Wednesday, January 31, 2018

72 නැග්රැක් බංගලාවේ රැයක් / Nagrak Bungalow

සංචාරය යනු කවදත් සිරා කොලුවා වැඩි රුචිකත්වයක් දක්වන කාරණයකි. ඉස්සර දවසක පවුලේ ඇත්තන් සමග සිරිලංකාවේ නොදුටු දසුන් දුටුවත් යකඩ අස්පයින් සමග හරඹ කරන්නට පටන් ගත් පසුව මේ ගමන් බිමන් බොහොමයකට දායක වූයේ යකඩ අස්පයින් බැව් ඔබට කිව යුතුය. ඉස්සර දවසක සිරා කොලුවාගේ මිත්‍ර‍ සම්පත්තිය මෙවැනි ගමන් බිමන් සඳහා මහත් අභිරුචියෙන් යුතුව දායක වූවත්, ඒ සියල්ලන් විවාහකයන් වී දරු සුරතල් බලන වර්තමානයේ යතුරු පැදි මගින් දුර ඈත සංචාරය කිරීමට කැමැත්තක් නොදක්වති.

එහෙත් සිරා කොලුවාගේ අතිජාත ස්කූටරය සමග දුර ඈත සංචාරය කිරීමේ නොතිත් ආශාව තවමත් සංසිඳී නොමැති නිසාම එවැනි සංචාරයක නිරත වෙන්නට සහායකයින් නොමැතිව ලැතැවෙමින් සිටි යුගය නිමා වී දැන් ටික දොහකි.

2012 සැප්තැම්බර් මස සිරා කොලුවා සිරාගේ කාමරයේදී සිරාගේ අතිජාත ස්කූටරය පිළිබඳ තතු විත්ති ඔබට කියන විට සිරිලංකාවේ එකඳු හෝ ස්කූටර් සමාජයක් බිහිවී නොතිබුනි. එහෙත් කාලයේ ඇවෑමෙන් වර්තමානය වන විට ක්ලැසික් ස්කූටර් වෙනුවෙන් වෙන් වූ ස්කූටර් සමාජ කීපයක්ම බිහි වී තිබීමත්. ලංකාව පුරාම ස්කූටර් කරුවන් අතර සුහදත්වය මෙන්ම සන්නිවේදන ජාලය පුළුල් වීමත් යන කාරණා නිසාම පැරණි ස්කූටර් රසිකත්වය උන්මාදයක් මෙන් රටපුරා පැතිරීගොස් හමාරය. ඒ හේතුවෙන්ම වර්තමානය වන විට ක්ලැසික් ස්කූටරයක් මිළදී ගැනීම සැබැවින්ම අපහසු කාරියකි. ඒ එවැනි ස්කූටරයක් මිළදී ගැනීමට බලා සිටින්නන්ගේ ප්‍ර‍මාණය ඉහළ වීමත්. හොඳ තත්වයේ ස්කූටරයක් විකුනන්නේ කලාතුරකින් වීමත් යන කාරණා හේතුවෙනි. කෙසේ හෝ මේ ඉල්ලුම නිසාම, අතීතයේ කුණු කොල්ලයට විකුනුන පැරණී ස්කූටර් වල වෙළඳපල වටිනාකම දැන් බොහෝ සේ ඉහළ ගොස් තිබේ.

සිරා කොලුවා විසින් ආයාසයෙන් වළදමා තිබූ  ස්කූටරයෙන් දුර ඈත සංචාරය කිරීමේ ආශාවට අළුතින් තටු ලැබුනේ ස්කූටරය වටා පෙළ ගැසුන මේ අලුත් ස්කූටර් කරුවන් රාශියත් සමගිනි. වන්දනාකරුවෝ යනු මෙලෙස අලුතින් ඇරඹුන ස්කූටර් සමාජ වලින් වඩාත් ප්‍ර‍සිද්ධම ස්කූටර් සමාජයයි. වසරකට වරක් පමණක් ඔව්හු  ලංකාව පුරා විසිරුන අවශේෂ ස්කූටර් කරුවන් සහභාගී කරගෙන දුර ඈත සවාරියක් යාම දැන් ස්කූටර් කරුවන් අතර ඉතා ප්‍ර‍සිද්ධ කාරණයකි. ඒ අනුව ඔවුන් සමගින් පසුගිය සැප්තැම්බරයේ සිරා කොලුවා රිවස්ටන් චාරිකාවක නිරත වූ අතර එතැනින් සොයාගත් නව ස්කූටර් මිත්‍ර‍යන්  සිරා කොලුවාගේ තනි නොතනියට සිටින නිසාම 2018 වසර ආරම්භයේදීම අප සහභාගි වූ නැග්රැක් චාරිකාවේ තොරතුරු මේ ලිපියට එකතු කරමි.

බලංගොඩ වතු සමාගමට අයත් නන්පේරියල් තේ වත්ත ඉහළ මුදුනේ, මුහුදු මට්ටමෙන් අඩි 7000 ඉක්මවූ උසක පිහිටා තිබෙන නැග්රැක් බංගලාව හා ඒ අවට පරිසරයේ  අති සුන්දර ඡායාරූප රාශියක් ‍හදිසියේ මෙන් දක්නට ලැබුන කාලයේ සිරා කොලුවා සිටියේ මැලේසියාවේ රැකියාවක නිතර වෙමිනි. මේ බංගලාවට පිවිසීමට ඇති මාර්ගයේ පවතින ස්වභාවික බාධකත්, සති අන්තයකට බංගලාව වෙන් කිරීමේ අපහසුතාත් සැලකීමට ගත් විට මෙය සැබැවින්ම ආයාසයෙන් යා යුතු චාරිකාවකි.

සුන්දර නැග්රැක් බංගලාව

ඡායාරූප දුටු දිනයේ සිටම සිරා කොලුවා නැග්රැක් සංචාරයකට සිහින මැවූ බැව් රහසක් නොවේ. එතැන් සිට ගත වූ වසර කීපයක ඇවෑමෙන් ඒ සිහිනය සැබෑ වන්නේ අතිජාත ස්කූටරය මතින් වීම සතුටට කාරණයකි. මෙතැන් සිට ඔබට කියවන්නට ලැබෙන්නේ ඒ අයාසකර ගමනේ තොරතුරු සමුදායයි.

සිරා කොලුවා ඇතුලත්ව නැග්රැක් ගමනට එක් වූ ස්කූටර් දුසිමෙන් බහුතරය රත්නපුර ප්‍රදේශය ආශ්‍රිතව තිබෙන ඒවා නිසා චාරිකාව ආරම්භ වූයේ රත්නපුරය නගරයෙනි. ඒ නිසාම පෙර දින රාත්‍රියේ එහි යන්නට මා හට සිදුවූවේය. 

රත්නපුර සීවලී ක්‍රීඩාංගනය ඉදිරිපිටදී කොළඹින් පැමිණි පිරිසත්, අවශේෂ ස්කූටර් කරුවනුත් එකට එක් වූ පසුව නිළ වශයෙන් නැග්රැක් චාරිකාව අරඹුනේය. රත්නපුර නගරය, කුරුවිට, බලංගොඩ පසුකරමින් ඉදිරියට ඇඳුන ස්කූටර් කරුවන් බෙලිහුල්ඔයට ලගා වූ පසුව කොළඹ බදුල්ල මාර්ගයේ, සඹරගමු විශ්වවිද්‍යාලයට කලියෙන් මුණ ගැසෙන පඹහින්න හන්දියේදී නැග්රැක් දෙසට ඇදෙන කිලෝමීටර් 21 ක් දුර මාර්ගය අපට සම්මුඛ වූයේය.

