Sunday, October 29, 2017

26 ගල්කඩවල චූටි හීන

සිරා කොලුවා ඇතුලු මිත්තර සම්පත්තිය විසින්, දුෂ්කර පළාත් වල අඩු පහසුකම්, විශේෂයෙන් මූල්‍ය අවහිරතා මැද අකුරු කරන දූ දරුවන් හට සරණක් වීමේ අරමුණින් ඇරඹූ අරුණළු ව්‍යාපෘතිය වටේට දැන් බොහෝ පිරිසක් අත්වැල් බැඳගෙන අවසන්. පහුගිය මාර්තුවෙ දිඹුලාගල කන්දේගමට වැටුන අරුණළු එළියෙන් පස්සෙ තවත් එවැනිම ආකාරයේ සත් කටයුත්තකට දායක වෙන්න සැප්තැම්බර් මාසයේ මුල් භාගයෙදි අපිට හැකි උනා.


අපේ හන්දියෙ කුඩා සන්ධියෙ සිට ජීවත් වෙලා, දැන් කැංගරු දේශයේ කල දවස ගෙවන මධුසංඛ ගොයියා සිරා කොලුවගෙ බොහොම හොඳ හිතවතෙක්. මධුසංඛ මුහුණු පොතේ  හක්කොලං කරන වෙලාවක තමයි බොලාට අද කියන්න යන කාරණේ ගැන මුලින්ම සැල කොලේ.

බොලා මාර්තුවෙ කලා වගේ බොහොම දුප්පත් ඉස්කෝලෙකට උදව් කරන්න මමත් කැමතියි. මගෙ ළමයි දෙන්නගෙ වගේම අම්මගෙ උපන් දින යෙදිලා තියෙන්නෙත් සැප්තැම්බර් මාසෙ, ඒ වෙනුවෙන් අපි යමක් සූජානම් කරමු. මම ලංකාවට එනවා අගෝස්තු අන්තිමේ...

දිඹුලාගලින් පස්සෙ සිරා කොලුවා එක්ක එකදු පහදු වෙච්ච දිලීප මලයට සිරා කොලුවා මධුසංඛගේ පයින්ඩෙ ලබා දුන්නා.  දිලීප කියන්නෙ රත්තරං හදවතක් තියෙන ඉස්තරං කොල්ලෙක්. අහස් දිය පමා වෙලා වැවේ රොන් මඩ පුපුරලා යද්දි, භව බෝග පරඬැල් වගේ හුළගෙ ලෙලදෙන, ජීවිතේ ගැටගහගන්න හතර අතේ කල්පනා කරන, දරිද්‍ර‍තාවෙ පතුලෙ ඉන්න උතුරු මැද පළාතෙ අහිංසක දෙමාපියන්ගෙ දරුවන්ට, අ.පො.ස සා.පෙ ගණිතය විෂයට අඩුම තරමෙ සාමාන්‍ය සාමාර්ථයක්වත් ලබා දෙන්න ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙලා  උගන්වන එක තමා අපේ දිලීප මල්ලිගෙ එකම සැපත. ගණිතයට සාමාන්‍ය සාමාර්ථයක්වත් නැතුව කවුද මේ කොල්ලන්ට කෙල්ලන්ට සේල්ස් ජොබ් එකක්වත් දෙන්නෙ හැබෑට.

දවස් තුන හතර පාසලේම නතර වෙලා. ඩෙස්ක් දෙක තුනක් ලං කරගෙන, කඩදාසි කොළයක් ඒ මත එලාගෙන බොහොම අපහසුවෙන් නිදි සුව විඳලා, බඩට බත් නැතුව දිලීප මල්ලි කරන මේ සටන ගැන ඇත්තමයි සත්තයි මට හරිම ආඩම්බරයි. ඔහු වැනි පුතුන් තව තවත් මේ දෙරණ මත බිහිවේවා කියලා මේ ලිපිය අස්සෙන් පතන්න මම හරි මනාපයි. දිලීප මල්ලි මේ ගමන් බිමන් වලදි ලබන අත්දැකීම් වලින් මෙවැනි ලිපි රාශියක් ලියන්න පුලුවන්. ඒ සමහරක් කථා ඔබ කවදාවත් අසා නැතුවාට කිසිම සැකයක් නෑ.

අතනින් මෙතනට, මෙතනින් අතනට, දිලීපට එක තැනක් කියලා නෑ. මහා අව් කාෂ්ඨකේ දැවෙන, අපේම මිනිස්සුන්ගෙ දූ දරුවන්ටත්, හෙටක් තිබිය යුතුයි කියලා ඔහු තරයේ විශ්වාස කරන නිසා ඒ අය වෙනුවෙන් ඔහු හැමදාමත් නිවසින් ඈතයි. ඔහුගෙ පියානන් නිවන් දැකලා සෑහෙන දොහක් ගතවෙලා. මේ වගේ අතිජාත පුත්‍ර‍රත්නයක් හැදුව මනුස්සයා නිවන් නොදැක කෝමෙයි. ඉඳලා හිටලා දවසක ගෙදර හිටියත් දිලීපගෙ අම්මගෙ හිතේ කොල්ලා ගැන අරියාදුවක් නෑ. තමන්ට පුලු පුලුවන් විදියට උතුර මැද පළාතෙ, අව් කාෂ්ඨකේ පිච්චෙන මිනිස්සුන්ගෙ දරුවන්ට ඔහුගෙන් ඉටුවන සේවය ගැන එතුමිය නිහඬවම ආඩම්බර වෙනවා ඇති.

