Sunday, October 26, 2014

84 කප්පාදුවෙන් ඇස් රතු කර ගතිමි

ඒ සහශ්‍රය උදා වූ වසරයි. කාලයෙන් කාලයට විවිධ මල් පැල සිටවා මගේ මව් තුමිය විසින් අලංකාර කරන අපේ මිදුලේ ඒ වකවානුව වන විට විසිතුරු ශාක කීපයකටද අවස්ථාව ලැබී තිබුනි. නම නොදන්නා අලංකාර රතු පැහැති පත්‍රයන්ගෙන් යුතු වු ශාකයක් මිද‍ුලේ පසෙක පඳුරක් ආකාරයෙන් සරුවට වැඩී ඒ වන විටත් තම අණසක පතුරවා හමාරය.

නිවැසියන් කිසිවෙකු මේ පැලය කිසිවෙකුගෙන් ඉල්ලාගෙන හෝ පැල තවානකින් මිළදී රැගෙන ආ එකක් නොවීය. ඒ හේතුවෙන් මෙය තණකොළ වැවීම පිණිස අතුරන ලද රතු පස් සමග මෙහි එන්නට ඇති බව අපගේ විශ්වාසය විය. මේ වකවානුවේදී සිරා කොලුවා උ/පෙ විභාගය සමග ඔට්ටු වෙමින් සිටියත් ඒකාගේ කේන්දරයේ ග්‍රහයන් නීචව සිටි නිසාදෝ මේ සිදුවීම සිදු වූ දිනයේ මිදුලේ ඇති රතු පැහැති පත්‍ර සහිත නම නොදන්නා ශාකය කප්පාදු කොට රවුම් කරන්නට දොලක් උපන්නේය.

ඒ සඳහා අවැසි වන විශේෂ උපකරණ අප නිවසේ නොමැති වූ හෙයින් පාන් කපනා සාමාන්‍ය පිහියකින් පඳුර රවුම් කිරීමේ භාරදූර කාර්යයට සිරා කොලුවා අත ගසන විට පෙරවරු 11 පමණ වන්නට ඇත. සවස 2 වන විට උසස් පෙළ ගිණුම්කරණ පන්තියකට සහභාගි වන්නට යා යුතුය.

හෝරාවකට ආසන්න කාලයක් ගත වන විට පඳුරේ වැඩි හරිය කඳින් වෙන් වී බිම සැතපී තිබුනි. සුදු පැහැති කිරි විශේෂයක් ගසේ තුවාල වූ තැන් වලින් පිටතට වෑස්සෙයි. මගේ කාර්යය අහවර කරන්නට තවත් කපා දමන්නට ඇත්තේ ගහ මුදුනේ කිණිති දෙක තුනක් පමණි.

ඉහළම ඉත්තක් ඉලක්ක කරමින් දෙපසට වැනූ පිහියේ අනුභාවයෙන් ඉවතට ගලමින් තිබූ සුදු පැහැති කිරි බිඳුවක් සිරා කොලුවාගේ ඇසකට අනවසරයෙන් ඇතුලු විය. ඇස මඳක් පිසදා දිගටම කප්පාදුව ගෙන ගියෙමි. නමුත් ඇස තුලින් සියුම් දැවිල්ලක් උත්පාදනය වන වග මට ඉතා ඉක්මනින් අවබෝධ විය. මොහොතකදු පමා නොවී ජලය පිරවූ බේසමක මගේ අක්ෂි රාජයා ගිල්වීමි. අ‍හෝ මා ලද සහනයක් නැත....කෙමෙන් කෙමෙන් දැඩිවන වේදනාව හමුවේ සිරා කොලුවා නැමති සාටර් ජීවියා වේදනාවෙන් ඇඹරෙන සෙයකි.

මේ ආගන්තුක ද්‍රව්‍ය ඇසට ඇතුලු වී විනාඩි 10 ක් පමණ ගත වන විට ඉවසිය නොහැකි දැවිල්ලක් ඇස තුලින් හට ගත්තේය. තවත් නම් ඉවසුම් නැත...මගේ ඇස අන්ධ වේද...ඇස බේරාගත හැකි වේද නොයෙකුත් ප්‍රශ්න සිතේ උපදියි. මම වහ වහා මෑණියන් හට කාරණය පවසා මා සමග  ගම්පහ නගරයට යන්නට පැමිණෙන ලෙස සැළ කලෙමි.

එතෙක් වේලා ගත නැගී තිබූ දහදිය උඩට කමිස කෑල්ලක් අටවාගෙන මා නිවසින් පිටතට එන විට හන්දියේ තුන්රෝද රථ ගාලේ නම් දැරූ ප්‍රචණ්ඩ මාතලී චරිතය වූ බාබු අප නිවස වෙත පැමිණ තිබුනි. මයෙ මලයා රියදුරෙකු කැඳවන අටියෙන් එහි යන විට මා ඔහුට කීවේ බාබු කොලුවාම කැඳවාගෙන එන ලෙසයි. බාබු යනු තුන්රෝදයෙන් රේස් පදිනා වර්ගයේ එකෙකි. ගමේ අතුරු මාර්ගයක වංගුවකින් බාබු රථය හරවන විට එහි වේගය වැඩි කමට මාර්ගය දෙසට වන්නට පිහිටන පසුපස රෝදය ඉහළට එසවෙයි. එසේ නොමැති වුවහොත් එය බාබුවාගේ හිතට හරි නැත. බාබු යනු කුමන රියදුරෙකුදැයි දැන් ඔබට දළ අවබෝධයක් ලැබෙනු ඇත.

අප කෙනෙකුට යමක් හැකි උපරිමයෙන් ආරක්ෂා කරන ලෙස සාමාන්‍ය ව්‍යවහාරයේදී පවසන්නේ, ඇස් දෙක වාගේ බලාගන්න කියාය. ඒ ඇස් අපට ඒ තරම් වටිනා නිසාය. වේලා ගතවුවහොත් ඇස අන්ධ වේ යැයි භියෙන් මම තුන් රෝද රථයට බර දුන්නෙමි.

ප්‍රේමදාස ජනාධිපතිවරයා මැයි දින පෙළපාලියේදී ඝාතනය කලේ බාබු නැමති මරාගෙන මැරෙන LTTE සාමාජිකයාය. අපේ හන්දියේ බාබුවාගේ උප්පැන්නයේ ඇත්තේ වෙනත් නමක් වුවත්...මේකා රථය පදවන්නේ මරාගෙන මැරෙන්නට අපේක්ෂාවෙන් සිටින එකෙකු වාගේ නිසා කෙටි කලෙකින්ම ඒකාගේ නම බාබු ලෙස වෙනස් විය.

