Friday, July 31, 2015

53 නගාගේ පොල්ල නැති බයිසිකලේ අතවරයට ලක් වූ දා....



සිරා කොලුවාගේ අතිජාත මිත්තරයෙක් ලෙස කලක් බොක්කට බඩවැල සේ ආශ්‍රය කල නගා කොලුවා ගැන සිරාගේ කාමරයට එන යන බොලා දැන් හොඳින් දනියි. ඒ කාලයේ එ්කාට සිදු වූ සාටර් ක්‍රියා බොහොමයක් මවිසින් මෙහි අකුරු කොට තිබේ. මගේ වාසනාවක‍ටදෝ නගා කොලුවා සිරාගේ කාමරය ගැන හාංකවිසියක් වත් දන්නේ නැත. ඒ නිසාම තවමත් අතුරු උපද්‍රවයකින් තොරව නගා‍ කොලූගේ ඇඳිවතේ ඉතිරියත් ගලවා දමන්නට මා හට හැකියාව තිබේ.

සිරා කොලුවාගේ පාඩම් නඩයේ එකතුව 4 කි. වනිගයා, පුෂ්පයා සහ නගා එ් කණ්ඩායමේ සිටි බව පන්සලේ පාඩම් කල ඉතිහාසය ගැන ලියූ අවදියේද මම සඳහන් කර ඇත්තෙමි. අපි අතිරේක පන්ති, පාසලේ ක්‍රියාකාරකම් වලින් පසුව පාඩම් කරන්නට හැන්දෑ කොරේ පන්සල් ගියේ පා පැදි හෙවත් පුටාරා වලිනි. අපි සියලු දෙනාගේම පා පැදි වල හරස් පොල්ල සාමාන්‍ය අන්දමට තිබුනත් නගා පැද්දේ කාන්තාවන් පදින ආකාරයේ හරස් පොල්ල නැති වර්ගයේ පා පැදියකි. නගාගේ කෝල කොමල  අංග චලන සහ කථා බහත් සමග ඒ පා පැදිය ඒකාට කදිමෙට ගැලපුන බව ඒ කාලයේ අප කාගේත් අදහස විය.

ඇතැම් දිනයක පන්සලේ බණ මඩුවේ පැත්තක ගොඩ ගසා ඇති ඩෙස්ක් බංකු බාධක ලෙස සකසා අපි සියල්ලෝ ඒ අතර පැපැදි පැද්දෙමු. එසේ කරන්නේ අනිවාර්යෙන්ම නායක හිමියන් බැහැරක වැඩිය දවසකය. එවන් විටෙක නගාගේ පොල්ල නැති බයිසිකලය නිසාවෙන් ඒකා විඳි නවනිංගිරාව මෙතෙකැයි කියා නිම කල නොහැක. සියලුම අවඥාවන් සිනහවකින් දරාගෙන කෝප නොවී ඉන්නට නගා සුරුවිරුකම් පෑවේය.

පොල්ල නැති උනත් අපේ නගා තමාගේ බයිසිකලයට ආදරේය. ඒකාගේ නිවසේ සිට බස් මාර්ගයට සෑහෙන දුරකි. මේ දුර පයින් එනවා නම් කලින් දවසේ පාන්දරම උදෑසනට බුදින්නට බත් එකක් කාරිය ඔතාගෙන පැමිණිය යුතුය. මේ නිසාම බස් මාර්ගයට ආසන්නව නිවාස පිහිටි සිරා කොලුවාගේ හෝ පුෂ්පයාගේ නිවෙස් වල තම පා පැදිය තනිකොට දමා අතිරේක පන්ති වලට සහභාගි වීම නගා කොලුවගේ සිරිත වූවේය.

නගාගේ පියා අමුතුම කෙනෙකි. රජයේ සේවයෙන් විශ්‍රාම ගොස් සිටි ඔහු ඇඟට පතට නොදැනී පොලියට මුදල් දෙන ව්‍යාපාරයක් පවත්වාගෙන ගියේය. නගාගේ අයියා එකල සේවය කලේ ගම්පහ පොලිසියේය. අක්කාද රජයේ සේවිකාවකි. මේ කරුණු කාරණා හේතුවෙන් උපන් යම්කිසි අාත්ම අභිමානයක් තරමට වැඩි වූ නිසාදෝ වටේ පිටාවේ කිසිවෙක් නගාලා සමග එතරම් ඇයි හොදයියක් තිබුනේ නැත. ගමේ එකාලා සමග වැඩි පයුරු පාසානයක් තිබුනේ නැති නිසාම නගා උගේ අතිජාතයෝ ලෙස අප සමගම දිවි ගෙවූයේ අපෙන් ලද කුණු කථා කනකට වත් නොගෙනය.

මේ කියන දිනයත් සුපුරුදු ලෙස අතිරේක පන්තියකට සහභාගි වී නිවසට පැමිණි දිනයකි. එදා නගාගේ පොල්ල නැති පුටාරාව අපේ නිවසේ මිදුලේ ගසකට හේත්තු කොට ඒකා පන්ති ගොස් තිබූ නිසා අාපසු පැමිණියේ සිරා කොලුවා සමගිනි. ඊට කලින් දිනයක පන්තියට සහභාගි නොවීම නිසා අතපසු වූ සටහන් ලියා ගැනීමට මා හට නගාගේ අභ්‍යාස පොතක් අවශ්‍යව තිබුනි. මා පැමිණෙන ලෙස රැදී සිටින ලෙස පැවසුවත්...නගාගේ බඩේ ගින්දර ඉහ වහා ගොස් තිබූ නිසා ඒකා මා දමා තනිවම පොල්ල නැති බයිසිකලයට පණ දුන්නේය.

කකුල් දෙකටම කලිසම් ඇද සිටි මම ඒවායින් මිදී කොට ෂෝටකින් විළිවසාගෙන එකල මගේ ප්‍රියම්භිකාව වූ මගේ පුටාරාව මතට නැගී නගාගේ ඉසව්ව බලා පිම්මේ පෑගුවේ කෙසේ හෝ නගා පසු කර යන ඒකායන පැතුමක් මගේ චිත්ත සන්තානයේ ඉපදී තිබූ නිසාවෙනි.

අපේ නගා කොලුවාගේ නිවෙසට ගම මැදින් යන ප්‍රධාන මාර්ගයේ ගොස් කන්දක් සමග හමුවෙන හතර මං හන්දියකින් වමට හැරී යා යුතුය. මේ කන්ද දෙන්නා ඩබල් දමා යන විටක නම් පෑගීම උගහටය. ඒ නිසාම එතනින් බොහෝ බබල් කරුවන් තම දෙපා මතින් කන්ද තරණය කළෝය.

සිරා කොලුවා හැති දමමින් දැන් කන්දට ලං වෙමින් තිබේ. සාමාන්‍යයෙන් එතරම් ජනකායක් ගැවසෙන්නේ නැති මේ හන්දියේ ඈත සිටම විශාල ජනතාවක් රැඳී සිටින අන්දම මගේ යුගදෙනෙතට සම්මුඛ වූ හෙයින් කුමක් හෝ යමක් එතැන සිදුවන වග මගේ අක්මාවට දැනෙයි.

ගම්වැසියෝ කවයක් ආකාරයෙන් වටවී ඔවුන්ට ඉදිරියෙන් ඇති කැන්ටර් වර්ගයේ ටිපර් රථයක් දෙස බලා සිටියි. හන්දියේ සියලු මාර්ග අවහිර වන ලෙස කැන්ටරය නවතා ඒ ඉදිරියේ චණ්ඩියෙකුට රගපාමින් එකෙක් සිටියි. ඒ පුද්ගලයා මම කලින් දැක නොමැති නිසා ජාතකේ දන්නේ නැතිය. එහෙත් කැන්ටරයට යට වී පොඩි පට්ටම් වී තිබූ අපේ නගාගේ අසරණ පොල්ල නැති බයිසිකලය දුටු විගස මගේ ආවේගයන් මා තුල බුර බුරා නැගෙන බව යන්තමින් මෙන් දැනුනේය. මිත්‍ර සම්පත්තියේ නාමයෙන් මිට මොළවාගත් දකුණත සහිතව චණ්ඩියාගේ හකු පන්නන්නට සිරා කොලුවා වෑයමක් දරනු දුටු නගා නිසා හඳුනාගත් උන්ගෙ ගමේ රොෂාන් කොලුවා එසේ නොකරන ලෙස මා හට හස්ත සංඥා මගින් ඈත සිට දැනුම් දුන්නේය. ඒ පෙරළා මවෙත එල්ලවිය හැකි ප්‍රති ප්‍රහාරයන් නිසා විය යුතුය.

