Saturday, February 15, 2014

87 මගේ යාලු සාදු

නවම් මාසය...එහෙමත් නැතිනම් කවුරුත් හදුනන පෙබරවාරි මාසය බොහෝ අය සුභ කටයුතු සදහා යොදා නොගන්නෙ එහි දින අඩුයි කියලයි. අඩුමාසෙ කියලා කටවහරෙ එන හින්දමද කොහෙද මේ මාසයේ එහෙමත් තැනක තමයි විවාහ මංගල්ලයක් උනත් කෙරෙන්නෙ. ඒ වගේම අලුත් ව්‍යාපාරයක් කාරිය ආරම්භ කරන්නෙ.  නිවසක් තනන්න මුල් ගලක් තියන්නෙ. විවාහ උත්සව සමග සෘජුව සම්බන්ධ වෘත්තිකයො වසරේ අඩුම ආදායමක් ලබන්නෙත් මේ කියන නවම් මාසයේ.

සිරා කොලුවාට නම් අඩු මාසය කියලා පෙබරවාරියේ වෙනසක් තිබුනෙ නෑ...පරිසරයට අහිතකරයි කියලා දැනගෙන ගලවලා විසිකරන්නට කලියෙන් මිදුල අරක්ගෙන පෙබරවාරිය ලස්සන මල් වලින් සරසපු වැලන්ටයින් ගහ තමයි මට මුලින්ම සිහි වෙන්නෙ. ඉස්සර මම උසස් පෙළ පන්ති යන කාලෙ දැරිවියකට හිත ගියාම වැලන්ටයින් ගහේ අතු අගිස්සක තියෙන පුංචි පොහොට්ටු දිහා බලාගෙන කල්පනා කරන්නෙ මේ පොහොට්ටුව මලක් වෙන දවස උදා වෙද්දි ඇගේ හිත මම දිනාගන්නවා කියලයි....ඒ අතීතයත් බොදවෙච්ච සිතුවමක් වගේ මේ ලියවිල්ල අස්සෙන් එබිකම් කරනවා දැනෙනවා.

ඉතිං අද අපේ කථා නායකයා තුසිත චාමර හෙවත් සාදු. සිස්සත්වෙ සමත් වෙලා නගරෙ පාසලට ගියාම තමයි මම ඔහුව මුලින්ම දුටුවෙ. ඒ කාලෙ අපි දෙන්නා පන්ති දෙකක හිටිය නිසා ලොකු ඇයි හොදයියක් තිබුනෙ නෑ. සාමාන්‍ය පෙළ පන්තියෙදි එකම ලග පන්ති දෙකක හිටිය නිසා වචනයක් දෙකක් කථා කරලා තිබුනත් අපි අතර මිත්‍රත්වයක් බොහොම තදට ඇතිවුනේ උසස් පෙළ පන්තියේ ඉද ගත්තටත් පස්සෙයි. ඒ අපි දෙදෙනාට එකම පන්තියක මදිවාට එකම පේළියක එක ලග ඉදගන්නට අවස්ථාව ලැබුන හින්දයි. මේ පේලියෙ හිටිය අනිත් පුද්ගලයො වන මල් ජංගියා, ගම්පහ ලීලා පොත්හලේ හිමිකරුගේ බාල පුත්‍ර රත්නය වන කරුවා, කෝසල, වර්තමානයේ ලංකාවෙ ජනප්‍රිය පරිගණක සජීවිකරණ ශිල්පියෙකු වගේම අධ්‍යක්ෂක වරයෙක් ලෙස කටයුතු කරන චමිල් මට කිසිම දිනෙක අමතක වෙන්නෙ නැති උදවිය.

සිරාගෙ කාමරේදි වේලාසනින් ඔබට හදුන්වා දුන්න මල් ජංගියා තමයි සාදුගෙ හොදම යාලුවා. උසස් පෙළට පිවිසෙන්නත් කලියෙන් මේ දෙදෙනාගේ මිත්‍රත්වය ඇරඹී තිබුනෙ. උසේ හැටියට ශරීරයක් තිබුන ශක්තිවන්තයෙක් තමයි තුසිත චාමර හෙවත් සාදු. පන්තියේ හැමෝම සාදු එහෙමත් නැතිනම් සාදුවා කියලා හැම වෙලේම ආමන්ත්‍රණය කලත් ඒ නම හා ඔහු අතර සබදතාව අපි අදටත් දන්නෙ නෑ....සමහර විටෙක කොණ්ඩය කොටට කපපු අවස්ථාවකදි ඔහුගෙන් පෙනෙන බෞද්ධ ස්වාමීන් වහන්සේ නමකගේ පෙනුම හේතුවෙන් ඒ නම පටබැදෙන්නටත් ඇති.

සුදු පැහැති රවුමකින් පෙන්වපු කෙනා තමයි සාදු

වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සාදු නියම මිත්තරයෙකුගේ ලක්ෂන විද්‍යාමාන කරන්න වැඩි දවසක් ගත කලේ නැති නිසාම පන්තියේ දෙවැනි පේලියේ හිටිය අපි ඉතා ඉක්මනින් මිත්‍රත්වයේ ශක්තිමත් බැම්බෙන් බැදුනා. ඒ මිත්‍රත්වය නිසාම මා එවකට නියෝජනය කරමින් සිටි බටහිර තූර්ය වාදක ඛණ්ඩයේ සාමාජිකයෙක් වන්නටත් සාදු කටයුතු කලා.

හැම වෙලේම සිනා මුසුව පන්තියේ කා සමගත් සුහදව හිටිය මේ මිත්තරයගෙන් තද බල පහරක් කෑවා නම් කෑවෙ මල් ජංගියා හෙවත් සාදුගෙ හොදම මිතුරා. ඒ ඉතිං යමක් බෙදාගන්න බැරුව නෙමෙයි. විහිලුවට.

උසස් පෙළ පන්තියේ ගත කරපු දෑ අවුරුද්ද නිසාම නෙමෙයි සාදු මේ තරම් මගේ ජීවිතයට මිතුරෙක් විදියට ලං වුනේ. දුක හා සැප සම සිතින්  විදිමින් එක පවුලක උන් වගේ අව්වට පිච්චෙමින්, වැස්සට තෙමෙමින් අපි එදා නිරත වූ  දුෂ්කර පුහුණුවීම් වලදි මගේ ලගින්ම හිටිය සගයෙක් නිසයි ඒ මිතුරු දම බොහෝ දැඩි වුනේ.

කොච්චර අපහසුතා වින්දත්...කෙතරම් මහන්සිවෙලා හිටියත් ඔහුට යමක් පැවරුනු විටෙක කිසිම වෙලාවක ඒ දේවල් කර අරින්නෙ නැතුව තමන්ට හැකි උපරිමයෙන් කල පුද්ගලයෙක් ලෙස අපේ තූර්ය වාදක ඉතිහාසයේ සාදු ගැන සටහන් වෙන්නෙ.

සිරා කොලුවා වන මම පුද්ගලික ජීවිතයේදී හෝ යම් අපහසුතාවකට පත් වුනා නම්...ඒ සෑම වෙලාවකම සාදු මගේ සහායට මා ලගම සිටි බවත් මට මතකයි.

ඉතින් ඔබ මෙන්ම මමත් බොහොම ආදරයෙන් නැවත නැවතත් ආවර්ජනය කරන සුන්දර පාසල් සමය...නිමාවුනේ අපිටත් හොරෙන්. වෙලාවකට කාලය ගත වන වේගය හිතාගන්නත් බැරි තරම්. දෑ වසරක උසස් පෙළ ජීවිතයත් පණ වගේ ආදරයෙන් රැක බලාගෙන උස් මහත් කරපු තූර්ය වාදක ඛණ්ඩයත් අත හැරලා අපි පාසල් මාතාවට සමු දුන්නෙ 2001 වසරෙදි.

