Sunday, July 24, 2016

56 බණ්ඩාර (2 කොටස)

බණ්ඩාරවෙල ටවුන් එකේ බේකරියක් ලග මම දැන් කැරකෙනවා. හිතේ ගින්නයි කුස ගින්නයි දෙකම එකට එකතු වෙලා මගේ මුලු ඇගම නලියනවා. කවුරුවත් මා දිහා බලා ඉන්න වගක් මට දැනුනෙ නෑ. අතේ තිබුන මුදලින් බනිස් ගෙඩියක්වත් කනවා කියලා හිත හදාගන්නකොටම කවුදෝ කෙනෙක් මගේ අතක් තදින් අල්ල ගත්තා. 

අද එතැන් සිට.... ළමු කොටස මග හැරුන අය කියවගෙන එන්න.

මොකද මෙතන කරන්නෙ. මම සෑහෙන වෙලාවක ඉදන් බලාන හිටියෙ. ආගන්තුක කෙනෙක් එහෙම කිව්වා. මට ඉතින් හංගන්න දෙයක් නෑ. කලින් වගේම මගේ කථාව මුල සිට අගට කිව්වා.

ආ එහෙනම් ගෙදරින් පැනලා යන ගමන් නේද. දැන් කොහෙද යන්නෙ ? අමුත්තා ආයෙමත් ඇහුවා.

යන්න තැනක් නෑ. සීතලයි.  බඩත් ගිනියි. මම බයාදු විදියට කිව්වම එයා මාවත් කැන්දගෙන බේකරිය ඇතුලට ගිහින් කෑමට දේවල් අරගෙන දුන්නා. කෑම කාලා ඉවර උනාම යන්න තැනක් නැති නිසා අපේ ගෙදර යමුද කියලා ඇහුවම මම හා කිව්වා.

එදා රාත්තිරියෙ ඒ මහත්තයා මගෙන් ගොඩාක් ප්‍ර‍ශ්න ඇහුවා එතැනදි තමයි දැන ගත්තෙ ඒ මගේ අම්මගෙ මල්ලි කෙනෙක් කියලා. එයා ඒ කාලෙ රජයේ පිස්කල් නිලධාරියෙක් විදියට වැඩ කලේ. මීට කලින් කවදාවත් අපි මුණ ගැහිලා තිබුනෙ නෑ. අපේ අම්මට දරුවො 10 දෙනෙක් හිටියත් අම්මගෙ මල්ලි අපිව දැකලා තිබුනෙ නෑ. ලියුම් කරදහියකින් දුක සැප අහනවා මිසක. දුර ඈත අද වගේ යන සිරිතක් තිබුනෙ නැති වකවානුවක මේ කාරණේ පුදුම වෙන්න දෙයක් නෙමෙයි.

මාමා වහාම අපේ ගෙදරට පයින්ඩයක් යැව්වා පුත්තරයා මගේ ලග කියලා. ඒ වෙද්දි මම ගෙදරින් පිට වෙලා මාස 4 කට වැඩියි. මගේ අතුරුදහන් වීමෙන් පස්සෙ තාත්තා මාව හොයාදෙන්න කියලා මගේ පින්තූරෙකුත් එක්කම පත්තරේ දැන්වීමකුත් දාලා. මේ සිදුවීම් වලින් පස්සෙ සෑහෙන කාලයක් යනතෙක් මේ පත්තර දැන්වීම මගේ ලග තිබුනා. ඒත් පස්සෙ කාලෙක මගේ ගේ ගිණි ගත්තම ඒ මතක සටහනත් මගෙන් ඈත් උනා.

මාමා ලග මම ඉන්නවා කියලා පයින්ඩයක් යැව්වත් මගේ අම්මා තාත්තා කවුරුවත් ආවෙ නෑ. ගෙදර ඉන්න අනිත් දරුවො 9 දෙනා එක්ක ඒ අයට මේ වගේ දුරක් තකහනියෙ එන්න ඉඩක් තියෙන්න නැතුව ඇති. ඇරත් මාමා ලග ඉන්නවා කිව්වට පස්සෙ බයකුත් නෑනෙ

මාස 4 ක් තිස්සෙ ඉස්කෝලෙ නොගිය මම මාමගෙ උත්සාහයෙන් එයාගෙ නිවස ලඟ පාත පිරිවෙනකට ඇතුලු කොලා. පිරිවනේ පණ්ඩිත හාමුදුරුවන්ට මාව බාර දීලා උන්නාන්සේගෙ අනු දැනුම යටතේ අධ්‍යාපනය කරගෙන අවුරුදු දෙකකට කිට්ටු කාලයක් උන්නා. ඔය අතරෙදි තමයි පිරිවෙන කිට්ටුව තිබුන ස්ටූඩියෝ එකක ලස්සන දැරිවියක් එක්ක මගේ ඇයි හොදයියක් ඇති උනේ. එයා මට වඩා වයසින් වැඩි උනාට මගෙ පෙනුම නිසාදෝ මට කැමති උනා.

අද වගේ ටෙලිෆෝන් තිබුනෙ නෑනෙ ඒ කාලෙ. සෙනෙහෙ කොල තමයි ඉතින් නිතරම හුවමාරු උනේ. ඔයින් මෙයින් දවසක් අපේ සෙනෙහෙ කොලයක් ලොකු හාමුදුරුවන්ගෙ අතටම අහු උනා. එදා උන්නාන්සෙගෙ කාර්යාල කාමරයට මාව අඩගහගෙන ගොහින් මට වේවැලකින් හොදටම සැලකුවා. එදා හොරෙන් රා බීලා තාත්තගෙන් ගුටි කෑවට පස්සෙ ගේ එපා උනා වගේ මේ සිද්ධියෙන් පස්සෙ මට පන්සල එපා උනා. මාමගෙ ගෙදරින් පැනලා මම ආයෙමත් අපේ ගෙදරට ආවා.

