Tuesday, May 27, 2014

70 ලංකාවේ කලාව මිනිසුන් මරයි....

ආදරය කරලා පිහියෙන් අනින්න පුළුවන්ද කියලා මට හිතුනා. එක් ගිතයක මෙහෙම කියනවානේ ප්‍රේමයයි වෛරයයි අතරේ වෙනස කෙස් ගසකට සමයි බිදුනු දා පුජාව ප්‍රේමයේ ඔහුගේ ආගම වෛරයයි කියලා. මේ වෛරයේ ඇදහිල්ල මෙරට සිනමාව ,ගීතය,නාට්‍ය තුලින් මතුවී  අප මනසට පැමිණි විට තවත් මිනිස් ජිවිතයක් නිමාවට පත්වන බව කිසිදු විටෙක් සිතන්නේ නැත. කලා කරුවා කලාව තුල නිර්මාණය කරනු ලබන නිර්මාණය හමුවේ තවත්  සිතුවිලි පරම්පරාවක් ඒ තුලින් තවත් නිර්මාණ කෝටි සංඛ්‍යාත ප්‍රමාණයක් බිහි කරනු ලබනවා .




තමා ආදරය කල පෙම්වතිය හට ආදරය ඇති නිසාම තමා සමග නොව තවත් පෙම්වතෙකු වෙත යන්න කියන ගීතයක් ඇසුන මා හට අපුරු සුන්දරත්වයක් දැනින.

හන්තානට පායන සද ලස්සනයිද, කියන්න,
මා නොදුටුව ඒ පුර සද ඔබට හැකිය දකින්න.

මේ සිතුවිලි දැහැන රසවිදින්න පුළුවන් පෙම්වතෙක් පිහියක් ගෙන තම පෙම්වතියට ශරිරයේ කීප පොළකට අනින්නට නොසිතනු ඇත. එනමුත් මෙම ගීතය හැර තවත් ගීත මෙසේ නොවන්නේ තාර්කික ඥානයට කිසිදු අයුරකින් බුද්ධිමත් ලෙස සමිප නොවන නිසාවෙනි .අප අතර බිහිවන ආත්මාර්ථකාමි කලාව සමාජ පසුබිම වෙනත් මානයකට ගෙන ගොස් දූෂනය වු හදවත් නිර්මාණය කරන්නට සමත් බව නොසිතන සිමාවක් තුල කලාව කලාව සදහා ද නොමැති නම් මිනිසා සදහාද යන්න තෙරුම් ගැනිමට නොහැකිය. විද්‍යුත්  සන්නිවේදන ක්‍රියාවලිය හමුවේ උදේ සිට රෑ පුරවටම අසන්නට සලසනු ලබන්නේ මෙවැනි නිර්මාණ නම් එය සමාජය නිසි මගකට යොමු කරලිමට නොහැකි තත්ත්වයකි .අද එය සුන්දර විරහාවක් බවට පත්ව තිබේ .විරහාව නැවත නැවත විදිම හමුවේ නිර්මාණය කරනු ලබන ලෝකය උන්මත්තකයෙකු හෝ හෙරොයින් ගත් අයෙකු බවට පත් කරනු ලැබිම අවාසනාවන්ත සිදු විමකි.

ඇතැම් විට යම් අයෙකු නිර්මාණය කරනු ලබන කලාව තුල වෙනත් මානයක් කථා කලද පිටත සිට එය අසන්නා වෙනත් ඇසුරක් එම නිර්මාණයෙන් බලාපොරෙත්තු වේ.මෙම තත්ත්වය විශ්වවිද්‍යාල සිසුවෙකු හෝ සිසුවියක් තම සාහිත්‍ය රසයත් සමග විදදරා ගනු ලබන අතර එය සාමාන්‍ය ලෝකය හමුවේ වෙනත් මානයක් සොයා යනු ලබයි.

ඇතැම් සම්භාව්‍ය සිනමා පටයක කතා තේමාව හමුවේ ලිංගික අවස්ථාවක් නිරුපනය කලබව නිර්මාණ කරුවා කියුවද එහි රසවිදින පුද්ගලයා තේමාව ඉවතදා ලිංගික රසය පමනක් විදි නම් එය තව දුරටත් වැඩිහිටියනට පමනක් ලේබල් වුන කෘතියක් බවට පත්වේ .එවිට නිර්මානය සමාජය හමුවේ තවත් චරිතයක් නරඹන්නා වෙතින් නිෂ්පාදනය කරනු ලබයි. සියල්ල හමුවේ කලාව රස විදිම සහ කලාකරුවා අතර ඇති වන මෙම නොගැලපිම මාකට් එකක් බවට පත් කර ගැනිම සහ මුදල් සෙවිම හමුවේ කලාව තුලින් සමාජය නිරුවත් කර ම්ලේඡයින් බිහි කරිම ආරම්භ කරනු ලබයි. මනෝවිද්‍යාව සහ කලාව අතර සමිප බවක් තිබුනද කලා කරුවා මනෝවිද්‍යඥයෙකු නොවන බැවින් සමාජය හමුවේ මානසික රෝගින් විශාල පිරිසක් එක් පැයකට නිර්මාණය කරනු ලබයි. මෙම තත්ත්වය කොතරම් දුරට අපරාධයක් වනවාද යන්න තිරණය කල නොහැක. යුද්ධයකදි මිනිසුන් මියයනවාට වඩා මෙම ක්‍රමය හමුවේ මිනිසුන් මිය යනු ඇතැයි මට සිතේ. වේදනාව සහ සතුට වෙන් කරන සාධකය හමුවේ කලාව වැදගත් සාධකයක් බවට පත්වේ. මෙරට බිහිවු ගීත අතරින් අතිවිශාල ප්‍රමාණයක් ඝෘණාත්මක අවබෝධයන් නිර්මානය කිරිමට දක්ෂය. ධනාත්මක ලෙස පවතින නිර්මාණ ගණන ඉතා අඩුය.

ගොළුහදවත නවකතාව ඉතා රසවත් විය .එම නවකතාව ඇසුරින් නිෂ්පාදනය වු සිනමා පටයද ජනතාව ඉතා ආදරයෙන් වැලද ගත් බව රහසක් නොවිය. එය කොතරම් ජනතාව අතරට ගියද කිවහොත් සුගත්ලා සමාජය තුල නිර්මාණය විය. ඇතැම් අය සුගත් බීමට ඇබ්බැහි වු අයුරින්ම බේබද්දන් විය. ධම්මි ලෙස තවත් පිරිසක් නිර්මාණය විය. එක්ටැම් ගෙයද එසේම විය. ආදරයෙන් පැරදුන විට එක්ටැම් ගෙයක රස්සාව සොයා ගිය තරුණයින් බොහොවිට හමු විය.

දහසක් මල් මැද එකම මලයි පැතුවේ
එමල කිමද සරදම් කර සැගව ගියේ ,
මලේ සුවද පොද දැනේ තවම මට,

ජිවිතය ජිවත් කරන්න අරමුනක් සොයන විට කලාකරුවා එය ජිවිතයේ සුන්දරත්වයට යන පාර කියන අයෙකු නම් අද මේ ජනසමාජය කොතරම් සුන්දර විය හැකිද ? අප උදේ පාන්දර අවදි වූ විටක ඇසුන ගීතය ඇතැම් විට දිනය පුරාවටම මුමුනනු ලබයි. මා හිතවත් මිතුරෙකු තම ජංගම දුරකථනයෙන් තවත් අයෙකු හට උදයේම පණිවිඩයක් දිමට උත්සාහ ගත් විට මද වේලාවක් ඔහුට අසන්නට ලැබුණ ගීතය ඔහුගේ දවසේ ගීතය විය.

අවසාන මොහොත මාගේ පෝරකය දෑස මානේ පෙනේවී රූපේ,

මා හට ඔහු මෙම කොටස පමනක් කීප විටක් කියනු  ඇසිමෙන් ඇති වු සිතුවිල්ල හේතුවෙන් ඔහුට කතා කර යමක් පහදා දුන්නෙමි .එනම් යම් සුභ වචනයක් ආශිර්වාදයක් කර ගන්නා සේම අවසාන මොහොත යනුවෙන් මැතිරීම කොතරම් උචිතද යන්න පහදා දෙන ලදි . මෙය ඇතැම් විට එක් අයෙකුට නොව සමස්තයකටම සිදුවී ඇත. කලාව සුන්දර මැතිරිල්ලක් නොව අසුන්දර වස්කවියක් වී ඇති හැඩය. මෙය ඛේදාන්තයකි.

අද පුවත් පත් වාර්තා කියවීම හමුවේද එසේම සිදුවේ. දිනය තුල මිනි මැරුම් ස්ත්‍රි දුෂණයන් ඇතැම් අයෙකු වස පානය කල සැටි. ඒ සදහා යොදාගත හැකි වස වර්ග සහ ලේසියෙන් මිය යාමට හැකි ක්‍රමයන් මේ සියල්ල දවසේ පාඩම ලෙස කියවන්නට පාඨකයා හට අවස්ථාව උදාවේ. පාඨකයන් මෙම සිදුවිම් සංවේදිව කියවනු ලබයි. මේ අය කොයියම් අවස්ථාවක හෝ තමා සංවේදි වූ විටක විකල්ප විසදුම ලෙස ක්‍රියාත්මක කරනු ලබන්නේද එයයි. නැති නම් ජාතික වශයෙන් සොරෙකු බේබද්දෙකු  මිනිමරුවෙකු බිහි කිරීමට මෙම පුවත් පත් පාඩම් ඉතා වැදගත් වේ. එය අද සිදුවෙමින් පවතී. දිනකට කීප දෙනෙකු ලංකාව තුල ඝාතනය වෙයි.

කලාව මගින් ආනන්දයෙන්  ප්‍රඥාවට මිනිසා හට ගමන්  කරන්නට හැකි මගක් නිර්මාණය විම සමාජයට වැදගත් සාධකයකි. එනමුත් මෙරට බිහි කරනු ලබන කලාවට එය කොතරම් දුරට සිදු කිරිමට හැකි වීද යන්න ප්‍රශ්නයකී. පෞද්ගලික රුපවාහිණි නාලිකාවක විකාශනය කරනු ලබන පුවත් තුල අද වන විට මිනිමැරුම් රසවත් කර පෙන්විම තරගයක් බවට පත් කරගෙන තිබේ . එය සිදු කරනු ලබන ආකාරය වේලාව උපක්‍රම මැනවින් පහදා දේ මෙවැනි දෑ තුලින් බලාපොරොත්තු වන පණිවිඩයට වඩා යමක් සිදුවේ .එයින් සිදු වනුයේ හෙට දිනයේදි තවත් එවැනිම සිදු විමක් නිර්මාණය විමය.දි ගින් දිගටම පුවත් මැවිමය.

සන්නිවේදනයේ හර පද්ධතිය කලාව හරහා ජනතාව අතරට යාම තුල මනෝවිද්‍යාත්මක භාෂාවක් සමස්ත සමාජය තුලම නිර්මාණය වේ. එකිනෙකා තම තමන් විසින් ලබා ගන්නා අත්දැක්ම් සමාජ ගතකිරිම නැවතිමට හැකියාවක් නැති වුවද. සමස්ත සමාජයේ ලැජ්ජා භිය නැති කර ම්ලේච්ඡත්වයට ගෙන ඒමට එය අනෙක් අය හටද බෝ කිරිමට තම නිර්මාණ දායක වන බව දැන ගැනිම ඉතාමත් වැදගත්ය. අනූව දශකයේ මුල සිට නිර්මාණය වු ගීත කලාව හමුවේ අද දක්වා විරහාව හැරෙන්නට වෙනත් නිර්මානයක් ජනතාවට දුන් බවක් දක්නට නැත. නව සංගීත සංක්‍රමණය හමුවේ වේදිකා සසල කරමින් හඩන ගී ඇසු පරපුරක් අද ලාංකිය ජන සමාජයේ බින්න බැසගෙන සිටි.

