Sunday, November 30, 2014

36 මා දුටු ඉන්දියාව

මම වසර 6 කට මඳක් වැඩි කාලයක් අපේ අසල්වැසි රාජ්‍ය වන ඉන්දියාවේ ප්‍රධාන වාණිජ නගර කීපයකම සේවය කලෙමි. ඉන්දියාව යනු රටක් නොව මුළු ලෝකයම යැයි සමහරු කියනවා ඔබ අසා ඇතිවාට සැකයක් නෑ. භූමි ප්‍රමාණයෙන් මෙන්ම ජනගහනයෙන්ද අති විශාල මේ රට පිළිබද සිරාගේ කාමරයේ 7 වෙනි ලිපිය වෙනුවෙන් මගේ අත්දැකීම් ඉතා කෙටියෙන් ඉදිරිපත් කරන්නට සිතුවෙමි.

මට ඉන්දියාව බල යාමට සිදු වූයේ මා සේවය කරන ශ්‍රී ලංකා සේවා ස්ථානයේ අවශ්‍යතාවයක් අනුවය. එහි යන්නට පළමුව ඉන්දියාව පිළිබඳ නොයෙකුත් කතා මා අසා තිබුනෙමි. දඹදිව යන උදවිය නම් කියන්නේ එය ගූ ගඳ ගහනා රටක් බවකි.

මෙය මාගේ පළමු විදේශ සවාරිය විය. මුලින් තනිව යාමට සිදු වේ යයි සිතුවත් මා සමග තවත් මිත්‍රයෙක් ගමනට එකතු විය . එම නිසා කිසිදු බියක් නොමැතිව මම ගමනට පිටත් උනෙමි. ප්‍රථමයෙන් අපි චෙන්නායි බලා පියාසර කළෙමු. කිසිදු අපහසුවකින් තොරව චෙන්නායි ගුවන් තොටුපලෙන් ඉවතට ගිය අපි ඒ වන විටත් ඉන්දියාවේ සේවයේ නිරතව සිටි අපගේ මිත්‍රයා සොයා ගියෙමු.  සිහින් සිනහවක් නගාගත් ඔහු  “උඹට මුම්බායි යන්න කිව්වා, මෙන්න ටිකට් එක” යයි පැවසිය. එතෙක් දැන සිටි මිත්‍රයන් සමග එකට ඉන්නට වරම් නොලද මම තනිවම මගේ ගමන ආරම්භ කළෙමි. කෙසේ හෝ යන්තම් මුම්බායි ගුවන්තොටුපලෙන් ඉවතට පැමිණ එහි රැදී සිටි අපගේ සේවා ස්ථානයේ සේවයේ නියුතු  පුද්ගලයා සමග නවාතැන බල පිටත් උනෙමි.

මාර්ගයේ සංඥා එළියක රථය නැවතුනු පසු වාහනය වටකරගත් , හත් අවුරුද්දකින්වත් දිය බිඳක් දැක නැති පොඩි කොල්ලෝ කුරුට්ටෝ සහ කෙල්ලන් අපගෙන් මුදල් ඉල්ලන්නට වුහ. “ මෙහෙ ඉතින් ඔහොම තමා...මගේ ඉන්දියානු ජාතික සහායකයා සැහැල්ලුවෙන් පැවසුවේය.

පසුදින උදෑසන නවාතැන් ගත් හෝටලයෙන් උදේ ආහාරය ඇනවුම් කිරීමට කථා කලෙමි. ආහාර මෙනු එකක් තිබුනේ නැත. ඇමතුම ගත් පසු අනෙත් පසින් මොනවදෝ වට්ටෝරුවක් කියවන්නට පටන් ගත්තේය. මට වැටහුනු ලබ්බක් නැත. ඕන එකක් කියා මම මසාල දෝසා එකක් ඕඩර් කලෙමි.. විනාඩි 20 කට පමණ පසු ඇනවුම ලැබුණි. අල ගුලියක් මැදට දැමු ආප්පයක් වැනි ආහාරයක් ගෙනැවිත් තිබේ. මෙලෝ රහක් නැත.. ගෙදරදී අම්මා විසින් සකසන බත් පතේ අගය මැනවින් වැටහුනි. කුසගින්න නිවා ගත යුතු නිසා ආප්පයෙන් අඩක් පමණ කුස තුලට යවා ගත්තෙමි.. ඒ කෑවේ මසාල දෝසයකි. එදා එපා වූ මසාලා දෝසා ලංකාවට නැවත පැමිණෙන අවස්ථාව වන විට නම් මගේ ප්‍රියතම ආහාරය විය...මෙසේ ආරම්භ වූ මගේ ඉන්දියානු ගමන වසර හය හමාරකට පසු පසුගිය ජූලි මාසයේදී නිමා විය.

ඒ කාලය අතර තුර මා හට චෙන්නායි , කොචින් , කොයිම්බතුර් , බැංගලෝර්, නෙල්ලුර්, කල්කටා, මුම්බායි, පූනේ, නාසික් , අහමදාබාද් , ඔරන්ගබාඩ් , අම්රිට්සාර්, චන්දිගර් , යන ප්‍රදේශ වල සංචාරය කිරීමට අවස්ථාව උදාවිය. ඒ මගේ සේවා ස්ථානයට පින් සිදු වන්නටය. මේ ස්ථාන අතරින් වැඩි වශයෙන් මාගේ සිත් ගත් තැන් වූයේ බැංගලෝර් හා චන්දිගර් බව කිව යුතුය.  මා මුම්බායි වෙත පැමිණියේ 2008 පෙබරවාරි මාසයේදීය. ඒ වන විටත්  දුඹුරු පැහැයට හැරී තිබූ ගස් කොලන් එහි පැවති ග්‍රීස්ම සෘතුවේ තරම මා හට කියා පෑවේය. කෙසේ හෝ මාස දෙකකට පසු මට කොචින් බලා යාමට සිදු විය.

ඉන්දියාවට ආ පසු හරිත පැහැය මුලින්ම දැක්කේ එදාය. එහි සිටින මිනිසුන් ලාංකිකයන්ට හැඩරුවින් සමානකමක් දක්වති. කරුණාවන්ත කම අතින්ද ඔවුන් යහපත්ය. කේලාම් කීමෙන්ද අග තැන්පත්ය. අපගේ ආයතනයේ සේවය  කරන ඇත්තෝ ඒ සදහා විශේෂත්වයක් දක්වයි. වරක් එහි සංචාරය කල මට පුරාණ රජ මාළිගාවක් සහ ඒ හා බැදුණු ස්ථාන දැකබලා ගත හැකි විය.රජ මාළිගයේ තිබු අන්තඃපුරයට යාමටද අමතක නොකළෙමි. වර්තමානයේ එහි කිසිවෙකු නොමැත. නමුත් මේ ගොඩනැගිල්ල පිටුපස පඳුරු අස්සට වන්නට නම් පොඩි පොඩි අන්තඃපුර දැක ගත හැක. සුළගක් හමන්නේ නැති වුවද පඳුරු සෙලවෙති.

ඉන්දියාවේ මා සංචාරය කල ප්‍රාන්ත අතුරින් පොල්තෙල් භාවිතයෙන් ආහාර පිසින්නේ කේරළ ප්‍රාන්තයේ පමණි. අනෙකුත් ප්‍රාන්තවල වෙනත් තෙල් වර්ග භාවිත කරති. තල තෙල්, ඔලිව් තෙල්, අාර්මන්ඩ් තෙල් යනාදී නොයෙකුත් තෙල් වර්ග භාවිතයේ පවතී. කේරළ පරාටා ඉතා රසවත්ය. බත් සහ ව්‍යාංජන උවත් ලංකාවේ රසමය.. අප්පම් (ආප්ප) , ඉඳිඅප්පම් (ඉදි ආප්ප) ද එහි සුලභය.

මා පැමිණීමට පෙර සිදුවූ රසවත් සිදුවීමක් වතාවක් මට  දැනගත  හැකිවිය. එක් දිනක් ලංකාවේ සිට එහි සේවය කිරීමට පැමිණෙන ශ්‍රී ලංකික පවුලක අයවළුන් කැඳවාගෙන ඒමට ආයතනයේ සේවකයෙක් ගුවන් තොටුපලට පිටත් කොට තිබේ. එදින එම පුද්ගලයාට ලංකාවේ කෙනෙක් කියා ඇත්තේ ඔවුන් පිළිගනිද්දී “ සොල්ල වලවාන් “ ලෙස කියන ලෙසත්, එය ලංකාවේ පිළිගන්නා ආචාර විධි ක්‍රමයක් ලෙසත්ය. එය අකුරටම පිළිගත් මේ කියන සේවකයා ඔහුගේ අමුත්තා කී අයුරින්ම ගුවන්තොටුපොළේදීම දෙ අත් එක්කොට “සොල්ල වලවාන්” කියා තිබේ. හෙතෙම තවමත් මේ සිදුවීම නිසා ඉන්දියානුවන් වෙතින් නව නිංගිරා විඳියි. කේරළ ප්‍රාන්තයේ භාවිත වන ප්‍රධාන භාෂාව වන්නේ “මලයාලම්” ය. එය දෙමළ භාෂාවට සමාන කමක් දක්වයි. මේ ගීතය මලයාලම් එකකි.

කේරළයේ මාස 6ක් පමණ සිටි මට බැංගලෝර් වෙත යාමට දිනය උදා විය.  ජීවත් වීමට ඉතා සුදුසු පරිසරයක් සහ කාළගුණයකින් යුතු බැංගලෝරය මා සිත් ගත් ප්‍රදේශයක් විය. තොරතුරු තාක්ෂණයේ ඉහළ පෙළේ සමාගම් බොහොමයක් මෙහි පිහිටා තිබේ. ඒ නිසාම මෙම ප්‍රාන්තය සීඝ්‍ර දියුණුවක් ලබා ඇත. ඉන්දියාවේ සෑම පෙදෙසකින්ම පාහේ පැමිණෙන පිරිස් මෙහි සේවය කරති. තොරතුරු තාක්ෂණ ආයතන වල සේවය කරන නිසා බොහොමයක් දෙනා මුදල් අතින්ද ඉතා පොහොසත්ය. නගරයද ඉතා පිරිසිදු මට්ටමක පවතී. ආහාර සඳහා ලංකාවේ පරිදිම බත් සහ ව්‍යංජන මෙහිද ඇත. පිඟාන වෙනුවට ලබා දෙන්නේ කෙසෙල් කොලයයි. එයට බත් සහ ව්‍යාංජන තුනක් අතුරුපස වර්ගයක් සහ මුදවපු කිරි අඩංගුය. අවශ්‍යනම් කිරි වලින් සකසන ගී ද ඒ සදහා එක් කර ගත හැක. බැංගලෝරය අයත් කර්ණාටක ප්‍රාන්තයේ ප්‍රධාන භාෂාව කන්නඩ නම් වෙයි.

මාස 6කට පසු නැවතත් මා හට ස්ථාන මාරුවකි. මම නෙල්ලුර් බල පිටත් උනෙමි. ඒ මසක කාලයක් සදහාය. දුර ගමන් සදහා සැප පහසු බස් රථ බොහොමයක් එහි පවතී. වායුසමීකරණය කරන ලද ඒවා නිදාගැනීමේ පහසුකම්ද සහිතය. එතරම් විශාල නගරයක් නොවන එය තවමත් දියුණු වෙමින් පවතී.

නෙල්ලුර් වෙත මා ඇරලවීමට මා සමග ගිය රියදුරු මහතා පඩ ඇරීමට පුදුමාකාර හපනෙකි. ඔහුගේ නම සුබ්බයියා නම් විය. සුබ්බයියා සහ පඩය අතර ඇත්තේ ගහට පොත්ත වැනි සමීප සම්බන්ධයකි. කොහේ ගියත් පඩයක් යැවීමට නම් අමතක කරන්නේම නැත. මඳ දුරක් යන ඔහු රථය නවතා මාර්ගය අයිනේ පඳුරක් වෙත දුවන්නේ පඩයට තිත තබා බොකක් දැමීමටය. මෙවැනි දසුන් මේ නගරයේ සංචාරය කරන අතර තුර බොහෝ විට දැකගත හැකිවෙයි. සමහරු පඳුරු අස්සෙන් එක වරම තම කාර්යය අවසන්ව නැගී සිටියි. එවන් ඇතමෙකුගේ එක පුලියේය.

නෙල්ලුර් හිදී  අපගේ ආයතනයේ භාණ්ඩ ගබඩාවේ බඩු පැටවීමට වෙනම සේවකයන් පිරිසක් පිටතින් ලබා ගත්තෙමු. ඔවුන් ඒ සඳහා එන්නේ සොල්ල වලවා ගෙනය.එය ඔවුන්ගේ දුප්පත් කමත් දැනුමක් නැති කමත් විය යුතුය. මේ නගරය ආශ්‍රිතව භාවිතා වන ප්‍රධාන භාෂාව වන්නේ “තෙලිඟු” බසයි.. තෙලිඟු බසින් ගැයෙනා මේ ගීතය මට රසවිදීමට මුලින්ම අවස්ථාවක් ලැබුනේ බස් රථයකින් ගමනක් ගිය විටෙකය.


නෙල්ලුර් හි සේවය කිරීමෙන් අනතුරුව මගේ නවාතැන වූයේ කල්කටා නගරයයි. කල්කටාව නව නගරය සහ පැරණි නගරය යනුවෙන් නගර දෙකකින් සමන්විතය. පැරණි නගරයට ගිය මට සිහියට නැගුනේ මල්ගුඩි දවසැ රූපවාහිනී නාටකයේ අප දැක තිබු නගරයයි. මිනිසුන් විසින් ඇදගෙන යන රික්ෂෝ, පාර අයිනේ ඇති වතුර පයිප්ප වලින් නාන මිනිසුන්, පැරණි ගොඩනැගිලි වැනි නොයෙකුත් දේ මට දැක ගත හැකි විය. එහි තිබු මහාබෝධි විහාරයටත් , නයිටින්ගේල් වාසය කල පල්ලියටත් අපට යාමට හැකි විය. ඒ අතර පැරණි රජ මාළිගයක් නැරඹීමටද ගියෙමි. එය සාදා ඇත්තේ පාෂාණ භාවිත කරමින්ය.

මහා බෝධි විහාරය



රජ මාළිගය
කල්කටාහි දිවා කල උෂ්ණත්වය ග්‍රීෂ්ම කාලයේදී සෙන්ට්‍රිග්‍රේඩ් අංශක 45 ක් වුවද එය රාත්‍රී කාලයේදී සෙන්ට්‍රිග්‍රේඩ් අංශක 5 ක් පමණ වන තෙක් පහල බසී.

යම් කාල සීමාවකට පසු කල්කටාවට සමුදී මා මුම්බායි බලා පැමිණි අතර එතැන් සිට 2014 ජුලි වනතෙක්ම එහි රැදී සිටියෙමි. මුම්බායි කියා කීවද මා සිටියේ මුම්බායි සිට කිලෝ මීටර් 50 ක් පමණ දුරින් වූ තානේ නම් නගරයකය. ඔවුන්ට එය එතරම් දුරක් නොවේ. ඒ ඔවුන්ගේ රටේ මාර්ග සහා නගර පිහිටන දුර අනුවය. ප්‍රධාන නගර අතර බොහෝ දුරට අධි වේගී මාර්ග පිහිට ඇත. නමුත් ඒවායේ තත්වය අපේ රටේ තරම් නොවේ.. ඉන්දියානුවන්ගේ මා දුටු ලක්ෂණය වුයේ පිළිවෙලක් නැති කමය. මුත්‍රා බරක් ඇති කළෙක එය තැන නොතැන නොබලා නිදහස් කරති.

ප්‍රධාන මාර්ග අද්දර සුපිරි ගොඩනැගිලි පිහිටියත් අතුරු මාර්ග වලට පිවිසෙන  අපට දැකිය හැක්කේ මුඩුක්කු සහ අපිරිසිදු දසුන්ය. උදෑසනම සහ රාතී‍්‍ර දහයෙන් පමණ පසු එවන් මාර්ගයක ගමන් කරනා අයෙකුට දක්නට හැක්කේ කුඩා ටින් එකකට වතුර තියාගෙන තවකෙකු සමග දොඩමලු වෙමින් පුක රැවටෙන තුරු ඉඳගෙන සිටින උදවියයි. මෙවැනි දසුන් අපිරිසිදු කමේ තරම අපට කියා දෙයි.

කොණ්ඩය කැපීමට අවශ්‍ය වූ විටෙක ගසක් යටට ගොස් වුවද කොණ්ඩය කැපීමේ පහසුකම් ඇත. ඉතා සුලු මුදලකට සේවය සලසන බැවින් ආර්ථික තත්වයෙන් පහල සිටින උන් මෙහි පැමිණෙති. ඒ වාගේම මා සිටි නගරය මෙන්ම බොහෝ නගර වලත් පුද්ගලික බස් සේවා නොමැති තරම්ය. ඒ වෙනුවට ඇත්තේ තුන් රෝද රථ සමූහයකි . එය ඔවුන් හදුන්වන්නේ ඔටෝ කියාය. ඕනෑම වෙලාවක ඔනෑම තැනකදී මෙම සේවය ලබා ගත හැකිය. නගරබද මීටර් ඔටෝ ඇතත් නගර සීමාවෙන් පිටතදී මීටර් නැත.

