Sunday, December 30, 2012

114 එදා පත්තර කී කථා

සිරාගේ ඇන්ටික් රසඤතාවය ගැන කාමරයට ගොඩ වදින බොහෝ ඇත්තන් මේ වන විටත් යම් තරමකට  දනී. සිරා කොලුවාගේ පවුලෙන් මේ ආශාව ඇති එකම ජීවී පරාණයද මමය. අනෙකුත් සමවයසේ නැදෑ දරුවන්ගෙන් සිරා කැපී පෙනෙන්නේද මේ ඇන්ටික් පෙරේතකම නිසාය.

මේ ලියමන ලියන අවස්ථාව වන විට මගේ මිත්තනියන් දෙදෙනා මෙන්ම සීයාවරුන් දෙදෙනාද දිව්‍ය ලෝකයට ගොස් හමාර වී ඇති මුත් ඔවුන්ගේ ගුණ සුවද මුසු වූ විවිධ සැමරුම් තවමත් අප නිවසේ විවිධ අහුමුළු වල සැතපී සිටී. දැනට දශකයකට පමණ පෙර හිටිවනම පියාගේ පියා භාවිතා කල පැරණි කබඩ් ලාච්චුවකින් ප්‍රාතූර්භූත වී සිරාගේ මව විසින් ගිණි දෙවියාට පුද දීමට නියමිතව සිටියදී මවිසින් අභය දානය දී අදුරු මුල්ලක් සැතපවූ මේ අපූරු ලියවිලි සමූහය එදා සහ අද, සමාජ/දේශපාලන/ආර්ථික විපර්යාසයන් පිළිබද වර්තමාන පරපුරට තොරතුරු සපයන දත්ත ගබඩාවක් බදුය. එදා සහ අද අතර වෙනස දක්වන කදිම කැඩපතකි.

මෙවර මා ඉදිරිපත් කරන ඇන්ටික් ගැජට්ටුව වනාහී පැරණි පුවත්පත් එකතුවකි.  නිකංම නිකං පුවත් පත් නොව අදින් වසර 53 කට පෙර මුද්‍ර‍ණය කර ප්‍ර‍සිද්ධ කල පුවත්පත් සමූහයකි.  වර්තමාන ශ්‍රී ලංකාවේ වැඩිම අළෙවියක් ඇති පුවත් පත ලෙස නම් දරා සිටින මෙහි නම එදා මෙන්ම අදද සංස්කරණයකින් තොරව එකසේ භාවිතා වෙයි. එය ලංකාදීප නම් වෙයි.

1959 සැප්තැම්බර් මස 26 වැනි සෙනසුරාදා සිට ඔක්තොම්බර් මස 1 වැනි බ්‍ර‍හස්පතින්දා දක්වා ලංකාදීප පුවත් පත් පිළිවෙලින් සීයාගේ එකතුවේ තිබිනි. මේ පුවත්පත් කිපය විශේෂයෙන් එක්රැස් කර ලග තබාගැනීමට ඔහු කටයුතු කලේ විශේෂ කාරණයක් නිසාවෙන් බව පැහැදිලිය.  සිරාගේ සීයා දැඩිව ඇලුම් කල ජනනායකයා වූයේ   දිවංගත අගමැති ඇස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මැතිතුමාය. ඔහුගේ අභාවය සහ අවසාන කටයුතු පිළිබද තොරතුරු ඇතුලත් මේ පුවත්පත් කීපය ඔහුට ළග තබා ගැනීමට සිත් පහල වූයේ ඒ නිසාවෙන් විය හැකිය. දොඹ ගෙඩියක් තරමේ පුංචි කොණ්ඩ ගෙඩියක්  බැදි පාරම්පරික ගොවියෙක් වූ උන්දෑ සිරා කොලුවා වයස අවුරුදු 5 ක් තරමේ පුංචි එකෙකු සන්ධියේදිම මිය පරලොව ගියේය. නමුත් ඔහුගේ රූපකාය පිළිබද යම්තරමේ මතකයක් තවමත් මා සතුය. පහත ඡායාරූපය පසුකලෙක ඔහුගේ ගොවි හැදුනුම්පතින් මා විසින් ගලවා ගන්නා ලද්දකි.

පත්තර එකතු කල සිරාගේ සීයා

ගෙවී ගිය වසර 53 ක කාලය තුල සිදුවී ඇති වෙනස්කම් රාශියකි. එදා ටයිම්ස් ඔෆ් සිලෝන් යනුවෙන් හැදින්වූ ලංකාදීප ආයතනය අද විජය පුවත්පත් සමාගම ලෙස සිය නාමය වෙනස් කර ඇත. වර්ණ දෙකක් පමණක් භාවිතා වූ අතීත පුවත්පත් ආ මග දිගේ දැන් සිදුවී ඇති තාක්ෂණික පෙරළියද සිතාගත නොහැකි තරමේ එකකි. පැය ගණනාවක් මිඩංගු කර පත්තර පිටු අතින් සැලසුම් කර ඒ අනුව අකුරු අමුණා පිටපත් තුන් හාරදාහක් ගැසූ ඉතිහාසය වෙනස් කරමින්  නවීනතම පරිගණක මෘදුකාංග  මගින් විනාඩි ගණනාවක් ඇතුලත පිටු සැකසුම් කිරීමටත්  වැඩි ධාරිතාවක් සහිත මුද්‍ර‍න යන්ත්‍ර‍ මගින් වෛර්ණයෙන් ලක්ෂ සංඛ්‍යාත පිටපත් සංඛ්‍යාවක් මුදුණය කර  , රටපුරා විහිදුනු බෙදාහැරීමේ ජාලයක් මගින් වෙළදපලට  යැවීමටත් හැකි  යුගයකට අප දැන් පිවිස සිටී.අකුරු ඇමිණීම අතීතයට අයිති කාර්යයක් පමණකි. අද සියලුම අකුරු පරිගණකය තුලින් උපදී.

එයින්ද නොනැවතී අතේ ඇති කුඩා ටැබ් එකෙන්, ජංගම දුරකථනය මගින් කියවිය හැකි  ඊ පුවත්පත් පැමිණෙන යුගයට අප අද අවතීර්ණ වී සිටී . කැකුළු හාල් සේරුවක් ශත 75 ට ලබාදුන් යුගය පසුකර සහල් කිලෝව රු 60/- කට විකිණෙන සමාජයක සාමාජිකයන් වී සිටිමු.

ගෙවී ගිය වසර 53 ක කාලය තුල රාජ්‍ය නායකයන් 8 දෙනෙකු පමණ රටට නායකත්වය සපයා ඇති අතර එදාට සාපේක්ෂව සෑහෙන තරමේ වෙනසක් සහිත ජීවන තත්වයක් වර්තමාන ශ්‍රී ලාංකිකයාට උරුම වී තිබේ. කාලය මැවූ වෙනස පුදුමාකාරය. එක් අතකින් එය චමත්කාර ජනකය. ඒ චමත්කාර ජනක අතීතයේ සිරි විසිතුරු ඔබ වෙත ගෙන එන පරණ පත්තර පිටු ආශ්‍රිත  ලිපි කීපයක ඇරඹුම මෙසේ සටහන් වේ.

පංචමහා බලවේගය තුලින් බලයට පැමිණ ජනතා හදවත් දිනා සිටි බණ්ඩාරනායක අගමැතිතුමා ශ්‍ර‍මන වේෂයෙන් පැමිණි අයෙකු විසින් සිදුකල වෙඩිතැබීමකින්   ඝාතනය වූයේ 1959 සැප්තැම්බර් 26 වන සෙනසුරාදා දිනයකය. එය සිරාගේ සීයාට සෑහෙන තරමේ සංවේගජනක පුවතක් වූ බවට සැකයක් නැත. ඔහුට අමතරව එවකට ශ්‍රීලාංකික ජනයාද සිය නායකයාගේ අභාවයෙන් සංවේගයට පත් වූ ආකාරය පහත ඡායාරූපයන් මගින් අවබෝධ කරගත හැකි වනු ඇත.

1957 සැප්තැම්බර් මස 27 වන ඉරිදා ලංකාදීපයේ මුල පිටුවේ විස්තරය පහත පරිදිය....





උපුටා ගැනීම

අවමගුල ගුරුදා හොරගොල්ලේදී

දහනායක නව අගමැති වෙයි.

අග්‍රාමාත්‍ය ඇස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක මහතාට වෙඩි වැදී පැය 22කට පසු ඊයේ උදේ 8ට අභාවප්‍රාප්ත වූ බෑව් ඊයේ ‘ලංකාදීප‘ විශේෂ මුද්‍ර‍ණවලින් ඉතා සංවේගයෙන් ජාතිය වෙත නිවේදනය විය.

අගමැතිගේ අභාවයෙන් පැය 3කට පසු අධ්‍යාපන ඇමති විජයානන්ද දහනායක මහතා, අළුත් අගමැති ලෙස දිව්රුම් දී අගමැති කාර්යාලයට පැමිණ හඩා වැලපෙමින් අගමැති ධූරයේ වැඩ භාර ගත්තේය.

අගමැති අවමගුල ලබන බ්‍ර‍හස්පතින්දා රාජ්‍ය සම්මාන සහිතව හොරගොල්ලේදී පැවැත්වේ. අගමැති තුමාගේ මෘත දේහය මහජන ගෞරවය සදහා නියෝජිත මන්ත්‍රී මණ්ඩල මන්දිරයේ තැන්පත් කෙරෙනු ඇත. අලුත් ඇමති මණ්ඩලය මේ ගැන විධි විධාන යෙදීම ගැන ඊයේ කථානායක තුමා හමුවී සාකච්ඡා කළේය.

අවසාන ගෞරව දැක්වීමට පෙරහැරේ

අගමැති බණ්ඩාරනායක මහතාගේ මහජන සේවී ජීවිතය දුක්ඛදායක සිද්ධියකින් අවසාන වීමෙන් කම්පාවට පත් දස දහස් ගණන් ජනයා ඊයේ දවාල සිට සැතපුම් ගණන් පෝලීම් ගැහී රොස්මිඩ් පෙදෙසේ නිවසේ තැන්පත් කර තුබුණු මෘත දේහය බලා කදුළු සලමින් අවසාන ගෞරවය පල කලහ.

පෞද්ගලික ජීවිතය කෙරෙහි පවා බලපෑ දේශපාලන පෙරළි දුක සැප හා දහසක් ගැටළු මැද උරෙන් උර ගැටී ජීවත් වූ තම ආදරණීය ස්වාමියා නැතිවී යාමේ විද දරා ගත නොහැකි ශෝකයෙන් වෙලී ගිය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය මෘත දේහය පසෙකින් සිටී.

රෝහලේ සිට අගමැති මෘත ශරීරය රියක තබා රොස්මිඩ් නිවසට ගෙන යද්දී මාවත දෙපස රොක්වී ජනයා ආචාර කරමින්ද, දෑත් නගා වදිමින්ද ගෞරවය පල කලහ. රටට වැඩ කළා - ජාතියට වැඩ කළා - අද මා තනිවුනා යයි දෑත් හිසේ තබා සිරිමාවෝ මැතිණිය විටින් විට විලාප නගයි.

අගමැතිවරයාට අවසාන ගෞරවය දැක්වීම සදහා ඊයේ පෝලිමේ ගමන් ගත් ජනකාය හසුරුවා ගැනීමට පොලීසිය අසමත් තරම් වූයේය.

අගමැති මෘත ශරීරයට අවසාන  ගෞරවය දක්වා යන හැම කෙනෙකුගේම මුහුණේ ශෝකී භාවය රැදී තිබිණි.

1959 සැප්තැම්බර් මස 28 වෙනි සදුදා පත්තරේ මුල පිටුවේ විස්තරය මෙසේය.


අගමැති දේහය බැලීමට දහස් ගණන් දෙනා අව් වැසි නොබලා පෝලිම් ගැසී යති.දැන් පන්ලක්ෂයත් පනී. මුළු රට මළගෙදරක් මෙනි.


දිවා රෑ දෙකේහි පෝලිමේ ගොස් අගමැති දේහයට අවසාන ගෞරවය දැක්වූවන්ගේ සංඛ්‍යාව ඊයේ මධ්‍යම රාත්‍රිය වන විට පන් ලක්ෂය ඉක්මවා ගියේය.

අගමැතිගේ මෘතදේහය බලා වාවාගත නොහැකි ශෝකයෙන් ඉකිබිද හැඩූ එක් භික්ෂූන් වහන්සේ නමකට ඊයේ සිහිසන් නැතිව ගියේය.

‘‘අනේ ඉතින් මීට පස්සෙ කවුරුන් හමුවී අපේ දුක කියන්නදැයි අගමැති දේහය හමුවේ වැද වැටෙන කම්කරුවෝ කියති.

රොස්මිඩ් පෙදෙසේ අගමැති නිවසේ තැන්පත් කර ඇති මෘත දේහයට ගෞරව දැක්වීමට ඊයේ මුළු දවස පුරා ගිය මහ ජනකාය නිවසේ ගේට්ටුව ළග සිට මැකාර්ති පාර ඔස්සේ වෝඩ් පෙදෙසට විත් බොරැල්ල පැත්තට විහිදී කින්සි පාර දිගේ, හෝටන් පෙදෙස රවුම කරකැවී ඇලෙක්සැන්ඩර් මාවතේ පදික වේදිකාව අගට සිට රොස්මිඩ් පෙදෙසේ නිවස ලගට සෑදුනු සැතපුම් තුන හතරක් දිග එකම මිනිස් වළල්ලක් සේ දිස්විය.

අගමැති ඇසින් නොදුටු ඈත ගම්වල සමහරු කෑමක් බීමක් නැතිව, ජාතියේ නායකයානන්ට වූයේ මොන අපරාධයක්දැයි සිත සිතා තැවෙති.

කවරදාවත් කොළඹ නොආ, මහළු අම්මලා පුතුන් අමතමින් "අනේ පුතේ මට බණ්ඩාරනායක උන්නැහේ නම් බලන්න ඕනේ" යැයි පෙරැත්ත කරති.

"කොච්චර වැස්සත් නොබලා නම් යන්නේ නෑ" කිය කියා සමහරු පැය පහ,හය යන පෝලිමේ එක තැන පැය භාගය, කාල සිටිති.


උපුටා ගැනීම අවසන්...
මෙතැන් සිට ඡායාරූප එකතුව නරඹන්න...

අගමැතිතුමාට වෙඩි තැබීමට පාවිච්චි කල අඩියක් පමණ දිග රිවෝල්වරය,
ඊට යටින් ඇත්තේ භික්ෂුවගේ කහ රෙද්දය.
භික්ෂුව ලග තිබූ බඩු, වමේ පොට්ටනියේ ඇත.
වෙඩි තැබීම සිදුවූ තැන. ඊයේ උදයේ අගමැති බණ්ඩාරනායක මහතා වෙනදා මෙන් කොළඹ රොස්මිඩ් පෙදෙසේ සිය නිවසේ උදේ තේ බී අමුත්තන් හමුවීමට ඉස්තෝප්පුවට ආවිට "භික්ෂූ  නමක් " සිටි නිසා වාඩි නොගෙන මෙහි කතිරය ඇති තැන සිට ගත්තේය. " භික්ෂුව " වාඩි ගෙන සිටියේ ඊතලය ඇති තැන පුටුවේය. "භික්ෂුව" තැබූ පළමුවැනි වෙඩි පහර වැරදී ගොස් වීදුරු දොරේ වටකර ඇති තැන වැදුනේය.
අගමැති තුමාගේ එක්ස් කිරණ ඡායාරූපය.
 ශරීරය  ඇතුලත රැදී ඇති උණ්ඩයද දැක්වේ.


අගමැති දේහය

මෘත කලේබරය වැසීමෙන් අනතුරුව මැති ඇමැතිවරුන් විසින් ඔසවාගෙන පාර්ලිමේන්තු මන්දිරය තුලින් පිටතට ගන්නා ලදී. ඉදිරියෙන්ම ඔසවා ගත්තේ ජෝන් කොතලාවල, මුදල් ඇමති ස්ටැන්ලි ද සොයියා, රජයේ වැඩ ඇමති හෙන්රි අබේවික්‍ර‍ම යන මහතුන්ය. අනෙක් ඇමතිවරු ඊළගට සිට මෘත කලේබරය ඔසවා ගත්හ.
පඩි පෙළින් පහළට ගෙනයන ලද දෙන පැරැණි සිංහල ගොඩනැගිලි ශිල්පයට සමාන ලෙස සාදා ධවල හා රන්වන් පැහැයෙන් ඔප් ගන්වා තිබුනු රංසිවිගෙට ඇමැති මණ්ඩලය විසින් ගෙනයන ලදී.
ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක මහතාගේ මෘත දේහය හොරගොල්ලේ තැන්පත් කිරීම සදහා
අවමගුල් පෙරහැර මෘත කලේබරය සහිතව පාර්ලිමේන්තු මන්දිරයෙන් පිටත් වෙයි.
දිවංගත අගමැති තුමාට අවසන් බුහුමන් දැක්වීම පිණිස කොළඹ සිට හොරගොල්ලට එන මග දිගේ
මහ සෙනග රොක් වූහ. පාසැල් ළමෝ සුදුකොඩි ගෙන ආචාර කළහ.
මේ මහා පිරිස කැලණි පාලම අසබඩ සිටියහ.
ඊයේ දවල් දොලහමාරට පමණ හොරගොල්ලේ වලව්වට අවමගුල් පෙරහැර ලගාවීමෙන් පසු 
මෘත දේහය මැද සාලයේ තැන්පත් කර තිබුනි. 
පොල්තෙල් පහනට අගමැතිතුමාගේ දෙවැනි දියණිය සුනේත්‍රා සහ පුතු අනුර තෙල් වත් කරති.
අභාවප්‍රාප්ත අගමැතිතුමාට අවසන් බුහුමන් දක්වන මහජන පෝලිම කොළඹ කොම්පඥ්ඤ වීදිය කොටසේ






අද 2012 වසරේ අවසන් දිනයයි. 2012 වර්ෂය සිරා කොලුවාට දුක්ඛදායක වසරක් නිසාමදෝ අවසන් පෝස්ටුවද  දුක්ඛදායක මතකයන් සහිත  එකක්ය. සියලු දුක්ඛ දෝමනස්සයන් 2012 වසරට  භාර දී , ගෙවී ගිය වසර තුල කල කී දෑ ගැන පසුතැවිලි නොවී,  එයින් ලබාගත් අත්දැකීම් සමගින් 2013 නව වසරට පිය නගමු.  සිරාගේ කාමරයට ලෑලි දෙරෙන් ඇතුලු වූ ඔබ  සියල්ලන්ටම සුභ දායක නව වසරක්/ පැතුම් ඉටුවෙන නව වසරක් වෙන්නට සත්ගුණවත් සිරා කොලුවා ඉත සිතින් ප්‍රාර්ථනා කරයි.


http://1.bp.blogspot.com/-Gb7CeJFKMoE/UL4Nmh73S_I/AAAAAAAABAs/wRu5pZWD2eU/s1600/Happy-New-Year-2013-picturer-2.jpg











එදා පත්තර කී කථා නමින්  අලුත් ලේබලයක් අලවමින් සිරා 2012 වසර අවසාන දින මෙසේ අලුත් ඉසව්වකට කාමරේ දොර විවර කරන අතර පැරණි පත්තර හා සබැදුනු තවත් රසවත් දේ ඉදිරියට....


