Sunday, October 29, 2017

26 ගල්කඩවල චූටි හීන

සිරා කොලුවා ඇතුලු මිත්තර සම්පත්තිය විසින්, දුෂ්කර පළාත් වල අඩු පහසුකම්, විශේෂයෙන් මූල්‍ය අවහිරතා මැද අකුරු කරන දූ දරුවන් හට සරණක් වීමේ අරමුණින් ඇරඹූ අරුණළු ව්‍යාපෘතිය වටේට දැන් බොහෝ පිරිසක් අත්වැල් බැඳගෙන අවසන්. පහුගිය මාර්තුවෙ දිඹුලාගල කන්දේගමට වැටුන අරුණළු එළියෙන් පස්සෙ තවත් එවැනිම ආකාරයේ සත් කටයුත්තකට දායක වෙන්න සැප්තැම්බර් මාසයේ මුල් භාගයෙදි අපිට හැකි උනා.


අපේ හන්දියෙ කුඩා සන්ධියෙ සිට ජීවත් වෙලා, දැන් කැංගරු දේශයේ කල දවස ගෙවන මධුසංඛ ගොයියා සිරා කොලුවගෙ බොහොම හොඳ හිතවතෙක්. මධුසංඛ මුහුණු පොතේ  හක්කොලං කරන වෙලාවක තමයි බොලාට අද කියන්න යන කාරණේ ගැන මුලින්ම සැල කොලේ.

බොලා මාර්තුවෙ කලා වගේ බොහොම දුප්පත් ඉස්කෝලෙකට උදව් කරන්න මමත් කැමතියි. මගෙ ළමයි දෙන්නගෙ වගේම අම්මගෙ උපන් දින යෙදිලා තියෙන්නෙත් සැප්තැම්බර් මාසෙ, ඒ වෙනුවෙන් අපි යමක් සූජානම් කරමු. මම ලංකාවට එනවා අගෝස්තු අන්තිමේ...

දිඹුලාගලින් පස්සෙ සිරා කොලුවා එක්ක එකදු පහදු වෙච්ච දිලීප මලයට සිරා කොලුවා මධුසංඛගේ පයින්ඩෙ ලබා දුන්නා.  දිලීප කියන්නෙ රත්තරං හදවතක් තියෙන ඉස්තරං කොල්ලෙක්. අහස් දිය පමා වෙලා වැවේ රොන් මඩ පුපුරලා යද්දි, භව බෝග පරඬැල් වගේ හුළගෙ ලෙලදෙන, ජීවිතේ ගැටගහගන්න හතර අතේ කල්පනා කරන, දරිද්‍ර‍තාවෙ පතුලෙ ඉන්න උතුරු මැද පළාතෙ අහිංසක දෙමාපියන්ගෙ දරුවන්ට, අ.පො.ස සා.පෙ ගණිතය විෂයට අඩුම තරමෙ සාමාන්‍ය සාමාර්ථයක්වත් ලබා දෙන්න ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙලා  උගන්වන එක තමා අපේ දිලීප මල්ලිගෙ එකම සැපත. ගණිතයට සාමාන්‍ය සාමාර්ථයක්වත් නැතුව කවුද මේ කොල්ලන්ට කෙල්ලන්ට සේල්ස් ජොබ් එකක්වත් දෙන්නෙ හැබෑට.

දවස් තුන හතර පාසලේම නතර වෙලා. ඩෙස්ක් දෙක තුනක් ලං කරගෙන, කඩදාසි කොළයක් ඒ මත එලාගෙන බොහොම අපහසුවෙන් නිදි සුව විඳලා, බඩට බත් නැතුව දිලීප මල්ලි කරන මේ සටන ගැන ඇත්තමයි සත්තයි මට හරිම ආඩම්බරයි. ඔහු වැනි පුතුන් තව තවත් මේ දෙරණ මත බිහිවේවා කියලා මේ ලිපිය අස්සෙන් පතන්න මම හරි මනාපයි. දිලීප මල්ලි මේ ගමන් බිමන් වලදි ලබන අත්දැකීම් වලින් මෙවැනි ලිපි රාශියක් ලියන්න පුලුවන්. ඒ සමහරක් කථා ඔබ කවදාවත් අසා නැතුවාට කිසිම සැකයක් නෑ.

අතනින් මෙතනට, මෙතනින් අතනට, දිලීපට එක තැනක් කියලා නෑ. මහා අව් කාෂ්ඨකේ දැවෙන, අපේම මිනිස්සුන්ගෙ දූ දරුවන්ටත්, හෙටක් තිබිය යුතුයි කියලා ඔහු තරයේ විශ්වාස කරන නිසා ඒ අය වෙනුවෙන් ඔහු හැමදාමත් නිවසින් ඈතයි. ඔහුගෙ පියානන් නිවන් දැකලා සෑහෙන දොහක් ගතවෙලා. මේ වගේ අතිජාත පුත්‍ර‍රත්නයක් හැදුව මනුස්සයා නිවන් නොදැක කෝමෙයි. ඉඳලා හිටලා දවසක ගෙදර හිටියත් දිලීපගෙ අම්මගෙ හිතේ කොල්ලා ගැන අරියාදුවක් නෑ. තමන්ට පුලු පුලුවන් විදියට උතුර මැද පළාතෙ, අව් කාෂ්ඨකේ පිච්චෙන මිනිස්සුන්ගෙ දරුවන්ට ඔහුගෙන් ඉටුවන සේවය ගැන එතුමිය නිහඬවම ආඩම්බර වෙනවා ඇති.

දිලීප මල්ලි

ඔයින් මෙයින් දිලීප මලයා මට දුන්න පාසල් දෙක පිහිටා තිබුනෙ ත්‍රීකුණාමල දිස්ත්‍රික්කයේ, ගෝමරන්කඩවල පළාතේ ගල්කඩවල කියන ඉසව්වෙ. පළමුවැනි පාසල 1 වසර සිට 5 වසර දක්වා පන්ති පැවැත්වෙන, දරුවො 85 දෙනෙක් ඉගෙනගන්න, ගල්කඩවල කණිෂ්ඨ විද්‍යාලය, දෙවැනි පාසල 1 වසර සිට 11 වසර දක්වා පන්ති පැවැත්වෙන, දරුවො 81 දෙනෙක් අධ්‍යාපනය හදාරන පඹුරුගස්වැව විද්‍යාලය. වෙනසක් නොකර මේ පාසල් දෙකටම හැකි විදියට උදව් කරමු කියන අදහසේ තමා අපේ මධුසංඛ ගොයියා උන්නෙ.

අරුණළු වෙනුවෙන් මේ සත්කාර්යය සංවිධානය කරන වගකීම මගේ කරපිටට වැටුනට පස්සෙ, මම මුලින්ම කලේ පාසල් ද්විත්වයේ අවශ්‍යතාවන් මොනවද කියලා විදුහල්පතිතුමන්ලාගේ මාර්ගයෙන් දැනුවත් වීම.  ඔවුන් සමග සබඳතාව ගොඩනගාගැනීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් ලැබුන සහයෝගයත් බැති සිතින් සිහිපත් කල යුතුයි. අධ්‍යාපන උපකරණ වල හිගකම තමයි වැඩියෙන්ම ඉස්මතු උනේ.

අපේ ඉස්කෝලෙ පරිගණක කීපයක් තිබුනත් ප්‍රින්ටර් එකක් නෑ. හදිසි අවශ්‍යතාවයකට ප්‍රින්ට් අවුට් එකක් ගන්න අපිට කිලෝමීටර් 10 කට කිට්ටුව යන්න උවමනායි. මහත්තුරුන්ට පුලුවන් නම් අපිට ප්‍රින්ටරයක් අරගෙන දෙන්න ඒක අපිට ලොකු උදව්වක්.

ගල්කඩවල විද්‍යාලයේ විදුහල්පති තුමා එහෙම කිව්වම මට පුදුම හිතුනා. අඟහරු මත ජනාවාශ පිහිටුවන්න, සෙනසුරු ග්‍ර‍හයා මත යානා ගොඩබස්සන්න සමත් තාක්ෂණයක් තියෙන ලෝකෙ තවත් තැනක ප්‍රින්ට් අවුට් එකක් ගන්න කිලෝමීටර් ගනනාවක් යා යුතුයි.

පඹුරුගස්වැව විද්‍යාලයට මුද්‍ර‍ණ යන්ත්‍ර‍යක්
ගල්කඩවල විද්‍යාලයට මුදුණ යන්ත්‍ර‍යක් 
විදුහල්පතිතුමන්ලා දෙන්නම මුදුණ යන්ත්‍ර‍ය බැගින් ඉල්ලා සිටියා. ඒ වගේම අපේ වෑයම බොහෝම අගය කලා,  වරින් වර අවශ්‍ය තොරතුරු කාරිය සම්පාදනය කොරද්දි, සිරා කොලුවා වන මම පුරුදු විදියට අරුණළු මගින් වෛද්‍ය සායනයක් පවත්වන්න යුධ හමුදා වෛද්‍ය, මා මිත්‍ර‍ සමින්ද ගොයියත්, ඖෂධවේදී ලක්මාල් ගොයියත් ලං කර ගත්තා. මම හරිම ආඩම්බරයි, මෙවැනි මිත්තරයන් ගැන. ඒ අය රාජකාරි වෙලාවෙන් පස්සෙ ප්‍ර‍යිවට් ප්‍රැක්ටිස් කරලා සල්ලි මිටි බඳින්නෙ නෑ. රජයෙන් අපිට ගෙවන ගාන අඩුපාඩුවක් නැතුව ජීවත් වෙන්න හොඳටම ඇති බං. නිදහස් අධ්‍යාපනයෙන් අපි ඉගෙන ගත්තෙ. අපිත් දුප්පත් පවුල් වලින් ආපු උන්. අපේ වගකීම අපේ රටට පුලුවන් උපරිමයෙන් සේවය කරන එක. දරිද්‍ර‍තාවයෙ පතුලෙ ඉන්න මිනිහගෙ දුක දැනගන්න අපිත් දුප්පත් විය යුතු නෑ. හදවත ගොඩාක් පොහොසත් නම් ඇත්තමයි ඔබටත් ඔවුන්ගේ දුක හොඳින් දැනේවි.

අද අපි දරන පදවි තානාන්තර නම්බු නාම කිසිවක් නැති අතීතයෙදි, ගම්පහ පුස්තකාලෙ සුදු අරලිය ගහ යට කෙළි කවට සිනහවක ගිලුන සුන්දර මිත්‍ර‍ත්වය අද දක්වාම වෙනසක් නැතුව ආරක්ෂා කරගෙන එන නිසාම සිරා කොලුවා වන මට මේ පිරිස මගේම සහෝදරයො තරමට ලගයි. ඉතින් ඒ හිතවත්කම අරුණළු කියන සංකල්පය යටට ගෙනාවම තවත් සුන්දරයි.

අරුණළු යට නැවත හමුවුන පැරණි මිතුදම

පොඩි උන්ට අපි මොනවද දෙන්නෙ ? මධුසංඛ මුහුණුපොතෙන් තවත් දවසක මගෙන් ඇහුවා.

