Tuesday, March 17, 2015

70 අපේ ගමේ රියල් බඩු

සිරා කොලුවාගේ ගම් පියසේ රියල් බඩු දෙක තුනක් ගැන මම මෙයට පෙර වතාවක ලියුවෙමි. ඒ සියල්ලෝම මේ වන විට පස් යට සැගවී ගිය අයයි. මේ අයට අමතරව තවත් ගින්දර වැනි තරුණ බුවාලාද අපේ ගමේ අඩුවක් නැත. අන්න ඒ අය වෙනුවෙන් මේ ලිපිය වෙන්වෙයි.

ෆස්ට් එක කියන්නෙ අපේ කොලු බලකායෙ මහා ෆයිලට් චරිතය රගපාපු, වලලු නැතුව ගස් වල ඇවිදින මාකස් ගොයියට කාලෙකට ඉස්සර වැටුන තවත් සාඩම්බර නමක්. ඒ නම වැටුන හැටි තමයි හරිම අපූරු. මේ කියන කාලෙ ඉතින් මෝටර් බයිසිකලයක් පදින්න ලැබුනොත් අපිට තිබුනෙ පුදුමාකාර සන්තෝෂයක්. ඒවා ඒ කියන තරම් දුර්ලභ වස්තු වීම තමයි කාරණේ.

කැන්ඩියා කියන්නෙ අපේ ගමේ ඇතිහැකි පවුලක එකෙක්. උගෙ දෙමාපියො ඒකා පොඩි කාලෙ ඉදලම අරාබි රටක ඉදගෙන ලංකාවට සල්ලි පොම්ප කරපු නිසා කැන්ඩියට කිසිම දේකින් අඩුවක් තිබුනෙ නෑ. මේකා ඉතින් ආච්චි ලග ඇතිදැඩි වීමත්, ආච්චි බොහොම සැර පරුෂ කාන්තාවක් වීමත් නිසාම ගෑණු ළමයෙක් වගේ තමයි උස් මහත් උනේ.

කැන්ඩියට අලුත්ම චැලියක් අරගෙන දීලා තිබුනෙ මේ අතරෙදි. ඒකා චැලිය එක්ක ඔට්ටු වෙන හැටි අනිත් කොල්ලො බලා උන්නෙ බොහොම ආශාවෙන්. අනේ අපිටත් වටයක් පදින්න චෑන්ස් එකක් වදියි කියන සහන් එළිය තමයි උන්ගෙ හිත් අද්දර තියෙන්න ඇත්තෙ.

අල්ලපු ගමක සංගීත සංදර්ශනයක් ලෑස්ති කරලා තිබ්බ දවසක කොලු රැල හන්දියෙ රැස් කකා උන්නෙ කාගෙ හරි පුස් බයිසිකලයක එල්ලිලා සංගීතය තියෙන තැනට යන්න. ඒ රාජකාරිය කොරන්න කලියෙන් කැන්ඩියා අලුත්ම කොළපාට චැලියෙන් හන්දියට ආවා. එක එකා වටයක් පදින්න ඉල්ලනකොට උගෙ ලාමක හිත උණු වෙන්න ඇති. හැමෝම මාරුවෙන් මාරුවට චැලිය පදින අතරෙ සිරා කොලුවගෙ වාරයත් ආවා. උපරිම වේගෙන් යන එක තමයි අපේ වෑයම. මගෙන් පස්සෙ අවස්ථාව උදා උනේ හොර කුරුම්බා වලට නම් දරාපු ෆයිලට් මාකස් ගොයියට. අනිත් උන් වගේම එ්කත් බයිසිකලේ ඉදගෙන පළවෙනි ගියර් එක දාලා ඉස්සරහට ගියා. නමුත් වෙන ගියර් දාපු බවක් අපිට ඇහුනෙ නෑ.‍

මාකස් උපරිම සන්තෝෂෙන් උපරිමයට අැක්ස්ලේටරය කරකවලා උගෙ වාරය නිමා කරලා කැන්ඩියා පැත්තට එනවා. බයිසිකලේ සද්දෙත් වෙනස් වෙලා. කොල්ලො කැන්ඩියා දිහා බලාන ඉද්දි කැන්ඩියගෙ කට ඇරුනා.

නෙදකින්...මේ මී හරකා එක ගියර් එකයි දැම්මෙ...එන්ජිම ගන්න දෙයක් නෑ ඉතිං දැන්...

අදෝනාවක් වගේ හඬක් නගාගෙන අපේ පැත්තට ආව අසරණ චැලිය කැන්ඩියගෙ දෙපාමුල නතර උනා. කැන්ඩියා පැනපු ගමන් බයිසිකලේ යතුර කරකවලා එන්ජිම නතර කරන්න හැදුවත් ඒක නතර උනේ නෑ. ඒ මදිවාට සැර කර ගඳකුත් එන්ජිමෙන් එනවා. කාට කාටත් චැලියට කෙළවිච්ච බව නම් පැහැදිලියි. කැන්ඩියගෙ ඇස්ගෙඩි දෙක එළියට පනින්න වගේ...ඒකාට උපරිම තරහා ගිහින් ඉන්නෙ.

ඇයි බොල ගොනෝ තව ගියර් දෙකක් තියෙද්දි උඹ එකක් විතරක් දැම්මෙ.

කවුද බං දන්නෙ..මම හිතුවෙ එච්චරයි ඇත්තෙ කියලා. භයෙන් බීරාන්ත වෙච්ච මාකස් එහෙම කියද්දි...වටේ පිටේ හිටිය වලත්ත කොල්ලො ඌට ෆස්ට් එක කියලා අලුත්ම නමක් රැජිස්ටර් කොලා.