කාමරේ වෙසෙන, සත්ගුණවත් සිරා කොලුවා.


ප.ලි

මගේ අහිංසක රවුටරය විදුලි කෙටීමකින් ආයුෂ නිම වූ  නිසා අලුත් එකක් ගන්නා තුරු මේ පෝස්ටුව තරමක් ප්‍ර‍මාද වූ බැව් කරුණාවෙන් සලකන්න.

මෙවැනි පෝස්ටුවකට  සිරා පෙළඹවීමක් ලද්දේ චන්දනගේ සටහන් ලියන සහෘද චන්දන   නිසා බැව් මතක් කරමි. ඔහුට කෘතඤ වෙමි. චන්දනගේ ලින්කුව  මත එබීමෙන් ඔහුගේ පෝස්ටුවට මාර්ගය විවර වේ.

මේ ලිපිය හුදෙක් පැරණි පත්තර පිටුවක් උපුටා දැක්වීමක් මිස දේශපාලනික කථාබහක නිරත වන්නක් /දේශපාලන මතවාදයක් කියවන්නන් හිස මත බලෙන් පටවන්නට ගන්නා වෑයමක් නොවේය. ඒ හේතුවෙන් දේශපාලනික මතවාදයන් පිළිබද මෙහි සාකච්ඡා කිරීමක් නොකෙරෙන බැව් අවධාරනය කරනු කැමැත්තෙමි.

මේ පුවත් පත පලවූ දිනය වන විට සිරාගේ මෑණියන් වයස මාස 3ක ළදැරියකි.

1959 වකවානුවේ  ගුවන් විදුලි යන්ත්‍ර‍ක්  පවා අති සුඛෝපභොගී භාණ්ඩයක් බවට පත් වී තිබුනේලු.

මෙහි එන ඡායාරූප, විස්තර වර්තමාන පරපුරේ බහුතරය කිසිදිනෙක දැක/අසා  නැති බැව් සිතමි.

දිවංගත බණ්ඩාරනායක අගමැතිතුමාගේ විශාල ඡායාරූප එකතුවක් මෙතැනින්



















Wednesday, December 26, 2012

73 මැරතන් අසිරිය 2

පළමු කොටසට මෙතැනින්

සිරාගේ මැරතන් කෙරුවාව ඇරඹුන ආකාරය කලින් පෝස්ටුව කියැවු අය දනිති. නොකියවූ අය කියවලාම ආවොත් හොදා.

පළමු වාරයෙන් පස්සෙ දෙවැනි වතාවෙ තරගයට සහභාගි වෙද්දි සිරා කොලුවා යම් තරමකට අත්දැකීම් සහිත තත්වයකට පත්වෙලා හිටියෙ. තරගයේ මාර්ගය වැටී ඇති අන්දම, වේගය වැඩිකල යුතු තැන්, අනිත් තරගකරුවන්ගෙන් මිදිලා ඉස්සරහට යන ආකාරය ගැන ගැන දළ අවබෝධයක් ඒ වෙද්දි ඇතිවෙලා තිබුනා. තරගය පැවැත්වෙන්න සතියකට පමණ පෙර පන්තියේ ඇතැම් මිතුරන් මගෙන් විමසන යම් කාරණයක් තියෙනවා. සිරාගෙ පන්තියෙන් මැරතන් දිව්වෙ සිරා පමණක් වීම නිසයි මිත්තරයො එහෙම ඇහුවෙ.

මේ සැරේ කවුද බන් උඹට සපෝට් එක දෙන්නෙ ?  අපි දෙන්නවත් දාපන්කො බං....

එවිට එය ඇසෙන තවත් එකෙක්...  මේ මේ උන්ට කලින් මම උඹට සපෝට් එක දෙනවා කිව්වෙ...උඹ මාව අනිවාර්යෙන් දාන්න ඕනෙ අරිද ?

කථා බහ අනුව සිරා යනු වාසනාවන්ත තරගකරුවෙකි. සිරා කොලුවාට තරගයේදී උදව්වට පැමිණීමට පන්තියේ කොල්ලන් පොරකති. ඒ කාලජේද දෙක තුනක්  කිසිම අතුරු උපද්‍ර‍වයකින් තොරව ගෙවා ගැනීමට හැකිවීමත්, තරගයේ නිරත වීමේදී මුහුණ දෙන රසබර සිදුවීම් වලට ඇති කැමැත්තත් නිසාය. බෑන්ඩ් කාමරයෙන්ද තරගයේ යෙදෙන තම සාමාජිකයන් වෙනුවෙන් සහායකයින්  ලබා දුන්නද මම උන් ලබා නොගත්තේ පන්තියේ අහිංසක කොලුවෙක්ට පීරියඩ් දෙකක්, තුනක් කට් කර ගැනීමට අවස්ථාව ලබා දීමෙන් ලැබෙන ඉමහත් කුසලයේ ආනිශංසයට ඉතා ගිජු වූ හෙයිනි.

http://www.srilankayouth.lk/photoindex.php?level=picture&id=2217


තරගය දවසට සිරාගේ උදව් කරුවන් පැමිණෙන්නේ කුඩා ප්ලාස්ටික් බාල්දියක්, නවීන පන්නයේ මවුන්ටන්/රේසිං වර්ගයේ පා පැදියක්, ග්ලූකෝස් පැකැට්ටුවක් ආදියෙන් සන්නද්ධ වීමෙනි. මේ සියල්ලම උන්ගේ හැකියාවෙන් සම්පාදනය කරගනී. ගම්පහ නගරයේ ප්‍ර‍ධාන පෙලේ බාලිකා විද්‍යාල ඉදිරිපිටින් තරගය ගමන් කිරීම හේතුවෙන් උන් සැමවිටම නවීන පන්නයේ පාපැදි වල පිහිට පතයි...ඒ තරගයට මුවාවෙන් පාසල් වෙලාව තුල තම පෙම්වතිය දැක  ගන්නටය. ඇගෙන් ලකුණු කිපයක් ලබා ගැනීමටය. නීත්‍යානුකූලව එක් තරග කරුවෙකුගේ සහයට ලැබෙන්නේ එක් බයිසිකලයක් පමණක් වුවද තරගය ආරම්භ කර මද වෙලාවක් ගිය කල මගේ පන්ති සගයන් කීප දෙනෙකුම මා වටා සිටී. උන් පිටතට පැන්නේ පාසලේ තාප්පයේ කුමන කොටසින්දැයි දන්නේ උන්ම පමණකි.

වාර්ෂික නිවාසාන්තර ක්‍රීඩා උළෙලේ මාර්ග ධාවන තරගයට සහභාගි වන සියලුම ක්‍රීඩකයන් තරග ආරම්භක ස්ථානයට වාර්තා කරන්න..... මෙය ඔබට ලැබෙන අවසන් නිවේදනය බව කරුණාවෙන් සළකන්න...   

යනුවෙන් යකඩ කටෙන් නිවේදනය වන විට සිරාගේ යටි බඩේ ඇති වූ අමුතු වෙනස මෙය ලියන අවස්ථාවේදීත් දැනෙන්නා සේය. මා සහභාගි වූ සෑම ඉසව්වකටම පෙර  මානසික ආතතියක් මෙන්ම යටි බඩේ කොරයක්ද ක්ෂණිකව ඇති වුවත්....තරගය ආරම්භ වී මද වෙලාවකින්  එය ක්ෂණිකව අතුරුදහන් වෙයි. තරගයට කලියෙන් ඇතිවෙන මේ  මානසික ආතතිය ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩකයන්ටද  තිබෙනා බැව් මා අසා ඇත.

තරග ආරම්භක ස්ථානයේදී ක්‍රීඩකයාගේ නම/ නිවාසය/ පැළද සිටින අංකය ආදිය පරීක්ෂා කිරීම සිදුවේ. ඊට අමතරව තරගය ගමන්ගන්නා මාර්ගය පිළිබදවද දැනුවත් කරයි. ක්‍රීඩකයන්ගේ ධාවනය අධීක්ෂණයට ස්ථාන පහකදී විමර්ෂණ නිලධාරීන් (Check Point)  සිටින අතර ඒ සෑම ස්ථානයකදීම ක්‍රීඩකයාගේ තරග අංකය ඔවුන් විසින් සටහන් කරයි. මේ Check Point පිහිටා තිබෙන ස්ථානයන් ක්‍රීඩකයන් නොදනී. යම් විනය විරෝධී ක්‍රියාවක නිරත වූයේ නම් එයද සටහන් වෙයි. ජයග්‍ර‍හණය ලද ක්‍රීඩකයා ඉහත සියලු අවශ්‍යතා සපුරා ඇතිදැයි සොයාබැලීමෙන් පසු ඔහුගේ ජයග්‍ර‍හණය තහවුරු කිරීම සාමාන්‍ය සම්ප්‍ර‍දායයි. තමන්ගේ සහයට යන බයිසිකලය  ස්පර්ශ කිරීමද තරගයෙන් ඉවත් කිරීමට උපකාරී වන සිදුවීමකි.

ඉහත උපදෙස් මාලාවෙන් පසු තවත් විනාඩි 10 ක් පමණ තරග ආරම්භයට ලැබෙන හෙයින් ඒ ඒ නිවාසයන් අනුව ක්‍රීඩකයන් එකමුතුව තරගයට මුහුණ දෙන ආකාරය සාකච්ඡා කරයි.

ඉස්පිරිතාලෙ ලගට යනකම්ම සෑහෙන වේගෙකින් යනවා...එතැනින් පස්සෙ තමයි කට්ටිය හැලෙන්නෙ... අන්න එතනට යනකන් කොහොම හරි අල්ලන් යමල්ලා... නිවාසයේ ජේෂ්ඨ මැරතන් ධාවකයා සෙස්සන්ට එසේ උපදෙස් දෙයි...නමුත් තරගය ආරම්භ වූ සැනින් ඉතා වේගයෙන් පළමු කිලෝමීටරය ධාවනයේ යෙදෙන හෙයින් මේ උපදෙස් සිහියට එන්නේ නැත.

ගම්පහ නගරය පසුකල විට තරගකරුවන් සී සී කඩ ගොසිනි. ඉතා වේගයෙන් මුල් කොටස ධාවනයේ යෙදෙන හෙයින් ඇතිවන වෙහෙස ඉතාමත් වැඩිය... ඉන් අනතුරුව යම් තරමකට වේගය අඩුවන අතර වෙහෙස ස්ථාවර තත්වයකට පත්වූ පසු නැවතත් වේගය වැඩි වේ.

හරි හරි මචං ඔහොම අල්ලගෙන යමු....උඹට මොනවද ඕනෙ.... ග්ලූකෝස් ටිකක් දෙන්නද, පිටිපස්සෙ එකා ටිකක් ළං කරනවා වගේ.... තව පොඩ්ඩක් හයියෙන් දුවපන්.....මේ ආකාරයෙන් සහායකයින් සිරා කොලුවා දිරිගන්වයි. කෙතරම් මහන්සි උනත් මුන්ගේ මේ දිරිගැන්වීම නිසාම තව දුරටත් දුවන්නට ධෛර්යය ලැබේ.

ගම්පහ නගරයෙන් පසු එළඹෙන ඔරුතොට කලුපාලමෙන් එපිට ප්‍රදේශය ගම්බද ඉසව්වක් නිසාම වසරකට වරක් පැවැත්වෙන මේ ධාවන තරගයට සහාය දැක්වීමට කාන්තා/පිරිමි/තරුණ /මහළු භේදයකින් තොරව  පිරිස බොහොම උද්යෝගයෙන් එකතු වෙති. මේ අයගේ දරුවන් බොහොමයක් අප පාසලේ ඉගෙනගැනීමද එයට තවත් හේතුවකි. තරගකරුවන්ට පළමු ජල ප්‍ර‍හාරය එල්ල වන්නේද මේ ඉසව්වේදීය. ජල නල වලට සම්බන්ධ හෝස් බට උපයෝගී කරගෙන ඇතැම් තැනක තරගකරුවන් ජලයෙන් නහවන අතර, ඇතැම් තැනක බේසම් වලට පුරවන ලද ජලය කුඩා කෝප්ප මගින් තරගකරුවන්ගේ ඇගට ගසයි. ධාවනයේ යෙදීමේදී හිරු රශ්මියෙන් ඇතිවන දාහය අඩුකර ගැනීමට මෙම ජල සම්පාදනය ඉතාමත් අවැසිය.

මේ අතර රූමත් දැරිවියන්ද සිටින අතර එවැනි අවස්ථා වලදි සිරාගේ ධාවන වේගය වැඩිවන්නේ සිරාටද හොරාය. ඇතැම් කුපාඩි කොල්ලන් දෑත බදා මුහුණටම දැඩි ජල ප්‍ර‍හාර එල්ල කරන නිසාවෙන් ධාවනයේ යෙදෙන්නන් එමගින් ප්‍රවේශම් විය යුත්තේ ඉන් අනතුරුව හුස්ම ගැනීම අපහසු වීමෙන් ඛේදජනක තත්වයන් ඇතිවිය හැකි හෙයිනි.

බැලුම්මහර හන්දිය පසුකර මිරිස්වත්තෙන් ගම්පහ මාර්ගයට වැටුනු පසු තරගයේ ස්ථාන බොහෝදුරට තීරණය වී හමාරය. විවිධ ස්ථාන වලදී මගේ සහයට එකතු වූ පන්තියේ මිතුරන් නිසා සිරා කොලුවා වටා ඒ වෙද්දී සපෝටර්ලා පොකුරකි... උන් විවිධ උපදෙස් දෙයි....

රතු ටයි පටිය ආසන්නයෙන් තරගය ගමන් කරන විට එය දැකගැනීමට ශිෂ්‍යාවෝ පාසලට ඇතුලුවීමේ ගේට්ටුව අසලට පැමිණෙන හෙයින් තරගකරුවෝ මෙන්ම සහායකයෝද ඒ ඉසව්වේදී ඉතා උද්යෝගිමත් වේ. ඒ මන්දැයි මම නම් නොදනිමි.

කකුල් තව ඈත් කරලා තියපන්,  තව වේගෙ වැඩි කලා නම් අර පේන එකාව අල්ලන්න පුලුවන්.... තව ටික දුරයි බන් කොහොම හරි වේගෙ වැඩි කරලා යමු.... මෙවැනි වෙලාවක උන් නගන ජයඝෝෂාවේ හඩ නිසාම සිරා කොලුවාගේ ඇන්ජිම තවත් වේගවත් වී දෙපයට බල සැපයුම වැඩි කරන හෙයින් ඉදිරියේ යන උන් වෙත ආසන්න වේ... එයින් පසු එය ආධාර කරුවන් අතර තරගයකි. දෙපාර්ශවයම උණුසුම් අන්දමින් පාසලේ පිටුපස පිවිසුම් ගේට්ටුව දක්වාම තරගකරුවා දිරිමත් කර පැමිණ එතැනදී පසෙකට යා යුතුය. එතැන් සිට එක එල්ලේ තනි කෙලින් පිහිටා ඇති මීටර් 150 ක පමණ දුර ශරීරයේ ඉතිරිව ඇති ශක්තිය උපරිමයෙන්  භාවිතා කරමින් උපරිම වේගයෙන් ධාවනය කලයුතු  අතර ඒ අවස්ථාවේ කකුල් බිම ගැටෙන බවක් වත් නොදැනේ... තරගය අවසන් වූ පසු එකවර නවතින්නේ නැතිව තවත් මද දුරක් වේගය අඩුකරමින් දිවගොස් ක්‍ර‍මයෙන් නතර වීම සිරාගේ ක්‍ර‍මයයි. එයින් පසු දිණ කිපයක් ගතවෙන තුරු ශරීරයේ මස්පිඩු වලින් නැගෙන වේදනාව ගෙන දෙන්නේ මිහිරකි.