විදුහල්පතිතුමාලා කියන්නෙ අධ්‍යාපන උපකරණ වල අඩුවක් තියෙනවා කියලා. ඒ නිසා අපි ඒ දේවල් දෙමු. පොඩිම අයගෙ උපකරණ ටික ලස්සන ඉස්කෝල බෑග් එකක දාලා දෙන්න තියෙනවා නම් එයාලා ආශා වෙයි. මම එහෙම කිව්වා.

ඔස්ට්‍රේලියාවෙන් සමහර විට ලංකාවෙ ගානටම හෝ ඊටත් අඩුවෙන් පොඩි අයට හොඳම ඉස්කෝල බෑග් ගේන්න පුලුවන් වෙයි. ඒත් ලංකාවෙ හදන කෙනෙකුගෙන් මේවා ගත්තොත් අපේ කෙනෙක්ටමනෙ මේ බිස්නස් එක යන්නෙ...ඒ නිසා අපිට උවමනා බෑග් ටික ඒ විදියට ගමු. මධුසංඛ එහෙම කිව්වෙ නොරටක වාසය කලත් ඔහුගේ හදවත ලංකාවෙ තියෙන නිසයි. ඒ අනුව අපේ බෑග් ඇණවුම දකුණු පළාතෙ, බෙන්තර පැත්තෙ දිරිය ළඳකට යොමු  කලා. අපේ සත්ක්‍රියාව ගැන විස්තර අහපු ඇය ඉතාම සතුටට පත් උනා විතරක් නෙමෙයි නිෂ්පාදන වියදම විතරක් අරගෙන ලස්සන ලස්සන බෑග් දෙන්න කැමති උනා.

ඇත්තමයි..මට හරිම සන්තෝෂයි මම හදන බෑග් පොඩි අය කරේ එල්ලගෙන ඉන්නවා දකින්න. අනේ ඔයාලා ආධාර දුන්නට පස්සෙ මටත් බලන්න ඒ අයගෙ පින්තූර එවන්න. මගේ බෑග් කරේ එල්ලගෙන ඉන්න පුංචි කොල්ලො කෙල්ලො. ඇයට තිබුනෙ අහිංසක ආශාවක්.
 


පීපල්ස් පාක් එකේ ශෂී කලින් වතාවෙ වගේම මේ වතාවෙත් අධ්‍යාපන උපකරණ ලැයිස්තුව සකස් කරලා බොහොම අඩු මුදලට ඒවා අපිට ලබා දුන්නා. ඔහු සේවය කරන ආයතනය මේ එක් එක් වර්ග පිටරටින් ගෙන්වලා තොග පිටින් අළෙවි කරණ ආයතනයක්. සිංහල අමාරුවෙන් කථා කලත්..වැඩේ අරුණළු නම් ශෂී අපිට උදව් කරන්නෙ හදවතින්මයි.

අවශ්‍ය අඩුම කුඩුම සියල්ල මැනවින් සම්පාදනය කරගෙන, පහුගිය සැප්තැම්බර් මාසෙ දවසක අරුණළු අපිත්, මධුසංඛ සහ පවුලේ උදවියත් ත්‍රී කුණාමලය බලා පිටත් උනා. මුලතිව් යුධ හමුදා කඳවුරකින් පිටත් වෙලා නිවසට ඇවිත් දෙපැයක් නිදාගන්න නොලැබුන මගේ වෛද්‍ය මිත්‍ර‍යත් කලින් පොරොන්දු උනා වගේම නෑ බෑ නොකියා ගමනට එකතු උනා. ඔය පැතිවල පොඩි අයට විතරක් නෙමෙයි වැඩිහිටියන්ටත් චර්ම රෝග අධිකයි. ඒ නිසා ඒවට ගැලපෙන බෙහෙත් වැඩියෙන් දා ගනින්. අපේ ඖෂධවේදි ලක්මාල් වෙත වෛද්‍ය උපදෙස් ලැබුනෙ එහෙමයි.

අපේ පුතා ඉයන් ලැබුනට පස්සෙ මගේ නෝනා මුලින්ම ලංකාවට එන්නෙ මේ වතාවෙ අවුරුදු 4 කට පස්සෙ. අපේ පුතා ඉයන් මුල්ම වතාවට තමයි මේ ලංකාවට ආවෙ. මට පෙන්වන්න ඕනෙ ඔස්ට්‍රේලියාවෙ එයාලට තියෙන පහසුකම් කොච්චරක්ද කියන එක. ඒ පහසුකම් වලට ගොඩාක් අඩු පහසුකම් යටතේ ලංකාවෙ අයියලා අක්කලා ඉගෙන ගන්න මහන්සි වෙන විදිය.  මට ඕනෙ එයාවත් එයාගෙ තාත්තා වගේ අනාගතේ දවසක මේ රටේ අසරණ මිනිස්සු වෙනුවෙන් යමක් කරන මිනිහෙක් බවට පත් කරන්න. මධුසංඛ නුවර එළි ශීතල අස්සෙ බස් රථය ඇතුලෙදි එහෙම කිව්වා. ඔහුගේ ඥාති සමූහයාගෙන් බොහෝ පිරිසක් මේ ගමනට එකතු වෙන්නෙ පෙරදා අළුයම වනතෙක් පොඩි උන්ගෙ තෑගි ටික අපූරුවට පාර්සල් කරලා තිළිණ වෙච්ච නිදිමත වගේම මහන්සියත් දරාගෙන.

ආධාර වැඩසටහනට කලින් දවසෙ අපි ත්‍රීකුණාමලයෙ නවාතැන් ගත්තා. එතැන ඉදන් අපෙන් ආධාර ලැබෙන පාසල් වලට තියෙන්නෙ සීමිත දුරක්. අපිට පොඩි උන්ව රස්තියාදු නොකර වෙලාවටම යන්න පුලුවන්.

ඉරිදා කියන්නෙ දහම්පාසල් දවස. අද ළමයි දහම් පාසල් යන්නෙ නැතුව ඉස්කෝලෙට ගෙන්න ගන්න මම හාමුදුරුවන්ගෙන් අවසර ගත්තා. උන් වහන්සේත් පාසලට වඩිනවා. ගල්කඩවල විද්‍යාලයෙ විදුහල්පතිතුමා දුරබණුවෙන් දවසක්දා මට එහෙම කිව්වා.

නායක හිමියන්

ත්‍රීකුණාමලයෙදි ගත වෙච්ච අරුණළු අපේ රාත්‍රිය හරිම සුන්දරයි. ත්‍රී කුණාමලය ජැටිය අයිනට වෙලා නිහඩ පරිසරයට අපෙන් එකතු උන ගීතාවලියට අත්වැල සැපයූවෙ තාලයකට බිඳෙන සයුරු රළ පමණයි.. ඉස්සර පෙම්වතුන් වෙච්ච, දැන් ප්‍රිය බිරිඳ සැමියා විදියට, දරු සුරතල් විඳිමින් එක වහළක් යට දිවි ගෙවන ජෝඩු කීපයක්ම මෙතන ඉන්නවා. ඒ ඇත්තන් තමන්ගෙ යටගියාව, ගැන මෙනෙහි කරන මතකයන් හරිම අපූරුයි.

ලංකාවෙ පාසල් යන කාලෙ පෙරදිග තූර්ය වාදක ඛණ්ඩයකට තම්මැට්ටම් ගහපු නිසාම මධුසංඛට ඉතාම අපූරුවට කොංගෝව වාදනය කරන්න පුලුවන්. ඔහු රහට වාදනය කරද්දි ඒ රාත්‍රිය වඩ වඩාත් සුන්දර එකක් උනා. කරදිය සුවඳ මුසුවෙච්ච කාක දූපත පැත්තෙන් හමන මන්ද මාරුතයෙ සිහිලසත්, අපිට ඉහළින් අප දෙස බලා උන්නු තරු වියනත් අපේ ප්‍රේක්ෂකයන් වාගෙයි.

සෙනසුරාදාවක ත්‍රීකුණාමලයට ගියපු අපිට ඉරිදා දවසට අරුණළු නැගුනෙ අළුත් බලාපොරොත්තු රාශියක් හදවතේ පුබුදමින්. සුනංගු නොවී පළමු පාසලට යන්නයි අපේ වෑයම. පුංචි පුංචි බලාපොරොත්තු පොදිබැදගෙන අප එන මග දෙස නෙත් යොමාගෙන බලා ඉන්න පුංචි හිත් රස්තියාදු කරන්න අපිට හිත දෙන්නෙ නෑ. පොඩි අයට අපි එහෙන් එද්දිම ටොෆී ගෙනාවා. මධුසංඛගෙ ප්‍රිය බිරිඳ පියුමි විවිධ වර්ගවල ටොෆී ඇතුලත් පාර්සලයක් තමන්ගෙ ලගින් තියාගත්තා.


වෙස් නැට්ටුවො, තූර්ය වාදක කණ්ඩායම්, ටයිපොලු හිරකරගත්ත සර්ලා, හැට්ට කර යටටම කපපු, කොණ්ඩෙ රීබොන්ඩ් කරපු ගුරුතුමියො මේ පාසල් වල නෑ. ඒ නිසා ඔවුන් චාරිත්‍රානුකූලව බුලත් අතක් බැගින් දෙමින් අපේ ඇත්තන්ව පිළිගත්තා. අප පාසලට පිවිසෙන මග දෙපස පොඩි උන් අත්පුඩි තලමින් හිනැහුනා.

පොල්තෙල් පහන් සිල දල්වලා නායක හාමුදුරුවන්ගෙ අනුශාසනාවටත් සවන් දුන්නට පස්සෙ, තේ බීලම ඉමුද මහත්තුරු, නැත්නම් තේ නිවේවි. බුලත් කහටින් දුර්වර්ණව ගිය දසන් දක්වා විදුහල්පති රංජිත් මහතා සිනහා උනා. එතුමා ලඟ ගැමි සුවඳ ඕනෑවටත් වඩා තිබුනා. මොන තරම් අව්‍යාජ මිනිස්සුද මේ...මට එහෙමයි හිතුනෙ. ගල්කඩවල විද්‍යාලයේ පුංචි තේ මේසය එයාලගෙ හැකියාවෙ හැටියට සැරසිලා. මේ කලාපෙ කොහෙ ගියත් ආගන්තුක සත්කාර වලින් නම් ඉතින් අඩුවක් නෑ.

තේ පානයෙන් පස්සෙ ගුරුවරුන්, දෙමාපියො, පුංචි දරුවන් හැමෝම පන්ති කාමර 3 ක් වෙන් කරන බෝඩ් ලෑලි අයින් කරලා හදපු උත්සව ශාලාවෙ අසුන් ගත්තා. මේ පාසලින්ම ඉගෙන ගෙන අද ඒ පාසලේම ගුරුවරියක් ලෙස කටයුතු කරන මහත්මියක් තමන්ගෙ ළමා කාලය, ගමේ වටපිටාව, යුද්ධය ආදිය ගැන පැවසූ කරුණු බොහොම සංවේදියි. ගං වතුර ගලන කාලෙට ගෙදරට අදින ගවුම පිටින් ඉනවටක් වතුරෙ බැහැලා ගිහිල්ලා එගොඩවෙලා තමයි සුදු ගවුම ඇදගෙන අපි ඉගෙන ගන්න ඉස්කෝලෙ ගියෙ. ඇගේ නෙත් අග දිලිසෙන පුංචි කදුලු බින්දුවක් උත්සව ශාලාවෙ ඉදිරි පෙලේ අසුනක උන්නු සිරා කොලුවට පෙනුනා.

