Thursday, April 30, 2015

47 මගේ ප්‍රථම ප්‍රේමය

ප්‍රථම ප්‍රේමය..හ්ම්...හරි ලස්සන වචන දෙකක්. ප්‍රේමවන්තයො කවදාවත් වයසට යන්නෙ නෑ කියනවා වගේ, වයස්ගත කෙනෙක්ට උනත් තමන්ගෙ ප්‍රථම ප්‍රේමය කිසි දවසක අමතක වෙන්නෙ නෑ. මම දන්න විදියට ගොඩාක් අයට ප්‍රථම ප්‍රේමය ජයගන්න ලැබිලා නෑ. ජීවිතේ ඉස් ඉස්සෙල්ලාම ආදරයක රහ දැනුන අවස්ථාව නිසා ඒ මතකය මිහිරි රිදුමක් වෙලා අපේ හදවතේ ගැඹුරුම තැනක රැදෙන්නෙ ආශ්චර්යමත් විදියට. කසාද බැඳලා දරු මුණුපුරන් හිටියත් ප්‍රථම ප්‍රේමය ගැන මතක් කල පමණින් සංවේදී වෙන වැඩිහිටියොත් මට මුණ ගැහිලා තියෙනවා. ප්‍රථම ප්‍රේමය කිසිදිනෙක නොමියෙයි කියලත් කියමනක් තියෙනවානෙ.




මම ඉතින් මගේ ප්‍රථම ප්‍රේමය ගැන යමක් සිරාගෙ කාමරයට ලියලා හිතේ කෙළවරකට වෙන්න තියෙන පුංචි වේදනාවටත් සමු දෙන්නයි හිතුවෙ. හිනාවෙන්න එපා මේක ඒක පාර්ශවීයයි කියලා. ඒක පාර්ශවීය උනත් දැනෙන්නෙ එකම වේදනාවම තමයි. විරහව වෙලාවකට රසයක්. වෙලාවකට දුකක්. ඒක රසයක් කරගත්තම හරි අමුතු ලස්සනක් මට දැනෙනවා.

ගෑල් ළමයෙක් ගැන හැගීමක් ඇතිවෙන්න පටන් අරන් සෑහෙන කලක් ගත උනත් ආදරයක් කියලා හැගීමක් හිතට ආවෙම නෑ. උසස් පෙළ අතිරේක පන්ති ගනනාවකට ගියත්, බස් රථ වල නිතර නිතර එහා මෙහා ගියත්, ලස්සන කෙල්ලෙක් දිහා හොරෙන් බැලුවත් කිසිම දවසක අනේ මටත් කෙල්ලෙක් හිටියා නම් කියලා මට හිතිලා තිබුනෙම නෑ. මම බොහොම නිදහස් විදියට ජීවත් උනේ.

විභාගය අවසන් උනාට පස්සෙ මම පොඩි වෘත්තීය පාඨමාලාවකට සම්බන්ධ උනා. එතනදි නුවර පළාතෙ ගොඩාක් ලස්සන කෙල්ලෙක් මට මුණ ගැහුනා. පන්තියෙ හිටිය කොල්ලො බහුතරය මේ ළමයා එක්ක යාලු වෙන්න උත්සාහ කලත් ඒ කිසිම කෙනෙක් එයා තඹේකට මායිම් කලේ නෑ. නමුත් මේ කෙල්ල මා එක්ක හිතවත් උනා. එයා නුවර යන දවසට අපි බස් එකේ එකට ආවා ගියා. ඒත් මට මේ ලස්සන කෙල්ල ගැනවත් කිසිම ආදර හැගීමක් ඇති උනේ නෑ. මට උවමනා උනේ යාලුවෙක් විදියට ඉන්න. නමුත් ඒ දැරිවි  මා ගැන යම් බලාපොරොත්තුවක් ඇති කරගන්න බව දැනුනම  වැඩේ දුරදිග යන්න කලින් මම එයාගෙන් ඈත් උනා.

මගේ යාළුවො මට බැන්නෙ උඹට තියෙන්නෙ ලෙඩක් ඕකට බේතක් ගනින් කියලයි. මටත් ඇත්තටම හිතුනා මට ආදරය කරන්න හිතෙන්නෙ නැත්තෙ ලෙඩක් නිසාද කියලා. ඒ උනත් අපේ පන්තියෙ කෙල්ල ගැන නම් මට ආදරයක් ඇති උනේම නෑ.

ඒ කථාව ඒ විදියට ඉවරයක් උනා. පාඨමාලාවෙ අදියර දෙකක් අවසාන කරලා මම රැකියාවකට සම්බන්ධ වෙන්න බැලුවා. ලංකාවෙ ප්‍රසිද්ධ සමාගමක ප්‍රධාන ශාඛාවේම හ‍ොඳ රැකියාවකට සම්බන්ධ වෙන්න මට අවස්ථාව ලැබුනා. දවසක්දා රාජකාරි කටයුත්කට අපේ සමාගමේ කොළඹින් පිට ශාඛාවක ලේකම් කෙල්ලෙක් එක්ක මට දුරකථනයෙන් කථා කරන්න අවස්ථාව ලැබුනා. මේ කථාබහ තවත් දවසක් දෙකක් කෙරීගෙන යද්දි අපි දෙන්නා හොඳ යාලුවො බවට පත් උනේ අපිටත් හොරෙන්. එයා මට වඩා වසර දෙකක් වැඩිමල්.

මුලින්ම අක්කා, මල්ලි විදියට ආමන්ත්‍රණය කලාට, පස්සෙ පස්ස‍ෙ ඒ දේවල් වෙනස් උනා. තවත් ටික දවසකින් අපේ  මිත්‍රත්වය තද බැඳීමක් බවට පත් උනා. එයා එයාගෙ දුක්බර අතීතයේ හැම දේම මට කිව්වා. පළමු පෙම අහිමි වීම නිසා මේ ගෑණු දරුවා බොහොම කණගාටුවෙන් හිටියෙ. ඒ හිත හදන්න මම රාජකාරී නොවන වෙලාවටත් එයාව ඇමතුවා. සමහර වෙලාවට පැය දෙක තුන අපි දෙන්නා දුරකථනයෙන් කථා බහ කලා.

අපේ මේ සමීපත්වයට පිං සිද්ධ වෙන්න මම ආදරය කියන හැගීම කුළුදුලේම විඳගත්තා. අපේ මිත්‍රත්වය ආදරයක් බවට පෙරලුනේ මම හිතුවෙ නැති විදියට. මට එයා ගැන ආදරයක් ඇති උනාට පස්සෙ  ඒ බව කියන්න මම හදිස්සි උනේ නෑ. හිතේ හිරකරගෙන හිටියා. දවසින් දවස ආදරය වැඩි උනා.

කොළඹ රැකියාවක් කරන්න එයා ආශාවෙන් හිටියෙ. මමත් ඒකට උදව් කලා. එක පැත්තකින් ඒකෙ මටත් වාසියක් තියෙන නිසා. රැකියාවෙන් පස්සෙ ලැබෙන වෙලාවෙදි මම කැපවීමෙන් එයාට රැකියා හෙව්වා. ඒක සතුටින් කරපු වැඩක්.

ඔය අතරතුර කාලෙදි හදිසියේම වගේ මගේ ඒක පාර්ශවික ආදරවන්තිය කියපු කථාවකින් මගේ මුළු ලෝකයම කඩාගෙන වැටුනා වගේ මට දැනුනා. එයාගෙ සති අග පන්තියක කොල්ලෙක් එයාගෙන් කැමැත්ත ඇහුව බවත්, එයාට කැමති වෙන බවත්, මේ ආරංචිය එයාගෙ ලගම යාලුවෙක් විදියට මට මුලින්ම කියන බවත් තමයි කෙල්ල මට කිව්වෙ. මෙච්චර කාලයක් ආදරයක් හිතේ හංගගෙන මම කරපු ගොං වැඩේ ගැන මට හරියට පසුතැවිල්ලක් ඇති උනා. මම නියම වෙලාවට මගේ අදහස කිව්වා නම් ඇයව මට හිමිවෙන්න ඉඩ තිබුනා නේද කියලා හිතෙනකොට ලොකු වේදනාවක් හිතට දැනුනා. අන්තිමට එයාට තිබුන ආදරය නිසාම එයාගෙ සතුට ගැන හිතලා මේ සම්බන්ධයට උදව් කරන්නං කියලා කියන්න මට සිද්ධ උනා.

මට උවමනා උනේ කෙල්ලග‍ෙ සතුට. එයාට මම ඒක පාර්ශවීයව ගොඩාක් ආදරේ කලා. දැන් අලුත් ජෝඩුව ආදරය කරගෙන යනවා. මමත් අමාරුවෙන් අමාරුවෙන් හිත හදා ගන්න උත්සාහ කරමින් ඉන්නවා. ටික ටික කාලයත් ගත උනා. හදිසියේම දවසක මගේ හිතවතී මට ආයෙමත් කථා කලා. එයා බලාපොරොත්තු වන ආදරය පෙම්වතාගෙන් ලැබෙන්නෙ නෑ කියලයි එදා මට කිව්වෙ. මේ වචනෙ ඇහුව වෙලේ ඉදලම මගේ පරණ ආදරය ආයෙමත් හිස ඔසවන්න ගත්තා. කාර්යාලයේ මා එක්කම වගේ සේවය කරන කීප දෙනෙකු මේ ගැන යම් තරමකට දැනගෙන හිටියා. ඒ අය අපි දෙන්නගෙ නම් දෙක ගාවලා විහිළු කලත් මම මේ ගැන කිසිවෙකුට කිව්වෙ නෑ.

ඉවසලා ඉවසලා බැරිම තැනදි ඕනෙ දෙයක් වෙන්න කියලා මම මගේ ආදරය ඇයට හෙළි කලා. එතනින් එහාට සියල්ලම වෙනස් උනා. එයාට මං ගැන කවදාවත් ආදරයක් තිබුනෙ නැති බවත්, මාව ආශ්‍රය කලේ හොඳම මිතුරෙක් විදියට බවත් එයා කිව්වා.

මම කොච්චර නම් පැහැදිලි කරන්න උත්සාහ කලාද, නමුත් මට අවස්ථාවක් දුන්නෙම නෑ. මගේ ඇමතුම් වලට උත්තර දුන්නෙත් නෑ. කෙටි පණිවුඩ වලට පිළිතුරු එනකං දවස් ගනන් නොකා නොබී බලා උන්නා. මට දැනුන දුක අපමණයි. මට අකමැති උනත් මෙහෙම කරයි කියලා මම කීයටවත් හිතුවෙ නෑ. තනිවෙච්ච තැන් වලදි මම කදුළු හැලුවා. වැටෙනකං බිව්වා. නමුත් හිත හදාගන්න බැරි උනා.
දවස් දෙකකට විතර පස්සෙ එයා මට රාජකාරිමය වැඩකට කථා කලා. කිසිම දෙයක් නොවුන ගානට. කෙල්ලො මේ විදියට කොහොම හැසිරෙනවද මන්දා. මට දුක කියන දේ හොඳට දැනුනා. ඔය අතරෙදි අපේ ආයතනයෙන් ඉවත් වෙලා ගිය වෙළඳ කළමනාකරුවෙක් එයාගෙ වර්තමාන ආයතනයේ ඇතිවෙච්ච පුරප්පාඩුවකට මට කථා කලා. ලැබෙනවා කිව්ව වැටුපත් නරක නෑ. එ සමාගම ගොඩාක් ප්‍රසිද්ධ එකක් නෙමෙයි. මගේ ආයතනික හිතවතුන් මේ තීරණය ගැන කොච්චර බැන්නත් මම අදහස අතඇරියෙම නෑ

අලුතින් කෙනෙක්ව අරගෙන පුහුණු කරනවට වඩා මගෙන් පුරප්පාඩු වෙන තනතුරට මගේ ප්‍රථම ප්‍රේමයව බඳවා ගැනීම වාසිදායක බව ආයතනය තීරණය කලා. එයත් ඒ තීරණය ගැන බොහෝ සතුටු උනා.

ඉස්සර මම රැකියාවෙන් අයින් වෙනවා කිව්වම දුක් වෙච්ච කෙල්ල දැන් මගෙන් අහනවා කවදද යන්නෙ කියලා. එයාට නම් ගානක් වත් නෑ. මට තමයි දුකක් කියලා දෙයක් දැනෙන්නෙ. ඒ මම අවංකව ආදරය කරපු නිසාද ?

දන්නෙ නැති නිසයි අහන්නෙ. පණ දෙන්න වගේ ලගින් ඉඳන් දුක සැප හැම වෙලේම අහන, අපි ගැන හොයා බලන කෙල්ලෙකුගෙන් ප්‍රේමය ගැන ඇහුව ගමන් ඒ අය වෙනස් වෙන්නෙ, කෝපයට පත් වෙන්නෙ, මට කිසිම අදහසක් ඔයා ගැන ඇති වෙන්නෙ නෑ කියන්නෙ ඇයි...මට හිතාගන්න බෑ. ආදරය කියන වචනය ඒ තරම් නරක එකක්ද කියලා මම තවමත් කල්පනා කරනවා.


මාසයේ අවසන් ලිපිය වෙනුවෙන් සිරාගේ කාමරයට ලියා එව්වේ,

ජනිත චතුරංග


ප.ලි

ජනිත චතුරංග මිත්‍රයා සිරාගේ කාමරයට සෑහෙන කාලයක  සිට එන යන පාඨකයෙකි. මාස 6 කට පමණ ඉහතදී ඔහු මේ කථාව මවෙත එව්වේ සිරාගේ කාමරයේ කෙසේ හෝ පල කරන ලෙසයි. ඔහුගේ ඒ ඉල්ලීම අද මෙසේ ඉටුවෙයි. සිරාගේ කාමරයේ 7 වෙනි ලිපියට ලිපියක් ලිවීම පිළිබඳ මගේ ස්තූතිය ජනිත මලයාට හිමි වෙයි.


Sunday, April 26, 2015

54 පොඩි ඇඟිල්ල සහ වෙසක් සඳ

සිරා කොලුවා බයිසිකලයට පෙම් බැන්දේ කෙසේදැයි අතීතයේ දවසක ලියා තිබේ. බොහෝ උන්ට මෙන්ම මටද මගේම කියා බයිසිකලයක් ලැබුනේ සිස්සත්තය සමත් වීමෙන් අනතුරුවයි. මේ පුංචි බයිසිකලය සමග කෙමෙන් කෙමෙන් කරදඬු උස් මහත් වන විට ශරීරයේ ප්‍රමාණයට බයිසිකලය නොගැලපෙන අවස්ථාවක් උදාවෙයි.

සාමාන්‍ය පෙළ ලියන අවදිය වන විට අපේ කාලයේ කොල්ලන්ට තිබුනේ මවුන්ටන් බයිසිකලයක් පැදීමේ ආශාවයි. මමත් බොහෝ උන් මෙන් ඒ සඳහා සිහින මැව්වෙමි. විභාගය හොඳට පාස් උනොත් බයිසිකලයක් අරගෙන දෙන්නම්. අම්මා එසේ කියූ නිසා මගේ ආශාවට තටු ලැබුනි.

විභාගයේ ප්‍රතිඵල පැමිණ මඳ කාලයක් ඇවෑමෙන් ජපානයේ මඳක් පාවිච්චි කල කදිම මවුන්ටන් පා පැදියක හිමිකරුවෙකු වන්නට මට අවස්ථාව ලැබුනි. බයිසිකලයේ ඇති ගියර් ප්‍රමාණය සහ අනෙකුත් අංග උපාංග අනුව බජාර් එකේ බයිසිකලයට ලැබෙන ස්ථානය තීරණය විය. සම වයසේ මිත්තරයන්ද විවිධ පාපැදි සමග කරළියට එන විට අප අතර බයිසිකල් මගින් වෙසක් බලන්නට යාමේ අලුත් උන්මාදයක් පැතිරි ගියේය.