අවුරුදු තුනකට කිට්ටු කාලයක් මම නිවසින් බැහැර වෙලා ඉදලයි ආයෙමත් ඒ විදියට එදා ගෙදර ගියෙ. ඒ ගත වෙච්ච කාල සීමාව ඇතුලෙ මගේ පෙනුම යම් තරමකට වෙනස් වෙලා තිබුන නිසා මගේ බාල සහෝදර සහෝදරියන්ට මාව එක්වරම අදුන ගන්න හැකියාවක් ලැබුනෙ නෑ. ඒ අය මගේ දිහා පුදුම වෙලා වගේ බලාන ඉද්දි අපේ ලොකු අයියා තමයි මේ අපේ මල්ලිනෙ කියලා මාව ගෙට ගත්තෙ. ඒ සද්දෙට තමයි අම්මා දුවලා ඇවිත් මගේ දිහා බලාන අඩන්න ගත්තෙ. අප්පච්චි නම් මම ආවා කියලා මා එක්ක එක වචනයක් කථා කලේ නෑ. පවුලෙ හැම දරුවෙක්ම හැමදාම උදේට දෙමාපියන්ට වඳිනවා. ඒත් එහෙම වෙලාවක වත් අප්පච්චි මා එක්ක කිසිම දෙයක් කථා කලේ නෑ.

ඉස්කෝල ගමන නැවතිලා හිටිය මාව ආයෙමත් ඉස්කෝලෙ යවන්න කවුරුවත් උනන්දු උනේ නෑ. අප්පච්චි එයාගෙ රාජකාරී වැඩ එක්ක කාලය ගත කලා. මම ගෙදර නැවතිලා උන්නෙ. ඔය අතර තුර කාලෙදි මා එක්ක රා බොන්න එකතු උන මගේ අතිජාත මිත්තරයො දෙන්නා බී එම් විජේරත්න, නිහාල් ජයසේන  ආයෙමත් මා එක්ක එකතු උනා. පොඩි පොඩි නොසන්ඩාල වැඩ වලින් පටන් අරගෙන කඩයක් දෙකක් හොරෙන් කඩන තරමට මදාවි වැඩ අපි තුන්දෙනාගෙන් උනා.

මේ විදියට ගියොත් මේකා හිරේ විලංගුවෙ වැටිලා මිසක නතර වෙන්නෙ නෑ කියලා තේරුම් ගත්ත අප්පච්චි මාව මහනදම් පුරන්න යවන්න තීරණය කොලා.  මගේ වේලාපත්කඩේ තිබුනා මහණ දම් පුරන්න සුදුසු කථාවක්. ඒ නිසා වෙන්න ඇති අප්පච්චි එහෙම තීරණයකට ආවෙ. අන්තිමේදි අප්පච්චි අදුනන ස්වාමීන් වහන්සේ නමක් මාර්ගයෙන් මාව මහණ දම් පුරන්න එකතු කලා. මම අවුරුදු 8 කට ආසන්න කාලයක් ඒ විදියට ස්වාමීන් වහන්සේ නමක් විදියට වැඩ ඉන්න ගමන් විවිධ ධර්ම කොටස් ඉගෙන ගත්තා. මාව උස්මහත් කරපු දෙමාපියොත් මට වැන්දා.  ඒත් දැනුම් තේරුම් තියෙන වයසට එද්දි  ලොකු හාමුදුරුවරුන්ගෙ ක්‍රියාකලාපය ගැන කල කිරිලා මම පස්සෙ කාලෙක සිවුරෙන් මිදුනා. ගමට ඇවිත් ආයෙමත් පරණ කාණ්ඩෙ එක්ක එකතු උනා.

ඒ වෙද්දි මගේ ලොකු අයියත් අපේ ගමේ චණ්ඩියෙක් විදියට නමක් දිනාගෙන තිබුනෙ. දවසක් අයියව අල්ලන්න ආව පොලෝසියෙ රාළහාමිලා දෙන්නෙක්ව අයියා එක සැරේ කිහිල්ලෙ ගහගෙන ගිහින් වෙලකට අත ඇරලා දිව්වෙ. එහෙමයි ඒ කාලෙ කොල්ලන්ගෙ ශරීර ශක්තිය. අයියගෙ චණ්ඩිකමත් පැත්තකින් තියෙද්දි ඒ වටපිටාවෙ මමත් චණ්ඩියෙක් උනා.

මේ කියන කාලෙ අපේ ගමේ තිබුනා විශාල බූරු පිටියක්. ගෙවල් වලට හොරෙන් මමයි මගේ අතිජාත මිත්තරයො දෙන්නයි එතනට යන්න එන්න පටන් ගත්තා. ඔතන හිටියා එක මදාවියෙක් හැමදාම වංචා කරලා අනිත් මිනිස්සුන්ට අතින් පයින් සලකලා එලවලා දාන. අපිටත් දවස් දෙක තුනක් මේ මිනිහගෙන් බැට වැදුනට පස්සෙ මමයි යාලුවොයි තීරණයක් ගත්තා ඒකව යටියන්තොට යවලා දාන්න.

දවසක් අපි ඉනේ කිරිච්චි ගහගෙන බූරු පොලට ගියා. මදාවියා අදත් සටනට ආවොත් එතනම බාවනවා කියලමයි අපි එදා හිතාගත්තෙ. සාමකාමීව බුරු ගැහිල්ල ටික වෙලාවක් පැවතුනත් එක පාරටම අර මිනිහා වංචා කරලා කෑ ගහන්න ගත්තා. එතෙන්දි මමයි යාලුවො දෙන්නයි බූරු පොලේදීම 18 පලකට පිහියෙන් ඇනලා ඌව එතනම කම්බස් කලා.

