Tuesday, September 30, 2014

41 උපත් පාලනය

“ලේ....ලේ මට දැන් ඔන ලේ රහ බලන්න මිනිහෙක්.....ඉස්සෙල්ලම මූණට හම්බුවෙන එකාගෙ ලේ පනිනකල් හපාගෙන ඉන්නවා. මං උගේ උගුරු දණ්ඩටම පනිනවා....

වයිටාගේ කෙඳිරුම් හඬ කලූගේ ඔලුවේ කැකෑරෙන්නේ හෙණ පහරක් මෙනි.

මට දැන් උඹෙන් වැඩක් නෑ. උඹ අර හන්දියට පලයන්. උඹව අත්‍යවශ්‍ය භාණ්ඩයක් වේවි.

මිනිසා තුලවත් දක්නට නොමැති වර්ගය පිළිබද කැක්කුම බලු බසින් බලු මුවින් එසේ වචනයට පෙරළී තිබුනි.

.......................................................................................................

කලූගෙ ඇස් දෙක රතුවෙලා. එළි වෙනකල් අඬලා තියෙන තරමට දැන් නාහෙ දෙපැත්තෙ කබත් එක්ක ඉතිරි උන තෙත තීරු දෙකක් විතරයි එතන තියෙන්නෙ. මට වගේ හෝදගන්න බැහැනෙ ඒ සතාට. කලූගෙ කට දෙපැත්තෙන් සෙම බේරෙනවා. තොල් දෙක නොපිටට පෙරළිලා.

කල්පනා අඬමින් හොටු සූරමින් තමා කාරයට දමා දොර වසන්නට පොදිකන නෑ පිරිවරගේ උරහිසට උඩින් බලා සිටියේ ඈත යන කලූ දෙසය. දොර වැසෙත්දී, මුළු එළියම අඳුරු වෙත්දී ටින්ට් වීදුරුව අතරින් එබී ඇය ඉහත සියල්ල යන්තමින් බලා සිතා ගත්තාය. නොපිටට පෙරලුණු තොල් දෙක දුටු තැනින් පසු ඇගේ දර්ශන පථය වැසුනේ මිනිස් පොදියකින් හා ඔවුන්ගේ බරසාර වතිනි.

අම්මාත් නෑදෑයනුත් හඬද්දී කල්පනාගේ මුවග ඇත්තේ සිනාවකි. ඒ පසුගිය රාත්‍රී ගණනාවක් තිසිසේ සිදු වූ දේහි විරුද්ධ පසයි.

ඒයි පිස්සු බල්ලෙක්....

මිනිහෙක් කෑ ගැසුවේය. නමුත් වාහනයේ වීදුරුව අතරින් ඒ හඬ කල්පනා අසලට නොගියද අනෙක් මිනිසුන් වෙත බෝ වී ගියේය.
.......................................................................................................


කලූ කියන්නෙ අපේ අල්ලපු ගෙදර බල්ලා. බල්ලා කිව්වට කලූ බැල්ලියෙක්. කලූ ගෙදරට ආපු දවසෙ ගුණවර්ධන නෝනලගෙ ගෙදර අයත් ඒ කියන්නෙ අපිත් ගියා බලන්න. උගේ කන්පෙති පහළට කඩා හැලෙනවා. මුළු ඇඟම කලුයි. ඒ නිසාම ඌ කලූ උනා.

මෝටර් රථය මහ පාරට දැමූ තැන පටන් කල්පනා කල්පනාවට එළඹුනාය. හෝටලයට යා යුතු දුර බොහෝ බැවින් ඇයට රිසිසේ එහි නියැළෙන්නට ඉඩ තිබුණි. ඇය හෝටලය වෙත ගොස් එතැනින් අනාගතයට හෝ ආපසු නිවස වෙත ගොස් එතැනින් අතීතයට හෝ නොගොස් කලූ පිළිබදවම සිතුවාය.තවදුරටත් තමාට තමන් ගැන කල්පනා කිරීමට යමෙක් ඉතිරිව ඇතැයි කල්පනාට නොසිතුණි.

නම ඇහුන හැටියෙම කලූ කොහෙ හිටියත් දුවගෙන එනවා. අල්ලපු ගෙදර අපේ ගෙදර කියලා වෙනසක් නෑ. කලූට කොහෙත් ගෙදර වගේ. ගෙවල් දෙකෙන්ම කෑම බීම ඕන තරම්. කලූ බලාගෙන ඉද්දි සැපට හැදුනා. එහා ගෙදර මල්ලිලයි අපේ නංගියි එක්ක නැටිල්ලමයි වැඩේ. අපේ ගෙදර අයත් කලූට ගොඩාක් ආදරෙයි.

කල්පනා හිතට බාධා කරන යමක් අවට ඇතිවාක් සේ කල්පනාට හදිසියේ හැඟුනාය. ඇය පියවි ලොවට දෑස විවර කර බලද්දී ඔහු මනමාල සිනාවක් ද සමග ඇය දෙස බලා සිටියි. කල්පනා හිස අනෙක් පසට හරවා වීදුරුවෙන් එපිට දිවයන ගස් ගල් අතරට වැදුනාය. තවද මනමාල හිනාවක් යයි කීමෙන් ඔහු පිළිබද බිදුකුදු අප්‍රසාදයක් ඇති නොවිය යුතු වගද කිව මනාය. ඔහු මනමාලයා බැවින් ඒ ඔහුගේ වරප්‍රසාදයකි.

යළිත් පුරුදු කල්පනාවට බසින්නට තරම් හිත සකසා ගැනීමට ඇයට මඳ වේලාවක් ගතවිය. එයද ඇය නැවතුණු තැනින් නොව තරමක් මෙපිටිනි.

වයිටා අපේ ගෙවල් පැත්තෙ කැරකෙන්න ගත්තෙ ඔය කාලෙ තමයි. ඌ පාර දෙපැත්තෙ ඉව කර කර කණුවලට චූ කර කර ඇවිදිනවා හරි හදිස්සිකාරයෙක් වගේ. සමන්ත විහිළු කලා මට ඌව පෙන්නලා. ඒ දවස්වල අපි මගින් බැහැලා රවුම් පාර පැත්තෙන් කථා කර කර ඇවිදගෙන එනවා. අලුතෙන් කාපට් පාර හැදුවට පස්සෙ රවුම් පාරෙන් ආවෙ පාර නොදන්න කෙනෙක් හරි, අපි වගේ පාර හරියටම දන්න දෙන්නෙක් හරිම තමයි.

මං එළවන්න හැදුවම සමන්ත හිනාවෙලා මාව නැවැත්තුවා. ඒ හැටි...සමන්ත කිව්වා.

ඒ හැටි

මං කිව්වෙ සමන්තගෙ, සමහර විට එදා එයා මාව නැවැත්තුවෙ නැත්තං අද මෙහෙම නොවෙන්න තිබුනා.

මං කිව්වෙ කලූට.

රියදුරු රියේ වායු සමීකරණය නිවා දමා ජනෙල් පියන් විවර කළෙන් සීතලත් රැගෙන සුළඟ කාරය තුලට වැදුනේ කල්පනාගේ මුහුණද සිඹිමිනි. ඇයට හදිසියේම දොතොල් වෙව්ලා යන පුරුදු සිසිලත් මතක් විය.

ඔය වීදුරුව වහන්න. ඔයාට සීතලයිද ?

තමා පසෙක සිටින මිනිසාගේ හඬට ඇය නැත යන්න හැඟවෙන පරිදි දෙපසට හිස වැනුවා පමණි. එසේ වුවද යළි ජනෙල් විවර කරන්නැයි ඔහු නොකීවේය.

කලූ ඉක්මනට පැටව් ගහාවි.

සමන්ත කිව්ව වගේම කලූ පැටව් දැම්මා. අපි උන්ව බලන්න ගියේ කලූව ගෙනාපු දවසටත් වඩා සතුටින්. ඒත් අල්ලපු ගෙදර අයට නම් ඒක වදයක් උනා මිසක් සතුටු වෙන බවක් පෙනුනෙ නෑ. ටික දවසක් යනකොට පැටව් ටික අතුරුදහන් වුනා. කලූ කෑ ගගහ හැම තැනම උන්ව හොය හොයා ඇවිද්දා. නොකා නොබී හිටියා.

අපි කලූව ඉල්ලුවා හොඳට බලාගන්නම් කියලා. ඒත් ඒ අය කැමති වුනේ නෑ. කලූට තිබුන සැළකිලි අඩු වුනා. අපේ ගෙවල් අතරෙ පරතරය වැඩි උනා.

මහත්තයා ඕන නම් ඩෙවෝන් එක ලග නැවතිලා බලලා යමු.

රියදුරුගේ හඬ කල්පනා යළිත් පියවි ලොවට ඇද්දේය. ඔහු පාරේ වලවල් මග හරින අතරතුර පිළිතුරක් අපේක්ෂිතව කණ්නාඩිය දිහා බලයි.

දැන් එතන රස්තියාදු වෙන්න වෙලා නෑ. අපි හෝටලේටම යමු.

කල්පනාට එහි වගේ වගක් නැත. ඇයට කොයිකත් එකය.

තියෙන තදියමක් ඇයගේ සිතට නැගිය යුතු අදහසක් ඈ වෙනුවෙන් රියදුරු සිතුවේ ඒ බැවිනි. නමුත් ඔහුගේ තදියම සාධාරණ විය හැකිය. මන්ද ඔහු මනමාලයාය.

කල්පනා සුසුමක් හෙළා ඉතිරි හරිය ඉක්මනින් සිහිපත් කරන්නට සිතුවාය. ඊට වඩා වැඩි දුර නොවනා වග ඈට ඉවෙන් මෙන් දැනුණි.

සමන්ත අපේ ගෙදර එක්ක කථා කරන්න ආවෙ මේ දවස් වල. මට හොඳට මතකයි එයා කිව්වා හන්දිය ලඟ බලු පැටව් තුන්දෙනෙක් වාහනේකට අහුවෙලා තිබුනා කියලා. එදා අපේ ගෙදරින් දොට්ට දාපු සමන්ත බල්ලෙක් වගේ ඔළුව නමාගෙන ගියා. මම අඬ අඬ ඉන්න අතරෙ කලූ වැට පැනලා අපේ ගේ දිහාට ආවා. වෙනදා වගේම තාත්ත ඌට බත් දෙනවා මං අහගෙන. ඒත් කලූ කෑවෙ නෑ මං හිතන්නෙ.

මෝටර් රථය ගලින් නිමකළ පටු මාර්ගයක කන්ද නැගීම අරඹා තිබුණි. දකුණින් බෑවුමද වම් පසින් කන්දද තේ ගස්වලින් වටව ඇත. ඈත නව වගාව සඳහා බූ ගා රඹුක් සිටුවන ලද අඩ නිරුවත් කන්දකි. ඒ වට කොට ඇති කඳු වළල්ල මහා මූසල පාළු ස්වභාවයක්ම පායි. උන් හිස වටා එතී මීදුම් වළාවන්ද හැගීමක් දැනීමක් නැතිවම පාවී නොයා කන්දෙහිම වෙළී හිදියි.

කල්පනා බලා සිටියේ වාහනය ඉදිරිපස සවි කර ඇති, කන්ද නගින තාලයට අනුව හිස දෙපැත්තට සොලවමින් සිටින බල්ලාගේ රුව දිහායි. මඳ වේලාවක් යත්දී හිස කකියන්නට ගත්තෙන් ඕ දෙනෙත පියා ගත්තාය.
.......................................................................................................

ඔහු නොඉවසිල්ලෙන් කල්පනාගේ ඇඟ උඩ නගින්නට සැරසෙන විට ඇයගේ නිවසේ සාමාජිකන්  සියලු දෙනා මංගල්ලය වමාරා කමින් සිටියේය. විදුලි එළියෙන් ආලෝක වූ ඉස්තෝප්පුවේ එළිය ඔවුන්ගේ මුහුණුවල තැවරී තිබුණි. කල්පනාගේ කාමරය හැර මුළු නිවසම එළියය.

වැඩ ටික ලස්සනට කෙරුණා නේද ?

හ්ම්.....

ගිහිල්ලා කථා කරන්නම් කිව්වට අමතක උනාද මන්දා

සිරිලාල් කථා කලා. 6 වෙද්දි හෝටලේට ආවලු.

ආ....ඒක නෙමෙයි අරුංට හෙණ ගහන්න එපැයි අර කරපු අපරාදෙට

මොන ?

අර අහිංසක සතාව මරා දැම්මෙ...ඌට ඇති පිස්සුවක් නෑ. අර ඔපරේෂන් එකට පස්සෙනෙ ඕක උනේ. අනික උන්ට කොහෙන් ආව අයිතියක්ද ඒ අහිංසකයව වඳ කරන්න.

හ්ම්
.......................................................................................................

ලේ...හැම තැනම ලේ...තෙතට දැනෙන මගේම ලේ වල තියෙන හිරිකිත...

කල්පනා ඇඟේ ගෑවී ඇති තමන්ගේම රුධිරය ඇඳ රෙද්දෙහි පිස දැමුවාය. ඔහු ඇය පසෙක නිදයි. ඒ සමන්ත දැයි කල්පනා යළි හැරී බැලුවාය. ඔහුට රැවුලක්ද වැවී ඇත. ඇඟ පතද විශාලය. ඇයට තම නිරුවත් පපුවේ පැත්තක් කඩාගෙන එළියට එන්නා සේ දැනෙයි. නමුත් වම් තනය මත අත තබාගත් විට ඇයට දැනුනේ තන පුඩුවෙන් නැගුණ පුපුරු ගැසීමක් වැනි වේදනාවක්ම පමණි.

ඒ සමන්තම තමයි....

අන්තයේදී සුසුම් හෙළා අත පහත දැමූ ඇය ඇඳෙන් බිමට බැස්සාය. මේ ඇළෙනසුළු පිළිකුලෙන් මිදීමට ඕනෑ වූයෙන් කල්පනා කළුවරේම නාන කාමරයට පිය නැගුවාය.


මාසයේ අවසන් ලිපිය වෙනුවෙන් සිරාගේ කාමරයට ලියා එව්වේ,

ඉසුරු අබේසේකර



ප.ලි

ඉසුරු අබේසේකර තව දුරටත් සිරාගේ කාමරයට යන එන බොලාට අමුත්තෙකු නොවේ. මෙයට කලින් 7 වෙනි ලිපිය වෙනුවෙන් ඔහු ලියා එවූ ඇඹුල් දොඩම් කථාවෙන් ඔබ ඔහුගේ හැකියාව දැන හඳුනාගෙන තිබේ. වෘත්තියෙන් ලංකාවේ නමගිය දැන්වීම් ප්‍රචාරණ ආයතනයක පිටපත් රචකයෙකු (Copy Writer) වන ඔහුට කලාව සමග ඇත්තේ ගහට පොත්ත වැනි සමීප සබඳතාවකි. සිරාගේ කාමරයේ 7 වෙනි ලිපිය වෙනුවෙන් දෙවැනි වතාවටත් තමන්ගේ නිර්මාණයක් එවීම සම්බන්ධයෙන් ඉසුරු මලයා වෙත සිරා කොලුවාගේ නොවක් ස්තූතියි පිරි නමමි. ජය !

Saturday, September 27, 2014

72 නගාගේ විරහා වේදනා

සිරා කොලුවගෙ මිත්තරයෙක් වෙච්ච නගා කොලුවගෙ ආදර කථාවට අවසානයේ මක්කද උනේ කියලා බොලාට කියන්නයි සිරා කොලුවගෙ මේ සූජානම. පහුගිය දොහේ කාමරයට ආව ගියා බොහෝ ඇත්තො ඒ හරිය දැනගන්න ඉන්නෙ බොහොම කැමැත්තෙන් කියලයි මගේ අක්මාවට දැනෙන්නෙ.

නගාගෙ ආදර කථාවෙ කලින් කොටස් කියවන්න අතපසු වෙච්ච ඇත්තන්ට මෙන්න උදව්වක්
1 කොටස  2 කොටස  3 කොටස


ඖෂධවේදී විභාගයෙන් අසමත් උනාට පස්සෙ චූටි නංගි මානසිකව ඉතාම පහත් තැනකට වැටුනා. ඒ හින්දම සිරා කොලුවට වගේම පුෂ්පෙ ගොයියටත් ඇයව යථා තත්වයට ගේන්න සෑහෙන්න මහන්සි වෙන්න සිදු උනා කියන දේ මුසාවක් එහෙම නෙමෙයි බොලව්.

මම බෙහෙත් ජාති ගැන දන්නවා...මට වෙලාවකට හිතෙනවා බෙහෙත් පෙති අහුරක් කටට දාගෙන බීලා මැරෙන්න.

චූටි නංගි දුරකථනයෙන් අමතපු වතාවක සිරා කොලුවට කිව්වෙ විහිළුවකට එහෙම නෙමෙයි. මේ කෙල්ල ඇත්තටම මේ දේ කරාවි කියලා අපි දෙන්නටම හිතුනා. ඇය ඒ තරම් වේදනාවකින් ඒ සමයෙදි ජීවත් උනේ.

මිත්‍රත්වය කියන වදනට ශක්තිමත් අරුතක් දෙන්න මටත් පුෂ්පෙ කොලුවටත් හැකි උනේ ඇයව නැවතත් ඖෂධවේදී විභාගයට ඉන්දවන්න තරමට මානසික තත්වය හදන්න පුලුවන් වෙච්ච හින්දයි. චූටි නංගි අන්තිමේදි කැමති උනා දෙවැනි වතාවටත් විභාගයට පෙනී ඉන්න.

මේ වතාවෙ ඇය මේ වෙනුවෙන් අතිරේක පන්තියට පැමිණෙන ඉරිදා හැන්දෑවට සිරා කොලුවත් ගම්පහ නගරයට බඩ ගෑවා. ඇයව මුලිච්චි වෙලා ඇය සමග කථා කරද්දි දුරකථනයකින් කථා කරනවට වඩා මම කියන දේ ඇයට දැනේවි කියලා මට විශ්වාසයක් තිබුනා. විභාගය පිළිබද හොද ධෛර්යයක් එන්නත් කරලා..ජීවිතයෙන් පලා යන්න තීරණය කරන්නෙ ආත්ම විශ්වාසයක් නැති මිනිස්සු කියන කාරණය අවබෝධ කරලා දුන්නට පස්සෙ ඇගේ කථා බහ බොහෝ දුරට වෙනස් උනා. සිනහව අදුනන්නේ නැතිව සිටි ඇය නැවත සිනාසෙන්න පටන් ගත්තා.

