Thursday, June 28, 2012

54 චමිගේ ඇන්ගේජ් පාටිය




බ්ර්ර්ර්.... බ්ර්ර්ර්... බ්ර්ර්ර්

නිහඩ විලාසෙන් මේසෙ උඩ තිබුන දුර බණුව  එක පාරටම කම්පනය වෙන්න ගත්තා...
වෙනදා වගේම මගේ අක්මාවට දැනුනා මට ඇමතුමක් තියෙන විත්තිය...
නම් ගම් ජාතක හෙව්වෙ නෑ කෙලින්ම  කනට තද කොලා..
හෙලෝ.......................

මචං මම චමී... එහා කොනෙන් ඇහුනා
හෙට උදේ 7.30 ට අපේ ගෙදරට වරෙන්... හෙට මම එන්ගේජ් වෙනවා...

ඇමතුම මගේ පැරණි බෑන්ඩ් සගයෙක් වෙච්ච ජපන් චමී ගෙන්... පාසල් කාලයෙන් පස්සෙ ජපානයට අපනයනය වෙච්ච දා පටන් චමී ජපන් චමී උනා....

ඒත් කොයි එකද මු බදින්නෙ.... ජපානෙදි සැට් උන චීන එකද? වියට්නාම් එකද ? ජපන් භාෂාව උගන්නපු යමාමොටෝ ටීචර්ද ? ලංකාවෙදි මුල ඉදන් සැට් වෙලා හිටපු අනූ ද?   සිරාට ප්‍ර‍ශ්න වැලයි....

අපේ වැස්ටර්න් බෑන්ඩ් එක (වර්තමානයේද ලංකාවෙ අංක 1 පාසල් බටහිර තූර්ය වාදක ඛණ්ඩය) ගැන සිරා කලිනුත් කථාවක් කිව්වා... ඒ තමා බූරැ කේස් එක පිළිබද කථාව..  ඒ සිද්ධියට අහුවුනේ නැති අපේ පුබල සාමාජිකයෙක් තමයි මේ කියන ගොයියා... ඇගපතේ මස් අපට වඩා තිබූ නිසා ආ දා පටන් බෑන්ඩ් එකේ බේස් ඩුම් එකට තඩි බාන්න ඌට සිදුවුනා..... එදා මෙදාතුර ඔය කියන බේස් ඩුම් එක පැලුවෙ මේ කියන ජපන් චමී විතරමයි... ඒ නිසා ඒ කාලේ චමියට සෑහෙන්න ඉස්කෝලෙ කොල්ලො භක්තිය පෑවා..... (වෙස්ටන් බෑන්ඩ් වල භාවිතා වන බේස් ඩ්‍ර‍ම් හම් වලින් සාදා නැති නිසා පැලීම උගහටය)

අපේ බෑන්ඩ් කාමරේ සැපයීම් අංශය හා ආරක්ෂක කටයුතු භාරව සිටි නිසි බලධාරියත් ඒකාම තමයි....

කාමරේ ටියුබ් පොල්ලක් එහෙම හදිසියෙ අප්සැට් උනොත් පොඩි උන්ගෙ පංතියකට හොරෙන් පැන ටියුබ් පොලු ගෙන ඒම/ බෑන්ඩ් එකේ 25 ටම ඇතිවෙන්න වරින් වර කැන්ටිමෙන්  කිරි පැකට්, ප්ලාස්ටික් කෝප්ප හා පිගන් ගල් කිරීම/ ඉස්කෝල කොල්ලන්ට සද්දෙ දමා රැපියල දෙක සම්මාදම හෙවත් ලොන්තෙ දැමීම /  ටින් එකකට එකතු කල සාමාජික මුදල් මාටියා ගසා සල්ලිඑකතු කරන එකාට වැරදි පැටවීම/ බෑන්ඩ් කොල්ලන්ගෙන් ගේම ඉල්ලන පිට උන් තනිපංගලමේ කොටු කර බඩ කට පුරා නෙලීම/  මවුන්ටන් බයිසිකොලයෙන් අවශ්‍ය අයවලුන්ට නගර සීමාවේ ප්‍ර‍වාහන පහසුකම් සැපයිම......

මෙන්න මේවා තමයි උගෙ රාජකාරි.... එහෙව් එකෙක් ගෙ ඇන්ගේජ්මන්ට් එකකට කථා කලාම නොගිහින් කෝමද, සිරාත් වැඩ ඔක්කොම පැත්තක දාලා  ඔන්න ගියා පහුවදා 7.30 වෙද්දි චමි කොලුවගේ ගෙදර....

අනේ මේකා වහලෙ උලු ඔක්කොම ගලවලා.... තට්ට ගෙඩිය දිලිසෙනවා....හරිම සෝක්...

මස්සිනා හුග කාලෙකින්.... එමු එමු ඇතුලට.... උණුසුම් අන්දමින් සිරාව පිළිගත් චමී  සිරාට කෙලින්ම කෑම මේසෙ අසුන් පැනවුවා.... කිරිබත් ලුණු මිරිස්  සමග අඹරා කොණ්ඩ කැවුමකටත් වගකියලා සිරා කට්ටිය එක්ක    ගමනට සූජානම් උනා....

උඹ තමයි සාක්කියට අත්සන් කොරන්නෙ.... චමී අත්සන් කරන නැකත ඔන්න මෙන්න තියලා මාව දැනුවත් කොලා...  මමත් භූත වෙලා හැමතිස්සෙම වෙනස් වෙන මගේ අත්සන තැන් 3ක යොදලා චමී, අනූ යුවලට ජය මංගලම් කිව්වා .

මනාලියගෙ පාර්ශවයේ පුද සත්කාර නොමදව ලබලා හැන්දෑකොරේ අපි ආයෙත් ගම් බිම් වලට සේන්දු උනා....

මචන් ගෙදර ගිහින් අපේ පරණ පොට් එකට වරෙන් 6 වෙද්දි...
අද දවස අපි පොඩ්ඩක් සමරමු....
චමියගෙ බොක්ක වෙච්ච පරණ බෑන්ඩ් ගොයියොත් පිරිවරාගෙන සිරා   සුපුරැදු පොට් එකේ ඔන්දස් පොට් උනා...

මධුවිතට වඩා මධුවිත සමග සිදුකෙරෙනා මිතුරැ සමාගම ඒ කියන්නෙ දොඩමලු විමට තමා සිරා කැමති...

ආරාධිතයන් 8 යි ... ඒත් තවම භාගෙට භාගයක් නෑ....
චමියා හැමෝටම ආයෙත් කථා කරලා අවසන් අනතුරැ ඇගවීම සිදු කරනවා හරිම අපූරැයි උන්ගෙ උත්තරත්...

බෑන්ඩ් එකේ ලොකු අයියා -  (කපිල් දේව් ගෙන් මෙයා තමා අම්බානට කෑවෙ)

චමියා, අම්මා බයිසිකලේ යතුර හංගලා ඒක හොයා ගත්ත ගමන් සුටුස් ගාලා එනවා... මම එනකම් ඉදපන් මචෝ අරිද ? මම මේ පෙට්ටගමක් ඇතුලෙ ඒක හොයනවා...

නොබොන්නා -

චමි මල්ලි  වයිෆ් දැන් ගෙදර ආවෙ... මට කොහෙවත් යන්න එපා කියනවා... මම කොහොම හරි ෂේප් වෙලා  එන්නම්... දන්නවනේ මගේ ගෑණිට බීම පෙන්නන්න බෑ කියලා.. බීලා මාට්ටු වෙනවට වඩා හොදයි බන් බෙල්ලෙ වැල දාගන්නවා...

දතා -

චමි අයියා.... ටවුම අරියෙදි බොකක් සැට් උනා මම මේ පොදු වැසිකිලියට ඇන්ටර් වෙලා ඉන්නෙ... කැත සිද්ධිය වතුර නෑ... වතුර ආපුවහම මම එන්නම්....

තට්ටයා -

කෝච්චියෙදි කෑල්ලක් ඇහැ දුන්නා... මම ඒක ටිකක් ෆලෝ කරලාම ඔතනට එන්නම්... මේක සැට් වෙනවා පට්ට ෂුවර්.....

නානා -

මචෝ අම්මට කියන්න බොරැවක් තාම සැට් උනේ නෑ... මම මේ කෑල්ලව ඇරලන්න යන ගමන් බොරැවක් හිතනවා... ඉක්මනටම එන්නම්...

කොහොමින් කොහොම හරි  රාත්‍රී 8 පසුවි විනාඩි 3ක් යන තැන  ලාහෙට ගෙම්බො අහුලනවා වගේ එකා දෙන්නා සේන්දු වූනා....


චමී උඹ බෝතල් කීයක් ගෙනාවද...

 1යි බන් ....

මොකක්... බොන්න පුරැදුවෙන උන් මෙතන නෑ..බොල ඔක්කොම වෘත්තීය මට්ටමේ උන්....

චමියා ප්ලාස්ටික් බෝතලයක් මේසෙ උඩින් තිබ්බා...


මොනවටද බන් මේ එලවලු තෙල් එකක් ගෙනල්ලා කවුද කෑම හදන්නෙ.... කට්ටියම එක සැරේ ඇහුවා...

මේ එලවලු තෙල් නෙමෙයි බන් ඕක තමයි බෝතලේ....
බෝතලේ පත සයිස් එකක්
දැක්ක ගමන් කට්ටියටම හීන් දාඩිය දැම්මා...
ගෙදර යන හැටි/ බැලුම් පුම්බන හැටි/ ගෑණිගෙන් බැනුම් අහන හැටි/ හෙට වැඩට යන්න බත් මුල නැතිවෙන හැටි කට්ටියට ප්‍ර‍ශ්න වැලයි.

මේක බන් සතියක් විතර බොන්න පුලුවන්නෙ.... 2.7 L

පුලුවන් තරමක් බීපල්ලා... මස්සිනා මේ වැඩේටමයි මට මේක එව්වෙ... චමියා කියාපි...

ඔන්න ඉතිං අඩුම කුඩුම ඔක්කොම සපුරගෙන
ප්‍රේම කතා/වීර කතා/දුක හිතෙන කතා/භය හිතෙන කතා/ආගිය කතා/චාටර් සිද්ධි/ඕපා දූප/ අතීත සැමරැම්  ආදී දේවල් මතින් බෝතලේ හිස් වෙනවා...

දැන් කට්ටිය හොදටම දොඩ මලුයි.... ආතල් කථා එක දෙක දැන් තමයි එලියට පනින්නෙ.... සිරා ඉතිං ඇන්ටනාව අටෝගෙන බලන් ඉන්නවා හොද එකක් අල්ලගන්න.....

ඉදලා ඉදලා ලොකු අයියා සත්‍ය කථාවක් දිග ඇරියා....

ලොකු අයියගෙ අදුනන යාලුවෙක් හිටියලු ගුවන්යානා තාක්ෂන ශිල්පියෙක්.... මේ හාදයා කාලයක් තිස්සෙ දන්න කියන ගුවන් සේවිකාවකට පෙරලා පෙරලා.... ගට නැති නිසා අහලා නෑ.... තවත් ඉන්න බැරි තැන කාලක් එහෙම අනුගත කරගෙන පොර කෙලින්ම ගිහින් අහලා... වැඩේ අවුලක් ගිහින් නෑ... වැඩේ එකෙන්ම පත්තු වෙලා...

දැන් ඔන්න ලව් එක ලස්සනට ගලාගෙන ගලාගෙන යනවලු... ඒත් මේ ගොයියට කෙල්ල ඉස්සරහා වචන ගොලු වෙන ලෙඩක් තියෙන නිසා හැමදාම කාලක් බොක්කට බස්සගෙනලු යන්නෙ.... මේ කෙල්ලටත් කිසිම වෙනසක් මුගෙන් පෙනිලා නෑ....

ඔන්න දවසක් දෙන්නා මීට් වෙන්න සැට් වෙලා හරියටම පෝය දවසක...
හුටා.... පෝය දවසෙ බාර් වහලා බව ඌට කලින් මතක් වෙලා නෑ... කාලක් බේතකට හොයා ගන්න මෑන්ට බැරි වෙලා.... දන්න කියන හැමෝටම කිව්වත් කලු නික හොයනවා වගේලු ඒ පෝය දවසෙ කාලක් හොයා ගන්න එක...

දැන් ඔන්න මිනිහා කාලෙ ආනුභාව නැතුව ආදරී බලන්න ගිහින් යාලුවෙකුත් එක්ක...

කෙල්ල ටිකක් වෙලා ගිහින් බනිනවලු.... යාලුවා දිහා බල බලා...

නොදකින් කාලකණ්නි... මේ වගේ උතුම් පොය දවසක බීලා නෙ... මෙච්චර දවස් හොදට හිටිය මිනිහට මේ වගේ යාලුවො තමා වල කපන්නෙ... මම හිතුවෙ නෑ ඔයා ඔහොම මිනිහෙක් කියලා....

