Sunday, March 27, 2016

47 රුධිරය සමග බාර ඔප්පු කරනු දුටිමි. (සංවේදී දසුන් සහිතයි)

සංවේදී හදවත් ඇත්තන් මේ ලිපිය කියවීමෙන් වළකින්න. මෙම ලිපියේ ඇති ඇතැම් ඡායාරූප ඔබට පීඩාකාරී විය හැක.

ජීවිතය යනු මේ යැයි නිශ්චිත අර්ථ කථනයක් දෙන්නට අපහසු දෙයකි. දුක සතුට, නින්දා ප්‍රශංසා, යස අයස මැදින් ජීවිතය ගලන්නේ බාධක මතින් ගලා යන ගංගාවක් පරිද්දෙන් බව බොහෝ දෙනාගේ අදහසයි. තම ජීවිතය හමුවේ නොනැවතී හමුවෙන කරදර බාධක හමුවේ දුර්මුඛව යන ඇතමෙක් ඇසට නොපෙනෙන දෙවියන්ගේ පිහිට යඳිති. භාර හාර වෙති. තවෙකෙකු අනාගතයේ ලබන්නට සිහින දකින දෙයක් වෙනුවෙන් භාර හාර වෙති. දෙවියන් නමඳිති. 

තමා එතෙක් මුහුණ දුන් කරදර බාධක අවහිර, රෝග පීඩා ආදිය කෙමෙන් පහව ගිය කල, නැතහොත් අතීතයේ දිනෙක ප්‍රාර්ථනා කරන ලද යමක් අත්පත් කරගත් විට දෙවියන් ඉදිරියට පැමිණ ඒ වෙනුවෙන් ස්තූතිවන්ත වෙමින් තමා විසින් සිදුකල පොරොන්දු ඉටු කිරීම සාමාන්‍ය ක්‍රමවේදයයි.

පූජා වට්ටි, මල්, පහන්, සුවඳ දුම්, පඬුරු පාක්කුඩම් හෝ සත්ව බිලි මේ අරභයා පුද දෙන වග අපි දනිමු. එහෙත් තමාගේම ශරීරයේ රුධිරයෙන් බාර හාර ඔප්පු කරනු මම මගේ ජීවිතයේ පළමු වතාවට පසුගිය මහ සිකුරාදා දින මීගමුවේ ක්‍රිස්තියානි පල්ලියකදී දුටිමි. අද ලිපිය ඒ ඔස්සේ ලියවෙන්නකි.

පසුගිය වර්ෂයේ දිනෙක වෘත්තීය ඡායාරූප ශිල්පියෙකු වන මයෙ මලයා අමුතුම ආකාරයේ ඡායාරූප කීපයක් මවෙත එවීය. ඒවායේ වූයේ ගලා යන රුධිරය සමග බාර ඔප්පු කල බැතිමතුන් කීප දෙනෙකුගේ ඡායාරූප කීපයකි. එතෙක් කිසි දින අසා හෝ දැක නොතිබූ මේ කාරණය ගැන සිරිලංකාවට පැමිණි දිනයක ලියන්නට මම එදා තීරණය කළෙමි. දැන් ඉතින් ඒ දවස එළැඹී තිබේ.

කාලයක් මීගමුව ඉසව්වේ ඇමරිකානු රතු කුරුස සමාජයේ රාජකාරියක නිරත වී සිටි මයෙ මලයා ඒ හරහා දැන හදුනාගත් ධීවර ප්‍රජාවේ බොහෝ දෙනෙකි. ඒ අතර ජීවිතාරක්ෂකයෙකු ලෙස මීගමු වෙරළ තීරයේ කටයුතු කල තරුණයෙකු ඔහුට වඩාත් හිතවත් වූවේය. ඉහත කී බාර ඔප්පු කිරීම මයෙ මලයා පළමු වරට දුටුවේ මේ මිත්තරයාගේ ආරාධනය නිසාවෙනි.

