Saturday, February 28, 2015

126 කම්මල සමග දොස්තර බූට්

පිරිමි පාසලක හිටිය මම පහේ පන්තියේ සිස්සත්තෙන් පාස් වෙලා , හහේ පන්තියට මිශ්‍ර පාසලකට යන්න උනත් මේ ම්ශ්‍ර බවේ ඇඳුමක වෙනස මිසක් වෙනත් දෙයක් තිබුනෙ නෑ . සපත්තු ,ඇදුම් ගුරු පාරක බෝල ගහපු සුදුපාට ටෙනිස් බෝලවගේ පාටවෙලා ඒ වෙනසත් මකල දැම්මා. බැනගන්න, ගහගන්න ,සෙල්ලම් කරන්න යාළු වෙන්න ,තරහ වෙන්න මේ මිශ්‍ර බව බාධාවක් උනේ නෑ . මේ නොවෙනස් බව අවුරුදු හතර හමාරක්ම එකම විදිහට ගෙවිල ගියා.

මේ කියන දවසත් වෙනසක් නැතුව වෙනදා විදියටම උදා උනා, කටක් දෙකක් කාල , අන්තිම තප්පරේට කෝච්චියට දුවන ගමන් බෙලිගහ යට වැටිල තියන බෙලි ගෙඩියක් වගේම වෙරළු ගහ යට වැටෙන වෙරළු ගෙඩිටිකත් අහුලගෙන යන්තම් කෝච්චියේ අන්තිම පෙට්ටියේ එල්ලිලා කමිසෙ බොත්තම් ටිකත් දාගෙන ඉස්සරහ පෙට්ටිවල ඉන්න යාළුවො අතරට වැදිල ඉස්කෝලෙට ගියා. මේ නිවාසාන්තර ක්‍රීඩා තරග සදහා පුහුණුවන කාලය ඉතින් වෙනදටත් කලින්ම දුබුරු පාට ටෙනිස් බෝලයක් වෙන්න අවස්ථාව තිබුනා. පුරුදු විදිහටම ගෙදරින් දුන්න බත් ගෙඩියට වගේම අහල පහල බත් ගෙඩි වලටත් සවල් පාරවල් දෙක තුනකින් සම්මාදම් වෙලා අත් හෝද ගැනීමේ තියුණු තරගයට එකතු උනා. කැලේ නීතිය ක්‍රියාත්මක උන වතුර කරාමයට යන්තම් අත දාලා ගෑවෙන වතුර ටිකකින් අත හෝදගෙන ගසපු වතුර බිංදු , තරගයට කිසිම සුදානමක් නැති ගුරු පාට උන සපත්තු දෙකක පුංචි රටාවක් දැම්ම. කවුද මේකේ අයිති කාරය, තවත් දුබුරු පාට ටෙනිස් බෝලයක් නොවුන බෝලයක්. බඩේ ඉදන් පපුවට මොකක්දෝ එකක් ආවා. පපුවෙන් ඔලුවට ආව ඒ කියන්නෙ නොදන්නා දේ හැමදේම උඩු යටිකුරු කලා.

පහුවදා ඉදන් මගෙ ලෝකය අමුතු එකක් උනා , මම හිතන්නෙ එදා ඉදන් තමයි අපේ ඉස්කෝලේ වෙනස් උනේ. වෙනද නොතිබ්බ මල් , ගස් මාත් එක්ක හිනා උනාද , මට හිනා උනාද මම දන්නෙ නෑ( හැලපේ අයියල හිටෝපු ගස් හින්ද මට හිනාවෙන්න ඇති ) හැමදේම වෙනස් විදිහට මට පෙනුනා. දුඹුරු පාට මම සුදු පාටට මාරු උනා. වේලිච්ච ඉපනැල්ලක් වගේ තිබුන කොණ්ඩේ ජෙල් තට්ටුවකින් තෙත් කලාපීය වනාන්තරයක් උනා. කොටින්ම කිව්වොත් කන කොකා කිරි කොකා ට හැරුනා . මම හීන ලෝකෙ සක්විති රජ උනා.

මගෙ හීන ලෝකෙ රැජින ඇත්තටම මගේම කරගන්න හීන ලෝකෙන් ප්‍රේම ලෝකෙට බැස්සා .මාස දෙකතුනක පාමුර සංචාර , ඇම්බුෂ් වලින් පස්සෙ දවසක් මම මගෙ ඒක පාර්ශවීය ප්‍රේමය ඇයට ප්‍රකාශ කලා


" ඔයාට ඉන්න කෙල්ල මදි වෙලාද මට යාලුවෙන්න කියන්නෙ "

" ........මොකක් .....ද ? කවුද , මොනවද ....."

" අර ඔයාගෙ පංතියේ ඉන්න ක්‍රිෂාන්ති අක්කා, හොස්ටල් එකේ ඉන්නෙ එයා. එයාගෙන්ම අහගන්න මගේ යාළුවට එයාම තමයි කියලා තියෙන්නෙ."

" එහෙම එකක් නෑ ....මම එයාගෙන් අහන්නම් "

පසුදා .

" පොකුටී ....මොනාද යකෝ උඹ හොස්ටල් එකේ ගිහින් කිවුවෙ , මම එක්ක යාළුයි කිව්වද ."

" නෑ ... මගෙන් උඹ ගැන ඇහුවා, හරි හොද කෙනෙක් කියලා , උඹ මගෙ හොඳම යාළු කොල්ලා කියලත් මම කිව්වා "


" නෙදකින් ..... අනේ පොඩ්ඩක් ගිහින් පැහැදිලි කරලා  වරෙන්, මට කැමතිදත් කියල අහගෙන වරෙන් ඔය ගමන්ම "

එදාම හවස එකඟතා ගොඩාක් එක්ක සමන්මලී නංගිගෙන් ... " මම කැමතියි, හැබැයි මාව රිදවන්න එපා " කියලා උත්තරයක් හම්බවුනා . එදා ඉදන් අපේ ලෝකය හරිම සුන්දර උනා කිවුවොත් හරි. කොටින්ම එයා මගේ ලෝකය සුන්දර කලා කිවුවොත් නිවැරදියි . ටිකින් ටික අපි ඉහළ පංති වලට ආවා. මම වාණිජ අංශයටත් , ඊට පස්සෙ අවුරුද්දෙ එයා විද්‍යා අංශයටත් එකතු උනා . A /L කාලෙ අපේ බැදීම ගොඩක් වැඩි උනා. අපි දෙන්නා ඉස්කෝලෙ ඇතුලෙ සාලිය අශෝක මාලා වගේ ප්‍රසිද්ධ ජෝඩුවක් කියලා මම දැනගත්තෙ, ප්‍රින්සිපල් මේ ගැන අපේ පන්ති බාර ගුරුතුමියගෙන් ඇහුවට පස්සෙ.

ටික කාලයක් යද්දි බ්‍රේක් නැති කටවල් තිබ්බ අපේ මිත්‍රයො නිසා අපේ අම්මා, තාත්තා වෙන්ඩ ඉන්න ලේලි ගැන දැනගත්තා. සාධාරණය ගැන උපරිමෙන් හිතපු අපේ තාත්තා මේ පෙම් පුවත සමන්මලීගෙ තාත්තට කිවුව. දෙමාපියන් දැනගත්තා අපි මේ සම්බන්ධය නවත්තන්නේ නෑ කියලා. හැම ආදර කථාවකම වගේ මල්වතු , දුම්රියපොල, පන්සල් , පල්ලි , විනෝද චාරිකා ආදිය එක්ක අපේ ආදර කථාවත් මිහිරි ලෙස ගලගියා .

සමන්මලී මෙඩිකල් කොලේජ් යන්න තේරුන දවසෙත් සතුටු වෙනවට වඩා දුක් උනේ මගෙන් ඈත් වෙලා ඉන්න වෙන හින්දා කියලා එයා ක්‍රියා කරණ විදිහෙන්ම මම දැනගෙන හිටියා . තවත් අවුරුද්දක් විතර මගේ පුංචි දොස්තර නෝනට මම සෙවනැල්ලක් වෙලා හිටියා. මේ කාලෙදි ටික, ටික මාත් එක්ක මත ගැටුම් ආවා..ඒත් බොහොම සුළු දේවල් ....තවත් මාස තුනක් ගිය දවසක, ගහෙන් ගෙඩි එනවා වගේ එක පාරටම,



" අපි අපේ සම්බන්ධය නවත්තමු .....ඔයා කවදාවත් හැදෙන කෙනෙක් නෙමෙයි, " කියලා එයා මේ සම්බන්ධය බොහොම නපුරු විදිහට නතර කලා. මගේ ආදර රජදහන, සිහින මාළිගා බිමට සමතලා කරලා දැම්මා. එයාගෙ දෙමාපියන් නංගිල කොච්චර කිවුවත් එයාගෙ තීරණය වෙනසක් උනේම නෑ.

මම ජීවිතේට විරහව කියන වචනයෙ තේරුම අත් වින්දෙ එදා . මගෙ දෙමාපියො , සහෝදරයො , මිත්තරයො  හැමෝම මාව සනසන්න ගොඩක් උත්සාහ කලා. මම රැවුල කොන්ඩේ වවාගත්ත පිස්සෙක් වගේ මාසයක් විතර හිටියා . දවසක් හවසක මගෙ ආදරණිය ලොකු තාත්තා ගෙදර ආවා .

ඒකාධිපති තීරණ ගන්න ලොකු තාත්තත් එක්ක මම රූකඩයක් වගේ කොළඹ ආවා. සැලුන් එකකින් කොන්ඩේ රැවුල කප්පවල ඇදුම් ටිකක් අරන් දීලා එයාලගෙ ගෙදර ගියා. මට වෙන්ඩ යනදේ මම දැනගත්තෙ ලොකු තාත්තගේ දුවගෙන්.

" මල්ලි ඔයා තේ වත්තකට යනවා නේද ....අනේ ෂෝක් අපි එන්නම් ඔයාව බලන්න "

මට වැටහුනා, මම ආදරය කරපු තවත් දෙයක් ගැන අපේ දෙමවුපියො දැනගෙන ඉඳපු බව , මට එදා මගේ පවුලෙ අය ගැන තිබුන ආදරය තවත් වැඩි උනා . නිදහසේ මනෝ පාරක් ගහගෙන ඉන්න පුළුවන් නිසා මමත් කැමැත්තෙන්ම පහුවෙනිදා සම්මුඛ පරීක්ෂණයක් වගේ එකකට ගියා , මෙතන නම් වශයෙන් කියන්න පුළුවන් උනානම් හොඳයි.  ඒ උත්තම චරිත කීපය ගැන,  ඔයින් මෙයින් උඩුපුස්වැල්ලාව තේ වත්තක පුහුණු වන නිලධාරියෙක් විදිහට කවදාවත් හැදෙන්නෙ නැති මම හැදෙන්න තීරණය කලා. සම්මුඛ පරීක්ෂණයෙන් පස්සෙ සේවයට  බදවාගෙන සීඝ්‍රගාමී විදිහට එදාම මට සේවය කරන්න තියෙන වත්තට පිටත් කලා .

මම තනියෙන් ඉන්න පුළුවන් කියල හිිතේ මවාගෙන ගිය නවාතැන වෙනුවට වත්තෙ කළමනාකරුගෙ වතු බංගලාවේ නවතින්න මට සිද්ධ උනා. කදු මුදුනක තිබ්බ ඒ මනරම් පරිසරය මිත්‍රයෙක් වගේ මගෙ හිත සන්සුන් කලා . කිසිම දෙයක් කල්පනා කරන්න වෙලාවක් නැති ඒකාකාරී ජීවිතය තේ පදුරු , ෆැක්ටරිය එක්ක ගෙවිලා ගියා . ඉතාමත් කරුණාවන්ත වගේම ආදරණිය කළමනාකාර තුමා මෙන්ම ඔහුගේ බිරිඳත් මගේ සිත් බිදීම ගැන‍ දැනුවත් වෙලා තිබුනා. ජිවිතේ නැවත පටන් ගන්න ශක්තිය දෙන වචන පෙළ මේ දෙවෙනි දෙමාපිය යුවලයි දවසක්දා මට දුන්නෙ.

" ඔයා කරන්නෙ නෑ කියල සමන්මලී කියපු දේ කරලා පෙන්වන්න . රස්සාවෙ ඉහළට යන්න , ගෙයක් හදන්න , වාහනයක් ගන්න , තවත් ඉගෙන ගන්න , හොද ලස්සන කෙනෙක් බඳින්න. 

මේ වචන පෙල සද්ද නැතුව අහගෙන හිටිය මම, අන්තිමට දේට ඇරෙන්න අනිත් හැමදේටම එකඟ උනා .

" ඔයාගෙ කොහෙද තියෙන්නෙ , ඔයා බදින්නේ සමන්මලීම කියල " "ඒක දෙවියන්ගේ කැමැත්ත" " නැත්නම් ඔයාගෙ ලැබීම "

දෙවියන්ගෙ කැමැත්ත මගේ කැමැත්ත නොවුනත් ඒ වෙලාවෙ වෙන කරන්න දෙයක් තිබුනෙ නෑ.

පුහුණුව අවසානයේ නැවතත් ප්‍රධාන කාර්යාලයේ රස්සාවට කොළඹ එන්න සිදුවුනා . දවසක්දා අතර මගකදී කොටුව ස්ටේෂන් එකේදී මමයි එයයි මුහුණට මුහුණ හමු උනේ දෛවයේ සරදමකට වගෙයි. හිත කීරි ගැහෙන දුකක් ඒ රුව දුටු විගස දැනුනත් සුළු මොහොතකින් නැති වෙලා ගියා . කෙටි කථා බහකින් පස්සෙ අපි පුරුදු විදියට වෙන්වෙලා ගියා.

මගේ ජීවිතේ දෙවෙනි පරිඡේදය ආරම්භ කරන්න අධිෂ්ඨාන කලා.  හැදෙන්න ඕනෙ / හැදිල පෙන්නන්ඩ ඕනෙ .

වතු කළමණාකාර තුමා එදා කිව්ව විදිහටම හැම අතින්ම මම හැදුනා. කාලයක් යද්දි මගෙත් එක්ක දුම්රියේ යද්දී හමුවුන යෙහෙලියක් මගෙ පෙම්වතිය උනා ( පෙම්වතිය කලා ) කිවුවොත් නිවැරදියි. ජීවිතයට නොසිතූ ලෙස ලැබුන සුන්දර බිරිඳ පිළිබද කියන්න ගියොත් මෙතන වෙනම ලිපියක් ලියන්න වෙනවා. ඒ නිසා මම ඒ ගැන ලියන්න මේ අවස්ථාව යොදා ගන්නෙ නෑ.

 " මම කැමතියි, හැබැයි මාව රිදවන්න එපා " අපේ ආදර කථාවෙ ආරම්භයෙදිම ඇය කල ඉල්ලීම ඒ විදියටම ඉටුඋනා. මම කවදාවත් ඇයව රිදෙව්වෙ නෑ.

කාලය ගත උනා. මම වගේම ඇයත් විවාහ උනා. දෙමාපියො උනා. ඇය අද මගේ මිත්තරයෙකුගෙ බිරිඳ වගේම දැනටත් අපේ පවුලේ ලගම හිතවතියක්. ඉස්සරහදි එන්න පුලුවන් ලෙඩ දුක් ගැන හිතලා අරක්කු තහනම් කරන කරදරකාර දොස්තර නෝනෙක්.

ගොඩාක් වචන පාවිච්චි කරලා දිගට ලියන්න පුලුවන් මගේ කථාව සාරාංශයක් විදියට ඒ විදියයි. බූට් කාපු කොල්ලන්ට මගේ අත්දැකීමෙන් මම කියන්නෙ උඹලා වින්ද ඒ වේදනාවම යහපත් හෙට දවසකට යන්න පාලම කරගන්න. දුක මතින් අධිෂ්ඨානයක්, අනාගත සැලසුමක් හදාගන්න. එහෙම කලොත් මම අද විඳින සතුට ඔබටත් නිසැකවම විඳින්න ලැබේවි.



සිරාගෙ කාමරයේ බූට් මාසයේ 7 වෙනි ලිපිය වෙනුවෙන්
ලංකාවේ ගම්පහ පුරවරයේ සිට ලියා එව්වේ කම්මල.



ප.ලි 

මගෙ ජීවිතේ හැම අවස්ථාවකදීම අවුරුදු 18ක් තිස්සේ නොවැටී සිටීමට දිරිදුන් චරිතයක් වූ අප සමාගමේ සභාපති තුමාට , පහේ පංතියෙන් පසුව ලියු මගේ දිගම ලිපිය ( බූට් ලිපිය ) උපහාරයක් වේවා !!!!

තව ටිකක් පහලින් සිරා කොලුවා වන මවිසින් මේ සුට්ට ලියමි.


පුරා මාසයක් පුරාවට ආදරයේ විරහව පමණක් කාමරයට ගෙනෙන්නට මා පෙළඹවූයේ ‍ත්‍රෛයිමාසික නමුත් හද පතුලෙන් කල ආදරයක වියෝව හමුවේ සිරා කොලුවා වන මට දැනුන චිත්ත පීඩාව සහ වේදනාවයි. ආදරය හමුවේ අවංක වන සෑම කෙනෙකුටම ආදරයේ වියෝව ඇති කරන්නේ මහත් කණස්සල්ලකි. දුරු කතරක හිතේ දුක කියන්නට ලගම කියා මිතුරන් නැති පරිසරයක සිට මම මගේ දුක යම් පමණකට මගේ දුප්පත් කාමරයේ ලෑලි දොර ඇර අකුරු කළෙමි. ලොවට රහසේ මා වැනිම චිත්ත පීඩා විඳි තවත් පිරිසක් ඒ වටා එකතු වීමත්, මාසයේ අවසාන දිනය උදා වන විට කාගෙ කාගෙත් දුක තුරන් වීමත්, කිසිදිනෙක හැබැහින් මුණ ගැසී නැති මේ මිතුරු කැළ අතර මිත්‍රත්වය දළුලා තිබීමත් බූට් මාසය අවසානයේ වැර වෑයමෙන් ඉපයූ වත්කම් වන්නේය. මෙයින් මතු දිනයක හෝ ආදරයේ විරහවෙන් සිත කඩා වැටුනු මානවකයෙකු / මානවිකාවක මේ ලියවිලි කියවන්නේ නම් ඔවුනට දුක තුනී කර තමන්ගේ ගමන යන්නට යම්කිසි රුකුලක් ඒවායින් ලැබෙනු ඇතැයි මම උදක්ම සිතමි.

