Wednesday, October 22, 2014

77 වෙද රාළ සහ කලු ගාමිණී

කවුද යකෝ ඔය පාහර කථාව කිව්වෙ....මේක එහෙනං වෙදාට ගිය ගමනෙ. ඌ කැමති දේවල් විතරද අපි කරන්න ඕනෙ. මට අහු උනොත් වෙදාගෙ හතර හන්දි දිග අරිනවා...අම්මපා....

තදින් මිට මොළවාගත් දකුණත වරිච්චි බිත්තියේ අනිමින් කලු ගාමිණී සිත තුල පැන නැගී ඇති කෝපාග්නිය පිට කර හරියි. අත්ලේ පහසෙන් සැනහෙන බිත්තියේ මැටි අංශු වරින් වර බිත්තිය පාමුලට වැටෙන අයුරු කොස්තා බලා සිටියේ හොර බළල් තඩියෙකු මෙනි.

ලඟපාත සිටින විටෙක ගාමිණී මහත්තයා ලෙස තම ගෝල බාලයන්ගෙන් ගෞරව බහුමානය ලබන කලු ගාමිණී මේ පිටිසර ගම් තුලානේ පැල පදියම් වී සිව් වසරක් පමණ ගෙවෙන්නට ඇත. මොරටුවේ සලමොන් මුදලාලිගේ කීකරු ගෝලයෙකු ලෙස කැලෑ තේක්ක සොයා අහම්බෙන් ආ ගමනකදී මුලිච්චි වූ මේ හුදෙකලා ගම් පියසත්, අහිංසක දෙපා වාසීනුත් ඊට එපිටින්  ඇති ඝණ කැලෑවත් කලු ගාමිණීට මේ ගමේ නතර වෙන්නට ආරාධනා කල අචේතනික සහ සචේතනික වස්තූන් සමූහයා වූහ.

ඡායාරූපය මෙතැනින්

ගාමිණී මහත්තයා....වෙදා හින්දා ගමේ උන් දැන් අපි එක්ක ටික ටික අරියාදුවට එනවා. අපේ පොට් එකෙන් හැමදාම පිනට සුදුවා කෙලින අමරයා තමයි වැඩේ අල කරන්නෙ. ඒකා හැමදාම ගෙදර ගිහින් ගෑණි එක්ක ජල්ලි අල්ලනවා..ඒ ගෑණිත් අමරයාගෙන් ගුටිකාලා පහුවදාට වෙදාට කේලම් කියනවා. අමරයගෙ ගෑණි වෙද ගෙදරම ඉන්න එකී නොවැ.

ඒක හින්දයි වෙදා කියන්න ඇත්තෙ අපේ බිස්නස් පොලිසියට අල්ලලා දෙනවා කියලා. එහෙම උනොත් හොරට ඉරපු තේක්ක ලෝඩ් එකයි..ඊට පිටිපස්සෙන් තියෙන කංසා හේනයි...... ගඟ අයිනෙ තියෙන බූලි ටිකයි....

කට කට කට....තොගෙ දිව අඹරන්න කලින් කට වහ ගං....තෝ වගේ ගං කපුටෙක් නෙමෙයි බොල මේ ගාමිණී කියන්නෙ. වෙදා එක එකා එක්ක පූචානම දෙඩෙව්වට මේ ගාමිණීට අහවල් කෙං ගෙඩිය කරයි කියලා තමයි භය. මම සලකන්න ඕනෙ තැන් වලට අත දිග ඇරලා සලකන මිනිහෙක් යකෝ.

ඈ බං කොස්තා...ගමේ ග්‍රාම සේවක උන්දැට දඩමස් කිලෝවක් දෙකක් සතියකට දෙකකට වතාවක් යවනවා නං.....පළාතෙ මන්තිරීගෙ උවමනා එපාකම් ඉටු කරනවා නම්, පොලෝසියෙ මහතැනගෙ ගේ හදන්න ලී දඩු ටික දෙනවා නම් මම කාට භය වෙන්නද බං...

උඩ සාක්කුවෙන් ඉවතට ගත් සිගරැට්ටුවක් තම වම් අතේ ඇති ඔරලෝසු මුහුණතේ තට්ටු කරමින් කළු ගාමීණී කොක්සන් හඬ ලයි..

ඒකත් ඇත්ත තමා....ඒ උනාට අද උදේ වෙදා මාව අල්ලගෙන මට තරවටු කරපු විදියට මට භය හිතුනා මහත්තයො...

කොස්තා කුඩා දරුවෙකු මෙන් මාපටැගිල්ලෙන් ගොම පොළව හාරන්නට වෙර දරයි. රාස්සිගේ අව්ව පිල් කොටයේ හැපී  යන්තමින් තේක්ක කෑල්ලේ ඇති කුඩා වරිච්චි නිවසේ ඉස්තෝප්පුව මත පතිත වෙයි. ලා කහ පාට අව් තීරු වරිච්චි බිත්තියේ අඳින සිතුවම් රටා තේරුම් ගැනීමට අපහසු හෙයින්දෝ කොස්තා ඉන් ඉක්බිති මුනිවත රැක්කේය.
.......................................................................................................
මොකද බං ගිය පයින්ම හිස් අතින්..කෝ උඹට ගේන්න කිව්ව බෙහෙත් බඩු...අඩු ගානෙ ඒකාවේරිය මුලක් වත් අරගෙන ආවෙ නැද්ද ?

අර මුසල හැත්ත කැළෑව වනසලා වෙද මහත්තයො. ගල්ගේ කන්ද ලග තිබුන සුදු හඳුන් ගහ බිම පතබාලා ගහත් කුට්ටි කරලා. මම ගිය සතියෙත් ඒකෙන් පොතු ගැලෙව්වා. ඒ මදිවට ඒ වටේ පිටේ ඔක්කොම සුද්ධ කරලා. තව ටික දවසකින් බෙහෙත් බඩුවක් හොයන්න ටවුමෙ බෙහෙත් කඩේටම යන්න වැඩ සිද්ධ වෙයි වගේ.

අනේ අම්මපා...මුන්ට මොනවා කලාම හිත් වදියිද....අපේ අප්පොච්චත් ඔය හඳුන් ගහේ පොතු ඇන්න ඇවිත් මිනිස්සුන්ට බේත් කොලා. ඒවයෙ කෙළෙහි ගුණ දන්න ගමේ එකාලා ඔය වගේ අලුගුත්තේරු වැඩ කොරන්න තනන්නෙ නෑ. ගමට පිටින් ඇවිල්ලා ඔය කළු ගාමිණියා කියන එකයි, උගෙ නඩෙයි ගම අසානාසි කොරලා තමයි පස්ස බලන්නෙ. අපේ එකාලත් උන්ගෙ දුං කූරට, හැලි අරක්කු වීදුරුවට, දඩ මස් කෑල්ලට වහ වැටිලා මේ ගම විනාශ කොරනවා. අර කොස්තා කියන එකා තමයි ගමේ එකෙක් වෙලත් ගමට වින කටින්න උන්ට එකතු වෙච්ච මූලිකයා.

කථාව ඇත්ත වෙද මහත්තයො. ගමේ වැඩිහිටියො විදියට මේ හැත්ත ගමෙන් පන්නලා දැම්මෙ නැත්තං අපිට ගමක් ඉතුරු වෙන්නෙ නෑ ඕන්න. තරුණ ගැටව් ගස් ගල් ගානෙ දුං උරනවා, රහමෙර ගිලිනවා,  නාන මං කඩේ අපේ කෙල්ලෙක්ට නිදහසේ නාගන්න නෑ. දර ඉපලක් ඇන්න එන්න කැලෑ වදින්න නෑ. මුන්ට අම්මලා අක්කලා නැද්ද වදේ..

