මේ කුලු යුග්ම දෙපසට වනමින් පවන් සලාගන්නා ආකාරය කදිමය. මේ කුලු වලට ඇතුලතින් ඇති අලියාගේ කන ඉතා තියුණුය. කිලෝ මීටර 3 ක් හෝ 4 ක් එහායින් ඇසෙන ශබ්දයක් වුව ග්‍රහණය කරගත හැකි තරමට ප්‍රබලය. නමුත් අලියාගේ සිරුරේ ප්‍රමාණයට සාපේක්ෂව දෙනෙත කුඩාය. ඒවායේ පෙනීම දුර්වලය. එහෙත් ඉව යනුවෙන් අප හදුන්වන හැකියාව නිසාම අලියා කරදරයකින් තොරව ඒ මේ අත ගමන් කරයි. වැඩිමනක් රාත්‍රී කාලයට ඇවිදින්නට ප්‍රිය කරයි. අධික හිරු එළියෙන් ඇති වන පීඩාවන්ද එයට එක් හේතුවක් විය හැක. දාහය තවත් දරාගත නොහැකි තැනට පත් වූ කලෙක අලියා ජල පහරකට බැස දිය ස්නානය අරඹයි. හොඩෙන් පිට මැදට වෙන්නට වතුර ඉස ගනියි. නෑමෙන් අනතුරුව මඩ නාගෙන ගොඩට එයි. ඒ දැඩි හිරු කිරණ මගින් සමට වන පීඩාව වලකන්නට ක්‍රීම් වර්ග හා ලෝෂන් වැනි දෑ අලියාට නැති හෙයිනි.

මේ අපූරු සත්වයා මිනිසා සමග වාසය අරඹන්නේ බල්ලන්, බළලුන්, ගවයන් වැනි සත්වයින්ට සෑහෙන කාලයකට පසුව වීම විශේෂයකි. ඒ ශරීර ප්‍රමාණ වලින් කුඩා පෙර නම් කියූ සත්වයින් හීලෑ කරගැනීම පහසු වුවත්..මෙවැනි සද්දන්තයෙක් හීලෑ කරගැනීමට අවැසි තාක්ෂණය ආදිතම මිනිසාට ලැබෙන්නට සෑහෙන කාලයක්  ගිය නිසා විය යුතුය. ඒ කාරිය ඇරඹෙන්නට ඇත්තේ මවගෙන් වෙන් වූ කුඩා පැටියකු හෝ ලෙඩරෝග යනාදියෙන් අසරණ වූ සතෙකු මුලින්ම තම ජනාවාශ වලට රැගෙන ඒමෙන් වන්නට ඇතැයි ඉතිහාසඥයෝ විශ්වාස කරති.

මේ හමුව මිනිසාට කෙසේ වුවත් අලියාගේ නස්පැත්තියට ඉවහල් වූ කාරණයක්ම විය. වනාන්තරයට වී තමන්ට රිසි සේ ඒ මේ අත ඇවිදමින්, ආහාර බුදිමින්, දිය ස්නානය කරමින් ගත කල ඒ නිදහස් සමය අලියාට අහිමි විය. එතැන් සිට ක්‍රම ක්‍රමයෙන් එළැඹුනු යුගය තමාට වඩා බොහෝ සෙයින් ශරීර ප්‍රමාණයෙන් කුඩා මිනිසාගේ බලයට යටත්ව පඩි රහිතව සේවය කරනා කම්කරුවෙකු තත්වයට අලියා පත් කලේය.

කාලයේ ඇවෑමෙන් අලි හිමිකරුවන් අලි සල්ලිකාරයන් මෙන්ම සමාජයේ අලි බලවතුන්ද වූහ. මේ නිසාම අලි ඇල්ලීම මෙන්ම විකිණීමද....සේවය සදහා කුලියට සැපයීම වැනි විවිධ අතුරු කාරණා ඔස්සේ පසු කාලීනව අලියා කරළියටම පැමිණියේය. නැති නම් ලාභදායී ව්‍යාපාරයක් විය. අලියෙකු නිවසේ ඇති දැඩි වීම තමාගේ ප්‍රබලත්වය මෙන්ම සල්ලිකාර කමද බාහිර සමාජයට කියනා අගනා සාධයක් වූ නිසාම අලියෙකු දෙන්නෙකු තමන් හට ලබාගැනීමට ප්‍රභූ පැලැන්තිය දත කෑහ. මේ සියලු කාරණා ලාංකීය ජන සමාජයයේ පේන තෙක් මානයක ඇති ඉතිහාසයට පොදු වූ කාරණාවෝය.

ලක්බිම පාලනය ඉංග්‍රීසීන් විසින් සිදු කල කාල වකවානුව අපේ අලි සම්පතේ අවාසනාවන්තම කාලය බැව් කිව යුතුය. විනෝදය පිණිස අලි මැරීම එකල සිටි මෝඩ සුද්දන්ගෙ විනෝද ක්‍රීඩාවක් විය. අහිංසක සතෙකුට ගිණි බිද විනෝද විය හැකි හිතක් මිනිහෙකුට තිබේ නම්...ඒකා වනචාරියෙකි. මිනිස් කමට නින්දාවකි. එලෙස අලීන් දහසකට වඩා වැඩි සංඛ්‍යාවක් විනෝදය උදෙසා මරා දැමූ කෘ ෘර සුද්දෙකුද වෙයි. ඒකාගේ මරණින් පසු සිරුර තැන්පත් කර ඇති මහනුවර ඇති මිනී වලටද වසරක් පාසා හෙණ ගසනා බවක් නුවර වැසියෝ කියති.

සිරිලංකාවේ අලි ඉතිහාසය ගැන සොයා බැලීමේදී නම කියූ පමණින් බොහෝ දෙනා දන්නා හස්තිරාජයන් දෙදෙනෙකි. ඒ පනාමුරේ ඇත් රාජා සහ දළදා මාලිගාවේ සිටි රාජා.

පනාමුරේ....පනාමුරේ...පනාමුරේ ඇත් රාජා.....පනාමුරේ ඇත් රාජා....

පනාමුරේ ඇත් රාජා සැබැවින්ම ඇතෙකු නොව අලියෙකු වුවත් තිරිසන් සතකු ලෙස සිටියදීත් තම අවශේෂ වර්ගයාගේ නිදහස වෙනුවෙන් සටන් කොට මියගිය අභිමානවත් සත්වයෙකි. එකල මෙන්ම දැනුදු ශ්‍රී ලාංකීය ජන සම්භාවනාවට පත්වෙන අලියෙකි. ඒ නිසාම ඇත් රාජා යන බුහුමන ඒ සතා වෙනුවෙන් පුද දී තිබේ.

පනාමුරේ ඇත් රාජා වැනි උතුම් ගුණාංගයෙන් යුතු වූ සත්වයෙකු ගැන මෙසේ සිල්ලරට පවසා ඉන් ඉවත් වීමට මගේ සිත ඉඩ නොදෙයි. මේ ලිපිය කෙතරම් දිගු වුවත් කියන්නට ඇති සියලුම දෑ ලියන්නට මගේ අතැගිලි වෙර දරයි.

සිරි ලංකාවේ පළමු කථානායකයා වන ප්‍රැන්සිස් මොලමුරේ මහතාට ඉංග්‍රීසි රජයෙන් ලියා පැවරූ අක්කර 99000 ක පමණ අති විශාල භූමිය තුල ජීවත් වූ සියලුම අලි ඇතුන් අල්ලා හීලෑ කර විකුණා දැමීමට තීරණය විය. ඒ අනුව ඒ භූමිය තුල ඉතා ශක්තිමත්ව හා විශාලව අලි ගාලක් සකසා අල්ලා ගන්නා කැළෑ අලින් හීලෑ වන තෙක් රදවා තබා ගැනීමට කටයුතු කොට තිබේ. එහි ආරම්භය 1928 තරම් ඈත අතීතයකට දිව යන්නකි.

එක් දිනකදී ගාලට කොටු කල  අලි 18 දෙනෙකු අතර පෙර කියූ හස්තියාද සිට ඇත. සාමාන්‍යයෙන් කැලෑ අලීන් ඇල්ලීමට හීලෑ අලීන්ද යොදා ගන්නා අතර...අල්ලා ගැනීමෙන් පසු උන් හීලෑ බවට පත් කිරීමටද හීලෑ අලින් යොදා ගනියි.

මේ සුවිශේෂී හස්තියා මේ කිසිම ක්‍රමයකට අවනත වී නැති අතර හීලෑ අලින්ට මුලින්ම පහරදී තිබේ. සාමාන්‍ය කැළෑ අලි දළ ඇතෙකු කෙරේ භය පක්ෂපාත බවක් දක්වන නිසා ඉන් අනතුරුව පනාමුරේ හස්තියා හිලෑ කිරීමට දළ ඇතෙකු ලං කර තිබේ...දළ ඇතාටද නොසිතූ පරිදි දැඩිව පහරදී තමා රදවා සිටි ශක්තිමත් බුරුත කොටන් වලින් සකසා තිබූ කුටියද කඩා බිද දමා රුදුරු වෙස් ගෙන අලි ඇල්ලීම නරඹමින් සිටි මිනිසුන් හටද පහරදීමට උත්සාහ කරමින් හැසිරුනු මේ හස්තියා පාලනය කිරීමට තව දුරටත් අසමත් කල උගේ නිදහස නැති කල ෆ්‍රැන්සිස් මොළමුරේ නම් හදවතේ තෙතමනයක් නැති මිනිසා විසින්ම මේ සත්වයා හට වෙඩි තැබීමට ලංසි ජාතිකයකුට අණ කොට ඇත. නළල මැදට වැදුනු එකම එක වෙඩි පහරකින් තමා හා තම වරිගයේ නිදහස උදෙසා සතියකටත් වඩා කාලයක් එක දිගට දිවි හිමියෙන් තනිව සටන් කොට ලාංකීය ජන සමාජය තුල වීරත්වයට පත් මේ පනාමුරේ ඇත් රාජා වෙඩි කෑ පසුව එහි සිටි සාමාන්‍ය ජනතාව කදුලු සැලූ බැව්ද ප්‍රකටය.