මාකස්ගෙන් පස්සෙ මට බොලාට කියන්න හිතෙන්නෙ අපේ අඬනයා ගැන...මුලින්ම අඬනහිරියා කියලයි කිව්වෙ. පස්සෙ කාලෙක ඒකෙන් ‍කොටසක් ලොප් වෙලා අඬනයා බවට පත් උනා. මුල් කාලෙ නම් මේ නම ඇහුනම ඒකට නහුතෙට නැග්ගට පස්සෙ පස්සෙ ගානක් නැතුව ගියා.

හැබෑටම මේ වගේ සාඩම්බර නමක් කොහොමද මේ කෙසඟ කොලුවට ලැබුනෙ. ඉස්සර අපි ක්‍රිකට් ගැහුවෙ පිල්ලෑව කියලා හඳුන්වපු පොල් වත්තක. මේ පොල් වත්තෙ හිමිකරුගෙ පුතාලා දෙන්නත් අපි එක්කම බෝල තලපු නිසා කරදරයක් උනේ නෑ. වත්ත පුරාම පොල් ගස්. හතරක් හයක් ගහන්න සෑහෙන්න අමාරුයි. බෝලෙ කොහෙ හරි පොල් ගහක වැදිලා ආයෙමත් හිටපු තැනටම එනවා.

මෙන්න මේ ක්‍රිකට් පිටියෙ ක්‍රිකට් ගහන වෙලාවට වත්තට යාබද නිවෙසක හිටිය අඬනයා දුවගෙන එන්නෙ ඊ ගහක වේගෙන්. අඬනයගෙ අයියා කසුනා මගේ වයසෙ. ඒකත් අපි එක්ක බෝල තලන්න එකතු උනා. පන්දු යවන්න වගේම මුලින්ම පන්දුවට පහරදෙන්නත් අඬනයට උවමනායි. මුගෙ මේ නාහින් ඇඬියාව අහගෙන ඉන්න බැරිම තැන තමයි අඬනහිරියා බවට පත්කරලා පස්සෙ අඬනයා බවට පත් කලේ.

අඬනයාගෙ උගුරු ඇටේ පැනලා කරදඬු උස් මහත් වෙලා එද්දි අඩි 6 කට එහා ගිය උසක් තිබුනෙ. අපි අත්පන්දු ගහන වෙලාවට ඩෑෂ් ප්‍රහාර නවත්තන්නෙ අඬනයා කිසිම මහන්සියකින් තොරව, ඒ හින්දම වොලිබෝල් ගහන වෙලාවට හැමෝම තමන්ගෙ කණ්ඩායමට අඬනයව ගන්න පොරකෑවා. මේ ක්‍රීඩාවෙන් හොඳ හැකියාවන් පෙන්වපු නිසාම පස්සෙ කාලෙක ආරක්ෂක අංශයක කණ්ඩායමක් නියෝජනය කරන්නත් මිනිහට අවස්ථාව ලැබුනා.

අඬනයයි අඩනයගෙ අයියා කසුනයි කැඩිලා ගිය යකඩ පුටු කකුලක යකඩ බටයෙන් පුංචි පහේ නව නිපැයුමක් කරලා තියෙන වග අපි දැනගත්තෙ බෝල ගහන්න පොල් වත්තට ගියාම. පොල් වත්තෙ බොහෝ පොල් කඳන් වල යමක් රවුමට ගිලා බැහැපු ලකුණු තිබුනා. පොල්වත්තට යාබදව ඉන්න අඬනයගෙන් මේ ගැන ඇහුවා,

මමයි අයියයි වෙඩි තියපුවා අඬනයා එහෙම කිව්වා.

තොපිලගෙ ගෙදර තුවක්කුවක් තියෙනවද වෙඩි තියන්න ?

අපි තුවක්කුවක් හැදුවා.

රූං ගාලා ගෙදර දුවපු අඬනයා කසුනා නැති අතරෙ මුන් දෙන්නගෙ තුවක්කුව උස්සගෙන ආවා. හීන් පුටු කකුලෙ එක කොණක් මිට වගේ අල්ලගන්න හැකි විදියට නමලා. බටේ මැද්දෙ පුංචි හිලක්.

කොහොමද බොල මේකෙන් වෙඩි තියන්නෙ.

බටේ ඉස්සරහින් රතිඤ්ඤයක් දානවා නූල අපේ පැත්තට වෙන්න...ඒ නූල මැද්දෙ තියෙන හිලෙන් උඩට ගන්න ඕනෙ කම්බියක් දාලා.  ඊට පස්සෙ ජිල් බෝලයක් දානවා බටේ ඉස්සරහින්. රතිඤ්ඤෙ පත්තු කරලා ඉස්සරහට අල්ලගෙන හිටියාම ජිල් බෝලෙ විදුලි වේගයෙන් යනවා. ඒවා වැදුන පාරවල් තමයි මේ පොල් ගස් වල තියෙන්නෙ. අඬනයා තණ්හාවක් නැතුව තුවක්කුවේ තාක්ෂණික කරුණු අපට කිව්වා. මුන් දෙන්නගෙ තුවක්කුව බොහොම බරපතල බලසම්පන්න එකක්. නැත්තං කොහොමෙයි හොඳ සවි ශක්තියට තියෙන පොල් කඳන් ඇතුලට හාරාගෙන යන්නෙ.

