Sunday, August 10, 2014

126 සිරාගේ මහවේ ප්‍රේමය

සිරා කොලුවා වෘත්තීය ජීවිතයේ හා පුරා කියා සම්බන්ධ වූ දැන්වීම් ප්‍රචාරණ ආයතනය පිහිටා තිබුනේ බොරැල්ල කොටා පාරේය. උදෑසනට ගම්පහ දුම්රිය ස්ථානයෙන් දුම්රියට ගොඩ වී මරදානෙන් බැස ඉතිරි දුර බස් රථයකින් ගමන් කලත් ආපසු ගමනේදී අතුරු සිදුරු නැතිව මරදාන දුම්රිය ස්ථානයේ පොදි කන දුම්රිය මගීන් හමුවේ දුම්රියකට ගොඩවීම උගහට හෙයින් සන්ධ්‍යා භාගයේ දුම්රියට පිවිසීම පිණිස මා එකල භාවිතා කලේ කොටුව දුම්රිය ස්ථානයයි.

කාර්යාලයේ සේවය නිමවූ පසු නැවත නිවෙස බලා යන්නට දුම්රිය කාලසටහනේ  තිබුනේ සුප්‍රකට මහව කාර්යාලීය දුම්රියයි. සිරා කොලුවාගේ පියාද යටගිය දවසක මේ දුම්රියේම සේවයට ගොස් තිබූ හෙයින් ඒ පිළිබදව යම්කිසි ප්‍රාමාණික දැනුමක් මා සතුව විය. ඇත්ත වශයෙන්ම මහව යනු දුම්රියකට වඩා වැඩි යමක්, උප සංස්කෘතියක් කියා කීවත් එහි වරදක් නැත. මේ දුම්රියේදී ඇති වුන ප්‍රේම සබදතාවලින් විවාහයට එළැඹි උන් දහස් ගණනක් සිටිය හැක.



මහවට පිවිසි පළමු දිනම මා හට මහත් තනිකමක්,පාලුවක්, කෝඩුකාර බවක් දැනුනේ එහි සෑම තැනකම පාහේ කණ්ඩායම් ගතව යන දුම්රිය මගීන් සිටි හෙයිනි. මේ අය කරන කෙළිකවට දෙස බලමින් තනිව ගමන් කිරීම සැබැවින්ම එපාවෙන කාරියකි.

කොටුව දුම්රිය වේදිකාවේ එකම ස්ථානයකින් දුම්රියට ගොඩවූ හෙයින්ම මා නොදැනුවත්වම වුවත් එකම දුම්රිය මැදිරියකට පිවිසීමේ හැකියාව මට ලැබී තිබුනි. මෙලෙස ගමන් කල තෙවැනි දිනයේදී එහි වූ විවිධ කණ්ඩායම් අතරින් මගේ වයසේම වැනි එකෙකු මා හට ඔවුන සමග එකතු වන්නට ආරාධනය කලෙන් එදායින් පසු මහව දුම්රියේ 10 වෙනි මැදිරිය සිරා කොලුවාගේ අලුත් නවාතැන විය.

එකල තිබුනේ අද මෙන් නවීන දුම්රිය මැදිරි නොවූ හෙයින් දුම්රිය ආසන දෙකක් අතර එක බැගින් කණ්ඩායම් ස්ථානගතව සිටියෝය. අප කණ්ඩායමේ සිටියේ පිරිමි පාර්ශවය පමණක් වුවත් අපට යාබද කණ්ඩායමේ රජයේ සේවයේ නියුතුව සිටි වයසක ඇත්තන් කීප දෙනෙකු සමග කණ්ඩායම් ගතව සිටි යුවතියන් පිරිසක් විය.

මේ ඇත්තියන් හැමදාමත් 10 වෙනි මැදිරිය සිනාවෙන් පුරවා ප්‍රබෝධමත් කල අතර සෑම සන්ධ්‍යාවකම ඔවුන් ගෙන ආ වැඩිපුර රසකැවිල්ලකට වග කියන්නට අපටද ආරාධනාවක් ලැබුනි. දුම්රිය කාලසටහනේ සිදුවූ කාල වෙනසකට පසු ඔවුන්ගේ ඇතැම් සාමාජිකයන්ට මහව දුම්රිය මග හැරුනු හෙයින් ඉතිරිව සිටි යුවතියන් අප සමග එතැන් සිට කණ්ඩායම් ගත වූහ.

යුවතියන්ගේ ආගමනයත් සමග රැකියාවෙන් පසු නිවෙස බලා යන ගමන ඉතාම චමත්කාර ජනක එකක් විය. අප අතර වූ මේ සුහදතාව දිනෙන් දින දළුලා වැඩුනු අතර සෑම දිනකම සන්ධ්‍යාවේ දුම්රියේ ගමන් ගන්නා කණ්ඩායමේ අයට භුක්ති විදීමට කුමක් හෝ ආහාරයක් ගෙන ඒමට අප අතර කථිකාවක් ඇති විය. තවත් කල් යද්දී ඒ කාරණය තවත් විධිමත් කොට කාලසටහනක් සැකසුන අතර එක් දිනයකට දෙදෙනෙකු බැගින් එහි විය.  සමාධී නම් යුවතියක සමග සිරා කොලුවා සිකුරාදා දිනට මේ වැඩසටහනට දායක විය. සිකුරාදා දිනයේ රාජකාරි අතර තුර ඇය මා හට දුරකථනයෙන් අමතා මේ බව මතක් කිරීමට තරම් කාරුණික වූවාය.

මේ අලුත් අත්දැකීම වෘත්තීය ජීවිතයට නවකයෙකු වූ මා හට කදිම අත්දැකීමකි. අපේ කණ්ඩායමේ පිරිමි පාර්ශවය අතරින් බහුතරයක් තිහාරියේ මුස්ලිම් සහෝදරයන් පිරිසක් වූ අතර එකල අප අතර කිසිදු ජාතිවාදී හැගීමක් තිබුනේ නැත. ඔව්හුද කාල සටහනට අනුව ක්‍රියා කලහ. කලින් යුවතියන් සමග එක්ව ගමන් කල පිරිස අතරින් ගැමුණු අයියා යනුවෙන් අප හැදින්වූ රජයේ සේවයේ තලතුනා අයෙකු පමණක් ශේෂව සිටියේය. සීල් අරක්කු කාලක් සහිතව බොහෝවිට දුම්රියට ගොඩවෙන ඔහු යුවතියන් පිරිවරාගෙන හිල වඩයක් හපමින් කාල අමුවෙන්ම දුම්රිය ගමන අතර තුර අන්තරස්දාන කල අතර රාගම දුම්රිය ස්ථානය පසු වන විට ඔහු බොහෝ දින වලට කෙල්ලන්ගේ ගුටි බැට වලට ලක් වූයේ කාලේ ආනුභාවයෙන් යුවතියන්ගේ කොණ්ඩ කූරු, කොණ්ඩ බෝල ඇතුලු විවිධ උපාංග උන්ට හොරා ගැලවීමට තැත් කිරීම නිසාය. ගැමුණු අයියා තරමක් මිටි,  ඉතාම ප්‍රියජනක විනෝදශීලී අයෙකි. තමන්ගේ කොණ්ඩා කටුව හෝ කොණ්ඩයට සම්බන්ධ වෙනත් යමක් ගැමුණු අයියාගේ ග්‍රහණයට හසුවූ කලෙක ඇතැම් යුවතියන් ඒවා ඉල්ලා සිටිනවා වෙනුවට තම බෑගය විවෘත කොට වෙනත් යමක් පැළදගත්තෝය. එවන් කලෙක එවැනි බෑගයකට එබී බැලූ කල ලෝක වෙළදපලම ඒ තුල ඇතැයි අපිට සිතුනි.

තවත් කල් ගත වන විට දුම්රිය ගමන තුලදී උපන් දින සමරන තැනට අපි උසස් වීමු. කාගේ හෝ උපන් දිනයක් පිළිබද හෝඩුවාවක් ලද විගස යුවතියන්...අනේ අපිට Fab එකෙන් හෝ Perera & Sons එකෙන් කේක් අරන් එන්න යනුවෙන් අගර දගර පා කියූ විටෙක අප එම ඉල්ලීම් ඉටු කල ආකාරය මගේ මතකයට එයි. ඔව්හුද තම තමන්ගේ උපන් දින වලට අපට කේක් ගෙන ආවෝය. කේක් කපන්නට අපට පිහියක් තිබුනේ නැත. කාගේ හෝ බැංකු කාඩ් පතකින් හෝ ණය පතකින් කේක් කපා මහවේ 10 වෙනි මැදිරියේ කේක් අනුභව කල මුල් කාලයේ මගේ හිතට අමුත්තක් දැනුනේ වටපිටේ සිටිනා තනි තනිව ගමන් කරනා පිරිස අප දෙස බලා සිටි නිසා වුවද කල් යත්ම එය ශරීරයට පත්තියන් විය. කේක් කපන ලද දිනයක අතිරික්තය අප ආසන්නයේ සිටින මගීන් හට බෙදන්නටද අපි කටයුතු කලෙමු.

