Wednesday, December 31, 2014

92 ඩුබායි අන්දරය

ඩුබායි කිව්වාම කට්ටියට මොනවද මතක් වෙන්නේ ? කාන්තාර ? ගෘහ සේවිකාවන් ? එහෙමත් නැත්නම් හොදට සල්ලි හම්බකරන්න පුළුවන් රැකියාවල් ? ඔන්න ඔය සේරටම වඩා මීට පස්සේ ඩුබායි කිව්වාම නදිනිගේ පෝස්ට් එක මතක් වෙන්න මේක ලියන්නයි මට ඕනි.

මමත් ඩුබායි රටට ඇවිත් වැඩි කාලයක් නම් නෑ, හරියටම කිව්වොත් අවුරුදු 2 යි මාස ගණනක්...ඒ කාලේ ඇතුලත දැකපු අහපු දේවල් තමයි ඔයාලට මම කියන්න හදන්නේ..

ඩුබායි කියන්නේ අවුරුද්දෙන් වැඩි කාලයක් අංශක 40-50 අතරේ උෂ්ණත්වයක් තියන එනමුත් බොහොම ඉහල අගයක ආර්ද්‍රතාවයක් තියෙන රටක්. අවුරුද්දේ අප්‍රේල් මාසයේ ඉදන් නොවැම්බර් මාසය දක්වා මෙම උෂ්ණත්වය අඩු වැඩි වශයෙන් පවතිනවා. අඩුවෙනවා කිව්වට ඒ අංශක එකකින් දෙකකින් විතරයි. ඒ හැර නොවැම්බර් මාසයේ ඉදලා පෙබරවාරි වෙනකන් තියෙන්නේ අංශක 20 කට වඩා අඩු ශීත කාලගුණයක්... මම මේ හිටපු මුළු කාලෙටම වැස්ස දැකල තියෙන්නේ නම් 5 වතාවක් වගේ. හැබැයි ඒ වැස්සෙත් මඩ වතුර තමයි... අනික ඒ වැස්ස එක්ක සේරම පාරවල් යට වෙනවා... මොකද වතුර බහින්න කිසිම සැලැස්මක් මේ රටේ හදලා නැති නිසා...

ප්‍රදේශ නැත්නම් රාජ්‍යයන් 7ක්  වශයෙන් වෙන් වෙන්ව පැවතුන අබුඩාබි, සාජා, ඩුබායි, රස් අල් කමි, අජ්මාන්, ෆුජෙරා සහ උම් අල්කුඒන් යන සියල්ල එකතුවෙලා 1971 දෙසැම්බර් මස 2 වෙනි දින හදාගත් තනි රාජ්‍යය තමයි අද එක්සත් අරාබි එමීර් රාජ්‍යය කියලා හදුන්වන්නේ..

ඒ අතරින් අග නගරය හැටියට සලකන්නේ අබුඩාබි.  මේ රටේ රජු නැත්නම් ජනාධිපතිවරයා ලෙස සැලකෙන්නේ අබුඩාබි නායකතුමාවයි... ඒ වගේම අගමැති වශයෙන් සැලකෙන්නේ ඩුබායි රාජ්‍යයේ නායක තුමාවයි..මේ සියළුම ප්‍රදේශ පාලනය කරන මේ නායකවරු රජ පවුලෙන් පැවතගෙන එන අයයි...

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රාජ්‍ය ප්‍රධානියා
Sheikh Khalifa bin Zayed Al Nahyan මහතා

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අගමැති වරයා මෙන්ම ඩුබායි හි ප්‍රධානියා
Mohammed bin Rashid Al Maktoum මහතා
ඩුබායි වල රාජ්‍ය භාෂාව ලෙස සැලකෙන්නේ ආරාබි භාෂාවයි, රාජ්‍ය ආගම ඉස්ලාම් ධර්මයයි. ඒ වගේම අනිත් මැද පෙරදිග රටවල් එක්ක සසඳන කොට ඩුබායි දේශය බොහොම බටහිර ගතිපැවතුම් වැළඳගත් රටක් ලෙසද සැලකෙනවා. ඒ වගේම මේ රටේ ජනගහනය ගොඩාක්ම සමන්විත වෙලා තියෙන්නේ විදේශිකයන්ගෙන්. එම රැටියන් එහෙමත් නැත්නම් මෙහෙ මුල් පදිංචිකාරයන් බොහොම සීමිත පිරිසක් තමයි ඉන්නේ. එය ප්‍රතිශතයක් විදිහට ගත්තාම 10% ටත් වඩා අඩු බව තමයි කියන්නේ. වෙන විදේශ රටවල වගේ මෙහේ කාලයක් ජීවත් උනත්, උත්පත්තිය ලැබුවත් පුරවැසිකම ලැබෙන්නේ නෑ. පුරවැසි කම ලබාගන්න විශේෂම සුදුසුකම ඉස්ලාම් ධර්මය ඇදහීම එයට අමතරව අරාබි භාෂාව කථා කරන්න ලියන්න, කියවන්න තියෙන හැකියාවත් වැඳගත්.

මේ අයගෙ ඇඳුම ගැන නම් හැමෝම දන්නවනේ දිගට දිගේ තනි සුදු ලෝගුවක් ඇදලා ඔළුවට රෙද්දක් දාගෙන ඒ රෙද්ද උඩින් අර අපි වලං තියන්න පාවිච්චි කරන දරණුවක් දාගෙන ඉන්නවා. ඔළුවට දාන රෙද්ද සහ අඳින ලෝගුව සම්පූර්ණයෙන්ම සුදු සහ අර දරණුව තනි කළුපාටින් අදින්නේ හරි විදිහටම එමරැටියන් කියලයි කියන්නේ. ඒ හැර රතු සහ සුදු මිශ්‍ර කොටු රෙද්දක් ඔළුවට දාන අයත් ඉන්නවා හැබැයි ඒ හරිම එම රැටියන් නොවන බවයි මම අහලා තියෙන්නෙ.

හැබැයි ඔය විශේෂ අවස්ථාවල එළියට එන මෙහෙ ජනාධිපතිතුමා සහ අගමැතිතුමා නම් පාට පාට ලෝගු අඳින ආකාරය ඉහළ ඡායාරූප වල දැක්වෙනවා.

ඊලගට කාන්තාවන්, මෙහෙ කාන්තාවන් ගැන කිව්වාම අපි හැමෝටම මතක් වෙන්නේ ඔළුවේ ඉදන් කළු රෙද්දකින් වහගත්ත කිසිම සමාජ ආශ්‍රයක් නැති පිරිසක්නේ... ඒක නම් සම්පූර්ණයෙන් වැරදි අදහසක් බව මටත් හිතුනෙ මෙහෙ ආවයින් පස්සේ. මෙහෙ කාන්තාවන් බොහොම නිදහසේ ඇවිදින, විලාසිතා කරන පිරිසක්. ඒ විලාසිතාවලට උඩින් අදින ලෝගුවත් ලස්සන ලස්සන ගෙත්තම් වලින් අලංකාර කරගත් ඒවායි

මෙහෙට ඇවිත් විශේෂයෙන්ම දැකපු දේ තමයි නියම එමරාටි කාන්තාවන් පලදින අමුතු මුහුණු ආවරණය. පහලින් ඉන්නේ ඒක පලදපු කාන්තාවන්. පොඩි ගෑණු ළමයි, තරුණ අය මෙහෙම පළඳිනවා දැකලා නැති වුනාට මැදි වයසෙ නැත්නම් වයසක කාන්තාවන් මෙය පලදිනවා.




එමීර් රාජ්‍යයේ කාන්තාවන් අධික මුදලක් විලාසිතා වලට, ආභරණ වලට වැය කරන බව නොරහසක්. ඒ වගේම එයාලා කොයි වෙලාවකවත් මේක් අප් නැතුව නම් එලියට බහින්නේනෑ. මේ රටේ රූපලාවන්‍ය කියන්නේ බොහොම වැඳගත් දෙයක්. අපි වැඩ කරන කාර්යාලවල උනත් මුකුත් උලන්නේ නැතුව ඉන්න දෙන්නේ නෑ. පිට ඔපේට වැඩි ඉඩක් දෙන රටක් කියන්නත් පුළුවන්. මට නම් හිතාගන්නම බැරි උදේ වැඩට එන්න මේ අය කොයි වෙලාවේ ඉදන් මේ ටික උලනවා ඇතිද කියලයි.

මෙහෙ කාන්තාවන් රහස්‍ය ස්ථාන පවා ලස්සන  කරන්නත් සුවඳ කරන්නත් ලොකු මහන්සියක් ගන්නවලු. තමන්ගේ සැමියට ගොඩාක් ලස්සනට ආකර්ෂනීයව පේන්න පුළුවන් හැමදේම බිරින්දෑවරු කරනවා කියලයි කියන්නේ.

ඒ වගේම එම රැටියන් බොහොම අහංකාර ඒ වගේම මිත්‍රශීලි නැති පිරිසක්. වැරදිලාවත් හිනානම් වෙන්නේ නෑ. හැබැයි ඒ අහංකාරකම ආසියාවේ අපිට විතරයි කියලත් කියනවා. යුරෝපා ජාතිකයන්ව මොවුන් බොහොම ආදරෙන් පිලිගන්නේ.

ඒ එක්කම තව දෙයක්. එමරාටියන් බොහොම කම්මැලි පිරිසක් කියලත් නිතර අහන්න ලැබෙනවා. දහවල් වෙනතුරු නිදාගන්න, ඊට පස්සෙ හොඳට කාල බීලා සාප්පු සවාරි යන අය විදිහට තමයි මොවුන් ප්‍රසිද්ධ, දැන් ප්‍රශ්නේ මෙයාලට මෙහෙම සැප විදින්න කොහෙන්ද සල්ලි කියලනේ? මෙහෙ රජයෙන් එම රැටියන්ට බොහොම වරප්‍රසාද හිමියි. මෙහෙ ව්‍යාපාරයක් අරඹන්න එමරාටියෙක් අනුග්‍රහය දක්වන්නම ඕනි. අනුග්‍රහය කියන්නේ නම තිබුනනම් ඇති. ඒ විදිහට නමදාලා ඔවුන් ආයතන වලින් ලාභංශ ලබාගන්නවා.

ඒ වගේම මෙහෙ එමරැටිකාන්තාවකට ගෘහසේවිකාවන් 5 දෙනෙකුට අනුග්‍රහය දක්වන්න පුළුවන්. ඒ කියන්නේ එක කාන්තාවකට ගෘහ සේවිකාවන් 5 දෙනෙකු තියාගන්න පුළුවන්. ඔවුන් ඒ බලපත්‍රයත් විකුණනවා. ඔය විදිහට රජයෙන් හැමදේකටම එමරැටියන් සහභාගිකරගන්න වෙන විදිහටයි මෙහෙ නීති සකස් කරලා තියෙන්නෙ.

එමීර් රාජ්‍යයේ භාවිතා වෙන මුදල් ඒකකය ඩිරම්. ඩිරම් එකක් ලංකාවේ රුපියල් 34 ක්, 35 කට සමාන වෙනවා. ආර්ථිකය අතින් බොහොම ස්ථාවර ස්ථානයක සිටින එක්සත් අරාබි එමිර් රාජ්‍යය ලෝකයේ උසම ගොඩනැගිල්ල බර්ජ් කලීෆා, ලෝකයේ ලොකුම සාප්පු සංකීර්ණය ඩුබායි මෝල් සහ සුප්‍රසිද්ධ  තරු හතේ හෝටලය Burj Al Arab  වැනි සුවිශේෂී ගොඩනැගිලි වලටත් හිමිකම් කියනවා.

ලොව විශාලතම සාප්පු සංකීර්ණය ඩුබායි මෝල්

ලොව උසම ගොඩනැගිල්ල බර්ජ් කලීෆා



තරු 7 සුප්‍රසිද්ධ හෝලය Burj Al Arab
ගහක් කොලක් කියලා නම් මෙහෙ තියෙන්නෙ රට ඉඳි ගස් විතරයි. හැබැයි ජලය අඩු මේ කාන්තාරෙත් බොහොම ලස්සනට පාර දෙපැත්තේ මල් වවලා, තණකොල වවලා මේ රට ලස්සන කරලා තියනවා. මට මතකයි එක පාරක් බට්ටි කෙල්ලගේ පෝස්ට් එකක තිබුනා මෙහෙ පාරවල් අයිනේ මල් වවලා තියන හැටි. ඒ මල් වවන්න එ් හැම මල් පාත්තියකටම පොලොව යටින් එහෙම නැත්නම් පොලව උඩම ඒ මල් පැල අතරින් ගිය ජල සම්පාදන බට තියෙනවා.



කාන්තාර කිව්වාම අපිට අනිත් මතක් වෙනදේ තමයි ඔටුවෝ. ඉස්සර මෙහෙ හැම දේකටම ඔටුවන් යොදා ගත්තලු. හැබැයි මම මේ හිටපු මුළු කාලෙටම ඔටුවන් දැකලා තියෙන්නේ එක පාරක් දෙපාරක් විතරයි, ඒකත් ඩුබායි නගරයෙන් පිටගිය වතාවල් වල විතරයි. දැන් ඉතින් ලෝකයේ මිළ අධිකම වාහන හැම එකක්ම වගේ තියෙන ඩුබායි දේශයේ ඔටුවන් පාවිච්චි කරන්නේ ෆාම්වල නැත්නම් කාන්තාරේ සවාරිවලට විතරයි වෙන්න ඇති. මොකද ලැම්බෝගිණි, ෆෙරාරි වගේ බොහොම වටින වාහන පොලිස් වාහන විදියට පාවිච්චි කරන්නෙත් මෙහෙ නිසා.

අවසාන වශයෙන් මෙහෙ නීති රීති ගැනත් නොකියාම බෑ. හුගක් හොද ජීවත් වීමට සුදුසු පරිසරයක් හදන්න වගේම හිනායන නීති රීතිත් මෙහෙ තියනවා උදාහරණයක් විදිහට මෙහෙ මෙට්‍රෝ නැත්නම් කෝච්චිවල නිදාගන්න තහනම්ලු, ඒ වගේම දුරකථන භාවිතයත්. නිදාගන්න තරම් දුරක් ගිහින් නැති නිසා නිදාගැනීමේ නීතියනම් හරියටම දන්නේ නෑ. දුරකතන නම් මිනිස්සු ඕනි තරම් භාවිතා කරනවා. ඒ වගේම මෙහෙ බස්, කෝච්චි සහ ටැක්සිවල කෑම බීම ගැනීම තහනම්. ඒක නම් මම දකින්නේ හොද දෙයක් විදිහට. හේතුව එක එක දේවල් හැලිලා මේ ප්‍රවාහන සේවා අපිරිසිදුවීම එයින් වැළකෙන නිසා. ඒ ඇරුනාම සමහර ප්‍රසිද්ධ ස්ථාන වල කොටට අදින්න, කර නැති ඇදුම් අදින්න බැහැ. හැබැයි අනිත් අරාබි රටවල් වලට සාපේක්ෂව මෙහෙ විලාසිතා කරන්න ලොකු නිදහසක් කාන්තාවන්ට තියෙනවා.

රථ වාහන නීතිත් අකුරටම ක්‍රියාත්මක වන රටක් තමයි එක්සත් අරාබි එමිරය. ආසියානු ජාන ප්‍රශ්නේ නිසා එහෙන් මෙහෙන් දාලා යන්න හැදුවට අපේ අයියල මල්ලිලත් මෙහෙ පොලිස් මාමලා දැකපු ගමන් හරියට රිය පදවනවා. මොකද පගාව දීලා ශේප් කරගන්නත් බැරි නිසා.

ඔන්න ඉතින් ඩුබායි අන්දරය ඉවරයි මමත් මෙහෙට ඇවිත් වැඩිකාලයක් නැති නිසා ගොඩාක් දන්නෙ නෑ මේ රට ගැන. සිරා කොලුවගෙ හත්වෙනි ලිපියට අපි ඉන්න රට ගැන ලියන්න කැමැත්තක් ආවා නිසයි මේ කරුණු ටික ලිව්වේ.




මාසයේ අවසන් ලිපිය වෙනුවෙන් සිරාගේ කාමරයට

ඩුබායි හි සිට ලියා එව්වේ නදිනි අබේනායක.



ප.ලි

සහෝදර බ්ලොග් කාරිණියක වන නදිනි අබේනායක නදී නිම්නය නැමති බ්ලොග් අඩවියේ හිමි කාරියයි. වර්තමානයේ අකලට පොල් හැලෙනවා මෙන් බ්ලොග් ලිපි ලියූවත් නිතරම අනෙකුත් බ්ලොක්කරුවන්ගේ ලිපි කියවමින් ඒ අයට ශක්තියක් වන ඇය සිරාගේ කාමරයේ 7 වෙනි ලිපියට අපි නොදන්නා ඩුබායි දේශය සම්බන්ධයෙන් ලිපියක් ඉදිරිපත් කිරීම පිළිබඳ සිරා කොලුවාගේ ගෞරවනීය ස්තූතිය ඇයට පිරිනැමේ.

නොයෙකුත් බාධක, කම්කටොළු මැද 2014 වසරේ අවසානයටත් අප ලගා වී සිටිමු. එළඹෙන 2015 වසර සිරා කොලුවා වන මා හට, ඉටුකරගැනීමට බොහෝ බලාපොරොත්තු ඇති වසරකි. සිරාගේ කාමරයට නිතර යන එන සහෘද ඔබ සැමට 2014 වසර තුලදී ලැබූ පන්නරයෙන් 2015 වසර සුභදායී, ජයග්‍රාහී වසරක් කරගන්නට ලැබේවායි හදවතින්ම ප්‍රාර්ථනා කරමි. උදාවෙන නව වසරේත් සුපුරුදු පරිදිම සිරාගේ කාමරයේ ලෑලි දොර ඔබ වෙනුවෙන් විවෘත වෙනු ඇත.





