Tuesday, March 31, 2015

60 දෑස්

ලොකු දුවට දරුවා ලැබී වසරකට පසු, ලංකාවට පැමිණීමත් සමග තමන් එහි යෑම ඒම කෙමෙන් අඩු වී ගියේ යයි විමලජීව මා හා පැවසීය. සිදු විය යුත්ත නම් තම දරුවකුට දරුවකු ලැබුණු පසු සීයා කෙනෙක් වශයෙන් නිරන්තරව ඔවුන් හා ගැවසීම වුවද විමලජීව කලේ හෝ ඔහුට නොදැනීම සිද්ධ උනේ එහි අනෙක් පැත්තය.

දුවගෙන් පමණක් නොව තමා බිරිඳගෙන්ද දුරස් වී ඇති බව ඔහු කීවේ වේදනාවෙන් පීඩිත හදිනි. වෙනදා සීතා හා ඔහු අතර තිබූ ඇල්ම බැල්මෙන් සැලකිල්ලෙන් හෙතෙම හිතා මතාම දුරස් වී හුදෙකලාව විසීමට කටයුතු කර ඇත.

මේ හැමෙකටම හේතුව ඒ ඇස් දෙකය.



යොහොන්සා රුවනාරි, ඔව්, ඇයගේ දෑස මිස තමා මේ කිසිවකට වගකිවයුතු නොවනා වගට විමලජීව තර්ක කරයි. යොහොන්සා රුවනාරි .. ඔව්, ඇය ලොකු දුවගේ කුළුදුල් දියණිය, නැතිනම් විමලජීවගේ කුළුදුල් මිණිපිරියයි.

ඒ ඇස් දෙකෙහි අහිංසකකම පිරී ඇත. බින්දුවක් ඇත්නම් එළියට පනින්නට බලාගත් කදුළු ඒ තුල දිලිසෙයි. විමලජීව වරෙක මට එසේ ලීවේය.

උඹට මතක ඇතිනම් මා මීට පෙරද ඔය ලෙසින් පවසා ඇති වග සිහිපත් වෙනු ඇත. ඒ හරියටම හතළිස් එක්වසකට පෙරාතුවය. එදා එය කවුරුන් උදෙසා වීද යන්න මගේ ළගම සිටි උඹ හොදින් දනියි. ඉතින් මා සාධාරණද අසාධාරණද යන්න උඹම සිතා බලන්න. හිත හදාගෙන ඒ දරුවාගේ මුහුණ දැක්මට මා‍ කොහොම යන්නද සිතන්න.. ඇයගේ අැස් දෙක දකින විට මා ‍දෙකකුල් පණ නැති වී උගුර කට වියැළෙයි. සීතා හා දරුවන් ඉදිරිපිට වෙනදා සේම හැසිරීමට නොහැකිව මම මහත් මානසික වේදනාවක් විඳිමි. කුමක් කරන්නද යන්න සිතාගත නොහැකිව සිටින විටයි උඹ අමතා හැමදේම කියා සිත සැහැල්ලු කර ගැනීමට සිතුවේ. මට මීට විසදුමක් නැතත් අඩු තරෙමේ හිත හැදෙන්නවත් උඹට කිව හැකි යමක් වේද ?

ඔහු පත්තිරුව මත තැබූ ප්‍රශනාර්ථයෙන් මගේ හදවතද බර වෙයි. විමලජීව බාල කාලයේ හමු වූ ජීවිතය පුරාවට සෝවුරෙකු මෙන් මා ළග හිඳි මිතුරාය. විශ්ව විද්‍යාලයේදී ද එතැනින් නික්ම සිවිල් සේවයට එක්වී ගත කල කාලයද මේ සියල්ල අප දෙදනාම කලේ එකටය. අතීතයේ විඳි හැම කටුක අත්දැකීමක් හමුවේම මා පසෙක සිටි මගේ පරම මිතුරා වශයෙන් මම ඔහුව දැකගත්තෙමි, දකිමි. ඉන් උපන් වේදනාව හමුවේ ඔහුට කවරාකාර නම් උපදෙසක් දෙන්නද යන්න මට ද සිතගනු බැරිවිය. ඔහුගේ සිතට සහනයක් සැලසිය හැකි යමක් මා අතින් ලියවුනාද යන්න මට ද සංකා සහිත වූවකි.

ඇයගේ දෑස ඒ වැනි වූවා කියා ඒ ගැන මෙතරම් සිතීමෙන් ඇත්තේ කවර ඵලයක්ද ? සමාන දෑස් පමනක් නොව එක හා සමාන මුහුනු ඇඟපත ඇත්තෝද ‍ මෙලොව කෙතරම් වෙත්ද ? උඹ වැනි උගත් බුද්ධිමත් පරිණත කෙනෙක්ගේ මෙවන් සුළු කරුණක් මත ඇතිවන හැසිරීමේ තේරුමක් ඇත්දැයි මදක් විමසා බලන්න. මෙතරම් උඹ වෙනුවෙන් කැපවන සීතා ඇතුළු පවුලේ අය වෙත නුඹෙන් සාධාරණයක් ඉටුවේද යන්න යළි යළිත් සිහිකරනු මැනවි.

සත්‍ය වශයෙන්ම මාගේ විශ්වාසය වූයේ මෙය ගණනකට ගත යුත්තක් නොවන බවයි. දරුවාගේ දෑස් ඒ වගේ වුවද එහි ඇති දෙයක් මට එදා නොහැගිණි. ඇය තම එකම දියණියගේ දරුවා මිස අන් කිසිවකුත් නොවන වග විමලජීවට ඒත්තු ගැන්වීමට කෙතරම් උත්සාහ කලද ඔහු ඒ තේරුම් ගත් බවක් නොපෙනුනි. මා විශ්වාස කලේ කාලයත් සමග විමලජීව මේ අදහස් හැර දමා සාමාන්‍ය පරිදි කල් ගත කරනු ඇති කියාය. නමුත් සිදු වූයේ අනෙකකි.

අවසන් වරට මට ඔහුගෙන් ලිපියක් ලැබුනේ වසර එකකුත් හමසකට පෙරාතුවය. ඒ ඔහු අතුරුදහන් වී යයි සැලකෙන දිනට පසු දිනය.

දයාබර විජේ වෙත

විජේ ඒ ඈම මිස අනිකෙකු නොවන වග ප්‍රත්‍යක්ෂ කොට කියමි. ඔබගේ උපදෙස් හිසින් ගෙන මේ සියල්ල යථා තත්වයට පැමිණෙනු ඇතැයි විශ්වාසයෙන් මම යළිත් සාමාන්‍ය ලෙස ජීවිතය ගත කිරීමට දැඩි ලෙස ප්‍රයත්න ගතිමි. ඒ අනුව ලොකු දුව බෑනා හා මිණිබිරිය සමග වඩ වඩාත් කාලය ගත කිරීමත්, සීතාගේ සිතට කරදරයක් නොදෙනු පිණිස වෙනසකින් තොරව හැසිරීමටත් කටයුතු කළෙමි. නමුත් දිනක් මා නොපැතූ නොසිතූ වෙලාවක මගේ අවාසනාවන්ත අතීතයේ අවාසනාවන්ත අතපසු කිරීම් මා හැර නොයනා වග මට පෙන්වා දුන්නේ මා වැනි පවුකාරයෙකු මිහිපිට තවත් නොමැති හෙයිනි. මේ ලිපිය ලියන රාත්‍රියට පෙර සන්ධ්‍යා කාලයේ සීතාත් මමත් ළදැරිය හා සෙල්ලම් කරමින් ඇය හා ප්‍රීතියෙන් සිටියෙමු. එක වරම බහ තෝරන වියේ හුන් ළදැරිය අත් පන්දුවක් මාවෙත දිගු කරමින් ඉමල් ඉමල් යයි හඬ ගෑවාය. මහ හඬින් සිනාසුනු සීතා දැරිය තුරුළු කොට සිඹිමින් අනේ අනේ අම්මා තාත්තා පැත්තකට දාලා අපේ පැටියා සීයට නමම කියලා බහ තේරුව නේද ? ආ පැටියෝ කියූ විට මට ක්ලාන්ත වන්නා සේ මුළු ලොවම කැරකෙන්නා සේ දැනුණි. අද රාත්‍රියේම මා මේ තීරණයට එළඹීමට සිතුවේ ඒ අනුවය.

මා සිටිනා තත්වය මත මා ගත් තීරණය නිවැරදි වග උඹ තේරුම් ගන්නේ නම් එය මට මහත් සහනයකි. මන්ද මට මගේ දයාබර සීතා වෙත මෙලෙස ලිපියකින් වචනයක් කියා ගැනීමට න‍ොහැකි වන බැවිනි . මා හා ජීවිතයෙන් වැඩි කොටසක් ලඟ හුන් මිතුරා වශයෙන් ඔබගෙන් අවසාන වශයෙන් ඉල්ලා සිටිනුයේ සීතා හා දරුවන් සනසා ඔවුන්ගේ තත්වය පහසු කරවන ලෙසයි. ඔබටත් මංගලිකාටත් රුවන්තා පුතාටත් දිගාසිරි. 


මෙයට 

සදාමිත්‍ර විමලජීව


සීතා විමලජීවට විමල් යයි අමතන්නේ නැත. ඔහුට ඒ ලෙස ඇමතුවේ ඇයම පමණි. ශ්‍රියානිම පමණි. ලිපියේ සදහන් වූ දෑ මෙන්ම ශ්‍රියානි පිළිබඳව සීතා හෝ පවුලේ කිසිවකුත් නොදනියි. අසරණ ඔවුන් විමලජීවගේ අතුරුදන් වීමෙන් කම්පිත වෙද්දී, ඊට නිවැරදි හේතුව දැන සිටියේ මමත් ඔහුත් පමණකි.

විමලජීවගේ බල පුළුවන්කාර පවුල් පසුබිම හමුවේ ශ්‍රියාණි හැරදමා විමලජීවට සීතා හා විවාහ වන්නට සිදුවිය. ශ්‍රියානි මිය ගියේ ඉන් ටික දිනකට පසුව විමලජීවගේ දරුවකුද කුසින් දරාගෙනය. එදා මෙදා තෙක් මේ සියල්ල දන්නේ විමලජීවත් මමත් මෙතැන් පටන් ඔබත් පමණි.

දරුවා වැඩෙනා තෙක් ඉමල් ඉමල් යයි කියමින් කිසිවකු සෙවුවද ඇයගේ වර්ධනයත් සමග එය මගහැරී ගියේය. දකින්නකු හදවත ආදරයෙන් පුරවන රුවින් හා වදනින් ඇය සුවෙන් වැඩෙන්නීය. සීයාද සොයන්නීය. ඒ ශ්‍රියානිම ද නැතිනම් කවුරුන්ද ? යන්නවත් සිදුවූයේ කුමක්ද? යන්නවත් මේ යයි කීමට මමත් නොදනිමි. නමුත් සාමාන්‍ය මිනිසෙකු වශයෙන් මමද එයින් විස්මයට පත්වූ වග නොකියා බැරිය.

සීතා හා දූ දරුවන් තවමත් බෝධි පූජා පවත්වමින්ද, ශාස්ත්‍ර අසමින්ද ඔහු සොයයි. උන් කෙරේ දයානු කම්පාවෙන් මගේ හදවත මා ඔහු සොයා යෑමට ගත් මේ තීරණයට මග පෙන්වූවේය.

ඒ සමගම ශ්‍රියානි කෙරේද මගේ හදවත කම්පා වෙයි. විමලජීව දෙවරක්ම ඇයව හැර ගියේය. පළමුවර නිහඬව සිටි මට යළිත් එලෙස කළ නොහැක. ශ්‍රියානිට විමලජීව හෝ සිගිති ළදැරියකට සීයා කෙනෙකුගේ උණුසුම අවැසිය.

හෙට උදෑසන පළමුව කැකිරාවෙන් ඔහු සෙවීම අරඹමි. එයට පළමුව මෙය ලියා තබනුයේ මට විමලජීව හමුවේද නැතිද යන්න නොදන්නා බැවිනි. විමලජීව උසය. කොණ්ඩය කොටට කපා ඇත. ඔහු නිරන්තරයෙන් සිනාසෙයි. දෑසින්ද සිනාසෙයි. මිත්‍ර වූ විට ඔහු තරම් යහපත් මිත්‍රයෙකු තවත් නැත. ඔබට මෙවැනි ලක්ෂන ඇතියෙකු හමුවී නම් මා හට දන්වන මෙන් අවසාන වශයෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.



මාසයේ අවසන් ලිපිය වෙනුවෙන් සිරාගේ කාමරයට ලියා එව්වේ,

ඉසුරු අබේසේකර



ප.ලි

ඉසුරු අබේසේකර යනු කවරෙක්දැයි මේ වන විට සිරාගේ කාමරයේ පාඨකයන්ට අමුතුවෙන්ම කිව යුතු නොවේ. එහෙත් සිරා කොලුවා වන මම මගේ යුතුකම ඉටු කරමි. ඉස්සර දවසක මා ලංකාවේ ජාතික පුවත්පතක සේවය කරන සමයේදී අපේ ඇසුරට වැටුනු නව යොවුන් තරුණයෙකි ඔහු. ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ ලේඛකත්ව හා ජන සන්නිවේදන පාඨමාලාව ඔස්සේ  තම අනාගත ගමන් මග සොයාගත් ඉසුරු, සාහිත්‍යයට, කවියට මෙන්ම, සංගීතයටද පෙම් බදින්නෙකි. දක්ෂ ගිටාර් වාදකයෙකි. හෙතෙම වර්තමානයේ ලංකාවේ නමගිය දැන්වීම් ප්‍රචාරණ ආයතනයක පිටපත් රචකයෙකු (Copy Writer) ලෙස කටයුතු කරයි.

මේ ඉසුරු සිරාගේ කාමරයට එකතු කරන තෙවැනි කෙටි කථාවයි. ඔහුගේ ලියවිලි තුල ඔහුගේම කිව හැකි ආකෘතියක් තිබේ. ඉතාම කුඩා සිදුවීමකින් වුවද බරසාර කථාවක් ලියන්නට ඔහුට ඇත්තේ පුදුම හිතෙන සුළු හැකියාවකි.

මේ ලිපියට පෙර ඉසුරු අබේසේකර සොයුරා සිරාගෙ කාමරය වෙත එකතු කල කෙටි කථා මෙසේය.

ඇඹුල් දොඩම් , උපත් පාලනය

තෙවන වතාවටත් සිරාගේ කාමරය සමග නිර්මාණයක් බෙදාගත්තාට ඉසුරු මලයාට මගේ නොවක් ස්තූතිය පිරිනමමි. ජය !

Saturday, March 28, 2015

78 ලොකු දුව බඳිනවා

කාර්යබහුල සති අන්තයක නිමාව සටහන් වන විට අවට පරිසරයේ උෂ්ණත්වය තව තවත් පහළ යමින් තිබුනි. ධන ලකුණෙන් සමු අරගෙන සෘණ දෙසට ගමනේ යෙදෙන එය අවට පරිසරයේ සුදෝ සුදු හිම කැටිති මවන අරුමය මා හට තව දුරටත් අරුමයක් නොවේ. කවුළුවට එපිටින් පෙනෙන දේවදාර ගස් මුදුන් වල හිම සිත්තම් දෙස ආශාවෙන් බලා සිටින්නට හැකි තරමේ සෞන්දර්යයක් කැටි වී තිබේ. ඈත සීතල යුරෝපයේ සිට ලංකාවේ අතීතය සිහිපත් කරන හැම විටකම මගේ ගත මෙන්ම සිතද උණුසුම් වන සෙයක් මා හට දැනෙයි. දුම් දමන කෝපි කෝප්පයක් බොන්නට මේ වෙලාව කදිම බව සිහිපත් වෙද්දී මේ සතියේ සඳුදා දින සුජාගේ අත්අකුරින් මා ලද ලිපිය මේසය උඩ තවමත් වැතිරී ඇති අන්දම නෙතට හසුවෙයි.

දයා..ලොකු දුව අගෝස්තුවෙ බඳිනවා. 

සුජාගේ වටකුරු අකුරින් යුතු මේ වචන පේළිය තුල මගේ දෑස් කොපමණ වාර ගනනක් ඒ අතටත් මේ අතටත් ගියේදැයි මට නිනව්වක් නැත. එය කියවූ මුල් අවස්ථාවේ මා ලද ප්‍රහර්ශය තවමත් දැනෙනවාදැයි මම මගේ ඇතුලු හදෙන් ඇසුවෙමි.

ක්‍රීස් යන හඬින් විවර වූ නිවසේ ප්‍රධාන දොර පළුවට මෙපිටින් ගෙහිමි විල්සන්ගේ මහළු රූප කාය මට පෙනෙයි. කැටයම් සහිත කලු පැහැති බස්තම බිම තබමින් හෙමි හෙමින් කොර ගසමින් නිවසේ බරාඳය දෙසට යන ඔහුගේ අතේ දුම් පයිප්පයකි. ආයාසයෙන් හුස්ම ගන්නා මේ මහළු හදවත ගැහෙන රිද්මය නිවසේ නිහඬතාව බිඳ දමයි. වරින් වර රිද්මයකට මෙන් ඉහළට නැගෙන දුම් රොද අතරේ විල්සන් තම තරුණ වියේ නටඹුන් සොයනවාදැයි විටෙක මට සිතෙයි. වසර ගණනාවකට පෙර ඔහුගේ ප්‍රිය බිරිඳ මිය ගියෙන් තනිකම නැමති සෝ සයුරේ ගිලී හෙතෙම කෙසේ ජීවතවනවාදැයි ඔහු හමු වූ මුල්ම දිනයේ පමණක් නොව මේ දැනුදු මම සිතන්නෙමි.

.......................................................................................................

දයා..දවල්ට කෑවද ?

ලිපි ගොණුවක් අතින් ගත් ඉන්ද්‍රානි අක්කා මා දෙස අරමුණක් නැති බැල්මක් හෙලමින් ඇසුවාය.

තවම නෑ අක්කෙ.

මම අලුත් වැඩියා කරමින් උන් එක්ස්‍ රේ යන්ත්‍රය දෙස බලාගෙනම පිළිතුරු දුන්නෙමි.

ගිහින් කාලා ඉන්න. දැන් වෙලාව කීයද ? මේ ඉස්පිරිතාලෙ ඉතින් කවදාවත් වැඩ ඉවර වෙන එකක් කියලයැ. ඒ නිසා වෙලාවට කන්න බොන්න.