ඡායාරූපය http://www.silumina.lk/
1950 අගෝස්තු 9 වන දින  එම ස්ථානයේ සිට මේ  දසුන නරඹා කම්පනයට පත් සුගතපාල මලලසේකර නැමති ගායකයා හා තනු නිර්මාපකයා මෙන්ම ආනන්ද රාජකරුණා නැමති ගී පද රචකයාද එක්ව ඔවුන්  දුටු සංවේදී සිදුවීම අදද අප ශ්‍රවනය කරනා පනාමුරේ ගීතය බවට පත්කොට ඇත. මේ වීර හස්තියා මියගොස් දැන් වසර 63  ක් ගත වී ඇතත් අදද මේ සත්වයා මිය ගිය දිනය දා  පනාමුරේ ප්‍රදේශයේ ජනතාව රාජා සිහිපත් කරමින් භික්ෂූන් වහන්සේ නමක් ලවා බණක් කියවති. අටපිරිකර සහිතව අංගසම්පූර්ණ දානයක් පළිගන්වති. මතක වස්ත්‍ර පූජා කරති.

මිනිසා හා සමගාමී අලියාගේ ආයුෂ ප්‍රමාණයත්...අනෙකුත් සතුන්ට වඩා අලියා නුවනක්කාරයෙකු වීමත්...අලි සමාජය තුල අලින්ගේම සංස්කෘතියක් ඇති කරගන්නට තරම් ඥාණවන්ත භාවයක් තිබීමත්, යන කාරණා නිසා අලියා අනෙකුත් සතුන්ගෙන් පැහැදිලිවම වෙනස් වෙයි.

අලි රංචුවක නායකත්වය බොහෝ විට දරන්නේ ගැහැණු සත්වයෙක්. නමුත් මේ අදහස වෙනස් කල අවස්ථාව තමයි පනාමුරේ සිදුවීම. සමහරු විශ්වාස කරන්නෙ පනාමුරේ රාජා අලි රැළට නායකත්වය දුන්න නිසයි තමන්ගෙ රැළ වෙනුවෙන් තනිව සටනට බැස්සෙ කියලා.

අලුත් පැටවෙකු ඉපදුන කල්හි කිරිදෙන සෑම අලි මාතාවක්ම තමාගේ නොවුනත් හැම පැටියෙකුටම කිරී බීමට ඉඩ දීම අලි සංස්කෘතියෙ සුවිශේෂී ලක්ෂණයක්. ඒ වගේම රැළේ නායිකාව විසින් නාහෙට අහන්නේ නැති විසේකාර පිරිමි අලි රැළෙන් පිටමං කිරීමට කටයුතු කිරීම හේතුවෙන් තනි අලියා නම් දරුණු අලියෙක් උපදිනවා. සද්දන්ත අලියා විවිධ ශබ්ද හා අංග චලන 200 කට වැඩි ප්‍රමාණයකින් සමන්විත දියුණු භාෂාවක් සන්නිවේදනය උදෙසා භාවිතා කරන බවයි නූනත සත්ව විද්‍යාඥයින්ගේ අදහස.

රැලෙන් පිටමං වන කෙනා තනි අලියා බවත්...ඒකා දරුණු ගතිගුණ ඇති එකෙකු බවත් ඔබ දන්නවා...අලින් ගැන කථා කරද්දි තුන්පත් රෑන නම් ජනප්‍රිය වදනකුත් තියෙනවා. තුන්පත් රෑණ යන සංකල්පයෙදි මත දෙකක් තියෙන බවයි පේන්නෙ. පොදු ජනවහරෙ තාත්තා මව දරුවා කියා හැදින්වුවත්...සත්ව වේදීන්ගේ අදහස අනුව මව, පෙර මුරයක පැටියෙකු සහ පසු මුරයක පැටියෙකු, (උදා අයියා මල්ලි )ලෙසයි තුන් පත් රෑන හදුන්වන්නෙ.

බර වැඩෙහි යෙදිය හැකි යන්ත්‍රෝපකරණ නිපදවා තිබූ නැති අතීතයේ අලින් විසින් ඒ කාරිය ඉටු කලා. වර්තමානය වන විට එවැනි කාර්යයන්ගෙන් බොහෝ අලින් නිදහස් වුනත් නවීන යන්ත්‍රෝපකරණ වැඩෙහි යෙදිය නොහැකි තැන්වල තවමත් අලියා දුක්විදිමින් සේවය කරනවා.

කාර්මීකරණයෙන් පස්සෙ පළමු, දෙවැනි ලෝක යුද්ධ නිමාකරගෙන වේගයෙන් භෞතික දියුණුවක් කරා ලෝකය ගමන්කරද්දි මිනිසුන්ගේ විනෝදාස්වාදය වෙනුවෙන් තිබූ ඉඩත් පුළුල් උනා..ජනමාධ්‍ය, චිත්‍රපටි, සංගීතය වගේම සර්කස් කලාවත් ඒ යටතේයි ඉදිරියට එන්නෙ.

එදා වගේම වර්තමානයේදීත් සර්ක්ස් වල අනිවාර්ය අංගයක් උනේ පුහුණු කරන ලද සතුන්. ඔබ ටිකට් පතක් රැගෙන ආශාවෙන් මේ දේවල් බලා සිටියත් මේ සතුන් පුහුණු කරන්නේ ඉතාම කුරිරු ලෙස බැව් ඔබ නොදන්නවා විය හැකියි. මෙන්න මෙතැනින් මේ පිටුවෙ තියෙන වීඩියෝව බලන්න...සර්කස් දර්ශනයකට මොහොතකට පෙර මේ හස්තින්ට පහර දෙන හැටි හා..ඒ අසරණ සතුන් දකිනකොට මගේ නෙතු අගට කදුලක් එකතු වෙන එක නතර කරන්න බෑ. සර්කස් සංදර්ශනයකදි සෑම සර්කස් කරුවෙකුම අතේ කුඩා පොලු කැබැල්ලක් තිබෙන්නේ ඒ සත්වයාට පහර දීමෙන් පසු ලද වේදනාව මතක් කරන්න. ඒ මතකයන් නිසාම අසරණ සතුන් කියන දේ කරනවා.

මේ කාරණය අරමුණු කර  PETA සංවිධානය මගින් පැවැත්වූ විරෝධතාවක්



නිරන්තරව පහර දෙමින්...ඔවුන්ගේ නිදහස මුලිනුපුටා දමා මේ කරන කාර්යයන් මිනිසුන් ලෙස අපට කිසිසේත් අනුමත කරන්න බෑ. මේ ලිපිය ලියනා සිරා කොලුවා වන මම දැනුම් තේරුම් ඇති වූ කාලයේ සිටම අසරණ සතුන් කෙරේ ඉතාමත්ම සෙනෙහස, අනුකම්පාව දක්වන කෙනෙක්. මා කුඩා කල අපේ ගම ආසන්නයට පැමිණි සර්කස් කණ්ඩායමේ සිටි එළුවෙකු පිළිබද මතකයක් මෙතැනදි අලුත් වෙනවා.

එදා එළුවාට සමබර දණ්ඩෙ යන්න පළමු වතාවෙ නොහැකි වුනා....සර්කස් කරුවන් සර්කස් මඩුවෙ පිටිපස්සට මේ සතාව රැගෙන ගිහිල්ලා විනාඩි 5 කට පමණ පසු නැවතත් රැගෙන ආවා....ඒ සතා දුවගෙන ආවෙ....මට හොදටම දැනුනා...පසුපසට රැගෙන ගිහිල්ලා මුගුරකින් ගහපු බවක්...හීනියට තියෙන පොල්ලක් දිගේ අමාරුවෙන් කකුල් තියා තියා යද්දි එදා මම හිතින් ප්‍රාර්ථනා කලා අනේ මේ වැඩේ සාර්ථකව කරන්න එළුවට අවස්ථාව ලැබෙන්න කියලා...නැවතත් ගුටිකන්න වෙන නිසා.‍

ඒ තමයි මම නරඹපු පළමු සහ අවසන් සර්කස් දර්ශනය. ඇත්ත දැන ගත්තට පස්සෙ නැවතත් එවැනි යමක් බලන්න කිසිම ආශාවක් ඇති වෙන්නෙ නෑ.

90 දශකයෙන් පස්සෙ රට රටවල් අතර සංචාරය කිරීම කර්මාන්තයක් විදියට සංවර්ධනය වෙන්න පටන් ගත්තා. සහශ්‍රය ලබන අවස්ථාව වන විටත් එය සීඝ්‍ර දියුණුවක් ලබා තිබුනා. මා සිටින මැලේසියාවේ ජනතාවට ලොව වටා සංචාරය උදෙසා සහාය වීමට වසරකට දෙවරක්  අති දැවැන්ත ප්‍රදර්ශනයක් පැවැත්වීමට තරම් මේ රටේ සංචාරක වෙළදපොල පුලුල් වෙලා. ලෝකයේ බොහෝ දියුණු රටවලත් තත්වය එහෙමයි. හැම තැනම අලුතින් හෝටල් ඉදිකරනවා...ඒ සදහා අවශ්‍ය යටිතල පහසුකම් වැඩි කරනවා.