උඹට යන්න පුලුවන් උපරිම වේගයෙන් පලයං බාබු....ඇස තුල ඇති අධික දැවිල්ල හමුවේ මගේ පෙනීම නැති වේය යන සිතුවිල්ල මගේ හදවත වේගයෙන් කම්පොනය කරයි. බාබුවා තම රතු පැහැති තුන් රෝදය හැකි උපරිම වේගයෙන් ධාවනය කොට වෛද්‍යවරුන් චැනල් කල හැකි පුද්ගලික වෛද්‍ය සේවාවක් තම ගොඩනැගිල්ලක පවත්වාගෙන යන විශේෂඥ අක්ෂි වෛද්‍යවරයකු සතු භූමියක රථය නැවතීය. විශේෂඥ වෛද්‍ය වරයෙකුම හමුවීමට ලැබීම මා ලද භාග්‍යයකි. එතුමා මේ වෛද්‍ය ම‍ධ්‍යස්ථානයේ කටයුතු මෙහෙයවන තැනැත්තා නිසා දිනය පුරාම එහි රැදී සිටියි.

මට මුහුණ දෙන්නට සිදු වූ අලකලංචිය පැවසූ පසු, කුඩා ඇඳක මා සතපවා විදුලි පන්දමකින් වම් ඇස පරීක්ෂා කල වෛද්‍යතුමා,

ඇහැ ටිකක් පිච්චිලා යනුවෙන් ගත් කටටම කීවේය.

ඇහේ පෙනීම නැතිව යයිද ?

නෑ නෑ...එහෙම වෙන්නෙ නෑ...යනුවෙන් පවසා සුදු පැහැති බෝතලයක තිබූ අවර්ණ දියරයක් ඇසට වත් කලේය. දිගටම මට ඇස විවෘත කරගෙන සැතපී සිටින්නට අණ ලැබිනි. විනාඩි 10 ක් පමණ ඉක්ම ගිය තැන මට ඇස වසන්නට නියෝග ලැබිනි.

ඇහේ දැවිල්ල ටිකෙන් ටික අඩුවෙයි...ගෙදර ගියාම ඇස් දෙක පියාන විවේක ගන්න. එතුමා එසේ පවසා බෙහෙත් පෙති කීපයක් සහ ඇසට දමන්නට බෙහෙත් දියර කුප්පියක් නිවසට රැගෙන යන්නට දුන්නේය.

ආයෙත් මේ වගේ වැඩ කරද්දි තමන්ගෙ ආරක්ෂාව ගැන සැළකිලිමත් වෙන්න. අවසාන වශයෙන් එතුමා මට අවවාදයක්ද කළේය.

ආපසු යන ගමන සෙමින් යන්නට බාබුවාට යෝජනා කලෙමි.ඇසට දැමූ බෙහෙත් වලින් තිත්ත රසයක් දිවට දැනෙයි. මේ ඉන්ද්‍රියන් අතර පවතින අන්තර් සබඳතාව එසේ යැයි සිතා මම නිවසට පැමිණි පසු මගේ දුප්පත් ඇඳ කබලේ සැතපුනෙමි.

සිරා කොලුවාට අකරතැබ්බය සිදුවන අවස්ථාවේ නිවසේ නොසිටි මගේ පියතුමා නිවසට පැමිණි වහාම සිදුක‍ලේ මේවා මිදුලට ඕනෙ නෑ යනුවෙන් පවසා රතු පැහැති පත්‍ර සහිත ශාකය මුලින් උදුරා විසි කිරීමයි. එදායින් පසු මේ ශාඛය මම අප ප්‍රදේශය තුල දැක නැත්තෙමි. නමුත් එහි පත්‍ර වල පැහැයත් හැඩයත් මගේ මතකයේ හොඳින් රැදී තිබූ නිසා අන්තර්ජාලයෙන් එය සොයාගැනීම අසීරු නොවීය. ඒ අනුව මතු ලියවෙන්නේ විකිපීඩියාවෙන් සොයාගත් මේ අද්භූත ගසේ විස්තර සමූහයකි.

මේ ගහට සිංහල නමක් තියේදැයි මම නොදනිමි.  එහි විද්‍යාත්මක නාමය Euphorbia Cotinifolia වෙයි . එයට අමතරව Smoketree spurge, Tropical Smoke Bush, Caribbean  Copper Plant වැනි තවත් නාමයන්ද භාවිතා වන බව අන්තර් ජාලය පිරික්සන වන විට පෙනෙයි.



මේ ශාඛයේ නිජබිම වෙන්නෙ දකුණු සහ මධ්‍යම ඇමරිකාවයි. ගහෙන් වෑස්සෙන කිරි විෂ සහිතයි. ඒවා ‍ඖෂධයක් ලෙස වගේම විෂ වර්ගයක් ලෙසත් ඒ කලාපය ආශ්‍රිත රටවල භාවිතා වෙයි. ඇතැම් රටක පාරම්පරික ‍ඖෂධ ක්‍රම වලදි මේ විෂ සහිත කිරි භාවිතා වේලු.

සමීප දසුනක්...පුංචි සුදු පාට මල් විශේෂයකුත් හට ගන්නවා.

පුරාණ ධීවර‍යො මේ කිරි වර්ගය ජලාශ වල ජලයට එකතු කරලා මසුන් ඇල්ලීම සිදු කලා කියලත් කියනවා. මේ ද්‍රාවණය නිසා මත්සයො ජලය මතුපිට පාවෙන්නට පටන් ගන්නවාලු. ඊටත් අමතරව Curacao නැමති දකුණු කැරිබියන් මුහුදේ පිහිටා තිබෙන කුඩා දිවයිනේ අාදි වාසීන් මේ විෂ තම ඊතල හිස් වලට යෙදූ බවකුත් විකිපීඩියාව කියනවා.

මේ ශාකයේ කිරි වර්ගය මිනිස් සම වගේම ඇස් වලටත් අහිත කරයි. බැරි වෙලාවත් ඔබට ඒවා ගිලුනොත් ශරීරයේ අභ්‍යන්තර අවයව වලට බොහොම හානිකරයිලු.

පත්‍ර වල ඇති රතු පැහැය නිසා මේ ශාඛයට උද්‍යාන අලංකරණයේදී බොහොම හොඳ ස්ථානයක් ලැබෙනවා. හොඳින් හිරු එළිය පතිත වෙන පරිසරයක ජීවත් වෙන්න වඩාත් කැමති නිසා ශ්‍රී ලංකාව වගේ නිවර්තන කලාපීය රටක මේවා හොඳින් වැඩෙනවා.

මේ ශාඛය ඔ‍බේ මිදුලේත් වැඩී තිබෙනවා නම් එය අලංකරණය කරන්න යනවා නම් ඔබේ ආරක්ෂාව ගැන හැම විටම සැලකිළිමත් වෙන්න. ඒ වගේම කුඩා දරුවන් මේ පත්‍ර, නාරටි ආදිය හපන්නට ඉඩ තිබෙන නිසා ඔවුන් ගැනත් විම‍සිල්ලෙන් ඉන්න. එහෙම උනොත් මම මුහුණ දුන්නා වගේ අතිශය වේදනාත්මක අත්දැකීමකට ඔබට මුහුණ දෙන්නට සිදු නොවෙනු ඇති.