මෙතෙක් වේලා විස්තර කල සිරාගේ දෙවන  මාර්ග ධාවන තරගයේදී  තරගකරුවන් රාශියක් සිදුකල විනය විරෝධී හැසිරීම් නිසා තරගයේ ප්‍ර‍තිඵල සම්පූර්ණයෙන්ම අවලංගු කල අතර ඊළග වසරේ සිට ගමන් මාර්ගයද වෙනස් කෙරිනි. පා පැදි මගින් තරගකරුවන් ප්‍ර‍වාහණය එම තීරණයට එළඹීමට හේතු විය. එයින් වඩාත් අසාධාරණයට ලක් වූයේ හිතට එකගව අවංකව තරග වැදුනු සිරා කොලුවාගේ ගණයේ  තරගකරුවන්ය. නමුත් ඊළග වසරේද මාර්ග ධාවන තරගයට සහභාගි වීමේ අදහස අප කෙරෙන් ඉවත් වූයේ නැත.

තෙවන වසරේ ගමන් මාර්ගය ඔරුතොට මාර්ගය වෙනුවට කොළඹ පාරෙන් මිරිස් වත්ත හන්දියටත් එතැනින් යක්කල හරහා නැවත පාසලටත් වැටී තිබුනි. බැලුම්මහර -ඔරුතොට ගම් පෙදෙසේදී සිදුවිය හැකි තරග වංචාවන් එමගින් වැළැක්විය හැකිවීමම ජයග්‍ර‍හණයකි. එයට අමතරව තවත් වැදගත් දෙයක් වූයේ අපේ කොල්ලන් ඉතාමත් දැඩිව ප්‍රිය කරන වතුර ටැංකිය අසල කොළ පාට ටයිපටිය ඉදිරියෙන් නව මාර්ගය වැටී තිබීමයි. මේ විද්‍යාලයේ කෙල්ලන් තරගය ඒ ඉසව්වෙන් ගමන්ගන්නා විට පාසල ඉදිරිපස  තාප්පය අසලට රැස්වී තරග කරුවන් දිරිමත් කිරීම සිරා වන මා හට අද ඉතාමත් සුන්දර මතක සටහනකි. ඒ සෑම විටකම මගේ අධාර කරුවන්ද ඉතාමත් ප්‍රමෝදයට පත්වූ බැව් මතකය.

තෙවන වසරේ මාර්ග ධාවන තරගය සදහා  උදෑසන පාසල් ක්‍රීඩා පිටිය තුල කරන පුහුණුවීම් දැකලා මැරතන් දුවන්න ආශාවෙන් මා සමග එක්වුනු තූර්ය වාදක ඛණ්ඩ සාමාජිකයන් අතර කැපීපෙනෙන දෙන්නෙක් හිටියා.. හරියටම අයියයි මල්ලියි වගේ...එහෙම කිව්වෙ උන් දෙන්නගෙ පෙනුම නිසා...තවත් සරළව කියනවා නම් මුන් දෙන්න සෑහෙන්න උස මහත ජබ්බයො දෙන්නෙක්.... මැරතන් එකක් තියා මීටර් 200 ක් වත් දුවාගන්න පුලුවන්ද කියලා දකින ඕනෑම කෙනෙක්ට හිතෙනවා උන්ගෙ දැවැන්ත ශරීර කූඩු දෙක දැක්කම...ඒ කාලෙ මේ දෙන්නගෙ සහභාගිත්වය නරඹන්නන්ටත් සෑහෙන විනෝදයක්.

උන් දෙන්නා තරගයේ යෙදෙන්නෙ බොහොම මද වේගයකින් වුවත් හැමදාම අන්තිමයට කලින් තරගය අවසන් කලා.  මේ රහස හොයා බැලුවාම තමයි උන් දෙන්නගෙ සාර්ථකත්වයේ රහස බෑන්ඩ් කණ්ඩායමෙන් ලබාදුන් උදව්කරුවන් විසින් අත්කර දුන් එකක් බව දැනගන්න ලැබුනෙ...

අම්මෝ පපුව ගැලවිලා වැටෙන්න වගේ බොල...ඉක්මනට ස්කිනිය දාගෙන දුවපන්....උදව්කරුට ධාවකයෙකුගේ කාරිය කරන්න අවස්ථාව ලැබෙන්නෙ ඒ අණින් පස්සෙ...  මේ විදියට මාරුවෙන් මාරුවට තරගකරුවා සහ සහායකයා ධාවනයේ යෙදෙන්නේ ඉදිරියට ගමන් කර නැවතත් පසුපසට පැමිණ බුද්ධි තොරතුරු ලබාදෙන සහායකයන් මාර්ගයෙන් Check Point උපක්‍ර‍මශීලීව පසුකරමින්. තරග වදින තරගකරුවා සහ සහායකයා අතරින් තරගයේ වැඩිම දුරක් ආවරණය කරන්නෙ සහායකයා විසින්....තරගය යක්කලින් ගම්පහ මාර්ගයට අවතීර්ණ වූ පසු නියම තරගකරුවන් දිගටම ධාවනයෙ යෙදෙනවා වුවත්  බණ්ඩාරවත්ත ප්‍රදේශයට  ලං වෙද්දී කෙලින් සිට ගැනීමටවත් නොහැකි ලෙස වෙහෙසට පත්වී සිටින මේ ස්ථූල තරගකරුවන් දෙදෙනා එතැන් සිට තරගයේ ඉතිරි දුර තරණය කරන්නෙ මාර්ගයේ ගමන් ගන්නා බස්රථයක පාපුවරුවේ පිහිටෙන්... පාසල පෙනෙන නොපෙනෙන දුරට පැමිණි පසු රියදුරු තැනගේ කාරුණික අනුග්‍ර‍හයෙන් බිමට බසිනා මේ දෙදෙනා එතැන් සිට පවත්වාගන්නා වේගය පුදුමාකාරය. ඇතැම් විට නිරීක්ෂක නිලධාරීන්ට හසුවන මේ වංචාවන් නිසා තරගයේ අවසන් ස්ථාන දෙක මේ දෙදෙනා වෙනුවෙන් නියම වී තිබු අවස්ථාද තිබුනා.

සිරා පාසලේ සිටි අවසන්  වසර වන විට ග්ලූකෝස් කුඩු වෙනුවට Dextrose  නමින් හැදින්වූ දියරමය ග්ලූකෝස් වර්ගයක් ලබාගැනීමට තරගකරුවන් හුරු වී සිටියා. එමගින් ඉතාමත් 
වේගයෙන් ශක්තිය ජනනය කල නිසා බොහෝ පිරිසක් එය භාවිතා කලා. වරක් මීටර 5000 
තරගයේදී උද්වේගකර අවසන් වටයේදී භාවිතා කිරීමට Dextrose  දැමූ ප්ලාස්ටික් කෝප්පයක් මගේ බෑන්ඩ් සගයන් වන ජපන් චමිනා සහ අයියා බඩා වෙත ලබාදී තිබුනා.

හති දමාගෙන අවසන් වටයට එළඹුන  සිරා කෝප්පය ලබාගත්තා. නමුත් එහි කිසිවක් නෑ... 
තනිකරම හිස්... ඒ උනත්  මම තරගය තියුණු අවසානයකින් පස්සෙ ජයගත්තා. තරගයෙන් පස්සෙ, 

කෝ බොලව් මම දාල දුන්න Dextrose ?

උඹ ඉතිං හැමදාම ඕවා බොනවනෙ.  මේ චමියා කිව්වා මේවා රහ ඇති කියලා... ඉතිං අපි දෙන්නා තිබුන ඩිංග බෙදාගෙන  බිව්වා බන්... හරිම පැණි රහයි නේද....තරහා වෙන්න එපා ඉතිං...උඹ තරගෙ දිනුවනෙ...

මෙවැනි සුන්දර මතක සටහන් මැදින් එදා ක්‍රීඩාපිටිය තුල ධාවනයේ යෙදෙන විට නිවාසයේ ගුරු මණ්ඩලය මෙන්ම සහෝදර ශිෂ්‍යයන්ද නැගූ ජයගොස දැනුත් ඇසෙන්නා සේය.

අයියෙ කොහොම හරි දිනන්න... ඔයාගෙ ළගම එනවා යනුවෙන් 6 වසරේ කුඩා උන් රතුපාට කොඩි දෙපසට වනමින් කෑ ගැසූවේ මා උන්ගේ අතිජාත සහෝදරයා යනුවෙන් සිතාගෙනය. එය එතරම් උද්වේගකරය. විජය නිවාසය පිහිටා ඇති ස්ථානය පසු කර යන සෑම වටයක් පාසාම තරුණ ජවය ආරූඩ වූ   ශ්‍රියාණි ටීචර් නැගූ හඩ සිරා හට කිසිදා නොමියෙන මතක සටහනක්ය.

ගිය වසරේ දිනයක එතුමිය මට මහමගදී හමු වූවාය. ආගිය තොරතුරු විමසීමෙන් පසු පාසලේ වත්මන් ක්‍රීඩා කෞෂල්‍ය පිළිබද මා නැගූ ගැටළුවට ඇය දුන්නේ මෙවැනි පිළිතුරකි.

උඹලා හිටපු කාලෙ වගේ නෙමෙයි පුතේ දැන්.... දුවන්න කොල්ලො එන්නෙ නෑ ඉගෙනගන්න එක පාඩු වෙනවා කියලා... උන් දැන් කොම්පියුටර් ගේම්/මොබයිල් ෆෝන් වල  හිරකාරයො වෙලා. සමහර ගුරුවරුත් ඒකට වගකියන්න ඕනෙ...එත් ඇත්තටම ශිෂ්‍යයා සම්පූර්ණ වෙන්නෙ ඕනෙ විෂය හා සමගාමී ක්‍රියාකාරකම් දෙකම එකතු වෙලා. ක්‍රීඩාව මගින් තමයි සෞඛ්‍ය සම්පන්න පුරවැසියෙක් රටට දායාද කරන්නෙ... කොච්චර උගත් උනත් ඒකා ලෙඩෙක් නම් රටකට වැඩක් තියෙනවද ?

http://ccemblog.com/wp-content/uploads/2011/08/iStock_000013035572Small-652x300.jpg

ඇගේ පිළිතුර තුල හිතන්නට බොහෝ දේ ඇතැයි මට  දැනුන නිසාම සිරාගෙ කාමරයෙන් ඔබට කියන්නට මම පසුව ඉටා ගතිමි.



මම කාමරේ වෙසෙන, සත්ගුණවත් සිරා කොලුවා.



ප.ලි

Dextrose යනු තහනම් උත්තේජකයක් දැයි නොදනිමි.

වරක් මගේ සහායට පැමිණි තිදෙනෙකු ගමන් කල තැපැල් නයින්ටියක් පෙරළී එහි උන් එකෙකුගේ ඉදිරිපස දතක් විදුරු මසට සමුදුනි.

කිසිම විටෙක මාර්ග ධාවන තරගයේ පළමුතැන ජයග්‍ර‍හණය කිරීමට මා හට නොහැකි වූ අතර මගේ ඉහළම දක්ෂතාව 4 වැනි ස්ථානය ලබා ගැනීමයි. නමුත් මීටර 5000 සහ 1500 තරග දෙකම සිරා පළමු ස්ථානය දිනා ඇත.

Sunday, December 23, 2012

100 මැරතන් අසිරිය 1

බකං නිලාගෙන ඉන්නෙ හවුස් එක දිනවන්න මොනා හරි කරනවකො.... සිරා නියෝජනය කරන විජය නිවාසයේ ශ්‍රියාණි ටීචර් මොර දෙයි. කාලයක්ම අපි පළවෙනිතැන ගත්ත ඉවෙන්ට්ස් වලට මේ සැරේ එකෙක්වත් නෑ... අවුරුද්දෙන් අවුරුද්ද අපේ නිවාසෙ පල්ලම් බහිනවා...හැමෝම මීට වඩා කැපවීමෙන් යමක් කරන්න බලපල්ලා.... සෑම සිසුවෙක්ටම මවක් බදු මේ ගුරුතුමිය නිවාසාන්තර ක්‍රීඩා තරග ආරම්භ වන සමයේ හැමදාමත් මෙසේය. කොල්ලන් කෙසේ හෝ උනන්දු කරවා ක්‍රීඩා උළෙලේ ශූරතාව අපේ නිවාසයට  දිනා දීම ඇගේ එකායන අභිප්‍රායයි. ජීවන මගේ හතලිස් වසරක් පසුකර සිටියත් ඈ යෞවනියක මෙන් කඩිසරය. කුඩා උන්ගේ සිට මහ උන් දක්වා සිසු කැලගේ නොබද ගෞරවයට පාත්‍ර‍ වූ චරිතයකි.

එදවස නිවසට පැමිණි පසුවද ටීචර් දෙඩූ බස් සිරාගේ සවනේ රැව් පිළිරැව් දුන්නෙහිය.. ඇත්තටම මට මොකුත්ම නිවාසෙ වෙනුවෙන් කරන්න බැරිද ? මෙසේ ආතොල් එකේ මනෝපාරේ ඈතට අඩි තබමින් යන විට  සිරාගේ මවුතුමිය මා ඇමතුවාය.

මේවා කලින් දැකලා තියෙනවද ? මේ තාත්තගෙ ඉස්කෝලෙ යන කාලෙ සහතික වගයක්.... කහ පාටට හැරී පැරණි පෙනුම ගෙන තිබූ කඩදාසි කීපයක් ඇගේ සුරතේ විය. සිරාගේ යුගදෙනෙතට හසුවූ පරිදි  තාත්තා මැරතන් ශූරයෙකි. පළමු තැන මිස දෙවැනි තැන දිනා නැත. එහෙව් තාත්තාගෙ ලොකු පුතා වෙච්ච මට ඔය වැඩේ කරන්න බැරි වෙයිද ?  මගේ සිත මගෙන් අසයි.

http://farm6.staticflickr.com/5281/5277534268_90b5f66354_z.jpg


ඔන්න ඔය කිව්ව කාරණයෙන් පස්සෙ විජය නිවාසය වෙනුවෙන් මගේ දායකත්වය දක්වන්නත් එක්ක දිගු දුර ධාවනයේ යෙදෙන්න සිරා තීරණය කොලා. කෙටි දුර ධාවනයට උචිත වේගයක් සිරාට නොමැති වීමත් එයට හේතුවක්... ඒ සදහා පුහුණුකරුගේ භූමිකාව රගපෑවේ සිරාගෙ තාත්තා. තාත්තාගේ හැකියාවෙන් බිදක් හෝ මටත් පිහිටා ඇතැයි යන විශ්වාසය තමයි මෙතැනදි මූලික උනේ...

හරියටම පාන්දර 4 කණිසම එළඹුන විගසම....

නැගිටින්න.... ඉක්මනට ලෑස්තිවෙන්න... අද දුවන්නෙ නැද්ද ? ඔහොම නිදියගෙන මැරතන් දුවන්න බෑ... යනාකාරයෙන් සිරාගේ නින්දට තාත්තා අකුල් හෙලූ නිසාම සිරා ප්‍ර‍ධාන මාර්ගයේ දිවීමට පුරුදු වන්නෙක් බවට පත්වෙන්න වැඩි කාලයක් ගියේ නෑ...

එකසැරේ ලොකු දුරක් දුවන්න බෑ... පළවෙනි දවසෙ කිලෝමීටර් දෙකක් විතර දුවන්න...

තාත්තගෙ උපදේශය අනුව සිල්ක් කොට කලිසමකින් සහ බැනියම් කෑල්ලකින් සැරසිලා කැන්වස් සපත්තු දෙකකුත් දාගෙන සිරා නිදිමරගාතෙම දිවීම ආරම්භ කොලා... සිරාට පිටිපස්සෙන් පාපැදියක නැගිලා සිරාගෙ තනිනොතනියට  තාත්තා පැමිණියා... දුර දිවීම පුහුණුවීමේදී මුල් කාලයෙදි බඩ කොර වීම සාමාන්‍ය කාරණයක්, පළමු දවස් කීපයේ වදදුන්න පසුපසින් පන්නපු බලු රැලත් කල් යත්ම සිරා එක්ක මිතුරු උනා.... ටිකෙන් ටික කිලෝමීටර් ගාන වැඩිවෙද්දි  සිරාගෙ හැකියාවත් ටිකෙන් ටික ඉහළට ගියා... ආපසු එන ගමනේදී තාත්තගෙ වියදමෙන්  පාර අයිනෙ බේකරියකින් ලැබුන, නිවසට ඇවිල්ලා ගිල දාපු උණු උණු ජෑම් පාන් ගෙඩියෙ රස නම් තාමත් මතක් වෙනවා...

මැරතන් එකක් කියන්නෙ සෑහෙන දුරක් වගේම සෑහෙන කාලයක් ගත වෙන තරගයක්... මේ වගේ තරගෙකදි පුහුණුව වගේම දරා ගැනීමේ හැකියාවත් ඉතාමත්ම වැදගත්... නැත්නම් අතර මගදි මහන්සිය වැඩි වුනාම නතර වෙන්න හිතෙනවා... ඔන්න ඔය වගේ අදහස් එහෙමත් තාත්තා ලබා දුන්නා...  එකම වේගයක් පවත්වාගෙන දිගු කාලයක් ධාවනයේ යෙදීමට  පුහුණුවීම් මගින්ම ශරීරය සකසා ගත යුතුයි.

මාසයක් වගේ කාලයක් කරපු පුහුණුවීම් වලින් පස්සෙ සිරා කොලුවා අ.පො.ස සා/පෙ ලියපු අවුරුද්දෙ මුල් වතාවට විජය නිවාසය වෙනුවෙන්  තරග වදින්නට අවස්ථාව ලබා ගත්තා. ඒ සදහා දෙමාපිය අනුමැතිය සහිත ලිපියක්ද අවශ්‍යයි. මේ කියන අවුරුද්දෙ   මැරතන් තරගයට පිවිසිලා 40 දෙනෙකු අතරින් (එක් නිවාසයකින් තරග කරුවන් 10 කි)  14 වැනි ස්ථානය සිරා ලබාගත්තා. එදා තරගයේ හිටිය ලාබාලම තරග කරුවා හැටියට එය සෑහෙන්න හොද ජයග්‍ර‍හණයක්...