පොල්ල නැති බයිසිකලයේ පැමිණි නගාට කුමක් වීද ? නගාගේ බයිසිකලය මෙසේ දූෂණය කර මරා දැමුවේ ඇයි ? මෙවැනි ගැටලු මගේ චිත්ත සන්තානය වෙලාගෙන අවසානය. මේ ක්‍රියාව හමුවේ නගාගේ ගමේ ගම්වැසියන් විරෝධතාවක් නොදක්වා මුණිවත රකින අන්දම මා හට විශ්මයකි. අපේ ගම්මානයේ මෙවැනි යමක් වූවා නම් කැන්ටර් කරුවා අවසන් හුස්ම හෙළන්නේ ගමේ උන්ගෙන් බඩකට පුරා සැලකුම් ලැබීම නිසාවෙන් බව මට විශ්වාසය. නගාගේ පවුල සමග වට පිටාවේ උන්ගේ හිත් වල තිබූ විරසකය නිසාම මේ සිදුවීම දෙස ඔව්හු මහත් අභිරුචියෙන් බලාගෙන සිටිති.

නිතර දෙවේලේ නගාගේ ගෙදර බඩගෑම නිසාම මා හදුනන නගාගේ අසල්වැසි කාන්තාවක් මගේ කනට ඇගේ මුව ලං කර...

පුතේ ........තාත්තට කියන්න යනුවෙන් මා හට කීවාය.

ඒ සැනින් මම පුටාරාව රැගෙන නගාගේ නිවසට ගියෙමි. මා එහි යන විටත් හන්දියේ සිදුවන කලබලය පිළිබඳ මෙලෝ සංසාරයක් නොදන්නා නගා කොලුවාගේ පියා ඉරිදා ලංකාදීපය තම මුහුණ වැසෙන සේ අල්ලාගෙන කියවමින් සිටියේය.

මාමෙ...කෝ .........

ඇයි තවම පන්ති ඇරිලා ආවෙ නෑනෙ.

ඉන් ඉක්බිති හන්දියේ මා දුටු සිදුවීම් පෙළ නගාගේ පියාට කියන්නට පටන් ගත් විගසම පිය සෙනෙහස මේ යැයි කියමින් ඒ මහළු මිනිසා උඩුකයට ඇදුමක් හෝ නොමැතිව සරම් කොටය පිටින්ම හන්දියට දිව්වේ මිදුලේ තිබූ උදළු කෙටියද රැගෙන විලාප නගමිනි. එ් පසුපසින් සිරා කොලුවාද දැන් පිම්මේ දුවයි. පියාගේ විලාපය නිසා සභා තොමෝ ඒ මේ අත විසිර ගොස් එහි තරමක හිස් තැනක් නිර්මාණය වූයේ ක්ෂණයකිනි. 

කෝ යකෝ මගෙ කොල්ලා....තෝ ඒකාට මොකද කලේ.. නගාගේ පියාගේ උදළු පහරකින් කැන්ටරයේ පැමිණි බීමත් චණ්ඩියා යටියන්තොට යන්නට ආසන්නය. මම වහා ඉදිරියට පැන උදලු මිටෙන් අල්ලාගෙන නගාගේ පියතුමා මිනී මැරුමකින් නිදහස් කරගත්තෙමි.

මට මගෙ කොල්ලා දීපන් යකෝ...මම තෝව තියන්නෙ නෑ. ඇගපතින් කුඩා වුවත් පුත්‍ර ස්නේහය නිසාම ඇතිවූ ධෛර්යයකින් නගාගේ පියා කෑ කෝ ගසයි.

ඇඟපතේ හොඳින් මස් පිඩු වැඩී තිබූ චණ්ඩියා අඩියක් ඉදිරියට පැමිණ,

තොට කොල්ලා නේද ඕනෙ...හිටහං කොල්ලව දෙන්න...

එසේ කියා ඔහු කැන්ටර් රථයේ රියදුරු අසුන පැත්තේ දොර විවර කලේ විදුලි වේගයකිනි. මා ඇත්තටම සිතුවේ නගා කොලුවා අවසන් ගමන් ගොස් කැන්ටරයේ ඉදිරියේ සතපා ඇති බවකි. ඒ නිසාම මගේ හදවතද වේගයෙන් ගැහෙයි.

සිතාගත නොහැකි වේගයකින් රථය පණ ගන්වා ඉදිරියට පැදවූ ඔහු නගාගේ අසරණ පියා එයට යට කරන්නට ගත් සාහසික උත්සාහය මවිසින් වැලකුවේ වහා ඒ මහළු මිනිසා මාර්ගයේ පසෙකට තල්ලු කර දැමීමෙනි. ඒ පිම්ම නැවත රථය හරවාගත් චණ්ඩියා වේගයෙන් රථය පදවා නොපෙනී ගියේය.

එතෙක් වේලා කැන්ටරයට යට වී විලාප දුන් නගාගේ පොල්ල නැති බයිසිකලයේ දසුන හද කම්පා කරන එකකි. මේ බයිසිකලයට නගාගේ ඇති ආදරයත්...ගන්න අලයක් නොමැතිව දරණ ගසාගත් නයකු බඳුව ඒ මේ අත ඇඹරී ගොස් නැවත කිසිම දිනෙක භාවිතයට ගත නොහැකි පරිද්දෙන් බිම වැතිරී සිටි අන්දමත් දුටු විගස මගේ හදවතට මහා දුකක් දැනින. 

සිද්ධිය සමනය වී මඳ වේලාවක් ගත වූ පසු ඒ ආසන්නයේ නිවෙසකින් නගා කොලුවා නිරුපද්‍රිතව අප ඉදිරියට පැමිණීම මහත් සොම්නසට කරුණක් විය. තම ජීවිතය බේරා ගැනීම පිළිබඳ මා හට අනේක ස්තූති කල නගාගේ පියතුමා ඒ සැනින් පොලිස් පොතට මේ පිළිබඳ පැමිණිල්ල එකතු කරන්නට පොලිසිය බලා ගියේය.

නගාගෙන් පසුව දැනගත් පරිදි එදා පන්තිය නිමවී නැවත නිවෙස් බලා යන විටෙක මාර්ගය අසල සිටි කැන්ටර් චණ්ඩියා පොඩියක් කථා කරන්නට අවැසි බව කියමින් නගා නවතාගෙන තිබේ. ඒ ඇසිල්ලේ ඒකා නගා වෙත එල්ල කල පහරක් නිසා නගා පුටාරාව අත හැර අසල නිවෙසකට දිව්වේ නැවත පැමිණ පොල්ල නැති බයිසිකලය රැගෙන නිවසට යන අටියෙන් වුවත් බීමතින් සිටි මෝඩ චණ්ඩියා හන්දිය මධ්‍යයට එය රැගෙන විත් තම රථයෙන් සාහසික ලෙස තලා දමා ඇත්තේ ඉන් පසුවයි.

මගේ මිත්තරයාගේ ගමේ නීති විරෝධී කසිප්පු ජාවාරම් කරුවෙකු වන මේ පුද්ගලයා ඊට සති කීපයකට ඉහතදී පොලෝසිය මගින් හදිසියේ කුදලාගෙන යන්නට ඔත්තුව දුන්නේ පොලිසියේ සේවය කරන නගාගේ අයියා බවට සැක කර තිබේ. මහ මහ තනි පංගලමේ අයියා අල්ලාගන්නට මාන බැලූවද ඒ කාරිය කොරගන්නට බැරි වූ තැන අයියාගේ මල්ලී වූ නගා කොලුවා නිරපරාදේ දංගෙඩියට බෙල්ල තැබුවේය.

පොල්ල නැති නගාගේ බයිසිකලය පොඩි කිරීම, මිනී මරන්නට තැත් කිරීම  ආදී එකී නොකී චෝදනා රැසකට කැන්ටර් කරුවා පොලිසියේ අත්අඩංගුවට පත් වූවේය. මේ චණ්ඩියාගේ වැඩිමල් සහෝදරයා ඉහළ උගත් කමක් ඇති සාධාරණයට හිස නමන කෙනෙකි. උසාවියේදී මේ කාරණය ගොඩින් බේරාගන්නට දෙපාර්ශවයම කැමත්ත පල කලේ එහෙයින් විය යුතුය. නගාගේ පිය තුමාගේ දෙපා වැද උසාවියේදී සමාව ගැනීමටත්...විනාශ කල බයිසිකලය වෙනුවට නව බයිසිකලයක් ලබා දීමටත් විත්තිය පොරොන්දු වී තිබුනි.

පේනවනෙ උඹලා මට කෝචොක් කලාට...අපි ඩෝ...ඕනෙ ගේමකට රෙඩි පොරවල්...මට ගහන්න ආව වෙලේ මම දිව්වා උනාට...මගෙ බයිසිකලය චොප්ප උනාට...බලහං අන්තිමේදි කවුද බල්ලෙක් වගේ වැඳලා සමාව ගත්තෙ...ඌට ගමේ උනුත් දැන් කින්ඩියට කථා කරන්නෙ.