එතැනින් පස්සෙ තම තමන්ට තිබුන සිහිනයන් ඔස්සේ විවිධ දිශානතින් වලට පිරිස විසිර ගියා. සමහරු රටෙන් බැහැර වුනා. තවත් සමහරු ආරක්ෂක අංශ වල තූර්ය වාදක කණ්ඩායම් සමග එක් වුනා. පාසල් සමයේ දිනපතා මුණ ගැසුන මිතුරන් වසරකට වරක් වත් හමුනොවෙන තැනට කටයුතු යෙදුනා. මේ තමයි ජීවිතයේ යථාර්තය.

මේ කියන තුසිත චාමරත් එහෙමයි. පාසලෙන් සමුගත්තට පස්සෙ කිසිම කිසි දිනෙක මට හමුනොවුන මේ මිතුරා මාර්ක් සකර්බර්ගෙ මූණු පොතට පින් සිද්ධවෙන්න තමයි නැවතත් එකිනෙකා සමග කථා බහ කිරීම ඇරඹුනේ. අපි පාසලෙන් සමුගත්ත කාල සීමාව වෙද්දි ජංගම දුරකථන  අද තරම් ව්‍යාප්ත වෙලා තිබුනෙ නෑ.

ඒ වෙද්දි මම පරිගණක ග්‍රැෆික් කරුවෙකුගේ භූමිකාව රගද්දි ඔහු තමන්ගෙ ඥාතියෙකු වූ දිවයිනේ ජනප්‍රිය භෞතික විද්‍යා දේශක තුමෙකුගේ කාර්යාලයක් පාලනය කරමින්  සිටියෙ. ඊටත් අමතරව ජීවන ගමන පැද යන්නට පෙම්වතියකුත් සාදුගේ ජීවිතයට ලං වෙලා උන්නා. ඒ දෙන්නා තම තමන් උපයන ධනය වියදම් කරලා නව නිවසකුත් ඉදිකරමින් සිටියෙ.  තවත් ටික කාලෙකින් මගෙ වගේම සාදුගේ අතටත් 3G තාක්ෂණය සහිත දුරකථනයක් ලැබුනට පස්සෙ සතියකට දිනයක් දෙකක් මුහුණට මුහුණ බලාගෙන කථා බහේ නිරත වෙන්න අපට හැකියාව ලැබුනා.

මේ බලහං...අපි හදාගෙන යන ගෙදර...අද උළු තිබ්බා....බිත්ති ටික කපරාරු කරලා බිමට සිමෙන්ති ටික දාගන්න තව ඉතුරු වෙලා තියෙන්නෙ....ඒවත් මේ කලා වගේ හෙමින් හෙමින් කරනවා....මහන්සියි බන්..තේ ටිකක් බොන ගමන්. පොඩ්ඩක් ඉදපංකො උඹට මගේ ගෑණු ළමයව පෙන්නන්න....මේ විදියට ඔහුගෙ ජීවිතයට සමීප වෙච්ච මම නොදන්න බොහෝ දෑ සාදු තමන්ගෙ දුරකථනය ඔස්සේ මට සමීප කලා. මමත් කාර්යාලයේ විවේකයක් ලැබුනාම ඔහුට වීඩියෝ ඇමතුමක් අරන් කාර්යාලයෙදි මගේ වටේ හිටපු යුවතියො වගේම අපේ කාර්යාලය ඇතුලතත් ඔහුට පෙන්නුවා....

වෙනදා වගේම මදින් මද කාලය ගත වෙලා  2009 වසරත් ලැබුවා. ජනවාරි මාසයේ මා සමග කථා බහ කරමින් සිටි වෙලාවක තුසිත මට කිව්වෙ මැයි මාසයේ විවාහ වන බවක්...ඊට කලියෙන් නිවසේ වැඩ කටයුතු අවසාන කල යුතු බවකුත් ඔහු කිව්වා. කොහොම හරි ඔහු මට අවසාන වතාවට ඇමතුමක් දුන්නෙ 2009 ජනවාරි අන්තිම සතියෙ.

වම්පස කෙළවරේම ඉන්නෙ සාදු. මේ ඡායාරූපයේ ජපන් චමියා, මල් ජංගියා, අයිය බඩා වගේම සිරා කොලුවත් ඉන්නවා.       තූර්ය වාදක ඛණ්ඩය නියෝජනය කරපු අපේ වයසේ අය තමයි මේ.
දකුණු පස කොනේම ඉන්නෙ සමීර. පාසලෙන් සමුගත්තට පස්සෙ ඒකාව තවම මුණ ගැහිලම නෑ.


මචෝ...අපේ වෙඩිමට ලස්සන ඉන්විටේෂන් කාඩ් එකක් උඹට කියලා ඩිසයින් කර ගන්න ඕනෙ...මම ලබන සතියෙ වැඩ කරන තැනට එන්නම් කථා කරන්න.

මම එවකට සේවයේ නිරතව සිටි දැන්වීම් ප්‍රචාරන ආයතනයේ එවැනි කටයුතු කලේ නෑ. ඉන්විටේෂන් එකක් අලුතෙන්ම ඩිසයින් කරලා ...ප්‍රින්ට් කරලා...cutting බ්ලොක් හදලා හදන්න යන වියදම වැඩියි මචං...ඒ හින්දා මේ ලගම තියෙන කාඩ්ස් විකුණන තැනකින් අපි හොද එකක් බලමු...සෙනසුරාදා හැන්දෑවක වරෙන් මේ පැත්තෙ...කේක් පෙට්ටිත් එතනින්ම ගන්න පුලුවන්. මමත් එන්නම් යන්න....ඔන්න ඔය විදියට තමයි මම අවසාන වශයෙන් සාදුට පිළිතුරු දුන්නෙ.

ඒ සිදුවීම එතැනින් අහවර වෙලා ඊලග සතියත් උදා වුනා. කිසිම අමුත්තක් නැතුව පෙබරවාරියෙ මුල් දවස් දෙක තුන ගෙවුනා. මගේ මිත්තරයා මල් ජංගියා ඒ වෙද්දි සේවය කරමින් හිටියෙ විදේශ රටක. ඔහුත් සතියකට වාරයක් දෙකක් ස්කයිප් හරහා මා සමග කථා බහේ නිරත වුනා.

මචං සාදුවා නැති වෙලාලු...පොඩ්ඩක් හොයලා බලපං...

මල් ජංගියා මට එවලා තිබුන මේ කෙටි පණිවිඩය මට ඒ වෙලාවෙ එතරම් තදට දැනුනෙ නෑ. ජංගියා මා සමග විහිලු කරනවා....එහෙමත් නැත්තං සාදුවා විනෝද චාරිකාවක් ගිහිල්ලා තවමත් ගෙදර ඇවිල්ලා නෑ වගේ අදහසක් තමයි මගේ ඔලුවට ආවෙ. නමුත් එදා හැන්දෑවෙ ස්කයිප් ඔස්සේ ඔහු මට කිව්වෙ සාදු එහෙමත් නැත්තං අපේ අතිජාත මිත්තරයා තුසිත හදිසියේ මියගිය බවට නිළ නොවන තොරතුරක් ඔහුට ලැබුනත් එය තවමත් තහවුරු නොවූ බවක්.

මම නොම්බරයක් එවන්නම්. ඒකට කථා කරලා විස්තර හොයලා බලපං...මේ නොබ්බරේ අයිතිකාරයා සාදුවා හොදට අදුනන එකෙක්....

මම ගත්ත ඇමතුමට එහා පසින් පිළිතුරු ලැබුනා. පපුවෙ අමාරුවක්....ගෙදරදිමයි නැති උනේ.... ඒ පිළිතුරෙන් පස්සෙ මට මොනවා උනාද මට මතකත් නෑ...කාර්යාල සගයන් තමයි මට වේලාසනින් ගෙදර යන්න කටයුතු ලෑස්ති කරලා මාව පිටත් කලේ...මොකද ඒ වෙද්දි සාදු ඒ හැමෝම සමග දුරකථනය ඔස්සේ කථා කරලා යම් තරමකට සුහද වෙලා හිටියෙ.

