Showing posts with label අරුණළු සමාජ සත්කාර. Show all posts
Showing posts with label අරුණළු සමාජ සත්කාර. Show all posts

Sunday, March 31, 2019

28 සුදු මල්ලී  සමග මාවරැල්ලේ ගියෙමි

කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල නම් ඉසව්ව පිළිබඳ කාමරයට යන එන බොහෝ දනා දැන සිටියත් මාවරැල්ල පිළිබඳ අසා ඇත්තෝ අඩු බව මම දනිමි. මාවරැල්ල මෙතෙක් කල් කරළියට නොපැමිණ ඇති වටපිටාවක එය පුදුමයට කාරණයක් නොවන්නේය. සිරා කොලුවාද මාවරැල්ල පිළිබඳ අසා තවමත් වැඩි කාලයක් ගත වී නොමැත. මාවරැල්ලද  මාවනැල්ල මෙන් කෑගල්ල දිස්ත්‍රික්කය තුලම පිහිටා තිබේ.

සිරාගේ අතීත පුස්තකාල කථාවක කලබල යන නමින් සටහන් වූ, මාගේ අතීත පාසල් මිත්‍ර‍යා හෙවත් වර්තමාන යුධ හමුදා වෛද්‍ය මිත්‍ර‍යා, සිරා කොලුවා ඇතුලු මිත්‍ර සම්පත්තිය අරුණළු යන නමින් ආර්ථිකමය වශයෙන් අඩපණව තිබෙනා දුර ඈත පාසල් අරභයා සිදු කරන්නා වූ සමාජ සත්කාරයන් කෙරෙහි ආරම්භයේ සිටම උදව් උපකාර කල කෙනෙකි. හෙතෙම ඇතැම් විටෙක අදහස් දෙයි. ඇතැම් විටෙක වෛද්‍යවරයෙකු ලෙස තම සේවය ලබා දෙයි. ඒ නිසාම අරුණළු සෙවන යට ඔහු අතිශයින් වැදගත් චරිතයකි.

ගිය වසරේ දවසක හෙතෙම මවෙත සැලකලේ තම අනාගත භාර්යාව ලෙස තෝරාපත්කරගෙන ඇති යුවතිය ඉංග්‍රීසි ගුරුවරියක බවත්, ඇය සේවය කරන ගම්බද පාසලේ බොහෝ අඩුපාඩු ඇති බවත්, මීළග අරුණළු වැඩසටහනෙන් හැකි නම් මෙම පාසල වෙත යම් සහයෝගයක් ලබාදෙන ලෙසයි.

ඒ අනුව කරුණු සොයා බලා අප සියල්ලෝම මාවරැල්ල කණිෂ්ඨ විද්‍යාලයේදී අරුණළු සමාජ සත්කාරයක් පැවැත්වීමට තීරණය කලේ එහි අධ්‍යාපනය ලබන්නේ ආර්ථිකමය වශයෙන් බැටකන අහිංසක දෙමාපියන්ගේ දූ දරුවන් බැවිනි. කාලයක් වැසී ගිය පාසලක්ව තිබූ මෙය 2014 වසරේදී නැවත ජීවය ලබා  පවත්වාගෙන යාමද අප සැම පැසසිය යුතු කාරණයක් නිසාම ඒ ගමන් මගට අපේ දායකත්වය ලබාදීම වඩා වැදගත් වනු ඇතැයි යන්න අපගේ පොදු හැගීම වූවේය.

මෙම විද්‍යාලයේ 1 සිට 5 වසර දක්වා අධ්‍යාපනය ලබන දරු පිරිස ගණනින් 30 කට මඳක් වැඩි වූයෙන් ඔවුනට උපකාර කරන්නට මෙවර අපට විශාල මුදලක් අවැසි වූයේ නැත. ඒ නිසාම මිතුරන් කීප දෙනෙකුට පමණක් මෙවර සත්කාරය පිණිස දායක දායක වන ලෙස අපි ආරාධනා කළෙමු.

අරුණළු සමාජ සත්කාරයන් සමග නිබඳව කටයුතු කරන මෙල්බර්න් නුවර මධුසංඛ පියුමි යුවල,  සිරා කොලුවා සමග අතීතයේ දවසක බෑන්ඩ් කෙරුවාවේ යෙදුන  සිංගප්පූරුවේ ජනක අබේරත්න , සිරා කොලුවාගේ පන්ති සගයන් වන සිංගප්පූරුවේ චාමර, කොරියාවේ මධුරංග, සිරාගේ කාමරය හරහා සිරා කොලුවාගේ අතිජාතයෙකු වූ කැලිෆෝනියාවේ සමීර මෙවර වැඩසටහනේ වැඩිබරක් කරට ගත්තේ දේශීයව ඊට දායක වූ ව්‍යාපාරිකයන් දෙපළක් වන ජයන්ත අයියා සහ දසනායක අයියාට අමතරවය.  සිරා කොලුවාගේ අතිජාතයෙකු වන උදිත කොලුවා මෙවර පැමිණියේ සිය බිරිඳ ශ්‍යාමාද කැටුවය. මේ ඇගේ මෙන්ම සිරා කොලුවාගේ බිරිඳගේද  පළවෙනි අරුණළු සහභාගිත්වයයි.

කලබල පෙම්වතිය අපට පාසලට අවැසි දෑ මොනවාද යන්න විදුහල්පතිනිය සමග සාකච්ඡා කර වරින් වර පැවසුවාය.

ඇත්තටම අයියෙ අපේ පාසලට ගුරු පුටු තියෙන්නෙ තුනයි. පිටස්තර කෙනෙක් විදුහල්පති තුමිය මුණගැහෙන්න ආවම පන්තිකාමරයකින් පුටුවක් ගෙනිහින් තියන්න ඕනෙ. ඒ වගේම පාසලට ශබ්ද විකාශන උපකරණයක් නෑ. මේ පුංචි දරුවන්ට අපිට පුලුවන් විදියට අනිත් පාසල් වල දරුවො ලබන අත්දැකීම් ලබාදෙන්න අපි මහන්සි වෙනවා. මම මේ ඉස්කෝලෙට ආවට පස්සෙ අපි ගිය අවුරුද්දෙ ඉදන් ඉංග්‍රීසි දිනයක් පටන් ගත්තා. එදාට අපේ දරුවො ඉංග්‍රීසියෙන් විවිධ වැඩසටහන් ඉදිරිපත් කරනවා. ඉස්කෝලෙ දෙමාපියො වගේම අපිත් හතර අතේ ඇවිදලා තමයි ශබ්ද විකාශන පද්ධතියක් හොයාගෙන එන්නෙ. මේ දරුවො මයික් එකකින් කථා කරලම නෑ. ඒ නිසා ඒ අත්දැකීම දෙන්න අපිට ලොකු උවමනාවක් තිබුනා. ලබන අවුරුද්දෙ වැඩසටහන වෙද්දි පාසලට වරින් වර පරිත්‍යාගයන් කරපු කීප දෙනෙක් එක්ක කථා කරලා පාසලේම තියාගන්න පුලුවන් ශබ්ද විකාශන උපකරණයක් අරන් දෙන්නං කියලා විදුහල්පතිතුමිය මට පොරොන්දු උනා.

කලබල පෙම්වතිය දොඩමළුයි. ඇය මේ හෙළිකරන්නේ අපේ රටේ බොහෝ ග්‍රාමීය පාසල් වල පවතින අඩුපාඩු පිළිබඳ යථාර්තවාදී මුහුණුවරයි.

ගිය අවුරුද්දෙ ඉංග්‍රීසි දිනය දවසෙ මම  ඉංග්‍රීසි ටීටර්ට  පොරොන්දු උනා තමයි. ඒත් මට තවම ඒ පොරොන්දුව ඉටු කරගන්න ලැබුනෙ නෑ. පාසලේ ඉන්න දරුවො ගාන කීයද කියලා අහලා, ඉන්නෙ තිහකට ටිකක් වැඩියෙන් කිව්වම හැමදෙනාම කිව්වෙ මේ පොඩි පිරිසකට මොන ස්පීකර්ද මොන මයික්ද කියලා...ඒත් ඒ අයට තේරුම් ගන්න බෑ මයික් එකකින් සභාවක භය නැතුව කථා කරන්න පුලුවන් දරුවෙක් අපිට හදාගන්නයි මේ සම්පත් ඉල්ලන්නෙ කියලා...සිරා කොලුවා සමග විදුහල්පතිනිය අරුණළු වැඩසටහන සැලසුම් කරමින් කථා කරපු දවසක එහෙම කිව්වා. මේ සියලුම ගුරුදෙමාපියන් තමන්ගෙ දරුවො වගේම මේ අහිංසක දුවාදරුවන් ඇති දැඩි කරන්න නුවණින් පෝෂණය කරන්න දරනා මහන්සිය අපගේ සිත් ගත්තා. අපි කොහොම හරි මේ වැඩේ කරමු. මිත්‍ර‍යන් පිළිබඳ විශ්වාසයෙන් මම මගේ සහතිකය ලබා දුන්නා.

