Thursday, February 25, 2016

67 අහිමි පෙම සහ මම

බූට් මාසය වෙනුවෙන් දාලා තිබුන ඔක්කොම ලිපි ටික කියෙව්වා. ඉතින් මමත් හිතුවා මගේ කථාවත් සිරාගෙ කාමරේට කියන්න ඕනෙ කියලා. මගේ කථාව මෙතැන පලවුනු අනිත් කථා වලට වඩා වෙනස් උනාට වින්ද වේදනාව නම් වෙනසක් නෑ. මේ කථාව නම් ගොඩාක් පරණ කථාවක්. face book, Skype විතරක් නෙවෙයි ජංගම දුරකථන වත් ඒ කාලෙ තිබුනෙ නෑ. (ගඩොල් භාගෙ cellphone එකක් ලක්ශ 1.5 යි.)

මම ඉස්කෝලෙ ගියේ රත්නපුර පැත්තෙ තිබුන ජනප්‍රිය මිශ්‍ර පාසලකට​. මම ගොඩක් ලස්සන නැති උනාට ඉස්කෝලෙ ගොඩක් ජනප්‍රියයි. යාලුවොත් ගොඩාක් හිටියා. මම ජානක අයියත් එක්ක යාලු වෙනකොට ඉගෙනගත්තෙ 9 වසරේ, එයා සා/පෙ පන්තියෙ. එයාට  ලස්සන දුඹුරු පාට ඇස් දෙකක් තිබුනේ. දැනුත් ඒ කතා කරන ඇස් දෙක මැවිලා පේනවා. කාටත් හොරෙන් පටන් ගත්ත අපේ ආදරේ මාස දෙකක් යනකොට මුලු ඉස්කෝලෙම දන්නවා. ඒ කාලෙ අපිට කථා බහ කරන්න තිබුන එකම විදිය ලියුම් විතරයි. ඒත් කවදාවත් ලියුමක් වත් කාටවත් අහුවෙන්නෙ නැති වෙන්න අපි දෙන්නා පරිස්සම් උනා.

එකම ඉස්කෝලෙ හිටියත් හම්බවෙලා කතා කරන්න අමාරුයි. ගොඩාක් දවසට උදේට good morning කියනවා විතරයි.  ඒ කොහොම උනත් අපි දෙන්නා ගොඩාක් ආදරේ කලා. එයා දක්‍ෂයි ඒත් පාඩම් කරන්න කම්මැලියි. මගේ අකුරුනම් රෑ එළි වෙනකන් උනත් කියවන්න පුලුවන් කියලා කියුවම මම එයාගෙ ඔක්කොම සටහන් මගේ අකුරු වලින් ලියලා දුන්නා. සමහර දවසට රෑ  පැයක්වත් නිදාගන්නෙ නැතිව තමයි මම ඒ දේවල් කලේ. ඒ දේවල් නම් අපතේ ගියේ නෑ. අපි දෙන්නා ගොඳට ඉගෙනගත්තා. මට ජානක අයියාගෙන් තොර ලෝකයක් තිබුනෙම නෑ. 

ජානක අයියා උ/පෙ කලෙත් ඒ ඉස්කෝලෙමයි. මම උසස් පෙළ කරන්න නුගේගොඩ ඉස්කෝලෙකට ආවා ජානක අයියත් නුගේගොඩ පන්ති ආව නිසා අපි දෙන්නට හම්බවෙන්න කරදරයක් තිබුනෙ නෑ. මේ කාලෙ ගෙවල්වලින් අපේ සම්බන්ධය දැනගෙන හිටියට ඉස්කෝලෙ යන කාලෙ ආදරේ කරනවට කැමැත්තක් තිබුනෙ නෑ. අපි දෙන්නා ආදරේ කරන ගමන් ඉගෙන ගත්තා. කවදාවත් ඉස්කෝලෙ වත් අතිරේක පන්තියක් වත් කට් කරලා කොහේවත් ගිහින් නෑ. එයා මට ආදරේ කලා වගේම මාව පරිස්සම් කලා. ජානක අයියා විභාගය අවසන් උනු ගමන්ම රස්සාවකට ගියා.  (ඒ කාලෙ කැම්පස් යන්න අවුරුදු 2 විතර බලාගෙන ඉන්න ඕන​) මට නම් ඕන උනේ ඉක්මටම ජානක අයියව කසාද බඳින්න​. ඉක්මනටම එක වහලක් යටට යන්න​. අපි දෙන්නා අපේ අනාගතේ ගැන ගොඩාක් හීන දැක්කා.

මම උ/පෙ විභාගයෙන් පස්සෙ මහරගම ඉංග්‍රීසි පන්තියකට ගියා. එක දවසක් ජානක අයියා පන්තිය ලගට ඇවිත් එයා විභාගය පාස් උනා කිවුවම මට සතුට දරාගන්න බැරි උනා. පාර අයිනේ පන්තියෙ ළමයි ගොඩක් මැද්දෙ බෙල්ල බදාගෙන කිස් එකක් දුන්නෙ වටේ පිටේ තියන හැමදෙයක්ම අමතක වෙච්ච නිසා. එදා එයා අපි කසාද බදිමු කියලා මගේ කේන්දරේ ඉල්ලුවා. ඒ තමයි මම ජීවිතේ වැඩියෙන්ම සතුටු වෙච්ච දවස වගේම අන්තිමටම සතුටු වෙච්ච දවස​. ඊලග දවසෙ අපි කේන්දර දෙක මාරු කරගත්තා.

කොහොම හරි අම්මව ඇදගෙන එදා හවසම කේන්දරේ බලන්න ගියා. ඒ දෙක කොහොමට වත් ගැලපෙන්නෙ නෑ කියලා තමයි කිව්වෙ​.  මම කේන්දරේට වඩා අවුරුදු 6ක ආදරේ විශ්වාස කලා. මට ඕන උනේ එයාගෙම වෙන්න විතරයි. මට ඕන උනේ එයා විතරමයි. ජානක අයියාගෙ ගෙදරිනුත් කේන්දරේ බලලා තිබුනා. ඊලග දවසෙ අපි හම්බ උනාම එයා කිව්වෙ අපි මේක නතර කරමු කියලා විතරයි.  අවුරුදු 6 ක් තිස්සෙ පණ වගේ ආදරේ කරපු මගෙන් අඩුම ගානෙ " නතර කරමුද? "  කියලවත් ඇහුවෙ නෑ.  මට වචනයක් වත් කතා කරගන්න බැරිවුනා...පැය ගානක් එයා ලගට වෙලා ඇඩුවා. මගේ හිත හදන්න වත් කියන්න දෙයක් එයාට තිබුනෙ නෑ. එයා නැතිව එක හීනයක් වත් නොදැකපු මම එයා නැතිව කොහොම ජීවත් වෙන්නද​?. මොනවා කරන්නද මගේ ආදරේට වඩා කේන්දරේ විශ්වාස කල නිසා එයා මාව දාලා ගියා. 

