Saturday, May 30, 2015

63 ඇමරිකාවේ මගේ පාට් ටයිම් එක

ඇමරිකාවට පය තියද්දි තමන්ගෙම කියලා මිත්‍රයෙක් නැදෑයෙක් ලඟපාත හිටියෙ නැත්තං අතේ තියෙන සල්ලි ටික ඉවර වෙන්න කලියෙන් කල යුතුම දේ තමයි ඉක්මනින් රැකියාවකට එකතු වෙන එක. ඇමරිකාව වගේ විශාල රටක තමන්ගෙ සුදුසුකම් වලට රැකියාවක් ලබාගන්න තියෙන තරගය ගැන කියන්න දෙයක් නෑනෙ. ඉතින් ජීවන වියදමවත් දරාගන්න පුලුවන් රැකියාවකට හරි හා පුරා කියලා සම්බන්ධ වෙන්න තමයි ලංකාවෙ අය වගේම අනිත් රටවලින් මෙහාට එන අයත් උත්සාහ කරන්නෙ.

ග්‍රීන් කාඩ් ලොතරැයියෙ ජයග්‍රාහකයෙක් විදියට මෙහෙට පය තියලා මගේ සුදුසුකම් වලට ගැලපෙන රස්සාවක් ලැබෙනකං ලේසියෙන් පහසුවෙන් හොයාගන්න පුලුවන් සුපිරි වෙළඳ සැලක රැකියාවකට මමත් එකතු උනා. පස්සෙ කාලෙක වෘත්තීය සුදුසුකම් අනුව රස්සාවක් ලැබුනත් මම අදටත් සෙනසුරාදා රාත්‍රිය මේ සුපිරි වෙළඳසැල් ජාලයේ ශාඛාවක තට්ට තනියම සේවය කරන්නෙ අපි ඇමරිකාවට ආවෙ හැකි තරමක් සල්ලි එකතු කරගෙන ආයෙත් ලංකාවට එන්න බව තවමත් මට අමතක නැති හින්දයි.
මගේ සේවා ස්ථානය

සෙවන් ඉලෙවන් කියන්නෙ ලෝකයේ බොහෝ රටවල තියෙන සුපිරි වෙළඳසැල් ජාලයක්. මේ වෙද්දි ලෝකය පුරා ශාඛා 53000 කට කිට්ටුව තියෙනවා කියලයි කියන්නෙ. මේ ව්‍යාපාරයේ ආරම්භය 1927 දක්වා දුරකට විහිදෙනවලු. ඇමරිකාවෙ ටෙක්සාස් වල තියෙන මව් සමාගමේ අනුමත ශාඛාවන් ෆ්‍රැන්චයිස් ක්‍රමයට ලෝකය පුරාම ක්‍රියාත්මක වෙනවා. මේ යටතෙ ගොඩාක් වෙලාවට ඉන්දියානු ජාතිකයන් මේ ශාඛා පවත්වාගෙන යනවා. මම සේවය කරන තැනත් ප්‍රධානියා ඉන්දියානුවෙක්. ඉන්දියානුවන්ට වගේම ලංකාවෙ අයටත් මේ අය රැකියාවන් ලබාදෙනකොට ප්‍රමුඛතාවය දෙන්න‍ෙ ඇමරිකාවෙ ඉන්න අපේ රටේ අය වැඩට කම්මැලි නෑ කියලා නමක් හැදිලා තියෙන නිසයි.

සෙවන් ඉලෙවන් සුපිරි වෙළඳසැල් ජාලයෙ 1946 වෙනකං තිබිලා තියෙන්නෙ වෙන නමක්. 46 දි විවෘතව පවතින වෙලාව උදේ 7 ඉඳන් රාත්‍රී 11 දක්වා වෙනස් කරපු නිසා අලුතින් තමන්ගෙ ලාංජනය හදලා ඒ කථාව එතනට සම්බන්ධ කරලා. වර්තමානයේ මේ වෙළඳසැල් පැය 24 ම විවෘතව තිබුනත් තවමත් පරණ ලාංජනයම තමයි යොදාගන්නෙ.

මේ වෙළඳසැල් ජාලයේ ශාඛාවකට සේවකයෙක් විදියට එකතු උනාම මුලින්ම ලැබෙන අභියෝගය තමයි මුදල් රෙජිස්ටරය හරියට හසුරවන විදිය ඉගෙන ගන්න එක. මෙලෝ සංසාරයක් නොදන්නා කෙනෙකුට උනත් දවස් 3ක් ඇතුලත එය පුරුදු වෙන්න පුලුවන්.




සාමාන්‍යයෙන් සේවා මුරයක් පැය 8 යි. දවසකට පැය අට බැගින් සතියකට පැය හතලිහක සේවා කාලයක් එක සේවකයෙකුට ලැබෙනවා. මේ පැය 40 ඇතුලෙ ඉටු කල යුතු වගකීම් බොහොමයක් තියෙනවා. ඒ අතරින් පිරිසිදු කිරීම් වලට ඉහළ ස්ථානයක් හිමි වෙනවා. අඩුම වශයෙන් දිනකට තුන් වරක් වත් පොළව හෝදන්න ඕනෙ. මේ වැඩේ තමයි මට නම් අපහසුම වැඩකට තියෙන්නෙ.


ගොඩාක් තැන් වල දවල් කාලයට සේවකයො දෙන්නෙක් ඉන්නවා. ගණුදෙනුකාරයො විශාල ප්‍රමාණයක් ගැවසෙන කොට දෙන්නම භාණ්ඩ විකුණනවා. එහෙම නැත්තං එක්කෙනෙක් භාණ්ඩ විකුණනකොට අනිත් කෙනා පිරිසිදු කරන වැඩ ටික කරනවා. අපිට කරන්න තියෙන තවත් අපහසුම කාර්යයක් තමයි  අධිශීතකරණ තුල භාණ්ඩ ගබඩා කිරීම. පළපුරුද්ද තියෙන කොට මේ වැඩේ හරිම ලේසියි. විවිධ වෙළඳ නාම යටතේ අති විශාල කෑම බීම වර්ග ප්‍රමාණයක් ගබඩා කරන එක සෙල්ලං නෑ. ඒ ඒ වෙළඳ නාමයට හිමි ස්ථානයේ ඒවා තිතට නූලට ගබඩා කරන්න ඕනෙ. විශාල කාමර වගේ තියෙන අධිශීතාගාර ඇතුලෙ තියෙන සීතල දරාගනිමින් මේ වැඩේ කරන එක මුල් කාලෙ නම් වහ කනවා වගේ වැඩක්.


සෙවන් ඉලෙවන් වෙළඳ සැල් අැතුල‍ෙ විවිධාකාරයේ බීර වර්ග හා වයින් වර්ග විකිණීමට තියෙනවා. මම ජීවත් වෙන කැලිෆෝනියා ප්‍රාන්තයේ නීතිය අනුව මධ්‍යසාර මිළදී ගැනීමට වයස 21 සම්පූර්ණ කල යුතුයි. දුම්වැටි සඳහා වයස 18 සම්පූර්ණ කල යුතුයි. හැම වෙලාවෙම තරුණ තරුණියන්ට මධ්‍යාසාර හෝ දුම්වැටි අළෙවි කරද්දි හැඳුනුම්පත පරීක්ෂා කරලා වයස තහවුරු කරගන්න අවශ්‍යයි.


මේ කාර්යයන්ට අමතරව සෑම පැය 2-3 කට වරක් කෝපි හදන්න ඕනෙ. සෙවන් ඉලෙවන් ඇතුලෙ කෝපි වර්ග 10 -15 අතර ප්‍රමාණයක් තියෙනවා. සිල්ලර බඩු විකුණනවට අමතරව පැත්තකින් ලොතරැයි විකිණීමකුත් තියෙනවා. මේක හොඳ සිහි කල්පනාවෙන් කරන්න ඕන‍ෙ වැඩක්. ලොතරැයි අළෙවි කරනවා වගේම ජයග්‍රාහකයන්ට එවලේම මුදල් ලබාදීමත් කරන්න ඕනෙ. ඩොලර් 500 ට අඩු ජයග්‍රහණ වලට විතරයි එවලේම සල්ලි දෙන්නෙ.


ඇමරිකාවට ආව අයගෙ ජීවිත රෝසමල් යහනාවක් කියලා ලංකාවෙ ගොඩාක් දෙනා හිතනවා ඇති. නමුත් ඒක එහෙමම නෙමෙයි. මේ ජීවිත ඇතුලෙ  සතුට වගේම දුකත් ඇති පදම් තියෙනවා. ඇමරිකාව ජීවන වියදම ඉහළ රටක් නිසා සමහර වෙලාවට එක රැකියාවක් විතරක් කරලා ලැබෙන ආදායමෙන් වියදම් ටික අඩු කලාම ඉතිරියක් කරන්න වෙන්නෙ අඩුවෙන්. ඒ නිසා ගොඩාක් දෙනා දහවලේ කරන රැකියාවට පස්සෙ රාත්‍රී කාලයේ සුපිරි වෙළඳසැලක සේවය කරන්නේ අමතරව කීයක් හරි හොයාගන්න චේතනාවෙන්. රාත්‍රියට සේවය කරනකොට අතිකාලත් ගෙවන නිසා එවැනි අයට මේක ඉතාමත් වටිනා රැකියාවක්.

ලංකාවෙන් අපි එද්දි හිත් වල පුරවගෙන ආව හීන ලේසියට පහසුවට සැබෑ වෙන්නෙ නෑ. ඒ සඳහා ගොඩාක් මහන්සි වෙන්න ඕනෙ. ඇමරිකාව කැනඩාව වගේ රටවලට පැමිණෙන බොහෝ දෙනෙක් ස්ථිරවම මේ රටවල පදිංචි වෙනවා. තවත් පිරිසක් ආයෙමත් ලංකාවට යනවා. මම ඉන්න‍ෙ මේ අයගෙන් කොයි ගොඩේද...මට තවමත් හිතාගන්න බෑ

සෙවන් ඉලෙවන් ජාලයට විවිධ භාණ්ඩ අරගෙන දිනපතා සැපයුම් කරුවන් රාශියක් පැමිණෙනවා. ඔවුන් රැගෙන එන භාණ්ඩ සේවකයන් විසින් හොදින් පරීක්ෂා කරලයි බාර ගන්න ඕනෙ. පරිගණක ගත කරන ලද ක්‍රමවේදයක් තියෙන නිසා මේ කටයුත්ත එතරම් අපහසු නෑ. ඒ වැඩසටහනට පින් සිද්ධ වෙන්න සංඛ්‍යාත්මක තොරතුරු වරදින්න තියෙන ඉඩකඩ අවමයි.



මම මුලින්ම කිව්වා වගේ රස්සාවක් හොයාගෙන අැමරිකාවට එන බොහෝ දෙනෙක් තමන්ගෙ ගමන හා පුරා කියලා පටන් ගන්නෙ සුපිරි වෙළඳසැලක සේවය කිරීමෙන්. අඩියෙන් අඩිය ඉහළට ආවට පස්සෙ ඒ අය තමන් අතීතයේ දවසක නිරත වෙච්ච රැකියාවේ වර්තමානයේ නිරත වන්නන් දෙස බලන්නේ වපර ඇහැකින්. මම මේ කාරණේ අත්විඳලා තියෙනවා. ලාංකිකයන් අතර මේ තත්වය ඉතා සුළභයි.

සමහර කෙනෙක්ට ඇමරිකාවෙ තමන්ග‍ෙ මුල්ම රැකියාව අවසාන රැකියාව බවට පත්වෙන වෙලාවලුත් තියෙනවා. තවත් කෙනෙක් අධ්‍යාපනය අවසන් කරන තුරු දැරිය යුතු වියදම් පියවා ගන්න මේ රැකියාව කරනවා. අනෙක් කොටස තමාට සරිලන රැකියාවක් ලැබෙන තුරු ජීවන වියදම දරාගැනීම පිණිස මෙවැනි රැකියාවක නිරත වෙනවා. කුමන අරමුණකින් රැකියාව කලත් මේ හැමෝම දකින්නෙ එකම හීනයක්. ඒ තමන් මව් රටින් මෙහෙට එද්දි ගෙනාව හීන සැබෑ කරගන්න එක.

සුපිරි වෙළඳ සැල් වල මේ රැකියාව දීර්ඝ කාලීනව කරන්න අමාරුයි. අනෙකුත් රැකියා වලට සාපේක්ෂව ඇමරිකාවේදී මේ රැකියාවට ලැබෙන්නේ පුංචි වැටුපක්. ඒ වැටුප ලබාගැනීමටත් බොහෝ සේ මහන්සි වෙන්න ඕනෙ. ඇමරිකානු ජන සමාජය ගැන අවබෝධයක් ගන්න මේ රැකියාව ඉතාම ගැලපෙනවා. මාස කීපයක් වැඩ කලාම ඇමරිකානු ක්‍රමය ගැන වගේම මේ මිනිස්සු හිතන පතන විදිය ගැනත් පොඩි අවබෝධයක් ලැබෙනවා.

සෙනසුරාදා දවසෙ රාත්‍රී සේවා මුරයෙ මට වැඩිපුරම විකුනන්න ලැබෙන්නෙ කොණ්ඩම්. කොණ්ඩම් ගන්න ජෝඩුවම මෙතනට ආවත් කොල්ලො ගොඩාක් වෙලාවට ලැජ්ජා කාරයො. කෙල්ලො තමයි භය නැතුව ඒවා තියෙන තැන් වලින් තෝරලා ගන්නෙ. 

මේ දෙකෙන් කොයි එකද  හොඳ...සමහර වෙලාවට සුදු නංගිලා‍ කොණ්ඩම් දෙකක් පෙන්වලා මගෙන් අහනවා...හත් දෙයියනේ තනිකඩ මම කොණ්ඩම් වලින් බැලුම් පුම්බන්නද...එහෙම වෙලාවට මට හිතෙන එකක් හොදයි කියලා තෝරලා දෙනවා. සති අන්තය එළඹෙන නිසා වෙන්න ඇති සෙනසුරාදා රෑට කොණ්ඩම් වලට මේ තරම් ඉල්ලුමක්...

සුදු අක්කලා නංගිලාගෙ හිතවතා ඉන්නෙ මේ විදියට

මේ වෙළඳ සැල් වලට යන එන උදවිය අතර විවිධ ජාතීන් ඉන්නවා. ඔවුන් ගෙන් ඇතමෙක් රාත්‍රියට බීමතින් තමයි එන්නෙ. බීමතින් එන අය නිසා සමහර වෙලාවට නොසිතූ කරදරත් සිද්ධ වෙනවා. ඒ අස්සෙ හොරුන්ගෙන් වංචාකාරයන්ගෙන් අඩුවකුත් නෑ. රාත්‍රියට සේවය කරන සේවකයන්ට තමයි මේ දේවල් වලට බහුලව මුහුණ දෙන්න වෙලා තියෙන්නෙ.

තනියම සුපිරි වෙළඳ සැලක් බලාගෙන මහ රෑ ඉන්නවා කියන්නෙ අවධානම් සහගත වැඩක්. කථා කරන්නත් කෙනෙක් නැති නිසා කට්ට පාලුයි. පරණ සිංහල සින්දුවක් අහගෙන ඉද්දි ලංකාවෙ මගේ අතීතය මතක් වෙනවා. සමහර වෙලාවට සින්දු අහන ගමන්ම නින්ද යනවා. උදේ 6 ට ආයතනයෙ කළමණාකාර වරයා එනකං මම විතරයි. එයා ආවම මුදල් ටික ගැනලා බාර දීලා මම ගෙදර යනවා. ඔන්න ඔහොමයි මගේ රාජකාරියෙ ස්වභාවය. මම මේ අවධානම් සහගත වැඩේ දැන් සෑහෙන කාලයක ඉඳන් කරන්නෙ අනාගත බලාපොරොත්තු ගැන කල්පනා කරලා හිත තද කරගෙන. කොහොමත් මට දැන් භයක් දැනෙන්නෙ නෑ. මොකද මගේ පවුලෙ අයට මම උපයන හැම ඩොලර් එකම වැදගත් හින්දා. ඒ ගැන හිතුවාම ඕනෙ රෙද්දක් කියලයි මට හිතෙන්නෙ.





සිරාගෙ කාමරයේ 7 වෙනි ලිපිය වෙනුවෙන්
ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සිට ලියා එව්වේ ප්‍රසාද් සමීර.






ප.ලි

පින්තූර කෑලි ටික ඉතින් සෙනසුරාදා දවසක මම වැඩ කරද්දි ගත්ත එ්වා.

Wednesday, May 27, 2015

56 පති භක්තිය සමග වෙසක් කූඩු

ආකාලයේ අපෙන් වියෝ වූ පන්ති සගයා නිශාන්ත පිළිබඳ දුක් මුසු මතක ආවර්ජනයට පසුව අපේ 11 වසර පන්තිය පිළිබඳ තවත් මතක සමුදායක් මා හට හදිසියේ මෙන්  මතක් වී තිබේ. ඒවා ඒ වෙලාවට කාමරේ දොර ඇර ලියා දැමුවේ නැතිනම් නැවත මේ කපේට මතක් වෙනවා බොරු කියා මගේ අක්මාවට දැනෙයි.

6 වසරේදී E පන්තියේ සිටි සිරා කොලුවා 9 වසරේදී තාක්ෂණ විෂයන් අනුව පන්ති වෙන් කරන විට F පන්තියට ඇද වැටුනි. එ් පන්තියේ මුල සිටම සිටි උන්ගෙන් බොහෝමයක් එ් වන විටත් වෙනත් පන්ති වලට ගොස් සිටි නිසා තග දාන්නට කිසිවෙකු සිටියේ නැත. පන්තියේ නම වෙනස් වුවත් පාසලේ කුමන හෝ තැනක දකින්නට ලැබුන මුහුණත් තහඩු බැවින් නුපුරුදු බවක් දැනුනේ පළමු සතිය පමණකි.

6 වසරේ සිටම F පන්තිය බාරව සිටි ඉංග්‍රීසි විෂය ඉගැන්වූ ශ්‍රියාණි ගුරුතුමිය ඉතා සුහදව ශිෂ්‍යයන් සමග කටයුතු කරනා ගුරු මාතාවක් වූ හෙයින් සියල්ලෝම ඇගේ සමාගමය ප්‍රිය කළෝය. ඒ නිසාම අලුත් පන්තිය සිරාගේ හිත් ගත්තේය.

මේ පන්ති කාමරයේ හැම වර්ගයකම උන් උන්නේය. අධ්‍යාපනයට කැපවුන පිරිස ඉදිරියේම ඇති ඩෙස්ක් පේලි වල මුල් අදින විට නසරානි ගනයට අයත් වූ පිරිස පිටිපස්සේ වල බැස්සෝය. මේ කලාප දෙක අතර කලාපයට සිරා කොලුවා ප්‍රිය කල නිසාම මගේ අතිජාතයෝ වූ ඔටුවා, බඩියා, අයිය බඩා, කිඩා, ඔකපතන කොලුවාද මේ කොටසේදී මා හට මුණ ගැසින.

