Sunday, August 31, 2014

87 මම සහ ඇමරිකාව

සිරා කොලුවා කියපු නිසාම ඔන්න මමත් හත්වෙනි ලිපියට සටහනක් ලියනවා. කාලෙකට පස්සෙ ලියන නිසා හරිම කම්මැලියි. ඒත් පොරොන්දු උනා නම් ලියන්නම එපැයි. අනික මාතෘකාවත් Coming Soon ලෑල්ලෙ දාලා තියෙද්දී. මගේ මූණු පොතේ ඉන්න යාළුවො නම් දන්නවා ඇති දැන් මං ජීවත් වෙන්නේ ලංකාවේ නොවන බව. මහත්තයා රස්සාව කරන්නේ ඇමෙරිකාවේ නිසා මටත් එහෙට යන්න සිද්ධ උනා. ඉතිං සිරාගේ ආරාධනාව උනේ ඒ රට ගැන මට දැනෙන විදිහ ගැන සටහනක් තියන්න කියලා.

අපි බැන්ද අලුතම මහත්තයට ආපහු යන්න උනා, නිවාඩු නැති නිසා. මට යන්න තිබුනේ තව මාසයක් විතර ගිහින්. ජීවිතේට කවදාවත් පිටරටකට ගිහින් නැති මට තනියමම මේ ගමන යන්න සිද්ද උනේ. මොනවා කරන්නද ? කවුරුවත් එක්ක යන්න කියලයැ. පැය 25ක විතර ගුවන් ගමනකින් පස්සෙ උදේ 8ට වගේ මං ඔන්න ඇමෙරිකාවට පය තිබ්බා. දැන් ඉතිං පාස් පොට් එකේ සීල් එක ගහගන්නත් එපැයි. එතනත් ලොකු පෝලිමක්. ඒත් ඒ වෙලාවේ මං ආපු ප්ලේන් එක විතරද කොහෙද ඇවිත් තිබුනේ. ඒ නිසා මහා ලොකු සෙනඟක් නම් නෑ.

එන මගීන්ට ගුවන්තොටුපලේ කෙරෙන වැඩ ගැන විස්තර යන TV එකක් මගේ ඉස්සරහම. සීල් එක ගහන්න ගියාම අහන ප්‍රශ්න, ඒවාට උත්තර දෙන්න හැටි, බෑග් වල බර වැඩි වුනොත් කීයක් ගෙවන්න ඕනෙද, බෑග් චෙක් කරන විදිහ අනම් මනම් ගොඩයි. ඒවා දැක්කාම භය උපරිමයි. ඇයි අප්පා මගෙන් මොනවා මොනවා අහයිද කවුද දන්නේ. මං ආපු ප්ලේන් එක පටන් ගත්තේ ඉන්දියාවෙන් නිසා ඉන්දියන් අය තමා වැඩි පුර හිටියේ. ඔන්න එක කවුන්ටර් එකක ඉන්දියන් පවුලක් නවත්තගෙන සෑහෙන්න ප්‍රශ්න කරනවා. මගේ භය තව වැඩි උනා. පලවෙනි වතාවටනෙ මෙහෙම අත්දැකීමක් ලැබෙන්නේ. ඒ අස්සේ පෝලිමේ ඉන්න ඉන්දියන් අය මට හින්දියෙන් කතා කරනවා. මාත් එයාලගේ ජාතියේ කියලා හිතලද කොහෙද.

කොහොම හරි පෝලිම ඉදිරියට ගිහින් මගේ වාරෙත් ආවා. ඇමරිකන් කොල්ලෙක් ඉන්නවා උදේ කොපි එකත් බිබී. මං ඉතිං හොදට හිනා වෙලා ගුඩ් මෝර්නින් කිව්වා. එයත් ගුඩ් මොර්නින්ග් එහෙම කියලා පාස් පොර්ට් එක ඉල්ලගෙන බැලුවා. රට මොකක්ද ඇහුවා. ශ්‍රී ලංකා කියපු ගමන් අහා ලස්සන රට කියපි. මාත් හොද හිනාවක් දාලා ඔව් ඒක ඇත්ත කිව්වා. අනේ කිසි ප්‍රශ්නයක් නැතුව සීල් එකත් ගහලා දුන්නා. මට පුදුමත් හිතුනා. අර ඉන්දියන් අයගෙන් සෑහෙන්න ප්‍රශ්න කරලා මට නිකංම යන්න කිව්ව විදිහ හිතුවාම.

ඊළග කඩඉම බෑග් චෙක් කිරිල්ල. බෑග් දෙකත් අරගෙන බෑග් චෙක් කරන තැනට යනකොට ඉන්දියන් සෙට් එකකගේ බෑග් ඇරගෙන ඔක්කොම ඇද ඇද බලනවා, ස්කෑන් කරනවා. මං හිතුවා හරි මටත් ඔය ටිකම තමා වෙන්නෙ කියලා. මගේ ක්‍රාෆ්ට් බඩු ටිකකුත් අරගෙන ආපු නිසා ඒවා දැක්කාම මුන් මොනවා අහයිද ඒවාට දෙන්න ඕනේ මොන වගේ උත්තරද කියල කල්පනා කරන ගමන් එතන හිටපු නිලධාරීන් දෙන්නගෙන් කෙනෙකුට පාස්පොර්ට් එක දුන්නා. ඉස්සරහ සිංහල අකුරු දැක්ක ගමන් මේ මොන රටේ පාස්පෝර්ට් එකක්ද කියල ඇහුවා. ශ්‍රී ලංකා කියපු ගමන් අත දික් කළා පැසේජ් එකක් වගේ එකකට. ස්කෑන් මැෂින් එකක්වත් පේන්න නෑ ඒ පැසේජ් එකේ. පුදුම වෙච්ච පාරට මගේ කටත් අැරුනද කොහේද. මං ආයේ නිලධාරියා දිහා බැලුවා. ඔයාට යන්න පුළුවන් කියලා ආයේ අර පැසේජ් එකටම අත දික් කළා. මේ මක් උනාද කියල හිත හිත මාත් ට්‍රොලියත් තල්ලු කරගෙන ගියා.බැලින්නම් කෙලින්ම එලියටනෙ ඒ පැසේජ් එක යන්නෙ. :O මෙලෝම දෙයක් චෙක් කලේ නෑ.

එලියට ගියාට මහත්තයා ඈවිත් නෑ තාම. ඒ අස්සේ ටැක්සි ඩ්‍රයිවර්ලා ඇවිත් ටැක්සි ඕනෙද අහනවා.විනාඩි පහළොවක් විතර ගියාම ඔන්න මහත්තයත් ආවා. එලියට ආවාමත් ලොකු වෙනසක් තේරුනේ නෑ. වෙනස තේරෙන්න ගත්තේ කාර් එක පාරට ගත්තාම. පාරවල් සෑහෙන්න ලොකුයි. පාරේ අයිනේ දකින්න ඕනේ බිල්ඩින් තියෙන්නේ පාරෙන් සෑහෙන ඈත. ඒ ඉඩ පිලිබඳ ප්‍රශ්නෙ නිසා නිකන් කරකවල අත ඇරපු තත්වයක් තම මට ආවේ. අනික් එක එලවන දිශාවේ මාරුව. එක පාරටම සමහර වාහන දැක්කාම හිතෙනවා කෝ යකෝ මේකේ ඩ්‍රයිවර් කියලා. ටික දවසක් ගියා ඒක අවුල් නැති තත්වෙකට එන්න.

ගෙදර යන්නත් කලින් මුලින්ම ගියේ ඇමෙරිකාවේ ප්‍රසිද්ද Walmart කියන කඩේට. හරිම පිළිවෙලයි. සමහර වෙලාවට සේල් බඩු එහෙම කඩෙන් එලියේ ඔහේ තියලා තියනවා. කවුරුත් අරගෙන යන්නෙ නෑ. ඕනෙනම් ශේප් එකේ අරන් ගිය හැකි. ඒත් කවුරුත් ගෙනියන්නේ නෑ වගේ. කඩේ ඇතුලෙදි විකාර රූපි ඇදුම් ඇද ගත්ත අය සෑහෙන්න දැක්ක හැකි. ෆේස්බුක් එකේ එහෙම සමහරුනම් දැකලා ඇති ඒ කඩේට එන මිනිස්සු ඇදගෙන එන ඇදුම් වල විකාර බව එහෙම පොඩි වීඩියෝ කෑලි එහෙම. ගිය පලවෙනි දවසේ දැක්කේ නැති උනාට පස්සෙනම් විකාර ෂෝ දැක්කා. :D. එක දවසක් බඩ එල්ලා වැටෙන ගෑනු කෙනෙක් ඒ එල්ලා වැටෙන බඩ තනිකර එලියේ තියෙන විදිහට ටීෂර්ට් එක ඇදල. හුළං වැදෙන කොට සනීපෙට වෙන්න ඇති.

මේක නම් ගුගල් දෙයියාගෙන් ගත්ත එකක්



තව මෙහෙදී දැකපු දෙයක් තමයි කළු ජාතික ඇමෙරිකානු ගැහැණු ගොඩක් දෙනෙක් බොරු කොන්ඩ දාන එක. එයාලට තියෙන කොන්ඩේ මදි කියල හිතලා වෙන්න ඇති එක එක පාටට කොන්ඩ දාලා. හුගක් අය සුදු පාට කොන්ඩ දාලා. ඉතිං දැක්ක ගමන් තේරෙනවා මේක බොරු කොණ්ඩයක් කියලා. කළු හමත් එක්ක සුදුම සුදු කොන්ඩේ දැක්කාම විකාරයක් වගේ පෙනුනත් එයාලගේ කැමැත්තනේ කියලා ඉන්න තමා තියෙන්නේ.

ඇමෙරිකාවට ආපු දවසට පස්සෙ දවසෙම අපිට පැය 16ක දුර ගමනක් යන්න සිද්ද වෙලායි තිබුනේ. ඉන්ඩියානා කියන ප්‍රාන්තෙට. අපි පාන්දරම පිටත් උනා. නැත්නම් ඉතිං ඊට පහුවදා තියෙන සෙමිනා එකට යන්න ලැබෙන්නේ නෑ. ලංකාවෙයි මෙහෙයි වෙලාව වෙනස නිසා ඇති වෙන නිදිමත මැද්දෙම තමා මට යන්න උනේ. ප්‍රාන්ත අතර යන්න තියෙන්නේ හයිවේ වල. ආයේ මොනවද එක දිගට එලවාගෙන යන්න තියෙන්නේ. මහන්සි උනාම නතර වෙලා පොඩ්ඩක් මහන්සි නිවාගෙන යන්න තැනුත් තැනින් තැන හදලා තියෙනවා. සනීපාරක්ෂක අවශ්‍යතා ඉටු කරගෙන, ඕනෙනම් සල්ලි දාලා කොපි කෝප්පයක් අරන් බීලා ගිය හැකියි. අපිත් සෑහෙන්න නවත්ත නවත්ත තමා ගියේ. කන්න බොන්න, පෙට්‍රල් එහෙම ගහන්න ඕනේ නම් ඒවාට යන්න පාරෙන් අයින් වෙලා යා යුතු තැන් තියෙනවා.

මේ තියෙන්නේ ඒ වගේ මහන්සි නිවන්න ඉන්න තැනක් (Rest Area)




මාර්ග සංඥා නියම විදිහට තියෙනවා.වේග සීමා,ලේන් ඉවර වෙන විදි දහසකුත් එකක් බෝඩ්. එලවන කෙනෙක් ඉතිං ඔය ඔක්කොම බලාගෙන යන්න ඕනේ. මට දැනුන විදිහටනම් මාර්ග සංඥා ලංකාවට වඩා වැඩියි වගේ. ඒත් මිනිස්සු ගානට යනවා. නොයන මිනිස්සුත් නැත්තෙ නෑ. ඒත් ලංකාවට සාපේක්ෂව හරිම අඩුයි. ඒ වගේම පොලිස් පප්පලත් හැම තැනම ඉන්නවා. පප්පලා කියනවට වඩා ඉතිං අයියලා වගේ තමා :D. පගා ගැහිලි අනං මනං කතා මුකුත් නෑ. මාර්ග නීති කැඩුවොත් බේරිලි බොරු. ආහ් තව දෙයක් ලේසියකට හෝන් සද්දයක් අහන්නත් නෑ. ලේසියෙන් මෙහෙ මිනිස්සු හෝන් ගහන්නේ නෑ.

කොහොමද නම පටස් කාලා :D





මහා මාර්ග නම් සෑහෙන ලොකුයි. පාර දෙපැත්තෙම ලොකු ගස්. සමහර මාර්ග වල දෙපැත්තට යන මාර්ග දෙක මැද්දේත් ගස්. මෙහෙ ආපු විස්තර අහන්න යාළුවො කතා කලාම මං කියනවා ගස් ගොඩයි, ලංකාවටත් වඩා කියලා. සමහරු විශ්වාස කලෙත් නෑ. මට මතක විදිහට සිරා කොලුවා හිතුවෙත් මෙහෙ ගස් අඩුයි කියලා. කොටින්ම මමවත් මෙච්චර ගස් බලාපොරොත්තු වුනේ නෑ. ෆිල්ම් වල ගොඩාක් පෙන්නන්නෙම ඉතිං ටවුන් එකක් අල්ලගෙනනේ. ඒත් මෙහේ මිනිස්සු සෑහෙන්න ගස් ආරක්ෂා කරන බවක් තමා පේන්න තියෙන්නේ. ටිකක් ගම්බද වගේ සමහර මාර්ග වල යනකොට මට හිතෙන්නෙ හබරණ කැලේ මැද්දෙන් යනවා කියලා. ඒ තරම් ගස්. පාරක් හදන්න ඕනේ වෙලා ගස් කැපුවොත් පාර හදලා ඉවර වෙලා ආයේ ගස් වවනවා. ගස් වගේම තමා සත්තුත්.

මාර්ගයට යාබද රුක් ගොමුවක්
පාරේ අයිනේ ගොඩාක් වෙලාවට එක එක සත්තු මැරිලා ඉන්නවා. වාහන වලට හැප්පිලා තමා ඉතිං මුන් මැරෙන්නෙ. ඒත් කරන්න දෙයක් නෑ. අධි වේගෙන් යන වාහන එක්ක සත්තු බේරන්නත් බෑ. බැජර්ලා තමා වැඩි හරියක් හැප්පිලා ඉන්නවා දැක්ක සතා. මුවොත් හිටියා අතරින් පතර. ඒත් ඒකෙන් තේරෙන්නේ මෙහෙ සෑහෙන්න සත්තු ඉන්නවා කියන එකයි. පාරේ තැන් තැන් වල මුව ලකුනු එහෙම මාර්ග සංඥාවක් විදිහට ගහලා තියෙනවා. මුවන් පාරට පැනීමට හැක කියන්න. :D . ඒ විතරක්යැ වලස්සුන්ගේ ලකුනුත් තියෙනවා. වලස්සුනම් දැක්කේ නෑ හැබැයි අපි.

ඒ පාරවල් වලදී දකින්න වෙන සත්තු නෙ. හුගක් ගෙවල් කිට්ටුවත් සත්තු දකින්න පුළුවන්. හාවෝ, ලේන්නු වගේ. ලේන්නු කිව්වට ඉතිං ලංකාවේ වගේ තුන් ඉරි අප්පුලා නම් නෙවේ. ලංකාවේ දඬු ලේනෙක්ගේ ප්‍රමාණයේ විතර එකෙක් තමා මෙහෙදි වැඩිපුරම දකින්න හම්බෙන්නේ. උන් එච්චර මිනිස්සුන්ට භයත් නෑ. . ලංකාවේ වගේ තුන් ඉරි අප්පු කෙනෙකුත් මෙහෙ ඉන්නවා. හැබැයි උගේ නැට්ටේ ලොම් නෑ. මීයෙකුගේ වාගෙයි ඒකාගෙ නැට්ට. මක් වෙලාද දන්නේ නෑ. උන් ගස් දිගේ යන්නෙත් නෑ. බිමමයි යන්නෙ. හාවොත් හුගක් වතු වලට ඇවිත් නිදහසේ තණකොළ එහෙම කාලා යනවා. ලංකාවේ නිදහසේ ඉන්න හාවෙක් දැක්ක කාලයක් මතක නෑ මටනම්. මෙහෙ සත්තු නිදහසේ ඉන්න පාටයි.

මේ අපි ඉන්ඩියානා වල ගියපු විශ්ව විද්‍යාලයේ හිටපු ලේනෙක්




ඇමෙරිකාවෙ කෑම බීම ගැනත් නොකියම බෑනේ ඉතිං.ලෝකේ තියෙන හැම රටකම වගේ කඩ තියෙනවා මං හිතන්නේ. ලංකාවේ ඒවානම් අඩුයි හැබැයි. තාම යන්න බැරි උනා. ලංකාවේ කෑම කඩේකට. චයිනීස්, ඉන්දියන්, ඉතියෝපියන්, එජිපිට්, ඉටලියන් එක එක ජාතියෙන් කෑම කඩ. එක එක කඩ ට්‍රයි කළා ඉතිං. අපරාදේ කියන්න බෑ කෑම ඒකෙන් භාගයක් විතර අහක. මං වැඩිය කන කෙනෙක් නෙවේනේ. ඒත් දෙන්නේ මෙහෙ මිනිස්සු කන විදිහටනේ. සෑහෙන ගොඩක් කන්න අරන් ඉතුරු කරන එක තමා විදිහ. ඉතුරු කලත් ඒ වෙනකොට සෑහෙන ප්‍රමාණයක් බඩේ. ඒ වගේම තමා ගෘහ භාණ්ඩ. හුගක් අය පොඩ්ඩක් එහා මෙහා වුන ගමන් පුටු සෙටි, කබඩ් කුණු බක්කියට තමා දාන්නේ. අපි ඉන්න අපාර්ට්මන්ට් එකේ කුණු බක්කිය ගාව එක පාරක් හොද කබඩ් එකක්, තවත් දවසක පුටු සෙටි එකක්. කුණු දානකොටත් සාමාන්‍යයෙන් පාවිච්චි කරන්න පුළුවන් බඩු දකින්න ලැබෙනවා කුණු බක්කිය ඇතුලේ.

ඇමරිකන් මිනිස්සු හරිම මිත්‍රශීලීයි. දැක්ක ගමන් හිනා වෙන හායි කියන අය තමා වැඩි. එහෙම උනාට අනුන්ගේ වැඩට ඇගිලි ගැහිලි එහෙම නෑ. ඇත්තම කිව්වොත් අපි දන්නෙත් නෑ මේ අපේ ගෙදරට එහා ගෙදර ඉන්නේ කවුද කියල. :D

මම මේ ලිව්වෙ මෙහෙ ඇවිත් ගතකල මාස එක හමාරට මට ඇමෙරිකාව ගැන දැනිච්ච දේවල් ටිකක් තමා. එහෙත් සෑහෙන කාලයක් මෙහෙ හිටපු අයට තව කියන්න දේවල් එහෙම ගොඩාක් ඇති. එහෙම අයට ඒ විස්තර කමෙන්ට් එකක් විදියට බෙදා ගන්න ආරාධනා කරනවා.

මේ තියෙන්නෙ මම ගත්ත පින්තූර ටිකක්.

ලෝකේ පුරාම නගර වල නම් මෙහෙ තියෙනවා. නගරනම් මදෑ රටවලුත් තියෙනවා. යන අතරමගදී අපි ඊජිප්තුව එහෙම බලාගෙන ගියේ. :D


සමහර ගිමන් හල් ඇතුලේ ඒ ඒ ප්‍රාන්තේ විශේෂ දේවල් ප්‍රදර්ශනයට තියලා තියෙනවා

සෝයා වතු යායක්

මාර්ගය අද්දර වවා තිබෙන මල්

විශ්ව විද්‍යාලයක් තුල

අපි බලන්න ගිය සත්තු වත්තක හිටපු මේස් දාගත්ත කුකුළෙක්.
මුගේ කකුල් දෙකේත් පිහාටු හරියට මේස් දැම්මා වගේ.

ගගක් හරහා ඉදිකර ඇති පාලමක්

කන්දක් මැදින් ගමන් කරනා මාර්ගයක්





මාසයේ අවසාන ලිපිය වෙනුවෙන් සිරාගේ කාමරයට ලියා එව්වේ,
නිසුපා හෙට්ටිවත්ත.