මේ විදියට තවත් සතියක් දෙකක් ජිල් බෝලෙ තුවක්කුවෙන් මුන් දෙන්නා සෙල්ලං කරමින් උන්නා. හොඳට හිටිය අඬනයා ඉස්පිරිතාලෙ ගෑටුවට පස්සෙ සෙල්ලම අහවර උනා. වහලා තිබුන ලෑලි දොරකට ඉලක්කය අරගෙන කසුනා වෙඩි තියලා. දොරේ පිටිපස්සෙ අඬනයා කරුමෙට වගේ ඉඳලා. ලෑලි දො‍ර පසාරු කරගෙන අනිත් පැත්තට ගිය ජිල්බෝලෙ අඬනයගෙ නලලත් හිල් කරගෙන ඩිංගිත්තක් යටට බැහැලා නතර වෙලා. උන්ගෙ තාත්තා කසුනව බාගෙට කෝටුමස් කරලා අඬනයව අරගෙන ඉස්පිරිතාලෙ බඩගාලා තිබුනා.

අපේ ගමේ අවුරුදු උත්සවේ හැමදාමත් වගේ කොට්ට පොර සූරයා උනේ මේ කිව්ව කසුනා. තරබාරු සිරුරක් තිබුන හරිම අහිංසකයෙක්. අද නම් ශ්‍රී ලංකා පොලීසියෙ රාජකාරිය කොරන්නෙ. කොට්ට පොර ගැහිල්ලට පුවක් කොටේ උඩ ඉඳගත්තම ඒකගෙ තට්ටම් දෙක අතරට ‍පුවක් කොටේ හොදට හිර වෙනවා. ඉතිං ආයුබොවන්ඩ කසුනව වට්ටන්න හිතන වෙලාවත් අපරාදෙ කවදාවත් වැටෙන්නෙ නෑ. අනිත් පැත්තෙ ඉන්න හාදයට ඇති තරම් ගහන්න දීලා එකසැරේට පිටිපස්සට වෙනවා. පහරේ වේගය දරාගන්න බැරුව ප්‍රහාරකයා බිම වැටෙන එක තමයි නිතරම උනේ.

අපේ ගමේ රංජන මල්ලි කමාන්ඩෝ සෙබලෙක්. කොටි බලමුළු පරාජය කරලා වෙල්ලමුල්ලි වයික්කාල් වල සිංහ කොඩිය ඔසවද්දි රංජන මල්ලි පෙරමුණේම හිටි කෙනෙක්. කිසිම සීරීම් තුවාලයක් හෝ නොලබා දිවි රැකගන්නත්. නැවත ගම රට එන්නත් ඒකාට හැකි උනා.

එදා අපි අපේ එකා පිළිගත්තෙ රටක් රාජ්‍යයක් දිනාගෙන ආව සෙන්පතියෙක් ගානට. ඒ කථාව වෙනම ලිපියක් විදියට ලියන්න ඉදිරියට හිතාන ඉන්න නිසා වැඩි විස්තර අද බොලාට අහගන්න ලැබෙන්නෙ නෑ. මේ සිද්ධිය නිසා චූන් වෙච්ච අපේ හිත් වලට හුග කාලෙකින් ගමේ සංගීතයක් තිබ්බෙ නැති අඩුව දැනුනා. 2010 වර්ෂයෙදි ගමේ තරුණ කාණ්ඩෙ එකතු වෙලා ප්‍රසිද්ධ ගායකයොත් එක්කාසු වෙච්ච සංගීතයක් කොලා.

අපරාදෙ කියන්න බෑ මේ වැඩ වලටත් කසුනා උගෙ මල්ලි අඬනයා සෑහෙන්න දරදිය ඇද්දා. අපේ ගමේ ඔය කාලාන්තරයක් තියෙන කෝලාහල නැති උනාට අහල පහල ගම්මාන වල පරම්පරා ගානක් පවතින දරුණු ගැටුම් තියෙනවා. මේවා බොහෝ වෙලාවට පත්තු උනේ ඔය සංගීත සැන්දෑවක් අස්සෙ තමයි. අපේ අහිංසක සංගීතය අස්සෙත් මේ වගේ දරුණු වලි දෙක තුනක් ගියා. උසට උසේ හිටිය අඬනයා මේ වලියක් බේරන්න ගිහින් කළුවරේම දෙපැත්තෙම උන්ගෙන් නොසෑහෙන්න ගුටි කෑවා කියලා සංගීතයේ සංවිධායකයෙක් වෙච්ච මට පයින්ඩෙ ආවෙ සිද්ධිය වෙලා සෑහෙන වෙලාවක් ගියාට පස්සෙ.

අඬනයව බිම එළලා අරුන් ගැහුවෙ...විස්සකට වැඩියි. ඒ කාපු කෑමට නම් සතියකට නැගිටින එකක් නෑ..එකෙක් මට කිව්වා.

එතකොට කසුනා හිටියෙ නැද්ද..මම ඇහුවා

කසුනගෙ ජොල් ඇඟනෙ කට්ටිය ඌටත් ගැහුවා මදි නොකියන්න. හැබැයි අඬනයා තමයි අම්බානක කෑවෙ. මම හිතන්නෙ අයියෙ අඬනයගෙ අත පය කැඩිලද දන්නෙත් නෑ. මම කට්ටිය හොයාගෙන එද්දි එකෙක්වත් පේන්න හිටියෙ නෑ.

සංගීතය ඉවරවෙච්ච මහ රෑ මේකව හොයන්න යන්න බැරි හන්දා පහුවදා උදේ මම අඬනයලගෙ ගෙවල් පැත්තට ගියා. ඒ කාලෙ කසුනගෙ තාත්තට පුංචි පළතුරු කඩයක් තිබුනා. දුර තියාම පළතුරු කඩේ අැරගෙන වෙළදාම් කරන අඬනයව තමයි දැක්කෙ. මෙච්චර ගුටි කාලත් මූට ගානක් නෑනෙ. මම තනිවම හිතුවා.