Sunday, December 28, 2014

97 මොරවකදී සාටර් ජීවියෙක් වූයෙමි

සෑර්ගේ දෝතින් සභාවට පැමිණි බෝතලය හිස් කිරීමේ වගකීම කරට ගන්නට නගා කොලුවා ඉදිරිපත් වූයේ නැත. මහ දවාලේ කට් ඩවුන් වීමෙන් පසු දැනෙන අසික්කිත හැගීම් විදිමින් ඒකා ඇඳෙහි වැතිර උන්නේය. මමත්, පුෂ්පෙ ගොයියාත් සෑර් සමග බෝතලයට තනි රැක්කෙමු. බොර පාට හොද්දේ පෙගෙන පරාටා කැබැල්ලක්, රට කජ්ජක්, කඩල ඇටයක් සමග රහමෙර බඩවැල් දිගේ පල්ලම් බසියි.

මේ කථාවේ 1 කොටසට

බෝතලයේ අඩිය පෑදෙන විට පුෂ්පෙ කොලුවාගේ කරටිය පහත් වී තිබුනි. ඒකා බොන්නට ගිය කල පීප්පයක් වුවත් වත් කල හැකි තරමේ ධාරිතාවක් සහිත එකෙක් වුවද අද දවසේ ගමන් මහන්සිය නිසාදෝ වේලාසනම නැවතීමේ තිත තබා තිබුනි. බෝතලය අහවර කොට රාත්‍රී ආහාරයෙන් පසු ඇඳට වැටුනා පමණක් මතකය. නිදි දෙව් දුව අප සොයා පැමිණ තරයේ වැළඳ ගත්තාය.

පසුදා උදෑසන ආහාරයෙන් පසු අප මොරවක බලා ගියේ සෑර්ගේ මතක අග්ගිස්සක තිබුන නාන තොටුපලක් සොයාගැනීම උදෙසායි. දිය කෙලියේ යෙදෙමින් දහවල ගෙවා දමා තවත් බෝතලයක් දෙකක් හිස් කොට ආපසු නිවෙස් බලා යාම අපගේ සැලසුම විය.

නගා කොලුවා උදෑසන අහවල් කැත වැඩේ කොලේ නැත. ඒකා වීරයෙක් මෙන් රථයේ අසුන් ගෙන සිටියි.

නගෝ බොරු නම් බලහංකො උඹට තව ටිකකින් බොකක් සෙට් වෙනවා. මමත් පුෂ්පයාත් නගාගේ සිත චංචල කිරීමට මාරුවෙන් මාරුවට දායක වූවෙමු.

මට එහෙම අමාරුවක් නෑ යකෝ..නගා පවසයි...

නෑ නෑ උඹට තව ටිකකින් බොකක් සෙට් වෙනවා...වෙනවාමයි..අප දෙදෙනාට බනිමින් රථයේ උන් නගාගේ චිත්ත සන්තානය අපේ බස් ඉදිරියේ බිඳී ගිය නිසාදෝ ඒකාට බොක සිග්නල් වදින්නට වැඩි වේලා ගියේ නැත. එහෙත් එය ඉවසාගෙන දෙපසට ඇඹරෙමින් ඉන්නට නගා උත්සාහ ගත්තේ පරාජය පිළිගන්නට තියෙන අකමැත්ත නිසාය.

සෑර් පොඩියක් නවත්තන්නකො..කට ඇඳවී ගිය නගා කෝල හඬින් අවසානයේ පරාජය බාර ගත්තේය.

ඇයි....

ම...මට බොකක් දාන්න...

ඇයි උඹට ඕවා හිටපු තැන කරගන්න බැරි උනාද...තමුසෙලා පාරට බැස්ස වෙලේ ඉඳන් බොක දාන්න තැන් හොයනවනෙ...මතක නැද්ද හපුතලේ ගිහින්....

සෑර් රථය එක්තරා හුදෙකලා පෙදෙසක මාර්ගයට යාබද ගල් තලාවක් සහිත දිය පහරක් අසල නැවැත්වූවේය. අපේ උසුළු විසුළු හඬ මධ්‍යයේ ගල් තලාවට දිව ගිය නගා කොලුවා රාජකාරිය ආරම්භ කලේය...

මුගෙ මරු ෆොටෝ ටිකක් ගමු.

පුෂ්පයාගේ යෝජනාව මමද අනුමත කලෙන් නගාගේ නිරුවත් පශ්චාත් කලාපය අපූරුවට කාචයට නැගුනි. එමෙන්ම ඉදිරිපස තහනම් කලාපයද ඡායාරූපයට නැගුනි. නගා ඒ අවස්ථාවේ විරෝධය දැක්වූ ආකාරය සිනා උපදවන සුළුය.

නගාගේ බොක දැමීම දුටු පුෂ්පයාටද නැවතත් සිග්නල් වැදුනෙන් ඒකාද ගල් තලාවට ගියේය. ඒ වන විට වැඩ අහවර කර නැවත රථයට පැමිණ සිටි නගා පුෂ්පයාගේ කැමරාවෙන් තවත් නග්න ඡායාරූප කීපයක් ගත්තේය. බොක අමාරුව තවත් මොහොතකින් පුෂ්පයාගෙන් මටද බෝ උනේය. තිදෙනා මාරුවෙන් මාරුවට ගල් තලාව දෙසට යන අන්දම දුටු සෑර් රථය තුල තුෂ්නිම්භුතව බලා උන්නේය. අසික්කිත නගා සිරා කොලුවාගේද පෙර පරිදිම ඡායාරූප ගත්තේය. 36 රෝලෙන් වැඩි හරියක් බොකට යට වී ගියේ ඒ අන්දමිනි.

ගල් තලාවේ නාටකය අවසන් වී නැවතත් රථය පිටත් වූයෙන් වැඩි වෙලා නොගොස් නාන තොටුපලට ලගා වන්නට අපට හැකි විය. කීප දෙනෙකුගෙන් විමසා එම ස්ථානය සොයාගැනීමට අපට සිදුවිය. මොරවක ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයට ආසන්නයේම තිබෙන මෙම ස්ථානයේ වටේටම විහිදුන කළු ගල් පවුරකි. මාර්ගයට මෙහි ජලය තිබෙන බවක් නොපෙනෙයි. ගල් පව්ව අතරින් පහලට පැමිණි පසු සුපිරිසිදු ජල දහරාව දකින්නට හැකි වෙයි.

සෑර් බෝතලයක්ද සමග නාන්නට බැස්සේය. පළමු දින දහවලේ නගා කොලුවාද..එදින රාත්තිරියේ පුෂ්පයාද කට් ඩවුන් වූයෙන් උන් දෙදෙනාම අද රහමෙර පානයට එකතු වන්නේ නැත. සිරා කොලුවා සෑර් සමග මධුපානය ආරම්භ කරන විට මුන් දෙන්නා පැත්තක සිට විහිළු කලේ අද වැටෙන්නේ මා බව කියමිනි.

පැයක් දෙකක් ගත වන විට බ්‍රැන්ඩි බෝතලයක් අවසන් කරන්නට අප දෙදෙනාට හැකියාව ලැබුනි. ආ මග සොයාගෙන ගල්කුළු තරණය කරමින් ඉහළට පැමිණ ජලය වැක්කෙරෙන කලිසම් කොටයෙන් මිදී රථයේ අසුන් ගත්තා පමණි. තැපෑලේ ආ වෙරි මා ගිල ගත් හෙයින් සිරා කොලුවා කුජීත ලෙස රථය තුලම ඔන්දස්පොට් විය.

සෑර් රථය පදවන විට වාහනයේ ඉදිරි අසුනේ සිටින මා කබරයා දිගේලි කිරීමට රථයේ දොර අවසරයකින් තොරව විවෘත කරනා විට එය වෙනත් වාහන වල ගැටීමෙන් වළකාගන්නට මහත් වූ සටනක් කරමින් අපගේ පිංබර සෑර් එය ධාවනය කල බව පසුව මට දැනගන්නට ලැබුනි.

එදා තරම් කිසිම දිනෙක මා හට අසාධ්‍ය වී නැත. ඒ නිසාම මගේ අපහසුතාව දැක මට ඔච්චම් කරනා පුෂ්පයා සහ නගා ඉදිරියේ...ආයෙ මම කවදාවත් බොන්නේ නෑ යනුවෙන් ශපත කලෙමි.

සිරා කොලුවාගේ ඇබැද්දිය නිසාම සෑර්ට නිවෙස් බලා යන්නට බැරිය. ඒ නිසා අකුරැස්සේ පදිංචිව සිටින වසර 20 කින් මෙහා හමුවී නැති මිත්තරයෙක් සොයා එහි යන්නට තීරණය විය. අප එහි යන විට සිරා කොලුවා තරමක් ප්‍රකෘති තත්වයෙන් සිටියෙන් කල කී දෑ මතකයේ තිබේ.

මිත්තරයාගේ නම කියූ විගස ඔහුගේ බිරින්දෑ ඉදිරියට පැමිණියාය...අපගේ සෑර් ගුරුකමට එන්නට කලියෙන් ජාතික උද්‍යාන සේවයේ සිටියදී හඳුනා ගත් මේ මිතුරාගේ ඇඹේනිය සෑර් දකින්නේද පළවෙනි වතාවටය.

අනේ එයා දැන් ලංකාවෙ නෑනෙ...අවුරුදු දෙකක් විතර ඇති රට ගිහින් දැන් යනුවෙන් තෙපළාය.

මේ මෙයාට (සිරා කොලුවා දක්වමින්) පොඩ්ඩක් වැඩි උනා...දැන් ඉතිං ගෙදර යන්න බෑ. යනුවෙන් සෑර් පවසන කල එහි පැමිණි මිතුරාගේ වයෝවෘද්ධ පියතුමා මා හට දෙහි සාත්තුව දෙන්නට ලං වූවේය.

ඒ අතරතුර දුරබණුවෙන් තම සැමියා ඇමතූ බිරින්දෑ අප කරා ආවේ.. එයා කියනවා හොඳ යාලුවෙක් ඒ හින්දා නවාතැන් දෙන්නම කියලා...

මේ දෙබසින් පසු අපේ නඩයට ඒ නිවසේ දොරගුළු විවෘත විය. ලැබුනු එකම ඇඳ කබලේ පහස අසාධ්‍ය රෝගියෙකු වූ සිරා කොලුවාට ලැබුනි. සෑර් සහ අනිත් උන් දෙන්නා බිම එලන ලද තුන්හිරියා පැදුරු මත සැතපුනෝය..

පසුදා උදෑසන කරදරයකින් තොරව උදාවිය. එහෙත් තවමත් හිසේ ඇති මහා බරත් බමන ගතියත් පහව ගොස් නැත. උදෑසන ආහාරයට කැකුළු බත් පොල් සම්බෝල සහ මාළු ඇඹුල් තියල් සමග ගිල දමා ගෙදර ගහකින් නෙලා ගත් ගස් ලබ්බක නොඉඳුල් රසයද විඳ ගත්තෙමි.

මේ සෑම තැනකම එක අතකින් මුව වසාගෙන සිටින සෑර් මට මහා ප්‍රහේලිකාවක් විය. ඒ ගැන විමසූ විට සෑර් අත ඉවත් කර සිනා සුනේය. මට මගේ සිනහව වළක්වාගත නොහැකි විය. සෑර්ගෙ උඩ ඇන්දේ ඉදිරි දතකට වෙච්ච දෙයක් නැත. බන්දු සමරසිංහගේ වැනි කොමිටල් පෙනුමක් සෑර්ගෙන් විද්‍යාමාන වෙයි. දතේ අඩුව දුටු විගස මම සිතුවේ නාන තොටුපලේදි කලු ගලක දත වදින්නට ඇති බවකි. එහෙත් ඒ සිතුවිල්ල නිවැරදි වූයේ නැත. සෑර්ගේ උඩු ඇන්දේ අපටත් හොරා මෙතෙක් කල් තිබූ සාප්පුවේ දතක් හැලීගොස් තිබේ.

දත වැටෙන්න ඇති අපි නාපු තැන...මේ දත හදාගන්නකං මට ආයෙමත් ඉස්කෝලෙ යන්න බෑ බොලව්...කෙල්ලො මාව දැක්ක ගමන් හිනාවෙන්න ගනියි...

සෑර්ගේ වේදනාව අපගේ  අන්තශ්‍රෝත වලටද දැනුනි. නැවත වතාවක් නාන තොටුපලේදී දත සොයා බලන්නට අවසානයේ තීරණය විය.

අපට දැක්වූ ආගන්තුක සත්කාර උදෙසා මුව නොසෑහෙන සේ ස්තූති කොට අකුරැස්සේ නිවසින් සමුගෙන නැවත නානතොටුපලට යන විට එහි කිසිවෙකු සිටියේ නැත. සෑර්ගේ බොරු දත ජල තලයට පහළ වැල්ලේ අපූරුවට පෙනෙන්නට තිබූ නිසා සෑර්ගේ දුක්ඛ දෝමනස්සයන් එතැනින්ම පහව ගියේය.

එදින දහවල ඒ ආසන්නයේ පදිංචිව සිටි තවත් මිත්තරයෙකුගේ නිවෙස කරා යන්නට සෑර් යොදාගත්තේය. දශක දෙකකින් මෙහා හමුවී නැති මේ මිත්තරයා සොයා අපට සෑහෙන්නට රස්තියාදු වන්නට සිදු විය. කෙසේ හෝ අවසානයේ අපට ඔහු මුලිච්චි වන්නට හැකි විය.

කාලයේ ඇවෑමෙන් එක්දරු පියෙකු බවට පත්ව සිටි සෑර්ගේ මිත්තරයා සෑර් දුටු වහාම අඳුනාගත්තේය. එහිදීද ආගන්තුක සත්කාරයෙන් අඩුවක් සිදු වූයේ නැත.  දිවා ආහාරයද ඒ නිවසින්ම ලබාගෙන වත්තේ තිබූ පළතුරු ගස් වල ඵලදාවටද වග කීවෙමු.

රංජිත් නම් වූ සෑර්ගේ මිත්‍රයා ඒ වෙද්දී බේරුවල ප්‍රදේශයේ තරු 3 හෝටලයක සේවය කරමින් සිටියේය. සුනාමිය පැමිණි අවස්ථාවේ ඒ හෝටලයට සිදු වූ හානියත්..එයින් දිවි ගලවාගත් අයට උදව් කල ආකාරයත්, මියගිය අයගේ සිරුරු වාහන වලට පැටවූ අන්දමත් හෙතෙම බොහෝ වේලා අපට හෙළි කලේය. කෙමෙන් කෙමෙන් හිරු අවරට යන විට අපි ඔහුට හා ඔහුගේ ප්‍රිය බිරිඳට සමු දුන්නෙමු. ඇය එදා පිළියෙල කල වට්ටක්කා මාළුව එතරම් රසට මම මෙතෙක් භුක්ති විඳ නැත. දකුණේ ඇත්තියන් උයමනට උපන් හපන් අය යැයි මට සිතුනේ මේ නිවෙස් දෙකෙන් ආහාර භුක්ති විඳීමෙන් අනතුරුවය.

ආපසු පැමිණෙන අවස්ථාව වන විට නොදැවී ක්‍රීඩා කලේ සෑර් පමණක් නිසාම  ආපසු ගමන මතින් තොර එකක් විය. 36 රෝලේ ඉතිරියට විවිධ දෑ ඡායාරූප ගත කර අවසන් කරන්නට අපට හැකි විය.

ඒ දිනවල ගම්පහ නගරයේ සුප්‍රකටව පැවති ඡායාරූප ශාලාවේ පිරිමි පුළුටක් දකින්නට තිබුනේ නැත. ඒ නිසාම බොක ෆොටෝ සහිත දළ සේයාපටය එතැනට බාර දෙන්නට අප තිදෙනාගෙන් කිසිවෙකුට පුරුෂ දහිරිය උපදවා ගත නොහැකි විය. අවසානයේ අප තීරණය කලේ උපන්ගෙයි අහිංසකයෙක් වූ කිතුලා නැමති අප මිත්‍රයා ලවා එය එතැනට බාර දෙන්නට උවත් ඡායාරූප ශුද්ධ කිරීමෙන් පසු ඒවා ගන්නට යන එකාගේ රෙදි ඡායාරූප ශාලාව තුලදීම ගැලවෙන්නට ඉඩ තියෙන නිසා අප ඒ අදහස අත්හැර දැමුවෙමු.

කිසිදිනෙක අමතක නොවන දෙණියායේ මතක සටහන් ඡායාරූප ලෙස අපට කිසිදා දකින්නට නොහැකි විය. එතැන් පටන් වසර ගනනාවක් පුෂ්ප කොලුවාගේ මේසයේ අඳුරු කොනක නවාතැන් ගත් දෙණියායේ දළ සේයාපටය පසු කලෙක එතැනින් අතුරුදහන් වී තිබුනි. ඒ ගමනේ මතක සටහන් පමණක් ඉඳහිට දිනෙක තවමත් ජීවමාන වෙයි.



මම කාමරේ අරින සිරා කොලුවා. 


Monday, December 22, 2014

61 දෙණියායේ බේබඳු කථාව

ඉංග්‍රීසි සෑර්ගේ කථා මාලාව කියවා තිබෙන සිරාගේ කාමරයේ පාඨක ප්‍රජාවට දැන් ඒ චරිතය ආගන්තුක නොවෙයි. ඉංග්‍රීසි පන්තිය අතරතුර දළුලා වැඩුන පරම පවිත්‍ර හිතවත්කම නිසාම සෑර්ගෙන් අපට නොමිලේ ලැබුන රහමෙර පදම ඉක්මවා යද්දී ගෙදරින් තහංචි වැටුන ආකාරයත්..සිරා කොලුවාගේ පියා එල්ල කල අනුකම්පා විරහිත කනේ පහරත් බොලාට මතක ඇතුවාට සැක නැත.