මම නිවෙසට යන අතර තුරදිම මගේ පන්තියේ බොහෝ දෙනෙකුට සිද්ධිය සැල කලා.

අඩෝ....කැත විහිළු කරන්න එපා ඩෝ...ඌ මැරෙන වයසක එකෙක්ද....එකෙක්වත් මගේ කීම පිළිගත්තෙම නෑ...නමුත් එදා හැන්දෑවෙ සාදුවගෙ වැලිවේරිය, ඇඹරළුවෙ නිවසටම ගිහිල්ලා මේකෙ ඇත්ත නැත්ත හොයන්න මගේ මිත්තරයො කීප දෙනෙකුම මා සමග එකතු වුනා. යතුරු පැදි වල  නැගිලා ඒ ඉසව්වට යනතුරාවට උන් සැලසුම් කලේ මේ ආරංචිය වැරදුනාට පස්සෙ මට දෙන දඩුවම් ගැන.

උඹ බොරු කියලා මාට්ටු වෙයංකො උඹට අපි දෙනවා හොද පෝරියල් එකක්....

උන් කවුරුවත් තවමත් මේ පුවත විශ්වාස කරන්නෙම නෑ. නමුත් ප්‍රධාන මාර්ගයෙන් සාදු නිවහනට පිවිසෙන අතුරු මාර්ගයට ඉහළින් තුසිත චාමර තරුණ මහතාට නිවන් සැප ලැබේවා යනුවෙන් විශාල බැනරයක් එල්ලා තිබුනා. ඒ දසුනෙන් පස්සෙ කිසිවෙකු කථා කලේ නෑ...ඇස් අග දිලිසෙන කදුලු බිදුවක් දෙකක් එකෙක් දෙන්නෙක් හොරෙන් හොරෙන් පිටි අත්ලෙන් පිහදා ගනිද්දි වසර 8 කට පෙර අප පාසල් භූමියෙන් වෙන් වෙන්න කලියෙන් එක පන්තියක එක බත්මුල ලෙහාගෙන කාපු ඒ අතීතය අනිවාර්යෙන්ම සිහිවෙන්න ඇති.

නිවසට යද්දි එහි මිතුරො පිරිලා...හැමෝම මේ සංවේගජනක පුවත නිසා අඩපණ වෙලා. සිද්ධිය හරියටම දැනගන්න ලැබුනෙ තවත් මොහොතක් ගත වුනාට පසුව මම මුලින්ම දුරකථනයෙන් විස්තර විමසූ පුද්ගලයා හරහාමයි.

අල්ලපු ගමේ ආමි එකේ මල්ලි කෙනෙක් නැති වෙලා එයාගෙ බොඩි එක ගෙදර ගෙනාපු දවසෙ ඒ ගෙදරට යන පාර ශුද්ධ පවිත්‍ර කරන්න ගමේ හැමෝම එකතු වුනා. එක ඉස්කෝලෙ නිසා තුසිත මල්ලිත් ආවා....ටිකක් වෙලා වැඩ කරගෙන යද්දි පපුව ටිකක් රිදෙනවා කිව්ව නිසා අපි ඉක්මනට එයාව දොස්තර කෙනෙක් ලගට එක්කගෙන ගියා. දොස්තර මහත්තයා ප්‍රෙශර් එහෙම චෙක් කරලා ඉන්ජෙක්ෂන් එකක් විද්දා...ඊට පස්සෙ තරමක් සුවයක් දැනුන නිසා ආයෙමත් ගෙදර එක්කගෙන ආවා....එයාගෙ කාමරයට ගිහින් ඇදේ ඉදගත්ත ගමන් ආයෙත් අමාරුව හැදුනා...ලොකු හුස්මක් උඩට ගත්තා විතරයි මල්ලි...එක පාරමට පණ ගියා...ඔහු එහෙමයි අපිට කිව්වෙ.

වර්ෂ 8 කට පස්සෙ මගේ අතිජාත මිතුරාට මා නැවතත් සමීප වෙද්දි ඔහු මිනී පෙට්ටියක සැතපිලා...සුවදායක දිගු නින්දකට වැටිලා. ඒ දේහය දිහා බලාන ඉද්දි චිත්‍රපටියක රූප රාමු වගේ අපේ ඉතිහාසය මට මැවිලා පෙනුනා...කදුලු බිදුවක් දෙකක් හීනියට කම්මුල් දිගේ සීතලට පල්ලං බැස්සා. ඔහුගේ අත ගන්න බලාන හිටිය පෙම්වතිය දේහය අසලම ඔහු දිහා ඇස් නොපියා බලාන ඉන්නවා. ඇයට දැනෙන දුක කොයි වගේ ඇතිද ? මම මොහොතක් කල්පනාවේ තනි වුනා.

ඇය අප සමග දොඩමළු වුනේ තවත් සෑහෙන වෙලාවක් ගියාට පස්සෙ. ඔවුන්ගේ සිහින ලෝකය දෙදරා යන්නට කලියෙන් ඒ අය කරපු සැලසුම්...සාදුගේ ගතිගුණ ගැන ඇය අප සමග හැඩූ කදුලෙන් කථා කලා.

මේ තියෙන්නෙ අයියෙ එයා මට ගිය අවුරුද්දෙ ඉදන් එවපු මැසේජ්...මම ඒවා ෆෝන් එකෙන් මකලා නෑ. මේ අතර එකක් තියෙනවා අමුතුම විදියෙ. මේ විදියට එයා හදිසියේම මාව දාල යයි කියලා වේලාසනම දැනගෙන උන්නද කියලා මට හිතෙනවා...

මට ඔයාව බදින්න නොලැබේවි කියලා වෙලාවකට හිතෙනවා...එහෙම උනොත් මම මතු ආත්මෙකදි හරි ඔයාව බදින්නම්.

ඔන්න ඔය විදියටයි ඒ කෙටි පණිවිඩය සටහන් වෙලා තිබුනෙ. සාදුගේ මරණ ගෙදරට තූර්ය වාදක ඛණ්ඩය වෙනුවෙන් එල්ලූ සෑම බැනරයක්ම නිර්මාණය කලේ මම...ඒවා රැගෙන ඒමට ගිය ගමනෙදි ධාරානිපාත වර්ෂාවකට හසුවෙලා යතුරු පැදිය මග හිටියා...පසුම්බියට රිංගපු වැසි දිය නිසා මගේ ලැයිසොමට අමතරව හැදුනුම්පතත් විකෘති වුනා.

ඒ කුමන බාධකය ආවත් මගේ මිත්‍රත්වයේ හැගීම් නම් ගැඹුරුම තැනින් ඉපදුන ලෙංගතු වචන කොළයක් පිරෙන්න කවි විදියට ලියලා මුද්‍රණය කරලා අවමංගල සභාව පුරාම බෙදන්න අපේ මිතුරො කටයුතු කලා. පාසල් සමයේ සිටම කවි , නිසදැස් ලියන්න මා සතුව තිබුන හැකියාව නිසයි ඒ කටයුත්ත මට පැවරුනේ. මේ කවි කොළේ එකම පිටපතක්වත් අද මා ලග නෑ.

කෙසේ හෝ අවමංගල උත්සවය පැවැත්වුන දවසෙ මතක වස්ත්‍ර පූජා කරන අවස්ථාවෙ සාදුගෙ අතිජාත මිත්තරයා වෙච්ච මල්ජංගියා මගේ දුරබණුවට ඇමතුමක් ගත්තා. තමන්ගෙ හොදම යාලුවගෙ අභාවය වෙලේ...එතැන ඉන්න නොහැකි වීම ගැන ඔහු කෙතරම් තැවෙන්නට ඇතිද....ඔහු වචනයක් වත් කථා නොකර මහා හයියෙන් හඩා වැලපුන ආකාරයෙන්ම ඔහුගේ හැගීම් මට හොදින් දැනුනා.

