Saturday, October 4, 2014

84 අපි නොදන්න ටජ් මහල

ජාලෙන් පෙරලලා බොලාට කථාවක් කියන්න හොයා බලන කොට සිරා කොලුවගෙ ඇහැ ගැහුනා නොවැ හරිම අපූරු විස්තරයක්...ඒ විස්තරය තමයි ඕන්න මම අද කියන්න තනන්නෙ.

ටජ් මහල ගැන ඉතිං කවුද අහලා නැත්තෙ. අසල්වැසි ඉන්දියාවෙ අග්‍රා නුවර තියෙන මේ ඉපැරණි ස්මාරකය ආදරයේ සංඛේතය හැටියටත් සමහරු සළකනවා නොවැ. යුනෙස්කෝ සංස්කෘතික උරුමයක් වගේම නූතන ලෝකයේ පුදුම 7 තුලත් තියෙන ටජ්මහල පිටිපස්සෙ තියෙන කථාව ගැනත් බොහෝ අය දන්නවා.

මෝගල් අධිරාජ්‍යයෙකු වූ සාජෙහාන් රජතුමාට බිරින්දෑවරු කීප දෙනෙකුම හිටියා. ඒ උනාට රජතුමා වැඩිපුර ආදරය කලේ තමන්ගෙ තුන්වැනි බිරිඳ වෙච්ච මුම්ටාස් මහල් දේවියට. ඇය පර්සියන් කුමාරිකාවක්. තමන්ගෙ 14 වෙනි දරුවා ප්‍රසූත කරන අවස්ථාවේදී ඇය ජීවිතයෙන් සමුගැනීම රජතුමාට ඉතාම විශාල චිත්ත පීඩාවක් ගෙනදුන් බවත් ඒ නිසාම ඒ වියෝවෙන් වසර 5 කට පසු ඇය වෙනුවෙන් ටජ්මහල නම් ස්මාරකය ඉඳිකරන්න රජතුමා කටයුතු කල බවත් විකිපීඩියාව කියනවා. 1632 වසරේදී ඉඳිකිරීම් ආරම්භ කරලා 1648 වසරෙදි එහි වැඩ අවසන් වී තිබෙනවා. අවට ඇති උද්‍යානයේ කටයුතු නිම කරන්න තවත් වසර 5ක් ගතවෙලා.

මේ විදියෙ වෙහෙසකර ගමනක් අවසන් කරලා ටජ්මහල විකසිත වෙද්දි දහස් සංඛ්‍යාත මිනිසුන්ගේ ලේ, කදුළු, දහඩිය මේ දැවැන්ත කිරි ගරුඬ නිර්මාණය පිටිපස්සෙ ලොවට රහසේ ගලා ගිහින්. තවත් මෙවැනි නිර්මාණයක් නොකරන්නට ප්‍රධාන නිර්මාණ ශිල්පියාගේ දෑත් කපා දැමූ කථාවත් ඉතාම ප්‍රසිද්ධයි. කෙසේ වෙතත් සාජෙහාන් රජතුමා ජීවිතයේ අවසාන කාලය තමන්ගේම පුතාගේ සිරකරුවෙකු විදියට ටජ් මහලට යාබද රතු බලකොටුවෙ ගෙවා දැමූ බව නම් බොහෝ දෙනා අසා නැතුව ඇති.

අන්තඃපුරයක් තිබූ රජතුමෙක් තමන්ගෙ තුන්වැනි දේවියගෙ අභාවය වෙනුවෙන් කල මේ නිර්මාණය ආදරයේ සංඛේතයක් ලෙස පිළිගන්න සමහරු කැමති නෑ. ඒ වගේම ටජ් මහල පසුබිමේ එතරම් ප්‍රසිද්ධ නැති අභිරහස් බොහොමයි. ලිපියේ අග තිබෙන ලින්කුවට කෙටුවොත් ඒවා ගැන දැනගන්න බොලාට හැකියි.

ටජ්මහල ගැන මේ විදියට කියාන යද්දි සිරා කොලුවා ජාලෙන් පෙරලලා අද කියන්නෙ කවුරුත් දන්න ටජ්මහල ගැන කියලා බොලාට හිතුනා නම් වැරදියි. මම දැන් තමයි අපි නොදන්න ටජ් මහල ගැන කියන්න පටන් ගන්නෙ. මේ කියන ටජ් මහල නම් උත්තරීතර ආදරයක සංඛේතයක් කියලා කටක් ඇරලා කියන්න පුලුවන් එකක්.



ඉන්දියාවෙ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ Bulandshahr නැමති පිටිසර ගම්මානයේ ජීවත් වන 77 හැවිරිදි Faizul Hasan Kadari විශ්‍රාමික තැපැල් ස්ථානාධිපතිවරයෙක්. 2011 වසරෙදි තමන් සමග එතෙක් කල් ජීවිතයේ දුක සතුට බෙදාහදාගත් ආදරණීය බිරිඳ මියැදුනාම ඇයගේ නික්ම යාම ඔහුට මහා දුකක් ඇති කලා. ඇගේ නම Tajammuli Begum. මේ යුවලට දරුවො හිටියෙ නෑ. 

අපේ නම ඉස්සරහට අරගෙන යන්න අපට කවුරුවත් නෑ. මරණ මංචකයෙ වැතිර උන් තමන්ගෙ බිරිඳ ජීවිතයෙන් සමුගන්න ආසන්න දිනයක කියපු මේ වචන කීපය අපේ කථානායකයගෙ හිතේ ඊයම් බරු වගේ ගැඹුරට කිඳා බැස්සා.

මම ඔයා වෙනුවෙන් මුළු ලෝකයටම පේන්න ස්මාරකයක් හදන්න පොරොන්දු වෙන්නම්. අපි දෙන්නට දරුවො නැති උනත් අපේ ස්මාරකය නිසා අපි දෙන්නා ගැන මතකය මිනිසුන්ගේ හිත් වල දිගටම තියේවි. හසන් කඳාරි තමන්ගෙ ආදරණීය බිරිඳගේ අවසානය උදා වෙන්නට මත්තෙන් ඒ විදියෙ පොරොන්දුවක් උනා.

