Saturday, January 31, 2015

22 කවි දෙකක්

ඇයත් අම්මා කෙනෙකි


                          
ආවත් පැවත බෝසත් පරපුරකමත
සැම අම්මටම ඒ හොද ගති ගුණය නැත
නුපන් බිලිදු මරු තුරුලට යවන හිත
අම්මල අතර බෝසත් මව් වරුද ඇත
  
දරු සෙනෙහසට ලේ කිරි කර දොවා දෙයි
කැතකුනු අත ගගා සතුටින් සිනා සෙයි
අම්මා කෙනෙක් ගැන කීමට වෙලාවෙයි
මේ අම්මා ඉන්නේ මාතලේ දිසාවෙයි
  
ඉපදී වසරකින් අසනීපවවැටුන
වැඩිමල් පුතා උකුලට අරගෙන සිටින
28 වසක් තිස්සේ ඔහු මත හැපෙන
දෑතම එක් කරමි මම බුදුනට වදින
  
එක ලග දරු දෙදෙන එක ලෙසටම එක්කා
විදි දුක බලනු බැරි ඉඩ කඩමුත් වික්කා
බැහැ ඉවසන්න මම දැන් කරමිද මක්කා
පියතුම සමග පොඩි පුතු ගියෙ මරු එක්කා
  
දරුවන් 5 දෙනෙකු බිහිකර කවාපොවා
දෙපුතුන් රැකි නිසා සැමදින උදේ හවා
සැමියා සමග පොඩි පුතු ගිය නිසාදවා
ලොකු පුතු රකින්නට වද වෙමි උදේ හවා
  
දින සති මාස ගණනින් කල ගෙවෙනවය
දින දින මාරයා මට අත වනනවය
මා දෙස බල බලා අම්මා හඩනවය
මල්ලිත් නොමැති බව මට දැන් දැනෙනවය
  
මට නැහැ උවමනාවක් මේ රට අල්ලන්න
ඕනෑ එක දිනක් වත් මා පුතු රැක ගන්න
එනිසයි කිව්වේ පින්වතුනේ දැනගන්න
මගේ පුතු රකින්නට මට පිහිටක් වෙන්න
  
හැකිනම් හිතන්නට මේ විස්තරය මත
මම මහා පිනක් කල බව මට හැගෙනු ඇත
ඔබටත් තිබේ නම් පින් දම් කරන සිත
ලක්බිම පත්තරේ මේ විස්තරය ඇත
  
සතහට සුවය සම්පත ගෙන දුන මෝදු
මහා කරුණාව පා ලෝ සතටම වීදූ
වඳිනා ලෙසට බුදු හිමි සස මග පෑදු
නමදිමි මව් තුමනි ඔබ පා යුගසාදු
  


බන්ඩේගේ කිරි හිනාව










                                            
සීතල දුරුත්තක එක ගම් තුලානක
මහා කලබලෙකි අදුරින් පිරි වෙලාවක
වැඩිහිටියන්ගේ සතුටින් වත පුරානෙක
පැලයක් හිටෙව්වා ගම මහ වලව්වක
  
දින සති ගනන් තුන් වසරකි ගත වන්නේ
නැහැ එම ගසේ මල් කුමුදක් හට ගන්නේ
නෑයින් පැමිණ කසුකුසුවෙනි විමසන්නේ
කොහොමද හිතක් මේ ගින්දර ඉවසන්නේ
  
ඊයේ කොන්ද අද දන හිස රිදෙනවය
අද නම් නොහැක මගේ තුනටිය අමාරුය
හම්මේ මහන්සියි වැඩ වැඩ දිවාරැය
පලයක් තියා මලකුත් නැති කලාවය
  
දැන් ඇති ඉවසුවා ආපහු යන්න යමි
තුන් වසරකට වැඩි කාලය ඉවසුවෙමි
තව ටික කලක් වස්තුව ඔබ සමගඉමි
දෙවියන් දුන්නොතින් දරුවෙකු ගෙනත් දෙමි
  
බොහෝ දුක් බරව දිවි ගෙවනා වෙලාවේ
මහ වරුසාවකිය සද්දෙන් ගෙනාවේ
සෙවනැලි පවා නොපෙනෙන ගම් තුලාවේ
බන්ඩේ එනවා මේ මහ වැසි වෙලාවේ
  
බන්ඩේ එන්න ගෙට මොකටද තෙමෙන්නේ
නැහැ මැණිකේ මොටද කරදර කරන්නේ
නිවසට ගොසින් රෙදි කබලක් ගෙනෙන්නේ
මැණිකේමයි ඔහුගෙ තෙත හිස පිහින්නේ
  
අකුණක් පිපිරුණා නගමින් දරුණු හඩ
මැණිකේ නැවතුනේ බන්ඩෙගෙ පපුව උඩ
ගත උනි වෙලාවක් කෙදිරිලි සුසුම මැඩ
මල් පෙති සිදුරු කර බැස යති අනග තුඩ
  
කදුලැල්ලක් වැටිණි සුන්දර දෙනෙත මත
යා නොම උනත් දෙහදක එක් වීම ඇත
ඇසුනා හඩක් ඇද පොලුවල කිරිය මත
චායාවක් වැටිනි විසිරුණු අදුර මත
  
කන කොක් හඩ ඇසිනි මුළු රැය පුරාවන
පසුදින පහන් විය අරුනලු හිනා උන
වැලපෙන හඩ අසින මුළු ගම හබා එන
අත පය කැඩුණු බන්ඩේ දිවි නසාගෙන
  
කාලය ඉගිල්ලෙති දින සති මස තිස්සේ
දවසින් දවස කුස තව ඉහලට ඉස්සේ
දසකඩ මස පිරුණු දවසක මහ වැස්සේ
සුන්දර කුමරියෙකි සුර පුරයට බැස්සේ
  
මහ බලගතුයි මේ නැකතයි වෙලාවයි
අම්මට හොදයි පියනට මරුකලාවයි
සුරතල් කුමරි ගමටම වාසනාවයි
මවගේ මුහුණ බන්ඩෙගෙ කිරි හිනාවයි
  


මාසයේ අවසන් ලිපිය වෙනුවෙන් සිරාගේ කාමරයට ලියා එව්වේ,
සෞදි අරාබියේ රියාද් නුවර සිට ඉන්දික.


ප.ලි

ජෛව වෛද්‍ය ඉංජිනේරුවෙකු ලෙස සෞදි අරාබියේ රියාද් නුවර රෝහලක සේවය කරන ඉන්දික අයියා කාලයක සිට සිරාගේ කාමරයට එන යන හිතවතෙකි. මෙයට පෙර ඔහු විසින් සිරාගේ කාමරයේ 7 වෙනි ලිපිය උදෙසා ලියූ සෞදි අරාබියේ උණු කදුළු නම් ලිපිය මහත් ආන්දෝලනයකට තුඩු දුන්නේය. ඉංජිනේරුවකුගේ කවි සිත පිළිබද කදිම වැටහීමක් මෙහි යන එන පාඨක ඔබට මේ කවි පන්ති වලින් ගත හැකි වනු ඇතැයි මම උදක්ම සිතමි. හිතාදර ඉන්දික අයියා වෙත රැකියාව අතර තුර තව තවත් කවි ලියවෙන වසන්තයකට ආසිරි පතමි. දෙවන වතාවටත් 7 වෙනි ලිපිය සැරසූවාට සිරා කොලුවාගේ නොවක් ස්තූතිය මෙයින් පිරිනැමෙයි

කවි පද කෙලින් කිරීමේ සාදර අනුග්‍රහය අළුත් මල්ලි වෙතිනි


Tuesday, January 27, 2015

52 කුණු මාළු සමග කරුණෙ මාමා මදිවාට ටෙලිකොම් ජයා

අප ජීවත් වූ, අප ඇසුරු කල අපූරු චරිත කෙතරම් කාලයක් ගතවුවත් අපේ මතකයෙන් ගිලිහී යන්නේ නැත. ඒ ඒ චරිත තුල ඔවුන්ටම ආවේණික ලක්ෂණ තිබීම එයට හේතුව යැයි මගේ අක්මාවට දැනෙයි. සිරා කොලුවා වන මගේ ගම් පියස තුල සහ එයට යාබද පරිසරයේ කුඩා කල සිට දකින්නට ලැබුනු මගේ මතකයේ තදින් සටහන් වූ චරිත කීපයක් වටා අද මේ කථාව ඔබට කියන්නට මම රිසි වෙමි. සංවේගයට කාරණය නම් මේ කිසිම චරිතයක් මේ වන විට මේ මහපොළොව මත ජීවත්ව නොසිටීමයි. ඔවුන් මළවුන්ගේ ලෝකයට එක් වී කලක් ගතවී ඇති නිසා ඊළග උත්පත්තියද ලබා ඇතුවාට සැක නැත.

කරුණෙ මාමා අඩි 6 කට වඩා මඳක් උස හීන්දෑරි මිනිසෙකි. බැලූ බැල්මට ඔහුගේ මුහුණේ රෞද්‍ර පෙනුමක් තිබීමත්. බොහෝ ගැඹුරු කටහඬක් තිබීමත්, කොයි වේලාවෙත් රිචාගේ කසිප්පු පොට් එකෙන් ලඟ නමා ගැනීමෙන් රතු වන නෙත් සගලත් කුඩා අප කරුණෙ මාමා ඈතින් පැමිණෙන විට මිදුලේ කරමින් උන් සෙල්ලම නවතා නිවෙස තුල සැගවෙන තැනට වැඩකටයුතු සලසා තිබුනි. මයෙ මලයා මේ චරිතයට දැක්වූයේ පුදුමාකාර භියකි. ඒකා බත් කෑම ප්‍රතික්ෂේප කල දවසට මාර්ගයේ ඈතින් යන කරුණෙ මාමා දකින මගේ මැණියන්...මේ ළමයා බත් කන්නෙ නැතෝ යනුවෙන් ශබ්ද නගා පවසයි. 

කෝ කොයි ළමයා දැයි අසා...අපේ මිදුලට පැමිණෙන ඒ රූපකාය දැක භියෙන් සළිත වන මයෙ මලයා එතැන් සිට කීකරුව බත් කෑ අයුරු මගේ දෙනෙත් අභියස දැනුදු මැවෙයි.

අපේ ගමේ ජීවත් වූ බොහෝ චරිත එකිනෙකාට උදව් පදව් කරගනිමින් ඉතාම සහයෝගයෙන් ජීවත් වූ පිරිසක් වූයෙන් මඟුල කොතැනද, මළ ගෙදර කොතැනද කියා වෙනසක් නොමැතිව එකාවන්ව උදව් පදව් කලහ.

කරුණෙ මාමාට අදාළ මතු කියවෙන කථාව මගේ පියා විසින් පසු කලෙක අප සමග කියූ එකකි. මේ සිදුවීම් සිදුවන සමයේ අපි සුට්ටං එවුන් වූයෙන් මේ චරිත සමග වැඩි පයුරු පාසානමක් තිබුනේ නැත.

අපේ ගමේ ගහක් ගලක් මෙන් ජීවත් වූ ඇන්. ඒ. සිරිසේන අභාවප්‍රාප්ත වූයේ හිටිවනමය. ගමේ වැඩිහිටියෝ මළ ගෙදර කටයුතු සම්පාදනය කොට, මරණාධාර සමිතියෙන් ලබා දෙන හට් ගසා...පිළිවෙලකට පුටු තබා නිවසේ ඇත්තන්ට සහාය වූහ.

මරණයේ වැඩ කටයුතු අවසන් කරමින් භූමදානයට දිණය ලං වන විට කරුණෙ මාමා ප්‍රමුඛ වැඩිහිටියෝ මිනී වල සකසන්නට කනත්තට පිවිසියෝය. වර්තමානයේ මෙන් නොව මේ කියන අතීතයේ මෙවැනි කාර්යයන් සඳහා ඇති පදම් මිනිස් ශ්‍රමය ලැබුන නිසා දැන් මෙතැන බොහෝ පිරිසකි.

වසර ගණනාවකට පෙර මියගිය සිරිසේනගේ මව සිමෙන්තියෙන් බිත්ති නිමකර කොන්ක්‍රීට් පියනකින් වසාදැමූ  මිනීවලක තැන්පත් කර තිබූ හෙයින් ඒ ස්ථානයේම සිරිසේනටත් ඉඩක් සොයාදීම පිරිසගේ අදහස වී තිබේ. කොන්ක්‍රීට් පියන ඔසවා බැලූ කල දිරාගිය මිනීපෙට්ටියත් මස් දියවී ඇට සැකිල්ල පමණක් ඉතිරි වූ මෘත දේහයත් හමු වී තිබේ.

ඒ වන විටත් බොක්කට හලාගත් සුදුවා වල තේජස කරුණෙ මාමාට ඉහින් කනින් දැනෙමින් තිබූ නිසා කනන්තේ නඩේ ගුරා ලෙස ඔහු පළමුව මිනී වලට බැස තිබේ.

උඹේ පුතත් එනවා ඔන්න උඹව හොයාගෙන නැන්දෙ...පොඩියක් නැගිටලා බලහං...එසේ කියා වළතුල තිබූ හිස්කබල අතට ගෙන ඔහු කෝටුවක අමුනා බිත්තියට හේත්තු කොට තිබේ...ඉන් අනතුරුව අවශේෂ සුන්බුන් කූරු ගාන විට දිරා නොගිය අලුත්ම සරමක් නෙත ගැටී ඇත.

මේ සරම එම්බාම් කරපු එකා  එම්බාම් කරද්දි මිනිය ඇතුලට ඔබපු එකක් වෙන්න ඇති...පංකාදු සරම බොලව්...මෙන්න මේක හෝදලා අදිනවා...එසේ කියූ ඔහු සරම ගෙන දිගහැර කීප වතාවක් ගසා දමා හිරු රශ්මියෙන් බේරෙන්නට හිසේ බැදගත්තේලු.

රිචාව නිතර දෙවේලේ හමුවීමේ වරදට පසු කලෙක කරුණෙ මාමා කැවුත්ත දියවී අනේක වද වේදනා විඳ තමන්ගේ මිතුරන් විසින් කපා දුන් වලක අවසන් ගමන් ගියේය.

කරුණෙ මාමගෙන් පස්සෙ මට මතක් වෙන්නෙ අපේ අල්ලපු ගමේ වාසය කල සිරිපාල ගොයියව. මේ හාදයා බොහොම මිටියි. ඒ වගේම කෙසඟයි. හැම වෙලේම මූනෙ තිබුනෙ අව්‍යාජ හිනාවක්...හැමෝ එක්කම සුහදයි. ඒ වගේම අහිංසකයි.


සිරිපාල උන්නැහේ මාලු විකිණීමෙන් තමයි ජීවිකාව සරිකරගත්තෙ. අඩි දහයක් ඉදිරියට යද්දි බිමට කඩාපාත් වෙයි කියලා හිතෙන පතුරු ගිය පරණ පා පැදියකින් තමයි එයා තමන්ගෙ රැකියාව කලේ. තරුණ කොල්ලො නම් කවදාවත් සිරිපාල මාමෙ කියලා කිව්වෙම නෑ. ඒ වෙනුවට ඒ අය පාවිච්චි කලේ කුණු මාළු කියන නම. හොඳ මාළු වලට වඩා සිරිපාල කුණු මාළු වලටයි ඇත්ත වශයෙන්ම ප්‍රසිද්ධ වෙලා හිටියෙ.

අනිත් මාළු වෙළෙන්දන්ට වඩා සිරිපාලගෙ මාළු මිළ ගනන් අඩු වීමත්, ගමේ මිනිහා නිසා දවස් දෙක තුනකින් මුදල් පියවීමට හැකියාව තියෙන නිසාත් ගමේ සමහරු සිරිපාලගෙන් මාළු ගන්න සැදී පැහැදී උන්නෙ.

මාලෝ මාලෝ කියලා ඈතින් සිරිපාලගෙ කටහඬ ඇහෙනකොට ඒ කාලෙ තරුණයො කුණුමාළු කියලා මහ හයියෙන් කෑ ගහනවා...ඒ වචන වලට කෝප වෙන්නෙ නැති මේ මාළු වෙළෙන්දා මාලෝ මාලෝ කියන අතරෙ හිටි ගමන් කුණු මාලෝ කියලත් කෑ ගහන්නෙ තමන්ට ඔච්චම් කරන උන්ට කොලොප්පන් කරන්න වගේ.

මාළුවා අලුත් නම් කරමල හොඳ රතු පැහැයට තියෙන්න ඕනෙ...ඒත් කුණුමාළු ගේන මාළුවෙකුගෙ කරමල පරීක්ෂා කලොත් තද දුඹුරු පැහැයක් තමයි නිතරම දකින්න තිබුනෙ. ඒත් අහම්බෙන් දවසක සිරිපාල ගොයියා අලුත්ම මාළුත් අරගෙන එනවා.

අද අළුත් මාළු වැරදිලා පෙට්ටියට දා ගත්තද බං....එහෙම දවසට ගමේ කටකාර එකියක් එහෙම ඇහුවම සිරිපාල ගොයියා ළමිස්සියෙක් වගේ ඇඹරුනා කියලයි මට මතක.