දිලීප මල්ලි

ඔයින් මෙයින් දිලීප මලයා මට දුන්න පාසල් දෙක පිහිටා තිබුනෙ ත්‍රීකුණාමල දිස්ත්‍රික්කයේ, ගෝමරන්කඩවල පළාතේ ගල්කඩවල කියන ඉසව්වෙ. පළමුවැනි පාසල 1 වසර සිට 5 වසර දක්වා පන්ති පැවැත්වෙන, දරුවො 85 දෙනෙක් ඉගෙනගන්න, ගල්කඩවල කණිෂ්ඨ විද්‍යාලය, දෙවැනි පාසල 1 වසර සිට 11 වසර දක්වා පන්ති පැවැත්වෙන, දරුවො 81 දෙනෙක් අධ්‍යාපනය හදාරන පඹුරුගස්වැව විද්‍යාලය. වෙනසක් නොකර මේ පාසල් දෙකටම හැකි විදියට උදව් කරමු කියන අදහසේ තමා අපේ මධුසංඛ ගොයියා උන්නෙ.

අරුණළු වෙනුවෙන් මේ සත්කාර්යය සංවිධානය කරන වගකීම මගේ කරපිටට වැටුනට පස්සෙ, මම මුලින්ම කලේ පාසල් ද්විත්වයේ අවශ්‍යතාවන් මොනවද කියලා විදුහල්පතිතුමන්ලාගේ මාර්ගයෙන් දැනුවත් වීම.  ඔවුන් සමග සබඳතාව ගොඩනගාගැනීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් ලැබුන සහයෝගයත් බැති සිතින් සිහිපත් කල යුතුයි. අධ්‍යාපන උපකරණ වල හිගකම තමයි වැඩියෙන්ම ඉස්මතු උනේ.

අපේ ඉස්කෝලෙ පරිගණක කීපයක් තිබුනත් ප්‍රින්ටර් එකක් නෑ. හදිසි අවශ්‍යතාවයකට ප්‍රින්ට් අවුට් එකක් ගන්න අපිට කිලෝමීටර් 10 කට කිට්ටුව යන්න උවමනායි. මහත්තුරුන්ට පුලුවන් නම් අපිට ප්‍රින්ටරයක් අරගෙන දෙන්න ඒක අපිට ලොකු උදව්වක්.

ගල්කඩවල විද්‍යාලයේ විදුහල්පති තුමා එහෙම කිව්වම මට පුදුම හිතුනා. අඟහරු මත ජනාවාශ පිහිටුවන්න, සෙනසුරු ග්‍ර‍හයා මත යානා ගොඩබස්සන්න සමත් තාක්ෂණයක් තියෙන ලෝකෙ තවත් තැනක ප්‍රින්ට් අවුට් එකක් ගන්න කිලෝමීටර් ගනනාවක් යා යුතුයි.

පඹුරුගස්වැව විද්‍යාලයට මුද්‍ර‍ණ යන්ත්‍ර‍යක්
ගල්කඩවල විද්‍යාලයට මුදුණ යන්ත්‍ර‍යක් 
විදුහල්පතිතුමන්ලා දෙන්නම මුදුණ යන්ත්‍ර‍ය බැගින් ඉල්ලා සිටියා. ඒ වගේම අපේ වෑයම බොහෝම අගය කලා,  වරින් වර අවශ්‍ය තොරතුරු කාරිය සම්පාදනය කොරද්දි, සිරා කොලුවා වන මම පුරුදු විදියට අරුණළු මගින් වෛද්‍ය සායනයක් පවත්වන්න යුධ හමුදා වෛද්‍ය, මා මිත්‍ර‍ සමින්ද ගොයියත්, ඖෂධවේදී ලක්මාල් ගොයියත් ලං කර ගත්තා. මම හරිම ආඩම්බරයි, මෙවැනි මිත්තරයන් ගැන. ඒ අය රාජකාරි වෙලාවෙන් පස්සෙ ප්‍ර‍යිවට් ප්‍රැක්ටිස් කරලා සල්ලි මිටි බඳින්නෙ නෑ. රජයෙන් අපිට ගෙවන ගාන අඩුපාඩුවක් නැතුව ජීවත් වෙන්න හොඳටම ඇති බං. නිදහස් අධ්‍යාපනයෙන් අපි ඉගෙන ගත්තෙ. අපිත් දුප්පත් පවුල් වලින් ආපු උන්. අපේ වගකීම අපේ රටට පුලුවන් උපරිමයෙන් සේවය කරන එක. දරිද්‍ර‍තාවයෙ පතුලෙ ඉන්න මිනිහගෙ දුක දැනගන්න අපිත් දුප්පත් විය යුතු නෑ. හදවත ගොඩාක් පොහොසත් නම් ඇත්තමයි ඔබටත් ඔවුන්ගේ දුක හොඳින් දැනේවි.

අද අපි දරන පදවි තානාන්තර නම්බු නාම කිසිවක් නැති අතීතයෙදි, ගම්පහ පුස්තකාලෙ සුදු අරලිය ගහ යට කෙළි කවට සිනහවක ගිලුන සුන්දර මිත්‍ර‍ත්වය අද දක්වාම වෙනසක් නැතුව ආරක්ෂා කරගෙන එන නිසාම සිරා කොලුවා වන මට මේ පිරිස මගේම සහෝදරයො තරමට ලගයි. ඉතින් ඒ හිතවත්කම අරුණළු කියන සංකල්පය යටට ගෙනාවම තවත් සුන්දරයි.

අරුණළු යට නැවත හමුවුන පැරණි මිතුදම

පොඩි උන්ට අපි මොනවද දෙන්නෙ ? මධුසංඛ මුහුණුපොතෙන් තවත් දවසක මගෙන් ඇහුවා.

විදුහල්පතිතුමාලා කියන්නෙ අධ්‍යාපන උපකරණ වල අඩුවක් තියෙනවා කියලා. ඒ නිසා අපි ඒ දේවල් දෙමු. පොඩිම අයගෙ උපකරණ ටික ලස්සන ඉස්කෝල බෑග් එකක දාලා දෙන්න තියෙනවා නම් එයාලා ආශා වෙයි. මම එහෙම කිව්වා.