කොළඹ මහරෝහලේ විකිරණ තාක්ෂණවේදිනියක සේවය කල ඇයත්, ක්ෂුද්‍ර ජෛව ඉංජිනේරුවෙකු ලෙස සේවය කල මමත් රාජකාරි කලේ එකිනෙකාට යාබදව හෙයින් අප අතර වූයේ මිතුරු කමකටත් වඩා සහෝදර බැඳීමකි. ඉන්ද්‍රානි අක්කා මගේම වැඩිමහල් සහෝදරියක් බඳුය.

දිවා ආහාරයෙන් අනතුරුව මා නැවතත් මගේ මේසය වෙත පැමිණෙන විට ඉන්ද්‍රාණි අක්කා  ලිපි ගොණුවක් දෙස විමසිල්ලෙන් බලා සිටියාය. උපැස් යුවලට යටින් මදෙස බැලු ඇය ලිපි ගොණුව පැත්තක තබා පුටුවේ හරි බරි ගැසී වාඩි වූයේ වැඳගත් කථාවක් කිරීමට බැව් මම දැන් අත්දැකීමෙන් දනිමි.

දයාරත්න මල්ලි, පුලුවන් නම් හොඳ වැඩක් තියෙනවා කරන්න. 

ඇගේ දෑස මගේ දෙනෙත දෙස එක එල්ලේ බලා සිටියි.

මොකක්ද අක්කෙ...

මම ඒ සැනින් පිළිවදන් දුන්නෙමි.

අපේ පොඩි සංගමයක් තියෙනවා. ඒකෙන් කරන්නෙ දෙමාපියො නැති, ඉගෙන ගන්න ආර්ථික ශක්තිය නැති ළමයින්ට ඉගෙන ගන්න උදව් කරන එක. අපි දරුවෙක් බාර දුන්නම ඒ දරුවගෙ අධ්‍යාපන අවශ්‍යතා වලට මාසිකව මුදලක් ලබා දෙන්න තමයි තියෙන්නෙ. මේක බොහොම සංවේදී වැඩක් මල්ලි. දැනෙන තෘප්තිය විඳලම බලන්න ඕනෙ.

ඉන්ද්‍රාණි අක්කාගේ නෙතඟට කදුලක් මෝදු වන බව මට පෙනෙයි. සාරි පොටින් පිසදමා ඇය කදුල මගෙන් වසන් කරන්නට සැරසුනද ඊට කලියෙන් මම එය දුටුවෙමි. දෙගොඩහරි වයසේ සිටින ඇය තවමත් අවිවාහක නිසා දරුවෙකු කෙරෙහි මහත් ආශාවක් සිතේ ඇතිවා වන්නට පුුලුවන.

කියන්න අක්කෙ. මමත් කැමතියි ඒ වගේ දේකට උදව් කරන්න.

අර දරුවො නැති සුබ්‍රමනියම් දොස්තර මහත්තයා දරුවො 4 දෙනෙකුට උදව් කරනවා. දැනට භාරකරුවො නැති අලුත් ළමයි ටිකක් ඉන්නවා. මේ ෆයිල් එකේ විස්තර ඇති. මේ වැඩේට එකතු වෙන්න කැමති නම් ,මල්ලි බලලා කැමති කෙනෙක් තෝරගන්න. ඇය තමා සතුව තිබූ ලිපි ගොණුව මාවෙත පෑවාය.

දරුවන් කීපදෙනෙකුගේ නම් ගම් සමග තවත් බොහෝ විස්තර එහි විය. එහෙත් පියා මෙන්ම මවද නොමැති 7 වසරේ ඉගෙනුම ලබන අනුරාධපුර ප්‍රදේශයේ දියණියක ඉදිරිපිට මගේ දෙනෙත් නතර වූයේය.

මෙයාව මට බාර දෙන්න. මම සැනින් කීවෙමි.


ඡායාරූපය  උපුටාගත්තේ මෙතැනින්
එයින් අනතුරුව ඇගේ තොරතුරු අඩංගු වූ පත්‍රිකාව අතට ගත් ඉන්ද්‍රාණි අක්කා ඇතැම් තොරතුරු තවත් කොළයක සටහන් කරනු දුටුවෙමි.
.......................................................................................................

මල්ලි, අද පඩි අරගෙන ඔහොමම පොඩි කෙල්ලගෙ සල්ලි ටික දාන්න.

මුල් මාස දෙක තුනේම ඉන්ද්‍රාණි අක්කා මගේ වගකීම පිළිබඳ මා හට මතක් කලද මගේ අතින් දේවකාරියක ලෙස එය සිදුවෙන බව සැක හැර දැනගත් පසු ඇය ඒ පිළිබඳ නැවත නැවත මතක් කරන්නට ආවේ නැත. රුපියල් 500 ක මුදලක් කුඩා දියණිය ඉගෙන ගන්නා පාසල‍ේ විදුහල්පති තුමා නමට මුදල් ඇනවුමක් ලෙස යැවූ විට එය ඇගේ මිත්තණියගේ අතට ලැබෙයි.

ඇගේ පියා අලියෙකුගේ පහර දීමෙන් මිය ගිය පසු මව වෙනත් පුරුෂයකු සමග දීගතලා ගොස් ඇත්තේ ඇයට වසර 3 ක් පමණ වයසේදී බව මට දැනගන්නට ලැබුනි. එතැන් සිට කුඩා දියණියගේ මව වන්නට මිත්තණියට සිදු විය. මිත්තණිය සහ කුඩා දියණිය වරිච්චි බිත්තියෙන් වටවූ කුඩා නිවසක තනිවන විට මේ ඉඩම ඩැහැගන්නට දියණියගේ මාමන්ඩියක මාන බලමින් සිටියේය. කාගේවත් පිළිසරණක් නැති ඇයට ඇත්තේ මිත්තනියගේ රැකවරණය පමණි. එහෙත් වයස්ගත ඇගේ වියෝවෙන් පසු දියණියට කාගේ පිළසරණක්ද ? අඩුම තරමේ ඇය අධ්‍යාපනයෙන් හෝ ජයගතහොත් ඇගේ පිළිසරණ වන්නට එයට හැකිය. ඒ නිසාම අනෙක් දරුවන් අතරින් මම ඇයව තෝරාගත්තෙමි. මගේ රුපියල් 500 මේ ඇත්තන්ට මහමෙරක් බව මට දැනෙන විට ලබන මාසයේ සිට තවත් කීයක් හෝ වැඩියෙන් යවන්නට මගේ සිත දෙස් දෙයි.

මාමා එවන සල්ලි වලින් මම හොඳට ඉගෙන ගන්නවා. ආච්චිත් මට කියනවා හොඳට ඉගෙනගත්තොත් අපිට හොඳ ගෙදරකට යන්න පුලුවන් කියලා. ඊයෙ රෑ ලොකු වැස්සක් වැස්සා. මගේ ලියන පොත් වැස්සට තෙමුනා. ඉස්කෝලෙ අදින ගවුමත් තෙමුනා.  වහලෙ පොල් අතු මාරු කරන්න කාලෙ හරි කියලා ආච්චි කිව්වත් ඒකට සල්ලි නැතුව ඇති ආච්චි ලග.

ඒ සුජාතත් මමත් පෙම් කල සමයයි. ඇගේ පුංචි අකුරු මගේ හිතට බර වැඩිය. ඒ බර සැහැල්ලු කරගන්නා අටියෙන් මම සුජාතාට මේ ලිපිය කියවන්නට දුන්නෙමි. මගේ උරහිසට වාරු වී ඇය කදුළු සැලූ අයුරින් මම මගේ අනාගත බිරිඳ ගැන අතිශයින් සතුටු වූයෙමි. මට වැනිම දයාබරිත හදක් ඇයටද තිබේ.

අප දෙදෙනා කසාද බඳින්නටත් කලියෙන්ම අපට දැන් දියණියක සිටියි. ඇය මාසයකට දෙකකට වරක් මා ආමන්ත්‍රණය කර ලියමනක් එවයි.

කොළඹ අහස දම්පැහැවී තිබූ නිමේෂයක මමත් සුජාතාත් එකිනෙකාට ලංව ගාලුමුවදොර පිටියේ සිමෙන්ති බංකුවක හිඳගෙන සිටින්නෙමු. ඈත ක්ෂිතයේ පෙනෙන නොපෙනෙන නෞකාවක සේයා දෙස බලමින් සුජාතා ලොකු දුවට බෞතීස්මය ලබා දුන්නාය.

දයා..අපි බැන්දට පස්සෙ අපිට දරුවො හිටියත් මේ දුවනෙ වැඩිමල්. ඒ නිසා අපි එයාට ලොකු දුව කියලා කියමු.

.......................................................................................................

ඉන්ද්‍රාණි අක්කා දිනක් මා වෙත ගෙන ආවේ සොම්නස් සහගත පුවතකි.

මල්ලි අර දරුවො ඔක්කොම අපේ සංගමයෙන් කොළඹ චාරිකාවකට එක්කගෙන එනවා. ඒ අයට මෙහෙට ආවම මාස්පතා මුදල් එවන භාරකරුවො මුණ ගස්වන්නයි හිතාන ඉන්නෙ.

එයින් පසු එළැඹුන සතියේ විදුහල්පතිවරුන් දරුවන් කැටුව කොළඹ පැමිණියෝය. දරුවන්ගේ භාරකරුවන්ද ඔවුන් හමුවන්නට එහි සපැමිණ සිටියෝය. මාස්පතා තම තමන්ගේ අධ්‍යාපනය උදෙසා මුදල් එවන, එහෙත් කිසිදා මුණගැසී නැති, කිසි දිනෙක රුවෙන් දැක නැති තමන්ගේ භාරකරුවන් කවුදැයි දැන හැඳිනගන්නට ඒ පුංචි දෑස් අග තිබුනේ පුදුමාකාර තදියමකි. තමන්ගේ වත්කම අනුව රැගෙන එන්නට හැකි උපරිමයෙන් රැගෙන ආ තෑගි ඒ පුංචි දෑත් අතර සිර වී තිබේ.

මා අසලට පැමිණි ඉන්ද්‍රාණි අක්කා මා කැටුව හුදෙකලා වී සිටි කුඩා දියණියක් අසලට ගියාය.

දුවේ. මේ තමයි ඔයාට සල්ලි එවන මාමා.

ඇගේ වතකමල වඩාත් පැහැපත් නැති වුවත් ඇය කඳිම ප්‍රියමනාප දියණියකි. දෑස් විශාල කර මදෙස බලා සිටි ඒ කුඩා මුවේ මන්දස්මිතියක් ඇදුනේ නිරායාසයෙනි. ඇගේ අතෙහි වූ රෙදි වලින් මැසූ කුඩා පටි දෙකක් සහිත ලා කහ පැහැති විශාල බෑගය බිමින් තබා එකෙනෙහිම ඈ මා හට දණ ගසා වැන්දාය. මගේ නෙත් යුග කඳුලකට මුල පිරූයේ ඇස් පිල්ලමක් ගසන වේගයකිනි. ඇගේ දෙව්රින් අල්ලා නැගී සිටවූ පසු, මම ඇයව තුරුලු කරගත්තෙමි. මහා ධාරක සෙනෙහසකින් මම ඇයව දැඩිව තුරුලු කරගත්තෙමි. මේ මගේම දියණියක බැව් එවේලෙහි මා හට ප්‍රත්‍යක්ෂව ගියේය. දෙමාපිය සෙනෙහස අහිමිවි ගිය ඇයට මගේ රැකවරණය ඇය තනිව මේ මහ පොළව උඩ ශක්තිමත්ව නැගී සිටින දිනයක් එළඹෙන තුරු ලබාදෙන්නට අධිටන් කළෙමි.

දුව මොන පන්තියෙද දැන් ඉගෙන ගන්න‍ෙ.  මම නොදන්නවා මෙන් ඇසුවෙමි.

මම 8 වසර D පන්තියෙ මාමෙ.  ඇය තවමත් සිනාසී සිටින්නීය.

මම එවන සල්ලි පොත් පෑන් පැන්සල් ගන්න ඇතිද ?

ඔව්...ආච්චි ඒ සල්ලි වෙන කිසිම දේකට වියදම් කරන්නෙ නෑ.

මොනවද ඔය අතේ තියෙන බෑග් එකේ තියෙන්නෙ.

තව ඩිංගෙන් ඒක මාමට දෙන්න අමතක වෙනවා. කොළඹ එනවා කිව්වම මාමට ගෙනිහින් දෙන්න කියලා ආච්චි අම්මා මේවා ලෑස්ති කලේ...ගොඩාක් වටින තෑගි දෙන්න අපිට විදියක් නෑනෙ මාමෙ.

මම ඇයව ලගට ගෙන ඇගේ හිස සිපගත්තෙමි. මේ තරම් සුරතල් දියණියක අතැර යන්නට තරම් ඇගේ මැණියන් කුරිරු වූ අයුරු මා හට සිතාගත නොහැක.

ඉතින් ඔයාම පෙන්නන්නකො ඔය බෑග් එකේ ඔයා මට මොනවද ගෙනාවෙ කියලා.

අගේ පුංචි අතැගිලි කඩිසරව ඒ මේ අත දුවයි. බෑගය තුලටත් එයින් පිටතටත් කීප වාරයක් ගමන් කල ඒ කුඩා දැතට පින්සිදු වන්නට සියඹලා, අඹ සහ බඩඉරිඟු, සැළකිය යුතු තරමේ ප්‍රමාණයක් එතැන වූ සිමෙන්ති පඩියක් මත ගොඩගැසුනි.

මෙච්චර ගොඩක් ඔය බෑග් එකේද ගෙනාවෙ...බෑග් එක බර නැද්ද ?

ටිකක් බරයි. මම ඒ උනාට උස්සගෙන ආවා.

මේ අඹ කොහෙන්ද ? හොඳින් ඉදුන කර්තකොලම්බ අඹයක සුවඳ බලමින් මම ඇසුවෙමි.

අපේ වත්තෙන් මාමෙ.

.......................................................................................................

මේ හමුවීමෙන් පසු මම ලොකු දුවට යවන මුදල වැඩි කලෙමි. එතැන් සිට මාස්පතා මගෙන් ලැබෙන මුදල පිරිමසා ගනිමින් දියණිය හොඳින් ඉගෙන ගනිමින් සිටියි. ඒ අතරතුර ඉන්ද්‍රාණි අක්කා වෙනත් රෝහලකට මාරු වී යාමත්, මා හා සුජාතා විවාහ වීමත් විවාහයෙන් පසු අප දෙදෙනාගේ සිහින සාක්ෂාත් කරගැනීමට මා විදේශ ගත වීමත් සිදු වූයේ සිතාගත නොහැකි තරමේ වේගයකිනි. විදේශගත වන්නට පෙර සුජාතා සමග ලොකු දුව මුණගැසී දියණියගේ භාරකාරීත්වය මම මගේ බිරිඳට පැවරුවෙමි. එතැන් සිට ලොකු දුව සුජාට ලිපි එව්වේ නැන්දේ යන ආමන්ත්‍රණයෙනි.

යුරෝපයේ සිට මා යවන මුදල් සුජාගේ දෑතින් මුදල් ඇනවුමක් බවට පත් වී අනුරාධපුරයට යයි. ඒවායේ පිහිටෙන් ලොකු දුව හොඳින් ඉගෙන ගනියි. මෙවර පන්තියේ හතර වැනියා වන්නට ඇයට හැකි වී තිබේ. වාර විභාගයේ ප්‍රතිඵල ලැබුන විගස ඇය ඒ බැව් සුජාතා හට දැනුම් දෙන්නීය. සුජාතා මා හට දුරකථන අැමතුමක් ලබා දෙන සෑම විටෙකම නිරන්තරයෙන් ලොකුදුව ගැන තතු සැළ කලාය.

විටෙක කාලය ගත වන්නේ සිතාගත නොහැකි වේගයකිනි. සා/පෙ කඩඉම ඉතා හොඳින් ජයග්‍රහණය කල ඇය උසස් පෙළ පන්තියේ ඉගෙන ගන්නා අවධිය වන විට මම මගේම දරුවෙකුගේ පියෙක් වූයෙමි. ඒ දරුවා තනිව රැක බලා ගනිමින් නිවසේ කටයුතු කරමින් සුජාතා ලොකු දුව ගැනද සොයා බැලුවාය.

නැන්දෙ මම උසස් පෙළට වාණිජ කරන්නෙ, ඇය ඒ වග දන්වා තිබුනාය.

.......................................................................................................

ලොකු දුව දැන් උසස් පෙළ වාණිජ පන්තියේය. මා හට සියුම් ආඩම්රයක් දැනෙයි. මම තවත් අදියරකින් ඇයට යවන මුදල වැඩි කළෙමි. තරුණ දියණියක ඇඳුමෙන් පැළඳුමෙන් ලස්සනට ඉන්නට ප්‍රිය බව සුජාතා මා හට මතක් කලාය. ඒ නිසාම ඇයට අධ්‍යාපනයට අමතරව ඒ සඳහා වියදම් කරන්නටද මුදලක් ලබාදිය යුතුය. ඇය අමතර පන්ති යන්නට අධිමදි කලද සුජාතාගේ බලකිරීම මත අතිරේක පන්ති වල උපකාරයද ලබා ගත්තාය.

උසස් පෙළ ප්‍රතිඵල ලැබෙන කාලය වන විට සුජාතා දෙවන වරටත් මව් පදවිය ලැබුවාය. එහෙත් තවමත් අපේ ලොකු දුවට අපේ ඇති ආදරය බිඳකදු අඩු වී නැත.

නැන්දෙ මට කැම්පස් යන්න තරම් ප්‍රතිඵල මදි. මම රස්සාවක් කරන්න කියලා බැලුවෙ. හැමදාම මාමට කරදර කරන්න බෑනෙ.

ඇගේ එවදන් සුජාතා මට සන්නිවේදනය කල දවසේ මම ඇයට උපදෙස් දුන්නේ නැවත වාරයක් විභාගයට පෙනී සිටින ලෙස ලොකු දුවට කියන ලෙසයි. අපේ යෝජනාව පරිදි දෙවන වරටත් විභාගයට පෙනී සිටි අැය විශ්ව විද්‍යාලය පෙනෙන දුරින් එවර නතර විය. එයින් පසු ඇගේ විෂයට අදාළව උසස් ඩිප්ලෝමාවකට ඇය යොමු කරන්නට සුජාතා පුද්ගලිකව කැප වූවාය.