ප.ලි

කලකට පෙර සිංහල බ්ලොග් අවකාශය තුල නිතරම දැකිය හැකි මුහුණක් වූ නිසුපා තම පුද්ගලික ජීවිතයේ කටයුතු සමග බ්ලොග්කරණයෙන් මේ වන විට ඈත් වී සිටියි. නිසූගේ කථා යන නමින් ඇය පවත්වාගෙන ගිය බ්ලොග් අඩවිය සිරාගේ කාමරයට එන යන බොහෝ අයට මතකයේ ඇතුවාට සැක නැත. බ්ලොග් කෙරුවාවට  පිවිසීමෙන් පසු සිරා කොලුවා වන මම උපයාගත් මිතුරු මිතුරියන් අතර ඇය සුවිශේෂී චරිතයකි. මූණු පොතෙන් සිදුකල කථා බහකදී ඇගේ වර්තමාන අත්දැකීම් සිරාගේ කාමරය සමග බෙදාගන්නට මා කල ඇරයුමට ඇය ලබාදුන් ප්‍රතිචාරයට මම බෙහෙවින්ම ස්තූතිවන්ත වෙමි. නිසූ....ඔබට ජය !

Tuesday, August 26, 2014

109 ලංකාවේ වර්තමාන ගීතය නපුංසකද ?

සිරා කොලුවා නොරටක සිටියද හදවත තියෙන්නේ සිරි ලංකාවේ නිසා එහි ඇති තතු විත්ති දැනගනිමින් අන්තර්ජාලය හරහා සිංහල ගීතයක් ශ්‍රවනය කරමින් රැකියාවේ කටයුතු කරගෙන යන්නට මෑතකදී උත්සාහයක් ගතිමි. ඇන්ඩ්‍රොයිඩ් දුරකථන සදහා ලංකාවේ ගුවන් විදුලි ආයතන වැඩසටහන් සම්පාදනය කර තිබෙන්නේ අතලොස්සක් නිසා තමන් අංක 1 යැයි කියා ගන්නා එක් නාලිකාවක් අසල අවසානයේ නතර වීමි.

අහෝ ලංකාවේ ගීතය වර්තමානයේ මේ යැයි දැන හදුනාගතිමි. සතියකට එක් දිනක් හැර ඉතිරි සියලු දින වල එහි 90%  පමණ ප්‍රචාරය වන්නේ තමා හැර ගියා යැයි කියන පෙම්වතියක වෙනුවෙන් ගයනා ප්‍රේම වැලපිලි හෙවත් හුදු ප්‍රේම අදෝනා වර්ගයේ ගීතය. මේවායේ පද රචනාවේ හෝ සංගීතයේ හෝ කිසිම ගතයුත්තක් නැත. ඒවා ලියා තිබෙන්නේ සිංහල සාහිත්‍ය පිළිබද මෙලෝ සංසාරයක දැනුමක් තියෙන උන් නොවන බව ගීතයේ පද පේලි දෙක තුනක් ශ්‍රවනය කල පසු මනාව වැටහෙයි.


ලංකාවේ බහුතරයක් ඉල්ලන රස මෙය නොවෙතත් අප මත බලෙන් පටවා ඇති මේ රස කුමක්ද ? අප වර්තමානයේද රස කරමින් අසන 70 , 80 දශකයේ ගීත ගගුල සිදී ගියේ මක්නිසාද...මේ ලිපියෙන් යම්තාක් දුරකට මේ කාරණා පිළිබද කථිකාවක් මගේ හැකියාවේ තරමට ඇති කරන්නට මම කැමැත්තෙමි.

70 දශකය සිරි ලංකාවේ සකලවිද කලාවේ ස්වර්ණමය යුගය ලෙස බොහෝ ප්‍රසිද්ධ අදහසක් වෙයි. සිනමාව, සංගීතය, නාට්‍ය කලාව මෙන්ම නර්තනයටද මේ කාරණාව එක සේ වලංගු බව තතු දත් අය පවසති. එතැන් සිට දශක හතරකටත් වඩා දුර ගෙවා ඇති අප අද සිටින්නේ කොතැනද ? එදා තිබූ දියුණුව අද අප අත්කරගෙන නැතිද ?

වෙනත් අයෙකු සතුව වෙනත් අදහසක් තිබෙන්නට හැකිය. නමුත් මගේ අදහස් මෙබදුය. පෙර කියූ විවිධ කලා භාවිතයන් අතරින් ගීතය, සංගීතය යන්නට මේ සටහන ලඝු කලහොත් වර්තමානයේ ඒ තුල ඇතිවී තිබෙන රස මොට වීමට මා දකිනා හේතූන් මම මෙහි සංශිප්තව සටහන් කරමි.

70 දශකයේදී ලංකාවේ සරළ ගීතය දික්විජය කර සිටි අමරදේව, හරූන් ලන්ත්‍රා, සී.ටී. ප්‍රනාන්දු, එච්.ආර් ජෝතිපාල, මොහිදින් බෙග්, ධර්මදාස වල්පොල, ඇම්.ඇස් ප්‍රනාන්දු, ෂෙල්ටන් පෙරේරා, මිල්ටන් පෙරේරා, සිසිර සේනාරත්න, වික්ටර් රත්නායක, මිල්ටන් මල්ලවආරච්චි, නන්දා මාලනී, ලතා, ඇන්ජලින්, සුජාතා වැනි මහා චරිත මෙන්ම ඒ කාලය වන විට ක්ෂේත්‍රයට පැමිණ සිටි සනත් නන්දසිරි, දයාරත්න රණතුංග, මර්වින් පෙරේරා, ටී එම් ජයරත්න, සෝමතිලක ජයමහ, අබේවර්ධන බාලසූරිය, ග්‍රේෂන් ආනන්ද මෙන්ම 80 දශකයේදී ප්‍රසිද්ධ වේදිකාවට පැමිණි එඩ්වඩ් ජයකොඩි, අමරසිරි පීරිස්, රූකාන්ත ගුණතිලක, වැන්නන් නව පරපුරට නිසි මග පෙන්වන්නට කටයුතු කලේ නැතිද ? විටෙක මට සිතෙයි.

ලංකාවේ ගුවන් විදුලි මාධ්‍ය තුල ශ්‍රී ලංකා ගුවන් විදුලිය පමණක් තිබූ සමයේ සහන නිවේදකයකු බදවා ගැනීමට පවා බොහෝ සේ සංකීර්ණ සම්මූඛ පරීක්ෂණ වට තුන හතරක් පසු කර යන්නට ඔහුට හෝ ඇයට සිදු විය. මේ ක්‍රියාවලිය අතර තුර ඔහුගේ සාහිත්‍ය දැනුම මෙන්ම ලෝකය සහ සමාජය පිළිබද දැනුමද පරීක්ෂා කෙරිනි. එහි ප්‍රතිඵලය වූයේ ඇසූ පිරූ ඇති අයවලුන් පමණක් ගුවන් විදුලියේ සේවයට එක් වීමයි.

අප මහත් අභිරුචියෙන් වර්ණනා කරන එකල ගායන වේදීන්/වේදිනියන් ගායන හැකියාව අනුව වර්ග කර ගුවන් විදුලියේ වැඩසටහන් සදහා එකතු කරගත් නිසාත්, අතීතයේදී ගායකයෙකු වන්නට වෙනත් ක්‍රමවේද නොතිබූ නිසාත් සැබෑ ලෙසම ගායනයට දක්ෂයන් පමණක් ගීත ගායනයට එකතු වූහ.

පොදුවේ ගත් කල මේ සියලු දෙනා සිංහල සාහිත්‍ය, ලංකාවේ ජන විඥානය පිළිබද දැනුමෙන් පෝෂණය වී සිටි නිසාම ශ්‍රාවකයා ආනන්දයෙන් ප්‍රඥාව කරා ගෙන යා හැකි ගීත නිර්මාණ බිහි කරන්නට ඔවුනට අපහසු වූයේ නැත. නිවේදක පරපුරට තම කාර්යයන් අතික්‍රමණය කරමින් ගීත රචකයන් වන්නට ඔවුන්ගේ වෘත්තීය පරිසරය තුලම මග සැකසී තිබුනි. ගුවන් විදුලියේ එකල විකාශය වු කරුණාරත්න අබේසේකර ශූරීන්ගේ ළමා පිටිය කෙතරම් නම් කලාකරුවන් පිරිසකගේ තිඹිරිගෙය වීද ?

නිවේදක වෘත්තිය අතර තුර ගීත රචනයට පිවිසි අය අතර කරුණාරත්න අබේසේකර,  මඩවල එස් රත්නායක, ප්‍රේමකීර්ති ද අල්විස්, කේ.ඩී.කේ ධර්මවර්ධන, දයා ද අල්විස්, යමුනා මාලනී වැනි අති දක්ශයින් කැපී පෙනෙයි. මහගමසේකර ශූරීන් මුලින් ගීත රචකයෙකු වී පසුව ගුවන් විදුලියේ ඇතැම් කලා වැඩසටහන් ඉදිරිපත් කිරීම කල බව අසන්නට ලැබුනි. නිවේදක පසුබිමක් නොවුනත් මේ කියන ගොන්නෙහි සැකයකින් තොරව තැබිය හැකි තවත් අතිවිශිෂ්ඨ ගණයේ ගීත රචකයන් රැසකි.

ඒ අතරින් සමහර කෙනෙක් දැන් අප අතර නැත. ධර්මසිරි ගමගේ, ඩෝල්ටන් අල්විස්, සුනිල් සරත් පෙරේරා, කුමාරදාස සපුතන්ත්‍රි, මහාචාර්ය සුනිල් ආරියරත්න, ආචාර්ය අජන්තා රණසිංහ, ලූෂන් බුලත්සිංහල, කුලරත්න ආරියවංශ, බණ්ඩාර අැහැළියගොඩ, ආනන්ද හේවාරංහිදගේ, නීතිඥ රන්බණ්ඩා සෙනෙවිරත්න, රත්න ශ්‍රී විජේසිංහ පරම්පරාවත්... 80 දශකයෙන් පසු ක්ෂේත්‍රයට පිවිසි බන්දුල නානායක්කාරවසම්, විපුල ධර්මප්‍රිය, නිලාර් එන් කාසිම්, යසනාත් ධම්මික බණ්ඩාර කැළුම් ශ්‍රීමාල්,  රවී සිරිවර්ධන වැන්නන් ඒ ගොනුවට එකතු කල හැක. විපුල, නිලාර්, කැළුම් මේ නම් අතර නිවේදක කාර්යයේ නිරත වූ අය වෙති. ඒ නිසාමදෝ සරු නිර්මාණ බිහිකරමින් ක්ෂේත්‍රයේ උඩුගම් බලා පිහිනන්නට ඔවුනට ශක්තිය ධෛර්යය ලැබී තිබේ. ඔවුන් ගෙත්තම් කරනා පද වැල්  අපට පෙන්වා දෙන්නේ ප්‍රවීණයන්ගේ හෙවනැලි යට ඔවුන්ගේ අක්මුල් තවමත් සිදී නැති බවකි.

අද කාලයේ මෙන් බඩ වඩා ගැනීමේ යුගයක් එකල නොතිබූ නිසාම මේ මහා නිර්මාණකරුවන් ශ්‍රාවක මනසට කලාවෙන් දෙන්නට හැකි හොදම දේ තිළිණ කරන්නට සැම විටම උත්සුක වී තිබුනි. මුල් කාලයේදී කරුණාරත්න අබේසේකර ශූරින් හින්දි තනු වලට සිංහල වචන යොදා හින්දි ගීතයේ සිංහල අනුවාදනයන් එකතු කලත්, සිංහල සරළ ගීතය ක්‍රම ක්‍රමයෙන් පරිණාමය වන විට ස්වතන්ත්‍ර නිර්මාණ වලින් ශ්‍රාවකයන් පිනවන්නට අමතක නොකලේය. මා මෙහි දැක්වූ ගීත රචකයන් අතර මගේ ප්‍රියතමයා වන්නේ ප්‍රේමකීර්ති ද අල්විස් මහතායි. අපේ පරපුරේ උන්ට එවැනි මහා චරිතයක් ආශ්‍රය කරන්නට පින් මද වූ නමුදු අප කුඩා කාලයේ රූපවාහිනියේ ආයුබෝවන් වැඩසටහනෙන් දුටු ඔහුගේ සන්සුන් රූපකාය තවමත් සිතෙන් මැකී ගොස් නැත.

තමා හට එදිනෙදා ජන ජීවිතය තුල විදින්නට ලැබෙන මනෝභාවයන් ගීතයක පද පෙළක් කරන්නට ඔහුට තිබූ සමර්ථ කම වෙනත් කිසිම ගීත රචකයෙකුට තිබුනේදැයි  සැක සිතෙයි. තමා සිටින පරිසරය, වේලාව ඔහුට වැදගත් වී නැත...සිතුවිලි උපදින නිමේෂයේ එය බස් ටිකට් පතක හෝ සටහන් කර පසු දිනෙක රසවත් ගීතයක් බවට පත් කරන්නට ප්‍රේමකීර්ති මහතා සතුව තිබී ඇති ප්‍රතිභාව පුදුමාකාර එකකි. එකල පැවති ජේ.ආර් ජයවර්ධන රජයෙන් ලැබුනු දඩුවම් මාරු නිසා ලංකාවේ පළාත් කීපයකම ගුවන් විදුලි විකාශනාගාර වල සේවය කරන්නට ඔහුට සිදුවී තිබේ. ඒ සෑම විටකම ඒ පරිසරයේදී ඔහු විදි අත්දැකීම් ගීතයකට ගොණු කර ඇති ආකාරය විශ්මය ජනකය.

මාතර සිටියදී  සුනිල් එදිරිසිංහ මහතා ගායනා කරන බානෙන් බැද රජරට පෙදෙසින්නේ, යාපනයේ සේවය කරන කාලයේ මන්නාරම් පිටි වැල්ලේ මදටිය වැල් ඔන්චිල්ලේ (ෆ්‍රෙඩී සිල්වා), තමාගේ වෘත්තීය ජීවිතයට එකට සිටි උන් පිහියෙන් අනිද්දී අලුත් කලාවක් සොයාගත්තා මං දියුණු වෙන්න ඕනෑ නම් (ෆ්‍රෙඩී සිල්වා) තමාගේ අතිජාත බිරිද වෙනත් ප්‍රේමයකට පැටලුන විට සදකැන් වැසිලා අදුරේ එතිලා (වික්ටර්) වැනි ගීත මේ විශිෂ්ඨයාගේ අවස්ථානුකූලව ගීත ලිවීමේ විශිෂ්ඨත්වය පිළිබද දෙස් දෙයි. මෙවැනි මහා ගීත රචකයන් සිටි ශ්‍රී ලංකාවේ අද අපට සිටින්නේ අදුරේ අත පත ගානා අදබාලයින් පිරිසක් නොවේද ?

අතීතයේ රචනා වූ ගීත රචනාවන් සාර්ථක ගීත බවට පත්වෙන්නට ගීතයේ තනුව, ගායකයාගේ හැකියාවටත් වඩා ගීත රචනාව තුලින් ඉස්මතු වූ අදහසේ ඇති යථාවාදී ස්වරූපය ඉවහල් වූවා යැයි සිතෙන තරමට ඒවායේ පදවැල් ප්‍රබලය. සැබෑ ජීවිතයේ ලබන අත්දැකීම් ඔස්සේ ගීත ලියවුන නිසාම ඒ පද අතර නොගැලපෙන යමක් නැත. එමෙන්ම එහි අදහස බොහෝ ශ්‍රාවකයන්ගේ අත්දැකීම් සමගින් සමපාත විය.

එහෙත් අප වර්තමානය දෙසට නෙත් යොමන විට තමන්ගේ කරගත් අනුන්ගේ අත්දැකීම් ඔස්සේ ලියනා ලියවිලි ඒ රසයෙන් බොහෝ ඈත බව ගීතයේ රසය නිසිලෙස හදුනන කෙනෙකුට වැටහෙයි. විරහා ගීත රැල්ලෙන් තෙමී සාක්කුව පුරවාගන්නට ජීවිතයේ කිසි දිනෙක විරහව විද නැති අය කදුළු වැක්කෙරෙනා විරහා ගීත ලියති.

1977 දී වීවෘත ආර්ථික ක්‍රමවේදය හදුන්වා දීමෙන් පසු එහි බලපෑම රටේ සියලුම අංශ කෙරෙහි විහිදී, පැතිරී ගිය බව රහසක් නොවේ. මේ කියනා විවෘත ආර්ථික ක්‍රමවේදයේ ආශිර්වාදය නිසාම ගීතය යනු ප්‍රබල වෙළදපල මාධ්‍යයක් ලෙස යොදාගන්නා වර්තමානයක සාක්ෂිකරුවන් වන්නට අපට හැකි වී තිබේ.

අතීත නිර්මාණකරුවන් තම තමන්ගේ මෙන්ම ශ්‍රාවක සැමගේ රස භාවයන් සන්තර්පණය කිරීමේ අරමුණින් නිර්මාණකරනයේ නිරත වුවද වර්තමානයේ එය තනිකරම ව්‍යාපාරයක් වී තිබේ. මේ කාරණය ගැන වර්තමාන නිර්මාණකරුවකු සමග කථාකලහොත් ඔවුන් නිසැකවම කියන්නේ ඒ කාලෙ හිටි අයට තමන්ගෙ නිර්මාණ මාකට් කරන්නට නොහැකි වූවාට අපට එය කල හැකි වූ බවකි. අති ජනප්‍රිය ගීත සිය දහස් ගණනක් ලියූ ප්‍රේමකීර්ති වැන්නෙකු සාමාන්‍ය ජනතාවගේම කොටසක් ලෙස පොදු ප්‍රවාහන මාධ්‍ය වල ගමන් කරමින්, සරළ ජීවිතයක් ගතකලද  වර්තමානයේ ගීත 10 ක් ලියූ තැනැත්තාද වටිනා වාහනයක සහ වෙනත් දේපළ වල හිමිකරුවන් වී සිටිති. ගීතයක් මාකට් කරන්නට නම් එහි ප්‍රමිතිය අවම කල යුතුදැයි සොයා බැලීම වටී.

ශ්‍රව්‍ය දෘෂ්‍ය මාධ්‍ය ජනතාවට සමීප වෙද්දී ගීතයට රූපරචනාව නම් සංකල්පයක් නැතුවම බැරි තරමට සමීප විය. මේ කියනා රූප රචනාද අද වන විට ඉතාම එක්කාරී ස්වරූපයක් ගෙන තිබේ. ගීත මාකට් කිරීමෙන් අවසානයේ පාඩු විදින්නේ සුභාවිත ගීතයට පෙම්බදින ලංකාවේ අතිමහත් සංගීත රසිකයන් බව රහසක් නැත. බස් රථයක ගමන් කලත්, හන්දියේ කඩපිලේ ලොතරැයි කූඩුවක් අසල සිටගෙන සිටියත් අවර ගණයේ ගී නිර්මාණ වලින් දෙසවන් පුරවාගන්නට අපට සිදුවී තිබෙන්නේ මේ නිසාමය. මෙවැනි ගීත වලින් බොහෝ විට පෙම්වතිය මා හැර ගිය නිසා මම කදුලු වක්කරමින් හඩනා බවත්, මට මැරෙන්නට ඕනෑ බවත් කියවෙනු ඇත. හොද ආත්ම ශක්තියක් ඇති පිරිමියෙකු ප්‍රේමයේ විප්‍රයෝගය හමුවේ මෙලෙස හැසිරෙන්නේ නැති නිසා, මෙම ගීත ගයන්නේ නපුංසකයන්දැයි සමහරු අසති.

මේ රැල්ල ඇතිවෙන්නට සෘජුව වගකිව යුතු පාර්ශව දෙකක් මගේ සිහියට එයි. ඉන් පළමු කොටස වන්නේ පුද්ගලික ගුවන් විදුල් නාලිකා අටෝරාශියයි. දෙවැන්න රිගින් ටෝන් මාෆියාවයි.

පුද්ගලික ගුවන් විදුලි නාලිකා දැන් දැන් හැසිරෙන්නේ බලු බෙට්ට වුව විකුණා ලාභ ලබන්නට හැකි නම් එය සිදුකිරීමේ වරදක් නැත යන සංකල්පයේ සිට විය යුතුය. මිනිසුන් දැන් මේ ජහජරාවන් අහන්නේ නැති නිසා බලෙන් මුදල් ලබා දී ඒවා අස්සවා ගන්නට තරම් උන් බංකොලොත් වී සිටිති.  අතීතයේ පැවති ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවට සමාජ වගකීමක් තිබුනද මේවාට ඒවා නැත. අතීතයේ නිවේදිකාවක් නිවේදකයෙන් වන්නට සාහිත්‍ය දැනුම වැදගත් සාධයක් වුවත් අද එය අවලංගු කාසියකි. පාසල් අධ්‍යාපනය තුල සිංහල සාහිත්‍ය හදාරා කුඹුරු කොටන්නදැයි බහුතරයක් සිතනා නිසාම අද සාහිත්‍ය ඉගෙනගන්නා පිරිස අඩු වී තිබේ.

