Tuesday, June 28, 2016

58 බත් සමග මනුස්ස කමත් බෙදූ දන්සැලක්

විදේශ ගතව සිටීම නිසා වසර කීපයක්ම පොසොන් උත්සවය සැමරීමෙන් බැහැරව සිටි සිරා කොලුවා මෙවර පොසොන් උත්සවය සමරන්නට එක්වූයේ වසර 3 කට පමණ පසුවය. පොසොන් යන නම ඇසූ සැනින් ලංකාවේ අපට සිහිවන්නේ අනුරාධපුරයයි. ලංකාවේදී  සිරා කොලුවා සංචාරය කරන්නට කැමතිම ස්ථානය කිමෙක්දැයි කිසිවෙකු මාගෙන් විමසුවහොත් මාගේ නිසැක පිළිතුර රුවන් වැලි සෑ මළුව යන්නයි. එතැනදී හිතට මෙන්ම ගතටද දැනෙන සිසිලස, ප්‍රබෝධය, සැහැල්ලුව අති මහත් වීම එයට හේතුවයි. ගම්පහ, මාකේවිට එක්සත් තරුණ සංගමය නැමති සංගමයක් විසින් චිරාත් කාලයක සිට පවත්වාගෙන එන බත් දන්සැලකට සහයෝගය දැක්වීමට පැමිණෙන්නයි මා හට ආරාධනාවක් ලැබුනේ මගේ පියාණන්ගෙනි. ඔහු දැන් වසර 4 ක සිට මේ වැඩපිළි්වෙලට එක් වී සිටියි. රුවන් වැලි සෑ මළුව ආසන්නයේම මේ දන්සැල ස්ථානගත වන නිසා මා හට දෙවරක් සිතන්නට දෙයක් ඉතිරිව නොතිබුනි. මමද දන්සැල් නඩය සමග එක් වූයෙමි. සිරාගේ කාමරයේ අද ලියවෙන මේ ලිපිය ඒ බත් දන්සැල සහ එහි වටපිටාව පිළිබඳවයි.

2016 පොසොන් පොහොය උදාවීමට මොහොතකට කලියෙන් රුවන් වැලි සෑ මළුව
එහි රැය පහන් කරන සැඳැහැවතුන් සමග

1956 මැයි 23 වෙනිදා යනු 1956 වසරේ වෙසක් දිනය යෙදී තිබූ දිනයයි. මේ වෙසක් දිනය ලංකාවාසී බෞද්ධ ජනතාව සමරනු ලැබූයේ මහා ඉහළිනි. බුද්ධ පරිනිර්වාණයෙන් පසු වසර 2500 ක් සම්පූර්ණ වූයේ 1956 මැයි 23 වනදාට වීම එයට හේතුවයි. මෙම වෙසක් උත්සවය බුද්ධ ජයන්ති යන වදනෙන් හඳුන්වනු ලැබූ එවකට බණ්ඩාරනායක රජය, මෙහි සුවිශේෂී බව තවත් සුවිශේෂී බවට පත් කරනු ලැබූවේ රාජ්‍ය අනුග්‍ර‍හය නොමඳව ඒ සඳහා ලබා දෙමිනි. ඒ අනුව බුද්ධ ජයන්ති සැමරුම් කාසි නිකුත් කිරීම , රජයේ පාසල් වල අධ්‍යාපනය ලැබූ සිසු සිසුවියන්ගේ පරිහරණය පිණිස බෞද්ධ පොත පත සම්පාදනය, ගරා වැටුන වෙහෙර විහාර ප්‍ර‍තිසංස්කරණය ආදිය  ප්‍ර‍මුඛ වී තිබේ. 

රජයේ මෙවැනි ක්‍රියාකාරකම් නිසා බුද්ධ ජයන්තියේ ප්‍රබෝධය ගම් නියම් ගම් සිසාරා පැතිර ගිය අතර මේ මහා ආගමික මංගල්ලය එකාවන්ව සැමරීමට ජනතාව පෙළ ගැසුනි. ගම, නගරය කියා භේදයක් නොමැතිව සිරිලක පුරා විවිධ සද් කාර්යයන් රැසක් බුද්ධ ජයන්තිය සමරමින්  ඉටු වෙද්දී  වෙසක් මාසයෙන් පසු එළඹෙන පොසොන් මාසයේදී තම ශක්ති ප්‍ර‍මාණය අනුව යහපත් දෙයක් අනුරාධපුරයේදී කරන්නට ගම්පහ, මාකේවිට බස් හිමියෙකු වූ ජයසිංහ මහතාට සිත් වූයේ බුද්ධ ජයන්තියෙන් ලද උද්යෝගය නිසා විය යුතුය. ඒ සඳහා තබන මූලික පියවරක් ලෙස හෙතෙම මාකේවිට එක්සත් තරුණ සංගමය නමින් සංගමයක් පිහිටුවා ගත්තේ හරියටම බුද්ධ ජයන්තිය සමරන ලද වෙසක් පෝ දිනයි.

තරුණ  සංගමයේ ආරම්භක සාමාජිකයන් බහුතරය ජයසිංහ මහතාගේ ඥාති හිතමිත්‍රාදින්ම වූහ. මේ ඇත්තන් තමන්ගෙ පළමු ව්‍යායාමය ලෙස 1956 වසරේ පොසොන් උත්සවය සමරන්නට, අනුරාධපුර පුද බිමට, ලංකාවේ නන් දෙසින් පැමිණෙන සැඳැහැවත් ජනතාවගේ දාහය නිවන්නට කුරුම්බා දන්සැලක් පවත්වන්නට කථිකා කර ගත්හ.

තමන්ගේ බලාපොරොත්තුව සැල කල සැනින් වතු හිමියො කුරුම්බා වලු පිටින් කපාගෙන යන්නට ඔහුට අවසර දුන්හ. මේ කියන කාලයේ අද තරම් පොල් මිළ ඉහළ ගොස් නොතිබූ හෙයින් කුරුම්බා වල්ලක් දෙකක් දන් දෙන්නට වතු හිමියන් දෙවරක් සිතුවේ නැත. ඒ අවසරයෙන් එකතු වූ සිය දහස් ගනනක කුරුම්බා මාකේවිට එක්සත් තරුණ සංගමයේ තරුණයන් ලොරියක පටවාගෙන අනුරාධපුරයට රැගෙන ගොස් කුරුම්බා දන්සැල පවත්වා තිබේ.

බස් හිමියෙකු ලෙස ජයසිංහ මහතා එවකට ලංකාව පුරාම සංචාරයේ යෙදෙන්නට ඇතැයි අපට සිතිය හැක. ඒ ගමන් බිමන් වළදී පොසොන් උත්සවය සමරන්නට අනුරාධපුරයට එකතු වන දහස් සංඛ්‍යාත ජනතාවට මුහුණ දෙන්නට සිදුවන ගැටලු, අපහසුතා ඔහුට සන්නිවේදනය වී තිබෙන්නට ඇත. ඒ නිසාම ඔහුගේ දන්සැල අනුරාධපුරයේ ඉඳි වූවා විය යුතුය.

1956 සිට වසර 10 ක කාලයක්  පොසොන් දිනයේ මාකේවිට එක්සත් තරුණ සංගමයේ කුරුම්බා දන්සැල අනුරාධපුරයේ රුවන්වැලි සෑ රදුන් හා ථූපාරාමය යා කරන පෙත් මග යනුවෙන් හැඳින්වෙන මාර්ගය ආසන්නයේ පවත්වා තිබේ. අද සිමෙන්ති ගල් අල්ලා විසිතුරු කොට තිබෙන පෙත් මග මේ කියන කාලයේ ඒ කිසිත් නැති ගුරු පාරක් බඳු යැයි තතු දන්නෝ මා සමග පවසා තිබේ.

කුරුම්බා දන්සැලට වයස වසර 10 ක් වූ තැන තරුණ බෞද්ධ සංගමයේ එවකට සාමාජික ඇත්තන් 11 වන වසරේ සිට කුරුම්බා දන්සැල බත් දන්සැලක් බවට පත් කරන්නට තීරණය කළෝය. වර්තමානයේ මෙන් අඩියෙන් අඩිය දන්සැල් පොසොන් සමයේ අනුරාධපුරයේ නොතිබුන නිසා බත් දන්සැලක් පැවැත්වීම බොහෝ සේ වැදගත් යැයි සංගමයේ එවකට සාමාජිකයන්ට වැටහී යන්නට ඇත.

වසරින් වසර අලුතින් සංගමයට එකතු වන සාමාජික පිරිසත් දරාගෙන, දන්සැලේ පරිමාණයද වැඩුනි. එතැන් සිට චිරාත් කාලයක් අඛණ්ඩව දන්සැල පැවැත්වීමට ජයසිංහ මහතාට හැකියාව ලැබුනේ ඔහුගේ ප්‍රිය බිරිඳගේ සහයෝගයත් මේ වෙනුවෙන් මොනවට ලැබුනු හෙයිනි. බස් කර්මාන්තයට සම්බන්ධ තවත් පවුලකින් පැවත එන ඇය ජයසිංහ මහතා මුල්ම දන්සැල පවත්වන කාලයේ තම පියා සහ හිතවතුන් අනුරාධපුරයේ පැවැත්වූ වෙනත් දන්සැලකට සම්බන්ධව සිටියාය. යාබද භූමි භාග වල පැවැත්වූ මේ දන්සැල් කෙරුවාව අවසානයේ මේ දෙපළට විවාහයේ දොරටුව විවර වන්නට ඇති බව සිරා කොලුවාගේ අදහසයි.