කදාරි මහත්තයාගෙ ගෙදරට සැබෑ ටජ් මහල හොදින් පේනවා. ඒ හින්දම ඒ යෝධ නිර්මාණයේ අනුරුවක් මියගිය ආදරණීය බිරිඳ වෙනුවෙන් තමන්ගෙ වත්තෙ ඉඳිකරන්න ඔහුට අදහසක් පහළ උනා. සැබෑ ටජ්මහල මුම්ටාස් දේවියගේ සොහොන් ගෙය බවට පත් උනා වගේම මේ හදන්න යන ටජ් මහලත් සොහොන් ගෙයක්. තමාගේ අභාවයෙන් පස්සෙ ප්‍රිය බිරිඳට පසෙකින් මේ නිර්මාණය තුල සැතපෙන්න ඔහු අදහස්කරගෙන ඉන්නෙ. නමුත් මේ අසරණ විශ්‍රාමිකයට තමන්ගෙ බිරිඳ වෙනුවෙන් වෙච්ච පොරොන්දුව ඉෂ්ඨ කරන්න ඉඳිකරගෙන යන මේ  නිර්මාණයට කිරි ගරුඬ සවිකරන්න තරමේ වත්කමක් නෑ. ඒ හින්දම ඔහු වැලිගල්, ගඩොල්, යකඩ උපයෝගී කරගෙන තමන්ගෙ පොරොන්දුව දිගේ ඉදිරියට ගියා.

ඉස්සර දවසක ලස්සන සැමරුම්
2012 පෙබරවාරි මාසෙදි මම මේක හදන්න පටන් ගත්තා. මුල් කාලෙ කෑම පැය ඇතුලුව දවසට පැය 8 ක් එක දිගට වැඩ කලා. ඒ උනාට ගිය අවුරුද්දෙ සැප්තැම්බර් මාසෙදි මා එක්ක වැඩ කරන අයට ගෙවන්න ප්‍රමාණවත් මුදලක් හොයාගන්න බැරි නිසා තාවකාලිකව ඉඳිකිරීම් වැඩ නැවැත්තුවා. මේ නිර්මාණය ගැන විමසන මාධ්‍ය කණ්ඩායම් වලට නිර්මාණ කරුවා ඒ විදියටයි පිළිතුරු දුන්නෙ.


මේකට සල්ලි හොයන්න මගේ ඉඩමක් මම ලක්ෂ 6 කට වික්කා. නෝනගෙ රත්තරං බඩු වෙනත් ආභරණ ජාති ලක්ෂ එක හමාරකට වික්කා. විශ්‍රාම වැටුප විදියට එකතු වෙච්ච ඔක්කොම සල්ලි බැංකුවෙන් ගත්තා. එතැන තවත් ලක්ෂ එක හමාරක් වගේ තිබුනා. මේ වෙද්දි මට අවුරුද්දකටම රු ලක්ෂයක් වගේ තමයි වියදම් කරන්න පුලුවන්. ඒ උනාට ඒ මුදල ඉඳිකිරීම් නවත්තන්නෙ නැතුව පවත්වාගෙන යන්න ප්‍රමාණවත් නෑ.මම මැරෙන්න කලින් මේක හදලා ඉවර කරන එක තමයි දැන් මගේ එකම හීනය. ඔහුගේ අදහස එහෙමයි. මුල් නිර්මාණයේ ඉදිරිපස තිබෙන ජලය ඉහළට විඳින පොකුණු, පේළියට සිටුවන ලද ශාක, අලංකාර ගඩොල් නිර්මාණ පවා ඉඳිකරන්නයි සැලසුම් කොට තිබෙන්නේ. මොනවා කරන්නත් සල්ලි නැති කම තමයි දැන් මෙතන තියෙන පුරස්නේ.


මට මුදල් ප්‍රශ්නයක් තියෙන බව ඇත්තයි. ඒ උනාට මම කාගෙන්වත් මේ වෙනුවෙන් මුදල් ලබා ගන්න සූදානම් නෑ. මගේ අධිෂ්ඨානය මගේ මුදල් වලින්ම මේ දේ කරන්නයි. සමහර මිනිස්සු මට කිව්වා මම මේ කරන්නෙ මුදල් නාස්තියක් කියලා. තවත් සමහරු කිව්වා මේ සල්ලි වලින් කසාද බඳින්න වත්කමක් නැති අයට ඒ කටයුතු කරගන්න උදව් කලා නම් මීට වඩා වටිනවා කියලා. ඒ අයට මම කිව්වෙ මේ දේ කරන්නෙ මගේ බිරිඳ අනුස්මරණය කරන්න නිසා ඔය කියන කිසිම දෙයක් මට ඒ කාරණය තරම් වටින්නෙ නෑ කියලයි.

මේ කුඩා ටජ්මහල නිසා Bulandshahr කියන පිටිසර ගම්මානය ඉන්දියාව තුල දැන් තරමක් දුරට ප්‍රචලිත වෙලා අවසන්. සමහරු මෙය නරඹන්නත් එනවා.


මේ නිර්මාණය අපේ ගම ලස්සන කරලා. මිනි ටජ්මහල විදියට අපේ ගම දැන් ඉන්දියාව පුරාම ප්‍රසිද්ධ වීගෙන යනවා. දිල්ලිය, බොම්බේ, කේරළ වගේ පළාත් වල මිනිසුන්ගෙන් පවා කදාරිට ඇමතුම් එනවා. ඒ අයටත් මේක බලන්න එන්න ඕනෙලු. එහෙම කියන්නෙ කදාරිගෙ අසල්වැසියෙක්.