ඉතිං මිනිහා කෙල්ලට නොවදිනා වැදුම් වැදලා එදා ෂේප් කරගෙන පස්සෙ කාලෙක බැදලා.... දැන් පොර දිනපතා බොනවලු...

මේ පාටිය අස්සෙ අහුවුණු තව කථා කීපයක් තියේ... ඒවා ඉදිරි දිනයක දමමි..  කෙසේ හෝ කැපවීමෙන් අපි බෝතලය හමාර කළෙමු... රාත්‍රී 1  ට පමණ පොලිස් සිතියම දිග හැර මුර කපොලු නැති තැන් වෙතින් නිවසට සේන්දු වූයෙමි. නැතිනම් බැලුම් පුම්බා රැ. 8000/- දන් දෙන්නට සිදුවේ.

දින 4ක දිගු දුර ට්‍රිපක් යාමට ඔන්න මෙන්න කියා මේ පෝස්ටුව සිරා ඔබ වෙත තිලිණ කලේ....
ඒ නිසා වැරදි  ඇතොත් කමා කරත්වා !

උඩම ෆොටෝ එක කොප්ප ගැහුවෙ මෙතැනින් http://4.bp.blogspot.com/_VpTJUcCWU4s/TSzdyXfzqhI/AAAAAAAAF98/tzAOCykc0kM/s1600/engagement-ring.jpg

මම සයිබරයේ අලුත් මිතුරා සිරා !


ප.ලි

බෑන්ඩ් එක ගැන පුරසාරම් නොදෙඩුවෙමි... රන්ටැඹේ වාර්ෂික කදවුරැ පරීක්ෂණයෙන් අපේ උන් මෙවරද දිවයිනේ පුධාන පාසල් අභිබවා ජය ගත්තෝය...

ෆොටෝ දැමීමට අවසර නොලැබුනු හෙයින් කපොල් එකේ පොටෝ එකක් නැතුවාය.








Monday, June 25, 2012

51 ජෑස් කොල්ලා



වැඩ අධික වූ එමෙන්ම නිදි වර්ජිතව ගත වූ දින කීපයක ඇවෑමෙන් (  ඉංගිරිසි පත්තරයක වැඩ කිඩ දමන හෙයින්) ... රාජකාරී ජීවිතයෙන් මිදී මෙසේ ඔබ හමුවට පැමිණ කාමරයේ දොර විවර කරන්නට සිරාට හැකිවිය.... ප්‍ර‍බුද්ධ ,සුප්‍රබුද්ධ,පීචං භේදයකින් තොරව ඕනෑම දෙයක් ලිවීමට සිරාට ඇති හැකියාව ඉස්සර දිනයක පාසලේ සිංහල විෂය උගැන්වූ ගුරැ දේවතාවන් සිරාට අවබෝධ කර දී තිබෙන නිසාවෙන්ම සිරාට ලිවීම කෙරෙහි ඇත්තේ අසීමිත ආශාවකි.. ඇල්මකි.... ලොල් බවකි.... ලදක් හා සරණ පෑවෙකු නොවන හෙයින්  මේ  අසීමිත නිදහස සිරාගේ භුක්තියට සවි වී ඇතිවා වාගේය....

සිරාගේ බ්ලොගිය ආරම්භක අවධියේ පසුවන හෙයින් බරසාර තරබාරැ මාතෘකා කරණ කොට කථා කියන්නට  සිරාට රිසි නොවේ... ඒ නිසාවෙන්ම සුපුරැදු ලීලයෙන්ම කථාවක් ඇද බාන්නයි මේ වෑයම.... බොලාලා හෙනං ඉඩපාඩු තියෙන විදියකට ඉදකියා ගත්තොත් හොදා...............මේ කතාවත් දැන කියා ගන්න...

සිරා 2 වසර / 3 වසර පන්ති වල ඉන්න කාලෙ අල්ලපු ගෙදර හිටියෙ වයසක ජෝඩුවක්, ජිවිතයේ සැදෑ සමයට එලබිලා තිබුන මේ යුවලට ළමයි හිටියෙත් නෑ.... ඕකි වද ගෑණි කියන්න තරම් අවලං උන් අපේ ගමේ හිටියෙ නැති නිසා මේ යුවලට ප්‍ර‍ශ්නයක් තිබුනෙත් නෑ.... තමන්ගෙ කුඹුරැ වලින් කන්න හාල් ටික එනවා නම්.... වැස්සිගෙන් දොවන කිරි ටික බොන්න පුලුවන් නම්..... ඇලෙන් දොලෙන් මාලු ටික අල්ල ගන්න ඇහැකි නම්... ගමේ බඩු ඒ කිව්වෙ සුදුවා ඕනෑම වෙලාවක රෙඩි නම්  මේ යුවලට විශේෂයෙන් පිරිමි පාර්ශවයට කිසිම පුරශ්නයක් නෑ....(ගෑණු කෙනා බිව්වෙ නෑ ගොයියො)

කහටපිටි කංකානමලාගේ ජයසේකර ඒ තමයි මේ කථාවෙ ප්‍ර‍ධාන චරිතය... අල්ලපු ගෙදර ගෘහ මූලිකයා.... එයාගෙ ඇඹේනිය විමලාවතී... මේගොල්ලන්ට ළමයි හිටියෙ නැති නිසා ඒ නිවසත් තමන්ගෙ වගේ තමයි සිරා සහ සිරාගෙ මල්ලි කොල්ලා පොඩි කාලෙ දුව පැන්නෙ...

සිරිලංකා විදුලි සංදේශ දෙපාර්තමේන්තුවෙ (අද ටෙලිකොම්) ආයතනයේ වැඩ කරලා විශ්‍රාමික සුවයෙන් තමා මේ කියන ජයසේකර උන්නැහේ පසු උනේ... සිරා මෙව්ව එක වැඩි කමට උන්දැට පොඩි නමක් අටවගත්තා කතා කරන්න... ඒ තමයි ජයස් කොල්ලා.... ටික කාලෙකින් ඒක තව ටිකක් කොට වෙලා  ජෑස් කොල්ලා  බවට පත් වුනා.... අනේ උන්දැගෙ කිසිම අමනාපයක් තිබ්බෙ නෑ එහෙම කතා කලාට  තාම අපි කොල්ලො තමා බොලව් ඔන්න ඔච්චරයි ප්‍ර‍තිචාරය..

මේ කියන ජෑස් කොල්ලා හරිම විනෝද කාමියා... දිනපතා කරන්නට කියලා විශේෂ වැඩපලක් තිබ්බෙ නැති හින්දා වගේම ජීවිතයේ ඉටු කරන්න වගකිම් තිබ්බෙත් නැති හින්දා සමනලයෙක් තරම් සැහැල්ලුවෙන් හිටියෙ....

ඉස්කෝලෙන් දෙන සමහර ගෙදර වැඩ කරන්නත් උන්දැ මට උදව් වුන බව බොහොම ගෞරව පූර්වකව සිහිපත් කොරන්න ඕනෙ..

පාන්දරින් අවදිවීම / වැස්සිගෙන් කිරි දෙවීම/ වැස්සි කැටුව වෙල් ඉස්මත්තට ගෑටීම/ මිරිදිය ධීවර කර්මාන්තය ඇරඹීම/ දිවා ආහාරය/ කෙටි නින්ද/ වැස්සි නැවතත් ගෙදර ගෙන ඒම/ කිණිතුල්ලන් සොයා සිදුකරන මෙහෙයුම් ඇරඹීම/ පුන්නක්කු සංග්‍ර‍හය / ගමේ බඩු වලින් සප්පායම් වි කවි සින්දු කිම/ රාත්‍රී ආහාරය ඇතුව හෝ නැතුව පෙරේතයා පොලවේ ගැසූ ආකාරයෙන් නිදා ගැනිම

අන්න ඒ  විදියට තමා ජෑස් කොල්ලගේ දවස ගෙවුනෙ

ඉරටිය කියලා හදුන්වන මාලු අල්ලන්න භාවිතා කරන උපාංගයක් ජෑස් කොල්ලට තිබුනා.. ඒක හදාගෙන තියෙන්නෙත් ඔහු විසින්මයි. කිතුල් පතුරැ හා ඉරටු පාවිච්චි කරලා සිලින්ඩරාකාර හැඩයකට ඒ පතුරැ කෑලි බැදීමෙන් හා පුනීලයක ආකාරයේ අග කොටසකින් ඉරටිය සමන්විත වෙලා තිබුනෙ... සැඩ පහරක් අසල ඉරටිය අටවලා තියන්නෙ... සැඩ පහරේ ආනු භාවයෙන් ඇතුලට යන මාලුවෙක්ට ආයෙත් එලියට එන්න ලැබෙන්නෙ නම් නෑ... පුනීලාකාර හැඩය අග තිබෙන පොල් කටුවක් ඉවත් කලාම මාලු අස්වැන්න එලියට ගන්න පුලුවන්.... අස්වැන්න වැඩි දවසට අපේ ගෙදරටත් කොටසක් එවනවා..

සමහර වෙලාවට ඉරටියෙන් එලියට ගන්න මාලුන්ගෙ තියෙන්නෙ භාගයයි... ඒ කක්කුට්ටො කාලා... ඉරටියට අහුවෙන කක්කුට්ටොත් එලියට යන්න බැරැව ඉරටියේම හිරවෙලයි ඉන්නෙ.... මේ වගේ අවස්ථා වල මාරාවේෂ වෙන ජෑස් කොල්ලා කුණු හබ්බයක් එහෙම ඇදබාලා කක්කුට්ටන්ව පොලොවෙ ගහන්නෙ උන්ගෙ අඩු ගැලවිලා යන තරම් වේගෙකින්...

ජෑස් කොල්ලා අමු බේබද්දා...  සියරට දේ සිරිසැප දේ කියන කියමන ඔලුවෙ තියාගෙන වැඩ කලා වගේ දවස ගානෙම ගමේ බඩුම තමයි හවසට හෙව්වෙ... අදනම් බේතකට ඔය කියන නැටුම් තෙල් හොයාගන්න  අපේ ගමේ නැති උනාට ඒ දවස්වල රිචී අයියගෙ පොට් එකේ ඕනෙ වෙලාවක බඩු හෑව්... රිචී කියන්නෙ තද කලු ශරීරයකට හිමකම් කියපු අඩි 6ක් පමණ උස චරිතයක්... ජෑස් කොල්ලගෙ වයසෙම කොල්ලෙක්.. 
මිනිහා, කසියා විකුණලා මාට්ටු උනොත් පොලෝසියෙ ඇත්තො ගෙම්බො පන්නලා තාරාවො වගේ අවිද්දලා ශරීර කූඩුවට අපමණ ආතල් දෙන නිසා   අද හංගන තැන නෙමෙයි කසිප්පු බුලිය හෙට හංගන්නෙ... හෙට හංගන තැන නෙමෙයි අනිද්දට හංගන්නෙ... බුද්ධි ගෝචරවයි වැඩේ කරන්නෙ...

මිනිහගෙන් පිනට බොන්න නෝ චාන්ස්... සල්ලි තිබේ නම් ක්ෂණිකව දැවෙන ප්‍ර‍ශ්න වලට සහනය.. පැන්සොන් එක පරක්කු දවස් වලට අතේ සතේ නැතුව ඉන්න ජෑස් කොල්ලා  කලින් තමන් වැඩ කරපු තැන් වලින් උස්සපු වයර් රෝලක්  විශාල ගිණිගොකඩ දාලා පුච්චලා තඹ වලට විකුණනවා... එහෙමත් බැරි නම් කසිප්පු වඩිය පෙරන්න සීනි/වතුර ආදිය ඇදලා දීලා රිචී ගොයියා ගෙන් පොඩි අනුග්‍ර‍යක් ලබා ගන්නවා.. හරියට අදකාලෙ ක්‍රිකට් මැච් වලට ලොකු කොම්පැණි අනුග්‍ර‍හය දක්වනවා වගේ... රෑං ගාලා විමලාවතීට හොරෙන් හැන්දෑවට ඉගිලිලා යන ජෑස් කොල්ලා ආපහු ගෙදර එනකොට ගමම දැන ගන්නවා... ඒ මග දිගට පැරණි රසාංග නොමසුරැව බෙදාගෙන එන නිසා..

