Showing posts with label 7 වෙනි ලිපිය. Show all posts
Showing posts with label 7 වෙනි ලිපිය. Show all posts

Monday, June 29, 2015

41 නික්මණ

ඇය උදෑසන පිබිදෙන විට ඔහු සයනයේ නොසිටියේය. හනි හනිකට ඇඳුමද සකස් කරගත් ඕ නැගිට ඔහු කුස්සියේවත් වෙත්දැයි බලන්නට යන්නට වූවාය. ඇය පිබිදෙන විට ඔහු පහුගිය කාලයේම ඇය අසලම සිටියේය. නමුත් කවර හෝ මොහොතක ඔහු නොසිටීවි යැයි සැකයක් ඇය තුල කලක සිටම විය. එහිද ඔහු නැත්තෙන් නම කියා හඬ ගෑවාය. නමුත් ඔහු ඒ කො‍හේවත් නොවීය. ගෙයිහි තවත් සොයන්නට තැනක් නොමැත්තෙන් මහත් බීරාන්ත සිතිවිල්ලක්ද රැගෙන ඇය ළිද ළඟටද ගියාය. නමුත් ළිඳ තුළ ඇය දුටුවේ රැලි නැංවෙන ඇගේම රූපයක් පමණි. අඩි දෙක තුනක් තබා වැට අයිනට ගිය ඇය අල්ලපු නිවසේ ගැහැණියට කථා කළාය.

ගෝතමී අක්කේ....ගෝතමී අක්කේ....

යසෝගේ හඬ අසා එළියට පැමිණි ගෝතමී ඇයගේ ස්වරූපය දැක බිය වූවාය. ගෝතමී සිතුවේ විළිරුදාව නිසාවෙන් ඇය මෙසේ කෑ ගෑවා කියාය. නමුත් සිද්ධාර්ථ ඇය ගැබ්බර වූ දා පටන් පෙර මෙන් ගමන් බිමන් නොගියේය. ඇය තනිකොට යන්නේ නම් අනිවාර්යෙන්ම ගෝතමියට ඇයව බාර කර ගියේ කුඩා කල සිටම ගෝතමීය ඔහු කෙරේ දැක්වූ සහෝදර පංති බැඳීම නිසාවෙනි.

අනේ අක්කේ.....

ඇයට කියාගන්නට ලැබුනේ අඩක් පමණකි. උගුරේ සිරව ගිය ඉකියක් ඉතිරි අඩ ගිල දැමුවේය.

මොකද නංගියේ උඹට අමාරුද ?

නමුත් ගෝතමීගේ පැනයට උත්තර දීමට යසෝගේ ඉකිය ඉඩක් නොදන සෙයකි.

අක්කේ.කේ..ඒඒ සිද්ද්ධා නෑ...

මොකක්

එයා නෑහ් හ්....

ගෝතමී හනි හනිකට උඩින් හැඳ සිටි චීත්තය උනා ජනෙල් පඩිය උඩ දමා වැට දිරා ඉනි බිඳී තිබූ කෙටි පාරින් යසෝ වෙත ආවාය.

ඇයි නංගියෙ හොඳට බැලුවද ? ඊයෙ කිව්වෙ නැද්ද කොහේවත් වැඩක් තියෙන වගක්වත් ?

අනේ නෑ අක්කේ දැන් වෙනදා වගේ යන්නෙ නැහැනෙ. ගියත් කියලනෙ යන්නෙ.....

සිද්ධාර්ථගේ අතුරුදහන් වීම ලැව් ගින්නක් සේ පැතිර ගියේය. සිය සහෝදර සගයෙකුගේ ජීවිතය ඔවුනට කඳිම පුවතක් විය. ඉඳින් රූපවාහිනී, පුවත් පත් සියල්ලෝම ජනමාධ්‍ය සදාචාරය අකුරටම ක්‍රියාත්මක කළෝය. පොලිසිය පිළිබඳ ඇමතිතුමා පොලිසිය ගැන හොඳින් දන්නා නිසාවෙන් හා ඒ ඇත්තන්ට  කසිප්පු තිප්පලක් වැටලීම හෝ හරකෙකු නැතිවීම පිළිබඳව සෙවීම වැනි කටයුතු රාශියක් ඇති නිසා මේ පිළිබඳව පරීක්ෂණ කිරීමට ඇමතිතුමා රහස් පොලිසිය වෙත පැවරුවේය.

චාරිත්‍රයක් ලෙස ළඟම තිබුනු පොලිස් ස්ථානයෙන් කල පරීක්ෂණ අනුව ලබාගත් කට උත්තරයකින් කියැවුනේ තමන් රෑ දෙකට පමණ සිද්ධාර්ථට පත්තරයේ කරුණක් පිළිබඳව දුරකථනයෙන් කතා කරමින් සිටි බවත්  (සිය බිරිඳ ඇහැරෙන බැවින් ඔහු නිවසින් පිටත මහ පාරට පැමිණ ඇත) වේගයෙන් පැමිනි වාහනයක තිරිංග හඬ ද, කලබලයක හඬද එසැණින් යළි වාහනය වේගයෙන් පිටව යන හඬද ඇසුනු වගයි.

ඒ සිද්ධාර්ථ සේවය කල පුවත් පතේ කර්තෘය. නමුත් රහස් පොලිසිය මුල සිටම ක්‍රමානුකූලව පරීක්ෂණ කල බැවින් යට කී කර්තෘ ප්‍රසිද්ධියේම තම අත්දැකීම් හෙළි කරනා තුරු ඔවුනට එය මග හැරී තිබුනි. පසුව මාර්ගය අයිනේ කාණුවක තිබී සිද්ධාර්ථගේ දුරකථනයද සොයා ගැනුනි.

අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා, පෞද්ගලිකව නිවසටම පැමිණ කෙසේ හෝ මේ පිළිබඳව සොයාගන්නා බවට යසෝට සහතික විය. නමුත් ඈ සිටියේ ඒ කිසිවකුත් ඇසිය හැකි  තත්වයක නොවේ. ඔවුන් ඇයගේ පපුවට පයින් ගසද්දී තවෙකෙකු බඩට පයින් ගසමින් සිටියේය.

මේ අතර විපක්ෂයේ බරපතල වගකීම් දරන්නෙක්ද යසෝ හමුවට ආවේ මේ පිළිබඳව තමන් ද දැඩි අවධානයෙන් බලා සිටිනා වග මිදුලේදීම අවධාරණය කරමිනි. සෙනග ගැවසීමෙන් මඩ වූ මිදුලෙන් ඔහු සන්සුන්ව අඩි තබා ආවෙ සිය සුදෝ සුදු ජාතික ඇදුමට පැල්ලම් ඉසෙයිදෝයි බියෙන් හා සැකයෙන්  යුතුවය.

එදා ඇවිත් තියෙන්නෙ සුදු වෑන් එකක්...නොම්බර තහඩු තිබිලත් නෑ

ඔහු යසෝට රහසින් මෙන් කීවේ ඇය වට කොට සිටි සැමටද ඇසෙන පරිදිය.

යසෝට දරුවා ලැබුණි.. තමා වටකොට නැගි ඝෝෂාව මැද ළදරුවාගේ බෑඟිරි දීමට ඇය සිනාසුනාය. ඒ ඔහුගේ නික්මනෙන් පසු පළමු වතාවටය. ඇය අසල සිටියේ සිද්ධාර්ථගේ පියා හා ‍ගෝතමී පමණි. යසෝගේ සතුටු කදු‍‍ළු දැක වයසක මිනිසා කොරිඩෝරයේ ලෑලි බංකුවකට හිස ගසාගෙන දුකට හැඩුවේය. වාට්ටුව පුරා ඇති ගෝසාව මැද ඔහුගේ හඬ නෑසී ගියේය. ඔවුන් නිවසට කැඳවාගෙන ආ පසු මහල්ලා ධාතු කරඬුවක් දෝතට ගන්නා ලෙසින් දරුවා වඩාගෙන සිම්බේය.

ඔයා මේ ගැන සෘජුව තීරණයක් ඉල්ලලා ඉස්සරහට එන්න ඕන. අපි අවශ්‍ය හැමදේම බලාගන්නවා. අපි ඔයාගෙ දුක දන්න නිසයි මේ සිද්ධියට මැදිහත් උනේ. ඔයාට දේශපාලන බලයයත් ගොඩනැගිලා තියෙන වෙලාවෙ ඒකෙන් ප්‍රයෝජන ගන්න. සිද්ධාර්ථ වගේ කෙනෙක්ට උන දේ හෙට තව කෙනෙක්ට වේවි.

ඉංග්‍රීසියෙන් වේගයෙන් කතා කරමින් සිටි පිරිස අතර යසෝගේ ඔලුව අතගාමින් ඇය හා දොඩන ගැහැනිය දෙස මහල්ලා හොරැහින් බැලුවේය. ඇයගේ නෙතින් වැටුනු කදුලක් මුහුණේ වත්සුනු සමග මුසුව ඉටි කිරි බින්දුවක ස්වරූපයක් ගෙන දිස්න දෙයි. මහල්ලා යළි යසෝ දෙස හොරැහින් බැලුවේය. නැතිනම් රැව්වේය. ඇයගේ මුහුනේ සියුම් මඳ සිනාවකි. දෑස කාන්තියෙන් දිස්න දෙයි . මහල්ලාද සිනාසුණේය. ඔහු ප්‍රීතියෙන් ධාතු කරඩුව යලි යළිත් සිම්බේය.

සිද්ධාර්ථ ආණ්ඩුවෙ සල්ලිවලට යට උනා. මිනිහා දැන් අලුත් අනන්‍යතාවක් එක්ක යුරෝපෙ සැප විඳිනවා.

සිද්ධාර්ථගේ සගයෙකුව සිටි ප්‍රබුද්ධ මාධ්‍ය හමුවකදී පැවසුවේය. ඔහුගේ තැනින් තැන දිගුව හා කොටට යනසේ තිබූ රැවුලු ගස් දැන් සීරුවට පොන්ටිං කට් එක හිටින සේ කපා ඇත. බොර පැහැ ගත් කමිසයද නියම රතු පැහැය ගෙන දිස්න දෙයි.

මහල්ලා කඩයට ගියේ ඇන්කර් ත්‍රී ප්ලස් ගෙන ඒමටය. බෙදා දී තවත් ඉතුරු වී ඇති ලැක්ටෝජන් දැන් දරුවාට දෙන්නට බැරිය. යන අතරතුරද ඔහු කල්පනා කලේ යසෝ සහ දරුවා ගැනයි. දරුවාට දායාද දෙන්නට හැකි බව කියමින් බොහෝ දෙනා පැමිණියද යසෝ හැම විටම පෙර සේම මඳ සිනා පෑවා පමණි. මහල්ලා වරෙක දුක් විය. නමුත් යසෝ දරුවාට දිනෙක ඔහුට හිමි දායාදය දෙනු ඇත. ඉන් ඔහු සැනහුනේය.




මාසයේ අවසන් ලිපිය වෙනුවෙන් සිරාගේ කාමරයට ලියා එව්වේ,

ඉසුරු අබේසේකර


ප.ලි

සිරාගෙ කාමරය තුල 7 වෙනි ලිපිය ලෙස පලවන ඉසුරුගේ සිව්වැනි කෙටි කථාව මෙයයි. මෙයට පෙර ඇඹුල් දොඩම්, දෑස් සහ උපත් පාලනය යන ඉසුරුගේ කෙටි කථා මෙහි පලවී තිබේ.

Saturday, May 30, 2015

63 ඇමරිකාවේ මගේ පාට් ටයිම් එක

ඇමරිකාවට පය තියද්දි තමන්ගෙම කියලා මිත්‍රයෙක් නැදෑයෙක් ලඟපාත හිටියෙ නැත්තං අතේ තියෙන සල්ලි ටික ඉවර වෙන්න කලියෙන් කල යුතුම දේ තමයි ඉක්මනින් රැකියාවකට එකතු වෙන එක. ඇමරිකාව වගේ විශාල රටක තමන්ගෙ සුදුසුකම් වලට රැකියාවක් ලබාගන්න තියෙන තරගය ගැන කියන්න දෙයක් නෑනෙ. ඉතින් ජීවන වියදමවත් දරාගන්න පුලුවන් රැකියාවකට හරි හා පුරා කියලා සම්බන්ධ වෙන්න තමයි ලංකාවෙ අය වගේම අනිත් රටවලින් මෙහාට එන අයත් උත්සාහ කරන්නෙ.