පන්තියේ මුල් පෙලේ ප්‍රහාරකයන් ලෙස රට බල්ලා සහ වීර චොපා කටයුතු කල හෙයින් හිටි ගමන් ඇවිලී යන මුන් දෙන්නාගේ ඇඟ කිලිපොලා යන සටන් ජවනිකා නොමිලේම නරඹන්නට අපට අවස්ථාව ලැබුනි. ඒවා ඉතාමත්ම උද්වේගකර ඒවා විය. පහරක් දෙකක් වැදුන පසු පොළගෙකු මෙන් කිපෙන වීර චොපා අතට අහුවෙන කුමක් වුව උඩුගුවනේ පා කර හරින්නට මැලි නොවන නිසාම එකෙකු යටියන්තොට යන්නට ප්‍රථමයෙන් අපි හැමදාමත් මුන් දෙන්නා දෙපසට කළෙමු.

සිරා කොලුවා, කිඩා, අයිය බඩා බටහිර තූර්ය වාදක ඛණ්ඩය නියෝජනය කරන විට පෙරදිග තූර්ය වාදක ඛණ්ඩය නියෝජනය කල සජ්ජාද අප සමගම එකම පේලියක වාසය කළේය. තූර්ය වාදක ඩයල් එකට සිටි නිසාම ගුරුවරයෙකු නැති හිස් කාලජේද වල පන්තිය මැද කදිම බජව්වකි. බජව්ව නැගලා යන විටෙක පිටස්තර පන්ති වලින්ද එකා දෙන්නා සැට් වෙති.

අයිය බඩා බෑන්ඩ් එකේ ගැහුවේ සයිඩ් ඩ්‍රමකි. ඒ හේතුවෙන්ම අපේ ඩ්‍රම්ස් වාදකයා වූයේද අයිය බඩාය. කවකටු පෙට්ටියෙන් අයිය බඩා කදිමයට රිද්මය උත්පාදනය කල බව මට මේ මොහොතේ සිහිපත් වෙයි. ඒ රිද්මයට ගී ගැයුවේ සිරා කොලුවා ඇතුලු නඩයයි. මේ සංගීතය සජීවී සංගීත ප්‍රසංගයක් වැනි එකකි. එහි නිවේදකයා ලෙස හැමවිටම කටයුතු කලේ මාලක ගොයියාය. සමස්ත ලංකා කථික තරග වලින් වසර ගනනාවක් හෙතෙම ජයග්‍රාහකයා වී සිටීම ඒ තනතුර ඔහුට පංගරාර්තු වන්නට ඉවහල් විය. මාලක අද ගම්පහ පුරව‍රයේ ප්‍රසිද්ධ අතිරේක පන්ති ගුරුවරයකි. නීතිඥයෙකි.

මාලකයා සමග වැඩි පයුරු පාසානයක් නැති කීප දෙනෙකු පන්තියේ වූහ. බජව්වට ගායකයන් වේදිකාවට කැදවීම මෙන්ම වේදිකාවෙන් බිමට බස්සවා ගැනීමද නිවේදකයා විසින් අපූරුවට සිදු කරන වට පිටාවක හිටි ගමන් අනුග්‍රාහක භවතුන් මතක් කරනා අවස්ථාවක් එයි. මේ වෙලාවේ මාලකයා සමග උරනව සිටිනා කීප දෙනා වෙත ගල් මුල් මඩ විසිවෙයි. ඒවාට කිපෙනා උන්ද ඉන්නා තැනක සිට දක්වන ප්‍රතිචාර අප හැමට ගෙන ආවේ කඳිම විනෝදයකි. එවැනි චරිත අතරට අල පඩයා, බර්නාඩ් සහ රටබල්ලා නිතරම අයත් වූහ.

බජව්වේ ශ්‍රාවක සමූහයා අතර ප්‍රමුඛයා වූයේ ඔටුවායි. අඩෝ...ප්‍රියාගෙ හදවත් ඉල්ලා දියං...සමිතගෙ රණ හංස යුවල දීහං..යනුවෙන් තමාට අවශ්‍ය ගීත ඔටුවා ඉල්ලාගන්නේ තර්ජනය කිරීමෙනි.

අපේ 11 වසර පන්තියට සිංහල විෂය ඉගැන්වූවේ නන්දාවතී නැමති ගුරු මාතාවකි. ඒතුමිය ඒ වන විටත් වසර 20 කට වඩා වැඩි කාලයක් අප පාසලේම ගුරුවරියක් ලෙස සේවය කොට තිබුනි. හිටි අඩියේ තම පැරණි ගෝලයෙකුගේ රූපකාය සහ නම අතර අතර මං වන එතුමිය එවැනි නමකින් වර්තමාන උන්ද අමතයි. එලෙස කියනා  නම් එතැන් සිට උන්ගේ හතුරන්ගේ උසුළු විසුළු වලට හසුවෙයි.

බර්නාඩ් ඔය පොත අරගෙන මෙහෙ එනවා.

දිනක් ඇය එසේ පැවසුවේ මැද පේලියක සිටි ජගත් කොලුවා දෙස බලාගෙනයි. එතැන් සිට ජගත් බර්නාඩ් යනුවෙන් බෞතීස්ම ලැබුවේය. තවත් දිනක පසුපස සිටි ෂ්‍යාම් කොලුවා ඇගෙන් ආමන්ත්‍රණය ලැබුවේ ලෙස්ලි යනුවෙනි. ලෙස්ලි..මොකද ඔතන දඟලන්නෙ ? වැඩ කරන්නෙ නැත්තං කරන මිනිහෙක්ට ඉඩ දෙනවා. එදා ඇය එසේ කීවාය. එතැන් සිට ෂ්‍යාම් දර්ශණ ගුණසිංහ ලෙස්ලි යනුවෙන් නම් ලද අතර පසු කාලයකදී එය ලෙස්ලේ යනුවෙන් උච්චාරණය විය.

මේ පන්තියේ කදිම විකටයන් දෙදෙනෙකු වූහ. ටිරෝන් සහ හෙසිත මුන්ගෙ උප්පැන්නයේ නාමයන් වුවද මෙහි ලියන්නට බැරි තරමේ තුප්පහි නම් දෙකක් උන් වෙනුවෙන් පන්තියේ කොල්ලන් රැජිස්ටර් කොර තිබුනි. අපේ පන්තියට කාලයක් ගණිතය විෂය ඉගැන්වූ කපිල් දේව් සෑර් පන්තියට පැමිණි මුල්ම දවස් වල එක එකාගෙන් නම ඇසුවේය. එවිට නැගී සිටි හෙසිතයා තම නම කියා නිහඬ විය. 

දෙසිත...මොකක්ද අයිසෙ දෙසිත කියන්නෙ...ඒක නමක්ද...සෑර් විචාලේය.

එදා නම් අපි බඩකට පුරා සිනහා වූයෙමු. වැඩියෙන්ම සිනහා වූයේ හෙසිතයාගේ හතුරා මෙන්ම මිතුරාද වූ ටිරෝන් කොලුවා බව මට මතකය. අප සා/පෙ ලියූ කාලයේ අන්තර්ජාලයේ ප්‍රතිඵල පෙන්වූයේ නැත. හැමෝම වාගේ ප්‍රතිඵල දැනගැනීමට පාසල් ආ යුතු විය. පාසලේ කටයුතු වලට බාධා නොවන සේ ප්‍රතිඵල සටහන් විදුහලට පිවිසෙන ප්‍රධාන දොරටුව සමීපයේම තබා තිබුනි. ඒ ඉදිරියේම ඇත්තේ බස් නැවතුම් පලයි. 

ටිරෝන් කොලුවා ප්‍රතිඵල සටහන පරීක්ෂා කරමින් ඉන්නා විටක බස් නැවතුමේ නතර කල බස් රථයකින් හෙසිතයා බහිනා වගක් ඒකා දකින්නට ඇත.

බලන්න දෙයක් නෑ බොල...තෝ ෆේල්... බස් රථයටම ඇසෙන සේ ටිරෝනයා හඬ නැගුවද ඒකාද ගණිතය විෂය අසමත් වී උසස් පෙළ හදාරන්නට සුදුසුකම් නැති මට්ටමට පත් වී සිටියේය.

පින්තූරය උපුටා ගත්තේ මෙතැනින්
මේ ලිපිය කියවන බොලාට..දැන් 11 F පන්තියේ සිටි උන් පිළිබඳ දළ අවබෝධයක් ඇති වී ඇතැයි සිතමි. මෙවන් වටපිටාවක එළැඹුන වෙසක් මාසයේදි  වෙසක් කූඩු තරගයක් පවත්වන්නට විද්‍යාලයේ විදුහල්පති තුමා විසින් අවශ්‍ය පියවර ගෙන තිබුනි. හොඳම වෙසක් කූඩුවට තෑගි දෙනවා. පණිවිඩය අපට සන්නිවේදනය වූයේ එලෙසයි.

එතැන් සිට එකාවන්ව කූඩු තරගයට මුහුණ දෙන්නට සෑම පන්තියකම උන් සැලසුම් ගැසුවේය. අපේ පන්තියේද තත්වය එලෙසම විය. උණබට ආශ්‍රයෙන් විශාල අටපට්ටමක් සහ පැටවුන් සැකසීම අපගේ පරමාර්ථය විය. උණබට පාප්ප සව්කොල සමග මේ කාරිය කෙරෙන අන්දම නරඹන්නට ශ්‍රියානි ගුරුතුමිය දවසකට වතාවක් දෙකක් පන්තියට ආවේ තම හිතවත් වෙනත් ගුරුවරියන්ද සමගිනි.

ඒ එන විටෙක අපේ තුණ්ඩිලයා කැපවීමෙන් කූඩුව සකසමින් උන්නේය. ඒකාගේ කට බොහොම සද්දය සහිත එකකි. හෙමින් කථාවක් ඇත්තේම නැත.

වැඩේ ලස්සනයි....හොඳට තියෙනවා. 

වැඩ නිම වෙමින් තිබූ කූඩුව දෙස බලා ශ්‍රියානි ටීචර් අදහසක් පල කරන විට කට හැකර තුණ්ඩිලයාට නිකං ඉන්නට බැරිය.

මේක මිස් අපි පති භක්තියෙන් හදන කූඩුවක්.

මේ වදනට සිනහා වෙනවාද, අඩනවාදැයි අපි කල්මනා කරමින් සිටිනා විට ගුරුවරියන් සාරි පොටෙන් මුව වසා සිනහා වෙනු දක්නට ලැබුනි.

සෑම පන්තියකම ඇසට හුරු විවිධ කූඩු මෝස්තර සකසා තිබුනත් 11 D පන්තියේ පමණක් වහලයේ බාල්කයේ එල්ලන ලද මකරෙක් වැන සත්ව රුවක් දක්නට ලැබුනි. එය රූකඩ පරිද්දෙන් නැටවිය හැකි වනසේ නුල් යොදා තිබුනි. 

මොකක්ද බං උඹලා හදලා තියෙන්නෙ.

වෙනත් පන්ති වල උන් D පන්තියේ කොල්ලන්ගෙන් ඒ බව ඇසූ විටෙක උන් මුනි වතම රැක්කෝය.

තරගය විනිශ්චය කරන අවස්ථාවට එළැඹිනි

පන්ති භාර ගුරුවරුන් ඉදිරියේම තවත් ගුරුවරු පිරිසකගෙන් සැදුම්ලත් විනිශ්චය මණ්ඩලයක් විසින් වෙසක් කූඩු විනිශ්චයට බාජනය වෙයි. 11 D පන්තිය භාරව සිටි නන්දා ගුරුතුමිය බොහෝ කෙසග, කට සැර අයෙකි. එතුමියව කොල්ලන් විසින් හැදින්වූයේ කටු බැල්ලි යනුවෙනි.

විනිශ්චය මණ්ඩලය දැන් ලග ලගම එයි. පන්ති බාර ගුරුවරිය ලෙස විනිශ්චය මණ්ඩලය පැමිණෙන්නට කලියෙන්  පන්තියේ සකසා ඇත්තේ කුමක්දැයි හරියාරව දැනගත යුතු බවක් ඇයට සිතෙන්නට ඇත.

කොල්ලනේ උඹලා මොකක්ද මේ හැදුවෙ. මකරෙක් වගේ එකෙක්...වහලෙ එල්ලලා...කියහල්ලා....මමත් දැනගෙන ඉන්න එපායැ...

අපි මේ හදලා තියෙන්නෙ මිස්ව....

කොල්ලන්ගේ පිළිතුරෙන් අධික ලෙස කෝපයට පත්  නන්දා මිය ඒ ඉසව්වේ හෝ නොසිට වහා ඉවත ගිය බවත්, දින කීපයක් උන්ට ඉැගැන්වීමෙන් ඈත්ව සිටි බවත් පසුව අනාවරණය විය.




මම කාමරේ අරින සිරා කොලුවා.

Sunday, May 24, 2015

45 නිෂාන්ත නම් වූ ඔහු...

නිශාන්ත සුදු ලස්සන පොඩි කොල්ලෙක්. 9 වසරෙදි තාක්ෂණ විෂයන් අනුව පන්ති බෙදාගෙන යනකොට තමයි සිරා කොලුවයි නිෂාන්තයි පාසලේ එක පන්තියකට වැටුනෙ. වැඩිය උස මහත නැති සාමාන්‍ය තරමේ ශරීර කූඩුවක් තිබුන මේ හාදයා හරිම අහිංසකයි. තමන්ගෙ පාඩුවෙ වැඩක් කරගෙන පන්තියෙ දගලන්නෙ නැති ගොඩේ ළමයි එක්ක තමයි මුල් කාලය ගත කලේ. අධ්‍යාපනයට කියලා කැපී පෙනෙන දක්ෂතා ප්‍රකට නොකලට ගුරුවරුන්ගෙන් බැනුම් ඇහුවෙ නෑ මිනිහා.

ටිකෙන් ටික තමයි අලුත් පන්තියෙදි මේ චරිතය අනෙක් සහෝදර සිසුන් එක්ක ඇයි හොඳයියට ආව‍ෙ. අන්තිම වෙද්දි පන්තියෙ හැමෝම වගේ නිෂාන්ත එක්ක සුහද වෙලා හිටියා. ඒ අහිංසක කමට කවුරු කවුරුත් ප්‍රිය කලා. අපි 10 F පන්ති‍යෙ හිටිය අවුරුද්දට කලින් අවුරුද්දෙ තමයි ක්‍රිකට් ලෝක කුසලානය ලංකාව දිනාගත්තෙ. ඒ හින්දම පාසල පුරාම තිබුනෙ පුදුමාකාර ක්‍රිකට් උණක්. අපේ පන්තියෙ දක්ෂයො ‍එකතු කරගෙන හදපු කණ්ඩායමක් තිබුනා. මේ කණ්ඩායමට අනෙක් සහෝදර පන්ති වල කණ්ඩායම් සමග ක්‍රිකට් තරග ලෑස්ති කලේ අපේ පන්තියෙ සොබ්බයා. මට මතක විදියට නිශාන්ත හිටියෙත් සොබ්බයගෙ ඩෙස්ක් පේලියෙමයි.

පන්තියෙ උන්ට ටිකෙන් ටික ලං වෙච්ච නිශාන්ත අන්තිමේදි තමන්ගෙ ජීවිතේ පුද්ගලික තොරතුරු පවා බොහොම නිදහසේ අපි එක්ක කියලා දැම්මා. අම්මත් තාත්තත් පවුලෙ අඬදබර නිසා වෙන් වෙන්ව ජීවත් වෙන බවත් නිශාන්තලාගෙ අනාගතය ලස්සන කරන්න අම්මා ගෘහ සේවිකාවක් විදියට විදේශගත වෙලා සිටින වගත්, අක්කයි නිශාන්තයි ආච්චි ලග හැදී වැඩෙන වගත් නිශාන්ත අපිට හෙළි කලා.

දෙකට ගනින්න බෑ වගේ හිටියට නිශාන්තයා 10 ට එහා ගනින වග අපි දැනගත්තෙ ඒකා අක්කත් එක්ක කුංෆු පන්ති යන බව කිව්වට පස්සෙ. පොඩි පොඩි වැඩ කෑලි කොල්ලො ඉස්සරහා පන්තියෙදි දාලා පෙන්නපු නිසාම නිශාන්ත ටික දවසකින් පන්තියෙ ඉදිරිම පෙලේ කකුලක් බවට පත් උනා. දවසක්දා රුපියල් 10 ක ඔට්ටුවක් දාලා අපේ පන්තියෙ යහතුගොඩයා නිශාන්තට අභියෝග කලේ හැකි නම් කලුලෑල්ලට ඉහළින්  කකුල තබා පෙන්වන ලෙසයි. නිශාන්ත කිසිම අපහසුතාවකින් තොරව තමන්ගෙ දකුණු කකුල ඒ කියපු තැන තබා පෙන්නුව දවසෙ මමත් ඔහුගේ හැකියාව පිළිබඳ පුදුම උනා.

දෙමාපියන්ගෙ ආරවුල් නිසා ජීවිතයේ සතුට යම් තරමකට පලා ගිහින් තිබුනත් අක්කත් ආච්චිත් එක්ක සතුටින් ජීවිතේ ගත කරන බවක් තමයි අපිට අපේ මිත්‍රයාගෙන් පේන්න තිබුනෙ. කොහොමින් කොහොම අපි අපොස සා/පෙ පන්තියටත් ආවා. අපේ 11 F පන්තිය භාරව උන්නෙ ඉංග්‍රීසි විෂය උගන්වපු ශ්‍රියානි ටීචර්. එතුමිය හැම දරුවෙකුගෙම පුද්ගලික තොරතුරු යම් තරමකට දැන උන්නා. නිශාන්තගෙ මානසික තත්වය ශක්තිමත් කරන්න ඇය නිතරම කැප උනා. අදටත් මෙතුමියට අපේ නම් එදා පන්ති නාම ලේඛනයෙ තිබුන පිළිවෙලටම මතකයෙන් කියන්නට හැකියි. ඉතින් අප අතර තිබුන සබඳතාව ගැන ඔබට හිතාගන්නට හැකියි නේද ?

සාමාන්‍ය පෙළ පන්තියෙ මුල් අවදියේ මාසයක, සතියක විතර කාලයක් නිශාන්ත පාසල් ආවෙ නෑ. ඒකා නැවත පාසල් පැමිණි දවසක මේ ගැන විමසුවාම කිව්වෙ තමන්ගෙ අක්කා කුංෆු මාස්ටර් සමග පැන ගොස් ඇති බවක්. නිශාන්තගෙ අහිංසක හිතට මේ සිදුවීමෙන් දැනුන දුක නිසාමදෝ මිනිහා ඊට ටික කාලෙකට පස්සෙ ආදර සම්බන්ධයක පැටලුනා. විභාගයට මාස ගනනක් ඉතිරිව තිබුනත් ඉගෙනීමට කියලා විශාල කැපවීමක් තිබුනෙ නෑ. සමහර වෙලාවට දවස් දෙක තුන පාසල්  නෑවිදින් හිටියා.

තවත් මාස කීපයකට පස්සෙ නිශාන්තගෙ ජීවිතයට ආයෙමත් නරක කාලයක් උදා උනා. අම්මා තාත්තා අක්කා හැමෝම ඈත් උනාට පස්ස‍ෙ නිශාන්තට තමන්ගෙ කියලා ඉතිරි උනේ ආච්චි විතරයි. අන්තිමේදි ඇයත් ජීවිතයෙන් සමුගත්තා. මේ වෙන්වීම නිශාන්තට දරාගන්න ඉතාමත් අපහසු වෙච්ච බව අපට දැනුනා. ඇගේ අවමංගල උත්සවයෙ කටයුතු අවසන් උනාට පස්සෙ නිශාන්ත පාසල් ආවෙ ගියෙ කිසිම උවමනාවකින් නෙමෙයි. ශ්‍රියාණි ටීචර් අම්මා කෙනෙක් වගේ නිශාන්ත පස්සෙන්ම හිටියා. ඒ වෙද්දි ඔහු තමන්ගෙ මාමා කෙනෙකුගේ නිවසේ ජීවත් උනා.