බොහෝ විටෙක තුන් රෝද රථයකට කිහිපදෙනෙකු නංවාගෙන ගමන් කරයි. ඒවා ෂෙයාර් ඔටෝ ලෙස හදුන්වයි. සාමාන්‍යයෙන් එහි පිටුපස ආසනයේ තිදෙනාට අමතරව ඉදිරි පස රියදුරු අසුනේ දෙපස තවත් දෙදෙනෙකු නංවාගෙන යයි. එහි හිඳගෙන ගමන් කරන විටෙක පු යන්නේ ක යන්න ඉවතට බරව පවතී. මමද එහි බොහෝ විටක් ගමන් කර ඇත්තෙමි. මා විදේශිකයෙකු ලෙස නොසිතන ඔවුන් මා සමග කථාවට වැටෙන්නට උත්සාහ කල වාර ගණනාවකි.

ඉන්දියාවේ අමුතුම දේ තිබේ. දිනෙක මා දුටු මෙවන් කොමඩ් එකක් නිසා කරන්නට ගිය කාර්යයද අමතක වී සිනහා වෙන්නට  මට සිදුවිය.


සිනහාවෙන් සහ හ්ම් හ්ම් වලින් ඇග බේරා ගෙන මාරුවෙනවා විනා වෙන කොරන්නට අහවල් දෙයක් නැත. කතාවට ගියොත් ඔවුන් අනිවාර්යෙන් පිටස්තරයෙක් බව හදුනා ගනී. එවිට හතරවෙනි තට්ටුවට ගියා හා සමානය.

ඕනෑම රජයේ කාර්යයක් කිරීමට පගාව ලබා දිය යුතුය. රියදුරු බලපත්‍රයක් නොමැතිව රිය පැදවූ මටද පිහිට වුයේ පනහේ සහ සීයේ නෝට්ටු පමණි. ඒ පොලිසියේ හැටිය . ඔවුන්ට එම රැකියාව ලබා ගැනීමට බොහෝ සේ මුදල් නැතහොත් පගාව දිය යුතුය. එසේ ලබා දුන් පගාව නැවත උපයා ගැනීමට ඔව්හු එළිපිට පගාව ගනිති. එය වැඩි වශයෙන් සිදුවන්නේ ලොරි රියදුරන්ට එරෙහිවය. ලොකු මුදලක් නොවූවත් සුළු සුළු වශයෙන් ජරාව එකතු කරති.. එක්වරක් ට්‍රැෆික් පොලිසියේ සේවය කරන්නෙක් උසස්වීමක් ලබා ගැනීමට ඔහුගේ ලොක්කට ලෙදර් සොෆාවක් (රුපියල් ලක්ෂයක් පමණ වටිනා) ලබා දුන් අයුරු මා හට දැන ගත හැකි විය. ඒ මාගේ මිත්‍රයෙකුගේ මාර්ගයෙනි. මා විසින්ද පෙර කියූ පරිදි මුදලක් අතමිට මොලවා ඇත්තේ ඉතා පහසුවෙන් මගේ කාර්යය ඉටු කර ගැනීමේ මාර්ගය එය නිසයි.

ඉපැරණි බෞද්ධ රාජ්‍යයක් වූ ඉන්දියාවේ බෞද්ධ පන්සල් වල නටඹුන් සැම තැනකම පාහේ දැක ගත හැක. අද ඒවා ආශිතව හින්දු කෝවිල් ඉදිවී හමාරය. නමුත් නටබුන් වලින් එහි ඉතිහාසය මනාව පිලිබිබු වෙයි. පහත රූප දකින ඔබට එකල තිබු ප්‍රෞඩත්වය වටහා ගත හැකි වනු ඇත.

Elephanta caves

Elephanta caves

Elephanta caves

Elephanta caves

මෙවන් දර්ශනීය නටබුන් බොහෝ තැන්වල දැක ගත හැකි වෙයි. Lonawala karla caves , Elephanta caves, Ajantha ම දුටු එවන් ස්ථාන වෙති.




Karla Caves
දුර්ගන්දය , අපිරිසිදුකම ඇතත් ඉන්දියාව දියුණු තත්වයක පවතී.. ඉතා මෑතක නවීකරනය කරන ලද මුම්බායි ගුවන්තොටුපල එ් බව මැනවින් කියා පායි. ඉතා සුපිරි තත්වයෙන් නිමවූ නව පර්යන්ත ගොඩනැගිල්ල ඉතා අලංකාරය. එය ප්‍රවේශ පත්‍ර කවුන්ටර 192 සහ ආගමන විගමන කවුන්ටර් 136 (පිටවීම් 60 ක් හා පැමිණීමේ 76 ) , බැගේජ් බෙල්ට් - 12 කින් සමන්විතය . මෙහි ගුවන් යානා 72ක් එකවර නවතා තැබිය හැක.






එසේම ප්‍රධාන නගර ආශිතව ගැහැණු පිරිමි කාණ්ඩයට අයත් නොවන නපුංසක ජනතාව ඇතිවෙන තුරු දැක ගත හැක. එවන් අයකු උදැසන දැකීමද සුබ දසුනක් ලෙස ඉන්දියානුවන් සලකති. ඔවුන් වෙළද සැල් වලට ගොස් මුදල් ලබා ගනිති. වාහන සංඥා එළි ආශ්‍රිතව බොහොමයක් නපුංසකයෝ සිටිති. එලෙස සිටින පිරිමි පාර්ශවයද  නැතිව නොවේ. ඒ මුදල් ඉපයීමේ අරමුණින් ය. නපුංසක තාලෙට අත්පුඩි ගසා ඔවුන් මුදල් ඉල්ලීමට පැමිණෙයි. මේ අයට සරණ වන විවිධ සංවිධාන බිහිවී තිබේ.



බුදුන්ගේ කාලයේ සිටි නිඝන්ටයන්ගෙන් පැවත එන අය තවමත් ඉන්දියාවේ ජීවත් වෙති. ඒ අතර රාජ්‍ය අනුග්‍රහය ලබන නිඝන්ටයෝ ද සිටිති. . ඔවුන්ගේ දේශනා පෙන්වන වෙනම රුපවාහිනී නාලිකාවක්ද ඇත. නිඝන්ටයන් ආරාම තුලට වී බැතිමතුන්ගේ පුද සත්කාර ලබමින් වාසය කරති. මා එක් වරක් තම අනුගාමිකයන් සමග යන නිගන්ඨයෙකු දුටුවෙමි. අතීතයේ දවසක මාගේ  ගුරුවරයෙකු පැවසූවේ ලංකාවේ මෙවැනි නිඝන්ටයෝ  සිටියානම් මෙලහකටත් බලට්ටක් දාලා ඇදලා යනුවෙනි.




මාසයේ අවසන් ලිපිය වෙනුවෙන් සිරාගේ කාමරයට

ලියා එව්වේ චමීර අබේකෝන්.




ප.ලි

චමීර අබේකෝන් යනු සිරා කොලුවාගේ පන්ති සගයෙකි. වසර හය හමාරකට ආසන්න කාලයක් ඉන්දියාව තුල තම රැකියාව උදෙසා ගෙවා දැමූ චමීර ඔහුගේ අත්දැකීම් වලින් බිඳක් සිරාගේ කාමරයේ 7 වෙනි ලිපිය උදෙසා ලියමනකට එක් කොට තිබේ. ඒ වෙනුවෙන් සිරා කොලුවා වන මගේ හෘදයාංගම ස්තූතිය මගේ මිතුරා වෙත පළකරමි. 


Tuesday, November 25, 2014

91 ජැක් කාරයෝ

අද මා බොලාට කියන්නට යන්නේ ජැක්සන්ලා ගැනයි. ජැක්සන් කියූ පමණින් ඔබට පළමුව මතකයට එන්නේ පොප් සංගීත ලොව කිරුළු පලන් මයිකල් ජැක්සන් ලොකු අයියා විය යුතුය. අනේ නැත. මා මේ කියන්නට යන්නේ ඔහු ගැන නොවේය.

එහෙනං සිරා කොලුවා කියන්නට තනන්නේ මහ රජතුමාගේ දෑත ශක්තිමත් කරනා පනාපුත්‍ර කුහුඹු පැනියා ගැන විය යුතු යැයි තවෙකෙකු කියනු ඇත. නැත පින්වත, ඔබද නිවැරදි නොවේ. සකලවිද කාන්තා සනුහරය පිළිබද හදිසියේ මා හදවතේ පැන නැගි අකලංක මෙව්වා එකක් නිසා මේ ඇත්තියන්ට පොදු ප්‍රවාහන මාධ්‍ය වල ගමන් බිමන් යන විටෙක දස වද දෙන ජැක්සන්ලා හෙවත් ජැක් කාරයෝ  ගැන කියන්නට මෙතැන් සිට සිරා කොලුවාට අවසර දෙනු මැන. තත්වය එසේ වුවද සිරා කොලුවාද ජැක් කාරයෙක් යැයි බොලා කියන්නට බැරි නැත. ඒ නිසාම මම වේලාසනින්ම කියන්නේ මා අහිංසකයෙකු බවයි.



බස් රථයක, දුම්රියක නිදහසේ කාන්තාවකට ගමනක් බිමනක් යන්නට බැරි බවට මැසිවිලි නැගෙන්නේ අදක ඊයක සිට නම් නොවේය. සාරියේ පොටට සැමියා ලවා කට්ට ගස්සාගෙන සංවර ලෙස රැකියාවට යන ඇත්තියන්ද, කොට්ට උරයක් වැනි කොට ගවුම් ඇඳගෙන යන බාල මහළු නංගිලාද, පොල්තෙල් බැරිනම් තල තෙල් හෝ උලා හිරට හිරේ කකුල් දෙකටම ඩෙනිම් කලිසම් ඇඳගෙන යන නැන්දලාද, බිම ගෑවෙන තරම් දිගට සායක් ඇද එය කලවා දක්වා පලාගෙන සුදු කකුල පෙන්නාගෙන යන අක්කලාද වෙනසක් නැතිවම මේ කියන ජැක්සන්ලාගේ ගොදුරු වන්නේ පූරුවේ කල ණයක් ගෙවන්නට වාගේය.

ජැක්කාරයින්ට වයස් භේදයක් නැත, තැනක් නොතැනක් නැත, ගොදුරට ගන්නා කාන්තාව කළුද සුදුද කියා වර්ග කිරීමක් නැත. උදෑසන සවස දහවල් කියා වෙනසක් නැත. බස් රථයේ සෙනග කට කපලා නම් හිතුන හිතුන තැන ජැක් ගසති. ඒ සඳහා ගොදුරු වන කාන්තාවෝ ජැක් කාරයාගේ පරම්පරා කීපයක ඥාතීන්ට තිත්ත කුණුහරුපයෙන් සංග්‍රහ කිරීම ජැක් ගැසීමකින් පසු ඇතැම් විටෙක දකින්නට ලැබෙයි.

ඇතැම් කුල කතුන් ලැජ්ජා භය නිසා කිසිත් නොදොඩා ජැක් කාරයාගේ කරදරය ඉවසා වදාරති. තවත් ඇත්තියක් සැමියා ලගදි ගෙදර නොආ නිසා ජැක් කාරයාට තම පසුපස කලාපය සිතා මතාම දන්දෙති. මෙවැනි විටෙක ජැක් කාරයින් අමන්දානන්දයට පත් වී බස් රථය හෝ දුම්රිය තුලම දිව්‍ය සැප වළඳති. එහෙත් කටකාර එකියකට වැරදීමකින් හෝ ජැකක් වැදුනොත් එවැනි දිනයක උදේ පාන්දරම දවස සුභ වන ලකුණු දැකිය හැකි වෙනු ඇත. මනෝරම්‍ය වචන සමූහයකින් කන් බෙරය කම්පොනය කර ගෙන යන ගමනක් යන්නට සාමාන්‍ය ජනතාව ලෙස අපට ගින්දර චෑන්ස් එකක් එදාට වදින්නේය.

මොකද යකෝ මගෙ ඇගට හේත්තු වෙන්නෙ....මගෙ මිනිහා ගෙදර ඉන්නවා.....ඇතැම් විටෙක ප්‍රතිචාරය එබඳුය. නෙදකින් කාලකන්නි...වයසට ගිහිල්ලත් මඟුල් විසේ අඩුවෙලා නැති හැටි...තවත් විටෙක එහෙමය. මේ කොයි ආකාරයෙන් පරිභව කලත් ජැක් කාරයෝ සැලෙන්නේ නැත. ඊළග දවසේද ජැක් එකක් නොවැරදීම ගහනවාමය.

මා දන්නා වැඩිමල් සහෝදරියක් ජැක් කාරයින්ගෙන් බේරීම සඳහා අපූරු උපක්‍රමයක් භාවිතා කලාය. ඇය පළමුව නගරයට පැමිණ එතැනින් දුම්රියට ගොඩ වී රැකියාවට යා යුතුය. නගරයට පැමිණෙන බස් රථයේ නම් දැරූ ජැක් කාරයෙකි. මැදිවියේ පුද්ගලයෙකු වූ මේ මිනිහා කෙල්ලන් විසින් ඇමතූයේ ජැකියා යන අන්වර්ථ නාමයෙනි.

අන්න අක්කෙ ජැකියා අදත් බස් එකට නැගලා යනුවෙන් වෙනත් එකියක් කී කලට පෙර කී සහෝදරිය දිග හරින ලද හැට්ට කට්ටක් තම පසු පස කලාපයට ආසන්නයෙන් පිටුපසට වන්නට සඟවා තබා ගනී. කාන්තාවන් මැද තෙරපෙමින් බස් රථයේ මැද පොල්ල අල්ලාගෙන පසුපසට එන ජැකියා වට පිට බලා අක්කාට හේත්තු වෙයි.

එසැනින් ඌහ් යන අනුකරණයෙන් විදුලි සැර වැදුනාක් මෙන් ආතභූත වෙන ජැකියා කෙල්ලන්ගේ සිනා හඬ මැද කුජීත වී බස් රථයෙන් පිටතට පැනගනියි..

මෙයටත් වඩා සාටර් සිදුවීමක් වරක් සිදුවූයේ අපේ අල්ලපු ගමේ බන්ටියාටයි. එකල ඒකා උසස් පෙළ විභාගය වෙනුවෙන් අමතර පන්ති ගිය කාල සමයයි. කට කපලා තිබූ බස් රථයක ජැක් එකක් ගැසීමට බන්ටියාට සිත් වී ඒකා තමාට වඩා වයසින් වැඩි එකියක් වෙත හේත්තු වී තිබේ. බන්ටියා ජැක් මිහිරෙන් මත්වී ගතකල කාලසමය තුල බස් රථයේ බහුතර මගීන් බැස ගොස් තිබුනද බන්ටියා ඒ බව දන්නේ නැත. ඒකා තවමත් අක්කාට හේත්තු වූ ගමන්මය.

මල්ලි....තමුසෙ මොනවද කරන්නෙ...අක්කා විමසයි

ම..ම...මම A/L කරනවා අක්කෙ. බන්ටියා ගොත ගසයි. 

නමුත් මේ සිදුවීම දෑහින් දුටු ගමේ තවත් කකුලක් එතැන සිටි හෙයින්ම බන්ටියාගේ ඇඳිවත පසුකලෙකදී ගම මැද්දේ ගිලිහී ගිය බව මට මතකය.

අද උදෑසන ඩුබායි හි සිටිනා මා මිතුරියක් අමුතුම කථාවක් කීවාය. 

ඊයෙ මාර වැඩේනෙ උනේ අයියෙ. මම වැඩ ඉවරවෙලා වාහනේ ගන්න පාක් එකට යද්දි කාර් එක ලග මිනිහෙක් එයාගෙ ආයුදේ එළියට අරගෙන අත ගගා හිටියා. මම භය වෙච්ච පාර දුවලා ගිහින් ඒ අහල පහල තියෙන මම නිතරම යන ග්‍රොසරියෙ අයට කිව්වම ඒ අය 4 දෙනෙක් දුවලා ඇවිත් අර මිනිහව බිත්තියකට හේත්තු කරලා විස්තර ඇහුවා ඒ කවුරුවත් ලංකාවෙ අය නෙමෙයි....දැක්ක ගමන් මම හිතුවෙ මේ මිනිහා බංගලියෙක් වෙන්න ඇති කියලා. අනේ බැලින්නම් ලංකාවෙ එකෙක්...මට පොළොව පලාගෙන යන්න හිතුනා ග්‍රොසරියෙ උන් ඉස්සරහා. අන්තිමට අර යකා මට වැඳලා, හදිස්සියෙ කැසිල්ලක් ආවා මට සමාවෙන්න මැඩම් කියලා යන්නත් ගියා.

ජැක් කාරයින්ට ලැජ්ජාවක් කියා දෙයක් නැත. ලැජ්ජාවක් තිබුනා නම් ගෑණුන්ගෙ අහනා කුණු බැනුම් වලට, කුඩ කැඩෙන තුරු කන ගුටි බැට වලට නැවත ජැක් ගසන්නේද නැත. ඉස්සර දවසක සිරා කොලුවා ගම්පහ සිට මරදාන දක්වා දුම්රියෙන් ගමන් ගත් බොහෝ අවස්ථාවල ජැක්සන්ලා වැඩ පෙන්වනු දැක තිබේ. ඇතැම් විටෙක කාන්තාවකගේ කෑ කොස්සන් හඬට මොරාල් අප් වෙන අවට සිටින පිරිමි පාර්ශවය ජැක් කරුවාට බඩකට පුරා සළකති. එලෙස ගුටිබැට දෙන උන් අතරද ඇතැම් විටෙක ජැක් කාරයෝ සිටිති.

අල්ලපු ගමේ රොෂාන් කොලුවා මම කලක සිට දන්නා හඳුනන එකෙකි. ඒ අරමුණක් නොමැතිව පාපැදියද සමග සිරා කොලුවා හන්දියේ රැදී සිටි හැන්දෑවකි.

ගම්පහ සිට ජා-ඇල දෙසට ධාවනය වන පුද්ගලික බස් රථයක් හන්දියේ නතර වෙයි. රොෂාන් කොලුවා වෙඩි කෑ ඌරෙකු ලෙස එයින් බැස එක එල්ලේ මා වෙතට පැමිණෙයි.