ඔස්ට්‍රේලියාවෙන් සමහර විට ලංකාවෙ ගානටම හෝ ඊටත් අඩුවෙන් පොඩි අයට හොඳම ඉස්කෝල බෑග් ගේන්න පුලුවන් වෙයි. ඒත් ලංකාවෙ හදන කෙනෙකුගෙන් මේවා ගත්තොත් අපේ කෙනෙක්ටමනෙ මේ බිස්නස් එක යන්නෙ...ඒ නිසා අපිට උවමනා බෑග් ටික ඒ විදියට ගමු. මධුසංඛ එහෙම කිව්වෙ නොරටක වාසය කලත් ඔහුගේ හදවත ලංකාවෙ තියෙන නිසයි. ඒ අනුව අපේ බෑග් ඇණවුම දකුණු පළාතෙ, බෙන්තර පැත්තෙ දිරිය ළඳකට යොමු  කලා. අපේ සත්ක්‍රියාව ගැන විස්තර අහපු ඇය ඉතාම සතුටට පත් උනා විතරක් නෙමෙයි නිෂ්පාදන වියදම විතරක් අරගෙන ලස්සන ලස්සන බෑග් දෙන්න කැමති උනා.

ඇත්තමයි..මට හරිම සන්තෝෂයි මම හදන බෑග් පොඩි අය කරේ එල්ලගෙන ඉන්නවා දකින්න. අනේ ඔයාලා ආධාර දුන්නට පස්සෙ මටත් බලන්න ඒ අයගෙ පින්තූර එවන්න. මගේ බෑග් කරේ එල්ලගෙන ඉන්න පුංචි කොල්ලො කෙල්ලො. ඇයට තිබුනෙ අහිංසක ආශාවක්.
 


පීපල්ස් පාක් එකේ ශෂී කලින් වතාවෙ වගේම මේ වතාවෙත් අධ්‍යාපන උපකරණ ලැයිස්තුව සකස් කරලා බොහොම අඩු මුදලට ඒවා අපිට ලබා දුන්නා. ඔහු සේවය කරන ආයතනය මේ එක් එක් වර්ග පිටරටින් ගෙන්වලා තොග පිටින් අළෙවි කරණ ආයතනයක්. සිංහල අමාරුවෙන් කථා කලත්..වැඩේ අරුණළු නම් ශෂී අපිට උදව් කරන්නෙ හදවතින්මයි.

අවශ්‍ය අඩුම කුඩුම සියල්ල මැනවින් සම්පාදනය කරගෙන, පහුගිය සැප්තැම්බර් මාසෙ දවසක අරුණළු අපිත්, මධුසංඛ සහ පවුලේ උදවියත් ත්‍රී කුණාමලය බලා පිටත් උනා. මුලතිව් යුධ හමුදා කඳවුරකින් පිටත් වෙලා නිවසට ඇවිත් දෙපැයක් නිදාගන්න නොලැබුන මගේ වෛද්‍ය මිත්‍ර‍යත් කලින් පොරොන්දු උනා වගේම නෑ බෑ නොකියා ගමනට එකතු උනා. ඔය පැතිවල පොඩි අයට විතරක් නෙමෙයි වැඩිහිටියන්ටත් චර්ම රෝග අධිකයි. ඒ නිසා ඒවට ගැලපෙන බෙහෙත් වැඩියෙන් දා ගනින්. අපේ ඖෂධවේදි ලක්මාල් වෙත වෛද්‍ය උපදෙස් ලැබුනෙ එහෙමයි.

අපේ පුතා ඉයන් ලැබුනට පස්සෙ මගේ නෝනා මුලින්ම ලංකාවට එන්නෙ මේ වතාවෙ අවුරුදු 4 කට පස්සෙ. අපේ පුතා ඉයන් මුල්ම වතාවට තමයි මේ ලංකාවට ආවෙ. මට පෙන්වන්න ඕනෙ ඔස්ට්‍රේලියාවෙ එයාලට තියෙන පහසුකම් කොච්චරක්ද කියන එක. ඒ පහසුකම් වලට ගොඩාක් අඩු පහසුකම් යටතේ ලංකාවෙ අයියලා අක්කලා ඉගෙන ගන්න මහන්සි වෙන විදිය.  මට ඕනෙ එයාවත් එයාගෙ තාත්තා වගේ අනාගතේ දවසක මේ රටේ අසරණ මිනිස්සු වෙනුවෙන් යමක් කරන මිනිහෙක් බවට පත් කරන්න. මධුසංඛ නුවර එළි ශීතල අස්සෙ බස් රථය ඇතුලෙදි එහෙම කිව්වා. ඔහුගේ ඥාති සමූහයාගෙන් බොහෝ පිරිසක් මේ ගමනට එකතු වෙන්නෙ පෙරදා අළුයම වනතෙක් පොඩි උන්ගෙ තෑගි ටික අපූරුවට පාර්සල් කරලා තිළිණ වෙච්ච නිදිමත වගේම මහන්සියත් දරාගෙන.

ආධාර වැඩසටහනට කලින් දවසෙ අපි ත්‍රීකුණාමලයෙ නවාතැන් ගත්තා. එතැන ඉදන් අපෙන් ආධාර ලැබෙන පාසල් වලට තියෙන්නෙ සීමිත දුරක්. අපිට පොඩි උන්ව රස්තියාදු නොකර වෙලාවටම යන්න පුලුවන්.

ඉරිදා කියන්නෙ දහම්පාසල් දවස. අද ළමයි දහම් පාසල් යන්නෙ නැතුව ඉස්කෝලෙට ගෙන්න ගන්න මම හාමුදුරුවන්ගෙන් අවසර ගත්තා. උන් වහන්සේත් පාසලට වඩිනවා. ගල්කඩවල විද්‍යාලයෙ විදුහල්පතිතුමා දුරබණුවෙන් දවසක්දා මට එහෙම කිව්වා.