මේ පාසල් වලට මේ පරිසරයෙන්ම ගුරුවරු පත්කරන්න කියලයි අපි රජයෙන් ඉල්ලන්නෙ. පිටින් එන ගුරුවරුන්ට මේ පරිසරයෙ ඉන්න හිත් දෙන්නෙ නෑ. එයාලා ආව වේගෙට වඩා වේගෙන් ආපහු යන්නයි කැමති. අපේ ඉංග්‍රීසි ගුරුතුමිය සේවයට ආව අලුත නිතරම එයාට හිමි නිවාඩු ගත්තා. ඊට පස්සෙ ප්‍ර‍සූත නිවාඩු ගත්තා. ඊට පස්සෙ අඩ වැටුප් නිවාඩු ටික ගත්තා. දැන් වැටුප් රහිත නිවාඩු ටිකත් ඉල්ලුම් කරලා. දරුවො ගැන කැක්කුමක් නැති ගුරුවරු අන්න එහෙමයි මහත්තයො. විදුහල්පති තුමා එහෙම කිව්වා.

මේ කථාවලින් පස්සෙ අරුණළු වෙනුවෙන් මේ පුංචි කොලු පැටව්, කෙලි පැටව් ධෛර්යමත් කරමින් අපි කථා කලේ. ගැටලු හමුවේ පසුබා යන්නෙ නැතුව උත්සාහයෙන් ඉගෙන ගන්න කියන පණිවිඩේ තමයි අපට දෙන්නට අවශ්‍ය උනේ.

අරුණළු කන්දේගම වැඩසටනේදි අප මිත්‍ර‍ නුවන් කුලසේකරට හැඬුම් ආවා වගේම, මා මිත්‍ර‍ මධුසංඛටත් ඔහුගේ කථාව තුල වඩාත් සංවේදී වූ අවස්ථාවක් තිබුනා. මගේ දෙමාපියොත්, මගේ බිරිඳගේ දෙමාපියොත් අද අපි මේ කරන කටයුත්ත දිහා බලාන බොහෝ සතුටු වෙනවා ඇති. ඔහු එලෙස පවසද්දි සභාගැබේ උන්නු ඔවුන්ගේ දෙමාපියන් ඉතාම සංවේදීව ඔහු දෙස බලාන උන්නා. ඇතැම් වෙලාවට අපට දැනෙන මිනිස් හැගීම් විස්තර කරන්න වචන නෑ.

මධුසංඛ

1 වසරෙ ඉදන් පිළිවෙලට ත්‍යාග ප්‍ර‍දානය ආරම්භ උනා. ඉයන් වගේම ඉයන්ගෙ අක්කා එලිසාත් මේ පුංචි යාලුවන්ට තෑගි බෙදාදෙන්න බොහොම කැමැත්තෙන් දායක උනා. පුංචි දරුපැටව් හරිම ආශාවෙන් මේ තෑගි දෝතින් බදාගන්නකොට ඒ අයගෙ සතුට අපිටත් දැනෙනවා වාගෙයි.



බලන්න මේ පුංචි පුතාගෙ සතුට....


නංගි ඔයාගෙ නම මොකක්ද ? කටකාර කොලුවෙක් එලිසාගෙන් ඇහුවා...

එලිසා...

හෙ හෙ...ඒ මොන ජාතියෙ නමක්ද....ඒ.. පොඩි උන් රෑන කොක්හඩලා හිනාවෙන කොට එලිසත් ඒ හිනාවටම එකතු උනා.

එලිසා

ත්‍යාග ප්‍ර‍දානෝත්සවයට සමගාමීව විදුහලේ පන්ති කාමරයක අපේ වෛද්‍ය තුමා නිහඩවම වෛද්‍ය සායනය ආරම්භ කොට තිබුනා. දරුවන්ට වගේම දෙමාපියන්ටත්  එය විවෘතව තැබූ නිසා බොහෝ පිරිසකට සෙත සැලසුන බැව් නොකියාම බෑ.

වෛද්‍ය සායනයේ තමන්ගේ වාරය එනතුරු සිටින මවුවරුන් පිරිසක්


දිලීප මල්ලි එයාගෙ අනුග්‍ර‍හයෙන් ලබාදුන්න තෑගි දුන්නෙ පුංචි තරගයක් දෙකක් තියලා..පාසල් ක්‍රීඩාපිටියෙදි. මෙවැනි ක්‍රියාකාරකම් සඳහා මේ දරුවන්ගෙ තියෙන උනන්දුව ඉතාම ඉහළයි. ඔවුන්ට නැත්තෙ ඒ සඳහා අවස්ථාවන්.


ඉයන් සහ එලිසා අනෙකුත් දරුවන් සමග දීලීපගේ ක්‍රියාකාරකමක

මේ කටයුතු වලින් පස්සෙ දිවා ආහාරය පිළිගැන්වුනා. ගමේ ක්‍ර‍මයට, අපට ලැබුන ආහාර වේල ඉස්තරම්. ඔවුන්ගෙන් රහ බලපු තිබ්බටු කරියෙ රස තවම අමතක නෑ.

ආහාර භුක්තිවිදීමෙන් පස්සෙ අපි රෑ බෝ වෙන්න කලින් පඹුරුගස්වැවට ආධාර බෙදන්න යන්න සූජානම් උනා. අපව එහි කැඳවාගෙන යනු පිණිස එම විද්‍යාලයේ විදුහල්පති ජයතිලක මහතා ගල්කඩවල විද්‍යාලයට පැමිණ තිබුනා. ගල්කඩවල ජනාවාශ කොටස පසුකලාට පස්සෙ ගුරුපාර දෙපස ඝනව වැඩුන කැළෑවක් පමණයි අපට ඉදිරියෙන් දකින්නට තිබුනේ. මෙලෙස කිලෝමීටර් 6 - 7 ක් පමණ දුරක් හුදෙකලා වූ වන පියස දිගේ යා යුතුයි.

යුද්ධය තිබුන කාලෙ 17 වතාවක් මේ පාරෙදි හමුදාවෙ වාහන වලට කොටි ගැහුවා. ජයතිලක මහතා බොහොම දොඩමළුයි. තව ටික කාලෙකින් යාන් ඔය ව්‍යාපාරය පටන් ගත්තම මේ පළාතම ජලයෙන් යට වෙනවා. අපේ ඉස්කෝලෙත් එක්කම. ගල්කඩවල ඉස්කෝලෙ යට වෙන්නෙ නෑ.  එ් වෙනකොට රජය අපේ  පාසල වෙනත් තැනකට අරගෙන යන්නයි සැලසුම් කරලා තියෙන්නෙ. අපේ පාසල තියෙන ඉසව්වෙ අඩි 20 ක් විතර උසට වතුර කඳක් තියේවි.

එතකොට මේ ගස්කොළන් වලට මොකද වෙන්නෙ. බලන්න රූස්ස ගස් බොහොමයක් තියෙනවනෙ. විදුහල්පතිතුමාගෙන් මම ඇහුවා.

එකක්වත් කපන්නෙ නෑ කිව්වා. ඔහොමම ජලයට යට කරනවලු. ඔය ගස්වලින් අන්තිම මොහොත වෙනකම්ම මොන තරම් ඔක්සිජන් කන්දරාවක් මේ පරිසරයට මුදා හරිනවද...

පඹුරුගස්වැව විද්‍යාලයෙ දරුවො සියල්ලම අප එහි ගිය මග දෙපස රැස්වෙලා බොහොම ආදරයෙන් අපව පිළිගත්තා. ත්‍යාග ප්‍ර‍දානෝත්සවය බොහොම මැනවින් සංවිධානය කරලා තිබුනා විතරක් නෙමෙයි. එයාලට ආධාර අරගෙන එහි ගිය අපව පිනවන්න විවිධ නාට්‍යමය අංග පවා ඔවුන් සූජානම් කොට තිබුනා. ඔවුන්ගේ රංගන වින්‍යාසය ඉතාමත් විශිෂ්ඨයි.

නාට්‍ය අංගයක්

පඹුරුගස්වැව විද්‍යාලය

පාසල් ද්විත්වයේම ගුරුවරුන්ට මධුසංඛ යුවල අත්ඔරලෝසු පරිත්‍යාග කලා. මේ දුෂ්කර පරිසරයෙ ඉඳලා මේ දරුවන්ගෙ ඇස් පාදන්න මහන්සි වෙන ගුරුවරුන්ගෙ සේවයත් අපිට පුලුවන් විදියට අපි අගය කරලා එයාලව දිරිමත් කරන්න ඕනෙ. මධුසංඛගෙ අදහස එහෙමයි. ගුරුවරුන්ට අමතරව පඹුරුගස්වැව විද්‍යාලයේ මුර මාමටත් අපි අත්ඔ රලෝසුවක් දුන්නා

පියුමි
ත්‍යාග ප්‍ර‍දානෝත්සවයෙන් පස්සෙ තේ පානය ආරම්භ උනා. ඒ කාරිය අහවර උනාම වෛද්‍ය සායනය පටන් ගත්තා. ඇස් රෝග ඉතාම සුළභව එහි පැවතුනා.

දෙමාපියන්ට දැනුමක් නැති වීම, උවමනාවක් නැති වීම, ආසන්නම රෝහල වූ ගෝමරන්කඩවලට කිලෝමීටර් 20 කටත් වඩා දුර ගමන් කල යුතු වීම, බස් ගමනාගමනයක් සහිත මාර්ගයක් නොවීම, යහපත් සෞඛ්‍ය පුරුදු පිළිබද නොදැනුවත් කම...අපේ වෛද්‍ය තුමාට අනුව මේවා තමයි හේතු.


පඹුරුගස්වැව දරුවන් අතරින් එක් දරුවෙකු ඉතාම දැඩි ලෙස ඇස් රෝගයට ගොදුරුව සිටියා. ඔහුගෙ ඇස් රතු වී ඉඳි මී තිබුනා.

මෙයාට දෙන්න මා ලග බේතක් නෑ. ඉතාම ඉක්මනින් ඉස්පිරිතාලෙට අරගෙන යන්න. වෛද්‍ය සමින්ද ඒ දරුවගෙ මවට එහෙම කිව්වා. ඔවුන් එතැනින් පිටත් උනාට පස්සෙ..

පව් බං...ඒ ළමයා...ඇස් ලෙඩේ හොදටම වැඩිවෙලා... එහෙම කියලා ඔහු නිහඬ උනා.