විරහා දුක නිට්ටාවටම සුව කරන්නේ කාලයයි. නමුත් ඒ අතර කාල පරාසය ගත කිරීම ඇතමෙකුට සැබැවින්ම අභියෝගයකි. හැකි තරම් කාර්ය බහුල වීම හෝ අලුත් විෂයක් අධ්‍යයනයේ නිරත වීම / විරහා ගීත ශ්‍රවණයෙන් හැකි තරම් ඈත් වීම / පැරණි පෙම්වතා හෝ පෙම්වතිය දුන් තෑගි බෝග, මතක සටහන් , උපන් දින සුභ පැතුම්, ඡායාරූප ආදිය පෙනෙන මානයෙන් ඉවත් කිරීම, හිත පෙළෙන දුක ළඟම හිතවතෙකු සමග සාකච්ඡා කිරීම ආදිය ප්‍රේමයේ විප්‍රයෝගයේ වේදනාව යම් තරමකින් අඩු කර නිට්ටාවට සුව කරගන්නට ඉවහල් වන කාරණා බව මම අත්දැකීමෙන් දනිමි.

ඉඳින් සබඳ, බූට් මාසයෙන් සමුගෙන යන්නට අවසර, යළිදු කිසිම කිසි දිනයක බූට් මාසයක් සිරා‍ගෙ කාමරයට ආයෙත් උදා වෙන එකක් නෑ කියලයි මගේ අක්මාවට දැනෙන්නෙ. මේ මාසය පුරාම තමන්ගෙ ප්‍රේම අත්දැකීම් වලින් කාමරයේ ලිපි පෝෂණය කල, ඒවාට අදහස් දැක්වූ සහ ගීත වලින් මේ ලියවිලි රසවත් කල සියලුම සහෘදයන්ට මාගේ නොවක් ස්තූතිය.

බුදු දහමට අනුව විරහා දුක මඬින ක්‍රමය කියා දෙන කදිම ලිපියක් මෙතැනින් කියවන්න. 

විරහව යහපත් අන්දමින් දකින්නට රුකුලක් වන අපූරු ගීතයක්. අසාගෙන අපි නික්ම යමු.



ඇසුවේද කවුරුන් හෝ ඔබෙන්
හැඬුවේ ඇයිද ප්‍රේමේ නමින්
විමසා නැතිද කිසිදා ඔබත්
කඳුළින් තුරන් වූ ප්‍රේමයක් 

සතුටේ උපත කඳුළයි සදා
හද වේදනා දෝතින් ගෙනා
පවනේ සිසිල සුසුමයි සිතේ
පෙම් ප්‍රාර්ථනා විඳදා ගෙනා

පිපි මල් මතින් පියමං කලෝ
දිනුවේද කවදා ප්‍රේමයෙන්
විඳි වේදනා සතුටින් දරා
පැරදී ගියේ කවුදෝ එයින්

පදරචනය -කුමාරදාස සපුතන්ත්‍රි
සංගීතය - රෝහණ වීරසිංහ

ගායනය -  සුනිල් එදිරිසිංහ

Monday, February 23, 2015

129 පවිත්‍රි

සිරාගෙ කාමරේ බූට් මාසය දැන් ඉවර වෙන්නත් ළඟයි. ආදරයේ විරහව පිළිබඳ කෙරුන කථා බහ අතරෙ ඉතාම හොද මිත්තරයො ගනනාවක් අලුතෙන් අඳුන ගන්නත් මේ කාල සමය සිරා කොලුවට ඉවහල් උනා. ආදරයේ වියෝව නිසා මේ පෙබරවාරිය ආරම්භ වෙද්දි හිතට දැනුන වේදනාව දැන් කොහෙ ගිහිල්ලද මන්දා...හිත ගොඩාක් සතුටෙන්. එකිනෙකාගෙ අත්දැකීම් මේ මාසය පුරාම අපි කියෙව්වා. ඒ ඔස්සේ සිත මෙහෙයවීමෙන් අාදරයේ විප්‍රයෝගය බොහොම සුලභ අත්දැකීමක් බව ඒත්තු ගියාම දුක අමතක කරලා හිනා වෙන්න පහසුයි. දුක දන්න මිනිහා තමයි තව කෙනෙකුගේ දුකට පිහිටවෙන්න ඉදිරියට ආවෙ. විවිධ අවස්ථා වල අපි ඒ බව දැක්කා.

ආදරය නිසා හටගන්න දුක විවිධ අයුරින් හට ගන්න පුලුවන්. සමහරු අාදර සබඳතාවක් බිඳී ගිය නිසා දුක් වෙද්දි...තවත් සමහරු සබඳතාවක් පටන් ගන්නත් කලියෙන්ම ඒක පාර්ශවීය ආදරය නිසා ‍දුක් විඳිනවා. ඒක පාර්ශවීය ආදරය සිරා කොලුවගෙත් හිත කීප වාරයක්ම රිදවලා තියෙනවා.

අද කියන්න යන මේ කථාව මට එව්වෙ බූට් ඇනෝ...මිනිහා වෙන අයට වෙච්ච සන්තෑසි කියලා තමයි මේ කථා මට හැමදාමත් එවන්නෙ. ඒත් මට වෙලාවකට හිතෙනවා වතාවකුත් මිනිහා තමන් යාලු වෙන්න උත්සාහ කරපු ගෑණු දරුවගෙ පියතුමාගෙන් ඇති වෙන්න ගුටි කාපු නිසා...අහක යන ගුටිත් මිනිහා නමටම සැට් වෙනවා ඇති කියලා. ගුටිකන නැකතක ඉපදුනාම එහෙම වෙනවා.

ඒක පාර්ශවීය ආදරයෙන් රිදුනාමත් සෑහෙන්න දරුණුයි...එවැනි දුකක් හිතේ තියාගෙන දුක්වෙන අයත් එක්ක අද කථාව බෙදා ගමු. මෙච්චර දවසක් ආදරය නිසා තැලුණු පොඩිවුන හිත් වලට ඔවදනක් දීලා...වල් වැදුනු හිත් යහමගට ගන්න දායක වෙච්ච ලොකු මාමලා / අයියලා හැමෝටම ස්තූතිය පල කරමින් අපි අද කථාවට බහිමු.


මේ කතාව මම උසස්පෙළ කරන කාලේ වෙච්ච සිද්ධියක්....

මම උසස්පෙළ පන්ති ගියේ නුගේගොඩ රොටරි සහ කොහුවල සක්යා එකට.... මට මතකයි උසස්පෙළ පන්ති පටන් ගත්තම ව්‍යාපාර අධ්‍යයනය පන්තියේදී මම මුලින්ම ඒ ගෑණු ලමයව දැක්කේ... දැක්ක ගමන් හිත ඇතුලෙන් අකුණක් කෙටුවා වගේ මට දැනුනා... අනේ මෙයාව මගේම කර ගන්න පුලුවන් නම්... ඔච්චරයි මට මතක් උනේ....

මට හොඳට මතකයි මම ඒ කෙල්ල දිහා බලන් ඉන්නකොට මගේ හොඳම යාළුවා උන අනුරත් ඒ කෙල්ල දිහා කන්න වගේ බලන් හිටපු විදිහ.... එදා පන්ති ඇරිලා යනකොට අනුරයා මගෙන් අහනවා මචං අර උදේ දැක්ක කෙල්ල ලස්සනයි නේද.. මම දෙන්නද පොඩි ට්‍රයි එකක් කියලා... පුදනකොටම කාපි යකා කියපි, කොල්ලා දැම්මා තැනට සුදුසු නුවණ... මචං එකී සුදු උනාට කෙට්ටු වැඩි බන්... උඹට හරියන්නේ නෑ... වෙන එකකට ට්‍රයි කරපන් කියලා... මුත් මගේ කීම පිළිගත්තා.... ඔන්න ඊට පස්සේ කොල්ලා ආපහු දැම්ම වචනේ.... මෙහ් ...!!! උඹට හරියන්නේ නැති එකේ මමවත් ට්‍රයි එකක් දාල බලන්නද බන්....? එහෙම කියලා යාළුවාව යන්තම් ශේප් කර ගන්න මට පුළුවන් උනා... (ඔන්න මගේ යාළුවා)

එකම පන්තියේ නිසා කෙල්ලගේ විස්තර හොයා ගන්න වැඩිය අමාරුවක් උනේ නෑ... කෙල්ලගේ නම පවිත්‍රි... තාත්තා පොලිසියේ... හෝව් හෝව්.... පොලිසියේ....? හම්මේ.... පොලිස් ගුට්ටක් සෙට් වෙන්න යන්නේ.... මගේ යාලුවා මට කෝචෝක් එක දාන්න ගත්තා....කොල්ලා සැලුනේ නෑ... පට්ටම සිද්ධිය කියන්නේ කෙල්ල මම ගිය හැම පන්තියකටම ආව එක... සතියෙන් දවස් 6කම මට එයාව දකින්න පුළුවන් උනා... ප්‍රශ්නෙකට තිබ්බේ අර නොදැක ඉන්න දවස ගෙවා ගන්නේ කොහොමද කියන එක.

මං ඉතින් පන්තියට ගිය වෙලේ ඉදලා උගුඩුවා වගේ එකී දිහා බලන් ඉන්න පටන් ගත්තා.... මේකිටත් මාව පොඩ්ඩ පොඩ්ඩ මීටරේට වැටුනා හරකා හැරෙන්නෙ පොල් පැලේ කන්න කියලා... එත් එකී මාව ශත පහකට ගණන් ගත්තේ නෑ.. උසස්පෙළ පන්ති පටන් අරන් මාස 6ක් විතර ඉවර වෙලත් මම තාම එක වචනයක්වත් කෙල්ල එක්ක කතා කරලා නෑ.. මාස 6ම කලේ බලන් හිටපු එක විතරමයි.

යකෝ උඹ ඔහොම ඒකිව ගිලින්න වගේ බලන් හිටියම එකී උඹ එක්ක පැනල යන්න එනවා කියලා හිතුවද...? වල් ඌරා... අනුරයා මාව ‍අවුස්සනවා. ඔය වයසදෙි කෙල්ලෙක්ගෙන් කැමැත්ත අහන එක තරම් අමාරු කිසිම දෙයක් මේ ලෝකෙම නැතුව ඇති... එත් මෙහෙම හිටියොත් කොල්ලා පරදින බව මටත් හිතිලා තිබුනා. ඒකට හේතුව කෙල්ලට ට්‍රයි කරන කොල්ලෝ ගාන දවසින් දවස වැඩි උන එක.

දවසක් තිබ්බ අන්තිම පුරුෂ ශක්තිය බින්දුවත් එකතු කරලා මම කෙල්ල එක්ක කතා කරන්න කෙලින්ම ඩිරෙක්ට් ගියා...

මේ...මට ඔයා එක්ක ටිකක් කතා කරන්න පුලුවන්ද...?

(කන්න වගේ බලමින්) මොනවා කතා කරන්නද මට ඔයත් එක්ක...?

මට ඔයාට කියන්න දෙයක් තියෙනවා...

ඉතින් මෙහෙම කියන්න....

මම ඔයාට කැමතියි....

කව්ද ඔයා...?

එහෙම කියලා කෙල්ල සුසන්තිකා අක්කා වගේ පන්තියට දිව්වා.... මමත් හොර පූසා වගේ ගිහින් වාඩි උනා විතරයි කෙල්ලෝ සෙට් එක මහා හයියෙන් කිචි බිචි ගාන්න ගත්තා... විලි ලැජ්ජාවේ සන්තෝසේ බෑ... ඒ ටිකට කෙල්ල යාළුවොන්ගේ කනේ තියෙලා... බයිට් ගොඩක් මැද්දෙන් එදා දවස ඒ විදියට ඉවර උනා....

කොල්ලා ගේම ඇත ඇරියේ නෑ... හැමදාම පන්තියෙ බලන් ඉදලා කෙල්ල ගෙදර යන බස් එකේම යන්න මමයි අනුරයයි පුරුදු උනා... දැන් මේක හැමෝටම ප්‍රසිද්ද රහසක්... කෙල්ලයි ඒකිගේ හොදම යාලුවා රුක්ෂානියි තමයි පන්තියේ ඉන්නේ... හරියට මමයි අනුරයයි වගේ... අපි ඉතින් හැමදාම උන් දෙන්නා ඉඳ ගන්න පිටිපස්සේ සීට් එකේ වාඩි වෙනවා... දවසක් කෙල්ලෝ දෙන්නා කිචි බිචි ගගා ඉඳලා එක පාරටම පවිත්‍රි පිටිපස්ස හැරිලා මට කතා කරා... ඔව් ජිවිතේ පලවෙනි පාරට...

අනේ බුක් මාක් එකක් ගන්න පුලුවන්ද...? අපේ ඉස්කෝලේ කොමර්ස් ඩේ එකට හදපුවා....

ඒ වචන ටික හරියට කාන්තාරෙකට වැටුන වැස්සක් වගේ මට දැනුනේ.... චූන් උන පාර එතන තිබ්බ බුක් මාක් 11ම මං තියාගෙන රුපියල් 110ක් කෙල්ලට දුන්නා... උන් දෙන්න බය වෙලා මූනට මුණ බලන් හිටපු විදිහ මට තාම මතකයි.... අම්මා කන්නයි බස් වියදමටයි දෙන සල්ලි අමාරුවෙන් එකතු කරලා මං කරපු වැඩක් තමයි ඕක.

පොඩ්ඩ පොඩ්ඩ අපි හිතවත් වෙන්න පටන් ගත්තා.... ඔය කාලෙදිම තව සිද්ධියක් උනා... කෙල්ලට ට්‍රයි කරන අපේම පන්තියේ මුස්ලිම් කොල්ලෙක් හිටිය සහිරා එකට ගිය... දවසක් මමයි අනුරයයි පන්ති ඇරිලා යන දවසක නුගේගොඩ හන්දියේ 176 බස් එකේ අපි දෙන්න කයියක් ගහගෙන වාඩි වෙලා ඉන්නවා... එදා කෙල්ල පංති ආවේ නැති දවසක්... අර මුස්ලිම් කොල්ලා බස් එකට නැග්ගා තව කොල්ලෝ 10ක් 15ක් එක්ක විතර... මගේ ගාවට ඇවිත් උඹද ........... කියන්නේ කියලා ඇහුවා ... මමත් ඔව් මචං කිව්වා විතරයි මතක... චට පට චාට පාල ගාල කට්ටියම කෙලින්න පටන් ගත්තා මට... අනුරයා ෆුල් ට්‍රයි එක වලිය බේරන්න.... මුණ බෙර ගන්න මම පොත් ටිකෙන් මුණ කවර කරා... මොන කවර්ද පොත් ටික ජනේලෙන් එලියට විසි වෙලා නුගේගොඩ කඩල කරත්තෙ උඩ... බස් එකේ සෙනග ඇවිත් වලිය බේරනකොට මට වැදිලා හමාරයි... කොහොම හරි ඔය සිද්ධිය පන්තියේ සෑර්ටත් ආරංචි වෙලා පන්ති වේලාවකදී කෙල්ලට බැන්නා... (සෑරුත් දැනගෙන ඉඳලා මම කෙල්ලට ට්‍රයි කියලා) කොල්ලෝ ෆෝම් කරලා අන්තිමේදී උන් ගහ මරා ගන්නවා කියලා.... එදා පන්ති ඇරුනම කෙල්ල මගේ ලඟට ඇවිත් ඇඬුවා... මම මේ කිසිම දෙයක් දන්නෙවත් නෑ... එත් ඔයගොල්ලෝ නිසා මමයි බැනුම් ඇහුවේ කියලා... මටත් සෑහෙන්න අවුල් ගියා කෙල්ල මං ඉස්සරහ අඬපු එකට... ඔයා කැමතිද ආපහු සර් මට බනිනවට...? ඔයා ආපහු ඒ කොල්ලොන්ට ගහන්න යන්න එපා.. කෙල්ල එහෙම කියලා ගියා... යාළුවො මට බනින්න ගත්තා උඹ ගුටි කාලා නිකං ඉන්නවා කෙල්ලෙක් නිසා... අපේ ඉස්කෝලෙටත් එක්ක ලැජ්ජාව අරකයි මේකයි කිය කියා... මම ඉතින් ගොනා සේ සද්ද නැතුව කර බාගෙන හිටියා...

ටික කාලෙකින් අපි එකම සීට් එකේ වාඩි වෙලා කතා කර කර යන තරමටම දියුණු උනා... අපි දෙන්නා විතරක් බස් එකේ යන්න එන්න පටන් ගත්තා... කෙල්ල ගිය කොටිකාවත්ත ආර්ථික විද්‍යාව පන්තියකටත් මං යන්න ගත්තා... ඒ අර අපි මුණ නොගැසෙන එකම දවසත් කවර් කර ගන්න.... ඔය විදිහට උසස්පෙළ අවසාන කාලෙටත් ලං උනා... දවසක් මම කෙල්ලගෙන් කෙලින්ම ඇහුවා මම ඔයාට කැමතියි ඔයා මොකද කියන්නේ කියලා... එයා මට කිව්වේ ඕනෙනම් අපේ ගෙදරින් ඇවිත් අහන්න අම්මලා කැමති නම් මමත් කැමතියි කියලා....

උඹලා පොඩ්ඩක් හිතපල්ලා උසස්පෙළ කරන අම්මගෙන් තාත්තාගෙන් යැපෙන එකෙක්ට ඔහොම කිව්වම ඌ ගන්න තීරණය මොකක් වේවිද කියලා... අනික යන්න ඕනේ පොලිස් ෆ්ලැට් වලට.... කෙල්ලගේ තාත්තා එස්. අයි කෙනෙකුත් එක්ක... කොල්ලා එත් සැලුනේ නෑ... දවසක් පන්ති කට් කරලා මම ගියා කෙල්ලගෙ ගෙදර...

අම්මයි තාත්තයි බොහොම හොඳින් මාත් එක්ක කතා කරලා ආව කාරණාව ගැන ඇහුවා.... මමත් ඉතින් ඔක්කොම විස්තරේ ඒ දෙන්නට කිව්වා... කෙල්ලගේ තාත්තා මට කිව්වේ ඔයා හරිම නිර්භීත කොල්ලෙක්... මොකද වෙන කෙනෙක්නම් මෙහෙම ගමනක් එනවා තියා හිතන්නෙවත් නෑ... කොහොම උනත් පුතා තාම දෙන්නම ඉගෙන ගන්න වයසේ නිසා හොඳට ඉගෙන ගන්න... අපි ඊට පස්සේ බලමුකෝ මේවා ගැන කියලා... (මන් දන්නවා එහෙම කිව්වේ මගේ මෝඩ කමට වෙන කියන්න දෙයක් නැති නිසා කියලා )

කොල්ලට දැන් ෆුල් හැපී... කෙලින්ම ගියා පන්තිය ගාවට... කෙල්ල පන්තිය ඇරිලා බස් හෝල්ට් එකට එනකම් ඉඳලා මම එයාට විස්තරේ කිව්වා... එත් එයා මාව විස්වාස කලේ නෑ...