උඹට වටකරගෙන දුන්නා කියලා ආරංචි වෙලා මම උදේම මේ පැත්තෙ ආවෙ.

නැත්තං නැත්තං මාව බිම පෙරළගෙන ගැහුවෙ.

උඹට අමාරු නැද්ද ඉතිං...

මට ගානක් වත් නෑ. ගහන්න සෙට් එක පොරකෑව නිසා ගහපු ඒවා හරියට වැදුනෙ නෑ..සූ ගාලා සෙනග..මට ගහන්න සෑහෙන තදබදයක් තිබුනෙ.

එතකොට අයියා

ඌට නම් සෑහෙන්න අමාරුයි. මගෙ වගේ නෙමෙයිනෙ උගෙ මස වැඩියිනෙ. අන්න ගෙදර දපලා ඉන්නවා මම හිතන්නෙ ගුටි කාපු අමාරුවට උණ ගැනිලද කොහෙද...ඒක නෙමෙයි අයියෙ උදේම කඩේ පැත්තෙ ආපු එකේ කෙහෙල් ගෙඩියක් වත් කාලා පළවෙනි බිස්නස් එකට සපෝට් එකක් දෙන්නකො.

උඹ එහෙනං කෙහෙල් ඇවරියක් කපලා තියහංකො. උඹත් එක්කම කන්න මම මැණිකෙ නැන්දගෙන් අාප්ප තුන හතරක් අරගෙන එන්නං...

මේ කෝලිකුට්ටුවෙ උඩම ඇවරියෙන් කපන්නද...

හා හා කපහං..මම එන්නං සුටුස් ගාලා....එහෙම කියපු සිරා කොලුවා සටස් ගාලා මාරු උනා...අසරණ අඬනයා තවමත් මම ආප්ප අරගෙන එනකං මග බලා ඉන්නවද දන්නෙත් නෑ.



මම කාමරේ අරින සිරා කොලුවා.



ප.ලි

මැල‍ේසියාවේ සංචාරක අංශයේ දැවැන්තම ප්‍රදර්ශනය වන MATTA FAIR වගකීම් නිසා පසුගිය සතියේ දැඩි ලෙස කාර්යබහුල වීම මත අලුත් ලිපියක් ලියන්නට වෙලාවක් නොමැතිව සිටියෙමි. මේ ප්‍රදර්ශනයේ තොරතුරු සමගින් ළඟදීම හමුවෙමු.


70 comments:

  1. Replies
    1. ස්තූතියි මිත්‍රයා...මේ අපේ පළමු හමුවිමද මන්දා...

      Delete
  2. අවුරුදු ගානක් ආපස්සට අපිව අරන්ගියා... පොඩි කාලේ පොල් වතු වල බෝල ගහපු හැටි අයෙමත් මතක් කළා. තැන්කිව් සිරෝ...

    ReplyDelete
    Replies
    1. මේ බෝල ගහපු කාලෙ හරිම සුන්දර කාලයක්..පාසල් නිවාඩු කාලයට අපි ටෙස්ට් තරගත් ක්‍රීඩා කලා...දිවා ආහරය සඳහා ගෙදර ගිහින් සැට් එක ආයෙමත් පොල් වත්තට ආවා.

      Delete
  3. අඩේ අරුං දෙන්න මාර භයානක ආයුධයක්නෙ තනල තියෙන්නෙ. අඬනය ඔය තරමිං බේරුනා මදැයි.
    කසුන පොලීසියට ගිහිල්ලත් ජිල් බෝල දාලද දන්නෑ වෙඩි තිබ්බෙ.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඒක මාරාන්තික ආයුධයක්...පොල් ගස් වල කඳ ඇතුලට හාරගෙන යන්න මොන තරම් වේගයකින් එන්න ඕනෙද ‍ජිල් බෝලෙ... කසුනා මට මතක විදියට රහස් පොලිසියට අනුයුක්තව තමයි සේවය කලේ...අන්තිමට මට මිනිහව මුලිච්චි උනේ උගෙ වෙඩිමෙදි.

      Delete
  4. රසවත් කතා ටිකක්... තුවක්කු හදපු විදිහ තමයි නියම.

    ReplyDelete
    Replies
    1. මගේ ළමා කාලය වගේම අතීතයත් බොහොම සුන්දර එකක්...මේ අත්දැකීම් අද කාලෙ දරුවෙක්ට ලැබෙන්නෙ නැති තාලයේ ඒවා.

      Delete
    2. අපේ එකෙක් ලක්ස්ප්‍රේ ටින් එකකින් T 56 ක් හැදුවා..







      T 56 ක් විතරයි හදන්න පුලුවන් වුනේ..57 වෙනි එක හදනකොට ලක්ස්ප්‍රේ ඉවර වුනා.

      Delete
    3. නොදකිං තෝ.. මං මේ ලක්ස්ප්‍රේ ටින් එකකින් තුවක්කුවක් හදපු හැටි කට ඇර ගෙන කියවන්න ආවේ....

      Delete
  5. පව් බං අඬනයට කරපු දේ උඹ...

    ReplyDelete
    Replies
    1. ඇයි බොලං ඌට කියන්න තිබුනෙ නැද්ද උදේම කඩේ පැත්තෙ ආව ‍එකේ කෙහෙල් ගෙඩියක්වත් කාලා ඉමු අයියෙ කියලා...

      Delete
  6. "අඬනයා තවමත් මම ආප්ප අරගෙන එනකං මග බලා ඉන්නවද දන්නෙත් නෑ"
    සිරා..මොකක්ද බන්...උඹ කර ඒ අසමජ්ජාති වැඩේ...උඹත් මාර යහපාලන පොරක් තමයි....හික්ස්....!!