නැන්දෙ, මාමට කියන්න තවදුරටත් මට සල්ලි එවන්න එපා කියලා. මම දැන් ගෙවල් පැත්තෙ පොඩි ළමයින්ට පන්ති කරනවා. ඒකෙන් ලැබෙන ආදායම මට මගේ දේවල් කරගන්න ඇති. මම වගේ දුප්පත් වෙන ළමයෙක්ට පුලුවන් නම් උදව් කරන්න කියන්න. සුජාතා ලද ලිපියක ලොකු දුව එසේ අකුරු කර තිබුනි.

ලොකු දුවට මෙන්ම සෑම යෞවනයෙක්ටම ස්වාධීන වෙන්නට ඇත්තේ තරමක ආශාවකි. ඒ ගැන සුජාතා සමග කථා බහ කල පසු ඇගේ කැමැත්තට ඉඩ දෙන්නට මම තීරණය කළෙමි.

ඩිප්ලෝමාව අවසානයේ රැකියා පුහුණුව පිණිස පුද්ගලික ආයතනයකට ලොකු දුව යොමු වූ බවත්, පුහුණු කාලය අවසානයේ එම ආයතය විසින් සහකාර ගණකාධිකාරිණියක ලෙස ස්ථිරව රැකියාව පිරිනැමූ බවත්, එහිදී හඳුනාගත් තරුණයෙකු ඇගේ කැමැත්ත විමසන බවත් සුජාතා මට දැන්වූවාය.

කොල්ලා හැඩකාරයෙක්ද ? සුජාතා ඇගෙන් විමසයි.

ඔව්..ලොකු දුව ලැජ්ජාවෙන් ඇඹරෙයි.

ඉතින් ඔයා කැමතිද ?

මාමා කැමති නම් විතරයි මම කැමති වෙන්නෙ.

ඒ ඇයි..ඔයානෙ කසාද බඳින්නෙ...

ඒ උනාට මාමනෙ මට මේ තැනට එන්න උදව් කලේ..එයාගෙ කැමැත්ත ආශිර්වාදය ඇතිවයි මම කසාඳ බඳින්නෙ. අනික මට හැමදේටම ඉන්නෙ ඔයාලා විතරයිනෙ.

එවර නිවාඩුවට ලංකාවට ගිය පසු ලොකුදුව පිළිබඳ සිතක් පහළ කරගෙන සිටි තරුණයාගේ නිවෙසට ගොස් ඔහුගේ වැඩිහිටියන් සමග කථාබස් කරන්නට මා හට හැකිවිය. අවසානයේ ලොකු දුව පෙම්වතියක් වූයේ කාගෙ කාගෙත් කැමැත්ත අනුවය.

එතැනින් පසු වසරක්වත් ගෙවුනේ නැත. නිතරම අන්තර්ජාලයෙන් හෝ දුරකථනයෙන් මා අමතන සුජාතා සෑහෙන කලකින් ලිපියක් ලියන්නට කල්පනා කරන්නට ඇත්තේ මේ ආරංචිය වෙනස් ලෙසකින් මා හට සන්නිවේදනය කරන්නට සිතා විය යුතුය.

දයා, ලොකු දුව අගෝස්තුවෙ බඳිනවා.... තරමක් විශාල අකුරින් ලිපියේ මැදට වන්නට එසේ සටහන්ව තිබුනි.




මම කාමරේ අරින සිරා කොලුවා.



Wednesday, March 25, 2015

67 ඩඩ් ඩඩ් ඩබල් බනිස් සමග ගමේ ඩයල්

අපේ ගමේ ඩයල් ගැන මම ලියාගෙන යන සටහන් කියවන්න බොහෝ ඇත්තො මනාප වග ලිපිය කියවපු ප්‍රමාණය දිහා බැලුවාම මගේ අක්මාවට දැනෙනවා. ඒ හින්දම තවත් චරිත දෙක තුනක් මෙතනට අරගෙන ඇවිල්ලා බොලාට හඳුන්වාදෙන්න මට හිතුනා.

අපි ගැටයො කාලෙ ගමේ සම වයසෙ කොල්ලො අතර සහයෝගය සමගිය වැඩි උනේ ක්‍රිකට් ක්‍රීඩාව නිසයි. පිල්ලෑවෙ පොල් වත්තට හැන්දෑවට හැන්දෑවට ගාටලා බෝල තලන අස්සෙ තමයි මේ කියන ඒවා වර්ධනය වෙලා ආවෙ.

පින්තූරය ගත්තෙ මෙතැනින්


අපේ ක්‍රිකට් කණ්ඩායමේ දකුණතින් පිත්ත හසුරවපු ඉතා හොඳ පිතිකරුවෙක් තමයි ඩොනා කියන්නෙ. ඩොනා කාගෙන් හෝ ක්‍රිකට් පිළිබද පුහුණුව ලැබුවෙ නැති උනාට හරිම ලස්සනට පිට ඉන්න පැත්තෙන් එන බෝල වලට ලස්සන ලස්සන පහර ගැහුවා. ඉතිං අපි පන්දු යවන වෙලාවට පුලුවන් තරම් ඩොනාගෙ කකුලටම තමයි බෝල දැම්මෙ. මිනිහගෙ දුර්වල තැන එතන.

ඩොනා අපිට වඩා වසර කීපයක් වැඩිමල්. බොහොම දේහදාරී චරිතයක්. ක්‍රිකට් ගහන්න ටෙනිස් බෝල ගන්න කඩේට ගියාම ඒවා ඔබලා බලන එක අපේ සිරිතක්. ඉක්මනින් එබෙන පන්දු වගේම එබෙන්නෙ නැති ගල්ගෙඩිය වගේ පන්දුත් අපේ භාවිතයට සුදුසු නෑ. ඒවා ඉක්මනින් පැලෙනවා. ඉතින් මේ බෝල ඔබන රාජකාරිය බොහෝ වෙලාවට කලේ ඩොනා. මේකා ඇගේ තියෙන ශක්තිය දාලා බෝල ඔබද්දි සමහර වෙලාවට ඒවා කඩේ ඇතුලෙම පැලුනා. ඒ වෙලාවට අපි හීන් සීරුවෙ මුදලාලිට ආයෙමත් බාර දුන්නා. සමහර වෙලාවට පන්දු යවමින් ඉන්න ඩොනා ආතොල් එකට බෝලය ඔබනවා. ඒ වෙලාවට එතන ඉන්න අනිත් උන් කුණුහරුපෙන් බැනලා තමයි ඩොනාගෙන් බෝලෙ බේරගන්නෙ.

ඩොනාට පොඩි ගොතයක් තිබුනා. සමහර වචන ඒකාට නිවැරදි විදියට උච්චාරණය කරන්නම බෑ. තවත් සමහර වචන කීප වතාවක් උත්සාහ කරලයි කියන්න ඕනෙ. ඔය වගේ හේතු නිසා ගමේ හිටිය මල් වගේ යුවතියො අඩු ගානෙ සිනහවකින් වත් ඩොනාට සංග්‍රහ කලේ නෑ. අන්තිමේදි කිසිම කොල්ලෙකුගෙ ඇල්ම බැල්ම ලැබුවෙ නැති කැත කලු කෙල්ල දමයන්ති තමයි ඩොනාගෙ ආදර දැලට අහු උනේ.

දෙන්නා දැන් යාලුයි..පිල්ලෑව වත්තට කොල්ලො බෝල ගහන්න එන්නෙ හැන්දෑවට..දවල් වරුව නිස්කලංකයි, වෙලේ හුලං වත්ත පුරා හමනවා. පිල්ලෑවට ආසන්නයේ බාගෙට වැඩ නිම කල නිවසක් අස්සෙ තමයි දෙන්නගෙ පෙම මෝරන්නෙ. දවසක් හරක් ගේන්න ගිය වැඩිහිටියෙක්ට ඩොනා දමයන්ති ප්‍රේමය අතට අහුවෙලා.

තෝ මොනවද බොල මේ පාළු ගේ අස්සෙ මේ කෙල්ල එක්ක කොරන්නෙ ?

අනේ මා මා මාමෙ අපි ඩඩ් ඩඩ් ඩඩ් ඩබල් බනිස් කෑවා.... ඇත්තටම ඩොනා අතේ ක්‍රීම් බනිස් ‍ජෝඩුවක් තමයි ඒ වෙලාවෙ තිබිලා තියෙන්නෙ. මේ බනිස් කාපු කතන්දරේ ක්‍රිකට් ක්‍රීඩා කරපු අපේ කන් වලට එන්න වැඩි කලක් ගියේ නෑ. මුල් කාලෙ අපෙන් එල්ලවෙච්ච දරුණු අපහාස උපේක්ෂාවෙන් විදදරාගෙන ඩොනා දිගටම ක්‍රීඩා කරන්න ආවා ගියා.

සුමියා කියන්නෙ අපි ක්‍රිකට් ක්‍රීඩා කරපු කාලෙත් අවුරුදු 40 කට විතර කිට්ටු හාදයෙක්. හොර අරක්කු වික්ක රිචාගෙ දුව රංජනී එක්ක දීගතලා ඇවිත් පිටගමක සුමියා අපේ ගමේ බින්න බැස්සා. වැඩිය ඇඟපත ලොකු නැති බොහොම අහිංසක, ඒ වගේම හරිම ප්‍රියමනාප මිනිහා තමයි සුමියා. ජෝඩුවම වයසට ගිහින් කසාද බැන්ද හින්දම අවුරුදු දෙක තුනක් යනකං දරුවෙක් ලැබුනෙ නෑ.

පිල්ලෑව වත්තට ආසන්නයේම තමයි සුමියගෙ නිවස තිබුනෙ. කොල්ලො එක්ක හරිම විවෘතවයි සුමියා තමන්ගෙ විවාහ ජීවිතය ගැන කථා කලේ. අපි බත් දන්සැල පවත්වපු කාලෙ දර කොටං කුළුගෙඩියෙන් ගහලා පලන්න හරියටම කූඤ්ඤය තියන සාස්තරේ අපට කියා දුන්නෙත් මේ කියන සුමියම තමයි.

මොකෝ සුමියා තවම වෙනසක් නැතෙයි.

වෙනසක් වෙන්න හිටින්න එපායැ...තවම හිටියෙ නෑ බොල...සුමියා එහෙම කියන්නෙ ඇඟට පතට නොදැනි.

ක්‍රීඩාව බොහොම සාරසුබාවට යන වෙලාවට රංජනී සුමිය‍ට බොන්න ආදරය වැඩියෙන් දාලා හදපු තේ එකක් අරගෙන වැට අද්දරට එනවා. ඒ වෙලාවට සුමියා ඇඹලයා වගේ රංජනී ලගට ගිහින් තේ කෝප්පය තොල ගාන්නෙ. සමහර දවස් වලට රංජනී පස්සෙන්ම ගෙදර යන සුමියා දාඩිය පෙරාගෙන ආයෙත් බෝල ගහන්න එන්නෙ කොල්ලන්ගෙ උසුළු විසුළු මැද.

සුමියො අදවත් හිටීද ? එහෙම දවස් වලට කුපාඩි කොල්ලො එහෙමයි ඇහුවෙ. අද නං සුමියා දරු පැටව් දෙන්නෙක්ගෙ ආදර පියෙක්.

අපේ අනුරාධයා ගැනත් යමක් නොකියාම බෑ. අසල්වැසි ගම්මාන සමග ක්‍රිකට් තරග සංවිධානය කිරීම වගේම අපේ ක්‍රීඩා උපකරණ පරිස්සම් කලෙත්, ක්‍රීඩාවට නිවෙස් වලින් කොල්ලො කුරුට්ටො උස්සගෙන ආවෙත් මේ ගොයියා.

තුන් ඉරියව්වෙන්ම දක්ෂ ක්‍රීඩකයෙක්. අනුරාධයගෙ ඔලු ගෙඩිය හරියට කොම්පීතරයක් වගේ. පන්දු ඕවරයට එක පන්දුවක් අඩු උනොත්, ලකුණු එකතුවෙන් එකක් අඩු උනොත් ඒ බව උගෙන් හංගන්න මොන සක්කරයටවත් බෑ. එහෙම වෙලාවට ඒකා සටනට යන්නෙ පණ එපා කියලා. නිතරම ක්‍රීඩා භූමියේ විහිළු තහළු කරමින් සිනාමුසුව හිටිය චරිතයක් නිසා කවුරුත් මේකා එක්ක සුහදව හිටියා.

දවසක් අනුරාධයට කැත සිද්ධියක් උනා. කොහෙද යන වරත්තුවො ටිකක් එක්ක බඩවැටියක් අස්සෙ ගංජා සුරුට්ටුවක් ඇදපු අනුරාධයා මොලේ කරවෙලා පිස්සු හැදිලා විකාර කියවන්න අරගෙන ගෙදර ආවට පස්සෙ. මේකා හොඳ සිහියෙන් නෙමෙයි මේ ඉන්නෙ කියලා හොඳටම භය වෙච්ච උගෙ අම්මා වගේම අක්කා ඒ වෙද්දි අපේ ගම මැද්දෙ ආවාසයක් හදාගෙන වැඩ වාසය කල මෙහෙණින් වහන්සේ වෙත රැගෙන ගිහින්. ඇයව ගමේ හැමෝම ආමන්ත්‍රණය කලේ මෑණියෝ කියලයි

අපට නොපෙනෙන බලවේගයක් නිසා මේ මිනිහා මරු කියවනවා කියලා හිතපු මෑණියො පිරිත් එහෙම කියලා අනුරාධයට සෙත් ශාන්ති කොරලා දැන් ඉතින් ගෙදර ගිහින් සාමකාමීව ඉන්න කියලා ඌට කියලා. මෙතෙක් වෙලා සද්ද නැතුව කෙහෙල් කරටිය පාත් උනා වගේ සද්දයක් බද්දයක් නැතුව හිටිය අනුරාධයා අමු තිත්ත කුණුහරුපෙන් මෑණියන්ට බැනලා. උන්ගෙ අම්මා අනුරාධයගෙ කම්මුල පුපුරන තරමේ කනේ පාරක් දුන්නත් අනුරාධයගෙ ගංජා ආතල් නම් බැහැලා නෑ. මේ වයසට ළමයි ඔහොම තමයි කියාගෙන මෑණියෝ ඊට පස්සෙ තමන්ගෙ කුටියෙ දොර වහගත්තා කියලයි එතැන හිටිය උන්ගෙන් මට ආරංචි උනේ. මේ සිද්ධියෙන් පස්සෙ අනුරාධයට හැමෝම කථා කලේ මෑණියෝ කියලයි.

අපි ඉස්සර ක්‍රිකට් ගහලා ඉවර උනාම හැමෝම වගේ තම තමන්ගෙ ශරීර වලින් වැගිරෙන කුණු දූවිලි දාඩිය වලින් මිදෙන්න අත්තනගළු ඔයේ නාන්න එකතු උනා. අපි හැමෝටම පීනන්න වගේම කිමිදෙන්නත් පුලුවන්. ඒත් අනුරාධයා ආඳා වගේ වේගයෙන් පීනන්න, දිය යටින් යන්න හොඳ සාමාර්ථයක් තිබුන එකෙක්.

මේකා දියයටින් ඇවිත් එක එකාගෙ ලාග්ගො අස්සට අත දාන්නෙ කාටත් හොරා විදුලි වේගයෙන්. උගේ අනපේක්ෂිත ප්‍රහාර නිසා කෝපයට පත් වෙන ජනතාව අන්තිමට අනුරාධයව  අල්ලගෙන උගෙ ලාග්ගා ගලවලා, ඒකාව උපන් ඇඳුමෙන් වතුරට තල්ලු කරන්නෙ උස් හඬින් සිනහා වෙමින්.

රැකියාවට යන එන යුවතියො රාශියක් මේ වෙලාවට ඔයට යාබද ම‍ාර්ගයේ ගමන් කරනවා. අනුරාධයගෙ ලාග්ගා මාර්ගයට ආසන්න කුඹුරකින් තියලා අපි හෙමිහිට මාරු වෙන්නෙ මේකාට හොඳ දඬුවම කියලා හිතාන. ඒත් අපි පාගමනින් හන්දිය පැත්තට යද්දි අපිට පිටිපස්සෙන් උගෙ දඬු මොනරයෙන් ඇවිත් පොල් කෑල්ල වගේ සුදුවට පේන දත් අැන්ද පෙන්නලා අනුරාධයා අපිට හිනාවෙන්නෙ ඔලොක්කුවට වගේ.

අද ලිපියෙන් මම අන්තිම වශයෙන් කියන්න කල්පනා කලේ අපේ දෙලා ගැන. දෙලා පිටගමකින් ඇවිත් අපේ ගමේ පැළපදියම් වෙච්ච හාදයෙක්. මට වඩා වසර කීපයක් වැඩිමල්. පිල්ලෑව වත්තට ක්‍රිකට් ක්‍රීඩාව මාරු කරන්න කලියෙන් අපි බෝල ගැහුවෙ මාර්ගයට යාබද වපුරන්නෙ නැති කුඹුරු ඉඩමක. කාලයක් තිස්සෙ මෙතන ක්‍රීඩාව යද්දි තණ තිල්ල ක්‍රීඩා පිටියක වගේම ලස්සනට සැකසුනා. ධාරානිපාත වර්ෂාවක් වැස්සත් පැය භාගයකින් ආයෙමත් ක්‍රීඩා කරන්න පුලුවන්. 

මේ භූමියෙම අපි පස්සෙ කාලෙක ලෙදර් බෝල ක්‍රිකට් සෙල්ලං කලේ ගමේ රොෂාන් අයියට පිං සිද්ධ වෙන්න. කොළඹ ක්‍රිකට් ක්‍රීඩා සමාජයක මිනිහා ක්‍රීඩා කොරපු නිසා අවශ්‍ය උපාංග සියල්ලම එයා ලග තිබුනා. මම අරවින්දටත් බෝල් කරලා තියෙනවා, රොෂාන් අයියා එහෙම කියද්දි අපි උගෙ දිහා බලා උන්නෙ හරියට වීරයෙක් දිහා බලනවා වගේ. පා ආවරණ, හිස් ආවරණ, අත් ආවරණ පැළඳගෙන වෙළ මැද්දෙ ඉන්න අපේ සැට් එක දකින ගමේ කෙල්ලො අපිට කෝචොක් එකට තමයි හිනා උනේ.