ගනිං ගනිං ඔය බයිසිකලේ ඉක්මනට යමං බස් එක පිටිපස්සෙ...

මොකද බොල තොට උනේ...කවුරු හරි ගැහුවද ?

නෑ නෑ බං බස් එකේ ජැක් කාරයෙක් ඉඳලා මම ඌ එක්ක ජල්ලියක් ඇල්ලුවා. අපි දෙන්නා බස් එකේ මරාගනිද්දි මිනිස්සු කෑ ගැහුවා තොපි දෙන්නම බැහැපියව් කියලා...වෙලාවට අපේ හන්දිය. නැත්තං මට බහින්න වෙන්නෙ මගින්...පාගපං යකෝ හයියෙන්...ඊලග හෝල්ට් එකෙන් අරූ බහිනවා ෂුවර් ඇන්ඩ් සොට්.

ඉතිං ඒකා මොකද කලේ...වයසක එකෙක්ද?

ඔව් බං වයස 40 කට විතර කිට්ටු ඇති.  ඒකා මල්ලිව එළියට අරගෙන සීට් එකක ඉදගෙන හිටිය අපේ අම්මගෙ වයසෙ වගේ ගෑණු කෙනෙකුගෙ ඇගේ අතුල්ලනවා...ඒ ගෑණි දන්නෙත් නෑ. මට බලාගෙන ඉඳලා යකා වැහුනා. ඊට පස්සෙ තමයි අපි දෙන්නා රණ්ඩුව ඇල්ලුවෙ.

අප ඉදිරියෙන් තරමක් දුරින් උස පුද්ගලයෙකු මහා මාර්ගයේ ඉදිරියට ඇවිදින අයුරු පෙනෙයි.

අන්න අර ඉන්නෙ...ඕකා ගැන තමයි මම කිව්වෙ...නවත්තහං බයිසිකලේ..රොෂාන් කොලුවා බයිසිකලය නවතාලන්නටත් කලියෙන් බිමට පැන ඒකා කරා මාරාවේෂයෙන් දුවයි.

අඩි 6 කට වඩා උසැති මේ හාදයාට දැන් දැන් වෙන්නේ කුමක්දැයි මගේ දෙනෙත විමසිල්ලෙනි.

තෝ තමයි මම හෙව්වෙ...වල් පරයා...අනිත් දවසෙවත් පාඩුවෙ පලයං බස් එකේ...රොෂානයා උඩ පැන ජැක්කාරයාගේ කම්මුලට සැර පහර ගසයි...පටාස් යන ශබ්දයෙන් පළාත ගිගුම් දෙන විට නැවත නැවත උගේ මුහුණටම පහර පිට පහර කීපයක් ලැබුනි. මේ ශබ්දයට අහළ පහල ජනතාව රැස් වන විට ජැකාගේ කටට පණ එයි. මෙතෙක් වේලා ගහන්න එපා යැයි පිංසෙන්ඩු ඌ ජැකා...

ගහන්න මල්ලි තව ගහන්න.....ගුටිකාලා මට මොනවා හරි උනොත් මල්ලි තමයි වගකියන්න ඕනෙ...මම ලෙඩෙක් මල්ලි...

රොෂාන් කොලුවා ආයාසයෙන් නවතාගෙන මම එදා ජැක් කාරයා බේරා ගතිමි. ඉන් සතියකට පසු මට නැවතත් මගේ මිත්තරයා මහ මගදී හමු උනි. 

මාර වැඩක් බොල උනේ....අර එදා මගෙන් ගුටි කාපු ජැක් කාරයා අද ජා-ඇලදි දැක්කනෙ. මිනිහා ට්‍රැෆික් පොලිස් පොරක්...මල මගුලයි කියන්නෙ මගේ බයික් එක උගෙ ලගමයි කහඉරේ නතර උනේ...මාව අඳුන ගත්තා නම් තවම ගුටි කනවා යකෝ. 

සිරා කොලුවාගේ පර්යේෂණ අනුව ඇතැම් විටෙක ජැක් කාරයා පිළිගත් වෘත්තිකයෙකි. ඇතැම් විටෙක විවාහක අයෙකි. එහෙත් ජැක් ගැසීමෙන් පමණක් ලිංගික තෘප්තිය සොයන්නෙකි. මෙවැනි පුද්ගලයන් මනෝ උපදේශනය සඳහා යොමු කිරීමෙන් මේ ගැටළුව විසඳිය හැකි වෙතැයි මට සිතේ. එහෙත් මේ උන්දැලා ඒ සඳහා ප්‍රතිකර්මයක් ලබාගන්නවා වෙනුවට ගෑණුන්ගේ ඇණුම් බැනුම් අසමින් කුඩ පහර, සෙරෙප්පු පහර කමින් ඔබ යනෙන පොදු ප්‍රවාහන මාධ්‍යයක තව දුරටත් යන්නෝ වෙති



මම කාමරේ අරින සිරා කොලුවා. 

Friday, November 21, 2014

93 අරලියා සෙවනක ඔබ සෙව්වෙමි

ඉඳින් හිතවතිය / මිතුරිය / සොයුරිය ඔබ එදා පැතූ ලෙස සුදු අරලියා සෙවනක මම අද නැවතී සිටින්නෙමි. හිරිගඬු නංවන නත්තල් සුළග එදාටත් වැඩියෙන් අද දැනෙනා බවක් මට සිතෙයි. තරුණයකු සන්දියේ මහත් අභිරුචියෙන් විඳගත හැකිව තිබූ මේ සොභාව සෞන්දර්යයට දැන් මගේ ගත අවනත නැති බවක් මට දැනෙයි. බොඳ වූ දෑස් අග්ගිස්සෙන් මම හඳුනන රූප කායක සිහිලස සොයමි. නමුත් හැම තැනකම ඇත්තේ මුලාවයි. යම් ඇදුනුම්කමක් ඇති බව මුලින් දැනුනත් ඒ රූපකාය මා අසලට බිඳෙන් බිඳ ලං වන විට මා එතෙක් වැටී උන් මුලාවේ තරම සිහිපත් වෙයි. ජීවිතය යනු කුමක්ද ? කිසිවෙකුටත් එය කිමෙක්දැයි අර්ථවිවරණයක් කරන්නට නොහැකි වේ යැයි මම තරයේ අදහමි.

අගක් මුලක් නැති කථාවක මුල මැද අග ගලපන්නට දැන් මම වෙහෙසෙමි. අඳින් වසර ගනනාවක ඉතිහාසයකට මගේ සිත ගෙනයන්නට අවස්ථාව එළැඹී තිබේ. මා නිවී සැනසිල්ලේ නැවතී මගේ හිතට නිදහසේ දුවන්නට ඉඩ දුන්නෙමි. මිටින් හල කුරුල්ලෙකු සේ එය අපේ ළමා කාලය තෙක්ම පිම්මේ දුව ගොස් අවසානය.

එකම ගමේ ළගපාත කිට්ටුව නිවෙස් දෙකක අප කුඩා කල සිට අැති දැඩි වූයෙමු. පවුල් දෙක අතර පැවති හිතවත්කමටත් වඩා හිතවත්කමක් අපේ පුංචි හිත්වල තියෙන්නට ඇත. අපි ගුඩු විද්දෙමු. ඔට්ටු දිව්වෙමු. බට්ටො පැන්නෙමු. පෝය දිනයට වැඩිහිටියන් සමග පන්සලටත් ගියෙමු. ඇය වසරකින් පමණක් මා හට බාල වූවාය. ඇගේ අක්කලා තිදෙනාගේ සෙනෙහස ඇය පමණක් නොව මමද ලැබීමි.

පුංචිම කාලයෙන් ඉක්බිති  ළමයින් යනුවෙන් හඳුන්වන අලුත් නාමයක හිමිකරුවෝ වූ පසු ඇයත් මමත් තවත් සමීප වීමු. මේ සමීපත්වයට මේ හාද කමට කියන්නේ කුමන නමක්දැයි කියන්නට මම නොදැන සිටියෙමි. එකේ දෙකේ පන්ති පසුකර මා පහ වසරටද පැමිණියෙමි. කර දඬු උස් මහත් වෙමින් පැවතුනත් අප තවමත් පෙර පරිදිමය.

ඇය දැන් ඉරිදාට දහම් පාසල් යන්නේ මා සමගයි. ඇගේ මැණියන් ඈ මට බාර කලේ පුතේ නංගිව පරිස්සම් කරගෙන එක්කගෙන යන හැටියටයි. කැලෑ පාර නමින් හැඳින්වූ සිහින් සුදු වැලි සහිත මාවතක අප පිය නැගුවෙමු. දහම් පාසල් යන නොයෙක් දෙනා අතර අපි දෙදෙනා තවත් දෙදෙනෙකු වීමු.

හැමදාමත් සුදු මල් වට්ටියක් අතැතිව දහම් පාසල් යන්නට නිවසින් පිටතට එන ඇය අද කඳුලෙනි. ඇගේ මල් ගහේ මල් කවුදෝ සොරාගෙන ගොසිනි. මල් නොමැති හෙයින් විළියෙන් ඇඹරෙන වතු සුද්ද ගහද ඇගේ ශෝකයට එකතු වූවාක් මෙනි. අතු ඉති මඳ සුළගේ නැළවෙන්නේ ඕනෑවට එපාවටය.

මම ඇය සමග අපට සුපුරුදු  සුදු වැලි මගට අවතීර්ණ වීමි. තුරු ලතා සෙවනේ අපේ පටුමග වැටී තිබේ. හදිසියේ මා යමක් දුටුවෙමි. එය ඇයට පෙන්වීමි. ලස්සනයි...ඇය දෙවරක් නොසිතා කීවාය. ඇගේ දෙනෙත් කාන්තියෙන් බබලයි. කදුලින් රතු වූ තැන් සිනහාවෙන්නට පොර කයි.

කඩා දෙන්නද ? මම ඇගේ මුහුණට එබෙමින් ඇසුවෙමි.

පුලුවන්ද ? ඇය පුංචි කොණ්ඩ කරල් දෙක දෙපසට පද්දා ලාලිත්‍යයෙන් විමසුවාය.

බලාගෙන අයියේ...ඇය මගේ වමත ඇගේ දෑතින් තරයේ අල්ලා ගත්තාය. මේ නිස්කලංක උදෑසනේ නෙතට රසඳුනක් බඳු ඕලු මලක්  මම ඈ අත තැබීමි. මුළු විලටම තිබුනේ ඒ මළ පමණකි.  ඕලු මලේ සුවඳ ඇගේ නාස් කුහර තුලට යන්නට ඇත.  

ලස්සනයි....ගොඩාක්....ඇගේ දෙනෙත් සිනාසෙන අරුමය මම විඳගත්තෙමි.

.......................................................................................................

අයියට පෙන්නන්න දහම් පාසලෙන් හම්බවුන තෑග්ග.

ඇගේ මැණීයන් එලෙස  පැවසූයෙන් ඇය ඈ ලද ත්‍යාගය සමග මා කරා දිව ආවාය.

මල් වට්ටියක්...හැමදාම දහම් පාසලට මල් ගෙනාවා කියලා මේක හම්බවුනේ...අයියා එදා අර ඕලු මල කඩලා දුන්නෙ නැත්තං මට මේක ලැබෙන්නෙ නෑ. මතකද ?

මතකයි...මම පිළිවදන් දුන්නෙමි.

කාලයට සමපාතව අප නව යොවුන් වියට එළඹුනෙමු. අලුතින් පීදුනු පොල් මලක් මෙන් ඇගේ ගත මෙන්ම වතද බලා ඉද්දී ඔප වැටුනි. ඇය දැන් රූමත් යුවතියකි. එහෙත් ඇය තවමත් මා අසලම දඟ පාන්නීය. නව යොවුන් වියේ සිටි අප ගමේ ඇරඹුන යෞවන සමාජයක් නිසාවෙන් තව තවත් කිට්ටු වීමු. ගමේ පොදු වැඩ වලදී මෙන්ම දන්සැල් වැනි කාරණාවන් වලදීද අපි එක ලඟ ගැවසුනෙමු. අපේ බැඳීමට තවමත් නමක් නැත.

යෞවන සමාජයෙන් ශ්‍රමදානයක් දියත් කලේ වල් වැදී තිබූ මාර්ගයක් මගී ගමනාගමනයට පහසු වන ලෙස සැකසීමේ අටියෙනි. ඇයත් මමත් එක සේ දහඩිය වැගුරුවෙමු. කැපී වෙන්වුන තණකොළ අතුගෑවෙමු. පස් තුනී කලෙමු. සාමාජික සාමාජිකාවන් අතර අපි තවත් දෙදෙනෙකු පමණක් වීමු.

අපි මේ පාර අයිනේ අරලියා හිටවමුද ? ඇගේ යෝජනාව සියල්ලෝම එකෙනහිම සම්මත කලෝය. සුදු අරලියා දඬු පාර අයිනේ ඉන්දවන විට ඇය ආශා දෑසින් එදෙස බලා සිටියාය.

කවදා හරි දවසක අපි වයසට ගියාම මේ අරලියා ගහක් යට ඉඳන් පොඩි උන් සෙල්ලං කරනවා බලන්න හැකි වෙයි නේද අයියේ...ඇය මා දෙස බලා තෙපලුවාය.

.......................................................................................................

ඒ මා මිත්‍ර අයිය බඩාගේ වැඩිමල් සහෝදරියගේ විවාහ මංගල උත්සවයයි. එහි ජයමංගල ගාථා ගයන්නට වතුර ටැංකිය ලග කොළපැහැති ටයි පටි පාසලේ ඉගෙනුම ලැබූ ඇයටද ආරාධනා කර තිබුනෙන් මා එහි යන විට ඇයද එහි පැමිණ සිටියාය.

තමන්ගේ රාජකාරිය අහවර කොට ඇය කොළ පැහැති දිගු සායකින් සහ කදිම බ්ලවුසයකින් සැරසී අප ඉදිරියට ආවාය. ඇගේ රූ සපුව එතරම් හැඩට මින් පෙර දිනෙක මම දැක නැත. බැලූ බැලූ අත බඹරුන්ගේ නෙත් මේ මළටම යොමු වී තිබේ. මධුවිත බිඳක් තොලගානා විට ඇය ඈතක සිට දෙනෙත් දල්වා මදෙස බලා උන්නාය.

මචං...පොඩි උදව්වක් කරපං...අර උඹලගෙ ගමේ ලස්සන නංගිව ගෙදරට ගිහින් දාලා වරෙන් අනිත් කෙල්ලො ටිකත් එක්ක මේ වාහනේ...මගුලට ගහපු බෑන්ඩ් එකත් මේකෙම යනවා....මට කෙල්ලව තනියම යවන්න බෑ මචං...හැමෝම ඒකිට ට්‍රයි...අයියා බඩා එසේ කීවේය.

මංගල උත්සවයකට සහභාගි වී සිටියත් දිවා ආහාරය ගන්නට ඉඩක් ලැබුනේ නැත. ඇගේ ආරක්ෂාව මගේ වගකීමක් බවට පත් කොට තිබේ. ඇය සහ ජයමංගල කණ්ඩායමේ තවත් යුවතියන් දෙදෙනක් රථයට නැගුනෝය. ඇගේ ආසනයේ තවකෙකුට ඉඳගන්නට ඉඩ තිබේ. වෙනකෙකුට ඒ අවස්ථාව නොදී මම වහා එහි අසුන් ගත්තෙමි.

මා පිටුපසින් සිටින තරුණයන් සියල්ලෝ මෙන්ම වාහනය පදවන තරුණයාද වරින් වර ඇගේ රූ සපුව දෙස බලයි. මට මා ගැනම ආඩම්බරයක් ඇති වෙයි. උන්ට ලං වෙන්නට බැරි මලක් වෙත මම ලං වී සිටිමි. මධුවිතෙන් විකල් වූ මගේ මනෝභාවයන් අද අමුතුම හැගීම් ඇති කරයි. ඇගේ රෝස පැහැ වමත මම මගේ දකුණතින් තරයේ අල්ලා ගතිමි. රිදෙනවා.... ඇය මා දෙස බලා සිනාසුනා පමණෙකි. යුවතිය මගේ කැමැත්තට ඉඩ දුන්නාය. මම ඇය රථයෙන් බසින තුරාවට ඒ අත අත්නොහැරියෙමි. මේ බැඳීමට කියන්නට නමක් තවමත් මම නොදනිමි.

ඇයි අනේ ...........අයියා මේ වෙනකං මට ආදරෙයි කියලා කිව්වෙ නැත්තෙ...එහෙම උනා නම් මම අරයා එක්ක යාලු වෙන්නෙ නෑනෙ...ඇය එදායින් පසු තවත් එකියකට එලෙස කියා තිබුනාය. අප පාසල් ගිය සමයේ බස් රථයේ සිටි ඇගේ යෙහෙලියන් ඇය මා වෙතම පවරා තිබූ බවක්ද ඇය කියා තිබුනාය.

.......................................................................................................

මම දැන් වෘත්තිකයෙකි. මේ කියන කාල සමයේදී ඇය තම ප්‍රේමවන්තයා සමග හොර රහසේම වහං වූවාය. තවත් මඳ කාලයකින් ඇය කුලී නිවෙසක වෙසෙන බව මා හට සැළ විය. ඇගේ මෑණියන් දුම්මල වරම අතට ගත් කපුවෙකු මෙන් තම බාල දියණියට ශාප කලාය. පවුලට කල මේ නව නිංගිරාව නිසා ඇයව දැඩිව පිළිකුල් කලාය. 