පළමු වසර ගෙවී දෙවැනි වසරද සිරා කොලුවාගේ දුම්රියේ ගමනට උදා වී තිබුනි. මේ වන විට අප අතර තිබුනේ ඉතාම දැඩි බැදීමකි. යුවතියන්ගේ මංගල අවස්ථා, දානමය පිංකම්, අලුත උපන් දරුවන් බලන්නට යාම වැනි රාජකාරි මෙන්ම සිංහල අලුත් අවුරුද්ද, නත්තල්, රාමසාන් වැනි උත්සව සමරන විටෙක ඒවා සැමරූ අපේ මිත්‍රයන් දුම්රියෙන් පරිබාහිර තැනක කාන්තා පිරිමි දෙපාර්ශවයටම ප්‍රිය සම්භාෂණයන්ද පැවැත්වූහ.

මේ කියූ පිරිස අතර සිටි එකම ඩිසයිනර් චරිතය මා නිසා මගේ අතින් විවිධ අවස්ථා වල සුභ පැතුම් සහිත කාඩ්පත් මේ අය වෙනුවෙන් නිර්මාණය විය. ඒවා අදද ඔවුන් සතුව තිබේ. යුවතියන් පිරිස අතර ඇතමෙක් මා හට වැඩිමල් අය වූ අතර එකියක පමණක් මට වඩා වයසින් අඩු විය. කොළඹ ප්‍රදේශයේ සුප්‍රසිද්ධ අවන්හලක ගණාකාධිකරණයට සම්බන්ධ රැකියාවක් කල ඈ කෙරේ මා සිත ආශක්ත වූයේ මටත් හොරෙනි. කෙටියෙන්ම කියනවා නම් සිරා කොලුවාට අර කරුම ලෙඩේ නැවතත් වැළදී ඇති සෙයකි.

ඇය විලාසිතාවට බර තරුණියක වුවද ඇය කල විලාසිතා ඇගේ පෙනුමට මැනවින් ගැලපුනි. ඇදුමට ගැලපෙන සේ කරාබු, මාල, වළලු, ආදී මෙකී නොකී සියල්ලම ඉතාම මැනවින් ගලපා ගන්නට ඇයට තිබුනේ පුදුමාකාර සමර්ථකමකි. මේ සමර්ථකමේ අවසාන ප්‍රතිඵලය වූයේ හොදින් ඉස්මතු වූ ඇගේ රුවයි. ඒ රුවේ අසිරියත් නිතරම කා සමගත් සුහදව සිනහවෙන් බරවී සිටින්නට ඇයට තිබු කැමැත්තත් නිසාම සිරා කොලුවා නැමති ඇඹලයා පැණි හැලියේ වැටී තිබේ.

එකල කාර්යාලය තුල මා අසලම සිටි චරිතය වූයේ ෆාතිමා නම් මුස්ලිම් තරුණියකි. ඇය හා මා අතර තිබුනේ බොහෝ සේ ලග මිත්‍රත්වයකි. ඒ නිසාම දුම්රියේ වරුණ ඇයට කියන්නට මට දෙවරක් සිතන්නට අවැසි වූයේ නැත. ඇය මා හට උපදෙස් දුන්නේ කල් නොයවා ඉක්මනින් මගේ අදහස ඇයට දන්වන ලෙසයි.

දුම්රිය ගමන තුල නොයෙක් වර ඇයගේ දෙනෙත් ඉලක්ක කර මගේ දෙනෙත සම්මුඛ කලෙමි. එහෙත් ඇය අනෙක් උන් සමග විහිළුවෙන් තහළුවෙන් නිතරම ගමන් කල එකියක නිසාම ඒ සදහා වැඩි ඉඩක් ලැබුනේ නැත.

මගේ මේ ආදර බර හැගීම මහවේ උන්ගෙන් හා පුරා සැළකලේ මා හට එහි නිත්‍ය සාමාජිකයෙකු වන්නට ආරාධනා කල මිත්තරයා වෙතයි. දුම්රිය ගමන අතර තුර දිනක් හෙතෙම මා අමතා ඒකි ඇත්තටම ලස්සනයි නේද බං...යනුවෙන් මා හට පැවසීම සිරා කොලුවාට ධෛර්යයක්ම විය.

දැන් ඉතිං කොලුවාගේ හිතේ පෙර පැවති සංයමය බිදී ගොසිනි. රැකියාව අවසන් කර මහවට එන්නේ සැලෙන හදිනි. කොටුව දුම්රිය ස්ථානයේ පුටුවකට බර දී දුම්රිය බලාපොරොත්තුවෙන් සිටින ඇගේ වත කමල මට දුර තියා පෙනෙයි. එහෙත් අද මෙන් නොව එකල සිරා කොලුවාගේ භෞමික අඛණ්ඩතාව මද වූ හෙයින් ඇය සමග මගේ සිතැගි දොඩන්නට තවමත් ධෛර්යය උපදවා ගත නොහැක. ඇයගේ රුව දුටු පමණින් හද ගැහෙන රිද්මයේ වෙනසක් වෙයි.

දුම්රියේදී දොඩමළු වුවද ඇගේ පුද්ගලික ජීවිතයේ තොරතුරු පිළිබද මගේ දැනුම අල්ප වූ හෙයින් ඒවා පිළිබද සොයාබලා දැනුවත් වී ඇය කරා එළැඹීමට තවත් සතියක් දෙකක් අවැසි විය. ඒ අතර තුර කාලයේ ගම්පහ දුම්රිය ස්ථානයෙන් ගමන අවසන් නොකර ඇයගේ ගමනාන්තය වූ පල්ලෙවෙල ඉස්ටේසුම වෙත වතාවක් දෙකක් සිරා කොලුවා ගියේ එහි වෙසෙන ඥාතියෙකුගේ නිවෙසට යන බවට මුසාවාද පවසමිනි. පල්ලෙවෙලින් ඔබ්බෙහි වූ දුම්රිය ස්ථාන වල බැස යන අයද අප කණ්ඩායමේ සිටියහ.

මේ තරුණියට අපි අමාලි කියා කියමු. එහෙත් එය අැගේ නියම නම නොවේය. අමාලිගේ කැරැට්ටුව සෙවූ මට සොයාගත හැකි වූයේ දැනට මාස ගනනකට ප්‍රථම ඇය දුම්රියේම ගමන්ගත් වෙනත් තරුණයෙකු සමග පෙමින් වෙලී සිටි නමුත් ඉතාම කෙටි කාලයකින් එය අවසන් වූ බවකි. ඒ අනුව ඇය වර්තමානයේ කා සමගවත් ප්‍රේම සම්බන්ධතාවක වෙලී නැත. 

කාර්යාලයේදී උදෑසන ෆාතිමා මා හමුවන සෑම විටෙකම ඇසූයේ එකම ප්‍රශ්නයකි. ඊයෙවත් අමාලිගෙන් ඇහුවද ? ඇය මන්තරයක් මෙන් දිනපතාම මේ ගැන විමසූ හැම දිනෙකම මගෙ පිළිතුර වූයේ නැත යන්නයි...එවන් විටක අපේක්ෂා භංගත්වයේ සලකුණු ඇගේ මුහුණින් අපූරුවට මතු වූ අතර...මොනවද හලෝ....යනුවෙන් පිළිවදන් සපයන්නටද අමතක නොකලාය.

දැන් මගේ ඒකපාර්ශවීය ආදරයට මාස දෙකක් පමණ සම්පූර්ණ වී තිබේ. තවත් කල්මරමින් සිතින් වදවේදනා විදිනවාට වඩා මගේ සිතැගි කෙලින්ම පවසා මෙය අවසානයක් කරා ගෙනයන්නට යම් තරමක ධෛර්යයක් මා සිතේ ඇතිවී තිබේ. ඒ හැගීම හොදින් ශක්තිමත්ව වැඩෙන්නට බණ්ඩි පෝර පහරක් ගැසූවේ කාර්යාලයේ ෆාතිමා කෙල්ලයි. මොනවද අනේ දැන්වත් එයාගෙන් අහන්නකො...දිනක් ඇය සිය නොසතුට මා වෙත පල කලාය. එම සතිය තුල කෙසේ හෝ මේ කාරිය කරන්නට මම අධිටන් කලෙමි.

කොටුව දුම්රිය ස්ථානයේ දුම්රිය අපේක්ෂාවෙන් අමාලි සිටින්නේ තවත් වැඩිමහළු කාන්තාවක සමගිනි. එය මට එතරම් තැකිය යුතු කරුණක් නොවේ. ඒ නිසා මගේ කැමැත්ත ප්‍රකාශ කිරීමට ඉතාම සුදුසු තැන එතැන බව මගේ අක්මාවට දැනිනි.

ඉන්පසු එළැඹුන සතියේ සිකුරාදා දිනෙක මගේ අදහස අමාලි වෙත සෘජුව ප්‍රකාශ කරන්නට මම අධිටන් කළෙමි. ෆාතිමා වෙතද මගේ සැලසුම හෙළිකල විටෙක ඇය සිනාමුසුව මා හට සුභ පැතුවාය. වෙනදාට වඩා තරමක් වේලාසන කොටුව දුම්රිය ස්ථානයට සිරා කොලුවා  පිවිසෙන විට ඇය ගැමුණු අයියා සමග දුම්රිය වේදිකාවේ සතුටු සාමීචියේ යෙදී සිටියාය. මා ඔවුන් වෙත සම්මුඛ වන විට ඇය මා වෙත සොදුරු සිනහවකින් සංග්‍රහ කලාය.

ඇයට නොදැනෙන්නට ගැමුණු අයියා පසෙකට හරවා ගත් මම...

