Wednesday, December 26, 2012

73 මැරතන් අසිරිය 2

පළමු කොටසට මෙතැනින්

සිරාගේ මැරතන් කෙරුවාව ඇරඹුන ආකාරය කලින් පෝස්ටුව කියැවු අය දනිති. නොකියවූ අය කියවලාම ආවොත් හොදා.

පළමු වාරයෙන් පස්සෙ දෙවැනි වතාවෙ තරගයට සහභාගි වෙද්දි සිරා කොලුවා යම් තරමකට අත්දැකීම් සහිත තත්වයකට පත්වෙලා හිටියෙ. තරගයේ මාර්ගය වැටී ඇති අන්දම, වේගය වැඩිකල යුතු තැන්, අනිත් තරගකරුවන්ගෙන් මිදිලා ඉස්සරහට යන ආකාරය ගැන ගැන දළ අවබෝධයක් ඒ වෙද්දි ඇතිවෙලා තිබුනා. තරගය පැවැත්වෙන්න සතියකට පමණ පෙර පන්තියේ ඇතැම් මිතුරන් මගෙන් විමසන යම් කාරණයක් තියෙනවා. සිරාගෙ පන්තියෙන් මැරතන් දිව්වෙ සිරා පමණක් වීම නිසයි මිත්තරයො එහෙම ඇහුවෙ.

මේ සැරේ කවුද බන් උඹට සපෝට් එක දෙන්නෙ ?  අපි දෙන්නවත් දාපන්කො බං....

එවිට එය ඇසෙන තවත් එකෙක්...  මේ මේ උන්ට කලින් මම උඹට සපෝට් එක දෙනවා කිව්වෙ...උඹ මාව අනිවාර්යෙන් දාන්න ඕනෙ අරිද ?

කථා බහ අනුව සිරා යනු වාසනාවන්ත තරගකරුවෙකි. සිරා කොලුවාට තරගයේදී උදව්වට පැමිණීමට පන්තියේ කොල්ලන් පොරකති. ඒ කාලජේද දෙක තුනක්  කිසිම අතුරු උපද්‍ර‍වයකින් තොරව ගෙවා ගැනීමට හැකිවීමත්, තරගයේ නිරත වීමේදී මුහුණ දෙන රසබර සිදුවීම් වලට ඇති කැමැත්තත් නිසාය. බෑන්ඩ් කාමරයෙන්ද තරගයේ යෙදෙන තම සාමාජිකයන් වෙනුවෙන් සහායකයින්  ලබා දුන්නද මම උන් ලබා නොගත්තේ පන්තියේ අහිංසක කොලුවෙක්ට පීරියඩ් දෙකක්, තුනක් කට් කර ගැනීමට අවස්ථාව ලබා දීමෙන් ලැබෙන ඉමහත් කුසලයේ ආනිශංසයට ඉතා ගිජු වූ හෙයිනි.

http://www.srilankayouth.lk/photoindex.php?level=picture&id=2217


තරගය දවසට සිරාගේ උදව් කරුවන් පැමිණෙන්නේ කුඩා ප්ලාස්ටික් බාල්දියක්, නවීන පන්නයේ මවුන්ටන්/රේසිං වර්ගයේ පා පැදියක්, ග්ලූකෝස් පැකැට්ටුවක් ආදියෙන් සන්නද්ධ වීමෙනි. මේ සියල්ලම උන්ගේ හැකියාවෙන් සම්පාදනය කරගනී. ගම්පහ නගරයේ ප්‍ර‍ධාන පෙලේ බාලිකා විද්‍යාල ඉදිරිපිටින් තරගය ගමන් කිරීම හේතුවෙන් උන් සැමවිටම නවීන පන්නයේ පාපැදි වල පිහිට පතයි...ඒ තරගයට මුවාවෙන් පාසල් වෙලාව තුල තම පෙම්වතිය දැක  ගන්නටය. ඇගෙන් ලකුණු කිපයක් ලබා ගැනීමටය. නීත්‍යානුකූලව එක් තරග කරුවෙකුගේ සහයට ලැබෙන්නේ එක් බයිසිකලයක් පමණක් වුවද තරගය ආරම්භ කර මද වෙලාවක් ගිය කල මගේ පන්ති සගයන් කීප දෙනෙකුම මා වටා සිටී. උන් පිටතට පැන්නේ පාසලේ තාප්පයේ කුමන කොටසින්දැයි දන්නේ උන්ම පමණකි.

වාර්ෂික නිවාසාන්තර ක්‍රීඩා උළෙලේ මාර්ග ධාවන තරගයට සහභාගි වන සියලුම ක්‍රීඩකයන් තරග ආරම්භක ස්ථානයට වාර්තා කරන්න..... මෙය ඔබට ලැබෙන අවසන් නිවේදනය බව කරුණාවෙන් සළකන්න...   

යනුවෙන් යකඩ කටෙන් නිවේදනය වන විට සිරාගේ යටි බඩේ ඇති වූ අමුතු වෙනස මෙය ලියන අවස්ථාවේදීත් දැනෙන්නා සේය. මා සහභාගි වූ සෑම ඉසව්වකටම පෙර  මානසික ආතතියක් මෙන්ම යටි බඩේ කොරයක්ද ක්ෂණිකව ඇති වුවත්....තරගය ආරම්භ වී මද වෙලාවකින්  එය ක්ෂණිකව අතුරුදහන් වෙයි. තරගයට කලියෙන් ඇතිවෙන මේ  මානසික ආතතිය ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩකයන්ටද  තිබෙනා බැව් මා අසා ඇත.

තරග ආරම්භක ස්ථානයේදී ක්‍රීඩකයාගේ නම/ නිවාසය/ පැළද සිටින අංකය ආදිය පරීක්ෂා කිරීම සිදුවේ. ඊට අමතරව තරගය ගමන්ගන්නා මාර්ගය පිළිබදවද දැනුවත් කරයි. ක්‍රීඩකයන්ගේ ධාවනය අධීක්ෂණයට ස්ථාන පහකදී විමර්ෂණ නිලධාරීන් (Check Point)  සිටින අතර ඒ සෑම ස්ථානයකදීම ක්‍රීඩකයාගේ තරග අංකය ඔවුන් විසින් සටහන් කරයි. මේ Check Point පිහිටා තිබෙන ස්ථානයන් ක්‍රීඩකයන් නොදනී. යම් විනය විරෝධී ක්‍රියාවක නිරත වූයේ නම් එයද සටහන් වෙයි. ජයග්‍ර‍හණය ලද ක්‍රීඩකයා ඉහත සියලු අවශ්‍යතා සපුරා ඇතිදැයි සොයාබැලීමෙන් පසු ඔහුගේ ජයග්‍ර‍හණය තහවුරු කිරීම සාමාන්‍ය සම්ප්‍ර‍දායයි. තමන්ගේ සහයට යන බයිසිකලය  ස්පර්ශ කිරීමද තරගයෙන් ඉවත් කිරීමට උපකාරී වන සිදුවීමකි.

ඉහත උපදෙස් මාලාවෙන් පසු තවත් විනාඩි 10 ක් පමණ තරග ආරම්භයට ලැබෙන හෙයින් ඒ ඒ නිවාසයන් අනුව ක්‍රීඩකයන් එකමුතුව තරගයට මුහුණ දෙන ආකාරය සාකච්ඡා කරයි.

ඉස්පිරිතාලෙ ලගට යනකම්ම සෑහෙන වේගෙකින් යනවා...එතැනින් පස්සෙ තමයි කට්ටිය හැලෙන්නෙ... අන්න එතනට යනකන් කොහොම හරි අල්ලන් යමල්ලා... නිවාසයේ ජේෂ්ඨ මැරතන් ධාවකයා සෙස්සන්ට එසේ උපදෙස් දෙයි...නමුත් තරගය ආරම්භ වූ සැනින් ඉතා වේගයෙන් පළමු කිලෝමීටරය ධාවනයේ යෙදෙන හෙයින් මේ උපදෙස් සිහියට එන්නේ නැත.

ගම්පහ නගරය පසුකල විට තරගකරුවන් සී සී කඩ ගොසිනි. ඉතා වේගයෙන් මුල් කොටස ධාවනයේ යෙදෙන හෙයින් ඇතිවන වෙහෙස ඉතාමත් වැඩිය... ඉන් අනතුරුව යම් තරමකට වේගය අඩුවන අතර වෙහෙස ස්ථාවර තත්වයකට පත්වූ පසු නැවතත් වේගය වැඩි වේ.