    ReplyDelete
    Replies
    1. යහපාලනය දැන් දැන් කම්බිවැට පනින බව පේනවා...විධායක බලතල තවම නැති කලේ නෑ. බලය ලැබුනාම කාට කාටත් රහ දැනෙනවා කොල්ලො...ඉතිං අතඅරින්න හිතෙන්නෙ නෑ.

      Delete
    2. ප්‍රසා..
      ආව ගමන් ගල් බෝතලයක් අරන් යමු ආප්ප එක්ක කෙසෙල් ගෙඩියක් කාලා එන්න.

      Delete
    3. බිත්තර ආප්ප තමයි බයිට් එකට හරියන්නෙ...දැන් කීයද අාප්පයක්...

      Delete
    4. අලි බිත්තරද?
      නරි බිත්තරද?

      Delete
  7. උගෙ මොළේ නං මරු නැත්තං ඔය වගේ අයිටමයක් කොහොම හදන්නද... දැක්කද යුගයේ නිර්මාන සිල්පියා පොල් වත්තක හැංගිල ගිය අරුමෙ හිහි දුක තමා....
    අරූට කෝලි කුට්ටුව ලෙලි පිටං කන්න හිතෙන්ට ඇති නේහ්

    ReplyDelete
    Replies
    1. අඬනයා හොඳ දක්ෂ වොලිබෝල් ක්‍රීඩකයෙක් උනා පස්සෙ කාලෙ. මට මතක විදියට යුධ හමුදා කණ්ඩායමේ වසර කිපයක් ක්‍රීඩා කරලා විදේශ ගත උනා. දැන් කොහෙ ඉන්නවද මම දන්නෙ නෑ. තුවක්කුවෙ අදහස නම් මරු...ඇත්ත තුවක්කුවකින් වගේ වෙඩි තියද්දි සද්දයකුත් එනවා...

      Delete
  8. ජිල් බෝල දාලා අච්චර දරුණු විදියට වෙඩි තියන්න පුලුවන් ආයුධයක් හැදුවා කියන්නේ ඉතින් මුන්ව ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගන්නත් පුලුවන් කියන එකයි. අරූ තවපොඩ්ඩෙන් මැරෙණවනේ බං.

    ReplyDelete
    Replies
    1. අරූ ආගිය අතක් නෑ බං මම ටිකක් හොයල බැලුවා.ඌ ලංඩන් වල නෑ කියලයි ආරංචිය.

      Delete
    2. ඔව්...එහෙමත් කරන්න තිබුනා. කසුනා තියපු වෙඩිල්ල දොරේ ලෑලි දෙකක් මූට්ටු වෙන තැනකට වැදිලා එතනින් කඩාගෙන ඇතුලට ගියා කියලයි අඬනයා මට කිව්වෙ. නලල ඇතුලට වෙන්න ජිල් බෝලය නතර වෙලා තිබුනා කියලයි ඒකා මට කිව්වෙ.

      හැබෑට අරූට මොකද උනේ..මගේ සහෝදරියකුත් ඉන්නවා ලන්ඩන් වල. ලිපිනය හරි තියෙනවා නම් හොයලා බලන්න හැකියි.

      Delete
  9. රතිඤ්ඤ තුවක්කුව කියන්නෙ සුපිරි ආයුදයක් , අපි ඉස්සර විල් කුකුල්ලු මරන්නෙ ඕකෙන් හැබැයි ජිල් බෝල දාල නෙමේ පොඩි ගල් කැට එක්ක බයිසිකල් බෝල ටින්ටස් ඇන දාල එක පාරට තුන් දෙනෙක් විතර දිවය ලෝකෙ යවතැහැකි.
    නික් නේම් කියද්දි මතක් වෙන්නෙ අපේ යාලුවෙක්, ඌ වයිෆ් ගෙ නික් නේම් එක bunny ( ෆෝන් එකේ දාගෙන තියන නම ) . කතා කලොත් මොකකට හරි බනින හින්ද තමයි නම දාල තියෙන්නෙ

    ReplyDelete
    Replies
    1. විල් කුකුල්ලු කියන්නෙ මොක්කුද අනේ අදමයි ඇහුවෙ මම...බයිට් එකට ගන්න වෙන්න ඇති උන්ව පරලොව යැව්වෙ...කද්දි පව් නැති උනාට අනිත් වෙලාවට පව් නේද...

      bunny ගෙ නම නම මරු...යාලුවා මොන්ටිසෝරි දරුවෙක් වගේ වෙන්න ඇති bunny ලග හිටියෙ.

      Delete
    2. විල් කුකුල්ලු කියල අපි කිවුවෙ නිල් පාට සාමාන්‍ය තරමෙ කුකුලෙක් වගේ කුරුල්ලෙකුට. වතුර තියන විල් වගේ තැන්වලට කාලෙකට එනව තුන් හතර දෙනා තමයි ඉන්නෙ.
      මේ ලගකදි මම දැක්ක එක ලග 17 දෙනෙක්. මම කුරුල්ලො බලන්ඩ යන යාගොඩ වෙලේදි. ඉස්සර බයිට් එකට නෙමේ O/L කරල ගෙදර ඉද්දි කැලෑ වැදිල හිටි කාලයක් තිබුන.

      Delete
    3. හිනා කාල මැරෙනවා යකෝ අර nickname එකට නම්. බනී!

      Delete
    4. උඹලා විල් කුකුළා කියන්නෙ 'දම් කිතලා' Purple Swamp Hen කියන එකා වෙන්ටැ මං හිතන්නේ.