සරන් කොටයට යටින් කාකි පාට කොට කලිසම් කබලක් නිතර දෙවේලේම ජෑස් කොල්ලගේ ගත දැවටී තිබුනා... දවසක්  ඉස්තොප්පුවෙ බිම දිගා වෙලා සිරා පොතේ පතේ වැඩක් කරමින් ඉන්නකොට ජෑස් කොල්ලගෙ පැරණි රසාංගයක් ඈතින් ඇහෙන්න ගත්තා... ඒක ඇහිලා සිරාගෙ අම්මත් ඉස්තෝප්පුවට ආවා.... අපේ මිදුල උඩින් තමා දැන් උන්දැ ගෙදරට යන්න ඕන.... කලුවරේ වැනි වැනී එන රෑපය ටිකෙන් ටික ලං උනා.... සිරාගෙ අම්මා පැනපු ගමන් සිරාව අල්ලගෙන ගෙට දිව්වා.... ජෑස් කොල්ලා මිදුල උඩින් යන බව ඇහුනා... හිතාගන්න බෑ මොකද උනේ කියලා... සිරා ටිකකින් ආයෙත් ඉස්තෝප්පුවට ආවත් කොල්ලා ගෙදර ගිහින් ඉවරයි...

බොලාට හිතා ගන්න පුලුවන්ද මක්ක උනා කියලා ?  මේකයි වෙලා තියෙන්නෙ... ජෑස් කොල්ලට එදා කන පාත්වෙන්න වැදිලා... යටට අදින කලිසන් කොටේ ගලවලා ජටාවක් වගේ ඔලුවට දාගෙන... කලිසම තියෙනවා කියන හැගීමෙන් සරම ගලවලා අතේ පටලවාගෙන...උපන් ඇදුමෙන් ගෙදරට බඩගාලා ප්‍ර‍සිද්ධියේ ගම මැද්දෙන්...  මේක වැඩිහිටියන්ට පමණයි දර්ශනයක්... ඒ නිසා තමයි සිරාට මේ දර්ශනය බලන්න තිබ්බ පරම පිවිතුරැ අයිතිය නිසි බලධාරියා විසින් හිතක් පපුවක් නැතුව කපා දැම්මෙ.....

මේ කියන ජෑස් කොල්ලට කන්න නැතත් බොන්න තියෙනවා නම් හොදටම ඇති... ඔන්න ඉතිං උන්දැගෙ අතේ පිචිචිය නැති දින කීපයක් උදා වුනා... රිචීගෙ අනුග්‍ර‍හයත් නැති දවස් ... සල්ලි නැති හින්දා දින දෙක තුනක්ම සුදුවා ෂොට් එක මිස් වෙලා... මේකට උපක්‍ර‍මයක් කල්පනා කරපු ජෑස් කොල්ලා රිචි බූලිය හංගන තැන හොරෙන් බලං ඉදලා  අමු දවාලෙ කසිප්පු බූලිය ගෙදරට උස්සගෙන ඇවිත්... දවස් ගානක ඇරියස් අල්ලන්න කෝප්ප දෙක තුනක් එක හුස්මට බීලා කපාපු කෙහෙල් ගහ වගේ ඇදගෙන වැටිලා... දැන් එක ලතෝනියයි... විමලාවතී ගම දෙක කරනවා... ගමේම ඇත්තො ගේ වටේට පිරිලා.. හරියට රජිණි කාන් ගෙ ඇක්සොන් ෆිල්ම් එකක් වගේ..  ජෑස් කොල්ලා මලා වගේ පත බෑවිලා... දත් කට පූට්ටු වෙලා...ඒක වලක්වන්න  හැදි දෙක තුනක් ගමේ උන් කටට ගහලා... දෙහි බෑ දෙක තුනකුත් ඔලුවෙ අතුල්ලලා... තත්වය දරැණු නිසා ඉස්පිරිතාලෙට උස්සගෙන දිව්වා.... දවස් දෙක තුනකට පස්සෙ තමා කොල්ලා ආයෙත් ගෙදර ආවෙ....

වෙච්ච සන්තෑසිය තමයි, එදා  රිචා හංගලා තියෙන්නෙ ස්පිරිට් කසිප්පු... ඒ කියන්නෙ සැර බාල නොකල... ස්පිරිට් එක බෝතලේකට වතුර බෝතල් 8ක් දැම්මට පස්සෙ තමා විකුණන කොලිටියට එන්නෙ... ඇසිඩ් වගේ සැර සාන්ද්‍ර‍නයෙන් කෝප්ප දෙකක් තමා පෙරේත කමට ජෑස් කොල්ලා ලග නමලා තියෙන්නෙ... මේ සිද්ධියෙන් පස්සෙ රිචා බූලිය බේර ගන්න සෑහෙන ඈතට කසිප්පු ස්පොට් එක මාරැ කොලා...

ජෑස් කොල්ලා නාන්න හරිම කම්මැලි ජීවියෙක්... දවසක් දා  මහ රෑ උන්දැ විකාරයෙන් කියවන්න ගත්තා... බලපන් මෙතන ඉන්න කටේ දත් නැති එකෙක් මට විරිත්තනවා... උන්දෑ හිස් බිත්තිය පැත්තට අත දික් කරලා පෙන්නන ගමන් බනිනවා කන්කලු සුද්ධ හිංහලෙන්.... තොගේ අඩු කඩනවා මං, කුරැමිට්ටා  උඹ දන්නෙ නෑ මං ගැන....ආයෙත් සැරයක් අල්මාරිය පැත්තට අත දික් කරලා බනිනවා....  සිරාගෙ තාත්තා ඇතුලු වැඩිහිටියන්ගේ මතය වුනේ නාන්නෙ නැතුව ඉදලා ඔලුව කර වෙලා විකාර පේනවා කියලා... නාන්නෙ නැතිව ඉන්න එක මදිවට දවස ගානෙම සුදුවා ගහනකොට ඔලුවක් ඉතුරැ වෙයිද? වැඩිහිටියො ටික එදා මහ රෑම ජෑස් කොල්ලව කුදලගෙන ගිහින් ගේ පිටිපස්සෙ ඇලේ එබුවට පස්සෙ ඔලුව පෙගිලා ලෙඩේ කම්මුතු උනා....

ජෑස් කොල්ලා එහෙං පිටින්ම ඇවිදින අපායක්.... කට ගැස්මට මාලුවෙක් වත් අහුවුනේ  නැති දවසට විමලාවති උන්දැගෙ කුකුලු කොටුවට පනින්න මේ කියන ගොයියා සූරයා... කුකුලගේ බෙල්ල වයර් එකකින් පොල් ගහකට තියලා ගැට ගහලා මන්නෙන් දෙන්නෙ එකයි... බෙල්ල ගහේ එහෙමම තියෙන්න ඇරලා කුකුල් මස් හොද්ද පවුලට කියලා හදා ගන්නෙ අහන්න තියෙන බැණුම් ඔක්කොම අහගෙන.... විමලාවතී හාමිනේ ගමේ ගිය දවසට කුකුල් පට්ටියෙන් භාගයක්ම පොල් ගහේ ගැට ගහලා අවසන් ගමන් යවපු දවස් තිබුනා.... ඒ අතට ගානක් හොයා ගන්න ... ආපහු එන විමලාවතීගෙන් ලුණු ඇඹුල් ඇතුව අහගත්තත් ජෑස් කොල්ලා නෙමෙයි හැදෙන්නෙ... 

මේ කියන කථානායකයගෙ වැස්සිගෙ නම තමයි සුදු කබරයා... උන්දැම තමා මේ සාඩම්බර නම දාල තියෙන්නෙ... සුදු කබරයා දවසක් වෙලේදි අපේ ජෑස් කොල්ලව ඇදගෙන දුවලා... කඹේ පැටලිලා වෙල දිගේ ඇදිලා ගිහිල්ලා   කොල්ලගෙ කකුලක් උකුල ලගින් පැනලා. ආයෙත් ඉස්පිරිතාල ගතවුනා... පෙරේත කම නිසාම ලග නවත්තපු හාදයට සල්ලි දීලා කසිප්පු ගෙන්නගෙන බීලා.... ඉස්පිරිතාලෙදිම ලේ වමනෙ දාලා අපේ ජෑස් කොල්ලා අපිව හැර ගියේ....

කවදාවත් පන්සලකට ගියේ නැති... කරපු තරමක් පවු කාර කම් කරපු මේ උන්දැගේ අවමගුලෙදි ලොකු හාමුදුරැවො සත් ගුණවත් ජයසේකර උපාසක මහත්තයා කියලයි හැදින්වූයෙ....

ඒ සිද්ධිය වෙලා දැන් අවුරැදු 20කටත් වැඩී  ...සිරාට හිතෙන විදියට ෂුවර් එකටම ජෑස් කොල්ලා දැන් ඇත්තේ අපායේ යම පල්ලා ලග වෙන්න ඕනෙ...යමපල්ලාද බේබද්දෙකු විනි නම් ඒ ජෑස් කොල්ලාගේ ආනුභාවයෙන්ම තමා . කෙසේ වුවද ජෑස් කොල්ලාට නිරයේ දුක් විදීමට නොලැබේවා යන්න සිරාගේ අවංක පැතුමයි !

මම සයිබරයේ අලුත් මිතුරා සිරා !


ප.ලි

ජෑස් කොල්ලාගේ මරණයෙන් පසු තනිවුන විමලාවතී හාමිනේ ටික කලක් තනියෙන්ම එම නිවසේ වාසය කර ... ඉඩම් කඩම් , දේපල සියල්ල විකුණා දමා උපන් ගමට ගියාය..

රිචා...  ඊට අවුරැදු 10 කට විතර පස්සෙ විදින්න තියෙන දුක් ඔක්කොම විදලා එකතැන් වෙලා මැරැනේ.....

බුදුබනෙත් දේශනා කරලා තියෙනවනේ අපි කරන අකුසල් මෙලොවදිම පල දෙනවා කියලා.... ඒ නිසා බොලාලා හෙම වැරදි කරන්න හිතන්නවත් එපා ඔන්න.... අරිද ?

Tuesday, June 19, 2012

58 විනය කමිටුව සහ බූරැ පොල

ට්‍රීංට්‍රීංට්‍රීංට්‍රී

මැංගුස් ගහ යට 10 F පන්තියට තවත් කාලජේදයක් අවසන් වුනා කියන නිවුස් එක තමා විදුලි සීනුව ඔය විදියට නාද වෙලා ලබා දුන්නෙ......

සිරා ඇතුලුව ලව් ලෙටර් නඩේ වැඩිදෙනෙක් හිටියෙත් ඔය කියන පන්තියෙම තමා (ලෙටරය ලිව්වෙ   11 F   පංතියෙදි ) .....නසරාණි ආතල් බුවාලා, ඉගෙනුමටම කැප වුනු බ්‍ර‍යිට් කේස්, පතෝල වගේ මෙලෝ රහක් නැති උන් ආදී මෙකී නොකී ජන රාශිය අතරෙ සිරා මධ්‍යම ප්‍ර‍තිපදාවෙන් අතේ වියදමෙන් ජාමෙ බේරගෙන හිටියා....

ඉතිං බොලව් අහපල්ලකො පීරියඩ් එකක් ඉවර උනාම තව එකක් පටන් ගන්නෙ නැද්ද කියලා.... කථාවක් කියනකොට පොඩ්ඩක් හූ මිට්ටක් තියපල්ලා නැත්නම් නින්ද යනවා.......

පටන් ගන්න තියෙන්නෙ සෞන්දර්ය ..... ඒ කිව්වෙ චිත්‍ර‍/නැටුම්/සංගීතය කාලජේදය, ඒ ඒ විෂයන්ට අදාළව වෙන වෙනම පංති කාමර තියෙන හින්දා තමන්ට අයිති කාමරයට යන එක තමා සාමාන්‍ය සම්ප්‍ර‍දාය.....  එකවරකට පන්ති 3 ක් සෞන්දර්යය කාමරයට එනවා...

සිරා ඉතිං ඒ කාලෙත් කලා රසිකයා හින්දා හැකියාව බොක්කෙන්ම පෙන්නන්න තෝරගෙන තිබ්බෙ සංගීතය.....
හැබැයි මේ පාඩම ටිකක් දිගු වෙලාවක් ගත වෙන වැඩක්.... ඒකට හේතුව තමයි එක ලග කාලජේද දෙකක්ම සංගීතය  සදහා කාල සටහනේ සටහන් වී තිබීම...

සිරා දකුණු පැත්තෙන් අයින් වෙලා සංගීත කාමරයට ගියා කියමුකෝ... ඒත් හාවක් හූවක් නෑ... කාමරය වහලා දොරට දඩාර ඉබ්බෙකුත් දාලා..... ඒ කියන්නෙ අද නෝ සංගීතෙ... සෞන්දර්යය ගුරැවරැන් ළමයි අරන් තරග වලට කාරිය ගියාම මේ වගේ පිනා චෑන්ස් ඉදල හිටලා වැඩ කරනවා කියලා සිරාගෙ අක්මාවට අගේට වැටහුනා.....