ක්‍රීඩා පිටියට යාබද ඉඩමක දෙලා සහ අම්මා ජීවත් වෙච්ච කුලී නිවස තිබුනෙ. ඊයෙ දෙල් බැඳලා කෑවා මාර රහයි. අපේ ගමට ආවට පස්සෙ ඒකා ඇතුලත් වෙච්ච අලුත් පාසලේ මිත්තරයො එක්ක නිතරම දෙල් වල වරුණාව කියපු  හින්දා තමයි දෙලා කියලා නම වැටුනෙ. මට මතක විදියට දෙලාගෙ ගෙදර ලොකු දෙල් ගහක් තිබුනා.

දෙලා කැපවීමෙන් ක්‍රීඩා කලා. වසරින් වසර ගෙවීගෙන යද්දි ඒකා ගමේ එදා ඉඳන් හිටිය එකෙක් තරමට හැමෝටම සමීප උනා. විරුද්ධ පාර්ශවයෙ කාගෙන් හෝ ක්‍රීඩාව අතරතුර වංචාවක් උනොත් දෙලා කිපෙන්නෙ පොළගෙක් වගෙයි. උගෙ කටින් ඒ වෙලාවට පිට පනින්නෙ කුණු හරුප මාලාවක්. දවසක් මොකක්දෝ හුටපටයකට දෙලාගෙ ඉවසීමේ සීමාවෙ අන්තිම කට්ටයත් පැන්නා. තොපිට මෙතන ආයෙ බෝල ගහන්න දෙන්නෙ නෑ කියලා වහසි බස් දොඩාපු මිනිහා ගෙදරට දුවලා උදැල්ලක් උස්සගෙන ආවා. කවුරුවත් මේ නාටකයට මැදිහත් නොවී බලාන උන්නා. දෙලා අපි උදේ හවස බෝල ගහපු තැන ගැඩවිලෙක් වගේ හාරගෙන හාරගෙන ගියේ හිතේ තිබුන කෝපය නිසාම වෙන්න ඇති.

පහුවදා හැන්දෑවෙ පාසල් නිමාවෙලා අපි එතැනට එනකොට විශාල වලක් සහ පස්ගොඩක් තිබුනා. හැමෝගෙම සහයෝගයෙන් පස් තුනී කරලා ආයෙමත් ක්‍රීඩා කරන්න හැකි විදියට හදාගත්තට පස්ස‍ෙ කිසිවක් නොවුන ගානට දෙලා ක්‍රීඩාවට එකතු උනේ.

ඉස්සර අපේ ගමේ කොල්ලො කෙල්ලො හැමෝම නියෝජනය කොරාපු යෞවන සමාජයක් තිබුනා. මේ යෞවන සමාජයට තමන්ගෙ රැස්වීම් තියන්න ස්ථිර ගොඩනැගිල්ලක් තිබුනෙ නැති නිසා කොල්ලො ක්‍රිකට් ක්‍රීඩා කරන වෙල් යායටම ඒ ඇත්තියොත් රැස්වීම් දවසට ආවා. ක්‍රීඩාව යන අතර තුර කෙල්ලො එකා දෙන්නා එතැනට ඇවිත් අපි ක්‍රීඩා කරන ස්ථානය සමීපයේ හිටගෙන අපි දිහා බලා උන්නා. අන්න ඒ වෙලාවටනෙ කොල්ලන්ගෙ සැඟවුන ක්‍රීඩා කෞෂල්‍ය ඉහළට එසවුනේ. සැට් එක උපරිමයෙන් ක්‍රීඩා කලා. පන්දු යවන්නො උපරිම වේගයෙන් පන්දු යවන්න උත්සාහ කලා. පිතිකරුවො දැරිවියන්ට පේන්න හයේ හතරෙ ඒවම ගහන්න වග බලාගත්තා.

අපේ ක්‍රීඩාව දිහා බලාන උන්න මේ සීදේවි දැරිවියො උන්ටත් සෙල්ලං කරන්න උවමනායි කියපු නිසාම අපි ඒ අයට අත් පන්දු ක්‍රීඩා කරන්න තැනක් හදලා දුන්නා. එදායින් පස්සෙ ක්‍රිකට් ක්‍රීඩාවට ආව ඇතමෙක් කෙල්ලො එක්ක බෝල සෙල්ලමට එතැන නතර වෙච්ච නිසා අපි පස්සෙ දවසක පිල්ලෑව පොල් වත්තට අපේ ක්‍රිකට් ක්‍රීඩාව මාරු කොලා.

ලංකාවෙන් පිට ඉඳන් නිවී සැනසිල්ලෙ අපේ ගමේ මේ අහිංසක අතීතය මතක් කරද්දි මට දැනෙන්න‍ෙ හරිම සතුටක්. යෞවන සමාජයෙ හිටිය අති මහත් බහුතරය අද දෙමාපියන්. දරුවන්ගෙ වගකීම් එක්ක කථා බහ කරන්නවත් වෙලාවක් නෑ. ඒත් මෙදා ලංකාවට ගියාම අපේ පරණ මතකය ඇවිස්සෙන්නත් එක්ක හැමෝම එකතු කරගෙන ආයෙමත් දවසක් දෙකක් හරි ක්‍රීඩා කරන්නයි මගේ අදහස.




මම කාමරේ අරින සිරා ‍කොලුවා.



ප.ලි

ලාග්ගා යනු ජොකා හඳුන්වන අලුත් වචනයකි.  මේ වචනය බ්ලොග් ඉසව්වට රැගෙන ඒමේ ගෞරවය විචාරක තුමා හට හිමිවෙයි.




Sunday, March 22, 2015

64 මල්ලක් එල්ලගෙන මැලේසියාවේ MATTA පොලේ යමු

MATTA FAIR යනු මැලේසියාවේ සංචාරක අංශයට අදාළව වසරකට දෙවරක් පැවැත්වෙන අති දැවැන්ත ප්‍රදර්ශනයයි. Malaysian Association of Tour & Travel Agents යන්න ලඝු වීමෙන් MATTA යන වදන සැකසී තිබේ.

සංචාරක අංශය කර්මාන්තයක් ලෙස ලෝක මට්ටමෙන් පෙරට ආවේ 90 දශකයෙක් පසු බව මගේ අදහසයි. ගුවන් යානා සමාගම්, ගුවන් තොටුපල වල යටිතල පහසුකම් දියුණු වීමත්, ගුවන් යානාවන්හි තාක්ෂණ ක්‍රමවේදයන් වැඩි දියුණු  වීමත්, ආර්ථික වශයෙන් රටවල් පෙරට ඒම හේතුකොට ජනතාව අත යහමින් මුදල් ගැවසීමත් ඒ සඳහා හේතු වන්නට ඇත. මීට පෙර කෘෂිකාර්මික හා කාර්මික අංශයන්ගෙන් ආදායම් ලැබූ රටවල් දැන් දැන් සමස්ත දේශීය ආදායමෙන් වැඩි කොටසක් සංචාරක අංශය මගින් ඉපයීමට පටන් ගෙන තිබේ. මැලේසියාවද සංචාරක ක්ෂේත්‍රයෙන් විශාල ආදායමක් ලබන රටකි.

රටක ආදායම් මට්ටම වැඩිවී එහි ප්‍රතිලාභ ජනතාව කරා යොමුවී ඔවුන්ගේ ජීවන තත්වය ඉහළ නංවාගෙන මූලික අවශ්‍යතා සපුරාගත් පසු ඔවුන් ද්විතීක හා තෘතීක අවශ්‍යතා වෙනුවෙන් යොමුවෙයි. ඒ අනුව මැලේසියානු ආර්ථිකය තුල මැලේසියානු පුරවැසියෙකුට වසරකට වරක් විදේශ සංචාරයක නියැලීම යනු බොහෝ සුලභ දෙයක් බවට වර්තමානය වන විට පත් ව තිබෙයි. ඒ ඔවුන් එදිනෙදා නියලෙන ආර්ථික කටයුතු වලින් ප්‍රමාණවත් ආදායමක් ඔවුනට ලැබෙන හෙයිනි. සිරා කොලුවා සේවය කරන ආයතනය හරහා මෙහි බස් රියදුරන්, කුඩා පරිමාණ ව්‍යාපාර හිමියන් පවා කරදරයකින් තොරව ඇමරිකාවේ සංචාරය කරති.

ලෝකය තුල මැලේසියානු ගුවන් ගමන් බලපත්‍රයට (Passport) හිමිව තිබෙන්නේ සුවිශේෂී ස්ථානයකි. වීසා නොමැතිව වැඩිම රටවල් ගනනකට යා හැකි ගුවන් ගමන් බලපත්‍ර අතර ලෝක මට්ටමේ 8 වන ස්ථානය හිමිව තිබෙන්නේ මැලේසියාවටයි. පසුගිය වසරේ සැප්තැම්බරය වන විට එයට වීසා නොමැතිව රටවල් 166 ක සංචාරය කල හැකිව තිබුනි. ඒ රටවල් අතරට ශ්‍රී ලාංකිකයකුට වීසා ගන්නට තරමක් වෙහෙස විය යුතු එංගලන්තය / නව සීලන්තය / ජපානය / ජර්මනිය / ඔස්ට්‍රේලියාව / බෙල්ජියම / ප්‍රංශය වැනි රටවල්ද අයත් වෙයි.  ලොව හොදම ගුවන් ගමන් බලපත්‍ර අතර පළමු 10 දෙනා අතර සිටින අග්නිදිග ආසියාවේ රටවල් ද්විත්වය මැලේසියාව සහ සිංගප්පූරුවයි. ෆින්ලන්තය / එංගලන්තය / ජර්මනිය / ස්වීඩනය සහ ඇමරිකාව යන රටවල් මේ ලැයිස්තුවේ පළමු තැන වැජබෙන්නේ රටවල් 174 කට නිදහසේ සංචාරය කිරීමට හැකියාව ඇති නිසාවෙනි. ලැයිස්තුවේ අන්තිම තැන සිටින්නේ රටවල් 28 කට පමණක් වීසා නොමැතිව සංචාරය කල හැකි ඇෆ්ගනිස්ථානයයි.

ගුවන් ගමන් බලපත්‍රයෙන් හිමිව ඇති වාසියත්, අතමිට මුදල් ගැවසීමත් මැලේසියානුවන් වැඩි වැඩියෙන් සංචාරයට පොළඹවා ඇති නිසාම අති දැවැන්ත MATTA ප්‍රදර්ශනය මාස 6 කට වතාවක් බැගින් වසරකට දෙවරක් සංවිධානය කිරීමට එහි සංවිධායකයන්ට සිදුවී තිබේ. මැලේසියාවේ නූතන සංවර්ධනයේ නියමුවා වූ මහතීර් මොහමඩ් අගමැති තුමාගේ කාලයේ ක්වාලාලම්පූර් නුවර ඉඳිකල Putra World Trade Center (PWTC) නැමති ප්‍රදර්ශන හා සම්මන්ත්‍රණ මධ්‍යස්ථානයේ දැවැන්ත ශාලා 4 ක් පුරා ප්‍රදර්ශ කුටි 1200 කට වැඩි සහභාගීත්වය ඇතිව MATTA ප්‍රදර්ශනය මාර්තු සහ සැප්තැම්බර් මාසයේ පැවැත්වෙයි.

වසරකට වරක් විදෙස් රටක සංචාරය කිරීම මේ වන විට මැලේසියානු පුරවැසියන් තුල මෝස්තරයක් තරමට ප්‍රචලිත වී තිබේ. ආර්ථික හැකියාව අනුව සමහරෙකු වසරකට දෙවරක් සංචාරය කරන විට තවෙකෙකු වසරකට වරක් සංචාරයේ යෙදෙයි. වාර්ෂිකව ශ්‍රී ලංකාවට 25000 කට ආසන්න මැලේසියානුවන් පිරිසක් සංචාරයට පැමිණෙන බවක් මා හට දැනගන්නට ලැබී තිබේ. ඒ අතරින් බහුතරය චීන සහ ඉන්දියානු සම්භවය ඇති පිරිස වෙති.


පවුලේ සාමාජිකයන් මෙවර තමන් සංචාරය කරන්නේ කුමන රටකදැයි තීරණය කල පසු MATTA ප්‍රදර්ශනය වෙත පැමිණෙන්නේ එම ගමනාන්තය උදෙසා සේවා සපයන හොඳම ආයතනය තෝරා ගැනීමේ අටියෙනි. පළමු හා දෙවන දින තමන්ට වඩාත් ගැලපෙන ආයතනය තෝරාගන්නට වෙහෙසෙන ඔවුන් තෙවැනි දින මුදල් අත්තිකාරම් ගෙවා සංචාරයට ඔවුන්ගේ නම් එකතු කරයි.

ප්‍රදර්ශනයේ ප්‍රවේශ පත්‍රයක් රිංගිට් 4 කට මිළ නියම කොට තිබේ. එය රුපියල් වලින් ආසන්න වශයෙන් 160 කි. ප්‍රවේශ පත්‍රය සමග විශාල මල්ලක්ද ලැබෙයි. ඒ අත් පත්‍රිකා බහාලන්නටය. මෙතරම් විශාල ප්‍රදර්ශන ශාලාවක බිම අතහැර ගිය එකදු අත් පත්‍රිකාවක් හෝ දකින්නට නැති තරමට ප්‍රදර්ශනයට පැමිණෙන අය සතුව කඳිම විනයක් පවතී. උදෑසන 10 සිට රාත්‍රී 9 දක්වා ප්‍රදර්ශනය විවෘතව පවතින අතර සිකුරාදා, සෙනසුරාදා, ඉරිදා ලෙස එය සෑම විටෙකම සංවිධානය වෙයි. මේ ප්‍රදර්ශනය වෙනුවෙන්ම නිකුත් කරන ණය පතක්ද සෑම විටෙකම ප්‍රදර්ශන භූමියේදී කරළියට එයි.

ශාලා අංක 1 ආසන්නයේ ඇති ප්‍රවේශ පත්‍ර කවුළුව


ඔය ඉන්නෙ මල්ල එල්ලගෙන

දිනය අනුව මල්ලේ පැහැය වෙනස් වෙයි. කොහොමද මැලේ නංගිලා..ලස්සනද ?
ප්‍රධාන පිවිසුමෙන් අැතුලු උවහොත් එම නරඹන්නන් Putra හෝටලය මැදින් පළමුවෙන් 4 වන ශාලාවට පිවිසෙයි. 4 වන ශාලාව වෙන්කර අැත්තේ මැලේසියාව ඇතුලත සිදුකරන සංචාරයන් (Inbound) සඳහා පහසුකම් සපයන අායතන වලට තම සේවාවන් ජනතාව අතරට රැගෙන යාමේ අරමුණ වෙනුවෙනි. එයින් අනතුරුව එම ජනතාවට දෙවන සහ තෙවන ශාලා හරහා පළමු ශාලාවට පිවිසීමට හැකියාව ලැබේ. පළමු ශාලාව ආසන්නයේ ඇති පිවිසුමෙන් පැමිණියේ නම් පළමු ශාලාවෙන්ම ප්‍රදර්ශන කුටි වෙත පිවිසීම ඇරඹීමට හැකි වෙයි.

ප්‍රධාන පිවිසුම


ප්‍රදර්ශනය අතර තුර විවේක ගන්නා ජනතාව
සිරා කොලුවා මැලේසියාවේ සේවය කරන සංචාරක කර්මාන්තයට සම්බන්ධ ආයතනය හැම විටෙකම තම ප්‍රදර්ශනය කුටිය පවත්වාගෙන යන්නේ පළමු ශාලාව තුලයි. ඒ තුල දෙස් විදෙස් ආයතන ගණනාවක් තරගකාරීව තම ප්‍රදර්ශන කුටි පවත්වාගෙන ගියද සුහදත්වයෙන් අඩුවක් නැත. සියල්ලෝම අඩු වැඩි වශයෙන් තම ප්‍රදර්ශන කුටි වෙත ජනතාව අද්දවා ගැනීමට විවිධ උපක්‍රම භාවිතා කරති. ඇතමෙක් කිමෝනා වලින් සැරසූ චීන යුවතියන් ලවා අත්පත්‍රිකා බෙදති. තවත් සමහරෙක් අයිස් ක්‍රීම් කවති. තවත් තැනක කුඩා දරුවන්ට බැලුම් බෝල බෙදා දෙයි. තවත් තැනක විවිධ රටවල් පිළිබඳ සැකසුන වීඩියෝ දර්ශන පෙන්වති.

කිමෝනා නංගියෙක්


වෘත්තියෙන් ඩිසයිනරයෙකු වන සිරා කොලුවාට පෙබරවාරි සහ අගෝස්තු යන මාස වසරේ රාජකාරි අධිකතම මාස වෙයි. MATTA ප්‍රදර්ශනය ඉලක්ක කොට සැකසෙන ආයතනයේ ප්‍රදර්ශන කුටිය, අත් පත්‍රිකා මෙන්ම පුවත් පත් දැන්වීම්ද නිර්මාණය වන්නේ මගේ අතිනි. මෙවර පෙබරවාරිය මුලදීම අනුභව කල බූට් රාජයා නිසා මගේ කටයුතු අඩපණ වේ යැයි මම මහත් භියෙන් පසුවුවත් බූට් මාසයට පින් සිදු වන්නට සියල්ල ඉතා හොඳින් නිම කරන්නට මට හැකියාව ලැබුනි. සිරාගේ කාමරයට ආගිය, අපට ඔවදන් දුන් ලව් ඔස්තාද්ලාට ඒ පිළිබඳ මගේ මෙව්වා එක මෙයින් පල කරමි.

මෙවර අපගේ ප්‍රදර්ශන කුටිය


ප්‍රදර්ශනය උදෙසා කරන නිර්මාණ වලදී වර්ණ මෙන්ම ඡායාරූපයන්ද මගේ අභිරුචිය පරිදි තෝරාගැනීමට මට නිදහස තිබේ. ඒ අනුව අපේ ප්‍රදර්ශන කුටියට හැමවිටකම ලංකාවේ ඡායාරූපයක් එකතු කරන්නට මම කිසිවිටෙකත් මැළි නොවෙමි. මෙවර මම ඒ සඳහා පොළොන්නරුවේ වටදාගෙය එකතු කළෙමි. මැලේසියාවේ වෙසෙන චීන සම්භවය සහිත බෞද්ධයන් මේ ඡායාරූපයට බොහෝ සේ ආකර්ශනය වූ අයුරු මම දුටිමි.