කරන කියන දෙයක් හිතාගන්න බැරිවුනා. කොල්ලෙක් උනානම් කන පැලෙන්නෙ බීලා හොඳට නිදාගන්න වත් තිබුනා. සමහර වෙලාවට ජීවිතේ නැති කරගන්නත් හිතුනා. ඒත් එහෙම කළොත් ජානක අයියට දරාගන්න බැරිවෙයි කියලා හිතුනා. එයා මගේ නොවුනත් ඒ හිතට දුකක් දෙන්න මට බෑ.  මගේ කරුමෙ එතනින් ඉවර උනේ නෑ. මාවත් ජානක අයියා යන විශ්ව විද්‍යාලයටම තේරුනා.

මට ආයෙත් එයාට මුහුණ දෙන්න පුලුවන් කමක් තිබුනෙ නෑ. මම දන්න අඳුනන හැමෝගෙන්ම ඈත්වුනා. ගෙදර අයගෙ බල කිරීමට ආයෙත් ඉගෙන ගන්න පටන් ගත්තා. NIBM එකේ උපාධිය කරන්න පටන් ගත්තා. කාලයත් එක්ක වේදනාව අඩු උනේ නැති උනත් ගෙදර අනිත් අය වෙනුවෙන් හිනාවෙලා හිටියා.  අලුත් යාලුවොත් එක්ක එහෙම ඉන්න අමාරු වුනේ නෑ. පන්තියෙ වැඩියෙන්ම කෑ ගහලා හිනාවෙලා හිටියෙ මම​. රෑට තනි වෙච්ච වෙලාවට ඇති වෙනකං ඇඩුවා. නින්ද යන්නෙ නැති නිසා පාඩම් කලා. මට කවදාවත් ජානක අයියව අමතක කරන්නම බැරි උනා.


කරන්න පුලුවන් හැම දෙයක්ම කරලත් එයාව අමතක කරන්න බැරි උනා. මගේ හොඳම යාලුවා කිව්වෙ කාවහරි කසාද බඳින්න කියලා. ඉතින් ඊළගට මගෙන් යාලුවෙන්න ඉස්සෙල්ලම අහන කොල්ලත් එක්ක ඇත්ත විස්තරේ කියලා එයා මාව කසාද බඳින්න කැමති උනොත් කසාද බඳින්න තීරණය කලා. මට මගේ සැමියා හම්බ උනේ එ් විදියට.  

මට ආයෙත් ජානක අයියව හම්බ උනේ අවුරුදු 8කට විතර පස්සෙ පුතයි මහත්තයයි එක්ක සාප්පු සවාරියෙ යන වෙලාවක​. ඒ වෙලාවෙ ජානක අයියට ළග ඉන්නෙ කවුද කියලා අමතක උනා. දුවලා ඇවිත් අත්දෙකම අල්ලගෙන කතා කලේ. ඉස්සර වගේමයි... මම මහත්තයට කවුද කියලා හඳුන්වා දුන්නම සති අග ගෙදර එන්න කියලා එයා කිව්වා.

ඊලග සති අන්තෙ එයා අපේ ගෙදර ආවා. ඒ වෙනකොට ජානක අයියත් කසාද බැඳලා දුවෙක් ඉන්නවා. දන්නවද ඉස්සෙල්ලම මාත් එක්ක තනියම කතා කරන්න ලැබුන වෙලාවෙ එයා මගෙන් ඇහුවෙ ඇයි එදා "අපි මේක නතර කරමු" කියපු වෙලාවෙ බෑ කියලා එක සැරයක්වත් කිවුවෙ නැත්තෙ කියලා. එකම එක සැරයක් බෑ කිව්ව නම් කවදාවත් දාලා යන්නෙ නෑ යන්න දෙන්නෙත් නෑ කියලා එයා කිව්වා.

අනේ දෙවියනේ ජීවිතේ ආපස්සට හැරෙන්න අපිට බෑ. එදා කියපු නැති එකම එක වචනයක් හින්දා මම පණටත් වැඩියෙන් ආදරේ කල ජානක අයියව මට නැති උනා. අවුරුදු 6ක ආදරේ එක වචනයක් නිසා නැති උනා.

ආදරය කියන්නෙ හිමිකරගැනීමම නෙමෙයි කියලා සිරා මල්ලිත් කියලා තිබුනා. මමත් එහෙමම තමයි අද හිතන්නෙ. කොහේ හරි තැනක සතුටින් ඉන්නවා නම් ආදරය අහිමි උනත්  තරහක්, කණගාටුවක් නෑ.



මගේ කථාව කියෙව්වට හැමෝටම ස්තූතියි !


සිරාගේ කාමරයේ බූට් මාසය වෙනුවෙන් ලියා එව්වේ,


ඉමල්කා සිල්වා.



ප.ලි

අධික කාර්ය බහුලතාවය නිසා සිරාගේ කාමරයේ බූට් මාසය මෙවර කථා කීපයකට පමණක් සීමා කිරීමට සිදුවීම ගැන සිරා කොලුවා ලෙස මගේ සාතිශය සංවේගය පල කරමි. ගිය වසරේ මෙන්ම මේ වසරේත් මෙහි පලවූ සියලුම බූට් කථා පිරිමි පාර්ශවය විසින් එවන ලද ඒවාය. එහෙත් හා පුරා කියා අද මෙහි පලවන්නේ සහෝදරියක විසින් විරහව පිළිබඳ අකුරු කරන ලද ලියමනකි. ප්‍රේමයේ විප්‍රයෝගය කාන්තා පිරිමි භේදයකින් තොරව දුක, කණස්සල්ල දායාද කලද, කාන්තාව බොහෝ විට නිහඩව මේ මනෝභාවයන් විඳදරා ගන්නා බව මගේ හැගීමයි. මේ ලිපිය ඒ වගට දෙස් දෙනු ඇත. ඉමල්කා සොයුරිය....ඔබට මගේ ස්තූතිය.

ලිපියේ හිමිකාරියගේ ඉල්ලීම පරිදි චරිත නාමයන් වෙනස් කොට තිබේ.

Monday, February 8, 2016

65 මිත්‍ර සහ ආදරය

රතු පැහැති ස්පෝට් වර්ගයේ පා පැදිය ගම්පහ පුස්තකාලයේ පසෙකින් තිබෙන සුදු අරලියා ගස අසල කම්බි වැටට හේත්තු වන විට පුස්තකාලයේ දොරටු විවර වී වැඩි වේලාවක් ගත වී තිබුනේ නැත. උදෑසනම මිදුලේ සුදු වැලි මත පැහැදිලි රටා මවමින් මේ මිදුල අමදින්නේ පුස්තකාලයට යාබදව පිහිටා තිබෙන නගර සභාවේ කම්කරු ළඳක් විසින් බව බයිසිකලයෙන් බිමට බට මිත්‍ර හට සැනෙකින් මෙනෙහි වූවේය. අතරින් පතර එක දෙක බැගින් වැටී තිබෙන වියලී ගිය අරලිය කොළ සහ සුදු පැහැය ඇකී මැකීගිය අරලිය මල් ජීවිතයේ අනිත්‍ය මෙනෙහි කරනවාදෝයි විටෙක ඔහුට සිතෙයි. මේ දසුන දෙස තත්පර කීපයක් බලා හිඳ පා පැදියේ ආරක්ෂාව සහතික කරගැනීමෙන් පසු පුස්තකාල ගොඩනැගිල්ලේ උඩුමහලට පිවිසෙන තරප්පු පෙල අභියසට හෙතෙම පැමිණියේ මඳ කොරයක් සහිත වම් පාදය ආයාසයෙන් අවනත කරගනිමිනි.