හරි හරි මචං ඔහොම අල්ලගෙන යමු....උඹට මොනවද ඕනෙ.... ග්ලූකෝස් ටිකක් දෙන්නද, පිටිපස්සෙ එකා ටිකක් ළං කරනවා වගේ.... තව පොඩ්ඩක් හයියෙන් දුවපන්.....මේ ආකාරයෙන් සහායකයින් සිරා කොලුවා දිරිගන්වයි. කෙතරම් මහන්සි උනත් මුන්ගේ මේ දිරිගැන්වීම නිසාම තව දුරටත් දුවන්නට ධෛර්යය ලැබේ.

ගම්පහ නගරයෙන් පසු එළඹෙන ඔරුතොට කලුපාලමෙන් එපිට ප්‍රදේශය ගම්බද ඉසව්වක් නිසාම වසරකට වරක් පැවැත්වෙන මේ ධාවන තරගයට සහාය දැක්වීමට කාන්තා/පිරිමි/තරුණ /මහළු භේදයකින් තොරව  පිරිස බොහොම උද්යෝගයෙන් එකතු වෙති. මේ අයගේ දරුවන් බොහොමයක් අප පාසලේ ඉගෙනගැනීමද එයට තවත් හේතුවකි. තරගකරුවන්ට පළමු ජල ප්‍ර‍හාරය එල්ල වන්නේද මේ ඉසව්වේදීය. ජල නල වලට සම්බන්ධ හෝස් බට උපයෝගී කරගෙන ඇතැම් තැනක තරගකරුවන් ජලයෙන් නහවන අතර, ඇතැම් තැනක බේසම් වලට පුරවන ලද ජලය කුඩා කෝප්ප මගින් තරගකරුවන්ගේ ඇගට ගසයි. ධාවනයේ යෙදීමේදී හිරු රශ්මියෙන් ඇතිවන දාහය අඩුකර ගැනීමට මෙම ජල සම්පාදනය ඉතාමත් අවැසිය.

මේ අතර රූමත් දැරිවියන්ද සිටින අතර එවැනි අවස්ථා වලදි සිරාගේ ධාවන වේගය වැඩිවන්නේ සිරාටද හොරාය. ඇතැම් කුපාඩි කොල්ලන් දෑත බදා මුහුණටම දැඩි ජල ප්‍ර‍හාර එල්ල කරන නිසාවෙන් ධාවනයේ යෙදෙන්නන් එමගින් ප්‍රවේශම් විය යුත්තේ ඉන් අනතුරුව හුස්ම ගැනීම අපහසු වීමෙන් ඛේදජනක තත්වයන් ඇතිවිය හැකි හෙයිනි.

බැලුම්මහර හන්දිය පසුකර මිරිස්වත්තෙන් ගම්පහ මාර්ගයට වැටුනු පසු තරගයේ ස්ථාන බොහෝදුරට තීරණය වී හමාරය. විවිධ ස්ථාන වලදී මගේ සහයට එකතු වූ පන්තියේ මිතුරන් නිසා සිරා කොලුවා වටා ඒ වෙද්දී සපෝටර්ලා පොකුරකි... උන් විවිධ උපදෙස් දෙයි....

රතු ටයි පටිය ආසන්නයෙන් තරගය ගමන් කරන විට එය දැකගැනීමට ශිෂ්‍යාවෝ පාසලට ඇතුලුවීමේ ගේට්ටුව අසලට පැමිණෙන හෙයින් තරගකරුවෝ මෙන්ම සහායකයෝද ඒ ඉසව්වේදී ඉතා උද්යෝගිමත් වේ. ඒ මන්දැයි මම නම් නොදනිමි.

කකුල් තව ඈත් කරලා තියපන්,  තව වේගෙ වැඩි කලා නම් අර පේන එකාව අල්ලන්න පුලුවන්.... තව ටික දුරයි බන් කොහොම හරි වේගෙ වැඩි කරලා යමු.... මෙවැනි වෙලාවක උන් නගන ජයඝෝෂාවේ හඩ නිසාම සිරා කොලුවාගේ ඇන්ජිම තවත් වේගවත් වී දෙපයට බල සැපයුම වැඩි කරන හෙයින් ඉදිරියේ යන උන් වෙත ආසන්න වේ... එයින් පසු එය ආධාර කරුවන් අතර තරගයකි. දෙපාර්ශවයම උණුසුම් අන්දමින් පාසලේ පිටුපස පිවිසුම් ගේට්ටුව දක්වාම තරගකරුවා දිරිමත් කර පැමිණ එතැනදී පසෙකට යා යුතුය. එතැන් සිට එක එල්ලේ තනි කෙලින් පිහිටා ඇති මීටර් 150 ක පමණ දුර ශරීරයේ ඉතිරිව ඇති ශක්තිය උපරිමයෙන්  භාවිතා කරමින් උපරිම වේගයෙන් ධාවනය කලයුතු  අතර ඒ අවස්ථාවේ කකුල් බිම ගැටෙන බවක් වත් නොදැනේ... තරගය අවසන් වූ පසු එකවර නවතින්නේ නැතිව තවත් මද දුරක් වේගය අඩුකරමින් දිවගොස් ක්‍ර‍මයෙන් නතර වීම සිරාගේ ක්‍ර‍මයයි. එයින් පසු දිණ කිපයක් ගතවෙන තුරු ශරීරයේ මස්පිඩු වලින් නැගෙන වේදනාව ගෙන දෙන්නේ මිහිරකි.

මෙතෙක් වේලා විස්තර කල සිරාගේ දෙවන  මාර්ග ධාවන තරගයේදී  තරගකරුවන් රාශියක් සිදුකල විනය විරෝධී හැසිරීම් නිසා තරගයේ ප්‍ර‍තිඵල සම්පූර්ණයෙන්ම අවලංගු කල අතර ඊළග වසරේ සිට ගමන් මාර්ගයද වෙනස් කෙරිනි. පා පැදි මගින් තරගකරුවන් ප්‍ර‍වාහණය එම තීරණයට එළඹීමට හේතු විය. එයින් වඩාත් අසාධාරණයට ලක් වූයේ හිතට එකගව අවංකව තරග වැදුනු සිරා කොලුවාගේ ගණයේ  තරගකරුවන්ය. නමුත් ඊළග වසරේද මාර්ග ධාවන තරගයට සහභාගි වීමේ අදහස අප කෙරෙන් ඉවත් වූයේ නැත.

තෙවන වසරේ ගමන් මාර්ගය ඔරුතොට මාර්ගය වෙනුවට කොළඹ පාරෙන් මිරිස් වත්ත හන්දියටත් එතැනින් යක්කල හරහා නැවත පාසලටත් වැටී තිබුනි. බැලුම්මහර -ඔරුතොට ගම් පෙදෙසේදී සිදුවිය හැකි තරග වංචාවන් එමගින් වැළැක්විය හැකිවීමම ජයග්‍ර‍හණයකි. එයට අමතරව තවත් වැදගත් දෙයක් වූයේ අපේ කොල්ලන් ඉතාමත් දැඩිව ප්‍රිය කරන වතුර ටැංකිය අසල කොළ පාට ටයිපටිය ඉදිරියෙන් නව මාර්ගය වැටී තිබීමයි. මේ විද්‍යාලයේ කෙල්ලන් තරගය ඒ ඉසව්වෙන් ගමන්ගන්නා විට පාසල ඉදිරිපස  තාප්පය අසලට රැස්වී තරග කරුවන් දිරිමත් කිරීම සිරා වන මා හට අද ඉතාමත් සුන්දර මතක සටහනකි. ඒ සෑම විටකම මගේ අධාර කරුවන්ද ඉතාමත් ප්‍රමෝදයට පත්වූ බැව් මතකය.

තෙවන වසරේ මාර්ග ධාවන තරගය සදහා  උදෑසන පාසල් ක්‍රීඩා පිටිය තුල කරන පුහුණුවීම් දැකලා මැරතන් දුවන්න ආශාවෙන් මා සමග එක්වුනු තූර්ය වාදක ඛණ්ඩ සාමාජිකයන් අතර කැපීපෙනෙන දෙන්නෙක් හිටියා.. හරියටම අයියයි මල්ලියි වගේ...එහෙම කිව්වෙ උන් දෙන්නගෙ පෙනුම නිසා...තවත් සරළව කියනවා නම් මුන් දෙන්න සෑහෙන්න උස මහත ජබ්බයො දෙන්නෙක්.... මැරතන් එකක් තියා මීටර් 200 ක් වත් දුවාගන්න පුලුවන්ද කියලා දකින ඕනෑම කෙනෙක්ට හිතෙනවා උන්ගෙ දැවැන්ත ශරීර කූඩු දෙක දැක්කම...ඒ කාලෙ මේ දෙන්නගෙ සහභාගිත්වය නරඹන්නන්ටත් සෑහෙන විනෝදයක්.