දැන් ඉතින් විනාඩි 80 ක්ම අල්ලන ජල්ලියක් අල්ලගන්න දෙවියො දීලා.... මේ වෙනකොට ඉස්කෝලෙ අපරදිග තූර්ය වාදක කණ්ඩයේ (Western Cadet Band)  සාමාජිකයෙකු වීමත්..... කකුල් දෙකටම කලිසම අදින්න ගත්ත වසර වීමත් නිසා සිරාගෙ හිත අභිමානයෙන් පිරිලයි තිබ්බෙ..... ආතක් පාතක් නැති අනිත් උන් මේ වගේ වෙලාවට ආයෙත් පංතියට ගිහින් ගජබින්න අත ඇරියට සිරාට තමන්ගෙ වගේ ඉන්න තැනක් ඉස්කෝලෙ තිබ්බා... ඒ තමා බෑන්ඩ් කාමරය.....

පිට්ටනිය වටේ තියෙන රවුම් පඩි පේලිය දිගේ ගිහින් ප්‍රධාන ක්‍රීඩාගාරයේ යට තිබෙන වෙස්ටර්න් බෑන්ඩ් කාමරයට යන්න සිරාට තනියක් තිබ්බෙ නෑ..... අයිය බඩා /  කිඩා  (කලින් කථාවෙත් මුන් දෙන්නා හිටියා මතකයි නේද ?)  සිරාගෙ පන්තියෙ සිටි අනෙක් බෑන්ඩ් සගයෝ වීමත් සිරා විසින් සති දෙකකට පෙර තෙලක් බෙදා බෑන්ඩ් ගැසීමට දක්කගෙන ගිය දිනීර (සැබෑ නම... මේකට කාඩ් එකක් තිබ්බේම නැත) සිය කැමැත්තෙන්ම පැමිණීමත් නිසා  සහපිරිවරින් යන්නට සිරාට හැකි වුනා.....

 මේ කියන බෑන්ඩ් කාමරේ දවසෙ කොයි වෙලාවෙත් දොර වහලයි තියෙන්නෙ.... බෑන්ඩ් ජීවිතයට මෙන්ම පාසලටද සමුදුන්න බෑන්ඩ් ගහපු ලොකු අයියලා නෝ ජොබ් කොම්පැනියෙ සුපවයිසර් කම්, ඒරියා මැනේජර් කම් කරන තුරා ඉදලා හිටලා ඔය කාමරයට එනවා.... ඒ එන්නෙත් හිස් අතින් නෙමෙයි...  දුමක් දාන්න ඕනෙ කරන අමුද්‍ර‍ව්‍ය එක්ක..... කැමති නම් ඕනෙ එකෙක්ට දුමේ පහස ඉල්ලගන්නත් පුලුවන්.... ඒත් අවංකවම සිරා නම් කවදාවත් ඔය වැඩේට සම්බන්ධ වෙලා නෑ....... ඔන්න ඔය නිසයි කාමරේ දොර නිතරම වැහුනෙ.....

ටක් ටක් ටක් දොර ඇරැනා.....


උඹලා දැන්ද එන්නෙ ?
සිරාගෙ නඩේ වේලාසනින් කියලා හිතුවට ඒ වෙද්දිත් අනිත් පන්ති දෙකේ බෑන්ඩ් එකට අදාළ සංගිත කරැවෝ ටික කාමරේ රැස් වෙලා.....
දොර ලොක් කරන්න දොර හරහට ගහලා තියෙන යකඩ පට්ටම නිසා දෙකට නැමිලා තමයි කාමරේට ඇතුල් වෙන්න ඕනෙ... එතකොට තමයි සිද්ධිය දැක්කෙ..... නෝ ජොබ් කොම්පැණියෙ ඉහළ තනතුරක් දරපු ලොකු අයියා කෙනෙක් කාඩ් පැක් එකක් එක්ක බෑන්ඩ් කාමරේ විරාජ මාන වෙලා හිටියා....

ඉදගනිල්ලා ඉදගනිල්ලා..... එතුමා සාදරයෙන් ආදරයෙන් භක්තියෙන් අපි සැම පිළිගත්තා.....

කාඩ් ගහන්න දන්න උන් වරෙල්ලා.... පොඩි මේස කෑල්ලක් අටවන ගමන් එතුමා ආයෙත් හඩ අවදි කලා....

මළගෙදරක ඕමියක් වත් ගහගන්න ඒ කාලෙ සිරාට බැරි නිසා සිරා මේසෙට  ඈතින්  පුටුවක් තියාගෙන ඉද ගත්තා..... එතනට කාමරේ දොර හොදට පේනවා..... වෘත්තිය සූදු කෙලින්නො මේසෙ වටේට රොද බැන්දා......

කාමරේ දොර ආයෙත් වැහිලා...අයිය බඩා සහ කිඩා කාමරේ ඇතුලේ ඉදන් දොරේ පොඩි හිලකින් ඔත්තු බලනවා....

ඒ කාලෙ පාසලේ විනය ආරක්ෂා කරන්න විනය කමිටුවක් තිබුනා.... මරැමුස් පෙනුම තියෙන  දුටු පමණින් බොග සිග්නල්  ඇතිකරන තාලෙ  නියෝජ්‍ය විදුහල්පතිවරැන්, අංශභාර, වසර භාර ආදි නානාප්‍ර‍කාර ගුරැවරැන් ඔය අහවල් කමිටුවෙ හිටියා.... විනය කමිටුවට බයේ තමා අරැන් දෙන්නා  ඔය ඔත්තු බලන්නෙ....

කාඩ් ගේම දැන් සැරටම යනවා...  කොච්චර සැරට යනවද කියනවා නම් අවට පරිසරය ගැන උන්ට කිසිම හැගීමක් නෑ.... දැහැනට සම වැදිලා වගෙයි... එක එකා තම තමන් දන්න සෙල්ලම් පෙන්නනවා... හැබැයි සල්ලි ඔට්ටු නෑ.....

මම මේ ඊලගට කියන්න හදන සිද්ධිය වෙන්න ටිකකට කලියෙන් ඔත්තු බලපු උන් දෙන්නා ඒ කාරියෙන් ඈත් වෙලා රබර් බෝලයක් උඩ දදා හිටිය මට හොදටම මතකයි....

දඩාස් ස් ස් ස් ස්ස්.....................

පා  පහරකින් කාමරේ දොර අගේට විවෘත උනා.....
අසුරැ සැනින් කපිල් දේව් ගේ (ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක කපිල් දේව් ගෙ පෙනුම තිබූ ගුරැවරයෙකි) හැඩි දැඩි රෑප කාය ඇසේ කණීනිකාව හරහා ආලෝකය ගමන් කර දෘෂ්ටි විතානය මත ඇති කල ප්‍ර‍තිභිම්බයේ පිහිටෙන් සිරා හට දර්ශනය උනා.... අපේ පන්තියට ගණිතය ඉගැන්වූ ගුරැ පියා තමයි මේ. 
මා  ඉබේම ගුරැ භක්තියෙන් ඔද වැඩි නැගී සිටුවිනි....... එතැන් සිට තත්වය නාට්‍යානුසාරයෙන් මෙසේ විය....

අම්මට හුඩු දිසා----  සර් ,  සිරාගේ අසරණ මුවින් ඉබේම පිටවිය

සා පොව්වෙකු වෙත බැල්ම හෙලනා කොටි හපුවෙකු මෙන් කපිල් දේව් සිරා වෙත ලං විය...

තෝ මගෙ පන්තියෙ එකෙක් නේද ? ඔව් ව් සෑර්...... සිරාට කියැවුනේ එපමණකි

දබක් ......... සිරාගේ  සිරැරෙහි සවි ශක්තිය මද බව ඔහුට හැගුනු නිසාදෝ කෙසේ හෝ එය මැන බලමි යන අධිටනින්  මෙන්  එල්ලකල දරැණු අත් පහර කොන්ද හරහා පතිත විය.... අසරණ සිරා දබාස්..... යන අනුකරණයෙන් පුටු දෙක තුනක් පෙරලාගෙන ගොස් බිම පත බෑවිනි......ගණිත ගුරැතුමා පසුපසින් සිටි සේනාව දුටු කල  සිරාගේ කකුල් මැඩ්ලින් වාදනයක යෙදුනු හෙයින් ආයේ නැගිට්ටේ නැත......

ක්‍රීඩාවට සමවැදී උන් කාඩ් කරැවෝ තවමත් මේ කිසිත් නොදත්හ...  යකෝ උඹ ඇටේ අතගානවද ? බෙදපිය ඔය කාඩ් ටික ඉක්මනට .... නෝ ජොබ් කොම්පැණියේ ලොකු අයියා මොර දුන්නේය.... අනෙක් උන් ඊට අවනතව කාඩ් බෙදයි..... කපිල් දේව් පසුපසින් පැමිණ දෙවන කුරැමානම අල්ලයි.... කාඩ් බෙදමින් සිටි කොල්ලාගේ කන් දෙකින් අල්ලා ගත් එතුමෝ  ඌ මේසයටත් වඩා උසකට එසවූහ... බුදු සර් ගහන්නෙපා..... වචන ගුලියක් උගේ කටින් එලියට පැන්නේය... එහෙත්  සිරාට අත්වූ ඛේදනීය ඉරනමම ඌටද අත් විය....

දැන් බෑන්ඩ් කාමරය බලන්න ලස්සනය.... විනය කමිටුවේ සාමාජික මහතුන් කාඩ්කරැවන්ට එළව එළවා පහරදෙති.... තව තවත් වදිනු රිසි උන් වැටෙන්න වැටෙන්න නැගිටිති... එහෙත් බුද්ධිමත් සිරා මලාක් මෙන් තාමත් පුටු ගොඩෙහිම වැද හොත්තේය.......

විනාඩි 5 ක පමණ ඇගකිලිපොලා යන ත්‍රාසය භීතිය එකට කැටිකල දර්ශන පෙලක් අවසානයේ තත්වය සාමකාමී විය.... අපගේ ලොකු අයියා අම්බානක කෑ බව මොනවට සනාථ කරමින් තොල් පැලී ලේ ගලමින් තිබින.

තොපේ වාර්තා පොත් අරන් ඔපිස් එකට වරෙව්...... විනය කමිටු ප්‍ර‍ධානියා ගුගුලේය.....
අහිංසක සිරා ඇතුලු නඩේ පන්ති කාමරයට යන විටත් ආරංචිය  ක්ෂණිකව පැතිර තිබිනි.... කොල්ලෝ අපට අනුකම්පා කලහ.... මචං බය වෙන්න එපා යැයි කියූහ....

බොලව්.............................කථාව දිග වැඩිද ? වැඩියක් නෑ වගේ නේද බන්


 කාඩ් නඩේ ඔෆිස් එකට යද්දි... විනය කමිටුවෙ ඇත්තො බෑන්ඩ් කාමරය පූර්ණ සෝදිසියකට ලක් කරලා සැකකටයුතු ද්‍ර‍ව්‍ය ඔක්කොම  විදුහල්පතිතුමාගේ මේසය උඩ තියලා...

මෙන්න ලිස්ට් එක

සිගරට් 1යි
ගිණිපෙට්ටි 1යි
හදුන්කූරැ පැකට් 1යි
බුදු පිළිම 1යි
රැ 150 ක් විතර මාරැ සල්ලි 10/20 කොල වලින්

බලන්න සර් මේ කාලකන්නි බුදු පිළිමෙකුත් ගහගෙන ,ගද එනවට හදුන්කූරැ පත්තුකරලා, සිගරට් බීලා මදිවට සල්ලි ඔට්ටුවට බූරැවත් ගහලා..... විනය කමිටුවේ සිටි සංඝයා වහන්සේ නමක් අවසන් නිගමනය දුන් සේක...

ප්‍රින්සිපල් උතුමත් දිග වේවැලකින් හැමෝගෙම පුක පැත්තට තවත්  5 බැගින් නිර්ලෝභීව  බෙදා හදා දුන්නා... කිඩාට ගහනකොට උගෙ කට එහෙට මෙහෙට ගිය හැටි සිරාට තාමත් මැවිලා පේනවා....

ඔන්න ඉතිං ඊළග පුරස්නෙ... එකෙක් ලග වත් වාර්තා පොත් නෑ.... ඒවා ගෙවල් වල.... ප්‍ර‍ශ්නය අංශ භාර ගුරැ භවතා වෙත යොමු උනා....එතුමා විද්‍යාව ගුරැවරයෙක් නිසා විද්‍යා පොතේ පිටිපස්සෙ පොල් සයිස් අකුරෙන් මෙහෙම ලිව්වා....

ශිෂ්‍යයා විනය විරෝධී කටයුත්තකට දායක වී ඇත.... මව/පියා හෝ භාරකරැවෙකු සමග ......................... දින උදෑසන 8.00 ට ප්‍ර‍ධාන කාර්යාලයට පැමිණෙන්න....

සිරා ඉතිං තටමලා තටමලා  අම්මට ඇත්තම කථාව කිව්වා.... ඒ වෙද්දි සිරාගෙ තාත්ත විදේශයක හිටියෙ...