තරප්පු පෙල එකින් එක තරණය කරන්නට දැන් වෙනදාට වඩා අපහසු බවක් මිත්‍ර හට දැනෙයි. කුඩා කල සිටම වම් පාදයේ පැවති වියවුල දැන් තරමක් නරක අතට හැරී ඇති බවට ඔහුගේ චිත්ත සන්තානය දෙස් දෙයි.

තව මාස දෙකකින් උසස් පෙළ ඉවරනෙ...ඊට පස්සෙම දොස්තර කෙනෙක් හම්බ වෙනවා...

ඔහුගේ සිතුවිලි ඒ මේ අත දෝලනය වෙද්දී පුස්තකාලයේ පාඩම් කරන කොටසේ තමන් නිතර වාඩි වී සිටින ආසනය වෙත ඔහුගේ පියවර එසවුනේ නිරායාසයෙනි. තවමත් පාඩම් කරන කොටසේ සියලු ආසන පිරී ගොස් නැත. අතරින් පතර පෙනෙන හිස් තැන් ඔස්සේ දිවගිය ඔහුගේ නෙතු දෑල අවසානයේ ඇගේ රූප කාය ඉදිරියේ වෙනදා වාගේම නතර වූවේය.

ලස්සන කෙල්ල...හිනාවෙන කොට සීදේවි පාටයි...කොන්ඩෙත් දිගයි..

අරමුණක් නැතිව ඉබාගතේ උපදින සිතුවිලි උපදින සැනින් නැසෙද්දී මිත්ර හට වෙනදා දැනෙන වේදනාව අදත් ඇතුලු හදේ දැනෙන්නට වූවේය.

කොර කකුලක් තියෙන මට කෙල්ලෙක් කැමති වෙයිද ?

මේ මනෝභාවය ඉදිරියේ තවත් වේලා රැදී ඉන්නට ඔහුට අපහසුය. තාත්තා මිය ගිය දිනයේ සිට තමා සහ මලනුවන් ලොකු මහත් කරන්නට වෙර දැරූ මවත්, අකලට වියලී ගිය ඉපලක් බදු ඇගේ වතත් සිහිවන වාරයක් පාසා මිත්ර ගේ සිත වෙඩරු පිඩක් මෙන් උණු වෙයි. නෙතු දෑලේ කදුලක් උපදී. කෙසේ හෝ මුල් වාරයේම විභාගය හොදින් සමත් වී ඉංජිනේරුවකු ලෙස සාමාර්ථය ලබා මවගේ ඉදිරි ජීවිතය සැපවත් කරමි යන උදාර සිතිවිල්ලෙන් පණ ගැන්වුන මිත්ර රූබර යුවතිය පසෙක තබා එදින පුස්තකාලය තුල විසදන්නට අධිටන් කල ගණිත ගැටලු වෙත යොමු වූවේය.

.......................................................................................................

හිතේ පවතින දැඩි අධිෂ්ඨානය නිසාම මිත්ර අසල සිටගෙන සිටින යුවතිය ඔහුට සංවේදනය වූයේ තත්පර කීපයක පමාවකිනි.

අයියේ...

මිත්රගේ නෙතු යුග නිතර නතර වන රූපකායේ හිමිකාරිය ඔහු අසල සිටගෙන සිටින්නීය. ඇය අත ඇති හාෆ් ෂීට් කොළ කීපය දෙස ඕනෑවට එපාවට මෙන් බැලූ මිත්‍ර ඇගේ රූබර වත කමල දෙස නම් උමනාවෙන් බැලුවේය.

ඇයි නංගි...ඔහුගේ සැලෙන කටහඬ ඇයට ඇසුනාදැයි සැක සිතෙන තරම්ය.

මේ ගානක් තියෙනවා...අපි හදන්න හැදුවට හදාගන්න බෑ...අපි ඉතින් විභාගෙ ලියන්නෙ ලබන අවුරුද්දෙනෙ...අයියා හෙට අනිද්දා ලියන්න ඉන්න කෙනා නිසා හදාගන්න පුලුවන් වෙයි කියලා හිතුවා..

මේ ගැටලුව පුස්තකාලයේ නොයෙක් දෙනා වෙත යොමු වී අවසානයේ තමා කරා පැමිණි බවක් මිත්‍ර දැන සිටියේ නැත. ධ්‍යානයකට සමවැදුන කෙනෙකු මෙන් නිතරම ඉලක්කම් සමග හරඹ කරන ඔහුට අවට පරිසරයේ සිදුවන සිදුවීම් දැනෙන්නේ නැත.

විනාඩි කීපයක ඇවෑමෙන් ඉතාමත් පහසුවෙන් ගණිත ගැටළුව විසදුනි. එය විසදූ ආකාරය පිළිබද විස්තරාත්මකව දැනගන්නට ඇය මඳක් මිත්‍ර වෙත නැඹුරු වූවාය. ඈ වෙතින් හමනා සුවඳ විලවුන් සුවඳින් අමන්දානන්දයට පත් හෙතෙම ඉතාම මැනවින් ඒ කාර්යය අවසන් කලේය.

.......................................................................................................

උ/පෙල විභාගයට තවත් වසරක කාලයක් තිබුනත් මේ යුවතිය ඉතාම උත්සාහ වන්තය. ගම්පහ නගරයේ ප්‍රධානම කාන්තා පාසලේ ඉගෙනුම ලබන ඇගේ නම නිශානි බව මිත්ර දැන ගත්තේ දිනක් ඔහු වෙත ඉදිරිපත් කල ඇගේ ප්‍රශ්න පත්‍රයක තිබී අහම්බෙන් නෙත ගැටීමෙනි.

පුස්තකාලයේ පාඩම් කරන කොටසේ විභාගයට සූදානම් වන පිරිස අතරේ ගණිත අංශයේ ප්‍රමුඛයා මිත්‍ර බව ඒ වන විටත් බොහෝ දෙනා දන්නා රහසක්ව පැවතින. මේ විෂයට ඔහු දක්වන දක්ෂතාව නිසාම දිනපතාම නිශානි ගෙන එන ගැටලුවක් දෙකක් විසදන්නට ඔහුට සිදු වුවද හෙතෙම එයින් සතුටක් ලැබුවා මිස කෝප වූයේ නැත.

