Friday, June 27, 2014

173 සෞදි අරාබියේ උණු කදුළු

ජීවත් වෙන හැමෝගෙම බලාපොරොත්තුව තමන් ඉන්න තැනින් එක අඩියක් හරි ඉස්සරහට තියන්න. ඒ වෙනුවෙන් අපි ගන්න ක්‍රියා මාර්ග සමහර ඒවා නීත්‍යානුකුල වෙන්නත් පුළුවන් නීත්‍යානුකුල නොවෙන්නත් පුළුවන්. ඒ තීරණ නිත්‍යානුකූල හෝ නොවන ඕනෑම දෙයක් හරියන්නත් වරදින්නත් පුළුවන් කියන කාරණය අපේ හිත්වල තැන්පත්වෙලා තියෙනවා. අන්න එහෙම හොද සමාජ තත්වයක් ලබාගන්න අතමිට මුදලක් ඉතිරි කරගන්න ගෙයක් දොරක් හදාගන්න එහෙමත් නැත්තං දරුවන්ට හොද අධ්‍යාපනයක් ලබාදෙන්න මෙකී නොකී දේවල් වලට අපි ගන්න එක පියවරක් තමයි විදේශ රැකියාවකට යන එක .හැබැයි මේකත් සමහරුන්ට අනුව නීත්‍යානුකුල වීම හෝ නොවීම ගැන තර්ක කරන්න පුළුවන්.

තේ පොල් රබර් වලින් විදේශ විනිමය හොයපු අපේ රට ඊට අමතරව සුළු අපනයන වලිනුත් ආදායම් ලබපු රටක්. පසු කාලෙක ඒ සියල්ල පහු කරමින් එයට අලුතින්ම එකතු වෙච්ච දරුවා තමයි ඇගලුම් කර්මාන්තය. හැබැයි ඔය අතරේ වැඩි ප්‍රසිද්ධියක් නැතුවම තවත් දරුවෙක් ලංකා මාතාවට හිටිය කියල අපි දැනගත්තේ ඉතාම මෑත ඉතිහාසයේදී. ඒ තමයි විදේශ ශ්‍රමිකයින්. එයාලට නම තිබ්බේ මේ ලගදි ..දැන් එයා රට විරුවා කියල තමයි හදුන්වන්නේ. අපිට කොච්චර ආඩම්බරද.? මේ රට විරුවෝ ලංකාවට වසරකට ඩොලර් බිලියන 1 .7 එවනවා කියල දන්නේ කවුද..?

ඒ අතර ඉතාම ආඩම්බර වෙන්න පුළුවන් සිරස්තලයක්  තිබුනා පහුගිය දවස් වල පත්තර වල. ඒ තමයි විදේශ ගත උන කාන්තාවන් 300 ක් වසරකට එනවලු පියවරු නැති දරුවන් අරගෙන. හොදට දෙපයින් ඇවිදගෙන ගිය කී දෙනෙක් පෙට්ටිවල ආවද..? කී දෙනෙක් ඇවිදින මල මිනී බවට පත් උනාද ? කී දෙනෙක් ජීවත් උනත් මල මිනී වගේ වෙලා ඉන්නවද? මේ ගැන දැන ගන්න සංඛ්‍යා ලේඛන කොහෙද තියෙන්නේ.? ඇත්ත කතාව කිසිම රජයක් ඒ දත්ත නිවැරදිව පල කරන්නේ නැහැ. පූරුවේ ණය ගෙවන ප්‍රවේනි දාසයෝ වගේ අර රට විරුවෝ කවුරුත් ඒවට කථා කරන්නේ නැහැ. හැමෝම ප්‍රශ්නය දැක දැක පලා යනවා. අන්න ඒ රට විරුවන් ගැන වසර 3 අත්දැකීම් ටිකක් තමයි මගේ පන් හිදෙන් පත් ඉරුවට වඩම්මලා පරිගණකයෙන් අන්තර්ජාලය හරහා ඔබට කියන්නේ කාමරේ සිරා මල්ලිට පින් සිද්ධ වෙන්න.



අපේ රටේ විදේශගත ශ්‍රමිකයින්ගෙන් 80% ක් ඉන්නේ මැදපෙරදිග රටවල. එයිනුත් මම ගන්නේ 374,000 ක් ශ්‍රමිකයින් ඉන්න සෞදි අරාබිය. අර මම මුලින් කිව්වා වගේ මටත් හිටි ගමන් බලාපොරොත්තුවක් සඵල වෙලා 2012 අවුරුද්දේ ජනවාරි මාසේ සෞදියට ආවා. එදා මම සෞදියට ගොඩ බැස්ස වෙලාවේ මේ රට ගැන මට බොරු කියපු උන්ට ගහන්න තරම් කේන්තියි. ඒ වගේම මේ රට ගැන අප්‍රමාන ගෞරවයකුත් ඇති උනා. ඒ තරම් සුහද විදිහට කළු හම තියෙන විදේශිකයින් විශේෂයෙන් ආසියානුවන්ව පිලි ගත්ත නිසා. අපේ ගෙවල් වල සත්තුන්ටත් ඊට වඩා හොදට අපි කතා කරනවා. කොහොම හරි ගුවන් තොටු පලෙන් එලියට එන්න බැහැ ඒ තරම් වහිනවා. හිටගෙන _ක හෝදන්න තරම්, මට හිතා ගන්න බැහැ මම සෞදි එනවා කිව්වම මිනිස්සු කථා කලේ මේ සෞදිය ගැනමද කියලා, ඒ තරම්ම සීතලයි වැස්සයි, මාව රැගෙන යන්න ආව මාතලී, මල් ශාලාවකින් ලයිසන් ගත්ත එකෙක් වගේ..විනාඩි 35 කින් විතර 80 km විතර දුරින් තිබ්බ නවාතැනට ආවා. පහුවදා උදේ මම මගේ සේවා ස්ථානයට වාර්තා කලා. බලන බලන තැන ගෝනි බිල්ලෝ වගේ, මට මුලින්ම ලැබුන අවවාදය සෞදි කාන්තාවන් දිහා හෝ ළමයි දිහා බලන්න එපා කියලා. (මගේ හැටි දැනගෙනද මන්දා)

මගේ සේවා ස්ථානය රියාද් නගරයේ ප්‍රධාන රෝහලක්, ඇතුලට ගියාම ජපන් බෝනික්කෝ පිරිලා, බලපුවාම පිලිපීන හෙදියෝ ඔක්කොම. එක ලාංකිකයෙක්වත් නැහැ. මම මගේ පත්වීමේ ලිපියට හා ගිවිසුමට අත්සන් කරලා රෝහල පුරා විසිට් එකක් එහෙම දාලා ගිහින් වැඩ බාර ගත්තා.

දෙයියනේ කියලා වැඩ ආරම්භ කරලා මාස දෙකකට විතර පස්සෙ මා සමග සිටි ඉන්දියානුවන් දෙදෙනා වැඩ තහනමකට ලක් උනා. අදටත් මම දන්නේ නැහැ හේතුව මොකක්ද කියලා. මෙයාලගේ තියෙන්නේ මෙයාලට ඕන විදිහට හදපු නීති ඕනෑම මොහොතක වැඩ තහනමකට ලක් වෙන්න පුළුවන්..හැබැයි අපිට ඉවත් වෙන්න නම් මාස 3 කට පෙර දැනුම් දීමක් කරන්න ඕනේ. එත් ඒ ඉල්ලා අස් වීම පිළිගැනීමට හෝ නොපිලිගැනීමට අයිතිය ඔවුන්ට තියෙනවා. ඒ වගේම යම් ආයතනයක සේවක සංඛ්‍යාවෙන් 6% සෞදි ජාතිකයින්ට අනිවාර්යෙන්ම දෙන්න ඕනේ කියල අලුත් නීතියකුත් ගෙනල්ලා . ඒ විතරක් නෙමෙයි ඔවුන් සම මට්ටමේ සේවකයින් ට වඩා වැටුප් මට්ටමින් උඩින් තියන්නත් ඕනේ. අවම වැටුප රියාල් 3000 ට  වැඩි වෙන්නත් ඕනේ. කොහොමද ටිකිරි මොලේ.

ටික දවසකින් මම සෞදි ජාතිකයින් පිලිබදව යම් ප්‍රාමාණික අවබෝධයක් ලැබුවා. ඇත්තටම සෞදි ජාතිකයින් බහුතරයක් මාන්නෙන් ඔලුව උදුම්මා ගත්තු ඔලුවේ කිසිම දෙයක් නැති හිස් මිනිස් කොට්ඨාශයක්. රස්සා නැති අයට රජයෙන් මාසෙකට රියාල් 3000 ක් පමණ ලැබෙනවා. බහුතරයක් නූගත් සහ අහංකාර අය. තමන්ගේ භාර්යාවන් භය කරගෙන විශාල ලෙස මානසිකව හිංසනයට ලක් කරමින් ඉන්න පිරිසක්. අනෙකුත් ගල්ෆ් රටවලට සාපේක්ෂව දැඩි මානසික පිඩනයකින් ඉන්න කාන්තාවන් ජීවත් වෙන්නෙ සෞදියෙ.

තම ස්වාමියා හෝ වැඩිහිටි පිරිමියෙකුගේ අවසරයකින් තොරව හැදුනුම්පතක් ගන්න බැරි, බැංකු ගිණුමක් අරඹන්න බැරි, රටින් පිට යන්න බැරි, මොන විදිහකින් වත් වාහන එලවන්න තහනම්, හිසේ සිට දෙපතුල දක්වාම කළු ලෝගුවකින් වසාගෙන ගමන් කලයුතු, (වයස 16 ට වැඩි සියලුම කාන්තාවන් අබාය හෙවත් කළු ලෝගුව අනිවාර්යෙන්ම අැදිය යුතුය,) සමාජයක් මෙහෙ තියෙන්නෙ. මෙය ඔවුන් අර්ථ දක්වන්නේ දැඩි ස්වාමි භක්තිය හා ආගමට දක්වන භක්තිමත් භාවය ලෙසයි. එහෙත් බොහෝ අයගේ මතය නම් මෙය මේ රටේ පිරිමින් සතු ලිංගික කුහක කම බවයි. මේ නීති අස්සෙ අයුතු ප්‍රයෝජන ගන්නා සෞදි කාන්තාවන්ද නැතුවාම නොවේ. තම නිවසේ රියදුරු සමග සුපර් මාර්කට් එකට එන කාන්තාව එහි පිටුපස දොරින් පිටවී කුලී රථයකින් ඉවතට ගොස් පැය කීපයකින් නැවත ඒම සුලභව දැකිය හැකි දසුනක් බවයි බොහෝ දෙනා කියන්නෙ.





ගෘහ සේවිකාවන් ලෙස ගල්ෆ් රටවලට එන කාන්තාවන්ට වැඩිම ගැහැට විදින්නට සිදුවන රටවල් අතරින් සෞදිය ඉදිරියෙන්ම ඉන්නවා. එයට හේතුව බහුතරයක් සෞදි කාන්තාවන් අධික මානසික පීඩනයකින් ඉන්නේ. ඔවුන්ට කිසිම නිදහසක් නැහැ. ඒ පීඩනය ඔවුන් මුදා හරින්නේ තමන්ගේ නිවසේ සේවය කරන ගෘහ සේවක, සේවිකාවන්ගෙන් , රියදුරාගෙන් හෝ තමන්ගේම දරුවන්ගෙන්. ඒ අතින් අපි කොච්චර ආඩම්බර වෙන්න ඕනෙද. දැන් අපේ රටෙන් ගෘහ සේවිකාවන් එන්නෙ නැහැ මේ රටට. ඉතා හොද තීරණයක්. දැන් එන්නෙ ගෘහ පාලිකාවන්. ඉතින් අපි අනෙක් රටවල් වලට වඩා කොච්චර ඉදිරියෙන්ද. වල් අලියා වන අලිය උනා කියල අමුතු වෙනසක් උනාද ..? නැහැනේ..උන්ගෙන් අපටත් අපෙන් උන්ටත් වෙන ගැහැට වෙනද වගේමයි..මම හිතන්නේ අද ඊටත් වඩා වැඩියි. අන්න ඒ වගේ තමයි නම වෙනස් උනාට අපේ සොයුරියන් විදින ගැහැට එදාට වඩා අද වැඩියි. කිසිම අඩුවක් නැහැ.

ඉස්සර මේ රටේ උන් රණ්ඩු වෙන්න භයයි ලු . මොකද උන් පොලිසියට යන්න භය නිසා. දැන් එහෙම නැහැ. අපිට පොලිසියකට ගිහින් වැඩක් කර ගන්න ඕනේ නම් අනිවාර්යෙන්ම උන්ගේ භාෂාව දන්නා එකෙක් හරි එක්ක යන්න ඕනේ. නැත්තන් උන් ගන්නේ උන්ගේ රටේ එකාගේ පැත්ත. වැරැද්ද ඔප්පු කරන්න සාක්කි තියෙනවනම් පුළුවන් තරම් හදන්නේ උන්ගේ එකාව ශේප් කරගන්න. සෞදි ජාතිකයින්ට ඇති පදම් මුදල් තියෙන නිසා ලෝකේ කිසිවෙකුටත් ඔවුන් ඇහුම් කන් දෙන්නෙ නැහැ. මානව හිමිකම් පයට පෑගෙන දූවිල්ලක් වත් තරම් ගණන් ගන්නේ නැහැ. හැබැයි ඇමෙරිකාවට නම් භයයි. ඔවුන්ගේ අදහස ඕනෑම යන්ත්‍රයක් වාහනයක් ඇමෙරිකන් නිෂ්පාදනයක් නම් ඒක විශිෂ්ටම එකක් කියලා. එම නිසා අමෙරිකානුවන්ද ඔවුන්ගේ ඉහලම මිළ ගණන් නිෂ්පාදන වල මුල් ගැනුම් කරුවා ලෙස සලකන්නේ සෞදි අරාබිය.

මෙහෙම කාලය ගතවෙද්දි මීට අවුරුදු 2 කට විතර කලින් මට අපේ පිළිගැනීමේ අංශයෙන් කැදවීමක් ලැබුනා ශ්‍රී ලාංකික රෝගියෙක් ගෙනල්ල ඉන්නවා ඇයට අරාබි හෝ ඉංග්‍රීසි භාෂාව කථා කරන්න දන්නේ නැති නිසා පොඩ්ඩක් එන්න කියලා. මමත් ඉක්මනට ගියා. යනකොට හදිසි අනතුරු ඒකකයේ කාන්තාවක් ඉන්නවා. ඇයගේ දෙකකුල් සුදු සාළුවකින් වහලා. මම හිතුවා අැය දෙමළ හෝ මුස්ලිම් කියලා. ඇත්තටම ඒ වගේ තමයි පෙනුම. මම දන්නා විදිහට දෙමළෙන් ඇහුවා මොකද කියලා. බලනකොට අැය සිංහල සොයුරියක්. දෙදරු මවක්, සැමියා කුලීවැඩ කරන කෙනෙක්. නම චන්ද්‍රිකා. ගම ගිංතොට.

මම ඇහුවා ඇයි අක්කා මොකද උනේ කියලා. මට අමාරුයි මල්ලියේ කියල අැය කියනකොට ඇයව රැගෙන ආ සෞදි කාන්තාව මගෙන් අහනව එයා මොනවද කියන්නෙ කියලා. මම කිව්වා මට මෙයා මොනවත් කියන්නේ නැහැ මට කියන්න ඇත්තටම මොකද උනේ කියලා. එතකොට මේ සෞදි කාන්තාව මට කියනවා අපි එපා කියද්දී මේ ගෑණි උණු වතුර බොඉලේරුව ඉස්සුවා. ඒක ඇගට පෙරලුනා.මම චන්ද්‍රිකා අක්කාගෙන් ඇහුව ඇත්තද කියලා . එතකොට එයා කිව්වා. නෑ මල්ලි මේ ගෑනි මට පෙරේදා ඉදලා කන්න දුන්නේ නැහැ. මම දැන් මාස එකහමාරක් වෙනවා වැඩට ඇවිත් මට පඩි දුන්නෙත් නැහැ. මම පඩි ඉල්ලුවම ගැහුවා .ඊයේ රෑ උණුවතුර එක ඇගට හැලුවා. මම එළිවෙනකං අඬඅඬා හිටියේ. පැනඩෝල් පෙත්තක්වත් දුන්නේ නැහැ කියල.

ඊට පස්සෙ මම අර සෞදි  ගෑණිට කිව්වා මට වෙච්ච දේ කියන්න කියලා. එතකොට මේ ගෑණි මට කියනවා, උඹ කවුද මගෙන් ප්‍රශ්න කරන්න මම පොලිසියට යනවා කියලා. හැබැයි ඒ වෙනකොටත් මම මගේ කබල් දුරකතනයේ රෙකෝඩර් එක ක්‍රියාත්මක කරගෙන හිටියේ .මම කිව්වා උඹ පොලිසි බැරිනම් කොහේ ගියත් මට කමක් නැහැ. මට උඹේ විස්තර අපේ රෙකොර්ඩ්ස් වලින් ගන්න පුළුවන්. මම මේක එම්බසි එකට දෙනවා කියලා. ඇත්තටම මේ සක්කිලි ගෑණි  අර අක්කට මේ රටේ සේවකයෙකුට අනිවාර්ය වෙච්ච රක්ෂණය වත් දීල නැහැ. දොස්තර මහත්තයා ආවට පස්සෙ මේ කාන්තාව මා ගැන ඔහුගෙන් විමසන බව මට දැනුනා. බෙහෙත් දමන්න තුවාලේ පිරිසිදු කරනකොට ඇය වේදනාවෙන් කෑ ගහන එක බලා ඉන්න බැරි තැන මම චන්ද්‍රිකා අක්කගෙ හිස අත ගාලා කකුල තදින් අල්ලාගෙන හිටියා.

ඒ බව දැකපු සෞදි ගෑනි ආයෙමත් කෑගහනවා. “ලා ලා ..හරාම් හරාම්” කියලා. මම ඇහුවා එතකොට උඹලා උණු වතුර දාන එක හලාල්ද කියලා. උඹලගෙ මිනිස්සුන්ට ගෑණු පේන්න බැරි උනාට අපිට මුන් ඔක්කොම සහෝදරියෝ කියලා. ඇත්තටම බෙහෙත් දාන අතරේ චන්ද්‍රිකා අක්කා ඇගේ කතාව අඩ අඩා මා එක්ක කිව්වා. ඒ මාස එක හමාරක කාලය පුරාම ඒ ගෙදර තාත්තයි පුතයි මාරුවෙන් මාරුවට ඇයව කෙලසලා. මට හිතේ ඇති උන වේදනාව මෙය කියවන ඔබට හිතාගන්න පුලුවන්ද ? මගේ අක්කට මෙහෙම උනානම්...? වෛද්‍යවරයා නියම කළා තව සතියකින් ආපසු ලෙඩාව ගේන්න. මම කිව්වා උඹ අනිවාර්යෙන්ම මෙයාව ලබන සෙනසුරාද මෙහෙට ගේන්න ඕනේ නැත්තං මේ විස්තර මම එම්බසියට දෙනවා කියලා. ඒ කිව්ව විදියටම  ඊලග සෙනසුරාද ඇයව ගෙනාවා. චන්ද්‍රිකා අක්කා සෞදි ඇවිත් දුක් විදපු අන් යට වඩා ටිකක් වාසනාවන්තයි. ඊට සති 2කට  පස්සේ ඇයව නැවත ලංකාවට යවලා තිබුනා. මේ විස්තරය ඒ දිනවල ලංකාවේ පුවත් පත් වලත් පලවී තිබුනා වගේ මතකයි. ඇය මට ලංකාවේ සිට කතා කරලා කිව්වා තාම බෙහෙත් කරනවා කියල කකුල් දෙකට. මම මගේ බිරිද මාර්ගයෙන් පුංච් උපකාරයකුත් ඇයට කලා.

මේ රටේ ගෑනු කැමතියි තමන්ගේ ගෙදරට වැඩකාරියක් ගෙනාවට පස්සෙ තමන්ගේ පුරුෂයා ඒ ගෑනිව අපහරණය කරනවට. හේතුව ලෝකයේ ලෙහෙසියෙන්ම කාන්තාවක් දික්කසාද කල හැකි රට සෞදිය වීමයි. පුරුෂයාට ඒ සදහා ඉතා කුඩා කරුණක් පවා ප්‍රමාණවත්. තමන්ව දික්කසාද කරයි කියන භයට ගෑනු ඕනෙම දෙයක් ඉවසගෙන ඉන්න පුරුදු වෙලා. සෞදි ජාතිකයින් බොහෝ කාමාධික තැනැත්තන් ලෙස ඉතා ප්‍රකටයි. ඉතින් ඔවුන්ට තමන්ගේ බිරිද තම ලිංගික අවශ්‍යතාවන්ට මදි යැයි හැගෙන්නේ නම් ඔවුන් ඒ අයව ඉවත් කරන්න දෙපාරක් හිතන්නේ නැහැ. ඒ නිසා සෞදි කාන්තාවන් කැමතියි ලස්සන කාන්තාවන් ගෙදර මෙහෙකාර සේවයට එනවට. එතකොට තමනුත් තම කසාදයත් දෙකම බේරිලා. මේ රට පිලිපීන හා ඉන්දුනීසියානු කාන්තාවන්ට ඉතා ගැලපෙනවා. අපේ රටෙන් ප්‍රථම වතාවට සෞදියට එන ගම්බද කාන්තාවන් මුලික වශයෙන් ගැහැට විදින්නට හේතුව ඔවුන් බොහෝ අය එවැනි කාමුක ජිවිතයක් ප්‍රතික්ෂේප කිරීමයි. හැබැයි 3-4 වාරයක් ආව ගිය අපේම අය මෙහේ හැසිරෙන විදිහ ඉතාම පහත් කියලත් මතක් කරන්න ඕනෙ. ඒක කාන්තා පිරිමි කියන දෙගොල්ලටම පොදුයි.

කාලයකට පස්සෙ මම තවත් සිදුවීමකට මුහුණ දුන්නා.ඒත් අපේම සොයුරියක් සම්බන්ධවයි. මේ සිද්ධිය උනේ පළමු සිදුවීමෙන් මාස 3 කට පමණ පසුවයි. එදත් පිළිගැනීමේ අංශයෙන් මට ආපු කැදවීමට මම ගියා. ඒ යනකොටත් අැයව හදිසි ප්‍රතිකාර සදහා ඇතුලත් කරගෙන. ඇයට කතා කරගන්නවත් බැහැ. ඇයගේ හඩ පිට වෙන්නේ නැහැ. ඒ තරම් ඇයට අමාරුයි. දින 3 ක් දැඩි සත්කාර ඒකකයේ ඉදලා පසු දිනකදී ඔවුන් ඇයව රැගෙන ගොස් තිබුනා. මේ සිද්ධිය මම ලංකා තානාපති කාර්යාලයේ එක්තරා නිලධාරියෙකුට දැන්නුවා. මම දුටු මනුස්සකමක් තියෙන එකම නිලධාරියා ඔහුයි. දින කීපයකට පසුව ඇගේ විස්තරය මම ලංකාදීප පුවත් පතින් දැක්කා. දෙපයින් සවුදි ගිය _______ රෝද පුටුවෙන් ලංකාවට කියලා. මම මේ සිද්ධියට අදාලව එම පුවත් පතට විස්තරයක් යැව්වා. නමුත් එය පලවුනේ නැහැ.

2012 අවුරුද්දේ අභාග්‍ය සම්පන්න ඉරණමකට මුහුණ දුන්න අපේ සොයුරියක් රැකවරණ පතා ලංකා තානාපති කාර්යාලයට ගිය අවස්ථාවක දින කීපයකට පසු තානාපති කාර්යාලයේ නිලධාරියෙකුගේ මස්සිනා වෙච්ච මුස්ලිම් ජාතිකයෙක් අතින් අමානුෂික ලෙස දුෂණයට ලක්වෙලා. මේක ලංකා තානාපති කාර්යාලයේ සියලු නිලධාරීන් වසන් කළා. තානාපති කාර්යාලයට සම්බන්ධ සිවිල් පිරිසක් ඉන්නව සුභසාධක සංගමයක් හදාගෙන. ඔවුන් පවා මෙය වසන් කරන්න දායක උනා. මෙය මේ රටේ ලංකාවෙ අය අතර ඉතා ප්‍රසිද්ධ රහසක්. මේ අවස්ථාව වෙද්දි විවිධ ගැහැට වලට ලක්වූ 400 කට අධික ලාංකික සොයුරියන් පිරිසක් රියාද් හා දමාම් කියන කදවුරුවල ඉන්නවලු. ඉන් සමහරක් ගැබිනියන්, සමහරක් මානසික රෝගීන්, සමහරක් දරුවන් බිහි කරලා මේ පිලිබදව ලංකා රජයේ මැදිහත් වීම කිසිසේත් ප්‍රමාණවත් නෑ කියන එකයි මගේ හැගීම. ඔවුන් විදේශ ගත වෙලා තියෙන්නේ රජයේ ඇමති මැති ගොල්ලන්ගේ චිට් එකකටවත් තව කෙනෙකුගේ අවස්ථාවක් උදුරගෙනවත් නොවෙයි. දරිද්‍රතාවයට මුහුණ දෙන්න බැරිකමට. බිලියන ගණන් මුදල් ලංකාවට එවන මේ මිනිස්සු ගැන මීට වඩා මානුෂීයව හිතන නිලධාරීන් අපේ තානාපති කාර්යාලයට අවශ්‍යයි. මේ කුහක කමකට නෙමෙයි ලියන්නෙ මේකයි තිත්ත ඇත්ත.