චූටි නංගි මේ වතාවෙ බොහොම හොද අධිෂ්ඨානයකින් විභාගයට සූජානම් උනා. නගා කොලුවා කැලණිය සරසවියට වෙලා ඇයව සම්පූර්ණයෙන් අමතක කරලා තමන්ගෙ පාඩුවෙ අධ්‍යාපන වැඩකටයුතු වල යෙදිලයි උන්නෙ.

උඹ ඒකිට කැමති නැත්තං...කෙලින්ම කියපන්...අපි කොච්චර එහෙම කිව්වත් නගා ඒ දේ කලේම නෑ.

දවසින් දවස ගෙවිලා ගිහිල්ලා චූටි නංගිගෙ ඖෂධවේදී විභාගයට ඉතිරිව තියෙන්නෙ තවත් මාසයක කාලයක්, පෙර වතාවෙ අත්දැකීම් එහෙමත් උපයෝගී කරගෙන ඇය මේ වතාවෙ ඉතාම හොදට විභාගයට සූදානම් වී අහවරයි.නමුත් නගා කොලුවා කලින් වතාවෙ කරපු වැරැද්ද දෙවැනි වතාවටත් කලා. චූටි නංගිට හදිසියේම දුරකථනයෙන් කථා කලා.

කිසිම වෙනසක් නෑ....ගිය වතාවෙ වගේම තමයි. චූටි නංගිගෙ මානසික ඒකාග්‍රතාව හිටි අඩියේම අන්තිම පහත් තැනකට ආයෙමත් වතාවක් වැටුනා. මේ වතාවෙත් තමන්ට අභියෝගය ජයගන්න බැරි වේවි කියලා ඇය ඉකි බිදිමින් ජංගම දුරබණුවෙන් පවසද්දි මට වගේම පුෂ්පයාටත් නගාව මරාගෙන කන්න තරමේ කේන්තියක් දැනුනා.

ඇයි....එයා මගේ ජීවිතේ එක්ක මේ විදියට සෙල්ලම් කරන්නෙ...චූටි නංගි අපෙන් ඇහුවා...අපි ඉතින් කාගෙන් කියලා අහන්නද ?

දෙවැනි වතාවෙත් පරදින්න එපා....ඔයා කොහොම හරි දිනන්න...ඔයාගෙ ජීවිතෙන් යන්න ගිය කෙනෙක් නිසා ඇයි ඔයා ඔයාගෙ අනාගතය උකසට තියන්නෙ. මේ දේවල් අපි දෙන්නා චූටි නංගිට කිව්වෙ ඇයව මුලිච්චි වෙලා මිස දුරබණුවෙන් නොවෙයි. තමන්ව ධෛර්යමත් කරන්න තමා ලගම කෙනෙක් ඉන්නවා කියන ශක්තිය ඇයව නිසි ඉලක්කයට රැගෙන යාවි කියන බලාපොරොත්තුව මටත් පුෂ්පයටත් තිබුනා.

මේ වතාවෙත් මට විභාගෙ පාස් වෙන්න බැරි වේවි. විභාගයට තව තියෙන්නෙ සතියයි. චූටි නංගි බොහොම දුක්බරව එහෙම කියපු දවසක, ඇගේ සිතෙන් මේ සෘණාත්මක සිතුවිලි අයින් කරලා දාලා ඉතිරි සතිය තුල හොද විශ්වාසයකින් විභාගයට මුහුණ දෙන්න තරමට හිත හදන්න අපි දෙන්නට හැකි උනා.

ඇය විභාගයට මුහුණ දුන්නා. රැකියාවෙ කටයුතු සමග මමත් පුෂ්පයත් කාර්යබහුල උනා. චූටි නංගි විභාගයක් ලිව්වද කියන කාරණයත් අමතක වෙලා තිබුන පසුබිමක හදිසියේ දවසක කාලයකට පස්සෙ ඇගෙන් ඇමතුමක්..

මම අම්මට තාත්තට කියන්නත් කලින් මේ ඔයාට කථා කලේ...

මොකද හදිස්සියේ....

මම විභාගෙ පාස්...ඊයෙ ප්‍රතිඵල ආවෙ...එහෙම කිව්ව චූටි නංගිගෙ කටහඩ හදිසියේම වෙනස් උනා. ඇයට හැඩුම් ආවා. සතුට වැඩි කමට වෙන්න ඇති.

මේ ප්‍රතිඵලය  ගන්න ඔයාලා දෙන්න දුන්නු උදව් මට කවදාවත් අමතක වෙන්නෙ නෑ. ඔයාලා නැත්තං මම කවදාවත් මේ විභාගය පාස් වෙන්නෙ නෑ...මානසිකව ගොඩාක් පහළට වැටිලා හිටිය මට ඔයාලා කරපු දේවල් වලට ගොඩාක් ස්තූතියි .

මගේ හිත සතුටින් පිරුනා. දැන් චූටි නංගිගෙ අනාගතයට ශක්තිමත් අඩිතාලමක් වැටිලා. අගයක් තිබුනෙ නැති කෙල්ලට දැන් අගයක් තියෙනවා. උසස් පෙළ කරපු කාලෙදි වගේ නිදහස් මානසිකත්වයකින් ජීවත් වෙන්න ඇයට හැකියි.

තවත් සතියක පමණ ඇවෑමෙන් ඇය අපි දෙන්නාටම ගම්පහ නගරයේ අවන්හලකදි පුංචි පහේ සංග්‍රහයක් දුන්නෙ අපිත් එක්ක තිබුන ලෙංගතුකම නිසාමයි. අන්න එදා තමයි ඇය මේ රහස අපට හෙළි කලේ.

මට යෝජනාවක් ඇවිල්ලා අනේ. මම මොකද දැන් කරන්නේ ?

මොනවා කරන්නද...ඒ කොල්ලා හොඳ නම් කැමති වෙන්න...ඔයා ගැන හිතන්නෙ නැති නගා ගැන තවත් හිතන්නෙ මොනවටද...ඔයාට ඒකා දුන්න ගින්දර මදිද...මමත් පුෂ්පයත් එහෙම කිව්වා.

මට එයාව අමතක කරන්න ලේසි නෑ.  චූටි නංගි තවමත් නගාට ආදරෙයි.

තමන්ට ආදරේ නැති කෙනෙක්ව බලෙන් ලබා ගන්න බෑනෙ...ඒ නිසා ඉස්සෙල්ලාම ඔය කියන හාදයට ගෙදර එන්න කියලා කථා බහ කරලා බලන්න. එයාගෙ ගතිගුණ හොද නම්...ඔයාට කරදරයක් නැතුව ජීවත් වෙන්න පුලුවන් කියලා හිතෙනවා නම් කසාද බදින්න. අපේ යෝජනාවට ඇය අකමැත්තෙන් හරි කැමති උනා.

තවත් සති දෙක තුනකට පස්සෙ චූටි නංගිගේ මනාලයා ඇය බැහැ දකින්න නිවසට ආවා...අකමැති වෙන්න හේතුවක් තිබුනෙ නැති හින්දා ඇය අන්තිමේදි ඔහුට කැමැත්ත දුන්නා.

මේ වෙද්දි මේ කෙලී නිසා නගා එක්ක අපි හිටියෙ තරමක අමනාපෙකින්...ඒ නිසාම කෙටි පණිවිඩයක් විදියට මම ඇගේ තීරණය ඔහු වෙත යැව්වා. අපි හිතුවෙ නැති දෙයක් තමයි අන්තිමේදි සිද්ධ උනේ.

නගා ගොයියා මෙච්චර කල් තිබුනෙ නැති අමුතුම අමාරුවක් උත්සන්න වෙලා චූටි නංගි හොයාගෙන පිස්සු බල්ලෙක් වගේ ගම්පහට කඩාපාත් උනා. උපන් දින තෑග්ග ගන්න ආවෙ නැති මිනිහට චූටි නංගි තව කෙනෙක්ට අයිති වෙන්න යනවා කිව්වම උණ ගැනිලා.

මගේ අතින් වැරදි වෙන්න ඇති...අනේ කොහොම හරි චූටි නංගිව ආයෙමත් මට සෙට් කරලා දීහං...නගා පින්සෙන්ඩු උනා. පෙර වැරදි තියෙන හින්දම මමත් පුෂ්පයත් මේකාගෙ බස් කනකට ගත්තෙ නෑ.

අපේ සහායක් නැති තැන නගා තනිවම සටනට එළැඹුනා. ඒ වෙද්දි චූටි නංගි ගම්පහ නගරයේම ඔසු හලක පුහුණු වෙමින් උන්නෙ. දුරකථනයෙන් ඇමතුවාම මට ඔයත් එක්ක කථා කරන්න දෙයක් නෑ කියලා නගා හමුවීම ඇය ප්‍රතික්ෂේප කරපු නිසාම ඒකා පිස්සුවෙන් වගේ දවසක්දා ඇගේ සේවා ස්ථානයට කඩා වැදිලා. කථා කරන්න පොඩියක් එළියට එන්න කියලා කරදර කරද්දි....එතැන හිටිය පුරුෂ පාර්ශවය ඒකාගෙ බෙල්ලෙන් අල්ලලා බල්ලෙක් වගේ එළියට තල්ලු කොරලා තිබුනා.

අපේ ඇස් අදහා ගන්න බෑ. නගා විරහා වේදනාවෙන් කෑ මොර දෙනවා...මේකා මේ රගපානවද කියලා අපට සැකයක් නැත්තෙත් නෑ. නමුත් මාසයක් දෙකක් ගත උනත් නගාගේ රෝගය සුව උනේ නෑ. අධ්‍යාපන කටයුතු පවා අඩාල කරගෙන මේකා චූටි නංගි මත්තෙ මැරෙද්දි මිත්තරයෙක් විදියට අපේ පපු කැවුතු උණු උනා.

පුෂ්පයා වගේම මමත් රැකියාව නිම කරලා නිවසට එද්දි අපේ නිවෙස් දෙකෙන් එකක නගා අපේ ආගමනය බලාගෙන රැදී ඉන්නවා. ගමන් වෙහෙස නිවාගන්න පවා ඉසිඹුවක් නෑ. නගාගෙ දුක්බර ආදර කථාවට සවන් දෙන්න වෙනවා. මේ මගුල හැමදාම කරන්න බෑනෙ. සිරා කොලුවා දවසක්දා පෙර වැරදි සියල්ල මතක් කරලා ඒකාට හොදවායින් කියා දුන්නා. එදායින් පස්සෙ සෑහෙන කාලයක් ගතවෙන තුරු අපේ නිවස පැත්ත පළාතක නගා ආවෙ නෑ. දැන් ඉතිං පුෂ්පෙ කොලුවා විතරයි නගාට ඇහුම්කන් දෙන්න ඉතිරි වෙලා ඉන්නෙ.

ඒ කාලෙ ඉතිං අපි මධුවිතකට එහෙම ඉදගත්තෙ ඉදලා හිටලා, හීනියට කයියක් එහෙම ගහලා පොඩි ජොලියක් දාන්න. නමුත් ආපු වෙලේ ඉදන් නගාගෙ අදෝවැඩියාව...චූටි නංගි ගැන දොඩවනවා. එක දවසක් පුෂ්පයට හොදටම තරහා ගිහින් නගාට ගහන්න අතක් ඉස්සුවා මේ කරදරේ ඉවසලා ඉවසලා බැරිම තැන. නමුත් ගැහුවේ නෑ.

බාහිරින් බැලුවාම දැන් නගා උන්මත්තකයෙක් වගේ....තමන්ට මුලිච්චි වෙන්නෙ කොල්ලෙක්ද බල්ලෙක්ද බලන්නේ නැතුව ඒකා තමන්ගෙ විරහා වේදනාව කියව කියව ඇවිදිනවා.

මචං මට උදව් කරපංකො....පින් සිද්ධ වෙයි බං...මිත්තරයෙක් උනත් මේ විදියට බැගෑපත් වෙද්දි අපි කොහොමද ඉවසන්නෙ....

උඹ ඇත්තටම ආදරේ කරනවද මේ සැරේ....අපි උගෙන් ඇහුවා...

ඔව් බං...ඇත්තමයි සත්තයි...ආයෙ කවදාවත් අමතක කරන්නෙ නෑ.

අපේ වචනය නිසාම යෝජිත මනාලයාට නිවසට එන්නට අවසර දුන් චූටි නංගිට,  නගා ගැන නැවත හිතලා බලන්න පුලුවන්ද කියලා කියන්න අවසානයේ අකමැත්තෙන් උවත් අපට සිදු උනා. නමුත් හැමවිටම ඇගේ ප්‍රතිචාරය වූයේ..

ඔය මනුස්සයා හින්දා මම පුදුම දුකක් වින්දෙ...ආයෙමත් මට කථා කරන්න දෙයක් නෑ....කරුණාකරලා මේ ගැන කථා නොකර ඉමු.

දවසින් දවස නගා විකාර දොඩවනවා...මේකට මානසික රෝගයක්වත් හැදෙයිදෝ කියන භය මටත් පුෂ්පයටත් ඇති උනා. අපි චූටි නංගිගෙ ගෙදර යමු. අන්තිමේදි අසීරු තීරණයකට ආවා...ඇගේ මව මේ ආදර සබදතාව ගැන දැන සිටි කෙනා නිසා ඇය හා චූටි නංගි සමග සාකච්ඡා කරලා නැවතත් හැකිනම් නගාට අවස්ථාවක් දෙන්න කියන ඉල්ලීමයි අපට කරන්න ඉතිරි වෙලා තිබුනෙ.

පන්සලේ පාඩම් කරපු කථාවෙන් බොලාට හමුවුන වනිගයා තමන්ගෙ මිත්තරයෙකුගෙ මෝටර් රථයක් මේ ගමනට ඉල්ලගත්තා...දවසක්දා හිරු අවරට ගියාට පස්සෙ මමත්, පුෂ්පයත්, නගාත් රථයට පැටවුනා. රිය පදවන වනිගයාගෙ දෑතට සියලු දෙවි පිහිටයි කියලයි අපි ගමන පිටත් උනේ. චූටි නංගිගෙ පියා නිවසේ රැදී ඉන්න වෙලාවක මේ ගැන කථා කරන්න විදියක් නැති නිසා ඔහු නිවසේ නැති වේලාවක් තෝරාගෙනයි අපි මේ ගමන යන්නේ.

රථය ඇගේ මිදුලේ නිවසට සමීපයෙන් නතර කොලා. වීදුරු සියල්ල ටින්ට් කරලා තියෙන නිසා ඇතුලෙ ඉන්න නගාව පිටතට පේන්නෙ නෑ...වනිගයා  චූටි නංගිට කලින් මුලිච්චි වෙලා නැති නිසා ඔහුවත් ඇයට හදුන්වා දීලා අපි තුන්දෙනා සාලයේ තිබුන පුටු තුනකට බර දුන්නා. චූටි නංගි, ඇගේ මව සහ නැගණිය සමග අපට සම්මුඛ උනා.

ඕගොල්ලො ආවෙ අරයා ගැන කථා කරන්න නම් කරුණාකරලා ඒ ගැන කථා කරන්න එපා. චූටි නංගි කථාව පටන් ගන්නත් කලියෙන්ම උදැල්ල දැම්මා. ඇයට තමන්ගෙ දුක්බර අතීතය සිහිවෙලා දෙනෙතට කදුළු උනනවා. ඒ දසුනෙන් ඇගේ නැගණියත් සංවේදී වෙච්ච හැටි මට හොදට මතකයි.

ඔය ගැන ආයෙ කථා කරනවට මමත් කැමති නෑ පුතේ...මේ දරුවා පහුගිය කාලෙ මොන තරම් දුක් වින්දද ඔය සම්බන්දෙ හින්දා, මම ඒ සේරම දේවල් දන්නවා. චූටි නංගි වෙනුවට ඇගේ මව අපි එක්ක කථා බහේ යෙදෙනවා.

ඔයාලා ඉක්මනට ආපහු යන්න...තාත්තා ආවොත් ප්‍රශ්නයක් වේවි. 

අන්තිමේදි මම චූටි නංගි සමග  පුද්ගලිකව කථා කරන්න මිදුලේ නවතා තිබුන රථය අසලට ඇයව කැදවාගෙන ආවා. වෙනත් කෙනෙක්ට කැමති වෙන්න කිව්ව සිරාට.....ආයෙමත් නගා ගැන හිතන්න පුලුවන්ද කියලා අහන්න සිදු වෙලා.

ප්ලීස්...ඔය ගැන ආයෙ මා එක්ක වචනයක්වත් කථා කරන්න එපා. මම අපේ ගෙදර ආපු කෙනාව බඳින්න හිත හදාගෙන ඉවරයි. 

රථයට හේත්තු වෙලා චූටි නංගි කරනා කථා බහ ඒ තුල ඉන්න නගා කොලුවට හොදට ඇහෙනවා. ඒකා වීදුරුවකුත් යන්තමට පහත් කරගෙන මේ කථා බහට ඇහුම්කං දෙනවා...

මම අන්තිම තුරුම්පුවත් ගැහුවා...

මේ වතාවෙ නම් අපේ එකා ඇත්තටමයි ආදරේ කරන්නෙ...ඒක මට හොදටම විශ්වාසයි...මට කියන්න ලැබුනෙ එපමණයි.

නවත්තගන්න...ඔය බල්ලා නිසා මම පුදුම දුකක් පහුගිය කාලෙ වින්දෙ...මට තවත් නම් දුක් විදින්න බෑ. චූටි නංගි මහා හයියෙන් අඩාගෙන නිවස තුලට දිව්වා...ඇගේ පියා පැමිණියහොත් අපට බඩකට පුරා සැලකුම් ලැබේවි කියලා හිතුන නිසාම තවත් මොහොතක් හෝ අපි එතැන සුනංගු උනේ නෑ. තමන්ට බල්ලා කියනවා නගාට හොදට ඇහුනා. ඒකා සද්දයක් නැතුව රථය තුල අසුන් ගෙන හිටියා.