මෙවරද සිරිත් පරිදි බාර ඔප්පු කරන්නට මහ සිකුරාදා දින සැදැහැවතුන් පල්ලිය වෙත රැස් වෙන බව ජීවිතාරක්ෂක මිතුරා මයෙ මලයා හට වේලාසනින් සැළ කර තිබුනේය. එදා කෙසේ වෙතත් මෙදා ඒ ගමනට එකතු වන්නට සිරා කොලුවාටද හැකියාව ලැබුන බැවින් අද සිරාගේ කාමරයට යන එන ඔබට මේ ලිපිය කියවන්නට ලැබී තිබේ.

මහ සිකුරාදා ගිණි මද්දහනේ මමත් මලයාත් මීගමුව මුන්නක්කරේ නැමති ප්‍රදේශයේ වූ මේ කිතුනු පූජා භූමියට ලගා වන විට එහි බොහෝ පිරිසක් රැස් කකා සිටියහ. වෙසක් සමය සිහිගන්වමින් ප්‍රධාන මාර්ගයෙන් ඇතුලට යන්නට යන්නට, තාර යෙදූ මාර්ග කෙමෙන් කෙට්ටු වන්නට වන්නට විවිධ පැණි බීම වර්ග සහිත දන්සැල් ඉතාම සුලභ වූහ. පල්ලිය කරා යන බැතිමතුන් මෙන්ම මාර්ගයේ ගමන් කරනා අන්‍ය ආගමිකයන්ටත් මේවායේ සංග්‍රහයන් අඩුවක් නොමැතිව භුක්ති විදින්නට අවස්ථාව සළසා තිබුනි.


මමත් මලයාත් දන්සැලක දෙකක රස බලා කඩිනමින් පල්ලිය වෙත පැමිණියෙමු. අසුන් ගැනීම උදෙසා නිවසේ සිට රැගෙන එන අතේ රැගෙන යා හැකි විවිධ හැඩයේ කුඩා පුටු සමග ලොකු කුඩා කවුරුත් පල්ලිය වෙත පැමිණෙති.

පල්ලිය භූමිය තුලදී මයෙ මලයාගේ මිතුරා අපට සම්මුඛ වූවේය. නානාප්‍රකාර ජනතාව අතරින් ඔහු අප රැගෙන පල්ලියේ පිටුපස කොටසට ගියේය. එහි අද දින බාර ඔප්පු කරන්නට සූජානමින් පැමිණි සැඳැහැවතුන් එක් රැස් වී සිටියෝය.

පල්ලියේ ප්‍රධාන පියනම ඒ සැනෙකින් එදිනට නියමිත පූජාවේ වැඩ කටයුතු ආරම්භ කොට මඳ වෙලාවක් ගත වන විට බාර ඔප්පුකරන්නට පැමිණි අය තමන් එතෙක් හැඳ සිටි වෛවර්ණ වස්ත්‍ර ගලවා සුදු සරමට බැස්සෝය.

සුදු සරම විචිත්‍ර පටියකින් කිටි කිටියේ ගැට ගසා, තවත් සුවිශේෂී උපකරණ දෙකක් සමග ඔව්හු නැවතත් අපට සම්මුඛ වූයේ තවත් විනාඩි ගණනක් ඇවෑමෙනි.

වීදුරු කටු සහිත ඉටි බෝලය

වේවැල් මිටිය
ඔවුන්ගේ එක් අතක වීදුරු කටු සවිකල ඉටි බෝලයකි. අනෙක් අතේ සමාන කුඩා ප්‍රමාණ වලට කපන ලද වේවැල් පොකුරකි. මේවා යොදාගෙන මේ අය කරන්නට යන රාජකාරිය දෙස අරමුණකින් තොරව මම බලා සිටියෙමි.


මේ පිරිස අතර මයෙ මලයාගේ මිතුරාට අමතරව ඔහුගේ පියාද වූවේය. ඔවුන්ගේ රාජකාරිය ආරම්භ කරන්නට තවත් වේලා තිබූ නිසා සිරා කොලුවා වන මම මේ කාරිය පිළිබඳ වැඩි තොරතුරක් දැනගන්නට ඔවුනට සමීප වූයෙමි.

