Wednesday, December 10, 2014

50 රබානකට පෙම්බැඳි සිරා කොලුවා

සිරා කොලුවාගේ බෑන්ඩ් ඉතිහාසයෙන් යමක් ලගදි දවසක මම බොලාට කියා නැත. ඇතමෙකු ඒ ගැන විමසා ඊයක් දෙකක් විදිති. බොලාගෙ බෑන්ඩ් කථා අහවරද ? උන් අසති. මෙසේ විමසන්නේ පාසල් යන සමයේ බෑන්ඩ් උණ තදින් වැළඳුනු එකෙකු හෝ එකියක බැව් මම දැන් අත්දැකීමෙන් දනිමි. සෑහෙන දොහකට පසු සිරා කොලුවාගේ බෑන්ඩ් ජීවිතයෙන් කථාවක් ඇදබාන්නේ එහෙයිනි.

සිරා කොලුවාගේ තූර්ය වාදක ඛණ්ඩ නඩයට අයත් අයිය බඩා, ජපන් චමී, ජෝති, ලොකු අයියා, වැනි චරිත සිරාගේ කාමරය තුලදී ඔබට වරින් වර හමුවී තිබේ. අදින් දශකයකටත් එහා අතීතයේදී අපි සියල්ලෝම එක පවුලක උන් මෙන් දුක සැප සමව වළඳා තූර්ය වාදක ඛණ්ඩයේ දියුණුවට ඇප කැප වූ අන්දම මම කීප විටක් ලියා ඇත්තෙමි. ඒ නිසා ඒ දේවල් නැවත නැවත ලිවීම අවැසි නොවේ.

අපේ පාසලේම කොල්ලන්ගේ හූ හඩ මැද සාටර් ජීවීන් පිරිසක් වී සිටි අප බෑන්ඩ් මාස්ටර්ගේ ආගමනයෙන් පසු අළුත් ගමනක් ඇරඹූ අන්දමද මම වේලාසනින් ලියා තිබේ. විද්‍යාලයේ ක්‍රීඩා පිටිය තුල බ්‍රහස්පතින්දා දිනයන්හි සන්ධ්‍යා යාමයේ කෙමෙන් කෙමෙන් නැගුන සංගීත නාද රටා වඩ වඩාත් විධිමත් වෙමින් කණ්ඩායමක් ලෙස ශක්තිමත් වෙද්දී අපේ කණ්ඩායමේ කීර්තිනාමයද පාසල් භූමියේ සීමාව සළකුණු කොට තිබූ තාප්පය පැන ඉන් එහා දුරකට ඉගිල ගියේය.

බෑන්ඩ් මාස්ටර්ගේ අනුපමය කැපකිරීම්  /මහන්සිය අාදියේ ප්‍රතිඵලයක් ලෙස මේ කියන දවස වන විට අප බටහිර තූර්ය වාදක ඛණ්ඩයක් ලෙස සීඝ්‍ර දියුණුවක් ලබා සිටියෙමු. ඒ නිසාම කෙමෙන් කෙමෙන් පාසලට පරිභාහිර තූර්ය වාදන අවශ්‍යතා වෙනුවෙන් විවිධ අය අප සොයා ඒමට පටන් ගෙන තිබුනි.

බොහෝ විට මෙවැනි ඉල්ලීම් අප විසින් ප්‍රතික්ෂේප කරන ලද අතර අප විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු මෙන්ම පැරණි ශිෂ්‍යභට සාමාජිකයෙකුද වූ ආනන්ද අයියා විසින් ගෙන ආ එවැනි ආරාධනාවක් අප විසින් අනුමත කලේ ඔහු අප විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ වැඩිමහල් සොයුරෙකු වූ නිසාමය.

සිරා කොලුවාගේ වාදන භාණ්ඩය වූයේ ට්‍රම්පට් නලාවයි. අතීතයේදී තැඹිලි වලු පිටින් හොරා කෑ ජෝතියා වාදනය කලේද මේ වාදන භාණ්ඩයමය. ත්‍යාග ප්‍රදානෝත්සවයන්හිදී ට්‍රම්පට් මගින් නගන කෙටි සංගීත නාදය Fan Fare ලෙස එකල අපි හැදින්වීමු. ආනන්ද අයියා අපිට සැට් කරන්නට යන්නේ Fan Fare ගහන්නට චෑන්ස් එකකි.

ඒ වෙද්දී හෙතෙම ස්වේච්ඡා ගුරුවරයෙකු ලෙස ගම්පහ නගරයට දුරින් පිහිටි එක්තරා මිශ්‍ර පාසලක සේවය කරමින් සිටියේය. මේ පාසලේ නිවාසාන්තර ක්‍රීඩා උළෙලේදී යම් වෙනස්කමක් කරන්නට පාසලෙන් ඔහුට ලැබුන යෝජනාව මත ඔහු දැන් අප හමුවන්නට පැමිණ සිටියි.

මල්ලි....මේක දුප්පත් ඉස්කෝලයක් බං...ඒකෙ උන් ට්‍රම්පට් එකක් ඇහැට දැකලා නෑ. උඹලා ඇවිල්ලා මේ වැඩේ කරලා දුන්නොත් ඒක ලොකු පිනක් එක පැත්තකින්....ඒ ළමයි සතුටුවෙනවනෙ බං...

ලස්සන කෑලි එහෙම නැද්ද අයියා.....වැඩකට බහින්නට හොඳ උත්තේජනයක් තිබිය යුතුය. අන්න ඒ උත්තේජනය සෙවීමේ අරමුණින් මම කට ඇරියෙමි.