නායක හිමියන්

ත්‍රීකුණාමලයෙදි ගත වෙච්ච අරුණළු අපේ රාත්‍රිය හරිම සුන්දරයි. ත්‍රී කුණාමලය ජැටිය අයිනට වෙලා නිහඩ පරිසරයට අපෙන් එකතු උන ගීතාවලියට අත්වැල සැපයූවෙ තාලයකට බිඳෙන සයුරු රළ පමණයි.. ඉස්සර පෙම්වතුන් වෙච්ච, දැන් ප්‍රිය බිරිඳ සැමියා විදියට, දරු සුරතල් විඳිමින් එක වහළක් යට දිවි ගෙවන ජෝඩු කීපයක්ම මෙතන ඉන්නවා. ඒ ඇත්තන් තමන්ගෙ යටගියාව, ගැන මෙනෙහි කරන මතකයන් හරිම අපූරුයි.

ලංකාවෙ පාසල් යන කාලෙ පෙරදිග තූර්ය වාදක ඛණ්ඩයකට තම්මැට්ටම් ගහපු නිසාම මධුසංඛට ඉතාම අපූරුවට කොංගෝව වාදනය කරන්න පුලුවන්. ඔහු රහට වාදනය කරද්දි ඒ රාත්‍රිය වඩ වඩාත් සුන්දර එකක් උනා. කරදිය සුවඳ මුසුවෙච්ච කාක දූපත පැත්තෙන් හමන මන්ද මාරුතයෙ සිහිලසත්, අපිට ඉහළින් අප දෙස බලා උන්නු තරු වියනත් අපේ ප්‍රේක්ෂකයන් වාගෙයි.

සෙනසුරාදාවක ත්‍රීකුණාමලයට ගියපු අපිට ඉරිදා දවසට අරුණළු නැගුනෙ අළුත් බලාපොරොත්තු රාශියක් හදවතේ පුබුදමින්. සුනංගු නොවී පළමු පාසලට යන්නයි අපේ වෑයම. පුංචි පුංචි බලාපොරොත්තු පොදිබැදගෙන අප එන මග දෙස නෙත් යොමාගෙන බලා ඉන්න පුංචි හිත් රස්තියාදු කරන්න අපිට හිත දෙන්නෙ නෑ. පොඩි අයට අපි එහෙන් එද්දිම ටොෆී ගෙනාවා. මධුසංඛගෙ ප්‍රිය බිරිඳ පියුමි විවිධ වර්ගවල ටොෆී ඇතුලත් පාර්සලයක් තමන්ගෙ ලගින් තියාගත්තා.


වෙස් නැට්ටුවො, තූර්ය වාදක කණ්ඩායම්, ටයිපොලු හිරකරගත්ත සර්ලා, හැට්ට කර යටටම කපපු, කොණ්ඩෙ රීබොන්ඩ් කරපු ගුරුතුමියො මේ පාසල් වල නෑ. ඒ නිසා ඔවුන් චාරිත්‍රානුකූලව බුලත් අතක් බැගින් දෙමින් අපේ ඇත්තන්ව පිළිගත්තා. අප පාසලට පිවිසෙන මග දෙපස පොඩි උන් අත්පුඩි තලමින් හිනැහුනා.

පොල්තෙල් පහන් සිල දල්වලා නායක හාමුදුරුවන්ගෙ අනුශාසනාවටත් සවන් දුන්නට පස්සෙ, තේ බීලම ඉමුද මහත්තුරු, නැත්නම් තේ නිවේවි. බුලත් කහටින් දුර්වර්ණව ගිය දසන් දක්වා විදුහල්පති රංජිත් මහතා සිනහා උනා. එතුමා ලඟ ගැමි සුවඳ ඕනෑවටත් වඩා තිබුනා. මොන තරම් අව්‍යාජ මිනිස්සුද මේ...මට එහෙමයි හිතුනෙ. ගල්කඩවල විද්‍යාලයේ පුංචි තේ මේසය එයාලගෙ හැකියාවෙ හැටියට සැරසිලා. මේ කලාපෙ කොහෙ ගියත් ආගන්තුක සත්කාර වලින් නම් ඉතින් අඩුවක් නෑ.

තේ පානයෙන් පස්සෙ ගුරුවරුන්, දෙමාපියො, පුංචි දරුවන් හැමෝම පන්ති කාමර 3 ක් වෙන් කරන බෝඩ් ලෑලි අයින් කරලා හදපු උත්සව ශාලාවෙ අසුන් ගත්තා. මේ පාසලින්ම ඉගෙන ගෙන අද ඒ පාසලේම ගුරුවරියක් ලෙස කටයුතු කරන මහත්මියක් තමන්ගෙ ළමා කාලය, ගමේ වටපිටාව, යුද්ධය ආදිය ගැන පැවසූ කරුණු බොහොම සංවේදියි. ගං වතුර ගලන කාලෙට ගෙදරට අදින ගවුම පිටින් ඉනවටක් වතුරෙ බැහැලා ගිහිල්ලා එගොඩවෙලා තමයි සුදු ගවුම ඇදගෙන අපි ඉගෙන ගන්න ඉස්කෝලෙ ගියෙ. ඇගේ නෙත් අග දිලිසෙන පුංචි කදුලු බින්දුවක් උත්සව ශාලාවෙ ඉදිරි පෙලේ අසුනක උන්නු සිරා කොලුවට පෙනුනා.