පේනවනෙ...මේක ආයෙ කොහොමවත් අටවන්න බෑ...උඹ වෙන අතක් බලාගනින්...අස්සයා ගියාට පස්සෙ ඉස්තාලය වහලා වැඩක් නෑ. උඹ අන්තිම මොහොත වෙනකං මොන මගුලක් කලාද ? පුෂ්පයා තමන්ගෙ තීරණය නගාට දැනුම් දුන්නා.

මේ සිදුවීමෙන් පස්සෙ අපි සුපුරුදු පරිදි නැවතත් රැකියාවේ කටයුතු සමග කාර්යබහුල වෙලා. නමුත් නගා තවමත් ඇය ගැන හිතමිනුයි කාලය ගත කරන්නේ. මගේ රළු වදන් හමුවේ අපේ නිවෙසට මේ ගැන කථා කරන්න නාවාට ඒකා තව දුරටත් පුෂ්පෙ කොලුවට ඇණයක් වෙලා.

මට ඒකි නැතුව ඉන්න බෑ බං...අපි වශියක් වත් කොරමු....නොපෙනෙන බලවේග කෙරෙහි විශ්වාසය තියන තැනටම දැන් දැන් නගා පිරිහිලා. පහුගිය කාලෙ මේ ආදරය නිසා චූටි නංගි වින්ද වද වේදනා දෙගුණ තුන්ගුණ වෙලා දැන් නගා විදිනවා. හරියට දෛවයේ සරදමක් වගෙයි.

නගාගේ කරදරයෙන් බේරෙන්න බැරිම තැන...උඹට ඒක කරන්නම ඕනෙ නම් කොරහං...කියලා පුෂ්පයා කිව්ව නිසා නගා කොහේදෝ දේවාලයකට ගොහිං වැලි අහුරක් මතුරවගෙන තිබුනා. චූටි නංගිගේ දෙපතුල් වලට පෑගෙන විදියට මේ වැලි ඇගේ මිදුලට ඉහින එක තමයි නගාට ඇති අභියෝගය.

අන්තිමේදි වැලි ඉහින්න යන ගමනට පුෂ්පෙ කොලුවා  අකමැත්තෙන් උනත් එකතු උනා. දවසක්දා මහ රාත්තිරියක ඇගේ නිවස සමීපයටම යතුරු පැදිය පදවපු පුෂ්පයා වටා පිටාව ගැන අවධානයෙන් ඉද්දි නගා වැලි අහුර ඉහින්න චූටි නංගිගේ නිවෙස සමීපයට ගොහින්....මේ වෙලාවෙ හදිසියේම වගේ නිවසේ පිටත විදුලි බුබුලක් දැල්වීම නිසා කලබලයට පත් වෙච්ච අපේ අසරණ පෙම්බරා ඈත තියා දමලා ගැහුව වැලි අහුර මිදුලට මෙහායින් තියෙන පොල් ගහක වැදිලා එතැනම බිම පතබෑවුන බව මේ සිද්ධිය සිදු වෙලා බොහෝ කාලයකට පස්සෙ මට කිව්වෙ පුෂ්පෙ කොලුවා.

තව දුරටත් අපට උගේ අදෝවැඩියාව අහන්න වෙලාවක් තිබුනෙ නෑ. දිගින් දිගටම චූටි නංගි වෙත නගා කරදර කල නිසාම ඇය අපේ මිතුරු ඇසුරෙනුත් ටිකෙන් ටික ඈත් උනා. එහෙම උනා කියලා ඇයට වරදක් කියන්න බෑ.

කාලයේ ඇවෑමෙන් නගා බොහොම අමාරුවෙන් තමන්ගෙ උපාධිය සම්පූර්ණ කරගත්තා. චූටි නංගි යෝජිත පුරුෂයා සමග විවාහ උනා. ඉන් පසුව  කිසිදිනෙක ඇය අපට මුලිච්චි වෙලා නෑ. ජංගම දුරබණුවෙන් හෝ කථා බහක යෙදී නෑ. වර්තමානය වෙද්දී චුටි නංගි තමන්ගේම කියලා ඔසු හලක් (Pharmacy) පවත්වාගෙන යන එක්දරු මවක් බව කවුදෝ කිව්වා මතකයි. චූටි නංගිට රැස් පෙන්වලා අන්තිමේදි බලු වෙච්ච නගා නම් තවමත් අවිවාහකයි.

කොටස් 4 ක් පුරා දිවගිය නගාගේ ආදර අන්දරය මෙතෙකින් සමාප්තයි !


මම කාමරේ අරින සිරා කොලුවා.




ප.ලි

ඇතැම් පෙම්වතෙකුට හිටි අඩියේම තමන්ගේ පෙම්වතිය අගේ නැතුව යයි. නමුත් ආදර සම්බන්ධය නිම වූ පසු ඇය තවත් කෙනෙකු සමග සම්බන්ධයක් ගොඩනගා ගතහොත් නැවතත් ආදරය කරන්නට සිතෙයි. මේ අරුමය කුමක්ද ? ආදරය යනු ආත්මාර්ථකාමී සිතුවිල්ලක් නොවේද ?

Tuesday, September 23, 2014

120 ආදරය, සරසවිය, චූටි නංගි සහ නගා

සිරා කොලුවාගේ අතිජාත මිත්තරයෙක් වෙච්ච නගා කොලුවාගේ ආදර අන්දරයේ අලුත් පිටුවක් පෙරලන්නයි සිරා කොලුවගෙ මේ සූජානම. උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල පිට වූ අන්දමත්...ඒ ප්‍රතිඵලය සිරා කොලුවා වෙත සන්නිවේදනය කර නගා තමන්ගෙ පොල්ල නැති බයිසිකලයට නැගුන බවත් ඔබ දැන් දන්නවා.

1 කොටස   2 කොටස

චූටි නංගිගෙ විභාග ප්‍රතිඵලය කුමක් වුවත් ඇයට මෙවරත් සරසවි යන්නට හැකියාවක් නැති බව තවත් ටික දොහකින් සිරා කොලුවට ආරංචි උනා. කැලණිය සරසවියට පිවිසෙන්න වරම් ලබා තිබුන නගා එහි පිවිසුනාට පස්සෙ තමන්ව අමතක කරයිද...නැත්තං මේ වගේ ආදරයෙන් දිගටම ඉදීද...සමහර විටෙක චූටි නංගිගෙ හිත දෙගිඩියාවක තියෙන්නත් ඇති.

සරසවිය ආරම්භ වෙන කාලය දක්වා නගා ප්‍රාදේශීය සංවර්ධන බැංකුවක රාජකාරි කොලා. ඒ කාලෙ මිනිහට පැවරිලා තිබුනෙ බැංකුවෙ දිනපතා මුදල් තැන්පත් කරන ව්‍යාපාරිකයන් පිරිසක් ලගටම ගිහින් ඒවා එකතු කරගෙන එන්න. මේ රාජකාරිය සිංහලෙන් හැදින්නුවෙ ඩේලි කලෙක්ෂන් යනුවෙන්. මෙහෙම ගමනදි තමයි නගාට අපූරු සිදුවීමක් උනේ.

කාන්තා / පිරිමි දෙපාර්ශවයටම අයත් නෑ කියලා රට්ටු කයි කතන්දර හදපු ව්‍යාපාරිකයෙකුත් මේ බැංකුවෙ දිනපතා මුදල් තැන්පත් කොලා. ඒවා රැගෙන එන්න යන්නෙ නගා. දවසක්දා....හැන්දෑවක...මේ හාදයගෙ ව්‍යාපාරික ස්ථානයෙදි වසර මුල දවසක මේ දෙන්නා එකිනෙකාට සම්මුඛ උනා.

මල්ලියා කැළැන්ඩරයක් දෙන්නද ?

ලස්සන පින්තූර එහෙම තියෙන එකක්ද ?

ඔව් ඔව්...ලස්සන පින්තූරෙ..

එහෙනම් දෙන්නකො අයියෙ...

එන්නකො මල්ලියා කඩේ ඇතුලට...

කෝල හිනාවක් දාගෙන කඩේ ඇතුලට ගිය නගාට පේන්න සැනෙකින් ඇදිවත උනා දමපු මේ ගොයියා,

කොහොමද මල්ලි පින්තූරෙ ලස්සනයි නේද....

කැලැන්ඩරේ දැක්කට පස්සෙ මහ දවාලෙ අකුණක් වැදුනා වගේ නගා බැංකුවටම දුවපු බවක් නගාගෙ ශ්‍රී මුඛයෙන් මේ සිදුවීම ගැන දැනගත්ත, අපි හඳුනන බැංකුවෙ කෙනෙක් පස්සෙ දවසක අපට සැළ කලා.

සිරා කොලුවා මේ වතාවෙ සරසවිය ලගටම ඇවිල්ලා නතර වෙලා. දශම ගානක වෙනසක්. අපේක්ෂා භංගත්වය නිසා පපුව ඇතුලෙ ඇවිලෙන විශාල වේදනාවක්. මාස කීපයකට පස්සෙ නගා, සිරා නොමැතිව අලුත් ගමන තනිව ආරම්භ කොලා. කැලණිය සරසවියෙ කළමනාකරණ ශිෂ්‍යයෙක් විදියට මගේ මිත්තරයා තමන්ගෙ නිවසෙ ඉදලයි අධ්‍යාපන කටයුතු වලට මුල් කාලෙ ආවෙ ගියේ.

යන්න එන්න මහමගට වැයවෙන කාලයෙනුත් ප්‍රයෝජනයක් ගන්න පුලුවන් නේද කියලා හිතපු නිසාම සරසවියෙ තවත් දෙතුන් දෙන්නෙක් අල්ලගෙන කිරිබත්ගොඩ පුංචි චමරියකට නගා කොලුවා සැට් උනේ ඊටත් පස්සෙ. උසස් පෙළ කරන කාලෙම අපි ඒකාට මත් වතුර උගුරෙන් පහලට හලාගන්නා ආකාරය මුල ඉදන් අගට නිර්ලෝභීව කියා දී තිබුන නිසාම චමරියේ පැවැත්වුන මධු සාද වලදිත් නගා පෙරමුණ අරගෙන කටයුතු කොරන ආකාරය අපේ ගෙවල් පැත්තෙ ආව ගිය වෙලාවට ඒකා රස කරමින් දෙසාබෑවා.

චූටි නංගිට දැන් ඉස්සර වගේ නගාව මුලිච්චි වෙන්න ඉඩක් නෑ...නගා කොලුවා සතියේ දවස් වල සරසවියෙ අධ්‍යාපනය ලැබීමත්, සති අග වරලත් ගණකාධිකරණය පාඨමාලාවකට සහභාගි වීමත්, මේකා ගම් බලා එන්නේ ඉදහිට දවසක වීමත් ඇගේ ප්‍රේමයට එල්ල වූ අතුල් ප්‍රහාරයක් වගෙයි.

සිරා කොලුවත් කෙටි කාලයක් වරලත් ගණකාධිකරණය හදාරන්න පන්ති  ගියත්, පාන්දර නැගිටලා පන්ති යන්න තියෙන කම්මැලි කමත්, මේ විෂයන් ඉගෙනගන්නට තිබුන අකමැත්තත් නිසාම ඒ ගමන් මගෙන් ඉවත් වෙලා පරිගණකයට ලං උනා. පුෂ්පෙ ගොයියා නම් දිගටම මේ පාඨමාලාවට සහභාගි වුනා. මිනිහට තමන්ගෙ ප්‍රියම්භිකාව මුණ ගැහුනෙත් මේ පන්තියකදි. ඒ කථාවත් මේ වගේම රසවත් එකක් හින්දා ඉදිරි දිනයක බොලාට කියන්න මම ඔන්න කාමරේ පැත්තකින් අරගෙන තිබ්බා.

සරසවියෙ පළවෙනි මාස දෙක තුන ඉතිං නවක වදය ලැබෙන කාල වකවානුව නොවැ. කැලණිය සරසවියෙ තෙල් බැම්මෙ ඉදගෙන ජේෂ්ඨයො අපේ නගාට බැල්ම දැම්මට මේකා කිසිම රහකට නැති එකා නිසා උන් කවුරුවත් වද දුන්නෙ නෑ. ඒ හින්දම නවක වදය කාලයෙදි අපි නගා කොලුවට පංකාදු පහේ වැඩක් කලා.

අපේ පුෂ්පෙ ගොයියගෙ පෙම්වතී කැලණිය සරසවියෙ නගාට ඉහළ වසරෙ ඒකාගෙම අංශයෙ තමයි ඉගෙනුම ලැබුවෙ. අපි එකම වයසෙ උනාට ඒ ඇත්ති පළමු වතාවෙම සරසවි ගිය නිසා නගාට කලින් සරසවි බිමට ආවා.

උඹලට රැග් එක නැද්ද බොල...මුල් කාලයෙදි නගා නිවසෙ ඉදන් මේ ගමන ගිය නිසා සතියකට දෙතුන් වතාවක් මුලිච්චි වෙනවා.

තාම නෑ බං...අඩු තරමෙ තාම සින්දුවක් වත් කිව්වෙ නෑ. උඹලගෙ මහ ලොකු ගෑණු ඉන්නවා නේද...කියහංකො අපිට රැග් කරන්න කියලා....නගා පුෂ්පෙ කොලුවට කෝචොක් පාරක් දැම්මා.

උඹට දෙන්නං වැඩේ....එහෙම හිතාගෙන පුෂ්පෙ කොලුවා පෙම්වතීට රාජකාරිය පැවරුවා. අනේ ඉතින් ඒ ඇත්ති තවත් දැරිවියො එහෙම පිරිවරාගෙන....අපේ නගාට මදි නොකියන්න නවක වදය දුන්නා...නගා හැන්දෑවට ගෙදර එන්නෙ ඇඩෙන්න ඔන්න මෙන්න වගේ...දැරිවියන්ගෙන් නවක වදය කාලා වැනි වැනි එන නගා දැක්කම අපි දෙන්නට හරිම සතුටුයි. තාලයකට අත්පුඩියක්වත් ගහගන්න බැරි නගාට වැඩිපුරම ලැබිලා තිබුනෙ දැරිවියො ඉදිරියේ සින්දු කියන්න.... එහෙමත් නැත්තං ඒ ඇත්තියො පෙන්වන තවත් දැරිවියකගෙන් කැමැත්ත විමසලා ආදරය දිනා ගන්න. එහෙමත් නැත්තං රූකඩයක් වගේ නටන්න. සින්දුවක පද පේලි දෙක තුනක් වත් මතක නැති තැන මේ උත්තමාවියො කියන අවලං කථා ඇහුවම නගාට පොළව පලාගෙන යන්න හිතෙන්න ඇති.

ඉතිං මේ කියපු විදියට සරසවි භූමියට නවකයෙකු විදියට ආව නගා ටිකෙන් ටික සරසවියෙ උප සංස්කෘතියට පත්තියන් උනා. කාලය හෙමි හෙමින් ගතවෙලා සරසවියට ඊලග නැවත් සේන්දු උනා කියමුකො.

මම වගේම පුෂ්පෙ ගොයියත් ඒ වෙද්දි වෘත්තීය ජීවිත වල අයන්න ආයන්න කියමින්  හිටිය නිසා නගා වගේම චූටි නංගිත් අපිට කථා බහ කරන්න මුලිච්චි උනේ එහෙමත් දවසක. ඇය උ/පෙ වලින් පස්සෙ කුමක් කරනවාද...අපි ඒ ගැන දැනුවත්ව හිටියෙ නෑ. නමුත් දෙන්නගෙ ප්‍රේමය නම් හොදින් ගලායනවා ඇති කියලයි අපි හැමවිටම හිතුවෙ.

අලුත් බැජ් එකේ මරු කෑල්ලක් ඉන්නවා බං...පට්ට ගති...නගාගෙ කටෙන් කෙළ බේරෙනවා..

එතකොට චූටි නංගිව අමතක කරන්නද උඹේ කල්පනාව.....

කවුද බොල එහෙම කථාවක් කිව්වෙ....නගා අපිත් එක්ක එහෙම කිව්වා....

විභාගයෙන් පස්සෙ නගාගේ පෙම්වතිය කිසියම් පාඨමාලාවක් හෝ හදාරන්නේ නැතිව නිවසට වී සිටීම ගැන මිනිහා එතරම් කැමැත්තක් දැක්වූවේ නෑ. හොද රැකියාවක නිරත වන බිරිදක් ලැබුනොත් ඉදිරි ජීවිතයේ කටයුතු පහසු වේවි කියලා ඒකාට හිතෙන්න ඇති. ඒ නිසාම දවසෙන් දවස සරසවිය ඇතුලෙ මුලිච්චි වෙන දැරිවියො නගාගෙ හදවතට සමීප වෙන්න ඇත්තෙ නිරායාසයෙන්.

නගා සරසවිය තුලත්, සිරා කොලුවා සහ පුෂ්පයා වෘත්තීය ජීවිත තුලත් වසරක් දෙකක් ගත කලා. හදිසියේම දවසක සිරා කොලුවගෙ ජංගම දුරබණුවට කිංකිණි හඩින් දැරිවියක් කථා කලා. බොලේ මේ අපේ චූටි නංගිනෙ.

පුෂ්පෙ ගම්පහදි මුලිච්චි වෙච්ච වෙලාවක ඔයාගෙ නොම්බරේ ඉල්ල ගත්තෙ.

ඉතිං ඉතිං...සෑහෙන කාලෙකට පස්සෙ....දැන් කොහොමද ඔයාලගෙ ලව් එක නැගලා යනවද ?

ඒ ගැන කථා කරන්නත් එක්ක තමයි මම ඔයාට කෝල් කලේ.....

ඇයි මොකක් හරි ප්‍රශ්නයක්ද...

ඔව්....එයා මාව හම්බවෙන්න ආවෙ නෑ හුග දවසකින්...කෝල් එකක් ගත්තට උත්තර දෙන්නෙත් නෑ. එයාට දැන් කැම්පස් එකේ කවුරු හරි ඇති.



චූටි නංගි කථාව අතරතුර මහා හඩින් හඩා වැලපෙන්න උනා. ඇය ඉතාමත් දැඩිව නගාට ආදරය කරන බව ඒ වෙද්දි මට වගේම පුෂ්පයටත් දැනිලා තිබුනෙ. සැබවින්ම චූටි නංගි ඕනෑම පෙම්වතෙකු ප්‍රාර්ථනා කල යුතු ආකාරයේ ඉතාම හොද පෙම්වතියක්. නමුත් ඒ සම්පත දැන් නගාට අගය නැති ගානයි.