ග්‍රීන් කාඩ් ලොතරැයියෙ ජයග්‍රාහකයෙක් විදියට මෙහෙට පය තියලා මගේ සුදුසුකම් වලට ගැලපෙන රස්සාවක් ලැබෙනකං ලේසියෙන් පහසුවෙන් හොයාගන්න පුලුවන් සුපිරි වෙළඳ සැලක රැකියාවකට මමත් එකතු උනා. පස්සෙ කාලෙක වෘත්තීය සුදුසුකම් අනුව රස්සාවක් ලැබුනත් මම අදටත් සෙනසුරාදා රාත්‍රිය මේ සුපිරි වෙළඳසැල් ජාලයේ ශාඛාවක තට්ට තනියම සේවය කරන්නෙ අපි ඇමරිකාවට ආවෙ හැකි තරමක් සල්ලි එකතු කරගෙන ආයෙත් ලංකාවට එන්න බව තවමත් මට අමතක නැති හින්දයි.
මගේ සේවා ස්ථානය

සෙවන් ඉලෙවන් කියන්නෙ ලෝකයේ බොහෝ රටවල තියෙන සුපිරි වෙළඳසැල් ජාලයක්. මේ වෙද්දි ලෝකය පුරා ශාඛා 53000 කට කිට්ටුව තියෙනවා කියලයි කියන්නෙ. මේ ව්‍යාපාරයේ ආරම්භය 1927 දක්වා දුරකට විහිදෙනවලු. ඇමරිකාවෙ ටෙක්සාස් වල තියෙන මව් සමාගමේ අනුමත ශාඛාවන් ෆ්‍රැන්චයිස් ක්‍රමයට ලෝකය පුරාම ක්‍රියාත්මක වෙනවා. මේ යටතෙ ගොඩාක් වෙලාවට ඉන්දියානු ජාතිකයන් මේ ශාඛා පවත්වාගෙන යනවා. මම සේවය කරන තැනත් ප්‍රධානියා ඉන්දියානුවෙක්. ඉන්දියානුවන්ට වගේම ලංකාවෙ අයටත් මේ අය රැකියාවන් ලබාදෙනකොට ප්‍රමුඛතාවය දෙන්න‍ෙ ඇමරිකාවෙ ඉන්න අපේ රටේ අය වැඩට කම්මැලි නෑ කියලා නමක් හැදිලා තියෙන නිසයි.

සෙවන් ඉලෙවන් සුපිරි වෙළඳසැල් ජාලයෙ 1946 වෙනකං තිබිලා තියෙන්නෙ වෙන නමක්. 46 දි විවෘතව පවතින වෙලාව උදේ 7 ඉඳන් රාත්‍රී 11 දක්වා වෙනස් කරපු නිසා අලුතින් තමන්ගෙ ලාංජනය හදලා ඒ කථාව එතනට සම්බන්ධ කරලා. වර්තමානයේ මේ වෙළඳසැල් පැය 24 ම විවෘතව තිබුනත් තවමත් පරණ ලාංජනයම තමයි යොදාගන්නෙ.

මේ වෙළඳසැල් ජාලයේ ශාඛාවකට සේවකයෙක් විදියට එකතු උනාම මුලින්ම ලැබෙන අභියෝගය තමයි මුදල් රෙජිස්ටරය හරියට හසුරවන විදිය ඉගෙන ගන්න එක. මෙලෝ සංසාරයක් නොදන්නා කෙනෙකුට උනත් දවස් 3ක් ඇතුලත එය පුරුදු වෙන්න පුලුවන්.




සාමාන්‍යයෙන් සේවා මුරයක් පැය 8 යි. දවසකට පැය අට බැගින් සතියකට පැය හතලිහක සේවා කාලයක් එක සේවකයෙකුට ලැබෙනවා. මේ පැය 40 ඇතුලෙ ඉටු කල යුතු වගකීම් බොහොමයක් තියෙනවා. ඒ අතරින් පිරිසිදු කිරීම් වලට ඉහළ ස්ථානයක් හිමි වෙනවා. අඩුම වශයෙන් දිනකට තුන් වරක් වත් පොළව හෝදන්න ඕනෙ. මේ වැඩේ තමයි මට නම් අපහසුම වැඩකට තියෙන්නෙ.


ගොඩාක් තැන් වල දවල් කාලයට සේවකයො දෙන්නෙක් ඉන්නවා. ගණුදෙනුකාරයො විශාල ප්‍රමාණයක් ගැවසෙන කොට දෙන්නම භාණ්ඩ විකුණනවා. එහෙම නැත්තං එක්කෙනෙක් භාණ්ඩ විකුණනකොට අනිත් කෙනා පිරිසිදු කරන වැඩ ටික කරනවා. අපිට කරන්න තියෙන තවත් අපහසුම කාර්යයක් තමයි  අධිශීතකරණ තුල භාණ්ඩ ගබඩා කිරීම. පළපුරුද්ද තියෙන කොට මේ වැඩේ හරිම ලේසියි. විවිධ වෙළඳ නාම යටතේ අති විශාල කෑම බීම වර්ග ප්‍රමාණයක් ගබඩා කරන එක සෙල්ලං නෑ. ඒ ඒ වෙළඳ නාමයට හිමි ස්ථානයේ ඒවා තිතට නූලට ගබඩා කරන්න ඕනෙ. විශාල කාමර වගේ තියෙන අධිශීතාගාර ඇතුලෙ තියෙන සීතල දරාගනිමින් මේ වැඩේ කරන එක මුල් කාලෙ නම් වහ කනවා වගේ වැඩක්.


සෙවන් ඉලෙවන් වෙළඳ සැල් අැතුල‍ෙ විවිධාකාරයේ බීර වර්ග හා වයින් වර්ග විකිණීමට තියෙනවා. මම ජීවත් වෙන කැලිෆෝනියා ප්‍රාන්තයේ නීතිය අනුව මධ්‍යසාර මිළදී ගැනීමට වයස 21 සම්පූර්ණ කල යුතුයි. දුම්වැටි සඳහා වයස 18 සම්පූර්ණ කල යුතුයි. හැම වෙලාවෙම තරුණ තරුණියන්ට මධ්‍යාසාර හෝ දුම්වැටි අළෙවි කරද්දි හැඳුනුම්පත පරීක්ෂා කරලා වයස තහවුරු කරගන්න අවශ්‍යයි.


මේ කාර්යයන්ට අමතරව සෑම පැය 2-3 කට වරක් කෝපි හදන්න ඕනෙ. සෙවන් ඉලෙවන් ඇතුලෙ කෝපි වර්ග 10 -15 අතර ප්‍රමාණයක් තියෙනවා. සිල්ලර බඩු විකුණනවට අමතරව පැත්තකින් ලොතරැයි විකිණීමකුත් තියෙනවා. මේක හොඳ සිහි කල්පනාවෙන් කරන්න ඕන‍ෙ වැඩක්. ලොතරැයි අළෙවි කරනවා වගේම ජයග්‍රාහකයන්ට එවලේම මුදල් ලබාදීමත් කරන්න ඕනෙ. ඩොලර් 500 ට අඩු ජයග්‍රහණ වලට විතරයි එවලේම සල්ලි දෙන්නෙ.


ඇමරිකාවට ආව අයගෙ ජීවිත රෝසමල් යහනාවක් කියලා ලංකාවෙ ගොඩාක් දෙනා හිතනවා ඇති. නමුත් ඒක එහෙමම නෙමෙයි. මේ ජීවිත ඇතුලෙ  සතුට වගේම දුකත් ඇති පදම් තියෙනවා. ඇමරිකාව ජීවන වියදම ඉහළ රටක් නිසා සමහර වෙලාවට එක රැකියාවක් විතරක් කරලා ලැබෙන ආදායමෙන් වියදම් ටික අඩු කලාම ඉතිරියක් කරන්න වෙන්නෙ අඩුවෙන්. ඒ නිසා ගොඩාක් දෙනා දහවලේ කරන රැකියාවට පස්සෙ රාත්‍රී කාලයේ සුපිරි වෙළඳසැලක සේවය කරන්නේ අමතරව කීයක් හරි හොයාගන්න චේතනාවෙන්. රාත්‍රියට සේවය කරනකොට අතිකාලත් ගෙවන නිසා එවැනි අයට මේක ඉතාමත් වටිනා රැකියාවක්.

ලංකාවෙන් අපි එද්දි හිත් වල පුරවගෙන ආව හීන ලේසියට පහසුවට සැබෑ වෙන්නෙ නෑ. ඒ සඳහා ගොඩාක් මහන්සි වෙන්න ඕනෙ. ඇමරිකාව කැනඩාව වගේ රටවලට පැමිණෙන බොහෝ දෙනෙක් ස්ථිරවම මේ රටවල පදිංචි වෙනවා. තවත් පිරිසක් ආයෙමත් ලංකාවට යනවා. මම ඉන්න‍ෙ මේ අයගෙන් කොයි ගොඩේද...මට තවමත් හිතාගන්න බෑ

සෙවන් ඉලෙවන් ජාලයට විවිධ භාණ්ඩ අරගෙන දිනපතා සැපයුම් කරුවන් රාශියක් පැමිණෙනවා. ඔවුන් රැගෙන එන භාණ්ඩ සේවකයන් විසින් හොදින් පරීක්ෂා කරලයි බාර ගන්න ඕනෙ. පරිගණක ගත කරන ලද ක්‍රමවේදයක් තියෙන නිසා මේ කටයුත්ත එතරම් අපහසු නෑ. ඒ වැඩසටහනට පින් සිද්ධ වෙන්න සංඛ්‍යාත්මක තොරතුරු වරදින්න තියෙන ඉඩකඩ අවමයි.



මම මුලින්ම කිව්වා වගේ රස්සාවක් හොයාගෙන අැමරිකාවට එන බොහෝ දෙනෙක් තමන්ගෙ ගමන හා පුරා කියලා පටන් ගන්නෙ සුපිරි වෙළඳසැලක සේවය කිරීමෙන්. අඩියෙන් අඩිය ඉහළට ආවට පස්සෙ ඒ අය තමන් අතීතයේ දවසක නිරත වෙච්ච රැකියාවේ වර්තමානයේ නිරත වන්නන් දෙස බලන්නේ වපර ඇහැකින්. මම මේ කාරණේ අත්විඳලා තියෙනවා. ලාංකිකයන් අතර මේ තත්වය ඉතා සුළභයි.

සමහර කෙනෙක්ට ඇමරිකාවෙ තමන්ග‍ෙ මුල්ම රැකියාව අවසාන රැකියාව බවට පත්වෙන වෙලාවලුත් තියෙනවා. තවත් කෙනෙක් අධ්‍යාපනය අවසන් කරන තුරු දැරිය යුතු වියදම් පියවා ගන්න මේ රැකියාව කරනවා. අනෙක් කොටස තමාට සරිලන රැකියාවක් ලැබෙන තුරු ජීවන වියදම දරාගැනීම පිණිස මෙවැනි රැකියාවක නිරත වෙනවා. කුමන අරමුණකින් රැකියාව කලත් මේ හැමෝම දකින්නෙ එකම හීනයක්. ඒ තමන් මව් රටින් මෙහෙට එද්දි ගෙනාව හීන සැබෑ කරගන්න එක.

සුපිරි වෙළඳ සැල් වල මේ රැකියාව දීර්ඝ කාලීනව කරන්න අමාරුයි. අනෙකුත් රැකියා වලට සාපේක්ෂව ඇමරිකාවේදී මේ රැකියාවට ලැබෙන්නේ පුංචි වැටුපක්. ඒ වැටුප ලබාගැනීමටත් බොහෝ සේ මහන්සි වෙන්න ඕනෙ. ඇමරිකානු ජන සමාජය ගැන අවබෝධයක් ගන්න මේ රැකියාව ඉතාම ගැලපෙනවා. මාස කීපයක් වැඩ කලාම ඇමරිකානු ක්‍රමය ගැන වගේම මේ මිනිස්සු හිතන පතන විදිය ගැනත් පොඩි අවබෝධයක් ලැබෙනවා.

සෙනසුරාදා දවසෙ රාත්‍රී සේවා මුරයෙ මට වැඩිපුරම විකුනන්න ලැබෙන්නෙ කොණ්ඩම්. කොණ්ඩම් ගන්න ජෝඩුවම මෙතනට ආවත් කොල්ලො ගොඩාක් වෙලාවට ලැජ්ජා කාරයො. කෙල්ලො තමයි භය නැතුව ඒවා තියෙන තැන් වලින් තෝරලා ගන්නෙ. 

මේ දෙකෙන් කොයි එකද  හොඳ...සමහර වෙලාවට සුදු නංගිලා‍ කොණ්ඩම් දෙකක් පෙන්වලා මගෙන් අහනවා...හත් දෙයියනේ තනිකඩ මම කොණ්ඩම් වලින් බැලුම් පුම්බන්නද...එහෙම වෙලාවට මට හිතෙන එකක් හොදයි කියලා තෝරලා දෙනවා. සති අන්තය එළඹෙන නිසා වෙන්න ඇති සෙනසුරාදා රෑට කොණ්ඩම් වලට මේ තරම් ඉල්ලුමක්...