ඔයා කියන්න බලන්න අපේ ගෙදර තිබ්බ දෙයක්... කෙල්ල මම ගිය එක ඇත්තද නැද්ද බලන්න මගෙන් ඇහුවා...

ඔය ගොලොන්ගේ කැබිනට් එක උඩ තියලා තියෙනවා .............

එ්ක කිව්වා විතරයි කෙල්ල දෙවෙනි පාරටත් මං ඉස්සරහා අඬන්න ගත්තා...

ඔයා මොනවද මේ කරන්නේ...? මං කොහොමද දැන් ගෙදර යන්නේ....? මං ඔයාට අපේ අම්මලාගෙන් ඇවිත් අහන්න කිව්වේ ඔයාගේ කරදරෙන් බේරෙන්න... මං හිතුවා ඔයා එ්ක කරන එකක් නෑ කියලා... මගේ හිතේ ඔයා ගැන එහෙම කිසිම අදහසක් නෑ.

කොල්ලගේ හිත ආපහු කඩන් වැටුනා... ගොඩාක් නරක විදියට. ඒ දුක මම කාලයක්ම වින්දා. මම එයාට ආදරේ නිසා මෙච්චර දෙයක් කරලත් එයා මට මෙහෙම එකක් කියපු නිසා.... හැබැයි කොල්ලෝ අතරේ මම වීරයෙක් උනා... මං කරපු ගොන්කම නිසා... උසස් පෙලින් පස්සේ එකම එක පාරක් මම රුක්ෂානිට චොක්ලට් එකක් දුන්නා පවිත්‍රිට දෙන්න කියලා... ඊට පස්සේ  ඒ ආදරේ දියවෙලාම ගියා.



සිරාගෙ කාමරයේ බූට් මාසය වෙනුවෙන්
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි හි සිට ලියා එව්වේ බූට් ඇනෝ.




පලි.

2005 දී මේ කතාව උනේ... ආපහු පවිත්‍රිවයි රුක්ෂානිවයි අනුරයවයි KFC එකේදී සෙට් වෙලා මේ පරණ මතක ගැන කතා කලා.

පපලි - අනුර නම් දැන් විවාහ වෙලා... පවිත්‍රියි රුක්ෂානියි තාම මං වගේම තනිකඩයි....

Friday, February 20, 2015

112 මම තවමත් එයාට ආදරෙයි

සිරාගේ කාමරයට......

ඉතින් සිරා...මමත් හිතුව මගේ දුක් බර කථාවත් සිරාගෙ කාමරයට ලියන්න..ඒක ලියන්න කලින් මම මගේ ගැන කෙටියෙන් කියන්නම්. මම ගාල්ලේ. මීට අවුරුදු තුනකට කලින් තමයි මම ඇමරිකාවට ආවේ. සේවය කරන්නෙ ඉදිකිරිම් ආයතනයක සැලසුම්කරුවෙක් විදියට. මගේ ආදර කථාව මෙන්න මෙහෙමයි.

මම ඉතින් ඔහොම වැඩ කරගෙන හිටියා.  ඒක පුදුම ඒකාකාරි ජීවිතයක්. උදේට වැඩට යනවා. හවසට එනවා. කාමරේ බිත්ති හතරට කොටු වෙලා ඔහේ ඉන්නවා. ඉතින් ඔහොම ඉන්න කොට මගේ කම්පැනි එකේ තව ඕපනින් එකක් ආවා එස්ටිමේටර් කෙනෙක්ට.  ඉතින් එතනට ආවා කෙල්ලෙක්... ඒ කෙල්ලත් ලංකාවෙ. ඒක පුදුම හමු වීමක්. ඉතින් අපි ඔහොම ටික දවසක් වැඩ කරගෙන හිටියා. පස්සෙ අපි කතා කලා. ගොඩක් දේවල්, අපි කතා කලා. අපි ගැන. අපි ඔහොම යාළුවො වගේ ටික දවසක් හිටියා. පස්සෙ ඒක නිකන්ම ආදරයක් උනා. අපිට අපි නැතුව ඉන්න බැරි උනා.  ඉතින් අපි වැඩ ඉවර වෙන කම් බලාගෙන ඉන්නවා. වැඩ ඉවර වෙලා අපි ගොඩක් වෙලා කතා කරනවා. අපි අනාගතයෙදි කරන දේවල් , අපි ගෙවල් හදලා, ළමයි හදලා, ඒ ළමයින්ට හොඳට උගන්නලා ලොකු තැන් වලට ගේන හැටි. අපි ඒ ඔක්කොම කතා කලා.

මට බලාපොරොත්තු අහස උසට තිබුනා. මගේ හිත පිරිලා තිබුනා. මම හිතුවෙ මගේ ජීවිතේ සම්පුර්ණ උනා කියලා. මම එයාට ගොඩක් ආදරේ කලා. ඇත්තටම මම මටත් වඩා එයාට ආදරේ කලා. අපි සෙනසුරාදා නිවාඩු දවසට හම්බු වෙනවා, ඊට පස්සෙ අපි කොහේ හරි යනවා.  පුදුම සුන්දර මතකයක්. මට අද වගේ මතකයි අපි ආව ගියපු තැන්. හැමදාම රෑ වෙනකං කතා කරනවා. ස්කයිප්, වයිබර්, ෆේස් බුක්......ඔය ඔක්කොම අපි පාවිච්චි කලා. මම බලන් හිටියේ කවදද අපි අපේ වෙන්නේ කියලා. මට එක මොහොතක් වත් එයාව නොදැක ඉන්න බැරි උනා. මට උවමනා උනා එයාව හැම මොහොතකම සතුටින් තියන්න. එයාගෙ ලඟින් ඉන්න. ඉතින් අපේ මේ ආදර කථාව ඔය විදියට ගලා ගෙන ගියා. අපි හුඟක් ලං උනා. ඒක මට හිතා ගන්න බැරි පුදුමාකාර බැඳීමක්.
                                                                                                            
ඉතින් ඔහොම කාලය ගෙවිලා ගියා. එක පාරටම එයා කිව්වා එයාට රස්සාවෙන් අස් වෙන්න ඕනෙ කියලා. එයාට වෙන එකකට යන්න ඕන ඒක නිසා අස් වෙන්න ඕනෙ කියලයි කිව්වෙ. මම ඉතිං කැමැත්ත දුන්නා. එයා අස් උනා. ඒත් අපි පුරුදු විදියට ආශ්‍රය කලා. හැබැයි වැඩට යනකොට මට දැනුනේ පුදුම පාලුවක්. මොකද දැන් මම තනියම තමයි යන්නෙ එන්නෙ. මට පේනවා එයාගෙ මේසය, පුටුව එයාගෙ කාමරේ... ඒත් මම පුරුදු විදියටම වැඩ කරගෙන හිටියා. අපි වෙනදා වගේම ආදරෙන් හිටියා අපි අතරේ කිසිම ප්‍රශ්නයක් තිබුනේ නෑ. තවත් ටික දවසක් ඔහොම ගෙවිලා ගියා. ටිකෙන් ටික කාලය ගෙවිලා යනකොට මට තේරුනා එයා පොඩ්ඩ පොඩ්ඩ වෙනස් වෙනවා කියලා. මොකද එයා පොඩ්ඩක් හරි වෙනස් වෙන කොට ඒක මට හොඳට දැනුනා.

මම ඉතින් ඉවසගෙන හිටියා. මම ඇහුවා ඇයි එහෙම වෙන්නෙ කියලා. එයා හේතුව විදියට කිව්වෙ ගෙදර ප්‍රශ්න කියලා, තවම එයාට රැකියාවක් ලැබුනෙ නෑ කියලා. මේ විදියට තවත් කල් ගෙවුනා. මට දැන් හොඳට වැටහෙනවා මෙයාගෙ වෙනස් වීම. මට ඕන උනේ කොහොම හරි එයාව මගේ කර ගන්න. මට විරහව කියන වචනයේ තේරුම ගැන දැනෙන්න ගත්තා ටිකෙන් ටික. මම වැඩ ඉවර වෙලා එන්නෙ එයත් එක්ක කතා කරන්න බලාගෙන. ඒත් එයා ගෙන් කිසිම ප්‍රතිචාරයක් නෑ. මම දන්නවා දැන් මොකද වෙන්න යන්නෙ කියලා. ඒත් මට කරන්න කිසි දෙයක් නෑ. ඔහොම මාස කීපයක් යනකොට එයා රස්සාවක් හොයා ගත්තා ලොකු කම්පැනියක. ඒ වෙද්දි දුරකථන අංකය පවා මාරු කරලා. මට කථා කරන්න විදියක් තිබුනෙම නෑ.

ඉතින් මම මැරි මැරි ඉපදුනා. මම ඉන්නේ කොහේද මොනවද කරන්නෙ කියන එක මට අමතක උනා. මම දන්නවා තනි අතින් අත්පුඩි ගහන්න බෑ කියලා. එත් මගේ හිත පරාජය බාර ගන්න ඉඩ දුන්නෙ නෑ. මට මේ කතාව කියන්න කෙනෙක් හිටියෙත් නෑ.  තනියම විඳවනවා ඇරෙන්න වෙන කරන්න කිසි දෙයක් ඉතුරු උනේ නෑ. ජීවිතේ තනිකම කියන්නෙ මොකක්ද කියල මට හොඳට තේරුනා. මම හිතුවා මම ජීවිතෙන් පරාජය වෙලා නේද කියලා. මට මා ගැනම  පුදුම කලකිරීමක් ඇති උනේ. වෙන රටක කාමරයක් ඇතුලේ තනි වෙලා මේ ගැන හිතන කොට හිතට ඇති වෙන හැඟීම වචන වලින් කියන්න මට තේරුමක් නෑ. සිය දහස් වාරයක් හිතුනා ජීවිතෙන් සමු ගන්න.

ඒ වෙනකොට මම හිටියේ පිස්සෙක් වෙලා. මට වැඩට යන්න හිතෙන්නෙම නෑ, වැඩට ගියත් එයාව මට මැවි මැවි පේනවා. එයා වැඩ කරපු හැටි මට මැවිලා පේනවා.  මගේ වාහනයට නැග්ගත් එයාව මැවිලා පේනව. එයා මා එක්ක ගියපු හැටි. මා දිහා බලාගෙන හිටපු හැටි.

ආදරය කරපු එක ජීවිතයේ කල  ලොකු වැරැද්දක්ද කියලත් වෙලාවකට මට හිතුනා. මම දැනගෙන හිටියෙ නෑ ඊලඟට මම මොකක්ද කරන්න ඕන කියල.  මට ඕන උනේ එයාව විතරයි. වෙන කිසිදෙයක් ඕන උනේ නෑ. මම දැනගෙන හිටියේ නෑ මට මේ විදියට කලේ ඇයි කියලා. අන්තිමට මම තීරණයක් ගත්තා. මම තීරණය කලා එයාව වැඩ කරන තැනට ගිහින් මුණ ගැහිලා කථා කරන්න.

ඉතින් එදා සිකුරාද දවසක්. මම වේලාසනින් වැඩ නිම කරලා එයා වැඩ කරන තැනට ගියා. මට වේලාසන දවසක එයා කියලා තිබුනා එයා සේවය කරන අලුත් සමාගමේ නම. මම ඒක ගුගල් කරලා හොයාගෙන ගියා එතනට. එත් මම ගිහින් බැලුවා ඒ ගොඩනැගිල්ලට ඇතුල්වෙන්නෙ කොතැනින්ද කියලා...දොරටු කීපයක් තිබුනා ඇතුලුවෙන්න. ඒ හින්දා මම හිතුව මට මෙයාව හොයා ගන්න බැරි වේවි කියලා. පස්සෙ මම ඒ සමාගමේ දුරකථන අංකය හොයාගෙන එතනට කතා කලා. මම කිව්වා මට මේ කෙනාට කතා කරන්න ඕන කියලා. විනාඩි ගනනකට පස්සෙ දුරකථනයෙන් ඒ පුරුදු කට හඬ ඇහුනා. සෑහෙන දවසකට පස්සෙ.

මම කිව්වා මට ඔයාට කතා කරන්න ඕන කියලා.  එයා කිව්වා මම වැඩ ඉවර කරලා එන්නම් කියලා. ඉතින් මම බලාගෙන හිටියා. එයා සේවය අවසන් කරලා මගේ ලගට ආවා. කිසිම අනුකම්පාවක් නැතුව මගෙන් ඇහුවෙ මොනවද කථා කරන්න තියෙන්නෙ කියලා. ඒ වචන වල තිබුන සැර ගතියට මට එකපාරටම කතා කර ගන්න බැරි උනා. මම ඇහුවා ඇයි මට මෙහෙම කරන්නෙ, මම කරපු වැරැද්ද මොකක්ද කියලා.  මේක කවදාවත් වෙන්නෙ නෑ. එච්චරයි එයා කිව්වෙ. මම ඇහුවා මොකක්ද හේතුව කියලා.

ගෙදර ප්‍රශ්න වගයක් තියෙනවා එයා එහෙම කිව්වා. ඉතින් ඒවා විසඳගමු මම එහෙමයි කිව්වෙ. කොහොම උනත් එදා මට හම්බු උනේ මම ඉස්සර දවසක ආදරේ කරපු කෙල්ල නම් නෙමෙයි. එයා ගොඩාක් වෙනස් වෙලා. මටම පුදුමයි මේ අලුත් වෙනස ගැන. මට කතා කරපු විදියෙන් මට ඒ බව හොඳටම දැනුනා. වචන පිහි පාරවල් වගේ. මගේ හිතේ තාම දෝංකාර දෙනවා.  මගේ ජීවිතේ මෙතෙක් ලබපු කටුකතම අත්දැකීම තමයි ඒ හැන්දෑවෙ මම ලැබුවෙ.

දිගින් දිගටම මම ඇහුවෙ ඇයි මට මෙහෙම කරන්නෙ කියලා විතරයි  

ඔයා ගාල්ලෙ...ගෙදරින් කැමති නුවර කෙනෙක්ට අනික ගෙදරින් සොයන්නෙ හොඳ උගත් කෙනෙක්, ඔයා ගොඩාක් දුරට ඉගෙනගෙන නෑ. මේ කථා ඇහුවට පස්සෙ මගේ මුලු ජීවිතේම කඩා වැටුනා වගේ දැනුනා. මම මෙච්චර කල් ආදරේ කලේ මේ වගේ කෙනෙක්ටද කියලා හිතුනා. එයාට අවශ්‍ය මගෙන් ඈත් වෙන්න. මම එයාගෙ අලුත් වාහනේ දකියි කියලා පවා ඇය බය උනා. එදා මට මේ දේවල් හොඳට දැනුනා. මම පිස්සෙක් වෙලා ඉවරයි. ඇයට සමුදීලා මම කාමරේට ආවෙ කොහොමද කියලා මටම නිනව්වක් තිබුනෙ නෑ.

මගේ ජීවිතේ මගේ අම්මා තාත්තා පවා මට ඒ තරම් සැරෙන් කථා කරලා නෑ.  පුදුම කලකිරීමක්, දුකක්, තනිකමක් මට එදා දැනුනෙ.  මට මාවම එපා උනා. ඉස්සර දවසක එයා බොහොම ආදරයෙන් ලං වෙලා කියපු සමහර දේවල් තවමත් මගෙ හිතේ දෝංකාර දෙනවා.  මේ මොන දේ උනත් මම කැමති උනේ නෑ එයාව නැති කර ගන්න. මට ඕන උනේ එයාව මගේම කර ගන්න. මම ගෙදර ඇවිත් මූණු පොතෙන් තව දුරටත්  පණිවිඩ යැව්වා. මම කිව්වා මම කොහොම හරි ඔයාව මගේ කර ගන්නවා කියලා. ඔයාව අයිති මට කියලා. ඔයාව වෙන කාටවත් අයිති වෙන්න මම ඉඩ දෙන්නෙ නෑ කියලා. ඒක් එයා ඒ කිසි දෙයක් ගනන් ගත්තෙ නෑ.. පුදුම ගල් හිතක්. මම කවදාවත් හිතුවෙ නෑ එයා ඒ වගේ කෙනෙක් කියලා. ඇත්තමයි මට පුදුමයි. මම දැන ගත්තා මේ ලොකේ මිනිස්සු වෙනස් වෙන්නෙ කොහොමද කියලා. මගේ කරදරෙන් බේරෙන්න බැරි හින්දද කොහෙද තවත් දවසක හමුවෙලා කථා කරමු කියලා එයා කිව්වා.මම ආයෙත් බලාපොරොත්තු පොඳි බැන්දා.

මම හිතුවා එදාට එයා මේ ඔක්කොම දේවල් අමතක කරලා දාලා ආයෙත් ඉස්සර වගේ ඉඳීවි කියලා. මම දහසක් හීන දැක දැක ඒ දවස උදාවෙනකං ඇඟිලි ගැන්නා. ඒ දවස උදා උනා...අපි ඉස්සර දවසක හැමදාම කථා බහ කරන්න ආගිය ලස්සන කඳු ගැටය මුදුනෙ අපි තවත් හැන්දෑවක තනිඋනා. මගේ හිතේ තියෙන ආදරය...මම කොච්චර ආදරයෙන් ඔයාව බලාගන්න හිතාගෙන ඉන්නවද, මේ හැමදෙයක්ම මම අකුරක් නෑර ඇයට කිව්වා. ඇය නිහඬයි. කිසිම කථා බහක් නෑ. මගේ හැමදේම අහගෙන ඉඳලා ඇය කිව්වෙ එකම කථාවයි. මම ඔයාට කැමති නෑ. එයා කියන විදියට මම හිතන්නෙ පටු විදියටලු. මට තියෙන්න සරල ජීවිතයක් ලු. මම ජීවිතේ අවදානමක් ගන්න බයයි ලු.  එයාට ඔන සල්ලි හම්බු කරන්නලු....තවත් දහසක් දේවල්... එයා කියනව මට ඕන පවුලක් වෙලා ළමයි හදලා සරළ ජීවිතයක් ගෙනියන්නලු. එයාගේ ජීවිතේ ඊට වඩා ගොඩක් වෙනස් ලු.. 