උන් දෙන්නා තරගයේ යෙදෙන්නෙ බොහොම මද වේගයකින් වුවත් හැමදාම අන්තිමයට කලින් තරගය අවසන් කලා.  මේ රහස හොයා බැලුවාම තමයි උන් දෙන්නගෙ සාර්ථකත්වයේ රහස බෑන්ඩ් කණ්ඩායමෙන් ලබාදුන් උදව්කරුවන් විසින් අත්කර දුන් එකක් බව දැනගන්න ලැබුනෙ...

අම්මෝ පපුව ගැලවිලා වැටෙන්න වගේ බොල...ඉක්මනට ස්කිනිය දාගෙන දුවපන්....උදව්කරුට ධාවකයෙකුගේ කාරිය කරන්න අවස්ථාව ලැබෙන්නෙ ඒ අණින් පස්සෙ...  මේ විදියට මාරුවෙන් මාරුවට තරගකරුවා සහ සහායකයා ධාවනයේ යෙදෙන්නේ ඉදිරියට ගමන් කර නැවතත් පසුපසට පැමිණ බුද්ධි තොරතුරු ලබාදෙන සහායකයන් මාර්ගයෙන් Check Point උපක්‍ර‍මශීලීව පසුකරමින්. තරග වදින තරගකරුවා සහ සහායකයා අතරින් තරගයේ වැඩිම දුරක් ආවරණය කරන්නෙ සහායකයා විසින්....තරගය යක්කලින් ගම්පහ මාර්ගයට අවතීර්ණ වූ පසු නියම තරගකරුවන් දිගටම ධාවනයෙ යෙදෙනවා වුවත්  බණ්ඩාරවත්ත ප්‍රදේශයට  ලං වෙද්දී කෙලින් සිට ගැනීමටවත් නොහැකි ලෙස වෙහෙසට පත්වී සිටින මේ ස්ථූල තරගකරුවන් දෙදෙනා එතැන් සිට තරගයේ ඉතිරි දුර තරණය කරන්නෙ මාර්ගයේ ගමන් ගන්නා බස්රථයක පාපුවරුවේ පිහිටෙන්... පාසල පෙනෙන නොපෙනෙන දුරට පැමිණි පසු රියදුරු තැනගේ කාරුණික අනුග්‍ර‍හයෙන් බිමට බසිනා මේ දෙදෙනා එතැන් සිට පවත්වාගන්නා වේගය පුදුමාකාරය. ඇතැම් විට නිරීක්ෂක නිලධාරීන්ට හසුවන මේ වංචාවන් නිසා තරගයේ අවසන් ස්ථාන දෙක මේ දෙදෙනා වෙනුවෙන් නියම වී තිබු අවස්ථාද තිබුනා.

සිරා පාසලේ සිටි අවසන්  වසර වන විට ග්ලූකෝස් කුඩු වෙනුවට Dextrose  නමින් හැදින්වූ දියරමය ග්ලූකෝස් වර්ගයක් ලබාගැනීමට තරගකරුවන් හුරු වී සිටියා. එමගින් ඉතාමත් 
වේගයෙන් ශක්තිය ජනනය කල නිසා බොහෝ පිරිසක් එය භාවිතා කලා. වරක් මීටර 5000 
තරගයේදී උද්වේගකර අවසන් වටයේදී භාවිතා කිරීමට Dextrose  දැමූ ප්ලාස්ටික් කෝප්පයක් මගේ බෑන්ඩ් සගයන් වන ජපන් චමිනා සහ අයියා බඩා වෙත ලබාදී තිබුනා.

හති දමාගෙන අවසන් වටයට එළඹුන  සිරා කෝප්පය ලබාගත්තා. නමුත් එහි කිසිවක් නෑ... 
තනිකරම හිස්... ඒ උනත්  මම තරගය තියුණු අවසානයකින් පස්සෙ ජයගත්තා. තරගයෙන් පස්සෙ, 

කෝ බොලව් මම දාල දුන්න Dextrose ?

උඹ ඉතිං හැමදාම ඕවා බොනවනෙ.  මේ චමියා කිව්වා මේවා රහ ඇති කියලා... ඉතිං අපි දෙන්නා තිබුන ඩිංග බෙදාගෙන  බිව්වා බන්... හරිම පැණි රහයි නේද....තරහා වෙන්න එපා ඉතිං...උඹ තරගෙ දිනුවනෙ...

මෙවැනි සුන්දර මතක සටහන් මැදින් එදා ක්‍රීඩාපිටිය තුල ධාවනයේ යෙදෙන විට නිවාසයේ ගුරු මණ්ඩලය මෙන්ම සහෝදර ශිෂ්‍යයන්ද නැගූ ජයගොස දැනුත් ඇසෙන්නා සේය.

අයියෙ කොහොම හරි දිනන්න... ඔයාගෙ ළගම එනවා යනුවෙන් 6 වසරේ කුඩා උන් රතුපාට කොඩි දෙපසට වනමින් කෑ ගැසූවේ මා උන්ගේ අතිජාත සහෝදරයා යනුවෙන් සිතාගෙනය. එය එතරම් උද්වේගකරය. විජය නිවාසය පිහිටා ඇති ස්ථානය පසු කර යන සෑම වටයක් පාසාම තරුණ ජවය ආරූඩ වූ   ශ්‍රියාණි ටීචර් නැගූ හඩ සිරා හට කිසිදා නොමියෙන මතක සටහනක්ය.

ගිය වසරේ දිනයක එතුමිය මට මහමගදී හමු වූවාය. ආගිය තොරතුරු විමසීමෙන් පසු පාසලේ වත්මන් ක්‍රීඩා කෞෂල්‍ය පිළිබද මා නැගූ ගැටළුවට ඇය දුන්නේ මෙවැනි පිළිතුරකි.

උඹලා හිටපු කාලෙ වගේ නෙමෙයි පුතේ දැන්.... දුවන්න කොල්ලො එන්නෙ නෑ ඉගෙනගන්න එක පාඩු වෙනවා කියලා... උන් දැන් කොම්පියුටර් ගේම්/මොබයිල් ෆෝන් වල  හිරකාරයො වෙලා. සමහර ගුරුවරුත් ඒකට වගකියන්න ඕනෙ...එත් ඇත්තටම ශිෂ්‍යයා සම්පූර්ණ වෙන්නෙ ඕනෙ විෂය හා සමගාමී ක්‍රියාකාරකම් දෙකම එකතු වෙලා. ක්‍රීඩාව මගින් තමයි සෞඛ්‍ය සම්පන්න පුරවැසියෙක් රටට දායාද කරන්නෙ... කොච්චර උගත් උනත් ඒකා ලෙඩෙක් නම් රටකට වැඩක් තියෙනවද ?

http://ccemblog.com/wp-content/uploads/2011/08/iStock_000013035572Small-652x300.jpg

ඇගේ පිළිතුර තුල හිතන්නට බොහෝ දේ ඇතැයි මට  දැනුන නිසාම සිරාගෙ කාමරයෙන් ඔබට කියන්නට මම පසුව ඉටා ගතිමි.



මම කාමරේ වෙසෙන, සත්ගුණවත් සිරා කොලුවා.



ප.ලි

Dextrose යනු තහනම් උත්තේජකයක් දැයි නොදනිමි.

වරක් මගේ සහායට පැමිණි තිදෙනෙකු ගමන් කල තැපැල් නයින්ටියක් පෙරළී එහි උන් එකෙකුගේ ඉදිරිපස දතක් විදුරු මසට සමුදුනි.

කිසිම විටෙක මාර්ග ධාවන තරගයේ පළමුතැන ජයග්‍ර‍හණය කිරීමට මා හට නොහැකි වූ අතර මගේ ඉහළම දක්ෂතාව 4 වැනි ස්ථානය ලබා ගැනීමයි. නමුත් මීටර 5000 සහ 1500 තරග දෙකම සිරා පළමු ස්ථානය දිනා ඇත.

73 comments:

  1. Sira hoda dhawakayek ehenam.
    Ara teacher kiyapu kathawa sahathika aththa bn.ada kale godak ewunta pothama witharai,prayogika danuma,bahira kriyakarakam owwa gana ada ewunta gank na.demawupiyoth waga kiyanna one mewwata..

    Lipiya ela...
    Jayama Wewa !!!

    ReplyDelete
    Replies
    1. දමිත් ශ්‍රියන්ත කාමරයට සාදරයෙන් පිළිගන්නවා..