කලාව විදිමට ඇති අයිතිය සහ කලාව විදීමට බුද්ධිය ලබාදිම අධ්‍යාපන ක්‍රමයේ සැලැස්මක් විය යුතුය. නමුත් සිංහල විෂය යටතේ විභාගයට පමනක් සීමා වු රසාස්වාදයක් නිර්මාණය කිරිම සහ ඇතැම් ගුරුවරුන් තම කීර්තිය වෙනුවෙන් ආදරය ෆැන්ටසි කරණය කල අවස්ථා පසුගිය දශකය තුල හමුවේ. එහි කොඩිවිනය වූයේ අද දක්වා මිනී මැරීමේ ආදර සංකල්පය හට ගැනිමය. ආකර්ෂණය සහ ආදරය හමුවේ තමා කැමති වස්තුව අහිමි වීම වෛරයීය මෙවලමක් බවට පත් කිරිම පුරුදු පුහුණූ කරණ ලදි.

කලාව කලාව සදහා පමනක් විම සහ කලාව මුදලට යටවිම හමුවේ කලාවේ සමාජ වගකීම කලාකරුවා විසින් පැහැර හැර තිබේ . මේ සිදුවීම කොතරම් දරුණු විපාක ඇති කරන්නේද යන්න වග විභාග කිරිමක් විවෘත ආර්ථික ප්‍රතිපත්ති හමුවේ ගිලිහී ගොස් ඇත. නමුත් මෙරට කලාව මිනිසා වෙනුවෙන් නිර්මාණය කිරිමට සුදුසු පරිසරයක් ඇති කිරීමට සිටින පිරිස නිහඩ වීම හමුවේ සිදුවන විනාශය අති මහත්ය.

වරක් මා ටි.එම් .ජයරත්න ගායන ශිල්පිය හමුවු අවස්ථාවක ඇසුවේ හැත්තෑව දශකයේ නිර්මාණ පෙරළියට පසුව නව නිර්මාණ සදහා අවධානය යොමු නොකරන්නට හේතුව කුමක්ද යන්නය. මුනිවත හොදයි දෙබසින් දුක වැඩි හින්දා කියලා මට හිතුණේ ටි.එම් .ජයරත්න මහතා දුන් පිළිතුර ඇසිමත් සමගය.

අද අපි අළුත් ගීතයක් කරන්න වියදම් කරනවා .ඒ වෙනුවෙන් වියදම් කරන්න කව්රු හරි හොයා ගන්න ඕනෑ. නැත්නම් අපි වියදම් කරන්න ඕනෑ. එහෙම කරලා විශාල වියදමකින් ගීතයක් වෙළද පොළට දෙන්න ගියාම අපිට හිතා ගන්න බෑ වෙන දේ. අපි ඒක පටිගත කරපු සීඩී පටය අරන් ගියාට පස්සේ අපිට අහන්න ලැබෙන්නේ අපි අමාරුවෙන් කරපු ගීතය වෙළද පොළට ආපු හැටි . අපිට කල කිරිමක් විතරයි ඉතුරු වෙන්නේ ඉතින් කොහොමද අළුත් දෙයක් කරන්නේ . හොරකම් කරන එක දැන් හරිම ලේසියි. අද තප්පර ගානකදි අපි කරපු රේකෝඩින් එක අන්තර්ජාලයට කවුරු හරි දානවා. ඒක හෙට මිනිස්සු  ලගට ගිහින් ඉවරයි. වියදමක් නොකර පද ටිකක් දාලා සිංදුවක් හදන ක්‍රමයක් තියෙන්නේ ශාස්ත්‍රිය බවක් උවමනා නෑ දැන් මාකට් එකට සිංදු කියන එක විතරයි තියෙන්නේ .

සනත් නන්දසිරි මහතා කියන කතාව තුල ඔහුද කලාව පිළිබද කල කිරුනු බවක් කියවේ . මම ගීතයක් ගායනා කරන්න කියන ගානට වඩා අද ඊයේ ගායකයෝ ගන්නවා. අපි එහෙම කිව්වොත් ගීත ගයනා කරන්න වෙන්නේ නෑ . මේ මෙරට ඉල්ලුම සැපයුම ගීත වක්‍ර විතැන් වෙන විදිය කියවෙන්නේ ඒ විදියට නම් තව මොන කතාද කියලා හිතන්න වෙනවා.

තව දුරටත් මෙරට කලාව පිළිබද සංවාදයක් නොමැති වුවහොත් අනාගත පරපුර කුඩු බිව්වාට වඩා හානියක් කලාව තුලින් සිදු කර ගනු ලබයි. මනස විකෘති කරගැනීමට අඩන කලාව සහ බුද්ධිමත් විචාර ශීලී පරපුරක් බිහි කිරීමට කාලයක් උදා නොවනු ඇත.

මෙරට ටෙලිනාට්‍ය කලාව තුලින් සිනී බෝල කතාවක් ආලින්දයට ගෙන ඒම හමුවේ තරුණ පරපුර තම ජිවිතය බවට මෙම සීනී බෝල කථා පත් කරනු ලබන විට කොසොල් රජු දුටු සිහින මෙම සමාජය හමුවේ ඉතා ඉක්මනින් දක්නට ලැබෙනු ඇත. පවතින ක්‍රමයට බුද්ධිමත් පරපුරක් සීටිම ගැටළු සහගත විය හැකිය. නමුත් මෙරට ලාංකිය චින්තන රටාව විනාශ වනු ඇත.

මනෝ විද්‍යාත්මක විග්‍රහයක් වන එක් කරුණක් විසි එක් වතාවක් අධ්‍යනය කිරිම හමුවේ යටිසිතට කාන්දු වී එය මතකයේ කොටසක් බවට පත් විම සත්‍යක් නම් අද අප සමාජයේ දකින අසන පෙනෙන කලාව ශරිරගතව මහ විනාශයක් සිදු කරනු ඇත.

ප්‍රියයානනි අහන්න එකපාර මා මරන්න කියන වචන මන්තරයක් වී, එය සැබෑවක් වී පෙම්වතුන්ගේ මරණයේ දේශය ලෙස මෙරට ප්‍රසිද්ධියට පත්වනවා ඇත. දරුසෙනෙහස දෙමාපියන් ඉවත දමා පාලම් වලින් දරුවන් ඉවතට වීසි කරණවා ඇත. අතීතයේ ආත්තම්මා සහ තම සීයා ඇසුරේ කවි කතා මතින් බිහි වු සාහිත්‍ය ලෝකය අප අනාගත පරපුරට අහිමි වනවා ඇත. ජන විඥානය සමග පරපුරෙන් පරපුරට රැගෙන ආ සියල්ල නැතිවී යනු ඇත. ලාංකිය සමාජය සදාකලිකවම කටුගෙයකට සීමා වනු ඇත. විකෘති කලා කරුවන්ගේ දේශයක් වනු ඇත.

 කලාව මිනිසුන් සදහා පමනක් භාවිතා කරමු .ආනන්දයෙන් ප්‍රඥාවට ගෙන යන්නට සංවාදයකට එමු. 




මාසයේ අවසන් ලිපිය වෙනුවෙන් සිරාගේ කාමරයට ලියා එව්වේ,

අම්පාරේ චන්දන ලියනාරච්චි


ප.ලි

මාසයේ අවසාන ලිපිය වෙනුවෙන් චන්දන ලියනාරච්චි සහෘදයා සිරාගෙ කාමරය වෙත ලිපියක් ලියා එව්වාට මුලින්ම ස්තූති වන්ත වෙමි. ජනමාධ්‍යවේදියකුද වන ඔහු කථා කර ඇති මාතෘකාව සැබැවින්ම කාලීන එකකි. ඒ පිළිබද යමක් ලියන්නට මා සිතෙහි බීජය වැපිරෙන විටම චන්දන මේ සටහන මවෙත එවීම මහත් සතුටකි. ඔහු මෙහිදී ගෙන හැර පාන දිනෙන් දින කලාව වල පල්ලට යාමේ භූමිකාවට සෘජුව වගකිව යුතු කොටසක් ලෙස ලංකාවේ එෆ් එම් නාලිකා මාෆියාව මවිසින් හදුන්වා දෙන්නට රිසි වෙමි. මගේ අදහස් ඉදිරියේදී ලිපියකට ගොනු කරමි. එතෙක් අපි හොද සංවාදයකට මග සකසා ගනිමු.

Friday, May 23, 2014

78 ක්ෂය රෝගය සමග දෙදිනක්

මැලේසියාවේ මා සේවය කරන ආයතනය සංචාරක කර්මාන්තයට අදාළ එකකි. මෙමගින් ඉටුකෙරෙන ප්‍රධාන සේවා දෙකක් වෙයි. මෙරට පුරවැසියන් වන මැලේසියානුවන් වෙත තමා කැමති රටකට සංචාරයේ යෙදෙන්නට පහසුකම් සැලසීම සහ වෙනත් රටවල සිට මෙරටට පැමිණෙන සංචාරකයන්ට සිය සංචාරයට අදාළ හෝටල්, ප්‍රවාහන, ගුවන් ටිකට් පත් ඇතුලුව සියලුම පහසුකම් සැපයීම ඒ කාරණා දෙක ලෙස සරළව දැක්විය හැකිය.

ලංකාවේ සංචාරකයන්ට අමතරව පකිස්ථානයේ සිට මැලේසියාවට පැමිණෙන සංචාරකයන් බහුතරයක් අපේ ආයතනයේ සේවය ලබාගන්නේ පාකිස්ථානු ඒජන්තයන් කීප දෙනෙකුම අප සමග ගිවිසුම් ගතව සිටින හෙයිනි.

පසුගිය වසරේ අග භාගයේ සිට පකිස්ථානු විශේෂඥ වෛද්‍යවරු පිරිසක් මැලේසියාවට පැමිණෙන බවත්, ඔවුන් දින දෙකක් පුරාවට මෙහි සම්මන්ත්‍රණයක් පවත්වන බවත් මා හට වටින් ගොඩින් අසන්නට ලැබුනි. සංචාරකයන්ගේ කටයුතු සමග සෘජු ගණුදෙනුවක් මගේ වෘත්තියට අදාළ නැති නිසා මෙලෙස එන යන අය සමග මට කිසිදු ඇසුරක් නැත. එහෙත් නොසිතූ විරූ ලෙස මේ සම්මන්ත්‍රණ භූමියේ සිට අප ආයතනය වෙනුවෙන් ඒ කටයුතු සම්බන්ධීකරණය කරන්න ලැබීම මගේ ජීවිතයේ මා ලද අමතක නොවන අත්දැකීමකි. වෙසක් දිනය උදාවෙන්නට ප්‍රථම මෙය පවත්වනු ලැබූවත්...එය කාමරේ දොර ඇර අකුරු කරන්නේ අදයි.

ඔයාට පුලුවන්ද ඉරිදයි සදුදයි පොඩි වැඩක් කරන්න.

සිකුරාදා දිනක සේවය නිමවී නිවසට යාමට ප්‍රථම ආයතන ප්‍රධානියා මගෙන් විමසුවේය.

කියන්න බොස්.....මම පැවසීමි.

ඉරිදයි, සදුදයි ෂෙරටන් හෝටලේ දොස්තරවරුන්ගෙ සම්මන්ත්‍රණයක් තියෙනවා. එතැනට ගිහින් අපේ ආයතනය සපයලා තියෙන දේවල් හරියට ක්‍රියාත්මක වෙනවාද කියන එක හොයලා බලන එකයි....සම්මන්ත්‍රණයෙ ෆොටෝ ටිකක් ගන්න එකයි තමයි ඔයාගෙ වගකීම. කෑම බීම සියල්ල හෝටලෙන්. උදේ ඉදන් හවස් වෙනකං එතැන ඉන්න අවශ්‍යයි. මම මේ වැඩේට වෙනම ගානක් මේ මාසෙ පඩියට එකතු කරන්න කියන්නම්. කැමතිද ? ඔයාට කා එක්කද වැඩ කරන්න පහසු...ආයතන ප්‍රධානියා යෝජනා කල නම් කීපය අතරින් අප නිවසේ මගේ කාමරයට යාබද කාමරයේ සිටින මා මිතුරා තෝරා ගතිමි. ඔහුද ලාංකිකයෙකි.

ලංකාවේදී බොහෝ වෙලාවට අතින් කා හරක් බලා ඇති මට මෙවැනි වටිනා කියන අවස්ථාවකදී බෑ කියන්නට හේතුවක් නැත. ඉරිදා දිනයේ දහවල් වන තුරු දපාගෙන සිට කාමරයට වී මනෝපාරක් ගසනවාට වඩා ක්වාලාලම්පූර් අගනුවර ප්‍රමුඛම තරු 5 හෝටලයක් වන ෂෙරටන් ඉම්පීරියල් වෙතින් සප්පායම් වීමම කෙතරම් අගනේද ? අමතර ආදායමකුත් ලැබෙන එකේ මම දෙපාරක් නොසිතාම යෝජනාවට එකග වුනෙමි.