ලොකුම ප්‍ර‍ශ්නෙ සිද්ධ උනේ.... දිනීරයට...බස් මුදලාලි කෙනෙක් වෙච්ච උගෙ තාත්තට යකෙක්ට වගේ තරහා යන නිසා මේ සිද්ධිය කියන්නෙ නැතුව තාත්තගේ  බස් එකක් එලවපු ගොයියෙක් තමා අයියා විදියට එක්කගෙන ආවෙ....

විනය කමිටුව රැස් උනා.... හැමෝම එක පයින් වරද පිළිගත්තා.... තවත් එක් වරක් විද්‍යාලයේ නම බැබලවීම පිණිස සමාව දෙන බව විදුහල්පති උතුමා කියනකොට තමා ඉස්කෝලෙන් අස් කරයි කියලා වතුර වෙලා තිබ්බ අපි හැමෝගෙම ලේ යථා තත්වයට පත් වුනේ...


දිනීරයගේ  බස් ඩුයිවර් අයියව වටකර ගෙන විනය කමිටුවේ ඇත්තො කිව්වෙ මේ වගේ මල්ලිලා ගහලා හරි හදාගන්න අයියලා දැන ගන්න ඕනෙ කියලා.. එතකොට මිනිහා යන්න ආපු හිනාව  අමාරැවෙන් ගිලගෙන හිටියෙ... 



අවසානයේ ගුරැ මහත්මියක් ඉදිරියේ ලිඛිතව සිදු කල පාපොච්චාරණයකින් අනතුරැව සිරා ඇතුලු පිරිසට අභය දානය ලැබුනා....


වරදේ ස්භාවය - බූරැ ගැසීම


වරද සිදුකල ස්ථානය - බෑන්ඩ් කාමරය


වෙලාව - ....................... ආදී ලෙසයි එය ලියැවුනේ....



ඒ ගුරැ මහත්මිය  ඒ වෙනකොට, වසර 30කට අධික කාලයක් අපේ පාසලේම සේවය කරපු කෙනෙක් එතුමිය කිව්වෙ 


බොලව් මම මේ ඉස්කෝලෙ අවුරැදු 30කට කිට්ටුයි.... උඹලට වඩා උස මහත දඩු කොල්ලො හිටියා... ඒත් කවදාවත් උඹලා වගේ බූරැ ගහලා අහු වුනේ නෑ.... අපරාදෙ මගෙ A4 කොල ටික කියලා විතරමයි......


පාසලේ සිටින තුරා සිරා ඇතුලු කණ්ඩායම ගුටි කෑ අවසන් අවස්ථාව එය වූ අතර එයින් පසු ද යම් යම් විනය විරෝධී වැට කටයුතු නොකඩවා සිදු වුනි... ඒවා ඉදිරියට.....

කථාව දිග වැඩි වුනි නම් සමාව භජනය කරමි....


මම සයිබරයේ අලුත් මිතුරා සිරා........................


ප.ලි

මා කලේ ඇත්ත ඇති සැටියෙන්ම දැක්වීමකි, එම නිසා මෙම කථාව හේතුවෙන්

කිසිම ගුරැභවතෙකුට අපහාසයක් නොවේවා !

වර්තමානයේ කීර්තිමත් නිලධාරීන් වන
අයිය බඩා (ශ්‍රී ලංකා නාවික හමුදාව) කිඩා (ශ්‍රී ලංකා ගුවන් හමුදාව) වෙත අපහාසයක් නොවේවා !


Saturday, June 16, 2012

59 රතු කොණ්ඩේ සහ ප්‍ර‍ථම ප්‍රේමය






සතිය පුරාවට වෙහෙසී ගෙවී ගිය හිස්කබලෙන් හා ඉදිරියට නෙරා ආ බඩ ගෙඩියෙන් යුතු සිරා මෙන්න දිව එනවා ඇනිකට් අන්තයේ සිට, 

වම් අතේ පැය 14ක් දැල්වෙන දගරයක් හා දකුණතේ කෑලි හතරේ ටෝච් කෑල්ලක්... වේගය වැඩි කරමින්... සරම් කොටේ බිම වැටෙයිද? වැටෙයිද? වැටෙයිද?  ඔව් මා ප්‍රිය නරඹන හිතවතුනි, හිතවතියනි, අවසන් මොහොතේ ගැජට් එක ආවරණය කරගනිමින් සිරා කාමරයට රිංගන්නට සමත් වෙනවා.....

හැන්දෑවෙ ඇනිකට් එකේ දිය බුං ගහලා  කාමරේට ආපු ඒම තමා ඒ ඔබ ශුවණය කලේ......

දඩාස්....
පයින් එක දෙද්දිම කාමරේ දොර ඇරැණා.... මදුරැ වදේට හොදම විසදුමත් ඔන්න දුන්නා...
එහෙමනම් ඉතිං බොලාලා ඔක්කොම සූජානම් වුනොත් හොදා..... සිරාගෙන් අලුත් කථාවක් අහන්න....
පවුලෙ අය ගැනම ලියන්න එපා මලයො කියලා ඇලකන්දෙ බේබද්දා හෙවත් ජංගම ග්‍රැෆික් දොස්තර  කියපු වෙලේ ඉදලම මම මේ දසඅතේ කම්පනා කොලේ මොකක් ලියනවද කියලා.... අන්තිමට එකක් මීටරේට වැටුනා....

වෙලේගෙදර හඩු ගුණපාල අයියා පල්ලා  එකදාස් නමසිය අනූ අට කියන්නෙ හරි ජරාම අවුරැද්දක්.... සිරාට අපොස සාපෙ තිබ්බෙ ඒ අවුරැද්දෙ නිසා තමා ඒක එච්චරම අසික්කිත වසරක් උනේ... අපොස සාපෙ කියන්නෙ එසේ මෙසේ සාපයක්ද කියලා දන්නෝ දනිති.... නොදන්න උන් කරලාම බලපල්ලා...

දොස්තරයෙක්, ඉංජිනේරැවෙක්,  වෙන්න ඉගෙන ගනින් .......
හත්මුතු පරම්පරාව වගේම මගේ ගෙදර බුදුනුත් හිමිදිරියේ සිට ශාන්ත වූ රාත්‍රිය දක්වාම ඉතා ඉහල සෘතියක පිහිටා මධුර මනෝහර කන්කලු නාදයෙන් මගේ සවන්පත් පුරවන හින්දම මට නම් අපොස සාපෙ අරහං වෙලා හිටියෙ.....

ගණිතය කියන්නෙ පට්ට ලේසි විෂයක් හින්දම සිරා ඇතුලුව සිරාගෙ සහපිරිවර ටවුමෙ තිබ්බ හොදම ගණං කඩේට සැට් උනේ මේ අතරෙ.
ඒ  විභාගෙ ගොඩ දාගැනීමේ පරම පවිත්‍ර අහිංසක චේතනාවෙන්...
එතනින් තමා මම මේ කියනා කථන්දරේ  පටන් ගන්නෙ.....

සිරා කියන්නෙ ඉතිං කාටවත් අතනොපා  ස්වෝත්සාහයෙන් ගොඩ යන්න හදන සත්ගුණවත් කොලුවෙක්...
පන්තියෙ වැඩ ටික පිළිවෙලට කරගෙන යන අතරෙදි තමයි     පටාස්............                                                         මල්සරා කියන අවලමා සිරාගෙ නලල මැද්දට සෙන්ටර් කරලා පොඩ්ඩක් වමට බර වෙන්න මල් හීයකින් විද්දෙ....
දැන් ඉතිං ඉදලා හමාරයි මට මේ ලියනකොටත්  එදා දැනුනු මෙව්ව එක තාම දැනෙනවා  වගේ ..
ෂික් ජරා ලෙඩේ මටත් බෝ උනානෙ...  මොන ලෙඩේද ?

ලව් අමාරැව බොලව් ලව් අමාරැව.....

අනේ සී දේවි දැරිවි... සුදුම සුදුයි.... පන්තියෙ ඉන්න ලස්සනම කෙල්ලො 3 දෙනා තේරැවොත් ඒ අතරට සානුකම්පිත බුද්ධිමත් ප්‍රේක්ෂකයා අනිවාර්යෙන් තෝරනවා එයාවත්......

සිරත් ඉතිං අධෝ මුඛ නැකතෙන් දන්න විදියට ඒ කෙල්ලට පෙරන්න පටන් ගත්තා.... පාඩමෙන් වැඩි හරියක් ඒ සුදු මුණ  තමා දැන් ඉතිං සිරාට පේන්නෙ.... ඒ කෙල්ලත්  නිකං ඉන්නෙ නෑ පොඩි පොඩි සහනශීලී ඒ කියන්නෙ තව පෙරපන් කියනවා වගේ බැල්මවල් සිරාගෙ යුත දෙනෙතට  එල්ල කරනවා.....

සිරා ඉතිං කොල්ලො විතරක් ඉන්න කොලීජියකට ගිය නිසාත්.... කෙල්ලෙක් එක්ක කථා කරන්න ලැජ්ජ භය, කිතිය..., හෘර්දය කැරකෙනවා මෙන් දැනිම හා භෞමික අඛණ්ඩතාව මොට විම ආදී උපන් ගෙයි ලෙඩ රෝග තිබ්බ නිසාත්, ඔය කියන කෙල්ලට කවදාවත් කථා කරන්න ට්‍ර‍යි එකක් දුන්නෙ නෑ....

පන්තියෙ ඉවර වූ සැටියේම චූ බරෙන් මෙන් ඉක්මනට මාරැ වීමත් , ගැන්සියේ අනිත් කෙල්ලන් අති ආඩම්බර කලාව ප්‍ර‍ගුණ කර තිබීමත් නිසා වැඩිදුර තොරතුරැ තියා නමවත් හොයා ගන්න සිරාට බැරි උනා....

කවදාවත් කණ්නාඩියක් දැක්කෙ නැති... පනා කබලක් ගැටුනෙ නැති සිරාගෙ කටුරොද වනේ වගේ කොන්ඩෙට දැන් උපරිම සත් කාර දීලා තමා කොල්ලා ඉතිං පන්ති යන්නෙ....

ටික් ටික් ටික්
කාලය කෙමෙන් ගතවෙනවා..... දහසක් ගැරහුම් අපහාස මැද සිරා පටන් ගත්ත වැඩේ ඒ කියන්නෙ පෙරන එක ලෙසටම කරගෙන යනවා.... කෙල්ලගෙ නමක් ගමක් මොකුත් හොයාගන්න බැරි උන නිසා සිරාගෙ මිතුරැ කැල.... (ජාති ජාතිත් වාසනාවන් ඒ වගේ මිත්‍රයෝම මට  ලබන ආත්මෙදිත් ලැබීයන්... මේ පෝස්ටුව ලියන ගමන් මම එහෙම හිතුවා.....) නමක් යෝජනා කලා.... මොකක්ද ඒ...

රතු කොණ්ඩෙ
පිට මැදට වෙන්න ගොතපු කොණ්ඩ කරල් දෙක රතුපාට පටියකින්
හැමදාම ගැටගහලා තිබුන නිසා ඒ නම එයාට හොදට ගැලපුනා

මේ තමා සිරා, අර රතු කොණ්ඩෙට ටුයි එක දෙන්න මු... අපේ උන් පිට ඉස්කෝල කොල්ලො  ඉදිරියෙදි එහෙම අදුන්වා දුන්නා.....මටත් ඉතිං ඒ වෙලාවල් වලදි පොඩි කික් එක්ක අවෙම නැතුව නෙමෙයි.... පන්තියෙ ඉන්න ලස්සන කෙල්ලෙක්ගෙ නිල නොලත් පෙම්වතා වෙනවා කියන්නෙත් එසේ මෙසේ දෙයක්ද? කොච්චරනම් ආශ්වාද ජනකද...විදපු උන් තමා ඒකෙ සොමිය දන්නෙ....

කොහොමෙන් කොහොම හරි විභාගෙටත් ටිකෙන් ටික දිණ කිට්ටුවේගන එන හින්දා අපේ නඩේ ගුරා තීරණය කලා සිරාව මේ වැඩෙන් ගොඩදාලා දෙන්න... කටින් කෙලින්ම ඩිරෙක්ට් අහන්න අහවල් එක  නැති නිසා ලියුම් කරදහියකින්   තමා වැඩේ කෙරෙන්නෙ....

අපේ ගණං පන්තියට එන්නෙ නැති, මම යන්නෙ නැති ඉංග්‍රීසි පන්තිකට එන එයාගෙම පාසලේ මම දැකලාවත් නැති තවත් ගෑණු දරැවෙක් තමා දැන් මේ සන්දේශය ප්‍ර‍වාහනය කරන්නෙ... ඉංග්‍රීසි පන්තියට මේ ලියමන ප්‍ර‍වාහනය කරන්නෙ මගේ යාලුවො සැට් එකේ මගෙ බොක්කක් වෙලා හිටපු අයිය බඩා (උගෙ මල්ලි ඌට කථා කරන විදිය... ගෙදර ගියපු එකෙක් ඉස්කෝලෙට වාර්තා කලා ඒ ලස්සන නම)

හිරැ රැස් හොදින් පතිත වෙලා තිබ්බ ලස්සන දවසක හැන්දෑවරැවෙ පාසල අවසන් උනාට පස්සෙ ලව් සබ්ජෙක්ට් එකේ කෙල පැමිණි ඔස්තාද් ලා ඇතුලුව බර සෙට් එකක් ලියුම ලියන්න අදහස් දෙන්න අපේ 11 F පන්තියටම ඇවිල්ලා.... සමහර උන් බොක්කෙන්ම උන්ගෙ වැඩක් වගේ වැඩේට බැහැලා...