ස්ථිර නිළධාරී මණ්ඩලයක් දන්සැල් කටයුතු වලට පත් වූ කාලයේ සිටම දන්සැලේ අනුශාසක ධූරය දරන්නේ ඉඹුල්ගොඩ ප්‍රදේශයේ විහාරස්ථානයක අධිපති ධූරය දරන තෝරපිටියේ ආනන්ද ස්ථවිරයන් වහන්සේ විසිනි. තමන්ගේ විහාරස්ථානයේ පොසොන් පින්කම් අවසන් වූ සැනින් උන් වහන්සේ අනුරාධපුරයට වැඩම කරන්නේ දන්සැලේ කටයුතු සොයා බැලීම උදෙසායි.

බත් දන්සැලේ මුල් පෙලේ නිළ දරුවන් අනුශාසක හිමියන් සමග,
වික්‍ර‍මරත්න සභාපති තුමා වම් කෙළවරේ.
මාකේවිට එක්සත් තරුණ සංගමය වසරක් පාසා සාර්ථකව පවත්වාගෙන පැමිණි බත් දන්සැලේ 50 වෙනි පියවර 2016 වසර හා සම්බන්ධව තිබුනි. මේ දන්සැල ආරම්භයෙන් පසු කිසිම වසරක නතර වී නැත. කුමන අපහසුතාව තිබුනත් නිසි පරිදි දන්සැල පවත්වා තිබේ. හාල්මිටි 3 ක බත් සපයමින් ආරම්භ වූ මේ දන්සැල දැන් හාල් මිටි (කිලෝ 50) 50 ඉක්මවන ධාරිතාවක් දක්වා දියුණු වී තිබේ. එක දිගට මහා පරිමාණයෙන් 50 වසරක් දන්සැලක් පවත්වනවා යනු සෙල්ලම් වැඩක් නොවන බව මේ මහා කාර්යය පිටුපස සිටින මහා ජන සමූහයා දෙස බැලූ විට පැහැදිලි වෙයි.

49 වෙනි දන්සැලටත් රෝද පුටුවක් මත සිටිමින් සහභාගි වූ දන්සැලේ නිර්මාතෘ ජයසිංහ මහතාට දෛවයේ සරදමක් නිසාදෝ 50 වෙනි පියවරට සහභාගි වන්නට නොහැකි වූයේ ඊට මාස කීපයකට පෙර හෙතෙම මිය පරළොව ගිය නිසාය. එහෙත් ඔහුගේ බිරිඳ සහ දරු කැළ මේ මහා වෑයම තවමත් ඉදිරියට රැගෙන යන්නේ පොසොන් වන්දනාවේ අනුරාධපුරයට පැමිණෙන දහස් සංඛ්‍යාත සැඳැහැවතුන් කෙරේ උපදින සැබෑම ආදර කරුණාව නිසාය.

මෙවර දන්සැල උදෙසා ජයසිංහ මහතාගේ නිවසින් අපි සැම පිටත් වූයේ පොහෝ දිනට පෙර දින රාත්තිරියේ 11 කණිසමට බව මගේ මතකයේ රැදී තිබේ. ඒ වන විටත් මාස ගනනාවක උත්සාහයේ ප්‍ර‍තිඵල ලෙස දන්සැලට අවැසි සියලුම දේ සුජෘනම් කර ඒවා ප්‍ර‍වාහනය කරන රථ වාහන වලට පටවා අහවරය. ජයසිංහ මහතාගේ පුතුන් දෙදෙනා පියාගේ මග යමින් ප්‍ර‍වාහන ක්ෂේත්‍රයේ කටයුතු කරන නිසා මේ ගමන් සඳහා උවමනා රථ වාහන වලින් අඩුවක් නැත.


පාන්දර 4 කණිසම වන විට අනුරාධපුරයට පැමිණි අප විවේකයක් නොගෙනම  ලහි ලහියේ කන්ටේනර් රථ දෙකක තිබූ බඩු බාහිරාදිය සහ අඩුම කුඩුම ඉක්මනින් දන්සැල පවත්වන ස්ථානයට ගෙන ආවෙමු. එදා ජයසිංහ මහතා කුරුම්බා දන්සැල ආරම්භ කල ස්ථානයේම තවමත් මාකේවිට එක්සත් තරුණ සංගමයේ බත් දන්සැල ඉඳිවෙයි.

විවිධ වයස් කාණ්ඩ වලට අයත් දන්සැලේ කටයුතු සඳහා පැමිණි කාන්තා පිරිමි, තරුණ, මහළු ජනතාව කාගේවත් නියම කිරීමකින් තොරව තම තමන්ම වැඩ රාජකාරී පවරාගනිමින් හැකි ඉක්මනින් දන්සැල ආරම්භ කරන්නට යුහුසුලු වෙති. තැනක හට්ටි මුට්ටි, එළවළු තැන්පත් වෙයි. තවත් තැනක දන්සැලේ පිරිසගේ භාවිතයට වැසිකිළි පද්ධතියක් ඉඳි වෙයි., තවත් තැනක තහඩු යොදා දන්සැලට පැමිණෙන ජනතාවට සෙවනක් සැදෙයි, තවත් තැනක දන්සැලේ විදුලි ආලෝක පද්ධතිය සහ ජලනළ පද්ධතිය ස්ථාන ගත වෙයි.


අද තරම් පහසුකම් එදා තිබුනෙ නෑ. වතුර වලින් තමයි ගොඩාක්ම ප්‍ර‍ශ්න තිබුනෙ. බවුසර් වලින් වතුර ගෙනත් දෙනකං අපිට දන්සැල නවත්තගෙන බලාන ඉන්න උන කාලයකුත් තිබුනා. දැන් වගේ ලග ලග දන්සැල් තිබුනෙ නැති නිසා මේ දන්සැල් වලින් බත් ටිකක් කන්න මිනිස්සු සෑහෙන්න ආවා. ජයසිංහ මහතාගේ බිරිඳ මා සමග එලෙස පැවසූයේ දන්සැලේ ඉතිහාසය පිළිබඳ එතුමියගෙන් මා විමසීමක් කළ හෙයිනි.

ලහි ලහියේ ඉදුන සුවඳ හමන පරිප්පු හොද්දක් සමග අනුරාධපුරයේ තැටි පාන්, දන්සැල් කාර්ය මණ්ඩලයට උදෑසන ආහාරය වූවේය. එතැන් සිට සිය වගකීම් සෑම කෙනෙක්ම මනාව ඉටු කල නිසා දහවල් බත වන විට බත් දන්සැල ආරම්භ කරන්නට කටයුතු යෙදිනි. දන්සැලේ නිර්මාතෘ ජයසිංහ මහතාගේ මළනුවන් වන වික්‍ර‍මරත්න මහතා වර්තමානයේ මේ දන්සැලේ මුල් පුටුව හොබවයි. ඒ සඳහා බොහෝ පිරිසකගේ සහයෝගය දායකත්වය ඔහුට ලැබේ. මාකේවිට බත් දන්සැලෙන්ම බත් කන්නට බලා සිටින ජනතාවක් දැන් අනුරාධපුරයේ සිටිති. පසුගිය වසර 50 තුලදී දන්සැල් කෙරුවාවෙන් උපයාගත් වත්කම මේ මිනිසුන් විය යුතුය.






පොසොන් පෝය දිනයට පෙර දිනයේ දහවල් බතින් ඇරඹී පොසොන් පෝය අවසන් වී පසුදින දහවල දක්වාම මේ මහා දන්සැලේ දොර පොදු ජනතාවට විවෘතය. දන් සැලට නැවතීමක් නැත. පිරිසක් නිදි දෙව්දුවගේ සුවය විදින අතරේ තවත් පිරිසක් ගජරාමෙට වැඩය. පාන්දර 3 කණිසමට වුවත් උණු උණු බත් බුදින වන්දනාකරුවන්ගෙන් දන්සැලට අඩුවක් නැත.

හාල් කිලෝ 40 ක් විනාඩි 40 න් බත් බවට පත් කරන ස්ටීමරයක් , පොල් ගාන යන්ත්‍ර‍, පොල් කිරි මිරිකන යන්ත්‍ර‍ ආදියෙන් මාකේවිට එක්සත් තරුණ සංගමයේ දන්සැල පොහොසත් වී තිබෙන නිසා වැඩ කටයුතු වේගවත් වී තිබේ. මේ සියලුම යන්ත්‍ර‍ උපකරණ තරුණ සංගමය සතු වන අතර ඒවා භාවිතා කරන්නේ මේ දන්සැලේ කටයුතු වෙනුවෙන් පමණකි.

දන්සැලේ කටයුතු කරන සියලුම දෙනාට තේ සපයන්නේ එක් කාන්තාවකි. ඇගේ වගකීම බවට ඒ කාරිය පත් වී තිබුනි. යහමින් ඉඟුරු යොදා ඇයගේ අත්ගුණය සහිතව අපට ලැබුන ප්ලේන්ටියේ රස ගැන කියන්නට වදන් නැත. එවන් ප්ලේන්ටියක් නිවසේදී හෝ පානය කරන්නට නොලැබෙයි. එය එතරම්ම රසවත්ය.

ස්ටීමරය

දන්සැලේ පෝලිම හසුරවන වගකීම, පැමිණෙන අයගේ බත් පතට මාළු පිණි බෙදන වගකීම, පිගන් සෝදන තැනින් දන්සැල තුලට රැගෙන යාමේ වගකීම, ආදී වගකීම් රාශියක් වරින් වර සිරා කොලුවා අතින් ඉටු වූවේය. වෙහෙසකර දවසක් අවසානයේ සැම විටම බසවක්කුලම වැවෙන් ස්නානය කිරීමට ලැබුන අතර එයින් පසුව දැනුන සුවය කියා නිමකල නොහැක.