මේ සිද්ධියෙන් පස්සෙ වෙනසක් නැතුව මම ගෙදරට වෙලා උන්නා. ඒත් ගමේ රාජකාරියකට එන්න කලින් ගමේ මුලාදෑනියා දැනුවත් කිරීම තමයි ඒ කාලෙ සිරිත. අන්න ඒ වගේ වේලාසනම මා ගැන කියලා මාව අත්අඩංගුවට ගන්න පොලෝසියෙන් ගෙදරටම ආවා. එදා මම පොලිස් ජිප් එකට නගින හැටි මගේ ගෙදර අය බොහොම දුකෙන් බලාන උන්නා. තාත්තා නම් තරහෙන් පිපිරෙන්න ඇති එයාට වෙච්ච නව නිංගිරාවට.

අවුරුදු එක හමාරක් විතර අපි තුන්දෙනා අච්චු වින්දා. ඒත් මිනීමැරුම ගැන කිසිම කෙනෙක් සාක්ෂි දුන්නෙ නැති නිසා ඒ කාලෙන් පස්සෙ අපි නිදහස් උනා. මේ අතර තුර කාලෙදි මගේ ලොකු අක්කා යුධ හමුදාවෙ සූපවේදයට සම්බන්ධ කෙනෙක් එක්ක විවාහ උනා. ගෙදර හිටියොත් මිත්තර සම්පත්තිය නිසා මම ආයෙමත් හිරේ විලංගුවෙ වැටෙයි කියලා භය වෙලා උන්න තාත්තා, මස්සිනා මාර්ගයෙන් මාව කොළඹ වික්ටරි කියන හෝටලේ වැඩට එව්වා. ඒක තමයි මම අද කරන රක්ෂාවෙ මූලාරම්භය.

දවසට රුපියලේ පඩියට මම හරියටම අවුරුදු 4 ක් එතැන පිගන් හේදුවා. සෙනග බොහොමයක් යන එන හෝටලයක් කිව්වම ඉතින් කොච්චර පිගන් හෝදන්න තියෙනවද. මම ඒ හැමදේම ඉවසගෙන වැඩ කලා සමාජයෙන් කොන් වෙලා ඉන්න මම ආයෙමත් තැනකට එන්න ඕනෙ කියන අධිෂ්ඨානයෙන්. ඒ කාලෙ මේ හෝටලේ උයන වැඩ කරපු කිසිම කෙනෙක් මට කිසිම දෙයක් කියා දුන්නෙ නෑ. ඒත් ඒ අය ඉවුම් පිහුම් වැඩ කරන දිහා බලාන මම තනියම ඉගෙන ගත්තා. ෆ්‍ර‍යිඩ් රයිස් හදනකොට තාච්චිය ලිප උඩ තියලා හොල්ලලා බත් ටික කවලම් කරන විදිය අතේ හුරුවෙන් කරන්න ඕනෙ දෙයක්. මම ඒ දේවල් දිහා කාලයක් පුදුම වෙලා වගේ බලාන උන්නා. මේක කරන්නෙ කොහොමද කියලා ඇහුවට මට ඒ දේවල් කියා දෙන්න කවුරුවත් කැමති උනේ නෑ.

අන්තිමේදි කුස්සියෙන් අතුගාලා ඉවත් කරන ලූණු පොතු, සුදු ලූණු පොතු මහ උරයකට එකතු කරලා ඒවා තාච්චියක දාගෙන තමයි මම ඒ වැඩ කෑලි අල්ලගත්තෙ. හෝටලේ පිගන් හෝදන රස්සාව කලාට මම හෙමින් හෙමින් ඉවුම් පිහුම් කරන හැටි ඉගෙන ගෙන තනියම වැඩ අරගෙන කරන තරමට දියුණු උනා.

අන්න ඒ වගේ මීගමු පැත්තෙ තිබුන මගුල් ගෙදරකට උයන කොන්තරාත්තුවක් දවසක් දා මට ලැබුනා. මේ රාජකාරිය කරන්න මීගමුවට ආවම තමයි පස්සෙ කාලෙක මගේ බිරිඳ වෙච්ච කෙනා මට මුලින්ම මුණ ගැහුනෙ. එයාගෙ අක්කගෙ මගුලට තමයි මම එදා උයන්න ගිහින් තිබුනෙ. අපි මුණගැහිලා කථා බහ කලා විතරයි. ඊට පස්සෙ නොදැනීම ආදරවන්තයො වෙලා තමයි කසාද බැන්දෙ.

තාත්තා අපේ කසාදෙ නුවර ගෙදරදි මහ ඉහළින් ගත්තා. මගෙන් මොන වැරදි අතීතයේ උනත් තමන්ගෙ පුතෙක් කසාද බදිනකොට හැම තාත්තා කෙනෙකුටම ආඩම්බරයක් දැනෙනවා ඇති. අන්න ඒ වගේ මගේ අප්පච්චිත් බොහොම සතුටින් එදා දවසෙ උන්නෙ. ඇරත් ඒ වෙද්දි මම නරක ඇසුරින් මිදිලා...නරක වැඩ වලින් මිදිලා හොද මිනිහෙක් විදියට සමාජගතවෙමින් උන්නෙ.

මම අංගම්පොර ශිල්පය ඉගෙන ගත්තෙ බොහොම පොඩි කාලෙ උනාට එදා ඉගෙන ගත්ත සාස්තරේ තවමත් මතකයි. පස්සෙ කාලෙක මීගමුවට ආවට පස්සෙ මම ෂෝටෝඛාන් කරාටේ පාඨමාලාවකට එකතු උනා. ඒ පාඨමාලාවට අපි එකතුකරගත්තෙ පුහුණුවීම් වලදි අපිට හානියක් උනොත් ඒ වගකීම ගුරුවරු ගන්නෙ නෑ කියන කොන්දේසිය සඳහන් කොරාපු කඩදාසි වල අත්සන් අරගෙන.