කථාව ඇත්ත සියාතු ගොයියො...මම මේ ඉවසාන ඉන්නෙ අපේ මැණිකෙ කියන හින්දා...නැත්තං මගේ මන්තර සාස්තර ගුරුකං වලින් ඔය ගාමිණියව තීන්දු ගමන් යවන එක මට මහ කජ්ජක් නෙමෙයි.
.......................................................................................................

ලපයො....මෙහෙ වර...අර බඩ ඉරිඟු වගාවට පෝර ටිකක් දාන්න කියලා මම කී සැරයක් උඹට කිව්වද ? උඹලට ඉතිං නාන මංකඩේ ගෑණු නානවා බැලුවාම ඇති. මෙතැන වැඩ වලට හෙණ ගැහුවත් කමක් නෑ.

බයාදු ලෙස හිස පහත් කරමින් තමා සමීපයට එන ලපයා දෙස ගාමිණී බලා සිටියේ තරමක කෝපයෙනි.

අන්තිමට ගෙනා පෝර කවරෙ ඉවර වෙලා දවසක් දෙකක් වෙනවා මහත්තයො...

තොගෙ කටේ පිට්ටු හිරවෙලා තිබුනද ඕක මට වේලාසන කියන්න බැරි උනේ..ඔන්න ඔය කමිසයක් ඇඳගෙන වරෙන් එහෙනං ටවුමට යන්න. බඩ ඉරිඟු ටික මලොත් ඒකට මුවා කරලා වවපු අනිත් ඒවත් මිනිස්සුන්ට පේනවා.

කළු ගාමිනීගේ ගොරකා මඳ මෙන් රත්වූ ඇස් ගෙඩි දෙක පෙර දා රාත්තිරියේ පැවති මධු සාදයේ සලකුණු බාහිර ලෝකයට කියා පාන කැඩපතක් බඳුය. කලු ඉරි වැටුන සුදු සරම ඔසවා කැහැපට ගහ ගත් හෙතෙම ඈතින් පෙනෙන කඳු වලල්ල දෙස හිස් බැල්මක් හෙලා නවීන පන්නයේ කැබ් රථයේ රියදුරු අසුනට බර වූවේය.

කොස්තා...උඹත් නැගපං...

පිල් කණ්ඩිය මතට වී  වාහනය දෙස බලා සිටි කොස්තාට ගාමිණීගෙන් ලැබුනු ආරාධනාව සිතට සතුටක් එක් කර ඇති සෙයකි. රියදුරු අසල ඉදිරි අසුනේ අසුන් ගත් කොස්තා වාහනයේ පැති වීදුරුවෙන් තම කෙස් රොදක් හිසේ උඩට වෙන්නට සකසා ගත්තේය.

උඹ ඉරුම් පට්ටලේ ඉන්න උන්ගෙ සිල්ලර කාසි ගනං බේරුවද ? කළු ගාමිණී නොසිතූ අවස්ථාවක මුනිවත බින්ද නිසාදෝ කොස්තා මදක් ගැස්සී ගියේය.

ඔ..ඔව් ඔව් ගාමිණී මහත්තයා...මම උන්ට කන්න බොන්න අඩුම කුඩුම ටිකත් ගිහින් දුන්නා.

බොහොම හොඳයි. ඔන්න ඔහොම කැපවීමෙන් වැඩකරගෙන ඉඳිං...උඹ ගැන මම නොසලකා ඉන්නෙ නෑ බොල. ගාමිණී මහත්තයා කථා කරන විට සීල් අරක්කු කුයිලක් දැනෙන බව කොස්තාට හැඟෙයි.

දැන් බලහං මම මේ ගමට එද්දි මට බයිසිකල් කටුවක් වත් තිබුනද...අද මේ ලක්ෂ ගානක වාහනයකුත් තියාගෙන යස අගේට ඉන්නෙ. අන්න ඒ වගේ කැපවෙලා වැඩකරපු හින්දා. මෙදා සැරේ තේ්ක්ක ලෝඩ් එක සලමොන් මුදලාලිට බාලා...අතට ගාන ලැබුන ගමන් මම උඹටත් මෝටර් සයිකලයක් අරන් දෙන්නං.

කොස්තාට දැනුනේ පුදුමාකාර ප්‍රීතියකි. නිතර දෙවේලේ ඉරුම් පලටත්, වඩිය පෙරන ස්ථානයටත් යන ගමන වෙහෙසකර එකකි. බයිසිමොටෝවක් ලැබෙන්නේ නම් රාං කුරුල්ලා වගේ යන්නට හැකි බව ඔහුට සිතෙයි.

ඇරත් මේ ගමේ උන්ට පේන්නට හන්දියේ කඩය ලග, නාන මංකඩ ලග ගුරු පාරේ, තොට දෙන්න ගෑණු මෙහෙ නෑ යයි කියා පද පලිච්චි කොට ගෙමිදුලෙන් පන්නා ගත් අදිරියන් ගොයියාගේ නිවෙස අසලත් තමාට බයිසිමොටෝවේ තේජස පෙන්වන්නට හැකිය.

හැබෑට...අනේ කොච්චර දෙයක්ද ගාමිණී මහත්තයා...මට ඒක පදිනකං ඉවසුම් නෑ...

කොස්තාගේ වල ගැහුණු දකුණු කම්මුලත්...ඇහැ යටට වෙන්නට ඇති අව්වට කළු ගැහුණු තුවාල කැළලත් තමා දෙස බලා සිනාසෙන්නේ යයි ගාමිණීට සිතෙයි.

ලපයො...තෝ රෙන්න ගියාද බොල....

ගමනක් යන්නට කථා කරන හැම විටෙකම වළ කක්කුස්සිය සොයා දුවන ලපයා ගැන දන්නා කළු ගාමිණී උස් හඩින් කෑ ගැසුවේය.

මේ එනවා ගාමිණී මහත්තයො...මේ ලගම එනවා....මට කියන්න අමතක උනා නෙව..අනිද්දට පෙරන රාජකාරියට සීනි මදි කියලා සිරිමලා පයින්ඩයක් එවලා තිබුනා...අපි ඒකත් මේ ගමනෙන්ම අරගෙන එමුද ?

පුදුමයි...ඕක උඹට මතක තිබුන එක...නැත්තං පහේ කෑන් ටිකත් අරගෙන බඩු ටික පටවන්න එතනට ගියාම තමයි මම දැනගන්නෙ.
.......................................................................................................
කැබ් රථය වල ගොඩැලි වල වැටෙමින් ගැස්සෙමින් පැද්දෙමින් ඉදිරියට ඇදෙයි. මෙවැනි ගමනක් යන්නට ගාමිණී මහත්තයා ආරාධනා කරන්නේ කලාතුරකින් දවසක නිසා ලපයා තමා පසුකර පසුපසට ඇඳෙන ගහ කොළ දෙස ආශාවෙන් බලා සිටියි.

මහත්තයො..අර යන්නෙ වෙද රාළගෙ ලොකු කෙල්ල...ඈතින් ඇදෙනා යුවතියක කළු ගාමිණීට පෙන්වූ කොස්තා  ඇසක් වසා ඉඟි මැරුවේය.

හැඩකාරියක් වගේ නේද බොල...හිටහංකො හොද වැඩක් කරන්න.

ගුරුපාර අයිනේ දිගින් දිගටම කුඩා පරිමාණයේ මඩ කඩිති සමූහයකි. ඒ ඔස්සේ වේගයෙන් රිය පැදවූ කළු ගාමිණී හිත යටින් සතුටු වූවේය.
.......................................................................................................
අයියෝ........

එක තැන නතර වූ මාලිකා ඇය හැඳ සිටි සුදු පැහැති දිගු සාය දෙපසට අල්වාගෙන සිටියි. සාය පුරාම ඇත්තේ දුඹුරු පැහැයෙන් යුතු මඩ පැල්ලම්ය.

කවුද පුංචි මැණිකෙ ඒ වාහනේ මහ වේගෙන් ගිය නොසන්ඩාලයා...