වේලාසන නොතිබූ ආකාරයේ විරෝධතාවක් ඇතමෙකුගේ නිවෙස් වලින් එල්ල වන කල සෑර්ට කලින් මෙන් නිදහසේ බෝතලයක් හිස් කොට තමාගේ තරුණ අවධියේ කොරන්නට නොහැකි වූ දෑ වර්තමානයේ තරුණයන් කීප දෙනෙකු සමග ආවර්ජනය කොට ඒ මිහිර විඳගැනීමේ අවස්ථාව ගිලිහී ගියේය. මේ කාරණය නිසාදෝ දවසේ දෙකේ විනෝද චාරිකා සංවිධානය කිරීමට එතුමා කටයුතු යෙදීය.

එලෙස අප ගිය අභිමංගල චාරිකාව වූ හපුතලේ ගමන ගැන ඔබ දැන් කියවා අහවරය. එයින් පසු දැරණියගල ප්‍රදේශයේ ඇළිහත ආශ්‍රිත වනාන්තරයේ රැයක් පහන් කල අතර ඒ ගමන සැබවින්ම ත්‍රාසය භීතිය පිරුණ එකකි. ඒ මතක සටහන් මම වෙනත් දිනයක ඔබ වෙත තිළිණ කරන්නෙමි.

මේ කියූ චාරිකා දෙකට අමතරව තවත් චාරිකා කීපයකට එක් වූ ඉංග්‍රීසි පන්ති නඩය ඒ වන විටත් සෑර් සමග යන චාරිකා පිළිබද හොඳ අවබෝධයකින් සිටි කාලයක අද ඔබට කියනා දෙණියායේ ගමනට අවස්ථාව එළඹුනි.

තමුසෙලා දෙණියායෙ ගිහින් තියෙනවද ?

දෙණියායේ විසිතුරු.... පින්තූරය මෙතැනින්
හෙණ ගැහුවා මෙන් මධුවිතකට සැට් වී සිටි සවස් වරුවක සෑර් අපෙන් විචාලේය.

නෑ සෑර්...අපි සියල්ලෝම කීවෙමු. නෑදෑයෙක් මිත්තරයෙක් මෙලෝ යකෙක් නැති දෙණියායට අප කිසිවෙක් ඒ වනතුරුත් ගොස් තිබුනේ නැත.

එහෙනම් අපි දෙණියායෙ යමු ඊලග ට්‍රිප් එක විදියට...

එහෙ මොනවද බලන්න තියෙන්නෙ...

මොනවා බලන්නද අයිසෙ..අපි කොහෙ ගියත් කරන්නෙ වතුර තියෙන තැනක නැවතිලා බොන එකනෙ...ඒකට තමයි අපි දෙණියායෙ යන්නෙත්...

සෑර්ගේ හඬින් පසුබා ගිය අපි ඉන් එහාට කිසිවක් විමසන්නට ගියේ නැත.

ඒ වන විට අපේ ඉංග්‍රීසි සෑර් වෑන් රථය විකුණා පැරණි පන්නයේ කාර් රථයක හිමිකරු වී සිටියේය. දැන් මේ ගමන යන්නට නියමිතව තිබෙන්නේ මේ රථයෙනි. නියමිත දිනයේ උදෑසනම අපි ඒ කාලයේ නිතර අනුමත වූ සන්නාමයෙන් මිළදි ගත් බ්‍රැන්ඩි බෝතල් වලින් රථයේ ඩිකිය පුරවා දැම්මෙමු. බ්‍රැන්ඩි වලට අමතරව සැන්ටිං වලට තවත් පාන වර්ගද...අයිස් කැට කවරයක්ද...ප්ලාස්ටික් කෝප්ප සහ අත් පිසින්නට ටිෂූ කොලද ආදී වශයෙන් ඩිකිය තුල ජංගම ස්කාගාරයක් සකසන්නට අපට ගම්පහ නගරයේදීම හැකියාව ලැබුනි.

ඒ වෙද්දි නගා කොලුවා හැර මමත්, පුෂ්පයාත් රැකියාවන්හි නිරත වීම අපේ චාරිකාවේ ආර්ථික බර හෑල්ලු කරගන්නට සෑර්ට සහාය විය. ජංගම ස්කාගාරයේ වැඩ නිමවා, ටැංකිය පිරෙන්නට පෙට්‍රල් ගසා, අලිපැටියෙකුද ඇතුලත් අප තිදෙනා සහ සෑර් රථයේ අසුන් ගත් පසු එය පොළවේ ගෑවෙන නොගෑවෙන තරමට පහත් වී තිබුනි.

එදිනෙදා යෙදෙන රාජකාරී හමුවේ ඇතමෙකුට සමහර විටෙක චාරිකාවේ යෙදෙන්නට හැකියාවක් නොලැබෙයි. වනිගයාට රාජකාරී කටයුත්තක් නිසා මේ ගමන යන්නට අප සමග එක්විය නොහැකි විය.

දෙණියාය බලා යන ගමනේ බොහෝ කථා රථය තුලදී දිග හැරෙයි. රියදුරුට යාබද ඉදිරි අසුනේ සිටින්නේ නගා කොලුවායි. ඒකා එහි තබා ඇත්තේ සිතියම් කියවීම උදෙසායි. GPS නොතිබූ ඒ කාලයේ අප බොහෝ විට මාර්ගය සොයාගන්නට අති විශාල සිතියමක් උපකාරී කරගත්තෙමු. සෑර් තමන් දන්නා තරම් දුරට රථය පදවා අහවර කල පසු එතැන් සිට සිතියමේ පිහිටෙන් අපේ ගමනේ ඉතිරිය ක්‍රියාත්මක වෙයි.

ගුරුකමට එන්නට පෙර ලංකාවේ ජාතික උද්‍යාන වල වගකීම් සහගත රැකියාවක නිරත වූ අපගේ සෑර් සතුව අති විශාල ප්‍රමාණයේ ලංකා සිතියමක් විය. මෙය සම්පූර්ණයෙන් දිග හැරිය විටෙක අඩි හයක් පමණ දිගු වෙයි. දැන් අප පසුකරන ප්‍රදේශය මතුපිටට පැමිණෙන ලෙස අඩියක තරම් වන පරිදි සිතියම නවා එහි මාර්ග දෙස සුපරීක්ෂා සහගතව බලා ඉන්නට ඉදිරි අසුනේ සිටින නගා කොලුවාට නියම වී තිබේ. මේ සිතියමේ ඉතාම හොඳින් අතුරු මාර්ග පවා දක්වා තිබූ බව මට මතකය.

මම දෙණියායෙ අන්තිමට ආවෙ අවුරුදු 20 කට විතර කලින්..ඒකයි ආයෙම සැරයක් එන්න හිතුනෙ. 

සෑර් රථය පදවන ගමන් කියයි. මෙවැනි ගමනකදී කිසි දිනෙක රාත්‍රී නවාතැන කුමක්දැයි වේලාසන සැලසුම් කරන්නේ නැත. අප හැමදාමත් කලේ රාත්‍රිය උදාවන්නට මොහොතකට කලියෙන් නතර වෙන්නට තැනක් ඒ වන විට සිටින ප්‍රදේශයෙන් සොයා ගැනීමයි.

රථය නගරාශ්‍රිත පෙදෙස් පසුකරවිත්  සොබා සුන්දරත්වයෙන් අනූන ගම්බද පෙදෙසක් පසු කරමින් සිටියි. මාර්ගයට යාබදව තිබූ කුඩා කඩයකින් මිළදී ගත් පාන් ගෙඩි දෙක තුනක් පෙති කපා..නගා කොලුවා නිවසින් සාදවා ගෙනවිත් තිබූ පරිප්පු සහ සීනි සම්බල් සමග ගිල දැම්මේ රථය නිස්කලංක රබර් වත්තක් අසල නවතා බව මට හොඳින් මතක තිබේ. ඇගපත නැති ගැරඩියකු බඳු නගාගේ බොක්කේ හිඟන ජනපදයක් සිටිනා බව අපට ඒ වන විටත් එත්තු ගොස් සෑහෙන කලක් ගත වී තිබුනි. නගා කොලුවා තනිව පාන් ගෙඩි එක හමාරකට ආසන්නව වගකියූ පසු අපගේ උදෑසන ආහාරය අහවර වූයෙන්  නැවතත් දෙණියාය බලා පිටත් වීම ආරම්භ කළෙමු.

අවිස්සාවේල්ල,  ඇහැළියගොඩ, රත්නපුරය පසුකරමින් පැමිණි අප කහවත්තේදී රථය නැවැත්වූවේ පුෂ්පෙ කොලුවාගේ  කැමරාවට දළ සේයාපටයක් මිළදී ගැනීම සඳහාය. ඩිජිටල් කැමරා නොතිබූ ඒ යුගයේ මේ චාරිකාවේ ඡායාරූප ලබා ගැනීමට 36 රෝලක් දමන්නට තරම් ආර්ථික ශක්තියක්  අප සතුව තිබුනි.

ඉංග්‍රීසි සෑර්ට එදා සිටම රහමෙර ඩිංගිත්තක් පානය කරන්නට ජලාශයක් හෝ වෙනත් ජල මූලාශ්‍රයක් ලඟ පාතක තිබිය යුතු විය. සුළගේ දිය රැළිති නංවන ජල තලාවේ සුන්දර දසුන දෙස බලා සිටින විට නෙතට කිසිඳු විඩාවක් නැත. ඒ නිසාම වර්තමානයේ උවද පණු බෙහෙත් සුට්ටක් බොන්නට චාරිකාවක් අතර තුර අප නතර වෙන්නේ ජලය පේන මානයේ තැනකය.

මාර්ගය ආසන්නයේම එවැනි ස්ථානයක් ජනශූන්‍ය පෙදෙසක හදිසියේම දුටු රථයේ රථාචාර්ය සෑර්...රථය මාර්ගයෙන් අයින් කොට නවත්වා  පොඩියක් අනුමත වෙන්නට හැමටම ආරාධනා කලේය. එහි වූ ජලයද ඉතාම පිරිසිදු නිසා ජලය ස්නානයටද අප හට දොළදුකක් ඇති විය. දරට ගිය ළඳුන් කීප දෙනෙකුගෙන් විමසූ කල එතැන අවධානමක් නැති බව දැනගන්නට ලැබුනි.

කලිසම් කොට වලින් සැරසුන අපේ චාරිකා නඩය අතින් කටින් බෝතල් රැගෙන මාර්ගයට එතරම් නොපෙනෙන ඉසව්වක තිබූ කුඩා ඇළ මාර්ගයේ සිත්සේ දිය කෙළින අතරතුර නැටුම් තෙල් සුට්ටක්ද ආමාෂ ගත කලේ ආගිය තොරතුරු වලින් සභාව කුල්මත් වූ පසුබිමක සිටය.

උපන් ගෙයි ලෙඩෙකු වන නගා කොලුවා දහවල් 1 කණිසම පැන ඇතිනම් ඒ කාලයේ ස්නානය කරන්නේ නැත. මොන දහං ගැටය ගැහුවත් මේකා වතුරට බහින්නේම නැත. ඇළ මාර්ගය ආසන්නයේ ගල් ගෙඩියක් මතට වී බ්‍රැන්ඩි වීදුරුවක් පැය ගානක් තිස්සේ තොල ගෑමට ඒකා කැමතිය. දිවා ආහාරය අතර මග ස්ථානයකින් මිළදී ගෙන පාර්සල් කර කටගැස්මටද යමක් මිළදී ගෙන පැමිණ තිබූ නිසා එහිදීම දිවා ආහාරය භුක්ති විඳින්නට අපට හැකි විය.

මධුවිත නිමවා දැන් නැවතත් රථය පිටත් වෙයි. ඒ වනතෙක් සිතියම කියවූ නගා කොලුවා ඒ කාරිය කොරන්නට තවත් බැරි බව පවසා රථයේ පිටුපසට පැමිණ සිටි නිසා දැන් ඉදිරි අසුනේ පුෂ්පෙ කොලුවා විරාජමානව සිටියි. රථය කෙමෙන් කෙමෙන් රක්වාන පසුකරන විට නගා කොලුවා ඔන්දස්පොට් වන ලකුණු පෙන්වීය.

අපේ අසරණ නගාට බඩු පැකට් වී ඇති බවත් කබරයා මග එන බවත් දන්නා නිසාම සෑර් රථය අතර මගක නවතා පුංචි විවේකයක් ගන්නා විටෙක නගා කබරයා දිගේලි කලේය. කීප වතාවක්ම කබරයා දැමීමෙන් බොක්කේ තිබූ අවසන් බත් ඇටයද පොළවට මුදාහැරි නගා කොලුවා රථයේ පසු පස ආසනයේ සුව නින්දකට වැටුනි.

මේකා මෙහෙම නිදියද්දි කොහොමද තව කෙනෙක් පිටිපස්සෙ ඉඳගන්නෙ...හොරට බීලත් මේකව ඇඳගෙන වැටුනනෙ හැබෑට...සෑර් සිටින්නේ විස්සෝපයෙනි.

දෙහිගෙඩියක්වත් යටි පතුල් දෙකේ උලලා මේකව කෙලින් කරගමු...නැත්තං දෙණියායට යන්න වෙන්නෙ නෑ කළුවර වැටෙන්නට කලියෙන්...

සෑර්ගේ යෝජනාව අනුව ගෙයක් දොරක් නොපෙනෙන ඉසව්වක බේබදු නගාට දෙහි ගෙඩියක් සොයා මහා මෙහෙයුමක් ආරම්භ කළෙමු.

නගා සමග රථය තනිකොට අප හුදෙකලා ඉසව්වක නිවෙසක් සොයා ඉදිරියට ඇදෙමින් සිටින්නෙමු. ඒ මාර්ගයේ වාහනයක් ධාවනය වූයේ කළාතුරකින් නිසා හාත්පස බොහෝ සේ නිශ්චලය. හමනා සිහිල් සුළග ගතට එක්කරන්නේ අමුතුම මිහිරකි. දහවලේ හලාගත් බ්‍රැන්ඩි වල කික් එක තවමත් සම්පූර්ණයෙන් අප හැර දමා ගොස් නොතිබූ නිසා නගා නිසා අප කන කට්ට උවද අති සුන්දර සෙයකි.

කිලෝමීටර් භාගයක පමණ දුරක් පා ගමනින් පැමිණි පසු අපට කුඩා නිවෙසක් හමුවිය. වත්තේ කොණට වෙන්නට දෙහි ගසක් තිබෙන බව දැකීමෙන් අපගේ චිත්ත සන්තානයම ඔකඳ වී ගොසිනි.

සුදු අක්කෙ....ඈත පළාත් වල චාරිකාවක් ගිය කල ප්‍රදේශවාසී ගැමියන්ට සෑර් ආමන්ත්‍රණය කරන්නේ ඒ අයුරිනි. මහළු කාන්තාවක් නම් සුදු ආච්චී කියා අමතයි.

මේ පළාත් වල තිබෙන දුක්ඛ දෝමනස්සයන් මේ යැයි කියා පානා කැඩපතක් බඳු, දිරාගිය ශරීරයකින් යුතු වූ කෘෂ ගැහැණියක් අප ඉදිරියේ දිස්විය.

මහත්තයලා මොනවද බලන්නෙ...

අක්කා අපි මේ දෙහි ගෙඩියක් තමා හෙව්වෙ... සෑර්ගේ කට අපට ඉස්සර විය.

ඒ මොකටැයි මහත්තයො....එකනැට්ටෙ ඒවද ඕනෙ ?

එක නැට්ටෙ හරි නැටි දෙකක හරි අක්කෙ...අපි එක්ක ආපු කෙනෙක්ට පොඩියක් වැඩි වෙලා...එයාගෙ යටි පතුලෙ ගාන්න කියලා...

කෝ මහත්තයො දැන් ඒ කෙනා...

එවිට අපි දඟර ගැහුන මාර්ගයේ  ඈත වංගුවක පෙනෙන සුදු පැහැති මෝටර් රථය පෙන්වීමු.

මිනිහා තද නින්දක ඉන්නෙ...අපි ඇහැරවන්නෙ නැතුව පයින්ම ආවා දෙහි හොයාගෙන...

අක්කා හරිම අහිංසක එකියකි. දෙහි ගහෙන් දෙහි කඩා ගන්නට අපටම පැවරුවාය. හොඳින් පැහුනු ගෙඩි තෝරා දෙහි ගෙඩියක් දෙකක් කඩන්නට පටන් ගන්නවාත් සමගම මාර්ගය අද්දර සිටි මට සෑර්ගේ කාරය අප සොයා එන බවක් පෙනුනි. එය නයිට්රයිඩර් වර්ගයේ එකක් නොවන වග මට ඉන්තේරුවෙන්ම දනිමි.

දෑස් පිසදමා මම මේ දකින්නේ සිහිනයක් නොවන බව නැවත නැවතත් තහවුරු කරගතිමි. සැබෑවකි...ඒ සෑර්ගේ එකම තමයි. මේ මහා විශ්ම කර්මය සෑර් වෙත සැළ කල විට ඔහුද මගේ පසෙකින් සිටගෙන මේ පුදුමය දෙස බලා සිටියි.

ඉබිගමනින් අප කරා ආ රථය අප ආසන්නයේ නතර විය. රියදුරු අසුනේ සිටින්නේ මෙතෙක් වේලා පසුපස අසුනේ දපාගෙන සිටි නගා කොලුවාය. සෑර් අප සියල්ලන්ටම ඒ කාලයේ රියදුරු පුහුණුව ලබා දී තිබූ නිසා හැම එකාටම රිය පැදවීමට හැකියාව තිබුනි. රියදුරු අසුන පැත්තේ දොර විවෘත කර බිමට බට නගා විසි වී ගියේය.