මම කාමරේ අරින සිරා කොලුවා.



ප.ලි

මෙම ශාකයේ කිරි ඇසට ඇතුලු වී පැය 18 ක් තුල නිසි ප්‍රතිකාරයක් නොලැබුනහොත් සදාකාලික අන්ධ භාවය ඇති විය හැකි බව ජාලයේ තැනක සටහන් වී තිබුනි.

තුන්රෝදයෙන් ලැබෙන ආදායම දිනෙන් දින ඉහළ යන ජීවන වියදම දරන්නට ප්‍රමාණවත් නොවූ නිසාදෝ පසු කලෙක සොරකම් සඳහා යොමු වී පොලෝසියෙන් ඇති පදම් ගුටි කා ගල් පල්ලි ගිය බාබුවා වරින් වර අප ගම් පියසේ ප්‍රාතූර්භූත වුවද මෑත කාලයේදී දකින්නට ලැබුනේම නැත. මා අවසන් වරට ඔහු දකින විට අප ප්‍රදේශයේ කුකුළු මස් කඩයක වධකයාගේ භූමිකාව රගදක්වමින් සිටියේය.

84 comments:

  1. මටත් මතකයි ඔය වගේ පැල වගයක් අපේ ගෙවල් පැත්තෙ තියනව
    ගෙදර ගිහින් පරීක්ෂාකරල බලන්න ඕනෙ

    ReplyDelete
    Replies
    1. පරීක්ෂා කර බලන්න වහාම...අනතුරක් වලකන්න එය රුකුලක් වේවි.

      Delete
  2. honda adarshayak gannaheki kathawak,Ara babu wage driver la, bohoma gamakata eka beginwath innawa.(ranjan)

    ReplyDelete
    Replies
    1. ඒ වගේ චරිත මේ ගෙන්දගම් පොළවෙ අඩු නෑ වැඩි මිසක...මිනිහට කොච්චර පොලෝසියෙන් නෙලුවත් හොරකමේ රහ හොඳට දැනිලා තිබුන නිසා දිගටම ඒ කාරිය තමයි කොලේ...හැබැයි කවදාවත් ගමේ කෙනෙකුගෙන හොරකම් කරලා නෑ. පිට උන්ට තමයි කරන තරමක් මගෝඩි වැඩ කලේ...

      Delete
  3. ඒකනේ අපි ඔය ගස් එහෙම කපන්න යන්නේ නැත්තේ

    ReplyDelete
    Replies
    1. උඹලා ඒ උනාට වෙන වෙන ඒවා කපනවා කියලා ආරංචියි...

      Delete
  4. මදැයි ගාඩනින් කරන්න ගියා. මේ ගහ දැකල නම් තියෙනව .ඔච්චර විස බව දන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. බින්දි අක්කා අල්ලපු රටේ හිටියට සෑහෙන දොහකින් තමයි මෙතැනදි මුලිච්චි උනේ...දැන් නිෂ්ශබ්ද වෙලා ඉන්නෙ උද්‍යාන අලංකරණය හින්දද...

      Delete
  5. බොහොම ස්තුතියි මේ අනතුරු ඇඟවීම ගැන අපේ ගෙදරත් මෙන්න එකෙක් ඉන්නවා. හරි, තව ලොකුවුනාම දෙන්නන්කෝ වැඩේ සිරාගේ උපදෙස් අනුව. මා ළඟ තියනවා අර තණකොළ කපන මැෂිමෙන් වැඩ කරනකොට දාන ආරක්ෂක කන්නාඩිය. එක දාගත්තම හරිනේ.

    ReplyDelete
    Replies
    1. ගහට පාඩුවෙ ඉන්න දුන්නම කිසි අවුලක් නෑ...නමුත් මේ වගේ විසිතුරු ගහකට එහෙම පාඩුවෙ ඉන්න ඉඩ දෙන්නෙ කොහොමද...ඇත්තටම මේ ගහේ පත්‍ර හරිම අලංකාරයි...ඒ හින්දම ඕනෙ කෙනෙක්ට රවුම් කරන්නම තමයි හිතෙන්නෙ. විචාරක තුමා කියන දේවල් ටික අටව ගත්තම නම් හරි.

      Delete
  6. මට පෙනුනේ රතු තම්පලා වගේ. උද්‍යාන අලංකරණය නිසා බොහෝ පරිසර විෂමතා වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් ගසක් වැලක් යම් පරිසරයක තියෙන්නේ ඒ ප්‍රදේශයට ගැලපෙන නිසා, නමුත් මෑතක සිට වෙන මේ අලංකරණ නිසා මේ සමතුලිතතාවය බිඳිලා ඇති. එතනදී ශාඛ පමණක් නොවෙයි, ඒ පරිසර වල ජීවත් වන ලොකු කුඩා ජීවීන් පවා අවදානමකට ලක් වෙනවා. ඇමේසන් වනන්තරේ තියෙන්න ඕනේ ගසක්, සාමාන්‍ය ගෘහයක මිදුලේ තිබුණම වෙන විනාශය කියන්න ඕනේ නෑනේ. මේ වගේමයි විසිතුරු මත්ස්‍යයන් ලෙස පරිසර මාරු කරමින් විවිධ මාළු වර්ග එහා-මෙහා කිරීම. පරිසරයට අනුවර්තනය වෙන්න ඔවුන්ට පුළුවන් වුනත්, ඒ පරිසරයේ සිටින වෙනත් ජීවීන් කොටසකට එය අවදානමක්(වඳවීමේ පවා) ඇති වෙන්න පුළුවන්. ඇලිගේටර් ගා කියන මත්ස්‍යයා ශ්‍රී ලංකාවට ආවේනික සතෙක් නෙවෙයි. නමුත් හඳපානාගල ප්‍රදේශයේ වැවට මේ මත්ස්‍යයෙකු කවුරුන් හෝ මුදා හැර තිබෙනවා. සමහරවිට නිවසක ඇති කරන්න ගෙනැවිත් නඩත්තුව අපහසු වෙනකොට වැවට අත ඇරියා වෙන්නත් පුළුවන්. අපේ වගේ පුංචි රටකට මේ බලපෑම දැඩියි. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවට අවේනික සතුන් ප්‍රමාණය එන්න එන්නම වඳ වීමේ තර්ජනයට ලක් වී ඇති සමයක. මේ වගේමයි පාතේනියම් කියන මාරක නිදිකුම්බා වර්ගය. එය ලංකාවට ආ ක්‍රමය ගැන කවුරුන් හෝ පවසා තිබුණා. පරිත්‍යාගයක් වශයෙන් ලැබුණු කැටපිලර් යන්ත්‍රයක ටයරයේ තමයි භීජය ඇවිත් තියෙන්නේ. එහි සත්‍ය අසත්‍ය භාවය නම් මට සහතික කරන්න බෑ. මමත් අහපු කතාවක්.