අසල්වැසියා සමග කදාරි මහතා


මමත් මගේ බිරිඳත් බොහොම තරුණ වයසෙදි විවාහ උනා. සුළු සුළු මත ගැටුම් ඇරෙන්න අපි අතර කවදාවත් ගැටුමක් ඇතිවෙලා නෑ. එයා මට දරුවෙක් ලබා නොදුන්නා කියලා මම කවදාවත් වෙනත් කසාදයක් කරගන්න හිතුවෙ නෑ. මම හිතනවා දවසක මට ඇයත් එක්කම මගේ ටජ්මහලෙදි සමාදානයේ සැතපෙන්න පුලුවන් කියලා.  

ආදරය යනු ඔබ මා අඩු වැඩි වශයෙන් පෙළන සුන්දර මනෝභාවයක් බව සැබැවි. කුමන තරාතිරමක සිටියද ආදරය ඉදිරියේ උමතු වූ මිනිසුන් පිළිබඳ කතන්දර ඈත අතීතයෙන් මෙන්ම වර්තමානයේද අඩු නැතුව හමුවෙයි. කෙනෙකුට ආදරය සමග සුන්දර ගණුදෙනුවක් තිබෙන විටෙක තවෙකෙකුට ඇත්තේ විශාල වේදනාවකි. ආදරය පිළිබද නිර්වචනයක් දෙන්නට කිසිවෙකුත් අපොහොසත් වන්නේ ඓහෙයිනි. 

මේ කථාව කියවූ ඇතමෙකුට කදාරි යනු පල් මෝඩයෙකු ලෙස සිතෙනවා වන්නටත් පුලුවන. එහෙත් ආදරය නම් උත්තරීතර හැගීම ඕනෑවටත් වඩා ලග ඇති හෙතෙම තම බිරිඳ වෙනුවෙන් ආයාසයෙන් ගොඩනගනා මේ නිර්මාණය සැබෑ ටජ්මහලට වඩා මානුෂික එකකි. එයට වඩා ආදරයෙන් ඔපවත් වූ එකකි. ආදරයේ සංඛේතය ලෙස සැබෑ ලෙසම හැඳින්විය හැකි එකකි.

මේ වීඩියෝව පසුව එකතු කරමි.
 

අද ලිපියට මූලාශ්‍රය


මම කාමරේ අරින සිරා කොලුවා.


ප.ලි

කවුරුත් දන්නා හඳුනන ඔරිජිනල් ටජ්මහල ගැන අපි නොදන්න අභිරහස් කථා මෙන්න මෙතැනින්.

84 comments:

  1. කදාරිගේ ආදරයේ සංකේතය අවසන් කර ගන්න ප්‍රර්ථනා කරමු.

    ReplyDelete
    Replies
    1. මමත් කැමතියි ඒ ප්‍රාර්ථනාවටම එකතු වෙන්න...ස්තූතියි බොට...

      Delete
  2. Menna aadare... eka ada kaale wena dewal..


    Mage brand ekath gal... byt eka hila wade..sthuthyi..

    ReplyDelete
    Replies
    1. ඇත්ත වශයෙන්ම මෙවැනි වයසකදි මේ තරම් ආදරයෙන් ඉන්න යුවලක් දැක්කම මගෙ හිතේ ඇතිවෙන්නෙ ගෞරවනීය හැගීමක්. නියම අධ්‍යාත්මික ආදරය කියන්න මේක තමයි...අද ඉන්න බහුතරය පිට පොත්තට තමයි ආදරේ කරන්නෙ...පොත්ත ඇකිලෙනකොට ආදරෙත් ඉවරයි.

      ගල් වලට මමත් මනාපයි...බයිට් එකට බැඳපු හුරුල්ලො.

      Delete
  3. ලොකු ටජ්මහල බලන්න ගියාට මේක ගැන දැනගෙන හිටියේ නෑනේ ඒ කාලේ.. ආයේ ගියොත් ගිහිං බලන්න වටින තැනක් වගේ

    ReplyDelete
    Replies
    1. ලොකු එකේ නැති ආදරය පොඩි එකේ උතුරා යනවා....ඒක ගොඩාක් මානුෂීයයි කියලා මම කිව්වෙ ඒකයි නාඩි කොලුවො...

      Delete
  4. ආදරය උමතුවක් කියන එක ඔප්පු කරන තවත් සංකේතයක්...:D

    ReplyDelete
    Replies
    1. සැබෑ ආදරයේ උමතුව රස විඳින්නම ඕනේ දරුවෝ. ඒක උමතුවක්ම තමයි. ඒ ආදරයේ ඇති උමතුභාවය ලබන්න නම් උමතු ලෙස ආදරය කරන කෙනෙක් ජීවිතයට ලං වෙන්න ඕන. මම සමහර වෙලාවට අහනවා....ඇයි ඔයා මට මෙච්චර ආදරේ කියලා...එයා තාමත් කියනවා..මට පිස්සු අරූ, ඒකයි මම උඹට මෙච්චර ආදරේ කියලා. මම තාමත් ඒ සොඳුරු සිතැත්තිට කියනවා ..මම උඹට ආදරෙයි පිස්සියේ කියලා. මම වගේ පිස්සෙකුට මෙච්චර කාලයක් ආදරය කරන්න නම් ඒ ගෑණිට පිස්සුම වෙන්න ඕන. ඒක තමයි ආදරයේ තියෙන උමතුව. අපේ දුවටත් දැන් වයස 24ක්. එයා කියනවා අම්මිටයි, තාත්තිටත් පිස්සු කියලා. අපි දෙන්න පිස්සු හැදෙන්න ආදරේ කරා. පිස්සි නැතිවුන දාක,මේ පිස්සාට පිස්සු ඩබල් වෙයි. එයා නැතිවෙන්න ඉස්සෙල්ලා මම නැතිවෙන්න ඕන කියලා මම හිතන්වා. නැත්නම් එයාට පිස්සු ඩබල් වෙයි. මම සැබෑ ආදරයේ උමතුවට, උමතුවෙන් ආදරෙයි. පොඩ්ඩි...මම වයසක මිනිහෙක්. ඒත් ආදරයෙට ආදරයි පිස්සෙක් වගේ. එහෙම වෙන්න කියලා මම තරුන පරම්පරාට යෝජනා කරනවා. ඒ වගේ තැන් හරි ලස්සනයි ළමයෝ.