තමාගේ සිත සොරාගත් යුවතිය වෙත මෙලෙසින් උපකාර කිරීමට ලැබීම මිත්ර වෙත ගෙන ආවේ බලවත් ආශ්වාදයකි. විභාගයට තවත්  දිණ කීපයක් වෙද්දී සිතේ සිරවී ඇති සිතිවිලි වචන බවට පෙරලන්නට ඔහුට හැකි වූවේය.

මම ඔයාට කැමතියි නංගි...තම මිතුරන් සැමටම රහසින් ඔහු එසේ කියන්නට ඇත. එහෙත් වම් කකුලේ කොරයක් සහිත මිත්‍ර වැනි තරුණයෙකු වෙනුවෙන් තම හදවත දන්දෙන්නට ඇය පාරමීදම් පුරන්නියක නොවුනාය. මිත්ර වෙත සිහින් වේදනාවක් දැනුනද ඒ වේදනාවත් තමාගේ සවියට ගෙන උ/පෙ කඩඉම ඉතා හොඳින් ජයගෙන පේරාදෙණිය විශ්ව විද්‍යාලය වෙත පිවිසෙන්නට මිත්‍ර වාසනාවන්තයෙක් වූවේය.
......................................................................................................
විශ්ව විද්‍යාලය තුල කටයුතු ආරම්භ වුවත්, එහිම නවාතැන් ගෙන සිටියත් මිත්‍ර හට ගම්පහ පුස්තකාලය අමතක කරන්නට නොහැකිය. තමාගේ සාර්ථකත්වයට පිටිවහලක් වූ මෙම ස්ථානයට හැකි සෑම විටෙකම පැමිණීම ඔහුට සතුටකි.

එලෙස පැමිණෙන සෑම විටෙකම විභාගය ජයගන්නට වෙර දරණ නිශානි ඔහුට දකින්නට ලැබෙයි. දෙවන වර පළමු හමුවීමේදීම මිත්‍රගේ ජයග්‍රහණය පිළිබඳ තම සුභාශිංෂණ එක් කරන්නට ඇය අමතක නොකලාය. අතීතයේ මෙන් ඇයත් ඇගේ යෙහෙලියනුත් හැකි සෑම විටෙකම මිත්‍රගේ සහයෝගය ලබාගන්නේ ඔහු මේ මග සාර්ථකව තරණය කල නිසාවෙනි. කිසිදු නිරහංකාරකමකින් තොරව තමාගේ යහපත වෙනුවෙන් ලබාදෙන ගුරුහරුකම් නිසාදෝ ඇගේ හද ගැඹේ උපන් ආගන්තුක හැගීමකට ඇය ආදරය යනුවෙන් නම් තැබුවාය. අවසානයේ මිත්‍ර සහ නිශානි ප්‍රේමයෙන් වෙලුනෝය.


කලින් වතාවෙ බෑ කියපු එකී මේ වතාවෙ කැමති වුනේ මිත්‍රයා දැන් ඉංජෙක් වෙන්න ඉන්න හින්දා...ගෑණු ඔහොමම තමයි බං...වාසි අතට හෝයියා...

ප්‍රේමයේ විප්‍රයෝගයේ රස ඇති පදමට විඳ ඇති පුස්තකාල පාඩම් කොටසේ එකෙකු දිවා විවේකයේදී මේ නවයොවුන් ප්‍රේමය එලෙස දුටුවේය. අවට සිටිනා උන් කියනා කිසිදු දෙයක් කණකට නොගත් මිත්‍ර තම පැපැදිය අාපසු එන ගමනේදී ලබාගන්නා අටින් ඇගේ අත අල්ලාගෙන සෑම දිනෙකම හිරු අවරට යන හෝරාවේ ගම්පහ නගරය ඔබමොබ ඇවිද ගියේය.

අපේ තාත්තා අදුනන කෙනෙක් දැක්කොත් මට පුස්තකාලෙ එන්න දෙන එකකුත් නෑ අයියෙ...

නිශානිගේ දුක්ගැනවිල්ල නිසාම මිත්‍රගේ ගමන් මාර්ගය අතුරු මාර්ග කීපයකට පමණක් ක්‍රම ක්‍රමයෙන් සීමා වූයේය. ඔහුගේ ආදරය පරවි රැජිනියක් සේම අවිහිංසකය, අලුත් කලයක පිරිසිදු ජලය සේ නැවුම්ය, පිල් විදහා ගත් මොණර රාජයෙකුට දැනෙනා තරමේ ආඩම්බරයක්ය. පුස්තකාලයේ රූබර ළදක් සමග පෙම් සබඳතාවක් ඇරඹීම පහසු නැත. ඒ බව දන්නා මිත්‍ර තමා ගැන ආඩම්බර වීමේ වරදක් නැත.

.......................................................................................................

මිත්‍ර මෙන් නැතිබැරි පවුලක ඉපදී නැති ඔහුගේ පෙම්වතිය ඇතිහැකි පවුලක එකියකි. ඇගේ පියා නීතිඥයෙකි. මේ සාධක හමුවේ අනියත බියකින් ඔද්ගැනුන මේ ප්‍රේමවන්තයාගේ සිත නිතර සැලෙයි. නිශානි කවදාවත් වෙනස් වෙන එකක් නෑ.  එලෙස සිතීමෙන් තාවකාලිකව ගැටලුව අමතක කරන්නට මිත්‍ර රිසි වූවේය.

නිශානි උ/පෙ විභාගයට ලීවාය. ප්‍රතිඵල අපේක්ෂවෙන් සිටින ඇයට මිත්‍ර සමග පෙම් කෙලින්නට ඕනෑ තරම් කාලය තිබේ. ඔහු වැනි තරුණයෙකුට දෙමාපියන් අකමැති නොවනු ඇතැයි යන සිතුවිල්ල ඕනෑවටත් වඩා විශ්වාස කල නිශානි තම දෙමාපියන් වෙත මිත්‍ර හඳුන්වා දෙන්නට පසුබට නොවුනාය.

මොකද පුතා කකුල...ඇවිදිනකොට තරමක කොරයක් තියෙනවා නේද..මගෙ යාලුවෙක් ඉන්නවා හොඳ දොස්තර කෙනෙක්...අපි පෙන්වලා බලමු. යන වියදම් ගැන පුතා වද වෙන්න එපා. ඒවා මම බලාගන්නම්.

පළමු හමුවීමේදීම ඇගේ පියා මිත්‍රගේ ආබාධය පිළිබඳ සැළකිලිමත් වූවේය. එදා ඔහු මේ නිවසින් සමුගත්තේ වෛද්‍ය පරීක්ෂණය උදෙසා සහභාගි වන්නට දිනයක් ගිවිසාගැනීමෙනි.

.......................................................................................................

මිස්ටර් මහවත්ත...කොල්ලා කොච්චර හොඳ උනත්, උගත් කම තිබුනත් මේ කසාදය කරලා දුවගෙ අනාගතය අඳුරු කරගන්න එපා. මිත්‍රට තියෙන්නෙ කලාතුරකින් හැදෙන ලෙඩක්...මාංශ පේශීන් හැදෙන වේගයට වඩා මැරෙන වේගය වැඩි නිසා එයාගෙ කකුල් වල ශක්තිය අඩු වෙලා. තව කල් යද්දි ඔය කොරය තව තවත් වැඩි වෙනවා. එතකොට ඇවිදින්නම බැරි තැනට එයි. මේ වගේ ලෙඩෙක්ව හොඳ කරන්න විදියක් තවම හොයාගෙන නෑ. දුවගෙ අනාගතය ගැන හිතලා හොඳ තීරණයක් ගන්න.