මේ කාරණයෙදි විවිධ රටවල් තම තමන්ගේ රටවල ඇති ස්වභාවික පිහිටීම්, විශ්මිත ඉදිකිරීම්, විනෝදාස්වාදය සපයන මාධ්‍ය වගේ දේවල් පාවිච්චි කරලා හැකි තරම් සංචාරකයො පිරිසක් තමන්ගෙ රට වලට ගෙන්නගෙන රටේ ආදායම ඉහළ නංවා ගන්නයි උත්සාහ කරන්නෙ. මම මීළගට කියන කථාව අයිති ආසියාවෙම තවත් රටක් වන තායිලන්තයට.

ඔබ තායිලන්තයේ සංචාරය කර තියෙනවද ? තායිලන්තයේ අලි චිත්‍ර අදින, පා පන්දු සෙල්ලං කරන හැටි දැකලා සෑහෙන්න සතුටු උනාද ? ඔබ සතුටු උනා කියලා කියනවා නම් ඒ පසුපස ඇති මේ දුක්මුසු කථාව ඔබ නොදන්නා නිසා බව මට හොදටම විශ්වාසයි.


මේ සතුන්ගේ නෙත් දිහා බලන්න...ඒ බැල්ම තුල ඔවුන් විදිනා දුක් ගැහැට අපූරුවට සටහන් වෙලා තියෙනවා


ඔපීසියේ මගේ ලග ඉන්න රුසියාවෙන් ආපු සුදු නංගි මේ ලගදි කරපු තායිලන්ත සංචාරයෙන් පස්සෙ මට මෙහෙම කිව්වා...

අපෝ ඕගොල්ලන්ගෙ රටේ අලි ෆුට් බෝල් ගහන්න දන්නෙත් නෑනෙ...ඒකට බලන්නකො තායිලන්ත අලි...ඒගොල්ලො ගොඩාක් දේ දන්නවා....

ඇය ලංකාවේත් සංචාරය කරලා තියෙන තැනැත්තියක් විදියට අපේ අලීන්ගේ ක්‍රියාකාරකම් දැකලා තියෙනවා. ඒ ගැටලුවට පිළිතුරක් දෙනවා වෙනුවට මම කලේ අන්තර්ජාලය ඔස්සේ කාරණය සොයා බැලීම. එතැනදී තමයි තායිලන්ත සංචාරක කර්මාන්තයේ පැවැත්ම උදෙසා පාපන්දු සෙල්ලං කරන, චිත්‍ර අදින, සංචාරකයන් පිට මත හිදුවාගෙන එහේ මෙහේ යන මේ අසරණ අලි විදින වද වේදනා ගැන හොද අවබෝධයක් ලැබුනෙ. තායිලන්තයේ සිටින කැලෑ අලි තොග පිටින් අල්ලාගෙන සංචාරකයන් පිනවන්න පුහුණු කරන වැඩ පිළිවෙල නිසාම එරට වනගත අලි ගහණය සෑහෙන්න අඩු වෙලා.

මේ සියලු කාරණා ඉවසා සිටින අලියා මනසින් උසස් අපට වඩා ඉවසීම හුරු කර තිබෙනවා නොවේද ?


මේ වීඩියෝවෙ භාගයක්වත් වත් බලන්න මට බෑ....මගේ හදවත ඒ තරමට සංවේදියි. එහෙත් ඔබට හැකි නම් බලන්න. නොදන්නා දෙයක් ගැන දැන ගන්න. හැබැයි සංවේදී හදවත් ඇති ඇත්තො නොබලන තරමට හොදයි.


මේ තරමට මිනිසා කුරිරු උනේ ඇයි. සතෙක් උනත් ඌටත් වේදනාව දැනෙන බව නොදන්නා නිසාද? මේ ලෝකය මිනිසාට පමණක් නොව සතා සීපාවාටද අයිති බවත්....ඒ සතුනුත් නිදහස බොහෝ ඉහළින් අගය කරන බවත් මනසින් උසස් යැයි සම්මත එනමුත් තිරිසනුන්ටත් පහත් හිතක් තියෙන මේ අකාරුණික මිනිසුන්ට  අමතක වෙලාද ? 



මම කාමරේ වෙසෙන සත්ගුණවත් සිරා කොලුවා.


ප.ලි

පනාමුරේ ඇත් රාජා ගැන සම්පූර්ණ ලිපිය මෙතැනින්

ඇතැම් කරුණු අන්තර්ජාලයෙනි.















Monday, January 13, 2014

69 ඔටුවා සහ චාරිකා 2

තනිකඩ සියල්ලෝ අතිවිශේෂ රසය විදගෙන මහනුවර ලගා වුනාට පස්සෙ අපිත් සමග පැමිණි පෙම් ජෝඩු දළදා මාළිගයට යන්න තීරණය කොලා. උදේ පාන්දරම රහමෙර පාවිච්චි කොරලා හිටිය හින්දම තනිකඩ අපි වැව රවුමෙ සිහිල් හුළග යට නැවතිලා ඈත නැගෙන දිය රැළි දිහා බලාන උන්නා.

පළමු කොටස

මචං....මගෙ බෑග් එකේ තව ගල් බෝතලයක් තියෙනවා....අයිනකට වෙලා ඒකත් කඩමුද...ඔටුවා මද පවනෙම ආයෙම ගල් ගහන්න කථාව.

පික්සු කථා කරන්න එපා ඔටුවො...මට කෝච්චියෙ බීපුවා මේ වැවේ හුළගට කික් වුනේ...හැබෑට බොලාට තාම එහෙම නෑද ? ගල් බට්ටා ඇස් දෙක පිහදාන ගමන් එහෙම ඇහුවා.

උඹ මොකද එක පාරටම දානපතියෙක් වුනේ...ඉස්කෝලෙ කැන්ටිමෙන් මාළු පාන් ගෙඩියක් අරගෙන දෙන්නෙ නැති එකා....අද නුවරට වහීද මන්දා....නගාගෙ සීදේවි කථාවට ඔටුවට ඩිංගිත්තක් විතර තරහා ගියා වගෙයි.

ආ....මම දැන් මේවා ගෙනාපු එකයි වරද...අනේ නගෝ...උඹ වගේ ගෑණු භාගයක් නෙමෙයි යකෝ මේ ඔටුවා...රත්තරං කදක්...ඊයෙ තාත්තගෙ බ්ලොග් ගල් වැඩපලේ ගල් වගයක් ලෑන්ඩ් මාස්ටරේකට පැටේව්වා මම එතන ඉද්දි...ඒ මිනිස්සු දුන්න සල්ලි මේ...කපල් කපල් එකට සැට් උනාට පස්සෙ අපේ තනියට බල්ලෙක්වත් නෑ කියලා මට පෙරේදා හීනෙන් පෙනුනා...ඒ හින්දමයි බං සල්ලි ආපහු පියවන විදියක් හිතන්නෙවත් නැතුව මම මේවා උස්සගෙන ආවෙ...

ගල් බට්ටො....උඹට අමාරු නම් අපි තව වෙලාව අරන් දෙවැනි එකට බහිමු... නගෝ මෙහෙ වරෙන්...අන්න අර පේන වෙළෙන්දාගෙන් වඩේ අරන් වරෙන්....ඉදා සල්ලි...

නගා කොලුවා වඩේ සමග නැවතත් අපිට සම්මුඛ වෙද්දි තමයි දළදා වදින්න ගිය නඩය නැවතත් අප සමීපයට ආවෙ.

උඹලා මොනවද ප්‍රාර්ථනා කොලේ....වඩේ කෑල්ලක් හක්කෙ අග්ගිස්සට වෙන්න තියාගෙන හපන ගමන් ඔටුවා විමසුවා...

මමද...කෙලියක් ඉදිරියට පැනලා...ස්වේච්ඡාවෙන්ම පිළිතුරු දුන්නා...

මම ප්‍රාර්ථනා කොලේ...ලබන ආත්මෙත් මට මෙයාවම ලැබෙන්න කියලා.....ඇගේ ලග උන්න ප්‍රදීප් කොලුවා දිහා බල බලා ඇය එහෙම කිව්වා...

උඹලා එකෙක්වත් කැමති නැද්ද ලබන ආත්මෙ මාව බදින්න...ඔටුවා හීන් හිනාවක් නගාගෙන එහෙම ඇහුවා...

අපෝ...හීනෙන්වත් පතන්නෙ නෑ උඹ වගේ උගුඩුවෙක් බදින්න....

ඒ කථාවට හැමෝම හිනාවෙච්ච හින්දා...ඔටුවට ලැජ්ජාවකුත් දැනෙන්න ඇති.

යමල්ලා යමල්ලා....තවත් පරක්කු නොවී මල්වත්තට...නැත්තං ආයෙමත් කෝච්චියට එන්න වෙලා මදි වෙයි. 2.30 වෙද්දි නුවර ඉස්ටේසුමෙන් කෝච්චිය පිටත් වෙනවා...උඹලගෙ ටිකට් භාග ටික පරිස්සං කරලා තියාගනිල්ලා...

දහවල් ආහාරයට කෑම පාර්සල් කීපයකුත් මිළදීගෙන පිරිස පාගමනින්ම බස් නැවතුමට ඇවිල්ලා ටාටා තනිදොරකට පැටවුනා...තවත් මොහොතකින් බස් රථය පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානය ඉදිරිපිට.

