Sunday, October 19, 2014

97 සිතියමක් සමග පැය 24 ක්

ඕන්න ඉතිං දෙයියනේ කියලා බොලාට අලුත් කථාවක් ඇද බාන්න සිරා කොලුවා ලෑලි දොරට පයින් එකක් ගහලා විවෘත කොරගෙන කාමරේට ආවා. පහුගිය දොහේ හවස් යාමෙ බොහොම තදට අහස් දිය ඇඳගෙන වැටුන හින්දාමදෝ කාමරේ ඇතුලෙ බොහොම හීතලයි. ඒ හීතල පයිසෙකට මායිම් කොරන්නෙ නැතුව අපි එහෙනං කථාවට බහිමු.

2008 - 2011 කියන කාල වකවානුවෙ ලංකාවෙ මුල් පෙලේ බාහිර ප්‍රචාරන ආයතනයක ග්‍රැෆික් ඩිසයිනර් චරිතයක් විදියට තමයි සිරා කොලුවා රාජකාරි කොලේ. මේ ආයතනයෙ තිබුනෙ අමුතුම උප සංස්කෘතියක්...සිරා කොලුවට මේ වටපිටාව පත්තියන් උනේ නැති නිසා වසර 3කට පස්සෙ එතැනින් ඉවත් උනත්....එකට වැඩ කොරාපු සේවක /සේවිකාවො නම් එක පවුලක උන් වගේ හිටි බව මතක් කරන්නම ඕනෙ.

බොලාට මතක ඇති ලංකාවෙ තිස් වසරක් තිස්සෙ හිඟන්නගෙ තුවාලෙ වගේ සුව වෙන්නෙ නැතුව ඇදි ඇදී ගිය සිවිල් යුද්ධය මේ කාලවකවානුව තුල අහවර වෙච්ච බව. මගේ අද කථාව මේ කාරණයට සම්බන්ධයි.

මේ කියන සේවා ස්ථානයෙ මම උන්නු කොටසෙ වැඩිමල් එකා වගේම වෘත්තීය ජීවිතයෙ අත්දැකීම් වැඩි කෙනා විදියටත් මට වඩා වයසින් අඩු එකාලා එකීලා වට කරගෙන තමයි මම උන්නෙ. උන් ඔක්කොම පුදුමාකාර විදියට එකමුතුයි..ලෙංගතුයි. මේ අතරින් කෙනෙක්ට යම් කිසි රාජකාරියක් අායතනයේ ඉහළ නිලධාරියෙක් භාර කලාම ඒ කාරිය කරන ක්‍රමය පිළිබද අදහසක් නැති නම්...ඒ දේවල් අන්තිමට ඇවිත් නතර උනේ මගේ ලග...අදත් එහෙම දවසක්.

අයියෙ මේ සිතියමක් තියෙනවා හදන්න. අනේ මට තව වැඩ වගයක් තියෙනවා. ඔයාට පුලුවන්ද කරන්න...

නංගි බබෙක් ඒගොල්ලන්ට තියෙන 64 න් එකක් පෙන්නලා දිවා ආහාර වෙලාව කිට්ටුව එහෙම ඇහුවාම ඉතිං මම කාටද මේ කාරිය පවරන්නෙ. අන්තිමට අහක යන සිතියමක් සිරා කොලුවගෙ ඔලු ගෙඩිය උඩට පාත් උනා.

මල්ලි අපි වව්නියාව ආමි කෑම්ප් එකේ IT සෙක්ෂන් එකෙන්...මේක ආමි එකේ වැඩක්....කොහොම හරි කරලා දෙන්න...මේක රටේ අවශ්‍යතාවක්...සිතියම එක්ක හිටිය සිවිල් චරිත දෙකක් මට සම්මුඛ උනා. එතැන කෝප්‍රල් වරු දෙදෙනෙක් සිවිල් ඇඳුමෙන් සිතියම එක්ක රැදී උන්නා.

මට ලැබුන සිතියම මේ වගේ එකක් නෙමෙයි..බොහොම විස්තර සහිත එකක්.
කාරණා කාරණා බලාගෙන යද්දි...මේ රාජකාරිය කොටි වලිගය අල්ලගත්තා වගේ එකක් කියලා මගේ අක්මාවට සැනකින් දැනුනා. ඒත්....

ආමි එකට කොල්ලො ගියේ වෙන කරන්න රස්සාවක් නැති නිසා පඩියට කියලා සම හරක් අවඥා සහගතව කථා කලාට සිරා කොලුවා හමුදාවට එකතු නොවුනෙ ජීවිත අවධානම ගන්න තරමේ නිර්භීත කමක් මට තිබුනෙ නැති නිසා. ඒ හින්දා පඩියට හරි ආමි එකට ගිය හැමෝම මට වීරයො. ඒ මට තිබුනෙ නැති වීරකමක් උන්ට තිබුන නිසා. වැටුපක් ලබන්න හරි තමන්ගෙ ජීවිතය අවධානමකට ලක් කරන්න ශක්තියක්, ධෛර්යයක් හැමෝටම නැති නිසා.

මම කවදාවත් හිතුවෙ නෑ...මගේ වෘත්තීය ජීවිතය තුල ඩිසයිනර් ගොයියෙක් විදියට මගේ සේවය අපේ රටට, අපේ හමුදාවට,  මේ තරම් වැදගත් වෙන දවසක් ඒවි කියලා. ඒ නිසා හමුදා සෙබලෙක් විදියට සේවයට එකතු වෙලා  ඉටුකරන්න බැරි වෙච්ච යුතුකම් කොටස වක්‍රාකාරයෙන් හෝ මේ විදියට මේ අවස්ථාවෙදි ඉටු කරන්න මගේ ඇතුලු හදේ ලොකු අධිෂ්ඨානයක් එකතු වුනා. ලංකාවෙ ජනජීවිතය දශක 3 ක් පුරා පීඩාවට පත් කරපු, අපේ අහිංසක ජනතාව අමු අමුවේ ඝාතනය කරපු මේ කාලකන්නි යුද්ධය අවසන් කරන්න සිරා කොලුවට හැකි විදියට දායක වෙන්නයි මේ සූජානම.

මල්ලි....මෙතැන තියෙනවා එකට පනස්දාහ සිතියම් 3 ක්. මේ සිතියම් 3 එකකට එකක් සම්බන්ධයි. මේ සිතියම් 3 ම එකක් කරලා ප්‍රින්ට් කරන්න ලෑස්ති කරලා දෙන එක තමයි ඔයාට කරන්න තියෙන්නෙ. හමුදා සහෝදරයෙක් මගේ උරහිසට අතක් තිබ්බා.

ඒ එක් සිතියමක් A2 (සාමාන්‍ය හාෆ් ෂීට් 4) ක විශාලත්වයෙන් යුක්තයි. මේ අවස්ථාව වෙද්දි අප සතුව තිබුන ස්කෑනරය A3 (හාෆ් ෂීට් 2)  විශාලත්වයෙන් යුතු එකක්. නමුත් මගේ කරුමෙට ඒ යන්තරේ ඒ වෙද්දි ක්‍රියා විරහිත වෙලා නඩත්තු කණ්ඩායම එනතුරු මග බලාන උන්නෙ. දැන් ඉතිරිව තියෙන්නෙ A4 ප්‍රමාණයේ සාමාන්‍ය ස්කෑනරයක් පමණයි. සිතියමක් කියන්නෙ ඉතාම සියුම් විදියට විවිධ ප්‍රධාන මාර්ග, අතුරු මාර්ග, ඇළ මාර්ග ආදී දත්ත නිරූපනය කරන එකක් නිසා...කොටස් වශයෙන් ස්කෑන් කොට, එකකට එකක් නියම විදියට පෑහෙන පරිදි යලි එකතු කිරීම ඉතාම අපහසු ක්‍රියාවක්. ඒ නිසා මෙවැනි  සිතියමක් එක්වරම ස්කෑන් කල හැකි ඩ්‍රම් ස්කෑන් නම් විශාල ස්කෑනරයක ස්කෑන් කරන්න අදහසක් මට පහළ උනා.

ඩ්‍රම් ස්කෑනරයක්
මේ යන්තරේ මිළ අධික නිසා ස්කෑන් කරන්න තරමක මුදලක් අය කරනවා. ඒ වෙද්දි කොළඹ නගරය තුල ඒවා ස්ථාපිතව තියෙන තැන් පිළිබද යම් අවබෝධයක් මට තිබුනා. ඉන් එකක් තිබුනෙ ලේක් හවුස් ආයතනයෙ. මම එතැන ඉහළ නිලධාරියෙකුගේ ජංගම දුරබණුවට ඇමතුවා. මගේ අවශ්‍යතාව දැනුම් දුන්නාම එතුමා මට ලබාදුන්නෙ මෙවැනි පිළිතුරක්...

අපේ එකේ ඒවා තියෙනවද....මම දන්නෙ නෑනෙ පුතා...මම දැන් නාට්‍යයක් බලන්න ඇවිල්ලා ඉන්නෙ...හෙට කථා කරන්නකො...

මල්ලි....අපි මේ වැඩේ මෙහෙට ගේන්න කලින් Quotation එකක් ගත්තා. ඒ නිසා ඊට පිටින් වියදම් කරන්න විදියක් නෑ. ඕගොල්ලො  පෙන්නපු වියදම දරලා මේක කරන්න හමුදාවෙන් අනුමත වෙලා තියෙන්නෙ. හමුදා සහෝදර වරු එහෙම කිව්වා.

ඒ නිසා වෙනත් තැනකට සිතියම් යොමු කලොත් ඒවාට ගෙවන්න වෙන්නෙ මගේ සාක්කුවෙන්. මේ කටයුතු ගැන අවබෝධයක් නැති අපේ ආයතනයෙ මූසල මාකටිං කාරයෙක් මේ කාරිය බොහොම පහසු එකක් කියලා හිතලා හමුදාවට මිළ ගනන් දැනුම් දීලා සිරා කොලුවගෙ බෙල්ල බාගෙට මිරිකලා අවසන්...අඩු ගනනේ මේ මිළ ගනන් ඉදිරිපත් කරන්න කලියෙන් විෂය ගැන දැනුමක් තියෙන කෙනෙකුගෙන් ඇහුවා නම් මේ කාරණා නිවැරදි කරන්න තිබුනා.