වෙසක් දිනයේ උදේ රැයින් මාර්ගයට එකතු වන මේ මිත්තර කැළ තම පාපැදි මගින් ‍තෝරාගත් සිද්ධස්ථානයක් වෙත ගමන් කිරීම ආරම්භ වන අතර ඒ ගමන් මගේදී හමුවන සෑම දන්සැලකටම සහභාගි වීම අපගේ සිරිත විය. දහවලේ කුසගිනි දැනෙන වේලාවට බත් දන්සැලකින් සප්පයාම් වන අප තවත් කිලෝමීටරයක් ගිය තැන හමුවන බත් දන්සැලෙන්ද සප්පායම් වන්නෙමු. සිසිල් පැන් දන්සැල් එකක් අතහරින්නේ නැත. කුස තුල මේ තරම් දන්සැල්  සඳහා ඉඩ ලැබුනේ කොහෙන්දැයි අපි දන්නේ නැත.

මේ අයුරින් සෑම වසරකම පා පැදි මගින් වෙසක් සිරි නරඹන්නට යාම පුරුද්දකට වඩා සිරිතක් වන තරමට දියුණු විය. පසුකාලයකදී පාපැදි පාගන්නට අකමැති ඇත්තන් යතුරු පැදි මගින් මේ ගමන් ගිය නිසා පාපැදි සංගමයේ සාමාජිකයන් ගනන අඩු විය. සිරා කොලුවා වෘත්තීය ජීවිතයේ අයනු ආයනු කියවූ වකවානුව වන විට උදෑසන සිටම දන්සැල් සොයා බයිසිකල් පැදීම නතර කොට සන්ධ්‍යාවට පමණක් කොහේ හෝ යන්නට තරම් අපි වයසින් මුහුකුරා ගොස් සිටියෙමු.

ගම්පහ අවට ජීවත් වන ඇත්තන් ගම්පහ සාම විහාරයේ පෙරහැර ගැන දනිති. ගම්පහ නගර මධ්‍යයෙන් චිරාත් කාලයක සිට ගමන් කරනා, අලි ඇතුන් විශාල ප්‍රමාණයක් සහභාගි වන මේ පෙරහැර දැකබලා ගැනීමට අාසන්න ගම් නියම් ගම්වලින් පවා ජනතාව ගම්පහ නගරයට ඇදෙති. පෙරහැර ආරම්භ වන අවස්ථාව වනවිට නගරය එකම හිස් ගොඩකි. වාහනයක් තියා බයිසිකලයක් හෝ නවතන්නට ඉඩක් නැත.

මේ කියන දිනයේ බයිසිකල් සංගමයේ සාමාජිකයන් ඒ මේ අත ගොස් සිටි නිසා පෙරහැර නැරඹීමට යාමට ජොකියෙක් නොමැතිව මම හතර අතේ කල්පනා කළෙමි. මට සැනින් නගා කොලුවා මතකයට පැමිණියෙන් මම වහා ඇමතුමක් ගතිමි.

නගෝ...උඹ මොකද කරන්නෙ.

මොකුත් නෑ බං ගෙදර ඉන්නෙ.

හැන්දෑවට පෙරහැර බලන්න යමුද බයිසිකලේ.

මගෙ බයිසික‍ලේ පැච් එකක්. තවම දාගන්න බැරි උනා.

එහෙනං කිතුලගෙ එක ඉල්ලගෙන යමං. මම එන්නං 6 වෙද්දි ගෙදරට.

පෙරහැර බලන්නට යන්නට දැන් නගා කොලූ සිටී. එහෙත් උගේ පොල්ල නැති බයිසිකලයේ හුළං නැති නිසා කිතුලා නැමති තවත් මිතුරෙකුගේ පා පාදිය රැගෙන එන්නට එහි යා යුතුය. ඉතාමත් අහිංසක එකෙකු වූ කිතුලා කිසි විටෙකත් රෑ පානේ ගමන් බිමන් ගියේ නැත. එහෙයින් උගේ බයිසිකලය නිවසේ සුවසේ පසුවෙයි.

හවස 6 වෙද්දී මම පෙරහැර නරඹන්නට සූජානම් වී නගා කොලූගේ නිවසට සේන්දු වූයෙමි. ඉන් අනතුරුව ඒකා මගේ බයිසිකලයේ පටවාගෙන කිතුලාගේ  නිවෙසට පෑගුවෙමි. මෙය ගම්බද මාර්ගයකි. ඇතැම් තැනක තරමක පල්ලම් මෙන්ම කඳුගැටද තිබේ. ඒවා තරණය කොට කිතුලා සොයා යන විට ඒකා පාපැදිය මිදුලේ තබා තිබුනි.

මම හෙට කොහෙවත් යන්නෙ නෑ.. උදේට ගෙනත් දියං ඒ ඇති. කිතුලා හැමදාමත් මෙන් අහිංසක සිනහවක් නගයි.

උඹේ එක මට දියං...මේක උඹ ගනින්..නගා කවදත් මගේ බයිසිකලයට මනාපය. එහි ජේත්තුකාර පෙනුම ඒකාගේ සිත්ගෙන තිබේ. මම කිතුලාගේ මවුන්ටන් බයිසිකලයට නැගුනෙමි. අපි දැන් ගම්පහ නගරය බලා පා පැදි හසුරවන්නෙමු.

කිතුලාගේ නිවස මඳක් පසු වූ විට ඇත්තේ තරමක පල්ලමකි. ප්‍රතිවිරුද්ධ පැත්තෙන් ආවත් එතැන ඇත්තේ පල්ලමකි. ඒ කලාපය අඳුරේ ගිලී පැවතුනේ මාර්ගයේ වූ විදුලි බුබුළු ක්‍රියාත්මක නොවූ බැවිනි. මට සැනින් කිතුලාගේ බයිසිකලයේ ඩයිනමෝවක් ඇති බව මතකයට නැගුනෙන් බයිසිකලය පදින අතරතුර ඩයිනමෝව ක්‍රියාත්මක කරන්නට ඒ දෙස බලමින් බයිසිකලය ඉදිරියට ධාවනය කලෙමි.

මගේ ඇස් ඩයිනමෝවේ තිබියදී ප්‍රතිවිරුද්ධ දෙසින් මාර්ගයේ විරුද්ධ පැත්තෙන් ගණ අඳුරේ වේගයෙන් පැමිණි තවත් පා පැදියක් මගේ පා පැදිය සමග මුහුණට මුහුණ ගැටුනේ මේ අතරයි. ඒ ගැටුමෙන් සිරා කොලුවා පාරේ වම් පසටත්..ප්‍රතිවිරුද්ධ පැත්තෙන් පැමිණි හාදයා තාර පාර මැද කොන්ද බිම වදින ලෙසත් ඇද වැටුනි. ඒකා වැටුන සැනින් බුදු අම්මෝ යැයි හඩ නැගූයෙන් මම මගේ තුවාල අමතක කොට ඉක්මනින් එතැනට ලගා වූයේ උගේ කොන්ද කැඩෙන්නට ඇති බවට උපකල්පනය කිරීමෙනි. වට පිටාවේ රූස්ස ගස්කොළන් ඇති නිසා එතැන ඇත්තේ කෑලි කැපිය හැකි අඳුරකි. මමත් නගාත් හනිකට බිම වැටී උන් තරුණයා වෙත ලගා වන විට ඒකාට බැට දෙන්නට අප සැරසෙනවා යැයි උගෙ අක්මාව සන් කල නිසාදෝ දනි පනි ගා නැගිට, පෙරළී තිබූ පා පැදිය කෙලින් කොට එයට නැගී නැවතත් හැටට හැටේ පාගන්නට විය.

පාපැදිය ගැටුන සැනින් මගේ දකුණතේ ඇගිලි හිරි වැටී ගිය නිසා මම භියෙන් යුතුව නගාට ඒ බව දැනුම් දුන්නෙමි. නගා කොලුවා වහා තම ජංගම දුරබණුවේ ආධාරයෙන් මගේ ඇගිලි පරීක්ෂා කර පොඩි ඇගිල්ල මොනවා හරි වෙලා යැයි පවසනවා මට සිහිනයෙන් මෙන් මතකය.

දැන් බයිසිකල් පදින්නට නොහැක. එහෙයින් කිතුලාගේ පා පැදියට හානියක් වී නොතිබූ නිසා එය නැවතත් කිතුලාට බාර දී ඒ නිවසින් පිටත් වන්නට සැරසෙන අවස්ථාව වන විට දකුණතේ සුළැගිල්ල තරමක් ඉඳිමී අවසානය.

මචං දැන් පෙරහැර බලන්න යන්න එපා. ඉක්මනට ඇගිල්ලට බේතක් කරගනින්. ඔතන තව ටිකක් ඈතට ගියාම සරත් කියලා අයියා කෙනෙක් ඉන්නවා. මේ නගා දන්නවා ඇති. කැඩුම් බිඳුම් වෙදකම් කරන සරත් කිව්වම හැමෝම දන්නවා. හැන්දෑවෙ කිය කියා උන්නා පෙරහැර බලන්න යන්න ඕනෙ කියලා. දැන්ම පලයං. මෙන්න මේ රු 100 ත් අරගනින්. ඒ අවස්ථාවේ කිතුලා දැක්වූ දයාබරත්වය මට තවමත් ඉතා හොඳින් මතක තිබේ.

මගේ බයිසිකලයේ හරස් පොල්ලට බර දුන් පසු නඟා එය එහි පැදවූවේය. කුඩා ඇගිල්ල එන්න එන්නම වේදනා දෙයි. එය සත්‍ය ලෙසම මහත් වූ වේදනාවකි. ඇඟිල්ල කැඩිලද මන්දා බං..හරි කැක්කුමයි. බයිසිකලය පදින නගා කොලූට මම කීවෙමි.

සරත් අයියාගේ නිවසට යන විට ඔහු බිරිඳ හා දරු දෙදෙනා සමග පෙරහැර බලන්නට යාමට සූජානමෙන් නිවසේ ප්‍රධාන දොර යතුරු දමා වසමින් සිටියේය. නඟා කොලුවා හෙතෙම තරමක් හඳුනයි. 

සරත් අයියා..මේ මගේ යාල‍ුවෙක්. බයිසිකලේ හැප්පුනා දැන් ටිකකට කලින්..ඇඟිල්ලට මොනවා හරි වෙලා. පොඩියක් බලන්නකො.

සරත් අයියා දෙවියෙකු මෙන් වහා දොර විවෘත‍ කොට අප නිවස තුලට කැඳවා රෝගීන්ට ප්‍රතිකාර කරනා ස්ථානයේ අසුන් ගැන්වූවේය. ඔහුගේ කැඩුම් බිඳුම් ප්‍රතිකාර සඳහා සාමාන්‍යයෙන් සහාය වන ප්‍රිය බිරිඳද අප කරා අවුත් බෙහෙත් මැල්ලුමක් සකස් කරන්නට ගත්තාය.

මල්ලි දැනට මම බෙහෙත් තෙල් ටිකක් ගාලා මැල්ලුමක් බඳින්නම්. අත වැඩිය හොල්ලන්න එපා. ඇගිලි වලට හානි උනාම හොඳ වෙන්න ගොඩාක් කල් යනවා. ඔයා හෙට එන්න ආයෙම. එතකොට බලමු මොකද වෙලා තියෙන්නෙ කියලා හරියටම. 

මම ඒ වන විට වෘත්තීය ජීවිතය ආරම්භ කොට සති දෙකක් ගත උනා පමණි. අලුත් රැකියා ස්ථානයට ගිය සැනින් නිවාඩු ගන්නට සිදු වී තිබේ. මසිතේ නොයෙක් සිතුවිලි ඇතිවී සැනින් නැති වෙයි.

විනාඩි 15 ක පමණ කාලයක් තුල සුළැගිල්ලේ බෙහෙත් තෙල් තවරා, බෙහෙත් මැල්ලුම තබා වෙළුම් පටි වලින් දකුණත ආවරණය කොට පළමු ප්‍රතිකාරය අවසන් විය. නගා ඉදිරිපත් කල රු 100 ලබා නොගත් ‍සරත් අයියා නිවස වසා දමා ඉක්මනින් සිය රථයට නැගුනේ පෙරහැර නරඹන්නට තරමක් පමා වී තිබුන නිසාවෙනි.

අපි මොකද කරන්නේ... අපේක්ෂා භංගත්වයට පත්ව සිටි නඟා කොලුවා පිළිබඳ මට ඇතිවූයේ දොම්නසකි. අපිත් යමං පෙරහැර බලන්න. මේ බයිසිකලයෙම. හරස් පොල්ලට මා නැගුන පසු නගා කොලුවා ප්‍රවේශමෙන් එය ගම්පහ නගරය කරා ධාවනය කළේය.

ගම්පහ නගරයේ ගල් පල්ලිය අසල සිට පාසල් මිත්‍රයන් පිරිසක් සමග පෙරහැර නැරඹූ වේදනාබර රාත්‍රිය මට තවමත් මතක තිබේ. දකුණතේ සුළැගිල්ලෙන් සමහර විටෙක නැගෙනුයේ ඉවසිය නොහැකි වේදනාවකි. මේ මහත් වේදනාව ඉවසාගෙන මම පෙරහැර නරඹා මධ්‍යම රාත්‍රියේ  නිවසට ගියෙමි. නින්දත් නොනින්දත් අතර ගෙවු දීර්ඝ රාත්‍රියකින් පසු නව දවසකට අරුණළු පතිත විය.

පසුදා දහවල වන විට නගාගෙන් මේ අනතුර ගැන දැනගත් මා මිත්‍ර ප්‍රියා කොලුවා මා බලන්නට පැමිණ සිටියෙන් උගේ යතුරු පැදියේම සරත් අයියා සොයා යන්නට මා හට හැකි විය. මෙවැනි අනතුරක් සිදු වූ විටෙක එහි වේදනාව හොඳින් දැනෙන්නේ ඊට පසුදා බව නොයෙක් වර අසන්නට ලැබේ. මම දැන් ඒ මහත් වේදනාව විඳිමින් සිටින්නෙමි.

රිදෙයිද බං..ඊයෙ නම් අතපත ගෑවෙ නෑ...අද නම් මිරිකයි බං ඇගිල්ල..මගේ සිත යකාගේ කම්මල බඳුය. මහත් වූ භීතියකින් ගැහෙමින් මහ දවාලේ සරත් වෙද මහතාගේ නිවෙසට යන විට නොයෙක් පළාත් වලින් පැමිණි රෝගීන් රාශියක් එහි වූහ. මෙයත් බයිසිකල් ඇක්සිඩන්ට් එකක්. සරත් අයියා මා පෙන්වා තවෙකෙකුට පැවසුවේය. එහි සිටි බොහෝ රෝගීන් යතුරු පැදි නිසා අනතුරට පත්වූවන් වූහ.

රෝගීන් එකා දෙන්නා වෙදගෙදරින් පිටත්ව යන විට සිරා කොලුවාගේ අවස්ථාව උදා විය. භියෙන් කම්පොනය වන හදවත දරාගෙන මම රෝගීන්ට ප්‍රතිකාර කරන කාමරයේ ඇඳ මතට ප්‍රියාගේ සහයෙන් නැගුනෙමි. මෙයට පෙර වතාවක් කුකුල කඩාගෙන මෙවැනි අත්දැකීමක් විඳ තිබුනත් මගෙ හිතට දැන් දැනෙනුයේ තරමක භීතියකි. බෙහෙත් තෙල්, මැල්ලුම් සුවඳ නාස් පුඩු විනිවද යයි.