සුදු අක්කලා නංගිලාගෙ හිතවතා ඉන්නෙ මේ විදියට

මේ වෙළඳ සැල් වලට යන එන උදවිය අතර විවිධ ජාතීන් ඉන්නවා. ඔවුන් ගෙන් ඇතමෙක් රාත්‍රියට බීමතින් තමයි එන්නෙ. බීමතින් එන අය නිසා සමහර වෙලාවට නොසිතූ කරදරත් සිද්ධ වෙනවා. ඒ අස්සෙ හොරුන්ගෙන් වංචාකාරයන්ගෙන් අඩුවකුත් නෑ. රාත්‍රියට සේවය කරන සේවකයන්ට තමයි මේ දේවල් වලට බහුලව මුහුණ දෙන්න වෙලා තියෙන්නෙ.

තනියම සුපිරි වෙළඳ සැලක් බලාගෙන මහ රෑ ඉන්නවා කියන්නෙ අවධානම් සහගත වැඩක්. කථා කරන්නත් කෙනෙක් නැති නිසා කට්ට පාලුයි. පරණ සිංහල සින්දුවක් අහගෙන ඉද්දි ලංකාවෙ මගේ අතීතය මතක් වෙනවා. සමහර වෙලාවට සින්දු අහන ගමන්ම නින්ද යනවා. උදේ 6 ට ආයතනයෙ කළමණාකාර වරයා එනකං මම විතරයි. එයා ආවම මුදල් ටික ගැනලා බාර දීලා මම ගෙදර යනවා. ඔන්න ඔහොමයි මගේ රාජකාරියෙ ස්වභාවය. මම මේ අවධානම් සහගත වැඩේ දැන් සෑහෙන කාලයක ඉඳන් කරන්නෙ අනාගත බලාපොරොත්තු ගැන කල්පනා කරලා හිත තද කරගෙන. කොහොමත් මට දැන් භයක් දැනෙන්නෙ නෑ. මොකද මගේ පවුලෙ අයට මම උපයන හැම ඩොලර් එකම වැදගත් හින්දා. ඒ ගැන හිතුවාම ඕනෙ රෙද්දක් කියලයි මට හිතෙන්නෙ.





සිරාගෙ කාමරයේ 7 වෙනි ලිපිය වෙනුවෙන්
ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සිට ලියා එව්වේ ප්‍රසාද් සමීර.






ප.ලි

පින්තූර කෑලි ටික ඉතින් සෙනසුරාදා දවසක මම වැඩ කරද්දි ගත්ත එ්වා.

Thursday, April 30, 2015

46 මගේ ප්‍රථම ප්‍රේමය

ප්‍රථම ප්‍රේමය..හ්ම්...හරි ලස්සන වචන දෙකක්. ප්‍රේමවන්තයො කවදාවත් වයසට යන්නෙ නෑ කියනවා වගේ, වයස්ගත කෙනෙක්ට උනත් තමන්ගෙ ප්‍රථම ප්‍රේමය කිසි දවසක අමතක වෙන්නෙ නෑ. මම දන්න විදියට ගොඩාක් අයට ප්‍රථම ප්‍රේමය ජයගන්න ලැබිලා නෑ. ජීවිතේ ඉස් ඉස්සෙල්ලාම ආදරයක රහ දැනුන අවස්ථාව නිසා ඒ මතකය මිහිරි රිදුමක් වෙලා අපේ හදවතේ ගැඹුරුම තැනක රැදෙන්නෙ ආශ්චර්යමත් විදියට. කසාද බැඳලා දරු මුණුපුරන් හිටියත් ප්‍රථම ප්‍රේමය ගැන මතක් කල පමණින් සංවේදී වෙන වැඩිහිටියොත් මට මුණ ගැහිලා තියෙනවා. ප්‍රථම ප්‍රේමය කිසිදිනෙක නොමියෙයි කියලත් කියමනක් තියෙනවානෙ.




මම ඉතින් මගේ ප්‍රථම ප්‍රේමය ගැන යමක් සිරාගෙ කාමරයට ලියලා හිතේ කෙළවරකට වෙන්න තියෙන පුංචි වේදනාවටත් සමු දෙන්නයි හිතුවෙ. හිනාවෙන්න එපා මේක ඒක පාර්ශවීයයි කියලා. ඒක පාර්ශවීය උනත් දැනෙන්නෙ එකම වේදනාවම තමයි. විරහව වෙලාවකට රසයක්. වෙලාවකට දුකක්. ඒක රසයක් කරගත්තම හරි අමුතු ලස්සනක් මට දැනෙනවා.

ගෑල් ළමයෙක් ගැන හැගීමක් ඇතිවෙන්න පටන් අරන් සෑහෙන කලක් ගත උනත් ආදරයක් කියලා හැගීමක් හිතට ආවෙම නෑ. උසස් පෙළ අතිරේක පන්ති ගනනාවකට ගියත්, බස් රථ වල නිතර නිතර එහා මෙහා ගියත්, ලස්සන කෙල්ලෙක් දිහා හොරෙන් බැලුවත් කිසිම දවසක අනේ මටත් කෙල්ලෙක් හිටියා නම් කියලා මට හිතිලා තිබුනෙම නෑ. මම බොහොම නිදහස් විදියට ජීවත් උනේ.

විභාගය අවසන් උනාට පස්සෙ මම පොඩි වෘත්තීය පාඨමාලාවකට සම්බන්ධ උනා. එතනදි නුවර පළාතෙ ගොඩාක් ලස්සන කෙල්ලෙක් මට මුණ ගැහුනා. පන්තියෙ හිටිය කොල්ලො බහුතරය මේ ළමයා එක්ක යාලු වෙන්න උත්සාහ කලත් ඒ කිසිම කෙනෙක් එයා තඹේකට මායිම් කලේ නෑ. නමුත් මේ කෙල්ල මා එක්ක හිතවත් උනා. එයා නුවර යන දවසට අපි බස් එකේ එකට ආවා ගියා. ඒත් මට මේ ලස්සන කෙල්ල ගැනවත් කිසිම ආදර හැගීමක් ඇති උනේ නෑ. මට උවමනා උනේ යාලුවෙක් විදියට ඉන්න. නමුත් ඒ දැරිවි  මා ගැන යම් බලාපොරොත්තුවක් ඇති කරගන්න බව දැනුනම  වැඩේ දුරදිග යන්න කලින් මම එයාගෙන් ඈත් උනා.

මගේ යාළුවො මට බැන්නෙ උඹට තියෙන්නෙ ලෙඩක් ඕකට බේතක් ගනින් කියලයි. මටත් ඇත්තටම හිතුනා මට ආදරය කරන්න හිතෙන්නෙ නැත්තෙ ලෙඩක් නිසාද කියලා. ඒ උනත් අපේ පන්තියෙ කෙල්ල ගැන නම් මට ආදරයක් ඇති උනේම නෑ.

ඒ කථාව ඒ විදියට ඉවරයක් උනා. පාඨමාලාවෙ අදියර දෙකක් අවසාන කරලා මම රැකියාවකට සම්බන්ධ වෙන්න බැලුවා. ලංකාවෙ ප්‍රසිද්ධ සමාගමක ප්‍රධාන ශාඛාවේම හ‍ොඳ රැකියාවකට සම්බන්ධ වෙන්න මට අවස්ථාව ලැබුනා. දවසක්දා රාජකාරි කටයුත්කට අපේ සමාගමේ කොළඹින් පිට ශාඛාවක ලේකම් කෙල්ලෙක් එක්ක මට දුරකථනයෙන් කථා කරන්න අවස්ථාව ලැබුනා. මේ කථාබහ තවත් දවසක් දෙකක් කෙරීගෙන යද්දි අපි දෙන්නා හොඳ යාලුවො බවට පත් උනේ අපිටත් හොරෙන්. එයා මට වඩා වසර දෙකක් වැඩිමල්.

මුලින්ම අක්කා, මල්ලි විදියට ආමන්ත්‍රණය කලාට, පස්සෙ පස්ස‍ෙ ඒ දේවල් වෙනස් උනා. තවත් ටික දවසකින් අපේ  මිත්‍රත්වය තද බැඳීමක් බවට පත් උනා. එයා එයාගෙ දුක්බර අතීතයේ හැම දේම මට කිව්වා. පළමු පෙම අහිමි වීම නිසා මේ ගෑණු දරුවා බොහොම කණගාටුවෙන් හිටියෙ. ඒ හිත හදන්න මම රාජකාරී නොවන වෙලාවටත් එයාව ඇමතුවා. සමහර වෙලාවට පැය දෙක තුන අපි දෙන්නා දුරකථනයෙන් කථා බහ කලා.

අපේ මේ සමීපත්වයට පිං සිද්ධ වෙන්න මම ආදරය කියන හැගීම කුළුදුලේම විඳගත්තා. අපේ මිත්‍රත්වය ආදරයක් බවට පෙරලුනේ මම හිතුවෙ නැති විදියට. මට එයා ගැන ආදරයක් ඇති උනාට පස්සෙ  ඒ බව කියන්න මම හදිස්සි උනේ නෑ. හිතේ හිරකරගෙන හිටියා. දවසින් දවස ආදරය වැඩි උනා.

කොළඹ රැකියාවක් කරන්න එයා ආශාවෙන් හිටියෙ. මමත් ඒකට උදව් කලා. එක පැත්තකින් ඒකෙ මටත් වාසියක් තියෙන නිසා. රැකියාවෙන් පස්සෙ ලැබෙන වෙලාවෙදි මම කැපවීමෙන් එයාට රැකියා හෙව්වා. ඒක සතුටින් කරපු වැඩක්.

ඔය අතරතුර කාලෙදි හදිසියේම වගේ මගේ ඒක පාර්ශවික ආදරවන්තිය කියපු කථාවකින් මගේ මුළු ලෝකයම කඩාගෙන වැටුනා වගේ මට දැනුනා. එයාගෙ සති අග පන්තියක කොල්ලෙක් එයාගෙන් කැමැත්ත ඇහුව බවත්, එයාට කැමති වෙන බවත්, මේ ආරංචිය එයාගෙ ලගම යාලුවෙක් විදියට මට මුලින්ම කියන බවත් තමයි කෙල්ල මට කිව්වෙ. මෙච්චර කාලයක් ආදරයක් හිතේ හංගගෙන මම කරපු ගොං වැඩේ ගැන මට හරියට පසුතැවිල්ලක් ඇති උනා. මම නියම වෙලාවට මගේ අදහස කිව්වා නම් ඇයව මට හිමිවෙන්න ඉඩ තිබුනා නේද කියලා හිතෙනකොට ලොකු වේදනාවක් හිතට දැනුනා. අන්තිමට එයාට තිබුන ආදරය නිසාම එයාගෙ සතුට ගැන හිතලා මේ සම්බන්ධයට උදව් කරන්නං කියලා කියන්න මට සිද්ධ උනා.

මට උවමනා උනේ කෙල්ලග‍ෙ සතුට. එයාට මම ඒක පාර්ශවීයව ගොඩාක් ආදරේ කලා. දැන් අලුත් ජෝඩුව ආදරය කරගෙන යනවා. මමත් අමාරුවෙන් අමාරුවෙන් හිත හදා ගන්න උත්සාහ කරමින් ඉන්නවා. ටික ටික කාලයත් ගත උනා. හදිසියේම දවසක මගේ හිතවතී මට ආයෙමත් කථා කලා. එයා බලාපොරොත්තු වන ආදරය පෙම්වතාගෙන් ලැබෙන්නෙ නෑ කියලයි එදා මට කිව්වෙ. මේ වචනෙ ඇහුව වෙලේ ඉදලම මගේ පරණ ආදරය ආයෙමත් හිස ඔසවන්න ගත්තා. කාර්යාලයේ මා එක්කම වගේ සේවය කරන කීප දෙනෙකු මේ ගැන යම් තරමකට දැනගෙන හිටියා. ඒ අය අපි දෙන්නගෙ නම් දෙක ගාවලා විහිළු කලත් මම මේ ගැන කිසිවෙකුට කිව්වෙ නෑ.

ඉවසලා ඉවසලා බැරිම තැනදි ඕනෙ දෙයක් වෙන්න කියලා මම මගේ ආදරය ඇයට හෙළි කලා. එතනින් එහාට සියල්ලම වෙනස් උනා. එයාට මං ගැන කවදාවත් ආදරයක් තිබුනෙ නැති බවත්, මාව ආශ්‍රය කලේ හොඳම මිතුරෙක් විදියට බවත් එයා කිව්වා.