සීවලී ක්‍රීඩාංගනය ඉදිරිපිටදී

පඹහින්න හන්දිය
මේ මාර්ගයේ හිරිකටු ඔය පසුවන තෙක් මාර්ගය යම් තරමකින් හොඳ තත්වයේ පැවතියත් එතැන් පටන් ඇත්තේ දැඩි ලෙස අඹලන් වූ මාර්ගයකි. මේ කිලෝමීටර් 21 තුල ඇති සමස්ත වංගු ගණන 33 කි. ඒ නිසාම නැග්රැක් ගමන ලෙහෙසි පහසු නැත. ඔබ වාහනයකින් එහි යනවා නම් එය 4 x4  වාහනයක් වීම අනිවාර්ය කාරණයකි. එලෙසම එහි රියදුරාද රියදුරුකම පිළිබඳ හොඳ හැකියාවක් සහිත කෙනෙකු විය යුතුය.

මාර්ගයේ තැන තැන විසිරුන ගල් මිසක තාර නැත

දැන් අප කෙමෙන් කෙමෙන් කදු ශිඛර අතර හුදෙකලා වූ, ගලා ගිය වැසි දියෙන් පීඩිතව තාර ගැලවී ගොස් සෝදාපාළු වූ මාර්ගයක ක්‍ර‍ම ක්‍ර‍මයෙන් ඉහළ නගින්නෙමු. මේ පළාත් වල වැසියන්ට ඇත්තේ බාහිර සමාජය සමග ඉතා සුළු වූ ගණුදෙනුවකි. මීදුමෙන් වැසුන කඳු පන්ති අතර සැගවුන  ලැයිම් කාමර තුල ඔවුන්ගේ ලෝකය තනි වී තිබේ. මේ තනිකමට බාධා කරන්නේ..බාහිර සමාජය සමග ඔවුන් සම්බන්ධ කරන්නේ මේ මාර්ගයේ ධාවනය කෙරෙන තනි දොරේ  එකම එක ලංගම බස් රථයයි.



සිරාගේ අතිජාත ස්කූටරය හෙවත් කහ කුරුල්ලා

චාරිකාවේ නිරත වන ඇතැම් විටක ඇතැම් ස්කූටරයක් හදිසියේ රෝගාතුර වෙයි. එවැනි විටෙක කණ්ඩායමේ සිටින දොස්තරලා ඒ රෝගියා ගොඩගන්නට වෙහෙසෙයි. කාලය වැඩියෙන් ගත වෙයි නම් පිරිසකට ඉදිරිය බලා ඇදෙන ලෙස උපදෙස් ලැබෙයි. එවැනි උපදෙසක් අනුව ප්‍ර‍ථමයෙන් ඉදිරියට යන්නට නැග්රැක් ගමනේදී මා ඇතුලු කීප දෙනෙකුට සිදු වූහ.

චාරිකාවට පෙර දින රාත්‍රියේ මුණ ගැසුන රෝගියෙක්


පඹහින්න බලා පැමිණෙන අතරතුර බලංගොඩ නගරයෙන් අවශ්‍ය අඩුම කුඩුම සියල්ලම අපි විසින් මිළදී ගත්තෙමු. බංගලාවේදී අපට ආහාර ලබාගැනීමට නම් උවමනා දෑ එහි ගෙන යා යුතුය. ඒවා පිසදීම බංගලාවේ සේවය කරන පිරිස අතින් සිදු වෙයි.

දැන් දැන් කුසගින්න දැඩිව දැනෙයි. බලංගොඩදී මිළදී ගත් දිවා අාහාර පාර්සල් අපේ ගමන් මළු ඇතුලේ සිට සුවඳ විහිදුවයි. පිරිසක් අතර මග රෝගියෙකු සමග වෙහෙසෙයි. කෙසේ හෝ අවසානයේ පළමු කණ්ඩායමේ සිටි මා ඇතුළු කණ්ඩායම දිවා ආහාරය පිණිස මනරම් දිය ඇල්ලකට යාබද ස්ථානයක් තෝරා ගත්තෙමු.

දිවා ආහාරය පිණිස අපේ නැවතුම

ගත සිත සනසන සිහිල් සුළඟ ඒ මේ එත ගලායන ඇසිල්ලේ අප දිවා ආහාරය කුස තුලට යවා නැග්රැක් ගමනේ අසීරුම ඉසව්වට පය තැබීමටයි මේ සුජානම. මෙතැන් සිට මාර්ගයේ තාර ඇති තැනක් සෙවීම කළුනික සෙවීමටත් වඩා අපහසුය. ගල් ගැලවී පාර පුරා අපිළිවෙලට විසිරී ඇති මතුපිටෙක ස්කූටරය ධාවනය සැබැවින්ම අනතුරු දායක ක්‍රියාවකි. ස්කූටරයට සිදුවන හානි අවම කරමින් ධාවනය තවත් අභියෝගයකි. ඒ නිසා නැග්රැක් බංගලාව බලා අප ඇදෙන්නේ ඉතාම සීරුවෙනි. 


නන්පේරියල් තේ කර්මාන්ත ශාලාව ආසන්නයේ ඇති සමූපකාර කඩ පිල අසල අප මඳක් නතර වීමට තීරණය කලේ පළමු සහ දෙවන ගියරයේ පමණක් ධාවනය වී ඇති පදම් රත් වී ඇති එන්ජින් වලට මඳ විවේකයක් ලබා දීමේ අරමුණෙනි. සමූපකාර වෙළඳසැලේ මුදලාලි සැබැවින්ම සුහදශීලී දමිළ ජාතිකයෙකි. හෙතෙම හොඳින් සිංහල හසුරවන නිසාම අපට අපේ ගමන් මාර්ගය ගැන බොහෝ දේ ඔහුගෙන් දැනගත හැකි විය.

නන්පේරියල් සමූපකාරය

සමූපකාරයෙන් පසු මඳ දුරකින් අපට නන්පේරියල් තේ කර්මාන්ත ශාලාව මුණ ගැසුනේය. එතැන ඉඳිරියේ පාර හරහා ඉඳිවුන සුදු පැහැති ගේට්ටුවකි. පුද්ගලික පාරකි යනුවෙන් එහි සටහන් වී තිබේ. මෙතැනි සිට ඇති මාර්ගය නන්පේරියල් වත්තේ පුද්ගලික දේපලක් වීම එයට හේතුවයි. බංගලාව වෙන්කරගත් කෙනෙකුට එම ගේට්ටුවෙන් ඔබ්බට මාර්ගයේ ගමන් කිරීමට බාධාවක් නැත. එහෙත් බංගලාව වෙන් කර නොගත් කෙනෙකුට ඔවුන්ගේ විශේෂ අවසරයක් ඒ වෙනුවෙන් ගත යුතුය.

නන්පේරියල් තේ කර්මාන්තශාලාව

මෙතැන් සිට ඉදිරියට යාමට අවසර ලබා ගත යුතුය
නන්පේරියල් ළමා ලෝකය
ලැයිම් කාමර පෙලක්
නැග්රැක් ගමනේ අපහසුම කොටසට දැන් අප පිවිසී සිටින්නෙමු. මේ කොටසේ ඇතැම් තැනක කොන්ක්‍රීට් වලින් මාර්ගය පිළිසකර කර තිබුනත් ඒ බොහෝ සීමිත පෙදෙසක පමණි. ඇතැම් තැනක මාර්ගය කුමක්දැයි එක්වනම හඳුනාගැනීමට අපහසුය.