    ReplyDelete
    Replies
    1. සුදීක අයියා සුරියවැව පැත්තේ ඔය පාතේනියම් කාලේ ගිහිලා තියෙනවනම් මතක ඇති ගහලා තිබ්බ තඩි බෝඩ් එක ඔබ මේ ඇතුල් වන්නේ පාතේනියම් බහුල ප්‍රදේශයකටය කියලා.

      Delete
    2. @ සොමියා,
      ඔය බෝඩ් එක අපිඒ කාලෙ කතරගම යනකොට හැම වෙලාවෙම දකිනව. ඒකෙ තිබුණෙ ඒ ගහේ පින්තූර එක්ක ගහේ කිසිම කොටසක් ප්‍රදේශයෙන් පිටට අරගෙන යන්න එපා කියලයි.

      Delete
    3. පාතේනියම් ඇට ආවේ, ඒ කාලේ ඉන්දියානු යුද හමුදාව ගෙනාව යුද්ධ ටැංකි වල තියන, ට්‍රැක් වල (අර බුල්ඩෝසර් වල තියන චෙන් දෙක වගේ) තිබුණු පස්වල ඇලිලා.

      උතුරු පලාතම ඉවරයි. තවමත් වඳ කරගන්න බැහැ.

      Delete
    4. @ ප්‍රසන්න අයියා

      ඔව් ඔව්, මට ඒ හන්දිය මතක නැහැ, ඕක උස්සන්න එපා කියලත් ගහලා තිබුනා, තවම ඒ බෝඩ් එක තියෙනවද මන්දා, තේ කඩයක් ගාව ගහලා තිබුනේ. ඒ කාලේ මම 6 වසරේද මන්දා මතකම නැහැ. අපේ බාප්පා සුරියවැව PHI, ඕක වඳ කරන මිසන් එකකට ඇච්චෙක් වෙච්ච මමත් ගියා :D

      Delete
    5. සුධීක අයියගෙ අදහසට මමත් බොහොම එකඟගයි.ඔයා කියපු ලැයිස්තුවට අමතරව යෝධ නිදිකුම්බා ශාකයත් ලංකාවට තර්ජනයක් වෙලා නේද...පාතේනියම් කියන්නෙ යෝධ නිදිකුම්බා ශාකයට නෙමෙයි. ඒක වෙනම පැලෑටියක් මෙතැනින් බලන්න

      Delete
  7. ඔය එක එක ගස් ජාති කපන්න ගිහින් ගස් යන්න බැරියෝ අනික අර අන්තිමට කියලා තියෙන්නේ ඇස වලට එහෙම වැටුනොත් ඉවරයි කියලා :P

    ReplyDelete
    Replies
    1. ඇත්තමයි ෂැගියො...ඒ කිරි ඇහැට වැටුනාම ඇහැ පුදුම විදියට දැවිල්ල අල්ලනවා...ඉවසගෙන නම් ඉන්න බෑ පුතේ...මම ඒ වෙලාවෙ කල්පනා කලේ කථා කරගන්න බැරි අහිංසක සතෙකුට මෙහෙම දෙයක් උනොත් කොහොමද ඉන්න‍ෙ කියලා...පුදුම වේදනාවක්...

      Delete
  8. අපේ ගෙදරත් තිබුණද මන්ද මේක. වහාම බලන්න ඕන ගෙදර ගියාම. මොකද අපේ අම්මයි අප්පච්චියිත් දවස් 365ම ගෙවතු අලංකරණය.

    කතාවකුත් එක්ක වැදගත් පණිවිඩයක්

    ReplyDelete
    Replies
    1. ගෙදර තියෙනවා නම් ගලවා ඉවත් කිරීම හෝ...ඒවා සමග ගැවසෙන අය දැනුවත් කර තැබීම යන කාරණා දෙකෙන් එකක් ඔබට තෝරා ගත හැකියි.

      Delete
  9. හෙක් සිරා අයියටත් වෙන වැඩ, මට ඔහොම වැඩක් හොඳම එකෙන් පත්තු උනා, අපේ අම්මලාගේ මහා ගෙදර ලඟට එනකන් කරන්ට් එක තිබුනත් ඒ දවස් වල (මම 9 වෙන්න ඕනා) එතනින් උඩට කන්දට කරන්ට් එක නැහැ, ඉතින් එකම මාධ්‍යය කාර් බැටරි, අපේ සීයා ඔය බැටරි චාර්ජ් කරන ප්ලාන්ට් එකක් ගත්තා, අරගෙන බැටරි වලට බැටරි වතුර දාලා කරලා දෙනවා මිනිස්සුන්ට අඩු ගානකට, ඔන්න එක සැරයක් ඔහොම බැටරියක් ගන්න ආපු කෙනෙකුට මම එයාගේ බැටරිය පරිපතයෙන් ගලවන කොටම ඒක පිපුරුවා, ඇස් දෙකෙත් එක්ක ගිහින් මාව නෑවිලා ගියා, එහෙම්මම දැවිල්ල එක්ක ඉවෙන් වගේ මම දුවලා ගිහිලා පැන්නේ වතුර එකතු කරන්න බැඳලා තියෙන සිමෙන්ති ටැංකියට, පොඩි කාලෙත් ඕකට පැනලා නාලා තියෙනවා. කොහොම හරි දැවිල්ල එක්ක ඇස දෙක ඇර ගන්න බැහැ, අම්බානෙට බය දැනෙනවා ඇස දෙක පේන් නැතිව යයි කියලා, බයටම වතර ටැංකියේම සිහි නැති වෙලා, මට මතක නැහැ, කොහොම හරි මාව කටුවන ඉස්පිත්තාලෙට ගෙනිහිල්ලා, එතනින් මාතර. හොඳම කට්ට මගේ ඇස දෙක පැය 2ක් විතර එක දිගට සේලයින් දෙන්න වගේ ඇස දෙකේ කබ වල ලඟට සේලයින් බට දාල එක සැප කනේ. පස්සේ බලද්දී ඒ තරම් පිච්චිලා නැහැ, හැමත එහෙමමයි, ඒ අපේ සිඉයගේ බැටරි වතුරේ ජිල්මාට් නිසා :D, එත් ඇස් දෙක සියුම් විදියට පිච්චිලා.