වතාවක් අපේ ගමේ පැවැත්වුන අවුරුදු උත්සවයක ලබු ගෙඩියේ ඇට ගණන් කිරීමේ තරඟයට සිරිපාල උන්දැ සහභාගි උනේ රුපියලක මුදලක් සංවිධායක මණ්ඩලයට ගෙවලා. පුංචි මේස කෑල්ලක් අටවගෙන එදා තරගකරුවො කියන සංඛ්‍යා ලියා ගත්තෙ සිරා කොලුවා.

සිරිපාල කියලා නම ලියන්නං නේද.....මම ඇහුවා...

එහෙම කිව්වට වඩා කුණුමාළු කිව්වමනෙ මිනිස්සු දන්නෙ...ඒ හින්දා කුණු මාළු කියලා ලියන්න...සිරිපාල ගොයියා එහෙම කිව්වා. මමත් ඉතිං ඒ කිව්ව විදියටම කුණු මාළු, ලබ්බෙ ඇට මෙච්චරක් තියෙනවා කිව්වා කියලා ඇක්සයිස් පොතේ ලිව්වා.

සිරිපාල ගොයියා ගැන තවත් ලස්සන කථාවක් තියෙනවා බොලාට කියන්න. ඒ චන්ද්‍රිකා කුමාරණතුංග හිටපු ජනාධිපතිනිය ලාංකීය දේශපාලන පිටියට පය තියලා බස්නාහිර මහ ඇමතිනිය වෙන්න ඡන්දයට ඉදිරිපත් වෙච්ච අවධිය. අපේ පළාතෙ ඉතින් අද වගේම ඒ කාලෙත් සිරිලංකා කාරයො වැහිවැහැලා.

එනවා කිව්ව වෙලාව පරක්කු උනාට මහ සෙනගක් හන්දියට එක් රැස් වෙලා උන්නෙ කථා වලට ඇහුම් කන් දෙනවට වඩා එතුමිය දැකබලා ගන්න. මහා රථ පෙරහැරකින් ඇවිල්ලා හන්දියේ සමරු මාමගෙ කඩ පේලියට සම්මුඛ වෙලා එතුමිය කථා කරනවා මමත් බලා උන්නා. ඒ කටහඩේ තියෙන පිරිමි ගතිය තමයි පුංචි එකෙක් වෙච්ච මට මුලින්ම දැනුන වෙනස.

විනාඩි දහ පහලොවකට පස්සෙ ආපු පිරිස ආයෙමත් වාහන වලට නැගලා ඉගිල්ලුනා. රැස්වෙලා උන්නු සෙනග අස්සෙ තිබුන තියුණු ඇස් දෙකකට හසුවෙලා තියෙනවා රැස්වීම අවසානයේ චන්ද්‍රිකා නෝනගෙ අතත් අල්ලගෙන අපේ කුණුමාළු කථා කරපු බවක්.

උඹ මොනවද බං චන්ද්‍රිකා නෝනෙගෙන් ඉල්ලුවෙ...අපිට නාන තොටක් හදලා දෙන්න කියලද ? ගමට ප්‍රජා ශාලාවක් දෙන්න කියලද ? අපේ පාරවල් වලට බල්බ් කෑලි ටිකක් අලුතින් හයි කරලා දෙන්න කියලද...ගමේ වැඩිහිටියො කුණු මාළුගෙන් ඇහුවා.

පිස්සුද මාමෙ....මට මගේ කරුමාන්තෙ කරගන්න මෝටර් සයිකල් පොඩ්ඩක් ඉල්ලුවෙ...මම කිව්වා...නෝනෙ මීගමුවෙ ඉඳන් ගිණි අව්වෙ මෙහෙට්ට බයිසිකල් පාගනකොට හොඳ පණ යනවා ඒ හින්දා මට චැලියක් අරගෙන දෙන්න කියලා මාළු විකුණන්න...එයා ඉතිං හා කිව්වා...

චන්ද්‍රිකා නෝනා එදා හා කිව්වට සිරිපාල උන්දෑ මියයන තුරා චැලියක් පදිනවා මම දුටුවේ නැත.

මේ ලිපිය තුලින් බොලාට කියන්නට යන අනෙක් අපූරු චරිතය තමයි ටෙලිකොම් ජයා. ජයා සාමාන්‍ය තරමෙ ශරීරයක් තිබුන මිනිහෙක්. මට මතක ඇති කාලෙත් මිනිහා ටෙලිකොම් රස්සාවෙන් විශ්‍රාම ගිහිල්ලා හිටියෙ. විවාහකයෙක් උනාට දරුවො හිටියෙත් නෑ...පස්සෙ කාලෙක මේ දුක හින්දමද මන්දා ජයා පුදුමාකාර බීමක් බිව්වෙ. ඒකට සමහරු කිව්වෙ පව්කාර බීමක් කියලා. දවස පුරාම මිනිහා හිටියෙ අසිහියෙන්..වෙරි අඩු වෙන්න වෙන්න අලුතින් රහ මෙර බොක්කට පිරෙව්වා. ටෙලිකොම් රස්සාව නිසා මිනිහට මුදල් වලින් අහේනියක් තිබුනෙත් නෑ. මාසෙ මුලම නිවසෙ කටයුතු වලට අවශ්‍ය මුදල ඇඹේනිය අතට දුන්නට පස්සෙ ජයා සමනලයා වගේ නිදහස් මිනිහෙක්. බොන්න පුලුවන් හැම වෙලාවකම අරක්කු බොන එක තමයි මිනිහගෙ කැමැත්ත.

2004 සුනාමිය ආපු වෙලේ අපේ ගමෙන් කතරගම වන්දනාවෙ ගිය නඩයක් සීනිගම හරියෙදි මේ ඛේදවාචකයට හසුවුනා. 6 දෙනෙකු අතුරුදහන් උනා. ඒ අයගෙ ඥාතීන් මේ අය හොයන්න බොහෝ වෙහෙසුනත් ඒ අයගෙ මෘත ශරීරයක් හෝ දකින්න ලැබුනෙ නෑ.

සුනාමිය ඇවිත් ගිහින් සතියකට පස්සෙ ගමේ වැඩිහිටි ඇත්තො අතුරුදන් වූවන් හොයන්න දකුණු පළාතෙ සංචාරය කරන්න තීරණය කොලා. ඒ වෙද්දිත් තැන තැන තිබ්බ සහන කඳවුරු වල මුන් මොළේ විකාර වෙලා හෝ ඉන්නවද කියලා හොයලා බලන්නයි ගමනේ අදහස උනේ.

සිරා කොලුවත් මේ ගමනට එකතු උනේ ස්වේච්ඡාවෙන්මයි. අපේ ගමම ශෝකාකූල වෙලා තිබුන වටපිටාවක මේ පවුල් වලට හැකි විදියකට උදව් කරන්න ඕනෙ නිසාම වෑන් රථය පිරෙන්න ජනතාව හිටියා. ඒ අතර හිටි කෙනෙක් තමයි ටෙලිකොම් ජයා.

උදේම අපි පිටත් උනා. දකුණු පළාතෙ නොයෙක් තැන් වල තිබුන සහන කඳවුරු වල අපේ උන් හෙව්වත් කිසිවෙකු හමුවුනේ නෑ. ඉර මුදුනට එද්දි හැමෝටම මහන්සියි. වාහනේ හිටිය නම්දරාපු බේබද්දො ටිකට මේ වෙලාවෙ සුට්ටක් ගන්න උවමනා උනා. රථය මුහුදට කිට්ටුව තිබුන බාර් එකක් අසලට කිට්ටු කොලා.

රථයෙන් බැහැලා මිටින් හල කුරුල්ලො වගේ බාර් එකට ඇදෙන ජනතාව අතරෙ මමත් ඒ ස්ථානයට ගියා. හැමෝම තම තමන්ට විතරයි බඩු ගත්තෙ. එතැන පරාර්ථකාමය තිබුනෙම නෑ. ගල් කාලක් එක්ක සෝඩා කෑන් එකක්..කටගැස්මට බැඳපු කඩල අහුරක් හෝ පරිප්පු වඩයක් අරගෙන පිරිස හිසට සෙවනක් තිබුන තැන් වලට එකතු පහදු උනා.

ජයා අවශේෂ කිසිවක් නැතුව ගල් කාල විතරයි ඉල්ලුවෙ. මිනිහා දුන්න 500 කොලේට ඉතිරි මුදල ගැනලා බාර් එකේ කැෂියර් ගොයියා මේසෙ උඩින් තියද්දිත් ජයා හිස් කාලෙ බෝතලේ මේසෙ උඩ තියලා ඉවරයි. ඒක දැකපු මටත් මහ දවාලෙ හොදටම වෙරි උනා. ඒ විතරක් නම් මදැයි...මෙච්චර අරක්කු විකුණන කැෂියර් කොලුවත් භුත වෙලා...ජයා මේක මේ තරම් ඉක්මනට බිව්වෙ කටින්ද කියලා කල්පනා කරනවා වගේ මිනිහා කටත් ඇරගෙනයි ජයා දිහා බලාන උන්නෙ.

ජයාගෙ නෝනා කුසුමා දනට පිනට ලැදි කෙනෙක්. නිතරම වන්දනා ගමන් යන්න තමයි එයාගෙ කැමැත්ත තිබුනෙ. ඒත් ඒ ගමන අවසන් කරලා ගෙදර එද්දි කන්නෙ බොන්නෙත් නැතුව අරක්කුම බීලා ජයා කූරියා ගහලා ඉඳියි කියන භයටම කුසුමා යන යන තැන ජයාවත් එක්කගෙන ගියා. මේ සමහර වන්දනා ගමන් වලට මමත් සහභාගි උනා.

උපතින් බෞද්ධ උනත් ජයාගෙ හිතේ කොහෙවත් ආගම ගැන කැක්කුමක් තිබුනෙ නෑ....නැත්තං අරක්කු සැරට ඒ හැගීම හිතට එන්නෙ නැතුව ඇති. මරන්න හරකෙක් අරගෙන යනවා වගේ තමයි ජයාව වන්දනා ගමනක් එක්කගෙන ගියේ. මිනිහා හැම වෙලාවෙම එහෙම ගමනක් ආවෙ මිනිහට ඇති පදම් බොන්න අවසර දෙනවා කියලා කුසුමා පොරොන්දු උනොත් විතරයි. ඒ හින්දම ජයා ඉල්ලන ඉල්ලන වෙලාවට කාලෙ බෝතලය ගානෙ දෙන්න ඕනෙ...එහෙම නැති උනොත් කුසුමගෙ මැරිච්ච අම්මා තාත්තා ජයාගෙන් බැනුම් අහන්නෙ බොහොම සාහසික විදියට.

මල්ලියෙ ඔය බාර් එක ලග පොඩියක් නවත්තනවද ? එහෙම කියලා තමංම බාර් එකට දුවලා ගල් කාලක් අරගෙන එන එක තමයි කුසුමගෙ සිරිත. පොඩි ළමයි බඩගින්නට නිතර දෙවේලෙ කිරි බොනවා වගේ ජයා තමන්ගෙ හිතේ ඇවිලෙන අපි නොදන්නා ගින්නක් නිවන්න නිතරම හෙව්වෙ සීල් අරක්කු.

වන්දනා බස් රථය සිද්ධස්ථානයක් අසළ නැවැත්තුවට කවදාවත් ජයා බස් එකෙන් බහින්නෙ නෑ...තමුසෙ ගිහින් මටත් එක්ක පිං සිද්ධ කරගෙන එනවකො...එහෙම කියලා කුසුමව ඒ ගමන පිටත් කරලා මිනිහා බස් එකට වෙලා කාලක් කඩා ගන්නවා. මේ හේතුව නිසාම ජයා හොද සිහියෙන් ඉන්නවා කිසිම විිටෙක දකින්න ලැබෙන්නෙ නෑ. ඒ වගේම වන්දනා ගමනක් ගියාට ජයා කිසිම දෙයක් දැකබලා ගන්න යන්නෙත් නෑ...රාත්‍රී නවාතැනට යනකං බස් රථයෙම තමයි ඉන්නෙ.

මේ ගෙවන ජීවිතේ මොකක්ද කියා ජයාව දකින නොයෙක්වර මට හිතිලා තියෙනවා...මේ මිනිහා ජීවත් උනත් මළ මිනියක් නේද කියලයි ඕනෙම කෙනෙකුට පෙනුනෙ...වීරයෙක් වගේ පුලුවන් හැම වෙලාවකම රහමෙර ගිල දැම්ම ජයා දැනට වසර 4 කට විතර කලියෙන් එක පාරටම ලේ වමනෙ දාගෙන නිවසේදී ඇද වැටුනා...ඉස්පිරිතාල බඩගෑවත් වැඩක් උනේ නෑ....දවසක් දෙකක් අපා දුක් විඳලා අන්තිමේදි තීන්දු ගමන් ගියා.



මම කාමරේ අරින සිරා කොලුවා.


Thursday, January 22, 2015

42 ගිමන් හරින දියඹ දිගේ හමු වූ ඔහු

ගලන අතට පිහිනීමත් උඩුගං බලා පිහිනීමත් යනු දෙකකි. සැඩපහර දිගේ පහළට යාමට ශක්තිය වැය වන්නේ නැත. එහෙත් නිර්භීත කමත් චිත්ත ශක්තියත් ඇති පදමට ඇති මිනිසුන් ගලන ගඟට අභියෝග කර විරුද්ධ දිශාවට පිහිනති.

ක්ෂේත්‍රය කුමක් වුවත් උඩුගං බලා යාම ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. ඒ ඒ ක්ෂේත්‍රය තුල තමන්ගේ දැනුම මට්ටමේ වපසරිය පුළුල් වීම මත ඇතමෙකුට ඒ සඳහා මග හසර එළි පෙහෙළි වී තිබේ. උඩුගං බලා ගිය බොහෝ ඇත්තන් සමාජයට අලුත් යමක් දායාද කරන්නට සමත් වූවෝ වෙති. ඇති පදමට ධෛර්යය තිබූ මිනිසුන් වෙති. වර්තමාන ශ්‍රී ලංකා සංගීත ක්ෂේත්‍රයේ උඩුගං බලා පිහිනන එක් ප්‍රමුඛ චරිතයක්  සමග වෙනස් ආරක කථා බහකට එක් වන්නටයි මගේ මේ ඇරයුම.

සිරා කොලුවා වන මට මේ චරිතය මුලින්ම මුලිච්චි වෙන්නේ මගේ පාසල් වටපිටාවේදී බව යම් අභිමානයක් සිත දරාගෙන ඔබට කියන්නට මම රිසි වෙමි. ඒ කාලයේදී සංගීතය සමග බොහෝ කිට්ටු සබඳතාවක් තිබූ එකෙකු වන මට පාසලේ සිටි ලොකු අයියා කෙනෙකි අද අපේ කථා නායකයා. ඔහු නමින් අරුණ ගුණවර්ධන නම් වෙයි. මෑත කාලයේ ජනප්‍රිය වූ ඉතාම සුන්දර ගීත කීපයකම සංගීතඥයා ලෙස කටයුතු කල ඔහු ඔබ වෙනුවෙන් සිරාගේ කාමරයට කැන්දාගෙන ගෙන එන්නට මා දැරූ උත්සාහයේ ප්‍රතිඵලය ලෙස මේ ලිපිය හදුන්වාදෙන්නට හැකිය. නමින් එතරම් ප්‍රසිද්ධ නැති මුත් ඔහුගේ දායකත්වය ලද  නිර්මාණ ඔබ හඳුනන බවට සැකයක් නැත.

අරුණ ගුණවර්ධන



අප කුඩා උන් ලෙස පාසලේ සංගීත කණ්ඩායම නියෝජනය කරන අවදියේ, ඒ වටපිටාවේ සිටි ජේෂ්ඨ ශිෂ්‍යයෙකු ලෙස අරුණ අයියා හඳුන්වා දිය හැක. පාසලේ සංගීත කටයුත්තක් සිදුවන සෑම තැනකම ක්‍රියාකාරී සාමාජිකයෙකු ලෙස ඔහුගේ රූපකාය සැමවිටම දෘෂ්‍යමානව තිබුනි. ඒ කාලයේදී ගිටාරය සහ විදුලි ඕගනය සමග ඔහුට තිබුනේ කිට්ටු ඇසුරකි. එහෙත් ඔහුගේ ගායන චමත්කාරයද ඊට නොදෙවෙනිය. පාසලේ පැවති විවිධ ප්‍රසංගයකදී Richard Marx ගේ Hazard නැමති සදා නොමියෙන අපූර්වතම ගීතය ඔහු ගායනා කල චමත්කාරය අපහසුවකින් තොරව තවමත් මට සිහියට නගා ගත හැකිය.

කාලයේ තාලය අවසානයේ අපි සියල්ලෝම විද්‍යාලයේ ආදි ශිෂ්‍යයන් වීමු. ජීවන ගමනේ කටයුතු අරභයා හැල්මේ දුවන සමාජයට එකතු වීමු. ඒ තරගය අතර තුර තැනක දශකයකටත් පසු දවසක අරුණ අයියා මා හට නැවතත් සම්මුඛ වන්නේ මයෙ මලයාගේ දැනුම් දීමක් මත මූණු පොතෙනි. එහෙත් අපගේ අතීත සුහදත්වය ඒ වෙද්දිත් නිරුපද්‍රිතව තිබූ අතර වෙනසකට තිබුනේ ඔහු දැන් රටක් වසඟ කල තනු නිර්මාපකයෙක් වී සිටීම පමණි.