      දෙමාපියනුත් වගකියන්න ඕනෙ...ඒක ඇත්ත... අපේ පාසලේ නම තියපු ආදි ශිෂ්‍යයො බහුතරය විෂය සමගාමී ක්‍රියාකාර කම් පාසල් කාලය තුල කල අය.

      Delete
    2. ඒ කාලේ විෂය බාහිර ක්‍රියාකාරකම් කරපු අය අද එයාලගේ ළමයිට ඒවා කරන්න දෙන්නේ නැති එක ගැන පුදුම හිතෙනවා.
      ඔන්න සිරා අයියනම් එහෙම කරන්න එපා.

      Delete
    3. අනේ නෑ නගේ...මට ඕනෙ මගේ ළමයි දොස්තරලා ඉංජිනේරුවො කරන්න නෙමෙයි... යහපත් පුරවැසියො කරන්න...ඒ අය තමන් යන්න ඕනෙ මාර්ගය හොයා ගනීවි...

      මෙහෙම කිව්වට තාම බැදලත් නෑ බොලං... බදින්න කෙල්ලෙකුත් නෑ විලි ලැජ්ජාවයි.

      Delete
    4. සිරාගේ ලියවිල්ල නම් පට්ට සිරා !!

      Delete
  2. මැරතන් මතක.. හි හි...

    ඔය වතුර ගැහිල්ල කොල්ලන්ව වට්ටන්නත් කරනවා නේද.. මූණටම වතුර ගහන එක මං කිව්වේ.....

    දැං ඉන්න ළමයින්ට දුවන්න තියා පිට්ටනිය වටේ රවුමක් ඇවිදින්න බෑ.. අර අපේ එක ජබ්බයෙක් ඉන්නවා ගෙදර ආපු වෙලාවේ ඉඳලා ෆේස්බුක් එකේ.. බොරුවට බැට් එකක් කරගහගෙන යනවා ක්‍රිකට් ගහන්න කියලා.... වට දෙකක් දුවාගන්න බෑ.. ස්පෝර්ට් එකක් කරන්න ඕනේ නිසා යනවලු...

    ReplyDelete
    Replies
    1. නහයට තදට වතුර වැදුනොත් මහන්සි වෙලා ඉන්න වෙලාවෙ හුස්ම ගැනීමේ අපහසුතා ඇති වෙනවා...විහිළුව ඇස්රතු වෙන එකක් වෙන්නත් පුලුවන් ඒ වෙලාවට...

      ඒ ජබ්බයට කියන්න අඩු වයසින් මැරෙන්න හදන්නෙ නැතුව තෙල බහින්න ව්‍යායාම කරන්න කියලා... මෙහෙම කිව්වට මේ දවස් වල මම ව්‍යායාම කරන්නෙත් නෑ... ළගදීම ආයෙත් පටන් ගන්නයි කම්පනාව...

      Delete
  3. ක්‍රීඩාව මගින් තමයි සෞඛ්‍ය සම්පන්න පුරවැසියෙක් රටට දායාද කරන්නෙ... කොච්චර උගත් උනත් ඒකා ලෙඩෙක් නම් රටකට වැඩක් තියෙනවද ? ....ඒකනම් ඇත්ත....දැන් ඔය රටේ නැති ලෙඩ හදාගන්නේ ගොඩක් වෙලාවට ඇග හොල්ලන්නේ නැතිනිසා තමයි ...

    ReplyDelete
    Replies
    1. ව්‍යායාම මද කම...හොදට බලන්න විදේශිකයො දිහා...ඒ අය තමන්ගෙ දිණචරියාවෙ එක් අංගයක් බවට ව්‍යායාම පත්කරගෙන තියෙනවා... වයසට ගියත් බොහොම ශක්තිමත් විදියට ඒගොල්ලො තමන්ගෙ වැඩකටයුතු කරගන්නෙ ඒ නිසයි...

      Delete
  4. මොනවා උනත් සිරා අයියේ ටීචර් අහල තියෙන්නේ නම් සහතික ඇත්ත. අද කාලේ ගොඩ දෙනෙක් විෂය භාහිර ක්‍රියාකාරකම් වලට එන්නේ නැහැ. ගොඩක් දුරට අවස්තාව අඩුයි තිබුනත් යන්නේ නැති උනුත් ඉන්නවා. සෑහෙන්න රසවින්දා පොස්ටුව නම්.

    ReplyDelete
    Replies
    1. මේ කියන ටීචර් විෂය භාහිර ක්‍රියාකාරකම් වලදි සෑහෙන්න ශිෂ්‍යයන්ට උදව් කරපු කෙනෙක්... එයාගෙ පන්තියෙ මමත් ඉගෙනගෙන තියෙනවා... අපි බෑන්ඩ් වැඩ ඉවරවෙලා පන්තියට යන්නෙ පෙබරවාරි මැද...මාස එකහමාරක්ම ගතවෙලා ඉවරයි ඒ වෙද්දි...ඒ සියලුම නෝට්ස් සහ පාඩම එතුමිය අපට ලබාදෙනවා....අපව අධෛර්යමත් නොකර...

      Delete
  5. //මේ අතර රූමත් දැරිවියන්ද සිටින අතර එවැනි අවස්ථා වලදි සිරාගේ ධාවන වේගය වැඩිවන්නේ සිරාටද හොරාය.//

    ඔන්න ඔය තත්වය සලකලා තමයි ගැරී කර්ස්ටන් ඉන්දියා ක්‍රිකට් ටීම් එකට ලිංගික චිකිත්සාවක් ගැන අදහසක් දුන්නෙ.

    ReplyDelete
    Replies
    1. ගැරී කර්ස්ටන්ගෙ වැඩේ හරිගියා නිසාද ලෝක කුසලානෙ දිනුවෙ ? ඒ කියන්නෙ සැට් එක කියපු විදියටම කොලාද ?

      Delete
  6. මැරතන් මතක නියමයිනේ..
    අර පළවෙනි තරගේ අත්හිටවපු එක නම් අපරාදේ නේද..
    මමත් ක්‍රීඩා සදහා සහභාගී උනේ නම් නොකර බැරි නිසා. ඒත් පාසල් කාලයේදී මනස විතරක් වෙහෙසන්නෙ නැතුව ඇගත් පොඩ්ඩක් වෙහෙසවන්න ඕනෙ. නැත්තං ඒ ජීවිතය හිස් වෙනවා. මම ක්‍රීඩා නොකරට ඇති වෙන්න බාලදක්ෂ, කැඩෙට් කරා..

    ReplyDelete
    Replies
    1. පාසලේ පන්තිකාමරේ ඉගෙනීම පමණක් කරගෙන හිටියා නම් පාසලෙන් ඉවත් වූ දවසක මතක් කරලා සතුටු වෙන්න රසවත් අතීතයක් නැතුව යනවා...ඒ අතින් මම සෑහෙන්න වාසනාවන්තයි...

      Delete
  7. මමත් මේ ළඟකදී දැන ගත්තේ දෙක්ස්ට්‍රොස් කියන්නේ වතුරේ දිය කරපු ග්ලුකෝස්. ඒවා පානය තහනමක් නෑ. ග්ලුකෝස් කාලා හිර වෙච්ච අවස්ථා බොහොමයක් අප දැක තිබෙනවා. ඒ ක්‍රීඩකයන්ගේ උගුරැ කට වේලී තිබෙන නිසා. ඩෙක්ස්ට්‍රොස් එකට කදිම ප්‍රතිකර්මයක්.

    ReplyDelete
    Replies
    1. මම හිතාගෙන හිටියෙම තහනම් උත්තේජකයක් කියලා... එතකොට ඔන්න ඕකයි කාරණේ..

      Delete
  8. ඔය දෙක්ස්ට්‍රොස් කියන එක අපි හිතන් හිටියෙ තහනම් උත්තේජකයක් කියල.. ඉස්කෝලෙ මැරතන් වලට යද්දි කොල්ලො ඕව ගහන්නෙ ටොයිලට් අස්සෙ ගැංඟිලා. ඊට පස්සෙ සිංහයො වගේ දුවනව තහනම් උත්තේජක ගැහුව කියල හිතන්. අන්තිමට බලු වෙලා එනව. හි හි

    ReplyDelete
    Replies
    1. අපිත් ඒ දවස්වල හොරාට හොරාට තමයි ඕක බිව්වෙ... මැරතන් එක දුවන්න මම ඒ කාලෙ ඒවායින් දෙකක් පාවිච්චි කොලා...

      Delete
  9. සිරා හොඳ ධාවකයෙක්නේ බලන් ගියාම

    ReplyDelete
    Replies
    1. සිරා හොද ධාවකයෙක්...ඇත්ත...