ඉකුත් සතිය වන තෙක්ම තමාගේ තුරුලේ හිඳිමින් පෙම්බස් දෙඩූ යුවතියකට මෙතරම් ඉක්මනින් වෙනස් වෙන්නට හැකි වේ යැයි මිත්‍ර කිසි දිනක විශ්වාස කලේ නැත. ඇගේ දෙමාපියන් හමු වී පැමිණ සති දෙකක් පමණ ඇවෑමෙන් දෙමාපියන් මේ සබඳතාවට අකමැති බව පැවසූ ඇය සබඳතාව බොහෝ පහසුවෙන් විසන්ධි කර දැමුවාය. දුරකථන ඇමතුමකට පවා පිළිතුරු නොදුන් නිෂානි විරහා වේදනා නැමති සෝ සයුරේ කර වටක් දක්වා මිත්‍ර රැගෙන ගියාය. ආදරය මේ තරම් දුකක් බව කලින් දැන සිටියා නම්....නොයෙක් වර මිත්‍ර එලෙස කල්පනා කරන්නට ඇත.

නිශානිගේ ආදරය අහිමිවීම මිත්‍ර හට මහත් වේදනාවකි. මේ කරුම ලෙඩේ හැදුන වෙලේ මමත් මැරිලා ගියා නම්...එහෙත් මෑණියන්ගේ ගුණ සුවඳ දැනෙන සෑම විටෙකම ඒ සිතුවිල්ලෙන් මිත්ර ක්ෂණිකව බැහැර වූවේය.

.......................................................................................................

විරහා වේදනාව කෙමෙන් කෙමෙන් හීන වී යද්දී මිත්‍ර පේරාදෙණිය සරසවියෙන් ඉංජිනේරු උපාධිය අවසන් කර පහුණුවන කාර්මික ඉංජිනේරුවකු ලෙස ලංකාවේ නම ගිය ආහාර සැකසුම් කරනා සමාගමක සේවයට බැදුනේය. කාර්යශූර බවත්..විෂයෙහි දැක්වූ ප්‍රවීණතාවත් නිසාම කෙටි කලකින් ප්‍රධාන ඉංජිනේරුවෙකු තරමට ඉහළට පැමිණි මිත්‍ර මේ සමාගමේ නවතම කර්මාන්ත ශාලාවේ සියලුම යන්ත්‍ර සූත්‍ර තමාගේ අභිමතය පරිදි සවි කිරීමට වරම් ලද්දේය. ඒවා මිළදී ගැනීම පිණිස රටවල් කීපයක සංචාරය කරන්නටද ඔහුට අවස්ථාව ලැබුනේය. මේ සවිකිරීම් සියල්ලම ඉතාම මැනවින් සිදු වූ නිසා ආයතනය ඔහු කෙරේ වඩ වඩාත් පැහැදුනේය.


රැකියාව අතින් කෙතරම් ඉහළට ගියත් මේ අතර තුර කාලයේ මිත්‍රගේ සෞඛ්‍ය තත්වය බොහෝ සේ පිරිහුනි. ඔහුගේ වම් කකුල ඔසවාගෙන පියගැට පෙලක් නැගීම පවා අපහසු වූවේය. සමකාලීන වෘත්තීය සගයන් නවීන රථ වාහන පාවිච්චි කලත් මිත්‍ර එසේ නැත. තමාගේ සෞඛ්‍ය තත්වය නරකම අතට හැරුන පසු මෙතෙක් සේවය කල ආයතනයේ සේවයෙන් ඉවත් වී කුළුබඩු සම්බන්ධ තමාගේම ආයතනයක් සුළුවෙන් පටන් ගන්නට මිත්‍ර කටයුතු කලේ ලබන වැටුපට සරිලන සේවයක් තව දුරටත් සැපයීමට තමාට නොහැක යන මතයේ එල්බගෙන සිටි නිසාවෙනි.

පුද්ගලික විශ්ව විද්‍යාලයක් හරහා ඉංජිනේරු උපාධියක් ලද නිෂානිට දැන් නව පෙම්වතෙකු සිටියි. ඔහු සමග ගත් විවිධාකාරයේ ඡායාරූප වලින් ඇගේ මුහුණු පොත සැරසෙද්දී, ඇගේ යෙහෙලියන් මේ දෙදෙනා ඉතාම ගැලපෙන යුවලක් බව කීවෝය. මිරිස් සැර ඉහවහා ගිය, අධික ශබ්දයකින් යන්ත්‍ර සූත්‍ර ක්‍රියාත්මක වන පරිසරයක සිටියද, ගතින් කෙතරම් දුර්වල වුවද මිත්‍ර මානසිකව ඉතාම සංසුන්ය. මෙතරම් ගැටලු හමුවේ යළි නැගිටින්නට නොහැකි ලෙස ඇද වැටෙන බොහෝ දෙනෙක් සිටිනා සමාජයක විරහා වේදනා, ශාරීරික පීඩා අතරින් තමාගේ ඉලක්කය කරා ගිය මිත්‍ර වීරයෙකු නොවන්නේද ?

දිනෙන් දින කායික ශක්තිය අතින් දුර්වල උවත් තවමත් මිත්‍ර නව යන්ත්‍ර උපකරණ පිළිබඳ සිත යොමු කරන්නේ බාධක හමුවේ පෙරට යන පුදුමාකාර ශක්තියක් ඔහු තුල තිබෙන බැවිනි. ජීවිතයේ එක් අන්තයක් කඩා වැටෙන කල්හි තවත් අන්තයකින් ජයග්‍රහණය ලබැගැනීම බොහෝ පිරිසකට කල නොහැකි කාරියකි. ඒ අතලොස්ස අතරට මිත්‍රගේ නමද ලියවිය යුතුමය.



මම කාමරේ අරින සිරා කොලුවා.



ප.ලි

සිරා කොලුවා ගම්පහ පුස්තකාලයේ පාඩම් වැඩ කරනා සමයේ මේ සත්‍ය කථාවේ ඔබට හමු වූ චරිත දෙකම දුටුවෙමි. කථා බහ කළෙමි. ඔවුන්ගේ සැබෑ නම් වලට කිට්ටුවෙන් යන නම් දෙකක් චරිත හැදින්වීම පිණිස යෙදුවෙමි. එවකට මිත්‍රගේ අතේ එල්ලී පෙම් වදන් දෙඩූ ඇය අද දිනයේ නව පෙම්වතෙකු සමග පෙම්කෙලිනා අන්දම දකින කල මිත්‍ර හට හිතවත් කෙනෙකු ලෙස සිරා කොලුවාගේ සිතටද දුකක් කණගාටුවක් දැනුනේ වරක් දෙවරක් නොවේ. සිරාගේ කාමරයේ බූට් මාසයේදී මේ කථාව ඔබට පළමුවෙන්ම කියන්නට මා කල්පනා කලේ මේ සිතුවිලි වලින් මා ලද උත්තේජනය නිසාමය.