මහත්තුරු අපෙන් මොනවද ඕනෙ කියලා ඇහුවාම අපිට තියෙන අඩුපාඩු සියල්ලම කියන්න හිතෙන්නෙ නෑ. අපි දන්නවා හැමදෙනාම බොහොම අමාරුවෙන් තමයි මේවා අපට ලබාදෙන්නෙ කියලා. මමත්, අපේ ගුරු මණ්ඩලයත් හැකි හැම වෙලාවෙම මුදලින් අපේ දරුවන්ට උදව් කරලා තියෙනවා. අපිට ඉන්න දරුවො ප්‍ර‍මාණය සීමිත නිසා ගොඩාක් දෙනා උදව් කරන්න පෙළඹෙන්නෙ නෑ.

මේ දරුවන්ගෙ දෙමාපියන් අති මහත් බහුතරය උගත් අය නෙමෙයි. රබර් කිරි කැපීම, එහෙමත් නැත්තං කුලී වැඩක් කරලා තමයි ඒ ඇත්තො මේ දරුවො පෝෂණය කරන්නෙ. විශේෂයෙන්ම පිරිමි පාර්ශවය දැඩි ලෙස බීමට ඇබ්බැහිවෙලා තියෙන නිසාම මේ පවුල් වල ආර්ථික ගැටලු බොහොමයි. විදුහල්පතිනිය පාසල වගේම පාසල අවට සමාජය ගැනත් නිර්ලෝභීව අපව දැනුවත් කලා. 

මිත්‍ර‍ සම්පත්තියේ පිහිටෙන් නවීනතම ශබ්ද විකාශන උපකරණයක් වගේම එෆ් එම් මයික්‍ර‍ෆෝන දෙකක්, ප්‍රින්ටරයක්, ගුරු පුටු තුනක්, පුස්තකාලය සඳහා කියවීම් පොත්, හැම දරුවෙකුටම අලුත්ම පාසල් බෑගයක් සමග බෑගය පිරෙන්න පොත්, පෑන්, පැන්සල්, මකන කෑලි, පැන්සල් කටර්, වැනි දේවල් වගේම ශිෂ්‍යත්ව පන්තියේ ඉගෙන ගන්න අයට ශිෂ්‍යත්ව වැඩපොත් ආදිය ලබාදෙන්නත්, ඔවුන් ඊලග වසරෙ මේ පුංචි පාසලේ අධ්‍යාපනය හමාර කරලා වෙනත් පාසලක 6 වසරට ඇතුලත් විය යුතු නිසා අලුත් සපත්තු ගන්න වවුචර්, ආදියට අමතරව දරුවන්ට දෙමාපියන්ට ගම්වාසීන්ට හැමෝටම සහභාගි වීමට හැකි නොමිලේ බෙහෙත් සමග වෛද්‍ය සායනයක්  පවත්වන්නටත් අපට ලැබුන අරමුදල් ප්‍ර‍මාණවත් උනා. අප එහි යන්නට පෙර දවසෙ මගේ පන්ති සගයෙක් වන බේකරියෙ සාගර පොඩි උන්ගෙ පොඩි බඩගින්න පුරවන්න බනිස් පෙට්ටියක් දෙන්න පොරොන්දු උනා. බනිස් කාලා බොන්න මයිලෝ අරගෙන දුන්නෙ නිරෝන් අයියා.

මට එදාට රාජකාරි බොහොමයි...උඹලා එක්ක එන්න විදියක් නෑ. අනේ ඒ පොඩි උන්ට බනිස් කාලා බොන්න මගෙ ගානෙ මයිලෝ අරගෙන දෙන්නං...උඹලා ඒවා බෙදලා උන් ඒවා බිව්ව විදිය බලලා මටත් සතුටු වෙන්න පින්තූරයක් දෙකක් පෙන්නහං...ඒ හොදටම ඇති මල්ලි....නිරෝන් අයියා එහෙම කිව්වා.

අරුණළු වැඩ වලට කවදත් හොඳම තත්වයේ ලස්සන ලස්සන බෑග් මහලා, ඒවා සකසන්න ගිය මුදල පමණක් අයකරගෙන අපට ලබා දෙන්නෙ බෙන්තොට ඉන්න හර්ෂණී අක්කා. ඔයාලා කරන වැඩේ මම ඉතාමත්ම ඉහළින් අගය කරනවා මල්ලි...ඒවා තමයි අපි මේ සමාජයට කරන්න ඕනෙ යුතුකම්...මමත් පාරෙ ඉරිච්ච බෑග් එකක් එල්ලගෙන යන දරුවෙක් දැක්කොත් කථා කරලා නොමිලේම බෑග් දෙනවා. ඒක මට ලොකු සතුටක්...අලුත් බෑග් එකක් ලැබුනම ඒ පොඩි හිත්වලට ගොඩාක් සතුටුයි කියලා මම දන්නවා...ඒ නිසා මම ගිය අවුරුද්දෙ ඔයාලගෙන් ඉල්ලුවා වගේ මේ අවුරුද්දෙත් ඉල්ලන්නෙ මම හදපු බෑග් එල්ලගෙන සතුටෙන් ඉන්න පොඩි උන් දකින්න පින්තූරයක් දෙකක් මට එවන්න කියලා විතරයි.


වෙළඳපලේ අභ්‍යාස පොත් වල මිළ සෑහෙන්න ඉහළ ගිහින්, හොඳම තත්වයක් එක්ක, සාධාරණ මිළකුත් තිබ්බෙ රත්න පොත් වල විතරයි. ඒ ඇත්තන්ට දුරබණුවෙන් අපේ අරමුණ ගැන කිව්වම ඉතාම අඩුමුදලක් අයකරගෙන අපට උවමනා පොත් සියල්ලම ගෙදරටම ගෙනල්ලා දෙන්නත් රත්න පොත් බලධාරින් කටයුතු කලා.

අපේ සමාජය මොන තරම් දූෂණය වෙලා කිව්වත්, මිනිස් කම වෙනුවට නොමිනිස් කම හිස ඔසවලා තියෙනවා කිව්වත් ඒ ජරාජීරණය වෙච්ච සමාජය අස්සෙත් සුවඳ මල් තවමත් පිපෙන බවට මේවා තමයි සාක්ෂි.

වටින් ගොඩින් ටිකෙන් ටික අවශ්‍ය දේවල් අපේ නිවසෙ පැත්තක ගොඩගැහෙනවා. දන්න හඳුනන අපගේ හිතවතුන් තමන්ගෙ සේවා ස්ථානයටත් මේ පණිවිඩේ අරගෙන ගිහින්, ඒ අයගෙ මිතුරන්වත් මේ වැඩසටහනට දායක කරගෙන. නිවෙස් ඇතුලෙ තැන් තැන් වල තනිවෙලා හිටිය, තමන්ගෙ දරුවන් ඉස්සර දවසක කියවලා පැත්තකින් තියලා තියෙන කථා පොත් එක දෙක ඒ මනුස්සකමේ සුවඳ එක්ක ගුලිවෙලා දවසින් දවස සිරා කොලුවගෙ නිවස බලා ආවා. සිරා කොලුවගෙ හාමිනේ ඒ දේවල් ක්‍ර‍මානුකූලව තැන්පත් කලා.

කීපදෙනෙකුට කිව්වත් ගුරුපුටු  හොයාගන්න අපිට තවම බැරි උනා නේද ? සිරා හාමිනේ දවසක් සිරා කොලුවට යෝජනා කලේ මොරටුවට ගිහින් අපිම හොයාබලමු කියලා. එයින් පස්සෙ උදාවුන සතිඅන්තයක අපි දෙන්නා මොරටුවට ගියා. කඩයක් කඩයක් ගානෙ ඇවිදලා බැලුවත් අපට උවමනා මාදිලියෙ පුටු තිබුනෙ නෑ. ඒත් අතුරු මාර්ගයක කොනක තිබුන පුංචි කඩයක ගුරු පුටු කීපයක් අපි දෙන්නගෙ ආගමනය බලාපොරොත්තුවෙන් ඉදලා...

මගේ බිරින්දෑත් ගුරුවරියක් නිසා..ගුරුපුටුවෙ සුවපහසුව සහ අවශ්‍යතාව ගැන ඇයට තියෙන අවබෝධය සමග එතැන තිබුන මාදිලී කීපයක් අතරින් එකක් තෝරාගත්තා. ඒ මාදිලියෙන් පුටු තුනක ඇණවුමට මුදල් ගෙවලා ආයෙම නිවසට ආවට පස්සෙ මොරටුවේ ඉඳලා ගුරුපුටු ගම්පහට ප්‍ර‍වාහනය කරලා දෙන්න මාර්ග සංවර්ධන අධිකාරියෙ අසංක කැමති උනා.