කවුද ඉතිං අර කළු ගාමිණී කියන පෝරිසාදයා නොවැ... බලන්න නැන්දෙ...මේ මඩ හේදුවත් යන එකක් නෑ.

යකඩෝ මුන්ට ගිය රට..ගමේ කෙනෙක්ට දැන් පාරෙ යන්නත් මුන්ගෙන් අවසර ගන්න වෙලා නොවැ. අර කොස්තා කියන එකාද ඉස්සරහ උන්නෙ...උගෙ මූණ විතරයි මම යන්තමට දැක්කෙ...

ඔව්...උන් තමයි අපේ ගමේ එකාලා වෙලත් පිටින් ආපු උන්ට හේත්තු වෙලා ගම වනසන්න උල්පන්දම් දෙන්නෙ. අප්පච්චිත් හරිම අමනාපෙන් ඉන්නෙ මුන්ගෙ වැඩ ගැන.
.......................................................................................................
මොකද දුවේ මේ...සාය පුරාම මඩ ඉහිරිලා...වෙද හාමිනේ නිවෙසට ගොඩවෙන සිය වැඩිමල් දියණිය දෙස විශ්මයෙන් යුතුව බලා සිටියාය.

දැන් අපිට ගමේ පාරක යන්නත් බෑ අම්මෙ. මඩ වලවල් දැක දැකත් කළු ගාමිණීයා උගේ වාහනේ එලෙව්වා මහ හයියෙන් ටවුම පැත්තට.

මැණිකෙ තවත් නම් මම ඉවසන්නෙ නෑ. අපි මේ ගමේ පාරම්පරික මිනිස්සු...පිටින් ආපු උන් ගහන පදයට නටන්න අපි කවුද. ග්‍රාම සේවක උන්නැහේට මම කීප වතාවක් කිව්වා මේ සිද්ධ වෙන නීති විරෝධී වැඩ ගැන. ඒ ගැන පියවරක් තවම අරගත්තෙ නෑ. මට ආරංචි විදියට මිනිහටත් දඩමස් ගාතයක් දෙකක් ලැබෙනවලු. මේ ගමේ හැම එකාම උන්ට අහුවෙලා.

තම සැමියාගේ මුහුණ මෙලෙසින් රත් පැහැ වන්නේ අධික කෝපයක් ඇති වූ පසුව බව වෙද හාමිනේ දනියි. එවන් විටෙක ඔහු අස්වසන්නට මොන ඒජන්තයා ආවත් බැරි බවද ඇය හොඳින් දනියි.

අද දෙකෙන් එකක් බේරගන්නම් මම...ඉවසන්න ඉවසන්න මුන් හිතාන ඉන්නෙ අපි නිවටයි කියලා. ගෙයි මුල්ලේ සගවා තිබූ දුර්වර්ණ වූ කඩුවක් අතැතිව සරම එක් අතකින් ඔසවාගෙන වෙද රාළ මහමගට බැස්සේ ඇඹේනියගේ මෙන්ම දියණියන් දෙදෙනාගේද බාධා කිරීම් තඹයකට මායිම් නොකරය.

සියාතුවෝ / සුනිමලෝ / රතු මාමේ / නැන්දේ...වෙද ගෙදර බෙරිහන් දීම් කණවැකුනු අසල්වැසියෝ වෙද රාළ පිටුපස  ගුරු පාර අද්දරට එක පිම්මේ දුවයි. ත්‍රාසයත් භීතියත් නිසා ලොමු දැහැගැන්වුන දෑස් ඇති මාලිකා ආයාසයෙන් සිත තද කරගත්තාය.
.......................................................................................................
ගිය වාරෙට වඩා මේ වාරෙ සීනි මිටියක ගාන වැඩිවෙලා බං...පෝර නම් ඒ ගානමයි.

තුන්වෙනි ගියරයේ සිට හතරවැනි ගියරයට ගියර් ලිවරය කරකවමින් කළු ගාමිණී තම ගෝලබාලයන් සමග කථා බහේ නිරත වෙයි.

වෙදාගෙ කෙල්ලට යස වැඩේ උනේ...මම දැක්කා ඒකිගෙ සාය පුරාම මඩ විසික්ක වෙන හැටි.
ලපයාගේ අවිනීත සිනහව ගාමිණී තුල ඇති කලේ සියුම් සතුටකි. ගෙයක් දොරක් පුළුටක් නොමැති කැලෑ මණ්ඩිය පසු කල රථය ගම්පියසට ආසන්න වංගුවකින් මතු වූවා පමණකි.

කවුද යකෝ පාර හරහා කොටයක් දාලා තියෙන්නෙ.

රථය නැවතූ කළු ගාමිණී බිමට බැස්සා පමණකි. හතර අතින් ඔහු වෙත කඩා පීනූ වෙදරාළ ප්‍රමුඛ ඔහුගේ අතවැසියන්ගෙන් ඔහුට ලැබුනේ දැඩි ප්‍රහාරයකි.

තෝ හිතුවද යකෝ තොගෙ කෙලි වලට අනිත් උන් භය උනාට මම භය වෙයි කියලා. මගේ දරුවට අඩත්තේට්ටම් කරන්න උඹ..අද මේකව මම මෙතනම බාවනවා...අත ඇරපල්ලා...යකුනේ...

වෙද රාළගේ කෝපය නිම්හිම් නැත. හදිසි කෝපය නිසා ඔහු කරදරයේ වැටෙන්නට හැකි බව ඉවෙන් මෙන් දැනගත් සෙසු පිරිස ඔහු අල්ලා පසෙකට කොට, රථයේ උන් දෙදෙනාටද බඩකට පුරා සංග්‍රහ කරන්නට අමතක නොකලහ.

තොපි එහෙනං මට අත ඉස්සුවා...නයාට ගහලා පොල්ල වරද්ද ගත්තා කියලා හිතාගනියව්...බලාගමුකො....එදාට ඔය කාට කාටත් මේවට වන්ධි ගෙවන්න වෙයි. උඩුතොල පිපිරී වැගිරෙන ලේ බිදක් පිටිඅත්ලෙන් පිසදා ගනිමින් කළු ගාමිණී ගුගුලේය.
.......................................................................................................
මට ඉවසන්න බෑ බොලව්....ඉරුම් පට්ටලේ ඉන්න උන්ටයි...වඩිය පෙරන උන්ටයි එන්න කියාපිය...අද රෑම මම වෙදාව කම්බස් කරනවා...මට අත උස්සපු එකෙක් වැඩිකල් යහතින් තියලා නෑ...

ගාමිණී මහත්තයා..කේන්තියෙන් වැඩ කරන්න යන්න එපා. අපි හිමින් සීරුවෙ හීන් නූලෙන් වැඩක් දෙමු. අපි දෙන්නටත් උන් තැලුවා නොවැ. කොස්තා හිතේ කැකෑරෙන කෝපය සගවාගෙන කථා කරයි.

උණ ගැනුනු එකෙකු මෙන් තටු පොරවා සිටින ලපයා. තවමත් බියෙනි.

කොස්තයියා කියනවා වගේ මහත්තයා ඕවට පැටලෙන්න හදිස්සි වෙන්න එපා...මහත්තයට මොනවා හරි උනොත් අපිත් ගමේ වසලා හමාරයි.

මට මොනවා වෙන්නද බොල...මම වැඩිකල් වෙදාට රජකම් කරන්න දෙන්නෙ නෑ මේ ගමේ.
.......................................................................................................
වෙදරාළගේ ගුටි කෙළිය නිම වී සති දෙක තුනක් ගත වෙන්නට ඇත. තමාට පහර දුන් එකාලාගෙන් පළිගැනීමේ චේතනාවෙන් ගාමිණී තවමත් දැවෙයි.

කොස්තා...මගෙ බඩ ටිකක් රිදෙනවා බං...දැන් ටික වෙලාවක ඉදං...ඊයෙ ඉරුම් පට්ටලේ උන් ඉබි මස් උයලා තිබුනා. මමත් බඩජාරි කමට කෑවා...ඒකද දන්නෙත් නෑ.