මිත්‍ර තම විෂය තුල ඉතාම දක්ෂයෙකු නිසා අපේ රටට කදිම සම්පතක් වන මේ වටිනා ජීවිතය රැක ගන්නට මිතුරන් ලෙස අපි අවස්ථා කීපයකදීම උත්සාහ කළෙමු. පාරම්පරික වෙද මහතුන් කීප දෙනෙකු වෙතම ඔහු ඉදිරිපත් කළෙමු. එහෙත් අවසානයේදී මිත්‍ර ලද සුවයක් නැත.

සිරා කොලුවා සිරිලංකාවට පැමිණි අලුතම මම මිත්‍ර හට දුරබණුවෙන් ඇමතුවෙමි. ආගිය කථා වලින් පසු මම ඔහුගෙන් ඇසුවේ අලුත් ආදර සබඳතාවක් නැතිද යනුවෙනි.

මට මොන ලව්ද බං ? ඔහු පෙරළා බොහෝ උදාසීනව මගෙන් විමසූවේ සිහින් සිනහා හඬක් මධ්‍යේ වුවත් මගේ ගැටලුව ඔහුට රිදුමක් වන්නට ඇති බව මම පසුව කල්පනා කළෙමි. 

ආදරය යනු හිමිකරගැනීමම නොවන බව බොහෝ අයගේ මතයයි. මමද ඒ මතයේම රැදෙමි. එවන් තැනක හිඳ ජීවිතය දෙස බලනවා නම් ආදරයෙන් පරාජිත වූ කෙනෙකුට දැනෙන වේදනාව බොහොම අවම බව මගේ හැගීමයි. සමහර විටෙක මිත්‍ර අද එතැන ඉන්නවා වන්නටත් පුලුවන.

Monday, February 1, 2016

74 පීතර මාමා

සිරා කොලුවා වාසය කොරන්නෙ ඉතින් ගම් තුලානක කියලා සිරාගෙ කාමරය ඇතුලෙ නොයෙක් වර ලියවිලා තියෙනවා නොවැ. මැලේසියාවෙ ඉදලා මෙහෙට පාත් උනාට පස්සෙ ගමයි නගරයයි අතර වෙනස මට හොඳට දැනුනා. සතියක් දෙකක් යනකං කාලෙකට පස්සෙ විඳින ගමේ වෙල් ඉපනැල්ලෙ සුවඳ එක්ක ඉස්සර දවසක පුංචි සන්ධියෙ අපි කරක් ගැහුව ඉසව් වලට වෙලා අතීතයේ දවසක හිත නතර කරගෙන ඉන්න බොහොම ලොකු කැමැත්තක් තමයි මට ඇති උනේ. ඒ විදියට ගත උන හැම තත්පරයකදිම පුංචි දරුවෙක් කාලෙ මගේ ඉතිහාසය ආයෙමත් මට මැවී පෙනුනා. ඉස්සර අපි එල්ලෙ ගහපු, සරුංගල් යවපු, කොහිකිරිල්ල දාලා බට තුවක්කු වලින් වෙඩි තියාගත්ත අපේ ගම්මානය තවමත් ලොකු විපර්යාසයකට ලක් වෙලා නෑ. වෙනසකට තිබුනෙ ගම්වාසීන් ලබා තිබුන භෞතික දියුණුව සහ ඒ අවධියෙ දෑස මානයෙ හිටිය සමහර චරිත පොළව යට සැතපී සිටීම පමණයි. අද කාලෙ පොඩි උන් වෙල් යායෙ කරක් ගහන්න යන්නෙ නැති නිසා ඒ පරිසරය අපේ ඉතිහාසය සිහිවෙලා සියුම් දුකකින් බලාන ඉන්න බවක් මට දැනුනෙ.

මම ලංකාවෙ හිටියෙ නැති මාස 30 ක කාලය තුල ගම් වැසියො අතර අරටු වගේ ජීවත් උන කීප දෙනෙක්ම තීන්දු ගමන් ගිහින් තිබුනා. කවුරු කවරුත් ආගිය තොරතුරු අහලා ඊළගට අහන්නෙ ආයෙමත් යනවද කියන පුරස්නෙ. අනේ නෑ..මගෙම කියලා වියාපාරයක් අටවගෙන සිරි ලංකාවෙම ඉන්න කැමතියි කිව්වම ඒ ඇත්තොත් බොහොම සතුටු උනා. ඊළගට අහන්නෙ ඉතින් මට බොහොම සුපුරුදු පුරස්නයක්...

බඳින්නෙ නැතෙයි ?

බඳින්න කෙල්ලෙක් නැතිය කිව්වම ඉතින් අටෝරාශියක් පුරස්න...ඔය හැම එකටම හිනාවෙලා උත්තරයක් දෙන එකත් ටිකෙන් ටික මගේ දිණ චරියාවට එකතු උනා. අපේ වත්ත පහළින් තියෙන බිම් කොටස මගේම කියලා නිවසක් තනාගන්න අරමුණින් සංරක්ෂණය කලාට මේ භූමිය ඉස්සර දවසක වී අස්වැන්න ලබා දුන්න කුඹුරක්...එත් කාලයත් සමග මේ කුඹුරෙන් ලැබෙන ඵලදාව බොහොම අඩු මට්ටමකට වැටුනට පස්සෙ මගේ පියතුමා කලේ කුඹුරෙ අගල් කීපයක් කපා ඒ පස් වලින් කුඹුර ගොඩවෙන්න සැලැස්වීම. දැන් ඉතින් මයියොක්කා පොල්, තැඹිලි වගේ භව භෝග බොහොම සරුසාරෙට හැදිලා තියෙනවා. කොටින්ම කියනවා නම් බොලව් පොල් කඩන්නෙ කකුල් දෙකෙන් හිටං.

කාලයකට පස්සෙ වත්තට බහිනකොට මේ ඉඩම කැලෑවෙන් යටවෙලා තිබුනෙ. මගේ ආගමනයෙන් පස්සෙ සිදු කෙරුන ප්‍ර‍ථම රාජකාරිය උනේ කැලෑව අස්සෙන් ඉඩම මතු කරන කාරිය. සතියක් දෙකක් ඇවෑමෙන් ඒ කාරිය බොහොම අපූරුවට ඉෂ්ඨ සිද්ධ උනා. මගේ තනි මහන්සියෙන් කැලෑව නොපෙනී ගියා.

මේ ඉඩම් කෑල්ලෙ ඉදලා වටේට බැලුවම පෙනෙන දර්ශනය බොහොම සුන්දරයි...වටේටම තියෙන කුඹුරු යාය දිගේ හමන හුළග බොහොම සිසිලසයි. කොන්ක්‍රීට් යායක කාලයක් වාසය කල සිරා කොලුවගෙ ඇස් දෙකටත් මේ පෙනෙන කොළ පැහැය බොහොම සුවදායකයි.