උඹලා මාව දාලා යන්න නේද...ඕක්..... මට ඇහැරුනා..උඹලා පේන්න නැති නිසා මම කල්පනා කලා ආයෙමත් බෝතලයක් කඩලද කියලා මාව හලලා...

උඹ කොහොමද බොල කාර් එක ස්ටාර්ට් කලේ...යතුර මගේ ලඟනෙ...

සෑර්ගේ ඇස් ගෙඩි දෙක එළියට පනින්නට ඔන්න මෙන්නය.

ඇතුලෙ පොඩි කතුරක් තිබුනා...මම ඒක දාලා කැරකුවා..ස්ටාර්ට් උනා...

බමන මතින් සිටින නගා කොලුවා දෙපසට වැනෙයි...

මෙන්න මෙතනින් ඉද ගනිං.....උඹට පොඩි සාත්තුවක් කරන්න...

පාර අයිනේ නගා හිදුවාගත් අපි දෙහිගෙඩි දෙක තුනක් ඒ ඔලුවේ ඇතිල්ලීමු. ඔලුවේ ඇතිල්ලී හැලෙන රේණු දෙස, නගා තේරුම් ගත නොහැකි යමක් දිහා බලා සිටින ආකාරයෙන් බලා සිටියි.

මහත්තයලා දෙණියායට යනවා නම් ඉක්මනින් යන්න...සුනංගු වෙන්න එපා...ඔය පාරෙ තනියෙක් කැරකෙනවා...පහුගිය මාස වල ඉඳලා හිටලා වාහන වලට ගහලා තිබුනා රෑ වෙලා ගිය...

මේ කඳුකර ශීතල පළාතෙ වල් අලියෙක් ? කවුරු විශ්වාස කලත් අක්කාගේ ඒ කථාව මම නම් විශ්වාස නොකලෙමි.

වටින් ගොඩින් අඳුර වැටීගෙන එන නිසාම තවත් ප්‍රමාද නොවී දෙණියායට යන්නට සෑර් තීරණය කලෙන් අක්කාගේ කාරුණික භාවයට නොසෑහෙන සේ ස්තූති කොට අප එතැනින් පිටත් වීමු. රියදුරු අසුන පුෂ්පෙ කොලුවාට බාර දී සෑර් අනෙක් පසට විය. සෑර්ගෙන් පසු අපට සිටි හොඳම රියදුරා පුෂ්පයා වීම එයට හේතුවයි.

දෙණියාය නගරයට පිවිසෙන විට වේලාව රාත්‍රී 9 ට ආසන්න වන්නට ඇත. නගරයට පිවිසෙන්නට තිබෙන මාර්ගයේ අවසන් කිලෝමීටර් දෙකක පමණ ප්‍රමාණය තනිකරම පල්ලමකි. මේ මාර්ගයේ අපට වාහන කිසිවක් දකින්නට නොලැබුනු නිසාම ඇඳිරි නීතිය වත් දාලද දන්නෙ නෑ ? යනුවෙන් අපේ සිත් සතන් වල සැකයක් මෝදු වී තිබුනි. එහෙත් නගරයේ රථය නවතා නවාතැනක් සොයන විට......

මේ වෙලාවට තනියා පාරට එන වෙලාව...මහත්තුරු දන්නෙ නැතුවද ආවෙ....ගිය සතියෙත් වෑන් එකකට ගහලා පොඩි පට්ටම් කරලා තිබුනා...

නගරයේ හාදයෙක් එසේ කියනා විට අපි සියල්ලෝ මුහුණට මුහුණ බලාගත්තෙමු. වෙනත් වාහන මාර්ගයේ ධාවනය නොවූ හේතුව දැන් පැහැදිලිය. අප පසුකර පැමිණ ඇත්තේ තරමක අවධානමකි.

නගරයේ තිබූ කෝවිල අසලදී හදුනාගත් දමිළ තරුණයෙකු මාර්ගයෙන් අපට කදිම නවාතැනක් ලැබුනි. දෙමහල් නිවසක් වූ එහි හිමිකරුවා අගනුවර වෙසෙයි. මේ කියන කොලුවාත් තවත් කෙනෙකුත් මේ නිවස බලා කියාගෙන සිටියි. ඒ අය අප සමග හිතවත් වූ පසු ඉතාම සාධාරණ මිළකට නවාතැන් දීමට එකඟ විය. අපට කාමර දෙකක් ලැබුනි...ඒ නිවසේ වෙනත් ආගන්තුකයන් සිටියේ නැති නිසා..මුළු නිවසම අපේ වැනිය.

නගරයේ වූ රාත්‍රී ආපන ශාලාවකින් රාත්තිරියට බුඳින්නට පරාටා පාර්සල් කරගෙන නිවසට පැමිණි පසු...සෑර් මදි හරියට නැවතත් බෝතලයක් සභාවට කැඳවාගෙන ආවේය. දහවලේ සාටර් වී සිටි නගා...බෝතලය දුටු විගසම හොර නින්දකට වැටුනි.


මතු සම්බන්ධයි....



මම කාමරේ අරින සිරා කොලුවා.

Friday, December 19, 2014

58 මාකස් සහ ඇලිස් නෝනා සමග අතීතයට ගියෙමි

සිරා කොලුවා වන මම අද ඔබට දෙසන්නට යන කථාවට දශක දෙකකට වැඩි ඉතිහාසයක් තිබේ. පාසල් යන වයසේ සිටි මා මෙන්ම මගේ ගමේ අසල්වැසි කොලු කුරුට්ටන්ද ජීවිතය පිළිබද මෙලෝ සංසාරයක බරක් නැති, දෙන දෙයක් කා වෙන දෙයක් බලා සිටි මේ සුන්දර අතීතය ඉතාමත් රසබර එකකි. ගමක ඉපදුන එකෙක් ලෙස මම ඉතාමත් සුන්දර ළමා කාලයක් අත් විද්දෙමි. වෙල් ඉපනැල්ලේ දුව පැන ඇවිදින්නටත්, ඇලේ දොලේ පනින්නටත් අපට එකල තහංචි තිබුනේ නැත. අද කාලයේ දරුවෙකුට මේ සුන්දර අත්දැකීම් බොහෝ සේ දුරස්ථ බව දනිමි.

පාසල් නිවාඩුවේදී අපි ගුඩු විද්දෙමු, කොහි කිරිල්ල ගෙඩි යොදා බට තුවක්කුවෙන් වෙඩි තිබ්බෙමු, සරුංගල් උඩ අරින සමය උදා වූ විට එය රෝගයක් ලෙස ගමටම බෝ විය. සරුංගලයක් තනිව සාදා ගත නොහැකි උන් ඒ කාරිය කරන්නට හැකි කෙනෙකු වෙත පාප්ප, සව්කොල, ඉරටු ගෙනැවිත් දී සරුංගල් සාදවා ගත්තෝය. සිරා කොලුවා වන මට කපුටා සහ නයා යන වර්ගයේ අතුරු ආපදාවකින් තොරව උඩ යන සරුංගල් සෑදීමේ පුංචි කීර්තිනාමයක් තිබුන නිසා පුංචි එකෙක් දෙන්නෙක් සමහර දවස් වලට අපේ නිවසට පැමිණෙයි...සරුංගලයේ සැකිල්ල සකසා දුන් විට සමහරෙක් තම සහෝදරියකට කියා එයට සවුකොල අලවා ගත්හ. සරුංගලය වැඩ නිමවා උඩ යවන විට ඒ දෙස බලා විදි සතුටත්..සරුංගලයක් නූල කැඩී කඩාගෙන යන විට එකාවන්ව ඒ පසුපස දිව ගිය අයුරුත් මට තවමත් මතක් කරන්නට අපහසු නැත.

මේ කෙහෙල්මල් සරුංගලයක් හින්දා මේ ළමයි අව්වෙ වේලෙනවා...සමහර දිනෙක අම්මා දෙස් තියන්නේ උදෑසන සිටම අපි සරුංගලය සමග වෙල් ඉපනැල්ලේ කාලය ගත කරන නිසාවෙනි. අප එකල නිදාගන්නේ එළිවෙනතුරු සිටින්නට බැරි ඉස්පාසුවකිනි. නව දවසක් උදා වූ පසු සරුංගල් අරින්නට තරමේ සුළගක් හමන්නට පැය කීපයක් ගත වෙයි. පොල් ගස් වල මුදුන් අතු සෙලවෙන විට සුළං හැමීම ආරම්භ වී ඇති බව අපි දනිමු. එතැන් සිට අපේ සරුංගල් උඩු ගුවනට යවනකං අපට මෙලෝ සිහියක් නැතිය.

මම කාලා එනකං මේක බලාගනින්..දිවා ආහාර සමය එළඹෙන විට අහල පහල සිටිනා එකෙක් වෙත සරුංගලය පවරන්නත්...කෑමෙන් පසු නිවසේ මිදුලේ සිට සරුංගලය දෙස බලා එය අම්මාට පෙන්වන්නත් එකල මමත් මලයාත් මහත් සේ රිසි වීමු.

කෙමෙන් කෙමෙන් කරදඬු උස් මහත් වෙන විට සරුංගලය අපෙන් කෙමෙන් කෙමෙන් ඈත් විය. සිස්සත්ත කඩඉමෙන් පසු බොහෝ දෙනෙකුට පා පැදියක් ලැබීම එයට හේතුභූත වූ කාරණය වන්නට ඇත. බයිසිකල් මගින් වෙසක් බලන්නට යන්නත්....පොසොන් සමයේ දන්සැල් සොයා යන්නටත් සරුංගලයෙන් පසු අපි ප්‍රිය කළෙමු. මේ ක්‍රියාකාරකම් නිසාම සම වයසේ උන් අතර කදිම සමගියක් දළු ලා වැඩිනි.

විදේශගතව සිටි මගේ පියා නැවත සියරට පැමිණි පසු අපේ නිවාස කිට්ටුවෙන් ගලා යන අත්තනගළු ඔයේ පිහිනුම් පාඩම් කියා දුන් අන්දම මම අතීතයේ දවසක ලියා තිබේ. මටත් මයෙ මලයාටත් ඇරඹුන මේ පිහිණුම් පාසලට දවසක් දෙකක් ගත වන විට පිහිනීම ඉගෙනගැනීමට ආසාවෙන් සිටි ගමේ තවත් උන් එකතු විය.

අනේ මල්ලියෙ මෙන්න මේකටත් ඔය පීනන හැටි කියලා දෙන්න..

දෙමාපියෝ උන් මගේ පියා වෙත බාර දුන්නේ එසේ පවසමිනි.

හිරු මුදුන් වන විට අප තාත්තාට කරදර කොට ඔයට යන්නෙමු. එතැන් සිට පැයක් දෙකක් දිය කෙළියද පිහිණුම් පුහුණුවද සිදුවෙයි. එදා අපේ කෙළි කවට සිනා හඩින් නිම්නාද වූ  ගමේ නාන තොටුපල අද වල් වැදුන තැනකි. වතුර මලෙන් නිවසේ සිට නාගන්නවා විනා ඔයට ගොස් රෙදි ටික සෝදා නාගන්නට කිසිවෙකුට අවශ්‍යතාවක් නැත. කාලය මැව් වෙනස අතරතුර අත්තනගළු ඔය හුදෙකලා වී ගලා බසියි.

ඡායාරූපය මෙතැනින්


මාසයක දෙකක ඇවෑමෙන් අපි සියල්ලෝම පිහිණීමේ දක්ෂයන් වීමු...ඔය හරහා දෙපසට පිහිනන්නත්...තරගයට පිහිනන්නත්, දිය යට කිමිදෙන්නත් අපට වෙනත් අයෙකුගේ ගුරු හරුකම් අවශ්‍ය වූයේ නැත. තවත් ටික දවසකට පසු පාලම් ඇන්දේ සිට ඔයට පනින්නට අපි පුරුදු වීමු. සෑහෙන උසක සිට ජල තලයට වැටුන පසු ඔයේ අඩිය දක්වාම ගමන් කර නැවත ඉහළට පැමිනීම සැබැවින්ම විනෝදජනක අත්දැකීමක් විය.

අපේ හැකියාවන් ගැන සෑහීමට පත්වූ පසු තාත්තා අප සමග ඒම නවතා දැමුවේය. දැන් පාසල් නිවාඩු කාලයට කොල්ලන් සරුංගල් යවන්නේ නැත. දිවා කාලයේ අත්තනගළු ඔයේ ජල තලයට එකතු වෙන අපි එතැන් සිට ඇස් ගෙඩි ගොරකා මද මෙන් දිස් වෙනතෙක් දිය කෙලින්නෙමු. පාලම යටින් ගොස් පාලමේ කොන්ක්‍රීට් කණු දිගේ ඉහළට බඩගා පාලම මතට පිවිසීමත්...එතැනින් නැවත ජලයට පැනීමත් අපට එදා කජු කනවා මෙන් වුවත් මේ තඩි බඩ ගෙඩිය උස්සාගෙන අද සිරා කොලුවා ජලයට පැන්නොත් බඩ පැලී  එතැනම යටියන්තොට යනු ඇත.

අපේ පිහිණුම් නඩය බොහෝ සේ එකමුතුය. පාසල් නිවාඩු කාලයේ දිනපතාම දිය කෙළියේ යෙදෙන විට ඇතැම් ක්‍රියාකාරකම් නීරස වන විට අප අලුත් දේ කරා යොමු වීමු. එකල අපි හැන්දෑ කොරේ ක්‍රිකට් ක්‍රීඩා කලේ වෙන්දේසිවත්ත නම් කට්ටි කර විකුණූ පොල් වත්තක සිටය. ඉඩම් අළෙවිය පිළිබද ප්‍රසිද්ධ සමාගමක් මේ ඉඩම විකුණා අහවර කර තිබූ නමුත් එහි බිම්කොටස් මිළදී ගත්ත උන් ඒවායේ නිවාස තැනීම ඒ වනතෙක් අරඹා තිබුනේ නැත. ඒ නිසාම එහි වූ පොල් ගස් වලට මෙන්ම තැඹිල් ගස් වලටද අයිතිකරුවන් සිටියේ නැත.

අත්තනගළු ඔයේ සිට කුඹුරු ඉඩම් වෙත ජලය රැගෙන ගිය තරමක් විශාල ඇළ මාර්ගයක් මේ ඉඩමට පහළින් වැටී තිබුනි. පහළ සිට ඉහළට ජලයේ පිහිනා විත් ඒ ආසන්නයේම ඇති ගස් වලින් කුරුම්බා කැඩීමේ අපූරු සැලසුමක් වතාවක් සභාවට ඉදිරිපත් කලේ අපේ පිහිණුම් සංගමයේ සිටි ප්‍රබල සාමාජිකයෙකු වූ මාකස් විසිනි. ඒකාගේ නම වෙනත් එකක් වුවද ගමේ කොල්ලන් අතර ප්‍රසිද්ධ වූයේ මාකස් යන නමිනි. ක්‍රිකට් ක්‍රීඩා කරන විට ඔහු රාහුල් ද්‍රාවිඩ් වැනිය. පන්දුවට තට්ටු දමමින් සිටිනවා විනා විශාල පහරකට යන්නේ ඉඳහිට හෙයින් දවා ගැනීම පහසු නැත. පාසල් නිවාඩු සමයේ අප උදෑසනම ටෙස්ට් ක්‍රිකට් තරග පැවැත්වූ නිසා මේකාගේ තට්ටු දැමීම අපට හිසරදයක් වී තිබූ කාල වකවානුවක්ද විය.

පොල් වත්තේ ක්‍රිකට් ක්‍රීඩා කරන කරන විට පන්දුව පොල් ගස් මුදුනේ ඇතැම් විටෙක රැදෙයි. එවන් විටෙක පන්දුව නැවත ලබා ගැනීමට ෆයිලට් කෙනෙකුගේ අවශ්‍යතාව අපට ඇතිවේ. ඒ අවශ්‍යතාව ඇතිවූ දිනක ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී වළල්ලක ආධාරයකින් තොරව පොල් ගස මුදුනට ලගා වූ මාකස් තම හැකියාව හා පුරා කියා අපට පෙන්වූවේය.

ඔහුට ඇත්තේ අපූරු හැකියාවකි. පොල් ගස අත් දෙකෙන් අල්ලාගෙන ඒ මත ඇවිදිනවා මෙන් කකුල් දෙක තබමින් ඉහළට යන ආකාරය බලා සිටින්නට ආශා හිතෙන එකකි. එදායින් පසු පොල් ගහක පන්දුවක් රැදුන සෑම විටෙකම එය ලබාගන්නට ගුවන් ගත වූයේ මාකස්ය. නමුත් ටික දිනක් යන විට මේ කාරිය පිනට කරන්නට මාකස් කැමති වූයේ නැත.

මට කුරුම්බයක් කඩා ගන්න දෙනවා නම් විතරයි මම නගින්නේ....

මාකස් තම ඉල්ලීම් එලෙස ඉදිරිපත් කරන විට ක්‍රීඩා කරන තැන සිටින වැඩිහිටි එකෙක්...

හා කඩාගනින්කො... කියන්නේ වෙන්දේසිවත්තේ පොල් ගස් එකාගේ දේපොළ යයි සිතාගෙන විය යුතුය.

