Wednesday, September 16, 2015

121 ගෙඹි මස් සමග බත් කෑ දා...

අදින් සති දෙකකට කලියෙන් සිරා කොලුවාගේ කාර්ය බහුලත්වය තවත් මාස 6 කින් නැවත හමුවෙන අටියෙන් වෙන් වී ගියේය. වසරකට දෙවරක් පැවැත්වෙන, මැලේසියාවේ සංචාරක අංශයේ ප්‍රධානතම ප්‍රදර්ශනය වන MATTA FAIR වෙනුවෙන් මම සේවය කරන ආයතනය සහභාගි වීම මේ කාර්ය බහුල තාවයට හේතුවයි. මේ ප්‍රදර්ශනයේ ජාතකය බොලා ඉදිරියේදී පෙර දිනයක මවිසින් කියා ඇති නිසා නැවත ඒ ගැන කිව යුතු නොවේ. කියවා නැති කෙනෙක් ඉහත ලින්කුවෙන් කියවා එනු මැන.

මෙවර ප්‍රදර්ශනයත් වෙනසක් නොමැතිව ගෙවී ගියේය. වෙනසකට තිබුනා නම් ඒ අප අායතනය සමග අලුතින් අත්වැල් බැඳගත් නවක සේවක සේවිකාවන්ය. එහෙමත් නැතිනම් අත්පත්‍රිකා බෙදීම සඳහා සහාය වූ විශ්ව විද්‍යාල සිසුවියන්ය. මෙවර ඒ සඳහා මැලේසියාවේ ප්‍රධානතම විශ්ව විද්‍යාලයක ඉගෙනුම ලබන ඉරාන සහ යේමන් ජාතික රූමතියන් දෙදෙනෙකුද එකතු වීම පිරිමි අපට සෑහෙන දහිරියක්ම විය.

උස ළමයා ඉරානයෙනි, මිටි ළමයා යේමනයෙනි, ඉදිරියේ සිටින සුදු නංගි මැලේසියාවෙනි

මේ නගාලා දෙදෙනා රූමත් වූවා කියා ආඩම්බර වූයේ නැත. ලද අවසරයකදී ඔවුන් සමග කල කථා බහකදී බෞද්ධ දහම ගැන ඔවුන්ගේ දැනුම වැඩි කරන්නට මා හට අවස්ථාව ලැබුනි. මේ දෙදෙනා ඉතාමත්ම නිහතමානීව කීවේ බුදු දහම ගැන වැඩි විස්තරයක් නොදන්නා නමුත් ඒ පිළිබඳ කියවා යමක් දැනගන්නට කැමති බවයි. මම ඔවුනට කීවේ බුදු දහම වර්තමානයේ එක් ආගමකට සීමා නොවූ දර්ශනයක් බවට පත් වී ඇති බවකි.

මේ වතාවේදී  අපගේ සංචාරයන් පෙර වසරට වඩා අළෙවි කරනු පිණිස වැඩි වැයක් දරා ඉඩකඩ විශාල කරමින් ප්‍රදර්ශන කුටියක් ඉඳි කල අතර ගණුදෙනුකරුවන් වඩා වඩාත් තෘප්තිමත් කරවනු පිණිස ඔවුන් වෙත අයිස් ක්‍රීම් ලබා දීමද හඳුන්වා දී තිබුනි. ඒ වෙනුවෙන් විවිධ රසයෙන් අයිස්ක්‍රීම් පුරවන ලද අධි ශීතකරණයක් ප්‍රදර්ශන කුටියේ පසුපස කලාපයේ තබා තිබුනි. නගාලට අයිස්ක්‍රීම් කවන්නට බොහෝ අය එතැන රැස් කකා සිටියහ.

බෙදිල්ල බාරව සිටි යාපනයේ යතුරාජ්

කාර්ය බහුල වේලාවක අපගේ ප්‍රදර්ශන කුටිය

ගිය වර වටදාගෙය ඇතුලත් කල මා මෙවර සීගිරිය ඇතුලත් කළෙමි.
මැලේසියාවේ සිටින චීනුන් අයිස් ක්‍රීම් කන්නට පුදුම විදියට පෙරේතය. අධිශීතකරණය දුටු විගස ඔවුන් වයස් බේදයකින් තොරව අයිස් ක්‍රීම් ඉල්ලා අප වෙත පැමිණියහ. එහෙත් මේවා අපගේ ගණුදෙනුකරුවන්ට පමණක් යැයි කියූ විට ඔවුන් කිසිවක් නොදොඩා ආපසු හැරී ගියෝය. එහෙත් අප කිසිවිටෙකත් කුඩා දරුවන්ගේ ඉල්ලීම් ඉවත නොදමා ඔවුන් වෙත අයිස් ක්‍රීම් ලබා දුනිමු. ලංකාවේ සහ මැලේසියාවේ අයිස් ක්‍රීම් සළකා බලන විට මැලේසියාවේ අයිස් ක්‍රීම් ලංකාවේ ඒවා තරම් පැණිරස නැත. එයට හේතුව මේ රටේ ආහාර පාන ආදියට යෙදිය හැකි සීනි ප්‍රමාණය පිළිබඳ සම්මත නීති මැලේසියානු රජය විසින් පනවා තිබීමයි.  මා දන්නා තරමින් අපේ ‍රටේ එවැනි තදබල නීතියක් නැති නිසාදෝ නිෂ්පාදකයෝ හිටු කියා සීනි දමති. අපේ ඇත්තෝ ඇති පදම් පැණිරස වළඳා දියවැඩියාව දෑතින්ම බදා ගනිති.

අපෙන් අයිස් ක්‍රීම් ඉල්ලූ චීන දැරිවියක්


අපේ ආයතනයෙන් යම් කිසි සංචාරයක් මිළදී ගන්නා ගණුදෙනුකරුවකුට ත්‍යාග භෝග හා ඒ අවස්ථාවේ අදින ඔහුගේ / ඇයගේ  මුහුණේ පැන්සල් සිතුවමක් ලබා දෙන්නට ආයතන ප්‍රධානියා සැලසුම් කොට තිබුනි. ඒ සඳහා සුදුසු චිත්‍ර ශිල්පියෙකු සෙවීමේ කාගෙ කාගෙත් උත්සාහය මැලේසියානු ජාතික චිත්‍ර ශිල්පීන්ගේ ඉහළ අය කිරීම් නිසා බොඳ වී තිබූ වටපිටාවක සිරා කොලුවා විසින් සොයාගන්නා ලද අපේ මව්බිමේම කුරුණෑගල සහෝදරයෙකු නිසා නැවත පණ ගැන්විනි. ඔහු අති දක්ෂ ලෙස ඔහුගේ අභියෝගය සෑම විටෙකම ජය ගත්තා පමණක් නොව චිත්‍රයට පෙනී සිටි අයගේ නොමඳ ස්තූතියටද පාත්‍ර වූවේය.

යුවතිය ඉදිරියේ තබාගෙන ඇගේ මුහුණ කොළයක සටහන් කරන ලංකාවේ දක්ෂතාව

මේ ප්‍රදර්ශනය සෑම කල්හිම දින තුනක් පැවැත්වෙන්නකි. සිකුරාදා දිනයක ආරම්භ වන එය ඉරිදා දිනයෙන් අවසන් වෙයි. අවසාන දිනයේ ප්‍රදර්ශනය රාත්‍රී 9 ට අවසන් වූ පසු ප්‍රදර්ශන භූමියට කාර්යාලයෙන් රැගෙන ආ අඩුම කුඩුම සියල්ල නැවත කාර්යාලය වෙත පටවා රාත්‍රී ආහාරය සඳහා අපේ නඩය ඇදෙන්නේ ක්වාලාලම්පූර් නුවර නොනිදන ඉසව්ව වන බුකිට් බින්තාන් (Bukit Bintang) වෙතයි.

මැලේසියාවට පැමිණෙන ඔබ රසවත් චීන ආහාරයක රස බලන්නට, පුංචි අඩියක් ගසා හිත සනසා ගන්නට, ගමන් මහන්සිය යන්නට සම්භාහනයක් කර ගැනීමට අවැසි නම් යා යුතු තැන මෙතනයි. මේ ඉසව්වේ සංචාරකයන් ඉලක්ක කර සේවා සපයන සම්භාහන මධ්‍යස්ථාන, මධුවිත අළෙවි සැල්, රාත්‍රී සමාජ ශාලා, මස් මාංශ, පළතුරු අළෙවිසැල්, චීන අවන්හල් මෙන්ම මාර්ගයේ සිට විකිණෙන ගණිකාවන්ගෙන්ද අඩුවක් නැත.

කුකුල් කකුල් බැඳුම
ලොකු රට කජු
මැලේසියාව මුස්ලිම් රටක් උවත් චීන අවන්හල් වල උෟරු මස් තිබේ
රක් අප එහි යන විට අප්‍රිකානු රටකින් පැමිණි ගණිකාවක සමග හෙට්ටු වෙන යුරෝපීයන් දෙදෙනෙකු දුටිමු. බැලූ බැල්මට ඒ ඇත්තන් කලු යුවතියගේ සීයා වරුන් බඳුය. වයසක සුද්දන් දෙදෙනාද පරාජය බාර ගන්නට සූජානම් නැත. ඔවුන් තව දුරටත් හෙට්ටු කරති. ඉවසීමේ සීමාව පැන ගිය ගණිකාව...ඒ ගානට මට දෙන්නෙක් එක්ක ඉන්න බෑ.....යනුවෙන් කල ගෝරනාඩුවට ඉංගිරිසිය වැටහෙන මාර්ගයේ ගිය බොහෝ උන් සිනහා හඩ නැගුවෝය.

මෙවර අප ප්‍රදර්ශනය නිමවා වාහන කීපයක එහි ගියෙමු. ඊට මත්තෙන් ඇතැම් දෑ අප කාර්යාලය වෙත ප්‍රවාහනය කල යුතු විය. මා හට ප්‍රවාහන පහසුකම් සැපයීමට අපගේ කාර්යාලයේ, මැලේසියානු ජාතික" ව්‍යාපාර ප්‍රවර්ධන කළමණාකරු ජේම්ස් එකඟ වූවේය. එහෙත් ප්‍රදර්ශන ශාලාවේ සිට කාර්යාලය වෙත යන්නට ඔහු පාර දන්නේ නැත. අතීතයේ දිනෙක සිරා කොලුවාගේ නවාතැනක් මේ මාර්ගය ඔස්සේ වැටී තිබූ නිසා ඉදිරි අසුනේ සිට මම ජේම්ස් වෙත මාර්ගය පෙන්නුවෙමි. ජේම්ස්ගේ නවතම නිසාන් රථය මැනුවල් ගියර් සහිත එකකි. මැලේසියාවේදී මැනුවල් ගියර් සහිත රථයක් දකින්නට ලැබෙන්නේ ඉතාම කළාතුරකින් නිසා මම ඒ වෙනස ගැන ජේම්ස් සමග කථා කළෙමි. පිරිමියෙක් නම් පදින්න ඕනෙ මැනුවල් තමයි... ඔහු කෙටියෙන්ම මවෙත පිළිතුරක් ලබාදෙන විට අප සමග මෑතකදී එක් වූ පකිස්ථානයේ ගුල්ෆාම් පසුපස අසුනේ සිට සිනහා හඬ නැගුවේය.

කාර්යාලය වෙත රැගෙන ගිය දෑ එහි දමා අප තිදෙනා බුකිට් බින්තාන් ඉසව්වට යන විට අපගේ යුවතියෝ ඇතුලු පිරිස එහි ළඟා වී සිටියෝය. වාහනයේ සිට අවට පරිසරය වෙත නෙත යොමු කරන විට නියෝන් නාම පුවරු යට ඒ මේ අත ඇවිදින යුරෝපීයන් ඉතාම සුලභය.


බුකිට් බින්තාන් වල නැති දෙයක් නෑ. ඕනෙම දෙයක් තියෙනවා. නීති විරෝධී වැඩත් එමට තියෙනවා. ජේම්ස් එසේ පවසා රථය නවතා තබන්නට ස්ථානයක් අපහසුවෙන් සොයා ගත්තේය. අප දැන් චීන අවන් හල් එක‍ පෙලට ඇති ඉසව්වට පිවිසී සිටිමු.


චීනා යනු ලෝකයේ දීර්ඝ ආයුෂ විඳින ජන වර්ගයකි. ඒ සඳහා ඔවුන්ගේ ආහාර රටාව බෙහෙවින් ඉවහල් වී තිබේ. ඔවුන් ආහාර ගන්නා වේලාවන්ද එයටම උපකාර වී ඇති සෙයකි. දහවල් 12 වන විට දිවා ආහාරයත්, හැන්දෑවේ 6.30 පමණ වන විට රාත්‍රී ආහාරය ලබා ගන්නටත් චීනා කැමතිය. ඒ බොහෝ වෙලාවට ඖෂධීය ගුණයෙන් යුතු සුප් හැන්දක් දෙකක් පානය කරන්නටත් ඔව්හු අමතක නොකරති.

චීන අවන්හල් වල සෑම දෙයක්ම ඉතාම නැවුම් ලෙස සකසා දෙයි. එළවළු වර්ග ලංකාවේ මෙන් වරුවක් තම්බන්නේ නැත. මෑ කරල් පිසූ පසුවත් ඒවා බොහෝ සේ කොළ පැහැතිය. කංකුං ද එසේමය. ඒ නිසා මේවායේ මිළ ගණන් අවශේෂ අවන්හල් වලට වඩා මඳක් වැඩිය. චීනා ඉස්සන් ව්‍යංජනයක් සකසනවා නම් ලූණු තුනපහ ආදිය තාච්චියේ දමා තෙම්පරාදු කරන විට සූපවේදියාට අාසන්නයේ ඇති භාජනයක තවමත් ඉස්සන් පිහිනමින් සිටිති. නිසි අවස්ථාව පැමිණි කල තාච්චියේ මූඩිය විවර කර පණ ඇති ඉස්සන් එයට දමා පියන වසා දමන්නේ ඉස්සාගේ ඔලු කැඩීමකින් තොරවය. චීනා මෙන්ම මැලේ ජාතිකයන්ද ඉස්සන් පිසින විට ඔලුව ඉවත් කොට අහවල් ඒවා ඉවත් කරන සිරිතක් නැත. 

මා මැලේසියාවට පැමිණි මුල්ම කාල‍යේ නවාතැන් ගෙන සිටි මැලේ ජාතික නිවසේ ඇත්තන්ද එසේමය. දිනක් ඔවුන් සකසා තිබූ ඉස්සන් ව්‍යංජනයක් මගේ බත් පතටද බෙදුවේය. නමුත් ඉස්සන්ගේ ඔලුව කඩා නැති බව දැක ඉස්සන් කන්නේ කෙසේදැයි මම දස අතේ කල්පනා කළෙමි. ගෙදර ඇත්තන්ට වගේ ගනනක් නැත. ඉස්සාගේ ඔලුව කැඩු විට එහි තිබෙන අහවල් ඒවා දියරයක් මෙන් බත් පතට එකතු වෙයි. ඔව්හු ඒවාද බත් සමග හොඳින් අනා බත් ඇට අාමාශය වෙත තල්ලු කරන්නට රුසියෝය.

මේ හේතුවෙන් අප කිසිදා චීන අවන්හලකින් ඉස්සන් ඇනවුම් කරන්නේ නැත. අපේ ආයතනයේ ඇත්තන් අවන්හලේ අසුන් ගන්නේ කාන්තා පරාණ එක් මේසයක සහ පිරිමි පාර්ශවය තවත් මේසයක වන පරිද්දෙනි. මේ අවන් හල් සෑම එකකම ඒවා වෙත පැමිණි චීන සම්භවය සහිත මැලේසියාවේ සිනමා, ගායන, නිරූපන ආදී ක්ෂේත්‍ර වල ජනප්‍රිය තරු සමග අවන් හල් කාර්ය මණ්ඩලය එකට සිට ලබාගත් ඡායාරූප රාමුකොට බිත්තියේ එල්ලා තිබේ.


අවන්හලේ මෙනුපත අනුව  ඇණුවුම් කල ආහාර අතර මෙදා සුවිශේෂී යමක් විය. ඒ ගෙඹි මස් ව්‍යංජනයයි. මේ නම ඇසූ කල්හිම කාන්තා පරාණ අප්පිරියාවෙන් මෙන් ඉවත බලාගත් අතර සමහර පුරුෂ පාර්ශවයන්ද තමන් ගෙඹි මස් නොකන බව පැවසුවෝය. ඒ නිසාම තනි තනිව ගෙඹි මස් බුඳින්නට කැමති ඇත්තන් විමසන්නට ආයතන ප්‍රධානියාට සිදු විය. කිසිදා ආහාරයට ගෙන නැති නිසා මෙවර එහි රස බලන්නට මා හට සිත් වූයෙන් ගෙඹි මස් කන්නට අත එසවූ 5 දෙනා අතරට මගේ නාමයද එකතු වූහ. ගෙඹි මස් මැලේසියාවේ සෑම තැනකම නැති අතර බුකිට් බින්තාන් චීන අවන්හල වල එය සුළභ ආහාරයකි.