මේ තරගයෙන් අනතුරුවත් දිගින් දිගටම සිරා කොලුවා පාසල් ක්‍රීඩාංගනයෙ උදෑසන කාලයෙදි පුහුණුවීම් වල නිරත වූ නිසාවෙන්ම අපේ බෑන්ඩ් කණ්ඩායමෙන් තවත් මැරතන් ධාවකයන් කීප පොළක්ම කරළියට ආවා දුර දිවීමේ ආශාව පහළ වෙලා. ඒ අතර කැපී පෙනෙන චරිතයක් වුනේ ෆයිලට් ජෝති. සිරුර කෙට්ටු නිසා ජෝතියා දුවද්දි මැවෙන දසුන බොහොම සුන්දරයි. මුල් වට කීපය සෑහෙන වේගෙකින් දුවලා හැති වැටුනට පස්සෙ දෙපැත්තට වැනි වැනි ජෝතියා අමාරුවෙන් දුවන හැටි බලන් ඉන්න ආසයි.

බෑන්ඩ් කණ්ඩායමේ සාමාජිකයෙකු වීම මෙවැනි තරග වලදි අනෙකුත් තරගකරුවන්ට නොලැබෙන වරප්‍ර‍සාදයක් ලබා දෙනවා.ඒ තමයි ආධාරකරුවන් කීප දෙනෙකුගේ සේවය... ඒ අය තරගය තුලදි ලගින් ඉදන් දිරිමත් කරන විදියට අතරමග නවතින්න හිතෙන්නෙම නෑ...

බෑන්ඩ් සැට් එක මේ විදියට පුහුණුවීම් කරගෙන යන දවසක තමයි අපේ නායකයා වෙච්ච ලොකු අයියා කට ඇරියෙ...ඔහුත් සාඩම්බර විජය නිවැසියෙක්.

බොලා දන්නවද  දවසක් මමත් මැරතන් දිව්වා කියලා.... ලොකු අයියා වටපිට බලමින් බරපතල කථාවකට මුල්ගල තියයි. වටේ පිටේ උන් හූ මිට්ට තියන්න ලං වෙයි.

ඒ අවුරුද්දෙ අපේ නිවාසෙට දුවන්න උන් නෑ කියලා මාවත් බලෙන්ම ලිස්ට් එකට දාලා, තරගෙ තියන්න කලින් දවසෙ තමයි මම දන්නෙ මේ ඉලව්වට මමත් ඉන්නවා කියලා...උඹ දන්නවනෙ බන් අපි ඔය බෑන්ඩ් එක ප්‍රැක්ටිස් කරද්දි පාරෙ දුවන දුර...ඔන්න ඔච්චර තමයි මමත් ඉතිං ඒ වෙනකං දුවලා තිබ්බෙ....ඒ උනාට තරගෙ කිලෝමීටර් 12 දුරයි. මගේ යාලුවො කිව්වෙ උඹ තරගෙ සම්පූර්ණ කලත් අපිට ඇති කියලා... මොකද තරගෙ අවසන් කරන හැමකෙනා වෙනුවෙන්ම නිවාසෙට ලකුණු ලැබෙනවා.

ඔන්න ඉතිං තරගෙ තියන දවසත් ආවා... යාලුවෙක්ගෙන් කොට කයිසං කෑල්ලකුත්  ඉල්ලගෙන  ලෑස්තිවෙලා ඉවර වෙද්දිම අපේ නිවාසෙන්ම දුවන තව එකෙක් ලොකු කෑම පාර්සලයකුත් අරන් මගේ ලගට ආවා...

මචෝ ඉදිආප්ප මුලක් තියෙනවා.... දුවන්න සෑහෙන්න ශක්තියකුත් ඕනෙ හින්දා මේක ඉක්මනට ලග නමමු කියලා ඒකා කිව්ව හින්දම ඉතිං මමත් බුරිය උල් වෙනකම්ම ඉදි ආප්ප කෑවා....

අසන්නන් හාවක් හූවක් නැත... ලොකු අයියා දෙසම නෙත් අයා බලා හිදී...

ඊට පස්සෙ තරගය පටන් ගන්න තැනට වාර්තා කරලා නම් ගම් සනාථ කරගෙන  වැඩි වෙලාවක් ගියේ නෑ කොඩිය වනලා තරගෙ පටන් ගත්තා.... අපි දෙන්නත් පළවෙනි පොකුරෙ අමාරුවෙන් එල්ලිලා ගම්පහ ඉස්පිරිතාලෙ ලගට එනකං ආවා... ඒක මැරතන් කිව්වට මාර හයියෙන් ගියා බන්.... මගේ යාලුවා එතනදි කිව්වා මට අමාරුයි බන් උඹ ඉස්සරහට පලයන් කියලා...

ඔන්න ඉතිං මම තනියෙන් රේල් පාර කිට්ටුවට එනකං එල්ලිලා ගියා විතරයි කරුමෙට බඩේ කොරයක් ඇල්ලුවා...

ඒ මොකෝ ලොකු අයියෙ...ඉදලා ඉදලා එකෙක් හූ මිට්ටක් තිබ්බා...

අල හොදිත් එක්ක බස්සගත්ත ඉදිආප්ප මුලට වෙන්න ඇති බන්....ඔච්චර තොගයක් කාලා දුර දුවන්න පුලුවන්ද.... අපි ඒ දවස් වල හිටියෙ රේල්වේ ක්වාටස් වල හින්දා ගෙවල් ලගින් වතුර ගහන්න අදුරන උන් දෙන්නෙක් තුන් දෙනෙක් වේලාසන සැට් කරගෙන හිටියෙ.  මම එතනට යනකන් අමාරුවෙන් දුවලා උන්ට විස්තරේ කිව්වම...අනේ අපරාදෙ කියන්න බෑ දෙහි ගෙඩියක් මිරිකගෙන උන් බයිසිකලේකින් මගේ පස්සෙ පන්නගෙන ඇවිල්ලා මට පෙව්වා....

ඊට පස්සෙ දෙයියනේ කියලා අමාරුව  ටිකක් විතර අඩු උනා... මම දැන් ඔරුතොට පාරෙ බැලුම්මහර පැත්තට දුවනවා... මගේ ලග ලගම වෑන් එකකුත් පස්සෙන් එනවා... ඒකෙන් ඔලුව එළියට දාගෙන වයසක පොරක් එනවා... බැලින්නම් අපේ සෞඛ්‍යදාන සෑර්.... හරියට පිස්සු බල්ලො අල්ලන්න පන්නගෙන එන පිස්සු බලු වෑන් එක වගේ...

කොල්ලො අමාරු  නම් නැගපං වෑන් එකට 

එහෙම වෑන් එකට නගින්න පුලුවන්ද බන්..රෙදි ඇදගෙන... ඉතිං මමත් කිව්වා නෑ සර් තව දුවනවා කියලා...

යකෝ ලොකු අයියත් යකෙක්නෙ... ජෝතියත් කථාවට දායක වුනා...

ඔන්න ඉතිං බැලුම්මහර හන්දියටත් කිට්ටු කොලා....වෑන් එක ආයෙමත් මට ලං වෙලා....

කොල්ලො අමාරු නම් හිත හිතා ඉන්නෙ නැතුව නැගපිය වෑන් එකට...  සෞඛ්‍යදාන සෑර් ආයෙමත් වචනෙ දැම්මා...

මේ මොන ඉලව්වක්ද...බං... මටත් තද වුනා... මම ආයෙමත් කිව්වා නෑ නෑ සෑර් තව දුවනවා කියලා...

එහෙම කිව්වට මට දැන් කෙලින් ඉන්න පණ නෑ...ඒ උනාට මට පස්සෙන් සෑහෙන සැට් එකක් හිටිය නිසා නවතින්න හිතෙන්නෙම නෑ... බොලව්... හිමින් හිමින් මිරිස්වත්ත හන්දියටත් කිට්ටු කරලා ගම්පහ පාරට වැටුනා...

පිටිපස්සෙන් ආපු වෑන් එක ඒ හරියෙදි මට ඉස්සර කලා.... විදුරුවෙන් ඔලුව දාපු සෞඛ්‍යදාන සෑර් මට තුන්වෙනි සැරේටත් කිව්වා...

කොල්ලො අමාරුම නම් වෑන් එකට නැගපං  කියලා....

දැන් මට ඇත්තටම තරහයි බන්.... මට පිටිපස්සෙ සැට් එකක් ඉද්දි මටම වෑන් එකට නගින්න කියන්නෙ ඇයි කියලා මට හිතාගන්නත් බෑ...

සෑර් දැන් දෙපාරක්ම කිව්වනෙ... මම වෑන් එකට නගින්නෙ නෑ... මට පිටිපස්සෙන් තව සැට් එකක්ම ඉන්නෙ... උන්ගෙන් අහන්නකො වෑන් එකට නගිනවද කියලා...... මට තදවෙලා  එහෙම කිව්වා....

අන්න එතකොට තමා බොල කුජීතම සිද්ධිය උනේ...

පුතා ඔයාට පිටිපස්සෙ හිටිය ඔක්කොම උන්  මේ ඉන්නෙ යස අපූරුවට  වෑන් එකේ...  කියලා සෑර් කියනකොට මම බැලුවා වෑන් එක දිහා.... වෑන් එක හවුස් ෆුල් වෙලා බොල...වටුවො රැළ වගේ උන් ඉන්නවා ඒකෙ ඉදගෙන පාර බලාගෙන...  ඊට පස්සෙ මගෙ කකුල් දෙකට යෝධ බල යෝධ වීරිය ආවද කොහෙද බන්... මම මග නවතින්නෙ නැතුව එක හුස්මට දුවලා තරගෙ නිම කලා.

ඒ කියන්නෙ ලොකු අයියා අන්තිමයා... නැගුනු හූ හඩ පරයා කවුද එකෙක් එහෙම ඇහුවා..

මම මක් කරන්නද බොල...අනිත් එව්වො නතර වුනාට...මම කොහොම හරි තරගෙ අවසන් කලානෙ... තරගයේ  ජය පරාජයට වඩා වැදගත් තරගය අවසන් කිරීම  කියලා ලොකු අයියා යන්තමට ජාම බේර ගත්තා...

මගේ මැරතන් කෙරුවාවෙ තවත් රසබර දේ කියන්න තිබුනත් අද ඒවා ගැන ලියන්න වැඩි වෙලාවක් මට නැති නිසාම ඊළග කොටසින් ඉතිරිය කියවමු.

එළඹෙන නත්තල  සිරාගෙ කාමරයට ගොඩවෙන ක්‍රිස්තියානි බැතිමතුන් හැමටම ප්‍රීතිමත් නත්තලක් වෙන්නට ප්‍රාර්ථනා කරනවා.



මම කාමරේ වෙසෙන, සත්ගුණවත් සිරා කොලුවා.


ප.ලි

පහුගිය දොහේ දැඩි ලෙස කාර්යබහුල වූ නිසාම අන් අයගේ බ්ලොග් අස්සේ කරක් ගහන්නට ප්‍ර‍මාද වීම ගැන සාතිශය සංවේගය ප්‍ර‍කාශ කරමි.

මේ කියන කාලයේ සිරාට අද මෙන් විශාල බඩගෙඩියක් නොවුන අතර අත අල්ලන උන් කිව්වේ ඒවා යකඩ මෙන් ශක්තිමත් බවකි. අනේ අද ඒ අතීතය සිහිනයක්ම පමණි.

පසුගිය ඔලිම්පික් උළෙලේදී මීටර් 5000 සහ 10000 ඉසව් වලින් එංගලන්තයට රන් පදක්කම් දිනා දී එංගලන්තයේ පමණක් නොව අනෙකුත් ජාතීන් අතරත් වීරයෙකු බවට පත්වූ  ඉතියෝපියානු සම්භවයක් සහිත මෝ ෆාරා (Mo Farah) නම් ක්‍රීඩකයාගේ  දුර දිවීමේ කලාවේ චමත්කාරය මෙතැනදී මට සිහිපත් වේ.


http://i.telegraph.co.uk/multimedia/archive/02307/mo-farah_2307758b.jpg






මතු සම්බන්ධයි....



මම කාමරේ වෙසෙන සත්ගුණවත් සිරා කොලුවා.











Monday, December 17, 2012

127 අනේ එහෙමත් දවසක්

පහුගිය දිණ කීපයේ  හලාල්  පිළිබද කථිකාව බොහොම සැරටම ගිය හින්දා සිරාගෙ කාමරේ දුප්පත් ලෑලි දොරේ සරනේරුත් බුරුල් වෙලා, පුටු කකුල් ඇද වෙලා,  එහෙව් වෙලාවක  සැහැල්ලුවෙන් යමක් දෙසාබාන්නයි මේ වෑයම...

සිරා කොලුවා ඉතිං කාට කාටත් උදව්වක් පදව්වක් කරගෙන තමන්ගෙ පාඩුවෙ ඉන්න එකා වෙච්චිකොට, කවුරුහරි සහයෝගයක්  ඉල්ලුවොත් ඉතිං කවදාවත් බෑ කියන පුරුද්දක් නෑ නොවැ... අන්න ඒ නිසාම තමයි මේ කියන්න යන කාරණේට සිරා කොලුවගෙ නමත් ගෑවුනේ....

අ.පො.ස උසස් පෙළ එහෙම අවසන් කරගෙන ප්‍ර‍තිඵලේ පිටවෙන තුරු  සිරා ඉංග්‍රීසි භාෂාව ඉගෙනගන්න ගුරුභවතෙකුගෙන් පුද්ගලිකව සහයෝගය ලබා ගත්තා... අද සිරා ඉංග්‍රීසි වචනයක් දෙකක් කථා කරනවා නම් එහි පින මේ කියන ගුරු භවතාට තමයි අනුමෝදන් වෙන්ට ඕනෙ... පන්තිය ගැන මට හෝඩුවාව දුන්නෙ සිරාගෙ කාමරේ කථා කීපයකම චරිතයක් වෙච්ච මගේ මිත්තරයා  පුෂ්ප කොලුවා...පස්සෙ කාලෙක මට අමතරව අපේ නගා එහෙමත් මේ කියන පන්තියට සැට් වුනා... අපිටම කියලා වෙන්වුනු  මේ  කණ්ඩායම් ඉංග්‍රීසි පන්තිය තිබුනෙ ගුරුතුමාගෙ නිවසෙ උඩුමහලෙ.

අපේ ඉංග්‍රීසි සෑර් තමා සිරාගෙ පාසලට යාබද රතු ටයිපටියක් තියෙන කාන්තා පාසලේ සිටි එකම පිරිමි ගුරුභවතා...මේ කියන පාසලේ දැරිවියො පාසල්  නිල ඇදුමට බොහොම සුන්දරයි. ඒ අත්දිගට දාලා අදින ඒ ගොල්ලන්ට සුවිශේෂී පාසල් නිල ඇදුමක් තිබුන නිසා...අනිත් පාසල් වල දැරිවියො අතර රතු ටයි පටිය කැපී පෙනුනා.... පාසල වටේටම තියෙන බොහොම උස තාප්පය නිසා සිරා පාසලේ අධ්‍යාපනය ලබන තුරාවටම ඔය කියන පාසලට යන්න අවකාශයක් ලැබිලා තිබුනෙ නෑ.... උස තාප්පයෙන් එහා පැත්තෙ තියෙන ලෝකය මොන තරම් සොදුරුද කියලා දැකගන්න හිතට ආශාවක් අවෙ නැතුවම නොවෙයි... ඒත් ඉතිං මක්ක කරන්නද... තාප්පෙ පිට පැත්තට වෙන්න ඇදලා තියෙන සිතුවම් දිහා විතරක්  බලලා සැනහෙන්න පාසල් අධ්‍යාපනය නිම වෙන තුරාවට සිරාට සිදු වුනා...

ඉංග්‍රීසි පන්තියෙ හිටියෙ අපි කීප දෙනා නිසා සෑර් ඉතිං අපිට සෑහෙන්න හිතවත් වුනා... ඒ දවස් වල මේ කියන ගුරුතුමාට තිබුනා වෙනස්ම පාටකින් පින්තාරු කරපු නවීන පන්නයේ වෑන් රථයක්...  එම වර්ණයෙන් ගම්පහ ඉසව්වටම තිබුනෙ  එය පමණක් නිසා  බොහොම කැපී පෙනෙන සුළුයි. අපි ඉතිං ඔය වෑන් රථයෙ ඉදලා හිටලා යන වෙලාවට, අතිරේක පන්ති නිමවෙලා පාසල් නිළ ඇදුමෙන්ම පෙම්බස් දොඩන රතු ටයි කාරියො  බොහොම කලබල වෙනවා දැකලා තියෙනවා...

මොකද සර් අර සර්ගෙ ඉස්කෝලෙ කෙල්ලො අපිව දැකලා නලියන්නෙ.....

අපේ ඉස්කෝලෙ කෙල්ලෙක් යුනිෆෝම් එකෙන් ලව් කරලා අහුවුනොත් ඉස්කෝලෙන් දොට්ට දානවා අපේ සිස්ටර්.. මගේ  වෑන් එක අදුනන නිසා උන් භය වෙන්නෙ මම කේලම කියයි කියලා...ඔය සමහරු මම පුද්ගලිකව දන්නවා.  මම මොනවටද අයිසෙ  උන්ගෙ ලව් කඩන්නෙ..... ඔන්න සර්ගෙ උත්තරේ...

පන්තිය පටන් අරන් මාස 6 කට විතර පස්සෙ  දවසක පන්තිය නිමවෙලා සර් පොඩි උදව්වක් ඉල්ලුවා...