      Delete
  10. ඔය කාලෙ ඔය තුවක්කු පිස්සුව හුගක් පැතිවල තිබුණා කියන්න පුළුවන්..මොකද අපේ අයියටත් ඒ දවස්වල ඔය තුවක්කු පිස්සුව හැදිලා තිබුණා...එයාගෙ අතේ තුවක්කුවයි කැටපෝලෙයි නැති වුණේම නෑ..ඒ වගේම අම්මගෙන් අනන්තවත් ගුටිනම් කාල ඇති එපා නොවෙන්න.....

    ReplyDelete
    Replies
    1. මමත් කැටපෝලය සහ බට තුවක්කුව පාවිච්චි කලා. ඒ දවස් වල අපේ අම්මා අපිට බනින්නෙ කොහිකිරිල්ල කහටින් බිත්ති දුර්වර්ණ වෙන නිසා. එහා ගෙදරයි මෙහා ගෙදරයි...අපි එහෙමයි වෙඩිතියාගත්තෙ.

      Delete
  11. සිරා තුවක්කුවක්නේ ඒක .. ලොවෙත් නැති බයියො ගමේ ඉන්නවා. . අසරණ අඩනයගේ කෙසෙල් ගෙඩිය තම දැන් ගියොත් කන්න වෙන්නෙ.. හක හක හක

    ReplyDelete
    Replies
    1. අඬනයා මට බැන බැන එදා කපපු කෙහෙල් ඇවරිය කාට හරි විකුණන්න ඇති...ඒකා නූල් සූත්තර කාරයා...නැත්තං හොඳින් ඉන්නවද බලන්න ආපු එකාටත් බිස්නස් කරනන් හදයිද....

      Delete
  12. ඊයේ නගා ගෙ ජොකා කියවල අද කොමෙන්ට් එකක් දාන්න බලනකොට මෙන්න උඹ අඬනයා ගැනත් ලියලා.. උඹ ඔය නම් ගැන කියද්දී මට මතක් උනේ 'මයෙ කොලූ' කියල අපිත් එක්ක හිටපු එකෙක්.. ඌ තමයි ඉස්සර අපේ බයිට් එක.. හොඳටම මළ පැන්න දවසක වෙන එකෙක්ගේ කේස් එකකට මං මූට දෙක තුනක් නෙළුවා.. උන්ගෙ අම්මා ඇවිත් අපේ ගේ ඉස්සරහ දෙස් තිබ්බ 'මයෙ කොලූ'ට හොඳටම ගහල කියල.. එදා ඉඳන් ඌ තාමත් මයෙ කොලූ..

    ReplyDelete
    Replies
    1. රතිඤ්ඤ තුවක්කුවෙන් වෙඩි තියන්න ඕනෙ මේක කල්‍යාණ මිත්‍ර කියල යාළුවටත් ගහල. :D

      Delete
    2. වෙඩි තිබ්බට කමක් නෑ හැබැයි සීනි දාල එහෙම වෙඩි තියනව නොවෙයි ඔන්න. මේ දවස් වල අම්බානට සීනි.. හැක් හැක්.. යාලුවොයි කිව්වට ඌ ඒ දවස්වල පොඩි එකා බං.. බෝල අහුලන්න (පොලිශ් කරන්න නෙවෙයි ඕං) විතරයි ගන්නේ..ඔය වගේ දෙතුන් දෙනෙක් හිටියා ඒ කාලෙ කවුරු එක්ක මල පැන්නත් අපි අතේ පයේ හිරි ඇර ගන්නේ ඔයින් එකෙකුට දෙක තුනක් ගහලා.. දැන්නම් පව් හිතෙනවා.. ඒත් ඒ කාලේ එහෙම හිතුනේ නෑනේ..

      Delete
    3. අපෙත් ඔය වගේ බයිට් කීපයක්ම හිටියා. එකෙක් ජෝනා...අනිකා පුල්ලියා..මුන්ව ඕනෙම දේකට කඩේ යවන්න හැකියි. ජෝනට අක්කලා 2 දෙනෙක් හිටියා...ඒ හින්දම ගොඩාක් උන් කිව්වෙ මස්සිනා කියලයි. මස්සිනා මට උඹලගෙ මැද අක්කව දෙනවා නේද...එහෙමයි ජෝනට බෝල තලපු උන් කථා කලේ.

      Delete
  13. පව්...අරූ හරියටම මිනිහ ගැන නොදැනයි ඉස්සෙල්ලම බිස්නස් එක කරන්න හදල තියෙන්නෙ...අර ප්‍රදර්ශනේට ගිහින් ගිය විදිහටම ආවැයි...

    ReplyDelete
    Replies
    1. හපොයි ඉන්දික අයියා එ් කථාව කියලා තව පො‍ඩ්ඩෙන් මගෙ හිරි ඔතප් බිඳිනවා. හිතුනොත් මම ඒ ගැනත් ලියන්නම්...එදා සෑ තමයි සෑ...මතක් වෙද්දි තවම භයයි අප්පා.

      Delete
  14. අර රතිඥ්ඥා තුවක්කුව වගේ වැඩක් අපේ අයියටත් වුණා. අපි පොඩි කාලේ යාලුවෙක් හිටියා ජයා කියලා. අයියා කැටපෝලෙන් බට්ටිච්චෙකුට විදිනකොටම ජයා පැන්නා හරී................කියාගෙන. අර විදිහටම ගල නනලේ රැඳුනා. ජයාගේ අම්මා ඇවිත් කලන්තේ දාල වැටුණා. අපේ අම්මා අයියව හම ගැහුවා. කොල්ලා ඉස්පිරිතාලෙන් දවසකට පස්සේ ආවා කිසිම ප්‍රශ්නයක් නැතුව.