ලස්සන කෑලි මොනවටද බොල...සම්පූර්ණ ඒවා පෙන්වන්නම් අාවම...ලස්සන කෙල්ලො ගොඩාක් ඉන්නවා ඉස්කෝලෙ....බෑන්ඩ් එකේ තමයි හුගදෙනෙක් ඉන්නෙ....උඹලා ආවම බලහල්ලකො මම කියන්නෙ බොරුද කියලා.

එහෙනං මල්ලිලා අහවල් දවසෙ අහවල් වෙලාව වෙද්දි..අහවල් තැනට බස් එකේ වරෙල්ලා...එතැන ඉඳන් මම ප්‍රවාහන පහසුකම් දෙන්නම්. ආනන්ද අයියා වැඩේ පංගරාර්තු කොට වාෂ්ප වී ගියේය.

Fan Fare රාජකාරිය සඳහා පිටත් වෙන්නට ඛණ්ඩයේ එවකට සැරයන් වරයා වූ ලොකු අයියා යෝජනා කලේ සිරා කොලුවා, ජෝතියා, සහ තරින්ද්‍ර නම් තවත් එකෙකි. අප තිදෙනාම එක් වී පුහුණුවීම් කොට එකිනෙකට වෙනස් සංගීත ඛණ්ඩ තුනක් පුරුදු පුහුණු වූයෙමු.

බෑන්ඩ් මාස්ටර් දැන් සිටින්නේ සතුටෙනි. තමන්ගේ ගෝලයන් තිදෙනෙක් පාසලට පරිබාහිර තැනක ශිල්ප දක්වන්නට හා හා පුරා යන ගමන පිළිබඳ එතුමා සිටින්නේ තෘප්තියෙනි. කොල්ලො වැඩේ දෙන්න ඕනෙ සුපිරියට...ඒ සතුට වචන වලට පෙරළෙයි.

නියමිත දිනය උදා වූ පසු...අපට එන්නට නියම කල වේලාව අනුව ට්‍රම්පට් නලා තුනක් ට්‍රම්පට් පෙට්ටි වල ඇසුරුම් කොටගෙන අප තිදෙනා පාසල ඉදිරිපසින් කිරිඳිවැල බසයකට ගොඩවෙන්නට තූර්ය වාදක කාමරයෙන් පිටත් වෙන විටත් අපේ සගයෝ පිටියේ පුහුණුවීම් වල නිරතව සිටියහ.

හොඳ කෑල්ලක් ගොඩ දාගනියව්...අයිය බඩා මෙන්ම ලොකු අයියාද අපට සුභ පතා සමුදුන්නෝය.

කිරිඳිවැල බස් රථය ගම් නියම් ගම්, වෙල් යාය පසුකරමින් ඉදිරියට ඇදෙයි. පාර අයිනට වෙන්න දකුණු අත පැත්තෙ තියෙනවා බෝධියක්...එතනම තමයි බස් හෝල්ට් එක.අන්න එතැනින් බහින්න...ආනන්ද අයියා පැවසූ අයුරින්ම බෝධිය සොයාගෙන අප බස් රථයෙන් බිමට බසින විට විද්‍යාලයේ වැඩිහිටි සිසුන් කීප දෙනෙකු සමග  අප පිළිගන්නට ඔහු එහි රැදී සිටියේය.

එතැන් සිට පාසල වෙත තවත් මාර්ගයකි. එහි සිටි ශිෂ්‍යයෝ තිදෙනෙක් ඔවුන්ගේ බයිසිකල් වල අප හිඳුවාගෙන පාසල බලා එක් පිම්මේ පාගන්නට විය. ට්‍රම්පට් පෙට්ටිය වැටෙන්නට නොදී අල්ලාගෙන අප තිදෙනා බයිසිකල් හරස් පොල්ලට පශ්චාත් භාගය තදකර ගෙන විනාඩි 10 ක පමණ දුරක් යන්නට ඇත.

පින්තූරය මෙතැනින්

පාසලට ලගා වන විට එහි පැවතියේ මගුල් සිරියකි. ප්‍රධාන ආරාධිතයා පිළිගැනීමට ඇති පදම් රෝස පවුඩර් උලා ගත් දැරිවියන්ගෙන් සමන්විත වූ තූර්ය වාදක කණ්ඩායමක් එතැන සැදී පැහැදී සිටියහ. ඉතාමත් උණුසුම් අන්දමින් අප තිදෙනා පිළිගත් ගුරු භවතුන් කීප දෙනෙකු අපට රැදී ඉන්නට ස්ථානයක් නියම කොට විසිර ගියහ.

ඉතා විසිතුරු හැට්ටයකින් හා චීත්තයකින් සැරසුනු මේ යුවතියන් බහුතරයක් සැබෑ ලෙසම ලස්සන උන්ය. උන්ගේ සුන්දරත්වය මගේ මෙන්ම අනිත් උන් දෙදෙනාගේද හෘදය වස්තු කම්පොනය කොරන්නට සමත් වූහ. යුවතියෝ  ආරාධිත අමුත්තා පිළිගෙන විද්‍යාලය තුලට කැඳවාගෙන විත් අප සමීපයට පැමිණියහ.