වෙනදා වගේම කාලය ටික් ටික් හඩින් ගලා ගොස් ඉරිදා දිනයටත් එළැඹුනේය. එදින උදෑසන මහත්වරුන් ලෙස සැරසී හෝටලයට ගිය අප දෙදෙනා, හෝටලයේ ඇත්තන් උණුසුම් ලෙස පිළිගෙන සම්මන්ත්‍රණය පැවැත්වෙන ස්ථානයට යොමු කලහ. එතැනදී මගේ අතට ලැබුනේ වෘත්තීය මට්ටමේ කැමරාවකි. මගේ මලයා වෘත්තීය කැමරාකරුවෙකු වුවද ඒවායේ භාවිතය ගැන මා දන්නා ලබ්බක් නැත. මා වහා ඔහු අමතා උපදෙස් කීපයක් ලබා ගතිමි. එයින් අනතුරුව කැමරාව අතට හුරුවන තෙක් හෝටලයේ විසිතුරු සහ සම්මන්ත්‍රණය කළමනාකරණය උදෙසා අප ආයතනය විසින් තෝරාගෙන සිටි තවත් ආයතනයක සේවක පිරිස අතර සිටි චීන නංගිලා දෙදෙනා ෆෝකස් කලෙමි.

මේ තියෙන්නෙ ෆෝකස් කරපු එකක්...චීන නගාලා දෙන්නා හැර අනෙක් අය පකිස්ථානුවන්ය. 
උදෑසන 10 කණිසම වන විට වෛද්‍යවරුන් සහ වෛද්‍යවරියන් සම්මන්ත්‍රණ භූමියට පැමිණ සිටියෝය. පකිස්ථානු වෛද්‍ය වරුන් පිරිසක් අපේ අපේක්ෂාව වුවද එහි බංග්ලාදේශය, මැලේසියා, සිංගප්පූරු, තායිවාන්, ඉන්දුනීසියා, ඉන්දියා, හොංකොං, තායිලන්තය වැනි රටවලට අයත් වෛද්‍යවරුන්ද වූයෙන් මෙය ජාත්‍යන්තර මට්ටමේ කාර්යයක් බව මගේ අක්මාවට දැනුනි.

සම්මන්ත්‍රණයට පැමිණි වෛද්‍යවරු සමරු සටහන් තබමින්



TB (Tuberculosis)නම් රෝගයෙන් වැඩියෙන්ම පීඩා විදින රටවල් 3 ක් තම අත්දැකීම් අනෙක් රටවල් සමග බෙදාගැනීම මේ සම්මන්ත්‍රණයේ අරමුණ බව සදහන් පුවරු තැන තැන විය.මේ රෝගය ලංකාවේත් තියෙනවාදැයි මමත් මගේ සගයාත් කල්පනා කලේ මෙයින් ලබාගත හැකි යම් තොරතුරක් ලංකාව වෙත අපනයනය කිරීමේ අරමුණිනි. නමුත් මේ කථා කරන්නෙ ක්ෂය රෝගය පිළිබදව බව අප වටහාගත්තේ සම්මන්ත්‍රණය නිම වී දින කීපයක් ගත වූ පසුව වීම විශේෂයකි. ඒ වග පසුවට කියමි.

සම්මන්ත්‍රණයේ පළමු දිනයේදී විවිධ රටවලින් පැමිණි වෛද්‍යවරු, ක්ෂය රෝගය පිළිබද ඔවුන්ගේ අත්දැකීම් සහ දැනුම සභාවට ඉදිරිපත් කලහ. තම තමන්ගේ රටවල පිහිටීම, විශාලත්වය, රෝගීන්ගේ සංඛ්‍යාව, රෝගීන්ගේ ව්‍යාප්තිය, ඔවුන් හදුනාගන්නා ආකාරය, ප්‍රතිකාර ක්‍රම මෙයට අයත් විය. සෞඛ්‍ය සායන වල ප්‍රගතියද එයටම අදාළ විය. මෙවන් විටෙක සභාවේ සිටින සෙසු වෛද්‍යවරු විවිධ ගැටලු ඔවුන් වෙත යොමු කලහ. 

ඉන්දුනීසියානු වෛද්‍යවරියක් තම රටේ තත්වය සභාවට ඉදිරිපත් කරමින්



මේ සම්මන්ත්‍රණයට සහභාගි වූ අති මහත් බහුතර වෛද්‍යවරුන් වසර 10 කට වඩා ක්ෂය රෝගය සමග ගැටුන, පශ්චාත් උපාධියද සමත් අයවලුන් වූහ. ඒ අතර බහුතරයක් මහාචාර්ය වරුන් ලෙස කටයුතු කරන්නෝය.

මේ රෝගය වැළදී ඇතැයි හදුනාගන්නා රෝගියෙකු වෙනුවෙන් මාස 6 ක් හෝ මාස 8 ක් එක්දිගටම ප්‍රතිකාර කිරීමෙන් ක්ෂය රෝගය වැලදීමට ඉවහල් වන Mycobacterium tuberculosis නම් බැක්ටීරියාව අඩපණ කල හැකි බව වෛද්‍යවරුන්ගේ කථා බහ තුලින් මම දැන ගතිමි. රෝගය හැදින්වීමට TB ලෙස භාවිතා කරන්නේ එම රෝගය ඇතිකරන බැක්ටීරියාවේ කෙටි යෙදුම ලෙසයි.

ක්ෂය රෝගය යනු බැක්ටීරියාවක් හේතුවෙන් වැළදෙන ලොව ඇති පැරණිම රෝගයකි. ඊජිප්තුවේ ඇතැම් මමී අතර මේ රෝගය වැළදුන අයද සොයාගෙන ඇති බව කියවෙයි. පපුවේ ඇති වන වේදනාවත්...නිරන්තර කැස්සත්, කැස්ස සමග ලේ පිටවීමත් මේ රෝගයේ මූලික අවස්ථාවේ රෝග ලක්ෂණ වෙයි. මේ බැක්ටීරියාවෙන් වැඩියෙන්ම බැටකන්නේ මිනිසාගේ පෙණහළුයි. ඊට අමතරව මධ්‍යම ස්නායු පද්ධතියත්, වසා පද්ධතියත්, රුධිර සංසරණ පද්ධතියත් රෝගය හමුවේ ක්‍රම ක්‍රමයෙන් අඩපණ වෙයි.



එම හේතු නිසාම දීර්ඝ කාලීනව ප්‍රතිකාර නොලැබූ ක්ෂය රෝගීන් ශරීරයේ බර අඩු වීම, අධික ලෙස කෘෂ වීම, සුලු වැඩක නියැලුනත් අධික තෙහෙට්ටුවක් දැනීම ආදියට ලක් වෙයි. තවත් කල් ගිය තැන ඇවිදින ඇටසැකිල්ලක් බවට පත්වන මේ රොගීන් ඇවිද යාමට නොහැකිව අවසානයේ එකතැන් වෙයි.

ක්ෂය රෝගයේ උච්චතම අවස්ථාව


මේ වන විට ලෝකයේ වැඩියෙන්ම ක්ෂය රෝගීන් සිටින රට පකිස්ථානයයි. දෙවැනි තැන සිටින්නේ ඉන්දුනීසියාවයි. තෙවන තැන පිලිපීනයට හිමි වී තිබේ. මේ රටවල් ත්‍රිත්වයේ එකමුතුවෙන් මේ වැඩසටහන පැවැත්වීමේ වාසිය වූයේ ක්ෂය රෝගය සමග ගැටීමේදී ඔවුන් ලද අත්දැකීම් අනෙක් රටවල වෛද්‍යවරුන්ට ලෝබ කමකින් තොරව බෙදා දුන් හෙයිනි.

එකම රෝගයක් උදෙසා වුවද රටවල් අනුව මෙන්ම වෛද්‍යවරයාගෙන් වෛද්‍යවරයාට දැනුම වෙනස් වන බව පැහැදිලිව මේ සම්මන්ත්‍රණය තුල දක්නට ලැබුනි. එක් පකිස්ථානු විශේෂඥ වෛද්‍යවරයකු මාස 8 ක් ප්‍රතිකාර කර රෝගියෙකු සුවකල කථාවක් සභාවට ගෙනහැර පෑවේය. සභාවේ සිටි සෙසු වෛද්‍යවරුන් ඔහුගෙන් විමසා සිටියේ ඒ සදහා භාවිතා කල ඖෂධ වර්ග පිළිබදවයි. එහිදී ඔහු දැක්වූ එක් ඖෂධයක් සභාවේ දැඩි මතභේදයට ලක් විය. දිගින් දිගටම සුහද මට්ටමේ වාද විවාද ඇති විය. අවසානයේ ගැටලුව මහාචාර්ය වරයකු වෙත යොමු විය. එතුමා ගත් කටටම කීවේ....මාස 8 ක් මේ බෙහෙත් වර්ගයෙන් ප්‍රතිකාර ලැබූ රෝගීයා මළවුන් අතරට එක්නොවී සුවවූයේ ඔහුගේ වාසනාව හොද නිසා බවයි. ඔහුගේ අදහස අනුව ඒ ඖෂධය එක දිගට මාස දෙකක් පමණක් භාවිතා කිරීමට සුදුසු එකකි. වෛද්‍යවරුන්ගේ වැරදි ප්‍රතිකාර නිසාවෙන් මිය යන අපේ රටේ රෝගීන්ගේද පසුබිමේ ඇතැම් විටෙක ඇත්තේ මෙවැනි කථා විය හැක.

වැරදි බෙහෙතක් හෝ ලබා දී රෝගියා ගොඩ දැමූ වෛද්‍යවරයා


සම්මන්ත්‍රණයේ පළමු දිනය  විවිධ රටවල වෛද්‍යවරුන් තම අත්දැකීම් සභාවට දැනුම් දීමට වැය කලහ. ඔවුන් වේදිකාව මතට පැමිණෙන විට පසෙකින් ඇති තිරයේ ඔවුන්ගේ උගත්කම සමග තනතුරු නාමද පෙන්වයි. ඒ සෑම විටකම PhD යන අකුරු තුන නොවැරදීම තිබුනේය. ඔවුන්ගේ කථා බහ අවසන් කල පසු ප්‍රශ්න ඇසීමේ වාරයක් තිබුන අතර දේශන පැවැත්වූ සියල්ලෝ ඒවාට පිළිතුරු දුන්හ.

දේශනය අතරතුර ගැටලු ඉදිරිපත් කරමින්






















ගැටලු වලට පිළිතුරු දුන් මහාචාර්ය වරුන්ගෙන් කීප දෙනෙක්...මහාචාර්යවරිය පකිස්ථානයෙනි.

දිවා ආහාර විවේකයේදී මෙන්ම තේ විවේකයේදීද මේ වෛද්‍යවරු රැසක් සමග සුහදව කථා බහ කරන්නට අපට හැකි විය. ඔවුන් සියල්ලෝම ඉතාම සුහද මිනිසුන් වූහ. ලද හැම විටෙකම විහිළුවෙන් තහළුවෙන් කාලය ගත කල මොවුන් ඡායාරූපකරණයේදී අපට මහත් සහායක් ලබා දුන්නෝය. මෙවන් ජාත්‍යන්තර මට්ටමේ උගතුන් පිරිසක් සමග මෙවැනි වැඩසටහනකට දායක වෙන්නට ලැබීම පිළිබද මගේ සිත අපමණ සතුටට පත් වී තිබුනි.

පිලිපීනයෙන් පැමිණි වෛද්‍ය කණ්ඩායම

































පළමු දිනය නිමාවට පත්වූයේ සම්මන්ත්‍රණයට සහභාගි වූ සියලුම දෙනා කණ්ඩායම් ඡායාරූපයකට පෙනී සිටීමෙන් අනතුරුවයි.