මහත්තුරුන්ට පුලුවන් නම් මේ දරුවන්ගෙ තාත්තලට බීමේ ආදීනව ගැන දේශනයක් කරන්න. ඒ අය රබර් වතු වලදි බොහෝ වෙලාවට සර්ප දෂ්ඨන වලට ලක්වෙන නිසා අහුවෙන සර්පය මරලා දානවා. පුලුවන් නම් ඒ ගැනත් යමක් කරන්න. විදුහල්පතිතුමියගෙන් ලැබුන ඒ ඇරයුමත් පිලිගත්තට පස්සෙ මම කල්පනා කලේ එකම එක කෙනෙක් ගැන විතරයි...ඒ තමයි සුදු මල්ලි හෙවත් ජනක රණසිංහ. මගේම පාසලේ වැඩිහිටි සහෝදරයෙක්, නිහතමානී මිනිහෙක් ඒ වගේම තරුණ සත්වවේදීන්ගේ සංගමයේ සාමාජිකයෙක්.

සුදු මල්ලි ඉතාම ලෙංගතුව අපගේ ආරාධනය පිළිගත්තා වගේම, එදින වැඩසටහනට අදාළ ඉදිරිපත්කිරීම් සිදු කිරීමට අවශ්‍ය කරන තොරතුරු සකසාගෙන එන්නටත්  භාරගත්තා.

අමුතුවෙන් පිංකම් ඕනෙ නෑ මල්ලි...මේවා තමයි පිංකම්....මමත් රට වටේ යන මිනිහා නිසා ඉගෙනගන්න සම්පත් නැති උනත් ඉගෙනගන්න තියෙන ආශාව නිසාම දුක්විඳගෙන හරි ඉගෙනගන්න දරුවො ඕනෙ තරම් දකිනවා. ඒ අය ගැන ඇත්තටම දුකයි....ඒත් අපිට පුලුවන් දේ අපි කරමු.

මේ පුංචි හිත්වලට සතුට දෙන්න, ඒ අයගෙ අධ්‍යාපනයට ධෛර්යය දෙන්න, පුංචි තෑගි ලස්සනට ඔතාගෙන අපි ඒ අය බලන්න යන්න පිටත් උනේ අරුමැක්කෙමයි. ගමනට සහභාගි වන පිරිස කල්වේලා ඇතුවම පැමිණ තිබුන නිසා ප්‍ර‍මාදයක් නෑ. ගම්පහ අස්ගිරියෙන් සුදු මල්ලි, පල්ලියපාරෙන් ගීතා ටීචර්, විජය පාරෙ සාගර  බේකරියෙන් බනිස් පෙට්ටිය වගේම ඉහළගමින් කලබල වෛද්‍යතුමා සමග අරුණළු වෛද්‍ය සායන වලට උවමනා බෙහෙත් සැපයීම හැමදාමත් සිදුකරන මාතරයත් රථයට නැගුනට පස්සෙ නඩේ සම්පූර්ණයි.

මගේ වර්තමාන සේවා ස්ථානයේ  සේවකයන් ප්‍ර‍වාහනයේ නියුතුව තිබෙන පිටස්තර බස් රථයක හිමිකරු ඉතාම අඩුමුදලකට මේ රථය රියදුරු සමග ලබාදුන්නෙ...මේ වගේ වැඩ වලට අපිත් පුලුවන් විදියට උදව් කරන්න ඕනෙ කියන හැගීමෙන්. අපේ ගමන යන්නට නියමිතව ඇත්තේ ඉතාම කටුක මාර්ගයක, වල ගොඩැලි, වගේම පාර දෙපැත්තෙ කලුගල්කුළු තිබෙන මාර්ගයක වුවත් තමන් සතු නවතම සුඛෝපභෝගී බස් රථයක් ඔහු අපට ලබාදුන්නේ ඒ පිළිබඳ කිසිම තැකීමක් නැතුව.

නගර මැදින් ගිය රථය, ගමට සේන්දු උනා, රබර් වතු පහුකරමින්, ගමේ සුළඟ විඳිමින් ඉදිරියටම ඇඳිලා මහා මාර්ගයෙන් අතුරු මාර්ගයකට හැරෙන තැන විශාල පල්ලමක්...එතැනින් රථය ඉදිරියට ගියේ බොහොම අමාරුවෙන්, දැන් දැන් බස් රථයේ ප්‍ර‍මාණයටම මාර්ගයේ පලල පුංචි වෙලා...මේ ඉස්කෝලෙට මීට කලින් ගිහින් තියෙන්නෙ එකම එක බස් එකයිලු...ඒකත් තනි දොරේ බස් කොටයක්...ඉස්සර දවසක කලබල පෙම්වතිය සිරා කොලුවට කියපු හැටි මතක් උනා.

බස් රථය දැන් යන්නෙ අවධානම් සහගත ගමනක්...ඇතැම් වංගුවක තියෙන කොන්ක්‍රීට් ලෑල්ලෙන් එළියට පිටුපස එක රෝදයක් පනිනවා...මේ මොන අවධානම තිබුනත් මේ ගමන යන්නම ඕනෙ කියන හැගීම රියදුරු තැනට තිබුන නිසාම ඔහු අප සියල්ලන් එහි ගෙනගියේ තමන්ගෙ රියදුරු හැකියාවන් මොනවට ප්‍ර‍දර්ශනය කරමින්. සැබැවින්ම එය එතරම් අපහසු ගමනක්.

ඉතිහාසයේ මාවරැල්ල වහකුල කණිෂ්ඨ විද්‍යාලයට සේන්දු වූ දෙවැනි බස් රථය දුටුවනම එහි රැස්ව සිටි ගම්වාසීන්, සිසුදරුවන්, දෙමාපියන් ඇතුලු සියල්ලෝම ඉතාම ප්‍රබෝධයට පත් වුනා. අපේ ආගමනය දැනගත්ත දවසෙ ඉඳන් මේ පුංචි හිත් නොඉවසිල්ලෙන් අප එන පෙරමග බලාසිටි බව අපට කිව්වෙ කලබල පෙම්වතී. අයියලා ඇත්තටම එනවා නේද ? පවු අනේ මේ ළමයි...මට ලෝභ හිතෙනවා ඒ අය ඒ තරම් ආශාවෙන් මග බලා ඉන්නෙ...


අරුණළු අමුත්තන් හැමෝම තමන්ගෙ පාසලේ තූර්යවාදන කණ්ඩායමේ දායකත්වයෙන් පිළිඅරගෙන ඒ අයට තියෙන එකම ශාලාවට රැගෙන යන්න පිටත් උනා. මේ පුංචි දරුවන්ට වාදන භාණ්ඩ කිසිවක් නෑ. ආදේශන භාණ්ඩ වලින් තමයි සියලුම දෑ නිමවා තිබුනෙ. පුංචි බූලියක් බේස් ඩ්‍ර‍ම් එකක් විදියට වර්ණ ගන්වලා, එය වාදනය කරනවා දැක්කම බෑන්ඩ් කෙරුවාවේ නිරත උන එකෙක් විදියට මට දැනුනෙ පුදුමාකාර දුකක්. මගේ දෙඇස් ඒ වෙලාවෙ කදුලෙන් බොඳ උනා...ඒක අතිශෝක්තියක් නොවෙයි. ඒ හැගීමම සුදු මල්ලි අයියගෙ මුහුණෙත් තැවරිලා, ඒ දෙඇස් අගත් කඳුලක් මෝදු වෙලා තිබුන බව මම හොඳින් දැක්කා.



ජාතිය ධජය ඔසවලා, ජාතික ගීය ගායනා කරලා, අහවර උනාට පස්සෙ පුංචි අතකින් අපට ලැබුන බුලත් හුරුල්ලක් අතට අරගෙන උත්සවය පැවැත්වෙන ශාලාවට ඇතුලුවෙන්න අපිට හැකි උනා. ආගමික වතාවත් වලින් පස්සෙ උත්සවයෙ වැඩකටයුතු ආරම්භ උනේ අප විසින් එහි රැගෙන ගිය ශබ්ද විකාශන උපකරණ භාවිතයෙන්මයි.




බීමේ ආදීනව ගැන අහන්න තාත්තලා හිටියෙ දෙදෙනෙක් හෝ තුන්දෙනෙක් පමණයි...අනිත් සියල්ලෝම මව්වරුන්...පුංචි අය ඉතාම ප්‍රබෝධයෙන් සතියක දෙකක් ඉඳන් එයාලා පුරුදු පුහුණු උන නැටුම් අංග, සින්දු, නාට්‍ය හැමදේම ඩෙස්ක් යොදාගෙන නිර්මාණය කරපු පුංචිම පුංචි වේදිකාවක ඉදිරිපත්වෙනවා.





ඒ අතරතුර විවිධ දෑ අරගෙන එන්න වරින් වර බස් රථය වෙත යන්න අප කාට කාටත් සිදු උනා. තමන්ගෙ ගමට මීට කලින් බස් එකක් එනවා දැකලා නැති නිසාදෝ පාසල් යන වයසෙ පොඩි උන් රොත්තක් බස් එක ඇතුලෙ ආසන වල මගීන් වගේ ඉඳගෙන ඉන්න අමුතුම දර්ශනයක් අපේ සිත් ඔකඳ කලා...

ඉඳගෙන ඉන්නද ඇහුවා....මම හා කිව්වා...රියදුරු තෙමේ මන්දස්මිතියක් නැගුවා.