අපේ විද්‍යාලයේ කීර්තිනාමයත්, අප තිදෙනාද තූර්ය වාදක ඛණ්ඩයක සාමාජිකයන් වීමත් යන කාරණා හේතුවෙන් ඒ ඇත්තියෝ අප සමග දොඩමළු වන්නට අර අදින බව පෙනෙයි. යුවතියන් රැසක් අතර අතරමං වූ සිරා කොලුවා වන මම අවසානයේදී රබන් වැයූ සුන්දර එකියක් කෙරෙහි ආශක්ත වූයෙමි. ලව් තියා ඉලව් වත් නැති  අසරණයෙක් වූ ජෝතියාද තවත් එකියකට ලයින් වූයේය. තරින්ද්‍රයා ඒ වෙද්දිත් පෙම්බරයෙක් වී සිටි නිසා කිසිවෙකුට ලයින් දමන්නට ගියේ නැත...හොඳ දරුවෙක් මං චරිතය රඟ පෑවේය.

ඉතින් කොහොමද ?

හොඳයි අයියා....ඔයාලා අද එනවා කියලා ආනන්ද සර් කිව්වා...

ඉතිං අපි එනකං බලාන හිටියද ?

ඉඳා....අපිට වෙන වැඩක් නෑනෙ...කෙල්ලන්ගේ කිච් බිචිය අස්සේ ගුරු මණ්ඩලයේ කීප දෙනෙකු පැමිණ අප සංග්‍රහ කරන කලාපයට කැටුව ගියෝය.

එහෙත් සංග්‍රහ භූමියෙන් පලාවිත් රබානට මුවා වෙන්නටම මට සිතෙයි...

ජෝතියො ඕක ලෙව කකා ඉන්නෙ නැතුව ඉක්මනට යමං යකෝ....අර කෑල්ලක් කොහොම හරි සැට් කරගමු.

මගේ වචනයෙන් පුරුෂ දහිරිය ඉපදුන නිසාදෝ දුම් දමන තේ කෝප්පය එක හුස්මට බොක්කට හලා ගත් ජෝතියාද සංග්‍රහ කලාපයෙන් නික්මී මා සමග නැවතත් දැරිවියන් අභියසට පැමිණෙන්නට විය.

අප එහි යන විට තරින්ද්‍රයා මල් පාත්තියකට මැදිව සිටියේය...

කොයි අයියද ජෝතියා කියන්නෙ....එකියක් එළියට පනින්නට පොර කන හිනාව අතින් තදකරගෙන ඇසුවාය. අප සංග්‍රහය භුක්ති විද පැමිණෙන ටිකට ජෝතියාගේ භෞමික අඛණ්ඩතාව මොට වීම සැබවින්ම ඛේදජනකය.

ලැජ්ජාව නිසාම සෝ බරව සිටි ජෝතියා පසෙක සිටියත් සිරා කොලුවා වන මම රබානට ඇහැ දුන්නෙමි.

රබන් නංගියාද මගේ ඉඟි බිඟි තේරුම් ගත්  නිසාදෝ රබාන කරකවමින් විළියෙන් ඇඹරුනාය. මේ ආකාරයෙන් අපේ පිළිසදර හෝරාවක් දෙකක් පමණ තිබෙන්නට ඇත. අපේ මුහුණු වලින් පිටතට බේරෙන පෙම් පාට නිසාදෝ විද්‍යාලයේ ගුරු මව්වරුන් මේ කෙල්ලන් සහ අප දෙස විමසිල්ලෙන් බලා සිටින බව ඒ වන විටත් මගේ අක්මාවට දැනී තිබුනි.

ප්‍රේමයට කොහෙදෝ නැති බාධා.....යන කියමන සිහිපත් කරමින් ආනන්ද අයියා හදිසියේම එහි පැමිණ අපේ අාතොල් එක මොට කලේය.

මල්ලිලා වැඩේ හරි පළවෙනි සෙට් එකට තෑගි දෙන්න යන්නෙ...ඉස්කෝලෙ නම හිටින්නත් එක්ක දීහල්ලා වැඩේ තිතට...

Fan Fare ගැහිල්ලට කළුවා මාරපන ගියා වගේ යන්නේ නැත. තිදෙනාම එකම ආකාරයකින් පියවර තබමින් ගමනේ ගොස් එකටම නැවතී දකුණට හැරී නතර විය යුතුය. අපගේ වාදන භාණ්ඩයන් ඔසවන්නේ මෙන්ම පහත් කරන්නේද එකටමය.  මේ සදහා අණ දෙන්නේ මැද්දෙන් සිටි ජෝතියාය.

ගමන පිටත් වීමට ප්‍රථම අප පුහුණුවීම් කර තිබෙන සංගීත ඛණ්ඩ වලින් වාදනය කරන්නේ කුමන එකදැයි කථිකා කර ගතිමු. ඒ නිසා වැරදීමක් නැත. වැඩේ ලස්සනට ගලාගෙන යයි. ආනන්ද අයියා ත්‍යාග ප්‍රධානයක් සිදුවන විට අප කරා පැමිණ දැනුම් දෙයි..ඒ වනතෙක් රබන් වයන්නට අපට අවසර තිබේ.

මේ අයුරින් වාර 10 කට පමණ ආසන්නව අප විසින් වාදනය කළෙමු. තවත් එක් අවස්ථාවක් පමණක් ඉතිරිව තිබේ. ජෝතියා ලයින් කල දැරිවිය මේකාගේ සීදේවි මුහුණ දැක පසුබා ගිය නිසාදෝ ඒකා සන්තාපයෙනි. නමුත් මගේ රබාන එසේ නැත. ඇය මට ප්‍රාර්ථනාවේ එළි දල්වන්නීය.