ඊළග සතියෙ ඉස්කෝලෙ නිවාඩු දෙන්න කලිං  9 වසරෙ කෙල්ලො ක්‍රිකට් මැච් එකක් ගහනවා... ඒකෙ අම්පයර්ස් ලා වෙන්න  තමුසෙලාට බැරිද ?

අයියෝ  ඕවා මොනවද සර්...  මම එන්නම් එකෙන්ම.... පුෂ්පයා එකපයින් මනාපය පල කලා....
සුන්දර දැරිවියො ඉන්න තැනකට යන්න කවුද බොලං අකමැති.....අන්න ඒකයි කාරණේ...

සිරා ? සෑර් හඩ බර කරලා මගේ දිහා බැලුවා..... පුෂ්පයා එනවා නම් මමත් එන්නම් සෑර්.... ඔන්න ඔය විදියට සිරා කොලුවත් ක්‍රිකට් විනිසුරෙක් වෙන්න කැමැත්ත පල කලා...නිකං නෙමෙයි බොලව් එක පයින්ම...

නැගෙනහිරෙන් කීප දවසක්ම හිරු උදාවෙලා බටහිර පැත්තෙන් නිස්කලංකව බැහැලා ගිහිල්ලා උද්වේගකර ක්‍රිකට් තරගය පැවැත්වෙන දිනය උදාවුනා.

http://www.cjca.org.nz/_upload/news/2010.02.21_Satterthwaite%20-%20Pixie%20Merito%20(1)%20-%20Small.JPG







හෙලෝ.... මම වෑන් එකේ මග එනවා ලෑස්ති වෙලා ඉන්නවා.... සෑර් උදේම නිවසේ දුරකථනයට  ඇමතුමක් ගත්තා...

මිනිත්තු 15-20 ක් යද්දි මෙන්න වෑන් එක ගේ ළග...

කෝ සෑර් පුෂ්පයා... සිරාගෙ ශ්‍රී මුඛයෙන් පළමු පැනය ගුවනේ පා වුනා....පුෂ්පයගෙ නිවස පහුකර ගෙන අපේ නිවසට එන්න ඕනෙ නිසයි  එහෙම ඇහුවෙ.

ඒකා අර ගෙදර කාමරේ අස්සෙ හැංගිලා ඉන්නෙ....එන්න බෑ කියලා... පොඩ්ඩක් තේරුම් කරලා දෙනවකො අයිසෙ මේ හදිස්සියෙ මම කොහෙං අම්පයර්ස් ලා හොයන්නද ? නොදන්න උන් කෙල්ලන්ගෙ ඉස්කෝලෙකට  එක්කගෙන ගිහිං වලත්ත කමක් වත් කලොත් මගේ සායමත් හේදෙනවා....

ඔන්න ඉතිං සිරා ටී ෂර්ට් එකක් ඩෙනිමට ඇදලා කාමරෙන් පිටතට සම්ප්‍රාප්ත වුනා...

කොහෙ යන්නද ? පොළේ යන්නද .... ගිහිං කලිසමක් කමිසයක් ඇදන් වරෙං.... උච්ච සප්තකය ඇසුරු කරන සෑර්ගෙ මිහිරි නාදයෙන් මගේ දෙසවන් පුරවා ගෙන දඩි බිඩියෙ කලිසමක් කමිසයක් මැදගෙන දූවිල්ලට යට වෙලා තිබිලා ආමාරුවෙන් හොයා ගත්ත සපත්තු ජෝඩුවට කෙළ බෙට්ට බැගින් අත ඇරලා ශුද්ධ පවිත්‍ර‍ කොර ගෙන වාහනේට නැග්ගා...‍ඊළග නැවතුම පුෂ්පයගෙ නිවස.

ඕන්න දැන් අපි පුෂ්ප කොලුවගෙ නිවස අද්දර... කීප වතාවක් කථා කලාට පස්සෙ පුෂ්පයා ඇඹරි ඇඹරි ලැසි ගමනින් නිවස ඉදිරියට ආවා...

තමුන් අද එන්නෙ නැද්ද ? සෑර්ගෙ කටහඩ කන්කළුයි, මනෝරම්‍යයි, හැගීම්බරයි.

මට බෑ සෑර්.... කයිසමක් කමිසයක් ඇදගෙන කෝමද ඔච්චර කෙල්ලො ගොඩක් ඉස්සරහට එන්නෙ විළි ලැජ්ජාවක් නැතුව... අර පේන ගෙදර (ඈතින් ඇති නිවසක් පෙන්වයි) නංගිලා දෙන්නා ඉගෙනගන්නෙත් එහෙ...

ඉතිං අයිසෙ කෙල්ලො හිටපුවාම මොකෝ මමත් ඉතිං ගෑණු ගොඩක් මැද තනියෙන් නෙ ඉස්කෝලෙ ඉන්නෙ.... අහුමුළු වල උඹලට පැණි පෙරන්න හොදයි...මේ වගේ වැඩකට  තමා එන්න අමාරු... ඉස්කෝලෙ ඉන්න එකම පිරිමි ගුරුවරයා නිසානෙ මට සිස්ටර් මේ වැඩේ පැවරුවෙ.... එදා මම අහපු වෙලාවෙ මොකටද එහෙනම් හා කිව්වෙ.... අපේ සෑර් දැන් මලේ හොදම තැන...

කවුද දන්නෙ මේක සිරා සීන් එකක් කියලා... මම හිතුවෙ ජෝක් එකක් කියලා... තාම මූණ හේදුවෙත් නෑ. එහෙම කියලා පුෂ්පයා බිම බලාගත්තා....

සිරා මෙන්න මේකට මූණ හෝදගෙන, අහවල් වැඩෙත් කරගෙන පික්සු කෙලින්නෙ නැතුව වාහනේට නගින්න කියනවා...මගෙ යකා අවුස්සන්නෙ නැතුව.... එහෙම කියපු සෑර් රථයේ රියදුරු අසුනට අරක් ගත්තා....

පුෂ්පෙ, පවුනෙ බන් සෑර්... සෑර්ගෙ සායම හේදෙන නිසා අපි මේක කොහොම හරි කරලා දෙමු බන්...
සිරා කොලුවා උගෙ හැමතැනටම වැන්ද නිසාම පුෂ්පයා එන්න කැමති වුනා....හිතේ තිබුන පීඩනය හින්දමද මන්දා ඌ අහවල් රාජකාරියටත් සෑහෙන කාලයක් ගත කොලා.

සෑහෙන තරමේ කාලපමාවකින් පස්සෙ ඔන්න දැන් රථය රතු ටයි පටියෙ හිමිකාරියන් සිටින තැන බලා ඇදෙන්න පටන් ගත්තා...

නිවාඩු දෙන දවසට කෙල්ලන්ට අලුත් අත්දැකීමක් ගන්න පුලුවන් දෙයක් කරමු කියලා ටීචර්ස්ලා කිව්වාම මම තමයි ක්‍රිකට් යෝජනා කලේ. අන්තිමට යෝජනාව සම්මත උනාට පස්සෙ නීති රීති ගැන වගේම උන්ව පුරුදු කරන්න උනෙත් මට.... දැන් සති දෙකක ඉදන් කෙල්ලො හැන්දෑවට ක්‍රිකට් පුරුදු වෙනවා. වෑන් රථයට වෙට්ටු දාපු තුන් රෝද රියක් මග අරින ගමන් සුක්කානම මිරිකගෙනම සෑර්  ක්‍රිකට් තරගෙ ජාතකේ දිග ඇරියා.

කෙල්ලො මගෙන් ඊයෙත් ඇහුවා කවුද එන අම්පයර්ස්ලා කියලා... මම කිව්වා කොළඹ ක්ලබ් එකක ක්‍රිකට් ගහන දෙන්නෙක් කියලා... ඒ නිසා පොඩ්ඩක් පපුව ඉස්සරහට දාලා ඉන්නවලා... උඹ විශේෂයෙන්.. සෑර් පුෂ්පයට ඇගිල්ල දික් කොලා.

අවුරුදු ගණනාවක් තාප්පයට එළියෙන් පමණක් දැකපු රතු ටයි පටියෙ තාප්පයට ඇතුලෙන් තියෙන සුන්දරත්වය හා පුරා විදින ගමන් සෑර්ගෙ රථය පිට්ටනියට ඈතින් තිබුනු අරලිය ගහක් යට නතර උනා...

අපි හිතුවට වඩා තදට යන ගේමක් වගේ බොල... පුෂ්පයා එළියට පනින්න පොරකන ඇස් බෝල දෙක කරකවමින් මට කිව්වා...

කථාව ඇත්ත... 9 වසරට අයත් පන්ති 8ක් පන්ති 4 බැගින් සන්ධාන ගතවෙලා තමයි කණ්ඩායම් දෙක හදලා තියෙන්නෙ... අපි යද්දිත් කෙල්ලො පෙර පුහුණුවීම් වල නිරත වෙනවා... තමන්ගෙ කණ්ඩායමට චියර් කරන්න පිට්ටනිය දෙපැත්තෙ ක්‍රීඩා නොකරන 9 වසරෙ පන්ති වල කෙල්ලො ටික රැස් වෙලා. හරියට කදවුරු දෙකක් වගේ... තරගෙ පටන්ගන්නත් කලින්ම සද්දෙ...

තරගයේ ලකුණු සටහන් කරන්න කණ්ඩායමට එක බැගින් කළු ලෑලි දෙකයි, ලකුණු සටහන් කාරියන් දෙන්නයි, චියර් කරන්න   චීයර් ලීඩර්ස්ලා තුන් දෙනා බැගින් සැට් දෙකයි, ( ජාත්‍යන්තර ක්‍රිකට් මැච් වලට චියර් ලීඩර්ස්ලා යොදා ගැනීමේ සංකල්පය කොපි කලේ මේ තරගෙන් පස්සෙ වෙන්නත් පුලුවන් ) සිසිල් පැන් ප්‍ර‍වාහනයට වෙනම අය, තරගයේ විස්තර ප්‍ර‍චාරයටත් ශබ්ද විකාශන යන්ත්‍ර‍ සම්බන්ධ කරලා නිවේදිකාවන් පිරිසකුත් හිටියා.... බලන්න ලස්සනයි... පුදුම සංවිධානයක්....

කෝ සෑර් A/L කෙල්ලො නැද්ද ? පුෂ්පයා පැණි බේරෙන දෑසින් ප්‍ර‍ශ්නයක් ඇහුවා....

ඒ ගොල්ලන්ට විභාගෙ ළග නිසා සම්මන්ත්‍ර‍ණයක් තියෙනවා... මැච් එකට කලින් ඒක ඉවර වුනොත් මෙතනට ඒවි.... ඇයි උන් නැතුව පාළුයිද ? සෑර් කෝචොක් එකට හිනාවක් දාලා අපිත් එක්ක තරගය පැවැත්වෙන ස්ථානයට ගියා. පිටියේ විකට්ටු දෙක හිටවලා සියළු සැකසුම් කරලා තිබුනෙ විද්‍යාලයේ එකම පිරිමි ගුරු භවතා වෙච්ච අපේ ඉංග්‍රීසි සෑර්. නමුත් ඒ වෙද්දි සැකසී තිබූ හතරේ සීමාව සෑහෙන්න දුර නිසා අපි එය තවත් විකට්ටුව දෙසට ලං කොලා. නැත්නම් එකම හතරේ පහරක්වත් තරගයේදි දකින්න නැතුව යනවා.

විදුහල්පතිතුමිය හෙවත් සිස්ටර්ගෙ ආගමනයෙන් පස්සෙ තරගයේ කටයුතු ආරම්භ වුනේ ඒ ඒ කණ්ඩායම භාරව සිටින ගුරු භවතුන් හා ක්‍රීඩිකාවන් හදුනාගැනීමෙන් පස්සෙ... මේ සදහා විනිසුරන් ලෙස මමත් පුෂ්පෙ කොලුවත් සහභාගි වුනා.... පාසල් ගීය එහෙමත් ගායනා කරලා අහවර වෙලා... කාසියෙ වාසිය උරගා බලන අවස්ථාවට අපි එළැඹුනා....

පුතා මේ අයට නීති රීති ගැන පැහැදිලි අවබෝධයක් දෙන්න.... මොකද ඒ අය ක්‍රිකට් ගැන වැඩි දැනුමක් නැති අය...එහෙම කිව්වෙ විදුහල්පතිතුමිය...

මට නම් බෑ උඹම කොරහන්... පුෂ්පයා මග අරිද්දි සිරා කොලුවා කණ්ඩායම් දෙකේම ක්‍රීඩිකාවන් සහ ලකුණු සටහන් කාරියන් ක්‍රිකට් නීති රීති සහ සංඤා  පිළිබද දැනුමෙන්  සන්නද්ධ කොලා....

කාසියේ වාසිය උරගා බැලුවට පස්ස ඔන්න නමෝ විත්තියෙන් ක්‍රිකට් තරගෙ ආරම්භ වුනා...

තරගය බොහොම උණුසුම්... කණ්ඩායම් දෙකම කරට කර..... ඒ වගේමයි නරඹන්නො බොහොම උද්වේගකර විදියට තරගයට සහාය දෙනවා... ඊට හපන් චියර් ලීඩර්ස්ලා... සෑම හතරේ /හයේ පාරකටම අගර දගර දාන හැටි බලන්න කදිමයි. නිවේදිකාවන් මේ සියල්ල කදිමෙට වනලා යකඩ කටවල් හරහා ගුවන් ගත කොලා.

ගෑණු දරුවොනෙ ඉතිං... කිසිම කෙනෙක් සම්මත ඉරියව්වෙන් පන්දු යවන්නෙ නෑ.... අඩි දෙක තුනක් දුවගෙන ඇවිල්ලා පිතිකාරිනිය දෙසට පන්දුව දමා ගැසීම තමා කරන්නෙ.. ඒ අතර සිටියා බොහොම වේගෙන් පන්දුව දමා ගසන ක්‍රීඩිකාවක්.... එවිට පිතිකාරිණිය...

දමලා ගහන එකවත් හිමිං ගහනවකො....

තමුසෙට ගහගන්න බෑ කියලා මම පලිද...

ඉන්නවකො අපි බෝල දානකොට රිටර්න් එක දෙන්න...

හා හා දීලා බලනවා....

මෙන්න මේ වගේ වචන හුවමාරුත් පිටිය මැද යනවා.... ඒ වෙලාවට ක්‍රීඩාවෙ ජීව ගුණය රැක ගන්න සිරා සහ පුෂ්පයා සෑහෙන්න මහන්සි උනා...

අපි ඉතිං හිතට එකගව විනිසුරු තීරණ දෙමින් තරගය ඉදිරියට අරන් යද්දි... පළමුව පන්දුවට පහර දුන් කණ්ඩායමේ ප්‍ර‍බලම පිතිකාරිණිය කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවෙලා දැවී ගියා... ඒ කෙල්ල තීරණය දුන් මගේ දිහාත් ඇස් ලොකු කරං බලාන ඉදලා අඩාගෙන ගිහිං කණ්ඩායම භාර ගුරු මෙනවියකට සිද්ධිය සැල කොලා.... ඔන්න දැන් පිතිකාරිණිය සහ ගුරුතුමිය දෙන්නම  පිටිය මැද...

මිස්... මෙන්න මේ සර් තමා මම අවුට් කිව්වෙ.... ඇය සත්ගුණවත් සිරා කොලුවා දක්වයි...

මල්ලි ඇත්තටම ඒක අවුට්ද ? මොකද මේ අපේ හොදම බැට්ස්මන්...

ඔව් ඔව්... අයෙ හිතන්න දෙයක් නෑ...එයා අවුට්....සිරා අයෙමත් තීරණය දුන්නාම අර දැරිවි ඉකි ගගහා අඩන ගමන් ක්‍රීඩා පිටියෙන් ඉවතට ගියා.  ඔන්න ඔය විදියට මුදලට තරගය පාවා නොදී ඉතාම ගෞරවාන්විත විදියට තමයි අපි එදා විනිසුරු තීරණ දුන්නෙ...

පළමු කණ්ඩායමේ ඉනිම අවසන් වනවාත් සමගම මගේ ළගට ආව පුෂ්පයා මට අත දික් කරලා යමක් පෙන්නුවා.... බොලේ ඉදලා හමාරයි.... සම්මන්ත්‍ර‍ණය නිම වෙච්ච වැඩිමල් ගෑණු දැරිවියො පිට්ටනිය වටේටම අතුරු සිදුරු නැතිව පිරිලා.... ඒ දසුන දැකලා කකුල් දෙක මැන්ඩලින් ගහන්න ඔන්න මෙන්න...

දෙවැනි කණ්ඩායම පන්දුවට පහර දෙන්න කලියෙන් අපිට බීම වීදුරුවක් තොල ගාන්නත්, පොඩි විවේකයක් ලබා ගන්නත්  අවස්ථාව ලැබුනා... ඒ අතර නැවතත් විදුහල්පතිතුමිය අප කරා පැමිණ...

පුතා මේ තරගෙන් පස්සෙ තරගයේ වීරයෙක් තෝරනවා...ඒ තීරණේ දෙන්න ඕනෙත් ඔය දෙන්නා.... බව සැළ කලා.

