Tuesday, November 27, 2012

201 ගණිකාව සහ සිරි ලංකාව (වඩාත් සුදුසු වැඩිහිටියන්ටයි)

අම්මේ.... ගණිකාව කියන්නෙ කවුද ?  සිරා හා පුරා කියා ගණිකාවක් ගැන විමසුවේ 5 පන්තියේ සිටියදීය. ඒ ශිෂ්‍යත්ව සම්මන්ත්‍ර‍ණයකට සහභාගී වීමට වෙනත් පාසලකට ගිය ගමනකදී බැව් මට තාමත් ඉතා හොදින් මතකය. මගේ මවට එදා කට උත්තර නැතිව සිටියදී ඈ වටා සිටි මගේ මිතුරන්ගේ මව්වරුද විශාල කල දෙනෙතින් මා දෙස බලාසිටියේ පන්සලේ පිංකැටය කොල්ල කෑ හොරෙකු දෙස බලා සිටින ආකාරයෙන්ය. පත්තර කොළයකින් හෝ ගුවන්විදුලි ප්‍ර‍වෘත්ති ප්‍ර‍කාශයකින් මා සවනත වැකි මේ වචනය මට නුහුරු නුපුරුදු නිසාත්... ගණී යනුවෙන් ඇරඹෙන එය ගණිතයට යම් සම්බන්ධයක් ඇති යැයි මා උපකල්පනය කල නිසාත්, ඉතා හොදින් උගෙන ගෙන උසස් විභාග ආදිය සමත් කර කල යුතු රැකියාවක් යැයි පුංචි මගේ සිත පැවසූ නිසාත් මේ ප්‍ර‍ශ්නය  හිටි හැටියේම විමසූයේ අප සහභාගී වූ සම්මන්ත්‍ර‍ණයද ගණිතය පිළිබද එකක් වූ හෙයිනි.

මා වෙත පිළිතුරක් දුන්නේ මගේ අතිජාත මිතුරෙකුගේ මෑණියන් වූ මාලනී නැන්දාය. ඒ දිනවල ඇය රජයේ දෙපාර්තමේන්තුවක උසස් රාජකාරියක් කරමින් සිටි නිසාදෝ ප්‍ර‍ශ්නය ඈ වෙතටම දෝලනය  විය...

පුතේ...නරක වැඩ කරන....හරියට ඉගෙන ගත්තෙ නැති, හිරේ විලංගුවෙ වැටෙන කාණ්ඩෙකට තමයි ඒ නම කියන්නෙ...තේරුනාද... ඒ අය ආශ්‍ර‍ය කරන්නවත් හොද අය නෙමෙයි. එදා ඇය එසේ පවසා මා හිස අතගෑ පසු ගණිකාව පිළිබද මගේ අවබෝධය මදක් පුළුල් විය. ඒ අනුව ගණිකාව නරක වැඩ කරන අයෙකි.

මේ දිනවල බ්ලොග් ලෝකයේ කීප පලකම මේ ගැන ලියවෙන නිසා නොව, සිරා කොලුවා ගණිකාව මාතෘකා කොට යමක් ලියන්නට තීරණය කලේ ගණිකා වෘත්තිය නීතිගත කලයුතු බවට දකුණු පළාත් සභාවේ ආණ්ඩු පක්‍ෂ මන්ත්‍රී අජිත් ප්‍රසන්න මහතා ආර්ථික සංවර්ධන අමාත්‍යංශයට කල යෝජනාවක් නිසා ඇති වූ කැළඹිලි සහගත තත්වය හේතුවෙනි.


http://4.bp.blogspot.com/-CY2lAM2yDtM/UEbWESDm7JI/AAAAAAAAAIY/ijjpFkiPIJY/s1600/prostitutes1.jpg

කලකට ඉහත මුද්‍ර‍ණ කටයුත්තක් සදහා මගේ දායකත්වය ලබා ගැනීමට පැමිණි අයෙකු දුන්නේ අපූරු තොරතුරකි. ෆෝමලින් දියරයේ බහා ඇති විවිධ අසාමාන්‍යතා සහිත දරු උපත්, උරගයින්, අස්ථි කොටස්  ආදියෙන් සමන්විත ප්‍ර‍දර්ශනයක් ලංකාව පුරා විවිධ ස්ථාන වල පැවැත්වීම ඔහුගේ ආදායම් මාර්ගය විය. 

මල්ලි අනිද්දා කොළොන්නාවෙ තියෙන එක බලන්න එන්න.... ඒකෙ තියෙනවා අමුතුම බඩ්ඩක්....

මේ අමුතුම බඩ්ඩ වනාහි පිස්සු හැදිලා ආයෙත් හැදෙන වර්ගයේ එකකි. එනම් ස්ත්‍රී ජනනේද්‍රිය ඇතුලතින් කෘන්තක වර්ගයේ දතක් පිහිටා තිබූ විරල අවස්ථාවකි.

ඔහු කියූ පරිදි යටගිය දවස දතේ හිමිකාරිය කොළඹ නගරයේ වීදි ගණිකාවකි. ඇගේ සේවය පතා පැමිණි සියළුම පිරිමි ඈ හා සංසර්ගයේ යෙදෙන අතරතුර යටි ගිරියෙන් කෑ ගසමින් දිව යන්නේ ලේ ගලන පුරුෂ ලිගුවද අතින් මිරිකාගෙනය. මෙවැනි රෝගීන් කීප දෙනෙකුම කොළඹ ජාතික රෝහලට පැමිණීම නිසාවෙන් එහි වෛද්‍යවරු ඒ පිළිබද සැබෑ තතු සොයා බැලූහ. හොර බොරු කර තේරුමක් නැති බව වටහාගත් තුවාලකරුවන් සැබෑ තතු නොවලහා හෙලි කල නිසාවෙන් ඈ සොයා ගැනීමට අවසානයේ හැකි විය. වෛද්‍යවරුන්ගේ විශේෂ පරීක්ෂා කිරීමකට ඇගේ රහස් ප්‍රදේශය ලක් විය. එදා ඔවුන් සොයාගත්තේ ඇග කිලිපොලායන තොරතුරකි. ඇගේ යෝනි මාර්ගය ඇතුලත මසට සවි වූ දතකි. ඇය හා එක්වූවන් හූ කියමින් දිව්වේ මේ දත ශිෂ්ණ මුණ්ඩයේ වැදී තුවාල වූ නිසාවෙන් බව දැන් පැහැදිලිය.

මේ සුවිශේෂී පිහිටීම පිළිබද තව දුරටත් පරීක්ෂණ පැවැත්වීමට නියම විය. එහෙත් ගණිකාවටද ලැජ්ජාව කියා දෙයක් ඇත. ඒ නිසාම ඊළග පරීක්ෂණ වලට පෙර ඇය වස වර්ගයක් පානය කර ගණුදෙනුකරුවන්ගෙන් හා ජීවිතයෙන් සමුගත්තාය. අවසානයේ ඇගේ රහස් ප්‍රදේශය දත සමග ගිණි වතුරට එක්වී වීදුරු පෙට්ටියකට මැදි විය.

දත බැලීමේ පරම පවිත්‍ර‍ චේතනාවෙන් එදා සිරා කොලුවා ගම්පහ සිට කොළොන්නාවට ගියේ මගේ ගණුදෙනුකරුවා ගජබින්නයක් ඇද බෑවාදෝයි සිතමින් වුවත් වැඩේ සහසුද්දෙන්ම ඇත්ත බව මම මගේ ඇස්පනාපිට  දැකගත්තෙමි. කෘන්තක වර්ගයේ කුඩා දතක් එහි ඇතුලතින් මැනවින් පිහිටා තිබුනි.

ලංකාවේ ගණිකාවන් ඉන්නවාදැයි සමහර විටෙක ජාත්‍යාලයෙන් ඔද වැඩීගිය,අපේ සංස්කෘතික වටපිටාවෙන් ඔකද වූ  ඇතමෙකු අසන්නට ඉඩ තිබේ. බෞද්ධ සංස්කෘතියේ හර පද්ධතීන් යට හැදී වැඩෙන අපේ පරපුර මෙවැනි විෂමාචාර සදහා යොමු විය හැකිදැයි කෙනෙකුට විශ්මයක් වුවත් ඇත්ත තිත්තය. ගණිකාව, බඩුව,ගොනා, අයිටම් එක, වේසි ආදී විවිධ නම් වලින් හැදින්වුවත් ඔවුන් සළසන්නේ එකම සේවයකි.  ලෝකයේ පැරණිම රස්සාව ලෙසද එය විරුදය ලබා ඇත්තේ මානව පරිනාමයේ සෑහෙන අතීතයක් ඊට හිමි බව මොනවට දක්වමිනි.

කාලයකට පෙර ලංකාවේ වැඩිම ගණිකා ව්‍යාප්තිය තිබුනේ අනුරාධපුර දිස්ත්‍රික්කයේය. ඒ මාස තුන ,හතරක පඩි පත් සමග අනේක වූ ලිංගික හැගිම් හිතේ තද කරගෙන නිවෙස් බලා යාමට පැමිණෙන ආරක්ෂක අංශ සාමාජිකයන් ඉලක්ක කරගෙනය. පෙරට වඩා සන්නද්ධ වූ ගණිකාවන් තම සේවය සලසන මුවාවෙන් ගණුදෙනුකරුවන් විවිධ ආහාර පාන මගින් මත්කර මුදල් සදහා සුද්දය දෙන්නට වූ කල පොලීසියේ ඇස් ඇරුනි. පෙරට වඩා දැඩි කල සෝදිසි මෙහෙයුම් නිසා ගණිකාවන්ට අනුරාධපුරයෙන් පල්ලම් බැසීමට සිදු විය. ඉන් පසු ඔවුන් ඒ සදහා තෝරා ගත්තේ නොනිදන දඹුලු පුරවරයයි. යහමින් මුදල් ඇති රාත්‍රී කාලයට ක්‍රියාකාරීවන ව්‍යාපාරිකයන් ඔවුන්ගේ නවතම ඉලක්කය විය. අදුර ඔවුනට ආශිර්වාදයකි. ඒ අනුව දඹුල්ල යනු ගණිකා ව්‍යාපාරයේ කේන්ද්‍ර‍ස්ථානයක් ලෙස තවමත් වැජඹේ.

බොහෝ ගණිකාවන් අහිංසකය... දරිද්‍ර‍තාවය නිසාම මේ රැකියාව තෝරාගත් පිරිස වැඩිය. සිය දරුවන්ට අධ්‍යාපනය ලබා දීමට, ආබාධිත සැමියා ජීවත් කරගැනීමට /බෙහෙත් සපයා ගැනීමට, මහළු දෙමාපියන් රැකගැනීමට මෙන්ම සිය අධ්‍යාපන කටයුතු වෙනුවෙන් අමතර කාලයන්හි ගණිකා වෘත්තියේ නිරත වන විශ්ව විද්‍යාල ශිෂ්‍යාවන්ද  අපේ සමාජයේ සිටින බව ඔබ විශ්වාස කරනවාද ?

සිරා කිසිදිනෙක ගණිකාවක් ඇසුරු කර නැති වුවත් ඇසුරු කරන අයවලුන් හමු වී කථා බස් කර ඇත. ඒ අනුව තම කුමර ඹබසර ගණිකාවක් වෙනුවෙන් පුද දුන් තරුණයකුගේ තුවාල වූ ලිංගේන්ද්‍රියට බෙහෙත් දමා, ගෝස් කෑලි තබා ප්ලාස්ටර් රෝලක් ඔතා පැකට් කර එවීමට තරම් ඔහුට සේවය සැපයූ  ගණිකාව කරුණාවන්ත වූවාය. මෙවැනි අවස්ථාවක ප්‍රයෝජනයට ගැනීමට ඇය ළග කුඩා බෙහෙත් මල්ලක්ද තිබුනේලු.

ගිත සාහිත්‍යයේදී නීතිඥ රන්බණ්ඩා සෙනෙවිරත්නයන් පමණක් ගණිකාවන් ගැන මානුෂීය බැල්මෙන් සිය පන්හිද මෙහෙය වූයේ දළදා මාලිගයේදී සුදු ඔසරියක් හැද මල් පොකුරක් අතින් ගෙන බැති පුදට පැමිණි ගණිකාවක් තුල සමාජය නොදකින තවත් පැත්තක් දුටු හෙයින් විය යුතුය. එය අමරසිරි පීරිස් ගයන ළදුනේ ගිතයයි.

මාගේ මිතුරෙකු ලංකාවේ ඇති රාජ්‍ය නොවන ජාත්‍යන්තර සංවිධානයක සේවය කරයි. මෙම සංවිධානයේ කාර්යයන් පිළිබද රජය දැනුවත්ව සිටී.  ඔවුන්ගේ ප්‍ර‍ධාන කාර්යය ප්‍ර‍ජනන සෞඛ්‍ය පිළිබද ප්‍ර‍ජාව දැනුවත් කිරීම සහ ඒඩ්ස් වසංගතය පිළිබද ජනතාව දැනුවත් කිරීමයි. ඒ යටතේ ඔවුන් නොයෙක් විට කරනා පර්යේෂන මගින් සොයාගෙන ඇති කරුණු පුදුම සහගතය. ඒවා ඇසූ විට මේ සිරිලංකාව දැයි සිතේ. මේ ලියමන වඩාත් හරබර එකක් කරනට මම ඔහුට දුරබණුවෙන් අමතා තොරතුරු විමසීමි.

ගණිකා වෘත්තිය ලංකාවේ නීතිගත කල යුතු යැයි මන්ත්‍රීතුමා කල යෝජනාවට යම්   තරමකින් හෝ එකග වීමට  සිතෙන්නේ ඒ අනුවය.  මන්ද මේ ගැටළුව  අප සිතනවාට වඩා සමාජය වෙලා ඇති පිළිකාවක් බදු තත්වයක් නිසාය. මගේ මිතුරා ලබා දුන් දත්ත අනුව ලංකාවේ මේ වන විට සිටින සමස්ත ගණිකාවන් සංඛ්‍යාව 50000 ඉක්මවයි. එක් ගණිකාවක දිනකට එක් පිරිමියෙකු සමග යහන් ගත වන්නේ නම් දිනකට පිරිමි 50000 ගණිකාවන් ඇසුරු කරයි. එහෙත් සත්‍ය එය නොවේ. මේ ගණිකාවන් බහුතරය දිණකට පිරිමි දෙදෙනෙකු හෝ තිදෙනෙකු සමග වත්  අවම තරමින් රමණයේ යෙදේ.  ඒ අනුව ආසන්න ලෙස එය දිනකට පිරිමි ලක්ෂයකට වැඩි සංඛ්‍යාවකි. අපේ ජනගහන එකතුව අනුව එය සැළකිය යුතු ප්‍ර‍තිශතයකි.

ඔහු කියනා පරිදි මේ අතර HIV ඒඩ්ස් ආසාධිත අයවලුන් සහ සුවකල නොහැකි සමාජ රෝග වැළදුනු අයද ඇත. එසේ නම් දිණපතා අලුතින් විශාල සංඛ්‍යාවක් මේ කරුම රෝගයන්ට ගොදුරු වෙනවා නොවේද ? එය රටක ශ්‍ර‍ම බලකායට මෙන්ම, ජනතාවගේ ජීවන තත්වයටත්, පොදුවේ ලංකාවේ ආර්ථික තත්වයටත් මරු පහරකි. ඉන් අනතුරුව ඇතිවන නොයෙක් ගැටළු සෘජුවම කුටුම්භයේ සමගිය කෙරේ බලපාන අතර ඉන් ඉක්බිති ඒවා සමාජයීය ගැටළු බවට පත් වේ.

මා මිතුරා සේවය කරන සංවිධානය හමුවට බොහෝ විට ගණිකාවන් පැමිණේ. ලංකාවේ ගණිකා වෘත්තිය නීති ගත කර නැතත්, එය මහාපරිමාණයෙන් ක්‍රියාත්මක වන බවත්, ගණිකා සංවිධාන පිහිටුවාගෙන ඒ අතර අනෝන්‍ය සබැදියාවක් ඇති බවත් ඔබ විශ්වාස කරනවාද ? මෙම සංවිධාන මගින් තම ගණිකාවන් මෙම ස්ථානයට යොමු කරන්නේ ලෙඩ රෝග පිළිබද සොයා බැලීමටයි. ඒ ඒ සංවිධාන නියෝජනය කරමින් නායකයන් ලෙස කටයුතු කරන අයවලුන්ද සිටී. එම පුද්ගලයන් ගණිකා සංවිධාන අතර අනෝන්‍ය සුහදතාව පවත්වාගෙන යයි.

ලංකාවේ ගණිකා ව්‍යාපාරය තුල පාසල් යන වයසේ සිට අවුරුදු 70 පමණ දක්වා වන පරාසයක ගණිකාවන් සිටී. වයස 60 ට වැඩි ගණිකාවන් රුපියල් 100 වැනි මුදලකට Oral Sex (මුඛය ආශ්‍රිත ලිංගික ක්‍රියාකාරකම්) උදෙසා යොදා ගන්නා අවුරුදු 15-16 වයස් කාණ්ඩයන්ගේ පාසල් සිසුන් සිටින බව ඔබ දැන සිටියාද ?  ඒ මගින් භයානක ලෙඩ රෝග පැතිරීමට ඉඩ තිබෙන අතර සුව කල නොහැකි සමාජ රෝගයන් හමුවේ කඩාකප්පල් වන අධ්‍යාපනය හේතුවෙන් සමාජයට දායාද වන්නේ රෝග වාහකයෙකු, අපරාධකරුවෙකු, කාන්තාවන් කෙරේ භීෂණය පතුරවන්නෙකු විය හැකියි. එවැනි අඩු මුදලකට සේවය ලබා දෙන එම පිරිස දරිද්‍ර‍තාවය පතුලේ සිටින අය විය යුතුය.