මම කොච්චර නම් පැහැදිලි කරන්න උත්සාහ කලාද, නමුත් මට අවස්ථාවක් දුන්නෙම නෑ. මගේ ඇමතුම් වලට උත්තර දුන්නෙත් නෑ. කෙටි පණිවුඩ වලට පිළිතුරු එනකං දවස් ගනන් නොකා නොබී බලා උන්නා. මට දැනුන දුක අපමණයි. මට අකමැති උනත් මෙහෙම කරයි කියලා මම කීයටවත් හිතුවෙ නෑ. තනිවෙච්ච තැන් වලදි මම කදුළු හැලුවා. වැටෙනකං බිව්වා. නමුත් හිත හදාගන්න බැරි උනා.
දවස් දෙකකට විතර පස්සෙ එයා මට රාජකාරිමය වැඩකට කථා කලා. කිසිම දෙයක් නොවුන ගානට. කෙල්ලො මේ විදියට කොහොම හැසිරෙනවද මන්දා. මට දුක කියන දේ හොඳට දැනුනා. ඔය අතරෙදි අපේ ආයතනයෙන් ඉවත් වෙලා ගිය වෙළඳ කළමනාකරුවෙක් එයාගෙ වර්තමාන ආයතනයේ ඇතිවෙච්ච පුරප්පාඩුවකට මට කථා කලා. ලැබෙනවා කිව්ව වැටුපත් නරක නෑ. එ සමාගම ගොඩාක් ප්‍රසිද්ධ එකක් නෙමෙයි. මගේ ආයතනික හිතවතුන් මේ තීරණය ගැන කොච්චර බැන්නත් මම අදහස අතඇරියෙම නෑ

අලුතින් කෙනෙක්ව අරගෙන පුහුණු කරනවට වඩා මගෙන් පුරප්පාඩු වෙන තනතුරට මගේ ප්‍රථම ප්‍රේමයව බඳවා ගැනීම වාසිදායක බව ආයතනය තීරණය කලා. එයත් ඒ තීරණය ගැන බොහෝ සතුටු උනා.

ඉස්සර මම රැකියාවෙන් අයින් වෙනවා කිව්වම දුක් වෙච්ච කෙල්ල දැන් මගෙන් අහනවා කවදද යන්නෙ කියලා. එයාට නම් ගානක් වත් නෑ. මට තමයි දුකක් කියලා දෙයක් දැනෙන්නෙ. ඒ මම අවංකව ආදරය කරපු නිසාද ?

දන්නෙ නැති නිසයි අහන්නෙ. පණ දෙන්න වගේ ලගින් ඉඳන් දුක සැප හැම වෙලේම අහන, අපි ගැන හොයා බලන කෙල්ලෙකුගෙන් ප්‍රේමය ගැන ඇහුව ගමන් ඒ අය වෙනස් වෙන්නෙ, කෝපයට පත් වෙන්නෙ, මට කිසිම අදහසක් ඔයා ගැන ඇති වෙන්නෙ නෑ කියන්නෙ ඇයි...මට හිතාගන්න බෑ. ආදරය කියන වචනය ඒ තරම් නරක එකක්ද කියලා මම තවමත් කල්පනා කරනවා.


මාසයේ අවසන් ලිපිය වෙනුවෙන් සිරාගේ කාමරයට ලියා එව්වේ,

ජනිත චතුරංග


ප.ලි

ජනිත චතුරංග මිත්‍රයා සිරාගේ කාමරයට සෑහෙන කාලයක  සිට එන යන පාඨකයෙකි. මාස 6 කට පමණ ඉහතදී ඔහු මේ කථාව මවෙත එව්වේ සිරාගේ කාමරයේ කෙසේ හෝ පල කරන ලෙසයි. ඔහුගේ ඒ ඉල්ලීම අද මෙසේ ඉටුවෙයි. සිරාගේ කාමරයේ 7 වෙනි ලිපියට ලිපියක් ලිවීම පිළිබඳ මගේ ස්තූතිය ජනිත මලයාට හිමි වෙයි.


Tuesday, March 31, 2015

60 දෑස්

ලොකු දුවට දරුවා ලැබී වසරකට පසු, ලංකාවට පැමිණීමත් සමග තමන් එහි යෑම ඒම කෙමෙන් අඩු වී ගියේ යයි විමලජීව මා හා පැවසීය. සිදු විය යුත්ත නම් තම දරුවකුට දරුවකු ලැබුණු පසු සීයා කෙනෙක් වශයෙන් නිරන්තරව ඔවුන් හා ගැවසීම වුවද විමලජීව කලේ හෝ ඔහුට නොදැනීම සිද්ධ උනේ එහි අනෙක් පැත්තය.

දුවගෙන් පමණක් නොව තමා බිරිඳගෙන්ද දුරස් වී ඇති බව ඔහු කීවේ වේදනාවෙන් පීඩිත හදිනි. වෙනදා සීතා හා ඔහු අතර තිබූ ඇල්ම බැල්මෙන් සැලකිල්ලෙන් හෙතෙම හිතා මතාම දුරස් වී හුදෙකලාව විසීමට කටයුතු කර ඇත.

මේ හැමෙකටම හේතුව ඒ ඇස් දෙකය.



යොහොන්සා රුවනාරි, ඔව්, ඇයගේ දෑස මිස තමා මේ කිසිවකට වගකිවයුතු නොවනා වගට විමලජීව තර්ක කරයි. යොහොන්සා රුවනාරි .. ඔව්, ඇය ලොකු දුවගේ කුළුදුල් දියණිය, නැතිනම් විමලජීවගේ කුළුදුල් මිණිපිරියයි.

ඒ ඇස් දෙකෙහි අහිංසකකම පිරී ඇත. බින්දුවක් ඇත්නම් එළියට පනින්නට බලාගත් කදුළු ඒ තුල දිලිසෙයි. විමලජීව වරෙක මට එසේ ලීවේය.

උඹට මතක ඇතිනම් මා මීට පෙරද ඔය ලෙසින් පවසා ඇති වග සිහිපත් වෙනු ඇත. ඒ හරියටම හතළිස් එක්වසකට පෙරාතුවය. එදා එය කවුරුන් උදෙසා වීද යන්න මගේ ළගම සිටි උඹ හොදින් දනියි. ඉතින් මා සාධාරණද අසාධාරණද යන්න උඹම සිතා බලන්න. හිත හදාගෙන ඒ දරුවාගේ මුහුණ දැක්මට මා‍ කොහොම යන්නද සිතන්න.. ඇයගේ අැස් දෙක දකින විට මා ‍දෙකකුල් පණ නැති වී උගුර කට වියැළෙයි. සීතා හා දරුවන් ඉදිරිපිට වෙනදා සේම හැසිරීමට නොහැකිව මම මහත් මානසික වේදනාවක් විඳිමි. කුමක් කරන්නද යන්න සිතාගත නොහැකිව සිටින විටයි උඹ අමතා හැමදේම කියා සිත සැහැල්ලු කර ගැනීමට සිතුවේ. මට මීට විසදුමක් නැතත් අඩු තරෙමේ හිත හැදෙන්නවත් උඹට කිව හැකි යමක් වේද ?

ඔහු පත්තිරුව මත තැබූ ප්‍රශනාර්ථයෙන් මගේ හදවතද බර වෙයි. විමලජීව බාල කාලයේ හමු වූ ජීවිතය පුරාවට සෝවුරෙකු මෙන් මා ළග හිඳි මිතුරාය. විශ්ව විද්‍යාලයේදී ද එතැනින් නික්ම සිවිල් සේවයට එක්වී ගත කල කාලයද මේ සියල්ල අප දෙදනාම කලේ එකටය. අතීතයේ විඳි හැම කටුක අත්දැකීමක් හමුවේම මා පසෙක සිටි මගේ පරම මිතුරා වශයෙන් මම ඔහුව දැකගත්තෙමි, දකිමි. ඉන් උපන් වේදනාව හමුවේ ඔහුට කවරාකාර නම් උපදෙසක් දෙන්නද යන්න මට ද සිතගනු බැරිවිය. ඔහුගේ සිතට සහනයක් සැලසිය හැකි යමක් මා අතින් ලියවුනාද යන්න මට ද සංකා සහිත වූවකි.

ඇයගේ දෑස ඒ වැනි වූවා කියා ඒ ගැන මෙතරම් සිතීමෙන් ඇත්තේ කවර ඵලයක්ද ? සමාන දෑස් පමනක් නොව එක හා සමාන මුහුනු ඇඟපත ඇත්තෝද ‍ මෙලොව කෙතරම් වෙත්ද ? උඹ වැනි උගත් බුද්ධිමත් පරිණත කෙනෙක්ගේ මෙවන් සුළු කරුණක් මත ඇතිවන හැසිරීමේ තේරුමක් ඇත්දැයි මදක් විමසා බලන්න. මෙතරම් උඹ වෙනුවෙන් කැපවන සීතා ඇතුළු පවුලේ අය වෙත නුඹෙන් සාධාරණයක් ඉටුවේද යන්න යළි යළිත් සිහිකරනු මැනවි.

සත්‍ය වශයෙන්ම මාගේ විශ්වාසය වූයේ මෙය ගණනකට ගත යුත්තක් නොවන බවයි. දරුවාගේ දෑස් ඒ වගේ වුවද එහි ඇති දෙයක් මට එදා නොහැගිණි. ඇය තම එකම දියණියගේ දරුවා මිස අන් කිසිවකුත් නොවන වග විමලජීවට ඒත්තු ගැන්වීමට කෙතරම් උත්සාහ කලද ඔහු ඒ තේරුම් ගත් බවක් නොපෙනුනි. මා විශ්වාස කලේ කාලයත් සමග විමලජීව මේ අදහස් හැර දමා සාමාන්‍ය පරිදි කල් ගත කරනු ඇති කියාය. නමුත් සිදු වූයේ අනෙකකි.

අවසන් වරට මට ඔහුගෙන් ලිපියක් ලැබුනේ වසර එකකුත් හමසකට පෙරාතුවය. ඒ ඔහු අතුරුදහන් වී යයි සැලකෙන දිනට පසු දිනය.

දයාබර විජේ වෙත

විජේ ඒ ඈම මිස අනිකෙකු නොවන වග ප්‍රත්‍යක්ෂ කොට කියමි. ඔබගේ උපදෙස් හිසින් ගෙන මේ සියල්ල යථා තත්වයට පැමිණෙනු ඇතැයි විශ්වාසයෙන් මම යළිත් සාමාන්‍ය ලෙස ජීවිතය ගත කිරීමට දැඩි ලෙස ප්‍රයත්න ගතිමි. ඒ අනුව ලොකු දුව බෑනා හා මිණිබිරිය සමග වඩ වඩාත් කාලය ගත කිරීමත්, සීතාගේ සිතට කරදරයක් නොදෙනු පිණිස වෙනසකින් තොරව හැසිරීමටත් කටයුතු කළෙමි. නමුත් දිනක් මා නොපැතූ නොසිතූ වෙලාවක මගේ අවාසනාවන්ත අතීතයේ අවාසනාවන්ත අතපසු කිරීම් මා හැර නොයනා වග මට පෙන්වා දුන්නේ මා වැනි පවුකාරයෙකු මිහිපිට තවත් නොමැති හෙයිනි. මේ ලිපිය ලියන රාත්‍රියට පෙර සන්ධ්‍යා කාලයේ සීතාත් මමත් ළදැරිය හා සෙල්ලම් කරමින් ඇය හා ප්‍රීතියෙන් සිටියෙමු. එක වරම බහ තෝරන වියේ හුන් ළදැරිය අත් පන්දුවක් මාවෙත දිගු කරමින් ඉමල් ඉමල් යයි හඬ ගෑවාය. මහ හඬින් සිනාසුනු සීතා දැරිය තුරුළු කොට සිඹිමින් අනේ අනේ අම්මා තාත්තා පැත්තකට දාලා අපේ පැටියා සීයට නමම කියලා බහ තේරුව නේද ? ආ පැටියෝ කියූ විට මට ක්ලාන්ත වන්නා සේ මුළු ලොවම කැරකෙන්නා සේ දැනුණි. අද රාත්‍රියේම මා මේ තීරණයට එළඹීමට සිතුවේ ඒ අනුවය.

මා සිටිනා තත්වය මත මා ගත් තීරණය නිවැරදි වග උඹ තේරුම් ගන්නේ නම් එය මට මහත් සහනයකි. මන්ද මට මගේ දයාබර සීතා වෙත මෙලෙස ලිපියකින් වචනයක් කියා ගැනීමට න‍ොහැකි වන බැවිනි . මා හා ජීවිතයෙන් වැඩි කොටසක් ලඟ හුන් මිතුරා වශයෙන් ඔබගෙන් අවසාන වශයෙන් ඉල්ලා සිටිනුයේ සීතා හා දරුවන් සනසා ඔවුන්ගේ තත්වය පහසු කරවන ලෙසයි. ඔබටත් මංගලිකාටත් රුවන්තා පුතාටත් දිගාසිරි. 


මෙයට 

සදාමිත්‍ර විමලජීව


සීතා විමලජීවට විමල් යයි අමතන්නේ නැත. ඔහුට ඒ ලෙස ඇමතුවේ ඇයම පමණි. ශ්‍රියානිම පමණි. ලිපියේ සදහන් වූ දෑ මෙන්ම ශ්‍රියානි පිළිබඳව සීතා හෝ පවුලේ කිසිවකුත් නොදනියි. අසරණ ඔවුන් විමලජීවගේ අතුරුදන් වීමෙන් කම්පිත වෙද්දී, ඊට නිවැරදි හේතුව දැන සිටියේ මමත් ඔහුත් පමණකි.