මේ සම්මන්ත්‍රණයේ දෙවැනි දිනය යොදාගෙන තිබුනේ පළමු දින දැක්වූ කරුණු අනුසාරයෙන් තීන්දු තීරණ වලට එළැඹීමත්...මහාචාර්ය වරුන්ගේ දේශන කීපයක් උදෙසාත්ය. සම්මන්ත්‍රණය තුල කථා බහ කෙරුනු කාරණා අනුව සෑම රටකටම පොදු වූ ප්‍රතිකාර ක්‍රමයක් තීරණය කිරීම, එකම වර්ගයේ ඖෂධ සෑම රටකම භාවිතා කිරීම වැනි කාරණා එලෙස තීරණය වූ ඒවාය.

ක්ෂය රෝගයට ප්‍රතිකාර ලෙස ලබාදෙන ඖෂධ පිළිබද මේ වැඩසටහනේ අවසාන භාගය තුල දැඩිව කථා බහට ලක් වුනි. එකම ඖෂධය වුවත් ඒවා නිෂ්පාදනය කරන සමාගම් අනුව  ගුණ වෙනස් වන බවත්. සමාගම් දෙකක නිපදවන එකම ඖෂධය රෝගියෙකු වෙත ලබා දී  රෝගියාගේ ප්‍රතිචාරයන් පරික්ෂා කල විටෙක, අසමාන තත්වයන් නිරීක්ෂණය කල හැකි බවත්, වෛද්‍යවරුන්ගේ කරුණු දැක්වීම් හමුවේ අපට දැනගත හැකි විය. ඒ අනුව ඉතාම හොද ප්‍රමිතියක ඖෂධ සියලුම රටවල ඉදිරියේදී භාවිතා කිරීමට සියල්ලෝ එකග වූහ.

සියලු දේශන අවසානයේ පැවැත්වූයේ ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනකි. සෑම ප්‍රශ්නයකටම තෝරා ගැනීමට පිළිතුරු 4 ක් එහිම විය. එහිදී තමා සිටින තැනම සිට නිවැරදි පිළිතුර ලබාදිය හැකි ඉලෙක්ට්‍රොනික ගැජට්ටුවක් සෑම කෙනෙකුටම ලබා දී තිබුනි. ප්‍රශ්නය අසා සැනෙකින් ඒ ඒ පිළිතුර වෙනුවෙන් කෙතරම් ප්‍රතිශතයක් පිළිතුරු ලබා දී ඇතිදැයි විශාල තිරයේ සටහන් වෙයි. ඒ ප්‍රතිඵල සැම විටම පරස්පර වූහ. එයින්ද වෛද්‍යවරු සතු දැනුම එකිනෙකාට වෙනස් බව යලිත් සනාථ විය.

ගැටලුවකට පිළිතුර සපයමින්

ප්‍රතිඵල හැමවිටම පරස්පර විය


ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන අතර තුර එකම පිළිතුරකට සියලුම වෛද්‍යවරුන් එකග වූ කිසිදු අවස්ථාවක් උදා නොවීය. එයින් අනතුරුව කණ්ඩායම් කීපයක් සකසා...ඔවුනොවුන්ට ප්‍රායෝගික කාර්යයක් පැවරුනු අතර ඒවා අධීක්ෂණය කලේ එතැන සිටි ජේෂ්ඨ මහාචාර්ය වරුන් විසිනි.


වැඩමුළුව අතරතුර යම් කරුණක් පැහැදිලි කරන පිලිපීන ජාතික මහාචාර්ය රොනාල්ඩෝ වෛද්‍යතුමා


සම්මන්ත්‍රණයේ දෙවැනි දිනය නිමාවන විටත් මමත් මිතුරාත් සිතා සිටියේ TB යනු අලුතින් පැතිර යන රෝගයක් වන්නට ඇති බවයි. ක්ෂය රෝගය ඉංග්‍රීසියෙන් හදුන්වන නම නොදැන සිටීමද එයට හේතුවකි. සංඛ්‍යාලේඛන අනුව ලොව පුරා 5000 රෝගීන් දිනකට මිය යාම, එවන් තීරණයක එල්බගෙන සිටීමට අපට අත්වැල සැපයූවේය. මන්ද යත් ලංකාව තුල ක්ෂය රෝගය එතරම් දරුණු රෝගයක් නොවන හෙයිනි.

මේ පුවරුවේ ඉල්කම් වලින් දක්වා ඇත්තේ මේ රෝගය නිසා මියයන රෝගීන් සංඛ්‍යාවයි.
ඒ අනුව සතියකට 35000 කි.



සම්මන්ත්‍රණය පැවැත්වූ දෙදින පුරාවට අප සමග වඩාත්ම හිතවත් වූ වෛද්‍යවරයා වූයේ පකිස්ථානු ජාතික මහාචාර්ය ඉක්බාල් පිර්සාදා මහතායි. එතුමා ක්ෂය රෝගය පිළිබද වසර 23 කටත් වඩා අත්දැකීම් ඇති ජේෂ්ඨ වෛද්‍යවරයෙකි. ඉතාමත් නිරහංකාරව අප ඇසූ සෑම ප්‍රශ්නයකටම ඉතා සරළව පිළිතුරු දුන් ඔහුගෙන් මේ රෝගය පිළිබද අපේ රටේ ජනතාව දැනුවත් කිරීමට කුඩා වීඩියෝවක් සැකසීමට දායක විය හැකිදැයි අසා සිටියෙමු.

ඉතාමත්ම සතුටුයි. මගේ උපරිම දායකත්වය දෙන්නම්, වෛද්‍යවරයෙකු ලෙස මගේ වගකීම හැකි තරම් මේ රෝගය පිළිබද ජනතාව දැනුවත් කිරීම. ලෝකයේ කොතනක සිටියත් තව කෙනෙක් දැනුවත් කරන එක මට සතුටක්. එතුමා එසේ පැවසුවේය.

අවසානයේදී වෛද්‍යවරයාගේ පූර්ණ දායකත්වය යටතේ කුඩා වීඩියෝවක් සැකසීමට මටත් මිතුරාටත් හැකි විය. එය යූ ටියුබ් මාධ්‍යයට එකතු කර එහි ලින්කුව වෛද්‍යවරයා වෙතත් යැවීමට අපි කටයුතු කළෙමු. එතුමාද හැරෙන තැපෑලෙන් එ් පිළිබද ස්තූතිය අප වෙත දන්වා එවීය.

වෛද්‍යතුමාට අනුව 90 දශකයට වඩා සෑහෙන දියුණුවක් අද ක්ෂය රෝගය තුරන්කිරීමේ වැඩසටහන් අත්පත් කරගෙන තිබේ. සමස්ත ක්ෂය රෝගය වැලදුන රෝගීන්ගෙන් 2/3 ක් මේ වන විට ප්‍රතිකාර ක්‍රම යටතට ගෙන තිබේ. එහෙත් මිලියන 30 ක් වන ඉතිරි ප්‍රමාණය තවමත් කිසිදු ප්‍රතිකාරයක් නැතුව ඔබ අප වෙසෙන සමාජයේ නිදැල්ලේ හැසිරෙති. පොදු ප්‍රවාහන මාධ්‍යවල යති. සිනාසෙති, කිවිසුම් යවති. ඒ ක්‍රම මගින් මේ රෝගය තවත් කෙනෙකුට සම්ප්‍රේෂණය වෙයි. වෛද්‍යවරුන්ගේ දත්ත අනුව ප්‍රතිකාර නොගෙන සිටින එක් රෝගියෙකු වසරක කාලයක් තුල මේ රෝගය තවත් 15 දෙනෙකු වෙත ලබාදීමට නිර්ලෝභී වෙයි. ඒ අනුව ක්ෂය රෝගය ලොවෙන් තුරන් කිරීම කෙතරම් අසීරු කටයුත්තක්දැයි ඔබට වැටහෙනු ඇත.

වැයවන බයිට් ප්‍රමාණය පිළිබද ලොබ නොසිතා මේ වීඩියෝව නරඹන්න. ක්ෂය රෝගය පිළිබද නොදත් තොරතුරු දැනගන්න. එය කිසියම් දිනක ඔබට වැදගත් වේවි.



මම කාමරේ අරින සිරා කොලුවා.



ප.ලි

ශ්‍රී ලංකාවෙන් කිසිදු වෛද්‍යවරයෙකු මේ සදහා සහභාගි වී සිටියේ නැත.


මේ රෝගය පැරණි සිංහලයන් කාසෙ යනුවෙන්ද හදුන්වා තිබේ

ක්ෂය රෝගය පිළිබද සිංහලෙන් පලවූ ලිපියක් මෙතැනින්

Monday, May 19, 2014

89 ඇක්ස්ට්‍රා ස්පෙෂල් සමග දන්සැල් කෙරුවාව

වෙසක් අහවර උනාට දන්සැල් කථා තවම අහවර නෑ. සිරා කොලුවා ඇතුලු ගමේ නඩේ ඉස්සර දවසක පවත්වපු බත් දන්සැලේ ජාතකේ යම් තරමකට මම බොලාට කිව්වා නොවැ. එදා කියන්න බැරිවුන මේ කතන්දර ටික කියනකං මගේ කට කොකියනවා. ඒ හින්දම මේ කථා ටිකත් කියලා දන්සැල් කථා අහවර කරන්නයි සිරා කොලුවගෙ මේ වෑයම. ආයෙම දන්සැල් කථා කියන්නෙ ඊලග අවුරුද්දෙ.

පින්තූරය මෙතැනින්

අපේ බත් දන්සැල සදහා ගමේ ඇත්තන්ගෙන් ගෙවල් ගානෙ ගොහින් ආධාර එකතු කිරිල්ලක් තිබුනේ නෑ කියලා මම කලිනුත් කිව්වා නොවැ. දන්සැල පවත්වන්න උර දීගෙන කර දීගෙන වැඩ කටයුතු කොරාපු කොල්ලො කෙල්ලො ඇතුලු තරුණ, මහළු දෙපාර්ශවයේම අය තමන්ට හිතවත් මන්තිරියෙකුට, මුදලාලි කෙනෙකුට මේ කාරණේ ගැන සැල කොරලා පුද්ගලික මට්ටමෙන් එකතු කල ආධාර උඩ තමයි දන්සැල දිව්වෙ. සංවිධායක මණ්ඩලේ රැකියා කරන ඇත්තො තමන්ට ඇහැකි විදියට යම් කිසි ආධාරයක් මේ වෙනුවෙන් කොලා. තත්වය එහෙම උනාට මේ වෙනුවෙන් ආධාරයක් කොරන්න කැමැත්ත තියෙන ගමේ ඇත්තන්ට ඒ සදහා අපි ඉඩ ප්‍රස්ථාව හදලා දුන්නෙ හන්දියෙ සිල්ලර කඩ වල තියාපු ආධාර පත්තර හරහා. සමහරු මුදල් ආධාර කලා, සමහරු පරිප්පු කිලෝ දෙක තුනකින් ආධාර කලා...මෙන්න මේ විදියට එකතු වෙන ආධාර වල බල මහිමයෙන් වෙසක් දවසෙ මද්දහනෙ ඉදන් රාත්තිරී 7 කණිසම දක්වා එක හුස්මට දන්සැල පවත්වන්න අපට හැකි වුනා.

දන්සැලේ ආහාර වට්ටෝරුව කවදත් ලෙහෙසියෙන් පහසුවෙන් ගමෙන්ම හොයාගන්න පුලුවන් දේ වලින් තමයි සමන්විත උනේ. ඊට අමතරව කට්ටා කරවල ගෝණි කීපයක් අඩු මුදලට අපිට ගෙනත් දුන්නෙ තොග කඩ මුදලාලි කෙනෙක්. කොස් , අඹ , පරිප්පු, පපඩම්, මැල්ල කොළ සමග මිරිස් බැදුම, සම්බෝල අපේ දන්සැල් කෑම වේලෙ වැරදුනේ නෑ.

දන්සැලට සති දෙකක් විතර දුර තියෙද්දි එකතු වෙලා තියෙන ආධාර කාරිය ගනන් බලලා හාල් මිටි කීයක් ගේනවද? කියන කාරණේ තමයි ගන්න තියෙන පළවෙනි තීරණේ. මිටියකට හාල් කිලෝ 50 යි. සමහර ව්‍යාපාරිකයො තමන්ගෙ ආධාර විදියට හාල් මිටි අපට ලබා දුන්නා. එවන් විටෙක ඒවා අතහැර මිළට ගත යුතු හාල් මිටි ප්‍රමාණය තීරණය උනා.