සවස 5 වන විට මුහුදු මට්ටමෙන් අඩි 5000 ක් සළකුනු කරන බේකර්ස් වංගුවට අප සිව්දෙනෙකු මුලින්ම පිවිසුනෙමු. ඉතිරි ඇත්තන් 8 දෙනා මේ මාර්ගයේ විවිධ ස්ථාන වල තවමත් මග පැමිණෙමින් සිටිති.  බේකර්ස් වංගුවෙන් ඔබ්බේ ඇති ස්වභාවික පරිසරය ඉතාම දැකුම්කළු එකකි. අප එහි යන විට මීදුමෙන් තොරව තිබූ එය, එහි පිවිසි සැනෙකින් මීදුමෙන් වැසී ගියේය. එතැන් සිට නැග්රැක් බංගලාව කරා ඇඳෙන මාර්ගය දැන් දැන් මීදුම් සළුවක ඔතා හමාරය.

බේකර්ස් වංගුව
හතර දෙනාම සූරයෝ


බේකර්ස් වංගුව අවට පෙදෙස මීදුමෙන් වැසෙන්නට ආසන්නව

වටින් ගොඩින් අඳුර ගලා එයි. අඳුරු වැටුන පසු මෙවැනි මාර්ගයක ගමන උගහට හෙයින් අපි යළිත් ගමන් ආරම්භ කළෙමු. අතිජාත ස්කූටරය කඩා වැටෙයිදෝ හිතෙන තරමට මාර්ගයේ බාධක රාශියකි. ඒ අතරින් සීරුවට සිරාගේ කහ කුරුල්ලා ධාවනය වෙයි.

මෙලෙස පැමිණි ගමනේ තවත් එක් සංධිස්ථානයක අපි නතර වූයෙමු. එහි මුහුදු මට්ටමේ සිට උස අඩි 6990 ලෙස සටහන් වී තිබේ. සිරුර පුරා දැනෙන්නේ කඳිම ශීතලකි. දුමාරයක් බඳු මීදුම පළාතම වෙලාගෙන සිටියි. එතැන් සිට බංගලාවට ඇත්තේ තවත් එක් කිලෝමීටරයකි. වෙහෙස කෙතරම් දැඩි වුවත් මේ පණිවිඩය අපට මහත් ධෛර්යයකි. ඒ අනුව වෙන් වෙන් වශයෙන් ස්කූටර් 4 ක් තවත් අඩ පැයකින් පමණ එහි ලගා වූයේය. එදා මෙදාතුර නැග්රැක් බංගලාවට පැමිණි පළමු ස්කූටර් කණ්ඩායමේ ආගමනය එසේ සිදු වූවේය.


නැග්රැක් බංගලාවේ භාරකරු ක්‍රිෂ්ණා අප සියල්ලෝ සාදරයෙන් පිළිගෙන බංගලා මිදුලේ එළිමහනේ ප්ලාස්ටික පුටු කීපයක් තබා අසුන් පැනෙව්වේය. සැබැවින්ම මිදුල අවට ඇති ස්වභාවික සුන්දරත්වය වචනයෙන් පැවසිය නොහැකි තරමට විශිෂ්ඨය. සිරා කොලුවා වන මා මව්බිමේ එතරම් සුන්දර දර්ශනයක් කලින් දැක නොතිබුනි. මිදුල උඩින් වලාකුළු මෙන් ඇදෙන මීදුම ඒ වෙලාවේ එතැන මැව්වේ පාරාදීසයක අසිරියකි. කෙමෙන් කෙමෙන් දැඩි වන ශීතල අතරේ අප අපහසුතාවට පත්වන දුටු ක්‍රිෂ්ණා...






ක්‍රිෂ්ණා...

මහත්තයලට තේ හදලා දෙන්නද ? යනුවෙන් විචාලේය ...

ක්‍රිෂ්ණාගේ සුරතින් ලැබුන තේ කෝප්පයේ රස පහස විඳින අතරතුර හෙතෙම අප සමග බෙහෙවින් කුළුපග වී කථාබහට එකතු වූවේය. ඒ කථාබහේ ඇතැම් තොරතුරු ඔබට කියන්නට මම රිසි වෙමි.

බේකර්ස් සුදු මහත්තයා තමයි ඉස්සර නන්පේරියල් මේ පළාතෙ පාලකයා. එයාට ඉන්න හදපු ගේ තමයි අද මේ නැග්රැක් බංගලාව කියලා කියන්නෙ. මේ ගේ හදන්න බඩු අරගෙන ඇවිල්ලා තියෙන්නෙ ඔහිය ස්ටේෂන් එක පැත්තෙන් හදපු අඩි 3 ක් පළල පාරක් දිගේ. ඒ කාලෙ පඹහින්න පැත්තෙන් එන පාර බේකර්ස් වංගුව ලගට එනකං ඇවිත් නතර වෙලා...මොකද ඒ කාලෙ බේකර්ස් වංගුව හදලා නැති නිසා...බංගලාවෙ ඉදන් බේකර්ස් වංගුව පැත්තට යන පාරත් වංගුව ලගින් නතර වෙලා.


කහ කුරුල්ලා බංගලාව ඉදිරිපිට

දවසක් දා බේකර්ස් සුද්දා තමන්ගෙ නෝනත් එක්ක දුම් පයිප්පයක් උරන්න අශ්ව කරත්තෙ අස්පයගෙ රැහැන අත ඇරලා...ඒ වෙලාවෙ පාලනයකින් තොරව ඉඳිරියට ඇදුන අස්පයයි කරත්තයයි දෙකම අද බේකර්ස් වංගුව තියෙන තැන එදා තිබුන ප්‍ර‍පාතයට වැටිලා විනාශ වෙලා. අන්තිම මොහොතෙ කරත්තයෙන් එළියට පැනගන්න පුලුවන් වෙච්ච නිසා මේ ජෝඩුවෙ දිවි රැකුනලු.

එදායින් පස්සෙ තමයි අශ්ව ලාඩමක හැඩයට ඔය වංගුව හැදුවා කියන්නෙ. බේකර්ස් සුද්දා හදපු නිසයි බේකර්ස් වංගුව කියන්නෙ. බේකර්ස් දිය ඇල්ල හොයාගෙන තියෙන්නෙත් එයාම තමයි. 

අලි ඇත්තු දාහකට වඩා වෙඩි තියලා මරලා දාලා...සොහොනට අදත් අකුණු ගහනවා කියන්නෙ මේ කියන බේකර්ස්ගෙමද ? මම ක්‍රිෂ්ණාගෙන් ඇහුවා. 

හරියටම හරි...ඒ සුද්දා තමයි අපි මේ කියන බේකර්ස්...1938 දි මේ බංගලාව හදන්න, මේ මිදුල සමතලා කරන්න මිනිස්සු මොන තරම් මහන්සි වෙන්න ඇතිද ...ඔක්කොම දෙමළ වතු කම්කරුවො තමයි වැඩ කරලා තියෙන්නෙ. අද වගේ වාහනත් නෑ..පාරත් බොහොම දුෂ්කරයි. ඔහිය ඉස්ටේෂමේ ඉදලා කරෙන් තමයි ගොඩාක් දේවල් මෙතනට ගෙනාවා කියන්නෙ. ඊට අමතරව කේබල් එකකුත් දාලා තිබුනලු. ඒ කේබල් එතුන රෝදෙ බංගලාවෙ මිදුලෙ පැත්තක තියෙනවා. ඒ වගේම හවස 6 වෙනකං හැමදාම වගේ බංගලාව හදන වැඩ කෙරිලා තියෙනවා. හරියට වැඩ කරන්නෙ නැති මිනිස්සුන්ට බේකර්ස් සුද්දා කසයෙන් ගැහුවා කියලත් අපේ වැඩිහිටියො කියනවා මම අහලා තියෙනවා.