වර්තමාන සංගීත ක්ෂේත්‍රෙයේ බොහෝ දෑ සිදුවන්නේ ඉල්ලුම සැපයුම න්‍යාය අනුවය. බොහෝ සංගිතකරුවන් / පද රචකයන් / ගායකයන් මේ රැල්ලට හසුවී මුදල් මත පිනුම් ගසති. හරසුන් නිර්මාණ හරවත් නිර්මාණ යටකරගෙන බලෙන් ඉලිප්පෙන්නට වෙර දරති. විරහව ඇති තරම් විකුණති. හැකියාවක් නැති උන්ද තාක්ෂණයට පින්සිදු වන්නට ගායකයන් වී සිටිති.

සුභාවිත ගීතයට ප්‍රිය කරන රසික ප්‍රජාවට වර්තමාන සංගීත පෙරළි එතරම් ගෝචර නැත. ඔවුන්ගේ රසඥතාවයට ගැලපෙන ගීත නිර්මාණ එළිදකින්නේ ඉතාමත්ම අඩුවෙනි. එවන් වටපිටාවක අරුණ ගුණවර්ධන නැමති මේ සංගීතඥයාගේ නිර්මාණ දායකත්වය අන් කවරදාටත් වැඩියෙන් අපේ හදවත් වලට දැනෙයි. මන්ද යත් ඔහු සුභාවිත ගීතය පොෂණය උදෙසා ගන්නා අපමණ මහන්සිය නිසාවෙනි.


                                           හද පෙලන්න - නිරෝෂා විරාජිනී

වෘත්තීය සංගීතඥයෙකු නොවන ඔහු සංචාරක ක්ෂේත්‍රයට අදාළ රැකියාවක නිරත වෙමින් ලාංකීය ගීත කලාව පෝෂණය කිරීම සැබැවින්ම පැසසිය යුතු කරුණකි. මුදල් නැමති සාධකය මත තම නිර්මාණ හැකියාව ලන්සු තබන්නේ නැති ඔහු සැම විටම සිටගන්නේ සුභාවිත ගීතය ප්‍රියකරන රසික කැළ සමගිනි. හෙතෙම තනු නිර්මාපකයෙක් ලෙස කරළියට පැමිණ තවමත් වැඩි කාලයක් ගත වී නැත. එහෙත් ඒ කෙටි කාලය තුල ක්ෂේත්‍රයේ දැවැන්තයන් උදෙසා නිර්මාණකරණයේ යෙදෙන්නට අවස්ථාව ලැබීමම ඔහුගේ සංගීත පරිචය පිළිබද අපට කරුණු හෙළි කරයි.


හන්තාන සිහිනේ - පණ්ඩිත් අමරදේව / උමාරියා

පසුගිය දිනෙකදී සුභාවිත ගීතය ප්‍රියකරනා රසික කැළ වෙනුවෙන් අරුණ අයියා සමග පුංචි පහේ කථා බහක යෙදෙන්නට සිරා කොලුවාට අවස්ථාව ලැබුනි. ඒ කථා බහ තුල මගේ ගැටලු සහ ඒවාට ඔහු දුන් පිළිතුරු සැකෙවින් මෙසේය

ලංකාවේ සංගීතය වෙළදපොල ඉලක්ක කරගෙන ඉල්ලුමට සැපයුම ලබා දෙන වකවානුවක පවතින ප්‍රවාහයට එකතු වෙන්නෙ නැතුව ඔබේම කියලා ගමනක් යන්න ඔබ කල්පනා කලේ ඇයි ?


මම සංගීතය කරන්නෙ ආත්ම තෘප්තිය උදෙසා. මට ඒ වගේ තීරණයක ඉඳලා මගේ ගමන යන්න හැකිවෙලා තියෙන්නෙ මම වෙනත් වෘත්තියක නිරත වෙලා ඉන්න නිසා. කලබලයක් නැතුව මගේ පාඩුවේ හෙමිහිට වෙලාව අරගෙන සංගීත නිර්මාණ සිදුකරන්නයි මගේ කැමැත්ත තියෙන්නෙ.

අනිත් නිර්මාණ කරුවන්ට එවැනි තීරණයකට එන්න බැරි ආර්ථික සාධකය නිසාද ? අතීතයේ හොඳ නිර්මාණ බිහිවෙන්නත් වර්තමානයේ හරසුන් නිර්මාණ වැඩි වශයෙන් බිහිවෙන්නත් ඉඩ ප්‍රස්ථාව ලැබුනෙ වෙළදපොල මතද...අතීතයේ නිර්මාණ විකුණන අදහසින් කලේ නැතත් අද නිර්මාණ විකුණන අදහසින් කරන්නේ සංගීතය වෙළදපොලේ විකිණිය හැකි දෙයක් ලෙසට වර්තමානයේ පත්වෙලා තියෙන නිසාද...මේ වෙනස අතීතයත් එක්ක ගලපන්නෙ කොහොමද ?


අතීතයේ කලා නිර්මාණ බිහිවුනේ සියලුම පාර්ශව වල උපරිම දායකත්වයෙන්. මුදල් ඒ කාලයෙත් ගැවසුනා. නමුත් ඔවුන් මුදල් මූලික කරගත්තෙ නෑ. අපි අහලා තියෙනවා පද රචකයො, සංගීත වේදීන්, සොඳුරු හමුවීම් අතර තුර නිර්මාණ කරපු හැටි. වර්තමානයෙ නිර්මාණ පිළිබඳ තීරණ ගන්නෙ මාධ්‍ය විසින්. ඒ අතරත් වැඩිපුරම තිබෙන්නෙ පුද්ගලික මාධ්‍ය. ඔවුන් ලාභය මූලික අරමුණ කරගෙනයි ක්‍රියාත්මක වෙන්නෙ. ඒ ස්ථාන වල නිර්මාණකරණය හෝ ඒවා අගය කරන පිරිසක් නෑ.

ගීතයෙන් මුදල් උපයන්න පුලුවන් අනෙකුත් විධි ක්‍රම ආරම්භ උනේ බොහොම මෑතකදි. ඒ අතරිනුත් රිගින් ටෝන් වලට සින්දු විකුණන එක තමයි ප්‍රධානම මාර්ගය. ඒ හරහා මුදල් ලැබීමේ වරදක් මම දකින්නෙ නෑ. මොකද කලාකරුවන්ට ඒ හරහා ආදායමක් ලැබෙන නිසා. නමුත් මේ ක්‍රියාවලියෙදි වැඩිම ලාභය ලබන්නෙ දුරකථන සමාගම් සහ කලාකරුවන් අතර ඉන්න අතරමැදියො. මේ සඳහා රජය මැදිහත් වෙනවා නම් එය ක්‍රමානුකූල වෙයි. අපේ ජේෂ්ඨ කලාකාරයො මේ කටයුත්තට සම්බන්ධ වෙන්නෙ නෑ. නමුත් ඔවුන්ගේ නිර්මාණත් මේ ප්‍රවාහයට එකතු වෙනවා නම් ඔවුන්ගේ රසිකයන් කැමති වෙයි කියලා මට හිතෙනවා.

හම්බකරන අරමුණින් කරන ගීත නිර්මාණ වල ගති ලක්ෂණ  බොහෝ වෙලාවට එක වගෙයි. ඒ විදියට තමන්ට නිර්මාණ ලබාදෙන්න කියලා ඉල්ලන්නෙ මාධ්‍ය විසින්. මේ හේතුවෙන් කලා කරුවො අසරණයි. තමන්ගෙ කැමැත්තට නිර්මාණයක් කරන්න ඔවුන්ට ඉඩක් නෑ. එහෙම කලේ නැති නම් ඔවුන්ට ආදායමක් ලැබෙන්නේ නැති නිසා.

අද එෆ් එම් නාලිකා තනිකරම යැපෙන්නේ ගීත මත...බුද්ධිමය නිර්මාණ මේ විදියට ඔවුන් පාවිච්චි කර ආදායම් ඉපයුවාට ඒ නිර්මාණ කරුවන්ට ඔවුන් ගෙවීමක් කරන්නේ නෑ නේද..මීට එරෙහිව කලාකරුවන්ගේ පාර්ශවයෙන් හඩක් නැගෙන්නේ නැතිද ?


ස්සර තමයි ගුවන් විදුලි ආයතන වලින් යම් කිසි මුදලක් කලා කරුවො අපේක්ෂා කලේ. ඒත් දැන් ඒ නාලිකා වලට කලාකරුවන්ට මුදල් ගෙවන්න වෙලා තියෙන්නෙ. මගෙ අදහසේ හැටියට යහපත් ගීත ප්‍රචාරය කරන්නට හැකි ලෙස යාන්ත්‍රණයක් හදන්නට පුලුවන් නම් හරසුන් බොල් නිර්මාණ ප්‍රචාරය නතර වෙනවා. ජනප්‍රිය ගීත කියන්නෙ බොරුවට හදාගත්ත දෙයක්. මිනිස්සු දැන් ගුවන් විදුලිය අහන්නෙ ගොඩාක් අඩුවෙන්. ගොඩාක් අය අන්තර්ජාලයන් තමයි ගීත අහන්නෙ. මම හිතන විදියට විවිධ ශෛලීන් වලට අදාළ ගීත තියෙන්න ඕනෙ. සංගීතය රටක සංවර්ධන අරමුණු වලටත් යොදාගන්න පුලුවන්. ඒ සඳහා උසස් රස වින්දනයයක් ඇති කරන්න පුලුවන් සංගීතයට රාජ්‍ය අනුග්‍රහය ලබාදෙන්න ඕනෙ. ප්‍රමිතීන් හදන්න ඕනෙ. ගීත ගායනා කරන්න හැකියාව නැති අය මෘදුකාංග හරහා ගායකයො වෙලා පටිගත කල ගීත ජනමාධ්‍ය වල ප්‍රචාරය නවත්වන්න ඕනෙ. මේ වගේ හරසුන් නිර්මාණ වැඩි වශයෙන්ම අහන්නෙ කුඩා දරුවො. ගීතයක යොදා ගන්නා වචන ගැනත් සෑහෙන්න සැලකිලිමත් වෙන්න ඕනෙ. මේවා කරන්න බැරි දේවල් නෙමෙයි. 

අතීතයේදී ගායකයන් විසින් නිර්මාණයක් කරගන්න පද රචකයා හා සංගීතඥයා සොයා ගියත් අද වන විට ගායකයා සොයා යන්නට පද රචකයාට සහ සංගීතඥයාට සිදු වී තිබෙනවා නේද...කුමක්ද මේ වෙනස ?


මෙතැනදි කාරණා කීපයක් තියෙනවා. ප්‍රවීණ ගායකයො අලුත් නිර්මාණ කරන්න යොමු නොවීම ප්‍රධානම හේතුවක්. ඔවුන් අලුත් පරපුර සමග වැඩ කරන්න භයක් තිබෙනවා. අලුත් පරපුර කියලා මාධ්‍ය මගින් කරළියට ආව අය එක්ක වැඩ කරන්න භයයි. අන්න එහෙම අයට හොඳම පිළිතුර දුන්නෙ පණ්ඩිත් අමරදේවයන් සහ නන්දා මාලිනිය. මගේ පුද්ගලික අදහස අනුව ලංකාවෙ සංගීත ක්ෂේත්‍රය තුල ඉන්න ශ්‍රේෂ්ඨ වගේම විශිෂ්ඨතම ගායන ශිල්පියා සහ ශිල්පිනිය ඔවුන් දෙදෙනායි. ඒ දෙපළ මමත් ජානක සිරිවර්ධනත් එක්ක වැඩ කරන්න කැමති උනා. මේ තරම් සියුමැලිද කළුගල් ගීතයෙදි දර්ශන රුවන්, රජී වෙල්ගම එක්ක සුනිල් එදිරිසිංහ ප්‍රවීණ ගායකයා එකතු උනා, අමරසිරි පීරිස් මහතා සමනල සංධ්වනිය චිත්‍රපට ගීත වලදි දර්ශන රුවන් සහ අමිල තේනුවර එක්ක සම්බන්ධ උනා. මේ අය හරහා තවත් ජේෂ්ඨ ශිල්පීන් මේ වෙද්දි නව පරපුර සමග වැඩ කරන්න පටන් අරගෙන. ඒ වගේම ප්‍රවීණ ගී පද රචකයො වගේම සංගීතඥයොත් නව පරපුරට තමන්ගෙ සහයෝගය ලබා දිය යුතුයි. ඒ වගේම මේ විදියට හදන ගිත ජනතාව අතරට අරගෙන යන්න රාජ්‍ය මධ්‍ය උදව් කල යුතුයි.

කොහොමද ඔබේ සංගීත චාරිකාවට පදනම වැටුනෙ, ඒ වගේම තනුවක් නිර්මාණය කරන්න ප්‍රවේශය ලබා ගන්නා ආකාරයත් දැනගන්න කැමතියි, ඔබේ නිර්මාණ තුල බොහෝ විට බටහිර සම්භාව්‍ය සංගීතයේ වැඩිපුර යොදාගන්නා චෙලෝවේ හඩ අපට ඇහෙනවා...කුමක්ද එයට හේතුව


මම පද රචනාව මූලික කරගෙන වගේම යම් හැගීමක් මූලික කරගෙනත් සංගීතය නිර්මාණය කිරීම කෙරෙනවා. ඒ සඳහා මමත් පද රචකයාත් හොඳින් එකිනෙකාව හඳුනාගන්න ඕනෙ. ඒ අතරින් ජානක සිරිවර්ධන, අසංක රුවන්, ධනුෂ්ක ප්‍රනාන්දු, ලක්ශාන්ත අතුකෝරළ වැනි අය එක්ක මගේ හඳුනාගැනීම විශේෂයි. ඒ වගේම මෙතනදි රඹුක්කන සිද්ධාර්ථ හාමුදුරුවොත් මට විශාල අවස්ථා කීපයක්ම ලබා දුන්නා. මගේ සංගීත පරිසරය ගැන කියනවා නම්, මම කුඩා කාලෙ ඉඳලම ගෙදර ඇහුනෙ බටහිර සංගීතය. මගේ අම්මා ගුරු වෘත්තියෙන් පස්සෙ ගෙදරදි පියානෝව වාදන කලා. තාත්තා නිතරම ඇහුවෙ ස්පාඤ්ඤ ගීත. එහෙමත් නැත්තං නෙවිල් ප්‍රනාන්දු වගේ අයගෙ ගීත. මම කුඩා කාලයෙදිම ඒ සංගීතයට ඇහුම් කන් දුන්නා. ඒ වගේම අම්මා තවමත් හොඳ සිංහල සින්දුවක් ඇහුනොත් ඒ ගැන මට කථා කරලා කියනවා.

මම පාසලේදි ඉගෙනගත්තෙ පෙරදිග සංගීතය. ඒ ශිල්පය මට ලබාදුන්න සියලුම ගුරු මව්පියවරු ආදරයෙන් මතක් කරනවා. මගේ සංගීත නිර්මාණ වල හරි අඩක් නියෝජනය කරන්නෙ මේවා සඳහා දායක වූ වාදන ශිල්පීන්. ඔබ විශේෂයෙන් ඇහුවා චෙලෝව ගැන, මගේ ගීත වලට එය වාදනය කරන්නෙ රෝචන රාමනායක. ඔහු අති දක්ෂ වාදන ශිල්පියෙක් වගේම සංගීත නිර්මාණකරුවෙක්. මගේ නිර්මාණ වලට නිතරම මේ වාදන භාණ්ඩය යොදාගන්න ඔහුගේ සුවිශේෂී වාදන හැකියාවත් බලපාන්න ඇති. 
වී හේමපාල පෙරේරා, මහේන්ද්‍ර පැස්කුවල්, සංගීත් වික්‍රමසිංහ, ජයංග දැදිගම, සුගත් හෙට්ටිආරච්චි, රුක්ෂාන්, ධනංජය සෝමසිරි,  වැනි ලංකාවෙ විශිෂ්ඨතම වාදක මණ්ඩලයක් මේ හැම ගීතයක් පිටිපස්සෙම ඉන්නවා. මගේ හැගීම් ඔවුන් තමයි සංගීතයෙන් ශ්‍රාවකයා කරා අරගෙන යන්න උදව් කරන්නෙ.

මහේන්ද්‍ර පැස්කුවල් සමග

ඔබ ක්ෂේත්‍රයට පැමිණ විශාල කාලයක් නැති උනත් බොහෝ දැවැන්තයින් සමග මේ වන විටත් නිර්මාණකරණයේ යෙදෙන්න අවස්ථාව ලැබී තිබෙනවා...විශේෂයෙන් ලාංකීය සංගීත ක්ෂේත්‍රයේ මුදුන් මල්කඩ බඳු අමරදේවයන් සමග නිර්මාණ කරණයේ යෙදෙන්නට ඔබට අවස්ථාව ලැබුන අන්දම හා ඒ අත්දැකීම් ගැන කථා කරනවා නම්


ඒකනම් පෙර පිනකට වෙච්ච දෙයක් කියලා තමයි මම තවම විශ්වාස කරන්නෙ. මට මතක් වෙන්නෙ මැග්සයිසෙ සම්මානයත් අරගෙන අමරදේවයන් ලංකාවට ආපු අවස්ථාවෙ මම සේවය කලේ කටුනායක ගුවන් තොටුපලේ. මම ගුවන්තොටුපල ඡායාරූප ශිල්පියාට මුදල් ගෙවලා එතුමා සමග එකට ඉඳලා ඡායාරූපයක් ගත්තා. ඒ සිදුවීමෙන්ම තේරුම් ගන්න පුලුවන් වෙයි අමරදේවයන් කෙරෙහි මගේ තිබෙන ආදරය සහ ගෞරවය. පස්සෙ දවසක මම එතුමා වෙනුවෙනුත් ගීත නිර්මාණය කලා කිව්වම මටත් පුදුමයි.