කෝ බලමු. කාමර‍යේ තිරය පහත් වන විට වෙද මහතාගේ බිරිඳ, මා වෙනුවෙන් සැකසීමට අවශ්‍ය බෙහෙත් මැල්ලුම පිළිබඳ දැනගනු රිසියෙන් එහි පැමිණ සිටියාය.

කලින් දිනයේ එතූ වෙළුම් පටි එකින් එක නිරුවත් වී අවසානයේ වේදනාබර සුළැගිල්ල මතු විය. එහි මැද පුරුකෙහි අසාමාන්‍ය ඉඳිමුමක් මා හට දැකගත හැකි විය. 

මොකක්ද කරන රැකියාව. සරත් අයියා අසයි.

මම ඩිසයිනරයෙක්.

අකුරු ටයිප් කරන්න එහෙම මේ ඇගිල්ලත් ඕනෙ නේද.

ඔව්. 

ඒ උනාට කමක් නෑ. ඉක්මනට හොඳ වෙන්න නම් ටික දවසක් නිදහසේ ඉන්න. ඇඟිලි වල කැඩුම් බිඳුම් ඇති උනාම සුව වෙන්න පරක්කු වෙන්නෙ අනිත් ඇඟිලි පාවිච්චි කරලා යමක් කලත් මේ ඇගිල්ලත් හෙලවෙන නිසා. අැගිල්ලක් කැඩුනොත් හරියටම හරි යන්න මාස 6 ක් වත් යනවා.

මම අසරණව ප්‍රියා කොලුවා දෙස බැලීමි. හෙතෙම මගේ උරහිස වටා යැවූ දකුණතින් මිත්‍රත්වයේ උණුසුම දැනුනි. සරත් අයියා දකු‍ණතේ සුළැගිල්ල ඉතා මෘදුව බෙහෙත් තෙල් වර්ගයක් යොදා අත ගාමින් සිට මඳින් මඳ ග්‍රහණය තද කළේය. දැන් නම් ඉවසාගත නොහැකි වේදනාවක් දැනෙයි. මට කෑ ගසන්නට සිතෙයි. එහෙත් මම මහත් පරිශ්‍රමයෙන් සියල්ල දරා ගත්තෙමි. විනාඩි 5 ක පමණ ඇවෑමෙන් ඔහු අවශ්‍ය කරන බෙහෙත් මැල්ලුම පිළිබඳ සිය ඇඹේනිය දැනුවත් කලේය. එයින් අනතුරුව එතැන බිම තිබූ භූමිතෙල් උදුනක ඇගිල්ල තවන්නට බෙහෙත් පොට්ටනියක් උණුසුම් වන්නට විය.

හම පිළිස්සෙන තරමේ උණුසුමකින් යුතු බෙහෙත් පොට්ටනිය ඇගිල්ල මත තබා තද කරනා විට හූ කියන්නට සිතේ. හම පිළිස්සෙන වේදනාවත්..ඇගිල්ලෙන් නැගෙන වේදනාවත් දෙකම එක්වූ විට ඉවසන්නට බැරිය. කෙසේ හෝ ඒ කාරියද අහවර කොට දෙවන දවස නිමාවට පත් විය. ඇඟිල්ල කැඩිලා නෑ. මැද පුරුක පුපුරලා තියෙන්නෙ. සරත් අයියා සිය තීන්දුව දුන්නේය. බුලත් කොළයක තබා අප ලබා දෙන පඬුරක් හැර අයකිරීම මෙපමණයි කියා ඔහු කියන්නේ නැත.

රාජකාරී ස්ථානයෙන් නිවාඩු ලබා සතියකට පසු මම සේවයට යන තත්වයට පත් වී සිටියෙමි. දවසක් හැර දවසක් ආකාරයෙන් බෙහෙත් බැඳ ඒ වන විට ඇඟිල්ලේ වේදනාව බොහෝ දුරට අඩු වී තිබුනි. සුළැගිල්ලට බෙහෙත් තබා දකුණත සම්පූර්ණයෙන් වෙලා තිබූ නිසා බැලූ බැල්මට විශාල හානියක් ඇති බවක් පෙනෙයි. ඒ නිසාම දුම්රියේ ගම්පහ සිට කොළඹ බලා යන විටත්..අාපසු එන ගමනේදිත් මා හට ආසනයක් ලබා දීමට මගීන් සෑමවිටම කාරුණික වූහ.

සේවා ස්ථානයේ අත්සන දමන්නට මා හට නොහැක. බෙහෙත් පොට්ටනියේ තිබෙන තෙල් බෙහෙත් එහි තිබෙන කඩදාසිය මත තැව‍රෙයි. ඒ කටයුත්තේදි මගේ අත්සන ඒ අයුරින් යොදන්නට මිතුරෙකුගේ සහාය ලබා ගතිමි. පරිගණකයේ රාජකාරි කරන විට යතුරු පුවරුවෙන් තෙල් බෙහෙත් සුවඳ පැතිරෙයි.

මාසයකට පමණ පසු මම ප්‍රතිකාර නතර කළෙමි. ඇගිල්ලේ වේදනාව සහ ඉඳිමුම ඒ වන විට අඩු වී තිබුනද මගේ සුළැගිල්ල යථා තත්වයට පත්ව තිබුනේ නැත. එය වක් හැඩයක් ගෙන තිබුනි. එය වෙද මහතාගේ වරදක්දැයි මා දන්නේ නැත. එවකට සේවා ස්ථානයේ බලධාරීන් රජයේ රෝහලක ශල්‍යකර්මයක් මගින් ඇගිල්ල කෙලින් කරන්නට මා හට යෝජනා කලද මම  නැවත් වරක් වේදනා විඳින්නට ඇති අකමැත්ත නිසා ඒ යෝජනාව ප්‍රතික්ෂේප කළෙමි. අදටත් වක් වු සුළැගිල්ලකින් පරිගණක යතුරු පුවරුව මත නොයෙක් දෑ කරමි. ඒ කිසිවකට එය බාධාවක් වී නැත.

දකුණතේ වක ගැහුණු සුළැඟිල්ල හැම විටකම මට වෙසක් අසිරිය මතක් කරයි.

වෙසක් සමය යනු රථවාහන අනතුරු ඉතාමත් බහුලව සිදුවන කාල සමයකි. මාර්ගයට සාමාන්‍යයෙන් ධාවනයට එකතු නොවෙන පැරණි අබලන් රථ පවා වෙසක් සිරි නරඹන්නට යන ගමනට එකතු වෙයි. රථවාහන පොලිසියට මාර්ගයේ ඇති තදබදය අස්සේ නීතිය ක්‍රියාත්මක කරන්නටද නොහැකිය. වෙසක් සිරියෙන් ඔකඳ වෙන ඇතමෙකු ආරක්ෂිත හිස්වැසුම් පළදින්නේ නැතිව ඉතාම වේගයෙන් ඒ මේ අත ගමන් කරයි. එ් මදිවාට එක යතුරු පැදියක තුන් හතර දෙනා ගමන් කරති.

මා දන්නා විදියට මේ කාලය තුල සිදුවන රිය අනතුරු වලින් වැඩිම ප්‍රමාණයකට මුහුණ දෙන්නේ යතුරු පැදි කරුවන්ය. මගේ අනතුරෙන් පසු එළැඹුන වසරේ යතුරු පැදියේ වේගය පාලනය කරගත නොහැකිව හිස බෝක්කුවක ගැටීමෙන්  ඉතාම තරුණ වයසේ කෙනෙක් අවාසනාවන්ත ලෙස අප ප්‍රදේශයේදී ජීවිතයෙන් සමුගත්තා.

මේ වෙසක් සමයේ වෙසක් නරඹන්නට යතුරු පැදි වලින් යන්නට බලාපොරොත්තුවෙන් සිටින අයටයි මේ මතක් කිරීම. හැම විටෙකම ආරක්ෂිත හිස් වැස්ම පළඳින්න. අධික වේගය මරුවා කැඳවන බව නිතර සිහිපත් කරන්න. එවිට මේ වෙසක් සමයේ ඔබේ සතුට ආරක්ෂා වෙනු ඇති.




මම කාමරේ අරින සිරා කොලුවා.


Thursday, April 23, 2015

55 ඇල්ෆ්‍රට් බාස්

ඇල්ෆ්‍රට් බාස් වාසය කලේ සිරා කොලුවාගේ නිවාසයට යාබදවයි. ඇල්ෆ්‍රඩ් කියා ඔහුගේ නම නිවැරදිව කිව යුතු උවත් ගමේ උන් මෙන්ම පවුලේ අයද ඔහුව ඇමතුවේ ඇල්ෆ්‍රට් යනුවෙන් නිසාම මමද ඒ නමම මෙහි යෙදුවෙමි. අත් උදව් කරුවෙකු ලෙස නිවාස ඉඳිකරන තැන් වල මේසන් බාස්වරුන් සමග අාරම්භ කල ඔහුගේ වෘත්තීය ජීවිතයේ මැද භාගයේදී මේසන් බාස් කෙනෙකු ලෙස උසස් වන්නට ඔහුට හැකි විය.

සිරා කොලුවා කුඩා කාලයේ කාර්ය බහුල මේසන් බාස් කෙනෙකු වූ ඇල්ෆ්‍රට් බාස් ශරීරයෙන් එතරම් විශාල තැනැත්තෙකු නොවේ. බතික් සරමෙන් සහ කමිසයෙන් නිතරම සැරසුන ඔහුගේ කන් දාරයට හැමවිටම පාහේ මුත්තයියා බීඩියක් තනි රැක්ක බවක් මට මතක තිබේ. රහමෙර පානයට දැඩි ලෙස ඇබ්බැහි වී සිටි මේ මිනිසා නිසා ඔහුගේ ඇඹේනිය වූ අනුලාවතී මෙන්ම දරු කැළතද අපා දුක් වින්දෝය. එක් සරමක් සහ කම්බා 3 ක හුරතල් බලන්නට අපේ බාසුන්නැහේ වාසනාවන්ත විය.

දිවා කල වෙහෙස මහන්සියෙන් සොයාගන්නා මුදලින් වැඩි හරියක් රිචාගේ පොට් එකේ කසිප්පු අතර දියකර දෙපසට වැනෙමින් නිවසට පැමිණෙන ඇල්ෆ්‍රට් බාස් එතැන් සිට ඇල්ෆ්‍රට් නාටකය පටන් ගනියි. අනුලාවතී බිසව සමග හෝ තම දරුවෙකු සමග සුළු බහින්බස් වීමකින් ආරම්භ වන මෙය දිනපතාම වාගේ මධ්‍යම රාත්‍රිය දක්වාම විකාශය කෙරිනි. එකල සිරා කොලුවාගේ පියාගේ මෑණියන්ද අප අතර සිටි හෙයින් මේ නාටකය අතරතුර කුණු හරුප එක දෙක ගුවනට නැගෙන විට සෑම දාකම මෙන්ඇල්ෆ්‍රට් ගොයියාගේ පලු ඇරීම ඇගේ සිරිත විය.

කම්මලේ බල්ලාට යකඩ තැලීම අතරතුර වුවද නිදාගැනීමට හැකියාව ඇති සේ ඇල්ෆ්‍රට් ගොයියාගේ ‍රාත්‍රී විශේෂ ජවනිකාව ඝන අඳුරේ ගිලෙන අප ගම්මානයට සාමාන්‍ය දෙයක් වී තිබුනි. කිසිවෙකුත් මේ ගැටුම් නිරාකරණයට මැදිහත් නොවූ අතර ඇල්ෆ්‍රට් ‍ගොයියා ගමේ අනෙකුත් අයවලුන් සමග ඉතා හොදින් පයුරු පාසානය පවත්වා ගෙන යාමත් ඒ වගට ඉවහල් වන්නට ඇත.

ඉඳිකිරීම් කටයුත්තක් බාර නොවූ දවසට කිතුල් පිත්තකින් සකසා ගත් බිලී පිත්තක් අතැතිව මාළු බෑමට ඔයට යන මේ ගොයියා අඳුර වැටෙන අවස්ථාව වන විට පෝර කවරයක් තුල දඟලන ජීවීන් පිරිසක් නිවසට කැන්දාගෙන එන්නේය. එයින් අනතුරුව ලිපේ අළු සමග මාළු කපන්නට ඔට්ටුවන අනුලාවතී අඩ අඳුරේ වුවද අප නිවසේ සිට හඳුනාගැනීමට අපහසු වූයේ නැත. මාළු අහුවෙන්නේ පව් කාරයන්ට පමණක් බව නැසීගිය මිත්තනිය අතීතයේ නිතරම කීවා මතකය. ඇල්ෆ්‍රට් ගොයියා පව්කාරයෙකු නිසාදෝ ඔහුගේ ඇම කන්නට මාළුන් පොර කන්නට ඇත.

අපේ කථානායකයාගේ පවුකාර කම් වලට තවත් උදාහරණ තිබේ. කසිප්පු වලට දියවීමෙන් ඉතිරිවන මුදල නිවසේ නඩත්තුවට, දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලට ප්‍රමාණවත් නොවන නිසාම අනුලාවතී හාමිනේ අප ප්‍රදේශයේ සාර සුබාවට ක්‍රියාත්මක වූ කල්‍යාණි උළු මොලේ සේවයට එකතු වී සිටියාය. අප කලාපයේ තිබූ එකම උළු මෝල වූ මෙහි මේ ඇත්තියන් කුමන ආකාරයේ රාජකාරියක් කලා දැයි මම නොදනිමි.

බිත්තරයක් විකිණීමෙන් අමතර ආදායමක් ඉපයිය හැකි බව ඇගේ කුඩා මොළයට වැටහුන හෙයින් ඔවුන‍්ගේ නිවසේ පසෙක පුංචි පහේ කුකුළු කොටුවක් විය. කුකුල් නාම්බෙක් දෙන්නෙකු සමග කිකිළියන් 10 - 15 අතර ප්‍රමාණයක් එහි සිටි බවක් මට මතක තිබේ.

වැස්ස තදින් වැටෙනා දවසක එළිමහනේ ඉඳිකිරීම් කටයුතු ඇණ හිටියි. එවිට ඇල්ෆ්‍රට් බාස් වේලාසන ‍නිවසට පැමිණෙයි. රිචා‍ගේ පොට් එකෙන් ඇඟ රත්කර ගන්නට කලියෙන් කටට රසට බත් ඩිංගක් කන්නට මාංශයක් ඔහුට අවශ්‍යය. එවන් විටෙක කිසිදු ලැජ්ජාවක් නොමැතිව බිරිඳගේ කුකුල් කොටුවට රිංගන හෙතෙම කුකුල් නාම්බෙකු කකුල් කෙටියෙන් අල්ලා වයරයකින් ගෙල සිරකොට පොල් ගසකට තබා ගැටගසයි. බෙල්ල හරහා වදින මන්නා පහරෙන් නිසල වන කුකුලා තවත් මොහොතකින් කෑලි කැපී මැටි හට්ටියක ගොජ දමයි.

මෙවැනි දිනයක සේවය නිමවා නිවසට පැමිණෙන අනුලාවතී කෝපයෙන් පරල වන්නේ තවමත් පොල් කඳක එල්ලෙන කුකුලාගේ ගෙල කොටස දැකීමෙනි. රිච‍ාගේ නොම්බර එකේ සුදුවා නිසා නිවසේ තද නින්දක පසුවන ඇල්‍ෆ්‍රට් බාස් ඉලක්ක කොට අනුලාවතී මුවින් වෑහෙන ගුණ වැයුම ඉවසාගත නොහැකි තැන බාස්ගේ ශ්‍රී මුඛයද විවර වෙයි. එවැනි දවසක ඇල්ෆ්‍රට් නාඩගම‍ වෙනදාට වැඩි හඬකින් ගම දෙවනත් කරයි. තමා දන්නා සියලු කුණු හබ්බයෙන්ද අනුලාවතී මෙල්ල කරනට බැරි තැන ඇය වෙත නොමසුරුව බෙදා හරින පහරකින් දෙකකින් පසු සභා තොමෝ නිශ්ශබ්ද වන්නාහ. මෙවැනි විටෙක ඇල්ෆ්‍රට් ගොයියාගේ මූණටම කිව යුත්ත කියන්නට අපේ මිත්තනියට කොන්දක් තිබුනි. ඇයට ගෞරවයෙන් සැලකූ  ඇල්ෆ්‍රට් බාස් කිසිම දිනෙක මිත්තනිය සමග වාදයට පැමිණෙන්නේ නැත.