ගාමිණී මහත්තයට මං කෝපි එකක්වත් හදලා දෙන්නද...

කොස්තා සකසා දුන් කෝපි කොප්පයෙන් සප්පායම් වී පැයක් දෙකක් ගෙවුන පසු ගාමිණී යටි බඩ අල්ලාගෙන කෙඳිරි ගාන්නට වූවේය. ඉවසන්න බෑ බං..බොකු බඩවැල් අඹරනවා වගෙයි...මේ මොන කරුමයක්ද එක සැරේට මට උනේ.

තව තවත් රෑ බෝ වන විට ගාමිණීගේ තත්වය ඉතාම අයහපත් වූවේය. කෙලින් සිටගෙන සිටීමට පවා නොහැකි වූ ඔහුගේ අකමැත්ත නොසලකා කොස්තා වෙද ගෙදර දිව්වේය.
.......................................................................................................
තොපි මේ ගමට කරපු විනාශය දැකලා දෙයියො දීපු දඬුවමක් වෙන්ට ඇති. ඒත් ඉතිං අපේ ලගට බේතක් හේතක් ඉල්ලගෙන එන හතුරට උනත් උපකාර කරන්නය කියලා තමයි අපේ මුතුන් මිත්තො අපිට කියා දීලා තියෙන්නෙ.

මෙන්න මේ චූර්ණය දෙහි ඇඹුලෙන් අනලා මදටිය ඇටයක් වගේ ප්‍රමාණෙට පුංචි ගුලි හදලා ලෙඩාට ගිලින්න දීපං. ගුලි තුන හතරක් හොඳටෝම ඇති. හැබැයි මේක අනන්න ඕනෙ මැටි භාජනේක දාලා...තේරුනාද ගොයියො.

හිස ගිණිගත් කොස්තා නැවතත් තේක්ක කෑල්ලේ නිවස වෙත එන විට දැඩි වේදනාවකින් බිම වැටී දඟලමින් උන් කළු ගාමිණී ඈත තියාම දුටුවේය.

මම ලපයව යැව්වා ඉරුම් පොලේ වාහනයක් එලවන්න පුලුවන් එකෙක්ව හොයාගෙන එන්න ඉස්පිරිතාලෙටවත් යන්න. මට ඉන්න බෑ යකෝ...තෝ මොන මඟුලකට වෙද ගෙදර දිව්වද...ඔය වෙදාගෙ බේත් බොන්න මට ලැජ්ජාවක් නෑ කියලා හිතුවද ?

එහෙම කියන්න එපා මහත්තයො...වෙද රාළත් මොකුත් නොකියා බේත් ටික දුන්නෙ දැම්ම ලෙඩාට දෙන්න කියලා.

මැටි භාජනයක්ම ඕනෙ මේක අනන්න...කුස්සියෙ භාජන මේ ලපයා කොහෙ තියලද මන්දා. 
.......................................................................................................
වෙද රාළගේ චූර්ණය ගිල අවසන් වනවාත් සමග අසාධ්‍ය වූ කළු ගාමීණී රෝහලට යන්නටත් පෙර අතර මගදී රථය තුලම අවසන් ගමන් ගිය බව ගම පුරා ලැව් ගින්නක් සේ පැතිරී ගියේය.

බේත් කියලා වෙදා වහ කවන්න ඇති. මොනවා උනත් ගාමිණියා මැරුන එක ගමට හොඳයි. අර මන්තිරියා එක්ක එකතු වෙලා කැලේ වැනසුවා ඒකා.

කොහොමත් ගුරුකම් කරලා ගාමිණියව මරනවා කිය කියා නොවැ හිටියෙ . උන්දැ එහෙම කරන්නත් ඇති.

ගම්මුන් තැන තැන රොක් වී මේ මරණය ගැන විවිධ දේ පවසති..

අපේ ගාමිණී මහත්තයට ඔය වෙද රාළ හොඳටම තඩි බෑවා..දැන් ටික දොහකට උඩදි...ඒ බවත් අමතක කරලා කරන්නම දෙයක් නැති තැන තමයි මම වෙද ගෙදරට දිව්වෙ ඔය බේත් ටික අරගෙන එන්න. දෙහි ඇඹුලින් අනලා දෙන්න කියලා චූර්ණයක් තමයි එදා දුන්නෙ මහත්තයො, සිදුවූ සියල්ල කොස්තා පොලිසියේ ලොකු මහත්තයාට විස්සෝපයෙන් යුතුව කීවේය.

වෙද මහත්තයා මේ තියෙන කාරණා කාරණා එක්ක මට තමුන්ව සැකපිට අත්අඩංගුවට ගන්න සිද්ධ වෙනවා.

අනේ මහත්තයො....ලෙඩ්ඩු දහස් ගානක් සුවපත් කරපු මේ අත් දෙකෙන් මම කොහොමද මිනිහෙක් මරන්නෙ....ජිප් රථයට ගොඩවෙන්නට පෙර වෙද මහතා පොලිස් පරීක්ෂක තුමා දෙස අසරණව බලා සිටියේය.
.......................................................................................................
ඉල් මස මූසල පෙනුම ගත් වැහි කෝඩයක් තිබූ හවසක කළු ගාමිණීගේ නිසල දේහයේ අවසාන කටයුතු සොලමන් මුදලාලිගේ සහ පළාතේ මන්ත්‍රී තැනගේ සහභාගිත්වයෙන් ජන ශූන්‍ය පසුබිමක සිදුකෙරිණි.

කළු ගාමිණීගේ අඩුව ඔහු වාසය කල තේක්ක කෑල්ලේ අටවාගත් නිවසේ වෙසෙන කොස්තාට සහ ලපයාට හොඳින් දැනෙයි.

අපරාදෙ බං,  වෙදාට වේලාසන ගේම දෙන්න හදනකොට අපි ගාමිණී මහත්තයව නැවැත්තුවේ එහෙම නොකලා නම් අද මෙහෙම වෙන්නෙ නෑනෙ. සොලමන් මුදලාලි අලුත් හාදයෙක් එවනවලු මෙතැන බලාගෙන ඉන්න. මට ඉරුම් පලේ චන්දරයා කිව්වෙ ලපයො.

ඒක තමයි මොනවා කරන්නද...ගහක් ගලක් වගේ උන්නු ගාමිණී මහත්තයා මලාද කියලත් වෙලාවකට මට හිතෙනවා. 

කොස්තයියෙ කෝ බං මෙතන කුස්සිය පිළිකන්නෙ නමලා තිබ්බ මැටි භාජනේ...මේ තක්කාලි ගස් වලට දාන පොහොර මම ඒ භාජනේ තමයි හැමදාම කවලම් කලේ.


මම කාමරේ අරින සිරා කොලුවා.

77 comments:

  1. නොසිතූ අවසානයක්.
    හැම පැත්තකින්ම.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මිත්‍රයා...අදහසට..

      Delete
  2. දිගයි අප්පා. පස්සේ ඇවිත් කියවන්නම්...:(

    ReplyDelete
    Replies
    1. දිගයි අප්පා. පස්සේ ඇවිත් කියවන්නම්... x 2

      Delete
    2. නොද්දකිං මෙහෙමත් කොට ජීවිත x 1

      Delete
    3. දෙන්නගෙම පස්ස තාම ආවෙ නැද්ද ?

      කොයි එක්කෙනාද කොට ජීවිතේ...කවුරුවත් මම දැකලා නෑ තවම...

      Delete
  3. අඩේ තව ටිකක් තිබ්බනම් මරු....
    සිරා කතාව...

    ReplyDelete
  4. Replies
    1. කියන ලබ්බක් සිංහලෙන් කියපිය බොල.