වැඩක් නෑ බං....මුන් නලලට අරගෙන...නරියා මිදි තිත්තයි කිව්වා සේ ජෝතියාට ලව් කිරීම එපා වී ඇති සෙයකි.

මල්ලිලා...අන්තිම එක...මේකත් ගැහුවම උඹලා නිදහස්...ආනන්ද අයියා මොර දෙයි. පෙර පරිදිම ගමනේ ගොස් ජෝතියාගේ අණ අනුව වාදන භාණ්ඩ ඔසවාගෙන වාදනය අරඹන්නට අපි නැවතත් සූජානමෙනි. වාදනය අරඹන්නේද ජෝතියාගේ විධානය අනුවය.

මමත් තරින්ද්‍රයාත් ගිවිස ගත් සංගීත ඛණ්ඩය වයන විට ජෝතියා පෙම් මරගාතේ වෙන රෙද්දක් වාදනය කළේය. වැඩේ සාටර් බව ඒකාගේ පුංචි මොළයට වැටහෙන විට ජෝතියා වාදනය නවතා අප දෙදෙනාට අවස්ථාව දුන්නද ඒ වන විටත් සායම හේදී අවසන්ය.

ලොකු බෑන්ඩ් එකක ලොකු අයියලා ලෙස නංගිලාට පොරවල් වී සිටි  අප ක්ෂණිකව මහපොළවට ඇඳ වැටී තිබේ. බෑන්ඩ් කෙල්ලන් අපට නොපෙනෙන්නට කිචිබිචි ගෑවාට...අප සැලුනේ නැත.

මොන රෙද්දක්ද බොල තෝ ගැහුවෙ...

මම ජෝතියාව මරාගෙන කන්නට හදන විට ඒකා කිව්වේ එතැනට ගිය පසු අප යන්නට පෙර කල කථිකාව අමතකව ගිය බවකි.

රබන් නංගී රෝස පැහැ වත දරාගෙන මා දෙස බලා සිටින්නීය. ටවුමෙ ඉස්කෝලෙ අයියා කෙනෙකු සමග යාලු වෙන්නට ඇය කැමැත්තෙන් ඇතිවාට සැක නැත. එහෙත් මුරුංගා ගහට මන්නෙන් කෙටුවා සේ එක් වරම කැමැත්ත අහන්නට ක්‍රමයකුත් නැත. ඒ දිනවල ජංගම දුරබණු හෝ මූණුපොත තිබුනා නම් මේ කාරිය බොහෝ පහසු වන්නට ඉඩ තිබුනි. එසේ වූවා නම් අද වන විට සිරා කොලුවා සිව්දරු පියෙකු වන්නට ඉඩ තිබුනි.

දැන් ඉතින් සියල්ලෝ විසිර යන්නට සූජානමෙනි. නමුත් සිරා කොලුවාගේ හිත රබාන මැද තනිවී තිබේ. රබන් කෙල්ල ඈතට වී මා දෙස බලා සිටියි. මමද ඈ දෙස බලා සිටිමි. අපේ නෙත්යුග එකිනෙකා හා කථා කරයි.

ජෝතියා අර කෙල්ල මට කැමතියි වගේ බං....මොකද කරන්නෙ....මම ජෝතියාගෙන් ඇසීමි.

මොනවා කරන්නද....ගිහිං අහපං....ඒකා විනිශ්චය දුන්නේය.

එහෙත් ඒ දිනවල සිරා කොලුවාගේ පුරුෂ දහිරිය අද මෙන් වර්ධනය වී තිබුනේ නැති නිසා මම ඒ කාරිය කලේ නැත.

ක්‍රීඩා උළෙලේ සියලු කාර්යයන් නිමවී තවත් සංග්‍රහ වටයකට සහභාගි වී අපට එතැනින් සමුගන්නට කාලය පැමිණ තිබේ.

ලියුම් කවර වල බහා අපහට තුටු පඬුරක් පිළිගන්වන්නට ආනන්ද අයියා සූජානමෙනි.

මේක ගන්න මල්ලි...උඹලා මහන්සි උනානෙ...

පිස්සුද අයියා....අපිට සල්ලි එපා...අපි මේ වැඩේ කලේ ඔයා නිසා....

අපි තිදෙනා මුදල් නොගෙන ඉන්නට තීරණය කළෙමු. එහෙත් ආනන්ද අයියා මුදල් දෙන්නටම වෙර දරයි. කෙසේ හෝ අප තිදෙනා දිගින් දිගටම මුදල් නොගත් නිසා ඒ උත්සාහය අවසානයේ අත් හරින්නට ඔහුට සිදුවිය.

කෙමෙන් කෙමෙන් අඳුර උදාවන පැයේ පාසල් භූමියේ රැදෙන්නට තවත් අවසර නැත. එතෙක් කල් දෙනෙත් මායිමේ සිටි රබාන මටත් නොකියාම සමුගෙන ගොසිනි. සෑම හමුවීමකම වෙන් වීමක් තියෙනවා නේදැයි මම කල්පනා කළෙමි.