නඩුහබ අවසන් වී සතියක් ගිය තැන විත්තියෙන් ලැබුන අලුත්ම බයිසිකලයත් රැගෙන නගා අප හමුවන්නට පැමිණ කට කයිවාරු දොඩමින් සිටියි. විනාශ වූ පොල්ල නැති බයිසිකලය වෙනුවට මෙදා ඒකාට පොල්ල සහිත බයිසිකලයක් ලැබී තිබේ.

උඹට තිබුනෙ පොල්ල නැති එකක්නෙ බං...මේක පොල්ල තියෙන එකක්නෙ...මිනිහා පොරොන්දු උනේ ඒ වගේම එකක් අරන් දෙන්න නේද...

ඒක නං එහෙම තමයි...ඒත් බයිසිකලය දෙද්දි ඒකා කිව්වෙ ඒ බයිසිකල් මොඩ්ල් එකේ පොල්ල නැති බයිසිකල් කොහෙවත් දැන් ගන්න නෑ ඒ නිසා පොල්ල තියෙන එක ගෙනාවා කියලා. මටත් හොදයිනෙ බං ඉතිං...දැන්වත් තොපේ කුණු කටවල් වැහෙන්නෙ නැතෑ...අනිත් එක කලින් බයිසිකලේ ඉස්සරහා බ්‍රේක් වැඩ කලේම නෑ කොච්චර හැදුවත් හරියකට...ඒකට මේකෙ...නියමෙට වැඩ...

ඒ කියන්නෙ තොගෙ බයිසිකලේ පොඩි උන එකෙන් උඹට උනේ වාසියක්ද...මමත් වනිගයාත් පුෂ්පෙ කොලුවාත් එක්වරම මෙන් නගාගෙන් විමසුවෙමු.

නැත්තං යකෝ....දැන් අවුලක් නැතුව කෙල්ලෙක් කාරිය දාගෙන පාගන්න බැරියැ හන්දියෙ ඉදන් ගෙදර එන වෙලාවට...නංගිලා යමුද කියලා අහන පරක්කුව විතරයි. මේක යකෝ ලොතරැයියක් ඇදුනා වගේ වැඩක්.

අසික්කිත නගා එසේ කීවේය.




මම කාමරේ අරින සිරා කොලුවා.

Monday, July 20, 2015

47 ත්‍රී වීල් බාබු

ඇළකන්දේ බාබුගෙන් පසු තවත් බාබු කෙනෙකු ගැනම ලියන්නට සිරා කොලුවාට සිත් වී තිබේ. මේ චරිතය පිළිබඳවත් සටහනක් තිබුවේ නැති වුවහොත් එය බලවත් අඩුපාඩුවක් බව මගේ අක්මාවට දැනෙයි. ඇළකන්දේ බාබුට වඩා සහමුලින් වෙනස් ගතිගුණ සහිත අපේ ගමේ බාබුවාගේ නම වෙනකක් වුවත් බාබු යැයි කියූ සැනින් කවුරුත් දන්නා තැනට ඒකා ලඟා වූයේ පියවරෙන් පියවර කාලයට සමානුපාතිකවය.

අපේ ගමේ පිල්ලෑව ඉසව්වේ පොල් වත්තක අපි කාලයක් ක්‍රිකට් ක්‍රීඩා කලෙමු. මේ ආසන්නයේ තිබූ බිම් කඩක ගමේ සෙසු ජනතාව සමග එතරම් මුහු නොවූ හුදෙකලා පවුල් කීපයක් අතීතයේ මෙන්ම වර්තමානයේත් ජීවත් වෙති. අපේ කථා නායකයා මේ කියූ පරිසරයේ විසූ කෙනෙකි. අප එහි ක්‍රීඩා කල කිසිම දවසක ඔහු අප සමග ක්‍රීඩාවට එකතු වී නැත.

පවුලේ අඟ හිඟකම් මෙන්ම දෙමාපියන්ගේ තිබූ නොසැලකිල්ලත් හේතු කොට බාබු පැටියා කාලයේ වැඩි දුර අධ්‍යාපනයක් ලැබුවේ නැත. සාමාන්‍ය පෙළටත් කලියෙන්ම පාසලට සමු දී අතට අහුවෙන දෙයක් කොට යම් මුදලක් උපයාගැනීම ඔහුගේ දින චරියාවට පුරුදු විය. ඒකා අප්‍රිකානු කාපිරි මිනිසෙක් තරම් දැකුම් කළු, වැඩිය ඇඟපත නැති එකෙකි. හෙතෙම සිනාසෙන විට දත් වල කිරි පැහැය ඉතාම හොඳින් ඉස්මතු වී පෙනුනි.

ඒ කාලයේ අපේ ගමේ කොලු කුරුට්ටෝ එකෙක් නෑර පාසල් නිවාඩු සමයේ සරුංගල් උඩ යවන්නට ගමේ වෙල් එළියට එක් වූවෝය. සරුංගල් නැති එවුන් සරුංගල් ඇති එවුන් වෙනුවෙන් ආවතේව කරන්නට සැදී පැහැදී උන් වටපිටාවක සරුංගලයක් නැති බාබුවා වෙනකෙකුගේ සරුංගලයක් ඒකා දිවා ආහාරයට නිවෙසට ගොස් පැමිණෙන තෙක් බලා ගන්නට බාරගෙන තිබුනේය. සරුංගලයේ හිමිකරුවා නැවත සරුංගලය සොයා එනවිට බාබුවා එය ඔතාගෙන නිවෙසට ගොස් හමාරය. පසු කාලයකදී හොරෙක් ලෙස හංවඩු ගැසී නීතියෙන් අච්චු ලැබූ බාබුවාගේ හොරකමේ උපත ඒ ආකාරයෙන් ආරම්භ වූවේය.

කරදඬු උස් මහත් වී උගුරු අැටය පනින කාලයේ බාබුවා ගමේ සිටියේ නැත. ඒකා නැවත අප ඉසව්වේ ජීවමාන වන විට තරුණ වියට එළැඹී සිටියේය. කුඩා කාලයේ තිබූ කුළෑටි කම තවමත් පහව ගොස් නැති වග ඒ රුවෙන් මනාව දිස් වූ බවක් මට මතකය. ඒ වන විටත් ගමේ ඇත්තන් සමග එතරම් ඇයි හොඳයියක් තිබුනේ නැති බාබුවා හිටි අඩියේම 200 - රතු පැහැති තුන් රෝදයකුත් සමග හන්දියේ තුන්රෝද රථ රියදුරෙක් වීම කාට කාටත් විශ්මය කැටුව ආ එකක් විය.

ඇත්ත වශයෙන්ම මේ හාදයා බාබු ලෙස බෞතීස්ම ලැබුවේ මේ තුන්රෝද රථ කරුමාන්තයෙන් පසුවය. හෙමින් ගමනක් තිබුනේ නැති බාබුවා හැම විටම තුන් රෝදයෙන් ඉගිලුනේය. ගමේ කුඩා අතුරු මාර්ගයක වුවත් මේ වේගයේ අඩුවක් තිබුනේ නැත. කුඩා දරුවන් සිටි නිවෙස් වල වැඩිහිටියන් බාබුවාගේ දෙමාපියන් සිහිකර බැණ වැදුනත් වේගය අඩු වූයේම නැත. ප්‍රේමදාස ජනාධිපති තුමා ඝාතනය කල මරාගෙන මැරෙන බෝම්බ කරු වූ බාබු ගේ නාමය මරාගෙන මැරෙන්නට මෙන් තුන් රෝදය පදවන මේ හාදයට ඈඳුනේ නිරායාසයෙනි.

එකල හන්දියේ තුන්රෝද රථ අතර පිළිවෙලකට හෙවත් ටර්න් එකකට දිවිල්ලක් තිබුනේ නැත. බොහෝ රථ සවස 7 පමණ වන විට සේවය නිමකලත් බාබු තවත් බොහෝ වේලා සේවය සැපයූ නිසා ඔහු සමග කෙටි කලකින් හිතවත් වූ පිරිස බොහෝ වූහ. මේ නිසාම තුන්රෝද රථ නැවතුමේ ප්‍රසිද්ධම චරිතය බවට බාබු පත් විය.  ඔහුගේ රෝද තුනේ සුරතලාට නිවනක් නැත. හයර් හයර්.....

එහා ගමේ දමයන්තිගේ සැමියා මලේ හිටි අඩියේය. පුංචි දරුවන් දෙදෙනෙකු සමග ජීවන ගමන ගෙනයන්නට මහත් සටනක් කරමින් සිටි ඇය දෑතේ කර්මාන්තයක් හෝ නොදැන සිටියාය. මියගිය සැමියා ඉතිරිකල යමක් හෝ වතුපිටිවලින් ගත හැකි ආදායමක් නොමැති වූ හෙයින් අවසානයේ එතෙක් නොකල කරුමාන්තයකට ඇය අත ගසා තිබුනි. ඒ කුකුලු මස් ව්‍යාපාරයයි. ඇගේ කකුලන් මරා මස් පිණිස සකසා දෙන්නට බාබු ගොයියා මුල් කාලයේ ඇයට උදව් වී තිබේ. බාබුගෙන් කුකුළු කර්මාන්තයේ අයනු ආයනු ඉගෙනගත් ඇය පසුව තමා විසින්ම කුකුලන් මරා ඒ කටයුතු තනිවම සිදුකරන තැනට දියුණු වූවාය. මෙයින් ලද ආදායම් මෙහෙයවා බාබු හට තුන් රෝදයක් රැගෙන දුන්නේ දමයන්ති බව පසුකාලයකදී  අපට ආරංචි වූවේය.