ඔයා ගොඩාක් වෙනස් වෙලා. මම එහෙම කිව්වා. ඔව් මම වෙනස් උනා...ඇය උත්තර දුන්නා. මට තවම මැවිලා පේනවා ඒ මූසල හැන්ඳෑව. එදා මම එයාගෙ ඔලුවට අත් දෙක තියලා කිව්වා මම ඔයාට ගොඩාක් ආදරෙයි කියලා. නමුත් ඒ ගල් හිතට ඒ  කිසි දෙයක් දැනුනෙ නෑ. එයා දිගින් දිගටම කිව්වෙ මගෙන් එයාට කරදරයි කියල, මම මෙච්චර ආදරේ කරපු කෙල්ලද මේ කතා කරන්නෙ කියලා මම පුදුම උනා. තවත් ගොඩාක් දේ කිව්වා. මගේ ඇස් වල ලොකු කදුළු කැට බිමට වැටෙන්න පොර කෑවා. ඒ කිසිවක් එයාට වැඩක් නෑ. ඒ හිතට ඕනෙ උනේ මගෙන් ගැලවිලා ඈතට යන්න. ඒත් මම හිතන්නෙ නෑ එයාට එයාගේ හෘද සාක්ෂියෙන් දවසක ගැලවෙන්න පුලුවන් කියලා. 

එයාට දැන් හොඳ රස්සාවක් තියෙන නිසාලු මම මෙහෙම පස්සෙන් එන්නෙ. මගේ තුන් හිතකවත් එහෙම දෙයක් තිබුනෙ නෑ. එත් එයා ඉන්න තත්වෙන් ඒවා පැහැදිලි කරලා තේරුමක් නෑ. මම එයාගෙන් සමුඅරගෙන මගේ ගාව තිබුන එයාගෙ රාමු කරපු පින්තුරෙයි, මග් එකයි ආපහු බාර දීලා, වාහනේට නැගලා හරවනකොට කන්නාඩියෙන් දැක්කා එයා ඒවා කඩලා කුණු බක්කියකට දානවා. ඉතින් මම කාමරේට ආවා. මගේ හිතෙ තියන දුක කාට කියලා කියන්නද ? මට මේ මුලු ලෝකෙම එපා උනා. මම කල්පනා කලා මමත් නුවර ඉපදිලා ලොකු පී එච් ඩී එකක් තිබුනා නම් හරි කියලා. මට කරන්න කිසි දෙයක් නෑ. ඒත් මගේ හිත එයාව අමතක කරන්න සූදානම් නෑ.

හිතේ තියෙන දුක අඩුවෙන්නත් එක්ක මම දිගටම එයාට ඊමේල් පණිවිඩ යැව්වා. එකකට වත් ප්‍රතිචාර නෑ. අපි කථා බහ කරපු හැම තැනකින්ම මාව ඒ වෙද්දිත් ඉවත් කරලා අවසන්. දවස් දෙක තුනකට පස්සෙ හදිසියේම මට දුරකථනයෙන් කථා කරලා හමුවෙන්න අවශ්‍ය බව කිව්වා. එයා තනියම එන බවක් කිව්වෙ. නමුත් මට හිතුනා තනියම එන එකක් නෑ කියලා. මම හිතුවා හරි. එයාගෙ යාලුවෙක් එක්ක එයා ආවෙ. මීට පස්සෙ මට ඊ මේල් එව්වොත් මම පොලිසියට කියනවා. එයා මට දඹර ඇඟිල්ල දික් කරලා තර්ජනය කලා. ඉස්සර දවසක ආදරයෙන් ලං කරගෙන මේ ඇඟිලි මම අල්ලගෙන උන්නා නේද....මට එහෙම හිතුනා. මගේ යාලුවගෙ පවුලෙ අයට ඕනෙ දෙයක් කරන්න පුලුවන්. ඒ නිසා එයාට ආයෙත් කරදර කරන්න එපා. කෙල්ලගෙ තනියට ආව අනිත් කෙල්ලත් මට සද්දෙ දැම්මා.

මගේ ජීවිතේට හදිසියේ ඇවිත්, බලාපොරොත්තු කන්දරාවක් දීලා මගේ මුලු ජීවිතෙම අවුල් ජාලයක් කරලා එයා යන්න ගියා. මම කියන්නෙ නෑ මම සීයට සීයක් හරි කියලා. ඒත් තමන්ට ආදරේ කරපු කෙනෙක්ට කොහොමද කෙනෙක් එහෙම පිහියෙන් ඇන්නා වගේ කතා කරන්නෙ. මොකක්ද මම ඒ තරමටම කරපු වැරැද්ද. පොලීසියට කියනවා කියන්න තරම්. සිරා උඹ දන්නවනෙ මට වඩා හොඳට වෙන රටවල් වල නීතිය. ඉතින් මට නොලැබෙන දෙයක් වෙනුවෙන් බලු කුඩුවකත් ලගින්න උනොත්... මම බය උනා. මොකද මම ඉන්නෙ ලංකාවෙන් පිට, මගේ ජීවිතේ ලොකු බලාපොරොත්තු දැන් නෑ.

මට මේ දැන් උනත් හිතා ගන්න බෑ මට මොකද උනේ කියලා. අදටත් මම උදේට නැගිටලා රෑට නිදාගන්න අවස්ථාව එළඹෙන තුරු  සියදහස් වතාවක් මැරි මැරී උපදිනවා. මගේ ජීවිතේ මට උන ඒ දේ කවදාවත් හදන්න බෑ.. ඒ තුවාල කැලැල් කවදාවත් මැකෙන්නෙ නෑ. සිරා මම ආසයි උඹ මේ ලියුම අඩුපාඩු හදලා උඹේ බ්ලොග් එකේ දානව බලන්න. තව දෙයක් කියන්න ඕන. සිරා මම දන්නව උඹත් මම වගේම එකෙක් කියලා. අද උඹ යම් කිසි තැනක ඉන්නව නම් ඒක උඹ උත්සාහ කරලා ලබාගත්ත දෙයක්  කියලා. මම දන්නව උඹ ලංකාවෙ මගේ පන්තියෙම එකෙක් කියලා.ඒත් මම ආදරේ කලේ මගෙ පන්තියෙ කෙල්ලෙක් ට නෙමෙයි. මම හිතන්නෙ එතන තමයි මට වැරදුනේ.

මම දන්නවා උඹලා අපි හමු වෙලා නැති උනත් අපේ ජීවිත කොහොමද කියලා. මමත් උඹ වගේම ගමේ ඉපදිලා ගමේ ඉස්කොලෙට ගිහින් පස්සෙ සීසන් ටිකට් එක අරගෙන සී.ටී.බී බස් එකේ ෆුට් බෝඩ් එකේ ඉස්කෝලෙ ගියපු එකෙක්. තව උදාහරණ ඕන නෑ නේද. හිතා ගන්න පුලුවන් නේද මා ගැන.හැබැයි මම ආදරේ කරපු කෙල්ල එහෙම කෙල්ලෙක් නෙමෙයි. ඒකි වාහනෙන් පොලිස් ගාඩ් එකකුත් එක්ක ඉස්කොලේ ගියපු කෙල්ලෙක්.. අන්න එතන තමයි මට වැරදුනේ. මොනව උනත් මට වැරදිලා ඉවරයි. සිරා මම හිතනව මේ ඇති කියලා.. මම උඹට බල කරන්නෙ  නෑ.. මම ඉල්ලීමක් කරනව මේක දාපන් කියලා. ආ තව දෙයක් කියන්න ඕන මේ ආදර කථාවත්  උඹේ එක වගේම තමයි.. වැඩි කාලයක් නෑ... මොන දේ උනත් මම තාම එකිට ගොඩක් ආදරෙයි. ආදරයක් හිතින් මරා දාන්න ගොඩාක් පහසුවෙන් එයාට  පුලුවන් උනාට...මට නම් බෑ. 

මම මේ කථාවෙ නොකියපු තව එක දෙයක් තියනවා... මොකක්ද දන්නවද... ඉස්සර මම හැමදාම එයාව වැඩ ඉවර වෙලා ගෙදර ගිහින් බස්සනවා. මොකද එයාට වාහනයක් තිබුනෙ නෑ ඒ කාලෙ..ඒත් දැන් එයා ලොකු රස්සාවක් කරල ලොකු වාහනයක් අරගෙන... ඉතින් මට ඒක පෙනේවි කියල වාහනේ පේන්නෙ නැති විදියට පාක් කරලා තමයි අන්තිම දවස් දෙකේදි මාව මුණ ගැහෙන්න ආවෙ... සිරා උඹට කියන්න එයාව හම්බු වෙන්න මම එක දවසක් ගියේ බස් එකේ.. මොකද මට සිහි කල්පනාවෙන් වාහනයක් එලවන්න තරම් මානසිකත්වයක් නැති නිසා.. එයා ඇහුවා කොහොමද ආවෙ කියලා, මම ආ විදිය අහලා නිශ්ශබ්ද උනා. වාහනෙන් ගිහින් දාන්නද කියලවත් ඇහුවෙ නෑ.

මම දන්නව සිරා උඹටත් වරදින්නෙ නෑ කියලා...ජීවිතේ අනිත් මිනිස්සුන්ට  සල්ලි ලොකු උනාට...උඹලා අපි වගේ උන්ට ලොකු මනුස්සකම...මට දුක ඒකෙන් අනිත් අය අයුතු ප්‍රයෝජනය ගත්තු එකට.... මමත් හිතාගෙන ඉන්නෙ මැයි වල වගේ ලංකාවට යන්න. අපි අපේ ගමන හෙමින් සැරේ යමු...කලබල වෙන්නේ නැතුව.... මේ ලිපිය කියවන්න එන උඹලා හැමෝටම ජය කියලා මම මගේ දුක්බර හිතත් තුරුළු කරගෙන කාමරේ තනිවෙන්නම්, මේ ලිපිය සිරාගෙ කාමරේ පල උනත් මට ඒක ආයෙම කියවන්න තරම් හයියක් නෑ...

මේ ඡායාරූපය පසුව එකතු කරමි. ‍
සමීර කොලුවා තම වාහනයේ අභිනවයෙන් අලවන ලද ස්ටිකරය.





සිරාගෙ කාමරයේ බූට් මාසය වෙනුවෙන්
ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සිට ලියා එව්වේ ප්‍රසාද් සමීර.




ප.ලි

අකුරක් අකුරක් පාසා විරහා වේදනාව කැටිවී  ඇති මේ ලියවිල්ලට මම බණ්ඩි පොහොර ගසන්නට ගියේ නැත. සිරා ‍කොලුවා වන මා මේ ලිපිය ලද අයුරින්ම පල කරන ලදී. දයාබර මිත්‍රයා....විරහා වේදනාවෙන් තොර යහපත් හෙටත් ඔබට උදාවේවායි මම හදවතින්ම පතමි.

Sunday, February 15, 2015

107 බට්ටි නගාට පෙම් කළෙමි.

එදා 1996 අගෝස්තු මාසෙ 12 වෙනිදා.... මම අරමුණක් නැතුව ටවුමට ඇවිදගෙන ආවා. සඳමාලි නංගි මගේ ඉස්සරහටම ඇවිදගෙන ආවෙ මේ අතරෙ...

ආ සඳමාලි නංගි...කොහොමද ? කාලෙකින් දැක්කෙ

වරදක් නෑ අයියා...අයියට කොහොමද ?

මටත් වරදක් නෑ නංගි...ඒත් හිතට පුදුමාකාර වේදනාවක් දැනෙන්නෙ...දැන් මාස ගානකින් සජීගෙන් ලියුමක්වත් පණිවිඩයක් වත් නැහැ . මම දවසක් දෙකක් එයාලගෙ ගෙවල් පැත්තෙත් ගියා. එක දවසක් ගෙදර ඉන්නවා වගේ දැක්කා. මම හිතන්නෙ මාව දැකලද කොහෙද එක පාරටම ගේ ඇතුලට ගියා. මට මේ හිතාගන්න බැරුව ඉන්නෙ.

මම ආවෙ ඇත්තටම සජීගෙ පණිවිඩයකට තමයි අයියෙ.

සඳමාලි එහෙම කියද්දි මට දැනුන සතුට....හැබැයි එයා කථා කලේ අහක බලාගෙන...

ඇයි නංගි මොකක් හරි අවුලක්ද ? මම ඇහුවෙ ගැහෙන හදවතින්....

ඔව් අයියෙ සජී මට පාර්සලයක් දුන්නා...ඔයාට දෙන්න කියලා...මේක ගන්නකො ඉස්සෙල්ලා...

මම ඒක ඩැහැගත්තෙ නොඉවසිල්ලෙන්...

ප්‍රධාන බස් නැවතුම ඉදිරියේදිම මම ඒ පාර්සලය ලෙහලා බැලුවා. ඒකෙ තියෙන්නෙ පසුගිය අවුරුදු 6 පුරාවටම මම සජීට ලියපු සෙනෙහෙ කොල, උපන් දින සුභ පැතුම්, මට මේක අදහා ගන්න බෑ.

මේ මොකද නංගි.... මම සඳාගෙන් ඇහුවෙ දෙලොවක් අතර තනිවෙලා ඉන්න ගමන්..

ඔව් අයියෙ සජී මට කිව්වා මේ ටික අයියට දීලා කියන්න කියලා මේ සම්බන්ධයට ගෙදර අය කැමති නැහැ. ඒ නිසා එයාගෙන් පලිගන්න හිතන්නෙ නැතුව එයා දීපු ලියුම් ටිකයි. බර්ත්ඩේ කාඩ් ටිකයි ආපහු එයාට දෙන්න කියලා. සහෝදරයො වගේ මීට පස්සෙ ඉමු කියලා කියන්නත් කිව්වා.

මුළු ලෝකයම මා ඉදිරියේ කඩා වැටුනා වගෙයි මට දැනුනෙ. මම හිත් පිත් නැති එකෙක් වගේ සඳා දිහා බලාගෙන හිටියා. සඳා තව මොනවද කියනව...මට ඒ මොනවද කියලා නිච්චියක් නෑ.

අයියෙ...

සඳා මගෙ ඇඟට ඇනලා කථා කලා...

මම පියවි සිහියට ආවෙ එතකොට...

අයියා කවුද කියලා කියන්න මම දන්නවා අයියෙ.  ඒ උනාට මගෙ යාළුවා වෙනුවෙන් මේ දේ මට කරන්න උනා. එයාට කවදාවත් ඔයා වගේ හොඳ කෙනෙක් ලැබෙන්නෙ නැහැ.

මේ ටික මට ඇහුනෙ හීනෙන් වගෙයි...ඇත්තටම මේ හීනයක්ද...මම මගෙන්ම ඇහුවා.....

සඳාගෙන් සමුගන්නේවත් නැතුව මම පාරදිගේ වැනි වැනී ඇවිදගෙන ආවා. හරියට ඇවිදින මල මිනියක් වගේ මට හිතා ගන්න බැහැ කරන්නෙ මොකක්ද කියලා. කෙලින්ම ගියෙ බාර් එකට. අරක්කු භාගයකුත් අරගෙන මම ඒ කාලෙ උගන්වමින් හිටිය පුද්ගලික පන්තිය පැත්තට ගියා. වෙලාවට කවුරුවත් නෑ. ඒ වනතෙක් මම ජීවිතේටම බීලා නැහැ. නමුත් මට මේ වේදනාව දරාගන්න බැහැ.  මේක කියවන අය හිතයි පිරිමියෙක් මෙහෙමත් අඬනවද කියලා ඒත් මට නොදැනිම නොනවත්වා ගලන කදු‍ළු නවත්තගන්න මට පුලුවන් කමක් තිබුනෙ නෑ. පැය 3 ක් විතර මම අරක්කු භාගය හිස් කරමින් පන්තියෙ ඉන්න ඇති. ඔළුව උස්සන්න බැහැ. ඇඟට පණත් නෑ. වටේටම කළුවර වැටිලා. මම ගෙදර යන්නත් ඕනෙ. මට හොඳටම දැනෙනවා මම වැනෙනවා කියලා.

කවුද ඔය පන්තියෙ ඉන්නෙ. ටිකක් සැරෙන් කෙනෙක් අහනවා ඇහුනා.

ආ...මේ..මම...මම උත්තර දුන්නා.

අඩේ....අයි පී...කොහෙද බොල ගියේ...මම හැමතැනම හොයලා තොගෙ ගෙදරත් ගිහින් මේ ආවෙ. මට නිකමට හිතුනා පන්තියේවත්ද කියලා...

රොහාන් ලඟටම ඇවිත් අහනවා. ඒ මගේ එදා ඉඳන් අද දක්වාම අතිජාත මිත්‍රයා...

මොකද උඹ කරන්නෙ...

මට දෙන්න උත්තර නෑ...

මොකක්ද ඒ ගඳ....උඹ බිව්වද ?  මට කථා කරගන්නත් බෑ.....

මුගෙ අම්මට...මට ඇහුනෙ එච්චරයි...දෑස නිලංකාර වෙනවත් මතකයි. මගෙ ජීවිතේට මම ඒ වගේ කනේ පාරක් කාලා නෑ. ඇත්තටම වෙරි හිඳුනා...

මට සමාවෙයං මචං...මගේ ඇඬිල්ල මටම නවත්තගන්න බැරි උනා.

තෝ මොකටද බිව්වෙ...

වෙන්න තියෙන සේරම උනා බං....සජී මාව දාලා ගිහිල්ලා.

මොකා සජී.....ඒ මොකද ?

ඒකි සඳු අතේ පණිවිඩයක් එවලා ඒකිව අමතක කරන්න කියලා.  මම කොහොමද බං ඒක කරන්නෙ අවුරුදු 6 ක් මම කොහොමද අමතක කරන්නෙ....මම ඇහුවෙ අඬ අඬා....

ඒකි මට ලියුමක් එවලා තියෙනවා මම යවපු ලියුම් කාඩ් ඔක්කොම එක්ක.

රොහාන් නිහඬවම මා දෙස බලාන හිටියා. දැන් උඹට ගෙදර යන්න බැහැනෙ ඔහොම. යමං ශාමලීලගෙ ගෙදර...මම තොගෙ බාප්පට කියලා එන්නම්. රොහානයා උගෙ පුටාර් එකට නැගලා පිම්මේ ගියා.

ශ්‍යාමලීගෙ ගෙදර ගිහින් මම කලේ එලිවෙනකං අඬන එක. අවුරුදු 6 ක හීන එකපාරටම කඬා වැටුනම කෙනෙක් කොහොමද දරා ගන්නෙ. ඇස්දෙක පියාගෙන මම ඒ අතීතයට ගියා මොහොතකට...හරියටම චිත්‍රපටියක් වගේ ඒ මතකය වරින් වර මැවෙනවා.

1990 වෙද්දි මම 10 පන්තියෙ උනාට මුළු පාසලේම ප්‍රසිද්ධ චරිතයක්. ඒ ඉගෙනීමට බර හොඳ ළමයෙක් විදියට. අපි හැමදාම පාසල් බස් එකට එන්න ප්‍රධාන නැවතුමට එනවා. ඒ එන්නෙ බස් එකට විනාඩි 20 කට විතර කලියෙන්. මගේ හිතවත්ම පිරිස උනේ රොහාන්, ශාමලී නංගි, අචලා, ජයන්ත ඇතුළු පිරිස. දවසක් ශාමලී නංගි මා ලගට ඇවිත් මගේ කනට කරලා මෙහෙම කිව්වා.