මළ මගුලයි...ඇතුලට යන හැමෝගෙම බෑග් චෙක් කරනවනෙ බං... ඔටුවා මොර දුන්නා...

උඹ මොකද භයේ ගැහෙන්නෙ...

ඔටුවාගේ හදිසි වෙනස්වීම දැකලා බඩියා පොඩි කෝචොක් එකක් දැම්මා.

උඹ දන්නෙ නෑ බන්...තව අමෘතය බෝතලයක් තියෙනවා මගේ බෑග් එකේ...මේකත් එක්ක මාව මාට්ටු උනොත් ඉදලා වැඩක් නෑ නේද ?

දැන් මොකෝ කරන්නෙ...පිළියමක් ගැන කල්පනා කර කර ඉන්න වෙලාවෙ තමයි ගීතිකා කෙල්ල ඉදිරිපත් වුනේ....

මට දෙන්න ඔය බෑග් එක...ඔයා මේක ගන්න...ඇය බොහොම නිර්භීතව ඔටුවගෙ බෑග් එක කරේ එල්ලගත්තා.

කෝ කෝ කොහෙද යන්නෙ...බෑග් එක පෙන්නලා යන්න...සංගීත භාණ්ඩ එහෙම තියෙනවද ? උද්‍යානය තුල සංගීත භාණ්ඩ වාදනයත් තහනම්...ඔටුවව අල්ලගත්ත ආරක්ෂක නිලධාරියෙක් එහෙම කියද්දි ගීතිකා බොහොම සන්සුන්ව එතැනින් මාරු උනා.

දෙපසින් තියෙන තල් ගස් පසුකරමින් පිරිස ඉදිරියට ඇදිලා එක් මං සන්දියකදි නතර වුනා. අපි මේ පැත්තට යනවා...උඹලත් කැමති පැත්තකට පලයල්ලා...කොහෙ හිටියත් හවස 2 වෙද්දි ගේට්ටුව ලගට වරෙල්ලා...

කපොල් කීපය තමන්ගේ අනාගත ලෝකය ගොඩනගන ආකාරය ගැන සැලසුම් කරන්නද කොහෙද අතර මගදි අපෙන් ලොප් උනා.

ඉතිරි වෙච්ච තනිකඩයො කීප දෙනත් අල්ලාප සල්ලාපයේ යෙදෙමින් ඉදිරියට ගියා....ඉස්සරහින්ම හිටියෙ සිරා කොලුවා වන මම සහ අපේ නගා කොලුවා...

උද්‍යානයේ පරිසරයේ සුන්දරත්වය ඇති පදම් විදිමින් උන්න වෙලාවක තමයි නගා හඩ අවදි කලේ...

කෝ බන් ඔටුවයි ගල් බට්ටයි...

අපිට නොකියාම උන් දෙන්නා වහං වෙලා... පේන තෙක් මානයක උන්ගේ දසුන නැති හින්දා...නගා එක්ක ගස් සෙවනක දිවා ආහාරයත් භුක්ති විදලා සංගිලි පාලම පැත්තට යද්දි අපෙන් වෙන්වුන පෙම්වතුන් පෙම්වතියන් අතර මගදි අපිට මුලිච්චි උනා.

කෝ බන් උඹලා එක්ක හිටිය ඔටුවා...ප්‍රදීප් එහෙම ඇහුවා

අනුමානයක් නෑ..අර බෝතලෙත් කඩාගෙන ගහක් යට වැටිලා ඇති මෙළහකට....කෙලියක් එහෙම කිව්වා...

මචං...ෂුවර් එකටම ඕකුන් දෙන්නා බෝතලය කඩන්න ඇති. පොඩ්ඩක් යන්න කලින් හොයලා බලමු...නැත්තං මළ මගුලක් වෙන්නෙ....දන්නවනෙ ඔටුවගෙ හැටි. බඩියගෙ ඒ කථාවෙ බරපතල කම හැමෝටම යන්තං හරි දැනුන නිසා තමයි හැමෝම එක් වෙලා ඔටුවව හොයන මෙහෙයුම පටන් ගත්තෙ....

අපි හිතුවා හරියටම හරි.....ඒ වෙද්දිත් ඒකා හොදටම පදම් වෙලා....කෙලින් ඇවිදගන්න බැරි තරමට...

පදම් වූ සුදු අයියා කෙනෙකුට දරුවන් සලකා තිබූ අන්දම
ඡායාරූපය - 
http://3.bp.blogspot.com


ඒත් ගල්බට්ටා තාමත් හොද සිහිකල්පනාවෙන්...

මොකද බොල උඹත් එක්ක උන්නු මේකට උනේ....එකා දෙන්නා එහෙන් මෙහෙන් වටවෙලා...ඔටුවට පණ දෙන්න හදද්දි තමයි ගෑණු දැරිවියක් කට ඇරියෙ....

මම හිතුවා මේ ටික වෙයි කියලා....මෙයාට තිබ්බ පෙරේත කමට....

මම එපා කියද්දිම බෝතලෙන් භාගයක් වෙනකම්ම බිව්වා බන්....මේ බලහං....ගල්බට්ටා භාගයක් අවසන් වූ සංස්ථා ගල් බෝතලය පෙන්වයි.

මචංලා දැන් කොහොමද මේකව එක්කගෙන යන්නෙ....මේ බලහංකො කෙලින් ඉන්න පණ නෑනෙ....

ඔටුවට ටිකක් දාඩිය වැටෙන්නත් එක්ක මල්වත්ත වටේට ඇවිද්දමු....පොඩ්ඩක් විතර බඩු බහී එතකොට....

අනේ අර ජෝඩු තමන්ගේ ලෝකවල තනිවෙන එක පැත්තක තියලා දැන් මෙන්න ඔටුවව වත්තම් කරගෙන උද්‍යානයේ එහෙ මෙහෙ ඇවිද්දනවා...

ඔටුවා ඉන්නෙ අවසිහියෙන්...ඒකා කටට එන එක එක දේ කියවනවා...සමහරක් ඒවා කුණු හබ්බ...කවුරු හරි ඒ වදනකට හිනා වුනොත්....ආයෙම කුණු හබ්බ පොදියක් පිට පනිනවා...මේ කථා වලට හිනා නොවී ඉන්න බැරි උනත්...අතින් වහගෙන හරි හිනාව වළකාගන්න හැමෝම කටයුතු කොලා.

දැන් දැන් අපගේ කථානායක ඔටු තෙමේ දෙපසට වැනෙමින් දෙපස උන්ගේ ආධාරයෙන් ආයාසයෙන් ශරීරයේ සෘජු බව රැක ගනිමින් ගමනේ යෙදෙති. යුවතියෝද ඊට පසුපසින් පැමිණෙති...අප දැන් ගමන්කරන්නේ ජන ශූන්‍ය වූ මාවතක නිසාම තවමත් කිසිම ගැටලුවක් නැත.

එහෙත් හදිසියේම අප ඉදිරියට වැදගත් පෙනුමැති තලතුනා මහතෙකු පැමිණෙන ආකාරය මගේ දෙනෙතේ සටහන් වෙයි. හෙතෙම ජංගම දුරකථන ඇමතුමකට පිළිතුරු දෙමින් දැන් දැන් එන්නේ අපගේ සමීපයටයි.

ආ ඔව් ඔව් එහෙම කරමු.....අප හා ඔහු එකිනෙකාට සමීප වන විටම හෙතෙම පැවසුවේය.

ඒ වචනය වහ වහා ඔටුවාට සන්නිවේදනය විය. වසා සිටින දෑස යන්තම් විවර කර ඔටුවා මහ හඩින් හරි හරි කරමු යැයි කීවෙහිය.

එය තමා ඉලක්ක කර මුදා හල ඇනුම් පදයක් සේ සැලකූ පෙර කී තැනැත්තා ඔටුවාගේ ලගටම පැමිණ...

මොනවද කෙරෙන්න ඕනෙ යැයි විමසීය.

සිහියෙන් සිටි අපි සියල්ලෝ නොයෙක් වර බැගෑපත් වීමෙන් පසු හෙතෙම එතැනින් නික්මී ගියද ඔහු ගිය මග ඉදිරියට පැමිණි උද්‍යානයේ සේවකයන්ට අප දක්වමින් මොන මොනවාදෝ පැවසීම අපට එතරම් හිතකර නොවන බවක් දැනුනි.

මිනිහා ෂුවර් එකටම මේකෙ ලොක්කෙක් වෙන්න ඇති කවුදෝ එසේ කියනු ඇසුනි.

මල්ලි....කවුද අයිසෙ අපේ ලොකු මහත්තයට කැත ටෝකක් දුන්නෙ....කට පරිස්සං කරං යනවලා...ඒ මේ උද්‍යානෙ භාරව ඉන්න කෙනා....

උද්‍යානයේ සේවකයෙක් අප සොයාගෙනම පැමිණ ඒ පුවත සන්නිවේදනය කලෙන් සිදුවෙන්නට ගිය විපතක තරම මගේ අක්මාවට වැටහිනි.

එන්න එන්නම ඔටුවාගේ තත්වය නරක අතට හැරෙයි. විකාර දොඩවයි. ගමන අඩපණ වෙයි. අපගේ ගමන යෙදී තිබූ මාවත කෙළවරට එන විට ඈතින් මතුවූයේ විශාල දෑකැති වැනි යමක් ඔසවාගත් උද්‍යානයේ සේවක පිරිසකි.

අපේ බෙලි කපන්නද දන්නෙ නෑ බොල අරුන් ටික බලාගෙන ඉන්නෙ...බලහංකො ඒවායෙ දිග....