අපේ ලක්මාල් ගොයියත් වෛද්‍ය තුමා ලියන බේත් තුංඩුවට බේත් ටික කඩදාසි කවරයට දාලා විතරක් නැවතුනේ නෑ. ඔහුට හැකි විදියට යහපත් සෞඛ්‍ය පුරුදු ගැන දෙමාපියන් දැනුවත් කලා. මේ වතාවෙ ලක්මාල් ගොයියගෙ සහායට කවර වලට බෙහෙත් දාන්න සිරා කොලුවා සමග 1 වසරෙ සිටම අධ්‍යාපනය ලබපු උදිතත් එකතු උනා. ඔහු දැන් ලංකාවේ ප්‍ර‍මුඛ මෘදුකාංග ඉංජිනේරුවෙක් වුවත් අරුණළු හෙවනෙදි තවමත් පැරණි මිත්‍ර‍යාම තමයි.

 සමින්ද

ලක්මාල්

උදිත
ඔයින් මෙයින් සියලු කටයුතු අහවරයි. අපි ප්‍රාර්ථනා කරපු විදියටම හැම දේම හොඳින් සිදු උනා. යහපත් ක්‍රියාවක නිරත උනාට පස්සෙ දැනෙන සතුටින් අපේ හිත් පිරිලා. නිවෙස් බලා යන්න අපේ බස් රථය නැවතත් ගල්කඩවල විද්‍යාලය දෙසට ගුරුපාරෙ ධාවනය වෙනවා.

පඹුරුගස්වැව විද්‍යාලයේදී

මාවත අද්දර හුදෙකලා නිවසකින් ගැමි ළඳක් ඉක්මනින් මාවත අද්දරට එනවා රථයේ ප්‍ර‍ධාන කවුළුවෙන් අපි අඩ අඳුර මැදින් දැක්කා. ඇය අතේ ඉටි කවරයක දිවුල් පාර්සලයක්.

අපේ දරුවන්ට ලගටම ඇවිත් තෑගි දුන්නට ස්තූතියි. මට පුලුවන් විදියට මමත් ඔයාලට තෑගි දෙනවා. ආ ගන්න...මේවා ඔයාලගෙ දරුවන්ට දෙන්න අරගෙන යන්න. ඇගේ කථා කරන යුග දෙනෙත සිනාසුනා.

වැඩසටහන අවසානයේ  පඹුරුගස්වැව විදුහල්පතිතුමාගේ නික්ම යාම






මම කාමරේ අරින සිරා කොලුවා.


ප.ලි


ලියන්නට බොහෝ දෑ ඇතිමුත්, අතීතයේදී මෙන් ලියාගන්නට කාලය නොමැති සඳ, කාමරයට එන යන ඇත්තන් මා පිළිබඳ කමා කරත්වා.


හිතාදර මධුසංඛ, ඔබත් මේ ලිපිය කියවනු ඇතැයි සිතා මේ කොටස මෙහි සටහන් කරමි. මේ පාසල් ද්විත්වයේ දරුවන් වෙනුවෙන් ඔබ වැය කල මුදලින්, ඉහළම හෝටලයක සුපිරි උපන් දින සාදයක් දැමීමට හෝ, වෙනත් රටක සංචාරයක් කිරීමේ හැකියාව පැවතුන බැව් අපි දන්නවා. එහෙත් එවන් හරසුන් දෑ වෙනුවට මෙවැනි යහපත් කාර්යයකට දායක වීමට අප සමග අත්වැල් බැඳ ගැනීම පිළිබඳ සිරා කොලුවා වන මාගේ හෘදයාංගම ස්තූතිය මෙයින් පුද දෙමි. ඔබ වැනිව සිතන සුන්දර මිනිස් හදවත්, මේ ලෝකය තවත් සුන්දර කරනු ඇත. ජරා ජීර්ණව ගිලන් වූ මේ සමාජය පුරා අපට හැකි විදියට මිනිසත් බව බෝ කරමු.

මේ වැඩසටහන අතරතුර මධුසංඛගේ ඔස්ට්‍රේලියානු ලිපිනය ලියාගත් පුංචි එවුන් තම විදුහල්පතිතුමාගේ නිළ මුද්‍රාව සහිතව යැවූ ලිපි රාශියක් අතරින් කීපයක්. මෙවැනි ප්‍ර‍තිචාර මේ පුංචි හදවත් තුලින් පැන නැගෙන කල අරුණළු අප තව තවත් ධෛර්යමත් වන බැව් රහසක් නොවේ.










Monday, August 28, 2017

44 කලකට පසු....

අන්තිම පෝස්ටුව කාමරේ පල කරලා මාස 4 කටත් කිට්ටුව ගත වෙලා. අද මේ ලියමන ලියන්න ගනිද්දි බ්ලොග් කෙරුවාව හරිම ආගන්තුක දෙයක් විදියට මගේ අක්මාවට දැනුනෙ. පාපැදි තරග සඳහා සහභාගි වෙන අය නිතර නිතර පුහුණු වෙනවා වගේ, ක්‍රිකට් ක්‍රීඩකයො නිරන්තරයෙන් පුහුණු වෙනවා වගේ, බ්ලොග් කෙරුවාවෙන් මඳ කලක් හෝ බැහැර උනොත් ඒ වෙනස හොඳින් දැනෙනවා.

නිහඬව හිටිය මාස කීපය ඇතුලෙදි සිරාගෙ කාමරේ බොහොම නිහඬව 5 වෙනි සංවත්සරයත් සමරලා. සිරා කොලුවා වන මට කාමරේ දොර කබල ඇරලා යමක් කොටන්න තරමේ ඉස්පාසුවක් නැති වීම තමා මේ නිහඬ බවට හේතුව උනේ. ඉස්සර දවසක බොහොම සාර සුබාවට දෙනෝ දහක් ආගිය තැනක් මේ විදියට පාලුවට යන්න ඉඩ දෙන්න බැරි නිසා ඔන්න සිරා ආයෙමත් ලියනවා. හැබැයි හීන් දුකක් හිතේ තුරුළු කරගෙන.


ඒ තමයි අසමි දකිමි සොයමි බ්ලොග් අඩවිය රචනා කල, විචාරක තුමාගේ නික්ම යෑම. සිරා කොලුවට කිසිම කිසි දවසක මේ චරිතය මුලිච්චි උනේ නැති උනත් ජංගම දුරබණුවෙන්, ඊයෙන් , මුහුණු පොතෙන් කරපු කථා බහත්, බ්ලොග් ලිපි ඔස්සේ සිදු උන දැනහඳුනාගැනීමත් එක්ක විචාරක තුමා කියන්නෙ බහුශෘත දැනුමක් ඇති පුද්ගලයෙක් කියලා සිරාට හිතුන වාර ගණන අනන්තයි අප්‍ර‍මාණයි. ඔහුගේ බ්ලොග් අඩවිය හරහා පාඨකයන් වෙත තිළිණ කල විෂය, සාමාන්‍ය පොදු ජනතාව අත පොවන මානයේ නැති දෙයක් වීමත් ඔහුගේ ඒ කැපී පෙනීමට හේතුවක් උනා.

සිරාගේ කාමරේ පල වූ ලිපි අරභයා තමන්ගෙ අදහස් අවංකව ප්‍ර‍කාශ කරපු අතලොස්ස අතරෙ ඔහුට හිමිවෙන්නෙ අද්විතීය ස්ථානයක්. ඔහුගේ අදහස් හරහා බොහෝ විට සිරා කොලුවගෙ ලිපි වලට ලැබුන ආලෝකය ඉහළයි. ඒ ආලෝකය යළි නොම එන්නට නිවී ගිහින් බව සිහිපත් වෙනකොට පෘථග්ජනයෙක් විදියට මගේ හිතට තවමත් විප්‍රයෝගයේ අරුමය දැනෙනවා.







පහුගිය මාර්තු මාසෙ අරුණළු නමින් අප විසින් කරන්නට යෙදුන ප්‍ර‍ජා සත්කාරයේදී විචාරක තුමා මුල්ම අවස්ථාවෙ සිටම දැක්වූ සහයෝගය ඉතාම බැති සිතින් මෙනෙහි කරන්න උවමනායි. අපේ ආධාර ලබාදුන් දිඹුලාගල කන්දේගම කණිෂ්ඨ විද්‍යාලය වෙත ක්ෂේත්‍ර‍ චාරිකාවක නිරත වන්නට දින නියමකරගෙන සිටින විටෙක අප සියල්ලන්ම බෙහෙවින් උනන්දු කරමින්, ඒ පළාතේ වග විත්ති නිරන්තරයෙන් පවසමින්, පූනානි යුධ හමුදා කඳවුරේ නිළදරුවන් වෙත අරුණළු හඳුන්වා දෙමින් ඔහු කල ප්‍ර‍ශස්ත මෙහෙවර මිළ කල නොහැකියි.

සිරාගේ කාමරයේ පල වූ දිඹුලාගල ආධාර වැඩසටහන පිළිබඳ ලිපිය අරභයා
 විචාරක තුමා විසින් පලකල කමෙන්ටුව  දෛවයේ සරදමකටදෝ 
සිරාගේ කාමරයේදී ඔහු පල කල අවසන් කමෙන්ටුවම වූවේය.

අරුණළු වෙනුවෙන් එතුමා නිහඩව කල සේවය අති මහත්.

සිරා....උඹලා යොදා ගත්ත දවසට ඉස්කෝලෙ බලන්න පලයල්ලා. මමත් එන්න හිටියෙ. ඒත් මට හදිස්සියෙම උණ ගැනුනා. ඔහු ඉස්සෙල්ලාම කිව්වෙ එහෙමයි. හමුදා රෝහලේ නේවාසික රෝගියෙක් බවට පත් උනාට පස්සෙ තමයි ඔහුගේ රෝගී තත්වයේ බරපතල කම අපට දැනගන්න ලැබුනෙ. විචාරක තුමාගෙ ආශිර්වාදය ඇතුව අරුණළු වැඩසටහන අවසන් කරලා ඒ වග ඔහුට දැනුම් දෙන විට මාස එක හමාරක් හෝ දෙකක් ගත් වෙන්නට ඇති. ඒ කෙටි කාලය තුල ඔහු බොහෝ සේ ශාරීරිකව පිරිහී ඇති බව මට දැනුනෙ දුරබණුවෙන් ශ්‍ර‍වණය වෙච්ච ඔහුගේ දුබල කට හඬින්,

වැඩේ හොඳටම කෙරුනා නම් එච්චරයි බං. මාව බලන්න එන වෙලාවක උත්සවේ ෆොටෝ ටික අරගෙන වරෙන්...

එතුමා බොහොම ආයාසයෙන් ඒ වචන කීපය කිව්වෙ. අපේ ආගමනය බලාපොරොත්තුවෙන්.

අරුණළු වැඩසටහන වෙනුවෙන් සෑහෙන සේවයක් සිදුකල,  සිරා කොලුවාගේ යුධ හමුදා මේජර් මිත්‍ර‍යා නිවාඩු ලැබ නිවෙස බලා යළි එනතුරු සිරා කොලුවා බලා සිටියේ විචාරක තුමාගේ සුව දුක් බලන්නට යන්නට, ඔවුන් දෙදෙනාම යුධ හමුදාවේ එකම බලකායක සාමාජිකයන් වීම එයට හේතුවයි.