      Delete
    2. පොඩ්ඩි.....අපි දෙන්නා රණ්ඩුත් වෙනවා ඇති පදම් ඒ ඒ සීමාවල. රණ්ඩුවකින් පස්සේ ආදරයත්, ඊට වඩා පිස්සු. ඒ නිසාමද දන්නේ නැහැ මම රණ්ඩු කරන්නේ :D

      Delete
    3. //රණ්ඩුවකින් පස්සේ ආදරයත්, ඊට වඩා පිස්සු.// මහ වරුසාවට පසුව නැගෙන සඳ වෙනදට වඩා එලියයි ලු ! :)

      Delete
    4. චන්දන.....උඹ හොඳ ළමයෙක්!!!!!! මේ සින්දුවට ලින්ක් එකක් දාපන්. මට ඒව දාන්න දන්නේ වර්ඩ්ප්‍රෙස් එකේ විතරයි කොල්ලෝ.

      මහ වරුසාවට පසුව නැගෙන සඳ
      වෙනදාටත් වැඩියෙන් එළියයි
      නෝක්කාඩුවට පසුව ඔබේ වත
      ඒ එළියට වැඩියෙන් එළියයි...//

      ඇලදොල පාමුල ගොළුවුන ගීයකි
      අප හදවත් බැඳි සොදුරු සෙනේ...
      අද නොදකින ඔබ හෙට දකිනා තුරු
      මඟ බලමින් මා සිත ලතැවේ...

      මහ වරුසාවට...//

      ඔබ මට හමුවුන මල්බර මාවත
      වෙනදාටත් වැඩියෙන් සුවදයි...
      විටකදි නැගුනත් සැක බිය ශෝකය
      පිවිතුරු සෙනෙහස අද උතුරයි...

      මහ වරුසාවට...//

      ගායනය : සෝමතිලක ජයමහ
      පද රචනය : සුනිල් සරත් පෙරේරා
      සංගීතය : රෝහණ වීරසිංහ

      චන්දන.....උඹ හොඳ ළමයෙක්!!!!!! මේ සින්දුවට ලින්ක් එකක් දාපන්. මට ඒව දාන්න දන්නේ වර්ඩ්ප්‍රෙස් එකේ විතරයි කොල්ලෝ.

      Delete
    5. //චන්දන.....උඹ හොඳ ළමයෙක්//
      අරූයියා ඔහොම කිවාත් ඉන්න අනිත් වුන් කියන්නේ මේකා මහා කෙබරයෙක් කියලායි.අනේ මන්දා ඉතින් ඔය එක එකා කියන කතා..:D

      Delete
    6. මේ කෙබරයට හොඳ ළමයා කියන්න අරූ අයියට නම් පිස්සුම තමයි.

      Delete
    7. අඩෝ කෙබර චන්දන,,,,,උඹම උත්තර දීපං. නැත්නම් මුන් හිතයි මට පිස්සු කියලා.

      Delete
    8. බලන්ඩකො අරු අයියෙ මං නැති අතරෙ මුන් දෙන්න මාව අනුභව කරල නෙ. දුප් දෙන්නම. ආවා මෙතන.... :D






      Delete
    9. ආදරයේ තරම පොඩ්ඩිට කියා දිය යුතු නැතැයි සිතමි...ඇය ඇති තරම් ආදරය විදිනවා නොවැ...අරූ අයියා දැක්වූ අදහස් කියවද්දි ඔබ දෙපළ මොනතරම් වාසනාවන්ත යුවලක්ද කියලා හිතුනා. මගේ දෙමාපියොත් එහෙමයි...අතරින් පතර ආරවුලක් දෙකක් ගියාට...ඒ දෙන්න ආත්මීය ආදරයකින් බැඳිලා ඉන්නවා කියලා මට හිතෙනවා...අදින් දශක දෙක තුනකට එහායින් විවාහ වෙච්ච බොහෝ අය එහෙමයි...වර්තමානය වෙද්දි ආදරය කියන සාධකයටත් වඩා දේපළ පිළිබද තන්හාව , රූ සපුව, ජනප්‍රියත්වය, පවුල් පසුබිම වැනි දේවල් නිසා විවාහ වෙන උන් වැඩි නිසා ආදරය නොබෝ දිනකින්ම අනාදරය බවට පත් වෙන බවක් තමයි පේන්න තියෙන්නෙ...අරූ අයියාගේ ආදරය තව තවත් ශක්තිමත් වේවායි පතනවා...ඔබේ දියණියටත් හොඳ ආදරවන්තයෙක් ලැබේවා...!

      චන්දනයගෙ රෙදි ප්‍රසිද්ධියෙම ගැලවිලාද මන්දා....මොනවා උනත් සෝමතිලක ජයමහගෙ ඔය ගීතයට මමත් ඉතාම මනාපයි....මෙවැනි ගීත කිසිදා මියෙන්නේ නැත.

      Delete
    10. Aru aiyage kella gana ahala baluwoyh narakada sira ???

      Delete
    11. @ Anoe macho...නරකම නැහැ. ඒත් ඒකි බඳින එකා හොයාගෙන ඉන්නේ බං. සුද්දෙක් වුනත් ඌ මං වගේ සුද්දෙක්. පොර මට හරි ආදරෙයි.

      Delete
  5. ඔව් මේකටනම් කට ඇරලා ආදරයේ සංඛේතයක් කියන්න පුළුවන්.. අර ප්‍රසිද්ධ එකනම් පල් බොරුවක්..