ඇගේ ස්වාමියා ජාත්‍යන්තර නැවක රාජකාරී කල තැනැත්තෙකු නිසා ඉතා ඉක්මනින් විශාල මුදලක් ඉපයුවේය. නව නිවසක් තනා අවසන ඇයට නවීන මෝටර් රථයක් පරිත්‍යාග කරන්නට තරම් ඔහු ආර්ථික ශක්තියෙන් යුතු වූවේය.

ඇය වෙත දෝශාරෝපණය කල කිසිවෙකු දැන් නැත. ඇය නවතම මෝටර් රථයෙන් සිය සහෝදරියන්, දෙමාපියන් බලන්නට එන කලෙක මා හා ඇගේ නෙතු සම්මුඛ වෙයි. ඇගේ රථයට සහ මගේ දුප්පත් ස්කූටරයට අපගේ නිවෙස් වෙත ගමන් කිරීමට ඇති අතුරු මාර්ගයේ එකවර දෙපසට මාරු වෙන්නට නොහැක. මම බිම බලාගෙන ඉඩ ඇති තැනක් සොයා පසු පසට යන්නෙමි. ඇය සිනාමුසු මුහුණින් මා දෙස බලා ඉදිරියට ආවාය.

කාලයේ ඇවෑමෙන් ඇය දියණියක සහ පුතෙකු මෙලොවට දායාද කලාය. නිතරම සිනාමුසුව සිටි ඇගේ වත තවමත් පෙරදා වාගේමය. ඇගේ රූ සපුව තවමත් එලෙසමය.  එහෙත් මා ඇගේ අතින් ඇල්ලූ දා සිටම ඇය සමග වචනයක් දොඩන්නට මගේ සිතට දිරියක් නැත. 

කාලය අස්ප වේගයෙන් ඉගිලී ගොසිනි. මම මැදින් මසකදී ලංකාවට ආයුබොවන් කිීවෙමි. ඇය පෙනෙන මානයෙන් නික්මුනෙමි. වසරක දෙකක සිට කුමක්දෝ රෝගී තත්වයකට ඇය ප්‍රතිකාර ලබන බවක් මා ඒ වෙද්දී අසා තිබුනෙමි.

දන්නවද වැඩක්, .....................නංගි නැති උනානෙ හදිස්සියේ....මගේ මව ශෝක ජනක පුවතක් ඒ වසරේ වෙසක් මස මා හමුවේ තැබුවාය. දියණියක්, පුත්‍රයෙක්, සැමියෙක් තනිකොට ඇය ජීවන ගමනෙන් සමුගෙන ගොසිනි. ඇගේ අවසන් කටයුතු වලට හෝ සහභාගි වන්නට නොහැකි තැන මම නොරටක සිට චිත්ත රූප මැව්වෙමි. කුඩා උන් සන්දියේ සිට අප කල කී දෑ, එක්ව දහම් පාසල් ගිය අතීතය මෙනෙහි කලෙමි.

එදායින් පසු වසර තිහ හතලිහක් ගෙවෙන්නට ඇත. පාර අද්දර සුදු අරලියා ගසේ සුදු මල් පොකුරු දෙපසට වැනෙයි. කවදා හෝ දිනක අරලියා සෙවණක හිඳ මිත්තණියක ලෙස කුඩා උන් කෙලිදෙලෙන් පසුවන අයුරු දකින්නට හීන මැවූ අැය, අරලියා ගස පාර අද්දරට කැඳවූ ඇය, ඒ හීන සමගින්ම පස් යට සැතපෙන බව අරලියා ගස දන්නේ නැත. එය එසේ වී නම් ඒ සුදු මල් පොකුරු ඇය වෙනුවෙන් අරලියා ගසෙන් උපන්නේ යැයි ලෝකයා කියනු ඇත.

මේ බියකරු සංසාර ගමනේ තවත් එක් නැවතුමකදී ඔබ මා හමුවිය. නැවත මතු දිනෙක, අලුත් ඉසව්වකදී නැවුම් යුවලක් සේ ඔබ මා  යලිත් හමුවනු ඇත. එතෙක් ඔබට සුභ ගමන් හිතවතිය / මිතුරිය / සොයුරිය.



මම කාමරේ අරින සිරා කොලුවා.

Wednesday, November 19, 2014

103 ඉංග්‍රීසි සෑර් නිසා කුජීත වූ සිරා කොලුවා

ඉංග්‍රීසි සෑර් සමග සිරා කොලුවාට තිබුනු ගණුදෙනුව කවර ආකාරයේ එකක්දැයි මම දැන් ඔබට තරමක් දුරට වටහා දී හමාරය. එහෙත් මේ සටහන් කියවාගෙන යන ඇතමෙකුට ඇති වී තිබූ ගැටලු අතර සිරා කොලුවා රහමෙර පානය කර නිවසට පැමිණෙන විට මාපියන්ට හසු වූයේ නැතිද යන්න ප්‍රධාන විය. ඒ සඳහා පිළිතුරක් මෙන්ම ඉංග්‍රීසි සෑර් හා සම්බන්ධ තවත් මතක සටහන් සමගින් මේ ලියවිල්ල අරඹන්නට කැස කවමි.

කලින් පලවූ කොටස් මෙන්න. 1 කොටස  2 කොටස

ඉංග්‍රීසි පන්ති යාමෙන් පසු කොලුවා නිවසට එන්නට ප්‍රමාද වන බව මගේ දෙමාපියන්ට සෑහෙන දොහක සිට වැටහී තිබුනි. බොඳවූ දෑසින් නිවස පේනතෙක් මානයට පැමිණි පසු එතැන් සිට පුරුෂ ශක්තිය සිරුරට කාවද්දාගෙන වැනෙන්නේ නැතිව නිවසට යන්නට මා උත්සාහ කල අයුරු මට මැවී පෙනෙයි. එහෙත් පියා මෙන් නොව මගේ මව ඉතාම සූක්ෂම කෙනෙකි. ඇය නිවසට පැමිණි පසු මා හට තනිවන්නට ඉඩ නොදුන්නාය. ප්‍රමාදයට කාරණා ආදිය විමසා මගේ මුහුණ අසලට ඇගේ මුහුණ ගෙනවිත් ඉව අල්ලයි. නැතිනම් ඇසිපිය හෙළන වේගය දෙස බලා සිටියි. එවැනි වෙලාවට මම හුස්ම නොගෙනම සිටියෙමි.

අපේ නිවසේ මගේ කාමරය පිහිටා ඇත්තේ නිවසේ ප්‍රධාන දොරට හසුනොවන සේ එයට පිටතින් ඉස්තෝප්පුවට යාබදවය. කාමරයේ දොර වසා දමා එහි යතුර මා අත තිබෙන නිසා ප්‍රමාද වූ විටෙක දුරකථන ඇමතුමක් ලබා දී පැමිණෙන්නට ප්‍රමාද වන බව දන්වා තිබූ කලෙක මා වෙනුවෙන් දොර විවෘත කරන්නට කිසිවෙකු අවදියෙන් රැදී සිටිය යුතු නැත. ඇතැම් දිනෙක මධ්‍යම රාත්‍රිය පසුවී නිවෙසට පැමිණෙන විට කිසිවෙකු අවදියෙන් නොමැති නිසා මා පැමිණියේ කුමන වේලාවටදැයි දකින්නට කිසිවෙකු සිටියේ නැත. එහෙත් පසුදා උදෑසනම මවගේ ප්‍රශ්න වැළකට උත්තර බඳින්නට සිදු වේ.

නගා කොලුවාගේ පියා මගේ පියාගේ හිතවතෙකි. එක් දිනක් මහ මඟ මේ දෙපල හමුවීමෙන් පසු නඟාගේ පියා පවසා ඇත්තේ සෑර් සමග ගිය බව පවසමින් නඟා ඇතැම් දිනෙක රෑ බෝ වී පැමිණෙන බව හා මත්පැන් ගඳක් වහනය වන බවකි.

මේ කියන දිනයද සෑර්ගෙන් Where Are You ? කෙටි පණිවිඩය ජංගම දුරබණුවට ලැබූ දිනයකි. වල නමින් හඳුන්වන ගම්පහ නගරයේ පිහිටා ඇති ප්‍රසිද්ධ ආපන ශාලාවේ සිට මම ඉංග්‍රීසි සෑර් සමග තුන් කාලක් පමණ හිස් කලෙමි. භාගයෙන් ආරම්භ කලද ඒ වන විට අපේ බේබඳුකම උඩුදුවා තිබූ නිසා තුන්කාලක් උව අපහසුතාවකින් තොරව බොක්කට හලාගත හැකි තරමට සිරා කොලුවා දියුණු වී සිටියේය.

සාදය අවසන් වූ පසු අපේ හන්දිය දක්වා වෑන් රථයෙන් ප්‍රවාහන පහසුකම් දීම සෑර්ගේ සිරිතයි. මම බොඳවූ දෑස පොඩිකරමින් නිවෙස බලා ඇඳුනෙමි. පුදුමයකි. මධ්‍යම රාත්‍රියට ආසන්න වුවද එදින කිසිවෙකුත් නිදි නොමැතිව මගේ ආගමනය බලා සිටින සෙයක් දුරතියා දුටුවෙමි. මගේ හදගැස්ම තීව්ර වෙයි.

මේකාව හදන්න බෑ...මේ සෑර් එක්ක තියෙන ආශ්‍රය නැති කරලා දාන්න ඕනෙ...අර නඟාගෙ තාත්තත් කිව්වා සෑර් එක්ක ගිහින් ඒකා බීලා එන කථාවක්...තාත්තාගේ කටහඬ මට දුරතියා ඇසෙයි.

කොහෙද ගියේ...ගෙට ගොඩවෙන්නට ලැබුනේ නැත. වෙනදාට තාත්තා මේ තරම් රෞද්‍ර නැත. එහෙත් අද අම්මා විසින් විෂපොවා තාත්තා පෙරමුණට එවා ඇත.

බස් පරක්කු උනා...මම වෙනදා අරින තඩි මුචලින්ද නාගයෙකු අත හැරියෙමි.

බොරු කියන්න එපා. ඔය බස් ඕනෙ තරම් ගියේ....

අපේ හන්දියේ බස් රථයක් නවතා, නැවත එය ධාවනය වන්නට පටන් ගන්නා විට එන්ජිමෙන් නැගෙන සැර හඬ රාත්තිරියට නිවෙසට හොඳින් ඇසේ.

බොරු නෙමෙයි..මම ගොඩාක් වෙලා හිටගෙන හිටියා කොළඹ ඉඳන් ඇවිල්ලා.
තාත්තා මා කරා අවුත් මගේ සියොලග විනිවිද යන බැල්මක් හෙලා මගේ පුසුඹ බැලීය.

මේකා බීලා ඉන්නෙ.
තාත්තා අවසන් නිගමනය අම්මාට දුන්නේය. ඇය දැන් පරල වී සෑර්ගෙන් පටන්ගෙන නඟා දක්වාම බැන වදින්නීය.

කොච්චර කිව්වත් රෑ ගමන් නවත්තන්න බෑ...අම්මා දෙස් දෙයි.

තාත්තා මා කරා ක්ෂණිකව ලං වී දකුණත ඔසවනවා යන්තමට දුටිමි. අසල සිටි මයෙ මලයා ඊළගට සිදුවෙන්නට යන දේ වේලාසනින් දැක ඉක්මනින් ඉදිරියට පැණ තාත්තාගේ බාහුවක එල්ලුනත් ඔහුද සමග තාත්තාගේ හැඩිදැඩි දකුණත මා කරා ආවේය. තරු පොකුරක් පනින තරමේ දැවැන්ත පහරක් මගේ වම් කම්මුල මත පතිත විය. සිරා කොලුවාට ඉතාම කලාතුරකින් දඬුවම් කර ඇති තාත්තා විසින් එදා මෙදා තුර මා හට එල්ල කල දරුණුම පහර එයයි. තරුණ කල කරාටේ ක්‍රීඩකයෙකු වූ තාත්තා වර්තමානයේ වුවද අපට වඩා ඉහළ බාහු බලයකින් යුතු කෙනෙකි.

නෙප්චූන් කෝකද, ප්ලූටෝ කෝකද, හේලිගේ වල්ගාතරුව කෝකදැයි මට නිච්චියයක් නැත. මන්දාකිනී එකට පැටලී වල්ගාතරු සමග පෙම් කරනවා වැනිය. මම අපහසුවෙන් කාමරයට වැදී දොර වසාගතිමි. තාත්තා සමග අම්මා දැඩිව බැණ වදින ආකාරය ඇසෙයි.



ගන්න කෝල් එකක්...කියන්න සෑර්ගෙ ගෙදරට අම්මා යෝජනා කරයි.

ඒ අවසරයෙන් තාත්තා නිවසේ දුරබණුවේ රිසීවරය අතට ගන්නා හඬ මට යන්තමට ඇසෙයි. එහා කොනෙන් සම්බන්ධ වන්නට ඇත්තේ අපේ සෑර්ගේ ප්‍රිය බිරිඳ විය යුතුය.

කෝ සෑර් ගෙදර නැද්ද...මට සෑර්ට කථා කරන්න ඕනෙ...ආ...පන්ති ගිහින් තාම ආවෙ නැද්ද....මම මේ කථා කලේ ........ ගෙ තාත්තා සෑර් අපේ ළමයි එක්කගෙන ගිහිල්ලා බොන්න දෙනවනෙ....ඒක හරිම වැරදි වැඩක්...පොඩ්ඩක් තේරුම් කරලා දෙන්න.

සිරා කොලුවා කුජීත වූ දිනයක් ඒ ආකාරයෙන් අවසන් වුවද අපේ රාත්‍රී මධු සාදවල අවසානය එය නම් නොවීය. සෑර් නිසා භාෂාව පැත්තෙන් අප ලද දියුණුවක් වූයෙන් සෑර් නැති තැන කෙසේ කීවත් ඔහු හදිසියේ හෝ අප නිවෙසට ගොඩවැදුනු වේලාවට අම්මා වෙනසකින් තොරව කථා බහ කලාය.

සෑර්ගේ බෙංගො වෑන් කොටයේ පින්තාරු කර තිබූ නියෝන් කොළ පැහැයෙන් යුතු වාහන ඉතා දුලබ විය. ඒ නිසා වාහනය දුරතියා එනවිට එහි ශබ්දයෙන් මෙන්ම දර්ශනයෙන්ද සෑර් පැමිණෙන බව දැනගන්නට ලැබෙයි.

එය සතියේ මැද දිනයකි. නිවාඩු දවසකි. වේලාව සවස 6 පමණ වන්නට ඇත. සෑර් නිවෙසට පැමිණ තිබේ.

සෑර් වාඩි වෙන්න අම්මා පෙරමගට ආවාය.

නෑ කමක් නෑ...මම මේ ආවෙ අපේ ටීවී එක කැඩිලා....මේ ලග ටීවී හදන හොඳ කෙනෙක් ඉන්නවා කියලා මෙයා කිව්වා. එයාව හම්බවෙන්න යන්න...සෑර් වැඩි හොදට රථයේ පිටුපස තබා තිබෙන රූපවාහිනී යන්ත්‍රය පෙන්වයි. අම්මාද රථය තුලට වීදුරුවෙන් එබී බලා ඇත්ත ලෙසම එහි රූපවාහිනියක් තිබෙන නිසා මට ඔහු හා යන්නට අවසර දෙයි. සෑර් රථය හන්දියෙන් හරවන්නේ රූපවාහිනී අලුත්වැඩියාවන් සිදු කරනා පුද්ගලයා සිටිනා දෙසට නොවෙයි.

ඔහෙට නෙමෙයි අනිත් පැත්තට හරවන්න...ටීවී හදන කෙනා ඉන්නෙ අනිත් පැත්තෙ...මම සෑර්ට කීවෙමි.

මොන ටීවී ද අයිසෙ..මම මේ ඩ්‍රින්ක් එකක් දාන්න යන්න ආවෙ. බලනවකො ඔය ටීවී එකේ මදයක් නෑ...සෑර්ගේ මුවෙන් හීන් හිනාවක් මතුවෙයි.

සැබෑ ලෙසම රූපවාහිනියේ මඳය නැත. සිරාකොලුවා නිවසින් පිටතට ගැනීමට සෑර් කර ඇති රඟපෑමක තරම හැබෑට.

තවත් දිනෙක ඔහු ආවේ වෑන් රථයට ටයර් කීපයක් මිළදී ගැනීමට යන බව පවසමිනි. එදාද ඔහු මිළදීගත් ටයරයක් නැත.

සිව්දෙනාම එක්වරකට සැට් වෙන අවස්ථාවක් උදාවූ කල තත්වය වෙනස්ය. එවන් විටෙක අපි ගම්පහින් තරමක් දුරට ගියෙමු. බොහෝ විට මෙවැනි ගමන් වලදී මත්පැන් පානය අතරතුර සෑර් වනිගයා සමග පැටලෙයි. ඒ විවිධ වාද විවාද නිසාය. කෙසේ හෝ මත්පැන නිමවා නැවත නිවෙස් බලා එන අතරතුරද වෑන් රථයේදී වනිගයා සමග උණුසුම් වාද විවාද ඇති වෙයි. කෝපය ඉහවහා ගිය තැන සෑර් රථය නවත්වයි.

බැහැපං බිමට...ඒ වෙලාවට සෑර්ව අස්වසන්නට තැත්කර පළක් නැත.

වනිගයා බිමට බසියි..දැන් උඹට කැමති එකක වරෙං....එසේ පවසා සෑර් රථය ඉදිරියට ධාවනය කරයි. මඳ දුරක් යන විට

අරූ පව් නේද...ත්‍රී වීල් එකකවත් එන්න සල්ලි තියෙනවද දන්නෙ නෑ...එසේ කියන සෑර් අප නිවෙස් වලින් බස්සවා නැවත වනිගයා සොයා යයි.