කෝ කවුද ඩෝ...ඕනෙ එකෙක්ට එන්න කියපං...ගහනවා වටේටම.....ඔටුවා මොරදෙයි.

ඔටුවො....මේකෙන් එළියට යනකං පොඩ්ඩක් කට පියාගෙන ඉදිං....බඩියා ඔටුවාගේ කනට කර පවසයි.

මේකෙන් කිව්වෙ කෝකෙන්ද බන්....

ඇයි යකෝ තොට මතක නැද්ද...අපි දැන් ඉන්නෙ පේරාදෙණිය මල්වත්තෙ...

උඹට පිස්සු බොල...මම මේ වත්ත පහළ ඉන්නෙ...බලහංකො හුළං පාර....

ඔටුවා දැන් කට් ඩවුන් වී හමාරය. ඊළගට ඇති බැරෑරුම් කාරිය මේකාව ප්‍රධාන පිවිසුමෙන් පිටතට රැගෙන යාමත් එතනින් දුම්රිය දක්වා ප්‍රවාහනය කිරීමත්ය.

මත්පැන් උද්‍යානය තුලට රැගෙන ඒම තහනම් කර තිබියදී...බෑග් පවා පරීක්ෂා කරන වටපිටාවක මෙහෙම බේබද්දෙකු කොහෙන් මතු උනාදැයි සියල්ලෝම විපරම් කරනු ඇත. ඒ නිසාම වහ වහා අපි උද්‍යානයෙන් පිටත් වීමට තීරණය කළෙමු.

තවෙකෙකුගේ ශරීරයට බරවී පැමිණෙන ඔටුවා දෙස බොහෝ දන නෙත් යුග සම්මුඛ වන බව දැන් හොද හැටි පැහැදිලිය.

මොකද වුනේ...ප්‍රධාන පිවිසුමේ ආරක්ෂක නිලධාරියෙකු අප එන පෙරමගටම පැමිණ විමසුවේය.

හදිස්සියේ කලන්තෙ දැම්මා... උදේට කාලා නෙමෙයි එයා හිටියෙ. ඉක්මනට වාහනේට අරන් යන්න කියලා.....දැරිවියක් තැනට සුදුසු පිළිතුරක් දෙන්නට සමත් වූවාය.

උද්‍යානයට අප පිවිසියේ පොදු මගී බස් රථයක නැගී බව නැවතත් මතක් කරන්නට අනවශ්‍යය. ඒ කාලයේ කිසිවෙකුත් රැකියාවල නිරත නොවූ නිසා කුලී රථයක නැගී නුවර ඉස්ටේසුම දක්වා යන්නටත් අපට නොහැක. වත ඒ තරමටම මිලින වී තිබුනේය.

අපර භාග 2.30 ට නුවර - කොළඹ සීඝ්‍රගාමී දුම්රිය නැවතත් මහනුවර දුම්රිය ස්ථානයෙන් කොළඹ කොටුව බලා දුවන්නට නියමිතය. එහි යන්නට නොහැකි වුවහොත් දැරිවියන්ට නිවෙස් වලට යාමට නොහැකි වෙයි. නිවෙස් වලට මුසා බස් දොඩා පැමිණි ඔවුනට එය මරු පහරක් වනවාට අනුමානයක් නැත.

මෙහෙව් වටපිටාවක තවත් පැය භාගයක් ඇතුලත දුම්රියපලට ලගා වීමේ අභියෝගයට අප දැන් මුහුණ දී සිටිමු. ඒ කන සාක්කුවට වැටුනු ඔටුවාද සමගිනි.

නැවතත් අපට තනි දොරේ ටාටා බස් රථයක් මුණ ගැසිනි. පාසල් අවසන් වූ වේලාව නිසාම බස් රථ වල ඇගිල්ලක් ගහන්නට ඉඩක් නොමැති වුවත් අත්‍යවශ්‍යයෙන්ම යා යුතු ගමනක් අපට තිබූ හෙයින් කල් මරන්නට ඉඩක් නැත.

තමාගේ දෙපා තමාටම අවනත නැති ඔටුවා මිත්‍රයන්ගේ සහයෝගයෙන් යන්තම් කෙලින් සිටගෙන සිටී. බස් රථය මැදින් පසුපසට ගමන් කරද්දී බොහෝ යුවතියන්ගේ කකුල් ඔහුට පෑගෙන්නට ඇත. රකුසු වෙස් ගත් ඔවුන්ගේ දෙනෙත් ඒ බැව් කදිමෙට කියා පෑවෝය. ගමන්මළු ආදිය තැන්පත් කිරීමට ඇති රාක්කයේ බටයක් එක්  අතකින් අල්ලාගන්නට සලස්වා අනිත් අත ආසනයක ඉහළින් ඇති ඊයම් පැහැති යකඩ බටය මත රදවන්නට බඩියා කටයුතු කලේය. එහෙත් දෙපසට වැනෙන ඔටුවා බීමතින් සිටින බවත්...තවත් මොහොතකින් කබරයකු මුදා හලහොත් තමාගෙ සුදෝ සුදු ගවුමටද කෙළවෙන බැව් එතැන තිබු ආසනයේ සිටි සීදේවි නැගණියට වැටහුනු නිසාදෝ ඇය මොහොතකුදු පමා නොවී ආසනය ඔටුවාට පිරිනැමුවාය.

එයින් පසු යම්තාක් දුරට පහසුවෙන් මහනුවර දුම්රිය ස්ථානය දක්වා වූ ගමන අවසන් කරන්නට අපට හැකි විය. ඔටුවාට වැඩි වී තිබූ කොටස බස් රථය තුල පිටනොවීම ගැන අප සිටියේ සැනසුම් සුසුම් හෙළමිනි. දුම්රිය වේදිකාවට අප පිවිසෙන විටත් එහි අපට නියමිත දුම්රිය නවත්වා තිබිනි.

ප්‍රවේශ පත්‍රයට අදාළ ස්ථාන වල අසුන් ගත් පසු...ඔටුවාගේ හිස ආසනයට හේත්තු කර පහසු ඉරියව්වකින් සිටින ලෙස තැබීමට අපි උත්සුක උනෙමු. ඔයින් මෙයින් දුම්රිය පිටත් වී විනාඩි 5 කට පමණ පසු ටිකට් පරීක්ෂකයින් ඉදිරියේ සිට පසුපසට එන දර්ශනයක් පෙනෙයි.

දැන් ටිකට් පරීක්ෂකයා සිටින්නේ  අපට ඉදිරියෙන් ඇති මැදිරිය තුලයි. ඒ මොහොතේම වැඩි හරිය මුදා හරින්නට ඔටුවා තීරණය කලේ අප සිටි දුම්රිය මැදිරියේ මැද්දට වන්නටය. එහෙත් ඔටුවාට කාර්ය ශූර මිතුරන් පිරිසක් සිටි හෙයින් කබරයා බිම වැටුනු සැනින් එසැනින් අතුරුදහන් විය. දුම්රිය මැදිරියේ බිම ආපදාවකින් තොරව දිස්වෙයි. පරීක්ෂක මහතුන් ටිකට් පත් පරීක්ෂා කර අප මැදිරිය පසු කොට පසු පස මැදිරියට ගමන් කරයි.

ඒ ඇත්තෝ සියලු පරීක්ෂා කිරීම් අවසානයේ  නැවතත් ඉදිරිය බලා යන්නට පැමිනෙන බව අපගේ උකුසු ඇස් වලට හසු වී තිබුන අවස්ථාවක ඔටුවා දෙවැනි වරටත් වැඩි හරිය මුදා හැරියේය. සිතාගත නොහැකි වේගයකින් පෙර පරිදිම පරීක්ෂක මහතුන් අපේ මැදිරිය පසුකර යන විට ඒවා පිරිසිදු වී තිබුනි. මේ පුදුමය කෙසේ වූවාදැයි මට දැන් මතක නැත.

එයින් අනතුරුව ඔටුවාගේ බෑගය උද්‍යානය තුලට ප්‍රවාහනය කර දුන් ගීතිකා නැගී සිටියාය. අයියෝ මමත් කරපු ගොං කමක්...කවුද අනේ දන්නෙ ඔටුවා බේබද්දෙක් වගේ බොයි කියලා....

මේ සංවාදය අතර තුර ඇය ඔටුවා පිළිබද කේන්තියෙන් තරමක් තදින් බැණ වැදුනාය.

අඩෝව් ගොං කෙල්ලෙ උඹට මේකෙන් එළියට වැටෙන්න ගහනවා මම...එයින් පසු ඔටුවා තරමක් කුපිත ලෙස හැසිරෙන්නට පටන් ගත් හෙයින්....ඔටුවා යනු ඉතාම විනීත...යහපත් ගති පැවතුම් ඇති සීදේවි කොල්ලෙකු බවට ගීතිකාගේ කටින්ම නැවත කියවීමට අපට සිදුවිය. එය අසා තැන්පත් වූ ඔටුවා නැවතත් වද නොදුන් අතර ගීතිකා තමාගේ බෑගය විවෘත කර එයින් එළියට ගත්තේ දෙහි ගෙඩි දෙකකි.

උඹ මාර කෙල්ලෙක්නෙ බං..... සෙස්සේ එක්වරම පැවසූහ.

මම හිතුවා මේවා ඕනෙ වෙයි කියලා....ඒකයි අරන් ආවෙ....