වෙන්දේසිවත්තට යාබදව තිබුනේ ඇලිස් උපාසිකා මාතාවගේ නිවසයි. බොහොම සැර පරුෂ කාන්තාවක් වූ ඇය, අප හොර කුරුම්බා කඩනවා දුටුවහොත් කනේ ඇගිලි ගහගන්නට බැණුම් අහන්නට වන බව දන්නා නිසාම අපේ කුරුම්බා කැඩිල්ල ඇයට හොරෙන් කල යුතු එකකි.

දිනය උදාවිය. ඇළ මාර්ගය දිගේම අපි උඩුගං බලා පිහිනමින් වෙන්දේසිවත්ත ආසන්නයට පැමිණියෙමු. ඇළ ඉවුරේ සිට බලන විට තම මිදුල අමදින ඇලිස් නෝනාගේ දසුන අපට සමීප වෙයි. ඒ නිසාම ඇය වසන් වන තුරු අප කල්මැරිය යුතුය. වරින් වර පන්දු ලබාගන්නට පොල් ගස් බඩ ගා ඒවායින් කුරුම්බා බී තිබූ මාකස් රසැති කුරුම්බා සහිත ගස් මොනවාදැයි දැන උන්නේය.

අන්න අර ඇලිස් ආච්චිගෙ ගේ කිට්ටුව තියෙන ගහේ කුරුම්බා නම් මාර රහයි...මාකස් එසේ කියයි. එය එතරම් උස නැති එකකි. ඒ නිසා වැඩේ දෙන්නට අපහසුවක් නැත.

හෝරාවක් පමණ ගත වන විට තම මහළු සැමියා සමග නිවසේ සිටින ඇලිස් නෝනා දවල්ට කන්නට යමක් රත් කරන්නට කුස්සියට වැදෙයි. නිවසේ දුම් කවුළුවෙන් දුම් වළාවක් ඉහළට නැගෙන විට ඇය දැන්ම නිවසින් පිටතට පැමිණෙන්නේ නැති බව දන්නා අපි මාකස් දියෙන් ගොඩට කැඳවන්නෙමු. තෙත බරිත කලිසම් කෙටියත්..වතුර බේරෙන දෙපා සහිත වුවත් මාකස්ට ගහට බඩගාන්නට කිසිම අපහසුතාවක් නැත. ඒකා වදුරු පැටියෙකු මෙන් වේගයෙන් ගහේ කරටියට ඇදෙයි. සැනෙකින් ලපටි කුරුම්බා ගෙඩි හත අටක් දෝයි දෝයි හඩින් බිම පතිත වෙයි. ගහ යට රැකගෙන සිටින අනෙක් උන් ඒවා ඇලට විසිකරන්නේ ඉතාම වේගයෙනි. ගෙඩි වැටෙනා ශබ්දය ඇසී නිවසින් පිටතට පැමිණෙන ඇලිස් උපාසිකා මාතාවට ගහෙන් බිමට බඩගානා මාකස්ව පෙනෙයි. මාකස්ට ටිකක් ඈතට වන්නට කුරුම්බා අහුලන්නට ආ උන් ඇළ දෙසට දුවන දසුන පෙනෙයි.

අවලං හැත්ත...තොපි හොරෙන් කුරුම්බා කැඩුවද...මට මේ අදුනගන්න බෑ ...නැත්තං මම ගෙදරටම ඇවිත් තොපේ මහ උන්ට කියාදෙන්නෙ...වල් හැත්ත....

ඇලිස් නෝනාගේ කටින් පිට පනින්නේ එවැනි වදන් පෙළකි. ඇයට අනුන්ගේ වත්තක කුරුම්බා කැඩීම මේ තරම් කෝපයක් ගෙන දෙන්නට ඇත්තේ වෙන්දේසිවත්තේ ගස් වලින් වැටුන පොල් බොහොමයක් ඇගේ කුස්සියේදී පොල් කුඩු බවට පත්වූ නිසා විය යුතුය.

පහළට ගලා යන ජල පහර ඔස්සේ අපද දැන් පහළට යන්නෙමු. අපට ඉදිරියෙන් කුරුම්බා පා වෙයි. අපේ නාන තොට අසලදී ජලයෙන් ගොඩ එන මේ කුරුම්බා අප වෙත මහත් රසයක් ගෙන දුන්නෝය. හොර කුරුම්බා කොහොමත් ඉතා රසවත් බව ඒවා එලෙස පානය කල උන් දන්නවා ඇත.

සතියකට දවසක් මාකස් මාර්ගයෙන් හොර කුරුම්බා ගෙඩියක රහ බැලීමත්...ඇලිස් උන්දෑගේ ලෝඹු කටෙන් බැනුම් ඇසීමත් පාසල් නිවාඩු සමයට ඉතා සුුපුරුදු කාරියක් විය.

ඇලිස් ආච්චිගෙ වත්තෙ තියෙනවා රන්තැඹිලි ගහක්...මම දැක්කා හොද පැහිච්ච ගෙඩි තියෙනවා....දෙමුද ඒකට වැඩක්...

අත්තනගළු ඔයේ පිණුම් ගසනා දවසක මාකස් එවැනි යෝජනාවක් කළේය.

කොහොමද බොල ඒ වැඩේ කරන්නෙ..උන්දැ දවල්ට ගෙදර ඉන්නවා නොවැ.

උන්දැ ඉන්නෙ ගේ ඇතුලෙනෙ...අපි ගෙඩි ටික සද්දෙ ඇහෙන්නෙ නැති වෙන්න පහලට දාමු...

මාකස්ට එවැනි සැලසුමක් තිබේ.

සුපුරුදු පරිදි ඇළ දිගේ ඉහළට පිහිනා පැමිණි කුරුම්බා නඩය ඇළිස් උපාසිකාවගේ වත්ත පිටුපසින් රන් තැඹිලි ගස ඉලක්ක කොට ඉදිරියට ඇදෙයි. නිවසේ දුම් කවුළුවෙන් ඉහළට ඇදෙනා දුම් රොටු ඇය ආහාර පිසින බව අපට සැළකරයි.

මාකස් තෙත බරිත කලිසම් කොටය පිටින් තැඹිලි ගහේ කඳ මත ඇවිදියි. සැනෙකින් තැඹිලි ගහේ මුදුනට සැපත් වෙන ඔහු අතින් කරකවා තැඹිලි ගෙඩියෙන් ගෙඩිය බිම සිටිනා උන් වෙත එවයි. ඒවා කිසිදු හඩක් නොනගා බිම සැතපෙයි.

එහෙත් තැඹිලි අල්ලන්ට සිටි එකෙකුගේ අත් වැරදීමකින් දෝයි යනුවෙන් මහ හඩක් නගාගෙන තැඹිලි ගෙඩියක් බිම පතබෑවිනි.

පෙර වැරදි තිබෙන නිසාම මේ හඩ කුමක්දැයි හොඳින් හදුනන ඇලිස් නෝනා එදා එළියට පැන්නේ අතට අහුවුන ඉඳලද සමගය. වෙනදාට වෙන්දේසිවත්තේ කුරුම්බා කඩන උන් අද තමන්ගේ වත්තේ ඇති රන් තැඹිලි ගහේ ගෙඩි කරකවනවා දුටු උන්දැට සිටිනා තැන අමතක වෙන්නට ඇත. අමු තිත්ත කුණු හරුප වැස්සක් වහින්නට විය.

තොපි කාගෙන් අහලද යකෝ මගේ තැඹිලි ගහට බඩගෑවෙ...අවලං හැත්ත...හිටපියව් මම තොපිට හොඳ වැඩක් කරන්න. අනුන්ගෙ ගහක ගෙඩියක් තියාගන්න දෙන්නෙ නෑනෙ මේ හු........ පුතාලා.

ඇලිස් උන්දෑ කෝපයෙන් පරල වී අපේ උන් පසුපස ඉඳල වන වනා පහරදෙන්නට එලවයි. එහෙත් ඇයට සැනෙකින් මතක් වූයේ ගහට බඩ ගෑ එකා තවමත් ගහේ බවයි.

ගහ බදාගෙන සිටින මාකස් දැන් තැඹිලි කරටියේ සිටී. ගස් නගින්නට වළල්ලක් පාවිච්චි නොකරන නිසා කොටියාට මෙන්ම මාකස්ටද ගහෙන් බැසීම නගිනවා තරම් පහසු නැත. ඉඳලක් අතින් ගත් කුණු හබ්බයෙන් පළාත නැති කරන ඇලිස් නෝනා ගහ යට සිටියි.

තෝ වරෙංකො පහලට...මම තොගෙ කොන්ද කඩනවා අද ආයෙ ගස් බඩගාන්න බැරි වෙන්න. මම මෙතනින් යන්නෙ නෑ උඹ ගහෙන් බිමට බහිනකං...

මහත් සේ තැතිගෙන සිටින මාකස් කකුල් දෙක පටලවාගෙන ගහ බදාගෙන සිටින අයුරු දුටු විට ඒකා ගැන අපට දුකක් ඇතිවෙයි. අපි සියල්ලෝ වෙනුවෙන් තැඹිලි කරකවන්නට ආ මාකස් මේ උවදුරෙන් ගලවා ගත යුතුය.

අප්පට සිරි තඩි නයෙක්...රිංගුවා රිිංගුවා  මෙන්න ඒකා කුස්සිය ඇතුලේ....ඇලිස් ආච්චියේ මෙන්න කලු නයෙක් කුස්සියේ..

අපේ එකෙක් අපේ නොවන ලෙසින් නිවසේ පිටුපස සිට මරහඬ දෙයි. ඒ හඩින් උන් හිටි තැන් අමතක වූ ඇලිස් නෝනා මාකස් අත හැර නිවසට දිව්වේ නයා බලන්නටය. ඒ අතර තුර සුරුස් ගා ගහෙන් බිමට ලෙස්සූ මාකස් තැඹිලි ගෙඩියක්ද රැගෙන ඇළ ඉවුරට පැමිණ ජලයට පැන්නේය. කලු නයා දකින්නට අපහසු වූ කෝපයෙන් ඉඳලත් ඔසවාගෙන මාරාවේශයෙන් ඒකා පසුපස එළවාගෙන පැමිණි ඇලිස් නෝනා ඇළ ඉවුරේ නැවතී...අප සියල්ලන්ගේම මව්පිය වරු සෙනෙහසින් මතක් කලාය.

අපේ පිහිනුම් නඩයේ සිටි අනිත් කටකාරයා කිත්තාය...ඒකාට කාන්තා කටහඬකින් කථා කිරීමේ අපූරු හැකියාවක් තිබුනි. එකල අපේ පළාතේ බොහොමයක් යුවතියන් ඇඟලුම් කම්හල් වල සේවයට එකතුව සිටි හෙයින් අපට යාබද ගමට ගමන් ගන්නා සේවිකාවන් බොහෝ විට අප කරණම් ගසනා පාලම මතින් එගොඩට ගියෝය.

තරුණියන් පිරිසකට පාලම මතට එන්නට ඉඩ දී පාලම යට සිට කිත්තා නගන්නේ මර හඬකි.

අනේ අයියා මාව අත අරින්න...මගෙ ඇදුම් මට දෙන්න..මාව අනාථ කරන්න එපා අයියා...අනේ පින්සිද්ධ වෙයි මට යන්න දෙන්න...

පාලම යටින් ඇසෙන්නේ යම්කිසි අතවරයකට ලක් වූ යුවතියකගේ හඬ යැයි සිතා කෙල්ලන් විදුලි වේගයෙන් ආපසු හැරී ඒ ආසන්නයේ තිබෙන මහතු මාමාගේ කඩයට දුවයි. කිත්තාද පාලම යටින් ඔයට පැන විදුලි වේගයෙන් අතුරුදන් වන නිසා අතවරයට පත්වූ යුවතිය සොයා එන උන්ට කිසිදිනක විත්තිකරුවන් සොයාගන්නට හැකියාව ලැබුනේ නැත.

දියකෙළිය අතරතුර සිදුවූ තවත් රසබර සිදුවීම් තිබේ. ඒවා ඉදිරි දිනයක ලියන්නෙමි. සිරා කොලුවාගේ හිත හදිසියේම අතීතය කරා ගොස් තිබූ වේලාවක මේ සටහන ලියවුන බව ඔබට කියන්නට රිසි වෙමි.



මම කාමරේ අරින සිරා කොලුවා.



Sunday, December 14, 2014

189 තවත් එක් විරහා කථාවක්

මේ ලගදි දවසක මූණු පොතේ මිත්‍රයෙක් මට දුන්න ඔත්තුවක් නිසා තමයි ඒ අදුරු වේදනාත්මක මතකය ආයෙත් සැරයක් 2006 අවුරුද්ද දක්වා පල්ලං බැස්සෙ. උඹේ පරණ කෑල්ල අන්න ෆේස් බුක් එකේ ඉන්නවා...එහෙම තමයි ඒකා කිව්වෙ. බැලින්නම් ඒ කථාව සහතික ඇත්ත. මට ඒ සීදේවී මූණු පොඩ්ඩ දැක්ක ගමන් එයාව හාපුරා කියලා මුලිච්චි වෙච්ච අපේ දහම් පාසලේ පිංකම තමයි කරදරයක් නැතුවම මතක් උනේ. එදා මේ කෙල්ලව දැක්ක ගමන් මගේ හිත කාන්දමකට අහුවුන යකඩ ඇණයක් වගේ එයා ලගටම ඇදිලා ගියේ සංසාරයේ කොතැන හරි තැනක අපි මීට කලින් හමුවෙලා තිබ්බ නිසා වෙන්න ඇති.




මුල්ම දැක්මෙන් පස්සෙ...මම ටිකෙන් ටික මේ දැරිවි ගැන හොයලා බැලුවා. ඒ වෙද්දිත් සෑහෙන පිරිසක් එයාව දිනාගන්න පොර කනවා. ඒ අතර මගේ යාලුවෙකුත් හිටියා. මේ දැරිවි මගේ යාලුවට තමන්ගෙ අකමැත්ත කියලා අහවර වෙලා තිබුන නිසා  ඒ මිත්තරයා , තමන් විසින් හොයාගත්ත විස්තර ටික මට දුන්නෙ හිතේ කිසිම කහටක් නැතුව.

පවුලෙ විස්තර, ඉගෙන ගන්න පාසල, බස් එකට නගින්න එන යන වෙලාවල් වගේ දේවල් ඒ තොරතුරු ඇතුලෙ තිබුනා. ඔය කියන සන්ධියෙ මමත් පන්ති යනවා. හිතේ කොනක හීනියට පැළ පදියම් වෙච්ච මගේ අහිංසක ආදර සිතිවිලි මට බල කල හින්දම කෙල්ල  උදේට බස් එකට ගොඩවෙන වෙලාව බලලා මමත් ඒ බස් එකටම නගින්න පුරුදු උනා. තවත් ටික දවසකින් එයා ලගින් හිටගෙන යන්න පටන් ගත්තා. තවත් කල් ගියාම ඉරිදට දහම් පාසල ඇරෙන වෙලාව බලලා ඒ හරියෙ කැරකුනා. දවසක් දෙකක් යද්දි ඒ පුංචි හිත දැනගත්තා මම එයාව දිනාගන්න වෙහෙසෙනවා කියලා.

කාලය ටිකෙන් ටික ගත උනා. ඒ වෙද්දි මගේ හිත ඇතුලෙ පුංචි ධෛර්යයක් ඇති වෙලා තිබුනා. මගේ අදහස ඇයට කියන්නට ඕනෙ කියලා..ඒ හින්දම එකතු කරගන්න පුලුවන් අන්තිම පුරුෂ දහිරිය බින්දුවත් එකතු කරගෙන එක දවසක් මම කෙලින්ම මගේ අදහස ප්‍රකාශ කලා. නමුත් මම මගේ හිතේ මෙච්චර කාලයක් හිරවෙලා තිබුන දේ කියන්න ගන්නවාත් එක්කම එයා මාව මග ඇරලා යන්න ගියේ මම කියන දේ වලට අවධානයක් දක්වන්නෙ නැතුවමයි.

එහෙම කලාම මම මගේ උත්සාහය අත හරියි කියලා මේ මෝඩ කෙල්ල හිතන්න ඇති....ඒත් ඒවා කොහෙද මා එක්ක....මම තව තවත් උත්සාහවන්ත උනා. වෙනත් පාසලක ඉගෙන ගත්ත, බස් එකේ නිතර යන එන...මගේ හිත ගිය කෙල්ලගෙ යෙහෙලියො දෙන්නෙක්ට මම කිට්ටු උනා. ඒ හරහා ආයෙත් සැරයක් කැමැත්ත ඇහුවා...අපි කථා බහ කරන වෙලාවට මේ දෙන්නත් අපි එක්කම හිටියා. මගේ ආදරී මගේ ප්‍රශ්න වලට උත්තර දුන්නෙ මට නෙමෙයි. එයාගෙ යාලුවො දෙන්නට.

තවත් කාලයක් ගත උනා. එක දවසක් මගේ ආදරේ මට ලියුං කරදහියක් දික් කලා එක පාරටම වාගෙ. මේක දැන්ම කියවන්න කියලත් එයා කිව්වා....ඔව් එහෙම කිව්වා කියලා මට තවමත් හොඳට මතකයි. අපේ අක්කා අද බස් එකේ යන නිසා අපි එක්ක කථාවට එන්න එපා අද...අක්කා නැත්තං කමක් නෑ. ලියුමෙ තිබ්බෙ එහෙමයි...මම ඒ මුතුකැට වගේ පුංචි වටකුරු අකුරු වලින් දැනගත්තා ඒ පුංචි හිතේ මං වෙනුවෙන් ආදරයක් ඉපදිලා කියලා. එදායින් පස්සෙ උදේට, දවල්ට අපි එකම බස් එකේ එකටමයි ආවෙ ගියේ.