ඔය විදියට පුහුණුවීම් කරගෙන ගිහින් එක දවසක් අපට තිබුනා තවත් කෙනෙක් එක්ක මුහුණට මුහුණ සටන් කරන වැඩමුළුවක්. මම පහරක් ගහද්දි එහා පැත්තෙ කෙනා ඒක වලක්වලා ප්‍ර‍තිප්‍ර‍හාර එල්ල කරනවා. ඔය විදියටයි වැඩේ සිද්ධ උනේ. එත් මම එදා ගහපු පාරක් මාරක නිළයකට වැදිලා මාස තුනකට පස්සෙ චන්ද්‍රසෝම කියලා කෙනෙක් මැරුනා. එදා ඒ පාර ගැහුවෙ අර මිනිහව මරණ අදහසකින් නෙමෙයි. ඒත් මැරුන කෙනා මම ගහපු පහර වැළැක්වූවෙ නෑ. ගල් පිළිමයක් වගේ බලාන උන්නා. අදටත් මම පුදුම වෙනවා එදා ඇයි මිනිහා එහෙම කලේ කියලා. 

ලංකාව වටේම අරමුණක් නැතුව ගිය මම අන්තිමේදි මගේ ස්ථිර පදිංචිය විදියට මීගමුව තෝරගත්තා. පිගන් හේදිල්ලෙන් සම්පූර්ණයෙන් අයින් වෙලා කෑම ඉවිල්ල විතරක් කරගෙන ගියා. පුංචි පහේ සාද, විවාහ මංගල අවස්ථා මට අඩු නැතුව ලැබුනා. ඒ මුදල් වලින් මම ගෙයක් දොරක් හදාගත්තා. මම දරුවො දෙන්නෙකුගෙ පියෙක් උනා. කොල්ලයි කෙල්ලයි.

කොල්ලා මම වගේම හැඩ රුවට ලස්සනට හැදීගෙන ආවා. අපරාදෙ කියන්න බෑ. මම පොඩි කාලෙ වගේ නෙමෙයි. හරිම සංවර දරුවෙක්. ඒත් එයා......

බණ්ඩාරයන් අහස දෙස බලාගෙන යමක් කියන්නට උත්සාහ කරයි. ඒත් ඒ සඳහා වචන එකතු කරගැනීම උගහට සෙයකි. ඒත් එයා මගෙන් උදුර ගත්තා.  ඔහුගේ කථාව නැවතී සිහින් ඉකිබිඳුමකට හැරෙන අන්දම මම මහත් පුදුමයෙන් මෙන් බලා උන්නෙමි. ඉකිබිඳුම එසැනින් මහා කදුළු ගංගාවක ඇරඹුම වූවේය.

බණ්ඩාරයන් දැන් මා ඉදිරියේ දැන් කුඩා දරුවෙකු මෙන් ඉකිගසා හඬා වැටෙයි. ඔහුගේ සංවේදී බාවය හමුවේ මගේ නෙත් කෙවෙනි අගටත් කදුලක් පිරෙයි. වසර ගනනාවකට පෙර ජීවිතයෙන් සමුගත් ඔහුගේ පුත්‍ර‍යා කෙරේ උපන් පීතෘ සෙනෙහස දෝරෙ ගලා යන අන්දම දෙස මම දුක්මුසුව බලා උන්නෙමි. ඔහු හැකි තරම් හඬා වැටී වෙහෙසක් දැනුන නිසාදෝ නැවතත් මා හා දොඩමළු වෙයි.

අවුරුදු 17 ක් එතකොට මගෙ කොලු පැටියට. ඉස්කෝලෙන් පස්සෙ අතිරේක පන්තියකට යද්දි ලොරියකට යට වෙලා මහ පාරෙදිම මැරුනා. ඒ වේදනාව මට අදටත් බොහොම තදින් දැනෙනවා. පස්සෙ කාලෙක මගේ දුව කසාද බැඳලා ඉතාලියට ගියා. දැන් මම දරුසෙනෙහසක් කියලා දෙයක් විඳින්නෙ නැති තාත්තා කෙනෙක්. මේ හින්දම මම පස්සෙ කාලෙක ගොඩාක් බීමට ඇබ්බැහි උනා. මගේ නෝනගෙ බල කිරීමට අන්තිමේදි මම බීම කොහොම හරි අඩුකරගත්තා. ඒත් ඊට පස්සෙ බුලත් විට කන්න ඇබ්බැහි උනා.

ඔහු බුලත් කහටින් දුර්වර්ණ වූ දසන් දක්වා කදුළු අතරින් සිනාසෙයි. මේ කුමන මිනිසෙකුදැයි තේරුම් ගත නොහී මම ඔහුගේ දෙනෙත දෙසම එක එල්ලේ බලාන සිටියෙමි.

මගේ ජීවිත කථාව ඔන්න ඔහොමයි පුතේ. මේ ගෙවුන අවුරුදු 63 ට මම ලබපු අත්දැකීම් ඔක්කොම මට මෙතන කියන්න බෑ. ඒත් ජීවිතේ කියන්නෙ හරි පුදුමාකාර දෙයක්. මහනුවර ඉපදුන මම අද මීගමුවෙ පදිංචි වෙලා. උපතින්ම වලව්කාරයෙක් වෙච්ච මම අවුරුදු හතරක් එක එකාගෙ ඉඳුල් හේදුවා. අපේ දෛවය අපි කලින් ආත්ම වල කරලා තියෙන පින් පව් අනුව මේ සංසාරෙ පුරාම අපිව දිග ගමනක් එක්ක යනවා. ඉපදෙනවා... ආයෙමත් මැරෙනවා ඉපදෙනවා...මේ චක්‍රයෙන් මිදෙන්න අපිට බුදුහාමුදුරුවො මග කියා දීලා තියෙනවා. ඒත් අපේ පව්කාරකමට අපි ඒ මග යන්න නිකමටවත් හිතනවද? බණ්ඩාර උන්නැහේ අපේ කථාබහට තිත තියමින් අන්තිමේදි මගෙන් ඇහුවා.