මා මිත්‍ර‍යාට වරක් ගණිකාවක් හඩා වැටෙමින්  පවසා තිබූ කථාවක් තමයි මේ. ඇය ඉතා රූමත් තරුණ කාන්තාවක්. නුවර ප්‍රදේශයේ ධනවත්, කුලවත් පවුලක එකම දියණිය වූ ඈ තම පෙම්වතා විසින් විනාශ කිරීමෙන් පසුව කොළඹ ප්‍රදේශයේ ගණිකා වෘත්තියට යොමු කර තිබුනා. ඇය අවසානයේ ඒඩ්ස් රෝගියෙකු බවටද පත් වී සිටියත් ඒ බැව් ඇය මෙහෙයවන කාන්තාව දැනගතහොත් ඇයට අත්වෙන්නේ මරණය නිසාවෙන් ඇය නිශ්ශබ්දව සිටියා. නමුත් ඇය කිසිවෙකුට කොණ්ඩම් නොමැතිව ඇය හා එක්වෙන්නට ඉඩ දුන්නෙ නෑ... නමුත් දිනක් ඇය කරා පැමිණි උසස් පෙළ පන්තියක පාසල් සිසුවෙක් ඇගේ ඉල්ලීම නොසලකා බලෙන් මෙන් ඇය හා ආරක්ෂක උපක්‍ර‍ම වලින් තොරව එක්වී තිබුනා...  ඔහු සමහර විට අදටත් තමන් ඒඩ්ස් රෝගියෙකු බව නොදන්නවා වන්නටත් පුලුවන්. ඇය මගේ මිතුරා සමග පවසා ඇත්තේ තමන් නිසා තවත් ඒඩ්ස් රෝගියෙකු බිහි වූ බවත්  ඔහු ඉතාමත් තරුණ වයසක සිටි කෙනෙකු නිසා ඉතාමත් කණගාටුවට පත්වෙන බවත්... සිය පවුල තමන් භාර ගැනීමට සූදානමක් නැති නිසා ජීවත් වීමට ඇති එකම මග මෙම කරුමාන්තය පමණක් බවද ඇය කියා තිබුනා.. මෙවැනි අය කී දාහක් අපේ සමාජයේ සිටීදැයි අපට කිව හැකිද? 

බොහෝ කාන්තාවන් පෙම්වතුන්ගේ වරදින්, සැමියාගේ වරදින්, දරිද්‍ර‍තාවය, අඩු උගත්කම නිසා රැවටීමට ලක් වීමෙන්  යන සාධක හේතුවෙන් මේ වෘත්තියට එළඹිලා තියෙන්නෙ....

ලංකාවේ ගණිකාවන් අතර පැහැදිලිව දැකිය හැකි ප්‍රභේද තුනක් තියෙනවා

1 වීදි ගණිකාවන් 

2 දුරකථන මගින් ඇනවුම් කර තමන් සිටිනා තැනට ගෙන්වා ගත හැකි අය

3 සුඛෝපභෝගී හෝටල් වල සිට සමාජයේ උසස් පුද්ගලයන්ට සේවය සලසන අය


ඉහත දැක්වූ අය අතරින් පළමු දෙවර්ගයේම අය දරිද්‍ර‍තාවය නිසා මෙම කාර්යයේ නිරත වන අතර ඒ අතරින් වීදි ගණිකාවන් රෝග වාහකයින් ලෙස පෙරමුණ ගෙන ඇත.

තුන්වන කාණ්ඩයේ අය උසස් පවුල් වලින් පැවතගෙන එන අතර  මුදල් හිගයක් නොමැති වුවත් උසස් සමාජය ඇසුරු කිරීමේ ආශාව නිසාම මේ වෘත්තියේ යෙදේ. ඔවුන්ගෙන් සමාජ රෝග බෝවීමට ඇති සම්භාවිතාව ඉතාමත් අඩුය. නිරන්තරයෙන් වෛද්‍ය පරීක්ෂා කරගන්නා ඔවුන් බොහෝ විට ඉහළ අධ්‍යාපනයක්ද ලබා තිබෙන අය වීම කැපී පෙනෙන කාරණයකි. මේ හේතුවෙන් මගේ මිතුරා සේවය කරන සංවිධානය ඔවුන් පිළිබද සොයා බලනවාට වඩා සමාජයට වැඩි හානියක් ගෙනදෙන වීදි ගණිකාවන් සදහා වැඩිපුර සිය සේවය ලබා දෙයි.

ඉස්සර දිණයක රාත්‍රී පරිගණක පන්තිය අවසන් කර කොළඹ කොටුවට පැමිණෙන සිරාට ගුණසිංහපුර බස් නැවතුම කිට්ටුව අදුරු මුලු වල රැදී සිටින ගණිකාවන් ගොදුරක් සොයමින් ඇස් බෝල කරකවපු ආකාරය දැනුත් සිහිපත් වෙනවා.

තොටළග වෙසක් තොරණ බලන්න ගියපු වෙලාවක තුන්රෝද රථයක සිට ගණිකා වෙළදාම කලේ කාන්තාවක් විසින්... මා ඇස යොමා සිටි විනාඩි 15 ක පමණ කාලය තුල ඇය අසල සිටි ගණිකාවන් තිදෙනෙකුටම ගණුදෙනුකරුවන් මුණගැසුනා... මොහොතකින් වෙසක් අසිරිය බලන ජනකාය අස්සේ ඔවුන් සැගව ගියා.

අපි දැන් බරපතල මාතෘකාවට බහිමු. 
ඇයි ගණිකා වෘත්තිය නීතිගත කල යුතු යැයි කියන්නෙ. 

ලිංගිකත්වය යනු ආහාර, නින්ද, පිපාසය තරමටම සන්තර්පණය කරගත යුතුම කායික සහ මානසික අවශ්‍යතාවකි. එය කුමන නීති රීතියක් යටතේ හෝ සමාජයෙන් බැහැර කල නොහැක.  මෙම අවශ්‍යතාවයන් සන්තර්පණය කරගත නොහැකි කල්හි බිහිවෙන්නේ මානසික රෝගීන් පිරිසකි. ඔවුන් නිසා සමාජය දූෂණය වන අතර කුඩා දරුවන් අපචාරයට ලක් වීම, ස්ත්‍රී දූෂණ, සමලිංගික සේවනය, විකෘති ලිංගික හැසිරීම් (සත්වයන් / උපකරණ භාවිතයෙන්) බීමත්කම හා මත්ද්‍ර‍ව්‍ය භාවිතය, ඉක්මනින් කෝපයට පත් වීම හා ආදරය කරන දෙදෙනෙකු වෙත හෝ සාර්ථක පවුල් ජීවිතයක් ගත කරන අය වෙත වෛර කිරීම, ඔවුන් ඝාතනය කිරීම ආදී  සමාජය දූෂ්‍ය වන ආකාරයේ  ක්‍රියාදාමයන් රැසක් ඇති විය හැකිය.

නීතිගත කිරීම කෙසේ වෙතත්  රට තුල සිදුවෙන ගණිකා වෘත්තිය හා සම්බන්ධ  ක්‍රියාකාරකම් පාලනය පිළිබදව රජය යම් ආකාරයකින් කටයුතු කල යුතුම කාලයක් දැන් එළඹ තිබේ.  ගණිකා සේවයේ යෙදීමට හා සේවාව ලබා ගැනීමට අවම වයසක් නියම කිරීම, ගණිකාවන් නිරන්තර වෛද්‍ය පරීක්ෂණ වෙත යොමු කිරීම හා රුධිර පරීක්ෂාව, ආරක්ෂිත උපත් පාලන ක්‍ර‍ම පිළිබද දැනුවත් කිරීම, නිරන්තර උපදේශන සේවා සැපයීම, තරුණ තරුණියන්ට නිදහසේ පෙම් කල හැකි පරිදි උද්‍යාන ඇති කිරීම, පාසල් විෂය නිර්දේශය තුල ප්‍ර‍ජනන සෞඛ්‍ය පාඩම් එකතු කිරීම,  ආදී ක්‍රියාකාරකම් මේ යටතේ කල හැකිය. විශේෂයෙන් පාසල් යන වයසේ කුඩා දරුවන් ටොෆියකින් , චොකලට් එකකින් රවටාගෙන දූෂණයට ලක් කරන්නේ ඔවුන් සතුව ඒ පිළිබද නිසි අවබෝධයක් නොමැති කමිනි.

ගණිකා වෘත්තිය මගින් විදේශ විනිමය මෙරටට ගෙන්වීමට ක්‍රියාකිරීම යන කාරණයට නම් මම තදින් විරුද්ධයි. එමගින් රටේ ප්‍ර‍තිරූපය ජාත්‍යන්තරය හමුවේ දියවී යාම නම් වළක්වන්න බෑ. තරුණ දියණියන් පැහැරගෙන විත් බලෙන් එම වෘත්තියේ යෙදවීමත්, ආදායම් ලැබීමේ අරමුණින් වැඩි වැඩියෙන් තරුණියන් ඒ කෙරේ යොමු වීමත් ඒ හේතුවෙන් සිදු විය හැකියි. අප රටේ පසුගිය දිණවල සිදුවූ කාමරැල්ලේ අපරාධ දෙස විමසිලිමත්ව බැලීමේදී පෙනී යන්නේ මෙවැනි ප්‍ර‍තිසංස්කරණයන් ඉතා ඉක්මනින් ගෙන ආ යුතු බවයි.

ජිනා මැඩම් ලා වගේ උන් ඕනෑ තරම් සිටිති. ජිනා ට දැල එලන විට පැනගිය ඇමතියා  වැනි ප්‍ර‍භූ චරිත සදහා ලිංගික ක්‍රියාකාරකම් වල නිරතවීමට බාධා අවම වුවත්... පොදු ජනයාටද එවැනි අවස්ථාවක් යම් නීතිමය රාමුකට යටත්ව ලබා දීම ඔවුන්ගේ දැඩි ලිංගික ආශාව  පාලනයට උපකාරී විය හැකිය. එසේ නොමැතිව සරම උස්සා ජොකා ඇද සිටීදැයි සෙවීම, සහෝදර සිසුන් සමග සන්ධ්‍යා කාලයේ කථා බහේ නිරතව සිටින විශ්ව විද්‍යාල සිසුවියන්ගේ කන්‍යාභාවය බලෙන් පරීක්ෂා කිරීම, ජංගම දුරකථන වල අසභ්‍ය දර්ශන සොයා උසාවි දැමීම, උද්භිත උද්‍යාන වල ලංවී සිටින පෙම්වතුන් අත්අඩංගුවට ගැනීම  ආදී  විසුලු සහගත ක්‍රියා මේ කාම අපරාධ මැඩලීමට කිසිසේත් දායක නොවේ. වර්තමාන මාධ්‍ය භාවිතය තුල ලිංගික හැගීම් ඉතාමත් තීව්ර කරන මුත්, බොහෝ පුද්ගලයන්ට එම හැගීම් පහ කර ගැනීමට මගක් නොමැතිය. පසු දිනෙක මේ ජවනිකාව අවසන් වන්නේ පාසල් යන වයසේ කුඩා දියණියක අපයෝජනය වීමෙන් හෝ ස්ත්‍රී දූෂණයක් මගින්  විය හැක.

මෙම තීරණය ගැන වඩාත් අප්‍ර‍සාදය දක්වන්නේ අපගේ කාන්තා පරපුරයි. ඒ තමාගේ ස්වාමියා හෝ පෙම්වතා මෙයින් පසු ගණිකාවන් වෙත ඇදේවි යයි ඇතිවෙන භිය නිසාවෙනි. අවංකව තමාට ආදරය කරන  පෙම්වතෙකු / සැමියකු සිටී නම් කාන්තාවන්ට භිය වීමට කිසිදු හේතුවක් නැත. ලිංගික තෘප්තිය යනු මානසික සිතුවිල්ලකි. දෙදෙනා අතර ඇතිවන නිසි අවබෝධය මත තෘප්තිය රදා පවතී. දෙදෙනා විවෘත වන තරමට තෘප්තිය පිළිබද කථිකාවක් ඇති කරගත හැකි වනු ඇත. 


HIV ඒඩ්ස් සහ සිරිලංකාව

මෙම රෝගය ගැන මේ වන විට නොදන්නා කෙනෙකු නැත. නිට්ටාවට සුව කළ නොහැකි නමුත් වළක්වා ගත හැකි රෝගයක් ලෙස සරළව දැක්විය හැකිය. ශ්‍රීලංකාව තුල ඒඩ්ස් ව්‍යාප්තිය පසුගිය කාලය තුල සීඝ්‍රයෙන් සිදුවෙමින් තිබුනත් මෑතකදී ඒ වෙනුවෙන් ගත් සාධනීය පියවර කීපයක් නිසා යම් තරමකට පාලනය කල හැකිව තිබේ. නමුත් රෝගය ආසාධනය වූ බහුතරයක් අය තමාට ඒඩ්ස් ඇති බව දන්නේ නැත. සමීක්ෂණ මගින් 5000 කට වඩා වැඩි ඒඩ්ස් රෝගීන් සංඛ්‍යාවක් ලංකාවේ ඇති බැව් පැවසුවද තවමත් රජයේ රෝහල් වල ලියාපදිංචිව ප්‍ර‍තිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 1700 කට මදක් වැඩි ප්‍ර‍මාණයකි. ඉතිරි අය සියල්ල අප ජීවත් වන සමාජයේම වෙසෙන්නෝය.

ඒඩ්ස් වසංගතය දැන් දැන් වැඩි ව්‍යාප්තියක් පෙන්වා ඇත්තේ පිරිමි සමලිංගිකයන් අතරය. යෝනි මාර්ගයක් නොමැති වීම හේතුවෙන් ගුද මාර්ගය සංසර්ගයට (Anal Sex)  යොදාගන්නා ඔවුන් එහි අභ්‍යන්තර රුධිර වහනය වීම් නිසාවෙන් ඒඩ්ස් රෝගීන් බවට පත්වෙයි. ගුද මාර්ගය යෝනි මාර්ගයට වඩා රළු වීම නිසා කොණ්ඩම් පමණක් භාවිතය ඵලදායී නැත. කොණ්ඩම් නිරතුරුව ඉරී යාමට ලක් වේ. මෙය කියවන ඔබ මෙලෙස සමලිංගික සේවනයේ යෙදෙන අයෙකු නම් කොණ්ඩමය සමග ලිහිසි ජෙල් වර්ගයක් භාවිතය වඩා හිතකරය.

ලෝක බැංකුව මගින් ක්‍රියාත්මක ගෝලිය අරමුදල යටතේ එඩ්ස් රෝගීන් සදහා අවශ්‍ය වන ප්‍ර‍තිකාර, උපදේශන සේවා ආදිය දැන් ලංකාවේ ක්‍රියාත්මකය. රජයකට මෙවැනි ක්‍රියාකාරකම් තනියෙන් කල නොහැකි නිසා මේ මැදිහත් වීම ඉතාමත් වැදගත්ය. රෝහල් කාර්යය මණ්ඩලය ගණිකාවන් සහ ඒඩ්ස් රෝගීන් හට අතීතයේදී ප්‍ර‍තිචාර දැක්වූ රළු ස්භාවය නිසාම සමාජ රෝග සහ ඒඩ්ස් වැළදුනු අය රෝහල් මග හැරියද රජයේ නවතම පුහුණුකිරීම් ක්‍ර‍මවේදයන් යටතේ අනෙක් රෝගීන්ට මෙන් කරුණාවෙන් සැළකීමටත්, ඔවුන්ගේ අනන්‍යතාවය රැකෙන පරිදි ප්‍ර‍තිකාර කිරීමටත් රෝහල් කාර්යය මණ්ඩලය පුහුණු කර තිබීම පැසසිය යුතු කරුණකි. ඒ නිසාම ඒඩ්ස් රෝගීන්ට තව දුරටත් රෝහල් මගින් ප්‍ර‍තිකාර ලැබීමට තිබූ  බාධා අවම වී ඇත.


මෙතෙක් මා  දැක්වූ තොරතුරු පිළිබද යහපත් සංවාදයක් ඇති කරනු අරභයා ඔබේ අදහස ශිෂ්ඨ බසින් කොමෙන්ටුවක් ලෙස එක් කරන මෙන් මම ඔබට ගෞරවයෙන් ඇරයුම් කරමි.




මම කාමරේ වෙසෙන, සත්ගුණවත් සිරා කොලුවා


ප.ලි

සමාජයීය වශයෙන් කාන්තාවන් පෙළන ගැටළු අවම වීම ගණිකා වෘත්තියේ නිරත වන කාන්තාවන් සංඛ්‍යාව අඩු කිරීමට සෘජුවම දායක වනු ඇත.

SPA හෙවත් සම්භාහන මධ්‍යස්ථාන වශයෙන් පවත්වා ගෙන යන බොහෝ ස්ථාන ගණිකා සේවය ලබා දෙයි.

මෙම ලියමන සදහා විශාල තොරතුරු සමූහයක් මා වෙත නොමසුරුව ලබා දුන්  ශලි.... මලයා වෙත මාගේ හෘදයාංගම ස්තූතිය.












Friday, November 23, 2012

167 අපේ අම්මගෙන් අහන්න

සැබෑ නම හෙළි කරන්න අවසර නැති නිසාම අපි එයාට නිලන්ත කියලා කියමු...... උසස් පෙළ කරන කාලෙ සිරාගෙ පන්තියෙ හිටපු සගයෙක් තමයි මේ නිලන්ත. පාසලේ නිවාසාන්තර ක්‍රීඩා උළෙලෙදි වගේම ඉන් එපිට කොට්ඨාශ, දිස්ත්‍රික්, පළාත්, සමස්ත ලංකා සෑම අදියරකම මැදි දුර දිවීම තරග වලදි පාසලේ නම තියපු කෙනෙක් තමයි මිනිහා.

කුඩා අවදියේදි වෙනත් පන්ති වල සිටීම හේතුවෙන්  12 වසරෙදි හදුනගෙන 13 වසරට එද්දි බොහොම ලොකු මිත්‍ර‍ත්වයක් අපි දෙදෙනා අතර ඇති වූ නිසාම නිලන්ත සිරාගෙ ළගම මිතුරෙක් බවට පත්වුනා කිව්වත් වරදක් නෑ.... උසස් පෙළ කරන අවදියේ සිරා සහභාගි වුනු අතිරේක පන්ති වලටම තමා නිලන්ත කොලුවත් ආවෙ ගියෙ...