දිවා විවේකයට කලියෙන් සාගරගෙ බනිස් පෙට්ටිය, මයිලෝ සමග බෙදාදුන්නත් දරුවන් බොහොමයක් මයිලෝ පානය කරනවා දකින්න ලැබුනෙ නෑ. බනිස් ගෙඩිය අනුභව කර මයිලෝ ඇසුරුම තුරුලුකරගෙන ඉන්නා දරුවන් ඉතාම සුලභ උනා. අප සිතුවේ ගෙදර ගොස් පානය කරන්නට ඔවුන් මේවා තබාගෙන සිටිනවා කියා වුවත් අප පසුව දැනගත් පරිදි මයිලෝ පැකට්ටුවට අමුනා ඇති පුංචි ස්ට්‍රෝව ආධාරයෙන් මේවා පානය කරන ආකාරය ඔවුන් දැන සිටියේ නැත.


පාසලේ දෙමාපියන්ගේ අනුග්‍ර‍හයෙන් අපට ලැබුනේ ගම්මානය අවටින් සොයාගත හැකි දෑ උපයෝගී කරගනිමින් සකසන ලද කඳිම දිවා අහාරයක්. බත් වලට අමතරව කටට සැර කොච්චි එක්ක මයියොක්කා කෑල්ලක් දෙකක් ආමාශගත කරන්නත් අපි අමතක කලේ නෑ.  අපි නොදන්න ලයිව් ආයෙ ටීවී එකේ යන්නෙ නැද්ද ? දත් හැලුන ආච්චිලා දෙන්නෙක් සුදු මල්ලි අයියාගෙන් ඇහුවාම සුදු මල්ලි අයියා ඇහුවෙ ඔයාලා මාව අඳුනගත්තද කියලයි.


දිවා භෝජන සංග්‍ර‍හයෙන් පස්සෙ සුදු මල්ලි අයියා සර්පයො ගැන සභාව දැනුවත් කරන්න පටන් ගත්තා. පුංචි හිත් වලට දැනෙන විදියට ඉතාම නිර්මාණාත්මකව ඒ ඒ සර්පයාගේ පින්තූරයකුත් සමගම. ඒ පුංචි හිත් ඉතාම සතුටට පත් උනා. සභාව එකම රස ගුලාවක් උනා. ඒ පුංචි හිනාවට ඒ අයගෙ දෙමාපියන් වගේම ගුරුවරුනුත් එකතු උනාට පස්සෙ එතැන කඳිම මිහිරියාවක් මැවුනා.


සර්පයො ගැන කතාවෙන් පස්සෙ බොහොම සංවේදී කථාබහකට සුදුමල්ලි අයියා එළැඹුනා. අපි දන්න විකට නලුවා අතුරුදන් වෙලා, දුක දැනෙන සංවේදී මනුස්සයෙක් එහි ඉතිරිවෙලා හිටියා. තමන්ට මොන තරම් ආර්ථික ගැටලු තිබුනත් මේ පුංචි දරුවන්ට හැකි උපරිම ලෙස උගන්වන ලෙස ඔහු දෙමාපියන්ගෙන් අයැද සිටියා.

මේ කථා බහ අතරේ ඔහු තූර්ය වාදන කණ්ඩායම ගැන වචනයක් කියන්නත් අමතක කලේ නෑ. ඒත් ඒ මතකය ඔහු වඩාත් සංවේදී කල නිසාම සභාව මධ්‍යයේ කථා කරගන්නට වචන ගොණු කරනු නොහැකිව විනාඩි කීපයක් ගත කලේ දෙඇස් තෙත් කරන කදුලු වැල් දෙනෙතට සමු දී තමකොපුල් තල සිපගන්නා අන්දම ලොවින්  සගවන්නට කිසිදු නිරර්ථක උත්සාහයක නොයෙදෙමිනි. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම හෙතෙම අව්‍යාජ මිනිසෙකි.




සෑහෙන කාලයක සිට දන්නේ වුවද සුදු මල්ලි අයියා මෙතරම් සංවේදී මිනිසෙක් යැයි මම පළමු වරට ශපථ කරගත්තෙමි. අනුන්ගේ දරුවෙකු වෙනුවෙන් හලන්නට කඳුලක් ඉපදුන ඔහු කෙතරම් ශ්‍රේෂ්ඨයෙකුදැයි මට මේ අකුරු අමුණන මේ මොහොතේද සිතෙයි.

විදුහල්පතිතුමිය වෙත පරිත්‍යාගයන් ලබාදෙමින්


අවසානයේ ඔව්හු යුවතපතීන් වූහ

පාසලට ලබාදීමට රැගෙන ආ දෑ බෙදාදීලා අවසන් උනාට පස්සෙ පුංචි දරුවන්ට ත්‍යාග බෙදාදීම ආරම්භ උනා. සතියක දෙකක ඉඳන් කුතුහලයෙන් ඉන්න මේ පුංචි හිත් දැන් දැන් නොඉවසිලිමත් බව අපි දන්නවා.




ත්‍යාග ප්‍ර‍දානෝත්සවය අවසානයේ පුරුදු විදියට අරුණළු වෛද්‍ය සායනය ආරම්භ උනා. පුංචි දරුවන්ට අමතරව ගමේ වෙසෙන වැඩිහිටියොත් පේලි සැදී එහි ප්‍ර‍තිලාභ භුක්ති වින්දා. ගල්කඩවලදි වගේම මාවරැල්ලෙදිත් වෛද්‍යතුමා නියම කරන බෙහෙත් පෙති, ඖෂධවේදී මාතරගේ අධීක්ෂණය යටතේ පුංචි පුංචි පැකට් වලට ඇසුරුම් කරලා දුන්නෙ මගේ පාසල් මිත්‍ර‍යා උදිත.






ඔයින් මෙයින් මේ සියලුම කටයුතු අවසන් වෙලා අපි ආපහු ගම්බිම් බලා පිටත් උනේ ඒ ඇත්තන්ගෙන් ලැබුණ බෙලිමල්කෝප්පයක් බීලා හකුරු කෑල්ලක් හපන ගමන්. වෙහෙසකර වුවත් අද දවස ගැන හැම දෙනාම සතුටෙන්.

අප අපට හැකි දේ හැකි ප්‍ර‍මාණයෙන් කරන්නට උත්සුක වන්නේ නම් අප සමාජය මෙයට වඩා යහපත් එකක් වනු ඇත. අඳුරටම ශාප නොකොට එක් පහනක් හෝ දැල්වීමට ඔබත් අධිටන් කරනු මැනවි.

අප විසින් ලබා දුන් පුංචි තිළිණය සමග සුදු මල්ලි අයියා 




මම කාමරේ අරින සිරා කොලුවා.



ප.ලි

ගිය වසරේ සැප්තැම්බර් මස පැවැත්වුන සත්කාරයකි. අකුරු කරන්නට ඉසිඹුවක් ලැබූයේ අදයි.

මේ පුංචි තූර්යවාදන කණ්ඩායමට සැබෑ තූර්යවාදන උපකරණ ලබාදෙන්නට ඔබට හැකි නම් ඒවා ආදරයෙන් බාර ගන්නට ඒ පුංචි හිත් කැමතිය. සිරා කොලුවා විසින් එවැනි උත්සාහයන් සම්බන්ධීකරණය කරනු ඇත. 


මයික් එකෙන් කථා කරන්න තියෙන ආසාවට උදේ රැස්වීමේ කථා කරන්න දැන් ළමයි පොරකනවා. මීට කලින් අපි ළමයෙක් ඉස්සරහට යවාගත්තෙත් හරිම අමාරුවෙන්. හැමෝම කථා කරන්න පොරකන නිසාම අපි දැන් සතියකට උදෑසන රැස්වීම් දෙකක් තියනවා...පස්සෙ දවසක විදුහල්පතිතුමිය එහෙම කිව්වා.

Sunday, October 29, 2017

26 ගල්කඩවල චූටි හීන

සිරා කොලුවා ඇතුලු මිත්තර සම්පත්තිය විසින්, දුෂ්කර පළාත් වල අඩු පහසුකම්, විශේෂයෙන් මූල්‍ය අවහිරතා මැද අකුරු කරන දූ දරුවන් හට සරණක් වීමේ අරමුණින් ඇරඹූ අරුණළු ව්‍යාපෘතිය වටේට දැන් බොහෝ පිරිසක් අත්වැල් බැඳගෙන අවසන්. පහුගිය මාර්තුවෙ දිඹුලාගල කන්දේගමට වැටුන අරුණළු එළියෙන් පස්සෙ තවත් එවැනිම ආකාරයේ සත් කටයුත්තකට දායක වෙන්න සැප්තැම්බර් මාසයේ මුල් භාගයෙදි අපිට හැකි උනා.


අපේ හන්දියෙ කුඩා සන්ධියෙ සිට ජීවත් වෙලා, දැන් කැංගරු දේශයේ කල දවස ගෙවන මධුසංඛ ගොයියා සිරා කොලුවගෙ බොහොම හොඳ හිතවතෙක්. මධුසංඛ මුහුණු පොතේ  හක්කොලං කරන වෙලාවක තමයි බොලාට අද කියන්න යන කාරණේ ගැන මුලින්ම සැල කොලේ.