      Delete
  10. රසවත් මතක..
    ඩෙක්ස්ට්‍රෝස් තහනම් උත්තේජකයක් නෙවෙයි, ග්ලූකෝස් දියරයක්.
    ඔය වතුර බාල්දි පිටින් ගහන එකනම් බලන් ඉන්නකොට බය හිතෙනවා. අනික වෙහෙස වෙලා, රත් වෙලා එහෙම ඉන්න වෙලාවෙ එක පාරටම සීතල වතුර ඇඟට වැටෙන එකත් හොඳ මදිද මන්දා.
    දැන් කාලෙ ළමයින්ට බාහිර ක්‍රියාකාරකම්වල නියැළෙන්නට නොදෙන්නෙ ඉගෙනීමට තියෙන තරගෙ නිසා වෙන්නට ඕන. පව්. වෙන මොනව කියන්නද?

    ReplyDelete
    Replies
    1. නලිනි අක්කා මේ විෂය ගැන හොදටම දන්නවා කියලා මම දන්නවා... ඔබ කියනවානම් ඩෙක්ස්ට්‍රෝස් තහනම් උත්තේජකයක් නෙමෙයි කියලා... ආයෙ හිතන්න දෙයක් නෑ...

      ඉගෙනීමේ තරගෙ නිසා ළමයි ලොකු තනතුරු වලට යනවා...ඒත් ඒ සතුට/ජය භුක්ති විදින්න වෙන්නෙ ලෙඩ රෝග රාශියක් කරපින්නාගෙන...

      නිරෝගි කම හැර සැපතක් ලොවේ කොයින්දා... කියලා කියන්නෙ නිකං නෙමෙයිනෙ..

      Delete
  11. සිරා අපිත් මැරතන් එක දිව්වා වගේ හැගිමක් හිතට ඇතිවුනේ.

    ReplyDelete
    Replies
    1. හිතෙන් මැරතන් දුවනකොට වතුර එහෙම වැදුනෙ නැද්ද ?

      Delete
  12. අනිත් එක සිරා ඒ දවස් වල පාසල් වල තිබුනු පරිසරයත් ඕකට බලපෑව. ක්‍රීඩා කරන ලමයි පාසලේ වීරයො විදියට තමයි සැලකුවේ. දැන් Aසාමාර්ත වැඩියෙන්ම ගන්න එකාපමනයි වීරයො කරන්නෙ.ගොඩක් වෙලාවට පාසල් පරිපාලනය තමයි තීරනාත්මක සාදකය.

    අධ්‍යාපනය අද ආර්‍තික දර්ශනයක් වෙලානෙ. ඒ නිසා ඉස්කෝලෙන් පස්සෙ කරන්නෙ මොන ජොබ් එකද කියන තෑනට අධ්‍යාපනය ඇවිල්ල. බාහිර ක්‍රියාකාරකම් නෑ.
    ඉස්සර ...අවුරුදු උත්සව වල,යෞවන සමාජ ක්‍රීඩා.. වගේකොච්චර ක්‍රීඩා තරඟ තිබුනද.

    මෙවාට වග කියන්න වෙන්නෙ අනාගතයේ.

    ReplyDelete
    Replies
    1. ඔබේ කථාව එක්ක මම එකගයි... අද බලන්න ගමක අවුරුදු උත්සව/යෞවන සමාජ තරග තියෙන්නෙ කීයෙන් කීයද... ඉස්සර දරුවන්ට පාසල් කාලයෙන් පස්සෙ සොබාව ධර්මය ඇසුරෙ ඉදගෙන ස්වයං අධ්‍යයනය මගින් යමක් ‍ඉගෙන ගන්න වෙලාව තිබුනා...ඒත් අද දරුවන්ගෙ ඒ අවස්ථාව රැල්ලට දුවන අධ්‍යාපනයට පිං සිද්ධ වෙන්න අතිරේක පන්ති විසින් සොරාගෙන...

      අද උන්ට වඩා අපි වාසනාවන්තයි කියලත් හිතෙනවා...

      Delete
  13. ලේ දන්දීමකින් පස්සෙත් හුඟාක් වෙලාවට Dextrose එකක් දෙනවනෙ. මම හිතන්නෙ ක්ෂනික ශක්තිය ලබා ගන්න දෙන ග්ලූකෝස් දියරය.

    ඉස්සර අපි විෂය බාහිර ක්‍රියාකාරකම් වලට සහභාගි උනේ පුදුම ආසාවකින්. ඒකෙන් අපේ ඉගෙනීමට කිසිම බාදාවක් ඇති උනේ නෑ. දැන් ඉන්න ලමයි ක්‍රීඩා කරන්න කැමති නෑ. විශේෂයෙන්ම නගරයේ අය. ක්‍රිකට් ඇරෙන්න.

    වීයා කියනවා වගේ ළමයින්ගෙ මනසේ තියෙන්නෙ ඉගෙන ගෙන ඉවරවෙලා කරන ජොබ් එක.ඉලක්කය ඒක විතරයි. ක්‍රීඩාවලින් නිරෝගීකම, ජය පරාජය පිළිගැනීමේ හැකියාව වගේම කණ්ඩායම් හැඟීමත් ඇති කරනවා. දැන් අපිට ඉතිරි වෙලා තියෙන්නෙ පොතට සීමාවුන,හිරවුන..මනසක් ඇති ළමයින් පිරිසක් විතරයි.

    ReplyDelete
    Replies
    1. ඩෙක්ස්ට්‍රෝස් වලින් ඉතා ඉක්මනින් ශක්තිය ජනනය කරනවා... ඉතාමත් දුර්වල රෝගීන්ටත් රෝහල් වල මෙය ලබාදෙනවාලු...

      මෙහෙම රැල්ලට ගගගෙන ගිහිං මේ ළමයි දවසක ලොකු චරිත වේවි...නමුත් එදාට සාරධර්ම/ගුණ ධර්ම/සිරිත් විරිත් සෑහෙන්න පසුබෑමකට ලක්වී තියේවි...

      Delete
  14. ඇශුවල් එක ගැන උඹ අහලා තිබ්බා! මමනං රන්ටැඹේ ආසම එක තමයි ඒක!!!! ආයේ ඉස්කෝලේ යන්න හිතෙනවා බං මේවා දැක්කහම!

    ReplyDelete
    Replies
    1. ආයෙ ඉතිං ඒ කාලෙ එන්නෙ නෑනෙ බං...නැත්නම් මමත් හරි ආසයි ආයෙමත් ඉස්කෝලෙ යන්න...

      Delete
  15. අපරාදේ වතුර බාල්දියක් සිරාගේ මූනට ගහන්ට බැරි උනානේ....:-)

    දැන්වත් දුවන වෙලාවක් බලලා කියන්ටකො...:-D

    ReplyDelete
    Replies
    1. හෆොයි කුමාරිහාමි කියන කථා...වතුර බාල්දිය සිරාගෙ මූණටම ගහලා සිරාව මහපාරෙ පතබාවන්න කල්පනාව නේද...

      වෙලාවක් කියන්න දැන් නම් දුවන්නෙම නෑ... බල්ලෙක් පස්සෙන් පැන්නුවොත් තමා...

      Delete
  16. ඔය වේගෙන් වතුර ගහනකොට දුවන කෙනාගේ වේගේ අඩු වෙන්නේ නැද්ද??
    අපි පොඩි කාලේ, ඔය අළුත් අවුරුද්දට එහෙම අපේ ගේ ලගින් කට්ටිය දුවන කොට අපි වතුර ගහනවා. ඒ නම් ජොලියට ඉතිං.......

    ReplyDelete
    Replies
    1. මුහුණට වතුර වැදුනාම මද වෙලාවක් යනතුරු හුස්ම ගන්න අමාරුයි...ඒ නිසා ඒ දවස්වල අපි දුවනගමන් වතුර ගහන්න ඕනෙ තැන හස්ත සංඤා මගින් වතුර ලබාදෙන අයට දන්වනවා...

      Delete
  17. "මේ අතර රූමත් දැරිවියන්ද සිටින අතර එවැනි අවස්ථා වලදි සිරාගේ ධාවන වේගය වැඩිවන්නේ සිරාටද හොරාය." පෝලිමට හිටෙව්වානම් පළවෙනි තැනත් ගන්න තිබ්බා..