ඉතිං උසස් පෙළ පන්තියේ භාගයක් විතර ගෙවුනට පස්සෙ ඊට කලියෙන් සිරාටත්  හැදිලා තිබ්බ කරුම ලෙඩේ අපේ අහිංසක නිලන්තයටත්  හැදුනා... පුද්ගලික බෙහෙත් ශාලා වල බෙහෙත් නැති මහ අසික්කිත ලෙඩක් තමයි ඒක... බොලා දන්නවා නොවැ ඒකට කියන නම.... ලව් අමාරුව....හැදුනොත් විනාසයි.

http://image.blingee.com/images15/content/output/000/000/000/371/162711879_1335720.gif


ගම්පහ නගර සභා පිට්ටනිය  කිට්ටුව තියෙන නිල්පාට ඉරි සහිත ටයි පටියක් තියෙන පාසලේ දැරිවියක් තමයි මේකගෙ හිත අරන් තිබුනෙ. කාලෙකට ඉස්සෙල්ලා සිරාගෙ හිත ගත්ත රතු කොණ්ඩෙ කෙල්ලත් ඔය අහවල් ඉස්කෝලෙම තමා. සතිය අග තියෙන අතිරේක පන්තියක තමයි ඉතිං දෙන්නගෙ යුග දෙනෙත් සම්මුඛ වුනේ. මෙතැන් පටන් ඒ සීදේවි දැරිවිට අපි කියමු ප්‍ර‍භා කියලා....කෙල්ලගෙ නම මොකක්ද ? ප්‍ර‍භා....

ඇටි කෙහෙල් ගිල්ල උගුඩුවා වගේ පන්තියට ගියත් වහළෙ තියෙන ටකරං දිහා බලාගෙන අනිමිස ලෝචනය කරන මේකගෙ මේ හදිසි වෙනස් වීම දැක්කම ඌව දන්න හැම කෙනාම ඇහුවෙ මොකද බොල තොට හෙන ගැහුවද කියලා....මිත්තරයන්ගෙ වදේ හින්දම ඇත්ත වමාරන්න නිලන්ත කොලුවට සිද්ධ වුනා.  අපිටත් හොරෙන් ප්‍ර‍භා කෙල්ලගෙන් ඒ වෙද්දිත් ඒකා කැමැත්ත විමසලා අහවරයි. ගෑල්ළමයි පොදුවේ ලබා දෙන මම කැමති නෑ යන ජනප්‍රිය, උත්කෘෂ්ඨ, හදවත සැනහෙන  පිළිතුර තමා ඒකිගෙ උත්තරේ වෙලා තිබුනෙ.

එක සැරේ හේතුව එළියට දාපු නැති නිලන්තයා හීන් සීරුවෙ කතන්දරේ කියනකොට උසස් පෙළ පෙරහැරත් ගිහිල්ලා අවසන්... බෑන්ඩ් එකේ නායකත්වය දරපු නිසා අවාරෙට පන්ති ගිය සිරා ඉතිං උසස්ම සාමාර්ථයක් ගත්තෙ නැති වුනාට කිසිදු විෂයක් අසමත් වුනේ නෑ....

ඔන්න දෙවන වරටත් සිරා ඇතුලු නඩේ උසස් පෙළට ලියන අදහසින් අතිරේක පන්ති යන මල් වසන්ත සමය ආරම්භ වුනා... අපි අතර හිටපු උන් බොහොම අතලොස්සක් තමා පළමු වාරෙම විස්ස විජ්ජාල කඩඉම පැන්නෙ. පන්සලේ කථාවෙ හිටිය අයත් අඩුවක් නැතුව මේ පන්ති වලට ආවා ගියා.

නිලන්ත කොලුවත් නැවත වරක් උසස් පෙළ ලියන්න සුපුරුදු පන්ති වලට එද්දි එකාගෙ හිත ගත්ත ප්‍ර‍භා කෙල්ලත් දෛවයේ සරදමකට වගේ ආයෙත් අපේ ඇස් ඉදිරියේ ඇස් නටවන්න ගත්තා. නිලන්තයා ඉතිං දුවපු එකා වෙච්චි ඌට එකද දෙකද තුනද කියලා ගානක් නැති නිසාමදෝ ප්‍ර‍භා කෙල්ලගෙන් පන්ති පටන් අරන් ටික කාලයකින් ආයෙමත් කැමැත්ත විමසුවා... අපරාදෙ කියන්න බෑ... නිලන්තයා පුරුෂ දහිරිය හොදට තිබ්බ එකා... කෙලින්ම ඩිරෙක්ට් තමන් තනියෙන් ගිහිල්ලා තමයි හැමදෙයක්ම කරගත්තෙ...

මම කැමති නෑ... කලින් වතාවෙ ලැබුනු බොහොම මිහිරි කර්ණ රසායන පිළිතුරෙන් නැවතත් සෑහීමට පත්වෙන්න නිලන්ත කොලුවට සිදු වුනා...ඊට පස්සෙ ඒකා යන යන තැන ටිපෙක්ස් කුප්පියකින් I am a Bad Boy කියලා ලියන්න පටන් ගත්තා. පන්ති වල ඩෙස් බංකු අනේක වාරයක් උගෙ සුදුපාට ටිපෙක්ස් දියරෙන් පෙගෙන්න ඇති මගෙ හිතේ.  මේ වතාවෙදි පළමු වතාවෙ වගේ පරාජිත හැගීමක් මූණෙන් පිළිඹිබු නොවුනට බොහොම අධිෂ්ඨානශීලී ගතියක් උගෙ නෙත් කෙවෙනි අග හැංගිලා තිබුනා.

පළමු වර ඇහුවා, දෙවැනි වර ඇහුවා , තෙවැනි වර ඇහුවා, බැරිම තැන කාන්තා පරාණ ටිකක් දාලා ඇහුවා  ප්‍ර‍භා නෙමෙයි සහනශීලී  පිළිතුරක් දුන්නෙ... ඒකි මහ ගල්ගැහුණු හිතක් තිබුනු එකියක්, කොල්ලො එහෙමත් කිව්වා. ඔයින් මෙයින් උසස් පෙළට දෙවන වරටත් ලියලා පිරිස විසිරී ගියා...

ඊටත් ටික කාලෙකට පස්සෙ කජුමුලේ අන්දරේ ගැන සිරාට කිව්ව ජයවර්ධන ගොයියා මුලිච්චි වෙච්ච මගේ මිත්තරයගෙ නිවසෙ ඉන්න වෙලාවක ඒ ඉදිරිපිට මහා මාර්ගයෙන් ගිය නිලන්ත යකඩ අස්පයත් එක්කම අපිව බැහැ දකින්න මිදුලට ආවා... මේ කාලෙ වෙද්දි එකා දෙන්න රැකියා වලට සම්බන්ධ වෙලා හිටියෙ... නිලන්තයත් එහෙමයි. පන්සලේ කථාවෙ හිටපු  පුෂ්පෙ, නගා එහෙමත් එතැන හිටියා.

උඹලව දැක්ක කල් බන්... දකින්නත් ආසයි... එහෙම ආරම්භ වුනු කථාව අවසන් වුනේ ප්‍ර‍භා කෙල්ලගෙන්... නිලන්ත කොලුවා ඒ වෙද්දිත් ඒකි ගැන හිතනවා කියලා අපි දැනගත්තෙ එදා...

උඹලා දන්නවනෙ , අපි පන්ති ගිය කාලෙදිත් මම කීප වතාවක් ඒකිගෙන් ඇහුවා කියලා... හැම වෙලේම එළුවා වගේ බෑ කියලම කිව්වට ඉතිං මම සැලුනෙ නෑ.... දිගටම ට්‍ර‍යි එක දුන්නා. රස්සාවක් කරන්න පටන් ගත්තට පස්සෙදි ආයෙමත් කෝච්චියේදිත් මට ප්‍ර‍භා හම්බ වුනා. මම ඉතිං හීනියට ආයෙ සැරයක් ඇහුවා... පරණ උත්තරේම තමයි...

උඹට ලැජ්ජා නැද්ද යකෝ ඔහොම කෙල්ලෙක් ඉස්සරහා බාල්දු වෙන්න... බලපන් ජංගියක්ද ඇදලා තියෙන්නෙ කියලා... නිලන්තයගෙ පුරසාරම අහලා කෝපයට පත්වෙච්ච පුෂ්පයා  එහෙම කිව්වා.

අනේ පලයන් යන්න... ලැජ්ජාවක් තියෙනවා නම් මම 15 සැරයක්ම ඒකිගෙන් අහයිද ?  ඒ උත්තරෙන් අපේ  රෙදි ගැලවුනා වගේ දැනුනා... එදා තමයි මේකා අහපු සෑම වාරයක්ම ගණන් කරගෙන තියෙනවා කියලා අපි දැනගත්තෙ...

හැබෑටම ඒ හැම වාරෙකම ලැබුනෙ එකම උත්තරේද බන්... මම උගෙන් ඇහුවෙ නිලන්තයා ගැන ඉපදිච්චි සැබෑම අනුකම්පාවකින්...

මුල්ම කාලෙ මාස 3 කට සැරයක් ඇහුවා, ඊට පස්සෙ මාසෙකට සැරයක්, තව ටික කාලෙකින් මාසෙකට දෙසැරයක් ඇහුවා, ඊටත් පස්සෙ සතියකට එක සැරේ ගානෙ ඇහුවා. 14 සැරයක්ම එකම උත්තරේ තමා දුන්නෙ... ඒ උනාට මේ  සතියෙ 15 වෙනි සැරේට අහපුවාම වෙනස් උත්තරයක් ලැබුනා...

ඒ මොකක්ද බන් ?

අපේ අම්මගෙන් අහන්න කිව්වා....

මල හුට්ටප්පරයයි කියපු නගා මහ හයියෙන් හිනාවෙන්න ගත්තා....

සමහර විට මගෙන් තියෙන වදේ හින්දා වෙන්න ඇති බන් කියපු නිලන්තයත් ඒ හිනාවට එකතු වුනා...

ඒ හිනාවට එකතු නොවුනු පුෂ්පයා කිව්වෙ

නෑ බන් කෙල්ල උඹට චැලෙන්ජ් කරලා යනුවෙනි.

ඔව් බන් මම දන්නවා... අන්න ඒ නිසා තමයි උඹලව හොයාගෙන මෙහෙට්ට ආවෙ ඒ ගැන කථා කරන්න... උඹලා වරෙල්ලා මා එක්ක එදාට යන්න...

ගේ කොහොමද බන් හොයාගන්නෙ...

හොයාගන්න දෙයක් නෑ බන්... මම දවසක් කෝච්චියෙන් බැහැලා පොඩි ෆලෝ පාරක් දාලා ගේ තියෙන තැන හොයාගත්තා...ප්‍ර‍භාගෙ යාලුවෙක් මාර්ගයෙන් කෙල්ලගෙ තාත්තගෙ නංගි කෙනෙක්ගෙ ටෙලිෆෝන් අංකයක් හොයාගෙන කථා කලා... එයත් කියනවා භය නැතුව එන්නලු...

උඹ නම් යක්ෂයෙක් බන්... නගා නිලන්තයගෙ පිටට තට්ටුවක් දැම්මා...


ඔන්න ඉතිං කථාකර ගත්ත විදියට ප්‍ර‍භා කෙල්ලගෙ ගෙදර යන්න දිනේ උදාවුනා.  සති අග දවසක හවස් ජාමෙ  තුනේ කණිසමට වගේ තමයි ගමන පිටත් වුනේ...පුෂ්පෙ, නගා, සිරා, එක්ක නිලන්ත ඔක්කොම හතර දෙනයි.

බයිසිමොටෝ දෙකකින්  ඒ ඉසව්වට යනතුරුම නිලන්තයට බොහොම උපදෙස් අපෙන් ලැබුනා... දැරිවිගෙ පවුලෙ අයගෙ හිත්  දිනාගන්නා ආකාරය පිළිබද...

ගිය ගමන් උඹ භය නැතුව ගේමට ඇන්ටර් වෙයන්  ඒ පුෂ්පයා

උඹ නිකං සැකන්ඩ් වෙන්නෙ නැතුව උඹේ කොලිටිය ගැන වනපන් වටේටම  ඒ නගා

අම්මට අම්මා කියලා කටපුරා කියපන් ඇන්ටි නොකියා, අනිත් එක අපි ආපහු යන්න හැරෙනකොට අම්මගෙ කකුල් දෙක අල්ලලා වදින්නත් ඕනෙ... ඒ සත්ගුණවත් සිරා

කථාවෙන් කථාවෙන් ගේ පේන මානයට ගියා...
මම මොකුත් අරන් යන්න ඕනෙද බන්... නිලන්තයා කිසිම චකිතයකින් තොරව කට ඇරියා...

කෙල්ලනෙ එන්න කිව්වෙ බන් ඒ නිසා ඕනෙ නෑ... ඒ පුෂ්පයා

නැ නෑ එහෙම නිකං ගෙවල් වලට ගිහිල්ලා ලකුණු කපා ගන්න එපා උඹ කුණෙක් කියලා... ගනිං ලොකු අයිසිං කේක් එකක්... ඒ නගා...

එපා බන් අයිසිං කේක් ගන්න...ඕවායෙ අයිසිං පිහියෙං හූරලා ඔය වයසක මිනිස්සු කන්නෙ ඒ නිසා විස්කෝතු පැකට් එකක් හොදා... ඒ සිරා

බිස්කට් පැකට් එක සභා සම්මත වෙච්ච නිසා නිලන්ත ලෝස් නැතුව මොණරෙක් එළියට ඇදලා සෑහෙන තරමෙ බිස්කට් පැකැට් එකක් තමා සතු කරගත්තා.

අපි දැන් ආයෙමත් අර ගේ පෙනෙන ඉසව්වෙ...

ඒ උනාට ගෙදරට යන පාරක් තොටක් හොයාගන්න බෑ...

මේක මාර මගුලක්නෙ බන්... කොහෙන්ද යන්න තියෙන්නෙ...
විනාඩි එක දෙක ගෙවිලා පෑ භාගයක්ම ගත වුනත් පාර හොයාගන්න බෑ...

මෙන්න මේ වෙලාවෙදි ගෙදර හිටපු කෙනෙක් පාර පැත්තට ගියා.... මැදිවියේ පිරිමියෙක්...

ඉස්සරහින් තියෙන නිවසෙ පිළිකන්නෙන් තමා ඔන්න පාර තිබිලා තියෙන්නෙ... අපි කොහොම දැන ගන්නද ඉතිං

අපේ කථා නායකයා මේ නිවසට කලිං ආගිය කෙනෙක් වගේ  නිවසේ දෙර අසලම තිබ්බ විදුලි සීනුවෙ බොත්තම වැරෙන් එබුවා..... කිරිං කිරිං සද්දෙ මැද්දෙන් දොර විවෘත වෙද්දි ප්‍ර‍භාගෙ පෙනුම තියෙන කාන්තාවක් දොර විවෘත කලා...

ඇයි ?  ඇය පිරිසෙ සියල්ලන්ම දෙස නෙත් හෙලා ඇහුවා...

ප්‍ර‍භා තමයි එන්න කිව්වෙ... නිලන්ත ඇගට පතට නොදැනී වචන පිට කරන හැටි බලා ඉන්න ආසයි..

මේ අපේ ප්‍ර‍භා ? එහෙම කිව්ව ප්‍ර‍භාගෙ අම්මට හිනාවකුත් ගියා... එන්න එන්න එහෙනං මෙහෙන් ඉදගෙන කථාකරමු කියලා සාලෙට පිරිස කැදවලා පුටුවකට බර වෙන්න අපට ඉඩ හසර ලබා දුන්නා...

අපේ එකාගෙ මව වගේම ප්‍ර‍භාගෙ මවත් ගුරු වෘත්තියේ නියැලුනු අය නිසා බොහොම සුහදව කථා බහ කරන වාතාවරණයක් තමා එහි තිබුනෙ.

ඉතිං පුතේ කාරණේ කිව්වනං...ඇය සිනහව අතරින්ම විමසා සිටියා...

මම අම්මෙ දැන් අවුරුදු දෙකක ඉදන් ප්‍ර‍භා ගැන හිතනවා... සෑහෙන කාලයක් ඇහුවත් බෑ කියලම තමා කිව්වෙ... ගිය සතියෙ තමා කිව්වෙ අම්මගෙන් ඇවිල්ලා අහන්න කියලා...

ඒ අතරතුර මව් තුමිය....

ප්‍ර‍භා..........  ඇයි අම්මෙ (නිවස තුළින් කිංකිණි හඩක් ඇසේ)

මේ අයට තේ හදන්න දුව...

ප්‍රභා කුස්සියට යන හඩත්  පීරිසි කෝප්ප ගැටෙන හඩත් ඇසේ.
සිලිං.....එකායි....සිලිං...දෙකායි.... පීරිසි කෝප්ප බිම වැටී කුඩුවෙන හඩ සාලෙ හුන් අපට කදිමෙට ඇසේ.... අපගේ අනපේක්ෂිත ආගමනය දැරිවිය අතිශයින් කලබලයට පත් කර ඇති සෙයකි...

මේ අතර තුර සාලයට පැමිණියේ ප්‍ර‍භාගෙ එකම නැගනියයි... ඇයද සුන්දර තරුණියක් නිසා සිරා නෙතු යුගලම පොට යන තුරු කැරකුවද ඇගෙන යහපත් ප්‍ර‍තිචාරයක් නොලැබුනි.
අහිංසක අපිට කොහෙද ඉතිං බූල් බල්ලො.

දුවේ  නැන්දටත් එන්න කියන්න මෙහෙට... නැගණිය මෑණියගේ පණිවිඩය රැගෙන අසල වූ නිවෙසකට ඉගිලුණාය... මද වේලාවක් ඇවෑමෙන් ඇය පැමිණියේ තවත් මැදි වයසේ කාන්තාවක් සමගිනි....

දොරෙන් ඇතුලට පැමිණි ඇය
මේ පුතාද මට කථා කලේ යැයි පවසමින් සිරා කොලුවා දෙසට නෙත් යොමා ගෙන අතක් ඉදිරියට යොමු කලාය.

අනේ මම නෙමෙයි...මෙයා.... අහිංසක සිරා මේ මොන අටමගලයක් හිසේ කඩාපාත් වුනාදැයි සිතමින්  නිලන්තයා පෙන්වූවෙහිය.

එයා තමයි මමත් කිව්වෙ.... ඇය නැවතත් ප්‍ර‍තිරාව කලාය... නැන්දාට පින් වපරයකි. බලන්නේ නිලන්තයා දෙස වුවත් නෙත් තියෙන්නේ සිරා දෙසටය... නගා සහ පුෂ්පයා කට දෑතින් වසාගෙන එළියට පනිනන්ට වෙර දරන සිනහව ආයාසයෙන් තෙරපා මුඛය අභ්‍යන්තරයට තල්ලු කළෝය.