සුදුවා නිසා ඇල්ෆ්‍රට් උන්නැහේගේ ඉඳිකිරීම් වල තත්වය බාල වන විට, දවසක් වැඩ කලොත් දවස් දෙකක් ඇගේ පතේ අමාරුවට අඩි ගසා නිවාඩු ගන්නා විට ඔහු සොයා පැමිණි ගණුදෙනුකරුවන් මඳින් මඳ අඩුවිය. අවසානයේ කිසිදු වැඩකටයුත්තක් නොමැතිව නිවාස අඩස්සියට වැටුන ඇල්ෆ්‍රට් ගොයියා රිචාට අාවතේව කිරීමෙන් දවසේ සුදුවා අවශ්‍යතාව සපුරා ගන්නා තත්වයට පහත් වූවේය.

අප නිවසේ එකල වරින් වර සිදුකල ඉඳිකිරීමේ කටයුතු වලට අහළ පහළ මිනිහා නිසා ඇල්ෆ්‍රට් ගොයියා ගන්නා ලෙස විදේශයක සිටි තාත්තා අම්මාට කියා තිබුනි. මේ කියන දිනයේ අපේ ළිං මිදුලට සිමෙන්ති දමමින් තිබුනි. බාස්ගේ අත්උදව් කරුවා ලෙස නොයෙක් වර කටයුතු කල දයානන්ද ගොයියා මේ කටයුත්තටද දායක විය.
උදෑසන සිට හොඳින් වැඩකටයුතු සිදු විය.  දහවල් ආහාරය පිණිස කටයුතු නතර කරන විට අනන ලද විශාල සිමෙන්ති  කන්දක් ඉතිරිව තිබුනි. කෑමෙන් පසු නැවත පැමිණෙන බව කියා ඇල්ෆ්‍රට් ගොයියා රිචාගේ පොට් එකේ ඔන්දස්පොට් වන්නට ඇත. නියමිත වේලාවට ගෝලයා පැමිණියද ගුරා නැත. සිමෙන්ති මඳින් මඳ සවි වෙයි. බලා සිට බැරිම තැන ඇල්ෆ්‍රට් ගොයියාගේ නිවෙසට ගිය කල සාලය මැද දපාගනෙ සිටි ඔහුගේ රූපකාය අපට සම්මුඛ විය. එහෙත් ඔහු සිටියේ ලෝක විනාශය සිදුවුවත් ඇහැරෙන නින්දක නොවේය. කිසිිසේත් ඔහු අවදිකරගත නොහැකි වූ තැන ගෝලයා යන්නට ගියේය. සවස 4 ට පමණ හෙණ ගැහුවාක් මෙන් නින්දෙන් අවදි වී නතර කල තැනෙන් ඉතිරිය පටන් ගන්නට තකහනියේම පැමිණියත් ඒ වන විට අනන ලද සිමෙන්ති සවි වී තිබුනි.

මේ සිදුවීමෙන් පසු ශ්‍රමය මෙන්ම මුදල්ද නාස්ති කරන ඇල්ෆ්‍රට් ගොයියාට තවත් වැඩ නොදෙන ලෙසත්, මෙතෙක් කල් කල වැඩ වලට මුදල් ගෙවා නිදහස් කරන ලෙසත් තාත්තාගෙන් ලද උපදෙස් නිසා අප නිවසේ එතැනින් පසු ඔහුට ඉඳිකිරීම් කාර්යයන් පැවරුනේ නැත. පිටින් පැමිණි පුද්ගලයන් ඒවා නිම කරන විට ඇල්ෆ්‍රට් බාස් අප සමග මඳ විරසකයක් පෙන්වීය.

කෙසේ හෝ තාත්තා නැවත සියරට පැමිණි පසු බාස් ඔහු සමග යම් තරමකට හිතවත් විය. ඒ කාලයේම තාත්තාගේ මෑණියන් හදිසියේම අභාවප්‍රාප්ත වූවාය. මළගෙදර කටයුතු වලටද නොමසුරුව සහාය වූ ඇල්ෆ්‍රට් ගොයියා පුරා සතියක් පමණම අප නිවසේ සාමාජිකයෙකු මෙන් සියලු කටයුතු කෙරෙහි සහයෝගය දුන්නේය.
මරණ ගෙදර කටයුතු අහවර වුවද ඇතැම් ඥාතියෙකු අප නිවසේ තව දුරටත සිටීම නිසාම මියගිය මිත්තනියගේ කාමරයේ නිදාගන්නට මා හට සිදුවිය. මගේ තනියට ඇල්ෆ්‍රට් බාස් නතර විය.

වේලාව මධ්‍යම රාත්‍රිය පසු වී තිබෙන්නට ඇත. එක් වරම නැගුනේ විලාපයක් බඳු හඬකි. මර භයෙන් මා තැති ගනිද්දී කිසිත් නොවූ ලෙසින් ඇල්ෆ්‍රට් බාස් මගෙන් කරුණු විමසීය. ඔහු තද නින්දේ සිටියදී අනුලවතීගේ නම කියා බෙරිහන් දුන් බවක් ඔහු දන්නේ නැත. අන්ලෝ....මහ රාත්‍රියේ ඇසුන බියකරු හඬ එයයි.

කාලය සෙමෙන් සෙමෙන් ගත විය. බාස්ගේ දරු කැළත දැන් පාසල් අධ්‍යාපනය නිමකොට වෘත්තීය ජීවිතයට එළඹ තිබේ. ඉස්සර වාගේ ආදායමක් නොමැති නිසා ඔහුගේ රැස් අඩුවී ඇති සෙයකි. සිය පියාගෙන් කුඩා කාලයේ කුමන ආකාරයේ තාඩන පීඩන එල්ලවුවද දරුවන් ඒ බවක් මතක තබාගෙන පළි ගන්නට ගියේ නැත. ඔහු ඔවුන්ගෙන් සැලකුම් ලැබුවේය.

දැන් ඇල්ෆ්‍රට් බාස් රාත්‍රියට නාඩගම් නටන්නේ නැත. දරුවන් දෙන දෙයක් කා නිහඬව ජීවත් වෙයි. එහෙත් ඔහුගේ දෛවය ඔහුට අකාරුණික වීම ආරම්භ විය. හදිසියේම කූඹියෙකුගේ දෂ්ඨනයක් නිසා වැරෙන් කසන ලද බාස්ගේ දකුණ කකුලේ පහල කුඩා තුවාලයක් ඇති විය. එහෙත් මේ කුඩා තුවාලය කෙමෙන් කෙමෙන් පැතිරී විශාල තුවාලයක් බවට පත් විය. අවසානයේ වෛද්‍ය උපදෙස් පතා බටහිර වෛද්‍යවරුන්ගෙන් ප්‍රතිකාර ලබාගත්තද සුවයක් ලබන්නට අපහසු විය. තුවාලය වේලෙන්නේම නැත.

ඉස්සර බීඩි බීපු ඒවායෙ ප්‍රතිඵල තමයි. කකුලෙ ස්නායු අඩපණයි. ලේ ගමනා ගමනයත් හරියට වෙන්නෙ නෑ. වෛද්‍යවරු එසේ පවසා තිබේ. දැන් දැන් කකුලේ යටි කොටස කලු වී කුණු වෙන්නට ආසන්න වී තිබේ. රෝගියාගේ ජීවිතය බේරගන්නට දකුණු කකුල වළලුකරට මඳක් ඉහළින් කපන්නට සිදු විය. එහෙත් ඒ තුවාලයද සුව වන්නේ නැත. එවර දණහිසට මඳක් පහළින් කපන්නට තීරණය විය. තුවාල ශුද්ධ කරන, බෙහෙත් දමන වාරයක් වාරයක් පාසා ඇල්ෆ්‍රට් බාස් දරුණු වේදනා අත් විඳින්නට ඇත. දණහිසට පහළින්ද තුවාලය සුව නොවූ තැන කලවා කිට්ටුවෙන් කකුල නැවතත් කපා දැමුනි. එතැනදී ඔහුගේ තුවාලය සුව වූ නිසා පවුලේ අය සැනසුම් සුසුමක් හෙලන්නට ඇත.

එහෙත් දෛවයේ සරදම මේ යැයි කියමින් ඇල්ෆ්‍රට් බාස්ගේ වම් කකුලද හේතුවක් නොමැතිවම තුවාල විය. වම් කකුළද දකුණ කකුල පරිද්දනේම බේරාගත නොහැකි තැනට පැමිණි පසු කලින් පාදය ඉවත් කල ආකාරයෙන්ම ඉවත් කෙරිනි. ඒ තුවාලද  සුව නොවූ තැන ඉහළට ඉහළට වන්නට කපා අවසානයේ කළවා වලින්ම ඒ පාදයද ඉවත් කෙරිනි.

මේ අවස්ථාවේදී ඔහු බලන්නට ගම්පහ රෝහලට යන්නට මා හට හැකි විය. කකුල් දෙකම අහිමි ඇල්ෆ්‍රට් බාස් කුඩා දරුවෙකුගේ ප්‍රමාණයට පත් වී තිබේ. ඔහු දෙස බලන කවරෙකුට වුවද ඉපදීම යනු දුකක් බවට පසක් වූ බවට සැක නැත. ඔහු බොහෝ සේ කෙට්ටු වී තිබේ. මම ඔහුගේ ඇඳ වෙත ලං වී ඔහුගේ අතක් අල්ලා ගතිමි. හෙතෙම තේරුම් ගත නොහැකි හැගීමකින් යුතුව මා දෙස බලා උන්නේය. ඒ ඇස් දෙකේ ඔහු විඳි සහ තවමත් විඳින වේදනාව අපූරුවට සටහන් වී තිබුනි.

මැරිලවත් යන්නෙ නෑනෙ...ඔහු යන්තමින් කීවේය.

සිරා කොලුවා ඇල්ෆ්‍රට් බාස්ට ඉක්මන් සුවය පතා නිවසට පැමිණ වැඩි දොහක් ගියේ නැත. ඔහු ජීවන ගමනෙන් සමු ගත්තේය. එහෙත් එ් වන විටත් මෙලොවදී සිදු කල පාපයන්ට විපාක මේ ජීවිතය තුලදීම අත් දකින්නට ඔහුට දෛවයෙන් නියම වී තිබුනි.



මම කාමරේ අරින සිරා කොලුවා.


ප.ලි

බට කැළයට ගිණි ගත්තාක් මෙන් කොයි වේලාවෙත් සිගරට් දුමට වහ වැටුනු ඇත්තන් ඇල්ෆ්‍රට් බාස්ගේ කකුල් දෙකට සිදු වූ දේ කියවා හෝ ඒ ගමන් මගෙන් මිදෙත්වා.

Monday, April 20, 2015

54 මැලේසියාවේ අපේ අවුරුදු

සුන්දර මැලේසියාව තවත් සුන්දර කල දිනයක් ඊයෙ දිනයේ නිමාවට පත් විය. මව්බිමෙන්, තම ඥාති හිතෛශීන්ගෙන් ඈත්ව රිංගිට් සෙවීමේ සටනක නිරතව සිටින අපේම ජනතාවට මව්බිමේ ජීවත් වෙනවා යැයි මැලේසියාවේ සිට දැනෙන දවසක් වේ නම් ඒ මැලේසියාවේ බක්මහ උළෙල පැවැත්වෙන දවස බව අතිශෝක්තියක් නොවේ.

උදෑසන සිටම සතුටේ ගිලුන ඇස්ගෙඩි සහ උද්යෝගයේ හසරැලි සහිත අක්කලා නංගිලා අයියලා මල්ලිලා මෙන්ම නැන්දලා මාමලාද දකින විට බක්මහ උළෙල පැවැත්වෙන පිටිය තුල පුංචි සිරි ලංකාවක් මැවෙයි. ඒ අසිරිය මගේම දෑසින් දැක බලාගන්නට සිරා කොලුවාට ලැබුන දෙවන අවස්ථාව මෙයයි.

මේ සතුට අපට තිළිණ කරන්නට තිරය පිටුපස සිට බොහෝ පිරිසක් වෙහෙසෙති. මෙවැනි යමක් පිටරටක සිට සංවිධානය කිරීම යනු සැබැවින්ම භාරදූර්ය, දුෂ්කර, වියදම් අධික කාර්යයකි. එහෙත් ඒ සත්පුරුෂයන් බක්මහ උළෙලට පැමිණෙන කිසිවෙකුගෙන් ශත පහක් අයකරන්නේ නැත. උදෑසන ආහාරය මෙන්ම දිවා ආහාරයද නොමිලේම ලබා දී තරඟ වලින් ජය ගන්නා අයට වටිනා ත්‍යාග භෝග මෙන්ම දහසින් බැඳි පියලිද ලබා දෙති.

ශ්‍රී ලංකා විධායක වෘත්තීය වේදීන්ගේ  සංගමය /  මැලේසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය / බ්‍රික්ෆීල්ඩ් නුවර බෞද්ධ මහා විහාරය / සෙන්තුල් පුරවයේ ශ්‍රී ජයන්ති සමිතිය / ශ්‍රී ලංකා සේවක සුභ සාධක සංගමය හා FOMSO (Federation of Malaysian Sri Lankan Organisations) යන සංවිධාන 6 ක් මේ බක්මහ උළෙල පිටුපස සිටිති. එයින්ම මේ කාර්යයේ බැරෑරුම් කම ඔබට අවබෝධ කරගත හැකිවනු ඇත.

ජනවාරි මස සිටම වි‍ටින් විට රැස්වී බක්මහ උළෙලට අදාළ තීන්දු තීරණ ගන්නා මේ සංවිධාන වල ඇත්තන් වසර ගණනාවක් පුරා එක්ව කටයුතු කිරීම ප්‍රශංසනීය ක්‍රියාවකි. මැලේසියාවේ ක්‍රිකට් ක්‍රීඩාව සංවර්ධනය කිරීමේ වගකීම ලෝක ක්‍රිකට් සම්මේලනයෙන් බාර දී ඇති ලංකාවේ පළමු ටෙස්ට් ක්‍රිකට් නායකයා ලෙස විරුදය ලැබූ බන්දුල වර්ණපුර මහතා බක්මහ උළෙල සාර්ථක කරගැනීමට මේ සංවිධාන වලට ගුරුහරුකම් දෙමින් ලබාදෙන සහයෝගයත් මේ සාර්ථකත්වය අත්කරගැනීමට බොහෝ සේ ඉවහල් වී තිබේ.

සිරා කොලුවා ඉහත එකදු සංවිධානයකටවත් අයත් නොවූවත් මගේ ආයතන ප්‍රධානියා සහ ඔහුගේ මෙන්ම මගේද හිතවතුන් මේ සංවිධාන තුල සිටීමත් නිසා බක්මහ උළෙලේ ඇතැම් කටයුතු වලට මගේ දායකත්වය ලැබේ. සමහර විටක ඒ වේදිකා සැරසිලි නිර්මාණය කිරීමෙනි. ඇතැම් විටෙක බඩු ගේන්න කඩේ යාමෙනි.