    මට මතක්වුනේ ඉස්සර කැඩෙට් කරද්දී ගිය රෝඩ් රන්.. දවසක් පාරෙ යන ලස්සන ගෑණු ලමිස්සියෙක් දැකපු එකෙක් වැඩ දාන්න ගිහිල්ලා පත බෑවුනා බිමටම.. ඌ කොච්චර අසිහියෙන් හිටියාද කිව්වොත් ඒ ළමයාගෙ දෙපාමුල වැටිලා මූණ කට පුරා වැලි නෑවෙනතුරු දන්නෙ නෑ..

    "මැරතන් එකක් තියා මීටර් 200 ක් වත් දුවාගන්න පුලුවන්ද කියලා දකින ඕනෑම කෙනෙක්ට හිතෙනවා උන්ගෙ දැවැන්ත ශරීර කූඩු දෙක දැක්කම" අපෙත් ඔය වගේ අලි ජබ්බෙක් හිටියා.. ඒත් මිනිහා ඇත්තටම වැඩකාරයා..

    "ඒ අවස්ථාවේ කකුල් බිම ගැටෙන බවක් වත් නොදැනේ" ඒක නම් ඇත්ත.. මීට මාස කීපෙකට කලින් මල්ලිත් එක්ක තරඟෙට දුවලා ෆිනිශ් කරන්න ගිහින් මම හිටියෙ කලුගල් ගොඩක් උඩ හතරගාතෙන්..කකුල් දෙකෙන් රතුපාටට මොනාද එනවා..

    ReplyDelete
    Replies
    1. මමත් ඉතිං කැඩෙට් කරුවා හින්දා ගම්පහ වටේම රෝඩ් රන් ගිහිල්ලා තියෙනවා...තාර පාරෙ හැමෝගෙම කකුල් එක බීට් එකට වදිද්දි නැගෙන සද්දය මාර ගති නේ......

      කකුල් දෙකේ හැබෑටම රතුපාටට ආවෙ මොනවද ? රතු වැස්සකටවත් අහුවුනාද...

      Delete
  18. මැවිල පේන්න ලියල තියෙනව සිරා.

    කොච්චර උගත් උනත් ඒකා ලෙඩෙක් නම් රටකට වැඩක් තියෙනවද ? ඒ කතාවනං සහතික ඇත්ත. මේ පැත්තෙ කොල්ලෙකුත් පහුගිය දවස්වල අර තිස්ස වැවේ කේස් එකට අහුවෙලා නැතිඋනා. පොතේ පතේ දේවල් ඉගෙන ගන්නව වගේම පීනන්නත් පොඩ්ඩක් හරි ඉගෙනගත්තනං අද ඒ ජීවිත ගොඩක් බේරෙන්න තිබුණ.

    ReplyDelete
    Replies
    1. තිසා වැවේ ජීවිත 7 ක් නොවැ... ඉස්සර ක්‍රීඩා සහතික වලට සම්මුඛ පරීක්ෂණ වලදි සැළකීමක් ලැබුන නිසා බහුතරය ක්‍රීඩා කලා...එද එහෙම නැති නිසා වෙන්ට ඕනෙ ක්‍රීඩාව දිනෙන් දින වල පල්ලට යන්නෙ...

      Delete
  19. මැරතන් එක යන පාරේ ගෑනු දැරිවියන්ගේ ඉස්කෝල තව දෙක තුනක් තිබුන නම් තරඟය තවත් උණුසුම් වෙයි.. :)
    මටත් හිතුනේ වෙහෙස වෙලා උෂ්ණත්වය වැඩි වෙලා තියන කොට වතුර ගහන එක හොඳද කියල. සමහරු නම් ක්‍රීඩකයා ගෙන් අහල තමයි වතුර ටික ඇඟට හලන්නේ.

    මේ පෝස්ටුව මාව අවුරුදු ගණනක් අතීතයට අරන් ගියා. මේවා සුන්දර මතකයන්..!

    ReplyDelete
    Replies
    1. කෙල්ලො දැක්කම මහන්සිය කොහෙන් ගියාද නෑ බන්... වැලේ වැල් නැතුව වැනි වැනි ඇවිදගෙන යන උන් පවා අපූරුවට දුවනවා කෙල්ලෙක් දැක්කම...

      Delete
  20. කලින් පොරොන්දු වූ පරිදි මගේ මතක සටහන මේ සමඟ බෙදාගන්නට කැමතියි. (කතාව ටිකක් දිග වැඩි වුනොත් සමාව භජනය කරන සේක්වා!..)

    "ඈහ්.. උඹ දුවන්න. යකෝ තෝව මැරිලා වැටෙයි." ඒ අපේ උසස් පෙල පන්තියට අලුතින් ආ එකෙකි. වැඩි දෙනෙකුට මැරතන් එක දිවීමේ මගේ අදහස නොකීවත් නිකමට මෙන් ඌට ඒ ගැන කීවේ ඌ මා අසලම හිටි එකෙක් නිසාය. ඒත් ඌ ඒ කී දේට අමනාපයක් නොගත්තේ අලුත් එකෙක් වූ ඌ මාව ඒ හැටි නොදන්නා නිසාය. අනික කුඩා ශරීරයකට හිමිකම් පාන මා දෙස බැලූ විට ඌට එහෙම හිතුණු එකේ වරදක්ද නැත්තේය.

    දවස උදා විය. පෙර පුහුණුවෙන් සන්නද්ධව සිටි මා running kit එකත්, සපත්තු නොමැති කකුල්වල ආරක්ෂාවට ඔතා ගන්නට ප්ලාස්ටර් රෝලකුත් බෑග් කඩමල්ලකට දමාගෙන ක්‍රීඩාගාරයට පිය මැන්නේ ලිස්ට් එකට නම දාගන්නය. "දැනට අටක් ඉන්නවා. ගිය වතාවෙ ප්ලේස් ගහපු උන් දෙන්නෙක් එන්න ඉන්නව. උන් ආවෙ නැත්නම් චාන්ස් එකක් දෙන්නම්.", බලාපොරොත්තු නොවූ ඒ වදන් නිවාස නායක ලක්ෂිතයාගෙනි. කාලය ගත විය. අදාල උන් දෙන්නාගෙන් එකෙක් නැත. චාන්ස් එක මටය. ඒත් තවත් කොස්සකි. බෑන්ඩ් එකේ තවත් එකෙකුට වැඩේට සෙට් වන්නට වුවමනා වෙලාය. එක් නිවාසයකින් උපරිම දිව හැක්කේ දහයකට විතරය.

    "කමක් නෑ එහෙනම් මං ඉන්නම්", කවදත් කිසි දෙයක් බලෙන් ලබා ගන්නට නොදඟලපු මා එසේ කීවේ බලාපොරොත්තු සුන්වය. ඒත් අසල සිටි මගේ මිතුරෙක් ලෙඩේ ඇද්දේය. "නෑ නෑ එහෙම කොහොමද උඹ දුවපන්..". කොහොමහරි වැඩේ සමතයකට පත් වී දහවෙනියා ලෙස මගේ නමද දැන් ලිස්ට් එකේය.

    (මෙතැන් සිට ලියන භාෂාව පසෙක දමමි.) කොහොමෙන්හරි තරඟය ආරම්භ වුණා කියමුකො. සිරා කිව් විදියට ඉස්පිරිතාලෙ හන්දියට වෙනකම්ම කට්ටිය හැල්මෙ දුවන්නට වුණා. ගමේ අවුරුදු උත්සව කීපයකම දුවල අත්දැකීම් තිබුණු මම ක්‍රමේ දැනගෙන හිටි නිසා අතරමැදි ධාවනයක් තමයි කළේ. මා එදා දුවන බව වැඩි දෙනෙක් නොදැන හිටි නිසා සපොර්ට් එකට කිසි කෙනෙක් නෑ, දුවන මනුස්සයනෙ දන්නෙ වචනෙකින් කරන දිරිමත්කිරීමක උනත් වටිනාකම ඒ වෙලාවට.

    සමහර වෙලාවට මම දැක්ක වෙනත් නිවාසවලට අයිති මං හොඳට දන්න අඳුනන උන් පවා වචනයක්වත් නොකියා, වතුර බින්දුවක්වත් නොදී අහක බලන් ගිය හැටි. හිතට යම් දුකක් නොදැනුනා නෙමේ ඒ වෙලාවෙ. තවත් අපේ නිවාසෙටම අයිති අපේම පන්තියේ එකෙක් පුටාර් එකකින් ආව මාව පහු කරන් යක්කල පහු කරල එන හරියෙදි. උගෙන් තමයි මං දැනගත්තේ ඒ වෙනකොට මං හොඳ මට්ටමක ඉන්න බව. "මචං මං පොඩ්ඩක් ඉස්සරහට ගිහින් එන්නම්", ඌ යන්න ගියත් උගෙන් ලැබුණු පණිවිඩෙන් මගෙ හිතට ලොකූ හයියක් ආවෙ.