ඇඹරළුව ඉහළ අහසෙන් පොළවට වැටුන මුසල පාටක් ගත්ත අව් කැරලි අස්සෙ පාවඩ උඩින් අවසන් ගමන් ගිය සාදු මේ ආත්ම භවය තුල නැවත අපට මුණ නොගැසුනත්...එදා අප එක්ව කල කී දෑ නම් මේ ආත්මයේ අප ජීවත් වන තුරාවටම අප සිත් සතන් තුල සදාතනික මතකයන් වේවි.

පැතූ පමණින් නිවන් දකින්නට නොහැකි නිසා මා එසේ නොපතමි. මතු ආත්මයක මේ මිතුරු ඇසුරේම නැවතත් අප මුණ ගැසෙන්නට පමණක් පතමි.

පාසලෙන් සමුගත් දින මගේ සමරු පොත සැරසූ සාදුගේ වදන්




සාදුගේ අවසන් කටයුතු සිදු වූ දින බටහිර තූර්ය වාදක ඛණ්ඩයේ සහභාගීත්වය

දවසක අපි හැමෝම මේ ගමන යනවා. එතෙක් තමයි මේ සියලු සෙල්ලං.
දවසක නිසැකවම මැරෙන බව දැන තිරිසනුන් ලෙස නොව මනුෂ්‍යයන් ලෙස ජීවත් වෙමු.





















මා හිතාදර මිත්‍ර තුසිත චාමරගේ 5 වන ගුණ සමරුව වෙනුවෙනි.






මම කාමරේ වෙසෙන සත්ගුණවත් සිරා කොලුවා.




ප.ලි

පෙබරවාරිය උදා වන හැම විටකම මගේ මතකය තනි වෙන්නෙ මේ දුක්බර සිදුවීම තුල.

මියයන අවස්ථාව වන විට තුසිතගේ බර කිලෝ 100 ක් ඉක්මවා තිබූ බවයි පවුලේ අය කිව්වෙ. පසු කාලීනව කිසිදු බර වැඩක නිරත වී නැති ඔහු පයින් ගමනක් ගොස් තියෙන්නෙත් කලා තුරකින්. තූර්ය වාදක ඛණ්ඩයේ පුහුණුවීම් කරපු කාල සමයේ ඇති තරම් මහන්සි වුවත්..පසුකාලීනව ශරීරය තර වීමත්, ව්‍යායාම නොමැති කමත් නිසා කොලස්ට්‍රෝල් මට්මම ඉහළ යාම මේ හෘදයාබාධයට හේතු වූ බැව් පසුව අනාවරණය විය. මුදල් හම්බකරන්න මා මෙන්ම ඔබත් බොහොම මහන්සි වන බව මම දන්නවා. ඒ අතර තුර තමන්ගෙ සෞඛ්‍ය තත්වය පිළිබදවත් සැලකිළිමත් වීම තමා උපයන මුදලින් ලස්සන හෙට දවසක සිහින සැබෑ වෙනවා දකින්න ඔබට පිටුවහලක් වේවි.




















87 comments:

  1. හද කම්පා කරවන කතා පුවතක්. මෙවැනි සිදුවීමකින් හිතේ ඇතිවෙන වේදනාව ජීවිත කාලයටම තියනවා. මේ හා සමානම කතා පුවතක් මටත් කියන්න තියනවා මගේ පාසල් දිවියට අදාලව. වෙනම ලිපියක් හැටියට ලියන්නම්.

    ReplyDelete
    Replies
    1. වෙනම ලිපියක් හැටියට ලියවුන කල ඒ සංවේගය බෙදා හදා ගැනීමට මමත් එන්නම් විචාරක තුමා...

      Delete
  2. හ්ම්ම්....... දුක්බර කතාවක්. මොනවා වුනත් කතාව අන්තිමට තබා ඇති සටහන නිසා ලියැවිල්ලේ අගය වැඩි වෙනවා...
    //දවසක නිසැකවම මැරෙන බව දැන තිරිසනුන් ලෙස නොව මනුෂ්‍යයන් ලෙස ජීවත් වෙමු.//

    ReplyDelete
    Replies
    1. ඇත්තම තමයි මම කිව්වෙ...සමහරු මෙළොව ජීවත් වෙන්නෙ ජීවිතය සදාකාලිකයි කියලා හිතලා. ඒ නිසයි කිසිවෙකුට පිහිටක් නොවී තනියෙන්ම ගමන යන්නෙ....

      Delete
  3. එකට හිටපු යාළුවෙක් අඩු වයසකදිම නැතිවෙනව කියන්නෙ දරාගන්න අමාරු සිදුවීමක් තමයි. ඒත් මේ පුංචි ජීවිත කාලෙදි අපිට කොයිතරම් අහිමිවීම්, දුක් කම්කටොළුවලට මුහුණ දෙන්න වෙනවද, ඕක තමයි ජීවිතේ. අපි ඕලෙවල් කරද්දි අපේ පන්තියෙ හිටපු ගෑනු ළමයෙකුත් නැතිඋනා කැන්සර් එකකින්.

    උඹ අර අන්තිමට කියපු ටික ඇත්ත බං. මටත් දැන් වෙලා තියෙන්නෙ ඒක. චුට්ටක් පයින් ඇවිද්දම, බිම වාඩි උනාම, නැවුනම එහෙම පනයන්න තරම් අමාරුයි. අපේ හෙන්රි අයියගෙ උපදෙස් නිසා ඔන්න මමත් හවසට හවසට එකදිගට ඇවිද්දා විනාඩි හතළිස්පහක් විතර. මාසෙකට වැඩිය කරන්න බැරි උනා බං. ආයෙත් හිටපු තැනමයි.

    ReplyDelete
    Replies
    1. උඹට ගහන්නෙපෑ බං ඩීඩීටී. ආයෙ පටං ගනිං මං නරක මිනිහා කියන්නේ නැතුව. උඹ දන්නවද මම නිවාඩුවට ගිහින් එන්න කාලේ එක දවසක් මට ජොග් කරන්න යන්න බැරිවුනා. ඒකේ ප්‍රතිඵල මට හොඳට තේරුණා ජනවාරි වෙනකොට.

      Delete
    2. මමත් මේ හිටියට හරිම භයෙන් ඉන්නෙ බන්...මටත් කිසිම ව්‍යායාමයක් නෑ. ඉදගෙන ඉන්න එක විතරයි හැම වෙලේම කොරන්නෙ. ඒ මදිවාට තෙල් වලින් තමයි වැඩිපුර කෑම පිසින්නෙත්....කොලස්ට්‍රෝල් පරීක්ෂණයක්වත් ලගදි කරලා සැක දුරු කරගන්න තමයි හිතාගෙන ඉන්නෙ...

      Delete
  4. අවංකව මල්ලි උඹෙ දිග ලිපි ගොඩක් වෙලාවට මට කියවන්න ලැබෙන්නෙ නෑ. ඒත් මේකෙ අග පින්තූර දැක්ක නිසා කන්තොරුවෙ ටිකක් වෙලා වැඩිපුර ඉඳල එක පාරක් කියෙව්ව. පස්සෙ ආයි ඇස් පෑදෙනකල් ඉඳල දෙවනි පාරටත් කියව්වෙ. මේ වගේම දෙයක් මටත් වෙලා තීනව මගෙ හොඳම යාලුවෙක් ඉස්කෝලෙන් අස් උන අලුතම මුහුදෙ ගිහින් මැරිල. හිතා ගන්න පුලුවන් අදටත් උඹෙ වේදනාව. සාදුට නිවන් සුව පතනව!