මල්ලිලා බොහොම ස්තූතියි....ස්තූතියි අයියා....ස්තූතියි පුතා....නොයෙක් දෙනා නොයෙක් ආකාරයෙන් අප තිදෙනාට ස්තූති කළෝය...අප මේ ගමන පැමිණෙන විට අප රැගෙන ආවේ  ට්‍රම්පට් පෙට්ටිය පමණි...එහෙත් ආපසු යන්නේ එයට අමතරව සොඳුරු මතකයක් හිත දරාගෙනය. රබන් කෙල්ලගේ රෝස පැහැති වත කමල චිත්ත රූපයකට නගමින් මම පා පැදියේ හරස් පොල්ලට බර දුනිමි. තවත් මොහොතකින් අපි බෝධිය අසල බස් නැවතුමට පිවිසියෙමු.

අප එදා පාසලට නැවත යන විටත් ලොකු අයියා සහ අයිය බඩා ඇතුළු කීප දෙනෙකු පාසලේ සිටියහ. තරින්ද්‍රයා සිදුවූ සියලු දේ නොවලහා කීවෙන් ලොකු අයියා කෝචොක් සිනහවක් නගයි.

තොපි තුන්දෙනාම වටවෙලා රබාන පලන්න හැදුවද යකෝ.....දුන්න සල්ලි නොගෙන....අපරාදෙ ගල් බෝතලයක් ගහන්න තිබුන චෑන්ස් එක..තොපි එනකං මෙතන මදුරුවො තැලුවටත් පාඩුයි. ලොකු අයියා විස්සෝප වද්දී මම නැවත වතාවක් රබාන සිහිපත් කළෙමි.



මම කාමරේ අරින සිරා කොලුවා.


50 comments:

  1. සිරා කොලුවාගේ කතා නම් සිරාම තමා.... ජය වේවා !

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඇනෝ මිත්‍රයා....ඔබටත් ජයම වේවා !

      Delete
  2. අර පින්තූරේ ඉන්නේ ලස්සණ කෑලිද? :O

    සිරාට සුබ උපන් දිනයක්!!!

    ReplyDelete
    Replies
    1. ඔයා තරම්මනම් නැතුව ඇති...
      ඒත් ඉතින් පස්සේ කාලෙක චැසි ඇද ඇරලා, බොඩිය ටින්කරින් කරලා, පොටි ටිකක් උලලා, පේන්ට් එක ගාණට කරලා එහෙම ආවම පොඩ්ඩිල අද ඉන්න මට්ටමටම එන්න බැරි වෙන එකකුත් නැහැ... :-p

      Delete
    2. හරියට හරි , ලොකු පුතා නිසාන් ජීප් එක ගොඩ දැම්ම වගේ. :D

      Delete
    3. මම චීත්ත රෙදි ඇඳගෙන ඉන්න තූර්ය වාදක කණ්ඩායමක ඡායාරූයක් ජාලය අනිත් පැත්ත පෙරළලා හෙව්වා....ලැබුනෙ නෑ...ඒ නිසා තමයි මේ පින්තූරය දැම්මෙ..මගේ කථාව ගම්බද පාසලක වෙච්ච එකක් නිසා මේ දරුවො එයට ගැලපෙයි කියලා හිතුනා...

      ලොකුපුතා කියනවා වගේ මේ වයසෙදි දෙමාපියන්ගෙන් යැපෙන කෙල්ලන්ට පැෂන් කරන්න සල්ලි නෑ...තමන්ගෙම කීයලා කීයක් හරි හොයන කාලෙට තමයි කෙල්ලො විලාසිතා කරලා ලස්සන වෙලා එන්නෙ...මොකද කියන්නෙ කම්මල අයියා...

      Delete
    4. කම්මල,
      උඹට ඒකත් මතකයි එහෙනම්... හෙහ්..හෙහ්...

      සිරා,
      උඹ මාව හරියට තේරුම් ගත්තේ නැහැ සිරෝ....

      Delete
    5. @ සිරා, සමහර කෑලි ,ජැක් කරල උස්සන්න ඕනෙ. ලොකු පුතා දස්සය ඒකට .
      @ ලොකූ , මම ඒ වාහනේට ආසාවෙන් හිටියෙ.

      Delete
    6. උඹව මම තේරුම්ගත්තා ලොකු පුතා...මට හිතෙන හැමදේම කියන්න බෑ නොවැ මෙතන...හැක් හැක්...

      Delete
  3. සුබ උපන්දිනයක් සිරෝ.......
    උබ මේ පරණ රබන් කතා ලියලා අලුත් උඩෑක්කියක්වත් සෙට් කරගන්න බැරුව යයි ඊළඟට........... ඕන් පස්සේ අපි නොකීවයි කියන්න එපා සිරෝ.........
    ආ දැන්නේ මතක් උනේ අර ඔපීසියේ එක මේසෙම බෙදාගෙන වැඩ කරන මැලේ ළමයට සිංහල කියවන්න බැනේ මේවා දැන ගන්න.......... ඒකතමයි සිරා මේවා බය නැතුව මෙතැන ලියන්න

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මැලේ මාමෙ....

      බොලා මේ ඔපීසියේ කථා මෙතන ඇඳ බාලා යන්තමින් සැට් වෙගෙන එන ලව් එකත් නැති කරලා දාන්නද හදන්නෙ දෙයියො....මට වාවන්නෙ නෑ ඒක නැති උනොත්....මම කේල් හන්දියට ඇවිත් උපවාස කරනවා බොට විරුද්ධව එහෙම උනොත්.

      ඔපීසියෙ මැලේ නංගියෙක් තමයි මගේ උපන් දින කේක් එක හැදුවෙ...