බණ්ඩාරයන් මීගමු වෙරළේ වාරකන් සමයේ දිය නාමින්.
ඔහුගේ අනන්‍යතාවය සුරකිනු පිණිස සමීප ඡායාරූපයක් වෙනුවට මෙවැනි ඡායාරූපයක් පල කරමි.

්‍







කථාව අහවරයි එහෙනං.


මම කාමරේ අරින සිරා කොලුවා.

Sunday, July 17, 2016

49 බණ්ඩාර

ඔහු බැලූ බැල්මට චීන ජාතිකයෙක් බදුය. සුප්‍ර‍කට සටන් නළු ජැකී චෑන්ගේ පෙනුමට ඔහුගේ පෙනුම බොහෝ දුරට සමානය. එනමුදු බුලත් කහටින් දුර්වර්ණ වූ ඔහුගේ දසන් ඔහු පිටරැටියෙකු නොවන වග ඔහු අවට සිටින ඇත්තන්ට සන් කරයි. හෙතෙම සැබවින්ම අපූරු මිනිසෙකි. මේ ජීවන ගමන යාත්‍රා කරන අතර තුර මා හට හමුවූ අමතක නොවන ගණයේ මිනිසෙකි. ඉදින් ඒ මිනිසාගේ අව්‍යාජ ජීවිත කථාව සිරාගේ කාමරය තුල ලියවිය යුතුම යැයි මම සිතමි.


මයෙ මලයා පහුගිය දොහක පුංචි පහේ ව්‍යාපාරයකට අත ගැහුවේ ඔහුගේ ඇඹේනියගේ ගම් පළාත වෙච්ච මීගමු පුරවරයේදී. දේශීය විදේශීය සංචාරකයන්ට ආහාර  සහ නවාතැන් සපයන මේ ව්‍යාපාරයට උදව් කරන්න පැමිණි අරක්කැමියෙක් තමයි අද අපේ කථා නායකයා. ඊට කලියෙන් කීප වතාවක්ම මේ අමුත්තා මට ඒ පරිසරයෙදි හමුවෙලා තිබුනත් අභිනව ව්‍යාපාරය ආරම්භ කරන්නට මත්තෙන් මයෙ මලයා ඇතුලු පිරිසට විවිධ අයුරින් උදව් උපකාර කරපු අය වෙනුවෙන් මයෙ මලයයි එයාගෙ බිරින්දෑගෙ පවුලෙ අයයි පවත්වපු රාත්‍රී භෝජන සංග්‍ර‍යකට සහභාගි වෙන්නට ගිය ගමනකදි තමයි වැඩියමක් දොඩන්න සිරා කොලුවට ඉඩ කඩ ලැබුනෙ. ඔහුගෙ නම බණ්ඩාර. ඔහුගේ ජීවන කථාව අපේ කථා වලට වඩා වෙනස් වෙන්නෙ කොහොමද කියලා දැන් කියවලා බලමු.

මගේ නම බණ්ඩාර...මහනුවර මහවෙල තමයි මගේ උපන් ගම. සහෝදර සහෝදරියො 10 දෙනෙකු හිටිය පවුලක හරි මැද..ඒ කිව්වෙ 5 වෙනියා තමයි මම. දැන් මගේ වයස අවුරුදු 63 ක්. ඒත් මගේ ළමා කාලයෙ ඉදන් අද දක්වා  සිද්ධ වෙච්ච දේවල් තවමත් හොඳට මතකයි.

අපේ අප්පච්චි තමයි ගමේ ගම්මුලාදෑනි තනතුර දැරුවෙ. අපේ අප්පච්චි දණිස්සට විතර කොණ්ඩෙ දිග, වැඩිය උස නැති, බොහොම තේජස් පාට කෙනෙක්. ගමේ හැමෝම උන්දැට බොහොම භය පක්ෂපාත කම දැක්වූවා. මේ කියන කාලෙ මම තුන්වෙනි කැලෑසියෙ වගේ තමයි ඉගෙන ගත්තෙ. මගේ පාසල් අධ්‍යාපනය මේ පන්තියෙන්ම අහවර උනා.

බී එම් විජේරත්න, නිහාල් ජයසේන කියන්නෙ මගේ අතිජාතම මිත්තරයො දෙන්නා. දෙයක් කලොත් අපි තුන්දෙනාම එකට තමයි ඒ දේ කලේ. දවසක් දා ඉස්කෝලෙ අහවර වෙලා ගෙදර එන ගමන්, දුරින් අපේ මාමා කෙනෙක් වන කෙනෙකුගෙ කිතුලකට බඩ ගාලා රා මුට්ටිය බිමට බාගෙන අපි තුන්දෙනා ඇති පදම් රා බිව්වා. කිතුල් මල කපලා ඒක බැදලා තියෙන ලනුව ලෙහාගෙන තමයි මුට්ටිය බිමට බෑවෙ.  රා මුට්ටිය ගහෙන් බානවා මාමා දැක්කට, කලබල කලේ නෑ. කලබල කරලා ගහෙන් එකෙක් පත බෑවුනොත් වෙන විනාශය ගැන හිතලා එයා සද්ද නැතුව බලාන ඉඳලා. මොකද කිතුල් ගහට පහළින් තිබුනෙ කලුගල් තලාව.