බසවක්කුලම වැවට පෙනෙන ජේතවනාරාමය

බසවක්කුලම වැව් කණ්ඩියට පෙනෙන අභයගිරිය
මේ වසරේ සිට තිසා වැවේ ජල ස්නානය තහනම් කොට තිබේ. එය ඉතාමත්ම වැඳගත් තීරණයක් වන්නේ අනුරාධපුර පූජා නගරයේ පානීය ජල අවශ්‍යතාව ඉටු කරන්නේ තිසා වැවෙන් ලබාගන්නා ජලයෙන් වන නිසාය. ඒ ඇරත් වාර්ෂිකව අනුරාධපුර වන්දනාවේ පැමිණ තිසා වැවේ රොන් මඩ අතර සැගවී යන තරුණ ජීවිත ප්‍ර‍මාණයද මේ තීරණය සමග සුරක්ෂිත වී තිබේ.

අපේ ගම් පියසේ පවත්වන දන්සැලකදී මෙන් නොව මෙහිදී දන්සැලට සහභාගි වන අති මහත් බහුතරය අහිංසක මිනිසුන්ය. සැබෑ ලෙසම දන්සැලක අවශ්‍යතාව දැනෙන මිනිසුන්ය. එවැනි මිනිසුන් පිරිසකට සේවය සලසන්නට ලැබීම සැබවින්ම සතුටකි. වයසක අම්මලා ආහාර අනුභවයෙන් පසුව දන්සැල තුලදීම අපේ අත් වලින් අල්ලාගෙන පින් දෙයි. යෝධ බල යෝධ ශක්තිය ප්‍රාර්ථනා කරයි. මෙලෙස දන්සැල තුලදීම අපේ වෑයම අගය කරද්දී, අප විසින් කරන සත්කාර්යයේ තරම අපට අවබෝධ වෙයි. එය කියා නිමකල නොහැකි තරමේ එකකි. සිතට මහත් ප්‍ර‍හර්ෂයකි.

පොහෝ දින උදෑසන දන්සැලේ පෝලිම් ගැසී සිටින ජනතාව
දන්සැල අවට තාවකාලික වෙළඳසැල් පවත්වාගෙන යන වෙළඳ ප්‍ර‍ජාවටද දන්සැලෙන් සැලසෙන සේවය අතිමහත්ය. වෙහෙසකර දිනයක් අවසානයේ නින්දට යන සිරා කොලුවා වැරදීමකින් හෝ පාන්දර යාමයේ අවදි වූවා නම් ඒ මොහොතේත් දන්සැල තුල ආහාර අනුභව කරන ජනතාව සුලභ වූහ. නිදි වරාගෙන ඔවුන් වෙත සේවය සලසන සත් පුරුෂයන් දන්සැල් නඩය තුල වෙනමම වූහ.

එක් වාරයකට රුපියල් මිලියනයකට වඩා මුදලක් වියදම් කරන මේ මහා දන්සැල පුරා දින 3 කට පසු චරිත්‍රානුකූලව මහා සංඝරත්නය විෂයෙහි පවත්වන සංඝගත දක්ෂිණාවකින් අවසන් වෙයි. එතැනදී දන්සැල පවත්වන්නට මුල් වූ අද අප අතර නැති සියලු දෙනාටම පින් පෙත් අනුමෝදන් කරති. ඒ කාර්යය අවසානයේ අඩුම කුඩුම නැවතත් කන්ටේනර් රථ වලට පැටවීම ආරම්භ වන අතර ඒ කටයුතු අවසානයේ අදුරු වැටුන අනුරාධපුරයෙන් අපි සමුගත්තේ යහපත් ක්‍රියාවක නිරතවීමෙන් ලද පරම පිවිතුරු සතුට දෝත දරාගෙන ඊළග වසරේත් මේ දන්සැලේ සේවයට පැමිණෙන බැව් ශපත කරමිනි.




























මම කාමරේ අරින සිරා කොලුවා.





ප.ලි


සියලුම ඡායාරූප මවිසින් ලබාගත් ඒවාය.

මෙම තරුණ සංගමය පිහිටුවන්නට මූලික වූ කිසිවෙකුත් දැන් ජීවතුන් අතර නැත.

මේ කර්තව්‍ය හුදෙක් බත් දන්සැලකට පමණක් සීමා වී නැත. එයින් එහා ගිය මහා සමාජ මෙහෙවරකට මේ සමිතියේ ඇත්තන් උර දී සිටිති. ඒ අනුව අඩු ආදායම් ලාභීන්ට නිවාස ඉඳි කර දීම, අඩු පහසුකම් සහිත දහම් පාසල් වලට පොත් පත් සහ වෙනත් උපකරණ ලබාදීම ආදිය ප්‍ර‍මුඛ වෙයි. මේ දින වල දන්සැලේ නිළධාරී මණ්ඩලය අඩු පහසුකම් සහිත දහම් පාසලක් සොයමින් සිටින්නේ එහි අධ්‍යාපනය ලබන දූ දරුවන් වෙත අධ්‍යාපන උපකරණ ලබා දීම උදෙසායි. මේ ලිපිය කියවන ඔබ එවැනි ස්ථානයක් ගැන දන්නේ නම් කරුණාකර සිරා කොලුවා වෙත ඊයක් විඳින්න.

Sunday, June 12, 2016

79 මාටින් මුදලාලි

මාටින් මුදලාලි අඩි 6 ක් විතර උස දේහදාරියෙක්. කොටු වැටුන සරමට කොලර් එක තියෙන ටී ෂර්ට් තමයි ඔහු නිතරම ඇන්දෙ. යුක්තියට මිස අයුක්තියට හිස නමන්නෙ නැති, තමන්ගේ මතයේම එල්බ සිටි සෘජු චරිතයක්, තමන්ගෙ දරු මුණුබුරන්ට අසීමිතව ආදරය කරපු, තමන්ගෙ ඇඹේණිය එක්ක සමගියෙන් පවුල් කාපු, ආදරණීය චරිතයක් විදියටත් ඔහුව හඳුන්වා දෙන්න පුලුවන්. අද සිරාගෙ කාමරෙන් මම බොලාට කියන්නෙ මගේ සීයා වෙච්ච මේ  ආදරණීය මිනිසා ගැනයි.


සිරා කොලුවගෙ මෑණියන්ගෙ සීයා දාවිත් අප්පුහාමි මාතර සුල්තානාගොඩ ප්‍රදේශයේ ඉඳලා ගම්පහ ප්‍රදේශයට පදිංචියට ආවෙ බොහොම තරුණ කාලෙදි. ගම්පහ නාගරික සීමාව අවට 1900 - 1920 කාලය අතරතුරදි ඇති තරම් හිස් ඉඩ කඩම් තිබුනා. රටේ අග නගරයට යාබදව, වෙනත් ස්වභාවික කරදර වලිනුත් තොර මේ භූමිය අනාගත වාසස්ථානය කර ගන්න එදා ඔහුට හිතෙන්න ඇති. සුල්තානාගොඩ ඉඳලා වෙළදාම ඔස්සේ ගම්පහට ආපු දාවිත් අප්පුහාමි ගම්පහ නගරය තමන්ගෙ අනාගත වාසස්ථානය කරගත්තා විතරක් නෙමෙයි ඒ අවටින්ම තමන්ගෙ භාරියාවත් හොයා ගත්තා. අදටත් ගම්පහ නගර සීමාවේ ජීවත් වෙන අයගෙන් 80% ක් මාතරින් ගම්පහට පැමිණි පරම්පරාවෙන් පැවතෙන අය. දාවිත් අප්පුහාමි පරම්පරාවෙ ජාන වල සටහන් වෙලා තිබුනෙ. වෙළඳාම විතරමයි. ඒ ඇත්තො වෙළඳාමෙන් තොර ජීවන උපායක් ගැන දැන උන්නෙ නෑ.

දාවිත් මුත්තගෙ කසාදෙ ප්‍ර‍තිඵල විදියට පුතුන් තුන් දෙනෙක් මෙලොවට ජනිත උනා. ඒ අයගෙන් වැඩිමලාගෙ නම මාටින්. උන්දැ පස්සෙ කාලෙක ගම්පහ නගරයේ වෙළඳ ප්‍ර‍ජාව අතර ප්‍ර‍සිද්ධියට පත් උනේ මාටින් මුදලාලි කියන නාමයෙන්. මාටින් මුදලාලි තමයි සිරා කොලුවගෙ මවගෙ පියා. එහෙමත් නැතිනම් සිරා කොලුවගෙ සීයා. ඔහුත් තමන්ගෙ පරම්පරාව අනුවම වෙළඳාම ජීවනෝපාය කරගත් අයෙක්.

1950 දශකය කාලෙ  අද ගම්පහ එළවළු මාරකැට්ටුව තිබෙන තැන ස්ථිර ගොඩනැගිල්ලක් තිබිලා නෑ. විවිධ වෙළඳුන් ඉඩ කඩ තිබෙන පරිදි  තම තමන්ගෙ වෙළඳාම් කටයුතු කරගෙන ගොස් තිබෙන්නේ එළිමහනෙ. මේ විදියට එළවළු, පළතුරු, කුළුබඩු, හට්ටි මුට්ටි වගේ දේවල් එළිමහනෙ වෙළදාම් කරන වකවානුවක හිටි අඩියේම මේ වෙළඳුන් වෙනුවෙන් ස්ථිර ගොඩනැගිල්ලක් ඉඳිකරන්න ගම්පහ නගර සභාවේ ඇත්තන්ට හිතක් පහළවෙලා තියෙනවා.