මේ පාසල් වලට මේ පරිසරයෙන්ම ගුරුවරු පත්කරන්න කියලයි අපි රජයෙන් ඉල්ලන්නෙ. පිටින් එන ගුරුවරුන්ට මේ පරිසරයෙ ඉන්න හිත් දෙන්නෙ නෑ. එයාලා ආව වේගෙට වඩා වේගෙන් ආපහු යන්නයි කැමති. අපේ ඉංග්‍රීසි ගුරුතුමිය සේවයට ආව අලුත නිතරම එයාට හිමි නිවාඩු ගත්තා. ඊට පස්සෙ ප්‍ර‍සූත නිවාඩු ගත්තා. ඊට පස්සෙ අඩ වැටුප් නිවාඩු ටික ගත්තා. දැන් වැටුප් රහිත නිවාඩු ටිකත් ඉල්ලුම් කරලා. දරුවො ගැන කැක්කුමක් නැති ගුරුවරු අන්න එහෙමයි මහත්තයො. විදුහල්පති තුමා එහෙම කිව්වා.

මේ කථාවලින් පස්සෙ අරුණළු වෙනුවෙන් මේ පුංචි කොලු පැටව්, කෙලි පැටව් ධෛර්යමත් කරමින් අපි කථා කලේ. ගැටලු හමුවේ පසුබා යන්නෙ නැතුව උත්සාහයෙන් ඉගෙන ගන්න කියන පණිවිඩේ තමයි අපට දෙන්නට අවශ්‍ය උනේ.

අරුණළු කන්දේගම වැඩසටනේදි අප මිත්‍ර‍ නුවන් කුලසේකරට හැඬුම් ආවා වගේම, මා මිත්‍ර‍ මධුසංඛටත් ඔහුගේ කථාව තුල වඩාත් සංවේදී වූ අවස්ථාවක් තිබුනා. මගේ දෙමාපියොත්, මගේ බිරිඳගේ දෙමාපියොත් අද අපි මේ කරන කටයුත්ත දිහා බලාන බොහෝ සතුටු වෙනවා ඇති. ඔහු එලෙස පවසද්දි සභාගැබේ උන්නු ඔවුන්ගේ දෙමාපියන් ඉතාම සංවේදීව ඔහු දෙස බලාන උන්නා. ඇතැම් වෙලාවට අපට දැනෙන මිනිස් හැගීම් විස්තර කරන්න වචන නෑ.

මධුසංඛ

1 වසරෙ ඉදන් පිළිවෙලට ත්‍යාග ප්‍ර‍දානය ආරම්භ උනා. ඉයන් වගේම ඉයන්ගෙ අක්කා එලිසාත් මේ පුංචි යාලුවන්ට තෑගි බෙදාදෙන්න බොහොම කැමැත්තෙන් දායක උනා. පුංචි දරුපැටව් හරිම ආශාවෙන් මේ තෑගි දෝතින් බදාගන්නකොට ඒ අයගෙ සතුට අපිටත් දැනෙනවා වාගෙයි.



බලන්න මේ පුංචි පුතාගෙ සතුට....


නංගි ඔයාගෙ නම මොකක්ද ? කටකාර කොලුවෙක් එලිසාගෙන් ඇහුවා...

එලිසා...

හෙ හෙ...ඒ මොන ජාතියෙ නමක්ද....ඒ.. පොඩි උන් රෑන කොක්හඩලා හිනාවෙන කොට එලිසත් ඒ හිනාවටම එකතු උනා.

එලිසා

ත්‍යාග ප්‍ර‍දානෝත්සවයට සමගාමීව විදුහලේ පන්ති කාමරයක අපේ වෛද්‍ය තුමා නිහඩවම වෛද්‍ය සායනය ආරම්භ කොට තිබුනා. දරුවන්ට වගේම දෙමාපියන්ටත්  එය විවෘතව තැබූ නිසා බොහෝ පිරිසකට සෙත සැලසුන බැව් නොකියාම බෑ.

වෛද්‍ය සායනයේ තමන්ගේ වාරය එනතුරු සිටින මවුවරුන් පිරිසක්


දිලීප මල්ලි එයාගෙ අනුග්‍ර‍හයෙන් ලබාදුන්න තෑගි දුන්නෙ පුංචි තරගයක් දෙකක් තියලා..පාසල් ක්‍රීඩාපිටියෙදි. මෙවැනි ක්‍රියාකාරකම් සඳහා මේ දරුවන්ගෙ තියෙන උනන්දුව ඉතාම ඉහළයි. ඔවුන්ට නැත්තෙ ඒ සඳහා අවස්ථාවන්.


ඉයන් සහ එලිසා අනෙකුත් දරුවන් සමග දීලීපගේ ක්‍රියාකාරකමක

මේ කටයුතු වලින් පස්සෙ දිවා ආහාරය පිළිගැන්වුනා. ගමේ ක්‍ර‍මයට, අපට ලැබුන ආහාර වේල ඉස්තරම්. ඔවුන්ගෙන් රහ බලපු තිබ්බටු කරියෙ රස තවම අමතක නෑ.

ආහාර භුක්තිවිදීමෙන් පස්සෙ අපි රෑ බෝ වෙන්න කලින් පඹුරුගස්වැවට ආධාර බෙදන්න යන්න සූජානම් උනා. අපව එහි කැඳවාගෙන යනු පිණිස එම විද්‍යාලයේ විදුහල්පති ජයතිලක මහතා ගල්කඩවල විද්‍යාලයට පැමිණ තිබුනා. ගල්කඩවල ජනාවාශ කොටස පසුකලාට පස්සෙ ගුරුපාර දෙපස ඝනව වැඩුන කැළෑවක් පමණයි අපට ඉදිරියෙන් දකින්නට තිබුනේ. මෙලෙස කිලෝමීටර් 6 - 7 ක් පමණ දුරක් හුදෙකලා වූ වන පියස දිගේ යා යුතුයි.