ඇගේ දිගු නියපොතු පාවිච්චි කර දෙහි ගෙඩිය දෙපලු කල පසු ඔටුවාගේ හිසේ ඒවා ඇතිල්ලුවේ මා ඇතුලු උගේ සහෝදර ඇම්බැට්ටයෝ පිරිස විසිනි. දෙහි ගෙඩි දෙකක් සම්පූර්ණයෙන්ම ඔලුවේ අතුල්ලා...යටි පතුල් වලද උලා අවසන් වන විට ඔටුවා සුව නින්දක සැතපි සිටියේය.

උද්‍යානය තුල ගොඩනගන්නට බැරි වූ පෙම්ලොව තනන්නට ඉන් පසු කපොල් විසිරී ගියහ. අප සිටි තැනට නුදුරේ වූ දුම්රිය පා පුවරුවක වාඩිගෙන ඈතින් පෙනෙන කදු මුදුන් පෙන්වන බඩියා.... පවසන ආදරබර මිහිරි වදන් අපේ දෙසවනට ද වැටෙයි.

අපි අර ඈතින් පේන කන්දෙ මුදුනෙම ගෙයක් හදමු....

කෝ කොයි කන්දෙද ? පෙම්වතිය විමසයි

අර උල් වෙලා තියෙන කන්දෙ අනේ...

අපෝ ඒ කන්ද කැතයි...අපි ඊට එහා පැත්තෙ තියෙන පොඩි කන්ද මුදුනෙ ගෙයක් හදමු. හා ද ? ඉතින් කියන්නකො හාද කියලා ? ඒ වෙද්දිත් අපේ බඩියාගේ ආරාධනාවකින් තොරවම ඔහුට පෙම් කරමින් සිටි චමිලාගේ වදන් පා පුවරුවෙන් ඉවතට හැලෙයි.

ඔයින් මෙයින් ඔටුවාට හමාර කරන්නට බැරී වූ ඉතිරි කොටස හමාර කරන්නට මම, ගල්බට්ටා සහ නගා සමග එකතු වුනෙමි.

එයින් අනතුරුව සියලු දේ බොහොම සාමකාමීව සිදු වූ නමුත්...නගා විසින් දුම්රිය කවුළුවක් හරහා ඉවතට විසි කල ජල බෝතලයක වූ ජලයෙන් නැහැවුන පිටුපස මැදිරියක පා පුවරුව සමීපයේ ගමන් කල තරුණ යුවලක සිටි තරුණයා අපට නෙලන්නට කියා දුවගෙන පැමිණියත්...අපේ පිරිස් බලය හමුවේ අඩපණව ගියේය.

වේයන්ගොඩින් බඩියා සහ ගමේ මිතුරන් පිරිසත් දැරිවියන් පිරිසත් සමග මද සිහියෙන් සිටි ඔටුවාද බැස ගිය පසු තරමක පාලුවක් දැනුනද එතැන් සිට ගම්පහ දුම්රිය ස්ථානයට ඇත්තේ කෙටි කාලයක් නිසා අපටද දුම්රියට සමුදෙන්නට ඉක්මනින් අවස්ථාව සැලසිනි.

විභාගය නිමාව සටහන් කරමින් අප සියල්ලෝ එක්කල මේ විනෝද චාරිකාව මා හට අදටත් අමතක නොවන්නකි. මගේ මිතුරන් පිරිස සමග තවමත් අපේ සම්බන්ධය ඇති මුත් මේ සොහොයුරියන් පිරිස එදායින් පසු මුණ ගැසිලාම නැත. ඔවුන් අද වන විට ඉදිරි පරපුරට මග කියා දෙමින් ගෘහනියන්ව කල් ගත කරනවා නිසැකය.

(සිරාගේ කාමරයේ මේ මස අවසානයේ පළ වන ලිපිය හෙවත් මාසයේ 7 වෙනි ලිපිය ලියන්නේ මම නොව මා කියවන ඔබ  බැව් නැවතත් සිහිගන්වමි. infosira2012@gmail.com වෙත ඔබේ ලියවිල්ල රැගත් ඊය විදින්න. ඔබේ නමින්ම එය පළවනු ඇත.)


මම කාමරේ වෙසෙන සත්ගුණවත් සිරා කොලුවා.




ප.ලි

සමහරු බොන්න ගියාම තමන්ගෙ වීරත්වය පෙන්නන්න එයින් පුලුවන් කියලා හිතලා තමන්ට ඔරොත්තු නොදෙන තරමට බොනවා...අන්තිමට කරටිය කඩා වැටුනාම වීරයො බලු වෙනවා...

නිවෙසට ගිය වහාම ඇදට වැටී ඇති ඔටුවා පසුදා උදෑසන දැඩි හිසේ කැක්කුමකින් අවදි වී ඇත. හිස අතගෑමේදී රේණු හැලෙන්නට පටන් ගත් හෙයින් ඔටුවා බඩියාට ඇමතුමක් ගෙන තමාට වූ හදිය පිළිබද විමසා තිබුනි. ඒ තොරතුරු සියල්ල දැනගත් පසු තමාගෙනේ සිත් රිදුමක් වී නම් සමාවෙන ලෙස ගීතිකාටද පවසා තිබුනි. ඔටුවා මට අවසන් වරට මුලිච්චි වුයේ 2012 වසරේ.. ඒ වන විට දෙදරු පියෙකු වූ හෙතෙම අතීතයේ කල කි දෑ වලින් නිදහස්ව කදිම පියෙකුගේ , හොද ව්‍යාපාරිකයෙකුගේ හා සෙනේබර සැමියකුගේ යන චරිත සියල්ල මැනවින් රග දක්වමින් සිටියේය. ඔහුගේ මිතුරන් ලෙස එය අපටද මහත් සතුටකි.

එදා මේ ගමන ගිය කපොල් අතරින් ප්‍රදීප් පමණක් පසුකලෙක් තම පෙම්වතියට බිරිද යන තනතුර පිදුවේය. අන් සියලු ආදර සබදතා පසු කලෙක දෙදරා ගියෝය.





















Friday, January 10, 2014

89 ඔටුවා සහ චාරිකා

ඡායාරූපය http://srilanka.for91days.com

වර්ෂ 2001 වූ කලී සිරා කොලුවා ඇතුලු මා මිත්තර නඩය උසස් පෙළට ඉදගත් වසරයි. දෑ වසරක් තුල ඉගෙන ගත් දෑ රජයේ මුද්‍රණාලය මගින් සැපයූ සුදෝ සුදු ක්‍රීම් වෝව් වර්ගයේ කඩදාසි කොළ මත සටහන් කරන්නට අප ගත් වීරිය නිසාමදෝ ජීවන මගේ එක් සංධිස්ථානයක් මේ කියන වසරේ සටහන් වී තිබේ.

උසස් පෙළ විෂයන් 4 කට පෙනී සිටින්නට මට කලින් උපන් උන්ට චෑන්ස් එක ලැබුනද මගේ වයසට විභාගය පැවැත්වෙන කාලය වන විට එය විෂයන් 3 දක්වා පල්ලම් බැස තිබුනි. එහෙත් ඉංග්‍රීසි භාෂාව 4 වෙනි විෂය ලෙස උසස් පෙළ විෂය ධාරාව තුලට එක්කර තිබුනේ අනාගතයේ ලෝක කුහරය තුල කොයි අහුමුල්ලක රිංගුවත් එදිනට මුන් මේ විෂයෙන් වැඩක් ගනීවි යැයි එකල සිටි රිචඩ් පතිරණ අධ්‍යාපන ඇමතිවරයාට සිතුනු නිසා විය යුතුය. එතුමා ගුරු වෘත්තියෙන් වෘත්තීය ජීවිතය අරඹා පසුකලෙක විදුහල්පති තනතුරද දැරූ කෙනෙකි. ඒ කාලයේ අද මෙන් ප්‍රශ්න පත්‍ර සමග උත්තර පත්තර බෙදිම, උත්තර පත්‍ර කුණු ගොඩවල් වලින් හමුවීම, ප්‍රශ්න පත්‍ර කලින් පිටවීම  වැනි විභාග දෙපාර්තමේන්තුව අසරණ කරනා සිදුවීම්ද නොවූ බැව් මට මතකය.

කෙසේ වෙතත් ඉංගිරිසියට ඇති ලැදියාව අනෙකක් වුවද ප්‍රතිඵල සටහන මත ලයිට් කණුවක් සටහන් වුවොත් ඉන් විභාග ප්‍රතිඵල සටහනම බල්ලට යන බව කුමන හෝ හේතුවකට වේලාසනින්ම මගේ අක්මාවට දැනී තිබුනි. ඒ අනුව අපේ තාත්තාගේ පොකැට්ටුවට තවත් අමතර බරක් එක්කරමින් ඉංග්‍රීසි අතිරේක පන්තියක්ද සිරා කොලුවාගේ අතිරේක පන්ති ලැයිස්තුවට එක් විය.

අපි එකල ආගිය ඉංග්‍රීසි පන්තිය අපට සැට් වූ ආකාරයද රසවත් කථාවකි. දැන් මට නිශ්චිත ලෙස නම මතක නැති අපේ එකෙකු ගම්පහ නගරයේදී සිය පෙම්වතියගේ ආගමනය අපේක්ෂාවෙන් සිට ඇත. එහෙත් ඇය මේ කියන දිනයේ සාහසික ලෙස පෙර දැනුම් දීමකින් තොරව අපගේ පෙම්බරා හට කණුව තැබීම නිසා මංමුලා වූ මානවක තෙමේ කාලය ගෙවා ගැනීමට තැනක් නොමැති සද රිංගා තිබුනේ පළමු දිනය නොමිලේ වර්ගයේ ඉංගිරිසි පන්තියක් තුලටය. පොතක් පතක් තියා අඩුම තරමේ පෑනක්වත් නැතිව පන්තියට රිංගුවත් පළමු දිනයේම බෙදූ විස්තර පත්‍රිකා, අඩිකෝදු, පොකට් කැලැන්ඩර්, බුක් මාක් ආදී සකල විද උපාංගයන්ගෙන් සන්නද්ද වූ පසු මේකාට පොත් වල අඩුවක් දැනෙන්නට නැත.