අයි පී අයියෙ...බට්ටි අක්කා ඔයා දිහා බලනවා වැඩියි. මොකද ඇප්ලිකේෂන් එකක් දාමුද ?

මමත් හොරෙන් හොරෙන් බට්ටි දිහා බැලුවා. බට්ටි ඇත්තටම ලස්සන පොඩි කෙල්ලක්. මට වඩා අවුරුද්දක් බාලයි. ටික දවසක් ඔය විදියට ගියා. මටත් බට්ටිව නොදැක ඉන්න බැරි උනා. මම දන්නවා බට්ටිටත් එහෙම වෙන්න ඇති. එයා හැමදාම මට රතු රෝසමලක් අරගෙන ආවා. එයාලගෙ ගේ ඉස්සරහා ලස්සනට කපපු රෝස වැටියක් තිබුනා. ඒකෙ හැමදාම මල් පිපුනා.

එදා හරියටම 1990 මැයි මාස‍ෙ 18 වෙනිදා..සිකුරාදා දවසක්. අපි දෙන්නට බස් එකේ එකට සීට් එකේ යන්න අවස්ථාවක් ලැබුනා. මම එයා ලගින් ඉඳගත්තා විතරයි. මෙතෙක් වෙලා අතේ තියාගෙන උන්න රෝසමල මා අතට දීලා බොහොම අහිංසක විදියට හිනා උනා. මමත් ඉතින් දැන් ඉවසගෙන උන්න ඇති කියලා හිතලා පුරුෂ දහිරිය අරගෙන තව ටිකක් ලඟට කිට්ටු ‍කලා.

බට්ටි නංගි...මම ඔයාත් එක්ක බොහොම පුද්ගලික දෙයක් කථාකරන්න හිතාගෙන හිටියෙ...

මොකක්ද අයියෙ...

ඔයාට කවුරුහරි විශේෂ කෙනෙක් ඉන්නවද ?

ඉන්නවා තුන් දෙනෙක්...(මට කණට ගැහුවා වගේ)

ඒ කවුද ?

අයියලා දෙන්නයි මල්ලියි...

එහෙම කියලා බට්ටි අතින් කට වහගෙන හිනා උනා. මට ටිකක් කේන්තිත් ගියා...නමුත් මම සද්ද නැතුව හිටියා.

මට තේරෙනවා අයියෙ අයියා අහදේ....මට කොල්ලෙක් නෑ. ඒත් මගේ හිතේ කෙනෙක් ඉන්නවා.

කවුද ඒ....මමත් ඇහුවෙ හිතින් ගැහි ගැහි....

වෙන කවුරුවත් නෙමෙයි ඔයා...මම දන්නවා ඔයත් කැමතියි කියලා. 

ඔන්න ඔය විදියට තමයි අපේ ප්‍රේමකථාව පටන් ගත්තෙ. දින සති මාස ගෙවිලා ගියා. දවසින් දවස මගෙ ගෙදර තියෙන පුංචි කාඩ්බෝඩ් පෙට්ටියකට රෝසමල් එකතු උනා.

ඉස්කෝලෙදි අනිත් අයට හොරෙන් අපි හැංගිලා කථා කරපු හැටි...මට ගෙදරින් බත් ගෙනල්ලා කවපු හැටි. අපේ හිතවත් අය අපි වටේට ඉඳගෙන උකුසු ඇස් වලින් අපිව ආරක්ෂා කරපු හැටි...පාසලේ නිවාසාන්තර ක්‍රීඩා උළෙල ඉවර වෙලා ගෙදර යන්න බස් නැතුව හිටපු දවසක ලොරි භාගයක නැගලා අපි දෙන්නා ඒ ගමන යද්දි මගේ පපුවට තුරුලු උන හැටි, මේ ලියමන අස්සෙ මට මතක් වෙනවා. මම හැමදාම දැනගෙන හිටියෙ මම ඔයාට හදවතින්ම ආදරය කල බව විතරයි.

1991 මම අ.පො.ස සා/පෙ කරලා ගෙදර ඉන්න කාලෙ තමයි දුක්බරම කාලය. ඒ කාලෙ මගේ පණිවිඩ බට්ටිට ගෙනිහින් දුන්නෙ සමන් අයියා. එයා අත තමයි බට්ටිත් මට පණිවිඩ එව්වෙ. ප්‍රතිඵල ඇවිත් උසස් පෙළ පන්ති පටන් ගන්න ගියා මාස 4-5 ක කාලය පුදුමාකාර පාළුවෙන් හිටියෙ. ඒ කාලෙ බට්ටිව මුණ ගැහෙන්න යන්න විදියකුත් නෑ. කොහොමහරි 1992 අපි ආයෙ පාසල් ගියා....නැවත අපේ ආදරය අළුත් උනා. නමුත් මට පැහැදිලිව දැනුන දෙයක් තමයි එයා ඉස්සර තරම් මාව ගනන් ගන්නෙ නෑ කියන එක. ඒ වගේම බට්ටිගෙ තිබ්බ හුඟක් අහිංසක ගතිගුණ ටිකෙන් ටික ඈත් වෙනවා කියන එකත් මට දැනුනා.

දවසක් අපේ ලොකු මල්ලි මට මෙහෙම කිව්වා, අයියේ උඹේ මස්සිනා උඹට පණිවිඩයක් එවලා තිබ්බා, වැරදිලා මට ඇවිත් තිබුනා මම ගිහින් මුණ ගැහිලා කථා බහ කරලා ආවෙ කියලා. මම අපේ එකාගෙ හැටි දන්න හින්දා පහුවදාම බට්ටිගෙන් ඇහුවා මොනවා හරි ප්‍රශ්නයක් උනාද කියලා...එයා මට කිව්වෙ ඔයා හරි චණ්ඩියෙක්නෙ....ඇයි මල්ලියි..මල්ලිගෙ යාළුවොයි දාලා අපේ අයියට ගහලා තියෙන්නෙ...මින් පස්සෙ අපේ සම්බන්ධය ඉවරයි ආයෙ කථා කරන්න එපා කියලා.

මම පස්සෙ තමයි දැනගත්තෙ මට ගහන්න බට්ටිගෙ අයියා කරපු සැලසුම අපේ මලයට ආරංචි වෙලා මලයා එදා කෙල්ලගෙ අයියා රැකගෙන හිටිය තැනට එයාගෙ යාලුවො එක්ක ගිහින් තියෙන විත්තිය.

කොහොම උනත් මගේ නිවැරදි බව කියන්න කොපමණ උත්සාහ කලත් ඒකට අවස්ථාවක් බට්ටි නගා දුන්නෙම නෑ. එයත් සා/පෙ කරලා උ/පෙ වලට ආවා. එතැනදිත් මම ගොඩාක් උත්සාහ ගත්තා. කොහොම උනත් ටික කාලෙකට පස්සෙ අපි දෙන්නා ආයෙමත් එකතු උනා.

මම 94 දි උ/පෙ ලිව්වෙ. හැබැයි ඒ වෙනකොට මා ගැන සැලකිල්ල බොහොම අඩුයි කියලා මට දැනිලා තිබුනෙ. ඒ වෙනකොටත් මම පොඩි ළමයින්ට ටියුෂන් දෙන නිසා මා අතේ යහමින් මුදල් තිබුනා. එයාට උවමනා හැම පොතක් ම ගෙනත් දුන්නෙ මම. හැම අඩු පාඩුවක්ම බැළුවෙ මම. මට උ/පෙ හරියටම සමත් කරගන්න බැරුව ගියා. 95 දි මම දෙවන වරටත් එයා පළමු වරටත්  උසස් පෙළ ලිව්වා. ඒ කාලය වෙනකොට මම සෑහෙන්න මානසිකව වැටිලා හිටියෙ. කොහොම හරි පළවෙනි සැරේම එයා A 4 ක් අරගත්තා. මට ඒ වතාවෙත් ලකුණු මදි. ප්‍රතිඵල ආව දවසෙම අනිත් අය එක්ක බට්ටි කියලා තිබුනා අයි පී අයියා මට හරියන්නෙ නෑ. මම දැන් කැම්පස් ගිහින් අඩුගානෙ ටීචින් හරි කරයි. මෙයා මොනවද කරන්නෙ කියලා.

මේ කථා මට හිතවත් යාළුවන්ගෙ මාර්ගයෙන් ආරංචි වෙනකොට පපුවට පිහියෙන් අනිනවා වගේ. උ/පෙ වලින් පස්සෙ එයා ඉංග්‍රීසි පන්තියකට යන්න පටන් අරගෙන. ඒත් මට කිව්වෙ නෑ. දවසක් පන්ති ගිහින් එද්දි මට අහම්බෙන් මුණ ගැහුනා. කොහේද ගියේ කියලා ඇහුවම කිව්වෙ යාළුවෙකුගෙ ගෙදර ගියා කියලා. මම කොච්චර ලිපි යාලුවන්ගෙ මාර්ගයෙන් යැව්වත් එකකටවත් පිළිතුරක් නෑ. නොයෙක් නොයෙක් ආරංචි ආවා. ඒත් මම පුලුවන් තරම් හදාගන්න තමයි හැදුවෙ. එයා උසස් පෙළ ලියපු කාලෙ සමහර විශේෂ පොත් පත් මම තනියම කොළඹ ගිහින් පවා ගෙනත් දුන්නා. එහෙම මට තමයි මෙහෙම සලකන්නෙ.

මේ කාලයටම අපි මුණ ගැහුනෙ දවස් 7 - 8 විතර. එයා යන ඉංග්‍රීසි පන්තිය හොයාගෙන දවසක් මම එතැනට ගියා.  එදා මට සැලකුවෙ හරියට පිටගම් කාරයෙකුට වගේ.  පස්සෙ පන්ති යන එකත් නවත්තලා දැම්මා.

මෙහෙම ඉන්නකොට තමයි සඳා නංගි මට අර පණිවඩේ කිව්වෙ. අපි නුවරඑළි චාරිකාවක් ගිය වෙලාවක එයාට සීතල වැඩිවෙලා වෙව්ලද්දි මම ඇඳගෙන හිටිය ස්වීටර් එක දීලා මම සීතලේ හිටිය හැටි,හැමෝටම හොරෙන් එයාම උයාගෙන ගෙදරින් ගෙනාපු බත් එක මට කවපු කාලෙ, එකින් එක මතකයට එද්දි පුදුමාකාර වේදනාවක් දැනුනෙ.

මම බට්ටිට දුන්න හැමදේම ආපහු එව්වට පස්සෙ මෙතෙක් කල්  මගේ ලග සුරැකිව තබාගෙන සිටි ඡායාරූප, ලිපි හා කාසි සියල්ලම මමත් ඇයට ලැබෙන්න සැලැස්වුවා. මාසයක් පමණ ගතවෙද්දි මම ඉන්න විදිය දැකපු රොහාන් මා ලගට ඇවිත් අන්න ගම්පහ සෝබෝන් එකේ සිටු බණ්ඩාර සර්ගෙ Spoken English පන්තිය පටන් ගත්තා. වරෙන් යන්න කියලා මාවත් ඇඳගෙන සෙනසුරාදාවක සෝබෝන් එකට ගියා.

මේ අතර එක සෙනසුරාදාවක අපිට හදිසියෙම පන්ති පැවැත්වුනේ නැහැ. හැමෝම කථා උනා ගම්පහ මල් වත්තට යන්න. මම මුලදි අකමැති උනේ මගේ පහුගිය මතක සටහන් අස්ගිරිය මල් වත්තෙදි දකිනකොට හිතට වේදනාවක් එන හින්දා. නමුත් රොහාන්ගෙ බලකිරීම මත මමත් අනිත් අයට එකතු  උනා. අපි හැමෝම හෙමිහිට සින්දුවක් කිය කියා ඇතුලටම යද්දි විශ්වාස කරන්න එදා මට දැනුන වේදනාව මට සිහිකරන්නත් භයයි. ඒ තරම් වේදනාකාරියි. මම අවුරුදු 6ක් ආදරය කරපු මගේ ප්‍රථම සහ එකම ප්‍රේමය බට්ටි නංගි ඒ කාලෙ අපිට උදව් කරපු, අපේ ලියුම් අරගෙන ගිය සමන් අයියගෙ අතේ එල්ලිලා මගේ ඉස්සරහටම එනවා. මට මගේ දෑස් අදහාගන්න බෑ. ඒ දෙන්නත් මාව දැක්කා. එ එක්කම ඉක්මනටම ගමන් මාර්ගය වෙනස් කරලා වෙන පැත්තකට ගියා. මම ආපහු යන්න හැරුනාම රොහානුත් මා එක්ක ආපහු හැරුනා.

මම එදා ගෙදර ගියෙත් නෑ. රොහාන් මාව උන්ගෙ ගෙදර එක්ක ගියා. ඌ එදා උන්ගෙ ගේ ලග ලඳු කැලෑවට අරගෙන ගිහින් මට ඇති තරම් අඬන්න අවස්ථාව දුන්නා. දැනෙන වේදනාව කොච්චර උනත් ඉවරයක් නෑ. හරියට මුහුදෙ රැල්ල වගේ. නැවත නැවත බුර බුරා නැගෙනවා. ගෙදරට පණිවිඩයක් යවලා මම සතියක්ම උන්ගෙ ගෙදර හිටියා. පස්සෙ ටිකෙන් ටික හිත හදාගන්න හැදුවට ඒක අමාරුයි.  වෙන දේකට හිත යොමුකරන්න කියලා රොහාන් මට උපදෙස් දුන්නා. සෝමසිරි මැදගෙදර ගායනා කරන ඉස්සර බැඳි පෙම සිත්වල සුවඳයි කියන ගීතය ඇහෙන කොට මට ඒ කාලෙ දැනුනෙ මාව  පිච්චෙනවා වගේ....ඒ දවස් වල එයා ලිපියකින් ලියලා එවපු අරලිය ලන්දට සඳ පායනකොට කියන ගීතය ඇහෙනකොට ඇත්තටම ආදරය මේකද කියලා මට හිතාගන්න බැරි තත්වයක් උදා උනා.

අන්තිමට මට කාන්තා සනුහරේම එපා උනා. පලිගන්න අදහසමයි ඔළුවට එන්නෙ. පස්සෙ මම තීරණයක් ගත්තා. මට උසස් පෙළ ඇණගන්න උනෙත් උඹ හින්දා...මගේ ගමන නතර වෙන්න ගියෙත් උඹ හින්දා....මට වැරදිච්ච තැන මම කොහොමහරි හදාගන්නවා කියන එක.

1997 ජනවාරි මම වරකාපොල කාර්මික විද්‍යාලයේ තාක්ෂණවේදී ඉංජිනේරු සහතික පාඨමාලාවට එකතු උනා. මට උගන්වපු ආචාර්යවරුන්ගේ මග පෙන්වීම මත 1998 ජනවාරි වරකාපොල ඉගෙනගන්න අතරම කෑගල්ල කාර්මික විද්‍යාලයේ සති අන්ත NCT පාඨමාලාවටත් සම්බන්ධ උනා. මට ඉගැන්වුවෙ ඉතාම හොඳ ගුරුවරු. දවසක් එක දේශක තුමෙක් මට කිව්වා විවෘත විශ්ව විද්‍යාලයේ ඩිප්ලෝමා පාඨමාලාවකට ලියාපදිංචි වෙන්න කියලා. හැබැයි කාටවත් කියන්න එපා කියලත් කිව්වා.

මමත් ඒ කියපු විදියටම කලා. වරකාපොල කාර්මික විද්‍යාලයෙ අවසාන විභාගෙ මම ඉහළින්ම සමත් උනා. ඒ වෙනකොට බට්ටි කැලණිය සරසවියෙ. මට එහෙනුත් ආරංචි ආවා එයා ගැන. මේ කාලය තුල මම පුදුමාකාර වෙහෙසක් අරගෙන මගේ ඉලක්කයට ගියා. අන්තිමට මම ලංකාවෙ ප්‍රධානතම වෛද්‍ය උපකරණ ආයතනයක සහකාර ඉංජිනේරුවෙක් විදියට සේවයට බැඳුනා. බට්ටි විශ්ව විද්‍යාලයෙන් සමු අරගෙන උපාධිධාරී ගුරුවරියක් විදියට මම මුලින්ම ඉගෙනගත්ත පාසලේ සේවයට එකතු උනා.

ආයෙ නං කෙල්ලො එපා කියපු මගේ හිත වෙනස් කලේ මියගිය පුංචි අම්මා. මගේ පියාගෙ මිතුරෙකුගෙ දියණියක් වගේම මගේ සහෝදරයගෙ පන්ති සගයෙක් වෙච්ච මගේ බිරින්දෑ මුණගැහුනෙ පුංචි අම්මගෙ බල කිරීම මත. මුලින් මුලින් අරමුණක් නැතුව කථා කලාට මා ඇයට 2001 වසරෙදි කැමති උනා.

දිනය මට මතක නැතත් එදා 2002 වසරෙ පෙබරවාරියේ දිනයක්. අපේ ගමේ පොල දවස. මම එදා ටවුමට ආ වෙලාවෙ මම මගේ හිටපු ආදරවන්තිය බට්ටි නගාව මුණ ගැහුනා. මම ඇයව මඟ ඇරලා යන්න හැදුවත් ඇය මා වෙතම ආවා. ඇස් දෙකේ කදුළු පුරවගෙන මා දිහා බැලුවා. නමුත් මගේ නෙතින් ගලපු කදුළු වලට ඒ කදුළු වල වේදනාවට, ඇගේ කදුලින් වන්දි ගෙවන්න බැරි බව ඇයට වැටහෙන්න නැතුව ඇති.

මගේ හිතේ තද කේන්තියක් මිසක් වෛරයක් ඇති උනේ නැහැ. ඒ මගේ හිතේ ඉතුරු වෙලා තිබ්බ ආදරයේ අන්තිම බින්දුව නිසා වෙන්න ඇති. ඇය මා ලගට ඇවිත් අත්දෙක එකතු කරලා මා දිහා බලලා...

අනේ රත්තරං අයි පී අයියෙ මා අතින් වෙච්ච වැරදි වලට සමාවෙන්න මම හැමදාම ඔයාගෙ ගාව වැටිලා ඉන්නම් මට සමාව දෙන්න කියලා අඬන්න ගත්තා. මටත් ඉතාම අපහසුතාවක් දැනුනා. මම ඇයත් කැටුව ඒ ආසන්නයේ තේ පැන් හලකට ගිහින් වාඩි වෙලා කථා කලා. ඇය ඒ වෙද්දි පෙම් සබඳතා 2 ක් බිඳුනු කෙනෙක්. ඇය මට කියනවා මට සමාව දීලා මාව බාරගන්න ඉස්සර වගේම මට ආදරේ කරන්න, ඔයාට කැමතිනම් අපේ ගෙදර එන්න, මම ගෙදරට ඔයා ගැන කියන්නම්....කියලා...ඒත්....