හැමෝගෙම අදහස් අනුසාරයෙන් ඉතා සාරවත් එමෙන්ම හරවත් ලව් ලෙටරයක් ලියන්න මට හැකි උනා.... ඒකෙ  සාරංශය මෙන්න මේ වගේ

මා දයාබර සොදුරිය ....................... (නම දන්නෙ නැති හින්දා තිත් පෙළක් තිබ්බා හොදට මතකයි)
ඇත්තම කියනවා නම් මට ඔයා ගැන විශේෂ හැගීමක්  ඇතිවෙන්න පටන් අරන් ටික කාලයක්... ඒත් ඒ බව ඔයාට කියාගන්න විදියක් නැතුවයි මෙච්චර කල් හිටියෙ... ඔයාගෙ අධ්‍යාපනයට පාඩු වෙයි කියලා හිතලා මම මේක අතඅරින්නත් කල්පනා කලා.. ඒත් මට ඔයාව අමතක කරන්න බෑ...මම ඒ තරමටම ඔයාට ආදරෙයි.... ඉරිදා ගණන් පන්තියෙ පිරිමි ළමයින්ගෙ පැත්තෙ තුන්වෙනි පේලියෙ රතුපාට ටී ෂර්ට් එකක් ඇදලා ඉන්නෙ මම.......

අන්තිම පේළි වල සින්දු කෑලි ටිකකුත් ලිව්ව මතකයි.... වැඩේ අහවරයි... ඉංග්‍රීසි පන්ති යන අයිය බඩා ලියුමත් අරගෙන අපෙන් සමුගත්තා.... කොල්ලො මට චියර් කරලා සන්තෝෂම් විදියට මගේ හිල් වෙච්ච අසරණ පොකැට්ටුවෙ අස්සක වැරදිලා රැදිලා තිබ්බ සල්ලි වලට හිතක් පපුවක් නැති උන් වගේ  සුද්දෙ දැම්මා කැන්ටිමට උස්සගෙන ගිහින්.... අයියෝ සල්ලි....

වීරයා වගේ ලිව්වට මොකද මට දැන් මාර භයයි.... මේක වැඩ කරයිද? ඒ කෙල්ල අපේ ටියුෂන් කඩේ මුදලාලි ට දෙයිද / (මොකද අපේ මුදලාලි ට ඉස්කෝලෙ යන වයසෙ උන් ලව් කරනවා පෙන්නන්නම බැරි ලෙඩක් තිබුනා... අහුවුනොත් ආයෙ නෝ පන්ති ) ලියුම භාරගත්ත කෙල්ල හැමෝටම පෙන්නයිද.. ඔය වගේ ප්‍ර‍ශ්න වැලයි.....
මම කරගත්ත මෝඩ කමක් කියලමයි ගෙදර ගිය වෙලේ ඉදන් හිතුනෙ... කෙල්ලො ඉස්සරහ පජාති වෙන හැටි මට හීනෙනුත් පෙනුනා... මම ලොකු වැරැද්දක් කලා කියලා මගේ හිත මටම තලන්න ගත්තා.... දැන් ඉතිං මක් කොරන්නද හැම දේම වෙලා ඉවරයි...

පහුවදා උදේ වෙනදා වගේම අයිය බඩා ඉස්කෝලෙ ආවා.... මචන් මාර සීන් එක අර කෙල්ල ඊයෙ ක්ලාස් ආවෙ නෑ.... ඊළග සතියෙ මම අනිවාර්යෙන්ම දෙන්නම්.....

ඉබ්බ දියට දාන්නද අහපුවාම ඇන්නෑවෙ කිව්ව වගේ පුල් අන්දොස් වෙලා හිටපු මට මේක මසුරං වැඩක්...

මගේ පුරැෂ ශක්තිය ඒ වෙනකොට බයටම බින්දුවෙන් එහා සෘණ වලටම ගිහින්... මම තීරණය කලා ලියුම නොදි ප්‍ර‍ථම ආදරය හිතේම දියවෙලා යන්න ඉඩ දෙන්න.... අමාරැවෙන් ලියපු ලියුම කෑලි කෑලි වලට ඉරලා විසි කලා.... අයිය බඩා හැර හැමෝටම කිව්වෙ ලියුම දුන්නා කියලා.... ඒ රහස රැක ගන්න මම ඌට අතේ සතේ නැතිවෙන කන් ඉස්කෝලෙ කැන්ටිමට ජාති ණයක් ගෙව්වා....

දැන් තමා හොදම හරිය ලව් ලෙටරෙ ලියන්න වට වෙච්ච උන් සතියකට විතර පස්සෙ රිසල්ට් එක අහන්න පටන් ගත්තා.... මමත් තාම මොකුත් නෑ බොලව් කියමින් ෂේප් වුනා... මේ වගේ නසරාණි සෙට් එකකට බොරැවක් කියන්නත් ඉගෙන ගෙන එන්න ඕනෙ... තවදුරටත් බේරැමක් නැති සද.... පන්තියේ ලස්සනම අත් අකුරැ තිබ්බ කිඩා (කිඩගම්මුල්ලෙ හිටපු නිසා ඌ කිඩා උනා ) ලව්වා පිළිතුරැ ලිපියක් ලියවන්න තීරණය කලා....

වැඩේ කුජීතයි තමා... ඒත් ජාමෙ බේරගන්න අයියබඩා / සිරා / කිඩා  සුසංයෝගයෙන් කෙල්ල ලියන විදියට පිළිතුරැ ලිපියක් ලිව්වා... ඇරපු අතක් නෑ කිඩාගෙ මුතු කැට වන් අකුරැ කෙල්ලෙක් ගෙ වගේමයි... ඒ ලිපිය මෙන්න මේ වගේ....

දයාබර................... (මගේ නම)


ඔයාගෙ ලිපිය ලැබුනා... ඔයා නිතරම මගෙ දිහා බලනකොට ඔහොම දෙයක් ගැන  මගෙන් අහයි කියලා හිතිලයි තිබ්බෙ...  අපි මේ කාලෙ ඉගෙනගන්න ඕනෙ, අපේ අම්මලා තාත්තලා අපි ගැන බලාපොරොත්තු තියාගෙන ඉන්නෙ, ඒ නිසා.. ඔයාගෙ ප්‍ර‍ශ්නෙට විභාගෙ පහුවෙලා උත්තරයක් දෙන්නම්... එතකං ඔයා මගෙ හොද යාලුවෙක් උනාට කමක් නෑ....
මේ 
...........................

ලියුම කියවපු කොල්ලන්ටත් වැඩේ සිරා ගියා... තව ටික කාලෙකින් හරියයි මචන්... උඹ සැලෙන්න එපා.... මගෙ එක මට ඔහොමවත් උත්තරයක් දුන්නෙ නෑ... ඔහොම උත්තරයක් දෙනවා කියන්නෙ අනිවා කෙල්ල උඹට සෙට්  ... ලව් ඔස්තාද්ලා එහෙම කිව්වා.... ඒත් ටික දවසකට පස්සෙ කිඩාගෙ  ශ්‍රී මුඛයෙන් නිධාන කථාව එළියට පැනලා අහිංසක සිරාව 11 වසර උන් අතර සාටර් වෙලා කුජීතම වෙලා ගියා....සිරාගෙ පුථම ප්‍රේමය අන්න ඒ අන්දමට තමා ශෝඛී අවසානයකට එළඹුනේ.....මෙවන් දුකක් කුර කූඹියෙකුටවත් නොවේවා !

පින්තූරය කොප්ප ගැහුවෙ මෙතැනින් http://www.trulylovable.com/media/665-the-magic-of-first-love.jpg

මම සයිබරයේ අලුත් මිතුරා සිරා....

ප.ලි


2001 දි සිරා අපොස උ/පෙ කරන්න පන්ති යනකොට මෙන්න මෙයා ඒකටත් ආවා... එතකොට සිරාගෙ සබකෝලය නැත්තටම නැති වෙලා තිබුන නිසා...කථා බහ කරලා අදුන ගත්තා.... නම සජානි
ඒ වෙද්දි ග්‍රහයෙක් සැට් වෙලා තිබුන නිසා සිරාට නෝ චාන්ස්....

2012 සිංහල හින්දු අලුත් අවුරැද්දට ඇදුම් ගන්න සිරා ටවුමෙ සාප්පුවකට ගියා.... අවුරැදු 11කට පස්සෙ පුරැදු මූණක් මගෙ දිහා බලාගෙන ඉදලා ලගට ආවා....ඇතිවුන දෙබස මෙන්න මෙහෙමයි........

(ඇය) අදුනගන්න පුලුවන්ද?
(මම) ම්ම්ම්ම්ම්...........සජානි නේද?
(ඇය) ඔව් ... ඉතිං ඔයා මැරි කලාද?
(මම) අපෝ තවම නෑ.... ඔයා
(ඇය) මගෙ පුතාට දැන් වයස අවුරැදු 3 1/2 ඉක්මනට බදින්න පරක්කු නොවී.... හස්බන්ඩ් ඇතුලේ මම
           යන්නම්.....

 ඇයට මා කලෙක සිතින් ආදරය කල බැව් තවමත් නොදන්නීය.... දැනගතහොත් ඒ මේ පෝස්ටුව දැකීමෙන් පමණක්මය... ප්‍ර‍ථම ආදරය කිසිදා නොමියෙයි..... සිරා එය දන්නේ අත්දැකීමෙන්මය....

Wednesday, June 13, 2012

22 සිරා සහ කිරි අම්මා




සිරාගෙ කාමරයට එබිලා, කකුල් දෙකෙන් නැගිටින්න වලි කන මේ කොලුවාට කොමෙන්ටුවකින් ධෛර්යය එන්නත් කරලා ගිය හැමෝටම සිය දහස් වාරයක් ස්තූතියි.... ඔබ පෑ ඒ කාරැණික මදහස නොවන්නට සිරාගෙ කාමරේ දොර පලුව මෙතරම් කලියෙන් නැවත විවර වන්නට ඉඩ හසර වෙන් නොවී තිබෙන්නට  ඉඩ තිබුනා... මේ සුවිසල් සයිබරයේ පුංචි ඉඩක වෙර වීරියෙන් ඉදි කරගත් මගේ පුංචි කාමරයට මම හරිම ආදරෙයි,  ඇත්තමයි සත්තයි  ... ඒ ඔබ  සිරාගේ කාමරයට දිනක පැමිණෙනු ඇතැයි යන සහන් එළියේ මුදු  ආලෝකය නිසයි.....

ඔන්න සිරා නමෝ විත්තියෙන් කාමරේ දොර ඇරියෙ අපේ ජීවිත වලට වඩාත් සමීපතම යුවල ආදරයෙන් මතක් කරලා .  මෙතැනින් කියවන්න ඒ ගැන

ඒ උනාට සිරාට තව කෙනෙක් ඉන්නවා මතක් නොකරම බැරි... ඒ ආදරය ශරීරයේ දුවන අන්තිම ලේ බින්දුව අස්සෙන් රිංගලා ඇට මිදුලු ශිරා ධමනි විනිවිද අන්තිම කේෂනාලිකාවටත් මග කියන, මතක් කලත් පපුව බරට ගැහෙන  උත්තරීතර ආදරයක්....

ඇගේ උණුසුමේ මා කොතරම් නම් දැවටී හිදින්නට ඇත්ද ? ඇගේ නැලවිලි ගීයෙන් මා කෙතරම් නම් සුවයක් විදින්නට ඇත්ද ? ඇගේ රසමසවුලෙන් මා කෙතරම් නම් සැනහෙන්නට ඇත්ද? ඇගේ රැකවරණෙන් මා මොනතරම් සුරැකෙන්නට ඇත්ද? 

නිල් පාට පුංචි බේසමේ, පුංචි හිල් පොල් කටුවෙන් , ඔබ ලග සුරැකිව ඇති පිට කවරය නැති පුංචි පිරිත් පොතෙන්, කොණ්ඩ කැවුමේ යසස වඩනා තෙල් කූරෙන් , ඔබේ සුවද මුසුවනු බත්පතින් මම ජීවිතය ඉගෙනගත්තෙමි. මගේ අධ්‍යාත්මය සැනෙන් සසල කරනා ඒ අමයුරැ සදිසි ලද,

කිරි අම්මා....................