තවත් ටික කාලයකට පස්සෙ අපි එකම අසුනෙ එකටම ඉඳගෙන යන තැනට දියුණු උනා. ඒ කාලෙ එයාගෙ යාලුවො අපි දෙන්නව අත ඇරලා වෙනම පන්ති ආවෙ ගියේ. ඒ උනාට මටයි කෙල්ලටයි මහ මග දෙනෝ දහක් ඇස් වහලා කථා බහ කරන්න සිදුවෙච්ච නිසා...ලියුම් කරදහි වලින් තමයි ගොඩාක් වෙලාවට හිතේ හිරවෙලා තිබුන දේවල් කිව්වෙ. සමහර වෙලාවට අපි ආව ගිය බස් රථයෙත් ඇයව හඳුනන අය හිටියා.

වර්තමානයේ පන්ති යන ළමයින්ට වගේ  ජංගම දුරබණුවක්, ෆේස් බුක් වගේ දේවල් එදා තිබුනා නම් අපිට මේ තරම් දුක් විදින්න වෙන්නෙ නෑ නේද කියලා අද මට හිතෙනවා.

දවසක් හිතපු නැති දෙයක් සිද්ධ උනා. මම කෙල්ලට දීපු ලියුමක් එයාගෙ ගෙදරට අහු උනා කියලා කෙල්ල බස් එකේදි මට කිව්වා. එයා එහෙම කිව්වට මම නම් ශත පහකට ඒ කථාව ගනන් ගත්තෙ නෑ. ඒත් එදා හවස බස් නැවතුමේදි දැරිවිගෙ අම්මා මාව මුලිච්චි වෙන්න ඇවිල්ලා ලොකු දේශනයක් දුන්නා. අම්මා පුන පුනා කිව්වෙ දැරිවිගෙ තාත්තා පොලිසියෙ රාජකාරී කරන කෙනෙක්, එයා මේවා දැනගත්තොත් ලොකු කරදරයක් වෙනවා කියලයි.

ලියුං හුටපටෙන් පස්සෙ මගේ ආදරේ පාසල් වෑන් රථයක එන්න යන්න පටන් ගත්තා. ඒත් මගේ ආදරය නැවතුනේ නෑ. ඒ රථයෙම නංගියෙක් අල්ලගෙන එයා අතේ ලියුම් යැව්වා. කෙල්ල උත්තර ලියලා එව්වා. මේ විදියට කාලය ගතවෙද්දි මේ කෙල්ල නොදැක ඉන්න බැරි තරමට මගේ ආදරය දැඩි වෙලා. දවසක් මම උදේ පාන්දරම නැගිටලා කෙල්ල පාසල් වෑන් රථයට ගොඩවෙන්න එන පුංචි මොහොත හරි බලන්න ආශාවෙන් ඒ කිට්ටුවට ගියා. ඒ වගේම ඒ දැරිවිගෙ පාසල ලගටත් ගියා. 

මම නොදැන හිටියට ඉස්කෝලෙ ලගට මම එන වග පාසලේ ගුරුවරියක් දැකලා කෙල්ලගෙ තාත්තට ඒ වෙද්දිත් කනේ තියලා ඉවරයි. මම එදත් පුරුදු විදියට ඉස්කෝලෙ ලගට ගියා. මට හොරෙන් දැරිවිගෙ අම්මා තාත්තා පාසල ලගට ඇවිල්ලා ඉඳලා.

මාව දැක්ක ගමන් පොලු පාරක් කාපු නයෙක් වගේ කෙල්ලගෙ තාත්තා මගෙ ඇගට කඩා පැනලා බෙල්ලෙන්ම අල්ලගෙන ඉස්කෝලෙ තාප්පෙට හේත්තු කර ගත්තා. මහා සද්දෙන් චට පට ගාලා මගෙ මූණට අකුණු ගහනවා විතරයි මට එතැනින් පස්සෙ දැනුනෙ. තෝ නේද අපේ කෙල්ල එක්ක යාලු වෙලා ඉන්න පර බල්ලා....ඒ විදියට බොහොම ගෞරවනීය ආකාරයට මම එදා සැලකුම් ලැබුවා.

ඉස්කෝලෙ ඇරිලා යන කෙල්ලො දිහා බලාන ඉන්නවා කියලා චෝදනා කරලා කෙල්ලගෙ තාත්තා එදා මාව ඒ ඉස්කෝලෙ විදුහල්පති ලගට අරගෙන ගියා. ආයෙත් ඉස්කෝලෙ ලගට ආවොත් මගෙ ආදරී ඉස්කෝලෙන් අයින් කරනවා කියලා කිව්ව නිසා මම හිතාගත්තා ආයෙමත් මේ ගමන එන්නෙ නෑ කියලා. මම ඉතින් ඇතිවෙන්න ගුටිකාලා සරණාගතයෙක් වගේ ගෙදරට ආවා. ඒ වෙද්දිත් අපේ ගෙදර අය සිද්ධිය දැනගෙන ඉවරයි. නමුත් ඒ අය මට දඬුවම් කරන්න ආඩපාලි කියන්න ගියේ නෑ. මම ආයෙමත් වතාවක් කෙල්ලගෙ ඉස්කෝලෙ ලගට ගියේ නෑ. මේ සිද්ධියෙන් පස්සෙ කෙල්ලගෙ දෙමාපියො අපේ ගමේ නිවාස අත ඇරලා කෙල්ලව අරගෙන මගෙන් ඈතට ගියා. මේ විදියට මොන තරම් බාධක ආවත් අපි අතර සබඳතාව දිගටම තිබුනා.

පාසල් වෑන් රථයෙ නංගිලා හරහා දිගින් දිගටම ලියුම් හුවමාරු කලා. මගේ ආදරේ  නොදැක ඉන්න බැරි තරමට මම අසරණ උනා. මේ වේදනාව ඉවසන්නම බැරි තැන මම එයාගෙන් අවසර ඉල්ලුවා ගේ ලගට එන්න. කෙල්ල අවසර දුන්නා. එයාගෙ අම්මා වැඩට ගියා...අක්කා සමහර දවස් වලට පන්ති ගියා. ඉතින් අපි නිදහසේ කථා බහ කලා. මුල්ම දවසෙ මට ගේ හොයාගන්න ගොඩාක් අමාරු උනා. මම කෙල්ලගෙ ගෙදරට ගොඩාක් ඈත ඉදලා තිබුනෙ. ඒ වෙලාවෙම මගේ ආදරේ වෑන් එකක වෙන ගමනක් යමින් ඉදලා මාව දැකලා මගේ ලගට ආවා. එදා අපි දෙන්නා එකටම වගේ ගේ ලගට ගියේ.

කාලය ටිකෙන් ටික ගලාගෙන ගියා. මම මගේ මුළු හදවතින්ම අවංකව මේ කෙල්ලට ආදරය කලා. අතින් ඇල්ලුවත් හරිම පරිස්සමෙන් ඒ අත ඇල්ලුවෙත්, ගෙවල් ලග මේ විදියට මුණ ගැහෙන්න පටන් ගත්තට පස්සෙ මම ලියුම් ලිවිල්ල නතර කලා.

එක දවසක් පාසල් සේවයෙන් බැහැලා කෙල්ල මාව දැක්කෙ නෑ වගේ යන්න ගියා. ඊලග දවසෙත් ඒ දේම උනා. කාලයට සාපේක්ෂව මේ ආදරය දිහා බැලුවොත් එදා මට මොන තරම් රිදෙන්න ඇතිද කියලා ඔයාලට වැටහේවි.

මම ආයෙමත් ලියුම් යැව්වා...පාසල් සේවයේ නංගිලා අතේ. ඇයි මට මෙහෙම කරන්නෙ .....මම ඇහුවෙ එහෙමයි.

එයා ඉස්සර වගේම උත්තරයක් එව්වා. ආයෙමත් ගෙදරට අහු උනා...ගෙවල් ලග ගෑණු කෙනෙක් අම්මට කියලා. අම්මා හැම වෙලේම මට බණිනවා හොඳටම. ඒ නිසා අපි මේ සම්බන්දෙ නවත්තලා දාමු. කෙල්ල එහෙම ලියලා තිබුනා.

මට මොනවා උනාද මම දන්නෙත් නෑ. මට මොන තරම් රිදුනද...කාට කියන්නද මේ දුක...එදායින් පස්සෙ මම කෙල්ලගෙ ගේ ලග ආයෙමත් කැරකුනේ නෑ. 2007 අවුරුද්දෙ මැද වෙද්දි ලියුම් ලිවිල්ලත් නතර කලා. එදායින් පස්සෙ මගේ ප්‍රේමය මම දැක්කෙම නෑ. 2010 අවුරුද්දෙදි මම ලංකාව අත ඇරලා විදේශගත උනා. මගේ මිත්තරයො මගේ ආදරීව අතනදි දැක්කා...මෙතැනදි දැක්කා කියලා මට පණිවිඩ එව්වා. ඒ උනාට මගේ කෙල්ලව මූණු පොතෙන් මම ඉස්සෙල්ලාම දැක්කෙ 2014 වර්ෂයෙදි.

මට ආස හිතුනා කාලෙකට පස්සෙ ආයෙමත් කථා කරන්න. මාව මතකද ? මම එහෙමයි ඉස්සෙල්ලාම පණිවිඩයක් තිබ්බෙ. විශ්වාස කරන්න ඒ ප්‍රශ්නයට පිළිතුරු වෙනුවට ඇය පුන පුනා කිව්වෙ මාව හඳුනන්නෙ නැති බවක්. මම පුදුම උනා...අවුරුදු 7 කට පස්සෙ උනත් එදා වෙච්ච ගොඩාක් දේ මට අඩියෙන් අඩිය මතක් කරන්න පුලුවන් උනාට එයාට අඩුම ගානෙ මාව හදුනාගන්නත් බැරි තරමට අතීතය අමතක වෙලා. දවසකට දෙකකට පස්සෙ ඇය මුහුණු පොතේ මාව Block කර තිබුනා.

අපි බස් එකේ ගිය කාලෙ මම මගේ ජංගමයෙන් කෙල්ලගෙ පින්තූරයක් ගත්තා. දවසක් මගේ ආදරේ මට ටොෆියක් දුන්නා. එයා මට දුන්න පළවෙනි තිළිණය ඒක නිසා මම ඒ ටොෆී කොලේ එදා අරගෙන තියාගත්තා. මම ගත්ත පින්තූරෙ. ටොෆී කොලේ, කෙල්ල මට එව්ව ලියුං...වෙසක් කාඩ් ..තවමත් මම පරිස්සම් කරලා අරන් තියලා තියෙන්නෙ මගේ හිතේ ඇතිවුන ආදරය බොහොම අවංක එකක් නිසා කියලයි මට හිතෙන්නෙ.

ආදරය මොන තරම් සුන්දර මනෝභාවයක්දැයි සිරාගේ කාමරයට එන යන බොහෝ දෙනා දනිති. ජීවන ගමන් මගේ  සරතැස නිවන්නට අපූරු හැකියාවක් එහි අන්තර්ගතව තිබේ. ජීවිතය දිනන්නට සමහරෙකුට ධෛර්යය දෙන්නේද මේ කියන ආදරයයි. ලොවම තමාට එරෙහි වුවත් ඊට එරෙහිව සටන් කරන්නට තරම් ශක්තියක් ඇති වෙන්නේත් ආදරය නිසායි. නමුත් තවත් සමහරෙකුගේ ජීවිත ආදරය නිසා විදින්නට ලැබෙන දුක නිසාම අඩපණ වෙයි. ඇතමෙක් ජීවිතයෙන් පලා යයි.  ඒ අර්ථයෙන් ගත් කල ආදරය යනු එකම කාසියක දෙපැත්ත වැනිය. එය දුක හා සතුට අතර දෝලනය වෙයි.

දුක වෙනුවට ආදරය නිසා සතුටම ලැබේවා !


මම කාමරේ අරින සිරා කොලුවා.


ප.ලි

පසුගිය දිනෙක මා ලියූ අරලියා සෙවනක ඔබ සෙව්වෙමි නැමති ලිපියට අදහස් දැක්වූ ඇනෝ මිත්‍රයෙක් තමන්ගේ ආදර කථාව යම් තරමකට එහිදී හෙළිකල අතර ඔහුගේ කථාව අවසානයේ සිරාගේ කාමරය සමග බෙදාගැනීමට එකඟ විය. ඔහුගේ භාෂාවෙන් මවෙත එවූ මේ ලිපිය මගේ භාෂාවට හරවා මෙලෙස පල වෙයි. ඇනෝ මිත්‍රයාගේ පෙම්වතියගේ නම මෙහි පල කරන ලෙස හෙතෙම මගෙන් ඉල්ලා සිටියත් එය අවශ්‍ය නොවන බව මගේ අදහසයි. මේ ලිපිය සඳහා මගේ නම යොදා ඇත්තේ ඇනෝ කොලුවා ඔහුගේ නම යොදනවාට විරුද්ධ වූ නිසා බැව් සැළකුව මනාය.


ඇනෝ මිත්තරයාගේ පළමු හෙළි දරව්ව


















Wednesday, December 10, 2014

50 රබානකට පෙම්බැඳි සිරා කොලුවා

සිරා කොලුවාගේ බෑන්ඩ් ඉතිහාසයෙන් යමක් ලගදි දවසක මම බොලාට කියා නැත. ඇතමෙකු ඒ ගැන විමසා ඊයක් දෙකක් විදිති. බොලාගෙ බෑන්ඩ් කථා අහවරද ? උන් අසති. මෙසේ විමසන්නේ පාසල් යන සමයේ බෑන්ඩ් උණ තදින් වැළඳුනු එකෙකු හෝ එකියක බැව් මම දැන් අත්දැකීමෙන් දනිමි. සෑහෙන දොහකට පසු සිරා කොලුවාගේ බෑන්ඩ් ජීවිතයෙන් කථාවක් ඇදබාන්නේ එහෙයිනි.

සිරා කොලුවාගේ තූර්ය වාදක ඛණ්ඩ නඩයට අයත් අයිය බඩා, ජපන් චමී, ජෝති, ලොකු අයියා, වැනි චරිත සිරාගේ කාමරය තුලදී ඔබට වරින් වර හමුවී තිබේ. අදින් දශකයකටත් එහා අතීතයේදී අපි සියල්ලෝම එක පවුලක උන් මෙන් දුක සැප සමව වළඳා තූර්ය වාදක ඛණ්ඩයේ දියුණුවට ඇප කැප වූ අන්දම මම කීප විටක් ලියා ඇත්තෙමි. ඒ නිසා ඒ දේවල් නැවත නැවත ලිවීම අවැසි නොවේ.

අපේ පාසලේම කොල්ලන්ගේ හූ හඩ මැද සාටර් ජීවීන් පිරිසක් වී සිටි අප බෑන්ඩ් මාස්ටර්ගේ ආගමනයෙන් පසු අළුත් ගමනක් ඇරඹූ අන්දමද මම වේලාසනින් ලියා තිබේ. විද්‍යාලයේ ක්‍රීඩා පිටිය තුල බ්‍රහස්පතින්දා දිනයන්හි සන්ධ්‍යා යාමයේ කෙමෙන් කෙමෙන් නැගුන සංගීත නාද රටා වඩ වඩාත් විධිමත් වෙමින් කණ්ඩායමක් ලෙස ශක්තිමත් වෙද්දී අපේ කණ්ඩායමේ කීර්තිනාමයද පාසල් භූමියේ සීමාව සළකුණු කොට තිබූ තාප්පය පැන ඉන් එහා දුරකට ඉගිල ගියේය.

බෑන්ඩ් මාස්ටර්ගේ අනුපමය කැපකිරීම්  /මහන්සිය අාදියේ ප්‍රතිඵලයක් ලෙස මේ කියන දවස වන විට අප බටහිර තූර්ය වාදක ඛණ්ඩයක් ලෙස සීඝ්‍ර දියුණුවක් ලබා සිටියෙමු. ඒ නිසාම කෙමෙන් කෙමෙන් පාසලට පරිභාහිර තූර්ය වාදන අවශ්‍යතා වෙනුවෙන් විවිධ අය අප සොයා ඒමට පටන් ගෙන තිබුනි.

බොහෝ විට මෙවැනි ඉල්ලීම් අප විසින් ප්‍රතික්ෂේප කරන ලද අතර අප විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු මෙන්ම පැරණි ශිෂ්‍යභට සාමාජිකයෙකුද වූ ආනන්ද අයියා විසින් ගෙන ආ එවැනි ආරාධනාවක් අප විසින් අනුමත කලේ ඔහු අප විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ වැඩිමහල් සොයුරෙකු වූ නිසාමය.

සිරා කොලුවාගේ වාදන භාණ්ඩය වූයේ ට්‍රම්පට් නලාවයි. අතීතයේදී තැඹිලි වලු පිටින් හොරා කෑ ජෝතියා වාදනය කලේද මේ වාදන භාණ්ඩයමය. ත්‍යාග ප්‍රදානෝත්සවයන්හිදී ට්‍රම්පට් මගින් නගන කෙටි සංගීත නාදය Fan Fare ලෙස එකල අපි හැදින්වීමු. ආනන්ද අයියා අපිට සැට් කරන්නට යන්නේ Fan Fare ගහන්නට චෑන්ස් එකකි.

ඒ වෙද්දී හෙතෙම ස්වේච්ඡා ගුරුවරයෙකු ලෙස ගම්පහ නගරයට දුරින් පිහිටි එක්තරා මිශ්‍ර පාසලක සේවය කරමින් සිටියේය. මේ පාසලේ නිවාසාන්තර ක්‍රීඩා උළෙලේදී යම් වෙනස්කමක් කරන්නට පාසලෙන් ඔහුට ලැබුන යෝජනාව මත ඔහු දැන් අප හමුවන්නට පැමිණ සිටියි.