මට මේකි ගැන අදහසක් තියෙනවා අයියෙ....

කවුද මේ අපේ පොඩ්ඩි ගැනද ? ඉතිං දැම්ම අහපංකො...

අහන්න හිතාගෙන තමයි ආවෙ...උඹ පොඩ්ඩක් පැත්තකට වෙයංකො...

මා වෙත සිනහවක් පල කල ගැමුණු අයියා...පොඩ්ඩි...මේ අපේ සිරා ට මොනවද කියන්න තියෙනවලු ඔයාට කියමින් ගින්න අවුළුවා පසෙකට විය.

ඇය මා වෙත නෙත් දල්වා සිනාසෙන්නීය. ඉතිං කියන්න...ඇගේ හඩ වෙනදාට වඩා ලෙංගතුව මට ඇසෙයි. මගේ හදවත වේගයෙන් කම්පොනය වෙයි. මේ අත්දැකීමේ සුන්දරත්වය මෙය විදි උන් හොදින් දනී.

මට ඔයාට ඇප්ලිකේෂන් එකක් දාන්න පුලුවන්ද ? මම ඔයාට ආදරෙයි හෝ කැමතියි යනුවෙන් කියන්නට ධෛර්යය උපදවා ගත නොහැකි වූ තැන මම වක්‍රව එසේ කීමි.

ඇය ගත්කටටම කීවේ මට ජොබ් එකක් තියෙනවා කියාය. මා මහත් ගොං කමක් කල බවක් පසුව සිතිණි. එහෙත් දුම්රිය තුලදී නැවත වරක් මම ඇයට පුද්ගලිකව මා එයින් අදහස් කල දේ පැහැදිලි කළෙමි. අපගේ ගමන අතර තුර මගේ වෑයම මට හොරා අනිත් එකියන්ගේ කනේ තැබීමට ගැමුණු අයියා වග බලාගත් හෙයින් ඒ ඇත්තියන් අමාලිට හොරා මා හට සැල කලේ ඔවුන්ගේ උපරිම සහයෝගය මා වෙත ලබා දෙන බවකි.

මේ කාරිය සදහා සිකුරාදා දිනයම මවිසින් තෝරා ගත්තේ ඉන්පසු එළැඹෙන සති අන්ත නිවාඩුවේදී මගේ යෝජනාව පිළිබද සිතන්නට ඇයට කාලයක් ඇති හෙයිනි. එහෙත් මගේ බලාපොරාත්තු සුන් කරමින් ඉන් පසු එළැඹි සතියේ වුවද ඇය ඒ පිළිබද කිසිවක් මා වෙත සැළ නොකොට වෙනදා මෙන්ම දුම්රියේ ගමනට එකතු වූවාය.

දැරිවියකගෙන් කැමැත්ත විමසූ කලෙක ප්‍රේමවන්තයෙකුට ඇගේ කැමැත්ත දැනගන්නා තුරාවට ඉවසුමක් නැත. සිරා කොලුවාද මේ හැගීම් වල අපූර්වත්වය හොදින් විද තිබේ. දින සති  බවට පත් වුවද ඇගෙන් පිළිතුරක් නැති කල්හි මා හට පිළිසරණ පිණිස ඉදිරිපත් වූයේ අප සමග ඉදහිට දිනක දුම්රිය ගමනට එකතු වූ මට වඩා වැඩිමහළු තරුණයෙකි. හෙතෙම මීරිගම දුම්රිය ස්ථානයේදී ගමනාන්තය සළකුණු කල එකෙකි. නැතහොත් අමාලිට වඩා දුරක් දුම්රියේ ගමන් කල එකෙකි.

අරකි උඹට උත්තරයක් දුන්නද මල්ලි ?

තාම නෑ අයියා...

මල්ලි...උඹ වරෙන් මා එක්ක පල්ලෙවෙල යන්න...අද මම ඒකිට කථා කරන්නම්...ඔහු මට ඒ වෙලාවේ දෙවියෙකු මෙන් පෙනුනා කීවොත් මම සාවද්‍ය නොවේ. 

අප සමග සිටි පිරිමි පාර්ශවයෙන් බොහෝ දෙනෙක් ගම්පහින් දුම්රියට සමුදෙයි. කාන්තා පාර්ශවයෙන් අමාලි හැර ඉතිරි සියල්ලෝම ගැමුණු අයියාද සමග වේයන්ගොඩ දුම්රිය ස්ථානයෙන් දුම්රියෙන් බැස යයි. ඉන් අනතුරුව දුම්රියේ ඉතිරි වන්නේ මගේ සපෝටර් චරිතයත්, ඇයත්, මමත් පමණි.

අද කොහෙද මේ යන්නෙ ? ඇය සිනා මුසුව මගෙන් විමසුවාය

නැන්දලගෙ ගෙදර...මම පතරංග නයෙක් අතහැරියෙමි.

වේයන්ගොඩින් පසු පල්ලෙවෙලට මහ දුරක් නැත. දැන් මම පල්ලෙවෙල දුම්රිය නැවතුමේදී ඇය සමග දුම්රියෙන් බසින්නට සූදානමෙනි.

මගේ සහායකයා මා පසුපස බව ඇය දුටුවේ නැත. අමාලි මා හට සමුදී වේගයෙන් ඉදිරියට ඇදුන වටපිටාවක සහායක චරිතය හදිසියේම මා පෙන්වා,

නංගි මේ හොද කොල්ලෙක්...ඇයි ඔයා එයාට වචනයක් දෙන්නෙ නැත්තෙ. යනුවෙන් පමණක් විමසුවේය.

ඉන් අනතුරුව ඇය මා වෙත ගිණි පුළිගු විසිවෙන ආකාරයේ සැර බැල්මක් හෙලා භූමිතෙල් වැදුන ගැරඩියෙකු සේ  ගස්සාගෙන ලිස්සා ගියාය.

මචං ගනං ගන්න එපා...ඕවා ඔහොම තමයි...ආයෙ දවසක කථා කරමු. මට අනිත් කෝච්චිය එනවා...මම එහෙනං අනිත් පැත්තට පනිනවා...

ඒ සමගම ඔහුද මගෙන් සමුගෙන ප්‍රතිවිරුද්ධ දිශාවේ දුම්රිය වේදිකාවට ගොඩ වූවේය.

පල්ලෙවෙල දුම්රිය වේදිකාව අදුරේ ගිලී ගොසිනි. ප්‍රතිදීපන පහන් එළියෙන් අදුර තරමක් දුරට මැකුණද සිරා කොලුවාගේ අදුරු වූ පැතුම් වලට එළිය දෙන්නට ඒවාට නොහැකිය. මහත් බලාපොරොත්තු තබා පැමිණි ගමනක් වේදනාවක් පමණක් ඉතිර කර කෙළවර වී තිබේ. මේ වෙලාවට ගම්පහ දෙසට යන්නට මගීන් ඉතාම අල්ප නිසා දුම්රිය වේදිකාවේ මා පමණකි. මා හට  මහත් තනිකමක් දැනෙයි. ජංගම දුරබණුවෙන් ගීතයක් හෝ අසා ළය සැහැල්ලු කරගන්නට සිතා එෆ් එම් නාලිකාවක් ක්‍රියාත්මක කළෙමි.

කලේ පැන් ඇත නැවුම් රහ නැත මොකද මන්දා ලිපට වූයේ...මහගෙදර බලා ගිය සිය ඇඹේනිය නැති සොවින් පෙළෙන සැමියකුගේ ශෝකාලාපය ගීතය තුලින් කියවුනද එවේලේ මගේ සිතට මේ ගීය කෙතරම් තදින් දැනුනේද කිවහොත්, වර්තමානයේද මේ ගිතය ශ්‍රවනය කරන වාරයක් පාසා අදුරේ ගිලුන පල්ලෙවෙල දුම්රිය වේදිකාව සිහිපත් වෙයි.

සිරා කොලුවාගේ තවත් ප්‍රේම ජවනිකාවක් ඉතාම කුජීත ලෙස මෙසේ අවසන් වූ බව මෙහි යන එන උන් දැනගනු රිසියෙන් මේ සටහන තැබුවෙමි. මේ ආදර වෑයමේදී මා කල ගොං කං මෙහි කමෙන්ටුවක් ලෙසට සටහන් කිරීමට ආදර ඔස්තාද්ලාට ගෞරවයෙන් අැරයුම් කරමි. එය මෙවැනි වෑයමකට යොමුවන්නට සිතා සිටින, මේ සටහන කියවන තවත් අහිංසකයෙකුට උපකාර විය හැක. 


මම කාමරේ අරින සිරා කොලුවා.


ප.ලි

සිරාගේ පජාති වූ පෙම් ජවනිකාවක් පිළිබද ලියන ලෙස ඊයක් විද ඇවිටිලි කල සහෘදයා වෙනුවෙන් මේ ලිපිය පුදමි.

මගේ සපෝටර් චරිතය පිළිබද මා නොදැන සිටි දෙයක් පසු කලෙක අමාලි මා හට සැළ කලාය. ඇයගේ සිත රිදවූ ප්‍රථම ප්‍රේමවන්තයාද මා සමග ගිය දිනයේ මෙන් හොද එකෙකු ලෙස ලේබල් අලවා ඇයට සම්මුඛ කලේ මා සමග ගිය සපෝටරයාම බැවින් එදා කෝපයක් උපන්නේ මා කෙරේ නොව ඔහු කෙරේ බව ඒ පුවතයි.