    අම්මප සිරෝ දැන්නම් පොතක් ලියන්න කාලේ හරි මෙව්වා ඔක්කොම දාලා. මාර චරිත තමයි සිරා එක්ක ඉඳලා තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. මම මේ ලොප් කරලා ලියන්නෙ ගොඩාක් චරිත...අපිට හිටියා තව අමුතුම පොරවල්.. .එකෙක් ඩොනා...අනිකා පුල්ලියා...මුන් දෙන්නම කෙල්ලෙක් දපනෙ දාගන්න තරම් පෙනුම නැති උනා...ඩොනා ගොත ගැහුවා...අපේ ගමේ හිටියා කෙල්ලෙක් දමයන්ති කියලා..ඒකි හරිම කැතයි. කවුරුවත් උනන්දු උනේ නෑ. නමුත් ඩොනා උනන්දුයි...දවසක් දෙන්නා හදාගෙන යන ගෙයක් අස්සෙ ඉදලා මාට්ටු වෙලා..උගෙන් අහලා තෝ මොනවද බොල මේ කෙල්ල එක්ක මෙතන කලේ කියලා වැඩිහිටියො....// ඩඩ් ඩඩ් ඩා ඩබල් බනිස් කෑවා අපි කිව්වලු ඩොනා.

      Delete
    2. ඉළ ඇදුනා යකෝ මේකට. ‍ඩොනා ඩඩ් ඩ්ඩ් ඩබල් බනිස් කද්දි කෙල්ල කෙ. කෙ. කෙසෙල් කෑවලුද?

      Delete
    3. ///ඉළ ඇදුනා යකෝ මේකට. ‍ඩොනා ඩඩ් ඩ්ඩ් ඩබල් බනිස් කද්දි කෙල්ල කෙ. කෙ. කෙසෙල් කෑවලුද?/// +++++++++++
      ඩ..ඩ...ඩබල් බනිස් කි..කි..කිව්වට... දෙ..දෙ..දෙක... දෙපැත්තෙලු..ති..ති..තිබ්බේ.. :-)

      Delete
    4. ඩොනා ගැන තව කථාවක් දෙකක් ආයෙ ලියන්නං...

      Delete
  15. මෙන‍්න රියල් බඩු. අඩනයා අනූනමයෙන්නෙ බේරිල තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. උගෙ ඇහැකට එහෙම වැදුනා නම් සොරි තමයි...

      Delete
  16. මචන් උඹ ඉන්නෙ මැලේසියාවෙ හරි සිංගප්පූරුවෙ හරිද? බලන්න වටින ලස්සන වැදගත් තැන් ගැන පෝස්ට් එකක් දාපන්කො. කවද හරි පුලුවන් වුණොත් ටුවර් එකක් යන්න.

    ReplyDelete
    Replies
    1. මැලේසියා‍වෙ බලන්න තියෙන තැන් ගැන හොද අවබෝධයක් ගන්න පුලුවන් සමන් අතාවුදහෙට්ටි මහතා ලියපු සරවක් නදිය දිගේ කියන කෘතියෙන්...ඒ පොත හොයාගෙන කියවන්න මිත්‍රයා..ඉඩක් ලැබුනාම යමක් ලියන්නං..මම වැඩිය සංචාරය කරන කෙනෙක් නෙමෙයි. අගනුවරම තමයි ඉන්නෙ.

      Delete
    2. ස්තුතියි

      Delete
  17. මේක තාම කියවන්න බැරි උනා බොලන්...

    ReplyDelete
    Replies
    1. ඔන්න කියෙව්වා...
      මුන් සෙට් එක එළ බුවාලා ටිකක්නේ බං
      ඈ බං සිරා...මාකස් කියන්නේ ගොන් බඳින කනුවක්ද. මුව කන්න එපායැ අර චැලියට කරපු අපරාදෙට
      මමත් වතාවක් ඔය අඬනයල වගේ රතිඤ්ඤ තුවක්කුවත් හැදුවා. හැබැයි වෙඩි දෙකයි තියන්න ලැබුනේ. ඒකෙ භයානක කම තේරුම් ගත්තු තාත්තා වහාම තහනම් නියෝගයක් නිකුත් කරලා මගේ වැඩේ කඩාකප්පල් කරලා දැම්මා... හෙහ් හෙහ්...
      එකට හරියන්න දැන් ඔරිජිනල් Air මෙව්වා එකකින් ඒ ෆන් එක ගන්නවා... දැන්නම් ඒකත් එපා වෙලා තියෙන්නේ... හෙහ් හෙහ්

      පව් බං උඹ අච්චර ගුටි කාල හිටපු අඬනයව ඒ වෙලාවේ බයිට් කලේ...

      Delete
  18. ආපු ගමන් ආප්ප 20යි ගල් බෝතලයකූයි අරන් අඩනයා බලන්න යමන්.

    ReplyDelete
    Replies
    1. ආප්ප 20 ක් ගන්න ඉඩමක් වත් උකස් තියන්න වෙයිද..දැන් ආප්ප සෑහෙන්න ගනන් නේද...

      Delete
  19. අඩෝ උඹලැ ගමේ හොඳ නව නිපැයුම් කාරයෝ ඉඳලා තියෙනවානේ.
    පොල් වතු වල බෝල ගහලා නැහැ බං.අපේ පැති වල කොයින්ද පොල් වතු?අපි බෝල ගැහුවේ පාරවල් වල වතු ඔවුට් තියලා එහෙම.