අඩන්නෙ නැතුව කියන්න.

එයාගෙ උපන් දිනයට මම තෑග්ගක් ලෑස්ති කලා....

ඔයාට කොහෙන්ද සල්ලි....ඔයා රස්සාවක් කරන්නෙ නෑනෙ....

දන්නෙ නැද්ද එහෙං මෙහෙං හොයාගන්න ඒවා...මම මොන්ටිසෝරියකත් උගන්වනවා දැන් ගෙවල් පැත්තෙ. පොඩි උන්ට නැටුම් එහෙමත් කියා දෙනවා...චූටි නංගි පාසල් සමයෙ හොද නැට්ටුක්කාරියක් කියලා බොලාට මට වේලාසන කියන්න අමතක උනා.

ඉතිං....

මම දවස් ගානක් එයාට ගම්පහ ටවුමට එන්න කිව්වා තෑග්ග අරගෙන යන්න...එයා ඒ වෙනුවෙන්වත් ආවෙ නෑ.

ඇගේ ඉකිබිදුම නගා කෙරෙහි මා සිතේ ඇතිකලේ විශාල කෝපයක්.

පුදුම මිනිහෙක්නෙ මේකා...මට එහෙම කියවුනා...

දැන් එයාට මගෙන් වැඩක් නැතුව ඇති. ඒත් කමක් නෑ...මට අකමැති නම් කෙලින්ම කිව්වා නම් ඉවරනෙ.

ඉතිං මට මොනවද ඔයා වෙනුවෙන් කරන්න පුලුවන් ?

ඔයා ඇවිත් මේ තෑග්ග අරගෙන යන්න....එයාට වැදගත් දේවල් තමයි මම ලෑස්ති කලේ...හම්බවෙච්ච වෙලාවක එයාට දෙන්න.

ඔයා භය නැතුව ඉන්න...මමයි පුෂ්පයයි ඔය මිනිහව කනෙන් ඇදගෙන ඔයා ලගට අරගෙන එන්නම්..

මේ ඇමතුමෙන් පස්සෙ මගේ කෝපය ඉහවහා ගිහින්...දැරිවියක් සමග ප්‍රේම සබදතාවක් පටන් ගන්නට තදියම් කාලෙ ඇයට හඳ උනත් ගෙනත් දෙන්න පොරොන්දු වෙන පෙම්වතුන් පස්සෙ පස්සෙ මේ විදියට වෙනස් වෙන කාරණය මටත් හිතාගන්න බැරි ජාතියෙ එකක්.

පුෂ්පෙ කොලුවා එක්ක චූටි නංගිගෙ ගැටළුව සම්බන්ධයෙන් කථා කරලා කොළඹ සරසවියේ අධ්‍යාපනය ලබන බීඩියා සමග නගාව ගම්පහට ගෙන්නගන්නත්...ගම්පහ දුම්රිය නැවතුම අසලට ඒකාට හොරෙන් චූටි නංගිව කැදවාගෙන එන්නත් අපි සැලසුම් කොලා.

අන්න අරුන් දෙන්නා අද බෝතලයක් කඩමු කිව්වා...අද මමත් එනවා වරෙං යන්න...බීඩියා ජංගම දුරබණුවෙන්  එහෙම කිව්වම නගා බොහොම කැමැත්තෙන් ගමන පිටත් උනා. අද වගේම එදත් පිනට නමාගන්න තියෙනවා නම් නගා එක පයින්....

නගා චූටි නංගි ආදරය දිනවන්න මමත් පුෂ්පයත් අපේ වෙනත් වැඩ කැප කරලා ගම්පහ දුම්රිය නැවතුම ඉදිරිපිට ඕන්න දැන් බලාන ඉන්නවා.

රඹුක්කන දුම්රියෙන් බැහැලා බීඩියා නගා ජෝඩුව දැන් අපිට සම්මුඛ වෙලා.

අඩේ..අපි කොහෙද අද සෙට් වෙන්නෙ වලේද ? (වල යනු ගම්පහ නගරයේ ඇති මත්පැන් පානය සදහා නම් දැරූ අවන්හලකි )

නගාට පුදුම තදියමක්...

ඊට කලින් උඹට යාලුවෙක් ඉන්නවා මුණ ගස්සන්න.... එහෙම කිව්ව පුෂ්පයා අපිට මුවාවෙලා උන්න චූටි නංගිට ඉදිරියට එන්න හස්ත සංඥාවක් දුන්නා.

ඇගේ අනපේක්ෂිත දර්ශනය නගා තුල ඇති කලේ කම්පනයක්...ඒකා බොහෝ සේ අපහසු තාවට පත්වූ බවක් අපට දැනුනා. බැරිම තැන නගා අහක බලා ගත්තා.

කොහෙද බොල බලන්නෙ...මේ විදියට අහක බලන්නද අපි එදා පස්සෙන් ගිහින් කැමැත්ත ඇහුවෙ. බීඩියා නගාගෙ බෙල්ලෙන් අල්ලලා ඉදිරියට හැරෙව්වා.

අනේ අපේ සුකොමල පෙම්වතී චූටි නංගි බ්‍රවුන් පේපර් කොළයක ඔතාගෙන ඇවිල්ලා තිබුන තරමක් විශාල නගාගෙ උපන් දින තෑග්ග අත දරාගෙන ඒකා දිහා පහන් හැගීමෙන් බලා ඉන්නවා.

අන්තිමේදි නගා ඇය කරා ගිහිල්ලා තෑග්ග බාර ගත්තා. උන් දෙන්නට කථා කරන දෙයක් කථා කරන්න අවස්ථාව දීලා අපි පැත්තකට උනා.

එදා හවස මම නගාගෙ ගෙදර ගියේ උපන් දින තෑග්ගෙ තිබුන දේවල් දැනගන්න අටියෙන්. ඒ වෙද්දි නගා තෑග්ගෙ තිබුන දේවල් තමන්ගෙ මේසය උඩ පිළිවෙලට අහුරලා.

සුවද විලවුන් බෝතලයක් / A4 කඩදාසි පැකැට්ටුවක් / පෑන් පැන්සල් මිටියක් සමග තවත් ලිපි ද්‍රව්‍ය එහි තිබුනා. ඒ කාලෙ හැටියට රුපියල් දෙදාහකට කිට්ටු තෑග්ගක්. රැකියාවක් නොකරන චූටි නංගි මේ තරම් කැපවෙලා තමන් අමාරුවෙන් හොයාගත්ත රුපියල රුපියල එකතු කරලා ගත්ත මේ තෑග්ග ඒකාට කෙසේ වෙතත් මගේ පපුවට බොහොම බරට දැනුනා. මේ තෑග්ගට වියදම් කරපු හැම රුපියලක් ගානේම...හැම A4 කඩදාසියක් ගානේම තැවරී ඇත්තේ ඇගේ අකලංක ආදරය නේද...මට එහෙම හිතුනා.

තමන් අධ්‍යාපන කටයුතු සමග කාර්ය බහුල බව පවසමින් නගා කොලුවා තව දුරටත් චූටි නංගිව මග හැරියා. ඒ අතර තුර ඇය සමහර විටෙක හඩමින් මා සමග දුරබණුවෙන් කථා කලා.  ඇය ඖෂධවේදී පාඨමාලාව හදාරන්න පටන් ගත්තෙ මේ කාල වකවානුවෙදි. නගා තමාට කැමති නැත්තෙ තමාට රැකියාවක් කරන්න සුදුසුකම් නැති නිසා වෙන්න ඇති කියලා චූටි නංගි හිතන්න ඇති.

පෙම්බරා නිසා රිදුන හිත ඇගේ මිතුරන් විදියට මමත්, පුෂ්පෙ කොලුවත් හැකි විදියට හදන්න හැමවිටම උත්සාහ කලා.

විභාගෙ ගැන විතරක් හිතන්න...අනිත් හැමදේම අමතක කරන්න...ඔයාට පුලුවන් මේක පාස් වෙන්න...ඇයව අපි දෙන්නා හැම විටම ධෛර්යමත් කලා.

සතියකට වාරයක් දෙකක් ජංගම දුරබණුවෙන් අමතමින් අපි ඇයව විභාගය පැවැත්වෙන මානය දක්වා දිරිමත් කරමින් රැගෙන ආවා.

කොහොමද ඔයා හොදට පාඩම් කරනවා නේද...විභාගයට ලෑස්තියි නේද...

ඔව්...ඔයාලා දෙන්නට පිං...ඔයාලා නිසා තමයි මම මේ විදියට හරි හිත හදාගත්තෙ...මම හොදට වැඩකරගෙන යනවා...භය වෙන්න එපා. චූටි නංගි එහෙම කිව්වා.

නමුත් විභාගයට දින ගනනක් ඉතිරිව තියෙද්දි නගා ඇයට දුරකථන ඇමතුමක් ගත්තෙ මේ කිසිවක් ගැන නොදැන. තමා ආදරය කරන නමුත් තමා අමතක කර සිටින කෙනෙකු මේ විදියට හදිසියේ කථා කලාම ඒ හිතට ඇතිවෙන ප්‍රහර්ශය...මෙවැනි අත්දැකීමක් ලබපු අයට ආගන්තුක නෑ. මේ ඇමතුමෙන් පස්සෙ චූටි නංගි ආයාසයෙන් ගොඩනගාගත්ත සංයමය නැති උනා. තැන තැන දුවන මානසිකත්වයකින් ඇය විභාගයට මුහුණ දුන්නා.

නගාගේ මේ නොසිතූ විරූ වෙනස් වීම උගේ මිත්‍රයන් විදියට මටත් පුෂ්පෙ කොලුවාටත් ඇති කලේ විශාල වේදනාවක් වගේම තරහක්. චූටි නංගි වැනි ඉතාම දැඩිව ආදරය කරන අහිංසක චරිතයකට මෙලෙස සැලකීම කිසිලෙසකින් අනුමත කල නොහැකි නිසාම අපි දෙන්නා නගා සමග මධුවිතක් තොලගාපු සෑම වෙලාවකම ඒකාට බැණ වැදුනෙ මිත්‍රත්වය පවා බිදෙන තරමේ රළු වදන් වලින්. ඒ සෑම වෙලාවකම නගා මුනිවත රැක්කා.

ඖෂධවේදී විභාගයේ ප්‍රතිඵලය පිටවුන දවසේම චුටි නංගි සිරා කොලුවට කථා කලා.

වැඩක් නෑ...හැම බලාපොරොත්තුවක්ම ඉවරයි...

ඇයි...එහෙම කියන්නෙ....

විභාගයෙ ප්‍රතිඵල ආවා...මම ෆේල්....

ඇයි ඔයා හොදට වැඩකරගෙන ආවනෙ...

ඔව්...අරයා මට හදිස්සියේ කථා කලාට පස්සෙ මට පාඩම් වැඩක් කරගන්න බැරි උනා. හිත එක තැනක තියාගෙන විභාගය ලියන්න බැරි උනා. ඇයි එයා ඒ විදියට මගේ ජීවිතේ එක්ක සෙල්ලම් කරන්නෙ. එයාට මාව එපා නම් ඇයි කෙලින් කථා කරන්නෙ නැත්තෙ. අපි මේ වෙද්දි යාලු වෙලා අවුරුදු පහක්. ඒ උනාට අපි හම්බවෙලා කථා කරලා තියෙන්නෙ බොහොම අඩුවෙන්. මගේ හිතේ දවසෙන් දවස බලාපොරොත්තු ඇති වෙනවා කියලා එයා දන්නෙ නැද්ද ? අපේ අම්මටත් මේ සම්බන්ධය ගැන මම කියලා ඉවරයි.

චූටි නංගි හරිම සංවේදී යුවතියක්....ඇගේ ඉකිබිදුම ජංගම දුරබණුවෙ එහා පසින් ඇහෙද්දි, ආදර සබදතාවක් නැති තමන්ගෙ පුත්තරයා  හුරතල් වෙවී කථා කරන්නෙ කුමන කෙල්ලෙක් එක්කද කියලා තේරුම් ගන්නට නොහැකිව, සිරා කොලුවගෙ මෑණියන් තුෂ්ණිම්භූතව බලාන උන්නා.


මම කාමරේ අරින සිරා කොලුවා.


ප.ලි

නගාගේ ආදර අන්දරයේ අවසාන කොටස මීලගට.

Friday, September 19, 2014

104 චූටි නංගිගේ ස්වයංවරය

සිරා කොලුවගෙ අතිජාත මිත්තරයෙක් වෙච්ච නගා කොලුවගෙ ආදර කථාව බොලාට කියන තවත් දවසක අපි හමු වෙලා. මේ සිදුවීම් අද ඊයෙ වෙච්ච ඒවා වගේ හදවතේ ගැඹුරු තැනක සටහන් වෙලා තිබුනත් අපටත් හොරා කාලය වේගයෙන් ගතවෙලා දශකයකටත් වැඩි කාලයක් ගෙවිලා ගිහිල්ලා. චූටි නංගිගෙ මුදල් පසුම්බියෙන් එළියට පැන්න ඇගේ පෙම්වතාගෙ රූපයෙන් කලින් කොටස අහවර උනේ. අද එතැන ඉදන් ඉදිරියට.

පුස්තකාල ජීවිතය හමාර කරලා අපි උසස් පෙළ විභාගයටත් ඉද ගත්තා. විභාගයට උත්තර බැඳපු ආකාරය අනුව විශ්ව විද්‍යාල ප්‍රවේශය අපේක්ෂා කරන්න බැරි හින්දම දෙවන වතාවටත් විභාගෙට පෙනී ඉන්න මමත් නගා කොලුවත් ඒ වෙද්දිත් සූජානම් වෙලා අහවරයි. උපකාරක පන්ති පටන් ගත්ත අලුතම වගේ නගා කොලුවත් මමත් පන්සල් හන්දියේ පුෂ්පෙ ගොයියත් පෙර පුරුදු ගමන යළි ඇරඹුවා.

මෙදා පොටේ නම් දෙනවා බැටේ කියලා හිතාන මුල ඉදන්ම ඉතාම හොදින් අධ්‍යයන කටයුතු කරන්නයි අපි තුන්දෙනාගෙම වෑයම. කලින් වතාවෙ වගේම මේ වතාවෙත් ගම්පහ පුස්තකාලයේ උපකාරය පතන්න අපි අමතක කලේ නෑ. මමත් නගා කොලුවත් පුස්තකාල උඩුමහලෙ පාඩම් කරන්න වෙන් කරලා තිබුන කලාපෙට සැට් වෙලා අධ්‍යයන වැඩ කටයුතු කොරාන යනවා. කලින් අවුරුද්දෙ අපිත් එක්ක එක බඩවැල කඩාන ආපු සහෝදරයො වගේ සහෝදරත්වයෙන් ඉදලා..විභාගයෙන් අනතුරුව විසිර ගියපු කිසිවෙක් දැන් එහි නැති නිසා මුල් දවස් කීපයේ දැනුනෙ පුදුමාකාර පාලුවක්. දැරිවියන්ගේ ඉසව්වෙත් අපි එක්ක හිතවත් වෙච්ච, අපේ නෙත් වලට රසදුනක් වෙච්ච කිසිම මුහුණක් දකින්න නෑ. උසස් පෙළට පළමු වතාවට මුහුණ දෙන්න සැරසෙන අපට වඩා වසරක් වයසින් අඩු යුවතියො කීප දෙනෙක් හැරෙන්න තවමත් එහි වැඩි ජනකායක් නෑ.

දවසක් දෙකක් ගත වෙද්දි පුස්තකාල මතකය නගා කොලුවගෙ හිතට දුකක් ගෙනාව නිසාම ඒකා නිවසේ ඉදන් වැඩ කටයුතු කොරන්න තීරණය කලත් හදිසියේ ඒ අදහස අතහැර දමන්න සිදු උනේ අනපේක්ෂිත සිදුවීමක් නිසා. එක දවසක් දවල් වරුවක පුස්තකාලෙ පාඩම් කරන කොටසෙ දැරිවියන්ගෙ පැත්තෙ අපට හුරු පුරුදු මුහුණක් සිනාමුසුව අපි දිහා බලා උන්නා.

වෙන කවුරුවත් නෙමෙයි බොලව් චූටි නංගි.......

අපි වගේම දෙවන වතාවටත් විභාගෙ ලියන්න ඒ ඇත්තිත් කල්පනා කොරලා.

ඒ දසුනින් නගාගෙ හිතේ දහසක් මල් පීදුනා. හැමදාම පුස්තකාලෙ එන්න මිනිහට දැන් හේතුවක්, ආශාවක් තියෙනවා. එදා හවස ගෙදර යන ගමන් චූටි නංගි එක්ක බොහොම හිතවත්ව කථා බහ කරන්නත් නගාට අවස්ථාව ලැබුනා. ඒකා උන්නෙ හරිම ප්‍රීතියෙන්.

දවසක් දෙකක් යද්දි මේ දෙන්නා යාලුවො දෙන්නෙක් වගේ හිතවත්, පාඩම් වැඩ කටයුතු අවසානයේ හැමදාම වගේ අපි තුන්දෙනා දොඩමළු උනා. මේ අතරවාරයේ දවසක තමයි චූටි නංගිගෙ පෙම්වතා ගැන නගා කොලුවා විමසුවෙ. ඒ වෙලාවෙ ඇගේ මුහුණ දුක්බර වෙච්ච ආකාරය මට තවමත් මතකයි. මාස 6 කින් එයා මාව මුණගැහෙන්න ඇවිල්ලා නෑ. ඇය එහෙම කිව්වා.

නගා ගොයියට කලින් වතාවෙ චූටි නංගිගෙ ප්‍රේමය දිනාගන්න බැරි උනත් මේ වතාවෙ නම් වැඩේ ගොඩදාගන්න පුලුවන් කියලා මගේ අක්මාවට දැනුනත්..මේ මගුල් නිසා නගාගෙ විභාග ප්‍රතිඵලයට කෙළවෙයිද කියලාත් නොහිතුනා නෙමෙයි.