ඉතින් අපි තුන්දෙනා රා මුට්ටිය පුලුවන් තරම් බීලා ගෙදර පිටත් උනා. එදා හැන්දෑවෙ බැහැරක හිටිය අප්පච්චි ගෙදර ආවෙ උණ ගස් වල පහළින්ම හැදෙන පුංචි උණ රිකිලි ටිකකුත් අරගෙන.  අප්පච්චි එක පාරටම මට කථා කලා. මම ගේ ඉස්සරහට ගිය ගමන් මාව අල්ලලා බැන්දා මිදුලෙ තිබුන ගහක. ඊට පස්සෙ ඇගට පොල්තෙල් වත් කරලා ඔලුවට දිමි ගොට්ටකුත් කඩලා දාලා අර උණ රිකිලි 7 ක් විතර එක මිටියට වගේ බැදලා අන්න ඒකෙන් මගෙ පිට හරහා නෙලුවා නෙලිල්ලක් උතුර දකුණ මාරු වෙන්න.

මට එතකොට වැටහුනා රා මුට්ටිය හොරෙන් බීපු එකට තමයි මේ අච්චු කරන්නෙ කියලා. මොකද මාමගෙ ඔය කිතුලෙන් කොටසක් අපේ අප්පච්චිටත් දවස ගානෙ ලැබුනා. එදා අපි හොරෙන් බීපු  නිසා අප්පච්චිගෙ එදා දවසෙ රා පංගුව නැතුව ගිහින්.

පාරවල් දෙක තුනක් පිට හරහා වදිනකොට අපේ අම්මා පැන්නා මාව බේරගන්න. තාත්තට හොදටම තරහා ගියා. අප්පච්චි අම්මව තල්ලු කරලා අම්මටත් පාරවල් දෙකක් විතර දුන්නා. කොහොමහරි අම්මා මාව ගහෙන් ගලවලා අරගෙන පිටේ තෙල්ගාලා එදා රාත්තිරියෙ මට සාත්තු කලා. මට මතකයි අප්පච්චිත් ඇවිත් පිටේ තෙල් ගානවා මම නිදි කියලා හිතාන. එයාට උපරිම තරහා ගිය නිසා එහෙම කලාට අප්පච්චි හොද මිනිහෙක්. හොද අප්පච්චි කෙනෙක්. නැත්තං කොහෙද 10 දෙනෙක් හදන්නෙ.

කොච්චර ගුටි කාලා පිටේ හම ගිහින් තිබුනත් මම පහුවදා ඉස්කෝලෙ ගියා. අයියලා අක්කලා මල්ලිලා නංගිලා මේ හැමෝම මට හිටියා. ඒ අයගෙන් මා එක්කම ඉස්කෝලෙ ගමන ගියෙ මගෙ අක්කා කෙනෙක්. අප්පච්චිගෙන් දරුණු විදියට ගුටි කෑවට පස්සෙ ගෙදර ජීවිතේ මට එපා උනා. මම හදිස්සියෙම ගෙදරින් පැනලා යන්න තීරණය කලා. එදා දවසෙ ඉස්කෝලෙ ඉවර උනාට පස්සෙ මම ඉස්කෝලෙ ලගදිම අක්කට මගේ පොත් ටික දීලා කිව්වෙ උඹ පලයං මම තව ටිකකින් එන්නම් කියලා.

ඉස්කෝලෙ ඇන්ද සුදු කමිසයයි, නිල්පාට කොට කලිසමයි එක්ක මම ඉස්කෝලෙ ඉස්සරහින් ගිය බස් එකකට නැග්ගා අරමුණක් නැතුව. ඒ දවස් වල අප්පච්චි දරුවො 10 දෙනාටම උදේට ශත 5 ගානෙ බෙදලා දෙනවා. 1959 වගේ කාලෙක ශත 5 ත් ලොකු ගානක්. ඔය විදියට දවස් ගානක සල්ලි එකතු වෙලා මගෙ ලග එකයි පණහක් වගේ මුදලක් තිබුනා. ඇරත් ඉස්කෝලෙ යන උන්ගෙන් පන්න පන්න සල්ලි ගන්න සිරිතක් ඒ කාලෙ හිටිය බස් පල්ලන්ට තිබුනෙත් නෑ.

අරමුණක් නැතුව නැගපු බස් එක අන්තිමේදි නතර උනේ කඩුගන්නාවට ඇවිත්.  ඒ වෙද්දි මට හොඳටම බඩ ගිනියි. කඩුගන්නාවෙ කඩ අතර ඒ මේ අත ඇවිදිමින් ඉද්දි ස්වාමීන් වහන්සේ නමක් මාව දැකලා මා ලගට ඇවිත් කථා බහ කලා.

මේ ළමයා මෙතන මොකද කරන්නෙ ?

හාමුදුරුවො බොහොම ගාම්භීර විදියට මගෙන් ඇහුවා

මට හංගන්න දෙයක් නෑ. මම මගේ කථාව ඉස්පිලි පාපිලි අඩු නැතුව හැමදේම හාමුදුරුවන්ට කිව්වා.

ගෙදරින් පැනලා යන ගමන් එහෙනං. ආයෙමත් ගෙදර යන්න කැමැත්තක් ඇත්තෙම නැත්තං මා එක්ක යන්න එන්න. හාමුදුරුවො එහෙම කිව්වම උත්තර විදියට මම කිව්වෙ මට බඩගිනියි කියලා.