විමලජීවගේ බල පුළුවන්කාර පවුල් පසුබිම හමුවේ ශ්‍රියාණි හැරදමා විමලජීවට සීතා හා විවාහ වන්නට සිදුවිය. ශ්‍රියානි මිය ගියේ ඉන් ටික දිනකට පසුව විමලජීවගේ දරුවකුද කුසින් දරාගෙනය. එදා මෙදා තෙක් මේ සියල්ල දන්නේ විමලජීවත් මමත් මෙතැන් පටන් ඔබත් පමණි.

දරුවා වැඩෙනා තෙක් ඉමල් ඉමල් යයි කියමින් කිසිවකු සෙවුවද ඇයගේ වර්ධනයත් සමග එය මගහැරී ගියේය. දකින්නකු හදවත ආදරයෙන් පුරවන රුවින් හා වදනින් ඇය සුවෙන් වැඩෙන්නීය. සීයාද සොයන්නීය. ඒ ශ්‍රියානිම ද නැතිනම් කවුරුන්ද ? යන්නවත් සිදුවූයේ කුමක්ද? යන්නවත් මේ යයි කීමට මමත් නොදනිමි. නමුත් සාමාන්‍ය මිනිසෙකු වශයෙන් මමද එයින් විස්මයට පත්වූ වග නොකියා බැරිය.

සීතා හා දූ දරුවන් තවමත් බෝධි පූජා පවත්වමින්ද, ශාස්ත්‍ර අසමින්ද ඔහු සොයයි. උන් කෙරේ දයානු කම්පාවෙන් මගේ හදවත මා ඔහු සොයා යෑමට ගත් මේ තීරණයට මග පෙන්වූවේය.

ඒ සමගම ශ්‍රියානි කෙරේද මගේ හදවත කම්පා වෙයි. විමලජීව දෙවරක්ම ඇයව හැර ගියේය. පළමුවර නිහඬව සිටි මට යළිත් එලෙස කළ නොහැක. ශ්‍රියානිට විමලජීව හෝ සිගිති ළදැරියකට සීයා කෙනෙකුගේ උණුසුම අවැසිය.

හෙට උදෑසන පළමුව කැකිරාවෙන් ඔහු සෙවීම අරඹමි. එයට පළමුව මෙය ලියා තබනුයේ මට විමලජීව හමුවේද නැතිද යන්න නොදන්නා බැවිනි. විමලජීව උසය. කොණ්ඩය කොටට කපා ඇත. ඔහු නිරන්තරයෙන් සිනාසෙයි. දෑසින්ද සිනාසෙයි. මිත්‍ර වූ විට ඔහු තරම් යහපත් මිත්‍රයෙකු තවත් නැත. ඔබට මෙවැනි ලක්ෂන ඇතියෙකු හමුවී නම් මා හට දන්වන මෙන් අවසාන වශයෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.



මාසයේ අවසන් ලිපිය වෙනුවෙන් සිරාගේ කාමරයට ලියා එව්වේ,

ඉසුරු අබේසේකර



ප.ලි

ඉසුරු අබේසේකර යනු කවරෙක්දැයි මේ වන විට සිරාගේ කාමරයේ පාඨකයන්ට අමුතුවෙන්ම කිව යුතු නොවේ. එහෙත් සිරා කොලුවා වන මම මගේ යුතුකම ඉටු කරමි. ඉස්සර දවසක මා ලංකාවේ ජාතික පුවත්පතක සේවය කරන සමයේදී අපේ ඇසුරට වැටුනු නව යොවුන් තරුණයෙකි ඔහු. ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ ලේඛකත්ව හා ජන සන්නිවේදන පාඨමාලාව ඔස්සේ  තම අනාගත ගමන් මග සොයාගත් ඉසුරු, සාහිත්‍යයට, කවියට මෙන්ම, සංගීතයටද පෙම් බදින්නෙකි. දක්ෂ ගිටාර් වාදකයෙකි. හෙතෙම වර්තමානයේ ලංකාවේ නමගිය දැන්වීම් ප්‍රචාරණ ආයතනයක පිටපත් රචකයෙකු (Copy Writer) ලෙස කටයුතු කරයි.

මේ ඉසුරු සිරාගේ කාමරයට එකතු කරන තෙවැනි කෙටි කථාවයි. ඔහුගේ ලියවිලි තුල ඔහුගේම කිව හැකි ආකෘතියක් තිබේ. ඉතාම කුඩා සිදුවීමකින් වුවද බරසාර කථාවක් ලියන්නට ඔහුට ඇත්තේ පුදුම හිතෙන සුළු හැකියාවකි.

මේ ලිපියට පෙර ඉසුරු අබේසේකර සොයුරා සිරාගෙ කාමරය වෙත එකතු කල කෙටි කථා මෙසේය.

ඇඹුල් දොඩම් , උපත් පාලනය

තෙවන වතාවටත් සිරාගේ කාමරය සමග නිර්මාණයක් බෙදාගත්තාට ඉසුරු මලයාට මගේ නොවක් ස්තූතිය පිරිනමමි. ජය !

Saturday, February 28, 2015

126 කම්මල සමග දොස්තර බූට්

පිරිමි පාසලක හිටිය මම පහේ පන්තියේ සිස්සත්තෙන් පාස් වෙලා , හහේ පන්තියට මිශ්‍ර පාසලකට යන්න උනත් මේ ම්ශ්‍ර බවේ ඇඳුමක වෙනස මිසක් වෙනත් දෙයක් තිබුනෙ නෑ . සපත්තු ,ඇදුම් ගුරු පාරක බෝල ගහපු සුදුපාට ටෙනිස් බෝලවගේ පාටවෙලා ඒ වෙනසත් මකල දැම්මා. බැනගන්න, ගහගන්න ,සෙල්ලම් කරන්න යාළු වෙන්න ,තරහ වෙන්න මේ මිශ්‍ර බව බාධාවක් උනේ නෑ . මේ නොවෙනස් බව අවුරුදු හතර හමාරක්ම එකම විදිහට ගෙවිල ගියා.

මේ කියන දවසත් වෙනසක් නැතුව වෙනදා විදියටම උදා උනා, කටක් දෙකක් කාල , අන්තිම තප්පරේට කෝච්චියට දුවන ගමන් බෙලිගහ යට වැටිල තියන බෙලි ගෙඩියක් වගේම වෙරළු ගහ යට වැටෙන වෙරළු ගෙඩිටිකත් අහුලගෙන යන්තම් කෝච්චියේ අන්තිම පෙට්ටියේ එල්ලිලා කමිසෙ බොත්තම් ටිකත් දාගෙන ඉස්සරහ පෙට්ටිවල ඉන්න යාළුවො අතරට වැදිල ඉස්කෝලෙට ගියා. මේ නිවාසාන්තර ක්‍රීඩා තරග සදහා පුහුණුවන කාලය ඉතින් වෙනදටත් කලින්ම දුබුරු පාට ටෙනිස් බෝලයක් වෙන්න අවස්ථාව තිබුනා. පුරුදු විදිහටම ගෙදරින් දුන්න බත් ගෙඩියට වගේම අහල පහල බත් ගෙඩි වලටත් සවල් පාරවල් දෙක තුනකින් සම්මාදම් වෙලා අත් හෝද ගැනීමේ තියුණු තරගයට එකතු උනා. කැලේ නීතිය ක්‍රියාත්මක උන වතුර කරාමයට යන්තම් අත දාලා ගෑවෙන වතුර ටිකකින් අත හෝදගෙන ගසපු වතුර බිංදු , තරගයට කිසිම සුදානමක් නැති ගුරු පාට උන සපත්තු දෙකක පුංචි රටාවක් දැම්ම. කවුද මේකේ අයිති කාරය, තවත් දුබුරු පාට ටෙනිස් බෝලයක් නොවුන බෝලයක්. බඩේ ඉදන් පපුවට මොකක්දෝ එකක් ආවා. පපුවෙන් ඔලුවට ආව ඒ කියන්නෙ නොදන්නා දේ හැමදේම උඩු යටිකුරු කලා.

පහුවදා ඉදන් මගෙ ලෝකය අමුතු එකක් උනා , මම හිතන්නෙ එදා ඉදන් තමයි අපේ ඉස්කෝලේ වෙනස් උනේ. වෙනද නොතිබ්බ මල් , ගස් මාත් එක්ක හිනා උනාද , මට හිනා උනාද මම දන්නෙ නෑ( හැලපේ අයියල හිටෝපු ගස් හින්ද මට හිනාවෙන්න ඇති ) හැමදේම වෙනස් විදිහට මට පෙනුනා. දුඹුරු පාට මම සුදු පාටට මාරු උනා. වේලිච්ච ඉපනැල්ලක් වගේ තිබුන කොණ්ඩේ ජෙල් තට්ටුවකින් තෙත් කලාපීය වනාන්තරයක් උනා. කොටින්ම කිව්වොත් කන කොකා කිරි කොකා ට හැරුනා . මම හීන ලෝකෙ සක්විති රජ උනා.

මගෙ හීන ලෝකෙ රැජින ඇත්තටම මගේම කරගන්න හීන ලෝකෙන් ප්‍රේම ලෝකෙට බැස්සා .මාස දෙකතුනක පාමුර සංචාර , ඇම්බුෂ් වලින් පස්සෙ දවසක් මම මගෙ ඒක පාර්ශවීය ප්‍රේමය ඇයට ප්‍රකාශ කලා


" ඔයාට ඉන්න කෙල්ල මදි වෙලාද මට යාලුවෙන්න කියන්නෙ "

" ........මොකක් .....ද ? කවුද , මොනවද ....."

" අර ඔයාගෙ පංතියේ ඉන්න ක්‍රිෂාන්ති අක්කා, හොස්ටල් එකේ ඉන්නෙ එයා. එයාගෙන්ම අහගන්න මගේ යාළුවට එයාම තමයි කියලා තියෙන්නෙ."

" එහෙම එකක් නෑ ....මම එයාගෙන් අහන්නම් "

පසුදා .

" පොකුටී ....මොනාද යකෝ උඹ හොස්ටල් එකේ ගිහින් කිවුවෙ , මම එක්ක යාළුයි කිව්වද ."

" නෑ ... මගෙන් උඹ ගැන ඇහුවා, හරි හොද කෙනෙක් කියලා , උඹ මගෙ හොඳම යාළු කොල්ලා කියලත් මම කිව්වා "


" නෙදකින් ..... අනේ පොඩ්ඩක් ගිහින් පැහැදිලි කරලා  වරෙන්, මට කැමතිදත් කියල අහගෙන වරෙන් ඔය ගමන්ම "

එදාම හවස එකඟතා ගොඩාක් එක්ක සමන්මලී නංගිගෙන් ... " මම කැමතියි, හැබැයි මාව රිදවන්න එපා " කියලා උත්තරයක් හම්බවුනා . එදා ඉදන් අපේ ලෝකය හරිම සුන්දර උනා කිවුවොත් හරි. කොටින්ම එයා මගේ ලෝකය සුන්දර කලා කිවුවොත් නිවැරදියි . ටිකින් ටික අපි ඉහළ පංති වලට ආවා. මම වාණිජ අංශයටත් , ඊට පස්සෙ අවුරුද්දෙ එයා විද්‍යා අංශයටත් එකතු උනා . A /L කාලෙ අපේ බැදීම ගොඩක් වැඩි උනා. අපි දෙන්නා ඉස්කෝලෙ ඇතුලෙ සාලිය අශෝක මාලා වගේ ප්‍රසිද්ධ ජෝඩුවක් කියලා මම දැනගත්තෙ, ප්‍රින්සිපල් මේ ගැන අපේ පන්ති බාර ගුරුතුමියගෙන් ඇහුවට පස්සෙ.

ටික කාලයක් යද්දි බ්‍රේක් නැති කටවල් තිබ්බ අපේ මිත්‍රයො නිසා අපේ අම්මා, තාත්තා වෙන්ඩ ඉන්න ලේලි ගැන දැනගත්තා. සාධාරණය ගැන උපරිමෙන් හිතපු අපේ තාත්තා මේ පෙම් පුවත සමන්මලීගෙ තාත්තට කිවුව. දෙමාපියන් දැනගත්තා අපි මේ සම්බන්ධය නවත්තන්නේ නෑ කියලා. හැම ආදර කථාවකම වගේ මල්වතු , දුම්රියපොල, පන්සල් , පල්ලි , විනෝද චාරිකා ආදිය එක්ක අපේ ආදර කථාවත් මිහිරි ලෙස ගලගියා .

සමන්මලී මෙඩිකල් කොලේජ් යන්න තේරුන දවසෙත් සතුටු වෙනවට වඩා දුක් උනේ මගෙන් ඈත් වෙලා ඉන්න වෙන හින්දා කියලා එයා ක්‍රියා කරණ විදිහෙන්ම මම දැනගෙන හිටියා . තවත් අවුරුද්දක් විතර මගේ පුංචි දොස්තර නෝනට මම සෙවනැල්ලක් වෙලා හිටියා. මේ කාලෙදි ටික, ටික මාත් එක්ක මත ගැටුම් ආවා..ඒත් බොහොම සුළු දේවල් ....තවත් මාස තුනක් ගිය දවසක, ගහෙන් ගෙඩි එනවා වගේ එක පාරටම,



" අපි අපේ සම්බන්ධය නවත්තමු .....ඔයා කවදාවත් හැදෙන කෙනෙක් නෙමෙයි, " කියලා එයා මේ සම්බන්ධය බොහොම නපුරු විදිහට නතර කලා. මගේ ආදර රජදහන, සිහින මාළිගා බිමට සමතලා කරලා දැම්මා. එයාගෙ දෙමාපියන් නංගිල කොච්චර කිවුවත් එයාගෙ තීරණය වෙනසක් උනේම නෑ.