වරක් අප ගම්පෙදෙස ගිලගත් දරුණු ගංවතුරකි. හතර අතින් ජලයෙන් වටවී තිබෙන වටපිටාවක ප්‍රධාන මාර්ගයේ බස්රථ ධාවනය වන්නේද නැත.

මොකද වෙන්නෙ ඔය පැත්තට...සෑර්ගෙන් මගේ ජංගම දුරබණුවට ඇමතුමකි.

මොනවා වෙන්නද සෑර් අපිට හොඳටම ගං වතුර....

ඇඟ රත්කරගන්න මම මොනවා හරි අරගෙන එන්නද ? අරුන් තුන්දෙනාටත් මම කථා කරන්නම් සෑර් එසේ පවසයි...මගෙන් පිළිතුරක් නැත.

පැයක් දෙකක් ගත වෙන්නට ඇත. නඟාගෙන් ඇමතුමකි. මෙන්න සෑර් ඇවිල්ලා බෝතලේකුත් අරගෙන...වරෙන් ඇනිකට් එක ලගට....

මා එහි යන විට සෑර් නත්තල් සීයා මෙන් අපට තෑගි භෝගද රැගෙන පැමිණ සිටියේය. වයිට් ලේබල් බෝතලයක්...ආනමාලු ඇවරියක්...බිත්තර ආප්ප කීපයක් එහි විය. කලිසමේ කකුල් දෙක උඩට නමාගෙන ගංවතුර මැද ගම්පහ නගරයේ සිට කිලෝමීටර් 4 කට මඳක් වැඩි දුරක් පාද යාත්‍රාවෙන්ම ගෙවාදමා සෑර් එහි පැමිණ තිබුනි.

අතීතයේදී අපි නිවාඩු දින බොහොමයකදීම අඩියක් ගැසුවෙමු. එයට පොහෝ දින පවා ඇතුලත් විය. එක් වසරක වෙසක් උත්සවයද උදා වූවේය. මට මතක විදියට වෙසක් දිනයට පසු දිනයයි. සෑර් අපට කිව්වේ රාත්තිරියට වෙසක් බලන්නට කොළඹ යන්නට රථයෙන් එන බවත් සූජානම් වී සිටින ලෙසත්ය.

සෑර්ගේ පෙර වැරදි තිබුනද වෙසක් සඳ යට වැරැද්දක් සිදු නොකරනු ඇතැයි යන විශ්වාසයෙන් අපේ නිවෙසින් ගමනට අවසර ලැබුනි. රථය තුල මට අමතරව නඟා, පුෂ්පයා, වනිගයා සහ මයෙ මලයාද විය. මයෙ මලයා අපට පසුව සෑර්ගේ පන්ති ගිය නිසා හිතවත්කමක් තිබුනි. නමුත් මධුවිත සඳහා මලයාට ආරාධනාවක් ලැබුනේ ඉතාම කළාතුරකිනි.

කොළඹ නගර මධ්‍යයේ ඒ වන විට ඉඳිකර තිබූ තොරණ නැරඹීමට අප කථිකාවේ යෙදෙමින් තිබූ වටපිටාවක රථය ගාළු මුවදොරට සේන්දු විය.

ඇයි සෑර් තොරණ් බලන්න යන්නෙ නැද්ද ? අපි විමසුවෙමු.

මොන තොරණ්ද...අඩියක් ගහලා ගෙදර යනවා මිසක...

ගාළු මුවදොර පිටියේ මත්පැන් පානය තහනම් නිසා අඳුරු මුල්ලක බෝතලය හිස්කොට අප දැන් නැවත නිවෙස් බලා යන්නෙමු. නමුත් හැමටම බඩු මදිය.

මගේ බාස්කට්බෝල් කෝච් සුනිල් අයියා හිටියෙ කඳානෙ. මම ඉස්සර ගෙදර ගිහින් තියෙනවා..සෑර් පවසයි. සුනිල් අයියාගෙන් කොටයක් ඉල්ලාගන්නට සෑර් තීරණය කර තිබෙන්නේ වෙසක් නිසා තවමත් බාර් වසා දමා ඇති හෙයිනි.

සුනිල් අයියාගේ නිවෙස සොයාගන්නට අපට සෑහෙන වෙලාවක් ගතවිය. සෑර් එහි මෙවර පැමිණෙන්නේ වසර 18 කට පසුවය. එයද කොටයක් ලබා ගැනීමටය.

අප යන විට නිවැසියන් සිටියේ තද නින්දේ වුවද සුනිල් අයියේ යනුවෙන් වාරයක් දෙකක් කථා කල විට විදුලි පහනක් දැල්විනි. නිවසේ දොර විවෘත කර ඉවතට ආ තැනැත්තා සුනිල් අයියා විය.

අම්මේ බං උඹව දැක්ක කල්....කොච්චර කාලෙකට පස්සෙද....මේ මහ රෑ කොහෙ යන ගමන්ද...සුනිල් අයියා අපේ සෑර්ව එක එල්ලේ හඳුනාගත්තේය.

ආගිය තොරතුරු කථා කිරීමෙන් පසු සෑර් මාතෘකාවට බැස්සේය.

සුනිල් අයියා කොටයක් නැද්ද ? බඩු මදි උනා....වෙසක් නිසා හැමතැනම වහලා...

පොඩ්ඩක් ඉඳහංකො...පෙරේදා කඩපු ගල් භාගයක් තිබුනා දෙන්න...

සුනිල් අයියාගේ ගල් භාගයෙන් මඳි හරිය පුරවාගෙන, වෙසක් අසිරියෙන් නෙතු පුරවාගෙන බමන මතින් අපි එදිනත් නිවෙස් වෙත සේන්දු වූයෙමු.


මම කාමරේ අරින සිරා කොලුවා.



ප.ලි

එක හුස්මට අපේ ඉංග්‍රීසි සෑර් පිළිබඳව ලිපි 3 ලිව්වෙමි. මේ ලිපි කීපය පුරාවටම ඇත්තේ සුරාවයි. සිරා කොලුවා වන මට හංගන්නට දෙයක් නැත. අපි අතීතයේ සැබෑ ලෙසම කල කී දෑ ලියන නිසා සුරාව වැඩි වී තිබේ. අතීතයේදී නිතර නිතර මධුවිතෙන් සප්පායම් වුවද පසුකාලයේ එය මසකට වතාවක් තරමට සීමා විය.

සිරා කොලුවා අද තනිකඩ ජීවියෙකු ලෙස නොරටක සිටියද, මත්පැන් පානයෙන් පසු බැණ වදින්නට, ගුටිබැට දෙන්නට දෙමාපියන් ලග සිටියේ නැති වුවද මධුවිත සමග මගේ ළඟ ආශ්‍රයක් දැන් නැත.මධුවිතක් හැමවිටම රසවත් වන්නේ, බෝතලය හිස්වන අතර තුර මිතුරන් සමග කරනා කථා බහෙනි. බොක්කෙ මිතුරන් නැති මැලේසියාවක සිට තනිව රහමෙර පානයට සිරා කොලුවා අකමැති නිසා මේ ශීලය සමාදන්ව සිටිමි.

සෑර් ගැන ලියන්නට තවත් බොහෝ දේ තිබේ. වර්තමානයේදී වුවත් එතුමා සහ අප අතර සුහදතාව ගිලිහී නැත.ඇතැම් විනෝද චාරිකාවක් අතරතුර සිදු වූ රසවත් සිදුවීම් මේ ලිපියට ලියන්නට නොහැකි විය. ඒවා සහ තවත් දෑ ඉදිරි දිනයක ලියමි. එතෙක් අපේ ඉංග්‍රීසි සෑර්ට සමුදෙමි.

Sunday, November 16, 2014

57 හපුතලේ ගමන සහ ඉංග්‍රීසි සෑර්

කලින් ලිපියෙන් බොලා අපේ ඉංග්‍රීසි සෑර් ගැන කියවූ නිසාම දැන් මේ චරිතය ගැන යම් දැනුමක් කියවන ඇත්තන්ට එකදු පහදු වී ඇති යැයි මගේ අක්මාව මට සන් කරයි. ඒ ඔස්සේ අතීතයට සිත මෙහෙයවමින් ඉංග්‍රීසි සෑර් සහ අප අතර තිබූ ඒ අකලංක ගුරු ගෝල සබඳතාවේ නැවුම් තොරතුරු සමුදායක් ඔබට තිළිණ කරන්නට කාමරයේ ලෑලි දොරට පයින් ගසා විවර කළෙමි.

දැන් දැන් ඉරිදා දිනයන්හි පන්ති ගියද පන්තියේ ඉගැන්වීමක් නැත. සෑර් අපගේ ආගමනය බලාගෙන සිටින්නේ වාහනයට අප පටවාගෙන කොහේ හෝ තැනක නැවතී මධුවිතෙන් සප්පායම් වීමේ පරම පිවිතුරු චේතනාවෙනි. ඒ සඳහා සියලු බරපැන ඒ උත්තමයා දරන කල්හි අපගේ කැඳ නැති මුදල් පසුම්බි එළියට අදින්නට උවමනා වූයේ නැත.

සෑර් හැමදාමත් කැමති වූයේ ජලාශයක් අසබඩ සිට මධුවිතෙන් බොකු බඩවැල් සනහාගන්නටය. මඳ පවනේ දඟ පානා දියරැලිති දෙස කෙතරම් වේලා බලා සිටියත් නෙතු දෑල විඩාවට පත් නොවෙති. ඒ දසුනට මම දැනුදු පෙම් කරමි. සෑර්ගේ කැමැත්ත අපේ කැමැත්ත වීමට වැඩි කාලයක් ගියේ නැත. අපටද ජල තලයක් ලග නැති එළිමහනේ තැනක රහමෙර පානය අලස අත්දැකීමකි.

කීකරු සිසුන් මෙන් සෑම ඉරිදා දිනකම අපි පන්ති යන්නෙමු.  අප ගේට්ටුවෙන් ඇතුලු වෙන විටෙම සෑර්ගේ මුහුනේ මන්දස්මිතියක් පැන නැගෙයි. එතැනින්ම අපගේ ගමන අඩපණ කරන හෙතෙම තාප්පයට පිටතින් නවතා තිබෙන නියෝන් කොළ පැහැති මැස්ඩා බොංගො කොට මොඩලයට අප පටවති. එයින් අනතුරුව රථය නවතින්නේ ගම්පහ නගරයේ සුපිරි වෙළඳසැලක් අසලයි. එයින් මිළදී ගන්නා ද්‍රව්‍යයන්ගෙන් අපගේ ඉරිදා සන්ධ්‍යාව වර්ණවත් වෙයි.

යක්කල පසුකර නිට්ටඹුව දෙසට යන විට හමුවෙන මහවිට ජල යෝජනා ක්‍රමය අසල අප රුපියල් ලක්ෂයකට වඩා සෑර්ගේ මුදල් වියදම් කර ඇතුවාට සැක නැත. ඒ තරම් වාර ගනනක් අප එහිදී මධුවිතෙන් සන්තර්පණය වී ඇත්තෙමු. අද මේවා මතක් කරන විට මගේ අක්මාව, වකුගඩු ඒ කාලයේ මේකා දුන් වදයක් යැයි සිතමින් වැළපෙනවා විය යුතුය.

ඉරිදා දිනයේ සවස 2 කණිසමට පැවැත්වූ අපගේ ඉංග්‍රීසි පන්තිය බෝතලයට යට වී ක්‍රියා විරහිත වන තැනට පත් වූ පසු බොහෝ වෙලාවට අප සිව්දෙනාම පන්ති පැමිණියේ එහෙමත් දවසක බැව් මට මතකය. ඉරිදාට නිවෙසට වී අක්කාගේ කටයුත්තකට සහාය වීමට වනිගයා ප්‍රිය විය. නිවසේ එකම පිරිමියා වූ පන්සල් හන්දියේ පුෂ්පෙ නිවසේ දර අවශ්‍යතාව වෙනුවෙන් ලොකු දර කොටයක් පැලීමට ඉරිදා සන්ධ්‍යාව යොදා ගත්තේය. මෙවැනි වගකීම් තිබුනේ නැති මමත් නගාත් ඉංග්‍රීසි පොත කිහිල්ලේ ගසාගෙන පන්ති ගියෙමු.

එවන් විටෙක අනිත් උන් දෙන්නා කෙසේ හෝ එකතු කරගෙන ගමන යන්නට සෑර් රිසි විය. අප දෙදෙනා රථයේ නංවාගෙන පන්ති නොපැමිණි උන්ගේ නිවෙස් අසලට පැමිණ මධුවිත සොයා යන යුගය ඇරඹුනේ ඒ අකාරයෙනි. මෙලෙස කාලය ගත වෙද්දී අප හදවත් තුල බුර බුරා නැගුන ගැටලුව වූයේ සෑර් කොලු කාරයෙකුද යන්නයි. කෙදිනකවත් එවැනි උත්සාහයක් දරා නොතිබුනද අපගේ සිත් ඒ ගැන සැකයෙන් පෝෂණය වී තිබුනි.

තවත් මඳ කාලයක් ගත වන විට වෘත්තීය ජීවිත වලට එළැඹුනු අප හතර දෙනා එක් තැනකදී අල්ලාගන්නට තිබූ අපහසුතාව නිසා සෑර් සියල්ලන් සමග බෝතලයක් හිස් කරනවා වෙනුවට අහුවෙන එකෙකු සමග භාගයක් හිස්කිරීමේ අලුත් පිම්මක් පැන්නේය. අද මා සමග මේ ගමන ගියා නම් ඊලග සතියේ යන්නේ වෙනත් එකෙකු සමගිනි. එවැනි දවසක සෑර්ගෙන් ජංගම දුරබණුවට කෙටි පණිවිඩයක් ලැබේ. Where are you ? යනුවෙන් එහි සටහන් වෙයි. ඒ පණිවිඩය දුටු පමණින් ඊලඟ ජවනිකාව සිතා ගැනීමට අපට අපහසු වූයේ නැත.

සෑර් සමග වෑන් රථය තුල තනිව ගමන් ගන්නා විටෙක මගේ හදවත පෙර කියූ සිතුවිල්ලෙන් පීඩාවට පත්වූ වාර ගණනාවකි. භාගය හිස් කොට මහ රෑ නැවත නිවෙස බලා පැමිණෙන විට වාහන මෙන්ම පදිකයන්ද අඩු මහා මාර්ගයක් අභියස ඔහුට බොහෝ නිදහස තිබේ.

මේ සිතුවිල්ල අනිත් උන්ටත් පොදු වූ නිසාම අප එක්වූ තැනක කථා කලේ ඉංග්‍රීසි සෑර්ගේ මේ අමුතුම ක්‍රියාකලාපය ගැනමය.

ඇයි බං මේ වගේ සල්ලි වියදම් කර කර අපිව ගෙදරටම ඇවිල්ලා එක්කගෙන ගිහිං බොන්න අරං දෙන්නෙ. සෑර්ගෙ හිතේ මොනවා තියෙනවද දන්නෙ නෑ...එවැනි විටෙක අප එලෙස කථිකා කලෙමු.

කෙසේ හෝ ඒ වන විට අපගේ ඉංග්‍රීසි සෑර් අප නිවෙස් හතරේම හිතවතෙකු වී සිටි නිසා නිවෙස් වෙත පැමිණීමට බාධාවක් තිබුනේ නැත. එවැනි වටපිටාවක සෑර් පුංචි පහේ චාරිකාවක් සංවිධානය කලේය. ඔහුගේම රථයේ මේ ගමන යන්නට තීන්දු විය. සෑර් පිළිබඳ පැවති විශ්වාසය නිසා නිවෙස් වලින් තහනම් නියෝග පැමිණියේ නැත. අප තිදෙනෙකු සහ සෑර් පමණක් ගමනට සහභාගි වන්නට නියමිතය.

කොළඹ බදුල්ල මාර්ගයේ දැන් රථය ධාවනය වෙයි. රාත්‍රිය ගත කරන්නට නිෂ්චිත ස්ථානයක් සැලසුම් කොට නැත. ඒ අවස්ථාවට අනුව තැනක් තෝරා ගැනිම සෑර්ගේ බලාපොරොත්තුවයි. හපුතලේ නගරයට පිවිසෙන්නට කලියෙන් සෑර්ගේ ආරාධනයෙන් සියල්ලන්ටම ලැබුනේ තෝසෙ සංග්‍රහයකි. මේ ගමනටද සියලුම බරපැණ සෑර්ගෙන් නිසා අපේ සාක්කු වලට බරක් නැත.

සාම්බාරු සමග ආමාෂ ගත වූ තෝසෙ අපේ නගා කොලුවා තුල ඇතිකර තිබුනේ කදිම විපර්යාසයකි. ඒකාට බොක සිග්නල් වැදී තිබේ.

සෑර් පොඩ්ඩක් අල්ලන්කො වාහනේ බොකක් දාන්න පුලුවන් තැනකට...නගා දෙපසට ඇඹරෙමින් වෑන් රථයේ පසුපස කලාපයේ සිට හඬ අවදි කරයි. එහෙත් ඒකාගේ බස කිසිවෙකු කනකට නොගනියි. රථය එක එල්ලේ හපුතලේ දෙසට ධාවනය වෙයි.

විනාඩියෙන් විනාඩිය නගාගේ මුහුණ විළියෙන් බර වෙයි. අත මිට මෙළවෙයි. නැවත දිග හැරෙයි. තොල් සඟල උල් වෙයි...නැවත හැකිලෙයි.

මට අමාරුයි බොල කොහෙ හරි තැනක නවත්තපංකො වනිගෙ....සෑර් සමග ඉදිරි අසුනේ සිටින වනිගයාගෙන් නඟා කොලුවා සහනයක් අයදියි.

එහෙත් කිසිම හාවක් හූවක් නැත. රථය තවමත් ධාවනය වෙයි. ඉවසාගෙන සිට ඉන්නම බැරි තැන නඟාට මහ සොහොනා ආරූඩ විය.