බොලා මාර්තුවෙ කලා වගේ බොහොම දුප්පත් ඉස්කෝලෙකට උදව් කරන්න මමත් කැමතියි. මගෙ ළමයි දෙන්නගෙ වගේම අම්මගෙ උපන් දින යෙදිලා තියෙන්නෙත් සැප්තැම්බර් මාසෙ, ඒ වෙනුවෙන් අපි යමක් සූජානම් කරමු. මම ලංකාවට එනවා අගෝස්තු අන්තිමේ...

දිඹුලාගලින් පස්සෙ සිරා කොලුවා එක්ක එකදු පහදු වෙච්ච දිලීප මලයට සිරා කොලුවා මධුසංඛගේ පයින්ඩෙ ලබා දුන්නා.  දිලීප කියන්නෙ රත්තරං හදවතක් තියෙන ඉස්තරං කොල්ලෙක්. අහස් දිය පමා වෙලා වැවේ රොන් මඩ පුපුරලා යද්දි, භව බෝග පරඬැල් වගේ හුළගෙ ලෙලදෙන, ජීවිතේ ගැටගහගන්න හතර අතේ කල්පනා කරන, දරිද්‍ර‍තාවෙ පතුලෙ ඉන්න උතුරු මැද පළාතෙ අහිංසක දෙමාපියන්ගෙ දරුවන්ට, අ.පො.ස සා.පෙ ගණිතය විෂයට අඩුම තරමෙ සාමාන්‍ය සාමාර්ථයක්වත් ලබා දෙන්න ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙලා  උගන්වන එක තමා අපේ දිලීප මල්ලිගෙ එකම සැපත. ගණිතයට සාමාන්‍ය සාමාර්ථයක්වත් නැතුව කවුද මේ කොල්ලන්ට කෙල්ලන්ට සේල්ස් ජොබ් එකක්වත් දෙන්නෙ හැබෑට.

දවස් තුන හතර පාසලේම නතර වෙලා. ඩෙස්ක් දෙක තුනක් ලං කරගෙන, කඩදාසි කොළයක් ඒ මත එලාගෙන බොහොම අපහසුවෙන් නිදි සුව විඳලා, බඩට බත් නැතුව දිලීප මල්ලි කරන මේ සටන ගැන ඇත්තමයි සත්තයි මට හරිම ආඩම්බරයි. ඔහු වැනි පුතුන් තව තවත් මේ දෙරණ මත බිහිවේවා කියලා මේ ලිපිය අස්සෙන් පතන්න මම හරි මනාපයි. දිලීප මල්ලි මේ ගමන් බිමන් වලදි ලබන අත්දැකීම් වලින් මෙවැනි ලිපි රාශියක් ලියන්න පුලුවන්. ඒ සමහරක් කථා ඔබ කවදාවත් අසා නැතුවාට කිසිම සැකයක් නෑ.

අතනින් මෙතනට, මෙතනින් අතනට, දිලීපට එක තැනක් කියලා නෑ. මහා අව් කාෂ්ඨකේ දැවෙන, අපේම මිනිස්සුන්ගෙ දූ දරුවන්ටත්, හෙටක් තිබිය යුතුයි කියලා ඔහු තරයේ විශ්වාස කරන නිසා ඒ අය වෙනුවෙන් ඔහු හැමදාමත් නිවසින් ඈතයි. ඔහුගෙ පියානන් නිවන් දැකලා සෑහෙන දොහක් ගතවෙලා. මේ වගේ අතිජාත පුත්‍ර‍රත්නයක් හැදුව මනුස්සයා නිවන් නොදැක කෝමෙයි. ඉඳලා හිටලා දවසක ගෙදර හිටියත් දිලීපගෙ අම්මගෙ හිතේ කොල්ලා ගැන අරියාදුවක් නෑ. තමන්ට පුලු පුලුවන් විදියට උතුර මැද පළාතෙ, අව් කාෂ්ඨකේ පිච්චෙන මිනිස්සුන්ගෙ දරුවන්ට ඔහුගෙන් ඉටුවන සේවය ගැන එතුමිය නිහඬවම ආඩම්බර වෙනවා ඇති.

දිලීප මල්ලි

ඔයින් මෙයින් දිලීප මලයා මට දුන්න පාසල් දෙක පිහිටා තිබුනෙ ත්‍රීකුණාමල දිස්ත්‍රික්කයේ, ගෝමරන්කඩවල පළාතේ ගල්කඩවල කියන ඉසව්වෙ. පළමුවැනි පාසල 1 වසර සිට 5 වසර දක්වා පන්ති පැවැත්වෙන, දරුවො 85 දෙනෙක් ඉගෙනගන්න, ගල්කඩවල කණිෂ්ඨ විද්‍යාලය, දෙවැනි පාසල 1 වසර සිට 11 වසර දක්වා පන්ති පැවැත්වෙන, දරුවො 81 දෙනෙක් අධ්‍යාපනය හදාරන පඹුරුගස්වැව විද්‍යාලය. වෙනසක් නොකර මේ පාසල් දෙකටම හැකි විදියට උදව් කරමු කියන අදහසේ තමා අපේ මධුසංඛ ගොයියා උන්නෙ.

අරුණළු වෙනුවෙන් මේ සත්කාර්යය සංවිධානය කරන වගකීම මගේ කරපිටට වැටුනට පස්සෙ, මම මුලින්ම කලේ පාසල් ද්විත්වයේ අවශ්‍යතාවන් මොනවද කියලා විදුහල්පතිතුමන්ලාගේ මාර්ගයෙන් දැනුවත් වීම.  ඔවුන් සමග සබඳතාව ගොඩනගාගැනීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් ලැබුන සහයෝගයත් බැති සිතින් සිහිපත් කල යුතුයි. අධ්‍යාපන උපකරණ වල හිගකම තමයි වැඩියෙන්ම ඉස්මතු උනේ.

අපේ ඉස්කෝලෙ පරිගණක කීපයක් තිබුනත් ප්‍රින්ටර් එකක් නෑ. හදිසි අවශ්‍යතාවයකට ප්‍රින්ට් අවුට් එකක් ගන්න අපිට කිලෝමීටර් 10 කට කිට්ටුව යන්න උවමනායි. මහත්තුරුන්ට පුලුවන් නම් අපිට ප්‍රින්ටරයක් අරගෙන දෙන්න ඒක අපිට ලොකු උදව්වක්.

ගල්කඩවල විද්‍යාලයේ විදුහල්පති තුමා එහෙම කිව්වම මට පුදුම හිතුනා. අඟහරු මත ජනාවාශ පිහිටුවන්න, සෙනසුරු ග්‍ර‍හයා මත යානා ගොඩබස්සන්න සමත් තාක්ෂණයක් තියෙන ලෝකෙ තවත් තැනක ප්‍රින්ට් අවුට් එකක් ගන්න කිලෝමීටර් ගනනාවක් යා යුතුයි.

පඹුරුගස්වැව විද්‍යාලයට මුද්‍ර‍ණ යන්ත්‍ර‍යක්
ගල්කඩවල විද්‍යාලයට මුදුණ යන්ත්‍ර‍යක් 
විදුහල්පතිතුමන්ලා දෙන්නම මුදුණ යන්ත්‍ර‍ය බැගින් ඉල්ලා සිටියා. ඒ වගේම අපේ වෑයම බොහෝම අගය කලා,  වරින් වර අවශ්‍ය තොරතුරු කාරිය සම්පාදනය කොරද්දි, සිරා කොලුවා වන මම පුරුදු විදියට අරුණළු මගින් වෛද්‍ය සායනයක් පවත්වන්න යුධ හමුදා වෛද්‍ය, මා මිත්‍ර‍ සමින්ද ගොයියත්, ඖෂධවේදී ලක්මාල් ගොයියත් ලං කර ගත්තා. මම හරිම ආඩම්බරයි, මෙවැනි මිත්තරයන් ගැන. ඒ අය රාජකාරි වෙලාවෙන් පස්සෙ ප්‍ර‍යිවට් ප්‍රැක්ටිස් කරලා සල්ලි මිටි බඳින්නෙ නෑ. රජයෙන් අපිට ගෙවන ගාන අඩුපාඩුවක් නැතුව ජීවත් වෙන්න හොඳටම ඇති බං. නිදහස් අධ්‍යාපනයෙන් අපි ඉගෙන ගත්තෙ. අපිත් දුප්පත් පවුල් වලින් ආපු උන්. අපේ වගකීම අපේ රටට පුලුවන් උපරිමයෙන් සේවය කරන එක. දරිද්‍ර‍තාවයෙ පතුලෙ ඉන්න මිනිහගෙ දුක දැනගන්න අපිත් දුප්පත් විය යුතු නෑ. හදවත ගොඩාක් පොහොසත් නම් ඇත්තමයි ඔබටත් ඔවුන්ගේ දුක හොඳින් දැනේවි.