මල්ලි...අපේ කෑම්ප් එකේ දැන් තියෙන්නෙ මීට කලින් මේ විදියට හදලා ප්‍රින්ට් කරලා බිත්තියෙ ගහලා තියෙන කිලිනොච්චිය සිතියම. අපි දැන් ඒ පැත්ත අල්ලලා ඉවරයි. මේ සිතියම් 3 කිලිනොච්චියෙ ඉදන් මුලතිව් පැත්තට විස්තර පෙන්වනවා. අද ඉදන් දවස් දෙකකට පස්සෙ උදේ 9 වෙද්දි මේ ඔක්කොම අපි වව්නියාව කෑම්ප් එකේ ලෑස්ති කරලා තියන්න ඕනෙ. කොළඹින් ආරක්ෂක ලේකම් තුමා එක්ක හමුදාපති තුමා යුද්ධයේ ඉදිරි සැලසුම් හදන්න වව්නියාවට එනවා. අපි හදන මේ සිතියම තමයි එතැනදි උසස් නිලධාරීන්ට අණ දෙන්න ඒ අය පාවිච්චි කරන්නෙ. ඒ කියන්නෙ යුද්ධයේ අනාගත සැලසුම් හදන්නෙ මේ සිතියමෙන්. මේක නියමිත වෙලාවට එතැන තිබුනෙ නැතිනම් අපි ඉඳලා හමාරයි. මෙන්න මේ විදියට වටින් ගොඩින් මඳින් මඳ සිරා කොලුවට පීඩනය එල්ල වෙන්න ගත්තා.

තවත් මොහොතක් ඇවෑමෙන් වව්නියාව කඳවුරේ තොරතුරු තාක්ෂණ අංශය භාරව සිටි මේජර් වරයා පිළිබද ඒ අය මා සමග පැවසුවා. ඔහු මා සමග එක පන්තියේ අධ්‍යාපනය ලැබූ මිතුරෙකුගේ වැඩිමල් සහෝදරයෙක් විත්තිය ඒ කථා බහෙන් මම දැනගත්තා. මම මේ නිලධාරියාගේ මළනුවන් හඳුනන වග මා අසල සිටින දෙදෙනාට දැනුම් දුන්නා විතරයි. ඒ අය ජංගම දුරබණුවක් මගේ කනේ තිබ්බා.

මල්ලි...මම ........ගෙ අයියා...වව්නියාව කෑම්ප් එකෙන්. මම තමයි මේ සිතියමේ වැඩේ භාරව ඉන්නෙ. මේක මෙතැන සූදානම් වෙලා තියෙන්න ඕනෙ වෙලාව ගැන ඔතන ඉන්න අය කියන්න ඇතිනෙ. මේක මල්ලි යුද්ධයේ ඉදිරි ගමන තීරණය කරන තීරණාත්මක සාධකයක්. ඒ හින්දා නියමිත වෙලාවට සිතියම මෙතැන තියෙන්නම ඕනෙ. නැතිනම් මමත් ගස්...ඔයාගෙ අතේ දැන් තියෙන්නෙ බොහොම ලොකු වගකීමක්. හැකි උපරිමයෙන් හැකි ඉක්මනින් මේ උදව්ව කරලා දෙන්න. එහෙම කිව්ව දුරබණුව විසන්ධි උනා.

සිරා කොලුවගෙ ඔලු ගෙඩිය දැන් යකාගේ කම්මල වගේ. එක පැත්තකින් සිතියම ස්කෑන් කිරීමේ ගැටලු...තවත් පැත්තකින් හමුදාවෙන් ලැබුනු වගකීම්, ගිරයට අහු වෙච්ච පුවක් ගෙඩියක් වගේ පීඩාවට පත් වෙලා හිටිය සිරා කොලුවා මේ කාර්යය ආරම්භ කරලා තරමක් දුරට කටයුතු කලත් කොටස් 4 කට ස්කෑන් කරන ලද සිතියමක් එක් සිතියමක් ලෙස එකතු කිරීම ඉතාම අපහසු වෙහෙසකර කටයුත්තක්. පළමු දවස නිමාව සටහන් වද්දී මට එකදු හෝ සිතියමක් සකසන්න අවකාශයක් ලැබුනේ නෑ. ඔයාගෙ අතේ දැන් තියෙන්නෙ බොහොම ලොකු වගකීමක්....ඒ වදන් පෙල මගේ හිතේ දෝංකාර දුන්නා.

මොකද මල්ලි අපි කරන්නෙ....තාම එකක්වත් ගොඩදාගන්න බැරි උනා නේද....කෝප්‍රල් වරයෙක් මගෙන් විමසුවා. ඒ අය මේ සිතියම් වල ආරක්ෂාවට ඒවා හැරදා කොහෙවත් යන්නෙ නෑ. දිවා ආහාරයටත් දෙවතාවකට තමයි ඒ අය ගියේ. හැම විටකම කෙනෙකු සිතියම් වල ආරක්ෂාවට රැදී උන්නා.

LTTE එකේ උන් ලගත් සිතියම් තියෙනවා. ඒවා උන් විසින්ම හදාගත් එ්වා. හැබැයි අපි ලග තියෙන ඒවා තරම් ඒවායෙ විස්තරාත්මක තොරතුරු නෑ. මේ වගේ සිතියමක් බැරි වෙලාවත් උන් අතට ගියොත් අපේ කෑම්ප් වලට ඇස් පියාගෙන ගහයි. ඒ තරම් විස්තර මේවායෙ තියෙනවා. ඒ නිසයි සිතියම් මේ තරම් පරිස්සම් කරන්නෙ. 

කොහොමින් කොහොම දවසක නිමාව සනිටුහන් කරමින් හිරු අවරගිරින් බැස ගියා. නමුත් සිරා කොලුවගෙ හිතට ඉස්පාසුවක්...සහනයක් නෑ. හෙට උදෙන්ම කොතනින්ද මේ රාජකාරිය පටන් ගන්නෙ. මගේ හිත මගෙන්ම අහනවා. රාත්‍රිය උදා උනත් නෙතට නින්ද නෑ. ඉටුකරන්න තියෙන වගකීමේ තරම මෙනෙහි වෙද්දි කොහොම හරි මේ කාරිය සාර්ථකව අවසන් කරන්න හිතට ධෛර්යය මඳින් මඳ කාන්දු වෙනවා. මේක බොහොම තීරණාත්මක රාජකාරියක්. මගේ හිත එහෙම කිව්වා.

පහුවදා උදෑසන රාජකාරියට පිටත් වෙද්දි මේ කාරිය ඉටුකරන්න මගේම කියලා සැලසුමක් හදාගන්න මට හැකි උනා. ඒ අනුව පළමුවෙන් එක් සිතියමක් කොටස් 4 ක් විදියට ස්කෑන් කරන්න අවශ්‍යයි. එතකොට සමස්ත කොටස් සංඛ්‍යාව 12 ක් වෙනවා. ඊට පස්සෙ මේ කොටස් එකතු කරමින් සිතියම් 3 වෙන් වෙන්ව සකසන්න අවශ්‍යයි. ඊටත් පස්සෙ ඒ සිතියම් 3 එකට එකතු කරන්න අවශ්‍යයි. මගේ වෘත්තීය ජීවිතයේ අතිශයින් බැරෑරුම් රාජකාරිය පටන් ගන්න මම සූදානම්.

උදෑසන 8.30 කණිසමට සිරා කොලුවා රාජකාරී ස්ථානයට වාර්තා කරද්දි හමුදා සෙබලුන් දෙදෙනා පැමිණ සිටියා. හොද හුස්මක් අරගෙන මේ කාරිය අද කොහොම හරි අවසන් කරනවා කියන අධිෂ්ඨානය හිතේ ඇතිකරගෙන පරිගණකය ක්‍රියාත්මක කොලා. මගේ සැලසුමට අනුව පියවරෙන් පියවර කරදරයක් නැතුව ඉදිරියට යනවා. එහෙත් සමහර තැනක මම අපේක්ෂා නොකල තරමේ වේලාවක් වැය වෙනවා. දිවා ආහාරයට විනාඩි 20 ක් වත් යන්න නැතුව ඇති. කෝප්‍රල් වරුන් දෙදෙනා ඔවුන්ගේ අත්දැකීම් මා සමග පවසමින් හැම වෙලාවකම මගේ අසලම රැදී උන්නා. යුධ හමුදාවට එකතු නොවුන මමත් රට වෙනුවෙන් තීරණාත්මක අවස්ථාවක යම් සහයෝගයක් ලබා දෙනවා කියන හැගීම නිසාම සන්ධ්‍යාව එළඹෙන තුරුම මට වෙහෙසක් දැනුනෙ නෑ.

කාලය පැයෙන් පැය ගතවෙලා සහෝදර සේවක සේවිකාවන් දවසේ කටයුතු හමාර කරලා නැවත නිවෙස බලා යන්න සූජානම් වෙනවා. නමුත් සිරා කොලුවා තවමත් එක හුස්මට වැඩ. ඔයාගෙ අතේ දැන් තියෙන්නෙ බොහොම ලොකු වගකීමක්....ඒ වචන කීපය වරින් වර මතක් වෙනවා. වව්නියාව කඳවුරේ නිලධාරීන්ගෙන් වරින් වර මා සමග සිටින සෙබලුන් දෙදෙනාට ඇමතුම් ලැබෙනවා.

වැඩේ අවුලක් නැතුව යනවා සර්...අපිට අනිද්දා 09.00 පැයට  මේ සිතියම කෑම්ප් එකේ ලෑස්ති කරන්න පුලුවන්. ඔවුන් එහෙම කිව්වා.

මේ කියන වකවානුවෙ මගේ සේවා ස්ථානය පැය 24 ම විවෘතව තිබුනා. නමුත් එහි රාත්‍රී සේවා මුරය තුල ඩිසයිනර් චරිත රාජකාරි කොලේ නෑ. දිවා කාලයේ ඔවුන් අතින් නිමවෙන දේ මුද්‍රණය කිරීම පමණයි රාත්‍රී කාලයේ සිදු උනේ. ඒ අනුව රාත්‍රී රාජකාරිය භාරගෙන තිබුනෙ මුද්‍රණ යන්ත්‍ර ක්‍රියාකරුවන්. ඒ අයත් දැන් මගේ අසලම ඉන්නවා.

මල්ලි රෑට කෑම කන්න කොහෙවත් යන්න එපා. මම ගෙදරින් කෑම එකක් අරගෙන එන්නම්. එක් හමුදා සොයුරෙක් අපේ ආයතනය කිට්ටුව පාතක කෙනෙක්. ඔහු මට නිවසේ පිසූ රසවත් කෑම වේලක් ගෙනැවිත් තිබුනා. රාත්‍රී 11 ට පමණ රාත්‍රී ආහාරයත් ඉතා ඉක්මනින් ලබාගෙන සිරා කොලුවා නැවතත් එක දිගට වැඩ. මගේ හිත දන්නවා මේ රාජකාරිය අහවර කරන්න ඒ ඒ කොටස් අවසන් විය යුතු වේලාව.

අපේ උන්ගෙ වගේම හමුදාවෙ ඇත්තන්ගෙ රස කථා මගේ කන් දෙකට වෑස්සෙනවා. ඒවාට යන්තමින් කන දාගෙන රිදුම් දෙන ඇස් ගෙඩි දෙක ආයාසයෙන් දරාගෙන සිරා කොලුවා පාන්දර 2 කඩ ඉමටත් ලගා උනා. මේ වෙද්දි මගේ හොද පණ ගිහින්. හරියට කලන්තෙ හැදෙන්න වගේ....උදේ ඉදන් පැය කීයක් එක දිගට වැඩ කලාද...වායු සමීකරණයෙන් ලැබෙන නුවර එළි සිසිල මගේ ගිණියම් වූ ඔලු ගෙඩිය සිසිල් කරන්න ප්‍රමාණවත් නෑ.