මේ සුහදකම තව තවත් ඔඩුදුවා පසුකලෙකදී බාබු සමග හැංගි හොරා බැඳි අනියම් ඇසුර පසු කාලීනව එළිපිටම දකින්නට ලැබෙන තරමට මේ යුවල ප්‍රේමයෙන් මුසපත් වූවෝය. තමාගේ මවගේ වයසේ බඳු කාන්තාවක සමග පෙම් කෙළින බාබුවා ගමේ වැඩිහිටි කාන්තාවන්ට පේන්නට බැරි තරමට අප්‍රිය විය. මේකාව මුලිච්චි වෙන තැනක...නෙදකින් අවලමා.. යනුවනේ තෙපළා ඔව්හු කෙළ තලියක් මහී කාන්තාව වෙත හෙළුවෝය.

සිරා කොලුවා අපේ නිවසේ විසිතුරු ශාකයක් කප්පාදුවට ගොස් සිදු වූ සන්තෑසිය මම වතාවක් අකුරු කළෙමි. එදා කප්පාදුව අතර තුර එක් ඇසකට ඒ ගසේ කිරි ඇතුල් වූ පසු ඇහැ බේරාගන්නට වෛද්‍ය ප්‍රතිකාර කඩිනමින් ලබා ගන්නට මා හට පිහිටවූයේ බාබ‍ුගේ තුන් රෝදය බව මට මේ මොහොතේ මතක් වෙයි. ඇසෙහි වූ දැඩි දැවිල්ල නිසාම මා බාබු හට උපදෙස් දුන්නේ හැකි වේගයෙන් ගමන් කරන ලෙසයි. විදුලි වේගයෙන් වෛද්‍යවරයා වෙත මා රැගෙන ගිය බාබු එදා මා හට ඇස බේරාගැනීමට සහාය වූවේය.

එහෙත් පැණි වරකා ගහට හෙණ ගැහුවාක් මෙන් හිටි අඩියේම බාබුවා සමග තිබූ ඇසුර නතර කර දැමූ දමයන්ති තුන් ‍රෝදයද නැවත ලබාගෙන ඇය විසින් තම ව්‍යාපාරයේ අවශ්‍යතා වලට පදවන්නට වූවාය. යන එන මං නැති වූ බාබුවා එතනින් පසු වෘත්තීය හොරෙකු වූයේ හිතේ තරහට දමයන්තිගේ කුකුල් පට්ටියෙන්ම කුකුල් නාම්බන් කීප දෙනෙකු සොරකම් කිරීමෙනි. එතැන් පටන් මාස තුන හතරකට වතාවක් ගල් පල්ලි ගොස් ගමරට බලා ඒම බාබුවා හට සාමාන්‍ය දෙයක් පමණක් වූවේය. මේ ක්‍රියාදාමය දිගින් දිගටම සිදු වූ නමුත් ගමේ කිසි දෙයක් බාබු හොරකම් කලේ නැත. ඒකා වැනිම තවත් දෙතුන් දෙනෙකු සමග ආසන්න පෙදෙස් වල ගේමක් ගසා පොලෝසියට මාට්ටු වූ බවත්..උඩ එල්ලා ඇතිවෙන්නට සැලකූ බවත් විටෙක අපට සැළ වෙයි. කල් යත්ම පොලෝසියෙන් ගුටි කා බාබුවාගේ ඇඟපත හොඳින් පදම් වෙන්නට ඇත.

බොහෝ කාලයක් යන තුරු බාබුවා දකින්නට නොලැබෙන්නේ ඒකා ගල් පල්ලි බඩ ගා ඇති බැවිනි. නමුත් කාලයකට පසු කිසිවක් සිදු නොවූ අයුරින් අපේ හන්දියට බාබුවා පැමිණෙයි. මඳ කාලයක් ඇවෑමෙන් ආයෙමත් බාබු ඇතුලට ගිහින් යනුවෙන් නැවත අසන්නට ඉඩ සැලසෙයි.

තුන්රෝදයක් නැති තැන කීප දෙනෙකුගෙන් දවසෙ වියදම දෙන්නට රථයක් ඉල්ලා සිටියත් බාබු හට එය කිසිවෙකු දුන්නේ නැත. මම රට පැටවෙන්නට ආසන්න කාලයේදී කුකුල් මස් කඩයක වැටුපට කුකුලන් මරමින්, එහි වූ සකලවිධ වගකීම් ඉටුකරමින් අසරණ බාබු සිටියේය. දැන් ඒකා කොයි අත ගොසින්දැයි නොදනිමි.

අපේ සමාජයේ එක් වරක් වැරදි කරුවෙකු වූවෙකුට ඒ වරද නිවැරදි කරගෙන සමාජගත වන්නට බොහෝ විට ඉඩක් නැත. බාබු සම්බන්ධයෙන් සැලකූ විට මේ තර්කයේ යම් සත්‍යතාවක් තිබේ යැයි මට සිතේ. ඵලදායී ආර්ථික කාර්යයක නිරත වෙන්නට කිසිදු ඉඩක් නොමැති කල තම යැපීම උදෙසා මුදල් සොයන්නට අනුගමනය කරන විකල්ප ක්‍රමවේද තුලින්  අලුතින් චෞරයන් සමාජයට බිහිවන්නේ එලෙස විය යුතුය.


මම කාමරේ අරින සිරා කොලුවා.

Tuesday, July 14, 2015

58 ඇළකන්දේ බාබු

ඇළකන්ද යනු වත්තල ප්‍රීතිපුර වෙරළට ආසන්නයේ තිබෙන පෙදෙසකි. ධීවර ප්‍රජාව මෙන්ම වෙනත් වෘත්තිකයන්ද මේ ඉසව්වේ කලවමේ වෙසෙති. ඇළකන්ද අගට හන්දිය යන පදය එකතු කල විට බොහෝ දෙනා මේ පෙදෙස හඳුනති. සිරා කොලුවාට ඇළකන්ද සමග කිසිම පයුරු පාසානමක් තිබුනේ නැති වුවත් වෘත්තීය ජීවිතය තුලදී හමුවුන තවත් ඩිසයිනරයන් දෙදෙනෙකු වූ වයසින් මට වඩා පහළ කක්කුට්ටා සහ ජංගම ග්‍රැෆික් දොස්තරගේ නිවාස පිහිටා තිබුනේ මේ ඉසව්වේ නිසා කාලයේ අැවෑමෙන් මමද මේ පෙදෙසට යන්න එන්නට පටන් ගත්තෙමි. අප තිදෙනාම කාලයක් ලංකාවේ නමගිය දැන්වීම් ප්‍රචාරණ ආයතනයක එකලග ආසන වල සිට සේවය කළෙමු.

කක්කුට්ටා මෙන්ම ග්‍රැෆික් දොස්තර ගොයියාද ආරෝහ පරිනාහ දේහධාරීන් වෙති. ඩිසයින් කරන්නට කුමක් ලැබුනත් ක්ෂණිකව ඒ දේ කලහැකි විවිධ සූක්ෂම ක්‍රම තිබුන නිසා ජංගම ග්‍රැෆික් දොස්තර නැමති තරමක් දිග නමක් ඒකාට පට බැඳුනි. 

මුන් දෙන්නා බාල කාලයේ සිටම එකට හැදුන වැඩුන අයවලුන් වූ නිසාවෙන්ම උන් අතර තිබුනේ පුදුමාකාර බැඳීමකි. ග්‍රැෆික් දොස්තරගේ පියා ජීවතුන් අතර නැත. ඒ පවුලට සිටි එකම දරුවාද ඒකා විය. ඔහුගේ මව ඔවුන් සතුව තිබූ ධීවර යාත්‍රා තුන මගින් ලැබෙන ආදායමෙන් පවුලේ නඩත්තුව ගෙන ගියාය.

අප මිත්‍රයා ධීවර රස්සාවට බැස්සේ නැති නිසා මේ යාත්‍රා ධීවර කර්මාන්තයේ යොදවා ආදායම් රැස් කලේ ග්‍රැෆික් දොස්තරගේ බාප්පා විසිනි. බාපු යනුවෙන් පවුලේ අය බාප්පා හැදින්වුවද අපි ඔහු හැදින්වූයේ බාබු යනුවෙනි. අප මිත්‍රයාගේ මවගේ නැගණිය සමග බාබු විවාහ වී සිටියේය.