සන්නිවේදන හැකියාව කෙසේ වෙතත්, තම උසස් නිලධාරීන්ට ශාරීරික අල්ලස් පවා දෙන්නට අකමැති නැති මාල ගිරවියන්, ගිරා පෝතකයන් පිරිසක් එෆ් නාලිකා වල සේවයට එකතු වන්නේ ඉහත විස්තර කල පසුබිම තුලය. අපිත් එක්ක සෙට් වී ෆන් එක ගන්නා හැටියට අපට ඇරයුම් කරනා ඔව්හු අඩුම තරමේ ප්‍රේමකීර්ති වැනි චරිත හෝ ඔවුන්ගේ මාධ්‍ය භාවිතය  පිළිබද අසා හෝ තිබේදැයි සැක සිතේ. එෆ් එම් නාලිකා තුල වුවද නිසි ලෙස බස හසුරන අතලොස්සක් සංනිවේදකයන් සිටිනා වග ඔවුනට කරනා ගෞරවයක් වශයෙන් මෙහි සටහන් කල යුතුමය.

මේ කියූ එෆ් නාලිකා අතර ඇතමෙක් මුදල් වලට, පැකේජ් ක්‍රමයට ගීත ජනප්‍රිය කිරීමේ කොන්ත්‍රාත්තුද භාර ගනියි. තෝරා ගන්නා පැකේජය අනුව දිනකට ගීතය වාදනය කරනා වාර ගනන තීරණය වන අතර...ගීතය මාසයක පමණ කාලයක් දින පතා වාදනය කර ඊලග මාසයේදී ගීතය වාදනය වන විට අපි විසින් හිට් කලා යැයි ලේබලයක් අලවති. නමුත් ඒවා සැබැවින්ම හිට් වී දැයි මුදල් ගෙවූ උන් හොයන්න යන්නේ නැත.

සහශ්‍රය ලැබූ පසු තොරතුරු තාක්ෂණික මෙවලමක් ලෙස ලංකාව පුරාම පිළිකාවක් ලෙස පැතිරී ගිය ජංගම දුරකථනය ඔස්සේ අලුත්ම තාලේ ව්‍යාපාරයක් අරඹා ගොඩ ගිය ඇත්තන් අද කෝටිපතියන් වී සිටිති. අනුන්ගේ ගීත රිගින් ටෝන් ආයතනයේ භුක්තියට සවි කර එහි ආදායම් ලබන්නේ ඒ ඒ ගීත වල නිර්මාණ කාර්යයට කිසිම ලෙසකින් දායක වූවන් නොවේ. අමරසිරි පීරිස් මහතාගේ ළදුනේ ගීතය රිගින් ටෝන් වලට විකුණා රුපියල් ලක්ෂ 80 ක ආදායමක් ලැබූ බව කියතත් ඒ ආදායමෙන් ශත 5ක් හෝ ඒ මහතා ලබාගෙන නැත. එයින්ම රිගින් ටෝන් මාෆියාවේ තරම මෙන්ම ලංකාවේ බුද්ධිමය අයිතීන් එළි පිටම අමු අමුවේ කෙළෙසන අයුරු පිළිබද දළ අවබෝධයක් ලබාගත හැකි වනු ඇත.

ලංකාවේ පළමු කැසට් පටය නිකුත් කලේ දිවංගත මිල්ටන් මල්ලවාරච්චි ගායකයා විසිනි. නිහාල් නෙල්සන් වැඩිම කැසට් පට සංඛ්‍යාවක් වෙළදපලට නිකුත් කල ගායකයාය. අන්තර්ජාලය හෝ අද පවතින වෙනත් විනෝදාත්මක ප්‍රභවයන් නොතිබූ ඒ සමයේ කැසට් පට මගින් සැළකිය යුතු ආදායමක් ලබන්නට මේ අයට හැකි විය. පසු කලෙක තාක්ෂණයේ දියුණුව සමග සීඩී තැටි වලටද ගිත ඇතුලු කර අළෙවි කරන්නට ඔවුනට හැකි වූහ. එහෙත් අද මේ දෙවර්ගයම යල් පැන ගිය මෙවලමකි. අලුත් නිර්මාණයක් සිදුකර මිළක් නියම කර වෙළදපොලට නිකුත් කර දින කීපයකට පසු එම ගීත නිර්මාණ සියල්ලම මල්වත්ත පාරේ පදික වේදිකාවේ විකිණෙන්නේ ඉතාම අඩු මිළකටය. මේ නිසාම පැරණි ගායක ගායිකාවන් නිෂ්පාදන වියදම හෝ සොයාගන්නට නොහැකි නිසාම අලුත් ගීත ගායනා කරන්නේ, තැටි නිකුත් කරන්නේ නැත.

රිගින් ටෝන් සදහා ගීත නිර්මාණය කරන්නට නව පරපුරට සිදු වූයේ එහෙයිනි. සංගීත සංදර්ශන හැමදාම නැත. ගීත ක්ෂේත්‍රයේ ආදායම විචල්‍ය වන නිසා ඔවුනට මෙය නිසැකවම වැදගත් දෙයකි. එහෙත් ගැටලුව වන්නේ රස නොමරා මේ කාර්යයේ නිරත වන්නට ඔවුනට හැකියාවක් නැතිද යන කාරණයයි.

අද සංගීත කලාව හැකියාවටත් වඩා තාක්ෂණය මත යැපෙන එකකි. ගීතයක් ගයන්නට නොහැකි වුවත් කෑලි පුරුද්දා ගායකයෙක් වන්නට මුදල් අතේ ඇති කෙනෙකුට ඉතාම පහසු කාරණයකි. විශ්වයම තනි යායක් තරමට දැනෙන සේ තාක්ෂණික පෙරළියක් සිදුව ඇති යුගයක, මේ තාක්ෂණ ක්‍රමවේද වලින් බැහැරව ඉන්නට අපේ කුඩා රටට හැකියාවක් නැත. එහෙත් තාක්ෂණය යොදාගත යුත්තේ නොහැකියාවේ හෙළුව වසා ගැනීමට නොව හැකියාවේ මායිම් වර්ධනය උදෙසාය. අවාසනාවකට ලංකාවේදී තාක්ෂණය වැඩිපුරම යොදාගන්නේ නොහැකියාව වෙනුවෙනි. සෘතියකට ගයනු තබා සෘතිය යනු කුමක්දැයි නොදන්නා අය පවා අද ගායකයන් වී සිටිති.

සංගීතය හා සම්බන්ධ වූ නව තාක්ෂණ ක්‍රම වේදයන් පිළිබද අදහසක් ලබාගෙන ඒ සමග බද්ධ වී ඉදිරි ගමන යන්නට ලංකාවේ අතිමහත් බහුතර ප්‍රබුද්ධ යයි සම්මත කලාකරුවන් කටයුතු කලේ නැත. ඔව්හු අලුතින් නිර්මාණ කරන්නට උත්සුක නොවී මේ රාමුව තුල වෙනම කුලකයක් ලෙස කලා ලොව වැජඹෙන්නෝය. නිර්මාණ කරණයේ යෙදෙන තරුණ සංගීතවේදීන්ගේ වරදක් දුටු විට එය දැඩිව විවේචනය කරනවා මිසක ඔවුනට ගුරුහරුකම් දෙන්නට, ඔවුන්ගේ ගමනට ශක්තියක් වෙන්නට ඇතමෙකු දායක වෙන්නේම නැත. නව පරපුරද ඔවුන්ගෙන් ගුරුහරුකම් ගන්නට උත්සාහ කලාදැයි මම නොදනිමි. කෙසේ හෝ මේ දෙපාර්ශවය අතර යහපත් සබදතාවක් ඇති වුනි නම්, ලංකාවේ ගීතයේ ප්‍රමිතිය තීරණය කිරීම පිණිස යම් වැඩපිළිවෙලක් රජයේ පාර්ශවයෙන් පැනවේ නම් පිං පඩි කෙලිනා සංස්කෘතික ඇමතිලාට ඉදිරියට මහන්සි වී කරන්නට යමක් තිබේ.

ගීතයේ ප්‍රමිතිය මෙන්ම එෆ් එම් නාලිකා වල සහ ඒවායේ ගිරවුන්ගේ ප්‍රමිතිය මැනීමට මිනුම් දඩු පනවන්නට සංස්කෘතිය භාරව කටයුතු කරන ඇත්තන්ට හැකි නම් පුරන් වී තිබෙන ශ්‍රී ලංකා ගීත කලාව නැවත අස්වැද්දිය හැකි යයි මට සිතේ. නමුදු පේනතෙක් මානයක ඒ සදහා සැබෑ උවමනාවක් ඇති කෙනෙක් නොපෙනේ.

වර්තමාන සංගීත භාවිතය තුල සුභාවිත ගීතයට පෙම්බදින රසිකයන් කෙතරම් නම් හෙම්බත් වී සිටිත්ද යන්න මා හට හොදින් වැටහුනේ  2012 වසරේදී  BMICH හි පැවති අමරදේවයන්ගේ ප්‍රසංගයක් නැරඹීමට ගිය විටෙකය. රූපවාහිනී දැන්වීම් තුල ප්‍රවේශ පත්‍ර එදින දොරටුවෙන් ගත හැකි බව පුන පුනා කී නිසාම එදින දොරටුවෙන් ප්‍රවේශ පත්‍ර ලබාගන්නා අටියෙන් සිරා කොලුවා තවත් මිතුරෙකු සමග එහි ගියද එහි වූයේ භයංකාර තත්වයකි.

ප්‍රසංගයේ සංවිධායකයන් ප්‍රවේශ පත්‍ර අතැතිව සිටි අයවලුන් සියල්ල ප්‍රසංග ශාලාව වෙත යොමුකර ප්‍රවේශ පත්‍ර නොමැති මුත් ප්‍රසංගය නැරඹීමේ අටියෙන් එහි රැදී සිටි අයට ඉන් ඉවත් වන ලෙස බලපෑම් කරමින් සිටියෝය. එහෙත් එදින දොරටුවෙන් එකදු හෝ ප්‍රවේශ පත්‍රයක් නිකුත් කර නොතිබූ වටපිටාවක එලෙස ලෙහෙසියෙන් පරාජය භාරගන්නට ඔව්හු අකමැති වූහ.

අපි ආවෙ මෙතැනින් ටිකට් අරං මේක බලන්න. මෙතන ටිකට් දුන්නෙ නැති එකට අපි වැරදි නෑ...සමාජයේ විවිධ ස්ථරයන් නියෝජනය කරනා, විවිධ වයස් කාණ්ඩ වලට අයත් කාන්තා/පිරිමි රසික කැළ එකාවන්ව නැගූ හඩ නිසාම ප්‍රවේශ පත්‍ර නෙැමැතිව හිටගෙන ප්‍රසංගය නරඹන්නට අවසර දෙන්නට අවසානයේ සංවිධායකයන්ට සිදුවිය.

යහපත් ගීතයක රස විදින්නට හැකියාව ඇති තැනක තවමත් ලංකාවේ ප්‍රේක්ෂකයා දහස් ගනනින් රොද බදිනා බවට ඇස් ඉදිරියේ පෙනෙන්නට තිබෙන සත්‍යය වසන් කරන්නට එෆ් එම් නාලිකා වලට නොහැකි බව එදා මම තේරුම් ගතිමි.

අද ගුවන්විදුලියෙන් හැම විටම ඇසෙන්නේ දුක්බර තේමාවන් අනුව ලියැවුන ගීතය. මේ සියල්ලම බැලූ බැල්මට එක අච්චුවේ පුච්චා ඇති බව පෙනේ. සංගීත ඛණ්ඩ මෙන්ම තනු වල විශාල වෙනසක් නැත. ගුණාත්මක බවක්ද නැත. සතුට දනවන ගීතයක් ප්‍රචාරය වන්නේ, අලුතින් නිර්මාණය වන්නේ කැස්බෑවා විය සිදුරෙන් අහස බලනවා මෙනි. තම කැමැත්ත වෙනකක් වුවත් නාලිකා වල කැමැත්තට නිතරම දුක්බර ගීත ශ්‍රවණය කරන ලංකාවේ මිනිසුන්ගේ මනස තුල ක්‍රම ක්‍රමයෙන් ඇති වී යටි සිතේ තැන්පත් වෙන සෘණ මනෝභාවයන් පුද්ගලිකව ඔවුනටත්, පොදුවේ සමාජයටත් අවසානයේ රටටත් අයහපත් බව නිසි බලධාරීන් හදුනා ගනිත්වා.

ජයතිලක බණ්ඩාරයන් නෙත් එෆ් එම් වැඩසටහනකදී ගීතයක සමාජ වගකීම පිළිබද විග්‍රහ කලේ මෙසේය.



ප්‍රවීණ ගීත රචක සුනිල් සරත් පෙරේරා මහතා සිළුමිණ රසදුන අතිරේකය වෙත වර්තමාන ගීතය පිළිබද දක්වා තිබුනේ මෙවැනි අදහසකි.

// අද බොහෝ වෙලාවට අපට ඇසෙන්නේ හරසුන් බොළඳ ගී පද. විශේෂයෙන් ඒවායේ කිසිදු අර්ථ රසයක් නෑ. ගීතය කියන්නේ සාමූහික ප්‍රයත්නයක්. ඒ වගේම ගීතය සාහිත්‍ය අංගයක්. අදත් අපි අමරදේවයන්ගේ, සුනිල් එදිරිසිංහගේ ගීත රස විඳින්නේ ඒ සාහිත්‍ය අංගය ගීතවල නොමඳව තිබෙන නිසා. ගීතය කියන සාමූහික කලා මාධ්‍යය සංගීතඥයාගෙන් රසවත් වෙනවා. සාහිත්‍යය සදාකාලික වෙනවා. අද ඉන්නේ ගායකයෝ නොවෙයි ඝෝෂකයෝ. අපට ඇහෙන්නේ අරුත් සුන් ඝෝෂාවක් විතරයි. //



මම කාමරේ අරින සිරා කොලුවා.


ප.ලි

මෙම ලිපියේ සටහන්ව ඇත්තේ සිරා කොලුවාගේ පුද්ගලික අදහස් බව සැළකුව මනාය. ඒ තුල යම් සදොසක් වුවහොත් එය පෙන්වා දෙන්නට ඔබට ඇරයුම් කරමි. වර්තමාන පරපුර තුලද විදින්නට හැකි හොද නිර්මාණ කරනා නිර්මාණකරුවන් අතලොස්සක් සිටින බව කිව යුතුය.

වර්තමාන ගීතයේ හැසිරීම පිළිබද මාස දෙක තුනකට කලියෙන්  මාධ්‍යවේදී චන්දන ලියනාරච්චි සිරාගේ කාමරයේ 7 වෙනි ලිපිය වෙනුවෙන් ලියූ සටහන මෙතැනින්

ප්‍රේමකීර්ති ද අල්විස් නැමති චරිතයට ප්‍රිය කරන ඔබ ඇසිය යුතුම කථාවක් මෙතැනින්

පුංචි පහේ මධු සාදයකදී වුවද නිතරම ඕනෑම කෙනෙකුගේ මුවෙන් නැගෙන්නේ දශක දෙක තුනකට කලියෙන් නිර්මාණය වූ ගීතයකි. එම ගීත පෙන්වා ඇති නිර්මාණාත්මක ගුණය එයට හේතුව විය යුතුය.

Friday, August 22, 2014

54 අපි නොදන්න Mujahid

නාදුනන කෙනෙක් දුටු පමණින් ඔහු හෝ ඇය කෙරෙහි ලෙංගතු කමක්, හුරු පුරුදු ගතියක් දැනෙනවා නම් ඒ අැත්තන් පෙර සසරක හෝ අප සමග සමීපව සිටි අය බවට විශ්වාසයක් බොහෝ අය අතර තියෙනවා. මේ අත්දැකීම පුද්ගලිකව මමත් කීප වතාවක්ම විද තිබෙන බව මතකයි. අප මේ ගමන් කරනා දිගු සංසාර ගමන් මගේ එක් නවාතැන් පලක ඔබ හා මා දැන් නතර වී සිටියත් මරණෙන් පස්සෙ නැවතත් අපේ ගමන ඇරඹෙනවා. නිවන් දක්නා තුරාවට මේ සංසිද්ධිය සිදු වෙන බවක් තමයි බුදු දහමේ සදහන් වෙන්නෙ.

මැලේසියාවේ මගේ සේවා ස්ථානයට  මම එකතු වෙච්ච අලුතම සෑම කෙනෙක් ලගටම ගිහිල්ලා අතට අත දීලා සුභ උදෑසනක් කියලා ප්‍රාර්ථනා කරන බොහොම ප්‍රියමනාප මැදිවයසේ පාකිස්ථානු ජාතිකයෙක් හිටියා. දැක්ක පළමු වතාවෙම මම කලින් කිව්ව විදියෙ සිතුවිල්ලකින් මගේ හිත පිරුනා. මේ මනුස්සයා මොන තරම් සුන්දර හදවතක් තියෙන කෙනෙක්ද ? මට එහෙම හිතුනා.

ඔහුගෙ මුහුනෙ නිරන්තරයෙන් ඇදෙන අව්‍යාජ සිනහව, ලෙංගතුකම, මගේ සිතුවිල්ලට බණ්ඩි පෝර පාරක් ගැහුවා. කාර්යාලයේ මිතුරන්ගෙන් දැනගත් පරිදි ඔහු අපේ ආයතන ප්‍රධානියගෙ පුද්ගලික රියදුරු තැන. එයාගෙ නම තමයි Alamzeb Mujahid.

කාර්යාලයෙ ඇත්තො ඉතින් නිතරම වගේ නමේ දෙවැනි කොටසින් තමයි ඔහුව ආමන්ත්‍රණය කලේ. සෑම උදෑසනකම කාර්යාලයේ හැමෝටම වගේ ඔවුන් අසලටම ගිහින් සුභ පතලා පසෙක තියෙන සෝෆාවෙ ඉදගෙන ප්‍රධානියාගෙන් යම් කිසි අණක් ලැබෙන තුරු බලා ඉන්න ඔහු හරිම සන්සුන් නිවුනු ගතිගුණ තියෙන කෙනෙක් කියලා මට හිතුන වාර ගනන අපමණයි.

ඔහු සහ මා අතර මාස දෙක තුනක් ගතවෙන තුරාවට සිදුවුනේ මේ ක්‍රියාදාමය පමණයි. නමුත් එක දවසක් රාජකාරි වැඩකට මුජාහිඩ් සහ තවත් කාර්යාලයේ ලාංකික හිතවතෙක් සමග කාර්යාලයෙන් බැහැරට යන්න මට සිදුවුනා. එදා තමයි Alamzeb Mujahid කියන්නෙ කවුද කියලා මා සමග ගිය හිතවතා මට කිව්වෙ. ඒ කථාව ඇසූ සැනින්ම බොරු නොකියා ඉදින් කියලයි මම ඔහුට උත්තර දුන්න‍ෙ. නමුත් අපේ කථා නායකයා හිනා වෙලා...නෑ ඒ කථාව ඇත්තයි කිව්වට පස්සෙ මට ඒ සියල්ල පිළිගන්න සිදු වුනා.

කවුද හැබෑටම Alamzeb Mujahid ? ඔහු පාකිස්ථානයේ අතිශය ජනප්‍රිය වේදිකා සහ ටෙලිනාට්‍ය විකට නළුවෙක්, ඒ වගේම අධ්‍යක්ෂක වරයෙක්. පාකිස්ථානයේ  මුස්ලිම් සමාජය ඇතුලෙ ජන වර්ග කීපයක් ජීවත් වෙනවා නොවැ. එහි බහුතර ජනකොටස පඨාන් යන නමින් තමයි හදුන්වන්නෙ. සුප්‍රක්‍රට ක්‍රිකට් ක්‍රීඩකයන් වන ඉම්රාන් ඛාන්, සහීඩ් අෆ්රීඩි, යුනිස් ඛාන්, ජුනයිඩ් ඛාන් වැනි අය අයත් වන්නේ මේ ජන වර්ගයට. ඔවුන් කථා කරන භාෂාව හදුන්වන්නේ පෂ්ඨෝ (Pashto) කියන නමින්. පෂ්ඨෝ භාෂාව කථා බහ කරන පඨාන් ජනතාව අතර ඉතාම හොද ජනප්‍රියතාවක් දිනූ විකට නළුවා, එහෙමත් නැතිනම් මේ ජනවර්ගයෙන් බිහිවූ අසහාය විකට නළුවා විදියට අදටත් පාකිස්ථානයේ ගරු බුහුමන් ලබන්නේ Alamzeb Mujahid කියලා මට කිව්වෙ අපේ කාර්යාලයේ සේවය කරන තවත් පාකිස්ථානුවෙකු වන ජබීර් අෆ්රීඩි. ඔහුත් පඨාන් ජාතිකයෙක්. 

ජබීර්, ඔයා මුජාහිඩ් ගෙ රසිකයෙක් නෙමෙයිද පාකිස්ථානයෙ ඉන්න කාලෙ, මම වතාවක් ඔහුගෙන් ඇහුවා.