මල්ලි පොඩි විවේකයක් ගන්න. අපි දන්නවා ගොඩාක් මහන්සි ඇති ඔයාට....ඒත් මේ වෙලාවෙ අපිට විකල්පයක් නෑ. ඉන වටේ තිබුන බෙල්ට් එක ගලවලා දාලා සපත්තු දෙකත් ගලවා ඉවත් කලා. හමුදා සෙබලුන් සෑම පැයකට වතාවක්  මට විවේකයක් ගන්නා ලෙස එතැන් සිට දැනුම් දුන්නත් රාජකාරිය එක්ක බොහොම තදින් බද්ධ වෙලා හිටි මට විවේකයකින් පලක් නෑ.

දැන් වෙලාව පාන්දර 5 යි. සිතියම් 3 එක් සිතියමක් විදියට සකස් කරලා අවසන් උනේ ඒ වෙද්දි. පුංචි පුංචි ඇළ මාර්ග, කෙස් ගස් වගේ දිවෙන මහා මාර්ග එකට එක සම්බන්ධ කරන එක පණයන වැඩක්. වටින් ගොඩින් අඳුර පහවෙන ලකුණු වීදුරු ජනෙල් අතරින් මට පේනවා. හිසේ පැත්තක් නෑ වගෙයි දැන් මට දැනෙන්නෙ. හරියට මහා බරක් හිස උඩ තිබ්බා වගේ...නෙත් කෙවෙනි පියවෙන්න වෙර දරනවා. මම මේ අවස්ථාව වෙන තෙක් ඒවා මොනතරම් නම් පීඩාවට පත් කලාද ?

පාන්දර 5න් පස්සෙ එක් එක් අවස්ථා වල වෙන් වෙන්ව ස්කෑන් කොට සම්බන්ධ කල සිතියමේ කොටස් වල වර්ණ ගැලපීම ආරම්භ කලා. ඒ කාරිය අවසන් වන විට මගේ සහෝදර සේවක කැල අලුත් දවසක රාජකාරියට වාර්තා කරලා.

අයියා අද උදේම වැඩට ආවද ? එකියක් මගෙන් අහනවා.... ඒ දැරිවි දන්නෙ නෑ මම මේ වැඩ කරන්නෙ කලින් දා උදේ සිට බව. ඒ බව ඇහුවාම ඒ මුහුණු විශ්මයකින් ඇලලී ගියා.

දැන් වේලාව උදෑසන 10. සිරා කොලුවගෙ හෘදය තවමත් ස්පන්දනය වෙනවා. මේ CD තැටියෙ අපි කලින් කරපු සිතියම තියෙනවා. ඒකත් එක්ක ඔයාගෙ අලුත් සිතියම එකට සම්බන්ධ කරලා තැටියට දාලා දෙන්න. කෝප්‍රල් චරිතයක් මට එහෙම කිව්වා. ඒ කාරියට තවත් පැය භාගයක වගේ කාලයක් ගත වෙන්න ඇති.

ඕන්න දැන් සිතියමේ වැඩේ අහවරයි. අඩි 14 ක් දිග දැවැන්ත සිතියමක් මුද්‍රණයට සූදානම්. මෙහි තියෙන විශාලත්වය නිසා සැබෑ සිතියමේ කුඩාවට පෙනෙන ඇතැම් දේ මෙහි ඉතාම පහසුවෙන් දැකගන්න පුලුවන්.

මේ වෙද්දි සිරා කොලුවට කෙලින් හිටගෙන ඉන්න පණ නෑ. පැය 24 කටත් වැඩි කාලයක් එක දිගට පරිගණකයක් දිහා බලාන ඉදලා...වැඩ කරලා මගේ නෙත් යුග ගොරකා මඳ වගේ රතු වෙලා.

මල්ලි ඔයාගෙ කම්පියුටර් එකෙන් මේ සිතියම් අපි ඉස්සරහම මකලා දාන්න. Shift Delete ගහන්න. (මකා දමන දෑ පරිගණකයේ කුණු බක්කියේ තැන්පත් නොවන සේ)

හමුදාවෙ ඇත්තන්ගෙ ඒ ඉල්ලීමට මම ක්ෂණිකව ප්‍රතිචාර දැක්වූවා. දැන් ඉතිං මගේ රාජකාරිය අවසන්. කොපමණ වෙහෙසක් දැනුනත් මගේ මේ වෑයම අපේ රටේ හෙට දවසට පුංචි හරි රුකුලක් වේවි කියන හැගීමෙන් මගෙ හිත පිරිලා.

මල්ලි....ඔයා අද කරපු මේ දේ වචනයෙන් විස්තර කරන්න බැරි තරම් වටිනවා. අපට ඒ ගැන ස්තූති කරන්න වචන නෑ. කවුරුවත් මේ වගේ වැඩ කරන එකක් නෑ. අපි දන්නවා රට ගැන හැගීමෙන් තමයි එහෙම වැඩ කලේ කියලා. අපිට වෙන දෙන්න දෙයක් නෑ. අපේ ස්තූතිය විතරක් දෙන්නම්. හමුදා සොයුරන් මගේ දෑත බොහොම තරයේ අල්ලා ගත්තා.

උදෑසන තේ කෝප්පයත් ඔපීසියෙන්ම තොල ගාලා...මූණ කටවත් සෝදා නොගෙන, සිරා කොලුවා ගම්පහ බලා එන්නට දුම්රිය ස්ථානය වෙත දෙපසට වැනි වැනී සැපත් උනා. එක විනාඩියක් ඇස් දෙක ඇරගෙන ඉන්න බෑ. නින්ද යනවා. දුම්රියේදිත් කට කපලා නිදාගෙනයි ගම්පහට ආවෙ.

නිවසට සම්ප්‍රාප්ත වෙලා මගේ ඇඳ කබලට වැටිලා නෙතු පියන් වසාගත්ත හැටියෙම මම හදපු සිතියමේ මහා මාර්ග, අතුරු මාර්ග, බෝක්කු, වගා ළිං, මාළු වාඩි අරවා මේවා සියල්ලම හරි අපූරුවට පේන්න ගත්තා.

ඒ විදියටයි සිරා කොලුවගෙ වෘත්තීය ජීවිතය තුල මෙතෙක් කරන ලද අපහසුම රාජකාරිය අවසන් උනේ. අද ඒ මතකය අවදි වන සැම විටෙකම මගෙ හිතට දැනෙන්නේ නිම් හිම් නැති සතුටක්.

මම කාමරේ අරින සිරා කොලුවා.

 

ප.ලි

කථාව උපරිම කෙටියෙන් ලියන්නට වෙර දැරීමි. නමුත් මගේ සිතුවිලි වලට බ්‍රේක් නැත. මේ පෝස්ටුව දිග වැඩි නම් කමා කරත්වා. 

බොලාගේ රාජකාරී ජීවිතය තුල මෙවැනි අමතක නොවෙන දවසක් තියේ නම් ඒ බවත් කමෙන්ටුවක් ලෙස කොටාගෙන යන්න. එයින් මේ ලිපිය තවත් සුන්දර වේවි.

97 comments:

  1. ශිෆ්ට් ඩිලීට් ගැහුවා කියලා සම්පූර්ණයෙන් ඩිලීට් වෙන්නෙ නෑනෙ සිරෝ.

    පැය විසි හතරක් කොහොම එක දිගට හිටියද මන්දා? සිරාට තිබ්බෙ වැඩේ බෙදලා දෙන්නනෙ.

    ReplyDelete
    Replies
    1. ඒ අයම තමයි කිව්වෙ ශිප්ට් ඩිලීට් ගහන්න කියලා. වැඩේ බෙදලා දෙන්න තිබුනා මේ වගේ හදිස්සි කේස් එකක් නැති නම්...කීප දෙනෙක් වැඩේ කරලා අන්තිමට එකලස් කරන තැනදි තමයි අඩුපාඩුවක් තිබුනොත් මතු වෙන්නෙ. එතකොට ඒක හදන්න ආයෙ මුල ඉදන් එන්න වෙනවා. ඒ නිසයි මම තනියම මේ වැඩේට කර තිබ්බෙ. පරිගණකයක් දිහා බලාගෙන සැහැල්ලුවෙන් ඉන්නවාත් නෙමෙයිනෙ...මොළයත් වෙහෙසෙනවනෙ...ඒ විදියට එදා පැය 24 ක් වැඩ කරපු හැටි අද මතක් කරද්දි මටත් පුදුමයි.

      Delete
  2. කතාව පටන් ගන්නකොටම මගේ හිතට ආවේ මොන මගුලකටද මේ වගේ රහස් සිතියමක වැඩ හමුදාවෙන් පිට තැනකට දුන්නේ කියලා. ඔවුන් දැන හෝ නොදැන කළේ ඉතා බරපතල වරදක්.

    සිරා ඔයා ඒ සිතියමේ පිටපත් ගන්නේ නෑ කියන එක 500% ක් විශ්වාසයි නමුත් මේ ගැන තුන්වැනි පාර්ශ්වයකක් දැනගෙන හිටියානම්, මකාදාපු සිතියම ආපහු ගන්න එක එච්චර ලොකු වැඩක් නෙවෙයිනේ.

    ඔය කියන සිතියම, වවුනියාව වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේ දී මම අනන්ත වාරයක් දැක තිබෙනවා. එහිදී ඒ සිතියම පෙන්වන්නේ අදාළ වන අයට පමණයි. තේරෙනවා නේද බරපතළකම. මට හිතාගන්න පුළුවන් කවුද ඔය වැඩේ කළේ කියලා. එදා ආරක්ෂක ලේකම් හෝ හමුදාපති දැන සිටියානම්, මේ සිතියම හැදුවේ මෙහෙමයි කියලා, ඔවුන් අමාරුවේ වැටෙනවා.

    හමුදාවට කරන්න තිබුණේ, අවශ්‍ය යන්ත්‍ර මිලට අරගෙන හමුදා කඳවුරකදීම මේ වැඩේ කරගන්නයි. මෙවැනි නොසැලකිළිමත් වැඩ නිසා යුද රහස් සතුරා අතට පත්වූ අවස්ථා තිබුණා. එයින් බරපතල ප්‍රතිවිපාකත් ලැබුණා.

    ReplyDelete
    Replies
    1. මේ කාර්යය Quotation කැදවීමකින් පසුවයි අපේ ආයතනයට ලැබී තිබුනෙ. ඒ සඳහා අපේ පාර්ශවයෙන් මිළ ගණන් ඉදිරිපත් කල අළෙවි විධායකයාට මේ කාර්යය මේ තරම් කල්ගත වෙන සංකීර්ණ කාර්යයක් බව අවබෝධයක් තිබුනේ නෑ. ඔහු මේ කටයුත්ත සදහා වැය වන ශ්‍රමයට යොදා තිබුනෙත් ඉතාම පහළ අගයක්.