    ReplyDelete
    Replies
    1. අපේ ගමේ සුපිරි පොරවල් හිටියෙ. දැන් කොහෙද එහෙම උන්...අයිතිකාරයට නොදැනෙන්න මහ දවාලෙ තැඹිලි බාන සූරයොත් හිටියා. අපි ඉතින් පොල්වත්තෙ සෑහෙන කාලයක් සෙල්ලං කලා. පස්සෙ යටි වගාවක් දාන්න පොල්වත්ත හෑරුවට පස්සෙ තමයි අපේ බෝල තැලිල්ල නතර උනේ.

      Delete
  20. පස්ට ආතල් කතා ටිකක් නෙව.. හරි රහයි..

    ReplyDelete
    Replies
    1. අතීතය රහයි ගස් ලබ්බො...මම විතරක් නෙමෙයි ගොඩාක් උන් කියන කථාවක් ඒක...

      Delete
    2. අතීතය සිහිනයක් පමණයි...!!!

      හැක්...හැක්...
      බ්‍රෑන්ඩ් එක ගල්...

      Delete
  21. සුපිරි ලීවිල්ලක් ලියල තියනවා බලාගෙන හිටිය වගේ දැනෙන්න. උඹ ගුටි කෑවේ නෑ එතකොට?

    ReplyDelete
    Replies
    1. මම ඉතිං සංවිධායකයෙක් නිසා වේදිකාවෙම තමයි හිටියෙ...

      Delete
  22. යක්ස බඩු නෙව බං.. ගියර් දෙකෙන් යන්න හිතෙනවා දැං..

    ReplyDelete
    Replies
    1. ගියර් දෙකෙන් ගිහින් බෝල තලාගන්න එපා මේ දෙගොඩහරි වයසෙ...

      Delete
  23. අඬනයා තාම බලා ඉන්නවා ඇති. ඒ කාලෙ කතා අහන කොටත් ආසයි සිරා මල්ලි. අපේ පුංචි බාප්පත් ඔය වගේ එක්ස්පෙරිමන්ට එකක් කරල ගේ මැද්දෙ බෝම්බෙ වගේ පිපුරුවා. ගෙදරින් පැනල ගිහින් දවස් ගානකට පස්සෙ ආවෙ.

    ReplyDelete
    Replies
    1. හෙ හෙ පුංචි බාප්පත් මරු හාදයෙක් වගේ...නිවසට හානි උනේ නැද්ද...විද්‍යාත්මක පරීක්ෂණයක් වෙන්න ඕනෙ කරන්න ඇත්තෙ.

      Delete
  24. තුවක්කුව හදපු එකනම් මරු වැඩක්.හැබැයි උබ අරුට පොල්ල තිවුව එකනම් වැරදියි

    ReplyDelete
  25. පෝස්ටු සේරම ආසාවෙන් කියෙව්වත්, මාස කිහිපයක් තිස්සෙ ඇවිත් ගියත් කොමෙන්ටුවක් නොදැම්මෙ මගේ බ්ලොග් එකක් අටවගන්නකම්. මමත් බ්ලොග් ලෝකෙ පැලපදියම් උනා. ඉඩ පාඩු ඇති වෙලාවක ඇවිත් යන්න එන්න...
    http://camarawenehalokaya.blogspot.com

    ReplyDelete
  26. උඹත් ආප්ප කන්න කියලා මාරු උනා නේද!

    බලපන් නව නිර්මාණ ශිල්පියෝ පොල් වත්තේම මිය ගිහින් නේ...

    ReplyDelete
  27. ඔය රතිඥ්ඥ තුවක්කුවක් මමත් හැදුවා. ඒක බිම තියල පත්තු කරන විදියට හැදුවේ. මොකද බටේ පුපුරලා බැටේ හම්බවෙන බව මට ඒ වෙද්දීත් ඉවෙන් වගේ තේරුණු නිසා ශේප් එකේ බිම අටවලා මාරු වෙනවා. :) ඕකට අපි දැම්මේ ජිල් බෝල ම තමා. පස්සේ පොඩි එකක් හැදුවා බයිසිකල් බෝල දාන්න. ග්‍රාමසේවක මහත්තයා අවුරුදු නැතුව වෙඩි පත්තු වෙන්නේ මොකද බලන්න ඇවිත් තව ටිකෙන් මං කුරු ගනින්නත් තිබ්බා..

    ReplyDelete
  28. යකඩො මූ මාරක ගිනිඅවි නිෂ්පාදනය කරන්නත් කියල දීල. :)

    ඔය තුවක්කු සෙල්ලම් නම් හරි භයානක ඒව බං. සුළු වැරදීමකින් ජීවිත කාලෙම පසු තැවෙන්න වෙන්න පුළුවන්. අපි පොඩි කාලෙ නම් බට තුවක්කු හැදුවා. ඒවට මොනාද පොඩි ඇට වගයක් දාලා වෙඩි තිබ්බා. මතක හැටියට ඒ ඇටවලට කිව්වෙ ‘බලු දං‘ වගේ නමක්. ඒ කාලෙ නම් ඒව පොඩි පඳුරු හැම තැනකම වගේ තිබ්බා. දැන් නම් දකින්නත් නෑ ඒ ගස් වඳවෙල ගිහිල්ලා. තව කඩදාසි තෙමල පොඩියට ගුලිකරලත් වෙඩි තියන්න ගත්තා.

    ඉතිං උඹ ආයෙ ඒ කඩේ පැත්තෙ ගිහිපු වෙලාවක ඌ ‘ආප්ප නැතුවට කමක් නෑ, මේ කෙසෙල් ඇවරියවත් අරන් පලයන්‘ කියල දුන්නෙ නැද්ද?

    ReplyDelete

සිරාගෙ කාමරයට පැමිණියාට ස්තූතියි...

නැවත දිනයක ආයෙත් එන්න..... ඔබට ජය !

Related Posts Plugin for WordPress, Blogger...