කලින් අවුරුද්දෙ අපි දැක්ක..අපි එක්ක විහිළු තහළු කරපු නිශාන්ත වෙනුවට අලුත් කෙනෙක් බොහොම සුළු කාලයක් තුල නිර්මාණය වෙලා තිබුනා. වෙනදා වගේ විහිළු තහළු කරමින් කොල්ලො අතරට වෙලා කල් ගත කරපු බවක් නිශාන්තට ඒ වෙද්දි අමතක වෙලා තියෙන්න ඇති. තමන්ග‍ෙ ජීවිතේ තමන්ට ලගින්ම උන්න චරිත සියල්ලක්ම වගේ වෙන් වෙලා ගියාට පස්ස‍ෙ තවත් එකම එක චරිතයක් පමණක් ඔහුට ඉතිරිව හිටියා. ඒ නිශාන්තගෙ පෙම්වතිය.

එත් මේ අසරණ පෙම්වතාගේ පවුල් පසුබිම ගැන ඇතිවුන වාද විවාද වලින් පස්ස‍ෙ ඇයත් නිශාන්තගෙන් වෙන්වෙලා ගියා. ඒ බව ඒකා පන්තියෙ ලගම සඟයන්ට කියලා තිබුනෙ හැඩූ කඳුලෙන්. මම නිශාන්තගෙ ලගම මිත්තරයෙක් නොවුන නිසා මම ඔහු ගැන දන්න‍ෙ ඔහුග‍ෙ ලගම මිතුරන් අපි එක්ක කියපු දේ වලින් විතරයි.

තමන්ගෙ වටේ පිටේ හිටිය හැමෝම වරින් වර තමා හැර ගියාට පස්සෙ ඉතිරි උන තමන්ගෙ පෙම්වතියත් තමන්ව හැර යාම නිශාන්තට මොන තරම් වේදනාවක් වෙන්න ඇතිද. ඒ වේදනාව ගැන කියලා හිත හදා ගන්නවත් ඔහුට කෙනෙක් ඉන්න නැතුව ඇති. 

ඒ නිසාමයි දවසක් දා උදේ පාසල් ගියාම ඊයෙ රෑ නිශාන්තයා රත්තරං බඩු ඔප දමන්න ගන්න ජාතියක් බීලා මැරිලා කියන කාලකන්නි ආරංචිය අපිට අහන්න ලැබුනෙ. පන්තියෙ කොල්ලො කථාවක් බහක් නැතුව බලාගත්ත අත බලාන ඉද්දි අපේ අම්මා වගේ අපිට උන්න ශ්‍රියානි ටීචර් තමන්ගෙ කදුලු අපෙන් වහං කරන්න උත්සාහ කලේ නෑ.

පාසලේ ඉදන් පයින් යන්න පුලුවන් දුරක තියෙන ගම්පහ ඉස්පිරිතාලෙ මෝචරියෙ නිශාන්තයගෙ මිනිය තියන බව අපට ආරංචි උනාට පස්සෙ කොල්ලො කාණ්ඩ ගැහිලා පාසල් වෙලාව තුලම මෝචරියට ගියේ කිසිම ළමයෙක් ඉගෙන ගන්න පුලුවන් මානසික තත්වයක හිටියෙ නැති නිසා ගුරුවරු එදා අපට විවේකයෙන් ඉන්න අවස්ථාව දුන්න හින්දයි.

මම ගිය කණ්ඩායමේ හිටියෙ නාහෙට අහන්නෙ නැති බොහොම විනෝදකාමියො පිරිසක්. නමුත් උන් මේ වෙලාවෙ බොහොම නිහඬයි. ඉස්පිරිතාලෙ ඇතුලෙන් අපි මෝචරිය කිට්ටුවටම ගියා. කිසිවෙක් පේන්න නෑ. අපි එතනින් මෝචරිය තුලට පිවිසුනා.

‍මෝචරියෙ ඇතුල‍ෙ සිරුරු 10 ක් පමණ පිගන් ගඩොල් අල්ලන ලද මේස මත සැතපිලා තිබුනා.ජීවිතයේ එතෙක් පොදි බඳින ලද ආශාවන් පසෙක ලා ඒ හැමෝම දැන් නිහඩයි. හැම සිරුරකම මුහුණ රෙද කඩකින් ආවරණය කරලා තිබුන නිසා හඳුනගන්න බෑ. පාද දෙක නම් නිදහසේ  පේන්න තිබුනා. අපි සමග ගිය කාණ්ඩෙ හිටිය පුබුදුවා බොහොම දාංගලයක් තියෙන එකෙක්.  ඒකා හැම සිරුරකම මුහුණත වසාගෙන හිටිය රෙදි කඩ අදින්න ගත්තා. එක්වරම අපේ පන්තියෙ උන්න ඒ අහිංසක නෙත් යුග අපට සම්මුඛ උනා.

මේ සිදුවීම වෙලා අද වන විට වසර 17 ක් ගත වෙලා තිබුනත් මට තවමත් මතකයි එදා මෝචරියෙ නිෂාන්තයා සැතපිලා උන්න විදිය. පුබුදුවගෙ අතින් පසෙකට උන රෙදිකඩෙන් මතුඋනේ ඒ අහිංසක දෑස. ඒකා යන්තමට පියවුන දෑසින් අපි දිහා බලාන උන්නා. සුදු පාට මේස් බැනියමකට නිල්පාට කොට කලිසමක් ඇගේ දැවටිලා තිබුනා. කටේ එක කොනකින් සුදු පාටට ගලා ගිය දියරයක සලකුණු සටහන් වෙලා. සහෝදර ප්‍රේමයෙන් ඔද වැඩී එළියට පනින්න වෙර දරන පපු කැනැත්ත ආයාසයෙන් දරාගෙන එදා අපි මෝචරියෙන් පිට උනේ ඒ වත කමල දෙස බොහෝ වෙලාවක් බලා සිටීමෙන් අනතුරුවයි.

තමන්ගෙ ජීවිතය තොර කරගන්න නිෂාන්තයා උත්සාහ කරන බවක් අපි කිසිම විටෙක දැන උන්නෙ නෑ. එ‍් බවක් යන්තමින් හරි දැනගත්තා නම් ඒ උත්සාහය වලක්වන්න බොහෝ දේ අපිට කරන්න තිබුනා. තමන්ගෙ ජීවිතය තොර කරගන්න උවමනා රත්‍රන් භාණ්ඩ ඔප දමන දියරය ලබාගන්නට ඔහු මහා රාත්‍රියේ ස්වර්ණාභරණ අළෙවි සැලක් බිඳ  දමලා. එයින් ලබාගත් දියරයෙන් ඔහු තමන්ගෙ ජීවන ගමන එතෙකින් නිමකලා.

නිශාන්තගෙ මළ ගෙදරට පන්තියෙ අපි හැමෝම වගේ සහභාගි උනා. එතෙක් කල් මේ අහිංසක චරිතය සමග දිවි ගෙවන්න බැරි උන ඔහුගේ පවුලේ සීසීකඩ විසිර ගොස් සිටි චරිත සියල්ලක්ම එදා එතැන කිඹුල් කදුළු හෙළුවා.

ඇත්තමයි ආදරය කියන්නෙ මහ පුදුමාකාර දෙයක්. ජීවිතය ලස්සන කරන්නත් විනාශ කරන්නත් එකම සිතුවිල්ලකට හැකි බව නිශාන්ත බොහෝ කාලයකට පෙර අපට පසක් කලා. එක වහලක් යට එක පන්තියක වසර 3 ක් පුරාවට අකුරු කල සෙනෙහස මළගෙදර දෝරෙ ගලා යද්දි තමන්ග‍ෙ සහෝදරයන්ගෙ කර පිටින් මූසල අඳුරක් මුසුවුන හැන්දෑවක නිශාන්ත කනත්ත බලා නොඑන ගමන් ගියා.

කෙමෙන් කෙමෙන් අඩපණ වන හිරු කිරණ යට අපි මහත් ආයාසයෙන් අපේ හැගීම් දරාගෙන පස් වලින් වැසීයන ඔහුගේ මිනී වල දෙස බලා හිටියා. ලොවේ ඇතිවන සියලු දේ දිනක නැසීයන බව බුදුන් වහන්සේ විසින් දේශනා කලත් නැසෙන්නට තවත් කාලයක් තිබියදී නිරපරාදේ නැසුන නිශාන්ත පිළිබඳ අප බොහෝ සේ කම්පා උනා.

අපේ මිත්‍රයගෙ අභාවයත් සමග මම ඉගෙන ගත්ත දෙයින් මේ ලිිපිය කියවන ඔබට යමක් කියන්නට මම මනාපයි. මියයන්නට පෙර අවසන් සතියේ නිශාන්ත දිහා බොහෝ උවමනාවෙන් බලා හිටියා නම් ඔහුගේ මේ උත්සාහය අඳුනගෙන ව්‍යාර්ථ කරන්න තිබුනා කියලා මට අදටත් හිතෙනවා. ඔබේ ඇසුරේ ඉන්න ඔබේ හිතවතෙක් හිටි අඩියේම නිහඩ වෙලා හුදෙකලා වන්නට උත්සාහ කරනවා නම් ඒ පිළිබඳ විමසිලිමත් වෙන්න. එවිට එය තවත් ඛේදවාචකයක් නොවේවි. දුකක් ඇති අයෙකු සමග නිතරම දොඩමළු වෙන්න. ඒ දුක තුනී කරගන්නට උදව් වෙන්න.



මම කාමරේ අරින සිරා කොලුවා



ප.ලි

නිශාන්තගේ සිරුර මෝචරියේදී දැක ඇතිවුන කම්පනය නිසා එදා රාත්‍රිය මට නිදි වර්ජිත එකක් විය. වරින් වර මැවුන ඔහුගේ නිසල රුව මගේ නින්ද බොහෝ දුරට රැගෙන ගියේය.

අප අ.පො.ස සා/පෙ විභාගය සඳහා පෙනී සිටි 1998 වසර මට හේතු තුනක් නිසා කිසි දිනක අමතක නොවෙයි.

1. විරහා අත්දැකීමක් නිසා අදටත් අවිවාහකව සිටින අපගේ ශ්‍රියාණි ගුරුතුමියගේ ප්‍රියතම ගායකයා වූ, ශ්‍රී ලාංකීය විරහා ගීතයේ සදා නොමැකෙන කටහඬ හිමි මිල්ටන් මල්ලවාරච්චිගේ අභාවය සිදු වීම. එදා ශ්‍රියාණි ගුරුතුමිය ඉගැන්වීමෙන් ඈත් වී කදුළු බර දෙනෙතින් සිටි අන්දම මට තවමත් මතකය.


2.  මැයි 1 වැනිදා අතිරේක පන්තියකට සහභාගි වීම පිණිස ධාවනය වන බස් රථයකට නගින්නට යාමේදී බිම අැඳ වැටී බසයට යට නොවී 99 න් බේරෙන්නට සිරා කොලුවා සමත් වීම. මේ සිදුවීම මම අතීතයේ දිනයක ලියා තිබේ. තවමත් මගේ දෑතේ ඒ සිදුවීමේ සළකුනු තිබේ.


3. නිශාන්තගේ අකල් මරණය, එක පන්තියක අකුරු කල නිසාවෙන් මේ මරණය එදා මා කෙරේ ඇතිකලේ විශාල කම්පනයකි.

Wednesday, May 20, 2015

94 හොල්මන්


හොල්මන් කියන වචනය ඇහුනත් පොඩි කික් එකක් තියෙනවනෙ බොලං..නැද්ද මම අහන්නෙ. හෙලවෙන මනස කියලනෙ දැන උගත් වැඩිහිටියො මේ වචනය අර්ථ දක්වන්නෙ. හැබෑටම සිරා කොලුවත් හොල්මනක් දකින්න හරි ආසාවෙන් කාලයක්ම බලා උන්නා. ඒත් අඩුගානෙ මෝහිණී තියා මෝහිනීගෙ අත දරුවා වත් දකින්න විදියක් නැති උනා. අනේ මල්ලි මේ දරුවා වඩා ගන්න කියලා මෝහිණී මට කිව්වොත් නම් මම කියන්නෙ අක්කා ඔහොම ඉන්න මම රෙද්ද අන්දන්නං කියලා.

ඉස්සර අපි මළගෙදරක ප්ලේන්ටියක් ඇද අැද ඕමියක් බලන වෙලාවට නැගලම යන මාතෘකාව තමයි හොල්මන්. මේවා කියන්න ගන්නෙ මධ්‍යම රාත්‍රියට කිට්ටු වෙලාවක මළ ගෙදරකම ඉඳන් නිසා සමහරු ගෙදර යන්නෙත් නෑ බයට තනියම යන්න  තියෙන නිසා. සමහරු මුත්‍රා අඩස්සියටම එනකං ඉවසගෙන දත කාගෙන ඉන්න‍ෙ ඒ වැඩේ කොරගන්නත් ඈතට යන්න තියෙන බය නිසා. හොල්මන් ඒ තරම් ප්‍රබල මාත්තුරුකාවක් බොලව්.

ඉතින් මේ කථා අහලා තනියෙන් ගෙදර යන්න බය උන් මළගෙදරට මරණාධාර සමිතියෙන් දෙන තහඩු පුටු තුන හතරක් එක දිගට තියලා ඒවා උඩ දපනවා. පහුවදා වැඩ රාජකාරි වලට යන පිරිස ආපහු ගියාට පස්සෙ සල්ලි ඔට්ටුවට බූරුවා ගැහිල්ලකුත් නැත්තං මළගෙදර පාලු සොහොනක් වගේ වෙනවා. ගෙදර උන් තැන තැන වැටිලා නිදාගන්නකොට පුටු උඩ නිදියන කීප දෙනෙක් විතරයි මළගෙදරට ඉතිරි වෙන්නෙ.

අන්න ඒ වෙලාවට මරු වැඩක් අපි කලා. පුංචි ඉටිපන්දමක් අරගෙන නිදාගෙන ඉන්න එකාගෙ පශ්චාත් කලාපය අහුවෙලා තියෙන පුටුව යටින් පුටුවෙ තහඩුව රත්වෙන විදියට අටවලා ඈතට වෙලා බලා ඉන්නවා. මඳින් මඳ රත්වෙන පුටුව නිදාගෙන ඉන්න එකාගෙ හම පුච්චන තරමට රත්වෙන අවස්ථාවක් එනවා. ඒ අවස්ථාව උදා උනාම නිදාගෙන ඉන්න එකා පුක අල්ලගෙන මළගෙදර දෙක වෙන්න කෑ ගහලා පුටු පෙරලගෙන බිම ඇදවැටෙන්නෙ හරියට මහසෝනා ගැහුවා වගේ.  ඒ දර්ශනය තරම් රමණීය දර්ශනයක් තවත් නෑ බොලව්...ඒක ඒ තරම් නෙත්කළුයි. හිනාවෙලා පණ යනවා.

හොල්මන් ගැන කියන්න ගත්තම මමත් දවසක් හුස්ම නතර වෙන්නම බය උනා නොවැ. ඒ කථාවත් මේ අස්සෙ හීනියට වනලා දාන්නම්. අපේ අල්ලපු වත්තෙ තියෙනවා රූස්ස සියඹලා ගහක්. මේ වත්තෙ තියෙන නිවසෙ ජීවත් උනේ අම්මෙක් සහ දුවෙක්. දුව කරකාර යන වයස ඉක්මවලා හිටිය තනිකඩ එකියක්. දවසක්දා මම මහා ගන කලුවරේ ඔය පැත්තට ආවා කියමුකො. මෙන්න බොලේ කඳක් නැති දිග ගවුමක් සියඹලා ගහට මෙහායින් පේනවා. අම්මෝ...මගෙ පපුව නතර උනා...පොඩ්ඩක් දුර ගෙවල් පැත්තට දිව්වත්...මගේ හිතට හරි මෙව්වා එකයි මොකක්ද යකඩෝ මම දැක්කෙ කියලා. අතට අහුවුන පොලු කෑල්ලකුත් අරගෙන ආයෙමත් කිට්ටු උනා සියඹලා ගහ පැත්තට. එතන තියෙන වැලේ අල්ලපු ගෙදර අක්කා අත්දිග ගවුමක් වනලා...ඒක හුලගට වැනෙනවා. ගවුම ටික ටික පහලට රූටලා දැන් වැලේ රැදිලා තියෙන්නෙ ඉහළම හරියෙන්. ඒකයි ගවුම දිගට පෙනුනෙ.

අපේ පාසලේ ක්‍රීඩා පිටිය අවසන් වෙන්නෙ මහා කනත්තකින්. පාසල කිට්ටුවට වෙන්න කනත්තෙ විශාල රටදෙල් ගහකුත් තිබුනා. මේ හරිය දවාලටත් හරිම ගුප්ත ස්වරූපයක් ගත්තෙ. ඉස්සර ගම්පහ රෝහල අසල මල් ශාලා වල එකතුවෙන අතුනු බහන් වලලන්න කනත්තට ගෙනාපුවාම වලවල් කපලා ඒවා පස් වලට යට කරනවා පාසලේ තාප්පය අයිනට උනාම අපිට පෙනුනා.

බෑන්ඩ් ගැහිල්ල පටන් අරගෙන පාසලේ රාත්‍රියෙ නතර වෙන්න ගත්ත මුල්ම දවසෙ තමයි බය හිතට දැනෙන්නෙ. ක්‍රීඩාගාරයේ උඩු මහලෙ තියෙන බෑන්ඩ් කාමරයට එක ‍එල්ලෙ පේන්නෙ කනත්ත. පළාතම කට්ට කලුවරයි. ඒ කාලෙ පොඩි රාවයක් තිබුනා දවසක්දා රාත්‍රියක අපි වගේම පාසලේ රාත්‍රිය පහන් කරපු ශිෂ්‍ය නායකයො අතර හිටි කෙනෙක් ඉනෙන් පහල නැති පිරිමි රූපයක් කනත්ත කිට්ටුව පන්ති කාමරයකට මුවා වෙලා ඉන්නවා දැක්කා කියලා. මේ කථා අහලා පොඩි උන් විදියට තූර්ය වාදක ඛණ්ඩය නියෝජනය කරපු මුල්ම කාලෙ තනියෙම එහෙ මෙහෙ ගියේ නෑ. නමුත් කිසිම දෙයක් අපි එදා මෙදාතුර දැක්කෙත් නෑ.

හොල්මන් ගැන කියද්දි මේ මාතෘකාව ගැන අපි කථා බහ කල බවට මට මතක් වෙන තවත් තැනක් තමයි ඉස්සර මම පත්තර රස්සාවට ගිහින් බ්‍රහස්පතින්දා සහ සිකුරාදා සේවය නිමවෙලා මධ්‍යම රාත්‍රියෙන් පස්සෙ නිවෙසට ගෙනත් දාපු සමාගමේ වෑන් රථවල විවිධ රියදුරන්. මේ වාහන ඇතුලෙ විවිධ දවස් වලට පත්තරේ විවිධ අංශ වලට අයත් විවිධ මිනිස්සු හිටියා. මේ බහුතරය හොල්මන් ගැන කථා කරන්න ප්‍රියයි. මට හිතෙන විදියට මිනිස්සු අද්භුත දේවල් ගැන හොයන්න කථා කරන්න හරි අාසයි.