      මේ කාර්යයට අවශ්‍ය කරන යන්ත්‍රෝපකරණ හමුදාව මිළදී ගත්තත් ඒවා නිතර පාවිච්චි කරන්න අවශ්‍යතාවක් එළඹෙන්නේ නෑ. මේ සඳහා යොදාගන්නා මුද්‍රණ යන්ත්‍රයක් රුපියල් මිලියනයකට වඩා වටිනවා. ඉතින් එවැනි මුදලක් යොදා යන්ත්‍ර සූත්‍ර මිළදී ගන්නවා වෙනුවට ඒ සදහා පහසුකම් ඇති බාහිර ආයතනයකට යොමු වීම සාමාන්‍ය ක්‍රමවේදය නේද.

      සිතියම ගැන කථා කරනවා නම් එය 1:50000 පරිමාණයේ ලංකාවේ මා සඳහන් කල ප්‍රදේශ පිළිබඳ වඩා විස්තරාත්මක තොරතුරු ඇතුලත් සිතිමයක්...එහි වැඳගත් කම නිසා තමයි හමුදාවෙ දෙදෙනා එය ලගින්ම හිටියෙ...ඒ වගේම මට සහතික ලෙස කිව හැකියි මගේ පරිගණකය හරහා කිසිම කෙනෙක් එය අනිසි භාවිතයකට ලක් කලේ නැති වග...

      Delete
    2. මම කිසිම ලෙසකින් ඔයාගේ වරදක් දකින්නේ නැහැ. 1:50000 සිතියමේ රහසිගත තොරතුරු තියනවා. ඒවා ගැන සරල දැනුමක් තියන කෙනෙකුට පුළුවන් ඒවා මතක තියාගෙන ප්‍රති නිර්මාණය කරන්න. හමුදා ක්‍රියාන්විත මැදිරි සෑහෙන ගණනක් යුද්දේ කාලේ ලංකාව පුරාම තිබුණා. ඒවාට මේ වගේ සිතියම් අවශ්‍ය වෙනවා. ඒ නිසා මිලියන 10ක් දීලා හරි අරවගේ යන්ත්‍රයක් අරගෙන තව මිලියන 10ක් වියදම් කරලා කාර්ය මණ්ඩලය පුහුණු කරගන්න වටිනවා. යුද්ධායුධ වලට බිලියන් වලින් වියදම් කළේ. මේ සෙල්ලම් කරන්නේ ජාතික ආරක්ෂාව සමගයි. හමුදාවේ දෙන්න ඒ ලඟින් හිටියට ඔයා වගේ විශ්වාසවන්ත නොවෙන කෙනෙකුට ඇහිපිල්ලම් ගහන වේගයෙන් කොපියක් සේව් කරගන්න පුළුවන්. මම කවදාවත් කියන්නෑ ඔබ සේවය කළ ආයතනයෙන් එහෙම අකටයුත්තක් වෙයි කියලා. මම කියන්නේ මෙය භයානක සෙල්ලමක් කියලා විතරයි.

      Delete
    3. රජකාලේ නං මෙවැනි රහස් වැඩ කරලා අවසන් වූ පසු මරණය තමයි තෑග්ගට ලැබෙන්නේ.

      ඒ විතරක් යැ, අර ටජ් මහල් හදපු පොරවත් ඟැරුවාය කියනවා නේද, ආපහු ඒ වගේ වැඩක් නොකරන්න?

      Delete
    4. 1:50000 සිතියම ඔය කියනතරම්ම රහසිගත නැහැනේ,මිනින්දෝරු දෙපාර්තමේන්තුවත් ඔය සිතියම යොදා ගන්නවනේ.කාලතුවක්කු ප්‍රහාරයක් හෝ 120mm මෝටාර් ප්‍රහාරයක් වුනත් ආසන්න මීටර් 100-200 අතරට ගහන්න පුළුවන් වේවි.ඒක වුනත් කරන්න හැකිවෙන්නේ ඉලක්‌කය ආසනයේ ස්ථිර ගොඩනැගිලි, වැව් වගේ තැන සලකුණු වෙලා තිබුනොත් පමණයි.

      Delete
    5. ඔය කියන සිතියම් කෑලි සර්වේ ඩිපාට්මන්ට් එකෙන් සල්ලි බැදල ගන්න පුළුවන්. හමුදාවට ඕන නං ඒ කෑලි ටික එහාටම කියල පුට්ටු කරල සොෆ්ට් කොපිය ගන්නත් පුළුවන්.. අනික මේ වගේ දෙකයි පනහේ පොටෝ පුරුද්දන වැඩ පොන්සේකා මහත්තයා ගාව නං නෑ. මම දැං අහල බැලුවා සර්වේ ඩිපාට්මන්ට් එකෙන්.. ඒ ඒ අංක තියෙනවා මැප් වලට. ඒවයේ පිටපත් ගන්න තියෙනවා එහේ..

      Delete
    6. ඔය දේශකය කියන සිතියං ටික ටොරන්ට් එකක් විදියට දාල තිබුණ එකෙක්.

      Delete
    7. සන්ජීව සිරිවර්ධන කියල එකෙක් නේද ප්‍රසා ඒකා..

      Delete
    8. 1;50000 සිතියම් සෙට් එක මගේ ගාවත් තියෙනව. හැබැයි ඒ සිතියම් වලට බුද්ධි අංශ තොරතුරු අනුව අමතර දේ හමුදාවෙන් ලකුණු කරල තියෙන්න ඇති කියල හිතෙනව සිරාගෙ කේස් එකේදි. අනික යුද්ධ කාලෙ 1;50000 ගන්න එක ලේසි වැඩක් උනේ නෑ.

      Delete
    9. @ ඉන්දික

      ඔබ ඉතා පැහැදිලිව කියා තිබෙනවා අවශ්‍ය දේ.

      Delete
    10. @ AnonymousOctober 20, 2014 at 2:42 PM

      සමාවන්න මහහාණෙනි, මේ විෂයය සම්බන්ධ සීමිත දැනුමක් ඔබ සතු බව පෙනේ. එහෙත් ඇත්ත තත්වය ඔබ සිතනවාට වඩා භයානක සහ සංකීර්ණ වේ. ඔත්තු බැලීම එල් ටී ටී ඊ ය විසින් රටපුරාම ඒ කාලේ කෙරුණා. සල්ලි වලට මිනිස්සු විශාල පාවාදීම් කළා. ඒ ගැනත් තව මෙහි නොකිව හැකි කරුනුත් පදනම් කරගෙනයි මා අදහස් දක්වා තිබෙන්නේ.

      Delete
    11. විචාරක මහත්මයාගේ සැකය පිළිබඳව මට කිසිම තර්කයක් නැහැ.ඒ කතාව ඇත්ත.මම අදහස් කලේ විශේෂ සලකුණු නොයෙදූ සිතියමක් වුවා නම් එය පිළිබඳවයි.

      Delete
    12. සර්වේ ඩිපාර්මන්ට් එකේ අය එදා හමුදාවට කිව්වා නම්...එන්න අපිම පුරුද්දලා දෙන්නම් කියලා මම නිදිමරන්නෙ නෑනෙ සුදෝ...

      විචාරක තුමා ඔය කාරණය ගැන කථිකාවක් ඇති කරන තුරු මම පුද්ගලිකව එවැනි යමක් ගැන කල්පනා කර තිබුනේ නෑ. මට ලැබුනු සිතියම තුල තිබූ සියල්ලම මුද්‍රණය කරන ලද සලකුණු. එහි කිසිම දෙයක් පෑනකින් හෝ පැන්සලකින් සලකුණු කොට තිබුනේ නෑ.

      Delete
    13. @ AnonymousOctober 21, 2014 at 12:15 AM

      ඒ අදහස නම් මම පිලිගන්නවා. නමුත් අර හමුදා සාමාජිකයන් දෙදෙනා සිරාට කියලා තියනවා සැකසු සිතියම මකන්න කියා. අන්න එතනයි හොරේ තියෙන්නේ. මේ ආවේ අදාළ කඳවුරේ බුද්ධි අංශයේ හෝ ප්‍රධාන මාණ්ඩලික ශාඛාවේ සේවය කරන සෙසු නිලයන් දෙදෙනෙක් බව පෙනෙනවා. නිලධාරියකු භාරගතයුතු වගකීමක් සෙසු නිලයන් දෙදෙනෙකුට පවරලා. එතනින් එහා කියන්න ගියොත් උඩ බලාගෙන කෙල ගහගැනීමක් වෙනවා.

      Delete
    14. @ සිරා.

      සිරා ඔය සිතියම ඒ කාලේ ඔය විදිහට මිනින්දෝරු දෙපාර්තමේන්තුවෙවත් තිබුණේ නැහැ. ඔය සිතියමේ මොකවත් ලකුණු කරලා නැතත්, ඔය සිතියම ආධාර කරගෙන විවිධ ත්‍රස්තවාදී වැඩ කරන්න පුළුවන්. එල් ටී ටී ඊ ය අතට ගියානම් උන් පස්ස පැත්තෙන් හිනාවෙනවා.

      මේ ගැන දැන් ඔබ කිසිවක් සිතියයුතු නැහැ. ඔබට අදාළ රාජකාරිය ඔබ කළා. නමුත් අර හමුදාවේ උන්නැහේලා කලේ බලවත් වැරද්දක්.

      Delete
    15. ඕවා නම් මොනවද විචාරක අංකල්...මේ තරම් බොක්කෙන් යුද්ධය ක්ලෝස් කරන්න උපරිමය දුන්න SF ගෙ තරු ගලවලා...ආමි වෙබ් එකේ හිටපු යුධ හමුදාපති ලයින් එකෙනුත් නම කපපු කුහක පාලකයො ඉන්න රටක..මේ ආමි පොඩ්ඩො කරලා තියෙන්නෙ වැරැද්දක්ද ?

      Delete
    16. මම හිතන විදියට ඔය සිතියමෙහි මිනින්දෝරු දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන සිතිමට වඩා වැඩි විස්තර තිබෙන්නට ඇති. අනිවාර්යයෙන්ම එසේ විය යුතුයි. මොකද 1:50000 සිතියම බොහෝ දෙනකේ අතපත ගාන, පහසුවෙන් සොයා ගත හැකි සිතියමක්..
      අනික උමා මහේෂ්වරන් ලග ඔවැනි සිතියමක් නොතිබෙන්නට ඇතැයි සිතිය නොහැකියි..

      Delete
  3. 1:50,000 සිතියම් භාවිතා කරලා ඇතිනේ සිරා අයියත් කලින් ශිෂ්‍ය භටයෙක් විදිහට පුහුණු වෙද්දී.. දැන්නම් මං හිතන්නේ forces වල මේ වගේ වැඩ පිටට දෙනවා අඩුයි

    ReplyDelete
    Replies
    1. නාඩි කොලුවා සිරා කර තිබ්බෙ ඒ වෙද්දි ශිෂ්‍ය භට තත්වයට උසස් වීම් ලබා තිබුනෙ නැති තූර්ය වාදක ඛණ්ඩයකට...බටහිර තූර්ය වාදක ඛණ්ඩයක් විදියට පිරිමි අංශයෙන් වර්තමානය වන විටත් අපේ දිස්ත්‍රික්කයෙන් කඳවුරට යන්නෙ අපි විතරයි. ඒ අනුව වැටහෙනවා නොවැ..බටහිර තූර්ය වාදක ඛණ්ඩයක් කැඩෙට් කරගන්න තියෙන අමාරුව.