ගිමන් හරින දියඹ දිගේ ගීතය පටිගත කල දින අමරදේවයන් සමග


හන්තාන සිහිනේ ගීතය පටිගත කල දින අමරදේවයන් සහ උමාරියා සමග
මට මේ අවස්ථාව ලැබෙන්නෙ අග්නි ටෙලි නාට්‍යය නිසයි. ඒ වෙද්දි මම මලී ටෙලිනාටකයෙ තේමා ගීතය සංගීතවත් කරලා තිබුනා. එය ගායනා කලේ නන්දා මාලිනිය. අග්නි ටෙලිනාටකේ තේමා ගීතය ගැන අපි කථාකරමින් හිටිය කාලෙ මට අමරදේවයන්ට පෙන්වන්න තිබුනෙ නන්දාමාලිනිය ගායනා කල ඒ ගීතය. චරිත් කොතලාවල මහතා සහ මේ ටෙලිනාට්‍යය නිෂ්පාදනය කරපු ඒ වගේම ගීතයේ පද පෙල ලියපු ජානක අයියා තමයි මට මේ අවස්ථාව ලබා දුන්නෙ. අමරදේවයන්ගෙ පුතා රංජන අමරදේව මට මලී ගීතය ගායනා කරලා පෙන්වන්න කිව්වා. දේශයේ මහා ගාන්ධර්වයා ඉදිරියේ ඒ ගායනය කල වෙලේ මට දැනුන හැගීම වචනයෙන් කියන්න බැරි තරමේ එකක්. මගේ ගායනයෙන් පස්සෙ අමරදේවයන් වගේම රංජන අයියත් මා ගැන විශ්වාසය තිබ්බා. ගීතයේ පද පෙල වගේම සංගීතය ගැනත් අපි අමරදේවයන් සමග කීප වරක් සාකච්ඡා කරලා තමයි පටිගත කිරීමට ගියේ. ඒ අත්දැකීම සදාඅනුස්මරණීයයි කියලා කිව්වත් වරදක් නෑ. එතුමා දෙවැනි නිර්මාණයකටත් මා හට ආරාධනා කල නිසා මම මේ ගීතය තුල සාර්ථක වෙලා තියෙනවා කියලා නිහතමානී සතුටක් දැනෙනවා.



ගිමන් හරින දියඹ දිගේ - පණ්ඩිත් අමරදේව

ඔබේ ඉදිරි අනාගත බලාපොරාත්තු ගැන යමක් කථා කරමු...සංගීතයෙන් ඔබ අනාගතයේ කල යුතු යැයි සිතා සිටින යම් යම් දේ තිබෙනවාද ? ඒ වගේම නූතන තරුණ සංගීතවේදීන් අතර අංක 1 චරිතය කුමක්ද ?


මට යමක් කල හැකි නිර්මාණ මාධ්‍යය ගීතය කියලයි මම හිතන්නෙ. මේ වනතෙක් කරගෙන ආවා වගේ හෙමින් හෙමින් නිර්මාණ කරන්නයි මගේ කැමැත්ත. හදිස්සියක් නෑ. ඒ වගේම ලංකාවෙ සංගීතය ගැන සුභවාදී බලාපොරොත්තුවක් තියාගන්නත් පුලුවන්. සුරේෂ් මාලියද්ද, නදීක ගුරුගේ, මහේෂ් දෙණිපිටිය, බිලී ප්‍රනාන්දු, කසුන් කල්හාර, දර්ශන රුවන් දිසානායක, රාජ්, භාතිය, දර්ශන වික්‍රමතුංග, තිළිණ රුහුණගේ, රධීෂ් වැන්දබෝනා, උදාර අතපත්තු, වගේ දක්ෂ නිර්මාණ කරුවො නිතරම නිර්මාණ කරනවා. මේ අය තම තමන්ට ආවේණික ලක්ෂණ සහිත විවිධ කුසලතා ඇති අය. ඒ නිසා අංක 1 මෙන්න මෙයයි කියලා කාටවත් කියන්න බෑ. මේ වෙද්දි උසස් පදරචකයො පිරිසකුත් බිහිවෙමින් ඉන්නවා. ඒ වගේම ලංකාවෙ විශ්ව විද්‍යාල පද්ධතියෙන් එළියට එන නිර්මාණකරුවො බොහෝ පිරිසකුත් ඉන්නවා. ඒ අය විධිමත් ආකාරයකට මේ ක්ෂේත්‍රයට එකතු කරගන්න යම් වැඩ පිළිවෙලක් මේ වෙද්දි අපි අතර සාකච්ඡා වෙමින් තිබෙනවා. ලංකාවෙ සිදුවෙච්ච දේශපාලන පෙරළියත් එක්ක ඉදිරියේදී නව පරපුර සමග එකතුවෙලා ගොඩාක් හොද නිර්මාණ කරන්නට හැකි වෙයි කියලා මට හිතෙනවා.

අන්තිම ගැටලුව...නව පරපුර නොමග යන බව බොහෝ ජේෂ්ඨයන්ගේ අදහස...නමුත් බොහොම අතලොස්සක් දෙනා තමයි නවකයන්ට ගුරු හරුකමක් දෙන්න ඉදිරිපත් වෙන්නෙ. ඔබත් ලංකාවෙ සංගීත ක්ෂේත්‍රයේ ඉන්න කෙනෙක් විදියට නවකයො තමන්ගෙ නිර්මාණ කරණය කුමන දිශාවකට අරගෙන ගියොත් වඩා වැදගත් කියලද ඔබ හිතන්නෙ


මමත් තවම කලාකරුවෙක් වෙන්න හදන කෙනෙක්. ජේෂ්ඨයන් නවකයන්ට බනින්නෙ නැතිව නවකයො අතර ඉන්න හොඳ පිරිස අගය කරනවා නම් මෙහෙම වෙන්නෙ නෑ. මම කලින් කිව්ව මාධ්‍ය වලින් එන තරුණ පිරිසට එරෙහිව බැන බැන ඉදලා පලක් නෑ.  තමන්ගෙ මග යන පිරිසට අත දීලා ඔවුන්ට ශක්තියක් වනවා නම් වඩාත් හොඳයි. අද ඉන්න බහුතර තරුණ පරපුර විශ්ව සංගීතය ඇසුරු කරන අය. මේ අය තමන්ගෙ සංගීත දිවියේ මුලින්ම කරන හෘදයාංගම නිර්මාණ ජනතාව අතරට ගෙනයන්න මාධ්‍ය උදව් කලේ නැතිනම් තමන් ඉගෙන ගත්ත ශිල්පය අමතක කරලා ජනප්‍රිය වෙන්න බොළඳ නිර්මාණ කරනවා. ජීවත් වෙන්න මුදලුත් අවශ්‍ය නිසා. මෙන්න මේ තත්වය යහපත් කරගන්න තමයි රාජ්‍ය ප්‍රතිපත්ති වල අවශ්‍යතාව තියෙන්නෙ.

පුරන් වෙමින්  තිබූ ශ්‍රී ලාංකීය කලා කෙත නැවතත් අස්වද්දන්ට අරුණ අයියාගේ ගීත අස්වැන්නෙන් වැඩි කොටසක් ලාභ උපයන්නට හරසුන් නිර්මාණ බිහිකරන්නට අත හිත දෙන මාධ්‍ය වල අවශ්‍යතාව ඉටු නොකරන නිසාදෝ ඉඳහිට දවසක හෝ ප්‍රචාරය වන්නේ නැත. එම ගීත නිර්මාණ සමහරක් පහතින් දක්වා තිබේ.



ගායනය - කරුණාරත්න දිවුල්ගනේ       පද- රඹුක්කන සිද්ධාර්ථ හිමි
 ගායනය - හර්ෂණ දිසානායක       පද- අසංක රුවන් සාගර
ගායනය - අරුණ ගුණවර්ධන         පද- ශාන් දෙල්කඳුරආරච්චි
 ගායනය - ටී. එම්. ජයරත්න         පද- රඹුක්කන සිද්ධාර්ථ හිමි
 ගායනය - විශාරද නන්දා මාලනී       පද- ජානක සිරිවර්ධන
 ගායනය - කරුණාරත්න දිවුල්ගනේ    පද- ගෝණදෙණියේ සීවලී හිමි
 ගායනය - අමරසිරි පීරිස්         පද- රඹුක්කන සිද්ධාර්ථ හිමි

පාසල් බිමේදී දශකයකටත් එහා දිනයක හඳුනාගත් ඔබ එදා මෙන්ම තවමත් නිරංහාරකමේ ප්‍රතිමූර්තියක් බඳුය. අදට වඩා යහපත් වූ කලාවක් හෙට දින බිහි කරන්නට ඔබ ඇතුලු අවශේෂ සංගීත කරුවන්ගේ උරමත පැටවී ඇත්තේ විශාල වගකීමකි. ඒ වගකීම නිසි ලෙස හඳුනාගෙන තව තවත් ලාංකීය කලාකෙත පෝෂණය කරමින් ශ්‍රාවක සිත් සතන් ආනන්දයෙන් ප්‍රඥාව කරා ගෙන යා හැකි නිර්මාණ බිහි කිරීමට ඔබට සියළු ශක්තිය ධෛර්යය ලැබේවා !



මම කාමරේ අරින සිරා කොලුවා.



ප.ලි

මෑත දිනයකදී අමරදේවයන් ගැයූ ගිමන් හරින ගීතය අරුණ ගුණවර්ධනයන්ගේ හඬින් ගැයුනි. 


Sunday, January 18, 2015

59 අතින් කයිට් වැඩි ලාභ අඩු ජීවන්තයා

හේවගේ ජීවන්ත කියන්නෙ සිරා කොලුවගෙ හොඳ බොක්කක්...ඒ කිව්වෙ සැපට දුකට දෙකටම ඉන්න ඉතාම කිට්ටු මිත්තරයෙක්. බොලා මීට කලින් එක වතාවක් මේකා ගැන සිරාගෙ කාමරෙන් කියවලා තියෙනවා. ඒ කාලෙකට ඉස්සෙල්ලා ගියපු මී මුරේ චාරිකාව ගැන මම ලිව්ව සටහනින්.

ජීවන්තයා මට මේ ආත්මයෙදි ඉස්සෙල්ලාම මුණ ගැහුන හැටි මට තාම හොඳට මතකයි. සිරා කොලුවා සිස්සත්තෙ ලියන අවදියෙ උදේ හවස කිලෝමීටර් දෙකක් පමණ වෙච්ච පාසලට තිබුන දුර ආවෙ ගියෙ අම්මා එක්ක පා ගමනින්. ඒ කාලෙ මූණ පිරෙන්න පොල් දත් දෙකක් තිබුන එකෙක් නිල් පාට ඉරි දෙකක් බඳේ පින්තාරු කරලා තිබුන පාසල් වෑන් රථයක දොරෙන් වඳුරෙක් වගේ, ඔලුව ඉවතට දාගෙන පාරෙ ආගිය අයට ඔච්චම් කරමින් කොළ කෑලි වලින් දමා ගසමින් ගියා. මේ කොළ කෑලි ප්‍රහාර මටත් වැදිලා තියෙනවා. අන්න ඒ ගොයියා තමයි මේ කියන ජීවන්තයා.

සිස්සත්තෙ සමත් වෙලා නගරෙ පාසලට ගියාම මෙන්න බොලේ මගේ පන්තියෙම ඉන්නවා මගේ හතුරා. මේ හතුරුකම මගේ හිතෙන් එක පාරටම මැකිලා ගියේ නෑ. 6 වසර E පන්තිය තමයි මගේ අලුත් පාසලේ මුල්ම නවාතැන උනේ. අපේ පන්තිය භාරව කටයුතු කලේ විද්‍යාව උගන්වපු ජයසේකර සෑර්. ඉතාම ඉක්මනින් කුපිත වෙන, බොහොම සැර කෙනෙක් විදියටයි එතුමා ප්‍රසිද්ධ වෙලා උන්නෙ. අපේ 6 වසරෙ කොල්ලන්ට දඩුවම් විදියට ඩෙස්ක් එක උඩට නැගලා හිටගෙන ඉන්න...එහෙමත් නැතිනම් ඩෙස්ක් එක යටට රිංගන්න වගේ දඬුවම් තමයි නිතරම ලැබුනෙ. ඉදලා හිටලා කොල්ලන්ට අත දිහ ඇරලා ගහන වෙලාවලුත් තිබුනා. ඒ වෙලාවට අතේ තියෙන ඔරලෝසුව ගලවනවා...ඔරලෝසුව ගලවනවා දකිනකොට අද කාට හරි බඩු පැකට් කියලා අපි දන්නවා.

දවසක් ජීවන්තයා මොකක්ද වරදක් කරලා ඩෙස්ක් එක යටට රිංගෙව්වා අපේ ජයසේකර සෑර්...ඒකා කපටි කමටද කොහෙදෝ ඩෙස්ක් එක යට ඉදගෙනත් විද්‍යාව පොත කියවමින් උන්නා.

අන්න බලනවා....ඉගෙන ගන්න උවමනාව තියෙන මිනිහා...ඩෙස්ක් එක යට ඉඳලත් පොත කියවනවා.... එහෙම කිව්ව ජයසේකර සෑර් ඒකාව නිදහස් කලා.

6 E පන්තිය ඉදිරියෙන් තිබුනෙ කජු ගහක්. අවුරුදු කාලය ලං වෙද්දි මේ ගහේ කජු පුහුලං එල්ලෙන්නෙ හරියට අපේ පන්තියෙ උන්ට හිනාවෙනවා වගෙයි. අපි ඉතිං කජු පුහුලමක් බිම වැටුන සැනින් කරාමයට අල්ලලා හෝදලා අනුභව කරන්න සැදී පැහැදී උන්නෙ.

විවිධ පාසල් වලින් සිස්සත්තෙ සමත් වෙලා ආව අලුත් මිත්තරයො රාශියක් අපේ පන්තියෙ ඇතුලෙ දැන් ඉන්නවා. සිරා කොලුවා එක්ක ඉක්මනින් සුහද වෙලා අලුත් පාසලේ මුල්ම මිත්තරයා බවට පත් උනේ අද වෛද්‍යවරයෙක් ලෙස කටයුතු කරන සුරේෂ් ගොයියා. ජීවන්තයා මා එක්ක මිත්තර වෙන්න කල් ගත උනා. ඒකට හේතුව තමයි මගේ හිතේ ඒකා ගැන තිබුන කෝපය.

අපේ පන්තියෙ හිටියා ඇගපත බොහොම උස මහතට හිටිය යෝධයෙක් වගේ එකෙක්. අපි ඒකාට කිව්වෙ බතා කියලා. බතා අද ගම්පහ නගරයේ දන්ත වෛද්‍යවරයෙක් විදියට සේවය කරනවා. විවේක වෙලාවට බතාගෙ අත් දෙකේ එල්ලිලා ඒකාව දෙපැත්තට අදින එක තමයි ඒ කාලෙ අපේ විනෝද ක්‍රීඩාව. බතා හරිම අහිංසකයි. ඇඟපත ලොකුවට තිබුනට චණ්ඩියෙක් නෙමෙයි. දවසක්දා විවේක කාලයෙ බතා රස බලමින් උන්නු අයිස් පලමට මගේ හතුරා අතින් ගැහුවා. අනේ බතාට ඉතුරු උනේ අයිස් පලම මැද්දෙ තියෙන ලී පතුර විතරයි.

ඒ කාලෙත් සිරා කොලුවා අද වගේම අසාධාරණයට විරුද්ධයි. මම වහාම මගේ හතුරා එක්ක සටනට එළැඹුනා. ජීවන්තයත් මගේ දිහා බලාන අත උළුක් කරගෙන හිටියා. අපේ පන්තියෙ උන් දෙපැත්ත බෙදිලා අපි දෙන්නා වටේ රවුමක් විදියට හිටියා. නමුත් අපි එදා එක ගුටියක්වත් ඇණගත්තෙ නෑ. හතුරත් මමත් මිතුරු වෙන්න ගත්තෙ එදායින් පස්සෙ කියලයි මගේ අක්මාවට දැනෙන්නෙ.

දෑ අවුරුද්දක් විතර පාසල් වෑන් රථයක ගිහිල්ලා සාමාන්‍ය විදියට සීසන් ටිකට් එකත් අරගෙන ලංගම බස් ගමන පටන් ගත්තට පස්සෙ තමයි මමයි ජීවන්තයයි බොහොම සමීප උනේ. අපි දෙන්නම ඉතිං එකම මාර්ගයේ යන උන් නොවැ.