මොකද නැත්තෙ. මම එයාගෙ හොද රසිකයෙක්...මට එයාව මේ ඔෆිස් එකේදි මුලිච්චි උනාම හිතාගන්න බැරි උනා මේ එයාමද කියලා. ජබීර් බොහොම සන්තෝෂයෙන් උත්තර දුන්නා. හරියට ටෙනිසන් කුරේගෙ විකට රගපෑම් නරඹපු ලංකාවෙ කෙනෙක්ට ඔහු සමග එකම කාර්යාලයක වැඩ කරන්න ලැබුනා වගේ චෑන්ස් එකක් ජබීර්ට ලැබිලා තිබුනෙ.

මිනිසුන්ගේ දෛවය කියන්නෙ හරිම පුදුම දෙයක්. අපේ හෙට දවස මොන වගේ වෙයිද කියලා අපට කියන්න බෑ. මොකද අපි නොහිතන දේ සිදුවෙන්න හැකි නිසා. කාලයක් රූපවාහිනියෙන් Alamzeb Mujahid ගෙ විකට රගපෑම් දෙස ආශාවෙන් බලාන හිටිය ජබීර් ගොයියට තමන්ගෙ වීරයා එක්ක කථා බහ කරන්න එක කාර්යාලයක වැඩ කරන්න අවස්ථාව ලැබිලා. පසුකලෙක මුජාහිඩ්  අපේ කාර්යාලයෙන් බැහැරව යන තුරාවට ජබීර් සමගම තමයි කාලය ගත කලේ.

අයියා මල්ලී වාගේ....
ජබීර් වම්පස, මුජාහිඩ් දකුණු පස
සිරා කොලුවගෙ හිතේ දැන් ලොකු කුතුහලයක් ඉපදිලා. ඒ තමයි මේ විකට නළුවට මොකද උනේ කියන කාරණේ. ඒ කථාව විසදගන්න තවත් ටික කාලයක් ගත උනා. ඒ අතරතුර කාලයේ පඨාන් ජනතාව ගැන යම්කිසි ප්‍රාමාණික දැනුමක් මට ලබාදුන්නෙ අපේ ජබීර්. ඔහු කියන විදියට ඒ අයගෙ වර්තමාන වීරයො දෙන්නා ඉම්රාන් ඛාන් සහ සහීඩ් අෆ්රීඩි. පාකිස්ථානයේ වත්මන් පාලකයා වන නවාම් ෂරීෆ් බොහෝ දුෂිත පාලකයෙක් නිසාම රටේ ජන ප්‍රසාදය දිනාගනිමින් සීඝ්‍රයෙන් ඉදිරියට එන නායකයා ඉම්රාන් ඛාන් බවයි ජබීර් නම් කියන්නෙ. මේ වෙද්දි පාකිස්ථානු පාර්ලිමේන්තුවෙ තෙවැනියට වැඩිම මන්ත්‍රී ආසන සංඛ්‍යාව හිමිව තිබෙන්නේ ඉම්රාන්ගෙ පක්ෂයට. බොහෝ විට ඔහු මීළග පාකිස්ථානු අගමැති වරයා බවට පත් වේවි.

පාකිස්ථානුවො ලංකාවට හරිම කැමතියි. රට මොකක්ද කියලා ඇහුවම අපි ශ්‍රී ලංකා කියලා උත්තර දුන්නම ඒ අැත්තො හරිම ඉක්මනින් සුහද වෙනවා. ඔවුන්ට ශ්‍රී ලංකා යනුවෙන් උච්චාරණය කරන්න අමාරුයි. ඔවුන්ගේ උච්චාරනය අනුව අපේ රට සිරි ලංකාව. ලංකාවෙ යුද්ධය අවසන් කරන්න පාකිස්ථානයෙන්  ලැබුනු සහාය ඉතා විශාලයි. ඔවුන් නිපදවපු යුධ අවි වගේම ප්‍රහාරක යානා ගුවන් නියමුවන් පවා ලංකාව වෙනුවෙන් විශාල සේවයක් ඉටු කල බවක් මා අසා තිබෙනවා.

ඒ වගේම ඉන්දියාව සමග පැවැත්වෙන ක්‍රිකට් තරගයකින් අපේ කණ්ඩායම ජය ලැබුවොත් පහුවදාට සුභ පතන්නත් මේ අය අමතක කරන්නෙ නෑ. ලංකාවෙ මුස්ලිම් ජනතාවට වගේ හලාල් ප්‍රශ්න මම ආශ්‍රය කරන පාකිස්ථානුවන්ට නෑ. අපි ලබාදෙන ඕනෑම දෙයක් අනුභව කරන්නෙ මේවා හලාල්ද කියලා අහන්නෙ නැතුවයි. ගිය සතියෙ දවසක මැලේසියාවෙ තියෙන බෞද්ධ පන්සලක දානයක් අවසානයේ අපේ කාර්යාලයේ සේවය කරන ලංකාවෙ අයට ඒ හිමිවරුන් නිර්මාංශ ආහාර වේලක් එවා තිබුනා. ඉතිරි වී තිබූ ආහාර පාර්සලයක් මම ජබීර්ට සහ අලුතින් අපි සමග එක්වුනු අමීර් නැමති තවත් පාකිස්ථානු ජාතිකයෙකුට ලබා දුන්නා. ඔවුන් ඉතාම ආශාවෙන් ලාංකික ක්‍රමයට පිස තිබුන ගොටුකොළ, වැටකොළු, කරවිල ඇතුලු ආහාර රසවින්දෙ.

පොඩි වටවංගුවක් ගහලා ආයෙමත් කථාවට එමු. මුජාහිඩ් සමග නිවී සැනසිල්ලෙ කථා කරන්න සිරා කොලුවට අවස්ථාව ලැබුනෙ පළමු අවස්ථාවෙන් තවත් මාසයක පමණ කාලයක් ගත උනාට පස්සෙ.

ඇත්තටම ඔයාට මොකද උනේ. ජනප්‍රිය නළුවෙකු විදියට ඉදලා අද ඇයි මේ රියදුරෙක් විදියට සේවය කරන්නෙ.

මගේ ප්‍රශ්නය අහලා ඔහු අහිංසක විදියට හිනා වුනා. ඒක තමයි මිනිස්සුන්ගෙ දෛවය කියන්නෙ. ඔහු එහෙම කිව්වා. 

ඉතිං කියන්න ඔයාට මොකද උනේ..මම ආයෙමත් වතාවක් ඔහුව කථාවට උනන්දු කලා.

මම බොහොම ඉහළ ජනප්‍රියත්වයක ඉන්න කාලෙ තලේබාන් සංවිධානය මාව පැහැරගෙන ගියා 2009 දි. ඒ වෙද්දි මම පාකිස්ථානයේ වගේම ඇෆ්ගනිස්ථානයෙත් ජනප්‍රියයි.

තලේබාන් කියන්නෙ අනක් ගුණක් නැති තිරිසන්නු පිරිසක් නිසාම මම මුජාහිඩ්ගෙන් මෙහෙම ඇහුවා.

ඒ අය ඔයාට කරදරයක් කලේ නැද්ද ? ගැහුවෙ නැද්ද ? ශාරීරිකව පීඩා කලේ නැද්ද ? 

අපෝ නෑ...ඒ ඔක්කොම වගේ තරුණ වයසෙ ළමයි. හැමෝම වගේ මගේ රසිකයො. ඒ අය ඉතාම සුහදව කථා කලා. මාව මරන්න නෙමෙයි උස්සගෙන ගිහින් තිබුනෙ. මගේ සල්ලි ගන්න. හැබැයි මේ වගේ පැහැරගැනීමට ලක් වෙච්ච අය නැවත වතාවක් ජීවත් උනේ නම් බොහොම කලාතුරකින්. ඒ ඇත්තො මාව සතියක්ම බලෙන් රදවා ගත්තා.

ඉතිං ඊට පස්සෙ මොකද උනේ ?

මම හම්බකරලා තිබුන දේවලින් භාගයක් තලේබාන්ලා ගත්තා. ඊට පස්සෙ ඉතිරි භාගයයි, බිරිදයි, ළමයි දෙන්නයි එක්ක දේශපාලන රැකවරණ ඉල්ලගෙන මම මැලේසියාවට ආවා. පාකිස්ථානයෙන් එන්න කලින් පුවත්පත් සාකච්ඡාවක් තියලා මගේ අලුත් තීරණය ගැන මගේ රසිකයන්ට දැනුම් දුන්නා. අවුරුදු 20 කට ආසන්න කාලයක් ඒ වෙද්දි මගේ රංගන ජීවිතය තුල ගතවෙලා.

ජීවිතේ බේරගන්න ඕනෙ නිසයි එහෙම කලේ. මොකද ඒ අය මට රගපෑම් නවත්වන්න අණ කලා. දන්න කියන කාලෙ ඉදන් කරපු රගපෑම නැතුව මම වෙන මොනවා කරන්නද පාකිස්ථානයට වෙලා. මගේ ගමන ඒ විදියට නිමා වෙච්ච නිසා තමයි ඔයාට මාව මැලේසියාවෙදි අද හමුවෙන්නෙ.

ඉතිං හම්බ කරපු ඒවායින් භාගයක් ගෙනාවා නම් ඇයි ඔයාට මෙහෙම රැකියාවක් කරන්න උනේ? මම ආයෙමත් ඇහුවා.

ඇත්තටම මම ගෙනාව මුදල් වියදම් කරද්දි මගේ කිසිම සැලසුමක් තිබුනෙ නෑ. ඒ හින්දා සල්ලි ටික ඉක්මනට ඉවර උනා. මම මැලේසියාවට ආව ගමන් BMW කාර් එකක් ගත්තා. නමුත් ටිකෙන් ටික සල්ලි ඉවරවෙලා අපිට කරදර එද්දි මම ඒක විකුණලා දැම්මා.

තමන්ගෙම කියලා BMW කාර් රථයක් පදවපු කෙනා අපේ ආයතන ප්‍රධානියගෙ BMW  වාහනයෙ රියදුරා බවට පත්වෙන්නෙ තවත් ටික කාලයකට පස්සෙ දැනුන අගහිගකම් එක්ක බව දැන් ඔබට වැටහෙනවා.

ඉතිං...කියන්න බලන්න ඔයාගෙ රගපෑම් ගැන. මම ඔහුගෙන් ඇහුවාම මුජාහිඩ් සිරා කොලුවාව රැගෙන කාර්යාලයේ පරිගණකයක් ඉදිරියේ වාඩි උනා. යූ බටේට පිවිසිලා ඔහුගේ නම එහි සදහන් කල පමණින් ඔහුගේ රගපෑම් සහිත විශාල ප්‍රමාණයක වීඩියෝ දර්ශන එහි දර්ශනය උනා. බොරුවක් නෙමෙයි. හොයලා බලන්න.


ඔය හැම එකේම ඉන්නෙ මම..ඔයාම බලන්න මගේ රගපෑම් හොදද කියලා. මම වේදිකා නාට්‍ය වල වගේම රූපවාහිනී විකට නාටක වලත් රගපෑවා...මම හිතන්නෙ වේදිකා නාට්‍ය 200 කට පමණ කිට්ටුව රගපාලා ඇති. මේ තියෙන්නෙ මම අන්තිමටම රගපාපු රූපවාහිනී නාට්‍ය. මේ ඉන්නෙ පාකිස්ථානයේ ඉන්න ජනප්‍රිය නිළියක්. ඔහු විවිධ දේ මට පැහැදිලි කරමින් ඔහුගේ රගපෑම් දෙස මා සමග බලා සිටියා. ඇත්ත වශයෙන්ම මුජාහිඩ් කදිම හැකියාවක් ඇති ඉතාම දක්ෂ නළුවෙක්. ඔවුන්ගේ භාෂාව අපට වැටහුනේ නැති වුවත්, ඔහුගේ අභිනයන් ඔහුගේ හැකියාවන් ගැන යම්කිසි ඉගියක් අපට ලබා දෙනවා.


Alamzeb Mujahid කියන්නෙත් පඨාන් ජාතිකයෙක් නිසාම ජබීර් කියපු විදියට පඨාන් වරුන්ගෙ වර්තමාන වීරයන් ගැන මට සිහිපත් උනා.

සහීඩ් අෆ්රීඩි එහෙම මුණගැහිලා නැද්ද ?  

සහීඩ් අෆ්රීඩි කියන්නෙ මගේ හොදම යාලුවෙක්. අපි පාකිස්ථානයෙදි බොහෝ  වාර ගනනක් මුණ ගැහිලා තියෙනවා. 

ඔයා මොනවද ඉස්සරහට කරන්න හිතාගෙන ඉන්නෙ ? මැලේසියාවෙ ඉදන් රගපාන්න ඔයාට බැරිද ?

මම දැන් දේශපාලන රැකවරණ ඉල්ලලා තියෙන්නෙ එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන්. මම ඇමරිකාවට යන්න තමයි ගොඩාක් කැමැත්තෙන් ඉන්නෙ. එහෙ ගියොත් කාර්මික ශිල්පියෙක් විදියට හරි සිනමාවට සම්බන්ධ වෙන්න උත්සාහයක් ගන්නවා. මුජාහිඩ් බොහොම සන්සුන්ව කිව්වා.

ඇත්තෙන්ම පාකිස්ථානයට වර්තමානයේ ලබා තියෙන කලා දසාව බොහොම නරක එකක්. තලේබාන් සටන්කරුවන්ගෙ වගේම වෙනත් ත්‍රස්තවාදී කල්ලි වල තිප්පොලක් බවට පත්වෙලා තියෙන නිසාම පාකිස්ථානයේ ආරක්ෂාව අද හොදටම පිරිහිලා. මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර වලින් වගේම වෙනත් ත්‍රස්තවාදී ක්‍රියා හේතුවෙන් සාමාන්‍ය ජනතාව නිතරම මිය යනවා. සංචාරකයන් ලෙස කිසිවෙක් අද පාකිස්ථානයේ සංචාරය නොකරන තරම්. කාලයකට පෙර ලංකාවෙ ජාතික ක්‍රිකට් කණ්ඩායමට පාකිස්ථානයෙදි එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරයත් ඔබට අමතක නෑ.

මේ හේතු නිසාම තමන්ගෙ රටේ නිදහසේ ඉන්න බැරි නිසා ඉතාම බහුතර පාකිස්ථානුවන් පිරිසක් මැලේසියාවට සංක්‍රමණය වී සිටිනවා. ඒ අය අද මැලේසියාවෙ නිරතවෙන්නෙ පාකිස්ථානයෙදි ඔවුන් නියැලුනු රැකියාවට සම්පූර්ණයෙන්ම පරිභාහිර දේවල් වල.

අපේ කාර්යාලය කිට්ටුව තියෙන සෙනසුරාදා පොලේ රෙදි කඩයක් කරන පාකිස්ථාන සිවිල් ඉංජිනේරුවෙක් වතාවක් මට මුලිච්චි උනා. ඒ වගේම අපේ කාර්යාලයේ මුද්‍රණ කටයුතු ඉටු කරලා දෙන රෂීඩ් පාකිස්ථානයෙදි හෝමියෝපති වෛද්‍යවරයෙක් ලෙස කටයුතු කල කෙනෙක්. නළුවෙක් අධ්‍යක්ෂක වරයෙක් ලෙස කටයුතු කරපු මුජාහිඩ් දැන් රියදුරෙක්.

මෙහි සටහන් කරපු කථා බහෙන් පස්සෙ මුජාහිඩ් සහ සිරා කොලුවා අතර බොහොම ශක්තිමත් බැදීමක් ඇති උනා. සංචාරක ක්ෂේත්‍රයට අදාළව මැලේසියාවේදී වසරකට දෙවරක් පැවැත්වෙන දැවැන්තම ප්‍රදර්ශනය වන MATTA FAIR (Malaysian Association of Tours & Travel Agents) සදහා මගේ ආයතනය සහභාගි වන නිසා ඒ ගමන් බිමන් බොහොමයක් සදහා අපට සහාය වුනේ මුජාහිඩ්. ප්‍රදර්ශනය පැවැත්වෙන කාල වකවානුවෙදි එක පවුලක උන් වගෙයි අපි ඉන්නෙ. රටවල් කීපයකට අයත් පිරිස අපේ කාර්යාලයේ සේවය කලත්, ජාතිභේද, ආගම් භේද අපට නෑ.

මේ හැගීම තවත් ශක්තිමත් වෙන්නෙ ප්‍රදර්ශනය පැවැත්වෙන දින 3 පුරාවටම, ප්‍රදර්ශනයෙ කටයුතු අවසන් වූ පසු රාත්‍රී භෝජනය සදහා සියල්ලෝම එකාවන්ව සහභාගි වන වටපිටාව තුල. ආයතනය විසින් බරපැන දරන මේ අවස්ථාවට බියර් බෝතල් කීපයකුත් ලැබෙනවා. මුජාහිඩ් අප සමග හිටිය කාලෙ මේ බියර් අපේ වීදුරු වලට වත්කලේ ඔහු විසින්. ඔහු ඒ සදහා අනුගමනය කල ක්‍රමයත් ඔහුටම ආවේණික ක්‍රමයක්.



තමන්ගෙ අක්කා සහ ඇයගේ සැමියා සමග වෙසෙන ජබීර් බියර් බොන්න ගොඩාක් කැමතියි. ඒ උනාට ගෙදර අයගෙන් බැනුම් අහන්න වෙන නිසා ඒ කාරියට හරිම භයයි. බහුතර මුස්ලිම් ජාතිකයන් මත්පැන් පානය නොකරන පිරිසක් නිසාම ජබීර්, අක්කාගේ දෝෂාරෝපණයට ලක් වෙනවා ඇති. එහෙත් තමන්ගෙ වීරයා වීදුරුවකට වත් කරලා බියර් වීදුරුවක් දෙනකොට ජබීර් කොහොම නම් එපා කියන්නද ? මිනිහා වීදුරු දෙකක් පමණ පානය කරද්දි සර්වාංගයම රතුවෙලා කරටිය පාත් වෙනවා. ඊට පස්සෙ ජබීර් තමාට තමා පාලනය නැති ජීවියෙක්. මෙහෙම දවසක තමයි මගේ ඇග පුරා කෑම පිගානක් හැලුවෙ. එදායින් පස්සෙ මම මිනිහා ලග අසුන් ගන්නෙ නෑ.

මේ සියලු තැන් වල තමාට සහජයෙන් ලැබුන කවට කමෙන් අප පිනවන්න මුජාහිඩ් අමතක කළේ නෑ. ඔහුගේ අභිනයන් අපේ මුහුණු වලට නිතරම සිනහව කැන්දගෙන ආවා.

ගිය වසරෙ අග භාගයේ දවසක ලංකාවෙ පුද්ගලික රූපවාහිනී නාලිකාවක කණ්ඩායමක් මැලේසියාව පිළිබද වාර්තා වැඩසටහනක් කරන්න මෙහි පැමිණියා. එදා ඔවුන් එහි සමහර කොටස් රූගත කලේ අපේ කාර්යාලය තුලදි. මේ කටයුතු සිදු වෙද්දි  පසෙක සිට ඒ දෙස උපේක්ෂාවෙන් බලාන උන්නෙ මුජාහිඩ්. ඉස්සර දවසක කැමරාවක් ඉදිරියේ රගපෑම් කල ඒ අතීතය ඔහුට සිහිපත් වෙන්න ඇති. නිතරම සිනහවෙන් හිටිය මේ මිනිසාගේ හදවත මේ දර්ශනය දැකීමෙන් දුක්බර වෙලා. ඔහු හැගීම් දැනෙන්නෙ නැති මිනිහෙක් වගේ මේ කාරිය දිහා බලාන උන්නා. මුජාහිඩ්ගෙ අතීතය දන්නා කෙනෙක් විදියට ඒ අවස්ථාවේ මගේ හිතටත් සෑහෙන තරමේ බරක් දැනුනා. ඒ ඔහු සහ මා අතර තියෙන මිත්‍රත්වයටත් වඩා මනුස්ස කම නිසා වෙන්න ඇති.

ඔබ මෙන්ම මමත් සමහර විටෙක අපගේ උගත්කම, රැකියාව, සමාජ තත්වය මත අන් අය පහත් කොට සළකන, එහෙමත් නැතිනං උද්දච්චකමෙන් ජීවත් වන, කෙනෙක් වෙන්න පුලුවන්. නමුත් මේ සියලු දේ අප ජීවත්වන කෙටි කාලයකට පමණයි. ලෝකයේ පැවැත්ම, එය බිහිවූ පසු ගත වී තිබෙන කාලයට සාපේක්ෂව බැලුවාම මිනිසෙකුගේ වයස එයින් දශමයක්වත් නැති බව ඔබට වැටහේවි. නමුත් බහුතරයක් අය හිතාන ඉන්නෙ ඔවුන් බොහෝ කල් ජීවත් වන බවක්. කිසි දිනෙක නොමැරෙන බවක්, මේ කියපු කාරණා නොදන්නවා වාගේ, ගහමරා ගෙන, බෙලි කපාගෙන ජිවත් වීමෙන් ඇති ඵලක් නෑ නේද ? අද සටහන අවසන් කරන්න යද්දි මට මතක් වුනේ මෙන්න මේ ගීතය. එය කෙතරම් පැරණි වුවත් වර්තමානයටත් වලංගුයි. එහෙමයි මට හිතුනෙ.