කඩුගන්නාවෙ කෑම කඩයකින් ඊට පස්සෙ හාමුදුරුවො මට කන්න බොන්න අරන් දීලා එයා වැඩ වාසය කරපු, වනාන්තරයකට මායිම් උන පන්සලට ඇන්න ආවා. එතන ගඩොල් වලින් ගොඩනගාපු ගොඩනැගිලි තිබුනෙ නෑ. වටේටම පැතිරුන ගල් ගුහාවක් ඇතුලෙ තමයි පන්සල තිබුනෙ. ගල් ගුහාව මැද්දෙ හාමුදුරුවො සැතපෙන තැන කිට්ටුවෙන්ම පුංචි දිය පාරක් ගලාගෙන ගියා. ගල්ගුහාව වටේට වදුරු රංචුවක් හිටියා. උන්ගෙන් කවදාවත් පංසලට බාධාවක් හිරිහැරයක් උනේ නෑ.

වටේ පිටේ උන්න දායකයන්ගෙ මාර්ගයෙන් පන්සලට ලැබෙන දානයෙන් කොටසක් හාමුදුරුවො මට දුන්නා. මේ විදියට සතියකට කිට්ටු කාලයක් මම ඇදන් උන්න ඉස්කෝල ඇදුම පිටින්ම ගෙවා දැම්මා. මොකද හාමදුරුවන්ට මට දෙන්න ඇදුම් තිබුනෙ නෑ.

සතියකට විතර පස්සෙ පන්සල කිට්ටුවෙන්ම උන්න දායක පවුලකට හාමදුරුවො මාව බාර කලා. ඒ ගෙදර අම්මගෙ නම ඩිංගිරි අම්මා. තාත්තගෙ නම මට දැන් මතක නෑ. ඒ ගෙදරත් දරු පරපුරක්ම උන්නා. ඒ අය එක්ක ඉද්දි මට පාලුවක් නැතුව යයි කියලා හාමුදුරුවො කල්පනා කරන්න ඇති.

ඩිංගිරි අම්මගෙ දරු කැලත ඉස්කෝලෙ ගියෙ නෑ. ඒ කාලෙ අද වගේ හැම දරුවෙක්වම ඉස්කෝලෙ යවන්න දෙමාපියන්ට වත්කමක්, දැනුමක්, උවමනාවක් තිබුනෙ නෑ. ඉතින් උන් ටිකත් එක්ක අමුඩ කෙටියක් ගහගෙන මගේ දවස ගෙවන්න මම පුරුදු උනා. රාත්තිරියට නිදා ගන්නකොට එක පොකුරට තුරුල් වෙලා අපි නිදාගත්තා. ඒ අය ජීවත් උනෙත් විශාල ගල් ගුහාවක. මේ ගුහාවෙ ඉස්සරහින් වරිච්චි බිත්ති කොටයක් බැදලා තිබුනා මතකයි.

ඩිංගිරි අම්මගෙ ස්වාමියා බොහොම හැඩි දැඩි උස මහත කෙනෙක්. කැහිපිත්තං වැලේ කොල වලින් හදන පානයක් තමයි ඒ ගෙදර හැමදාම උදේට බොන්න දුන්නෙ. කැහිපිත්තං කොල අහුරක් හොදට කොටලා ලබා ගන්න නානු, කෝප්පයකට හරි පොල්කටුවකට හරි දාලා මුලු රැයක් ගෙවුනට පස්සෙ උදේට ජෙලි වගේ මිදිලා තියෙනවා. මෙන්න මේ ජෙලි එක තමයි උදේට අපි කන්නෙ. පොල්කිරි එකතු කරලා සීනි ටිකක් දැම්මොත් තරමක රසයක් තියෙනවා.

කැහිපිත්තං කෝප්පෙ හිස්කරලා උදේම අමුඩ කෙටියක් ගහගෙන ඩිංගිරි අම්මගෙ මනුස්සයා ගේ ලගම තිබුන හේනට යනවා. දවස පුරාම හේනෙ බිම් කොටලා, භව බෝග වගා කරලා හැන්දෑකොරේ ආයෙමත් ගෙදරට එනවා.

කලිනුත් කිව්වා නොවැ උන්දැ බොහොම ශක්ති සම්පන්න දේහදාරියා කියලා. ටික දවසක් මේ ගෙදර ඉද්දි උන්දැ මට එයාගෙ දරු කැලත එක්කම අංගම්පොර සටන් කලාව කියා දෙන්න පටන් ගත්තා. පිරිමි විතරක් නෙමෙයි ගෑණු දරුවොත් අපිත් එක්ක අංගම්පොර පුහුණු වෙන්න එකතු උන බව මතකයි. ඒ නිවසෙ ගත කරපු මාස 3 ක විතර කාලය ඇතුලෙ අංගම්පොර කලාවෙ බොහෝ දේවල් ඉගෙන ගන්න මට හැකි උනා. විශේෂයෙන්ම නිළ සාස්තරේ ගැන.

මගේ අංගම්පොර ගුරුතුමා හැඩි දැඩි කෙනෙක් උනාට සම්පූර්ණයෙන්ම නිර්මාංශයි. එයාගෙ හේනෙ භව බෝග විනාශ කරන්න එන සත්තු අල්ලගන්න උගුල් අටවලා තිබුනත් ඒවායින් ඒ සතුන්ට හානි උනේ නෑ. උදේම හේනට ගොහින් කොටුවෙලා ඉන්න සත්තු කැලෑවට මුදාහැරලා තමයි එයා ගෙදර ආවෙ. කවදාවත් වන සතෙක් දඩමස් කන්න කියලා මැරුවෙ නෑ

අංගම්පොර ඉගෙන ගන්න කාලෙ බුදුන්ට පූජාව තියන්න ඕනෙ. භාවනා කරන්න ඕනෙ. ඒ වගේ තවත් වත් පිළිවෙත් තිබුනා. අපි ඒවා අකුරටම ඉෂ්ඨ සිද්ධ කරන්න ඕනෙ. නැත්තං ගෙදර වසලා හමාරයි. දවසක්දා උදේම හේනට ගිය ඩිංගිරි අම්මගෙ මනුස්සයා හැන්දෑවෙ ගෙදර එද්දි මට නියම කරලා ගිය වත් පිළිවෙතක් ඉෂ්ඨ කරන්න මට අමතක වෙලා තිබුනා. මේ කාරණේට කොච්චර කෝප උනාද කියනවා නම් එවලෙම මගෙ පුකට පයින් ගහලා පලයං මේ පැත්ත පළාතක ඉන්නෙ නැතුව කියලා මාව එළවලා දැම්මා. ඒ වෙද්දි මම ඒ ගෙදරට ඇවිත් මාස 3 ක් පමණ ගත වෙලා තිබුනෙ.