අසරණ ගෙම්බා


මේ ගෙම්බන් ආහාර පිණිසම ඇති කරන සුවිශේෂී වර්ගයක් මිස ලංකාවේ අපගේ ළිං පඩිය ලග ගැවසෙන, කුණු කාණුවේ ලගින වැනි  උන් නොවේය. කොළ පැහැති මෙන්ම දුඹුරු පැහැති ගෙම්බන් විශේෂයක්ද චීනුන් සතුව සිටිති. තමන්ගේ ජීවිතයේ අවසානය උදාවන තෙක් ඉහළින් ආවරණය කල මාලු ටැංකි වල වෙසෙන මේ සත්වයින් ඇණවුමක් ලද විගස මරණයට පත් කොට ආහාරයක් ලෙස සකසන්නට චීනුන් යුහුසුලු වෙති.

ඇනවුම් කල ආහාර අපගේ මේස වෙත පැමිණෙන තුරු අායතන ප්‍රධානියාගේ සුරතින් මේසයට පැමිණෙන රහමෙර පිරිමි පාර්ශවයේ වීදුරු වෙත පතිත වෙන්නේ ප්‍රදර්ශනය සාර්ථකව නිමකිරීමට හැකි වීමේ ප්‍රීතියද සමගිනි. මේ ප්‍රදර්ශනයේදී අපේ අළෙවිය වැඩි කරගැනීමට මාස දෙකක පමණ සිට සෑම කෙනෙකුටම විවිධාකාරයේ වගකීම් පැවරෙන අතර අපගේ ප්‍රදර්ශනය කුටිය, ගණුදෙනුකරුවන්ට ලබාදෙන අත්පත්‍රිකා, පුවත් පත් දැන්වීම් ආදිය නිර්මාණය කිරීමේ වගකීම මා හට පැවරෙයි. මේ නිසාම ප්‍රදර්ශනයක නිමාව යනු අප සෑම කෙනෙකුගේම මානසික විඩාව සංසිඳුවන දිනයකි.

වතුර ෂැන්ඩියට කලු ලේබල්

අප සියල්ලෝ  රහමෙර සමග මිතුරු දම් අරඹන විට කාන්තා පරාණ පළතුරු යුෂ වල හෝ චීන තේ වල රස බලති. මුස්ලිම් ජාතික පකිස්ථානයේ ගුල්ෆාම් ගොයියාට රහමෙර හරාම් නිසා ඔහුද යුවතියන් සමග පළතුරු යුෂ පානය කරයි. මේ අතර තුර ගෙඹි මස් ඇතුලු ඇණවුම් කල ආහාර කට සැර චීන යුවතියකගේ දෑතින් අපගේ මේස වෙත ලඟා වෙති. මේ අය සතුව වෝකි ටෝකි යන්ත්‍ර ඇත්තේ සෘජුව ඔවුන්ගේ මුළුතැන් ගෙය හා සම්බන්ධ වීම සඳහායි.


ගෙඹි මස් ව්‍යංජනය දුටු විගස කාන්තා පරාණ අහක බලාගත්තෝය. ඔවුනට තව දුරටත් කරදරයක් නොවනු පිණිස ඒ ව්‍යංජනය බුඳින්නට එකඟ වූ පිරිස ඉක්මනින් තමන්ගේ පිඟන් වෙත ඒවා අඩුක් කර ගත්තෝය. පළමු වරට ගෙඹි මස් කෑල්ලක් හපන විට මා හට කිසිදු අපුලක් දැනුනේ නැත. හොඳින් තුනපහ යොදා පිස තිබූ එම මාංශයේ රස අප සාමාන්‍යයෙන් ආහාරයට ගන්නා කිසිම වර්ගයක නැති අමුතුම එකකි. මස් අඩුය. කටු වැඩිය.

සියළු සංග්‍රහයන් භුක්ති විඳ අවසන් වන විට මධ්‍යම රාත්තිරියට ආසන්නය. ඒ ඒ ගමනාන්ත වෙත යන්නට වාහන නැති පිරිසට කුලී රථ සේවයේ පිහිට පැතිය යුතුය. ඒවායේ වියදම් ආයතන විසින් දරනු ලැබේ. එකම මගක යන පිරිස වේ නම් ඔවුන් එකම රථයක යාම සාමාන්‍ය ක්‍රමවේදයයි. ඒ අනුව මම යන මාර්ගයේ යන්නට චිත්‍ර අදින ලද ලංකාවේ සහෝදරයාත් පකිස්ථානයේ ගුල්ෆාම් ගොයියාත් සිටිති.

නිල් පැහැයෙන් ගුල්ෆාම් ගොයියා

චීන අවන්හලෙන් ඉවතට එද්දීම කුලී රථයකි. මම සැනින් අත දැමුවෙමි. එය පැදවූ චීන ජාතික තරුණිය රථය පසෙකට කොට නතර කලාය. ඇගේ දිගු කෙස් කළඹ ඉතා හොඳින් ඈතට දිස් වෙයි. අපේ ඔපීසියේ කෙලියෝ මහ හඬින් හිනැහෙන්නේ චීන යුවතියක සමග කුලී ගමනක් යන්නට අප තිදෙනාට ලැබුන චෑන්ස් එක දැක විය යුතුය.

අපගේ ගමනාන්තය ගැන පැවසූ විට ඇය එහි යාමට හැකි බව හස්ත සංඥාවෙන් පැවසූයෙන්  අප තිදෙනා රථයට ගොඩ වීමු. සිරා කොලුවා දැන් ඉදිරි අසුනේය. රථාචාර්ය වරිය සමග කථාකරන්නට මාන බලමින් සිටි මගේ චිත්ත සන්තානය රථය සංඥා එළියක නතර වූ විගස ඒ සඳහා පොට පාදා ගත්තේය. මගේ ගැටලුවට පිරිමි හඩකින් වහා පිළිතුරු ලැබුනි. මේ අනපේක්ෂිත ප්‍රතිචාරයෙන් විශ්මයට පත් අප තිදෙනාම රියදුරු තැන දෙස දෑස් හොඳින් විවර කර බැලූ කල එතැන සිටියේ චීන යුවතියක් නොව කොණ්ඩය වවාගත් ගෑණු පෙනුම ඇති පුරුෂ රත්නයකි.





මම කාමරේ අරින සිරා කොලුවා.



ප.ලි

මා ගෙඹි මස් සමග බත් කෑ බව ලංකාවේ යුවතියකට සැළ කලෙමි.  ඇයි කන්න දෙයක් නැතුවද ගෙඹි බස් කෑවෙ...පව්කාර වැඩ...යනුවෙන් පැවසූ අැය සම්බන්ධතාව විසන්ධි කලාය.

Sunday, September 13, 2015

68 ගව මුත්තරා ටිකක් බොමුද ?

අපේ කාර්යාලයට මාස 6 කට පමණ කලියෙන් සම්බන්ධ වූ, නවදිල්ලියෙන් මැලේසියාවට පැමිණි වරුන් ඛේරා (Varun Khera) බොහොම පැහැපත් පෙනුමක් තියෙන හැඩකාරයෙක්. මුල් කාලෙ ඔපීසියෙ යුවතියො එක්ක විතරයි මිනිහා පයුරු පාසානම් පැවැත්වුවෙ. කාර්යාලයෙ පුරුෂ පාර්ශවය ඉතින් මේ වගේ වෙලාවට ස්වභාවිකව ඇතිවෙන ඉරිසියාවත් එක්ක මේ ගොයියව වැඩිය ගනන් නොගෙන අතඇරලා දාලා ඒකාට  Chicky Boy කියලා ලස්සන නමකුත් දැම්මා.

කාර්යාලයේ ඇත්තො රාත්‍රී කෑමකට චීන අවන්හලකට ගිය අවස්ථාවකත් වරුන් ගොයියා කොල්ලන්ගෙ මේසය වෙනුවට කෙල්ලන්ගෙ මේසය තෝරගෙන ‍ගෑණු පරාණ මැද්දට වෙලා හිටිය අන්දම දැක්කම අපිට හිනාව නවත්තගන්න බැරි උනා. කොහොමින් කොහොම කාලයාගේ අැවෑමෙන් මේ කෙල්ලො තමන්ගෙ දත ගලවන බව දැනුනට පස්සෙ වරුන්ට මොළේ පෑදුනා. අන්තිමේදි මිනිහා කාර්යාලයේ පුරුෂ පාර්ශවය සමග සුහද උනා. 

දැන් ඉතින් අපි බොහොම සුහදයි. ඇත්තටම ඔහු හොඳ මිත්තරයෙක්...ඒ වගේම බොහොම සංවේදී මිනිහෙක්. මැලේසියානු ජාතික යුවතියක් එක්ක පෙමින් වෙළිලා ඉන්න අතරෙ වරුන්ගෙ අම්මා ඉන්දියාවෙන් තව කෙල්ලෙක් ජෝඩු කරලා. මැලේසියාවෙ කෙල්ල අත ඇරලා ඉන්දියාවෙ කෙල්ල බැන්දෙ නැත්තං බලාගමු කියලා ගෙදර ඇත්තො මිනිහට තර්ජනය කරනවා. මේ අන්ත දෙකට හිරවෙලා පිස්සු හැදිලා වගේ හිටියත් දවල් කෑමට අපි එක්ක හැමදාමත් වගේ මැලේ ආච්චිගෙ කෑම කඩේට යන්න ඔහු එනවා. බොහොම බරසාර මාතෘකා ගැන සමහර වෙලාවට කෑම කන අතරෙ සාකච්ඡා කරනවා. අන්න ඒ වගේ දිවා ආහාරයට පිටත් වෙන වෙලාවක තමයි හා පුරා කියලා අද බොලාට කියන්න යන මේ කථාවට පොට පෑදුනේ.

මිත්‍රයා ඔයා දන්නවද ගව මුත්තරා බිව්වම මිනිස්සුන්ට ලැබෙන වාසි ගැන.

අනේ නෑ...ලංකාවෙදි ජීව වායුව හදනවාට වඩා ප්‍රයෝජනයක් ගන්නෙ නෑ. ඒවා අපද්‍රව්‍යනෙ හරකගෙ... මම එහෙම කිව්වා.

ඉන්දියාවෙ නම් එහෙම නෑ. අපි ඉන්න පළාතෙ ගොඩාක් හින්දු භක්තිකයො හරක් මුත්තරා හිස්බඩ පානය කරනවා. ඒකෙන් ලැබෙන වාසි විශ්මිතයි. ගොඩාක් රෝග වලට මේ පානය කඳිම ඔසුවක්.  අපේ සීයත් මට මතක කාලෙ හරකෙක් මුත්තරා කරද්දි පිටිපස්සෙන් ගිහින් අත අල්ලලා මූණ වටේට බින්දු කීපයක් ඉහගෙන කට ඇතුලට තවත් බින්දුවක දෙකක් දා ගත්තා. ඉස්සර වගේ නෙමෙයි දැන් ගොඩාක් තරුණ අයත් මේ වැඩේට හවුල්. කොටින්ම මමත් නිතර දෙවේලෙ බෝතල් කල ඒවා බොනවා.

මේ කථාව ඇහුවට පස්සෙ මට පුදුම හිතුනා. අපි දන්න විදියට මුත්‍රා කියන්නෙ ශරීරයෙ විවිධ අවයව වල සිදුවන පරිවෘත්තීය ක්‍රියා වලින් බැහැර කරන  අපද්‍රව්‍ය එකතුවෙන ස්ථානය. සත්වයෙකුගේ උනත් මුත්තරා වල ඖෂධීය ගුණ තියෙනවා කිව්වම පුදුම නොවී කොහොමද ?

ඉන්දියාවෙ දැන් ගව මුත්තරා බෝතල් කරලත් විකුණන්න තියෙනවා. මම ඔයාට බෝතලයක් ගෙනත් දෙන්නං...දවසක වතුර වීදුරුවකට බින්දු තුන හතරක් දාලා බීලා බලන්න. වරුන් මට එහෙම කිව්වට පස්සෙ ම‍ගේ අක්මාව මට කිව්වෙ මේ ගැන ‍ජාලෙන් හොයලා බලහං කියලා. ඒ සොයාබැලීම් වලින් මම එකතු කරගත්ත දේ තමයි බොලාට අද ජාලෙන් පෙරලූ ලිපියෙන් කියවන්න ලැබෙන්නෙ.

ගවයා යනු හින්දු ආගමට අනුව පූජනීය සත්වයෙකි. දේවාවාදී අාගමක් වන හින්දු අාගමේ එන ශිව දෙවිඳුගේ වාහනය ලෙසද ගවයා සැළකෙයි. එක් දේව පුරාවෘත්තයකට අනුව විෂ්ණු දෙවියන් විසින් කිරි සයුර කළඹන ලද අවස්ථාවේ හමු වූ සුරබිධේනුව සියලුම ගව දෙනුන්ගේ මාතාව ලෙස සැළකෙයි. 

ගවයාගේ පිරිමි සත්වයාට වඩා ගැහැණු සත්වයන් වැඩි සැළකුම් ලබන්නේ එළදෙන මගින් ලබාගන්නා කිරි මිනිස් දරුවන් උස් මහත් කරන්නට විශාල කාර්ය භාර්යයක් ඉටු කරන හෙයිනි. මේ කිරිවලින් පස්ගෝ රස ( කිරි, දීකිරි, මෝරු, ගිතෙල්, වෙඬරු ) නිපදවෙන අතර ඒවායෙ රස, ගුණ  විඳින මිනිසුන් දහස් ගණනකි.

හින්දු ආගමට අනුව ගවයා පෘථිවිය, පෘථිවියේ ජීවය  පිළිබඳ සංඛේතයකි.  තණකොළ, ජලය, ධාන්‍ය අාදි සරළ දෑ කීපයක් ලබා සැපයීමෙන් වටිනා කිරි ලබාගත හැකි නිසා ත්‍යාගශීලීභාවය පිළිබඳ සංඛේතයකි. එමෙන්ම කරුණාව සහ සමෘද්ධිය පිළිබඳ සංඛේතයක් වශයෙන්ද ගවයා සැළකෙයි. මෙවැනි හේතු නිසා හින්දු භක්තිකයන් ගවයා පූජනීයත්වයට පත් කොට තිබේ. පූජනීයත්වය පිළිබඳ මේ සංකල්පය වර්තමානයේදී ගව මුත්‍රා පානය දක්වාම පැතිර ඇති සෙයකි.

ජයිරාම් සිංගාල් නැවුම් ගව මුත්‍රා ලබා ගනිමින්

අතීතයේ සිට පැවති මුත් දැන් දැන් තරුණ පරපුර අතරද ගව මුත්‍රා පානය කිරීමේ පුරුද්ද සීඝ්‍රයෙන් පැතිරෙන ආකාරයක් දකින්නට තිබේ. ඔවුන්ගේ විශ්වාසය අනුව ගව මුත්‍රා පිළිකා ඇතුලු රෝගාබාධ ගණනාවක් සුව කිරීමට සමත් ඔසුවකි. ගවයාට අරෝපණය වී ඇති පූජනීයත්වය පිළිබඳ සාධකය නිසාම ගව මුත්‍රා තුල රෝග සුව කිරීමේ බලයක් ඇතැයි යන තදබල විශ්වාසයක් මේ භක්තිකයන් වෙලාගෙන තිබෙනවා වන්නටත් පුලුවන. 42 හැවිරිදි ජයිරාම් සිංගාල් දශකයකට අධික කාලයක සිට ගව මුත්‍රා පානය කිරීමෙන් විවිධ සෞඛ්‍ය ප්‍රතිලාභ ලැබූවෙකි.

මට දිය වැඩියාව තිබුනා. කෙනෙක් මට කිව්වා ගව මුත්‍රා පානය මේ රෝගයට හොදයි කියලා. එදා ඉඳන් මම ගව මුත්‍රා පානය අැරඹුවා. දැන් මගේ දියවැඩියා මට්ටම යහපත් තත්වයකට ඇවිත් තියෙනවා. මෙතන ගවයො ඇති කරන්න පටන් අරගෙන අවුරුදු 12 ක් විතර වෙනවා. මුල් කාලෙ ඉඳලම අපි දවස ආරම්භ කරන්නෙ උදේම පානය කරන ගව මුත්‍රා වීදුරුවකින්.

උතුරු ඉන්දියාවේ අග්‍රා නුවර ඩී ඩී සින්ගාල්ගේ ගව පට්ටිය අසල නැවුම් ගව මුත්‍රා වීදුරුවක් ලබා ගැනීම පිණිස දිනපතා පැමිණෙන බොහෝ පිරිසක් වෙති. ජයිරාම් සිංගාල් ඒ අතරින් කෙනෙකි.

නිවසේ උඩුමහ‍ලේ ඇති සිංගාල්ගේ ගව පට්ටිය

ගොඩාක් සෙනග මෙහෙ එනවා. එන්න එන්නම මේ ගණන වැඩි වෙනවා. අපි හැමෝම සෑම උදෑසනම එළදෙනකගේ මුත්‍රා පානය කිරීම සිදු කරනවා. කාලෙකට කලින් මෙහෙම සෙනගක් ගව මුත්‍රා ඉල්ලගෙන අපි ලඟට ආවෙ නෑ. ඒත් අද වන විට තත්වය වෙනස් වෙලා. බොහෝ පිරිසක් දිනපතා ගව මුත්‍රා වීදුරුවක් පානය කරන්න මෙතනට එන්න පුරුදු වෙලා. ඒ අතර දරුණු පිළිකා රෝගීනුත් ඉන්නවා. ඒ අයට අවශ්‍යයි ගව මුත්‍රා පානය නිසා තමන්ට ලැබෙන සෞඛ්‍ය ප්‍රතිලාභ තමන් විසින්ම අත්දැක බලන්න.

