Saturday, June 29, 2013

76 කෑ හැටියේ බඩ යාම

එදා පත්තර ඇසුරෙන් සිරාගේ කාමරයේ දිග ඇරුනු ලිපි මාලාවේ තවත් ලිපියක් සමගින් ඔබ මා හමුවන දිනයකි අද. මෙතෙක් කල් පල වූ දෑ විවිධ මාතෘකා අනුව වර්ග කර දැක්වීමට මම උත්සාහ කළෙමි. ඒ අනුව අද පලවන සියලුම දැන්වීම් ලෙඩ රෝග සහ විවිධ අපහසුතා සදහා සහනය සලසන නිෂ්පාදන හා ප්‍රතිකාර ක්‍රම වලින් සන්නද්ධ ඒවාය. මේ ලිපියත් සමගින් එදා පත්තර කී කථා ලේබලයෙන් ලියැවුනු ලිපි පෙල නිමාවට පත් වේ. ඉදිරි දිනයක නැවතත් මෙවැනි යමක් ඇස ගැටුනහොත් නිසැකවම එය කාමරයට ගෙන එමි.

මෙතෙක් ලිපි පෙල නුදුටු අය මෙතැනින්  ඒවා කියවන්න.

සුනිල් දැන් ප්‍රීතියෙන් සිටින රහස ඔබ දන්නවාද ?


සුනිල් ඈලි මෑලි දුබල ගතියෙන් පෙළුණි !  ඔහුගේ ශක්තිය හා ජීව බලය හීන වී ඔහුගේ ශරීරය දිරාපත් වී, වෙහෙසට පත්ව අලසයෙක් විය. නින්ද නොයාමෙන් ජීවිතය නීරස විය. (සුනිල්ට ඈලි මෑලි දුබල ගතිය ඇති වී තිබුනි)

දැන් සුනිල් ප්‍රීතියෙන් සිටී. ඔහු ශක්තිසම්පන්න පෘෂ්ඨිමත් ප්‍රබලයෙක් විය. ඔහුගේ සාමාන්‍ය නිරෝගී භාවය සහ පෙර තිබූ උද්යෝගය නැවත ලගා වී නිදි සුවය ලැබුනි. (දැන් සුනිල්ට ඈලි මෑලි දුබල ගතිය නොමැත) 

ඔබ ගනු ලබන ආහාර වලින් උවමනා තරම් පෝෂ්‍යගුණය ලබාගැනීමට ඔබේ ශරීරය අපොහොසත් වුවහොත් ඈලි මෑලි දුබල ගතිය (කෑම අරුචිය සහ ශක්තිය නැතිවී යාම, හිසරදය සහ නහර දුර්වලතාවය) වැළදෙන බව රසායනාගාර පරීක්ෂණයන්ගෙන් ඔප්පු වී ඇත. විශේෂයෙන්ම මාංශ ජනක ධාතුන් සහ විටමින් B පදාර්ථය අඩු වූ විට එය ඇති වේ. ඔබ ඈලි මෑලි දුබල ගතියෙන් නොපෙළිය යුතු අතර එයින් සුවය ලබාගත හැකි බව වැඩිදුර පර්යේෂණයන්ගෙන් ඔප්පු වී ඇත. 

පැනෝපෙප්ටන් පුදුමාකාර ලෙස සහනය ලබාදේ. සාමාන්‍යයෙන් ඈලි මෑලි දුබල ගතිය වැළදුන විට දිනපතා අවශ්‍ය මාංශ ජනක ධාතූන් සහ විටමින් බී පදාර්ථයන් බෙහෙවින් අඩංගු ඖෂධීය පානයක් ගැනීමට වෛද්‍යවරු නියම කරති. පැනෝපෙප්ටන්හි සෞඛ්‍ය සැපතට ඉවහල් වන මේ ප්‍රධානතම විටමින් පදාර්ථයන් බහුලව අඩංගු වී ඇත. 

පැය 24 ක් තුලදී ඉතා සීඝ්‍ර පුදුමාකාර ප්‍රතිඵල ලබාදෙන පැනෝපෙප්ටන් වල මනා දිරවීමේ සහ උරාගැනීමේ සංයෝගයන් අඩංගු වී ඇත. බාල මහළු දහස් ගණනකට සමව ක්ෂණික ප්‍රතිඵල ලබා දී ඇති පැනෝපෙප්ටන් ඔබත් පාවිච්චි කරන්නෙහි නම් නැවත වරක් ඔබ ඈලි මෑලි දුබල ගතියෙන් නොපෙලෙනවා ඇත.