මොකක්ද අද මෙතන වෙන්නෙ. මම සුහදව විමසීමි.

අපි හැම අවුරුද්දෙම මහ සිකුරාදා දවසට කලින් අවුරුද්දෙ වෙච්ච බාර මේ විදියට ඔප්පු කරනවා. මම නම් සෑහෙන කාලයක ඉදන් මේ වැඩේට දායක වෙනවා. මේ අවුරුද්ද මගේ අන්තිම වතාව කියලා තීරණය කරගෙන ඉන්නෙ.  පුතා නම් 2000 අවුරුද්දෙ ඉදන් තමයි බාර ඔප්පු කරන්න සම්බන්ධ උනේ. 

අනෙක් පළාත් වල පල්ලි ඇතුලෙ මෙහෙම දෙයක් කරනවා අපි දැකලා නෑනෙ.

පල්ලිය ලගම ජලාශයක් වගේ දෙයක් තියෙනවා නම් තමයි මේ වැඩේ කරන්න පහසු. මොකද මේ කාර්යය මෙහෙයවන කෙනා පුද්ගලිකව හැම කෙනෙකුගේම ලේ පිහදාලා වතාවත් කරන්නෙ පල්ලිය ලගම තියෙන ජලාශයට බැහැලා. ගොඩාක් පල්ලි වලට එහෙම පිහිටීමක් නෑ. ඒ හින්දා වෙන්න ඕනෙ අනිත් අය කරන්නෙ නැත්තෙ.

මේ බාර ඔප්පු කිරීමට ලොකු ඉතිහාසයක් තියෙනවද ?

අපොයි ඔව්...මෙච්චර කාලයක් මේ කාර්යය මෙහෙයවපු කෙනා මේ අවුරුද්දෙදි නැති උනා. එයාට අපි කිව්වෙ ධීවර මාමා කියලා. එයාට මැරෙනකොට වයස 80 පැනලා. එයාගෙ සීයත් මේ විදියට බාර ඔප්පු කරලා තියෙනවා කියලයි අපිට කියලා තියෙන්නෙ. ඒ විදියට බැලුවාම ලොකු ඉතිහාසයක් තියෙනවා.  තවත් සමහරු කියන්නෙ යටත් විජිත කාලෙ පෘතුග්‍රීසි පාලනයක් යටතේ ලංකාව තිබුන අවධියෙ ඉන්දියාවෙ ගෝවේ දූපතෙන් මේ චාරිත්‍රය ලංකාවට ආවා කියලා.

කොහොමද මේ උපකරණ ටික හදාගන්නෙ ?

දැන් ඉස්සර වගේ මේ චාරිත්‍ර ගැන දන්න පරණ අය ගමේ අඩුයි. තරුණ පරම්පරාව එක්කයි දැන් අපි මේ දේවල් කරන්නෙ. ඉස්සර ධීවර මාමා ඉන්න කාලෙ හැමදෙයක්ම අකුරට ඉෂ්ඨ සිද්ධ කලා. එයා තමයි මේ දේවල් හදන හැටි ගැන අපිට කියා දුන්නෙ. ඉටි බෝලෙ හදා ගන්න කලින් යකඩ වළලු තුනක් හදාගෙන ඒකට වීදුරු කටු රදවලා හීනි කම්බි වලින් බැද ගන්න ඕනෙ. ඊට පස්සෙ මේ කම්බි වලලු පොල්කට්ටක් වගේ දෙයකට දාලා ඒක පිරෙන්න රත් කරපු ඉටි වක්කරලා තමයි මේ ඉටි ගුලිය හදාගන්නෙ. වේවැල් ටික හදාගන්නෙත් අපිම තමයි.

කොයි වෙලාවටද  වැඩේ පටන් ගන්නෙ ?