තවත් මාස දෙක තුනක් ගත වෙද්දි අලුත් මුහුණු වලින් පුස්තකාලය පිරුනා. මේ චරිත දිනපතා හමුවෙද්දි අපි අපිටත් හොරෙන් එකිනකො සමග සුහද වෙලා. දැරිවියන්ගෙ පැත්තෙ ඉතාම සුන්දර දැරිවියො කීප දෙනෙකුම වාඩි වෙලා උන්නත්...සිරා කොලුවා මේ වතාවෙ මේ කිසිදෙයක් ගැන උනන්දු උනේ නෑ. විභාගයෙන් උසස් ප්‍රතිඵලයක් ගන්න අරමුණ විතරයි මට තිබුනෙ.

කාලය ටික් ටික් හඩින් ගත වෙනවා. විභාගයට තියෙන දින ගනන එකින් එක අඩු වෙනවා...නගා සහ චූටි නංගි අතර තියෙන ඇයි හොදයිය නැගලම යනවා.

ඇගේ පෙම්වතා ඇගෙන් කෙමෙන් කෙමෙන් දුරස් වන බවත්, නගා ගොයියා දිනෙන් දින ඇයට සමීප වන බවත් මේ දෙදෙනා සමීපයේ හිටිය මට අමුත්තක් උනේ නෑ. ඇය නිවසින් රැගෙන එන බත් ගෙඩිය ඇයත් සමග අනුභව කරන්න, චූටි නංගි සමග වැහි දවස් වලට කුඩේ යටින් යන්න නගාට අවස්ථාව ලැබිලා. ඒ දිහා බලාන මිත්තරයෙක් විදියට මම ඉතාමත් සතුටු උනා. මේ දෙන්නගෙම පොදු හිතවතෙක් බවට සිරා කොලුවා උසස් වෙලා.

අපේ එකාට නැවත වතාවක් චූටි නංගිගෙන් කැමැත්ත විමසන්න අවශ්‍ය උනේ නෑ. උසස් පෙළ විභාගය ලියන්න දෙවැනි වතාවට ගම්පහ පුස්තකාලයට සමුදෙනකොට නගා සහ චූටි නංගි එකිනෙකාට පෙම් කරමින් උන්නු ජෝඩුවක්.


දෙවන වතාවටත් උසස් පෙළට මුහුණ දීලා නිවසට වෙලා ඉසිඹුවක් ලබමින් උන්නු කාලෙ අපි අතරෙ ආශ්‍රය, හමුවීම් සීමා සහිතවයි සිදු උනේ. එක දවසක් නිවසේ දුරබණුවට නගා කොලුවාගෙන් ඇමතුමක් ලැබුනා.

උඹ මොකද බොල කරන්නෙ....

මොනවා කරන්නද....උඹට වගේ ලව් කර කර ටවුම පුරා ඇවිදින්න, චිත්‍රපටි හෝල් ගානෙ යන්න එකියක් මට නෑනෙ...

ඒ ඉලව්ව ගැන කථා කරන්න තමයි මම උඹට කථා කලේ.

මොකද පොල්ල තියලා කෙල්ල මාරු උනාද ?

නෑ බං....ඒකිගෙ පරණ කොල්ලට කාලෙකට පස්සෙ චූටි නංගිව මතක් වෙලා. ඊයෙ පෙරේදා දවසක කෝල් එකක් දීලා. එයා ඉතිං අපි දෙන්නගෙ සම්බන්ධය ගැන කිව්වම මිනිහට තරහා ගිහිං...මාව මුණගැහෙන්න ගම්පහට එනවා කියලා...

කොහෙ එකෙක්ද බොල...

ජා-ඇල

උඹ භය වෙන්න එපා අපි මොනවා හරි කොරමු.

ජා-ඇල කිව්වම පොඩියක් විතර වලියට බර ගතියක් තියෙන නිසා නගාගෙ දෙකකුල් දැම්මම මැඩ්ලින් ගහනවා. මේ ඇමතුමෙන් සතියකට විතර පස්සෙ ගම්පහ දුම්රිය නැවතුම අසල චූටි නංගිගෙ අලුත් සහ පරණ කුමාරවරු අතර හමුවකට මග එළිපෙහෙලි උනා.

උඹ භය වෙන්න එපා...මමයි පුෂ්පයයි ඈතින් බලාන ඉන්නම්...උඹ ඒකා එක්ක සුහදව කථා කරපං...අවුලක් ගියොත් අපි දෙන්න ගේමට ඇන්ටර් වෙන්නම්. මම ඒ විදියටයි නගාට උපදෙස් දුන්නෙ.

සති අන්තයේ දිනෙක සවස් වරුවක තමයි මේ සිද්ධිය සිද්ධ උනේ. සිරා කොලුවත්, පුෂ්පෙ ළමයත් ඒ ඉසව්වට යද්දි විනාඩි කීපයක් ප්‍රමාදයි.

නගා, චූටි නංගි සමග ටිකක් විතර උස මහත කලු හාදයෙක් කථා බහක නිරත වෙලා ඉන්න ආකාරය අපිට ඈතටම පෙනුනා.

එකපාරටම යන්න ඕනෙ නෑ. ප්‍රශ්නයක් ආවොත් එතනට යමු...පුෂ්පයා එහෙම කිව්ව නිසා දුම්රිය ස්ථානය කිට්ටුව තැනක අපි දෙන්න මේ තුන් කට්ටුව දිහා බලාන උන්නා.

කථා බහ සුහද නොවන වග තේරුම් ගන්න අපිට වැඩිවෙලාවක් ගියේ නෑ. ආගන්තුක තරුණයා අත පය වනමින් වේගයෙන් කථාබහ කරන විලාශය අපේ හිත් ගත්තෙත් නෑ. ස්වභාවයෙන්ම සටනට යන්නෙ නැති අහිංසකයෙක් වෙච්ච අපේ නගා මුව පොව්වෙක් වගේ බලාන හිටියා.

අන්න ඒ වගේ වටපිටාවක අපි දෙන්නත් කථාවට මැදිහත් උනා. ඔබ දැකුමෙන් මා නෙත ලැබුවේ....ලද ඉහළම සතුටයි මෙලොවේ......වගේ නගා අපි දෙන්නා දිහා බලාන උන්නා. අපි කවුද කියලා ආගන්තුකයට හදුන්වා දුන්නට පස්සෙ මිනිහා අපේ පැත්තට හැරුනා. අපේ පුෂ්පෙ ගොයියත් හොද දේහදාරී පුරුෂයා. ඒ හින්දා ආගන්තුකයා ටිකක් විතර කළබල වෙලා.

මචං මේ මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්....වැඩ නිසා මට ටික කාලයක් හම්බවෙන්න එන්න බැරි උනා. (ඒ කාලෙ අද කපොල් වලට වගේ මල් කඩන්න ජංගම දුරබණුව අද මෙන් පදුරක් පදුරක් ගානේ තිබුනේ නැත) මම වැඩ ටික ඉවරකරගෙන එද්දි මෙයා වෙන කෙනෙක්ට සෙට් වෙලා.

දුක වගේම තරහා මුසුවෙචච බැල්මක් මිනිහා ලග තිබුනෙ. එතැනින් පස්සෙ ගොඩාක් දේ ගැන එයා තර්ක කලත්..චූටි නංගි නගා ලගට වෙලා ලේන්සුවෙ කොණක් හපමින් නිහඩව සිටියා.

මේ ඇත්තගෙ කථාව ටික වේලාවක් අහගෙන ඉදලා..මම මිනිහගෙ පිටට තට්ටුවක් දැම්මා.

මචං..මේ වගේ දේකට ගහමරා ගන්න එකේ තේරුමක් නෑ. උඹ ආදරය කරපු කෙනා මෙතන ඉන්නවනෙ දැන්...අපි එයාගෙන්ම අහමු එයා කාටද කැමති කියලා.

මගේ ස්වයංවර යෝජනාවට ඔහු එකග වුනා.

ඔයා මේ දෙන්නගෙන් කාටද කැමති...මම චූටි නංගිගෙන් ඇහුවා.

මොහොතක් නිහඩව සිටි ඇය....මම කැමති මෙයාට...ඇය නගාගෙ අත අල්ලගත්තා.

පැරණි පෙම්වතා බිම බලාගෙන නිහඩවම සිටියා. නමුත් ඔහුගේ හිතේ විශාල දුකක් හිර වී තිබෙන බවක් මට දැනුනා.

අපේ එකා ගිය අවුරුද්දෙ ඉදන් ඔය කෙල්ල ගැන හිතන්නෙ. මුලින්ම අහපු වෙලේ කැමති උනේ නෑ...උඹේ ෆොටෝ එකක් පවා පෙන්නුවා...මාස ගානක්ම උඹලා දෙන්නා මුලිච්චි නොවුන නිසා මේ සම්බන්ධෙ ඉවරයි කියලා ඒකි හිතන්න ඇති.

ඕවා ඔහොම තමයි බං...ගෑණු කියන්නෙ අමුතුම ජාතියක් කියලා උඹ අහලා ඇතිනෙ...ඔය මගුල් අමතක කරලා කරන දෙයක් හොදින් කරගෙන වෙන කෙනෙක් හොයාගනිං...පුෂ්පෙ ළමයත් මිනිහගෙ හිත හැදුවා.

තවත් මොහොතක් ඔහු ගම්පහ දුම්රිය නැවතුම අසල බලා සිටියත්, අලුත් ජෝඩුව නම් ඊට කලියෙන් සතුටින් විසිර ගියා. කලින් ආශ්‍රය කරලා නැති උනත් පරණ පෙම්වතා පිළිබද විශාල කණගාටුවක් ඒ වෙද්දිත් මගේ හිතේ මෝදු වෙලා. මොකෙක් උනත් කොල්ලෙක්නෙ...මට එහෙමයි හිතුනෙ.

මේ සියලු සිදුවීම් නිම උනාට පස්සෙ අපේ සත්‍ය ප්‍රේම භෘංගරාජයා නගා...අපිට මුලිච්චි උනේ ඉදලාම දවසක තමයි. තමන්ගෙ ප්‍රේමකථාව නැගලම යන බවක් තමයි මිනිහා හැම වෙලාවෙම අපිට කිව්වෙ. ඔයින් මෙයින් විභාග ප්‍රතිඵල නිකුත් වෙන දවසත් උදා උනා.

ප්‍රතිඵල නිකුත් වෙච්ච දවසෙ හැන්දෑවෙ අපේ මිදුලෙ ඉදන් නගා බෙරිහන් දෙනවා මගේ නම කියලා.

මොකද බොල....නම කියන්න පුරුදු වෙනවද ?

උඹ ප්‍රතිඵල බැලුවෙ නැද්ද ?

නෑ...තවම බැලුවෙ නෑ..උඹ බැලුවද ?

ඔව්...නගා කෝල හිනාවක් දැම්මා...

ඉතිං...කොහොමද ප්‍රතිඵලේ

A 3 යි. නගා මාව වැළදගත්තා.

උඹත් ඉක්මනට බලහං...කැම්පස් යන්න පාස් වෙලා තියේවි....

අපේ නිවසින් ප්ලේන්ටියක් ගහපු නගා, මගේ මෑණියන්ගෙ දෙපා වැදලා, උගෙ පොල්ල නැති බයිසිකලේ උඩට ගොඩ උනා. දෑ වසරක්ම මේ ප්‍රතිඵලේ ගන්න මා එක්කම මහන්සි වෙච්ච එකා නිසා නගා ගැන මට පුදුම සතුටක් දැනුනා.

වාණිජ අංශයෙන් විභාගයට ලියපු නගා සරසවි වරම් ලබලා, ජීව විද්‍යා අංශයෙන් විභාගය ලියපු චූටි නංගිට මොකද උනේ, මුන් දෙන්නගෙ ආදර අන්දරය ඊට පස්සෙ නැගලම ගියාද, ඊලග කොටසෙන් ඒ ටික දෙසාබාන්නයි මගේ සූජානම. එතකං ඉවසං හිටහල්ලා.....



මම කාමරේ අරින සිරා කොලුවා.

Sunday, September 14, 2014

84 අපේ නගාගෙ චූටි නංගි

සිරා කොලුවගෙ අතිජාත මිත්තරයෙක් වෙච්ච නගා කොලුවා ගැන මෙයට කලින් වංගියකත් මම කථා දෙක තුනක් ඇදබෑවා නොවැ. ඒවා කියවපු ඇත්තන්ට ඒකාගෙ චරිත ස්වභාවය ගැන යම් තරමකට අවබෝධයක් ඇති. නගා ගැන අන්තිමට කියපු කථාවෙදි අපි තිත තැබුවෙ ගම්පහ පුස්තකාලයට පාඩම් කරන්න ගිය තැනින්.

මේ පුස්තකාලය ඒ දවස් වල මල් වගේ කෙල්ලන්ගෙන් පිරී තිබ්බ බවත්...ඒ මැද්දෙ අපි පාඩම් කොරාපු ආකාරයත් මම වේලාසනින් ලියපු තවත් ලිපියක සටහන් කොලා. සිරා කොලුවා ඇතුලු කණ්ඩායම දැන් පාඩම් වැඩ කොරාගෙන කොරාගෙන යනවා කියමුකො.


අර අසික්කිත ලව් අමාරුව කියන බරපතල රෝගය අතරින් පතර සමහර එකාලට බෝ වෙන්න ගත්තා නොවැ විභාගෙට දින ලං වෙද්දි. සිරා කොලුවටත් පුස්තකාලෙ පාඩම් කරන්න ආව ගින්දරගෙ සීදේවි හිනාව දැකලා පපු කැනැත්ත සසල වෙච්ච අන්දම වගේම මගේ යෝජනාවට ඒ දැරිවි දුන්න පිළිතුරත් සිරාගෙ කාමරේට එන බොලා දැන් දන්නවා. කියවලා නැති ඇත්තො පරණ ලිපිය කියවලාම ඒ හරිය දැනගත්තොත් හොදා.

ඉතින් බොලව් සිරා කොලුවා ඇතුලු අනිත් නඩේ ලව් අමාරුව, අමාරුවෙන් හොද කරගෙන ඔලුව කෙලින් කරගනිද්දි...විභාගෙට මාසයක විතර කාලයක් ඉතිරි වෙලා තිබුන අපේ නගා කොලුවටත් ඒ අමාරුවම හැදුනා. හැබෑටම කවුද ඒ දැරිවි.

වතුර ටැංකිය ලග පාසලේ කොළ පාට ටයි පටියක්. පෙනුමෙන් වගේම හැසිරීමෙනුත් හරිම අහිංසක චරිතයක්. වැඩිය උස් මහත් නොවුනට ඉතාම දිග කොණ්ඩයක් මේ ඇත්තිට තිබුන නිසාම හරිම ප්‍රියමනාපයි. මේ කෙල්ලගෙ තිබුන අහිංසක කම හින්දම පුස්තකාලෙ හිටිය කොලු සමාජය චූටි නංගි කියලා හුරතල් නමකුත් ඒ වෙද්දි අටවලයි තිබුනෙ.

ඉතිං මේ කියන චූටි නංගි අපේ නගාගෙ හිත් අහසෙ පුර හදක් වගේ නැගී ඇවිදින්. ඒකා විභාගය අස්සෙන් ඒ ගැනත් කම්පනා කොරනවා. නමුත් කියාගන්න පුරුෂ දහිරිය නෑ. ඒ කියන්නෙ භෞමික අඛණ්ඩතාවයේ ප්‍රශ්නයක්.

පුස්තකාලෙ පාඩම් කොරාපු නඩේ උන්න පිරිමි පාර්ශවය බොහොම සමගි සම්පන්නව සිටි පිරිසක් නිසාම ඉතිරි වෙලා තියෙන මාසය ඇතුලෙ කොහොම හරි නගා කොල්ලව පෙම්වතෙක් කරන්න සියල්ලෝම ඒකමතිකව තීරණය කොලා. ඒ සදහා විවිධ දහංගැට ගැහුවා.

උදෑසනම පුස්තකාලෙට වාර්තා කරන නගා...චූටි නංගි දිහා බලලා හීනියට ඇහැක් එහෙම වහලා ඉගි බිගි පෑවා. ඒ දැරිවිත් නගාට සිනහවකින් ප්‍රති උත්තර දුන්නා. වැඩේ නැගලම යනවා....නමුත් දවසින් දවස ගත උනත් නගා ඇගෙන් ඒ ගැන විමසන්න භයයි.

ඔය අතරෙදි තමයි නගා එව්ව විදියට මිනිහට හොරෙන් විවිධ දේ ලියපු කඩදාසි කෑලි අපි චූටි නංගිට අතින් අත යැව්වෙ.

ඔයා ගැනමයි දැන් හිතෙන්නෙ...පාඩමට කෝ එකලාසයක්...

ඔය දිග කොණ්ඩෙ එල්ලිලා මට ඔන්චිලි පදින්න තියෙනවා නම්...

මේ වගේ විවිධ විකාර මගේ අත්අකුරින් සැරසිලා චුටි නංගි සොයා ගියා. ඇය ඇගේ යෙහෙලියො එක්ක එකතු වෙලා මේවා කියවලා නගා දිහා බලාගෙන හිනා උනාට නගා මේ මොකුත් දැන උන්නෙ නෑ.

නගෝ...තවත් බල බල ඉන්න එපා ගොනෝ...විභාගෙට තව සති දෙකයි. ඕක ඉක්මනට අහලා ඉවරයක් කරපංකො.

අනේ බෑ බං....මොනවා කියයිද කවුද දන්නෙ. උගෙ සුපුරුදු බැරි බැරියාව යලිත් ඉස්මතු උනා.

මොනවා කියන්නද බොල...එක්කො හා...එක්කො බෑ...මෙහෙ වර අපි හරි අහන්න...

ඔය විදියට වදෙන් පොරෙන් එක් සන්ධ්‍යාවක චූටි නංගිගෙන් මේ ගැන අහන්න නගාව කැමති කරගන්න අපිට හැකි උනා.

ගම්පහ පුස්තකාලෙ උඩුමහලෙදි පාඩම් වැඩ අහවර කොරලා අපි ඒ කාලෙ බිමට බැස්සෙ හැන්දෑවෙ 6 කණිසමට. අවසන් මොහොත දක්වාම චූටි නංගිත් ඇගේ යෙහෙලියො සමග අධ්‍යයන කටයුතු වල නිරත වීම නගාගෙ ලව් අමාරුව හොද කරන්න පහසුවක්.