මේ ගොඩනැගිල්ලෙ වැඩ ඉවර උනාම එතෙක් එළිමහනෙ වෙළඳාම් කරපු ඇත්තන්ට ගොඩනැගිල්ල තුල ස්ථිර කඩකාමර ලබාදෙන්න තීරණය වෙලා. නොම්බර ඇදීමකින් තමයි ඒ ඒ අයට හිමි කඩකාමරය පිහිටි ස්ථානය තීරණය වෙලා තියෙන්නෙ. සිරා කොලුවගෙ සීයා ඒ වෙද්දි ස්ථාන දෙකක තමන්ගෙ වෙළඳාම් කටයුතු කරමින් හිටිය නිසා ඔහුට කඩකාමර දෙකක් හිමි වෙලා තියෙනවා. මගේ මෑණියන් පවසන පරිදි ඔහුට ලැබිලා තියෙන්නෙ 40 න් උඩ ඉලක්කමක්. ඒ අනුවයි ඔහු තමන්ගෙ කඩ කාමර දෙක තෝරගෙන තිබෙන්නෙ.

අපේ මාටින් මුදලාලි සීයගෙ ප්‍ර‍ධාන වෙළඳ ද්‍ර‍ව්‍ය උනේ පළතුරු. කොළඹින් ඇපල්, මිදි, දොඩම්, පෙයාර්ස් වගේ පිටරට පළතුරු වර්ගත්, ගම් පළාත් වලින් රඹුටන්, කෙසෙල්, මැංගුස්, අඹ වගේ පළතුරු වර්ගත් ඔහු කරා ආවා. සමහර වෙලාවට ඔහු විසින්ම කොළඹින් මේවා අරගෙන ආවා. එහෙමත් නැත්තං කොළඹ යන වෙනත් කෙනෙකු මාර්ගයෙන් ගෙන්වා ගත්තා.

සිරා කොලුවට යමක් කමක් තේරෙන වයසෙදි මම දැක්කෙ සීයගෙ පළතුරු කඩේ ගොඩගහලා තියෙන පළතුරු ගොඩවල්. සමහර වෙලාවට කඩේ ඇතුලෙම පළතුරු කළුවෙලා, වේලිලා අවසන් ගමන් ගියා. ගණුදෙනුකරුවො කොච්චර හෙට්ටු කලත්, මොන තරම් අඳෝවැඩියා කිව්වත් සීයා තමන්ගෙ ගාන අඩු කලේ නෑ. ඒ ගානට විකුණන්න බැරිවෙලා කුණුවෙලා ගියත් කමක් නෑ. ඔහු එහෙම හිතන්න ඇති. මාටින් මුදලාලි බොහොම සෘජු චරිතයක් කියලා මම ලිපිය ආරම්භයේම කිව්වෙ ඒ නිසයි.

නෝනා මේ, ගන්නෙ නැත්තං ඔබා ඔබා බලන්නෙ නැතුව යන්න...

තමන්ගෙ අඹ ගොඩෙන් අඹ ගෙඩි කීපයක් ඔබ ඔබා බල බලා සිටින නෝනෙක් දැක්කම අපේ සීයා කිව්වෙ එහෙමයි. පාරිභොගිකයගෙ හැසිරීම අනුව ඔහු හෝ ඇය පළතුරු මිළදී ගන්නවද නැද්ද කියලා ඔහු දැන උන්නා වෙන්න පුලුවන්.

වර්තමානයේ ලංකාවෙ ඉතාම ප්‍ර‍සිද්ධ අංක එකේ සමූහ ව්‍යාපාරයක නැසීගිය හිමිකරුවා වගේම මූලාරම්භකයා,  ඥාතීත්වයෙන් මගේ සීයාගෙ බාල සහෝදරයෙක්. ඔහුත් මාතර පළාතෙන් ඇවිත් ගෙන්දගම් පොළවේ පය තබපු කෙනෙක්.

තමන්ගෙ ව්‍යාපාර බොහොම සුළුවෙන් කෙරෙන කාලෙ ඔහුගේ තාවකාලික නවාතැන වගේම ආහාර සම්පාදනය සිදු වී තිබෙන්නෙත් ගම්පහ විජයාරාම පාරෙ පිහිටා තිබුන අපේ සීයගෙ නිවසින් , එහෙමත් නැතිනම් අම්මගෙ මහ ගෙදරින්. මගේ මෑණියන්ගෙ මව හෙවත් මාටින් මුදලාලිගෙ ප්‍රිය බිරිඳ කිරි අම්මා, මෙවැනි චරිත වලට අදෝවැඩියාවකින් තොරව බත් තම්බපු නිර්ලෝභී චරිතයක්.

අඩියෙන් අඩිය ව්‍යාපාරික ලෝකයෙ ඉහළට ගිය මේ මුදලාලි චරිතය මුලින්ම මිළට ගත්තෙ මොරිස් මයිනර් කාර් රථයක්. ඒ අවදියෙ තමයි ඔහු අවසාන වශයෙන් සීයගෙ නිවසෙ පස් පාගා තිබුනෙ. ලංකාවම හඳුනන ප්‍ර‍සිද්ධ, ධනවත් ව්‍යාපාරිකයෙක් බවට පත් උනාට පස්සෙ ඔහු තමන්ගෙ ඥාතීන් තමන්ගෙ දෙපා මුලට ගෙන්වාගන්නා සිරිතකට පණ දී තිබෙනවා

කවදත් කෙලින් කථාවක් තිබුන අපේ සීයා හෙවත් මාටින් මුදලාලි බොහොම අවංකව කිව්වෙ බාලයා වැඩිමලා ලගට එනවා මිස, වැඩිමලා බාලයා ලගට යන සිරිතක් නෑ කියලා. ඔහු කවදාවත්  තමන්ගෙ මලණුවන් කෙනෙකු වන මේ ධනවත් ව්‍යාපාරික තැන හමුවෙන්න ඔහුගේ දෙපතුල ළගට ගියේ නෑ, තමන්ගෙ දරුවෙක් යැව්වෙත් නෑ. ඔවුන්ට රැකියාවක් දෙන්න කියලා ආයාචනය කලෙත් නෑ . අපේ සීයා එදා ඊට වඩා වෙනස් ලෙසකින් හැසිරුනා නම් අද සිරා කොලුවත් මේ කියන දැවැන්ත ව්‍යාපාරික ජාලයේ ඉහළ කළමණාකාර තනතුරක ඉන්න ඉඩ තිබුනා.

මාටින් මුදලාලිගෙ පළතුරු වෙළඳ සැලේ කටයුතු සිදු උනේ ඔහුටම ආවේණික ක්‍ර‍මයකට. කොපමණ හෙට්ටු කලත් තමන්ගේ මුදලට මිස ගණුදෙනුකරුවා ඉල්ලන මුදලට ගණුදෙනුකරන සිරිතක් ඔහුට තිබුනෙ නෑ.  ඒ නිසාම බොහෝ වෙලාවට මුදල් දී ලබාගත් පළතුරු කඩය ඇතුලෙම කුණු උනා.

මෙවැනි පාඩු නිතරම සිදු වෙද්දි ඔහුට සිතුනා වෙළඳාමෙන් අයින් වෙලා කරත්ත රස්සාවෙ රහ බලන්න. නිවැසියන්ට කිසිම දෙයක් නොකියා දවසක් ඔහු හොර රහසේම තමන්ගෙ ව්‍යාපාරික ස්ථානයක් අත්පිට මුදලට විකුණලා තිබුනෙ ගොනෙක් සහ කරත්තයක් මිළදී ගන්නා අරමුණෙන්. නමුත් දුර දිග දකින මනා නුවනක් තිබුන අපේ මිත්තනිය, කිරි අම්මා එදාම ඒ මුදල රැගෙන කඩ කාමරය මිළදී ගත් ව්‍යාපාරිකයා මුණ ගැහිලා, ඔහුට නොවඳිනා වැඳුම් වැඳලා ආයෙමත් එය ලබා ගන්න සමත් වෙලා තිබුනා.

තමන්ගෙ පරම්පරාව අනුව වෙළඳාම ජීවනෝපාය කරගත්ත අපේ සීයා 1950 දශකයෙදි  ආර්ථික තත්වය අතින් ඉහළ තැනක හිටියා කියන්න හරි අපූරු උදාහරණයක් තියෙනවා. ඔහු තමයි ගම්පහ විජයාරාම මාවතේ නිවෙසකට මිළදී ගත් පළමු ගුවන් විදුලි යන්ත්‍රයේ හිමිකරුවා. එංගලන්තයෙ එළිසබෙත් මහ රැජිනගෙ විවාහයේ විස්තර ගුවන් විදුලියෙන් අහ ගන්න ඒ පළාතෙ බොහෝ දෙනා මේ නිවසට මේ විවාහ උත්සවය පැවැත්වුන දවසෙ එක් රැස් වූ බවක් කිරි අම්මා ජීවතුන් අතර සිටි කාලයෙදි මා හට කියා තිබෙනවා.

සිරා කොලුවට දැනුම් තේරුම් තියෙන කාලෙ ඉඳලම අම්මගෙ මහ ගෙදර යන්න තිබුනෙ පුදුමාකාර කැමැත්තක්. අපේ සීයා වගේම කිරි අම්මත්, අම්මගෙ අයියා හෙවත් මාමගේ සමාගමයත් මගේ පුංචි හිතට එකතු කල චමත්කාරය ඉතාම ඉහළයි. ඒ නිවෙසට ගිය හැම වෙලාවකම අපේ සීයා තමන්ගෙ වියදමෙන් අපේ පුංචි බඩගෙඩි රසමසවුලෙන් පුරවන්න දැරුවෙ ලොකු මහන්සියක්. ඔහු අපට ආදරය දැක්වූවෙ ඉතාම නිහඩව බව තමයි මගේ මතකයෙ තියෙන්නෙ.