තොපි වාහනේ නවත්තන්නෙ නැත්තං මම මේ සීට් එක උඩ රෙනවා....උක්කුටික ඉරියව්වෙන් පසුපස ආසනය උඩ නැග සිටින නඟා දුටු සෑර් භූමිතෙල් පොල්කට්ටක් වැදුන ගැරඩියෙකු සේ භයෙන් භීරාන්තව ඒ අසන්නයේම තිබූ කුඩා හෝටලයක් බදු තැනක වාහනය නතර කරන අයුරුත්...උසේන් බෝල්ටත් වඩා වේගයෙන් ඉනෙන් පහලට කඩා හැලෙන ඩෙනිමත් අල්ලාගෙන කසිප්පු සොයන්නට ආ පොලෝසිය මගහැර යන කසිප්පු කාරයෙකු සිහිපත් කරමින්  හෝටලය කරා දුවනා නගා කොලුවාගේ දසුනත් අප වෙත එකතු කල උපහාසයේ රස මිහිර මට තවමත් දැනෙනවා වාගේය.

නගාගේ බොකට පින්සිදු වෙන්නට අපට රාත්‍රී නවාතැන හමුවී තිබේ....එකල එහි බිම් මහලේ තිබුනේ කාමර 3 පමණි. උඩු මහල අවන්හලකි. කාමරය ඉදිරියේ කුඩා කොරිඩෝවකි. දුම්රිය ස්ථානවල ඇති පැරණි පන්නයේ හාන්සි පුටු සිහිපත් කරනා දිග පුටුවක් බැගින් සෑම කාමරයකටම ඉදිරියෙන් තබා තිබුනි. කොරිඩෝවට එපිටින් ක්‍රම ක්‍රමයෙන් බෑවුම් වන තේ වත්ත විශාල දුරකට විහිදෙයි. මා මෙතෙක් විනෝද චාරිකාවකදී නවාතැන්ගෙන ඇති ස්ථාන වලින් ඉතාම සොඳුරු තැන මේ යැයි කීම වරදක් නැත. හැන්දෑවේ 6 කණිසම වන විට වලාකුළු පාවෙන්නේ අතේ දුරිනි. එහි ඇති සිසිලත්...ස්වභාව ධර්මයේ චමත්කාරයත් නිසාම මේ ස්ථානයේ කීප වතාවක්ම මේ ගමනින් පසු නවාතැන් ගෙන තිබේ.

දැන් ඉතින් අපගේ භීතිය උත්සන්න වන අවස්ථාවට අප එළැඹී තිබේ. කාමරයේ ඇත්තේ ඇඳන් දෙකකි. පුෂ්පයා ගමනට සහභාගි නොවූ නිසා පිරිස 4 දෙනෙකි. ඒ අනුව දෙන්නා බැගින් යහන් දෙකේ නිදාගත හැකිය. මමත් වනිගයාත් සෑර්ගේ ඇඳ වෙත නගා කොලුවා පන්නා දමන්නට උත්සාහ කලද ඒකා කූඩැල්ලෙක් කකුලේ එල්ලි ලේ බොන ආකාරය සිහිපත් කරමින් අප සිටි ඇඳ බදාගත් වනමය. ඉංග්‍රීසි සෑර් අපගේ පතිවත කෙළසාවි යැයි ඇති භීතිය නිසාම අපි තිදෙනාම එක ඇඳක රැදී ඉන්නට තීරණය කළෙමු. මේ දසුනින් සෑර් හට අධික කෝපයක් උපන්නේය.

තොපි 3 දෙනා එක ඇඳක මැරෙන්න හදන්නෙ යකෝ මම මොකෙක් කියලා හිතලද...

සෑර් ඉංග්‍රීසි සිංහල ද්වි භාෂාවෙන්ම බැණ වදියි. ඔහුගේ කෝපය ඉහවහා ගොසිනි. අපේ අැඳ මත තිබූ වැල් ජොකුන් සෑර්ගේ හස්තයේ බලයෙන් කොරිඩෝවෙන් එපිට මහා ප්‍රපාතයකට විසිවෙයි. එහෙත් ඒ වෙලාවේ තිබූ ප්‍රචණ්ඩ සුළඟ නිසාම ඒවා බූමරංගයක් මෙන් නැවත කාමරය වෙතම නිරුපද්‍රිතව ලගා වෙයි. සෑර්ට දැන්නම් මල උපරිමයෙනි. සිරා කොලුවා වන මට මේ දසුන දැක හඬන්නටදැයි සිනා වෙන්නටදැයි සිතා ගත නොහැකි වූ බැව් මතකය.

කෙසේ හෝ සෑර් සන්සුන් වන තෙක් සිට දවාලේ මිළදී ගත් බ්‍රැන්ඩි බෝතලයට බැට දීම ආරම්භ වූයෙන් චාරිකාව නරක එකක් වූයේ නැත. රහමෙරින් මඳින් මඳ සන්තර්පණය වන විට මෙතෙක් කල් අපේ උන්ගේ සිත් පෙලූ කාරණය සෑර්ගෙන් එක එල්ලේ විමසන්නට තරමේ දහිරියක් සිරා කොලුවාගේ සිත වෙළාගෙන ඇති සෙයකි.

ඇයි සෑර් අපිට මේ විදියට වියදම් කරලා බොන්න දීලා ට්‍රිප් අරගෙන ඇවිල්ලා සෑර් මොනවද බලාපොරොත්තු වෙන්නෙ...සෑර් කොලුකාර-----?

මගේ ප්‍රශ්නයෙන් සෑර් හපමින් සිටි  රට කජ්ජක් මුවෙන් ඉවතට පැන්නේය. ඔහු තිගැස්සී සිටියේය.

මෙච්චර කල් මාව ආශ්‍රය කරලා තමුසෙලා එහෙමද හිතාන ඉන්නෙ....හෙක් හෙක්...සෑර් ඔලොක්කුවට මෙන් සිනහා වෙයි.

එහෙම එකක් නෑ අයිසෙ...මට එහෙම උවමනාවක් තියෙනවා නම් මෙච්චර වියදම් කරගෙන බොන්න දෙන්න, ට්‍රිප් අරගෙන යන්න උවමනා නෑ.

මම ඉස්කෝලෙ යන කාලෙ හොස්ටල් එකේ නතර වෙලා ඉගෙන ගත්තෙ. මගේ දෙමාපියො ගොඩාක් නීති දාලා මාව හැදුවෙ. මම තරුණ වයසට එද්දි උඹලට වගේ කිසිම විනෝදයක් තිබුනෙ නෑ. කොටින්ම මට බොන්න කන්න යාලුවො මුණ ගැහෙන්න ඒ වයසෙදි ලැබුනෙම නෑ.

මගේ පන්තියට ඇවිල්ලා ටික කාලයක් ගත වෙද්දි...මට උඹලව දැනුනෙ පුතාලා නැති මට පුතාලා වගේ....තව ටික කාලයක් යද්දි දැනුනා යාලුවො ටිකක් වගේ. අන්න ඊට පස්සෙ තමයි මට ඒ කාලෙදි කරන්න බැරිවෙච්ච දේවල් උඹලා එක්ක කරන්න හිතුනෙ. මම ඔයාලා එක්ක ඉන්න වෙලාවට හිතින් මගේ අතීතයට යනවා. නැතුව ඔය උඹලා හිතාගෙන ඉන්න දේවල් හින්දා නෙමෙයි.

අපට සෑර් ගැන අැතිවූයේ අනුකම්පාවකි. මෙවැනි පුද්ගලයෙකු දෙස වපර ඇසකින් බැලූ අප ගැන කළකිරීමකි. එහෙත් අපේ සමාජයේ මෙවැනි ගුරු ගෝල හැසිරීමක් බාහිරව දකිනා කවරෙකු වුවද අප එල්බගත් මතයේම සිටිනවා නියතය.

පන්ති කාමරයෙන් ඉැගැනීමට නොහැකි වූ බොහෝ දේ ඔහු අපට කියා දුන්නේය. අප සියල්ලෝම වාහන පැදවීමේ මූලිකාංග උගනිමින් ඒ සඳහා අත්පොත් තැබුවේ සෑර්ගේ රථයෙනි. විටෙක ඔහු වැඩිහිටියෙකි. විටෙක ගුරුවරයෙකි. විටෙක මිතුරෙකි. අපගේ ප්‍රේම කථා වල විප්‍රයෝගය මෙන්ම රස මුසු තැන්ද අසා සිටිමින් අපට උපදෙස් දුන්නේද මේ කියන සෑර්මය. සමාජය පිළිබද, වෘත්තීය ජීවිතය ගැන, පවුලක් තුල අපගේ වගකීම් ගැන අප හොඳ දැනුමක් ලබා ගත්තේ මේ චරිතය නිසාය. ඇතැම් විටෙක රැකියාවක් සඳහා අප මුහුණ දිය යුතු වූ සම්මුඛ පරීක්ෂණ කරා වුව ඔහු අප කැටුව ආවේය.

හපුතලේ චාරිකාවෙන් පසු සෑර්ගේ පවුලේ ප්‍රිය සම්භාෂණ ආදියට අප කැඳවාගත් හෙතෙම ඔහුගේ ඥාති ජන සමූහයා වෙත මෙන්ම මහනුවර ප්‍රදේශයේ වෙසෙන බිරින්දෑගේ පාර්ශවයේ ඥාතීන් වෙතද අප සැම හඳුන්වා දුන්නේය. ඉන් ඉක්බිති ඔහු හා අපේ ඇසුර වඩාත් ශක්තිමත් වූ හෙයින්ම අපට විනෝද චාරිකා වලින්ද අඩුවක් වූයේ නැත. එවැනි චාරිකා කීපයකි. එහෙත් සෑර් සමග එක්වී අපේ කොල්ලන් රහමෙර පානය කරන බව අපේ මහ උන්දැලාට වැටහෙමින් තිබුනි. ඒ සඳහා ඒ අය ගත් ක්‍රියාමාර්ග සහ විනෝද චාරිකා ආශ්‍රිත රස මුසු තැන් පිළිබද මීළග ලිපියෙන් කියමි. අදට හමාර කරමි.


මම කාමරේ අරින සිරා කොලුවා.



ප.ලි

හපුතලේ අපේ නවාතැන වර්තමානයේ එය පවතින ආකාරයෙන් එකල මොඩ් වී තිබුනේ නැත.

Tuesday, November 11, 2014

65 සිරාගේ ඉංග්‍රීසි සෑර්

සිරා කොලුවා ඇතුලු උගේ මිත්තර නඩය උ/පෙ ලියා අවසන් කල කාල වකවානුව වන විට කඩ්ඩ පොලිෂ් වී තිබුනේ මඳ වශයෙනි. අනාගතයේ එල්ලවිය හැකි අභියෝග මෙන්ම, කිච වීම්, සාටර් වීම්, කොළඹ නංගිලා ඉදිරියේ ගොළු වීම් ආදී ගැටලු නිමක් නොමැති විය හැකි යැයි අපේ අක්මා වලට වේලාසනම දැනුන හෙයින් පාසල් ගමන අවසන් වන කල්හි අපි ඉංග්‍රීසි පන්ති ගාටන්නට පටන් ගත්තෙමු.

අදින් දශකයකටත් එහා කාල වකවානුවක් වුවද වර්තමානයේ මෙන්ම අකුලක් අකුලක් පාසා ඉංග්‍රීසි පන්ති හතු පිපෙන්නා මෙන් බිහි වී තිබූ වටපිටාවක ඉංග්‍රීසි කථන හැකියාව ලබාගත හැකි හොඳ පන්තියක් සෙවීම අපගේ ඒකායන පැතුම විය.

මේ අතර තුර පන්සලේ කථාවෙන් ඔබට සම්මුඛ වූ වනිගයාගේ වැඩිමල් සොයුරිය අපට දුන්නේ කදිම ඔත්තුවකි.

මල්ලි ඔයාලා ඉංග්‍රීසි පන්තියක් නම් හොයන්නෙ හොඳ සෑර් කෙනෙක් ඉන්නවා. ගෙදරමයි උගන්වන්නෙ...ගිහිල්ලා බලලා එන්න. මගේ යාලුවෙක් විස්තරේ දුන්නෙ. එයා ලන්ඩන් වල ඉන්නෙ.

අක්කාගේ ඔත්තුවෙන් ඔද වැඩී ගිය වනිගයා මෙන්ම පන්සල් හන්දියේ පුෂ්පෙ කොලුවාද ඒ සති අන්තයේ සෑර් හමුවීමට ගොස් අපගේ අවශ්‍යතාව සැළ කලෙන් ඊලග සතියේ සිට ඉරිදා සවස 2 කණිසමේ සිට අප වෙනුවෙන් අපේ කියා හෝරා දෙකක් වෙන් විය.

මේ කියන සෑර් පන්ති කරන්නේ පුද්ගලික කණ්ඩායම් වශයෙනි. ඒ අනුව මමත් වනිගයාත්, පුෂ්පෙ කොලුවාත් දැන් පන්ති යන්නට සූජානමෙනි. සෑර්ගේ නිවසේ පන්ති පවත්වන්නට වෙනම ස්ථානයක් උඩුමහලක් ආකාරයෙන් තනා තිබේ. එහි සිට පන්ති පවත්වන විට නිවැසියන්ගෙන් කිසිම බාධාවක් නැත. වෙනත් සිසුන් නොමැති නිසා අපට ඉතා නිදහසේ අපගේ කාර්යය කරගත හැකි වීම ඉතාම වටිනා සාධකයක් බව අපට පන්තියට සහභාගි වූ පළමු දිනයේම වැටහී අන්ඩස්ටෑන්ඩ් විය.

පෙම්වතිය ඉදිරියේ හද්දා ලෙස කිච වූ නගා කොලුවා මේ පන්තියට ආවේ මාස දෙක තුනක් ගිය පසු බැව් මට මතකය.

සෑර්ට ලස්සන දුවලා ඉන්නවා යැයි ගං කෙබරයක් අත ඇර මේකා පන්ති ගෙන්වාගත් අප ඒකා පන්තියට පැමිණ තරුණ යුවතියන් පිළිබඳ විමසන කල සෑර්ගේ කුඩා දූ වරුන් දෙදෙනා පෙන්වීමු.

පළමු මාස 6 ක පමණ කාලය තුල අප සියල්ලෝ සැළකියු යුතු තරමේ දියුණුවක් ලැබුවෙමු. හෝරාවක පමණ කාලයක් කථනය වෙනුවෙනුත්, ඉංග්‍රීසි ව්‍යාකරණ වෙනුවෙන් තවත් හෝරාවකුත් ලෙස දෙහෝරාව දෙකට පලා තිබුනි.

මාසය අන්තිමට තමන්ගේ ගාස්තුව අය කරගන්නා සෑර් පුෂ්පෙ කොලුවාගේ පොතේ අන්තිම පිටුවේ ඒ වගට අත්සනක් තබයි.

අපේ ඉංග්‍රීසි සෑර් ක්‍රිස්තියානි භක්තිකයෙකි. ඔයින් මෙයින් ඒ වසරේ නත්තලද උදා වී තිබුනි. උපන්ගෙයි බඩජාරියෙක් වන වනිගයා එක් දිනක් පන්තිය නිම වන අවස්ථාවේ ඇඟට පතට නොදැනී සෑර්ගෙන් විමසා සිටියේ අපට නත්තල් නැතිද යනුවෙනි.



කවුද Liquor ගන්නෙ...සෑර් අපෙන් අසයි. අරක්කු බොන කිසිවෙකු නැත.

කවුද බියර් බොන්නෙ. ගුරු භක්තිය හා මුසුවුන මානසික අවපීඩන තත්වයකින් සිටින නිසාදේ එකෙකුවත් බියර් බොන්නේද නැත.

අයියෝ අයිසෙ...මොනවත් බොන්නෙ නැත්තං මොනවද මම පාටියට දෙන්නෙ ? සෑර් වනිගයාගෙන් අසයි.

බේබදු නගා උගේ වාචාල කට ඇරියේය.

අරක්කු ටිකක් නම් අවුලකුත් නෑ.....නේද බං පුෂ්පෙ......(කකුල පා ගමින්...හා කියපියකො...දෙකක් නමාගන්න තියෙන චෑන්ස් එක යකෝ..)

ආ...ඔව් ඔව් සෑර්....අරක්කු ටිකක් නම් අවුලක් නෑ....පුෂ්පයාගේ කටටද පණ එයි.

ටිකක් කිව්වෙ කාලෙ බෝතලයක් 4 දෙනාටම ඇතිද...අනිත් උන් දෙන්නත් බොනවද ? සෑර්ගේ මුහුණේ මන්දස්මිතියක් ඇඳී තිබේ.

මූණු ටික බැලුවම පේනවා බේබද්දො කියලා...හරි හරි...නගිනවලකො වාහනේට...මම එන්නම් කාමරේට ගිහින්.

මිදුලේ තිබූ සෑර්ගේ කොළ පැහැති මැස්ඩා බොංගෝ කොට මොඩලයට නැගුන අප ගම්පහ තානායමේ නතර විය.