    සිරා කොළුවට ස්තූතියි.. මමත් අදම තමා මේ ටජ් මහල ගැන ඇහුවේ.. මේකට අර බොරු කාරයගේ එකට දාලා තියන නමම දාලා මේ දෙන්නා අතර තියන අවංක ආදරයට අපහාස කර ගන්නවට මමනම් කැමති නෑ.. වෙන නමක් දැම්මනම් ඊට වැඩිය වටීවි..

    ReplyDelete
    Replies
    1. ප්‍රසිද්ධ ටජ් මහල ආදරයේ සංඛේතයක් කියලා පිළිගන්න මමත් කැමති නෑ. මුම්ටාස් දේවියට දරුවන් 14 ක් තිළිණ කරපු මිනිහා ඇයට ඇත්තටම ආදරයෙන් උන්නද කියන කාරණයත් සළකා බලන්න ඕනෙ...පොඩි ටජ් මහල ඉතිං කදුලින්, දහඩියෙන්, අධිෂ්ඨානයෙන් ගොඩනැගෙන එකක් නිසා එතැන ඊට වඩා වටිනාකමක් මට දැනෙනවා.

      Delete
  6. සමහරුන්ට විකාරයක් වගේ පෙන්න පුළුවන්, එත් ඒ පුද්ගලයාට වටින්නේ ඒ පුද්ගලයාගේ හිතේ ඇතිවෙච්ච හැගීම සහ අධිෂ්ඨානය , අනෙකා වෙනුවෙන් කරන දෙයින් ලබන සතුට දන්නේ ඒ දේ කරපු කෙනක් .

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත ....... අපි උබට කරන දෙවලිනුත් ඒ සතුට අපිට දැනෙනවා

      Delete
    2. ඉවාන් කොලුවො බොලා දන්නවද....මැරකකා ගෙ කාම පැයත් නිසි බලධාරින් හොරා කාලා. දැන් නෝ සිනා නෝ කථා....

      Delete
  7. පූජනීයයි ආදරේ.....

    කුඩා ටජ් මහලේ ඉතුරු වැඩ ටිකත් ඉක්මනට නිමකරගන්න හැකියාව ලැබේවායි පතමු...

    ජ ය වේ වා !!1

    ReplyDelete
    Replies
    1. මගේ පැතුමත් එයයි...කෙතරම් අහිංසක ප්‍රාර්ථනාවක්ද...ලෝකයම අල්ලගෙන සල්ලි කදු ගහන්න වෙර දරණ මිනිස්සු ඉන්න ලෝකෙක මොන තරම් අහිංසකයෙක්ද මේ කදාරි.

      Delete
  8. ආදරය තරම් මිනිස් ජීවිතය වෙනස් කරන දෙයක් තවත් කොහෙද තියෙන්නේ සිරෝ. මේ මනුස්සයාගේ හිතේ හයිය ඇතිවුනේ ඒ ආදරය නිසා නේ. ඔහු තවමත් ප්‍රේමවන්තයෙක්. ඒ ප්‍රේමයට ඔහුගේ වයස බාධාවක් නෙවෙයි.

    ReplyDelete
    Replies
    1. +++++ විචා...එකඟයි බොක්කෙන්ම!!!!!!!!!

      Delete
    2. යකෝ මේ අංකල්ලා දන්නා තරමක් ප්‍රේමය,ආදරය ගැන අපිට වඩා.හොඳා,හොඳා ...:D

      Delete
    3. අංකල් ලා වනාහි ප්‍රේම විශාරදයෝ ය. සෙල්ලං නෑ :)

      Delete
    4. වැඩිහිටියො ඉතින් විවෘත ආර්ථිකයට යට නොවූ ප්‍රේමයේ රහ බලලා...ඒ ප්‍රේමයේ ප්‍රතිඵල විදියට මෙලොවට ආව දරු දැරියන්ගෙ සුරතල් දැකලා ජීවිතයේ ගොඩාක් දුර ගිය අය නොවැ...ඒ නිසාම බොලා වගේ හුජ්ජ කොල්ලන්ට වඩා ප්‍රේමය ගැන දන්නවා...මොකද කියන්නෙ විචාරක තුමා...

      Delete
  9. සැබෑ ආදරය වෙනුවෙන් කළ හැකි දේ බොහෝය.
    මේ මිනිසාගේ ප්‍රාර්ථනය ඉක්මනින් සාර්ථක කරගැනීමට හැකිවේවා යි පතමි.

    ReplyDelete
    Replies
    1. ඇත්ත වශයෙන්ම..සාලිය කුමරා තමන්ගෙ රජ කිරුළ අත ඇරියෙත්, ඔය කියන ප්‍රේමය නිසා නොවැ...

      Delete
  10. සිරා මචං.................

    ඇස් දෙකට කදුලු ආවා... තම බිරිද ස්වාමියා වෙනුවෙන් කිසි දෙයක් නොකරන මිනිස්සු ඉන්න මේ ලෝකෙට කදාරි මහත්තයා දෙන්නේ ලොකු ආදර්ශයක්... ඒක තමයි සැබෑ ආදරය. ඒක තමයි ජීවිතය........ ඔහුට අපිත් සුභ පතනවා ඉක්මනට ම ඒ දේ කරගන්න ලැබේවා කියලා... හැදුවත් නැතත් ඒක තමයි සැබෑ ආදරයේ සංකේතය... ඒ තමා අපිට නම් සැබෑ ටජ්මහළ........................ ඔහු තමා මිනිසුන් සිතින් මවා ගෙන ඉන්න සැබෑ සාජහාන්...................

    ReplyDelete
    Replies
    1. ඇත්ත වශයෙන්ම...අකලංක ආදරයක් දැක්කම හිතට දැනෙන චමත්කාරය බොහොම අනර්ඝයි. මැලේ රටෙත් වයසට ගියාට හොද ආදරයෙන් ඉන්න ජෝඩුවක් දැක්කම මේ හැගීමේ සුන්දරත්වය විඳින්න මට පුලුවන්....ජාතිය ජන්මය ඊට බාධාවක් නෙමෙයි....