උදේම මාරකැට්ටුවෙ පළතුරු කඩයට යන සීයා, එතන කටයුතු අහවර කරලා හැන්දෑවෙ 5 - 6 වෙද්දි ආපහු නිවෙසට එන්නෙ පා ගමනින් පුංචි මල්ලකුත් එක උරහිසක දරාගෙන. නිවසට එදිනෙදා උවමනා අඩු වැඩිය හැංගිලා තිබුනෙ ඒ බෑග් මල්ල අස්සෙ. සීයා නිවසට ආවට පස්සෙ කිරි අම්මා හදලා දෙන තේ කෝප්පයකින් කාරිය සප්පායම් වෙලා ගෙමිදුල අමදින්න පටන් ගන්නවා.  නිවෙසට පිටතින් තිබෙන පහන් පැලේ පහන දල්වන්නෙ හැමදාමත් එකම වෙලාවකට වගේ. මමත් , මයෙ මලයත්, අපේ මාමගෙ පුත්‍ර‍ රත්නයත් එකට එකතු උනාම පුංචි පහේ වළියක් දෙකක් යන්නෙ කලින් සැලසුම් කරලා නෙමෙයි. එහෙම වෙලාවට අපේ සීයා, මාමගෙ පුත්‍ර‍යගෙ නම පවසමින් ඒකාට ආඩපාලි කියන්නෙ  මේකා තමයි මූලිකයා කියමින්. මේ සියලුම රාජකාරි අවසන් උනාට පස්සෙ විශාල වෑල් රේඩියෝව ලඟ ඉඳගෙන වෙළඳ සේවය සුසර කරන එක ඔහු නොවැරදීම සිදු කලා. මේ  ගුවන් විදුලි යන්ත්‍ර‍ය මෑතක් වනතුරුම යෙහෙන් වැජඹුනත් වර්තමානයේ එයට කුමක් සිදු වී දැයි මම දන්නෙ නෑ.

මා හට මතකයක් නැති වුවත් වතාවක් සීයගෙ සංවිධාන ශක්තියෙන් ගම්පහ ප්‍ර‍දේශයේ දේශපාලන රැස්වීමක් පවත්වා තිබෙනවා. එදා මේ රැස්වීමට ප්‍ර‍ධාන කථිකයා විදියට සහභාගි වෙලා තියෙන්නෙ විජය කුමාරණතුංග මහතා. ඔහුව බුලත් හුරුල්ලක් දී පිළිගෙන ඇත්තෙත් අපේ සීයා විසින්. පුංචි සිරා කොලුවා කිරි අම්මගෙ  අතට වෙලා මේ රැස්වීම දිහා බලාන ඉඳලා තියෙන්නෙ විජයව දැකගන්න ආව මහ සෙනග අස්සෙ රැස් කමින්. එදා ඒ මහ සෙනග අස්සෙ උන්න මදාවියෙක් සිරා කොලුවගෙ පංචායුදේට වග කියලා.

පුංචි සිරා කොලුවා සීයගෙ පළතුරු කඩේට යන්න ලැබුන අවස්ථා වලදි එහෙ ගියෙ බොහොම ආශාවෙන්. එහෙම ගිය දවසක, සීයා කිරි තේ එකක් අරගෙන එන්න මාව කඩේ මුදලාලි කරලා ගිය අල්ල පනල්ලෙ මම පුංචි ගණුදෙනුවක් කරලා ඉතිරි මුදල් නිවැරදිව ලබා දුන්නා. සීයා ආවෙ කිරි තේ කෝප්ප දෙකක් සහ ආනමාළු කෙසෙල් ගෙඩිත් අරගෙන. මගේ කථාව අහපු උන්දැ බොහොම සතුටට පත් උනා. ඒ දවස තවමත් මගේ මතකයෙ ගැඹුරෙ නිරුපද්‍රිතව සටහන් වෙලා තියෙනවා.

අපේ මාටින් මුදලාලි සීයට තිබුනා බොහොම කැත පුරුද්දක්. ඒ තමයි කටේ තියෙන බුලත් හපේ සමගම නින්දට යාමේ පුරුද්ද. හුණු, දුංකොල එක්ක ඒදන මේ බුලත් විඩේ රස ඔහුට දිනපතා බලන්න ඕනෙ. හැබැයි නින්දට පෙර ඉවත් කරන පුරුද්ද හුරු කරන්න කිසිම කෙනෙක්ට හැකියාව ලැබුනෙ නෑ

මේ විදියට බුලත් විට කෑමේ ප්‍ර‍තිඵලයක් විදියට අපේ සීයගෙ තොල් වල පිළිකා තත්වයක් ඇති උනා. එයට ප්‍ර‍තිකාර කරන්න ඔහුව මහරගම පිළිකා රෝහලේ නැවැත්තුවා. සිරා කොලුවගෙ අම්මා, එයාගෙ අයියා, සහ නංගි ගම්පහ සිට මහරගමට දිනක් හැර දිනක් යමින් සීයගෙ සැප දුක හොයලා බැලුවා.

විශේෂඥ දොස්තර මහත්වරුන්ගෙ නිර්දේශ අනුව සැත්කම් දෙකක් සීයට කරන්න නියම උනා. පළවෙනි පියවර යටතේ කලවයෙන් ලබාගන්න පටක යොදාගෙන ඔහුගේ මුඛය සම්පූර්ණයෙන්ම වසා දමන්නට තීරණය කලා. ඒ කාලසීමාවෙදි ඔහුට දියරමය ආහාර පමණක් ලබාගන්නට කුඩා බටයක් ස්ථිර ලෙස මුඛයේ රඳවා තිබුනා. දෙවැනි සැත්කම යටතේ පෙර පරිදි මුඛය නැවත් සකසන්නට තීරණය වී තිබුනා.

මේ ප්‍ර‍තිකාර ආරම්භ කරන්න කලියෙන් දවසක සිරා කොලුවගෙ අ.පො.ස සා/පෙ ප්‍ර‍තිඵල පිට උනා. මෑණියන් සමග සීයව බලන්න මහරගම ඉස්පිරිතාලෙ ගිය දවසක ඔහු තමන්ගෙ වේදනාව යටපත් කරගෙන මගෙන් ඇහුවෙ විභාගෙ සමත් උනාද කියලා ? මම ඔව් කිව්වම ඒ අසරණ මුවේ නැගුන මන්දස්මිතිය මට කිසිදාක අමතක වෙන්නෙ නෑ. මෙදා පාර අලුත්අ වුරුද්දට මට ඉන්න වෙන්නෙ ඉස්පිරිතාලෙ. ඔහු බොහොම දුක්බරව කියපු ආකාරය මට හොඳින් මතකයි.

ඊට පස්සෙ සිදුවුනේ බොහොම ශෝචනීය සිදුවීමක්. ගම්පහ සිට මහරගමට තියෙන දුර ප්‍ර‍මාණය වැඩි නිසා සීයා බලන්න ගෙදරින් නිවැසියො ගියේ දවසක් හැර දවසක්. එලෙස ගිය දවසක සීයා තමන්ට අදාළ ඇදේ දකින්න සිටියෙ නෑ. වැඩිහිටියන් ඔහු පිළිබඳ රෝහල පුරාම හෙව්වත් ආරංචියක් ලැබුනෙ නෑ

ඉස්පිරිතාලෙන් පැනලා යන්න ඇති. අදාළ බලධාරීන් එහෙම කිව්වා. ඒත් ආහාර ගන්න ඒ වෙද්දි කටක් නැති නිසා ඉස්පිරිතාලෙන් එළියට ගියාට ජීවත් වෙන්න නම් අමාරුයි.

ඔයින් මෙයින් සීයගෙ රූපකාය අවසන් වශයෙන් දකින්නට අවස්ථාවක් නොදීම ඔහු අතුරුදහන් උනා. කිරි අම්මා අංජනම් බලන, සාස්තර කියන තැන් වල හරියට රස්තියාදු උනා. ගෙදර එන්න කියලා ඉස්පිරිතාලෙන් ආවට මඟදි පාර වැරදිලා. සමහර අය අංජනමෙන් බලලා එහෙම කිව්වා. සීයගෙ දරුවො පොලීසියෙන් පුවත් වලට කියන නාඳුනන මළ සිරුරු හඳුනා ගන්න ගියා. එහෙත් අද වෙනතෙක් ඔහුව නැවත හොයාගන්න අපිට හැකි උනේ නෑ.

සීයගෙ වියෝවෙන් පස්සෙ දැන් වසර 18 ක්ම ගෙවිලා. මේ කාල සීමාව ඇතුලෙ මොන තරම් දේ අපේ ජීවිත වලට එකතු උනත්, සීයගෙ කුණුවෙමින් යන පළතුරු ගොඩක් අස්සෙ ඉඳගෙන කිරි තේ  බිව්ව අතීතය මගේ හිතට තවමත් මිහිරක් කාන්දු කරනවා. සීයගෙන් පස්සෙ ඔහුගෙ කඩ පිළිබඳ හිමිකම ලබාගත්ත අපේ අම්මගෙ නංගි ඒවා තවත් පාර්ශවයකට කුලියට දී තිබෙනවා. මේ ස්ථානයෙන් අහම්බෙන් යන දවසක මට නොවැරදීම සීයගෙ කඩේ දිහාට මගේ ඇස්ගෙඩි කරකැවෙනවා. පුංචි වෙලාවක් හරි ඒ ඉදිරිපිට නැවතී බලාන ඉන්න හිතෙනවා.  දැන් කඩය පවත්වාගෙන යන කෙනා පළතුරු වෙනුවට එළවළු විකුණන කෙනෙක්. ඔහුගේ එළවළු බක්කි අතරින් සීයගෙ පළතුරු ගොඩවල් සිහියට එද්දි ඔහු වෙනුවෙන් උපදින කදුලක් හැමදාමත් මගේ ඇස් අග රැදෙනවා.



මම කාමරේ අරින සිරා කොලුවා.