අමාලි කෙල්ලද අද මා මෙන්ම විදේශගතව සිටී. තවම අවිවාහක විය යුතුය. මේ සිදුවීමෙන් පසුවද තවත් වසරක පමණ කාලයක් දුම්රිය තුල මෙන්ම ඉන් පිටත විවිධ ප්‍රිය සම්භාෂනයන් හිදී ඇය මුණ ගැසුනද කිසිම දිනක මේ ගැන කථාබස් නොකිරීමට මම කටයුතු කළෙමි. වරක් ඇයගේම නිවසේ පැවති දානමය පුණ්‍යකර්මයකටද මම සහභාගි වුනෙමි. එදා ඇය මහත් සෙනෙහසින් මා වෙත බත් බෙදා දුන්නේ අපේ උන්ගේ කටකැඩුනු කථා අතරිනි.

වසර 3 කට පසුව කොටාපාරෙන් සිරාකොලුවා සමුගත් හෙයින් මහවේ ගමනට එයින් පසු තිත තැබිනි. එහි 10 වෙනි මැදිරියේ මා මෙහි කියූ කිසිදු චරිතයක් අද නැත. කාලය මැව් අරුමය මේ යැයි කියමින් යලිදු හමුවන දිනයක් නොමැතිව සියල්ලෝ දුම්රියෙන් බැස ගොසිනි.
















126 comments:

  1. Replies
    1. මං කිව්ව කියහං නංගිට…

      බිංදු බිංදු මල් වැස්සේ තෙමෙන්නට එපා
      ගලින් ගලට පා තබමින් දුවන්නට එපා
      ගල් මතුපිට ලිස්සනවා
      පය පැකිලේවී…!!

      Delete
    2. ආල හැඟුම් මං හින්දා හිතෙන්නට එපා
      දෑස තෙමා ලන දුක් ගිනි නැගෙන්නට එපා
      දෙමාපියන් පිට ගමකින් මට බහ දේවී

      Delete
    3. ඔබ සිහිවන හැම මොහොතක් ගානේ...දැකගන්නට ඔබ මා ලඟ නෑනේ..
      නුදුරේදිම කරගන්නට මාගේ...අවසර දෙන්නට පමණයි ඕනේ...
      ඉඩදෙන්නම් පපුතුරේ - නැළවෙනුමැන සොදුරියේ 
      මට ඔබම තමයි ඕනා..

      ඇස් ආදරෙන් පුරෝනා !!

      Delete
    4. පත්තරයො ඇයි බන් උඹේ ප්‍රශ්න පත්තරේ මැකුවෙ....මම ඒකට උත්තර දෙන්න කියලා ලෑස්ති උනේ....උඹලා සින්දු කියන එකේ මටත් හිතුනා සින්දුවක් කියන්න..

      සගවන්න එපා හසරැල්
      දල්වන්න එපා ගිනිදැල්
      ඔබම කෙරේ සිත බැදුන දිනේ සිට
      මගේම හැගේ ඔබනම්

      Delete
    5. නුුපුරැදු ඔබ දුටු පලමු දිනේ
      සුපුරැදු ලෙස දැනුනා
      මින් පෙර කෙදිනක පුරැදු ඇති
      සුසුම් සුවද දැනුනා
      දැනුනා මට සුසුම් සුවද දැුනා.

      Delete
    6. එළ ද බ්‍රා මෙන්ඩෝ

      Delete
    7. කෝච්චියේදී සිරා
      මා ඔබත් එක්ක සුහද කතාවක්
      ඔබේ ඇසුත් එක්ක ප්‍රේම කතාවක්

      Delete
    8. ප්‍රේමය ලොව හැම තැනම ඇතී...
      හැම දෙනටම හමුවෙලා ඇතී..

      බලන්ඩ හැම දෙනටම හම්බුනාට උන්ට තේරෙන්නෙ නැති හැටි

      Delete
    9. පමා වැඩි ඔබ පමා වැඩි
      මට මුණ ගැසුනේ ඔබ පසු වී

      මිට අමාලි

      Delete
    10. මේ මොකෑ? ගීතයෙන් ගීතය වත් ද? :-))

      Delete
    11. සෙනෙහසකට අරුතක් පුරවන්නට
      අහසේ තරු ගැන්නා
      වෙරළේ රළ මැන්නා
      සීමාවක් මායිමක් නැතැයි කී
      සෙනෙහස ඇයි දෙතැනක තනිවී....

      Delete
    12. රත්‍තරනේ ඔබ පොඩියක්
      අහක බලන තුරු ඉඳලා
      හොරැහින් මට ඉඟි කරනව
      ඔබේ ළඟම යාලු මිත්‍රයා

      - මීට අමාලි -

      Delete
    13. කෙලෙසද කිව මැන සිපගත් දැතට මංගල මල් කලඹක් දෙන්නේ
      එදා මගේ පෙම්වතියේ අද ඔබ මනමාලිය වි මගේම මිතුරාගේ...
      කෙලෙසෙද මම මල් කලඹ අරන් එන්නේ
      හඩනා සිතකින් ඔබට සුභ පතන්නේ...

      Delete
    14. කමල් චිත්‍රසේනගෙ ඔය සින්දුව ඒ කාලෙ නැගලම ගියා නේද මෙන්ඩිස් අයියා...සිරා සූටි එකා ඒ කාලෙ....

      Delete
    15. A/L කෙරනකොට මම ගෙදරින් පැනලා ගිහින් නුවර බස්ස්ටැන්ඩ් එකේ ගිටාරේ එක ගහලා ඔය සින්දුව කියලා සල්ලි එකතුකරා.

      Delete
    16. මට මතකයි හොටු පෙරාගෙන සින්දු කිවුව එකෙකුට සුපියල් දෙකක් දුන්න :D

      Delete
    17. ආ ඒ මූද. චැහ්. . දන්නවනං රුපියලයි දෙන්නෙ

      Delete
    18. අඩෝ අක්කලා අඩලා සල්ලි දුන්නේ..
      කැතම සිද්ධිය කියන්නේ එතන එවුන් මට අවවාද අනුශාසනා දිලා හවස පුරේ බස් එකක නග්ගලා එව්වා. ගෙදර ඇවිත් තාත්තට කිව්වාහම මම ගෙදරින් පැනලා ගියා කියලා තාත්තා අහපි ආ.. ඇත්තද උඔ ගෙදරින් තරහා වෙලා ගියාද? අපි දන්නේවත් නෑනේ කියලා. ඉතින් මොකේද දං වලදන්නේ?

      Delete
  2. දෙවෙනි උත්සහයක් නැතුවම වැඩේ අතෑරියද සිරා.... සපෝටර් ගැන අර තරම් දෙයක් කතා කළානම් සිරා අපිට නොකියපු මොනා හරි, අමාලි කෙල්ල එක්ක ඊට පස්සේ කතා බහ වෙලා තියන හැඩයි...

    අද අමාලිව හම්බුනොත් සිරාගේ ප්‍රතිචාරය කුමක් වෙයිද ?

    මමනම් පුද්ගලිකව කැමති චාම් කෙල්ලන්ට.. විච්චූරණ කාරියන් ගැන මට පැහැදීමක් ඇති වෙන්නෙම නෑ.. ඒක හරිද වැරදිද මංදා ??

    ReplyDelete
    Replies
    1. //මමනම් පුද්ගලිකව කැමති චාම් කෙල්ලන්ට.. // :D
      සෙනාගේ හාමිනේ මේ කම්න්ටුව දකින්න තිබ්බේ.. එහෙනම් බත් කාලත් ඉවරයි..

      Delete
    2. හප්පේ ඔව් තමා.. ඕක අතීත කාලයෙන් කියවෙන්න ඕනා ප්‍රකශයක් බව කරුණාවෙන් සැළකුව මැනවී....

      Delete
    3. වසර දෙකක් පුරාවට වරින් වර උත්සාහ ගත්තා...නමුත් ඇගේ පළමු ප්‍රේමයෙන් පසු පළුදු වූ හිත හැදෙන්න කලියෙන් නැවත ප්‍රේමයක පැටලෙන්න ඇය භිය වීමත්...පළමු පෙම්වතා පිළිබද චරිත සහතිකයක් දුන් තැනැත්තාම මා හටත් චරිත සහතික දීම කියන කාරණා දෙක තමයි මෙතැනදි හරහට හිටියෙ. අද ඇයව හමුවුනොත් මම නිසැකවම කථා බහ කරයි. නමුත් නැවත පෙම් කරන්න නම් යන එකක් නෑ.

      මේ කෙල්ල විලාසිතා කරනවා කිව්වෙ මිළ අධික විච්චූරණ නෙමෙයි...කොණ්ඩ කූරු, කරාබු, මාල, වළලු තමන් අදින ඇදුමට ගැලපෙන ලෙස භාවිතා කිරීම තමයි මම විලාසිතා කියලා හැදින්වූයේ....තොරොම්බල් කරත්ත වගේ ඇත්තියන්ට මමත් මනාප නෑ.

      හරී....දැන් උඹ කැමති චාම් කෙල්ල හම්බඋනාද ?