පල්ලියේ පියතුමා දේවමෙහෙය පවත්වාගෙන යද්දි ඒකෙ එක තැනක ගීතිකාවක්  තියෙනවා. ඒ කොටසට ලං වෙද්දි අපි මේ කාරිය පටන් ගන්න ජේසු පිළිමෙ පේන තෙක් මානෙට ගිහින් පේලියට හිට ගන්නවා. මෙදා පාර ධීවර මාමා නැති නිසා ගමේ වෙනත් වැඩිහිටි කෙනෙකුට එන්න කිව්වා මේ වැඩේ මෙහෙයවන්න. ඒ වෙලාවට එයා බයිබලයේ විශේෂ පාඨයක් කියවනවා...ඔරසම් කියනවා කියන්නෙ...අන්න ඒ දේ කරනවා. එකම පාඨය තමයි හැමදාම කියන්නෙ. ඒ පාඨය ඇතුලෙ තියෙන්නෙ ජේසු තුමාගෙ ගුණ.

ධීවර මාමාගේ අඩුපාඩුව සම්පූර්ණ කල ගමේ වැඩිහිටියන්


ආරම්භයට මෙහොතකට කලින්, තාත්තයි පුතයි වම් පැත්තෙ කොනේම.

මේ පළාතෙ හැම කෙනාටම වගේ සිංහල වලට අමතරව දෙමළ භාෂාවත් පුලුවන් ඔරසම් කියන්න පාවිච්චි කරන පොතේ අකුරු තියෙන්නෙත් දෙමළෙන්. කොහොමද හැබෑට දෙමළ පුලුවන් උනේ ?

ඔරසම් කියන්නට යොදාගන්නා පැරණි පොත



මීගමුවෙ මුන්නක්කරේ කියන්නෙ ඉතින් ධීවරයො ජීවත් වෙන පළාතක් නොවැ. අපේ ධීවරයො ඈත අතීතයේත් දෙමළ අය වෙසෙන පළාත් වලට ධීවර කටයුතු වලට ගියා. ඒ අයගෙන් තමයි දෙමළ ඉගෙනගන්න ඇත්තෙ. සමහර දෙමළ අය මෙහෙ පදිංචියට ආවා. සමහරු ආවාහ විවාහ කරගත්තා. අද දක්වාම තරුණ කෙනෙකුට උනත් හොදින් දෙමළ කථා කරන්න හැකි වෙලා තියෙන්නෙ ඒ හින්දයි. මේ වෙලාවට කියන ඔරසම් කොටස සිංහලෙන් කියනවට වඩා දෙමළෙන් කියද්දි තමයි ගොඩාක් අපේ හිත් වලට දැනෙන්නෙ.

වීදුරු කටු සවි කරපු ඉටි බෝලෙකින් පිටට ගහ ගත්තට ලොකු කැළැල් දකින්න නෑනෙ. ඒ තුවාල වලට බෙහෙත් මොනවා හරි ගානවද ?

විනාඩි 20-25 ක් වගේ කාලයක් තමයි බාරය ඔප්පු කරන්න ගත වෙන්නෙ. ඊට පස්සෙ හැමෝම පල්ලියට එහා පැත්තෙ කලපුවට බහිනවා. එතනදි මේ වැඩේ මෙහෙයවපු කෙනා පුද්ගලිකව හැම කෙනාගෙම ලේ කළපු වතුරෙන් පිහදාලා ඒ තුවාල කසිප්පු වලින් හෝදලා දානවා. ඒක තමයි සම්ප්‍රදාය වෙලා තියෙන්නෙ. ඉරිදා වෙද්දි තුවාල සනීපයි.

මේ කථාබහ අස්සෙ මෙතෙක් වේලා කථා කරපු මාමගෙ පුත්තරයා..ඒ කියන්නෙ මයෙ මලයගෙ මිත්තරයා සිරා කොලුවට සම්මුඛ උනා.

ගිය අවුරුද්දෙ වෙච්ච බාරෙ හරිගියාද ? මෙදා පාර බාර ඔප්පු කරන්න ලෑස්ති උනේ ?

අපොයි ඔව්...මම 2000 අවුරුද්දෙ ඉදන් මේක කරන්නෙ. ගිය අවුරුද්දෙ මම ප්‍රාර්ථනා කලා මට පුතෙක් ලැබෙන්න කියලා. කලින් ලැබිලා හිටියෙ දුවෙක්. ඒ ප්‍රාර්ථනාව ඒ විදියටම ඉෂ්ඨ උනා.