සංසාරේ භවේ දුකා...සිරි සෑසි දෙසූ ලෙසේ...
දුක සැප දෙක නිති පෙරලේ රිය සක ලෙස ලෝ කුහරේ..
අද මාවත යන දුගියා... හෙට ලොව අග රජ වෙනවා...
කළ කර්මය පල දෙනවා...රජු මවත බැස යනවා..
නව ද්වාරයෙනි ගලනා වු ඕජස්... මේ කුණු සිරුරා...
මහ පොලවට පස් වෙනවා...සේ ඊර්ෂ්‍යා මාන ලොවේ...



මම කාමරේ අරින සිරා කොලුවා.


ප.ලි

විකිපීඩියාව මුජාහිඩ් පිළිබද කියන දේ මෙතැනින්.‍

පසු කලෙක මුජාහිඩ් අපේ ආයතනයෙන් සමුගෙන වෙනත් තැනක සේවයට එකතු වුවත් එදා තිබූ ලෙංගතු කම තවමත් එලෙසමය. හදිසියේ හෝ මහමග හමුවූ විටෙක නැවතී වචනයක් දෙකක් කථා කරන්නට ඔහුට ඇති තරම් වේලාව තිබේ.

මැලේසියාවේ වෙසෙන පාකිස්ථානු ජනතාවගෙන්ද ඔහුට ලැබෙන්නේ උණුසුම් ප්‍රතිචාර...ආහාර වේලක් ලබා ගන්න ආපන ශාලාවකට ගියත් ඔහුගේ බිල ගෙවන්න රසිකයො පොර කනවලු. ඔහු සමග ඡායාරූප ගන්න, කථාබහ කරන්න ඒ අය හරිම මනාපලු.



Sunday, August 17, 2014

95 නවරත්න සහ පද්මිණී

රත්නයො තෝ කොහෙද බොල මක බෑ උනේ...ඉක්මනට වරෙංකො තේ එක හදාගෙන.

තමා අත හැර ඉවතට ඇදෙන සිගරට් දුම දෙස බලා සිටිමින්  කෑ මොර දෙන ඩගී මහත්තයාගේ හඩ පැල් කොටය අස්සේ සිටි නවරත්නට ඇසුනේ යන්තමිනි. ඉදහිට දවසක හේන පැත්තේ එන ඩගී මහත්තයා මුදලාලිගේ ගජ මිතුරා බවත් සිගරැට්ටුවක් පත්තු කරනා සෑම විටකම වාගේ තේ කෝප්පයක් තොල ගෑමේ පුදුමාකාර පෙරේත කමකින් පෙලෙන බවත්  හේනේ ගත කල දෑ වසරක කාලය නවරත්නට කියා දී තිබේ.

ඩගී මහත්තයා....තේ කෝප්පය සමග යටහත් පහත්ව තමා දෙස බලා සිටින නවරත්න දෙස දුම් වළලු අතරින් දෑස යොමා ඩගී මහත්තයා බලා සිටියේය.

ඕක ඔතනින් තියපං... 

ඔහු එලෙස තෙපලූයේ තමා කියන්නට තටමන කාරණය පිළිබද ඉව වැටීමෙන් විය යුතු යයි නවරත්නට සිතුනේය.

ඩගී මහත්තයා...නවරත්න නැවතත් රැල් බුරුල් හැර කටහඩ අවදි කළේය.

මොකද බං...උඹ මගේ නම පුරුදු වෙන්න කියනවද ?

අපේ මුදලාලිට කියලා....මට පොඩ්ඩක් ගෙදර ගිහින් එන්න.....

හෝව් හෝව්.....මම උඹට කී සැරයක් කිව්වද රත්නයො...මම නියම වෙලාව ආවම මුදලාලි එක්ක කථා කරලා වැඩේ කරලා දෙන්නම් කියලා....තව ටික කාලයක් ඔහොම ඉදිංකො...මම වැඩේ කරලා දෙන්නම්...

උගුරෙන් උගුර පල්ලම් බහින අශෝක වීදුරුව පතුලේ කැලතෙන තේ මණ්ඩි තමාට සිනාසෙනවාදෝයි නවරත්නට සිතුනි.

වට්ටක්කා ටිකයි කරවිල ටිකයි කඩලා ඉස්තෝප්පු කෑල්ලෙ අඩුක් කරලා තියපං...බණ්ඩක්කයි, වම්බටුයි කඩන්න තව සතියක් දෙකක් යාවි. පාලයා ආවම කියහං මාව හම්බවෙන්න එන්න කියලා....මම ඒකා එක්ක මේ මාසෙ උඹලගෙ කෑම බීම අඩුම කුඩුම ටික ගන්න ටවුමට යන්නයි කල්පනාව. ඵලදාවෙන් උඹලගෙ කෑමට ඉතුරු කරගෙන ඉතිරි කොටහ හවසට මම ඉස්කෝලෙ ලග එළවළු කඩේට යවන්නං.

ඇන්තනියා අද වල් ඌරෙක් වත් එළාගෙන තිබුනොත් මම උඹලට සප්පායම් වෙන්න මොනවා හරි සැර ජාතියක් අරගෙන හැන්දෑවට එන්නං ගොයියො.... ඇහැ තියාගෙන ඉදිං වටේටම... දන්නවනෙ....බඩු ටික හොද ගානට ඇවිල්ලා තියෙන්නෙ දැං.

පැල් කොටය හැරදා ඈතට ඇදෙන ඩගී මහත්තයාගේ රථයේ සේයාව දෙස බලා සිටි නවරත්නගේ ඇතුලු හදේ සිහින් රිදුමක් ඇතිවෙයි. කිසිම කිසි දිනක නොසිතූ අයුරින් ජීවිතයට පාර වැරදී, මහා ඝණ වනාන්තරයක මං මුලා වූවෙකු මෙන් හසරක් නොදැන මහ කැළය මැද්දේ ගෙවන මේ ජීවිතය දැන් නම් නවරත්නට හොදටම තිත්ත වී තිබේ. අතීතයේ සුන්දර දවසක සිත පැටලෙද්දී නවරත්න පිල් කොටයට බර දුන්නේය.

ඡායාරූපය මෙතැනින්


අවට හමා යන ගිණියම් වූ සුළං කෝඩය මැද වුවද පද්මිණීගේ මූණු පොඩ්ඩ මතකයට නගා ගැනීමට ඔහුට අපහසු නැත. ගාමන්ට් ෆැක්ටරියේ දහසක් නෙත් වසා ඇයට ආදරය ගැන කියා දුන් හැටිත්, ඇයව ජීවිත කාලයම ආදරයෙන් බලා ගන්නට පොරොන්දු වූ හැටිත්, වංශය කබල් ගෑමෙන් කෝපයට පත් ඇගේ පියාගෙන් සහ සහෝදරයාගෙන් එල්ල වූ බාධා අභියෝග මැද හොර රහසේ හද එළිය යටින්  ඇය කැදවාගෙන පැමිණ, පද්මිණි සමග පොතේ අත්සන් කර දීග කෑ හැටිත් නවරත්නගේ හදවතට අමුතු බරක් එක්කර තිබේ.

ෆැක්ටේරියේ ගබඩාවේ වූ හොරකමකට නිරපරාදේ තමා හසුකර යකඩ කූරු ගනින තැනට වැඩ කටයුතු සිද්ධ කර පද්මිණී සමග තහනම් ගහේ ගෙඩි කන්නට උත්සාහ කල ගබඩා පාලක දාබරේ ගැන තරමක කෝපයක්ද ඔහුගේ හිතේ උපදී. ඒ කාලකණ්නියා හින්දා නේද මට ජොබ් එක නැති උනේ...මේ ප්‍රශ්න හැම එකක්ම පටන් ගත්තෙ...ඕකාව මරලා කෑවත් මදි. නවරත්න තමාටම කියා ගත්තේය.

රැකියාව අහිමි වීමෙන් පසු පද්මිණීගේ තනි වැටුපෙන් කෙටි කාලයක් අපහසුවෙන් කුලී නිවෙසක ජීවත් වුවද ගාමන්ට් ෆැක්ටරියේ උන්ගේ උසුළු විසුළු, කයි කතන්දර අසමින් තව දුරටත් එහි සේවය කරන්නට බැරි තැන පද්මිණී රැකියාවට සමු දුන්නාය. අහස උසට නැගුන ණය බර මෙන්ම ජීවන බරද අහිංසක නවරත්න තලා පෙලා පාගා හප කරමින් තිබූ අවධියක රැකියාවක් සොයාගැනීම බොහෝ වෙහෙසකර වූයේ ෆැක්ටරියේ හොරකම සමග තම නම ඈදා පතුරුවා තිබූ කැළෑ පත්තර නිසා බව නවරත්නට සිහිවෙයි.

අවසානයේ නවරත්නට පිහිටට සිටියේ හන්දියේ තුන් රෝද රථ නැවතුමේ සමන්ත මල්ලී පමණකි.

නවරත්න අයියා...ගම්පහ ඉන්න මුදලාලි කෙනෙක් හොද විශ්වාස වන්ත මිනිහෙක් හොයනවා එයාගෙ හේන බලාගෙන වැඩ කරන්න. මුදලාලි හොද සල්ලිකාරයා. වැල්ලවාය පැත්තෙ හෝටලේකුත් තියෙනලු. වැඩිපුරම එළවළු බිස්නස්ලු කරන්නෙ. උඹට හොද ගානකුත් ගෙවයි. මම අදුනන මහත්තැන් කෙනෙක් ඊයෙ මගේ වීල් එකේ හයර් එකක් යන ගමන් කිව්වෙ. හැබැයි එක පුරස්නයක් තියෙනවා.

ඒ මොකක්ද මලයො...

මුදලාලි හොයන්නෙ තනිකඩ කෙනෙක්ව...බැදපු අයව ගන්නෙ නෑලු.

කමක් නෑ බං...අතේ ශතේ නැති වෙලාවෙ මොකක් හරි කමක් නෑ ජොබ් කට්ටක් ලැබෙනවනං... 

මුදලාලි අමුතුම පුද්ගලයෙක් බව පළමු හමුවේදීම නවරත්නට දැනුනි. හිනා කදුළක් මූණේ නැති, සැරපරුෂ ලෙස හඩනගා කථා කරන දේහදාරී ඔහු සමග ගණුදෙනුව බොහොම ප්‍රවේශමෙන් කල යුතු එකකි.

උඹේ නම මොකක්ද කිව්වෙ ?

නවරත්න..මහත්තයො

උඹ බැදලද ?

නෑ මහත්තයො.....

එහෙනං හෙට ඉදන් කතරගම හේනෙ වැඩට පලයං...එතන ඉන්නවා ඩගී කියලා මහත්තයෙක්. එයා කියයි උඹ කරන්න ඕනෙ දේවල්...අනං මනං කණු කුණු බෑ. නිතර නිතර ගෙදර යන්න අරවා මේවා බෑ. ගෙදර යන දවසක උඹේ පඩිය මම එකසැරේ ගෙවනවා. කන්න බොන්න අදින්න වෙලාවට කලාවට ලැබෙයි.තේරුනාද නවරත්න ?

මේ ජස්ටින් මුදලාලි හොදට හොදයි නරකට නරකයි...මා එක්ක බබා හුකුං බෑ ගොයියො....වංචාවට බොරුවට දැඩි දඩුවම්, හෙට කොළඹ ආපු ලොරියක් පෝර අරගෙන කතරගම යනවා. උඹට ඒ එක්ක යන්න පුලුවන්. එහෙනං ගමන තීන්දුයි.....

නවරත්න අයියා මොනවද බං උඹ අහස පොළව ගැටලන්න වගේ කල්පනා කරන්නෙ. පාලයා ලගටම එනතුරු නවරත්න දුටුවේ නැත.

මොනවද බං ඉතිං ගෙදර තොරතුරු ගෑණි ගැන බං...දවසට කී පාරක් මැරි මැරි උපදිනවද ...මේක නම් පූරුවෙ කරපු මහා කරුමයක්.

මෙතනට එන කෙනෙක්ට මුදලාලි යන්න දෙන්නෙ නෑ කියලා තමයි මම එද්දි හිටපු උන් කිව්වෙත්...මුදලාලි එලවළු වලට මුවා කරලා වවන අනිත් ඒවා ගැන රට්ටු දැනගනියි කියලා වෙන්න ඇති. මං වගේ අම්මෙක් අප්පෙක් ගෑණියෙක් දරු මල්ලෙක් නැති එකෙක්ට මේක හොද උනාට උඹට එහෙම බෑ තමයි. අපරාදෙ උඹට මේ බඩකඩිත්තුවට එන්නෙ නැතුව ඉන්න තිබුනෙ.

කවුද බං දන්නෙ. මම ආපු දවසෙ ගෑණිව මහ ගෙදර ගාවට ඇරලවලා ආවට පස්සෙ එක ලියුං කරදහියක් ලියන්න පුලුවන් උනා කියලයැ...දැන් වෙන මිනිහෙක් එක්ක පැටලිලාද කියන්නත් බෑ. නවරත්නගේ වියළි සුසුමක් වා තලයට එකතු වෙද්දී ඩගී මහත්තයාගේ කැබ් රථය ඈතින් මතුවිය.

රත්නයො...උඹ පාලයට පයින්ඩෙ කිව්වෙ නැද්ද ? මම මේ බලාගෙන ඉදලා ඉදලා බැරිම තැන ආවෙ...උඹලට කන්න බොන්න හාල් සිල්ලර ටික ගේන්න යන්න පෝර කවර දෙක තුනකුත් අරගෙන නැගපං පාලයො.

කැබ් රථය තම දර්ශන තලයෙන් ඉවතට ඇදී යන විට සුපුරුදු තනිකම, පාලුව, සමග කෝපයකින්ද හිත වෙලී යන අයුරක් නවරත්නට දැනිනි. හිරේ ගියා නම් මීට වඩා නිදහසයි....වරෙක ඔහුට සිතෙයි.

පැල් කොටයේ ඉස්තෝප්පුවේ මැටි ගෑ පිල් කොටයේ ඉදගෙන සිටින ඔහුට හේනේ සරුවට වැවී ඇති විවිධ භව භෝග පෙනෙයි. මේවාට ජලය සැපයීමත්, ඵලදාව නෙලීමත්, පොහොර දැමීමත් ඇරුනු විට බර වැඩකට තිබෙන්නේ අලුත් වගාවක් කරනා කලෙක පාත්ති සකසා විවිධ බීජ වර්ග දිගේලි කිරීම පමණකි.

මුදලාලි එළවළු වවන්නේ එක්වරම හේනට පිවිසෙන කෙනෙකුට පෙනෙන්නට බව නවරත්න දනියි. එළවළු පසුකර තවත් දුර ගිය විටෙක මුදලාලිට ධන නිධානය ලබා දෙන කංසා වගාව පෙනෙයි.

හේනට පැමිණි මුල්ම දින රූපවාහිනී පුවත් වලින් පමණක් දැක තිබූ මේ ශාඛය දුටුවනම ඔහුගේ හිතේ හටගත් කුහුල, පොලෝසියට හසුවේදැයි ඇති වූ භිය, ඩගී මහත්තයාගේ උපදෙස් මේ දැනුදු ඔහුට දැනෙන්නා, ඇසෙන්නා මෙන්ය.

නවරත්න...උඹට කැමති කාලයක් මෙතන වැඩ කරන්න පුලුවන්. මෙහෙන් යන දවසක වැඩ කරපු අවුරුදු ගානටම හරියන ගානක් එකසැරේ දෙයි. හැබැයි ජස්ටින් මුදලාලිගේ නීති රීති වලට පිටින් වැඩ කරලා, හොර බොරු කරලා විතරක් අහුවෙන්න එපා. මුදලාලි නාහෙට අහන්නෙ නැති මිනිහා. උඹව කම්බස් කරලා මිසක් පස්ස බලන්නෙ නෑ එහෙම උනොත්...ඒක ඉරහද වගේ විශ්වාසයි.

එවක් පටන් මහත් වූ භීතියකින් හේනේ කල් ගෙවන නවරත්නට පද්මිණීගේ මතකය හැම විටෙකම එකතු කලේ දුක්බර හැගීමකි. තමා තනිකඩ යයි පවසා දැන් කසාද බදින ලද එකෙකු යැයි කීම මුදලාලිගේ කෝපාග්නිය ඇවිස්සෙන්නට හොදටම ප්‍රමාණවත් බව ඔහු දනියි.

මනසේ හොල්මන් කල තවත් සිතුවිලි සමුදායක සිරවී සිටි නවරත්න ඉන් මිදුනේ හෝරාවකට පමණ පසු හඩනගා පැමිණ මිදුලේ නැවතුන ඩගී මහත්තයාගේ රථය නිසාය. හාල් ඇතුලු වෙනත් අඩුම කුඩුම පැටවූ පොහොර ගෝනි කීපයක් එහි පසුපස කොටසේ තිබූ අතර ඒ කොටසේ වාඩිගෙන සිටි ඇන්තනියා නවරත්නගේ ඇසට හසුවූයේ රථය කරා ගිය විටදීය.

පංකාදු වල් ඌරෙක් එලාගත්තා බං ඊයෙ රාත්තිරියෙ...මුදලාලි මහත්තයටත් කොටහක් යැව්වා වැල්ලවායෙ හෝටලේට. මේ අපේ කොටහ. රත්නයො උඹේ අත් පාරට්ටුයිනෙ බං...හොද රහට හදලා ගනිං.

හේනේ ආරක්ෂාවට කොයි වේලාවෙත් තුවක්කුවක් අත දරාගෙන හේන පුරා කරක් ගසන ඇත්තනී, මුදලාලිට ඉතාම කීකරු මිනිහෙක් බව ගෙවුන කාලය තුල නවරත්න හදුනාගෙන තිබේ.

රත්නයො...ඌරු මසට මෙන්න තව දේවල් ගෙනාවා.

සීල් අරක්කු බෝතල් දෙකක් පිල් ගැට්ට මත තබමින් ඩගී මහත්තයා කෑදර සිනහවක් නගයි.

මුදලාලි මහත්තයා හෝටලේ ඉන්නවා, රෑ වෙලා සමහර විට හේනට එයි. මස් ටික හොදට හදලා ගනින් රත්නයෝ...

හේනට පැමිණෙන්නට පෙර සිටම ඉවුම් පිහුම් කටයුතු සදහා නවරත්නට තිබූ හැකියාව නිසාම හේන තුල බොහෝ විට කෝකියා වූයේ ඔහුය.

ඌරු මස් කපා  සෝදා කුළු බඩු සමග මුසුකර ලිප තබන විටත් නවරත්න කල්පනා කරමින් සිටියේ මේ මරු කපොල්ලෙන් ගැලවෙන විදියක් ගැනයි.

අද මට මෙතැනින් පැනලා යන්න බැරිවෙයිද ? ඔහුට නිකමට මෙන් එලෙස සිතුනේය.

රත්නයො...මුදලාලිටම හිතිලා උඹට යන්න දෙන දවසක් වෙනකං ඉදිං...ඊට කලින් යන්න ඇහුවොත් උඹට යන්න කියයි. ඒ උනාට උඹට ගෙදර නම් යන්න වෙන්නෙ නෑ ගොයියො. උඹ එන්න කලින් හිටිය කීප දෙනෙක්ම උඹ වගේ වැඩ කරලා මුදලාලිගෙන් අහලා ගෙදර ගියා. හැබැයි උං ගෙදර ගියාද කියලා නම් මම දන්නෙ නෑ.

ඇන්තනී තමා දරුවෙකු මෙන් ආදරයෙන් රැක බලාගන්නා තුවක්කුව රෙදි කඩකින් පිස දමමින් නවරත්න සමග  අතීතයේ දිනක දෙඩූ ඒ බස් ඔහුගේ සිතේ හොල්මන් කරයි. තමා විවාහකයකු බව ඇන්තනිට සැළ කල දවසක ඔහු බැරෑරුම් පෙනුමක් මුහුණට ආරූඩ කරගනිමින් ඇසූයේ මුදලාලිට බොරු කිව්වේ ඇයි කියා පමණකි.

මුදලාලි මේකට බැදපු නැති උන් ගන්නෙ පවුල් බරක් නැති හින්දා දිගටම ඉදියි කියලා හිතලා. ඒ හින්දා උඹ බැදලා කියලා දැන් කිව්වොත් බොරු කිව්වා කියලා මුදලාලිට ගොඩාක් තරහා යයි. මුදලාලිට බොරුව පේන්න බෑ. නයා වගේ තමයි එහෙම වෙලාවට.