      Delete
  4. සින්දුවෝ..පත්තරයෝ කම්මලේ නිමෝ ඉන්න එවුන් ඔක්කෝම දුවලා වරෝ..බලපන් ඒ කාලේත් බ්‍රෑන්ඩ් එක ගල්..
    උඔගේ අද සුභ උපන් දිනයද?
    මමත් එක සැරයක් පොඩි ඉස්කෝලේක පැලුටුන් එකක් ට්‍රෙන් කරන්න ගියා..කෑල්ලක් ගොඩ දාගෙනමයි ආවේ..

    ReplyDelete
    Replies
    1. මේන් අවා මෙන්ඩෝ ....
      අප්පේ ඒ කාලේ නම් කලවම් නැතිව ඇති නේද බන් ...
      ස්තුතියි
      බ්‍රෑන්ඩ් එක නම් ගල්
      (මෙන්ඩෝ අපේ ප්‍රියා මොකද බන් නැත්තේ ..ඉවානයත් නැ , සොමියත් නැ ,සහෝදරත් නැ )

      Delete
    2. අමතක උනා. උඹට සුභ උපන් දිනයක් වේවා ...
      බ්‍රෑන්ඩ් එක අමතක වෙයි හොදේ ..

      මල් මල් පිපිලා පරිසරය පුරා
      නව සුවඳක් විහිදෙනවා
      මල්ලිලා නංගිලා අයියල අක්කල
      තුටු සිතකින් පසු වෙනවා...
      එන්න එන්න දැන් සුභ පතන්න
      අප සැමදෙන එකතු වෙලා...
      සුභ උපන්දිනක් වේවා!
      ජිවිතයම සරු වේවා!
      දෙවියන් ඔබ රැක දේවා!
      සුභ උපන් දිනක් සුභ උපන් දිනක් වේවා!
      මිනි කැට වාගේ තරු වැල් අහසේ
      සඳ එළියෙන් පරදිනවා...
      මිතුරන් අතරේ නෑයන් අතරේ ඔබ
      අපට සඳක් වෙනවා...
      ඔබ සිතන පතන රන් යුගය
      ඔබට අද අදම ලඟා වේවා!
      දුක විපත නොවී
      සැප සතුට යසස ඔබ වෙතට උදා වේවා!

      ගායනය - ජිප්සීස්

      Delete
    3. ගල් ගහල , මුන් සුතියෙන් පිට ට්‍රම්පට් ගහද්දි , කසගහ වත්ත කනත්තෙ මිනී නැගිටල , කල්‍යාණි පාරදිගේ ආපහු මෝචරියට දුවන්න ඇති. :D

      Delete
    4. හැම එකාම බීමට අත්පොත් තැබුවෙ සීදූවෙ ස්කාගාරයට පින් සිද්ධ වෙන්න තමයි ගොයියො....අපි ඉතිං ඔය කියන කාලෙ බොහොම අමාරුවෙන් තමයි ගල් බෝතලයක් උනත් සම්මාදම් කරලා ගත්තෙ.

      ඒ කාලෙ අපි ගොඩාක් වෙලාවට ෂැන්ඩි කලේ බයිසන් බියර් එක....ඒකෙනුත් තව ටිකක් වද්දගන්න තමයි කට්ටියට උවමනා උනේ...අද වගේ ඩීසන් විදියට බොන්න අපිට කෝ වත.

      ඔය කම්මල අයියත් සමහර විට අපි ඒ කාලෙ මධ්‍යම රාත්‍රියට පුහුණුවීම් කරපු කාලෙ ඒ හඬ අහපු කෙනෙක් වෙන්ටැ...

      Delete
  5. ට්‍රම්පට් නම් ගැහුවේ නෑ.. හැබැයි මේ වගේ රබන් නම් ගහල තියෙනවා පලු යන්න.. එවන් සිරා මතකයන් අලුත් කල සිරා කොළුවට ජය ශ්‍රී!

    ReplyDelete
    Replies
    1. කල්‍යාණ මිත්‍ර බොලා රබන් රත් කරලද ගැහුවෙ.....බොටත් ජය ශ්‍රී...

      Delete
  6. සිරාටත් නියම මතකයන් නෙහ් තියෙන්නේ.. මම නං උපන්තේකට බෑන්ඩ් ගහලා නෑ. ඒ උනත් ඔය ඩ්‍රම් එකක් මෙලෝඩිකාවක් වගේ දෙයක් හම්බ උනොත් අරාරින්නෙත් නෑ.

    ReplyDelete
    Replies
    1. සංගීතයට කවුද බං අාස නැත්තෙ...ඉස්සර අපේ තාත්ත් බැරි බැරි ගාතෙ කී බෝඩ් එකක් ගැහුවා...අපේ ගෙදර...කොච්චර හොඳ ටෝන් එකක් දාලා දුන්නත් අන්තිමට නතර වෙන්නෙ කසඩ ටෝන් එකක තමයි....මට තවමත් මතක් කරන්න අමාරු නෑ තාත්තා කී බෝඩ් ගහපු ලස්සන.

      Delete
  7. ජෝතිය හින්ද තව පොඩ්ඩෙං රබාන පලාගන්න වෙන්නෙ.
    කොහොම උනත් රසවත් අත්දැකීමක්.

    මොකක්ද මේ උපන්දින කතාව. මොක උනත් සුබ උපන්දිනයක් වේවා !

    ReplyDelete
    Replies
    1. ජෝතියා නිසා මට ඔයිට වඩා වැඩ වෙලා තියෙනවා...ඒ කථා ඉදිරියට ලියන්න හිතුනොත් ලියන්නම්... අද උපන්දිනය ලොකු මාමෙ...සිරා කොලුවා වයසට ගිහින් දැන් හරිම වේගෙන්...