පුතා කථා කලා කියලා නැන්දා කිව්වා... ඒ උනාට අපේ ප්‍ර‍භා නම් කිව්වෙ නෑ.... බිම බලාගෙන අප වෙත කිරි තේ පිළිගන්වන ප්‍ර‍භා කෙල්ල දක්වමින් මව්තුමිය කීවත් දැරිවි නෙමෙයි හ්ම් කිව්වෙ... ඇය තේ පිළිගැන්වීමේ කටයුතු අවසානයේ අපෙන් මිදෙන්නට හැදුවත්... මවගේ නියමයෙන් සාලයේ අප ඉදිරිපිට පුටුවකට බර දෙන්න සිදුවුනා.

අපි ඉතිං කෙළින්ම කථාවට බහිමුකො... රැල් බුරුල් එහෙම ඇරලා  ප්‍ර‍භාගෙ අම්මා ගේමට ඇන්ටර් වුනා...

මේක ඉතිං ජීවිතයක් පිළිබද ප්‍ර‍ශ්නයක්නෙ.... දුවගෙ තාත්තා දැන් ගෙදර නෑ ටිකකට කලියෙන් මළ ගෙදරක ගියා...එයා ආවට පස්සෙ එයා එක්කත් කථා කරලා අපි තීන්දුවක් දෙන්නම්...

එතනින් පස්සෙ විචාරය කලේ නිලන්තයගෙ රැකියාව, උගත් කම, පවුලේ අය , මව හා පියා ආදී කාරණා... ඒ වෙද්දිත් ඒකා වරලත් ගණකාධිකරණ ශිෂ්‍යයෙක්...

පළමු හමුවීම අවසානයේ අපි සමුගන්නා අවස්ථාව එළැබුනා...

මම එහෙනං ගිහිල්ලා එන්නම් අම්මෙ... බිම දිගා වූ නිලන්ත සිරාගේ උපදෙස් අකුරට පිළිපදිමින් මෑණියන්ගේ දෙකකුල් ස්පර්ශ කරමින් වැද වැටුනා...එතුමිය ඒ අවස්ථාවේ ඉතාමත් සංවේදී වන ආකාරයෙන්  වැඩේ ගොඩ බව සිරාගෙ අක්මාවට දැනුනා.

එතැනින් පස්සෙ කාලයක් යන තුරු මේ ආදර අන්දරය පිළිබද නවතම තොරතුරු අපට නොලැබුනත්... තවත් වසරකට පමණ පස්සෙ නිලන්ත / ප්‍ර‍භා වෙඩිමට  ආරාධනා පත්‍ර‍ය නම් ලැබුනා.


අදට එහෙනං කථාව අහවරයි



මම කාමරේ වෙසෙන සත්ගුණවත් සිරා කොලුවා


ප.ලි 

පස්සෙ කාලෙක දැනගත්ත පරිදි

කේන්දර ආදිය පරීක්ෂා කර ගැලපීමෙන්  පසු දෙපාර්ශවයම මෙම විවාහයට කැමැත්ත දුන්නත් ප්‍ර‍භා කෙල්ල නෙමෙයි නිලන්තයට කැමති වෙලා තියෙන්නෙ... ඒකි තවමත් අකමැතියි... බැරිම තැන නිලන්තය ප්‍ර‍භාගෙ හොදම යාලුවො කීප දෙනෙකුට සිද්ධිය කියලා... මේකාගෙ මේ කථාව ඇහුවාම පපුව හෝස් ගාලා පත්තු වෙලා තියෙන ඒ ඇත්තියො පොරොන්දු වෙලා කැමැත්ත අරන් දෙන්නම් කියලා... ප්‍ර‍භාගෙන් අහලා තියෙන්නෙ එකම ප්‍ර‍ශ්නයයි.. එහෙම කරලා ඊළග  සතියෙදි වසර දෙකක් තුල වාර 15 ක් අහලා, ගෙදර ගිහිල්ලා, කේන්දර බලලා ලබා ගන්න බැරිවුන පිළිතුර නිලන්තයට ලැබිලා...මම ඔයාට කැමතියි කියලා...

කෙල්ලො අහලා තියෙන්නෙ  ඇයි උඹ ඒ කොල්ලට ඔච්චර ගනං උස්සන්නෙ... උඹට තියෙන්නෙ අපිට නැති වෙනස් එකක්ද  කියලලු... අන්න එල කෙල්ලො...

ඔන්න දැන් වෙඩිමෙ වැඩ එහෙම ඉවර වෙලා මාස 6 කට විතර පස්සෙ පුංචි පහේ මධු සාදයකදි නිලන්තයා සිරාට මුණ ගැහුනා... කථා බහ මෙහෙමයි...

ඉතිං බං උඹ දැන් සෑහෙන්න සතුටෙන් ඇත්තෙ නේද ?

නෑ බන් එහෙම එකක් නෑ...

ඇයි යකෝ ඔච්චර කට්ටක් කාලා කෙල්ලව සැට් කරගෙන බැද ගත්තාම ආතල් නැද්ද බොල...

වැඩක් නෑ බන්... ඒවා දැන් සාමාන්‍ය දේවල් නොවැ... උඹලා ඔය කුරුල්ලො වගේ ඉන්න විදිය දැක්කම මට ඉරිසියයි...බලපන් මට කොහෙන්ද නිදහසක්... මේ පාටිය ඉවරවෙනකං මට ඉන්න බෑ... පරක්කු වෙච්ච ගමන් කෝල් එක එනවා...ඒ අස්සෙ මාකට් යන්නත් තියෙනවා  දැන් යන ගමන් ගන්න තියෙන බඩු ලැයිස්තුව මේ...

අල කිලෝ 1
පරිප්පු 500
සැමන් ටින් 1
Whisper පැකට් 1  ආදී ලෙස බඩු ලැයිස්තුවක් නිලන්තයා දක්වයි.

සිරා මම නම් උඹට දෙන උපදේශය තමයි... තනිකඩ කමේ අසිරිය උපරිම කල් විදලා බැරිම තැන බැදපල්ලා... 

නිලන්තයගෙ අන්න ඒ තියරියට තමයි ඔන්න දැන් සිරා කොලුවත් වැඩ....මේ තීරණය ගැඹුරින් විමසා මහාචාර්ය මාතලන් තුමා සහ, සිරාගේ ව්‍යාපාර සහකරු හෙන්රි මහතා යමක් පවසනු ඇතැයි මට දැනේ.


























Monday, November 19, 2012

106 අති සාර්ථක තැඹිලි මෙහෙයුම

සිරා කලක් අතිශයින් ආදරය කල බෑන්ඩ් ජීවිතය ගැන තවමත් ලියා ඇත්තේ බොහෝම කෙටියෙනි. එයද බූරුගසා  සිදු වූ සිදුවීමක් ගැනය. ඒ හේතුවෙන් නැවත වතාවක් රසබර බෑන්ඩ් ජීවිතයෙන් යමක් හාරා අවුස්සන්නයි මේ වෑයම. ඇතැම් විට මෙය මගේ බෑන්ඩ් කණ්ඩායම අතිශෝක්තියෙන් වර්ණනා කරන එකක් ලෙස ඔබට දැනෙන්නටත්  පුලුවන... නමුත් මා කලේ ඒ හා බද්ධ වී තිබෙන මගේ හැගීම් හා සත්‍ය සිදුවීම් වචන බවට පත්කිරීමකි.

1996 තමයි සිරා  පාසලේ බටහිර තූර්ය වාදක ඛණ්ඩයට හා පුරා කියලා සම්බන්ධ වුනේ. එතකොට කොලුවා හිටියෙ 9 වසරෙ... උපතින්ම  සංගීතයට තිබුනු අමුතුම ලැදියාව සිරා ඒ තත්වයට පත් කරන්න හේතු වෙන්නත් ඇති.

බටහිර තූර්ය වාදක ඛණ්ඩයට අලුතින් සාමාජිකයන් බදවා ගැනේ. 
ඒ සදහා කැමති අය ....... වෙනි කාලජේදයේදී  ....... ශාලාවට එන්න, එහෙම තමයි පණිවිඩේ ආවෙ. මේ වගේ පණිවිඩයක් ලැබුනාම ඒ සදහා කැමති අකමැති දෙගොල්ලන්ම නියමිත රැස්වීමට සහභාගි වීමට යනවා... අකමැති උන් යන්නෙ කාලජේදයකට කට් එකක් දෙන්න....

කොහොමින් කොහොම හරි සිරා ඉතිං සමවයසෙ කීප දෙනෙක් එක්ක බෑන්ඩ් කණ්ඩායමට සම්බන්ධ වෙලා සෑම බ්‍ර‍හස්පතින්දා දිණයකම පැවැත්වෙන පුහුණුවීම් වලටත් යොමු වෙමින් දැන් ඉන්නවා කියමුකො,  අනේ සංගිත භාණ්ඩ වාදනය කරන්න ආශාවෙන් ආවට නිකමට සංගීත භාණ්ඩයක් අතින් අල්ලන්නවත් ලැබුනෙ නෑ... සෑහෙන කාලයක් යන තුරු, ඒ වෙනුවට ඉතිං අව්වෙ කර වෙවී ගමනේ යාම තමයි ඉතිං හැමදාම පුරුදු වෙන්න වෙන්නෙ.  ඉතිං මේ ක්‍රියාදාමයෙන් අඩපන වෙන සමහරු තූර්ය වාදක කණ්ඩයෙන් අයින් වෙනවා... තවත් ටික කාලයක් ගත වුනාම ආරම්භයේදි පැමිණෙන මහ රැලෙන් බෑන්ඩ් උණ තියන කීප දෙනෙක් තමා ඉතිං ඉතිරි වෙන්නෙ.... අන්න ඒ අය තමා බෑන්ඩ් කෙරුවාවට ඇත්තටම ගැලපෙන්නෙ... ඒ උන් හදවතින්ම ඊට කැපවෙන නිසා.

අපේ පාසල ශිෂ්‍යභට  ව්‍යාපාරයේදි ලංකාවෙ ඉහළින්ම කියවෙන නමක්...ඒ නිසාම බෑන්ඩ් කණ්ඩායම් අතර පාසල තුලදිත් සුහද තරගයක් තිබුනා... පෙරදිග තූර්ය වාදක ඛණ්ඩය ඒ වෙද්දිත් සමස්ත ලංකා ශූරතාව පිට පිටම වසර ගණනනාවක් ජයග්‍ර‍හණය කර තිබූ නිසා ඔවුන් තමයි පාසලේ අංක 1. එතකොට අපි ? බටහිර තූර්ය වාදක ඛණ්ඩයට ඒ දවස්වල හූ කිව්වෙ අපේ ඉස්කෝලෙම කොල්ලො...ඒ කාලෙ අපේ කණ්ඩායම අන්තිම චොරයි. මේ කණ්ඩායම නගා සිටුවීමේ කර්තව්‍යයට සිරා, ජපන් චමීඅයිය බඩා සහ කිඩා නායකයාට බොහොම විශාල ශක්තියක් වුනා.


ඉතිං මේ සියලුම පීඩාවන් විද දරාගෙන ලොකු ,පොඩි අපි හැමෝම එක පවුලක සහෝදරයො කැළක් වගේ එකතු වුනා. අධ්‍යාපනයට බාධා වෙනවා කියලා ගුරුවරු/දෙමාපියන් විවිධ බාධා කරද්දි අපේ උන් පුදුමාකාර විදියට අපේ තූර්ය වාදක ඛණ්ඩය වෙනුවෙන් කැපවුනා... පෙරදිග තූර්ය වාදක ඛණ්ඩායම පාසල් ක්‍රීඩා පිටිය පහුණුවීම් සදහා යොදා ගන්න අවස්ථාවක  එහි තවත් ඕනෑ තරම් ඉඩකඩ තිබුනත් අපට එහි ඉඩ නැතිව ගියා... අවට තිබූ වෙනත් ක්‍රීඩා පිටියකට පාසලින් බැහැරව පුහුණුවීම් සදහා යාමට අපට සිදුවුනා. අපේ තූර්ය වාදක ඛණ්ඩයට පාසල තුලදිම කුඩම්මගෙ සැළකිලි ලැබුනා උනත් කවුරුවත් සැලුනෙ නෑ... පෙරට වඩා උද්යෝගිමත්ව පුහුණුවීම් කලා. බටහිර තූර්ය වාදක ඛණ්ඩයක තියෙන්න ඕනෙ සියලුම වාදන භාණ්ඩ ඒ කාලෙ අපට තිබුනේ නැති උනත් අපේ උන් ළග ධෛර්යය තිබුනා උවමනාවටත් වඩා. නිවාසාන්තර ක්‍රීඩා උත්සවය තියෙන්නෙ පෙබරවාරි මාසයේ වුවත් බෑන්ඩ් කණ්ඩායම් නොවැම්බර් මස අග සිට දිනපතා පුහුණුවීම් කරනවා උදෑසන සිට සන්ධ්‍යාව දක්වා. ඒ නිසාම පන්ති කාමරයේ අධ්‍යාපනය ඒ කාලසීමාවෙදි අහිමි වෙනවා. මේ නිසා මුන් කාලකණ්නි වෙන්න හදනවා කියන අර්ථයෙන් සමහර  ගුරුවරු වගේම දෙමාපියොත් බෑන්ඩ් සාමාජිකයන්ට නොයෙක් සීමා බන්ධන පැනෙව්වා.

මෙන්න මේ කාලෙ තමයි මේ කියන්න යන සිදුවීම් උනේ. විවිධ බාධක, අවහිරතා මැද එකම පවුලෙ සහෝදරයො වගේ හිටිය අපේ  කොල්ලො සැට් එකේ නායකයා වුනේ ලොකු අයියා. බොහෝ පිරිසකගෙ  නිවෙස් වලින් අපිට බෑන්ඩ් ගහන්න දුන්න සහයෝගය තවත් පුළුල් කරමින්  දිනපතා ඔතලා දුන්න බත්මුල හා අතට ලැබුන මුදල  නිසි බලධාරීන්  විසින් සිත්පිත් නැති ආකාරයට කපා දැම්මා... සිරා කොලුවත් මේ අහේනියට ලක් වුනා... දිවි හිමියෙන් බෑන්ඩ් ගහපු අපේ සැට් එක මේකට විසදුමක් ළග තියෙන සම්පත් වලින්ම සොයාගත්තා. තමන්ගෙ දරුවා මේ කණ්ඩායමේ සිටිනවාට අකමැති නොවූ මව්වරු කීපදෙනෙකුම හිටියා. ඒ අය දිවාකාලයට බත් මුල් කිපයක් බැදලා එව්වා අනෙක් අයටත් ඇති වෙන්න. එහෙත් සමහර දවස් වල එයත් අහිමි වෙනවා. අන්න එහෙම වෙලාවක ප්‍රයෝජනයට ගන්න තමයි ගුවන් නියමු බලකායක්  බෑන්ඩ් එක තුල නිර්මාණය වුනේ.

බොලා බලයි මොක්කුද මේ ගුවන් නියමුවො කියලා...හා හා කලබල වෙන්න කාරි නෑ... Pilot කියලා අපි අන්වර්ථ නාමයෙන් හැදින්වූයෙ කණ්ඩායමේ සාමාජිකයන්ගෙ කුසගින්න වෙනුවෙන් කුරුම්බයක් කාරිය කඩන්න ගස් බඩගාපු අපේ සැට් එක...

දිනක් හදිසියේම විද්‍යාලයාධිපති තුමා ලොකු අයියට නියම කලා ඊට පසුදින පැවැත්වෙන කාර්යයක් වෙනුවෙන් කණ්ඩායම සූදානම් කරන ලෙස, එදින පුහුණුවීම් සදහා පෙරදැනුම් දීමක් තිබුනෙ නැති නිසාම කා ලගවත් අමතර මුදලක්, ආහාර තිබුනෙ නෑ... සමහර අයට හවස අතිරේක පන්ති... නමුත් මේ කිසිවක් විදුහල්පතිතුමා සමග කථා කර විසදගන්න වාතාවරණයක් තිබුනේ නෑ... ඔහු ඒකාධිපතියෙක්...  අන්න එදා තමයි ෆයිලට් කණ්ඩායම බිහිවුනේ....

නැවත නිවසට යාමට නොලැබීමෙන්/ පාසලින් පසු පෙම්වතිය මුණ ගැසීමට තිබූ අවස්ථාව අහිමි වීමෙන්/ කෑමට යාමක් නොලැබීමෙන්  අපේක්ෂා භංගත්වයට පත් වූ පීඩිත පන්තිය ඇමතූ ලොකු අයියා...

උඹලට කන්නනේ ඕනෙ... මම කන්න දෙන්නම්.... කට්ටියම ප්‍රැක්ටිස් කිට් එක දාගෙන පෝලිම් වෙයල්ලා...

සැට් එකම ඉතිං පෝලිම් උනාට පස්සෙ...

ගස් නගින්න පුලුවන් උන් ඉස්සරහට අත් දාපල්ලා.... 

තුන් හතර දෙනෙක් මේ ආරාධනාව පිළිගත්තා....සිරාට ඉතිං පොඩි කාලෙ ගස් බඩගෑවට ලොකුවෙද්දි ඒ හැකියාව නැති වී තිබුනා.

ඉදිරිපත් වූ අය අතර රැකපුලියා සහ ජෝතියා සිටි බව මට හොදටම මතකයි... පාසල් භූමියේ තිබුනේ රූස්ස පොල් ගස් නිසා මූලික පරීක්ෂණයකින්  පසු තිදෙනෙකු Pilot ලා ලෙස පත්වීම් ලිපි ලබාගත්තා. ඒ ලොකු අයියා අතින්. සුලු පටු දෙයක්ද ඉතිං ඒකත්...

තිදෙනා එකවරම ගස් තුනකට නැගුනා...හොදින් පැසුනු පොල් වල්ලේ සිට අන්තිම කුරුම්බය දක්වා පොල් ගස් සංහාරයකට ලක් කරද්දි ඊට යාබදව තිබූ වැසිකිලි පද්ධතියෙ වහළයේ උළු එකින් එක  බිමට සමතලා උනා. එදා බිම හෙලූ ඵලදාව අතරින් පොල් හා කුරුම්බා වෙන වෙනම වෙන් කර  පාසලට යාබද, අපත් සමග හිතවත් කඩයකට පොල් ගෙඩි විකුණන්නත්... කුරුම්බා අපේ ප්‍රයෝජනයට තබා ගන්නත් තීරණය කොලා. ඒ අතරම හොද ඵලදාවක් තිබූ පාසලේ  දෙල් ගසේ ගෙඩි සියල්ලම බිම සැතපෙන්නට වැඩි වෙලාවක් ගියෙත් නෑ.... මේ සියල්ලම විකුණා එදා සැලකිය යුතු මුදලක් එකතු කරගන්නත්...එමගින් අපට අවශ්‍ය ආහාරපාන මිළදී ගන්නත් හැකියාව ලැබුනා. මේ සිදුවීමෙන් පසු තිබූ විනය ක්‍රියාමාර්ග ආදියට අපේ උන් බොහොම එකමුතුව මුහුණ දුන්නා.