අද අපි දරන පදවි තානාන්තර නම්බු නාම කිසිවක් නැති අතීතයෙදි, ගම්පහ පුස්තකාලෙ සුදු අරලිය ගහ යට කෙළි කවට සිනහවක ගිලුන සුන්දර මිත්‍ර‍ත්වය අද දක්වාම වෙනසක් නැතුව ආරක්ෂා කරගෙන එන නිසාම සිරා කොලුවා වන මට මේ පිරිස මගේම සහෝදරයො තරමට ලගයි. ඉතින් ඒ හිතවත්කම අරුණළු කියන සංකල්පය යටට ගෙනාවම තවත් සුන්දරයි.

අරුණළු යට නැවත හමුවුන පැරණි මිතුදම

පොඩි උන්ට අපි මොනවද දෙන්නෙ ? මධුසංඛ මුහුණුපොතෙන් තවත් දවසක මගෙන් ඇහුවා.

විදුහල්පතිතුමාලා කියන්නෙ අධ්‍යාපන උපකරණ වල අඩුවක් තියෙනවා කියලා. ඒ නිසා අපි ඒ දේවල් දෙමු. පොඩිම අයගෙ උපකරණ ටික ලස්සන ඉස්කෝල බෑග් එකක දාලා දෙන්න තියෙනවා නම් එයාලා ආශා වෙයි. මම එහෙම කිව්වා.

ඔස්ට්‍රේලියාවෙන් සමහර විට ලංකාවෙ ගානටම හෝ ඊටත් අඩුවෙන් පොඩි අයට හොඳම ඉස්කෝල බෑග් ගේන්න පුලුවන් වෙයි. ඒත් ලංකාවෙ හදන කෙනෙකුගෙන් මේවා ගත්තොත් අපේ කෙනෙක්ටමනෙ මේ බිස්නස් එක යන්නෙ...ඒ නිසා අපිට උවමනා බෑග් ටික ඒ විදියට ගමු. මධුසංඛ එහෙම කිව්වෙ නොරටක වාසය කලත් ඔහුගේ හදවත ලංකාවෙ තියෙන නිසයි. ඒ අනුව අපේ බෑග් ඇණවුම දකුණු පළාතෙ, බෙන්තර පැත්තෙ දිරිය ළඳකට යොමු  කලා. අපේ සත්ක්‍රියාව ගැන විස්තර අහපු ඇය ඉතාම සතුටට පත් උනා විතරක් නෙමෙයි නිෂ්පාදන වියදම විතරක් අරගෙන ලස්සන ලස්සන බෑග් දෙන්න කැමති උනා.

ඇත්තමයි..මට හරිම සන්තෝෂයි මම හදන බෑග් පොඩි අය කරේ එල්ලගෙන ඉන්නවා දකින්න. අනේ ඔයාලා ආධාර දුන්නට පස්සෙ මටත් බලන්න ඒ අයගෙ පින්තූර එවන්න. මගේ බෑග් කරේ එල්ලගෙන ඉන්න පුංචි කොල්ලො කෙල්ලො. ඇයට තිබුනෙ අහිංසක ආශාවක්.
 


පීපල්ස් පාක් එකේ ශෂී කලින් වතාවෙ වගේම මේ වතාවෙත් අධ්‍යාපන උපකරණ ලැයිස්තුව සකස් කරලා බොහොම අඩු මුදලට ඒවා අපිට ලබා දුන්නා. ඔහු සේවය කරන ආයතනය මේ එක් එක් වර්ග පිටරටින් ගෙන්වලා තොග පිටින් අළෙවි කරණ ආයතනයක්. සිංහල අමාරුවෙන් කථා කලත්..වැඩේ අරුණළු නම් ශෂී අපිට උදව් කරන්නෙ හදවතින්මයි.

අවශ්‍ය අඩුම කුඩුම සියල්ල මැනවින් සම්පාදනය කරගෙන, පහුගිය සැප්තැම්බර් මාසෙ දවසක අරුණළු අපිත්, මධුසංඛ සහ පවුලේ උදවියත් ත්‍රී කුණාමලය බලා පිටත් උනා. මුලතිව් යුධ හමුදා කඳවුරකින් පිටත් වෙලා නිවසට ඇවිත් දෙපැයක් නිදාගන්න නොලැබුන මගේ වෛද්‍ය මිත්‍ර‍යත් කලින් පොරොන්දු උනා වගේම නෑ බෑ නොකියා ගමනට එකතු උනා. ඔය පැතිවල පොඩි අයට විතරක් නෙමෙයි වැඩිහිටියන්ටත් චර්ම රෝග අධිකයි. ඒ නිසා ඒවට ගැලපෙන බෙහෙත් වැඩියෙන් දා ගනින්. අපේ ඖෂධවේදි ලක්මාල් වෙත වෛද්‍ය උපදෙස් ලැබුනෙ එහෙමයි.

අපේ පුතා ඉයන් ලැබුනට පස්සෙ මගේ නෝනා මුලින්ම ලංකාවට එන්නෙ මේ වතාවෙ අවුරුදු 4 කට පස්සෙ. අපේ පුතා ඉයන් මුල්ම වතාවට තමයි මේ ලංකාවට ආවෙ. මට පෙන්වන්න ඕනෙ ඔස්ට්‍රේලියාවෙ එයාලට තියෙන පහසුකම් කොච්චරක්ද කියන එක. ඒ පහසුකම් වලට ගොඩාක් අඩු පහසුකම් යටතේ ලංකාවෙ අයියලා අක්කලා ඉගෙන ගන්න මහන්සි වෙන විදිය.  මට ඕනෙ එයාවත් එයාගෙ තාත්තා වගේ අනාගතේ දවසක මේ රටේ අසරණ මිනිස්සු වෙනුවෙන් යමක් කරන මිනිහෙක් බවට පත් කරන්න. මධුසංඛ නුවර එළි ශීතල අස්සෙ බස් රථය ඇතුලෙදි එහෙම කිව්වා. ඔහුගේ ඥාති සමූහයාගෙන් බොහෝ පිරිසක් මේ ගමනට එකතු වෙන්නෙ පෙරදා අළුයම වනතෙක් පොඩි උන්ගෙ තෑගි ටික අපූරුවට පාර්සල් කරලා තිළිණ වෙච්ච නිදිමත වගේම මහන්සියත් දරාගෙන.

ආධාර වැඩසටහනට කලින් දවසෙ අපි ත්‍රීකුණාමලයෙ නවාතැන් ගත්තා. එතැන ඉදන් අපෙන් ආධාර ලැබෙන පාසල් වලට තියෙන්නෙ සීමිත දුරක්. අපිට පොඩි උන්ව රස්තියාදු නොකර වෙලාවටම යන්න පුලුවන්.

ඉරිදා කියන්නෙ දහම්පාසල් දවස. අද ළමයි දහම් පාසල් යන්නෙ නැතුව ඉස්කෝලෙට ගෙන්න ගන්න මම හාමුදුරුවන්ගෙන් අවසර ගත්තා. උන් වහන්සේත් පාසලට වඩිනවා. ගල්කඩවල විද්‍යාලයෙ විදුහල්පතිතුමා දුරබණුවෙන් දවසක්දා මට එහෙම කිව්වා.

නායක හිමියන්

ත්‍රීකුණාමලයෙදි ගත වෙච්ච අරුණළු අපේ රාත්‍රිය හරිම සුන්දරයි. ත්‍රී කුණාමලය ජැටිය අයිනට වෙලා නිහඩ පරිසරයට අපෙන් එකතු උන ගීතාවලියට අත්වැල සැපයූවෙ තාලයකට බිඳෙන සයුරු රළ පමණයි.. ඉස්සර පෙම්වතුන් වෙච්ච, දැන් ප්‍රිය බිරිඳ සැමියා විදියට, දරු සුරතල් විඳිමින් එක වහළක් යට දිවි ගෙවන ජෝඩු කීපයක්ම මෙතන ඉන්නවා. ඒ ඇත්තන් තමන්ගෙ යටගියාව, ගැන මෙනෙහි කරන මතකයන් හරිම අපූරුයි.

ලංකාවෙ පාසල් යන කාලෙ පෙරදිග තූර්ය වාදක ඛණ්ඩයකට තම්මැට්ටම් ගහපු නිසාම මධුසංඛට ඉතාම අපූරුවට කොංගෝව වාදනය කරන්න පුලුවන්. ඔහු රහට වාදනය කරද්දි ඒ රාත්‍රිය වඩ වඩාත් සුන්දර එකක් උනා. කරදිය සුවඳ මුසුවෙච්ච කාක දූපත පැත්තෙන් හමන මන්ද මාරුතයෙ සිහිලසත්, අපිට ඉහළින් අප දෙස බලා උන්නු තරු වියනත් අපේ ප්‍රේක්ෂකයන් වාගෙයි.