කෙමෙන් කෙමෙන් හේනේ පැල් කොටය වෙත අදුර ගලාවිත් පසුව එය ඝණ අදුරේ වෙලී ගිය අයුරු මස් හොද්දට තනි රකිමින් සිටි නවරත්න දුටුවේ නැත. කුට්ටි කැපිය හැකි ගණ අදුරට එළියක් දෙමින් ඉස්තෝප්පුවේ යට ලීයේ පාල විසින් එල්ලූ පැට්‍රෝල් මැක්ස් ලාම්පුව නිසා ඒ කොටසට තරමක එළියක් වැටී තිබේ. ඒ එළිය යට දුම්බර පැදුරකි.

උඹේ හොද්දෙ සුවද මිදුලට එනවා බං...මම මේ ඉන්න බැරි තැන ආවෙ..ඩගී මහත්තයා සිගරට් කහටින් දුර්වර්ණ වූ දසන් දක්වා සිනාසී ගොජ දමන මස් හොද්දෙන් මස් කැබැල්ලක් ඩැහැ ගත්තේ උකුසු වෙසිනි.

පංකාදු පහයි බං....උඹේ මස් හොද්දට ගහන්න මස් හොද්දක් මුදලාලිගෙ හෝටලේ උන් වත් හදන්නෙ නෑ...අම්මපා....

ඇන්තනියො...අඩුම කුඩුම ටික සූජානම් කරලා ගනිං...පාලයො මයියොක්කා ගහක් දෙකක් උගුල්ලපං. ඩගී මහත්තයා  උපදෙස් දෙමින් මිදුල දෙසට යන විට ඌරු මස් හොද්ද ලිපෙන් බා ඇතිලියකින් වසා දමන්නට නවරත්න කටයුතු කළේය.

මිදුලේ පසෙක ඇටවූ දර ලිපක් මත හේනෙන් ගලවා කෑලි කල මඤ්ඤොක්කා හට්ටියක් පැසෙමින් තිබේ. ලිපට පහත් වී පිඹිමින් සිටි පාලයාගේ මුහුණ රතු වී ඇති බව නවරත්න එක්වරම හදුනාගත්තේය.

ඩගී මහත්තයා මම නාගෙන එන්නම් එහෙනං...නවරත්න සබන් පෙට්ටියත් බාල්දි කබලත් රැගෙන පැල් කොටයට තරමක් දුරින් තිබුන වගා ළිද වෙත ගියේ කඩිනමිනි.

හිස මත පතිත වෙන සෑම ජල බාල්දියක් පාසාම ඔහු කල්පනා කලේ හේනෙන් පලායන ආකාරයයි. එළඹෙන රාත්‍රිය ඒ සදහා වඩාත් උචිත යයි ඔහුගේ හිත කියයි.

ගතේ, හිතේ, වතේ තිබුන සියලු අපහසුතාවන් සිසිල් පැනින් ස්නානය කල පසු දුරු වී ගිය වගක් නවරත්නට දැනෙයි.

රෙදි ටික වනා දමා ඉස්තෝප්පු කෑල්ලට ගොඩවෙන විට ඌරු මස් හට්ටියට අමතරව මඤ්ඤොක්කා හැලියක්ද එහි වූ පැදුර මත සූජානම්ව තිබුනි. කොච්චි යොදා සකසා තිබූ කදිම කට්ට සම්බෝලයක් මෙන්ම කැන්ද කොළ කීපයක්ද ඒ අසලම තිබුනි.

රත්නයො...උඹ එනකං අපි සළු උනේ නෑ. මුදලාලි මහත්තයා එන්න රෑ වෙයි....අපි වැඩේ පටන් ගමු එහෙනං...උඹලටත් ඉදලා හිටලා ජොලියක් තියෙන්න එපායැ....හක්කේ දතක සිරවූ මස් කැබැල්ලක් ඇගිල්ලෙන් දවටාගන්නට වෙහෙසෙමින් ඩගී මහත්තයා කියයි.

ඩගී මහත්තයාගේ සුරතින් විවර වූ සීල් අරක්කු බෝතලය අතින් අතට රවුමට ගොස් නවරත්න අසල නතර විය. අවස්ථාවක් ආවොත් පැනගන්නට සිහි කල්පනාවෙන් සිටිය යුතු යැයි තරයේ අධිටන් කරගෙන සිටි නවරත්න තම වීදුරුව මත්පැනෙන් පුරවාගත්තත් එය පානය නොකර සිටීමට ඉටා ගත්තේය.

පැට්‍රෝල් මැක්ස් එළිය යට දුම්බර පැදුර උඩ ඩගී මහත්තයාගේ හඩ උස්ව නැගෙයි. ඔහු තමා ගැන කියනා පුරාජේරුවට හූ මිටි තබමින් මහත් රුචියෙන් කන් දී සිටින ඇන්තනියාට සහ පාලයාට නොපෙනෙන්නට තමාගේ වීදුරුවේ තිබෙන රහමෙර පිල් කොටයට උඩින් මිදුල වෙත යවන්නට නවරත්න සමත් විය.

පළමු බෝතලය පතුල දකින විට නවරත්න හැර අනෙත් අයට එහි ප්‍රතිඵල දැනෙමින් තිබුනත්...තමාගේ වෙනස නොපෙනෙන්නට නවරත්න තරමක් වැඩියෙන් වෙරි ඇගට ගත්තේය.

යකෝ රත්නයො...උඹට බීලා පුරුදු නැත්තං ඔහොම බොන්න එපා....හික්....තරමට බීහං...මොකද අද බිව්වා කියලා හෙට වැඩ නොකර ඉන්නයැ...හික්...ඩගී මහත්තයා ලග ලග වැටෙන ඉක්කාව දරාගනිමින් අමාරුවෙන් වචන අමුණයි.

රත්නයගෙ අත්දෙක තමයි අත්දෙක...අපේ එමලියා වත් ඒ කාලෙ මෙච්චර රහට ඌරු මස් හදන්නෙ නෑ යකෝ...ගෑවුන තැන කන්න පුලුවන්. ඇගිල්ලේ දැවටුන මස් හොදි ලෙව කමින් ඇන්තනියා කියන්නේ තමා අතහැර ගිය බිරිදගේ නමද එයටම ගාවමිනි.

දෙවැනි බෝතලයේ තවත් කාලකට වඩා නැත. ඔලුව බරවූ පාලයා දැනටම පිල් කඩට හේත්තු වී සිටී. ඩගී මහත්තයාගේ කටින් කුණුහරුප පිට පනියි.

උඹට කියන්න රත්නයො....ඒ කාලෙ මා එක්ක බුදියගන්න ගෑණු පොර කෑවා....හික්....

මයියොක්කා හට්ටියේ භාගයක් පමණ අවසන් වී තිබේ. ඩගී මහත්තයා දැන් හොදටම දොඩමළු වී සිටියි.

ඩගී මහත්තයා...මුදලාලිට කියලා...මට....

තොට යකෝ කී සැරයක් කියන්නද ? මම කිව්වනෙ උඹට...මම වෙලාව ආපුවහම මුදලාලි එක්ක කථා කරන්නං කියලා. උඹට කලින් මෙහෙ හිටිය උන් හොරෙන් පැනලා ගියා...උපන් දා ඉදලා මේ කැලේ කරක් ගහන ඇන්තනියට උන්ව හොයාගන්න එක මහ අමාරුවක්ද බං. මුදලාලි ඉස්සරහමයි ඇන්තනියා උන්ගෙ ඔලු කටු කුඩු කලේ ....උඹටත් ඒක කරගන්න ඕන නං ඕවා අහන්න පලයං මුදලාලිගෙන්.

තවත් මද වේලාවක් වල් පල් දොඩමින් උන් ඩගී මහත්තයා වාහනය තුලට වැදී එහි දොර වසාගෙන ගොරොද්දෙ අදින්නට විය. ඇන්තනියාද පැදුරේ පසෙක බෝතලය සමීපයේ නිදා වැටෙයි. ඔලු කටු කුඩු වුවත් මේ අවස්ථාවේ පලා යා යුතුම යැයි නවරත්නගේ සිත කියයි.

අතට අහු වූ ඇදුම් කඩමල්ලක් ඇදගෙන හනි හනික සූජානම් වූ නවරත්න ලා එළියෙන් පෙනෙන පැල් කොටය දෙස තවත් මොහොතක් බලා සිට ඇන්තනියාගේ තුවක්කුව දකුණතට ගෙන  වගා ළිද පැත්තෙන් ඈතින් පිහිටා තිබූ ඇළ මාර්ගයක් ඔස්සේ ඉදිරියට ඇදුනේය. මෙහි ගත කල  දෑ වසර පුරාවටම තමා මෙපමණ දුරක් පැමිණ නැති බව ඔහුට සිහිපත් වෙයි. හැම වේලේම කොටි හපුවෙකු මෙන් හේන පුරා තුවක්කුව දරාගෙන කැරකෙන ඇන්තනියා අද නිදාගත්තේ තමාගේ පූරුවේ පිනකට යැයි නවරත්නට සිතුනේය.

කළුවරේ හෝරා කීපයක් කටු සහිත පදුරු වල පැටලෙමින්, ගල් තලා මත ලිස්සා යමින් ගැහෙද හදවත වාරුකරගෙන නිදහස සොයාගිය නවරත්න අවසානයේ මහා මාර්ගයක් අසලට ලගා වීමට සමත් විය.

බස් රථයක යාම තමාගේ ආරක්ෂාවට තර්ජනයක් විය හැකි යයි සිතූ ඔහු පරණ තාලේ ලොරියකට අත දිගු කලේ අරමුණකින් නොවේ. කදුරුවෙලට යන්නට අවැසි වුවත් ලොරිය යන්නේ කොළඹට පමණි. එතැන් සිට ඉතිරි මග කෙසේ හෝ යන්නේ යයි අධිටන් කොට ඔහු ලොරියට නැගුනේය.

දෑ වසරක්....කල්ප ගනනක් ලෙස නවරත්නට හැගෙයි. මේ ගුරුපාරේ පද්මිණි සමග හුදකලාවේ දොඩමළු වූ යටගිය දවසක අසිරිය ඔහුගේ මුහුණට ආරූඩ වෙයි. අනේ පද්මිණි මේ අවුරුදු දෙකේ කොහොම ජීවත් වෙන්න ඇත්ද ? මම කියන දේවල් ඔයා විශ්වාස කරයිද ? ඔහුගේ සිතේ නොයෙක් ගැටලු ඇති වී සැනින් නැතිව යයි.

පද්මි...ඔයා මට ගොඩාක් අාදරෙයිද ? 

ඔව් රත්තරනේ....මම ඔයා ගැන මිසක වෙන කෙනෙක් ගැන කවදාවත් හිතන්නෙ නෑ...ඇත්තමයි සත්තයි....

ඇය එසේ කියූවේ තමා පසු කරයන මාර ගස් සේවනේ සිටි දිනෙක බව නවරත්නට සිහිවෙයි.

දැන් ඉතින් තවත් මද දුරකි. ඇගේ නිවස පෙනෙන තෙක් මානයේ මද වේලාවක් නැවතී සිටි ඔහු සිත අධිෂ්ඨානයෙන් පුරවාගෙන මිදුලට පිවිසියේය.

පද්මිණි...පද්මිණි....

අම්මේ.....කවුද ඇවිල්ලා කථා කරනවා...මම බබාට කිරි දෙන ගමන්, පොඩ්ඩක් බැලුවා නං....


මම කාමරේ අරින සිරා කොලුවා.

Thursday, August 14, 2014

114 නෙවිල් අයියා සහ ගමේ සංගීතේ

මට මතක ඇති කාලයේ අපේ ගමේ සංගීත කාරයෙකුට හිටියේ නෙවිල් අයියාය. 90 දශකයේ මුල භාගය වූ මේ කියන කාලයේ නෙවිල් අයියා භද්‍ර යෞවනයෙකි. සිරා කොලුවා තුනේ  පන්තියේ සිටියේ වුවද රටේ එවකට පැවති සංගීත රැල්ල පිළිබද යම් මතකයක් තිබීම මේ ලිපිය ලියන්නට ආශිර්වාදයකි. ගමක් ගමක් පාසා සංගීත කණ්ඩායම් හදා ගැනීමේ උන්මාදයකින් එකල තරුණ කැළ පෙළුනු බව සැබෑවකි. අන්තර්ජාලය හෝ වර්තමානයේ ඇති වෙනත් විනෝදාත්මක අංගයන් සුලභ නොවූ මේ කියන කාලයේ සංගීතය සමග දිවි ගෙවීම මේ ඇත්තන්ට මහත් සතුටක් වන්නට ඇත.

නෙවිල් අයියා ගිටාර් වාදකයෙකි. ඔවුන්ගේ සංගීත කණ්ඩායම සතියේ බොහෝ දින වල හැන්දෑ කොරේ සිය පුහුණුවීම් කලේ ඔවුන්ගේ පුංචි නිවෙසේ ඉදිරියෙන්ම තිබූ කාමරයකය. මේ නිවසට ළග පාත සිරා කොලුවාගේ වාස භවනද පිහිටා තිබූ හෙයින් පුහුණුවීම කරනා විටෙක මේ කාරිය දැක බලාගන්නට මා හට ඇති වන කුතුහලය නිම වෙන්නේ එම ඉසව්වට පා නැගීමෙන් පමණක්මය.

වර්තමානයේ තාර දැමූ මාර්ගයක් තිබුනද එකල අප ගම මැදින් වැටී තිබුනේ ගුරු පාරකි. මේ ගුරු පාරට කිට්ටුව පිහිටි නෙවිල් අයියාගේ සංගීත කාමරයේ පාර දෙසට වන්නට තිබූ ජනේලයේ එල්ලී ඔවුන්ගේ පුහුණුවීම්  නැරඹූ එකම නරඹන්නාද මා පමණක්ම විය. සිරා කොලුවා උත්පත්තියෙන්ම සංගීත රසකාමියෙක් වීම මේ අරුමයට හේතු භූත වන්නට ඇත.

රිදම්, ලීඩ්, බේස් ගිටාර් වාදකයන් තුන් දෙනාට අමතරව ඩ්‍රම්ස් සහ කී බෝඩ් වාදකයන් දෙදෙනා පුංචි කාමරයේ කිටි කිටියේ හිර වී සිටි අන්දම මට තවමත් මතකයට නගා ගත හැක. කුඩා එකෙකු වූ මා ගැන තැකීමක් නොකල ඔව්හු සිය කාරියේ දිගින් දිගටම නියැළුනු අතර කී බෝඩ් වාදන ශිල්පියා පමණක් ඉද හිට සිනහවකින් සංග්‍රහ කල බවද මතකය.

එකල ගම් මට්ටමෙන් සංගීත කරුවන් බවට පත් වී සිටි බොහෝමයකගේ බාහිර සමාජයට පෙනෙන සංගීත සළකුණ වූයේ දිගට වවන ලද කොණ්ඩයයි. අපේ නෙවිල් අයියාටද එවැනි කොණ්ඩයක් එකල තිබුනි. වික්ටර් රත්නායක, ගුණදාස කපුගේ, රාජු බණ්ඩාර මෙන්ම එකල ජනප්‍රිය තලයේ ඉහළින්ම සිටි වාදකයෙකු වූ අතුල අධිකාරිද කොණ්ඩය වැවූ අයවලුන් වීම ඒ රැල්ලට ජවයක් එක් කරන්නට ඇත.

අන්න අදත් නෙවිල්ලගෙ බජව්ව පටන් අරන්...සංගීත කණ්ඩායමේ හඩ අපේ නිවෙසට ඇසෙන විට මගේ පියාණන් නොයෙක් වර එසේ කියා තිබේ.

එකල පාසලේ මා වටා සිටි කොල්ලන් බහුතරයකටද මේ කියන සංගීත රසය දැනෙමින් තිබූ යුගයකි.

ඊයෙ පොලේ වත්තෙ සංගීතයක් තිබ්බා....ලීඩ් ගිටාර් එක කරේ තියාගෙන ගැහුවෙ...

එවන් විටෙක ඔව්හු මෙවැනි සිදුවීම් මහත් අභිරුචියෙන් විස්තර කල අයුරු මට මේ ලිපිය ලියන අතරතුර මෙනෙහි වෙයි.


ලංකාවේ කණ්ඩායම් සංගීතයේ නොමැකෙන සළකුණක් තැබූ සංගීත කණ්ඩායමක් වූ බ්ලූ ෂැඩෝස් හි එකල කී බෝඩ් වාදන ශිල්පියා වූ චමින්ද කොළඹගේ අයියාද අප ගම්මානයට යාබද ගමේ විසූවෙකි. ගමේ ජන සමාජය තුල ඔහුට තිබුනේ හොද පිළිගැනීමකි. ඔහුගේ පියා සංගීත ගුරුවරයකු වූ අතර මවට හැර පවුලේ සියල්ලන්ටම කිසියම් හෝ වාදන භාණ්ඩයක් වාදනය කල හැකි බව ප්‍රකටව තිබුනි. එම කණ්ඩායමේ ගායකයෙකු වූ සංගීත් විජේසූරියද අපට කිට්ටුව සිටි කෙනෙකු වූ හෙයින් ගම් මට්ටමින් සංවිධානය වූ බොහෝ සංගීත ප්‍රසංග වල වාදන කණ්ඩායම වන්නට බ්ලූ ෂැඩෝස් ලාට හැකි විය.

සිරාට සිටින බාප්පලා කීප දෙනා අතරින් වරායේ රාජකාරී කරන බන්දුල බාප්පා ස්වභාවයෙන්ම හොද රස වතෙකි. මේ කියන කාලයේ ඔහු සේවය කලේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නිලධාරියෙකු ලෙසයි. ඔහුට ලැබෙන කෙටි විවේකයෙන් වැඩි කොටසක් ගෙවුනේ කාමරයේ වූ බොක්ස් ගිටාරය සමග ඔට්ටු වීමෙනි. ඔහුගේ ගුරුවරයා වූයේ පෙරකී නෙවිල් අයියායි. හෙතෙම ලබාදුන් ගුරුහරුකම් නිවාඩුව අවසන් වන තුරු පුරුදු පුහුණු වීම බන්දුල බාප්පාගේ සිරිත විය.

වරක් බාප්පා අසල ගම්මානයේ වූ සංගීත ප්‍රසංගයක ගායකයෙකු වෙත මූල්‍ය අනුග්‍රහය එක් කර තිබුනි. ඒ හේතුවෙන් එම සංගීත ප්‍රසංගය නැරඹීමට ආරාධිතයකු ලෙස ආරාධනා ලැබූ ඔහු  එහි ගියේ පුංචි සිරා කොලුවාද සමගිනි.

අප එතැනට ගිය හැටියේ ප්‍රසංගයේ සංවිධායකයන් අප මහත් හරසරින් පිළිගෙන අසුන් පැනවූ අන්දමත්, බයිලා චක්‍රවර්ති ඇම් ඇස් ප්‍රනාන්දු මහා ගායකයා අප ඉදිරියේ සජීවීව ගීත ගායනා කල අන්දමත් මගේ මතකයේ තවමත් නොනැසී පවතියි. එතුමා එදා ගායනා කාල ගීත අතරින් මම එන්නෙ ඩුබායි රටේ ඉදලා සහ මැණිකෙ මම ආයෙ ගෙදර එනවා යන ගීත ඉතාම හොදින් මගේ මතකයේ සටහන් වී තිබේ. ගීත ගායනා කරන්නට ප්‍රථම ගීතයේ පද රචකයා, සංගීත නිර්මාපකයා මෙන්ම තමාට අනුග්‍රහය දැක්වූ පුද්ගලයා පිළිබදව මතක් කර ඔවුනට ස්තූති වන්ත වන්නටද එතුමාට හොද කෙළෙහිගුණයක් තිබුනි. ඒ ගුණය වර්තමානයේ සිටින ගායකයන් කී දෙනෙකු සතුව තිබේද ?

සංගීත කාරයො හිගන්නො...නෙවිල් අයියලා සංගීතයෙන් මුදලක් හම්බ නොකල  නිසා අපේ ගම්වාසීන් ඇතැම් විටෙක එසේ සිතන්නට ඇත. කෙසේ හෝ කාලයේ ඇවෑමෙන් නෙවිල් අයියා සංගීත කණ්ඩායම සමග තිබූ ඇයි හොදයියට  ආයුබෝවන් කියූ අතර ඒ සමගම ඔහු විසින් දිගට වවා තිබූ කොණ්ඩයද කලින් තිබූ තැනටම කෙටි කළේය.

අතීතයේ දිනක සවස් භාගයේ ගම දෙවනත් කල සංගීත නාදය දැන් වියැකී ගොසිනි. සංගීතයෙන් ජීවත් වෙන්නට බැරි බව පවුලේ අයෙකුගෙන් නැගෙන ඇණුම් බැනුම් මගින්  හෝ තදට දැනෙන කුසගින්න විසින් නෙවිල් අයියාට උගන්වා දී ඇති සෙයකි.