වීදුරු කටු තියෙන ඉටි බෝලෙකින් පිටට ගහ ගන්නකොට රිදෙන්නෙ නැද්ද ?

නෑ. අපි  ගොඩාක් භක්තියෙන් මේ වැඩේ කරන්නෙ. ඔයාලා හිතන තරම් අමාරුවක් දැනෙන්නෙ නෑ.

තවත් මොහොතකින් ඔවුන්ගේ කාරිය අරඹන්නට කාලය පැමිණි නිසා මේ හැමෝම අපෙන් සමුගත්තා. ඒ අය ඔවුන්ගේ බාර නිදහස් කරන විදිය මමත් මලයාත් ඡායාරූපයට නැගුවා. වීඩියෝ ගත කලා. පල්ලියට පැමිණි විශාල ජනතාවක් ඒ අයගෙ බාර ඔප්පු කිරීම දිහා බලාන උන්නා. මුලින්ම ඉටි බෝලය මගින් පහරදීම ආරම්භ කලා, එයින් අනතුරුව වේගයෙන් වේවැල් මගින් පහර පිට පහර එල්ල උනා.

අධිෂ්ඨානශීලී බැල්මෙන් ආරම්භය ලබාගන්නට සූදානම්ව


වීදුරු කටු සහිත ඉටි බෝලයෙන් ඇති වූ තුවාල
   
බාරය ඔප්පු කොට අවසානයේ රුධිරයෙන් නැහැවී...





පුරාණ සම්ප්‍රදාය අනුව රුධිරය සේදීමට කලපුව වෙත යමින්...
වතාවත් මෙහෙයවූ තැනැත්තා විසින් පුද්ගලිකව සෑම කෙනෙකුගේම රුධිරය මෙසේ සෝදා හරියි.
තුවාල මත කසියා හෙවත් ඇති හිටියා යොදන අවස්ථාව.



ඔවුන් බාරය ඔප්පු කරන ලද ආකාරය මේ වීඩියෝවෙන් නරඹන්න.

මේ අයගෙන් අති මහත් බහුතරය ධීවර කාර්මිකයො. කාත් කවුරුවත් නොපෙනෙන මහ මුහුදෙ වර්ෂයෙන් වැඩි කාලයක් ගත කරන ඔවුන්ට පිහිටට ඉන්නේ ඔවුන් අදහන දෙවියන් පමණයි කියන සිතුවිල්ල ඔවුන්ගේ සිත් වල ගැඹුරේ බොහොම තදින් සටහන් වෙලා ඇති. ඒ නිසාම බොහොම භක්තිමත්ව මේ විදියට බාර ඔප්පු කරනවා විය යුතුයි කියලා අන්තිමේදි මට හිතුනා.



මම කාමරේ අරින සිරා කොලුවා. 


ප.ලි

කිතුණු දහම හෝ මෙහි විස්තර කරන කාර්යය පිළිබඳ මගේ වැඩි දැනුමක් නොමැති නිසා...ඒ පිළිබඳ දැනුමක් ඇති අයට මේ ලිපිය කියවන අය දැනුවත් කරන්නට තහනමක් නැත.

ඔවුන්ගේ මේ චාරිත්‍රය කරුණු නිසි ලෙස නොදැන විවේචනයට සාහසික නොවන්න.

Thursday, March 17, 2016

62 වසර 800 කට පසු මුට්ටියෙන් මතු වූ පරණ වට්ටක්කා

සිරා කොලුවට දැන් වැළදී තියෙන්නෙ බොහොම දරුණු කම්මැලිකමක්. ඒ කම්මැලි කම නිසාම තමයි දැන් සිරාගෙ කාමරයට ඉදලා හිටලා ලිපියක් ලියවෙන්නෙ. ඒ උනාට අද දවසෙ කියවන්න ලැබුන ඉංග්‍රීසි ලිපියක් දැක්ක ගමන් මට හිතුනා කාමරේට එන යන අයට කියවන්න මෙතනට රැගෙන ආ යුතුයි කියලා. ඇත්ත වශයෙන්ම මේ ලිපිය බොහොම රසබර එකක්.