ඒ කාලෙ සිරා කොලුවා පාසලේ බාහිර ක්‍රියාකාරකමක් විදියට කලේ බාලදක්ශයෙකු ලෙස කටයුතු කිරීම. බාලදක්ෂයන්ට මුද්දර එකතුකිරීමේ කාර්යයක් පැවරුනේ මේ කියන කාලයෙදි. වැඩි දොහක් ගියේ නෑ. මුද්දර එකතුකිරිල්ල පිළිකාවක් වගේ අපේ වයසෙ හැම පන්තියකම සීඝ්‍රයෙන් පැතිරිලා ගියා. ජීවන්තයගෙ ව්‍යාපාරික ඥානය ඒ කාලෙත් කොයි වගේද කියනවා නම්, මේකා මුද්දර සමාජයක් හොයාගෙන එතනින් මිළදී ගන්න මුද්දර ඊට වඩා වැඩි ගානකට පන්තිය ඇතුලෙදි අනිත් අයට වික්කා. යාලුකමවත් බලන්නෙ නැතුව මේකා මට විකුණලා තිබුනෙත් එකට එකක් ලාභ තියාගෙන. අන්තිමේදි මේ මුද්දර සමාජය ගැන හැමෝම දැනගත්තට පස්සෙ ජීවන්තයගෙ ලාභ තීරුවේ තරම අපිට අවබෝධ උනා.

මේ කියන අතීතයෙදි පාසල් වෙලාවෙන් පස්සෙ අපේ මාර්ගයේ ධාවනය වෙන ලංගම බස් එකක් ආවෙ බොහොම වෙලාවක් ගත වුනාට පස්සෙ. සමහර දවස් වලට අපි පැය දෙකකට වඩා පාරෙ රස්තියාදු උනා. ඒ පැය දෙක අපි ගත කලේ පාසල අසල හිස් ඉඩමක පදුරු අතර තිබුන ටික්කො නමින් හදුන්වන පුංචි කරලක් බදු යමක් කටේ දමා ඉවතට ගෙන පිපිරීමෙන්. මමත් ජීවන්තයත් ඒ කාලෙ තරගෙට ටික්කො එකතු කලේ.

අ.පො.ස සාපෙ පන්තියට එද්දි ජීවන්ත මගේ බොහොම ලග මිත්තරයෙක්. අපි සා/පෙ වෙනුවෙන් අතිරේක පන්ති ගියෙ ආවෙ එකට. විභාගයට මාස කීපයකට කලින් ඒකා දරුණු අනතුරකට මුහුණ දුන්නා. පන්ති ඉවර උනාට පස්සෙ බස් රථයක එල්ලිලා ගිහිල්ලා පාපුවරුව සහ ටෙලිකොම් මෑන් හෝල් වලක් අතරට ජීවන්තයගෙ කකුල හිරවෙලා මිනිහගෙ එක කකුලක් දරුණු විදියට හානි උනා. ශල්‍යකර්මයක් පවා කරලා කම්බි දාලා මේ කකුල හදන්න ගත වෙච්ච කාලය පුරාවටම මිනිහා හිටියෙ කොළඹ මහ ඉස්පිරිතාලෙ. මමත් වතාවක් දෙකක් ඒකව බලන්න ගිය හැටි මතකයි. අපි හිතපු නැති වෙලාවක ජීවන්ත කිහිලි කරුවක ආධාරයෙන් ආයෙත් අතිරේක පන්තියට ආවා. ඒක මට ඒ කාලෙ බොහොම සංවේදී දසුනක් උනා.

උසස් පෙළට සිරා කොලුවා වාණිජ විෂයන් හදාරනකෙට ජීවන්තයා ගණිත විෂයන් හැදෑරුවා. සිරා කොලුවා බටහිර තූර්ය වාදක ඛණ්ඩය නියෝජනය කරද්දි ජීවන්තයා පාසලේ අමද්‍යප සංගමය නියෝජනය කලා. පස්සෙ කාලෙක කරටි කැඩෙන්න ගැහුවත් ඒ කාලෙ නම් ඒකා අරක්කු බොන උන්ට බැන්නෙ පුදුම තරහකින්.

පාසල් ජීවිතේ අවසන් කොරාන අපි දෙන්නා ඉතිං වෘත්තීය ජීවිතයටත් ආවා කියමුකො. මගේ මිත්තරයගෙ පවුල් පසුබිමේ තිබුනෙ ව්‍යාපාර අභාෂයක්. ඒ නිසා ඒකා කවදාවත් රැකියාවක් කරන්න උත්සාහ ගත්තෙ නෑ අනුන් යටතේ. එදා ඉදන්ම තමන්ගෙ කියලා දෙයක් තමයි කලේ.

ජීවන්තයගෙ අම්මා තාත්තා පවත්වාගෙන ගිය මහා පරිමාණ කජු ව්‍යාපාරය ඒ වෙද්දි අඩපණ වෙලා තිබුනෙ ඉතින් ජීවන්ත විවිධ දේ කලා...අද කරන දේ නෙමෙයි ටික දවසකට පස්සෙ කරන්නෙ. ඒ කියන්නෙ ස්ථිරව කරගෙන ගිය දෙයක් නෑ. කාලයක් කජු බිස්නස් කරලා අවුරුදු කාලෙට රෙදි බිස්නස් වලට බහිනවා...ඊලග මාසෙ අල බැදලා හදන අමුතුම කෑමක් එක්ක අමුතුම බිස්නස් එකක් පටන් ගන්නවා. මේ සමහර තැන් වල මගේ වෘත්තීය දැනුමෙන් මම ඒකට උදව් කලේ ශත පහක්වත් අය කරන්නෙ නැතුවයි. ඒ වෙනුවට ඉතිං මිනිහා ඉදලා හිටලා මට බියර් බෝතලයක් කාරිය අරං දීලා තියෙනවා.

ගම්පහට මැජික්... 


ජීවන්තයා මෙන්න මෙහෙම පෝස්ටරයක් ගැහුවා ගම්පහ නගරය පුරාම. දැන් ඔන්න මිනිහා මැජික් බිස්නස් එකකට බැහැලා. ලංකාවෙ නමගිය මැජික් ශිල්පියෙක් සම්බන්ධ කරගෙන මහජන සංදර්ශන දෙකක් නිවාඩු දවසක අපේ පාසලේම සූජානම් කොරලා. ප්‍රකට කලා ශිල්පීන් දෙන්නෙකුත් මේ වැඩේටම සම්බන්ධ කරගෙන. ඒකෙ එක අංගයක් තමයි ඇස් දෙක රෙදි කඩකින් බැඳලා යතුරු පැදියක් නගරය මැදින් ධාවනය කිරීම. මමත් ඉතිං මේ අරුම පුදුම වැඩේ බලන්න එතැනට යද්දි සෙනග වටවෙලා උන්නා...මැජික් ශිල්පියත් උන්නා...ඒකාට යාබදව ජීවන්තයත් උන්නා.

මොකද බං වැඩේ පටන් ගන්නෙ නැත්තෙ...මම ජීවන්තයට ලං වෙලා ඇහුවා.

මල රෙද්දක් වෙලා තියෙන්නෙ බං...මේකා ඇස් දෙක බැඳගෙන බයිසිකලේ පැදලා ඒක පෙරලලා කඩලා දායි කියලා බයික් එක දෙන්න හිටපු එකා දැන් දෙන්න බෑ කියනවා...අපි මේ බයික් එකක් නැතුව බලා ඉන්නෙ....

එතැන වටේට එකතු වෙච්ච ගම්පහ තුන්රෝද රථ සහෝදරයො යතුරු පැදියක් හොයලා දීලා ඒ කාරියට සහයෝගය දුන්නා. සිරා කොලුවා නාලා කාලා 3.30 දර්ශනය බලන්න ගියා. ගම්පහට මැජික් පෝස්ටර් නගරය පුරාම වාර දෙකක් විතර අලවලා අති විශාල ජනකායක් මේ සංදර්ශනය බලන්න ඒවි කියන විශ්වාසයෙන් තමයි ජීවන්තයා උන්නෙ. සංදර්ශනයේ ආරම්භය පැය භාගයක් පමා කලත් අනේ 100 කට වඩා සෙනග උන්නෙ නෑ. කලින් ආරාධනාවක් තිබුනෙ නැති උනත් ජීවන්තයගෙ දැනුම්දීම මත මටත් පොල්තෙල් පහන පත්තු කරන්න නිවේදක තැනගෙන් ආරාධනාවක් ලැබුනා. ජීවිතේ හා හා පුරා කියලා ආරාධිතයෙක් විදියට පහනක් පත්තු කරලා සභාවේ ඉස්සරහම පුටුවක ඉදන් ගම්පහට මැජික් අපූරුවට දැකගත්තා.

මැජික් පෙන්වලා සතියකට විතර පස්සෙ තමන්ට වෙච්ච අලාභය ගැන ජීවන්තයා මා එක්ක කිව්වා.
ලක්ෂ එකහමාරකට වැඩියි බං පාඩුව. මේ වැඩේ කරන්න උගෙ ලග මැජික් බඩු නෑ කියලා මම ඉන්දියාවෙන් ගෙන්නුවා. අතින් කයිට් බං...

මෙයින් පස්සෙ ගතවෙච්ච කාල වකවානුවෙ ජීවන්තයා ඉතිං තමන්ගෙ පාඩුවෙ අතට අහුවෙන ව්‍යාපාරයක් කරගෙන හිටියා. මමත් ඉතිං මගේ වෘත්තිය කරගෙන උන්නා. ඉදලා හිටලා මධුවිතකට එහෙම සම්බන්ධ වෙන්න ආරාධනාවක් ආවොත් මම ඒ හැමවිටකම ඒකාව මුලිච්චි උනා.

අපරාදෙ කියන්න බෑ. මගේ මිත්තරයා ලෝභ කම දන්නෙවත් නැති එකා. තමන්ගෙ අතේ සල්ලි තියෙනවා නම් අනුන් වෙනුවෙන් ඔක්කොම හරි වියදම් කරයි. ක්‍රිස්තු භක්තිකයෙක් නොවුනට අල්ලපු වත්තෙ තියෙන පල්ලියෙ මංගල්ලය සමරන්න පාටි දාන්නෙ මිනිහගෙ සල්ලි වලින්. බයික් එකට තෙල් ගැහුවම අහල පහල උන් තමයි සවාරි ගිහින් ඒක ඉවර කරන්නෙ. ගමේ එකෙක් කුමක් හෝ තක්කඩි වැඩකට පොලෝසියට කුදලගෙන ගියොත් ඒකව බේරගන්න යන්නෙත් ජීවන්තයාම තමයි.

මැජික් පෙන්වලා කාලයක් යනකං ඒ වගේ සංදර්ශන පෙන්වන්න ජීවන්තයා නැවත උත්සාහ කලේ නෑ. නමුත් හිටි අඩියෙම ඒකා වටේ ඒ වෙද්දි උන්නු අය දුන්න ලණුවක් ගිලලා අනුන්ගෙ සින්දු කියලා ජනප්‍රිය වෙච්ච ගායකයෙකුගෙ ඒක පුද්ගල සංගීත ප්‍රසංගයක් ගම්පහ ලෑස්ති කරන්න ජීවන්තයා තීරණය කොරලා තිබුනා. කියන හැම ගීතයක්ම අනුන්ගෙ උනත් මේ ගායකයා ලක්ෂ ගනනින් තමන්ගෙ අය කිරීම් දන්වලා තිබුනෙ.

මිත්‍රත්වය නිසාම මේ වගේ සැලසුම් ගැන වේලාසනම මට දැනුම් දෙන පුරුද්දක් ජීවන්තයාට තිබුනා. සංවිධාන වැඩ වලට යන වියදම..ප්‍රවේශ පත්‍ර වල මිළ, පැවැත්වෙන ස්ථානය සහ වෙලාව වගේ සාධක දිහා බලලා මම කිව්වා මේ වැඩේ කරන්න එපා පුතෝ වැඩේ පාඩුයි කියලා. ඇරත් අනුන්ගෙ ගීත ගයන ගායකයෙකුට ලක්ෂ ගනන් ගෙවන්න පිස්සුද...

උඹ මගුලක් කථා කරනවා..මේක පිටිපස්සෙ දැවැන්ත සෙට් එකක් ඉන්නවා බං...ගායකයම මට කිව්වා උගෙ යාලුවො 500 කට වඩා එනවා උන් ටිකට් අරං තමයි ෂෝ එක බලන්නෙ කියලා...මේක පාඩුවක් නෑ බං..බොරු නම් බලහංකො.

කොහෙද ඉතිං කිව්වට ඇහුවෙම නෑ. මමත් ඉතින් සුපුරුදු වෙලාවට සංදර්ශනය බලන්න ගියා. අනේ සංවිධායක මණ්ඩලයට වඩා පොඩියක් විතර වැඩිවෙන්න ප්‍රේක්ෂක ජනතාව සූ ගාලා උන්නා. ගායකයගෙ යාලුවො 500 අතරින් එක වෑන් රථයක විතර පිරිසක් ආවා.

සංදර්ශනය ඉවර වෙලා තමන්ගෙ මුදල ගන්න බැරුව ගායකයා ලතැවෙනවා. වාදක මණ්ඩලය කසු කුසු ගානවා. ජීවන්තයා නම් වෙනසක් නැතුව පුටුවක ඉඳගෙන සිගරට් දුමක් උරනවා.

දැන් කොහොමද බං මුංගෙ සල්ලි බේරන්නෙ....මම කිට්ටු වෙලා ඇහුවා.

වාදක මණ්ඩලයෙ සල්ලි ටික ඔක්කොම බේරුවා. ගායකයට අතේ තිබුන සල්ලි ටික දුන්නා. දැන් ශත පහක් අතේ නෑ.

එතකොට ඉතිරිය...

මොන ඉතිරියක්ද...බොල...මම ඌට වෙන ශත පහක් දෙන්නෙ නෑ...උගෙ යාලුවො 500 ටාගට් කරගෙන මම උන්නෙ...යාලුවො නැති නිසා ඌට සල්ලි නෑ.

උඹට පාඩුවක් ඇත්තෙම නැද්ද...

මොකද නැත්තෙ..මට ලක්ෂ දෙකකට වඩා පාඩුයි..මගේ වාහන වලට තෙල් ගහපු ඒවා, මගේ ලග ඉන්න කොල්ලො වැඩ කරපුවා උන්ට කන්න බොන්න, පෝස්ටර් කටවුට් ගහන්න ගිය වියදම්, අරක්කු වලට වියදම් කරපුවා තමයි ඒ.

ලක්ෂ දෙකකට වැඩි පාඩුවක් ලැබුව ජීවන්තයගෙ පෙනුම මෙන්න මේ වගේ කියලා කියන්න මම එදා මිනිහගෙ ඡායාරූපයක් අරගෙන මිනිහටම දුන්නා. ලෝකෙ අනිත් පැත්ත පෙරලුනත් කවදාවත් මූණ එල්ලගන්න එකෙක් නෙමෙයි ඒකා.

සිරා කොලුවා රට පැටවුනාට පස්සෙ අපි දෙන්නා කථා බහ කරන්නෙ කලාතුරකින් උනත් මිත්‍රත්වයට කිසි හානියක් වෙලා  නෑ. කාලෙකට පස්සෙ ජීවන්තයා දැන් ස්ථිරව යමක් කරනවා කාලයක් තිස්සේම. යකඩ සම්බන්ධ කොන්ත්‍රාත් අරගෙන තමන්ගෙ සේවකයො යොදාගෙන ඒ කාර්යයන් සම්පූර්ණ කරනවා. කාලයක් තිස්සෙ තමන්ගෙ පෙම්වතිය වෙලා හිටිය තැනැත්තියව මේ අවුරුද්දෙදි පතිනිය කරගත්තා.

පහුගිය කාලෙ ඉතින් ජනාධිපතිවරණයේ උණුසුම හැම අතේම පැතිරුන වෙලාවෙ ජීවන්තයත් මේ ප්‍රවාහයට එකතු උනා. මිනිහා එදා ඉදලම කැපුවත් මහින්ද වර්ගයේ කෙනෙක්. ඡන්දයක් තිබ්බ හැම වෙලාවෙම ඡන්ද ඔට්ටු දාන එක සිරිතක්. මිනිහා අදටත් පාවිච්චි කරන මෝටර් සයිකලය මහින්ද උන්නැහේ පළවෙනි වතාවට ජය ගත්ත වෙලේ දිනාගත්ත ඡන්ද ඔට්ටුව.

එතැනින් පස්සෙත් දිගින් දිගටම ඔහු වෙනුවෙන්ම ඔට්ටු අල්ලලා විවිධ දේ දිනාපු නිසාම මිත්තරයා මෙදා පාරත් පරණ පාරෙම ගමන ගියා.

මහින්ද දිනනවා...ලක්ෂ දෙකක් ඔට්ටුයි...කැමති කෙනෙක් මට කථා කරන්න...දුරකථන අංකයත් එක්කම මූණු පොතේ මේ විදියෙ සටහනක් තිබුනා.

පැයක් දෙකක් ගත උනත් කවුරුවත් නැති නිසා ...ජීවන්තයා මේ විදියෙ සටහනක් යටින් දැම්මා....