මම ජීවිතේට විරහව කියන වචනයෙ තේරුම අත් වින්දෙ එදා . මගෙ දෙමාපියො , සහෝදරයො , මිත්තරයො  හැමෝම මාව සනසන්න ගොඩක් උත්සාහ කලා. මම රැවුල කොන්ඩේ වවාගත්ත පිස්සෙක් වගේ මාසයක් විතර හිටියා . දවසක් හවසක මගෙ ආදරණිය ලොකු තාත්තා ගෙදර ආවා .

ඒකාධිපති තීරණ ගන්න ලොකු තාත්තත් එක්ක මම රූකඩයක් වගේ කොළඹ ආවා. සැලුන් එකකින් කොන්ඩේ රැවුල කප්පවල ඇදුම් ටිකක් අරන් දීලා එයාලගෙ ගෙදර ගියා. මට වෙන්ඩ යනදේ මම දැනගත්තෙ ලොකු තාත්තගේ දුවගෙන්.

" මල්ලි ඔයා තේ වත්තකට යනවා නේද ....අනේ ෂෝක් අපි එන්නම් ඔයාව බලන්න "

මට වැටහුනා, මම ආදරය කරපු තවත් දෙයක් ගැන අපේ දෙමවුපියො දැනගෙන ඉඳපු බව , මට එදා මගේ පවුලෙ අය ගැන තිබුන ආදරය තවත් වැඩි උනා . නිදහසේ මනෝ පාරක් ගහගෙන ඉන්න පුළුවන් නිසා මමත් කැමැත්තෙන්ම පහුවෙනිදා සම්මුඛ පරීක්ෂණයක් වගේ එකකට ගියා , මෙතන නම් වශයෙන් කියන්න පුළුවන් උනානම් හොඳයි.  ඒ උත්තම චරිත කීපය ගැන,  ඔයින් මෙයින් උඩුපුස්වැල්ලාව තේ වත්තක පුහුණු වන නිලධාරියෙක් විදිහට කවදාවත් හැදෙන්නෙ නැති මම හැදෙන්න තීරණය කලා. සම්මුඛ පරීක්ෂණයෙන් පස්සෙ සේවයට  බදවාගෙන සීඝ්‍රගාමී විදිහට එදාම මට සේවය කරන්න තියෙන වත්තට පිටත් කලා .

මම තනියෙන් ඉන්න පුළුවන් කියල හිිතේ මවාගෙන ගිය නවාතැන වෙනුවට වත්තෙ කළමනාකරුගෙ වතු බංගලාවේ නවතින්න මට සිද්ධ උනා. කදු මුදුනක තිබ්බ ඒ මනරම් පරිසරය මිත්‍රයෙක් වගේ මගෙ හිත සන්සුන් කලා . කිසිම දෙයක් කල්පනා කරන්න වෙලාවක් නැති ඒකාකාරී ජීවිතය තේ පදුරු , ෆැක්ටරිය එක්ක ගෙවිලා ගියා . ඉතාමත් කරුණාවන්ත වගේම ආදරණිය කළමනාකාර තුමා මෙන්ම ඔහුගේ බිරිඳත් මගේ සිත් බිදීම ගැන‍ දැනුවත් වෙලා තිබුනා. ජිවිතේ නැවත පටන් ගන්න ශක්තිය දෙන වචන පෙළ මේ දෙවෙනි දෙමාපිය යුවලයි දවසක්දා මට දුන්නෙ.

" ඔයා කරන්නෙ නෑ කියල සමන්මලී කියපු දේ කරලා පෙන්වන්න . රස්සාවෙ ඉහළට යන්න , ගෙයක් හදන්න , වාහනයක් ගන්න , තවත් ඉගෙන ගන්න , හොද ලස්සන කෙනෙක් බඳින්න. 

මේ වචන පෙල සද්ද නැතුව අහගෙන හිටිය මම, අන්තිමට දේට ඇරෙන්න අනිත් හැමදේටම එකඟ උනා .

" ඔයාගෙ කොහෙද තියෙන්නෙ , ඔයා බදින්නේ සමන්මලීම කියල " "ඒක දෙවියන්ගේ කැමැත්ත" " නැත්නම් ඔයාගෙ ලැබීම "

දෙවියන්ගෙ කැමැත්ත මගේ කැමැත්ත නොවුනත් ඒ වෙලාවෙ වෙන කරන්න දෙයක් තිබුනෙ නෑ.

පුහුණුව අවසානයේ නැවතත් ප්‍රධාන කාර්යාලයේ රස්සාවට කොළඹ එන්න සිදුවුනා . දවසක්දා අතර මගකදී කොටුව ස්ටේෂන් එකේදී මමයි එයයි මුහුණට මුහුණ හමු උනේ දෛවයේ සරදමකට වගෙයි. හිත කීරි ගැහෙන දුකක් ඒ රුව දුටු විගස දැනුනත් සුළු මොහොතකින් නැති වෙලා ගියා . කෙටි කථා බහකින් පස්සෙ අපි පුරුදු විදියට වෙන්වෙලා ගියා.

මගේ ජීවිතේ දෙවෙනි පරිඡේදය ආරම්භ කරන්න අධිෂ්ඨාන කලා.  හැදෙන්න ඕනෙ / හැදිල පෙන්නන්ඩ ඕනෙ .

වතු කළමණාකාර තුමා එදා කිව්ව විදිහටම හැම අතින්ම මම හැදුනා. කාලයක් යද්දි මගෙත් එක්ක දුම්රියේ යද්දී හමුවුන යෙහෙලියක් මගෙ පෙම්වතිය උනා ( පෙම්වතිය කලා ) කිවුවොත් නිවැරදියි. ජීවිතයට නොසිතූ ලෙස ලැබුන සුන්දර බිරිඳ පිළිබද කියන්න ගියොත් මෙතන වෙනම ලිපියක් ලියන්න වෙනවා. ඒ නිසා මම ඒ ගැන ලියන්න මේ අවස්ථාව යොදා ගන්නෙ නෑ.

 " මම කැමතියි, හැබැයි මාව රිදවන්න එපා " අපේ ආදර කථාවෙ ආරම්භයෙදිම ඇය කල ඉල්ලීම ඒ විදියටම ඉටුඋනා. මම කවදාවත් ඇයව රිදෙව්වෙ නෑ.

කාලය ගත උනා. මම වගේම ඇයත් විවාහ උනා. දෙමාපියො උනා. ඇය අද මගේ මිත්තරයෙකුගෙ බිරිඳ වගේම දැනටත් අපේ පවුලේ ලගම හිතවතියක්. ඉස්සරහදි එන්න පුලුවන් ලෙඩ දුක් ගැන හිතලා අරක්කු තහනම් කරන කරදරකාර දොස්තර නෝනෙක්.

ගොඩාක් වචන පාවිච්චි කරලා දිගට ලියන්න පුලුවන් මගේ කථාව සාරාංශයක් විදියට ඒ විදියයි. බූට් කාපු කොල්ලන්ට මගේ අත්දැකීමෙන් මම කියන්නෙ උඹලා වින්ද ඒ වේදනාවම යහපත් හෙට දවසකට යන්න පාලම කරගන්න. දුක මතින් අධිෂ්ඨානයක්, අනාගත සැලසුමක් හදාගන්න. එහෙම කලොත් මම අද විඳින සතුට ඔබටත් නිසැකවම විඳින්න ලැබේවි.



සිරාගෙ කාමරයේ බූට් මාසයේ 7 වෙනි ලිපිය වෙනුවෙන්
ලංකාවේ ගම්පහ පුරවරයේ සිට ලියා එව්වේ කම්මල.



ප.ලි 

මගෙ ජීවිතේ හැම අවස්ථාවකදීම අවුරුදු 18ක් තිස්සේ නොවැටී සිටීමට දිරිදුන් චරිතයක් වූ අප සමාගමේ සභාපති තුමාට , පහේ පංතියෙන් පසුව ලියු මගේ දිගම ලිපිය ( බූට් ලිපිය ) උපහාරයක් වේවා !!!!

තව ටිකක් පහලින් සිරා කොලුවා වන මවිසින් මේ සුට්ට ලියමි.


පුරා මාසයක් පුරාවට ආදරයේ විරහව පමණක් කාමරයට ගෙනෙන්නට මා පෙළඹවූයේ ‍ත්‍රෛයිමාසික නමුත් හද පතුලෙන් කල ආදරයක වියෝව හමුවේ සිරා කොලුවා වන මට දැනුන චිත්ත පීඩාව සහ වේදනාවයි. ආදරය හමුවේ අවංක වන සෑම කෙනෙකුටම ආදරයේ වියෝව ඇති කරන්නේ මහත් කණස්සල්ලකි. දුරු කතරක හිතේ දුක කියන්නට ලගම කියා මිතුරන් නැති පරිසරයක සිට මම මගේ දුක යම් පමණකට මගේ දුප්පත් කාමරයේ ලෑලි දොර ඇර අකුරු කළෙමි. ලොවට රහසේ මා වැනිම චිත්ත පීඩා විඳි තවත් පිරිසක් ඒ වටා එකතු වීමත්, මාසයේ අවසාන දිනය උදා වන විට කාගෙ කාගෙත් දුක තුරන් වීමත්, කිසිදිනෙක හැබැහින් මුණ ගැසී නැති මේ මිතුරු කැළ අතර මිත්‍රත්වය දළුලා තිබීමත් බූට් මාසය අවසානයේ වැර වෑයමෙන් ඉපයූ වත්කම් වන්නේය. මෙයින් මතු දිනයක හෝ ආදරයේ විරහවෙන් සිත කඩා වැටුනු මානවකයෙකු / මානවිකාවක මේ ලියවිලි කියවන්නේ නම් ඔවුනට දුක තුනී කර තමන්ගේ ගමන යන්නට යම්කිසි රුකුලක් ඒවායින් ලැබෙනු ඇතැයි මම උදක්ම සිතමි.

විරහා දුක නිට්ටාවටම සුව කරන්නේ කාලයයි. නමුත් ඒ අතර කාල පරාසය ගත කිරීම ඇතමෙකුට සැබැවින්ම අභියෝගයකි. හැකි තරම් කාර්ය බහුල වීම හෝ අලුත් විෂයක් අධ්‍යයනයේ නිරත වීම / විරහා ගීත ශ්‍රවණයෙන් හැකි තරම් ඈත් වීම / පැරණි පෙම්වතා හෝ පෙම්වතිය දුන් තෑගි බෝග, මතක සටහන් , උපන් දින සුභ පැතුම්, ඡායාරූප ආදිය පෙනෙන මානයෙන් ඉවත් කිරීම, හිත පෙළෙන දුක ළඟම හිතවතෙකු සමග සාකච්ඡා කිරීම ආදිය ප්‍රේමයේ විප්‍රයෝගයේ වේදනාව යම් තරමකින් අඩු කර නිට්ටාවට සුව කරගන්නට ඉවහල් වන කාරණා බව මම අත්දැකීමෙන් දනිමි.

ඉඳින් සබඳ, බූට් මාසයෙන් සමුගෙන යන්නට අවසර, යළිදු කිසිම කිසි දිනයක බූට් මාසයක් සිරා‍ගෙ කාමරයට ආයෙත් උදා වෙන එකක් නෑ කියලයි මගේ අක්මාවට දැනෙන්නෙ. මේ මාසය පුරාම තමන්ගෙ ප්‍රේම අත්දැකීම් වලින් කාමරයේ ලිපි පෝෂණය කල, ඒවාට අදහස් දැක්වූ සහ ගීත වලින් මේ ලියවිලි රසවත් කල සියලුම සහෘදයන්ට මාගේ නොවක් ස්තූතිය.

බුදු දහමට අනුව විරහා දුක මඬින ක්‍රමය කියා දෙන කදිම ලිපියක් මෙතැනින් කියවන්න. 

විරහව යහපත් අන්දමින් දකින්නට රුකුලක් වන අපූරු ගීතයක්. අසාගෙන අපි නික්ම යමු.