කාලයේ ඇවෑමෙන් සමහරක් විට පැනෝපෙප්ටන් මේ වන විට භාවිතයෙන් ඉවත් වී ඇතුවාට සැකයක් නැත.

ප්‍රේත දෝෂ වින දෝෂ, අපල උපද්‍රව ගැන කථාකරද්දි ඒ සියලුම දේවල් ජනතාවගේ පොකැට්ටුවට තට්ටු කරන දේවල් බව බොහෝ දෙනා දන්නවා. මේ දේවල් දුරු කරලන්න භාර ගන්න අයත් අවසානයේ ජනතාවගේ පොකැට්ටුවටම තමා තට්ටු කරන්නෙ. භාහිර අයගේ මැදිහත් වීමකින් තොරව තමන්ගේ නිවසේ ඇති දෝෂ දුරුකර ගත හැකි අන්දමක් ගැන සදහන් දැන්වීමක් හදිසියේ නෙත ගැටුනා. ඒ වෙසමුනි නයනායුධය නම් බලගතු සුවද ධූපයක් ගැන... මෙය භාවිතයෙන් දුම් ඇල්ලූ කල සියලු අපල දුරු වේලු.


කෑ හැටියේ බඩ යාම...කටක් ඇරලා කියන්න පුලුවන් ලෙඩක්ද...මේ ලෙඩේ හැදුන උන් කන්න බොන්න ඇත්තෙ වැසිකිළිය කිට්ටුවක ඉදගෙන වෙන්න ඇති. මේ ලෙඩේ අද නැද්දා මන්දා...කෙසේ වෙතත් බඩ යා හැකි විවිධ ආකාර පිළිබදවත් මේ දැන්වීමෙන් කියා දෙනවා.


ශරීරයේ ඇති වන අපහසුතාවක් සමනය කරගැනීම උදෙසා නිපදවූ නිෂ්පාදනයක් මීළගට...සෙම්ප්‍රතිශ්‍යව නිසා ඇතිවන නාස්පුඩු හිරවීමට එමගින් ඉක්මන් සහනය ලබා දුන්නේලු.



මේ තියෙන ලෙඩ ලිස්ට් එක දැක්කම භයත් හිතෙනවා...ඔය පණදෙන බෙහෙතකුත් තියෙන්නෙ...පණ එන්නෙ කාටද කියන එකනම් කියවලාම දැනගන්න.


කොල්ලො අර්සස් ද...නරකද සත්‍යාපාලගෙන් බෙහෙත් ටිකක් බීලා බැලුවොත්...


මේ කාන්තා රෝග පිළිබද දැන්වීමක්... ඒ පිළිබද විශේෂඥතාවක් සහිත වෛද්‍යවරයෙක් පලකරන ලද්දක්...පයාගල දුම්රිය නැවතුමේ  නාමපුවරුව තවමත් තියෙන්නෙ මේ දැන්වීමේ දක්වා තියෙන පරිදි නේද ?


ඒ කාලෙ ඉතිං පවුලක් ගත්තොත් අවම 6 දෙනෙක් වත් ඉන්නවා...බොහෝ තැන් වල ඊට වැඩි මිසක් අඩු නෑ. පවුලෙ යැපීමට ප්‍රමාණවත් සහල් කුඹුරෙන් ලබා ගැනීමට හැකි වීම, බතට අවශ්‍ය අනිකුත් දේවල්  තමන්ගෙ ගෙවත්තෙන්ම ලබා ගැනීමට හැකි වීම, දරුවන්ගෙ පෝෂණයට අවශ්‍ය කිරි ගෙදර ඇති කරන එළදෙන මගින් ලබා ගැනීමට හැකි වීම, ඇළ දොළ ගංගා මගින් ප්‍රෝටීන් අවශ්‍යතාව සපුරමින් මත්ස්‍ය අස්වැන්න නිවසට පැමිණීම ආදීය නිසාම මේ වගේ ඉහළ අගයක දරුවන්  ප්‍රමාණයක් භිය සැක නැතුව ජනිත කරන්නට හේතු සාධක වෙන්න ඇති. ඊට අමතරව අදුර වැටුනට පස්සෙ රූපවාහිනී නරඹන්න...චිත්‍රපට, ක්‍රිකට් තරග, අන්තර් ඡාලය වගේ දේවල් නොමැති නිසා අදාළ කර්තව්‍යයට වැඩි වැඩියෙන් හිත යොමු වෙන්නත් ඇති. බත් කන්න බැරි නම් ප්‍රයෝජනයට ගන්න කොස් ගහක් දෙල් ගහක් සෑම වත්තක පාහේම තිබුනා.