අග්‍රා නුවර ගව සංගමයේ පුරෝගාමියා වූ ඩී ඩී සිංගාල්ගෙන් සත්කාර ලබන ගවයෙක්

හින්දු අධ්‍යාත්මික නායකයන්ගේ දිරි ගැන්වීමත් වර්තමානයේ ජනතාව අතර ගව මුත්‍රා පානය ප්‍රචලිත වීම කෙරෙහි බලපා තිබේ. මේ ආගමික නායකයන්ට අනුව ගව මුත්‍රා පිළිකාව, දියවැඩියාව, ශරීරයේ පඨක තුල ඇතිවෙන වේදනා රහිත ඉඳිමුම, ක්ෂය රෝගය, උදරය සම්බන්ධ රෝගාබාධ ඇතුළු බොහෝ රෝගාබාධ ගණනාවකට දිව ඔසුවකි. මේ අයගේ අදහස අනුව තට්ටය පැදීම නවතාලන්නට කළ හැකි හොඳම ප්‍රතිකාරයද ගව මුත්‍රා පානයයි.


අක්ෂි රෝග, උදරාබාධ, සඳහා බෙහෙත්, දත් බෙහෙත්, ඇඟ ගල්වන සබන් ඇතුළු විශාල වපසරියක නිෂ්පාදන ගව මුත්‍රා ආශ්‍රයෙන් නිපදවිය හැකි බව අග්‍රා නුවර ගව සංගමය පිහිටුවීමේ මූලිකයා වූ  ඩී ඩී සිංගාල්ගේ අදහසයි. 

හින්දු පූජකයෙකු වන රමේෂ් ගුප්තා ට අනුව මේ ලොව පරම පිවිතුරු දෑ අතරින් ගව මුත්‍රා එක් වර්ගයකි. පුරාණ හින්දු ලියවිලි වලත් ගව මුත්‍රා වලින් මිනිස් ශරීරයට ගත හැකි විපුල ඵල පිළිබඳ සටහන්ව ඇති බව ඔහු පවසයි. ගුප්තාට  අනුව සෑම ගවයෙකුගේම මුත්‍රා වලින් මේ ප්‍රතිලාභ ලබාගත නොහැක. ඒ සඳහා පැටවෙකු ප්‍රසූත නොකල කන්‍යාවියකගේ මුත්‍රා භාවිතා කල යුතුය. එමෙන්ම මුත්‍රා ලබාගත යුත්තේ හිරු උදාවට මොහොතකට පෙරයි.



විවිධ පුද්ගලයො ගව මුත්‍රා පානය විවේචනය කරනවා. නමුත් අපි කලබල වෙන්නෙ නෑ. ගව මුත්‍රා පානය නොකරපු කෙනෙක් මේවායින් ගත හැකි ප්‍රයෝජන ගැන මොනවද දන්න‍ෙ. කාලයත් එක්ක ඒ අයත් මේ වටිනා සම්පත ගැන එයාලගෙ සැක සංකා දුරුකර ගනීවි. දැනට පවතින ඉල්ලුම කෙමෙන් කෙමෙන් අධික ඉල්ලුමක් බවට පත්වෙමින් තිබෙන්නෙ. ඒ අනුව වාණිජ මට්ටමෙන් ගව මුත්‍රා අළෙවිය ආරම්භ කරන්න අපි සැලසුම් කොට තිබෙනවා. දැනටත් සමහර ගව පාලකයො ගව මුත්‍රා විකිණීම සිදුකරගෙන යනවා.

සිරි ලංකාවේ ඇත්තන්ට නම් ගව මුත්‍රා පානය බොහොම පිළිකුල් සහගත දෙයක් බව මම දන්නවා. පළමු වතාවට වරුන් මේ පිළිබඳ මා සමග කථා බහ කල වෙලාවෙත් මම පුදුම උනා. එහෙත් ගව මුතා සරණ යන බොහෝ පිරිස නූගතුන් හෝ ලෝකයේ දියුණුව නොදුටු අය නොවේ. ඉන්දියානු විද්‍යාඥයන් පිරිසක් ප්‍රතිජීවක ගුණය ඇතිකල හැකි ගව මුත්‍රා සංයෝගයක් වෙනුවෙන් 2002 වසරේ ඇමරිකාවේදී පේටන්ට් බලපත්‍රයක් ලබා ගැනීමෙන්ම එ් බව තහවුරු වෙනවා.

කථා දෙකක් නැත. ගවයා තරම් මිනිසාට ප්‍රයෝජන ගත හැකි තවත් සත්වයෙකු නැත. මස්, කිරි, හම, ගොම මෙන්ම දැන් ගව මුත්‍රාද මිනිසාට සේවය කිරීමට සැඳී පැහැඳී සිටිති. ඉන්දියාවේ වර්තමානයේ පවතින මේ ප්‍රවණතාව ලංකාවේ හින්දු ජනතාව වෙතද නොපැමිණ තිබේද ?




ඡායාරූප සහ අද ලිපියට මූලාශ්‍රය


මම කාමරේ අරින සිරා කොලුවා.

Monday, August 31, 2015

77 සිරා කොලුවාගේ ගායක සිහිනේ...

සිරා කොලුවා පුංචිම සන්ධියේ සිටම ගායනයට මනාපය. ඒ බැව් මගේ ළමා කාලය පිළිබඳ මෙනෙහි කරනා විටෙක නිරායාසයෙන්ම සිහියට නැගෙයි. මතකයේ අග රැඳුන කවියක් සී පදයක් ටින් බෙලෙක්කයකට මහ හඬින් පහර දෙමින් අඳුර වැටෙන විට නිවසේ ඉස්තෝප්පුවට වී උස් හඬින් ගායනා කිරීම සිරා කොලුවාගේ ඒ කාලයේ සිරිතයි.

මම ඉතා කුඩා එකෙකු සන්ධියේ අපේ ගමටම විදුලිය තිබුනේ නැත. ඒ නිසා අඳුර වැටෙන විට අම්මාගේ සුරතින් දැල්වෙන කුප්පි ලාම්පුවකින් නිවස තුල අඳුර මැකෙන විට මගේ ගායනයන් දිනපතාම වාගේ ආරම්භ වෙයි. මේ ගායනා ඇසීමට වඩාත්ම ප්‍රිය කලේ අපේ අසල්වැසි නිවසේ වාසය කල ජෑස් කොල්ලා බව මම සංවේගයෙන් යුතුව සිහිපත් කරන්නේ ඔහු අපෙන් සමුගෙන බොහෝ කලක් ගත වී ඇති හෙයිනි.

ගායනය උස්ව නැගෙන විට ජෑස් කොල්ලා අපේ නිවසටම පැමිණ මගේ මිත්තනිය ආසන්නයේ හිඳගෙන නිහඬව මගේ ගායනය දෙස බලා සිටි ආකාරය මට ඉතා හොඳින් තවමත් මතක තිබේ. මයෙ මලයා බහ තෝරන වියට පැමිණි විට මගේ ගායනයට ඔහුගේ සහායද ලැබුනි. ටින් බෙලෙක්කයක් වාදන භාණ්ඩයක් කරගනිමින් කරගෙන ගිය අපේ මේ ගායනා අඳුරේ ගිලුන අපේ ගමේ පාලුව නසන්නට ඇත.

එක තැනක ඉන්නට බැරි මහා කඩි ගායක් කුඩා කල මා හට වැළඳී තිබුන නිසාම ඒ කාලයේ සිරා කොලුවාගේ ඥාති සමූහයා මගෙන් ගායනා බලාපොරොත්තු වූයේ නැත. ඒ වෙනුවට ඔවුන් මගෙන් බලාපොරොත්තු වූයේ නැටුම් අංගය. විශේෂයෙන් විවාහ මංගල උත්සව වලදී අපට ප්‍රතිවිරුද්ධ පාර්ශවයේ පොඩි එකෙකු හෝ මහ එකෙකු නර්තනයෙන් සභා තොමෝ කුල්මත් කරනා විටෙක බන්දුල බාප්පා මා සභාවට යවා අපේ පාර්ශවයටද ලකුණක් දෙකක් රැස් කළේය.

අපේ ගමට විදුලිය සම්ප්‍රාප්ත වන විට තාත්තා නොරටක තනි වී සිටියේය. ඔහු එහි සිටි වසර 3 පුරාවටම එකම වරක් හෝ දුරකථනයෙන් අපේ කටහඬ අසන්නට ඔහුට අවස්ථාව ලැබුනේ නැත. ඒ දිනවල අන්තර්ජාලය කියා දෙයක් නොතිබීමත් පිටරටට ගන්නා ඇමතුමක  එක් විනාඩියක් රු 200 කටත් වඩා මිළ වීමත් මේ සඳහා හේතු භූත විය.

තාත්තා වරෙක නිවසට එවන ලද ලියමනක සඳහන් කලේ තාත්තා සිටි රටේ සිට ලංකාවට නිවාඩු පැමිණි හිතවතෙකු අතේ මටත් මලයාටත් ගීත ගායනා කර කැසට් පටයක පටිගත කොට එවන ලෙසයි. නිවසේ වූ කුඩා කැසට් යන්ත්‍රයෙන් මේ කාරිය අපූරුවට සිදු කොට එහි ලේබලය පවා අපේ චිත්‍ර වලින් හැඩ කොට තාත්තා අතට පත් කල අතීතය සිහිනෙන් ගෑ මුදු සුවඳක් වාගේ මතකයේ ගැඹුරුම තැනක සටහන් වී තිබේ. තාත්තා එදා අපේ ගායනයන් තම හිතවතුන් ඉදිරියේ වාදනය කලේ මහත් සතුටකින් බව තාත්තාගේ හිතවතෙකු වූ රොහාන් අයියා පසු කලෙක අප සමග කීවේය.

සිරා කොලුවාගේ ගායන කෞෂල්‍ය මුලින්ම කරළියට ආවේ මම 3 වසර පන්තියේ සිටිනා විටයි. ඒ වන විට විවිධ පන්ති වලින් තෝරා ගත් පිරිසක් දිනපතා යම් අරමුණක් වෙනුවෙන් අපේ කුඩා පාසලේ විශේෂ ස්ථානයක ගායනා පුහුණුවක් සිදු කරන බව මා හට නිරීක්ෂණය විය. එහෙත් මම මේ කණ්ඩායමට අයත් නැත. එහෙත් ගායනට ළබැඳි මගේ චිත්ත සන්තානය මට නිතර පැවසූවේ මේ කණ්ඩායම සමග මමද එකතු විය යුතු බවකි. කිසිවෙකුගේ ආරාධනාවකින් තොරවම මමද පුහුණූවීම් වලට එකතු වූ අයුරක් මට මතක තිබේ. මගේ හැකියාව පිළිබඳ සෑහීමකට පත් වූ ගුරු භවතුන් මගේ සහභාගිත්වය තහවුරු කළෝය.

අප එදා මෙලෙස පුහුණුවන ගීතය කුමක් සඳහාදැයි පුහුණු වන අවස්ථාවේ දැන සිටියේ නැත. සතියක් දෙකක් ගිය තැන සංගීතයද සමග සමස්ත පාසල් කාලයම විවිධ රංගනයන් සහිතව මේ පුහුණුවීම සිදු කරන තැනට පුහුණුව වර්ධනය විය. මේ කුඩා පාසලේ පහසුකම් මඳ හෙයින් ගබඩා කාමරයක් සංගීතය පුහුණුවීමේ කාමරයක් බවට පත්කොට තිබුනි. 

තවත් මඳ කාලයක් ගත වූ පසු අප වෙනුවෙන් නිර්මාණය කරන ඇඳුම් පැළඳුම් ආදිය අපේ නෙත ගැටුනි. නළලේ බඳින ලද තැඹිලි පැහැ රෙදි කඩකින් සහ විවිධ හැඩතල වලින් අලංකාර කරන ලද සරමකින් මෙය සමන්විත වූවේය.

අපේ ගීතය වේදිකාගත වන්නට කාලය ඉතාම ආසන්න බව අපට ඒත්තු ගියේ පාසලේ අනෙක් සිසුන්ගේ සහ දෙමාපියන්ගේ නිබඳ අවධානය මේ පුහුණුවීම් වලට එල්ල වූ පසුවයි. කෙමෙන් කෙමෙන් කාලය ගත වී දින සති  ගනනින් ගෙවා අපේ ගායනය වේදිකාගත වන දිනය එළැඹී තිබේ.

එවකට ලංකාවේ ප්‍රධාන පුරවැසියා වූ රණසිංහ ප්‍රේමදාස මහතා ඉදිරියේ ගීතය ගායනා කරන්නට නියමිතව තිබුනි. ඒ ඔහු ජනාධිපති ධූරයට පත් වී වර්ෂ 5 ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් ගම්පහ ශ්‍රී බෝධි පිටියේ පැවති මහා සැමරුම් උත්සවයකට සමගාමීවය. මේ ගායනයෙන් ලද සහතික පත්‍රය ඉතාමත් සුරැකිව මගේ සහතික පත්‍ර ගොනුවේ අදටත් තිබේ. ශ්‍රී බෝධි පිටියේ පැවති මේ අලංකාර උත්සවය පිළිබඳ ගම්පහ වාසියෙකු ලෙස කම්මල අයියාට මතක ඇතුවාට සැක නැත.

ඇඳුම් ආයිත්තම් වලින් අප සරසා අපේ දෙමාපියෝ සහ ගුරු භවතුන් අපේ අංගයට අවස්ථාව එන තුරු එහි වූ ප්‍රධාන පීඨිකාව අද්දර බලා සිටි අන්දම මා හට යන්තමින් මතක තිබේ. විවිධ පාසල් වලින් ඉදිරිපත් කල ප්‍රාසාංගික අංග කීපයකට පසුව අපේ අවස්ථාව ලැබුනි. ප්‍රේමදාස ජනාධිපතිතුමා ආසන්නයේම සිට මේ ගායනය ඉදිරිපත් කරන්නට අපට එදා අවස්ථාව හිමි විය. එතුමා ඉතාම උවමනාවෙන් මේ ගීතය සාවධානව අසා සිටි අන්දමත් ගායනය අවසානයේ අත්පොලොසන් දෙමින් පුංචි අප දෙස බලා ඉතාම හොඳයි යනුවෙන් සිනාමුසුව පැවසූ අන්දමත් ශත පහේ හැඩයේ එතුමාගේ මුහුණත් සිරා කොලුවාගේ ළමා කාලය හා බැදුන වටිනා මතකයන් සමූහයකි.

සිස්සත්තය සමත් වී ගමේ කුඩා පාසලෙන් නගරයේ ප්‍රධාන පාසලට ගිය වි‍ට සෞන්දර්ය නම් විෂයක් අපට අලුතින් මුණ ගැසුනි. සංගීතය / චිත්‍ර / නැටුම් මේ යටතට අයත් වී තිබුනි. සිරා කොලුවාගේ එකම තේරීම සංගීතය විය. බොහෝ සිසුන් සෞන්දර්යය විෂය ලෙස සංගීතය සහ චිත්‍ර තෝරාගෙන සිටි හෙයින් නැටුම් විෂයට සිසුන් අවම වී තිබුනි. එ් හේතුව නිසාම සෑම සිසුවෙකුගේම සංගීත හැකියාව පිළිබඳව තනි තනිව විමසා සංගීත හැකියාව නැති උන් මේ විෂයෙන් කිරීමට සංගීත අංශය භාරව සිටි ජේෂ්ඨ ගුරුතුමිය වූ ශ්‍රීමතී මිය කටයුතු යෙදුවාය.

එදා සියලුම සිසුන් තනි තනිව අනෙකුත් සිසුන් ඉදිරියේ ගායනයක් ඉදිරිපත් කල යුතු විය. එමගින් සංගීත හැකියාව පිළිබඳ නිගමනයකට ආ ගුරු භවතුන් සංගීතය විෂයට ඔහු තෝරගන්නවාද නැද්ද යන්න තීරණය කළෝය. සිරාගේ ගායනය පිළිබඳ ශ්‍රීමතී ගුරු මාතාව ඉතාම සෑහීමකට පත් වූ බව මට මතකය. ඒ සෑහීම කෙතරම්ද යත් අපේ වසරේ සහ අපට ඉහළ වසර වල හොඳම ගායකයන්ගෙන් සැදුම් ලත් විද්‍යාලයීය ගායන කණ්ඩායමේ නිත්‍ය සාමාජිකයෙකු වන්නට මා හට අවකාශ ලැබුනි. එළිමහන් රැස්වීම් වලදී සහ පාසලේ විශේෂ උත්සව වලදී පාසල් ගීතය සහ ජාතික ගීය ගායනයට අමතරව විවිධ තරග සඳහා සහභාගි වන්නට අපට අවස්ථාව ලැබුනි.

ශ්‍රීමතී මහත්මියගේ සහ සංගීත අංශයේ සිටි අනෙක් ගුරුවරියන් දෙදෙනාගේද සහයෝගය ඇතුව 1994 වසරේදී ජන ගී අංශයෙන් සමස්ත ලංකා ජයග්‍රහණයක් ලබාගන්නට මේ ගායනා කණ්ඩායමට හැකියාව ලැබුනි. සිරා කොලුවාද මේ ජයග්‍රහණයේ කොටස් කරුවෙකු වූ නිසාම ලැබුන සහතික පත්‍රය අදටත් මගේ සහතික ගොනුවේ වටිනා ස්ථානයකට හිමිකම් කියයි.