මේ ආකාරයෙන් වැඩ ඇල්ලූ අපේ ගුවන් නියමුවො පසු කාලීනව ප්‍රයෝජනයට ගැනීමට ගස් නැගීමට ආධාර වන වලලු ආදිය මැනවින් සකසාගෙන බෑන්ඩ් කාමරයේ සගවා තිබ්බෙ හදිසි කැදවීමකදි ප්‍රයෝජනයට ගන්න.

කාලයේ ඇවෑමෙන් යම් තරමකට වර්ධනය වූ අපේ තූර්ය වාදක ඛණ්ඩයට ඔන්න දැන් ටික ටික රාජකාරි පැවරෙන කාලෙ... එහෙම රාජකාරියක් කරන්න තියෙන දිනට පෙර දින රාත්‍රියේ පාසලේ නැවතිලා වාදන භාණ්ඩ සුද්ද පවිත්‍ර කිරීම, බූට් සහ ඇදුම් සූදානම් කර ගැනීම‍ ආදී කාර්යයන් සිදු කරනවා... මෙන්න මෙහෙම දවසක වැඩ කටයුතු අවසන් වුනාම ලොකු අයියා එක්වරම බෙරිහන් දුන්නා...

ෆයිලට් සෙට් එක පෝලිම්.......

ගස් නගින වලලු එහෙම අරගෙන ඔන්න තුන්දෙනා දැන් පේලියට යනවා... ඊට පිටිපස්සෙන් අනෙකුත් අය... එදින මෙහෙයුමට නියමිත වෙලා තිබුනෙ පාසලට යාබද නිවසක සරුවට වැඩුනු තැඹිලි වලු කීපයක්... ලොකු අයියාගේ මෙහෙයවීම මත ගුවන් නියමුවන් ගස් වෙත යොමු කලාට පස්සෙ වැටෙන ගෙඩි අහුලන්න තවත් පිරිසකුත්... විද්‍යාලයේ තාප්පයට ඉහළින් එන තැඹිලි ගෙඩි එකතු කරන්නට තවත් පිරිසකුත් ලෙස පිරිස ඒ ඒ රාජකාරි ස්ථාන සදහා යෙදෙව්වා...

සිරා හිටියෙ ගහ යට ඉදන් තැඹිලි එකතු කරන සැට් එකේ... රැකපුලියා, ජෝතියා සහ තවත් කෙනෙක් ගුවන් ගත වුනා... වෙලාව රාත්‍රී 11 පහුවෙලා... වටේටම කෑලි කපන්න පුලුවන් ඝණ අදුර... නිවැසියෝ කිසිවෙක් අවදියෙන් සිටිනා බවට සාක්ෂියක් නෑ.... විදුලි පහන් සියල්ලම නිවී ගිහින්... මෙවන් වටපිටාවක තමයි අපේ මෙහෙයුම දැන් තීරණාත්මක අඩියකට පත් වී තිබෙන්නෙ.

ගුවන් නියමුවො ඉතාම කෙටි කාලයකදි ගහේ කරටියට නැගුනා...තැඹිලි ගහක් කියලා ජෝතියා කරුවලේම නැගලා තියෙන්නෙ පොල් ගහකට... අතින් කරකවලා බිමට අතහරින ගෙඩි විදුලි පන්දම් එළියෙන් බිමට නොවැටී අල්ලගැනීම තමයි මෙහෙයුමේ සැළසුම... වැඩේ තෙල් ටිකට නැගලාම යන වෙලාවක ජෝතියා අතඇරපු පත කුරුම්බයක් මහ හඩින් බිම පතබෑවුනා...

ඒ එක්කම නිවැසියෝ පිබිදුනා.... නිවස වටේම  විදුලි පහන් දැල්වුනා...ගස් බඩගාපු උන්ට ගහෙන් බහින්න වෙලාවක් තිබුනෙත් නෑ... ගෙඩි අල්ලන්න හිටි අය තාප්පයට ඉහළින් නැවතත් පාසල් භූමියට සම්ප්‍රාප්ත උනා,  ඒ පතබෑවුනු කුරුම්බෙත් එක්කම...ඒ නිසා ගහ යට කිසිදු සාක්ෂියක් නෑ... දිග පොල්ලක් අතින් ගත්ත  ගෘහ මූලික තෙමේ ඔවුන්ගෙ වත්තෙ කෙහෙල් පදුරු අතර සැරිසරලා වටේටම විදුලි පන්දම අල්ලලා තරමක් වෙලා සෝදිසි කලා.... මේ වෙලාවෙ තාප්පෙට මුවාවෙලා සිටි මට ඊට ඉහළින් ගහේ කරටියටම වෙලා හැංගිලා ඉන්න Pilot ලා තුන්දෙනා නියමෙට පේනවා... ගහ බදාගෙන ඉන්න ජෝතියා හුස්ම ගන්නෙත් නැති තරම්....ඒකාට හදවත් රෝගයක් හෙම තිබුනා නම් එදා පොල් ගහේ කරටියේදීම වල කජ්ජ ගහනවා ෂුවර්.

නිවැසියන් නැවතත් නිවස තුලට උනා...නමුත් පිටුපස විදුලි පහන දිගටම දැල්වුනා...

උඹලා බෑන්ඩ් රූම් එකට පලයල්ලා... ලොකු  අයියා පිරිසකට අණ කලා...ඒ අතර සිරා කොලුවත් හිටියා.

ඔන්න සිරා නැවතත්  කාමරේට පැමිණියා... තවත් පෑ භාගයකට පස්සෙ විශාල තැඹිලි වලු දෙකක් එක්ක ගුවන් නියමුවො පිරිස නිරුපද්‍රිතව කාමරයට පැමිණියා...

කොහොමද ගේම දුන්නෙ...සිරා ලොකු අයියාගෙන් විමසුවා....

අපි ඉතිං ගේමක් දුන්නොත් දන්නවනෙ... මට තේරුනා අපේ සිස්ටම් එකේ අවුලක් කියලා... මම ඉතිං ප්ලෑන් එක වෙනස් කලා... තැඹිලි වල්ල බාන්න කඹයක් නැති නිසා ළිදේ කඹේ ගලවගෙන තැඹිලි වල්ල බාපන් කිව්වම මෙන්න මේකා (අසල වූ එකෙක් දක්වමින්) ඒ ගෙදර උන්ගෙ බොලොක්කෙයි, කඹෙයි, බාල්දියයි ඔක්කොම උස්සගෙන ඇවිල්ලා... පවු යකෝ හෙට කොහොමද උන් මූණ හෝදගන්න වතුර ටිකක් ඇද ගන්නෙ... 

මා පාසලෙන් සමුගන්නා තුරාවට..එම බොලොක්කය හා බාල්දිය බෑන්ඩ් කාමරයේ තිබූ බව මතකය.

අදට එහෙනං කථාව අහවරයි...බෑන්ඩ් එකේ ඉන්න කාලෙ සිදු වූ දේවල් කියන්න ආරම්භයක් තමයි අද ගත්තෙ...


මම කාමරේ වෙසෙන,සත්ගුණවත් සිරා කොලුවා



ප.ලි

මුන් විහින් කාලකණ්නි වෙන්න හදනවා යනුවෙන් අපට මූහුණටම බනින ලද විද්‍යාලයේ අංශභාර ගුරුභවතෙකු මේ ලගදි දිනයක ආදිශිෂ්‍ය සාදයකදී මට හමුවිය. දැන් විශ්‍රාම ගොස් සිටින එතුමා කථාව ඇරඹූයේ

මට සමාවෙයන් කොල්ලො...

ඇයි සර් මොකෝ කාරණේ...

නෑ බන් අපි ඉගෙනගන්න  උන් ඔලුවෙ තියාගෙන උඹලට ඒ දවස්වල  සෑහෙන්න බැන්නා... ඒ උනාට අද උඹලා විතරයි අපිව දැක්ක තැනක සර් කියලා කියලා ගෞරවයෙන් කථා කරන්නෙ... අරුන් ලොකු ලොකු වාහන වල යනවා නොදැක්කා වගේ... උඹලා තමයි බන් අපි හදපු නියම ගෝලයො....එතුමාගේ දෑසේ කදුලුය.


නොයෙක් තාඩන පීඩන එල්ල වුවද අපේ උන් බහුතරය දෙවන/තෙවන වර හෝ උසස් පෙළ මැනවින් සමත්කර ගෙන  විශ්ව විද්‍යාල හරහා උසස් අධ්‍යාපනයට යොමු වූ අතර ඉංජිනේරුවන් / ඉංජිනේරු පීඨ කථිකාචාර්ය වරුන්/ යුධ හමුදා උසස් නිලධාරින්/ ගණකාධිකාරීවරුන් ආදී සමාජයේ ඉහළින් වැජඹෙන චරිත රැසක් පසුකාලයේ තූර්ය වාදක පවුලෙන් බිහිවිය. මෙය කියවන ඔබ මවක් හෝ පියෙක් නම්  මේ තොරතුරු වලින් ඔබට යම්කිසි අදහසක් ගත හැකි වේ යැයි සිතමි. පන්ති කාමරයේ අධ්‍යාපනයෙන් වර්ධනය කරගත නොහැකි පෞර්ෂය වර්ධනයට උපකාරී වන්නේ බාහිර ක්‍රියාකාරකම් බව ඉතාමත් වගකීමෙන් කියමි. මමද ඉන් ප්‍ර‍තිලාභ ලැබූවෙකි.

රැකපුලියා පිළිබද පසුකාලීනව ආරංචියක් නැති වුවත් ජෝතියා නම් විශ්ව විද්‍යාල අධ්‍යාපනයෙන් පසු ගණකාධිකාරීවරයෙකු ලෙස වර්තමානයේ මාලදිවයිනේ සේවය කරයි.

පාසලෙන් හා නිවසෙන් එල්ල වූ පීඩනය නිසාම කැපවීමෙන් ඉදිරියට  ගිය අපේ උන් පසුකාලීනව ජයග්‍ර‍හණ වැලක්ම වාර්තා කොට ලංකාවේ අතිසාර්ථක ශිෂ්‍යභට බටහිර තූර්ය වාදක ඛණ්ඩය බවට පත් විය. එදා අපට හූ කියූ උන් අද අප වර්ණනා කරන විට... ලෝ දහම මේ යැයි සිතේ....

එදා අප විදි දුක්, කම්කටොළු වර්තමාන කොල්ලන්ට නොවන්නට  පැරණි සාමාජිකයන් නිරතුරුව ඔවුන්ට මුදලින්  හා ගුරුහරුකම් වලින් උපකාර කරයි.  අද අප සියල්ලෙන් අංගසම්පූර්ණ  තූර්ය වාදක ඛණ්ඩයකි.  පවුලක් ලෙස  අපේ බැදීම තවමත්  එදා මෙන් ශක්තිමත්ය.


2003 වර්ෂයේ  සමස්ත ලංකා ශූරතාවය දිනාගත් තූර්ය වාදක ඛණ්ඩය 
හිටපු ජනාධිපතිනිය සමග ජනාධිපති මැදුරේදී. 













Thursday, November 15, 2012

117 දතේ හිලක්ද ?


මේ 2001 කාල වකවානුවයි. හෙනගැහුවා මෙන් හිටි අඩියේ හිල් වූ මාගේ හක්කේ, උඩුඇන්දේ පුරස්චාර්වක වර්ගයේ දතක් මට නිතර දෙවේලේ දුක් දෙන විට කිරි ටොයියෙකු ලෙස අලුතින්ම විවෘත වූ පාසල් දන්තාගාරයේ සේවයට පැමිණියේ රූමත් තරුණ වෛද්‍යවරියකි. බාලක පාසලක් වූ අප පාසලේ  උසස්පෙළ පන්තිවල බහුතර කොල්ලන්ට දත් අමාරු ඇතිවූයේ ඇගේ ආගමනයෙන් පසුව බව මට ඉදුරා කිව හැක.

දත් වැඩක් කරගැනීමට අවශ්‍ය වූයේ පන්ති භාර ගුරුභවතාගේ අත්සන රැගත් ලිපියක් පමණක් වීම නිසා දත් රෝගය බෝවන රෝගයකටත් වඩා වේගයෙන් පැතිරුනි. හැම අල්ල පනල්ලේම පාසල් දන්තාගාරය රෝගීන්ගෙන් පිරී ඉතිරී ගොසිනි. වෛද්‍යවරිය තරුණ වීමත්, ඇගේ සහයට සිටි නර්ස් නෝනා ද එම ගණයටම අයත් වීමත් මෙලෙස දන්තාගාරයේ අධික තදබදයක් ඇති කරලූ සාධක විය.

දිණ කීපයක් උත්සාහකර අවස්ථාවක් උදාකරගත නොහැකි වූ තැන සිරා කොලුවා කලේ උදෑසන 6.30 හේ පමණ සිට දන්තාගාරය අසල දිග බංකුවකට වී පෝලිමේ පළමුවැනියා වීමයි. උසස් පෙළ විභාගයට දිණ ලං වී තිබූ නිසාම පන්තියේ එතරම් අධ්‍යාපන කටයුත්තක් සිදු නොවූ නිසා අවශේෂ බාධා ද නොවීය. සුදෝ සුදු වත දරා ජීවක තුමිය පැමිණියාය, ඉන් මොහොතකට පසු සීදේවි නර්ස් නෝනාද පැමිණියාය... ලෙඩ්ඩුන්ගෙන් අංක 1 සිරා කොලුවාය... එදින නම් රෝගීන්ට වඩා සිටියේ රෝගියාගේ තනියට පැමිණ  කාලඡේදයක් මග හැරීමට ආසාවෙන් සිටි උන් හා වෛද්‍යවරිය දැක බලා ගැනීමට සිටි අයවලුන්ය.

එන්න.... මේ පුටුවෙන් වාඩි වෙන්න... එතුමිය මට ආරාධනා කොලාය...

ගගන යාත්‍රාවක බදු කෑලි තුනකට නැමිය හැකි අපූරු ආසනයේ මා හිදගත් පසු සිරා ගුවන් ගත කිරීමට අදාළ ආයුධ ලහි ලහියේ සූජානම් කොලේ අපේ නර්ස් නෝනාය.  දොස්තර නෝනා හැද සිටි අලංකාර සාරියේ අස්සකින් ඇගේ සුදු  බඩ පෙනේ... ඒවා දකින විට සිරාට මේවා දැක මලත් කමක් නැතැයි සිතුනි. හෘද ස්පන්දනය කෙමෙන් කෙමෙන් ඉහළ ගියේ බඩ දැකීමෙන් නොව මීළගට මුහුණ දීමට ඇති උද්වේගකර අවස්ථාව නිසා විය යුතුය.

කෝ බලමු... ඇගේ සියුමැලි  අත්වල පහස විදි යකඩ කූරක් බදු උපකරණයක් හා   අන්වීක්ෂයක් බදු වීදුරු කණ්නාඩියක් මගේ මුඛය තුල ගිලුනේය.

දත දිරලා ඒකයි කැඩිලා තියෙන්නෙ... අපි මේක පුරවමු.... ඇය මෙහෙයුමට සූදානම්ය. මා මුඛය විවෘත කරගත් පසු ඇය විදුම් උපකරණයක් ආධාරයෙන් දත විදින්නට වූවාය....හරියට බුරුමයකින් රීප්පයක් විදින්නා සේය... විදීමේදී ඉවතට විසිවන කුඩා දත් කැබලි ඇගේ සුදු කුස මත සැතපේ.... ඒ දෙස මා නෙත් නොපියා බලා සිටියේ වලත්ත කමකට නම් නොවේය.

මද වේලාවක් ඇවෑමෙන් පුංචි මොළයට විදුලි කොටන්නට විය... ඉවසා සිට බැරිම තැන මම මගේ ශ්‍රී මුඛය යන්තරයෙන් ඉවතට ඇද ගතිමි.

වෛද්‍යතුමිය කෝපයෙන් මෙන් මා ඇමතුවාය...

ඔයා මහ පුදුම ළමයෙක්නෙ... රිදෙනවා නම් මට කියන්න තිබුනනෙ... බැරිවෙලාවත් මේකට විදුරු මහ හිල් වුනා නම් මැහුම් දාන්නත් වෙනවා... රිදෙනවා කියලා බෑ තව ටිකක් කඩන්න ඕනෙ... රිදෙනකොට  වම් අත ටිකක් උස්සන්න.

ඇගේ අණ හමුවේ හිස නැමුනු අහිංසක සිරාගේ දත් කුහරය නැවතත් විදීම ඇරඹුනි... වම් අත දිගටම තිබුනේ එසවී වුවද හිතුවක්කාර දොස්තර නෝනා මට එලොව පොල් පෙනෙන මට්ටමටම විද්දාය. මට රිදුනු තරම කියන්නට වදන් නැතුවාය. ටෙම්පරිය මුලින් දමා පසු දිනෙක දීර්ඝකාලීන පිරවුම දමා වැඩනිමකල මාගේ පුරස්චාර්වක දන්ත රාජයා වසර 11 ට පසුව අදද හොද හැටි ඇඹරීමට සමත්ය.

කාලය කෙමෙන් කෙමෙන් ගෙවී නැවතත් හක්කේ දතක පැත්තෙන්  කුහරයක් මතුවිනි. මෙවර කලින් එකට විරුද්ධ පැත්තෙනි. වේදනාවක් නැති නිසා සිරා එය එතරම් තැකුවේ නැත... ඒ ආකාරයෙන් වසරක් පමණ ගෙවී ගිය පසුව දිනක් හදිසියේ මා හිතවත් දන්ත වෛද්‍ය මිතුරෙකු මුණ ගැසුනේ වෙඩිමකදීය. පරීක්ෂා කර බලා  ඔහු කීවේ,

මචං දත්බුරුසුවෙන් තද කරලා වැරදි විදිහට දත් මැද්දම තමයි මේවා ඇති වෙන්නෙ... මේවා දැනට රිදුනෙ නැති වුනාට එක පාරටම තමයි දවසක රිදෙන්නෙ... එදාට උඹට හුජ්ජ නොගියොත් පුදුමයි. ඒ හින්දා රිදෙන්නෙ නැති කාලෙදිම වැඩේ ඉවරයක් කර ගනිං... වෙලාවක වරෙං මම උඹට රිද්දන්නෙ නැතුව වැඩේ කරන්නම්.