ඔන්න නැවතත් තරගය ආරම්භ වෙලා... කණ්ඩායම් දෙකටම දැන් වැඩිමල් කෙල්ලන්ගෙ සහයෝගයත් ලැබෙන නිසා තරගයේ උණුසුම සෑහෙන්න ඉහල ගිහිල්ලා... පිට්ටනිය මැද වරින් වර වචන හුවමාරු එහෙමත් සිදුවෙනවා... දෙපාර්ශවයට ගැටෙන්න ඉඩක් නොදී යන්තමට තරගය අවසන් කරන්න අපට හැකි වුනා.. තරගයෙන් ජයග්‍ර‍හණය ලද කණ්ඩායම ප්‍රීති ඝෝෂා නගද්දි  පරාජය ලද පිරිස ඔවුන්ගේ ගුරු තුමියන් අසලට වෙලා ඉකි ගසමින් හඩන සංවේගජනක දසුන දකින්නට ලැබුනා...

තරගය අවසන් වෙලා ලකුණු සටහන එහෙම පරීක්ෂා කරලා  තරගේ වීරයා එහෙමත් තෝරා ගත්තට පස්සෙ අපි දෙන්නටත් තෑගි කොළ වල ඔතන ලද තරමක් විශාල ත්‍යාගයන් දෙකක් සමග ලියුම් කවර දෙකකුත් ලබා දුන්නා... මේ වැඩේට එන්න බෑ කියලා අඩපු පුෂ්පයගෙ කට කනේ මේවා දැකලා....

සිස්ටර්  මම මේ දෙන්නව ගිහිං බස්සලා එන්නම්... අපේ සෑර් විදුහල්පතිතුමියගෙන් අවසර ඉල්ලුවා...

හා හා එහෙම යන්න දෙන්න බෑ.... අපේ ගෘහ විද්‍යා ළමයි මේ දෙන්නටත් එක්ක අන්න දවල්ට කෑම ලෑස්ති කරලා තියෙනවා... ඒ සංග්‍ර‍හයත් භුක්ති විදලාම යන්න කියලා බොහොම කාරුණිකව කිව්වා...

පාසලේ කෙළවරට වෙන්න තිබුනු ගෘහ විද්‍ය කාමරයට යද්දි ඒ අය කෑම සූදානම් කරලා හමාරයි... සීදේවි දැරිවියො අපට කෑම බෙදනකොට ඒ අයගෙ ගුරුතුමියත් ඊට දායක වුනා.... වසර ගාණක් එළියෙන් මිස ඇතුලතින් නොදුටු මේ සොදුරු ඉසව්වේ හැඩ රුව හොදින් විදින ගමන් බත් පත හිස් කර හැමෝටම හද පත්ලෙන් ස්තුති කරලා සිරා කොලුවා සහ පුෂ්පයා වාහනේට ගොඩ වුනා.... අපි දෙන්නගෙම තෑගි පාර්සල් වල  මුදුනට වෙන්න අලවපු පාට පැන්සලකින් පසුබිම ලස්සන කර තිබුනු කාඩ්බෝඩ් තීරුවක.....Thank you Sir....කියලා ලොකු අකුරෙන්  ඉංගිරිසියෙන් ලියලා තිබුනා....



මම කාමරේ වෙසෙන, සත්ගුණවත් සිරා කොලුවා


ප.ලි

වර්තමානයේ සිය බිරිද සමග විදේශයක වෙසෙන පුෂ්පයා ලගදි දවසක කල කථා බහකදි මේ පරණ සිදුවීම මතක් කල නිසාවෙන්ම එය මෙහි අද  පෝස්ටුවක් බවට පත් විය.

ඉංග්‍රීසි සෑර් දැන් එම පාසලෙන් ඉවත් වී කොළඹ ප්‍ර‍ධාන පෙලේ ජනප්‍රිය බාලක පාසලක සේවයේ යෙදී සිටී.

ලියුම් කවරය තුල මුදලින් රු. 500/- වූ අතර අපේ කියා අතේ සත පහක් නොතිබුනු එවැනි සමයක එය ඉතාමත් වටිනා මුදලකි.

විශාල පලගානක් තෑගි කොලයකින් ඔතන ලද පෙට්ටිය යට සැගව තිබුනි...එය අදටත් අප නිවසේ ඇත...

Thank you Sir  සහිත කාඩ්බෝඩ් තීරුව මෑතක් වන තුරුම සමරුවක් ලෙස මගේ ළග තිබුන මුත්  එය දැන් අස්ථාන ගත වී ඇත.

ඒ දිනවල කැමරාවක් තබා ජංගම දුරබණුවක් වත් නොතිබූ හෙයින් පෙන්වන්නට ඡායාරූප නැත.











Wednesday, December 12, 2012

297 හලාල් සහ ජාතිවාදය

සිරා අද ලියන්නට යන්නේ තරමක අවධානම් සහගත ලියවිල්ලකි...එසේත් නැතහොත් ආගමික අන්තවාදයකට එරෙහි ලියවිල්ලකි....මෙයින් අනතුරුව සිරාට එරෙහිව විවිධ චෝදනා එල්ල වීමට ඉඩ ඇතත් කාරියක් නැත... සාධාරණ යැයි මා විශ්වාස කරනා කාරණයක් වෙනුවෙන් ශ්‍රී ලාංකික ප්‍ර‍ජාතන්ත්‍රවාදී ජන රජයේ පුරවැසියෙකු ලෙස අදහස් ප්‍ර‍කාශ කිරීමට මා හට හිමිව ඇති අයිතිය මත...මෙම ලියවිල්ල අරඹන්නට කැස කවමි...මගේ බ්ලොගියේ මට කැමති දෙයක් ලිවීමට අයිතියක් ඇති බව සියල්ලෝ පිළිගනිත්වා...

ශ්‍රී ලංකාව යනු චිරාත් කාලයක් තිස්සේ සිංහල බෞද්ධ බහුතරයක් සහිත රටකි. ලෝක සිතියම තුල මෙවැනි රටවල් ඇත්තේ අතේ ඇගිලි ගණනටත් අඩු සංඛ්‍යාවකි. බෞද්ධ සංස්කෘතියේ ආනුභාවය නිසාවෙන් පෝෂණය වූ හර පද්ධතීන් නිසාම ශ්‍රී ලංකාව ලෝකෙන් උතුම් රට ලෙසද පුරාතනයේ හැදින්වූහ. වසර දහස් ගනනක් පැරණි පෞඩ ඉතිහාසයකින් මෙන්ම අරුම පුදුම පුරාණ ඉදිකිරීම් වලින්ද  යුත් මේ රට ලොව සංවර්ධිත යැයි උදම් අනනා අන් ජාතීන් පවා පුදුමකරවන සුලුය. ඉතා සංවර්ධිත ශිෂ්ථාචාරයක් පසුකරමින් වර්තමානය දක්වා අප ආ ගමන පුදුමාකාර එකකි. ඒ ගමන පුරාවට වැඩිපුර ඇත්තේ බෞද්ධ සංස්කෘතියෙන් පෝෂණය වූ අපේ මුතුන්මිත්තන්ගේ ශූරකම් සහ වීරකම්ය. විවිධ ජනවර්ග අතීතයේ සිටම මනා සංහිදියාවකින් ශ්‍රී ලංකාවේ වාසය කළෝය... හෙළ සංගීතඤයන් අතර මුදුන් මල්කඩ බදු අමරදේවයන්  සසර වසන තුරු නිවන් දකින තුරු  මේ පින්බිමේ උපදින්නට ප්‍රාර්ථනා කලේ මේ දෙරණේ වටිනාකම මොනවට පසක් කරමිනි.  හෙළ දෙරණ සිංහලයන් වන අපට එතරම් ශ්‍රේෂ්ඨය, නිවහල්ය, උදාරය. මේ බිමේ හමනා සුළග වුවද සුව දේ...ලෝකයේ කිසිදු රටක නැති නිදහසක් අපි මෙහි අත්විදිමු. අපේ ජනතාව තරම් සුහදශීලී ජනතාවක් මේ මිහිමත තවත් සිටීදැයි සිතේ. ඒ බැව් කිසියම් දිනක ලංකාවෙන් බැහැරව වෙනත් රටකට ගිය උන් හොදින් දනී. ඇත්තටම ලංකාවේ වටිනාකම මෙය ලියන මා හටද හොදින් වැටහුනේ ලංකාවෙන් එපිටට ගිය ගමනකදීය. අපේ මුතුන් මිත්තන් එදා පරගැති සේනා වෙතින් රට බේරා ගැනීමේ උදාර අරමුණින් අනාගතයේ පහළ වන ඔබ මා  නමින් හෙලූ රුධිර ගංගා මත අද අප නිදහසේ කොන්ද කෙළින් තබාගෙන සිටගෙන සිටින්නෙමු. නිදහසේ හුස්ම ගන්නෙමු...තිස් වසරක කුරිරු ත්‍ර‍ස්තවාදය අවසානයේ යළිත් දේශයම එක්සේසත්  වී විවිධ දේශපාලන මතිමතාන්තර යටතේ හෝ අනාගතය කරා පිය නගන ඒ අසිරිමත් මොහොත උදා වී ඇත.

නමුත් ඒ සුන්දරත්වය නැති කරන්නට වෙර දරණ මුස්ලිම් අන්තවාදයක් රට වෙලාගන්නට මාන බලන වෙලාවක කැකෑරෙන සිංහල කමේ නාමයෙන් මේ සටහන තබමි... සිංහල ජාතිවාදී ලේබලයට මම අතිශයින් ආලය කරමි... පරගැතිව සියක් කල් ජීවත් වනවාට වඩා නිවහල්ව ජීවත් වන එක් විනාඩිය අගනේය... ඒ නිසාවෙන් සිරා වන මම ජාතිවාදී ලේබලයට භිය නොවන්නෙකි...එය මහත් ආභරණයක් කොට සළකන්නෙකි... මගේ ජාතිය මගේ ආගම වෙනුවෙන් මා අද කරනා මේ සංවාදය පිළිබද මගේ මුතුන් මිත්තන් වුව සතුටු වනු නොඅනුමානය... මගේ ජාතිය, මගේ ආගම, මට ලබා දුන් ත්‍යාගයයි... යනුවෙන් නන්දා මාලිනිය ගයන්නේද  එහෙයිනි..

උතුම් වූ බුද්ධ රත්නයේ ආනුභාවයෙන් සිංහල බෞද්ධයා  ලද මහා ශික්ෂණය නිසාවෙන් අන්‍ය ආගමිකයන් හා සුළු ජාතීන් කරදරයකින් තොරව නිදහසේ හෙළ බිමේ ජීවත්වූහ.දේශපාලඤයන්ගේ නොමනා තීන්දු තීරණ නිසා පසුකලෙක අප රට යුද්ධයකට ඇදී යාම වෙනම කථාවකි.  වෙළදාමේ මුවාවෙන් මෙහි පැමිණ පැල පදියම් වූ මුස්ලිම්වරුද නිදහසේ ජීවත් වූහ. ඔවුන්ගේ නිජබිම වන අරාබියේ පවා ඔවුන්ට එතරම් නිදහසක් අත්විදිය නොහැක.  එනමුදු කාලයේ ඇවෑමෙන් තත්වය නරක අතට හැරී ඇත... සිය පරපුර වැඩිකර හෙළ බිම අත්පත්කර ගැනීමේ හීනමානයෙන් වෙහෙසෙන ඔවුන්  හලාල් නම් කුප්‍ර‍කට ජඩ උපක්‍ර‍මයක්ද වසර කීපයක් තිස්සේ මේ සදහා උපයෝගී කර ගනිමින් සිටී...

අතිමහත් බහුතරයක් අන්‍ය ආගමිකයන් ජීවත් වන රටක මුස්ලිම් හලාල් සංකල්ප බලෙන් අනෙක් උන් පිට පටවන්නට වෙර දරන ජුගුප්සාජනක සිදුවීම අරභයා රටේ පාලක ප්‍ර‍ජාව නිද්‍රාශීලී ප්‍ර‍තිපත්තියක් අනුගමනය කිරීම රටේ අවාසනාවකි. ඒ නිසාවෙන් අන්තර්ජාලය හරහා දැන් දැන් පැතිරී යන ආගමික විරෝධය හෙට දිනයේ ඇරඹෙන මහා ඛේදවාචකයක පෙර නිමිත්තක් විය හැක... සමහර විට එය 1915 ඇති වූ මුස්ලිම් සිංහල කෝලාහලයේ නැවත සම්ප්‍රාප්තියක් වීමටද ඉඩ තිබේ. එහෙයින් රාජ්‍ය මට්ටමේ මැදිහත් වීමක් මේ කියන කාරණය පිළිබද අත්‍යවශ්‍යව තිබේ. එසේ නැතහොත් එය තෙවන ඊළාම් යුද්ධයටත් වඩා සාහසික විය හැක.

ව්‍යාපාරික ස්ථානයක් ලෙසින් ඇරඹී මද කලක් ඇවෑමෙන් නව ගොඩනැගිලි සංකීර්ණ සමග පල්ලියක් බවට පත් වී ඉන් අනතුරුව නගරයේ වෙළද බලය අත්පත්කර ගනිමින් ක්‍රියාත්මක වන මුස්ලිම් අන්තවාදි බූවල්ලා පිළිබද විරෝධය පල කරමින් ජනතාව දැනුවත් කිරීමට කටයුතු කරන පූජ්‍ය පක්ෂය වෙත මිසක ඊට දායක වූවන් වෙත අපේ නිතියේ හස්තය ක්‍රියාත්මක නොවේ...නීතිය අන්ධ යැයි කියන්නෙ ඒ නිසාම විය යුතුය. රංගිරි දඹුලු පුද බිමේද හදිසියේ මුස්ලිම් පල්ලියක් ප්‍රාතූර්භූත වූයේද මේ ක්‍රියාදාමයේ ප්‍ර‍තිඵලයක් ලෙසය.

ඉස්ලාම් ධර්මයට අනුව හලාල් සහ හරාම් ලෙස සංකල්ප දෙකකි. අරාබි බසට අනුව “අනුමත“ යන අර්ථය හලාල් නම් වචනය තුල අන්තර් ගතව ඇති අතර හරාම් යන්න  “තහනම්“ වැනි අරුතක් සපයයි. එම ධර්මය අනුව මුස්ලිම් ජනතාවට හලාල් යන්න කෑම සදහා පමණක් නොව ඇදුම් පැළදුම්/රැකියාව/ විවාහය මෙන්ම විවාහයෙන් පසු ලිංගිකව එක් වීමට පවා අදාළය.  හලාල් ලකුණ සහිත භාණ්ඩයකින් කියවෙන්නේ එය මුස්ලිම් ජනතාව සදහා පරිභෝජනයට අනුමත බවයි. හලාල් පිළිබද කටයුතු කිරීමට මුස්ලිම් රටවල නම් රජයේ මෙහෙයවීමෙන් හලාල් අධිකාරි (Halal Authority) පිහිටුවා ඇති අතර මුස්ලිම් නොවන රට වලදී එරට වෙසෙන මුස්ලිම් ආගමික නායකයන්ගේ ප්‍ර‍ධානත්වයෙන්  හලාල් කමිටු (Halal Committee) පත් කරගෙන ඇත. ඒ අනුව ලංකාව තුල ක්‍රියාත්මක වන හලාල් කමිටුව සමස්ත ලංකා ජමියතුල් උලමා හෙවත් මුස්ලිම් ආගමික වියතුන්ගේ සම්මේලනය ලෙස හැදින්වේ...2000  වසරේදී ඔවුන් ඇතිකරගත්  පනතක් මගින් හලාල් ලාංජනය නැති  භාණ්ඩ පරිභෝජනය නොකිරීමට තීරණය කර ඇති අතර  3000 කින් සැදුම්ලත් උලමාවරුන්ගේ සංවිධානයක බලපෑම ඒ පිටුපස තිබේ. ඔවුන් මුස්ලිම් සමාජයට බලපෑම් කරමින් හලාල් ලාංජනයෙන් තොර නිෂ්පාදන ප්‍ර‍තික්ෂේප කරන ලෙස බලකරයි.

http://lankanet.files.wordpress.com/2010/02/halaal-logo.gif


හලාල් නැත්නම් අපිට එපා....... යනුවෙන් පාරිභෝගික භාණ්ඩ වර්ජනය කරන වෙළදාමේ නිරත අතිමහත් මුස්ලිම් වෙළද ප්‍ර‍ජාව මගින්  ඇරඹෙන මේ හලාල් නාටකය නිසා මහා පරිමාණ නිෂ්පාදකයන් මෙන්ම සුළු පරිමාන නිෂ්පාදකයාද එක සේ පීඩාවට පත්වේ. මේ වැය කරන මුදල අවසානයේ එකතු වන්නේ පාරිභෝගික භාණ්ඩයේ අවසන් මිළට නොවේද ?  රුපියල් එක් ලක්ෂ හැත්තෑපන් දහසක (175,000/-) ක  මුදලක් වසරක කාලයක් සදහා වැය කරමින් ඔවුන්ගේ නිර්නායක සපුරා ලබා ගත යුතු මේ සහතිකය වෙනුවෙන් ඒ ඒ නිෂ්පාදනයට යොදා ගන්නා වට්ටෝරුව පවා ලබා දීමට සිදු වෙන බවකුයි කියැවෙන්නෙ... ඒ අනුව එය ජාතියේ රහස් පිටට දීමක් හා සමානයි. SLS / ISO වැනි අනෙකුත් ප්‍ර‍මිති සහතික රුපියල් ලක්ෂ 3 ක පමණ මුදලකට වසර 3 ක් සදහා  සහතිකය ලබා දුන්නත් හලාල් ලාංජනයේ ආයු කාලය වසරක් පමණයි... ඊළග වසර සදහා නැවතත් එය අලුත් කල යුත්තේ කලින් කියූ මුළු මුදලම ගෙවීමෙන්... දැනට පාරිභෝගික භාණ්ඩ 4500 කට අධික ප්‍ර‍මාණයක් මේ යටතේ ලියාපදිංචිව සිටිනවා... ඒ අතර වැඩියෙන්ම සිටින්නේ සිංහල ව්‍යාපාරිකයන්. ඒ අනුව උලමා වරුන්ගේ සංවිධානයේ වසරක ආදායම 175,000 x 4500 = 787,500,000 මෙය ලංකාව වැනි රටකට අතිවිශාල ධනස්කන්දයකි.