එහෙත් ඒ දිනය උදාවෙන්නට කලියෙන්ම ඔහු නික්ම ගොස් තිබුනා. ඔහුගේ අවසන් කටයුතු හෝ නිසි වේලාවේ මා හට සන්නිවේදනය නොවූයෙන් ඒ අවස්ථාවද මග හැරුනා. ඒ දිනවල මා අන්තර්ජාලයෙන් බැහැරව සිටීමත්, බ්ලොග් අවකාශයේ බොහෝ දෙනෙක් සමග පුද්ගලිකව පයුරු පාසානයේ නොයෙදීමත් ඒ වගට හේතු උනා. අවසානයේ කිසිම කිසි දිනයක මුණ නොගැහුනු නමුත් බ්ලොග් කෙරුවාවෙන්, සුහද කථා බහෙන් සිරා කොලුවා හට සිටි සමීපතමයෙක් වෙන් වී ගියා. ඔහු වැනි මිනිසත් බවින් පොහොසත් මිනිසකුගේ වටිනාකම, අඩුව සිරාගේ කාමරයේදී අදත් හෙටත් දැනෙන බවට නම් කිසිදු සැකයක් නෑ.

වැඩිහිටියෙක්, මිත්‍රයෙක්, හිතවතෙක් ආදී විවිධ ස්වරූප වලින් ඔබ ලබාදුන් අදහස් , උපදෙස්, අනුශාසනා වලට මා බොහෝ ණය ගැතියි. නිවන් දකින්නට තවත් දුර වේ නම්, මතු භවයේ දවසක යළිත් අප එකිනෙකා මුණ ගැසෙනු ඇත.  ජීවතුන් අතර සිටියදී ඔබ දකින්නට නොපැමිණීම ගැන මා හට සමාව දෙනු මැන. ඔබට සුභ ගමන් විචාරක තුමනි.

ගත වූ කාලය ඇතුලෙ බ්ලොග් කෙරුවාවෙ කලින් දැනුන සුන්දරත්වය ගිලිහී ගිය නිසාදෝ...බොහෝ දෙනෙක් දැන් බ්ලොග් කරණයේ නිරත වෙන්නෙ නෑ. එහෙත් සිරා කොලුවාගේ කාමරේ සමග ඇති පයුරු පාසානය නිසාම මාගේ ආගිය තොරතුරු විමසන හුදී ජනයා වෙනුවෙන් තවත් මඳ කාලයක් හෝ යමක් අකුරු කරන්නට මගේ අකමැත්තක් නෑ.

උතුම් බුදු දහමට අනුව ලෝකයේ සෑම හමුවීමකටම වෙන්වීමක් තියෙනවා. ඇතිවන දේ දිනෙක නැසෙනවා. ඒ සනාතන ධර්මය යළි යළිත් පසක් කරමින් සිරා කොලුවා බ්ලොග් කෙරුවාවට පැමිණි අවධියේ බොහොම සරුසාරෙට තිබුන බ්ලොග් අඩවි විශාල සංඛ්‍යාවක් තව දුරටත් යාවත් කාලීන වෙන්නෙ නෑ. එහෙත් මගේ හිතේ පිරිලා තියෙන, තවමත් යුනිකෝඩ් හරහා ඔබට සමීප නොකරපු බොහෝ දේවල් තියෙන නිසාම සිරා කොලුවාට බ්ලොග් කෙරුවාවෙන් සමුගන්න තවත් කල් තියෙන හැඩයි.

ඉස්සර දවසක වගේ නිතර නිතර නොවුනත්, හැකි සෑම විටෙකම බොලා වෙනුවෙන් යමක් අකුරු කරන එක මට සතුටක්. මේ ඔස්සේ දැන හඳුනාගෙන කළ්‍යණ මිතුරන් තරමට සමීප උන පිරිසත් බොහොමයි. හැකි විදියකට සමාජයට,  ඈත පළාත් වල අහිංසක පොදු ජනතාවට, දූ දරුවන්ට සෙත සලසමින් අප විසින් කලින් කල සංවිධානය කරන සමාජ සත්කාර වලට මග හසර එළි උනෙත් සිරාගේ කාමරය නිසයි. එ් මතකය තවමත් අමතක නෑ.

රාජකාරි කටයුතු වලින් පස්සෙ සිරා කොලුවා වර්තමානයේ වැඩිම කාලයක් වැය කරන්නෙ මෙන්න මේ කටයුතු වලට, දිඹුලාගල පුංචි පාසලේ අරුණළු නිසා පීදෙන අලුත් මල් දැක්කම එවැනි සත්කාර්යයක් වෙනුවෙන් කරනා කැපකිරීම්, මහන්සිය අපතේ ගිහින් නෑ කියලා හිතෙනකොට දැනෙන තෘප්තිය මුදලට ගන්න බෑ. ඒ නිසාම එළඹෙන සැප්තැම්බර් මාසයේදි අපි අරුණළු එක්ක ත්‍රීකුණාමලයට යන්නෙ එහෙ පුංචි පාසල් දෙකකට උදව් කරන්න.

කාමරේ මකුළු දැල් ටික කැඩෙන්න දැනට මේ මදැයි...ඉදිරි දවසක, පුරුදු රසයෙන් ආයෙමත් අපි හමු වෙමු !




මම කාමරේ අරින සිරා කොලුවා.



ප.ලි

විචාරක දියණිය සිය පියාගේ අභාවයෙන් පසුවත්, ඔහුගේ බ්ලොග් අඩවිය පවත්වාගෙන යාම පැසසිය යුතු කරුණකි. එහෙත් විචාරක තුමා විසින් සංවාදයට භාජනය කල විෂය පිළිබඳ ඈ හට දැනුමක් නොවීම කණාගාටුවට කරුණකි.




Sunday, April 23, 2017

49 නුවන් කුලසේකරගේ කදුළු සමග එක් වූ කන්දේගම සතුටු කදුළු

යුධ හමුදා ඇත්තන්ගේ අත් ගුණය මේ යැයි කියමින් සැකසුන කිරිබත්, සැන්ඩ්විච්, කැකුලු බත්, ඉඳි ආප්ප, ආප්ප වැනි ආහාර සමග එහි එක් රැස්ව තිබූ ව්‍යාංජන කීපයක රසද මුසු වූ විට මැවුන අපූරු මිහිර නිසාම අප මෙන්ම මේරියන්ස් සගයින්ද බඩ කට පුරා කෑමෙන් මිස කෑම මේසයෙන් නැගිට්ටේ නැත.

කෑම ගොඩාක් රසයි...හැමෝටම බොහොම පින්...

අපේ ප්‍ර‍තිචාරයෙන් ඉතාම සතුටට පත් වූ ආහාර සකස් කල යුධ හමුදා ඇත්තන් අප අතර සිටි ජනප්‍රිය චරිත සමග ඡායාරූපයක් ගන්නට මාන බැලූවේ ඉන් අනතුරුවයි. ඒ සෑම ඉල්ලීමකටම නුවන් කුලසේකර, සචිත්‍ර‍ මෙන්ම නලින් අයියාද දැක්වූවේ ඉතාම නිහතමානී ප්‍ර‍තිචාරයන්ය. මේ සෑම ඉල්ලීමක්ම ඉක්මනින් ඉටු කොට, අරුණළු ආධාර නඩය වෙත නොමිලයේම රස නහර පිනා යන ආහාර වේලක් සකස් කොට ලබා දීමට පුරෝගාමී මෙහෙවරක් ඉටුකල හඹරන වෛද්‍ය බලකා කඳවුරේ දෙවැනියා වූ යුධ හමුදා වෛද්‍ය නිළධාරිනියට අපගේ නොවක් ස්තූතිය එක් කොට ඉක්මනින්ම කන්දේගම විදුහල් පියස වෙත පිවිසෙන්නට අපි තීරණය කළෙමු.

මෙම ලිපියේ පළමු කොටස කියවා නැති අය මෙම කොටසට ප්‍ර‍ථම එම කොටස කියවීමෙන් මේ කියනා හරුපය මැනවින් වැටහේවි.

අප රැගත් බස් රථයට පසුපසින් මේරියන්ස් ඇත්තන්ගේ වෑන් රථය ස්ථානගත වූ පසුව කන්දේගම පාසල වෙත අපේ ගමන ආරම්භ වූවේය. ක්ෂේත්‍ර‍ චාරිකාව පිණිස වේලාසන මේ විද්‍යාලය වෙත සිරා කොලුවා පැමිණ සිටි නිසාම පාසල වෙත මග සොයා ගැනීම වඩාත් පහසු වූවේය. පොළොන්නරුව නගරය, ගිරිතලේ, මනම්පිටිය පාලම පසුකරමින් ඉඳිරියට ඇඳුන රථය මඩ කලපුව හන්දියෙන් දකුණට හැරී දිඹුලාගල පුදබිම දෙසට දිවෙන මාර්ගය, දළුකාන, අරලගංවිල පසුකරමින් දම්මින්නට ලගා වන්නට තවත් පැය එක හමාරක පමණ කාලයක් ගත වන්නට ඇත. ඒ අතරතුර ගත වූ සෑම අඩ පැයකටම වරක් උත්සව භූමියේ සිටින, සිරා කොලුවාගේ අතීත තූර්ය  වාදක ඛණ්ඩයේ සගයා මේජර් වික්‍ර‍මසිංහ සොයුරා උත්සව භූමියේ සූදානම වරින් වර මාවෙත සැළ කලේය.

මෙච්චර වෙලා අව්ව තිබ්බෙ නෑ...මේ දැන් අව්වක් වැටුනා...පොඩි උන් ටික අව්වෙ...ඉක්මනින්ම එන්න.

පාසල වෙත ගමන් කරන අතුරු මාවත අසල රථය නතර වන අවස්ථාවේම ඔහු එවදන් සැළ කලේය. ලොකු උත්සවයක් අනවශ්‍යයි යනුවෙන් මා කීප වතාවක් පාසල දැනුවත් කලද ඔවුන්ගේ පාසල් ඉතිහාසයේ මෙවැනි දිනයක් පෙර නොවූ විරූ නිසාම ඒ වදන් සමග විදුහල්පති තුමා සහ ගුරු මණ්ඩලය එකග වූයේම නැත.

පොඩි උන් අව්වේ ඉක්මනට යමු. 

එතෙක් වේලා සැහැල්ලු ඇදුමින් සිටි කුලේ සහ සචිත්‍ර දෙපල උත්සව භූමියට සුදුසු ඇදුමකින් සැරසී අහවර වූ වහාම අපේ බස් රථය පාසල් දොරකඩට ලගා වූවේය. ඒ වන විට යුධ හමුදා ඇත්තන්, ගුරු මණ්ඩලය, දෙමාපියන් මෙන්ම අවශේෂ ගම්වාසීන්ද පාසලේ අධ්‍යාපනය ලබන දරුවන්ට අමතරව එම ස්ථානයේ අපේ ආගමනය අපේක්ෂාවෙන් පොදි කකා බලා සිටියෝය.