මම ඔබ ලගින් හිද ගනිමි..... කාලයේ ඇවෑමෙන් රැලි වැටුනු නුඹේ දෑත මම මගේ දෝතට ගතිමි... සුදෝ සුදු වන් කෙස් කලඹ මුදු සුළගේ පා කර හරිමි... අසූවස් ආසන්න නුබේ හුස්ම හඩට කන් දෙමි.

මටද හොරා අතීතය මා කෙරේ නෙත් හෙලයි.  මා කුඩා එකෙකු සන්දියේ සිට මේ දක්වා මේ දෑතින් කොපමණ වාරයක් මා ඔසවාගෙන ඉන්නට  ඇත්ද?  මගේ අතැගිල්ලෙන් අල්ලාගෙන මග පෙන්නන්නට ඇත්ද ? මගේ කැත කුණු අතගාන්නට ඇත්ද ? උදා අරැණේ රැකියාවට  පිටවන මාපියන් යලි එනතුරා මගේ එකම මිතුරා, ආරක්ෂකයා, භාරකරැවා ඔබම විය. ඒ සා ඔබ කල මහත් මෙහෙවර අමතක කලහොත් මා මිහිපිට තිරිසනෙකු නොවන්නේද ?

සීයලා හා හරි හරියට ඔට්ටු වෙන්නටත් කලින් ඔව්හු දිවියලෝකේ ගියහ. ඉතිරි වූයේ ඇය පමණයි... ඉතිං මා කෙතරම් නම් ඇයට ආදරෙයි කියන්නද ?

සිරා පොඩි කාලෙ ගොඩාක් සිද්ධි මතක් කරලා දෙන්නෙ කිරි අම්මා.... ගම්පහ විජේරාම පාරෙ කිරි අම්මගෙ ගෙදර තමයි සිරාගෙ ළමා කාලයෙන් වැඩි හරියක්ම ගෙවුනෙ... ගමේ පන්සලේ ලොකුහාමුදුරැවො (නැසීගිය බණ්ඩාර බටවල සුමනජෝති නායක හිමි)  වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සිල්වත් විනයගරැක බුද්ධ පුත්‍රයෙක්..... අද වගේ නෙමෙයි ඒ කාලෙ පංසලේ ලොකු හාමුදුරැවො දායක කාරකාදීන්ගෙ සැප දුක් බලන්න ගම්කරේට වඩිනවා මාස දෙකකට සැරයක් වගේ.... ඒ දිනේට කිරිඅම්මගෙ නිවසට හාමුදුරැවො වැඩිය පණිවිඩේ සිරා දීලා තියෙන්නෙ මෙන්න මෙහෙම...

කිලි අම්මේ සාදුවෙක් ඇවිල්ලා.......

 හත්ඉලව්වයි, අපේ හාමුදුරැවනේ කියලා ලොකු හාමුදුරැවො පිළිගන්න කිරි අම්මා දුවන්නෙ  අසුන් පනවන්න සුදු රෙද්දකුත් අරගෙන සාදුවෙක් නෙමෙයි පුතේ මේ අපේ ලොකු  හාමුදුරැවො කියාගෙනයි....

කිරිඅම්මා කියන විදියට  අවුරැදු 3ක් වගේ වයස සිරාව එතුමිය පන්සල් යන හැමදාකම පන්සලට අරගෙන යනවලු... ලොකු හාමුදුරැවො සිරාගෙන් හැමදාම ඒ කාලෙ අහන ප්‍ර‍ශ්නයක් තිබ්බා

මොනවද පුතේ ගෙදරට ගාන්න හොද තීන්ත ?

“පෙන්තලයිට්“

ටීවී එකේ යන ඩියුලක්ස් පෙන්ටලයිට් දැන්වීමෙන් තමා ඔය වචන ටික සිරා අහුලගෙන තියෙන්නෙ....

ඇස්වහ වදිනවා කියලා සම්මත ගෑණු කෙනෙක් පාරෙ ආවොතින් සිරාව අරගෙන කිරි අම්මා මාරැ වෙන්නෙ ඊයක වේගයකින්. ඒ නිසාමදෝ සිරාගෙ නලලින් භාගයක් වෙන්න තියපු ලස්සනම ලස්සන  මොට්ටුවක් ඒ කාලෙ හැමදාම සිරාව  ලස්සන කරලා තියෙනවා..

මගෙ ළමා මනසේ තැන්පත් වුනු බොහොම පරණ සිද්ධියක් තියෙනවා කියන්න.

සුමනජෝති නායක හාමුදුරැවො සිරිතක් විදියට කුඩා පුටුවක් (මොන්ටිසෝරි ළමයි ඉදගන්නවා වගේ පොඩි එකක් ) තමයි බෝධි පූජා ආදිය පවත්වද්දි ආසනය හැටියට යොදා ගන්නෙ... ඉති දවසක් කිරි අම්මත් එක්ක පන්සල් ගිය පුංචි සිරා හාමුදුරැවො වඩින කොටම අර පුංචි පුටුවෙන් ඉදගෙන බණ අහන්න...  කිරි අම්මා කොච්චර නැගිට්ටවන්න හැදුවත් ඒ කාරිය සාර්ථක වෙලා නෑ... ( සිරා ඒ කාලෙත් අද වගේම තමා කිව්වොත් කිව්වා.....) මේ බව දැකපු ලොකු හාමුදුරැවො, එපා උපාසක අම්මෙ... ඒ දරැවට එහෙමම ඉන්න දෙන්න කියලා  තවත් මිටි පුටුවක් ගෙන්නාගෙන තමා බෝධි පූජාව පවත්වලා තියෙන්නෙ...

සිරාගෙ කරදඩු උස්මහත් උනාට පස්සෙත් පන්සලට ගියොත් සුමනජෝති හාමුදුරැවො පෙන්ටලයිට් ප්‍රශ්නෙ සිරිතක් විදියටම විචාලා....

මේ කියන කිරි අම්මට එක තැනක නම් ඉන්නම බෑ.... නිකං ඉන්නවා කියන එක අහලවත් නෑ වගේ.. ඕනෑම වෙලාවක වැඩක් කරන්නම තමා ඕනෙ... ඒක නිසාම වෙන්න ඇති අදටත් එතුමිය ඉතාම නිරෝගීව කල් ගෙවන්නෙ.... කෑගල්ලෙ නෙලුම්දෙණිය තමා කිරිඅම්මගෙ ගම.... පුංචි කාලෙදි ඩී.ඇස්. සේනානායක මහත්තයා අස්සයා පිටේ යන හැටි ඇස් දෙකෙන්ම දැකලා තියෙනවා කියන්නෙ හරිම උජාරැවෙන්...

සිරා වෙලාවකට කිරි අම්මගෙන් අස්පට් ප්‍ර‍ශ්නත් අහනවා

කිරි අම්මෙ ඒ කාලෙ ඉස්කෝලෙ යනකොට කොල්ලො ලියුම් එහෙම දුන්නෙ නැද්ද

අනේ පලයන් කොල්ලො යන්න උඹ උඹේ වයසට කලින් පීදෙන්න හදනවා.... ඒ කාලෙ ඔය මල කෝලම් තිබ්බෙ නෑ, අපි දන්නෙත් නෑ.. අපි දැක්කෙත් නෑ... ඇටෙන් පොත්තෙන් එලියට එන්න කලිං ලව්... ඉලව්වෙ උඹලට ලව් තිබ්බොත්  ඔක්කොම හරි..........

සිරාගෙ කිරි අම්මගෙ ශබ්ද කෝෂයෙ අපි කවදාවත් අහලා නැති වචනත් තියෙනවා... වැසි බර සවසක මලානික හිරැ එළියට  කියන නම තමයි අවු රබහ... ඕනෑවට වඩා දෙයක් වර්ණනා කරනවට කියන්නෙ ඔජ වඩනවා කියලා.... මේවා ඇහෙනකොට සිරාගෙ හිනාව කට කපල එකයි ඔන්න...

සිරා සහ කිරි අම්මා ඇගකිලිපොලා යන ඒ ද්වන්ද්ව සටන් ඇතිවෙන්නෙ එකම එක කාරණයක් උඩ.... කිරිඅම්මා කොච්චර හොද වුනත් සත්තුන්ට කරැණාවක් නෑ.... අනවසරයෙන් ගෙට ආවොත් බඩුම තමා....මගේ ආදරණීය සුරතල් කලුම කලු පූසා (සේනක) ලා දුඹුරැ පාට බලු සගයා (ටොමී) නිකරැනේ ගුටි කෑවොත් උන්ට වඩා ඒක රිදෙන්නෙ මට... ඔය වගේ වෙලාවල් වලදි සිරාගෙ අම්මත් මැදිහත් වෙලා කරැණු පැහැදිලි කලත් ඒවා ගගට කපපු ඉනි බව අපිට වැටහෙන්නෙ තවත් දවසක උන්ට පාර වැදුනහම..... ඒ වෙලාවට මම කිරි අම්මට කෑ ගහනවා...තරහ නිවෙනකම්ම,  උන්දෑ පැත්තකට වෙලා නිශ්ෂබ්දව ඉන්නවා... සමහර දවස් වලට වයසක නෙත් කෙවෙනි කදුලට බර වෙලා... ඒ වෙලාවට සිරාගෙ දරදඩු හිත වෙඩරැ පිඩක් වගේ සැනෙකින් උණු වෙනවා..... මේ කාමරේදි මම කිරි අම්මට බැනපු හිතේ අමාරැවට මගේ අත් මිට මොලවලා රිදෙන්න බිත්තියට ගහපු දවස් , තනියම හිතෙන් අඩපු වාර කීපයක්ම තියෙනවා.....මට කවපු පොවපු, මාව වඩාගෙන නලවපු, මාව හිල් පොල් කට්ටෙන් නාවපු ඒ අතීතය මට කදුලු මැදින් මැවිලා පේනවා.... ඒක තමයි ඇට මිදුලු විනිවිද ගිය  ආදරේ...

කිරි අම්මගෙ එකම පුතා ඒ කියන්නෙ සිරාගෙ මාමා දිවියලෝකෙ ගියපු විත්තිය ඇයට දැනුම් දෙන්න බැරැව පවුලේ ඔක්කොම තුෂ්ණිම් භූත වෙලා හිටියෙ ඒ මූසල පණිවිඩේ ඇයට දරාගන්න බැරි වෙයි කියලා... මමත් ඒ වගේ තැවුනු දවසක් මතකයේ නෑ... අන්තිමට සිරාගෙ පිහිටට ආවෙ යුධ හමුදාවෙ  කලබල (පාසල් සමයේ පටබැදුනු නමකි, මේ ගොල්ලන්ගෙ කුණු ඉස්සරහට අපුල්ලන්න හිතන් ඉන්නෙ) දොස්තර මහතා... එතුමා විද්‍යානුකූලව ඒ වැඩේ මනාව කලා බුදු දහමත් එකතු කරගෙන.

ඔන්න ආයෙම එක තැනක ඉන්න බැරි පරණ ලෙඩේ කිරි අම්මට හැදිලා  දරැවන්ගෙ ගෙවල් වල සත් කාර විදිමින් යන ඇගේ ජීවන චාරිකාවේ වර්තමාන නවාතැන ඇගේ බාලදුවගෙ  ගම්පහ අස්ගිරියෙ ගෙදර... කිරි අම්මා නැති නිවස අසම්පූර්ණයි වගේ.... ඒ බව මට ඇය නැතිව ගෙවී යන සෑම තත්පරේකම  පසක් වෙනවා... ඒ හිස්බව දුරලන්නට  කිරි අම්මා ලගදීම පැමිණේවා !


මම සයිබරයේ අලුත් මිතුරා සිරා.......

ප.ලි

සේනක සහ ටොමී උඹලා දෙන්නා කිරි අම්මා ආයෙ ආවට පස්සෙ ගේ ඇතුලට එහෙම ඇවිත් ගුටි කන්න එපා.... මොකද මම ආයෙ කවමදාවත් කිරි අම්ම එක්ක රණ්ඩු වෙන්නෙ නෑ කියලා එයාට පොරොන්දු වෙලා තියෙන්නෙ......



පින්තූරෙ කොප්ප ගැහුවෙ මෙතැනින් http://farm7.staticflickr.com/6163/6176194682_04c8855a24_z.jpg

Monday, June 11, 2012

28 මෙතුවක් පටන් කාමරේ දොර විවෘතයි !



ආයුබෝවන්ඩ, 

සිරාගෙ කාමරේ දොර  සෑහෙන්න සටනක් දිලා ඔන්න යන්තම් ඇර ගත්තා...දොරේ අගුල් වල මලකඩ වගේම කාමරේ පිරෙන්න බැදලා තිබ්බ මකුලු දැල් ටිකත් කඩලා ටිකක් සුද්ද පවිත්‍ර‍ කොලා... මේසෙ යට දුවිලි කන්දක්.. කැඩුනු පුටු කබල් දෙකකුත් අයිනකට වෙන්න තියද්දි තමා දැක්කෙ එකක කකුල් 3යි කියලා.. දැන් ඉතිං හොයපල්ලකො අනිත් කකුල..