ඇසුවේද කවුරුන් හෝ ඔබෙන්
හැඬුවේ ඇයිද ප්‍රේමේ නමින්
විමසා නැතිද කිසිදා ඔබත්
කඳුළින් තුරන් වූ ප්‍රේමයක් 

සතුටේ උපත කඳුළයි සදා
හද වේදනා දෝතින් ගෙනා
පවනේ සිසිල සුසුමයි සිතේ
පෙම් ප්‍රාර්ථනා විඳදා ගෙනා

පිපි මල් මතින් පියමං කලෝ
දිනුවේද කවදා ප්‍රේමයෙන්
විඳි වේදනා සතුටින් දරා
පැරදී ගියේ කවුදෝ එයින්

පදරචනය -කුමාරදාස සපුතන්ත්‍රි
සංගීතය - රෝහණ වීරසිංහ

ගායනය -  සුනිල් එදිරිසිංහ

Saturday, January 31, 2015

22 කවි දෙකක්

ඇයත් අම්මා කෙනෙකි


                          
ආවත් පැවත බෝසත් පරපුරකමත
සැම අම්මටම ඒ හොද ගති ගුණය නැත
නුපන් බිලිදු මරු තුරුලට යවන හිත
අම්මල අතර බෝසත් මව් වරුද ඇත
  
දරු සෙනෙහසට ලේ කිරි කර දොවා දෙයි
කැතකුනු අත ගගා සතුටින් සිනා සෙයි
අම්මා කෙනෙක් ගැන කීමට වෙලාවෙයි
මේ අම්මා ඉන්නේ මාතලේ දිසාවෙයි
  
ඉපදී වසරකින් අසනීපවවැටුන
වැඩිමල් පුතා උකුලට අරගෙන සිටින
28 වසක් තිස්සේ ඔහු මත හැපෙන
දෑතම එක් කරමි මම බුදුනට වදින
  
එක ලග දරු දෙදෙන එක ලෙසටම එක්කා
විදි දුක බලනු බැරි ඉඩ කඩමුත් වික්කා
බැහැ ඉවසන්න මම දැන් කරමිද මක්කා
පියතුම සමග පොඩි පුතු ගියෙ මරු එක්කා
  
දරුවන් 5 දෙනෙකු බිහිකර කවාපොවා
දෙපුතුන් රැකි නිසා සැමදින උදේ හවා
සැමියා සමග පොඩි පුතු ගිය නිසාදවා
ලොකු පුතු රකින්නට වද වෙමි උදේ හවා
  
දින සති මාස ගණනින් කල ගෙවෙනවය
දින දින මාරයා මට අත වනනවය
මා දෙස බල බලා අම්මා හඩනවය
මල්ලිත් නොමැති බව මට දැන් දැනෙනවය
  
මට නැහැ උවමනාවක් මේ රට අල්ලන්න
ඕනෑ එක දිනක් වත් මා පුතු රැක ගන්න
එනිසයි කිව්වේ පින්වතුනේ දැනගන්න
මගේ පුතු රකින්නට මට පිහිටක් වෙන්න
  
හැකිනම් හිතන්නට මේ විස්තරය මත
මම මහා පිනක් කල බව මට හැගෙනු ඇත
ඔබටත් තිබේ නම් පින් දම් කරන සිත
ලක්බිම පත්තරේ මේ විස්තරය ඇත
  
සතහට සුවය සම්පත ගෙන දුන මෝදු
මහා කරුණාව පා ලෝ සතටම වීදූ
වඳිනා ලෙසට බුදු හිමි සස මග පෑදු
නමදිමි මව් තුමනි ඔබ පා යුගසාදු
  


බන්ඩේගේ කිරි හිනාව










                                            
සීතල දුරුත්තක එක ගම් තුලානක
මහා කලබලෙකි අදුරින් පිරි වෙලාවක
වැඩිහිටියන්ගේ සතුටින් වත පුරානෙක
පැලයක් හිටෙව්වා ගම මහ වලව්වක
  
දින සති ගනන් තුන් වසරකි ගත වන්නේ
නැහැ එම ගසේ මල් කුමුදක් හට ගන්නේ
නෑයින් පැමිණ කසුකුසුවෙනි විමසන්නේ
කොහොමද හිතක් මේ ගින්දර ඉවසන්නේ
  
ඊයේ කොන්ද අද දන හිස රිදෙනවය
අද නම් නොහැක මගේ තුනටිය අමාරුය
හම්මේ මහන්සියි වැඩ වැඩ දිවාරැය
පලයක් තියා මලකුත් නැති කලාවය
  
දැන් ඇති ඉවසුවා ආපහු යන්න යමි
තුන් වසරකට වැඩි කාලය ඉවසුවෙමි
තව ටික කලක් වස්තුව ඔබ සමගඉමි
දෙවියන් දුන්නොතින් දරුවෙකු ගෙනත් දෙමි
  
බොහෝ දුක් බරව දිවි ගෙවනා වෙලාවේ
මහ වරුසාවකිය සද්දෙන් ගෙනාවේ
සෙවනැලි පවා නොපෙනෙන ගම් තුලාවේ
බන්ඩේ එනවා මේ මහ වැසි වෙලාවේ
  
බන්ඩේ එන්න ගෙට මොකටද තෙමෙන්නේ
නැහැ මැණිකේ මොටද කරදර කරන්නේ
නිවසට ගොසින් රෙදි කබලක් ගෙනෙන්නේ
මැණිකේමයි ඔහුගෙ තෙත හිස පිහින්නේ
  
අකුණක් පිපිරුණා නගමින් දරුණු හඩ
මැණිකේ නැවතුනේ බන්ඩෙගෙ පපුව උඩ
ගත උනි වෙලාවක් කෙදිරිලි සුසුම මැඩ
මල් පෙති සිදුරු කර බැස යති අනග තුඩ
  
කදුලැල්ලක් වැටිණි සුන්දර දෙනෙත මත
යා නොම උනත් දෙහදක එක් වීම ඇත
ඇසුනා හඩක් ඇද පොලුවල කිරිය මත
චායාවක් වැටිනි විසිරුණු අදුර මත
  
කන කොක් හඩ ඇසිනි මුළු රැය පුරාවන
පසුදින පහන් විය අරුනලු හිනා උන
වැලපෙන හඩ අසින මුළු ගම හබා එන
අත පය කැඩුණු බන්ඩේ දිවි නසාගෙන
  
කාලය ඉගිල්ලෙති දින සති මස තිස්සේ
දවසින් දවස කුස තව ඉහලට ඉස්සේ
දසකඩ මස පිරුණු දවසක මහ වැස්සේ
සුන්දර කුමරියෙකි සුර පුරයට බැස්සේ
  
මහ බලගතුයි මේ නැකතයි වෙලාවයි
අම්මට හොදයි පියනට මරුකලාවයි
සුරතල් කුමරි ගමටම වාසනාවයි
මවගේ මුහුණ බන්ඩෙගෙ කිරි හිනාවයි
  


මාසයේ අවසන් ලිපිය වෙනුවෙන් සිරාගේ කාමරයට ලියා එව්වේ,
සෞදි අරාබියේ රියාද් නුවර සිට ඉන්දික.


ප.ලි

ජෛව වෛද්‍ය ඉංජිනේරුවෙකු ලෙස සෞදි අරාබියේ රියාද් නුවර රෝහලක සේවය කරන ඉන්දික අයියා කාලයක සිට සිරාගේ කාමරයට එන යන හිතවතෙකි. මෙයට පෙර ඔහු විසින් සිරාගේ කාමරයේ 7 වෙනි ලිපිය උදෙසා ලියූ සෞදි අරාබියේ උණු කදුළු නම් ලිපිය මහත් ආන්දෝලනයකට තුඩු දුන්නේය. ඉංජිනේරුවකුගේ කවි සිත පිළිබද කදිම වැටහීමක් මෙහි යන එන පාඨක ඔබට මේ කවි පන්ති වලින් ගත හැකි වනු ඇතැයි මම උදක්ම සිතමි. හිතාදර ඉන්දික අයියා වෙත රැකියාව අතර තුර තව තවත් කවි ලියවෙන වසන්තයකට ආසිරි පතමි. දෙවන වතාවටත් 7 වෙනි ලිපිය සැරසූවාට සිරා කොලුවාගේ නොවක් ස්තූතිය මෙයින් පිරිනැමෙයි

කවි පද කෙලින් කිරීමේ සාදර අනුග්‍රහය අළුත් මල්ලි වෙතිනි


Wednesday, December 31, 2014

92 ඩුබායි අන්දරය

ඩුබායි කිව්වාම කට්ටියට මොනවද මතක් වෙන්නේ ? කාන්තාර ? ගෘහ සේවිකාවන් ? එහෙමත් නැත්නම් හොදට සල්ලි හම්බකරන්න පුළුවන් රැකියාවල් ? ඔන්න ඔය සේරටම වඩා මීට පස්සේ ඩුබායි කිව්වාම නදිනිගේ පෝස්ට් එක මතක් වෙන්න මේක ලියන්නයි මට ඕනි.

මමත් ඩුබායි රටට ඇවිත් වැඩි කාලයක් නම් නෑ, හරියටම කිව්වොත් අවුරුදු 2 යි මාස ගණනක්...ඒ කාලේ ඇතුලත දැකපු අහපු දේවල් තමයි ඔයාලට මම කියන්න හදන්නේ..

ඩුබායි කියන්නේ අවුරුද්දෙන් වැඩි කාලයක් අංශක 40-50 අතරේ උෂ්ණත්වයක් තියන එනමුත් බොහොම ඉහල අගයක ආර්ද්‍රතාවයක් තියෙන රටක්. අවුරුද්දේ අප්‍රේල් මාසයේ ඉදන් නොවැම්බර් මාසය දක්වා මෙම උෂ්ණත්වය අඩු වැඩි වශයෙන් පවතිනවා. අඩුවෙනවා කිව්වට ඒ අංශක එකකින් දෙකකින් විතරයි. ඒ හැර නොවැම්බර් මාසයේ ඉදලා පෙබරවාරි වෙනකන් තියෙන්නේ අංශක 20 කට වඩා අඩු ශීත කාලගුණයක්... මම මේ හිටපු මුළු කාලෙටම වැස්ස දැකල තියෙන්නේ නම් 5 වතාවක් වගේ. හැබැයි ඒ වැස්සෙත් මඩ වතුර තමයි... අනික ඒ වැස්ස එක්ක සේරම පාරවල් යට වෙනවා... මොකද වතුර බහින්න කිසිම සැලැස්මක් මේ රටේ හදලා නැති නිසා...

ප්‍රදේශ නැත්නම් රාජ්‍යයන් 7ක්  වශයෙන් වෙන් වෙන්ව පැවතුන අබුඩාබි, සාජා, ඩුබායි, රස් අල් කමි, අජ්මාන්, ෆුජෙරා සහ උම් අල්කුඒන් යන සියල්ල එකතුවෙලා 1971 දෙසැම්බර් මස 2 වෙනි දින හදාගත් තනි රාජ්‍යය තමයි අද එක්සත් අරාබි එමීර් රාජ්‍යය කියලා හදුන්වන්නේ..

ඒ අතරින් අග නගරය හැටියට සලකන්නේ අබුඩාබි.  මේ රටේ රජු නැත්නම් ජනාධිපතිවරයා ලෙස සැලකෙන්නේ අබුඩාබි නායකතුමාවයි... ඒ වගේම අගමැති වශයෙන් සැලකෙන්නේ ඩුබායි රාජ්‍යයේ නායක තුමාවයි..මේ සියළුම ප්‍රදේශ පාලනය කරන මේ නායකවරු රජ පවුලෙන් පැවතගෙන එන අයයි...

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රාජ්‍ය ප්‍රධානියා
Sheikh Khalifa bin Zayed Al Nahyan මහතා

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අගමැති වරයා මෙන්ම ඩුබායි හි ප්‍රධානියා
Mohammed bin Rashid Al Maktoum මහතා
ඩුබායි වල රාජ්‍ය භාෂාව ලෙස සැලකෙන්නේ ආරාබි භාෂාවයි, රාජ්‍ය ආගම ඉස්ලාම් ධර්මයයි. ඒ වගේම අනිත් මැද පෙරදිග රටවල් එක්ක සසඳන කොට ඩුබායි දේශය බොහොම බටහිර ගතිපැවතුම් වැළඳගත් රටක් ලෙසද සැලකෙනවා. ඒ වගේම මේ රටේ ජනගහනය ගොඩාක්ම සමන්විත වෙලා තියෙන්නේ විදේශිකයන්ගෙන්. එම රැටියන් එහෙමත් නැත්නම් මෙහෙ මුල් පදිංචිකාරයන් බොහොම සීමිත පිරිසක් තමයි ඉන්නේ. එය ප්‍රතිශතයක් විදිහට ගත්තාම 10% ටත් වඩා අඩු බව තමයි කියන්නේ. වෙන විදේශ රටවල වගේ මෙහේ කාලයක් ජීවත් උනත්, උත්පත්තිය ලැබුවත් පුරවැසිකම ලැබෙන්නේ නෑ. පුරවැසි කම ලබාගන්න විශේෂම සුදුසුකම ඉස්ලාම් ධර්මය ඇදහීම එයට අමතරව අරාබි භාෂාව කථා කරන්න ලියන්න, කියවන්න තියෙන හැකියාවත් වැඳගත්.