      Delete
  8. සල්ලි වගේද රබාන පලාගත්තනං නෙහ්?

    ReplyDelete
    Replies
    1. රබන් පැලෙන නිසා තමයි රත්කරලා ගහන්න කියන්නෙ...

      Delete
  9. බෑන්ඩ් එපා වෙලා සිරෝ ...පරණ මතකයන් ගොඩයි බන්ස් .

    රබානෙ ඉපදී රබානෙ නාලා
    රබානෙ බත් බෙදලා කාපූ
    රබාන අප්පුගෙ විදාන පතිරණ
    පරම්පරාවෙන් පැන ආපූ
    කියුම් කෙරුම් නෑ අල්ලෙ ඇඟිල්ලේ
    විළුඹේ රබාන කරකෝපූ
    අහන්න බලන්න නංගියෙ මල්ලියෙ
    අපේ නැටුම් ලොව නටවාපූ...

    පළමු බුදුන්ට යි දෙවනුව දෙවිවරු
    තෙවනුව මවුපිය සිහි කරලා
    කියන්ට අවසර අයියේ අක්කේ
    කතාවකුත් රස පද බැඳලා
    සුරල් ගහල්ලා ඇඟිලි නටෝලා
    රජ කාලේ වැඩ හැඩ දමලා
    දැම්මට කම් නැහැ අපි තරහක් නැහැ
    ඇතොත් කාසියක් විසිකරලා...

    මටොළු හනසු පොල් කෙඳි කුඩු කෑලී
    ටික ටික ගෙනැවිත් කටින් යසේ
    ලේන් ජෝඩුවක් හැදුව කූඩුවක්
    මුහුදට ඇළවුණ ගසක උසේ
    වැඩිය නොවේ පොඩි පවුලක් ඒක ත්
    පැටියෙක් ඉපදුනි හරිම විසේ
    ටික ටික ලොකු විය ඒ පොඩි පැටියා
    කතාවෙ මුල නොව අග යි රසේ...

    අම්ම තාත්තා පැටිය ට කීවා
    ගෙදරින් පිට නොයණූ කියලා
    කිව්ව නහන ගුරු ඔහේ ගියාදෙන්
    පැටියා යයි අතු උඩ පැනලා
    මහ ජෝඩුව විත් කෑම හොයාගෙන
    පැටියා කෝ බැලුවා සොයලා
    අනේ දෙයියනේ මහ විපතක් නොවැ
    ඒකා මහ මුහුදට වැටිලා...

    හිතුවා මුහුදේ වතුර හිඳින්න ට
    පැටියා බේරාගනු සිතලා
    ලේන් ජෝඩුව ම වලිගෙන් දිය ඇද
    බිංදුව බිංදුව ගොඩ ඉසලා
    විලාප දෙන හඬ දරුදුක් ගිනි වැද
    දෙව්ලොව සක් දෙවිඳු ට ඇසිලා
    පැටියා ආපසු අරගෙන දුන්න ලු
    අනේ මන්ද ඇත්ත ද කියලා...

    කොහේ උපන්නත් කාගේ වූවත්
    ලෝකෙ ම අපෙ පොඩි දරුවන්නේ
    කිරට අඬන හඬ ඇහුණම
    දෙවියන්ගේ වුව හදවත උණු වන්නේ
    කතාව එහෙමයි හමාර වන්නේ
    අසාපු පින් ඇති මහතුන්නේ
    ඔහෙලගෙ පිහිටයි දැන් ඉස්සර වගෙ
    සක්‍රයාට නැහැ උණු වන්නේ...


    ගී පද : ප්‍රේමකීර්ති ද අල්විස්
    සංගීතය : එච්. එම්. ජයවර්ධන
    ගායනය : ලලිත් කුමාර ඩවුන්දසේකර

    ReplyDelete
    Replies
    1. මොකක්ද බං මේ සින්දුව කිලෝමීටර් ගානක් දිගයිනෙ...ගායකයගෙ වාසගම වැරදිලාද..නැත්තං හැටිද ?

      Delete
    2. මෙන්න සිරා ඒ ගායකයාගේ සින්දු ටිකක් ..නම හරි .මේ සින්දුව සුනිල් ආරියරත්නගේ මුහුඳු ලිහිණි (1983) film එකේ .
      http://www.infolanka.com/miyuru_gee/

      Delete
    3. ස්තූතියි සින්දු ඇනෝ...ඔබේ නිහතමානී සහයෝගයට..

      Delete
  10. අපරාදෙ දැං වෙනිං එකෙක් රබාන තලනව ඈති.:P
    සුභ උපන්දිනයක් සහෝදරයා!!!!

    ReplyDelete
    Replies
    1. අපොයි මොනවට කියනවද ඒ ටික...දැන් රබානට දරුවොත් ඇති....ස්තූතියි මිත්‍රයා...

      Delete
  11. ජෝතියානම් මහ අපතයෙක්...
    ඔහොම පදිරි වෙනවද අෆ්ෆා කෙල්ලෙක් මෙව්ව උනේ නැහැ කියලා...