ඉතින් වෑන් රථයෙ රියදුරු තුමා සමහර වෙලාවට කථාවට ආරම්භය දෙනවා. සමහර දවස් වලට එයාම හොල්මන් ගැන කථාව පටන් ගන්නවා.

මහත්තයා රෑ වාහන එලවද්දි හොද කල්පනාවෙන් යන්න ඕනෙ. පාරෙ වැටිලා ඉන්න හාවෙක් එහෙම දැක්කොත් කවදාවත් නවත්තන්න එපා.

ඒ මොකෝ ඒ...වෑන් රථයෙ ඉන්න ජනතාවගෙන් නිදාගෙන නැති උන් වැටිලා ඉන්න තැනක ඉදන් හූ මිට්ටක් තියනවා.

මේ හාවො ඇත්තම උන් නෙමෙයි. හොල්මන්....මේ ලගදි අපේ තව ඩ්‍රයිවර් කෙනෙක් කට්ටිය බස්සලා තනියම එද්දි පාරෙ ලොකු හාවෙක් වැටිලා ඉන්නවා දැකලා වාහනේ නවත්තලා බැහැලා ගිහින් බලලා. ලගට ගියාම හාවෙක් නෑලු. එයා දන්නෙත් නෑ එයාට පිටිපස්සෙන් තනිකලු බල්ලෙක් ඇවිත් හිටියලු...ඒකගෙ මූණ බලන්න බයංකාරයිලු. ඇස් දෙක රතුම රතු පාටලු...අපේ එකා බය වෙච්ච පාර එක සීරුවට කම්පැණියටම ඇවිත් වාහනේ පාක් කරලා අපිට විස්තරේ කිව්වෙ.

අයියා ඔයාලා ඉතින් හැම තැනම යන එන මිනිස්සුනෙ පත්තරේ කට්ටිය බස්සන්න. ඇත්තටම හොල්මන් ඉන්න තැන් තියෙනවද ? දවසක් මම ගැටලුවක් ඇහුවෙ මේ වගේ කථාවක් ඇදී ගිය වෙලාවක.

මොකද නැත්තෙ මල්ලි. අපේ සමහර රූට් තියෙනවා දන්න එකා යන්නෙ නෑ. අලුත් ඩ්‍රයිවර් කෙනෙක්ට බාර දීලා සද්ද නැතුව ඉන්නවා. එයාලත් පළවෙනි දවස ගිහින් ආවට පස්සෙ ආය‍ෙ යන්නෙ නෑ.

ඉතිං එහෙම තැනක් දෙකක් කියන්නකො. මමත් ඉතිං කුතුහලය උපරිමයටම ඇවිස්සුවා. වෑන් එකේ වයසක ඩයල් කීපය නිදි. තරුණ උදවිය හොල්මන් කථාව එක්ක ඒකාත්මික වෙලා.

යක්කල කිරිඳිවැල පාරෙ කොස්කඳවලට මෙහායින් තියෙනවා පාර අයිනටම වෙන්න ලොකු කුඹුක් ගහක්. ඔය හරිය කට්ටම පාලුයි මහ රෑට. ඔතනින් වමට අතුරු පාරක් තියෙනවා ඒක යන්නෙ කනත්තට. ඔය කුඹුක් ගහ යට තමයි හොල්මන ඉන්නෙ.

මට අම්මෝ කියවුනේ නැති ටික විතරයි. මගේ අතිජාත මිත්තරයා ප්‍රියා ඉන්නෙ කොස්කඳවල. ඒකාගෙ ගෙදර ඉදන් කොච්චර වාර ගානක් මහ කරුවලේ මම ස්කූටරෙන් ඔය ගහ යටින් ගිහින් ඇද්ද ?

මම ඉතිං දේව ගණේ එකානෙ..ඒ නිසා හොල්මන් පේන්නෙ නැතුව ඇති. මම එහෙම හිතලා හිත හදාගත්තා.

ගෑණියෙක්ද පිරිමියෙක්ද ඉන්න‍ෙ එතන? නිදිමරගාතෙම එකෙක් ඩැයිවර් අයියගෙන් ඇහුවා.

ගෑණියෙක් ගෑණියෙක්...ගහ යට ඉදන් එක පාරටම පාරට එනවලු..වාහනේ ලං වෙන්න ලං වෙන්න උස යනවලු අඩි 10 ක් විතර වෙන්න. දැන් මාසෙකට විතර උඩ අපේ අර නිල් පාට ත්‍රී වීල් එක දුවන අයියට මාට්ටු වෙලා තිබුනා. මිනිහා ඇග මැද්දෙන්ම දාලා ඇරියලු..දුමක් වගේලු දැනුනෙ. ඒකා යකාටවත් බය නැති මිනිහා.

ඔය වගේම තැනක් තියෙනවා මල්ලි හෝකන්දර පැත්තෙ කුඹුරු මැද්දෙන් යන පාරක. අපේ එක්කෙනෙක් බහින්න ඉන්නවා ඒ පාරෙ කොනටම ගිහින්. ඒ රූට් එකේ අය බස්සන්න ගියොත් එයා තමයි අන්තිමයට ඉතිරි වෙන්නෙ. මිනිහව බස්සලා ආයෙම එන්න වෙන්නෙ තනියම ඩ්‍රයිවර්ට. කුඹුරු අහුවෙන හරියෙ ගෙවල් නෑ. වෙල මැද්දෙ බෝක්කුවක් උඩ තමයි හොල්මන ඉන්නෙ.

අම්මෝ..මේකා කියන කථා...යකෝ..මම මේ මගුලෙන් බැහැලා ගෙදර යන්න ඕනෙ තට්ට තනියම පාලු පාරක..මම යටි හිතින් ඩැයිවර් අයියට බැන්නෙ මගේ භෞමික අඛන්ඩතාවය ඒ වෙද්දිත් සසල වෙලා තිබුන හින්දමයි.

පත්තරේ වෑන් එක ගම්පහට ලගාවෙද්දි ගල් පාන්දර 2 ට කිට්ටු වෙනවා. හොල්මන් කථා මාලාව අස්ස‍ෙ වෙනදට ප්‍රධාන මාර්ගයෙන් බැහැලා අතුරු පාරවල් දිගේ ගෙදර ගිය මිනිස්සු අද ගෙවල් ලගටම වාහනෙන් ගිහින් බහිනකොට අපි දිහා බලලා ඩැයිවර් අයියා ඇහැක් ගහනවා.

කාලයක් අපේ ගම මැද්දෙන් ගලන අත්තනගළු ඔයේ පාලම උඩදි රාත්තිරියෙ කුලී ගමන් දුවපු තුන්රෝද රථ වලට පෙනුන හොල්මනක් නිසා තුන්රෝද රථ කරුවො හැන්දෑවෙ 6 වෙද්දි නිවෙස් බලා ගියා. හරියටම පාලම උඩදි රාත්‍රී 10 පැන්නට පස්ස‍ෙ විශාල වව්ලෙක් වගේ පැමිණෙන අතක් පේන බව තමයි ඒ ඇත්තො මට ඒ දවස් වල කිව්වෙ. 6 න් පස්ස‍ෙ ප්‍රවාහනය නැති නිසා කාර්යාල සේවයට කොළඹ යන කාන්තා පරාණ ආරක්ෂිතව නිවෙසට රැගෙන යන්න ඒ අයගෙ හිතවතුන් අපේ හන්දියට පැමිණියා.


                                                       අද්භුත ඡායා 


දැන් අපි හොල්මන් අරගෙන මැලේසියාව පැත්තට එමුකො. සිරා කොලුවා සේවය කරන කාර්යාලය තියෙන ගොඩනැගිල්ල නවීන පහසුකම් වලින් යුක්ත තට්ටු 40 ක් උස අලුත්ම වගේ එකක්. අපි ඉන්න‍ෙ 10 වෙනි මහලෙ. අපේ කාර්යාලයට එහා පැත්තෙන් තිබුන හිස් ඉඩ පාවිච්චි කරලා මේ වසරෙ මුල තවත් ආයතනයක් කාර්යාලයක් අලුතින්ම පටන් ගත්තා.

10 වෙනි මහලෙ පිරිමි වැසිකිළි පද්ධතියෙ පිවිසුම තියෙන්නෙ මේ කාර්යාලයට යන පාරෙ. මම දවසක් ඉතින් ඔය පැත්තෙ ගිහින් ආපහු  යන්න ආවා. මැලේ කෙල්ලො දෙන්නෙකුයි කොල්ලෙකුයි මගෙන් එකපාරටම ඇහුවෙ 10 වෙනි තට්ටුවෙ හොල්මන් තියෙනවද කියලා.

මොකක්ද බොල මේ හරුපෙ. මම පොඩ්ඩක් නැවතිලා කාරණේ විමසා බැලුවා. අපි ඉතිං ලගදිනෙ ඔෆිස් එක දැම්මෙ. අපේ ඔෆිස් එක ඇතුලෙන් එක එක සද්ද ඇහෙනවා හිටි ගමන්. කාන්තා වැසිකිළියෙත් සද්ද බද්ද ඇහෙනවා කියලා මෙයාලා කියනවා කියපු කොල්ලා රෝස මල් දෙකක් වගේ ඉන්න කෙල්ලො දෙන්නා මට දැක්වූවා.

ඇත්තටම ඔයාලට සද්ද ඇහුනද...මම එයාලගෙන් ඇහුවා. 

අපොයි ඔව්..ගිය සතියෙ දවසක් අපි රෑ 9.30 වෙනකං වැඩ කලා. අපේ කෙල්ලෙක් බය වෙලා කෑ ගහගෙන දුවගෙන ආවෙ. ගොඩාක් ලගින් ගොරවනවා වගේ සද්දයක් ඇහෙන්නෙ. ඒක පිරිමි කටහඩක්...අපි දෙන්නටම ඇහිලා තියෙනවා. අපි මුලින් හිතුවෙ කවුරු හරි වැඩ කරන කෙනෙක් කියලා. ඒත් ඒක එහෙම නෙමෙයි. කෙල්ලො දෙන්නා තවමත් බය වෙලා වගේ.

පිරිමි වැසිකිළියෙ එහෙම අවුලක් නෑනෙ...අපේ ඔෆිස් එකේ කෙල්ලොත් ඔයාලා සද්ද ඇහෙනවා කියන තැනට යන්නෙ කාටවත් ඇහිලා තිබුනෙ නෑනෙ. මම කිව්වා.

අපේ ප්‍රධාන ඔෆිස් එක තියෙන්නෙ මේ බිල්ඩිමේ 5 වෙනි තට්ට‍ුවෙ...ඔයා දන්නවද ඒක හොල්මන් ගුහාවක්..සමහර කම්පැණි ඔෆිස් අයින් කරගත්තා. මොනවා කලත් ඒක නැතුව ගියේ නෑ. අපේ අය රෑට වැඩකරන දවසට හරිම බයෙන් 5 වෙනි තට්ටුවෙ ඉන්නෙ. කොල්ලා මා එක්ක කිව්වා. ඒ නැතත් මේ වසරෙ මුල හෘදයාබාදයකින් 5 වෙනි මහලෙ ආයතනයක කෙනෙක් තමන්ගෙ රාජකාරි පුටුවෙම මියගියා කියලා නම් මම දැන උන්නා.

ඔයින් මෙයින් මම මගේ ආයතනයට ආවා කියමුකො. මම කරපු පළවෙනි වැඩේ තමයි අපේ කාන්තා පරාණ මේ ගැන දැනුවත් කරපු එක. මේ මැලේසියානුවන් හොල්මන් වලට පුදුම විදියට භයයි. අ‍පේ එකීලට කිසිම සද්දයක් ඇහිලා තිබුනෙ නැති උනාට දැන් උන්ටත් බයයි වැසිකිළිය පැත්ත පළාතක යන්න. කථාවෙන් පස්ස‍ෙ සතියක් විතර ගතවෙන තුරු කවුරුවත් තනියම ඒ පැත්ත පළාතක ගියේ නෑ තනියට කෙනෙක් අරගෙනම තමයි උන් මුත්තරා බර හෑල්ලු කොරන්න එතනට බඩ ගෑවෙ.

මම මැලේසියාවට පය තිබ්බ මුල්ම කාලෙ අගනුවරින් ගොඩාක් ඈත පළාතක නිවසක තමයි නැවතිලා හිටියෙ. මැලේ ජාතික ජෝඩුවක්, එයාලගෙ පුංචි දරුවො සහ නිවසේ සේවයට ලංකාවෙ කීප දෙනෙක් තමයි මේ ගෙදර උන්නෙ. මේ නිවස වටා උසට ඉඳිකල තාප්පයක්. තාප්පයේ එක කොනකට වෙන්න රූස්ස ගහක් සහ අඳුරු වටපිටාවක්. එතනින් එහා පැත්තෙ පුද්ගලික රෝහලක වාහන නැවතුම්පලක්.

කලුවර වැටුනට පස්ස‍ෙ එළියෙ ඇවිදින්න යන්න එපා. හොල්මනක් ඉන්නවා අපේ වත්තෙ. දවසක්දා එහෙම කිව්වෙ අපේ ගෘහ මූලිකයගෙ සුන්දර බිරිඳ. මම ඉතින් පෙනුම කොහොමද, හොල්මනේ ස්වරූපය වගේ දේ ඇහුවා. හොල්මන ගෑණු කෙනෙක්ගෙ. එයා ඔලුවෙ ඉදන් පහලටම වහලා තියෙන්නෙ. දවසක් කුස්සියේ මම හිටිය වෙලාවක ලගටම දැක්කා කුස්සියේ වීදුරුවෙන් ටොම්යම් ගහ ලග ඉන්නවා. එයා මේ වටේ ඇවිදිනවා . අපි ඒ වෙලාවට එලියට යන්නෙ නැත්තං කරදරයක් නෑ. ගොඩාක් ඉස්සර මැලේසියාවෙ ගෝත්‍ර බිලිපූජා කරපු තැනක්ලු මෙතන. සමහර වැරදිකාරයන්ගෙ හිස් ගසා දැම්මලු ඒ කාලෙ.  ‍අපේ ස්වාමිදුව ඒ වගේ විස්තරයකුත් කලා.

මමත් ඉතින් හරිම කුතුහලයෙන් හිටියා කියමුකො. රාත්‍රියට නින්දට ගියාම ජනේලයේ වීදුරුවට මෙපිටින් තියෙන තිරය අයින් කරලා හොල්මන පේන්න ඉන්නවද කියලා හැමදාම බැලුවා. නමුත් එක දවසක් අපේ ගෙදර හිටිය ලංකාවෙ එකෙක් වීදුරු දො‍රට පිටින් රාත්‍රී 10 ට විතර සුදුවට කවුද ගියා කියලා මරහඬ දුන්නා. අපි එදා එළියට බැහැලා බලන්න හැදුවත් මැලේසියානු යුවල අපිට එළියට යන්න ඉඩ දුන්නෙ නෑ.

හොල්මන් ගැන කථා කරද්දි මට තවත් මතක් වෙන් ස්ථානයක් තමයි සිංගප්පූරුවෙ දම්පාට දුම්රිය මාර්ගයෙදි හමුවෙන වුඩ්ලන්ඩ්ස් දුම්රිය නැවතුම. පොළව යට තියෙන මේ දුම්රිය නැවතුමේ ඉහළින් තියෙන්නෙ කනත්තක් කියලයි මට අහන්න ලැබුනෙ. වුඩ්ලන්ඩ්ස් වලින් දිවා කාලයටත් දුම්රියට ගොඩවෙන්න බහින්න මිනිස්සු හිටියෙ නෑ. රාත්‍රියට හිටියෙම නැති තරම්. සිරිතක් විදියට දුම්රිය නැවැත්තුවට එතැනදි නගින්න බහින්න මිනිස්සු නෑ. දුම්රිය ස්ථානයේ සේවය කල කාර්ය මණ්ඩලය පමණයි උන්නෙ.

හොල්මනක් කවදාවත් දැකලා නැති උනාට එහෙම දේවල් තියෙන බව මම විශ්වාස කරනවා. මඩවල උපාලි හාමුදුරුවො ලියපු පර්යේෂනාත්මක කෘතියක් වන අපට නොපෙනෙන ල‍ෝකය කෘතියෙත් බටහිර විද්‍යඥයො ලබාගත් සත්‍ය හොල්මන් වල ඡායාරූප තිබුනා. සමහර හොල්මන් වලට විවිධ ස්වරූප වලින් ඉන්නත් පුලුවන් ලු. මේ ‍පොත හොයාගෙන කියෙව්වොත් අපට නොපෙනෙන බලවේග පිළිබඳ සෑහෙන දැනුමක් ගන්න පුලුවන්.

ඇමරිකාවෙ 16 වෙනි ජනාධිපතිතුමා වෙච්ච ඒබ්‍රහම් ලින්කන් මහත්තයා කාලයක් ධවල මන්දිරයෙ හොල්මන් කලා කියන්නෙ. 1869 දි මුල්ම වතාවට දර්ශනය වෙච්ච මේ හොල්මන අවසාන වතාවට දර්ශනය වෙලා තියෙන්නෙ 1980 දි.

ලින්කන් මහත්මිය පිටුපසින් සැමියාගේ අවතාරය ඡායාරූප ගත වී ඇති අයුරු

රට ජාතිය ආගම වෙනස් උනත් හැම තැනකම හොල්මන් කථා තියෙනවා. හැමෝම හොල්මන් වලට බයයි. බොහෝ හොල්මන් කාන්තාවො, ඒ මදිවට සුදු ඇඳුම් ඇදගෙනයි හොල්මන් ඉන්නෙ. සුදු පාට සහ හොල්මන් අතර මේ තරම් කිට්ටු නෑ කමක් ඇයි කියලා වෙලාවකට මට හිතෙනවා. බොලා ලග මේ ගැටලුවට පිළිතුරු තියෙනවා නම් පහළින් දීහල්ලා.



මම කාමරේ අරින සිරා කොලුවා. 


Sunday, May 17, 2015

62 පුංචි හොරු සමග බෑන්ඩ් කථා

හෙට උදේ 8 වෙද්දි පෝලිම් වෙන්න බලාගෙන වරෙල්ලා...පරක්කු වෙන උන්ට දැඬි දඬුවම්...‍කලින් දවසෙ පුහුණුවීම් අවසන් වෙද්දි ලොකු අයියා කිව්වෙ එහෙමයි. සාමාන්‍ය වෙලාවට සහෝදරයෙක් වගේ ඉන්න ලොකු අයියා බෑන්ඩ් එකේ පුහුණුවීම් කරන වෙලාවට නම් නීතියට වැඩ කරන හාදයෙක්.

සිරා කොලුවගෙ බෑන්ඩ් ජීවිතයෙන් යමක් ඇඳබාන්නයි මේ සූජානම. ළඟකදි ඒ ගැන යමක් ලියවුනෙත් නැති නිසා අද ඉතිං ඒ අතීතය ගැන යමක් ලිව්වොත් හොඳා කියලයි මගේ අක්මාව මට කිව්වෙ. බෑන්ඩ් එකේ හිටිය කාලෙ එකට දුක සැප විඳපු මිත්තරයො එකා දෙන්නා යුග දිවියට යද්දි, ඒ සතුටුදායක මොහොත උන් එක්ක විඳ ගන්න ලංකාවෙ නැති මගේ හිතට දැනෙන හීන් දුකත් එක්ක අතීතයේ දවසක මමයි, මගේ හිතයි නතර වෙනවා.