මේ අයගෙ ඇඳුම ගැන නම් හැමෝම දන්නවනේ දිගට දිගේ තනි සුදු ලෝගුවක් ඇදලා ඔළුවට රෙද්දක් දාගෙන ඒ රෙද්ද උඩින් අර අපි වලං තියන්න පාවිච්චි කරන දරණුවක් දාගෙන ඉන්නවා. ඔළුවට දාන රෙද්ද සහ අඳින ලෝගුව සම්පූර්ණයෙන්ම සුදු සහ අර දරණුව තනි කළුපාටින් අදින්නේ හරි විදිහටම එමරැටියන් කියලයි කියන්නේ. ඒ හැර රතු සහ සුදු මිශ්‍ර කොටු රෙද්දක් ඔළුවට දාන අයත් ඉන්නවා හැබැයි ඒ හරිම එම රැටියන් නොවන බවයි මම අහලා තියෙන්නෙ.

හැබැයි ඔය විශේෂ අවස්ථාවල එළියට එන මෙහෙ ජනාධිපතිතුමා සහ අගමැතිතුමා නම් පාට පාට ලෝගු අඳින ආකාරය ඉහළ ඡායාරූප වල දැක්වෙනවා.

ඊලගට කාන්තාවන්, මෙහෙ කාන්තාවන් ගැන කිව්වාම අපි හැමෝටම මතක් වෙන්නේ ඔළුවේ ඉදන් කළු රෙද්දකින් වහගත්ත කිසිම සමාජ ආශ්‍රයක් නැති පිරිසක්නේ... ඒක නම් සම්පූර්ණයෙන් වැරදි අදහසක් බව මටත් හිතුනෙ මෙහෙ ආවයින් පස්සේ. මෙහෙ කාන්තාවන් බොහොම නිදහසේ ඇවිදින, විලාසිතා කරන පිරිසක්. ඒ විලාසිතාවලට උඩින් අදින ලෝගුවත් ලස්සන ලස්සන ගෙත්තම් වලින් අලංකාර කරගත් ඒවායි

මෙහෙට ඇවිත් විශේෂයෙන්ම දැකපු දේ තමයි නියම එමරාටි කාන්තාවන් පලදින අමුතු මුහුණු ආවරණය. පහලින් ඉන්නේ ඒක පලදපු කාන්තාවන්. පොඩි ගෑණු ළමයි, තරුණ අය මෙහෙම පළඳිනවා දැකලා නැති වුනාට මැදි වයසෙ නැත්නම් වයසක කාන්තාවන් මෙය පලදිනවා.




එමීර් රාජ්‍යයේ කාන්තාවන් අධික මුදලක් විලාසිතා වලට, ආභරණ වලට වැය කරන බව නොරහසක්. ඒ වගේම එයාලා කොයි වෙලාවකවත් මේක් අප් නැතුව නම් එලියට බහින්නේනෑ. මේ රටේ රූපලාවන්‍ය කියන්නේ බොහොම වැඳගත් දෙයක්. අපි වැඩ කරන කාර්යාලවල උනත් මුකුත් උලන්නේ නැතුව ඉන්න දෙන්නේ නෑ. පිට ඔපේට වැඩි ඉඩක් දෙන රටක් කියන්නත් පුළුවන්. මට නම් හිතාගන්නම බැරි උදේ වැඩට එන්න මේ අය කොයි වෙලාවේ ඉදන් මේ ටික උලනවා ඇතිද කියලයි.

මෙහෙ කාන්තාවන් රහස්‍ය ස්ථාන පවා ලස්සන  කරන්නත් සුවඳ කරන්නත් ලොකු මහන්සියක් ගන්නවලු. තමන්ගේ සැමියට ගොඩාක් ලස්සනට ආකර්ෂනීයව පේන්න පුළුවන් හැමදේම බිරින්දෑවරු කරනවා කියලයි කියන්නේ.

ඒ වගේම එම රැටියන් බොහොම අහංකාර ඒ වගේම මිත්‍රශීලි නැති පිරිසක්. වැරදිලාවත් හිනානම් වෙන්නේ නෑ. හැබැයි ඒ අහංකාරකම ආසියාවේ අපිට විතරයි කියලත් කියනවා. යුරෝපා ජාතිකයන්ව මොවුන් බොහොම ආදරෙන් පිලිගන්නේ.

ඒ එක්කම තව දෙයක්. එමරාටියන් බොහොම කම්මැලි පිරිසක් කියලත් නිතර අහන්න ලැබෙනවා. දහවල් වෙනතුරු නිදාගන්න, ඊට පස්සෙ හොඳට කාල බීලා සාප්පු සවාරි යන අය විදිහට තමයි මොවුන් ප්‍රසිද්ධ, දැන් ප්‍රශ්නේ මෙයාලට මෙහෙම සැප විදින්න කොහෙන්ද සල්ලි කියලනේ? මෙහෙ රජයෙන් එම රැටියන්ට බොහොම වරප්‍රසාද හිමියි. මෙහෙ ව්‍යාපාරයක් අරඹන්න එමරාටියෙක් අනුග්‍රහය දක්වන්නම ඕනි. අනුග්‍රහය කියන්නේ නම තිබුනනම් ඇති. ඒ විදිහට නමදාලා ඔවුන් ආයතන වලින් ලාභංශ ලබාගන්නවා.

ඒ වගේම මෙහෙ එමරැටිකාන්තාවකට ගෘහසේවිකාවන් 5 දෙනෙකුට අනුග්‍රහය දක්වන්න පුළුවන්. ඒ කියන්නේ එක කාන්තාවකට ගෘහ සේවිකාවන් 5 දෙනෙකු තියාගන්න පුළුවන්. ඔවුන් ඒ බලපත්‍රයත් විකුණනවා. ඔය විදිහට රජයෙන් හැමදේකටම එමරැටියන් සහභාගිකරගන්න වෙන විදිහටයි මෙහෙ නීති සකස් කරලා තියෙන්නෙ.

එමීර් රාජ්‍යයේ භාවිතා වෙන මුදල් ඒකකය ඩිරම්. ඩිරම් එකක් ලංකාවේ රුපියල් 34 ක්, 35 කට සමාන වෙනවා. ආර්ථිකය අතින් බොහොම ස්ථාවර ස්ථානයක සිටින එක්සත් අරාබි එමිර් රාජ්‍යය ලෝකයේ උසම ගොඩනැගිල්ල බර්ජ් කලීෆා, ලෝකයේ ලොකුම සාප්පු සංකීර්ණය ඩුබායි මෝල් සහ සුප්‍රසිද්ධ  තරු හතේ හෝටලය Burj Al Arab  වැනි සුවිශේෂී ගොඩනැගිලි වලටත් හිමිකම් කියනවා.

ලොව විශාලතම සාප්පු සංකීර්ණය ඩුබායි මෝල්

ලොව උසම ගොඩනැගිල්ල බර්ජ් කලීෆා



තරු 7 සුප්‍රසිද්ධ හෝලය Burj Al Arab
ගහක් කොලක් කියලා නම් මෙහෙ තියෙන්නෙ රට ඉඳි ගස් විතරයි. හැබැයි ජලය අඩු මේ කාන්තාරෙත් බොහොම ලස්සනට පාර දෙපැත්තේ මල් වවලා, තණකොල වවලා මේ රට ලස්සන කරලා තියනවා. මට මතකයි එක පාරක් බට්ටි කෙල්ලගේ පෝස්ට් එකක තිබුනා මෙහෙ පාරවල් අයිනේ මල් වවලා තියන හැටි. ඒ මල් වවන්න එ් හැම මල් පාත්තියකටම පොලොව යටින් එහෙම නැත්නම් පොලව උඩම ඒ මල් පැල අතරින් ගිය ජල සම්පාදන බට තියෙනවා.



කාන්තාර කිව්වාම අපිට අනිත් මතක් වෙනදේ තමයි ඔටුවෝ. ඉස්සර මෙහෙ හැම දේකටම ඔටුවන් යොදා ගත්තලු. හැබැයි මම මේ හිටපු මුළු කාලෙටම ඔටුවන් දැකලා තියෙන්නේ එක පාරක් දෙපාරක් විතරයි, ඒකත් ඩුබායි නගරයෙන් පිටගිය වතාවල් වල විතරයි. දැන් ඉතින් ලෝකයේ මිළ අධිකම වාහන හැම එකක්ම වගේ තියෙන ඩුබායි දේශයේ ඔටුවන් පාවිච්චි කරන්නේ ෆාම්වල නැත්නම් කාන්තාරේ සවාරිවලට විතරයි වෙන්න ඇති. මොකද ලැම්බෝගිණි, ෆෙරාරි වගේ බොහොම වටින වාහන පොලිස් වාහන විදියට පාවිච්චි කරන්නෙත් මෙහෙ නිසා.

අවසාන වශයෙන් මෙහෙ නීති රීති ගැනත් නොකියාම බෑ. හුගක් හොද ජීවත් වීමට සුදුසු පරිසරයක් හදන්න වගේම හිනායන නීති රීතිත් මෙහෙ තියනවා උදාහරණයක් විදිහට මෙහෙ මෙට්‍රෝ නැත්නම් කෝච්චිවල නිදාගන්න තහනම්ලු, ඒ වගේම දුරකථන භාවිතයත්. නිදාගන්න තරම් දුරක් ගිහින් නැති නිසා නිදාගැනීමේ නීතියනම් හරියටම දන්නේ නෑ. දුරකතන නම් මිනිස්සු ඕනි තරම් භාවිතා කරනවා. ඒ වගේම මෙහෙ බස්, කෝච්චි සහ ටැක්සිවල කෑම බීම ගැනීම තහනම්. ඒක නම් මම දකින්නේ හොද දෙයක් විදිහට. හේතුව එක එක දේවල් හැලිලා මේ ප්‍රවාහන සේවා අපිරිසිදුවීම එයින් වැළකෙන නිසා. ඒ ඇරුනාම සමහර ප්‍රසිද්ධ ස්ථාන වල කොටට අදින්න, කර නැති ඇදුම් අදින්න බැහැ. හැබැයි අනිත් අරාබි රටවල් වලට සාපේක්ෂව මෙහෙ විලාසිතා කරන්න ලොකු නිදහසක් කාන්තාවන්ට තියෙනවා.

රථ වාහන නීතිත් අකුරටම ක්‍රියාත්මක වන රටක් තමයි එක්සත් අරාබි එමිරය. ආසියානු ජාන ප්‍රශ්නේ නිසා එහෙන් මෙහෙන් දාලා යන්න හැදුවට අපේ අයියල මල්ලිලත් මෙහෙ පොලිස් මාමලා දැකපු ගමන් හරියට රිය පදවනවා. මොකද පගාව දීලා ශේප් කරගන්නත් බැරි නිසා.

ඔන්න ඉතින් ඩුබායි අන්දරය ඉවරයි මමත් මෙහෙට ඇවිත් වැඩිකාලයක් නැති නිසා ගොඩාක් දන්නෙ නෑ මේ රට ගැන. සිරා කොලුවගෙ හත්වෙනි ලිපියට අපි ඉන්න රට ගැන ලියන්න කැමැත්තක් ආවා නිසයි මේ කරුණු ටික ලිව්වේ.




මාසයේ අවසන් ලිපිය වෙනුවෙන් සිරාගේ කාමරයට

ඩුබායි හි සිට ලියා එව්වේ නදිනි අබේනායක.



ප.ලි

සහෝදර බ්ලොග් කාරිණියක වන නදිනි අබේනායක නදී නිම්නය නැමති බ්ලොග් අඩවියේ හිමි කාරියයි. වර්තමානයේ අකලට පොල් හැලෙනවා මෙන් බ්ලොග් ලිපි ලියූවත් නිතරම අනෙකුත් බ්ලොක්කරුවන්ගේ ලිපි කියවමින් ඒ අයට ශක්තියක් වන ඇය සිරාගේ කාමරයේ 7 වෙනි ලිපියට අපි නොදන්නා ඩුබායි දේශය සම්බන්ධයෙන් ලිපියක් ඉදිරිපත් කිරීම පිළිබඳ සිරා කොලුවාගේ ගෞරවනීය ස්තූතිය ඇයට පිරිනැමේ.

නොයෙකුත් බාධක, කම්කටොළු මැද 2014 වසරේ අවසානයටත් අප ලගා වී සිටිමු. එළඹෙන 2015 වසර සිරා කොලුවා වන මා හට, ඉටුකරගැනීමට බොහෝ බලාපොරොත්තු ඇති වසරකි. සිරාගේ කාමරයට නිතර යන එන සහෘද ඔබ සැමට 2014 වසර තුලදී ලැබූ පන්නරයෙන් 2015 වසර සුභදායී, ජයග්‍රාහී වසරක් කරගන්නට ලැබේවායි හදවතින්ම ප්‍රාර්ථනා කරමි. උදාවෙන නව වසරේත් සුපුරුදු පරිදිම සිරාගේ කාමරයේ ලෑලි දොර ඔබ වෙනුවෙන් විවෘත වෙනු ඇත.





Related Posts Plugin for WordPress, Blogger...