2012 අවුරුද්දේ වෙසක් උත්සවය සමරන්න ලංකා තානාපති කාර්යාලය සූදානම් වෙන නිසා මමත් ගියා ඔවුන්ට උදව් වෙන්න. කොඩි එල්ලන්න,සැරසිලි කරන්න වගේ වැඩ වලට. එතන හිටිය කාන්තාවන් දෙන්නෙක් (සිංහල අය) අතර පොඩියට ගිය කසුකුසුවක් මහා ඝෝෂාවක් වෙලා අවසානයේ කෙහෙ වලු පටලවා ගැනීමක් දක්වා යන්න එතරම් කාලයක් ගියේ නැහැ. ඒ ගෝරියටම එයාලගේ ස්වාමියෝ දෙන්නත් මොහොතකින් එකතු වුනා. ඊට පස්සෙ ලස්සනට තිබුන වෙසක් කුඩු සහ සැරසිලි සුන්බුන් බවට පත් උනේ බලාගෙන ඉද්දි. තානාපති කාර්යාලයේ නිලධාරියෙක් ඇවිත් පවුල් දෙකම තානාපති කාර්යාල භූමියෙන් ඉවත් කරලා ඔවුන්ට එන්න තහනම් කළා. බලනකොට පවුල් දෙකම අනියම් මිසක් නියම ඒවා නෙමෙයි. දෙන්නගෙම පැටිකිරිය දෙන්නම විස්තර කර ගත්තා හරි අගේට...මට එතකොට හිතුනෙ අර පිරිමි දෙන්න රෙදි අදින්නේ මොකටද කියල..මෙච්චර නීති දරුණු රටේ අපේ සමහර අයගේ හැසිරීම මෙන්න මේ විදියයි.

සෑම වසරකම තානාපති කාර්යාලයේ වෙසක් උත්සවයට සමගාමිව පින්කම් මාලාවක් තියෙනවා. එයින් එකක් තමයි ලේ දන් දීමේ පිංකම. ඔබ දුටුවොත් පුදුම වෙයි මහ විශාල ජංගම ලේ බැංකුවක් තානාපති කාර්යාල අසලට ගෙන එනවා. සමහර දිනට එකක් මදි. දින 4 ක් පමණ එක දිගටම මේ පින්කම් පැවැත්වෙනවා. දැන් දැන් තානාපති කාර්යාලය අසල නිවෙස් වල් ඉන්න සෞදි ජාතිකයින් තානාපති කාර්යාලයේ තියෙන මේ පින්කම් වලට එරෙහිව පැමිණිලි කරලා. ඔවුන් දන්නවා මේ ආගමික කටයුත්තක් කියලා. ඒක තමයි ඔවුන් මේකට අකමැති. තානාපති කාර්යාලයට විරුද්ධව කිසි දෙයක් කරන්න බැරි නිසා ඔවුන් ඉන්නේ. එළියේ එහෙම උනානම් කස පහර සමග හිරේ ඉන්න පුළුවන්.

ඉස්ලාම් හැර වෙන කිසිම ආගමක සංකේතයක් වත් තියාගන්න මේ රටේදි තහනම්. එදා ඒ ලේ දන්දීම සදහා පැමිණි අයගෙන් 95% ක්ම සිංහල හා දෙමළ සහෝදර සහෝදරියො. මුස්ලිම් අය හෙමින්ම මාරු වෙනවා. මම එක්කෙනෙකුගෙන් ඇහුවා ඇයි උඹලට ලේ දන් දෙන එක හරාම් ද කියලා. උන් කැමති නැහැ ලේ දැන් දෙන්න. හැබැයි උන්ට අපේ ලේ, ශරීර අවයව හලාල්.....ඒ වගේම මෙහෙදී හදිසි අනතුරුවලින් මිය යන විදේශිකයින්ගේ ශරීර අවයව පවා ඉතා ඉක්මනින්ම ඉවත් කර ගන්නවා. එ්ක අපේ රටේ අයට පමණක් නොවෙයි මුස්ලිම් නොවන හැම දෙනාටම පොදු දෙයක්. සමහර රටවල මුස්ලිම් අයට පවා. නමුත් ඒ විස්තර කවදාවත් එලියට එන්නෙ නැහැ.

මේ රටේ උෂ්ණත්වය ග්‍රීෂ්ම සෘතුවට සෙන්ට්ග්‍රෙඩ් 50 ටත් වඩා ඉහල යන ප්‍රදේශ තියෙනවා. ඒ කාලයට රජයෙන් තහනම් කරනවා එළියේ රාජකාරි දහවල් කාලයට. සමහර තැනක විශාල ලෙස කම්කරුවන් මිය යනවා විජලනය නිසා. බොහෝමයක් කම්කරුවන් බංග්ලාදේශ ජාතිකයින්. ඔවුන් බහුතරයක් අන්ත දුගී කිසිම අධ්‍යාපනයක් නොමැති පිරිසක්. කොච්චර මැරුණත් කොම්පැනි කාරයින් ඒ නීති සතේකට ගණන් ගන්නේ නැහැ. ඔවුන්ගේ සල්ලි බලය නිසා ඔවුන් සියල්ල යට කරගෙන මිනිස්සුන්ගෙන් වැඩ කරව ගන්නවා. 100 ක් මැරුණත් තව 1000ක් එළියේ පෝලිමේ ඉන්නවා රස්සාවලට එන්න. දැන් මේ වසරෙ ග්‍රීෂ්ම සෘතුව පටන් අරගෙන. දැනටත් 45-48 අතර උෂ්ණත්වය තියෙනව රියාද් ප්‍රදේශයේ,..ජුලි අගෝස්තු වනවිට ඉහලම උෂ්ණත්වයට එනවා. ඉන් පසුව ක්‍රමයෙන් අඩු වෙලා දෙසැම්බර් ජනවාරි වන විට දරා ගත නොහැකි සීතලක් බවට පත්වෙනවා.

සෞදි ජාතිකයින්ට කවුරු හරි කිව්වොත් අහවල් දේ ලිංගික කටයුතුවලට ඉතා හොදයි කියල උන් වහ උනත් කනවා. විදේශික කාන්තාවක් මේ රටේදී පැහැර ගැනීමකට ලක් උනොත් දෙවියන්ගේම පිහිටයි. ඉන් පසුව දුෂණයට ලක් වූ ඇයගේ සිරුර නවතින්නේ මහා විශාල කාන්තාරයක හෝ මිනිසුන් ලගා නොවන ප්‍රදේශයක. කිසි කෙනෙක්ව හොයාගන්න ලැබෙන්නෙ නැහැ. දැන් අලුත්ම ප්‍රවනතාවය පිරිමි ළමයින්ව අපයෝජනය කිරීම. විශේෂයෙන් මේ අතවරයට ලක් වෙන්නේ පිලිපීන හා තායිලන්ත ජාතික තරුණයින්..ඔවුන්ටත් කාන්තාවන්ට අත්වන ඉරණමම තමයි අවසානයේ ලැබෙන්නෙ.

මම මේ ලගදී සුපිරි වෙළද සලකට ගිය මොහොතක මුළු සිරුරම වහගත්තු කාන්තාවන් තිදෙනෙක් සිංහලෙන් කතා කරනවා ඇහිලා පුදුම හිතුනා. ඔවුන් සමග හිටපු පිරිමි තුන් දෙනාම බංගලි ජාතිකයින් ..ඒ වගේ සිද්ධි මෙහෙ බොහොම සුලභයි. නීති විරෝධී විදියට මේ රටේ රැදිලා ඉන්න අපේ කාන්තාවන් බංගලියන්ගෙ හා පාකිස්ථානුවන්ගෙ සෙල්ලම් බඩු වෙලා තමයි නවතින්නේ. අන්තිමට ඔවුන්ට වෙන්නේ පොලිසියට අහුවුනාට පසුව කස පාරත් කාල හිරේ ලගින්න, නැත්තං තානාපති කාර්යාලයේ රැදවුම් කදවුරට ගාල් වෙන්න. දැන් මේ සෙල්ලම් කරන්න අමාරුයි. මොකද සෞදියේ විදේශිකයින් සම්බන්ධ නීති බොහොම තද කරලා තියෙන්නේ. ඔවුන් පොදු සමා කාලයක් දුන්නා අනවසර සංක්‍රමණිකයින්ට රටෙන් පිටවෙන්න. අපේ බොහෝ අය රටෙන් පිට උනා තව සමහරු සෞදි රජයට පාඩමක් උගන්වන්න වගේ ගියේ නැහැ. අහු උනොත් දඩුවම කස පහර 100 ක් හා රියාල් 100,000 ක්. මේවා සියල්ලටම අමතරව සිර දඩුවම වසර 3ක්.

සෞදියට එන එක අඩු කරන්න මම දන්නා විදිහට ලංකා රජය යම් යම් ක්‍රියා මාර්ග ගන්නවා. ඔවුන්ට කෙලින්ම තහනම් කරන්න බැහැ. මොකද රජයක් ලෙස මේ රටෙන් ලංකා රජයට උදවු තියෙන නිසා. විශේෂයෙන් ලංකාවට බොරතෙල් ආනයනය සම්බන්ධව. දැන් අලුත්ම ක්‍රමය කාන්තාවක් මේ රටට එන්න කැමති නම් ඒජන්සි කාරයින් රුපියල් ලක්ෂ 2ක් ඒ කාන්තාවගේ සැමියාට හෝ පවුලේ ලගම නෑදෑයට දෙනවා. විශ්වාස කරන්න මේ රටට ගෘහ සේවිකාවක් ගෙන්න ගන්න සෞදි ජාතිකයින් ඒජන්සියට රියාල් 22000 ක් ලබා දෙනව. ලංකා මුදලින් එය රුපියල් 753,500 ක් පමණ. ඒ මුළු මුදල ලංකාවට නාවත් ඉතා විශාල මුදලක් එක ගෘහ සේවිකාවන් වෙනුවෙන් ඔවුන්ට ලැබෙනවා. නමුත් ලංකාවෙන් ගෘහ සේවිකාවන් ලෙස යන කාන්තාවන් කොපමණ මුදලක් ඒජන්සිකාරයින්ට පුජා කරනවද..? හැබැයි දැන් ඒකෙ අනිත් පැත්ත තමා වෙලා තියෙන්නේ. ගැහැනුන් රට යන්න අකමැති හෝ අඩු නිසා ඔවුන් මුදල් දෙනවා ඒ කාන්තාවන්ගේ පවුල් වලට. අපේ වීරෝධාර යුග පුරුෂයින් ඒ මුදලින් හොදට කාල බීල පුළුවන් නම් තව ගෑනියෙකුත් ගෙදර ගෙනත් එහෙමත් නැත්තං තමන්ගේම සහජාත දූවරුන් අඹුකමට ගන්න හදනවා. තමන්ගේ බිරිද ගින්දරට තල්ලු කරලා ඔවුන් කකා බිබී ජොලි දානවා..මම කියන්නේ හැමෝම නෙමෙයි.සුළුතරයක් නපුංසක පිරිමි එහෙමයි.

දැන් නීති විරෝධී ශ්‍රමිකයො මේ රටේ ඉතාම අඩුයි. ඒ පහුගිය කාලේ රොත්තට වගේ අල්ලලා හිර කරලා සහ රටින් පිටුවල් කරලා දැම්ම නිසා. ඔබ කල්පනා කරයි මට හමු උන සේරම සෞදි ජාතිකයින් ජරා මිනිස්සුද කියලා, එහෙම නෑ, හොද අයත් ඉන්නවා කලාතුරකින් හමුවන. එක උදාහරණයක් කියන්නම්, මෙහෙට එන හැම කෙනෙකුටම වෛද්‍ය පරීක්ෂණයක් අනිවාර්යයි. එයින් පසුවයි ඔවුන්ට රක්ෂණ හිමිකම ලැබෙන්නෙ. ඒ සදහා එන බොහෝ විදේශිකයින් අපේ රෝහලටත් එනවා. මෙයට මාස 2 කට පමණ පෙර එක ලාංකික කාන්තාවක් එම පරීක්ෂණය සදහා පැමිණ තිබුන. එතකොටත් මට ඇය සදහා භාෂා පරිවර්ථක ලෙස යන්න සිදු උනා. මම ගිහින් විස්තර අහනකොට අැය මීට කලින් වෙන තැනකට ගෙනත් තියෙන්නේ. ඒ මාස 2 කට කලින්. ඒ මාස 2 ම ඇයට වැටුප් දීල නැහැ. ගෙදර හිටපු පිරිමි හතර දෙනෙක්ගේ ලිංගික අතවරවලට ඒ මාස 2 පුරාම ඇය ලක්වෙලා. හිරිහැර ඉවසගන්න බැරිම තැන ඇය ඒජන්සියට කියලා. ඒජන්සිකාරයින්ට කාන්තාවන් රට යවලා නිකං ඉන්න බැහැ. ඔවුන් මාස 3ක කාලයක් ඒ අය ගැන වග කියන්න ඕනේ. ඊට පසුව ඔවුන් නිදහස්.

ඒජන්සියෙන් ඇයට කියල තියෙනව තව මාසයක් ඉවසන්න කියලා. තව මාසයක් ඒ ගෙදර හිටියනම් ඒ ගෑනි මැරෙයි. පසුව ඇගෙන් බේරෙන්නම බැරිම තැන ඔවුන් ඇයව ගෙනත් ඒජන්සියට. එතැන වැඩ කරන්න බැහැ කිව්වා කියල ඒජන්සියේ හිටපු ගෑනියෙකුයි තව තම්බියෙකුයි ඇයට හොදටම ගහලා . මුන් දෙන්නම අපේ රටේ. ගෑනි සිංහල. දෙවන වරට අැයව වෙනත් නිවසකට විකුණලා. එම නිවසේ වයසක සෞදි යුවලක් සමගයි ඇය රෝහලට පැමිණ තිබුනේ. එවිටයි මට ඇයව මුණ ගැහුනේ. ඇය වයස අවුරුදු එක හමාරක දරුවෙකුගේ මවක්. සැමියා ධීවරයෙක්. මට හිතාගන්න බැරි මෙච්චර පොඩි දරුවෙක් ඉන්න කාන්තාවක් කොහොමද විදේශ ගත උනේ කියන එක. අවුරුදු 3ට අඩු දරුවන් ඉන්න කාන්තාවන්ට විදේශ ගත වෙන්න නීතියෙන් ඉඩක් නැහැ මම දන්නා විදිහට රැකියා සදහා.

මේ කාන්තාව නොනවත්වාම අඩනවා. අර සවුදි කාන්තාව ඇගේ මුහුණු ආවරණයට යටින් අත දාල ඇගේ කදුළු පිහදාන අතරෙ මට කියනවා මේ ගෑනිට අඩන්නේ නැතුව ඉන්න කියපං, අපි එයාව බලාගන්නවා හොදට. එයාට කියපං අපි දෙන්නව බලාගෙන ඉන්න කියල. ඒ විතරක් නෙමෙයි පහුගිය මාස 2 එයාට නොලැබුණු වැටුප් 2 ත් අපි දෙනවා කියල කියපං කියලා. මම ඒ ටික ඇයට තේරුම් කරලා දුන්නා. ඔවුන් යන්න කලින් අර සෞදි ජාතිකයා ඔහුගේ දුරකථන අංකය මට දීලා ගියා. මාසයකට පමණ පසුව මම ඒ අංකයට කතා කරලා මාව හදුන්වල දීල අර ලංකාවේ කාන්තාවට කතා කළා. ඇය ඒ වෙද්දි සතුටින් වැඩ කටයුතු කරමින් හිටියා.  ඔවුන් පොරොන්දු වූ ලෙස පෙර මාස දෙකේ වැටුප් පවා දීලා තිබුනා. ඒ වගේ හොද මිනිස්සුත් අතරින් පතර මෙහෙ ඉන්නවා.

ඒ වගේම ලංකාවෙන් මේ රටට ඇවිදින් නීති විරෝධී වැඩ කරන අයත් එමටයි. එක මුස්ලිම් ජාතිකයෙක් මෙහෙ සිංහල මිනිස්සු දාල අරක්කු පෙරනවා. ඔවුන් පොලිසියට අහු උනත් අරයා බේරිලා. මොකද ඔහු සල්ලි විදම් කරලා මුතෙව්වන් (ආගමික පොලිසිය) හා පොලිසිය අල්ලාගෙන ඉන්නෙ. හිරේ යන මිනිහට දෙවියන්ගේම පිහිටයි. මිනිහ කරන්නේ සිංහල අයගේ පවුල් පිටින්ම මෙහෙ ගෙන්න ගන්නවා. මේ වැඩ වලට සෞදි කාරයොත් සම්බන්දයි. ඒ ගොල්ලෝ තමයි ප්‍රධාන ගැනුම් කරුවන්. අර සිංහල මිනිහට රියාල් 6000 විතර පඩියක් දෙනව. ඉතින් මිනිස්සුත් ඕනේ දෙයක් කරනවනේ. දැනට අපේ අය 3 දෙනෙක් හිරේ ඉන්නවා මම දන්නා විදිහට. පස්සේ අර මුස්ලිම් ජාතිකයා කරන්නේ අර තුන් දෙනාගේම බිරින්දෑවරු තමන් ලගට ගන්නවා. ඒ අයට ලංකාවට එන්න විදිහක් නැහැ.මොකද එයාලගේ ස්වාමියො හිරේ. එහෙම හිටපු කාන්තාවන් දෙන්නෙක් අතර ගැටුමකින් එක කාන්තාවක් මිය ගිහින්. දැන් අර මුස්ලිම් ජාතිකයා සහ අනෙක් කාන්තාව හිරේ. අපේම සිංහල බූරුවො අර මැරිච්ච ගෑනිටවත් හිරේ ඉන්න ගෑනිටවත් උදවු කරන්නේ නැහැ. උන් හදන්නේ අර මුස්ලිම් ජාතිකයව බේර ගන්න. මොකද ඔහු ඉතා විශාල ලෙස මෙහෙ තියෙන ලාංකික සමිති සමාගම් වලට වියදම් කරනවා..තානාපති කාර්යාලයේ උත්සව වලට පවා. මෙහෙ ඇවිත් අවුරුදු 4-5 පැන්නට පස්සේ අපේ උන් අම්ම තාත්ත උනත් විකුනන්න පෙළඹෙනවා සල්ලි නිසා..මට තේරෙන්නේ නැහැ ඇයි කියලා.තව ටික දවසකින් දෙන්නගෙම බෙලි කපල මරලා දාන්නත් ඉඩ තියෙනවා.

රිහානා නෆීක් ගැන ඔබට මතක ඇති.ඇගේ හිස ගසා දමන විටත් මම සෞදියෙ. දීරා කියන මුස්ලිම් පල්ලිය තුල තමයි ප්‍රධාන වශයෙන් මේ කලාපයේ හිස ගසා දැමීම කරන්නෙ. ඒ දවස් වල ලංකාවෙන් මේ කාරණය ගැන දැක්වූ  විරෝධයට කෝප සහගත ප්‍රතිචාරයක් තමයි මේ රටේ පුවත් පත් වලින් අපි දැක්කෙ. අපේ රටේ මුස්ලිමුන්ට මොනවා හරි සුළු සිදුවීමක් උනොත් මේ රටේ මාධ්‍ය වල ඉතා විශාල කරලා පෙන්නනවා. මේ ලගකදී ඇරැබ් නිවුස් කියන පුවත් පතේ අන්තර්ජාල සංස්කරණයේ බුදු හිමියන්ට අපහාස වෙන ආකාරයේ චිත්‍රයක් දාල තිබුනා. ලංකාවේදී සහජීවනය ගැන කතාකරන අපේ රටේම මුස්ලිම් එවුන් ඒකට දාල තිබුන කමෙන්ට් ඉතාම නින්දා සහගතයි.



මම කලිනුත් කිව්වා වගේ සෞදි අරාබිය තුල මුස්ලිම් ආගම හැර වෙනත් කිසිම ආගමික සංඛේතයක් ලග තබාගැනීම හෝ ප්‍රසිද්ධියේ වෙනත් ආගමක් ඇදහීම සපුරා තහනම්. එය දැඩි දඩුවම් ලැබිය හැකි වරදක්.වෙනත් ආගමිකයන්ට ඒවා කරන්න පුළුවන් තමන්ගේ තානාපති කාර්යාල පරිශ්‍රය තුල පමණයි. තමන්ගෙ කාමරේ බුදු පිළිමයක් තියාගෙන එයට වන්දනා මාන කරපු තුංගසිරිට කසපහරින් දඩුවම් කල බව ඔබට මතක ඇති.  කොච්චර නීති ගරුකයි කියල පෙන්නන්න හැදුවත් මොවුන් දුරාචාර වලින් ස්වයංපෝෂිතයි .

ලංකාව ගැන ඔවුන් හදුනාගෙන ඉන්නේ ගෘහ සේවිකාවන් සෞදියට සපයන රටක් විදිහට මේ මෑතක් වන තුරුම. නමුත් සෞදි අරාබිය තුල වෘත්තිකයන්ට විශාල වශයෙන් රැකියා අවස්ථා තියෙනවා. මොකද එවන් මට්ටමේ රැකියාවලට අවශ්‍ය සුදුසුකම් මෙහේ අයට නැහැ. අපේ රටේ ඒජන්සි කාරයින් එවන් රැකියා වලට මිනිසුන් එවන්න වැඩිය මහන්සි වෙන්නේ වත් උනන්දුවක් දක්වන්නේත් නැහැ. මොකද ඔවුන්ට ගෘහ සේවිකාවන්ගෙන් තරම් මේ රැකියා වලට එන අයගෙන් ගසා කන්න බැරි නිසා. මම මගේ රැකියා අවස්ථාව උදා කර ගත්තෙත් අන්තර් ජාලයෙන් කරන ලද ඉල්ලුම් කිරීමක් මත. සියලුම සම්මුඛ පරීක්ෂණ අන්තර්ජාලය මාර්ගයෙන් කරලා වීසා බලපත්‍රය පමණක් ඒජන්සියක් මාර්ගයෙන් එව්වා. ඔවුන් කලේ මගේ ගමන් බලපත්‍රයට වීසා එක ලබාදුන්න එක විතරයි. ඒ සියල්ල අවසානයේ මට ගමන් බලපත්‍රය නැවත ලබාදෙන්න රුපියල් 75000 ක් ඉල්ලුව.පසුව මම ඔවුන් සමග ගැටුමක් ඇති කර ගෙන පොලිසියට ගියාම (මරදාන) පොලිසියේ අය කියනවා ඔයාට ලොකු වැටුපක් ලැබෙනවනේ ඕන්න ඕක ගෙවලා දාන්න කියලා. මම ඔවුන් සමගත් තර්ක කළා ..පසුව ඔවුන්ට සිදු උනා මගේ ගමන් බලපත්‍රය මුදාහරින්න. ඒ වෙනකොට ගුවන් ටිකට් පත පවා ඊ මේල් මාර්ගයෙන් මට ලැබිල තිබුනේ.මෙවන් ගසා කෑම් අඩු කරන්න කිසිම රජයේ ආයතනයක් උත්සාහ කරන්නෙ නැහැ.ඒ ඔවුන් හැමෝටම පාඩු නිසා වෙන්න ඇති.