මල්ලි....මේක දුප්පත් ඉස්කෝලයක් බං...ඒකෙ උන් ට්‍රම්පට් එකක් ඇහැට දැකලා නෑ. උඹලා ඇවිල්ලා මේ වැඩේ කරලා දුන්නොත් ඒක ලොකු පිනක් එක පැත්තකින්....ඒ ළමයි සතුටුවෙනවනෙ බං...

ලස්සන කෑලි එහෙම නැද්ද අයියා.....වැඩකට බහින්නට හොඳ උත්තේජනයක් තිබිය යුතුය. අන්න ඒ උත්තේජනය සෙවීමේ අරමුණින් මම කට ඇරියෙමි.

ලස්සන කෑලි මොනවටද බොල...සම්පූර්ණ ඒවා පෙන්වන්නම් අාවම...ලස්සන කෙල්ලො ගොඩාක් ඉන්නවා ඉස්කෝලෙ....බෑන්ඩ් එකේ තමයි හුගදෙනෙක් ඉන්නෙ....උඹලා ආවම බලහල්ලකො මම කියන්නෙ බොරුද කියලා.

එහෙනං මල්ලිලා අහවල් දවසෙ අහවල් වෙලාව වෙද්දි..අහවල් තැනට බස් එකේ වරෙල්ලා...එතැන ඉඳන් මම ප්‍රවාහන පහසුකම් දෙන්නම්. ආනන්ද අයියා වැඩේ පංගරාර්තු කොට වාෂ්ප වී ගියේය.

Fan Fare රාජකාරිය සඳහා පිටත් වෙන්නට ඛණ්ඩයේ එවකට සැරයන් වරයා වූ ලොකු අයියා යෝජනා කලේ සිරා කොලුවා, ජෝතියා, සහ තරින්ද්‍ර නම් තවත් එකෙකි. අප තිදෙනාම එක් වී පුහුණුවීම් කොට එකිනෙකට වෙනස් සංගීත ඛණ්ඩ තුනක් පුරුදු පුහුණු වූයෙමු.

බෑන්ඩ් මාස්ටර් දැන් සිටින්නේ සතුටෙනි. තමන්ගේ ගෝලයන් තිදෙනෙක් පාසලට පරිබාහිර තැනක ශිල්ප දක්වන්නට හා හා පුරා යන ගමන පිළිබඳ එතුමා සිටින්නේ තෘප්තියෙනි. කොල්ලො වැඩේ දෙන්න ඕනෙ සුපිරියට...ඒ සතුට වචන වලට පෙරළෙයි.

නියමිත දිනය උදා වූ පසු...අපට එන්නට නියම කල වේලාව අනුව ට්‍රම්පට් නලා තුනක් ට්‍රම්පට් පෙට්ටි වල ඇසුරුම් කොටගෙන අප තිදෙනා පාසල ඉදිරිපසින් කිරිඳිවැල බසයකට ගොඩවෙන්නට තූර්ය වාදක කාමරයෙන් පිටත් වෙන විටත් අපේ සගයෝ පිටියේ පුහුණුවීම් වල නිරතව සිටියහ.

හොඳ කෑල්ලක් ගොඩ දාගනියව්...අයිය බඩා මෙන්ම ලොකු අයියාද අපට සුභ පතා සමුදුන්නෝය.

කිරිඳිවැල බස් රථය ගම් නියම් ගම්, වෙල් යාය පසුකරමින් ඉදිරියට ඇදෙයි. පාර අයිනට වෙන්න දකුණු අත පැත්තෙ තියෙනවා බෝධියක්...එතනම තමයි බස් හෝල්ට් එක.අන්න එතැනින් බහින්න...ආනන්ද අයියා පැවසූ අයුරින්ම බෝධිය සොයාගෙන අප බස් රථයෙන් බිමට බසින විට විද්‍යාලයේ වැඩිහිටි සිසුන් කීප දෙනෙකු සමග  අප පිළිගන්නට ඔහු එහි රැදී සිටියේය.

එතැන් සිට පාසල වෙත තවත් මාර්ගයකි. එහි සිටි ශිෂ්‍යයෝ තිදෙනෙක් ඔවුන්ගේ බයිසිකල් වල අප හිඳුවාගෙන පාසල බලා එක් පිම්මේ පාගන්නට විය. ට්‍රම්පට් පෙට්ටිය වැටෙන්නට නොදී අල්ලාගෙන අප තිදෙනා බයිසිකල් හරස් පොල්ලට පශ්චාත් භාගය තදකර ගෙන විනාඩි 10 ක පමණ දුරක් යන්නට ඇත.

පින්තූරය මෙතැනින්

පාසලට ලගා වන විට එහි පැවතියේ මගුල් සිරියකි. ප්‍රධාන ආරාධිතයා පිළිගැනීමට ඇති පදම් රෝස පවුඩර් උලා ගත් දැරිවියන්ගෙන් සමන්විත වූ තූර්ය වාදක කණ්ඩායමක් එතැන සැදී පැහැදී සිටියහ. ඉතාමත් උණුසුම් අන්දමින් අප තිදෙනා පිළිගත් ගුරු භවතුන් කීප දෙනෙකු අපට රැදී ඉන්නට ස්ථානයක් නියම කොට විසිර ගියහ.

ඉතා විසිතුරු හැට්ටයකින් හා චීත්තයකින් සැරසුනු මේ යුවතියන් බහුතරයක් සැබෑ ලෙසම ලස්සන උන්ය. උන්ගේ සුන්දරත්වය මගේ මෙන්ම අනිත් උන් දෙදෙනාගේද හෘදය වස්තු කම්පොනය කොරන්නට සමත් වූහ. යුවතියෝ  ආරාධිත අමුත්තා පිළිගෙන විද්‍යාලය තුලට කැඳවාගෙන විත් අප සමීපයට පැමිණියහ.

අපේ විද්‍යාලයේ කීර්තිනාමයත්, අප තිදෙනාද තූර්ය වාදක ඛණ්ඩයක සාමාජිකයන් වීමත් යන කාරණා හේතුවෙන් ඒ ඇත්තියෝ අප සමග දොඩමළු වන්නට අර අදින බව පෙනෙයි. යුවතියන් රැසක් අතර අතරමං වූ සිරා කොලුවා වන මම අවසානයේදී රබන් වැයූ සුන්දර එකියක් කෙරෙහි ආශක්ත වූයෙමි. ලව් තියා ඉලව් වත් නැති  අසරණයෙක් වූ ජෝතියාද තවත් එකියකට ලයින් වූයේය. තරින්ද්‍රයා ඒ වෙද්දිත් පෙම්බරයෙක් වී සිටි නිසා කිසිවෙකුට ලයින් දමන්නට ගියේ නැත...හොඳ දරුවෙක් මං චරිතය රඟ පෑවේය.

ඉතින් කොහොමද ?

හොඳයි අයියා....ඔයාලා අද එනවා කියලා ආනන්ද සර් කිව්වා...

ඉතිං අපි එනකං බලාන හිටියද ?

ඉඳා....අපිට වෙන වැඩක් නෑනෙ...කෙල්ලන්ගේ කිච් බිචිය අස්සේ ගුරු මණ්ඩලයේ කීප දෙනෙකු පැමිණ අප සංග්‍රහ කරන කලාපයට කැටුව ගියෝය.

එහෙත් සංග්‍රහ භූමියෙන් පලාවිත් රබානට මුවා වෙන්නටම මට සිතෙයි...

ජෝතියො ඕක ලෙව කකා ඉන්නෙ නැතුව ඉක්මනට යමං යකෝ....අර කෑල්ලක් කොහොම හරි සැට් කරගමු.

මගේ වචනයෙන් පුරුෂ දහිරිය ඉපදුන නිසාදෝ දුම් දමන තේ කෝප්පය එක හුස්මට බොක්කට හලා ගත් ජෝතියාද සංග්‍රහ කලාපයෙන් නික්මී මා සමග නැවතත් දැරිවියන් අභියසට පැමිණෙන්නට විය.

අප එහි යන විට තරින්ද්‍රයා මල් පාත්තියකට මැදිව සිටියේය...

කොයි අයියද ජෝතියා කියන්නෙ....එකියක් එළියට පනින්නට පොර කන හිනාව අතින් තදකරගෙන ඇසුවාය. අප සංග්‍රහය භුක්ති විද පැමිණෙන ටිකට ජෝතියාගේ භෞමික අඛණ්ඩතාව මොට වීම සැබවින්ම ඛේදජනකය.

ලැජ්ජාව නිසාම සෝ බරව සිටි ජෝතියා පසෙක සිටියත් සිරා කොලුවා වන මම රබානට ඇහැ දුන්නෙමි.

රබන් නංගියාද මගේ ඉඟි බිඟි තේරුම් ගත්  නිසාදෝ රබාන කරකවමින් විළියෙන් ඇඹරුනාය. මේ ආකාරයෙන් අපේ පිළිසදර හෝරාවක් දෙකක් පමණ තිබෙන්නට ඇත. අපේ මුහුණු වලින් පිටතට බේරෙන පෙම් පාට නිසාදෝ විද්‍යාලයේ ගුරු මව්වරුන් මේ කෙල්ලන් සහ අප දෙස විමසිල්ලෙන් බලා සිටින බව ඒ වන විටත් මගේ අක්මාවට දැනී තිබුනි.

ප්‍රේමයට කොහෙදෝ නැති බාධා.....යන කියමන සිහිපත් කරමින් ආනන්ද අයියා හදිසියේම එහි පැමිණ අපේ අාතොල් එක මොට කලේය.

මල්ලිලා වැඩේ හරි පළවෙනි සෙට් එකට තෑගි දෙන්න යන්නෙ...ඉස්කෝලෙ නම හිටින්නත් එක්ක දීහල්ලා වැඩේ තිතට...

Fan Fare ගැහිල්ලට කළුවා මාරපන ගියා වගේ යන්නේ නැත. තිදෙනාම එකම ආකාරයකින් පියවර තබමින් ගමනේ ගොස් එකටම නැවතී දකුණට හැරී නතර විය යුතුය. අපගේ වාදන භාණ්ඩයන් ඔසවන්නේ මෙන්ම පහත් කරන්නේද එකටමය.  මේ සදහා අණ දෙන්නේ මැද්දෙන් සිටි ජෝතියාය.

ගමන පිටත් වීමට ප්‍රථම අප පුහුණුවීම් කර තිබෙන සංගීත ඛණ්ඩ වලින් වාදනය කරන්නේ කුමන එකදැයි කථිකා කර ගතිමු. ඒ නිසා වැරදීමක් නැත. වැඩේ ලස්සනට ගලාගෙන යයි. ආනන්ද අයියා ත්‍යාග ප්‍රධානයක් සිදුවන විට අප කරා පැමිණ දැනුම් දෙයි..ඒ වනතෙක් රබන් වයන්නට අපට අවසර තිබේ.

මේ අයුරින් වාර 10 කට පමණ ආසන්නව අප විසින් වාදනය කළෙමු. තවත් එක් අවස්ථාවක් පමණක් ඉතිරිව තිබේ. ජෝතියා ලයින් කල දැරිවිය මේකාගේ සීදේවි මුහුණ දැක පසුබා ගිය නිසාදෝ ඒකා සන්තාපයෙනි. නමුත් මගේ රබාන එසේ නැත. ඇය මට ප්‍රාර්ථනාවේ එළි දල්වන්නීය.

වැඩක් නෑ බං....මුන් නලලට අරගෙන...නරියා මිදි තිත්තයි කිව්වා සේ ජෝතියාට ලව් කිරීම එපා වී ඇති සෙයකි.

මල්ලිලා...අන්තිම එක...මේකත් ගැහුවම උඹලා නිදහස්...ආනන්ද අයියා මොර දෙයි. පෙර පරිදිම ගමනේ ගොස් ජෝතියාගේ අණ අනුව වාදන භාණ්ඩ ඔසවාගෙන වාදනය අරඹන්නට අපි නැවතත් සූජානමෙනි. වාදනය අරඹන්නේද ජෝතියාගේ විධානය අනුවය.

මමත් තරින්ද්‍රයාත් ගිවිස ගත් සංගීත ඛණ්ඩය වයන විට ජෝතියා පෙම් මරගාතේ වෙන රෙද්දක් වාදනය කළේය. වැඩේ සාටර් බව ඒකාගේ පුංචි මොළයට වැටහෙන විට ජෝතියා වාදනය නවතා අප දෙදෙනාට අවස්ථාව දුන්නද ඒ වන විටත් සායම හේදී අවසන්ය.

ලොකු බෑන්ඩ් එකක ලොකු අයියලා ලෙස නංගිලාට පොරවල් වී සිටි  අප ක්ෂණිකව මහපොළවට ඇඳ වැටී තිබේ. බෑන්ඩ් කෙල්ලන් අපට නොපෙනෙන්නට කිචිබිචි ගෑවාට...අප සැලුනේ නැත.

මොන රෙද්දක්ද බොල තෝ ගැහුවෙ...

මම ජෝතියාව මරාගෙන කන්නට හදන විට ඒකා කිව්වේ එතැනට ගිය පසු අප යන්නට පෙර කල කථිකාව අමතකව ගිය බවකි.

රබන් නංගී රෝස පැහැ වත දරාගෙන මා දෙස බලා සිටින්නීය. ටවුමෙ ඉස්කෝලෙ අයියා කෙනෙකු සමග යාලු වෙන්නට ඇය කැමැත්තෙන් ඇතිවාට සැක නැත. එහෙත් මුරුංගා ගහට මන්නෙන් කෙටුවා සේ එක් වරම කැමැත්ත අහන්නට ක්‍රමයකුත් නැත. ඒ දිනවල ජංගම දුරබණු හෝ මූණුපොත තිබුනා නම් මේ කාරිය බොහෝ පහසු වන්නට ඉඩ තිබුනි. එසේ වූවා නම් අද වන විට සිරා කොලුවා සිව්දරු පියෙකු වන්නට ඉඩ තිබුනි.

දැන් ඉතින් සියල්ලෝ විසිර යන්නට සූජානමෙනි. නමුත් සිරා කොලුවාගේ හිත රබාන මැද තනිවී තිබේ. රබන් කෙල්ල ඈතට වී මා දෙස බලා සිටියි. මමද ඈ දෙස බලා සිටිමි. අපේ නෙත්යුග එකිනෙකා හා කථා කරයි.

ජෝතියා අර කෙල්ල මට කැමතියි වගේ බං....මොකද කරන්නෙ....මම ජෝතියාගෙන් ඇසීමි.

මොනවා කරන්නද....ගිහිං අහපං....ඒකා විනිශ්චය දුන්නේය.

එහෙත් ඒ දිනවල සිරා කොලුවාගේ පුරුෂ දහිරිය අද මෙන් වර්ධනය වී තිබුනේ නැති නිසා මම ඒ කාරිය කලේ නැත.

ක්‍රීඩා උළෙලේ සියලු කාර්යයන් නිමවී තවත් සංග්‍රහ වටයකට සහභාගි වී අපට එතැනින් සමුගන්නට කාලය පැමිණ තිබේ.

ලියුම් කවර වල බහා අපහට තුටු පඬුරක් පිළිගන්වන්නට ආනන්ද අයියා සූජානමෙනි.

මේක ගන්න මල්ලි...උඹලා මහන්සි උනානෙ...

පිස්සුද අයියා....අපිට සල්ලි එපා...අපි මේ වැඩේ කලේ ඔයා නිසා....

අපි තිදෙනා මුදල් නොගෙන ඉන්නට තීරණය කළෙමු. එහෙත් ආනන්ද අයියා මුදල් දෙන්නටම වෙර දරයි. කෙසේ හෝ අප තිදෙනා දිගින් දිගටම මුදල් නොගත් නිසා ඒ උත්සාහය අවසානයේ අත් හරින්නට ඔහුට සිදුවිය.

කෙමෙන් කෙමෙන් අඳුර උදාවන පැයේ පාසල් භූමියේ රැදෙන්නට තවත් අවසර නැත. එතෙක් කල් දෙනෙත් මායිමේ සිටි රබාන මටත් නොකියාම සමුගෙන ගොසිනි. සෑම හමුවීමකම වෙන් වීමක් තියෙනවා නේදැයි මම කල්පනා කළෙමි.

මල්ලිලා බොහොම ස්තූතියි....ස්තූතියි අයියා....ස්තූතියි පුතා....නොයෙක් දෙනා නොයෙක් ආකාරයෙන් අප තිදෙනාට ස්තූති කළෝය...අප මේ ගමන පැමිණෙන විට අප රැගෙන ආවේ  ට්‍රම්පට් පෙට්ටිය පමණි...එහෙත් ආපසු යන්නේ එයට අමතරව සොඳුරු මතකයක් හිත දරාගෙනය. රබන් කෙල්ලගේ රෝස පැහැති වත කමල චිත්ත රූපයකට නගමින් මම පා පැදියේ හරස් පොල්ලට බර දුනිමි. තවත් මොහොතකින් අපි බෝධිය අසල බස් නැවතුමට පිවිසියෙමු.

අප එදා පාසලට නැවත යන විටත් ලොකු අයියා සහ අයිය බඩා ඇතුළු කීප දෙනෙකු පාසලේ සිටියහ. තරින්ද්‍රයා සිදුවූ සියලු දේ නොවලහා කීවෙන් ලොකු අයියා කෝචොක් සිනහවක් නගයි.

තොපි තුන්දෙනාම වටවෙලා රබාන පලන්න හැදුවද යකෝ.....දුන්න සල්ලි නොගෙන....අපරාදෙ ගල් බෝතලයක් ගහන්න තිබුන චෑන්ස් එක..තොපි එනකං මෙතන මදුරුවො තැලුවටත් පාඩුයි. ලොකු අයියා විස්සෝප වද්දී මම නැවත වතාවක් රබාන සිහිපත් කළෙමි.