ජන ගී තරඟය කොට්ඨාශ පළාත් ආදී ලෙස පැවැත්වී ජාතික තලයට පැමිණෙත්ම අපට පන්ති කාමරයේ අධ්‍යාපනය ලබන්නට අවස්ථාවක් නොවීය. මමත් මගේ පන්තියේ අධ්‍යාපනය ලැබූ රවීන්ද්‍ර කුමාරපේලිත් මේ හේතුවෙන් සතියක දෙකක කාලයක් නම ලකුණු කරන්නට හෝ පන්තියේ සිටින්නේ නැත. අවශේෂ මිතුරන් එවකට අපේ පන්තිය භාරව සිටි ජයසේකර සෑර් වෙත අප සංගීත පුහුණුවට ගොස් ඇති බව සැළ කරති.

නිතර දෙවේලේ සිදුවන මේ පුහුණුව පිළිබඳ එතුමා පැහැදීමකින් සිටියේ නැත. ඒ නිසාම ඉඳ හිට හෝ දවසක ඔහුගේ විද්‍යාව පාඩම උගන්වන වේලාවට අප දෙදෙනා පන්තියේ සිටින බවක් දුටුවහොත්...

තමුසෙලා දෙන්නා අද සංගීත කාමරයෙන් එලෙව්වාදැයි අසන්නේ පන්තියේ අනෙක් උන්ට සිනහාවෙන්නට අවස්ථාව උදා කරමිනි. එහෙත් අප ජයග්‍රහණය ලැබූවායින් පසුව ඔහුගේ මේ ප්‍රතිචාරය නැත්තටම නැති වී ගියේය.

සිරා කොලුවාට සාමාන්‍ය පෙළ විභාගයේදී සංගීත විෂය සඳහා විශිෂ්ඨ සාමාර්ථයක් ලැබුනේ එකල අප හට සංගීතය මැනවින් පසක් කල මේ ගුරු භවතුන් නිසා බැව් ගෞරවයෙන් සිහිපත් කළ යුතුය. සාමාන්‍ය පෙළ සංගීතය ප්‍රායෝගික පරීක්ෂණයේදී මා විනිශ්චයට ලක් කල ගුරුවරියගේද විශේෂ අැගයීමක් මවෙත ලැබුනි.

සංගීතය සමග සිරා කොලුවාට තිබුන ජන්මාන්තර සබඳතාව නිසාදෝ ගායනා කණ්ඩායමෙන් සමුගත් පසු විද්‍යාලයේ බටහිර තූර්ය වාදක ඛණ්ඩය සමග එකතු වී කල කී දේ බොහෝ අවස්ථා වල මම මෙහි අකුරු කොට තිබේ. එහෙත් පාසල් කාලයෙන් පසුව වෘත්තීය සංගීත කරුවෙකු ලෙස ගමනක් යන්නට මා හට සිත් නොවූයේ අපේ ගමේ නම් දරා සිටි සංගීත කරුවෙකු වූ නෙවිල් අයියා සංගීතය නිසාම හිඟන්නෙකු වීමත්...සංගීත කාරයෝ හිඟන්නෝ ලෙස නිතරම ආඩපාලි කියූ තාත්තාගේ ප්‍රකාශයන් නිසාත් බව කිව යුතුය.

සංගීතයෙන් හොඳ ආර්ථික තත්වයක් ලඟා කර ගැනීමට හැකියාවට අමතරව වාසනා ගුණයක්ද තිබිය යුතුය. එහෙත් කාලයේ ඇවෑමෙන් හැකියාවක් නැති උන්ද ගායකයන් වී කෝටිපතියන් වූ අන්දම වර්තමානයේදී අපට දැක ගත හැකිය. ඒ වාසනාව අපේ ගමේ නෙවිල් අයියලාට තිබුනේ නැත.

මේ නිසාම පාසලින් සමුගත් පසු සංගීතය සමග තිබූ මගේ බැඳියාව කෙමෙන් කෙමෙන් ඈත් වී ගියේය. එහෙත් මංගල අවස්ථාවක මගේ මිතුරෙකු හෝ ඥාතියෙකු එතැන සිටියේ නම් ගීතයක් ගායනා කරන්නට අාරාධනාවක් ලැබෙන්නේමය. එය අදටත් වලංගුය.

එදා මෙන්ම අදත් සිරා කොලුවාගේ සිතේ විවිධ සිහින පැළපදියම් වී තිබේ. ඒ අතරින් එක් ප්‍රමුඛ සිහිනයක් වන්නේ ශබ්දාගාරයකදී මගේම කියා ගීතයක් පටිගත කිරීමයි. මේ ලියමන තුල මෙතෙක් වේලා පොට පෑදුයේ මේ ගැන බොලාට කියන්නටය. ලංකාවේ සංගීත ක්ෂේත්‍රයේ ප්‍රකට චරිත කීපයක් සමගම සිරා කොලුවාට සබඳතා තිබුනත් වර්තමානය වන විටත් මම මේ සිහිනය සාක්ෂාත් කරගෙන නැත. 

මෙවැනි වටපිටාවකදී සිරා කොලුවාගේ නෙතට මුහුණු TV නැමති ආයතනයක් විසින් අන්තර්ජාලය හරහා සංවිධානය කල #‎MuhunuTv‬ ‪#‎CoverSong Challenge‬ නැමති ගායනා තරඟයක් නෙත ගැටුනි. තමාට කැමති ගීතයක් ගායනය කරන අන්දම ජංගම දුරකථනයක් ආධාරයෙන් වීඩියෝවක් ලෙස පටිගත කොට එවීමෙන් මේ තරඟයට ඇතුලත් විය හැකි බව එහි වූවේය. මගේ ජංගම දුරබණුව බොහොම අමාරුවෙන් විවිධ ආධාරක මත රදවාගෙන පටිගත කල ගීතයක් මම ඔවුන් වෙත යැවූවෙමි. මුහුණු TV යනු ගීත සඳහා රූප රචනා තැනීමේ ලංකාවේ සම්මානනීය ප්‍රමුඛතම අායතනයක් වන තාල රූප  හි  අනුබද්ධ සමාගමකි. 

දැන් තරඟය ආරම්භ වී තිබේ. තරඟ බිමේ සිරා කොලුවා ඇතුලුව තරඟකරුවන් 23 කි. දෙවැනි වටයට යන්නේ තරඟ කරුවන් දස දෙනෙකි. මේ තරඟයේ ජයග්‍රාහකයාට දහසින් බැඳි පියලි ලැබෙන්නේ නැත. ලැබෙන්නේ ක්ෂේත්‍රයේ ජනප්‍රිය සංගීත කරුවන්ගේ දායකත්වයෙන් නිමවෙන ස්වතන්ත්‍ර නිර්මාණ පෙළකි. පළමු දසදෙනාටම මේ වරම ලැබෙන අතර පළමුවැනියාට තාල රූප ආයතනයෙන් නොමිලයේම ලැබෙන රූප රචනාවක් අමතරව හිමි වෙයි.

ජයග්‍රාහකයන් තෝරන්නේ ශ්‍රාවකයන් විසිනි. එය කල හැකි ආකාරය ඉතාම සරළය. SMS වැනි කරදරකාර ක්‍රමවේද නැත. එ පිළිබඳ සංශිප්ත සටහනක් පහළින් ලියමි. 

සිරා කොලුවාගේ ලගම හිතවතෙකු දෙන්නෙකු හැර මෙතුවක් කාලයකට බ්ලොග් අවකාශයේ හිතවතුන්ගෙන් මගේ ගායනයක් දැක ඇත්තේ පොත් බෙදන්නට අම්පාරට ගිය ඇත්තන් සහ ගම්පහ ගෙට්ටුවට පැමිණි අයවලුන් පමණය.

සිරා කොලුවාගේ කාමරයට නිතරම එන යන ඔබ මා සමග ගොඩනගාගෙන ඇති හිතවත්කම සිරා කොලුවාගේ වටිනාම වත්කමයි. ඒ වත්කමට මේ තරගයේ මගේ විනිශ්චය බාර කරමි. මේ වෑයම හුදෙක් මාගේ ආත්ම තෘප්තිය උදෙසා මිසක අනෙක් සැඟවුන අරමුණක් වෙනුවෙන් නොවේ.  

මුහුණු TV ආයතනය මවෙත දන්වා ඇති පරිදි ‪#‎MuhunuTv‬ ‪#‎CoverSongChallenge‬ තරඟයේ නීති රීති පහත පරිදිය. මගේ ගායනය ගැන සෑහීමකට පත් වෙන්නට ඔබට හැකි නම් ඔබට පහසු අයුරකින් සහයෝගයක් ලබා දෙනු ඇතැයි මම උදක්ම බලාපොරොත්තු වෙමි.

YOUYUBE - http://bit.ly/1PEdlpN
තරඟකරුට අදාල යූ ටියුබ් වීඩියෝව නරඹා එම වීඩියෝව ලයික් කරන්න / ලයික් 1 = ලකුණු 5
තරගකරුට අදාල වීඩියෝව ෂෙයාර් කිරීම මගින් වීඩියෝවට විවුස් ලබාදෙන්න / විවුස් 1 = ලකුණු 2

FACEBOOK - http://on.fb.me/1WYHJk0
මෙම ඇල්බමයේ ඇති තරගකරුට අදාල පින්තුරය ලයික් කරන්න / ලයික් 1 = ලකුණු 5

තරගකරුට අදාල මුහුණු ටි වී වීඩියෝව ලයික් කරන්න / ලයික් 1 = ලකුණු 5
තරගකරුට අදාල වීඩියෝව ෂෙයාර් කිරීම මගින් වීඩියෝවට විවුස් ලබාදෙන්න / විවුස් 1 = ලකුණු 2




එහෙනං කථාව අහවරයි. බලමුකො සිරා කොලුවට දෙවැනි වටයට යන්න හැකි වෙයිද කියලා. අවසාන වශයෙන් මෙහෙම කියන්නම්, බොලාටයි මටයි දොගොල්ලන්ටම ජය වේවා !


මම කාමරේ අරින සිරා කොලුවා.


ප.ලි

සිරා කොලුවාට ස‍හයෝගයක් දිය හැකි අන්දම ගැන තව දුරටත් අපහැදිලිකමක් තියෙනවා නම් මෙන්න මෙතනින් කියවා බැලුවොත් ඒ අපහැදිලි තැන් පැහැදිලි වේවි.

Thursday, August 27, 2015

46 අපේ කිතුලා


කිතුලා යනු සිරා කොලුවාගේ අතිජාත මිත්තරයෙකි. කිතුල්වත්ත යනුවෙන් තිබූ වාසගම කිතුලා ලෙස ලොප් වී තිබේ. එදා මෙන්ම අදත් කිතුලා වෙනස් වී නැත. වර්තමාන සමාජය හා සසඳා බලන කල කිතුලාගේ ගතිගුණ ඇති තරුණයන් ඉතාම දුර්ලභය. සමාජයට කිසිම හානියක් සිදු නොකරන. මිතුරන්ට කඳිම මිතුරෙකු වන, දුකේදී මෙන්ම සැපේදීත් එක ලෙස ලඟ සිටින කිතුලා වැනි මිත්තරයෙකු ලැබීම සිරා කොලුවා පෙර ආත්මයක කල පින් පල දීමකි.

අපේ කිතුලා දෙස අංශක 153 දශම දෙකේ කෝණයෙන් බැලූ විට අසාමාන්‍ය ගති ලක්ෂණ කිහිපයයක් පෙනෙයි. මේකාට කිසි දිනෙක තරහා ගොස් නැත. කිසිම ලෙසකින් තරහා යන්නේ නැති මිනිසුන් මේ ලෝකයේ සිටීයැයි ඔබ විශ්වාස නොකරන බවට සැකයක් නැත. එහෙත් කිතුලාගේ ගති ලක්ෂණ දුටු විට ඔබ මවිත වෙනවා නිසැකය.

සිරා කොලුවා සිස්සත්තයෙන් පසු ඇතුල් වූ පාසලේ මුල් කාලයේ සිටම කිතුලා අකුරු කෙරූ මුත් අපි එකිනෙකා ආශ්‍රය කරන තරමට හිතවත් වූයේ උසස් පෙළ කඩ ඉමට පැමිණි පසුවයි. රජයේ සේවකයන් දෙපලකට දාව පවුලේ එකම දරුවා ලෙස ඉපදුන ඔහුට දෙමාපියන් උපරිම රැකවරණ යෙදීය. උසස් පෙළ අවධිය වන විටත් පාසල් වෑන් රථයක ආගිය අපේ එකම මිතුරා කිතුලාම වූවේය. ඒ නිසාම ඒකා නොයෙක් වර අනෙක් උන්ගේ සරදමට ලක් වූ බව මට මතක තිබේ.

අප උසස් පෙළ පන්තියට ආ කාලයේ රජයේ පෙළපොත් සමග ඉංග්‍රීසි සඳහා වෙනම පොතක් සහ කැසට් පට දෙකක් බැගින් ලැබුනි. ඉංග්‍රීසි පාඩම් පොතේ තිබූ ඇතැම් ඉංග්‍රීසි ගීත මේ කැසට් පට වල අන්තර්ගත විය. අපේ තවත් මිත්තරයෙකු වූ පුෂ්පයා අධ්‍යාපනය ලැබුවේද කිතුලාගේම පන්තියේය.

කිතුලාගේ අත්වැරදීමක් නිසා පුෂ්පයාගේ කැසට් පට අන්තරස්දාන  වී තිබේ. කුකුල් කේන්ති කාරයෙක් වූ පුෂ්පයා දිනක් පාසල් විවේකයේදී මුව පෝතයෙකුට වඩා අහිංසක කිතුලාග‍ේ ඇගට කඩා පැන්නේ මේ සිදුවීම පාදක කරගෙනය. එහෙත් ඒ වෙලාවේ පුෂ්පයාගේ තරහා පිළිබඳ මෙලෝ සංසාරයක් නොදන්නා අප මේ දෙදෙනා වට කොට සිට ගත්තේ, කිතුලා  සමග තරහා ගන්නා කිසිම එකෙකු ඒ වන විට පාසලේ නොසිටි හෙයිනි.

පුෂ්පයාගේ මුහුණේ අබ පපුරා යද්දී කිතුලා වෙනදා මෙන්ම නිසොල්මනේ බලා උන්නේය. ඒ බැල්මෙන් අනෙකාගේ කෝපය තවත් ඉහ වහා ගිය නිසාදෝ පුෂ්පයාගෙන් කිතුලාගේ අහිංසක මුහුනට වේගවත් පහර දෙකක් එල්ල වූවේය. එහෙත් ඉන් පසු ක්‍රියාත්මක වූ නරඹන්නන් ප්‍රති මල්ලවයන් දෙපසට කොට සටන නිම කලහ. ඒ අවස්ථාවේවත් කිසිම කෝපයක් පල නොකල කිතුලා අඩුම තරමේ පහර වලකන්නට හෝ අතක් එසවූයේ නැත.

කිතුලා වැනි උපන් ගෙයි අහිංසකයෙකුට අත එසවීම වරදක් බව පුෂ්පයාගේ හෘද සාක්ෂිය දිගින් දිගටම බැට දීම නිසාදෝ සිද්ධිය වූ දිනට පසු දින ඒකා කිතුලාගෙන් සමාව භජනය කළේය. මේ සිදුවීමෙන් පසුවත්  කිතුලා කිසිම වෙනසක් නොමැතිව පුෂ්පෙ කොලුවා සමග පයුරු පාසානම පවත්වාගෙන ගිය අන්දම දුටු විට ඒකා අරුම පුදුම මිනිසෙකු යැයි මට මුල්ම වතාවට ඒත්තු ගියේය.

කිතුලාගේ මව රජයේ පාසලක ගුරුවරියකි. පියාද රජයේ සේවකයෙකි. මේ දෙදෙනාම ඉතාමත් අහිංසක අයවලුන් වූ නිසාදෝ කිතුලාද වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඉතාමත් අහිංසක එකෙකි. කිසිම දිනයක තරහා නොඑන එකෙකි. ඔහු‍ගේ දෙමාපියන්ගේ සෞඛ්‍ය තත්වය හෙතෙම උ/පෙ කරන අවදිය වන විටම නරක අතට හැරීම නිසා නිවසට අවැසි දෑ ගෙනයන්නට ගම්පහ එළවළු මාරකැට්ටුවට ආවේ ගියේ කිතුලාය. සතියකට දෙකකට සෑහෙන එළවළු මල්ලකුත් රැගෙන ගෙදර යන ගමන් කිතුලා සමහර විටෙක අපේ නිවසට ගොඩ වඳින්නේ හුග දවසකින් මා නොදුටු නිසා පැමිණි බව කියමිනි. ඒකාගේ සමාගමය මම කවදත් ප්‍රිය කලේ කිතුලා හදවත ඇතුලෙන්ම සුන්දර පුද්ගලයෙකු බව ඒ වන විටත් මවිසින් හදුනාගෙන තිබූ බැවිනි.

කිතුලා උසය. සුදු මැලිය. කම්මුල් දෙක මඳක් යටට නෙරගොස් තිබේ. කොන්ඩයට පිළිවෙලක් නැත. එහෙත් ඒකා අශෝභන එකෙකු නොවේ. සිරා කොලුවා ඇතුලු අවශේෂ මිත්තර කැළ උසස් පෙළ විභාගය ජය ගන්නට ගම්පහ පොත්ගුලේ පාඩම් කරන සමයේ කිතුලාගේ මව විසින් සකසා දෙන කෙහෙල් කොල බත් මුලේ රසය වාර සිය ගනනක් අප විසින් විඳ ඇතුවාට සැක නැත.