මේ කාරණය අහවර උනාට පස්සෙ දන්සැල් සංවිධායක කමිටුව ගමේ හැම ගෙදරකටම රාත්තිරියේ යනවා..ඒ යන දවසටත් අපි එක්ක යන පොඩි උන් ගම දෙවනත් කරන නිසා ඈත තියාම දන්සල් නඩය එන බව ගම්මු දන්නවා. ආධාර එකතුකිරිල්ලක් නැති හින්දම කවුරුත් හැංගෙන්නෙ නෑ.

මේ ගමනේ අරමුණ උනේ දන්සැල දවසට එතැන සිදුකරන කටයුතු වලට සහභාගි වන ලෙස පොදුවේ හැමටම ආරාධනා කිරීම, විශේෂයෙන් කාන්තා පාර්ශවයට...බුලත් හුරුල්ලක් අතේ තියලා අපේ අම්මලාට, නැන්දලාට, අක්කලාට, දන්සැල දවසට ඇවිදින් අපිට උදව් වෙන්න කිව්වාම ඒ අයගෙ මූණු පොඩි සතුටින් ඉපිලෙනවා, ඒ අයට නිසි ගෞරවය දීලා, ගෞරවාන්විතව ආරාධනා කරනවාට ඒ ඇත්තො බොහොම මනාප උනා. ඒ නිසා අති මහත් බහුතරයක් ගමේ අය එදාට දන්සැල පවත්වන තැනට ආවා.

ඊටත් පස්සෙ තියෙන්නෙ අවශ්‍ය භාජන සොයා ගැනීම. විශාල ප්‍රමාණයේ හට්ටි මුට්ටි, ඇළුමිනියම් භාජන හිමිකරුවන්ගෙන් ඉල්ල ගන්නෙ ඒ අය ඉදිරිපිටදිම ඒවා හදුනාගත හැකි ලෙස සලකුණු යොදමින්. ඊටත් පස්සෙ දන්සැල පැවැත්වෙන භූමිය ශුද්ධ පවිත්‍ර කිරීමත්, වේලාසන පලන ලද දර ආදිය නිසි ලෙස ගබඩා කිරීමත් සිදුකෙරෙනවා. වෙසක් දිනයට දවස් දෙකකට පමණ කලියෙන් තමයි සමරු මාමගෙන් ඉල්ලගන්න මහ ට්‍රැක්ටරේ අරගෙන කොලු රැළ ගම වටේ රවුමක් දාන්නෙ.

මේ ගමනෙ අරමුණත් ආධාරම තමයි. සමහරු මුදල් ආධාර වෙනුවට ද්‍රව්‍යමය ආධාර ලියනවා, ගෙදර ගහෙන් අඹ, මගෙන් පොල් ගෙඩි 10 යි. ගමේ ඇත්තො මෙහෙම ආධාර පත්තරේ ලිව්වට මේ ආධාර අපි තමයි ගස්වලින් බිමට ගන්න ඕනෙ. මහ ට්‍රැක්ටරයත් අරගෙන ගොහිං අපි කොරන්නෙ අන්න ඒ අහවල් කාරණේ තමයි.

වෘත්තීය පොල් ගස් නගින්නෙකු වන ලාල් අයියා තමයි ෆයිලට්. මිනිහා දන්සැල් ආධාරයට ලියලා තියෙන පොල්ගෙඩි ප්‍රමාණය පමණක් කඩලා බහින්නෙ නෑ. ගෙදර ඇත්තන්ගෙ පහසුවට පැහිලා තියෙන පොල් ඔක්කොම කඩලයි බිම බලන්නෙ.

වතාවක් අපේ ගමේ ඇලන් උන්දැ ගෙදර ගහෙන් අඹ කියලා ලියලා තිබුනා. අපි ආධාර එකතු කරන්න ගිය දවසෙ ඒ නිවසේ කිසිවෙකු හිටියෙ නෑ. දන්සැලේ වැඩ රාජකාරි අස්සෙ ආයෙ දවසක අඹ කඩන්න එන්න කියලයැ. ආයෙ ඉතිං නන්දිකඩාල් වලට හමුදාව ගැහුවා වගේ අපේ උන් අඹ ගහේම ගෙඩි කඩලා ට්‍රැක්ටරේට පැටෙව්වා.

පහුවදා ගෙදර ආපු ඇලන් හාමිනේ...හෙළුවෙන් ඉන්න අඹ ගහ දැකලා නප්පියට නැගලා. කවුද යකෝ මේ අලුගුත්තේරු වැඩේ කලේ...මම කිව්වෙ මුන්ට  ඔක්කොම අඹ කඩන්න කියලද ? මේ අපරාදෙ කරන්න ඇත්තෙ ඌරු ජයන්තයම තමයි. අපේ කෙලීගෙ පොඩි කොලුවට කන්න අඹ ඉදවලා යවන්න හිටියා මදැයි. නෙදකින් නොසන්ඩාල හැත්ත. මේ විදියට අඹ කඩන්න ගිය උන්ගෙ වරුණාව ඇලන් උන්දැගෙ ශ්‍රී මුඛයෙන් ඉතාම කන්කළු විදියට පිටවෙන බව අපිට ආරංචි උනේ උන්දැගෙ අසල්වැසියන්ගෙන්. ඒ උනාට කිසිවෙකු මොකුත් කියන්න ගියේ නෑ. එදායින් පස්සෙ කිසිම දවසක ඇලන් උන්දැ අපිට උදව් කලෙත් නෑ.

ඔය විදියට අඹ වැඩි අය අඹ දුන්නා. පොල් වැඩි අය පොල් දුන්නා. කොස් වැඩි අය කොස් දුන්නා. සමහර කෙල්ලො දන්සැල අස්සෙ කොල්ලන්ට බහ දුන්නා. ඒ වෙද්දිත් ලව් කොර කොර හිටපු උන් දන්සැලේ සංවිධාන වැඩ  අස්සෙ කාටත් හොරෙන් උම්මා දුන්නා.

අපේ ජයන්තයගෙ මාමා කසාද බැදලා හිටියෙ ඉන්දියානු ජාතික රූමත් ලලනාවක්. වෘත්තියෙන් පිටරටක නර්ස් නෝනා කෙනෙක්. ජයන්තගෙ මාමා කාලයක් පිටරට රැකියාව කරලා නිවාඩුවටයි ඕන්න දැන් ඇවිදින් ඉන්නෙ. ඒ අල්ල පනල්ලෙ කොල්ලන්ගෙ වැඩේනෙ කියලා ගෙදර ගහකින් පොල් වල්ලක් කපාගෙන යන්න කියලා ආධාර පත්තරේට ලිව්වා.

ෆයිලට් ලාල් අයියයි..සමරු මාමගෙ මහ ට්‍රැක්ටරයෙ කට කපලා ඉන්න දන්සැල් නඩයයි ඔන්න ඒ ඉඩමට සැපත් උනා කියලා කියමුකො. අපි යන වෙලාවෙ ගෙදර හිටියෙ නර්ස් නෝනා විතරයි...දන්න ඉංගිරිසියෙන් කාරණය විස්තර කලාට පස්සෙ එයාම පෙන්නුවා පොල් කඩන්න ඕනෙ ගහ.

මේකි හිටියට කමක් නෑ ලාල් අයියෙ....උඹ වලු දෙකක්ම කඩපන්...මම මාමට කියන්නම්... ජයන්තයා සිංහලෙන් වීරයා වගේ කෑ ගහනවා...

උඹ කියනවා නම් මට මොකද....ඔන්න පුතෝ එහෙනම් වලු දෙකක්ම කැඩුවා...

ලාල් අයියට පොල් ගහ මුදුනෙදි මියගිය ආච්චි වැහුන හින්දද කොහෙද පිස්සු විකාරෙන් වගේ පොල් වලු දෙකට වක් මන්නෙන් කොටාගෙන කොටාගෙන ගියේ....හතර අතේ පොල් හැලෙනවා,

මෙන්න මේ වෙලාවෙ තමයි ගේ ඇතුලෙ හිටිය නෝනා කෑ ගහගෙන එළියට දුවගෙන ආවෙ...දන්සැලට ලිව්වෙ එක පොල් වල්ලයි කියලා...බිම හැපුනෙ නැති ටික විතරයි...අනේ එතැනින් පස්සෙ ජයන්තයගෙ සිංහ නාදය බලු කෙදිරියක් බවට පත් වෙලා කුජීතම වෙලා ගියා.

අපේ අල්ලපු ගමේ ඇත්තන්ට අැති පදම් ඉඩම්...හැම කෙනෙක්ටම අක්කරයක්වත් අවම තියෙනවා. මේවායේ මායිම් වල තියෙන කොස් ගස් මැයි මාසය වෙද්දි අතින් කටින් විශාල කොස් ගෙඩි දරාන ඉන්නෙ අපේ දන්සැලටම පුදන්න වගේ. සමහර වෙලාවට කොස් කඩන අස්සෙ වරකා / වැළ එහෙමත් අහු වෙනවා. ඒ වෙලාවට කොස් කැඩිල්ල පැත්තක තියලා හැමෝම ඒවට වගකියන්නෙ නිවෙස් හිමියාගේ අවසරය ඇතුවයි. සමහර වෙලාවට අපිත් එක්ක වැල, වරකා කන්න ගෙදර ජෝඩුවත් එකතු පහදු උනා.

කොස් ඉඩම් වලට යාබදව තියෙන කැළෑතුල මැල්ල කොළ ඇති පදමට...ඒවාත් අවශ්‍ය පමනට කඩලා ට්‍රැක්ටරයට පටවනවා. කොස් කඩලා දවසක් දෙකක් තියෙද්දි මේවා ඉදෙන්න බලනවා. අන්න එතකොට කොස් තැම්බුවාම රසය වෙනස් වෙනවා. කොස් ගෙඩි 200 ක වගේ ප්‍රමාණයක් මේ අවධානමෙන් බේරගන්න අපි යෙදූ උපක්‍රමය, අපේ ගමේ තනිදොරේ පොඩි ඇනිකට් එකේ දොර වහලා ඒ ජලාශයට කඩපු කොස් අත ඇරපු එක. ඒවා අපි පහුවදා ගොඩ ගන්න තුරු පාවි පාවි තිබුනා. කවුරුවත් අත තිබ්බෙ නෑ.


දැකලා නැති අය බලාගන්න . මෙන්න මේවා තමයි මැල්ල කොල කියන්නෙ.

මෙතෙක් වේලා කියපු විදියට වැඩ කටයුතු කරගෙන ඇවිදින් වෙසක් දවසත් උදා වෙනවා කියමුකො. එදා උදේම තමන්ගෙ වැඩක් වගේ උවමනාවෙන් ගමේ කාන්තා පාර්ශවය දන්සැල තියෙන තැනට එන්නෙ තම තමන්ගෙ නිවෙස් වල තියෙන හොදට කැපෙන පිහි එහෙම අරගෙන. 

පොල් ගාන්න කරදරයක් තිබුනෙ නෑ. අල්ලපු ගමේ හිටියා මහා පරිමාණ කිරිටොෆී නිෂ්පාදකයෙක්. අන්න එයාගෙ යාන්ත්‍රික හිරමන කීපයක්ම අපට ලබා දුන්නෙ අපේ කටයුතු පහසු කරගන්න. විනාඩියක් යන්න කලින් පොල් බෑයක් ගෑවිලා. අහක බලාගෙන හිටියොත් පොල් කට්ට පසාරු කරගෙන යන නිසා හොද කල්පනාවෙන් තමයි පොල් ගෑම සිදුවුනේ.

දන්සැල් භූමියේ කෝකියෝ හිටියෙ නෑ නොවැ. අපේ වැඩිහිටි ආච්චිලා තමයි තමන්ගෙ බාල පරම්පරාවට ගුරු හරුකම් දීගෙන උයන පිහන රාජකාරිය යස අගේට කොලේ. උදේ පාන්දරම කොස් කපලයි දන්සැලේ කටයුතු හැම වසරකම ආරම්භ උනේ. ඒ ඇත්තියන්ට අවශ්‍ය වෙලාවට තේ කහට එක ලගට කලේ අපේ ගැටිස්සියො ටික. දන්සැල අස්සෙ ගැටිස්සියන්ට ඇහැ කරකවපු මනමාළ රැලකුත් වෙනම උන්නා....ඒක ඉතින් ලෝක ස්වභාවය නොවැ. ඒ වගේ සිදුවීමක් දෙකක් නැත්තං දන්සැලක වැඩ කරන්න කොල්ලො කෙල්ලො එයිද ආයිබෝං.