සුදු පාලන සමයේ භාණ්ඩ ප්‍ර‍වාහනයට යොදා ගත් කේබල් එතුන රෝදය


සුදු පාලකයන්ගෙන් පස්සෙ මේ වත්ත රජයට අරගෙන තියෙනවා...ජේ ආර් ජයවර්ධන හිටපු ජනාධිපතිතුමා මධුසමයට ඇවිල්ලා තියෙන්නෙත් මේ බංගලාවට. දැනට අවුරුදු 10 ක විතර කාලෙ ඉඳන් තමයි මේ බංගලාව සාමාන්‍ය ජනතාවට විවෘත උනේ. හැරී ජයවර්ධන මහත්තයා මේ වතු සමාගම ගත්තට පස්සෙ.

නන්පේරියල් කියන නම කොහොමද හැදිලා තියෙන්නෙ...මම ආයෙමත් ඇහුවා...

නන් කියන්නෙ නමක්...පෙරිය කියන්නෙ උස කියන අදහස...මේ පළාතෙ උසම තැන කියන අදහසින් තමයි නන්පේරියල් කියන්නෙ. 

මුහුදු මට්ටමේ සිට අඩි 7000 ඉක්මවා යන උසක් ඇති නන්පේරියල් බංගලාවේ මිදුල ඉදිරිපිට ඇත්තේ කඳු පන්තියකි. ගොම්මල කන්ද , උඩවලව, චන්ද්‍රිකා වැව, තණමල්විල, අඹේවෙල, බලංගොඩ, නුවර එළිය වැනි පළාත් ක්‍රිෂ්ණාට අනුව නැග්රැක් බංගලාව ඉදිරිපිට සිට නැරඹීමට හැකිය.

බංගලාවේ මිදුලෙන් ඔබ්බේ පෙනෙන රමණීය දසුන

මඳින් මඳ පැමිණි අඳුර ඝන අඳුරක් බවට පත්වෙන විට එකා දෙන්නා බැගින් ස්කූටර් කරුවන් එහි ලගා වූහ. එහෙත් තවත් 4 දෙනෙකුගේ අඩුවක් තවමත් තිබේ. අපට හිමි කාමර පෙන්වූ පසු ගමන් වෙහෙස නිවෙන්නට උණුසුම් ජලය ස්නානය කොට සාලයේ ඇති ගිණි උඳුන ඉදිරිපස ඉඳගන්නා විට රාත්‍රී 8 කණිසම එළැඹී තිබුනි.

බලංගොඩින් මිළදී ගත් ආහාර ද්‍ර‍ව්‍ය මෙන්ම රහමෙරද ප්‍ර‍වාහනයේ පහසුව පිණිස එකිනෙකා අතර බෙදා දී තිබුනේය. ඒවා පැමිණි පිළිවෙලට කුස්සිය කරා ගමන් ගත් අතර නැග්රැක් බංගලාවේ කෝකියා යුහුසුළුව සිය කාරිය ආරම්භ කොට තිබුනේය. ඔහුට සහාය වන ක්‍රිෂ්ණාගේ දසුන එතැන් සිට වඩාත් සුලභ වූවේය.

රාත්‍රී 9 කණිසම වන විටත් තවත් තිදෙනෙකුගේ අඩුවක් පැවතිනි. බංගලාවට පැමිණෙන මාර්ගයේ බොහෝ තැන්හි දුරකථන සංඥා ක්‍රිියාත්මක නොවීමත් හේතුවෙන් ඔවුන් සිටිනා තැන නිශ්චිතව දැනගන්නට ක්‍ර‍මයක් නැත.

බංගලාවේ ඇතුලත දර්ශන
ස්කූටර් කණ්ඩායමේ සිටි  බොහෝ පිරිසකට දැන් දැන් බංගලාව තුල දැනෙන සිහිලස දරාගන්නට අපහසු සෙයකි. ඒ නිසාමදෝ එතෙක් අහුමුළු වලට සැගවී සිටි රහමෙර බෝතල් කරළියට පැමිණ අප අසුන් ගෙන සිටි ස්ථානයේ කුඩා ටී පෝවක් මත සැතපුනි. 

අරුන් තුන්දෙනා එනකං පොඩි එකක් ගමු...තව පැය කාලක් බලලා ආවෙ නැත්තං අපි පොඩ්ඩක් පල්ලෙහාට ගිහින් බලමු...ස්කූටර් කණ්ඩායමේ ජේෂ්ඨයා වූ ගමගේ ගොයියා එසේ පැවසූයෙන් අපි මධුවිත සමග ඇසුර ඇරඹුවෙමු.

පළමු වටය අවසන් වනවාත් සමගම හැතිදාගෙන පැමිණෙන ස්කූටර් එන්ජිමක ශබ්දය ශ්‍ර‍වණය වූයෙන් අප සිත් සතන් පෙලූ අවිනිශ්චිතතාව පහ වූවේය.

ස්කූටර් දෙකක් මග දාලා එන්න උනා...ඒවා හදන්න නතර උනා හෙට තමයි මෙතනට එන්න වෙන්නෙ.  මේ ගමනේ සංවිධායක රත්නපුරේ ධනුක ගමන් මහන්සියත්...අතර මගදී සිදුවූ අලකලංචිත් නිසාම මහත් සේ වෙහෙසට පත්ව සිටියේය.

ගතට දැනෙන කඳිම සිහිලසක, සිහිනයක් වූ තැනක දුසිමක් පිරිස දැන් සිටින්නේ මහත් වූ ප්‍රීතියෙනි. මෙවැනි දුෂ්කර මාර්ගයක් ස්කූටර් මතින් තරණය කරන්නට ලැබීමම මේ උත්කර්ශයට හේතු වී තිබුනි. 

                                     
නැග්රැක් බංගලාවේ සුන්දරත්වයෙන් බිඳක්

සිහින සැබෑවන්නේ කැපවීමෙනි. එසේ සාක්ෂාත් වූ සංචාරයක් ලෙස මම නැග්රැක් සංචාරය දකිමි. මේ සිහිනයේ දැවටෙන්නට ඔබත් කැමති නම් අවැසි තොරතුරු ලිපියේ පහළින් දක්වා තිබේ.

සැ.යු -  බංගලාව භාරකරු පැවසූ ඇතැම් කරුණු ඒ ආකාරයෙන්ම මෙම ලිපිය තුල වාර්ථා කොට තිබේ. ඒවායේ සත්‍ය අසත්‍යතාවය පිළිබඳ වගකීමක් සිරා කොලුවා වන මවිසින් භාරනොගනිමි. මවිසින් සිදුකලේ ඔහු දැක්වූ කරුණු ඒ ආකාරයෙන්ම වාර්තා කිරීම පමණකි.

කමෙන්ට් තීරුව තුල එවැනි ඇතැම් කරුණක් අරභයා අප හිතවත් pra jay විසින් තබා ඇති සටහන්ද කියවන්න.



මම කාමරේ අරින සිරා කොලුවා



ප.ලි

2018 වසරේ සිට එක් රාත්‍රියක් සඳහා නැග්රැක් බංගලාව රු 30,000/- ක මුදලක් අය කරයි. කාමර 5 ක ඇඳන් දෙක බැගින් 10 දෙනෙකුට හා උපරිම ලෙස 12 දෙනෙකුට එහි පහසුකම් තිබේ. රියදුරන් සඳහා වෙනම කොටසක් පසුපස කොටසේ ඉඳිවෙමින් පවතී.