      අපි ඉතින් දුක් කදුළු ඔක්කොම උහුලලා අපෙන් පස්සෙ උන්ට යන්න ඒ මාවත හදලා දුන්නා...නැතුව අපි ගියේ නෑ.

      Delete
  4. එකම වැඩක් එක දිගට කරන එක තරම් අමාරු දෙයක් මටනම් තවත් නෑ සිරෝ.. සිරවාටමයි කිවුවේ...

    ReplyDelete
    Replies
    1. මටත් එහෙම තමයි බොලං...මටත් දැන් හිතෙනවා ඩිසයින් කොලා හොදටම ඇති...දැන් වෙන යමක් කලා නම් හොදා කියලා...

      Delete
    2. වරේන් මාත් එක්ක එකතුවෙලා සුද්දියන්ට ඡංගි මහමු

      Delete
    3. විදුර ලියපන්කො ආයෙත්.

      Delete
  5. ගතට නම් වෙහෙසයි තමයි. ඒත් ඔහොම අභියෝගාත්මක වැඩක් ගොඩ දා ගත්තම දැනෙන තෘප්තිය අසීමිතයි.

    ReplyDelete
    Replies
    1. ඒ කථාව සහතික ඇත්ත මස්සිනේ...අමාරුවෙන් යමක් ගොඩ දාගතත්තම හිතට දැනෙන කික් එක අන්තිම ඉහළයි..

      Delete
  6. ඔහොම එක දිගට කොම්පීටරේ එල්ලිලා ඉන්නවා කියන්නෙ පුදුම ගේමක්. ඇස් දෙක තමා හොඳටම මහන්සි වෙන්නෙ. මුලු රැයක් නිදිමැරුව කියන්නෙ පහුවදාට කරකැවිල්ලෙ හොඳ එක. කතා කරද්දි නින්ද ගිහිං හීනෙං පේන එව්වට උත්තර දෙනවා. වට පිටේ අවදියෙං ඉන්න අය බලනවා මේ මොනවද යකෝ මේ කියවන්නෙ කියලා.
    මොනව උණත් කල කැපකිරීම අගය කලයුතුයි. ඇත්තටම ඒක සිරා වැඩක්!!!!!

    ReplyDelete
    Replies
    1. නිදි මරනවාට අමතරව මොළයත් වෙහෙසෙනවා නොවැ...ඒ නිසා අන්තිම අමාරුයි පහුවෙනිදට...

      Delete
  7. මටත් හිතුණේ විචාරක කීවා වගේ ඔච්චර රහස් වැඩක් හමුදාවෙන් පිට දුන්නේ ඇයි කියලයි. කොහොම වුනත් සිරා කරපු දේ අගය කරනවා.

    //ඒ හින්දා පඩියට හරි ආමි එකට ගිය හැමෝම මට වීරයො. ඒ මට තිබුනෙ නැති වීරකමක් උන්ට තිබුන නිසා. වැටුපක් ලබන්න හරි තමන්ගෙ ජීවිතය අවධානමකට ලක් කරන්න ශක්තියක්, ධෛර්යයක් හැමෝටම නැති නිසා.//

    මුලු හදවතින්ම එකඟ වෙනවා.

    තවත් එකක් මේ සිද්ධිය මෙහෙම ලිව්වට කමක් නැද්ද?

    ReplyDelete
    Replies
    1. මට හිතෙන දැනෙන දේ අවංකවමයි කිව්වෙ. මට දෙවැනි ලුතිතන් කෙනෙක් විදියට යුධ හමුදාවට හෝ...උප පොලිස් පරීක්ෂකයෙක් විදියට පොලිසියට හෝ බැ‍ඳෙන ලෙස මගේ තාත්තා කීප වතාවක් කිව්වා. මම කිව්ව කාරණා නිසා ඒ කාරිය උනේ නෑ.

      Delete
    2. සිරා මේ කතාව ලිවීමේ කිසිම වැරැද්දක් නැහැ. නමුත් මෙන්න මේ ටික බලන්න.

      //මල්ලි...අපේ කෑම්ප් එකේ දැන් තියෙන්නෙ මීට කලින් මේ විදියට හදලා ප්‍රින්ට් කරලා බිත්තියෙ ගහලා තියෙන කිලිනොච්චිය සිතියම. අපි දැන් ඒ පැත්ත අල්ලලා ඉවරයි. මේ සිතියම් 3 කිලිනොච්චියෙ ඉදන් මුලතිව් පැත්තට විස්තර පෙන්වනවා. අද ඉදන් දවස් දෙකකට පස්සෙ උදේ 9 වෙද්දි මේ ඔක්කොම අපි වව්නියාව කෑම්ප් එකේ ලෑස්ති කරලා තියන්න ඕනෙ. කොළඹින් ආරක්ෂක ලේකම් තුමා එක්ක හමුදාපති තුමා යුද්ධයේ ඉදිරි සැලසුම් හදන්න වව්නියාවට එනවා. අපි හදන මේ සිතියම තමයි එතැනදි උසස් නිලධාරීන්ට අණ දෙන්න ඒ අය පාවිච්චි කරන්නෙ. ඒ කියන්නෙ යුද්ධයේ අනාගත සැලසුම් හදන්නෙ මේ සිතියමෙන්. මේක නියමිත වෙලාවට එතැන තිබුනෙ නැතිනම් අපි ඉඳලා හමාරයි.//

      මේ ටික සිරා ලිව්වේ කතාව කියන්න මිසක් වෙන අදහසකින් නෙවෙයි. නමුත් ආරක්ෂක ලේකම්ගේ සහ හමුදාපතිගේ ගමන් බිමන් ගැන මෙසේ කතා කිරීමම ඔවුන් හමුදාවෙන් නෙරපා දමන්න තරම් බලවත් වරදක්. මොකද මේ නිලධාරීන් දෙදෙනාම ඉතා දැඩි ලෙස ත්‍රස්ත තර්ජනයට ලක්වූ අය. එමෙන්ම කඳවුරේ තියන සිතියම් ගැන, සමහරවිට තවමත් හෙළි නොවුණු ක්‍රියාන්විත තොරතුරු ගැන, මොකටද පිටදී කතා කරන්නේ?

      අරගොල්ලෝ සිරාට කියන්න ඕනෙ මෙන්න මෙහෙම. 'අනේ මල්ලි මේක හරි හදිස්සි වැඩක්. ඔයාලා හොඳ වැඩකාරයො කියලා දැනගත්ත නිසයි අරං ආවේ ඔයාලගේ තැනටම'

      මා නැවතත් කියන්නේ සිරාට කිසිම දොසක් කියන්න බැහැ.

      Delete
    3. ඒ අය මා සමග කථා කරලා පුද්ගලයා කවුද කියලා යම් අවබෝධයක් ලැබුවට පස්සෙ තමයි එවැනි දේ ගැන මා එක්ක කථා කලේ. මේ කාර්යයේ තිබුන බැරෑරුම් කමත්...එය කෙතරම් ඉක්මනින් නිම කල යුතුද කියන කාරණයත් මට සන්නිවේදනය කරන්න ඕනෙ එහෙම කියන්න ඇත්තෙ.

      Delete
    4. එන වෙලාවත් එක්කම කියලා. මට මතක හැටියට මේ ආකාරයට පලාලි කඳවුරට කොටි කාලතුවක්කු ප්‍රහාර එල්ල කලා මේ නිලධාරීන් දෙන්නා එන වෙලාව බලලා (එක් උසස් හමුදා නිලදරියෙක්ගෙන් තොරතුරු අරන්. එයා තාමත් හිරේ. )
      අවශ්‍ය ඉලක්කය නොලබුනාට බලඇණි හා බලසේනා අණ දෙන්නන් ගනනාවක් තුවාල ලබුවා හා මියගියා කියලා මතකයි.

      Delete
  8. බ්ලචස් සිරෝ....
    හෙක් හෙක් අර පොඩ්ඩි අක්ක කියන්න වගේ හුගක් අය හිතන්නෙ ඔයා කියල තියෙන විදියට.. සමාරවිටඔයා කියන ධෛර්යයක් නැතිව ඇති.. ඒත් දන්න තරමංන් කව්රුත් ආපහු හැරිලයන්නෙ නැ....
    හුගක් අය පිටිපස්සෙ ඉදං කෑ ගහනව ඒත් ඒ කවුරුත් දන්නෙ නෑ ඉස්සරහ තියෙන වෙන දේ ගැන..

    පැය විසිහතරක් නෙවී පැය දෙකක් තුනක් එක තැනක එක විදියට ඉන්නෙ බෝම අමාරුවෙන් මං නං...
    ඒ අතිං සිරා ග්‍රේුට්

    ReplyDelete
    Replies
    1. මට ඉතිං රටට යමක් කරනවා නේද කියන හැගීම තමයි ඇඟ පුරාම තිබුනෙ...ඒ හින්දා දවසින් වැඩි ප්‍රමාණයක් මහන්සියකින් තොරව ගෙවා ගත්තා...නමුත් රාත්තිරිය තමයි ඉතාම අපහසු උනේ...අද මතක් වෙද්දිත් මට නිදිමතයි වගේ..

      Delete
  9. ඔයවගේ එක දිගට මොනිටරේ දිහා බලාගෙන ඉඳල ඇස් දෙක පියාගත්තම ඇස් දෙක ඉස්සරහ නිකං වර්චුවල් මොනිටරයක් තියෙනව වගේ තමයි පේන්නෙ. මොනව උනත් සිරාගෙ කැපවීම අගය කරනව.

    විචාරක කියල තියෙන විදියට මේකෙ අවධානමක් නැත්තෙම නෑ.

    ලේක්හවුස් කෝල් කරල ඇහුවෙ අපේ නලින් අයියගෙන් නෙමෙයි නේද? :D

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ප්‍රසන්න අයියා...ඔය කියන කාලෙදි මම නලින් අයියව හඳුනන්නෙ නෑ

      Delete
  10. මම නං ඇහුවමයි කොන්ෆිඩෙන්ෂල්, සීක්‍රට් දෙයක් පිට තැනකින් හමුදාව කරගනනවා කියලා.... මේ වගේ වැඩ ඔය විදියට ක්වොටේෂන් අිරගෙන නං කරන්නෑ කියන මට උපරිමෙන් විශ්වාසයි.. ඒක මහ විකාරයක්. එහෙනං ක්වොටේෂන් ගන්න කලින් ඒ ආයතනයන් ගැන කොයි තරං හොයල බලන්න ඕනද? උඹ කරපු වැඩේ නං හොදයි. මොන රාජකාරිය උනත් දේවකාරිය වගේ කරන එක තම නියම සේවකයෙකුගේ ලක්ෂණ.. ජය

    ReplyDelete
    Replies
    1. හදිසි අවශ්‍යතාව අනුව ඒ අයට හමුදාව තුලින් මේ කාරියට අවශ්‍ය ශ්‍රම සම්පත හොයාගන්න නැති නිසා බාහිර ආයතනයකට යොමු වෙන්න ඇති කියන එක තමයි මගේ අදහස...මගේ වෘත්තියට අදාළව යමක් කලා නම් මම හැමදාමත් ඒක දේවකාරියක් විදියට තමයි කලේ...බොට කියන්න 2010 කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයෙ තිබුන සැරසිලි අරවා මේවා වැඩිහරියක් මගේ අත් දෙකෙන් පරිගණක තිරය මත මැවුන ඒවා. බොටත් ජයම වේවා !