ඔහුගෙන් පසු අපේ ගමේ සංගීත උණ වැළදුන කිසිවෙකු දක්නට ලැබුනේ නැති වුවද සංගීත ප්‍රේමී ජන කොටස් වලින් නම් අඩුවක් වූයේ නැත. පල්ලියේ මංගල්ලය දවසට මෙන්ම අලුත් අවුරුදු දවසටද රහමෙරට බයිට් මෙන් ගීතයද අත්‍යවශ්‍යම දෙයක් විය. එවන් දිනක අළුයම දක්වාම එක සීරුවට පැරණි රසාංග ශ්‍රවණය කිරීමට තරම් අපේ දෙසවන් පින් කර තිබුනි.

නෙවිල් අයියාගෙන් පසු සිරා කොලුවාගේ ගම් පියසේ සංගීතයට සම්බන්ධ කාර්යයක් කලා නම් ඒ රෝහිත අයියා සහ උපුල් අයියා විසිනි. සහෝදරයන් දෙදෙනෙකු වූ මේ දෙදෙනාගෙන් වැඩිමලා රෝහිත විය. එකල අතිශය ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වූ සන්ෆ්ලවර් සංගීතයට ජනප්‍රිය ගායක ගායිකාවන් සහභාගි වූ දැවැන්ත සංගීත ප්‍රසංගයක් නොමිලේම තම ගම්වාසී හිතවතුන්ට තිළිණ කරන්නට ඔවුන් දෙපළ මූලිකත්වය ගත්තේය. ඒ සදහා නෙවිල් අයියාගේ සහයෝගයද ලැබෙන්නට ඇත.

මේ කියන සංගීත ප්‍රසංගයට සහභාගි වූ ඇතැම් ආරාධිතයන් පිළිබද මා හට යම් තරමකට මතක තිබේ. ඒ කාලය වන විට සමිතා මුදුන්කොටුව ශිල්පිනිය ක්ෂේත්‍රයට පිවිසියා පමණකි. අද මෙන් තරබාරු නොවූ  සිහින් සිරුරක හිමිකාරිය වූ ඇය ඉර පායා යන ගීතය ගායනා කළාය. ප්‍රසංගයේ නිවේදකයා ලෙස කටයුතු කලේ තිලක් කුමාර රත්නායක හෙවත් කෝපි කඩේ සෝමෙ අයියායි. වර්තමානයේ මෙන් පුද්ගලික නාලිකා පැටව් ගසා නොතිබුන ඒ යුගයේ කෝපි කඩේ ටෙලි නාටකය බොහෝ සේ ජනප්‍රිය එකකි. සෝමෙ අයියාද ජනතාවගේ නොමද ආදරය ලබා සිටි කළාකරුවෙකි.

එදා මෙදාතුර සිරා කොලුවාගේ ගම්මානයේ පැවති දැවැන්තම ප්‍රසංගය වූයේ මෙයයි. වර්තමානයේදීත් අපේ ඇත්තන් ඇතැම් විටෙක මේ මතකයෙන් සිය පෙණහළු පුරවාගනියි. පසු කලෙක රෝහිත උපුල් යුවල විදේශගත වීමත් සමග මෙවැනි යමක් සංවිධානය පිණිස කෙනෙකු ගමේ  නොවුනෙන් සිරා කොලුවා ඇතුලු ගම්වාසී  මිතුරන් විසින් වසර 18 කට පසු එම ස්ථානයේම සංගීත සංදර්ශනයක් සංවිධානය කරන තුරු සංගීත සංදර්ශන අත්දැකීම අපේ ගමේ ඇත්තන්ගෙන් ඈත් වී තිබුනි.

දැනුම් තේරුම් ඇති වයසට පැමිණෙන සිරා කොලුවාට ලග පාතක සංගීතයක් තිබෙන බව ආරංචි වුවහොත් එහි යා යුතුමය. නැතිනම් නිදා ගන්නා වේලාව වන විට සංගීත සංදර්ශනය යන්තමින් හෝ නිවෙසට ශ්‍රවනය වෙයි. එවැනි විටෙක එතැන චිත්තරූප මවාගැනීම තරමක වේදනාවකි.

මෙවැනි ගමන් සදහා මටම ඔබින මිත්තරයන් පිරිසක් සිටීම වඩාත් පහසු සහ ආරක්ෂාකාරී විය. එසේ නොමැති නම් නිවෙසින් මේ ආකාරයේ ගමන් සදහා අවසර ලැබෙන්නේද නැත.

වරක් අපට යාබද ගම්පියසක තරුණයන් පිරිසක් එක්ව අටවාගත් සංගීත කණ්ඩායමක් පැවැත්වූ කළඑළි ප්‍රසංගයකි. එළිමහනේ නොමිලේ පැවැත්වූ මෙහි ගීත ගායනය සදහා ප්‍රවීණ සංගීත වේදී ගුණදාස කපුගේ මහතාද එක්ව සිටියේය. කැළෑබද මණ්ඩියක වූ වල් පදුරු කපා දමා බිම සැකසූ තැනක ප්‍රසංගය සූජානම් කොට තිබුනි. එහෙත් ඇතැම් තැනක පොළවෙන් උඩට මතු වූ කපා දැමූ ශාඛ වල මුලක් දෙකක් වෙයි.

කපුගේ ගායකයා එදා එහි පැමිණියේ කන සාක්කුවට වැටෙන්න ඔන්න මෙන්න තිබියදීය. සිරුර අපහසුවෙන් සමබර කරගෙන වේදිකාව දෙසට යන ඔහුගේ පය පෙර කියූ මුල් වල හැපී වැටෙන්නට යයි. එවිට අමු තිත්ත කුණු හබ්බයක් දෙකක් එළියට පනින්නේ වටේ පිටේ සිටි බෝ පැල වැනි  අපේ සිත් සතන් සනසවමිනි.

කෙසේ හෝ ඇහැට කනට පෙනෙන ඔහුගේම වයසේ කාන්තාවක විසින් වත්තන් කරගත් කපුගේ තෙමේ වේදිකාවට ගොඩවී පළමු ගීතය ගයන්නට ආරම්භ කළේය.

සංගීත කණ්ඩායම ගමේ බඩුවලින් යුතු එකක් බව පෙර කීවෙමි. ඩ්‍රම්ස් වාදකයා පවත්වාගෙන යන රිද්මය කපුගේ ගායකයාට නින්ද නැති රැයේ ගයන්නට වේගවත් වැඩිය...ඔහු යම් යම් සංඥා වාදකයා වෙත තම හස්තයෙන් දැක්වුවද ඒවා තේරුම් ගන්නට ඒ වෙලාවේ පැමිණ සිටි ජනකාය නිසාදෝ අන්ද මන්දව සිටි ඔහුට හැකි වූයේ නැත.

ගීතයේ පළමු කොටස අවසන් වී සංගීත ඛණ්ඩ වලට යොමු වනවාත් සමග ඔහු කරා ගිය කපුගේ තෙමේ...

යකෝ....ගහපිය කියන්න පුලුවන් විදියකට...යනුවෙන් තෙපලූ අයුරු වේදිකාව අසලම සිටි මගේ දෙසවනට වාර්තා විය.

කෙසේ හෝ සෙසු වාදකයන්ගේ සහයෝගයෙන් නිසි මගට පිළිපන් ඩ්‍රම්ස් වාදකයා දෙසට හැරී මහත් සෙනෙහසින් ගීතයෙ ඉතිරිය ගයන්නට කපුගේ ශූරීන් අවසානයේ කටයුතු කලේය.

අප අවට ගම්මාන වල පැවැත්වූ සංගීත ප්‍රසංගයන් බොහොමයකට ජනප්‍රිය ගායකයන් සහභාගි වුවද බොහෝ විට සංගීත කණ්ඩායම ලෙස කටයුතු කලේ ගම් ආශ්‍රිත තරුණයන්මය.

වරක් පල්ලියේ මංගල්ලය වෙනුවෙන් පැවති ප්‍රසංගයකි. නිසි සන්නිවේදනය නැති නිසා හෝ පුහුණුවේ මද කම නිසා උන් නිතරම වරදවා ගත්තෝය. ඩ්‍රම්ස් වාදකයා වයන්නට පටන් ගන්නා ගීතය නොව වෙනත් ගීතයක් කී බෝ්ඩ් වාදකයා වාදනය කරන්නට පටන් ගනී. එවිට රිද්මයේ නොගැලපීම මත සින්දුව ලත් තැනම ලොප් වෙයි. කණ්ඩායමේ නිවේදකයා දෙකට නැමී අපට සමාවෙන්න යනුවෙන් නිතරම කියයි.

එදා එහි සිටි නරඹන්නන් කුල්මත් වූයේ ගායකයන්ගේ ගීත ශ්‍රවනයෙන් නොව නිතරම වරද්දා ගන්නා සංගීත කණ්ඩායමට හූ කීමෙනි. ඇතැම් තැනක වරදවාගෙන ගීතය මැද හරියේදී නතර වූ විටෙක නරඹන්නන්ගෙන් ලැබෙන හූවට මුහුණදීගත නොහැකිව ප්‍රසිද්ධ කලාකරුවෝ ශබ්ද විකාශන උපකරණ වලට මුවා වූහ.

සංගීත ප්‍රසංග වර්ණවත් වූ තවත් සාධකයක් වූයේ මල් වැනි දැරිවියන්ගේ සහභාගිත්වයයි. නිතරම නිවෙස ආශ්‍රිතව වෙසෙන අයෙකු වුවද කාලයකට පසු එළැඹෙන මෙවැනි අවස්ථාවකදී වැඩිහිටියෙකු සමග ප්‍රසංග භූමියට පැමිණෙයි. එවන් විටෙක මේ මල් සොයා මදි නොකියන්නට බඹරු ඇදී එයි. යුවතියගේ හිත දිනාගන්නට මෙන් කැපිච්ච පණුවන් මෙන් ඉදිරිපත් කරන නර්තන අංග ඔවුනට කෙසේ වෙතත් අපට නම් හොද විනෝදයක් එන්නත් කලහ. ඇතැම් නර්තන කරුවෙකු තණමල්විල මලින් සන්තර්පනය වී ඉදිරිපත් කලේ ඔවුනටම ආවේණික නර්තන රටාවන්ය. ගීතයේ පද වලින් කියවෙන දෑ තම දෙඅත් මගින් නරඹන්නන් වෙත වෙත පහදා දීමට ඇතැම් විටෙක ඔව්හු කාරුණික වූහ.

එහෙත් කාලය කෙමෙන් කෙමෙන් ගතවෙද්දී එළිමහන් ප්‍රසංග සංවිධානය කරන උන් මහත් අමාරුවක වැටුනේ ප්‍රසංග නැරඹීමට මත් වී පැමිණෙන ඇතමෙකු තම තමන්ගේ පුද්ගලික කොන්තර සංගීත භූමිය තුල විසදා ගන්නට යාමෙනි. ඇතැම් විටෙක නර්තනයේ යෙදෙන කෙනෙකුගේ අතක් තම ශරීරයේ වැදුනද එය නිම වන්නේ ගාලගෝට්ටියකිනි. මේ හේතු නිසාම වර්තමානය වන විට අප ඉසව්වේ ඉළිමහන් සංගීත ප්‍රසංග පැවැත්වීම කළාතුරකින් සිදුවන දෙයක් බවට පත්ව තිබුනද පල්ලියේ මංගල්ලයට නම් ගමේ බඩු තවමත් ශිල්ප දක්වයි.

සිරා කොලුවාගේ ප්‍රමුඛත්වයෙන් වසර 18 කට පසු අප ගම් පියසේ සංගීත නාදය දෝරෙගලා ගිය අන්දම ඉදිරි දිනයක කියමි. කථාව ආරම්භයේදී මා ඔබට සදහන් කල නෙවිල් අයියා කාලයක් අතුරුදන්ව සිට එක් වරම අප ගම්පියසේ ප්‍රාතූර්භූත විය. වර්තමානයේ හන්දියේ තුන් රෝද රථ ගාලේ ප්‍රමුඛ සාමාජිකයෙකි. සංගීතය හා බැදුන කිසිම කටයුත්තක නොයෙදෙන ඔහු විහිළුවට හෝ අද ගීතයක් ගයන්නේ නැත. ගිටාරයක් දෙස අැහැක් ඇර බලන්නේ නැත.

සීදුවේ සකුරා චන්දන ගයන්නේ නෙවිල් අයියාගේ ගීතයදැයි වෙලාවකට මට සිතෙයි.



මම කාමරේ අරින සිරා කොලුවා.

Sunday, August 10, 2014

126 සිරාගේ මහවේ ප්‍රේමය

සිරා කොලුවා වෘත්තීය ජීවිතයේ හා පුරා කියා සම්බන්ධ වූ දැන්වීම් ප්‍රචාරණ ආයතනය පිහිටා තිබුනේ බොරැල්ල කොටා පාරේය. උදෑසනට ගම්පහ දුම්රිය ස්ථානයෙන් දුම්රියට ගොඩ වී මරදානෙන් බැස ඉතිරි දුර බස් රථයකින් ගමන් කලත් ආපසු ගමනේදී අතුරු සිදුරු නැතිව මරදාන දුම්රිය ස්ථානයේ පොදි කන දුම්රිය මගීන් හමුවේ දුම්රියකට ගොඩවීම උගහට හෙයින් සන්ධ්‍යා භාගයේ දුම්රියට පිවිසීම පිණිස මා එකල භාවිතා කලේ කොටුව දුම්රිය ස්ථානයයි.

කාර්යාලයේ සේවය නිමවූ පසු නැවත නිවෙස බලා යන්නට දුම්රිය කාලසටහනේ  තිබුනේ සුප්‍රකට මහව කාර්යාලීය දුම්රියයි. සිරා කොලුවාගේ පියාද යටගිය දවසක මේ දුම්රියේම සේවයට ගොස් තිබූ හෙයින් ඒ පිළිබදව යම්කිසි ප්‍රාමාණික දැනුමක් මා සතුව විය. ඇත්ත වශයෙන්ම මහව යනු දුම්රියකට වඩා වැඩි යමක්, උප සංස්කෘතියක් කියා කීවත් එහි වරදක් නැත. මේ දුම්රියේදී ඇති වුන ප්‍රේම සබදතාවලින් විවාහයට එළැඹි උන් දහස් ගණනක් සිටිය හැක.



මහවට පිවිසි පළමු දිනම මා හට මහත් තනිකමක්,පාලුවක්, කෝඩුකාර බවක් දැනුනේ එහි සෑම තැනකම පාහේ කණ්ඩායම් ගතව යන දුම්රිය මගීන් සිටි හෙයිනි. මේ අය කරන කෙළිකවට දෙස බලමින් තනිව ගමන් කිරීම සැබැවින්ම එපාවෙන කාරියකි.

කොටුව දුම්රිය වේදිකාවේ එකම ස්ථානයකින් දුම්රියට ගොඩවූ හෙයින්ම මා නොදැනුවත්වම වුවත් එකම දුම්රිය මැදිරියකට පිවිසීමේ හැකියාව මට ලැබී තිබුනි. මෙලෙස ගමන් කල තෙවැනි දිනයේදී එහි වූ විවිධ කණ්ඩායම් අතරින් මගේ වයසේම වැනි එකෙකු මා හට ඔවුන සමග එකතු වන්නට ආරාධනය කලෙන් එදායින් පසු මහව දුම්රියේ 10 වෙනි මැදිරිය සිරා කොලුවාගේ අලුත් නවාතැන විය.

එකල තිබුනේ අද මෙන් නවීන දුම්රිය මැදිරි නොවූ හෙයින් දුම්රිය ආසන දෙකක් අතර එක බැගින් කණ්ඩායම් ස්ථානගතව සිටියෝය. අප කණ්ඩායමේ සිටියේ පිරිමි පාර්ශවය පමණක් වුවත් අපට යාබද කණ්ඩායමේ රජයේ සේවයේ නියුතුව සිටි වයසක ඇත්තන් කීප දෙනෙකු සමග කණ්ඩායම් ගතව සිටි යුවතියන් පිරිසක් විය.

මේ ඇත්තියන් හැමදාමත් 10 වෙනි මැදිරිය සිනාවෙන් පුරවා ප්‍රබෝධමත් කල අතර සෑම සන්ධ්‍යාවකම ඔවුන් ගෙන ආ වැඩිපුර රසකැවිල්ලකට වග කියන්නට අපටද ආරාධනාවක් ලැබුනි. දුම්රිය කාලසටහනේ සිදුවූ කාල වෙනසකට පසු ඔවුන්ගේ ඇතැම් සාමාජිකයන්ට මහව දුම්රිය මග හැරුනු හෙයින් ඉතිරිව සිටි යුවතියන් අප සමග එතැන් සිට කණ්ඩායම් ගත වූහ.

යුවතියන්ගේ ආගමනයත් සමග රැකියාවෙන් පසු නිවෙස බලා යන ගමන ඉතාම චමත්කාර ජනක එකක් විය. අප අතර වූ මේ සුහදතාව දිනෙන් දින දළුලා වැඩුනු අතර සෑම දිනකම සන්ධ්‍යාවේ දුම්රියේ ගමන් ගන්නා කණ්ඩායමේ අයට භුක්ති විදීමට කුමක් හෝ ආහාරයක් ගෙන ඒමට අප අතර කථිකාවක් ඇති විය. තවත් කල් යද්දී ඒ කාරණය තවත් විධිමත් කොට කාලසටහනක් සැකසුන අතර එක් දිනයකට දෙදෙනෙකු බැගින් එහි විය.  සමාධී නම් යුවතියක සමග සිරා කොලුවා සිකුරාදා දිනට මේ වැඩසටහනට දායක විය. සිකුරාදා දිනයේ රාජකාරි අතර තුර ඇය මා හට දුරකථනයෙන් අමතා මේ බව මතක් කිරීමට තරම් කාරුණික වූවාය.

මේ අලුත් අත්දැකීම වෘත්තීය ජීවිතයට නවකයෙකු වූ මා හට කදිම අත්දැකීමකි. අපේ කණ්ඩායමේ පිරිමි පාර්ශවය අතරින් බහුතරයක් තිහාරියේ මුස්ලිම් සහෝදරයන් පිරිසක් වූ අතර එකල අප අතර කිසිදු ජාතිවාදී හැගීමක් තිබුනේ නැත. ඔව්හුද කාල සටහනට අනුව ක්‍රියා කලහ. කලින් යුවතියන් සමග එක්ව ගමන් කල පිරිස අතරින් ගැමුණු අයියා යනුවෙන් අප හැදින්වූ රජයේ සේවයේ තලතුනා අයෙකු පමණක් ශේෂව සිටියේය. සීල් අරක්කු කාලක් සහිතව බොහෝවිට දුම්රියට ගොඩවෙන ඔහු යුවතියන් පිරිවරාගෙන හිල වඩයක් හපමින් කාල අමුවෙන්ම දුම්රිය ගමන අතර තුර අන්තරස්දාන කල අතර රාගම දුම්රිය ස්ථානය පසු වන විට ඔහු බොහෝ දින වලට කෙල්ලන්ගේ ගුටි බැට වලට ලක් වූයේ කාලේ ආනුභාවයෙන් යුවතියන්ගේ කොණ්ඩ කූරු, කොණ්ඩ බෝල ඇතුලු විවිධ උපාංග උන්ට හොරා ගැලවීමට තැත් කිරීම නිසාය. ගැමුණු අයියා තරමක් මිටි,  ඉතාම ප්‍රියජනක විනෝදශීලී අයෙකි. තමන්ගේ කොණ්ඩා කටුව හෝ කොණ්ඩයට සම්බන්ධ වෙනත් යමක් ගැමුණු අයියාගේ ග්‍රහණයට හසුවූ කලෙක ඇතැම් යුවතියන් ඒවා ඉල්ලා සිටිනවා වෙනුවට තම බෑගය විවෘත කොට වෙනත් යමක් පැළදගත්තෝය. එවන් කලෙක එවැනි බෑගයකට එබී බැලූ කල ලෝක වෙළදපලම ඒ තුල ඇතැයි අපිට සිතුනි.