අඩෝ....පට්ටම ඉංග්‍රීසි පන්තියක් සැට් උනා....ආතල් කනෙන් බේරෙනවා ඩෝ ඒ පන්තියෙ...ලබන සතියෙ ඉදන් යමව්....පෙම්බරා එලෙසින් ඒ සුපුවත අප වෙත සන්නිවේදනය කලෙන් අප පන්තියේ සිටි බඩියා,රත්නයා මෙන්ම නගාද, වෙනත් පන්තියක සිටි ඔටුවාද මේ කියන අලුත් පන්තියට යන්නට සැට් වූයේ පුදුමාකාර තදියමකිනි. ඒ ඉගෙන ගන්නට ආශාවෙන් සිටි බෝ පැල වැනි දරුවන් පිරිසක් නිසාවෙන් යයි ඔබ සිතුවේ නම් මට කියන්නට ඇත්තේ ඔබට වැරදී ඇති බවකි. ඉගෙන ගන්නට කැමති බව ඇත්තකි. එහෙත් අප බෝ පැල නොවේය.

ඒ පන්තියෙ ඔය අනිත් පන්ති වල වගේ කෙල්ලන්ට එක පැත්තකුයි...කොල්ලන්ට එක පැත්තකුයි එහෙම එකක් නෑ බන්...කැමති තැනක ඉදගන්න පුලුවන්...සමහර තැන් වල කපොල් ලං වෙලා ඉදන් ඉන්නවා...ජාති පන්තිය බන් ඒක....

පෙම්බරාගේ කථාවෙන් සන්තෘෂ්ටියට පත්ව, තම අනාගත ප්‍රියම්භිකාව මෙහිදී හෝ මුණගැසේදෝයි සිතුවිලි ඔස්සේ තර්ක කල ඔටුවා ඉංග්‍රීසි පන්තියට යන්නට මූලික වූ එකා බැව් කිව යුතුමය.

සතියේ දිනක පාසල් වේලාවෙන් පසු ගම්පහ නගරයේ ටියුෂන් කඩයක පැවැත්වූ ඉංග්‍රීසි පන්තියේ සාමාජිකයන් වන්නට අපට වැඩි කාලයක් ගියේ නැත. මේ ඔත්තුව අප හට ලබාදුන් කෙනා කී දේවල් සියල්ල ඇත්තය. ගුරුතුමාද තරුණ වයසේ කෙනෙකි. පන්තිය පටන් ගන්නට කලියෙන් පන්තියට පිවිසෙන හෙතෙම තම ගෝලයන් සමග සුහදව කථා කරයි..කොල්ලන්ගේ බඩ ගෙඩිය ඔබා, අතගා, මිරිකා දවල්ට කාපු දෑද පවසයි. හරියටම අපේ පවුලේ ලොකු අයියා කෙනෙක් වාගේය. සමහර මාසයක දිනයක් දෙකක් පන්තියට පොලුද තබයි. එහෙත් ගෝලයෝ කිපුනේ නැත.

ඉංගිරිසි පන්තියට සහභාගි වී මාසයක් යන්නටත් මත්තෙන් දුර ඈත පාසලක කෙලියන් පිරිසක් අපට බැල්ම දැම්මේ අපි ගම්පහ නගරයේ තිබෙන එකම බාලක පාසලේ ශිෂ්‍යයන් වීමත්...අප කෙරෙන් විද්‍යාමාන වූ කඩවසම් පෙනුමත් නිසා විය යුතුය. නැතිනම් හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ යන පැරණි කියමන ඔවුන් අසා තිබූ නිසා විය යුතුය.

හැමදාමත් අපට පිටුපසින් තිබූ බංකුවක ඈදි ගන්නා මේ කියන දැරිවියන් පිරිසේ  සාමාජිකාවන් කී දෙනෙකු සිටියාදැයි මට දැන් නිෂ්චිතව කියන්නට මතකයක් නැත. ඒ පිරිස 4 හෝ 5 විය යුතුය. හැමදාමත් මෙන් දහවල් ආහාරයෙන් පසු කන්නට කුමක් හෝ රසකැවිල්ලක් මොවුන් අප වෙත රැගෙන ආ බව නම් සහසුද්දෙන්ම මතකය.

ඉංගිරිසි පන්තියේ ලැබූ අධ්‍යාපනයද නරක නැත. ජනප්‍රිය ටියුෂන් සංස්කෘතියේ දවටනයකින් ඔතන ලද එහි අඩුපාඩු මෙන්ම හොද තැන්ද තිබූ බව කිව යුතුය. දැරියන්ගේ ආගමනයත් සමග වඩා වඩාත් උනන්දුවෙන් පන්ති ගිය අපේ ඇත්තන් අතර සිටි බඩියා තම ගම් ප්‍රදේශයේ මිතුරන්ටත් මේ පන්තියේ හෝඩුවාව දුන් හෙයින් ඔව්හුද එහි පැමිණියෝය. ඉංග්‍රීසි පන්තියේ අවසාන කාලය එළඹෙන විට ගමෙන් පැමිණි  එකෙකු දැරිවියන්ගෙන් කෙනෙකු තම අනාගත සහකාරිය වශයෙන් තෝරා බේරාගෙන සිටියහ. ඔව්හු පන්තිය අස්සේ අනාගත ලොවද ගොඩ නැගූහ. නැතිනම් පවුල් සැලසුම් කලහ.

ඔයින් මෙයින් උසස් පෙළට කලියෙන් ඉංගිරිසි පන්තිය අහවර විය. නමුත් විභාගය නිම වූ පසු නැවත හමුවෙන අටියෙන් කාන්තා පිරිමි දෙපාර්ශවමයම විසිරී ගියේ අපේ සිත් සතන්හි මිත්‍රත්වයේ උණුසුම් හාදු තබමිනි. මගේ සැමරුම් පොතේ මේ අය ලියූ දෑ තවමත් ඇතත් ඒ පොත දැන් මා අසල නැති නිසා ඔබට පෙන්වීමට හැකියාවක් නැත. මේ මතකයන් මෙන්ම පොතද ආදරණීය ලංකාවේ ඇත.

අඩේ...විභාගෙ අන්තිම දවස හෙට...ඊට පස්සෙ අපි කොහෙ කොහෙ සැට් වෙයිද දන්නෙ නෑ...ඒ උනාට පන්තියෙ කෙලියො සැට් එකත් එක්ක අපි පොඩි ට්‍රිපක් යමු....අපේ ඔටුවා සභාව මැදට තම සැලසුම හැලුවේ එපරිද්දෙනි. බඩියා, නගා මෙන්ම අපේ ඉංගිරිසි පන්තිය පළාතක පස් පාගා නැති ගල් බට්ටාද මේ කියන චාරිකාව යන්නට එකතු වූයේය.

කොළඹ - නුවර සීඝ්‍රගාමී දුම්රියෙන් නුවර පළාතට ගමන් කර එහි අසිරිය නරඹා, පේරාදෙණිය මල්වත්තටද පිවිසී  නැවතත් එම දුම්රියේම නිවෙස්  බලා පිටත් වීම අපේ චාරිකාව ලෙස සැලසුම් විය. එහි සම්බන්ධීකරණ කටයුතු දැරිවියන්ගෙන් කෙනෙකු හා ප්‍රේමයෙන් වෙලුනු අපේ බඩියාගේ ගමේ සගයා ප්‍රදීප් හට භාර වූයෙන් දෙපාර්ශවයේම අදහස් උදහස් මැදින් දුම්රිය චාරිකාව කරළියට ආවේ බොහොම කෙටි කලකිනි. දුම්රිය සදහා ප්‍රවේශපත් වෙන් කිරීම ගම්පහ දුම්රිය ස්ථානයෙන් මමත් බඩියාත් සිදු කල හැටි මට තවමත් මතකය.

නියමිත දිනයේ උදෑසන ගම්පහ දුම්රිය ස්ථානයෙන් මම, නගා සහ ගල් බට්ටා දුම්රියට නැගුනත් අනෙක් පිරිස එයට එක් වූයේ වේයන්ගොඩ දුම්රිය ස්ථානයෙනි.

විභාග භීතිකාවෙන් සිත සම්පූර්ණයෙන්ම නිදහස් වී තිබූ අවස්ථාවක එළැඹී මේ විනෝද චාරිකාව ඉතාම සුන්දර අත්දැකීමක් විය. නියමිත තැන්හි අසුන් ගත් පසුද දුම්රියේ බොහෝ ආසන හිස් බව දුටු හෙයින් ආසන පිළිබද ගැටලුවක් ඇති වූයේ නැත. ආගිය තොරතුරු කථා බහෙන් පසු කපොල් තම තමන්ගේ ලෝක වල තනි වූහ. මා වැනි තනිකඩ උන් වල් පල් දොඩමින් දුම්රිය කවුළුවෙන් පසුපසට ඇදී යන ස්වභාවික සෞන්දර්යය වින්දෝය.

දුම්රිය පිටත් වී හෝරා භාගයක පමණ කාල පමාවකින් තමා ගෙන ආ ගමන් මල්ල රැගෙන අප සමීපයට පැමිණි ඔටුවා එය තදියමේ දිග හරියි.