ඔයින් මෙයින් කෑම ටික සූජානම් කරලා අහවර උනාම,  ගමේ නායක හාමුදුරුවො මෙතැනට වඩින්නෙ වේලාසන කරන ආරාධනය නිසා. මේ කටයුත්තට හවුල් වන සියලුම අයට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරලා, දන්දීමේ ආදීනව පිළිබද කෙටි අනුශාසනාවකුත් පවත්වලා, ආගමික කටයුතු අවසන් උනාට පස්සෙ දන්සැලේ ආහාර වලින් මුල්ම කොටස බුද්ධ පූජාව විදියට පන්සලට රැගෙන යන්න කීප දෙනෙක් කටයුතු කොරනවා.

ඊටත් පස්සෙ තමයි කිත්තා අතේ තියෙන තුන් හුලස් වැලට ගිණි ඇවිලෙන්නෙ. දන්සැල ආරම්භ වෙන වගට අප ලබාදෙන සංඥාව තමයි ඒ. එතැනින් පස්සෙ එකම එක සැරයයි දන්සැලට එන්න කියලා කොඩියක් වනලා ආරාධනා කිරීමට සිදුවෙන්නෙ. එයින් පසුව ඉතින් වෙසක් සිරි නරඹන්න ඒ මේ අත යන ජනතාව ස්වේච්ඡාවෙන්ම පෝලිම් ගැහිලා අපට උපරිම සහයෝගය දුන්නා.

දන්සැල පැවැත්වෙන දවසට හැම ගෙදරකම වැඩිහිටි කාන්තාවො මෙතැන නිසා ඒ ඇත්තන්ගෙ පවුල් වල අයට කෑම පාර්සල් යවන්නෙ තවත් පිරිසක්. මේ ආකාරයෙන් ක්‍රමානුකූලව දන්සැල පවත්වාගෙන යද්දි, අවශ්‍යතාව අනුව බත් උයන්නත්...ඒවා ලිපෙන් බා ගත් පසුව කෙසෙල් කොළ මත තුනී කරන්නත් තවත් පිරිසක් සැදී පැහැදී සිටියා. එක් එක් වගකීම් වෙන් වෙන් වශයෙන් විවිධ පුද්ගලයන්ට ලබා දී තිබුන නිසා කිසිම තැනක ගැටලුවක් ඇති වෙන්නෙ නෑ. හොද පිරිස් බලයක් නැතුව බත් දන්සැලක් කරන්න නම් අමාරුයි ගොයියො.

මේ විදියට පැවැත්වෙන දන්සැල අවසාන වෙන්නෙ අපි සූජානම් කල ආහාර පාන සියල්ල අවසන් උනාට පස්සෙ. පිරිස විසිර යන්න කලින් භාජන සියල්ලම පිරිසිදු කරලා ඒවා නිසි හිමිකරුවන්ට එදිනම ලබා දෙන්නෙ, වෙසක් දිනයෙන් පසුව පිරිස් බලය නැත්තටම නැති වී යන හින්දයි. මේ සියලුම වැඩ අවසන් උනාට පස්සෙයි කොලු ගැටව් නිවෙස් බලා යන්නෙ. නමුත් නා කියා පිරිසිදු වෙලා නැවත හමුවෙන බලාපොරොත්තුවෙන් තමයි උන් යන්නෙ.

දන්සැලට එකතු වෙන ආධාර පරිපාලනය කලේ කොක්බෙට්ටා කියලා අපි ආමන්ත්‍රණය කරපු තොග කඩයක් පවත්වාගෙන ගිය සහෝදරයෙකු යටතේ. ඔහුගෙ හොර බොරු වංචා නෑ. අහවල් දිනේට ශේෂය මෙච්චරයි කියන්න ඕනෑම වෙලාවක හැකියාව ඔහුට තිබුන නිසා දිගින් දිගටම අපේ භාණ්ඩාගාරික වෙලා හිටියෙ කොක් බෙට්ටා.

හැම අවුරුද්දෙම වගේ දන්සැලෙන් පස්සෙ යම් මුදලක් අත ඉතිරි වෙනවා. මේ මුදලෙන් කොටසක් ඊලග වසරෙ දන්සැල උදෙසා පාවිච්චි කරන්න යෞවන සමාජ ගිණුමට බැර කරනවා. ඉතිරියෙන් දන්සැලට සහාය දුන්න තරුණ කොල්ලො, කෙල්ලො, වැඩිහිටියො කොළොම්පුර වෙසක් සිරි නරඹන්න යන්න වාහන පහසුකම් සපයාගන්නවා.

මම බොලාට කිව්වා නොවැ කොලු සැට් එක ආපහු එන්නයි දන්සැලෙන් පස්සෙ ගෙදර ගියේ කියලා. මේ පිරිස ආයෙම එකතු වෙන්නෙ සමරු මාමගෙ වහලා දාලා තියෙන කඩ කාමර පෙලේ කඩයක් ඇතුලෙ. වෙසක් කියලා නෑ. වැයවූ කාය ශක්තිය නැවත ලබා ගන්න පණුබේත් සුට්ටක් බොන්නයි මේ සූජානම..

තම තමන්ගෙ වයසට ගැලපෙන උන්ගෙන් සැදුන විවිධ කණ්ඩායම් විවිධ තැන් වල. අපේ දෙමාපියන්ට හොරෙන් තමයි සිද්ධිය දැන් යන්නෙ. මේ කියන දවසෙ මමයි, මගේ මලයයි, බැල්ලියි, මාකස් ගොයියයි බෝතලයක් අරන් වෙනම අයිනක් ගැහුවා. අපි හතර දෙනා දැන් එක එකාගෙ පම්පෝරිය අහන ගමන් සීදුවෙ ගල් බෝතලය හිස් කරගෙන යනවා. මට මතක විදියට බයිට් එකට තිබුනෙ දන්සැලෙන්ම පන්න ගත්ත කට්ට කරවල.

ගෙදරින් කිසිවෙක් ආවොත් ජංජාලයක් වෙන්න පුලුවන් නිසා කඩ කාමරය වහගෙන ඇතුලට වෙලා තමයි අපි දැන් සීදූවෙ අරවා පානය කරන්නෙ. කඩ කාමරයට එළියෙන් ඉන්නෙ අපිට වඩා වැඩිමල් පිරිස.

සීදුවෙ අරවා
ඔයින් මෙයින් පෑ භාගයක් පමණ ගතවුනා කියලා කියමුකො. එක සැරේම බැල්ලිගෙ තාත්තගෙ කටහඩ ඇහුනා.

අපේ පුතා එහෙම දැක්කද ?.....

නෑනෙ මාමෙ...අපි දැක්කෙ නෑ....පිටත හිටිය උන් එහෙම උත්තර දෙනකොට බැල්ලි හිටියෙ වීදුරුවකට පුරව ගත්ත ඇක්ස්ට්‍රා ස්පෙෂල් එක්ක.

දොර වහලනෙ තියෙන්නෙ...භය නැතුව ඕක ඇදපං...මම බැල්ලිට එහෙම කිව්ව හින්දද කොහෙද එක හුස්මට ගුඩුස් ගාලා බොක්කට හලන්නම් කියලා ධෛර්යය අරගෙන ඒකා වීදුරුව ඉහළට ඔසවලා කටට හලනවාත් සමගම හදිසියේ විවර වෙච්ච කඩ කාමරයේ දොරෙන් උගේ තාත්තා ජීවමාන වුනා.

තෝ මොකද යකෝ ඔතන කරන්නෙ....

පිය සෙනෙහස නිසාම ඇතිවුන ගෞරවයෙන් බැල්ලී එක්වරම නැගී සිටියා.

අඩි දෙකට තුනට එතනට පැමිණි පියා ...පුත්‍ර ස්නේහය මේ යැයි කියමින් බැල්ලිගේ කන් අඩිය රත්වෙන්න එකම එක පාරක් ගැහුවා...

පල ගෙදර...

ආ....අයියයි මල්ලියි දෙන්නත් ඉන්නෙ....මම කියන්නම් තාත්තට.... එහෙම කියලා බැල්ලිගෙ තාත්තා බැල්ලිව දක්කගෙන ගේ පැත්තට ඇදුනා. මමත්, මලයත්, මාකස් කොලුවත් බෝතලේ වැඩ කටයුතු අහවර කරලා බැල්ලිගෙ ගෙදර පිළිකන්න පැත්තට හොර රහසෙ කිට්ටු කලේ මේකාට මොකද උනේ බලන්න.

අපි යද්දි යුද්ධාධිකරණය රැස් වෙලා තිබුනෙ. සාලයේ ඉදගෙන ගෙදර උන් බැල්ලිගෙ භෞමික අඛණ්ඩතාව කීති කීතු වලට ඉරා දැම්මා. වෙසක් සද බොද වෙලා පේනකොට මමත් මලයත්, මාකස් කොලුවත් නිවසට ඇදුනා.

තවත් දවස් කීපයකට පස්සෙ තමයි බැල්ලිව මුලිච්චි උනේ.

අඩෝ...උඹලගෙ තාත්තා එදා අම්මට කිව්වද බං...උඹ අරක්කු බොනකොට මාට්ටු උනා කියලා....අපි එහෙම ඇහුවා.

නෑ නෑ....අම්මට කිව්වෙ බියර් බිබී ඉද්දි කනෙන් ඇදගෙන ආවා කියලා....

එහෙනං තාත්තා ගල් බෝතලේ අදුනගෙන නෑ....

උඹට පිස්සුද යකෝ...DCSL එකේ අවුරුදු 20 කට කිට්ටුව වැඩ කරන අපේ තාත්තා ගල් අරක්කු අදුනන්නෙ නැද්ද ?

තොට බොන්න ඕනෙ නම් මම ගෙදර ගෙනල්ලා බොන දවසට මගෙන් ඉල්ලපිය...එක එකා එක්ක ජවුසං නටන්නෙ නැතුව, ඔහොමයි තාත්තා කිව්වෙ.

අපේ තාත්තා හොදයි නේද බං....එදා මට කනට ගැහුවට, එහෙම කියපු බැල්ලි අපි දිහා බලලා අසික්කිත හිනාවක් දැම්මා.



මම කාමරේ අරින සිරා කොලුවා.



ප.ලි

මේ කියන කාලයේ සිරා කොලුවා උසස් පෙළ සිසුවෙකි. ගල් බෝතලේ රහස අපේ නිවෙසද සොයා ආවෙන් පොදු වැඩ නිම වූ විගස නිවසට පැමිණිය යුතු බවට අලුත් නීතියක් මව හා පියා එකතුව සම්මත කරගත්තෝය. අපේ අම්මාගේ දෝස් මුරය නම් ඒ සතිය පුරාම පැවතෙන්නට ඇත.

පසු කලෙක බැල්ලී සහ පියා...චියර්ස් දමා එකටම බිව්වෝය. මේ කියන බැල්ලි අද එක්දරු පියෙකි. 

Thursday, May 15, 2014

107 මැලේසියාවේ වෙසක් අසිරිය

වෙසක් දිනයත් ගෙවී ගියේය. ලංකාවේ සිටියා නම් මේ දින කීපය ඉතා රසවත්ව ගෙවෙනු ඇත. දන්සැල්, තොරණ, වෙසක් කූඩු මෙන්ම වෙසක් සිරි නරඹන්නට ඒ මේ අත සැරිසරන මහා ජනකාය අතර මටද ඉඩක් තිබෙන බව සිහිවෙන සෑම වාරයකම මගේ සිත වෙසක් සිරි නැරඹූ අතීතයේ දිනෙක නතර වෙයි.

මැලේසියානු දින දර්ශනයට අනුව මෙවර වෙසක් දිනය යෙදී තිබුනේ මැයි මස 13 වෙනි අගහරුවාදාටය. ඒ අනුව ශ්‍රී ලංකාවේ ඤාති හිත මිත්‍රාදින්ට කලියෙන් වෙසක් සමරන්නට අපට අවස්ථාව ලැබුනි. මැලේසියාවේ වෙසෙන අතිමහත් බෞද්ධයන් වූ කලී චීන සම්භවයක් ඇති පිරිස නිසාම වෙසක් සැමරුමේ මුල් තැන ගන්නේද ඔව්හුය.