      Delete
    2. සිංහල තිබ්බේ නෑ බං. ඊයේ කෝම්ට කොමා තත්වයක් ඇති උනා නෙව. ඒකෙන් සිංහලත් කෙලවිලා ගිහිල්ල.. ආයි ඉනිසිටෝල් කරන්නවත් වෙලාවක් තිබ්බේ නෑ ඒ තරං වැඩ.. හැක්...

      Delete
    3. අනේ දේශක මල්ලි...ඔය බෑ බෑ කියන ක්‍රෝම් පස්සෙ ඔච්චර මොනවට දුවනවද...දාගන්නකො අපි වගේ ටෝර්ච්....ඒකට ඔයාගෙ ක්‍රෝම් එකේ තියෙන බුක් මාර්ක් ටිකත් ඒ විදියටම මහන්සියකින් තොරව ගන්න පුලුවන්. ඉතිං වෙනසකට මුල පුරන්නකො මෙයා හිතට ධෛර්යය අරගෙන.

      Delete
  5. එල ද බ්‍රා..
    7 වෙනි ලිපියද?

    ReplyDelete
    Replies
    1. නෑ බොලං 5 වෙනි ලිපිය....7 වෙනි ලිපිය මම ලියන්නෙ නෑ නොවැ...බොලාගෙ ලියවිල්ල ආවම ගහන්නෙ අන්න ඒ ලේබලය.

      Delete
    2. ඇයි බං උඔට කෙටි කතා ලියන්නත් පුලුවන්නේ.

      Delete
    3. ඉතිං බං 7 වෙනි ලිපිය ලියන්නෙ කාම‍රේට එන යන උන් නොවැ...

      Delete
  6. මළකෙලියයි. කොස්තා බෙහෙත් අනලා තියෙන්නෙ ලපයා පොහොර කලවම් කරන භාජනේ.! බැලින්නම් අර යකාව මුන් දෙන්නානෙ මරාගෙන තියෙන්නෙ. පවු අහිංසක වෙද මහත්තයා.

    කථාව නියමයි සිරා අයියෙ. අවසානෙ වෙනකම් කුතුහලේ තියෙනවා. නිකමට වත් හිතුවෙ නෑ මෙහෙම දෙයක්. නියමයි.!!

    ReplyDelete
    Replies
    1. පව් අහිංසක ගාමිණී මහත්තයා.:D

      Delete
    2. ජීවත් වෙලා ඉන්නකම් ලෝකෙ නැති මුස්පේන්තු වැඩ කරන් උන්දැලත් මලාට පස්සෙ සද්ගුණවත් උපාසක මහත්වරු නොවෑ. :D

      Delete
    3. ජීවත් වෙලා ඉද්දි මොන කුපාඩි වැඩේ කලත් මරණ බැනර් එකේ නිවන් සැප ලැවේවා ! කියලා ගැහුවාම සැප ලැබෙයි කියලා තමයි එපා කරපු වැඩ කරන උන් හිතාන ඉන්නෙ ප්‍රියෝ....බොලාගෙ අදහසට මගේ භක්තිය...

      Delete
  7. අච්චු ගහපු පොත් වල තියන කථා පරදනවනේ සිරා මේ ලියවිල්ල!!
    අද තමා හරියටම කාමරේ දොර තල්ලු කරං ඇවිත් ඈඳි ගත්තෙ වගේ හිතුණ
    ජය මචං!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔබට...මෙවැනි ප්‍රබන්ධ වර්ගයේ කථා ලියන්න තමයි මම වැඩිපුර මනාප...ලැබෙන කාල වේලාව එක්ක තමයි කොරන්න බැරි.....

      Delete
  8. අනේ මන්දා මේව සිරාට කොහොම හිතෙනවද කියල....:D

    ReplyDelete
    Replies
    1. ඒ ගැන පිළිතුරක් පහළින් හැලපයියට දෙනු ලැබේ...එයත් කියවන්න...

      Delete
  9. නියමයි බං. අන්තිම වෙනකල්ම හිතාගන්න බැරිවුනා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි රාජ්....කෙටි කථාව රහ වෙන්නෙ අන්තිම වෙනකං කුතුහලය රඳවා ගත්තොත් නේද...

      Delete
  10. දුස්රා තමා. එතකොට ලපයද කොස්තද දැං සිරා කියල නම වෙනස්කරගෙන ඉන්නෙ?

    ReplyDelete
    Replies
    1. ඔය එකෙක්වත් නෙමෙයි...හිරෙන් නිදහස් වෙලා ආව වෙද මහත්තයා...

      Delete
  11. මේක ඇත්තටම සිද්ද වුන දෙයක් නේද? මට මතකයි මේ වගේ සිද්ධියක් ගැන පොලිස් පෙත්තප්පු කිව්වා

    ReplyDelete
    Replies
    1. ඔව්...මෙය ඇත්තටම සිදු වූ දෙයක්...නමුත් අද ඊයෙක නෙමෙයි...දුර ඈත අතීතයේ.
      නම් ගම් මනංකල්පිතයි...

      Delete
  12. දෙයියො කෝප වෙනකොට ඔහොම වෙනව බොල. අන්තිමට ළඟ හිටපු එව්වො අතිංම අන්තිම ගමන යන්න වැඩ සිද්දවෙලා තියෙන්නෙ.

    නියම කතාව සිරා.

    ReplyDelete
    Replies
    1. එහෙම තමයි ඉතිං...සමහර වෙලාවට ගෙදර වතුර බේසමෙත් ගිලිලා මැරෙනවා නරක වෙලාව ආවම...

      Delete
  13. අවි ගත්තෝ අවියෙන්ම නැසෙති කියලා කියන්නේ මේ වගේ සීන් වලට තමා! මල් පහයි ගස් දෙකයි කතාව සිරා අයියේ

    ReplyDelete
    Replies
    1. අන්න අන්න නාඩියා ළමයත් දැන් එහෙනං යමක් කමක් දන්න ගැටයෙක් වෙලා...හොදා හොදා...

      Delete
  14. මේක මේ ඊයෙ පෙරේදා හිරු ටී වී එකේ තෙවෙනි ඇස කියන එකේ ගිය කතාවනෙ බං.මම ඒ කතාව ඉවරවෙනකල්ම බැලුවා.ඒ බාජනේ තිබුණ ආසනික් බේත් එක්ක කලවං වෙලා මනුස්සයගෙ ඇඟට ඇතුල්වෙලා ආසනික් විෂට මළාය කියලයි අධිකරණ වෛද්‍ය විශේෂඥය කීවෙ.

    ReplyDelete
    Replies
    1. හිරු ටීවී එකෙත් ගියාද...මම ඒ ගැන දැනුවත් නෑ...මොකද මම ලංකාවෙ රූපවාහිනී සේවා වල විකාශනය වන දේවල් බලන්නෙ නෑ මෙහෙදි...අඩු තරමෙ ප්‍රවෘත්ති විකාශයක් හෝ.

      කාලෙකට කලින් මම මීගමුව මහ වීදියෙ පල්ලියේ මංගල්ල පොලෙන් ගත්තා පොතක්...ඒකෙ නම මට මතක විදියට පෝරකය අභියස...පොත ලියලා තිබුනෙ වෛද්‍ය සරත්චන්ද්‍ර කොඩිකාර (මතක හැටියට) එතුමා කාලයක් අධිකරණ වෛද්‍ය නිලධාරියෙකු හැටියට පශ්චාත් මරණ පරීක්ෂණ වලට සහභාගි වෙලා තියෙනවා. ඒ ලද අත්දැකීම් තමයි මේ පොතට ගොනු කොට තිබුනෙ.