    ReplyDelete
    Replies
    1. මම යමක් ලියන්න ඉදගත්තාම ඒ මාතෘකාවට අදාළව මට හිතෙන සියලු දේ ලියලාම තමයි මම ලියමන හමාර කරන්නෙ...ඒ නිසයි ඔබ සමහර ඒවා දිගයි කියා කියන්නෙ...

      මට අදටත් හිතාගන්න බෑ අර පෙම්වතිය මේ ශෝකය කොහොම දරා ගත්තද කියලා. මොකද ඇය උපයපු මුදලුත් අර නව නිවසට යට වෙලා තියෙද්දි ඇය කොහොමද තවත් කෙනෙක් ගැන හිතන්න වත් හිත හදාගන්නෙ...

      Delete
  5. හරිම දුක්බර සිදුවීමක් මල්ලී. ලිපියේ අවසාන හරිය කියෙවිවේ බොහෝම අමාරැවෙන් මොකද මගේ ඇස් බොඳ වෙලා තිබුනේ. දැන් වයස වැඩක් නෑ මල්ලී. ජීවිතේ කොයි වෙලේද දන්නේ නෑ. අපේ බැචෙකුත් ගිය අවුරැද්දේ නැතිවුනා.
    ඉන්න ටිකේ තරහා මරහා නැතිව කාත් එක්කත් හොඳින් ඉන්න එක විතරයි කරන්න තියෙන්නේ. මල්ලිට ජය!!

    ReplyDelete
    Replies
    1. යෑස් ඔබේ අදහසට මම එකගයි. ජීවත් වන කෙටි කාලය හෝ තරහා මරහා වල කැපිලි නැතුව මිනිහෙක් විදියට ඉදලා මැරිලා යන එක තමයි විය යුත්තෙ. නමුත් බහුතරයක් හිතාගෙන ඉන්නෙ ඒ අය කවදාවත් මැරෙන්නෙ නෑ කියලා...විශේෂයෙන් රට කරවන අය.

      Delete
  6. මචං සිරා,
    සාදු නොහොත් තුසිතයා කියන්නේ 6 වසරේ ඉදලා 11 වසරේ විභාගය කරනකන් මගේ එහා පැත්තේ හිටපු මගේ අති ජාත මිත්තරයා. පිංතතු සර් කියන්නේ සාදුගේ මාම​. සාදු කියන්න හේතුව කොන්ඩේ ඒ දවස් වල ඉදලම නෝට් එකෙන් කපන නිසා. එච්චර බැදිමක් තිබුන එකාගේ මලගෙදර යන්න බැරි වුනා. මම ඒක දැනගත්තේ මාස 6 කට විතර පස්සේ. ඒ මම ලංකාවේ නොහිටපු නිසා.

    වචනයේ පරිසමාප්ති අර්ථයෙන්ම සාදු කියන්නේ අති ජාත මිත්‍රයෙක්. ගොඩාක් කලයකට පස්සේ මගේ ඇස්වල කදුලු මේකට මට මොනවත් කියන්න බෑ මීට වඩා.... අතීතයේ මතක ගොඩාක් මතක් වුනා උඹෙ මේ ලිපියත් එක්ක​..සාදු කොහේ හිටියත් කොහෙ හරි හොඳ තැනක අනිවාරයෙන් ඇති.
    උඹට මම කෝල් එකක් දෙන්නම්..

    මම
    මයික්

    ReplyDelete
    Replies
    1. මට මතකයි ඒ කාලය...උඹලා උන්නෙ G පන්තියෙ මම හිටියෙ F එකේ. සාමාන්‍ය පෙළ ලියපු අවුරුද්දෙත් අපේ පන්තියෙ කොල්ලෙක් මලා උඹට මතකද ?

      Delete
    2. ඉෂාර නේද මචං.. අපිට බුද්ධාගම උගන්නපු මිස්ගේ පුතා. (මතක හැටියටනම් එයා තමයි සාමාන්‍ය පෙළ ලියපු අවුරුද්දෙ නැති වුනේ).

      Delete
    3. ඉෂාර නෙමෙයි මචෝ...ඉෂාරයා මලේ අපි සාමාන්‍ය පෙළ ලියපු අවුරුද්දෙ 1998, ඒකටත් කොලස්ට්‍රෝල් ප්‍රශ්නයක් තමයි තිබුනෙ...

      Delete
  7. ඊයේ පෙරෙයිදා මගේ යාළුවෙකුත් මැරුනා බං , නිව්මෝනියාව දෙවියන් වහන්සේ සුව කරනකං බලාගන ඉදලා

    ReplyDelete
    Replies
    1. ඒ විදියට හිතන අය නම් මෝඩ මී හරක්...අන්ධ භක්තිය කියන්නෙ බොහෝ විට තමන්ට හානි ගෙන දෙන දෙයක්...

      Delete
  8. හරිම සංවේදී කතා පුවතක් සිරා,මේ වගේ සමුගැනීම් දරාගන්න ටිකක් අමාරුයි.කොහොම උනත් උඹ ලස්සනට කතාව ලියල තියෙනව.

    ReplyDelete
    Replies
    1. හිතන්නෙ නැති වෙලාවක තව සෑහෙන කාලයක් ජීවත් විය යුතු කෙනෙක් අභාවයට පත් වුනාම දැනෙන දුක වැඩියි තමයි. මොකද එයා ගැන තියෙන බලාපොරොත්තු විශාල ප්‍රමාණයක් බිද වැටෙන නිසා....

      Delete
  9. ඇත්තටම ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක් අයියෙ. හරිම වේදනාවෙන් අන්තිම ටික කියෙවුවෙ.

    ඔහුට නිවන් සුව පතමු.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම....ඉතාම විශාල වේදනාවක්...ඉපදීම දුකක් කියන්න ඒකත් එක හේතුවක්....

      Delete
  10. කතාවේ මැදක් යනකොටම මොකක්දෝ අමුත්තක් දැනුන...පහුගිය ලිපි දෙකෙන් අපිව හිනස්සෝපු උඹ මේකෙන් ඇඬේවව......ඉස්කෝලෙන් අයින් වෙලා අවුරුදු තුනකින් විතර මගේ යාලුවෙක් නැතිවුණා....මට මතක් වුනේ ඌව....ඌත් ඉස්කෝලේ බෑන්ඩ් එකේ හිටිය,ටිකක් විතර මේ හැඩහුරුකම තිබුන එකෙක්..

    ReplyDelete
    Replies
    1. දුක සතුට මුසුවෙච්ච දෙයක් නොවැ ජීවිතය කියන්නෙ....හැමදාම සතුට නෑ...හැමදාම දුකත් නෑ....

      Delete
  11. ගොඩක් දුක හිතුනා මගේත් ලගින්ම හිටපු මිතුරා හිතුවේ වත් නැති මොහොතක බොහොම අවාසනාවන්ත විදියට අපෙන් සමු ගත්තා මම මගේ මිතුරව මතක් උනා මේඅක කියවද්දි

    ReplyDelete
    Replies
    1. හිතපු නැති වෙලාවක මෙවැනි දෙයක් උනාම, ඒ සිදුවීම දැනගත්තම දැනෙන දුක මම හොදට දැන් දන්නවා...

      Delete
  12. සංවේදී සටහනක් සිරා..!! මගේ ලඟින්ම ඉඳපු උන් දෙන්නෙක් මැරුනා..එකෙක් සමීර අනිකා ගයාන්. දෙකම බයික් ඇක්සිඩන්ට්. ගයාන් මැරුනේ ට්‍රේල් වර්ගයෙ යතුරු පැදියකින් ..ඌ මැරෙන්න සතියකට කලින් ටවුන් එක මැද්දෙ පෙරලගත්ත ..වෙලාවට මමයි තව එකකුයි ළඟ ඉදල නැගිට්ටුවේ..සතියකට පස්සෙ මැරුන ආයෙමත් පාරෙන් පැනල ගහක වැදිලා. !!
    උඹේ යාලුව ඉන්න තැනක හොඳින් ඇති ..