මෙදා පොටේ මා හට මේ කාරණා ද්විත්වයම ඉටු කරන්නට අවස්ථාව ලැබුනි. සෙනසුරාදා දිනයේ ආයතන ප්‍රධානියාගෙන් මිළදී ගතයුතු භාණ්ඩ ලැයිස්තුව හා මුදල් ලැබුනි. දැන් ඉතින් මේවා තිබෙන තැනකින් සොයා මිළදී ගැනීමේ වගකීම මා සතුය.

කොට්ටා පොර ගසන්නට කොට්ටා / කණා මුට්ටිය බිඳින්නට මුට්ටි / බනිස් කෑමේ තරඟයට බනිස් / මුට්ටි එල්ලන්නට කොහු ලණු / ආදී අටෝරාශියක් ද්‍රව්‍ය එහි විය. දිවා වරුවේ ඔපීසියේ මැලේසියානු ජාතික දෙමළ තරුණයෙකු සමග ඇතැම් දේ මිළදී ගත්තත් තවත් දේ හවස් යාමයේ මිළදී ගැනීමට ඉතිරි විය. එවර අායතන ප්‍රධානියාගේ පාකිස්ථාන ජාතික රියදුරා මා හට සහාය විය. ඇතැම් කඩයක බඩු විකුණන්නේ බංගලි තරුණයෙකි. නැතිනම් පාකිස්ථාන හෝ ඉන්දියානු ජාතිකයෙකි. ඉංග්‍රීසි වටහාගැනීමට අපහසු ඔවුන් සමග හින්දි භාෂාවෙන් හෝ උර්දු භාෂාවෙන් කථා කොට ඒවා මිළදී ගන්නට තාහීර් නම් මේ මිත්‍රයා උදව් විය.

මැටි මුට්ටි කීපයක් සොයාගන්නටද සෑහෙන කාල වේලාවක් ගත විය. දමිළ ව්‍යාපාරික ස්ථාන වල මැටි කළ තිබුනද කණා මුට්ටියට ගැලපෙන ප්‍රමාණයේ මුට්ටි ඒවායේ නොවීය. අවසානයේ දෙමළ මල් කඩයක තිබී අපට උවමනා ප්‍රමාණයේ මුට්ටි සොයාගත හැකි විය.

මල්ලි බඩු ටික ගත්තද ? කණා මුට්ටියට ගහන්න පොල්ලකුත් හොයාගෙන එන්න. බක්මහ උළෙලේ සංවිධාන කටයුතු වල ප්‍රධානම කටයුතු රැසක් ඉටුකරන කාලිංග අයියාගෙන් ඇමතුමකි. මේ කාරියට ගැලපෙන පොල්ලක් කොහෙන් හොයන්නද ? මම තනිවම සිතුවෙමි. අවසානයේ චීන ගොඩනැගිලි ද්‍රව්‍ය අළෙවිසැලක නතර වූයෙමි. උදළු මිටක් මේ කාරියට ගැලපෙන බව මගේ අක්මාව මට පැවසූවෙන් උදළු මිටක් ඉල්ලුවෙමි. උදැල්ලට ඉංග්‍රීසියෙන් කියන නම කියූවද ඔවුන් උදැල්ල හදුනන්නේ නැත. මම අභිරූපන ආකාරයෙන් කුඹුරු කොටා පෙන්නුවෙමි. එහෙත් වෙනසක් නැත. අවසානයේ එම ස්ථානයේ සේවයේ නිරතව සිටි හින්දි දන්නා තැනැත්තෙකු සොයා උදළු මිටක් සොයා දෙන්නට තාහීර් සමත් විය.


අවසානයටම බනිස් කෑමේ තරගයට බනිස් සහ පැමිණෙන පිරිසට ජලය සම්පාදනය අපේ ලැයිස්තුවේ ඉතිරි විය. ලංකාවේ මෙන් ටී බනිස් සෙව්වද ඒ කලබලයේ ඒවා සොයාගත නොහැකි තැන පාර අයිනේ බර්ගර් කඩයක බර්ගර් සකසමින්  සිටි මැලේ නංගියෙකුට කාරණය පවසා බර්ගර් බනිස් මිළදී ගන්නට හැකි වූ අතර අප සෙවූ ආකාරයේ පානීය ජලය අඩංගු පෙට්ටි සොයාගැනීමට සෑහෙන වෙහෙසක් දරන්නට විය. ආයතන ප්‍රධානියාගේ සැප රිය මා කියන කියන තැනට පැදවූ තාහීර් අවසානයේ මගේ එකම තුරුප්පුව වූ අතීතයේ දිනෙක එදිනෙදා ද්‍රව්‍ය මිළදී ගත් තොග වෙළඳසැල ඉදිරියේ රථය නතර කලේය. අපේ වාසනාවට මෙන් එහි අවැසි දෑ තිබූ අතර මා ඇනවුම් කලේ පානිය ජල බෝතල් අඩංගු පෙට්ටි 23 කි. එහෙත් එහි අයකැමි මැලේ යුවතියන්ගේ ඉංග්‍රීසි දැනුම ඉතාම අවම මට්ටමක තිබීම නිසා ගණක යන්ත්‍රයක 23 සටහන් කර පෙන්වීමට මා හට සිදු විය.

බර්ගර් බනිස් කන්නට සැරසෙන අපේ පැටව්

අවැසි දෑ මිළදී ගැනීමට සමගාමීව පිටියේ කටයුතු අධීක්ෂණයට ඉහත සඳහන් සංවිධාන වල නිළදරුවන් සෙනසුරාදා සවස් වරුව වන විට පැමිණ සිටිියේය. ඒ අතර මැලේසියාවේ ශ්‍රී ලංකා තානාපති තුමාද මම දුටුවෙමි. එතුමා බොහෝ නිහතමානී පුද්ගලයෙකි. තැනක කොට්ටාපොර අට්ටාලය ඉදිවෙයි. තවත් තැනක පැමිණෙන ජනතාවට සෙවන සදන්නට විවිධ දෑ සැකසෙයි. සෙනසුරාදා රාත්‍රිය වන විට ප්‍රීතිමත් ඉරිදාවකට සියල්ල සූජානම් වී අහවරය.

ඉරිදා උදෑසන අවදි වී මගේ කාමරයේ කවුළුවෙන් බැලූ විට අවුරුදු උත්සවය පැවැත්වුන බ්‍රික්ෆීල්ඩ් නුවර නගර සභා ක්‍රීඩාංගනයට ඇදෙන අපේ සහෝදර සහෝදරියන් මගේ නෙතට හසු විය. ඒ දසුන බලා සිටින්නට ආශා සිතෙන එකකි. ක්‍රීඩා පිටියට ඇතුලු වෙද්දීම තමන් තරඟ කරන්නට බලාපෙ‍ාරොත්තු වන තරග ඉසව් සඳහා ලියාපදිංචි වීමට අවස්ථාව සලසා තිබූ අතර ඉන් පසු නොමිලේ සැපයෙන උදෑසන අාහාරය භුක්ති විඳින්නට කාට කාටත් ඉඩ ලැබුනි.

ලියාපදිංචිය


පිටියේ ශ්‍රී ලංකා හා මැලේසියානු ජාතික ධජ ඔසවා ජාතික ගීත ගායනා කිරීමෙන් පසු උත්සවයේ වැඩකටයුතු ආරම්භ වූයේ මැලේසියාවේ ශ්‍රී ලංකා තානාපති ඊබ්‍රාහිම් අන්සාර් මහතාගේ ප්‍රධානත්වයෙන්. මේ අවස්ථාවට බ්‍රික්ෆීල්ඩ් බෞද්ධ විහාරවාසී සිරිධම්ම හිමියන්ද වැඩම කර සිටි සේක. එයට අමතරව බක්මහ උළෙල සංවිධානය පිටුපස සිටින සංවිධාන 6 ට අයත් පිරිසත් එක්ව සිටියහ. ශ්‍රී ලාංකික ප්‍රජාව වෙනුවෙන් ඉතා විිශාල වැඩ කොටසක් කරන සිරිධම්ම හිමියන් මැලේසියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ නොමඳ ගෞරවයට පාත්‍ර වූ හිමිනමකි.

මැලේසියාවේ ශ්‍රී ලංකා තානාපති තුමා ජාතික ධජය එසවීමට සූදානමෙන්

සිරිධම්ම හිමියන් සමග සම්භාවනීය අමුත්තන්

උන් වහන්සේගේ සංඥාවෙන් පිටියේ මුලින්ම ආරම්භ උනේ පිරිමි මැරතන් තරගය. ක්‍රීඩා පිටියක් තුල මැරතන් දිවීම පහසු නැති නිසාම තරග කරුවන්ට ලැබී තිබුනෙ බොහොම පහසු ඉලක්කයක්. පිටියේ වට 10 කින් තරගය සම්පූර්ණ වුවත් ජයග්‍රාහකයාට රු 40000 කට ආසන්න මුදල් ත්‍යාගයක් ලබා දෙන්නට සංවිධායකයින් කටයුතු කොට තිබුනා.

පිරිමි මැරතන් තරගය ආරම්භයට සිරිධම්ම හිමි සූදානමෙන්

මැරතන් තරගයේ ජයග්‍රාහකයන්
මේ තරගයෙන් අනතුරුව බන්දුල වර්ණපුර මහතාගේ ආරම්භක සංඥාවට කාන්තා මැරතන් තරඟය ආරම්භ උනා. මේ තරග ද්විත්වයම මුල සිටම ඉතාම තරඟකාරී වූයේ තම තමන්ගේ හිතවතුන් දිරිමත් කරමින් හඩනැගූ ඔවුන්ගේ හිතවතුන් නිසාමයි.

කාන්තා මැරතන් තරගයේ ආරම්භය


මැලේසියාවේ බක්මහ උළෙලේ තෙවැනි වතාවටත් නිවේදකයා ලෙස කටයුතු කලේ තරුණ රංගන ශිල්පියෙක් වන චින්තක පීරිස්. ඔහුගේ කථන හැකියාවත්, විටින් විට එකතු වූ හාස්‍යමය බස් වහරත් පැමිණ සිටි ජනතාව සිනා සයුරේ ගිල්වන්නට සමත් උනා.

චින්තක


තරග එකින් එක ඉදිරියට යද්දි බක්මහ උළෙල මැද්දට හදිසියේම අමුත්තො කීප දෙනෙක් කඩා පාත් උනා. බැලූ බැල්මට මේ අයගෙ මුහුණු බොහොම සුපුරුදු ඒවා. සමහර මුහුණු දුටු පමණින් සිනා යනවා. මෙවර බක්මහ උළෙලින් ඇතැම් ක්‍රීඩා අංග ඉවත් කරලා. ඒ වෙනුවට හවස් යාමයේ සරත් කොතලාවයන්ගෙ නරි බුරති වේදිකා නාට්‍ය බෞද්ධ මහා විහාර ශාලාවේදී වේදිකාගත කරවන්න සංවිධායකයො තීරණය කරලා තිබුනා. ඒ නාටකේ රඟපාන නළුවො තමයි මේ පැමිණි ඇත්තො.

අවුරුදු උත්සවයට පැමිණි ජනතාව එක්ක ආගිය තොරතුරු කථා කරමින්, ඡායාරූප වලට පෙනී සිටිමින් මේ අය කොයිතරම් නිහතමානී පිරිසක්දැයි පසක් කලා. තමන් නළුවො කියලා මවාගත්ත ප්‍රතිරූප නඩත්තු නොකල නිසාම මැලේසියාවෙ බක්මහ උළෙලට මේ අයගෙන් ලැබුනෙ කදිම කල එළියක්. ඔවුන්ගේ ගීත ගායනා, රස කථා නිසාම අපේ ජනතාව බොහෝ සේ කුල්මත් උනා.




සරත් කොතලාවල , සරත් චන්ද්‍රසිරි, මිහිර සිරිතිලක, ජනක රණසිංහ, ‍හේමන්ත ඊරියගම, වජිර කොඩිතුවක්කු, පුබුදු චතුරංග මේ නාටක කණ්ඩායමට අයත් උනා. ඡායාරූපයක් ගන්න එන්න කියලා ලැබුන සෑම ආරාධනාවකටම මේ හැමෝම ඉතාම නිහතමානීව පෙනී සිටියා.

ජනක රණසිංහ හෙවත් සුදු මල්ලි මගේ පාසලේම වැඩිහිටි සහෝදරයෙක්. සෑහෙන කාලෙක ඉදන් අපි අතර තියෙන සුහදතාව යලිත් අලුත් උනේ අලුත් අවුරුදු උත්සවයෙදි කෙරුන කථා බහත් එක්කයි. අපි කොහෙද බං අන්තිමට හමුවුනේ... ඔහුගේ කථාව ඇරඹුනේ එහෙමයි.

සුදු මල්ලි සමග සිරා කොලුවා




මිහිර අයියට අවුරුදු උත්සවයට ආපු ගැහැණු දරුවෙක් මුලිච්චි වෙලා. මේ හාදයා කට පියාන ඉන්නෙ නැතුව කෙල්ලගෙන් කැමතිම ක්‍රිකට් ක්‍රීඩකයා කවුද කියලා අහලා. එතනින් පස්සෙ කෙල්ල දුන්න උත්තර ඉතින් අපි එයාගෙම හඬින් අහලා බලමු.


බක්මහ උළෙලෙ සිත් ගත් තරග ඉසව්වක් උනේ බිත්තර ඇල්ලීමේ තරගය. මේ තරගය ගිය වතාවෙ වගේම මේ වතාවෙත් ජයග්‍රහණය කලේ එකම යුවලක් විසින්.

බිත්තර ජෝඩුව

උදේ වරුවෙ තරඟ පවත්වලා අවසන් උනාම නොමිලයේම ලැබුන දිවා ආහාරය භුක්ති විඳලා බක්මහ උළෙලට සහභාගි වෙන්න ක්‍රීඩාපිටියට පැමිණි ජනතාවට පා ගමනින් ආසන්නයේ පිහිටා තිබෙන බ්‍රික්ෆීල්ඩ් මහා විහාරයට යන්න සිදු උනා. සංවිධායකයින් බක්මහ උළෙල කොටස් දෙකක් ලෙස පවත්වන්නට ගත් තීරණය තමයි එයට හේතුව උනේ.



විකට ඇඳුම් තරගයේ අවස්ථා


මහා විහාර ශාලාවෙදි ගායනා තරගයත්, අවුරුදු කුමරිය තේරීමේ තරගයත්, විකට ඇඳුම් තරගයත් පැවැත්වුනා. අන්න එතැනදි තමයි මට මැලේ රාළව මුණ ගැහුනෙ. ගිය වතාවෙ වැදි නැටුමක් ඉදිරිපත් කරලා තෑගි භෝග දිනාගන්න ලැබුන හින්දා මැලේ රාළගෙ වැදි පෙනුම වෙන කෙනෙක් මේ වතාවෙ අරගෙන තිබුනා. අසරණ රාළට සිද්ධ උනේ තංගච්චි කෙනෙක් විදියට වෙස් වලාන තේ දළු නෙලන්න. මැලේසියාවෙ ඈත කඳුකර පළාතක වයසක චීන සීයා කෙනෙකු සමග නයි මිරිස් වවන මැලේ රාළ උන්දැ මට හමුවෙන්නෙ බක් මහ උළෙලෙදි පමණයි.

ඔබ මෙතෙක් නොදුටු මැලේ රාළගෙ රූ සොභා
බක්මහ උළෙලකදි කාගෙ කාගෙත් ඇස් යොමුවෙන ඉසව්ව තමයි අවුරුදු කුමරිය. මැලේසියාවෙ අවුරුදු උත්සවයෙත් තත්වය එලෙසමයි. සුන්දර යුවතියො 10 දෙනෙක් මෙවර තරගයට ඉදිරිපත් වෙලා හිටියා. ඒ අතර පහුගිය වතාවෙ තරග කරලා ජයගත්ත මුහුණුත් මම දැක්කා. සභාවෙ උන්න තරුණ පිරිසට කරන සහයෝගයක් විදියට මේ ඇත්තියො ලංකාවෙ ජීවත් වන පළාතත්, මැලේසියාවෙ ජීවත් වන පෙදෙසත් චින්තක පීරිස් ගොයියා ඒ ඇත්තියන්ගෙන්ම අහලා ප්‍රකාශ කොලා.