නමුත් කාලයේ ඇවෑමෙන් මේ කියන කාරණය ආර්ථික ප්‍රශ්නයක් බවට පත්වෙනවා. ඒ නිවසේ ආර්ථික තත්වය අයහපත් වන්නට පටන් ගැනීමත් සමග. මහගෙදර වත්ත දරුවන් අතර බෙදා දෙනකොට බව භෝග වවන්නට ඉඩක් කඩක් නැති වුනා. ඒ නිසාවෙන් කලින් නොමිලේ ලැබුනු දේවල් මුදල් දී වෙළදපොලෙන් ලබා ගැනීමට සිදු වුනා. පඩිපෙල වගේ දරුවන් ඉද්දි ඒ බර ගෘහ මූලිකයට දැනෙන්නට පටන් ගත්තා. එයින් පසු තමයි පවුල් සැලසුම් කියන වචනය ලංකාවෙ ශබ්ද කෝෂයට එකතු වෙන්නෙ. ඒ පිළිබද දන්න සිංහලෙන් තේරුම් කිරීමට ගත්ත වෑයමක් විදියටයි මීළග දැන්වීම හදුන්වා දෙන්න පුලුවන්...

1959 සැප්තැම්බර් මාසය වෙද්දි ලංකාදීප ඉරිදා පත්‍රය පමණයි ඔවුන් කළු පැහැයට අමතරව තවත් වර්ණයක් එකතු කර මුද්‍රණය කර තිබෙන්නෙ. ඒ අනුව මේ දැන්වීම ඉරිදා ලංකාදීපයේ පල වූවක්... වර්ණ දෙකකින් පල වී ඇති නිසාම මේ සදහා පුවත්පත අයකර ඇති ගාස්තුවත් අනෙකුත් ඒවාට වඩා වැඩියි.

උපත් පාලනය කියන නුහුරු වචනය මිනිසුන්ට සමීප නැති නිසා...එයින් කියැවෙන අරුත පොදු ජනයා ග්‍රහණය කර නොගනී යැයි විශ්වාස කල නිසා සීඝ්‍රයෙන් බෝවීම කියන වදන භාවිතා කරන්නට ඇති කියලයි මට හිතෙන්නෙ. පේනවනේ අතින් කටින් වඩාගෙන ඉන්න අන්දම...


දැනට පවතින මේ තත්වය අනුව තව තවත් බෝවීම ඇති වුවහොත්, අනාගතය කෙබදුද යන්න ඔබට වැටහෙනවා ඇත. එසේ නම් අදම උත්පත්ති පාලනය සදහා ලෝක පවුල් සංවිධාන සංගමය පිළිගත් නෝනාවරුන්ගේ උපකරණයක් වූ "චැක් පැසරි" යක් පාවිච්චි කරන්න. බොහෝ කාලයක් සේවය ගෙනදෙනවත් හැර ඔබේ අවශ්‍යතාවය මැනවින් ඉටු කරයි.

එදා පත්තර කී කථා මෙතෙකින් සමාප්තයි.


මම කාමරේ වෙසෙන සත්ගුණවත් සිරා කොලුවා..


ප.ලි

මෙහි ඇති රෝගාබාධයන් හා චැක් පැසරි  පිළිබද දැනුමක් ඇත්තෝ ඒවා පහදා දෙත්වා..

Monday, June 24, 2013

60 සිංගප්පූරුවෙන් සමුගැනීම

සිංගප්පූරු සංචාරයට අදාළව මා විසින් ලියූ ලිපි මාලාවේ අවසන් ලිපියයි මේ.