      Delete
  11. සිරා ට තුති, අලුත් දෙයක් අපි එක්ක බෙදා ගත්තට.

    වැදගත් ම දේ තමයි මේ මනුස්සයා කාටවත් 'ඇණයක්' නොවී ඒක කරන්න හිතන එක.

    ReplyDelete
    Replies
    1. එයා හිතනවා ඇති ඔහුගේම මුදලින් කලාම එහි වටිනාකම වැඩියි සහ මේ කාරණය ඉටු උනාම හිතට දැනෙන තෘප්තිය වැඩියි කියලා.

      Delete
  12. මිනිස්සු ආදරේ වෙනුවෙන් මොනවාද නොකරන්නේ සිරා අයියේ, එකෙක් පිහියකින් ඇනලා මරද්දී තව එකෙක් සතුට කැප කරලා කඳුළු බොනවා, ඒ අස්සේ මේ මුත්තා ස්මාරයකයකුත් හදලා. අනේ උන්දැට අර දුටුගැමුණු රජ්ජෝරුවොන්ට වගේ නොවී ඕක ඉවර කරලා ඒ සතුට විඳගන්න හම්බවෙන්න කියලා පතමු නේද ඉතින්.

    ReplyDelete
    Replies
    1. ඇත්ත වශයෙන්ම සොමියො...මේ වගේ ආත්මීය ආදරයක වෙළෙන්න හැම මිනිහටම පුලුවන් නම් මේ ලෝකය මොන තරම් සුන්දර තැනක් වෙයිද...අද ඉතින් වීවෘත ආර්ථිකයට අහු වෙලා මිළක් නියම වෙච්ච ආදර සබඳතා තමයි ගොඩාක් දකින්න තියෙන්නෙ.

      Delete
  13. සිරා.....කාලෙකට පස්සේ මම ආවත්...කියන්න ඕන දේ උඩ තැනක කිව්වා. මාව තේරුම් ගනින්..උඹේ ලිපිය මම අගය කරනවා!!!

    ReplyDelete
    Replies
    1. //මාව තේරුම් ගනින්..//
      තේරුනා තේරුනා නාකිවෙලත් පිස්සු හොඳ වෙච්ච නැති මැන්ටලයක් කියලා.......... :D

      Delete
    2. ඒක නම් ඇත්ත බං

      Delete
    3. ආදරයට ඉතිං වයස බාධාවක් නෑ නොවැ....ඔය කියන වයසෙත් මේ තරම් ආදරයෙන් ඉන්න පුලුවන් නම් ජීවිතය මොන තරම් සුන්දරද...ඔය මැලේ රාළත් ඔයාගෙ වයසටම කිට්ටු ඇති...

      කාලයකට පස්සෙ කාමරේ ඇතුලෙදි හමුවීම සතුටක් අරූ අයියා....ජය !

      Delete
  14. සිරාම ආදරේ තේරෙන්නේ ඒක විඳින එකාට තමා. ඔහුගේ උත්සාහය අගය කරනවා..

    ReplyDelete
    Replies
    1. එවැනි ආදරයක් විඳින්නත් වාසනාවක් තියෙන්න ඕනෙ....

      Delete
  15. මේ නම් සැබෑ ආදර සංඛේතයක් ... කදාරිගේ ආදර සංඛේතය නිම කරගන්න හැකි වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

    සිරා අයියටත් ස්තූතියි අපි නොදන හිටිය මේ කතාව කිව්වට ...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නගා පොඩි ටජ් මහල පිටිපස්සෙ තියෙන ආදර කථාව කියවලා අදහසක් එක් කලාට...

      Delete
  16. ඇයි ඒකට ටජ්මහලම අනුරුවක් කරගත්තෙ...මම කියන්නෙ ආදරයට..!!!
    දුප්පත් පලාතක් වෙච්චිකොට ඉස්කෝලෙකට පන්ති ගොඩනැගිල්ලක් ඉදිකලානම් ඒක ආදරයේ සිහිවටනයක් වෙන්නැද්ද..?

    මට මතක් වෙන්නෙ...ලෝකයුද්දෙට කලින් ජපානෙ හිටිය ලංකාවෙ තානාපති තුමා ගැන ජපන්නුන්ගෙ තියෙන ගරු කිරීම ආදරය ගැන. ඒ කාලෙ ජපානෙ අතිශය දුප්පත් නිසා ලංකාවෙ තානාපති තුමා එතුමාගෙ ධන පරිත්‍යාගයෙන් ඉස්කෝලයක් හදා දුන්නාලු. අදටත් උදෑසන ‍රැස්වීමෙදි ඒ ඉස්කෝලෙ ලමයි,ගුරුවරු එතුමාව විනාඩියක් සිහිකරනවාලු. ඒකත් ආදරයක් තමා එක්තරා..ඉහත සඳහන් ප්‍රේමයට සමාන නැති උනත් මේ කතාව කිව්වෙ...අර වගේ ගොඩනැගිල්ලකට වඩා ජීවමාන දෙයක් දුන්න නම් අරුත් බර නේද..?

    ReplyDelete
    Replies
    1. //දුප්පත් පලාතක් වෙච්චිකොට ඉස්කෝලෙකට පන්ති ගොඩනැගිල්ලක් ඉදිකලානම් ඒක ආදරයේ සිහිවටනයක් වෙන්නැද්ද..?//
      ඇත්ත.
      පංසල්වල රන් වැටවල්, අටවිසි පිලිම, හදනව දකිනකොටත් මට ඔහොම හිතෙනව. ඇයි දැයට කිරුල?