ඒ වෙනකොට එයා ප්‍රමාද වැඩියි. අපේ ගෙවල් වලින් මගේ සහ අභිනව තරුණියගෙ විවාහයට කටයුතු සුදානම් කරලා තිබුනෙ. ඇත්තටම මම ඇයට ආදරය කලේ නැහැ. තිබුනෙ කැමැත්ත විතරයි. මොකද තවමත් මගේ හිත ඇතුලෙන් ආදරේ කලේ බට්ටිට, ඒත් හිතට එකඟව දැන් මට ඇයව බාර ගන්න බෑ. මම ඇයට පැහැදිලි කලා දැන් මම ඉන්න තත්වය. එදා ඇය පැය 2 කටත් වඩා මගේ උරහිසට ඔළුව තියාගෙන අඬමින් පාපොච්චාරණය කලා අැය මට කල වැරදි ගැන.

2002 වසරෙ මාර්තු මාසයේ මගේ උපන් දිනයට දවස් කීපයකට පස්සෙ මගේ විවාහය සිද්ද උනා. විවාහයෙන් පස්සෙයි මම ඇයට ආදරය කරන්න පටන් ගත්තෙ. ඒ ආදරයට පුලුවන් උනා බට්ටිව පහුකරගෙන යන්න. ඇය මගේ හෙවනැල්ල වගේ හැමදේම හොයා බැලුවා. මගේ අධ්‍යාපනය තවත් ඉදිරියට ගෙනියන්න උවමනා උනෙත් එයාටයි.  අවසානයේ උපාධියක් අරගෙන බට්ටි ගුරුවරියක් වෙද්දි...මම ඉංජිනේරුවෙක්  ලෙස උසස් උනා.

කාලය සෙමින් සෙමින් නැතුව වේගයෙන් ගලා ගියා. මට ලැබුනු තොරතුරු අනුව බට්ටි පසුකලෙක අසල් වැසි ගමක තුන්රෝද රථ රියදුරෙක් සමග විවාහ උනා. කාලයකට පස්සෙ මට ඇය මුණ ගැහුනෙ ගම්පහ රෝහලට මම රාජකාරී අවශ්‍යතාවයකට ගිය මොහොතකදි. ඇය සිටියෙ බාහිර රෝගී අංශයෙ ප්‍රතිකාර ගන්න පෝලිමේ. සෙනෙහස කෙසේ වෙතත් මට දැනුනෙ අනුකම්පාවක්. මම ඇය හා කථා බස් කලා. ඇයව පෝලිමේ නොතියා බෙහෙත් අරන් දීලා පිටතින් ගත යුතු බෙහෙත් පවා අරන් දුන්නා. කෙසේ වෙතත් මට අමතකක කරන්න බැහැ. මේ මගේ ප්‍රථම ප්‍රේමය බව. ඒ වගේම මට අමතක කරන්න බැහැ මම දැන් දෙදරු පියෙක් බව.

එදා අැය මා ප්‍රතික්ෂේප කල මොහොතේ මගේ හිතට ශක්තියක් වූ මගේ මිත්‍රයො හා මගේම ආත්ම ශක්තිය නොවෙන්නට අද මා නමින් කෙනෙකු නොඉන්නටත් ඉඩ තිබුනා. සෑම ගැටලුවකටම හොඳම විසඳුම කාලයයි. කාලය විසින් හුගාක් ගැටළු විසඳනවා. දැන් මම ජීවිතය විඳිනවා. ඇය ජීවිතය විඳවනවා. මම දැන් ආදරය කරනවා නැවත වතාවක්. ඒ මා හැර ගිය ඇයට නොව මගේ දයාබර බිරිඳට. ඇය මට දෙවැනි මවක් වැනියි. ඕනෑම කෙනෙකුට හිමි කරුවෙකු හෝ හිමිකාරියක කොතැනක හෝ සිටින වග මම දැන් තරයේ අදහනවා. මට එදා මේ තරම් වේදනාවක් ලැබුනේ මෙවැනි අනාගතයක් උදෙසා බවයි දැන් හිතෙන්නෙ.

අදින් වසර 2 කට පෙර 2013 වසරේ නැවත වතාවක් බට්ටි මගේ මුහුණටම මුණ ගැසුන මුත් මා නොහඳුනන කෙනෙකු මෙන් ඇය මා මග හැර ගියා. එසේ උවත් පසුගිය වසරේ මා නැවත වතාවක් ලංකාවට ගිය මොහොතක ඇගේ දරුවෙකු තදබල ලෙස අසනීපව සිටි බව කණ වැකිලා කරුණු කාරණා හොයලා බැලුවා. ශල්‍ය කර්මයට ලක්ෂ 12 ක් අවශ්‍යයි. එදත් මම ඇගේ ගිණුමට යම් මුදලක් බැර කලා. ඇගේ ගිණුම් අංකය මට ලබා දුන්නෙ අපේ ලියුම් ගබඩාව දෙපැත්තට අරගෙන ගිය සඳා නංගි.

කැමැත්ත සහ ආදරය කියන්නෙ දෙකක්. කැමැත්ත කාලයක් යන විට ආදරයට පෙරළෙන්න පුලුවන්. මම දැන් ඒ කැමැත්ත ආදරයකට පෙරළගෙන ජීවත් වෙනවා. මගේ මේ ජීවිත කාලය තුල මගේ උපන් දිනයක් වෙනුවෙන් මට ලැබුන හොඳම උපන් දින තෑග්ග තමයි 2002 මාර්තුවෙ මට ලැබුන මගේ බිරිඳ. මම එයාට එදා බට්ටිට ආදරය කලාට වඩා ගොඩාක් ආදරෙයි.

සිරාගෙ කාමරයේ බූට් මාසය වෙනුවෙන්
සෞදි අරාබියේ රියාද් නුවර සිට ලියා එව්වේ ඉන්දික ඉලංගකෝන්.


ප.ලි

සිරා කොලුවා වන මම ඉන්දික අයියාගේ නිදහස් අදහස් එලෙසින්ම පළ කලෙමි. බණ්ඩි පොහොර ගසන්නට ගියේ නැත.

Wednesday, February 11, 2015

111 කෙල්ලො චපලද ?

සිරා කොලුවගෙ කාමර කබල හදිසියේ දැනුන විරහා දුකෙන් පාලුවට ගිහිල්ලා තියෙන වෙලාවක හිත තදකරගෙන මම සුකුමාර්ගෙ කදුළු කථාව අකුරු කොලාට පස්සෙ කීප දෙනෙක්ම කිව්වා මේ පෙබරවාරිය බූට් මාසයක් කොරමු කියාලා. ඉති සිරා කොලුවා වන මටත් මේ ගෙවෙන පෙබරවාරිය කිසිදාක මතකයෙන් ඈත් නොවෙන දුක්බර එකක් වෙච්ච හින්දම මමත් හිතුවා ආදරයේ විරහව හඳුනන හැමෝම ආදරයෙන් වට කරගෙන අාදරයේ වියෝ දුක ගැන වැඩිපුර ලියලා මේ පෙබරවාරිය අමතක නොවෙන එකක් කොරන්න.

සමහරු දැනටම මගේ ආරාධනයකින් තොරවම තම තමන්ගෙ කදුළු කථා මගේ ඊ ලිපිනයට විදලා...අන්න එ් වර්ගයේ කථාවක් තමයි මේකත්..ලියපු කෙනාට නමක් ගමක් නැති නිසා මේ කථාව යටින් කාමරේ දොර අරින එකා විදියට මගේ නම පල වෙනවා. හැබැයි මම කලේ කථාව මට සිළුටු කොරලා  බණ්ඩි පෝර පාරක් ගහලා දැම්ම එක විතරයි ආයුබොවන්ඩ. අපි එහෙනං මෙන්න මේ විදියට කථාවට බහිමු.


අපේ අයියා කාලයක් ආදරය කරලා කසාදයක් බැන්දා. මට ඉතින් උපතින් අක්කා කෙනෙක් නැති උනාට දැන් අක්කෙක් ඉන්නවා. ඒ අක්කා හරිම කරුණාවන්තයි. හැම කොල්ලෙක්ටම අක්කෙක් ඉන්නවා නම් ජීවිතය මොන තරම් සුන්දරද කියලා මට හිතුනෙ මේ අක්කා ගෙදරට ආවට පස්සෙයි. ඉස්සර අක්කලා හිටිය මගේ යාලුවො නම් අක්කලා එක්ක මොකුත් කරන්න බෑ..හැමදේම හොයනවා කියලා නාහෙන් ඇඩුවට...අක්කා කියන්න‍ෙ අම්මා වගේම අපිට ආදරය කරන චරිතයක් කියලා උන්ගෙ අක්කලා දැකපු බොහෝ වර මට හිතිලා තිබුනා. මට දෙයියො අක්කෙක් දීපු නැති එක ගැන මම පසුතැවුනා. දැන් ඉතිං මොකට වද වෙනවද බොලං..ඔන්න දැන් මටත් අක්කෙක් ඉන්නවා.

අක්කගෙ තාත්තට දෙයියනේ කියලා අඩුපාඩුවක් තිබුනෙ නෑ...ඵලදාව බොහොම සරුසාරයි....කෙල්ලොම තුන්දෙනෙක්. අපේ අයියා එක්ක පිටගං ආවට පස්සෙ අක්කගෙ සහෝදරියො දෙන්නත් මා එක්ක පයුරු පාසානම් පවත්වන්න පටන් ගත්තා. අපි ඉතිං එක එක විකාර වැඩ කලා..ඔට්ටු දිව්වා. සරුංගල් හැදුවා. තව අල්ලන සෙල්ලනුත් කලා.

මෙහෙම ටික කාලයක් ගත වෙද්දි බාල නංගිගෙ විශේෂත්වයක් මට දැනුනා. අපි මොන දේ කලත්..කොහෙ ගියත් එයා මා ලගින් හෙල්ලුනේ නෑ. කවුරුවත් ලග නැත්තං මගේ අත අල්ලගෙන ඉන්නවා. මට ආදරණීය බැලුම් හෙලනවා. ඒ වගේ කථා කරනවා. නමුත් මම වගකීමෙන් මේක කියවන උඹලට කියන්නෙ මගේ හිතේ එහෙම කිසි දෙයක් තිබුනෙ නෑ කියලයි. මොකද අපේ අයියට එයාගෙ නෝනට මගෙ හිතේ ලොකු ගෞරවයක් තිබුනා. පටලැවිල්ලක් හදාගෙන මොනවා හරි ගැටලුවක් ඇතිවෙයි කියලා භයක් මගේ හිතේ හැම වෙලේම තිබුනෙ.

පොඩි නංගි මගේ ඇඟට එන්න එන්න මම ටික ටික ඈත් උනා, කථාව ටික ටික අඩු කලා,  එයා එක්ක බැරි වෙලාවත් තනි උනොත් මම ඉක්මනින් එතනින් මාරු උනා. වැඩි කාලයක් ගියේ නෑ. නගාට මගේ හදිසි වෙනස්වීම දැනුනා. අනේ අයියා මට වෙනසක් කරන්න එපා. එයා එහෙම කිව්වා. දවසක් හිටි අඩියෙ මේ කෙල්ල හැමෝම ඉන්න තැන මහා හයියෙන් අඬන්න ගත්තා. අපේ වැඩිහිටියො ඒකිගෙ ඔලුව අතගාලා ඇයි අඬන්නෙ කියලා ඇහුවාම හේතු විදියට කිව්වෙ මම කථා බහ කරන්නෙ නෑ....එයාව ගනන් ගන්නෙ නෑ කියලා. ඉතිං මගේ ඥාති සමූහයා මට කිව්වා පව්නෙ කොල්ලො එහෙම කරන්න එපා උඹේ පොඩි නංගිනෙ කියලා. මම ඉතිං කටේ පිට්ටු හිර උන එකා වගේ උන්නා...කටක් අැරලා කියන්නෙ කොහොමද ඇත්ත කථාව.

චූටි නංගියව මට ආයෙමත් මුණ ගැහුන දවසක මම ඇහුවා අඬන්න හේතුව...කෙල්ල බිම බලාගෙන කියනවා අයියෙ මම ඔයාට ආදරෙයි...මට ඔයා නැතුව බෑ කියලා. සත්තයි බොලව්..මට කිසි සතුටක් දැනුන‍ෙ නෑ ඒ වචන ටික අහලා...මර භයක් තමයි දැනුනෙ. මම ඉතින් කෙල්ලට පැහැදිලි කලා මට මේකට කැමති වෙන්න බැරි හේතුව...ඒත් ඉතිං කෙල්ල කියන දේ ඇහුවෙම නෑ. හැමදාම මාව දැක්කම කදු‍ළු පුරෝගෙන ඉන්න ඒ ලස්සන මූණ මාව පිස්සෙක් කරන්න වැඩි කාලයක් ගියේ නෑ...මමත් ඉතින් පපුව ගැහෙන එකෙක්නෙ...නැද්ද මං අහන්නෙ. ‍චූටි නංගි හරිම හොඳ කෙල්ලෙක් කියලා මට කෙටි කාලයකින්ම හිතුනා. ගොඩාක් ආදරණීය කෙනෙක්..පවුලෙ හැමෝමත් කෙල්ලට මේ තරම් ආදරේ ඒ නිසා වෙන්න ඇති. මගේ හිත එහෙම කිව්වා. තවත් කල් යද්දි අපි දෙන්නට දෙන්නා නැතුව බැරි උනා...මම මගේ මුළු හදවතින්ම නංගිට ආදරය කලා.

දවසට පැය 24 ක් තිබුනට අපි දෙන්නා කථා කරන්න ගත්තම අපිට දවසට තියෙන පැය ගාන මදි උනා. SMS, Skype , Facebook , Gmail  මේ හැම විදියකටම අපි දෙන්නා අදහස් හුවමාරු කරගත්තා. දිනපතාම වගේ. මෙහෙම ඉන්න අතර තුර දවසක තමයි මම කලින් අයඳුම් කරලා තිබුන විදේශ රැකියාවකට කැඳවීම් ලැබුනෙ. අපේ සම්බන්ධයට වයස අවුරුදු 4 ක් ඒ වෙද්දි. මට කෙල්ලව දාලා යන්න හිත දුන්නෙම නෑ. ඒත් මේ සම්බන්ධය පවුලෙ අයට රහසක් නිසා කාටවත් කියන්න විදියකුත් නෑ.

ඔයා ඔය රස්සාවට යන්න අයියෙ....ගිහින් සල්ලි ටිකක් හම්බ කරලා ලොකු මහත්තයෙක් වෙන්න. එතකොට අපිට ගෙවල් වල කැමැත්තත් ලේසියෙන් ගන්න පුලුවන්. ඔයා එනකං මම බලාන ඉන්නම්...චූටි නංගි එහෙම කිව්වා. ඉතිං මම හිත හදාගෙන ගමන පිටත් උනා. රට ආවට පස්සෙත් අපි වෙනදා අදහස් හුවමාරු කරගත්ත මාධ්‍ය වලින් දිගටම අදහස් හුවමාරු කරගත්තා. මට කිසිම වෙනසක් දැනුනෙ නෑ. ඒත් මාස දෙකක් විතර ගත උනාට පස්සෙ කෙල්ල ජාලයට සම්බන්ධ වීම ටිකෙන් ටික අඩු උනා. ඒ ගැන ඇහුවම කිව්වෙ පන්ති වල වැඩ තියෙනවා. ඒ නිසා වෙනදා තරම් කථා බහ කරන්න ඉසිඹුවක් නෑ කියලා. ඒත් මට වෙනසක් දැනුනා. ආදරය කරන හිතකට තමන්ගෙ ආදරය වෙනස් වෙද්දි හරි ඉක්මනින් දැනෙනවා. මම මගේ හොඳම යාලුවට කිව්වා කෙල්ල ගැන පොඩියක් හොයලා බලන්න කියලා.

දවසක්දා මගේ යාලුවා මට දුරබණුවෙන් අමතලා පණිවිඩයක් දුන්නා. ඒක ඇහුව වෙලේ මට දැනුන කම්පනය පුදුමාකාර එකක්. අන්න උඹේ කෑල්ල වෙන එකෙක් එක්ක ඩබල් දාලා යනවා මම දවස් ගානක් දැක්කා....යාලුවා එහෙම කිව්වා. හරියටම මේක සැක හැර දැනගන්න ඕන‍ෙ නිසයි මේ කෝල් එක ගන්න ටික කාලයක් ගත්තෙ. කෙල්ලට අලුත් කොල්ලෙක් සැට් වෙලා බං...උඹ හිතහදාගනින් කියලා මගේ මිත්‍රයා ඇමතුම විසන්ධි කොලා.

මගේ හිත දස අතේ දුවනවා..අපි ආදරය කරපු අවුරුදු 4 ඇතුලෙ වෙච්ච ගොඩාක් දේවල්...කරපු කථා බහ චිත්‍රපටියක රූප රාමු වගේ මගේ ඇස් ඉස්සරහා මැවුනා. ඇස් දෙකේ කදු‍ළු පොදි කෑවෙ හරියට වාන් දාන්න ලං වෙච්ච වැවක් වගේ. කථා බහ කරන්න හිතවතෙක් නැති පරිසරයක ජීවත් වෙන මට මේ ආරංචිය පුදුමාකාර කටුක එකක් උනා. මට නින්ද නැතුව ගියා...කෑමක් බීමක් කන්න පිරියක් නැතුව ගියා...හැම වෙලේම මැරි මැරි ඉපදුනා.....මේ දුක නංගි දන්නවා නම් කවදාවත් මට මෙහෙම කරන්නෙ නෑ කියලා හිතුනා.සත්තයි ඇත්තමයි ඒක පුදුම දුකක්.

නංගිගෙ වෙනසක් තියෙන බව මට දැන් හොඳටම පැහැදිලියි. ඉස්සර මට පණ දෙන්න හිටිය කෙල්ල, මාව කවදාවත් දාලා යන්නෙ නෑ කිව්ව කෙල්ල...ඔයා මගෙ පණ..ඔයා මගෙ දෙයියා කිව්ව කෙල්ලට මම උන්නද මලාද කියලා වගේ වගක් නෑ දැන්. තවත් ඉවසන්න බැරි තැන මම නංගිට කෙටි පණිවිඩයක් යැව්වා. වෙනසට හේතුව අහලා.