ඔන්න ඔය විදියට මගේ දිනචරියාව එක්ක කාලය ගත වෙලා ගියේ වෙනදා වගේම ටික් ටික් හඩින්. ඔය අතරෙ ඊයෙ පෙරේදා දවසක උදේ වරුවෙ එකා දෙන්නා බැගින් එකතු වෙලා මහා ජන සමූහයක් අපේ වත්ත පිටිපස්සෙ වෙල් යායෙ එක තැනකට ඒකරාශි වෙලා තිබුන වගක් සෑහෙන වෙලාවක් යනකං සිරා කොලුවගෙ අක්මාවට දැනුනෙ නෑ.

පිටිපස්සෙ කුඹුරු යාය මැද්දෙ සෙනග ගොඩාක් ඉන්නවා...අවට පරිසරයේ පාවෙලා ගිය ඕපයක් මගේ කනටත් වැටුනා...මමත් ඉතින් තකහනියක් වෙල් යායට සේන්දු උනේ හිතේ ඇතිවුන කුතුහලය හින්දම තමයි.

අධිබලැති විදුලි රැහැන් පද්ධතියක් කුඹුරු යාය හරහා ගමන් කරන ස්ථානයේ තරමක සෙනග පොදියක් එකතු වෙලා. හැමෝම විස්සෝපයෙන් වගේ බලාන ඉන්න කාරණේ තවමත් පැහැදිලි නෑ. කකුලේ ඇගිලි අස්සෙන් නියරේ මඩ චුරු පනිද්දි මමත් මේ ජනකාය අසලට ලං උනේ හිතේ කුතුහලයට සමුදීමේ අරමුණින්.

සුදු පාට පොලිතින් කවරයකින් සහ චීත්ත රෙද්දකින් වැසුන සිරුරක් වගා නොකල කුඹුරු ඉඩමක මුනින් අතට සැතපිලා තිබුනා. ඉටි රෙද්දෙ කෙළවර කකුල් කෙටි දෙක වහන්න තරම් දිග නැති නිසා ඒවා අව් කාෂ්ඨකේ පිච්චෙමින් තමයි තිබුනෙ.

කවුද බොලං මේ වැටිලා ඉන්නෙ...මම දන්න අදුනන හාදයෙකුගෙන් විමසුවා...

පීතර මාමා ....ඊයෙ රාත්තිරියෙ කුඹුරෙ වතුර බදින්න කියලා ගෙදරින් ආවලු අද පෝර ගහන්න කියලා. එළිවෙනකං ගෙදර නාව නිසා හොයලා බලද්දි තමයි මෙතන වැටිලා ඉන්නවා හොයාගෙන තියෙන්නෙ. 



සිරා කොලුවා දන්න කියන කාලෙ ඉදලම තරමක අහංකාර චරිතයක් වෙච්ච පීතර මාමා ගැන ගමේ ගොඩාක් අයගෙ ලොකු කැමැත්තක් තිබුනෙ නෑ. බොහෝ වෙලාවට අහළ පහළ උදවිය එක්ක එහෙමත් නැත්තං තමන්ගෙ කුඹුරට යාබද කුඹුරු හිමියො එක්ක ආරියාදුවටම ගිය බවක් තමයි මට මතක තියෙන්නෙ. මිනිහගෙ කුඹුරට වතුර මදි නම් අල්ලපු කුඹුරට හෙණ ගැහුවත් කමක් නෑ මම වතුර අරගෙන කියලා හිතන තාලෙ මිනිහෙක්. ඒ නිසාමදෝ මට නම් කිසිම කණගාටුවක් උන්දැ ගැන ඇති උනේ නෑ.

වතාවක් තමන්ගෙ වත්තට යාබද වත්තෙ මායිමට වෙන්න තිබුන කොස් ගහක් ගැන කථා බහක් ගිහින් පීතර මාමා ඒ ගෙදර පුත්තරයා අලුතින් කැන්දගෙන ආව මනමාලිට හොද කුණු හබ්බ වලින් සලකලා තිබුනා. මේ කාන්තා පරාණෙ මේ ගැන තමන්ගෙ සැමියට පැමිණිලි කලාට පස්සෙ දෙපැත්ත හොද ගානට ගිණි ගත්තා. ගින්න කොච්චර දුර දිග ගියාද කියනවා නම් පීතරයගෙ හතර හන්දි කඩලා ඉස්පිරිතාල ගත කරන්න ඒ ඇත්තො කටයුතු කලා.

මේ කොස් නඩුව සෑහෙන දොහක් අධිකරණයේ විභාග උනා. තීන්දුව ලැබුනද...තවම නඩුව යනවද කියලා මම නම් දන්නෙ නෑ. ඒත් ඉතිං ඉඩම් නඩුවක් පරම්පරා ගානක් ඉදිරියට යන ශාපයක් නිසා තවම ඉවර වෙන්න විදියක් නෑ.

කොස් ගෙඩියට..කුඹුරට ලැබෙන වතුර ටිකට මිනිස්සු එක්ක මරා ගත්ත පීතර උන්දැට මොකද හැබෑටම උනේ බලන්න තවත් කීප දෙනෙක් එක්ක එකතු වෙලා පොලිතින් ආවරණය ඉවත් කොලා. හුග කාලෙකින් ඔහුගේ රුව මම දැක්කෙ.  පීතර උන්දැ බොහොම වයසට ගොහින් මග ඇවිදගන්න බැරි තරමටම වයසට ගොහින්. සම්පූර්ණයෙන්ම සුදු වෙලා තිබුන හිසකෙස් කුඹුරෙ තණකොළ අස්සෙන් කැපී පෙනුනා. වම් අතේ හැරමිටිය වගේම දකුණු අතේ විදුලි පන්දමක් තවම අත් වලට හිරවෙලා. මුනින් අතට වැටිලා තියෙන දේහයේ මුහුණ අසල ලේ බින්දුවක් දෙකක් ගලාගිය ලකුණු පේන්න තියෙනවා.

මේක මිනීමැරුමක් වෙන්න බෑ...මේ මනුස්සයා දන්න කියන කාලෙ ඉදලම ඉතින් වෙල් මත්තෙයි ඉඩම් මත්තෙයි නැහුන මිනිහෙක් නොවැ. මෙච්චර ලොකු පුත්තරයො ඉද්දි තණ්හාව වැඩි කමට තමයි තනියම තවමත් මේ කුඹුරු කරන්නෙ. ගමේ කෙනෙක් එහෙම කිව්වා.

එහෙමමත් නෙමෙයි....පුත්තරයො තම තමන්ගෙ පවුල් ජීවිත ගැන බැලුවා මිසක මේ වයසක ජෝඩුව ගැන බැලුවෙම නෑ. නැත්තං රාත්තිරියෙ ගෙදරින් ගිය මිනිහා හොයන්න උදේ වෙනකං ඉන්නවද....පීතර ගොයියගෙ නෝනා අසනීප වෙච්ච දවසෙ ඉදන් ගෙදර උයන පිහන රාජකාරි කලා කියන්නෙත් මුන්දා නොවැ.. තවත් කෙනෙක් එහෙම කිව්වා.