එහි ඇතුලතින් එක්වරම ප්‍රාතූර්භූත වූයේ සීදුවේ ගල් බෝතලයකි. කටට ඉනූ කේඨ මිශ්‍රනය පිටි අත්ලෙන් පිසදා ගන්නා ගමන් ගල්බට්ටා කිව්වේ උඹ නම් දෙයියෙක් කියාය.

නගා කිව්වේ දැරිවියන් සිටින තැන බොන්න බෑ බෑ වගේ කියලාය.

තනිකඩ කෙලියෝ කිව්වේ මේ වගේ හොද දවසකත් දහජරාවක් උස්සගෙන ආ ඔටුවා නම් ගිය ආත්මයේ උගුඩුවෙක්  විය යුතු බවකි.

ඉන් අනතුරුව ඔටුවා දුම්රිය මැදිරියේ විවිධ මුලු වල ප්‍රේමයෙන් වෙලී සිටින කාට කාටත් ඇසෙන්න මෙසේ කීවෙහිය.

ඔය ලව් කරන උන්ටත් එක්කයි  කියන්නෙ...උඹලට ලංකරගෙන ඉන්න උන් හිටියට අපිට ලංකර ගන්න තියෙන්නෙ මෙච්චරයි....බොන එකෙක් බීපල්ලා....මම මෙන්න කැඩුවා....

ඔයින් මෙයින් ඔටුවා කී ලෙසම දුම්රිය මැදිරිය තුල ගල් බෝතලය කරළියට ආවේය. ප්ලාස්ටික් කෝප්ප කීපයක්ද රැගෙන වටයක් යන්නට තනිකඩ සැට් එක බෝතලේ වටා රොක් වුවද ඔටුවාට යමක් අමතක වී ඇති සෙයකි.

කෝ බොල සැන්ටිං...මේක අමුවෙන්ම හලාගන්නද කියන්නෙ....ගල් බට්ටාගේ ඇස් ගෙඩි දෙක මූණත් තහඩුවෙන් එළියට එන්නට වෙර දරයි...මත්පැන් සමග පුදුමාකාර සෙනේහයකින් බැදුනු ගල්බට්ටා අමතක වූ දෙය මතක් කරයි.

අප්පට...මට ඒක අමතක උනානෙ....ඊළගට මේක නවත්තන්නෙ සරසවි උයන ඉස්ටේසුමේ...එකෙන් ගමු....


ඡායාරූපය http://static.panoramio.com/
එයින් අනතුරුව ගීත රාශියක් සමග වල්පල් ද ගුවනට මුසු වූ පසුබිමක සරසවි උයනට දුම්රිය සේන්දු විය. විනාඩි කීපයක් ඇවෑමෙන් දුම්රිය එන්ජිම නැවත සැර දමා ඉදිරියට යන්නට බලය සපයන කල හැති දමාගෙන අප සොයා ආවේ අසරණ නගාය...

මෙන්න බඩු....සැන්ටිං සමග ඒකා ගිණිපෙට්ටියකුත් මිළදී ගෙනය...

ඔය මොකටද ගිණි පෙට්ටියක්...කෝච්චියට ගිණි තියන්නද ? දැරිවියන් අතර උන් ගීතිකා විමසයි....එයට පිළිතුරක් දීමට නගා මුඛය විවර කලා පමණි.

තමුසෙ අපිවත් අමාරුවෙ දාන්නද ඕයි හදන්නෙ....තව පොඩ්ඩෙන් කෝච්චියට යට උනා නම් කෑලි නේද අහුලන්න වෙන්නෙ...

ඇත්ත කියනවා....මේ කෙල්ලො ටිකකුත් අරගෙන ගෙදරට හොරෙන් නේද මේ ගමන යන්නෙ....හදිසියේ පතිත වූ අකුණු සැරයක් මෙන්...එහි පැමිණ තිබුනේ දුම්රිය නියාමක වරයෙකි.

මගේ පශ්චාත් භාගය තව දුරටත් දුම්රිය ආසනය මත තදකර ඉන්නට නොහැකි වටපිටාවකි. ඒ අල්ල පනල්ලේ ආසන අතර තිබූ ගල් බෝතලය ඔටුවා සුරුස් ගා පා පහරකින් අසුනක් යටට තල්ලු කර දැම්මේය.

මුව දෙනක මෙන් අහිංසක අපේ නගා...බිම බලා ගත් වනමය...

තමුසෙලා දන්නවද.....තව පොඩ්ඩෙන් මේකා කෝච්චියට යට වෙනවා...අප දෙසට වන්නට දඹරැගිල්ල ගුවනට මුසුකර තදින් වචන හරඹය පෑ...දුම්රිය නියාමක තැනට ඒ වදන කියා නිම වෙන්නට ඉඩක් නොලැබුනි....

අංකල්ට කියන්න අංකල්......ඔටුවාට කියන්නට හැදූ දෙය කියන්නට ඉඩක් නොලැබුනි...

කවුද අයිසෙ අංකල්....මම මේ රාජකාරියක් කරන්නෙ....ඒ විදියට කථා කරනවා.....නියාමක තැන ගුගුරයි.

හරි හරි වැරදුනා....ගාඩ් මහත්තයා..අපේ මේ යාලුවට පොඩි කාලෙ ඉදන්ම වරින් වර වැසිකිළිගත වීමේ රෝගයක් තියෙනවා...ඒ හින්දයි කෝච්චිය යටට රිංගලා හරි වැඩේ දෙන්න ට්‍රයි කොරන්න ඇත්තෙ....

ඇයි අයිසෙ...තමුං හිතුවද මේක පවර් සැට් එකක් කියලා...ඔය ඕනෙ තරම් මේකෙත් තියෙන්නෙ වැසිකිළි...
ඔටුවාටද කට උත්තර නැත....

මට හොදට පේනවා...තමුං යන්නෙ ගෙදරට හොරෙන් යන ගමනක් බව....(දැරිවියන් දෙසට හැරී) තමුන් විශේෂයෙන් පරිස්සම් වෙලා ගෙදරින් ආවා වගේම ආපහු ගෙදරට යනවා හොදා.... කියමින් හෙතෙම නික්මී ගියේය.

එයින් පසු කරළියේ ප්‍රධාන චරිතය නගා වූයේය.

උඹට මොකද බං උනේ අර මිනියට ඔච්චර තද වෙන්න තරං....

සුපුරුදු නාරි ලීලාවෙන් නගා කථාව අමුණයි....

මම සරසවි උයනෙ කෝච්චිය නවත්තන්න ඔන්න මෙන්න තියෙද්දි කෝච්චියෙන් ෆ්ලැට් ෆෝම් එකට පැන්නා සැන්ඩියක් ගේන්න....පැන්නෙ පස්ස ඉස්සරහට දාලා බන්....මාව කැරකිලා ගිහින් වැටුනා....කෝච්චියට නගින්න හිටිය කෙල්ලො ටිකක් භයවෙලා කෑ ගැහුවා....එතකොට ගාඩ් ලොක්කා මාව දැක්කෙ....

නොදකින්....අනේ බොල උඹත් කොල්ලෙක්නෙ හැබෑටම....කවුද බන් පස්ස ඉස්සරහට දාලා යන වාහනේකින් පනින්නෙ....අසරණ නගාගෙ සායම හේදිලාම ගියේය....දැරිවියන්ගේ නිරීක්ෂනයට උගේ පස්ස යොමු වන විට....සුදු පැහැයට හුරු කලිසමේ කලු පැහැයෙන් දුම්රිය වේදිකාවේ තිබූ තාර කොටස් මනරම් ලෙස සිතුවම්  වී තිබුනි.

අනේ මේ අපිවත් ගෙවල් වලින් එළවයි...අරයා කිව්වා වගේම අපිත් බොරු කියලා තමයි අනේ මේ ගමන යන්න ආවෙ...යාලු කම හින්දා....ගුටිකන වැඩ නම් කරන්න එපා එච්චරයි....බොරු කෝපයක් පෙන්වා දැරිවියන් කථා බහේ යෙදෙයි.

කෙසේවුවත් දැරියන්ගේ බලවත් අකමැත්ත මැද වුවද අමුවෙන්ම මහනුවරට ලගා වීමේ කැමැත්තක් නොතිබූ ඔටුවා විසින් විවෘත කරන ලද බෝතලයට මම මෙන්ම ගල් බට්ටාද හරි හරියට වගකීයූ නිසා නුවර ඉස්ටේසුමට ලගා වන විට අප සිටියේ මද පවනේය.

එයින් පසු සිදුවෙච්ච සන්තෑසිය ඊළග කොටසින් කියවමු...එකෙක් මට බනින්නෙ නෑ දෙකට කැඩුවා කියලා. අර ලියන්නා හෙවත් වෙනිවැල් මාමා තමයි මේවට වග කියන්න ඕනෙ...


මතු සම්බන්ධයි....



මම කාමරේ වෙසෙන සත්ගුණවත් සිරා කොලුවා.



ප.ලි

මේ ලියනා සිදුවීම් ඇත්තම ඇත්ත ඒවාය....ඒවාට ඇත්ත ලෙසම මත්පැන් ගෑවී තිබූ නිසාම ඒ පිළිබද ලියවේ...එහෙම නැතිනම් මත්පැන් ප්‍රචාරණයට මා ගන්නා උත්සාහයක් නොවේය.

බීම හෝ නොබීම ඔබේ අයිතියකි. එයට වචනයකින් හෝ ධෛර්යය සැපයීම මගේ උත්සාහය නොවන බැව් අවධාරනය කොරමි.





















Related Posts Plugin for WordPress, Blogger...