      Delete
  3. සිරා, එකක් විතරක් කියන්නං. ඔහොම පළවෙනිපාර අහපු ගමන්ම හා කියයි කියල හිතාගෙන හිටියොත් කවද හරි උඹට හම්බුවෙන්නෙ ඉක්මනටම් නැතිවිය හැකි වර්ගයේ ස්ත්‍රියක්ම තමා. ඒ හින්ද කාලයක් ට්‍රයි කරල, නොකෙරෙන දෙයක් කියල හොඳටම තේරුනොත් විතරක් අතෑරල දහන්. නැතුවනං පුතෝ වෙන්නෙ ගෙදරින් මංගල යොජනාවකින් කෙල්ලෙක් ගෙනත් දෙනකල් බල බල හූල්ලන්නම තමා.

    ReplyDelete
    Replies
    1. ඕ යේස් … සහතික ඇත්ත !!!!

      Delete
    2. ඉක්මන් කොටයි +++
      මං දන්නා එකෙක් අවුරුදු 3ක් ට්‍රයි කරලා තමයි yes කියන එක ගත්තේ. worth ද නැද්ද කියන්න නං මං දන්නේ නැහැ
      :)

      Delete
    3. අනේ ලොකු අයියෙ අවුරුදු දෙකක් පුරාවට වරින් වර සිරා කොලුවා ට්‍රයි එක දුන්නා බං...එක වාරයක් ඇහුව ගමන් කැමති වෙන්න කෙල්ලො අපි අහනකං හා කියන්න බලාන ඉන්නවා කියලයැ. මම ඔය ඉහළින් සෙන්නට කිව්ව කාරණා තමයි මෙතැන හරහට හිටියෙ. කොහොම නමුත් සිරා කොලුවා ඉතිං යම් සීමාවක් දක්වා පමණයි උත්සාහ කරන්නෙ. එතනින් එහාට නෑ....දැන්නම් කොහොමත් යෝජනාවකින් තමයි අල්ලලා බැදගන්න බලාන ඉන්නෙ...මගේ යාලුවො බහුතරයක් මෑත කාලීනව ඒ විදියට කසාද බැන්දා...හැමෝම සතුටින්....

      මහසොහොන් පිල්ලිය...මගේ වැඩිපුරම කියවපු ලැයිස්තුවෙ තියෙන්නෙ කථාවක් අම්මගෙන් අහන්න කියලා...ඒක කියවලා බලන්න...මිනිහා 15 වතාවක් කෙල්ලගෙන් අහලා....ගෙදර ගිහින් දෙමාපියොත් කැමති කරගෙන...කේන්දරත් ගලපගෙන, එච්චර දේවල් වෙලත් අකමැති වෙච්ච කෙල්ලෙක් බැදපු ගොයියෙක්...කොහොමද උගෙ ට්‍රයි එක....

      Delete
    4. ස්වයං වරයක් තියමු.
      මම දෙනවා කෙල්ලෝ 1612ක්

      Delete
    5. සන්ජීව, ඔය ගාර්මන්ට් වල ඉන්න හුඟක් උන් හිතන් ඉන්නෙ ඒවයෙ ඉන්න ඔක්කොම කෙල්ලො උන්ගෙ කියලා තමා...

      Delete
    6. ඉන්දිකගෙ කතාවනම් සහතිකයි. අඩුම ගානෙ 5 පාරක්වත් බෑ කියන්න ඕනෙ. එක පාරින් හා කියන්නෙ ඉතින් අඩු මාසෙ කේස් තමයි.

      Delete
    7. සෙන්නා හරියට හරි මචං මම ගෙදරදි බොනකොට පංතියේදි හැම තැනකම මම කට ඇරලා බය නැතුව කියන්නේ මගේ කෙල්ලෝ කියලා ඒ වල් කමකටවත් අහිතකටවත් නෙමෙයි මට සහ මගේ පවුලට මේ තරම් සැපපහසු ඡිවිතයක් දිලා තියෙන්නේ මගේ කෙල්ලෝ හලන දහඩිය බිංදු උන්ගේ මහන්සිය.
      මගේ දරැවෝ මගේ ළමයි එක්ක මම බුදියන්නේ නෑ. මට වැඩිය වැඩිමල් අයටත් මම කථා කරන්නේ දරැවෝ පුතේ කියලා ඒ හින්දා තමයි අලුත් අවුරැද්දට ඒ හැම කෙනෙක්ම දන ගහලා මට වදින්නේ.
      ගෙදර අමමා තාත්තා යාලුවෝ එක්කවත් නොකියන ප්‍රශ්න මාත් එක්ක කථා කරන්නේ.

      Delete
    8. සන්ජීව,

      සමාවෙයන් මම උඹව ඉලක්ක කලා නෙමේ.. හැබයි හුඟක් උන් හිතන්නෙ ඔහොම තමා.. උඹ උනත් උඩ කියලා තියෙන්නෙ 'මම දෙනවා...' කියලනෙ.. උඹ වෙස්සන්තර වෙන්ඩ ඕනා එහෙමනම්... දරුවො ළමයි වෙන කාටවත් දෙන්න... :D

      Delete
    9. මෙන්ඩිස් අයියගෙ කමෙන්ටුවෙ තියෙන මනුස්ස සුවද මගේ අක්මාවටම දැනුනා...එළද බ්‍රා....

      Delete
    10. එළද බ්‍රා මෙන්ඩෝ … !!!
      ගමේ එකා වෙච්චි ආඩම්බරයි මස්සිනා උඹ ගැන !!!

      Delete
    11. සෙන්නා සමාවෙයන් මම පොඩ්ඩක් සංවෙදි වුනා. මචං මගේ රස්සාව කියන්නේ මගේ ඡිවිතය, මගේ දුර්වල තැන මගේ ගැනිටවත් මගේ කෙල්ලෝන්ට ගාමන්ට් කැලි කියන්න දෙන්නේ නෑ.(උඔ එහම කිව්වේ නෑ). මචං සෙන්නා මම කිව්වේ ස්වයංවරයට ඉදිරිපත් කරනවා කියලා එතනදි කිසිම බලකිරිමක් නෑ දෙන්නා කැමති නම් විතරයි. මගේ කෙල්ලෙක් බදිනකොට අපි උන් වෙනුවෙන් ගොඩක් දේවල් කරනවා. එහම මගුල් ගෙයකට ගියාහම කෙල්ල පොරැවෙන් බැහැලා ඇවිත් දනගහලා වැදලා අඩනවා ඒ භක්තිය මචං. අපේ කොල්ලෝ හොදට බිලා හොදට නටලා එන්ඡෝයි කරනවා ඒ වගේමයි හැම කෙල්ලේක්ම ආරක්ෂිතව ගෙවල් වලට ගිහින් බස්සනවා.

      Delete
    12. අඩේ අල්ලලා දපන් බන්.. උඹ කියන ඒවා දැක්කම අපිටත් ඇඬෙනවා බන්.. මම බොට මුකුත් කිව්වා නෙමේ.. මම දන්න හුඟක් උන් ඉන්නවා බන් උන් උඹලා වගේ නෙමේ.. උඹලා කරණ දේ තමා වෙන්ඩ ඕනත්, අඩුවෙන්ම වෙන්නෙත්....

      Delete
    13. නුඹෙ කඳුලැලිද සයුරේ රළ නඟන්නේ
      හද සුසුමන්ද පවනක් වී හමන්නේ
      තනි නොතනියට හෙවනැල්ලද සිටින්නේ
      ඇඳුමද නුඹේ ජීවිතයද මහන්නේ…

      Delete
    14. ඇගලුම් කම්හල ඡිවිතයම කර
      කදුඵ සගවනා රත්තංරනේ

      Delete
    15. සන්නාලිය නංගා වෙනුවෙන් වික්ටර් රත්නායක මහතා ගැයුවෙ මෙහෙම

      සප්ත සයුරෙන් එහා
      දේශ දේශාන්තරේ
      සිරිලක් සළු පිළියෙන් පිදු
      මව් බිම ධන නිධාන බඳු
      සියල් සිරිලක පරසිදු
      සළු වියනා කුමාරී //

      අම්මා බඳු පෙම්මාදර
      සම්මා ගුණ පිරිපුන්
      එම සන්නාලිය නංගා
      දෙස නොබලන් වපරැසකින්


      කම්හල තුල පවර විපුල්
      හුරු දෑතින් කොමල නිමල්
      කරමි එවර සොඳ මනකල්
      ඉසුරු ගෙනෙයි එතරින් දුල් //

      දෙන්නේ ඇය මව්භුමිය
      රක්නා රන් මසුරන්
      එම සන්නාලිය නංගා
      දෙස නොබලන් වපරැසකින්

      කැලුම් උදුල යව්වනයේ
      සිරිත් දහම් රැක පිරියේ
      සළු වියනා රැජින දැයේ
      ඉඳුවම් සිංහාසනයේ //

      නන්දා අනන්දා
      කරවන්නා ලංකාවෙන්
      එම සන්නාලිය නංගා
      දෙස නොබලන් වපරැසකින්

      සප්ත සයුරෙන් එහා ...

      Delete
    16. කපුගේ කම්පනය කරා මෙහෙම!

      වැරහැලි හැඳ අඩු කුලියට සළු මසන කුමාරි
      ඉඳිකටුව අතේ ඇණුනාදෝ නිදන කුමාරී

      Delete
    17. තබා දෙතොල ඉඳික‍ටු තුඩ
      මිහිරි සිනා විකසිත කළ
      නූල් පටින් නුඹ තැනුවේ ගෙදරට අත්වැල..
      වාන් දැමූ පට්ටන්දර අද පරසක්වළ..