යහ පාලන කාරයො කවුරුවත් නැද්ද..මගේ ඔට්ටුව බාර ගන්න...එන්න භය නැතුව...

මම ඉතින් නොරටක හිටියත් මට තිබුන ආරංචි අනුව දිනන කෙනා ගැන අදහසක් තිබුන නිසා මගේ මිත්තරයට තරයේ කියා සිටියා මේ වැඩේ කරන්න එපා කියලා.

අනේ පලයං බං යන්න...උඹ ඉතිං එදා ඉදන්ම මහින්දට විරුද්ධව ඡන්දෙ දීපු එකානෙ. ලංකාවෙ නැති උඹ කොහොමද මෙහෙ තියෙන මහින්ද රැල්ල ගැන දන්නෙ...මහින්ද අනිවා දිනනවා.

ලයිට් කණුවක් කණුවක් ගානෙ කටවුට් ගැහුවට ඡන්ද දින්නන බෑ බොල...ඔය ලක්ෂ දෙක නාස්ති කරගන්නෙ නැතුව හිටහං...මහින්ද පරදිනවා...ඒක ස්ථිරයි...උඹට ඔය සල්ලි වැඩක් නැත්තං අපි බෙහෙත් ගන්න සල්ලි නැති කෙනෙක්ට උදව් කරමු, ඉගෙන ගන්න සල්ලි නැති ළමයින්ට උවමනා දේවල් අරගෙන දෙමු.

මම මොන දේ කිව්වත් මේකා මගේ වචන කනකට ගත්තෙම නෑ. අන්තිමට ටියුෂන් ගුරුවරයෙක් ජීවන්තයගෙ අභියෝගය භාර අරගෙන තිබුනා. ඡන්දයට ඉස්සෙල්ලා දවසෙත් මම මේ පාඩුව නතර කරන්න උපරිම උත්සාහ ගත්තෙ ලක්ෂ 2 ක් කියන්නෙ ජීවන්තයට පොඩි ගානක් නොවන නිසාමයි.

හෙට ඡන්දය දිනුවට පස්සෙ මම උඹලගෙ ගෙදරටත් කිරිබත් යවන්නං...ජීවන්තයා පාරම් බෑවා. අන්තිමේදි මහින්ද ලොක්කා පැරදුනා. ජීවන්තයා  මූණුපොතේ තිබුන ඡන්දය පිළිබද පරණ කියුම් කෙරුම් සියල්ල මකලා දැම්මා. මුනිවත හොඳයි දෙබසින් දුක වැඩි හන්දා කියලා හිතුන නිසාදෝ ඒකා පේන්න නැතුවම ගියා. මම යවපු පණිවිඩ වලටත් තවම පිළිතුරක් නෑ. සමහර විට ලැජ්ජාව නිසා වහං වෙලා ඇති.




මම කාමරේ අරින සිරා කොලුවා.


ප.ලි

මෙය පවතින දේශපාලන ප්‍රවාහය පිළිබඳ ලියවුන ලිපියක් නොවේ. ඒ නිසා දේශපාලන මතවාද මෙතැනට අදාළ නොවන බැව් කරුණාවෙන් සළකන්න.

Thursday, January 15, 2015

53 බස් අජිත්

පින්තූරය මෙතැනින්
බස් අජිත් යනුවෙන් පැවසූ විගසම මෙය කියවන බොලාට මතක් වෙන චරිතය ගැන මට සිතා ගත හැක. පෙම්වතිය දාලා ගියා යනුවෙන් කොයි වෙලෙත් වැළපෙන සින්දු ගායනා කරන, බස් රථ වල ගමන් ගන්නා සුවහසක් මගීන්ගේ ගෞරව ආදරයට පාත්‍ර වූ, ගායක තැනක්ද බස් අජිත් නමින් හදුන්වයි. ඇතැම් විටෙක ඔහු කෙරේ ඇති ජනතා ආදරය වැඩි වූ  තැනක බස් අජියා නමින් නමෙන් කොටසක් ලොප් කරයි.

ඇඟලුම් කර්මාන්ත ශාලාවක තත්ව පාලනයට සම්බන්ධ රාජකාරියක නිරත වූ මගේ මිත්තරයෙක් වතාවක් මට කීවේ මෙවන් කථාවකි. අපේ ෆැක්ටරියෙ මහන ළමයින්ට ඇහෙන්න කොයි වෙලෙත් එෆ් එම් චැනල් එකක් අල්ලලා තියෙන්නෙ. ඒකෙ අජියගෙ සින්දුවක් යන වෙලාවට කෙල්ලො මහන එක නවත්තලා බං අහං ඉන්නෙ...උන් පුදුම කැමතියි ඒ සින්දු වලට.

ලිපියේ මාතෘකාව දුටු පමණින් බොලා සිතන්නට ඇත්තේ මේ ලිපිය පෙර කියූ පුද්ගලයා පිළිබදව නම් ඒ වැරදීමකි. මා කියන්නට යන්නේ ඒ අජිතෙක් ගැන නොවේය. අපේ බස් මාර්ගයේ දැනට සෑහෙන කලකට පෙර කොන්දොස්තර රැකියාව කල බස් අජිත් ගැනය.

සිරා කොලුවා වන මම රට පැටවෙන්නට ආසන්න අවදියකවත් බස් අජියා මුලිච්චි වී නැත. කොටින්ම මේ චරිතය තව දුරටත් ජීවතුන් අතර ඉන්නවාදැයි කීමටවත් මම නොදනිමි. අපේ මාර්ගයේ පුද්ගලික බස් ධාවනය ආරම්භ වූ ඈත අතීතයේම කොන්දොස්තර වෘත්තියට අත් පොත් තැබූ මූලිකයෙක් ලෙස බස් අජියා හැදින්වූවාට කිසිදු වරදක් නැත.

අප කුඩා අවධියේ තනිදොරේ රෝසා බස් එකක දොරේ බස් අජියා නිතරම එල්ලි ගිය බවක් මට මතකය. තලාපෙලා, රළු වචන දොඩා බස් මගීන්ගෙන් සල්ලි උදුරා ගන්නා බස් පල්ලන් සිටින වකවානුවක බස් අජියා වැනි චරිතයක වටිනාකම මගේ අක්මාවට මෙය ලියන අවස්ථාව වන විටත් කාන්දු වෙමින් තිබේ.

සල්ලි වෙනුවට සද්දය දමා මාරු වන්නට දත කන චණ්ඩි පමණක් නොව බයියන්ගෙන්ද සල්ලි ගන්නා අන්දම බස් අජිත් මැනවින් දැනගෙන උන්නේය. මහත්තයා, පොඩි නෝනා, නැන්දා, රතු මාමා, සුදු ආච්චි ආදී වශයෙන් බස් රථයට ගොඩවෙන ඕනෑම කෙනෙකුට ඥාතීත්වයෙන් යුතුව කථා කිරීම අජියාට ටොයිස් වැඩකි. මෙලෙස සිය වෘත්තීය ගරුත්වය රැකගෙන බස් සේවය කල බස් අජියා හයේ හතරේ සයිස් නැත. ඉතාම කෙසඟ සිරුරක් හිමි කාලවර්ණ පුද්ගලයෙකු වූ ඔහුගේ හැකර කට විශාල සිරුරක් නැති වීමේ අඩුපාඩුව යම් තරමකට සම්පූර්ණ කල බවක් මට සිතෙයි. සල්ලි අතේ ගුලිකරගෙන සල්ලි නෑ කියනා අං ගිලපු උන්ගෙන් වුවද සල්ලිය එලියට අද්දන සාස්තරය අජ්ජා හොඳ හැටි ප්‍රගුණ කර සිටියේය.

තම තරුණ දිවිය බස් පොල්ල අල්ලාගෙන පාපුවරුවේ එල්ලීගෙන ගොස් බස් වලටම දිය කර දැමූ බස් අජිත් මට මතක මෑත අතීතයේදී කලෙත් ඒ රැකියාවමය. අපට රුපියලක්, ශත පනහක් ඉතුරු නොලැබුන විටෙක කොන්දොස්තර චරිතය අම්මා මෝ නැතුව බැනුම් අසයි. නමුත් ඒ රැකියාව තුල ජනතාවගෙන් මෙන්ම රථ හිමිකරුවාගෙන්ද එල්ල වන පීඩනයට හසුවී රැකියාව කරන්නට අජියලාට සිදු වී තිබේ...මෙවන් වටපිටාවක් තුල හිමිකරුට අසුනොවන සේ මාටියා පාරක් ගැසීමට අජියා කම්බි පොටවල්  දෙක තුනක් පාත් කර තබාගන්නටත් ඇත.

තමාගේ අතට ලැබෙන මුදල් නෝට්ටු වටිනාකමේ පිළිවෙලට දික් අතට දෙකට නමා අතේ ඇඟිලි අතරේ රුවා ගන්නා ඔහු කාසි වලින් කලිසම් සාක්කු පුරවා ගනියි. දරුවෙක් ලැබෙන්නට ඉන්නා මාතාවකට හෝ මහළු කාන්තාවකට අසුනක් දෙන ලෙස අජියා මොර දෙන විට ඒ ඇත්තියෝ බස් රථයට නගින්නට හිතලාවත් නැත.

බස් රථ හිමිකරුවකුට වැඩි ආදායමක් ලබාගන්නට නම් රථය තුල ටින් මාළු මෙන් සෙනග අසුරන්නට පුලුවන් කොන්දොස්තර චරිතයක් සිටිය යුතුය. එසේ කිරීමේදී මගී පාර්ශවය කිපෙන නිසා ඒ ඇත්තන් සමග නොගැටී මේ අභියෝගය ජය ගැනීම පහසු නැත. මේ කාරණයේදී අජියා සිටියේ ඉදිරියෙනි.

මල්ලි පොඩ්ඩක් ඔය නංගිට කියලා එහා පැත්තට පනින්නකො...බලන්නකො මේ තව සෙනග ඉන්නවා බිම...ඒ අයත් අරගෙන යමු...පව්නෙ....

අජියාගේ වාග් විලාශය එපරිදිය. ශරීරය එතරම් බර නැති නිසා ඔහු ඇතැම් විටෙක පා පුවරුවේ එල්ලී යන්නේ ඇඟිලි දෙක තුනකිනි. තවත් විටෙක පා පුවරුව අසල ජනේලයක් මත ඔහු හිඳ ගනියි. කොපමණ මගීන් පිරිසක් සිටියද කිසිවෙකුට අජියාට කොකා පෙන්වා සල්ලි නොදී මාරු වෙන්නට ඉඩක් නැත. පරිගණකයක් බඳු අජ්ජාගේ හිතේ මුදල් ගෙවන්නට සිටින මගීන් ගනන කීයක්දැයි පැහැදිලිව සටහන් වී තිබේ.

බකල ගැහුනු පාද දෙකක් සහ කුදු ගැහුණු කොන්දක් සහිතව වයස අවුරුදු 40 පසුකර සිටි බස් අජිත්ගේ රූපකාය ඔහු මට මුලිච්චි වූ අවසාන කාලයේදී මෙන් තවමත් හොඳින් මතක තිබේ. රහමෙර සමග සිගරට් සහ වෙනත් දුම් වර්ග සියල්ලම හරි හරියට  පානය කල නිසාදෝ, අජ්ජාගේ නියම වයසට වඩා වැඩිහිටි පෙනුමක් මුහුණින් පිළිඹිබු විය.

හැන්දෑ කොරේ රැකියාව නිමකර බස් රථය ගාල් කිරීමෙන් පසු එය අතුගා පිරිසිදු කොට, ඇඟේ පතේ අමාරුව යන්නට අරවායින් ටිකක් සප්පායම් වී පසුදා පෙරේතයෙක් සේ බස් රාජකාරිය කොරන නිසාම අජියාව බහුතරයක් බස් රථ හිමියන්ට දිරෙව්වේ නැත. මේ නිසාම පසු කාලීනව ඔහුට ස්ථිරව සේවය කරන්නට බස් රථයක් නොතිබුන අතර සේවකයෙකු සේවයට පැමිණ නැති කලෙක ඒ අඩුව පුරවන්නට එහෙමත් නැතිනම් ටෙම්පරියක් අදින්නට ඔහු හුරු විය. විටෙක අපේ මාර්ගයේ බස් රථයක දකින ඔහු තවත් දිනයක වෙනත් මාර්ගයක සේවය කරනවා දකින්නට ලැබෙන්නේ එදින ටෙම්පරියක් වැදුනේ ඒ මාර්ගයේ නිසාය. රැකියාවක් ඇතත් නැතත් ඔහුගේ දවස ගෙවුනේ බස් නැවතුම්පලේ බස් රථ සමගය. බස්රථ යනු ඔහුගේ අතිජාත මිත්‍රයන් සමූහයක් වැනිය.

බස් අජියාට ඉවසාගත නොහැකි කෝපයක් පැමණි හැම විටෙකම බනින්නේ තම මෑණියන් හට බව මට කිසිවෙකු කිව්වා මතකය. කුඩා එකෙකු සන්ධියේ ඉතාම හුරුබුහුටි කොලු පැටවෙකු වූ මේකාව දරුකමට හදාගන්නට ඇමරිකානු යුවලක් ඉල්ලා සිටි නමුත් තම පුත්‍රයාට මහත් සේ ආදරය කල අජියාගේ මව එම ඉල්ලීම ප්‍රතික්ෂේප කොට තිබේ.

උඹ තමයි මේ හැම එකටම මුල...එදා අර සුද්දට මාව අරගෙන යන්න දුන්නා නම් මම අද ඇමරිකාවට වෙලා සැප විඳිනවනෙ...උඹට ඔනෙ උනේ මම දුක් විඳිනවා බලන්නද... අජියා මෑණියන් සමග කෝපයට පත් වෙන සෑම විටෙකම මේ දෙබස කියනා බව ප්‍රසිද්ධ රහසකි.

බස් අජිත් මට දකින්නට ලැබුනු අවසාන කාලයේ දිනෙක සවස් යාමයේ කරටිය පාත් වන තරමට රහමෙර ගිල දමා සිටියේය. ටෙම්පරියක් හෝ අදින්නට නොලැබුන කරුම දවසක් වූ එදා ඒකා හොඳටම කිපී සිටියේ කිසිවෙකු රැකියාව කිරීමට අවස්ථාවක් ලබා නොදුන් නිසා විය යුතුය.

මෙච්චර කල් අනුන්ගෙ බස් වල වැඩ කලා ඇති ඩෝ...මම වැඩ කරනවා මගේම බස් එකක..

බස් නැවතුමේ නවතා ඇති විවිධ බස්රථ කරා යන ඔහු  සේවකයන්ගෙන් ඒවායේ මිළ ගනන් විමසයි.

කීයද බං මේ බස් එක...

මේක තනි දොරක්නෙ ලක්ෂ 25 යි....

චැහ්....ලක්ෂ 25 ගානක්ද යකෝ...මම මේකෙන් ගන්නවා නම් බස් දෙකක් ගන්නවා...උන් හිතාගෙන ඉන්නෙ අපි හිඟන්නො කියලා...අපි ලගත් සල්ලි තියෙනවා ඩෝ.....

අජියා දැන් සිටින්නේ ලේලන්ඩ් දොර දෙකේ බස් රථයක් අසලය.

කීයද ඩෝ මේ බස් ඒක...

ලක්ෂ 42 යි...

උඹලගෙ අයිතිකාරයගෙන් අහපං ලෝඩ් එක බස්සපු ගමන් මේක මට දෙනවද කියලා...රෙඩි කෑෂ් ඩෝ...

අරක්කු වල මත් ගතිය නිසාදෝ අතේ සතේ නැතත් පම්පෝරි ගසනා අජියා දෙස වෙනත් බස් සේවකයෝ උපහාසයෙන් බලා සිටිති. මෙවැනි විටෙක හිටි හැටියේ අතුරුදහන් වන ඔහු නැවත දැකිය හැකි වන්නේ කලින් දින සිදුවූ කිසිවක් මතක නැති අයුරින් ටෙම්පරියක් අදිනා විටෙකය.

අපි බොහෝවිට මිනිසුන් මනින්නේ බාහිර පෙනුමිනි. ඇඳුම් පැළඳුම් අනුවය. කරන රැකියාවේ ස්වභාවය අනුවය. නැතුව මනුස්ස කම අනුව නොවේය. උදේ සිට කෝඩෙ ගසා තිබූ..ටෙම්පරියක් හෝ වැදුනේ නැති දවසක හැන්දෑ යාමයේ බස් නැවතුමේ යකඩ පොල්ලකට බර දී සිටි බස් අජියා තම සාක්කුවේ රැදී තිබූ අන්තිම ශත 50 කාසිය පවා එකතුකොට කාත් කවුරුවත් නැති මහල්ලෙකුට බනිස් ගෙඩියක් සමග ප්ලේන්ටියක් මිළදී ගන්නවා මම වරක් දුටිමි. බස් අජියා පිළිබද එතෙක් මගේ සිතේ තිබූ සියලු උපකල්පනයන් අවලංගු වී රූපය අනෙකක් වෙතත් අජියාගේ හදවත නම් ඉතාම ලස්සන බව සහසුද්දෙන් දැන ගතිමි.




මම කාමරේ අරින සිරා කොලුවා.

Sunday, January 11, 2015

66 තාත්තේ අර...