නැග්රැක් බංගලාවේදී ඔබේ ආහාර අවශ්‍යතා ඉටුකරගැනීමට උවමනා අාහාර ද්‍ර‍ව්‍ය ඔබ එහි යන විට රැගෙන යා යුතුය. ලූණු ගෙඩියේ සිට තේ පැකැට්ටුව දක්වා සියලුම දෑ එයට අයත් විය යුතුය.

බංගලාවේ කාමර වායුසමනය කර නැත. එහෙත් උණුසුම් ජලය ස්නානය කිරීමේ පහසුව එහි ඇත. අළුයම් කාලයේ දැනෙන්නේ දැඩි ශීතලකි. හීටර්ස් නොමැති නිසාම එයට ගැලපෙන ඇඳුම් ආදිය රැගෙන යාම ඔබේ වගකීමකි.

බංගලාවට පිවිසීමට නම් 4 x 4 වාහන අවශ්‍යම යැයි මට සිතෙන්නේ මාර්ගයේ පවතින බාධක හේතුවෙනි. ඔබට එහි යාමට එවැනි වාහනයක් නැතිනම් නන්පේරියල් තේ කර්මාන්ත ශාලාව අසලට පැමිණ එම මාර්ගයේ ධාවනය වන ලොරියක් ඔබේ ගමන් පහසුව සඳහා ලබා ගත හැක. මෙම ස්ථානයේ නවාතැන් ගැනීමට අවැසි සියලුම විස්තර දැනගැනීමට එහි භාරකරු වන කිෂ්ණා  අමතන්න. 0773 232 708 / 0455622533

නැග්රැක් බංගලාවේ පිටුපසින් හෝටන් තැන්නට යා හැකි අඩි පාරක් තිබේ. එහෙත් එහි ගමන් කිරීමට නම් වනජීවී දෙපාර්තමේන්තුවෙන් වේලාසන අවසර ගත යුතුය. එසේ නොමැතිව එහි ගමන් කිරීම නීතිවිරෝධී වන අතර එය දඬුවම් ලැබිය හැකි වරදකි.

මෙම බංගලාව ඉදිරිපිට ඇති ස්වභාවික දර්ශනය අතිශයින් චමත්කාර ජනක එකකි. ඔබේ මීලග සංචාරය මෙම ස්ථානයට නම් ඔබත් එහි සාක්ෂිකාරයෙකු වන නොඅනුමානය. නැග්රැක් බංගලාව සහ එහි වටපිටාව පිළිබඳ අන්තර්ඡාලයේ සවිස්තර ලිපියක අඩුව මෙමගින් යම් තරමකට සම්පූර්ණ වනු ඇත.

ස්කූටර් සමාජ ඇතිකිරීමෙන් පසු පැරණි ස්කූටර් සඳහා වන ඉල්ලුමත් ඒවායේ වටිනාකමත් බෙහෙවින් ඉහළ ගොස් තිබේ. ඒ නිසාම පැරණි ස්කූටරයක් මිළදී ගැනීමට සොයාගැනීම ඉතාමත් අපහසු හෙයින් එවැනි ඉල්ලීම් ඉටු කිරීමට අපහසු බැව් කාරුණිකව සලකන්න.

72 comments:

  1. සිරාගෙ , සිරා ලිපියක්. ගොඩක් වතු බංගලා හදල තියෙන්නෙ දුෂ්කර ඒ වගේම පුදුම හිතෙන තරම් ලස්සන තැන්වල.
    වතු අයිති වෙලා තිබ්බ ඉංග්‍රීසි ජාතිකයන් ගෙ සල්ලිකාරකම් වලට අනුව තමයි ඔය බංගලා වල ප්‍රමාණය වගේම පහසුකම්.

    ReplyDelete
    Replies
    1. ඔයා ඉතින් තේ වතු එක්කම හිටිය කෙනෙක් විදියට...අපිට වඩා සුන්දර තැන් බොහොමයක් දැක ඇතුවාට සැකයක් නෑ. වතු බංගලා සමහර ඒවා හොල්මන් විමාන නේද...

      Delete
    2. හොල්මන් තියනව කියන ඒවට මම ගිහින් තියනව, මට එහෙම අත්දැකීමක් නෑ, හැබැයි ඒක අත්විදපු එවුන් ඉන්නව.
      අපි හොල්මන් දකින්ඩ හවස හයට කලින් එයාල එන්න ඕනෙ, නැත්නම් හොල්මන් කියයි " මුන් නෙ බං හොල්මන් "කියල 😁

      Delete
    3. දවසකට දෙකකට අපි ගියාට මේ වගේ පාලු පරිසරයක අවුරුදු ගනන් නවතින්න ගියාම එපා වෙනවා ඇති නේද...හරිම ගුප්තයි වෙලාවකට පරිසරය.

      Delete
    4. බොගවන්තලාවෙ තියනව මීටර් 300 විතර කැලේ ඇතුලට වෙන්න බංගලාවක් පරණ ජෙනරේටරයකින් පවර් සප්ලයි කරන්නෙ, මට එතනට ගියාම මතක් වෙන්නෙම Wrong turn ෆිල්ම් එක . මාරම මූසලයි.

      Delete
  2. බයිසිකල් කැඩුනු අය මග හිටියද ?

    ReplyDelete
    Replies
    1. බයිසිකල් දෙකක් කැඩුනා...ඒවා හදාගෙන උඩට අරගෙන යන්න වෙලාවක් තිබුනෙ නෑ...ඇදගෙන එන්නත් බෑ..අන්තිමේදී කාත් කවුරුවත් නැති මාර්ගය අයිනෙම තියලා පස්සෙ ආපු අය උඩට ඇවිත් තිබුනා...පහුවදා දවල් යද්දිත් නිරුපද්‍රිතව තිබුනා..

      Delete
  3. ලිපිය නං මදි පුතා. නැග්රැක් ගියාම යන්න ඕනම තැනක් තමා වතු වල වැඩ කරන අයගේ ගෙවල් වල පොඩි උන් බලන්න. ටොපියක් දෙකක් අරගෙන ගියත් කමක් නෑ. අනික ඔය ලෝකාන්තෙන් පැනල පෙම් උණෙන් මැරෙන අයගෙත් කෑලි හොයාගෙන එන්නේ ඔය වත්තේ වැඩ කරන කිහිප දෙනෙක්.

    ෆෝවීල් වාහනයක්ම ඕන නෑ බං. හොද ඩ්‍රයිවර් කෙනෙක් එක්ක ඩොල්ෆින්එකක් තිබ්බත් ඇති. ලංකාවේ බලන්න තියෙන තැන් වලින් මං ආසම තැනක් තමා ඕක. නැග්රැක් බංගලාව පාදක කරගෙන කෙටි කතාවක් ලියන්න රාමු සැකිල්ල ගහල තියෙද්දිත් මොන හේතුවකටද මන්දා මට ඒක ලියන්න හිතෙන්නෙ නෑ. හැක්.

    ජය වේවා සිරාට සහ ලඩි ස්කූටර් සංගමයට.

    ReplyDelete
    Replies
    1. ඉස්සර වගේ සැදී පැහැදී කාමරේ පැල පදියම් වෙලා ලියන්න වෙලාවක් නෑ මාමෙ. මේ ලිපිය ලිව්වෙත් ඔක්තොම්බර් මාසෙන් පස්සෙ...ඒ නිසා සුළු සුළු අඩුපාඩු නැති වෙන්න ඉඩක් නෑ.

      ෆෝවීල් වාහනයකින් එහෙ එන්න කියලා මේ බංගලාව වෙන් කරද්දි එයාලා විශේෂයෙන් සඳහන් කරනවා...ඒ වගේම අපේ අත්දැකීමෙ හැටියටත් මාර්ගයේ සමහර තැන් දැන් පවතින තත්වය අනුව ඩොල්ෆින් එකකින් ගියොත් වෑන් එකට බබා ලැබෙන බව ෂුවර්. මොකද ගලින් ගලට පනින්නියා තමයි බේකර්ස් වංගුවෙන් පස්සෙ දිගටම තියෙන්නෙ.