පාසලේ ගේට්ටුව අභියස කඳිම ගොක්කොළ තොරණක් ඉඳිවී තිබුනේය. එතැනදී පාසලේ විදුහල්පතිතුමාටත් කලියෙන් ඉතාම ලෙංගතුව අප පිළිගත් 232 බලසේනාධිපති බ්‍රිගේඩියර් අතුල මාරසිංහ මහතා අපගේ මේ වෑයම මහත් සේ අගය කළේය. මේ කුඩා පාසලේ මේ ලස්සන දිනය තවත් ලස්සන කරන්නට එතුමාගේ අණ පරිදි හමුදා සාමාජිකයන් පිරිසක් දින 5 ක් පාසලේ රැදී සිටිමින් අවශ්‍ය සංවිධාන කටයුතු සිදු කල බැව් ඒ අවස්ථාවේදී දැනගන්නට ලැබුනි. වල් බිහිව තිබූ ක්‍රීඩා පිටිය සැකසීම, උත්සව ශාලාව සැකසීම සහ ශබ්ද විකාශන පද්ධතිය සවි කිරීම, පාසල් දරුවන් වෙත උදෑසන ආහාර පිළිගැන්වීම ආදිය යුධ හමුදාවෙන් මේ වැඩසටහන වෙනුවෙන් එකතු වූ දෑය.




විදුහල්පතිතුමාගේ ලෙංගතු සිනහව සමග එක් වූ සුදෝ සුදු ජාතික ඇදුමින් සහ ළමා සාරියෙන් සැරසුන පුංචි දරු දැරියන් රත් පැහැති නෙළුමක් ආරාධිතයන් වෙත තිළිණ කොට පාසලේ පුංචි බුදු මැදුර සමීපයට අප කැඳවාගෙන ගියහ. එම රත් නෙළුම් බුදු සමිදු වෙත පුදා ජාතික ධජය සමග පාසල් ධජය ගුවනට ඔසවා උත්සවයේ කටයුතු නිළ වශයෙන් ආරම්භ වූයේ එයින් අනතුරුවයි. එහිදී ගායනා වූ විදුහලේ පාසල් ගීතයට තවමත් නිසි ලෙස නනුවක් යොදා නැති බැව් අප හට පසුව සැල වූවේය. සංගීතය විෂය සඳහා මේ විද්‍යාලයේ ගුරු භවතෙකු නොසිටීම එයට හේතුවයි.

232 බලසේනාධිපති බ්‍රිගේඩියර් අතුල මාරසිංහ මහතා
ජාතික ධජය වෙත තම ගෞරවය පල කරමින්





උත්සව ශාලාව වෙත පිවිසෙන මග පසෙක පාසලේ ගුරු මණ්ඩලය සිනාමුසුව අපගේ ආගමනය අපේක්ෂාවෙන් සිටියෝය. ඒ ඇත්තන් දැන හැඳිනගැනීමෙන් අනතුරුව ශාලාව වෙත පිවිසී පොල්තෙල් පහන් දල්වා මේ උත්සවය වෙනුවෙන් කදිම ආරම්භයක් ලබා ගන්නට අපට හැකි වූවේය. මේ පොල්තෙල් පහන ඉතාම නිර්මාණාත්මක අන්දමෙන් නිමකර තිබුනේද යුධ හමුදා ශ්‍ර‍ම දායකත්වයෙනි. ක්‍රීඩකයින්, කලාකරුවන්, වෛද්‍යවරුන් ඇතුලු අරුණළු සත්කාරයට නන් අයුරින් දායක වූ ඇත්තන් පහන් සිළු එකලු කරද්දී එයින් පැන නගින ආලෝකය මේ කුඩා පාසලේ දරුවන්ගේ අනාගතය මත පතිත වන ආලෝකයක් ලෙස මම කල්පනා කළෙමි.

පාසලේ ගුරු මණ්ඩලය හඳුනා ගනිමින්
උත්සව සභාව වෙනුවෙන් නිසි ලෙස සකස් කල න්‍යාය පත්‍ර‍යක් නැත. අප හට එවැනි යමක් සකස් කරන්නට කාලයක්ද නොවීය. එහෙත් ඒ සියලු දෑ කරට ගනිමින්, නියම වෘත්තීය මට්ටම මේ යැයි පවසමින් ස්වාධීන රූපවාහිනී සේවයේ ඉන්ද්‍ර‍සිරි සුරවීර හෙවත් සුරෙ අයියා තම අත්දැකීම් මනාව මුසු කරමින් මේ සභාව මෙහෙයවූ ආකාරය ඉතාම ප්‍ර‍ශස්ත බැව් කාගේත් අදහස වූවේය.


පූජා නර්ථනයෙන් පසු කන්දේගම කණිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පති අයි ඉලන්දර මහතා පැවැත්වූයේ ඉතාම සංවේදී කථාවකි. තොප්පිගල මායිමේ පවතින පාසලක් ලෙස පසුගිය යුධ සමයේ අත්දුටු අමිහිරි සිදුවීම් මෙන්ම පාසලේ අවම පහසුකම් යටතේ දරුවන්ට අධ්‍යාපනය ලබාදෙන්නට ගුරු මණ්ඩලය දරනා මහන්සිය පිළිබඳ ඉතාම ආයාසයෙන් තම හැගීම් වචන බවට පත්කල ඔහුගේ දෙනෙතින් කඳුළු කැට කඩා වැටුනේ වරක් දෙවරක් නොවේ. ඒවා උත්සව සභාවෙන් වසන් කරන්නට හෙතෙම කිසිම විටෙක නිරර්ථක උත්සාහයක නිරත නොවුනේය. නිදැල්ලේ කදුලු වලට පොළොව සිප ගන්නට ඉඩ හසර සැලසුවේය.


විදුහල්පතිතුමා
මේ සංවේදී කථාව අහවර වන විට සභා තොමෝ බෙහෙවින් සංවේදී වී සිටියහ. ඒ සංවේදී වටපිටාවේ අරුණළු වෑයම වෙනුවෙන් වචනයක් එකතු කරන්නට සිරා කොලුවා හට ආරාධනයක් ලැබුනි. මේ සංකල්පය පහල වූ අවස්ථාවේ සිට මේ උත්සවය පවත්වන අවස්ථාව දක්වා විදින්නට වූ දුක්ඛ දෝමනස්සයන් මෙන්ම දරන්නට වූ මහන්සිය පිළිබඳවත්, අපේ අරමුණු හා අභිමථාර්ත පිළිබඳවත් මගේ කථාව තුලදී සඳහන් කළෙමි.


අකලට දිරා ගිය මුහුණුවරින් යුතු වූ මේ කුඩා පාසලේ දුවා දරුවන්ගේ දෙමාපියන්ගේ, මුහුණු තුලින් ඔවුන් මේ සමාජය තුල තම තමන් නිරත වන ජීවන අරගලය, දරිද්‍ර‍තාවය පිළිබඳ කඳිමට සාක්ෂි සැපයූහ. ගැඹුරේ ගිලුනු ඔවුන්ගේ ඇස් ගෙඩි වේදිකාවේ කථා කරන මාගේ යුග දෙනෙතට සම්මුඛ වන විට, ඉතාම සංවර ලෙස උත්සව සභාවේ අසුන් ගෙන පොළවේ පතිත නොවන පුංචි දෙපා දෙපසට වනමින් සිටින පොඩි උන් දකින විට මමද බෙහෙවින් සංවේදී වූවෙමි.



ප්‍ර‍ධාන ශාලාවේ පැවති උත්සවයේ පළමු භාගය එතෙකින් අවසන් කොට විදුහලේ පුංචි ක්‍රීඩා පිටිය වෙත පිවිසෙන්නට එයින් අනතුරුව අවස්ථාව එළැඹිනි. අරුණළු අප විසින් එහි රැගෙන ගිය ක්‍රීඩා ඇඳුමින් සැරසුන පුංචි ක්‍රිකට් ක්‍රීඩකයින් රැසක් එහි වූහ. ජීවිතයේ පළමු වරට විදුහලේ නම සඳහන් ක්‍රීඩා ඇඳුමකින් ඔව්හු දැන් සැරසී සිටිති. ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනෙකු විසින් මෙහෙයවන කණ්ඩායම් දෙකක සාමාජිකයන් වන්නට ඔව්හු දැන් සිහින මවති.

අප එහි ගිය බස් රථය වෙත සැනෙකින් පිවිසි කුලේ සහ සචිත්‍ර‍ මේ තරගයට උචිත අයුරින් සැරසී නැවතත් ක්‍රීඩා පිටියට පිවිසෙන විට ගමේ ඇත්තන්ගෙන් ලැබුන පිළිගැනීම සංවේදී මිනිසුන් ලෙස ඔවුනට ජීවිතයේ කිසිදු කිසි දිනයක අමතක වන්නට නොහැක. හතර අතින් ලෙංගතු ප්‍ර‍තිචාරයන් ලැබෙන විට ඔවුන් දෙපළ ක්‍රීඩකයන් තෝරාගෙන කණ්ඩායම් දෙකක් සකසා ගත්හ. ජාත්‍යන්තර තලයේ සිටින ක්‍රීඩකයින් දෙපළක්, ලංකාවේ ඈත ඉසව්වක වඩාත් ප්‍ර‍සිද්ධ නැති පුංචි පාසලක දරුවන් සමග ගිණි අව්වේ සැහැල්ලු පන්දු ක්‍රීඩා කලායැයි විශ්වාස කිරීමත් ඇතමෙකුට අපහසු වන්නට හැකිය. එහෙත් නිහතමානීකම ඕනාවටත් වඩා ඇති, පොළවේ පය ගසා ජීවත් වන මිනිසුන් වූ කල එවැනි විශ්මිත දේවල් සිදුවන්නට බැරි නැත. 

මේ තරගය වෙනුවෙන් ක්‍රීඩා පිටිය සකසා, උත්සවයේ ආරාධිතයන්ට අසුන් පනවා, හිසට සෙවනක් සලසා, තරගයේ විස්තර ප්‍ර‍චාරය වෙනුවෙන් අවැසි ශබ්ද විකාශන උපකරණ උස් තුරු මුදුන් මත රඳවා මහත් වූ සේවයක් සැලසූවේ ශ්‍රී ලංකා යුධ හමුදාවයි. ඒ සඳහා වෙහෙස මහන්සි වූ යුධ හමුදා නිළධාරී මහතුන් මෙන්ම අවශේෂ ඇත්තන්ද ඉතාම සොම්නසින් මේ තරගය ආරම්භ වන තුරු ආශා සහගත දෑසින් බලා සිටියෝය.