2008 වසරෙදි ඇමරිකාවෙ විස්කොන්සින් නුවර (Wisconsin) පුරාවිද්‍යාඥයන් පිරිසක් විසින් සිදුකල කැණීමකදි ඔවුන්ට හමු උනා කුඩා මැටි මුට්ටියක්. ඇත්තටම මේ මුට්ටිය පළමු දැක්මෙන්ම කුතුහලය ඇතිකරන තාලෙ එකක්. මේ කැණීම කල භූමිය කැනඩාව, ඇමරිකාව වගේම මෙක්සිකෝවෙත් මුල් පදිංචිකරුවන් පිරිසක් ලෙස සැළකෙන මෙනොමයිනී (Menominee) නැමති ගෝත්‍රයට අයත් පාරම්පරික භූමියක්. ඇමරිකාවේ විස්කොන්සින් නුවර වර්තමානයේත් මේ ජන වර්ගයට අයත් 8700 ක පමණ ජනතාවක් වාසය කරනවා. මේ අය ඉංග්‍රීසි භාෂාවට අමතරව මෙනොමයිනී කියන පාරම්පරික භාෂාවත් කථා බහ කරනවා. ඒ භාෂාවට අනුව මෙනොමයිනී යන්නේ අරුත ජනතාව යනුයි. මේ අය සතුව වර්තමානයේත් අතීතයේ සිට පැවත එන ඔවුන්ටම වෙන් වූ විශාල පෙදෙසකට පැතිරුන භූමි භාගයක් තිබෙනවා. ඉහත කී කැණීම සිදුවුනේ මෙවැනි තැනක.

අපූරු මැටි මුට්ටිය

පුරාවිද්‍යාඥයන් පිරිසට හමුවුන මැටි මුට්ටිය අවුරුදු 800 ක් පැරණි බව පසුව සොයා ගත්තා. එතකොට ඒ තුල තිබුනෙ මොනවද ? මෙය කියවන ඔබට ඇතිවන ප්‍රධානම ගැටලුව එය බව මම දන්නවා. ඇත්ත වශයෙන්ම එහි තිබුනෙ ඔබ කිසිලෙසකින් වත් හිතන්නෙ නැති දෙයක්.

මුට්ටිය ඇතුලෙ තිබුනෙ වට්ටක්කා කුලයට අයත් ශාක විශේෂයක ඇට වර්ගයක්. පෘථිවිවාසීන් ආහාර ගබඩාකරතැබීම, අහාර සංරක්ෂණය වැනි කාරණා පිළිබද ඈත අතීතයේ සිටම දැන සිටි බව මේ මුට්ටිය හමුවීමත් සමග තහවුරු උනා. වර්තමානයේ නම් මේවා වෙන වෙනම විෂයන් ලෙස ඉගෙන ගත හැකියි. එහෙත් වසර 800 කට එහා ආදිවාසීන් ඒ කාරණා දැනසිටීම පුදුමයට කරුණක්. මේ පුදුමය තවත් තීව්ර වෙන්නෙ මේ බීජ වර්ගය අයත් ශාක විශේෂය මැටි මුට්ටිය හමුවෙන වකවානුව වෙද්දි පෘථිවි තලයෙන් සහමුලින්ම තුරන්ව ගොස් තිබූ නිසයි.

මුට්ටිය තුල තිබූ බීජ

කුඩා මැටි මුට්ටියකින් වසර 800 කට පසුව කරළියට ආ මේ බීජ විශේෂය වඳවී ගිය ශාක විශේෂයක් නැවත වරක් පෘථිවියේ ජීවමාන කරන්නට දායක උනා. එහි සම්පූර්ණ ගෞරවය මේ බීජ විශේෂය මැටි බුට්ටියේ බහා තැන්පත් කල Menominee මුතුන් මිත්තන් හට හිමිවිය යුතුයි. බාගවිට අනාගතයේ මේ ශාක විශේෂය වඳවී යනු ඇතැයි ඔවුන් සිතුවා වන්නටත් පුළුවන්. එසේත් නැතිනම් අනාගතයේ පැමිණෙන ආහාර හිගයකදී ආහාර සැපයුම පවත්වාගෙන යාමේ අරමුණ වෙනුවෙන් සගවා තැබුවා වන්නටත් පුලුවන්.