තවත් කල් ගත වන විට දුම්රිය ගමන තුලදී උපන් දින සමරන තැනට අපි උසස් වීමු. කාගේ හෝ උපන් දිනයක් පිළිබද හෝඩුවාවක් ලද විගස යුවතියන්...අනේ අපිට Fab එකෙන් හෝ Perera & Sons එකෙන් කේක් අරන් එන්න යනුවෙන් අගර දගර පා කියූ විටෙක අප එම ඉල්ලීම් ඉටු කල ආකාරය මගේ මතකයට එයි. ඔව්හුද තම තමන්ගේ උපන් දින වලට අපට කේක් ගෙන ආවෝය. කේක් කපන්නට අපට පිහියක් තිබුනේ නැත. කාගේ හෝ බැංකු කාඩ් පතකින් හෝ ණය පතකින් කේක් කපා මහවේ 10 වෙනි මැදිරියේ කේක් අනුභව කල මුල් කාලයේ මගේ හිතට අමුත්තක් දැනුනේ වටපිටේ සිටිනා තනි තනිව ගමන් කරනා පිරිස අප දෙස බලා සිටි නිසා වුවද කල් යත්ම එය ශරීරයට පත්තියන් විය. කේක් කපන ලද දිනයක අතිරික්තය අප ආසන්නයේ සිටින මගීන් හට බෙදන්නටද අපි කටයුතු කලෙමු.

පළමු වසර ගෙවී දෙවැනි වසරද සිරා කොලුවාගේ දුම්රියේ ගමනට උදා වී තිබුනි. මේ වන විට අප අතර තිබුනේ ඉතාම දැඩි බැදීමකි. යුවතියන්ගේ මංගල අවස්ථා, දානමය පිංකම්, අලුත උපන් දරුවන් බලන්නට යාම වැනි රාජකාරි මෙන්ම සිංහල අලුත් අවුරුද්ද, නත්තල්, රාමසාන් වැනි උත්සව සමරන විටෙක ඒවා සැමරූ අපේ මිත්‍රයන් දුම්රියෙන් පරිබාහිර තැනක කාන්තා පිරිමි දෙපාර්ශවයටම ප්‍රිය සම්භාෂණයන්ද පැවැත්වූහ.

මේ කියූ පිරිස අතර සිටි එකම ඩිසයිනර් චරිතය මා නිසා මගේ අතින් විවිධ අවස්ථා වල සුභ පැතුම් සහිත කාඩ්පත් මේ අය වෙනුවෙන් නිර්මාණය විය. ඒවා අදද ඔවුන් සතුව තිබේ. යුවතියන් පිරිස අතර ඇතමෙක් මා හට වැඩිමල් අය වූ අතර එකියක පමණක් මට වඩා වයසින් අඩු විය. කොළඹ ප්‍රදේශයේ සුප්‍රසිද්ධ අවන්හලක ගණාකාධිකරණයට සම්බන්ධ රැකියාවක් කල ඈ කෙරේ මා සිත ආශක්ත වූයේ මටත් හොරෙනි. කෙටියෙන්ම කියනවා නම් සිරා කොලුවාට අර කරුම ලෙඩේ නැවතත් වැළදී ඇති සෙයකි.

ඇය විලාසිතාවට බර තරුණියක වුවද ඇය කල විලාසිතා ඇගේ පෙනුමට මැනවින් ගැලපුනි. ඇදුමට ගැලපෙන සේ කරාබු, මාල, වළලු, ආදී මෙකී නොකී සියල්ලම ඉතාම මැනවින් ගලපා ගන්නට ඇයට තිබුනේ පුදුමාකාර සමර්ථකමකි. මේ සමර්ථකමේ අවසාන ප්‍රතිඵලය වූයේ හොදින් ඉස්මතු වූ ඇගේ රුවයි. ඒ රුවේ අසිරියත් නිතරම කා සමගත් සුහදව සිනහවෙන් බරවී සිටින්නට ඇයට තිබු කැමැත්තත් නිසාම සිරා කොලුවා නැමති ඇඹලයා පැණි හැලියේ වැටී තිබේ.

එකල කාර්යාලය තුල මා අසලම සිටි චරිතය වූයේ ෆාතිමා නම් මුස්ලිම් තරුණියකි. ඇය හා මා අතර තිබුනේ බොහෝ සේ ලග මිත්‍රත්වයකි. ඒ නිසාම දුම්රියේ වරුණ ඇයට කියන්නට මට දෙවරක් සිතන්නට අවැසි වූයේ නැත. ඇය මා හට උපදෙස් දුන්නේ කල් නොයවා ඉක්මනින් මගේ අදහස ඇයට දන්වන ලෙසයි.

දුම්රිය ගමන තුල නොයෙක් වර ඇයගේ දෙනෙත් ඉලක්ක කර මගේ දෙනෙත සම්මුඛ කලෙමි. එහෙත් ඇය අනෙක් උන් සමග විහිළුවෙන් තහළුවෙන් නිතරම ගමන් කල එකියක නිසාම ඒ සදහා වැඩි ඉඩක් ලැබුනේ නැත.

මගේ මේ ආදර බර හැගීම මහවේ උන්ගෙන් හා පුරා සැළකලේ මා හට එහි නිත්‍ය සාමාජිකයෙකු වන්නට ආරාධනා කල මිත්තරයා වෙතයි. දුම්රිය ගමන අතර තුර දිනක් හෙතෙම මා අමතා ඒකි ඇත්තටම ලස්සනයි නේද බං...යනුවෙන් මා හට පැවසීම සිරා කොලුවාට ධෛර්යයක්ම විය.

දැන් ඉතිං කොලුවාගේ හිතේ පෙර පැවති සංයමය බිදී ගොසිනි. රැකියාව අවසන් කර මහවට එන්නේ සැලෙන හදිනි. කොටුව දුම්රිය ස්ථානයේ පුටුවකට බර දී දුම්රිය බලාපොරොත්තුවෙන් සිටින ඇගේ වත කමල මට දුර තියා පෙනෙයි. එහෙත් අද මෙන් නොව එකල සිරා කොලුවාගේ භෞමික අඛණ්ඩතාව මද වූ හෙයින් ඇය සමග මගේ සිතැගි දොඩන්නට තවමත් ධෛර්යය උපදවා ගත නොහැක. ඇයගේ රුව දුටු පමණින් හද ගැහෙන රිද්මයේ වෙනසක් වෙයි.

දුම්රියේදී දොඩමළු වුවද ඇගේ පුද්ගලික ජීවිතයේ තොරතුරු පිළිබද මගේ දැනුම අල්ප වූ හෙයින් ඒවා පිළිබද සොයාබලා දැනුවත් වී ඇය කරා එළැඹීමට තවත් සතියක් දෙකක් අවැසි විය. ඒ අතර තුර කාලයේ ගම්පහ දුම්රිය ස්ථානයෙන් ගමන අවසන් නොකර ඇයගේ ගමනාන්තය වූ පල්ලෙවෙල ඉස්ටේසුම වෙත වතාවක් දෙකක් සිරා කොලුවා ගියේ එහි වෙසෙන ඥාතියෙකුගේ නිවෙසට යන බවට මුසාවාද පවසමිනි. පල්ලෙවෙලින් ඔබ්බෙහි වූ දුම්රිය ස්ථාන වල බැස යන අයද අප කණ්ඩායමේ සිටියහ.

මේ තරුණියට අපි අමාලි කියා කියමු. එහෙත් එය අැගේ නියම නම නොවේය. අමාලිගේ කැරැට්ටුව සෙවූ මට සොයාගත හැකි වූයේ දැනට මාස ගනනකට ප්‍රථම ඇය දුම්රියේම ගමන්ගත් වෙනත් තරුණයෙකු සමග පෙමින් වෙලී සිටි නමුත් ඉතාම කෙටි කාලයකින් එය අවසන් වූ බවකි. ඒ අනුව ඇය වර්තමානයේ කා සමගවත් ප්‍රේම සම්බන්ධතාවක වෙලී නැත. 

කාර්යාලයේදී උදෑසන ෆාතිමා මා හමුවන සෑම විටෙකම ඇසූයේ එකම ප්‍රශ්නයකි. ඊයෙවත් අමාලිගෙන් ඇහුවද ? ඇය මන්තරයක් මෙන් දිනපතාම මේ ගැන විමසූ හැම දිනෙකම මගෙ පිළිතුර වූයේ නැත යන්නයි...එවන් විටක අපේක්ෂා භංගත්වයේ සලකුණු ඇගේ මුහුණින් අපූරුවට මතු වූ අතර...මොනවද හලෝ....යනුවෙන් පිළිවදන් සපයන්නටද අමතක නොකලාය.

දැන් මගේ ඒකපාර්ශවීය ආදරයට මාස දෙකක් පමණ සම්පූර්ණ වී තිබේ. තවත් කල්මරමින් සිතින් වදවේදනා විදිනවාට වඩා මගේ සිතැගි කෙලින්ම පවසා මෙය අවසානයක් කරා ගෙනයන්නට යම් තරමක ධෛර්යයක් මා සිතේ ඇතිවී තිබේ. ඒ හැගීම හොදින් ශක්තිමත්ව වැඩෙන්නට බණ්ඩි පෝර පහරක් ගැසූවේ කාර්යාලයේ ෆාතිමා කෙල්ලයි. මොනවද අනේ දැන්වත් එයාගෙන් අහන්නකො...දිනක් ඇය සිය නොසතුට මා වෙත පල කලාය. එම සතිය තුල කෙසේ හෝ මේ කාරිය කරන්නට මම අධිටන් කලෙමි.

කොටුව දුම්රිය ස්ථානයේ දුම්රිය අපේක්ෂාවෙන් අමාලි සිටින්නේ තවත් වැඩිමහළු කාන්තාවක සමගිනි. එය මට එතරම් තැකිය යුතු කරුණක් නොවේ. ඒ නිසා මගේ කැමැත්ත ප්‍රකාශ කිරීමට ඉතාම සුදුසු තැන එතැන බව මගේ අක්මාවට දැනිනි.

ඉන්පසු එළැඹුන සතියේ සිකුරාදා දිනෙක මගේ අදහස අමාලි වෙත සෘජුව ප්‍රකාශ කරන්නට මම අධිටන් කළෙමි. ෆාතිමා වෙතද මගේ සැලසුම හෙළිකල විටෙක ඇය සිනාමුසුව මා හට සුභ පැතුවාය. වෙනදාට වඩා තරමක් වේලාසන කොටුව දුම්රිය ස්ථානයට සිරා කොලුවා  පිවිසෙන විට ඇය ගැමුණු අයියා සමග දුම්රිය වේදිකාවේ සතුටු සාමීචියේ යෙදී සිටියාය. මා ඔවුන් වෙත සම්මුඛ වන විට ඇය මා වෙත සොදුරු සිනහවකින් සංග්‍රහ කලාය.

ඇයට නොදැනෙන්නට ගැමුණු අයියා පසෙකට හරවා ගත් මම...

මට මේකි ගැන අදහසක් තියෙනවා අයියෙ....

කවුද මේ අපේ පොඩ්ඩි ගැනද ? ඉතිං දැම්ම අහපංකො...

අහන්න හිතාගෙන තමයි ආවෙ...උඹ පොඩ්ඩක් පැත්තකට වෙයංකො...

මා වෙත සිනහවක් පල කල ගැමුණු අයියා...පොඩ්ඩි...මේ අපේ සිරා ට මොනවද කියන්න තියෙනවලු ඔයාට කියමින් ගින්න අවුළුවා පසෙකට විය.

ඇය මා වෙත නෙත් දල්වා සිනාසෙන්නීය. ඉතිං කියන්න...ඇගේ හඩ වෙනදාට වඩා ලෙංගතුව මට ඇසෙයි. මගේ හදවත වේගයෙන් කම්පොනය වෙයි. මේ අත්දැකීමේ සුන්දරත්වය මෙය විදි උන් හොදින් දනී.

මට ඔයාට ඇප්ලිකේෂන් එකක් දාන්න පුලුවන්ද ? මම ඔයාට ආදරෙයි හෝ කැමතියි යනුවෙන් කියන්නට ධෛර්යය උපදවා ගත නොහැකි වූ තැන මම වක්‍රව එසේ කීමි.

ඇය ගත්කටටම කීවේ මට ජොබ් එකක් තියෙනවා කියාය. මා මහත් ගොං කමක් කල බවක් පසුව සිතිණි. එහෙත් දුම්රිය තුලදී නැවත වරක් මම ඇයට පුද්ගලිකව මා එයින් අදහස් කල දේ පැහැදිලි කළෙමි. අපගේ ගමන අතර තුර මගේ වෑයම මට හොරා අනිත් එකියන්ගේ කනේ තැබීමට ගැමුණු අයියා වග බලාගත් හෙයින් ඒ ඇත්තියන් අමාලිට හොරා මා හට සැල කලේ ඔවුන්ගේ උපරිම සහයෝගය මා වෙත ලබා දෙන බවකි.

මේ කාරිය සදහා සිකුරාදා දිනයම මවිසින් තෝරා ගත්තේ ඉන්පසු එළැඹෙන සති අන්ත නිවාඩුවේදී මගේ යෝජනාව පිළිබද සිතන්නට ඇයට කාලයක් ඇති හෙයිනි. එහෙත් මගේ බලාපොරාත්තු සුන් කරමින් ඉන් පසු එළැඹි සතියේ වුවද ඇය ඒ පිළිබද කිසිවක් මා වෙත සැළ නොකොට වෙනදා මෙන්ම දුම්රියේ ගමනට එකතු වූවාය.

දැරිවියකගෙන් කැමැත්ත විමසූ කලෙක ප්‍රේමවන්තයෙකුට ඇගේ කැමැත්ත දැනගන්නා තුරාවට ඉවසුමක් නැත. සිරා කොලුවාද මේ හැගීම් වල අපූර්වත්වය හොදින් විද තිබේ. දින සති  බවට පත් වුවද ඇගෙන් පිළිතුරක් නැති කල්හි මා හට පිළිසරණ පිණිස ඉදිරිපත් වූයේ අප සමග ඉදහිට දිනක දුම්රිය ගමනට එකතු වූ මට වඩා වැඩිමහළු තරුණයෙකි. හෙතෙම මීරිගම දුම්රිය ස්ථානයේදී ගමනාන්තය සළකුණු කල එකෙකි. නැතහොත් අමාලිට වඩා දුරක් දුම්රියේ ගමන් කල එකෙකි.

අරකි උඹට උත්තරයක් දුන්නද මල්ලි ?

තාම නෑ අයියා...

මල්ලි...උඹ වරෙන් මා එක්ක පල්ලෙවෙල යන්න...අද මම ඒකිට කථා කරන්නම්...ඔහු මට ඒ වෙලාවේ දෙවියෙකු මෙන් පෙනුනා කීවොත් මම සාවද්‍ය නොවේ. 

අප සමග සිටි පිරිමි පාර්ශවයෙන් බොහෝ දෙනෙක් ගම්පහින් දුම්රියට සමුදෙයි. කාන්තා පාර්ශවයෙන් අමාලි හැර ඉතිරි සියල්ලෝම ගැමුණු අයියාද සමග වේයන්ගොඩ දුම්රිය ස්ථානයෙන් දුම්රියෙන් බැස යයි. ඉන් අනතුරුව දුම්රියේ ඉතිරි වන්නේ මගේ සපෝටර් චරිතයත්, ඇයත්, මමත් පමණි.

අද කොහෙද මේ යන්නෙ ? ඇය සිනා මුසුව මගෙන් විමසුවාය

නැන්දලගෙ ගෙදර...මම පතරංග නයෙක් අතහැරියෙමි.

වේයන්ගොඩින් පසු පල්ලෙවෙලට මහ දුරක් නැත. දැන් මම පල්ලෙවෙල දුම්රිය නැවතුමේදී ඇය සමග දුම්රියෙන් බසින්නට සූදානමෙනි.

මගේ සහායකයා මා පසුපස බව ඇය දුටුවේ නැත. අමාලි මා හට සමුදී වේගයෙන් ඉදිරියට ඇදුන වටපිටාවක සහායක චරිතය හදිසියේම මා පෙන්වා,

නංගි මේ හොද කොල්ලෙක්...ඇයි ඔයා එයාට වචනයක් දෙන්නෙ නැත්තෙ. යනුවෙන් පමණක් විමසුවේය.

ඉන් අනතුරුව ඇය මා වෙත ගිණි පුළිගු විසිවෙන ආකාරයේ සැර බැල්මක් හෙලා භූමිතෙල් වැදුන ගැරඩියෙකු සේ  ගස්සාගෙන ලිස්සා ගියාය.

මචං ගනං ගන්න එපා...ඕවා ඔහොම තමයි...ආයෙ දවසක කථා කරමු. මට අනිත් කෝච්චිය එනවා...මම එහෙනං අනිත් පැත්තට පනිනවා...

ඒ සමගම ඔහුද මගෙන් සමුගෙන ප්‍රතිවිරුද්ධ දිශාවේ දුම්රිය වේදිකාවට ගොඩ වූවේය.

පල්ලෙවෙල දුම්රිය වේදිකාව අදුරේ ගිලී ගොසිනි. ප්‍රතිදීපන පහන් එළියෙන් අදුර තරමක් දුරට මැකුණද සිරා කොලුවාගේ අදුරු වූ පැතුම් වලට එළිය දෙන්නට ඒවාට නොහැකිය. මහත් බලාපොරොත්තු තබා පැමිණි ගමනක් වේදනාවක් පමණක් ඉතිර කර කෙළවර වී තිබේ. මේ වෙලාවට ගම්පහ දෙසට යන්නට මගීන් ඉතාම අල්ප නිසා දුම්රිය වේදිකාවේ මා පමණකි. මා හට  මහත් තනිකමක් දැනෙයි. ජංගම දුරබණුවෙන් ගීතයක් හෝ අසා ළය සැහැල්ලු කරගන්නට සිතා එෆ් එම් නාලිකාවක් ක්‍රියාත්මක කළෙමි.

කලේ පැන් ඇත නැවුම් රහ නැත මොකද මන්දා ලිපට වූයේ...මහගෙදර බලා ගිය සිය ඇඹේනිය නැති සොවින් පෙළෙන සැමියකුගේ ශෝකාලාපය ගීතය තුලින් කියවුනද එවේලේ මගේ සිතට මේ ගීය කෙතරම් තදින් දැනුනේද කිවහොත්, වර්තමානයේද මේ ගිතය ශ්‍රවනය කරන වාරයක් පාසා අදුරේ ගිලුන පල්ලෙවෙල දුම්රිය වේදිකාව සිහිපත් වෙයි.

සිරා කොලුවාගේ තවත් ප්‍රේම ජවනිකාවක් ඉතාම කුජීත ලෙස මෙසේ අවසන් වූ බව මෙහි යන එන උන් දැනගනු රිසියෙන් මේ සටහන තැබුවෙමි. මේ ආදර වෑයමේදී මා කල ගොං කං මෙහි කමෙන්ටුවක් ලෙසට සටහන් කිරීමට ආදර ඔස්තාද්ලාට ගෞරවයෙන් අැරයුම් කරමි. එය මෙවැනි වෑයමකට යොමුවන්නට සිතා සිටින, මේ සටහන කියවන තවත් අහිංසකයෙකුට උපකාර විය හැක. 


මම කාමරේ අරින සිරා කොලුවා.


ප.ලි

සිරාගේ පජාති වූ පෙම් ජවනිකාවක් පිළිබද ලියන ලෙස ඊයක් විද ඇවිටිලි කල සහෘදයා වෙනුවෙන් මේ ලිපිය පුදමි.

මගේ සපෝටර් චරිතය පිළිබද මා නොදැන සිටි දෙයක් පසු කලෙක අමාලි මා හට සැළ කලාය. ඇයගේ සිත රිදවූ ප්‍රථම ප්‍රේමවන්තයාද මා සමග ගිය දිනයේ මෙන් හොද එකෙකු ලෙස ලේබල් අලවා ඇයට සම්මුඛ කලේ මා සමග ගිය සපෝටරයාම බැවින් එදා කෝපයක් උපන්නේ මා කෙරේ නොව ඔහු කෙරේ බව ඒ පුවතයි.

අමාලි කෙල්ලද අද මා මෙන්ම විදේශගතව සිටී. තවම අවිවාහක විය යුතුය. මේ සිදුවීමෙන් පසුවද තවත් වසරක පමණ කාලයක් දුම්රිය තුල මෙන්ම ඉන් පිටත විවිධ ප්‍රිය සම්භාෂනයන් හිදී ඇය මුණ ගැසුනද කිසිම දිනක මේ ගැන කථාබස් නොකිරීමට මම කටයුතු කළෙමි. වරක් ඇයගේම නිවසේ පැවති දානමය පුණ්‍යකර්මයකටද මම සහභාගි වුනෙමි. එදා ඇය මහත් සෙනෙහසින් මා වෙත බත් බෙදා දුන්නේ අපේ උන්ගේ කටකැඩුනු කථා අතරිනි.

වසර 3 කට පසුව කොටාපාරෙන් සිරාකොලුවා සමුගත් හෙයින් මහවේ ගමනට එයින් පසු තිත තැබිනි. එහි 10 වෙනි මැදිරියේ මා මෙහි කියූ කිසිදු චරිතයක් අද නැත. කාලය මැව් අරුමය මේ යැයි කියමින් යලිදු හමුවන දිනයක් නොමැතිව සියල්ලෝ දුම්රියෙන් බැස ගොසිනි.
















Related Posts Plugin for WordPress, Blogger...