වටදාගෙය සහිත කොටස


ප්‍රදර්ශන කුටියේ දර්ශන මගෙ අතින් නිමවුවත්...එහි ඉඳිකිරීම් සෑම වසරකම චීන සමාගමකට පවරා තිබේ. මේ අායතනය වෙනුවෙන් මා සමග මේ කටයුතු සම්බන්ධීකරණය කරන්නේ ටිම් (Tim) නැමති චීනෙකි. මුල් කාලයේදී මේ චීනාගේ ඉංග්‍රීසි තේරුම් ගැනීමට මා හට ඉතාමත් අපහසු විය. ඒකාගේ උච්චාරණ‍ය චීන භාෂාවේ අාභාෂය ගැනීම එයට හේතුවයි. ඒ කාලයේ ලිඛිතව අදහස් හුවමාරු කරගත්තද දැන් මට ඔහු සමග වාචිකව අදහස් හුවමාරු කරගන්නට හැකිය. මගේ කනට ටිම්ගේ ඉංග්‍රීසි කාලයේ ඇවෑමෙන් හුරු වී තිබේ.

Tim සමග මම
MATTA ප්‍රදර්ශනය නරඹන්නනට පැමිණෙන අති මහත් බහුතරය චීන සම්භවය සහිත මැලේසියානුවන් වෙති. රටේ ආර්ථික ශක්තියේ වැඩි ධාරිතාවක් මේ ජනකොටස අත තිබෙන නිසා ඔවුන් බහුතරය ආර්ථික තත්වයෙන් උසස්ය. ළමා ලපටින් මෙන්ම ඉතාම වයෝවෘද්ධ අයගෙන්ද මේ ප්‍රදර්ශනය පිරී ඉතිරී යයි. චීන ප්‍රදර්ශන කුටි වල කාන්තා / පිරිමි භේදයක් නැතුව සියල්ලන්ම ඉතාම සහයෝගයෙන් කටයුතු කරන අයුරු දැකිය හැකිය. ඔව්හු ඉතාම කඩිසරය, කාර්යශූරය. උදෑසන 11.30 කණිසම වෙද්දී දවල් ආහාරයත්, හැන්දෑවේ 6.00 වෙද්දී රාත්‍රී ආහාරයත් අනුභව කිරීම මැලේසියාවේ සිටින චීනාගේ පුරුද්දයි.

මැලේසියානු ගුවන් සේවයේ කුටිය


පළමු ශාලාවේ උඩුමහලේ භෝජනාගාරයක් සමග විශේෂ වේදිකාවක් වෙයි. මේ වේදිකාව විවිධ රටවලින් පැමිණෙන කණ්ඩායම් වලට තම සංස්කෘතික අංගයන් ඉදිරිපත් කිරීමට වෙන් වී තිබේ. මේ වසරේ මාර්තු ප්‍රදර්ශනය වෙනුවෙන් ලංකාවෙන් කණ්ඩායමක් සහභාගී වූයේ නැතත් කලින් සෑම අවස්ථාවකම අපේ සංස්කෘතික උරුමය විඳහා දක්වමින් වෙස් නැට්ටුවන් සමග නර්තන කාරියන්ද තම නර්තනයන් ඉදිරිපත් කලහ.

උඩු මහළට පෙනෙන MATTA අසිරිය




2014 දී මැලේසියාවේ ජනගී කණ්ඩායමක් ඉදිරිපත් කල චීන ජන ගීයක්

පළමු මහලේ ප්‍රදර්ශන කුටියේ සිටින මට උඩු මහලේ වේදිකාවේ අපේ බෙර හඬ ඇසෙන විට ඒ මානයට නොයා සිටින්නට හැකියාවක් නැත. මැලේසියානුවන් ඉදිරියේ නර්තනයන් ඉදිරිපත් කරන අපේ නර්තන ශිල්පීන් දකින විට සිතට දැනෙන්නේ මහත් අභිමානයකි. මෙහි ජනතාව ලාංකික නර්තන ශිල්පීන් සමග එකට සිට ඡායාරූප ගන්නට දක්වන්නේ පුදුම පෙරේත කමකි. ඒ අපේ නර්තන ශිල්පීන් සැරසෙන ඇඳුම් ආයිත්තම් වල ඇති අනබිභවනීය පෙනුම නිසාවෙනි.

2013 වසරේ සැප්තැම්බරයේදී අපේ ශිල්පීන් MATTA ප්‍රදර්ශනයේ..


කිමෝනා නංගිලා සමග 2014 දී, චංගුමීගෙ ගවුමත් මේ තියෙන්නෙ.

ඉන්දුනීසියානු සංස්කෘතික කණ්ඩායම සමග 2014 දී
සෑම දිනෙකම අවසානයේ තම ඉලක්කයන් සපුරාගත් ආයතන වල සේවක සේවිකාවන් මහා හයියෙන් කෑ ගසමින්, අත්පුඩි තලමින් තම ප්‍රීතිය පල කිරීමත් ඔවුන්ගේ නිළදරුවන් එළඹෙන දිනයට ඔවුන් දිරිමත් කරන ආකාරයත් සුලභ දසුනකි. දින 3 ට වර්ණ 3 කින් යුතු ටී ෂර්ට් සෑම ආයතනයක්ම භාවිතා කරයි. අපේ ආයතන ප්‍රධානියා සෑම දිනයක් අවසානයේම ආයතනයේ සියල්ලන් සමග ප්‍රදර්ශන ශාලාව ආසන්නයේ චීන අවන්හලකට වැදී ඔහුගේ අනුග්‍රහයෙන් රාත්‍රී භෝජනය භුක්ති විඳින්නට අවස්ථාව සලසා තිබේ.

ලොකු අයියා හිටියෙ ඇමරිකානු තානාපති කාර්යාල කුටියෙ


අපේ ප්‍රදර්ශන කුටිය ආසන්නයේම මෙවර තිබුනේ මැලේසියානු ගුවන්තොටුපල විසින් පවත්වාගෙන ගිය ප්‍රදර්ශන කුටියකි. එහි සිටි මැලේ යුවතියන් අපට ටොෆී වලින් නිතරම සංග්‍රහ කල අතර අවසන් දිනයේදී වර්ණවත් පින්තූර කාඩ්පත් කීපයක්ද මා හට ලබා දුන්නෝය. දින 3 ක් පුරාවට එක වහළක් යට එකම අරමුණක් උදෙසා උනුන් හා තරග කලද අප වෙන්වන හෝරාව ආසන්න වන විට සියුම් වේදනාවකින් මගේ චිත්ත සන්තානය පිරී යයි. මැලේසියානු ජනතාවගේ මනුස්ස කමත්, අත්පත්‍රිකාවක් ලබා දුන්නත් ස්තූතියි කියන ඔවුන්ගේ සිනාමුසු අහිංසක මුහුණුත් මේ වගට හේතු වී තිබේ.

මැලේ රාළ වගේද ගින්දර මැලේ කොල්ලෙක්

මැ‍ලේසියාවේ ආදර්ශ පාඨය සතු මැලේසියා යන්නයි. සතු යනු එකේ ඉලක්කමට මැලේ වදනයි. මැලේ/චීන/දෙමළ යන ප්‍රධාන ජාතීන් 3 වෙසෙන මැලේසියාව එක රටක් යන සංකල්පයෙන් බලගැන්වී තිබේ. බොහෝ මැලේසියානුවන් ජාතික කොඩිය සහිත 1 ඉලක්කමක් පළදින්නේ රට ගැන ඇති හැගීම නිසාවෙනි.

ප්‍රදර්ශනය අවසන් වන අවස්ථාවේදීම ඔපීසියේ සිට රැගෙන ආ සියලු අඩුම කුඩුම නැවත වාහන වල පටවා ඔපීසියට පිටත් කොට ක්වාලාලම්පූර් නුවර නොනිදන ඉසව්ව බුකිට් බින්තාන්හි චීන අවන් හලකට වැදී ආයතනයේ වියදමෙන් මධුවිතක් සමග රසවත් චීන ආහාර වේලකින් කුස සනහා මැදියම් රැයේ නිවසට ලගා වන්නට ඉන්පසුව අවස්ථාව එළඹෙයි. මධුවිත අවසාන දිනයට පමණක් සීමා වී තිබේ.

මධුවිත මැදින් මම හැමදාමත් සිතන්නේ පසුගිය සියවස ආරම්භයේදී ලංකාවටත් පසුපසින් සිටි මැලේසියාවේ ජනතාව අද භුක්ති විඳින ජීවන තත්වය අපේ මිනිසුන් භුක්ති විඳින්නේ කවදාද කියා පමණි.

බුකිට් බින්තාන් (Bukit Bintang)...එක යායට චීන අවන් හල්



වෙහෙසකර සති කීපයක නිමාව, මුස්ලිම් / සිංහල / දෙමළ එක බෝතලයක සෙවනේ








මම කාමරේ අරින සිරා කොලුවා.

Tuesday, March 17, 2015

70 අපේ ගමේ රියල් බඩු

සිරා කොලුවාගේ ගම් පියසේ රියල් බඩු දෙක තුනක් ගැන මම මෙයට පෙර වතාවක ලියුවෙමි. ඒ සියල්ලෝම මේ වන විට පස් යට සැගවී ගිය අයයි. මේ අයට අමතරව තවත් ගින්දර වැනි තරුණ බුවාලාද අපේ ගමේ අඩුවක් නැත. අන්න ඒ අය වෙනුවෙන් මේ ලිපිය වෙන්වෙයි.

ෆස්ට් එක කියන්නෙ අපේ කොලු බලකායෙ මහා ෆයිලට් චරිතය රගපාපු, වලලු නැතුව ගස් වල ඇවිදින මාකස් ගොයියට කාලෙකට ඉස්සර වැටුන තවත් සාඩම්බර නමක්. ඒ නම වැටුන හැටි තමයි හරිම අපූරු. මේ කියන කාලෙ ඉතින් මෝටර් බයිසිකලයක් පදින්න ලැබුනොත් අපිට තිබුනෙ පුදුමාකාර සන්තෝෂයක්. ඒවා ඒ කියන තරම් දුර්ලභ වස්තු වීම තමයි කාරණේ.

කැන්ඩියා කියන්නෙ අපේ ගමේ ඇතිහැකි පවුලක එකෙක්. උගෙ දෙමාපියො ඒකා පොඩි කාලෙ ඉදලම අරාබි රටක ඉදගෙන ලංකාවට සල්ලි පොම්ප කරපු නිසා කැන්ඩියට කිසිම දේකින් අඩුවක් තිබුනෙ නෑ. මේකා ඉතින් ආච්චි ලග ඇතිදැඩි වීමත්, ආච්චි බොහොම සැර පරුෂ කාන්තාවක් වීමත් නිසාම ගෑණු ළමයෙක් වගේ තමයි උස් මහත් උනේ.

කැන්ඩියට අලුත්ම චැලියක් අරගෙන දීලා තිබුනෙ මේ අතරෙදි. ඒකා චැලිය එක්ක ඔට්ටු වෙන හැටි අනිත් කොල්ලො බලා උන්නෙ බොහොම ආශාවෙන්. අනේ අපිටත් වටයක් පදින්න චෑන්ස් එකක් වදියි කියන සහන් එළිය තමයි උන්ගෙ හිත් අද්දර තියෙන්න ඇත්තෙ.

අල්ලපු ගමක සංගීත සංදර්ශනයක් ලෑස්ති කරලා තිබ්බ දවසක කොලු රැල හන්දියෙ රැස් කකා උන්නෙ කාගෙ හරි පුස් බයිසිකලයක එල්ලිලා සංගීතය තියෙන තැනට යන්න. ඒ රාජකාරිය කොරන්න කලියෙන් කැන්ඩියා අලුත්ම කොළපාට චැලියෙන් හන්දියට ආවා. එක එකා වටයක් පදින්න ඉල්ලනකොට උගෙ ලාමක හිත උණු වෙන්න ඇති. හැමෝම මාරුවෙන් මාරුවට චැලිය පදින අතරෙ සිරා කොලුවගෙ වාරයත් ආවා. උපරිම වේගෙන් යන එක තමයි අපේ වෑයම. මගෙන් පස්සෙ අවස්ථාව උදා උනේ හොර කුරුම්බා වලට නම් දරාපු ෆයිලට් මාකස් ගොයියට. අනිත් උන් වගේම එ්කත් බයිසිකලේ ඉදගෙන පළවෙනි ගියර් එක දාලා ඉස්සරහට ගියා. නමුත් වෙන ගියර් දාපු බවක් අපිට ඇහුනෙ නෑ.‍

මාකස් උපරිම සන්තෝෂෙන් උපරිමයට අැක්ස්ලේටරය කරකවලා උගෙ වාරය නිමා කරලා කැන්ඩියා පැත්තට එනවා. බයිසිකලේ සද්දෙත් වෙනස් වෙලා. කොල්ලො කැන්ඩියා දිහා බලාන ඉද්දි කැන්ඩියගෙ කට ඇරුනා.

නෙදකින්...මේ මී හරකා එක ගියර් එකයි දැම්මෙ...එන්ජිම ගන්න දෙයක් නෑ ඉතිං දැන්...

අදෝනාවක් වගේ හඬක් නගාගෙන අපේ පැත්තට ආව අසරණ චැලිය කැන්ඩියගෙ දෙපාමුල නතර උනා. කැන්ඩියා පැනපු ගමන් බයිසිකලේ යතුර කරකවලා එන්ජිම නතර කරන්න හැදුවත් ඒක නතර උනේ නෑ. ඒ මදිවාට සැර කර ගඳකුත් එන්ජිමෙන් එනවා. කාට කාටත් චැලියට කෙළවිච්ච බව නම් පැහැදිලියි. කැන්ඩියගෙ ඇස්ගෙඩි දෙක එළියට පනින්න වගේ...ඒකාට උපරිම තරහා ගිහින් ඉන්නෙ.

ඇයි බොල ගොනෝ තව ගියර් දෙකක් තියෙද්දි උඹ එකක් විතරක් දැම්මෙ.

කවුද බං දන්නෙ..මම හිතුවෙ එච්චරයි ඇත්තෙ කියලා. භයෙන් බීරාන්ත වෙච්ච මාකස් එහෙම කියද්දි...වටේ පිටේ හිටිය වලත්ත කොල්ලො ඌට ෆස්ට් එක කියලා අලුත්ම නමක් රැජිස්ටර් කොලා.



මාකස්ගෙන් පස්සෙ මට බොලාට කියන්න හිතෙන්නෙ අපේ අඬනයා ගැන...මුලින්ම අඬනහිරියා කියලයි කිව්වෙ. පස්සෙ කාලෙක ඒකෙන් ‍කොටසක් ලොප් වෙලා අඬනයා බවට පත් උනා. මුල් කාලෙ නම් මේ නම ඇහුනම ඒකට නහුතෙට නැග්ගට පස්සෙ පස්සෙ ගානක් නැතුව ගියා.

හැබෑටම මේ වගේ සාඩම්බර නමක් කොහොමද මේ කෙසඟ කොලුවට ලැබුනෙ. ඉස්සර අපි ක්‍රිකට් ගැහුවෙ පිල්ලෑව කියලා හඳුන්වපු පොල් වත්තක. මේ පොල් වත්තෙ හිමිකරුගෙ පුතාලා දෙන්නත් අපි එක්කම බෝල තලපු නිසා කරදරයක් උනේ නෑ. වත්ත පුරාම පොල් ගස්. හතරක් හයක් ගහන්න සෑහෙන්න අමාරුයි. බෝලෙ කොහෙ හරි පොල් ගහක වැදිලා ආයෙමත් හිටපු තැනටම එනවා.

මෙන්න මේ ක්‍රිකට් පිටියෙ ක්‍රිකට් ගහන වෙලාවට වත්තට යාබද නිවෙසක හිටිය අඬනයා දුවගෙන එන්නෙ ඊ ගහක වේගෙන්. අඬනයගෙ අයියා කසුනා මගේ වයසෙ. ඒකත් අපි එක්ක බෝල තලන්න එකතු උනා. පන්දු යවන්න වගේම මුලින්ම පන්දුවට පහරදෙන්නත් අඬනයට උවමනායි. මුගෙ මේ නාහින් ඇඬියාව අහගෙන ඉන්න බැරිම තැන තමයි අඬනහිරියා බවට පත්කරලා පස්සෙ අඬනයා බවට පත් කලේ.

අඬනයාගෙ උගුරු ඇටේ පැනලා කරදඬු උස් මහත් වෙලා එද්දි අඩි 6 කට එහා ගිය උසක් තිබුනෙ. අපි අත්පන්දු ගහන වෙලාවට ඩෑෂ් ප්‍රහාර නවත්තන්නෙ අඬනයා කිසිම මහන්සියකින් තොරව, ඒ හින්දම වොලිබෝල් ගහන වෙලාවට හැමෝම තමන්ගෙ කණ්ඩායමට අඬනයව ගන්න පොරකෑවා. මේ ක්‍රීඩාවෙන් හොඳ හැකියාවන් පෙන්වපු නිසාම පස්සෙ කාලෙක ආරක්ෂක අංශයක කණ්ඩායමක් නියෝජනය කරන්නත් මිනිහට අවස්ථාව ලැබුනා.

අඬනයයි අඩනයගෙ අයියා කසුනයි කැඩිලා ගිය යකඩ පුටු කකුලක යකඩ බටයෙන් පුංචි පහේ නව නිපැයුමක් කරලා තියෙන වග අපි දැනගත්තෙ බෝල ගහන්න පොල් වත්තට ගියාම. පොල් වත්තෙ බොහෝ පොල් කඳන් වල යමක් රවුමට ගිලා බැහැපු ලකුණු තිබුනා. පොල්වත්තට යාබදව ඉන්න අඬනයගෙන් මේ ගැන ඇහුවා,

මමයි අයියයි වෙඩි තියපුවා අඬනයා එහෙම කිව්වා.

තොපිලගෙ ගෙදර තුවක්කුවක් තියෙනවද වෙඩි තියන්න ?

අපි තුවක්කුවක් හැදුවා.