      Delete
  11. ඕව මොනවද බං deployment, client release ලං උනාම අපි දවස දෙක තුන එක දිගට නයිට් ගහන්නේ. IT කරන උන්ටනම් මේ වගෙ නිදි මරන එක අකමැත්තෙන් උනත් කරන්න වෙනව. වෙන විකල්පයක් නෑ අපිට ඒක තමයි රස්සාවෙ හැටි.

    ReplyDelete
    Replies
    1. උඹ කියන අංශය ගැන මට වැටහීමක් නෑ ඇනෝ ළමයො...කිසිම ඩිසයිනරයෙක් මෙතුවක් කාලෙට පැය 24 ක් එක දිගට වැඩ කරලා තියෙනවා කියලා මම නම් අහලා නෑ. නයිටක් ගහන එක අමාරු වැඩක් නෙමෙයි..අපි මළගෙවල් වලත් ඇති තරම් නයිට් ගහන්නෙ...මෙතැන තියෙන වෙනස උදේ සිට පසුදා උදෑසන වන තුරුම එකම කාරියක නොනවත්වා නිරත වූ එකයි...කායිකව වගේම මානසිකවත් ඉතාම දැඩි වෙහෙසක් එවිට දැනෙන්නෙ.

      Delete
  12. 64 මායමට අහුවෙලා වෙච්ච දෙයක්!!!! අනේ අපොයි.. පුදුමයි අර කෙල්ල බැනුම් අහල නැති එක.. :D

    ReplyDelete
    Replies
    1. ඒ කෙලියො ඉතින් 5 පහුවෙනකොට ගෙදර දුවන්න බලාන උන්නෙ. ඒ වේලාව ආසන්න වන විට රාජකාරියක් අවොත්...එයත් බොහෝ දුරට මගේ කරපිටට තමයි වැටුනෙ.

      Delete
  13. යුද්දෙට ගන්න මැප් එකක් පිටින් හදාගෙන යුද්ධ කලේ කොහොමද කියල හිතා ගන්න බෑ. සිරාම හින්ද හොදයි, බුල කෙලින එකෙක් උනානම් ආටි අපේ ඔලුවෙම පතබෑ වෙන්න තිබුන.

    ReplyDelete
    Replies
    1. මට හිතෙන්නෙ කම්මල අයියා...විචාරක තුමා කියන කාරණා පසෙක තිබියදී. ඔවුනට ඒ වෙලාවෙ මේ කාරිය ඉටුකරගන්න තිබුන හදිස්සිය නිසා බාහිර ආයතනයක් සහයෝගය ගන්න ඇති කියලා.

      Delete
  14. මට මතක් උනේ අර එක පැත්තක මනුස්ස රූපයකුයි අනිත් පැත්තේ ලෝක සිතියමයි අලවලා ඒක ඉරලා පොඩි එකාට හදන්න දුන්න තාත්තගෙයි එක හදපු පොඩි එකාගෙයි කතාව.

    ඕක හදන වෙලාවේ තුවක්කුවක් අරන් ෆ්රන්ට් ලයින් එකට ගියානම් දාහෙන් සම්පතයි කියලා හිතෙන්න ඇති නේද?

    //ඒ හින්දා පඩියට හරි ආමි එකට ගිය හැමෝම මට වීරයො. ඒ මට තිබුනෙ නැති වීරකමක් උන්ට තිබුන නිසා. වැටුපක් ලබන්න හරි තමන්ගෙ ජීවිතය අවධානමකට ලක් කරන්න ශක්තියක්, ධෛර්යයක් හැමෝටම නැති නිසා.//

    සිරා අයියේ මේ වගේ සිද්දියක් පබ්ලිෂ් කරාට පස්සේ අෆ්ටර් ඉෆෙක්ට් එකක් ගැන හිතුනේ නැද්ද මේක පබ්ලිෂ් කරන්න කලින්, එත් කෝටේෂන් දාපු සීන් එකක් නිසා හොඳයි, විචාරක කිව්වත් වගේ ටෙරාලටම කෝටේෂන් එක අරන් මේ වැඩේ කරානම් කොහොමද උන්ගේ හිතවත් එවුන් සෙට් එකකින්, මොකද ශිෆ්ට් ඩිලීට් ඒවත් අදින ක්‍රම තියෙනවානේ,

    මොක උනත් සිරා අයියගේ වෑයමත් එක්ක සිරා අයියා දවසකට හරි කරපු යුද්දෙට ඔන්න අපෙන් සැලුට් එකක්, ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. පොඩි එකාගෙන් ලෝකය කොහොමද හැදුවෙ කියලා ඇහුවාම ඒකා කිව්වෙ තාත්තෙ මම මිනිහා හැදුවා...මිනිහා හැදුවාම ලෝකය ඉඹේම හැදුනා කියලා නේද...

      අද මම බොහොම සන්සුන්ව ඒ අත්දැකීම මෙතැන යුනිකෝඩ් කරලා තිබුනට....ඇත්ත වශයෙන්ම ඒ පීඩනය...කායිකව මානසිකව දැනුන වෙහෙස වචනයෙන් කියා නිමකල නොහැකි තරම්...නමුත් රට වෙනුවෙන් නේද මේ දේ කරන්නේ කියන සිතුවිල්ල ඒ බාධක යම් තරමකට අඩපණ කලා.

      මේ පෝස්ටුවෙ ලියවිලා තියෙන හැම දේම ඇත්තම ඇත්ත. ඉතිං මට භිය වෙන්න කාරණයක් නෑ.

      Delete
  15. රට වෙනුවෙන් කරපු සේවය නම් ඇත්තෙන්ම අඟය කල යුතුයි.! ඔය වගේ සේවයක් හැමෝටම කරන්න අවස්ථාවක් ලැබෙන්නෙත් නෑ, ලැබුනත් හැමෝම ඔය තරම් අවංකව කැපවීමෙන් වැඩ කරන්නෙත් නෑ.

    ඒත් මටත් හිතෙන්නෙ මෙතන පොඩි ආවදානමක් තිබිලා තියෙනවා. මොකද හැමෝම එක වගේ අවංක නෑ! සිරා අයියට මේ රාජකාරිය පැවරුනේ, ඒ ආයතනයටම වැඩේ ලැබුන නිසා. වැරදිලා වත් සිරා අයියා සේවය කරපු ආයතනයට නැතුව වෙන ආයතනයකට ඔය රාජකාරිය පැවරුනා නම්. මේක මීට වඩා බරපතල ප්‍රශ්ණයක් වෙන්න තිබුනා.

    ReplyDelete
    Replies
    1. නෑ නෑ මේක මෙහෙම නේ උනේ..

      ඔය කේස් එක හමුදාපති කෙලින්ම මැදිහත් වේචචි සිද්ධියක්. ඉතිං අරක්සක ලේකම් තුමා වෙනම රහස් කණ්ඩායයමක් යොදවල හොයල බැලුවා කව්ද මේ වැඩේ කරගන්න ලංකාවෙ ඉන්න විස්වාසවන්තම බුවා කියලා. එතකොට පරික්ෂන වලින් හෙලි උනා ඒ සිරා කියලා. ඉතිං ඒ පාර තමා ක්වොටෙෂක් කොල් කරේ. හමුදා බුද්ධි අංසෙත් සිරාගේ කම්පැනියට බලපෑම් කරා ක්වොටෙසන් දාන්න. අර ගැනු ළමයා තමා හමුදාවේ නියම රහස් මෙහෙයුම ක්‍රියාත්මක කරේ. මේ වැඩේ සිරා ලවාම කරගන්න.. දැක්ක නේ වැඩේ..

      Delete
    2. දෙශාගේ නියම රහස් පරීක්ෂක කතාව

      Delete
    3. දේශක යා,

      උඹව උස්සනව, සීන් එක පිට කරාට.

      Delete
    4. ස්තූතියි ප්‍රියා බොලාගෙ අදහසට...

      දේශක ගොයියො...රහස් පොලිසියට වයසක රහස් පරීක්ෂකයෙක් හොයනවලු...පාර්ට් ටයිම්වත් ඇදගන්න පුලුවන්ද කියලා හොයලා බැලුවොත් නරකද..

      Delete
    5. බොරුවක් කියනවා නෙවෙයි මටත් හිතුනේ දේශා කියපු ටික තමයි. මේ වගේ දේශ හිතෛශී කොලුවෙක් කොහෙන් හොයන්නද?

      Delete
    6. දේශ හිතශෛී දැරිවියකුත් හොයාගත්තා නම් හරි නේද ලොකු අයියෙ...

      Delete
    7. මරු සිරා ...හැක් හැක්

      අප උදේ ගිහිල්ලා යළි හවසට එනවා
      ඒ අතරේ ඒ පැය අට බොරුවෙන් ගතවේ නම්
      අපත් එතැනමයි රටත් එතැනමයි

      කල් ගතවී දූවිලි කුණු වැදිලා
      මේසය මත ලිපි ගොනු ගොඩ ගැසිලා
      ඔට්ටු කොලේ නොදුටු සතුන් හොයලා
      සුසුම් මැදින් තව දවසක් ගෙවිලා
      අපත් නැවතිලා රටත් නැවතිලා

      පැයේ විවේකය පැය තුන වීලා
      බමන මතින් නෙතු යුග රතු වීලා
      ඉතුරු ටිකේ පුරසාරම් දොඩලා
      රටක පැතුම් කඳුළට මුසු කරලා
      අපත් නැවතිලා රටත් නැවතිලා

      ගේය පද - කේ. ඩී. කේ. ධර්මවර්ධන
      සංගීතය හා ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක

      Delete
    8. මේක මම කලින් අහලා නැති ගීතයක් සින්දු ගොයියො..

      Delete
  16. සිරාට අපේ ප්‍රමාණය.................... ප්‍රමාණය කියන්නේ සිතියමේ පරිමාණයට එහෙම නෙමෙයි.. ඒක සුභ පතන විදිහක් හරිය..........

    ReplyDelete
    Replies
    1. හරිය හරිය...බොලා කියපු දේ අක්මාවට වැටුහුනා ....

      Delete
  17. හැමෝටම තියෙන ප්‍රශ්නේ තමයි මටත් තියෙන්නේ , ඔය තරම රහස් වැඩක් නම් මොකටද පිටතට දුන්නේ, අනික ඒ සඳහා එවපු නිලධාරීන් දෙදෙනාගේ දැනුම . ශිෆ්ට් ඩිලීට් ගහලා ඉවත් කලාම ඔක්කොම හරිද ? ඒවායින් කමක් නෑ.