දුම්රිය කවුළුවෙන් හමාවිත් මුහුණේ දැවටෙන සුළං රැල් මාලිකාගේ දඟකාර කෙහෙරැල් තවත් දඟකාර කරනා අයුරු ඇය අසලම සිටින සම්පත්ගේ නෙතට හසුවෙයි. දුම්රිය විටෙක ඉබි ගමනේද තවත් විටෙක අධි වේගයෙන්ද ධාවනය වෙයි. ප්‍රධාන දුම්රිය මාර්ගයේ කොළඹ සිට වේයන්ගොඩ දක්වා කොටස රැකියාවට යන්නට එන්නට පටන් ගත් පසු දහස් වාරයක් පසුකර තිබුනත්  හා පුරා කියා මේ මග ගමන් ගන්නා එකෙකුට ඇති වෙන අන්දමේ හැගීම් සමුදායක් සම්පත්ගේ සිත තුල නලියයි. ආදරවන්තයෙකු ලෙස කුළුදුලේ විඳිනා අමුතුම මිහිරකින් අද ඔහුගේ චිත්ත සන්තානයම පිරී ගොසිනි.

මාලිකා.....ඔහු දයාබරිත වූ හදින් ඇගේ නම මුමුණා, ඇගේ වමත තදින්  අල්ලා ගත්තේය...

ඇයි....ඇගේ නෙත්යුග අමුතුම කාන්තියකින් බැබලෙන අයුරක් ඔහුට පෙනෙයි...

ආදරෙයි නේද...සම්පත් රහසින් මෙන් ඇසුවේය...

ඔව්.. ඇගේ මුවේ මන්දස්මිතියක් නැගෙයි.

කොච්චරක්ද ?

ගොඩාරියක්.... ඇය සෙමින් පිළිතුරු දුන්නාය.

මේ යුවල  ඉදිරිපස අසුනේ වියපත් මිනිසෙක් අහස පොළව ගැටලන්නට මෙන් දුම්රිය කවුළුවෙන් ඉවත බලා සිටියි. පසෙකින් කුඩා පිරිමි දරුවෙකු ඔහුට කිට්ටු වී නිදාගෙන උන්නේය. ඔහුගේ දෑස් වටා සුදු පැහැති වෙළුම් පටියකි.
.......................................................................................................

තමන්ගේ කාර්යාලයේම වෙනත් අංශයකට අලුතින් සේවයට එක් වූ කොණ්ඩය දිග පැහැපත් යුවතියක් අසල තමන්ගේ දෙනෙත නැවතුන දිනය හරියාකාරයෙන් සම්පත්ට මතක නැත. නමුත් ඇය කාර්යාල ගමන අරඹා නොබෝ දිනකින්ම තමාගේ නෙතු යුග ඇය සොයා ගිය බව නම් ඔහුට හොඳින් මතකය. කාලය දින සති බවට පත් වෙද්දී ඇය පිළිබඳව ඇතුලු හදේ උපන් ආදරය නම් කුළුදුල් හැගීමකින් සසල වූ සිතක් සම්පත්ට උරුම විය.

ඔසරියට කැපී පෙනෙන ඇගේ නාරි දේහයේ හැඩතල වල අපූරුව විඳින්නට ඔහුට තිබුනේ පුදුමාකාර කෑදර කමකි. මුතු මාල පොටක් ඇගේ ගෙලේ වැරදුනේ නැත. අත් බොරිච්චි කල හැට්ටයත්...ඒ තුලින් ඉදිරියට නෙරාවිත් තිබෙන ඇගේ පිරුණු ළැම පෙදසත්, ඈ තබන පියවරක් පාසා දෙපසට වැනෙන කේෂ කළ්‍යාණියත් සම්පත්ගේ දෙනෙතට රසඳුනක්ම විය.

මේ රුවැත්තියගේ නම මාලිකා බවත් ගම්පහ සිට ඇය සේවයට පැමිණෙන බවත් සම්පත්ගේ හිතවතියක් විසින් එක්තරා දිනෙක ඔහු වෙත සන්නිවේදනය කලෙන් ඒ මාර්ගයේම වෙනත් දුම්රියක ගමන් ගත් ඔහුගේ සිත සොම්නසට පත් වූයේ ඇය සමග එකම දුම්රියක උදේ සවස රැකියාවට එන්නට යන්නට වටපිටාවක් සකසා ගත හැකි බව අවබෝධ වූ හෙයිනි.

.......................................................................................................

දුම්රිය සංඥා විරහිත කමින් නතර වී ඇති සෙයකි. නිවාඩු දිනයක් නිසාවෙන් මහා විශාල සෙනගක් මේ මන්දගාමී දුම්රියේ නැත. ආසන පිරෙන තරමට සිටින මගීන් අතර ඇත්තේද තරමක නිහඬ බවකි. ඔවුන්ගේ උස් නොවූ කථා බහ අතරින් විටෙක කඩල විකුණන පුද්ගලයෙකුගේ හෝ  සිගමන් යදින කෙනෙකුගේ හඩ මාලිකාට ඇසෙයි. තම දෙවුර තදින් අල්ලගෙන සිටින සම්පත්ගේ දකුණත, මාලිකාගේ සිතේ ආරක්ෂාකාරී හැගීමක් ඇති කර තිබේ.

තම පියාට ලංව හිඳගෙන සිටින දරුවා නින්දෙන් අවඳි වූ බවක් මේ දෙපලගේ නෙත් වලට හසුවෙයි. වයසට වඩා මහළු පෙනුමක් ඇති මේ මිනිසාගේ අව්වට පිච්චුන සම මෙන්ම යට ගිලුනු ඇස් ගෙඩි දෙකද ඔහු ජීවන ගමන් මගේ විඳි සරතැස පිළිබඳ දෙස් දෙයි. අර්ථයක් දිය නොහැකි හිස් බැල්මකින් දුම්රිය මැදිරියේ කවුළුවකින් අනන්තය සොයන ඔහුගේ රූප කාය මාලිකාගේ සිතේ ඇති කර ඇත්තේ බොහෝ සංකීර්ණ සිතිවිල්ලකි.

කුඩා දරුවා තම දෙනෙත වසා සිටින රෙදි පටියේ කෙලවරක් අතින් අදියි.

.......................................................................................................

කාර්යාලයේ වාර්ෂික චාරිකාවේදී මාලිකාට සමීප වෙන්නට සම්පත් කල්පනා කලේ දුම්රිය තුලදී ඇය වටා සිටි මිතුරු මිතුරියන් ගණන විශාල එකක් වූ හෙයිනි. කොළඹ සිට වේයන්ගොඩ දක්වා දිනපතා දුම්රියෙන් ගමන් කරනා ඔහුගේ සිත සොවින් බර වන්නේ ගම්පහින් බැස යන මාලිකාගේ දසුන නිසාවෙනි. එතැන් සිට තම ගමනාන්තයට ඇති ඉතිරි දුර අතර තුර ඔහුගේ සිත තුල විවිධ සිතුවිලි ඉපදී මියයයි. ඇය සහ ඇගේ මිතුරු මිතුරියන් අතරට අනාරාධිතවම යන්නට සිත තුල ධෛර්යයක් නොමැති හෙයින් සම්පත් ඇය ගමන් කරනා දුම්රිය මැදිරියේ අනෙක් අන්තයේ සිට ඇය දෙස නෙතු දෑල යොමා සිටින්නට පුරුදු වූවේය.

වාර්ෂික චාරිකාව අතරතුර මාලිකාට සමීප වෙන්නට සම්පත් මැවූ සිහින සැබෑ කරගන්නට ඇගේ අංශයේම සේවය කරන ඔහුගේ මිතුරියකගේ සහාය ලැබුනි. ඒ හේතුවෙන් යම් තරමකට හිතවත් කමක් ගොඩනගා ගන්නට ඔහුට හැකියාව ලැබී තිබේ. ආයතනය තුල කාර්යශූර සේවකයෙකු ලෙස ගොඩනගාගෙන තිබූ කීර්තිනාමයත්, ඔහුගෙ මහත්මා ගති ගුණ පිළිබදවත්...යෙහෙළිය විසින් වරින් වර මාලිකා වෙත පැවසූ වදන්....කිසිදිනෙක පෙම්වතෙක් සොයා නොගිය ඇගේ ආඩම්බර සිත යම් තරමකට දමනය කොට තිබේ. ඔහුගේ කඩවසම් රුවත් එයටම එක්වුනු පසු මාලිකා යම් තරමකට නොසන්සුන් වී ඇති බවක් පෙනෙයි.

චාරිකාව තුල ඇති වූ හිතවත්කම දුම්රිය මැදිරියට ගෙන යන්නට ඇය කටයුතු කොට තිබුනෙන් ඇගේ පිරිවර සමග රැකියාවට යන්නට එන්නට සම්පත් වෙත අවකාශ ලැබුනි. මේ ගමන අතර තුර නොයෙක් වර කථා කල ඔහුගේ නෙතු සඟල ඇයට බොහෝ දේ කීවේය. එහෙත් ඇය සසල නොවුනාය. ඔහුගේ මුවින්ම ඒ බැව් දැන ගන්නට ආශා කලාය.

එක් වැහිබර උදෑසනක දුම්රිය නැවතුමේ සිට කාර්යාලය බලා යන්නට ක්‍රමයක් නොමැතිව සිටි සම්පත් වෙත ඇය හදිසියේ මෙන් පැමිණියාය. කහ පැහැති ඔසරියකින් සැරසී සිටි ඇය පුංචි කුඩයක් තම අත් බෑගයෙන් ඉවතට අදියි.

ඔයා යන්න මාලිකා...මම වැස්ස ටිකක් අඩුවෙනකං ඉඳලා එන්නම්...

මේ වැස්ස තව පැය තුන හතරකට අඩු වෙන එකක් නෑ...අයියෙ...එන්න මේ කුඩෙන් යමු.

ඔය පොඩි කුඩේ අස්සට මම ආවොත් දෙන්නවම තෙමෙනවා...සම්පත් යටිහිතේ නැග එන ආශාව අමතක කොට කීවේය.

ඉතිං මොකද....ඇගේ පිළිවදන් හමුවේ නිරුත්තර වූ සම්පත් ඇය සමග මහ වැසි යට මල් මල් කුඩයක සෙවනට වූවේය.

වේගයෙන් හමනා සුළඟ ප්‍රචණ්ඩ වූයෙන් කාර්යාලයට යන අතුරු මග තුල දෙදෙනෙකු වැසි දියෙන් බේරා දෙන්නට මල් මල් කුඩය අපොහොසත් වී ඇති අයුරක් දිස්වෙයි. වෙනත් කිසිවෙකුත් මේ මාවතේ පෙනෙන්නට නැත. ගත හිරිගඬු නංවන සිහිලසක් සම්පත්ට දැනෙමින් තිබේ. සුදු පැහැති වැසි දුමාරයෙන් වැසුනු අතුරු මාවත දිගේ ගලනා වැසි දියෙන් තම ඔසරිය බේරාගන්නට මාලිකා වමතින් එය මඳක් ඉහළට කොට ඔසවාගෙන සිටියාය.

යුවතිය වෙතින් හමනා සුවඳ විලවුන් පුසුඹ තව තවත් දැනෙන ලෙස ගැඹුරින් හුස්ම ගන්නා සම්පත්ට මේ ගතවෙන නිමේෂය සිහිනයක්දෝයි සිතෙන තරමට චමත්කාර ජනකය. වමතින් ඇගේ කුඩය දරා සිටි ඔහු දකුණතින් ඇය තමා වෙත ලං කොට අල්ලා ගත්තේ කොහෙන්දෝ ආ පුරුෂ දහිරියක් නිසාවෙනි.

ඔයාව තෙමිලා....මම කිව්වනෙ දෙන්නෙක්ට යන්න බෑ මේ වැස්සෙ කියලා...

සම්පත්ගේ නෝක්කාඩුවට පිළිවදන් දෙන්නට නොගිය මාලිකා, ඔහු දෙස බලා සිනාසුනා පමණකි. තම දෙවුර වටා ඇති ඔහුගේ හස්තය පිළිබඳ ඇය වද නොවුනාය.

කුඩය අල්ලා සිටින සම්පත්ගෙ වමත ඔසරි පොට ඔසවාගෙන ඉදිරියට පැමිණ තිබෙන ඇගේ පපු පෙදෙසේ දැවටෙයි. ඉන් මැවෙන මිහිරෙන් සිත ඔද්දල් වී සිටි ඔහු මහ වැසි තරණය කොට කාර්යාලයට සේන්දු වූවේය.

.......................................................................................................

පුතේ ඔය පටිය ගලවන්න එපා...ගෙදර යන කං ඇස් දෙක වහගෙන යන්න කියලානෙ දොස්තර මහත්තයා කිව්වෙ. 

මෙතෙක් වේලා මුනිවත රැකි මිනිසාගේ හඬ ඔහුගේ පෙනුම තරම් රෞද්‍ර නැත. හේ අහිංසක කමේ ප්‍රතිමූර්තියක් බඳු යැයි මාලිකාට සිතෙයි. බොහෝ දුබල කටහඬකින් තම පුත්‍රයා අමතන ඔහුගේ දසුන ප්‍රේමයේ සුව විඳින ඇගේ සිතට යම් තරමකට දුකක් එන්නත් කොට තිබේ.

අනේ තාත්තෙ...චුට්ටම චුට්ටයි...පොඩි එකාගේ මැසිවිලි හඬ මැද පරාජය බාරගත් පියතුමා ඉහළට ගත් මහා හුස්මක් සමග ඒ හිතේ හිරවී තිබුන සියලු බර එකවිට පහතට හෙලුවේය.

දුම්රිය අසුනේ පසුපසට වෙන්නට නැවතත් හරිබරි ගැසී වාඩි වූ සම්පත් තම අතීතාවලෝකනයේ නැවතත් අතර මං වූවේය.

.......................................................................................................

වැසි මැද ගමනින් ලද මහා ධෛර්යය නිසාම එඳින සවස තම සිතැගි ඇයට හෙළි කරන්නට ඔහුට හැකි විය. ඒ වන විටත් ඇය කිසිවෙකුගේ පෙම්වතිය නොවන බව ඔහු දැන උන්නේය. සම්පත්ගේ බස් අසා අමුත්තක් නොපෙන්වූ මාලිකා ඔහුට සිනහවක් පමණක් සංග්‍රහ කලාය.

තවත් සතියක් දෙකක් ඇවෑමෙන් ඔහු අපේක්ෂා කල පිළිතුර ඇගෙන් ලැබුනේ මිතුරු මිතුරියන් රැසකගේ සුභ පැතුම්ද සමගිනි. එතැන් සිට දුම්රියේ එකටම ගමන් ගිය මේ ජෝඩුව නිවාඩු දිනයක හිතමිතුරන් මෙන්ම කාර්යාලයෙන්ද ඈත් වී නිදහසේ කථා කරන රිසියෙන් යුතු වූවෝය.

මේ ඉරිදට ගංගාරම පන්සලට ගිහින් ඊට පස්සෙ සතුටු දූපතට යමු...සම්පත්ගේ යෝජනාවට ඇගෙන් එකවර පිළිතුරක් ලැබුනේ නැත

අනේ ඉරිදට කොළඹ එන්නෙ මොනවා කියලද ?

මොකක් හරි බොරුවක් මම හදලා දෙන්නම්කො.... සම්පත් ඇගේ සිහින් රතැගිලි තදින් අල්ලා ගත්තේය. 

.......................................................................................................

සතියෙ සෑම දිනකම ඔසරියෙන් දකිනා ඇය අද දිගු ගවුමකින් සැරසී ඔහු හමුවෙන්නට පැමිණ සිටියි. පෙර දින නිදි නොමැති රැයක් අපහසුවෙන් ගෙවා දැමූ සම්පත්...ඇගේ වත කමලේ සුන්දරත්වයෙන් වශීකෘතව ඇය වෙත ගොස් ඇගේ අත අල්ලා ගත්තේය.

ගංගාරමය වෙත ගොස් බුදුන් පුදා...අනතුරුව සතුටු දූපතට පිවිසි මේ යුවල එහි වූ බංකුවක් මත හිඳ ගත්හ. කථා කරන්නට බොහෝ දේ තිබේ. මේ ගෙවෙන නිමේෂය දෙදෙනාගේම ජීවිත වලට නැවුම් අත්දැකීමකි.

ඇයි මට කැමති උනේ...මාලිකා ඔහුගේ උරහිස මත තම හිස තබන ගමන් විමසුවාය.

නිකං....මට හිතුන නිසා...සම්පත් බොහෝ සැහැල්ලුවෙන් පිළිතුරු දුන්නේය.

ඇයි මට කැමති උනේ...ඔහුද පෙරළා විමසුවේය.

නිකං මට හිතුන නිසා...ඇය එසේ පවසා සිනාසෙන විට සම්පත් අැගේ අත සෙමින් කෙනිත්තුවේය.

ඌයි....රිදෙනවා...මෝඩයො....

.......................................................................................................

තාත්තෙ අර...

පොඩි කොල්ලාගේ කන් බිහිරි කරවන තරමේ හඬ සම්පත් තුල ඇති කලේ සියුම් කෝපයකි. තමන්ට නිදහසේ ප්‍රේම පුරාණය වත් මතක් කර සැනහෙන්නට මේකා ඉඩ දෙන්නේ නෑ....වැනි සිතුවිල්ලක් ඔහුගේ සිත වෙළාගෙන තිබේ....