සිරා කොලුවා කණ්ඩායම නියෝජනය කරපු කාලය වෙද්දි රන්ටැඹේ කඳවුරු භූමියෙ පැවැත්වෙන වාර්ෂික ශිෂ්‍යභට තූර්ය වාදක ඛණ්ඩ ඇගයීමේ තරඟාවලියට සහභාගි උනේ නැති නිසා විද්‍යාලයේ නිවාසාන්තර ක්‍රීඩා උළෙලට සහභාගි වීම සහ ගම්පහ පුරවයේ රාජ්‍ය නිදහස් දින සැමරුමට දායකත්වය දෙන එක තමයි අපිට තිබුන ප්‍රධාන වගකීම්. අවට පාසල් වල මල් වගේ දැරිවියො රාශියක් හමුවන තැනක් නිසා නිදහස් දිනය දවසට නම් අපේ උන් උන්නෙ හරිම සතුටෙන්. ඒ ඇත්තියො උත්සවයේ කටයුතු අහවර උනාම අපේ ලගට ඇවිත් සුහද පිළිසඳරේ යෙදෙනකොට අපේ මල් වගේ හිත් බිමට බර උනේ කෙහෙල් ගහ මැද්දට මාලු මන්නෙන් කෙටුවාම කෙහෙල් කැන පාත් වෙනවා ව‍ාගෙයි.

නොවැම්බර් මාසෙ මැද පිට්ටනියට බැස්සම ජනවාරි මාසෙ අවසන් වන තුරාවට අපි ඉතිං ගිණි අව්වට පිච්චෙනවා. පන්ති කාමරයක් අපිට තිබුනද කියලත් අමතක වෙනවා. මේ කාර්යය බොහොම වෙහෙසකර එකක් උනත් එක පවුලක වගේ හැගීමක් අපිට තිබුන නිසා අපහසුතාව දරාගන්න හැම එකාටම ශක්තිය තිබුනා.

කණ්ඩායමේ හැම දෙනාම පහුණුවීමට අවශ්‍යයි. එකෙකුගේ හෝ අඩුවක් තිබුනොත් එය පුහුණුවීම් වලට බාධා වෙන අවස්ථා තිබුනා. සමහරුන්ට නිවෙස් වලින් පුහුණුවීම් වලට යන්න බාධා තිබුනත් උන් මොන දහං ගැටය හරි ගහලා පිට්ටනියට ආවෙ බෑන්ඩ් උණ කියන රෝගය ඒ වෙද්දිත් වැළඳිලා තිබුන නිසයි. සමහරු එහෙම එන්නෙ බඩට කිසිවක් දාගන්නෙ නැතුව වගේම අතේ සතේ නැතුව. තත්වය එහෙම උනත් කවුරුවත් තනි තනියෙන් තම තමන්ගෙ බත්ගෙඩි දිග ඇරියෙ නෑ. කන්න නැති එකාවත් ලගට අරගෙනයි අපි බත් කෑවෙ.

මම මේ කියන කාලෙ අපේ පාසලේ කොල්ලො අතර අපට ලොකු පිළිගැනීමක් තිබුනෙ නෑ. පෙරදිග තූර්ය වාදක ඛණ්ඩයේ ඉතිහාසය බොහොම ඈතකට දිව යාමත් ඔවුන් ඒ වෙද්දි වාර්තාකර තිබුන සමස්ත ලංකා ජයග්‍රහණ ආදියත් නිසා ඒ අය තමයි අංක එකට වැජඹුනේ. බටහිර තූර්ය වාදක ඛණ්ඩය වෙච්ච අපිට ලැබුනෙ කුඩම්මගෙ සැළකිලි. පෙරදිග පිරිස පාසල් ක්‍රීඩා පිටියෙ පුහුණුවීම් කරද්දි අපට එහි ඉඩක් නැතුව ගියා. අපි නරඹන්නො වෙලා බලා උන්නා. අපි පුහුණුවීම් කරද්දි අපිට හූ කිව්වා. නින්දා කලා...මේ කිසිවකින් අපේ කණ්ඩායම සැලුනෙ නැති නිසාම පස්ස‍ෙ දවසක පිට පිට ජාතික ශූරතාවයට වග කියන්න අපෙන් පස්ස‍ෙ කණ්ඩායමට ආව උන්ට හැකි උනා.

අපිට ඉතිං පාසලේ පිට්ටනියෙ පුහුණුවීම් කරන්න අවස්ථාව නැති උනාම ගත්ත පියවර තමයි විකල්ප ස්ථාන හොයපු එක. එතනදි ඉතින් වැඩිය සෙනග ගැවසෙන්නෙ නැති පාසල අවට අතුරු මාර්ග, පාසලට යාබද කනත්ත වගේ තැන් අත්හදා බැලුවට කිසි ලකයක් නැති නිසා අන්තිමේදි කාන්තාරයකු වගේ තිබ්බ ගම්පහ ශ්‍රී බෝධි පිට්ටනියට ගොඩ බැස්සා. උදේට සංගීත බඩු ටිකයි, බත් ගෙඩි ටිකයි කර පින්නාගෙන එතනට යන්න තමයි ලොකු අයියා උදේ 8 වෙද්දි වරෙව් කියලා ඔය මොර දෙන්නෙ.

කල්‍යාණි පාරෙන් හැරිලා සිසිර මාවතේ හරි , සමරක්කොඩි මාවතේ හරි පුහුණුවීම් කරපු කාලෙ ජම්බුගස් නගින්න පොඩි උන් නැති ගෙදරක ගහ පාමුල ජම්බු ගෙඩි කුණු වෙලා යනවා දැක්කම නිවසේ හිමිකරුවගෙ අවසරය අරගෙන ජම්බු ගහ හිස් කරන වගකීම අපි බාර ගන්නවා. ඒ වෙනුවෙන්ම සැදී පැහැදී උන්න පයිලට් ලා කණ්ඩායමක් අපිට උන්නා. මේ මාර්ග වල හැම නිවසක්ම විශාල ‍ගේට්ටු සහ තාප්ප වලින් වටවෙලා තිබුනෙ.

ඒත් හිසට සෙවනක් නැති ගුරුපාට පොළවක් තිබුන කාෂ්ඨක පරිසරයක් වෙච්ච ශ්‍රී බෝධි පිට්ටනිය අපි දැක්කෙ සහරා කාන්තාරය වගේ. අව්වට කලු වෙලා ඇස‍්ගෙඩි යට ගිලුනට කණ්ඩායමේ එකමුතුකම ගිලිහුනේ නැති නිසාම අපි හැමදාමත් පුහුණුවීම් කලා. බෙදා හදාගෙන බඩට යමක් දාගත්තත් අධික මහන්සිය නිසාම ඒවා ඉක්මනින් පිච්චෙනවා..ඉතිං ආයෙමත් කුස ගින්න නැගෙනවා. ඔන්න ඔය නිසාම සිරා කොලුවා පුහුණුවීම් වලට යද්දි  මා එක්ක හිටිය උන් එක්ක බෙදා හදාගෙන කන්න ගල් බනිස් අරගෙන ගියා ගම්පහ නගරයෙන්. ගලක් බඩට දාගත්තම වතුරෙන් පොඟව පොඟව දෙයියනේ කියලා සෑහෙන වෙලාවක් ගත කරන්න පුලුවන්.

ලොකු අයියට හැමදේම තිතට ඕනෙ..පැයක් ගිණි අව්වෙ පිච්චුනාම විනාඩි 5 ක විතර විවේකයක් ලැබෙනවා වතුර ටිකක් බොන්න. යාබද නිවසක කම්බි වැට අස්සෙන් රිංගලා තමයි ඒ කාරිය කලේ. දිව ගිලෙන්න යන තිබහක් තියෙන මේ වෙලාවට වටේ පිටේ ගස් වල තැඹිලි වලු දකිනකොට නම් අපි ඉවසාන උන්නෙ හරිම අමාරුවෙන්.

හැම එකාම එකයි. ඕක තමයි වචනයෙන් නොලිව්වට අපේ තේමාව. ඒ නිසා එකෙක් වැරැද්දක් කලත් පොදුවේ හැමටම පෝරියල් එක ලැබෙනවා. අන්තිමට වැරැද්ද කරපු එකාට ඇතුලෙ ඉන්න උන්ගෙන් කන පිරෙන්න බැනුම්, සමහර වෙලාවට ගුටිත් ලැබෙනවා.

ගිණි අව්වේ පිච්චිලා පිච්චිලා හොඳපණ ගියාම පිටිපස්සෙම ඉන්න අපි ඉස්සරහම ඉන්න ලොකු අයියට පලු යන්න බනිනවා. සමහරු බනින්න‍ෙ ලොකු අයියගෙ ගෙදර ඉන්න අම්මවත් මතක් කරලා. ඒකා ලේසියකට සෑහීමකට පත් වෙන්නෙ නැති එක ගැන තමයි හැමෝටම තරහා. කොච්චර අමාරු උනත් දිගටම පුහුණුව.

දවල්ට කන්න ලැබෙන විවේකය ඉතින් හැමෝටම සෑහෙන සහනයක්. තියෙන දෙයක් කාලා සමහරු හෙවනක පොඩි නින්දක් දානවා. තවත් සමහරු අහල පහල ලඳු කැලෑවකින් ගඩා ගෙඩියක් දෙකක් කඩනවා. හැබැයි කඩාගත්ත දේවල් හැමෝ එක්කම බෙදා හදාගෙන තමයි කෑවෙ.

ඉස්සර ඉතින් බෑන්ඩ් එක ඇතුලෙ එක එක වැඩ වලට දක්ෂයො බිහි උනා. සමහරු සංගීතයට අති දක්ෂ වෙද්දි තවත් සමහරු ස්වර ප්‍රස්ථාර ගත කරන්නත් ඒවා පිටපත් කරන්නත් දක්ෂ උනා. ඔය අතරින් ජපන් චමියා වඩාත් දක්ෂ උ‍නේ බෑන්ඩ් කාමරේට උවමනා දේ සම්පාදනය කරදෙන්න. ඒ කියන්නෙ අපිට නැති දේවල් තියෙන තැනකින් උස්සගෙන එන්න.


බෑන්ඩ් කාමරයේ ටියුබ් පොල්ලක් ක්‍රියා විරහිත උනාම එකක් තියෙන තැනකින් ගලවගෙන වරෙන් කියලා ලොකු අයියා කොන්ත්‍රාත්තුව දෙන්නෙ චමියට. බෑන්ඩ් එකේ උන්ට කන්න බොන්න පිඟන් කෝප්ප මදි උනාම ඒවා කැන්ටිමෙන් උස්සගෙන එන්න කියන්නෙත් චමියටම තමයි. සමහර වෙලාවට ඒකාට යර්ස් කොලුවගෙ සහාය ලැබුනා. එහෙම දවසට ටිකක් අඳුර වැටුනට පස්සෙ උන් දෙන්නා දඩයමේ යනවා තමන්ට උවමනා දේ හොයාගෙන. දවසක් අයිය බඩයි ජපන් චමියයි දෙන්නා මඳ අඳුරෙ හොරකමේ ගිහින්.

හදිසි පයින්ඩයක් දැනුම් දෙන්න පාසල පුරාම හොයලා හොයලා අන්තිමේදි 6 වසරේ පන්ති කාමරයක මුන් දෙන්නා  ඉන්නවා මම දැක්කා. එක ටියුබ් පොල්ලක් ගේන්න කිව්වම අනාගතය ගැනත් හිතලා පොලු තුන හතරක් ගේන්නයි දෙන්නගෙ වෑයම.

හැන්දෑවෙ 6 න් පස්සෙ විද්‍යාලයේ ආරක්ෂක අංශයට අමතරව සිරිපාල කියලා තවත් හාදයෙක් උන්නා ජංගම මුරසංචාරයේ යෙදෙන. මම පන්ති කාමරයට එපිටින් ඉදගෙන අයිය බඩාලා දිහා බලාන ඉද්දි සිරිපාලත් අනිත් පැත්තෙ ජනේලයකින් මේ දෙන්නා දිහා බලාන ඉන්නවා.

චමියො....මේ ටියුබ් පොලු දෙකම ගලවමු...අපි ගැලෙව්වා කියලා කවුරුවත් දන්නෙ නෑනෙ බං...අයිය බඩා එහෙම කියද්දි

ජපන් චමියා වහලෙ බාල්කයක් බදාගෙන වැඩේ දෙනවා හිටු කියලා...

ඒ අස්සෙ පන්ති කාමරේ තිබුන අල්මාරියකින් හඳුන්කූරු පැකට් දෙකකුත් අයිය බඩාට ලැබිලා...ඒකත් ගෙනියන ගොඩට දාගත්තා.

සිරිපාලයා බලා ඉන්න බව මට කියාගන්න ඕන‍ෙ...ඒත් කියාගන්න විදියක් නෑ...යන්තමට සද්දයක් දැම්මත් සැරටම හොරකම යන නිසා මුන්ට ඇහෙන්නෙ නෑ. අන්තිමේදි යන්තම් අයිය බඩාගෙ අවධානය අරගෙන සිරිපාලයව පෙන්වන්න මට හැකි උනා. අයිය බඩා චමියගෙ කනට කරලා රහසක් කිව්වා.

මල්ලි ඉගෙන ගන්නෙ මේ පන්තියෙ කියලා ෂුවර්ද...බං..

ඔව් ඔව් ඉතිං මම හැමදාම ඉන්ටර්වල් එකට එනවනෙ...

එතකොට කොයි ලයිට් එකද වැඩ කරන්නෙ නෑ කිව්වෙ...

මේ දෙකෙන් එකක් තමයි....අද හදලා දීලා යමු.


සිරිපාලගෙ කනට ඇහෙන්න දෙබස නැගලා යනවා...ඒ අස්ස‍ෙ අයිය බඩා හදිසියෙම සිරිපාලව දැක්කා වගේ ඒ පැත්තට හැරුනා.

ආ..සිරිපාල අයියා....කොහොමද ඉතින්...

මල්ලිලා මොකද මේ පොඩි පන්තියක උඩ නැගගෙන....

මේ අපි ලයිට් එකක් හදනවා....

ආ එහෙමද..ලයිට් ගලවනවා එහෙම නෙමෙයිනෙ...හරි මල්ලි එහෙනං ක‍රගෙන යන්නකො...එහෙම කියලා සිරිපාල වාෂ්ප උනා. මිනිහා පස්ස‍ෙ ටික දුරක් ගිහින් ඒකා ඈතටම ගියාම ටියුබ් පොලු දෙකකුයි හඳුන්කූරු පැකට් එකකුයි අරගෙන අපි තුන්දෙනා පල්ලං බැස්සා.

කැන්ටිමෙන් පිගන් කෝප්ප උස්සපු දවසට නම් වහලයෙන් තමයි ආවෙ ගියේ. දවසක්දා හදිසි අවශ්‍යතාවකට අපේ කණ්ඩායම රාත්‍රියේ පාසලේ නතර උනා. විදුහල්පතිතුමාගෙ අවසරය ගත්තම ඒ කාරිය කරන්න පුලුවන්. අපි ඉතින් මධ්‍යම රාත්‍රිය උදාවෙනකං පුහුණුවීම් වල නිරත වෙලා නින්දට ගියා කියමුකො.

පහුවදා උදේ පිට්ටනිය පුරාම හිස් කිරි පැකට් සීයකට වඩා විසිරිලා. පාසලේ ජංගම මුර සංචාරකයා සිරිපාල මේ කාරියට අපිව සැක බව කැන්ටිමේ ටෙන්ඩරය අරගෙන හිටිය අශෝක අයියගෙ කනේ තියලා මිනිහා ප්‍රින්සිපල් උතුමා එක්කම උදේ පාන්දර අපිව මුලිච්චි වෙන්න ඇවිත්,
මෙයාලා තමයි කැන්‍ටිම කඩන්න අැත්තෙ සෑර්.

තමුං මේ වැඩේ කලාද...විදුහල්පති තුමාගෙ හඬ බොහොම සැරයි.

අනේ නෑ සෑර්...අපි දන්නෙත් නෑ...උදේ තමයි අපිත් දැක්කෙ.

එතකොට ඊයෙ රෑ තව කවුරු හරි ඉස්කෝලෙ නතර උනාද...

ඒක දන්නෙත් නෑ සෑර්....

හොඳයි අශෝක...මම මේ ගැන හොයලා බලලා සාධාරණයක් කරන්නං...

එහෙම කියලා විදුහල්පති තුමා අපෙන් සමුගත්තට අපිට ඒ පිළිබඳ වද වෙන්න උවමනා නොවුනෙ කිරි පැකට් උස්සපු උන් ටික පස්සෙ දවසක මාට්ටු වෙච්ච නිසයි. ඒ විද්‍යාලයේ බාහිර ක්‍රියාකාරමක නිරත වෙන තවත් කණ්ඩායමක්. උනුත් රෑ පාසලේ නැවතුන දවසක තමයි අපේ නම යන්න වැඩේ දීලා තිබුනෙ.

ඒ උනාට මල් වගේ අහිංසක අපිව සැක කරපු කැන්ටිමේ අශෝක අයියා කොල්ලන්ට ඇට නැති පරිප්පු හොඳි බෙදලා දුන්න ප්ලාස්ටික් පිඟන් වගේම උණු වතුර රහට තේ දුන්න ප්ලාස්ටික් කෝප්පත් වරින් වර එළැඹුන රාත්‍රියන් වලදි අන්තරස්දාන කලේ නම් මිනිහට පාඩමක් උගන්වන්න අපේ ජපන් චමියම තමයි.


එහෙනං අදට අහවරයි.



මම කාමරේ අරින සිරා කොලුවා. 


ප.ලි

එවකට කාන්තාරයක් බඳු  ශ්‍රී බෝධි ක්‍රීඩාංගනය සිරා කොලුවා රට පැටවෙන්නට කලින් අවසන් වරට දකිද්දී තණකොළ වවන ලද මනරම් ක්‍රීඩා සංකීර්ණයකි. පිහිනුම් තටාකයක්, කාය වර්ධන උපරකණද ඇතුලත්ව ගම්පහට ඇති එකම මීටර් 400 ධාවන පථය වර්තමානයේ මෙහි ඉඳිකොට තිබේ. මම එහි අවසානයට ගියේ අදින් වසර ගනනාවකට ඉහත දවසකය. ඒ සන්ධ්‍යාවේ වැසි වැටෙමින් තිබුනි. එවකට පිහිනුම් තටාකය බාරව සිටි අප විදුහලේම වැඩිහිටි සගයෙක් වු ශ්‍රීනාත් අයියා වැසි මැද  පිහිනුම් තටාකයට පැන සිටි ගෙම්බන් අල්ලමින් උන් ආකාරය දැනුදු මැවී පෙනේ.

Monday, May 11, 2015

59 OIC සමග අඩියක් ගැසීමි

ආම්ස්ට්‍රෝන්ග් යනු සිරා කොලුවාගේ අතිජාත මිත්තරයෙකි. අප දෙදෙනා අතර මුල්ම හමුවීම සටහන් වූයේ තූර්ය වාදක ඛණ්ඩය තුලදී බව මට මතක තිබේ. ඒ කාලයේ ගමනේ යාම පුහුණු වන විට ආමාගේ අත් අනෙක් උන්ට වෙනස් ආකාරයෙන් ක්‍රියාත්මක වීම නිසා මේ ආකාරයේ නමක් එකාට පට බැඳිනි.