තූර්ය වාදක ඛණ්ඩයේ සිටි  කාලයේ නාන ලිං අස්සේ...තාප්ප මුල්ලේ...මදුරුවන් තලමින් බයිසන් ෂැන්ඩියට බිත්තර ආප්ප වාටියක් කමින් ගල් අරක්කු ගිල දැමූ සිරා කොලුවා දැන්  ප්‍රථම වරට මහත්තයෙක් මෙන් රහමෙර බොන්නට යන බවක් දැනී මගේ චිත්ත සන්තානය හිරිවැටී ඔකඳ වී ගොසිනි. මෙවැනි තැනක බොන්නට රැකියා නොකරන අපට මුදල් තිබුනේ නැත. පල්ලෙහා දෙකේ සිට සියල්ල අතගා අමාරුවෙන් හොයාගන්නා රුපියල් දහය පහළව වියදම් කර ගල් බෝතලයකට එහා දෙයක් ගන්නට එකල අපට හැකියාවක් තිබුනේද නැත. අවසානයේ බෝතලය මිළදී ගන්නා විට..එයට දායක වූ පිරිස 10 කට වැඩිය. බෝතලය හිස් වන විට පිරිස වැඩි නිසා කිසිවෙකුට කික් එකක්ද නැත.

සෑර් නත්තල් සීතල කැපෙන්නටදෝ හොඳවායින් බ්‍රැන්ඩියක් ඇණවුම් කලේය.

මොනවද බයිට් එකට ගන්නේ...ෆ්‍රයිඩ් චිකන් ගන්නද ? සෑර් අපෙන් අසයි.

මුනිවත හොඳයි දෙබසින් දුක වැඩි හන්දා යැයි අපට සිතුන නිසා අපි නිහඬවම සිටියෙමු. සෑර් ඔහුට හිතෙනා ලෙසට ඇණවුම් කල බයිට් වර්ග කීපයකින් අප අසුන් ගෙන සිටින රවුම් වීදුරු මේසය වැසී ගියේය.

මගේ මිතුරන් හැම දෙනාටම අමාරුවෙන් අරක්කු උගුරක් තොල ගෑ අතීත මතකය අලුත් වන්නට ඇත. මෙවැනි ස්ථානයක, මෙවැනි මිළ අධික මත්පැනකින් සන්තර්පණය වන්නට යන මේ ආනන්දජනක අවස්ථාවේ සියල්ලෝම සතුටිනි.

සාදය අවසානයේ අපට නිවෙස් දක්වාම ප්‍රවාහන පහසුකම් සැපයීමටද අපගේ ඉංග්‍රීසි සෑර් උත්සුක විය. එ් හේතුවෙන් අතුරු ආන්තරාවකින් තොරව නිවෙස් බලා යන්නට අපට හැකි විය.

මට හැමදාමත් කියන්නට නොහැකිය. කාලය ගත වන්නේ ටික් ටික් හඬිනි. අපගේ ඉංග්‍රීසි පන්තිය, ගුරුවරයා මෙන්ම ඉංග්‍රීසි වචනද දැන් අපට බොහෝ හුරු පුරුදුය. මගේ මතකය අනුව ඒ මාසයේ අවසන් ඉරිදාවයි. හෝරා දෙකක කාලය ගත වී අප නිවෙස් බලා යන්නට සූජානමෙනි. අපගේ ගාස්තුව ගෙවා සෑර්ගේ අත්සන ලබා ගැනීමට පුෂ්පෙ කොලුවා වෙහෙසෙයි..

ගෙදර ගිහිල්ලා මොකද කරන්නෙ අද....සෑර් විමසයි...

මට වහලෙ උළු වගයක් හදන්න තියෙනවා උඩ නැගලා...පුෂ්පයා පවසයි.

මට අක්කා එක්ක එයාගෙ ගවුමක් මහන්න දීපු එකක් ගේන්න යන්න තියෙනවා...වනිගයාද සවස් වරුවේ කාර්ය බහුලය.

එතකොට ඔය දෙන්නා...සෑර්ගේ යුග දෙනෙත මටත් නගාටත් සම්මුඛ වෙයි.

අපිට නම් මොකුත් නෑ නේද බං...නගා කෝල සිනාවක් සභාවට එකතු කරයි...

එහෙනං ඔය දෙන්නා යන්න.  මම මේ බැලුවෙ අද පන්ති ඉවරවෙලා ඩ්‍රින්ක් එකක් ගන්න කියලා...ඊලගට තියෙන පන්තිය අද කැන්සල්.

ආ....නේ එහෙම කියන්න එපායැ සෑර්....වහළෙ කවදා හදාගන්න බැරිද...මොකද මේ දවස් වල වහින එකක් කියලයැ...පුෂ්පයාගේ මුවෙන් කෝපි මල් පාටට සිනා පොකුරක් පිට පනියි.

අක්කගෙ ගවුම මම හිතන්නෙ හෙට ගත්තත් ඇති...කමක් නෑ සෑර්...ඒක අවුලක් නෑ...වනිගයාද තම කපටි මොළය වෙහෙසවා ඇති සෙයකි.

මේ කියන දවසේ අපගේ නවාතැන වූයේ රුවන්වැල්ල ප්‍රදේශයේ රබර් වත්තකි. ගම්පහ නගරයේ නැති අමුතුම සිසිලත්...රබර් වතු යායේ දර්ශනයත්  නෙතට එක් කලේ කදිම මිහිරකි. සෑර්ගේ බොංගෝ කොටයට එකල රුපියල් 200 ක ඩීසල් ගැසූ පසු ඒකා දුවන්නේ ඩීසල් සුවඳටය. ඒ නිසා මේ ආකාරයේ ගමන් බිමන් වලින් අනාගතයේදී අපට කිසි අඩුපාඩුවක් නොවීය.

මුලදී මාසයකට වතාවක් සෑර්ගෙන් මධු බඳුනක් හිස් කරන්නට ඇරයුම් ලැබුනි. තවත් කල් යත්ම එය සති දෙකකට වතාවක් බවට සංශෝධනය විය. තවත් මඳ කාලයක් ඇවෑමෙන් සතියක් පාසා සෑර්ගේ කරුණාබර අනුග්‍රහයෙන් අරක්කු සුට්ටක් තොල ගා ගෙදර යන්නට අපට අවකාශය එලැඹුනි. මේ මහානර්ඝ අවස්ථාව පැහැර හරින්නට එකෙකුවත් සූජානම් වූයේ නැත. මේ කාලය වන විට සෑර් අපගෙන් පන්ති කිරීම වෙනුවෙන් මුදල් අයකලේද නැත. ඔහුගේ පවුලේ සමීපතම ඥාතීන් තරමට අප හතර දෙනා පත්ව තිබීමත් එයට හේතුවක් වන්නට ඇත.

තවත් මාස දෙක තුනක් යන විට ඉංග්‍රීසි පන්තිය පැවැත්වුනේම නැත. අප එනතුරු සෑර් මග බලා සිටින්නේ බොන්න යන්නටය. ඒ වෙනුවෙන් ඔහුගේ වාහනය සූජානම්ය. අපට තිබෙන්නේ පන්තිය දෙස නොබලා වාහනයට ගොඩ වීම පමණි.

ඒ කාලයේ සෑර් අතිරේක පන්ති මගින් සැළකිය යුතු ආදායමක් ඉපයූ කෙනෙකි. ඔහුගේ කාලසටහනේ කොතැනකවත් අලුතින් පන්තියක් ආරම්භ කිරීමට ඉඩක් තිබුනේ නැත.  අපගේ කාල සීමාව අවසන් වන විට ඊලගට නියමිත පන්තිය ඇතැම් විටෙක වෙනත් නිවෙසක පැවැත්වෙන එකකි. සෑර්ගේ ප්‍රමාදය දෙස බලා සිට ගෙහිමියෝ සෑර්ගේ ජංගම දුරබණුවට අමතති.

සෑර් අද පන්තියට එන්නේ නැද්ද...?

ආ...සොරි මිසිස් නාකන්දල....මම මේ අපේ ඥාතියෙකුගේ මළ ගෙදරකට ආවා හදිසියේම...පුතාට කියන්න අපි ලබන සතියෙ පැයක් වැඩිපුර කරමු කියලා....

සෑර් සැබෑ ලෙස සිටින්නේ අප සමග රුවන්වැල්ලේ රබර් ඉඩමේ පහලින් ගලායන කුඩා දිය පහරක් අසළය. ඔහු අරින මුචලින්ද තරමේ නාගයන් දෙස අපි දෑස් අයා බලා සිටින්නෙමු. බෝතලය කෙමෙන් කෙමෙන් පල්ලම් බසී. හැමදාම මෙන් අදත් ඉස්සෙල්ලාම වැනෙන්නේ නගාය.

ඒකාට මධුවිත ශරීරය හා  මුසු වන විට ගාය වැඩිවෙයි. එක තැනක ඉන්නට බැරිය. නගා හදිසියේ මා තල්ලු කලේ අසල වූ කුඩා දිය පහර වෙතය. ඒ අවසරයෙන් මගේ හඩු ඩෙනිම් කලිසම තෙත බරිත වූවේය.

කලිසම වේලාගෙන මිසක නැවත ගෙදර යන්නට නම් බැරිය. බෝතලය හිස් වූ පසු සෑර් කීවේ මට වෑන් රථයේ ඉදිරියට ගොඩවෙන ලෙසය. ඔහු වායු සමීකරණ යන්ත්‍රයෙන් සීතල වෙනුවට රස්නය ඇති කලේය. වීදුරු සියල්ල වසා දමා ගිණි ගින්දරේ රථය ධාවනය වෙයි. ඉදිරි අසුනේ සිටින සිරාගේ ඉහින් කනින් දාඩිය පිට වෙයි. ඒ ක්‍රමයෙන් යම් තරමකට ඩෙනිම වේලා ජාමෙ බේරා ගන්නට එදා මට හැකි විය.

මේ ආකාරයෙන් අපගේ ඉංග්‍රීසි සෑර් අප එතෙක් නොදැක තිබූ ලොවක් වෙත අප කෙමෙන් කෙමෙන් රැගෙන ගියේය. සතියකට වරක් ඔහුගේ වියදමෙන් ලග නමාගත්තා හැරෙන්නට වෙනත් වරදක් අප අතින් සිදු වූයේ නැත.

සෑර් සහ අප හතර දෙනා අතර සබඳතාව ශක්තිමත්ව වැඩෙද්දී අපි අපිට ඇති වූයේ අමුතුම ගැටලුවකි.

ඇයි බන් සෑර් මේ විදියට අපිට වියදම් කරන්නෙ. සෑර් කොලු කාරයෙක්ද දන්නෙත් නෑ.  උඹ පරිස්සම් වෙයං නගෝ... 

එතෙක් කල් අප හද පතුලේ බුර බුරා නැගුන ප්‍රශ්නයක් කාගේ හෝ ශ්‍රී මුඛයෙන් පිටවී අවසානය. ඉන් අනතුරුව සිදු වූයේ කුමක්ද...සෑර් යනු එවැනි චරිතයක්ද...නගාගේ පතිවත කෙලෙසුනේද ? රැදෙන්න...සිරාගේ කාමරය සමග...


මම කාමරේ අරින සිරා කොලුවා.


Friday, November 7, 2014

107 දුක දිනූ බිලියන පතියෝ

දුප්පතෙකු වී ඉපදීම ඔබගේ වරදක් නොවූවත්, දුප්පතෙකු සේ මියයාම ඔබේ වරදකි යන්න ප්‍රසිද්ධ කියමනකි. මේ කියමනේ හිමිකාරයා වර්තමාන ලෝකයේ ඉහළම ධනවතා බව බොහෝ දෙනා නොදන්නා කාරණයක් වන්නට පුලුවන. දෙමාපියන් එතරම් වත් පොහොසත් කම් ඇති අය නොවුනත් තමන්ගේ මහන්සියෙන් ධනය රැස්කර ධනවතෙකු වීමට එය බාධාවක් නොවේ යන්න මේ වාක්‍යය තුල සැඟවුන අරුත වෙයි. මේ කාරණය ඔප්පු කරනා සත්‍ය කථා ප්‍රවෘත්ති සිය දහස් ගනනක් අප වෙසෙනා සමාජය දෙස විමසිලිමත් දෑසින් බැලූ කලෙක ඔබට සොයාගත හැකි වනු ඇත.

නවලෝක / දාස / සිද්ධාලේප / ගොඩගේ / මැලිබන් / DSI / හරිස්චන්ද්‍ර/ වැනි ව්‍යාපාරිකයන් මේ කාරණය ලක් පොළවේ සිට සාක්ෂාත් කල ඇත්තෝ බවට දෙස් දෙති. ජාලයෙන් පෙරලා සිරා කොලුවා වන මම අද ඔබට කියන්නට යන්නේ එලෙස දුප්පත් කමේ පතුලේ සිට ලක්ෂපතියන්, දශ ලක්ෂපතියන් හෝ කෝටිපතියන් වූ මිනිසුන් ගැන නොව ලෝක මට්ටමේ ධනවතුන් ලෙස වර්තමානයේ වැජඹෙන දුක දිනූ බිලියන පතියන් කිහිප දෙනෙකු පිළිබද තොරතුරු කීපයකි. මේ අය වෙසෙන්නේ ඇමරිකා එක්සත් ජනපදයේය.

මෙවැනි මිනිසුන් පිළිබඳ ලොවට හෙළිකරන්නේ සුප්‍රසිද්ධ ෆෝබ්ස් සගරාවයි. ඒ අනුව 2014 වර්ෂය සඳහා ඇමරිකාවේ ඉහළම ධනවතුන් 400 ලැයිස්තුව මෙම සඟරාව මගින් පසුගිය සැප්තැම්බරයේදි හෙළිදරව් කලා.


400 සමාජයට ඇතුලු වීම සඳහා මේ වසරේදී තිබිය යුතු වූ අවම වත්කම වූයේ ඇමරිකානු ඩොලර් බිලියන 1.55 ක්. මේ අගය වසරින් වසර ඉහළට යන්නේ දිනෙන් දින විවිධ පුද්ගලයන් මේ කියන 400 සමාජයට අලුතෙන් එකතු වන නිසයි. ගිය වසරේදී 400 සමාජයට එකතු වන්නට අවශ්‍ය වූ අවම වත්කම් ප්‍රමාණයේ වටිනාකම වූයේ ඇමරිකානු ඩොලර් බිලියන 1.3 ක්. ෆෝබ්ස් සඟරාව මේ 400 ලැයිස්තුව සකසන්නේ 1982 තරම් වූ කාලයක සිටයි. පසුගිය වසරේදී 400 සමාජය තුල සිටි ධනවතුන්ගෙන් 113 දෙනෙකු තම ස්ථාන වෙනස් නොවී රැක ගන්නට සමත් වී තිබෙනවා.

මේ ලැයිස්තුවේ පළමු ස්ථානය උසුලන්නේ කවරෙකුදැයි ඔබට අමුතුවෙන් මතක් කල යුතු වන්නේ නැත. ඔහු මයික්‍රොසොෆ්ට් ප්‍රධාන විධායක බිල් ගේට්ස් නම් වෙයි. මේ ගේට්ස් 400 ලැයිස්තුව පිට පිටම නියෝජනය කරන 21 වෙනි වසරයි. ඩොලර් බිලියන 81 ක් ඔහුගේ වත්කම ලෙස මේ වසරේදී ගනන් බලා තිබේ.



බිල් ගේට්ස්ගේ මිත්‍රයෙකු වන වොරන් බෆට් මේ ලැයිස්තුවේ දෙවැනි ස්ථානයේ වැජබෙන්නේ 2001 වසරේ සිටයි. Berkshire Hathaway හි ප්‍රධාන විධායක තනතුර හෙතෙම දරයි. වොරන් බෆට්ගේ සමස්ත වත්කම ඇමරිකානු ඩොලර් බිලියන 67 ක් බවට 2014 දී ගනන් බලා තිබේ.


සුප්‍රසිද්ධ Oracle මෘදුකාංග සමාගමේ ප්‍රධාන විධායක ලැරී එලිසන් 400 ලැයිස්තුවේ තෙවන තැන උසුලන්නේ ඇමරිකානු ඩොලර් බිලියන 50 ක වත්කමක් අතැතිවය.

නිව්යෝර්ක් නගරයේ උපත ලද ඔහු තමා හදාවඩාගත් මෑණියන්ගේ මරණයෙන් පසුව එතෙක් ඉගෙන ගන්නා ලද විද්‍යාලයෙන් නෙරපා හරින ලද අතර එතැන් සිට වසර 8ක් පුරා සුළු සුළු රැකියා කරමින් ජීවිතය ගැට ගසාගත් චරිතයකි. 1977 වසරේදී Oracle මෘදුකාංග සමාගම පිහිටුවා ජයග්‍රාහී ගමනක ආරම්භය සනිටුහන් කරන්නට ලැරී එලිසන් අවසානයේදී සමත් උනා.


ෆේස් බුක් සමාජ ජාලයේ නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් මේ ලැයිස්තුවට අනුව සිටින්නේ 11 වන තැනයි. නමුත් ඇමරිකානු බිලියන පතියන් 400 අතර වේගයෙන් ඉදිරියට එන තරුණ ව්‍යාපාරිකයා බවට අද දවසේ ඔහු පත්ව සිටියි. ඔහුගේ වත්කම ඇමරිකානු ඩොලර් බිලියන 34 කි. මෙයින් ගත වූ වසර තුල පමණක් ඩොලර් බිලියන 15 ක වත්කමක් ඉපයීමට සකර්බර්ග් සමත් වී තිබේ. සමාජ ජාලා වෙබ් අඩවි කොටස් මිළ සීඝ්‍රයෙන් ඉහළ ගිය වටපිටාවක ඔහු මේ ආදායමට හිමිකම් කියා ඇත.

Mark Zuckerberg
ප්‍රතිශතයක් ලෙස තමන්ගේ සමස්ත ධනය 200% කින් පසුගිය වසර තුල ඉහළ නංවාගෙන ඇති Go Pro නැමති සිරුරේ  පැළදිය හැකි වීඩියෝ කැමරා නිෂ්පාදන සමාගමේ හිමිකරු නික් වුඩ්මන් දැන් ඇමරිකානු ඩොලර් බිලියන 3.9 ක හිමිකරුවෙකි.