ජයග්‍රාහිකාවන්



විනිශ්චය මණ්ඩලය
මේ සියලු තරග අහවර වෙලා, ජයග්‍රාහකයන්ට ත්‍යාග ප්‍රදානෝත්සවයත් සිදුකරලා අවසන් උනාට පස්සෙ කාගෙ කාගෙත් බලාපොරොත්තුව වෙච්ච නරි බුරති නාටකේ වේදිකා ගත උනා. සිරා කොලුවා වේදිකා නාට්‍යයක් කරඹන්නෙ වසර 10 කට පමණ පස්සෙ. ඒ නිසාම මේ නාටකයෙන් දැනුන චමත්කාරය අති මහත්. මහා විහාර ශාලාව පිරී ඉතිරී යන්න රැස් වෙලා උන්න අපේ ජනතාව මේ නාට්‍ය නිසා ඉතාම සතුටක් ලැබුවා. මෙතෙක් වේලා නිවේදකයා ලෙස කටයුතු කොරාපු චින්තක ගොයියත් ගවුම් පොඩියක් ඇඳගෙන කෙලි පොඩිත්තක් වෙලා උන්නා නරි බුරති නාටකේ.

නරි බුරති නරඹන්නට මහා විහාරයට රැස්වූ ජනතාව
මැරතන් තරගයේ ජයග්‍රාහිකාව
මැරතන් තරගයේ තෙවැනි ස්ථානය
නරි බුරති දර්ශන


නරි බුරති අවසන් වෙද්දි අමතක නොවන දවසක නිමාව සටහන් කරමින් හිරු සැඟවී ගිහින්. තැන් තැන් වල සතුටු සාමිචියේ යෙදෙමින් තමන් විඳි සතුට තමන්ගේ හිතවතුන් සමග බෙදාගනිමින් සිටි ලාංකික මුහුණු බලන බලන අත දකින්න ලැබුනා. මැලේසියාවේ අගනුවරට ඈතින් රැකියාව කරන ඇතමෙකුට තමන්ගේ හිතවතුන් මුණ ගැහෙන්නෙත් මේ උත්සවය දවසට නිසා ඒ අයට එක්වරම වෙන්වී යන්නට අපහසු වන්නට ඇති.

‍මේ ලස්සන දවස අපට තිළිණ කරමින්, තමන්ගෙ පුද්ගලික කටයුතු පවා කැප කරමින්, වෙහෙසකර දින, සති, මාස ගෙවමින්, මේ හැමදේම අපූරුවට සංවිධානය කරන්නට වෙහෙසුන, තමන්ගෙ ධනය, කාලය කැපකල සැමටම හිතෙන් ස්තූති කරමින් සිරා කොලුවා යලි නිවෙසට ආවෙ හිත පුරා දැනුන සතුටක් තුරුලු කරගෙන.

නොරටක සිට රැකියාවන් සමග ඔට්ටු වෙමින් මුදල් උපයන්නට වෙහෙසෙන ලාංකික ජනතාවට මැලේසියාවේ බක්මහ උළෙල සිතට මහත් අස්වැසිල්ලක්. ඒ අස්වැසිල්ල ලබන වසරේත් මේ අයුරින්ම විඳින්නට හැකියාව ලැබේවා කියලා ඔන්න මම අක්මාවෙන්ම ප්‍රාර්ථනා කොලා.



මම කාමරේ අරින සිරා කොලුවා.


ප.ලි

වීඩියෝ දර්ශන වල හඬ ඇතැම් තැනෙක දුර්වල වී තිබේ. එයට කමා කරත්වා.

Wednesday, April 15, 2015

58 ජීවන්ගේ මගුල් ගෙදර

ජීවන් කියන්නෙ සිරා කොලුවා හා පුරා කියලා රැකියාවට ගිය තැන හිටිය ගොයියෙක්. ජීවන්ගෙ නම සිංහල නමක් වගේම තමයි. ඒත් වාසගමින් තමයි මිනිහා දෙමළ බව තව කෙනෙක් දැනගන්නෙ. කලු ජූලිය හෙවනෙ ඉපදුන එකෙක් නිසා ජීවන්ගෙ තාත්තා භය වෙන්න ඇති දෙමළ බව ඇඟවෙන පරිදි නම තියන්න. ජීවන්ට ඉතාම හොදට සිංහල කථා කරන්නත් හැකියාව තිබුන නිසා කිසිම කෙනෙක් මිනිහා දෙමළ කියලා කියන්නෙ නෑ. දෙමළ අයට උච්ඡාරණය කරන්න අපහසු වචන, අකුරු ජීවන් උච්චාරණය කලේ හරිම පහසුවෙන්.

මම සිංහල ඉස්කෝලෙක සිංහලෙන් ඉගෙන ගත්ත එකෙක් යකෝ....

දෙමළ ඇත්තන්ට කියන්න අපහසු වචනයක් කියන්න කියලා ජීවන්ට කිව්වම...ඒක උච්චාරණය කරලා ඒකා හැමදාමත් ඔය වාක්‍යය තමයි අන්තිමේට කිව්වෙ.

මේ කියන ආයතනය දැන්වීම් ප්‍රචාරණ ආයතනයක්. සෙනසුරාදා ඉරිදා දවස් දෙක නිවාඩු නිසා බොහෝ වෙලාවට සිකුරාදා දවසට බෝතලයක් වටේට ඉඳගන්න තිබුන නැඹුරුව බෙහොම ඉහළයි. ඒ සඳහා උපන් දිනයක් හෝ වෙනත් නිශ්චිත සිදුවීමක් අවශ්‍ය උනේම නෑ. සිකුරාදා උදේ වරුවෙ ඉදන්ම ධාරානිපාත වර්ෂාවක් වැස්සත් හොඳටම ප්‍රමාණවත්.

ජීවන් අද නම් බොන්න හොඳ දවසක් බං ..මොනවා හරි කරමුද ?

ප්‍රධාන ග්‍රැෆික් කරුවා එහෙම කියනකොට අළෙවිකරණ අංශයෙ හිටිය ජිවන් කැමැත්ත පලකරන්නෙ උඩ පැනලා. එතනින් පස්ස‍ෙ මා ඇතුලු නඩේ නවතින්නෙ බොරැල්ලෙ Mint Leaf අවන් හලේ. ණය පත් වලින් ගෙවන්න තිබ්බ පහසුකමත් මෙතනට අපිව කාන්දමක් වගේ අද්දවා ගන්න ඉවහල් උනා.

ඔය වගේ සැඳෑවන් බර ගානක් ගෙවුන දවසක ජීවන් අපට ආරාධනාවක් කලා. තමන්ගෙ අක්කගෙ වෙඩිමට සහභාගි වෙන්න කියලා. මේක දෙමළ වෙඩිමක් නිසා හැමෝම වගේ ඉස්සෙල්ලාම ඇහුවෙ එක ප්‍රශ්නයයි.

බොන්න තියෙනවද ?

බොන්න නම් නෑ...උඹලා මගින් බීලා වරෙල්ලා..ජීවන් එහෙම උත්තර දුන්නා.

එහෙම කොහොම කොරන්නද බොල...වෙඩිමක් ගන්නවා නං හරියට ගනින්කො..අඩුපාඩු..කොට ඉතුරු කරන්නෙ නැතුව. කාර්යාලයේ උන් එහෙම කිව්වා.

ජීවන්ගෙ මේ ආරාධනාව මට නම් බොහොම වටිනා අවස්ථාවක්. ඒ වන තෙක් මම දමිළ විවාහ උත්සවයකට සහභාගි වී නොතිබීම එයට හේතුවක්. ඒ නිසාම මේ වෙඩිම පැහැර හරින්නෙ නෑ කියලා මම තරයේ හිතාගත්තා.

අපේ ඔපීසියෙ අපි සමග හිටියෙ එකම එක කාන්තා පරාණයක් විතරයි. එයාගෙ නම ෆාතිමා. අපි එක්ක ඩිසයින් වැඩක් කරගෙන කාටවත් කරදරයක් නැතිව හිටිය කෙල්ලෙක්. ජීවන් නැති වෙලාවට සැට් එක ෆාතිමාවත් ලගට අරගෙන වෙඩිමට ගෙනියන ත්‍යාග ගැන කථා බහ කලා. අන්තිමේදි හැම දෙනාගෙම සහයෝගයෙන් මොන මොනවදෝ තෑගි කොල වලින් ඔතාගෙන සූජානම් කරගන්න අපට හැකි උනා. ගෙනිච්ච දේවල් දැන් මට මතක නෑ.

දවසක් දා උදෑසනක ෆාතිමාගෙ මුහුණ දුක්බර වෙලා තිබුනා. හැමෝම ඇගෙන් කාරණය විමසුවා.

තාත්තා කියනවා මට වෙඩින් එකට යන්න ඕනෙ නෑ කියලා. 

මුස්ලිම් ජනසමාජය ඇතුලෙ කාන්තාවන්ගෙ නිදහස යම් තරමකට කප්පාදු වෙන බව අපි දන්න නිසාම ඒ තීරණය ගැන පුදුම වෙන්න දෙයක් තිබුනෙ නෑ. ඒත් අවසානයේ ඇය හඬා දොඩා දන්න සෙල්ලං ඔක්කොම දැම්මට පස්සෙ විනාඩි 5 කට මඟුල් ගෙදර ගිහින් තෑගි භෝග ආදිය දීලා එන්න ඇයට අවසර ලැබිලා තිබුනා.

දැන් ඉතින් මඟුලට දින ලං වෙලා. ඔපීසියෙ ඇත්තො බොහොම ආශාවෙන් මගුලට යන්න සූජානම් වෙනවා.

උඹ ලග අලුත් සපත්තු දෙකක් තියෙනවද ?  ගාල්ලෙ චන්දනයා තව එකෙකුගෙන් අහනවා.

ඔය දෙක හොඳයිනෙ බං...අපි රෑටනෙ මඟුලට යන්නෙ..පේන්නෙ නෑ කළුවරේ..අනිකා ඒ විදියට උත්තර දෙනවා.

ඔන්න ඉතින් කාලය ටික් ටික් හඬින් ගත වෙලා මගුලට යන දවසත් ලං උනා කියමුකො. උදෑසන රාජකාරියට ඇවිත් හැන්දෑවෙ ඒ ඇඳුම උඩටම පුබුදුවගෙ මිළ අධික සැන් කුප්පියෙන් පොඩියක් හලාගත්තම ජීවන සුවඳ යට ගියා.

තුන් රෝද රථ දෙකක් කුලියට ගත්ත අපි බොරැල්ලෙ කොටා පාරෙ ඉදන් රාජගිරිය ඔබේසේකර පුර මඟුල පැවැත්වුන ශාලාව ලගට යද්දි එතන උත්සවශ්‍රීයෙන් ඇළලිලා තිබුනා. වේග රිද්ම‍යේ දමිළ ගීත වටාපිටාවෙ තිබුන නිශ්ශබ්දතාවය බිඳ දාලා තිබුනෙ.

ජැන්ඩි පහට කුර්තාවක් ඇඳගෙන උන්න ජීවන් අපිව බොහොම උණුසුම් විඳියට පිළිගෙන මගුලෙ මනාලිය වෙන තමන්ගෙ අක්කටත්, තමන්ගෙ පවුලෙ අයටත් බොහොම සතුටින් අඳුන්වා දුන්නා. ඔතාගෙන ගිය තෑග්ග එහෙම හැමෝගෙම සහයෝගයෙන් භාර දුන්නට පස්සෙ කාගෙ කාගෙත් අැස් බෝල කැරකුනේ වට පිටාවෙ උන්න මිනිස්සු දිහාට.

අඩෝ...බොන්න නෑනෙ බං...චන්දනයගෙ මූනෙ තිබුනෙ අපේක්ෂා භංගත්වයක සළකුණු...

ජීවන්...බොන්න නැද්ද බං...පුබුදුවා බැරිම තැන ජිවන්ගෙන් ඇහුවා.

අයියෝ...තොපිලට යකෝ ඔච්චර තදියම් මොකද...පොඩියක් ඉවසන් ඉඳහල්ලකො අපේ අම්මා සුට්ටක් එහෙට මෙහෙට වෙනකං. අපි කාටවත් බොන්න දෙන්නෙ නෑ. ඒ උනාට ඉතිං උඹලා වගේ බේබද්දො ටිකකට බොන්න නොදී මට ආයෙමත් ඔෆිස් ඇවිත් කනක් ඇහිලා ඉන්න බැරි නිසා මම  උඹලව පොඩි ජොයින්ට් එකකට සෙට් කරන්නං.

ජීවන් අපිත් එක්කම ආසන්නයේ තිබුන කඩ කාමරයක් ඇතුලට ගියා. ඒ වෙද්දි දවසේ කටයුතු නිමා කරලා එය වසා දමා තිබුනෙ. සිල්ලර බඩු විකුණන කඩයක්. දැන් අපි කඩේ ඇතුලෙ මේසයක් වටේට පුටු කිපයක් තියාගෙන අස්සයො මැරිච්ච කව් බෝයිලා වගේ බෝතලයක් එක්ක ජීවන්  මතු වෙනකං බලාන ඉන්නවා.

විනාඩි 10 ක් විතර ගත වෙන්න ඇති. සීදූවෙ ඇක්ස්ට්‍රා ස්පෙෂල් බෝතලයක් එක්ක ජීවන් දත් සැට් එකම පේන්න හිනා වෙන ගමන් අපේ පැත්තට ආවා. බෝතලය එක්ක ගෙනාව බයිට් පීරිසි දෙකත් මේසෙ උඩ තිබ්බා.

අයියෝ ජීවන් ගල් ද බං...මේවා බීලා කොහොමද බං ගෙදර යන්නෙ. පළාතම ගඳ ගහනවනෙ.

චන්දනයා උදේ පාන්දරම නාහෙන් අඬන්න ගත්තා. ඒකා හිටියෙ උගෙ ඥාතීයෙකුගෙ නිවසක නැවතිලා, ඒ හින්දයි ගල් වලට භය.

අනේ පලයං යන්න...උඹලා යකෝ ගාල්ලෙ ඉද්දි ගල්වත් බොන්න තිබුනද..නිකං විස්කි බ්‍රැන්ඩිම බීපු උන් වගේ කථාව...උඹට බොන්න බැරි නං නිකා ඉඳහං...ජීවන් වෙඩි වගේ උත්තරයක් දුන්නා. චන්දනයගෙ කට වැහුනා.

තොපිලට වෙන බයිට් නෑ. සෝඩා ඔනෙ නම් කඩෙන් ගනිල්ලා...ඒක මම සෙට්ල් කරන්නං. මේකත් මේ මඟුල අස්සෙන් ඇස් වහලා අමාරුවෙන් උස්සගෙන ආවෙ. අපි ගැන හිතලා ජීවන් කඩල පීරිසියක් එක්ක කුකුල් මස් දීසියකුත් අරගෙන ඇවිත් තිබුන විදිය දැකලා  අපට මිනිහා ගැන පහන් සංවේගයක් ඇති උනා.

මේ ගල් බෝතලේ කොහෙන්ද බං ගත්තෙ ජීවන්. අරක්කු පිළිබඳ විශේෂඥ පුබුදු පැනයක් විමසුවා.