අාම්ස්ට්‍රෝන්ග් යන්න ඇසූ විට එක්වරම මතකයට එන්නේ හඳට ගිය ආම්ස්ට්‍රෝන්ග් වුවත් අපේ ආමා ඒ ආම්ස්ට්‍රෝන්ග් ගැන අසා නැති බව මට ටක්කෙටම කිව හැක. ඒකා එවැනි දේ ගැන දැනුවත් එකෙක් නොවේ. එතරම් කල එළියක් නැති මූණත් තහඩුවක් තිබුනත් ආමා බැල්ම දැම්මේ සුපිරි යැයි සම්මත දැරිවියන් වෙතය. කෙල්ලන් දැලේ දමාගැනීමේ කලාව මැනවින් ප්‍රගුණ කර සිටි නිසාදෝ අමාගේ දැලට අඩු නැතුව කිරිල්ලියන් එකතු විය.

ආම්ස්ට්‍රෝන්ග් ගැන මම වේලාසනද ලියා තිබේ. නැවතිල්ලේ සිතා බලන විට බොලාට කියන්නට තවත් දේ ඇති නිසා අදත් ලියන්නට සිතුනි. ඒකා එතරම්ම ප්‍රියමනාප එකෙකි. අහිංසක පෙනුමක් ඇති ආමා වැඩිය මහත නැති ශරීර කූඩුවක් දරා සිටියි. වෘත්තීය ජීවිතයේ මුල් අවධිය සිරිලක සුපතල රක්ෂණ සමාගමක් තුල ගෙවූවද කල් යද්දී ආමා ඒවායින් ඉවත් වී තමාගේම කියා යන්තං පදං ඇරඹූ ව්‍යාපාර අද වන විට අතු ඉති ලා වැඩී තිබෙන අන්දම දැකීම සිරා කොලුවාට සතුටකි. ඒ අතර කළුතර ප්‍රදේශයේ අැති පුංචි පහේ නවාතැන්පලක්ද වෙයි.

ව්‍යාපාර තුලින් ඉදිරියට යන විට ආමාගේ මිතුරු ඇසුරට ප්‍රාදේශීය දේශපාලුවන්, කලාකරුවන් ඇතුලු විවිධ වෘත්තිකයන් එකතු විය. ඒ අතර සිටි ඇතමෙකු ආමා සමග රස්තියාදුවේ ගිය දිනෙක මටද මුලිච්චි වී තිබේ. කළුතර ඇති නවාතැන්පල අපූරු තැනකි. එතැන සේවයේ නිරත වන තරුණයෙකු චිත්‍රපට ක්ෂේත්‍රය සමග සබඳතා ඇති නිසාම නිළියන් නළුවන්ගෙන් මිදී අතමිට මුදල් ඇති වයසක මුදලාලිලා සමග කම්සැප වළඳන්නට හොර රහසේ එහි යති එති. ජනකාන්ත තරුණ නිළියන්,ගුවන් සේවිකාවන්, ගුරුවරියන් අත මිට යහමින් මුදල් ඇති උන් සමග පැමිණ තහනම් ගහේ ගෙඩි කන අන්දම ආමා මට කියා තිබේ.

දිනක් මා එහි ගියේ අාමා සමග වෙනත් ගමනක් යන අතර තුරයි. සතුටු සාමීචිය මැද්දේ උගේ සුරතින් සභාවට පැමිණි බියර් කෑන් එකක් දෙකක් හිස් කරමින් ඉන්නා විටෙක පොල් ගෝනි දෙකක් උඩ සිට බිමට වැටෙනා විට නැගෙන හඬ බඳු දඩස් දඩස් ශබ්ද දෙකක් ලඟ ලඟ ඇසුනි. මේ ස්ථානයේ ප්‍රධාන පිවිසුම රාත්‍රී 10ට වසා දමයි. ඒ වන විට වෙලාව රාත්‍රී 11 ට පමණ විය. මමත් ආමාත් ශබ්ද ඇසුන දෙසට යන විට තරුණ යුවලක් එහි විය. මුන් දෙන්නා තාප්පයෙන් පැන ඇති බව මගේ අක්මාවට වැටහුනි.

රූමත් තරුණිය සහ ලකයක් නැති තරුණයා අාමාගේ හිතවතුන් බව කථාවෙන් වැටහුනි. ඒකාගේ ආරාධනයෙන් අප සමග එක මේසයක හිඳ බියර් පානයට මේ යුවලම එකතු වූ අතර මඳ වේලාවකින් කාමරයක් තුල තනි විය.

කවුද බං ඒ...

ඒකි නැගීගෙන එන නිළියක්...

එතකොට අර අනිත් හාදයා...

ආ මිනිහා කැමරාකරණය කරන ඩයල් එකක්...

එතකොට මේ වෙලාවෙ....

මේ දවස් වල මේ හරියෙ චිත්‍රපටියක් කරනවා. ඔය ඉතින් වැඩ ඉවර වෙලා අනිත් උන්ට හොරෙන් දෙන්නා කොටුවක් පැනලා.

ආමා මට කීවේ එහෙමයි.

ආම්ස්ට්‍රෝන්ග් ව්‍යාපාරික ලාභය එකට කලතා නවීන මෝටර් රථයක් හිටි අඩියේ මිළදී ගත්තේය. හරියටම ඊට සතියකට පමණ පසු ඔහු මා හමුවන්නට මේ රථයෙන් පැමිණෙන විටත් එහි L බෝඩ් එකක් එල්ලෙමින් තිබූ අතර ආමාගෙ රථ පැදවීම ආධුනික මට්ටමේ බව රථයට නැගී සැනෙකින් මා හට අවබෝධ විය. පණ භයේ ඉදිරි අසුනේ සිටියදී තමා පසුකර යන හැමටම මා සමග බනින ආමා ඒකාට අවහිරයක් වන වාහන වලටද තිත්ත කුණුහරුපයෙන් බැන්නේය. වාහනයේ වීදුරු වසා තිබුන නිසා ඒවා ඇසුනේ මා හට පමණි.

එයින් පසු සෑහෙන දොහක් ගතවන තුරු මා හට ඒකා මුලිච්චි වූයේ නැත. තවත් කලක් ගිය තැන දවසක ආමාගෙන් ජංගම දුරබණුවට ඇමතුමකි.

උඹ ගෙදරද ඉන්නෙ...මා එක්ක කොළඹ යන්න වරෙන්...මම උඹව ගන්න ගෙදරට එන්නං...

ආමා සමග කථා කරනව විට අනෙකා කියන දෙයකට ඉඩක් නැත. ඒකාම කථාව පටන් ගෙන ඒකාම කථාව අවසන් කරයි.

තවත් විනාඩි 20 ක පමණ කාලයකින් කලු පැහැති රථය අප නිවසට සේන්දු විය. මගේ මව සමග මඳ වේලාවක් සතුටු සාමීචියේ යෙදී සිටි ආමා අපේ ගෙදරින් ප්ලෙන්ටියක් සමග කෙහෙල් ගෙඩියක් බොක්කට හලාගෙන මා කැටුව කොළඹ බලා පිටත් විය.

ඒ කාලයේ මගේ මිත්‍රයා විවාහ වී සිටියේ නැති නිසා උගේ අලුත්ම ප්‍රේම ජවනිකා වලට මා සවන් දිය යුතුය. උගේ ජංගම දුරබණුවට නිවනක් නැත. වරින් වර විවිධ ඇමතුම් ලැබෙයි. දැන් ආමා රථය පදවන්නට ඉතා ශූරය. ඇර සෝලෝ කියා සැමටම ඉස්සර කරමින් ඒකා යයි.

කොහෙද බං අපි යන්නෙ...රථය තුල වූ නිහැඩියාව බිඳිමින් මම ඇසුවෙමි.

මට ගොඩාක් උදව් කරපු පොලිසියෙ කෙනෙක් ඉන්නවා...එයාව මුණ ගැහෙන්න. මිනිහට කුඩ්ඩො, පොකට් කාරයො, බඩුපොට් කාරයො පරාණ භයයි. පොලිසිය ඇතුලෙම නෙලනවලු ඕකුන් අහුඋනාම. ජරාව කන පොරක් නෙමෙයි.

කොළඹ තදාසන්න පෙදෙසක පොලිසියක් අසල රථය නැවතිනි. රථයේ වීදුරුව පහත් කර බැරැක්කයේ සිටි රාළහාමි කෙනෙකුගෙන් ආමා නමක් කියා ඉන්නවාදැයි ඇසීය.

සර් දැන් ආවෙ..ඔෆිස් එකේ ඉන්නවා ඔන්න...පිළිතුර එසේ විය.

රථය පොලිසිය තුල නවතා මමත් ආමාත් මූලස්ථාන පොලිස් පරීක්ෂක තැනගේ කාර්යාලය ඉදිරිපිට සිටගත්තෙමු.  අප එහි යන විටත් කොස්තාපල් වරුන් තිදෙනෙකුට හෙතෙම උපදෙස් දෙමින් සිටියේය.

කවුද අද..............ඇමතිතුමාගෙ ගෙදර ගේට්ටුවෙ රාජකාරියට යන්නෙ. 

කොස්තාපල් වරුන්ද භිය පක්ෂ පාතීව පිළිතුරු දෙයි. කාර්යාලයේ පසෙකින් විකට් කූරු කීපයක් පෙනෙයි.

අර තියෙන්නෙ...අරවායින් තමයි අර වැරදි කරන උන්ට දෙනවා ඇත්තෙ...ආමා අංජනම් බලයි.

ප‍ොලිස් පරීක්ෂක තැන රාජකාරිමය කටයුතු නිම වූ පසු අපට එහි එන ලෙස හස්ත සංඥා කළේය.

ඉතිං මල්ලි...හුග කාලෙකින්...මේ කවුද ?

මේ මගේ ඉස්කෝල කාලෙ ඉඳන්ම යාලුවෙක්...නිලධාරියා මටද සුහදතාව පළකරමින් අතට අත දුන්නේය.

ඉතිං...දැන් ගිහින් කරන්න වෙන වැඩක් නෑ නේද...අපේ ගෙවල් පැත්තෙ ගිහින් රෑට කාලා එහෙම යමු. 

ඒ ගැටළුවට පිළිතුරු ලෙස ආමාගේ ටිකිරි මුවේ මන්දස්මිතියක් නැගුනි.

එසැනින් අපගේ මූලස්ථාන පොලිස් පරීක්ෂක තැන සිය බිරිඳට දුරකථන ඇමතුමක් ගත්තේය.

.......මල්ලි ඇවිත් කාලෙකට පස්ස‍ෙ...මේ දැන් ඉන්නවා මගේ ඉස්සරහා තව මල්ලි කෙනෙක් එක්ක. අපි ඔක්කොම අද රෑ කෑමට ඉන්නවා..ඔය මොනවා හරි හදලා ගන්න..අර ඔයාගෙ ඉස්තරම් හාල්මැස්සො බැඳුමක් තියෙන්නෙ අන්න ඒක හදලා ගන්න.....මොකක් හාල්මැස්සො ඉවරයි.....හාල්මැස්සො ඉවර නම් ඔය ළමයෙක්ව කඩේ යවලා ගෙන්න ගන්නවකො...මම එනකං ඉන්න ඕනෙද...අපි තව පැය භාගයකින් විතර එනවා.

ඉතිං මල්ලි...කොහොමද බිස්නස් එහෙම කරගෙන යනවද කරදරයක් නැතුව...

අ‍පේ සතුටු සාමීචිය තවත් අඩ පැයක් පමණ තියෙන්නට ඇත.

මල්ලි එහෙනං යාලුවා එක්ක ගෙදරට යන්න..මම බයික් එකේ එන්නං...

මමත් ආමාත් පොලිසියේ සිට විනාඩි 10 ක පමණ දුරක් මෝටර් රථයේ පැමිණ අතුරු මාර්ගයකට පිවිසියෙමු. ආමා එහි කලින් කීප වතාවක් පැමිණ තිබෙන බව ඒකා රථය පැදවූ ආකාරයෙන්ම මා හට තහවුරු විය.

තට්ටු දෙකේ රමණීය නිවසක් ඉදිරිපිට රථය නැවතුනි. කොහොමද බලහංකො අයියගෙ නෝනා..තවම කෙල්ල වගේ...ආමා මට ඇසක් ගසා රථයෙන් බිමට බැස්සේය. අප පිළිගන්නට පොලිස් පරීක්ෂක තුමාගේ ප්‍රිය බිරිඳ පැමිණ සිටියාය. ඇය කොළඹ ප්‍රධාන කාන්තා පාසලක නියෝජ්‍ය විදුහල්පතිනියක බව කිව්වා මතකය. එතුමිය සැබවින්ම රූමත් ළඳකි.

පොලිස් පරීක්ෂක තැන එනතුරු අපි නිවසේ ආලින්දයේ වූ පුටු දෙකකට බර දුන්නෙමු. තවත් මොහොතකින් ඔහු එහි පැමිණියේ කඩදාසි කොළයක ඔතන ලද යමක් රැගෙනය.

බත් කන්න කලියෙන් පොඩ්ඩක් ගමු මල්ලි...හුග කාලෙකින්නෙ......

අප ඉදිරියේ කුඩා ටීපෝවකි. ඒ මත හතරැස් බෝතලයක් තබා හෙතෙම නිවස තුලට වැදුනි. විනාඩි දෙක තුනක ඇවෑමෙන් ශීතකරණයෙන් රැගෙන ආ ස්ප්‍රයිට් සැන්ඩියක් සහ හපන්නට යමක් අප ඉදිරියේ දිගේලි විය.

පොලිස් පරීක්ෂක තැනට දියණියක සහ පුතෙකි. සා/ප‍ෙ ලියන වයසේ සිටි දියණියට අපගේ සැට් වීම නුරුස්නා වග සාලයේ සිටි ඇගෙන් එල්ල වූ දරුණු බැල්ම වලින් මම වහා හඳුනාගත්තෙමි.

එහෙනං  වැඩේ පටන් ගමු. ගෘහ මූලිකයා විසින් විවර කල බෝතලයෙන් අප දෙදෙනාගේ වීදුරු රන්වන් පැහැයෙන් බැබලුනි. ස්ප්‍රයිට් සමග සැර බාල කර පළවෙනි උගුර ආමාෂය කරා යැව්වෙමි. එහෙත් ඒවා ස්ප්‍රයිට් නොව සාමාන්‍ය ජලය බව හඳුනාගන්නට සැනෙන් හැකි විය. පොලිස් අයියාගේ මුහුණ විළියෙන් හැකිළී තිබේ.

කවුද මේ ෆ්‍රිජ් එකේ තිබුන ස්ප්‍රයිට් එක බීලා වතුර පිරෙව්වෙ...ඔයාලද ? ඔහු දරුවන්ගෙන් මුලින්ම විමසුවේය. එහෙත් ඔවුන් ඒ ජඩ වැඩේ කර නැත. උෟරු ජුවල් නැග සිටින අපේ පොලිස් අයියා කුස්සියේ සිටින බිරිඳ හමුවීමට ගියේය.

තමුසෙ නේද හොරෙන්ම ළමයි එක්ක මේක බීලා වතුර පිරෙව්වෙ...

අනේ නෑ...මම නෙමෙයි...මම දැක්කෙත් නෑ

දැන් මට ගෙදර හොරු අල්ලන්න වෙලා පිට උන් අල්ලන්න කලින්....බිව්වානම් කියනවකො...

මම ඕක බිව්වෙ නෑ අ‍නේ විකාරද....

කුස්සියේ කෙරෙන කථා බහ යන්තමින් අපේ කන් බෙර වල ගැටෙයි. බෙර කම්පොනය වෙයි.

මම ඉක්මනින් එන්නම් මල්ලි...කුස්සියේ තිබූ බෑගයක්ද ගෙන පා ගමනින්ම හන්දිය කරා ගිය නිලධාරී තැන නැවත ආවේ උවමනා දේ සමගිනි.

පොලිස් අයියා රාජකාරිමය අත්දැකීම් අප සමග බෙදාගන්නා අතර තුර බෝතලය පල්ලං බසියි. එයින් වැඩි කොටස ගෘහ මුලිකයාගේ කුස කරා ඇදී ගිය නිසාදෝ මටත් ආමාටත් වඩා ඔහුට කික් වී තිබුනි. ඒ අතර තුර වාචාල ප්‍රශ්නයක් අහන්නට මා හට සිත් විය.

ඇත්තටම අයියෙ...අයියට කොහොමද අක්කා සැට් උනේ...

ඒ ගැටලුව ඇසූ සැනින් ඔහුගේ  මුවේ මල් මල් හිනාවක් නැගුනි. ඒක බොහොම පරණ කථාවක් මල්ලි...මේ ඇහුනද..ඔයාව හම්බවෙච්ච හැටි මල්ලිට කියන්නද මුල ඉඳන්...ඔහු තම ප්‍රියම්භිකාවටද අමතයි.



ඒ දවස් වල මම හිටියෙ ත්‍රීකුණාමලයෙ උප පොලිස් පරික්ෂක කෙනෙක් විදියට. මෙයාගෙ පළවෙනි ගුරුපත්වීම දුෂ්කර සේවයේ,  අපේ චෙක් පොයින්ට් එක හරහා තමයි ඉස්කෝලෙට ආවෙ ගියෙ. මම ඉතින් තනි තරුව ගහගෙන ඉන්නවා දැකලා මෙයාම තමයි ලියුමක් දුන්නෙ මට හංගගෙන ඉඳලා. පොලිස් අයියා අතීත මතකය අප ඉඳිරියේ හලයි.

අනේ ඔය බොරු මල්ලි. මෙයා තමයි මගේ පිටිපස්සෙන් දවස් ගානක් බඩගාලා ලියුමක් දුන්නෙ. මම ඒකට උත්තර ලියන්න ගියෙත් නෑ. මගේ යාලුවන්ට කං කෙඳිරි ගාලා..උන්ගෙන් බේරෙන්න බැරි තැන උත්තරයක් ලිව්වෙ. ඔය කථා නවත්තලා කාලා ඉන්න අනේ. ඇයට ලැජ්ජා සිතී ඇති සෙයකි.

ඇගේ ආරාධනය නිසා අප කරමින් උන් කථාව මඳකට නවතා කෑම මේසයට ඉඳගත්තෙමු. හාල්මැස්සො බැඳුමද සමග තවත් ව්‍යංජන කීපයක් එහි විය. ආහාර බුඳින අතරතුරත් දෙදෙනා අතර වාදය දිගටම ඇඳුනි.

එතකොට ඔයා කියන්නෙ මම ඔයාගෙන් ඇහුවා කියලා එහෙමද...

එහෙම තමයි..නැත්තං මම පස්සෙන් ආවා කියලද කියන්නෙ...

ඇයි මතක නැද්ද...අර එස් අයි මහත්තයා නම් අපි දිහා බලන්නෙවත් නෑ කියලා එතනින් අැනුම් පද කියාගෙන ගියේ...ඒ මම වෙන්න ඇති....

එහෙම කිව්වෙ සරෝජා නෙ...මමයැ...

අනේ නිකා ඉන්නවා..මගේ පස්සෙන් ඇවිත් මාව දැලේ දාගත්තා...පොලිස් අයියාද අරින්නේ නැත. මේ වෙද්දී ඔවුන්ගේ දරුවන් නිදාගන්නට කාමර වෙත ගොස් සිටියහ. මමත් ආමාත් ආහාර හමාර කොට අත් සෝදා ගතිමු.

මේ මනුස්සයා  බොරු කියන හැටි. සතියක් දෙකක් මගෙ පස්සෙන්ම ආවා. මමත් ඉතින් දුක හිතිලා හා කිව්වා.