      මේ කථා සංකල්පයත් ඒ පොත නිසා මගේ හිතේ පැලපදියම් වූ එකක්...නමුත් කථාවේ චරිත නාම ඇතුලුව ඉතිරි සියල්ල මගේ නිර්මාණයක්...මේ කථාවෙ හැටියට වෙද මහත්තයා තමන් නොකල වරදකට පෝරකය නියම වෙන්නට තියෙද්දි...අධිකරණ වෛද්‍යවරුන්ගේ සොයාගැනීම් නිසා තමයි සියලු චෝදනා වලින් නිදහස් වන්නෙ. ඒ අනුව නිවැරදි කරුවකු වරද කරුවකු වන්නට යන ඇතැම් විටෙක අධිකරණ වෛද්‍ය විද්‍යාවේ වැදගත්කම හොඳින් ඉස්මතු වෙනවා.

      ඔබ කියන සිරස වැඩසටහනටත් මම කියන පොතෙන් තමයි මේ කථා සංකල්පය ගන්නට ඇත්තේ.....ඒ පොත පුරාම තියෙන්නෙ මෙවැනි වර්ගයේ පුදුම හිතෙන කථා...හොයාගෙන කියවලා බලන්න...

      Delete
    2. මමත් ටී වී බලන එකෙක් නොවුනත් හාමිනේ නිදිමරාගෙන එක එක ප්‍රෝග්‍රෑම් බලනකොට මටත් ඈනුම් අරිමින් හරි එව්ව බැලෙනවා.මේ තෙවෙනි ඇස කියන වැඩසටහනත් ඒ වගේ බලපු එකක්.දැන් ලංකාවෙ චැනල් 8ක් විතර ඩිෂ් ටී වී වලින් දෙන නිසා ඒකත් බැලෙන්නෙ.
      මේ වැඩසටහන පටන් ගන්නට කලින් ඩබ් ටී ඇම් මහින්දරත්න මහතාගේ පොතක් ඇසුරින් සකස් කරන ලදී කියල යනවා.සිරා බලපු පොත එය වෙන්න පුළුවනි.මොකද මේ කතාවෙත් පුද්ගල නාම සහ යම් සිදුවීම් ඇරෙන්නට මුළු කතාවම තෙවෙනි ඇස පෙන්වූ කතාවයි.

      Delete
    3. මම මලයට කථා කරලා මේ පොතේ නියම නම හොයාගත්තා..
      පෝරකය ඉවකල මිනිසුන් " - ඩබ්ලිව්.ටී.එම්.මහින්දරත්න

      සුදුපාට කවරයක් පොතේ තියෙන්නෙ...පිටකවරයෙ ඡායාරූපයට තියෙන්නෙ හිස්කබලක්...හොයාගෙන කියවන්න

      Delete
  15. නියමයි සිරා අයියේ, කතාව නම් මල් හතයි,

    ආතක් පාඨක නැතිව දෙපයින් ගමට ආපු ගාමිණි චරිතය කලුයි, එත් ඒ කළු චරිතය ඇතුලේ තියෙන නායකත්වය හා කැප වීම නිසාම හා කළු ආදායම් ක්‍රම වලින් වන මඩිය තර වීම නිසාම ඉක්මනින්ම බල පුළුවන් කාරයෙක් වන්නට කළු ගාමිණීට කතාව ඇතුලේ හැකි වෙලා තියෙනවා, කතා කරුවා කියන ලෙසටම "හුදෙකලා ගම් පියසත්, අහිංසක දෙපා වාසීනුත් ඊට එපිටින් ඇති ඝණ කැලෑවත්" ඉල්ලමක් හොයමින් යන මිනිහට හරියටම ගැලපෙන ඉල්ලම පහල වෙන්නට හේතු වෙන්නට ඇති, හොඳ හෝ නරක හෝ වේවා කතාව තුල කළු ගාමිණි අඩිය අඩිය තබා ඉහලට නැගී මිනිසෙකුගේ චරිතයකි. ගමට එන පිටගන්කාරයින්ට මුලින්ම හේත්තු වෙන්නේ ගමේ උන් නොසලකා හරින චරිතයන් බවද කතාව තුලින් පැහැදිලි වේ.

    ලපයා හා කොස්තා ගමේ නොන්ජලයින් දෙදෙනෙකු විය හැකිය, තවද ගමම උන්ව පිළිකුල් කර ඇතුවාට කතා කරු කියන මේ දේ "වල ගැහුණු දකුණු කම්මුලත්...ඇහැ යටට වෙන්නට ඇති අව්වට කළු ගැහුණු තුවාල කැළලත්" සාක්කි දරයි, සමාජය අතරට යන්නට මුහුණ සැබවින්ම ආභරණයකි, මෙවන් මුහුණු සහ චරිත සමාජය තුල නිතැතින්ම පිළිකුල් වෙයි. කළු ගාමිණි අදායම් ඉපැයීමේ ක්‍රම වලින් කළු වුවද ඇතුලාන්තයෙන් සුදු චරිතයකි, හේ තම අතීතය හා වර්තමානය සසඳා ඒ ගැන පාරම්බෑවද තම අතවැසියන් ගැන සොයා බලන්නෙකු බව කතාව අපට කියයි. ගමෙන් පිළිකුල් වන්නන් නූගත් වුවද තමා යටතේ මෙහෙයවීමට කළු ගාමිණි සමර්ථ වී ඇත, බින්දුවේ සිට යමක් කමක් උපයා ගත් ගාමිණි එවුන් අතර මහත්තයෙකු වන්නේ එබැවිනි. යමකමක් උපයා ගත පසු තමන් කෙරුමෙක් යන හැඟීම ගාමිණි තුලද මෝදු වේ. ගාමිණී ද පරිපාලනයේ සිට සියල්ලන්ම තමන් නතු කරගෙන ඇත්තේ සුක්ෂම ලෙසිනි. ගාමිණි නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ තැනට ඒමට ගේම ගසා ඇත. හේ සැබවින්ම දක්ෂයෙකි.

    ගාමිණීට ගමෙන් එන ප්‍රධාන ප්‍රතිරෝධය වේද මහත්තයය, වේද මහතා ප්‍රධාන ගමේ තමන්ව නොසලාකා සිටි උන්ට තමනුත් කෙරෝමෝ බව පෙන්වීමට ලපයා හා කොස්තා යොදාගන්නේ ගාමිනිගේ සෙවනැල්ලයි. ගාමිනිව කුලප්පු කරන්නේ එවුන්ය.වෙදාද කෙලින්ම ගාමිණීට නොව අතවැසියන්ට ප්‍රතිරෝධය පෙන්වයි.

    කතාව අවසානය තෙක්ම වෙදා හරහා මුලදී මතු කරන සම්ප්‍රධායික ගුරුකන් ආදියෙන් ගාමිනිව මට්ටු කිරීමක් ගැනීමක් කියුවද එවැන්නක් සිදු නොවේ, කලින් කී පරිදි ගාමිණීට වෙදාගේ දුවට මඩ වදින ලෙස රථය පැදවීමට වුවමනාවක් නොමැත, ගාමිණීව පොළඹවන්නේ කොස්තාය, සිදුවීමෙන් පසු වෙදාද පාරම්පරික ක්‍රමයෙන් නොව යි බොස් ලයින් එකෙන් ගාමිණි මට්ටු කිරීමට යාම විමසිය යුතුය, ආවේග පාලනය කිර ගත නොහැකි මනුස්ස වරිගයේ නිසාද නැතිනම් කතාව අවසානයට ගෙන ඒමට වෙද චරිතය යොදා ගනිමින් කුහුල දිගටම රඳවා ගත් අයුරු සැබවින්ම අපුරුය.

    කෙසේ හෝ ගාමිණි ලෙඩ වී වෙදා දුන් ගුලිය කා මියයයි. කතාවේ සැකය වෙදා වෙත බඳුන් වේ.

    "කොස්තයියෙ කෝ බං මෙතන කුස්සිය පිළිකන්නෙ නමලා තිබ්බ මැටි භාජනේ...මේ තක්කාලි ගස් වලට දාන පොහොර මම ඒ භාජනේ තමයි හැමදාම කවලම් කලේ."