      Delete
    18. ඉන්දික අයියගෙ බයිලා මඩුව වගේ නැගලම යනවනෙ බොලේ.....

      Delete
    19. ස්තුතියි මගේ සහෝදරයනි මේ දෙන වටිනාකමට.

      Delete
  4. මේක උඹ කලින් ලියපු ලිපියක්ද සිරා.? මේක කලින් කියෙව්වා කියෙව්වා වගේ ගතියක් දැනුනනෙ..

    ReplyDelete
    Replies
    1. මගේ ඉතිං ආදර ජවනිකා දෙකක් විතර කලින් ලිව්වා...මේ කථාව කුළුදුලේ ලිව්වෙ....

      Delete
  5. සිරා සිරාවටම මාස දෙකක් පොල් ද බං ගෑවේ? කෙල්ල ගැන විස්තර හෙව්වේ පත්තරේ බලලද අම්මප?

    ReplyDelete
    Replies
    1. කෝච්චියේ යන සූටි වෙලාවනෙ ඉතිං මේ වැඩ වලට ලැබෙන්නෙ....එතන ගිය කිසිවෙක් මෙයාගෙ ගෙවල් අහල පහල නෑ....ඉතිං වටින් ගොඩින් කාරණා හොයාගෙන පුරුෂ දහිරිය අරගෙන වැඩේට බහින්න කාලයක් ගියා....අද නම් ඉති මේ හිතුනා නම් මේ දැන් අහන එකෙක් තරමට සිරා කොලුවා සංවර්ධනය වෙලා.

      Delete
  6. ට්‍රයි කරපු එක ඔය තරම් ඉක්මනට අත හැරපු එක නම් වැරදියි. සමහර ගෑණු දැරිවියොඉන්නවා බැහැමයි කියලා පොළොවෙ පස් කෑවත් ඒ ඔක්කොම කරන්නෙ යටි හිතේ කැමැත්ත තියාගෙනයි.

    සිරා අයියට දේශකයාගෙ නදීගේ කතාව පෝස්ට් එකේදි මතක් උනෙත් මේ කතාව නේද?

    ReplyDelete
    Replies
    1. හරියටම හරි..දේශකයගෙ පෝස්ටුවට මම කමෙන්ට් එකක් ලෙස දාලා තියෙන්නෙ මේ කථාවම තමයි. මෙතන මම සිද්ධිය සැකෙවින් ලියලා තියෙන්නෙ....අවුරුදු දෙකක පමණ කාලයක් තුල වෙච්ච දේවල්...නැතුව මාස දෙකෙන් වැඩේ අත ඇරියෙ නෑ...සෙන්නට මම උත්තරයක් දුන්නා..ඇය මට අකමැති වෙන්න හේතු භූත වෙන්න ඇතිය කියලා මට හිතෙන කාරාණා.

      Delete
  7. ඔය වගේ ගොංකමක් ගැන පෝස්ටුවක් දැමීමට සිතුණි...

    ජ ය වේ වා !!!!

    ReplyDelete
    Replies
    1. මං කරපු ගොං කං ගැනත් කිව්වා නම් නරකද ආයිබෝං....

      Delete
  8. හයියො ගනන් ගන්න එපා.ඔහොම කියක්නම් වෙලා තියෙනවද

    ReplyDelete
    Replies
    1. මටත් දැන් සාමාන්‍ය දෙයක් වෙලා මෙයා...ඒ හින්දා දැන් කොලුවා ලව් ගැන හිතන්නෙම නෑ...

      Delete
  9. මේ සියල්ල මෙසේ සටහන් කිරීමෙන් හිතට ලැබුණු සහනය කොයිතරම්ද කියලා වචන වලින් කියන්න බැහැ නේද?

    ජීවිතය කියන්නේ බලාපොරොත්තු, පොරොන්දු, හමුවීම්, වෙන්වීම්, ................තව මොනවද?

    ReplyDelete
    Replies
    1. මේ සිදුවීම් වෙච්ච අලුත තමයි හිතේ රිදිල්ල තිබුනෙ...දැන් ඉතිං කාලයත් සමග ඒ සියල්ල සුවවෙලා...අද ඇය මට හමුවුනොත් කිසිම චකිතයක් නැතුව කථා බහ කරන්න හැකි තරමට මගේ හිත හැදිලා...ඔබ දක්වපු ඔය සියල්ල නිසාම තමයි විචාරක තුමා ජීවිතය ජීවත් කරන්න මිනිසුන්ට හිතෙන්නෙ....වැටීම් නැගිටීම් දුක සතුට ඕනෑම ජීවිතයකට පොදුයි.

      Delete
  10. දැන්නම් මහව කෝච්චියට එන්නේ අලුත් ඩබල් සෙට් එකක්.මමත් කාලයක් ගියා හැබැයි එකම පෙට්ටියේ නෙවයි අහුවුණ එකේ ගියේ. හැමදාම එකේ යන්නෙ මේ දැං අපි මොනව බලන්න ද බං ඒකයි. උඹත් එහෙනම් මහවෙ ආගිය කෙනෙක්? හොද මතකයක්. මම නම් කැමති ඒකෙ සිංදුකියනව අහගෙන යන්න

    ReplyDelete
    Replies
    1. අලුත් කෝච්චි මහවට දැම්මට පස්සෙ පරණ තිබුන සුන්දරත්වය නැතිවෙලා ගියා...සීට් දෙකක් අතරට රිංගා ගත්තම ඒ ඉඩකඩේ තමන්ටම වෙන් වෙච්ච අපූරු ඉසව්වක් නිර්මාණය උනා. අලුත් කෝච්චි වල කොහෙද එහෙම යමක් කරන්නෙ...ඉස්සර මම කෝච්චිය එන වෙලාවට හිතෙන් පෙට්ටි ගැනලා තමයි 10 වෙනි පෙට්ටිය තෝර ගත්තෙ. හැමෝම එහෙම තමයි කලේ. හරිම සුන්දර මතකයක්....

      Delete
  11. මාත් අවුරුදු දහයක් පහළොවක් උදේට මහවෙ ගියා මහවෙදී නොවුනත් මටත් බිරිඳ හමුවුනේ දුම්රියෙදීයි.මහව කෝච්චියට කතා කරන්න පුළුවන් නම් ඔවැනි ප්‍රේම කතා ලක්‍ෂ ගානක් කියාවි.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම හැලපයියා...මහව කියන්නෙ සමහර මිනිස්සු ගෙදරට වඩා වැඩි කාලයක් ගත කල තැන...දශක ගණනාවක් පුරාවට කෙතරම් දේ සිදුවෙන්නට ඇතිද....

      Delete
    2. අපරාදෙ මහවෙ ගියානම් හැලප අක්කට ඔය සන්තෑසිය වෙන්නෙ නෑනෙ.

      Delete
  12. ඔය කෝච්චි ලව් කතා නම් මරුම තමා අයියා.. අපි ඉතිං යාල් දේවි අදින උන් නේ... ;)

    ReplyDelete
    Replies
    1. යාල් දේවිගෙ මොනවද බං ඇද්දෙ ඉතිං....උඹ නිකං ඇදිලා ගිහිල්ලා වගේ ඉන්නෙ ඔය එක එක ඒවා අදින්න ගිහිල්ලා තමයි....බොලා එහෙම ට්‍රයි එකක් දුන්නෙ නැද්ද ළදකට....

      Delete
    2. අනේ ඉතිං මොකට කියනවද!

      Delete
  13. පළවෙනි පාරම උත්සාහ අත අරින එක එක අතකට මෝඩ වැඩක්.. දැන් ඉතින් පරණ එවුවා ගැන හිතලා වැඩක් නෑ.. වෙන එකක් ගැන හිතනවා ඇරෙන්න..

    ReplyDelete
    Replies
    1. උත්සාහය එක පාරටම අත ඇරියෙ නෑ...නමුත් කාලය සෙමෙන් ගත වෙද්දි ඇය කෙරේ මට තිබුන උනන්දුවත් කෙමෙන් කෙමෙන් හීන වෙලා ගියා...

      Delete
  14. මේ අර නදීගේ කතාවේදි උඹ කිව්ව කතාවද??

    ReplyDelete
    Replies
    1. අන්න හරි ගොයියො...මේ ඒ කථාව තමයි....

      Delete
  15. බොහොම සීමිත කාලයක් මම මහවේ වැඩ ඇරිලා ගම්පහට ආවා... සමහර විට උඹත් ඉන්න ඇති. අපේ අක්කාගේ විවාහය සිදුවුණේ මහවේ ඇති වූ ප්‍රේමයකින්. මහවේ ආ ගිය කාලය අක්කාගේ ගැන්සියට සෙට් වීමට හැකි වෙච්ච නිසා අවුලක් වුණේ නෑ.

    හැබැයි පසුව පදිංචිට වෙනස් කර සමුද්‍රදේවියේ ගමන නම් මුලින්ම අමාරු වුණා. ඒ ඔය පැල් බැඳගෙන හිටි කණ්ඩායම් අනිත් පුද්ගලයන් එම මැදිරියේ ඔවුන් අසල ගමන් කිරීම පවා නුරුස්සන්න වූ නිසා. වෙනත් අයට ඒමට බැරි වන ආකාරයට හැසිරීමත් දකින්නට තිබුණා.