ලියනවනම් ලියන්න කොච්චර දේවල් තිබුනත් මම කැමතියි මෙතනින් නවතින්න.මම හැමෝගෙන්ම ඉල්ලන ඉල්ලීමක්  සමග මේ ලිපියෙන් සමුගන්න කැමතියි. පුලුවන්නම් කම්කරු රැකියා නැතුව වෙනත් වැදගත් රැකියාවලට සෞදියට එන්න. හැබැයි යන්න වෙන රටක් ඇත්තෙම නැත්තං. ඒ කාරණයට අමතරව මේක කියවන පිරිමින්ට මම කියන්නෙ තමන්ගෙ බිරිද ,අම්මා, සහෝදරිය මේ රටට එවන්න එපා. අනිත් රටවල් ගැන මම දන්නේ නැහැ. මේ රටට එවන්න එපා ගෘහ සේවිකාවෝ හැටියට. ඊට වඩා හොදයි ඉටිරෙද්දක් එලාගෙන හිගා කෑම. මේ රටේ ගෘහ සේවිකාවකගේ වැටුප රියාල් 700-800 අතර. ඒ කියන්නේ රුපියල් 24000- 25000 ක් පමණ. මම සේවය කරන රියාද් නගරයේ ප්‍රධාන රෝහල් 23 ක් හා වෛද්‍ය මධ්‍යස්ථාන 200 කට වැඩි ගනනක් තියෙනවා. ඒ අතරින් එකම එකකදි තමයි ඔබ ඉහළින් කියපු අත්දැකීම් මම ලැබුවෙ. එතකොට අනිත් රෝහල් වල වෛද්‍ය මධ්‍යස්ථාන වල මොන තරම් සිදුවීම ඇතිද අපේ සොයුරියො රෝහල් සේවකයන්ට හෙළි කරපු, මේ ලිපිය ලියන 2014.06.04 දින සෞදි  අරාබියේදී අබිරහස් ලෙස මියගිය රාගම සොයුරියකගේ සීල් තියපු දේහයක් ලංකාවට ගෙනල්ලා තියෙන බව අද ලංකාදීප පුවත්පතේ පලවෙලා තිබුනා.

මාසයේ අවසන් ලිපිය වෙනුවෙන් සිරාගේ කාමරයට ලියා එව්වේ,

සෞදි අරාබියේ රියාද් නුවර සිට ඉන්දික.


ප.ලි

සෞදි අරාබියේදී අපේ රටෙන් සේවය සදහා පිටත් වූ සහෝදරියන් ලැබූ දුක්බර අත්දැකීම් ඔබ මෙන්ම මමද ඇති තරම් මුද්‍රිත හා විද්යුත් ජනමාධ්‍ය මාර්ගයෙන්  කාලයක සිට දැනුවත් වී ඇත්තෙමු. ඊට පරිබාහිරව යම් දැනුවත් කිරීමක් සිරාගෙ කාමරේ හරහා කරනු උදෙසා මාසයේ අවසන් ලිපිය ලියූ ඉන්දික සහෝදරයා වෙත කාමරේ සිරා කොලුවා වන මාගේ නොමද ස්තූතිය හිමිවේ.

ගෘහ සේවිකාවන්ට වන කරදර හිරිහැර පිළිබද බොහෝ දෙනා කථා කලද, ගෘහ සේවිකාවන් ලෙස මව්වරු විදේශගත වීම ශ්‍රී ලංකාව තුල සමාජ ප්‍රශ්නයක් බවට දළුලා මතුව එමින් තිබේ. විටෙක සැමියා අනියම් සබදතාවක පැටලේ. නැතිනම් බේබද්දෙක් බවට පත්වෙයි. එසේත් නැතිනම් තමාට ජාතක වූ දියණියක් අඹු කමට ගනියි. මා පිය රැකවරණය අහිමි වූ වටපිටාවක පිපෙන්නට ප්‍රථම මල් කැකුළු තැලී පොඩි වී යයි. මේ ලිපිය තුල සාකච්ඡාවට භාජනය වූ  කාරණය තුල මොන තරම් බරපතල තත්වයක් තිබුනත් විෂය භාර අමාත්‍යවරයා ඒ උදෙසා වගකීමකින් ක්‍රියා කරන ආකාරයක් සිරා කොලුවා වන මට නොපෙනෙයි. පාර්ලිමේන්තුව තුලදී, හඩක් නැති...පිළිසරණක් නැති මේ අසරණ ජනතාව වෙනුවෙන් හඩක් නගන්නේ රංජන් රාමනායක මන්ත්‍රීවරයා පමණක් බව ඔහු මේ කාරණය උදෙසා දක්වන අවංක කැපවීම අගයනු වස් සදහන් කල යුතුමය.

සෞදියේදී අන්ත දුක් විදි පිලිපීන ජාතික ගෘහ සේවිකාවක පිළිබද දුක්බර පුවතක් මෙතැනින්.

Sunday, June 22, 2014

122 අමන්දි

ලා දම් පැහැය තවත් නිමේෂයකින් තද දම් පැහැයට හරවා අවසානයේ දිය බිදිති එකින් එක පොළව කරා එවන්නට අහස් කුස සමත් වූවේය. දුර ඈතක සිටින පෙම්වතෙක් තම පෙම්වතියට තෑගි එවන්නා සේ පොළෝ තලයද ඒවා මහත් හරසරින් වැළද ගනියි.  උසස් පෙල පන්ති යන එන කොල්ලන් කෙල්ලන් එක කුඩයක් යට ගුලිවී යනෙන දසුන වර්ෂාවෙන් බේරෙන්නට කේක් කඩය අද්දර සිටින කසුන්ගේ නෙතට සමීප වෙයි. අනේ මටත් මෙහෙම යන්න තිබුනා නං...වරෙක ඔහුට සිතෙයි.

කේක් කඩයෙන් ඔබ්බෙහි ඈතින් පෙනෙනා අරලියා ගහේ ඉහළම ඇති සුදු මල් පොකුරු වැහි හුළං කෝඩයේ වෙලී දෙපසට පැද්දෙමින් තිබෙන අයුරු කසුන්ගේ නෙතු මත සටහන් වුවද, අරලියා ගසේ ලැගුම් සොයා පැමිණ සිටි තෙත බරිත කුරුලු යුවලක් ඔහුගේ අවධානය ඊටත් වඩා දිනාගන්නට සමත් වූවේය.

කුඩ ඇත්තෝ වැහි මැද වුවද නතර නොවෙති. කුඩ නැත්තෝ කොහේ හෝ අගුපිලක පිහිට පතති. කේක් කඩේ මාළු පාන් වල සුවද නාස් පුඩු අස්සෙන් අමාෂයේ බඩවැල් කරා යන බවක් කසුන්ට සිතෙයි. අරමුණක් නැති ඉබාගාතේ යන එකෙකු මෙන් හෙතෙම තව දුරටත් වැසි මැද නිරුවත් වූ නගරයේ හැඩ තල දෙස බලා උන්නේය.

මල්ලි කඩේට එන මිනිස්සුන්ට ඉඩ දීලා පොඩ්ඩක් පැත්කට වෙලා ඉන්නවකො...තමුසෙ බැම්ම බැන්දා වගේ ඔතන හිටගෙන ඉද්දි කොහොමද මිනිහෙක් බඩුවක් ගන්න එන්නෙ.

කේක් කඩේ මුදල් අයකැමි තැනගේ කැද නැති මුහුණ දෙස කෝපයෙන් බැලූ කසුන් සැනෙන් ඉවත බලා ගත්තේය.

මල්ලි සිංහල තේරෙනවනං ඔතනින් පොඩ්ඩක් අයිනකට වෙලා කඩේට එන මිනිස්සුන්ට ඉඩ දෙනවා...මේක නිකං මුන්ගෙ දේපලක් වගේනෙ යකෝ. සිරියො අර පෙට්ටියෙ තියෙන ඥාණකථා ටිකත් මේ ෂෝකේස් එකටම දාහං...පන්ති එන ගෑණු ළමයින්ට බැරියැ දීලා දාන්න. මේකෙ කිඹුලා බනිස් ඉවර වෙද්දි අර පෙට්ටියෙන් අරගනිං.

ඉවසනු නොහැකි කෝපය  ආයාසයෙන් දරාගනිමින් කසුන් කේක් කඩයේ පසෙකට විය. අද නම් මහා ජරාම දවසක්, ෂික් විතරක්...ඔහු තමාටම කියා ගත්තේය. සර් හදන්න දුන්න ගනං ටික හදන්නත් බැරි උනා. එහෙං උදේම චුරු චුරුව, මේ වැස්සෙ කඩයක් අයිනෙවත් ඉන්න බැරි හැටියක්. කසුන්ගේ සිත විවිධ සිතුවිලි අතර අතරමං වෙයි.

කසුනා.....උඹ තාම මෙතනද....මම හිතුවෙ උඹ පන්තියෙ කියලා....

අඩේ... බඩ පුබ්බා...උඹත් පරක්කුද අද....පන්තියට යන්න තමයි බං ආවෙ...කොහෙ යන්නද මේ ජරා වැස්ස අස්සෙ. බස් එකෙන් බහිද්දිම පටන් ගත්තනෙ. 

මිනිහෙක් කඩේ අයිනට වෙලා වැස්සකටවත් ඉන්නවට කැමති නැති උන් බං මේකෙ ඉන්නෙ. අයකැමි තැන තම මිතුරාට ඉගියෙන් දක්වමින් කසුන් මුහුණ හැකිලුවේය.

අවුල් වෙන්න එපා බං...අපි කවදාවත් මේකෙන් කෑම ගන්නෙ නෑනෙ....උන්ට උඹේ ඩයල් එක හුරු නැති නිසා තද වෙන්න ඇති.

උඹ ගණං ටික ගොඩදාගත්තද ?

මොන ගණංද බං...මේ දවස් ටිකේම ක්‍රිකට් මැච්...පොතක් අතින් ඇල්ලුවෙ නෑ...ගාණක් හදන්න පටන් ගන්න හදනකොටම මොකෙක් හරි කාපාලුවෙක් මැච් එකකට යන්න මාව හොයන්න එනවා. අපේ අම්මා බනින නිසා උන් ගෙදරට එන්නෙ නැතුව ඈත ඉදන් දැන් කථා කරන්නෙ. පවුනෙ බං...මමත් පොඩි සප් එකක් දුන්නා.

අපේ කරුමෙට වැඩ නොකරපු උන් අද පන්තියේ නැගිට්ටෙව්වොත් නං පුබ්බො විළිලැජ්ජාවක් වෙන්නෙ. කෙල්ලො ටික දාන පජාති හිනාව තමයි මට නං දිරවන්නෙම නැත්තෙ.

ඒක එවෙලෙට බලමුකො බං...දැනටම පන්තිය පටන් අරගෙන විනාඩි 10 ක් ගිහිල්ලා. කොහොම හරි පන්තියට යමං. නැත්තං විභාගෙ දවසට ප්‍රශ්න පත්තරේ බලි කුරුටු තමයි අදින්න වෙන්න‍ෙ.

ඔන්න ආයෙමත් වැස්ස තද කලා. මේ වැස්සෙ කුඩයක් නැතුව යන්න බෑ බං....සපත්තුව අස්සට වතුර ගියාම කොහොමද ඉදගෙන ඉන්නෙ.

ඔහොම ඉදපංකො...මම ක්‍රමයක් හදලා දෙන්නම්...ඉදිරියට නෙරා ආ කුස නිසා බඩ පුබ්බා වූ පුබුදු කේක් කඩයේ යකඩ දොරට ආදර ගීතයක් අනුව තට්ටුවක්  දැම්මේය.

ෂ් ෂ් ෂ් ෂ් ෂ්........අපි දෙන්නවත් පොඩ්ඩක් පන්තියට දානවද ?

එන්න....

හදිසියේ ඇසුනු කිංකිණි හඩින් පියවි සිහියට පැමිණි කසුන් එදෙස බැලුවේය.

උසස් පෙළ අතිරේක පන්තියේ රූබර යුවතියන් දෙදෙනෙක් වැහි සිරි මැදින් සිනාසෙයි. මොහොතකට කලියෙන් දුටු සිහිනය මෙතරම් ඉක්මනට හැබෑවෙනවද....කසුන් කල්පනාවේ නිමග්න වූවේය.

මොකද යකෝ කරන්නෙ...ඉක්මනට වරෙන්...පුබ්බා මොර දෙයි.

දෙදෙනාගෙන් වඩාත් රූබර යුවතිය කසුන්ගේ ආගමනය බලා සිටින්නීය. ඇගේ දිදුලන කාන්තිමත් නෙත් යුවලත්...තනි කරලට ගොතා පිට මැද්දෙන් පහතට රූරා හැලෙන මනස්කාන්ත කේෂ කළ්‍යාණියත්, විවිධ වර්ණයන්ගෙන් සුසැදි අලංකාර ගවුමත්, කසුන්ගේ නෙත මෙන්ම සිතද වශී කර ඇති සෙයකි. උරහිසේ රැදි බෑගය එක් අතකින් අල්ලාගෙන සිටි ඇය අනිත් අතින් රෝස පැහැති පුංචි මල් වැටුන කුඩය දරාගෙන සිහින් සිනහවක් පෑවාය.

කුඩය යටට පිවිසි සැණෙකින් දැනුන පිච්ච මල් සුවදින් කසුන්ගේ තුරුණු සිත සසල වී ගියේය. මූසල පෙනුමින් යුතු වැහිබර දවසක මෙවන් ආහ්ලාදයක්.....කසුන් හොරෙන් මෙන් ඈ දෙස බැලුවේය. ඇය ඔහුට වඩා උසින් අඩු එකියක වූ නිසා කුඩය කසුන්ගේ හිස මත ගෑවෙයි.

දෙන්න මම කුඩය අල්ලගන්නම්...

ඇය ඔහුට සිනහවකින් සංග්‍රහ කර කුඩයේ අයිතිය ඔහු වෙත පැවරුවාය. ඒ අවස්ථාවේ ඇගේ රතැගිලි ඔහුගේ අතේ යන්තමින් ස්පර්ශ විය. ඒ ඇගිලි වල සිසිලස කසුන්ගේ හදවතටම කිදා බැස්සේය. රෝස පැහැති පුංචි මල් කුඩය යට දෙදෙනෙකුට ඉඩ නැතිය. ඒ අවසරයෙන් වැහි දියෙන් සිත්තම් ඇදෙන ඇගේ ගවුමේ දකුණු පස කසුන්ට යන්තමින් පෙනෙයි. අපිත් මෙහෙ ඉන්නවා කියන්නට මෙන් ඉදිරියට නෙරාවිත් තිබෙන ඇගේ ළැම පෙදෙස ගමනේ රිද්මය අනුව උස් පහත් වෙයි. යුවතියගේ උරහිස වටා අත යවා තමා වෙත නැඹුරු කරගන්නට කසුන්ට සිතෙයි.



අපරාදෙ පන්තිය තියෙන්න තිබ්බෙ කිලෝ මීටර් ගානක් පයින් යන්න ඕනෙ දුරක. කසුන්ගේ සිතට විවිධ හැගීම් පහළ වී සැනින් එසැනින් නැසී යයි. තැන් තැන්හි රැදුනු දිය කඩිති පසු කරන්නට ඇය තම දිගු ගවුම තරමක් ඔසවයි. එවිට ඔහුට ඇගේ පැහැපත් දෙපා, වර්ණ ගල්වන ලද නියපොතු, කකුලේ හැඩයට මනාව ගැලපෙන මිරිවැඩි සගල පෙනෙයි. තරමක නිහැඩියාවකින් පසු කසුන්ගේ හඩ අවදි වූවේය.

ඔයාගෙ නම මොකක්ද ? තරමක ආයාසයකින් ඒ වදන පිටවූ බවක් කසුන්ට හැගෙයි. පිරිමි ළමුන් පමණක් ඉගෙන ගන්නා පාසලක අධ්‍යාපනය ලැබීමත්, උපන් ගෙයි ලැජ්ජා කාරයකු වීමත් නිසාම හෙතෙම යුවතියන් අභිමුව එතරම් දොඩමළු නැත.

අමන්දි...... ඇසෙන නෑසෙන හඩින් වායුගෝලයට මුදා හැරි ඇගේ ස්වරය ඔහුගේ සවන් පිනවීය.

සර් දුන්න ගනං ටික හැදුවද ? 

හ්ම්...

ඊට අමතරව අසන්නට යමක් සිතාගත නොහැකි වීමෙන් කසුන් මුණිවත රැක්කේය. ඔවුනට ඉදිරියෙන් ගමන් ගන්නා අනිත් යුවල නම් කට පුරා සිනාසෙන හඩක් ඇසෙයි.

ඔන්න අපි දෙන්නවම පන්තියට ගෙනත් දැම්මා....දැන් ඉතිං කීයක් හරි ගෙවන්න.... නැත්තං හවසට කේක් කඩෙන් කේක් අරන් දෙන්න, නේද අමන්දි...කටකාර එකියක වූ අමන්දිගේ මිතුරිය සරදමට මෙන් කසුන් දෙස බලා සිනාසුනාය.
.......................................................................................................

උඹ මොකද බං නිකං අමුතු වෙලා...දැන් වැඩි කථා බහකුත් නෑ...සතියක දෙකක ඇවෑමෙන් පසු එළැඹුන පන්ති දිනයක විවේකයේදී  කසුන්ගේ මිතුරන්ගෙන් ඔහුට බේරුමක් නැත.

අර කුඩේ යටින් ගිය දවසෙ ඉදන් තමයි මෙයාට මේ ලෙඩේ හැදුනෙ...බඩ පුබ්බා අසික්කිත සිනහවක් නගයි.

හා හා හා....ඒකයි එහෙනං කාරණේ...කවුද බං කෑල්ල....අපිත් දන්න කෙනෙක්ද ? විභාගෙට කලින් ජෝඩුව ගලපලා ඉමු එහෙනං...මොකද පන්ති අහවර උනාට පස්සෙ ඕවා හොයනවා බොරු....මහදැන මුත්තෙකු සේ අවවාදයක් දෙන්නට තවත් එකෙකු ඉදිරිපත් විය.

පුතේ...කෙල්ලෙක්ට හිත ගියා නම් ඉක්මනට අදහස ප්‍රකාශ කරපං...පස්සෙ පසුතැවිලි වෙන්නෙ නැතුව, ලව් ඔස්තාද්ලාද මේ අවට සිට මේ කථාවටම අත්වැල අල්ලයි.

ඇත්තම කියහං කසුන්...උඹ අමන්දි ගැන හිතනවා නේද....පුබුදු තම මිතුරා වෙත ලං වෙමින් සෙමින් ඇසුවේය.

හ්ම්....පිළිතුරක් වෙනුවට සුසුමක් ගිණියම් වූ වාතලයට මුදාහැරි හෙතෙම ඈතින් පෙනෙන වලාකුළු නැති හිස් අහස දෙස බලා උන්නේය.
.......................................................................................................

අපි මේ වෙද්දි ඉතාම හොදින් විෂය නිර්දේශයේ අවසන් කොටස දක්වාම ඇවිල්ලා තියෙනවා. විභාගයට තියෙන ඉතිරි කෙටි කාලය තුල වඩාත් අපහසු ගැටළු නැවත සාකච්ඡා කරමු. අද පන්තිය අවසන් උනාට පස්සෙ මට පුද්ගලිකව හරි තමන්ට අපහසු පාඩම් කොටස් තියෙනවා නම් කියන්න.

අතුරු සිදුරු නැතිව පිරී ඇති ආර්ථික විද්‍යා පන්තියේ ඇගේ රුව සොයා ලුහු බැදීම දැන් දැන් කසුන්ට සාමාන්‍ය සිදුවීමකි. හැමදිනකම ගැහැණු ළමුන්ගේ පැත්තේ ඉදිරිපස සිට දෙවැනි පේළියේ මැද ඇති බංකුවක අසුන් ගන්නා ඇගේ රුව ලග ඔහුගේ සිත භාවනා කරයි. අනාගත සිහින දකියි. ගුරුතුමාගේ දේශනය පිළිබද අවධානය බිදෙන් බිද බිදී ඇයත් සමග ගොඩනගන අනාගත ලොවක අතරමං වෙයි.

කසුනා අද අමන්දි ඇදලා ඉන්නෙ එදා උඹ කුඩේ යටින් ගිය දවසෙ ඇදගෙන හිටිය ගවුම නේද ? ඒකි ඇත්තටම ඒකට ගොඩාක් ලස්සනයි බං.

ඒ අදහසට පිළිතුරු දෙනු වෙනුවට මුනිවත රකින්නට කසුන් ප්‍රිය කලේය.

පන්තියේ සිටිනා බුද්ධිමත් ශිෂ්‍යාවක් ලෙස ඇය කැපී පෙනෙයි. ගුරුතුමාගෙන් නිතරම ප්‍රශ්න කිරීමත්, ඔහු විමසන ගැටලු වලට ක්ෂණිකව පිළිතුරු දීමත් නිසාම ඇගේ ප්‍රභාව පන්තිය තුල තව තවත් වැඩි වී ඇති බවක් කසුන්ට හැගෙයි. මේ නම් හැම අතින්ම මට ගැලපෙන යුවතියයි. ඔහුගේ සිත දෙස් දෙයි. දැන් ඉතින් ගැලවීමක් නැත.

තම මිතුරාගේ හදිසි වෙනස් වීමත්, විභාගයේ අරමුණු වලින් ඈතට යන ඔහුගේ ක්‍රියා පිළිවෙතත් නිසාම අමන්දි පිළිබද කාරණය ඉතා ඉක්මනින් විසදා ගත යුත්තක් බව පුබුදුගේ සිත කියයි. නිතරම තම යෙහෙළියන් පිරිවරා සිටින ඇයට ලං වීමද පහසු නැත. ඇරත් කසුන් වැනි සබකෝලයෙන් යුතු තරුණයෙකුට මේ කාරණය තවත් අපහසු බව හෙතෙම දනියි. මොනවා කරන්නත් තව ඇත්තේ මාස 3 ක කාලයකි.

කසුනා.....බල බලා ඉදලා හරියන්නෙ නෑ...උඹ ඒ කෙල්ලට කැමති නම් කෙලින්ම අහපං....අද කාලෙ කෙල්ලො ඉස්සර වගේ නෙමෙයි. කෙලින්ම අහනවටයි කැමති. අපේ අයියා කෙනෙකුත් කිව්වා විභාගෙ ලං උනාම  තියෙන මානසික පීඩාවෙන් මිිදෙන්න ගොඩාක් කෙල්ලො ආදර යෝජනා වලට කැමති වෙනවා කියලා. දැන් හොද වෙලාව. ලබන සතියෙ පළවෙනි අඩිය තියමුද ?
.......................................................................................................

ළමයි.....මට අද හදිසි වැඩකට යන්න වෙලා තියෙනවා. ඒ නිසා ඕගොල්ලො ඔය ප්‍රශ්න පත්තරයට උත්තර ලියලා කාර්යාලයට බාර දීලා යන්න. ගුරුතුමාගේ ගැඹුරු කටහඩ ශබ්ද විකාශන පද්ධතිය දෙදරවයි.

කසුනා අර වැඩේට අද තමයි දවස...හැම කෙල්ලම අද එකට යන්නෙ නෑනෙ...උත්තර ලියලා ඉවර වෙන පිළිවෙලටනෙ යන්නෙ. ඉක්මනට උත්තර ලියලා නැගිටින්නෙ නැතුව ඉමු. අමන්දි යන වෙලාවටම අපිත් යමු. පුබුදුගේ අදහස අනුව කසුන්ගේ පෑන විදුලි වේගයෙන් සුදෝ සුදු කඩදාසිය මත ඒ මේ අතට පාවෙයි.

පිළිතුරු ලියා අවසන් කල කසුන්ගේ නෙතු යුග ඇගේ ආගමනය අපේක්ෂාවෙන් පන්තිය පුරා සැරිසරයි. ඇගේ දකුණතේ පෑන වෙන්නට තිබුනා නම්, එදා දැනුන සිහිලස අදත් විදින්නට තිබුනා නේදැයි විටෙක කසුන්ට සිතෙයි.

අන්න නැගිට්ටා තව එකියක් එක්ක...ඉක්මන් කරහං කසුන්....අද කරගන්න බැරි උනොත් ආයෙ දවසක් එන එකක් නෑ. ප්‍රේමය හමුවේ මෙලෙස උපකාර කරන මිතුරන් හැමටම ලැබීයන්. තම අතිජාත මිතුරා පිළිබද කසුන්ට එලෙස සිතෙන්නට ඇත.