ඉස්සර දවසක අපේ අසල්වැසියො වෙච්ච ජෑස් කොල්ලගෙ ඇඹේනිය වෙච්ච විමලාවතී උන්දැට කරුවලේ මොකෙක්ද සරුපයෙක් දෂ්ඨ කොරලා බොහොම වේදනාවෙන් ඇඹරි ඇඹරි ඉන්න වෙලාවෙ උදව්වට ආවෙ මේ කියන පීතර ගොයියම තමයි. එදා ඉතින් සිරා කොලුවා බොහොම පුංචි එකා. විමලාවතී උන්දැට බේත් කරන්න පීතර ගොයියව ගෙන්නුවෙ අපේ ගමේ අත් බේතක් කාරිය කොරගන්න පුලුවන් මිනිහෙක් විදියට උන්දැට තිබුන කීර්තිනාමය හින්දයි.

මොණර පිහාටු කීපයක් සහ පීතර ගොයියගෙ වත්තෙන්ම හොයාගත්ත තවත් අඩු වැඩිය අටෝරාශියක් එක්ක විමලාවතී උන්දැ ලගින් වාඩි උන පීතර උන්දැ..ලී වංගෙඩියක බේත් බඩු ටික දාගෙන කොටපු හැටි මට තවමත් මතකයි. තලපයක් වගේ මේ අඩුවැඩිය හදාගෙන අවසානෙට බොහොම සුවිශේෂී දෙයක් මිනිහට උවමනා උනා.

කොල්ලො මේ පොල්කට්ටට හුජ්ජ කරහංකො...උන්දැ මට කිව්වා.

එහෙත් ඒ වෙද්දි සිරා කොලුවගෙ මුත්තරා බොක්ක හිස් කරලා තිබුන නිසා ඉල්ලුමට සැපයුම දෙන්න විදියක් තිබුනෙ නෑ. පීතර ගොයියා සිරා කොලුවට දික් කරපු පොල්කට්ට උස්සගෙන අපිට එහායින් තිබුන තවත් ගෙදරකින් ඊට පස්සෙ උවමනාව සම්පූර්ණ කරගෙන ආවා. මේ සංයෝගෙ කකුලෙ ආලේප කලාට පස්සෙ විමලාවතී උන්දැගෙ වේදනාව ටිකෙන් ටික අඩුවෙලා ගිය බවක් මට මතකයි.

කොහොමින් කොහොම ගිණි ගහන ඉර අව්ව යට බාගෙට ආවරණය වෙච්ච පොලිතින් කවරයකින් වැහුන පීතර ගොයියගෙ දේහය තණ කොළ ගොල්ලක මුණින් අතට සැතපිලා. මඩ ගෑවුන වයසක නිරුවත් දෙපා යුග දිහා මම මොහොතක් බලා උන්නා. මේ කකුල් දෙකෙන් මේ තරම් කාලයක් මොන තරම් දුරක් ඇවිදින්න ඇතිද...කොපමණක් මඩ පාගමින් තමන්ගෙ දරුවන්ට බත සම්පාදනය කරන්න ඇතිද. කී දෙනෙක්ට අංචි අදින්න ඇතිද ? පීතර ගොයියගෙ ගතිගුණ කොහොම උනත් ගම් තුලානක මිනියක් තනි කරලා යන සිරිතක් ගම්මුන්ට නෑ. පොලෝසියෙ ඇත්තො පැමිණෙන විටත් මහ සේනාවක් පීතර ගොයියට තනි රකිමින් වෙල් යායෙ උන්නෙ ඒ නිසාමයි.

පීතර උන්දැ එක්ක නඩු කියපු ඇත්තෙක් මිනිය ලගට එන්න  පසුගාමීව ඈතින් බලාන උන්නා. ඔහුගේ ඉරියව් දිහා මම ඉතාම විමසිල්ලෙන් බලා ඉද්දි මට හිතුනෙ ඔහුගේ චිත්ත සන්තානය විසින් ඔහුව වරදකරුවෙක් කර ඇති වගක්. ඒ ඇත්තගෙ මුහුණින් විශාල පසුතැවිල්ලක සේයාවක් තමයි මම එදා දැක්කෙ.

අපි හැමෝම දවසක පීතර උන්දැ ගිය මේ ගමන යනවා. ඒ වන තෙක් තමයි මේ සියලු සැණකෙළි...සල්ලිකාරයා, බලවතා, දුගියා, උගතා කියලා භේදයක් නැතුව හැමෝටම ඒ අවස්ථාව නිසැකවම ලැබෙනවා. ඉතින් එදාට මොනවද අපි ගෙනියන්නෙ. මරණාසන්න වෙලාවෙ මොනවද මතක් කරන්නෙ.  ඒ නිසා අත පය වලංගු වෙලාවෙ දන්න නොදන්න සැමටම යහපතක්ම කලොත් තමයි හොද.

තමන්ගෙ තරුණ කාලෙ එහෙම හැසිරෙන කිසිවෙකුට..තමන්ගෙ සැදෑ කාලයෙදි, ලග නැති සිල්වත් කමක් බොරුවට අරෝපණය කරගෙන පන්සල් පල්ලි වල පදිංචි වෙන්න උවමනා වෙන්නෙ නෑ. පීතර උන්දැගෙ නිවසට ගොහින් ඒ දේහයට අවසන් ගෞරව දක්වපු වෙලාවෙ මට එහෙම හිතුනා. මරණයට හේතුව හිසේ නහරයක් පිපිරීම කියලා පස්සෙ දවසක දැනගන්න ලැබුනා.

එදා ඉදන් කරක් ගහපු...දහස් වර පයට පෑගුන තැනක ලොවට රහසේ මැරෙන්න පීතර උන්දැ කවදාවත් හිතලා තිබුනෙ නැති බව සහතිකයි. අපි නොහිතන නොපතන දේම සිදුවෙන ලෝකෙක මේ තවත් එක් සාමාන්‍ය සිදුවීමක් පමණයි.



මම කාමරේ අරින සිරා කොලුවා




ප.ලි...

පෙබරවාරිය බූට් මාසයක් කරන්න කලින් හිතා හිටියත්..පීතර උන්දැ ගැන මට ලියන්නම හිතුනා...බූට් මාසයට තවමත් ලිපි බාරගන්නවා. ඔබේ බූට් අත්දැකීම අකුරු කොරලා සිරා කොලුවට ඊ ලිපියක් ලෙස එවන්ට අමතක කරන්න එපා එහෙනං. බූට් කාලා හිත වට්ටගෙන මැරෙන්න හිතෙන උන්ට මෙවැනි අත්දැකීම් ලියන එක ලොකු සහනයක් .
Related Posts Plugin for WordPress, Blogger...