ප.ලි

මේ ලිපිය සමගින් සිරාගේ කාමරයේ පල වූ සමස්ත ලිපි සංඛ්‍යාව 250 කඩඉමට ලඟා වූවේය.

ඊයේ දිනයට සිරාගේ කාමරයේ 4 වෙනි සංවත්සරය යෙදී තිබුනි. ඔබත් මමත් අතර මේ බැඳීමට දැන් වසර 4 කි.



Sunday, June 5, 2016

51 ඇය ෆාතිමා නම් වූවාය.

අද කථාවේ ප්‍රවේශය කාලයකට කලින් මවිසින් ලියූ සිරාගේ මහවේ ප්‍රේමය නැමති ලිපිය ඔස්සේ වැටී තිබේ. ඒ නිසා එම ලිපිය කියවා නැති ඇත්තන් මේ ලිපියට පෙර ඒ ලිපිය කියවීම මැනවි.

සිරා කොලුවාගේ පෙම් ජවනිකාවක් සෑහෙන දොහකින් ලියා නැත. මගේ ලිපි කියවීමට කාමරයට එන යන ඇත්තන් සමහරෙක් පෙම් ජවනිකා වලට වඩාත්  ඇළුම් කරති. ඒ බැව් ඒ අයගේ ප්‍ර‍තිචාර වලින් පැහැදිලි වී තිබේ. සිරා කොලුවාගේ අතීත පෙම් ජවනිකා සීරුවට මාරුවට මෙතුවක් දවසක් ලියාගෙන ආවෙමි. මේ එහි තවත් පියවරකි.

සිරා කොලුවාගේ මහවේ ප්‍රේමය අසාර්ථක වෑයමක් පමණක් වීමෙන් පසු මගේ චිත්ත සන්තානයම සෑහෙන දොහක් යනතුරු තිබුනේ මහා අන්ධකාරයක ගිලී යැයි පැවසීම අතිශෝක්තියක් නොවේ. මුලු හදින්ම යුවතියකට ඒක පාර්ශවීයව හෝ ආදරය කරන්නට යාම මහා වේදනාවක ඇරඹුම බව මම ඒ වන විට පසක් කරගෙන සිටියෙමි.

ඒ මහා මූසල කාල සීමාවේ මගෙ දුක යම් තරමකට හෝ පහව ගියේ නම් ඒ ෆාතිමාගේ සමාගමය නිසයි. එවකට මා සේවය කල දැන්වීම් ප්‍ර‍චාරණ ආයතනයේ මා අසලම සිටි චරිතය ඇයයි. කොළඹ ඉපදී කොළඹ හැදී වැඩී කොළඹ පරිසරයට හුරුව සිටි ෆාතිමා ලග මා සිතා සිටියාට වඩා තෙත් හදවතක් ඇති බැව් මා හට ප්‍ර‍ත්‍යක්ෂ වූයේ මේ කාලසීමාවේදීය.

අලුත් දවසක කාර්යාලයට ගිය හැම විටම හිමිදිරියේ ඇය කුමක් හෝ දෙයක් ගැන මා සමග දොඩමළු වෙයි. ඒ කථා බහ අවසානයේ ඇය මට හැමදාමත් කිව්වේ...

අමාලි ගැන හිතලා දුක් වෙන්න එපා...ඔයාට හොඳ කෙල්ලෙක් හොයාගන්න පුලුවන්. ඉවසීමෙන් ඉන්න...යනුවෙනි.

කාලය වෙනදා මෙන් ටික් ටික් හඬින් ගෙවී ගියේ බොහෝ සේ මන්දගාමීවය. ඒ කාල සීමාව අතර තුර මා අසල සිටින මෙතෙක් මා නුදුටු ෆාතිමා දැන හැඳින ගත්තෙමි. ඇගේ ලෙංගතුකම, මා කෙරෙහි ඇති දයාව ආදී කාරණා ප්‍ර‍මුඛ කොට දිනෙන් දින මා ඇය කෙරෙහි ආශක්ත වන බවක් මට දැනෙන විට මා ඇගෙන් වෙන් වී දුරට යන්නට බැරි තරමට ලං වී හමාරය.


බොහෝ අසාර්ථක ඒක පාර්ශවීය ප්‍රේම වෘතාන්ත වල හිත රිදුන අයගේ සිත් සනසන්න වෑයම් කරන අය හෙවත් සපෝටර්ලා හිත රිදුන පාර්ශවය සමග හිත් වලින් බැඳීම බොහෝ සේ සුලභ බව එවැනි කථා පුවත් කෙරෙහි අවධානය යොමු කරන ඔබට වැටහෙනු ඇත. මෙතැනදිත් නැවත වරක් සිදුවූයේ එයම බැව් නොසගවා ඔබට හෙළි කරන්නට මම රිසි වෙමි.

එතරම් රුවැත්තියක් නොවුනත් ප්‍රියමනාප පෙනුමක් තිබූ ෆාතිමා වෙනුවෙන් මගේ හිතේ ආලයක් ඉපදී තිබේ. ජාතිය, කුලය, ආගම වැනි කාරණා එවැනි හැගීමක් ඉදිරියේ අවලංගු කාසි වැනිය. මම ඒවා කිසිවිටෙක නොතැකුවෙමි. මා සමග තිබෙන ෆාතිමාගේ සමාගමය දිනෙන් දින මා ඇය වෙතම අද්දවා ගන්නට සමත් උත්තේජකයක් වැනිය. අවසානයේ අසරණ සිරා කොලුවාට නැවත වරක් අර  අසික්කිත ලෙඩේ වැළඳී හමාරය. මේ අසනීපය වැළඳුනොත් සමහරුන්ට සුව වෙන්නට කල් ගත වෙයි. සමහරුන්ට ඉක්මනින් සුව වෙයි. එය රෝගයේ බරපතල කම අනුව තීරණය වන්නකි.

ආලයක් හිතේ හිරකරගෙන ඉන්නට ඉතා අමාරුය. ලගම හිතවතුන් කීප දෙනෙකුට හෝ එය සැල කිරීමෙන් සිතට යම් තරමක සැහැල්ලුවක් මෙන්ම ආදරය ලබා ගන්නට යන ගමන පිළිබඳව යම් සැලසුමක්ද අටවා ගැනීමට හැකියාවක් ලැබේ.

එකල මාසයකට වරක් හෝ දෙකක් සිකුරාදා දිනවල  සන්ධ්‍යා භාගයේදී බොරැල්ල Mint Leaf අවන් හලේදී මගේ සේවා ස්ථානයේ උන් සමග අඩියක් ගසන්නට සැට් වීම සාමාන්‍ය කාරණාවක් වී තිබුනි. පුබුදු, චන්දන, ජීවන් මේ මිත්තර සම්පත්තියට අයත් වූවෝ වෙති. මේ අතරින් පුබුදු, ජීවන් කොළඹ පරිසරයේ හැදී වැඩී තිබුන අතර පුබුදු අපගේ ප්‍ර‍ධාන ඩිසයිනරයා මෙන්ම අපගේ නොයෙක් ගැටලු වලට විසඳුම් ලබා දෙන ලොකු අයියාගේ චරිතයද රඟපෑ චරිතය වූවේය. ඔහු ඉදිරියේ අපි අපේ පුද්ගලික ගැටලු පවා දිග හරින්නේ ඔහුගෙන් ඒවාට සාධාරණ විසඳුම් ලැබෙනු ඇතැයි යන විශ්වාසයෙනි. චන්දනයා දකුණු පළාතේ චරිතයක් වූ අතර ජීවන් දමිළ දෙමාපිය යුවලකට දාව 83 කලු ජූලිය අස්සේ ඉපදුන එකෙකු නිසා ඔහුගේ මතු ආරක්ෂාව පතා නමේ මුල කොටස සිංහල නමක් සේ දිස්වෙන පරිදි යොදා තිබුනි. ඒ කථා පුවතත් මෙවැනිම සැට් වීමකදී වරක් ඒකා විසින් ඇඳ බෑ අන්දම මට මතකය. ජාතකය එසේ වුවත් කාර්යාල පරිසරයේදී අපි සියල්ලොම ඉතාම සමගි සම්පන්නව සිටියෙමු.

එක් වැසිබර සන්ධ්‍යාවක මේ අවන් හල් සෙවනේදී ප්‍රථම වතාවට ෆාතිමා පිළිබඳ කාරණය මම නොසගවා උන් හට පැවසුවෙමි. පානය කරන්නට ඉහළට ගත් රහ මෙර වීදුරු පසෙක තබා ඔව්හු පුදුමයෙන් වාගේ මා දෙස එක එල්ලේ බලා සිට ඇසුවේ එකම එක පුරස්නයකි.

උඹ සිරාවටමද ඔය කියන්නෙ...

මම ඔව් යනුවෙන් මුණිවත බිඳ දැමුවෙමි.

එකෙනෙහිම මා වෙත එළැඹි ජීවන් මා දැඩිව වැළඳ ගනිමින් මා හට සුභ පැතුවේය.

ඒකි ගොඩාක් හොඳ කෙල්ලෙක් බං...මම ගොඩාක් කැමතියි උඹලා දෙන්නා එකතු වෙනවා නම්...හැබැයි පුතෝ මේ ගේම ලේසි වෙයි කියලා නම් හිතන්න එපා. මුස්ලිම් පවුලකින් වෙන ආගමක එකෙක් කෙල්ලෙක් ගන්නවා කියන එක පට්ට ගේමක්. දැන් බලහං අපියි, ෆාතිමයි දෙගොල්ලොම කථා කරන්නෙ දෙමළ....එහෙම කියලා අපිටවත් බෑ බං උන්ව බඳින්න. ඒත් උඹ සැලෙන්න එපා. ජීවන් මගෙන් මෑත් වෙමින් කී වදන් මා හට තවම මතකය.