රූං ගාලා ගෙදර දුවපු අඬනයා කසුනා නැති අතරෙ මුන් දෙන්නගෙ තුවක්කුව උස්සගෙන ආවා. හීන් පුටු කකුලෙ එක කොණක් මිට වගේ අල්ලගන්න හැකි විදියට නමලා. බටේ මැද්දෙ පුංචි හිලක්.

කොහොමද බොල මේකෙන් වෙඩි තියන්නෙ.

බටේ ඉස්සරහින් රතිඤ්ඤයක් දානවා නූල අපේ පැත්තට වෙන්න...ඒ නූල මැද්දෙ තියෙන හිලෙන් උඩට ගන්න ඕනෙ කම්බියක් දාලා.  ඊට පස්සෙ ජිල් බෝලයක් දානවා බටේ ඉස්සරහින්. රතිඤ්ඤෙ පත්තු කරලා ඉස්සරහට අල්ලගෙන හිටියාම ජිල් බෝලෙ විදුලි වේගයෙන් යනවා. ඒවා වැදුන පාරවල් තමයි මේ පොල් ගස් වල තියෙන්නෙ. අඬනයා තණ්හාවක් නැතුව තුවක්කුවේ තාක්ෂණික කරුණු අපට කිව්වා. මුන් දෙන්නගෙ තුවක්කුව බොහොම බරපතල බලසම්පන්න එකක්. නැත්තං කොහොමෙයි හොඳ සවි ශක්තියට තියෙන පොල් කඳන් ඇතුලට හාරාගෙන යන්නෙ.

මේ විදියට තවත් සතියක් දෙකක් ජිල් බෝලෙ තුවක්කුවෙන් මුන් දෙන්නා සෙල්ලං කරමින් උන්නා. හොඳට හිටිය අඬනයා ඉස්පිරිතාලෙ ගෑටුවට පස්සෙ සෙල්ලම අහවර උනා. වහලා තිබුන ලෑලි දොරකට ඉලක්කය අරගෙන කසුනා වෙඩි තියලා. දොරේ පිටිපස්සෙ අඬනයා කරුමෙට වගේ ඉඳලා. ලෑලි දො‍ර පසාරු කරගෙන අනිත් පැත්තට ගිය ජිල්බෝලෙ අඬනයගෙ නලලත් හිල් කරගෙන ඩිංගිත්තක් යටට බැහැලා නතර වෙලා. උන්ගෙ තාත්තා කසුනව බාගෙට කෝටුමස් කරලා අඬනයව අරගෙන ඉස්පිරිතාලෙ බඩගාලා තිබුනා.

අපේ ගමේ අවුරුදු උත්සවේ හැමදාමත් වගේ කොට්ට පොර සූරයා උනේ මේ කිව්ව කසුනා. තරබාරු සිරුරක් තිබුන හරිම අහිංසකයෙක්. අද නම් ශ්‍රී ලංකා පොලීසියෙ රාජකාරිය කොරන්නෙ. කොට්ට පොර ගැහිල්ලට පුවක් කොටේ උඩ ඉඳගත්තම ඒකගෙ තට්ටම් දෙක අතරට ‍පුවක් කොටේ හොදට හිර වෙනවා. ඉතිං ආයුබොවන්ඩ කසුනව වට්ටන්න හිතන වෙලාවත් අපරාදෙ කවදාවත් වැටෙන්නෙ නෑ. අනිත් පැත්තෙ ඉන්න හාදයට ඇති තරම් ගහන්න දීලා එකසැරේට පිටිපස්සට වෙනවා. පහරේ වේගය දරාගන්න බැරුව ප්‍රහාරකයා බිම වැටෙන එක තමයි නිතරම උනේ.

අපේ ගමේ රංජන මල්ලි කමාන්ඩෝ සෙබලෙක්. කොටි බලමුළු පරාජය කරලා වෙල්ලමුල්ලි වයික්කාල් වල සිංහ කොඩිය ඔසවද්දි රංජන මල්ලි පෙරමුණේම හිටි කෙනෙක්. කිසිම සීරීම් තුවාලයක් හෝ නොලබා දිවි රැකගන්නත්. නැවත ගම රට එන්නත් ඒකාට හැකි උනා.

එදා අපි අපේ එකා පිළිගත්තෙ රටක් රාජ්‍යයක් දිනාගෙන ආව සෙන්පතියෙක් ගානට. ඒ කථාව වෙනම ලිපියක් විදියට ලියන්න ඉදිරියට හිතාන ඉන්න නිසා වැඩි විස්තර අද බොලාට අහගන්න ලැබෙන්නෙ නෑ. මේ සිද්ධිය නිසා චූන් වෙච්ච අපේ හිත් වලට හුග කාලෙකින් ගමේ සංගීතයක් තිබ්බෙ නැති අඩුව දැනුනා. 2010 වර්ෂයෙදි ගමේ තරුණ කාණ්ඩෙ එකතු වෙලා ප්‍රසිද්ධ ගායකයොත් එක්කාසු වෙච්ච සංගීතයක් කොලා.

අපරාදෙ කියන්න බෑ මේ වැඩ වලටත් කසුනා උගෙ මල්ලි අඬනයා සෑහෙන්න දරදිය ඇද්දා. අපේ ගමේ ඔය කාලාන්තරයක් තියෙන කෝලාහල නැති උනාට අහල පහල ගම්මාන වල පරම්පරා ගානක් පවතින දරුණු ගැටුම් තියෙනවා. මේවා බොහෝ වෙලාවට පත්තු උනේ ඔය සංගීත සැන්දෑවක් අස්සෙ තමයි. අපේ අහිංසක සංගීතය අස්සෙත් මේ වගේ දරුණු වලි දෙක තුනක් ගියා. උසට උසේ හිටිය අඬනයා මේ වලියක් බේරන්න ගිහින් කළුවරේම දෙපැත්තෙම උන්ගෙන් නොසෑහෙන්න ගුටි කෑවා කියලා සංගීතයේ සංවිධායකයෙක් වෙච්ච මට පයින්ඩෙ ආවෙ සිද්ධිය වෙලා සෑහෙන වෙලාවක් ගියාට පස්සෙ.

අඬනයව බිම එළලා අරුන් ගැහුවෙ...විස්සකට වැඩියි. ඒ කාපු කෑමට නම් සතියකට නැගිටින එකක් නෑ..එකෙක් මට කිව්වා.

එතකොට කසුනා හිටියෙ නැද්ද..මම ඇහුවා

කසුනගෙ ජොල් ඇඟනෙ කට්ටිය ඌටත් ගැහුවා මදි නොකියන්න. හැබැයි අඬනයා තමයි අම්බානක කෑවෙ. මම හිතන්නෙ අයියෙ අඬනයගෙ අත පය කැඩිලද දන්නෙත් නෑ. මම කට්ටිය හොයාගෙන එද්දි එකෙක්වත් පේන්න හිටියෙ නෑ.

සංගීතය ඉවරවෙච්ච මහ රෑ මේකව හොයන්න යන්න බැරි හන්දා පහුවදා උදේ මම අඬනයලගෙ ගෙවල් පැත්තට ගියා. ඒ කාලෙ කසුනගෙ තාත්තට පුංචි පළතුරු කඩයක් තිබුනා. දුර තියාම පළතුරු කඩේ අැරගෙන වෙළදාම් කරන අඬනයව තමයි දැක්කෙ. මෙච්චර ගුටි කාලත් මූට ගානක් නෑනෙ. මම තනිවම හිතුවා.

උඹට වටකරගෙන දුන්නා කියලා ආරංචි වෙලා මම උදේම මේ පැත්තෙ ආවෙ.

නැත්තං නැත්තං මාව බිම පෙරළගෙන ගැහුවෙ.

උඹට අමාරු නැද්ද ඉතිං...

මට ගානක් වත් නෑ. ගහන්න සෙට් එක පොරකෑව නිසා ගහපු ඒවා හරියට වැදුනෙ නෑ..සූ ගාලා සෙනග..මට ගහන්න සෑහෙන තදබදයක් තිබුනෙ.

එතකොට අයියා

ඌට නම් සෑහෙන්න අමාරුයි. මගෙ වගේ නෙමෙයිනෙ උගෙ මස වැඩියිනෙ. අන්න ගෙදර දපලා ඉන්නවා මම හිතන්නෙ ගුටි කාපු අමාරුවට උණ ගැනිලද කොහෙද...ඒක නෙමෙයි අයියෙ උදේම කඩේ පැත්තෙ ආපු එකේ කෙහෙල් ගෙඩියක් වත් කාලා පළවෙනි බිස්නස් එකට සපෝට් එකක් දෙන්නකො.

උඹ එහෙනං කෙහෙල් ඇවරියක් කපලා තියහංකො. උඹත් එක්කම කන්න මම මැණිකෙ නැන්දගෙන් අාප්ප තුන හතරක් අරගෙන එන්නං...

මේ කෝලිකුට්ටුවෙ උඩම ඇවරියෙන් කපන්නද...

හා හා කපහං..මම එන්නං සුටුස් ගාලා....එහෙම කියපු සිරා කොලුවා සටස් ගාලා මාරු උනා...අසරණ අඬනයා තවමත් මම ආප්ප අරගෙන එනකං මග බලා ඉන්නවද දන්නෙත් නෑ.



මම කාමරේ අරින සිරා කොලුවා.



ප.ලි

මැල‍ේසියාවේ සංචාරක අංශයේ දැවැන්තම ප්‍රදර්ශනය වන MATTA FAIR වගකීම් නිසා පසුගිය සතියේ දැඩි ලෙස කාර්යබහුල වීම මත අලුත් ලිපියක් ලියන්නට වෙලාවක් නොමැතිව සිටියෙමි. මේ ප්‍රදර්ශනයේ තොරතුරු සමගින් ළඟදීම හමුවෙමු.


Tuesday, March 10, 2015

59 නගාගේ ජොකා

කිසිම ලකයක් තිබ්බෙ නැති උදේ ඉඳලම වැහි බීරුමට යට වෙලා, අව් රැල්ලක් වැටුනෙ නැති මුස්පේන්තු දවසක් ගෙවිලා යන්න ඔන්න මෙන්න තියෙද්දි මගේ දුරබණුව හදිසියේ කම්පොනය උනා. තිරයෙ වැටිලා තිබුනෙ ජිවන්ත කියලයි. මිනිහා මගෙ අතිජාත මිත්තරයෙක්. දැනටම කාමරේට එන යන බොලා මේකව අඳුනනවා. ඒ මම කලින් දවසක ජීවන්තයා ගැන බොලාට කියපු නිසයි.

උඹ කොහෙද ඉන්නෙ ? මොකද කරන්නෙ ?

ගෙදර බං...කොරන්න දෙයක් නැතුව තමයි මේ ඉන්නෙ.

අඩ්ඩක් ගහමුද සීතල යන්නත් එක්ක ?

උඹ කියනවා නම් මම ඉතිං එක පයින්...

එහෙනං පුටාරා එකේ වරෙන් අපේ ගෙවල් පැත්තට....




ජීවන්තයා කියන්නෙ ඉතිං 6 පන්තියෙ ඉඳන් මගේ අතිජාත මිත්තරයා නොවැ. ඒකාට ඔය බොන කන වැඩ තනියම කොරන්න හිත වාවන්නෙ නෑ. දන්න කියන එව්වො තුන් හතර දෙනෙක් ලඟ පාතින් තියාගෙන සින්දුවක් කාරිය කියලා උගෙ කාමරේ මුල්ලක හැමදාම දුක් විඳින කොංගෝවට වැරෙන් තඩි බාන එක තමයි ඌට තිබ්බ පරම සුවය.

මමත් ඉතිං හැන්දෑකොරේ ඇඟපත කාරිය හෝදගෙන ගෙදර බුදුන්ට අමූලික බොරුවක් කියලා එළියට පැන්නා. වටේ පිටේ සීදේවි කෙලියන්ට රබර් ඇහැත් දාගෙන ජීවන්තයගෙ ගෙදරට බයිසිකලේ පාගද්දි මිනිහා සෑහෙන ලකේට සැර බීම පාටියක් දාන්න සැට් වෙනවා. ජාතියක් ජම්මයක් හොයන්න බැරි රට බෝතල් දෙක තුනක්, ඒවා ‍ඔතලා තිබුන පත්තර කොළ අස්සෙන් එබී බලලා මට හීන් හිනාවක් පෑව වග මගේ අක්මාවට දැනුනා.

මම ‍මේ නූඩ්ල්ස් එකක් හදන්න ගත්තා බං...තව එකෙක් දෙන්නෙක් එයි. හුග කාලෙකින් අපි ඉතින් සොමියක් දැම්මෙත් නෑනෙ. ජීවන්තයා ගිණි කසේට වැඩ. උන්ගෙ ගෙදර කාලයක් කේටරින් වැඩක් කරපු නිසාම විශාල ප්‍රමාණයේ භාජන වලිනුත් හිගයක් නෑ.

ට්‍රිංට්‍රිංට්‍රිංට්‍රිං.....මගේ ජංගම දුරබණුව ආයෙමත් කම්පොනය වෙනවා. මෙදා පොටේ තිරයෙ වැටිලා තියෙන්නෙ නගා කියලයි.

උදේ ඉඳන් වහින්න වගේ නේද බං...මොනවා හරි කරමුද ? නගා කෝල තාලෙන් මගෙන් අහනවා....

මොනවා කරන්නද බොල..මම මේ ජීවන්තයා එක්ක සෙට් වෙන්න හදන්නෙ...

උඹලා මහ කැත මිනිස්සු බං...අපිව හලලා තනියම සෙට් වෙනවා නේද....හා හා සෙට් වෙයංකො...මගේ පිළිතුර හින්දා මානසිකව වැටිලා අසාධ්‍ය වෙච්ච නගා හෙණ ගැහුවා වගේ ඇමතුම විසන්ධි කොලා.

ජීවන්තයො...

ඇයි බොල.....

නඟාටත් එන්න කියමුද...ඌ මට මේ දැන් කථා කලා...

එන්න කියහං...ආවත් ඉතිං බොන්න පුලුවන් මිනිහෙක්යැ...දෙක ගහද්දි වැනෙනවා....

ජීවන්තයා පොඩි කාලෙ කජු රට යවන මහා පරිමාණ ව්‍යාපාරයක් තිබුනා උන්ගෙ දෙමාපියන්ට. ඒකගෙ ගෙදර හැම බිම් අඟලම සිමෙන්ති දාලා තියෙන්නෙ. ඒ කජු ව්‍යාපාරය කරපු කාලෙ කජු වේලන්න. අන්න ඒ සිමෙන්ති පොළවෙ හැදුව ලිපක් උඩ නූඩ්ල්ස් හැළියක් ඉදෙනවා. පැත්තක කුකුල් මස් හොද්දක් ගොජ දානවා.

උඹලට රෑට කන්නත් දීලා තමයි මම අද යවන්නෙ, ලිපට ගිණි පිඹින ජීවන්තයගෙ නලලෙන් පහලට රූරා හැලෙන දාඩිය බින්දු ගින්දර එළියට දිළිසෙනවා මම දැක්කා.

ට්‍රිංට්‍රිංට්‍රිංට්‍රිං.....මගේ ජංගම දුරබණුවට ඉස්පාසුවක් නෑ අප්පා...අපේ දෙයියා...ඉංග්‍රීසි සෑර්ගෙන් ඇමතුමක්....

කොහෙද අයිසෙ ඉන්නෙ...මම මේ පුෂ්පයයි නඟයි එක්ක වාහනේ. පොඩි එකක් ගමු නේද...ගෙදරින් පනිනවා මොනවා හරි කියලා. සෑර්ගෙ ශ්‍රී මුඛයෙන් එහෙම හඬක් නැගුනා.

කවුද බං කථා කරන්නෙ...ජීවන්තයා ලිපට පිඹින ගමන් මගේ දිහාට හැරුනා.

සෑර් බොල...

අඩේ...උඹලට අර බොන්න අරන් දෙනවා කිව්ව ඉංග්‍රීසි සෑර්ද...ඉතිං මෙහෙ එන්න කියපං...

තවත් හෝරාවක් විතර ගත වෙද්දි සෑර්ගෙ සුදු පාට මෝටර් රථය ජීවන්තයගෙ නිවසෙ ගේට්ටුවට එපිටින් නතර උනා. නඟා කොලුවා මල් මල් තිබුන කලිසම් කොටයකුත් ඇදගෙන තාලෙට වැනෙමින් අපිට සම්මුඛ වෙද්දි හැමදේම සූජානම් වෙලා අහවරයි.

මේ තමයි අපේ සෑර්...ජීවන්තයට අපේ ඉංග්‍රීසි සෑර්ව හඳුන්වා දීලා පුංචි මේස කොටයක් වටේට නඩේ හැමෝම අසුන් ගත්තා. ජීවන්තයගෙ  ගමේ මිත්තරයො දෙන්නෙක් තුන්දෙනෙකුත් මෙතන ඉන්නවා. දුම් දාන නූඩ්ල්ස්, එක්ක කුකුල් මස් කෑලි එක දෙක මේසය උඩට සම්ප්‍රාප්ත වෙද්දි ජීවන්තයා සෑර් අතට බෝතලයක් දීලා ඉවරයි.

සෑර් නමෝ විත්තියෙන් කඩලා ගමු එහෙනං..

හැමෝම තම තමන්ගෙ වීදුරු වලට දුඹුරු පාට ද්‍රාවණය වත් කොරලා...රහමෙර හොයාගත්ත චියර්ස් කියන සුද්දවත් මතක් කරලා පණුබේත් සුට්ට සුට්ට බොක්කට හැලීම ආරම්භ කොලා. වෙනදා වගේම ආගිය කථා, වීර කථා, භය හිතෙන කථා ඉවරවෙද්දි ජනවාර්ගික අර්බුදය, බඩු මිළේ උච්ඡාවචනය, බලය බෙදීම, හන්දියෙ යකඩ කඩේ යකඩ රාජාගේ සීඝ්‍ර දියුණුව, වගේ බරසාර මාතෘකා ඔස්සෙ ඇඳිලා ගිය කථාව නඟාගේ ප්‍රේම අ‍ඳෝනාවට වැටුනෙ හිටි අඩියෙමයි.