එදා මෙන්ම අදද ඇය දිගු ගවුමකින් සැරසී සිටියි. ඇය අදින පළදින විලාශයද, කථා බහද කසුන්ගේ නෙතට රසදුනක් වන්නේය. ඔහුගේ  තුරුණු නෙතු ඇගේ රූ බර සිරුරේ සියලු රස උකහා ගනිමින් ඇය පසුපස ඉදිරියට ඇදෙයි. යුවතියන් දෙදෙනා ඔවුන්ට ඉදිරියෙන් බස් නැවතුම කරා වේගයෙන් පියවර මනිමින් සිටියි.

තව වැඩි දුරක් නෑ ගොනෝ....අහපං ඉක්මනට....

එහෙත් කසුන්ට තවමත් නිසි ධෛර්යය එළැඹී නැත. මෙයින් පෙර ජීවිතයේ කෙදිනක හෝ මෙවන් අත්දැකීමක් කසුන් විද නැත.

බිදෙන් බිද අඩියෙන් අඩිය අතුරු මග ප්‍රධාන මාර්ගයට වැටෙන්නට ආසන්න වෙයි. එයින් ඉක්බිති බස් නැවතුම හෙයින් ඇය බසයට නැගෙනු ඇත. බසයේ සෙනග මැද මේ කාරිය කරන්නට හැකියාවක් නැත.

උඹ මොනවද බං කරන්නෙ....කොච්චර බලා ඉදලද මේ දවස උදා වුනේ...තව අඩි ගානයි තියෙන්නෙ පාර ඉවර වෙන්න...අහපං යකෝ....ආයෙ මෙහෙම දවසක් එන්නෙ නෑ. බඩ පුම්බාගේ දකුණත් පහරක් කසුන්ගේ පිට මැද පතිත වද්දී මෙතෙක් කල් සිත පෙලූ හැගීමෙන් නිදහස් වෙන්නට කසුන් දැඩිව ඉටා ගත්තේය.

අමන්දි....සියලු ශක්ති ප්‍රභවයන් ආයාසයෙන් එක්තැන් කර ගත් ඔහු මහත් වෑයමෙන් ඇගේ නම උච්චාරනය කලේය.

ඒ හඩට එකතැන නැවතුන ඇය පසුපස බලා ඔහු හැදින සිනාසුනාය.

අමන්දි...ම...ම...ම.ම මම ඔයාට කැමතියි.

මිතුරිය අමන්දි දෙස බලා කට කොනකින් සිනාසුනාය.

දැන් ඉතින් භය වෙන්නට කාරණයක් නැත. අවශ්‍යම දේ කියවී තිබේ. කසුන්ගේ සිතට මාස ගනනාවකට පසු සහනයක් දැනෙයි.

පිළිතුර වෙනුවට නැවත සිනහවක් පෑ ඇය සිය දිගු කේෂ කලාපය දෙපසට පද්දමින් තාලයට ඇවිදින අපූරුවේ චමත්කාරය හිත්පුරා විදගන්නට කසුන් ලොබ බැන්දේය.

අතුරු මාර්ගය ප්‍රධාන මාර්ගයට සම්බන්ධ වන තැන කේක් කඩයට ඉදිරියෙන් ඇත්තේ බස් නැවතුමයි. එහි වූ බසයකට ඇය සහ මිතුරිය නැගෙන අයුරු මෙන්ම කවුළුවක් අසලින් අමන්දි අසුන් ගන්නා අන්දමද මිතුරන් දෙදෙනා දුටුවේ කේක් කඩය අසල නැවතී වටපිට බලන විටය.

ඒකි උත්තරයක් දුන්නෙ නෑනෙ බං....

අනේ බොල උඹ වගේ මී හරකෙක්....උඹ හිතුවද කෙල්ලො කියන්නෙ සෙල්ලං බඩු කියලා අහපු ගමන් හා කියන්න. ඒගොල්ලො දවස් කීපයක් කල්පනා කරලා තමයි උත්තරේ දෙන්නෙ උඹට තදියම තිබුනට.... දැන් උඹේ වැඩේ කෙරුනනෙ....බලාපොරොත්තු තියාගන්න පුලුවන්. මෙච්චර කල් අපි ඒකිට කොල්ලෙක් ඉන්නවද කියලා හැම අතේම හෙව්වා. කෝ හෙව්වට හම්බුනේ නෑනෙ බං...උඹලට මේ බඩ පුබ්බා වගේ යාලුවො ලැබෙන්නෙ නෑ. ලබන ආත්මෙත් මගේ සේවය උඹටම ලැබෙන්න කියලා මට හොද කිරි තේ එකක් අරගෙන දීහං මයෙ අම්මා....
.......................................................................................................

කසුන් තම  කැමැත්ත ප්‍රකාශ කර සතියක් දෙකක් ගෙවෙන්නට ඇත. නමුත් ඇගෙන් පිළිතුරක් නැත. කසුන්ගේ සිතට ඇගේ පිළිතුර දැනගැනීමේ පුදුමාකාර හදිස්සියක් ඇති වී තිබේ. එය මෙවැනි අවස්ථාවකට මුහුණ දෙන ඕනෑම ප්‍රේමවන්තයෙකුට පොදු දෙයක් විය යුතුය.

දින දින ගෙවී යයි. පන්තියේ අවසානය කෙමෙන් කෙමෙන් උදා වෙයි. පන්තිය තුලදී ඇගේ මිතුරියන් දැන් ඇයට කසුන් පෙන්වමින් විහිළු තහලු කරයි. ඇයද සිනාසෙයි. නමුත් කසුන් බලාපොරොත්තු වන ඒ මිහිරි වදන තවමත් ඔහුගේ දෙසවනට ළගා වූයේ නැත.

මචං...අමන්දි තාමත් කිව්වෙ නෑනෙ කැමතිද අකමැතිද කියලා....අපි මොකද බං කරන්නෙ. තමාගේ ආදර කථාවේ සපෝටර් චරිතය රගන බඩ පුබ්බා හැර මේ දුක්ගැනවිලි කියන්නට වෙනත් කෙනෙක් කසුන් හට නැත.

අද හවසට පන්ති ඉවර වෙලා ආයෙම අහමු. උඹේ යෝජනාව ගැන කල්පනා කලාද කියලා.

ඒක කොහොමද බං කරන්නෙ....ඒකි ඉන්නෙ කෙල්ලො රොත්තක් පිරිවරාගෙනනෙ හැම වෙලේම.

දැන් ඉතින් හැමෝම දන්නවනෙ බං උඹ ඒකිගෙන් ඇහුවා කියලා. ඒ නිසා භය වෙන්න දෙයක් නෑ.

තවත් දිනයක උපකාරක පන්තියේ  නිමාව සිදු වී තිබේ. දිවාකල තද අවු රැසින් පිළිස්සී ලද විඩාවෙන්දෝ ගහ කොළ අලස ලෙස ඒ මේ අතට වැනෙති. කේක් කඩය ඉදිරිපිට බස් නැවතුම සිසු සිසුවියන්ගෙන් පිරී පවතී. එහි දෙනෝදාහක් දෙනා අතර අමන්දිගේ රුව හදුනා ගැනීම කසුන්ට එතරම් අභියෝගයක් නොවේ.

ඇය වෙනතක්  බලාගෙන සිටියදී  අඩියට දෙකට ඔහු ඒ ඉසව්වට සමීප වූවේය.

අමන්දි....

ඇගෙන් ප්‍රතිචාරයක් නැත. ඇගේ මුණිවත කසුන්ගේ සිත තව තවත් පීඩාවට පත් කරයි.

මට ඔයා තාම උත්තරයක් දුන්නෙ නෑනෙ. කැමතිද අකමැතිද කියලවත් කියන්න.

කිසිම ප්‍රතිචාරයක් නොදැක්වූ ඇය ඉවත බලාගෙනම සිටියාය.

ඇගේ මිතුරියන්ගේ සමච්චල් සිනා හඩ  මැද අපහසුතාවට පත්වූ කසුන් නැවතත් තම මිතුරා වෙත පසුබැස ගියේ මහත් වූ ලෙස කෝපාග්නියේ දැවෙමිනි.

ඒකිගෙ මොකද බං ඔච්චර ඝනකම...අඩුගානෙ මනුස්ස කමට කථා කරපං...මම අමනුස්සයෙක්ද අහක බලාගෙන ඉන්නෙ.

හරි හරි බං...පොඩ්ඩක් ඉවසගෙන ඉදපං..සමහර කෙල්ලො කමැති නෑ ඔය වගේ පුද්ගලික දේවල් තමන්ගෙ යාලුවො ඉස්සරහා කථා කරනවට....ඒකිගෙ රූපය විතරනෙ බං අපි දැකලා තියෙන්නෙ. හිතන පතන විදිය ගති ගුණ ගැන අපි දන්නෙ නෑනෙ...ඉවසපන් තව ඉවසපන්...

උඹ මට කියපං එහෙනං...පන්තිය වෙලාවට මගේ දිහා බලාගෙන ඉන්නෙ...යාලුවො කියන ඒවට හිනා වෙන්නෙ ඇයි කියලා.

උපකාරක පන්තිය තුලදී අරමුණකින් තොරව පසු පසට හැරී එක්වරම ඇගේ දෙනෙත් තමා සොයනා බවක් කසුන්ට දින කීපයක්ම හැගී ගොස් තිබුනේය.

එහෙම තමයි බං කෙල්ලො...උඹ නිකං විහින් ළද වෙන්න යනවනෙ. උන්ව තේරුම් ගන්න අමාරුයි. බැදලා අවුරුදු විසි ගානක් ගිහිල්ලත් අපේ තාත්තට අපේ අම්මව තවමත් තේරුම් ගන්න බෑ කියනවනෙ ඉදලා හිටලා තරහා ගිය වෙලාවට.

දින සති , විභාගය , හිත මිතුරන්, ඩෙස් බංකු මේ සියල්ලෝම තමා දෙස බලා විපරීත අන්දමෙන් සිනා සෙන බවක් කසුන්ට සිතෙයි. ඔහුගේ සිතේ පහළ වූ කුළුදුල් ආදරය ඇයට පිදුවේ අවංක හදිනි. නමුත් ඇය එය අවඥාවට ලක් කර සිනාසෙයි. ආදරය මේ තරම් වේදනාවක් බව දන්නවා නම් කිසිවෙකු ආදරය නොකරනු ඇත. එහෙත් එය නියම ලෙස ගැලපුනු පසු කෙතරම් සුන්දර ඇතිද...කසුන්ගේ සිත සසල වී තිබේ.

මට තවත් ඉවසන්න බෑ පුබ්බො. මේ මගුල දිහා බලා හිටියොත් මගේ විභාගෙත් වතුරෙ. ඒත් මට දැනගන්න ඕනෙ මට දෙන උත්තරේ මොකක්ද කියලා. මට කැමති උනත් අකමැති උනත් කමක් නෑ. හැබැයි සාධාරණ හේතුවක් දෙන්න ඕනෙ.

ඒ කෙල්ලගෙ පවුල් පසුබිම ගැන අපි දන්නෙ නෑනෙ බං. ඒ නිසා කලබල වෙන්න එපා. විභාගයට තව සති දෙකක් විතර තියෙනවනෙ. ඔය කාලය ඇතුලත අපි කොහොම හරි උත්තරේ ගමු.
.......................................................................................................

දැන් ඉතින් හැමෝම පාඩම් වැඩ වල අවසානයට ලං වෙලා ඇති නොවැ. මේ වගේ විභාගයට හොදටම ලං වෙලා තියෙන කාලෙක පරණ අභ්‍යාස, න්‍යායික කරුණු කොටස් නැවත නැවත මතක් කරගන්න කෙටි සටහන් යොදා ගන්න. කලින් වසර වල විභාග ගැටලු හැකිතරම් වේගයෙන් විසදන්න. විභාගයට යන්න කලින් දවසෙදි මේ කෙටි සටහන් වලින් සෑහෙන්න ප්‍රයෝජන ගන්න පුලුවන්.

පුබ්බො...අද නම් අමන්දිගෙන් මට වචනයක් ඕනෙමයි. ලබන සතියෙන් පස්සෙ පන්ති ඉවරයි. ආයෙ අපි මෙහෙම එක වහලක් යට හමුවෙන්නෙ නෑනෙ බං.

ඒක හරි. මා ගාව තියෙනවා පොඩි සැලසුමක්. අපි අද පන්තිය ඉවර වෙලා කෙල්ලො රංචුව එක්ක බස් එකේ උන් යන දිහාවකට යමු. බස් එකේ යනකං කථා කරන්න බැරියැ.

ඒ අදහස සනාථ කරන්නට මෙන් කසුන් තම මිතුරාගේ දකුණත වැරෙන් අල්ලා ගත්තේය.

මිනුවන්ගොඩ...මිනුවන්ගොඩ....කොන්දොස්තර තැන බසයේ ඉදිරිපස දොරටුව අසල සිට හාත්පස සිසාරා නෙත් වෙහෙසමින් ගෑ ගසයි.

පුබ්බො කොහෙටද බං ටිකට් ගන්නෙ...

අන්තිම කෙළවර මිනුවන්ගොඩනෙ....එහෙට ගනිං....

ටිකට් පත් දෙකක් අතැතිව බසයේ ඉදිරිපස දොරටුවෙන් රථය තුලට වන් මේ දෙමිතුරන්ට බසයේ පිටුපස කලාපය අරක් ගෙන සිටින අමන්දිගේ යෙහෙලියන් රොත්ත මැද බිම බලාගෙන සිටින අමන්දිගේ රුව පෙනෙයි.

ඒයි... ප්‍රේමවන්තයා අද බස් එකටත් නැගලා....අමන්දියො අර බලපංකො.

අනේ පවු බං...කෑ නොගහා ඉදපල්ලා. තවත් එකියක් ඇසෙන නෑසෙන ගානට පවසයි.

වීරයා මෙන් මේ ගමන පැමිණියත්....තමාගේ චිත්ත සන්තානයම අනිසි භියකින් වෙලී ඇති බවක් කසුන්ට සිතෙයි.

මොකද උඹ භය වෙලාද ? භය වෙන්න එපා බං... උන්ට අමතරව බස් එකේ තව මිනිස්සු ඉන්නවනෙ. ඇරත් උඹේ තනියට මම ඉන්නවනෙ.

කසුන්....ඇයි හිටගෙන....ඔයාගෙ ප්‍රේමවන්තිය ලගින් වාඩි වෙන්නකො. අමන්දි සමග කුඩය යටින් ගිය දා සිටි යෙහෙළිය මුහුණ පුරා සරුවට වැවුනු සිනහවක් දරා ගනිමින් අමන්දි සිටි අසුනෙන් නැගී සිටියාය.

නිලූ....එපා නැගිටින්න...ඔහොමම ඉන්න. අමන්දි ඇගේ වමත මිතුරියගේ දෑත මත තබා පහළට ඇද්දාය.

ඇගේ ඉල්ලීම මායිම් නොකල මිතුරිය කසුන් වෙත තම අසුන පෑවාය.

ඒ අවසරයෙන් එතැන හිදගත් කසුන් අමන්දි සමග සුහදව කථා බස් කරන ආකාරය පුබුදුගේ දෙනෙතට හසුවුවද බස් රථය ගමනාන්තයට ලගා වන විට එය තරමක විවාදයක් බවට පත්ව තිබුනි.

අතරමගින් බැස ගිය යෙහෙලියන් හැරුනු කොට තවත් අතලොස්සක මිතුරියන් පිරිසක් අමන්දි වටා සිටිති. මිනුවන්ගොඩ බස් නැවතුම අසල ඇති තැඹිලි කඩයක සෙවනේ කථාවේ ඉතිරිය දිග හැරෙයි.

ප්ලීස් අමන්දි...මට වචනයක් දෙන්න. කැමතිද අකමැතිද ?

කසුන්ගේ ස්වරූපය දැන් දැන් රෞද්‍ර වේශයට ආසන්න වන බවක් කසුන් දුටුවේය.

මම ඔයාට කැමති නෑ කසුන්.....මට කරදර කරන්න එපා, මම මෙච්චර වෙලා කිව්වනෙ. 
ඇය ආයාචනාත්මකව පැවසුවාය.

කියන්න...මොකක්ද හේතුව...මම කැමතියි හේතුව දැනගන්න.

හේතුවක් නෑ

උරහිසේ එල්ලගෙන සිටින බෑගයේ කොනක් කොනිත්තමින් ඇය අහිංසක ලෙස පැවසුවාය.

හේතුවක් නෑ. මොකක්ද ඒ කථාව...ඒක උත්තරයක්ද...මට අකමැති වෙන්න හේතුව කියන්න. එතකොට මම යන්නම්. ඔයා මට අකමැති නම් ඇයි මට පුංචි හරි බලාපොරොත්තුවක් දුන්නෙ. ඇයි පන්තියෙදි මගේ දිහා බලාන උන්නෙ. කියන්න....ඔයා ගොළු වෙලාද ?

කසුන්....සන්සුන් වෙයං බං...තරහා ගන්න එපා...තරහා ගියොත් උඹ පරාදයි. බඩ පුම්බාගේ ඔවදන් කනකට නොගත් කසුන් තව තවත් ඇය සමග වාද විවාද කර කෝපාග්නියේ ගිණි දැල් දසත පතුරවා ලූවේය.

උඹවගේ මෝඩ එළදෙනක් පස්සෙ ආව මමයි මෝඩයා....උඹ මට මෙච්චර ගනං උස්සන්නෙ අනිත් ගෑණුන්ට නැති එකක්ද උඹට තියෙන්නෙ. බැල්ලි....උඹ මාව කෑවා යකෝ....දැන් කොහොමද මම හිත හදාගෙන විභාගය ලියන්නෙ. දවසක උඹ දුක් වෙයි මම වගේ කොල්ලෙක්ට ඔහොම කලාට....

පිළිතුරු වෙනුවට අමන්දිගේ ඉකිබිදුම මදින් මද දැඩි වන විට පුබුදු තම මිතුරා රැගෙන එතැනින් ඉවතට ගියේය.
.......................................................................................................

මේ සිදුවීමෙන් පසු කසුන් දෙස වැරදීමකින් හෝ නොබලන්නට අමන්දි කටයුතු කලාය. ඇගේ යෙහෙලියෝද වෙනදා මෙන් ඔහු දුටු විට කවට කම් නොකලහ. උසස් පෙළ පන්තියේ සිය ගණනක් සිසු සිසුවියන් අතර තමා හුදෙකලා වී ඇති සෙයක් කසුන්ට දැනෙයි.

විභාගයට ඉතිරිව තිබූ අවසන් සතිය සිතුවාට වඩා වේගයෙන් ගතවී තිබේ. කලින් සැලසුම් කල කිසිවක් තමාට කල නොහැකි වූ බව කසුන්ට සිහිවන්නේ සිත පතුලේ හටගත් වේදනාවක සේයාවන්ද සමගිනි. වැහිබර උදෑසනක්, රෝස පැහැති කුඩයක් අතින් ගත් යුවතියක්, තමාගේ අනාගතය සමග මෙතරම් සෙල්ලමක් කරාවි යැයි කසුන් සිහිනෙකුදු නොසිතන්නට ඇත.

දෑ වසරක අධ්‍යාපනය නිම කරමින් මළ හිරු බසිනා සැදෑවක උපකාරක පන්තියේ කටයුතු අවසාන විය. මෙතෙක් කල් ශිල්ප දුන් ගුරුතුමන් කල හැගීම්බර කථාව පන්තියේ පරිසරයට එකතු කර ඇති ශෝකාකූල වටපිටාව නිසාම ඇතැම් සිසුවියක තැන තැන ඉකි බිදිති.  අනාගත කඩඉම් සාර්ථකව තරණය කරන්නට හැකියාව, ශක්තිය ප්‍රාර්ථනා කරමින් සියල්ලෝ වෙන් වෙන නිමේෂය කිසිදිනෙක අමතක නොවේ. මෙතැනදී වෙන්වෙන මේ මිත්‍රත්වය නැවත කිසි දිනෙක හමුනොවන්නටද ඉඩ තිබේ. ඒ අවස්ථාවේදී තම මිතුරන් පිරිවරා සතුටු සාමීචියේ යෙදී සිටි කසුන් ඉදිරිපිටට ඇය පැමිණ සිටියාය.

කසුන්.... ඔයාට විභාගය හොදින් කරන්න ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරන්නම්. 

අමන්දි ආයාසයෙන් වචන ගලපා බිම බලා ගත්තාය. එහෙත් කසුන්ගෙන් ඊට ප්‍රතිචාරයක් ලැබුනේ නැත.

මා එක්ක තරහද ? අනේ කියන්නකො.....

කසුන් තවමත් මුනිවත රකියි.

ඒ ඇසිල්ලේ ඇය තම දකුණත ඉදිරියට කර ඇක්සයිස් පොතකින් ඉරා හතරට නවන ලද කඩදාසියක ලියූ පුංචි ලියුමක් කසුන් අත තැබුවාය.

මම යන්නම්....

මෙතෙක් දිනයක් සිත් අහසේ සිත්තම් ඇදි ඒ තාරකාවිය එදා මෙන්ම උරහිසේ දවටාගත් බෑගයත් සමග දර්ශන පථයෙන් ඈතට යන දසුන දෙස කසුන් බලා උන්නේය. කෙමෙන් කෙමෙන් දැඩි වන මද අදුර තුල ඇගේ රුව නොපෙනී යද්දී  කසුන් හට දැනුනේ මහත් හිස් බවකි. පරාජිත හැගීමකි. තමා ගැනම උපන් අපුලකි.

තවමත් විවෘත නොකල ලියමන ඔහුගේ වමතේ එලෙසම තිබේ. ඔහු එය සැනකින් විවෘත කලේය.


කසුන්


එදා සිදුවීම අමතක කරලා දාන්න. ඔයා එක්ක මම තරහා නෑ. ඔයා මා ගැන නොදන්නා නිසා  එහෙම කිව්ව බව මම දන්නවා. ඒ ගැන ඔයාට වරදක් කියන්නෙ නෑ. මේ විකාර වැඩ ඔක්කොම අමතක කරලා හොදින් විභාගය සමත් වෙන්න උත්සාහ කරන්න. ඒක තමයි ඔයාගෙ දෙමව්පියන්ගෙ බලාපොරොත්තුව. ඒ අයගෙ බලාපොරොත්තු ඉටු කරන්න.

මම ඔයාට කැමති වුනේ නැත්තෙ ඔයාගෙ අඩුපාඩුවක් දැකලා නෙමෙයි. පේනවට වඩා ගොඩාක් අඩුපාඩු මගේ ලග තියෙන නිසයි. මම සුවකල නොහැකි පිළිකා රෝගියෙක් කියලා දන්නෙ මගේ හොදම යාලුවා විතරයි. වැඩි ආයුෂ නැති මම වගේ කෙනෙක් වෙනුවෙන් ඔයාගෙ ලස්සන අනාගතය නාස්ති කරන්න බැරි නිසයි මම කැමති උනේ නැත්තෙ.

ඔයාලට කලින් මැරෙන බව දැන දැනත් මගේ දෙමව්පියන්ට සතුටක් දෙන්න හැකිතරම් ඉගෙන ගන්නයි මම දැන් උත්සාහ කරන්නෙ. ඒක හිතන තරම් ලේසි නෑ. සැරෙන් සැරේට මාව අසනීප වෙනවා. ඔයා එදා මට බැන්න වෙලේ මම ගෙදර ගිහින් හොදටම ඇඩුවා. මා ගැන ඇත්ත කථාව ඔයාට කිව්වෙ නැතිනං ඔයාගෙ වැරදි වැටහීම නැති වෙන්නෙ නැති බව දන්න නිසයි ගොඩාක් හිතලා මේ කෙටි ලිපිය ලිව්වේ.

මගේ මේ ලිපිය කියවලා මනස අවුල් කරගන්න එපා. හැමදාම සතුටින් ඉන්න. පේනවට වඩා ගැඹුරක් හැම දේකම තියෙන බව වටහා ගන්න. එතකොට ඔයාට වරදින එකක් නෑ.

අනාගත පැතුම් සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා !


අමන්දි


කාමරේ අරින සිරා කොලුවා.

Tuesday, June 17, 2014

89 හිතුමතේ ජීවිතේ 4 (අවසාන කොටස)

කලින් කොටස් කියවා නැති අයට....  1 කොටස   2 කොටස   3 කොටස

සිරිපාල, සුමතිපාල, සීමන් සිල්වා සහ පියසේන එහි පසුපස අසුනට නංවා දොරවල් ලොක් කෙරිණි. රිපීටර් තුවක්කු දෙකක් රැගත් බන්ධනාගාර නිලධාරීන් දෙදෙනා ඉදිරිපසින් නැග්ගේය. නඩු විභාගය අවසන් විය. සිරකරුවන් පෙර පරිදිම නැවත ගෙනැවිත් ඔස්ටින් රථයේ පැටවිණි. අනුරාධපුරයේ හිරෙන් පැන යාමේ වරදට සිරාටත්, හිතුමතේටත්, ලයනල්ටත් වසරක සිර දඩුවමක් එකතුව තිබුණේය. මරුසිරාගේ නඩුවේ තීන්දුව පසු දිනට කල් ගියේය.