    අම්මලා හොඳටම බය උනේ ඔය ගමේ ගෙදරම දොර උලුඅස්සේ එල්ලිලා කොන්ඩිත්තන් ගහන්න ගිහිල්ලා වැටිලා ඔලුවේ පිටිපස්ස ඇනිලා දවස් දෙකක් විතර ඇස දෙක පෙනුනේ බොඳ වෙලා වගේ, ඕවයින් මේවයින් බය වෙචච බය විල්ලනම් අනේ අම්මෝ මට හිතුනෙම දැක්ක අන්තිම දේ බැටරියක් නේද කියලා.

    අපේ සීයාගේ බැටරි වතුර ජිල්මාට් හින්දා යන්තම් බේරුනා, එයින් පස්සේ සීයත් ඒ වැඩේ නතර කළා.

    දැනුත් ගොඩක්ම සිරා අයියා කම්පීතරේ ඉන්න නිසා අර cool eyes eye drops එක පාවිච්චි කරනවා නම් හොඳයි, මමත් එකා පාවිච්චි කරනවා සමහරක් වෙලාවට ඇස දෙක ගොරකයා වගේ උනාම. ඒ ඇස වෙලවනවට ඇහැට දෙන කෘතීම කඳුලක් :D

    හපෝ පොඩි කාලේ ඉඳන්ම ඇස දෙකට දස වද, හුණු කොට්ටෙන් ගහගෙන ඉස්කෝලෙදි එත් කෙලව ගත්තා. අපේ තාත්තට වටින පොස්ට් එක, එයා තමා ගාඩනින වැඩ කරන්නේ කිසිම සෆ්ටියක් නැති විදියට, ඉන්ඩස්ට්‍රියල් දේ වලදීත් වැඩිපුරම හානි වෙන්නේ ඇහැට, විශේෂයෙන්ම කොනිකල් කෑලි වලින්.

    සිරා අයියට ආර්ක් එකේ වැදිලා තියෙනවද? වෙල්ඩින් වැඩ එක්ක අම්බානෙට වැදිලා තියෙනවා ට්‍රේනින් ඉන්න කාලේ. එක වැදුනම පහුවෙනිදට ඇස දෙක ඇර ගන්න බැහැ, වෙන්නේ photophobia හැදුනා වගේ වැඩක්. කමෙන්ට් එක පොස්ට් එකක් උනාද මන්දා :D, කවුරු උනත් ඇහැ නම් පරිස්සම් කර ගන්න ඕනා.

    ReplyDelete
    Replies
    1. //cool eyes eye drops//

      මමත් මේක පාවිච්චි කරනවා ඇස්වලට. :)

      Delete
    2. හැක්... ඇස් දෙක බේරුනත් තව පොඩ්ඩෙං සොමියට වෙන්නෙ ටැංකියෙ ගිලිල මැරෙන්න. :D

      Delete
    3. පොඩ්ඩි අක්කා එකෙන් ඇහැට පුදුම විදියේ සහනයක්නේ එන්නේ, අහ වේලාවනවට හොඳ බෙහෙත, දොකෙක්ගෙන් අහන්න ඕනත් නැහැ ගන්න.

      හෙක් හෙක් ප්‍රසන්න අයියා, ගහෙන් වැටිච්ච එකාගේ ඔළුවට වහල කඩන් වැටිලා වදින්න ගිය දේවාලෙට ගොනා අනිනවා වගේ වැඩක් වෙන්නේ එහෙනම්. :D, මොකක් හරි පුරුවේ කලපු පිනකින් තමා බේරුනේ. පුපුරපු කෑල්ලක් හරි ඇහැට ගියානම් අර සැටලයිට් ඇන්ටිට වගේ. :p

      Delete
    4. ස්තූතියි සොමියො රසබර දිග කමෙන්ටුවක් කෙටුවට...බොලා බේරිලා තියෙන්නෙ 99 න් කියලයි මට හිතෙන්නෙ. බැටරි වතුර කෙසේ වෙතත් කෑල්ලක් ඇහේ වැදුනා නම් මොනවා වෙයිද හිතාගන්න බෑ.

      මම දවසකට සෑහෙන පැය ගනනක් පරිගණකය සමග ගණුදෙනු කරනවා තමයි..මම ඔය කිසිම බින්දුවක් ඇහැට දාන්නෙ නෑ...ඒ වෙනුවට පරිගණකය භාවිතය වෙනුවෙන් නිපදවලා තියෙන කණ්නාඩි කුට්ටමක් පාවිච්චි කරනවා...

      Delete
  10. ඔය හා සමාන අත්දැකීමක් මටත් තියෙනව ඇහැ‍ටු ගහක් කපන්න ගිහිල්ල කිරි වීසි උනා ඇහැට. ගොඩක් විස නැති උනත් ඇහින් දිගටම කඳුලු ගලන්න ගත්තා.
    යන්තං ඇහැ බේරගන්න ඇහැක් උනා නෙව.

    ReplyDelete
    Replies
    1. ඇහැටු ගස් කියන්නෙ මොන වර්ගයටද...අපේ පැති වල සමහර විට ඕකට වෙන නමක් පාවිච්චි කරනවා ඇති.

      Delete
    2. නුග ගස් විශේෂයක් ගල් උඩ උනත් මහ විසාලෙට හැදෙනව.

      Delete
  11. පුරාණ ධීවර‍යො මේ කිරි වර්ගය ජලාශ වල ජලයට එකතු කරලා මසුන් ඇල්ලීම සිදු කලා ///

    මට මතකයි සුදු ගෝනා පොතේ ඔය වගේ කතාවක් තියෙනව.. ඒකෙ තිබ්බෙ ‘ ලියන් වැල් “ වගේ නමක් කියල මතකයි... පොත ළඟ නෑ දැං...

    ReplyDelete
    Replies
    1. ලියං වැල් වගේ තමා මතක හවසට බලල කියන්නං.

      Delete
    2. හෑන්ස් ට මුලින්ම රනී හම්බ වෙන වෙලේ රනී ගල්වලේ මාළු අල්ල අල්ල හිටියෙ මේව දාල නේද? හෑන්ස්ව දැකල රනී බය වෙලා දිව්ව විදිය.. අම්මේ කී පාරක් නං කියවල තියෙනවද?

      Delete
    3. සුදු වැද්දා පොත අපේ ගෙදර තවමත් තියෙනවා....මට මතක විදියට කිරි මදු වැල් හෝ මදු වැල් කියලා වැල් විශේෂයක් තමයි කොටලා ජලාශයට දාන්නෙ..ඊට අමතරව වැදි ජනතාව තමන්ගෙ රෙදි හෝදගන්නත් මේ වැල් කොටලා ජලයට දැම්මම නැගෙන පෙණ භාවිතා කලා කියලත් මම අහලා තියෙනවා.

      Delete
  12. අමාරුවට එක එක ඒවා කපන්න එපා කියන්නේ ඕක තමා...

    ReplyDelete
    Replies
    1. හැබෑව හැබෑව...අමාරුව ඩබල් වෙනවා එතකොට...