හෙතෙම වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කදිම විනෝදකාමියෙකි. තවමත් තරුණ විය ඉක්මවා සිටියෙකු නොවීය. රහමෙර සහ ඔහු අතර තිබුනේ ඉතා කිට්ටු ඇසුරකි. දෙදරු පියෙකු වූ හෙතෙම ජීවිතයේ කිසිම බරක් පතලක් නැති එකෙකු සේ කල් ගත කලේය. අධික මත්වීම හේතුවෙන් යම් ‍යම් රෝගී තත්වයන් වරින් වර උත්සන්න වද්දී ඔහුගේ බිරිඳගේ කටේ බලයට දින කීපයක් උපාසකයෙකු මෙන් සිටින බාබු හිටිවනම නැවතත් සුරාව සමග ගණුදෙනු කිරීම අරඹයි.

අප මිත්‍රයා බාබු පිළිබඳ නොයෙක් දේ අප සමග වරින් වර පවසා තිබුනත් හා පුරා කියා ඔහු දැකගන්නට බොහෝ කාලයක් ගත විය. බාබුගේ එක්තරා උපන් දිනයක් උත්සවාකාරයෙන් සමරන්නට නිවැසියෝ කටයුතු යොදමින් සිටි වටපිටාවක එයින් වැඩි හරියක බර පැටවුනේ බාබුගේ ඥාති පුත්‍රයා වූ අප ජංගම ග්‍රැ‍ෆික් දොස්තරගේ හිස මතයි. එකල අප සේවා ස්ථානයට යාබදව තිබුනේ පුංචි පහේ කෙටි කෑම කඩයකි. උන් අයිසිං කේක් කර්මාන්තයද සාර්ථකව කරගෙන ගියෙන් බාබුගේ උපන් දිනය වෙනුවෙන් කේක් ගෙඩියක් සකසන්නට මේ ඇත්තන්ට ඇණවුම ලැබුනි.

කැපුවත් කොළ යයි කිව හැකි තරමේ උග්‍ර එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවෙකු වූ බාබු හට එවකට ජනාධිපති ධූරය දරමින් සිටි මහරජතුමා තරම් වෙනත් අකමැති දේශපාලඥයෙකු නොවීය. මේ කාරණය උපයෝගී කරගෙන ඔහුගේ උපන් දින කේක් ගෙඩිය සකසන්නට නිර්මාණාත්මක යමක් කරන්නට අප මිත්‍රයා තීරණය කළේය. ඒ අනුව බාබුගේ උපන් දින කේක් ගෙඩිය ලා නිල් පැහැති විශාල මාලුවෙකි. මේ මාලුවාගේ බඳ කොටසේ සුභ අනාගතයක් යනුවෙන් සටහන් කොට ඊට පහලින් මහින්ද රැල්ල සමග සුදු නෙළුම පිපී තිබුනි.

මේ උපන් දින උත්සවයට ග්‍රැෆික් දොස්තර මා හටද ආරාධනා කලෙන් මමද එහි ගියෙමි. එදින රැකියාව නිමවූ පසු විශාල කේක් ගෙඩියද සමග අප මිත්‍රයා තුන් රෝද රියකට නැගුනේ කක්කුට්ටා සමග නිවසට එන ලෙස පවසමිනි. අප එහි යන විට පවුලේ ලඟම ඥාතීන් බොහොමයක් එහි එක් රැස් වී සිටියහ. ක්‍රේප් කොල මෙන්ම බැලුන් සැරසිලිද සාලයේ අඩුවක් නොවීය. උපන් දින කුමරා වූ බාබු තම ඤාති පුත්‍රයාගේ මිතුරන් ලෙස අප ඉතාම සාදරයෙන් ආදරයෙන් ගෞරවයෙන් පිළිගත්තේය. ග්‍රැෆික් දොස්තරගේ ඤාති සමූහයා අතර සිටි ඇහැට කනට පේන දැරිවියන්ට ඇහැ කරකවමින් මමත් සෙට්ටියා නැමති අප ආයතනයේ තවත් ඩිසයිනරයෙකුත් උපාසක ලීලාවෙන් සිටියෙමු.

ආරාධිතයන් සියල්ලෝම නිවසට පැමිණ අවසන් හෙයින් උපන් දින කේක් ගෙඩිය කපන්නට දැන් වේලාව පැමිණ තිබේ. එතෙක් වේලා තුනී කඩදාසියකින්  වැසී තිබූ කේක් ගෙඩිය සභා තොමෝ වෙත විවර වනවාත් සමගම නැගුනේ විශාල හූවකි. බාබු කේක් ගෙඩිය දෙස බලා මේක නං තොගෙ වැඩක්ම තමා යනුවෙන් අප මිත්‍රයා පෙන්වා මොර දුන්නේය. ඒ ඇසිල්ලේ කුස්සියට වැඳුන ඔහු නැවත අප ඉදිරියට පැමිණියේ මාලු කපනා විශාල මන්නයක්ද සමගිනි. සභා තොමෝ එකම සිනා ගඟුලක ගිලී ගොසිනි.

මාලුවා කපන්න මාලු මන්නෙම අරගෙන ආවා. මොකෙක්ද මේකා අැටවල්ලෙක්ද ? බාබු මා මිතුරාගෙන් විමසයි

උපන් දින කුමරා සභාව දෙසට තම දත් කුට්ටම මුලුමනින් පෙනෙන සේ සිනහා වී  කේක් ගෙඩිය කපන්නට මාලු මන්නය ඒ මත තැබුවා පමණකි.

සිව්මහ බඹුන් දුන් විවරණින්...අපටත් රජෙක් පහලව ඇතේ....ආයුබෝ වේවා...මහරජාණෙනි...

ඇතුලු කාමරයකින් මහ රජතුමාගේ  එවකට තේමා ගීතය මහා හඬකින් ක්ෂණිකව වාදනය වන්නට විය. මහරජතුමාට කිසි ලෙසකින් කැමති නැති බාබු ගීතය අසන අතරතුර මාලු මන්නයෙන් කේක් ගෙඩිය කැපුවේ විශාල කැබලි වන පරිද්දෙනි. මන්නය මත තබා සෑම කෙනෙක් වෙතම කේක් බෙදූ ඔහු තමාට කල මදිපුංචිකම නිසාදෝ අප මිත්‍රයාගේ මුහුණ පුරාම කේක් අතුල්ලා ඒකාව නැති භංගස්ථාන කර දැමුවේ උඹට සුභ අනාගතයක් යැයි කියමිනි.

මේ නිවස මහල් තුනකි. බිම් මහලේ ග්‍රැෆික් දොස්තර සමග ඒකාගේ මව දිවි ගෙවයි. දෙවන මහලේ බාබු සහ දරු පවුලයි. තෙවන මහලේ කාමර දෙකක් කුලියට දී තිබූ අතර...අවශේෂ විවෘත කලාපය බේබදුකම වෙනුවෙන් ලෝභ නැතුව වෙන්කොට තිබුනි.

මේ බාබු නොවේ...ඡායාරූපය උපුටාගත්තේ මෙතැනින්

කේක් කැපීමෙන් පසුව පිරිමි පාර්ශවය එක රොත්තට  තෙවන මහල කරා ඇදුන අතර එහිදී බජව්වක් සමගින් රහමෙර බෝතල්ද විවර විය. බාබුගේ යාත්‍රා මගින් ගොඩට ගෙන එන ලද නැවුම් මාලු වර්ග බයිට් බවට පෙරලී එහි තිබූ සුදු පැහැති පිඟන් වල සැතපී තිබුනි. බාබු යනු කඳිම රසවතෙක් බව මම වේලාසනම කීවෙමි. ඔහු ජනප්‍රිය ගීතයන්හි පද මාලා ඔහුට රිසි ලෙස වෙනස් කොට ගයන්නේ කදිම මිහිරක් එකතු කරමිනි. ඔහුගේ ගීත තේරීම් බොහෝ විට 90 දශකයට අයත් වූ ඒවාය.

හා හා පුරා කියා මෙලෙස ඇළකන්දට පැමිණි සිරා කොලුවා එයින් අනතුරුව නොයෙක් වර එහි පැමිණි අතර ඒ බොහෝ විට රහමෙර බෝතලයක් අපට සම්මුඛ වූ වග නොකියාම බැරිය. තමන්ගේම යාත්‍රා මගින් ගොඩබිමට ගෙන එන මත්ස්‍ය අස්වැන්න විකුණා ඉතිරියක් තිබුනොත් ඒවා අපේ පාවිච්චිය උදෙසා බයිට් බවට පත්වෙන්නේ නිවැසි කාන්තාවකගේ දෑතිනි. ඒ නිසාම සෙට්වීම ඇළකන්දේ නම් මාලු වලින් අඩුවක් තිබුනේම නැත. බොහෝ වෙලාවට හැඳැල්ලා හෝ දැල්ලා අපට තනි රැක්කෝය.