    ReplyDelete
    Replies
    1. උඹට සුභ උපන් දිනයක් වේවා...
      (හැමෝම කියන හින්ද නිකං ඉන්න එක හරි නැහැනේ)

      Delete
    2. ජෝතියා කියන්නෙ හරිම අමුතු පොරක්...මිනිහා නිකං ඉන්න වෙලාවට හරිම සීරියස්...හිනා වෙන්නෙ වත් නෑ...ෂොට් එකක් දෙකක් ලග නමාගත්තට පස්සෙ තමයි මිනිහා සැහැල්ලු වෙන්නෙ...ඒ වෙලාවට නම් ජෝතියා තරම් ආතල් දෙන්නෙ නෑ කවුරුවත්...

      අපේ ජෝතියා අද වරලත් ගණකාධිකාරීවරයෙක් විදියට විදේශයක සේවය කරන්නෙ.

      Delete
  12. හැබෑට ඉතින් ලස්ස්සන කෙසේ වෙතන් නමට හරි කෑල්ලක් නැත්තම් ඔය පොදු වැඩ කරන්නේ මොකාද මන් අහන්නේ ,

    ReplyDelete
    Replies
    1. අන්න ඉවාන් කොලුවට සිද්ධිය මීටර් උනා...අතින් කාලා හරක් බලන එකේ....සූටියට හරි සොමියක් තියනේන එපායැ...නැද්ද මං අහන්නෙ...අපි ඉතින් පරම පිවිතුරු මෙව්වා එකෙන් තමයි ඒ වැඩේට එදා ගියේ....ඒ උනාට සියලු පැතුම් ගඟට කැපූ ඉනි වගේ උනා අයියෝ....දැනෙන වේදනා...

      Delete
  13. සුභ උපන් දිනයක් සිරා !!!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ලොකු අයියෙ...

      Delete
  14. හැපි බර්ත්ඩේ එකක් වේවා සිරා අයියේ....!

    මදැයි! ඊට පස්සෙ රබාන දැක්කෙවත් නැද්ද?

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නගෝ......මේ කියන පාසල නගරයෙන් ඉතාම ඈතක පිහිටා තියෙන එකක්...අපි ඉතිං ඔය බෝතලයක් අරගෙන නගරයෙන් පිට තැනක් හොය හොයා ගිය කීප වතාවක මෙතැනින් ගියාට අර කියපු රබාන නම් කවදාවත් දැක්කෙ නෑ...දැක්කත් මූණ මතක නෑ.

      Delete
  15. සුභ උපන් දිනයක් වේවා අයියේ... මම අහන්න ගිය දේ බස්සි අහල.. අපරාදේ සිව් දරු පියෙක් වෙන්න තිබුන චෑන්ස් එක නේද?

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නගෝ...රබාන එදා මට කැමැත්ත දුන්නා නම් සමහර විට එයාට අද වීර මාතා සම්මානයක් පවා දිනාගන්න ඉඩ තිබුනා...

      Delete
  16. සුභ උපන්දිනයක් වේවා මචං..ලිපිය නම් පස්සෙ තමා කියවන්න වෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ප්‍රාර්ථනාවට ස්තූතියි වීයො...මගේ අමනාපයක් නෑ බං කොයි වෙලේ කියෙව්වත්...රෑ වෙද්දි බොලා ලග නමන බව මම දන්නවා...හැක් හැක්...

      Delete
  17. ඊට පස්සේ උඹ රබන් ගහන්න එහෙම ගියේ නැතෙයි අනික් ඉස්කෝල වල? එක සැරයක් අපිත් ඔය වගේම මරාලයක් අනුභව කළා මොකද්ද තිබිච්ච ජාතික උත්සවේක බෑන්ඩ් ගහන්න ගිහිං

    ReplyDelete
    Replies
    1. ඊට පස්සෙ ගියෙම නෑ රබන් කේස් වලට නම්...ආයෙ ඉතිං ගියෙ මළ බෑන්ඩ් ගැහිල්ලකට...ඒ ගැන කථාව මම ලිව්වා නොවැ...උඹ කැඩෙට් කරපු එකා නේද...බෑන්ඩ් ගහන්න ගියා කිව්වෙ...

      Delete
  18. සුබ උපන්දිනයක් සිරා අයියේ .... විෂ් කරන්න එන්න නම් ටිකක් පරක්කු වුනා...

    තව පොඩ්ඩෙන් ජෝතියා නිසා කරපු ඒවා ඔක්කෝම වතුරේ යනවා නේද.. හි..හි..
    රබන් නංගිත් එක්ක අන්තිම වෙලේ හරි වචනයක් වත් කතා කරලා එන්න වුනා නම් තමයි හොඳ නේද ..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නගෝ....පරක්කුවක් නෑ....

      රබන් නංගි එක්ක අඩුම තරමේ දුරකථන අංකයක් හරි හුවමාරු කරගන්න ලැබුනා නම් සමහර විට කථාව මීට වෙනස් වෙන්න ඉඩ තිබුනා...

      Delete
  19. සිරා මල්ලි උඹලගේ පරණ බෑන්ඩ් රූම් එකට ඉස්සරහ රූම් එකේ හිටපු මාව මතක නැද්ද බන් උඹට? බලහන් පොඩ්ඩක් මාවත් මතකද කියලා?

    ReplyDelete
  20. සිරා මල්ලි උඹලගේ පරණ බෑන්ඩ් රූම් එකට ඉස්සරහ රූම් එකේ හිටපු මාව මතක නැද්ද බන් උඹට? බලහන් පොඩ්ඩක් මාවත් මතකද කියලා?

    ReplyDelete

සිරාගෙ කාමරයට පැමිණියාට ස්තූතියි...

නැවත දිනයක ආයෙත් එන්න..... ඔබට ජය !

Related Posts Plugin for WordPress, Blogger...