    //"ඩු ගනනේ මේ මිළ ගනන් ඉදිරිපත් කරන්න කලියෙන් විෂය ගැන දැනුමක් තියෙන කෙනෙකුගෙන් ඇහුවා නම් මේ කාරණා නිවැරදි කරන්න තිබුනා"// ඔය කියන්නේ ටෙන්ඩර් අංශයේ කවදාවත් නොකරන වැඩක්. උන්ට හිතෙන ගණන් දානවා , කරන එකා මැරෙනවා

    ReplyDelete
    Replies
    1. මම ඔය කියන ආයතනයේ සේවය කරපු කාලෙ ලෝක පණ්ඩිත අළෙවි විධායකයෙක් හිටියා. මේකත් උගෙ වැඩක්...මිනිහා කාගෙන්වත් අහන්නෙ නෑ. මේ වැඩේ කරන්න යන වෙලාව මහන්සිය වගේ දේවල්...මිනිහම උත්තර දෙනවා...කරන්න පුලුවන් හරි බෑ කියලා හරි...මේ කියපු කාර්යය ගැන මා එක්ක වේලාසන කථා කලා නම් ඩ්‍රම් ස්කෑනින් වලට දාලා මේ තරම් නාගන්නෙ නැතුව ඉතාම පහසුවෙන් මේ කාරිය කරන්න අවස්ථාව තිබුනා.

      Delete
  18. Replies
    1. කොයි එකද බොල මරු...අතේ තව මොනවා හරි තියාගෙනද මෙච්චර දිග කමෙන්ට් එකක් කෙටුවෙ...

      Delete
  19. වෙල්ඩන් සිරා.නියමයි.
    හැබැයි ශිෆ්ට් ඩිලිට් කලාට ගන්න පුලුවන්නේද

    ReplyDelete
    Replies
    1. බැක් අප් ගන්න වැඩසටහන් වලින් ඇතැම් වෙලාවට එහෙම මකන දේ පවා ගන්න පුලුවන්...ගොඩාක් වෙලාවට පින්තූර වගේ දේවල් ඒ විදියට ගන්න පුලුවන්, නමුත් මෘදුකාංගයකට අදාළ ෆයිල්එකක් විවෘත කල හැකි පරිදි බැක් අප් කරන එක සමහර වෙලාවට අසාර්ථක වෙනවා.

      Delete
  20. මචං...හමුදා වැඩ පිටට දෙන්නේ නෑ කියලා තර්ක කලාට බොරවක් ලියලා උඔට පොරක් වෙන්න අවශ්‍ය නෑ කියලා මම දන්නවා...
    //ආමි එකට කොල්ලො ගියේ වෙන කරන්න රස්සාවක් නැති නිසා පඩියට කියලා සම හරක් අවඥා සහගතව කථා කලාට සිරා කොලුවා හමුදාවට එකතු නොවුනෙ ජීවිත අවධානම ගන්න තරමේ නිර්භීත කමක් මට තිබුනෙ නැති නිසා. ඒ හින්දා පඩියට හරි ආමි එකට ගිය හැමෝම මට වීරයො. ඒ මට තිබුනෙ නැති වීරකමක් උන්ට තිබුන නිසා. වැටුපක් ලබන්න හරි තමන්ගෙ ජීවිතය අවධානමකට ලක් කරන්න ශක්තියක්, ධෛර්යයක් හැමෝටම නැති නිසා.//
    මෙන්න මචං උදාහරන...
    උඔ ගැන තිබුන සහෝදරකම තවත් වැඩි වුනා...
    මගේ රාඡකාරි ඡිවිතේ පැ 72ක් එක තත්පරයක් ඇහැ පියන්නේ නැතුව වැඩ කරපු වෙලාවල් ඕන තරම්...තවමත් බ්‍රහස්පතන්දාට පැය 3යි සිකුරදාට පැය 3යි සෙනෙසුරාදා උදේ ඉදලා ඉරිදා එලිවෙනකන් වැඩ කරලා නිදියන්නේ නැතුව ඉරිදාට පංති යන දවස් තියනවා.

    ReplyDelete
    Replies
    1. සිරාගෙ කාමරය තුල කොර ටෝක් සහ පොර ටෝක් නෑ...මම මේක ඇතුලෙ ලියන හැමදේම මේ සමාජය තුල ඇත්තටම වෙච්ච දේවල්...නැතුව අතේ රෝල් නෙමෙයි.

      මගේ පවුල්වල කිසිවෙක් හමුදාව නියෝජනය කරලා මියගිහිල්ලා නෑ. නමුත් හමුදාව නියෝජනය කරපු චරිත කීපයක්ම අපේ පවුල් වල ඉන්නවා. ඒ අය කරන කැපකිරීම් ගැන දැනුවත් භාවයක් ලැබුනාම දවසෙ පැය 8 වැඩ කරලා ගෙදර ගිහින් දපනවා වගේද ඒ අය වෙන මහන්සිය කියලා පපුවක් තියෙන ඕනෙම එකෙක්ට හිතෙන්න ඕනෙ...

      ඔය කියන විදියට නිදි මරන නිසා තමයි මෙන්ඩිස් අයියා ඔය තරම් මහතට ඉන්නෙ..අද තමයි කාරණේ දැන ගත්තෙ.

      Delete
  21. සිරා, ඔයිට සමාන වැඩක් මට උනා. කොළඹ අවට වැදගත් නමුත් කුඩා යුධ හමුධා කඳවුරක සිතියමක් ඇඳගන්න ඕන වෙලා ඒ කාලෙ එතන රාජකාරි කරපු මගේ ඥාතියෙක් මාව එක්ක ගිහින්, භටයො දෙන්නෙක් අල්ලල මුළු බිමම මැනල ගෙනත් ප්ලොට් කරල දුන්න. ඒකෙ කොපියක්වත් තියා ගත්තෙ නෑ, හේතුව ඕක මගෙ අතින් අස්ථාන වෙලා මොනා හරි උනොත් ඥාතියටනෙ අවුල. හැබැයි ඒ කඳවුරේ තියෙන ස්ථානීය සහ කාර්‍ය වැදගත්කම ගැන හිතනකොට එහෙම එකක සැළැස්මක් පිට කෙනෙක්ට කියල ඇඳ ගන්න එක මොනතරං අවධානමක්ද කියල පස්සෙ මටත් හිතුන.

    තැන, ඥාතියා ගැන සඳහන් නොකලෙ, නිකං විචාරකගෙන් වෙඩි කන්නෙ මොටද කියල :D

    ReplyDelete
    Replies
    1. කොටියම කාපිය. මට්ටක්කුලිය පැත්තේද ඔය?

      අපි එක වරක් ලස්සන වැඩක් කළා. අපිට ඕනෙවුනා පිදුරුතලාගල සහ නුවරඑලිය නගරයේ ආරක්ෂාව සඳහා සමොච්ච්ඡ රේඛා අනුවම ත්‍රිමාන මොඩල් එකක් හදන්න. අපි කලේ නුවරඑළියේ පාසලක් සඳහා අවශ්‍ය බව කියා, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූගෝල විද්‍යා අංශයෙන් මුදල් ගෙවා ඒ මොඩලය ඉතා නිවැරදිව හදාගැනීමයි. එයින් අපි විවිධ ක්‍රියාන්විත අවශ්‍යතා සඳහා ගොඩක් ප්‍රයෝජන ගත්තා.

      Delete
    2. යුධ හමුදාවේ රහස් කාර්යයක් පිටත කෙනෙකුට භාර දුන් තවත් අවස්ථාවකට උදාහරනයක් නේද...යුධ හමුදාව තුල මෙවැනි දේ සඳහා උවමනා කරන ශ්‍රම සම්පත නොමැති උනාම..අවශ්‍යතාව ඉතා ඉක්මනින්න ඉටු කරගත යුතු වටපිටාවක බාහිර පාර්ශවයක් වෙත මෙවැනි කාර්යයන් භාර දෙන්න ඇති කියලි මට හිතෙන්නෙ.

      කඳවුරක සිතියමක් සතුරු හමුදාවක් අතට පත් උනොත්...තත්වය කොහොම වෙයිද විචාරක තුමා....එතැන සමූල ඝාතනයක් සිදු වෙයිද...කිසිවෙකුට පලා යන්නට ඉඩක් නොතබාම.

      Delete
    3. බලන්න සිරා මෙතැනදී අපි කරපු විදිහ. මේ මොඩල් එක හදන අය දන්නේ නැහැ මෙය හදන්නේ කාටද, කරන්න යන්නේ මොකක්ද කියන එක. ඒක තමයි උපක්‍රමශීලී භාවය කියන එක.

      හමුදා කඳවුරු තුළට අනවශ්‍ය පුද්ගලයන් ගෙන එම, අනවශ්‍ය අය සමග තොරතුරු (දුරකථනයෙන් හෝ) කතාකිරීම නිසා, සමහර කඳවුරු වලට ප්‍රහාර එල්ල වුණා. වවුනියාව ගුවන් හමුදා කඳවුරේ රේඩාර් පද්ධතිය වනසන්න එල් ටී ටී ඊ ය අසාර්ථක ප්‍රහාරයක් එල්ල කළේ, එලෙස ලබාගත් තොරතුරු වලින්. මීට වඩා උදාහරණ කියන්න බැහැ. සමහර තොරතුරු තවමත් රහසිගත නිසා.

      සිතියමක් සතුරා අතට පත්වුනොත් 'අබ සරණයි' තමා.

      Delete
  22. මොනවා උනත් භාර ගත්ත වැඩක් මොන විදියෙන් හරි අවශ්‍ය විදියට අවශ්‍ය වෙලාවට ගොඩදාලා දෙන්න උඹේ තියෙන කැප වීම නම් අගය කරන්න ඕන.

    නිදහසට කාරණා විදියට මොන දේවල් කිව්වත් ඒකෙන් ඒ වැඩේ තිබුණු අවධානම දශමයකින් වත් අඩුවෙන්නේ නෑ නේ බං. මේවගේ සිද්ධියකදි සුළුපමාවක් නිසා ගෙවන්න වෙන මිල අතිවිශාල වෙන්න පුළුවන්. ඒ අහිමි වෙන ජීවිත දේපල මිල කරන්නෙ කොහොමද. දැන් සිදුවුනු දේ සිදුවී අවසාන උනත් ඔවුන් මීටත් වඩා බුද්ධිමත්ව කටයුතු කළ යුතුව තිබුනු බවයි මගෙත් අදහස.

    මෙවැනි බැරූරුම් කාරියක් කිසිදා කර නැති උනත්, කොම්පීටරයක් ඉස්සරහ දවසෙ වැඩි පැය ගණනක් එකම දේ කිරීමේ අපහසුවත්, අනෙක් සියලු අමාරුකම් තිබියදි මුලු දවසක් පුටුවක් උඩ පස්සරත්කරගැනීමේ අපහසුව නම් මමත් හොඳින් අත්දැකල තියෙනව සිරා කොලුවො. කොච්චර කිව්වත් ඉතිං කරන්නෙත් ඒකම තමයි, වෙන මොනව කරන්නද බං.