    සමස්ත කතාව කෙලෙසින් හෝ අවසන් වැකියෙන් දෙකෙන් උඩු යටිකුරු කල අයුර නම් විශ්මිතය. කතාව පටන් ගත ලෙසට පාඨකයා ගොඩනාගා සිතින් මවා ගන්නා අවසානයෙන් කතාවේ අවසානය සඟවා ඇති අයුර අගය කල යුතුය.

    ජය වේවා සිරා අයියා ඇඟට දැනුන කෙටි කතාවක්.

    ReplyDelete
    Replies
    1. උඹට මම අක්මාවෙන්ම ස්තූති වන්ත වෙනවා හේතු 2 නිසා.
      1 මේ දීර්ඝ ලිපිය අකුරක් නෑර කියවා තමන්ගෙ අදහස දක්වන එකට....
      2 ලිපියේ රචකයා විදියට සිරා කොලුවව දිරි ගන්වන්නට තමන්ගෙ වටිනා කාලය කැප කරලා මේ වගේ ඉතා සවිස්තර විචාරයක් කමෙන්ටුවක් ලෙස මෙහි එකතු කලාට.... බොහෝ අය වේලා මදිකම නිසා හෝ වෙනත් හේතු නිසා වචන දෙක තුනෙන් අදහස කොටලා දුවන වටපිටාවක සොමියගෙ මේ තියෙන වචන මට මහත් ශක්තියක් බව කියන්නම ඕනෙ. හොඳම විතරක් නෙමෙයි, නරකත් මේ විදියට කියපන්...මම විවේචන වලට කැමති...ඒවාට භය නැති එකෙක්....ස්තූතියි සොමියො උඹේ මේ හෘදයාංගම වචන ටිකට...

      Delete
  16. පට්ට සිරා අය්යෙ... ඒකටම හියන සොමියගෙ විචාරෙත් මල් හතයි....
    ජයවේවා..
    9මීට වඩ මොකුත් කියන එක අවුල් සොමිය කියල තියෙන දේ එක්ක බැලුවාම නිකං නෝන්ඩි වෙන්නෙ මක්කටයි..) හෙක් හෙක්

    ReplyDelete
    Replies
    1. සොමියගෙ විචාරය ගැන නම් කියන්න වදන් නෑ තමයි...මම හිතපු නැති තැන් පවා සොමියා උගෙ විචාරය තුල උළුප්පලා දක්වලා තියෙනවා. බොටත් ස්තූතියි.

      Delete
    2. මට ඉස්කෝතුයි කියන්නෙ අහවල් එකටෙයි සිරා අය්ය... මං මොකවත් කීවෙ නෑ නෙව...
      බ්‍රෑන්ට් එක සෙවණගල...

      Delete
    3. @ Mahesh,
      සෙවනගලින්නං ඉතිං මොලෑෂස් තමයි ගන්න වෙන්නෙ. :D

      Delete
    4. වකුගඩු දෙක ගලවලා තියලා තමයි සෙවනගල බොන්න වෙන්නෙ.

      Delete
  17. ඔන්න සිරෝ මමත් ආවෝ ....

    මෝහෙන් මුළා වෙලා..
    මානෙන් උදම් වෙලා...
    තණ්‌හාව ක්‍රෝධ ද්වේෂ පාරේ
    මිනිසා කොහේද මේ....
    රත්තරන් කෙණ්‌ඩියේ සිංහ තෙල් වගේ
    මිනිස්‌ ගුණේ සැමදා බැබළේ
    එය රැකීම අප උරුමේ වේ....

    කේළම් කීමෙන් ඕපදූපයෙන්
    රට කොටවන වැඩ අවදානම්
    උඩින් මිතුරු වී යටින් හතුරු වී
    උගුල් අදින්නා යයි දියවී
    බොරුවෙන් රට යයි පිරිහේවී.....
    රත්තරන් කෙණ්‌ඩියේ සිංහ තෙල් වගේ
    මිනිස්‌ ගුණේ සැමදා බැබළේ....
    එය රැකීම අප උරුමේ වේ.....

    මා හරි උගතා මා හරි ජගතා
    සිතනා මිනිහා මෝඩයෙකී....
    අනුන් හෙලන්නට වළක් කපන්නා
    ඒ තුළ වැටිලා මිය යන්නා
    කළදේ පලදේ එලෙසේ
    රත්තරන් කෙණ්‌ඩියේ සිංහ තෙල් වගේ
    මිනිස්‌ ගුණේ සැමදා බැබළේ
    එය රැකීම අප උරුමේ වේ....

    ගේය පද - සිරිල් ඒ. සීලවිමල
    සංගීතය - ආර්. චන්ද්‍රසේන
    ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක

    ReplyDelete
    Replies
    1. සින්දු ඇනෝ...බොලා බජව්වකට දුර ඈත ගියාද බොලං පහුගිය දොහේ දකින්න උන්නෙ නැත්තෙ...

      Delete
  18. වෙනදට දිග වැඩි කතා කිවුවට මේ කතාවෙ රහ නිසා එහෙම කියන්න වටින්නෙ නෑ.
    සිරා ඊයෙ පෙරේදා කල්ක, චූර්න , මැටි වලං හෙව්වෙ මේකට වෙන්නැති. කලු ගාමිණී වගේ චරිත හැම ගමකටම එක්තරා කාලයක කඩා පාත් වෙනව. සිරාලට කිට්ටුව හිටපු කලු ගාමිණී ( උගෙ ඇත්තම නම) වෙඩි කාල මැරුන නේද?
    අනික ගම් වල උන් අහවල් එකකට කසිප්පු බොනවද මන්ද, රත්තරන් වලින් පෙරාපු ගල් අරක්කු තියෙද්දි.

    ReplyDelete
    Replies
    1. හැබෑව හැබෑව...මම බොලාගෙන් චූර්ණ ගැන ඇහුවෙ මේකට තමයි...මොකද මම දැන උන්නෙ නෑ චූර්ණ කොහොමද පාවිච්චි කරන්නෙ කියලා...කලු ගාමිණී කියලා මේකට නම යෙදුවෙ ඔයා කියන කෙනාව මතක් වෙලා තමයි...මිනිහට ඒ කාලෙ අපේ පැත්තෙ අනියම් බිරියක් හිටියා කියලා මිනිහා මලාට පස්සෙ ආරංචි උනා. කලු ගාමිණීට ෂොට් එක තියපු අයගෙන් පලිගන්න තමයි අස්ගිරිය පාලම උඩදි බන්ධනාගාර රථයට වෙඩි තිබ්බෙ....නමුත් කලු ගාමිණී මරපු උන්ට හානියක් උනේ නෑ...ඒකෙ ප්‍රධාන චූදිතයා දැන් ඉතාලියෙ ඉන්න බව තමයි ආරංචි...

      ගල් තිබ්බට ඉතිං බෝතල් වල දාලා සීල් කරලා....වත මිලින උනාම කසියා තමයි ගමේ ඩයල් වලට..මට ආයෙ ගල් බෝතලයක් ජනවාරි මාසෙ මේ පැත්තට එනවා ඔන්න....

      Delete
    2. මම ජනවාරියේ එනවා කියලා උඹට කවුද කිව්වේ ?

      Delete
  19. අප්පට සිරි , පට්ට අවසානේ , අහිංසක වෙදා පව් අප්පා .

    ReplyDelete
    Replies
    1. වෙදාගෙ දුවලා දෙන්නා පව් නැද්ද ගොයියො...

      Delete
  20. Patta sin eka . Hithata danenna liyala thiyenawa.

    ReplyDelete
  21. සිරා කතාව සිරෝ.. හතුරෙකුටවත් වෙදෙක් වස දෙන්නෙ නෑ කියන එක තව ටිකක් වැඩිපුර කියවුනානම් හොඳයි කියල හිතෙනවා. අදනෙ ඉස්සෙල්ලම ආවේ. පරන කතා ටිකත් කියවන්න ආස හිතුනා. ජය ශ්‍රී!