සමවයසේ අනෙක් තරුණයන් මෙන්ම කිතුලාටද පෙම් සුවඳ දැනෙයි. පාසල් යන සමයේ මෙන්ම වර්තමානයේත් කිතුලාට පෙම්වතියක් නැත. එහෙත් තම සිත් ගත් යුවතියන්ට වදයක් වන තරමට කිතුලා ඔව්හු පසුපස ආදරය ඉල්ලමින් ගොස් තිබේ.

අපේ කිතුලා ඩෙනිම් කලිසම් අඳින්නේ නැත, ටී ෂර්ට් අඳින්නේ නැත, කොණ්ඩය ජෙල් කර බම්ප් එක තබන්නේද නැත. පැෂන් යන වචනය කවදාවත් නොඇසූ ගානය. කොටින්ම මේකා වර්තමානයේ ජීවත් වුවත් පෙනුම 80 දශකයේ වැනිය. එහෙව් කිතුලාට කැමැත්ත ගත හැකි වන්නේ ගැමි කමට හැදුන වැඩුන, විච්චූරණ නැති ගම්බද යුවතියකගෙන් වුවත් මේ හාදයා ඇවිදින සැලූන් වැනි නූතන විලසිතාවන්හි ඇලී ගැලී සිටින තරණියන්ටම පෙම් බැන්දේය.

අප මිත්‍රයා ජීවත් වන්නේ ප්‍රධාන බස් මාර්ග වලට ආසන්න මාර්ගයක නොවේ. ප්‍රධාන මාර්ගයේ සිට විශාල දුරක් මේ නිවසට වෙයි. ඒ නිසාම පා පැදියේ පිහිට පතා බස් මාර්ගයට ලඟා වන්නට ඔහුට සිදු වෙයි. එහෙමත් නැති නම් ගම මැදින් සීමිත වාර ගනනක් ධාවනය වන ග්‍රාමීය බස් සේවයේ පිහිට ලබාගත යුතුය.

මෙන්න මේ බස් රථයේ ඉඳ හිට ආගිය ප්‍රදේශයේ බලවත් මෙන්ම ධනවත් ව්‍යාපාරිකයෙකුගේ පාසල් යන දියණිය කෙරෙහි කිතුලාගේ සිතේ ආලයක් ඉපදුනි. ඇය කිතුලාට කිසි ලෙසකින් ගැ‍ලපෙන එකියක් නොවූවාය. කොයිවේලාවෙත් දෙකට කැඩුන පණුවෙකු මෙන් දැගලිල්ල ඇති, විලාසිතාවන්ට ඇබ්බැහි උන මේ කෙල්ලට දැන් අපේ කිතුලා වහ වැටිලාය.

බස් රථයේ එන යන ගමන් කිතුලා මූලික අඩිතාලම දමාගෙන සපෝටර් චරිත නැතිවම කෙලින්ම ‍ඩිරෙක්ට් මේ කෙල්ලගෙන් කැමැත්ත විමසා තිබේ. බැලූ බැල්මට ගොඩේ බයියෙක් ලෙස පෙනෙන කිතුලාට කිසි ලෙසකින් කැමති නැති බව ඇය පළමු දෙවන තෙවැනි වාරවලත් කිතුලාට කියා තිබුනත් අාලයෙන් මත් වී මග හසර නොදැන වල්මත් වී සිටි කිතුලාට එය වැටහී නැත.

බස් රථයේ යනවා නම් කොහෙදෝ යන මල හෝන්තුවක් තමා පසුපස එන බව බැරිම තැන කෙල්ල තම පියාට පවසා තිබේ. මේ බස් අසා කිපුන පියතෙම තම දියණිය බසයෙන් බසින ස්ථානය ආසන්නයේ ව්‍යාපාරික ස්ථානයක හොර ගල් අැහිලූ බවක් අසරණ කිතුලා මේ කියන දිනයේ දැන උන්නේ නැත.

සිරිත් පරිදි සෙම හලමින් කෙල්ල සමග බසයෙන් බැස ගත් කිතුලාට වැඩි දුර යන්නට ලැබී නැත. ඒකාගේ ගමන් මගට කඩිමුඩියේ පැනගත් දැරිවියගේ පියා කිතුලාගේ බෙල්ලට මන්න පිහියක් හේත්තු කොට...නැවත වතාවක් තම දියණිය ලුහුබැඳ ආදරය ඉල්ලා තිබුනහොත් තීන්දු ගමන් යවන බවට පරසක්වල ගසා ඇත.

අහිංසක කිතුලා මේ සිදුවීමෙන් විශාල කම්පනයකට ලක් වී සිටි බව මා මෙන්ම ඔහු වටා එකල උන් හැම එකාටම දැනුනි. අපි අපට හැකි ලෙස උගේ හිත හැදුවෙමු. තවත් දෙතුන් දෙනෙකු කෙල්ලගේ තාත්තාට පාඩමක් ඉගැන්වීමටත්...තවත් අයෙක් කෙල්ල කිතුලාටම ජෝඩු කරන සැලසුම් ආදිය පිළිබඳ කථිකා කලත් මේ කිසිවක් සිදු නොවීය.

කාලයේ අවසානයේ පාසල් අධ්‍යාපනය නිමකොට අපි විවිධ මාවත් ඔස්සේ විසිර ගියෙමු. තම දෙමාපියන් මෙන්ම රජයේ සේවකයෙක් වන්නට කිතුලාට තිබුනේ පුදුමාකාර ආශාවකි. අවසානයේ ඔහු තම ඉල්ලක්කයට ලගා වූවේය. අප සියලු දෙනාටම ප්‍රථම කිතුලා රජයේ සේවකයෙකු ලෙස ස්ථාවර විය. තම ප්‍රථම වැටුපෙන් ඔහුගේ කිට්ටු මිතුරන් වූ අප සැමටම කිතුලා තෑගි භෝග ලබා දුන්නේය. මා හට ලැබුනේ කලිසම් රෙද්දකි. කිතුලා මෙන් මම ටේලර් මහතෙකු ලවා කලිසම් මස්සවා අඳින්නේ නැති වුවත් කිතුලාගේ ත්‍යාගය දෝතින්ම භාර ගතිමි.

අපේ මිත්‍රයා රැකියා ජීවිතය තුලදීද නොයෙක් වර  වරත්තු කෙල්ලන්ගේ බයිට් එක බවට පත් විය. උවමනාවට වඩා අවංක වීමත්, අහිංසක වීමත් වර්තමාන සමාජයට අනුව දුර්වලතා වෙති. උගේ අවංක කමත් අහිංසක කමත් උපයෝගී කරගෙන මේ කෙල්ලන් කිතුලා නැටවූහ.  ඒකාට ප්‍රේම දැල එලන බවක් ව්‍යාජව පෙන්වා ඔව්හු නොයෙක් වරදාන ලබා ගත්හ. අසරණ කිතුලා මේ ඇත්තියන් තවත් එකෙකුගේ පෙම් වතියක් වනතුරාවට තෑගි භෝග දෙමින් ඔව්හු ආරක්ෂා කළේය.

අතීතයේදී මා මෙන්ම කිතුලාත් තවත් මිතුරන් කීප දෙනෙකුත් රැකියා සඳහා කොළඹ ගියේ දුම්රියෙනි. අපි විවිධ මාර්ග වල ධාවනය වන බස් රථ වලින් ගම්පහ නගරයට පැමිණ දුම්රිය නැවතුමට පැමිණි අය වෙමු. දුම්රියේදී හිතට වදින කාන්තා රුවක් දුටු විට කිතුලාට උන් හිටි තැන් අමතක වෙයි. අප සියලු දෙනාම දුම්රියෙන් බැස ගිය පසුව තම ගමනාන්තය දක්වා කිතුලා ගමන් කලේ තනිවමයි. මෙවැනි විටෙක ඒකාගේ හිත ගන්නා කුමන හෝ යුවතියක් දුම්රිය මැදිරියේ සිටියේ නම් ඇගේ ගමනාන්තය දක්වාම කිතුලා ගමන් කරන්නේ රැකියාවට වාර්තා කරන්නට ඇති බවද අමතක කරමිනි.

ඔයින් මෙයින් අපේ පුෂ්පෙ කොලුවා බොහෝ අමාරුවෙන් දහ අතේ වැඳ සැට් කරගත් යුවතියක් සමග දීගෙක ගියේය. මගුල අපේ එකෙකුගේ නම් උන්ගේ නිවාස සුද්ධ පවිත්‍ර කොට අලුතින් තීන්ත අලේප කරන්නේ අප විසිනි. මේ කටයුතු උදෙසා කිතුලාගේ සහායද නිරතුරුවම ලැබේ.

පුෂ්පෙ කොලුවා පැණි හඳ කාරිය අනුභව කොට නැවත නිවෙස් බලා පැමිණි උත්සවයෙන් පසු දින උගේ නිවසේ මිත්තරයන් වෙනුවෙන් මධුවිත සාදයක් තිබුනේය. මේ සාදයට අමද්‍යප සංගමයේ ප්‍රාදේශීය කළමනාකරුවෙකු වූ කිතුලාද ආරාධනා ලැබ තිබුනි.

අප සමග කිසි දිනයක විනෝද චාරිකාවක් යන්නට එකතු වී නැති, නිවසට බොරුවක් කියා මධුවිතක් සමග එකතු වී නැති කිතුලා දැන් අපට සම්මුඛ වී හිඳගෙන සිටියි. පුෂ්පයාගේ මස්සිනා හිටපු යුධ හමුදා නිලධාරියෙකි. ඔහුගේ දැඩි ඉල්ලීම නිසාම කිතුලාට අකමැත්තෙන් හෝ බියර් ටිකක් වත් කරගන්නට සිදු වී තිබේ.

වට පිට බලා ලැජ්ජාවෙන් මෙන් වීදුරුවක් අතට ගත් කිතුලා එයට බියර් වත් කළේය. ඒ ජීවිතයේ පළමු වතාවට විය යුතුය. පුෂ්පයාගේ නිවසේ වහළ යට රහමෙර සමග ගණුදෙනු කරන අප ඒවායේ සැර බාල කරන්නට සැන්ටින් යොදන ආකාරය කිතුලා දුටුවේය. ඒ මාවතේ ඉදිරියට ගිය හෙතෙම අඩක් පිරුන බියර් වීදුරුව තුලට සැර බාල කිරීමේ අදහසින් අපේ සැන්ටින් වත් කළේය.

ඒ සමග නැග ආ සිනහව අප කවුරුත් වළක්වාගත්තේ ඉතාම අපහසුවෙනි. කිතුලාට මම එදා බියර් පානය කරන ආකාරය, වීදුරුවට වත් කරන ආකාරය වැනි කාරණා ගැන දැනුවත් කළෙමි. ඒ මෙවැනි කැත සිද්ධියක් උගේ ආයතනයේ සාදයකදී සිදු උනා නම් කිතුලාට නැවත රැකියාවට යන්නට සිදු නොවන වග මගේ අක්මාවට දැනුන නිසාවෙනි.

කිතුලාගේ ඇතැම් ගතිගුණ පුදුම සහගත ඒවාය. රජයේ ප්‍රසිද්ධ නිවාඩු දිනයක් ලඟපාත එයි නම් ඊට දිනකට දෙකකට කලියෙන් අප අමතන කිතුලා අහවල් දවසට අපේ ගෙදර පැත්ත පළාතක නොයන ලෙස ඉල්ලා සිටියි. ඒ අපේ නම විකුනා කිතුලා යුවතියක ලුහු බඳින්නට ඒ දවස වෙන්කරගෙන සිටින හෙයිනි.

තම පා පැදිය කොහේ හෝ දමා ගම්පහ නගරයට ගොස් පැමිණ එය නැවත රැගෙන යාමට ප්‍රථම පාපැදියේ ඇණ මුරිච්චි අතින් අල්ලා බුරුල් වී තිබේදැයි බැලීම කිතුලාගේ ජන්ම පුරුද්දක් වැනිය.

වෙසක් සඳ යට සිරා කොලුවාගේ දකුණතේ පුංචි ඇගිල්ල ආබාධයට ලක්කල බයිසිකල් අනතුර ගැන මම බොලාට කියා තිබේ. එදා අනතුරට ලක් වූ පුටාරාව මේ ගොයියාගේය. ඒකාගේ හිත මොන තරම් හොඳද කියනවා නම් මා හට වෙද මහතා හමුවීමට යාම සඳහා යම් මුදලක්ද මගේ විරෝධය නොතකාම අතෙහි තැබුවේය.

අපේ කථානායකයාගේ නිවසේ වූයේ කිලෝ දෙකකට මඳක් වැඩි කුඩා ගෑස් සිළින්ඩරයකි. සාමාන්‍ය ගෑස් සිළින්ඩරයක් නිවසේ තබාගන්නා ලෙසට අප කෙතරම් කීවත් කිතුලා එය කණකට ගත්තේ නැත. මේ කුඩා සිළින්ඩරය මාස් පතා අවසන් විය. අලුත් සිළින්ඩරයක් මිළදී ගනු පිණිස තුන් රෝද රථ වෙත ඒකා මාසිකව ලබාදුන් මුදලින් කිතුලාට ගෑස් කඩයක් දාන්නට තිබුනා නේදැයි මට විටෙක සිතෙයි..

සිරා කොලුවා රට පැටවීම පිණිස ලංකාවෙන් සමුගන්නට ආසන්න දිනයක ඒ පිළිබඳ දැනගත් කිතුලා තකහනියේම අප නිවසට පැමිණ ඒ පිළිබඳ විමසා, උන්ගේ පන්සලේදී පිරිත් නූලක් බදින්නට මා රැගෙන ගියේය. තවත් දවසක මගේ ගමන උදෙසා අවැසි දේ ගන්නට ත්‍යාග වව්චරයක් තිළිණ කළේය.  එදා සිට මේ දක්වා වසර 3 කට ආසන්න කාලයක් ගත වී තිබේ. එහෙත් කිතුලා තවමත් එදා වාගේමය. ඩෙිනිමක් ටී ෂර්ට් එකක් අඳිනවා තබා හිතන්නේවත් නැත. ඒ උනාට ආදරය කරන්නේ නම් ඒකාට කිසිලෙසකින් ගැලපෙන්නේ නැති විච්චූරණ සරුංගල් වලටය. කොතෙක් කීවත් ඒකා හැදෙන්නේ නැත.

එදා මෙදාතුර කිසිම අවස්ථාවක තරහා ගොස් නැති, කිතුලා වනාහි අමුතුම පුද්ගලයෙකි. මිත්‍රත්වයට සම්පතකි. මේ මිතුරු දම බොහෝ කල් යෙහෙන් වැජබෙන බවට මා හට සැකයක් නැත. සිරා කොලුවා එක හුස්මට මේ අහිංසකයා ගැන බො‍හෝ දේ මේ ලිපිය තුල ලියා තිබේ. තවත් දෑ ලියන්නට තිබුනත් නිදිබර නෙත් කෙවෙනි එයට ඉඩක් දෙන්නේ නැත.  කිතුලාගේ පරිජේදය මෙතකින් අවසන් කරන්නේ ඒ නිසාමය.



මම කාමරේ අරින සිරා කොලුවා. 

Friday, August 21, 2015

66 නිදි නැති රැයක ජීවමාන වූ කාන්තා මළ සිරුර

සිරා කොලුවා හිච්චි එකා සංන්ධියේ අපේ අම්මා අල්ලපු ගෙදර විමලාවතී උන්දෑ සමග හැන්දෑකොරේ දර කැබැල්ලක් දෙකක් අහුලා ගන්නට වෙල් ඉස්මත්තට යාම බොහොම සුපුරුදු දසුනක් වූවේය. විමලාවතී යනු අපේ ජෑස් කොල්ලාගේ බිරිඳ බව මම මෙයට බොහෝ කාලයකට පෙර බොලාට කියා තිබේ. දෙගොඩහරි වයසේ සිටි මේ දෙපළට දූ දරුවන් නොවූයෙන් වැඩි වගකීමක් නොමැතිව ජීවත් වන්නට අවකාශ ලැබී තිබුනි. විදුලි සංදේශ දෙපාර්තමේන්තුවේ කල සේවයෙන් විශ්‍රාම ගොස් සිටි ජෑස් කොල්ලා දිනපතා කරන්නට වෙනයම් රාජකාරියක්ද නොවූයෙන් තම බිරින්දෑ පස්සෙන් වැටී දර අහුලන ඉසව්වට යාමට ඇතැම් විටෙක ප්‍රිය කළේය.

අපේ නිවස පිහිටි ඉඩම අහවර වන තැනින් වෙල් යාය ආරම්භ වෙයි. එතැන් සිට එක යායට පෙනෙන්නේ කුඹුරු සමූහයකි. මේ කුඹුරු යාය මැදින් ඈතින් අත්තනගළු ඔයා ගලා යයි. අධික ලෙස වැසි ලැබෙන කාලයේදී පිටාර ගලන අත්තනගළු ඔයේ රොන්මඩ වල වූ පෝෂ්‍ය ගුණය නිසාදෝ ඔයට යාබද කුඹුරු ඉඩම් වල සරුසාර ලෙස මුකුණුවැන්න, ගොටුකොළ, කංකුං  ආදිය වැවෙන බව කාලයක සිට අපේ ගමේ වනිතාවෝ දැන සිටියහ. මේ ඉඩම් වලට හිමිකරුවන් නොසිටි නිසා ඒවායේ වැඩෙන පලා වර්ග වලටද අයිතිවාසිකම් කියන්නට කිසිවෙකු සිටියේ නැත.