    ReplyDelete
    Replies
    1. පාසල් යන කාලෙ ලස්නට ලෑල්ල වගේ තිබුන මගේ බඩ ගෙඩිය අල ගෝනිය වගේ ඉදිරියට නෙරා එන්නට හේතු උනෙත් පරිගණකයා දිහා බලාන පුටු උඩ ලගින මේ රැකියාව තමයි. ඔබ මෙන්ම විචාරක තුමාත් පවසන අවධානම මෙහි තිබෙනවා තමයි. නමුත් මම හිතන විදියට ඒ වෙලාවේ යුද්ධය ඉදිරියට ගිය වේගය අනුව නව සැලසුම් ඉතා ඉක්මනින් සකසා හමුදාවෙ ඉහළ පෙලේ නායකයන් වෙත ලබා දෙන්නට තිබුන කාලය සීමිත වීම නිසා මේ සිතියම් වැඩේ ඉතාම ඉක්මනින් කරන තැනට ඒ අය පත්වෙලා ඉන්න ඇති.

      Delete
  23. අපි දන්නවා සිරා වැඩක් කලොත් සිරාවටම කරනවා කියලා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සුධීක අයියා...මම මා ගැනම කියා ගන්න අවශ්‍ය නෑ...දන්න අය දැන උන්නාම ඇති. මේ පුරුද්ද මයෙ මලයටත් තියෙනවා...අපේ තාත්තගෙන් තමයි මේවා දායාද උනේ...සමහර වෙලාවට මගේ ගණුදෙනුකරුවා ...ආ දැන් හොදයි...ඔය විදියට අපි ප්‍රින්ට් එකට දාමු කියපු වෙලාවල් වල පවා...මගේ ඇහැකට අඩුපාඩුවක් අහු උනා නම් මම ඒක හදනවා...

      Delete
  24. හප්පෝ... මට ඉස්කෝලෙ යන කාලෙ ඉඳලම සිතියම් අරහං සිරෝ....

    ReplyDelete
    Replies
    1. ඇයි මට....මටත් එහෙමයි...සිතියම් වල ඒ ඒ රටවල්, ගංගා, කඳුවැටි පිහිලා තියෙන හැටි..තමයි නිතරම අමතක උනේ.

      Delete
  25. 64 න් එකකට අහු වුණත් මොකද, රට වෙනුවෙන් වැඩේ හරියට කරල දීල තියෙනවනේ...
    විචාරක කියනවා වගේ හමුදාවෙ කට්ටිය කරපු වැඩේ නම් හරිද මන්දා. කොහොම වුණත් මෙන්න සිරා ට මගෙන් සැලියුට් එකක්.!!!!

    ReplyDelete
    Replies
    1. ඇත්තටම 64න් එකකට අහු උනාම නෙමෙයි. මේ වගේ බැරෑරුම් කාරයක් කරන්න ඒ වෙද්දි එතැන හිටියේ මම විතරයි. දැරිවියක් මේ කාරිය භාරගත්තා නම් කොහොමද දිවා රෑ නොබලා සේවය කරන්නෙ. ඒ ගැනත් හිතලයි මම කර තිබ්බෙ. ස්තූතියි අදහසට...

      Delete
  26. සිරා.....ඕන ටොපියක් පනම් අටයි කියලා මෙන්න මේ පෝස්ට් එක ගලවලා දාපන් බං. මොකටද මෙක තියලා. උඩ ඉඳලාම කල්පනා කරපුවාම මට නිකං එහෙම හිතුනා.

    ReplyDelete
    Replies
    1. ඒ ඇයි බං අරූයියේ,මෙතැන සිරා කෙරුවේ ඌගේ රාජකාරිය.වරද ඌගේ ගාවට මේ රහස්‍ය වැඩේ කර ගන්න ආපු අයගේ නෙමේද?

      Delete
    2. එක්කෝ ලෑලි ටිකත් එකක් ගලවල අර හෙන්රිත් එක්ක පටන් ගත්ත ව්‍යාපාරෙත් නවත්තන්න බලහං. මොකද සිරා. උඹේ පාට්නරුත් අර බැටළු තඩියෙන් කෑවට පස්සේ නෑ. අනිවා මැරෙන්න ඇති.. හැක්..

      Delete
    3. මනෝ.......මට එහෙම නිකන් හිතුනා බං..

      අපේ දේශයේ අමුතු දේවල්නේ බං වෙන්නේ. වැරදි කරන එවුන් නෙමෙයි ගස් යන්නේ. වැරැද්ද වාර්තා කරන එවුන්. ඊයේ දැක්කනේ ධීවර උද්ඝෝෂනයට කරපු වැඩේ.

      Delete
    4. ඒ කිව්වේ දේශකයා අර හුජ්ජ බෑග් වියාපාරෙද? ඒක තමයි අපේ අනාගතය. ඒක නවත්තලා කොහොමද?

      Delete
    5. අරූ අයියා කියන දේ මට වැටහෙනවා. නමුත් මම සත්‍ය සිදුවීමක් සත්‍ය ‍ලෙසම වාර්තා කරන අයුරින් තමයි මෙය ලියා තියෙන්නෙ. ඒ නිසා මට භිය වන්නට හේතුවක් නෑ.

      මෙලෝ වැසියන්ට හුජ්ජ යනකං අපේ ව්‍යාපාරය වට්ටවන්න කාටවත්ම බෑ. දිනෙන් දින ඉහළට යනවා ඒක.

      Delete
  27. පිස්සු හැදෙන ෂිෆ්ට් එකක්නේ. දැන් උඹ කරපු රාජකාරියට උඹේ ආයතනයෙන් යම් ඇගයීමක් ලැබුනද? එතකොට අර quotation දීපු ගොන් නාම්බට උඹ වචන ස්වල්පයක් කතා කලාද?

    ReplyDelete
    Replies
    1. //එතකොට අර quotation දීපු ගොන් නාම්බට උඹ වචන ස්වල්පයක් කතා කලාද?//

      හොහ් හොහ් හොහ් ......

      Delete
    2. මොන ඇගයීමක්ද හෙන්රි අයියා...මාසෙකට ලබන වැටුප පමණයි..අමතරව කියලා ශත පහක් ගෙව්වෙ නෑ...මේ වගේ වේලාව නොබලා වැඩ කරන සේවකයෙන් අභිප්‍රේරණය (Motivation) කරන අන්දම ගැන උන්ට අවබෝධයක් තිබුනෙ නෑ. ඒ නිසා මම වගේම එතැන හිටිය බොහෝ අය ඉන් ඉවත් වූ පසුබිමක ආයතනය බංකොලොත් වෙන්න ආසන්නයි දැන්.

      අර ගොන් නාම්බා ගැන මම බොසාට පැමිණිලා කලා. මෙච්චර ලොකු වැඩකට මෙන්න මේ වගේ පොඩි මුදලක් තමයි මිනිහා Quotation එක ඇතුලෙ දාලා තිබුනෙ කියලා. බොසා මගෙ ඉස්සරහම මිනිහට කියන්න තියෙන දේ ලස්සනට කිව්වා.

      Delete
    3. //බොසා මගෙ ඉස්සරහම මිනිහට කියන්න තියෙන දේ ලස්සනට කිව්වා.//

      එච්චරයි බං...

      අන්තිමේදි අපිට වැටහෙනවා, අපි කැපවීමෙන් වැඩකරන්නෙ කවුරුවත් වයවසාය‍කයෙක් වෙනුවෙන් නෙවෙයි, අපේම ආත්ම තෘප්තියට කියලා. නැද්ද බං? මේ වැඩෙන් උඹට ලැබුණු තෘප්තිය සල්ලවලට ගන්න පුළුවන්ද කාටවත්?

      Delete
  28. ඇත්තටම සිරා මාර ගේමක් දීල තියෙන්නෙ.අර විචාරක උත්තමය කියල තියෙන දේවල් බලපුවහමත් ඇග හිරිවටෙනව.කාටද විස්වාස කරන්න පුළුවන් එහෙම දෙයක් නොවෙයි කියල.මට මතකයි 2000 අවුරුද්දේ යුද්දෙ දරුනුවටම යද්දි පලාලි රෝහලේ විකිරණ යන්ත්‍රයක් අලුත් වැඩියා කරන්න මම ගිය ගමන.අපේ ජාතික හැදුනුම්පත විතරයි අරගෙන යන්න දුන්නෙ.ඊටත් කලින් අපේ පලාතෙ පොලිසියෙන් වාර්තාවකුත් අරගෙන තිබුන අපි ගැන.මොකද මමත කොලබ හමුදා රෝහලට නිතරම ගිය කෙනෙක් හින්ද.අපි ගැනත් හෙව්ව.දැන් නම් බයත් හිතෙනව්කොහොමා උනත් මලේ..උන් විරයෝම තමයි ආයේ දෙකක් නැහැ.උබට ජය.

    ReplyDelete
    Replies
    1. ඉන්දික අයියට අපි සලකනවා මදිද මන්දා...බලාගෙන ගියාම ඔයාගෙ සේවයත් අපේ රටට ඉතාම තිරණාත්මක අවස්ථාව සෑහෙන උපකාරයක් වී තිබෙන හැඩයි. බොටත් ජය !

      Delete
  29. ස්තරං සිරා ..

    කියන්න වදන් නෑ.. හැබැයි මට නං සිතියංනං එපා වෙලා.. උදේ ඉදන් හැන්දෑ වෙනකං හැමදාම ඕව්වා එක්කම තමයි...

    වටිනා වැඩක්

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නෙ විදානෙ සිතියම් එක්කම කරන රාජකාරියක නියැලෙන කෙනෙක්...එහෙම නේද....හැබෑට මොකද කරන්නෙ...ලංකාවෙ නිධන් තියෙන තැන් සිතියම් ගත කොරනවද...හැක් හැක්..

      Delete
  30. රට වෙනුවෙන් දෙයක් කරන්න අරගත්ත වෙහෙස මහන්සිය ප්‍රශංසනීයයි..

    ටිකක් අමාරු වුනත් සිතියම් වැඩ වලට නම් මම ඉස්කෝලේ යන කාලේ හරිම කැමතියි..

    ReplyDelete
    Replies
    1. ඔබේ අදහසට මගේ ස්තූතිය නගෝ....සමාජ ආධ්‍යයනයට සිතියම් ඉගෙන ගත්ත කාලෙ මට එතරම් කැමැත්තක් තිබුනෙ නෑ ඒවාට...

      Delete
  31. මේක නම් මරු ලියවිල්ලක්. සිරාගේ ජාතික වගකීම කදිමයි

    ReplyDelete

සිරාගෙ කාමරයට පැමිණියාට ස්තූතියි...

නැවත දිනයක ආයෙත් එන්න..... ඔබට ජය !

Related Posts Plugin for WordPress, Blogger...