    ReplyDelete
    Replies
    1. ඔය දෙන්නා ගැන වතාවක් බොලා සහන් එක්කත් කථා කලා නේද මගේ බොග ඇතුලෙම...ගයාන් කියන හාදයා නම් හෙමින් ගමනක් නොගිය කෙනෙක් වගේ....මුල් වතාවේ හෝ පාඩමක් ඉගෙන ගන්න තිබ්බා එයාට...

      Delete
  13. හ්ම්ම්... හිතට දැනුණු කතාවක් සිරා. පියෙහි විප්පයොගො දුක්ඛො....

    ReplyDelete
    Replies
    1. දුක, සැමදා, සැම තැනටම පොදු වූ ධර්මතාවයක් මිස, එක් කාලයකට, එක් රටකට, එක් ජන කොට්ඨාශයකට හෝ එක් වයස් සීමාවකට සීමා වූවක් නොවෙයි.

      Delete
  14. අයියෝ......මුල හරිය කියවනකොට මම හිතුවේ තවත් එක ෆන් කතාවක් කියලා....:(
    හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්

    ReplyDelete
    Replies
    1. එහෙම තමයි මලයො...සතුටේ අනිත් පැත්ත තමයි දුක. හරියට කාසියක දෙපැත්ත වගේ...

      Delete
  15. කවදාවත් කමෙන්ට් කරන්නෙ නැතිව අයියගේ ලිපි කියෙව්ව මටත් දෙයක් කියන්න තියෙනවා. මගේ හොඳම යාළුවා බාලාංශ පන්තියේ ඉඳන්ම මගේ යාළුවා මීට සති දෙකකට කලින් නැතිවුනා. ඌ මැරෙන්න හිටි එකෙක් නෙවෙයි. අඟේ ඉඳන් කන කෑව උගේ අලුත් යාළුවෝ ඌව මරාගත්තා කියලා කිව්වොත් හරි. මීට වඩා කියන්න දෙයක් නෑ. උඹේ යාළුවා වගේම මගේ යාළුවත් හොඳ තැනක ඇති. මම කවදාවත් මගේ යාළුවට නිවන් ප්‍රාර්ථනා කරන්නෙ නෑ. ඊළඟ ආත්මෙදිත් මට ඌව මගේම යාළුවා වෙලා ඉපදෙන්නයි ඕන.

    ReplyDelete
    Replies
    1. හොද යාලුවො කවදාවත් මැරෙන්නෙ නෑ බං...පාසල් කාලයේ වගේ අපි ගැන හිතන අපිට ඇත්තටම සමීප යාලුවො පසුකාලීනව සොයාගන්න ලැබෙන්නේ නැති තරම්...එවැනි වටපිටාවක සාදු වගේ මිතුරො අප්‍රමාණව වටිනවා...

      Delete
  16. දුක හිතෙන පුවතක් . අවුරුදු 5 ක් කියන්නේ සෑහෙන කාලයක් ..

    ReplyDelete
    Replies
    1. අවුරුදු 5 කියන්නෙ සෑහෙන කාලයක්...දැන් සාදුගෙ සමීපතමයන්ගෙ හිත් බොහෝ දුරට සුව වෙලා ඇති.

      Delete
  17. හරිම දුක හිතෙන කතාවක් සිරා. ඔහොම සහෝදර බැඳීමෙන් එකට හිටපු එකෙක් නැතිඋනාම දැනෙන දුක දරාගන්න අමාරුයි.

    කොහොම උනත් අනික් හැම දෙයක්ම කරන අතරෙ තමංගෙ ශරීර සෞඛ්‍ය ගැනත් සොයාබලන්න උත්සාහ කරන එකනං කරන්න ඕන වැඩක්.

    ReplyDelete
    Replies
    1. මමත් බණ කිව්වට මගෙත් කිසි පරීක්ෂාවක් නෑ...ව්‍යයාමයක් නෑ....මමත් මෙහෙම හිටියට භයෙන් ඉන්නෙ...ලගදි දවසක චැක් කොරලා බලන්න ඕනෙ.

      Delete
  18. ඇත්තෙන්ම මේ වගේ සිද්දි දරාගන්න අමාරුයි. මටත් මේවගේ අත්දැකීම කීපයක්ම ලැබිලා තියෙනවා. උඹ ඔය කියන හරියේ ඉන්නවා මම දන්න පොරක් සේරම් කියලා.

    ReplyDelete
    Replies
    1. ගම්පහත් තිබුනා සේරම් කඩේ කියලා එකක්...ඒ අත්දැකීමක් දෙකක් වෙලාවක ලියන්ට...මොකද සතුට වගේම දුක ගැන ලිවිය යුතුයි. එවිටයි සතුටේ අගය වැඩි වෙන්නෙ.

      Delete
  19. ඔහොම දේවල් අපි හැමෝටම අඩු වැඩියෙන් වෙලා තියනවා. ඒ උනාට උඹට තරම් ලස්සනට ලියන්න බෑ. ලස්සනට ලියල තියනවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අගය කිරීම ගැන. බොහෝ දෙනාට මේ අත්දැකීම තියෙන වග කමෙන්ටු තුලින් පේනවා...

      Delete
  20. හරිම සංවේදී කතාවක් සිරා මලයා.....
    අන්තිම හරිය කියවගෙන යද්දි
    ලොකු කණගාටුවක් ඇතිවුනා........

    ReplyDelete
    Replies
    1. ඔබට දැනුනු ඒ කණගාටුව මටත් දැනෙන නිසයි මෙවැනි යමක් ලිව්වෙ....

      Delete
  21. උබ මාවනම් ඇඩේව්වද කොහෙද කොලුවෝ........ අදම යන්න ඕනා බොඩි චෙකප් එකක් දාන්න

    ReplyDelete
    Replies
    1. අඩේ රාළ මේක කියවලා ඇඩුවයි...අඩුවට චෙකප් කොරන්න පුලුවන් තැනක් ගැන මටත් කියන්න ඇහැකිද ? මමත් එනවා චැක් කොරන්න.

      Delete
  22. සාදුට නිවන් සුව...හදවත හඩාවට්ටන කතාවක් සිරා...

    ReplyDelete
    Replies
    1. මගේ හදවත උගේ නමින් තාමත් හඩනවා නලින් අයියා...ඒ හින්දයි මේ ලිපිය ලිව්වෙ.

      Delete
  23. කතාව මුල කියවගෙන යද්දි කමෙන්ට් එකක් කියලා ඔලුවට ආවේ පෙබරවාරිවල ආදායම් අඩුයි කීව කතාව ගැන. දවස් ගාන අඩුවෙනකොට ආදායම අඩුවෙනවනේ කියලා හිනාවෙන්ට හැදුවේ සාදු ගැන කියවනකල්. දුක හිතෙන කතාවක්. ඒ වගේම අපි හැමෝටම වැදගත් යමක් කියලා දෙන කතාවක්. තමන්ගේ සනීපාරක්ෂාව ගැන හිතන්ට ඕනි කියන එක. දැන් කාලේ හැමෝම කම්පියුටර් එක ඉස්සරහා ඉඳගෙන ඉන්නවා මිසක් වෙන ව්‍යයාමයක් නෑනේ.

    ඔහු නිවී, සැනසේවා!!!

    ReplyDelete
    Replies
    1. දින අඩුවෙද්දි ආදායමත් අඩුයි...ඒක හැබෑව..එහෙම වෙන්නෙ දින පදනමට වැඩ කරන කෙනෙකුට...මගුල් ගන්නෙ නැත්තං මගුල් වලින් යැපෙන උන්ට කොහෙන්ද ආදායමක්....

      සනීපාරක්ෂාව ගැනත් හිතන්න ඕනෙ...මෙතන කිව්වෙ සෞඛ්‍යාරක්ෂාව ගැන....