තාත්තෙ අර මොක්කුද ?

දුම්රිය මැදිරිය සෙලවෙන තරමේ හඬකින් කොල්ලා නැවතත් බෙරිහන් දෙයි.

මේ යකා නිකමට මේ කොල්ලව නිෂ්ශබ්ද කරන්නෙ නෑනෙ...හිනා වෙවී බලා ඉන්නවා...සම්පත්ගේ කෝපයේ අතු ඉති සෙමින් සෙමින් එසවෙයි.

.......................................................................................................

හිරු මුදුන් වී තිබුනත් බේරේ වැව ඔස්සේ හමා එන සුළඟ අවට පරිසරය සිසිල් කරයි. කුඩ යට ගුලි වූ ප්‍රේමවන්තයින් අතර මේ දෙදෙනාද තවත් එක් යුවලකි.

මේ කුඩය යට වැස්සෙ ගිය දවස මතකද ?

මොකද අමතකයි කියලා හිතුවද....මාලිකා ඔහු වෙත තව තවත් නැඹුරු වෙමින් ඇසුවාය.

ඒ ඇසිල්ලේ ඇය තමා වෙත තරයේ වැළඳගත් ඔහු ඇගේ නලලත ආදරයෙන් සිප ගත්තේය.

ආදරෙයිද...ඔහු ඇගේ කම්මුලක් සිප ගනිමින් විචාලේය...

ඔව් මහත්තයො....ගොඩාරියක් ආදරෙයි...අපි යමු නේද...දැන් වෙලාව 2 ටත් කිට්ටුයි.

.......................................................................................................

තාත්තෙ අර ලොකු සතා මොකාද.....

කොල්ලාගේ හඬින් පියවි සිහියට පැමිණි සම්පත් හට මහත් වූ කෝපයක් දැනිනි.

ඒකාගේ හඩ දැන් පෙරටත් වඩා උස්ව නැගෙයි...දුම්රිය මැදිරියේ සෙසු ආසන දෙස විමසිල්ලෙන් බැලූ සම්පත් හට එකදු තැනකවත් එක ලග හිස්වූ ආසන දෙකක් පෙනෙන්නට නැත. බොහෝ උන් නිදාගත් සෙයියාවෙන් සිටින නිසා මේකාගේ හඬ කරදරයක් වී නැති අයුරක් පෙනෙයි.

මේ මොන මළ කරදරයක්ද අනේ...අපි වෙන පෙට්ටියකට යමුද...සම්පත් ඇයට පමණක් ඇසෙන ලෙස ඇසුවේය.

අනේ පොඩි ළමයෙක්නෙ .ඉවසන්න...තරහා ගන්න එපා....ඇය පෙර පරිදිම ජනේලයෙන් ඉවත බලා සිටින්නීය.

ආන්න බලන්න තාත්තෙ අර ලොකු ගහ යට මොකුන්ද ඉන්නවා...

සම්පත්ගේ ඉවසීමේ සීමාව ඉක්මවා ගොසිනි.

මේ ළමයට කෑ නොගහා ඉන්න කියනවකො අයිසෙ...මෙතන අපි කොහොමද කනක් ඇහිලා යන්නෙ...තැනක හැසිරෙන හැටි කියා දීලා නැද්ද මේ ළමයට...

මහළු මිනිසා කලබල වූ බවක් පෙනෙන්නට නැත. ඔහු ඔහුගේ අහිංසක කම විදහා පාමින් බුලත් කහටින් දුර්වර්ණ වූ දසන් දක්වා සිනහා වූවේය.

සමාවෙන්න මහත්තයො...පොඩි එකාගෙන් වරදක් උනා නම්...මේ අත් දෙකේ කරගැට එනකං අව්වෙ පිච්චිලා පිච්චිලා අවුරුදු ගානක් එකතු කොරගත්ත සල්ලියෙන් කොලුවගෙ ඇස් දෙක ඔපරේෂන් කොරාන අද තමයි ඕං ඉස්පිරිතාලෙන් ගෙදර එක්කගෙන යන්නෙ.

කොලුවගෙ අම්මා බඩු මුට්ටු ටික අරගෙන වේලාසන කෝච්චියෙ ගෙදර ගියා. ඇහැට දාන බේතකුත් අරගෙන අපි දැනුයි යන්නෙ. මේකා ඔය කෑ ගහන්නෙ සතුට වැඩිකමට මහත්තයො...මේ කිසි දෙයක් මයෙ පුතා කලින් දැකලා නෑ.

මයෙ පුතේ...කෑ නොගහා ඉදින්...මේ මහත්තුරුන්ට කරදරයි නෙව.....
.......................................................................................................

තම චිත්ත සන්තානය අභ්‍යන්තරයේ ගැඹුරුම තැනක ඇති වූ සිහින් රිදුමක් මහා වේදනාවක් වෙද්දී නෙතු අගට පැමිණි කඳුලක් මාලිකාගෙන් වසන් කරමින් සම්පත් දුම්රිය කවුළුවෙන් අනන්තය සෙව්වේය.

තාත්තේ...අර.....ඔහුට නැවත නැවතත් ඒ හඬ ඇසුනි.




මම කාමරේ අරින සිරා කොලුවා.

Sunday, January 4, 2015

71 අවතාර නැති හොල්මන් නගරය

හොල්මන් කිව්ව ගමන් ඉතිං ඒ වචනය ඇතුලෙම අපිට දැනෙන්නෙ පුදුමාකාර කුතුහලයක්. සමහරු කියනවා හොල්මන් කියලා දෙයක් නෑ කියලා. සමහරු කියනවා එහෙම දෙයක් තියෙනවා කියලා. තවත් සමහරු හොල්මන් කියන්නෙ සෙලවෙන මනස කියලා විග්‍රහ කරනවා...එහෙමත් නැත්තං මානසික විකෘතියක් කියලත් අර්ථ දක්වනවා. බුදු දහමේත් අපට නොපෙනෙන ලෝක ගැන සඳහන් කොට තිබෙන නිසා හොල්මන් කියන්නෙ බොරුවක් නොවන බව තමයි මගේ හැගීම. වැල්ලට යටවුනු හොල්මන් නගරයක් ගැන මේ වසරේ පළමු ජාලෙන් පෙරලූ ලිපියෙන් ඔබට කියවන්නට දෙන්නයි මගේ මේ සූජානම. බොලාලා එහෙනං ඉඩ පාඩු තියෙන තැනක් බලලා ඉඳගනිල්ලා.

නගරයේ නම ජර්මන් භාෂාවෙන්
Kolmanskop කියන්නෙ දකුණු නැමීබියාවෙ නැමීබ් කියන කාන්තාරය ආසන්නයේ තියෙන පුංචි නගරයක්. Lüderitz කියන නගරයෙන් කිලෝමීටර් කීපයක් රට ඇතුලට වෙන්න තමයි මේ කියන හොල්මන් නගරය පිහිටා තියෙන්නෙ. මේ ස්ථානයන්හි නම් හැදිලා තියෙන්නෙ ජර්මන් භාෂාවෙන්. ඒකට හේතුව තමයි නැමීබියාව කියන අප්‍රිකානු රට පළමුවෙනි ලෝක යුද්ධය අවසන් වන තුරු ජර්මනියේ කොලනියක් විදියට පැවතීම.

Johnny Coleman කියන කරත්ත කරුගෙ නමෙන් කෑල්ලකුත් ඈඳලා තමයි මේ නගරයට ඔය කිව්ව නම ලැබිලා තියෙන්නෙ. දවසක්දා මහා වැලි කුණාටුවක් අස්සෙ අතරමං වෙච්ච ජොනී ගොයියා අන්තිමේදි Kolmanskop නගරය නිර්මාණය වෙච්ච ස්ථානයට ඇවිත් තමයි නතරවෙලා තිබුනෙ. දියමන්ති කර්මාන්තයත් එක්ක බොහොම සමෘද්ධිමත් වටපිටාවක් අතීතයෙ තිබුන මේ නගරය වර්තමානයේ නම් සංචාරක ආකර්ශනය බොහොම ඉහළින් දිනාගත්ත ස්ථානයක්.

1908 දි මේ ප්‍රදේශයේ දුම්රිය මාර්ගයක් ඉඳිකරමින් උන්නු කණ්ඩායමේ සාමාජිකයෙකු වූ Zacharias Lewala කියන දකුණු අප්‍රිකානු කම්කරුවට හදිස්සියෙම වැලි පොළවෙන් දියමන්තියක් හොයාගන්න අවස්ථාව ලැබුනා. කාලෙකට ඉස්සර දියමන්ති පතලක වැඩ කරලා තිබුන නිසාම දියමන්තියක් දැක්ක ගමන් හඳුනාගන්න එයාට හැකියාව තිබුනා. මිනිහා ඉතිං අවංකයෙක් වෙච්ච හින්දා දියමන්තිය සාක්කුවෙ දාගෙන හොරෙන් ගෙදර ගෙනියන්නෙ නැතිව තමන්ගෙ වැඩ පරීක්ෂකයා වෙච්ච ජර්මන් ජාතික August Stauch ට පෙන්නුවා.

August Stauch  කියන්නෙ ජර්මනියෙ දුම්රිය මාර්ග සැකසීමේ කම්කරු පවුලකින් පැවත ආ කෙනෙක්. පොඩි කාලෙ ඉදලම ඇදුම රෝගයෙන් පීඩා විඳපු නිසා වෛද්‍යවරු ඔහුට කියා තිබුනා බොහොම වියළි කාලගුණයක් තියෙන කාන්තාර පෙදෙසක ජීවත් වීම රෝගය පාලනය කරගන්න ඉතාම හොදයි කියලා. අන්න ඒ නිසා වැඩ අධීක්ෂකයෙක් විදියට  Lüderitzbucht ඉඳන් Aus කියන නැමීබියාවෙ නගර දෙක අතර ඉඳිකිරීම් ආරම්භ කර තිබුන දුම්රිය මාර්ගයේ සේවයට එකතු උනා. කාන්තාරයේ වැලි යට දියමන්ති තියෙන්න පුලුවන් කියලා ඔහු ඒ වෙද්දි අහලා තිබුනා. ඒ හින්දම තමන් යටතේ සේවය කල අයට ඔහු කියා තිබුනේ දිළිිසෙන පාෂාණයක් එහෙම දැක්කොත් තමන් වෙත ගෙන එන්න කියලා. ඒ විදියට තමයි පළවෙනි දියමන්තිය Lewala හොයාගෙන ආවෙ.

පළමු දියමන්තිය හමුඋනාට පස්සෙ වැඩ පරීක්ෂක තැන තමන්ගෙ පිරිස යොදාගෙන ඒ භූමියේ කරපු සෝදිසි කිරීමකින් පස්සෙ තවත් දියමන්ති කීපයක්ම හොයාගන්න ඔවුන්ට හැකියාව ලැබුනා. ජර්මන් ජාතික කැනීම් ඉංජිනේරුවෙක් හරහා මේ දිලිසෙන පාෂාණ දියමන්ති බව සැකහැර දැනගන්න මේ පිරිසට අවසානයේදී හැකියාව ලැබුනා.

මෙම දියමන්ති Orange නදිය ඔස්සේ අවුරුදු මිලියන ගනනාවකට පෙර සාගරය දෙසට ගලා ආ ඒවායි. සුළගේ දිශාව සහ රළ පහර මගින් ඒවා මෙහි තැන්පත් කර තිබුනා. මේ කලාපයෙන් සොයාගත් දියමන්ති ප්‍රමාණයෙන් වඩාත්  විශාල නොවුනත් ජලය මෙන් ඉතා පැහැදිලි ඒවා වූ නිසාම වෙළඳපොලේ හොඳ ඉල්ලුමක් තිබුනා.

දියමන්ති හමු වූ ප්‍රදේශය ධන නිධානයක් බව හඳුනාගත් පසුව ජර්මන් ජාතික කැනීම් කරුවන් ඒ ප්‍රදේශයේ ජනාවාස ගත උනා. නොබෝ දිනකින්ම ජර්මන් රජය විසින් විශාල ප්‍රදේශයක් දියමන්ති කැනීම සඳහා නිළ වශයෙන් සළකුනු කොට විවෘත කලා. එම සමස්ත ප්‍රදේශය Sperrgebiet යන නමින් හැඳින්වූවා. 

නැමීබියා භූමියෙන් සූරාගත් විශාල ධනස්කන්දයට පින් සිදුවන්නට Kolmanskop නගරයේ ජනාවාස පිහිටවූ පළමු ජර්මන් කැනීම් කණ්ඩායම ජර්මන් ගෘහ නිර්මාණ ශිල්පයන්ට අනුව ගොඩනැගිලි ඉඳිකලා වගේම එකල ජර්මනියේ පැවති නගරයක තිබූ පහසුකම් සහ සේවා ස්ථාන පවා මේ නගරයට එකතු කලා. රෝහලක්, බෝල්රූම් නර්තන ශාලාවක්, බලශක්ති මධ්‍යස්ථානයක්, පාසලක්, පටු මං මාවත්, සිනමා ශාලාවක්, ක්‍රීඩා ශාලාවක්, කැසිනෝ, අයිස් කර්මාන්ත ශාලාවක්, එක්ස් රේ මධ්‍යස්ථානයක් වගේම අප්‍රිකානු කලාපයේ පළමුවැනි ට්‍රෑම් ප්‍රවාහන සේවයද ඒ අතර තිබුනා. මේ ට්‍රෑම් සේවය ජර්මානුවන් විසින් දියමන්ති සොයාගැනීමට පෙර සාදමින් තිබූ දුම්රිය මාර්ගයට සම්බන්ධ කොට තිබුනා.

පළමු ලෝක යුද්ධයට පෙර ඇරඹුන Kolmanskop නගරයේ ජීව කාලය රඳා පැවතුනේ වසර 40 ක් පමණයි. යුද්ධයෙන් පසු දියමන්ති මිළ පහළ යාම නිසා, දියමන්ති කර්මාන්තයේ ක්‍රමිකව සිදු වූ අඩපණ වීමේ අවසානය සනිටුහන් කරමින්  1954 දී අභාවයට පත්වෙනවා. නගරයේ එදා තිබූ සෞභාග්‍ය අද දකින්නට නැතත් ඒ ගොඩනැගිලි බොහොමයක් තවමත් සංචාරකයන්ට දැකගන්නට හැකියි.


වැල්ලේ හුදෙකලා වූ නිවාස


කැණීම් කළමණාකරුගේ නිවස මෑතකදී අළුත් වැඩියා කිරීමෙන් පසු



ජර්මන් රජය එදා දියමන්ති කැනීම උදෙසා වෙන්කොට සලකුණු කල Sperrgebiet  පෙදෙස අද නැමීබියානු රජය විසින් තහනම් කලාපයක් ලෙස නම් කර තිබෙනවා. නමුත් සංචාරකයන්ට විශේෂ අවසරයක් ලබාගෙන දණිස්ස පමණ වනතෙක් වැල්ලේ එරෙමින් මේ නිවාස තුල ඔබ මොබ යන්නට හැකියි. වර්තමානය වන විට ඡායාරූප ශිල්පීන් අතර මේ ස්ථානය වඩාත් ප්‍රචලිතව තිබේ.




දශක ගණනාවකට ඉහතදී දුෂ්කර කාලගුණ තත්වයන් යටතේ තමන්ගේ වාසනාව උරගා බැලූ සිය ගණනක් ජර්මන් පවුල් වෙත නිවහන වූ මේ නගරය දැන් කාලයේ වැලිතලාවට යට වෙලා. 1920 වන විට මේ නගරයේ ජර්මන් ජාතික වැඩිහිටියන් 300, දරුවන් 40 ක් සහ ස්වදේශිකයන් 800 ක් පමණ වාසය කල බවට සංඛ්‍යලේඛණ තිබෙනවා.  De Beers නැමති කැනීම් සමාගම 1980 දී Kolmanskop  නගරයේ ඇතැම් ගොඩනැගිලි සංරක්ෂණය කරමින් කෞතුකාගාරයක් ඇති කලා. 

නැමීබියානු සංචාරක මණ්ඩලය මේ නගරය ජර්මානු සංස්කෘතික ගති ලක්ෂණ ඇතුලත් සංචාරක පුරවරයක් ලෙස වැඩිදියුණු කිරීමට බලාපොරොත්තුවෙන් දැන් ඉන්නෙ. හොල්මන් නගරයේ පසුතල බොහෝ දකුණු අප්‍රිකානු රූපවාහිනී මෙන්ම සිනමා නිර්මාණ සඳහාද යොදාගෙන තිබෙනවා. අත්හරින ලද නගරයක් නිසාම හොල්මන් නගරය (Ghost Town) කියලා හැඳින්වූවාට මෙතැන ඇත්තටම හොල්මන් ඉන්න බවක් නම් දැනගන්න නෑ.

හොල්මන් නගරය ගැන තවත් තොරතුරු දැනගන්න මෙන්න මේ වීඩියෝවත් නරඹන්න



අද ලිපියට මූලාශ්‍ර / ඡායාරූප



මම කාමරේ අරින සිරා කොලුවා.

Related Posts Plugin for WordPress, Blogger...