යුද්ධය තිබුන කාලෙ 17 වතාවක් මේ පාරෙදි හමුදාවෙ වාහන වලට කොටි ගැහුවා. ජයතිලක මහතා බොහොම දොඩමළුයි. තව ටික කාලෙකින් යාන් ඔය ව්‍යාපාරය පටන් ගත්තම මේ පළාතම ජලයෙන් යට වෙනවා. අපේ ඉස්කෝලෙත් එක්කම. ගල්කඩවල ඉස්කෝලෙ යට වෙන්නෙ නෑ.  එ් වෙනකොට රජය අපේ  පාසල වෙනත් තැනකට අරගෙන යන්නයි සැලසුම් කරලා තියෙන්නෙ. අපේ පාසල තියෙන ඉසව්වෙ අඩි 20 ක් විතර උසට වතුර කඳක් තියේවි.

එතකොට මේ ගස්කොළන් වලට මොකද වෙන්නෙ. බලන්න රූස්ස ගස් බොහොමයක් තියෙනවනෙ. විදුහල්පතිතුමාගෙන් මම ඇහුවා.

එකක්වත් කපන්නෙ නෑ කිව්වා. ඔහොමම ජලයට යට කරනවලු. ඔය ගස්වලින් අන්තිම මොහොත වෙනකම්ම මොන තරම් ඔක්සිජන් කන්දරාවක් මේ පරිසරයට මුදා හරිනවද...

පඹුරුගස්වැව විද්‍යාලයෙ දරුවො සියල්ලම අප එහි ගිය මග දෙපස රැස්වෙලා බොහොම ආදරයෙන් අපව පිළිගත්තා. ත්‍යාග ප්‍ර‍දානෝත්සවය බොහොම මැනවින් සංවිධානය කරලා තිබුනා විතරක් නෙමෙයි. එයාලට ආධාර අරගෙන එහි ගිය අපව පිනවන්න විවිධ නාට්‍යමය අංග පවා ඔවුන් සූජානම් කොට තිබුනා. ඔවුන්ගේ රංගන වින්‍යාසය ඉතාමත් විශිෂ්ඨයි.

නාට්‍ය අංගයක්

පඹුරුගස්වැව විද්‍යාලය

පාසල් ද්විත්වයේම ගුරුවරුන්ට මධුසංඛ යුවල අත්ඔරලෝසු පරිත්‍යාග කලා. මේ දුෂ්කර පරිසරයෙ ඉඳලා මේ දරුවන්ගෙ ඇස් පාදන්න මහන්සි වෙන ගුරුවරුන්ගෙ සේවයත් අපිට පුලුවන් විදියට අපි අගය කරලා එයාලව දිරිමත් කරන්න ඕනෙ. මධුසංඛගෙ අදහස එහෙමයි. ගුරුවරුන්ට අමතරව පඹුරුගස්වැව විද්‍යාලයේ මුර මාමටත් අපි අත්ඔ රලෝසුවක් දුන්නා

පියුමි
ත්‍යාග ප්‍ර‍දානෝත්සවයෙන් පස්සෙ තේ පානය ආරම්භ උනා. ඒ කාරිය අහවර උනාම වෛද්‍ය සායනය පටන් ගත්තා. ඇස් රෝග ඉතාම සුළභව එහි පැවතුනා.

දෙමාපියන්ට දැනුමක් නැති වීම, උවමනාවක් නැති වීම, ආසන්නම රෝහල වූ ගෝමරන්කඩවලට කිලෝමීටර් 20 කටත් වඩා දුර ගමන් කල යුතු වීම, බස් ගමනාගමනයක් සහිත මාර්ගයක් නොවීම, යහපත් සෞඛ්‍ය පුරුදු පිළිබද නොදැනුවත් කම...අපේ වෛද්‍ය තුමාට අනුව මේවා තමයි හේතු.


පඹුරුගස්වැව දරුවන් අතරින් එක් දරුවෙකු ඉතාම දැඩි ලෙස ඇස් රෝගයට ගොදුරුව සිටියා. ඔහුගෙ ඇස් රතු වී ඉඳි මී තිබුනා.

මෙයාට දෙන්න මා ලග බේතක් නෑ. ඉතාම ඉක්මනින් ඉස්පිරිතාලෙට අරගෙන යන්න. වෛද්‍ය සමින්ද ඒ දරුවගෙ මවට එහෙම කිව්වා. ඔවුන් එතැනින් පිටත් උනාට පස්සෙ..

පව් බං...ඒ ළමයා...ඇස් ලෙඩේ හොදටම වැඩිවෙලා... එහෙම කියලා ඔහු නිහඬ උනා.

අපේ ලක්මාල් ගොයියත් වෛද්‍ය තුමා ලියන බේත් තුංඩුවට බේත් ටික කඩදාසි කවරයට දාලා විතරක් නැවතුනේ නෑ. ඔහුට හැකි විදියට යහපත් සෞඛ්‍ය පුරුදු ගැන දෙමාපියන් දැනුවත් කලා. මේ වතාවෙ ලක්මාල් ගොයියගෙ සහායට කවර වලට බෙහෙත් දාන්න සිරා කොලුවා සමග 1 වසරෙ සිටම අධ්‍යාපනය ලබපු උදිතත් එකතු උනා. ඔහු දැන් ලංකාවේ ප්‍ර‍මුඛ මෘදුකාංග ඉංජිනේරුවෙක් වුවත් අරුණළු හෙවනෙදි තවමත් පැරණි මිත්‍ර‍යාම තමයි.

 සමින්ද

ලක්මාල්

උදිත
ඔයින් මෙයින් සියලු කටයුතු අහවරයි. අපි ප්‍රාර්ථනා කරපු විදියටම හැම දේම හොඳින් සිදු උනා. යහපත් ක්‍රියාවක නිරත උනාට පස්සෙ දැනෙන සතුටින් අපේ හිත් පිරිලා. නිවෙස් බලා යන්න අපේ බස් රථය නැවතත් ගල්කඩවල විද්‍යාලය දෙසට ගුරුපාරෙ ධාවනය වෙනවා.