      Delete
    2. " සෞඛ්‍යාරක්ෂාව" කියන වචනේ ඔලුවට ආවත්, ඒක ලියාගන්න හැටි හොයාගන්ට බැරි උණානේ...:(

      දැන් නම් ඔයාගෙන් හොරකම් කරලා...( cut & paste ) :)

      Delete
    3. saneeparakshawatanam ithin eva thamayi... :P

      Delete
  24. ඇත්තටම මගේ ඇස් දෙකත් තෙත් උනා බං.. මැරෙන කෙනෙක් විදිහට ජිවත් වෙයන් කියන්නේ ඒක වෙන්න ඇති බං

    ReplyDelete
    Replies
    1. ඇයි අපි ජීවත් වෙන කෙටි කාලෙට අනිත් උන්ගෙ ඉදිරි ගමනට බාධා කරලා...හැමෝටම ඉරිසියා කරලා ඉදිරියට යන්න හදන්නෙ...සදාකාලික නැති කෙටිකාලීන ජීවිතයකට ඒක කිසිම වැඩකට නැති උත්සාහයක්...

      Delete
  25. මගේ සහොදර තුසිතගෙන් හා නසීයාගෙන් මම තරම් ගුටිකාපු කවුරුවත් නෑ. ඒ මම මුන් දෙන්නටම ඉන්න දෙන් නෑති හින්දා. දෙන්නගෙ මෑද්දේ මගේ සීට් එක තිබුනේ. මගේ යාලුවෙක් තුසිතයගේ මරනය මට දෑනුම් දුන්න විදිය අදටත් මතකයි.මට දරා ගන්න බෑරි ඒ සිද්දිය මට දෑනුම් දෙන්න හිටියේ නසියා තමයි. ඒ අවසනාවන්ත අවස්තාවටවත් මට ඉන්න බෑරි උනා. ඒ එක්කම සති 2 කට පස්සේ මගෙම මල්ලිත් නෑති උනා. ඒ අවාසනාවන්ත පෙබරවාරි මාසයේ මට සහොදරයො දෙන්නෙක් නෑති උනා. අදටත් මේ කම්පනය මට වද දෙනවා............ මීට චාමින්ද

    ReplyDelete
    Replies
    1. කාමරයට සාදරයෙන් පිළිගන්නවා මචෝ....

      මෙන්න ළමායි...අපිව බලන්න මල් ------- ඇවිල්ලා...මේ තමයි සාදුගෙ හොදම මිත්තරයා....සාදුවත් එක්ක හැමදාම සුහද වලි...අපේ පේලියෙ මේ දර්ශනය පන්තියේ අනිත් උන්ට නම් සාමාන්‍ය දසුනක් වෙලා තිබුනෙ. ඒ අතීතයත් සාදුගේ මේ අභාග්‍ය සම්පන්න සිදුවීම නිසා දුක්බර උනා....

      උඹේ මල්ලිගෙ අභාවයෙන් පස්සෙ නේද අපි දෙන්නා ගම්පහදි පොඩි අඩියක් ගැහුවෙ...මතකද...

      Delete
  26. Ado ban me wagema mamath hitiye band eke..ape band ekei class ekei ekata hitapu kollek nethi una...hammo siraa e welawata danena de kiyala wedak ne..

    ReplyDelete
    Replies
    1. එහෙම තමයි බං නියම මිත්‍ර කම කියන්නෙ...

      Delete
  27. පියෙහි විප්පයොගො දුක්ඛො..!

    ජීවිතේ හැටි.. සිරා අන්තිමට කිව්වා වාගෙ, එහෙන් කතා කරනකල් තමයි මේ සේරම. ඉන්න ටික කාලෙදි මනුස්සයො විදිහට ඉන්න එක තමයි වටින්නෙ. එහෙම මිනිස්සු මලත්, උන් විහිදුවපු සුවඳ හැමදාම අපිට දැනෙනව. උඹගෙ මිතුරාට ඔහු පැතූ ආකාරයකම එලොව සැනසීමක් ලැබේවා !

    ReplyDelete
    Replies
    1. මට වෙලාවකට පුදුමයි. අනුන්ට වළ කපාගෙන මිනිස්සු දුවන මේ රේස් එක දැක්කම...අපි අවුරුදු 200 ක් 300 ක් ජීවත් වෙනවා කියලද මන්දා උන් හිතාගෙන ඉන්නෙ....

      Delete
  28. ඇසට කඳුලක් එක්කල හුඟක් සංවේදී කතාවක්.. කතාව කියවලා අපිට මේ තරම් දුකක් දැනෙනව නම් බලාපොරොත්තු දහසක් පොදි බැඳගෙන විවාහයට සැරසුනු පෙම්වතිය ඒ දුක කොහොමනම් දරාගන්න ඇත්ද .... සාධුට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා..

    ReplyDelete
    Replies
    1. ඇත්ත නංගි...මමත් එදා ඇය දිහා බොහෝ වෙලා බලාන ඉදගෙන ඒ සිතුවිල්ලේ තනි වුනා....ඇය ඉතාම වේදනාවකින් හිටියෙ..මම ඇයට කිව්වෙ මේක තමයි ස්වභාවය...ඉපදීම මැරෙන එක කාටත් පොදුයි...ඔයාගෙ හිත හදාගන්න අමාරු බව මම දන්නවා...වැඩිපුර බෞද්ධ පොත පත ටිකක් හොයාගෙන කියවන්න කියලයි.

      Delete
    2. ade machan ape paththeth ohoma siddiyak una.... bandinna hitapu kella a wele anda anda hitiye hariyata a pettiyatama paninna wage.. menna yako maasa deka thunak yanakota wena ekakwa banda gaththa... gaanunwa kawdda ban wiswasa karanna puluwan...

      btw... sanwedi kathawak... niwansuwa prarthana karanawa..

      Delete
  29. අපි කාටත් යන්න වෙනවනේ සිරා අයියේ.. ඒක කොයි වෙලාවෙද කොහොමද කියන්න කාටවත් බෑ.. අවසානයේ ඉතිරි වෙන්නේ මතකය විතරයි..

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම...හොද මිනිස්සු බොහොමයක් පරඩැල් වෙන්න කලියෙන් මැරෙන බව තමයි මම දැකලා තියෙන්නෙ...

      Delete
  30. මටත් මේ වගේ අත්දැකීමක් තියෙන නිසා සෑහෙන්න සංවේදී උනා මේ ලිපිය කියෙව්වම... ටිකක් වෙලා ඉඳල හුස්මක් අරන් තමයි ආයෙ ලියන්න පුළුවන් උනේ... මල් ජංගියාට මොනව හිතෙන්න ඇද්ද කියලා හිතන්නවත් බෑ... උඩින් කමෙන්ට් එකක් දාල ගිහින් තියෙනවා නේද? ඔයාගෙ යාළුවා නිවනින් නිවී සැනහේවා කියලා විතරයි ප්‍රාර්ථනා කරන්න පුළුවන් වෙන්නෙ...
    පෙබරවාරි මාසෙට අර වගේ සලකනව කියල මං මීට කලින් අහල තිබුනෙ නෑනෙ සිරා කොළුවො... අර අන්තිමට කියල තියෙන ටිකත් සෑහෙන්න වටිනවා...

    ReplyDelete
    Replies
    1. ඉස්සෙල්ලාම හදේ ගමන අනුවලු කැලැන්ඩරය හැදුවෙ. ඒකෙ දින තිබිලා තියෙන්නෙ 365 ට අඩුවෙන්...ඒ වැරැද්ද හදාගන්න අඩුවෙලා තිබ්බ දින ටිකත් එකතු කරලා අලුතින් හදපු මාසය තමයි පෙබරවාරි....අන්තිමට හැදුවට මේ මාසය කැලැන්ඩරේ දෙවැනි මාසය විදියට රිංගවලා...

      මෙවැනිම සංවේදී අත්දැකීමක් ඇති අයට නම් මේ ලිපිය ඒ මතකයන් නැවතත් ආවර්ජනය කරන්න උත්තේජනයක් වනවා ඇති.