      Delete
  13. වටිනා පෝස්ටුවක් ස්තුතියි මේ ගැන කිව්වට.මේ වගේ කොළ තියන ගස් නම් අපේ ගෙදරත් තිබ්බ වගේ මතකයි හරියටම මේ ගස්ද කියල බලන්න ඕන .ගෙදර වත්තේම මල් හිටවන වැඩ ඔක්කොම කරන්නෙ අපේ තාත්ත. මල් පැළයක් තියෙන්නේ කොහෙද කොහේ තිබුනත් අනිවාර්යෙන් ගේනව.තාත්තවත් මේගැන දැනුවත් කරන්න ඕන :)

    ReplyDelete
    Replies
    1. නිවසේ තියෙනවා නම් නිවැසියන් දැනුවත් කරන්න..එවිට අවධානම පහව යාවි.

      Delete
  14. මට පේන්නේ තම්පලා ගහක පින්තූර වගේ... :P

    කට්ටියගේ කමෙන්ට්ස් දැක්කාම වතු වැඩ නොකරන එක කොච්චර හොඳද කියලා හිතුණා...

    ReplyDelete
    Replies
    1. සුධීක අයියට ටිකක් බොඳ වෙලා පෙනිලා තියෙන්නෙ...වයසක මිනිස්සු නොවැ... වතු වැඩ කරන එක බොහොම හොඳ තෘප්තියක් ගෙන දෙනවා...ඒ නිසා ‍කොරන්නට හැකි නම් කොරන්න.

      Delete
  15. පින්තූරේ දැක්ක ගමන් මටත් හොඳ අත්දැකීමක් මතක් වුණා. මට වයස අවුරුදු 5 ක් වගේ කාලේ දවසක් ලොකු අම්මලාගේ ගෙදර ගිහින් මල්ලි එක්ක සෙල්ලම් කර කර හිටියා. හැංගිමුත්තං කළේ මෙන්න මේ පඳුරක් අස්සේ. ඇඟේ කිරි ගෑවිලා හිටියා වගේ දෙකක් වෙන්න රතු පාට ලොකු පළු දැම්මා. ඊට පස්සේ දොස්තර කෙනෙක් ගාවට ගිහින් මොනවා ද ක්‍රීම් ජාතියක් ගාල දවස් 2 - 3 කට පස්සේ තමයි පළු බැහැලා ගියේ.

    එදා ඉඳලා තාමත් මේ ගහක් ළඟට යන්නේවත් නෑ.එච්චරට ම හොඳ පාඩමක් ඉගෙන ගත්තේ. කොහොම වුණත් පොඩි දරුවෝ ඉන්න ගෙවල්වල මේ වගේ ගස් වවන්නේ නැතු ව ඉන්න එක ඇඟට ගුණ යි!

    ReplyDelete
    Replies
    1. අනෙ හප්පේ ධාරා නඟාව දැක්ක කල්

      දැන්වත් දෙයියන්ගෙ ලෙඩේ හොද කරන්නැතැයි? :)

      Delete
    2. ප්‍රියා කියනවා වගේ හුඟ කාලෙකින් දැක්කෙ. මොනවා උනත් මේ ගහ සහ එහි විෂ සහිත කිරි ගැන මම ලියපු ලිපිය තහවුරු කල බවක් තමයි ඔබේ අදහස තුල මම දකින්නෙ.

      Delete
  16. යකෝ...ඇහැට හානියක් වුනානම්..
    බාබු පව් බං...

    ReplyDelete
    Replies
    1. ඇහැට හානියක් උනා නම් ඉතිං සොරි තමයි...මොකද කරන්නෙ...

      Delete
  17. අර කියුරාරි කියන විශ එන්න ඇත්තෙ අර කියපු දූපත් වලින්ද දන්නෑ නේ සිරා අය්ය... ඒ දූපත් වල නම පොඩ්ඩක් ඊට සමානයි... නේහ්...
    මොනා වුණත් සිරා අය්ය පට පට ගාල බේත් ගත්ත එක නං හොදට ගියා නැත්තං අපට දකින්න වෙන්නෙ එකැස් පොට්ට කෙනෙක් ව...
    හම්මේ මතක් වෙද්දිත් ඇග කිලි පොලා යනව...

    ReplyDelete
    Replies
    1. මම නම් ඔය ඔබ කියන විෂ වර්ගය ගැන දැනුවත් නෑ. ඕනෙ කෙනෙක්ට මේ කිරි වර්ගය ඇහැට ගියොත් ඉතා ඉක්මනින් ප්‍රතිකාර ගන්න යනවා නොඅනුමානයි. හේතුව දරාගත නොහැකි අධික දැවිල්ල.

      Delete
  18. ලංකාවෙ ගොඩ දෙනෙක් ඔය සේෆ්ටි ෆස්ට් කියන එක සතේකට ගණනං ගන්නෙ නෑ. ඒත් බොහෝ රටවල්වල ඔය වගේ කාර්යයන් පෙන්වන රූපවාහිනී වැඩසටහන්වල පවා මුලින්ම කියන්නෙ වැඩේ කරන්න ඉස්සරවෙලා අදාල ආරක්ෂක උපකරණ භාවිතා කරන්න කියල. ඒකෙදිත් ‍විශේෂ අවධානයක් යොමු කරන්නෙ ඇස් දෙක පරිස්සං කරගන්න.
    මොනව උනත් දකින දකින දේ කපන්න ගිහිල්ල පොට්ට කරගන්තෙ නැතුව ඇති.

    ReplyDelete
    Replies
    1. දකින දකින දේ කැපිල්ල මේ සිදුවීමෙන් පස්සෙ සෑහෙන තරමකට අඩු උනා. ඔබ කියනවා වගේ ආරක්ෂාවට තියෙන දේවල් සමහර වෙලාවට ගනන් ගන්නෙ නැතුව ඉදලා විශාල ආපදාවක් උනාම තමයි අපරාදෙ චැහ් කියලා හිතෙන්න‍ෙ. නිකමට හිතන්න ආරක්ෂක උපාංගයක් වන හෙල්මට් නැතුව ගිහින් කී දෙනෙක් මැරෙනවද...

      Delete
  19. අම්මෝ මාර බේරිල්ලක්නෙ බේරිලා තියෙන්නෙ!

    ReplyDelete
    Replies
    1. සිරා කොලුවගෙ පණ හයියයි...දැන්ම මැරෙන්න සූජානමක් නෑ බොලං...

      Delete
  20. කකුරුමුවන් ගෙඩි තලලා දාපුවම මාළු මත්වෙනවා කියල පොතක කියෙව්වා මතකයි.

    ReplyDelete
    Replies
    1. මොනවද අනේ ඒ ගෙඩි ජාතිය...ඇහුවෙත් අදමයි...