පඹුරුගස්වැව විද්‍යාලයේදී

මාවත අද්දර හුදෙකලා නිවසකින් ගැමි ළඳක් ඉක්මනින් මාවත අද්දරට එනවා රථයේ ප්‍ර‍ධාන කවුළුවෙන් අපි අඩ අඳුර මැදින් දැක්කා. ඇය අතේ ඉටි කවරයක දිවුල් පාර්සලයක්.

අපේ දරුවන්ට ලගටම ඇවිත් තෑගි දුන්නට ස්තූතියි. මට පුලුවන් විදියට මමත් ඔයාලට තෑගි දෙනවා. ආ ගන්න...මේවා ඔයාලගෙ දරුවන්ට දෙන්න අරගෙන යන්න. ඇගේ කථා කරන යුග දෙනෙත සිනාසුනා.

වැඩසටහන අවසානයේ  පඹුරුගස්වැව විදුහල්පතිතුමාගේ නික්ම යාම






මම කාමරේ අරින සිරා කොලුවා.


ප.ලි


ලියන්නට බොහෝ දෑ ඇතිමුත්, අතීතයේදී මෙන් ලියාගන්නට කාලය නොමැති සඳ, කාමරයට එන යන ඇත්තන් මා පිළිබඳ කමා කරත්වා.


හිතාදර මධුසංඛ, ඔබත් මේ ලිපිය කියවනු ඇතැයි සිතා මේ කොටස මෙහි සටහන් කරමි. මේ පාසල් ද්විත්වයේ දරුවන් වෙනුවෙන් ඔබ වැය කල මුදලින්, ඉහළම හෝටලයක සුපිරි උපන් දින සාදයක් දැමීමට හෝ, වෙනත් රටක සංචාරයක් කිරීමේ හැකියාව පැවතුන බැව් අපි දන්නවා. එහෙත් එවන් හරසුන් දෑ වෙනුවට මෙවැනි යහපත් කාර්යයකට දායක වීමට අප සමග අත්වැල් බැඳ ගැනීම පිළිබඳ සිරා කොලුවා වන මාගේ හෘදයාංගම ස්තූතිය මෙයින් පුද දෙමි. ඔබ වැනිව සිතන සුන්දර මිනිස් හදවත්, මේ ලෝකය තවත් සුන්දර කරනු ඇත. ජරා ජීර්ණව ගිලන් වූ මේ සමාජය පුරා අපට හැකි විදියට මිනිසත් බව බෝ කරමු.

මේ වැඩසටහන අතරතුර මධුසංඛගේ ඔස්ට්‍රේලියානු ලිපිනය ලියාගත් පුංචි එවුන් තම විදුහල්පතිතුමාගේ නිළ මුද්‍රාව සහිතව යැවූ ලිපි රාශියක් අතරින් කීපයක්. මෙවැනි ප්‍ර‍තිචාර මේ පුංචි හදවත් තුලින් පැන නැගෙන කල අරුණළු අප තව තවත් ධෛර්යමත් වන බැව් රහසක් නොවේ.










26 comments:

  1. අගෙයි සිරා.. උඹලගෙ කැපවීමට රෙස්පෙක්ට්

    ReplyDelete
  2. නියමයි සිරා... ඊලග පාරක මාවත් දැනුවත් කරන්න.. දිගටම කරගෙන යන්න. මෙන්න මේක අපි කරපු පොඩි වැඩක්
    https://thadiya1.blogspot.com/2017/08/blog-post_21.html

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මිත්‍ර‍යා..වසරකට වරක් අප ඔබ සියල්ලන්ම දැනුවත් කරනවා...නිවාඩු වෙලාවක නිසැකවම ඔබ කියවමි.

      Delete
  3. උඹල වගේම මටත් කඳුලු ආව බං..!
    මම ගියේ අපේ ගමේ ඉස්කෝලෙට..(දැන්නම් ටිකක් ලොකු ඉස්කෝලයක්...හැබැයි විනය අතින් පිරිහුනු)
    ඒත් මගේ දුව යන්නෙ..කොලඹ ඉස්කෝලෙකට...ඒත් මචං ගම්වල ඉස්කෝලවල සුවඳ තාමත් මට දැනෙනව...මේව දැක්කම පපුව මෙව්ව වෙලා යනව...
    සත්තකින්ම මේ වගේ වැඩ සටහනකට අනාගතේදී සම්බන්ද වෙනවාමයි...දැන්ම බෑ මචං එච්චර හය්යක් නෑ...ලමයින්ගෙ වැඩත් එක්ක.
    උබලට අපේ භක්තියක් මෙව්ව එකත්...)))))))))

    ReplyDelete
    Replies
    1. කාලෙකට පස්සෙ වීයව නැවත දකින්නට ලැබීම සතුටක්. ගම්පහ ගෙට්ටුවෙන් පස්සෙ අපි දෙන්නා මුලිච්චි උනේම නෑ නේද ? පිරිස එකතු උනාම ඔය නෑ කියන ශක්තිය අපූරුවට ලැබෙනවා. මේ සමාජයෙ තනියෙන් යමක් කරන්න අමාරුයි...පොදුවේ කරන්න හැකියි.

      Delete
  4. මේවගේ සත් ක්‍රියා වටින්නේ මේවායේ අරමුණු පිරිසිදු නිසයි. ඊළඟ පාර වැඩක් කරද්දී පොඩ්ඩක් දැනුවත් කරන්න. මගේ පියා වෙනුවෙන් දෙයක් කරන්න මම කැමතියි. අර ළමයි ඔබට ලිපි ලියන්නේ අවංක හදවතින්මයි මම මෙවැනි දේ ගැන දැනුවත් වෙන්නේ මගේ පියා යුධ සමයේ මෙවැනි සවිධාන වලින් ආවහම ඔවුන් වෙනුවෙන් සියල්ල සපයා දීම් කරන්නට ඔහු පෙළබුණු නිසා හා ඒවා පිලිබඳ අප දැනුවත් කළ නිසා .
    විචාරක දියණිය

    ReplyDelete
    Replies
    1. විචාරක දියණිය වෙත අනිවාර්යෙන්ම දන්වන්නම්...පුංචි දරුවො ලග බොරුව කියන දේ නැති නිසාම මේ එයාලගෙ අවංකම අදහස් බවට විවාදයක් නෑ.