මේ අවස්ථාවේ අනපේක්ෂිත දෙයක් ද සිදුවිය. ජේලර්වරයකු අනෙකුත් සිරකරුවන් සමග වෑන් රථයේ ඒම පිණිස නතරවී රයිපලයක් අතින් ගත් පොලිස් නිලධාරියකු ඔස්ටින් රථයට නැගීම ඒ හදිසියේ ඇති වූ වෙනසයි.

සිරිපාල සිය මෙහෙයුම ආරම්භ කලේ උසාවියේ සිට කදිරේෂන් කෝවිල පසු කරන විටය. ප්‍රථමයෙන් කලයුතු  වන්නේ දඹර ඇගිල්ල සහ මහපට ඇගිල්ල අහිමි සීමන් තම අත උල්කර මාංචුව පන්නා ගැනීමය. සිරිපාල ඇසෙන් දුන් විධානය අනුව අත පන්නා ගැනීම මිතුරා ආරම්භ කළේය. එය හිතුවාටත් වඩා පහසුවෙන් කෙරුණේය. සීමන්ගේ දෙඅත් මුළුමනින්ම නිදහස්ය. එහෙත් හඩ නොනැගෙන සේ මාංචු එලෙසම තබා ගත්තේය.

ඉන්පසු දෙවැනි පියවර එළැඹියේය. එනම් ජේල්ර් මහතාගේ සාක්කුවේ ඇති මාංචු ගලවන යතුරු කැරැල්ල පික්පොකට් ගැසීමයි. දක්ෂ පික්පොකට් කරුවකු වූ පියසේන අවස්ථාවක් බලා එය හරියටම කළේය. ඉන්පසු මෙහෙයුමේ තුන් වැනි පියවර ඇරඹියේය. යතුරු කුට්ටම හඩ නොනැගෙන සේ හුවමාරු කරගනිමින් එකිනෙකාගේ අත් මාංචුවලින් නිදහස් කරගත යුතුය. මිනිත්තුවකටත් අඩු කාලයක් තුල මාංචු ගැලවීම අවසන් වූවේය. දැන් මාංචු කුට්ටම් තුනම තිබෙන්නේ රබර් සීට් උඩ තුන්පලකය.

මව්බිම පුවත්පතේ පළවූ හිතුමතේගේ කථාව වෙනුවෙන්
ප්‍රවීණ චිත්‍ර ශිල්පී ජනක රත්නායක මහතා විසින් අදින ලද සිතුවමක්

මල්වතු ඔය පාලම මතට රථය පිවිසෙනවාත් සමගම රියදුරු ෂෙල්ටන්ගේ ගෙල වටා අතදැමූ ලයනල් ඔහුගේ හිස උඩු අතට නවා ගත්තේය. කාරය පාලම් ඇන්දේ හැපී නතර විය. මරු සිරා දුන් පහරින් වම්පස දොර ඇරී සාජන් මහතා පාරට වැටුනේය. වහා නැගිට ගත් සාජන් මහතා රිපීටරය මරු සිරාට එල්ල කරනු දුටු හිතුමතේ වලහකු මෙන් ජේලර් වෙත කඩා පැන්න අතර දෙදෙනා පාලමේ ඇදි අතරින් මල්වතු ඔයට නොවැටී බේරුණේ අසීරුවෙනි. තුවක්කුව උදුරා ගැනීම සදහා ඔවුනොවුන් අතර බිහිසුණු සටනක් ඇරැඹුණේය.

සාජන් අතින් එක් වෙඩිල්ලක් පත්තු වූ අතර ඉලක්කය වැරදීම නිසා එය අසල වූ කොහොඹ ගසක වැදිණි. පසු නොබලා දුවමින් සිටි ෂෙල්ටන් වෙඩි හඩට හා වදුරන්ගේ හඩට ආපසු හැරී බැලූවිට දුටුවේ තුවක්කු සිරකරුවන් අතට පත්වීම නිසා තමා සිටින දෙසටම දිව එන සාජන් මහතා සහ ජේලර්ය.

ඊලග මොහොතේ පැයට සැතපුම් 60 ක පමණ වේගයකින් රතු පැහැති ඔස්ටින් ෂරීනා රථයක් අනුරාධපුර ඇළදපත්තුව දෙසට ගමන් කරනු පෙනුනේය. ලයනල් විසින් පදවනු ලැබූ කාරයේ ඉදිරි අසුනේ 303 වර්ගයේ රයිපලයක් අතින් ගත් මරුසිරා නොහොත් සිරිපාල වාඩි වී සිටියේය. පසුපස වම් පස අසුනේ සිටියේ රිපීටර් තුවක්කුවක් අතින් ගත් හිතුමතේ නොහොත් බී.ඩී. සුමතිපාලය.

මරු සිරා තවත් බිහිසුණු අපරාධරුවන් තිදෙනෙකු සමග හිරෙන් පැන යාම පසු දින පුවත්පත් මහා ඉහළින් වාර්තා කර තිබුණේය.මේ අසුභ ප්‍රවෘත්තියත් සමග රජරට ප්‍රදේශය හෙල්ලුම් කෑවේය. මරු සිරාගේ නඩුවේ තීන්දුව දුන්නේ විත්තිකරු නොමැතිවය. ඔහුට මරණ දඩුවම නියම විය. ඔස්ටින් රථය කැලෑ මණ්ඩියක අත්හළ සිරකරුවෝ ඇළදපත්තුව කැලයට වැදී සැහැල්ලුවෙන් ගමන් කළහ. එදින සන්ධ්‍යා භාගයේ ඔවුන් ප්‍රථමයෙන් කලේ වැවකට පැන සිත් සේ නා ගැනීමයි.

පසුදින මරු සිරාගේ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කරන මොහොතේ ඔවුන් සිටියේ දියකිත්ත වැව ප්‍රදේශයේ මිතුරකුගේ හේනක පිපිඤ්ඤා කමින් අල්ලාප සල්ලාපයේ යෙදෙමින්ය. මරු සිරාගේ පපුවේ මරුවා සමග වාසේ යනුවෙන් පච්ච කොටා තිබේ. එය දුටු සුමතිපාලට පච්චයක් අවශ්‍ය විය. එදා හැන්දෑවේ පච්ච කොටන අඩුවැඩිය රැගත් මිනිසකු හේන් යායට ගෙන්වාගත් මිතුරු පිරිස තම තමන් කැමති පච්චා කොටා ගත්තෝය.

සුමතිපාල කවුරු මොනවා කිව්වත් හිතුමතේ වැඩ කරන නිසා ඔහුගේ පපුවේ හිතුමතේ කියා කෙටීම වඩා සුදුසු බව කාගෙත් අදහස විය. දෙද්දුවගේ සිරිපාල නොහොත් මරු සිරා සිය අත් අකුරින් සුමතිපාලගේ පපුවේ හිතුමතේ යනුවෙන් සලකුණු කලේය. පච්චා කෙටූ ඇන්තනී එම අකුරු සුමතිපාල ජීවත්වන තුරු නොමැකෙන්නට තහවුරු කලේය. එය කොටා අවසන් වන විට සුමතිපාලගේ ඉල්ලීම වූයේ ඔහුගේ නැගණියගේ නමත් බාහුවේ කෙටිය යුතු බවය. එයද ඒ අයුරින්ම ඉටුවිය. සුමතිපාලගේ බාහුවේ කුසුමා ඔබ නිසා යනුවෙන් කුඩා අකුරින් සටහන් කළේය.

මව්බිම පුවත්පතේ පළවූ ඡායාරූපයක්

යුධ හමුදාවේ සහ පොලීසියේ උසස් නිලධාරීන් සාකච්ඡා කොට රජරට පුරා ආරක්ෂාව තරකර තිබුණි. දහසකට අධික භට පිරිසක් යොදවා පළමු කොටම ඇළදපත්තුවේ වනය කොටු කොට දැඩි පරීක්ෂාවට ලක් කලහ. එහෙත් පලාගිය සිරකරුවන් සම්බන්ධව කිසිදු තොරතුරක් ලැබුනේ නැත. අනුරාධපුර පොලිස් අධිකාරී මහතා විශේෂ වැඩ පිළිවෙලක් සකස් කල අතර එම මෙහෙයුමට අනුව සන්නද්ධ කුඩා භට කණ්ඩායම් දිස්ත්‍රික්කයේ කැලෑ මාර්ග වල රාත්‍රී කාලයේ තැන් තැන්හි යෙදවිණි. එම කණ්ඩායම්ද අනුරාධපුර අවට කැළෑ ප්‍රදේශ වල, හේන් යායවල සැරිසැරූහ. එහෙත් පලාගිය සිරකරුවන් පිළිබදව කිසිදු ආරංචියක් පොලිසියට ලැබුනේ නැත.

දින ගණනකින් පසුව පොලිස් ඔත්තුකරුවෙකු දැනුම් දුන්නේ කුඩා හෝටලයකින් අවේලාවේ කෑම පාර්සල් කිහිපයක් සකස් කරවාගෙන කැලයට ගමන් කල නොහදුනන පුද්ගලයෙකු ගේ අතේ ඇගිලි කීපයක් අඩු බවය. අනුරාධපුර මූලස්ථාන පොලිස් පරීක්ෂක නලින් දෙල්ගොඩ මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් පරීක්ෂක සිසිල් කාරියවසම් ඇතුළු කණ්ඩායමක් පිටත් වූ අතර ඔව්හු වනයට ඇතුල් වී ඉදිරියට ගමන් කළහ. තරුණ පොලිස් පරීක්ෂක සිසිල් කාරියවසම් මහතාට මරුසිරාගේ වැඩකිඩ ගැන එතරම් දැනීමක් නොතිබූ අතර ඔහු මෙය සාමාන්‍ය රාජාකාරී ගමනක් ලෙස සළකා තිබුනි.

මේ කණ්ඩායම බලාපොරොත්තු නොවූ ලෙස කැළය මැදදී අපරාධකරුවන් සිව් දෙනාගේ කල්ලිය මුහුණට මුහුණ හමු විය. මේ අවස්ථාවේ පලා යාම වෙනුවට පහරදීම තෝරාගත් මරුසිරා සාජන් කෙනෙකුට පොල්ලකින් පහර දුන් අතර ඔහුතේ අතේ තිබී විසිවූ ස්වයංක්‍රීය ගිණි අවිය අහුලා ගන්නට පැන්නේය. නමුත් වහා ක්‍රියාත්මක වූ සිසිල් කාරියවසම් මහතා මරුසිරා මතට පැන පොරබදා ඔහු මෙල්ල කළේය. පොලිස් නිළධාරීන් හතර අතේ වෙඩි තබන්නට ගත් නිසා මරුසිරා බේරාගැනීම පසෙකලා සෙස්සෝ පැන ගියහ. මරුසිරා ජීවග්‍රහණනයෙන් අල්ලා ගැනීමට හැකි වීම පොලිස් පිරිසේ විශාල ජයග්‍රහණයක් ලෙස ඔව්හු සැලකූහ.

පැය තුනක් පමණ කල්ගතවූ පසු ඉපැරණි වැව් බැම්මක් මතදී හිතුමතේ සහ ලයනල් නැවත හමුවූහ. දින කීපයකට කලින් දින දෙකක් නතර වී සිටි හේනක තවත් දින දෙකක් රැදෙන්නට ඔව්හු තීරණය කලහ. මිනීමැරුම් චෝදනා ගණනාවක් ඇති සුමතිපාල නොහොත් හිතුමතේ අල්ලා ගැනීම සදහා ඔත්තු සපයන්න යැයිද පොලිසිය මහජනයාගෙන් ඉල්ලා තිබුනේය. දින දෙකකට පසු ලයනල් සහ පියසේන අනුරාධපුරයට ආයුබෝවන් කියා පිටවී ගියේය. සුමතිපාල වැඩි අමුත්තක් නොපෙන්වා හේන් ගොවිතැන් කල මිතුරාට උදව් වෙමින් හේනටම වී සිටියේය.

එක් ඉරිදාවක වට්ටක්කා කොළඹ පටවන ලොරිය පැමිණියේය. හේන් කීපයක වට්ටක්කා පටවා ගත් ලොරිය කොළඹ යන්න පිටත් විය. හිසේ ජටාවක් බැදගත් හිතුමතේ වට්ටක්කා ගොඩේ වාඩිවී සිටියේය. ලොරිය උදෑසනම කොළඹ බලා ගමන් කළේය.

කුරුණෑගල නගරයේදී හිතුමතේ වට්ටක්කා ලොරියට සමු දී බැසගත්තේය. හෙතෙම සිරගෙදරදී හදුනාගත් යහළුවකු වූ රත්නේ සොයා පසුව කටුපොත ගියේය. රත්නේ සමග දින කීපයක් ගත කල ඔහු රත්නේගේ නිවෙසේ තිබූ මෝටර් සයිකලයෙන් රවුමක් දෙකක් ගසා පුහුණු විය.

දිනක් යහළුවාගේ මෝටර් සයිකලයේ නැගුනු හිතුමතේ අවසන් මෙහෙයුම ආරම්භ කිරීම සදහා බුද්ධි දත්ත රැස්කර ගැනීමට පල්ලම බංගදෙණිය හරහා ආරච්චිකට්ටුවට ගියේ එම නගරවල මස්කඩ කිහිපයක් පවත්වාගෙන ගිය මුදලාලි දැක ගන්නටය.

ආරච්චිකට්ටුව හන්දියට ඔබ්බෙන් හලාවත පැත්තට වෙන්නට ගැස්ටන් මුදලාලිගේ නිවෙස තිබුනේය. ඔහුගේ දින චර්යාව නිසැකව තේරුම් ගන්නට සුමතිපාල දින තුනක් කුරුමානම් ඇල්ලුවේය. දින තුනේම සවස 4.30 ත් 5.00 ත් අතර නිවෙස ඉදිරිපිට මෝටර් රථය නැවැත්වූ පසු මුදල් පාර්සලයත් රැගෙන මුදලාලි නිවෙස තුලට යන බව නිරීක්ෂණය විය. සිය දඩයම මස් කඩ අසල කරන්නට යෑම එතරම් නුවනට හුරු නැතැයි හිතුමතේ කල්පනා කළේය. එහිදී ශිල්ප දක්වන්නට ගියොත් තමාගේ මරණ දඩුවමද ඒ ස්ථානයේදීම ක්‍රියාත්මක වන්නට ඉඩ තිබේ. එසේ නම් තම වැඩේට අත ගැසිය යුත්තේ මුදලාලිගේ නිවසේදීය.

දින කීපයක් මිතුරාගේ නිවසේ සිටි සුමතිපාල මල්වත්තේ ඉලිප්පදෙණිය හන්දියේ තරමක් සරුවට පවත්වාගෙන යන කම්හලකට ගොස් පොල් කෙක්කට දමන පිහියක් සාදවා ගත්තේය. පිහියේ වැඩ අවසන් වූ දින ඔහු මෝටර් සයිකලයේ ගොස් පිහිය ගෝනියක ඔතාගෙන මස් කඩ මුදලාලියා හමුවන්නට ගියේය. හෙතෙම මුදලාලිගේ නිවෙසට නුදුරින් වූ මල්මාර ගස යට බයිසිකලය නතර කළේය. නියමිත වෙලාවට මුදලාලිගේ රිය ගේට්ටුව පසුකර නැවැත්වීය.

හිතුමතේ ගෝනියෙන් එළියට ගත් පිහිය පිටුපසට කර අල්ලාගෙන සිටියදී මුදල් පාර්සලයත් බ්‍රැන්ඩි බෝතලයකුත් අතින් ගත් මුදලාලි කාරයේ දොර ඇර එළියට පා තැබුවේය. හිතුමතේ වේගයෙන් මුදලාලි කරා පැමිණෙමින් සිටියේය. මුදලාලි ඔහු දුටුවේ ඉතා සමීපව එමින් සිටියදීය. හිතුමතේගේ මුහුණේ වූ වියරු සිනහව දුටු ගැස්ටන් මුදලාලි තැති ගත්තේය.

ඒයි කවුද මනිහෝ උඹ ? ඔහු කෑ ගසමින් මුදල් පාර්සලය කිහිල්ලට සිරකර ගත්තේය.

මුදලාලි මහත්තයෝ මම සුමතිපාල කුසුමාවතීගේ අයියා හිතුමතේ කෑ ගැසුවේය.

මුදලාලි භීතියෙන් මුසපත්ව කාරය දෙසට ආපසු හැරුණේය.

ඉදිරියට පැන්න හිතුමතේ කෙක්ක පොල්වල්ලට දමන්නාක් මෙන් ගැස්ටන් මුදලාලිගේ බෙල්ලට දමා ඇද්දේය. කදින් වෙන්වූ බෙල්ල පළමුවත් මුදලාලි දෙවනුවත් ගෙය ඉදිරිපිට කාණුවට වැටුණේය.

මේ සිදුවීම කිසිවෙකු දැක්කේ නැත. පොල් කඩන වක් පිහිය කාණුවට විසිකල හිතුමතේ ආපසු හැරී මල් මාර ගස යට නතර කර තිබූ මෝටර් සයිකලය වෙත යන්නට පිටත් විය. මේ අවස්ථාවේදී පමණක් ඔහු කැපූ හිස රැගෙන ගියේ නැත.

පසුව මුදලාලිගේ බිරිදට මළසිරුර හමුවිය. හිතුමතේ කටුපොත රත්නපාලගේ නිවෙසට ගියේය. මොටර් සයිකලය වෙනදා නවතා තබන ස්ථානයේම තැබූ ඔහු බාල්දිය රැගෙන ලිද කරා ගොස් මුහුණ දොවා ගත්තේය. එදින රාත්‍රියේ බොහෝ වේලා කල්පනා කළේය. පළිගැනීම දැන් අවසන් වී ඇත. අනුලෝම ප්‍රතිලෝම වශයෙන් සිදුවූ හැම සිදුවීමක්ම ඔහුට මෙනෙහි වූවේය.

නින්දට ගිය ඔහු නින්දෙන්ම බොහෝ දුරක් පයින් ගමන් කර පසුදින උදයේ වැවක් අයිනේ  වැටී සිටියේය. එතැනට ආවේ කෙසේ දැයි ඔහුට මතකයක් නොවීය. පළිගැනීමේ සිතිවිල්ල හිතුමතේ තුල ගොඩනගා තිබූ ජවය හා උත්තේජනය ඒ වන විට සිදී තිබුනේය. දැන් සියල්ල අවසානය. තවදුරටත් තමා ජීවත්වීම අවශ්‍ය නොවේ. නමුත් බියගුල්ලෙකු සේ නොමැරෙන්නට ඉටා ගත් ඔහු මාර්ගයක් සොයා ගමන් කළේය. එහි ගිය ලෑන්ඩ්මාස්ටර් රථයක තරුණයෙක් ඔහුවද නංවා ගත්තේය. එය හලාවත නගරයට ඇතුළු වූ විට හිතුමතේ එයින් බැස කෘතවේදී සිනාවකින් එය පැදවූ තරුණයාට ආචාර කළේය. හිතුමතේ ඉන්පසු පොලිස් ස්ථානය සොයා ගියේය. පැමිණිළි ලියන පොලිස් නිලධාරියාට තමා කවුදැයි හදුන්වා දුන්නේය.

නැවතත් පුරුදු සිරගෙදරට ආ සුමතිපාල සුළු කලකට පසු සිය නිවෙස සහ ඉඩම යාබද පන්සලට පවරා දී පියාටත්, මවටත්, නැගණියටත් පින් අනුමෝදන් කළේය. සති දෙකකට පසු සුමතිපාල බෝගම්බරට මාරු කළේය. එහිදී නැවතත් මරු සිරා හමු වූ අතර පසුව මරුසිරා එල්ලා මරන ලදී. මෙය සුමතිපාලට කණගාටුදායක දෙයක් විය. (මරුසිරා පෝරකයට යැවීමේ සිද්ධිය එකල මහත් ආන්දෝලනයක් ඇති කල අතර ලංකාවේ මරණ දඩුවම අහෝසි වී යාමටද එය බලපෑ බව කියවේ.)

මිනීමැරීමේ චෝදනා 4 ක් සම්බන්ධයෙන් එල්ලා මරා දැමීමට නියමිතව සිටි හිතුමතේ නැමති සිරකරුට එවකට හිටපු ජනාධිපති විලියම් ගොපල්ලව මහතා විසින් මරණ දඩුවම අත්හිටුවා වසර 90 ක සිර දඩුවමකට යටත් කෙරුනි.

සිරගත ජීවිතයේදී ඔහුට විශාල මිතුරු පිරිසක් ඇසුරු කිරීමට අවස්ථාව ලැබුනේය. වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ, රෝහණ විජේවීර, විජය කුමාරණතුංග, නන්දන මාරසිංහ වැනි කීර්තිමත් මිනිසුන් ඔහු සමග එකම සිර කුටියේ සිටියේය.

පසුකලෙක  (තමා සමග එකට සිරබත් කෑ) වර්තමාන ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ඔහුට ජනාධිපතිවරයාගේ උපන් දිනය දා සමාව ලබා දුන්නේය.

වසර 41 ක සිරගත ජීවිතයෙන් නිදහස ලබා සාමාන්‍ය ජන ජීවිතයට ඇතුලු වෙන හිතුමතේ ජීවිතේ
ඒ අනුව සුමතිපාල නොහොත් හිතුමතේ ජීවිතේ සිරකරු 2013 නොවැම්බර් මස 24 වන දා සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කල අතර ඔහුට 2014 පෙබරවාරි මස 4 වන දා ජනාධිපතිතුමා විසින් තුන්රෝද රථයක්ද ප්‍රදානය කරනු ලැබීය. ඒ සදහා අරලියගහ මන්දිරයට ගොස් ජනාධිපතිතුමා හමුවීමටද අවස්ථාව ලබා දී තිබුනි. 17 වෙනි වියේදී සිර ගෙදරට පැමිණි ඔහු වසර 41 ක සිරගෙයි ජීවිතයෙන් ජනාධිපති සමාව ලබා නිදහස් වන විට වසර 58 ක වියපත් මිනිසකුව සිටියේය.


ඔහුගේ කථාව ඔහුගේ හඩින්ම අසා බලන්න.




සමාප්තයි.


මම කාමරේ අරින සිරා කොලුවා.


ප.ලි

සුමතිපාල අපරාධකරුවෙකු වූවේ සමාජයේ වරදිනි. එදා නීතිය හරි හැටි ක්‍රියාත්මක වූවා නම් මේ ජීවිතය නිකරුණේ නාස්ති වෙන්නේ නැත. එයින් පසු දශක ගණනාවක් ගත වුවද තවමත් අපේ රටේ නීතිය ක්‍රියාත්මක වන්නේ එදා ලෙසමය. විත්තිකරුවාට ධනය සහ බලය ඇති නම් නීතිය අවසැගව යයි.

තම නැගණිය වෙනුවෙන් තම ජීවිතයම කැප කල මෙවන් සොයුරෙක් පිළිබද මට නම් සිතාගැනීමටත් අපහසුය. මේ භවයේදී මේ සෙනෙහස කෙටි කලකින් නිම වුවත් මතු භවයක ඔවුන් නැවතත් සහෝදර ප්‍රේමයෙන් වෙලෙනු ඇත. 

මව්බිම පුවත් පත වෙනුවෙන් මේ අගනා ලිපි මාලාව සම්පාදනය කල උදේනි සමන් කුමාර මහතාට  නොවක් ස්තූතිය පිරිනමමි. ඔහු නොවන්නට හිතුමතේ ජීවිතය පිළිබද අප තවමත් කිසිවක් නොදැන ඉන්නට ඉඩ තිබුනි. සිපිරි ගෙය තුලදී හිතුමතේ ජීවිතය විසින් කොපි පොතක ලියන ලදැයි කියන කවි දෙකකින් මේ සටහන නිමාවට පත්කරන්නට මම රිසි වෙමි. උපුටා ගත්තේ අන්තර්ඡාලයෙනි.