කාසියේ වාසිය උරගා බැලීමෙන් පසු සචිත්‍රගේ කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දෙන විට කුලේ තම පන්දු රකින්නන් පිටියේ ස්ථානගත කරමින්, තම කණ්ඩායමට නායකත්වය ලබා දෙමින් පන්දු යැවීමේද නිරත වූවේය. පන්දු ඕවර 5 කට සීමා වූ තරගයේදී මේ පුංචි දරුවන්ගේ ක්‍රීඩා කෞෂල්‍යයන් මොනවට ප්‍ර‍දර්ශනය වූවේය. සෑම දැවීයාමකදීම කුලේ වටා එකතු වන පුංචි උන් වෙත ඔහුගෙන් ඔවදන් ලැබුනේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන  කුලේගේ කණ්ඩායමේ මුල් පෙල පිතිකරුවන් අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී යන විට සෙසු ක්‍රීඩකයන් වෙත උපදෙස් දෙමින් තරගය ජයග්‍ර‍හණය කරන්නට ඔහු දක්වන උනන්දුව දුටු ආරාධිතයන් බොහෝ දෙනෙකු කීවේ කුලේ යනු විහිලුවටවත් තරගයක් පරදින්නට අකමැති ක්‍රීඩකයෙකු බවයි. ඒ කියමන සනාථ කරමින් මේ තරගයේ අවසානයේ ජය සනිටුහන් කරන්නට ඔවුනට හැකි වූවේය.




උතුරු මැදට පතිත වන දැඩි හිරු රශ්මියේ දැවෙමින් ක්‍රීඩා කර දහඩිය වගුරුවා සිටි කුලේ සචිත්‍ර‍ දෙපල දුටු විට මේ ජාත්‍යන්තර ක්‍රීඩකයන් දෙදෙනෙකු යැයි විශ්වාස කරන්නටත් අපහසු තරමට ඔවුන් ගමේ ඇත්තන් සමග කුළුපග වී සිටියහ. කිසි දිනෙක කන්දේගම ග්‍රාමයේ දකින්නට නොලැබුන මෙවැනි තරගයක් දැකගන්නට ගම් වාසීන් බහුතරයක් පාසල තුලත් ඉන් පිටතත් රැදී සිටියෝය.




අරුණළු අප වෙනුවෙන් පාසල විසින් සංවිධානය කල උදෑසන තේ මේසය වෙත ඒ කලාපයේ භාවිතා වන විවිධ රස කැවිලි වර්ග රාශියක් එකතු වී තිබුනි. ඒවා සන්තර්පනය වීමෙන් අනතුරුව උත්සව ශාලාවේදී උත්සවයේ දෙවැනි කොටස ඇරඹුනේය.

අරුණළු අප විසින් එහි රැගෙන ගිය ක්‍රීඩා භාණ්ඩ මෙන්ම සංගීත භාණ්ඩද නිළ වශයෙන් පිළිගැන්වීමට කලාකරුවන් මෙන්ම ක්‍රීඩකයන් දෙපළද එක් වූහ. මේරියන්ස් කණ්ඩායම ඉතාම උසස් තත්වයේ වාදන භාණ්ඩ රැසක් මේ සත්කාර්යයට එකතු කලේ ලංකාවේ ඒවා නිපදවන ආයතන වෙත විශේෂ ඇනවුමක් ලබා දෙමිනි.



මල්ලි දෙන දේ හොඳම එකෙන් දෙන්න ඕනෙ.

නලින් අයියා පෙර දිනයක මා හට පැවසූ බැව් ඒ වෙලාවේ සිරා කොලුවා හට සිහි වූවේය. අරුණළු අපද අපට දිය හැකි හොඳම දෑ දිය යුතු බව තරයේ ඇදහූ නිසා කොළඹ සිසාරා යමින් මේ පුංචි පාසලේ දරුවන්ට හොඳම දෑ මිළදී ගතිමු.

මේ කාර්යයන් අහවර වීමෙන් පසු වේදිකාවේ ඉඩ හසර වෙන් වූයේ කුඩා දරු දැරියන්ගේ රැගුම් හා ගායනා හැකියාවක් දැකගැනීම වෙනුවෙනි. විද්‍යාලයේ ගුරුභවතුන් ඉතාම වෙහෙස මහන්සි වී මෙම දරුවන් වෙත නර්තන අංග පුරුදු පුහුණු කර තිබූ බැව් කා හටත් රහසක් නොවීය. එහෙත් සංගීතය විෂය උගන්වන්නට ගුරු භවතෙකු නොමැති හෙයින් ගායනා කිරීමට එක්වූ සියල්ලෝම උපතින් ඒ හැකියාව තුරුලු කරගෙන පැමිණි අයයි. මේ දරුවන්ගේ ගායනා කෞෂල්‍යයෙන් ඔදවැඩී සිටි සුරෙ අයියා මෙන්ම නලින් අයියාද මේ පාසලට සංගීත ගුරු භවතෙකු ලබාගැනීමට අවැසි මැදිහත්වීම් සිදුකරන්නට ශපත කළහ.




ප්‍රාථමික අංශය / චිත්‍ර‍ අංශය / ගෘහ විද්‍යා අංශය / සංගීත අංශය / ක්‍රීඩා අංශය වෙනුවෙන් ඔව්හු මූලිකව අපෙන් ආධාර ඉල්ලා සිටියත් ක්ෂේත්‍ර‍ චාරිකාවේදී ඔවුන්ගේ දුප්පත් පුස්තකාලය දැකගත් පසු ඒ වෙනුවෙන්ද අපේ ආධාරයක් ලබා දිය යුතු බැව් අපි තීරණය කළෙමු. ඒ අනුව පාසලේ සියලු වසර ආවරණය වන සේ 200 කට ආසන්න පොත් තොගයක් පුස්තකාලය වෙත පරිත්‍යාග කරන්නට අපට හැකි වූවේය. මේ අංශ වලට අමතරව පරිගණක අංශය / විද්‍යා අංශය වෙනුවෙන්ද සහයෝගය ලබා දෙන්නට අරුණළු අප කටයුතු කළෙමු.

ප්‍ර‍ධාන වේදිකාවේදී මේ සියලු පරිත්‍යාගයන් සිදු වූ පසු ක්‍රීඩාවෙන් ජය කෙහෙළි නැංවූ පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙත සහතික පත් පිළිගැන්වීම කුලේ සහ සචිත්‍ර‍ අතින් සිදු වූවේය. එහිදී වඩාත් කැපී පෙනුනේ 9 වසරේ අධ්‍යාපනය ලබන ශ්‍රියාණි මධුෂිකා නම් සිසුවියගේ දක්ෂතාය. මීටර් 100, 200, දුර පැනීම යන ඉසව් නියෝජනය කරන ඇය සමස්ත ලංකා මට්ටම දක්වාම පැමිණ සිටියේ නිසි ක්‍රීඩා පුහුණුකරුවෙකු හෝ ක්‍රීඩා පාවහන් යුගලක් හෝ නොමැතිව වීම කාගේත් අවධානය යොමු වූ කාරණයකි.

කන්දේගම ග්‍රාමය ආසන්නයේ ඇති වැවේ ධීවර කර්මාන්තයේ නිරත වෙන ඇගේ පියාගේ සොච්චම් ආදායම ජීවන සටන ජයගන්නට මෙන්ම ඇගේ ක්‍රීඩා ජීවිතයට අවැසි දෑ මිළදී ගන්නටත් ප්‍ර‍මාණවත් නොවන බැව් උත්සවයෙන් අනතුරුව අපට හමු වූ ඇගේ මාපියන් අප වෙත සැළකර සිටියේ හැඬු කඳුලෙනි. මේ කඳුළු දැක වඩාත් සංවේදී වූ අරුණළු සමග එහි ගිය ඇත්තන් ඒ අවස්ථාවේ ක්ෂණිකව ඇය වෙනුවෙන් සම්මාදම් කල මුදල රුපියල් 30000 කට මඳක් වැඩි වූවේය. මේ උත්සවය දවසේ මේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙත අප පරිත්‍යාග කල හොඳම තත්වයේ ක්‍රීඩා සපත්තු ඔවුන්ගේ දෙමාපියන්ගේ ආර්ථික තත්වය හමුවේ මිළදී ගැනීම සිහිනයක්ම පමණකි. වර්තමානයේ ඇය මහේෂ් ගුරුතුමා යටතේ ක්‍රීඩා ඉසව් පුරුදු පුහුණු වන්නීය. දැනට පෙනෙන්නට තිබෙන දක්ෂතා අනුව මධුෂිකා යනු ලංකාවේ මිළග සුසන්තිකා වන්නට බොහෝ දුරට ඉඩ තිබේ.

මධුෂිකා වෙත මුදල් ත්‍යාගය ලබා දෙමින්

ප්‍ර‍ධාන උත්සවයට සමාගාමීව අප සමග ගිය වෛද්‍යවරුන් සමග පොළොන්නරුවෙන් අපට එක්වූ දන්ත වෛද්‍යවරුන්ද වෛද්‍ය සායනය ආරම්භ කොට තිබුනි. මේ සඳහා අවැසි සියලුම බෙහෙත් ද්‍ර‍ව්‍ය පරිත්‍යාගයන් ලෙස අපට ලැබී තිබීම මහත් සහනයක් වූවේය. පාසල් දරුවන් වෙනුවෙන් පමණක් වෛද්‍ය සායනය පවත්වන්නට අප සැලසුම් කොට තිබුනත් මේ පරිසරයේ වෙසෙන අසරණ වැඩිහිටියන්ද බලෙන්ම වාගේ බෙහෙත් ගන්නට පොර කෑ නිසාවෙන් ඔවුන් වෙනුවෙන්ද සායනයේ දොරගුළු විවර කරන්නට අපට සිදු වූවේය.



අප එහි ගිය පසුගිය මාර්තු 20 වන දින මේ කලාපයේ පැවති දැඩි රශ්මිය, ජනතාව පිරුන පුංචි පංතිකාමර වල සිරවී දහඩිය වගුරුවමින් මේ ජනතාව වෙත බෙහෙත් නිකුත් කල වෛද්‍ය වරුන් කල මෙහෙවර ඉහළින්ම අගය කල යුතු එකකි. මේ තද බදය නිසාම දිවා ආහාරයට කාල වේලාව එළඹෙන විට වේලාව සවස 3 ට ආසන්න වී තිබුනි. දිඹුලාගල අවට පරිසරයෙන් සොයා ගත හැකි කළමනා යොදා සකස් කොට නෙළුම් කොලයේ තබා පිළිගැන්වූ මේ ආහාර වේලට වහ නොවැටුන කිසිවෙක් අප කණ්ඩායමේ නොවූයේය. 

අනේ කෑම දෙන එක කරදර වැඩක්නෙ...අපි දවල් කෑම එක ආමි එකෙන් ගන්නම්...

මේ වැඩ සටහන සැලසුම් කරන්නට අරුණළු සහ පාසල අතර පාලමක් බඳු වූ මහේෂ් ගුරු තුමා වෙත වතාවක් මම පැවසූවෙමි.

මොන තරම් කරදර තිබුනත් ගමට එන කෙනෙක්ට සංග්‍ර‍හ නොකර යවන්න දෙමාපියො කැමති නෑ. එයාලා බොහොම කැමැත්තෙන් තමයි සංග්‍ර‍හ කටයුතු කරන්නෙ.