දැරිවියකගෙන් කැමැත්ත විමසන මෙවැනි සුන්දර දවසක් ආවම පුස්තකාලෙ පිරිමි පරාණ හරිම එකමුතුයි. ඒ වෙද්දිත් පෙම්වතුන් වෙලා හිටිය ඇත්තො දෙපාර්ශවයටම සහයෝගය දෙනවා. චූටි නංගිගෙ ආගමනය අපේක්ෂාවෙන් අපේ සැට් එක ප්‍රධාන මාර්ගය අද්දර දැන් බලාන ඉන්නවා.

තනි කරලට ගොතපු දිග කොණ්ඩය දෙපසට වනමින් චූටි බෝනික්කෙක් වගේ චූටි නංගි අපේ ඉදිරියෙන් සිනහවක් නගාගෙන ගෙදර යන්න පිටත් උනා.

නගෝ...තෝ ගල් ගිල්ලා වගේ ඉන්නෙ අහපිය යකෝ....නඩේ ගුරා බීඩියා මොර දෙනවා. ඒ වෙද්දිත් පුස්තකාලෙ උන්න රූමත් ලඳක් සමග පෙම් සබදතාවක් පටන් අරගෙන තිබුන නිසාම බීඩියා ලව් ඔස්තාද් කෙනෙකුගේ මට්ටමට උසස් වීමක් ලබා තිබුනා. කොල්ලො අතර පිළිගැනීමක් තිබුනා.

බීඩියගෙ හිත අරන් තිබුනෙ රතු ටයි පටියක්. ඉතාම පැහැපත් දැරිවියක්. යගුලිය වගේම කවපෙත්ත විසිකරපු ක්‍රීඩිකාවක්. ඇගේ වාසගම යාපා බණ්ඩාර උනාට, කොල්ලෙක් තඹේට මායිම් නොකොට ඇය සිටි විලාශය නිසාම කොල්ලො ඇයට කිව්වෙ යකා බණ්ඩාර කියලයි. උදේට ඇගේ පියා මෝටර් රථයෙන් පුස්තකාලය අසලට ඇයව ගෙනත් දානකොට බීඩියා නියපොතු කමින් ඒ ආසන්නයේ තිබුන සුදු අරලිය ගහ යට හිටපු විදිය මට තවමත් හොදට මතකයි. ඒකා මේ දැරිවියට ආදර දැළ එළමින් උන්නු කාලෙ...

බලහංකො බං කකුල...පිස්සු බම්ප් වෙනවා නේද බං...බොහෝ වෙලාවට ඇය ඉතාමත් කෙටි ඇදුම් ඇන්දෙ...එවැනි විටෙක ඇගේ නිරාවරණය වූ දෙකකුල් වල සුන්දරත්වය බීඩියා අපි සමග විදගත්තෙ එහෙමයි.

බීඩියා කියන්නෙ සිරා තරම්වත් උස නැති එකෙක්. තමන්ගෙ සිත් ගත් දැරිවි තමන්ට වඩා උස නැති බව සැක හැර දැනගත්තට පස්සෙ තමයි ඔහු ඉදිරි පියවරක් හැමදාම තැබුවෙ. ඔහු ඇය අසලින් යන වෙලාවට ඇගේ උස සහ උගේ උස හිතින් ගලපා  ගන්නවා. කෙල්ල ටිකක් විතර උසයි වගේ නම් ඇය පැළද සිටින සෙරෙප්පුවේ අඩියේ උස හිතින් අත් ඇරලා බලනවා. මේ වගේ විවිධ ශිල්ප ක්‍රම බීඩියා සතුව එකල තිබුනා.

අවසානයේ කාලයේ ඇවෑමෙන් ඇගේ පෙම්වතා වෙන්නට බීඩියාට හැකි උනාට පස්සෙ...ඔහු ඇයට දිගට අදින්නට නියම කලා. තමාට වඩා උස වැඩිවෙයි කියලා අඩිය උස නැති සෙරෙප්පු පළදින්න යෝජනා කලා. දැන් ඉතින් ඇගේ දෙපාවල දිස්නය අනෙක් උන්ට දකින්න හැකියාවක් නෑ.

නෙදකින් මූසලයා....පුස්තකාලෙ තිබුන ලස්සනම කකුල් දෙක කෑවා...අනිත් උන් බීඩියගෙ මූණටම එහෙම කිව්වා විහිළුවට වගේ.

තොපිලා බලාගෙන ඉන්න නිසාම තමයි මම එහෙම අදින්න කිව්වෙ. බීඩියා පිළිතුරු විදියට කිව්වා.

යකා බණ්ඩාර අත ඇරලා අපි ආයෙත් නගා පැත්තට හැරෙමු. බීඩියා ඇතුළු නගාගෙ පරිවාර ජනතාව නගාව මරාගෙන කන්න හදනවා දැන් ...

ඔහෙ ගියදෙං බං...හෙට බැරියැ අහන්න...

උගේ මේ කැදනැති පිළිතුරෙන් නප්පියට නැග්ග අපේ හිතවතුන් නගාට එල්ලකරපු පරුෂ වදන්වල බලයෙන් නගාට ක්ෂණිකව ධෛර්යය පහළ උනා.

අපට ඉදිරියෙන් ගමන් කරනා චූටි නංගි හඹායන්න තරමේ ධෛර්යවන්ත කමක් නගාට පහල වෙලා. නගාගෙ පිටිපස්සෙන් එ්කාගෙ පිරිවර හඹාගියා. අන්තිමේදි ගම්පහ දුම්රිය නැවතුම අසළ බස් නැවතුමේදි කපොල් එක සම්මුඛ උනා.

නගා තවමත් මුනිවත බිදින්නෙ නෑ. චූටි නංගි පොත් මිටිය ළැමට තුරුලු කරගෙන වටපිට බලනවා සිදුවෙන්න යන දේ නොදන්නවා වගේ.

මිත්තරයො මැද උනත් අද දවසෙ තමන්ගෙ අදහස කියා ගන්න බැරි උනොත් වස ලැජ්ජාවක් වෙන්නෙ කියලා නගා තේරුම් ගත්ත හින්දමද කොහෙද ඒකා දැරිවියට ලං වෙලා ඇසෙන නෑසෙන ගානට තමන්ගෙ සිතැගි සැල කොලා.

මට කෙනෙක් ඉන්නවා....... චූටි නංගි ලේන්සු අග්ගිස්ස දකුණු අතින් පොඩි කරන ගමන් තවමත් හිනා වෙනවා.

තමාගෙ ආදරය දිනාගත්ත යුවතියක් ලබා දෙන මෙවැනි පිළිතුරකින් පස්සෙ වෙනත් ප්‍රේමවන්තයෙක් සැලී සැලී ගියාට අපේ නගා එහෙම නෑ. ඒකා එතැන ඉදන් විභාගය ගැන කථා කරනවා.

චූටි නංගි ජීවත් වෙච්ච ඉසව්වට යන්න ගම්පහ නගරයේ ඉදන් ග්‍රාමීය බස් සේවයක් එකල තිබුනා. කහපාට ලංගම බස් කොටේකට ඇය මිතුරියන් සමග ගොඩවෙද්දි බීඩියා නගාට යෝජනා කලා ඔහුත් එහි යා යුතු බව.

වෙනදාට රුපියලක් උනත් දෙවරක් කල්පනා කරලා වියදම් කරන පෙරේතයෙක් වෙච්ච අපේ නගා එදා නම් ලව් අමාරුවට බෙහෙත් ගන්න යන නිසාම රුපියල් 100 නෝට්ටුවක් දීලා කොල්ලො රංචුවටම ප්‍රවේශ පත්‍ර අරගෙන දුන්නා.

දැන් අපි බස් රථයෙන් බිමට බැහැලා. මේ අවස්ථාවේ කථා කල යුතු දේවල් මොනවද කියලා ඒ වෙද්දිත් බීඩියා බස් ගමන අතරතුර නගාව දැනුවත් කරලා.

ඉතිං ගේ කොයි හරියෙද තියෙන්නෙ ?

ඇයි ගෙදර එන්නද ? චූටි නංගි උත්තර දුන්නා.

නෑ නිකං දැනගන්න ඇහුවෙ.

ඉතිං කවදද උත්තරයක් දෙන්නෙ.

මම ඉතින් උත්තරයක් දුන්නනෙ...මට කෙනෙක් ඉන්නවා.

අනේ යන්න බොරු නොකියා....කෙල්ලො කවදද ඇත්ත කිව්වෙ...නගා කලින් පුහුණු වෙච්ච දෙබස් බොහොම තාත්විකව කියනවා.

බොරු නෙමෙයි අනේ...මේ බලන්න....ඇය තමන්ගෙ මුදල් පසුම්බියෙ තිබුන තමන්ගෙ පෙම්වතාගෙ ඡායාරූපයක් නගාට පෙන්නුවා. බලාගෙන ඉද්දි අදුරු වෙන නගාගෙ මුහුණ අපේ හදවත් වලට හීන් දුකක් කාන්දු කලා.



මම කාමරේ අරින සිරා කොලුවා.


ප.ලි

මේ සත්‍ය කථාවෙ අවසානය ඉදිරියේදී ඔබට මුණගස්වමි.

Tuesday, September 9, 2014

83 කමලා නිසා අඟලාගෙන් ගුටි කෑ වීර චොපා

සිරා කොලුවා 9 කැලෑසියේ ඉගෙනගත්ත කාලෙ අපිට විද්‍යාව විෂය ඉගැන්නුවෙ සුගතදාස කියලා සෑර් කෙනෙක්. මෙතුමා බොහොම මිටි කෙනෙක් හින්දම අපිට කලියෙන් එතුමාගෙන් ඉගෙනගත්ත කුපාඩි කොල්ලො අඟලා කියලා විකට නාමයක් එතුමාට පට බැදලා තිබුනෙ.

අපි ඉතිං ඔය කියන කාලෙ කොට කයිසං අදින සූටි එව්වො වෙච්චි කොට සෑර්ට කවදාවත් අඟලා කියලා කථා කොලේ නෑ එතුමා ලගපාතක ඉන්න වෙලාවට. සිරා කොලුවා හිටියෙ 9 F පන්තියෙ. අනෙක් පාසල් වල කොහොම උනත් අපේ ඉස්කෝලෙ 9 වසරෙදි තාක්ෂණික විෂයන් වලට සැට් එක තෝරා ගත්තෙ ගණිතය විෂයට 8 වසර කැලෑසියෙදි ලබපු සාමාර්ථය දිහා බලලා. ලකුණු අඩු එවුන් කෘෂිකර්මාන්තය, ලී වැඩ, ලෝහ වැඩ වගේ ඒකක වලට තල්ලු කොරලා දැම්මා. 9 F  පන්තියෙ වැඩිපුර උන්නෙ වාණිජ වෙනුවට වෙනත් විෂයක් හදාරපු ඇත්තො. මමත් එහෙම එකෙක් බොලව්. මම කලේ ලී වැඩ.

ඉංග්‍රීසි හෝඩියේ පිළිවෙලට බලාන ආවම F අකුරට ටිකක් දුරයි නොවැ...ඒ අරුතෙන්ම බොලාට වැටහෙනවා ඇති අපේ පන්තියෙ හිටිය එවුන්ගෙ කැරැට්ටුව කොහොමද කියලා. පන්තියම භය කරගත්ත මහ චණ්ඩියෙක් හිටියෙ නැති උනාට, චණ්ඩි දෙන්නෙක් තුන්දෙනෙක්ම මේ තැන ගන්න තරග කොලා. උන් උන් අතර ඇයි හොදයියක් තිබුනෙම නෑ.

මේ කිව්ව චණ්ඩි අතර ඉදිරියෙන්ම හිටිය දෙන්නා තමයි වීර චොපා සහ රට බල්ලා. චොපා චොපා කියලා මුලින් මුලින් කොල්ලො කථා කලාට, වාසගම වීර පොකුණ නිසා අන්තිමේදී චොපා වීර චොපා උනා. රට බල්ලගෙ කම්මුල් දෙක පිම්බිලා වගේ තමයි කොයි වෙලාවෙත් තිබුනෙ. ඒ හින්දයි ඒකා රට බල්ලා උනේ. සමහරු Country Dog කිව්වා. අ.පො.ස සා/පෙ ලියපු වසර වෙද්දි ඒ නම තවත් කොට වෙලා කන්ට්‍රියා බවට පත් වෙලා තිබුනා.

වීර චොපා වගේම රට බල්ලත් හිටපු ගමන් ඇවිළුනා...හරියට සංස්ථා පෙට්‍රල් වලට ගිණිකූරක් විසි කලා වගේ. උන් දෙන්නා පන්තිය මැද්දෙ අතපය වනාගද්දි අනිත් එව්වො දෙන්නා දෙපැත්තට කලේ නෝර්වේ සාම නියෝජිත සොල්හයිම්ලා වගේ.

පන්තියක් කියන්නෙ ඉතිං සාමාන්‍ය ජන සමාජයේ පැතිකඩක් වගේ තමයි...චණ්ඩි අස්සෙ නොන්ඩිත් උන්නා. උන් කා එක්කවත් වලියට ගියෙත් නෑ...ගහ බැන ගත්තෙත් නෑ, පාසලේ බාහිර ක්‍රියාකාරකමක් කලෙත් නෑ, ඉගෙන ගත්තෙත් නෑ. හරියට පතෝල වගේ තමයි.

වීර චොපා ක්‍රිකට් කණ්ඩායමේ හිටිය නිසා පිරිස් බලයේ පොඩි වැඩිවීමක් තිබුනා. රට බල්ලා චණ්ඩිකම් දැම්මට කිසිම බාහිර වැඩක නියලුණු එකෙක් නෙමෙයි. ඒ නිසාම මිනිහා තනියම තමයි හැම අභියෝගයකටම මුහුණ දුන්නෙ.

අපේ 9 කැලෑසියෙ හිටිය උන්ගෙ මූණු පොඩි මට තවම හොදට මතකයි. පන්තියෙ ඉගෙනීමට බර, හොද ළමයි කියලා ගුරුවරුන්ගෙන් නිතරම වගේ අහපු පිරිස පන්තියේ ඉදිරියෙන්ම හිටියා. ඊලගට පන්තියේ ජෝකර්ලා සහ පතෝල..ඊටත් පස්සෙ චණ්ඩි.

අපේ පන්තියේ හැමදාම පළවෙනියා උනේ ලතා. ගෑණු ළමයෙක් වගේම තමයි මිනිහා. ඇවිදින්නෙ කථා බහ කරන්නෙ වගේම කටහඩේ පවා කාන්තා ලකුණු තිබ්බා. ඌට හැමෝම ලතා කිව්වට අමනාපයක් නෑ. ලතාට හොදට සින්දු කියන්නත් පුලුවන් නිසා කාලයක්ම සිරා කොලුවා සහ කමල් ගොයියා එක්ක විද්‍යාලයේ ගායනා කණ්ඩායමත් නියෝජනය කලා. පස්සෙ කාලෙක අපි හැමෝම පුදුමයට පත් කරවමින් ලතා අනෙක් හැමෝටම කලින් වෛද්‍යවරියක් සමග විවාහ උනා. දැන් දරු සුරතල් බලන ගමන්. ලතා ඒ කාලෙ හිටපු විදියට මේකා දැන් පියෙක් කිව්වාම අපේ සමහර මිතුරො පුදුම වෙනවා. ඌට ඇතිවෙච්ච තදියම ගැන.

ලතාගෙ සෑම්පලයේම තව කෙනෙක් උන්නා රසික කියලා. මිනිහා පුදුමාකාර විදියට නිශ්ශබ්දයි. කවදාවත් දගලන්නෙ නෑ. කවුරුවත් රසිකගේ වැඩ වලට බාධා කලෙත් නෑ.

මම මේ කියන කාලෙ අපේ කැලෑසියට උගන්වන්න ආපු ගුරු භවතුන් අතර සැර පුරුෂ ගුරු භවතුන් දෙතුන් දෙනෙක් හිටියා. ඒ කාලෙ බොහෝ උන්ට වගේම මටත් ගණිතය නම් පත්තියන් උනේම නෑ. විද්‍යාවෙ නම් අවුලක් තිබ්බෙ නෑ.


අපිට ගණිතය ඉගැන්වූවෙ ලොකු බැබ්බා....එයාට ලොකු බැබ්බා කිව්වෙ පොඩි බැබ්බා කියලා තවත් ගුරුවරයෙක් විද්‍යාලයේ සේවය කරපු නිසයි. බැබුන් කියන සතාගෙ මුහුණෙ පෙනුම මතක් කරගනිල්ලකො....ඉතිං මේ කිව්ව දෙන්නගෙත් ඊට සමාන ලක්ෂන මූණත් තහඩුවෙ තිබුන නිසා තමයි බැබුන් කියන වචනයෙන් සමහර කෑලි ලොප් කරලා බැබ්බා කියලා යොදලා තිබුනෙ.

මේ කියපු බැබ්බලා දෙන්නම තිතට උගන්වපු ගුරුවරු. කවදාවත් අයිස් ගැහුවෙ නෑ. විකට නම් යොදලා තිබුනට මේ ඇත්තො ගුරු දෙවිවරු. ඒ නිසයි ඒ අයගෙන් ඉගෙන ගත්ත අපේ උන් හිරේ විලංගුවෙ නොවැටී යහපත් ජීවනෝපායක නිරත වෙමින් වර්තමානයේ ජීවත් වෙන්නෙ.

9 වසරෙදි විද්‍යාව උගන්වපු සුගතදාස සෑර් වගේම ගණිතය උගන්වපු ලොකු බැබ්බා සෑරුත් ගෙදර වැඩ කියලා යමක් දුන්නොත්, පහුවදාට ඒවා බලනවාම තමයි. ඒ වෙලාවට ඒවා නොකරපු උන්ට සම්බුව දුන්නා මදි නොකියන්න. වේවැල පාවිච්චියක් නෑ. අතින් පයින් තමයි ගණුදෙනුව බේරගත්තෙ. එහෙම වෙලාවට අසරණ අපිට උදව්වට හිටියෙ අපේ ලතා, නැතිනම් රසික.

අපි දන්නවා පන්තියෙ කවුරු වැඩ නොකලත්...සෑර් දීපු ගනන් ටික මුන් දෙන්නා හදන විත්තිය.

ලතෝ...උඹ ගෙදර වැඩ කලා නේද..පොත දීපිය මෙහෙට්ට....