වස විෂ නැති පලා ටිකක් නෙලාගෙන එන ගමනේදී ආහාර පිසින්නට දර කැබැල්ලක් දෙකකුත් සොයාගන්නට හැකි වීම එක ගලකින් කුරුල්ලන් දෙන්නෙක්  බාවනවා වැනි කාරියකි. ඉසිඹුවක් ලද වෙලාවක මේ ගමන යන්නට අපේ අම්මාගේ තනියට අනුලාවතී උන්දෑ හෝ විමලාවතී උන්දෑ සිටියහ. මේ දෙදෙනාම මගේ මවට වඩා බොහෝ සේ වැඩිමල් අය නිසා අපේ අම්මා අක්කේ කියා ඔවුන්ගේ නමට අගින් යෙදුවාය.

අනුලාවතී නැති දවසට විමලාවතී සමගත්, විමලාවතී නැති දවසක අනුලාවතී සමගත් අම්මා පලා නෙලන්නට ගියාය. සිහින් සුළං හමන හැන්දෑ කොරේ වෙල්යායේ ගමන ගතට මෙන්ම සිතටද සහනයකි. මඳ නල සමග එතී දඟපාන ගොයම් පත්‍ර වලින් නැගෙන සර සරයත්, එහි අසිරියත් එදවස සිරා කොලුවාගේ ළමා මනසට එක් කල මිහිරියාව තවමත් අමතක නැත.

කාන්තා පාර්ශවය පලා නෙලමින් ඕපයක් දෙකක් හුවමාරු කරගන්නා අත‍රේ මමත් මලයාත් ජෑස් කොල්ලා සමග ඉබාගාතේ ඇවිදින්නෙමු. ඒ අතරතුර  ඔහුගේ අත්දැකීම් වචන බවට පෙරලෙයි.

කොලුවො...මෙන්න මේ හරියෙ කුඹුරු දැන් වැඩ නොකලට අපි තරුණ කාලෙ අපේ තාත්තලා වැඩ කලා. දැන් මේ හරියට වතුර එන්නෙ නෑ. ඒකයි අත් ඇරිලා තියෙන්නෙ. 

ජෑස් කොල්ලාටත් විමලාවතී උන්දෑටත් දරුවන් නෙැමැති වීමේ පාලුව යාබද නිවසේ ජීවත් වූ මමත් මලයාත් නිසා අවම වන්නට ඇත. ඒ අප බොහෝ වෙලාවට ඔවුන්ගේ නිවසේ කාලය ගත කල හෙයිනි.

එක්තරා දවසක හැන්දෑවේ සිරිත් පරිදි අපේ අම්මාත් ජෑස් කොල්ලාගේ ඇඹේනියත් පලා නෙලීම සඳහා ගියෝය. සාමාන්‍යයෙන් මේ ඇත්තියන් මුලින්ම දර එකතු කරති. දර මිටියක් පමණ වන්නට එකතු කරගන්නට වැය වන කාලයට පසු එහි යාම මගෙත් මලයාගේත් ජෑස් කොල්ලාගේත් සිරිත වූහ. දර ඉපල් කඩා මිටියක් වන්නට බැඳ දැමීමෙන් පසු වෙල් යායේ ඔයට කිට්ටු හිස් භූමිය තුල ඉබාගාතේ සරුවට වැඩී තිබෙන පලා වර්ග එකතුකිරීම ඇරඹෙයි. එතැන තිබූ ගොටුකොළ ශාඛයන්හි පත්‍ර ගමේ පොලේ විකුණන ගොටුකොළ වල තරම් විශාල නැත. එහෙත් වෙල් ගොටුකොළ ගුණයෙන් ඉහළ බවත්...කොළකැඳ සෑදීමට පංකාදු බවත් ජෑස් කොල්ලාගේ අදහස වූවේය. ඇතැම් විටෙක මමත් මලයාත් පලා නෙලන කාරියට සම්මාදම් වන විටෙක ජෑස් කොල්ලා බීඩියක් අවුළුවා ඒ දුමෙන් කැවුත්ත පුරවා ගනියි. ඒ අවධියේ ජෑස් කොලුවාගේ කන් ගැට්ටේ නිතරම වාගේ මුත්තයියා බීඩියක් වැරදුනේ නැත.

ජෑස් කොල්ලාගේ පැරණි රසාංග වෙල් ඉස්මත්තේ ගලා යන්නට පටන් ගත්තා පමණකි. කොහේදෝ සිට එක් වනම ප්‍රාතූර්භූත වූ දුඹුරු පැහැති පුල්ලි සහිත හා පැටියෙක් අප ඉදිරියෙන් දිව ගියේය. හාවා යනු සිරා කොලුවාගේ ප්‍රියතම සත්වයෙකි. අපේ නිවසේ හාවෙක් ඇති දැඩි කරන්නට කාලයක සිට සිහින දුටුවත් නිවසේ සිටි වස වර්ති මාරයන් බඳු බිළාල කැළ නිසා අපේ අම්මා ඒ අදහස සාක්ෂාත් කරගන්නට කිසි කලෙක ඉඩ දුන්නේ නැත.

රබර් බෝලයක් දිය යට ඔබන්නා සේ අම්මා විසින් බලෙන් යට යවා තිබූ මගේ ආශාව මේ හාවා දුටුමතින් එක්වරම නැගී අාවේය. අනේ මේකා අල්ලාගන්නට තියේ නම්. මා හට එලෙස සිතුනේය.

වහාම මමත් මලයාත් අපට හැකි උපරිමයෙන් ඒකා පසුපස දිවීමු. එතරම් විශාල නැති මේ කුඩා හා පැටියා මේ කුඹුරු යායට අතීතයේ ජලය සැපයූ හිස් බෝක්කු කටක සැගවිනි. මමත් මලයාත් බෝක්කු කට දෙපැත්තේ මුරට සිටියේ ඉන් අනතුරුවයි. හාවාට පැනයන්නට දැන් ඉඩක් නැත. සියලුම ප්‍රවේශ මාර්ග අප දෙදෙනා නිසා ඇහිරී ගොසිනි. 

බීඩි දුම ඉහළට යවමින් අප කරා පැමිණි ජෑස් කොල්ලා හාවා ඉවතට ගැනීමට දිග රිටක් සොයාගෙන එන ලෙස පවසා මලයාගේ පැත්තේ මුරට සිට ගත්තේය. එහෙත් ඔහුගේ අතපසු වීමක් නිසා කකුල් දෙක මැද්දෙන් පැන දුවන හාවා දෙස කෝපයෙන් බලා සිටිනවා විනා කල හැකි වෙනත් යමක් මා හට නොවීය. කුමක් වුවත් සිරා කොලුවා පරාජය බාර ගන්නට සූදානම් නැත. හාවා කුඩා වුවත් ඒකාගේ වේගයට අලඟු තබන්නටවත් අපට නොහැකිය. වෙල්යාය දිගේ දිවවිත් අත්තනගළු ඔය අසබඩ ගුහාවක් මෙන් සැකසුන අඳුරු තැනක හාවා සැඟවී ගියේය. ජෑස් කොලුවාට අනේක වාරයක් හිතින් දොස් පවරමින් එදා අම්මා සමග නැවතත් නිවසට ගිය බවක් මට මතකය.

මේ කියන කාලයේ සිරා කොලුවා ඉගෙනුම ලැබූවේ 7 පන්තියේ විය යුතුය. සිස්සත්තය සමත් වීමෙන් පසු නගරයේ පාසලට ඇතුලු වී තවමත් ගෙවී ඇත්තේ වසරක කාලයකි. පාසල් ගිය තවත් දිනයක් නිමවා සිරිත් පරිදි නැවත නිවෙසට පැමිණි විටෙක මා හට දකින්නට ලැබුනේ අපේ වත්ත පහලින් පටන් ගන්නා වෙල් යාය පුරාවටම ඔබ මොබ යන මහ ජන ගංගාවකි.

මොකද අම්මෙ අර ? මම ඇගෙන් මේ පිළිබඳ විමසීමි.

අපි දර කඩන්න යන දිහා ඔයේ ගැටගහපු මිනියක් තියෙනවලු ගෑණියෙකුගෙ. අම්මාගේ පිළිතුරින් මගේ සිතේ උපන්නේ මහත් කුහුලකි. දිවා අාහාරයෙන් පසු මමද මහ මද්දහනේ වෙල් ඉපනැල්ල දිගේ මිනිය බලන්නට යන ජනතාව අතරට එකතු වූයෙමි.

පෙරදා අප හාවා පසුපස එළවූ ඉසව්වේ එකම මිනිස් ගංගාවකි. ඉතාම සාමකාමී මිනිසුන් පිරිසක් වෙසෙන අප ගම් පියසේ මෙවැනි සිදුවීම් ඉතාමත් කලාතුරකින් සිදුවන නිසා  මෙලෙස ජනතාව ඒකරාශී වීම පුදුම විය යුතු තත්වයක් නොවේ. මේ ජන රළ අතරින් සිරා කොලුවාට අත්තනගළු ඔය කිට්ටුව ඉවුර වෙත යන්නට අවකාශ ලැබුනි. ඔයේ ඉවුර අසලටම වන්නට මුනින් අතට හැරී ජලයේ පාවෙන කාන්තා සිරුරකි. එහි උඩුකයට ඇදුමක් නැත. යටිකය නිල් පැහැති ඩෙනිම් සායකින් වැසී පවතී. ඉන වටා යොදන ලද කඹයකින් මිනිය ජලය පතුලේ යමක ගැට ගසා ඇති බවක් ගම්‍ය වෙයි. මාලුන් විසින් අනුභව කල නිසාදෝ මියගිය කාන්තාවගේ මුහුණේ මාංශයන් දිය රැලිති සමග ඒ මේ අත වැනෙන ස්වරූපයක් පෙනෙයි.

පොලිස් නිලදරුවෝ එහි පැමිණ වටපිටාවේ සෝදිසියක් කලෝය. පෙරදා හාවා දිව ගිය ගුහාව බදු ස්ථානයේ ඇතුලට වෙන්නට සගවා තිබූ මියගිය තැනැත්තියට අයත් ඇඳුම් කැඩුම් කීපයක් සොයාගන්නට ඔව්හු සමත් වූහ. තවත් පැයකට දෙකකට පමණ පසු අනිත් පැත්තේ ඉවුරෙන් මිනිය ගොඩට ගන්නා අවස්ථාව තෙක්ම මා එහි රැඳී සිටියෙමි. 

පෙරදා අප හාවුන් පසු පස දුවනා විටත් මේ ස්ථානයේ මේ මිනිය තිබූ බවට සැකයක් නැත. තවමත් හාත්පස හිරු එළිය තිබුනත් මගේ පුංචි සිතේ මහත් බියක් හටගෙන අහවරය. මම හැකි ඉක්මනින් ගෙදර දිව්වෙමි. ඒ අතර තුර කෙමෙන් කෙමෙන් හිරු අවරට ගොස් රාත්‍රී ගණදුරට පරිසරය එකතු විය.

මේ කාලයේ අපේ තාත්තා විදේශයක සේවය කලේය. එහෙයින් නිවසේ කිසිදු වැඩිහිටි පිරිමි චරිතයක් නැත. අම්මාත්, තාත්තාගේ මවත්, මමත් මලයාත්  දැන් නිවසේ රැඳී සිටින්නෙමු. දිවා කල දුටු කාන්තා මළ සිරුරේ ස්වරූපය මා ඉදිරියේ කෙමෙන් කෙමෙන් මැවෙයි. සිත පුරා ඉතිරී ගිය විශාල බියකින් මම දැන් පීඩා විඳිමි. අම්මා පෙනෙන මානයෙන් මිදෙන්නට මා හට නොහැකිය. 

රාත්‍රී ආහාරය නිමවා නිදාගැනීම පිණිස විදුලි පහන් නිවාදැමූ විට දෙනෙත් පියාගන්නට ඉඩක් ලැබුනේ නැත. තාත්තාගේ රැකවරණයත් නොමැති නිසා හිතට දැනෙන භිය ඉහවහා ග‍ොස් තිබේ. මළ සිරුර තිබූ අයුරුත් මුහුණේ කොටස් ඒ මේ අත වැනෙමින් තිබූ ආකාරයත් දෙනෙත් අද්දර මැවෙයි. මුලු ගතම දහඩියෙන් නැහැවී ග‍ොසිනි. නිදාගන්නවා තියා නින්ද අහල ගං හතක නැත.

හාවා පසුපස එදා දිවගියා නම් පොලිසිය සොයාගත් බඩු බාහිරාදිය මුලින්ම දකින්නේ අප වන්නට ඉඩ තිබුනි. අප එහි කාලය ගත කරන විටත් මළ සිරුර දියේ තිබෙන්නට ඇතැයි සිතෙන විට භිය දෙගුණ තෙගුණ වෙයි. එහා ඉවුරෙන් සිරුර ගොඩට ගන්නා විට හාත්පස පැතිර ගිය දුගඳ දැනුදු නහයට දැනෙනවා වැනිය. 

ඒ මේ අත පෙරළෙමින් උදෑසන දක්වා මා වි‍ඳි අපහසුතාව මට තවමත් අමතක නැත. බොහෝ සේ අපහසුවෙන් රැය පහන් කරන්නට අවසානයේ මා හට හැකි විය. මගේ මවද මේ දර්ශනය නිසා නිඳි නොමැතිව පීඩා විඳි බව පසුදා උදෑසන දැනගත හැකි වූවේය.

අපේ නිවසේ සිට බොහෝ දුරකින් කුඹුරු යාය අද්දරටම වන්නට නිවෙසක් වෙයි. මේ නිවසේ හිමිකරු එහි පදිංචිව සිටියේ නොමැති නිසා එහි කලින් කලට නිවස කුලියට ගන්නා ලද කුලී නිවැසියෝ ජීවත් වූහ. එහෙත් මේ සිදුවීම සිදුවන කාලයේ එහි කිසිවෙකුත් ස්ථිරව පදිංචිව සිටියේ නැත. ඒ නිවසට යාබද නිවෙස් වල වෙසෙන කීප දෙනෙක් ඉකුත් දිනක රාත්‍රී කාලයේ කාන්තාවක් යටි ගිරියෙන් කෑ ගසන හඬක් යන්තමින් ඇසුන බවක් පොලීසියේ ඇත්තන් වෙත කියා තිබුනි. එහෙත් පොලිස් පරීක්ෂණ වලින් මේ මරණයට වගකිවයුතු තැනැත්තන් අත්අඩංගුවට ගත්තාදැයි මා දන්නේ නැත.

මේ ඝාතනය සිදුවීමෙන් පසු බොහෝ කාලයක් යන තුරු ඒ ඉසව්වට කාන්තාවක තියා පිරිමියෙකු හෝ තනිපංගලමේ ගියේ නැත. මගේ මවත් විමලාවතී උන්දැත් පලා නෙලාගත් ඉසව්වේම මළ සිරුර තිබුන නිසා ඔවුනට එහි නැවත යන්නට කිසිදු ධෛර්යයක් නොවීය.

එක් වැසි සමයක අත්තනගළු ඔය දෙගොඩ තලා ගලා ගොස් නැවත පෙර පරිදි නිසල විය. ඒ අාසන්න දිනයක තම ගවයන් රැගෙන එන්නට ගිය අපේ ගමේ පියසේන ගොයියාට නුහුරු දෙයක් නෙත ගැටුනේය. එදා හාවා දිව ගිය ගුහාව තුලින් මෙදා ගලාගිය අත්තනගළු ඔයේ ජල පහරට හසුවීමෙන් වෙල්යාය වෙත ලඟා වී තිබූ ඇට සැකිල්ලකුත්...ඒ අාසන්නයේ  රැදී තිබූ ඉතා දිගු කෙස් කලඹකුත් පියසේන ගොයියා දුටු දර්ශන අතර විය.

ඔහුගේ දැනුම්දීම මත පැමිණි පොලිස් නිලදරුවන් සිදුකල පරීක්ෂණ අනුව දෙවැනි සිරුරත් තරුණියකට අයත් වූවකි. පළමු සිරුර එහි දමා යන විටම මේ සිරුරද කැලෑව තුල සගවන්නට ඇති බව ඔවුන්ගේ අදහස වූහ. ඒ අනුව තරුණියන් දෙදෙනෙකු එකිනෙකාට ආසන්නයෙන් අවසන් ගමන් ගොස් තිබූ අතර මේ දෙදෙනාම දුර පළාත්වල පදිංචිකරුවෝ බවට සැළ විය.

‍මේ සිදුවීම් වලින් පසු වසර 20 ක පමණ කාලයක් ගත වී තිබේ. එහෙත් පාළු කාමරයක, නිසල රාත්‍රියක මේ ලියමන අකුරු කරන මා හට. ප්‍රාණය නිරුද්ධ සිරුර දෙකක් සැගවි තිබූ වටපිටාවක පලා නෙලමින්, හාවෙකු පසුපස දිවූ ඒ සන්ධ්‍යාවේ ත්‍රාසජනක මතකයන් තවමත් සියුම් බියක් මෝදු කරයි. 