ඕක මම කාර්ගිල්ස් එකෙන් ගත්තෙ. බාල එකක් නෙමෙයි..හොඳ එකක්. භය නැතුව ගහපල්ලා. ගඳ එන්නෙ නෑ. එහෙම කියාගෙන ජීවන් යන්න ගියා.

දැන් ඉතින් එතන ඉන්න බයිට් මරුවො ටික පාලනය කරගෙන දොරලෑලි වැහුන කඩේ ඇතුලෙ ව‍ැඩේ නැගලා යනවා. ඈතින් හීනියට වේග රිද්මයේ  දෙමළ සින්දුවක් ඇහෙනවා. ලෑලි දොරවල් වල හිඩැස් වලට ඇහැ තිබ්බම සල්වාර්, සාරි වලින් සැරසුන දමිළ යුවතියො පේනවා.

බොහොම ආරක්ෂිත වට  පිටාවක ජීවත් වෙන චන්දනයට නිතරම බොන්න කන්න ලැබෙන්නෙ නෑ. ඒක නිසාමදෝ ඒකා ගල් බොන්න බෑ කිව්වට ලග නමලා වේලාසනම පොඩියක් වැනෙන්න ගත්තා. බෝතලය කඩලා මඳ වෙලාවකින්ම බයිට් අහවර වෙච්ච නිසා එතැන ඉදන් මාරක ප්‍රේම කථා බයිට් එකට අරගෙන අපේ ක්‍රියාදාමය ඉදිරියට ගලා ගියා.

පැයක් යද්දි සියල්ල අහවරයි. තව එකක් තිබුනා නම් පංකාදුයි. කවුදෝ එහෙම කිව්වා.

ජීවන් මඟුල් ගෙදර බරටම වැඩ ඇති. ඒකා පේන්නවත් නෑ. මිනිස්සු කෑම කන්න පෝලිමේ ඉන්න වගක් ඈතින් පේනවා. ඒක දැකලා අපේ බඩගෙඩි ඇතුලෙන් කහන්න ගත්තා. පොඩියක් වැනෙමින් උන්න චන්දනයා මේසයෙන් නැගිටිනකොටම කකුල් පැටලිලා වැ‍ටෙන්න ගියා. කඩ හිමියා කඩය සහ ඔහුගේ නිවස වෙන් කරලා තිබුන පාටිෂන් එක තිබුනෙ අපට එහායින්. චන්දනයා හදිසියේම එතනට වාරු උනා. ඒකගෙ තප්පදෝරු ශරීරස්කන්ධය දරා ගන්න බැරුව පාටිෂන් කෑල්ල හදිසියේම ඇතුලට කඩා වැටුනා. එතන තිබුන ඇඳක නිදාගෙන උන්න දෙමළ ගෑණු කෙනෙක් නයිටි කෑල්ලත් උස්සගෙනම දිව්ව දිවිල්ලට සුසන්තිකා පරාදයි. ගේ ඇතුලෙන් දෙමළ වචන එක දෙක හයියෙන් හයියෙන් ඇහෙනකොට අපිත් දනි පණි ගාලා ඉක්මනට කඩ කෑල්ලෙන් එළියට පැන්නෙ මරන්න අරන් යන හරක් ටිකක් ලොරියෙන් එළියට පනිනවා වගේ.

ඒ වෙද්දි මගුල් ගෙදර ඇත්තො හැමෝම වගේ කාලා බීලා අහවරයි. ව්‍යංජන බොහොමයක් අඩිය පෑදිලා. කුකුල් මස් කරියෙ හොඳි විතරයි කෑලි අතුරුදහන් වෙලා.

කමක් නෑ බං...අපි බයිට් එකට කුකුල් මස් කෑවනෙ. තියෙන දෙයක් එක්ක කාලා ගෙදර යමං ඉක්මනට පුබුදු කිව්වා. ඔයින් මෙයින් තිබ්බ සුන්බුන් වලින් බත් ඩිංගිත්තක් කාලා අහවර වෙද්දිම තමයි ෆාතිමා කෙල්ල තාත්ත එක්ක ඇවිත් වාහනෙන් බැස්සෙ. අපි දිහා බලන්නවත් කාලය වැය කරපු නැති එයා ඔතාගෙන ආවා තෑග්ග මනමාලි අතට දීලා සුභ පතලා අපි ලගට ආවා. අපිත් එක්ක තවත් විනාඩියක් දෙකක් කථා කරලා තාත්තගෙ විනාඩි 5 අවසරය අකුරට රකිමින් නැවතත් වාහනයට ගොඩ උනා.

අපේ නඩය රාත්‍රී ආහාරයෙන් පස්සෙ සීසීකඩ විසිරී ගියා. ගෙදර යන්න වැඩිම දුරක් තිබුන එකා තමයි මම. ගුණසිංහපුර බස් නැවතුමෙන් රාත්‍රී 10 ට පිටත්වෙන රද්දොළුගම බස් එකේ ඇවිත් ජා-ඇලින් බැස්සම 10.45 ට ජා ඇලින් නිට්ටඹුව බලා ගමන් ආරම්භ කරන අවසන් බස් රථය හමුවෙනවා. කොළඹදී බෝතලයක් වටේට ඉඳගත්තොත් මම ගෙදර ගියේ ඒ විදියට. ඒත් මේ කියපු දවසෙ මගේ වෙලාවෙ තිබ්බ අවුලක් නිසාදෝ රද්දොළුවෙ බස් එක කොට කොටා අාව නිසා ජා-ඇල බස් රථය මට මග ඇරුනා. පළාතම මුසල පාලුයි. බල්ලෙක්වත් නෑ. තුන් රෝද රථයක යන්න තියා කොත්තු රොටියක් ගන්න සල්ලි නෑ.

ඇක්ස්ට්‍රා ස්පෙෂල් කික් එක තවමත් ඇගේ දුවන නිසා හිතට භයක් නෑ. මම පයින්ම ඒකල පැත්තට යන්න තීරණය කොලා. අතර මගදි මට රාත්‍රී සේවයේ නියුතු ආයතනයක ට්‍රැක්ටරයක් මුලිච්චි උනා. නිකමට අත දැම්මම මෙන්න බොලේ නැවැත්තුවා.

මල්ලි කොහෙටද යන්නෙ....

ගම්පහට අයියා.

අපි නම් ඒකලට යන්නෙ..

කමක් නෑ අයියා මාව එතනින් හලාගෙන යන්න.

ට්‍රැක්ටරේ පිහිටෙන් ඒකලට ආව මම එතන ඉදන් ගම්පහ පැත්තට පයින්ම ඇවිදගෙන එනවා. දැන් වෙලාව මධ්‍යම රාත්‍රියටත් ආසන්නයි. අතේ පයේ රත්‍රන් බඩු, වටිනා ජංගම දුරබණුවක්, පසුම්බියේ අම්බානක මුදල් නැති මට භය වෙන්න කිසිම හේතුවක් නෑ. 

ඒකල වෙල කියන්නෙ ගෙවල් දොරවල් නැති දෙපැත්තෙම මහ යායට කුඹුරු තියෙන පාළු ප්‍රදේශයක්. ඉස්සර මහ දවාලෙත් කොල්ල කෑම් සිදුවුන මෙතනින් මම දැන් තනියම රෑ 12 ට යන්න යන්නෙ. මෙන්න බොලේ කවදාවත් නැතුව ජංගම පොලිස් මුරපොලක් එතන.

මම මුරපොලට කිට්ටු වෙද්දිම වාහනයක් නවත්තලා පරීක්ෂා කරනවා. මම පො‍ලෝසියේ ඇත්තෙක් ලඟට කිට්ටු කොලා.

මම මේ කොළඹ ඉඳන් එන ගමන්. බස් නැති හින්දා පයින්ම යනවා. මේ වාහනේ යන්න බැරි වෙයිද ?

ඒක ඉතින් වාහනේ හිමිකරුවගෙන් තමයි අහන්න ඕනෙ. පොලිස් අයියා කෝචොක් හිනාවක් දැම්මා.

මම හිමිකරුවට සම්මුඛ උනා.

අයියෙ මාව වෙලෙන් එගොඩට දානවද....

නෑ මල්ලි අපි එච්චර දුර යන්නෙ නෑ

වෙලෙන් මෙගොඩ යන්න කිසිම තැනක් නැති උනත් මිනිහා දුන්නෙ එහෙම උත්තරයක්. මාව පහුකරගෙන ගිය වාහනේ අපූරුවට වෙලෙන් එගොඩ උනා.


අන්තිමේදි තවත් කිලෝමීටර් 4 ක් විතර පයින්ම බඩගාලා රාත්තිරී 1 පහුවෙලා නිවසට ලගා වෙද්දි මම හොඳ ගානට හෙම්බත්. මගේ ජීවන සුවඳට වඩා ජීවන්ගෙ ගල් අරක්කු සුවඳ ඈත තියාම දැනුන නිසාද මන්දා අපේ බලු කොල්ලට මාව අඳුනගන්න විනාඩියක් දෙකක් ගියා. පජාති වෙඩිමකට ගිහින් අන්තිම කුජීත වෙලා හිටිය මම මහන්සිය නිසා ඉස්තෝප්පුවෙ බිම ඉඳගත්තම අපේ බලු කොල්ලා මගේ මූණ ලෙව කාලා සුවඳුක් විමසුවෙ හරියට මගේ පෙම්බරී එයා වගේ.



මම කාමරේ අරින සිරා කොලුවා




Saturday, April 11, 2015

41 මගේ මුල්ම තෑග්ග

සිරා කොලුවාගේ කුඩා අවධිය කාමරය ඇතුලේ ලියවුනේ පිළිවෙලකට නොවේ. අනෙකුත් බොහෝ දේ පිළිවෙලකට ලියවුනද මගේ බාල කාලය පිළිවෙලකට ලියන්නට මම අපොහොසත් වූයෙමි. විඩෙන් විඩේ මතක් වන පරිදි සමහර දෑ මෙතුවක් ලීවෙමි. මේ ක්‍රමයෙන් මට ඉදිරියේදී හෝ ගොඩයාමක් නැතැයි අක්මාවට වැටහෙයි.

ඔබට මතක ඇති පරිදි ඔබේ ජීවිතයේ ලද මුල්ම තෑග්ග කුමක්ද ? කවදද ? කොතැනදීද ?

මේ ගැටලු කීපය මා ඔබට යොමු කලහොත් ඒ සඳහා ඔබේ ප්‍රතිචාර කෙබඳු වේදැයි මොහොතක් සිතා බලන්න. ඇතමෙකුට දෙමාපියන් හෝ පවුලේ සමීපතම ඥාතියෙකු ප්‍රථම ත්‍යාගය පිරිනමන විට මගේ ජීවිතයේ මා ලද ප්‍රථම තෑග්ග ලෙස මතකයේ සටහන්ව ඇත්තේ වෙනකකි. කරුණු එසේ වුවත් එයට කලින් මා දෙමාපියන් හෝ ඥාතීන්ගෙන් ත්‍යාග නොලබා සිටින්නට ඉඩක් නැත. එහෙත් මතකයට අනුව ප්‍රථම ත්‍යාගය මෙයයි.

සිස්සත්වය සමත් වී නගරයේ පාසලට ඇතුලු වන තෙක් මා ඉගෙනගත්තේ අපේ ගමේ පුංචි පාසලෙනි. ගමේ ළමයින් කියා වෙනසක් නැතුව කැපවීමෙන් අකුරු කල ගුරු දෙමාපියන් රැසක් එහි වූහ. මේ කාලයේ සිරා කොලුවාගේ මව මෙන්ම පියාද රැකියාවට ගිය නිසා පාසල නිමවීමෙන් පසු පියාගේ වැඩිමහල් සහෝදරයාගේ නිවසට වී දෙමාපියන් රැකියාව නිම වී පැමිණෙන තෙක් සිටින්නට මා හට සිදු විය. මහප්පාගේ දියණියද මගේ වයසේම වීමත්. ඇයත් මමත් එකම පාසලක අධ්‍යාපනය ලැබීමත් නිසා තනිකමක් පාළුවක් මා හට දැනුනේ නැත. පාසල් වේලාවෙන් පසු එළඹෙන සවස් කාලයේ මම ඇයත් සමග මයියොක්කා කොළ වලින් මාල, කොස් කොළ තොප්පි, කුරුම්බැට්ටි මැෂින් ආදිය සෑදුවෙමි. ඇය හා මම  අහාර පාන ගත්තේත්, පොත් පාඩම් කලේත් එකටමය.

ඥාති සොයුරියත් මමත් වයස අවුරුදු 3 දී

උදෑසන පාසලට යන විට මගේ පොත් බෑගයට, පාසල නිමවීමෙන් පසු අඳින ඇඳුම අම්මා විසින් ඇතුලුකරයි. නිවසට පැමිණි පසු මහප්පාගේ බිරිඳ හෙවත් මහම්මා විසින් එයින් සැරසෙන්නට මා හට උදව් කලාය. මේ කියන කාලයේ මම 1 වසරේ හෝ 2 වසරේ ශිෂ්‍යයෙකි. මහප්පා ඕමාන් රටේ රෝහලක කෘතිම පාද නිපදවීමට සම්බන්ධ රැකියාවක නිරත වූ නිසා ඔහු අප තරුණ වියට එළඹෙන තෙක්ම සිටියේ ලංකාවෙන් බැහැරවය. හෙතෙම වසරකට වරක් පැමිණ ආපසු ගියේය.

ඒ කාලයේ රැකියා අපේක්ෂාවෙන් නිවසට වී සිටි තාත්තාගේ නැන්දනියගේ පුතුන් අතරින් කවරෙකු හෝ පාසල නිම වන වේලාවට අප දෙදෙනා රැගෙන එන්නට පාසල අසලට පැමිණෙයි. සහෝදරිය හරස් පොල්ලේත්  සිරා කොලුවා වන මම පිටුපස ලගේජයේත් යන ආකාරයෙන් අප පුෂ් බයිසිකලයේ පැටවී ගෙදර ආවෙමු. ප්‍රධාන මාර්ගය අභියසට වන්නට තිබූ මහප්පාගේ නිවෙසින් අපගේ ගමන හැමදාමත් කෙළවර විය.

හොඳම මල් පැළය තේරීමේ අමුතුම ආකාරයේ තරගයක් සඳහා ඉදිරිපත් වන්නට මා හට අවස්ථාව ලැබුනේ මේ අතර තුරයි. මෙවැනි තරගයක් කුඩා දරුවන් වූ අප උදෙසා එදා පැවැත්වූයේ ඇයි දැයි මා හට දැනුදු සිතා ගත නොහැක. 1 වසර සිට 5 වසර දක්වා පන්ති පැවැත්වුනු අපේ කුඩා පාසලේ සියලුම දරුවන්ට මේ සඳහා සහභාගි වන්නට අවසර තිබුනි. 

එකල අපේ විදුහල්පති තුමා වූයේ එම්මානුවෙල් නම් වූ ජාතික ඇඳුමෙන් සැරසුන කාලවර්ණ පෙනුමක් ඇති තරමක් උස ගුරු පියෙකි. පාසලට යතුරු පැදියකින් පැමිණියේ ඔහු පමණි. හොන්ඩා සුපර් කබ් වර්ගයට අයත් අළු පැහැති එකක් වූ එය විදුහල්පති කාර්යාලය නුදුරේ සෙවනක නිතරම ගිමන් හැරියේය.