වෙනදට බොනවා කියලා අමුලික බොරුව කරන නඟා අද හිටු කියලා ලඟ නමනවා. අපි බොන්නෙ දුඹුරු පාට වර්ගයක් නම්....එදාට නඟා සැන්ටිං කරන්නෙ කොකා කෝලා....අපි බොන්නෙ සුදු පාට වර්ගයක් නම් එදාට නඟා සැන්ටිං කරන්නෙ ස්ප්‍රයිට්....කොහෙං ගියත් අන්තිමට ඒකා බීලා තියෙන්නෙ අරක්කු නෙමෙයි.
නගෝ....ඔහොම බොන්න එපා බොල...උඹව මෙතනම කට් ඩවුන් වෙයි. මේකා බොන විදිය නුවනට හුරු නැති නිසා පුෂ්පෙ කොලුවා තෝන්තුවෙන් වගෙයි.

අරකි ඇයි බන් වෙන එකෙක් බැන්දෙ...නගාගෙ සියලු දුක්ඛ දෝමනස්සයන් පළවා හරින්නට මෙන් ගිණිවතුර වරින් වර බොක්කට හැලෙයි.

ටිකක් වැඩිපුර ෂැන්ඩි කරලා ගහනවා අයිසෙ...ගෙදරින් එළියට ගත්තෙ වාහනේට ටයර් හොයන්න යන්න කියලා. මෙතන ඇඳගෙන වැටුනොත් එහෙම මම ගෙදර ගිහින් හමාරයි. නඟාගේ විරහා වේදනාව අස්සේ සෑර්ගේ දුක්ඛ දෝමනස්සයන්ද කකුලක් බාගෙට කැඩුනු ලෑලි මේසය උඩට හැළෙයි.

වෙලාව දැන් පාන්දර දෙකයි.  මූණ රතු වෙලා දෙපසට වැනෙන නඟා තව ටිකකින් ඇඳගෙන වැටෙන බව අපිට ඉරහඳ වගේ විශ්වාසයි. නගෝ උඹ ඇති දැන් බිව්වා. හැමෝම එහෙම කිව්වත් නගාට ඒ වෙද්දි කෙලින් ඉන්න අපහසු තරමට බඩු වැඩකර තිබුන නිසා, කජු වේලන්න හදපු සිමෙන්තිය උඩ පැදුරක් එලලා ඒකව ඒක උඩ සැතපෙව්වෙ ජීවන්තයා.

මට දැනුයි මතක් උනේ කාර් එක තවම පාර අයිනෙ. කෑලි ගලවලද දන්නෙත් නෑ. මේ පැත්තෙ කුඩ්ඩො නෑ නේද. සෑර් ජීවන්තයගෙන් අහනවා.

ශත පහකට බය වෙන්න එපා සෑර්. අපේ ගේ ඉහළින් කපුටෙක් පියාඹන්නෙත් කලාතුරකින්...නැද්ද ඇන්ටො...ජීවන්තයා ගමේ සගයෙක්ගෙ කරට අත දාලා උගෙ කං පෙත්ත මිරිකුවා.

සෑර් යතුර දෙන්න මම දාන්නම් වාහනේ ඇතුලට සිරා කොලුවා ඉතිං වීරයා වගේ ඉදිරිපත් උනා. ලැයිසොං ගත්ත මුල්ම කාලෙ හින්දා වාහනයක් එලවන්න පුදුම කැසිල්ලක් තමයි ඒ කාලෙ මට තිබුනෙ. ජීවන්තයගෙ ගෙදර තියෙන්නෙ මහා පතරංග ගේට්ටුවක්. උන්ගෙ කජු ව්‍යාපාරයේ ආරක්ෂාවට හදපු තනිකර යකඩ කඳක්. ඒක තල්ලු කරලා අරින්නත් තුන් හතර දෙනෙක් ඕනෙ. මම තනියම ගේට්ටුවත් ඇරලා සෑර්ගෙ වාහනේ පණ ගන්වලා ප්‍රධාන විදුලි පහන් ක්‍රියාත්මක කලා. වීදුරු සියල්ලම වැහිලා තියෙන මෝටර් රථයෙ නුවර එළි සිසිලස කඳිමෙට දැනෙනවා. වටේ පිටේ කවුරුවත් නෑ. හැමෝම බෝතලේ සුවඳට ඉව අල්ලනවා.

වාහනේ ඇතුලට ගනිද්දි නූලටම ගත්තෙ නැත්තං පැත්තක තියෙන පොඩි පහේ කාණුවක වැටෙනවා. මම ඉතින් බොඳවුන දෙනෙතින් ඉස්සරහා හරියටම කෙලින් කරලා ගේට්ටුවෙන් ඇතුලට රිංගෙව්වත් පස්සෙ එක රෝදයක් කාණුවෙ වැටුනා. සුට්ටක් විතර වෙන්න එන්ජිමට සැර දැම්මම වාහනේ හෙල්ලෙනවා විතරයි. මම සැලෙයි ඕවට,  ඒ හින්දා ඊළග වතාවෙ සැර වැඩියෙන් දැම්මා. වාහනේ වෙනුවට ගේට්ටුව ටිකක් හෙල්ලෙනවා යන්තමින් දැක්කත් මම වැඩිය ගනන් ගත්තෙ නෑ.

යකඩෝ මෙන්න මහා රාත්තිරියෙ අහල පහල ගෙවල් වල ගෑනු නයිටිය පිටින්ම ජීවන්තයලගෙ ගේ ඉස්සරහා වටවෙලා බලාන ඉන්නවා. මට තවමත් නිච්චියක් නෑ. සෑර් ඇවිත් මාව රියදුරු අසුනෙන් බිමට බස්සලා රථය ඇතුලට දාලා ගේට්ටුව වැහුවා. බේබද්දො වාහනේ ඉදිරි කලාපය දිහා බලාන ඉන්න නිසා මමත් එබුනා. අයියෝ සංසාරේ...වාහනේ බෆර් එකේ ගන්න දෙයක් නෑ. ගේට්ටුවෙ වැදිලා චොප්ප චුරුස් වෙලා.

වීදුරු වහලා තිබුන නිසා මට සද්දෙ ඇහුනෙ නැති උනාට සෑහෙන සද්දයක් පිට වෙලා. ඒ හඬට තමයි අහල පහළ මිනිස්සු පිරුනෙ. බෝතලේ වටේ හිටිය උන්ටත් ඒ හඬ ඇහිලා උනුත් දුවගෙන ඇවිල්ලා. තමන්ගෙ වාහනේ හැප්පුනා කියලා සෑර්ට ගානක්වත් නෑ. ඒ උනාට මගෙ හිතට හරි නෑ.

සෑර් මේක හදන්න මම සල්ලි දෙන්නං....

තියාගන්නවා අයිසෙ මහලොකු සල්ලි...වාහන කියන දේවල් හැප්පෙනවා...හැප්පෙනකොට අපි හදනවා එච්චරයි...මෙන්න මෙහෙ එනවා ඉතුරු ටිකත් ඉවරයක් කරලා මේ බිම දපාගෙන ඉන්න එකාව ගෙදර ගිහින් දාන්න.

ඒ වෙද්දි පැදුර උඩ සැතපිලා උන්න නගාට අපි ආයෙමත් සමීප වෙද්දි ජීවන්තයා උගෙ කලිසං කොටේ ගලවලා තමන්ගෙ  සරමක් ඒකාට අන්දලා තිබුනා. තවත් සුළු වේලාවක් ගියාම කොරේ පිටට මරේ කියලා නඟාට අහවල් කැත වැඩේ කොරන්න අවශ්‍යතාවක් ඇති වෙලා.

ජීවන්තයෝ මාව එක්ක පලයං අහවල් එකට...නැත්තං මම මෙතන ....... උගෙ තර්ජනයට භය වෙච්ච හින්දද කොහෙද ජීවන්ත ගොයියා නගාව නිවසින් පිටත සේවකයන් වෙනුවෙන් හදලා තිබ්බ වැසිකිළි පේලියකට නඟාව රැගෙන ගියා.

නගෝ උඹ වැඩේ කරගෙන මට කථා කරහං...කෑලි හතරෙ ටෝච් එකක් ජීවන්තයගෙ අතේ.

විනාඩිය දෙක ගෙවෙනවා..කළුවරේ ජීවන්තයා මදුරුවො තල තලා බලා ඉන්නවා..හාවක් හූවක් නෑ...
සෑර් මුගෙන් සද්දයක් නෑ...මලාද මන්දා කක්කුස්සිය ඇතුලෙම...බලා ඉඳලා බැරිම තැන ජිවන්තයා කට ඇරියා.

අපි හැමෝම එක රොත්තට එතනට එඹුනෙ. අනේ අපේ සීදේවි නඟා ඇඳක නිදාගන්නවා වගේ හරිම සනීපෙට උපන් ඇඳුමෙන් වැසිකිළිය අැතුලෙ බිම නිදාගෙන ඉන්න රමණීය දර්ශනය දැකලා අපේ සිත් සතන් සතුටින් ඔකඳ උනා.

ජිවන්තයට දැන් හොඳටම තරහා ගිහින්.  නඟාගෙ ගුණ ගායනා කරමින් අපි බේබදුකමට මඳ විරාමයක් තියලා මේකව මහ රෑම නෑව්වා. නෑමෙන් පස්සෙ නඟා ආයෙමත් පැදුරෙ සැතපිලා. විවිධ දේ කියවමින් තනියම හිනා වෙනවා.

නැගිටපං යකෝ...එළිවෙලා...පුෂ්පයා නඟාට කියනවා...

පලයං බං වද නොදී මේ දැන්නෙ රෑ උනේ...

පුෂ්පයා හොඳ එකා නේද බං.....

මොන හොඳක්ද...ඕකා ලෝක කුණා...අමු බේබද්දා...ඒකට අපේ සෑර්....අන්න රත්තරං මිනිහා...මිනිහට තියෙන ඔළුවෙ අමාරුවට අපිට කීයක බොන්න අරගෙන දීලා ඇද්ද මේ වෙද්දි...ඕක්....

මේ දෙබස් අපේ දුරබණු වල පටිගත වෙන බවක් නඟා දන්නෙ නෑ. උගෙ පිළිතුරු වලට හිනාවෙලා අපේ හන්දිපත් රිදෙනවා.

ගල් පාන්දර 4 විතර වෙද්දි නගාට තරමක සුවයක් තිබුන නිසා ඒකා කැටුව නිවසට යන්න සෑර් කල්පනා කොලා.

ඇඳුම් ඇඳගෙන නැගිටලා එනවා ඉක්මනට.

සෑර්ගේ බසට අවනත වෙලා වැනි වැනී ජීවන්තයගෙ නිවස තුලට ගියා නඟා එතැන ඉඳන් බෙරිහන් දෙනවා.

සෑර් මගෙ ජොකා නෑනෙ.

අසරණ ජීවන්තයා ආයෙමත් වතාවක් විදුලි පන්දමේ එළියෙන් නඟාගෙ ජොකා හොයන මෙහෙයුම ආරම්භ කොලා.

ජොකා නෑ බොල...බල්ලෙක් වත් අරගෙන යන්න ඇති. උඹ අන්තිමට කවද්ද ඒක හේදුවෙ...

අනේ බං එහෙම කියන්න එපා බං...ලොකු ගානක් දීලා ටවුමෙ කඩේකින් ගත්ත ඉස්තරං ජොකෙක් ඒකා....වෙරි පිට වුවත් නඟා විස්සෝපයෙනි.

බිව්වට පස්සෙ මගෙ එක ‍එක දේවල් නැති වෙලා තියෙනවා මීට කලිනුත්, ඒත් ජොකා නැති උනේ පළවෙනි සැරේට. 

නඟාව දෙකට නමලා වාහනය ඇතුලට පැටෙව්ව නිසාම උගෙ නාටකය එතනින් අවසාන උනා. අපෙන් සමු අරගෙන නඟා /පුෂ්පෙ/ සෑර් රැගත් රථය පිටත් වෙද්දි මම ජීවන්තයයි උගෙ ගමේ මිත්තරයොයි එක්ක සින්දුවක් දෙකක් කියන ගමන් කොංගෝවට තැලුවා.

පසුදා උදෑසන නඟාගේ ජොකා නිරුපද්‍රිතව ජීවන්තයාට හමුවීමත්, උගේ පයින්ඩයක් මත එය රැගෙන යන්නට ලැජ්ජාවක් නැති නඟා දහවලේ එහි යාමත්, ජංගම දුරබණු වල සටහන් වූ නඟාගේ ඉල ඇ‍ඳෙන දෙබස් රාශියත් නිසා සතියක් දෙකක් යනතුරාවට නඟා කොලුවා අපට මුහුණ දුන්නේ නැත. ජොකාගේ වරුනාව කියූ විගස නඟාගෙන් හොඳ කුණුහබ්බයක් දෙකක් අහන්නට කාලයක් යන තුරු අපට අවස්ථාව උදා වී තිබුනි. දැනුදු බැරි වෙන එකක් නැත.



මම කාමරේ අරින සිරා කොලුවා.

Wednesday, March 4, 2015

93 කොමඩෝ ඩ්‍රැගන් | Komodo Dragon

දෙහිවල සත්ව උද්‍යානයේ විවිධ ආකාරයේ ගැටළු පැනනැගී සෑහෙන කලකි. එහි සිටින සතුන්ට ප්‍රමාණවත් ඉඩ පහසුකම් නොමැති වීම, ආහාර නොමැති වීම, නිසි කලට වෛද්‍ය පහසුකම් නොමැති වීම වැනි කාරණා විටින් විට කරළියට ආ බවක් මට මතක තිබේ. දැන් සත්තුවත්තේ සතුන් කූඩු වලින් පැන යන්නටද පටන් ගෙන ඇති සෙයකි. මාරාන්තික විෂ සහිත කොමඩෝ මකරෙක් සත්තු වත්තෙන් පැන ගියා යැයි පුවතක් ඉකුත් සතියේ වාර්තා විය.

සිරා කොලුවා වන මම මේ සිදුවීම වාර්තා වන තෙක් මෙවැනි සත්ව වර්ගයක් පිළිබඳ අසා තිබුනේ නැත. ෆීනික්ස් කුරුල්ලා, කඟවේනා, දිය කිඳුරියන් මෙන්ම මකරාද මිථ්‍යා කථාවන්හි කියවෙන සත්ව නාමයකි. එහෙත් මිහිමත මකරා නමින් සත්වයෙකු වෙසෙන බව දැන් අපි දනිමු. අන්තර් ජාලය තුල සිංහල භාෂාවෙන් මේ අරුම පුදුම සත්වයා පිළිබඳ තොරතුරු අල්ප හෙයින් ජාලෙන් පෙරලා කොමඩෝ මකරා ගැන ඔබට කියන්නට අද මම සිතුවෙමි.


ලොව ජීවත් වන කටුසු පවුලේ විශාලතම සත්වයා කොමඩෝ ඩ්‍රැගන් නමින් හැඳින්වෙයි. කටුසු පවු‍ලේ අනෙක් සතුන් අතර මේ සත්වයා කැපී පෙනෙන්නේ විශාල ශරීරය, පැතලි හිස, වක්‍රාකාර පාද සහ දිගු වලිගය නිසාවෙනි. අඩි 8 -10 පමණ දිගට වැඩෙන කොමඩෝ මකරෙක් කි‍ලෝ ග්‍රෑම් 70 ක් පමණ බරින් යුතු වෙයි. ගැහැණු සත්වයා පිරිමි සත්වයාට වඩා ශරීර ප්‍රමාණයෙන් කුඩා වෙයි. Reptilia කුලයට අයත් වන කොමඩෝ මකරා Varanidae නැමැති පවුලට අයත් සතෙකි. ජීව විද්‍යාත්මකව හඳුන්වන්නේ Varanus Komodoensis යන නාමයෙනි.

ඉන්දුනීසියාවේ ‍කොමඩෝ දූපත ප්‍රධාන කොට මේ සත්ව විශේෂය ජීවත් වන නිසාම උගේ නමට ඒ නම එකතු වී තිබේ. එම දූපතට අමතරව Rinca, Flores, Gili Motang, Gili Dasami, Padar යන ඉන්දුනීසියානු දූපත් වලද මේ කොමඩෝ මකරා  ජීවත් වෙයි. බටහිර ලෝකයට මේ සත්වයා මුලින්ම නිරාවරණය වූයේ 1910 පමණ කාලයේදී බව දැනගන්නට තිබේ. මකරාගේ ශරීර ප්‍රමාණයත්, භියකරු පෙනුමත් බටහිර සත්ව උද්‍යාන වල කොමඩෝ මකරා ඉක්මනින් ජනප්‍රිය වීමට හේතුභූත වූ කාරණා වෙති.

වසර මිලියන හතරකට පෙර කොමඩෝ මකරාගේ මුතුන් මිත්තන් ඔස්ට්‍රේලියාවේ ජීවත් වූ බවට පොසිල සාධක හමු වී තිබේ. ඒ Queensland ප්‍රාන්තයෙනි. වර්තමාන පොසිල පරීක්ෂණ අනුව ‍මේ සත්වයා ඉන්දුනීසියාවට සංක්‍රමණය වීමට පෙර ඔස්ට්‍රේලියාවේදී පරිනාමය වී ඇති බවට සැළකෙයි. 

මකරාගේ සමේ  විවිධ පැහැයන් දකින්නට හැකිය. නිල්, තැඹිලි, කොළ සහ අළු පැහැය ඒ අතර ප්‍රමුඛ වෙයි. ඔවුන්ගේ සම ශක්තිමත් රළු එකකි. Osteoderms නමින් හැඳින්වෙන අස්ථි කොටස් මගින් එය තවත් සවිමත් වී තිබේ. ශක්තිමත් නියපොතු මෙන්ම ශක්තිමත් පේශීන්ගෙන් සමන්විත වලිගයද මකරාගේ ජීවන ගමනට බෙහෙවින් උපකාරී වෙයි. 