    ReplyDelete
    Replies
    1. සමුද්‍රදේවියො ඇත්තො මහවට වඩා සංවිධානාත්මකයි...ඔවුන් දුම්රිය තුල අවුරුදු උත්සවයක් පවා පැවැත්තුවා ඒ කාලෙ...මම මහවෙ ගියෙ 2006 - 2008 කියන කාල සමයෙ...10 වෙනි පෙට්ටියෙ සැට් එක හිටියෙ නැත්තං මගීන් අස්සෙ හිරවෙලා යන මේ ගමනෙ කිසි කික් එකක් නැති වෙන්න ඉඩ තිබුනා. සමුද්‍රදේවියෙ කෙසේ වුවත් මහවේ නම් එවැනි හැසිරීම් දකින්න ලැබුනෙ නැති තරම්....ලංකාවෙ දිගම දුම්රිය නම් සමුද්‍රදේවිය...ඒ කාලෙ පෙට්ටි 18 විතර තිබුනා.

      Delete
  16. මටත් කාලයක් මෙහෙම ස්ටෝරියත් තිබ්බ වෙනස කොච්චියෙ කෙල්ලන්ට විහිළු කර කර ගියත් උංට පේම නොකිරීම... හිහි... එදා වේල පිරිමහගන්නව වගේ දවසකට අහුවෙන එකක් එක්ක ඒකිව බයිට් කොර කොර ගියාට කවදාවත් පේම හැගුම් ඇතිවුනේ නෑ.. ඒත් අපේ සැට් එකේ හිටිය කපල් කීපයකුත්

    ReplyDelete
    Replies
    1. බොට පේම හැගුම් ඇතිවෙන ආකාරයේ හැඩය තියෙන උන් ඉන්න නැතුව ඇති....කොච්චියේ පෙම් කෙල කෙල යන එකෙත් අමුතුම ගතියක් තියෙනවා බං...

      Delete
  17. යකෝ මම හිතුවේ කෙල්ලනගේ අහා චාටර් වෙලා තියෙන්නේ මම විතරයි කියලා අපේ සිරා මලයන්ඞිත් එහනම් ඒ චාටරේ කලා.
    යකෝ කොල්ලෝ කාලේ කාපු චාටර් අපිට කියලා හිනා වෙන්න පුලුවන් ලියපිය තව එකක්.
    එල ද බ්‍රා

    ReplyDelete
    Replies
    1. "කොල්ලෝ කලේ " අපෝ නාකියෝ

      Delete
    2. කොන්ඩෙි ඡෙල් කරලා රැවුල කපලා ඉස්කෝලේයක් ලගට බැස්සෝත් තවමත් 11 වසර දෙකක් දා ගන්න පුුවන් හරිද අයියන්ඩි.

      Delete
    3. මැලයා නිකං කින්ඩිය දාලා තියෙන්නෙ කොල්ලෙක් කියලා හිතලද...වයස දැන් 60 කට වැඩියි නේද රාළෙ.....

      11 වසරෙ කෑලි දෙකක් දිහා විතරද බලන්නෙ....මෙන්ඩිස් අයියා...10 වසරෙ වගේ ඒවා සෙට් වෙන එකක් නැද්ද...

      Delete
  18. මම මේක කියෙව්වට, උඹ ඉල්ලලා තියෙනවා වගේ කමෙන්ට් එකක් හිතාගන්න බැරිවුනා. ඇත්තටම මේකට මොකද කියන්නේ?

    මෙතනට දුම්රිය කල්ලි වාදය ගැන කියලා වැඩක් නෑනේ.

    කෝච්චි ගමන් ගැන කියල වැඩකුත් නෑ.

    මේ ප්‍රේමය ගැනම තමයි කියන්න ඕනේ.

    මට මෙහෙමත් හිතෙනවා. විවාහයට සුදුසු වයසේ අවිවාහක, දෙන්නෙක් එකට ඉන්නකොට උන් දෙන්නා අනිවාර්යයෙන්ම ප්‍රේම සම්බන්ධයක් ඇතිකරගන්නම ඕනෙද කියලා.

    ReplyDelete
    Replies
    1. මට මතකයි එකෙක් හොදවයින් දෙකක් කිව්වා කල්ලි ගහපු කෝච්චි කාරයෙකුට...

      Delete
    2. ඩූඩ්: ඒකනෙ ගින්දරයි පුලුනුයි එකට තියෙද්දි ඇවිලෙන්නම ඕනෙද?
      දේශා : ඇයි බං කෝච්චි කල්ලි නරකද ? මම අවුරුදු දාහතරකට කලින් කෝච්චියේ ගිය කල්ලියේ එකෙක්ගෙ වෙඩිමකට ගියා ගිය මාසෙ. මාර බැදීමක් තියෙන්නෙ. උඹල හිතන්නෙ සමුද්‍රෙ කල්ලි වගේ වෙන එකෙකුට එන්ඩ නොදෙන කල්ලිවගේ උඩරට මාර්ගෙ චාටර් කල්ලි හිටියෙ නෑ. දැන්නම් කොහොමද දන්නෑ.

      Delete
    3. අවිවාහක උන් දෙන්නා පෙම් කෙළියෙ නැත්තං ඒ තරුණ ජීවිත අපරාදෙ කියලා රට්ටු කියන්න ඉඩ තියෙනවා...ගෑණු ළමයත් පස්සෙ කාලෙක කියන්න පුලුවන් ඇයි අනේ ඔයා මට පෙම් නොකලේ කියලා....මට මතකයි මඩ වලේ දණ නමලා නිල් මානෙල් නෙලලා ප්‍රියම්භිකාවට දුන්න හෙන්රි අයියගෙ ආදරබර දර්ශන...

      Delete
  19. අපිටත් මහව කෝච්චියේ කන්ඩායමක් හිටිය. ඇත්තටම power set එකට ඉස්සල්ලා ආපු කෝච්චියේ. අපේ පෙට්ටියට අහම්බෙන් නැගපු කෙල්ලෙකුට බෑග් එක හොයාගන්න බැරිවෙලා මම තමයි හොයල දුන්නෙ. ඊට පස්සෙ අපේ තැනම කාලයක් වැඩට ගියා.
    මම පහලොස් වතාවක් යාලුවෙන්ඩ ඇහුව, දාසයවෙනි වතාවෙ ඇහුවට පස්සෙ එයාගෙ කෝච්චියට ඒම නැවතුනා
    ඊට පස්සෙ එයා බැන්ද..
    දැන් ඉන්නෙ අපේ ගෙදර ලමයි දෙන්නෙකුත් බලාගෙන.

    ReplyDelete
    Replies
    1. අපරාදෙ අගේට රස්සාව කොරගෙන හිටපු කෙල්ල.කරුමයක් පලදෙන්න තියේනං වලවන්න බෑ කියන්නෙ ඕකනෙ බං.

      Delete
    2. අපරාදේ කෙල්ලට ඒ කාලේම බෝධි පුඡාවක් තිබ්බනම් මාරක අපලේ මගඇරව ගන්න තිබුනා.

      Delete
    3. බෑග් එක නැතිවීම පිටුපස ලොකු කුමන්ත්‍රණයක් තියෙන හැඩක් මගේ අක්මාවට දැනෙනවා. ෂුවර් එකටම අදිසි හස්තයක ග්‍රහණයට බෑග් එක හසුවෙලා....එහි ප්‍රතිඵලය දරු දෙන්නෙක් දක්වාම දුර ගිහින්....නරකද තුන් වෙනියා ගැන හිතුවොත්....

      Delete
    4. යකෝ ආසාවට හරි උඹ පවු කියන්න එකෙක් නැති හැටි.

      Delete
    5. ඒ අක්ක බස් එකේ ගියානං අපූරුවට ඉන්නවා තාම. චැහ්

      Delete
    6. කරුමෙ කාන්දං කියන්නෙ ඒකනෙ පත්තරේ, 200 රූට් එකේ AC බස් නැවතුනාට පස්සෙ තමයි කෝච්චියට සෙට් වෙලා තියෙන්නෙ.

      Delete
    7. මට තවම සැකයි...A/C බස් වලට ඇණ ලෑලිවත් තිබ්බද කියලා ඒ කාලෙ...

      Delete
    8. පහුගිය කාලේ කොච්චි වලට ගල් ගැහැව්වේ ඒ අක්කන්ඩිද මන්දා.

      Delete
  20. මරු ඉට්ටෝරිය සිරා අයියේ

    ReplyDelete
    Replies
    1. කියවන් නැතුව නේද කොමෙන්ට් කලේ.. හොරා

      Delete
    2. මොනවද බං සිල්ලරට වචනෙන් දෙකෙන් මාරු වෙන්නෙ...බොලාට වෙච්ච අත්දැකීමක් දෙකක් මෙතන අත ඇරියා නම් අපි තරහා වෙයි කියලා හිතුවද ?

      Delete
  21. මොනවා කරන්නද ඉතින් නෙහ්...
    ඒක නෙමේ ඔබතුමා මහවේ ගියේ කොළඹයි ගම්පහයි අතරේ නේද ?

    ReplyDelete
    Replies
    1. යෑස් ඔබ නිවැරදියි...ඒ කාලෙ මම දැක්ක බොහොම සංවේදී දර්ශනයක් තමයි විල්වත්තෙ කමතක් තුල වඩේ වෙළෙන්දෙකු අතින් දූෂණයට ලක්වෙලා මියගිය තරුණිය හැමදාම
      උදේට තමන්ගෙ පෙම්වතා එක්ක මරදාන දුම්රිය ස්ථානයේ පෙම්කල දර්ශනය.