මම කාමරේ අරින සිරා කොලුවා. 


ප.ලි

ඒ සමයේ ගමේ පැතිර ගිය කටකථා අනුව මේ ඝාතන තහනම් ගහේ ගෙඩි කෑමේ ප්‍රතිඵලය. තහනම් ගහේ ගෙඩි ඉතාම විෂ සහිත නිසා නොකන තරමට හොඳය. 

Sunday, August 9, 2015

55 බොඩි ගාඩ්ලා සමග යන එන සුදු රයිනෝ

මනුසතා යනු අරුම පුදුම සතෙකි. අප ජීවත් වන පෘථිවිය මනුසතා වෙනුවෙන් පමණක් බිහි වූවක් නොවුනත් මිනිසා සිතන්නේ එය තමාගේ බූදලයක් බවයි. එහි වෙසෙන අවශේෂ සත්ව ප්‍රජාව, තුරු ලතා මනුසතාගෙන් අනේක ගැහැට විඳියි. වෙනත් සත්වයන්ට නැති තරමේ බුද්ධියක් මේ අරුම පුදුම මනුසතාට ලැබීම අනෙක් සත්වයන්ගේ ආයුෂ කෙටි කර ඇති සෙයකි. මහා ලොකු බුද්ධියක් තිබුනා වුවත් ඒ බුද්ධියෙන් තමාගේ සුඛවිහරණය පමණක් සලකන මනුසතා ඇතැම් විටෙක අප සිතනවාටත් වඩා දරුණු ලෙස සොභාදම් දිනිතියට සලකා තිබේ.

ගොඩබිම වෙසෙන විශාලතම සත්වයා අලියා බව ඔබ හොඳින් දනියි. අප්‍රිකානු සහ ආසියානු අලියාට පසු ගොඩබිම ජීවත්වන විශාලතම සත්වයා සුදු රයිනෝ සිරස් බව ඔබ නොදන්නවා විය හැක. මිනිස් ප්‍රජාවගෙන් දරුණු ලෙස බැටකන සත්ව විශේෂයක් වන රයිනෝ සිරස් සාමාජිකයෙකු ගැන කියවෙන සුවිශේෂී තොරතුරු ගොන්නක් ජාලෙන් පෙරලා ඔබ වෙත මෙසේ ගෙන එමි.

ලෝකයේ රයිනෝ සිරස් ගහණය තුල අප නිතර දකින කලු පැහැති රයිනෝ සිරස් සතුන්ට වඩා සුවිශේෂී ස්ථානයක් උතුරු අප්‍රිකානු රටවල ජීවත් වන සුදු රයිනෝ සතුන් හට හිමි වෙයි. අනෙකුත් රයිනෝ සතුන්ගෙන් වෙන් වූ සුවිශේෂී වර්ණයක් ඇති මේ සත්වයින් ශරීර ප්‍රමාණයෙන්ද විශාලය.  සංඛ්‍යාත්මකව මේ සත්ව වර්ගය ඉතාම සුළු අගයක් ගැනීම ඔවුනට එකතු කලේ විශාල වටිනාකමකි. මේ විශාල වටිනාකමම මේ සතුන්ගේ අභාග්‍යයට හේතු වී තිබේ. 

දඩයක්කරුවන් තමන්ගේ අතට ලැබෙන මුදලට ගිජු වී වැඩි වැඩියෙන් සුදු රයිනෝ දඩයම් කිරීමේ කූට ප්‍රාප්තියට අද වන විට අප පැමිණ සිටිමු. සුදු රයිනෝ අං වලින් වටිනා බෙහෙත් වර්ග නිපදවීමට හැකි වීම නිසා එම සතුන් ඉලක්ක කොට ගිණි බිඳින දඩයක්කරවන්ට කොකේන් වලටත් වඩා වටිනාකමක් සුදු රයිනෝ අං වෙනුවෙන් ලබාගත හැකි වීම මේ අභාග්‍යයට පාර කැපූ හේතුව බව කිව යුතුය.

1960 දශකයේදී සමස්ත ලෝකයටම සුදු රයිනෝ සතුන් 2000 ක් පමණ වූහ. එහෙත්  තව දුරටත් මුලු ලෝකයටම සිටින්නේ එකම එක පිරිමි සුදු රයිනෝ කෙනෙකි. ගැහැණු සත්වයින් 4 දෙනෙකි. ඒ අනුව සියල්ලෝම 5 දෙනෙකි. ගැහැණු සත්වයන්ගෙන් දෙදෙනෙකු සත්ව උද්‍යාන වල ජීවත් වන අතර අනෙක් දෙදෙනා කෙන්යාවේ සත්ව ආරක්ෂණ වැඩ සටහනක් යටතේ  ජීවත් වෙති.

දකුණු සුඩානයේ ෂැම්බේ නැමති පළාතේ ඉපදුන, වර්තමානයේ කෙන්යාවේ ක්‍රියාත්මක වෙන Ol Pejeta නැමති සත්ව ආරක්ෂණ වැඩපිළිවෙලක් යටතේ ජීවත් වෙන ලෝකයේ අවසාන පිරිමි සුදු රයිනෝගෙ සුරතල් නාමයද සුඩාන් නම් වෙයි. සුඩාන් වයස අවුරුද්දක් පමණ වන කාලයේදී මිනිස් ග්‍රහණයට හසුව චෙක් ජනපදයේ Dvur Kralove  සත්ව උද්‍යානයට ගියේය. ඒ නිසාම ඔහුගේ දිවිය රැකුනා විය යුතුය. එහෙත් එවැනි ආරක්ෂිත වට පිටාවක් තිබුනේ නැති තමාගේ අවශේෂ ඥාති සමූහයා එකා බැගින් මිය පරලොව යද්දී 2009 දී මධ්‍යම කෙන්යාවේ පවත්වාගෙන යන මේ සත්ව ආරක්ෂණ වැඩ පිළිවෙලට සම්බන්ධ වීම සඳහා අවුරුදු තිස් ගනනකට පසු නැවත අප්‍රිකාව වෙත එන්නට සුඩාන්ට හැකි විය. ඒ සුනි නැමති තවත් පිරිමි සත්වයකු සහ ෆාටු (15), නජින් (25) නැමති ගැහැණු සත්වයින් දෙදෙනෙකුද සමගිනි. 

සුඩාන්


ෆාටු සහ නජින්
මේ සත්වයින් උපයෝගී කොටගෙන නව සුදු රයිනෝ සත්වයින් බිහිකිරීම පිණිස අවසාන උත්සාහයක් දැරීම මේ වැඩපිළිවෙලේ අරමුණ වී තිබූ නමුත් සුඩාන්ට වඩා බෙහෙවින් තරුණ වයසක සිටි සුනි නැමති පිරිමි සත්වයාද පසුගිය වසරේ  මරු තුරුලට ගියෙන් තම වර්ගයා වඳ නොවී පවත්වාගෙන යාමේ ලෝක මට්ටමේ වගකීම 42 වියැති සුඩාන්ගේ කර පිටට වැටුනි. හොඳින් වැඩී ඇති අං යුගල නිසාම සුඩාන්ගේ ජීවිතයට ඇති තර්ජනය පිළිබඳ වටහාගත් කෙන්යානු සත්ව බලධාරීන් ඒවා අර්ධ ලෙස කපා උගේ අවධානම අඩුකොට තිබේ. එයට අමතරව සුඩාන්ට පැය 24 ම සේවය සපයන ශරීර ආරක්ෂකයන් (Body Guards) සපයා දී තිබේ. ඔව්හු නවීන අවි වලින් සන්නද්ධව ඉතාම ආදරයෙන් සුඩාන්ව රැක බලාගන්නේ ඔහු සමීපයේම සිටයි.


සුඩාන් දැන් වයසක සුදු රයිනෝ කෙනෙකි. තවත් වසර කීපයකට පමණක් උගේ ජීවිතය ඉතිරිව තිබේ. මේ සත්වයාගේ පිටුපස පාද ද්විත්වය වයසත් සමග ක්‍රම ක්‍රමයෙන් දුර්වල වෙමින් පවතී. සුඩාන්ගේ ශ්‍රක්‍රානු වල සඵල බවද දිනෙන් දින පල්ලං බසියි. ෆාටු හෝ නජින් සුඩාන්ගේ සහකාරිය බවට පත්කොට ඒ මගින් නව සුදු රයිනෝ පැටියෙකු තැනීම මේ අාරක්ෂණ වැඩපිළිවෙලේ බලාපොරොත්තුව උවත් සුඩාන් දැන් සිටින තත්වය අනුව එය බොහෝ දුෂ්කර කටයුත්තක් බවට පත් වී හමාරය. ශක්තිමත් පාද යුගලක් නොමැතිව ලිංගික ඉරියව්වේ සිටින්නටවත් සුඩාන්ට නොහැකිය. වසර 30 ක කාලයක් හිම වැටෙන පරිසරයක කොන්ක්‍රීට් කූඩුවකට වී කාලය ගත කිරීමට ලැබීමත් සුඩාන්ගේ පාද දුර්වල කරන්නට හේතු වන්නට ඇත.  2009 සිට මේ දක්වාම නව ජීවියෙකු ලබා ගැනීම පිණිස කෙන්යානු සත්ව බලධාරීන් දරණ උත්සාහය සඵල වී නැත. සුඩාන්ගේ ආයුෂ මේ වන විට බොහෝ කෙටි වී තිබේ. එහෙත් සත්ව විද්‍යාඥයන් තවමත් තමන්ගේ වෑයම නව තාක්ෂණයේ පිහිටෙන් ‍හෝ සඵල කරගැනීමට ලැබේ යයි සිතති.

නව පිරිමි සත්වයෙකු නොලබාම සුඩාන් මිය ගියහොත් අනාගතයේ දිනයක නව තාක්ෂණය යොදාගෙන සුදු රයිනෝවන් නැවත බිහිකරන්නට හැකිවෙතැයි සත්ව විද්‍යාඥයෝ විශ්වාසය පල කරති. එහෙත් එය සැබවින්ම ප්‍රායෝගික අදහසක්දැයි සොයාබැලිය යුතුය. වෙනත් සත්වයින් කෘතිමව බිහිකිරීමේ තාක්ෂණය යම් තරමකට දියුණු කොට තිබුනත් රයිනෝ සත්වයින් වෙනුවෙන් එය සකස් කොට නැති වීම මේ වැඩපිළිවෙලට පාඩුවකි.




සුඩාන් තමන්ගේ ආරක්ෂකයන් සමග පවත්වාගෙන යන්නේ දැඩි බැදීමකි. ආරක්ෂකයන් සුඩාන් සමග ඒකා යන යන තැනට ගමන් කරයි. මේ අයගේ දෑස් මානයේම ෆාටු සහ නජින්ද සිටින නිසා ඔවුන් දෙදෙනාගේ ජීවිතද සුරක්ෂිත වී තිබේ.

කන පිටුපස
බඩ යට , කන පිටිපස්සෙ අතගානවට සුඩාන් කැමතියි. එයාට සැහැල්ලුවක් දැනෙනවා ඇති එහෙම කරනකොට. එයා පොඩ්ඩක් වත් දරුණු නෑ...අපි එක්ක ගොඩාක් මිත්‍රශීලියි...එයාගෙ නම කිව්වම අපි ඉන්න තැනට එන්න සුඩාන් දන්නවා. සුඩාන්ව බලන්න මෙතනට එන අමුත්තො එක්කත් සුඩාන් ගොඩාක් මිත්‍රශීලියි. සුඩාන්ගෙ ආරක්ෂකයෙන් වෙන ජෝන් මුගෝ මේ සත්වයා ගැන අදහස් දක්වන්නෙ ඒ විදියට. සුඩාන්ගේ ආරක්ෂකයන් සේවා මුර දෙකකට අනුව සේවය කරති. උදෑසන 6 සිට හැන්දෑවේ 6 දක්වා එක් පිරිසකුත්, හැන්දෑවේ 6 සිට උදෑසන 6 දක්වා තවත් පිරිසකුත් සුඩාන් දඩයක්කරුවන්ගෙන් ආරක්ෂා කරති.

ජෝන් මුගෝ

තමන්ගේ ජීවිතයෙන් වසර 30 ක් නොදන්නා ශීත රටක කොන්ක්‍රීට් කූඩුවක ගෙවා දැමූ සුඩාන් තමාට හුරු පුරුදු පරිසරයට නැවත පැමිණෙන විට එතැන හෝ නිදහසේ හැසිරෙන්නට අවකාශයක් තිබුනේ නැත. අප ජීවත් වන ලෝකය බොහෝ සේ අශ්ශීල, නරක තැනක් බවට කාලානුරූපීව පත්වීම හේතුවෙන් පෘථිවියේ වෙසෙන බොහෝ සත්ව ගහණයන් සීඝ්‍රයෙන් අඩු වෙමින් පවතී. ඇතමෙකු දැනටම සමුගෙන අවසාන වී තිබේ.

‍පෘථිවිය මිනිස් අපට පමණක් නොව එහි වෙසෙන අනෙකුත් සතා සීපාවන්ට සහ තුරුලතා වලටත් එකසේ හිමි වුවත් මුදල් පසුපස දුවනා සමාජයකදී මිනිසුන්ට ගුණධර්ම අමතක වී තිබේ. තමාට ලැබෙන ආර්ථික ප්‍රතිලාභයන්ට ගිජුව ඔව්හු මේ අහිංසක සත්වයින් මරු තුරුලට යවා තම මඬිය තරකරගෙන තිබේ. ඒ අර්ථයෙන් බැලූ විට සැබවින්ම මිනිසාට ඔය කියන තරම් මොළයක් තිබේදැයි සිතීම වටී. වර්තමානයේ වන සිව්පාවුන්ට මිනිසා සළකන ආකාරය දෙස බැලූ විට තව නොබෝ කාලයකින් සෑම සත්වයෙකුටම අවිගත් ආරක්ෂකයකු පත් කරන්නට සත්ව බලධාරීන්ට සිදුවිය හැක. ඒ වන විට කුඩා දරුවෙකුට රයිනෝ සතා පින්තූර වලින් මිස සැබෑ ලෙස දකින්නට හැකියාවක් නොලැබෙනු ඇත.


අසරණ සුඩාන් දැන් තම මහළු විය ගෙවමින් සිටියි. ඒ සත්වයා මහල්ලෙකු වි ඇත්තේ ජීවිතයේ බොහෝ අත්දැකීම් ලබා ගැනීමට අවස්ථාවක් නොලබාය. සත්ව ප්‍රජාව වෙත කරුණාව දක්වන ඕනෑම කෙනෙකුට ඒ පිළිබඳ කම්පාවක් දැනෙන බව නොඅනුමානය.

දැන් ඉතින් ගිය නුවන ඇතුල් ලවා හෝ අද්දවන්නට බැරිය. නව ජීවියෙකු බිහි කරන්නට ප්‍රථමයෙන් සුඩාන් හට සමුදෙන්නට ලෝක වාසී අපට සිදු නොවේවා. සිරා කොලුවාගේ ප්‍රාර්ථනය එයයි.


අද ලිපියට මූලාශ්‍රය



මම කාමරේ අරින සිරා කොලුවා.

Friday, July 31, 2015

53 නගාගේ පොල්ල නැති බයිසිකලේ අතවරයට ලක් වූ දා....



සිරා කොලුවාගේ අතිජාත මිත්තරයෙක් ලෙස කලක් බොක්කට බඩවැල සේ ආශ්‍රය කල නගා කොලුවා ගැන සිරාගේ කාමරයට එන යන බොලා දැන් හොඳින් දනියි. ඒ කාලයේ එ්කාට සිදු වූ සාටර් ක්‍රියා බොහොමයක් මවිසින් මෙහි අකුරු කොට තිබේ. මගේ වාසනාවක‍ටදෝ නගා කොලුවා සිරාගේ කාමරය ගැන හාංකවිසියක් වත් දන්නේ නැත. ඒ නිසාම තවමත් අතුරු උපද්‍රවයකින් තොරව නගා‍ කොලූගේ ඇඳිවතේ ඉතිරියත් ගලවා දමන්නට මා හට හැකියාව තිබේ.

සිරා කොලුවාගේ පාඩම් නඩයේ එකතුව 4 කි. වනිගයා, පුෂ්පයා සහ නගා එ් කණ්ඩායමේ සිටි බව පන්සලේ පාඩම් කල ඉතිහාසය ගැන ලියූ අවදියේද මම සඳහන් කර ඇත්තෙමි. අපි අතිරේක පන්ති, පාසලේ ක්‍රියාකාරකම් වලින් පසුව පාඩම් කරන්නට හැන්දෑ කොරේ පන්සල් ගියේ පා පැදි හෙවත් පුටාරා වලිනි. අපි සියලු දෙනාගේම පා පැදි වල හරස් පොල්ල සාමාන්‍ය අන්දමට තිබුනත් නගා පැද්දේ කාන්තාවන් පදින ආකාරයේ හරස් පොල්ල නැති වර්ගයේ පා පැදියකි. නගාගේ කෝල කොමල  අංග චලන සහ කථා බහත් සමග ඒ පා පැදිය ඒකාට කදිමෙට ගැලපුන බව ඒ කාලයේ අප කාගේත් අදහස විය.