සෙනසුරාදාවක ත්‍රීකුණාමලයට ගියපු අපිට ඉරිදා දවසට අරුණළු නැගුනෙ අළුත් බලාපොරොත්තු රාශියක් හදවතේ පුබුදමින්. සුනංගු නොවී පළමු පාසලට යන්නයි අපේ වෑයම. පුංචි පුංචි බලාපොරොත්තු පොදිබැදගෙන අප එන මග දෙස නෙත් යොමාගෙන බලා ඉන්න පුංචි හිත් රස්තියාදු කරන්න අපිට හිත දෙන්නෙ නෑ. පොඩි අයට අපි එහෙන් එද්දිම ටොෆී ගෙනාවා. මධුසංඛගෙ ප්‍රිය බිරිඳ පියුමි විවිධ වර්ගවල ටොෆී ඇතුලත් පාර්සලයක් තමන්ගෙ ලගින් තියාගත්තා.


වෙස් නැට්ටුවො, තූර්ය වාදක කණ්ඩායම්, ටයිපොලු හිරකරගත්ත සර්ලා, හැට්ට කර යටටම කපපු, කොණ්ඩෙ රීබොන්ඩ් කරපු ගුරුතුමියො මේ පාසල් වල නෑ. ඒ නිසා ඔවුන් චාරිත්‍රානුකූලව බුලත් අතක් බැගින් දෙමින් අපේ ඇත්තන්ව පිළිගත්තා. අප පාසලට පිවිසෙන මග දෙපස පොඩි උන් අත්පුඩි තලමින් හිනැහුනා.

පොල්තෙල් පහන් සිල දල්වලා නායක හාමුදුරුවන්ගෙ අනුශාසනාවටත් සවන් දුන්නට පස්සෙ, තේ බීලම ඉමුද මහත්තුරු, නැත්නම් තේ නිවේවි. බුලත් කහටින් දුර්වර්ණව ගිය දසන් දක්වා විදුහල්පති රංජිත් මහතා සිනහා උනා. එතුමා ලඟ ගැමි සුවඳ ඕනෑවටත් වඩා තිබුනා. මොන තරම් අව්‍යාජ මිනිස්සුද මේ...මට එහෙමයි හිතුනෙ. ගල්කඩවල විද්‍යාලයේ පුංචි තේ මේසය එයාලගෙ හැකියාවෙ හැටියට සැරසිලා. මේ කලාපෙ කොහෙ ගියත් ආගන්තුක සත්කාර වලින් නම් ඉතින් අඩුවක් නෑ.

තේ පානයෙන් පස්සෙ ගුරුවරුන්, දෙමාපියො, පුංචි දරුවන් හැමෝම පන්ති කාමර 3 ක් වෙන් කරන බෝඩ් ලෑලි අයින් කරලා හදපු උත්සව ශාලාවෙ අසුන් ගත්තා. මේ පාසලින්ම ඉගෙන ගෙන අද ඒ පාසලේම ගුරුවරියක් ලෙස කටයුතු කරන මහත්මියක් තමන්ගෙ ළමා කාලය, ගමේ වටපිටාව, යුද්ධය ආදිය ගැන පැවසූ කරුණු බොහොම සංවේදියි. ගං වතුර ගලන කාලෙට ගෙදරට අදින ගවුම පිටින් ඉනවටක් වතුරෙ බැහැලා ගිහිල්ලා එගොඩවෙලා තමයි සුදු ගවුම ඇදගෙන අපි ඉගෙන ගන්න ඉස්කෝලෙ ගියෙ. ඇගේ නෙත් අග දිලිසෙන පුංචි කදුලු බින්දුවක් උත්සව ශාලාවෙ ඉදිරි පෙලේ අසුනක උන්නු සිරා කොලුවට පෙනුනා.

මේ පාසල් වලට මේ පරිසරයෙන්ම ගුරුවරු පත්කරන්න කියලයි අපි රජයෙන් ඉල්ලන්නෙ. පිටින් එන ගුරුවරුන්ට මේ පරිසරයෙ ඉන්න හිත් දෙන්නෙ නෑ. එයාලා ආව වේගෙට වඩා වේගෙන් ආපහු යන්නයි කැමති. අපේ ඉංග්‍රීසි ගුරුතුමිය සේවයට ආව අලුත නිතරම එයාට හිමි නිවාඩු ගත්තා. ඊට පස්සෙ ප්‍ර‍සූත නිවාඩු ගත්තා. ඊට පස්සෙ අඩ වැටුප් නිවාඩු ටික ගත්තා. දැන් වැටුප් රහිත නිවාඩු ටිකත් ඉල්ලුම් කරලා. දරුවො ගැන කැක්කුමක් නැති ගුරුවරු අන්න එහෙමයි මහත්තයො. විදුහල්පති තුමා එහෙම කිව්වා.

මේ කථාවලින් පස්සෙ අරුණළු වෙනුවෙන් මේ පුංචි කොලු පැටව්, කෙලි පැටව් ධෛර්යමත් කරමින් අපි කථා කලේ. ගැටලු හමුවේ පසුබා යන්නෙ නැතුව උත්සාහයෙන් ඉගෙන ගන්න කියන පණිවිඩේ තමයි අපට දෙන්නට අවශ්‍ය උනේ.

අරුණළු කන්දේගම වැඩසටනේදි අප මිත්‍ර‍ නුවන් කුලසේකරට හැඬුම් ආවා වගේම, මා මිත්‍ර‍ මධුසංඛටත් ඔහුගේ කථාව තුල වඩාත් සංවේදී වූ අවස්ථාවක් තිබුනා. මගේ දෙමාපියොත්, මගේ බිරිඳගේ දෙමාපියොත් අද අපි මේ කරන කටයුත්ත දිහා බලාන බොහෝ සතුටු වෙනවා ඇති. ඔහු එලෙස පවසද්දි සභාගැබේ උන්නු ඔවුන්ගේ දෙමාපියන් ඉතාම සංවේදීව ඔහු දෙස බලාන උන්නා. ඇතැම් වෙලාවට අපට දැනෙන මිනිස් හැගීම් විස්තර කරන්න වචන නෑ.

මධුසංඛ

1 වසරෙ ඉදන් පිළිවෙලට ත්‍යාග ප්‍ර‍දානය ආරම්භ උනා. ඉයන් වගේම ඉයන්ගෙ අක්කා එලිසාත් මේ පුංචි යාලුවන්ට තෑගි බෙදාදෙන්න බොහොම කැමැත්තෙන් දායක උනා. පුංචි දරුපැටව් හරිම ආශාවෙන් මේ තෑගි දෝතින් බදාගන්නකොට ඒ අයගෙ සතුට අපිටත් දැනෙනවා වාගෙයි.



බලන්න මේ පුංචි පුතාගෙ සතුට....


නංගි ඔයාගෙ නම මොකක්ද ? කටකාර කොලුවෙක් එලිසාගෙන් ඇහුවා...

එලිසා...

හෙ හෙ...ඒ මොන ජාතියෙ නමක්ද....ඒ.. පොඩි උන් රෑන කොක්හඩලා හිනාවෙන කොට එලිසත් ඒ හිනාවටම එකතු උනා.

එලිසා

ත්‍යාග ප්‍ර‍දානෝත්සවයට සමගාමීව විදුහලේ පන්ති කාමරයක අපේ වෛද්‍ය තුමා නිහඩවම වෛද්‍ය සායනය ආරම්භ කොට තිබුනා. දරුවන්ට වගේම දෙමාපියන්ටත්  එය විවෘතව තැබූ නිසා බොහෝ පිරිසකට සෙත සැලසුන බැව් නොකියාම බෑ.

වෛද්‍ය සායනයේ තමන්ගේ වාරය එනතුරු සිටින මවුවරුන් පිරිසක්


දිලීප මල්ලි එයාගෙ අනුග්‍ර‍හයෙන් ලබාදුන්න තෑගි දුන්නෙ පුංචි තරගයක් දෙකක් තියලා..පාසල් ක්‍රීඩාපිටියෙදි. මෙවැනි ක්‍රියාකාරකම් සඳහා මේ දරුවන්ගෙ තියෙන උනන්දුව ඉතාම ඉහළයි. ඔවුන්ට නැත්තෙ ඒ සඳහා අවස්ථාවන්.


ඉයන් සහ එලිසා අනෙකුත් දරුවන් සමග දීලීපගේ ක්‍රියාකාරකමක

මේ කටයුතු වලින් පස්සෙ දිවා ආහාරය පිළිගැන්වුනා. ගමේ ක්‍ර‍මයට, අපට ලැබුන ආහාර වේල ඉස්තරම්. ඔවුන්ගෙන් රහ බලපු තිබ්බටු කරියෙ රස තවම අමතක නෑ.

ආහාර භුක්තිවිදීමෙන් පස්සෙ අපි රෑ බෝ වෙන්න කලින් පඹුරුගස්වැවට ආධාර බෙදන්න යන්න සූජානම් උනා. අපව එහි කැඳවාගෙන යනු පිණිස එම විද්‍යාලයේ විදුහල්පති ජයතිලක මහතා ගල්කඩවල විද්‍යාලයට පැමිණ තිබුනා. ගල්කඩවල ජනාවාශ කොටස පසුකලාට පස්සෙ ගුරුපාර දෙපස ඝනව වැඩුන කැළෑවක් පමණයි අපට ඉදිරියෙන් දකින්නට තිබුනේ. මෙලෙස කිලෝමීටර් 6 - 7 ක් පමණ දුරක් හුදෙකලා වූ වන පියස දිගේ යා යුතුයි.