      ඒ අපිට හිතෙන හැටි. ඒත් තමන්ගෙ පිස්සුවට අදාල දේවල් තමය් මිනිස්සු කරන්නෙ

      Delete
    2. ඒක පුද්ගල සාපේක්ෂ දෙයක් නේද වීයො...කදාරිට තමන්ගෙ බිරිඳට දක්වන්න තියෙන ඉහළම උපහාරය මෙවැනි යමක් කිරීම කියලා හිතෙන්න ඇති. ඔබ කියන ආකාරයේ යමක් කලා නම් එමගින් ආදරය ප්‍රකාශ වෙන්නෙ නෑ කියලා ඔහුට හිතුනා වෙන්නත් පුලුවන්. නමුත් තවත් කාලාන්තරයක් ඔවුන්ගේ නාමය මේ සමාජය තුල පවතිනවා ඔබ යෝජනා කල යමක් ඉඳි කලා නම්...නමුත් කදාරිගෙ සිහිනය ටජ් මහලක් නම්.....ඔහුට වෙනත් විකල්ප පිළිබඳ කල්පනා වෙන්නෙ නෑ.

      Delete
    3. මටත් හිතුනේ වීයා කියපු එකමයි. වෙන මොකක් හරි හැදුවනම් කියලා.

      Delete
  17. අපේ වන්දනා නඩ ඔය පැත්තට හැරෙවුවා නම් රුපියල් 100 ගානේ හරි දීලා ඕක හදන්න ආදාර කරයි. අපේ වන්දනා නඩ වල යන අය බුද්ධගයාව අල්ලාගෙන ඉඳපු මහන්තගේ පරපුරේ දැන් ඉන්න ලෝම් හැලිච්ච මහන්තා ටත් තෑගි දීලා තමයි එන්නේ.

    ReplyDelete
    Replies
    1. එහෙමත් එකක්ද...කොහොමත් ඔය වන්දනාවෙ එක්ක යනවා කියලා අහිංසක අම්මලා තාත්තලගෙ සල්ලි ටිකට කෙලින උන් ටිකකුත් ඉන්නවා තමයි....

      Delete
  18. සත්සමුදුරේ ලිපියත් කියෙව්වා..
    ඒ වුනාට කැමත්තෙන් ආධාරයක් දෙනවා නම් ඒක අරගෙන හරි මේ නිර්මානය ඉවරකරානම් වටිනවා.
    එල ද බ්‍රා.

    ReplyDelete
    Replies
    1. සමුදුරෙත් මේ ගැන ලිපියක් පළ උනාද ? ඒ ගැන දැනන් උන්නෙ නෑ සුදෝ...මේ කටයුත්ත අවසාන වෙච්ච දවසක මේ ප්‍රවෘත්තිය අදට වඩා ජනතාව වෙත සන්නිවේදනය වේවි.

      අපිට ජය වේවා !

      Delete
    2. මම කියෙව්වේ උඔ දුන්න ලිනක් එක

      Delete
  19. සැබෑ ආදරේ කවදාවත් මැරෙන්නේ නැහැ සිරෝ.කවදාක හරි ඔහුට ඒ ඉලක්කය සපුරා ගන්න ඔහුට හැකි වේවා.!

    ReplyDelete
    Replies
    1. ඇත්ත වශයෙන්ම..සැබෑ ආදරය ජීවිතය සුන්දර කරනවා...ජීවත් වෙන්න ධෛර්යය දෙනවා...එහෙම නේද ?

      Delete
  20. අන්න ඒක නම් අවංක ආදරේක සිහිවටනයක්.....!!

    ReplyDelete
    Replies
    1. එහෙම අදහසක් තමයි මටත් තියෙන්නෙ මලයො...

      Delete
  21. ප්‍රසිද්ද ටජ්මහලට වඩා හොද ආදර සිහිවටනයක් මෙක ...:D

    ReplyDelete
    Replies
    1. මගේ පුද්ගලික අදහසත් එයමයි...වසර ගානක් ශ්‍රමයෙන් වගේම සිතුවිලි වලිනුත් මේ නිර්මාණය ගොඩ නගන්න කදාරි මොන තරම් වෙහෙසෙනවද....

      Delete
  22. මටත් හිතුනා ටජ් මහලක් හදන්න ............. ඊට කලින් කන පැලෙන්න ආදරේ කරන්න පුළුවන් "එකක්" හොයා ගන්න ඕනා ............

    ReplyDelete
    Replies
    1. කණ පැලෙන්න නෙමේ යකෝ පිස්සු හැදෙන්නආදරේ කරන්න පුළුවන් "එකක්" හොයා ගන්න ඕනා ............කණ පැලෙන්න නම් සජින් වාස්ට ලව් කරපන්.

      Delete
    2. මැරකකා ට කණ පැලෙන්න උත්තරයක් ඔය ලැබිලා තියෙන්නෙ....60 පැනපු මැරකකා වගේ නාකි පොරකට මොන කසාදද...දැන් ඉතිං එලොවට වැඩක් කරගන්න තමයි තියෙන්නෙ...නැත්තං බඳින්න සල්ලි නැති උන් කීප දෙනෙකුට බඳින්න උදව් කලා නම් හොදයි...

      Delete
  23. ආදරය කියන්නෙ අරමයි මෙහෙමයි කියල රාමුකරල පෙන්නන්න පුලුවන් දෙයක් නෙමෙයි.හැබැයි ඔය මගෙ මගෙ කියල නොලැබුනාම වනසල දන්න හදන එකනම් ආදරෙ නෙමෙයි

    ReplyDelete
    Replies
    1. ඒක තමයි මම කිව්වෙ ආදරයට නිර්වචන නෑ කියලා...ආදරය විවිධයි...එය විඳින ඇත්තො තමන්ට එය දැනෙන විදියට අර්ථකථනය කරනවා...නමුත් නිශ්චිත අරුතක් දෙන්න කාටවත් බෑ..විශ්වයේ ජීවයේ පදනම ආදරයයි...ආදරය නැති උන දවසට ලෝකය අඳුරු වේවි....

      Delete
  24. හ්ම්ම් හැබෑම ආදරයක්.අනේ කොහොමහරි ඉවර කරගන්න හැකි වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
    Replies
    1. ඔබ තුමියත් දැන් සැබෑ ආදරයක රස විඳිනවා නොවැ...ඉතාම සතුටුයි ඒ ගැනත්...