මා සිංගප්පූරුවේ සිටින අවසාන දිනයට කෙමෙන් කාලය ලගා විය. අවසන් වතාවටත් ලංකාරාමයට ගොස් ආගමික වතාවත් වල යෙදීමට මා හට තිබුනේ කැමැත්තකටත් වඩා ආශාවකි. සිංගප්පූරුවේ සිටි කෙටි කාල සමය තුල මා ඉතාමත් ප්‍රිය කල ස්ථානය එය වීම ඊට හේතුවයි. සෙනසුරාදා රාත්‍රියේ බොජ්ජංග සූත්‍ර දේශනාවටද සහභාගි වීමෙන් අනතුරුව ගාමිණී විලා වෙත පැමිණෙන විට වේලාව මධ්‍යම රාත්‍රියට ආසන්න වී තිබුනි. හෙටින් පසු උදාවන දිනය පිළිබද අවිනිශ්චිත තත්වය නිසා මසිත තැවුනද හැම විටම සුභවාදීව කල්පනා කිරීමට උත්සාහ කළෙමි. ගාමිණී විලාවෙන් රැගෙන යාමට අවැසි දෑ සූදානම් කිරීමෙන් පසු නිදිදෙව් දුව වැළද ගැනීමට උත්සාහ කලද නින්ද අහලකවත් නැත. මගේ නිවස අම්මා, තාත්තා, මතක් වන විට නෙතු නිරායාසයෙන්ම තෙත් වේ. විදේශයන්හි රැකියාවන් කරන ඇත්තන් ලංකාවේ තමන්ගේ ආදරණීයයන් මතක් වන වාරයක් පාසා විදින චිත්ත පීඩාව පිළිබද යම් තරමක අත්දැකීමක් දැන් මටද තිබේ.

වැලි කතරේ සිට දුකා අයියා ඒ පිළිබද ලියද්දී එදා මට ඒවා දැනුනාටත් වඩා සංවේදීව අද දැනෙනවා නොඅනුමානය. කෙනෙකු විදේශගත වූ ගමන් ඔහුට හරිගියා යැයි සිතන සමාජයක වෙසෙන ඇත්තන් ඔවුන් තම පවුලෙන් වෙන් වූ පසු විදින චිත්ත පීඩාවන් ගැන කිසි දිනක සිතන්නේ නැත. සෑම රාත්‍රියකම නින්දට යන විට ලංකාවේදී කල කී දෑ සිනමා රූප රාමු මෙන් නිරායාසයෙන්ම සිත තුල මැවේ. මුල් දින කීපය තුල මේ අත්දැකීම දරාගත නොහැකි තැන නැවතත් ලංකාවට ගිය ඇත්තන් පිළිබදවද මම අසා ඇත්තෙමි. සිතට කෙතරම් දුකක් /පාලුවක් දැනුනත් අරමුණ ජයගනිමි යන තිර අධිටනින් මගේ සිත නිතරම පුරවා ගැනීමට මට හැකිවිය.

වඩා හොද ජීවන තත්වයක්, වටපිටාවක් ඇති රටක සිට ඊට වඩා නරක තැනකට යාමට දෛවය මට අවකාශ සලසා තිබේ. මැලේසියාව පිළිබද තම අත්දැකීම් මගින් ගාමිණී අයියා සෑහෙන දැනුමක් මට දෙන්නට කාරුණික විය. සිංගප්පූරුවේ මෙන් රාත්‍රියේ නිදහසේ අතුරු පාරවල්හි ගමන් කිරීම මැලේසියාවේදී තමාගේ වල තමන්ම කපා ගැනීමක් විය හැක. මැලේසියානු පොලීසියද දුෂිත වීම මත මේ තත්වය උදාවන්නට ඇතැයි මට සිතේ.

රෑට වැඩිය එළියට යන්න එපා මල්ලි. කරන දේවල්, ගන්න ඕනෙ දේවල් ඔක්කොම දවල්ට කරගන්න. නවතින තැනට ආවට පස්සෙ ආයෙ එළියට බහින්න එපා. එහෙම හිටියාම ගැටළු අඩුයි. ගාමිණී අයියා මට කාරුණිකව උපදෙස් සපයයි.