මේ හමුවීම් නිසා ඇති වූ සුහදත්වය නිසාම ග්‍රැෆික් දොස්තර තරමටම උගේ බාප්පාද අපට හිතවත් වූවේය. මේ අතර තුර කාලයේ ලද යුධ ජයහ්‍රණයෙන් පසු රට පුරා පැතිර ගිය ප්‍රීතිය සමරමින් මම අපේ ගම් පියසේ ආරාධිත ගායකයන් සහභාගි වෙන සංගීත සංදර්ශනයක් සූදානම් කළෙමි. ගමේ තරුණයන්ගේ නොමසුරු සහයෝගය ලැබුන මේ ප්‍රසංගයේ සංවිධායක ලෙස මා හිස මත මහා බරක් පැටවිනි. යුද්ධයේ අවසන් අදියරේදී කමාන්ඩෝ බලකාය නියෝජනය කරමින් පෙරමුණේම ගමන් කල අපේ ගමේ රංජන මලයා සීරිමකුදු නොමැතිව නැවත ගම්බලා පැමිණීම ගමේ හැමටම මහත් සතුටක් වී තිබුනි. ඒ කථා පුවත මතු දවසක බොලාට කියමි.

ඉඳින් අපේ ගමේ සංගීතය නරඹන්නට පැමිණෙන ලෙස මම ග්‍රැෆික් දෙස්තරට , කක්කුට්ටාට මෙන්ම බාබු හටද ආරාධනා කළෙමි.  මගේ ආරාධනය ඉස් මුදුනින් පිළිගත් බාබු අනිවාර්යෙන්ම එහි පැමිණෙන වග මා හට සපථ කළේය.

නියමිත දිනයේ මඳ අදුර හාත්පස පැතිරෙමින් යන අවස්ථාව වන විටම බාබු , කක්කුට්ටා සහ දොස්තර රැගත් තුන් රෝද රිය එහි ළගා විය. මේ බාබුගේ නිළ රථයයි. රියදුරු අසුනේ සිටම කවදත් ඔහුට හුරු ලෙංගතු සිනහවෙන් මා ඇමතූ බාබු....එකාට එක ගානෙ බෝතල් ඇළකන්දෙන්ම අරගෙන ආවෙ...යනුවෙන් පැවසූවේය. සංවිධායක වගකීම් සමග විටින් විට කාර්යබහුල වූ මා හට නැවතත් ඒකලා සිහිවන විට අඳුර පතිත වී සංගීත සැඳෑව ආරම්භ වී තිබුනි.

සංගීත භූමියේ සෑම තැනකම උන් සොයා ගිය මා හට අවසානයේ ප්‍රධාන මාර්ගය අසබඩ තුන්රෝද රිය තුල රහමෙර පානය කරමින් සිටියදී  නැවතත් සොයාගත හැකි විය.

ස්ටේජ් එක කිට්ටුවට යං...මම කෙතරම් ඇවිටිලි කලත් බාබුගෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබුනේම නැත.

ප්‍රසංගයේ සංවිධායක ලෙස මා හිස මත රාජකාරි බහුලය. ඒ නිසා මිත්තරයන්ගෙන් මිදී නැවතත් සංගිත සංදර්ශනයේ ගී ගැයීමට නියමිතව සිටින ගායකයන් රඳවා සිටි ස්ථානයට පැමිණීමට මා හට සිදු විය. ඒ වන විට ජොලි සීයා වේදිකාගත වන්නට සූජානමෙනි. ජොලි සීයාට අනුග්‍රහය අපේ කමාන්ඩෝ රංජන මලයාගෙනි.

ඔයාගෙ ‍හොඳ රසිකයො තුන් දෙනෙක් අන්න පාර අයිනෙ ඉන්නවා....ජොලි සීයා සින්දු කියනවා බලන්න ආසයි කිය කියා හැන්දෑවෙ ඉඳන් උන්නෙ...මම ඇඟට පතට නොදැනී මුචලින්ද සයිස් නාගයෙක් අත හැරියෙමි.

ආ ඇත්තද...මට නම් ටික දියංකො...උන් ටික මෙතනට ගෙන්න ගන්න...ජොලි සීයා මගේ සිත කියවූවා බඳුය. මගේ ගැටයට හසු වූ ජොලි සීයා උන්ගේ නම් සිතෙහි ධාරනය කරගෙන වේදිකා ගත විය.

මෙතන ඉන්නවා ජොලි සීයට ආදරය කරන...ජොලි සීයගෙ හොඳ රසිකයො තුන් දෙනෙක්. කක්කුට්ටා / බාබු / ග්‍රැෆික් දොස්තර.... මගෙ සින්දු අහන්න කැමති මගෙ කොල්ලො සීයා ලඟට වරෙල්ලා.. යකුනේ ඉන්න තැනකින් මෙහෙ වරෙව්

ඒ වදන් කණ වැකුන බාබු සහ මගේ මිත්තරයන් දෙදෙනා සංගීත භූමියේ තෙරපෙමින් සිටි මහා ජනකාය අතරින් විදුලි වේගයෙන් වේදිකාව බලා එන දසුන වේදිකාව මත සිට මම බලා සිටියෙමි. අතේ තිබූ රහමෙර බෝතලය ඉහලට ඔසවා තමන්ටම ආවේණික නැටුමක් සමග අප කරා ආ බාබු දුටු මතින් මගේ සිනහව වළක්වා ගත නොහැකි විය. ගී ගයා අවසන් වූ ජොලි සීයා සමග උන් තිදෙනා වචනයක් දෙකක් දොඩා අවසන් වන විට ඊලඟට නියමිත ප්‍රසිද්ධ ගායකයා එතැනට පැමිණ සිටියේය. හෙතෙම බාබු දෙස සැළකිළිමත් ලෙස බලන බවක් අපට වැටහුනි.

මාව අඳුනන්න බැරිද....බාබු හෙණගහනවා මෙන් එක්වරම ගායක තැනගෙන් ඇසුවේය.

දැකලා පුරුදු ගතියක් තිබුනා...ඒකයි පොඩ්ඩක් බැලුවෙ.

ඇයි අනේ ඔයා කසාද බැඳපු ගෑණියක් හොරෙන් පන්නගෙන ප්‍රීතිපුර බීච් එකට ආපු වෙලේ සෙට් වෙච්ච පෝරියල් එකෙන් මමනෙ ඔයාව බේරගෙන ෂේප් කරලා යැව්වෙ...මතකද මම හිටියෙ නැත්තං එදා මන්න පාරක් වදින එක වදිනවා.

බාබු දෙස රවා බැලූ ගායක තැන වේදිකාවට ඇවිද ගියා නොව ඉගිලුනා බඳුය. තමන් අත තිබුන බෝතල් වේදිකාව පසුපස සිට අහවර කරමින් කල් මැරූ මා මිත්තරයන් මා හටද අඩියක් ගස්සන්නට ‍පුදුම ත‍රමේ මහන්සියක් ගත්තේය. එහෙත් එදින මාගේ වගකීම් සිහිපත් කොට මම ඒ ආරාධනා ප්‍රතික්ෂේප කළෙමි..බෝතල් වල අඩිය පෑදුන පසු බාබු, කක්කුට්ටා සහ දොස්තර මට සමුදී ඇළකන්ද බලා පිටත්ව යන්නට රෝද තුනේ සුරතලා වෙත ගොඩ වූහ.

ඒ අවසරයෙන් මා කරා පැමිණි කෙදිනකවත් දැක නැති පැහැපත් පුද්ගලයෙකි. හෙතෙම මේස් බැනියමක් සහ සරමක් හැඳ සෙරෙප්පු යුගලක් පැළඳ සිටියි.

මල්ලි මටත් සින්දුවක් කියන්න දෙන්න බැරිද ? ඔහු මගෙන් විමසයි...ප්‍රසංගයේ සංවිධායකයා මම බැව් කවුරු හෝ ඔහුට සැළකර ඇති සෙයකි. මේ පුද්ගලයා අප අහළ ගම් හතක වත් එකෙකු නොවන බැව් මගේ අක්මාව මට සන් කරයි.

මේක ආධුනික ප්‍රසංගයක් නෙමෙයිනෙ...ඒ හින්දා අවස්ථාවක් දෙන්න විදියක් නෑ. මම යළි යළිත් කීවෙමි.

ඒ උනාට එහෙම කරන්න එපා මල්ලි මම දුර ඉඳන් සින්දුවක් කියන්නම බලාන ආව‍ෙ. 

මේ පුද්ගලයාගේ මළ කරදරය අවසන් නොවන තැන මහත් කෝපයට පත් මම...

මම දැන් සැරයක් කිව්වා නේද...මේකෙ අාධුනිකයො සින්දු කියන්නෙ නෑ...ගායකයො විතරයි සින්දු කියන්නෙ.