      Delete
  22. යකෝ ට්‍රයි කොරන තරං ගතියක් කොහේද සෙට් උනහම හික්ස්..!!!

    ReplyDelete
    Replies
    1. අන්න ඒ කථාව නම් අත්දැකීමෙන්ම කියපු කථාවක්...ගොඩාක් උන් කියනවා කට්ට කාපු කාලෙ දැනුන සොමිය සෙට් උනාම නෑ කියලා...

      Delete
  23. හපොයි කෝච්චියට බෙල්ල තියන්න තරං වැඩක්නෙ වෙලා තියෙන්නෙ.
    හැබැයි සිරා තනියෙන් ඇහුවනං සමහර විට වැඩේ ගොඩ යන්නත් තිබුණ.

    ReplyDelete
    Replies
    1. මම ඇප්ලිකේෂන් දාන්න හදපු එකත්...සපෝටරයත් කියන දෙකම අවුල්...මොකද ගෑණු ළමයින්ගෙ හිතේ අපි කථා කරන පළවෙනි වචන කීපය ගලේ කොටපු අකුරු වගේ තැන්පත් වෙනවා....මට එදා එතනට මම ඔයාට ආදරෙයි කියලා කියන්න හැකි උනා නම් ඒ දැරිවිගේ හදවත කම්පොනය වෙන එක වෙනවා ෂුවර්....

      Delete
  24. සිරාගේ පොස්ට් එකට යටින් ඇති කමෙන්ට් වලින් සිරා අදහස් ටිකක් ලබා ගත්තෙමි.තවත් එවැනි අදහස් බලාපොරොත්තුවෙන් රැඳී සිටිමි.ස්තූතියි.!!!
    :D

    ReplyDelete
    Replies
    1. තව දවසකින් දෙකකින් මේ පැත්තෙ වරෙං කොලුවො...සිරාට බැරි උනාට මෙතන අදහස් දක්වන ආදර ඔස්තාද්ලගෙ අදහස් අනුව ක්‍රියාකරලා බොට ගොඩයන්න හැකි වේවි.

      Delete
    2. රැඳී සිටින්න අපත් සමඟ :D

      Delete
    3. මේ විරාමයෙන් පසුව නැවතත් සුපුරැදු වැඩසටහනට.

      Delete
  25. සිරා කතාව බන්. ෂඃ මම හිතුවේ කාලයත් එක්ක සිරා ගැන පැහැදීමක් ඇතිවී සිරා පිළිතුරක් දෙයි කියලා...

    ReplyDelete
    Replies
    1. මා ගැන මේ කෙල්ලට පැහැදීමක් ඇති වුනේම නෑ බං...ප්‍රථම ප්‍රේමයෙන් ඇති වෙච්ච රිදීම බොහොම තද එකක් නිසා ඒ ළමයා ආයෙ ප්‍රේමයක පැටලෙන්න භය වෙන්න ඇති.

      Delete
  26. මහව කෝච්චිය පවර්සෙට් වලට මාරුවුණාට පස්සේ මට මහවේ යන එක එපා වුණා...... ඔය කෝච්චිය ඇතුළේ නියම් හා අනියම් ආදර කතා නම් කී දාහක් අැද්ද

    ReplyDelete
    Replies
    1. රඹුක්කනටත් ඒකම වෙලා නේද? මම ලගදි කොටුවෙන් නැග්ග, හිතට මාර අඩුවක් දැනුන.

      Delete
    2. බිල ඉවර වෙලා රෑට යන්නෙත් පවර් සැට් එකේ නේ ඔයැයි...ඉදගෙන...

      Delete
    3. රෑට බීල පවර් සෙට් එකක ඉදගෙන ආපු කාලෙ ශා...මතක් වෙද්දිත් සැපයි.

      Delete
    4. මොනවද නලින් අයියා මේ රට්ටු කියන්නෙ...හැමදාම පවර් සැට් එකට නගින්නෙ ෂොට් එකක් නමාගෙනද ? කෝච්චි ඇතුලෙ මට හිතෙන විදියට නියම් වලට වඩා අනියම් ඒවා තමයි වැඩිපුර තිබුනෙ...විශේෂයෙන් මහවෙ....

      Delete
  27. නවතලා ගියපු කොච්චි ගැනම නැතුව දිගටම නැවතිලා තියෙන කෝච්චියක් ගැනත් (මැලේසියන් එකක් හරි කමක් නෑ ) ඉක්මනටම ලියන්න ලැබේවා

    ReplyDelete
    Replies
    1. ඉක්මනට කලගෙඩි සිට්ටුවකුත්

      Delete
    2. මැලේ රාළලා මැලේසියාවෙම ඉදලත් අපිට හැල්ප් එකක් දෙන එකක්යැ...අඩුම තරමේ මුලිච්චි වෙන්න වත් එනවද....බොලාගෙ යුතුකම තමයි කෙස් පැහෙනකං හිටිය මැලේසියාවේ දිගු ගමනක් යන්න අපි වගේ නෑඹුල් කොල්ලන්ට අත වගේම හිතත් දෙන එක....

      Delete
    3. "අපි වගේ නෑඹුල් කොල්ලන්ට අත වගේම හිතත් දෙන එක...."
      හිත දෙන්න මම බඩුවක්යැ බන්

      Delete
    4. බඩුවක්/// චීයා අනේ ඔයා කියන කථා....

      Delete
    5. අත පිහදලා දියං

      Delete
  28. සපෝටර් චරිතය වෙන කෙනෙක් වුනා නම් අද මේ කතාව මීට වඩා හුඟක් වෙනස් වෙන්න තිබුනා නේද ? කොහොම වුනත් හැම දේම වෙන්නේ හොඳට කියනවනේ...

    ReplyDelete
    Replies
    1. වෙන්න පුලුවන් නගා....ඇත්තටම අද ඒ ප්‍රේමය සාර්ථක නොවුන එක ගැන හිතලා මම සතුටු වෙනවා...විවිධ හේතු නිසා....

      Delete
  29. //සිරා කොලුවා නැමති ඇඹලයා පැණි හැලියේ වැටී තිබේ.//

    මේක නිතරම වෙන දෙයක්ද? :D

    කතාවේ දැක්ක හැටියේ හිනාගිය තැන් කීපයක් තිබුණත්, ඒ මොනවාදැයි කියන්නේ නෑ.:)

    ReplyDelete
    Replies
    1. අනේ නෑ...සිරා කොලුවට දැන් ආදරේ ගැන හිතෙන්නෙම නෑ අප්පා...මේ වගේ අමිහිරි මතක නිසාම වෙන්ට ඇති.

      හිනාගිය තැන් කියපු නැති එක නම් හරිම නාකයි...නෝටියා...

      Delete
    2. හෑ … ආදරේ හිතෙන් නෑ .??

      පුතේ ලෙඩක්. විජහට අරක්කු ටිකක් බීහං..

      Delete
    3. එතකොට ආදරේ හිතෙන්නෙ කෙල්ලන්ටද බෝතලේටද පත්තරයො....

      Delete
    4. දොස්තර බේත් දුන්නම පන්ඩිතකම් නැතුව බීල හිටු, නැද්ද පත්තරයො.
      ජින් පොඩ්ඩක් ගහපන් ආදරේ අල්ලලම හිටිනව. :D

      Delete
    5. ආං ඒකනෙ බන්. මූ පණ්ඩිතකං කියෝනව. අපිට හොඳ උනේ ඕකෙං … ශොට් දෙකයි ආදරේ වැක්කෙරෙනවා !!!

      Delete
    6. යකෝ පන්ඩිතයා නොවි වැඩිහිටියෝ කියන දේ අහපිය.

      Delete
  30. එහෙනම් ඔහොමලු අමාලි කෙල්ල මිස් උනේ ..

    අනේ මන්දා ....මම වැරදී නම් සමාවෙන්ට ඕන ....මට හිතෙනවා අයියගේ ලිවීමේ විලාශය ටිකක් වෙනස් වෙලා වගේ...අයියගේ ඉස්සර ලිපි වල තිබුන රහ ටිකක් පල්ලම් බැහැලා වගේ....කාර්යබහුල බව හින්දද?නැත්තං මට හිතෙන හැටිද...?

    ReplyDelete
    Replies
    1. මොනවට සමාව ඉල්ලනවද නගා...සිරා කොලුවා ගොඩාක් කැමති ප්‍රශංසා කිරීම් වලට වඩා අඩුපාඩු පෙන්වා දෙන අදහස් වලට...මට ඊයක් විද්දා නම් අතීතයේ තිබුන අද නැති දේ ගැන කෙටියෙන් සදහනක් කරලා ඉදිරියට ලියන ඒවායෙ වෙනසක් කොරන්න බැරියැ....ස්තූතියි නගේ....පට්ටයි සුපිරියි කියලා අතේ රෝල් ලියන්නෙ නැතුව ඇත්ත ඇති සැටියෙන් කිව්වට....

      Delete

සිරාගෙ කාමරයට පැමිණියාට ස්තූතියි...

නැවත දිනයක ආයෙත් එන්න..... ඔබට ජය !

Related Posts Plugin for WordPress, Blogger...