    ඔන්න ඉස්කෝලෙ කිට්ටුව හරියට එද්දි මට පිටිපස්සෙන් ඇහෙනවා හෙන සද්දයක්. "තියමු මචන්.. තව පොඩ්ඩයි.. ඇරල යමු..........." ඔන්න ඔය වගේ. පස්ස හැරිල බැලින්නම් අපේම වයසෙ මලාට (මල්රාජ්) කට්ටිය හෝ ගාල සපෝට් කරනව. හ්ම්ම්.. තනි මමත් ඉතින් තව ගැම්ම දාල දුවන්න පටන් ගත්තා.

    පිට්ටනියෙ ගේට්ටුව කිට්ටුවෙලා පස්ස හැරිල බලද්දි ඔන්න අරූ මට ගොඩක්ම කිට්ටු වෙලා. ගේට්ටුවෙන් ඇතුලට වුණා විතරයි ආපසු බැලීමක් නැතුව පටන් ගත්තා මීටර සීය දුවන්න. පොඩි උන් පේලියට ඉඳගෙන කෑ ගහනවා "කමෝන් විජය..... කමෝන් විජය....". කොහොමහරි ළඟ ළඟ ඉවර කලත් අරූට බැරි උනා මාව අල්ලන්න.

    පරාක්‍රම නිවාසයේ එකෙක් වූ උගේ ස්ථානය උනේ හත. ඉතින්.. හයවෙනි ස්ථානය වූ මගේ ප්‍රතිපලයෙ වඩාත්ම සුන්දර කාරණය වුණේ මුල් ස්ථාන හයම අපේ විජය නිවාසය විසින් අත්පත් කරගැනීම. හැමෝටම හරිම සතුටුයි. ඉසව්වේ සමස්ත ශූරතාවය කිසිම තරඟයකින් තොරව අපිට ලබාගන්න පුලුවන් වුනා.

    ඔන්න ඔය විදියට තමයි මට මගේ ජීවිතයෙ ලැබුණු වඩාත්ම සුන්දර අවස්ථාවක් කිසිදා අමතක නොවන අකාරයට ලැබුණෙ. ඒත්.. ඒ සුන්දර අත්දැකීමෙන් පස්සෙ ලැබුණු තවත් කණගාටුක් කළකිරීමක් ලැබුණු සිදුවීමක් තියෙනවා. ඒකත් පසුව බෙදාගන්නම්. ස්තූතියි කියවූ ඔබට!

    ReplyDelete
    Replies
    1. සුන්දර මතකයක් බං...මගේ අතීතය මටත් සිහිපත් වුනා... සතුටුයි තවත් විජය නිවාසයේ සාමාජිකයෙකු හමුවූවාට...

      අපි ඉන්න කාලෙත් විජය තමා මැරතන් එක දිනුවෙ..මැරතන් ඉසව්ව විජය නිවාසයේ නමටම ලියැවෙච්ච එකක්ද කොහෙද...

      මල්රාජ් නම මට මතකයි...මට දැන් උගෙ මූණ මතක නෑ...

      Delete
    2. ම්ම්.. ඔව්. මමත් දන්න කාලෙ ඉඳලම මැරතන් තරඟෙයේ මුල් ස්ථාන ලබා ගන්නේත් (ඒ වගේම එහි සමස්ථ ශූරතාවය), අනිකුත් දුර දිවීමේ ඉසව්වල මුල් ස්ථාන ලබා ගන්නේත් අපේ විජය නිවාසය. දැන් තත්වය කොහොමද දන්නේ නෑ.

      මං කළින් විස්තර කරපු වතාවේ ප්‍රථම ස්ථානය දිනා ගත් සුසන්තයා (eastern band) ඊට පසුව පැවති අවස්ථාවලත් ප්‍රථම ස්ථානය දිනා පිට පිටම තුන් වථාවක් ඒ සමත්කම කිරීමට සමත් උනා.

      Delete
    3. ෙමන්න ෙම් ෙකා. මැරතන් දිව්වයි කියන්ෙන.
      ෙකාෙහාම වුනත් එල ෙකාල්ෙලක් ෙන

      Delete
    4. මට මතකයි උඹ ඔය දිව්ව දවස...
      ඇත්තෙන්ම මම නම් හිතුවෙ නෑ, උඹ ධාවන පථය සම්පුර්ණ කරයි කියල. සමාව භජනය කළ යුතුයි සහ ලජ්ජා විය යුතුයි අවම වශයෙන් උඹට සහයක් දීමට පසුපසින් එනවා තබා, වචනෙකින්වත් උඹට හයියක් නොවීම ගැන.
      උඹේ අල්ලපු එකා ලෙස, උඹ අසලම සිටි අලුත් එකා අප හිත මිත්‍ර "අපගේ ගායක මහතා" ලෙස මා අනුමාන කරනවා...
      බොහෝ ක්‍රීඩා වලට බෙහෙවින්ම සමත් "මලා" වැන්නෙක් ඔබ පසුපසින් ඒම, ඔබගේ දක්ෂතා මොනවට විධහා දක්වයිද.
      -තවත් විජය සාමාජිකයෙක්-

      Delete

  21. එල මචන් ආසාවෙන් කියෙව්වා..මටත් සිද්දියක් මතක් උනා
    වතුර බාල්දි ගැන කියද්දී .අපේ බයිසිකල් රේස් එකක් තිබ්බ දවසක
    කඩයක් අයිති කෙනෙක් ගැහුවා වතුර පුරෝලා බාල්දියකින් .
    වැඩේ කියන්නේ මිනිහට බාල්දිය අත අරුණ:(
    අරු බාල්දි පාර කාගෙනම පාරෙන් එහා පැත්තේ කඩේ කඩාගෙන අස්සට
    ගියා control නැතුව.ඒක දැකල හිනාව නතර කරගන්න බැරි උන
    කීප දෙනෙකුත් පාර මැද්දේ පත බෑවුනා ..

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නෙ මිනිහා වතුර ගහන්න ගිහිල්ලා බාල්දියක් පෙරළගෙන... ගුටි නොකා බේරුනා මදෑ...

      Delete
  22. //කොච්චර උගත් උනත් ඒකා ලෙඩෙක් නම් රටකට වැඩක් තියෙනවද ?//

    ඇත්තනේ කතාව ,ටීචර් කියල තියන දේවල් ඔක්කොම මසුරං තමයි ..දැන් කාලේ ළමයි ඉන්ටර්නෙට් වලට හිරවෙලා ඉන්ටර්නෙට් නැතුව ජීවිතයක් නෑ කියලා වගේ තමයි හිතන්නේ .:)

    ReplyDelete
    Replies
    1. රෙහානිගෙ ළමයින්ට එහෙම දුවන්න පනින්න ඉඩ දෙන්න...

      Delete
  23. ඔය එක එක පාට ටයිපටි දාන ඉස්කෝල ඉස්සරහින් දුවද්දි ගේට්ටුවෙ එල්ලිල නම කියල චියර් පාරක් දාන්න කෙල්ලෙක් හිටියෙම නැද්ද සිරා?

    ReplyDelete
    Replies
    1. දුකේ බෑ අනේ ඒ ටික කියද්දි... මට සා/පෙ උ/පෙ අතරතුර කාලෙ සමහර කෙල්ලො ට්‍රයි කලාට මට කා ගැනවත් හිතක් පහළවෙලා තිබුනෙම නෑනෙ...අද ශික් අපරාදෙ කියලත් හිතෙනවා...

      Delete
  24. සිරාලගේ මැරතන් එක දුවන පාරේ ගැණු දැරිවියන්ගේ ඉස්කෝල පහක් හයක් එහෙම තිබුනානම් සිර කවදාකවත් දෙවනිය වෙන එකක් නැ.සුවැර් එකටම ලංකාවට ඔලිම්පික් එකෙන් මැරතන් වලට පදක්කම් 3නම ගේනවා.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්...එහෙනම් ඔලිම්පික් මැරතන් පදක්කම් 3 ම විජය නිවාසය උස්සනවා...

      Delete
  25. Replies
    1. මොනවා කියනවද බං...ජීවිතේ ලස්සනම කාලෙ...

      Delete
  26. sira ,kiyewaa machan
    ayeth ennm wachanyak kotala yanna.

    ReplyDelete
    Replies
    1. නිවාඩු පාඩුවෙ එන්න රතු...