ගාමිණී විලාවේ මොන්ඩි මෙන්ම තවත් කීප දෙනෙකුද තම මිතුරන් මුහුණ දුන් අත්දැකීම් ඇසුරෙන් යම් යම් දේ මට පැවසීය. වරක් මධු සමය පිණිස මැලේසියාවට පැමිණ තම බිරිද සමගින් දිවා කල මහමග යමින් සිටි ශ්‍රී ලාංකික තරුණයකු නැවතූ පොලිස් ඇදුමට සමාන ඇදුමක් හැදි අයෙකු තම හැදුනුම් පතද පෙන්වා විදේශ මුදල් පරීක්ෂා කිරීමට අවැසි බව පවසා තිබේ. පොලිස් නිලධාරියෙකු නිසා සැක නොසිතූ තරුණයා අත රැදි ඇමරිකානු ඩොලර් නෝට්ටු ඔහුට දැක්වීමෙන් පසු තරුණයා ඉදිරියේම ඒවා ගණන් කර නැවත භාර දී පොලිස් වෙස් ගත් තැනැත්තා නික්ම ගොස් ඇත. නැවත් ඩොලර් නෝට්ටු ගණනය කර බලන විට ඒවායින් කීපයක් අඩු බැව් තරුණයා දැන ගන්නා විට හොරා පළාතකවත් නැත.

එතරම් සූක්ෂම ලෙස හොරකම් සිදු කෙරෙන රටකි මැලේසියාව. එවැනි රටකට යන්නට පෙර දින රාත්‍රියේ මගේ සිතිවිලි ඔබට තේරුම් ගත හැකි වනු ඇත. බෑග් දාලා ටිකකටවත් කොහෙවත් යන්න එපා මල්ලි. ඔය බස් නවත්වන තැන් වල බෑග් හොරකම් කරන්නම වෙනම අය ඉන්නවා. ගාමිණී අයියා දෙන්නට බැරි වූ උපදෙස් මතක් වන පරිදි පවසයි.

සිංගප්පූරුවෙන් මැලේසියානු අගනුවර වන ක්වාලාලම්පූර් වෙත බස් රථ පිටත්වෙන තැන හා එතැනට ළගා වන ආකාරය පිළිබද ගාමිණී අයියාගෙන්ම දැනගත් මා පසුදා උදෑසන නිදි දෙව්දුවගෙන් මිදී සිටි විලාවේ නේවාසිකයන් සැමටම සුභපතා මාසයක මිතු දමට සමුදුන්නෙමි. කලින් දින මා සතුව තිබූ මුදල් මැලේසියානු මුදල් ඒකකයට මාරු කරගත්තත්...මා සතුව වටිනාකමින් අඩු නෝට්ටු හා කාසි නොතිබූ හෙයින් ඒ අඩුපාඩුවද ගාමිණී අයියා සම්පූර්ණ කලේ අවශ්‍ය විටෙක ප්‍රයෝජනයට ගැනීමටය. ගමනේ මුල් භාගය දුම්රියෙනුත් එතැන් සිට ඉතිරිය කුලී රථයකිනුත් ගමන් කර බස් රථ පිටත් වන ස්ථානයට ගොස් සිංගප්පූරු ඩොලර් 30 වටිනා ප්‍රවේශ පත්‍රයක් ලබාගෙන මගේ ගමන් මළු අදාළ තැන රදවා බස් රථයේ ඉදිරිපස මා හට නියමිත අසුනේ අසුන් ගතිමි.