මා වෙසෙන මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර ශ්‍රීලාංකික බෞද්ධ හිමිවරුන් වැඩ සිටින ප්‍රධාන බෞද්ධ විහාරස්ථාන දෙකක් පිහිටා තිබේ. ඉන් පළමු වැන්න බ්‍රික්ෆීල්ඩ් ප්‍රදේශයේ පිහිටා ඇති බෞද්ධ මහා විහාරයයි. දෙවැන්න සෙන්තුල් ප්‍රදේශයේ පිහිටා ඇති ශ්‍රී ලංකා බෞද්ධ විහාරයයි. මේවාට අමතරව අපේ හිමිවරුන් වැඩ වෙසෙන තවත් විහාරස්ථාන දෙකක් මැලේසියාවේ තිබෙන බව මා අසා තිබේ. ඉන් එකක් මැලේසියාවේ පෞරාණික නගරය ලෙස සැලකෙන මලක්කාවේ පිහිටා තිබේ.

මේ සියලුම විහාරස්ථාන අතරින් ප්‍රමුඛතම තැනෙහි ලා සැළකෙන්නේ බ්‍රික්ෆීල්ඩ් බෞද්ධ මහා විහාරයයි. ඒ වටා සිටින දායක පිරිසත්,විහාරස්ථානයෙන් සිදුවන සමාජ සේවා කටයුතු ආදියත්, විහාරස්ථානය ඈත අතීතයේ ආරම්භ වීමත් ආදී කරුණු සළකා බැලූ කල එහි වරදක් පෙනෙන්නට නැත. 1895 දි ඇරඹී ඇති මේ විහාරස්ථානය ශ්‍රී ලංකාවෙන් මැලේසියාවට පැමිණ රැකියාවල නියුතු බොහෝ දෙනා තම ආගමික කටයුතු උදෙසා නිතර යන එන ප්‍රමුඛතම ස්ථානයයි.

මැලේසියාව බ්‍රිතාන්‍ය යටත් විජිතයක් ලෙස පවතින සමයේ ඉංග්‍රීසීන් විසින් විවිධ අංශයන්හි නිපුනතා පෙන්වා ඇති ශ්‍රී ලාංකිකයන් මැලේසියාවට ගෙන්වා තම කටයුතු සදහා සහාය කරගෙන ඇති බව ඉතිහාසයේ සදහන් වෙයි. ඒ කාලයේ අපේ මාතෘ භූමිය ආසියාවේ අනෙකුත් රට වලට වඩා ආර්ථික දියුණුව අතින් ඉදිරියෙන් පැවති රටකි. බේකරි කර්මාන්තය සහ රත්‍රන් භාණ්ඩ නිෂ්පාදනය වැනි කර්මාන්තයන්ද ශ්‍රී ලාංකිකයන් වෙතින් මැලේසියාවට දායාද වූ දේ වෙති.

ලංකාවෙන් මැලේසියාවට සංක්‍රමණය වූ මේ ඇත්තන් තම තමන්ගේ දෛනික කටයුතු වලට විරාමයක් ලබා දී දිවා ආහාරය භුක්ති විදීමෙන් අනතුරුව බ්‍රික්ෆීල්ඩ් ප්‍රදේශයේ අද මහා විහාරය පිහිටා තිබෙන ඉසව්වේ පිහිටා තිබූ බෝ සෙවනක හිද අල්ලාප සල්ලාපයේ යෙදුන බවත්...කල් යත්ම මේ ස්ථානයේ බෞද්ධ පන්සලක් ඇරඹීමට ඔවුන්ට අදහසක් පහළ වූ බවත්...ඒ කටයුතු සදහා ඉංග්‍රීසීන් අතර සිටි සුදු ජාතික කාන්තාවකගේ සාදර අනුග්‍රහය ලැබුනු බවත් බ්‍රික්ෆීල්ඩ් මහා විහාරය ගැන සහ මැලේසියාවේ  අතීතය පිළිබද සිය සංචාරක සටහන් ඔස්සේ සමන් අතාවුදහෙට්ටි මහතා විසින් රචනා කරන ලද සරවක් නදිය දිගේ නම් කෘතියේ සදහන් වෙයි. මේ කෘතියද හෙතෙම දොරට වැඩූයේ මේ කියන මහා විහාර සෙවනේදීමය. මැලේසියාවේ සංචාරයකට පැමිණෙන්නට කල්පනා කරන කෙනෙකු වේ නම් මේ පොත කියවිය යුතුමය. එය ඉතාමත්ම රසවත් එකකි.

පොත දොරට වැඩිය දවසෙ මේසයක් තියාගෙන පොත් විකුණනු ලැබුවෙත් සිරා කොලුවම තමයි.
පොතේ දොරට වැඩුම සිදුකල දවසෙ කර්තෘ තුමා සමග ආරාධිතයන්ගෙන් කීප දෙනෙක්

යටත් විජිත සමයේ අපේ ජනතාව බ්‍රික්ෆීල්ඩ් ප්‍රදේශය අවට වැඩිපුර ජීවත් වුවද කාලයේ ඇවෑමෙන් එය සම්පූර්ණයෙන් වෙනස් වී තිබේ. ශ්‍රී ලංකාවෙන් මැලේසියාවට සංක්‍රමණය වූ මුල්ම පිරිසේ තෙවැනි හා සිව්වන පරපුර වර්තමානයේ මෙහි ජීවත් වෙති. ඒ ඇත්තන් සියල්ලන්ම වාගේ අද මැලේසියානු පුරවැසියන්ය. සිව්වන පරපුරේ බොහෝ දෙනෙකුට සිංහල භාෂාව කථාබහ කරන්නට හැකියාවක් නැත. නමුත් ඒ හදවත් තුල සිංහල කම නොනැසී ඇති බව ඔවුන් සමග කථා බස් කරන විටෙක මට හැගී තිබේ.‍

වර්තමානයේ බ්‍රික්ෆීල්ඩ් යනු මැලේසියාවේ වෙසෙන දෙමළ ජනතාවගේ කේන්ද්‍රස්ථානයකි. අන්‍ය ආගමිකයන් අති මහත් බහුතරයක් වෙසෙන පෙදෙසක මහා විහාරය පිහිටා තිබුනද එයට කිසි බලපෑමක් හානියක් නැත. මැලේසියාවේ පවතින ආගමික සහ ජනවර්ග අතර තියෙන සංහිදියාව නිසාම ඒ ඇත්තන්ද වෙසක් දිනය දවසේ බුදුන් පුදන්නට මලක් දෙකක් අතින් ගෙන මහා විහාරයට පැමිණ සිටි අන්දම මා ඇස් පනාපිට දුටුවෙමි. ඒ දසුන මා සිත තුල ඇතිකලේ චමත්කාරයකි. ආගම් අනුව ගහ මරාගන්නා ලෝකයක මෙලෙස සමගි සම්පන්නව සිටිය හැකි නම් කෙතරම් භාග්‍යයක්දැයි මට සිතිනි.

වෙසක් දින උදෑසනම මම බ්‍රික්ෆීල්ඩ් මහා විහාරය වෙත ගියෙමි. මා මැලේසියාවේදී සමරන දෙවැනි වෙසක් මංගල්ලය මෙය වුවද ගිය වසරේ මේ කාලය වන විට මා සිටියේ රටේ අගනුවරට කිලෝ මීටර් 240 ක් පමණ දුර, බෞද්ධ පන්සලක් ලග පාත නැති ඉපෝ නුවර නිසා එවර පන්සල් යාමට නොහැකි විය. ඒ අනුව මේ මාගේ පළමු මැලේසියානු වෙසක් අත්දැකීමයි.

සුපුරුදු පරිදි දුම්රියේ ගොස් කේල් සෙන්ට්‍රල් දුම්රිය නැවතුමෙන් බැස පාද යාත්‍රාවෙන් මහා විහාරය දෙසට යන විට ඒ ප්‍රදේශයම සැණකෙළි ස්වරූපයක් ඉසිලීය. මාර්ගය දෙපැත්තේම අන්‍ය ආගමිකයන් විසින් පවත්වාගෙන ගිය විවිධ වෙළද සැල්ය. තැනක රස කැවිලිය, තැනක ආගමික පිළිමය, තවත් තැනක ඇදුම් පැළදුම්ය...මේ නානාප්‍රකාර විසිතුරු අතරින් මහා විහාරයේ පිවිසුමට ලගා වන විට එතැන මහා තදබදයකි. අති විශාල ජනතාවක් පන්සල තුල වූහ.


ආගම් කීපයකට අයත් පිළිම, එක ලෑලි තට්ටුවක් මත...


මැලේසියාවේ රසකැවිලි.
මැලේසියානු ජාතිකයන් කුරුල්ලන් මෙන් ඕනෑම වෙලාවක යමක් හැපීමට
දක්වන රුචිකත්වය නිසා මෙරට සෑම තැනකම ආහාර විකුණන ස්ථාන තිබෙයි.
මග දෙපස රසකැවිලි විකුණන තැන්ද එමට තිබෙයි.

























විහාරයේ පිවිසුම් දොරටුව

සාමාන්‍යයෙන් මෙරට දමිළ ජනතාව කපුරු මල් රැගෙන කෝවිල් යන්නට කැමතිය. ඔවුන් වෙසක් දිනයේද කපුරු මල් රැගෙන පවුල් පිටින් පන්සල් පැමිණ සිටියහ. ඒ සදහා අවශ්‍ය කපුරු මල් විකුණන්නට තැන්
කීපයකම වෙළද සැල් තිබුනි. දෙමළ ජනතාවට අමතරව මැලේසියානු මුස්ලිම් ජනතාවද පන්සල තුලදී මා දුටුවෙමි. එය මා කලින් කියූ ආගමික සහජීවනය පිළිබද කදිම උදාහරණයකි.

පන්සලට ඇතුලු වෙන තැනම හොදින් ප්‍රදර්ශනය වන ලෙස එල්ලා තිබූ බැනරයකි. පන්සලේ ක්‍රියාත්මක
වන ආධාර වැඩසටහන් පිළිබද එයින් සන්නිවේදනය කෙරිණි. ඊට අමතරව මහා විහාර භූමිය තුලද විවිධ
වෙළදසැල් ක්‍රියාත්මක විය. මේ සියල්ලම එක් අරමුණක් උදෙසාය. දිනෙන් දින මහා විහාරයේ සෙවන
පතන බැතිමතුන් ගනන ඉහළ යන හෙයින් ඒ ඇත්තන්ටත් ප්‍රමාණවත් ලෙස පන්සලේ යටිතල පහසුකම්
දියුණු කිරීමත්, දැනටත් 1500 කට ආසන්නව ඉගෙන ගන්නා දහම් පාසල් දරුවන්ටත්, ඔවුන්ට
ස්වේච්ඡාවෙන් උගන්වන 100 ඉක්මවා ඇති ගුරු මණ්ඩලයටත් පහසුවක් වෙමින්, අමතර පන්ති කාමර, පුස්තකාල ආදිය ඇතුලත් විශාල ගොඩනැගිල්ලක් ඉදිකිරීමත් මේ අරමුණු අතර වෙති. වෙසක් දිනයේ මේ අරමුණට සහාය පලකරමින් මහා ජනකාය අතර පින්කැට අතැතිව සිටි අය අතර අබෞද්ධ අයද විශාල
දෙනෙක් වූහ. මා මේ කියූ දෑ වලට අමතරව තවත් විශාල වපසරියක සමාජ සත්කාර මේ සෙවනේදී
සිදුවෙයි.





මහා විහාරයේ බුදු මැදුර අද අතුරු සිදුරු නැතුව පිරී ඇති සෙයකි. ඒ ඉදිරියේ මහා පෝලිමකි. ස්වේච්ඡා සේවකයන් යුහුසුලුව ක්‍රමානුකූලව ජනතාව බුදු මැදුර තුලට ඇතුලු කිරීම සහ පිටත් කිරීම කරති. ජනතාව
දණින් වැටී බුදු රදුන් නමදිති. අන්‍ය ආගමිකයන් කියා වෙනසක් නැත. ඔව්හුද මහත් භක්තියෙන් බෞද්ධ ජනතාව සමගම මුසුව සිටී. ශ්‍රී ලාංකික ස්වාමීන් වහන්සේ විසින් සියල්ලන් උදෙසා ආශිර්වාද පාඨ
සජ්ජායනය කරති.