මා දෙස බලා කින්ඩි සිනහවක් නැගූ ආගන්තුකයා....

මම ජොලියා යකෝ...උඹට අඳුනගන්න බැරි උනා නේදැයි අසා උස් හඬින් සිනා වූවේය. ජොලියාගේ නියම මුහුණ පළමු වරට දුටු මමද ‍ඒ සිනහවටම එකතු වූවෙමි.





මම කාමරේ අරින සිරා කොලුවා.



ප.ලි

ඉදිරි දිනයකදී කමාන්ඩෝ රංජන මලයා යුද්ධයෙන් පසු අප ගම්මානයට  පිළිගත් ආකාරය මෙන්ම මේ කියූ සංගීත සංදර්ශනයේ රසවත් සිදුවීම්ද ඔබට කියන්නට සිරා කොලුවා වන මම කැමැත්තෙන් සිටිමි.

Monday, July 6, 2015

75 රඹුටන්

රතට රතේ බැබලෙන රඹුටන් ගෙඩියක් දැක්කම කාටද රස බලන්න හිතෙන්නෙ නැත්තෙ. ලොකු කුඩා කවුරුත් රඹුටන් ගෙඩියක රස බලන්න කැමතියි. මේ පළතුරේ පෙනුමත් ඉතාම ආකර්ශනීයයි. රඹුටන් කිව්වම කාට කාටත් ඉක්මනට මතකයට එන්නෙ මල්වාන. වෙළඳපොල ඉලක්ක කරලා විවිධ ප්‍රභේද මුසු කරලා හදපු අලුත්ම රඹුටන් වර්ග මල්වානෙ වගා කරලා තියෙනවා.


මල්වානේ රඹුටන්

ඉස්සර සිරා කොලුවගෙ පන්තියෙ හිටියා මල්වානෙ රඹුටන් වතු හිමියෙකුගෙ පුත්‍රයෙක්. තමන්ගෙ වත්තක රඹුටන් ඵලදාව නෙලපු දවසට පහුවදා ඒකා පාසල් ආවෙ විශාල උරයක් පුරවලා රඹුටන් අරගෙන. ඒවා එක එකාට වෙන වෙනම බෙදිල්ලක් නෑ. පාසලේ විවේක වෙලාවට පන්තිය මැදට එන අපේ රඹුටන් යාලුවා. ඉඳා කාපියව් කියලා බෑග් එක ඩෙස්ක් එකක් උඩට අත අරිනවා. එතනින් පස්සෙ කොල්ලො මේස පුටු පෙරලගෙන රඹුටන් ගෙඩියකට පොර බැදපු හැටි මට තවමත් මතකයි.

ඒ වගේම සිරා කොලුවා පුංචි එකා සන්ධියෙ අපේ මිදුලෙත් තිබුනා විශාල රඹුටන් ගහක්. මේ වර්ගය මස් ගැලවෙන පැණිරස එකක් නොවුන නිසා වැඩියෙන්ම කෑවේ ලේන්නු...එහෙමත් නැත්තං වවුල්ලු. ඒත් කහ පාටට රඹුටන් ගෙඩි වලින් ගහ බර වෙද්දි ගමේ කොල්ලො කුරුට්ටන්ට එන්න කියලා වැඩිහිටියෙක් ලව්වා රඹුටන් අතු පාහින එක අපේ නැසීගිය ආච්චි අම්මගෙ සිරිත. එයින් පස්සෙ ගහ යට එකතුවෙන්නෙ රඹුටන් කන්දක්. ඇති පදං අරං පලයල්ලා...වටෙන් පිටෙන් ආපු කොලු කුරුට්ටන්ට ආච්චි අම්මා එහෙමයි කිව්වෙ. 

රඹුටන් එක්ක මැලේ නංගියෙක් 
සිරා කොලුවා වර්තමානයේ ඉන්න මැලේසියාව රඹුටන් ගැන කථා කරනවා නම් අනිවාර්යෙන්ම සිහි කල යුතු තැන. ඒ රඹුටන් වල නිජබිම මැලේසියාව නිසයි. මැලේ භාෂාවෙන් කෙස් යන අරුතෙන් බිඳී ඇවිත් තමයි රඹුටන් කියන නම හැදිලා තියෙන්නෙ. ඒ රඹුටන් ගෙඩියේ කෙස් වැනි කෙඳි විශේෂයක් තියෙන නිසයි. Rambut කියලයි මැලේ භාෂාවෙන් කෙස් හඳුන්වන්නෙ. ලංකාවෙ නැති රඹුටන් ප්‍රභේද පවා මම මෙහිදි දැකලා තියෙනවා.


ලංකාවේ දකින්නට නැති රඹුටන් විශේෂයක් මැලේසියාවේදී...
දැනට මාස දෙකකට වගේ කලින් ඉඳන්ම මැලේසියාවෙ දේශීය රඹුටන් පළඳාව සිරා කොලුවා අඩුම කුඩුම ගන්න යන එන රාත්‍රී වෙළඳපොලේ ලෑලි මේස උඩට එන්න පටන් අරගත්තා. ඒවා රස අතින් ලංකාවෙ මල්වානට දෙවැනි උනාට ඉතාම ඉහළ රසයකින් යුක්තයි. රඹුටන් අළෙවියෙදි එක ගෙඩියකට ලංකාවෙදි මිළ නියම කලාට මෙහෙ එහෙම නෑ. මැලේසියාවෙදි රඹුටන් අළෙවි කරන්නෙ කිලෝ ගානට. මමත් ඉතිං කීප වතාවක් කිලෝ එක බැගින් අරගෙන ඇවිල්ලා රඹුටන් කන අතරෙදි තමයි අද බොලාට කියන මේ විස්තර ටික මුලිච්චි උනේ. රඹුටන් කෑවට රඹුටන් ගැන විස්තර /  පෝෂ්‍ය ගුණය ගැන එහෙම බොලා දන්නෙ නෑ නොවැ. එහෙනම් අද ජාලෙන් පෙරලපු ලිපියෙන් ඒ ගැන දැනගනිමු.


මැලේසියාවේ රඹුටන් අළෙවි කරුවෙක්...වම් පැත්තේ තිබෙන්නේ Lychee

රඹුටන් විද්‍යාත්මකව හඳුන්වන්නෙ  Nephelium Lappaceumis යනුවෙන්. ලෝකයේ ඇති පළතුරු අතරින් රඹුටන් වලට ලැබෙන්නෙ ඉතාම සුවිශේෂී තැනක්. මේ පළතුර ගැන ගොඩාක් අය වැඩි තොරතුරක් දන්නෙ නෑ.  LycheeLongan, Mamoncillo කියන්නෙ රඹුටන් වලට සමීප ලක්ෂණ පෙන්වන තවත් පළතුරු වර්ග. මේවායින් පළමු දෙවර්ගය මැලේසියාවෙදි රස බලන්න මට හැකියාව ලැබුනා. Longan නැමති පළතුර ලංකාවේ මොර වලට සමානයි කියලයි මොර කාලා තියෙන අය මෙහෙදි මට කිව්වෙ. එය ඉතාමත් රස පළතුරක්. රඹුටන් වල නිජබිම මැලේසියාව උනාට අග්නි දිග ආසියාවෙ හැම රටකම වගේ රඹුටන් දකින්න පුලුවන්.


රඹුටන් වලට ඉතාමත් කිට්ටු  Lychee



Longan
රඹුටන් ගස් වලත් ගැහැණු හා පිරිමි වශයෙන් ප්‍රභේද දෙකක් තියෙනවා. ඒ වගේම මේ දෙවර්ගයේම ගති ලක්ෂණ සහිත ද්විලිංගික රඹුටන් ශාකත් දකින්න පුලුවන්. පිරිමි ගස් වල පිරිමි මල් පමණක් හට ගන්නා අතර ගැහැණු ශාක වල ගැහැණු මල් පමණයි හට ගන්නෙ. ද්වි ලිංගික රඹුටන් ගස් වල මේ දෙවර්ගයේම මල් හටගන්නා නිසා මේ වර්ගයේ ශාඛයන්ගෙන් ඵලදාව උපරිමයෙන් ලැබෙනවා. පිරිමි ගස් වල රඹුටන් මල් හටගත්තත් රඹුටන් ගෙඩි ඵල දරන්නේ නෑ.

රඹුටන් මල්

රඹුටන් මල් වලින් ඉතා මිහිරි සුවඳක් හමනවා. ඇතැම් රටක රඹුටන් මල්, විචිත්‍ර මල් පොකුරු සැකසීම සඳහාත් යොදා ගන්නවා. ඒවා සුදු හෝ කොළ පැහැයෙන් යුතුයි. මේ ඉහළ සුවඳ නිසාම රඹුටන් මල් වලට විශාල වශයෙන් මී මැස්සන් ආකර්ශනය වන ආකාරය දකින්න පුලුවන්. මේ පළතුරේ මිහිරි රසයට අමතරව මනා පෝෂණයකුත් සිරුරට ලැබෙනවා. ඒ කොහොමද කියලා දැන් කියවලා බලමු. 