පුංචි රෝස මල් තියෙන ලා දම්පාට රෙද්දකුත් අලුතෙන්ම ඇදට දැම්මා.. කට්ටිය වැඩි උනොත් පුටු කබල් දෙක මදි වෙයි නොවැ.

දැන් ඉතිං සියල්ල අංගසම්පූර්ණයි !  අද පටන් මේ කාමරයට හැමදාම එන්න බොලා ඔක්කොටම  පුලුවන්.. බොලාට එන්න ඇහැකි නේද ?

තවම සිරා විතරයි කාමරේ ඇතුලේ.. එත් මම ඉන්තේරැවට දන්නවා තව ටික දවසකින් හැන්දෑවට හැන්දෑවට ගජේ ගහන සැට් එකක් මේක ඇතුලේ  හක්කොලං කරන විත්තිය. දශක තුනකට ලං වෙච්ච සිරාගෙ ජීවිතේ කොයි හරියෙන්  මේ කථාව පටන් ගමුද කියලා මම මේ නිනව්වක් නැතුව දස අතේ කල්පනා කලේ..

මේ කාලය ඇතුලත මොන තරම් නම් දේවල් සිද්ධවුනාද? කොච්චර නම් කට්ට කෑවද ?  ඉස්කෝලෙ මැරතන් එකට පුරැදු වෙන්න අමු පාන්දර ප්‍රැක්ටිස් පාර දානකොට බල්ලො කීයක් මගෙ පස්සෙන් පැන්නුවද ?  අකුරැ ලස්සන නිසා කොල්ලො කීයකට ලව් ලෙටර් ලියලා චොකලට් කෑවද ? බඩට බත් නැතුව,ඇහැට නින්ද නැතුව, තාත්තගේ සේසත වියදම් කරගෙන අපොස උ/පෙ සමත් කර ගන්න කොච්චර මහන්සි උනාද?,  මල් වගේ කෙල්ලන්ගෙ ගල් වගේ හිත් ලග අම්බානට සාටර් වෙලා කුජීත උනාද? එක බත් පතේ කාලා බොක්ක දෙන්නම් කියලා මටත් ඇරගෙනම යාලුවො කීයක් මාරැ උනාද? දාංගලේ හින්ද යන බස් වලට නගින්න ගිහින් වැටිලා  පැච් කීයක් කියලා දැම්මද?  ඇයි හතුරො මග බලං ඉදලා ඔලුවටම ගහපු යකඩ පොලු පාර......

සිරාට අද ඊයෙ වගේ හැමදේම මතකයි ඔව් හොදටම මතකයි ... එහෙනං බොලව් සුනංගු නොවී  මුල ඉදන්  මේ අහවල් කථාව නමෝ විත්තියෙන් පටන් ගමු, තවත් තටබන්නෙ නැතුව ......

සිරාගෙ ජීවිතයට සම්බන්ධ පරණම මතකය හරිම සුන්දර එකක්.. වයස අවුරැදු  3 ක කොලු පැටියා කාලේ වෙච්ච දේ තාමත් හොදටම මතකයි. සිරාට අවුරැදු 3දි තමයි අම්මා මල්ලි පැටියෙක් ගේන්න ඉස්පිරිතාලෙට ගෑටුවෙ, තාත්තත් එක්ක හැමදාම කිලෝ මීටර් 5 ක් විතර තියෙන ඉස්පිරිතාල ගමන ගියේ පරණ පුස් බයිසිකලයක.. කොල්ලගෙ ගමන් පහසුව ගැන හිතලා තාත්තා පුංචි කොට්ටෙකුත් පොල්ල උඩින් තිබ්බට පස්සෙ තමා සිරාව එතනින් ඉන්දවන්නෙ..... එත් ඉතිං ටික දුරක් යනකොට සිරාගෙ පුංචි පුක පැත්ත රිදෙන්න ගත්තම තාත්තා බයිසිකලය අයිනක නවත්තලා ටිකක් වෙලා ඉදලා තමා ආයෙත් ගමන පටන් ගන්නෙ... කිලෝමීටර් 5 යන්න අඩුම සැරේ වාර 3ක් වත් පුස් බයිසිකලේ නවත්තන්න වෙනවා...

ඉස්සර ගම්පහ ඉස්පිරිතාලෙ මාතෘ වාට්ටුව තිබ්බෙ යක්කල ගම්පහ පාර අයිනට වෙන්න.. අද වගේ තාප්ප නෑ දිගටම කටු කම්බි වැටක් ගහලා තිබුනා කියලා හොදටම මතකයි... තාත්තත් එක්ක මේ කොලුවා හැමදාම මේ යන්නෙ අම්මගෙ දුක සැප බලන්නත් අම්මට කෑම බීම ගෙනිහින් දෙන්නත්,  වැට ලගින් බයිසිකලේ නතර කලාම කෑම පාර්සලේ අරන් ගිහින් වැට අස්සෙන් අම්මට දෙන්න   සිරා සූරයා..   අද වගේ ස්කෑන් කරන්න පහසුකම් නැති ඒ කාලෙ ඒ දෙපල ලෑස්ති උනේ නංගි පැටියෙක් පිලි ගන්න... ඇදුම් කැඩුම් ඔක්කොම රෝස පාටට පිලියෙල කොරලා තිබ්බෙ... ඒ උනාට සිරාගෙ හොද වෙලාවටද කොහෙද (සිරාගෙ දෙමාපියො වගේම සිරාත් හැන්ඩියා, මල්ලි කොල්ලත් එහෙමම තමා... ඉතිං නංගි පැටියෙක් හිටිය නම් පස්සෙ කාලෙක එයාගෙ ලස්සන දැකලා පස්සෙන් එන කොල්ලන්ට ගහලා සිරාට ලොකු පාපයක් පුරෝ ගන්න තිබ්බා )    නංගි පැටියා රෝස කැලේ තියලා මල්ලි කොල්ලෙක් තමා මේ ලෝකෙට ආවෙ.... අනේ ඒ අසරණ කොලුවත් රෝස පාට ඇදුම් ඇදගෙන කෙල්ලෙක් වගේ ටික ටික ලොකු උනා....

සිරා මේ දෙමාපියො ඈදලා කාමරේ ඉදන් කියන පළමුවෙනි කථාව පටන් ගත්තෙ ගහට පොත්ත වගේ  ඒ දෙපල අපේ ජීවිත වලට ගොඩාක් සම්බන්ධ නිසා ඔවුන්ට කරන ගෞරවයක් විදියට.... හැම දරැවෙක්ටම වගේ ලෝකෙ ඉන්න හොදම අම්මා හා හොදම තාත්තා තමා සිරාට ඉන්නේ... ඉතිං බොලව් පළවෙනි කථාවෙන්ම ඒ දෙපල මතක් කරන එක වැරදි නෑනෙ....

1983 රටම වැනසූ මහා කලු ජූලිය.... හැමතැනම කඩ කඩනවා ... අහිංසක දෙමළ මිනිස්සු  අමු අමුවේ මරලා දාන යක්ෂයා රජ වෙච්ච හෝරාව... ටීවී ,ශීතකරණ, ටොපී ,චොකලට් පාර පුරාම එතකොට සිරාගෙ මල්ලි කොල්ලා නෑ... හිටියෙ සිරා විතරයි... මාස 7 ක පොඩි කොලුවෙක්.. පොඩි කාලෙදි මේ කොලුවට තදට සෙම අමාරැව තිබ්බා... ඔය කියන මල ජූලිය අස්සෙ පොඩි එකාට හුස්ම ගන්න බැරි තරමට සෙම වැඩි වෙලා... බල බලා ඉන්න විදියක් නෑ අම්මයි තාත්තයි අසිහියෙන් වගේ කාසල් එක පැත්තට කොලුවව උස්සගෙන දිව්වා... යන්න එන්න වාහන නෑ.. රටපුරා ඇදිරි නීතිය... අවිනීතිය රජ වෙන වෙලාවෙ හැම තැනම එකම විලාපයයි... ඉස්පිරිතාලෙ දොස්තරලත් නෑ... වටේ පිටේ මිනිස්සුත් පොලු මුගුරැ අරගෙන මේ දෙපලට බනිනවා පොඩි එකෙක් අරගෙන යන වෙලාවක්ද යකෝ මේ කියලා... අනේ මේ කථාව කියන සිරා කොලුවා ඒ කියන්නෙ මට එන්න එන්නම අමාරැයි...  අසරණ දෙමාපියන් අසරණ වෙලා බලා ඉන්නවා සරණක් නැතුව...

බලන් ඉන්න බැරිම තැන තාත්ත ඉදිරිපත් උනා... කොලුවගේ කටට කට තියලා  කැකෑරෙන සෙම ඔක්කොම කටින් ඇදලා එලියට ගත්තා... මේ විදියට ටික වෙලාවක් කරලා කොලුවගෙ ජීවිත අවධානම නැති කරලා භීෂණේ මැද්දෙන් පාද යාත්‍රාවෙන්  කොළඹ ඉදන් කිලෝමීටර් 20 කට වඩා ඇවිල්ලා තියෙනවා...

ඉතිං මේ කථාව පස්සෙ කාලෙක අම්මගෙන් ඇහුවට පස්සෙ, නුපන් දරැවන් කුස තුලම නැති කරන, ඉපදුන ගමන් ලේ කැටි බිලිදුන් කැලයකට හෝ කාණුවකට විසි කරන පවුකාර පිරිමින් / ගෑණුන් ඉන්නා ලෝකෙක මේ දෙපල දෙවියන් නොවේදැයි මට සිතුනා....  ඒ පින්වත් දෙමාපියන් ආදරෙන් මතක් කරන්නයි... ආයු දිගු වෙන්නයි කියලා හිතලා තමා සිරා  කාමරේ ඉදන් කියන අභිමංගල කථාවට ඒ දෙන්න ගාව ගත්තෙ.

තාත්තා සිරාට වයය 13 - 14 වගේ කාලෙදි ආයෙත් සැරයක් මරණින් මුදෝ ගත්තා... ඒ ගැන අපි  ඉස්සරහ දවසක කථා කරමු...

මේ දාලා තියෙන පොටෝ එකේ ඉන්නෙ සිරා එක්ක ඒ පින්වත් දෙමාපියන්....
සිරාගෙ කාමරෙන් ඇහෙන මේ පළමුවෙනි කථාව අහලා... හොද නරක අවංක හිතින් විවේචනය කරලා... සිරාගෙ යාලුවෙක් වෙලා යන්නෙ බොලා ඔක්කොම අමතක කරන්න එපා... හොදද... එතකොට තමා සිරාට තව එකක් ලියන්න කික් එකක් එන්නෙ...
එහෙනං හැමෝටම ජය!

මම සයිබරයේ අලුත් මිතුරා  සිරා....




28 සිහිනයක සැබෑ වීම හෙවත් බ්ලොග් අමාරැව හොද වීම




මගේම කියලා බ්ලොග් එකක් පටන් ගන්න සෑහෙන කාලයක ඉදන් උවමනාවක් තිබුනත් එදිනෙදා යෙදෙන වැඩකටයුතුත් එක්ක ඒ වැඩේ  කාලයේ වැලිතලාවට යටවෙලා නොපෙනීම ගියා.. කෙසේ වෙතත් ටික දවසක ඉදන් බ්ලොග් අමාරැව ආයෙත් පටන් ගත්ත නිසා මම කල්පනා කලා  ඒකට ස්ථිරසාර විසදුමක් දෙන්න.
 ඒ තමයි මේ  
සිරාගේ කාමරේ
(පුටු මදිනම් ඇද උඩ හරි ඉදගෙන සිරාගෙ කථා අහන්න කාමරේට වරෙල්ලා)

 ඉබේම රෝපණය වී කාලයක් තිස්සෙ මා තුල අතු ඉති ලා වැඩුනු  බ්ලොග් සිහිනය නම් මේ කුඩා පැලය ලෝකය හමුවට එන  මේ අවස්ථාවට සපැමිණි ඔබ සැම ආදරයෙන් පිළිගන්නා අතරම.. ඔබගේ අදහස් උදහස් ගෞරවයෙන් අපේක්ෂා කරමි.

ඉදින් සබද අද සිට සයිබරයේ ඇරඹෙන මේ අපේ අලුත් මිතුරැකම චිරාත් කාලයක් යෙහෙන් වැජබේවා !

මා ඔබේ අලුත් මිතුරා

සිරා.....

ප.ලි  පොටෝ එක කොප්ප ගැහුවෙ මෙතැනින් http://www.doctors20.com/wp-content/uploads/2012/02/start-up-finance.jpg


Related Posts Plugin for WordPress, Blogger...