      Delete
  21. මේ ගහ ඒ තරම් විසද? අපේ ගෙදරත් තියනව පදුරක්, උගුල්ලල විසිකරන්න ඕනෙ. පොඩි කාලෙ බට්ටෙක් හදල පත්තු කරල මගෙ ඇස් දෙක ටික වෙලාවක් නොපෙනී ගියා, එදානම් හිතුවෙ අන්ධ උනා කියල තමයි.

    ReplyDelete
    Replies
    1. මේ ගහ ගෙදර තියෙනවා නම් නිවැසියන් දැනුවත් කරන්න. පහසුවෙන් පඳුර අසලට පිවිසෙන්නට තියෙන ඉඩ අවම කරන්න

      Delete
  22. ගහේ ලස්සන වගේ නෙමෙයි කිරි ඉහිරුණොත් වන වෙලා නවතින්නෙ. කැපුම්කීරිය කියන්නෙ ඕකද? නෑ මයෙ හිතේ.

    ReplyDelete
    Replies
    1. කැපුම්කීරිය කියන්නෙ දිග නටුවක කොලපාට පලල් කොලයක් තියන ගහක්. ඒකෙ කිරි අවර්ණ එකක්, සීරුන, කැපුන තුවාල වලට කියාපු බේත.

      Delete
    2. නම අහලා නම් තියෙනවා..තාම දැකලා නෑ

      Delete
  23. හප්පේ මහ දරුණු භයානක ගහක්නෙ.!

    සිරා අයියා එවලෙම ගිහින් පෙන්නපු එක හොදයි. නැත්නම් අපේ ගොඩක් උන්දැලා කරන්නෙ "ආ මොකෙක් හරි රිංගන්න ඇති. දැන් හැරිලා යාවි!" කියලා බල බල ඉදලා, නැත්නම් ගොඩ වෙදකම් කරන්න ගිහින් ඇහැ කණ කර ගන්න එකනෙ!

    බාබු නම් පවු.

    ReplyDelete
    Replies
    1. ඇහැට කිරි බින්දුවක් ගියොත් දැනෙන වේදනාව ගැන නම් කියන්න වචන නෑ ප්‍රියෝ...පුදුම වේදනාවක්...

      Delete
  24. සිරාටත් වෙන්නේ සිරා සිරා වැඩ.. තව පොඩ්ඩෙන් මරු සිරා.. මොනව උනත් සිරා පෝස්ට් එක.. මේ වගේ අත්දැකීම් බෙදාගන්න එක සිරාවටම වටිනව.. සිරාවටම ජය ශ්‍රී!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මිත්‍රයා ඔබේ අදහසත් බෙදාහදාගත්තට..

      Delete
  25. හම්මේ ඇති ඔයින් ගියා . මේ තරම් භයානක බව නම් දැනගෙන හිටියේ නෑ. සිරා මේවගේ දේවල් හොඳින් කියලා දෙන්න දක්ෂයි . ඇස කන් වලට ගොඩවෙදකම් නොකරන එකනම් හොඳයි ,

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඉවාන්...මම ඇත්තටම මෙවැනි ලිපි ලියන්නෙ කවරෙකුට හෝ ඵලදායී වේවි කියන අදහසෙන්...මේ ලිපිය කියවන අයගෙන් එක් අයෙකුට හරි....මේ ශාක විශේෂය විෂයි කියන දේ සන්නිවේදනය වෙනවා නොවැ.

      Delete
  26. මං දැක්ක මේ කිට්ටුව ගෙදරකත් ඕව ගහක් තියනව වගෙ. ආයෙ ගිය වෙලාවක බලල ඒ අයට කියන්න ඕන. ඒක නිතර පොඩි අයත් යන එන තැනක්. දැනුවත් කලාට තුති !

    දවසක් අඹ කඩන්න ගිහින් අඹ කිරි ටිකක් නම් විසි වුනා ඇහැ ඇතුලටම. හප්පා... මුත්තරා පිට නොවුනු ටික විතරයි මට. මං හිටියෙත් ගහ මුදුනෙ අත්තක. තව දවසක් සිරිපාදෙ යන ගමන් සීත ගඟුලෙදි දෙහි ගෙඩියක් කපා ගන්න විදිහක් නැතුව, ඒක බැම්ම උඩ තියල අතින් පාරක් දුන්නා. එදත් අර දෙහි ඉස්ම ටිකක් ඇහැ ඇතුලෙ. ඔන්න ඔහොමයි මං ඇහැ පදම් කලේ. ආයෙ මේව කොරන්ඩ යනව හෙම නෙවෙයි ඕං !!! :)

    අර ත්‍රී විල් එලවිල්ල නම් හෙන ඩේන්ජර් නෙ බං. මං නම් කැමතිම නෑ එහෙම යක්කු එක්ක යන්න. ත්‍රී විල් වලින් ඔහොම වැඩ දාන එකක් වීඩියෝ කරගෙන ඇවිත් තිබුන අපේ එකෙක් ෆෝන් එකකින්. කොලොම්පුරේ පැත්තෙ අතුරු පාරක දි දැකපු එකක්.

    ReplyDelete
    Replies
    1. නිවැසියන් දැනුවත් කරන්න. රතු පැහැයට පත්‍ර එන බොහෝ විසිතුරු පැළ වල බොහෝ විට විෂ රසායනයක් තියෙන බව ජාලයෙන් කියවන්නට ලැබුනා.

      තුන්රෝද රථයක් ඒ විදියට එලවන්නෙ වැඩකාරයෙක් නෙමෙයි. මෝඩ මී හරකෙක්...බාබුවට උනත් ඒ අදහස පොදුයි.

      Delete
  27. බුදු අම්මෝ මම දන්නේ නෑනේ ඒ ගස් එච්චර විසයි කියලා..ඒවගේ කිරි ගැවුනාම ඇස් අන්ධ වෙනවාමයිද සිරා අයියේ.?

    ReplyDelete
    Replies
    1. පැය 18 ක් ඇතුලත ප්‍රතිකාර නොකලොත් අන්ධ වෙන්නට තියෙන ඉඩකඩ වැඩියි කියලා ජාලයේ තිබුනෙ. ඇහැකට ඇතුලු උනාම පට්ට විදියට ඇහැ දනවා...ආයෙ ඉන්න නම් බෑ කොලුවො ඉවසගෙන....

      Delete
  28. අම්මෝ උඹේ ලියවිල්ල හොඳයි බං. කාලෙකින් දැක්ක යාලුවෙක් වගේ දැනුනා කියවද්දි.

    ඔය ගහක් අ‍පි පොඩි කාලෙ අම්මගෙ මහගෙදර තිබ්බා. මාත් හොයනවා ගහක් හිටවගන්න. හැබැයි විසයි කියලා දැනං හිටියෙ නෑ.

    ReplyDelete
    Replies
    1. බොලා ඉතිං අවාරෙට පොල් වැටෙනවා වාගෙ නොවැ ගජබින්නාලංකාරය ලියන්නෙ...ඉඳලා හිටලා ලිව්වට කමක් නෑ. නිතරම අපිව බැහැදකින්න එනවා නම් කොලුවා මනාපයි ඔන්න...