මා ගමන් ගත් බස් රථය



බස් රථය ගුවන්යානයටත් වඩා සුවපහසු එකකි. කිලෝමීටර් 350 කට වැඩි දුරක් එය ගමන් කිරීමට නියමිතය. මට ඉදිරියෙන් වූ අසුනේ සිටියේ යෝධ ශරීරයකින් හෙබි ඉන්දියානු සීක් ජාතික තරුණයෙකු සහ ඔහුගේ බිරිදයි. සීක් ජාතිකයාගේ තලප්පාව දුටු වනම මට මතක් වූයේ හසිත මලයා සීක් දහම පිළිබද ලියූ ලිපි පෙළයි. සොදුරු යුවතියක විසින් ටිකට්පත් පරීක්ෂා කිරීමෙන් පසුව ගමන ඇරඹිනි. අධිවේගී මාර්ගයට එළැඹෙන තුරු සෙමින් ධාවනය වූ රථය එතැන් සිට සෑහෙන වේගයෙන් ධාවනය විය. රථය තුල වූ රූපවාහිනියේ විකාශනය වන බටහිර චිත්‍රපටය හා වීදුරුවෙන් පිටත පෙනෙන සිංගප්පූරුවේ විසිතුරු දෙස වරින් වර බලමින් සිටියදී රථය එක්වරම නතර කෙරිනි. Passport යනුවෙන් රියදුරා කෑ ගසයි. ඒ සිංගප්පූරුවේ සීමාවෙන් පිටත් විමට ප්‍රථම ගමන් බලපත්‍ර පරීක්ෂා කරන ස්ථානය බැව් පැහැදිලිය. සියලුම මගීන් රථයෙන් බැස ඒ කටයුතු අවසන් කරගෙන පිටතට පැමිණෙන විට ඒ ස්ථානය ආසන්නයට බස් රථය රැගෙන පැමිණ තිබු රියදුරා සහ ඔහුගේ සහායකයා රථයේ පැමිණි පිරිස ගණනය කර තහවුරු කරගැනීමෙන් පසු නැවතත් ගමන ඇරඹුනි. Singapore යනුවෙන් සදහන් ඊතලයක් අප ආ මග දෙසට යොමු කල පුවරුවක් පසු කරගෙන ඉදිරියට ඇදුනු බසය තවත් විනාඩි 10 කින් පමණ නැවතත් නතර විය. Visa, Baggage යනුවෙන් රියදුරා නැවතත් මොර දෙයි. ඒ මැලේසියානු දේශසීමාවට ඇතුලුවන ස්ථානය බැව් වැටහුනි. බසයේ වෙනම කොටසක රදවා තිබු ගමන් මළු දෑතට ගෙන මගීන් පේළියට සිට ගනී.

ශ්‍රී ලාංකිකයකු හෙයින්දෝ මගේ ගමන් බලපත්‍රය දෙස සූක්ෂමව බැලූ ආගමන විගමන නිලධාරියා මසකට වීසා නිකුත් කර සිය නිළ මුද්‍රාව තැබූ පසු රටට ඇතුලුවීමට අවසරය ලැබිනි. ගමන් මළු සියල්ල ස්වයංක්‍රීයව පරීක්ෂා කිරීමෙන් අනතුරුව නැවතත් බස් රථය වෙත යාමට අවසර ලැබුනි.

රථය දැන් එක එල්ලේ මැලේසියාව දක්වා ගමන් කරයි. මැලේසියාවේ මාර්ග පද්ධතිය නිමවා ඇති ආකාරය සැබැවින්ම විශ්මය ජනකය. ඉතාමත්ම සැලසුම් සහගතව සිංගප්පූරුවට නොදෙවෙනි ලෙස අධිවේගී මාර්ග හා සෙසු මාර්ග ඉදිකර තිබෙන අතර මාර්ග දෙපස ශාක මගින් අලංකරණය කර තිබුනි. ස්වභාවික සෞන්දර්යයෙන් අනූන රටක් වන මැලේසියාවේ නිල් පැහැයෙන් දිස්වෙන කදු පන්ති වරින් වර රථයේ කවුළුවෙන් පෙනේ. අප පසුකර යන රථ මෙන්ම මාර්ගයේ ධාවනය වන බොහෝ මෝටර් රථ මැලේසියාවේම නිෂ්පාදනය කරන ඒවාය. මැලේසියානු ජනතාව තමන්ගේම නිෂ්පාදන අගය කරන අන්දම පිළිබද යම් අවබෝධයක් ගන්නට එමගින් මට හැකි විය.

තවත් මද දුරක් ගමන් කල පසු මාර්ගයේ එක පසෙක දිගටම තිබුනේ ෆාම් වගාවකි. ෆාම් ඔයිල් නිෂ්පාදනයේ ලෝකයේ ප්‍රමුඛම රට වන මැලේසියාව එමගින් උපයන විදේශ විනිමයද සුලුපටු නොවේ. එක යායට ඈතට යනතෙක් පැතිරී ඇති ෆාම් ගස් රටඉදි ගසට පෙනුමෙන් සමානය. ලංකාවේද දකුණු අධිවේගී මාර්ගය අසල මෙවැනි වගාවක් තිබුනා මට මතකය.