කුලේ සහ සචිත්‍ර‍ මෙන්ම සචිත්‍රගේ බිරිදද, මේරියන්ස් සහෘදයෝද මේ කෑම වේල රස බැලුවේ ඉතාම තෘප්තිමත් සිතිනි. අප ආහාර බුඳින දෙස බලා අනේ තවත් බෙදාගෙන කන්නකෝ යනුවෙන් දෙමාපියෝ මෙන්ම ගරු මණ්ඩලයේ ඇත්තියන්ද නොයෙක් වර පෙරැත්ත කලේ ඔවුන්ගේ සංග්‍රහශීලීත්වය මොනවට ප්‍ර‍දර්ශනය කරමිනි.

දිවා ආහාරයෙන් පසු එළැඹුන මද විරාමයේදී ගමේ ඇත්තන් සිත් සේ ජනප්‍රිය චරිත සමග ඡායාරූප ගත්තෝය. ඒ සඳහා කිසිම බාධාවක් නොවීය. ඒ වන විට ජාත්‍යන්තර ක්‍රිකට් තරු දෙපල ඔවුන්ගේ ගමේ කෙනෙකු තරමටම ඔවුනට සමීප වී සිටියහ.

පාසල වෙත පිවිසෙන තැනම ඉඳිකර තිබූ ගොක්කොළ තොරණ සකසන්නට ගම්වාසීන්ට දිණ 5 ක් ගත වී තිබුනි. ඔවුන්ගේ මෙන්ම ඉවුම් පිහුම් වලට දායක වූ ගම්වාසීන්ගේද එකම ඉල්ලීම වී තිබුනේ පැමිණි පිරිස සමග ඡායාරූපයකට පෙනී සිටීමයි. එය ඒ අයුරින්ම ඉටු වූවා පමණක් නොව ඔවුන්ගේ වෑයම අරුණළු නඩයේ සෑම කෙනෙකුගේම නොමඳ අගය කිරීමකට ලක් වූවේය.

අප වෙනුවෙන් ආහාර සම්පාදනය කල පිරිස සමග

අපේ උත්සවයේ අවසාන භාගයේදී තම පාසල් කාලය මෙනෙහි කරමින් මේරියන්ස් විසින් කලකට පෙර ගායනා කල සමනළ රෑනක් සේ යන ගීතය මේ සමස්ත සභාවේම සහයෝගය ඇතිව ඉදිරිපත් වූවේය.. ගීතයේ තාලයට ලොකු කුඩා දරුවන් අත්පොලසන් නැගූයේ පුදුමාකාර සතුටකිනි.



අප සමග මේ ගමනට පැමිණි කලාකරුවන් මෙන්ම ක්‍රීඩකයන්ද කෙටි වීඩියෝ අනුසාරයෙන් මේ දරුවන් වෙත හදුන්වාදීම සිදු වූයේ ඉන් අනතුරුවයි. ගිමන් හරිද දියඹ දිගේ ගීතය හැදුවෙ මෙන්න මේ මාමා යනුවෙන් අරුණ ගුණවර්ධන අයියා ඔවුනට හදුන්වා දෙන විට කන්දේගම ග්‍රාමයේද ඉතාම ජනප්‍රියව තිබූ මේ ගීතය ශ්‍ර‍වණය කොට තිබූ ගමේ ඇත්තන්ද මහත් විශ්මයෙන් යුතුව ඔහු දෙස බලා සිටියේය.

ගිමන් හරින දියඹ දිගේ අප කැන්දාගෙන ගිය අරුණ ගුණවර්ධන

නුවන් කුලසේකරගේ කෙටි වීඩියෝව වේදිකාවේ කොනක තබා තිබූ පුංචි තිරයේ ප්‍ර‍දර්ශනය වන විට ඒ දෙස මහත් සංවේදීව බලා සිටි කුලේගේ ඇස් දෙකම කදුලින් පිරී තිබුනි. ඔහුට අද දවසේ මේ වැඩසටහන දැනුන ආකාරය පිළිබඳ සුරෙ අයියා කුලේගෙන් විමසූ අවස්ථාවේ ඔහුට හැඩුම් ආ නිසා කථාව අතර මග නැවතුනි. ඒ අවස්ථාවේ සභාවේ පැවති සංවේදීතාවය ඔබට විස්තර කරන්නට මගේ ශබ්දකෝෂයේ වචන මද බව මගේ අදහසයි.


පුරා මාස ගනනක් අරුණළු කණ්ඩායම වෙහෙස මහන්සි වී මේ පුංචි දරුවන් වෙත ගෙන ආ ලස්සන දවස ඉතාම සංවේදී ආකාරයෙන් නිමාව දකින විට, මයික්‍රෆෝනය අතැතිව සිටි සුරෙ අයියා මේ පාසලේ ගුරු භවතුන්ගෙන් ඉල්ලා සිටියේ කුමන අඩුපාඩුවක් තිබුනත් මේ දරුවන්ට උපරිමයෙන් තම දැනුම ලබා දෙන ලෙසයි.

උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් පුංචි දෑත් වලින් කදිමෙට හැඩ වැඩ උනු පුංචි පුංචි සමරු සටහන් ආරාධිතයන් වෙත ලැබෙන විට, මේ සඳහා දායක වූ අරුණළු ඇතමෙකුට ඔවුන්ගේ සේයාරූ අනුසාරයෙන් පැන්සලෙන් අදින ලද සිතුවමක් ලැබුනි. අප වෙත තිළිණ වූ මේ සමරු සටහන් වල වටිනාකම මෙතෙකැයි කිව නොහැක්කේ පුංචි සිතක නිර්මාණශීලීත්වයත්, මේ උත්සවය පැවති දින අප විසින් අත් දකින ලද කන්දේගම ගම්මානයේ මනුෂ්‍යත්වයත් ඒ තුල මොනවට මුසු වී තිබෙන නිසාවෙනි.




අරුණළු භාණ්ඩාගාරික චමීර අබේකෝන්
අරුණළු ලේකම් තාලරූප අධ්‍යක්ෂ චමිල් පතිරණ


මෙයින් මතු අරුණළු එළිය ඈත පළාත් වල අඩු ආදායම් ලාභීන්ගේ දරුවන් අධ්‍යාපනය ලබන පුංචි පාසල් වෙත වාර්ෂිකව නිසැකවම ලැබෙන්නේය. ඒ සෑම විටෙකම අප සමග එක්වන්නට මේ කලාකරුවන් මෙන්ම ක්‍රීඩකයන්ද එක සේ ශපත කොට අවසානය. මේ කාරියෙන් පසු එහි ඇතැම් තොරතුරක් අන්තර්ජාල ගොසිප් අඩවියක පල වන විට මා ඇමතූ ක්‍රිකට් ක්‍රීඩක ධම්මික ප්‍ර‍සාද් පැවසූයේ ඊලග අවස්ථාවේ නිසැකවම ඔහුද අප සමග එක් වන බවකි.

සිරා කොලුවා වන මමද ඔබට ඇරයුම් කරන්නේ මේ අවස්ථාවේ නොහැකි වූයේ නම් ඊලග අවස්ථාවේ හෝ අප සමග එක්වන ලෙසයි. මෙවැනි ගමනකදී ඔබට විඳින්නට ලැබෙන්නේ සැබෑම වූ ජීවිතය මිස වෙනකක් නොවේ.


ප්‍ර‍ධාන උත්සවය අවසන් වී දැන් මාසයකට වඩා කාලයක් ගත වී තිබේ. සිරා කොලුවා පෙලන කාර්යබහුලත්වය මේ ලිපිය පලවීම මේ තරම් දුරකට පමා කළේය. එහෙත් කම් නැත. මක්නිසාද යත් කන්දේගම කණිෂ්ඨ විද්‍යාලය සහ අරුණළු අප අතර බැඳීම තවමත් අවසන් වී නොමැති හෙයිනි.

පර්ත් නුවර රිද්ම පදනමේ අනුග්‍ර‍හයෙන් ගුරු නිවාස දෙකක් සම්පූර්ණයෙන් පිළිසකර කරන්නට දැන් සියල්ල සූදානම්ය. එහි සමස්ත වියදම රුපියල් මිලියනයකට ආසන්නය. එයට අමතරව මේ වැඩසටහනේ තතු විත්ති ආරංචි වූ ලංකාවේ ප්‍ර‍මුඛ පෙලේ ව්‍යාපාරිකයෙක් විද්‍යාලයේ ක්‍රීඩා ශූරියගේ නිවෙස පිළිසකර කොට මාස් පතා ඇයගේ ක්‍රීඩා කටයුතු වෙනුවෙන් අනුග්‍ර‍හය දක්වන්නට එකග වී හමාරය.

මේ සියල්ලක්ම අරුණළු අපගේ කැපවීම මත සාක්ෂාත් කරන ලද ජයග්‍ර‍හණයන්ය. සිරා කොලුවා විශ්වාස කරන බ්ලොග් කෙරුවාව යනු මෙයයි. අපගේ දායකත්වයෙන් හෙට දින විකසිත වන මේ කුඩා ජීවීන් අදට වඩා හොද ලංකාවක් නිසැකවම තනනු ඇත.

අරුණළු අභිමංගල ප්‍ර‍යත්නය සාක්ෂාත් කර ගැනීමට සහාය වූ ඔබ සැමටම බොහොමත්ම ස්තූතියි. 

ඔබ අපට හිරුම විය.
ඔබ අපට සඳුම විය.
අපි ඔබගේ දිදුලන මල් කැකුළු වෙමු !

උත්සවය පැවති දින අප ලද සමරු සටහනේ පුංචි අකුරින් එලෙස සටහන් වී තිබුනි.


මම කාමරේ අරින සිරා කොලුවා



ප.ලි

අරුණළු සමාජ සත්කාරය, සමස්ත ආදායම් වියදම් විස්තරය, ආධාර ලෙස ලබා දුන් භාණ්ඩ ලැයිස්තුව, බිල්පත් සහ බැංකු ශේෂය මේ සියලුම විස්තර මෙතැනින් භාගත කරන්න. ඔබ අප වෙත ලබා දුන් එකදු රුපියලක් හෝ අපහරණය නොකොට සත්‍ය ලෙසම මේ සත් කාර්යයේ යෙදවීමට අප කටයුතු කළෙමු.

අරුණළු වැඩසටහනේ ඇතැම් කොටස් ඉදිරියේදී ජාතික රූපවාහිනියේ අරුම පුදුම රෝද හතර සහ ස්වාධීන රූපවාහිනියේ වෙනස වැඩසටහන් වලින් විකාශය වීමට නියමිතය. 

අරුණළු සමාජ සත්කාරය වෙනුවෙන් සිය උපරිම සහයෝගය ලබා දුන් ස්වාධීන රූපවාහිනී සේවය ඔවුන්ගේ Coffee Table වැඩසටහනේදී වේලාසනම සහයෝගය දුන්නේ මෙලෙසිනි.



අරුණළු මනුෂ්‍යත්වයේ සත්කාරය මගින් ලබා දුන් ආධාර කන්දේගම දරුවන් ප්‍රයෝජනයට ගන්නා අයුරු මහේෂ් ගුරුතුමා අපට මෙසේ එවා තිබේ.




Related Posts Plugin for WordPress, Blogger...