කොමඩෝ මකරාගේ සමේ ආසන්න දර්ශනයක්


කොමඩෝ මකරාගේ පෙනීම ඉතාම තියුණු එකකි. මීටර් 300 කට පමණ එහායින් ඇති වස්තුවක් උවත් කරදරයකින් තොරව දකින්නට ඔවුන් සමත් බව කියන්නේ අැමරිකාවේ ජාතික සත්ව උද්‍යානයයි. එහෙත් රාත්‍රියට මකරාගේ අැස් පෙනීම දුර්වලය. පැයට කි‍ලෝමීටර් 20 ක උපරිම වේගයකින් දඬයම් ලුහු බඳින මේ සත්වයා තමන්ගේ සීමාවට ගොදුරක් පැමිණෙන තෙක් පැය ගණනක් උවත් ඉවසීමෙන් බලා සිටින්නට සමතුන්ය. මීටර් 4.5 ක් දක්වා ජලයේ කිමිදෙන්නටත්, වේගයෙන් ගස් නගින්නටත් හැකියාව කොමඩෝ මකරාට තිබේ. ශක්තිමත් හනු නිසා ඉතාම තදින් හපන්නට මකරාට හැකියාව තිබේ. මිනිසෙකුට යමක් උපරිම තදින් හපන්නට හැක්කේ යම් සේද, කොමඩෝ මකරාට එමෙන් පස් ගුණයකටත් වඩා තදින් හපන්නට හැකිය. එ් පිළිබඳ තොරතුරු ලිපිය අග අමුණා ඇති වීඩියෝවෙන් නරඹන්න.

ගඳ සුවඳ හඳුනාගැනීමට ස්වභාවයෙන්ම උරුම වූ සංවේදක කොමඩෝ මකරාට තම දඬයම් සොයා ගැනීමට උපකාර කරයි. වෙනත් උරගයින් මෙන්ම මේ සත්වයාද තම දෙකට බෙදුනු දිගු දිව ඉදිරියට යොමු කරමින් අවට පරිසරය පිළිබඳ දත්ත උකහා ගනියි. දිව ඉදිරියට දිගු කිරීමෙන් අනතුරුව එය මුඛයේ ඉහළ කොටසට යොමු කිරීමෙන් පසු විශේෂ ඉන්ද්‍රියක් මගින් දිව සමග ඇතුලට පැමිණි වායුගෝලීය අණු පිරික්සීම සිදුකොට අදාළ තොරතුරු මකරාට සම්ප්‍රේෂණය කරයි. දිවේ වම් පසින් වැඩි තොරතුරු ප්‍රමාණයක් මේ සත්වයා උකහා ගන්නා බව කියවෙයි.



කොමඩෝ මකරාගේ  කන් සිදුරු ඇස් වලට පිටුපසින් පිහිටා තිබේ. මේ සත්වයාගේ හඬ ශ්‍රවනය වීමේ සංඛ්‍යාතය හර්ට්ස් 400 සිට 2000 දක්වා පරාසයක විහිදෙයි. මිනිසෙකුගේ හඬ ශ්‍රවණය වීමේ පරාසය හර්ට්ස් 20 සිට 20000 අතර පරාසයක විහිදී තිබේ. ඒ අනුව බලන විට කොමඩෝ මකරාට ශබ්ද ඇසීම ඉතාම දුර්වල මට්ටමක තිබේ. එහෙත් ලෝකයේ පැරණිම විද්‍යාත්මක සත්තු වත්ත වන ලන්ඩන් සත්තු වත්තේ Joan Proctor නැමති සේවකයා කෑම දෙන වෙලාවට තම කටහඬට ප්‍රතිචාර දක්වන කොමඩෝ මකරෙක් පුහුණු කර තිබේ. ඔහුගේ රුව නොදැක කටහඬට ප්‍රතිචාර දක්වන්නට මේ සත්වය සමත්කම් දක්වන්නේලු.

ඇසට පහළින් ඇති විවරය කන් සිදුරයි


කටුසු පවුලේ සතුන් නිවර්තන වියළි කලාපයේ සිට සැවනා තණ බිම් දක්වාත්, එතැනින් වැසි වනාන්තර දක්වාත් ව්‍යාප්තව සිටියත් මේ පවුලේ විශාලතමයා වන කොමඩෝ මකරා තම ජනාවාශ පිහිටුවා ගන්නේ පරිසර උෂ්ණත්වය  ඉහළ ස්ථාන වලයි. සෙල්සියස් අංශක 35 ක පමණ උෂ්ණත්වයක් ඇති තැනක ජනාවාශ පිහිටුවන්නට  කොමඩෝ මකරා කැමතිය. ඔවුන් ජීවත් වන ඉන්දුනීසියානු දූපත් වල ඇත්තේද එවැනි පරිසර තත්වයකි. හිරු රශ්මිය අධික දිවා කල සෙවනකට වී හිදින්නට වඩාත්  ප්‍රිය කරයි. නැතිනම් තම ශක්තිමත් නියපොතු ආධාරයෙන් පොළවේ හාරන ගුලකට වී කල් ගත කරයි. සන්ධ්‍යා කාලය එළඹෙන විට දඬයමේ යාම මකරාගේ  පුරුද්දයි.

මකරාගේ කැඳලි ද්විත්ව කාර්යය ඒවාය. ඒවායේ පිටවීම ඇත්තේ පහළට වන්නටය. එවිට රාත්‍රී කාලයේදී කැඳැල්ලේ උණුසුම රැකෙන අතර දිවා කාලයට රස්නයෙන් තොර වෙයි. 

කොමඩෝ මකරා මාංශ භක්ෂක සත්වයෙකි. මොවුන් ප්‍රචණ්ඩ දඩයම් කරුවෝ වෙති. තමාගේ ශරීර ප්‍රමාණයට වඩා බොහෝ සේ විශාල මී හරක්, මුවන්, උෟරන් මෙන්ම මිනිසුන් වුවද දඩයම් කරන්නට ඔවුනට හැකිය. එහෙත් මිනිසාට පහර දී ඇත්තේ ඉතාම සීමිත අවස්ථා වල පමණකි. මකරා සමහර විට තමන්ගේම කුඩා පැටවුන් ආහාරයට ගනියි. උගේ ශරීරයේ බරින් 80% ක පමණ ප්‍රමාණයක ආහාර එක් වරකට ආහාරයට ගන්නා බව National Geographic අඩවිය පවසයි. එමෙන්ම මිය ගිය සතුන්ගේ කුණූ වී යන ශරීර ආහාරයට ගන්නටද මකරා කැමතිය. එවන් විටක හමනා ගන්ධය බොහෝ දුර සිටින කොමඩෝ මකරෙකුට වුවද ග්‍රහණය කරගත හැකි නිසා උන් එවැනි සිරුර ඇති තැනට පැමිණෙයි. ඇතැම් විටෙක වළලන ලද මිනිස් සිරුරු ආහාරයට ගත් අවස්ථාද වාර්තා වී තිබේ.

කොමඩෝ මකරාගේ මී හරක් දඬයමක්


2001 වසරේදී Sharon Stone නැමති ඇමරිකානු නිළියගේ ස්වාමි පුරුෂයා Phil Bronstein ලොස් ඇන්ජලීස් සත්ව උද්‍යානයේ කොමඩෝ මකර කූඩුව භාරව සිටි සේවකයාගේ ආරාධනයෙන් ඒ තුලට ගියේය. කොමඩෝ මකර භාරකරුවා මේ පුද්ගලයා පැළඳ සිටි සුදු පැහැති සපත්තු සහ සුදු පැහැති මේස් ඉවත්කරන්නට යෝජනා කලත් ඔහු එයට අවනත වී නැත. මකරාට නිතරම ආහාර පිණිස ලබාදෙන සුදු පැහැති මීයන් විශේෂය යයි සිතා දෝ  ඔහුගේ පාද වලට විශාල ලෙස හානි ගෙනදෙමින් මකරා හදිසියේම පාද සපා කා තිබේ. Phil Bronstein ගේ පාදයේ ස්නායු නැවත සම්බන්ධ කරමින් ශල්‍ය කර්මයක් පවා කරන්නට තරම් මේ සපා කෑම දරුණු වී ඇත.

සත්ව උද්‍යානයක තම භාරකරුවා සමග කොමඩෝ මකරෙක්


කොමඩෝ මකරා තමාගේ ගොදුර මරා දමන්නේ ඔවුනටම ආවේණික සුවිශේෂී ක්‍රමයකටය. ගොදුර මතට එක්වරම පැන තම නියපොතු ආධාරයෙන් නොවැටී සිටින අතරම තම තියුණු දැති සහිත දත් ආධාරයෙන් ගොදුර තදින් සපා...සම තීරු වලට ඉරා දමයි. යම් හෙයකින් මකරාගේ සපාකෑම් සහිතව සත්වයෙක් පලා ගියහොත් ඒ සත්වයා ජීවත් වන්නේ තවත් පැය 24 ක කාලයක් පමණි. මකරාගේ ඛේඨයේ විෂ සහිත බැක්ටීරියා විශේෂ 50 ක් පමණ තිබෙන හෙයින් සපාකෑමට ලක්වූ සත්වයා ලේ විෂවීමෙන් මියැදෙන්නේය. තමාගේ ගොදුර තමාගෙන් ‍බේරී පලා ගොස් වෙනත් තැනක මිය ගියද, කොමඩෝ මකරාගේ සංවේදක සිරුර ඇති තැන පිළිබඳ දත්ත ලබාදෙන නිසා ඒ සිරුරු කරා පැමිණ පසුව හෝ ඒවා බුඳින්නට මකරාට අපහසු නැත.


තියුණු නියපොතු


කොමඩෝ මකරාගේ ඛේටය විෂ සහිත බව දන්නා මුත් එය කෙතරම් විෂ සහිතදැයි සෙවීමට 2005 වසරේදී මෙල්බර්න් සරසවිය විසින් විශේෂ පරීක්ෂණයක් පවත්වා තිබේ. කොමඩෝ මකරාගේ පවුලටම අයත් වන කබරයන් විශේෂ දෙකක් සහ කොමඩෝ මකරෙක් මිනිසුන්ගේ අත්වල ඇඟිලි හපා කෑ අවස්ථා නිරීක්ෂණය කල විට පර්යේෂණ කණ්ඩායමට දකින්නට හැකි වී ඇත්තේ සෑම විටම එකම ප්‍රතිඵලයක් උදා වී ඇති බවයි. වේගයෙන් ඇතිවන ඉඳිමුම, ලේ කැටි ගැසීම අඩාල වීම, වැළමිට දෙසට පැතිරී යන අධික වේදනාව ඒ ලක්ෂණ වලට අයත් විය. ‍ඇතැම් ලක්ෂණ පැය ගණනාවක් පුරා පවතී.

2009 වසරේදී මේ පරීක්ෂණ කණ්ඩායම සංරක්ෂණය කරල ලද කොමඩෝ මකරෙකුගේ හිසක් සිංගප්පූරුවේදී MRI Scan පරීක්ෂාවට ලක් කොට යටි හනුව ආසන්නයේ ඇති අවයවයකින් විෂ සහිත එකිනෙකට වෙනස් ප්‍රෝටීන විශේෂ නිකුත් කරන බව සොයාගෙන තිබේ. ඒ අනුව කොමඩෝ මකරෙකුගේ හපැකෑමකට ලක් වුවහොත්,

ලේ කැටි ගැසීම නතර වීම, රුධිර පීඩනය අඩු වීම, මස්පිඬුවල ඇති වන ආඝාත තත්වයන්, ශරීරයේ උණුසුම වේගයෙන් පහළ යාම, කම්පන තත්වය සහ සිහිකල්පනාව ගිලිහීම වැනි ලක්ෂණ පෙන්නුම් කරන බව සොයාගෙන තිබේ. ඒ අනුව මකර‍ාගේ මුඛයේ ඇති බැක්ටීරියාවන් නිසා ජීවිත හානි සිදුවේ යැයි තිබූ පැරණි මතය යම් තරමකට විවාදයට ලක් වී ඇත. එහෙත් කෙළ බිඳක් ගෑවුන පමණින් මරණයට පත්වන්නේ යැයි දෙහිවලින් අතුරුදහන් වූ මකරා ගැන ලියවුන ලංකාවේ පුවත් පත් වාර්තා වල සටහන් වී තිබූ කරුණ සාවද්‍ය බව මේ පරීක්ෂණ වාර්තා වලින් තහවුරු වෙයි.

ප්‍රජනනය සඳහා කාලය උදාවන අවස්ථාව වන විට පිරිමි සතුන් හුදෙකලා වෙති. ඔවුන් තනි තනි වශයෙන් තම බල ප්‍රදේශ වෙන් කරගන්නා අතර  ඇතැම් විටෙක එය කිලෝමීටර් 2 ක් තරම් දුරකට විහිදෙයි. තම බල ප්‍රදේශයේ ආරක්ෂාව තර කරන්නට නිතරම මුර සංචාරයේ නිරත වෙන්නට ඔව්හු ප්‍රිය වෙති. මැයි සහ අගෝස්තු මාස අතර සංවාසයේ යෙදී සැප්තැම්බර් වන විට බිත්තර දැමීමට ගැහැණු සතාට හැකියාව ලැබේ. සාමාන්‍යයෙන් එක් වරකට බිත්තර 30 ක් පමණ මුදාහරින්නට ගැහුණු සත්වයා සමත් වෙයි.

ප්‍රේමයෙන් වෙළුන කොමඩෝ මකර යුවලක්

කොමඩෝ ගැහැණු සතුන් උපායශීලීව තම කැඳලි තනන්නේ තම බිත්තර දඬයමේ එන විලෝපිකයන්ගෙන් ඒවා ආරක්ෂා කරගන්නා සූක්ෂම ක්‍රමවේද සහිතවය. කැඳැල්ලේ සැකැස්ම අනුව නොමග යන විලෝපිකයන්ගෙන් බිත්තර බේරා ගන්නට එමගින් හැකියාව ලැබෙයි. එක් බිත්තරයක් grapefruit ගෙඩියක් තරමට විශාල වෙයි. මාස තුනක් අඛන්ඩව බිජු රැකීමෙන් පසු කොමඩෝ මකරුන් මෙලොව එළිය දකියි.


කොමඩෝ මකරුන් සම්බන්ධ තවත් අරුම පුදුම තොරතුරක් තිබේ. ගැහුණු සතා බිජු ලන්නට පිරිමි සත්වයා සමග කායික එක්වීමක් හැමවිටම අවශ්‍යම නොවේ. එක්වීමක් ඇතුවත් නැතුවත් උන්ට බිජු ලන්නට හැකියාව තිබේ. ලන්ඩන් සත්වෝද්‍යානයෙන් මේ පුවත තහවුරු කොට ඇත. පිරිමි සතකු සමග එක්වීමකින් පසු බිත්තර දැමූ ගැහැණු සතෙකු නැවත පිරිමි සතෙකු හමුනොවන ලෙස වෙන් කර තැබුවද නැවත වතාවක් බිත්තර දැමූ බව එහිදී නිරීක්ෂණය වී තිබේ. පළමු එක්වීමේදී නිකුත්වෙන ශුක්‍රානු ගැහැණු සත්වයාගේ සිරුර තුල ගබඩා කල හැකි ක්‍රමයක් කොමඩෝ මකරාට ඇතැයි සත්ව විද්‍යාඥයින් විසින් උපකල්පනය කොට තිබේ.

කොමඩෝ මකරෙක් මෙලොව එළිය දකින විට අඟල් 12 ක පමණ දිගකින් යුතු වෙයි. අනෙක් සතුන්ගේ මෙන් අලුතින් උපන් පැටවුන් කොමඩෝ මකර දෙමාපියන් විසින් රැකබලාගන්නා බවක් දැනගන්නට නැත.

මකර පැටව්
කෙටි කලකින්ම මේ පැටව් ගස් බඩ ගාන්නටත්, එහෙ මෙහෙ ඇවිදින්නටත් පටන් ගනියි. ඒ කාලය වන විට සත්ව උද්‍යානයක නම් පැටවුන් වැඩිහිටි කොමඩෝ මකරුන්ගෙන් සහ උන්ගේ දෙමාපියන්ගෙන් වෙන් කරන්නේ වැඩිහිටි සත්වයින් විසින් මේ පැටවුන් ආහාරයට ගැනීම වළක්වාලීම සඳහායි.

අවුරුදු 4 ක් ගත වන විට කොමඩෝ මකරෙක් අඩි 4 ක පමණ දිගින් යුතු වෙයි. ඒ වයසේදී  වැඩිහිටියන් සමග උන්ට නිරුපද්‍රිතව වෙසෙන්නට හැකිය. කුඩා අවධිය කරදරයකින් තොරව ගත කලහොත් කොමඩෝ මකරෙක් අවුරුදු 30 ක පමණ කාලයක් ජීවත් වෙයි.

කොමඩෝ මකරා යනු වඳවීමේ තර්ජනයට ලක් වී ඇති සත්වයෙකි. ජාත්‍යන්තර ස්වභාව ආරක්ෂණ සංගමයේ රතු දත්ත පොතට ඔවුන් වර්තමානය වන විට ඇතුලත් වී සිටිති. මේ අවස්ථාව වන විට ලෝකය පුරා සිටින සමස්ත කොමඩෝ මකර ගහණය  6000 ක් පමණ වෙයි. ඔවුන්ගේ ජන්ම භූමිය වන ඉන්දුනීසියාවේ මේ සත්වයා ආරක්ෂිත සත්වයෙකු ලෙස නම්කොට කොමඩෝ ජාතික උද්‍යානයේදී සංරක්ෂණ කටයුතු සිදුකිරීම මේ වන විටත් ඉන්දුනීසියානු රජය විසින් ආරම්භ කොට තිබේ.

ඉන්දුනීසියාවේ කාසියක කොමඩෝ මකර රුව

කොමඩෝ මකර බිජු රැකීමෙන් ඉන්දුනීසියාවෙන් පිටත පළමු වරට කොමඩෝ මකරුන් බිහිකලේ 1992 දී ඇමරිකානු ජාතික සත්ව උද්‍යානයයි. එහිදී ‍කොමඩෝ මකර පැටවුන් 55 ක් දෙනෙකු මෙලොව එළිය දුටු අතර ඒ සත්වයින් ‍වර්තමානය වන විට ලොව පුරා සත්ව උද්‍යාන 30 ක ජීවත් වෙති. සමහර විට දෙහිවලින් පැන ගොස් නැදිමාලේ ඇළක සිටියදී නැවත කුදලාගෙන විත් කූඩුවට දැමුවේ ඇමරිකාවේදී උපත ලද සත්වයෙකු වන්නටත් බැරි නැත.



අද ලිපියට මූලාශ්‍ර
1
2

මම කාමරේ අරින සිරා කොලුවා.


ප.ලි

දෙහිවල සත්තුවත්තෙන් පැන ගිය කොමඩෝ මකරා ගැන පුවත මෙතැනින්
Related Posts Plugin for WordPress, Blogger...