මාස ගානකට පස්සෙ මම ආයෙමත් අන්තිම දවසෙ ඉස්කෝලෙ ඇන්ද සුදු කමිසයත් නිල් පාට කොට කලිසමත් ඇද ගත්තා. හාමුදුරුවන්ට දැනුම් දෙන්න නැවතුනෙත් නෑ. ගෙදරින් එද්දි අතේ තිබුන රුපියලක් දෙකක් තවමත් කලිසම් සාක්කුවෙ තිබුනා. ඩිංගිරි අම්මගෙ ගල් ගුහාවෙ ගෙදර ඉදන් ප්‍ර‍ධාන මාර්ගයකට සෑහෙන දුරයි. බොහෝ වෙලාවක් ඇවිදගෙන ගිහින් බස් යන එන මාර්ගයකට එන්න ඇහැකි උනා. ඒ කාලෙ අද වගේ රථ වාහන නෑ. පැයකට දෙක තුනයි කාර් උනත් යන්නෙ.

ගෙදරින් පිට උන දවසෙ ඉදන් මගේ ගමන ගැන මට අරමුණක් තිබුනෙ නෑ. හිස ඇරුන අතේ තමයි ගියෙ. දැන් ආයෙමත් ඒ ගමන ආරම්භ කරන්න දවස ඇවිත්. යන්නෙ කොහෙටද බලන්නෙ නැතුව පාරෙ ගිය බස් එකකට අත දාලා මම ඒකෙ පැටවුනා. අන්තිමේදි මම ඇවිත් තිබුනෙ ගම්පහ නගරයට.

ඒ කාලෙ ගම්පහ නගරය කියන්නෙ ලංකාවෙ බුලත් වෙළඳාමෙ මධ්‍යස්ථානය. නගරය පුරාම බුලත් කඳවල් කරේ තියාන යන වෙළෙන්දො. ඔය වගේ එක වෙළෙන්දෙක් පිටිපස්සෙන්ම මම එයාට නොදැනෙන විදියට ඇවිදගෙන ගියා.

සෑහෙන දුරක් ගියාට පස්සෙ ඒ මනුස්සයා පිටිපස්ස හැරිලා මගේ දිහා බලාන ඉඳලා මගෙන් විස්තර ඇහුවා. ගෙදරින් පැනලා එන්නෙ යන්න එන්න තැනක් නෑ කිව්වම වරෙන් අපේ ගෙදර කියලා මාව ඇන්න ගියා. අපි පයින්මයි ඒ ගෙදරට ගියේ. විශාල පොල්වත්තක් මැද තිබුන ගෙයක්. ඒ ගෙදර දුවා දරුවො එක්ක මමත් නතර උනා. ගෙදර ගෘහ මුලිකයා සතියකට දවසක් දෙකක් බුලත් වෙළඳාමෙ යනවා. අනිත් දවස් වලට වත්ත පිටියෙ වැඩ කරනවා. මට විශේෂ වැඩක් පැවරුවේ නෑ. කාලා බීලා කැමති විදියකට ඉන්න ඉඩ දුන්නා.

ටික දොහක් යද්දි මට ඒ ගෙදරිනුත් යන්න හිතක් පහල උනා. මම කලේ කලින් කලා වගේම හිමිදිරියේම කාටවත් නොකියා ආයෙමත් පාරට ආපු එක. කලිසම් සාක්කුවෙ තිබුන රුපියල දෙක තවම මා ලග. හිතට බයක් නෑ. ගමනට අරමුණක් නෑ....බස් එකේ බෝඩ් එක කියවලා යන්නෙ කොහෙද බලන්න උවමනාවකුත් නෑ. අහුවෙන බස් එකට අත දානවා නගිනවා...නතර වෙන තැනක බහිනවා. ඔය විදියට මම ගම්පහින් කොළඹට ආවා. එතනින් තවත් බස් එකකට නැග්ගා. ඒක නතර උනේ බණ්ඩාරවෙල.

බණ්ඩාරවෙල ටවුන් එකේ බේකරියක් ලග මම දැන් කැරකෙනවා. හිතේ ගින්නයි කුස ගින්නයි දෙකම එකට එකතු වෙලා මගේ මුලු ඇගම නලියනවා. කවුරුවත් මා දිහා බලා ඉන්න වගක් මට දැනුනෙ නෑ. අතේ තිබුන මුදලින් බනිස් ගෙඩියක්වත් කනවා කියලා හිත හදාගන්නකොටම කවුදෝ කෙනෙක් මගේ අතක් තදින් අල්ල ගත්තා.


අදට මේ මදැයි....ඊළගට වෙච්ච සන්තෑසිය ඊළග කොටසින් කියවමු.



මතු සම්බන්ධයි.


මම කාමරේ අරින සිරා කොලුවා.


ප.ලි

බණ්ඩාරයන් සමග මවිසින් සිදුකල කථා බහේ හඬ පටයෙන් කොටසක්. මීගමු වාරකන් සුළඟ අපට බාධා කල බැව් සැළකුව මනාය.

Related Posts Plugin for WordPress, Blogger...