දැන් අපි බලමු හලාල් ලාංජනය ලබා දීමෙන් ලැබෙන මේ අතිවිශාල මුදලෙන්  උලමාවරු කරන දේවල්...ඔවුන්ගේ ප්‍ර‍කාශනයන් තුල ඒවා පැහැදිලිව දක්වා තිබෙනවා...

(1) ඉස්ලාම් මතවාද ආරක්ෂා කිරීමට සහ ප්‍ර‍වර්ධනයට යෙදවීම
(2) මුස්ලිම් ආගමිකයන් අතර මිත්‍ර‍ත්වය තහවුරු කිරීම
(3) ඉස්ලාම් ආගම අනුව ඉස්ලාම් ආගමික/සුභසාධක තත්වයන් නැංවීම
(4) ඉස්ලාම් ආගම පිළිබද පැවැත්වෙන සම්මන්ත්‍ර‍ණ ආදිය සංවිධානය කිරීම
(5) ඉස්ලාම් ආගම පිළිබද පොත් ප්‍ර‍කාශනය/බෙදාහැරීම/ පුස්තකාල පවත්වාගෙන යාම
(6) අරාබි භාෂාව ප්‍ර‍වර්ධනය කිරීම
(7) සියළුම පරිපාලන දිස්ත්‍රික්කයන් තුල තම පරිපාලන කාර්යාල පිහිටුවීම

මැද පෙරදිග වැනි මුස්ලිම් බහුතර ජනතාවක් වෙසෙන රටවල් වෙත අපනයනය කරන නිෂ්පාදන වෙත හලාල් යෙදුවාට කිසිදු වරදක් නැත. එහෙත් 90% පමණ වන අනෙකුත් ජාතීන් ජීවත් වන රටක ජනතාවගේ හිස මත හලාල් නම් විගඩමක් බලෙන් පටවා රැස් කරගන්නා ධනයෙන් මේ ගොඩනැගෙන්නේ තවත් අරාබියක් නොවේද ? සුපිරි වෙළදසැලකට ගොඩවී බැලුවොත් ඔබට පෙනේවි ඉස්සර දවසක මාංශ නිෂ්පාදන වල පමණක් අලවා තිබූ හලාල් ලාංජනය දැන් පානීය ජල බෝතලයෙත් ඇළවී ඇති අන්දම... සමනොළ ගිරි සිරසින් ඇරඹී රට වටා ජල මූලාශ්‍ර‍ පෝෂණය කරමින් ගලා යන මහවැලි/කැලණි/කළු/වලවේ ගංගාවන්හි ජලයත් දැන් දැන් හලාල් කරණයට නතුවෙමින් පවතී.

කුරානයට අනුව සතෙක් ඝාතනය කිරීමට නම් ඝාතකයා රත් වූ කැරකෙන තැටියක් මත සිට රත්වූ ගිණි කබලක් හිස මත තබාගෙන ඒ කාරිය කල යුතුය. සැබෑවටම මේ කාරිය මිනිසකුට කල නොහැකි නිසා එමගින් වක්‍ර‍ව කියා ඇත්තේ සතුන් මැරීම නොකල යුතු බවකි. නමුත් අද ඒ ධර්මය කෙළෙසා සතුන් කෙතරම් ඝාතනය වේද ?  අමානුෂික ලෙස හරක් පටවන ලද හොර හරක් ලොරි කෙතරම් සංඛ්‍යාවක් නිතියට නිරාවරණය වේද ,  හලාල් මාෆියාවෙන් ඔවුන් සිදු කරන්නේ සිංහල සහ අවශේෂ ජාතීන්ට අයත් ජනතාවගේ ධනය බලෙන් මංකොල්ල කෑමකි. ලංකාවට මතුකුඩු ආනයනය කර බෙදාහරින ජඩ මුස්ලිමුන්ට හලාල් නැත... ඒ අනුව මේ විහිලුවේ තරම හෙලිවේ.

කුරානයට අනුව යමින් ලේ දන්දීමෙන් වැළකී සිටින මුස්ලිම් ජාතිකයන් රෝගාබාධ නිසා අසාධ්‍ය තත්වයට පත්වූ විට ලබාදෙන්නේ අතිමහත් සිංහල බෞද්ධයන් සහ අවශේෂ ජාතීන් විසින් ලේ බැංකුවට  පරිත්‍යග කල රුධිරයයි. ඒවා හලාල් නොවේය. හලාල් ම ඉල්ලා පොරකන මුසල්මානුවන්  එවැනි විටෙක ජීවිතය රැක ගැනීමට  හලාල් නැති වුවත් ඒ රුධිරය ශරීරගත කර ගනී.... තව කාලයක් ඇවෑමෙන් ලේ බැංකුවද හලාල් විය යුතු යැයි උලමාවරුන් රජයෙන් ඉල්ලීමට ඉඩ තිබේ. බහුතරයක් නොදන්නවා වුවත් දැන් දැන් සිංහල කාන්තාවන් විවාහ කරගන්නා මුස්ලිම් ජාතිකයන් සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතී... එයද හලාල් නියමයන්ට විරුද්ධය... මේ කාරණා මගින් පෙනෙන්නේ හලාල් යනු විගඩමක් බව නොවේද.... කෑමට උවමනා වූ කලෙක කබරගොයාද  තලගොයා කරතැයි කියවෙන පුරාතන කියමන මෙයට හොදින් ගැලපේ.

පසුගිය නොවැම්බර් මස 19 වැනි දින කොළඹ සම්බුද්ධ ජයන්ති මන්දිරයේදී  බොදුබල සේනා සංවිධානය මගින් පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකදී උක්ත කාරණා දැයට හෙළි කලේ ගලගොඩඅත්තේ ඤානසාර හිමියන් විසිනි. පාලකයන් නිදා සිටින රටක මේ කාර්යය වෙනුවෙන් හඩක් නැගීම පිළිබද ජාතියේ ප්‍ර‍ණාමය බොදුබල සේනා සංවිධානයට හිමිවිය යුතුය.  බෞද්ධයා මහත් භක්තියෙන් යුතුව සමරන චීවර මාසයේ (නොවැම්බර්) කඨින චීවර පූජාවට සමගාමීව බුදුන්ට පූජා කිරීමට සිංහල බෞද්ධයාට දැන් සිදුව ඇත්තේ අල්ලා දෙවියන් නමට කැප කරන ලද නිෂ්පාදනය... බෞද්ධයෙකුට පිරිත් නූලක් පවා බැද සිටීමට අවසර නැති සෞදි අරාබිය සහ ලංකාවේ ආගමික නිදහස අතර වෙනස සසදා බලන්න... සිංහල බෞද්ධයාගෙ කරුණා මහිමය සිංහලයන්ගේ නිවට කම ලෙස සලකා සිටින මේ මුස්ලිම් ප්‍ර‍ජාව තමන්ට රිසි සේ නටනා මේ නාඩගම වහා නැවැත්විය යුතුය. අතීතයේ සිටම සෑම කල්හි ජාතියට එරෙහිව එන ව්‍යසන හමුවේ නොභියව ඉදිරියට ගියේ ජාතියේ මුර දේවතාවුන් බදු මහා සංඝරත්නයයි.

ගලගොඩඅත්තේ ඤානසාර හිමියන්  (වම් පස සිට දෙවැනියට)

නෙදර්ලන්තය හා ඔස්ට්‍රේලියාව මුස්ලිම් ක්‍රියාකාරකම් පාලනයකට ලක් කර ඇති අතර ඔස්ට්‍රේලියානු අගමැතිනිය ජුලියා ගිලාඩ් පසුගිය දිනක කීවේ ඔස්ට්‍රේලියාවේ ක්‍ර‍මයට ජීව්ත්විය නොහැකි සියලුම මුස්ලිම් ජනයාට රටෙන් පිටවිය හැකි බවයි....මේ වන විට එංගලන්ත පාර්ලිමේන්තුව තුලද හලාල් පිළිබද කතිකාවක් ගොඩ නැගී ඇති අතර පොදු ජනතාව හලාල් නිෂ්පාදන ප්‍ර‍තික්ෂේප කිරීම ආරම්භ වී ඇත...

අතීතයේ බෞද්ධ රටවල් ව පැවති ඉන්දුනීසියාව /බංගලාදේශය/ ඇෆ්ගනිස්තානය වැනි රටවල් වේලාසන මේ ආගමික ව්‍යාප්තවාදය හදුනානොගත් නිසාවෙන්  අද මුස්ලිම් රටවල් බවට පත්ව තිබේ තායිලන්තය හා බුරුමය ඒ ආසන්නයට පැමිණ තිබේ... මේ රටවල් සියල්ලේම වෙනත් ආගමිකයන්ට නිදහසේ තමාගේ ආගම ඇදහීමට නොහැක... බංගලාදේශයේ චිතගොං පළාතේ බෞද්ධ භික්ෂූන් ඇතුලු බෞද්ධයන් ට නිරන්තර ප්‍ර‍හාර එල්ලවේ, ඝාතනයට ලක් වේ.... තායිලන්තයේ මෙන්ම බුරුමයේද මේ තත්වය පවතී....  මෙහි ඊළග බිල්ල ශ්‍රී ලංකාවද ? අපේ වසර දහස් ගණනක බෞද්ධ උරුමයන්/සිද්ධස්ථාන වැනසීමට අපි ඉඩ දෙමුද ?

බෞද්ධයනි තව දුරටත් නිවට විය යුතු නොවේ. හලාල් ප්‍රෝඩාවට මුවා වී  රට /ජාතිය/ සමය නසන්නට වෙර දරන මේ ව්‍යාප්තවාදය පරදවමු... ඒ සදහා උපකාරී වන හලාල් අටමගලය ඉවත් කිරීමට හලාල් නිෂ්පාදන මිළදී ගැනීමෙන් වැළකී සිටිමු... අළෙවිය අඩුවන විට ව්‍යාපාරිකයන් නැවතත් යථා තත්වයට පත්වනු ඇත... දැනටමත් ප්‍ර‍ධාන සමාගම් 8 ක් හලාල් වලින් ඉවත් වී සිටී... ලබන වසරේ සිට වෙන්ඩෝල් නිෂ්පාදන එමගින් ඉවත් වේ.... සුප්‍ර‍සිද්ධ හරිස්චන්ද්‍ර‍ නිෂ්පාදන මේ මගඩියට හසුනොවී ඇති තවත් නිෂ්පාදකයෙකි. හලාල් වංචාවට දායක වූ බහුතර ව්‍යාපාරිකයන් හලාල් මගින් සිදුවන සමාජ ව්‍යසනය නොදැන ඊට දායක වූවන්ය... සුළු තරයක් වෙනුවෙන් බහුතරයක් කැප කිරීම් කරනා අසාධාරණ හලාල් වංචාවට හසු නොවෙමු.... එය උපන්ගෙයිම පරාජය කරමු...

ගලගොඩඅත්තේ ඤානසාර හිමියන් මාධ්‍ය සාකච්ඡාවේදී පැවසූ තොරතුරු අඩංගු දීර්ඝ වීඩියෝවෙන් මවිසින් සාරාංශ කරන ලද කොටසක් පහතින්...


                            උපුටාගත්තේ බොදුබල සේනා සංවිධානයේ අඩවියෙනි.
                                            එම අඩවියට පිවිසීම මෙතැනින්



මම කාමරේ වෙසෙන, සත්ගුණවත් සිරා කොලුවා



ප.ලි

මෙහි මේ වන විට කොමෙන්ටු සංඛ්‍යාව 200 ඉක්මවා ඇති හෙයින් අළුත් කොමෙන්ටුවක් දැමීමට කොමෙන්ට් කරන තැනට ඉහළින් ඇති Load More යන්න ක්ලික් කරන්න.

ජාතියේ නාමයෙන් මෙවැනි වටිනා කතිකාවක නිරත වන පුද්ගලයන් ජාති වාදීන් හා ආගම් වාදීන් ලෙස හංවඩු ගසා ඇස් කන් පියාගෙන බොරු ශීලයක් සමාදන්ව සිටිනා සිංහල නපුංසකයිනි. ඔබේ ඔය අසීමාන්තික අනුකම්පාව යටතේ හෙට දින හලාල් වන සිරිලංකාවේ ඔබේ මවට/බිරිදට/නැගනියට  මොට්ටැක්කිලියෙන් හිස වසාගෙන අබාවේ  පිහිටෙන් විළිවසා ගැනීමට සිදුවිය හැකි බවත් උන්ගේ නීති රීති වලට යටත්ව ම්ලේච්ඡ ෂරියා නීතිය රජයන සමාජයක ජීවත්වීමට සිදුවුවහොත් මේ අවධානම හදුනාගත් අවස්ථාවේ ඊට එරෙහිව හඩක් නැගීමට දායක නොවීමේ පසුතැවිල්ල පමණක් ඔබට ඉතිරි වන බවත් සිහි තබා ගන්න. සිංහල බෞද්ධ ජනතාව බහුතරය ලෙස මෙරටේ සිටින තාක් කල් අනෙකුත් ජාතීන් කරදරයකින් තොරව ජීවත් වනු ඇත.

මෙම බොදු බල සේනා සංවිධානයේ මැදිහත්වීමෙන් ම රෝහල් වල සිංහල කාන්තාවන්ට වද සැත්කම් කිරීමද නවතා ඇත.

සිංහල අපට ජීවත් වන්නට සිංහල භාෂාව කථා කරන රටකට  ඇත්තේ මේ මාතෘභූමිය පමණකි...එහෙයින් මෙය දිවි පුදා හෝ රැකගත යුතුය...


මෙම උලමාවරුන්ගේ පනත වර්ෂ 2000 දි ඇති කිරීමට පෙර මෙරට මුස්ලිම් වැසියන් කෑවේ බිව්වේ නැතිද... එයින්ම මෙහි ප්‍රෝඩාව හෙළි වේ...

ඔන්න  සිරා  කොලුවා වෙඩි ලණුවට ගිණි තිබ්බා... කොන්දක් තියෙන බ්ලොග් කාරයන්ට /කාරිනියන්ට මම ආරාධනා කරනවා... දිගින් දිගටම සිදුවෙන මේ ව්‍යාප්තවාදය පරාදකරන්න හැකි අයුරින් දායක වෙන්න සිංහල බ්ලොග් අවකාශය තුලින් යම් දැනුවත් භාවයක් පාඨකයින්ට ලබා දෙන්න එක්වෙන්න කියලා....

හලාල් සහතිකයෙන් ඉවත් වීමට මැලිබන් බිස්කට් සමාගමට බලකරන පෙත්සම මෙතැනින්

Saturday, December 8, 2012

103 අයියෝ සල්ලි....

හුග කාලෙකින් සිරා කයිවාරුවක් ඇද බා නැත... පහුගිය දොහේ ගණිකාවන් නීතිගත කිරීම, Dudesira හුජ්ජ බෑග්  බෙදා හැරීම ආදී සමාජය හිතැති, භාර දූර්ය, ඉතාමත් වටිනා කාර්යයන් බොහොමයක යෙදී සිටීම නිසාම සිරාට කයිවාරු අමතක වී ගියේය. එනමුදු කාමරේ ලෑලි දොර අභියස සිට තට්ටුව දමා ඇතුලට ඒමට අවසර පතන සුපින්වත් සහෘද කැළ මතක් වෙද්දි මගේ අක්මාව ගැහෙයි, හෘදය සංකෝචනය වී ප්‍ර‍සාරණය වේ...  දියං ඩෝ අපිට අළුත් පෝස්ටුවක් යැයි උනුන් මා හට බැට දෙන්නට කලියෙන් යමක්  ලිවීම සෞඛ්‍යයට හිතකරය...

ඔය පෙර කිව්ව පිවිතුරු නිමල අදහසත් සිත්හි දරා සිරා අතිජාත ස්කූටරයට නැගුනේ  තට්ටයාගෙ ස්පොට් එකෙන් ප්‍රින්ට් අවුට් කීපයක් ගන්න හිතාගෙනය... එතැන තට්ටයාට අමතරව දැද්දා ද සිටී...මුන් ඩබලම අපේ බෑන්ඩ් එකේ පැරණි එල කකුල් දෙකකි.  විනාඩි 10 ක පමණ කාල පමාවකින් ස්කූටර් යන්ත්‍ර‍ය සිරා කොලුවා අදාළ තැනට ගෙන ගියේය... මා යන විට සිය පෙම්වතියට තුරුලු උන අහිංසක පෙම්රාජයකු සේ තට්ටයා ඩුප්ලෝ යන්ත්‍ර‍යක් බදාගෙන  ඩුප්ලෝ පිටපත් දිගට හරහට නෙලාගෙන නෙලාගෙන යයි. දැද්දා කොලුවා දිගට හරහට කී බෝඩයෙන් අකුරු කොටාගෙන කොටාගෙන යයි... අකුරු වැරදුනත් උගෙ වේගය නම් සුපිරිය...

මොකෝ බොලව් උඹලා දෙන්නා  පුක කැඩිච්ච කඩි දෙන්නෙක් වගේ ගිණි කසේට වැඩ...

අප්පට... මේ අපේ සිරා අයියා නොවැ.... දන්නෙ නැද්ද හැබෑටම... අද පොඩි සංගිත සාජ්ජයක් තියෙනවා...ටිකට් වලට පෙන්වන...අපි මේ ඒක බලන්න යන්න උදේ ඉදන් ට්‍ර‍යි එක දෙන්නෙ... තට්ටයා ශ්‍රී මුඛය විවර කළෙහිය.