අදහස් කුහක මිතුරන්ගෙන් දුරු වේවා
නිදහස් බිමක මගෙ මරණය සිදු වේවා
උදහස් නොවෙමි සැමදෙන මට පිටු පෑවා
අනුහස් එපා පෝරකයට ගොඩ වෙනවා

බැහැ ඉවසන්න මරුවා මට වද දෙනවා
ඇහැ මගෙ නංගි නිතරම මට සිහි වෙනවා
නැහැ කිසි දුකක් යුතුකම මගෙ ඉටුවෙනවා
බැහැ තව ඉන්න නංගී වෙත මම යනවා

Friday, June 13, 2014

80 හිතුමතේ ජීවිතේ 3

මෙයට පෙර කොටස් කියවන්න අතපසු වූයේ නම්..

1 කොටස
2 කොටස

අනුරාධපුර සිරගෙදරින් එළියට පැමිණි වෑන් රථය විලච්චිය පාරට වැද වේගයෙන් ධාවනය වූයේය. වෑන් රථය වංගුවක් ගනිද්දී එහි පසුපස දොර ගැලවී විසිවී ගියේය. පසුව සැතපුම් 8 පමණ ඉදිරියට ගිය වාහනය පාර අයිනේ වූ තරමක් විශාල වීර ගසක හැපී නතර විය. සිරකරුවෝ මල්වතු ඔයට උතුරින් වූ වනාන්තරයට රිංගා ගත්හ. මරු සිරා, ලයනල් සහ සුමතිපාල එදිනම සෙසු පිරිසගෙන් සමුගෙන පුලියන්කුලම කැලයට මාරු වූහ. ජ.වි.පෙ සාමාජිකයෝ ඉදිරියට ගොස් ඒ වන විටත් වනගතව සිටි ජනතා විමුක්ති පෙරමුණේ කණ්ඩායම් සමග එකතු වූහ. (සෝමපාල,ගුරුසිංහ සහ ලොකු බණ්ඩාර ඒකනායක යන ජ.වි.පෙ නායකයෝ එකල තන්තිරිමලය අවට කැලයේ කදවුරුබැද සිටියහ. පසුව ජ.වි.පෙ පිරිස් වඩා සංවිධානාත්මක ලෙස දෙවන Prison break එකක් සැලසුම් කල අතර අනුරාධපුර සිරගෙයි උන් විශාල පිරිසක් බේරා ගනු ලැබිණි)

සුමතිපාල මරු සිරාගෙන් සමු ගෙන හේන් ගොවියෙකු සේ වෙස් වළාගෙන පැමිණ ගල්ගමුවේ මිතුරකුගේ නිවසේ දින දෙකක් නතරව සිටියේ සිරගෙය කඩා පලායෑමේ කථාව යටපත් වනතුරුය.

දෙවැනි පලායෑමේ මෙහෙයුම ආරංචි වන විට සුමතිපාල කළුතර වස්කඩුවේ මිතුරකුගේ නිවෙසට පැමිණ සිටියේය. සිය පියාද මිය ගිය බව ඔහුට අසන්නට ලැබුනි. නංගීත්, අම්මාත්, තාත්තාත් ඇතුළු ඔහුගේ පවුල නැවත හමුවිය යුත්තේ මෙලොව නොව එලොවදීය. ඊට පෙර නංගිව දූෂණය කල කළුතර විදුහල්පතිවරයාත්, හලාවත ආරච්චිකට්ටුවේ මස් කඩ මුදලාලිත් සමග ගණුදෙනු බේරා ගන්නට තිබේ.

සුමතිපාලගේ මිතුරා ඔහුගේ බිරියට සුමතිපාලව හදුන්වා දුන්නේ අනුරාධපුර පළාතේ සිට පැමිණි දුර බැහැර ඤාතියෙකු හැටියටය. එබැවින් දින කීපයක් එම නිවෙසේ ගතකිරීමට අපහසුවක් නොවීය. මිතුරාගේ බයිසිකලය ඉල්ලාගත් සුමතිපාල පරගස්තොට පැත්තට බයිසිකලය පැදගෙන ගොස් කලින් දැන සිටි මංසලකුණු ඔසසේ ගොස් නංගි දූෂනය කර මරාදැමීමට සහාය වූ විදුහල්පතිවරයාගේ නිවෙස සොයා ගත්තේය. එම නිවෙස පැරැණි පන්නයේ එකකි. වත්ත තරමක් විශාලය. කෙසෙල් වගා කර තිබේ. සුමතිපාල නිවෙසට වැටුණු සුදු වැලි පාර ඔස්සේ මිදුලටම බයිසිකලය පැදගෙන ගියේය. ගුරුවරයාගේ බිරිය යැයි සිතිය හැකි කාන්තාවක් ආලින්දයට පැමිණියාය.

නෝනා කෙසෙල් කැනක් දෙකක් කපාගන්න පුලුවන්ද කියලයි බැලුවේ.

සුමතිපාල අහිංසක ලීලාවෙන් ඇසුවේය. මෙහේ කෙසෙල් කැන් නැතැයි ඇය පිළිතුරු දුන්නාය. මේ අවස්ථාවේ මෝටර් සයිකලයකින් විදුහල්පති ගුරුවරයාද එහි ආවේය. ඔහුගේ පෙනුම මනාව හිතට ගත් සුමතිපාල පිටත් විය.

පසුදින සුමතිපාල නැවත සයිකලයට නැගී පයාගල රේන්ද වාඩියකට ගියේය. එහි අයිතිකරු හිතුමතේගේ පියා හදුනන නමුත් සුමතිපාල මතක නැත. වාඩියෙන් මල් කපන පිහියක් ඉල්ලාගත් ඔහු එදින දවස ගෙවෙනතුරු එහෙ මෙහෙ රස්තියාදු වී රාත්‍රී 10 ට පමණ ගුරුවරයාගේ නිවසට ගියේය. වත්තේ කොනක සැගවී සිටි ඔහුට නින්ද ගියේය. පනිට්ටුවක් සෙලවෙන ශබ්දයෙන් ඇහැරුණු ඔහු විදුහල්පතිවරයා බාල්දියක්ද රැගෙන වැසිකිළිය දෙසට යමින් සිටිනු දුටුවේය. වැසිකිළි දොර වසාගත් පසු සුමතිපාල එක් අතකින් පිහියද ගෙන පොල් පිත්තක් බිත්තියට තබා ඒ මත නැගී කවුළුවෙන් වැසිකිළිය තුළට එබී බැලුවේය. පිහිය සහිත අතද ඇතුළට ගත්තේය.

වැසිකිළිය තුල සිටි මිනිසා ඔහුගේ හිසට වැලි සහ බදාම කැට වැටීම නිසා උඩ බැලුවේය. කුප්පි ලාම්පුවේ එළයෙන් සිහින් උඩු රැවුලක් සහිත මනමාල මුහුණ සුමතිපාල හැදිනගත්තේය.

කවුද යකෝ මේ ? විදුහල්පති කෑ ගැසුවේය.

මම තොපි මරාදාපු කුසුමාවතීගේ අයියා.... සුමතිපාල මොර දුන්නේය.

ඊළග මෙහොතේ ඇසිල්ලකින් වැසිකිළියේ දොර අරින්නට නැගී සිටි මිනිසාගේ ගෙල හරහා මල් කපන පිහිය ඇදී ගියේය. කවන්ධය වැසිකිළිය තුලම වැටුන අතර හිස වැසිකිළියෙන් පිටතට විසිවී ගියේය. සුමතිපාල එක් අතකින් කෙස්වැටියෙන් අල්ලාගත් හිසත් අනෙක් අතින් ගත් ලේ තැවරුනු පිහියත් රැගෙන දර මඩුව අසලට ගොස් සයිකලයද ගෙන එහි දමාගෙන ආ ගෝනියක් ලෙහා හිසත් පිහියත් ඒ තුලට දමා බැද ගත්තේය.

බණ්ඩාරගම ප්‍රධාන පාරට පැමිණි ඔහු කළුතර දෙසට වේගයෙන් සයිකලය පැද ගියේය. පොලිස් අධිරීවරයාගේ නිල නිවාසය අසලට එන විට වෙලාව උදෑසන 6.00 පසු වී තිබුනේය. හිතුමතේ ඒ වන විට දහදිය දමා දියබත්ව උන්නේය. අලුයම ව්‍යායාම සදහා බැහැර සක්මනෙහි යෙදුනු සහකාර පොලිස් අධිකාරී තැන අරින ලද ගේට්ටුව අතරින් නිල නිවෙසට ඇතුලු වෙමින් සිටියේය.

ඔහු පසුපසම ගේට්ටුවෙන් ඇතුළු වූ සුමතිපාල සයිකලය නවත්වා ඔන්න මහත්තයෝ මම අනිත් එකාවත් ඉවර කෙරුවා යැයි ගෝනිය ලෙහා හිස එළියට ගත්තේය.

කළුතර මිනී මැරුමේ මූලික විමර්ශන අවසන් වන තුරු කෙටි කාලයක් කළුතර බන්ධනාගාරයේ සිටි සුමතිපාල නැවත වැලිකඩ බන්ධනාගාරයට මාරු කෙරිණි. වැලිකඩදී ඔහුට සිරිපාල එනම් මරු සිරා අනුරාධපුර විජයපුර වතුර ටැංකිය අසල වෙඩි වැදී වැටී සිටියදී අල්ලාගනු ලැබූ බව අසන්නට ලැබිණි. මරු සිරා සියදිවි නසා ගැනීමට වෙඩි තබාගෙන සිටියත් ඔහු මියගියේ නැත.

සුමතිපාලගේ කැරැට්ටුව දන්නා පැරණි සිරකරුවන් අතර ඔහුට කිසියම් ගෞරවයක් හා සැලකිල්ලක් තිබුනේය.

සුමතිපාලට මෙන්ම සුපිරි වැඩකාරයන් සේ සැලකූ ඇතැම් වැඩකාරයන්ට කෑම පෝලිමේදී මස් කෑල්ලක් වැඩිපුර ලැබුනේය. එවැන්නෝ සමහර විට විවිධ හේතු දක්වමින් බන්ධනාගාර රෝහලේම සිටියහ. නමුත් සුමතිපාල සාමාන්‍ය සිරකරුවන් අතරම සිටියේය. සුමතිපාලට හිතවත්කම් දක්වන සිරුකරුවෙක් දිනක් සවස් භාගයේ ඔහු වෙත පැමිණ රහසක් කනේ තැබුවේය. ඉන් කියැවුනේ ලගදි ඇතුළට පැමිණි සිරකරුවකු සුමතිපාල ගැන විස්තරයක් තමාගෙන් ඇසූ බවත් මාසයක් පමණ කෙටි අච්චුවකට ඔහු සිරගෙට පැමිණ ඇති බැවින් ටිකක් සැලකිල්ලෙන් පසුවීම නුවණට හුරු බවත්ය.

පසුදින යහළුවා සුමතිපාලට සැක සහිත සිරකරුවා පෙන්වා දුන්නේය. ඔහු වෙනත් කිසිවකු හා කතාකරමින් සිටයදී සුමතිපාල ඔහු හොදින් නිරීක්ෂණය කර ගත්තේය. හෙතෙම ආගන්තුක තැනැත්තා පිළිබද විස්තර සොයා බැලුවේය. හෙතෙම ජා-ඇල ප්‍රදේශයේ අයෙකි. නම ලක්ෂ්මන්ය. කොන්ත්‍රාත්තුවට මිනී මරන පාතාලකාරයෙකි. නමුත් මෙවර සිරගෙයි සිටින්නේ ගංජා සමග පොලීසියට හසුවී වරද පිළිගෙන උසාවියෙන් නියම කල දඩය නොගෙවා සිරගත වීමෙනි.

එම තොරතුරු එතරම් යහපත් නැත. සමහර විට කොච්චිකඩේ ගෙස්ට් හවුස්කාරයාගේ ඥාතීන් හෝ තවමත් තමා සොයමින් සිටින ආරච්චිකට්ටුවේ ජස්ටින් මස්කඩ මුදලාලි හෝ තමා මරා දැමීම සදහා මේ පුද්ගලයා බන්ධනාගාරයට දැම්මා වෙන්නට පුළුවන. ලක්ෂ්මන් කිසිවිටෙක සුමතිපාල හා කථාබහ නොකළේය. එහෙත් නිතරම තමා පෙනෙන තෙක් මානයේ සිටීමට ඔහු වෑයම් කරන බව සුමතිපාලට ඒත්තු ගියේය. ගංජාකාරයාගේ අච්චුව අවසන් වීමට තිබුනේ තවත් දින 14 කි. ඔහු තුල නොඉවසිල්ලක් වැඩෙන බව සුමතිපාලට වැටහුණේය.
හිතුමතේ ජීවිතය පිළිබද මව්බිම පුවත්පතේ පළවූ ලිපි මාලාව වෙනුවෙන්
ප්‍රවීණ චිත්‍ර ශිල්පී ජනක රත්නායක මහතා විසින් අදින ලද සිතුවමක්


බොහෝවිට සුමතිපාලගේත් ගංජා ලක්ෂ්මන්ගේත් ඇස් එකිනෙක හමුවූ අතර දෙදෙනාම වහා ඉවත බලාගත්හ. ඔහු ඉව අල්ලමින් සිටින්නේ නිසැක ලෙසම තමා නින්දට පත්වන මොහොතක් අල්ලා ගන්නට බව සුමතිපාල දැන සිටියේය. රාත්‍රී කාලයේ සුමතිපාලත් ලක්ෂ්මනුත් වැසුනේ තවත් සිරකරුවන් 40 ක් සමග විශාල ෂෙල් එකකය. බොහෝ විට සුමතිපාල නිදාගත්තේ නැත. අඩ නින්දේ නමුත් සෑම මෙහොතක්ම සෝදියෙන් පසු වූවේය. මේ පුද්ගලයාට අහේතුකව ප්‍රහාරයක් එල්ල කරන්නටත් බැරිය. පැමිණිලි කිරීම එක අතකට මදිපුංචි කමකි. අනෙක් අතට ඒ සදහා ඔප්පු කල හැකි කිසිදු සාක්ෂියක්ද නැතිය.

සුමතිපාල එන ඕනෑම තත්වයකට තමාම මුහුණ දෙන්නට තීරණය කළේය. ගංජා ලක්ෂ්මන් අත කිසිදු අවියක් හෝ පහරදිය හැකි උපකරණයක් පෙනෙන්නට නැති බවත් හිතුමතේ නිරීක්ෂනය කළේය. ලක්ෂ්මන් නිදහස් වී යන්නට තවත් තිබුනේ දින 4කි. දින තුනක්ම සුමතිපාල ඇහැක් පියෙව්වේ නැත. තමාට අතක් තිබ්බොත් අපායට යතත් ඒකාවත් අරගෙන යනවා යැයි සුමතිපාල සිතා ගත්තේය. අවසන් දින අවසන් රාත්‍රිය උදා විය.

සුමතිපාල අළුයම් යාමය පැමිණෙනතුරු අසීරු රාත්‍රිය නොනිදා පහන් කළේය. ඒ වන විටත් ඔහු දින තුනක් නිදි වරා සිටියේය. අලුයම 4 පසුවූ පසු ඔහු නින්දට පරාජය වූවේය.

සුමතිපාලගේ පියවුණු දෙනෙතට තමා වෙත වේගයෙන් පතිත වන කිසියම් ඡායාවක් දැනුනේය. විදුලි වේගයෙන් කිසිවක තියුණු තුඩක් සුමතිපාලගේ වම් ඇස අසළින් කිදා බැස්සේය. ඇසෙන් එළියට පැන්න උණුසුම් ලේ දහරාවක් මුහුණ පුරා පතිත වූවේය. දෑස් අන්ධකාරයේ ගිලී තිබියදී විදුලි වේගයෙන් නැගී සිටි සුමතිපාල එසේ නැගිටිමින්ම ඇසට කිදා බැස තිබූ යකඩ කූර තම අතින් ඉවතට ඇද තමා වෙත නැඹුරු වී සිටි මිනිසා පෙරළාගෙන ඇනගෙන ඇනගෙන ගියේය. ඔහුගේ මුහුණ ලෙයින් පෙගී තිබුණේය. ඔහු උල් පහර එල්ල කලේ කිසිවක් නොපෙනී අදුරේය. මහා ගාලගෝට්ටියකින් සෙසු සිරකරුවන් සුමතිපාල අල්ලා මේච්චල් කරන විට සුමතිපාලගෙන් පහර කෑ මිනිසා ලේ විලක මැරී සිටියේය. ඒ අන් කිසිවකු නොව ජා-ඇල ගංජා ලක්ෂ්මන්ය.

හදිසි මරණ පරීක්ෂණයේදී හෙළි වූයේ සුමතිපාල ලක්ෂ්මන්ට තියුණු යකඩ උලකින් 46 වාරයක් ඇන ඇති බවය. සුමතිපාලගේ ඇස කෙළවරට එල්ල වූ පහර උඩුතල්ල දක්වා අගල් දෙකක් පමණ ඇතුලට බැස තිබුනේය. සිරගෙට පැමිණි මාරයා සුමතිපාලට කොකා පෙන්වා ලක්ෂ්මන්ව කැදවාගෙන ගොස් තිබුනේය.

කොළඹ නයනාරෝග්‍ය ශාලාවේත් ජාතික රෝහලේත් මාසයකට ආසන්න කාලයක් සුමතිපාල ප්‍රතිකාර ලැබුවේය. යකඩ කූර වම් අැසට දශම කීපයක් ඔබ්බෙන් කිදා බැස තිබූ හෙයින් ඔහුට පෙනීම සම්බන්ධ ගැටලුවකට මුහුණපාන්නට සිදු වූයේ නැත. උඩුතල්ල සිදුරු කරමින් ඇති වූ තුවාලයද ක්‍රමයෙන් සුවපත් විය. ඔහු යළිත් වැලිකඩ සිරගෙදරටම එවනු ලැබිණි.

තමා මරා දැමීම සදහා ලක්ෂ්මන් බන්ධනාගාරයට එවූයේ කවුදැයි යන ප්‍රශ්නය නිරාකරණය කර ගැනීමට සුමතිපාලට හැකි විය. පුත්තලම් පාරේ මස්කඩ කීපයකම හිමිකරුවකු වූ ආරච්චිකට්ටුවේ ගැස්ටන් මුදලාලි මේ සිදුවීම පසුපස සිටියේය. ගැස්ටන් කොච්චිකඩේ ගෙස්ට් හවුස් අයිතිකාරයකු වූ කළුතර පොලිස් පරීක්ෂකගේ මස්සිනාගේ මිතුරෙකි.

කුසුමාවතී වනාතවිල්ලුවට රැගෙන ගොස් ඝාතනය කරන්නට මග පෙන්වා ඇත්තේ ඔහුය. දැන් සුමතිපාල මරා දමන්නට ගොස් පොල්ල වරද්දා ගැනීම නිසා ගැස්ටන් මුදලාලිගේ ඉරණම තව දුරටත් තීන්දු වී තිබේ.

ශල්‍යකර්ම කීපයකටම යොමු කිරීමෙන් පසු සුවය ලැබූ සිරා නොහොත් සිරිපාල සුවය ලබා නැවතත් අනුරාධපුර බන්ධනාගාරයටම මාරු කරනු ලැබුවේය. නැවතත් හිතුමතේ, මරු සිරා සහ ලයනල් අනුරාධපුර බන්ධනාගාරයේ විශේෂ ආරක්ෂිත සිරකරුවන් රදවන කොටසේ රදවනු ලැබ සිටියහ. එය සුමතිපාලට මහත් සතුටක් වූයේ මරු සිරාත් ඔහුත් දෙදෙනාම එලොව ගොස් මොලොවට පැමිණ සිටීම නිසාය.

නඩු විභාග වූ සෑම දිනකම සිරිපාල, සුමතිපාල හා ලයනල් ඇතුළු සිරකරුවෝ ආරක්ෂක මුරකාවල් ඇතිව බන්ධනාගාර රියකින් උසාවියට ගෙන යනු ලැබූහ. මරු සිරා ගැන ඒ වන විටත් ලැබී තිබූ ප්‍රසිද්ධිය නිසා උසාවි ගෙන එන සිරකරුවන් බැලීමට සමහරු මිරිසවැටියේ සිට උසාවිය දක්වා මග රැක සිටියහ.

පලා යෑමේ නඩුවට අච්චු නියම කරන දිනයද පැමිණියේය. එම දිනය පසුවූ විට සුමතිපාල නැවතත් වැලිකඩ යවනු ඇත. ඊට පෙර සිරගෙයින් පලායෑම ඥානාන්විත වේ යැයි සුමතිපාල කල්පනා කලේය. කොළඹ යැවුවහොත් සිරගෙයින් පලා යාම දුෂ්කර වනු ඇත. එබැවින් සිදුවන්නක් සිදුවිය යුත්තේ අනුරාධපුර බන්ධනාගාරයේදී විය යුතු යැයි සුමතිපාල විශ්වාස කළේය.

මේ අතර සිරිපාලගේ මිනිමැරුමේ නඩුවෙන් අනිවාර්යෙන්ම මරණ දඩුවම හිමිවනු ඇතැයි සිරිපාල කල්පනා කලේය. එබැවින් ඊට ප්‍රථම අවස්ථාව ලද සැනෙන් පලා යා යුතුය. නැතහොත් අනිවාර්යෙන්ම පසුතැවිල්ලට හේතුවනු ඇත. සිරිපාල පලා යා යුතු බවට වූ පණිඩුඩය සුමතිපාලගේ කණේ තැබුවේය. ඔහු එක හෙළා ඊට කැමැත්ත පල කළේය.

ඔවුන් සමග එකට උසාවි ගෙනයන සීමන් සිල්වා කලක් කොළඹ කොටහේනේ පදිංචිව සිටි බෝම්බ මාස්ටර් කෙනෙකි. බෝම්බ සෑදීම සහ දමා ගැසීම පිළිබද සීමන් සිල්වා ලද විශේෂඥ පුහුණුවේ ප්‍රතිඵල ලෙස ඔහුගේ එක් අතක මහපට ඇගිල්ල සහ දඹර ඇගිල්ල නැත. ඇගිලි අඩු සීමන්ට ඕනෑම අවස්ථාවක අත උල්කොට මාංචුව පන්නා ගත හැකිය. සදුදා උදෑසන නඩුව විභාගයට ගනී. සිරිපාල මහාධිකරණයටත් සුමතිපාල සීමන් සිල්වා සහ පියසේන මහේස්ත්‍රාත් උසාවියටත් ගෙන යා යුතුය.

එක සදුදාවක සාමාන්‍යයෙන් ඔවුන් ප්‍රවාහනය කරන රථය ආපදාවකට ලක් වී තිබිණි. බන්ධනාගාරයේ ඇති කුඩා වෑන් රථය ප්‍රමාණවත් වන්නේ පොල් පටවන්නාක් මෙන් රිමාන්ඩ් සිරකරුවන් පටවාගෙන යන්නටය. මරු සිරා ඇතුළු විශේෂ ඝනයේ සිරකරුවන් වඩා ආරක්ෂිතව රැගෙන යා යුතු බැවින් එවැනි අවස්ථාවකදී අනුරාධපුර බන්ධනාගාරයේ සාමාන්‍ය පිළිවෙත වූයේ අනුරාධපුර ටවුමෙන් පුද්ගලික කුලී මෝටර් රථයක් ගෙන්වා විශේෂ සිරකරුවන් උසාවි ගෙන යෑමය. නිතර බන්ධනාගාරයට කැදවන 4 ශ්‍රී ඔස්ටින් කාර් රථයක් හිරගෙදරට පැමිණියේය.

සිරිපාල, සුමතිපාල, සීමන් සිල්වා සහ පියසේන එහි පසුපස අසුනට නංවා දොරවල් ලොක් කෙරිණි. රිපීටර් තුවක්කු දෙකක් රැගත් බන්ධනාගාර නිලධාරීන් දෙදෙනා ඉදිරිපසින් නැග්ගේය. නඩු විභාගය අවසන් විය. සිරකරුවන් පෙර පරිදිම නැවත ගෙනැවිත් ඔස්ටින් රථයේ පැටවිණි. අනුරාධපුරයේ හිරෙන් පැන යාමේ වරදට සිරාටත්, හිතුමතේටත්, ලයනල්ටත් වසරක සිර දඩුවමක් එකතුව තිබුණේය. මරුසිරාගේ නඩුවේ තීන්දුව පසු දිනට කල් ගියේය.


අවසාන කොටස මීළගට...


මම කාමරේ අරින සිරා කොලුවා.