      ඔය කියන සැකිල්ල අලුතෙන් ගලවලා හයි කරලා හරි ඔය කියන බඩකඩිත්තුව ලිව්වොත් නරකද...ලඩි කිව්වෙ ඉස්සර..දැන් මේවා රත්තරං වගේ...පාරෙ යන ලොකු වාහනත් නවත්තලා ස්කූටරයක් විකුනන්න නැද්ද කියලා අහන කලියුග කාලයක් බොලං මේක...

      Delete
  4. නියමයි මචං .. නියම ලිපියක් . සිරා ගේ සිරා වැඩක් .

    ReplyDelete
  5. සිරාම ගමනක් වගේ!!! අද හෙටම ගොහිං බලන්න ඕනේ...

    ReplyDelete
    Replies
    1. අර ගම්පහ ගෙට්ටුවට ආව පොඩි ගෑල්ලමයත් මතක අැතුව එක්ක යන්න එහෙ යද්දි...බොට ජය වේවා !

      Delete
    2. අනේ ඒ කාලේ...... අපි තනිකඩ මිනිස්සු අයියේ දැන්...

      Delete
    3. හීන් දුකක් දැනුනා බං...

      Delete
  6. වැහි කාලෙක ගියොත් දිය ඇලි 20 ක් විතර පේනවා නැග්‍රැක් එකට යනකොට


    සැමුවෙල් බේකර් ( 'බේකර්ස්" නෙමෙයි "බේකර්") ගේ සොහොන ලංකාවේ නෑ. ඒක තියෙන්නෙ ඉන්ගලන්තෙ වූස්ටර්ෂයර් ප්‍රාන්තෙ. ඔහු කසෙන් ගහපු කතාවක් ඔහුත් තම පොතේ සඳහන් කරනවා. හැබැයි ඒ වැඩ ගන්න නෙමෙයි. ඔහු දඩයම් කරපු ගෝනාව හොරකම් කර ගැනීම සඳහා ඔහුගේ බල්ලව මරපු ගැමියන්ට.

    අලි 1600 ක් මැරුවයි කියන මේජර් T.W. රොජර්ස් ගෙ සොහොන ගැන ඔය හෙණ කතා තියෙන්නෙ


    නොන් පැරියෙල් කියන්නෙ "එයට සමාන වෙන දෙයක් නැත" / "එයට සමාන දෙයක් නොමැති දෙය" /"අසමසම"කියන එක

    https://en.wiktionary.org/wiki/nonpareil

    මිනිස්සු කොයිතරම් බොරු ලෙජන්ඩ්ස් හදාගන්නවද??


    ක්‍රිෂ්ණාගේ කතා කියලා ලිව්වට නම් කමක් නෑ ඒත් ක්‍රිෂ්ණාව රෙෆෙරන්ස් දාලා ආර්ටිකල් ලිව්වොත් චන්ද කාලෙ කතා වගේ තියෙයි :-DD

    ReplyDelete
    Replies
    1. උබ දිග කෙමෙන්ට් එකක් ලියන්නෙ එහමත් වෙලාවක..මෙ කෙමෙන්ට් එක එල ද බ්‍රා

      Delete
    2. Pra Jay, ඔබට බෙහෙවින් ස්තූතියි ඔබේ කමෙන්ටුව තුලින් මතුකල කරුණු වලට..ක්‍රිෂ්ණා පැවසු කරුණු පිළිබඳ මට දැනුමක් නැති නිසා මම පටිගත කරගෙන ආව ඔහුගේ කථා බහ ඒ විදියටම ලිව්වා. අනිත් කාරණේ මෙවැනි ස්ථාන ගැන අන්තර්ජාලයේ තියෙන්නෙ සීමිත ලිපි සංඛ්‍යාවක් නිසා, නිවැරදි කරුණු ඉඳිරිපත් කිරීම අත්‍යවශ්‍යයි. සාවද්‍ය කරුණු අඩංගු උනොත් ලිපිය කියවන බොහෝ දෙනා වැරදි මත සමාජගත කරනවා. ඒ නිසා ඔබේ කරුණු දැක්වීම ඉතාම යහපත්. මම හිතන විදියට ක්‍රිෂ්ණා හිතා මතා බොරු කියනවා නෙමෙයි. ඔහු ඇත්ත කියා සිතා සිටින දේවල් හෙළිදරව් කරනවා.

      සැමුවෙල් බේකර්ස් වගේම, මේජර් රොජර්ස් දෙන්නම 1800 සියවසේ ලංකාවට පැමිණි අය. 1938 දි සැබෑ ලෙසම නැග්රැක් බංගලාව ඉඳිකලේ කවුද එතකොට...

      Delete
    3. අලි කතාව ගැන කොමෙන්ට් කරන්න ආවම මේක දැක්කේ නැති නිසා කොමෙන්ට් කරේ නෑ.. ප්‍රා කියල තියෙන ඒවත් එක්ක පෝස්ට් එක අප්ඩේට් කරපං. ඉස්සරහට බලන එකෙකුට ඒක වටිනවා.

      Delete
    4. මම මේ ගැන තවදුරටත් සොයාබලන්න තීරණය කලා. නැග්රැක් බංගලාව හැදුවෙ කවුද කියන කාරණේ ගැන තවම විසඳුමක් නැති නිසා. ඒ කරුණු ලැබුනාම ලිපිය සංස්කරණය කරමි.

      Delete
    5. සිරා, අමුතුවෙන් හොයන්න දෙයක් නෑ, වැඩි විස්තර ඔය පෙරකදෝරු උන්නාන්සෙ තමයි හරියටම දන්නෙ. ඕනෙනම් තෝම්බු බලලම කියයි.

      Delete
    6. සිරා, නැග්‍රැක් කියන නම කොහොම ආපු එකක්ද?

      Delete
    7. මම විශ්වවිද්‍යාල ඉතිහාසය පිළිබඳ ආචාරියෙකුට බාර දුන්නා නිවැරදි කරුණු හොයලා දෙන්න කියලා...ඒ දේවල් ලැබුන ගමන් මේ ලිපිය අප්ඩේට් කරමි...

      Delete
    8. https://m.wikidata.org/wiki/Q13544202

      මිස්ටර් කම්මල දන්නව ඇති නොන් පැරියෙල් බ්‍රිටිශ් කම්පනිවලට අයත් ව තිබුන ගෲප් එකක වත්තක් නෙමෙයි. පුද්ගලයෙකුට හෝ පවුලකට අයිතිව තිබුනේ. ජනසතු කලාට පස්සෙ වටේ තිබුන අනිත් පොඩි වතුත් නොන් පැරියෙල් එකට එකතු වුනා. නැග්‍රැක් වත්තත් ඩිවිෂන් එකක් වශයෙන් එකතු වුනා

      Delete
    9. නැග්‍රැක් නම් කරලා තියෙන්නේ ඉන්දුනීසියාවෙ ගමක (in Bandung, West Java province) නමකින් ද කියල මං හරියටම දන්නෙ නෑ. මැලේසියාවෙ ඉන්දුනීසියාවෙ වැඩකරපු වැවිලිකරුවෝ ලංකාවෙත් වැඩ කලා.