ඌ නම් කියයි.... දොස්තර නෝනා නිසා මට රිදුනු හැටි දන්නේ මමය... තවත් වසරක් /දෙකක් ගතවිය. දැන් දත් කුහරය මරියානා ආගාධට දෙවෙනි නැත. තවමත් වේදනාවක් නැති වුවත් මා වසර ගණනාවක් සිටියේ හිතේ ගින්දරෙනි. අනේ ආයෙත් වේදනා  විදින්නෙ කොහොමද ... මගේ හිත නිතරම  කීවේය.

කෙසේ හෝ මෙයට සති දෙකකට පෙර දිනයක දතේ ආගාධයට පිළියමක් යෙදීමට මම තරයේ අධිටන් කරගතිමි. ඒ අනුව පුරුෂ දහිරිය උපදවාගෙන  නගරයේ පළපුරුදුම දන්ත වෛද්‍යාචාර්ය තුමා වෙත ගියෙමි.

මොකෝ කාරණේ ඔහු කරුණාබරව ඇසුවේය.

මේ දතේ කුහරයක් .... මෙච්චර කල් භයටමයි ආවෙ නැත්තෙ ඩොක්ටර්... අනේ රිද්දන්නෙ නැතුව මොනා හරි කරලා දෙන්න... මගේ ආයාචනයට කන් දුන් දොස්තර මහතා කාලයකට පසු  නැවත වරක් සිරා ගුවන්ගත කිරීමට පුටුවේ ඉන්දවා මුහුණට ඉහළින් විදුලි ආලෝකය දල්වා දත පරීක්ෂා කලේය. මගේ හදවතේ ලබ් ඩබ් ශබ්දයද වෙනස් වී බොල් හඩක් නැගෙයි. ඒ මදිවාට එය වේගයෙන් කම්පනය වෙයි.

http://www.thegrocer.co.uk/pictures/620xAny/3/9/1/13391_dentist-tooth-decay-teeth.jpg

මේ විදියට දත් හෑරෙන්නෙ ඕගොල්ලො දත් මදින බුරුසුව නිසා සහ වැරදි ක්‍ර‍මයට දත් මැදීම නිසා...

මේක අපි පුරවමු.... අපි ළග ක්‍ර‍ම දෙකක් තියෙනවා... එකක් සාමාන්‍ය ක්‍ර‍මය අනිත් එක තමයි ලේසර් තාක්ෂණ ක්‍ර‍මය... සාමාන්‍ය එක 750/- යි ලේසර් එක 1500/- කෝකද කරන්නෙ ?

ලේසර් තාක්ෂණය අලුත් නිසා එමගින් වේදනාව අඩුවේ යැයි උපකල්පනය කොට සිරා ලේසර් ඉල්ලුවේය. දැන් කටයුතු ආරම්භ කිරීමට සූදානම්ය...

පුතා ලිහිල් වෙන්න... පොඩ්ඩක්වත් රිදෙන්නෙ නෑ... වේදනාවක් දැනුනොත් වම් අත පොඩ්ඩක් උස්සන්න...  කලිං වතාවෙ ලැබුනේද මෙම ඔවදන්ම නිසා මම හිත හදාගෙන දෑස් පියාගතිමි.  දත හිරිවැටී ගිය සෙයකි. වහාම වම් අත ඉහළට එසැවිනි.

මොකෝ මේ දැන්මම අත උස්සගෙන මම තවම මේ ආයුධ ටික හොයනවා... දොස්තර මහතාගේ එවදන් හමුවේ නර්ස් නෝනා නැගූ  සාටර්  හිනාව දුටු විට මට පොළොවේ පස් කන්නට සිතුනේය. මගේ වෙලාවට එය ටයිල් පොළවකි.

මෙහෙයුම ඇරඹුනි... මුලින්ම අධි පීඩනයට ලක් කල ජල ප්‍ර‍හාරයක් විශේෂ උපකරණයකින් දතට එල්ල විය. සර්වාංගයම හිරිවැටී දැඩි වේදනාවක් දැනුනි....

අනේ ඩොක්ටර් රිදෙන්නෙ නෑ කිව්වට මට දැනටම රිදෙනවා... සිරා කොලුවා අඩන්න ඔන්න මෙන්නය...

ඔය රිදෙනවා නෙමෙයි පුතා හිරිවැටෙනවා... මම සහතික වෙනවා රිදෙන්නෙ නෑ කියලා ඔයා පුලුවන් තරම් සැහැල්ලු වෙන්න...එතකොට ලේසියෙන් වැඩේ කරන්න පුලුවන්...

අනතුරුව විශේෂ උපකරණයකින් දතේ කැපුමක් යෙදූ පසු නර්ස් නෝනා බදාමය අනන්නට විය... ඇනූ බදාම දතේ කුහර වැසෙන සේ මැනවින් අලේප කල පසු ලේසර් කිරණ විහිදෙන උපකරණයක් මුඛය තුලට යොමු විය.  මේ ක්‍රියාවලිය මාරුවෙන් මාරුවට කීප වතාවක් කිරීමෙන් පසු දතේ කුහරය අන්තරස්දාන විය. වැඩේ අහවර බැව් වෛද්‍යතුමා කියන විට මට ඔහුව බදාගෙන ඉඹින්නට සිතුනි. ඒ සතුට වැඩි කමටය...

ඔය ටිකටනෙ දැගලුවෙ...එතුමා කෝචොක් එකට මෙන් එසේ පවසා... ඕනෑම අකාරයේ පානයක් හෝ ආහාරයක් දැන් පටන් ලබාගත හැකි බවත්... මෙය දීර්ඝකාලීනව පවතින ප්‍ර‍තිකාරයක් වුවත් නිවැරදිව දත් මැදීම එහි පැවැත්මට ඉවහල් වන නිසා දත් මදින නිවැරදි ක්‍ර‍මය පිළිබද පාඩමකුත් කියා දුන්නේය.

සිරා ස්කූටරයේ කණ්නාඩියෙන් දත බැලූ විට කිසිවක් හදුනාගත නොහැකි තරමට වැඩේ සුපිරියට කෙරී තිබුනි. පිරවුමද දතේ පැහැයෙන්ම තිබූ නිසා කිසිදු වෙනසක් නැත.. කොලුවාගේ දත මෙන්ම හිතද දැන් නිදහස්ය..

නිවසට පැමිණ මේ පිළිබද අන්තර් ජාලයෙන් රැස්කල කරුණු කීපයක් හුදී ජනයාගේ පහන් සංවේගය උදෙසා මෙසේ සටහන් කරමි...  පෝස්ටුව අගටම කියැවීම ඔබේ දන්ත සෞඛ්‍යයට හිතකරය.

වැරදි ආකාරයෙන් දත් මැදීම නිසා අපගේ දත් පැත්තෙන් ගෙවී කුහර ඇති විය හැක. මෙය වර්තමානයේ ඉතා සුලභ සිදුවීමකි....සිරාට වැරදුනේද එතැනය...

දත්මැදීම ආශ්‍රිතව බහුලව සිදු කරන වැරදි...


1  තමාට ගැලපෙන දත් බුරුසුව තෝරා නොගැනීම

මුඛයේ ප්‍ර‍මාණය අනුව අන්තිම දත දක්වා ලගාවිය හැකි නැම්මක් සහිත දත් බුරුසුවක් තෝරාගත යුතුය.

2  නොගැලපෙන කෙදි සහිත දත් බුරුසු තෝරාගැනීම

මෘදු කෙදි සහිත නිෂ්පාදනයක් තේරාගන්න... නැතිනම් දිනපතා භාවිතයේදී දත්වලට හානි විය හැක.

3  දත් මැදීම සදහා ගත කරන කාලය

විනාඩි 3 ක් දත් මැදීම සෑහේ...ඊට අඩු කාලයක් මෙන්ම වැඩි කාලයක් ගත කිරීමද ඔබට අවාසි ගෙන දේ.

4  දිනකට වැඩි වාර ගණනක් දත් මැදීම හා දත් බුරුසුව දත් වලට දැඩි ලෙස තෙරපා දත් මැදීම

දතේ එනමලය හානියට පත්විය හැක. කෙටි කලකදී දත් ගෙවී කුහර ඇති විය හැක.

5  දත් මදින නිවැරදි ක්‍ර‍මය අනුගමනය නොකිරීම

දීර්ඝකාලීන වැරදි භාවිතයෙන්  දත් කුහර ඇති වේ.

6   එකම ස්ථානය දත් මැදීමේදී වරින් වර මැදීම

එම ස්ථානයේ දත් ඉක්මනින් ගෙවී යාමට හේතු විය හැක.

7   දතෙහි ඇතුල් පැත්ත මැදීම මග හැරීම

බැක්ටීරියා වර්ධනය සිදු වේ, බොහෝ දෙනෙකුට දත් වල ඇතුල් පැත්ත මැදීමට අමතක වෙනවාලු.

8   දත් මැදීමෙන් පසු බුරුසුව නිසි ආකාරව නොසේදීම

ඉතිරිවී ඇති දත් බෙහෙත් ආදිය සම්පූර්ණයෙන් ඉවත් වන තරමට සේදිය යුතුය. 
නැතහොත් භයානක බැක්ටීරියා කෙදි අතර වර්ධනය විය හැක.

9   දත් මැදීම ආරම්භ කරන විට දත් බුරුසුව වියළි තත්වයක නොතිබීම

තෙත් පරිසර මාධ්‍යයක් තිබීම නිසා   අධික බැක්ටීරියා ගහණයක් ඇති වීමට ඉඩ තිබීම  හා... බුරුසුවේ කෙදි වල හැඩය වෙනස් විය හැකි වීම.

10   නිසි  කාලයට දත් බුරුසුව මාරු නොකිරීම

මාස 3 කට හෝ 4 කට වරක් දත් බුරුසුව මාරු කිරීමෙන් දත් මැදීමේ කාර්යය ඵලදායීව  කිරීමට හැකි වේ. දත් බුරුසුවේ කෙදි වල හැඩය නිවැරදිව තිබීමද දත් මැදීම සාර්ථක කිරීමට ඉහවල් වේ.

නිවැරදිව දත් මදින ක්‍ර‍මවේදය...



අදට එහෙනම් කඩේ වහනවා....

මම කාමරේ වෙසෙන, සත්ගුණවත් සිරා කොලුවා.


ප.ලි

නිවැරදිව දත් මැදීම ඉතා යහපත් මුඛ සෞඛ්‍ය තත්වයක් පවත්වා ගැනීමට ඉවහල් වන්නා සේම සමාජයේදී පුද්ගල සබදතා මැනවින් පවත්වා ගැනීමටද ඉවහල් වේ.

දත් මැදීමේදී අප සාමාන්‍යයෙන් කරනා තිරස් අතට බුරුසුව එහා මෙහා ගෙනයාම වැරදි ක්‍ර‍මවේදයකි.

මා මෙන්ම කල් ගත වූ දත් කුහර සහිතව බිය නිසාම ප්‍ර‍තිකාර ගැනීමට මැළිවන විශාල සංඛ්‍යාවක් සිටින බැව් මම ඉදුරාම දන්නා නිසා මම ඔවුනට යෝජනා කරන්නේ නූතන තාක්ෂණික දියුණුව සමග වේදනාවකින් තොරව ප්‍ර‍තිකාර කල හැකි නිසා කල්මරන්නේ නැතුව ඉක්මනින් ප්‍ර‍තිකාර ලබාගන්නා ලෙසයි. කල්මැරීම නිසා වඩා වේදනාත්මක අවස්ථාවකට ඔබට මුහුණදීමට සිදුවිය හැක.

දත් වල ඇති ස්නායු කෙළින්ම මොළය හා සම්බන්ධ වන නිසා දත් ගැලවීම ආදී කාර්යයන් සදහා හැම විටම සුදුසුකම් ලත් දන්ත වෛද්‍යවරයෙකු මුණගැසෙන්න...නැතිනම් අනපේක්ෂිත ප්‍ර‍තිඵල අත්විය හැක.





Sunday, November 11, 2012

96 කජු මුලට පෙම් බැදි ජයවර්ධන

http://medicmagic.net/wp-content/uploads/2010/07/cashew-nut-tree.jpg

සිරා ගැටයා කාලෙ අපේ ඉසව්වෙන් එහා ගමක ප්‍රාන්ත කිරිකට් කණ්ඩායමක ආරම්භක පිතිකරු වෙලා හිටියා.  ඒ කණ්ඩායමට වමතින් පිත්ත හසුරුවන ක්‍රීඩකයො හිටියෙ නැති නිසා අපේ ප්‍රාන්තයේ නමක් දිනා සිටි සිරා කොලුවාව මගේ පාසල් මිත්තරයෙකුගෙ රෙකමදාරුව පිට  ඔය කියන කණ්ඩායමට ආනයනය කොලා.  අපේ ගමේ නෙමෙයිනෙ කියලා වෙනස් සැළකීමක් මට ඒ කාලෙ ඔවුන්ගෙන් ලැබුනෙ නෑ... සහභාගි වුන හැම තරගෙකදිම පිත්තෙන් බැරි වුනොත් පන්දුවෙන් හරි සිරා වැඩ කිඩ දැමීමට සමත් විමත් එයට හේතුභූත වෙන්න ඇති. හැමෝම බොහොම සහයෝගයෙන් ක්‍රීඩාවෙ නිරත වුනා.  මුදල් ඔට්ටුවට සති අන්තයේ සහෝදර ප්‍රාන්ත සමග ක්‍රීඩා කරන තරගයක් ඉද හිට හෝ පැරදුනොත් සමහර එවුන්ගෙ මූණෙ හිනා කදුලක් නෑ. ඒ තරමට ඒ දවස්වල කිරිකට් අපේ ශරීර වලට  ජීරණය වෙලා තිබුණෙ.

සතියේ දිනවල ක්‍රීඩාව නිමවෙලා පැය කීපයක් ගතවෙන තුරාවට සිරා ඉන්නෙ ක්‍රීඩාංගනයට අතේ දුරින් තිබ්බ මගේ පාසල් මිත්තරයගෙ නිවසෙ මිදුලට වෙලා ආගිය වල්පල් කියවමින්.  මෙන්න මේ වගේ දවසක හැන්දෑ කොරේ තමයි අපේ කථානායකයා ජයවර්ධන  උන්නැහේ මට මුලින්ම මුලිච්චි උනේ... බොහොම ප්‍රියමනාප පෙනුමක් වගේම අහිංසක හිනාවකුත් තිබ්බ නිසා සිරාටත් හිතට ඇල්ලුවා... පැරණි පා පැදියක් ඔහුගේ තනියට වගේ හැමදාමත් ඔහු ළගින්ම තිබුනා.

මේ තමයි මචං අපේ ගමේ ලොකුම ගායකයා... මගේ මිත්තරයා අන්න එහෙමයි ඔහුව හදුන්වා දුන්නෙ... සිරා කොලුවත් සංගීතයට මනාප නිසා දවස් කීපයක් කථා බහ කලාට පස්සෙ සෑහෙන තරමෙ සමීපත්වයක් ඔහු හා මා අතර ඇති වුනා. ඒ  නිසාම ඔහුගේ ජීවිතයට සම්බන්ධ පැරණි රසාංග එකින් එක පිළිවෙලට ඔහුගේ ශ්‍රී මුඛයෙන් මා සවන් සොයා ආවා.

ජයවර්ධන උන්නැහේ කථා බහට බොහොම මනාපයි. විශේෂයෙන්ම එයාගෙ දක්ෂතා ගැන කථා කරන්න හරිම කෑදරයි. මොහිදින් බෙග් මාස්ටර්ගෙ කටහඩට බොහොම සමීප කටහඩක් තියෙන නිසාම ඔහු ගායනා කලෙත් එතුමාගෙ ගිත පමණමයි. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඔහු සැබෑ දක්ෂයෙක්... සමහර දවස් වලට අපේ පෙරැත්තයෙන් ගීතයක් ගායනා කලාට පස්සෙ... ගායනය නම් නියමයි කියලා අපි නොමසුරුව ලබාදෙන ප්‍ර‍තිචාරය  තමයි ඔහුගෙ සතුට... ඔහු කියන විදියට බෙග් මාස්ටර්ගෙ පුතාටත් වඩා ඔහුට තමයි ඒ කටහඩ හොදින්ම පිහිටලා තියෙන්නෙ.....

සිරාගෙ මිත්තරයගෙ මිදුල ඉස්සරහින් පීත්ත පටිය වගේ දිවෙන්නෙ ප්‍ර‍ධාන මාර්ගය... කොල්ලො සැට් එක මිදුලෙ කයියක් ගහනවා පාරෙ යන ගමන් දැක්කොත් ජයවර්ධන උන්නැහෙත් අනිවාර්යෙන් බයිසිකලේ හරවගෙන ඔතනට එනවා... මේ කියන දවසෙ  හිටි හැටියේම අනෝරා වැස්සක් ඇද වැටුනා... ඒ නිසාම ජයවර්ධන උන්නැහේට  සිරාගෙ  මිත්තරයගෙ නිවසෙ සෑහෙන වෙලාවක් තපින්න උනා... වෙනදට නම් පුක කඩි කාලා වගේ ආ වෙලාවෙ ඉදන්ම ගෙදර දුවන්න හදන මිනිහා එදා බොහොම ශාන්ත දාන්තව පුටුවකට බරදීලා ඇද හැලෙන මහ වරුසාව දිහාගෙන බලාන හිටියා.  අපේ කථා නායකයා තමන්ගෙ පා පාදියට බොහොම ආදරෙයි... හරියට දරුවෙක් රැක බලා ගන්නවා වගේ තමයි එය නඩත්තු කලේ ... පාවිච්චි කලෙත් බොහොම සීරු මාරුවට... ලේසියකට තෙමන්නෙ නෑ... ඒ වගේම වර්ෂාවෙන් පස්සෙ පාරෙ තියෙන වතුර වලවල් පුලුවන් තරම් මහඇරලා තමයි බයිසිකලේ පදින්නෙ... බැරිම තැනකදි බයිසිකලේ කරේ තියාගෙන පයින් යන අවස්ථාත් අපි ඕනෑ තරම් දැකලා තියෙනවා.