    ReplyDelete
    Replies
    1. කාමරයට සාදරයෙන් පිළිගන්නවා කල්‍යාණ...කල්‍යාණ මිතුරන් ඇසුරු කිරීමත් සම්පතක් නොවැ. පාරම්පරික වෙද මහත්තුරු ඒ කාරිය ඉගෙනගත්තෙ පරම්පරාගතව....එතැනදි නිසි පුද්ගලයෙකු යටතට පමණයි ඒ ශිල්පයය පත් කලේ...ඒ නිසා තමයි ඒ අය තමන්ගෙන් බෙහෙත් ගන්න ආපු කලට පුද්ගලික කෝන්තර පැත්තකින් තියලා රෝගියෙකු කියන තැන ඉදන් ප්‍රතිකාර කලේ....

      Delete
  22. කතාව නම් මල් හතයි... ඔය වගේ කෙටි කතා කීපයක් එකතු කරල පොතක් ලියන්න වගේ එහෙම අදහසක් නැද්ද?

    මොනව වුණත් වෙද රාලට තව සති දෙකක් ඉවසන්න තිබුණෙ. එහෙනම් ගාමිණීත් වැලිගම්පිටි යනවා. වෙදරාලත් ගෙදර ඉන්නව.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි උදිත...ඇත්තටම පස්සෙ දවසක සිරාගේ කාමරයට මගෙ අතින් ලියවුන මට තෘප්තිමත්ම ලියවිලි කීපයක් එකතු කරලා පොතක් විදියට මුද්‍රණය කරන්න ලොකු ආශාවක් තියෙනවා. ස්තූතියි ඔබේ අදහසට...

      Delete
  23. අහා.. සිරා ලස්සන කතාවක් ලියල. නියම ගාන, නියම කතාව. හැබැයි ඉතින් අර කිව්වත් වගෙ වෙලාව තමයි අවුල ඔහොම ඒව ලියන්න, නේද. මාසෙකට එකක් වත් මේ වගෙ කතාවකුත් ලියනව නම් කියල මසුරං !!!
    (භයාදු, භියෙනි... ඔහොම ලියන්නෙ නෑ නේද ? බයාදු, බියෙනි, බිය. 'භය' විතරයි නේද ඒ 'භ' යන්නෙන් ලියන්නෙ ?)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි චන්දන....මම පුද්ගලිකව වඩා ප්‍රිය කරන්නෙ මෙවැනි ප්‍රබන්ධ කථා ලියන්න. නමුත් රැකියාව අතරතුර ලැබෙන විවේකයේ මඳකම නිසා තමයි නිතර එවැනි දේ ලියවෙන්නෙ නැත්තෙ. ඔබ කියන අක්ෂර වින්‍යාසයේ දෝෂ පිළිබද කාරණා සියල්ල නිවැරදියි...ඒ සියල්ල මම මේ ලිපිය තුල නිවැරදි කලා. ස්තූතියි ඒ අඩුපාඩු පෙන්වා දුන්නාට...

      Delete
  24. මේක පොතකට ගත්තොත් කොහොමද... කතාව කියවලා ඉවර වුනාම මට හිතුනේ එහෙමයි.. සාර්ථක නිර්මාණයක්..

    ReplyDelete
    Replies
    1. මම උදිතට ඉහළින් කිව්වා වගෙ...අනාගත දවසක සිර‍ාගේ කාමරේ පලවුන මට තෘප්තිමත්ම ලිපි කීපයක් එකතු කරලා පොතක් විදියට මුද්‍රණය කරන්න මගේ අදහසක් තියෙනවා. ඒ කාලෙට මේ ලිපියත් මට තෘප්තිමත් මට්ටමක තිබුනොත් නොවරදවාම ගන්නවා.

      Delete
  25. අප්පේ අන්තිම පේලියනේ කතාවේ හැරවුම් ලක්ෂය. දිගයි වුනාට ඔක්කොම කියෙව්වා ඔන්න. :D
    පුදුම මහන්සියක් වෙන්න ඇත්තේ මේක ලියන්න.

    ReplyDelete
    Replies
    1. ඇත්ත වශයෙන්ම සතියේ නිවාඩු දිනයක මුලු දවසම වගේ වරින් වර මේ කථාව ලිව්වෙ. වරින් වර කපන කොටන ගමන්.

      Delete
  26. එළකිරී ගොයියෝ කතාව.උඹ අර කලින් ලිව්ව කංසා හේනේ කතාවත් මතක් වුණා.

    ReplyDelete
    Replies
    1. ඒ කථාවෙන් කියවුන පරිසරයට සමාන පරිසරයක් තමයි මේ කථාවෙත් කියවෙන්නෙ. මටත් එය මතක් උනා ලියන අතරතුර...

      Delete
  27. මට මල කෙලියක් උනානේ...ඔයාගේ බ්ලෝග ඕපන් කරලා තියෙද්දී තව එකක් ඕපන් කරලා..එක කියවලා ඔයාගේ නම දාලා කමෙන්ට් කලා
    http://mysihinasiththam.blogspot.com/2014/10/dalada-maligawa.html
    ඔන්න ඕක බලන්ටකෝ.....

    ReplyDelete
    Replies
    1. මම එතැන කමෙන්ට් එකක් දැම්මා මලයො...මට වාව ගන්න බෑ බොල හිනාව...උඹ එකක් කියනවා...සිහිනයා එකක් කියනවා....වැඩේ නැගලම ගිහින් තිබුනා...හැක් හැක්...

      Delete
  28. මට මේ හේන් අත්දැකීම තියෙන නිසා මේ කතාව හිතේ ලස්සටන මැවුනා. මේකේ හිතන්න පති ගණනාවක් තියෙනවා. මිනිහෙකුට යන්න වෙලාව ආවාම කරපු කියපු සේරම ගුලි චූර්ණ වෙලා එන හැටි කතාවෙන් අපූරුවට විස්තර වෙනවා. ඉතාම සාර්ථක නිර්මාණයක්.

    ReplyDelete
  29. ඇත්ත...

    කතාව අන්තිමේ එහෙම කියන්න හිතුනා.

    අවසානය හරියට ම හරි. නරක පරදවා හොඳ ජයගැනීම කියන සාම්ප්‍රදායික අවසානයට වඩා මෙතනදි යථාර්ථයට තැන දීලා තියෙනවා. මේ ඇත්ත ම තමයි දේශපාලනයෙදිත් දකින්නට තියෙන්නෙ.

    ReplyDelete
  30. සිරාගේ බ්ලොග් එක මට මිස් වෙනවා. අපරාදේ. රසකතා තියෙන නිසා කියවන්න ආසයි. සිරෝ.....උඹ පෝස්ට් එකක් එව්වාම ඔටෝ ඊමේල් එකක් එන ක්‍රමයක් නැද්ද. මට බ්ලොග් රෝලක් නැහැනේ.

    ReplyDelete
    Replies
    1. අරු අයියෙ, blogger.com වලට ගිහින් පාස්වර්ඩ් දීල ලොග් වෙන්න. ඊ ළඟට ඒ පිටුවෙ තියන Reading List වලට පහලින් තියන Add ක්ලික් කලාම එන වින්ඩෝ එකේදී Add From URL වලට අරු අයිය කැමති බ්ලොග් එකේ ලින්ක් එක කොපි පේස්ට් කරන්න. පෝස්ට් එකේ ලින්ක් එක නෙවෙයි. .com ව්ලට එනකල් විතරක් දෙන්න. ඊ ළඟට Follow දෙන්න.

      දැන් blogger.com වලට ලොග් වුණාම අලුතෙන් වැටුණු ලිපි වල ලිස්ට් එක එතන පෙන්වනවා.

      Delete

සිරාගෙ කාමරයට පැමිණියාට ස්තූතියි...

නැවත දිනයක ආයෙත් එන්න..... ඔබට ජය !

Related Posts Plugin for WordPress, Blogger...