පන්සලේ තවත් තැනක බීම දන්සැලකි. තවත් තැනක බත් දන්සැලකි. තවත් තැනක චීන ක්‍රමයේ නූඩ්ල්ස් දන්සැලකි. මේ සියල්ලක්ම නිර්මාංශ ගණයේ ඒවාය. විවිධ රට වලට අයත් බෞද්ධයන් ඒවායේ කටයුතු මෙහෙයවති. පන්සලේ ප්‍රධාන ශාලාව තුල ලේ දන්දීමේ පිංකමක් පැවති අතර ඒ ශාලාවේම පසෙකින් දහම් පාසල් දරුවන්ගේ වෙසක් නිර්මාණ ප්‍රදර්ශනය කර තිබුනි.

බීම දන්සැල සහ බත් දන්සැල


බත් දන්සැලේ තිරය පිටුපස
එහෙත් මේ සියල්ලටම වඩා මාගේ සිත් ගත්තේ විවිධ මල් වර්ගයන් භාවිතයෙන් සුවදවත් කල සුවද
පැනින් පන්සලට පැමිණෙන බැතිමතුන්ට ස්වාමීන්වහන්සේ විසින් ආශිර්වාද කරන ලද දර්ශනයයි.
එය ලංකාවේ අපට හුරු පුරුදු නැති අත්දැකීමකි. සමහර විටෙක මෙය මහායාන බෞද්ධ සම්ප්‍රදායේ
කටයුත්තක් වන්නට බැරි නැත. ඒ කටයුත්ත සිදුවෙන තැනම පසෙකින් බැතිමතුන් වෙත ලබාදෙන පිරිත්
නූල් සැකසීම සිදුවෙමින් තිබුනි. පන්සලට පැමිණෙන සැමටම පිරිත් පැන් බෝතලයක් සහ පිරිත් නුලක්
ලබා දුන්හ. මේ කටයුතු ඡායාරූප ගත කරමින් සිටි සිරා කොලුවාටද මහා ජල ප්‍රහාරයකින් ආශිර්වාද
කරන්නට එතැන වැඩ සිටි චීන පෙනුමකින් යුතු ස්වාමීන් වහන්සේ කාරුණිකව කටයුතු කල සේක.


පිරිත් නූල් සූජානම් කරනා කාන්තා ප්‍රජාව
බෝ සමිදු අභියස

දහම් පාසල් දරුවන්ගේ ව්‍යාපෘතියක්
චෛත්‍ය රාජයාට යටින් පිහිටා ඇත්තේ විවිධ රටවල සම්ප්‍රදායන්ට අනුව නිමවූ
බුදු පිළිම වහන්සේලාගේ කදිම එකතුවකි.
මා හට ලැබුනු පිරිත් පැන් බෝතලය.
බත් දන්සැලෙන් සප්පායම් වී මහා විහාරයෙන් පිටතට පැමිණි විට යනෙන මග බිම හිදගෙන සිටි යාචක
ප්‍රජාව මගේ නෙත ගැටුනි. ඒ අය බහුතරය මැලේසියාවට විවිධ රටවලින් සංක්‍රමණය වූවන් බව ඔවුන්ගේ හැඩරුව අනුව තේරුම් ගත හැකි විය. ඉන් බොහෝ දෙනෙක් මගේ ආධාරයට ලක් විය. එයින් බොහෝ දෙනෙක් වයෝවෘද්ධ අය සහ කුඩා දරුවන් අතැතිව සිටි අයවලුන් වූහ.



බ්‍රික්ෆීල්ඩ් මහා විහාරයෙන් අනතුරුව නැවතත් කේල් සෙන්ට්‍රල් වෙත පා ගමනින් ගොස් දුම්රියට නැගුනු
මගේ ඊලග නැවතුම වූයේ සෙන්තුල් දුම්රිය නැවතුමයි. එය එම දුම්රිය මගේ අවසාන දුම්රිය ස්ථානයද
වෙයි. එහි සිට පාගමනින් සෙන්තුල් පන්සල වෙත යා යුතු වෙයි. දුම්රිය ගමන හමාර කර වේදිකාවට පිවිසි
පසු මා පැමිණි දුම්රිය පදවා තිබුනේ සුරූපී මැලේසියානු යුවතියක බව හදිසියේම දුටිමි. ඇය දෙස මා මොහොතක් බලා සිටියේ සිරා කොලුවා යනු ස්වභාවයෙන්ම සුන්දර දේ අගය කරනා එකෙක් නිසාවෙනි.

1952 වසරේ ඇරඹී ඇති සෙන්තුල් බෞද්ධ විහාරයේද බහුතරයක් දායක කාරකාදීන් චීන ජනතාවම වූහ. බෞද්ධ මහා විහාරයට තරම් විශාල භූමි භාගයක් නැතත් පන්සලක අඩංගු විය යුතු සියලු දේ මෙහි අඩුවක් නැතුව තිබෙයි. එතැනද බුදු මැදුරට පිවිසීමට පෝලිමකි. දෙමළ ජනතාව කපුරු මල් අත දරා සිටිති.
ස්වේච්ඡා සේවකයන් ඒ කටයුතු මැනවින් මෙහෙයවති. ඒ අතර ඇතමෙකු බටහිර රටවල ඇත්තන් වූහ.
බුදු දහම දැන් බටහිර රටවල වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බව අන්තර්ජාලයෙන් මෑත දිනයකදී මම කියවීමි.

සෙන්තුල් විහාරය


බුදුන් වදින විට කියූ ගාථා පාඨයන් සියල්ල චීන ඌරුවට අනුව කියවුනු ඒවාය. ඒවායේ නුහුරු ගතියක්
මට දැනුනි. ඒ සියලු කටයුතු නිමවා පැමිණෙන විට සෙන්තුල් විහාරයේ බත් දන්සැල මගේ නෙත ගැටුනි.
ඒ අතර ව්‍යාංජන බෙදමින් උන් තරුණයෙක් වහා මා හැදිනගෙන බත් කන්නට මා හට ආරාධනය කලේය. හෙතෙම සම්මානනීය චිත්‍රපට අධ්‍යක්ෂකයෙකු වූ නැසීගිය එච් ඩී ප්‍රේමරත්න මහතාගේ පුත්‍ර රත්නය විය.
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සේවයේ නියුතු ඔහු, මා හදුනාගත්තේ ඉකුත් මස මෙහි පැවති අවුරුදු
උත්සවය වාර්තා කරන්නට පැමිණ සිටි අතර තුරයි.මෙවර ඔහු මැලේසියාවේ වෙසක් අසිරිය ලංකාවට සන්නිවේදනය කරන්නට පැමිණ සිටියේය.

ඒ ආරාධනය ඉවත ලෑම නොහොබිනා ක්‍රියාවක් විය හැකි යයි මගේ අක්මාව මා හට සන් කල නිසාම මම නැවතත් බත් කෑවෙමි. නැතුව බඩජාරි කමකට නොවේය. මහා විහාරයේ බත මෙන් නොව මෙහි ව්‍යාංජන රාශියකි. චීන ක්‍රමයට සෝයා මගින් සකසන..බැලූ බැල්මට මාංශයක් මෙන් පෙනෙන ව්‍යාජන කීප
වර්ගයක්ම තිබුනි. ඒ අතරට අපේ රස හොදට දැනෙන සිංහල ක්‍රමයේ අච්චාරුවක්ද විය. මේ අච්චාරුවට
ගස්ලබු හොයන්නට කිලෝමීටර් 100 කට වඩා දුරක් ගිය බවක් ඒ සදහා අනුග්‍රහය දැක්වූ අයෙකු  වන
ගාමිණී අයියා සිය ව්‍යාපාරික ස්ථානයේදී වේලාසන දිනක මට කියා තිබුනි.

සෙන්තුල් පන්සලේ එක් තැනකදී මාගේ නෙත ගැටුනේ බුදු පිළිමයක් සුවද පැනින් නහවන බැතිමතුන්ගේ දර්ශනයකි. මමද එයට එක් වීමි. මා සිතනා ලෙසට මෙයද මහායාන සම්ප්‍රදායේ සිරිතක් විය යුතුය.
සෙන්තුල් විහාරයෙන් පිටත් වීමට ප්‍රථමයෙන් පිරිත් නූලක්, පිරිත් පැන් බෝතලයක් සහ ටොෆී 3 ක් අඩංගු පාර්සලයක් සෑම අයෙකු අතරම බෙදා දුනි. මේ සියලු කටයුතු අවසානයේ මා නැවතත් මගේ නවාතැන
වෙත පැමිණෙණ විට සවස් යාමය එළැඹී තිබුනි. තවත් හෝරාවකට දෙකකට පසු සැදෑ අදුර මධ්‍යයේ
බ්‍රික්ෆීල්ඩ් මහා විහාරයේ පෙරහැර ආරම්භ විය. බුද්ධ චරිතය විදහා දැක්වෙන අයුරින් අලංකාරව
සැකසූ රථ වාහන මේ පෙරහැරට කවදත් මනා එළියක් ලබාදෙන බව පෙරහැර වාර කීපයක් නරඹා
තිබුනු ඇත්තන් මා සමග කියා ඇතත් මෙවර ඒ දසුන් සජීවී නෙතින් බලන්නට මට නොහැකි විය.




































එදින රාත්‍රියේ ලංකාවේ සහ මැලේසියාවේ වෙසක් අත්දැකීම් සිතින් සංසන්දනය කරමින් නිදි දෙව්දුව වැළදගන්නා අවස්ථාව වන විට දහවල් කාලයේ ගිණි අව්වේ ගමන් කිරීම නිසාවෙන් හටගත් හිසේ
කැක්කුමක් යන්තමින් මෙන් මා හට තනි රකිමින් සිටියේය.


මම කාමරේ වෙසෙන සත්ගුණවත් සිරා කොලුවා.



මම කාමරේ (දොර) අරින සිරා කොලුවා.


(ලිපිය යටින් ලියන්නට අලුත් නමක් යෝජනා කල දූෂකයා වෙත මාගේ නොමද ස්තූතිය. වරහන් තුල ඇති කොටස දූෂකයාගේ යෝජනාවේ තිබුනේ නැත. එය මවිසින් එකතු කලෙමි. කලින් කලට කාමරයේ
විවිධ දේ වෙනස් කිරීම මගේ පුරුද්දකි.)

ප.ලි

වෙසක් පෙරහැරේ ධාවනය වූ රථ වාහන වල ඡායාරූප මූණු පොතේ චීන මිතුරියකගෙනි.

මැලේසියාව අතීතයේ බෞද්ධ රාජ්‍යයක් වුවද වර්තමානයේ මුස්ලිම් බහුතරයක් වෙසෙන රාජ්‍යයකි.
එහෙත් මේ රටේ වෙසෙන් මුස්ලිම් ප්‍රජාව අනෙක් රටවල මෙන් අන්තවාදී අදහස් ඇති අය නොවේ. කැමති ආගමක් අදහන්නට මැලේසියාවේ නිදහස ඇති අතර බොහෝ විට අාගමික සැමරුම් සමග අන්‍ය
ආගමිකයන්ද ඒවා සමරන්නට එක්වෙයි. අනෙකුත් මුස්ලිම් රටවල මෙන් නොව මැලේසියාවේ මුස්ලිම් ජනගහනය එන්න එන්නම සෝදාපාළු වෙමින් පවතී. රටේ මහ ජාතිය ලෙස ඔවුන්ගේ බලය එන්න
එන්නම පිරිහෙන බවක් මා දකින අතර දෙවැනි තැන (සමස්ත ජනගහනයෙන් 34%) සිටින චීන ජනතාව
දිනෙන් දින ඉදිරියට පැමිණෙයි. මෙරට ආර්ථික මර්මස්ථාන බහුතරයක් චීන්නුන්ගේ අතේ පැවතීමත් එයට හේතුවක් විය හැක. මැලේසියාවේ වර්තමාන දියුණුවේ විශාල කොටසක් චීන ජනතාව අතින් ඉටු වී තිබේ.
Related Posts Plugin for WordPress, Blogger...