      Delete
  25. මැරෙනකම් ඉදල ටජ් මහලක් හදන්න ඕනෙ නෑ, ස්ප්‍රින් මෙට්ටෙයක් දාපු ඇදක් අරන් දෙන්න ඕනෙ ඉන්න කාලෙ නිදියන්න.

    ReplyDelete
    Replies
    1. අන්න කතාව..එල ද බ්‍රා

      Delete
    2. ස්ප්‍රීන් දාපු මෙට්ටෙ උඩ ගෑණු පරානෙට නිදහසේ නිදාගන්න ඉඩ නොදෙන එක නම් හරිම කැත වැඩක්...නැද්ද මෙන්ඩිස් අයියා...

      Delete
  26. Replies
    1. සැබෑ ආදරයකින් බැඳෙන ජෝඩුවකට බොහෝ අභියෝග ජයගත හැකි වනු ඇත.

      Delete
  27. adare nam eka ekkenata vividayi...... Kata vivida unath adre akamayi..... jiwithe danuna a adre ayata wida ganna labewa

    ReplyDelete
    Replies
    1. හප්පේ බොලං සිත්තමියො...බොලා කොහෙද වහං වෙලා උන්නෙ මෙච්චර දොහක්...මම හිතා උන්නෙ කරකාර බැඳලා දැන් ළමයි නලවනවා ඇති කියලා...නරකද ආයෙමත් ලිපියක් දෙකක් ලිව්වොත්....ආදරය ගැන ඉතිං කොහොම නිර්වචනයක් දෙන්නද....ආදරය යනු පුදුමයක්ම තමා...

      Delete
  28. ටජ් මහලක්‌ තනවන්න නෑ මට
    ඔබෙ සෙනහසට හිමි..

    සාමාන්‍යෙන් ඔහොම ආදරෙන් ඉන්න දෙන්නෙක්ගෙන් එකෙක් ගියාම අනෙක ඉක්මනට වැටෙනව. ඒත් මේ මණුස්සය තමන්ගෙ අරමුණ වෙනුවෙන් කැප වෙලා. එහෙම බැලුවම කොයි පැත්තෙන් උනත් මේ සැබෑ ආදරවන්තයෙක්.

    ස්තූතියි සිරා මේ විස්තරේ බෙදා ගත්තට!

    ReplyDelete
    Replies
    1. සමහර වෙලාවට එක්කෙනෙක් මිය ගියාම වැඩි කාලයක් නොගොස් අනිත් කෙනත් මරණයට පත් වෙනවා...මම හිතන්නෙ ඒ අයගෙ මනෝභාවයන් කාලයක් තිස්සේම එකට ජිවත් වෙන නිසා ඉතාම සමීප තත්වයට පත් වෙනවා ඇති. එක්කෙනෙකුගේ වියෝවක් අනිත් කෙනාට දරාගන්න අමාරුයි. අදහසට ස්තූතියි ඉන්දික අයියා..

      Delete
    2. මේක ක්‍රිකට් ක්‍රීඩාවෙදිත් දැකිය හැකි කාරණයක්. පිතිකරුවන් දෙදෙනෙක් ඉතා දිගු සබඳතාවයක් පවත්වා එකෙකු දැවී ගියාම අනෙකාද ඒ ඉක්මණින්ම දැවී යාම ඉතාම සුලබව සිදු වන්නක්. මතකද අපේ සනත් ගොයියා දැවී ගිය හැටි රොෂාන් ගොයියා දැවී ගිහින් සුලු මොහොතකින්ම.

      Delete
  29. කදාරි ගැන විනිශ්චයක් දෙන්න මම කවුද බං. නමුත් බිරිඳට තියෙන ආදරේ යට කරගෙන අර කාලකන්නියා අර අහිංසක ශිල්පියාගේ අත් දෙක කපලා දාපු එක මතක් වෙනකොට මට ටජ්මහල ගැන ඇති හැඟීම බාල වෙනවා.

    ReplyDelete
    Replies
    1. ඒ හේතුවත්...14 වෙනි දරුවා ප්‍රසුත කරන්න ගොස් මුම්ටාස් දේවිය මිය යාමත්...අන්තංපුරයක් පැවතීමත් කියන කාරණා එකට ගත්තාම ඔය කියන තරමේ ආදරයක් ඒ තැනැත්තිය ගැන තිබුනද කියන සැකය මතු වෙනවා....

      හෙන්රි අයියා මොකද මේ දවස්වල පේන්න නැත්තෙ...අධික බිසිද ?

      Delete
  30. ටජ් මහල ඒ යකා පස්චත්තාපයට කරපු එකක්ද මන්දා? ආදරේ නම් ඉන්න කාලේ කරන්න තිබුණනේ. නැති වුණාට පස්සේ මොනවා කරත් වැඩක් නෑ. ඒ අතින් මේ මිනිහා ශ්‍රේෂ්ටයි.

    ReplyDelete
  31. ඔයාගෙ ලිපියත් කියවල ලින්ක් එක හරහා ගිහින් දිනේෂ්ගෙ ලිපි හතරත් කියවල ආවා. ස්තූතියි සිරා. ප්‍රසිද්ධ ඉතිහාසයට වඩා අප්‍රසිද්ධ ඉතිහාසය රසවත්ලුනේ. ඉතිං ටජ්මහල පිටුපස තියෙන සැඟවුනු කතා කියවන එකත් ඒ වගේම රසවත්.

    මොනව උනත් තමන්ගෙ ආදරය - අධිෂ්ඨානය වෙනුවෙන් තමන් සතු හැම ශතයක්ම වැය කරන මේ මනුස්සයගෙ කැපවීම අගය කරන්න ඕන.

    ReplyDelete

සිරාගෙ කාමරයට පැමිණියාට ස්තූතියි...

නැවත දිනයක ආයෙත් එන්න..... ඔබට ජය !

Related Posts Plugin for WordPress, Blogger...