Nick Woodman
මේ වසරේ බිලියන පතියන් 400 දෙනාගේ සමස්ත වත්කම් වල එකතුව ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 2.29 කි. එය පසුගිය වසරට වඩා ඩොලර් බිලියන 270 ක වර්ධනයක් ලබා තිබේ. එය මිලියන 200 ක ජනතාව වෙසෙන බ්‍රසීලයේ දළ ජාතික නිෂ්පාදනයට සමාන වෙයි. ගිය වසරේදී මේ 400 දෙනාගේ ලැයිස්තුවේ සිටි ධනවතුන්ගෙන් 26 දෙනෙකුට මේ වසරේදී තම ස්ථාන අහිමි වී තිබේ. තවත් 6 දෙනෙකු යළි නොඑන ගමන් ගොසිනි. මේ ලැයිස්තුවට අලුතින් 27 දෙනෙකු එකතු වී තිබෙන අතර අවුරුදු 30 ක් වයසැති එලිසබෙත් හෝම්ස් 400 ලැයිස්තුවේ සිටින ලාබාලතම බිලියනපතිනිය වී තිබේ. ඇගේ වත්කම ඩොලර් බිලියන 4.5 කි.

Elizabeth Holmes
ඇමරිකාවේ ධනපතියන් 400 ලැයිස්තුව පිළිබද සාරාංශය එපරිදිය. මේ අය අතර දුප්පතුන් ලෙස ඉපදී දුක දිනා ධනවතුන් වූ චරිත කීපයකි. ඒ අයගෙන් ඇතමෙකු ගැන තොරතුරු මෙතැන් සිට සංක්ශිප්තව ඉදිරිපත් කරමි.
Jan Koum
Jan Koum  කියන්නෙ වට්ස් අප් නැමති සමාජ ජාල අඩවියේ නිර්මාතෘවරයා. 37 හැවිරිදි ඔහු අවුරුදු 16 දි ඇමරිකාවට සංක්‍රමණය උනේ යුක්රේනයෙන්. ඔවුන් ඒ කාලයේ ජීවත් වුනේ ඇමරිකානු රජය දිළිදු අය වෙනුවෙන් ලබා දුන්න ආහාර සලාක කූපන් මගින්. මේ කූපන් වලට ආහාර ලබා ගැනීමට Jan  පැමිණි ස්ථානයට යාබදව තිබුන Mount View හිදී තමන්ගෙ වට්ස් අප් කාර්යාල සංකීර්ණය මතු දවසක ඉඳිකරන්න ලැබේවි කියලා මේ දුප්පතා කොහොම නම් හිතන්නද.
2009 වසරේදි බ්‍රයන් ඇක්ටන් සමග පණිවිඩයක් යැවූ සැනින් එය ලබන්නා වෙත ලඟාවන, එතෙක් පැවති සාමාන්‍ය SMS ක්‍රියාවලියට වඩා දියුණු ක්‍රමයක ප්‍රවිශ්ඨය ලබන්න Jan Koum ට හැකි උනා. එය මානව සන්නිවේදනයේ මායිම් තවත් පුළුල් කලා.
වර්තමානය වන විට ලෝකය පුරා මිලියන 600 ක ජනතාවක් විසින් භාවිතා කරන මේ ජාලය 2014 වසරේ මුලදි ෆේස් බුක් සමාජ ජාලය විසින් ඩොලර් බිලියන 19 ක මුදලකට මිළදී ගත්තා. ගණුදෙනුව නිම උනේ ඇමරිකාවේදී දුප්පතෙකු ලෙස ජීවිතය ආරම්භ කල Jan Koum බිලියන පතියන්ගේ ලැයිස්තුවට එකතු කරමින්.
Jack Ma
තමන්ගෙ ළමා කාලය දරිද්‍රතාවයේ දුක්ක දෝමනස්සයන් එක්ක ගත කල Jack Ma අද ඩොලර් බිලියන 20.2 ක් සහිත ධනවතෙක්. චීනයේ Hangzhou ප්‍රාන්තයේ ඉපදුන ඔහුට රැකියාවක නිරත වෙන වයස එළඹුනාම අඩුම තරමේ KFC අවන්හලක හෝ රැකියාවක් ලබාගන්නට නොහැකි උනා. ජාතික විද්‍යාල ඇතුලුවීමේ විභාගයෙන් දෙවරක් අසමත් උනත් අවසානයේ ඔහුගේ අප්‍රතිහත ධෛර්යය නිසාම උපාධිදාරියෙක් වී ඉංග්‍රීසි ගුරුවරයෙකු ලෙස කටයුතු කරන්නට පසුව හැකියාව ලැබුනා.
ඔහු හා පුරා කියලා ඇමරිකාවට එන්නෙ 1995 දි. එදා තමයි Jack Ma පළවෙනි වතාවට අන්තර්ජාලය දකින්නෙ. චීන නිෂ්පාදන වලට අන්තර්ජාලයේ ඉඩක් වෙන්කරගන්නට හැකියාවක් ඇති වේවි කියන විශ්වාසයෙන් ඔහු බැරි බැරිගාතෙ චීන අකුරුවලින් වෙබ් පිටු කීපයක් ආරම්භ කලා. අන්තර්ජාලය තුල චීන භාෂාවෙන් ආරම්භ කල පළමු වෙබ් පිටු ලෙස මේවා වර්තමානය වන විට විවාදයට ලක් වී තිබෙනවා. නමුත් මේ වෙබ් පිටු මේ කියන කාලයෙදි චීන අකුරු පිළිබද ගැටලුවක් නිසා වෙබ් අඩවිය සමග විවෘත වී නැහැ. 
1999 වසරෙදි ඇරඹුන Alibaba නැමති අන්තර්ජාල භාණ්ඩ අළෙවි වෙබ් අඩවිය මේ වෙද්දි සුප්‍රසිද්ධ Amazon නැමති අන්තර්ජාල අළෙවිකරුවා මෙන් දෙගුණයක් ගණුදෙනු කරුවන් හසුරවනවා. චීනයේ ධනවත්ම මිනිසා ලෙසත් Jack Ma මේ වෙද්දි සම්මානයට පාත්‍ර වී අවසන්.

Ingvar Kamprad
Ingvar Kamprad ගැන මීළගට විමසා බලමු. අවුරුදු 7 ක විතර පුංචි කොලුපැටියා කාලෙ Kamprad ජීවත් වුනේ ස්වීඩනයෙ පිටිසර පළාතක. ඔහු ඒ කාලෙ තමන්ගෙ අසල්වැසියන්ට ගිණි කූරු අළෙවි කලා.
අවුරුදු 7 දි (1920) අහළ පහළ අයට ගිණිකූරු අළෙවි කරපු මේ පුංචි කොල්ලා එයින් පස්සෙ ගිණිකූරු වෙනුවට පැන්සල්, සුභ පැතුම් පත්, නත්තල් සිහිවටන, වගේ දේවල් අළෙවි කලා. කොහොම හරි වයස අවුරුදු 17 වෙද්දි ධෛර්යවන්ත කොලු ගැටයා තමන්ගෙම කියලා සමාගමක් ආරම්භ කලා. ඒකෙ නම IKEA (Ingvar Kamprad from Elmtaryd Agunnaryd) ඔහුගේ නම සහ තමා ජීවත් වුන නගරයේ නම තමයි මේ අකුරු හතරෙන් ලඝු කරලා තියෙන්නෙ. වයස අවුරුදු 21 දි Kamprad  තමන්ගෙ සමාගම තුලින් ගෘහ භාණ්ඩ අළෙවියට අත තිබ්බා. එතැනින් තමයි IKEA  නැමති අධිරාජ්‍යයේ ආරම්භය සනිටුහන් උනේ.
වර්තමානය වෙද්දි මේ සමාගම ව්‍යාපාරික ලෝකයේ දැවැන්තයෙක් බවට පත් වෙලා. රටවල් 42 ක අළෙවිසැල් 340ක් බිහිවෙලා. වාර්ෂික පිරිවැටුම ඩොලර් බිලියන 36 ක්.  කොතරම් ධනයක් තමා සතුව තිබුනත් මේ මහා මිනිසා ඉතාම චාම් අන්දමින් ජීවත් වෙන්නෙ. කොතරම් චාම්ද කියලා කියනවා නම් අවුරුදු 88 ක් වයස ඔහු තවමත් ගුවන් ගමන් යන්නෙ පිරිමැසුම් පන්තියෙ (Economy Class).

Howard Schultz
Starbucks කෝපි සමාගමේ හිමිකරුවා ගැන මීළගට කියවමු. ඔහුගෙ නම Howard Schultz. බ්‍රිතාන්‍ය ටැබ්ලොයිඩ් පුවත්පතක් වතාවක් ඔහු සමග පවත්වපු සම්මුඛ සාකච්ඡාවකදි Howard කිව්වෙ මෙවැනි දෙයක්.

මම ජීවත් වුනේ තට්ටු නිවාස සංකීර්ණයක දුප්පත් පවුලක. කෙමෙන් කෙමෙන් වයසින් මුහුකුරා යද්දි මට හිතුනෙම මම සාර්ථකත්වයේ පාරෙ  නෙමෙයි යන්නෙ කියලයි. මම දැන හිටියා කොහොම හරි සාර්ථකත්වය නැමති මාර්ගයට පිවිසුනා නම් ගොඩාක් දේපළ, සල්ලි, සතුටෙන් ඉන්න පවුලක්, ලබාගන්න හැකි බව. ඉතිං මම කොහොම හරි උත්සාහ කලා මගේ මාර්ගයෙන් පිට වෙලා අනිත් මාර්ගයට පිවිසෙන්න. මම අද හොද සූට් එකක් ඇඳලා ටයි එකක් දාගෙන ඉන්නවා තමයි. නමුත් මට තවමත් මගේ මුල් කාලය මතකයි.

Schultz තමන්ගෙ උපාධිය ලබාගත්තට පස්සෙ Xerox නැමති ආයතනයේ සේවයට එකතු උනා. ටික කාලෙකට පස්සෙ ඔහු ඒ අහල පහල තිබුන Starbucks නැමති කෝපි අළෙවිසැලක් මිළට ගත්තා. ඒ කාලය වන විට මේ අළෙවි ජාලයටම තිබුන අළෙවි සැල් 60 ක් පමණයි. 1987 දි තමන්ගෙ උත්සාහයෙන් Schultz මේ අළෙවි සැල් සියල්ලේම ප්‍රධාන විධායක බවට පත්වෙනවා. එයින් පසුවයි ඔහු තමන්ගෙ ගමන සාර්ථක කරගත්තෙ. අද වෙද්දි ලෝකය පුරාම අළෙවි සැල් 16000 කට වැඩියෙන් Starbucks කෝපි අළෙවි කරනවා. වර්තමානයේ ඔහුගේ වත්කම් වටිනාකම ඩොලර් බිලියන 2.1 ක්

Shahid Khan
ඇමරිකානු ඩොලර් බිලියන 4.4 ක වත්කමක් වර්තමානයේ තිබෙන ෂාහිඩ් ඛාන් තමන්ගෙ වෘත්තීය ජීවිතය ආරම්භ කලේ පැයකට ඩොලර් 1.20 ක වැටුපකට පිඟන් සෝදන පුද්ගලයෙක් ලෙස. පකිස්ථානයෙන් ඇමරිකාවට සංක්‍රමණය වූ මේ මිනිසා ඉලිනොයිස් සරසවියේ අධ්‍යාපනය ලබන අතර තුර තමන්ගෙ වියදම් සොයාගැනීමට තමයි පිඟන් සේදුවේ. නමුත් අද ඔහු Flex-N-Gate නැමති මහා පරිමාණ සමාගමේ හිමිකරු. මේ සමාගම තනිපුද්ගල අයිතියකට නතු ඇමරිකාවේ තිබෙන විශාලතම සමාගමක්. Fulham නැමති එංගලන්ත පාපන්දු ක්‍රීඩා සමාජයේ හිමිකරුවා වෙන්නෙත් ෂාහිඩ් ඛාන්ම තමයි.

Leonardo Del Vecchio 
Leonardo Del Vecchio වර්තමානයේ ඩොලර් බිලියන 18.4 ක හිමිකමක් තියෙන මහා ධනවතෙක් උනාට ඔහුගේ අතීතය බොහොම කටුක එකක්. ඔහුගේ ළමා කාලය ගෙවුනෙ අනාථ නිවාසයක. තාත්තා කුඩා කාලයේදීම මිය ගිය නිසා දරුවො 5 දෙනෙක් පෝෂණය කරන්න වත්කමක් තිබුනෙ නැති අම්මා තමන්ගෙ දරුවන්ව අනාථ නිවාසයකට යවනවා. කරදඬු උස් මහත් උනාට පස්සෙ Leonardo කර්මාන්ත ශාලාවක සේවයට එකතු වෙනවා. එහිදී යන්ත්‍රයකට හසුවීමෙන් ඔහුට ඔහුගේ ඇඟිල්ලකින් කොටසකුත් අහිමි වෙනවා. යකඩ අච්චු, වාහන අමතර කොටස්, ඇස් කණ්නාඩි රාමු වගේ දේවල් තමයි මෙහි නිපදවනු ලැබූවෙ.

වයස 23 දි තමන්ගෙම කියලා සමාගමක් සුළුවෙන් ආරම්භ කරන්න Leonardo ට හැකි වුනා. අන්න ඒ සමාගම තමයි වර්තමානය වෙද්දි ලෝකයේ විශාලතම අව් කණ්නාඩි නිෂ්පාදකයා සහ වෙනත් ඇස ආශ්‍රිත පළදනාවන් නිපදවන්නන් වෙන්නෙ. Ray - Ban සහ Oakley කියන්නෙ ඔවුන්ගේ සන්නාම නාමයන්.
Roman Abramovich
Roman Abramovich බිලියනපතියෙක් බවට පත්වුන ආකාරය අවසාන වශයෙන් කියවලා බලමු. Abramovich රුසියානු ජාතිකයෙක්. කුඩා කාලයෙම තමන්ගෙ දෙමාපියන් අහිමිවුන අවාසනාවන්තයෙක්. නමුත් වර්තමානය වන විට ඔහු Chelsea පාපන්දු කණ්ඩායමේ හිමිකරුවා.

1966 දිි රුසියාවෙ Saratov නගරයේ ඉපදුන Abramovich ගෙ අම්මා ඔහුට වයස මාස 18 ක් වෙද්දි මිය පරලොව ගියා. ආදරණීය පියා ඔහුට වයස 4 ක් වෙද්දි මිය ගියා. ඊටත් පස්සෙ මේ පුංචි කොල්ලව Abramovich ගෙ මාමා කෙනෙක් ලඟ තමයි හැදී වැඩුනෙ. ඔහු හිටියෙ මොස්කව් නගරයේ.

Abramovich ඉගෙන ගත්තෙ කර්මාන්ත පිළිබද පාසල් ආයතනයෙන්. අධ්‍යාපන කටයුතු හමාර කරලා බටහිර සයිබීරියාවෙන් තමයි තෙල් වෙළදාමට අත තිබ්බෙ..

ගාර්ඩියන් පුවත්පත කියන විදියට Abramovich ගෙ බඹරය වැල්ලෙ කැරකෙන්න පටන් ගත්තෙ රුසියානු ව්‍යාපාරික ක්ෂේත්‍රයේ දැවැන්තයෙක් වූ Boris Berezovsky ගෙ පලා යාමෙන් පසුවයි. මේ කියන කාලය වන 1992 වෙද්දි රුසියාව ක්‍රම ක්‍රමයෙන් සමාජ වාදයේ සිට ධනවාදය දෙසට පැමිණෙමින් තිබුන යුගයක්.

තමා කල විශාල මූල්‍ය වංචාවකට හසුවීමට ප්‍රථම Boris Berezovsky රුසියාවේ සිට එංගලන්තයට පලා ගියා. ඔහු සතුව ඒ අවස්ථාවේ පැවති ව්‍යාපාරයන්හි කොටස් අතරින් රුසියාවේ 5 වන විශාලතම තෙල් සමාගමේ 80%ක කොටස්, ඇළුමිනියම් ඒකාධිකාරයෙන් 50%ක්, රුසියාවේ ජාතික ගුවන් සේවයෙන් 26%ක කොටස් Abramovich  තමන්ගෙ ව්‍යාපාරික ඥාණය මෙහෙයවා මිළදී ගත්තා.

වර්තමානය වෙද්දි Abramovich සතුව ඇමරිකානු ඩොලර් බිලියන 1 ක් වටිනා ලෝකයේ විශාලතම අධි  සුඛෝපභෝගී යාත්‍රාව, Boeing 767 ගුවන් යානයක්, වගේම එංගලන්තයේ Chelsea පාපන්දු කණ්ඩායමත් තිබෙනවා.

මේ කථා කීපය ජාලයෙන් පෙරලලා මෙහි ගෙනාවෙ මේවා කියවන ඔබටත් ඔබේ බාධක කම්කටොළු පසෙකලා සාර්ථකත්වය කරා යා හැකි බවට ඉඟි කරන්නයි.ඔබ උපතින් කෙතරම් දුගී පවුලක ඉපදුනත්, අනාථයෙක් විදියට කුඩා කාලය ගත කලත් තමන්ගේ උත්සාහයත්, අධිෂ්ඨානයත් මතින් ජීවිතය ජයගන්නට හැකි බව මේ කෙටි විස්තර කීපය ඔබට කියාවි. ඉතින් ඔබේ අසාර්ථකත්වය දෛවයටම භාර නොදී උත්සාහවන්ත වුවහොත්...දෛවයේ ලියවුන දේ ඔබටම වෙනස් කරන්නට හැකි වේවි.

අද ලිපියට මූලාශ්‍රය මෙතැනින්


මම කාමරේ අරින සිරා කොලුවා.

Related Posts Plugin for WordPress, Blogger...