      Delete
    2. නිතරම බැහැ - දකින්න එන්න... :-)

      Delete
  29. පුදුම බේරිල්ලක් නේද බේරිලා තියෙන්නේ.. අපේ ගෙදරත් ඔය ජාතියේ ගහක් තිබුනා ඉස්සර හොඳ වෙලාවට දැන් නෑ.

    ReplyDelete
    Replies
    1. මම උනත් ඉතිං මේ ගහේ තියෙන අවධානම දැනගත්තෙ මට මුහුණ දෙන්න සිද්ධ වෙච්ච අත්දැකීම නිසා නොවැ. එහෙම දෙයක් නොවුනානම් අදටත් දන්නෙ නෑ.

      Delete
  30. මදෑ ඔයින් ගියා..ඉස්සර අපේ ගෙවල් පැත්තෙත් මේ ගස් හරියට තිබුණා.

    ReplyDelete
    Replies
    1. ගහේ පත්‍ර වල තියෙන අලංකාරය නිසා බොහෝ අය තමන්ගෙ මිදුලට මේ ගහක් එකතු කරගන්න මනාපයි.

      Delete
  31. වටිනා පණිවුඩයක්..................... දැකලා තියෙනවා. ඔය කතාව දන්නේ අද තමයි

    ReplyDelete
    Replies
    1. දන්න අඳුනන කෙනෙකුගේ මිදුලක මේ ගහක් දෙකක් තිබුනොත් අවධානම ගැන දැනුම් දෙන්න.

      Delete
  32. මාර කේස් එක.අපේ මලයාගේ ගෙදරත් එක පෙලට ලස්සනට වවල තිබ්බ මේව.කවුද දන්නෙ මෙච්චර විසයි කියල.වහාම දැනුම් දෙන්න ඕනෙ.බොහොම ස්තුතියි දැනුවත් කිරීමට.

    ReplyDelete
    Replies
    1. අවධානමට පෙර සූජානම කියලා කථාවක් තියෙනවා නොවැ. ඒ හින්දා පොඩි දරුවො ඉන්න තැනක මේ වර්ගයේ ශාඛ සුදුසු නෑ කියලයි මගේ අදහස...

      Delete
  33. උඹට කියන්න සිරෝ අපේ මල්ලි වෙල්ඩින් එකක් ගහනවා බලලා ඇවිල්ලා රෑ දෙගොඩ ජාමේ මුගේ ඇස් දෙක පිච්චෙනවා කියලා නටපු සෙල්ලමක්.වතුරෙන් හෝදලා,අල පෙති තියලා අන්තිමේ බැරිම තැන පාන්දර එකට විතර ඇස් වාට්ටු එක්ක ගියා.බෙහෙත් දීපු කවුන්ටරේ හිටිය එකා ඇහුවා මොකෝ වෙලා තියෙන්නේ කියලා.අපි විස්තරේ කිව්වාම උන් ගණන් ගත්තේවත් නැහැ.අපේ එකා බෙරිහන් දෙනවා.ඌගේ කෑ ගැහිල්ල නිසාම ඩොක්ට ඇවිත් බලලා සේලයින් වලින් ඇහැ හෝදන්න දීලා ගියා.ඉන් පස්සේයි අපේ එකා මෙල්ල වුනේ.

    ඔය පඳුරු ජාතිය අපේ ගෙවල් පැත්තේ දැකලා නැහැ.නමුත් අවධානමට පෙර දැනගත්තු එක වටිනවා.

    ReplyDelete
    Replies
    1. ඇහැට සුපර් ග්ලූ වගේ ප්‍රබල මැලියම් වර්ගයක් ඇතුලු උනත් දෙන්නෙ සේලයින් වලින් සෝදන ප්‍රතිකාරය. ඇහැ වහන්නෙ නැතුව තමයි එහෙම වෙලාවට ඉතා ඉක්මනින් වෛද්‍ය වරයෙකු කරා යා යුත්තේ. මලයා දැන උන්නෙ නැද්ද බොලං...වෙල්ඩින් කෙරිල්ල එහෙම බලා ඉන්න හොඳ නැති විත්තිය.

      Delete
  34. සාමාන්‍ය ව්‍යවහාරයෙදි සුරක්‍ෂිතතාව ගැන හැඟීමක් ඇතිකරන්නත් කියන්නෙ ඇස්දෙක වගේ රැක ගන්න කියල. අනිවාර්යෙන් මොන වැඩක් කළත් තමන්ගෙ ආරක්‍ෂාව විශේෂයෙන් ඇස් වගේ සංවේදී ඉන්ද්‍රියක ආරක‍්ෂාව ගැන විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕන සිරා. මමත් මේ දවසෙ වැඩි කාලයක් මොනිටරේට මූන ඔබන් ඉන්න හින්දා ඇස් ගැන නම් ටිකක් බයෙන් ඉන්නෙ.

    //කප්පාදුවෙන් ඇස් රතු කර ගතිමි//

    මොකක්ද බං මේ හෙඩිම. අපේ ඉතිං මල් වගේ හිත් නිසා හොඳා, දැකපු ගමන් තේරුනා මේ කියන්නෙ ගස් කප්පාදු කරන්න ගිහින් ඇස් රතුකරගෙනය කියල.

    ReplyDelete
    Replies
    1. මමත් ඉතිං එහෙම තමයි ගොයියො. වැඩි වේලාවක් ඔපීසියෙත් / නිවසෙත් මොනිටරේටම ඇහැ දාගෙන ඉන්නෙ. මම ඒ වෙනුවෙන් ඒ සඳහාම නිපදවූ කන්නාඩි යුවලක් පළඳිනවා. බොලා එහෙම යමක් භාවිතා කරන්නෙ නැත්තං වහාම භාවිතා කරනු හොඳා.

      ඔව් ඔව් මම දන්නවා DDT යා මල් වගේ හිතක් තියෙන මල් වත්තක් කියලා.

      Delete
    2. සිරා.......මොකක්ද ඔය කියන කන්නාඩි වර්ගය?

      Delete
  35. ඔය කියන ජාතියද මන්දා ඒ වගේම ගස් වගයක් මේ පැත්තෙත් මම දැකලා තියෙනවා. හොඳයි දැණගත්ත එක.

    Curacao කියලා liqueur එකක් තියෙනවා. ඒක හදන්නෙත් ඔය කුරසාඕ දූපතේ හැදෙන දොඩම් වගේ ජාතියකින්.

    ReplyDelete

සිරාගෙ කාමරයට පැමිණියාට ස්තූතියි...

නැවත දිනයක ආයෙත් එන්න..... ඔබට ජය !

Related Posts Plugin for WordPress, Blogger...