ඇතැම් දිනයක පන්සලේ බණ මඩුවේ පැත්තක ගොඩ ගසා ඇති ඩෙස්ක් බංකු බාධක ලෙස සකසා අපි සියල්ලෝ ඒ අතර පැපැදි පැද්දෙමු. එසේ කරන්නේ අනිවාර්යෙන්ම නායක හිමියන් බැහැරක වැඩිය දවසකය. එවන් විටෙක නගාගේ පොල්ල නැති බයිසිකලය නිසාවෙන් ඒකා විඳි නවනිංගිරාව මෙතෙකැයි කියා නිම කල නොහැක. සියලුම අවඥාවන් සිනහවකින් දරාගෙන කෝප නොවී ඉන්නට නගා සුරුවිරුකම් පෑවේය.

පොල්ල නැති උනත් අපේ නගා තමාගේ බයිසිකලයට ආදරේය. ඒකාගේ නිවසේ සිට බස් මාර්ගයට සෑහෙන දුරකි. මේ දුර පයින් එනවා නම් කලින් දවසේ පාන්දරම උදෑසනට බුදින්නට බත් එකක් කාරිය ඔතාගෙන පැමිණිය යුතුය. මේ නිසාම බස් මාර්ගයට ආසන්නව නිවාස පිහිටි සිරා කොලුවාගේ හෝ පුෂ්පයාගේ නිවෙස් වල තම පා පැදිය තනිකොට දමා අතිරේක පන්ති වලට සහභාගි වීම නගා කොලුවගේ සිරිත වූවේය.

නගාගේ පියා අමුතුම කෙනෙකි. රජයේ සේවයෙන් විශ්‍රාම ගොස් සිටි ඔහු ඇඟට පතට නොදැනී පොලියට මුදල් දෙන ව්‍යාපාරයක් පවත්වාගෙන ගියේය. නගාගේ අයියා එකල සේවය කලේ ගම්පහ පොලිසියේය. අක්කාද රජයේ සේවිකාවකි. මේ කරුණු කාරණා හේතුවෙන් උපන් යම්කිසි අාත්ම අභිමානයක් තරමට වැඩි වූ නිසාදෝ වටේ පිටාවේ කිසිවෙක් නගාලා සමග එතරම් ඇයි හොදයියක් තිබුනේ නැත. ගමේ එකාලා සමග වැඩි පයුරු පාසානයක් තිබුනේ නැති නිසාම නගා උගේ අතිජාතයෝ ලෙස අප සමගම දිවි ගෙවූයේ අපෙන් ලද කුණු කථා කනකට වත් නොගෙනය.

මේ කියන දිනයත් සුපුරුදු ලෙස අතිරේක පන්තියකට සහභාගි වී නිවසට පැමිණි දිනයකි. එදා නගාගේ පොල්ල නැති පුටාරාව අපේ නිවසේ මිදුලේ ගසකට හේත්තු කොට ඒකා පන්ති ගොස් තිබූ නිසා අාපසු පැමිණියේ සිරා කොලුවා සමගිනි. ඊට කලින් දිනයක පන්තියට සහභාගි නොවීම නිසා අතපසු වූ සටහන් ලියා ගැනීමට මා හට නගාගේ අභ්‍යාස පොතක් අවශ්‍යව තිබුනි. මා පැමිණෙන ලෙස රැදී සිටින ලෙස පැවසුවත්...නගාගේ බඩේ ගින්දර ඉහ වහා ගොස් තිබූ නිසා ඒකා මා දමා තනිවම පොල්ල නැති බයිසිකලයට පණ දුන්නේය.

කකුල් දෙකටම කලිසම් ඇද සිටි මම ඒවායින් මිදී කොට ෂෝටකින් විළිවසාගෙන එකල මගේ ප්‍රියම්භිකාව වූ මගේ පුටාරාව මතට නැගී නගාගේ ඉසව්ව බලා පිම්මේ පෑගුවේ කෙසේ හෝ නගා පසු කර යන ඒකායන පැතුමක් මගේ චිත්ත සන්තානයේ ඉපදී තිබූ නිසාවෙනි.

අපේ නගා කොලුවාගේ නිවෙසට ගම මැදින් යන ප්‍රධාන මාර්ගයේ ගොස් කන්දක් සමග හමුවෙන හතර මං හන්දියකින් වමට හැරී යා යුතුය. මේ කන්ද දෙන්නා ඩබල් දමා යන විටක නම් පෑගීම උගහටය. ඒ නිසාම එතනින් බොහෝ බබල් කරුවන් තම දෙපා මතින් කන්ද තරණය කළෝය.

සිරා කොලුවා හැති දමමින් දැන් කන්දට ලං වෙමින් තිබේ. සාමාන්‍යයෙන් එතරම් ජනකායක් ගැවසෙන්නේ නැති මේ හන්දියේ ඈත සිටම විශාල ජනතාවක් රැඳී සිටින අන්දම මගේ යුගදෙනෙතට සම්මුඛ වූ හෙයින් කුමක් හෝ යමක් එතැන සිදුවන වග මගේ අක්මාවට දැනෙයි.

ගම්වැසියෝ කවයක් ආකාරයෙන් වටවී ඔවුන්ට ඉදිරියෙන් ඇති කැන්ටර් වර්ගයේ ටිපර් රථයක් දෙස බලා සිටියි. හන්දියේ සියලු මාර්ග අවහිර වන ලෙස කැන්ටරය නවතා ඒ ඉදිරියේ චණ්ඩියෙකුට රගපාමින් එකෙක් සිටියි. ඒ පුද්ගලයා මම කලින් දැක නොමැති නිසා ජාතකේ දන්නේ නැතිය. එහෙත් කැන්ටරයට යට වී පොඩි පට්ටම් වී තිබූ අපේ නගාගේ අසරණ පොල්ල නැති බයිසිකලය දුටු විගස මගේ ආවේගයන් මා තුල බුර බුරා නැගෙන බව යන්තමින් මෙන් දැනුනේය. මිත්‍ර සම්පත්තියේ නාමයෙන් මිට මොළවාගත් දකුණත සහිතව චණ්ඩියාගේ හකු පන්නන්නට සිරා කොලුවා වෑයමක් දරනු දුටු නගා නිසා හඳුනාගත් උන්ගෙ ගමේ රොෂාන් කොලුවා එසේ නොකරන ලෙස මා හට හස්ත සංඥා මගින් ඈත සිට දැනුම් දුන්නේය. ඒ පෙරළා මවෙත එල්ලවිය හැකි ප්‍රති ප්‍රහාරයන් නිසා විය යුතුය.

පොල්ල නැති බයිසිකලයේ පැමිණි නගාට කුමක් වීද ? නගාගේ බයිසිකලය මෙසේ දූෂණය කර මරා දැමුවේ ඇයි ? මෙවැනි ගැටලු මගේ චිත්ත සන්තානය වෙලාගෙන අවසානය. මේ ක්‍රියාව හමුවේ නගාගේ ගමේ ගම්වැසියන් විරෝධතාවක් නොදක්වා මුණිවත රකින අන්දම මා හට විශ්මයකි. අපේ ගම්මානයේ මෙවැනි යමක් වූවා නම් කැන්ටර් කරුවා අවසන් හුස්ම හෙළන්නේ ගමේ උන්ගෙන් බඩකට පුරා සැලකුම් ලැබීම නිසාවෙන් බව මට විශ්වාසය. නගාගේ පවුල සමග වට පිටාවේ උන්ගේ හිත් වල තිබූ විරසකය නිසාම මේ සිදුවීම දෙස ඔව්හු මහත් අභිරුචියෙන් බලාගෙන සිටිති.

නිතර දෙවේලේ නගාගේ ගෙදර බඩගෑම නිසාම මා හදුනන නගාගේ අසල්වැසි කාන්තාවක් මගේ කනට ඇගේ මුව ලං කර...

පුතේ ........තාත්තට කියන්න යනුවෙන් මා හට කීවාය.

ඒ සැනින් මම පුටාරාව රැගෙන නගාගේ නිවසට ගියෙමි. මා එහි යන විටත් හන්දියේ සිදුවන කලබලය පිළිබඳ මෙලෝ සංසාරයක් නොදන්නා නගා කොලුවාගේ පියා ඉරිදා ලංකාදීපය තම මුහුණ වැසෙන සේ අල්ලාගෙන කියවමින් සිටියේය.

මාමෙ...කෝ .........

ඇයි තවම පන්ති ඇරිලා ආවෙ නෑනෙ.

ඉන් ඉක්බිති හන්දියේ මා දුටු සිදුවීම් පෙළ නගාගේ පියාට කියන්නට පටන් ගත් විගසම පිය සෙනෙහස මේ යැයි කියමින් ඒ මහළු මිනිසා උඩුකයට ඇදුමක් හෝ නොමැතිව සරම් කොටය පිටින්ම හන්දියට දිව්වේ මිදුලේ තිබූ උදළු කෙටියද රැගෙන විලාප නගමිනි. එ් පසුපසින් සිරා කොලුවාද දැන් පිම්මේ දුවයි. පියාගේ විලාපය නිසා සභා තොමෝ ඒ මේ අත විසිර ගොස් එහි තරමක හිස් තැනක් නිර්මාණය වූයේ ක්ෂණයකිනි. 

කෝ යකෝ මගෙ කොල්ලා....තෝ ඒකාට මොකද කලේ.. නගාගේ පියාගේ උදළු පහරකින් කැන්ටරයේ පැමිණි බීමත් චණ්ඩියා යටියන්තොට යන්නට ආසන්නය. මම වහා ඉදිරියට පැන උදලු මිටෙන් අල්ලාගෙන නගාගේ පියතුමා මිනී මැරුමකින් නිදහස් කරගත්තෙමි.

මට මගෙ කොල්ලා දීපන් යකෝ...මම තෝව තියන්නෙ නෑ. ඇගපතින් කුඩා වුවත් පුත්‍ර ස්නේහය නිසාම ඇතිවූ ධෛර්යයකින් නගාගේ පියා කෑ කෝ ගසයි.

ඇඟපතේ හොඳින් මස් පිඩු වැඩී තිබූ චණ්ඩියා අඩියක් ඉදිරියට පැමිණ,

තොට කොල්ලා නේද ඕනෙ...හිටහං කොල්ලව දෙන්න...

එසේ කියා ඔහු කැන්ටර් රථයේ රියදුරු අසුන පැත්තේ දොර විවර කලේ විදුලි වේගයකිනි. මා ඇත්තටම සිතුවේ නගා කොලුවා අවසන් ගමන් ගොස් කැන්ටරයේ ඉදිරියේ සතපා ඇති බවකි. ඒ නිසාම මගේ හදවතද වේගයෙන් ගැහෙයි.

සිතාගත නොහැකි වේගයකින් රථය පණ ගන්වා ඉදිරියට පැදවූ ඔහු නගාගේ අසරණ පියා එයට යට කරන්නට ගත් සාහසික උත්සාහය මවිසින් වැලකුවේ වහා ඒ මහළු මිනිසා මාර්ගයේ පසෙකට තල්ලු කර දැමීමෙනි. ඒ පිම්ම නැවත රථය හරවාගත් චණ්ඩියා වේගයෙන් රථය පදවා නොපෙනී ගියේය.

එතෙක් වේලා කැන්ටරයට යට වී විලාප දුන් නගාගේ පොල්ල නැති බයිසිකලයේ දසුන හද කම්පා කරන එකකි. මේ බයිසිකලයට නගාගේ ඇති ආදරයත්...ගන්න අලයක් නොමැතිව දරණ ගසාගත් නයකු බඳුව ඒ මේ අත ඇඹරී ගොස් නැවත කිසිම දිනෙක භාවිතයට ගත නොහැකි පරිද්දෙන් බිම වැතිරී සිටි අන්දමත් දුටු විගස මගේ හදවතට මහා දුකක් දැනින. 

සිද්ධිය සමනය වී මඳ වේලාවක් ගත වූ පසු ඒ ආසන්නයේ නිවෙසකින් නගා කොලුවා නිරුපද්‍රිතව අප ඉදිරියට පැමිණීම මහත් සොම්නසට කරුණක් විය. තම ජීවිතය බේරා ගැනීම පිළිබඳ මා හට අනේක ස්තූති කල නගාගේ පියතුමා ඒ සැනින් පොලිස් පොතට මේ පිළිබඳ පැමිණිල්ල එකතු කරන්නට පොලිසිය බලා ගියේය.

නගාගෙන් පසුව දැනගත් පරිදි එදා පන්තිය නිමවී නැවත නිවෙස් බලා යන විටෙක මාර්ගය අසල සිටි කැන්ටර් චණ්ඩියා පොඩියක් කථා කරන්නට අවැසි බව කියමින් නගා නවතාගෙන තිබේ. ඒ ඇසිල්ලේ ඒකා නගා වෙත එල්ල කල පහරක් නිසා නගා පුටාරාව අත හැර අසල නිවෙසකට දිව්වේ නැවත පැමිණ පොල්ල නැති බයිසිකලය රැගෙන නිවසට යන අටියෙන් වුවත් බීමතින් සිටි මෝඩ චණ්ඩියා හන්දිය මධ්‍යයට එය රැගෙන විත් තම රථයෙන් සාහසික ලෙස තලා දමා ඇත්තේ ඉන් පසුවයි.

මගේ මිත්තරයාගේ ගමේ නීති විරෝධී කසිප්පු ජාවාරම් කරුවෙකු වන මේ පුද්ගලයා ඊට සති කීපයකට ඉහතදී පොලෝසිය මගින් හදිසියේ කුදලාගෙන යන්නට ඔත්තුව දුන්නේ පොලිසියේ සේවය කරන නගාගේ අයියා බවට සැක කර තිබේ. මහ මහ තනි පංගලමේ අයියා අල්ලාගන්නට මාන බැලූවද ඒ කාරිය කොරගන්නට බැරි වූ තැන අයියාගේ මල්ලී වූ නගා කොලුවා නිරපරාදේ දංගෙඩියට බෙල්ල තැබුවේය.

පොල්ල නැති නගාගේ බයිසිකලය පොඩි කිරීම, මිනී මරන්නට තැත් කිරීම  ආදී එකී නොකී චෝදනා රැසකට කැන්ටර් කරුවා පොලිසියේ අත්අඩංගුවට පත් වූවේය. මේ චණ්ඩියාගේ වැඩිමල් සහෝදරයා ඉහළ උගත් කමක් ඇති සාධාරණයට හිස නමන කෙනෙකි. උසාවියේදී මේ කාරණය ගොඩින් බේරාගන්නට දෙපාර්ශවයම කැමත්ත පල කලේ එහෙයින් විය යුතුය. නගාගේ පිය තුමාගේ දෙපා වැද උසාවියේදී සමාව ගැනීමටත්...විනාශ කල බයිසිකලය වෙනුවට නව බයිසිකලයක් ලබා දීමටත් විත්තිය පොරොන්දු වී තිබුනි.

පේනවනෙ උඹලා මට කෝචොක් කලාට...අපි ඩෝ...ඕනෙ ගේමකට රෙඩි පොරවල්...මට ගහන්න ආව වෙලේ මම දිව්වා උනාට...මගෙ බයිසිකලය චොප්ප උනාට...බලහං අන්තිමේදි කවුද බල්ලෙක් වගේ වැඳලා සමාව ගත්තෙ...ඌට ගමේ උනුත් දැන් කින්ඩියට කථා කරන්නෙ.

නඩුහබ අවසන් වී සතියක් ගිය තැන විත්තියෙන් ලැබුන අලුත්ම බයිසිකලයත් රැගෙන නගා අප හමුවන්නට පැමිණ කට කයිවාරු දොඩමින් සිටියි. විනාශ වූ පොල්ල නැති බයිසිකලය වෙනුවට මෙදා ඒකාට පොල්ල සහිත බයිසිකලයක් ලැබී තිබේ.

උඹට තිබුනෙ පොල්ල නැති එකක්නෙ බං...මේක පොල්ල තියෙන එකක්නෙ...මිනිහා පොරොන්දු උනේ ඒ වගේම එකක් අරන් දෙන්න නේද...

ඒක නං එහෙම තමයි...ඒත් බයිසිකලය දෙද්දි ඒකා කිව්වෙ ඒ බයිසිකල් මොඩ්ල් එකේ පොල්ල නැති බයිසිකල් කොහෙවත් දැන් ගන්න නෑ ඒ නිසා පොල්ල තියෙන එක ගෙනාවා කියලා. මටත් හොදයිනෙ බං ඉතිං...දැන්වත් තොපේ කුණු කටවල් වැහෙන්නෙ නැතෑ...අනිත් එක කලින් බයිසිකලේ ඉස්සරහා බ්‍රේක් වැඩ කලේම නෑ කොච්චර හැදුවත් හරියකට...ඒකට මේකෙ...නියමෙට වැඩ...

ඒ කියන්නෙ තොගෙ බයිසිකලේ පොඩි උන එකෙන් උඹට උනේ වාසියක්ද...මමත් වනිගයාත් පුෂ්පෙ කොලුවාත් එක්වරම මෙන් නගාගෙන් විමසුවෙමු.

නැත්තං යකෝ....දැන් අවුලක් නැතුව කෙල්ලෙක් කාරිය දාගෙන පාගන්න බැරියැ හන්දියෙ ඉදන් ගෙදර එන වෙලාවට...නංගිලා යමුද කියලා අහන පරක්කුව විතරයි. මේක යකෝ ලොතරැයියක් ඇදුනා වගේ වැඩක්.

අසික්කිත නගා එසේ කීවේය.




මම කාමරේ අරින සිරා කොලුවා.

Related Posts Plugin for WordPress, Blogger...