ඉතිං ඔන්න බයිසිකලේ තෙමන්ට තියෙන අකමැත්ත හින්දම කාලය ගතවෙනවා නිනව්වක් නැතුව ජයවර්ධන උන්නැහේ බයිසිකලෙත් ගේ ඇතුලට දාලා වැටෙන වරුසාවෙන් මැවෙන චමත්කාරය විදිමින් ඉන්න වෙලාවක සිරා පැරණි රසාංග වලට ඇරයුම් කොලා.  පළමු ඉල්ලීමෙන් කිසිවක්  ලබාදෙන්නෙ නැති බව අපි ඒ වෙද්දිත් දැනන් හිටි නිසාම දෙවැනි තෙවැනි ඉල්ලීම් හමුවේ ඔහුගේ මුනිවත බිදුනා.

අනේ මන්දා බන් උඹලා මට පාඩුවෙ ඉන්න දෙන්නෙම නෑනෙ... ඔහොමයි හැමදාමත් කථාව අරඹන්නෙ... මම උඹලට කියලා තියෙනවද මම ගුවන් විදුලියෙ තරගෙ දිනපු කථාව...
නෑනෙ... කොල්ලො සැට් එක එක හුස්මට උත්තර දුන්නා...
අන්න ඒක තමයි බොල මරු කථාව... වැස්ස පායනකල් එහෙනා අහං හිටහල්ලා...

එකදාස් නමසිය හැත්තෑ ගණන් වල මුල්ම හරියෙ ගුවන්විදුලියෙ තිබ්බා සමස්ත ලංකා ආධුනික ගායනා තරගයක්... හරියට අද තියෙන සුපර් ස්ටාර් වගේ එකක් කියලා හිතපල්ලකො. මමත් ඉතිං නාඹර කොල්ලා, ලංකාව වටෙන්ම මේ තරගෙට තරගකරුවො ආවා. අපේ අම්මගෙ කීමට ඔන්න මමත් අයදුම් කොරලා පළමුවැනි වට කීපය දිනාගෙන අන්තිම වටයට තේරුනා...

අන්තිම වටයට තේරුනේ දහදෙනයි. .. අවසන් තරගෙට ඉස්සෙල්ලා තිබුන පුහුණුවීම් වලදි මට තේරුනා මට මේක ගේමක් නෑ කියලා... ඒත් මිල්ටන් පෙරේර ගෙ සින්දුවක් කියපු එකෙක් හිටියා, මිනිහා තිතටම සින්දු කියන හින්දා මගෙයි මිනිහයි අතර තමයි ඔන්න තරගෙ තිබුනෙ... මමත් නිතරම මිනිහා ගැන කල්පනාවෙන් හිටියා මිනිහත් එහෙමයි.

ඔන්න ඉතිං අවසාන තරගය දවස උදා වුනා... අපේ ගමෙන් මගෙ තනියට  ලී මඩුව ලග සෝමයයි, පන්සල පිටිපස්සෙ කලු අයියයි දෙන්නා ආවා. වැඩේ කියන්නෙ අවසන් දහදෙනා කියන සින්දු කියනවා බලන්න ඒ ගීත ඇත්තටම ගායනා කරපු  ගායක/ගායිකාවන් දහදෙනත් මේ සභාවෙ ඉදිරියෙන්ම ඉදගෙන ඉන්නවා වෙන්නෙ මොකක්ද බලාගෙන. මුලින්ම සින්දු කියන පිළිවෙල තෝරන්න තුණ්ඩු ඇද්දා... මම හිටියෙ හතරවෙනියට, මට පස්සෙ හිටියෙ අර මිල්ටන්ගෙ සින්දු කියන හාදයා..මම ඉතිං කියන්නෙ බෙග් මාස්ටර්ගෙ සින්දුනෙ... මට කොහොමත් සින්දු කියන්න කලියෙන් හීනියට පොඩි එකක් ගන්න පුරුද්දක් තිබුනා ඒ කාලෙ ඉදන්... කලු අයියා ළග තමයි කාලෙ බෝතලේ තිබුනෙ... බෙග් මාස්ටර් දැක්කට පස්සෙ මට පොඩි භයකුත් දැනුනා..තුන්වෙනියා සින්දුව කියන වෙලාවෙ ස්ටේජ් එක පිටිපස්සට ගිහිල්ලා කාලෙ බෝතලෙන් භාගයක් අමුවෙන්ම බඩට හලාගත්තම තමයි බොලව් එදා මට දහිරිය එක්ක සෘතිය ඇගට ආවෙ....

මම ඉතිං ටිංකිරි ටිකට සින්දුව කිව්වා කොල්ලො, ආයෙ මොනවද සභාව හෙල්ලෙන්න අත්පුඩියකුත්  වැදුනා. ඔන්න මට පස්සෙ අර හාදයා ස්ටේජ් එකට නැග්ගා... මිනිහා කියපු සින්දුවෙ තිබ්බා එක තැනක් බොහොම හයි පිච් එකේ කියවෙන...ඒ තැන පහුකරනකන් තමයි මමත් බලන් හිටියෙ.. මිනිහා හරියටම එතැන විතරක් අවුට් ගියා... සතුට වැඩි කමට මම කලු අයියට මුවා වෙලා ඉතුරු ටිකත් හලා ගත්තා බඩට.. ඕන්න දැන් මට කික්...

මම එක  මිනිහා දෙක...  තරගෙන් පස්සෙ බෙග් මාස්ටරුත් මට සුභ පැතුවා හොදයි කියලා. ඔන්න ඔහොමයි  බොලව් හැත්තෑවෙ මුල් කාලෙ මම ලංකාවෙ සුපර්ස්ටාර් වුනේ  ඒ වුනාට අද කාලෙ වගේ කාර් බාර් දුන්නෙ නෑ තෑගි වලට, කලිසම් රෙද්දකුයි, නූඩ්ල්ස්, සෝස් වගේ දේවල් අඩංගු තෑගි පාර්සලේකුයි... සල්ලි වලින් පොඩි ගාණකුයි ලැබුනා...

ලැබුන වටිනාම දේ තමයි ගුවන්විදුලියෙ මගේම කියලා සින්දු 3ක් සරළ ගී වැඩසටහනකට පටිගත කරන්න අවස්ථාව ලැබුන එක... මොකද ඒ කාලෙ ශ්‍රී ලංකා ගුවන්විදුලිය ආවට ගියාට එක එකාට සින්දු කියන්න අවස්ථාව දුන්න තැනක් නෙමෙයි...

කොහොමින් කොහොම හරි සින්දු  ටික පටිගත කරලා මගේ වැඩසටහන ගුවන්විදුලියෙ ප්‍ර‍චාරය වුනා... ගමේ නම මුලට දාලා අගට ජයවර්ධන කියලා දාලා තමයි ගායකයගෙ නම කියන්නෙ... ඊට පස්සෙත් මගේ සමහර ගීත දිගටම ප්‍ර‍චාරය වුනා... ඔන්න ඔයින් පස්සෙ තමා කොල්ලා හිට් වුනේ....

ඒ කිව්වෙ අංකල්.... කෙල්ලො ලියුම් කරදහි එහෙම එව්වද ?  කට බලියං හිටපු එකෙක් පොඩි පුරස්නයක් ඇහුවා..

හිටිංකො  පොඩ්ඩක් පීදෙන්නෙ නැතුව මම කථාව කියනකං... එහෙම කියලා කථාව අතරතුර ජයවර්ධන උන්නැහේගෙ කටට වැටිලා චප්ප වෙච්ච  බුලත් විටෙන් උනපු කෙළ පාරක් ඇගිලි දෙකක් කටට ලං කරලා ඒ දෙක මැද්දෙන් චුරුස් ගාලා මිදුලට විද්දා.

ඒ කාලෙ ලංකාවෙ ටැලිවිසොන් තිබ්බ නැති නිසා ලංකාවෙම අය ගුවන්විදුලියට ඇහුම් කන් දුන්නා... මගේ ගීත ප්‍ර‍චාරය උනේ ගමේ නම මුලින් යොදලා කියලා කිව්වනෙ... ඉතිං ඒ නමට ලංකාව වටෙන්ම ගැටිස්සියො මට ලියුං කරදහි එවන්න ගත්තෙ නැතෑ....

සමන් මලෙන් පවන් සැලේ... ආදරණීය ජයවර්ධන අයියෙ...ඔබේ ගිත බොහොම ලස්සනයි.. මමයි අක්කයි පෙරේදා ඒ ගැන වරුවක් කථා වුනා... කටහඩ මෙහෙම නම් ගායකයා කොහොම ඇතිද කියලා... පුලුවන් නම් මේකට උත්තරයක් එවන්න... දැන් ඉතිං මෙයා අඩම්බර වෙලාද දන්නෙත් නෑ...

ඔන්න ඔය වගේ ලියුං කරදහි වගේම අතේ මහපු ලෙන්සු, කොට්ටඋර වගේ දේවලුත් මට තැපෑලෙන් ලැබෙන්න ගත්තා...අපේ තැපැල් පියුං මහත්තයා ඒ දවස්වල හැමදාම ලියුම් මිටියක් අපේ ගෙදරට ගෙනත් දීලා මට ඇහැකුත් ගහගෙන යන්න පුරුදු වුනා.

ඔක්කොම ලියුං කරදහි කීයක් ආවද ?  ඔන්න එකෙක් ප්‍ර‍ශ්නයක් ඇහුවා...

438 යි... මට හොදටම මතකයි ඒ ගාන... ජයවර්ධන උන්නැහේ එක එල්ලේ පිළිතුරු දුන්නා...

ඉතිං ඉතිං.... ඊට පස්සෙ.. අපේ උන් ටිකත් දැන් කථාවට වහ වැටිලා...

මමත් ඉතිං පුලුපුලුවන් විදියට උත්තරත් යැව්වා... සමහරු මාව දකින්න ආසයි කිව්වා... සමහරු මාව බදින්න කැමතියි කිව්වා... සමහරු ගෙදර එන්න කිව්වා... ඔය අස්සෙ තව නියම වැඩක් උනා බොලව්....

ඒ කිව්වෙ... ඉක්මනට කියහංකො මාමෙ....

මොකද බොල තොට හදිස්සි... රෙන්න දුවනවා වගේ කලබලේට මේ කථා කියන්න බැහැ... පොඩ්ඩක් හිටිං නිවී සැනසිල්ලෙ කියනකං... ආයෙත් චුරුස් හඩින් බුලත් කෙළ පාරක් මිදුලට පතබෑවුනා...

මම ඉතිං ආපු හැම ලියුං කරදහියක්ම ලස්සන පොඩි ලී පෙට්ටියක සකසුරුවම් කමට දාලා පෙට්ටගමේ තියලා තිබ්බෙ... අපේ ගේ ඒ කාලෙ හදාගෙන යන කාලෙ... ජනෙල් දොරවල් හරියට තිබුනෙත් නෑ... මමයි අම්මයි විතරයි ගෙදර හිටියෙ... මටත් ඉතිං අහළ පහල සංගීත සාජ්ජ වලට එහෙම ආරාධනා ලැබෙන්න ගත්ත හින්දා සමහර දවස් වලට බොහොම රෑ වෙලා ගෙදර එන්නෙ... දවසක් මම ගෙදර එනකොටම කලුවරේ එකෙක් දුවනවා....ගේ ලග ඉදන්... අපේ ගෙදර ඉතිං එහෙමට හොරකම් කරන්න දෙයක් නැති නිසා මමත් උගෙ පස්සෙ  පන්නන්න ගියේ නෑ.

ඔන්න ඉතිං පහුවදා උදේ මම ගෙවල් ළග පොඩි එකෙක් හන්දියෙ කඩේට යවලා පාන් රාත්තලක් ගෙන්න ගත්තා... මෙන්න බොලේ මට එවපු ලියුමක ඒ පාන් රාත්තල ඔතලා... මට හීන් දාඩිය දැම්මා...පෙට්ටගම ඇරලා බලපුවාම ලී පෙට්ටිය තිබ්බෙත් නෑ... වටිනා කියන දෙයක් කියලා හොරා ලියුං දාපු ලී පෙට්ටිය උස්සගෙන ගිහිල්ලා... මම කඩේට යනකොට මුදලාලි කඩේට එන උන්ට කඩයප්පන් ඔතනවා ඒ කොල වල, කීප දෙනෙක් කඩ පිලේ ලියුං කියවනවා... මට නහුතෙට නැගලා මුදලාලියට කෑ ගහලා... මේ අසමජ්ජාති වැඩේ කරපු එකා කවුද කියලා ඇහුවා.... ඕන්න මුදලාලි කියනවා... සමාවෙයන් මලේ ඊයෙ මම අහවල් එකාට බඩු ඔතන්න කොළ ටිකක් හොයා දීපන් කිව්වා... අද උදේම මේ කොළ ටික ගෙනත් දුන්නා... මමත් ඉතිං අවුස්සලා බැලුවෙ නෑ  බඩු ඔතලා දුන්නා කියලා. අන්තිමට මුදලාලිම ඌට පනිවිඩයක් ඇරලා ගෙන්නලා ගෙවල් ගානෙ යවලා මගෙ ලියුං කරදහි ටික එකතු කෙරෙව්වා... ඒකා ගමේ රස්තියාදු ගගපු මදාවියෙක්.  පස්සෙ ලී පෙට්ටියත්  ගේ ළග තිබිලා හම්බවුනා... ඒකෙන් මට එවපු ලියුං සෑහෙන්න නැති වුනා... හිතේ තරහට මම ඌට ගැහුවා කණ රතු වෙන්න එකක් කඩේ ඉස්සරහම....

ඉතිං මාමෙ කෑල්ලක් සැට් වුනේ නැතෙයි... අසන්නන් ආයෙත් පුරස්නයක් මතු කොලා...

මොකද බොල නැතුව.. ඔච්චර ලියුං කරදහි ගොඩකුත් ඇවිල්ලා... ඔය ලේන්සු, කොට්ට උර අස්සෙ දවසක් මට ලොකු කජු මුලක් එවලා තිබුනා ලියුමක් එක්කම... කජු මද එච්චර ගොඩක් එකතුකර ගන්න ලොකු වත්තක් තියෙන්න එපාය බන්... මම එහෙම හිතලා එයාට කීප වතාවක්  උත්තර ලිව්වා... ඊළගට එයා මට ගෙදර එන්න කියලා  කිව්වා... වැඩි දුරක නෙමේ හින්දා මමත් ගියා... අයියලම හතර දෙනෙක් බොලව්...

ඉතිං වත්ත ලොකුද  කෙල්ල ලස්සනද? සැට් එක හීනියට හිනාවෙන ගමන්ම ඇහුවා..

ඔව් ඔව් වත්ත ලොකුයි... කෙල්ලත් බොහොම හැඩකාරයි. මගෙ හිතේ කජු ගස්ම  30 විතර තිබ්බා. ඉතිං ඒ දැරිවිගෙ මව්පියෝ එහෙම මා එක්ක කථා බහ කරලා කසාදෙ තීන්දු කොලා... අපේ ගෙදරිනුත් අකමැත්තක් නෑ...එයාව තමයි මම බැන්දෙ... ගතිගුණත් නරක නෑ නොවැ... ඉඩම් කෑල්ලකුත් ලැබුනා... උඹලා දැකලා තියෙනවනෙ මගේ දූලා... අන්න ඒ වගේ තමා ඒගොල්ලන්ගෙ අම්මත් ඒ කාලෙ. අතීතෙ මතක් වෙද්දි  සතුටක් නැත්තෙ නෑ බොලව්...

එහෙම කිව්ව ඔහුගෙ දෑස් බොහොම උජාරුවට දිලිහුනා.. කථා බහ අවසන් වෙද්දි මහ වරුසාවත් තුරල් වෙලා තිබ්බ නිසාම ජයවර්ධන උන්නැහේ  බයිසිකලයත් එක්ක මිදුලට ආවා. වැස්සත් පායලා තියෙන එකේ උඹලත් පලයල්ලා එහෙනං.. ඕන්න මමත් ගියා කියමින්  කථා බහට සවන් දුන් අපට සමු දී හීනියට වැටෙන වැහි පොද අස්සෙ බයිසිකලෙත් කරේ තියාගෙන මහා මාර්ගෙට ගාටලා අපේ නෙත් මානයෙන් මැකිලා යද්දි  සිරාගෙ මිත්තරයගෙ නිවසේ රැස්වුනු සභා තොමෝද සතුටින් විසිර ගියා.



මම කාමරේ වෙසෙන, සත්ගුණවත් සිරා කොලුවා


ප.ලි

ජයවර්ධන යනු ආරූඩ නාමයකි.

මෙතුමා ඉතාමත්ම රූමත් දියණියන් දෙදෙනෙකුගේ පියාණන් වීම නිසාදෝ ගමේ කොල්ලන්ගේ නිබද ගෞරවයට පාත්‍ර‍ වුවද ගමේ කපුටන්ට ගමේ වැල හිමිකර ගත නොහැකි විය.

අදද මේ ප්‍රදේශයේ සුළු පරිමාණයෙන් පවත්වන සංගීත සංදර්ශන වල පළමු ගායකයා ඔහුය... ඉද හිට මහාපරිමාණ ඒවාද සැට් වෙයි. ගයන්නට ප්‍ර‍ථම අම්බානක මත් වුවද ගීතය  මල් හතට සෘතියට ගලා යයි.

මෙම තරගයේදී ජයවර්ධන උන්නැහේ මෙන්ම තරගකරුවන්ද ගායනා කල ගීත නම් වශයෙන් ඔහු කීවද මාගේ මතකයේ දැන් ඒවා නැත.



Monday, November 5, 2012

102 ලංකාවටම එකයි.... තියෙන්නෙ මෙතනයි...

පහුගිය දොහේ අනම් මනම් වල් පල් කථා කොරපු එකේ අද නැවතත් වැදගත් යමක් කථා කොරන්නයි සිරා කොලුවගෙ මේ සූජානම... අන් අයට කෙසේ වෙතත් මම නම් ඉතිහාස තොරතුරු හොයාගෙන කියවන්න බොහොම මනාපයි... ඒ ආශාව කාමරයට එන ඔබටත්  බෝ කරන්නයි සිරාගෙ මේ අහිංසක වෑයම...


අපි අද කථා කරන්න යන්නෙ ලංකාවෙ තියෙන මේ වර්ගයේ එකම එක තියෙන ඉසව්ව ගැන... මේ කුණුහරුපෙ මොකක්ද කියලා තව සුට්ටකින් විසදෙන හින්දා බොලා කලබල වෙන්න කාරි නෑ...