දැන් ඔයා දිගටම කියන්නෙ මම ඔයාගෙන් යාලු වෙන්න ඇහුවා කියලද..ඉන්නවකො මම පෙන්වන්න කවුද ඇහුවෙ කියලා.

පොලිස් අයියා කඩිමුඩියේ ඉහළ මාලයට දුවගොස් ඉටිකවරයක පිරවූ යමක් සමග නැවත පහළට පැමිණියේය.

අනේ ඔය මොකද කරන්න යන්නෙ...බිරිඳ දෑස් ලොකු කරගෙන බලා සිටියි. ඕක මෙතන හලන්න එපා මනුස්සයො.

අනේ මේ මගෙ කට අවුස්සගනනෙ නැතුව පැත්තකට වෙනවා.

සාලයේ තිබූ මේසයක් මත කවරයේ තිබූ දෑ විසිරී ගියේය. එය පෙම්පත් එකතුවක් බව පැහැදිලිය. මේ තියෙන්නෙ මෙයයි මම ලියපු ලියුම්.. මෙතන තියෙනවා මුල්ම ලියුමත්....පොලිස් අයියා සමහර ලියුම් අතට ගෙන ශබ්ද නගා කියවයි. බිරිඳ අපහසුතාවයෙන් ඇඹරෙයි. මමත් ආමාත් මේ ක්‍රියාව නවතාදමන්නට සෑහෙන්න වළි කෑවෙමු.

ඔහොම ඉඳපල්ලා ලියුමක් දෙකක් කියවන්න...

අයියා පුද්ගලික දේවල්නෙ...ඕවා කියවන්න එපා මෙතන...අපි දහඅතේ වැඳ ලියුම් සියල්ල එතකු කොට මල්ලට දමා අක්කා අතට දුන්නෙමු.

විළියෙන් රතුවී ඇති ඇගේ මුහුණ දුටු මා හට ඔවුන්ගේ අතීත ආදර ජවනිකා ගැන විමසීම පිළිබඳ පසුතැවිල්ලක් ඇති විය. එනපොට හොඳ නැති බව අවබෝධ කරගත් ආමා එතෙක් නොතිබූ හදිසියක් ඇඟට ආරූඩ කරගෙන අපි විඳි සංග්‍රහ වලට නොසෑහෙන සේ දෙපළටම ස්තූති කරමින් නිවෙසින් එළියට පැන්නේය. ඔහු අනුගමනය කරමින් මමද නිවෙසින් එළියට විසි උනෙමි. පොලිස් අයියාගේ රතු වූ ඇස් ගෙඩි දෙක අඩවන් වී තිබුනි.

හරි මල්ලි...එහෙනං ආයෙ දවසක මම අපේ කථාවෙ ඉතිරිය කියන්නං. රථය ඉඳිරියට ධාවනය වන විට ඔහු එසේ කීවා මතකය.



මම කාමරේ අරින සිරා ‍කොලුවා.

Friday, May 8, 2015

64 මැලේසියාවේ අභිමානය පෙට්‍රොනාස්

අවසන් ජාලෙන් පෙරලපු ලිපියෙන් අපි විස්තර දැනගත්තෙ අයිෆල් කුළුණ ගැන..ඒ සඳහා ලැබුන ප්‍රතිචාරය ඉතාම ඉහළයි. බොහෝ පිරිසක් ලිපියේ අන්තර්ගතය ගැන ප්‍රශංසාත්මකව කථා කලා. සමහරු අදහස් දක්වලා ඊයක් දෙකක් විද්දා. ඒ නිසාම මෙදා වාරෙ සිරා කොලුවා කල්පනා කලා මම නොදුටු දෙයක් වෙනුවට මට දිනපතාම සේවයට යද්දි එද්දි දකින්න ලැබෙන ඉඳිකිරීමක් ගැන විස්තර බොලාට කියන්න.

ඒ තමයි මැලේසියාවෙ අගනුවර වන ක්වාලාලම්පූර් නුවර බොහෝ තැන් වලට පැහැදිලිව පෙනෙන මැලේසියාවේ අභිමානය ලෙස සැළකෙන පෙට්‍රොනාස් නිවුන් කුළුණු. 1998 සිට 2004 දක්වා ‍කාලය තුල ලෝකයේ උසම ගොඩනැගිල්ල ලෙස වැජඹුන මේ දැවැන්ත නිර්මාණය වර්තමානයේත් ලොව නිවුන් ගොඩනැගිලි අතර අංක එකට වැජඹෙනවා. මැලේසියාවේදී වඩාත්ම ඡායාරූපයට නැගුන සංචාරක ස්ථානය වගේම ක්වාලාලම්පූර් නුවර 21 වන සියවසේ සංධිස්ථානයක් සළකුණු කල පෙට්‍රොනාස් ද්විත්ව ගොඩනැගිල්ල උසින් මීටර 452 ක්.  ශ්‍රී ලංකාවේ උසම ගොඩනැගිල්ල ලෙස කාලයක් වැජඹුන කොළඹ කොටුවේ  ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ උස මීටර් 152 යි. ලංකාවේ ගොඩනැගිල්ල දැක ඇති ඔබට පෙට්‍රොනාස් ගොඩනැගිල්ලෙ උස ගැන දළ අවබෝධයක් ගන්නට හැකි වේවි.

ක්වාලාලම්පූර් නගර මධ්‍යයේ අභීතව නැගී සිටින පෙට්‍රොනාස්
රාත්‍රියට පෙනෙන අන්දම
මැලේසියාව කියන්නෙ තමන්ටම කියලා ඛණිජ තෙල් සහ ගෑස් නිපදවන රටක්. එම ඛණිජ තෙල් සහ ගෑස් නිෂ්පාදන ජනතාව අතරට අරගෙන යන රජයේ ආයතනය තමයි පෙට්‍රොනාස් කියන්නෙ. ඔවුන් ලෝක මට්ටමෙන් ගත්තත් රටවල් 30 කට ආසන්න ගනනකට තමන්ගෙ නිෂ්පාදන සපයන ප්‍රමුඛ පෙලේ ආයතනයක්.

මහතීර් මොහමඩ් අගමැති තුමා

ආනන්ද ක්‍රිෂ්ණන් මහතා
මැලේසියාවේ එවකට අගමැති ආචාර්ය මහතීර් මොහමඩ් මහතාට අහස සූරන ගොඩනැගිල්ලක් ක්වාලාලම්පූර් නුවර මධ්‍යයේ ඉඳිකරන්නට අදහස පහල වී තිබුනා. ඔහු මේ අදහස ඔහුගේ හිතවතෙකු මෙන්ම මැලේසියාවේ ධනවතුන් අතර දෙවැනි තැන අදටත් සිටින ආනන්ද ක්‍රිෂ්නන් මහතාට සැළ කලා. ආනන්ද ක්‍රිෂ්ණන් මහතා 1938 දී මැලේසියාවේ ඉපදුන දමිළ ජාතිකයෙකු වුවත් ඔහුගේ දෙමාපියන් ලංකාවේ යාපනය ප්‍රදේශයෙන් යටත් විජිත සමයේ මැලේසියාවට සංක්‍රමණය වී තිබුනේ ඉංග්‍රීසි ජාතිකයන්ගේ ව්‍යාපෘති වල සේවය කිරීම සඳහායි. ආනන්ද ක්‍රිෂ්නන් මහතා ගොඩනැගිල්ල ඉඳිකල වකවානුවේ පෙට්‍රොනාස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස සේවය කලා. මේ සමාගම බිහි කිරීම සඳහාත් මහතීර් මොහමඩ් මහතාට ක්‍රිෂ්නන් මහතාගේ අදහස් ලැබුන බව දැනගන්නට තිබෙනවා.

නගර මධ්‍යයේ තමා සතු තුරඟ තරග පවත්වන භූමිය මේ සඳහා ලබාදිය හැකි බව ක්‍රිෂ්ණන් මහතා පැවසූ විට අගමැති වරයා එය මේ ව්‍යාපෘතිය වෙනුවෙන් විකුණන ලෙස යෝජනා කලද ආනන්ද ක්‍රිෂ්ණන් මහතා  පවසා ඇත්තේ ඉඩම ලබාදෙන්නේ මේ ගොඩනැගිල්ල ඉඳිකිරීම තමා හට බාර කලොත් පමණක් බවයි. ඒ අවසරය ඔහුට පැවරුන පසු මේ ඉඳිකිරීම සඳහා දායක කරගත් ප්‍රධාන සැලසුම් කරුවා මෙන්ම ජපාන සහ කොරියානු සමාගම්ද ආනන්ද ක්‍රිෂ්නන් මහතා විසින් සොයාගත් ඒවාය. ඒ අනුව මේ ගොඩනැගිල්ල පිටුපස සිටින යෝධ චරිතයක් ලෙස ඔහු හැඳින්වීම සාවද්‍ය නොවේ. ලංකාවේ අපටද ඔහු කෙරේ නෑදෑකමක් ඇති නිසා එය ලාංකිකයන් ලෙස අපට මහත් ආඩම්බරයකි.

ඇමරිකානු ඩොලර් බිලියන 1.6 ක් වියදම් කොට ගොඩනැගිල්ල ඉඳිකර අවසන් වූ පසු එක් කුළුණක් අගමැති වරයා හටත්...අනෙක් කුළුණ ආනන්ද ක්‍රිෂ්ණන් මහතා හටත් අයත්ව තිබූ බව කියවුනත් මැලේ සමාජයේ පිළිගැනීම එය සම්පූර්ණයෙන්ම ක්‍රිෂ්ණන් මහතාට අයත්ව තිබූ බවකි. ජාතිවාදී අදහස් හා නොයෙක් දෙසින් එල්ලවූ විවිධ පීඩනය නිසා 2000 වසරේදී මේ ගොඩනැගිල්ල මැලේසියානු රජයට විකුණා දමන්නට ක්‍රිෂ්නන් මහතා කටයුතු කලා.

ඉතාම කළාතුරකින් ප්‍රසිද්ධියේ පෙනී සිටින, පුණ්‍ය කටයුතු හා පරිත්‍යග වෙනුවෙන් නිතරම කෝටි ගනනින් මුදල් ලබාදෙන, මැලේසියාවේ සන්නිවේදන චන්ද්‍රිකා සියල්ලේ මෙන්ම අංක එකේ ජංගම දුරකථන ජාලයද ඇතුලු ජංගම දුරකථන ජාල දෙකක, අංක එකේ කේබල් රූපවාහිනී සේවයේ මෙන්ම, ඛණිජ තෙල් සහ ගෑස් ඇතුළු බොහෝ ව්‍යාපාර වල හිමිකරුවා වන ආනන්ද ක්‍රිෂ්නන් මහතා ලංකාවේ ටෙලිකොම් ආයතනයේද කොටස් මිළදී ගෙන ඇති බව අසන්නට ලැබේ. මෙතුමාට පුතුන් දෙදෙනෙකු හා එක් දියණියක සිටිති. එක් පුත්‍රයෙකු පෙට්‍රොනාස් සමාගමේ ඉහළ තනතුරක සිටින අතර අනෙක් පුත්‍රයා මේ වන විට තායිලන්තයේ බෞද්ධ භික්ෂුවක් ලෙස මහන දම් පුරයි. ක්‍රිෂ්නන් මහතාද බුදුන් සරණ ගොස් ඇති බවට රාවයක් මැලේ ජනසමාජය තුල පවතී. බ්‍රික්ෆිල්ඩ් බෞද්ධ මහා විහාරය ආසන්නයේ ක්‍රිෂ්නන් මහතා  උපන් නිවස අදටත් දක්නට හැකියි.

වර්තමානය වන විට කුළුණු දෙකෙන් එක කුළුණක් පෙ‍ට්‍රොනාස් ආයතනයට සහ ඔවුන්ගේ අනුබද්ධ සමාගම් වල කාර්යාල පවත්වාගෙන යාම සඳහා වෙන් වී තිබෙනවා. අනෙක් කුළුණේ ලොව ප්‍රකට සමාගම් වන Huawei Technologies, AVEVA, Al Jazeera English, Carigali Hess, BloombergBoeingIBMKhazanah Nasional BerhadMcKinsey & CoWIPRO LimitedTCSHCL TechnologiesKrawlerMicrosoft, The Agency සහ Reuters තම කාර්යාල පවත්වාගෙන යනවා.

පෙට්‍රොනාස් සන්නාමය


මේ විශ්වකර්ම ගොඩනැගිලි ද්විත්වය සැලසුම් කලේ ආජන්ටිනා සම්භවය සහිත ඇමරිකානුවෙකු වන César Pelli විසින්. ගෘහ නිර්මාණ ක්‍රම රාශියක සංකලනයක් විදියටත්, 21 වන ශත වර්ෂයට ගැලපෙන විදියටත්, මේ නිර්මාණය සැලසුම් කිරීම තමයි එතුමාගෙ අභිප්‍රාය වෙලා තියෙන්නෙ. 1992 ජනවාරි 1 වැනිදා මේ දැවැන්ත ගොඩනැගිලි ද්විත්වය සැලසුම් කිරීම නමෝ විත්තියෙන් ආරම්භ උනා. ගොඩනැගිල්ලෙ සැලසුම විදියටම ඉඳිකල අනුරූ මත සුළඟ සහ විවිධ බර යොදා කරපු සංකීර්ණ පරීක්ෂණ රාශියක් අවසානයේ 1993 මාර්තු 1 වැනිදා පෙට්‍රොනාස් නිවුන් කුළුණු ඉඳිකරන්න පටන් ගත්තා. මුලින්ම කරන්න තිබ්බෙ පොළොව හාරන කටයුත්ත. සෑම රාත්‍රියකම ලොරි රථ 500 ක් පුරවලා කණින ලද පස් ඉවතට අරගෙන ගියා. එක රැයකට මීටර් 30 ක් පොළව යටට හාරන්න ඉංජිනේරුවන්ට හැකි උනා. සමස්තයක් විදියට මේ ගොඩනැගිල්ල තනා නිමකරන්න වසර  7ක් ගත වෙලා තියෙනවා.

César Pelli


ගොඩනැගිල්ලේ සැකිල්ල 1994 අප්‍රියෙල් 1 වනදා ඉඳිකිරීම අාරම්භ කලා. 1996 ජනවාරි 1 වන විට ගොඩනැගිල්ලේ ඇතුලත නිමැවුම් කටයුතු ගෘහ භාණ්ඩ ස්ථානගත කිරීමද ඇතුලත්ව නිමකලා. පෙට්‍රොනාස් කුළුණු මුදුනේ ඇති කොත 1996 මාර්තු 1 වැනිදා තනා නිම උනා. පෙට්‍රොනාස් සමාගමේ සේවකයන් ගොඩනැගිල්ලට ගෙවදුනේ 1997 ජනවාරි 1 වැනිදා. නිල වශයෙන් මේ ගොඩනැගිලි ද්විත්වය මැලේසියාවේ හිටපු අගමැති ආචාර්ය මහතීර් මොහමඩ් මහතා අතින් විවෘත උනේ 1999 සැප්තැම්බර් මස 1 වැනිදා. හරියටම මැලේසියාවෙ ජාතික දිනය යෙදෙන දවසට පහුවෙනිදා.

ඉඳිකිරීම් කටයුතු කරන්නට කලියෙන් එහි පොළව පිළිබඳ කල පරික්ෂණ වලින් භූමියේ එක කොටසක් හුණු ගල් වලින් යුතු බවත් අනෙක් කොටස මෘදු පාශාණ වලින් යුතු බවත් සොයාගත්තා. අවසානයේ යෝජිත භූමිය මීටර් 61 ක් පසෙකට තල්ලු කරමින් ගොඩනැගිලි ද්විත්වයම මෘදු පාශාන සහිත පොළවක් මත ඉඳිකිරීමට හැකි ලෙස වෙනස් කලා. පොළවට යටින් පිහිටා තිබූ ප්‍රධාන පාෂාණ තට්ටුව නිසා ඇති විය හැකි අවහිරතාවයන් අවම කිරීම මේ වෙනස ඇති කිරීමේ අරමුණ උනා.

ගොඩනැගිල්ලක් වෙනුවෙන් ඒ කාලයේ ඉඳිවුන ගැඹුරුම අත්තිවාරම මත තමයි පෙට්‍රොනාස් නිවුන් කුළුණු උපන්නේ. පොළව යට මීටර් 60 සිට 114 දක්වා ගැඹුරේ ස්ථානගත කොට තිබෙන කොන්ක්‍රීට් තට්ටු 104 කින් එය සමන්විතයි. අත්තිවාරම මීටර් 120 ක් පොළව යටට දිව ගියා. සමස්ත කොන්ක්‍රීට් පාදම කියුබික් මීටර් 13200 ක් විශාලයි. එක් කුළුණක අත්තිවාරම නිමකිරීම වෙනුවෙන් පැය 54 ක් නොකඩවා කොන්ක්‍රීට් පොම්ප කරන්නට සිදු උනා. එහි බර ආසන්න වශයෙන් ටොන් 35800 ක්. ලොව විශාලතම පාදමට හිමි වාර්තාව වර්ෂ 2007 දක්වා රැකගන්නට පෙට්‍රොනාස් ගොඩනැගිල්ලට හැකියාව ලැබුනා. අත්තිවාරම නිම කරන්නට Bachy Soletanche නැමති එංගලන්ත සමාගමට මාස 12 ක් ගතවී තිබෙනවා. ගොඩනැගිල්ලේ සැකිල්ල Fazlur Rahman Khan විසින් සොයාගත් Tube in Tube ක්‍රමයට නිම උනා. ඒ සඳහා දායකත්වය දැක්වූයේ හයිටි ජාතික ඉංජිනේරුවන් තිදෙනෙකු වූ Domo Obiasse, Colleagues Aris Battista සහ Princess D Battista යන අයයි.

දිගු ගමනක ඇරඹුම


තට්ටු 88ක් උසැති මේ නිවුනු කුළුණු දෙකේ ඉඳිකිරීම් වලින් වැඩි කොටසක් සවිගැන්වූ කොන්ක්‍රීට් මගින් නිම කර තිබෙනවා. ගොඩනැගිල්ලේ ඉදිරිපස වානේ සහ වීදුරු භාවිතයෙන් ඉස්ලාම් කලාශිල්ප වල අාභාෂය ලබමින් කල නිර්මාණය මගින්  මැලේසියාවේ රාජ්‍ය ආගම වන මුස්ලිම් ආගම පිළිඹිබු වෙන බවක් කියවෙන්නෙ. මෙයට අමතරව ඉස්ලාම් කලා ශිල්ප වල ආභාෂය ගොඩනැගිල්ලේ තවත් තැන් වල දකින්නට හැකියි. ගොඩනැගිල්ලේ මැද කොටසේදී Rub el Hizb නැමති ඉස්ලාම් කලා ශිල්ප වල එන හැඩය සහිතව ගොඩනැගිල්ල ඉහළට එසැවී තිබෙනවා


ඇත්ත වශයෙන්ම පෙට්‍රොනාස් ගොඩනැගිල්ලේ  මූලික සැලසුම ඇඳ තිබෙන්නේ මීටර් 427 ක් උස වන පරිද්දෙන්. එහෙත් තවත් මීටර් 15 ක් ඉහළට මේ ගොඩනැගිල්ල එසවූවා නම් එය ලෝකයේ උසම ගොඩනැගිල්ල බවට පත්වන බව එවකට මැලේසියානු අගමැති ආචාර්ය මහතීර් මොහොමඩ් මහතා ට වැටහී තිබෙනවා. ඔහු සැලසුම් ශිල්පියාට උපදෙස් දුන්නේ තවත් මීටර් 15 ක් උස වැඩිකර ලොව උසම ගොඩනැගිල්ල බවට මේ ඉඳිකිරීම පත් කරන ලෙසයි. අවසානයේ අලුතින් තවත් තට්ටු එකතු කරනවා වෙනුවට ගොඩනැගිල්ල ඉහළින් ඉඳිකල ඔටුන්න වැනි කොටස මගින් මීටර් 452 ක් දක්වා උස වැඩිකරන්න සමත් උනා.