කෙසේ හෝ මේ වටිනා සොයාගැනීම සිදුකර වර්ෂ 7 කට පසු කැනඩාවේ Winnipeg සරසවියේ සිසුන් මුට්ටියේ තිබූ ඇට සිටුවන්නට තීරණය කලේ නූතන විද්‍යාවේ සහයෝගයත් ඇතිවයි. අවුරුදු 800 ක් පැරණි ඇට ස්වල්පයකින් පෘථිවියෙන් වදවූ ශාකයක් නැවත බිහිකරන්නට ඔවුනට හැකිවෙයිද ?

ඇත්ත වශයෙන්ම ඒ කාරිය කරන්නට ඔවුන්ට හැකි උනා. මේ බීජ මගින් බිහිකල පැල වලින් මේ වෙද්දි ඵලදාවත් අරගෙන අවසන්. කාලයක්ම තුරන් වෙලා තිබිලා ආයෙමත් පෘථිවියට ආව මේ ශාඛයට හැමෝම එකතු වෙලා තැබුව නම තමයි gete-okosomin. ඒ නම Menominee භාෂාවෙන් Big Old Squash නැමති අරුත තමයි සපයන්නෙ. ඝනකම් ලෙල්ලක් වගේම ඇට රාශියකුත් තිබෙන විශාල ප්‍රමාණයේ එළවළු වලට පොදුවේ Squash කියලයි කියන්නෙ. මේ ශාඛයට Menominee භාෂාවෙන්ම නම් තැබීම නූතන පරම්පරාවට මේ ශාඛය දායාද කරන්න දායක උන Menominee මුතුන් මිත්තන්ට කරනා ගෞරවයක් ලෙසයි හැමෝම සලකන්නේ.



ආයෙමත් වතාවක් මේ ශාඛය ලොවෙන් තුරන් නොවෙන්න ලැබූ ඵල වලින් හැකි තරම් නව ශාක බිහිකිරීම තමයි මේ දවස් වල සිදුවෙන්නෙ. gete-okosomin බැලූ බැල්මට තවත් එක් එළවළුවක් පමණයි කියලා ඇතැම් කෙනෙකුට කිව හැකි උනත් මේ ශාකය පිටුපස සිටින Menominee මුල් පදිංචිකරුවනුත් ඔවුන්ගේ ජන සමාජයත් නිසාම එය අපූරු ශාඛයක් බවට පත් වී අවසානයි. සමහර වෙලාවට අපේ පරිසරයෙ ගස් කොළන් හරි අපූරු විශ්වාස කල නොහැකි දේත් කරනවා කියලා අපිට හිතෙන්නෙ අවුරුදු 800 කට පස්සෙ පැළවුන gete-okosomin දිහා බැලුවම.


ඉතිහාසය හරිම අපූරු දේ විටින් විට අපිට ගෙනල්ලා දෙනවා. අපි හැමෝගෙම ජීවන චක්‍ර මේ ඉතිහාසය මත මේ පොළවට ශක්තිමත්ව මුල් ඇදලා තියෙනවා. නූතන විද්‍යාව දිහා බලාගෙන ඇතැම් විටෙක ඉතිහාසය අමතක කරන්න අප වෙර දැරුවත් කොහෙන් හෝ තැනකින් අපේ ඉතිහාසය අපට මුණගැසෙන වගට gete-okosomin කදිම උදාහරණයක් සපයන බවක් මට සිතෙනවා.



අද ලිපියට මූලාශ්‍රය



මම කාමරේ අරින සිරා කොලුවා.

Related Posts Plugin for WordPress, Blogger...