මා එක්ක තරහා වෙන්න එපා අයියෙ...මට දැන් වෙන කෙනෙක් ඉන්නවා. අපේ ගෙවල් වලින් අපි දෙන්නගෙ ආදරයට කැමති වෙන එකක් නෑ කියලා මට හිතුනා. ඇරත් අයියා දැන් ලංකාවෙත් නෑනෙ. අපි එකට හිටිය කාලෙ වෙච්ච දේවල් කාටවත් කියන්න එපා...ඒ හැමදේම ඔයා අමතක කරලා දාන්න...ඔයාට මට වඩා ගොඩාක් හොඳ කෙනෙක් ලැබේවි.

ඔන්න ඔය විදියට මගේ පරම පිවිතුරු ආදරේ මට උත්තරයක් එවලා තිබුනා. මට එවලෙ දැනුන කම්පනය උඹලට කියන්න මට වචන නෑ. කෙල්ලෙක්ට කවදාවත් තදින් ආදරය කරන්න එපා කියලා මට කෑ ගහලා ලෝකයට කියන්න හිතුනා.  ඒ වගේ වෙලාවට අපට රිදෙන තරම කෙල්ලො දන්නවා නම්...

මම අමාරුවෙන් අමාරුවෙන් ඔළුව උස්සන්න පටන් ගත්තා. වැඩේ ලේසි නෑ...අඩියක් උඩට එනකොට අඩි දෙකක් පහළට වැටෙනවා. මම එයාව පෙනුන හැම තැනින්ම අයින් කරලා දැම්මා...අපෙ පරණ කථා බහ මකලා දැම්මා.

ආදරේ පටන් ගන්න කලින් ඒ ගැන මම දක්වපු විරෝධය එයා තේරුම් ගත්තෙ නෑ. අන්තිමට එයාට හොඳ ජීවිතයක් ලබාදෙන්න ගිහින් මට මගේ ජීවිතය නැති උනා. අවුරුදු 4 ක ආදරයක් මාස දෙකකට අමතක කරන්න පුලුවන් උනා..කෙල්ලො මේ තරම් චපලද ? මම තනියෙම හිතුවා.

මම දැන් රට පැටවිලා සෑහෙන කාලයක් ගත උනා. තවම මම ලංකාවට ගියේම නෑ. මට තවමත් මගේ හිත හදාගන්න බෑ. එක වතාවක් හරි එයාව දැක්කොත් මට අපේ පරණ මතකය ගොඩාක් වද දේවි කියන බය හිතේ තියෙනවා. ලංකාවට ගියාම මට කෙල්ලගෙ ගෙදර යන්නම වෙනවා...ඒ ගෙදර අනිත් අය මුණ ගැහිලා එන්න.

අන්තිමට මම තීරණයක් ගත්තා. මට බඳින්න කෙනෙක් හොයන්න කියලා ගෙදරට කිව්වා. මට තව කෙනෙක්ට ආදරය කරන්න තවමත් හිත හදාගන්න බෑ. ඒ නිසා අම්මලට හොඳයි කියලා හිතෙන කෙනෙක් බඳින්නයි මගේ කල්පනාව. මේ කථාව කියවන උඹලා මට කියයි පල් මෝඩයෙක් කියලා. ඒත් මම විඳින දුක ගැන දන්න‍ෙ මම විතරයි.

පහුගිය ලිපියෙ සිරා කියලා තිබුනා ආදරයක් හොඳින් ගලා යද්දි දැනෙන සතුටත්..ආදරයක් ගිලිහී ගියාම දැනෙන වේදනාවත්...ඒ දෙකම මම ගොඩාක් තදින් විඳලා තියෙනවා. පූර්ව ආත්මෙක කරපු අකුසල් නිසා වෙන්න ඇති මෙහෙම වෙන්නෙ. හුදෙකලාව ජීවත් වෙන පරිසරයක..ආදරයේ විරහව විඳින්න ලැබෙනවා කියන්නෙ පුදුමාකාර දුකක්. කොච්චර රිදෙනවද කියලා දන්නෙ ඒ කරුම අත්දැකීම විඳපු එකෙක්ම තමයි. කිසිම කෙනෙකුට ඒ දුක ලැබෙන්න එපා කියලයි මම පතන්නෙ.

බුදුදහම අදහන කෙනෙක් විදියට මගේ වේදනාව සමනය කරගන්න මම ගොඩාක් ධර්මය පිළිබඳ පොත් පත් කියෙව්වා...ජීවිතයේ අනිත්‍ය ගැන මෙනෙහි කලා. ඒවායින් ලොකු සහනයක් ලැබුනා. නමුත් තවමත් වේදනාව නැත්තටම නැති වෙලා නෑ.

ආදරයකට කෙනෙකුගේ ජීවිතය මල් මාවතක් කරන්නත් අපායක් කරන්නත් පුලුවන්. හිතට සතුට අරගෙන එන්න පුලුවන්. මේ සංසාරය පුරා අපි සැරිසරන තුරාවට අපේ ජීවිත සතුට දුක අතර දෝලනය වෙනවා. ආදරයේ සතුට සහ විරහවේ වේදනාව විඳිනවා. ඒ කොහොම උනත් ආදරය කරන්න දෙන්නෙක් එකතු වෙද්දි තමන්ගෙ අනාගතය ගැන තමන්ගෙ ප්‍රේමවන්තයා / ප්‍රේමවන්තිය තමන්ට ගැලපෙනවද කියන කාරණා පිළිබඳ ගැඹුරෙන් සළකා බලනවා නම් පස්සෙ කාලෙක මට වගේ අපා දුකක් විඳින්න නොලැබේවි. සිරාගෙ කාමර කෑල්ලට ගොඩවැදුන හැමටම ආදරය පිරුණු ලස්සන ජීවිතයක් උරුම වෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කොරනවා.

සුසුමක උණුසුම නොමවිඳි හදකට
සුසුමක් උනේ ඹබයි
කඳුලක සිසිලස නොනැගුනු නෙතකට
කඳුලක් උනේ ඔබයි

මිහිමත සැඟවුනු විසිතුරු ලොවකට
පියවර ලකුණ ඔබයි
විසිතුරු මිහිමත සැඟවුනු රුදු ලොව 
හෙලිකල දෙනෙත ඔබයි

හදවත පිරිමැද සිතිවිලි පොබ කල
පැතුමක අරුණ ඔබයි
වදනට නොනැගෙන සිත තුල ගොළුවන
නොපිපෙන පැතුම ඔබයි


ගායනය - විශාරද එඩ්වඩ් ජයකොඩි / විශාරද මාලනී බුලත්සිංහල



මම කාමරේ අරින සිරා කොලුවා.



ප.ලි

මේ කථාව සිරාගෙ කාමරය වෙත එවූ සහෘදයාට මගේ ආරාධනය පාඨක අදහස් සමග ඔබේ ප්‍රතිචාර බෙදාගන්නා ලෙසයි.

Sunday, February 8, 2015

123 ආදරය සහ වේදනාව

ආදරය සහ වේදනාව යනු එකටම යාවූ වදන් දෙකක් යැයි ඇතැම් විටෙක මට සිතේ...මේ දෙක අතර ඇත්තේ කෙස් ගසක තරමේ වෙනසකි. ආදරයක් යහපත් අන්දමින් ගලා යන විට සතුටත්..ආදරයේ වියෝව හමුවේ දුකත් ඇති වීම ලෝක ධර්මතාවයයි.

හදවත් දෙකක් ආදරයේ රැහැනෙන් බැඳී එකට යා වූ පසු ජීවිතයම මිහිරකි. මහා වර්ෂාවකට හසු වුවත් ගිණියම් අව්වේ පිළිස්සුනත් ආදරයේ චමක්කාරයෙන් සිත පිරී ඇති නිසා ඒ බවක් පීඩාවක් දැනෙන්නේ නැත. එදිනෙදා කටයුතු වුවත් වෙනදා නැති ප්‍රබෝධයකින් කරන්නට ආදරයේ ප්‍රහර්ශය සෑම විටකම ඉවහල් වන්නේය. පරිසරයේ වුවත් වෙනදා නොදුටු සුන්දරත්වයක් නෙත් වලට සමීප වෙයි. මේ අත්දැකීම් මමද විඳ ඇත්තෙමි.

ආදරයේ වියෝව හෙවත් විරහා දුක බොහෝ තදින් ආදරය කල එකෙකුට දරා ගන්නට අපහසුය. තමන්ගේ ආදරවන්තයා හෝ ආදරවන්තිය හදවත පැලෙන තරමට තමාට ආදරය කල බැව් කීවද ඉතාම සාහසික ලෙස තමාව හැරදමා ඉවත ගොස් එය එසේ නොවන බව තහවුරු කල විට සත්‍ය ලෙසම ආදරය කල චරිතයට දැනෙන්නේ පුදුමාකාර දුකකි. තනිකමකි. අසරණ බවකි. මේ අත්දැකීම් මටද තිබේ. ඒ කටුක යථාර්තයට මුහුණ දෙන්නට අපහසු ඇතමෙකු ජීවිත ගමනෙන් පලා යති. කෙසේ නමුත් එය කිසිසේත් අනුමත කල නොහැකි කාරණයකි.

තමාගේ විරහා දුක ශක්තියක් කරගෙන තම දෙපයින් නැගී සිටින්නට කටයුතු කල චරිත ඇතැම් විටෙක මගේ ජීවන ගමන තුලදී මට හමු වී තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙස හොඳ සහකාරියක් / සහකරුවෙක් පසු කලෙකදී ඔවුනට මුණ ගැසී තිබිනි. ඔවුන්ගේ ජීවිත දැන් සතුටෙන් ගෙවෙයි.

සිරා කොලුවාට හදිසියේ ආදරයක් ගැන මතක් වූයේ ඇයි දැයි බොලාට සිතෙනවා වන්නට පුලුවන. එහි නිධාන කථාව කියන්නයි මගේ මේ සූජානම. මේ කථාව අහන්න ලැබුන  අවස්ථාවේම හිතුවෙ එය ලිපියක් කල යුතු බවක්. අද ලිපිය ටිකක් දිගයි. යුනිකෝඩ් අස්සෙ හැගීම් තෙරපිලා තිබීම එයට හේතුවයි. ඒ පිළිබඳ මුලින්ම සමාව භජනය කරමි.

මැලේසියාවෙ මගේ ජීවිතය ඒකාකාරී එකකි...රැකියාවට පිටත් වීමත් යළි නිවසට පැමිණීමත් හැර මා කරන වෙනත් යමක් නැත. නිවාඩු දින වල කාමරයට වැදී ‍බොලාට කියවන්නට යමක් අකුරු කිරීම දැන් ඇඟට පත්තියන් වී තිබෙන නිසා එයින් බැහැර වන්නටද නොහැකිය.

මගේ රැකියාව ලබා ගැනීමට උදව් කල රේ අයියා මට දිනක් කිව්වේ අමුතු කථාවකි. මල්ලි මෙහෙ දෙමළ මනුස්සයෙක් ග්‍රැෆික් ඩිසයින් දන්න කෙනෙක් හොයනවා එයාගෙ වැඩ වගයකට...හොඳට ගෙවන කෙනෙක්ලු, පාට් ටයිම් එකේ කරහං..මම උඹව සෙට් කරන්නම්...

මැලේසියානු දෙමළ ජනතාව සමග හොඳ ඇසුරක් ඒ වෙද්දිත් සිරා ‍කොලුවාට තිබූ නිසා මේ අවස්ථාව මම භාර ගතිමි. බැංකු කරුවකු වූ සුකුමාර් නැමති මැලේසියානු ජාතිකයා මා හමුවට පැමිණියේ ඉන් පසු දිනක ඔහුගේ නවීනතම මෝටර් රථයෙනි. ආගිය තොරතුරු කථා බහෙන් පසු මගේ තත්වය පරීක්ෂා කරන්නට මෙන් ඔහු මට පුංචි පහේ වැඩක් භාරදුන්නේය. මම ඉතාම කෙටි කලකින් එය නිම කර දීමත් එහි වූ ප්‍රමිතියත් පිළිබඳ ඔහු සෑහීමට පත්විය. ඔයාගෙ උපන් දිනය මොකක්ද...එදා ඔහු මගෙන් එලෙස ඇසූ බවක් මට මතකය.

ඊළග  සතියේ සෙනසුරාදා දිනයක ඔහු මා අපේක්ෂාවෙන් කාර්යාලය අසල මෝටර් රථය නවතාගෙන උන්නේය. මගේ නමින් කොටසක් පමණක් භාවිතා කර නිතර මා අමතන ඔහු සත්‍ය ලෙසම තැන්පත් ගති පැවතුම් ඇති පුද්ගලයෙකි. හෙතෙම ඉතාම හොඳ මිනිසෙක් බව තේරුම් ගන්නට මට වැඩි කාලයක් ගියේ නැත.

ඔයාට හැන්දෑවෙ වැඩක් නෑ නේද..මගේ නෝනට ඔයාව මුණ ගැහෙන්න ඕනෙ කිව්වා...මම එහි යාමට එකඟතාව පල කලෙමි. ක්වාලාලම්පූර් අගනුවර සිට ඔහුගේ නිවස පිහිටි ක්ලෑන්ග් වෙත තරමක දුරකි. අධිවේගී මාර්ග ඔස්සේ රථය ධාවනය කරන අතරතුර ඔහු ලංකාවේ යුද්ධය පිළිබඳ කරුණු විමසයි.

ඇත්තටම එතැන මොකද උනේ...අපි දන්නෙ ජාත්‍යන්තර මාධ්‍ය වල ගිය දේවල් විතරයි. ලංකාවෙ හමුදාව අහිංසක මිනිස්සු මැරුවා කියන්නෙ ඇත්තද ? සුකුමාර් උපැස් යුවලට යටින් මදෙස බලා සිටියි.

මොන බොරුද..එල්ටීටීයම තමයි තමන්ගෙ මිනිස්සු හිර කරගෙන රජයේ පාලන ප්‍රදේශ වලට එන්න හදනකොට වෙඩි තියලා මරා දැම්මෙ. මම එහි වූ සත්‍ය කාරණා ඔහුට සැළ කරන විට ඔහු ඒවා නිහඬව අසා සිටියේය. සැබවින්ම මේ මිනිසුන් වෙත ලංකාවෙ සත්‍ය තත්වය සන්නිවේදනය වී තිබුනේ නැත. මම ඔහුට බොහෝ තොරතුරු කීවෙමි.

ඔහුගේ නිවස සු‍ඛෝපභෝගී දෙමහල් එකකි. සුඛෝපභෝගී රථ දෙකක් අංගනයේ නවතා තිබේ. අපේ ආගමනය අපේක්ෂාවෙන් සුකුමාර්ගේ බිරිඳ නන්දිනී එහි රැඳී උන්නාය. ලංකාවෙ තරුණ ජනප්‍රිය නිළියකගේ බඳු රූපයක් ඇති ඇය ඉතාම සුහදශීලී චරිතයක් බව මට සැනින් අවබෝධ විය. ආගන්තුක සත්කාර කොට සුකුමාර් කථාවට බැස්සේය.

මගේ නෝනට ග්‍රැෆික් ඉගෙන ගන්න ඕනෙලු. ඒකට තමයි මම කෙනෙක්ව හෙව්වෙ. ඔයාට පුලුවන්ද ඒක කරන්න ?

අපොයි ඔව් මට පුලුවන්..මම ලංකාවෙ ඉද්දිත් කීප දෙනෙකුට ඉගැන්නුවා. මම කීවෙමි.

මම ග්‍රැෆික්  ගැන දන්නෙ නෑ..අපේ තියෙන කම්පියුටර් එකත් පරණ එකක්..ඒක අපේ වැඩේට හොඳද, අපි අලුත් එකක් ගන්න ඕනෙද කියලා ඔයාම බලලා කියන්න. නන්දිනී මා සමග දොඩමළු වෙයි.

මේක පරණයි..අළුත් ගැෆික් සොෆ්ට්වෙයාර් මේකට දාන්න බෑ අපි අලුත් එකක් ගමු.

ඔයාම විස්තර ලියලා දෙන්න...ඇය මට කොළයක් සමග පෑනක් දුන්නාය.

මම එහි සියල්ල සටහන් කොට දුන්නෙමි. එදින මා නිවසින් පිටවන්නට සූදානම් වන විට ඇය මා කරා පැමිණ මුදලක් අත තැබීය.

සල්ලි එපා..මම අද කල දෙයක් නෑනෙ...

නෑ නෑ ඔයාගෙ කාලය පැය තුනක් විතර මෙතනට ගියානෙ...ඒකට දුන්නෙ...ගන්න ඒකට කමක් නෑ. ඇය පිළිතුරු දුන්නාය.

මම ඒ මුදල බොහෝ සේ ප්‍රතික්ෂේප කලද ඔවුන්ගෙන් ගැලවීමක් ලැබුනේම නැත. පළමු හමුවීමෙන් පසු අප නැවතත් ක්වාලාලම්පූර් අගනුවර වෙත පැමිණෙමින් සිටිමු.

මම බැංකුවක වැඩ කලාට මගේ නෝනා තමයි ගෙදර බැංකුව. එයා ලේසියකට එයාගෙ පර්ස් එකෙන් සල්ලි අරගෙන කෙනෙක්ට දෙන්නෙ නෑ. ඒත් ඔයාට අද සල්ලි දුන්නෙ ඔයාව එයාගෙ හිතට අල්ලලා තියෙන නිසයි.

මේ ගමනින් පසු මේ දෙපළ මා සමග මගේ මිත්‍රයන් දෙදෙනෙකු තරමට සමීප වූහ.ඔවුන් පරිගණකයක් මිළදී ගෙන ග්‍රැෆික් පන්තිය පටන් ගන්නා තැනට එන්නට තවත් මාස තුනක් පමණ ගත වන්නට ඇත.

තවත් සෙනසුරාදාවක මේ දෙදෙනාම කාර්යාලය අසළ මා අපේක්ෂාවෙන් උන්හ. අප එදින පරිගණකය මිළදී ගන්නට නියමිතව සිටියෙමු. ඒ වන විට ඇය තෙවන වරටත් මව් පදවිය අපේක්ෂා කරන තත්වයට පත් වී සිටියාය.

දවල්ට කෑවෙ නෑ නේද...අපි කාලා ඉමු මොනවා හරි..ඉන්දියන් කෑමද චීන කෑමද කන්න කැමති...සුකුමාර් මගෙන් විමසයි. අපි බ්‍රික්ෆීල්ඩ් ඉසව්වේ නාගාස් නැමති ඉන්දියානු අවන් හලට ගියෙමු. දිවා ආහාරය භුක්ති විදින අතර තුර සුකුමාර් මගෙන් පැනයක් ඇසුවේය

මෙදා පාර අපි බබා කවුද කියලා ස්කෑන් කරන්නෙ නෑ. ඔයාට හිතෙන්නෙ මේ පාර කවුරු ලැබෙයි කියලද අපිට ?