මැලේසියානු රජයේ බලාපොරොත්තුව උනේ මේ ගොඩනැගිල්ල වසර 6 කින් සාදා නිමකරන්නටයි. ඒ අනුව එම ඉලක්කය සපුරා ගන්නට එක් එක් කුළුණු ඉඳිකිරීම වෙන වෙනම සමාගම් දෙකක් වෙත පවරා තිබෙනවා. පළමු කුළුණ හෙවත් බටහිර කුළුණ  Hazama Corporation නැමති ජපාන සමාගම ප්‍රමුඛ තවත් සමාගම් කීපයක් මගින් ඉඳිකලා. දෙවන කුළුණ හෙවත් නැගෙනහිර කුළුණ Samsung C&T Corporation නැමති දකුණු කොරියානු සමාගම ප්‍රමුඛ තවත් සමාගම් කීපයක් මඟින් ඉඳිකලා. අවසානයේ මුලින්ම කුළුණ ඉඳිකරන්නේ කවුද? යන ගැටළුව කාටත් ඇති උනා.

දහස් සංඛ්‍යාත දේශීය/විදේශීය සේවකයින් මේ සමාගම් යටතේ ගොඩනැගිල්ලේ ඉදිකිරීම් වලට දායක උනා. නැත්නම් මේ ඉඳිකිරීම බහුජාතික වෑයමක් උනා. ගොඩනැගිල්ලේ මූලික සැකිල්ලේ වැඩ කටයුතු අධීක්ෂණය කලේ ඇමරිකානු ඉංජිනේරුවන්. කුළුණු ද්විත්වය ජපානයේ සහ දකුණු කොරියානු දැනුමෙන් ගොඩනැගුවා. අධිවේගී විදුලි සෝපාන සහ එක්ස්කැල‍ේටර් කැනඩාවෙන් ලැබුනා.

පෙට්‍රොනාස් ගොඩනැගිල්ල ඉඳිකිරීම ජපානය සහ දකුණු කොරියාව අතර තරඟයක් බවට කෙමෙන් කෙමෙන් පත් උනා. අවසානයේ තම ප්‍රතිවාදියාට සතියකට කලින් ඉලක්කයට ලඟා වෙන්නට දකුණු කොරියානු කණ්ඩායමට හැකි වෙලා. දෙවන කුළුණ මුලින්ම ඉහලට නැගී එතෙක් ලොව උසම ගොඩනැගිල්ල ලෙස නම් දරා සිටි මීටර් 442.1 උස ඇමරිකාවේ Willis Tower නැමති ගොඩනැගිල්ල පසුකර නව ලොව උසම ගොඩනැගිල්ල ලෙස ලෝක වාර්තාවට හිමිකම් කිව්වා. 

ගොඩනැගිල්ල මුදුනේ සවිකල කොත වැනි කොටස මේ ජයග්‍රහණය අත්කර ගැනීමට බොහෝ සේ දායක වී තිබෙනවා. එය මීටර් 73.5 ක් උසින් යුතුයි. ගොඩනැගිල්ලේ නිමාව සටහන් කරමින් කල ඉඳිකිරීමකට වැඩි දෙයක් ඒ තුල අන්තර්ගත වෙයි. සති 19 කට වැඩි කාලයක් මේවා නිපදවන්නට සහ එකලස් කරන්නට වැය වී තිබෙනවා. කොරියානුවන් නිපදවූ කුළුණේ කොත කොරියාවෙත්, ජපාන සමාගම විසින් ඉඳිකල කුළුණේ කොත ජපානයේදිත් නිපදවා තිබේ. ඒවා විවිධ කොටස් 50 කින් පමණ සමන්විතය. මේ කොටස් දෙක ටොන් 176 ක් පමණ බරින් යුතු වෙයි. කුළුණු ද්විත්ව‍යේ පෙනුම මේවා මගින් තීව්ර කර ඇති අතර ගුවන් යානා වෙත අනතුරු අඟවන විදුලි බුබුළුද ඒ මතම සවිකොට තිබේ.


ගොඩනැගිල්ලේ ඉඳිකිරීම් අතරතුරදී භාවිතා කල කොන්ක්‍රීට් කාණ්ඩයක තත්වය පිළිබඳ ගැටළුවක් ඇති වීම නිසා අලුතෙන් ඉඳිකිරීම සම්පූර්ණයෙන් නවතා දමා එතෙක් ඉඳිකර තිබූ සියළුම මහල් පිළිබඳ තත්ව පරීක්ෂණයක් කරන්නට සිදුඋනා. අවසානයේ එක් මහලකට පමණක් තත්වයෙන් බාල කොන්ක්‍රීට් යොදා තිබූ බව අනාවරණය වූ නිසා එම මහල සම්පූර්ණයෙන් කඩා ඉවත් කොට නැවතත් ඉඳිකොට තිබෙනවා. ඉඳිකිරීම් නැවතීම නිසා එක් දිනයකට වැය ඇමරිකානු ඩොලර් ලක්ෂ 7ක් බවට ගණනය කර තිබුනා. මේ හේතුව නිසා කොන්ක්‍රීට් සැපයුම් ස්ථාන (Plant)  3 ක් වෙන වෙනම අලුතින් ස්ථාපනය කල අතර එක් ස්ථානයක නිෂ්පාදනය වන කොන්ක්‍රීට් තත්වයෙන් බාල වුවහොත් අනිත් ද්විත්වය භාවිතා කිරීම එහි අරමුණයි.

පෙට්‍රොනාස් ගොඩනැගිල්ල 72 වෙනි මහලට ලගා වූ පසු ඉංජිනේරුවරුන් විසින් එය මිලිමීටර් 25 ක ඇලයක් සහිතව ගමන් කරන බව සොයාගත්තා.  ඒ නිසා එයින් මතු ඉඳිවූ මහල් මිලිමීටර් 20 ක් සිරස් අතට ඇතුලට ගෙන තිබෙන අතර ඉඳිකිරීම් අවසන් වන තුරු  මේ කාරණය පිළිබඳ විශේෂඥයන් දිනකට දෙවරක් බැගින් පරීක්ෂා කොට තිබෙනවා.

පෙට්‍රොනාස් ගොඩනැගිල්ලේ ඇති සුවිශේෂීම අංගය නම් එහි ඇති තට්ටු දෙකේ අහස් පාලමයි. එක් කුළුණක 41 වන මහලත් අනෙක් ගොඩනැගිල්ලේ 42 වෙනි මහලත් මෙමගින් සම්බන්ධ කොට තිබෙනවා. ලෝකයේ ගොඩනැගිලි දෙකක් එකට සම්බන්ධ කරන පොළවට වඩාත් ඉහළින් පිහිටි පාලම ලෙසයි මෙය සැලකෙන්නේ. එය පොළවේ සිට මීටර් 170 ක් උසින් ස්ථානගතවී තිබෙනවා. මෙය ගොඩනැගිල්ලේ ප්‍රධාන සැකිල්ලට සම්බන්ධ කොට නෑ. විශාල සුළගකදී පාලමට සිදුවිය හැකි හානි අවම කිරීමේ අරමුණින් එය සකස් කොට තිබෙන්නේ අංශක කීපයක් දෙපසට පැද්දෙන ලෙසයි. පැයට කිලෝමීටර් 105 ක වේගයෙන් හමනා සුළගකදී උනත් පාලම මෙන්ම ගොඩනැගිල්ලත් ආරක්ෂිතයි. ඒ බව දෙවරක්ම පරීක්ෂණ මගින් ඉංජිනේරුවන් සනාථ කොට තිබෙනවා. මේ පාලම නිසා කුළුණු ද්විත්වයට හදිසි අවස්ථාවකදී අමතර සහායක් ලැබෙනවා. අහස් පාලමේ දිග මීටර් 58 ක්. පාලමේ බර ටොන් 750 ක්. මේ පාලමේ ඉඳිකිරීම් කටයුතු නිම කලේ Kukdong Engineering & Construction නැමති දකුණු කොරියානු සමාගමයි.


මවිසින් ගන්නා ලද ඡායාරූපයක්


අහස් පාලම මතදී මවිසින් ගන්නා ලද ඡායාරූපයක්
අහස් පාලම ආරක්ෂාකාරී උපාංගයක් ලෙසත් භාවිතා කරන්න පුලුවන්. හදිසි ගින්නකදී හෝ වෙනත් ආපදාවකදී  එක් කුළුණක ඇති කාර්යාල වල සිටින සේවක සේවිකාවන්ට අනෙක් පස කුළුණට ගමන් කරන්නට මෙමගින් අවස්ථාව ලැබී තිබෙනවා. පාලමේ බර දරාගෙන සිටින්නේ මීටර් 51 ක් දිගැති ආරුක්කු දෙකක් විසින්. 29 වෙනි මහලේදී ඒවා ගොඩනැගිල්ලට සවි වී තිිබේ. භූමියේදී එකලස් කොට ඉහළට එසවූ අහස් පාලම නිසි ලෙස සවිකරන්නට 1995 ජූලි මාසයේදී දින 3 ක් ගත උනාලු. මේ පාලම විසින් සම්මන්ත්‍රණ ශාලාවක්, විධායක ශ්‍රේණියේ අවහන්හලක් සහ යාච්ඤා කිරීම උදෙසා වෙන් වූ ස්ථානයක් සම්බන්ධ කරනවා.

මේ ගොඩනැගිල්ල සතුව අධිවේගී විදුලි සෝපාන 29 ක් තිබේ. පොළව යට තනා ඇති වාහන නැවතීමේ අංගන වල වාහන 5400 කට පමණ ඉඩ තිබේ. ගොඩනැගිල්ල තනන්නට සුදු යකඩ වර්ග මීටර් 83500ක්, වීදුරු වර්ග මීටර් 77000 ක්, යකඩ ටොන් 36000 ක් පමණ වැය උනාලු.  සමස්ත පෙට්‍රොනාස් ගොඩනැගිල්ලේ බර මෙට්‍රික් ටොන් 600,000 ක් ලෙස ගනන් බලා තිබේ. ඒ අනුව එක් කුළුණක බර මෙට්‍රික් ටොන් 300,000 කි.

ලොව උසම ගොඩනැගිල්ල ලෙස පෙට්‍රොනාස් කුළුණු ද්විත්වය 1999 සිට  2004 වසර වන නෙත් වැජබුනා. තායිවානයේ තායිපේ නුවර ඉඳිවුන 101 ගොඩනැගිල්ල මීටර් 508 ක උසක් සටහන් කරමින් පළමු ස්ථානය මැලේසියාවෙන් උදුර ගත්තද 2010 දී මීටර් 828 ක් උස බර්ජ් කලීෆා ගොඩනැගිල්ල විවෘත කරමින් නූතන ලෝකයේ උසම ගොඩනැගිල්ලට හිමිකම් කියන්නට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි පුරවරය සමත් උනා. ලොව උසම ගොඩනැගිල්ල තමා සන්තක කර ගැනීම ලොව දියුණු රටවල් අතර තරඟයක් බවට වර්තමානය වන විට පත්ව තියෙනවා.

මෙතෙක් මා ඔබට කිව්වේ පෙට්‍රොනාස් ගොඩනැගිල්ල හා සම්බන්ධ තාක්ෂණික හා වෙනත් කාරණායි. මේ ගොඩනැගිල්ලේ ඉහළට ගිය කෙනෙකු ලෙස මගේ අත්දැකීම් සහ අවශේෂ පරිසරය ගැනද මා යමක් කිව යුතුය.

පෙට්‍රොනාස් ගොඩනැගිල්ලේ බිම්මහලේ පසෙක සූරියා KLCC නැමති සුපිරි වෙළඳ සංකීර්ණයක් වෙයි. වර්ග මීටර් 140,000 පමණ විශාල වන එහි ලොව ප්‍රමුණ පෙලේ සන්නාමයන්ගේ නිෂ්පාදන අළෙවි කිරීමට තිබේ. මේවාට අමතරව මින්මැදුරක්, චිත්‍රපට ශාලාවක් සහ විද්‍යා මධ්‍යස්ථානයක් ද එහි වෙයි. මේ මහල හරහා ගොඩනැගිල්ල නරඹන්නට යා යුතු මඟ වැටී තිබේ.





පෙට්‍රොනාස් ගොඩනැගිල්ල නැරඹීමට 2010 වසර දක්වා නොමිලේ අවස්ථාව ලබා දි තිබුනත් වර්තමානයේ මුදල් ගෙවා ප්‍රවේශ පත්‍ර ලබාගත යුතු වෙයි. විදේශික වැඩිහිටියෙකු සඳහා ලංකා රුපියල් 3000 කට වැඩි මුදලක් සහ දරුවෙකුට ලංකා රුපියල් 1200 කට වැඩි මුදලක් අය කරයි. සෑම සඳුදා දිනකම බාහිර පුද්ගලයන් සඳහා ගොඩනැගිල්ල විවෘත වන්නේ නැත. සතියේ අනෙකුත් දින වල උදෑසන 9 සිට රාත්‍රී 9 දක්වා එය විවෘතව පවතී. පැමිණෙන පිළිවෙලට ප්‍රවේශ පත්‍ර නිකුත් කරන අතර ‍අධික ඉල්ලුම නිසා වේලාසන ටිකට් පත් මිළදීගෙන එහි මුද්‍රණය කොට තිබෙන වෙලාවට එහි යා යුතුය. එසේ නොමැතිව ප්‍රවේශ පත්‍රය නිකුත් කරන අවස්ථාවේම එය නරඹන්නට යන්නට අවස්ථාවක් නැත.

ටිකට් පත් මිළ බදු වැඩි වීමට පෙර....නැරඹීමට පැමිණිය යුතු වෙලාව ටිකට් පතේම මුද්‍රණය කර තිබේ.

ඇමරිකාවේ ලෝක වෙළඳ මධ්‍යස්ථානයට එල්ල වූ ප්‍රහාරයෙන් පසු පෙට්‍රොනාස් ගොඩනැගිල්ලේ ආරක්ෂාව වඩාත් තරකර තිබේ. ප්‍රවේශපත්‍රය අතැතිව තමන්ට නියමිත වේලාවේ එතැනට ගිය විට ගොඩනැගිල්ලේ ආරක්ෂක අංශ විසින් කරන දැඩි පරීක්ෂාවකින් පසු හැඳුනුම්පතක් ලබාදෙනු ලැබේ. එය අප පැළඳගත යුතුය. ඉන් අනතුරුව හදිසි අවස්ථාවක් උදාවුවහොත් ගතයුතු පියවර සහ ගොඩනැගිල්ල තුල පිළිපැදිය යුතු වෙනත් නීති රීති පිළිබඳ විශේෂ තාක්ෂණික ප්‍රයෝගයක් මගින් හිස් අවකාශයේ මැවෙන කාන්තා රුවකින් උපදෙස් ලැබෙයි. ඒ ක්‍රමවේදය මම දැක ඇත්තේ මෙතැනදී පමණි.

ස්කෑනර් යන්ත්‍ර මගින් සියලුම පුද්ගලයන් මෙන්ම බඩු බාහිරාදියද පරීක්ෂා කිරීමෙන් අනතුරුව ඉහළට නැගෙන්නට අවසර ලැබේ. කාර්යමණ්ඩලයේ නිලධාරියෙකුද අප සමග පැමිණෙයි. පළමු නැවතුම 41 වන මහලේදී සිදුවෙයි. එතන ඇති අහස් පාලම මතට වී ක්වාලාලම්පූර් නගරයේ අසිරිය විදින්නට අවස්ථාව සැලසෙයි. පාලම සුළඟ හමනා විටෙක සෙළවෙන  අයුරු අපට දැනෙයි.



පාලමේ සිට දකින දසුන
එයින් අනතුරුව නරඹන්නෙකුට 85 මහල දක්වා යා හැකිය. 80 වන මහල දක්වා ගමන් ගන්නා විදුලි සෝපානයෙන් පසු ඉතිරි මහල් 5 තරණය කරන්නට වෙනම සෝපානයකට ඇතුලු විය යුතුය. මහල් 88 ක් තිබුනද 85 වන මහලෙන් ගමන සීමා කර තිබේ. මෙහි ඇති විදුලි සෝපාන ඉතාම වේගවත්ය. ඒවා සැනෙන් ඉහළට ගොස් නතර වෙයි. අතර මගකදී වායුගෝලීය පීඩනය වෙනස් වන ආකාරය කඳිමට දැනෙයි. අප දැන් තට්ටු 85 ක් ඉහළිනි. එහි සිට හාත්පස බලන විට අහසේ සිටින්නාක් මෙන් දැනෙයි. පහළ බැලූ කල රථ වාහන පෙනෙන්නේ බිංකුඩ්ඩන් පරිද්දෙනි. ක්වාලාලම්පූර් නුවර මාර්ග පද්ධතිය පීත්ත පටි මෙන් අපූරුවට පෙනෙයි. 85 වන මහලේ ගොඩනැගිල්ලේ තරමක් විශාල ආකෘතියක්, ඡායාරූප මෙන්ම දුර බලන කණ්නාඩිද සවිකොට තිබේ.
ගොඩනැගිල්ලේ ආකෘතිය
85 වන මහලේ සිට හාත්පස පෙනෙන ආකාරය

85 වන මහලේ දර්ශන
ගොඩනැගිල්ලේ අනෙක් පස කුළුණට සැඳෑ හිරු එළිය වැටුන පසු මැවෙන දසුනද ඉතා සුන්දර එකකි. මා එහි ගියේ සන්ධ්‍යාවක නිසා ඈත ක්ෂිතිජයේ ලා රතු පැහැති අහස් කුස මැනවින් පෙනෙයි. ක්වාලාලම්පූර් නගරයෙන් වැඩි කොටසක් එකතැනක සිට නරඹන්නට ලැබීම අමුතුම අත්දැකීමකි.

මවිසින් ගන්නා ලද ඡායාරූපයක්

මේ ගොඩනැගිල්ලට පිටුපසින් අලංකාර පොකුණු, අැවිදින මං තීරු, ළමා ක්‍රීඩාංගන සහිත අක්කර 17 ක විශාලත්වයකින් යුතු KLCC (Kuala Lumpur City Center)  උද්‍යානය වෙයි. පෙට්‍රොනාස් ගොඩනැගිල්ල නරඹා එහි මඳ වෙලාවක් රැදෙන්නට බොහෝ අය කැමතිය.



මැලේසියාවේ සංචාරය කරන්නට ඔබට අවස්ථාවක් ලැබුනහොත් නොවරදවාම මෙහි පිවිසෙන්න. ඒ අත්දැකීම ඔබේ මතකයෙන් සදාකල් රැදෙනු ඇත. එය එතරම් සුවිශේෂී ගමනකි.



අද ලිපියට මූලාශ්‍ර

1
2



මම කාමරේ අරින සිරා කොලුවා.

Related Posts Plugin for WordPress, Blogger...