ප.ලි

සිරා කොලුවා විසින් පසුව කරන ලද සොයාබැලීම් අනුව සුමතිපාල හෙවත් හිතුමතේ ජීවිතේ නිදහස ලැබූ පසු සිදු කරන ලද හෙළිකිරීම් ආශ්‍රයෙන් උදේනි සමන් කුමාර මහතා විසින් මව්බිම පුවත් පත වෙනුවෙන් ලියූ ලිපි මාලාවක් සාරාංශ කොට සිරාගෙ  කාමරේ පලවන මේ කථාව ප්‍රතිසකසා ඇති බව සොයාගත හැකි විය. ඒ අනුව මේ ලියවිල්ලේ හිමිකරුවා වන උදේනි සමන් කුමාර මහතා වෙත මෙහි සියලුම ප්‍රශංසාවන් හිමිවිය යුතුය.

Monday, June 9, 2014

87 හිතුමතේ ජීවිතේ 2

පළමු කොටස මෙතැනින් කියවන්න.

බෝගම්බර බන්ධනාගාරයේ අලුගෝසුවා පෝරකය මත සිටවූ (බාගෙට සිහිසුන්) සුමතිපාලව ඔහුගේ සහායකයා වැටෙන්නට නොදී අල්ලා ගෙන සිටියේය. වෙලාව පෙ.ව 8.02 සටහන්ව තිබුනේය. සුමතිපාලගේ ගෙලට තොණ්ඩුව දමා මනාව සකස් කර ඇත. මුහුණ සුදු ලෝගුවෙන් වසා තිබේ. අලුගෝසුවා පෝරකය ගස්සන ලිවරය දකුණතින් තදින් අල්ලා ගත්තේය.

ඒ මොහොතේ කිසිවෙක් කොරිඩෝව දිගේ එහි පැමිණෙමින් සිටියේය. ඔහු අන් කිසිවකු නොව අග්‍ර ආණ්ඩුකාර විලියම් ගොපල්ලව මහතාගේ එවකට සිටි ලේකම්වරයාය. ඔහු කෙටි ලියවිල්ලක් බන්ධනාගාර අධිකාරීවරයා අත තැබුවේය. එය කියවමින්ම අධිකාරීවරයා අලුගෝසුවාට අතින් සංඥාවක් දුන්නේය. ලිවරය අත්හළ අලුගෝසුවා වහා සුමතිපාලගේ ගෙලින් තොණ්ඩුව ඉවත් කළේය. හිතුමතේ, පෝරකයට නංවා ගෙලට තොණ්ඩුව දැමීමෙන්ද පසුව ජීවත්වීමට වාසනාව ලද එකම ලාංකිකයා විය.

සුමතිපාල නැවතත් මහනුවර මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කරනු ලැබීය. දින 7 කින් සාමාන්‍ය වාට්ටුවට මාරු කෙරිණි. නැවත බන්ධනාගාරයට ගෙනයෑම සදහා වෛද්‍යවරුන් අනුමැතිය දුන්නේ තවත් මාස දෙකක් ගතවීමෙන් පසුවය. එල්ලා මැරීම සදහා වූ නඩු තීන්දුව අනුව නැවත දිනයක් නියම වනතුරු ඔහු මරණයට කැපවූ අනෙක් සිරකරුවන් මෙන් තනි සිරමැදිරියක සිටියේය. එහෙත් කවර හේතුවක් නිසා හෝ ඒ සදහා අධිකරණ අමාත්‍යංශයේ ලිපිය ලැබීම පමා වෙමින් තිබුනේය.

හතුරන් තිදෙනාගෙන් පළි නොගෙන පරලොව නොයා යුතු යයි සිතා ගත් හිතුමතේ සිර ගෙදරින පළා යාමට සැලසුම් කළේය. මරණ දණ්ඩනයට නියමු වූ සිරකරුගේ අඩි 6 x 4 කුඩා කාමරයේ තිබුනේ සීමිත ආම්පන්න. සංඛ්‍යාවකි. කෑම බෙදන තැටිය, කෝප්පය හා මල බදුන හෙවත් පිස් පෝච්චියක්, වතුර සලාකය ලබාදුන් කුඩා බාස්කට් එකක්ද ඒ අතර විය. එම වතුර භාජනය සිර ගෙදර භාෂාවෙන් හදුන්වන ලද්දේ කොට්ටුව යන නමිනි. එය කුඩා බාල්දියක් වැන්නකි. එයට අමතරව සිරකරුගේ පරිහරණය සදහා රෙට්ටුව නමින් හැදින්වූ ඝන රෙද්දක්ද විය. සිර මැදිරියේ බිත්ති නිමවා තිබුනේ විශාල ගල් වලිනි. යම් හෙයකින් බිත්තියේ ගලක් ඉවත්කරගතහොත් ඉන් මතුවන සිදුරෙන් රිංගා සිර මැදිරියෙන් පිටවීමේ හැකියාව තිබේ.

වතුර බාස්කට් එක දෙපසින් තදකර එහි පනිට්ටු කොක්ක ගලවා ගත් ඔහු එය උල් කූරක් සේ යොදා ගනිමින් ගලවටා වූ බදාමය සූරන්නට පටන් ගත්තේය. Condemned Shell ප්‍රදේශයට රාත්‍රී කාලයේ නිලධාරීන් එන්නේ නැත. ඔහු කම්බි කොක්කේ ආධාරයෙන් ගලවට වූ බදාමය සූරාදැමීම සිරගෙය නින්දට ගිය පසු ආරම්භ කළේය. එය ලෙහෙසි පහසු කටයුත්තක් නොවූයේ බදාමය සවිමත් බැවිනි. දිනකට කඩල ගොට්ටක් පිරෙන්නට තරම් වූ බදාම කුඩු ප්‍රමාණයක් එකතු වූ අතර ඒවා හිස් පෝච්චියකට දමා නියමිත වෙලාවට එළියට ගෙන ගියේය. බාල්දි කොක්ක යළි තිබූ පරිද්දෙන් සවි කෙරිණි. දිවා කල අනෙකුත් සියල්ල සාමාන්‍ය පරිදි සිදුවිය. ගල වටේ බදාමය සූරා දැමීමෙන් ඇති වූ කඩතොළු වැසීමට ආහාර සලාකයට ලැබුනු පාන් භාගයේ මැද කොටස හොදින් පදම් කොට පිටි ගුලියක් සේ අනා භාවිතා කෙරිණි. රාත්‍රී කාලයේ නොනවත්වාම ඔහු වැඩ කළේය. එම බරැති විශාල ගල මාස එකහමාරක් පමණ යද්දී බුරුල් විය.

පිටතට පැමිණියත් බෝගම්බර හිරගෙදර අඩි 18 ක් තරම් උස තාප්පය තරණය කිරීම ගැටළුවකි. සුමතිපාලට ලැබී තිබූ රෙට්ටුව කලක් පාවිච්චිය නිසා ඉරී තිබුනේය. ඔහු පළමු පියවර වශයෙන් නිලධාරී මහතකුට ඇවිටිලි කොට අලුත් රෙට්ටුවක් ඉල්ලා ගත්තේය. එය බෙහෙවින්ම ශක්තිමත්ය. රෙට්ටුව තීරුවලට ඉරා කඹයක් අඹරා ගත්තොත් එම කඹේ ආධාරයෙන් සිරගෙදර තාප්පය නැග පැන යා හැකිය. රෙට්ටුව තීරුවලට ඉරන්නට පහසු වන පරිදි ඇගිලි පුරුක්වලින් මැන කපන ස්ථාන ලකුණු කල සුමතිපාල කැපුම්වලට මුල පුරා රෙට්ටුව සාමාන්‍ය පරිදි බිම එළා නිදාගත්තේය.

සති තුනක් වැඩ කළ ඔහු ගල ගලවා ඇතුලට ගන්නට සමත් විය. අවට පිරිසිදු කොට නැවතත් ගල පෙර පරිද්දෙන්ම රදවා එදින වැඩ කටයුතු අවසන් කළේය. පසුදින තීරණාත්මක රාත්‍රිය එළැඹියේය. සුමතිපාල හොද ශක්තිමත් කොක්කක් තිබූ කොට්ටු බාල්දියට තමාගේ වතුර සලාකයද ගෙන හැන්දෑවේ ගනන් කිරීමෙන් පසු සිර මැදිරියට වැදුණේය. අවසන් ගනන් ගැනීම සිදු කරන නිලධාරියා මැදිරියට එබී බලන අවස්ථාවේ තද නින්දේ පසුවන ඉරියව්වක සිටි සුමතිපාල ඊළග නිමේෂයේ නැගිට වහ වහා ක්‍රියාත්මක වන්නට විය. රෙට්ටුවෙන් අඩක් තීරු තීරුවලට ඉරාගත් ඔහු ඒවා ශක්තිමත් කඹයක් ලෙස ගොතන්නට විය. විනාඩි 30 ක පමණ කාලයක් තුල අඩි 12 ක් පමණ ශක්තිමත් කඹයක් සාදා ගන්නට ඔහුට හැකි විය. බාල්දි කොක්ක පන්නා එය කඹය අගට ගැට ගැසූ ඔහු ගල ගලවා එළියට ගියේය.

නිසොල්මනේ තාප්පයට කිට්ටු කල සුමතිපාල බාල්දි කොක්ක තාප්පය මතට විසි කර සිර කරගත්තේය. අනතුරුව අඩියට දෙකට තාප්පය මුදුනට ලගා විය. බැම්මට නැග බාල්දි කොක්ක අනෙක් අතට සිරකොට කඹය පහළට දමා බිමට රූටා වැටුනේය. ඔහු සිටියේ බෝගම්බර පිටියට නුදුරින් වූ ලදු කැලෑවේය. (දැන් එය නැත) එතනින් අතුරු පාරක් සොයාගත් ඔහු ගරාජයක සේවකයෙක් වේලෙන්නට දමා තිබූ ඇදුම් කීපයක් සොරාගෙන ගන්නෝරුව දුම්රිය ස්ථානය දක්වා ගියේය. නුවර සිට පැමිණි බඩු දුම්රියක් එහි නැවැත්වූ අතර එහි කෙළවර එක් මගී පෙට්ටියක් පමණක් අමුනා තිබුණේය. සුමතිපාල ගන්නෝරුවෙන් එයට නැග වනවාසලදී දුම්රියෙන් බැස හිරගෙදරදී හදුනාගත් මිතුරකුගේ නිවෙසට ගියේය. එහි දින දෙකක් ගතකොට ඔහුගෙන් මුදල් අතමාරුවක්ද කරගෙන පසුව වාද්දූව ප්‍රදේශයේ මිතුරකුගේ නිවෙසට ගියේය.

කුසුමා නැගණිය දූෂණය කර මරා දමන්නට හවුල් වූ කළුතර ගුරුවරයා සොයා ඔහුට දඩුවම් පමුණුවන්නට දෛවය සුමතිපාලට නියම කර තිබේ. කණිටු පාසලක විදුහල්පතිවරයකු වූ ඔහු පොලිස් පරීක්ෂකවරයාට නැගණිය ගැන ඔත්තු සපයා පසුදින මීගමුව කොච්චිකඩේට ගොස් ඇයව දූෂණය කරන්නටද සහභාගි වී තිබේ. එබැවින් ඔහුට දඩුවම් කල යුතුමය.

මිතුරාගෙන් පා පැදියක් ඉල්ලාගත් සුමතිපාල කළුතර නගරය මගහැර අතුරු පාරවල් ඔස්සේ අදාළ විදුහල්පතිවරයාගේ වංහුං සොයා බණ්ඩාරගම පාරේ සැරිසැරුවේය. දින කීපයක් ඇවෑමෙන් ඔහුට තමා සොයන ගොදුර හමුවිය. පරගස්තොටට ගොස් ගුරුවරයාගේ නිවෙස සොයාගත් සුමතිපාල එම නිවෙසින් වතුර වීදුරුවක්ද ඉල්ලාගෙන පානය කොට ආපසු පැමිණියේය.

බන්ධනාගාර මිතුරාගේ නිවසේ සතියක් නතරව සිටි සුමතිපාල ඊලග කාර්යය සදහාද කටයුතු සැලසුම් කළේය. ඔහුගේ මිතුරා ඒ දිනවල ළිදක් කපන්නට මුලපුරා තිබුනේය. ඔහු මිතුරා සමග හරි හරියට මහන්සි වී ළිද කැපුවේය. සති අන්තයේ දිනක මිතුරාගෙන් ගමන් වියදම් ඉල්ලාගත් ඔහු වනවාසල දුම්රිය ස්ථානයෙන් දුම්රියක නැග මීගමුවට ගියේය. කිසිවෙකුට නොදැනෙන්නට, නොහැගෙන්නට කොච්චිකඩේට ගොස් නැගණිය පැහැරගෙන විත් රදවාගෙන සිටි නයගරා ගෙස්ට් හවුසිය සොයා ගන්නට උත්සාහ කළේය. එය සොයා ගැනීම එතරම් අසීරු කරුණක් නොවීය. අසළ කුඩා තේ කඩයක මුදලාලි කෙනෙකු සමග කථාවට වැටුනු ඔහු දැනගත්තේ තානායමේ කෙරෙන වල්කම් පළාත පුරා ප්‍රසිද්ධ බවත්, පෙත්සම් ගැසුවද කිසිවක් නොවූ බවත්ය. තමා හිස ගසා දැමූ අයි.පී ගේ නංගි බැදපු මස්සිනාගේ ගෙස්ට් හවුසිය මෙය බව සහතිකවම දැන ගත්තේය. පසුව ඒ අසළ ගැවසී තානායමේ අයිතිකරු දැකබලා ගත්තේය. ඔහුගේ හැඩරුව නිරීක්ෂණය කොට ආපසු වනවාසලට ගියේය.

එතැන් සිට දෙවැනි දිනයේ දඩයම් ගමන අරඹන්නට තීරණය කල ඔහු මිතුරාගේ කලිසමක් සහ කමිසයක් ඉල්ලා ගත්තේය. තරමක් පැරණි ගමන් බෑගයක්ද මුදලින් රුපියල් 600 ක්ද මිතුරා සුමතිපාලට දුන්නේය. වැදගත් මගියකු ලෙස වෙස්වළාගත් සුමතිපාල වනවාසලින් පිටත්වූ දිනයේම මධ්‍යහ්නයේ කොච්චිකඩේ හන්දියෙන් බැස නයගරා ගෙස්ට් හවුස් වෙත ගියේය. රාත්‍රියේ නැවතී පසුදින උදෑසන ආපසු යාමට කාමර ගාස්තුව එකල අය කලේ රු 100 කි. සුමතිපාල එක් රැයක් පමණක් එහි නවාතැන් ගන්නා බව කීවේය.

සේවකයෙක් කාමරය පෙන්නන්නට ඔහු කැටුව ගියේය. එහි තරමක් වටිනා රන් පැහැති දොර අගුලක් දැමූ කාමරයක් තිබුණේය. සුමතිපාල ඒ කාමරේ දෙන්නැයි ඉල්ලා සිටියේය. මහත්තයා, එ්ක අපේ මුදලාලිගෙ කාමරේ, ඒක පිට අයට දෙන්නෙ නෑ. සේවකයා කීවේය. සුමතිපාල මුදලාලිගේ කාමරයට යාබද කාමරයේ නවාතැන් ගත්තේය. දිවා ආහාරයද තානායමෙන්ම ගෙන. ගමන් මල්ල එහිම තිබෙන්නට හැර කලිසමෙන් හා කමිසයෙන් සැරසී කාමරයේ යතුරද රැගෙන ආලින්දයට පැමිණියේය. ඒ වන විටත් මුදලාලි පැමිණ සිටියේ නැත. ගරාජයේ මෝටර් රථය නොවීය. කොච්චිකඩේ හන්දියට ගිය ඔහු එහිදී හලාවත බසයකට නැගුනේය.

වයික්කාල කඩමණ්ඩියේ ලංකාවේ සුප්‍රසිද්ධ පිහි වෙළෙන්දෝ සිටිති. පාර දෙපැත්තේම පිහි කඩ තිබේ. සුමතිපාල පිහි මැස්සක් ලග නතර වී සිය රාජකාරියට සරිලන පිහිය කුමක්දැයි මන්නා පිහි, වක් පිහි, දික් පිහි, මේස පිහි, මස්කඩ පිහි, මාළු කපන පිහි ආදිය අතර දෙනෙත් එහා මෙහො යැව්වේය. තරමක් දිග මිටක්ද සහිත දිලිසෙන මුවාතකින් යුතු තලයක් සහිත මන්නා පිහියක් ලග ඔහුතේ දෙනෙත නතර විය. එය මිළට ගත් ඔහු සිමෙන්ති උරයකින් එය ඔතාගෙන තානායමට යාමට පෙර දෙමළ චිත්‍රපටියක්ද නැරඹීය. රාත්‍රී 9.30 ට චිත්‍රපටය අවසන් විය. රාත්‍රී ආහාරය කඩයකින් ගත් ඔහු නැවත තානායමට ගියේය. තානායමේ ගරාජයේ මෝටර් රථයක් නවත්වා තිබේ. ඒ දහවල් මිදුලේ නවත්වා තිබූ තානායම් අයිතිකරුගේ මෝටර් රථය බව ඔහු හැදින ගත්තේය.

හිතුමතේ තමාගේ කාමරය හා මුදලාලිගේ කාමරය හැදිනගෙන තානායමේ වහළයට නැග උළුකැට කීපයක් ඉවත් කිරීමෙන් පසු මුදලාලිගේ කාමරයට විවෘත වන නාන කාමරයට බැස්සේය. නානකාමරයේ දොර මදක් විවර කල විට කාමරයේ දෙදෙනෙකු සිටින බව පෙනිණි. පිරිමියා නිරුවතින් ඇදේ දිගා වී සිටියේය. හිතුමතේ ඔහුට ළං වන විට ඔහු හොරෙක් හොරෙක් යයි කෑ ගැසීය. සුමතිපාල හොදින් නැවී තානායමේ අයිතිකරු කළුතර අයී. පී මහතාගේ මස්සිනා බව නිසැක ලෙස හදුනා ගත්තේය.

යකෝ මම කුසුමාවතීගේ අයියා සුමතිපාල යැයි මන්නා පිහිය ඔසවමින් සුමතිපාල ශබ්ද නගා කීවේය.

ඊලග නිමේෂයේදී මන්න පිහි පහර විදුලි වේගයෙන් තානායම්කරුගේ ගෙල මත පතිත වූයේය. කදින් වෙන්වූ හිසත් කවන්ධයත් පසෙකට ඇලවී ගියේය.

හිතුමතේ ජීවිතේ පිළිබද මව්බිම පුවත්පතේ පළ වූ ලිපි මාලාව වෙනුවෙන්
ප්‍රවීන චිත්‍ර ශිල්පී ජනක රත්නායක මහතා විසින් සිතුවම් කල සිතුවමකි.


තානායම්කරුගේ සිරුරට යටවී හුන් ළාබාල කෙල්ලගේ කෑ ගැසීම මැද සුමතිපාල තානායම්කරුගේ බොකුටු කොණ්ඩයෙන් අල්ලා හිස වම් අතට ගෙන කාමරයේ දොර හැර දකුණතින් ගත් මන්නා පිහියත් සමග මිදුලට පැන්නේය. ගේට්ටුවෙන් පාරටද පැනගත්  සුමතිපාල සුළු වෙලාවක් තුල කොළඹ - පුත්තලම පාරේ මීගමුව දෙසට වේගයෙන් ගමන් කරමින් සිටියේය.

ඔහු යමින් සිටියේ තෙල්වත්ත පොලිස් මුරපොල දෙසටය. පාන්දර නිසා මහා මාර්ගය පාළුවට ගොස් තිබුනි. නමුත් කිලෝමීටර් 7 ක් පමණ මග ගෙවා තෙල්වත්ත පොලිස් මුරපොළ ආසන්න වන විට මග දිගට කීප දෙනෙක් මිනිස් හිසක් හා පිහියක් අතින් ගත් අයෙකු පාරේ යන බව දැක තිබුනි. මුරපොළ අසළට ගිය ඔහු පිහිය හා හිස එහි තබා ක්ලාන්තව වැටිනි. පොලිස් නිලධාරියකු තමන් පානය කරන්නට ගෙනැවිත් තිබූ වතුර බෝතලයක් සුමතිපාලගේ හිස මත වත්කළේය. සීතල වතුර සිරුර පුරා ගලායන විට සුමතිපාල නැවත ප්‍රකෘති සිහියට පැමිණියේය.

මේ සිදුවීමෙන් පසු හිතුමතේ අනුරාධපුර බන්ධනාගාරයට යවනු ලැබිණි. ඔහුට දෙවන වර පැන යාමට උපකාරී වූයේ 1971 කැරැල්ලයි. අත්අඩංගුවට ගත් පිරිස් එන්න එන්නම වැඩිවීම නිසා අනුරාධපුරය බන්ධනාගාරය තුල තදබදය එන්න එන්නම වැඩි වී පහසුකම් අවම විය. එවැනි තත්වයක් තුල සිරගෙදරින් පැනයාම සුමතිපාලගේ පමණක් නොව බොහෝ දෙනාගේ අවශ්‍යතාවයක් බවට පත්වෙමින් පැවතියේය.

ජ.වි.පෙ ට සම්බන්ධ කීප දෙනෙක් පැන යන්නට තීරණය කර පැනයන ප්‍රථම කණ්ඩායමද සංවිධානය කළහ. ජ.වි.පෙ සාමාජිකයන් සමග මරු සිරා සමීප ඇසුරක් පැවැත්වූ නිසා ඔහු ඊට සම්බන්ධ විය. හිතුමතේ මරු සිරාගේ මිතුරා නිසා ඔහු ද එයට සම්බන්ධ විය.

මරු සිරාගේ කණ්ඩායමට පැවරූ වැඩ කොටසට සුමතිපාල ද සහාය වූයේය. ඉවත දැමූ මලකෑ දිරාපත්වූ බාල්දි ගොඩක් මුල්ලක තිබිණි. ඉන් පන්නාගත් බාල්දි කොකු දිග හැර බිම උරච්චි කරමින් තුඩ මුවහත් කොට කුඩා හෙල්ලක් මෙන් සකසා පස් යට සගවා තබන්නට ඔව්හු කටයුතු කලහ. දින කීපයක් තුල උල් යකඩ කූරු 15 ක් තනා අවසන් කොට පස් යට තැන්පත් කෙරිණි.

ප්‍රහාරය ආරම්භ කිරීම සදහා ජ.වි.පෙ සාමාජික හීන් බණ්ඩා උපදෙස් දී තිබුනේ උදෑසන ප්‍රධාන දොර සම්පූර්ණයෙන් විවෘත වන වෙලාවටය. දිනය තෝරා ගැනිණි. එදින උදෑසන කෑම පෝලිමේ සිරකරුවන් වැඩි පිරිසක් සිටින අවස්ථාවක යොදවා සිටි ඔත්තුකරුවකු විසින් ප්‍රධාන දොර අරින බවට සංඥාව ලබාදෙන ලදී. 15 ක පමණ කණ්ඩායමක් ගේට්ටුව දෙසට දිව ගියහ. ඔවුන් ඇතමකු අත ඉතා තියුණු උල් සහිත හෙල්ල තිබිණි.

ජේලර්ලා පිරිසක් බැටන් පොලු ඇතැතිව ඔවුන්ට හරස් කැපූ නමුත් යකඩ උල්වලින් පෙරළා පහරදුන් විට තත්වය පාලනය වූයේය. නිල් පැහැති බන්ධනාගාර වෑන් රථයක් ප්‍රධාන දොර ඇතුලත කාර්යාලය අසල නතර කර තිබුණේය. කිසිවෙක් එය පණගැන්වීය. ආයුධ රාක්කයට කඩා පැන්න කීප දෙනෙක් අගුළු කඩා තුවක්කු හත අටක්ම බෙදා ගත්හ.

ආයුධ දුටු ජේලර්ලා පසු බැස ගියහ. වෑන් රථය  පිටත්වන විට සිරකරුවෝ තිස් තුන් දෙනෙක් එහි නැග සිටියහ. මරු සිරාත් ලයනලුත් තුවක්කු ඇතැතිව පැති දොරේ එල්ලී ගමන් කළහ.

සුමතිපාල රිපීටර් තුවක්කුවක් අල්ලාගෙන සිටියේය. එක් සිරකරුවෙකු වහල මත වාඩිවී හුඩ්රැක් එක අල්ලාගෙන සිටිනු පෙනිනි. විලච්චිය පාර දෙපස මිනිස්සු දෑත් හිසේ බැද තුෂ්ණිම්භූතව බලා සිටියහ.


මතු සම්බන්ධයි.



මම කාමරේ අරින සිරා කොලුවා.