උඹ ඉක්මනින් ඔය අදහස ෆාතිමාට කියපං...අර කෝච්චියෙ ලව් එක වගේ ඇද ඇද ඉන්න එපා. හැබැයි පුතෝ ඒකි හිතයි උඹ විහිළු කරනවා කියලා...බලහංකො බොරු නම්. පුබුදු එසේ කීවේය.

එයින් අනතුරුව මේ පිළිබඳ බොහෝ දුරට අදහස් හුවමාරු කරගැනීමෙන් අනතුරුව අපි විසිර ගියෙමු.  ඊලග සතියේ දිනක මගේ සිතැගි ෆාතිමාට කියන්නට මම ඉටා ගතිමි. සෑම දිනෙකම සේවය නිමවී ඇය නිවෙස බලා යන්නට අතුරු පාරට පිවිසෙන්නේ මා සමගම වීම මට මහත් සහනයකි. මගේ සැලසුම් පිළිබඳ දන්නා අනෙක් උන් කිසිවෙක් අපට බාධා කරන්නට නොපැමිණියෝය.

ඇය පැණි නාරං කන්නට ඉතා මනාපය. අපේ නිවසේ තිබෙන පැණි නාරං ගසේ ඵලදාව ඒ වන විට හොඳ තත්වයේ පැවතිනි. මම උරයක් පිරෙන්නට නාරං කඩා පසුදින ෆාතිමා වෙත ලබා දුන්නෙමි. ඊටත් පසු දින ඇය ඒවායේ අනර්ඝබව කියමින් මා හට නොයෙක් වර ස්තූති වන්ත වූවාය. අද දවසෙ මූඩ් එක හොඳයි..හැන්දෑවට මගේ අදහස කියලා දාලා හිත සැහැල්ලු කරගන්නවා. මම එසේ සිතීමි.

තවම වැඩ ඉවර නැද්ද? මම නම් යන්න යන්නෙ..එනවද ? ෆාතිමාගේ සුන්දර දෑස මා දෙස බලා සිටින්නේ මා අපහසුතාවයකට පත් කරමිනි. තවත් මොහොතකුදු පමා නොවී මම ඇයත් සමග කාර්යාලයෙන් ඉවතට පැමිණියෙමි. බොරැල්ල කොටා මාර්ගයට දිවෙන කාර්යාල අතුරු මාවතේ දැන් අපි දෙන්නා පමණි.

ෆාතිමා...මම ඇය දෙස හොරෙන් බලා තෙපලුවෙමි.

වෙනදාට සල්වාර් ඇදුමකින් සැරසී කාර්යාලයට එන ඇය අද දිගු සායක් සමග බ්ලව්සයක් හැඳ තිබේ. මේ ඇඳුමට ඇය ඉතා අලංකාරව දිස් වෙන බව මගේ ඇතුලු හදට දැනිනි. ඇගේ විලවුන් සුවඳ මගේ නාස් පුඩු ඔස්සේ ඉහළට ඇදෙන්නට වෙර දරයි. මුස්ලිම් යුවතියන් හිස ආවරණය කරනවා උවත්..ෆාතිමා එසේ නැත. ඇය ඒ රෙදි කඩෙන් උරහිස කොටස ආවරණය කරගෙන සිටියාය.

ඇයි...මොහොතකට පසු ඇය පිළිවදන් දුන්නාය.

මට කියන්න දෙයක් තියෙනවා...

ඉතින් කියන්න.

කලින් වතාවේ ඇප්ලිකේෂන් දමන්නට ගිය මගේ භෞමික අඛණ්ඩතාව ඒ වන විට යම් සාධනීය මට්ටමකට පැමිණ තිබූ නිසා සිතැගි පවසන්නට විළියක් නැත.

මම ඔයාට කැමතියි...මම ආයාසයකින් තොරව කියුවෙමි.

අහෝ...ෆාතිමා එය විහිලුවක් ලෙස සිතා සැනෙකින් බැහැර කළාය. මා හට පුබුදුගේ වදන් සිහිවූවේය.

අනේ අනේ...ඔයත් මාර විහිළු තමයි කරන්නෙ...අැය මගේ උරහිස ඇගේ උරහිසෙන් තල්ලු කරමින් පැවසුවාය.

අධෛර්යමත් නොවී මම නැවත වතාවක් එම දෙබසම තෙපළුවෙමි. 

ෆාතිමාගේ මුහුණේ කිසිම වෙනසක් නැත. ඇය අඛණ්ඩව සිනා සෙන්නේ මම විහිළු කරනවා යැයි සිතාගෙනය.

මේක විහිළුවක් නෙමෙයි ෆාතිමා...මම ඔයාට කැමතියි ...ආදරෙයි.

ඒ වදනින් පසුව ෆාතිමාගේ මුවේ වූ සිනාව අතුරු දහන් වූ සෙයකි. ඇය අදහා ගත නොහැකිව පුදුමයෙන් මෙන් මා දෙස දෑස් ලොකු කර බලා උන්නාය.

ඔය ඇත්තමද ? මම කවදාවත් හිතුවෙ නෑ ඔයා මට ආදරේ කරයි කියලා...ඇයි මට ආදරේ කරන්න හිතුනෙ.

ෆාතිමා මගේ අත අල්ලා ගත්තාය. මගේ හදවත ආදරයෙන් පිරී ඉතිරී ගොසිනි.

අමාලිට ආදරේ කරන්න ගිහිල්ලා රිදුන හිත හැදුවෙ ඔයා. ඔයා ගොඩාක් හොඳ ගතිගුණ තියෙන කෙල්ලෙක්. ඉතින් මට ආදරය කරන්නෙ නැතුව ඉන්න බැරි උනා.

ෆාතිමා මා දෙස මහත් භක්තියෙන් යුතුව බලා උන්නාය.

ඔයා දන්නවා අපි දෙන්නා ආගම් දෙකක. මේක ලේසි වෙන්නෙ නෑ...ඔයාට තේරෙනවනෙ...මට දවස් කීපයක් දෙන්න. මම මේ ගැන කල්පනා කරලා ඔයාට උත්තරයක් දෙන්නං. එදින ඇය මගෙන් සමුගත්තේ එසේ තෙපලීමෙන් අනතුරුවයි.

ෆාතිමාගේ පිළිතුර කුමක් වේදැයි දෙගිඩියාවෙන් යුතු දින කීපයක් ගත කළෙමි. ඒ දින කීපයේ ඇය මේ පිළිබද කිසිම දෙයක් නොකියන්නට තරම් පරිස්සම් වූවාය. එහෙත් එක් දිනක් සවසක ඇය අන් අයට නොඇසෙන සේ,

අද මා එක්ක යන්න එන්න. එදා ඔයා අහපු දේ ගැන මම කල්පනා කරලා තීරණයක් ගත්තා. ඇය මා දෙස එක එල්ලේ බලා පැවසුවාය.

සිරිත් පරිදි අපි දෙදෙනා දැන් වෙනදා මෙන්ම කොටා මාර්ගයට වැටෙන අතුරු පාරේ ඇවිදිමින් සිටින්නෙමු.

මම මෙහෙම කිව්වා කියලා ඔයා කලබල වෙන්න එපා. ඔයා ගොඩාක් හොඳ කොල්ලෙක්. ගොඩාක් සීරියස් කොල්ලෙක්. මට ඔයාගෙ හිත යම් දවසක මා නිසා රිදෙනවා බලා ඉන්න බෑ. මට මේකට කැමති වෙන්න බෑ. ඔයා දන්නවා මගේ පවුලෙ අය ඔයාව බදිනවට කීයටවත් කැමති වෙන්නෙ නෑ. මම ඔයා එක්ක පැනලා ගියත් ඒ අය මට නිදහසේ ජීවත් වෙන්න දෙන්නෙත් නෑ. ඔයාගෙ ජීවිතේටත් ඒක අවධානමක්. 

මට මගේ අම්මා හිටියෙ නැත්තං ඔයා එක්ක එන්න හිත හදාගන්න තිබුනා. ඒත් මම එහෙම දෙයක් දැන් කලොත් මගේ අයියා..තාත්තා, නෑදෑයො හැමෝම බනින්නෙ අම්මට....කෙල්ලව හරියට හැදුවෙ නෑ කියලා. අම්මා පව්...ඒ නිසා මට ඒ තත්වෙට එයාව පත් කරන්න බෑ. මගෙන් වරදක් උනා නම්, මම කථා බහ කරපු විදියට ඔයාගෙ හිතේ බලාපොරොත්තුවක් ඇති උනා නම්,  මට සමාවෙන්න. ෆාතිමා දෑසේ කදුලු පුරවාගෙන මගේ අත අල්ලාගෙන සිටියාය.

කමක් නෑ ෆාතිමා...මම තරහා නෑ. මම ඇසෙන නොඇසෙන තරමට මිමිනුවෙමි.

මම එසේ පැවසූවත් ආදරයක් ඉපදුන චරිතයක් අසල ආදරයක් නැති අයුරින් හැසිරීම උගහටය. මම ඒ අත්දැකීම සිත් සේ වින්දෙමි.

ෆාතිමාගේ පිළිතුර පිළිබඳ කාර්යාලයේ මිත්තර කැල දැන සිටියෝය. ඔවුන් තවත් අවස්ථාවක් හෝ ලැබෙනු ඇතැයි යන සිතුවිල්ලෙන් දිවා ආහාර මේසයේ මමත් ෆාතිමාත් නොයෙක් වර තනි කළෝය. ෆාතිමා දිවා ආහාරය මා සමග ලබා ගැනීමට ටික දිනකින් පුරුදු වූවාය.