      Delete
  5. ඇඬෙනව ලොක්කා...
    අගේ ඇති වැඩක්.

    ReplyDelete
    Replies
    1. ඊලග වතාවෙ ඇඩෙන්න කලින් අපි සමග එකතුවෙන්න.

      Delete
  6. විශිෂ්ටයි සිරා...ගිය වතාවෙනම් බ්ලොග් එක හරහා දැනුවත් කල නිසා පුන්ච් පරිත්‍යාගයක් කරන්ට ලැබුනා... මේ වතාවෙ නිහඬවම නමුත් ඉතාම ඉහලින් වැඩේ කරල තියනවා,,,ආයෙමත් වැඩක් කරනකොට මතක් කරන්ට...උඹ වගේ එකෙක් වැඩක් කරාම සම්මතේට අය වැයවල් ඉල්ලන්නෙ නෑ

    ReplyDelete
    Replies
    1. අපි වසරකට වරක් තමයි අපේ හිතවතුන්ගෙන් ආධාර ඉල්ලලා ප්‍ර‍සිද්ධ කරන්නෙ. වසර පුරාම ආධාර ඉල්ල ඉල්ල මිනිස්සුන්ට කරදර කරන්න අපි කැමති නෑ. එලෙස ආධාර කරන මීළග වතාවෙ නිසැකවම දන්වමි. ස්තූතියි මිත්‍ර‍යා...අපේ පොදු ආධාර මත සිදුවෙන හැම වැඩකදීම අයවැය ඉදිරිපත් කිරීම අනිවාර්යයි.

      Delete
  7. මේක නම් සිරාම වැඩක් බං
    අපිත් එක පාරක් කලා CSR එකක් අනුරාධපුර ගල්කඩවල ඉස්කෝලෙට
    ඒකත් මේ වගේම ඉස්කෝලයක්

    ReplyDelete
    Replies
    1. ඔය කලාපෙ බොහොමයක් පාසල් ඔහොම තමා...ගොඩනැගිලි තිබුනට මානව සම්පත හිගයි...ඒ නිසා සමහර විෂයන් ඉගෙනගන්න ඒ දරුවන්ට හැකියාවක් ඇත්තෙම නෑ.

      Delete
  8. සිරා වැඩක්.
    දිගටම අරුණලු විහිදේවා.....!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මනෝජ්....හැකි තරම් අරුණළු විහිදුවන්නයි අපේ මේ වෑයම...

      Delete
  9. පාන්කිරිත්තා (මධුසංඛ). උබ ගැන හරිම ආඩම්බරයි බන්. මේ වගේ යහපත් කටයුතු කරන්න ශක්තිය, දෛර්ය, බලය තව තවත් ලැබෙන්න කියල හදවතින්ම ප්‍රාර්තනා කරනවා.

    සිරා. අයෙත් මේ වගේ දෙයක් කරද්දී අපිවත් දැනුවත් කරන්න කියල ඉල්ලා සිටිනවා. ලක්ෂ ගණන් වලින් බැරි උනත්, හැකි පමණින් සහයෝගයක් ලබාදෙන්න හරිම ආසයි යකෝ. අය වැයවල් ඉල්ලන උන්ට වැලක් හොයාගෙන එල්ලෙන්න කියපන්.

    මීට වැඩිය කියන්න බැ බන්. මගේ ඇස්දෙකේ කදුළු පිරිලා.

    ReplyDelete
    Replies
    1. මධුසංඛගේ මිතුරෙක් විය යුතුයි.ආධාර කරන හැගීම මිස ඔබ ආධාර කරන මුදල නෙමෙයි වැදගත් වෙන්නෙ. එවැනි හැගීමක් සහිත මිනිස්සු තමයි අරුණළු වටේට හැමදාමත් හිට ගත්තෙ. ස්තූතියි ඔබේ කාරුණික අදහස් වලට...

      Delete
  10. මචෝ එක හුස්මට කියෙව්ව. ෂෙයා කළා ඈ...

    දිගටම මේ වගේ දේවල් කරන්න උඹලට දිරිය ලැබේවා!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි බොලාට...ඊලග වතාවක හරි අපි මුලිච්චි වෙමු.

      Delete
  11. තවත් මෙි වැනි සත්කාර කරන්න හයිය...ලැබෙිවා..අයියේ..

    ReplyDelete
  12. ඔන්න එහෙනං සිරාගේ කාමරයටම මාත් එබුණා, සිරා කොල්ලො සෙට් එකක් කරපු සිරාම සිරා වැඩක් නෙව !

    බොහොම අගේ කරනවා මේ වැඩේ, එන පාර වැඩේට පුළුවන් විදිහට එකතු වෙන්න බලන්නම් !

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔබට..අනාගතයේ දවසක, අපි යලිත් මෙවැනි ක්‍රියාවක නිරත වෙන දවසක අපි එක්ක එකතු වෙන්න.

      Delete
  13. එල ද බ්‍රා මචො...දවසක එන්නම් මමත්

    ReplyDelete
    Replies
    1. අනිවා...බ්‍රෑන්ඩ් එක ගල්...ඊට කලින් අපි මුණගැහුනොත් නරකද...

      Delete

සිරාගෙ කාමරයට පැමිණියාට ස්තූතියි...

නැවත දිනයක ආයෙත් එන්න..... ඔබට ජය !

Related Posts Plugin for WordPress, Blogger...