ප.ලි

2012 / 06 / 10 දින මුල්වරට  ලෑලි දොර අරින ලද සිරාගේ කාමරය මේ සමරන්නේ සිය දෙවන උපන් දිනයයි. මේ දෑ වසර පුරාවට විවිධ දේ පිළිබද කථා බහ කරන්නට අපට හැකි විය. විවිධ සමාජ සත්කාර උදෙසා දායකත්වය දෙන්නට හැකි විය. කාමරය වටා හොද පාඨක පිරිසක් වර්ධනය කර ගන්නට හැකි විය. දැන් ඉතින් නැවතීමක් නැත. සිරා කොලුවාගේ හිතට දැන් ඉතිං කාමර කෑල්ල වසා දැමිය යුතු යැයි හැගෙන දවසක් දක්වාම සිරාගේ කාමරය ඔබ සැමට විවෘතව පවතිනවා ඇත. ප්‍රබුද්ධ, පීචං භේදයක් නොමැතිව, කාට කාටත් විවේකී වෙලාවට සිරාගෙ කාමරය තනියට සිටිනු ඇත. මෙතෙක් කල් මෙහි පලවන දෑ කියවා මට වචනයකින් හෝ සවියක් වූ ඔබට මගේ ආචාරය ! 



බ්ලොග් කෙරුවාව ඇගට පත්තියං වන තෙක් මගේ පසුපස සිට නන් අයුරින් ඔවදන් දුන් සහෝදර බ්ලොග් කරුවන්ද ආදරයෙන් සිහිපත් කරමි.

කාමරයේ පළමු උපන් දිනය දා සිරා තැබූ සටහන මෙතැනින්

Wednesday, June 4, 2014

125 කුසුමා නිසා සිරගෙය උරුම වූ හිතුමතේ ජීවිතේ

අද කථාව කියවන්නට ප්‍රථම මේ කාරණය ඔබට කියන්නට සිරා කොලුවා වන මම රිසි වෙමි. පහත පලවී ඇති සටහන මවිසින් ලියූවක් නොවේ. එය සිරාගේ කාමරය වෙත කාංචන නම්  පාඨකයෙක් විද්යුත් තැපෑලෙන් එවන ලද්දකි. මේ කථාවේ ඇති ත්‍රාසජනක ස්වභාවය නිසාත් සත්‍යම සිදුවීමක් නිසාත්, මෙම කථාව කලින් කියවා නැති මා වැනි බොහෝ දෙනා සිටිනා වග හොදින් දන්නා නිසාත් සිරාගේ කාමරය තුල පලකරන්නට මා හට සිත් විය. මේ ලියමන මවෙත එවූ සහෘදයාට සහ එය රචනා කල තැනැත්තාට මගේ නොවක් ස්තූතිය පිරිනමමි.

මේ ලියමනේ නියම හිමිකරුවා සොයා අන්තර්ජාලය පීරුවද හෙතෙම මට හමු නොවීය. නමුත් මීට සමානව ලියවුනු කථාවක් මව්බිම පුවත්පතේ පලවී ඇති බවක් දුටිමි. ඒ ලිපියත් මේ ලිපියත් අතර පැහැදිලි වෙනස්කම් ඇති නිසා සිරාගේ කාමරය තුල පලවන ලිපිය ලියා ඇත්තේ වෙනත් අයෙකු බව සිතමි. මේ ලිපියේ සියලු හිමිකම්, නාදුනන ඔහු සතුය.


වැලිකඩ බන්ධනාගාරයේ අවුරුදු 129ක දඩුවම් කාලයක් ගෙවමින් සිටි කළුතර බී.ඩී සුමතිපාල නොහොත් හිතුමතේ ජීවිතේ නැමති සිරකරුවා ජනාධිපති තුමාගේ විශේෂ සමාව ලැබ නිදහස ලැබුවේය.

1972 වසරේ කළුතර තිස්ස විද්‍යාල ක්‍රීඩාංගනයේ පැවති අවුරුදු කුමාරිය තරගයේදී පළමු තැනට අභිෂේක ලැබූ මොහුගේ නැගණිය පැහැරගෙන දූෂනය කොට මරාදැමූ පොලිස් පරීක්ෂකයෙකු ඇතුළු ඝාතකයින් සොයා ගිය හිතුමතේ ජීවිතේ ඔවුන් සියල්ලන්ම අවස්ථා ගණනාවකදී මරා දැමුවේය. එම අරමුණ ඉටුකර ගැනීම සදහා ඔහු කීප වතාවක්ම බන්ධනාගාරයෙන් මිදී පලා ගියේය. අරමුණ ජයගත් පසු සාමකාමීව සිරගෙදර ජීවිතය ගත කලේය.

අවස්ථා කීපයකදීම මරණීය දණ්ඩනයෙන් ගැලවුනු හිතුමතේ ජීවිතේ පෝරකයට නංවා ගෙලට තොණ්ඩුව දැමීමෙන්ද පසුව ජීවත් වීමට වාසනාව ලද එකම සිරකරුවා වන්නේය.

ක්‍රියාදාම චිත්‍රපටියකට ඔබින මේ කථාව මෙලෙස ඔබ හමුවට එන්නේය.



ගෝනදූවේ විසූ සුමතිපාල 17 හැවිරිදි වියේදී ඔහුගේ නැගණිය කුසුමා (කුසුමාවතී) පාසල් යාමෙන් පසු අතුරුදහන් වූ අතර ඇය කොල්ලෙකු හා පැනගිය බව ගමේ බොහෝ දෙනා විශ්වාස කල නමුත් ඇගේ දෙමාපියෝ හා අයියා එය පිළි නොගත්හ. පොලීසියේද පැමිණිලි කල අතර පොලීසියද නිද්‍රාශීලී බවක් අනුගමනය කලේය. සති කීපයකට පසු දිනක එල්ලයක් නැතිව පාරේ යමින් සිටි සුමතිපාලට කුසුමාගේ පාසල් මිතුරියක් හමු වූ අතර ඇය එතෙක් සගවාගෙන සිටි රහසක් ඔහුට කීවාය. කුසුමා අතුරුදහන් වූ දින ඇය සමග යමින් සිටියේ මෙම යෙහෙළියයි.

පාළු පෙදෙසකදී එක්වරම නැවතූ මෝටර් රථයකට කුසුමා ඇද දමාගෙන ගිය බවත් රථයේ සිටියේ 1972 වසරේ කළුතර තිස්ස විද්‍යාලයීය ක්‍රීඩාංගනයේ පැවති අවුරුදු කුමරිය තරගයේදී පළමු තැනට අභිෂේක ලැබූ කුසුමාට කිරුළ පැළැන්දූ දිසානායක අයි.පී මහත්තයා බවත් රියදුරු විල්සන් නම් අයෙක් බවත් ඇය කීවාය. ( මේ බව කිසිවෙකුට නොකියන්නට ගෙදරින් පොරොන්දු කරගත් නිසා ඇය නිහඩව සිට ඇත)

පොලීසියට ගොස් අයි.පී මහතා හමුවුවද ඔහු සුමතිපාල එලවා ගත්තේ නංගි කොල්ලෙක් එක්ක පැන ගිය බව කියමිනි. නංගිගේ අතුරුදන් වීම සම්බන්ධ කිසිදු පරීක්ෂනයක් සිදු නොවන බවත්, එවැනි පරීක්ෂණයකට අයි.පී මහතා ඉඩ නොදෙන බවද පැහැදිළිය.

කළුතර නගරයේ කුලී රථ රියදුරකු වූ විල්සන් පදිංචිව සිටියේ තරමක් පිටිසර පෙදෙසක රබර් වත්තක් අසළය. සුමතිපාල දින කීපයක් නගරයේ කැරකී විල්සන් රියදුරුද ඔහුගේ නිවෙසද සොයා ගත්තේය. විල්සන් අල්ලා ගන්නට රබර් වත්තේ පාළු කිරි මඩුවකට රිංගා ගත් සුමතිපාල උල් පිහියක්ද ගෙන එහි රැක සිටියේය.

රාත්‍රියේ තනිවම පැමිණි විල්සන් අල්ලා ගත් ඔහු පිහිය පෙන්වා භිය ගන්වා කිරිමඩුව කරා ඇදගෙන ගියේය. විල්සන් බීමතින් සිටි නිසා 17 වියැති සුමතිපාලට ඔහු මෙල්ල කිරීම පහසු විය. මරණ භියෙන් තැතිගත් විල්සන් සියල්ල වැමෑරීය.

කුසුමා එදින පැහැරගැනීමෙන් පසු මීගමුවේ කොච්චිකඩේ අයි.පී මහතාගේ මස්සිනා කෙනෙකුට අයත් තානායමකට රැගෙන ගිය බවත්, මස් කඩ මුදලාලි කෙනෙක් සහ විදුහල්පති කෙනෙක් ඇතුළු පස් දෙනෙක් අතින් ඇය දින ගණනාවක් දූෂනයට ලක් වූ බව ඔහු කීවේය. මේ විස්තර ඔහු දැනගත්තේ එම තානායම් අයිතිකාරයාගේ රියදුරාගෙනි. ඉන්පසුව වෑන් රථයක දමා ඇය කොහේ හෝ ගෙනගොස් මරා පුළුස්සා දමා ඇති බව පසුව එම වෑන් රථයේ රියදුරා පවසනු ඔහුට ඇසී ඇත.

සුමතිපාල විල්සන් මරන්නට ගියේ නැත. ඔහු විල්සන් අතහැර කළුතර නගරයේ ප්‍රකට කම්මල්කරුවෙකු සොයා ගොස් කඩොලාන කපන්නට යයි කියා වක් පිහියක් තනවා ගත්තේය. දින තුනකින් පිහිය ඔහු අතට පත් විය.

අයි. පී. දිසානායක පදිංචිව සිටි නිවෙසේ වත්තේ තිබූ කෙසෙල් පදුරකට මුවා වී සුමතිපාල සිටියේය. ඔහු අත තිබූ පන් මල්ලක අළුත්ම වක් පිහිය තිබුනි. රාත්‍රී 8ට පමණ හොරෙන් වත්තට ඇතුල් වූ ඔහු දිසානායක පොලිස් ජිප් රථයේ සිට නිවසට ඇතුල් වනු බලා උන්නේය. වත්තේ තිබූ ළිද වෙත දිසානායක යන තෙක් ඔහු රැක සිටියේය. නමුත් මුළු රාත්‍රියේම එම අවස්ථාව උදා වූයේ නැත. සුමතිපාල ළිද අසල වාඩි වී පාන්දර වනතුරු කල්මැරුවේය. පාන්දර පහට පමණ නිවසේ විදුලි පහන් දැල්වුණු නිසා ඔහු පිහිය රැගෙන එදෙසට ගියේය. ටික වේලාවකින් ඉස්තෝප්පු දෙර අරින ශබ්දය ඇසුනෙන් ඔහු දිසානායක පිටතට එන විටම දොර අසල රැක සිට එක පහරකින්ම සතුරාගේ හිස කපා වෙන්කල සුමතිපාල හිස පන් මල්ලේ දමාගෙන වේගයෙන් දිව ගියේය.

ප්‍රධාන පාරවල් මගහැර අතුරු පාරවල් වලින් ඔහු ගියේ පොලිස් නිළ නිවාස සංකීර්ණය වෙතය. ජේෂ්ඨ පොලිස් අධිකාරීතුමාගේ නිල නිවෙසට ආ සුමතිපාල ලේ බේරෙන පන් මල්ලෙන් මිනිස් හිස එළියට ගෙන අධිකාරීතුමාට භාර දුන්නේය.

මහත්තයා මහන්සි වෙන්න ඕන නෑ. මගේ නංගි මැරූ මිනිහා මම හොයාගත්තා. දැන් ඔක්කොම ඉවරයි. පින් සිදුවෙයි. මහත්තයෝ මාව පෝරකේට යවන්න. තමුන්නාන්සේගෙන් මම ඉල්ලන්නෙ එච්චරයි. ඔන්න මගේ රාජකාරිය මම කළා. දැන් තමුන්නාන්සෙගෙ රාජකාරිය තියෙන්නෙ. සුමතිපාල කීවේය.

පොලිස් අධිකාරිවරයා ගේ දුරකථන ඇමතුමින් පොලිස් නිලධාරීන් රැගත් වාහන කීපයක්ම එහි පැමිණ සුමතිපාල අත්අඩංගුවට ගත්තේය. පිහිය පොලිස් භාරයට ගැනුනු අතර හිස රෝහල් මෝචරියට යැවිණි. පොලිස් අධිකාරීවරයාගේ නියෝගය මත සුමතිපාලගේ කට උත්තරය ගත්තේ සහකාර පොලිස් අධිකාරී කාර්යාලයේදීය.

සුමතිපාල කට උත්තරය ගත් නිලධාරියාට සියලු දේ නොසගවා හෙළි කලද පොලිස් පරීක්ෂකවරයා සිය නැගණියට කල විපත ඉදුරාම දත් බව පැවසුවා මිස තමා එය දැනගත් ආකාරය හෙළි නොකිරීමට වග බලා ගත්තේය. වඩා වැදගත් කරුණ නම් සිය දඩයමේ අවසානය මෙය නොවේ යැයිද ඔහු කට උත්තරයේ සදහන් කිරීමයි.

වයස 18 සම්පූර්ණ කර නොතිබුනත් සුමතිපාලට චෝදනා එල්ල කලේ වැඩිහිටියෙකු ලෙස සලකාය. මහේස්ත්‍රාත් වරයා නඩුව විභාගයට ගත්තේ මාස 5 කට පමණ පසුවය. සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයට තමා වරදකරුද නිවැරදිකරුදැයි නඩුකාර තැන ප්‍රශ්න කල අවස්ථාවේ, වැරදිකරු ස්වාමීනී යැයි ඔහු නොපැකිළව පිළිතුරු දුන්නේය. 1974 වසර අග භාගයේ මහාධිකරණ නඩු විභාගය ආරම්භ වූයේය. සුමතිපාල තමා වෙනුවෙන් කිසිවෙකු පෙනී නොසිටින බව ජූරි සභාව ඉදිරියේ නඩුව විභාගයට ගත් ප්‍රථම දිනයේ දැනුම් දුන්නේය. ඒ අනුව නඩු විභාගය කල් තබන ලද අතර සුමතිපාල වෙනුවෙන් පෙනී සිටීමට රජයේ නීතිඥ මහතෙකු නම් කොට නැවත නඩුව කැදවන විට තවත් මාස තුනක් ගත වී තිබුනේය.

1975 මාර්තු මාසයේ නඩු විභාගය අවසන් විය. සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයට සුමතිපාල වැරදිකරු බවට ජූරි සභාවේ වැඩිදෙනා තීන්දු කලහ. 1975 මැයි මස 7 වැනි දින පෙ.ව 8.05 ට බෝගම්බර බන්ධනාගාරයේ බිත්ති හතරක් තුලදී බටුගහ ගෙදර දොන් සුමතිපාල නැමති අය ප්‍රාණය නිරුද්ධ වනතුරු එල්ලා මරණයට පත්කරන්නට නියම කොට මහාධිකරණ විනිසුරු තින්දුව ප්‍රකාශයට පත් කළේය.

උක්ත අපරාධය සිදුවන අවස්ථාවේ මෙම නැතැත්තා වයස 17 ක තැනැත්තකු වුවද මරණීය අපරාධය සිදුකිරීමේ අදහසින් සැලසුම් සහගතව ක්‍රියාකොට තිබීමත්, දඩුවමට යටත් කෙරෙන විට වයස 18 ක් සම්පූර්ණ වී තිබීමත් යන කරුණු සැලකිල්ලට ගනිමින් දණ්ඩ නීති සංග්‍රහය ප්‍රකාරව මරණීය දණ්ඩනය ස්ථිර කොට අත්සන් තබන බව මහාධිකරණ විනිසුරුවරයා විවෘත අධිකරණයේදී ප්‍රකාශ කළේය.

බෝගම්බර සිරගෙදර එවකට මරණ දඩුවමට නියමිතව සිටි සිරකරුවන් හත්අට දෙනා අතර සිටි ළාබාල සිරකරුවා වූයේ 18 හැවිරිදි සුමතිපාලය. අනෙකුත් අය අතර අනුරාධපුරේ මරු සිරා, හොද පපුවා, බඹරා ආදීන් සහ එවකට ප්‍රකට මිනීමැරුම් නඩුවක විත්ති කරුවන් වූ කැලැත්තෑවේ ඇල්ප්රූඩ් සොයිසා, කළු ඇල්බට්, විලී මාමා යන අයද සිටියහ.

සුමතිපාල තුල පෝරකය පිළිබද විශේෂ හැගීමක් තිබුනේ නැත. එහෙත් නැගනිය දූෂණය කර මරා දැමීමට හවුල් වූ අනෙක් තිදෙනා ගැන හිතෙහි වූ වෛරය ඔහුගේ සිත තුල කැකෑරෙමින් නිබදව පීඩා දුන්නේය. එක් අයෙකු කළුතර ප්‍රදේශයේම පුද්ගලයකු වූ විදුහල්පතිවරයාය. අනෙකා වෙන්නප්පුව පැත්තේ මස්කඩ මුදලාලිය.

තුන්වැන්නා කොච්චිකඩේ ගෙස්ට් හවුසිය හිමි තැනැත්තා වූ මරා දැමූ අයි පී ගේ මස්සිනාය. අපායට යතත් යා යුත්තේ ඔවුන් තිදෙනාත් කැටුවම යැයි සුමතිපාල අධිෂ්ඨානසහගත සිතුවිල්ලක පසු වූවේය.

මරණ දඩුවම ක්‍රියාත්මක කිරීමට නියමිත දිනයට පෙරදින සුමතිපාල බලන්නට ආ ඔහුගේ මවට හෘදයාබාධයක් සෑදී මිය ගියාය. සුමතිපාල රාත්‍රී ආහාරය බෙදා දුන් ඇලුමිනියම් පිගාන නවා ඉන් කොටසක් කඩා එය පිහියක් සේ මුවහත තබා සිය උදරය කීප වාරයක් කපා ගත්තේය. අන්තිමට ඔහු ගෙලද එක් වරක් කපා ගත්තේය.

මහනුවර මහ රෝහලට ගෙන ගිය සුමතිපාලට ප්‍රධාන ශල්‍ය වෛද්‍ය වරයා ඇතුලු වෛද්‍යවරු සිව් දෙනෙකු විසින් පැය හතරක පමණ බරපතල මට්ටමේ ශල්‍යකර්මයක් කරන ලදී. අවසන් වරට සුමතිපාල සිය ගෙලෙහි සිදුකරගත් තුවාලය එතරම් බරපතල නොවීය. දැඩි සත්කාර ඒකකයට ඇතුල් කල ඔහු පිළිබද ප්‍රශ්නය පුපුරා ගියේ පසු දින උදයේය.

රාත්‍රියේ ශල්‍යකර්මයට යොමු කල බී.ඩී සුමතිපාල නම් සිරකරුවා පෙ.ව 8.05 ට මරණ දණ්ඩනයට යොමුකල යුතු බැවින් ඔහු නැවත බන්ධනාගාරය වෙත ගෙන යා යුතු යැයි බන්ධනාගාර නිලධාරීහු කියා සිටියහ. එය කිසිසේත් තමාට වැදගත් වන කාරණයක් නොවන බවත්, තමා භාරයේ සිටින රෝගියකු සම්පූර්ණ සුවය ලබනතුරු රෝහලෙන් බැහැරට ගෙන යාමට තමා අවසර නොදෙන බවත් ප්‍රධාන වෛද්‍යවරයා කියා සිටියේය.

තත්වය උණුසුම් වූයෙන් මහනුවර රෝහල භාර වෛද්‍ය අධිකාරීවරයාද එහි පැමිණියේය. බන්ධනාගාර නිලධාරීන්ගේ තර්කය වූයේ බී.ඩී. සුමතිපාලගේ මරණ දණ්ඩනය සදහා අධිකරණ අමාත්‍යංශයේ මහාධිකරණ නියෝගයට පිටින් යෑමට තමන්ට කිසිදු ඉඩක් නැති බවය. ඒ අනුවරෝගියා තමන් රැගෙන යා යුතුම යැයි ඔව්හු තර්ක කලහ.

බලය යොදා එය වැළැක්වීමට වෛද්‍යවරුන්ට හැකියාවක් නැති බැවින් වෛද්‍ය නියෝගයට පිටින් බලහත්කාරයෙන් රෝගියා ගෙනයන බවට ලිඛිත සටහන් ලබා ගැනීමෙන් පසු රෝගියා රැගෙන යාමට ඉඩදී වෛද්‍ය අධිකාරීවරයා පිටවී ගියේය.

මේ අතර ශල්‍යකර්මය සිදුකොට නින්දට ගිය ශල්‍ය වෛද්‍යවරුන්ට දැනගන්නට ලැබුනේ රෝගියා මරා දමන්නට රැගෙන ගිය බවය.

ඔව්හු සියල්ලෝ වෛද්‍ය අධිකාරී නිල කාමරයට රැස්වූහ. වෛද්‍ය අධිකාරීවරයා බන්ධනාගාර නිලධාරීන් තමන්ට එල්ල කල අභියෝගයට මුහුණ දිය යුතු යැයි දැඩි අධිෂ්ඨානයක සිටියේය. ඔහු මේ සම්බන්ධයෙන් නීති උපදෙස් පැතුවේය. පෝරකයට නියම වූ සිරකරුවකුට සමාව දීමේ බලය ඒ වන විට පැවරී තිබුනේ අග්‍ර ආණ්ඩුකාරවරයාට පමණි. ඔහු දන්නා හදුනන අධි නීතිඥ මහත්වරුන් කීපදෙනෙකු ප්‍රකාශ කලේ වහාම අග්‍ර ආණ්ඩුකාර විලියම් ගොපල්ලව මහතාට දැනුම් දෙන ලෙසය. ඒ සදහා වෛද්‍යවරුන්ට ඉතිරිව පැවතියේ තවත් මිනිත්තු 20 ක් පමණි.

අග්‍රාණ්ඩුකාරවරයාගේ ලේකම්වරයා ඇමතූ වෛද්‍ය අධිකාරීවරයාට ලැබුනු පිළිතුර වූයේ මරණ දණ්ඩනයට කැපවූ සිරකරුවෙකු නිදහස් කරවා ගැනීමට නම් ලිපි ලේඛන රාශියක් අධිකරණ අමාත්‍යාංශය හරහා හුවමාරු විය යුතු බැවින් ඒ සදහා මාස 3 ක කාලයක් අවම වශයෙන් ගතවන බවය. ඒ නිසා එය මේ අවස්ථාවේ කිසිසේත් කල නොහැකි බව ආණ්ඩුකාර ලේකම් පැවසීය.

වෛද්‍යවරුන් පරාජය භාරගත්තේ නැත. ඔව්හු අග්‍රාණ්ඩුකාරවරයාට මේ සියල්ල දැනුම් දෙන්නට තීරණය කලහ. වෛද්‍ය අධිකාරීවරයා රාත්‍රියේ සිදුවූ සියල්ල අග්‍රාණ්ඩුකාරවරයාගේ නිවසේ දුරකථනය මගින් ඔහු අමතා දැනුම් දුන්නේය. විලියම් ගොපල්ලව මහතා සිටියේ මහනුරව අග්‍රාණ්ඩුකාරවරයාගේ නිල නිවසේය. වෛද්‍ය අධිකාරීවරයාට සාවධානව සවන්දුන් හෙතෙම ඔරලෝසුව දෙස බැලුවේය. උදෑසන 7.50 එහි සටහන්ව තිබුනේය. රෝගියාගේ රෝහල් සටහන් පමණක් රැගෙන වහාම අග්‍රාණ්ඩුකාර නිල නිවෙසට එන ලෙස හෙතෙම වෛද්‍යවරයාට දැන්වීය.

බෝගම්බර බන්ධනාගාරයේ අලුගෝසුවා පෝරකය මත සිටවූ (බාගෙට සිහිසුන්) සුමතිපාලව ඔහුගේ සහායකයා වැටෙන්නට නොදී අල්ලා ගෙන සිටියේය. වෙලාව පෙ.ව 8.02 සටහන්ව තිබුනේය. සුමතිපාලගේ ගෙලට තොණ්ඩුව දමා මනාව සකස් කර ඇත. මුහුණ සුදු ලෝගුවෙන් වසා තිබේ. අලුගෝසුවා පෝරකය ගස්සන ලිවරය දකුණතින් තදින් අල්ලා ගත්තේය.


මතු සම්බන්ධයි...

මම කාමරේ අරින සිරා කොලුවා.

Related Posts Plugin for WordPress, Blogger...