      Delete
  27. ස්කොලේ මැරතන් දුවන කාලේ මතක් වෙලා සාන්කාවට බොක්ක දන්න පටන් ගත්තා අප්පා, කොච්චර ලස්සන මතක කන්දරාවක්ද. අර බස් එකේ ගිහින් තරඟය ඉවර කරන දෙන්නාම එතකොට ස්කිනිය දාගෙන දුවන සහායක මරු ඩයල් අප්පා. හොරු කොහෙත් ඉන්නවා අප්පා...මටත් මතකයි අපේ මැරතන් එකෙත් දීප දෙනෙක්ගේ ප්‍රතිපල අත්හිටෙව්වා.

    ReplyDelete
    Replies
    1. වංචාවෙ උපත තමා උන් දෙන්නා...අහුනොවෙන්න කට්ට කම් කරන්න උන් දෙන්නා තරම් ශූරයො දෙන්නෙක් ඒ කාලෙ අපේ බෑන්ඩ් එකේ හිටියෙම නෑ...

      Delete
  28. //උඹලා හිටපු කාලෙ වගේ නෙමෙයි පුතේ දැන්.... දුවන්න කොල්ලො එන්නෙ නෑ ඉගෙනගන්න එක පාඩු වෙනවා කියලා... උන් දැන් කොම්පියුටර් ගේම්/මොබයිල් ෆෝන් වල හිරකාරයො වෙලා. සමහර ගුරුවරුත් ඒකට වගකියන්න ඕනෙ...එත් ඇත්තටම ශිෂ්‍යයා සම්පූර්ණ වෙන්නෙ ඕනෙ විෂය හා සමගාමී ක්‍රියාකාරකම් දෙකම එකතු වෙලා. ක්‍රීඩාව මගින් තමයි සෞඛ්‍ය සම්පන්න පුරවැසියෙක් රටට දායාද කරන්නෙ... කොච්චර උගත් උනත් ඒකා ලෙඩෙක් නම් රටකට වැඩක් තියෙනවද ?//
    මේක තමයි යථාර්ථය... දෙමවුපියෝ අනුබල දෙන්නෙත් මේවට.. ඒ අතිං සිරා අයියලා වාසනාවන්තයි....

    ReplyDelete
    Replies
    1. ඇත්ත මල්ලි....අපි වාසනාවන්තයි...ඒකනෙ බඩ ගෙඩිය ඉදිරියට ආවත් කිසිම ව්‍යායාමයක් නොකලත් බොහොම නිරෝගීව සිරා කොලුවා ඉන්නෙ... ව්‍යායාම මද කම නිසා තමයි බන්ඩිය ඉස්සරහට ඇවිල්ලා තියෙන්නෙ...

      ක්‍රීඩාවෙන් කියාදෙන යහපත්ම පාඩම තමයි ජය පරාජය විද දරාගැනීමට දරුවෙකුට ලබාදෙන ශික්ෂණය...ජීවිතයේදි එළඹෙන ප්‍රශ්න හමුවෙ නොසැලී ඉන්නට එය මහත් රුකුලක්...

      Delete
  29. අපේ නිවාසාන්තර වලදී සපෝර්ට් එකට යන සමහර එව්න් , අනිත් නිවාස වල දුවන එව්න්ගේ මූනට වතුර පාරවල් ගැහැව්වා උන් slow කරන්න ,ඒක නිසා වලිත් ගියේ
    නැතුවා නොවේ , ආයිත් දුවන්න පටන් ගත්තොත් මොකෝ ? ගමේ අවුරුදු උත්සවේ මැරතන් එකේ වත් [පොඩ්ඩක් බඩ බස්සගන්නත් එක්ක :) ]
    දැන් කාලේ තියෙන තරගකාරීත්වය නිසා ලොකු පන්ති වල එව්න්ට දුවන්න වෙලාව කෝ ?,[ හරිම සංකීර්ණ සමාජයක් දැන් කාලේ තියෙන්නේ අය්යලාගේ කාලෙට වඩා ]

    ReplyDelete
    Replies
    1. අපේ ගමේ අවුරුදු උත්සවයක් නෑ මලේ... ඒවා අතීතයේ කලා...ජන සහභාගිත්වය අවම උනාට පස්සෙ නතර කලා...

      දුවන්නත් වෙලාවක් නෑ දැන් නම්...නැත්නම් දුවන්න ආසයි...

      Delete
  30. මම මේ පැත්තට ආ මුල්ම දවසද මතකයක් නැහැ.

    කොහොම වුනත් අස්වැන්නට ඇවිත් තබා ගිය අඩි පාරෙම මාත් ඇවිත් සිරාගෙ කාමරේට එබිල බැලුවා.
    දැන් ලමයි තනිකරම යාන්ත්‍රික ජිවිත බවට පත්වෙලාසේසම් කරන්න ගේම් ගහන්න පරිගණකයෙන් වෙල් ඉපනැල්ලක දුවන පනින දැනුමක් ඔවයුන්ට නෑ. ඒවා අතීත මතකයට එකතුවූ දේවල් විතරයි.

    ReplyDelete
    Replies
    1. කාමරයට සාදරයෙන් පිළිගන්නවා..ඇරයුම පිළිගත්තට...

      මේ යන්ත්‍ර වෙච්චි ළමයින්ගෙ හිත් වල කරුණාව,දයාව,මෛත්‍රිය,අන් අයට ගරු කිරීම කියන මානුෂීය ගුණාංගත් බොහෝ දුරට හේදිලා ගිහිල්ලා...ඒ නිසා තමයි මහළු නිවාස රට ‍වටේම සෑහෙන්න විවෘත කරන්න වෙලා තියෙන්නෙ....

      Delete
  31. ආ හරි ඔහොම කෙලින් යන්. ඔන්න ඔන්න වංගුවක් ටිකක් වමට. දැන්ම ස්පීඩ් කරන්න එපා. තව ටිකක් ඔහොම යන්. වතුර ටිකකුත් ගැහුවනම්. ඔය මොකද කලේ? ඩවුන් ඇරෝ එක එබුවම ස්පීඩ් අඩු වෙනවා කියලා දන්නෙම නැද්ද?

    ReplyDelete
    Replies
    1. හා හා සුන්දර විස්තර කථනයක්... ඩවුන් ඇරෝ එක ඔබනවත් එක්කම ඩෙක්ස්ට්‍රෝස් එකක් ගහලා අප් ඇරෝ එක ඔබාගෙන ඉම්මු...

      Delete
  32. මට පොඩි කාලෙ ඉඳලම බඩ ගෙඩියක් තිබුන නිසා කවදාවත් රේස් එකක් දිනලා නෑ. කිව්වත් වගේ දැන් ඉන්න එකාලාගෙ කාලය ගත වෙන්නෙ හෑන්ඩ් ෆෝන් එකේ නඩත්තුවට.

    ReplyDelete
    Replies
    1. ගාමිණී අයියා සෑහෙන දවසකින්....

      පොඩි කාලෙ ඉදන්ම බඩගෙඩියක් තිබ්බා ඒක අඩු කරගන්නවත් දුවන්න තිබුනෙ...

      Delete
  33. ඇත්තටම මචං. දිගු දුර ඉසව් වලට මා හරිම ප්‍රියකරනවා. අපේ අප්පච්චිත් තරුණ කාලයේ හොද ක්‍රීඩකයෙක්. ඒ හැකියාව අපටත් පිහිටලා තිබුණා. නමුත් මල්ලිලා සහ මම වඩාත්ම දක්ෂ වුණේ කෙටි දුර ධාවනයට. කොහොම වුණත් තිබුණු ආසාව නිසාම මම කිහිප වතාවක්ම මැරතන් ධාවනයේ යෙදිලා තියෙනවා, නමුත් ජයග්‍රහණයක් නම් ලැබිලා නෑ. නමුත් මැරතන් තරඟයක තියෙන වෙනස තමයි තරගය අවසන් කරන සෑම ක්‍රීඩකයෙකුටම පාහේ උනුසුම් ප්‍රතිචාර හිමිවීම.

    ReplyDelete
    Replies
    1. මැරතන් ධාවනයක් සම්පූර්ණ කරන්න සෑහෙන වෙහෙසක් දැරිය යුතු නිසා තමයි සෑම ක්‍රීඩකයෙකුටම සෑහෙන්න ප්‍ර‍තිචාර ලැබෙන්නෙ... කෙටිදුර ධාවනයෙන් රතු දිනන්න ඇති කියලා හිතනවා...

      Delete

සිරාගෙ කාමරයට පැමිණියාට ස්තූතියි...

නැවත දිනයක ආයෙත් එන්න..... ඔබට ජය !

Related Posts Plugin for WordPress, Blogger...