අන්න එහෙමයි පන්තියෙ චණ්ඩි ලතාව ආමන්ත්‍රණය කොලේ....

ගෙදර වැඩ නොකරපු දවසට එහෙම උන් වේලාසන ඉස්කෝලෙට එනවා...උදේ ඉදන් අතින් අත යන ලතාගෙ වගේම ගැටළු විසදපු අනිත් අයගෙ  පොත් වලින් සැට් එකම නියමෙට කොප්ප ගහනවා....

මෙහෙම කොප්ප ගහලා සිරා කොලුවා වන මට කෙළවුන දවසකුත් මගේ මතකයට එනවා බොලව්...මගේ සායම හේදුනත් ඒ කථාවත් කියන එක මගේ යුතුකම.

ලොකු බැබ්බා මේ කියන දවස් වල ජ්‍යාමිතිය ගැනයි උගන්වමින් උන්නෙ. අපි සැට් එක සුපුරුදු විදියට ලතාගෙන් කොප්ප ගහලා බබාලා වගේ පන්තියෙ ඉන්නවා දැන්.

සෑර් ගෙදර වැඩ බැලුවා...හැමෝම කරලා...එකෙක්වත් නොකර ඉදලා නෑ.

ලොකු බැබ්බා සෑර් සාමාන්‍යයෙන්උඹ බං බොලං කියලා තමයි කථා කරන්නෙ...

මෙහෙ වරෙං.....

හෙණයක් පාත් උනා වගේ එක පාරටම පන්තිය සසල වෙලා නිසල උනා.

ඔව් ඔව්...වට පිට බලන්න දෙයක් නෑ උඹ තමයි....අනේ ඒ උත්තමයා මගේ දිහාට අත දික්කරගෙන බලා ඉන්නවා.

මමත් ඉතින් පුරුෂ දහිරිය එකතු කරගෙන සෑර් ලගට ගියා.

උඹලා දැන් මම දුන්න ගනං ටික හදලා තිබුනනෙ. මෙන්න මේ ගාන මට කළු ලෑල්ලෙ හදලා පෙන්නපං....

අපේ ගණං සෑර් මට ගණිතය පෙළපොතේ ජ්‍යාමිතියට සම්බන්ධ ගැටළුවක් ඉදිරිපත් කොලා. අනේ ඉතිං දැන් මක්ක කරන්නද....ලතාට කියලා හදාගන්නයැ...

මම ඉතිං එතුමා ලගට ගොහින් කොටි වලිගෙ අල්ලගත්ත එකා වගේ වට පිට බල බලා ඉද්දි සෑර්ට වැඩේ තේරුනා...

උඹලා හිතන්නෙ අපි දන්නෙ නෑ බබ්බු කියලා නේද...අනුන්ගෙන් කොපි කලාට විභාගෙට උත්තර ලියන්න ඕනෙ උඹ නේද.....

උඹ සිස්සත්වෙ පාස් වෙලාද මේ ඉස්කෝලෙට ආවෙ.

ඔව් සෑර්

ලකුණු කීයද...

.........

උඹ ඒ කාලෙ හොඳ ළමයෙක්.... ඊට පස්සෙ තමයි උඹ නරක් වෙලා තියෙන්නෙ.

එහෙම කියලා මගේ කං කෙටියෙන් අල්ලගෙන....මගේ ඇගේ සවි ශක්තිය මදි කියලා එතුමාට හිතුන තැන් වලට මිට මොළවලා පාරවල් දෙක තුනක් දුන්නෙ....උඹ කෝනෙ දන්නෙත් නෑ...පාදය දන්නෙත් නෑ කියන ගමන්.

මම ඉතින් ෆුල් සාටර් වෙලා අස්සයා මැරිච්ච කව් බෝයි වගේ ආයෙමත් මගේ පුටුවට බර උනා.

එතැනින් පස්සෙ ලොකු බැබ්බා බෝඩ් එකේ ගනං හදන්න ආරාධනා කොලේ පන්තියෙ හිටිය පතෝල වගේ මෙලෝ රහක් නැති අල පඩයට.

උගෙ තිබ්බ වාසනා මහිමයට...ගාන හදන්න නැගිටිනකොටම කාලජේදයේ අවසානය සනිටුහන් කරමින් සීනුව නාද උනා. සෑර්ටත් හිනා... ඒ උත්තමයා අල පඩයා ලගටම ඇවිල්ලා....

කොල්ලො අද උඹේ වාසනාව හොදයි...යන ගමන් ස්විප් ටිකට් එකක් අරගෙන පලයං....අමතක කරන්න එපා...කියලා තට්ටුවක් දැම්මා.

9 වසරෙදි විද්‍යාව උගන්වපු සුගතදාස සෑර් හෙවත් අඟලා සෑර් කොල්ලන්ට දඩුවම් කලේ ඉදලා හිටලා දවසක. ඊට පස්සෙ වසරෙදි අපට විද්‍යාව උගන්වපු පොඩි බැබ්බා සෑර් නම් නිතරම වගේ කොල්ලන්ට සැර වැර කලා. මේ දෙදෙනාම ඒ කාලෙ රූපවාහිනී අධ්‍යාපන විකාශනයට පවා දායක වෙච්ච බොහොම දක්ෂ ගුරුවරු.

කිරිවත්තුඩුවගේ ලසන්ත මිහිලැල් හෙවත් හැමෝම කියපු විදියට KLM තමයි අපේ පන්තියෙ හිටිය මහතම එකා. ඒකාගෙ දෙමාපියන්ට බේකරියක් තිබුනා. බේකරියෙ පිටි කාලම වෙන්න ඇති මේකා ඌරෙක් වගේ මහත් වෙලා හිටියෙ. අපි ඉතින් උදේට කන්න කියලා රුපියල් 20 ගෙදරින් ඉල්ලගෙන ඉස්කෝලෙ ආව කාලෙ බේකරියෙ ලාච්චුවට අත දාලා රුපියල් 200 කට වඩා ගානක් KLM පාසලට දිනපතා අරගෙන ආවා.

මේ සල්ලි වලින් KLM උගෙ සහචරයන්ට පාසලේ කැන්ටිමෙන් මදි නොකියන්න කන්න අරගෙන දුන්නා හැමදාම වගේ. පන්තියෙ හිටිය පතෝල ටිකකුයි...ඔටුවා වගේ ලෝක කපටියො ටිකකුයි KLM ගෙ ඕනෑ එපාකම් ඉටුකරමින් උගෙ ලගටම වෙලා උන්නා අතවැසියො විදියට.

ඒ අව් අස්සෙ අපි පන්තිය ඇතුලෙම කැනීම් කටයුත්තකුත් කරගෙන ගියා. 9 F පන්තියේ පැති බිත්තියක අපිට කලියෙන් මේ පන්තියෙ හිටිය උන් හාරපු ලොකු හිලක් තිබුනා...හරියට පුංචි ගස් බෙනයක් වගේ...බිත්තියේ ගඩොල් පසාරු කරගෙන බොහෝ දුරට මෙය හාරලයි තිබුනෙ. අපට යාබද පන්තිය 9 G. අපේ පන්ති දෙක අතර සුහදතාව වර්ධනය කරන්න මේ කුහරය දිනපතාම ගුරුවරු නැති වෙලාවට ටික ටික හෑරුවා. නමුත් දෙපැත්ත යා වෙන්න කිට්ටු දවසක හොද සිමෙන්තියෙන් එය වසා දමා තිබුනා.

විද්‍යාව උගන්වපු සුගතදාස සෑර්ගෙන් හොඳ ගුටියක් ලබපු එකෙක් තමයි සිංගප්පූරුවෙදි මට මුලිච්චි උන අපේ චාමර ගොයියා. චාමර කියන්නෙ අපේ පන්තියේ විභාග ලකුණු වලින් පළමු 5 දෙනා අතර සිටිය කෙනෙක්. නමුත් මිනිහා ලතා වගේ නෙමෙයි. දැගලිල්ල උපරිම. දවසක්දා චාමර තව එකෙකුත් අල්ලගෙන පන්තියේ දගලමින් උන්න වෙලාවක...පිටිපස්සෙන් ආව සුගතදාස සෑර්ව දැක්කෙ නෑ.

චාමරයගෙ කනෙන් අල්ලගෙන සෑර් ගුරු මේසය ලගට ඒකව කුදලගෙන ගියා.

උඹ මොකද ගුරුවරයෙක් නෑ කියලා පන්තියෙ දගලන්නෙ. උඹලා වගේ උන් හින්දා තමයි පන්තියෙ ඉගෙන ගන්න එකෙක්ටවත් ඉගෙන ගන්න නැත්තෙ.

උඹ කී වෙනියද මේ සැරේ පන්තියෙ

4 වෙනියා සෑර්

මොකක්...4 වෙනියා...පන්තියේ දගලනවා මදිවට උඹ බොරුත් කියනවද ? උඹ වගේ දාංගලේ තියෙන එකෙක් කොහොමද බොල 4 වෙනියා වෙන්නෙ කියලා අඟලා සෑර් චාමරයට තද පාරක් දුන්නා.

එදා එහෙම ගුටි කෑවට චාමරයා ඇත්තටම පන්තියේ 4 වෙනියා. අවුරුදු 12 කට පස්සෙ මේකාව මට සිංගප්පූරුවෙදි මුලිච්චි වෙච්ච වෙලාවෙත් අපි මේ සිද්ධිය මතක් කරලා හිනා වුනා ඔහුගේ බිරිදත් සමගම. මේ දෙදෙනාම අද මෘදුකාංග ඉංජිනේරුවන්.

වීර චොපාට වෙච්ච සන්තෑසිය මතක් වෙද්දිත් මට හිනා යනවා. සුගතදාස සෑර් ඉංග්‍රීසි භාෂාවෙන් පවා විද්‍යාව උගවන්නට හැකියාව තිබුන ඉතාම හොද ගුරු පියෙක්. එතුමා සා/පෙ පන්ති වලට වගේම උසස් පෙළ විද්‍යාව පන්ති වලටත් අධ්‍යාපනය ලබා දුන්න නිසාම බොහෝ වෙලාවට පාසලේ විද්‍යාගාරයක තමයි හිටියෙ.

සමහර වෙලාවට අපිට පොත්පත් අරගෙන විද්‍යාව කාලජේදයට විද්‍යාගාරයකට එන්න කියලා පණිවිඩේ එවනවා. අදත් එහෙම දවසක්. මම වේලාසනම කිව්වා නොවැ..වීර චොපා කියන්නෙ චණ්ඩියෙක් කියලා...මේකට එක තැනක් ඉන්න බෑ...නළියනවා...ඉතින් දැන් අඟලා සෑර් විද්‍යාගාරය ඇතුලෙ අපට පාඩම කරගෙන යනවා.

අපේ පන්තියෙ ඒ දවස් වල උන්නු ගායනා කණ්ඩායම නියෝජනය කරපු මගේ මිත්‍රයා කමල් වීර චොපාගෙ කවකටු පෙට්ටිය කුමක් හෝ හේතුවකට අර ගත්තට ආපසු දීලා නෑ.

කමලො කවකටු පෙට්ටිය දීපිය..සෑර් ලියන්න දෙද්දි ලියාගන්න විදියක් නෑ. පෑන ඒක ඇතුලෙ....

වීර චොපා හෙමිහිට මුමුණනවා....ඒත් ටිකක් ඈතින් ඉන්න කමලට මේ වගක් ඇහෙන්නෙ නෑ...

වීර චොපා දන්න වැඩ ඔක්කොම පාවිච්චි කරලා පයින්ඩෙ යවන්න හැදුවත් හරිගියේ නෑ. අන්තිමේදි නප්පියට නැග්ග චොපාට විද්‍යාගාරයෙ තමා ඉන්න බව අමතක උනා...

කමලෝ......... කියලා මහා හයියෙන් බෙරිහන් දුන්නා.

අනේ අපේ සුගතදාස සෑර්ට ඒක ඇහුනේ අඟලෝ.... කියනවා වගේ.

එතුමාගෙ මල අතට ආවෙ තත්පර කීපෙකින්.  සුගතදාස සෑර් වේවැල් කොටේකුත් අරගෙන වීර චොපාට ගහන්න පැන්නා.

උඹ මම කවුරු කියලා හිතුවද යකෝ අසමජ්ජාති කථා කියන්න..එහෙම කියලා වීර චොපාට ගහපු ගැහිල්ලක් හැබෑට....එද මෙදා තුර ගුරුවරයෙක් එහෙම ගහනවා මම නම් දැකලම නෑ. අන්තිමේදි වේවැල කැඩිලම ගියා. නමුත් චොපා නෙමෙයි සැලුනෙ...මිනිහා එච්චර ගුටිකාලත් කිසි දෙයක් නොවුන ගානට හිටියා. සුගතදාස සෑර් මේ තරම් කිපෙනවා අපි කවදාවත් දැකලා තිබුනෙ නෑ...කොල්ලො කවට කමට කියන නම් ගුරුවරු දැන ඉන්න බව අපේ අක්මා වලට එදා වැටහුනා.

අද කාලෙ එකෙක්ට ඒ විදියට ගැහුවා නම්...සමහර විට ගුරුවරයා උගෙන් ගුටිකනවා...නැත්තං මානව හිමිකම් නඩුවක් වැටෙනවා. නමුත් මේ මොන දේ උනත් අපිව හොද මිනිස්සු කරන්න නේද මේ ගුරුවරු එදා අපට දඩුවම් කලේ කියලා අපේ හිත් අපට කියද්දි...අද සැදෑ සමයට එළැඹිලා ඉන්න මේ චරිත ගැන අපේ හිත් වල උපදින්නෙ අප්‍රමාණ ගෞරවයක්. මහමගදි මේ චරිත හදිසියේ අපට හමුවුනාම අපිටත් හොරෙන් ඒ අයගෙ දෙපා පාමුල අපි වැද වැටෙන්නෙ තුන් හිතකවත් අඹමල් රේණුවක තරමේ තරහක් නැති නිසයි.



මම කාමරේ අරින සිරා කොලුවා.



ප.ලි

මේ කිසිම ගුරුවරයෙක් අද අපේ පාසලේ සේවය කරන්නේ නැත. කාලය මැව් අරුමය මේ යැයි ශපථ කරමින් ඒ අය ගෝලයන්ගේ ඉදිරි ගමන දෙස බලමින් විශ්‍රාම සුවය විදියි.

වීර චොපා පිළිබද පාසල් කාලයෙන් පසු හෝඩුවාවක් නැත/ KLM දෙමාපියන්ගෙන් පසු බේකරියේ පාලනය භාරගෙන එය එදාට වඩා දියුණු තැනකට රැගෙන විත්  ඇති බව ඔහු ලගකදී මුලිච්චි වූ අය මට කියා තිබේ. එතැනට යන අපගේ ඕනෑම පරණ මිත්‍රයෙකුට මාළු බනිසක්, කිඹුලෙක් කන්නට දී කථාවට වැටීම උගේ සිරිත බව අසන්නට ලැබුනි/ අලපඩයා මෙන්ම ඔටුවාද දෙමාපියන්ගේ ව්‍යාපාර කටයුතු වලට සම්බන්ධ වී අද වගකීම් සහගත වී සිටිති / රටබල්ලා තම උපාධිය සම්පූර්ණ කර ඔහුගේම මුද්‍රණ ව්‍යාපාරයක් අරඹා තිබේ/ කමලාද මා මෙන් විදේශගතව සිටියි.

Thursday, September 4, 2014

79 සංචාරය මරණයෙන් කෙළවර වන සෙන්ටිනල් දූපත

අපේ පෘථිවිය අතීතයට වඩා තාක්ෂණය පැත්තෙන් දැන් සෑහෙන්න දියුණුයි. ලෝකයේ එහා කොනේ ඉන්න කෙනාගෙ මුහුණ බලාගෙන සජීවීව කථා කරන්න, එහෙමත් නැත්තං පෘථිවිය වටා තියෙන ග්‍රහලෝක වලට යානා යවන්න තරම් පෘථිවියේ තාක්ෂණය දියුණු වෙලා. මේ කියන තාක්ෂණය දවසින් දවස සෑම අහු මුල්ලක් දක්වාම ව්‍යාප්ත වෙමින් තියෙන වටපිටාවක, චන්ද්‍රිකාවක් තබා ගුවන් විදුලියක් හෝ දැක නැති මිනිසුන්ද ඉන්න බව ඇහුවම ඔබ පුදුම වෙන්නත් පුලුවන්. නමුත් එය මුසාවක් නොවෙයි. එවැනි මිනිසුන් විවිධ ගෝත්‍ර වලට අයත් සාමාන්‍ය ජන ජීවිතයට ඔබ්බෙන් ජීවත් වෙන ඇත්තො. අපි අද යුරේනියම් වලින් බල ගැන්වෙන යුගයක් පිළිබද කථා කරද්දි මේ ඇත්තන් තවමත් ජීවත් වන්නේ ගල් යුගයේ.

අතීතයේදී සාමාන්‍ය ජන සමාජයෙන් බැහැරව හුදෙකලාව දිවි ගෙවපු බොහෝ ගෝත්‍ර, මේ වෙද්දි සාමාන්‍ය සිවිල් සමාජය සමග යම් තරමකින් ගණුදෙනු කරන තැනට පත්වෙලා තිබුනත්, වර්තමානයේ වුවත් කිසිම විදියකින් බාහිර ලෝකය සමග සම්බන්ධතා තබාගන්න අකමැති ගෝත්‍රයක් පිළිබද ජාලෙන් පෙරලපු කථා විශේෂාංගයෙන් අද ඔබට කියන්නයි සිරා කොලුවගෙ මේ සූජානම. මේ අය ගැන සිංහලෙන් ලියවෙන දෙවෙනි වතාව මෙයයි.

බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ පිහිටා තිබෙන අන්දමන් සහ නිකෝබාර් දුපත් සමූහයට දූපත් 300 ක් පමණ අයත්, ඒවා කිලෝමීටර් 725 ක් පමණ දුරට විහිදී තිබෙනවා. මේ දූපත් සමූහයේ ඉන්දුනීසියාව සහ මියන්මාරය අතර කලාපයේ පිහිටා තිබෙන උතුරු සෙන්ටිනල් (North Sentinel ) දූපත ලොවෙන් හුදෙකලා වී වෙසෙන, සෙන්ටිනලීස් (Sentinelese) නැමති ගෝත්‍රයේ නිජබිමයි.



ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපතේ ඉදන් කිලෝමීටර් 120 ක පමණ දුරකින් තමයි වර්ග කිලෝමීටර් 72 විශාල උතුරු සෙන්ටිනල් දූපත පිහිටා තිබෙන්නේ. ඉන්දියාවට අයත් මේ දුපත් සමූහයේ පරිපාලන කටයුතු සිදු වෙන්නෙ Port Blair හි සිටයි. ඉංග්‍රීසි ජාතිකයන් Port Blair පාවිච්චි කර තිබෙන්නේ ඉන්දියාවේ සිටි ඔවුන්ගේ සිරකරුවන් වගේම තමන්ට විරුද්ධව නිදහස් සටනට එළැඹුන සටන් කරුවන් රදවා තබන සිර කදවුරක් විදියට බවයි සදහන් වෙන්නෙ.

සෙන්ටිනලීස් ගෝත්‍රිකයො තමන්ගෙ දූපතට ආගන්තුකයන්ට පැමිණෙන්න අවසර දෙන්නෙ නෑ. ඒ වගේම බාහිර සමාජය එක්ක ගණුදෙනු කරන්න කිසිම කැමැත්තක් දක්වන්නෙත් නෑ. ඒ හේතු නිසාම ලෝකයේ සංචාරය කරන්නට අපහසුම තැන විදියට උතුරු සෙන්ටිනල් දූපතේ නම සමහර තැන් වල කියවෙනවා.

මේ ගෝත්‍රිකයන්ගෙ සමීප ඡායාරූප නෑ.

මේ ගෝත්‍රයේ මුතුන් මිත්තො අප්‍රිකානු මහද්වීපයෙන් පිටතට ගිය පළමු කණ්ඩායමේ අය කියලයි විශ්වාස කරන්නෙ. ඒ ඇත්තො කුඩා ප්‍රමාණයේ දූපත් වල වසර 60000 කට ඈත අතීතයේ සිටම ජීවත් වෙලා තිබෙනවා. පොදුවේ අන්දමන් දූපත් කලාපයේ මෙන්ම ගිණිකොන දිග ආසියාව, මලයාසියානු අර්ධද්වීපය අවට, පිලිපීනය, ඔස්ට්‍රේලියාවේ ටස්මේනියාව ආශ්‍රිතව හුදෙකලාව ජීවත් වන මෙවැනි ගෝත්‍ර වර්ග වල මිනිසුන් හදුන්වන්නේ Negritos යන නමින්. තද කලු පැහැති සම වගේම, කැරළි ගැසුනු කොණ්ඩයත් මේ අයගෙ පොදු ලක්ෂණ. මේ ගෝත්‍රිකයන්ගෙන් බොහෝ අය බාහිරට පේන විදියට වමත් කරුවන්.

මේ ඇත්තන්ගෙ වාසස්ථාන හරිම සරලයි. පැති බැමි හෝ බිම් සැකසුමක් නැති , වහළය සදහා කොළඅතු සෙවිලි කල නිවාස තමයි සෙන්ටිනලීස් ජනතාව භාවිතා කරන්නේ. ඒ අයට තමුන්ගෙ ආයුධ හදා ගන්න ලෝහ වර්ග තිබුනෙ නෑ. නමුත් ඔවුන්ගේ වෙරළට පාවී ආ ලෝහ කොටස් වගේම මේ මුහුදු කලාපයේ අනතුරට පත්වෙච්ච නෞකා මගිනුත් ඇතැම් ලෝහ කොටස් මේ අය අතට ලැබුනා. ඔවුන් ඒවා මුවහත් කර තමන්ගේ ආයුධ ලෙස භාවිතා කරන පිහිය, හෙල්ලය,වෑය, ඊතල ආදිය සකසාගෙන තිබෙනවා. සතුන් දඩයම, මාළු ඇල්ලීම වැනි කටයුතු වලට ඔවුන් ඊතල යොදා ගන්නවා. මේ ජනතාව ආහාර ද්‍රව්‍ය ගබඩා කිරීම උදෙසා උණ බට වලින් මෙන්ම වෙනත් ශාක පොතු වලින් භාජන සකසාගෙන තිබෙනවා.

සෙන්ටිනලීස් ජනවර්ගයේ වර්තමාන ජනගහණය ගැන කවුරුවත් හරියට දන්නෙ නෑ. බාහිර ලෝකය සමග කිසිදු සම්බන්ධතාවක් පවත්වන්නේ නැති නිසා ඒ ගැන පැහැදිලි තොරතුරක් දක්වන්න කිසිවෙකු නෑ. ජනගහනය සමහර විටක 40 - 500 අතර ප්‍රමාණයක් වෙන්නත් පුලුවන්.

තමා වෙත පැමිණෙන ආගන්තුකයා සතුරෙක්ද නැතිනම් මිතුරෙක්ද කියන කාරණේ මේ ගෝත්‍රිකයො තකන්නෙ නෑ. ඔවුන්ගේ දූපතේ වෙරළට ඔබ වැරදීමකින් ආවත්, හිතාමතාම ආවත් ඔවුන් ආගන්තුක සත්කාරය දක්වන්නෙ එකම විදියකට. ඒ හෙල්ලයකින් ඔබේ පපුවට ඇනීමෙන්, නැතිනම් ඊතල වරුසාවක් ඔබ වෙත එල්ල කිරීමෙන්. කෑම වර්ග, රෙදිපිළි ඒ ඇත්තන්ට වැදගත් දේ නොවෙයි. මේ අය කෙතරම් නොහික්මුන ජන වර්ගයක්ද කියනවානම් 2004 වර්ෂයේදි ඇති වූ සුනාමියෙන් පීඩාවට පත් වූ මේ දූපතේ ගෝත්‍රිකයන් බේරා ගැනීමට පැමිණි, ගලවා ගැනීමේ කණ්ඩායම් වලටත් ඔවුන් තමන්ගේ සුපුරුදු ප්‍රතිචාරයම දැක්වූවා.

2004 වසරේ සුනාමියට තුඩුදුන් සාගර පතුලේ භූමිකම්පාව සිදුවුනේ නිකෝබාර් දූපත් ආසන්නයේ. මේ විපතින් හානියට පත් වූ මේ ගෝත්‍රයේ ඇත්තන්ට සහන සලසන්න සහන කණ්ඩායම් ආවෙ ඉන්දියානු නාවික හමුදාවෙ හෙලිකොප්ටර් යානා වලින්. ඒ අයට අවශ්‍ය උනේ සුනාමියෙන් දිවි බේරාගත් අයට උදව් කරන්න. ඒ උනාට ඒ සදහා තිබුනේ ඉතාම සුළු අවස්ථාවක්. මේ හින්දම ඔවුන් ආහාර අඩංගු පාර්සල් ගුවනින් දූපතට හෙළන්නට උත්සාහ කලා. ඒ අවස්ථාවේත් දූපතේ ගල් ගුහා වලින් වගේම කැලෑව තුලිනුත් මතුවෙච්ච සටන් කාමීන් හෙලිකොප්ටරය දෙසට ඊතල ප්‍රහාර එල්ල කලා.

සෙන්ටිනලීස් ගෝත්‍රිකයො ගැන ලෝකයා දන්නෙ බොහොම පොඩ්ඩයි. ඔවුන්ගේ භාෂාව, ඔවුන්ගේ පුරුදු, ගති සිරිත් විරිත්, ආදී සියලුම දේ මේ දූපතේ ගණ වනාන්තර ඇතුලෙ සැගවිලයි තිබෙන්නේ. නමුත් ඔවුන් තමන්ගෙ ජීවිතය පවත්වාගෙන යන්න ආහාර සපයාගන්න විදිය ගැන නම් අදහසක් ගන්න අපහසු නෑ. ස්වභාවයෙන්ම හොද දඩයක්කාරයො පිරිසක් වන මේ අය සත්ව දඩයමෙන් සහ කැළෑවෙන් සපුරා ගන්නා වෙනත් ශාකමය ආහාර මගින් යැපිය යුතුයි. ඔවුන් සත්ව පාලනය හෝ කෘෂි භෝග වගාකිරීමක් කරන්නෙ නැති නිසා වෙනත් විකල්පයක් නෑ. පොල්, පළතුරු, මාළු, කැලෑ ඌරන්, කටුස්සන්, තලගොයින්, කැස්බෑවන්, කුඩා කුරුලු වර්ග, වගේම මී පැණිත් ඔවුන්ගේ අාහාර වලට ඇතුලත්. 1880 දී සෙන්ටිනල් දූපතට පැමිණි ඉංග්‍රීසි ජාතික ගවේෂකයකු වන M. V. Portman පවසා තිබෙන්නේ මේ අයගේ ආහාර සැකසීමේ රටාව අන්දමන් දූපත් කලාපයේ වෙසෙන Onge ගෝත්‍රිකයන්ගේ ක්‍රමයට සමාන නමුත් අැබෝර්ජියන් වරුන්ගේ ක්‍රමයට වඩා බොහෝ සේ වෙනස් බවකි.

උතුරු සෙන්ටිනල් දූපත ඉන්දියාවට අයත් වුවත් මෙහි වෙසෙන ගෝත්‍රිකයො ඉන්දියාව කියන්නෙ කුමක්ද කියලාවත් අහලා නැතුව ඇති. සෙන්ටිනල් ගෝත්‍රිකයො සමග මිත්‍රත්වය ඇති කරගන්න ඉන්දියානු රජය උත්සාහ ගෙන තිබෙන්නේ 1964 වගේ කාලයේ ඉදන්. අවසානයේ ඔවුන්ගේ සියලුම උත්සාහයන් වතුරේ ගියා. මේ උත්සාහයන් 90 දශකයේ මුල් භාගයේදී ඔවුන් අතහැර දැමූවේ මෙවැනිම වැඩසටහන් නිසා Jarawa ගෝත්‍රිකයන් අතින් රජයේ පාර්ශවයේ කීප දෙනෙකු මිය ගියාට පස්සෙ.


මේ ඉන්නෙ Jarawa  ගෝත්‍රිකයන්

ඉන්දියානු රජය උතුරු සෙන්ටිනල් දුපතට පිවිසීම වර්තමානයේ තහනම් කරලයි තියෙන්නෙ. දූපතට හැතැප්ම 3 කට එහායින් අනතුරු ඇගවීමේ කලාපයකුත් පවත්වාගෙන යනවා. ඒ මෙහි පිවිසෙන්න උත්සාහ කරන ගවේෂකයින්ගේ සහ වෙනත් ඇත්තන්ගේ ආරක්ෂාව උදෙසා. නමුත් කිසියම් ක්‍රමයකින් මේ ආරක්ෂක කලාප පසුකරගෙන මේ ගෝත්‍රිකයන් මුණ ගැසෙන්නට යන කෙනෙකුගේ අවසානය නම් සුන්දර එකක් වෙන්නෙ නෑ.

සෙන්ටිනල් ගෝත්‍රිකයො තමන්ගෙ ආගන්තුකයන්ට ආගන්තුක සත්කාර දක්වපු ආකාරය ගැන කියවෙන ඇග කිළිපොලා යන කථා පුවත් කීපයක්ම තියෙනවා. 1896 දි අන්දමන් දූපතේ ඉංග්‍රීසි ජාතිකයන් පිහිටා තිබුන සිර කදවුරෙන් පැන ගිය සිරකරුවෙක් අහම්බෙන් වගේ උතුරු සෙන්ටිනල් දූපතේ වෙරළ තීරයට පැමිණියා. දවස් කීපයකට පස්සෙ ඔහු පිළිබද සෙවූ කණ්ඩායමට වෙරළෙ තිබිලා හමුවුනේ උගුරු දන්ඩ කපා, ඊතල වලින් සිදුරු කර තිබුන ඔහුගේ මළ සිරුර.

1974 දි මේ ඇත්තන් ගැන වාර්තා වැඩසටහනක් සකසන්න එහි ගිය ඉන්දියානුවන් කණ්ඩායමක අධ්‍යක්ෂක වරයාගෙ කලවයේ අඩි 8ක් පමණ දිග දැවැන්ත ඊතලයක් ඇනුනා. මේ ගමන අතරතුර කෙසේ හෝ ඔවුන් මේ ගෝත්‍රිකයන්ගෙ ඇතැම් දර්ශන රූපගත කලා. එය තමයි සෙන්ටිනල් ජනවර්ගය කැමරා කාචයට නැගූ ඉතිහාසයේ පළමු අවස්ථාව. මේ දර්ශන ඔවුන් Man in Search of Man නැමති වාර්තා වැඩසටහනේ ඇතුල් කලා. පහතින් දක්වලා තියෙන්නෙ එම වාර්තා වැඩසටහන. සෙන්ටිනල් ජනතාව වාර්තා වැඩසටහන් කණ්ඩායමට ප්‍රතිප්‍රහාර එල්ල කරන ආකාරය වගේම, මේ කලාපයේ වෙසෙන අවශේෂ ගෝත්‍රික කණ්ඩායම් දෙකක් වන Onge සහ Jarawa ගෝත්‍රිකයන්ගෙ දර්ශනත් මේ රූපරාමු වල තිබෙනවා. නමුත් සෙන්ටිනල් ජනතාව අනිත් ගෝත්‍ර දෙකේ ජනතාව වගේ මේ පිරිස සමග සුහද වෙන්නෙ නෑ.


ඉන්දියානු මානව විද්‍යාඥයකු වන T.N.පණ්ඩිත් මහතා 80 දශකය අග, 90 දශකය මුල් භාගයේ උතුරු සෙන්ටිනල් දූපතට ගිය රාජ්‍ය අනුග්‍රහය ලද සංචාර කීපයකට නායකත්වය ලබා දුන් අයෙක්.

අපි එහි ගිය සමහර අවස්ථා වල ගෝත්‍රිකයො අප දෙසට ඔවුන්ගේ තට්ටම් හරවා මළ පහ කරන ඉරියව්වෙන් වැල්ලෙ ඉදගත්තා. ඒ අපට අවමන් කරන්න, අපහාස කරන්න. ඔවුන් අපිව පිළිගන්න සූදානම් නෑ කියන ඉගිය තමයි ඒ විදියට ලබා දුන්නෙ. පන්ඩිත් මහතා ඒ විදියටයි තමන්ගෙ අත්දැකීම් ආවර්ජනය කරන්නෙ.

පුුදුමයකට වගේ බාහිරින් දූපතට පැමිණි අය කලහකාරී නොවන ලෙසට මේ ගෝත්‍රිකයන් විසින් පිළිගත්ත අවස්ථාවක් තිබෙනවා. 1991 ජනවාරි මස 4 වෙනිදා පණ්ඩිත් මහතාගේ මෙහෙයවීම යටතේ කාන්තා, පිරිමි, ළමා 28 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් එහි ලගා උනා.

ඒ අවස්ථාවෙ ඔවුන් අප මුණ ගැහෙන්න අප වෙත පැමිණියා. ඒක හරිම පුදුමයක්. ඒ ඇත්තො හිතන්න ඇති අපි සමග කථා බහ කරන්න දැන් කාලය ඇවිල්ලා කියලා. පණ්ඩිත් මහතා එහෙම කියනවා.


2011 වසරේදී ඉන්දියානුවන් පිරිසක් අසලටම පැමිණි සෙන්ටිනල් ජනතාව

නමුත් අවාසනාවකට වගේ වැරදීමකින් මේ දූපත ආසන්නයේ මාළු බෑමේ නිරතව සිටි ධීවරයන් දෙදෙනෙක් 2006 දි ගෝත්‍රිකයන් අතින් මිය ගියා. ඔවුන්ගේ මළ සිරුරු රැගෙන යාමට පැමිණි හෙලිකොප්ටරයටද ඔවුන් සුපුරුදු ඊතල ප්‍රහාරය එල්ල කලා.

වර්තමානය වන විටත් සබදතා ගොඩනගා ගැනීමට අපහසු වූ ගෝත්‍ර අතර අවසානයේ සිටින්නේ සෙන්ටිනල් ජනතාව. ඔවුන් නූතන ශිෂ්ඨාචාරය, සභ්‍යත්වය හදුනන්නෙ නෑ. ඔවුනට කල හැකි හොදම දේ තමයි ඔවුන් දැන් ජීවත් වෙන විදියට ලෝකයෙන් හුදෙකලා වෙලා ජිවත් වෙන්න ඉඩ දෙන එක. මේ අයට නූතන සමාජයට හැඩ ගැසීම ඉතාම අපහසු වාගේම ඔවුන්ගේ ශරීර වල ප්‍රතිශක්තිකරණ හැකියාවත් මේ නිසා වෙනස් වෙන්න පුලුවන්.

කිසිම අවස්ථාවක බාහිර ලෝකයෙන් කිසිදු උදව්වක් ලබා නොගන්නා මේ ජනවර්ගය සැබවින්ම පුදුමාකාර කණ්ඩායමක්. මෙවැනි මිනිසුන් වර්තමානයේ හරිම දුර්ලභයි. ඔවුන් කොහොමද බාහිර ලෝකය දකින්නෙ, ඔවුන්ව ආමන්ත්‍රණය කරන්නෙ, සමහර විට අපි ඔවුන් සෙන්ටිනල් ජනතාව ලෙස ආමන්ත්‍රණය කරන බව පවා ඔවුන් දන්නෙ නෑ. මේ ගෝත්‍රිකයො ගැන පරීක්ෂණ කරන ඇතැමෙක් එහෙම කියනවා.

අද ලිපියට මූලාශ්‍ර

Wikipedia අඩවියෙන් සහ යූ ටියුබ්හි වාර්තා වැඩසටහන් මගිනි.



මම කාමරේ අරින සිරා කොලුවා.


ප.ලි

වසරකට දෙවරක් පැවැත්වෙන මැලේසියාවේ සංචාරක අංශයේ දැවැන්තම ප්‍රදර්ශනය වන MATTA FAIR (Malaysian Association of Tours & Travel Agents) වෙනුවෙන් සහභාගි වීමට ඇති නිසා බොලාගේ කමෙන්ටු වලට සිරා කොලුවාගේ පිළිතුරු ප්‍රමාද වන බව දන්වා සිටිමි.

සෙන්ටිනල් ගෝත්‍රිකයො ගැන සිංහලෙන් පුංචි සටහනක් මෙන්න මෙතන තිබුනා.
Related Posts Plugin for WordPress, Blogger...