      නොන් පැරියෙල් කියන්නේ no equal, no parallel කියන එක සහ එහි මූලයන් නම් ලෙහෙසියෙන්ම internet හොයාගන්න පුලුවන්

      Delete
  7. අපේ ජාතියේම තව එකෙක් කියල දැනන් හිටියෙ නෑ නොවැ.
    අපේ සෙට් එකතේ කූටර් හුරතලෙක් ඉන්නව. මාසකෙට පාරක් විතර රවුමකුත් දානව.
    හැම ජාතියේම බයික් වලට ඕපන්.
    යංද වෙලාවක අපි එක්කත් රවුමක් දාන්න. (මද්දත් එක්ක තව බිලොග් කාරයො දෙන්නෙක්ම ඉන්නව)
    //ස්කූටර් දෙකක් මග දාලා එන්න උනා...ඒවා හදන්න නතර උනා හෙට තමයි මෙතනට එන්න වෙන්නෙ.// වැඩියෙන්ම දුක හිතුනෙ මේකට අපිටත් ගියපු හැම පාරකම මේ අත්දැකීම වින්ද. මේ පාර ඉදල බැකප් එකට පිටිපස්සෙන් ලොරියක් අරන් යන්න තීරනයකට ආව එකක්වත් මග දාල යන්නෑ ආයෙ.
    සෙට් එක වෙන් උනාම හෙන අවුල් නේ බං.

    //අරුන් තුන්දෙනා එනකං පොඩි එකක් ගමු...තව පැය කාලක් බලලා ආවෙ නැත්තං අපි පොඩ්ඩක් පල්ලෙහාට ගිහින් බලමු.// මචං බීල පදින්න එපා බං මද්දගෙ එකම ඉල්ලීම.

    ReplyDelete
    Replies
    1. අපිත් ඔය ගමන ඔය විදියටම යන්න හිටියෙ ඒත් අපේ කට්ටිය වැඩී බං.
      සුපිරියටම ලියල තියනව පොටෝ ටිකත් මරු.

      Delete
    2. අපි ඉතිං ක්ලැසික් ස්කූටර් පමණක් සහභාගි කරගෙන අපේ ගමන් යන්නෙ. ගමනක් යන්න කලින් බොහෝ අය පුද්ගලිකව තමන්ගෙ කූටරේ ගමනට සූජානම් කරනවා. මමත් එහෙමයි...ඒ නිසාම කවදාවත් රස්තියාදු වෙලා නෑ. ඒත් සමහරු කොච්චර කිව්වත් තියෙන බයිසිකලේම අරගෙන එනවා මිසක් පෙර සූජානමක් වෙන්නෙ නෑ. එහෙම ඒවා තමයි ගමන් අතරතුර ලෙඩ වෙන්නෙ.

      පහලට යමු කිව්වෙ පා ගමනින්...මොකද නැග්රැක් බංගලාවට පිවිසෙන මාර්ගයේ රාත්‍රී ගමන් කරන්න අමාරුයි. ඒ තරමට කලුගල් පාර පුරාම. රවුම් යන්න ආසයි...ඒත් වසරකට උපරිම දෙකයි.

      Delete
    3. //ඒ නිසාම කවදාවත් රස්තියාදු වෙලා නෑ. // මද්ද ලා සෙට් එක නම් යන්නෙම 'රස්තියාදු'වේ නේ.. ඒකනේ හොඳ පාරවල් තියෙද්දී කැලෑ පාරවල් වලම ගිහින් ඉල්ලං කන්නේ..

      ආ මට අහන්න අමතක උනා.. උඹ මලියට කතා කරාද මේ ගැන කලින්.. මලිය ලා මද්ද ලා තමයි රෝද දෙකේ රස්තියාදු ටීම් එක.

      Delete
    4. කැළෑ පාරවල් නිසාම නෙමෙයි කමියා....නිසි ලෙස නඩත්තු වෙනවා නම්..කූටර් ලෙඩ දෙන්නෙම නෑ. 2011 ඉදන් ටුවර් යන මම මෙච්චර කාලයකට පැච් එකක් නිසාවත් මග රස්තියාදු වෙලා නෑ.

      මට කාටවත් කථා කරන්න ලැබුනෙ නෑ. අන්තිමෙ මොහොතෙ කරන්න වැඩ කීපයක් තිබුනා..ඒ නිසා අතපසු උනා...ඔබේ සහයෝගයට ස්තූතියි.

      Delete
    5. අපිට ඉතින් ඉල්ලන් කෑම ලෙසටම පිහිටලා ෙන @කල්‍යාණ මිත්‍ර
      //ඒත් සමහරු කොච්චර කිව්වත් තියෙන බයිසිකලේම අරගෙන එනවා මිසක් පෙර සූජානමක් වෙන්නෙ නෑ// කියල කියල ඇතිම ෙවලා තමයි බං මේපාර ෙලාරියක් අරන් යන්න හිතුවෙ.
      අවුරුදු 2 කට නොහැදුන බයික් එක ටුවර් යන්න පටන් අරන් මාස 3න් හැදුව බං ලක්ෂ භාගටෙ වඩා චූට්ටක් වැඩිය වියදම් කරල.

      Delete
    6. මම කූටරේ ගත්ත කාලෙ වගේ නෙමෙයි මද්දා දැන් රැල්ල කූටර් නිසා හැමෝම මුදලාලිලා වෙලා. නොවටිනා ගනන් වලට අමතර කොටස් විකිණීමත් සේවා සැපයීමත් සාමාන්‍ය දෙයක් වෙලා. මම වාසනාවන්තයි ඔය රැලි එන්න කලින් කහ කුරුල්ලගෙ වැඩ ඉවරකරගන්න ලැබීම සහ මිළදී ගන්න ලැබීම. අපි එක්ක මෙදා පාර නැග්රැක් ගිය අනිත් 9 ශ්‍රී එකට මේ වෙද්දි ලක්ෂ දෙකහමාරක් විතර ගිහින් තියෙනවලු. එක සැරයක් එන්ජිම හදලා උගෙන් 25000 ක් අරගෙන...ඔන්න ඕකයි තත්වෙ.

      Delete
    7. මද්දනම් ඉතින් යකඩ අස්පයෙක් නොවැ පදින්නෙ. මද්ද ඉපදුන අවුරුද්දමෙ ඉපදුන එකෙක්.
      ස්කුර් විකුනගන්ත් බැරිවහිටපු අයට දැන් ඒව මැනක් වගේ වෙලා. කොහොමත් කාලෙන් කාලෙට රුලි එනවනෙ ගගන් ගන්න එපා.

      Delete
  8. සිරා ගමනක්, බලංගොඩ තිබිලත් තාම යන්න බැරි වෙච්ච තැනක්. කවද හරි සිහින සැබෑ උනොත් බලමු.

    ReplyDelete
    Replies
    1. අයියෝ බලංගොඩ චණ්ඩියා නේද...ඒ උනාට තවම නැග්රැක් ගිහින් නෑ...කාටද කියන්නෙ මේවා...

      Delete
    2. 30000 ප්‍රශ්නයක් මල පෙරේතයන්ට

      Delete
    3. @ දේශකයා,
      මොකද කියන්නෙ යමුද ආයෙ කන්නෙලිය පැත්තෙ.

      Delete
    4. බයිට් එක බැදපු හුරුල්ලො.

      Delete
  9. යන්න ආස හිතෙන තැනක්. මේ විස්තරය ලිවීම ගැන සිරා කොලුවට මගේ හද පිරි ස්තුතිය...

    ReplyDelete
    Replies
    1. ලොකුපුතාව කාලෙකට පස්සෙ දකින්නට ලැබීම සතුටක්...ස්තූතියි බොට...