මිනිස් සිරුරට යකඩ ලැබෙන ප්‍රධානම ආහාරයක් ලෙස බොහෝ අය දන්නේ නිවිති ගැන වුවත් රඹුටන් වලිනුත් එය ලැබෙන බව ඔබ දැන සිටියාද ? රඹුටන් යකඩ වලින් පරිපූර්ණ පළතුරක්. යකඩ කියන්නෙ මිනිස් සිරුරේ ක්‍රියාකාරීත්වයට අත්‍යවශ්‍ය පෝෂණ සංඝටකයක්. පෙණහළු වල සිට ශරීරයේ  විවිධ මාංශ පේශීන් වෙත රුධිරයේ හිමොග්ලොබින් හරහා ඔක්සිජන් ප්‍රවාහනයට යකඩ උපකාරී වෙනවා. යකඩ ඌණතාව ඇති වූ විට ඉක්මනින් වෙහෙසට පත් වීම සහ හි‍සේ කරකැවිල්ල වැනි රෝග ලක්ෂණ දකින්න පුලුවන්.

ශරීරයේ අනවශ්‍ය මේදය ඉවත් කල හැකි පළතුරක් ලෙසත් රඹුටන් සැලකෙනවා. රඹුටන් ඵලය තන්තුමය වශයෙන් ඉතා ඉහළයි. සිරුරේ අනවශ්‍ය මේදය ඉවත් කරලා ශරීර‍යේ බර අඩු කරන්නට රඹුටන් ඇට වලටත් පුලුවන්ලු. රඹුටන් ඇට හොඳින් පොඩි කරලා වෙනත් ආහාරයක් සමග මුසු කොට ආහාරයට ගැනීමෙන් ශරීරයේ බර අඩු කරගන්න හැකිලු.

රඹුටන් ලෙල්ලෙන් අතීසාරය / පාචනය වැනි රෝගී තත්වයන්ට ප්‍රතිකාර කල හැකි බව මමත් පළමු වතාවටයි දැනගත්තෙ. රඹුටන් තවත් අමුද්‍රව්‍ය කීපයක් සමග සමග මුසුකර ලබා දීමෙන් කල්ගත වූ උණ රෝග තත්වයන් කාර්යක්ෂමව සමනය කල හැකි බව නවීන විද්‍යාවෙන් හොයාගෙන තියෙනවා. ඒ වගේම රඹුටන් ලෙල්ලෙ අන්තර්ගත වෙලා තියෙන Gallic අම්ලය, ශරීරයේ ඔක්සිකරණ ක්‍රියාවලියේදී විය හැකි හානි අවම කරනවලු.



මේ පළතුර කාබෝහයිඩ්‍රේට් සහ ප්‍රෝටීන් වලිනුත් බොහොම සන්නද්ධයි. රඹුටන් මඳය තුල ජලයද විශාල ලෙස ඇති නිසා පිපාසය සංසිදුවා ක්ෂණිකව සිරුරේ ශක්තිය ඉහළ දමන්නට පුළුවන් නිසාම‍ ක්‍රීඩකයන්ට රඹුටන් වලින් ගත හැකි සේවය ඉමහත්.

රඹුටන් තුල කොපර් සහ මැංගනීස් යන අමුද්‍රව්‍යත් සංයෝග වෙලා තියෙනවා. රතු සහ සුදු රුධිරානු වර්ධනය පිණිස කොපර් ඉවහල් වෙනවා. ශරීරයේ නොයෙකුත් එන්සයිම වර්ග නිපදවීම සහ ඒවාය‍ේ ක්‍රියාකාරීත්වයට මැංගනීස් අවශ්‍යයි. මිනිස් සිරුරේ බොහෝ ජීව විද්‍යාත්මක ක්‍රියාකාරකම් සඳහා මෙලෙස නිපදවෙන එන්සයිම උපකාර වෙනවා. ඒ වගේම රඹුටන් තුල අන්තර්ගත ඉහළ ජල ප්‍රතිශතය සමේ තෙතමනය ආරක්ෂා කරමින් එය මෘදුව තබා ගැනීමටත් උදව් වෙනවා.

මේ පළතුර විටමින් C වලින් අනූනයි. ඔබ රඹුටන් ගෙඩි 10-12 ප්‍රමාණයක් වරකට ආහාරයට ගත්තා නම් ඒ සමග ඇස්කෝබික් අම්ලය මිලිග්‍රෑම් 75 - 90 අතර ප්‍රමාණයක් ඔබේ සිරුරට ලැබී අවසන්. එය හරියටම දිනකට අවශ්‍ය ඇස්කෝබික් අම්ල ප්‍රමාණය මෙන් දෙගුණයක්. 

විටමින් C අපේ ශරීර වල පැවැත්මට කරන සේවය බොහොම වැඳගත්. ලෙඩරෝග වලින් අපිව ආරක්ෂා කරන්න ඉස්සෙල්ලම සටන් වඳින්නෙ ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය. මේ පද්ධතිය බලගන්වන්නට විටමින් C  දායක වෙනවා. ඒ වගේම විවිධ ආහාර මගින් ශරීරයට ලැබෙන ඛනිජ ලවණ ශරීරයට අවශෝෂණය පිණිසත් විටමින් C උපකාරී වෙනවා. 

අපේ වකුගඩු තුල තැන්පත් වෙලා තිබෙන විවිධ අපද්‍රව්‍ය ඉවත් කරන්නටත් රඹුටන් වලට හැකියි. ඒ මේ පළතුරේ අඩංගු ෆොස්පරස් නම් සංඝටකය නිසයි. මෙයට අමතරව මිනිස් සිරුරේ ගෙවීගිය සෛල අලුත්වැඩියා කරන්නටත්...අලුත් සෛල ඇති කරන්නටත් ෆොස්පරස්  දායක වෙනවා.

එදිනෙදා සුලභව දකින්න පුලුවන් සමහර රෝගාබාධ වලටත් රඹුටන් මගින් සහනය ලැබෙනවා. හිසේ කැක්කුම සඳහා රඹුටන් කොළ තලපයක් පරිද්දෙන් සකස් කොට නළලේ තැන්පත් කිරීමෙන් සහනය ලැබෙනවාලු. ඒ වගේම පාචනය / අතීසාර වැනි තත්වයන්ට රඹුටන් මුල් මගින් සහනය ලබා ගත හැකියි. රඹුටන් ඇට මගින් දිය වැඩියා රෝගීන් පෙළන අපහසුතා යම් තරමකට අඩු කල හැකි බවත් පැවසෙනවා. ඒ අනුව බැලුවම රඹුටන් කියන්නෙ හුදෙක් පළතුරක් පමණක් නොවන වග පැහැදිලියි. 

රඹුටන් පත්‍ර මගින් ඔබේ හිසකෙස් වලට පෝෂණය ලබාදිය හැකි බව කවදාවත් අහලා තිබුනද....රඹුටන් පත්‍ර ජලය මිශ්‍ර කරමින් හොඳින් කොටාගෙන එහි ඉතිරිවන කෙඳි ආදිය ඉවත්කොට හිසේ මඳ වේලාවක් ගල්වා තබා සේදීමෙන්, සති කීපයකදී යහපත් ප්‍රතිඵල ලබාගැනීමට හැකියාව තියෙනවලු. ඒ වගේම රඹුටන් අනුභවය මගින් පුරුෂ පාර්ශවයේ ශුක්‍රානු ගිනුම ඉහළ දමන්නටත් හැකියාව තිබේලු. මේ සඳහාත් දායක වෙන්නෙ රඹුටන් තුල අඩංගු විටමින් C .

මැලේසියාවෙ Kebangsaan සරසවිය විසින් රඹුටන් වල අප ආහාරයට නොගන්නා කොටස් විවිධ පිළිකා වලට එරෙහිව යොදාගත හැකි බව දැන් සොයාගෙන තිබෙනවා. ඒ ඔස්සෙ ඔවුන් තව දුරටත් පරීක්ෂණ පවත්වන බවයි දැනගන්න තියෙන්නෙ.

රඹුටන් ගෙඩියක් ඇතුලෙ කොපමණ වටිනාකමක් තියෙනවද කියලා දැන් ඔබ දන්නවා. මීට කලින් කවදාවත් රඹුටන් ගෙඩිය මේ තරම් වටිනවා කියලා ඔබ හිතුවෙ නැති උනත්, අදින් පස්සෙ මාර්ගය අද්දර රඹුටන් විකුණන වෙලාවක ඔබ අහක බලාගෙන යන්නෙ නැති විත්තිය නම් මට විශ්වාසයි.

අද ලිපියට මූලාශ්‍රය




මම කාමරේ අරින සිරා කොලුවා.

Related Posts Plugin for WordPress, Blogger...