ඇයට දැනටත් පිරිමි දරුවෙකු සහ ගැහැණු දරුවෙකු සිටින නිසා තුන්වැන්නා පිරිමි දරුවෙකු යැයි මම අනුමාන කළෙමි.

සුකුමාර් සතුටින් ඉපිළෙයි. ඇත්තටම මේ පාර කොල්ලෙක් ලැබුනොත් මම ඔයාට වටිනා තෑග්ගක් දෙනවා. ඔහු ඉතාමත්ම ප්‍රීතියෙනි. එහෙත් මගේ පිළිතුරෙන් නන්දිනීට සතුටක් නැත.

මට වඩා වයසින් අඩු ඇය මා අමතන්නේ භයියා යනුවෙනි. ඇය භයියා කියා නිහඬ වූවාය.

ඇයි මම ඇසීමි.

තුන්වැනියා කොල්ලෙක් උනොත් පවුලට හොඳ නෑ කියලා ස්වාමි කිව්වා.

‍කවුදෝ පූජකයෙක් ඇයට විෂක් පොවා තිබේ.

මොන පිස්සුද...ලංකාවෙ ඔය ඕනෙ තරම් ඉන්නෙ තුන්වැනියා කොල්ලෙක් වෙච්ච පවුල්. ඒක බොරු කථාවක් ඒක ගැන හිතන්න එපා. ලංකාවෙ අයට කිව්වොත් ඔය කථාව ඒ අය හිනාවේවි. මම කීවෙමි.

නන්දිනී ඔය කථාව ගැන ආයෙ හිතන්න එපා. ඒක කිසිම තේරුමක් නැති කථාවක්. මගේ කරුණු දැක්වීමෙන් පසු සුකුමාර් බිරිඳට එලෙස කියනවා මට ඇසුනි.

ඔයාට කෙල්ලෙක් නැද්ද ? ඇය විමසුවාය

ඉන්නවා..මම එවකට අන්තර්ජාලයෙන් හඳුනාගෙන පෙම්කරමින් සිටි යුවතියක් ගැන තොරතුරු කීවෙමි.

එයාගෙ උපන් දිනය මට කියන්න...සුකුමාර් මා හමු වූ පළමු දින මෙන් ඇගේ උපන් දිනය විමසා සිටියේය.

එයා කොහෙද යන ගමන් මෙහෙ එනවා කියලා තියෙන්නෙ ලගදි දවසක මාව බලලා යන්න.

ආ ඇත්තද? මමයි නෝනයි එන්නම් එයාව පිළිගන්න එයාර් පෝට් එකට..අපි එයාවත් අරගෙන හොඳ හෝටලයකට ගිහින් දවල්ට කමු. ඔයා ලොකු මල් කළඹක් අරගෙන එයා ඉස්සරහට යන්න. එයාට ගොඩාක් සතුටු හිතෙයි. මගේ කාර් එකක් දෙන්නම් ඔයාලට කැමති තැනක යන්න.

මේ ගමන් වලින් පසු සුකුමාර් මට මගේ සහෝදරයෙක් තරමට හිතවත් විය. රැකියාව නිමවී නිවසට යන ඇතැම් දිනයක ඔහු  මගේ නවාතැන කිට්ටුව රථය නවතා මා හා දොඩමළු වෙයි. එවන් විටෙක ඔහු මගේ පෙම්වතිය ගැන නවතම තතු විමසයි.

හැමවිටම ඔහු උපන් දිනයක් ගැන විමසන්නේ ඇයි ? මා හට ඇතිවූ ගැටළුවට ඔහුගෙන් පිළිතුරක් ලබාගන්නට තවත් දිනයක් දෙකක් ගත වන්නට ඇත. නිවාඩු දිනයක ඔහු මට නැවත මුණ ගැසිනි. ඒ වන විට මාස 3 කට ආසන්නව ගෙවී තිබූ මගේ ප්‍රේමය දෙකඩ වන තැනට කරුණු යෙදී තිබුනි.

කොහොමද ඔයාගෙ ආදරේ දැන්...සුකුමාර් අසයි.

ඒක දැන් නවතින්න ලගයි...මම පිළිවදන් දුන්නෙමි.

අනේ ඇයි ඒ..

එයාට මා ගැන හැගීමක් නෑ දැන්...මට විතරයි කථා බහ කරන්න උවමනාව තියෙන්නෙ..ගෙදර ඉන්න දවසටත් එයා හරිම උදාසීනයි කථා බහට...ඊයෙ දවසම පැච් වර්ක් එකක් කලා මා ගැන තඹේකට මායිම් නොකර.

ඔයා මට එයාගෙ උපන් දිනය කිව්ව දවසෙම මම දන්නවා ඔයාට ඔය කෙල්ලව බඳින්න ලැබෙන්නෙ නැති බව, ඒත් මම ඒක නොකියා උන්නෙ.

කොහොමද එහෙම කියන්නෙ.

ඔයාගෙ ගෑණු ළමයා ඉපදිලා තිබුනෙ මාසෙ 15 වෙනිදාවක අපේ අංක ක්‍රමයට අනුව එයාගෙ දෛව අංකය 6. අංක 6 තියෙන කෙල්ලො හරිම ලස්සනයි. ඔයාගෙ කෙල්ලත් එහෙම ලස්සනයි කියලා මම දැක්කනෙ ඔයා පෙන්වපු ෆොටෝ වල. ඒ ලස්සන නිසාම ඒ අය වටේ නිතරම මිනිස්සු කැරකෙනවා. ඒ අයගෙ හිත එක තත්පරෙන් වෙනස් වෙනවා. නිතරම විනෝදයෙන් විහිළු තහළු කරලා හිටියට එක තැනක ඉන්න බැරි ගතියක් මේ අයට තියෙන්නෙ. මමත් අංක 6 කෙල්ලෙක්ට ආදරය කරලා ගොඩාක් දේවල් නැතිකර ගත්ත මිනිහෙක්. 

වාහනය තුරු සෙවනක නවත්වා එතුල සිට නුවර එළි සිසිලස විඳිමින් අප කථා බහේ යෙදී සිටිමු. ඒ අතර තුර නිමේෂයේ සුකුමාර් බොහෝ සංවේදී වී ඇති සැටියක් මට පෙනෙයි. ඔහුගේ දෙනෙත් අග කඳුලක් මෝදු වෙයි.

අවුරුදු 9 ක් මම ඒ කෙල්ලට පණ වගේ ආදරය කලා..එයාට ඉගෙන ගන්න උදව් කලා. අන්තිමට එයා මාව දාලා වෙන කෙනෙක්ව බැන්දා. එයත් හරිම ලස්සනයි. අපේ පවුල් දෙකම මේ ගැන දැනගෙන හිටියා. ඔහු වාහනයේ ගියර් ලිවරය තදින් මිරිකයි. ඔහුගේ හිතේ ඇති වේදනාව සංවේදී හදවතක් ඇති මට දැනෙයි.

ඔයාගෙයි මගෙයි දෛව අංකය 2...ඔයාව හමුවෙච්ච පළවෙනිම දවසෙ මම උපන් දිනය ඇහුවෙ ඒක ගැන දැනගන්න. අංක දෙක හරිම අවංකයි. සංවේදීයි. ඒ නිසයි මම භය නැතුව ඔයාව මගේ ගෙදර අරගෙන ගිහින් මගේ නෝනට උගන්වන්න කියලා කිව්වෙ.

ඒ අවුරුදු 9 දි මම මගේ සල්ලි / අධ්‍යාපනය / ගොඩාක් දේ කැප කලා ඒ කෙල්ල වෙනුවෙන්. මම කාර් එකක් පවා අරගෙන දුන්නා. එයා උන්නෙ ඉපෝ වල...ඔයා දන්නවනෙ ඉපෝ වලට ක්වාලාලම්පූර් වල ඉඳලා තියෙන දුර. (කිලෝමීටර් 205 පමණ) එයාට අසනීපයි කිව්වොත් මම හැමදේම අත ඇරලා එයාව බලන්න ගියා. එයාට වඩා එයාගෙ ලෙඩරෝග වලින් රිදුනෙ මටයි. 

මොකක්ද ඒ ගෑණු ළමයගෙ නම මම ඇසුවෙමි.

සුභාෂිණී...

සුභාෂීණී ඔබ මගේ නමට එවු ඇරයුම් පත ලැබුනා....මනාලියක ලෙස සුභ නැකතින් යන බව එහි තිබුනා... පුන්සිරි සොයිසා ගායනා කරන සංවේදී ගීතය මට වහා මෙනෙහි විය.

ඉතිං ඊට පස්සෙ මොකද උනේ..

මම ඒ කාලෙ වෙන බැංකුවක වැඩ කලේ. අපිට ඒ වෙද්දි කසාදෙට දිණ යොදාගන්න තිබුනෙ. නමුත් එයා හිටි ගමන් එයාගෙ නෑදෑවෙන කෙනෙක්ව බැන්දා. මට මේක දරාගන්න බැරි උනා. මම පිස්සෙක් උනා. මම එක අවුරුද්දට නිවාඩු 72 ක් අරගෙන මාව බැංකුවෙන් එළවලා දැම්මා. මගේ උසස් අධ්‍යාපනය එතැනින් බිඳ වැටුනා. මට තවත් ජීවත් වෙන්න බෑ කියලා හිතුනා. මම පුදුම දුකක් වින්දෙ. මට ඒ දුක තවත් විඳින්න බෑ කියලා හිතුනා.

දවසක් මගේ කාර් එකේ වීදුරු ඔක්කොම වහගෙන මම වම් අතේ නහර කැපෙන විදියට කපා ගත්තා. ඒ කැපුන තැනින් වැටෙන ලේ දිහා මම පිස්සෙක් වගේ බලාන උන්නා. කාර් එක ඇතුලෙ ‍ගඟක් ගලනවා වගේ ලේ...මම සීට් එකට හේත්තු වෙලා සුභාෂිණීව මතක් කරගෙන ඇස් දෙක පියාගත්තා. මට සිහිනැති වේගෙන වගේ එද්දි පාරෙ ගිය ගෑණු කෙනෙක් වාහනේ වීදුරුවට තට්ටු කලා යන්තමින් මතකයි. අන්තිමට මට සිහිය එද්දි මම හිටියෙ ඉස්පිරිතාලෙ ඇඳක් උඩ.

කෝ බලමු ඒ කැළැල්...මට ඇත්තේ කුතුහලයකි.

සුකුමාර්ගේ ප්‍රේමයේ අස්වැන්න

ඔහු තම වමත මා හට පෙන්වයි. මේවා විතරක් නෙමෙයි තව තියෙනවා..ඔහු බොත්තම් ගලවා පපු පෙදෙස මා වෙත පෑවේය. එහි සතේ කාසි තරමට කැළැල් රාශියකි.

මේ මොනවද ? මම ඇසීමි.

මේ සිගරට් වලින් පුච්චගෙන.

මම ඔහු දෙස පුදුමයෙන් මෙන් බලා සිටිමි. ජාති ආගම් ලෙස අප වෙනස් වුවත් මේ ගැහෙන්නේත් රතු පැහැති රුධිරය සංසරණය වන තවත් මිනිස් හදවතකි. ඔහු වැනි ආදරවන්තයෙකු අහිමි කරගත් ඇය කෙතරම් අවාසනාවන්තදැයි මට සිතුනි.

මම දිවිනසාගන්න හැදුවා කියලා මගේ තාත්තා වගේම සහෝදරයො මා එක්ක පුදුම තරහකින් උන්නෙ. රස්සාවක් නැතුව ගෙදරින් ලැබෙන ඇනුම් බැනුම් එක්ක ආද‍රය නැති වීමෙන්  ලැබුන වේදනාවත් දරාගෙන තවත් කල් යද්දි මට ආයෙමත් ජීවිතේ අත අරින්න හිතුනා. මම ආයෙමත් කලින් කපා ගත්ත තැනට පහළින් කපා ගත්තා.

ඒ වතාවෙ ගෙදර අය මාව ඉස්පිරිතාලෙ අරගෙන ගිහින් බේරගත්තා...හොද වෙලා ගෙදර ආවට පස්සෙ තාත්තට මාව පෙන්නන්න බැරි තරමට කේන්තියෙන් උන්නෙ. අයියලා මල්ලිලත් එහෙමයි. ඒ හැමෝම මට මූණටම තරහා පෙන්නුවා.

දවසක් තාත්තා එක්ක රණ්ඩුවෙලා මාව ගෙදරින් එළෙව්වා. උඹ පලයං ගෙදරින්...තාත්තා කිව්වා...මම කොහෙද යන්නෙ කියලා තාත්තගෙන් අැහුවාම කැමති තැනක පලයං කියලා මාව දොට්ට දැම්මෙ. මම අතට අහුවෙච්ච ඇඳුම් කෑලි දෙක තුනක් අරගෙන පාරට බැස්සා. දවස් දෙකක්ම හිටියෙ බස් ස්ටෑන්ඩ් එකක.

දෙවෙනි දවසෙ හැන්දෑවෙ බංගලිදේශ මිනිහෙක් මගේ ලගට ඇවිදින් විස්තර ඇහුවා. මම දවස් දෙකක්ම බලා හිටියා මෙතන ඉඳගෙන ඉන්නවා...මොකක්ද ප්‍රශ්නෙ කියලා තමයි එයා ඇහුවෙ.

මම සේරම විස්තර කිව්වා. ඒ ගමන එයා එයාගෙ කාමරයට මාව එක්කගෙන ගියා කැමති දවසක් ඉන්න කිව්වා. ඒ මනුස්සයා ගොඩාක් උගත් කෙනෙක් නෙමෙයි. නමුත් උගත් මට හොඳ ආදර්ශයක් ගන්න පුලුවන් කථාවක් එයා කිව්වා.

මෙච්චර ලොකු මැලේසියාවෙ එක කෙල්ලද බං ඉන්නෙ ?  උඹ වගේ උගත් මිනිහෙක් මේ වගේ කෙල්ලෙක් නිසා නාස්ති වෙන්නෙ ඇයි. උඹ තව හොද කෙල්ලෙක් ගැන හිතපං පිස්සු කෙලින්නෙ නැතුව.

මට එදා ඇත්තටම හිතුනා ඇයි මම එහෙම නොකරන්නෙ කියලා. මම මගේ අම්මගෙ නෑදෑ වෙන තැනක නතර වෙලා නවත්තපු තැනින් ඉගෙනීම ආයෙමත් පටන් ගත්තා. ඊට පස්සෙ දැන් ඉන්න බැංකුවෙ වැඩට ආවා. ගෙවල් ගත්තා කාර් ගත්තා. යෝජනාවකින් නන්දිනීව කසාද බැන්දා. මගේ සහෝදරයො තාත්තා ආයෙමත් මගේ ලගට ආවා. මම තමයි අද අපේ පවුලෙ ආර්ථිකය අතින් ඉහළින්ම ඉන්නෙ.

මගේ ඉගෙනීම අතර මැද නතර උනේ නැතිනම් අද මම බැංකුවක කළමණාකරුවෙක් වගේ ඉහළ තැනක ඉන්නෙ. ඔයා දන්නවද මම දැන් දරුවො 3 දෙනෙකුගෙ තාත්තා උනත් මගේ නැතිවෙච්ච ප්‍රේමය මට තවමත් අමතක කරන්න බෑ. මම හිතින් හරියට දුක් විදිනවා. එයාව මට ලැබුනා නම් මම පුදුමාකාර වාසනාවන්ත මිනිහෙක්. නන්දිනීගෙ ගතිගුණ ගොඩාක් වෙනස්. අරයා වගේ නෙමෙයි. නමුත් නන්දිනී හොඳ අම්මා කෙනෙක් ගොඩාක් ඉහළට ඉගෙනගත්ත කෙනෙක්. මම නැති වෙලාවට මගේ ෆෝන් එක ටැබ් එක ඔක්කොම අවුස්සලා බලනවා එයා.

සුභාෂිණී අද කෝ ? මගේ අවසන් පැනය සුකුමාර් වෙත යොමු කළෙමි.

එයත් ක්වාලාලම්පූර් නුවරම ඉන්නවා කියලා මම දන්නවා. දැන් දරුවෙකුත් ඉන්නවලු.

සුකුමාර් මදෙසට නැඹුරු වී මා දෙස එක් එල්ලේ බලා සිටියි.

මට තේරෙනවා මාස 3 ක් ආදරය කලත් සංවේදී මිනිහෙක් විදියට ඔයාට දැනෙන වේදනාව, ඒක අමතක කරලා ඔයාගෙ අනාගතයට වැඩක් ඇති දෙයක් කරන්න පටන් ගන්න. හෙතෙම මගේ සිතද කියවා ඇති සෙයකි.

සුකුමාර් සැබැවින්ම පුදුමාකාර චරිතයකි. අාදරය නිසා මොන තරම් වඳ වේදනා වින්දත් ඔහු තම පැරණි පෙම්වතියගෙන් පළි ගන්නට සිතුවේ නැත. එය නියම ප්‍රේමවන්තයෙකුගේ ලක්ෂණයක් යැයි මම සිතමි.

ඔබත් ප්‍රේමයෙන් පරාජිතද ? සැලෙන්න එපා..හිටියාට වඩා හොඳ කෙනෙක් ඔබ ලගට පැමිණෙන දිනය වැඩි ඈතක නොවේය.


ඡායාරූපය මුහුණු පොතෙන් උපුටා ගතිමි.





















මම කාමරේ අරින සිරා කොලුවා.


ප.ලි

ප්‍රේමය බිඳී ගියා කියා දිවි නසාගන්නේ හරක් යැයි අපට ලේසියෙන් කියන්නට හැක. එහෙත් ආදරයේ විප්‍රයෝගයේදී පීඩා විදිනා පුද්ගලයාගේ හැගීම් කෙබඳුදැයි කිසිවෙකු විමසන්නේ නැත.

බිඳී ගිය පැරණි ප්‍රේමයක් යම් තරමකට හෝ අමතක කරන්නට නම් ඒ මතක සටහන් ඇස ගැටීම වැළැක්විය යුතුය. ඔහුගෙන් / ඇයගෙන් ලද ජායාරූප, ත්‍යාග භෝග හා වෙනත් සිහිවටන ඉවත් කර තැබීමත්, විරහා ගීත ශ්‍රවණය හැකි තරම් අවම කිරීමත්, හැම විටම ඵලදායී කටයුත්තක යෙදීමත් ඒ සඳහා ඉවහල් වෙති.

අංක 6 කෙල්ලන් සැම විටම එසේදැයි මම නොදනිමි.
Related Posts Plugin for WordPress, Blogger...