යුද්ධය තිබුන කාලෙ 17 වතාවක් මේ පාරෙදි හමුදාවෙ වාහන වලට කොටි ගැහුවා. ජයතිලක මහතා බොහොම දොඩමළුයි. තව ටික කාලෙකින් යාන් ඔය ව්‍යාපාරය පටන් ගත්තම මේ පළාතම ජලයෙන් යට වෙනවා. අපේ ඉස්කෝලෙත් එක්කම. ගල්කඩවල ඉස්කෝලෙ යට වෙන්නෙ නෑ.  එ් වෙනකොට රජය අපේ  පාසල වෙනත් තැනකට අරගෙන යන්නයි සැලසුම් කරලා තියෙන්නෙ. අපේ පාසල තියෙන ඉසව්වෙ අඩි 20 ක් විතර උසට වතුර කඳක් තියේවි.

එතකොට මේ ගස්කොළන් වලට මොකද වෙන්නෙ. බලන්න රූස්ස ගස් බොහොමයක් තියෙනවනෙ. විදුහල්පතිතුමාගෙන් මම ඇහුවා.

එකක්වත් කපන්නෙ නෑ කිව්වා. ඔහොමම ජලයට යට කරනවලු. ඔය ගස්වලින් අන්තිම මොහොත වෙනකම්ම මොන තරම් ඔක්සිජන් කන්දරාවක් මේ පරිසරයට මුදා හරිනවද...

පඹුරුගස්වැව විද්‍යාලයෙ දරුවො සියල්ලම අප එහි ගිය මග දෙපස රැස්වෙලා බොහොම ආදරයෙන් අපව පිළිගත්තා. ත්‍යාග ප්‍ර‍දානෝත්සවය බොහොම මැනවින් සංවිධානය කරලා තිබුනා විතරක් නෙමෙයි. එයාලට ආධාර අරගෙන එහි ගිය අපව පිනවන්න විවිධ නාට්‍යමය අංග පවා ඔවුන් සූජානම් කොට තිබුනා. ඔවුන්ගේ රංගන වින්‍යාසය ඉතාමත් විශිෂ්ඨයි.

නාට්‍ය අංගයක්

පඹුරුගස්වැව විද්‍යාලය

පාසල් ද්විත්වයේම ගුරුවරුන්ට මධුසංඛ යුවල අත්ඔරලෝසු පරිත්‍යාග කලා. මේ දුෂ්කර පරිසරයෙ ඉඳලා මේ දරුවන්ගෙ ඇස් පාදන්න මහන්සි වෙන ගුරුවරුන්ගෙ සේවයත් අපිට පුලුවන් විදියට අපි අගය කරලා එයාලව දිරිමත් කරන්න ඕනෙ. මධුසංඛගෙ අදහස එහෙමයි. ගුරුවරුන්ට අමතරව පඹුරුගස්වැව විද්‍යාලයේ මුර මාමටත් අපි අත්ඔ රලෝසුවක් දුන්නා

පියුමි
ත්‍යාග ප්‍ර‍දානෝත්සවයෙන් පස්සෙ තේ පානය ආරම්භ උනා. ඒ කාරිය අහවර උනාම වෛද්‍ය සායනය පටන් ගත්තා. ඇස් රෝග ඉතාම සුළභව එහි පැවතුනා.

දෙමාපියන්ට දැනුමක් නැති වීම, උවමනාවක් නැති වීම, ආසන්නම රෝහල වූ ගෝමරන්කඩවලට කිලෝමීටර් 20 කටත් වඩා දුර ගමන් කල යුතු වීම, බස් ගමනාගමනයක් සහිත මාර්ගයක් නොවීම, යහපත් සෞඛ්‍ය පුරුදු පිළිබද නොදැනුවත් කම...අපේ වෛද්‍ය තුමාට අනුව මේවා තමයි හේතු.


පඹුරුගස්වැව දරුවන් අතරින් එක් දරුවෙකු ඉතාම දැඩි ලෙස ඇස් රෝගයට ගොදුරුව සිටියා. ඔහුගෙ ඇස් රතු වී ඉඳි මී තිබුනා.

මෙයාට දෙන්න මා ලග බේතක් නෑ. ඉතාම ඉක්මනින් ඉස්පිරිතාලෙට අරගෙන යන්න. වෛද්‍ය සමින්ද ඒ දරුවගෙ මවට එහෙම කිව්වා. ඔවුන් එතැනින් පිටත් උනාට පස්සෙ..

පව් බං...ඒ ළමයා...ඇස් ලෙඩේ හොදටම වැඩිවෙලා... එහෙම කියලා ඔහු නිහඬ උනා.

අපේ ලක්මාල් ගොයියත් වෛද්‍ය තුමා ලියන බේත් තුංඩුවට බේත් ටික කඩදාසි කවරයට දාලා විතරක් නැවතුනේ නෑ. ඔහුට හැකි විදියට යහපත් සෞඛ්‍ය පුරුදු ගැන දෙමාපියන් දැනුවත් කලා. මේ වතාවෙ ලක්මාල් ගොයියගෙ සහායට කවර වලට බෙහෙත් දාන්න සිරා කොලුවා සමග 1 වසරෙ සිටම අධ්‍යාපනය ලබපු උදිතත් එකතු උනා. ඔහු දැන් ලංකාවේ ප්‍ර‍මුඛ මෘදුකාංග ඉංජිනේරුවෙක් වුවත් අරුණළු හෙවනෙදි තවමත් පැරණි මිත්‍ර‍යාම තමයි.

 සමින්ද

ලක්මාල්

උදිත
ඔයින් මෙයින් සියලු කටයුතු අහවරයි. අපි ප්‍රාර්ථනා කරපු විදියටම හැම දේම හොඳින් සිදු උනා. යහපත් ක්‍රියාවක නිරත උනාට පස්සෙ දැනෙන සතුටින් අපේ හිත් පිරිලා. නිවෙස් බලා යන්න අපේ බස් රථය නැවතත් ගල්කඩවල විද්‍යාලය දෙසට ගුරුපාරෙ ධාවනය වෙනවා.

පඹුරුගස්වැව විද්‍යාලයේදී

මාවත අද්දර හුදෙකලා නිවසකින් ගැමි ළඳක් ඉක්මනින් මාවත අද්දරට එනවා රථයේ ප්‍ර‍ධාන කවුළුවෙන් අපි අඩ අඳුර මැදින් දැක්කා. ඇය අතේ ඉටි කවරයක දිවුල් පාර්සලයක්.

අපේ දරුවන්ට ලගටම ඇවිත් තෑගි දුන්නට ස්තූතියි. මට පුලුවන් විදියට මමත් ඔයාලට තෑගි දෙනවා. ආ ගන්න...මේවා ඔයාලගෙ දරුවන්ට දෙන්න අරගෙන යන්න. ඇගේ කථා කරන යුග දෙනෙත සිනාසුනා.

වැඩසටහන අවසානයේ  පඹුරුගස්වැව විදුහල්පතිතුමාගේ නික්ම යාම






මම කාමරේ අරින සිරා කොලුවා.


ප.ලි


ලියන්නට බොහෝ දෑ ඇතිමුත්, අතීතයේදී මෙන් ලියාගන්නට කාලය නොමැති සඳ, කාමරයට එන යන ඇත්තන් මා පිළිබඳ කමා කරත්වා.


හිතාදර මධුසංඛ, ඔබත් මේ ලිපිය කියවනු ඇතැයි සිතා මේ කොටස මෙහි සටහන් කරමි. මේ පාසල් ද්විත්වයේ දරුවන් වෙනුවෙන් ඔබ වැය කල මුදලින්, ඉහළම හෝටලයක සුපිරි උපන් දින සාදයක් දැමීමට හෝ, වෙනත් රටක සංචාරයක් කිරීමේ හැකියාව පැවතුන බැව් අපි දන්නවා. එහෙත් එවන් හරසුන් දෑ වෙනුවට මෙවැනි යහපත් කාර්යයකට දායක වීමට අප සමග අත්වැල් බැඳ ගැනීම පිළිබඳ සිරා කොලුවා වන මාගේ හෘදයාංගම ස්තූතිය මෙයින් පුද දෙමි. ඔබ වැනිව සිතන සුන්දර මිනිස් හදවත්, මේ ලෝකය තවත් සුන්දර කරනු ඇත. ජරා ජීර්ණව ගිලන් වූ මේ සමාජය පුරා අපට හැකි විදියට මිනිසත් බව බෝ කරමු.

මේ වැඩසටහන අතරතුර මධුසංඛගේ ඔස්ට්‍රේලියානු ලිපිනය ලියාගත් පුංචි එවුන් තම විදුහල්පතිතුමාගේ නිළ මුද්‍රාව සහිතව යැවූ ලිපි රාශියක් අතරින් කීපයක්. මෙවැනි ප්‍ර‍තිචාර මේ පුංචි හදවත් තුලින් පැන නැගෙන කල අරුණළු අප තව තවත් ධෛර්යමත් වන බැව් රහසක් නොවේ.










Related Posts Plugin for WordPress, Blogger...