හොඳම මල් පැලය තේරීමේ තරගය දෙසට ආයෙත් හැරෙමු. තරගකරුවන් ඉදිරිපත් කරන ‍පෝච්චි වල සිටවූ මල් පැල අතරින් හොඳම ඒවා තෝරා ත්‍යාග ලබාදීම තරගයේ ස්වභාවය විය. මගේ මව වර්තමානයේ මෙන්ම එකලද වරින් වර මිදුලේ ඇති මල් වර්ග වෙනස් කලාය. මේ කියන අතීතයේ තිබුනේ ක්‍රෝටන් වර්ගයට අයත් ගස්ය. ඉන් පසු ඒවා ගැලවී එහි බාබන් ඩේසියා සහ ඩේලියා වර්ග වල මල් පැල සිටුවිනි. ඉන් පසුව බෝගන් විලා වසන්තයත් එයිනුත් අනතුරුව කැනස් වර්ගත් අපේ මිදුල වර්ණවත් කලෝය. වර්තමානයේ නම් එය ඕකිඩ් වර්ග වලට වෙන් වී තිබේ.

අම්මෙ මට ලස්සන මල් පැලයක් ඕනෙ. ඉස්කෝලෙ තරගයක් තියනවා.

දවස අවසානයේ මා නිවසට රැගෙන යන්නට පැමිණි මවට මම කාරණය සැළ කලෙමි. මිදුලේ මල් පෝච්චි අතර වටයක් ගිය ඇය මල් නොපිපෙන කොළ පැහැති විසිතුරු පත්‍ර සහිත ශාකයක් මට පෙන්වා මෙය රැගෙන යන ලෙස පැවසුවාය. එහෙත් මට එහි කිසිම ලකයක් පෙනුනේ නැත. අනේ මල් පිපෙන එකක් දෙන්නයි මම කොතෙකුත් ඇවිටිලි කලද අම්මාගේ තීරණයේ වෙනසක් නොවීය. අවසානයේදී අකමැත්තෙන් හෝ මේ ශාකය සහිත මල් පෝච්චිය රැගෙන තරඟයට සහභාගි වන්නට මා හට සිදුවිය. එදා එය පාසලට රැගෙන ගියේ කවරෙකු දැයි මට දැන් නිච්චියක් නැත. ඒ කාලයේ තුන්රෝද රථයක් අහල ගම් හතක තිබුනේ නැති බව මා හට සිහිපත් වෙයි.

අප පාසලට යන විට අපේ මල් පෝච්චි රැඳවීම පිණිස ලී යොදාගනිමින් විශාල අට්ටාලයක් වැනි යමක් සකසා තිබුනි. අවසානයේ ඒ මත අප විසින් ගෙන ආ මල්පෝච්චි අපේ නම් සහිතව පිළිවෙලකට තැන්පත් විය. ඇත්ත වශයෙන්ම මේ කියන කාලය මට යන්තමින් මෙන් මතකයේ රැදී තිබෙන්නකි. මල් පෝච්චි වල වූ ශාකයන් විනිශ්චය කලේ ගුරු මණ්ඩලය විසිනි. මහප්පාගේ වැඩිමලා වූ ජානක අයියා පාසලේ ශිෂ්‍ය නායකයෙකු ලෙස 5 වසරේ එවකට අධ්‍යාපනය ලබමින් සිටි නිසා ඔහු මේ කාර්යය සඳහා වැඩි දායකත්වයක් දෙන්නට ඇත.

තරග විනිශ්චය අවසන් වී ප්‍රතිඵල දැනුම් දෙන විට කුඩා අප එක පේලියට පාසලේ වූ සුදු අරලියා ගහ යට සිටගෙන සිටියෙමු. පසෙකින් ගුරු මණ්ඩලය පෙනෙයි. ඊට විරුද්ධ පැත්තේ දෙමාපියන් පිරිසකි. තවත් පසෙකින් මල්පෝ්ච්චි රාශියයි. විදුහල්පති තුමා ප්‍රතිඵල ප්‍රකාශ කරන්නට සූජානමෙනි.

මුලින්ම තෙවන ස්ථානය ප්‍රකාශයට පත් විය. ජයග්‍රාකයා ඉදිරියට යන විට ඊට අදාළ මල් පෝච්චිය ඔහු හෝ ඇය අතට පත් කොට සෙසු අයට පෙන්වීමට වෙනම වැඩ පිළිවෙලකි. දෙවැනි ස්ථානයට මගේ නම ප්‍රකාශ විය. මම මහත් පුදුමයට පත් වීමි. මගේ අතට ලැබුන මල් පෝච්චියත් රැගෙන මම සභාව ඉදිරියට ගියෙමි. මගේ විරෝධය මැද වුවද අම්මාගේ තේරීම ගැන මම මහත් විමතියට පත් වී සිටියෙමි.

ජයග්‍රාහකයන් මෙන්ම ජයග්‍රහණ නොලැබූ අයද සභාව හමුවේ විවිධ අංග ඉදිරිපත් කල අතර සිරා කොලුවා වන මම රෝස මලේ නටුවෙ කටූ ගීතය ඉඳිරිපත් කලෙමි. එහෙත් නටුවෙ කටු වෙනුවට කටුවෙ නටු යනුවෙන් මවිසින් පද වරද්දවා කල ගායනය එම්මානුවෙල් විදුහල්පතිතුමාගේ අවධානයට ලක් වූ අතර ඒ බැව් විශේෂයෙන් සභාවට දැනුම් දී මා හට තවත් වටයක් අත්පුඩි ගසන්න යැයි එතුමා එදා පැවසූ ආකාරය ඉතා හොඳින් මගේ මතකයේ තැන්පත් වී තිබේ.

බ්‍රවුන් පේපර් යයි සම්මත කොළයක ඔතන ලද ත්‍යාගයක් මා හට ලැබිනි. එදින මා රැගෙන යන්නට පැමිණ සිටියේ අප නිවස ආසන්නයේ හිතවතෙකි. මා මහප්පාගේ නිවසේ දෙමාපියන් එනතුරු සිටින බවක් ඔහු නොදැන ඉන්නට ඇත. ඒ නිසා වසා දමා තිබූ අප නිවසට ඇරලවා හෙතෙම යන්නට ගියේය.

ත්‍යාගය විවෘත කර බලන තෙක් මට ඉවසුම් නැතිය. නිවසේ ප්‍රධාන දොර වසා දමා ඇති නිසා නිවස තුලට යන්නට ක්‍රමයක් නැත. පොත් බෑගය පසෙකින් තබා මම ඉස්තෝප්පුවේ කොනක හිඳගෙන ත්‍යාගය විවර කළෙමි. එහි අභ්‍යාස ප‍ොත් කීපයක් සහ නිල් පැහැති කලිසම් රෙද්දක් තිබූ බැව් මා හට යන්තමින් මෙන් මතකය.

ත්‍යාග වල හැඩරුව බලමින් සිටින කල හිස ගිණිගත්තෙකු මෙන් එහි පැමිණියේ වෙනදාට මා රැගෙන යන්නට පැමිණෙන බාප්පාය. ඔහු බන්දුල බාප්පාගේ බාල සහෝදරයායි. මගේ අඩුම කුඩුම රැගෙන ඔහුගේ පුෂ් බයිසිකලයට මා නංවා මහප්පාගේ නිවසට රැගෙන යන්නට ඔහු සැනින් කටයුතු කලේය. කාත් කවුරුවත් නැති අපේ නිවසේ මා වරුවක් තනිව සිටි බව සැලවූ පසු  තාත්තා අම්මාට රැකියාවෙන් ඉවත් වී දරුවන් බලාගෙන නිවසට වී සිටින ලෙස පවසන්නට ඇත. මේ වකවානුවේ මයෙ මලයා බෙහෙවින් කුඩා එකෙකු නිසා ඒකා සිටින්නට ඇත්තේ අම්මාගේ මහ ගෙදර කිරි අම්මා සමග විය යුතුය.

දිනක් පාසල් අවසන් වීමෙන් පසු අප රැග‍ෙන එන්නට සිරිත් පරිදි පැමිණෙන බාප්පා හට වෙනත් කාර්යයක් සඳහා පිටත් වීමට සිදුවී තිබුන හෙයින් සුදු අයියා නැමති අපේ ගමේ ඔහුගේ හිතවතෙකු පාසල අසලට එවා තිබුනි. බාප්පාගේ බයිසිකලයේ ලගේජයක් තිබුනත් සුදු අයියාගේ බයිසිකලයේ එවැන්නක් නැත. සොයුරිය හරස් පොල්ල මත නංවා මා හට බයිසිකල් හැඩලයේ හිඳගන්නා හැටියට සුදු අයියාගෙන් උපදෙස් ලැබුනි. කකුල් දෙක පහලට සිටින සේ මම දැන් හැඬලය මත හිඳගෙන සිටිමි. අපේ ගමන නිම වෙන්නට තව ඇත්තේ ස්වල්ප දුරකි. එහෙත් ඒ ඉසව්වේ අැති පල්ලමේදී එක්වරම සමබරතාව ගිලිහී යාමෙන් ධාවනය වන බයිසිකලයෙන් මහා මාර්ගයට බල්ටියක් ගසන්නට මා හට සිදුවිය.

මේ අනතුරෙන් පසු සිරා කොලුවා මහා හයියෙන් හැඩූ බව මතකය. ඉර මුදුන් වී තිබූ වෙලාව නිසා තුවාල වලින් ලෝභ නැතුව ලේ ගලයි. කෙසේ හෝ මහප්පාගේ නිවසට කැටුව ගොස් ප්‍රතිකාර කරන්නට අවට එක් රැස් වූ වැඩිහිටියෝ පියවර ගත්හ. එම නිවසේ මහප්පා විසින් පිටරටින් රැගෙන ආ තුවාල මතට ස්ප්‍රේ කල හැකි ‍‍‍ඖෂධයක් විය. තුවාලය මත ගැටුන සැනින් එය කදිම සිසිලසක් උපදවා පසුව අති භයංකාර දැවිල්ලකුත් අවසානයේ දැලක් මෙන් වියමනක් තුවාලය මත සකසන්නත් මේ අරුම පුදුම බෙහෙතට හැකි වූ බව මට මතකය.

බයිසිකලයෙන් ගැසූ බල්ටියෙන් පසු අම්මාගේ වෘත්තීය ජීවිතය අවසන් විය. දරුවන්ගේ ආරක්ෂාවට නිවසේ නවතින ලෙස තාත්තා ඇයට කියන්නට ඇත. එදායින් පසු ජීවන බර තනියෙන් කරට ගත් තාත්තා රජයේ සේවකයන්ට එකල ලැබුනු සොච්චම් වැටුපෙන් මමත් මලයාත් කෙසේ හෝ උස්මහත් කලේය. නිවසේ තිබූ ආර්ථික ගැටලු කිසිවක් අපට දැනෙන්නටවත් ඉඩ නොතබා මේ දෙපල අප දෙදෙනා යහපත් මිනිසුන් කරන්නට කල මෙහෙවර සිහිපත් වන විට ඇතිවන්නේ පුදුමාකාර භක්තිමත් හැගීමකි. නෙත් අගට කදුලක් උනන්නේ නිරායාසයෙනි.

අද ලිපියට මම මෙතැනින් විරාමය තබමි. ළමා කාලය ආශ්‍රයෙන් තව බොහෝ දෑ ලිවිය හැකිය. ඒවා මතක් වෙන පිළිවෙලට ඉදිරියේදී අකුරු කරන්නට මම සිතා සිටින්නෙමි. අප එදා ගතකල සොඳුරු ළමා විය එලෙසින් ගත කරනා පුංචි එවුන් වර්තමානයේදී අපේ ගමේදී සෙවීම පවා උගහටය. උන්ගේ අත්වල කුරුම්බැට්ට මැෂින් නැත, පොල්පිති හරක් නැත, මයියොක්කා මාල කොස් කොළ ඔටුනු නැත. මුදල් සෙවීම පිණිස හැල්මේ දුවන සමාජයක මේ දරුවන් නිවසේ තනි කරන්නට, කාටූනයක් නරඹා හෝ වෙනත් යාන්ත්‍රික ක්‍රීඩාවක නිරත කරවන්නට අකැමැත්තෙන් හෝ දෙමාපියන්ට සිදුවී තිබේ. වෙනත් දරුවන් සමග වැඩි භජනයක් නැති නිසා මේ පොඩි උන් සහජීවනය ගැන දන්නේ නැත. ජය පරාජය විඳදරා ගන්නා හැටි දන්නේ නැත. නිර්මාණාත්මක හැකියාවන් වර්ධනය වන්නේද බොහෝ මන්දගාමීවය.

සිරාගේ කාමරයට පැමිණි ඔබට මේ ආරාධනාව සිරා කොලුවාගෙනි. ඔබේ මතකයට අනුව ඔබ මුලින්ම ත්‍යාගයක් ලද අවස්ථාව මෙහි කමෙන්ටුවක් ලෙස සටහන් කලහොත් මේ සටහන වඩාත් පරිපූර්ණ වේ යැයි මගේ අක්මාව මට කියයි.

බාල කාලය ගැන කථා කරනා විට මා හට අමතක නොවන ගීතයක් වෙයි. මගේ ළමා කාලය පිළිබඳ ලිපි වලට ලේබලය අලවා ඇත්තේද මේ ගීතය උපයෝගී කරගෙනයි.  C.T ප්‍රනාන්දු මහතා විසින් මේ ගීතය ගායනා කොට තිබේ. නාවික හමුදා තූර්ය වාදක ඛන්ඩයේ කාලයක් සේවය කල අයිය බඩා වතාවක් මට කිව්වේ දියතලාවේ පැවති හමුදා සෙබලුන් විසිර යාමේ උත්සවයකදී මේ ගීතය වාදනය කල බව හා එදා එතැන සිටි බොහෝ දෙනා හඬා වැටුන බවකි.

මා බාල කාලේ අම්මාගෙ උකුලේ
නැළවුණු තාලේ මට තාම සිහිවේ//
පෑ ආදරේ මා හොවමින් තුරුල්ලේ
නෑ හීනවූයේ මෑණී මගේ
ඈ දුන් ඔවා මී ගඟුලෙහි නාමි
මට තාම සිහිවේ ඇගේ ගීත රාවේ


ඉගෙනීම ඔබගේ ධනයයි සිතා
ඉවසීම කරුණා ගුණදම් ගොතා
දුරලන්න වංචා මද මාන ඊර්ෂ්‍යා
මේ වාගෙ මට ඈ අවවාද දුන්නා


මේ පුංචි ලංකා ඔබගේ පුතේ
ඈ රැක්ම ඇත්තේ පුතුගේ අතේ
නංවලා ස්නේහේ රට දෑ කෙරේහී
රැකගන්න සැමදා ඇගෙ නාමෙ පුතුනේ


මා බාල කාලේ අම්මාගෙ උකුලේ
නැළවුණු තාලේ මට තාම සිහිවේ//
පෑ ආදරේ මා හොවමින් තුරුල්ලේ
නෑ හීනවූයේ මෑණී මගේ
ඈ දුන් ඔවා මී ගඟුලෙහි නාමි
මට තාම සිහිවේ ඇගේ ගීත රාවේ

වීකෘති වී නැති නියම ගීතය රසවිඳ බලන්න.







මම කාමරේ අරින සිරා කොලුවා.



ප.ලි

වර්තමානයේ යුරෝපයේ සිටින මගේ ඥාති සහෝදරිය සමග ඊයෙ පෙරේදා දිනක සිදු කල කථා බහක් අපගේ පුංචි කාලය දක්වාම ගමන් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මේ සටහන අද මෙහි ලියවෙයි. ඇය මෙන්ම මමද, මෙය කියවන ඔබද ළමා කාලයට බොහෝ සේ ඇළුම් කරන බව දනිමි. ඒ සුන්දරත්වය ඔබේ දරුවන්ටත් හැකි පමණ විඳින්නට දෙන්න.

සිරා‍ කොලුවා නොරටක සිටින නිසා මෙවරත් අවුරුදු නැත. එහෙත් ලබන්නා වූ සිංහල හා හින්දු අළුත් අවුරුද්ද ඔබ සැමට ප්‍රීතිමත් එකක් වන්නට ඉතසිතින් පතමි.
Related Posts Plugin for WordPress, Blogger...