ඒමද... හොදා හොදා... ඉදලා හිටලා ඒම දේකුත් තියෙන්න එපායැ...

දුම්වැටියක් අතින් ගත්  මා නොහදුනන මුත් කලින් දැක පුරුදු තට්ටයාගෙ මිතුරෙක් ස්පොට් එකට ඇන්ටර් වූයේ ඔය අතරය...

අයියා... ඔහු මටද ගරුසරු දක්වා  මේස කොටේකට පශ්චාත් භාගය තද කළේය.

කැවුත්ත එළියට එන තරමේ වේගයකින්  ඉහළට අදිනා සිගැරට්ටුවේ රතු ගිණි දැල්ල සූස් හඩින්  ඉදිරියට ඇදේ....
සුදු පාට  මීදුම් ගලාලා අර පේන කන්දේ හැපීලා  ගීතය සිහිපත් කරමින්... සිගරට් දුම ස්පොට් එකේ ඔබ මොබ පාවෙයි.

ගෝතයො... ඔය මගුල එළියට වෙලා බීලා ඇතුලට වර... ගන්දස්කාරෙ බෑ...  පවු යකෝ උඹලා බදින ගෑණු..බැන්දට පස්සෙ කියහන් ඉන්න තැන... අපිත් ළගපාත ගෙයක් හරි කුලියට අරන් නවතින්නං...

තට්ටයාගෙ තර්ජනයෙන් පසුබා ගියා ගෝතයා එළියට ගොස් සිගැරැට්ටුව උගුරට දෙකට හමාර කොට ඇතුලට ආවේය.

මට එක්වරම සිහිවූයේ අපේ පොල් සෝමේය. හැඩ රුව වෙනස් වුවද මේකාද ඒ ඝණයේම බැව් මගේ අක්මාව මට සන් කල නිසාම... මම මේ අලුත් හාදයා හෙවත් ගෝතයා සමග කයියකට සැට් වුනෙමි. අන්න ඒ කයියට පින් සිදු වෙන්න සිරා අද පෝස්ටුවක් තලා ගන්නෙහිය.

මල්ලි මේ පළාතෙද ?

අනේ නෑ අයියා මම කළුතර පැත්තෙ... දැන් ගම්පහ තමා රාජකාරි කොරන්නෙ...

රාජකාරි කිව්වෙ ?

.......... සර්ගෙ ටියුෂන් පන්තියෙ ටියුට් බෙදන්නෙ... ළමයින්ගෙ කාඩ් චැක් කොරන්නෙ.... සර්ට කඩේ යන්නෙ... ඔක්කොම මම තමා ඉතිං....

හොදා හොදා... හොද අනාගතයක් තියේවි...

අපිටද.... අනේ නෑ අයියා සර්ගෙ අනාගතේ නම් පට්ටෙට ෂුවර්...  පන්තියෙ ඩෙස් පේළි ගාන වැඩි වෙන්න වැඩි වෙන්න...පාවිච්චි කරන වාහනේ වටිනාකමත් වැඩිවෙනවා... ඒ උනාට අපේ පඩිය නම් එකතැන.... ඒක නිකමටවත් ඉස්සෙන්නෙ නෑනෙ ...

හරි හරි ඕවා ගැන හිතන්න එපා... ළගදි දවසක පඩිය ඉස්සෙයි....තමන්ගෙ රාජකාරිය හරියට කොරන එක තමා හොදම දේ...

අන්න හරි අයියා...ඒම තමා මේ මමත්...වෙලාවක් කලාවක්, කෑමක් බීමක්... නෑ... උදේ සිට හැන්දෑ වෙන තුරාවට රාජකාරිය...

මේ දැනුත් ආවෙ අපේ ටියුට් එකක් ඩුප්ලෝ කරලා ඉවරද බලන්න....

තව පැය භාගයක් ඉදපන්... සුටුස් ගාලා ඉවරයක් කරලා දෙන්නම්... තට්ටයා මොර දෙයි...

ඉතිං මල්ලි ළගදි ගමේ ගියෙ නැද්ද...

මතක් කරන්නෙපා අයියා... ළගදි දවසක මම අම්බානට කුජීත වෙලා , සාටර් වෙලා මේ ඇවිත් ඉන්නෙ...

අප්පට ඒ මොකෝ හැබෑටම...

මට වාවන්නෙ නෑ අයියා... මට කියාගන්න බෑ... අයියෝ මගෙ රුපියල් 6000/-

හරි හරි මල්ලි අඩන්න එපා මටත් වාවන්නෙ නෑ.... මේකාගෙ කිඹුල් කදුළු දැක මටද තනි ඇහැට ඇඩෙන්නට ලගය...

මම ගිය මාසෙ දවස් 3 ක් සර්ගෙන් නිවාඩු අරන් ගමේ ගියා යාලුවො සැට් එකත් එක්ක පොඩි ජොලියක් දාලා එන්න...

ඉතිං ඉතිං... සිරාගෙ කුතුහලය වැඩි වෙන සෙයකි....

ඉතිං උදේ වරුවෙ ගෙදර ගිහිල්ලා ... නාලා කාලා ඇලට් එකක් දාගෙන හැන්දෑවට ගැන්සිය එක්ක සැට් වුනා... බන්ට් එක ළග පද්මා අක්කගෙ රෑ කඩෙන්  ඌරුමස් බයිට් එකක් දාගෙන කඩේ පිටිපස්සෙ  ළිං පඩියෙ තියාගෙන ගල් බෝතල් 2 ක් ගහලා මලකුත් ඇදලා එළියට එද්දි වෙලාව 11 ට විතර ඇති... ඔක්කොම අපි පස් දෙනයි...

තුන්දෙනෙක් මගදි සලාම් කියාගෙන උන්ගෙ ගෙවල් වලට මාරු උනා අරිද.... දැන් ඉන්නෙ කියද... දෙන්නයි... හික්....

ඒ එක්කම වැටෙන්න ගත් ඉක්කාවාගෙන් ගෝතයා බේරා ගැනීමට මට වතුර වීදුරුවක් වැය විය...

ඉතිං අපි දෙන්න මලේ  පවර් එක ඇගට අරන් පයින්ම කිලෝ මීටර් එක හමාරක් විතර ඇවිල්ලා පන්සල  ලග බස් හෝල්ට් එකේ හිට ගත්තා...

ඉතිං ඒ වෙලාවට බස් තියෙනවද...

බස් නෑ ඒ උනාට වැඩ ඉවර කරලා  ගෙදර යන බස් එකක් හරි ටෝක් කර ගන්න පුලුවන්...

අපි එද්දි බස් හෝල්ට් එකේ හිටියා තව තුන් හතර දෙනෙක්.... උන් ටික පන්සලේ හාමුදුරුවන්ට තිත්ත කුණුහබ්බෙන් බැන බැනා පන්සලට ගල් ගැහුවා.... අපි ඉතිං අයියා ඉදලා හිටලා මේ වගේ ෆන්ක් එකක් ගත්තට උපතින් බෞද්ධයො නොවැ... අනේ අපි අපේ පාඩුවෙ තමා පැත්තකට වෙලා හිටියෙ...

ඇයි බන් ඉතිං නිරපරාදෙ හාමුදුරුවන්ට බැන්නෙ....

හාමුදුරුවො ධර්මෙට වඩා බිස්නස් වැඩ කරන කෙනෙක්ලු... චරිතෙ අප්සැට් ලු....


විනාඩි 10 ක් ගියෙ නෑ... වේගෙන් ආපු පොලිස් ජිප් එකක් පත බ්රේක් පාරක් ගහලා නැවැත්තුවට වඩා වේගෙන් ඒකෙ ඇතුලෙ හිටිය රාළහාමිලා ටික එළියට පැන්නා....මට ඉතිං ඉවෙන් වගේ තේරුනා... මරාලයක් තමයි කියලා... ගල් ගහපු සැට් එක දුවද්දි අපි එතනම හිටියා...


http://www.sundaytimes.lk/120812/uploads/Police.jpg







අනේ රාළහාමිලා දෙන්නෙක් බලෙන්ම  අපිට පුකට දෙකක් දිලා ජිප් එකට නගින්න කිව්වා..

එහෙම පුලුවන්ද බන් වැරැද්දක් නැති මිනිස්සු ජිප් වලට පටවන්න...

වෙච්ච අසාධාරණය නිසා තරහා ගියා සිරා කොලුවා විමසුවේය.

එහෙම දාන්න බැරි උනාට අපි දෙන්නා ඒ වෙලාවෙ කෙලින් ඉන්න බැරි ගානට ඔන්දස්පොට් වෙලානෙ හිටියෙ අයියා... ඒක තමා පරහට හිටියෙ...

උඹලා නේද ගල් ගැහුවෙ පන්සලට.... පොලිස් ලොක්කා ඇහුවා...

ගල් ගැහුවට පන්සලට ගැහුවෙ නෑ මහත්තයෝ... අපි මේ ෆන් එකක් දාලා ගෙදර යන ගමන්....

ගංජා ගදක් එන්නෙ ගංජා ගැහුවද....

අනේ නෑ සර්... අපි මේ අති විශේෂ ටිකක් විතරයි බිව්වෙ...

හරි හරි  උඹලා ඔය බස් හෝල්ට් එකේ හිටියට දැන් බස් එන්නෙත් නෑනෙ... නැගපල්ලා...ගෙවල් ලගින්ම බස්සන්නම් කියලා සෑර් පොරොන්දු වෙච්ච හින්දම  මා එක්ක හිටිය අනිත් එකත් එක්කම මමත් ජිප් එකට නැග්ගා...

අනේ ඒ රාළහාමිලා අපි දෙන්නව දාගෙන පැය ගාණක් එහෙ මෙහෙ කැළෑ පාරවල් වල කරක් ගහලා ... තව කීපදෙනෙක්ම ජිප් එකට නැග්ගුවා... දැන් ජිප් එක ඇතුලෙ ඉඩත් නෑ... හරියට සාඩින් පැක් කලා වගේ...

කථාව කියන අතරතුර ගෝතයාගේ අංග චලනයන් කථාවට එක් කරන ජීවය ගැන කියන්න වදන් නැත..

තව ටික දුරක් ගිහිල්ලා කසිප්පු වික්ක ඇග මහත ගෑණු දෙන්නෙකුත් ජිප් එකට පැටෙව්වා... දැන් නම් හුස්ම ගන්න ඉඩත් නෑ... ජිප් එක අදින්නෙත් අමාරුවෙන්....

මේ මොන මගුලක්ද යකෝ... ගෑණියෙක්ට පාඩුවෙ යන්න දීපල්ලකො...

අර ගෑණුන්ගෙන් එකියක් මොර දුන්නනෙ හදිස්සියෙම...

ඒ මොකෝ බන්... සිරා හූ මිට්ටක් තිබ්බා...

අපි නම් නෙමෙයි... වෙන කවුද මදාවියෙක් ඒකිගෙ පපුව මිරිකලා....කරුවලේම....

ඒ එක්කම පැන නැගුන හිනාව නිසාම  තව පොඩ්ඩෙන් දැද්දා කැරකෙන පුටුවෙන් පත  බෑවෙන්නට  ඉඩ තිබුනි....

ගෑණි කට ඇරියා විතරයි  ජිප් එක නවත්තලා ලොකු මහත්තයා හංසයො මිරිකපු එකාව එළියට අරගෙන දුන්නා දෙන එක ආයෙ මදි නොකියන්න....

අපි ඉතිං පැයක් දෙකක් කරක් ගහලා සෑහෙන දුරක් ගිහිල්ලා ඉවර වුනාට පස්සෙ....

අර පන්සල ළගින් නැගපු උන් දෙන්නා බැහැපල්ලා.... කියලා ලොකු මහත්තයා කිව්වා... අයියට කියන්න ඒ වෙද්දි අපි කිලෝමීටර් 10 කට වඩා ගෙදරට දුරයි. ඔය දුර මේ මහ රාත්තිරියෙ පයින් යන්න බැරි කමටම මම  ඇහුනෙ නෑ වගේ හිටියා...

උඹලට ඇහෙන්නෙ නැද්ද.... බැහැලා ගෙදර යනවද නැද්ද....

මා එක්ක හිටපු  අනිත් එකා නම් පූස් පැටියා වගේ ජිප් එකෙන් බිමට බැස්සා... ඒ උනාට  මම බැස්සෙ නෑ...

අනේ සර් තව කොච්චර දුර පයින් යන්නද... ජිප් එකට දා ගත්තා නම් ගේ ළගින්ම බස්සන්නකො... කියලා මම කිව්වා....

උඹට ගේ ළගින්ම බහින්න ඕනෙ නේද... හරි හරි ළගින්ම බස්සන්නම් කියලා ජිප් එක පොලිසියට ගියා... මාව කූඩුවට දැම්මා අනිත් රොත්තත් එක්කම... අපි එද්දි  ඒක ඇතුලෙ එකෙක් බීඩි බොනවා... මෙලෝ යකෙක්ට ඉන්න බෑ... අපිත් එක්ක ගිය උන් දෙකක් දුන්නම උගෙ බීඩි කොටේ හැලුනා...

ඉතිං ඉතිං... යන්තරයෙන් එළියට එන පිටපත් එකතු කරමින් තට්ටයා තව තවත් ගෝතයා කථාවට පොළඹවයි...

උඹට කියන්න තට්ටෙ, මට අර බහින්න කියපු තැනින් බැස්සා නම් හොදයි කියලා හිතුනා බන්... අවේලාවෙ වීදි සංචාරය කියලා මාව පහුවදාම උසාවියට දැම්මා කියහන්කො... අදුනන යාලුවෙක්ට විස්තරේ කියලා ලෝයරයෙක් අල්ලලා ගෙදර උන්ට හොරෙන් උසාවි කූඩුවට නැග්ගා...

යුෂ්මතා වැරදි කරුද නිවැරදි කරුද කියලා ඇහුවාම වැරදි කරු කියන්න කියලා මෑන් මට කිව්ව නිසා එහෙම කිව්වා... ඒකෙන් නඩුව ඉවරයි... දඩේ පන්දාහයි...

ලෝයර්ට දාහයි..... අයියෝ සල්ලි 6000/- ඉවරයි..... හොද වෙලාවට අදටත් ගෙදර කවුරුවත් මේ ගැන දන්නෙ නෑ...

ඒකා හයදාහ මතක් කරමින් විස්සෝප වෙද්දී... තට්ටයා උගෙ වැඩේ අවසන් කර හමාරය...

ඉතිං ඊට පස්සෙ පද්මා අක්කගෙ කඩේ පිටිපස්සෙ සැට් උනේ නැද්ද.... සිරා ප්‍ර‍ශ්නයක් නැගුවා...

ගිය සතියෙ ඔය වගේම රෑ වෙලා මම කට්ටියට සැට් වෙන්න එන්න කියලා පණිවිඩේ යවලා යාලුවෙකුගෙ ගෙදර ඉදන් පාරට බැහැලා බස් හෝල්ට් එකේ හිටගෙන හිටියා... වෙලාව රෑ 9 ට විතර ඇති...

එදත් පොලිස් ජීප් එකක් නවත්තලා හෝල්ට් එකේ හිටිය අයගෙන්  කොහෙටද යන්නෙ අහලා නග්ගගත්තා... මගෙනුත් ඇහුවා කොහෙටද යන්නෙ කියලා... මට භයටම කියවුනා ගෙදර යන්න ඉන්නෙ කියලා... අපේ පැත්තෙ කැළෑ පාරවල් වල බස් අඩු හින්දා... මේ වගේ ඉදලා හිටලා පොලෝසියේ මහත්තුරු මිනිස්සුන්ව ජීප් එකේ දාගෙන යනවා...

අනේ ඒ පොලිස් මහත්තුරු එදා නම් ගේ ළගින්ම මාව දාගෙන ගියා... බැස්සට පස්සෙ තමා අරුන් සැට් එක මම එනකන් බලන් ඉන්නවා කියලා මීටර් උනේ....එදා නම් කලින් අහලා තිබුනෙ නැති කූණුහබ්බත් උන්ගෙන් අහගත්තා...

දැන් අපි අපේ ගෙදර පිටිපස්සෙ සැට් වෙන්නෙ අයියා.... රෑට පාරෙ බීලා අහුවුනොත් අපේ පැත්තෙ සොරිම තමා... ඊට පස්සෙ ගත්ත ආතොල් එකත් කුඩු...

තට්ටයා ලබා දුන් බිලත් රැගෙන ගෝතයා..... අයියා එහෙනම් අපි කැපුනා... වෙලාවක සැට් වෙමු  කියමින් මගේ දෑස් මානයෙන් මිදුනේය......

ඕකා ගැන කියලා වැඩක් නෑ අයියේ... පන්තියේ කෙල්ලො තුන් හතර දෙනෙක් ගෙන්ම යාලුවෙන්න අහැව්වා කියලා උන්ගෙ සර් ඌව ළගදි දවසක එලවන්නත් හැදුවා... කියමින් තට්ටයා ඩුප්ලෝ යන්ත්‍ර‍යේ විදුලි සැපයුම විසන්ධි කළේය.

ෆන් දැමීමෙන් පසු අවේලාවේ වීදි සංචාරය... ඉතා අහිතකරය... අයියෝ සල්ලි යනුවෙන් කීමට වැඩ සිදුවිය හැක.



මම කාමරේ වෙසෙන, සත්ගුණවත් සිරා කොලුවා...


ප.ලි

ගෝතයා තෙපලූ බසින්ම අකුරු කරන ලදී.

මෙම කථාවෙන් පාඨක ඔබට ගත හැකි ආදර්ශය නම්... 
ෆන් දැමීමෙන් පසු බස් හෝල්ට් අසල සිටගෙන සිටීම ඉතා භයානකය....
















Related Posts Plugin for WordPress, Blogger...