මම කාමරේ අරින සිරා කොලුවා.


Sunday, December 7, 2014

48 ඇපල් ගැන කථා

රෝස පවුලට අයත් Malus Domestica නැමති කුළය යටතට ගැනෙන ඇපල් නැමති පළතුර ලොකු කුඩා සැමගේ ආදරය දිනාගත්, පළතුරු ලෝකයේ ඉහළම තැනක තිබෙන පළතුරකි. ඇපල් ගෙඩියේ ඇති වර්ණයත්, එහි සුවඳත්, එයටම ආවේණික රසයත් සෑම කෙනෙකුම මේ පළතුර වෙත ආකර්ශනය කරගන්නට සමත් වී තිබේ. වර්තමානය වන විට ලෝකය පුරාම මහා පරිමාණයෙන් අැපල් වෙළඳාම සිදුවන අතර ලෝක ඇපල් නිෂ්පාදනයෙන් හරි අඩකට ආසන්න ප්‍රමාණයක් නිපදවන්නේ චීනයයි. චීනයට පසුව ලෝක ඇපල් නිෂ්පාදනයේ දැවැන්තයින් ලෙස ඇමරිකාව, තුර්කිය සහ ඉතාලිය යන රටවල් දැක්විය හැකි වෙයි.



ඇපල් පළතුරේ ඉතිහාසය ක්‍රිස්තු උපතටත් පෙර කාලයකට දිවෙන අතර මහා ඇලෙක්සැන්ඩර් රජතුමාගේ නාමයද ඒ ඇතැම් තැනක දක්නට ලැබේ. බොහෝ දෙනා පිළිගන්නා කාරණය නම් මධ්‍යම ආසියාවෙන් ඇපල් ලොව පුරා පැතිරුන බවකි. එය ඇමරිකාවට ගෙන ගොස් ඇත්තේ ආසියාවේ සිට එහි ගිය ජනපදිකයන් විසිනි. පළතුරක් ලෙස ආහාරයට ගැනීම, විවිධ පාන වර්ග සහ වෙනත් ආහාර වර්ග ලෙස පසු සැකසුම් කිරීම සහ මත්පැන් නිෂ්පාදනය යන ආකාර 3 ලෝක ඇපල් නිෂ්පාදනය භාවිතා කරන ප්‍රධාන විධි ක්‍රම වෙති.

ආදම් සහ ඒවා තහනම් ගහේ ඇපල් කෑ කථාව බොහෝ දෙනා අසා ඇති එකකි. අයිසැක් නිව්ටන් මහා විද්‍යඥයාගේ හිසට ඇපල් ගෙඩියක් නොවැටෙන්නට අප තවමත් ගුරුත්වාකර්ෂණය පිළිබද මූලධර්මයන් නොදැන ඉන්නටත් ඉඩ තිබුනි. ස්ටීව් ජොබ් විසින් හොයාගත් ඇපල් මගින් මේ ලිිපිය ඔබ දැන් කියවනවා වන්නටත් පුලුවන. ඒ අනුව ඇපල් යන නාමය ජන ජීවිතයට ඉතාම සමීප එකකි.
ඇපල් ගෙඩිය වටා යුරෝපයේදී බිහි වී ඇති මිථ්‍යා කථා සංඛ්‍යාවද විශාල අගයක් ගනී. ජර්මන් මිථ්‍යා කථාවකට අනුව Iduna නම් දෙවඟන දෙවිවරුන්ට සදාකාලික තරුණ බව ලබාදීමට ඇපල් සැපයූ තැනැත්තිය බව කියවෙයි. ග්‍රීක ආගමික කථා බොහොමයක එය ගුප්ත හෝ තහනම් පළතුරක් ලෙස දැක්වෙයි.
Iduna දෙවඟන
ලංකාවේ වාණිජ ලෙස ඇපල් වවන්නේ නැති වුවත් ඇපල් ගෙඩියට මුවාවී ජීවිතය ගැට ගහගන්නා චරිත සිය දහස් ගනණක් ලක් පොළවේ ජීවත් වෙති. රෝහලකට රෝගියෙකු බලන්නට ගියත්...බස් රථයක දුර ගමනක් ගියත් ඇපල් රැගෙන යන්නට බොහෝ අය කැමතිය.

දිනකට ඇපල් ගෙඩියක් ආහාරයට ගැනීම හදවත් රෝග වලින් ඔබ ඈත් කර තැබීමට ඉවහල් වන බවක් ඔක්ස්ෆර්ඩ් සරසවියේ පර්යේෂක කණ්ඩායමක් විසින් මෑතකදී සොයාගෙන තිබුනි. ඒ නිසාම ඇපල් යනු හදවතේ මිතුරෙක් ලෙසද හඳුන්වයි. එහෙත් ලංකාවේ බොහෝ තැනක අළෙවියට තබා ඇති විවිධ රසායන ද්‍රව්‍ය මගින් එළදායී ජීව කාලයෙන් පසුවද ආයුෂ දිගුකරගත් ඇපල් භාවිතයෙන් නම් ඒ ප්‍රතිලාභය ලබාගත හැකි වේ දැයි සැක සහිතය. ඒ කාරණා කෙසේ වෙතත් ඔබ නිතරම හපනා මුත් ඇපල් ගැන නොදන්නා කාරණා කීපයක් ගැන ජාලයෙන් පෙරලා ඔබට කියන්නට සිරා කොලුවා වන මම රිසි වෙමි.

ඇපල් පෝෂ්‍ය දායක ආහාරයක්ද ?

ඇපල් ගෙඩියක් ආහාරයට ගැනීමෙන් අපගේ ඉන්ද්‍රියන් තුල විටමින් සහ වෙනත් පෝෂක වර්ග ප්‍රති ඔක්සිකරණය වීම ග්‍රීන් ටී හෝ බ්ලැක් ටී මෙන් දෙගුණයක අගයක් ගන්නා බව පෝෂණවේදීන් මේ වනවිට සනාථ කොට තිබේ. එහෙමත් නැති නම් බ්ලූබෙරි වට්ටියකින් භාගයක පෝෂණය එක ඇපල් ගෙඩියක අන්තර්ගතව තිබේ. මේ තොරතුරු පුදුම සහගත වුවත් එය සත්‍යයකි.

ඔස්ට්‍රේලියානු සමීක්ෂණ සමූහය (CSIRO) මගින් වසර 10 පුරාවට ඇපල් පිළිබඳ සිදුකල පර්යේෂණ වල ප්‍රතිඵල ඔවුන්ගේ 2010 ඇපල් වාර්තාවට එකතු කොට තිබේ. එයට ඔවුන් දායක කරගෙන තිබෙන්නේ ඔස්ට්‍රේලියාවේදී වවන ඇපල් විශේෂයි.

සාමාන්‍ය පරිදි ඇපල් ආහාරයට ගැනීමෙන් ශරීරයේ බර අඩුකරගත හැකි බවත්, විශේෂයෙන් උදරය ආශ්‍රිත මේදය අඩුකරගත හැකි බවත් ඔවුන් පවසති. නවීන විද්‍යාව තුලින්ද ඇදුම, ආසාත්මිකතාව වැනි තත්වයන් ඇපල් ආහාරයට ගැනීමෙන් අඩු කල හැකි බව සොයාගෙන තිබේ. ඇපල් තුල අන්තර්ගත ස්වභාවික රසායනික සංඝටක විශාල ප්‍රමාණයක් අතරින් Polyphenol නැමති රසායනිකය අපගේ සම කෙරෙහි බලපෑම් ඇති කරන එකකි. ඇපල් ගෙඩියේ පොත්ත ඉවත්කර ආහාරයට ගැනීමෙන් මෙම රසායනය නොලැබී යන අතර කුඩා දරුවන්ට ඇපල් ලබා දීමට පෙර ඒවා කැබලි වලට කපා වෙන් කිරීමේදී,පොත්ත වැඩිපුර ඇතුලුවන සේ කැපීම යෝග්‍ය බව පිළිගැනීමයි.

ඇපල් නැමති පළතුර ශීතාගාර තුල බොහෝ කල් තබා ගත හැකි එකකි. එය දිගුකාලයක් එසේ ගබඩා කර ඇති ශීතාගාරයකට ඇතුලු වීම අනතුරුදායක වෙයි. එහි විෂ සහිත වායූන් නැත. නමුත් ශීත කල ඇපල් ගබඩාවක් තුල ඔක්සිජන් නැත. ඒ නිසාම ඒ තුලට ඇතුලුවන අයෙක් ඔක්සිජන් රහිත නිසා මරු වසගයට යා හැකිය. සෙල්සියස් අංශක දශම 5 ක උෂ්ණත්වයක් ඇති මේ ගබඩාවක ඇපල් ගෙඩි ආශ්වාස (Respiration) කරන්නේත්, මේරීමට ලක් වෙන්නේත් ඉතා සෙමිනි. ඒ නිසාම ඇපල් ගෙඩියේ ජීවකාලය දිගු වී තිබේ.
සම්ප්‍රදායිකව ශීත කල ගබඩා තුල ඇපල් ගබඩා කොට තබා..ඇපල් ඵලදාව හට නොගන්නා කාලයට ඒවා පරිභෝජනය කිරීමට මිනිසුන් අතීතයේ සිටම හුරුව තිබේ. ඇපල් වල අඩංගු ආහාරමය තන්තු පෝෂ්‍යගුණයෙන් මෙන්ම ආහාරයට ගත් පසු ශරීරය තුල ප්‍රතිඔක්සිකරණ කර්තව්‍යයටත් දායක වන අතර මේ තන්තු කල්තබා ගැනීමේ  ක්‍රියාවලියේදී හානියට පත් නොවීම සුවිශේෂී කරුණකි.

1873 දී ඔස්ට්‍රේලියානු ඇපල් තොගයක් වාෂ්ප නැවක් මගින් වියානාවේ ප්‍රදර්ශනයක් වෙත ගෙන ගිය අතර, ඒ අවස්ථාවේදීද ඒ නෞකාවේ ඇපල් ගබඩා කිරීමට ශීත කාමර ඉඳිකොට තිබුනි. මේ ආකාරයෙන් ගබඩා කරන ඇපල් ගෙඩියක් මාස 9 කට පසු වුවද නැවුම් බවින් යුතු වන අතර රසයෙන්ද අනූනය.

අැපල් ගෙඩි මේරීමට ලක්වන වේගය ඒ ඒ දේශගුණික කලාපය සහ ඇපල් වර්ගය අනුව වෙනස් වන එකකි. ඇපල් ගෙඩියක මේරීම අවස්ථා 6 අනුව වර්ග කොට තිබේ. ඇපල් ගෙඩියක තද බව විනිවිදුම් මානය (penetrometer) නැමති උපකරණයක් මගින් මැනගනියි. මෙවැනි කාරණා ඇපල් ගෙඩිය සමග බද්ධවන්නේ වාණිමය වශයෙන් ඇපල් සමග ගණුදෙනු කරන විටදීය. ඇපල් ගෙඩියේ පැණිරස, එහි ඇති පිෂ්ඨය ප්‍රමාණය, රතු සහ කොළ පැහැය අතර තීව්‍රතාවය වැනි කාරණාද ඇපල් ගෙඩියේ මේරීම වර්ග කරන අවස්ථා 6 ට ඇතුලත් වෙති. රසවත් මෙන්ම පහසුවෙන් හපන්නට පුලුවන් ඇපල් ගෙඩියක් වන්නට නම් ඇපල් ගෙඩිය තුල සීනි මෙන්ම පිෂ්ඨයද සමපාත විය යුතුය. මේ තත්වය ඇපල් ඵලදාව නෙලන්නට කලියෙන් මෙන්ම නෙලාගත් පසුවද පරීක්ෂා කරනු ලබයි.

ඔබ ආහාරයට ගන්නා ඇපල් ගෙඩිය පරිගණක තාක්ෂණය සහිත විශාල යන්ත්‍ර සූත්‍ර භාවිතයෙන් නෙලාගත්තේ යැයි ඔබ සිතනවා නම් ඔස්ට්‍රේලියන් ඇපල් සම්බන්ධව එය නිවැරදි නොවේ. ඔස්ට්‍රේලියානු ඇපල් ගෙඩියක් ගෙඩියක් පාසා මිනිස් දෑතින් නෙලාගනු ලැබේ. නෙලාගන්නා ඇපල් ගෙඩිය එය නෙලන පුද්ගලයාට සම්බන්ධ කල බෑගයක් තුල තැන්පත් කොට පසුව ඇපල් ගබඩා කිරීම සඳහා දැවයෙන් නිර්මිත විශේෂ භාජන විශේෂයක් වෙත හිස්කරයි. මේ ඇපල් වතු වෙත කාබනික කෘමිනාශක එකතු කරන්නේ පිලවුන් සහ වෙනත් කෘමීන්ගෙන් එල්ලවන හානිය නැති කොට ඒ කෘමීන් ඇපල් වගාවෙන් සහමුලින් ඉවත් කිරීම සඳහාය. ඔස්ට්‍රේලියානු ඇපල් වල කාබනික රසායනික මට්ටම ඉතා පහළ අගයක් ගන්නා අතර එය සම්මත ආරක්ෂාකාරී තත්වයන්ට අනුකූල වෙයි.

ඔස්ට්‍රේලියාවේදී ඇපල් ඵලදාව නෙලන අන්දම
ඇපල් එකතු කර තබන ලෑලි පෙට්ටියක්
ඔබ මිළදී ගන්නා ඇපල් ගෙඩියේ පොත්ත මත ඉටි විශේෂයක් තවරා තිබෙනු ඔබ ඇතැම් විටෙක දැක තිබෙනවා වන්නට පුලුවන. ඇපල් ගෙඩියේ ලෙල්ල මත ස්වභාවිකව ඇති වෙන ඉටි විශේෂයෙක් වෙයි. ඇපල් ගසකින් ඔබ විසින්ම නෙලාගන්නා ලද ඇපල් ගෙඩියක් ඔබේ කලිසමේ තදින් ඇතිල්ලූ විට එහි පොත්ත දිලිසෙන බවක් ඔබට අත්දකින්නට හැකිවෙනු ඇත. ඒසේ වන්නේ ඒ ස්ථානයේ වූ ස්වභාවික ඉටි ආවරණය ඉවත් වී තිබෙන නිසාය. අළෙවිය සඳහා පළදාව නෙලීමෙන් අනතුරුව වෙළදපොල වෙත යැවීමට ප්‍රථමයෙන් සිදු කරන සැකසීමේ ක්‍රියාවලිය තුලදී ඇපල් වල ස්වභාවික ඉටි ආවරණය ඉවත් වන නිසා ඒ වෙනුවට එළවළු තෙල් ආශ්‍රයෙන් නිපදවන ඉටි විශේෂයක් ඇපල් වෙත එකතු කරයි. එය නොමැතිව ඇපල් කල්තබා ගත හැකි කාලය අවම වෙයි.

ඇපල් ගැන කථාව අහවර කරමින් වඩා වැඳගත් කථාවක් ඔබට කියන්නට මේ හොඳම වේලාව යැයි මගේ අක්මාවට දැනෙයි. චෙරි,පීච්,ආමන්ඩ් වැනි රෝස පවුලට අයත් වෙනත් පළතුරු වල මෙන්ම ඇපල් ගෙඩියේද ඇට ආහාරයට නුසුදුසු වෙයි. ඇපල් ඇට තුල විෂ සහිත සයිනයිඩ්  විශේෂයක් කුඩා ප්‍රමාණයෙන් අන්තර්ගත බව නවතම පරීක්ෂණ මගින් සහතික කොට තිබේ. කුඩා දරුවන්ට ඇපල් ආහාරයට ලබා දෙන විට ඇට ඉවත් කර දෙන්නට හැම විටෙකම උත්සුක වන්න. මේ ඇට හපා ගිලීමෙන් ආහාර ජීරණ පද්ධතිය තුලදී එහි විෂ ශරීරයට එකතු වෙයි. එය විවිධ සංකූලතා ඇති කරන්නට සමත් වන්නට පුලුවන.



අපි නැවතත් ලංකාව දෙසට හැරෙමු. පිටකොටුවේ ඇපල් වෙළෙන්දන් රාශියකි. මොවුන් ඇපල් අළෙවි කරන අතර තුර ගණුදෙනුකරුගේ ඇස වසා හොඳ ඇපල් අතරට තැලී පොඩිවී ගිය ඇපල්ද, කල් ඉකුත්ව ගිය ඇපල්ද එකතු කරන බවට කලෙකට ඉහතදී රාවයක් පැතිරුණි. එය ඇතමෙකු විසින් පිටකොටුවේ ඇපල් මාෆියාව නම් හැඩකාර නමකින්ද හඳුන්වන ලදී.

හැඩකාර තරුණියක් මෙලෝ රහක් නැති තරුණයකු සමග ආලයෙන් වෙළුන විටකද....හොඳ ඇපල් කන්නෙම පණුවො යනුවෙන් පවසා පපු කැණැත්ත සැහැල්ලු කරගැනීමටද සිරි ලංකාවේ තරුණයා සමත් වෙති.




මම කාමරේ අරින සිරා කොලුවා.


ප.ලි


මේ ලිපිය සඳහා ප්‍රස්තූතය බවට පත්කරගෙන ඇත්තේ තත්වයෙන් උසස් ඔස්ට්‍රේලියන් ඇපල්ය. නමුත් ශ්‍රී ලංකා වෙළඳ පොලේ වැඩි වශයෙන් දකින්නට ඇත්තේ තත්වයෙන් බාල චීන ඇපල් බව මා අසා තිබේ. ඒවා භාවිතයෙන් මේ කියන ප්‍රතිලාභම අත්කරගත හැකිදැයි මම නොදනිමි.
Related Posts Plugin for WordPress, Blogger...