සිරා හා පුරා කියලා මේ කියන ඉසව්වට පය තිබ්බෙ 2011 වසරේ නැගෙනහිර පළාතෙ කරපු සංචාරයක් අතර තුර, ලාහුගල මගුල් මහා විහාරය හෙවත් රුහුණේ මහා විහාරය පිළිබද තමයි ඔන්න ඔබ දැනුවත් වෙන්න යන්නෙ.




මගුල් මහා විහාරය පිහිටා තිබෙන්නෙ නැගෙනහිර පළාතෙ අම්පාර දිස්ත්‍රික්කයේ ලාහුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් පන්සල්ගොඩ ග්‍රාම නිලධාරි වසමෙ. එය පුරාණ පරිපාලන බෙදීමට අනුව නම් මඩකලපු දිස්ත්‍රික්කයේ පානම පත්තුව. මොණරාගල පොතුවිල් (A-4) මාර්ගයේ ගමන් කල විට හමුවන සියඹලාන්ඩුව හන්දියේ සිට කි.මි. 18 ක් පමණ ගමන් කලාම හමුවෙන පන්සල්ගොඩ හන්දියෙන් දකුණට හැරිලා තවත් කි.මි භාගයක් පමණ ගිය තැන ඓතිහාසික හා පුරාවිද්‍යාත්මකව වැදගත් මේ සිද්ධස්ථානයට ලගා වෙන්න පුලුවන්.... ත්‍ර‍ස්ත භීෂණ පැවති කාලයේ බොහොම අපහසුතාවයට පත්ව එදිනෙදා දාන වේල පවා අපහසුවෙන් සරිකර ගත් අපේ කාලයේ මහා යතිවරයාණන් වහන්සේලාගේ ඇල්ම බැල්ම නොවන්නට මෙම ස්ථානය අද වන විට මුඩු බිමක් වන්නටත් ඉඩ තිබුනා... එසේ වූවා නම් අපේ මුතුන් මිත්තන්ගේ කලා කෞෂල්‍යය හා හැකියාවන් මතු පරපුරේ දෑස් මානයෙන් මිදී වැලිතලාවක්  යට සදාකාලික නින්දේ සැතපෙන්නටත් ඉඩ තිබුනා.

ඓතිහාසික තොරතුරු


මගුල් මහා විහාරයේ අතීතය පිළිබද වර්තමානයට තොරතුරු ගෙන එන ප්‍ර‍ධාන මුලාශ්‍ර‍ කීපයක් තියෙනවා.  මහාවංශය හා පූජාවලිය යන ඉපැරණි සාහිත්‍යමය මූලාශ්‍ර‍ වලට අමතරව පූජා භූමියේ පිහිටා තිබෙන 14 වන සියවසට අයත් පුවරු ලිපි දෙකත් ඊට ඇතුලත්.  මෙම විහාරය අතීතයේ හැදින්වූ ආකාරය පිළිබද වඩා විශ්වාසදායක අදහසක් ගත හැක්කේ පුවරු ලිපි මගින්...අතීත නාමය පිළිබද මහාවංශයේ පවා සදහනක් නෑ.   නටබුන්ව අතහැර දමා තිබූ රූණු මහා විහාරය විහාරමහා දේවිය විසින් සම්පූර්ණයෙන් අලුත්වැඩියා කර එහි නඩත්තුව උදෙසා ඉඩ කඩම් පූජා කල බවක් එක් පුවරුවක සටහන් වී තිබෙනවා.

තවත් පුවරු ලිපියක සදහන්ව පවතින සිරිලක්හි රජකල දාසෙන් කැලි රජ දරුවන් කැරැවූ මේ රූණු මහ වෙහෙර යන පාඨය මගින් ධාතුසේන රජතුමා (ක්‍රි.ව 516 - 526 ) විසින් මෙම විහාරය ප්‍ර‍ථමයෙන්ම ඉදිරකරන ලද බවට අදහසක් ලබා දීමට උත්සාහ කලත් විහාර ආරම්භය පිළිබද මහාවංශයේ හා පූජාවලිය යන ඉපැරණි මූලාශ්‍ර‍ වල සදහන් වෙන්නෙ ක්‍රි.ව 661 දි පමණ කෙටි කලකට අනුරාධපුර රජ වී සිටි 1 වන දප්පුල රජතුමා විසින් රුහුණු වෙහෙර නම් ආරාමයක් කරවූ බවක්. මහාවංශයට අනුව පාණ දිවයින් වාසී මහතෙරුන්ගෙන් බණ අසා පැහැදීමට ලක් වූ 1 වන දප්පුල රජතුමා උන්වහන්සේට බුහුමන් පිණිස රුහුණු වෙහෙර කරවා සතර දිගින් එන සංඝයා උදෙසා පූජා කල බව තමයි එහි දැක්වෙන්නෙ.


එහෙත් මෙම ස්ථානය හා බැදුනු ජනප්‍ර‍වාද මීට හාත්පසින් වෙනස් කථාවක් තමයි කියන්නෙ... රුහුණේ පාලකයෙකුව සිටි කාවන්තිස්ස රජතුමා  (දුටු ගැමුණු හා සද්ධාතිස්ස රජ වරුන්ගේ පියා ) විසින් විහාරමහා දේවිය නම් කුමරියක සරණ පාවාගෙන අභිෂේක කල ස්ථානය මෙය නිසාම උත්සවයෙන් පසුව රජතුමා ඉදිකල විහාරය මගුල් මහා විහාරය  බවයි ඉන් කියැවෙන්නෙ.

එදා කැලණිතිස්ස රජු විසින් රටේ ආරක්ෂාව පතා මුහුදට බිලි දුන් සිය එකම දියණිය නැවතත් ගොඩබිමට සේන්දු වූ ස්ථානය කිරින්ද ලෙස බොහෝ අය විශ්වාස කලත්.. පුරාවිද්‍යාත්මක සාධක අනුව නම් එය වර්තමාන පොතුවිල් නගරයට ආසන්න මුහුදු මහා විහාරයට ආසන්න භූමි භාගයක් ලෙසයි සැළකෙන්නෙ. වර්තමානයේ නැගෙනහිර මුහුදු වෙරළේම පිහිටා තියෙන කෝමාරිය නැමති ස්ථානයේ නම ඇති වීමටද මෙම සිදුවීම ඉවහල් වී තිබෙනවා... කෝමාරිය අද සම්පූර්ණයෙන්ම දෙමළ කථා කරන ජනතාවගේ ජනාවාසයක්.

කාවන්තිස්ස රජතුමා මුහුදේ පාවී ආ කුමරිය ගැන ආරංචිය ලැබී මෙම  ස්ථානයට පැමිණ කෝ කුමාරි යනුවෙන් ඇසූ වදන් පසුව කෝමාරිය නමින් ව්‍යවහාර වූ බැව් 1921 දි එස්.ඕ. කනගරත්නම් මහතා විසින් ලියන ලද මඩකලපු දිස්ත්‍රික්කයේ වෘතාන්තය නැමැති කෘතියේද සදහන් වෙනවා. මේ අසලදී අබලන් වූ නැවක කුමරියක සිටි බවත්, අවසානයේ ඒ කුමරිය ප්‍රදේශයේ රැජින වූ බවත් තවදුරටත් එම ග්‍ර‍න්ථයේ සදහන්.

මගුල් මහා විහාරයට ආසන්න හුලංනුගේ ගමේ පිහිටා තිබෙන කරදහෙල හෙවත් පුරාණ හබුතල විහාරයෙන් කාකවණ තිස මහ ර (කාවන්තිස්ස මහ රජු) යන වචන පෙළ සදහන්ව හමුවී ඇති බ්‍රාහ්මී අක්ෂර සහිත ශිලා ලිපිය මගින් මගුල් මහා විහාරයට සම්බන්ධ තවත් කථාවක් කියවෙනවා. කාවන්තිස්ස රජතුමාගේ දේශපාලනික හා ආගමික ක්‍රියාකාරකම් මෙම වෙහෙර අවට පැවති බවක් ඉන් ගම්‍ය වෙන්නෙ.

ධාතුවංශය හා රෝහණ වංශ කථාව යන ග්‍ර‍න්ථයන්ගෙ සදහන් වී ඇති අන්දමට කාවන්තිස්ස රජුගේ ආධිපත්‍ය යටතේ පැවති මාගම රාජධානියට පරිබාහිරව සමකාලින සේරු නුවර, ලෝණ නුවර, හා සෝම නුවර යනුවෙන් ස්වාධීන රාජධානි තුනක් පිළිවෙලින් සිව,මහානාග,ගිරි අභය යන පාලකයන්ගේ ආධිපත්‍ය යටතේ පැවතුනා. මහවැලි ගගට උතුරින් පිහිටි මේ ස්වාධීන රාජ්‍යයන් එළාර රජුට එරෙහිව සේනා සංවිධානයේදී බාධාවක් වූ නිසා ඒවා වක්‍ර‍ ලෙස තම ආධිපත්‍යය යටතට ගැනීමට උපායක් ලෙස සේරුනුවර චෛත්‍යය ඉදිකලා.  එමගින්  යුද්ධයකින් තොරවම තමන්ට අවැසි දේ කිරීමට කාවන්තිස්ස රජතුමාට හැකි වුනා.  ඒ අනුව මගුල් මහා විහාරය හා ඒ ආශ්‍රිතව සිදු වූ ක්‍රියාකාරකම් පිළිබදව ඔබට දළ අවබෝධයක් ලබාගත හැකි වේවි.


ඔන්න ඒ විස්තරයත් අහවර කරලා සිරා කියන්න යන්නෙ ලංකාවට තියෙන එකම දේ ගැන... ඒ තමයි  මෙම විහාරයේ  පිහිටා තිබෙන සදකඩ පහණ, ඇතා සමග ඇත් ගොව්වාද කැටයම් කර තිබෙන ලංකාවෙ එකම සදකඩ පහණ තමයි මේ.  ඇත්ගොව්වා ඇතාගේ පිට මත හිදින අතර එය ඉතා සියුම්ව බලන කල පෙනෙන්නේ ධාවනයේ යෙදෙන ක්‍රියාශීලී ආකාරයක්.















එහි අනෙක් සදකඩ පහන් වල මෙන් පළමු කවයේ ගිණි දැල්ල හෝ පලාපෙති පෙනෙන්නට නෑ. එම කොටස කැටයම් රහිත බවක් තමයි දිස්වෙන්නෙ.  දෙවැනි කවයේ ඇත් ගොව්වා සහ හස්ති රූප එකා පිටුපසින් එකා ගමන් කරනා ආකාරයක් දක්නට ලැබෙනවා. හංසාවලිය ඇතුලු වෙනත් සතුන් දක්නට නෑ. මේවාට අමතරව ලියවැල් මෙන්ම නෙළුම් පොහොට්ටු ඉතාමත් සජීවි ලෙස නිර්මාණකරුවා නිර්මාණය කර තිබෙනවා.

සදකඩ පහනට අමතරව පොකුණු, ප්‍රාකාර, ස්තූප, බොධිඝර, මුරගල්, භික්ෂු වාස කුටි, දාන ශාලා, ධර්මශාලා  ආදී ඉදිකිරීම් මෙම භූමියේ දක්නට තිබෙන අතර එමගින් යටගිය දවස මෙම ස්ථානයේ තිබූ බෞද්ධ ප්‍රබෝධය සිතාගන්න පුලුවන්. 











මේ ඉදිකිරීම් වලට අයත් නොවූ තවත් වැදගත් දෙයක් මෙම භූමියේ තිබෙනවා... ඒ කාවන්තිස්ස රජතුමා හා විහාර මහා දේවිය අතර විවාහ මංගල උත්සවයට උපයෝගී කරගත්තේ යැයි සැළකෙන ශිලාමය මංගල පෝරුව...මේ සාධකයත් විහාර මහා දේවිය සැබෑ ලෙසම ගොඩ බැස්සේ කිරින්දට නොවන වගට සාක්ෂියක්...

මංගල පෝරුව

පෙර රජ දවස මෙම පුදබිම දීපතිමත්ව බැබලුනත් වරින් වර ඇතිවූ පර සතුරු ආක්‍ර‍මණ හා වසංගත රෝග නිසා වසර සිය ගණනක් ජනශූන්‍යව තිබෙනවා. කාලය විසින් හුදකලා කල මෙම ස්ථානය අවට නැවත වරක් කෙමෙන් කෙමෙන් ජනාවාශ ඇතිවුවත් නටබුන්ව තිබූ මෙම පුදබිම ඇසුරු කරන්නට ඒ අතර ස්වාමීන් වහන්සේලා සිටියේ නෑ... නමුත් 1907 දී පමණ අහඹු ලෙස ලාහුගල යල්පොත ගම්මානයට ස්වාමීන් වහන්සේ නමක් පිඩු සිගා වැඩියා. එය මහත් භාග්‍යයක් ලෙස සැලකූ ගම්මු උන් වහන්සේට මෙම විහාරස්ථානයේ වැඩ වසන ලෙස ආරාධනා කලා. උන් වහන්සේ තමයි දානෙගල ස්වර්ණජෝති ලොකු හාමුදුරුවො. මෙහි තිබූ පෞරාණික වටිනාකම හොදින් වටහාගත්ත මේ මහා යතිවරයාණන් වහන්සේ කිසිදු පහසුකමක් නැතිව අලි, කොටි , වලසුන් ගහන දරුණු වනාන්තරයක පිහිටි ආර්ථික දුෂ්කරතා වලින් යුත් සීමිත මිනිසුන් පිරිසකගෙන් ජනාවාස වූ  මේ ප්‍රදේශයේ විශාල සියඹලා ගසක ගම්වාසීන් විසින් ඉදිකර දුන් අට්ටාලයක  දිවිගෙවමින් ලාහුගල මගුල් විහාරය නැවතත් කරළියට ගෙනඒමට ඉතාමත් වටිනා නිහඩ සේවයක් ඉටු කර තිබෙනවා. භූමියේ කොටසක් එළි පෙහෙළි කර  ඉලුක් සෙවිලි කල කුඩා ආවාසයක් සකස් කරගෙන තමන්ගේ සහාය සදහා ශිෂ්‍ය හිමිනමක් වූ අරවාකුඹුරේ දේවරක්ඛිත හිමි කැදවාගෙන ආ බැව් වර්තමාන ස්වාමීන් වහන්සේ සමග කල සාකච්ඡාවකින් දැන ගන්න ලැබුනා.

විහාරයට ප්‍ර‍විශ්ඨ වන ස්ථානයේ ඇති වල්බිහිවූ වැවක්


1928 දි ස්වර්ණජෝති නාහිමියන් අපවත් වූ පසුව දේවරක්ථිත ගෝල හිමියන් විසින් ගම්මානයේ දායකයන් සංවිධානය කොට නව ගොඩනැගිලි ඉදිකර පන්සලක් ලෙස වැඩිදියුණු කල බවත්, ගම්වාසීන්ගේ යහපත් ගුණ වගාව වෙනුවෙන් පෙරහැර හා පිංකම් ආදිය සංවිධානය කොට මෙම පූජනීය ස්ථානයට අති විශාල සේවාවක් සිදුකර  ලෝ දහමට අනුව 1982 දි අපවත් වී තිබෙනවා.

අදට එහෙනම් කථාව අහවරයි..යමක් කමක් දැනගත්තා නම් ඒක තමා සිරාගෙ සතුට...

මේ කථාබහට පෙර බ්ලොග් අවකාශයේ  ලාහුගල මගුල්  මහා විහාරය පිළිබද තවත් සටහන් තිබූ නිසා ඇතැම් පොදු කරුණු එක් නොකොට ඒවාට මගහැරුණු දෑ  මෙම සටහනට එක්කිරීමට සිරා කටයුතු කලා.

පූසා කල සටහන මෙතැනින්
හසිත කල සටහන මෙතැනින්



මම කාමරේ වෙසෙන, සත්ගුණවත් සිරා කොලුවා,



ප.ලි


බෝගහමුල්ලේ සුමන හිමි සහ ලාහුගල පී.බී. දිසානායක මහතා විසින් රචිත ලාහුගල මගුල් මහා විහාරය හෙවත් රුහුණේ මහා විහාරය කෘතියද පරිශීලනය කළෙමි.

ඇතැම් කරුණු පුරාවිද්‍යා උපාධිධාරී සිරාගේ පැරණි පෙම්වතිය වෙතිනි. ඉතිහාසය සම්බන්ධ පෝස්ටු වෙනුවෙන් මෙයට පෙරත් කීප වාරයක් ඈ මට සහාය දී තිබෙනවා.

මේ සිද්ධස්ථානය අවට වෙසෙන ගම්වාසීන් කාලයක් යුද්ධයෙන් බැට කා දැන් ආර්ථික  අපහසුතා මැද  ජීවත් වන පිරිසක්.  ඔවුන්ගේ  ජීවන තත්වය සියසින් දැකගෙන ඔවුන්ට සහායක් වෙන්න වැඩි වැඩියෙන් මේ ප්‍රදේශවල සංචාරය කිරීමෙන්  ඔබට දායක වෙන්න පුලුවන්... ඒ නිසා ඔබේ මීළග චාරිකාවට මේ සිද්ධස්ථානයත් ඇතුලත් කරගන්න. ගම්වාසී ආරක්ෂක අංශ වල සාමාජිකයන් ඇතැම් ඉතිහාස කරුණු ඔබ වෙනුවෙන් විස්තර කර දෙන්නෙ ස්වේච්ඡාවෙන්...

ගම්මානයේ වෙළද සැලක්

මෙහි සියලුම ඡායාරූප මවිසින් ගන්නා ලද ඒවාය.

මේ ආසන්නයේ ඇති පොතුවිල් මුහුදු මහා විහාරයට අයත් භූමිය තුල අනවසර ඉදිකිරීම් කරමින් අන්‍ය ආගමිකයන් කටයුතු කරන අතර මේ ප්‍රදේශ තුල බහුතර සිංහල ජනතාවක් වර්තමානයේ ජීවත් නොවීමත් එයට හේතුවක්... කෙසේ හෝ මේ ගැටළු පිළිබද බලධාරීන්ගේ අවධානය යොමු වී පෞරාණික බෞද්ධ සිද්ධස්ථාන සුරැකී ඒවා අපේ මතු පරපුරටත් දැක බලාගැනීමට වරම් ලැබේවා !
















Related Posts Plugin for WordPress, Blogger...