      Delete
  10. මෙව්ව නේ බං ගමන්.... පින්තූර ටික ධනුකගෙ ෆේස්බුක් වෝල් එකෙං දැක්කා. මාත් ගියා මේ ගමනම ගිය අවුරුද්දේ. හැබැයි හිරිකටුඔය ඉඳලා පයිං ගියේ... ඒකත් නරකම නෑ හැබැයි.
    ඕං මගේ ගමන
    http://sobaroo.blogspot.com/2017/07/waterfall-hunting-in-sabaragamuwa.html

    ReplyDelete
  11. අන්තර්ජාලෙන් මේ බන්ගලාව ගැන විස්තර කියවලා පින්තූර දැක්ක දවසේ ඉදන් අපෙත් හීනයක් තමා මේකට යන එක.මේවා දැක්කම ඉක්මනටම යන්න හිතෙනවා.අපූරු විස්තරයක් පින්තූරත් ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මිතුරිය. අපේ දෑස් දුටු සුන්දරත්වය ඒ ආකාරයෙන්ම කැමරාවේ සටහන් වෙලා නෑ. බංගලාව ඉදිරිපිටදී දකින්න පුලුවන් දර්ශනය දිහා කම්මැලි නැතුව මුලු දවසක් උනත් බලාන ඉන්න පුලුවන්. මීළග නිවාඩුවට නැග්රැක් යන්න දැන්ම වෙන්කරගන්න.

      Delete
  12. Replies
    1. තවමත් බ්‍රෑන්ඩ් එක ගල්ද ? සිරා කොලුවා ලංකාවෙ ඉඳලත් තවම බොලා මුලිච්චි උනේ නෑ. වෙලාවක ගලක් අරන් සෙට් වෙමුද....දුරබණුවෙ අංකයවත් එවන්න..ස්තූතියි බොට...

      Delete
  13. siraawatama siraa..
    thanks for the info ..

    ReplyDelete
  14. Kalekin dapu lassana thanaka . Lassana lipiyak.

    ReplyDelete
  15. සිරාගෙ හැම වැඩක්ම වගෙ පිළිවෙලට ගිහින් පිළිවෙලට විස්තර කරල තියනවා..ස්තුතියි මිත්‍රයා වැදගත් තොරතුරු ටික...

    ReplyDelete
    Replies
    1. ඔබේ අගය කිරීම ගැන ස්තූතියි.

      Delete
  16. සුපිරි.. මේකේ මාතෘකාවට Nagrak Bungalow කියන නම ඉංග්‍රීසියෙනුත් දාපන්.. අපේ සිංහල කියවන්න පුළුවන් උනුත් යමක් අන්තර්ජාලේ සර්ච් කරන්නේ ඉංග්‍රීසියෙන්.. :)

    පෙන්ඩින් ට්‍රිප් ලිස්ට් එකට තවත් එකක් වැටුනා කියහන්කෝ.. :/

    ReplyDelete
    Replies
    1. උපදෙස් වලට ස්තූතියි මිත්‍ර‍යා...ඔබ කාලෙකට කලින් කිව්ව බ්ලැක් පූල් එක පැත්තෙ යන්න වගේම අම්පාර පැත්තෙ මකරයට යන්නත් සිරා කොලුවා දැන් හීන මවනවා.

      Delete
  17. මෙින් මෙයා කලෙකින්...කාලෙකින් උනත් පටිට ලිපියක් අයියේ...ඇති හැකි අයුරින් දිගටම ලියමු....

    ReplyDelete
    Replies
    1. ඉස්සර වගේ ලියන්න වෙලාවක් නෑ මලයො..ලද සැනින් ලියමි...

      Delete
  18. අතර මග තවත් විස්තර ඔින බං

    ReplyDelete
    Replies
    1. අතර මග නෙමෙයි..ආපහු එන ගමනේ විස්තරත් එක්ක ගත්තොත් එහෙම්පිටින්ම තව ලිපියක්...එච්චර දිගට ලියන්න වෙලාවක් නෑ සුදෝ...ඒ නිසා මෙහෙම දැම්මෙ.

      Delete
  19. සිරා සහෝ...
    ඔබට මතකද ඒ දුප්පත් දමිල ජනතව ඔබට දැක්වූ ගෟරවය ආදරය..මෙකෙද මේ ස්කූටර් ටික ඔවුන්ට පුදුම ආශ්වාදයක් උනා.. හැමදාම 4x4 ලොකු වාහන වෙනුවට සුහද මිනිසුන් 12ක් සමග මනරම් ස්කූටර 12ක්..
    අපේ මග නතර උනු ස්කූටර සහොදරයන් කැටුව ඇමිණි තවත් දමිල බයිසිකල් කරැවන් දෙපලක්. මගේ ස්කූටරය තල්ලු කිරිමට ස්වේච්චාවෙන් ඉදිරිපත් වූ දමිල කම්මකරැ⁣ සහෝදරයෙක්
    අපව ආශ්වාදයක් කරගත් ළමා පිරිසක්

    ReplyDelete
    Replies
    1. ඔව්....ඒ මතකය කවදාවත් අපේ සිත් සතන් වලින් ඈත් නොවේවි. සදා නොමියෙන සුන්දර මතකයක්...ස්තූතියි තමරු. ලගඳීම නැවත හමුවෙමු.

      Delete
  20. ස්කුටර් සෙට් එක දෙණියායටත් ඇවිත් ගියා නේද ලගදි. මතකයක් තියෙනවා මගදි මුණගැහුණ බවක්.

    ReplyDelete
    Replies
    1. දැන් විවිධ ක්ලැසික් ස්කූටර් සංගම් විවිධ පළාත් වල බිහිවෙමින් සහ බිහිවෙලා තියෙනවා...ඒ නිසා එවැනි ස්කූටර් චාරිකා දැන් ඉතාම සුලභයි. අපි නම් දෙණියායට ලගදි ආවෙ නෑ.

      Delete
  21. ඔය පාරේ මගක් ගිහින් ෆොටෝ ගැහුව මගුලට කලින්. පුදුම ලස්සනක් තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. සුන්දරත්වය ගැන කියන්න වදන් නෑ....එය සැබැවින්ම ඉතාම චමක්තාරජනක අත්දැකීමක්.

      Delete
  22. අපූරු විස්තරයක්!

    ReplyDelete
  23. අපූරු සවාරියක් ගැන අපූරු සටහනක්!

    ReplyDelete
  24. මාතෘකාව දැක්කාම අදම මේකත් කියවලා යන්න හිතුනා. අපිත් නගරක් බංගලාවේ රෑ දෙකක් ඉඳලා බංගලාව පිටුපසින් තියෙන අඩිපාර දිගේ ලොකාන්තයටත් ගිහින් අසිරිය විඳ ගත්තා.
    ඊට පස්සෙත් කිහිප වතාවක්ම හිරිකටු ඔයෙන් නාන්න ගියාම වෙලාව තිබුනොත් බේකර්ස් බෙන්ඩ් දක්වා ගිහින් එනවා. ඒ ආසාවම තමා මේ post එකට ඉනාව වුණේ. ෆොටෝ ටික වශී වෙහෙතකුත් වෙච්චි!

    ReplyDelete
  25. ඉතාමත් රසවත් විස්තරයක්. යන්නම ඕන ගමනක්. හදවතින්ම ස්තුති ඔබට .

    ReplyDelete
  26. ස්කූටර් ටුවර් එකක් යනවට වඩා ඒක විස්තරාත්මකව ඉදිරිපත් කිරීම අමාරු දෙයක්. ඒක රසවත්ව ඉදිරිපත් කරල තියනව . Good job .👌

    ReplyDelete

සිරාගෙ කාමරයට පැමිණියාට ස්තූතියි...

නැවත දිනයක ආයෙත් එන්න..... ඔබට ජය !

Related Posts Plugin for WordPress, Blogger...