      Delete
  31. ඇත්තටම සිරෝ කතා කරල වැඩක් නෑ... දුක කියන දේ දැනෙන්නෙ මේ වගේ දෙයක් උනාම... වෙලවකට හිතෙනව මේව දැක දැක ඉන්නෙ නැතුව මැරුනනම් හොදයි කියල....

    ReplyDelete
    Replies
    1. එහෙම මැරෙන්න බෑ නොවැ. ජීවිතය ජීවත් කරනවා මිස ජීවිතයෙන් පලා යන්න නරකයි. එහෙම කරන්නෙ ආත්ම විශ්වාසයක් නැති අය....

      Delete
  32. සංවේදී සටහනක් සිරා.., හිත මිත්‍රයන්ගේ වියෝව දරාගන්න හරි අමාරුයි.., සාදුට නිවන්සුව ප්‍රාර්ථනා කරනවා ,

    (පෙබරවාරියේ සුභ කටයුතු කරනවා අඩුයි තමයි , ඒත් සිංහල ක්‍රමයට ගත්තම නවම් මාසය කියන්නේ දින අඩු මාසයක් නෙවෙයි (පැරණි ක්‍රමයට ) , මම ගොඩාක් සුභ කටයුතු සදහා යොදාගෙන තියෙන්නෙත් පෙබරවාරි මාසය .

    ReplyDelete
    Replies
    1. බොලා ඉතිං තනිකඩ ජීවිතේට තිත් තිබ්බෙත් පෙබරවාරියෙ නේද...

      Delete
  33. සංවේදී කතාවක් සිරෝ.ජිවිතේ කියන්නේ කොයි තරම් සුවර් නැති දෙයක්ද...?

    ReplyDelete
    Replies
    1. පණ නම් තණ අග පිණි බිදු වැන්නේ කියන්නෙ ඒක නොවැ...

      Delete
  34. ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකකි.. ඔහුට නිවන් සුව අත්වේවා !!!

    ReplyDelete
    Replies
    1. සියලු දේ අනිත්‍යයි කියන කාරණය හොදින් වටහාගෙන හිටියා නම් දුකේ ප්‍රමාණය අඩුවේවි.

      Delete
  35. මොනව කියන්නද කියල හිතාගන්න බැරුව හිර වුන කතාවක්. ජිවිතේ පටන් ගන්නත් කලින් පරවෙලා ගිය මලක් .හරිම දුකයි. ජිවිතේ හරිම පුදුමාකාරයි .මගේ පාසල් මිතුරියක් නැති වුන බව ලඟදි ආරංචි වුනා . හිතා ගන්නත් බැහැ . මට තාම මතක හතේ අටේ පන්ති වලදී ක්‍රිකටර්ස්ලාගේ ස්ටිකර් ආශාවෙන් එක්කහු කල දඟකාර පොඩි ගැහැණු ළමයාව.

    ReplyDelete
    Replies
    1. අපි වයසට ගියාට අපේ පොඩි කාලෙ අද ඊයෙ වගේ තමයි මතක් වෙන්නෙ...මට උසස්පෙළ ලියලා වසර 13 ක් ගත වෙලා කියලා හිතන්නත් අමාරුයි වෙලාවකට....

      Delete
  36. මගේ යහළුවෙක් මේ වගේ අපි හැමෝම දාලා ගියා කුරිරු යුද්ධය නිසා. පාසල් කාලේ යාලුවෙක් නෙමෙයි. අවුරුදු 4ක කෙටි කාලීන මිතුරු දමක්.ඒත්...ඔහුගේ හිතවත් බව, දයාබර බව, සහෝදරත්වය අදටත් අමතක කරන්න බැහැ.
    ඉඩක් තියන වෙලාවක මේ ලිපියත් බලන්න.


    http://battigeniwahana.blogspot.ae/2013/06/blog-post_6.html

    ReplyDelete
    Replies
    1. එහෙම තමයි සමහරු ඉතාම ඉක්මනින් අපේ ජීවිතයට බොහොම සමීප වෙනවා...පළමු බැල්මෙන් පවා...සමහරු අවුරුදු ගානක් ආශ්‍රය කලත් එහෙම සමීප වෙන්නෙ නෑ. මේ ලෙංගතුකම ඇති වෙන අය අපිත් එක්කම පෙර සසර වල එකට හිටිය අය වෙන්ට ඇති....ලින්කුවට ස්තුතියි ඉඩක් ලැබුනාම කියවන්නම්....

      Delete
  37. Godak dukai. Eth meyai ape jiwithe...

    ReplyDelete
    Replies
    1. ජීවිතයේ යථාර්තය මෙය කිව්වත් වැරැද්දක් නෑ...

      Delete
  38. මමත් එක්ක එකටම හිටිය යාලුවෙක් ආරුගම්බෙදී සුනාමියට අහුවෙලා නැති වුනා.මට තාමත් මතක් වෙනවා අපි දෙන්නා එකතු වෙලා කරපු දේවල්.ඒ වෙලාවට යාලුවා දැන් නෑ කියලා දැනෙනකොට හිතට පුදුම දුකයි..ඉතින් සිරාගේ දුකත් ඒ වගේම ඇති..කතාවේ අවසානයට කියලා තියෙන දේත් පසු සටහනත් හොඳ පනිවිඩයක්..

    ReplyDelete
    Replies
    1. ඔබේ දුකත් මට තේරුම් ගන්න පුලුවන්..අතීතයේ කල කී දෑ මෙනෙහි වෙද්දි තමයි වැඩියෙන් දුක දැනෙන්නෙ....

      Delete
  39. මිනිස්සු එනවා යනවා.. එච්චරයි මේ ලොකේ ඉතුරු. ඒත් උඹ ඒක අකුරු කරපු විදිය හරිම මිත්‍රශිලියි.. ඔහුගේ පස්වැනි ගුණ සැමරුමට උඹ වටිනාකමක් එකතු කරා.. මල් ජංගියා අඩපු විදිය මට හිතාගන්න පුළුවන්. මොකද මගේ යාළුවෙක් නැති වෙලා ඒකට යන්න විදියක් නැතිව මිනිහගේ කෙල්ලට කෝල් එකක් දීල මං කරෙත් අඩපු එක විතරයි..

    ReplyDelete
    Replies
    1. මවාගෙන ලියන දේවල් මගේ ලිපි තුල නෑ...ඇත්තම ඇත්ත තමයි ලියන්නෙ...මේ තමයි අපි අතර තිබුන සත්‍යම මිත්‍රත්වය...මේ වගේ යාලුවො ආයෙ මේ ආත්මෙදි නම් මට මුණගැහෙන්නෙ නැති බව හොදටම විශ්වාසයි...

      Delete
  40. ඇඟ හිරිවටීගෙන වගේ ගියා සිරා අයියේ. මැරෙන්න ඕනේ කාලකන්නි ජීවත් වෙද්දී මේ හොඳ මිනිස්සු ඉක්මනින් මැරෙන්නේ ඇයි කියන එක තමයි උඩ ඉන්න අයගෙන් අහන්න තියෙන්නේ. කොහොම වුනත් තුසිත සහෝදරයට නිවන්සුව ප්‍රාර්ථනා කරනවා පණ නම් තණ අග පිනි බිඳු වැන්නේ. හෙට ඔය ගමන මට යන්න වේවිද කියලා කවුද දන්නේ.......

    ReplyDelete
  41. ඔහොම තමයි සිරෝ ජීවිතය. හිනාවෙනවා..අඬනවා. මට හරි කම්පාවක් ඇතිවුනා උඹ මේ ලියලා තියෙන විදිහට.

    ReplyDelete

සිරාගෙ කාමරයට පැමිණියාට ස්තූතියි...

නැවත දිනයක ආයෙත් එන්න..... ඔබට ජය !

Related Posts Plugin for WordPress, Blogger...