එවන් දවසක ඇය මුල් වරට අැගේ බත් පතෙහි වූ ව්‍යංජන මා සමග බෙදා ගත්තාය. ඇගේ මව පිළියෙල කල මාලු කරියේ රස මට තවමත් අමතක නොවේ.

දන්නවද වැඩක්..මම කවදාවත් කා එක්කවත් කෑම බෙදාගෙන කාලා නෑ. ඉස්කෝලෙ යන කාලෙදිවත් මම මගේ යාලුවෙක් එක්කවත් කෑම බෙදාගෙන කාලා නෑ. ඔයා එක්ක තමයි පළවෙනි වතාවට මෙහෙම කරන්නෙ. ඇය සිනාසෙමින් පැවසුවාය. මා ඇයගේ බත් පතෙහි තබන මගේ මව පිසූ ආහාර ඇය රස කරමින් භුක්ති වින්දාය. ඇය මේවා හලාල් දැයි සොයන්නට ගියේ නැත.

අමාලිට ආදරය කරන්න ගිහින් ඔයාගෙ හිත රිදුන තරම මට දැනුනා. ඔයා ගැන අනුකම්පාවෙන් තමයි මම ඔයාට ලං උනේ. ඒ හිත හදන්න. ඒත් ඔයා ඒක වැරදියට තේරුම් ගත්තෙ. ෆාතිමාගේ වදන් මම රිදුම් දෙන හදවතින් යුතුව අසා සිටියෙමි.

ඊට දින කීපයකට පසුව පුවත් පතක තිබූ දැන්වීමක් අනුව අපගේ එවකට සේවා ස්ථානයට වඩා හොඳ කාර්යාලයක ඩිසයිනර් තනතුරකට ඇය අයඳුම් කලේ මගේද අදහස් විමසීමෙන් අනතුරුවයි. ඒ කාලයේ හැටියට ඒ තනතුරට ගෙවූ වැටුප මෙන්ම ලැබෙන පහසුකම්ද ඉතා හොද මට්ටමක වූයෙන් මම ඇයව ඒ සඳහා දිරිමත් කළෙමි. වට කීපයක් පැවැත්වුන තෝරාගැනීමේ පරීක්ෂණ සඳහා සහභාගි වී සිටි ෆාතිමා සිරිත් පරිදි අප සමග සේවය කරමින් උන්නාය.

ඒ වසරේ නොවැම්බර් මස දිනක ඇය මා කරා ආවේ මගේ වැඩ කටයුතු අවසන් වන්නට ඔන්න මෙන්න තිබියදීය.

මම මේ අවුරුද්දෙ දෙසැම්බර් වලින් පස්සෙ මෙහෙ වැඩට එන්නෙ  නෑ. ලබන අවුරුද්දෙ ජනාවරි මුල ඉදන් අලුත් තැනට යනවා. අද තමයි මාව තෝරගත්තා කියලා දැන්වුවෙ.

ෆාතිමාගේ මේ වදන් ඒ අවස්ථාවේ මා හට ඇති කලේ මහත් වූ වේදනාවකි. ඇත්තෙන්ම එය ඇගේ ජයග්‍ර‍හණයක් වුවත්, ඇයට හිතවත් කෙනෙකු ලෙස මා සතුටට පත් විය යුතු වුවත්, ඈ වෙනුවෙන් මගේ හිතේ ඉපදී ඇති ආදරයේ නාමයෙන් එය මා හට මහත් වේදනාවක්ම වූවේය. 

ෆාතිමා නැති කාර්යාලයක සේවය කිරීම සිතාගන්නටත් නොහැකිය. කාර්යාල පරිසරයේදී ඇය මගේ හොඳම මිතුරියයි. මා පිළිබඳ වඩාත්ම සැළකිලිමත් කෙනාය. දිවා ආහාරය ගන්නට මා සමග එකතු වෙන සගයාය. ඉඳින් එවැනි චරිතයක් ඒ පරිසරයෙන් සමුගත් පසු ඉතිරිවන දරුණු හුදෙකලාව මා කෙසේ දරා ගන්නද ?

මේ හුදෙකලාව අනාගතයේ දවසක මා හට මහත් වූ වේදනාවක් විය හැකි බව ඉවෙන් මෙන් දැනුන හෙයින් මම එදින සිටම ෆාතිමාට කලියෙන් මේ ඔපීසියෙන් සමුගන්නේ යැයි ඉටා ගත්තෙමි. අවසානයේ මම සාර්ථක වීමි. පුවත් පත් දැන්වීමකට අනුව අයදුම්  කොට මම වෙනත් ආයතනයක සේවයට එක් වන්නට සමත් වූයෙමි.

ඔයාට හැකි ඉක්මනින් සේවයට වාර්තා කරන්න. ඔව්හු එසේ දැනුම් දුන් හෙයින් මම ෆාතිමාට කලියෙන්ම එතෙක් සේවය කල කාර්යාලයට සහ මිත්තර සම්පත්තියට සමු දුන්නෙමි.

ඇගෙන් සමුගත් පසු කාලයක් ගත වන තුරු මගේ චිත්ත සන්තානයම මහත් වූ පාලුවකින් පිරී ගිය බව සත්‍යයකි. මගේ පාසල් මිතුරන් සමග මධුවිතකට සම්බන්ධ වූ බොහෝ විට මම මේ ආදර කථාව උන් සමග පැවසුවෙමි. එහෙත් අද තරම් ජාතිවාදී අදහස් එකල පැතිර නොතිබුනත් මගේ මිතුරන් ඇයට එක හෙළාම විරුද්ධ වූවෝය.

තොට සිංහල කෙල්ලෙක් හිටියෙම නැද්ද යකෝ ලව් කරන්න. ඔව් සාහසික ලෙස ප්‍ර‍ශ්න කළෝය.

ඕක නොකෙරුන එකම තමයි හොඳ...අපි නම් පොඩ්ඩක්වත් කැමති නෑ මුස්ලිම් එකියක් කරේ එල්ලගන්නවට...ඔව්හු මගේ වේදනාව නොහඳුනන ලෙස තෙපලෝය.

එදා මෙදාතුර ආදරයක් නිසා මට මේ තරම් රිදුන තවත් කාලයක් නැත. ෆාතිමාගෙන් වෙන්වීමෙන් පසු මා හට දැනුන වේදනාව වචනයෙන් කිව නොහැකි තරමේ එකකි. 

ඔයාට සුභ අනාගතයක්. ඔයාට ලස්සන අනාගතයක් තියේවි. ලස්සන කෙල්ලෙකුත් මුණ ගැසේවි. එතනට යන්න නං ඔයා මගෙන් ඈත් වෙලා හිත හදාගන්න ඕනෙ. ඒ නිසා මම ටික කාලයකට ඔයා එක්ක කථා බහ කරන එක නවත්තන්නං. SMS එවන්නෙ නැතුව ඉන්නං...එහෙම උනා කියලා මම තරහා උනා කියලා හිතන්න එපා හොඳද ? අලුත් රස්සාවටයි...ඔයාගෙ අනාගතයටයි, මම හදවතින්ම සුභ පතනවා.

මම ෆාතිමාගෙන් සමු ගන්නා දා ඇය අවසාන වශයෙන් එසේ පැවසුවාය.

හදවතේ ගැඹුරටම දැනෙන ආදරයක් හමුවේ ජාති ජන්ම ආගම් භේද නොදැනෙන බව මම පසක් කරගත්තෙමි. දැනෙන්නේ ආදරයේ සුන්දරත්වය පමණකි. එකම පරිසරයක තමන්ට බහ නොදුන් ආදරියක සමග පැය ගනනාවක් ගෙවීම අතිශයින් අපහසු සහ වේදනාකාරී කටයුත්තක් බවට මෙවැනි අත්දැකීමක් විඳි සියලු දෙනා සාක්ෂි දරනු ඇත.



මම කාමරේ අරින සිරා කොලුවා.



ප.ලි

ෆාතිමා පසු කලෙක මුස්ලිම් ජාතික තරුණයෙකු සමග විවාපත් වූවාය. අද මේ දෙපලම ලංකාවෙන් බැහැර රටක වාසය කරන්නේ දරු සුරතල්ද බලමිනි.


පහළින් දැක්වෙන ගීතය කරළියට ආවේ ෆාතිමා නිසා රිදුන මගේ හිත යලිත් යථා තත්වයට පත් වෙමින් තිබූ කාල සමයේදී බැව් මට මතකය. වර්තමානයේ වුවද මේ ගීතය ශ්‍ර‍වනය වන ඕනෑම විටක ෆාතිමාගේ ඇසුරේ ගතවූ  අතීතයේ සුන්දර දවසක මගේ සිත නතර වෙයි.



සංසාර සිහිනයේ පෙම් අප්සරා නුඹයි
මේ වසන්තය පුරා සිත ඔබට පෙම් කරයි
මං ඔබට ආදරෙයි මගේ ආදරේ නුඹයි....

නාමලක්‌ වගේ සිතුම් සෙනෙහසින් පිරේ
ආදරෙන් අරන් ඇවිත් තුරුළු වන්නෙමි
සදපාන ඔබ වැනි නිල් අහසේ නැළැවුණි
මගෙ නෙත් පුරා ගැලු අනන්ත සතුට නිම්නැති....

සංසාර සිහිනයේ....

මා ඔබෙන් පැතු පැතුම් ආදරෙන් ගෙනා
රෝස මල් යහන් ගැබේ සිහින තාරුකා
මනමාල සිත පුරා දගකාරකම තියා
ඔබ මා ළගින් නතරවෙන්න ආදරෙයි කියා....


ගායනය  - චාමික සිරිමාන්න
පද - චන්න ජයනාත්
සංගීතය -  රෝහණ වීරසිංහ




Related Posts Plugin for WordPress, Blogger...