ෆාම් වගාවක්...මෙහි ඇති ඵලයෙන් තෙල් ලබා ගනී.
http://www.pinoy-ofw.com/news/wp-content/uploads/2011/07/oil-palm-farm.png
සිංගප්පූරුවෙන් පිටත් වී පැය දෙකකට පමණ පසු මගීන්ගේ විඩා නිවා ගන්නට, වැසිකිළි අවශ්‍යතා ඉටු කරගැනීමට, ආහාර මිළදී ගන්නට රථය නතර විය. අධිවේගී මාර්ගයේ තැනින් තැන එවැනි ස්ථාන ඉදිකර ඇත්තේ සියලුම පහසුකම් සහිතවය. සිංගප්පූරුවේ මෙන් නොව මැලේසියාවේ පාරිභෝගික ද්‍රව්‍ය මිළ ඉතාමත් අඩුය. ලංකාවේ මුදලින් රු 150/- වැය කර සිංගප්පූරුවේදී ගත යුතු මිලිලීටර් 300 ක පානීය ජල බෝතලයක් වෙනුවට මැලේසියාවේදි රු 60/- වැයකර ලීටර් එක හමාරක පානීය ජල බෝතලයක් මිළදී ගත හැක. අනෙකුත් කෑම බීම මිළ ගනන්ද ඉතාමත් අඩුය. මට ඉතාමත් සතුටට හේතු වූ කරුණක් වූයේ සිංගප්පූරු ජාතිකයන් ටොයිලට් පේපර් පාවිච්චි කරන කාරණය උදෙසා මැලේසියානුවන් අප මෙන් ජලය භාවිතා කිරීමයි. එක ළග පිහිටියද දෙරටේ මිනිස් චර්යාවන්හි ඇත්තේ කැපී පෙනෙන වෙනසකි.

විනාඩි 20 ක පමණ කාලයකින් පසු නැවතත් රථය පිටත් වූයේ රියදුරුගේ හා සහායකයාගේ ගණනය කිරීම් තහවුරු වූ පසුය. නමුත් ආහාරයට ගත් දෙයක් රුයිතෙට වැඩ කිරීමෙන්දෝ සීක් ජාතිකයාගේ බිරිදට වැසිකිළි අවශ්‍යතාවක් ඇති වී ඇති සෙයකි. හින්දි භාෂාවෙන් සංවාදය අරඹා රියදුරා කරා ගොස් ඒ බැව් තරුණයා විසින් සැළ කලද රියදුරාට අධිවේගී මාර්ගයේ ඊට සුදුසු තැනක් හමුවන තුරු නතර කල නොහැක. තරුණිය ඉතා අපහසුවෙන් රථය තුල සිටී. තරුණයා රියදුරා අසල රිය සහායකයාට හිමි මිටි අසුනේ හිද මාර්ග සංඥා අනුව වැසිකිළි සොයයි. තව විනාඩි 20 ක් ඉන්න. රියදුරා පැවසූයෙන් තරුණිය දෑස් පියාගෙන අසුනට හේත්තු වූවාය. ඉන් අනතුරුව පැය භාගයකට වඩා ගත වුවද වැසිකිළි නැති තැන තරුණයාගේ ඉල්ලීම පරිදි ඉන්ධන පිරවුම් හලක රථය නතර විය. තරුණිය බසයෙන් බැස ගියාදැයි ඉගිලුනාදැයි මට මතක නැත. සීක් ජාතික තරුණයාට පින් සිදු වන්නට බසයේ සිටි සමස්ත කාන්තා පරපුරම වැසිකිළි කරා ඇදුනෝය.

පැය 5 ක පමණ ගමනකින් පසු රථය ගමනාන්තය වෙත ළගා විය. එය කේල් සෙන්ට්‍රල් නම් විය. කේල් (KL) යනු ක්වාලාලම්පූර් යන නමේ කෙටි යෙදුමයි. ඈතින් පෙනෙන සුප්‍රසිද්ධ පෙට්‍රොනාස් නිවුන් කුළුණු දෙස බලමින් මම රථයෙන් බිමට බැස්සෙමි. ඒ මගේ අවිනිශ්චිත හෙට දිනය පිළිබද සුභවාදීව කල්පනා කරමිනි.




මම කාමරේ වෙසෙන සත්ගුණවත් සිරා කොලුවා.


ප.ලි

සිරාගේ මැලේසියානු අත්දැකීම් ඇසුරින්  අලුත් ලිපි පෙලක් ලියන්නට මම යම් තරමක කාලයක් ගනිමි. නැතිනම් කාමරයට එන ඇත්තන්ට එකදිගට ලියවෙන එකම වර්ගයේ ලිපි නීරස විය හැකිය.

මැලේසියාවේ සුප්‍රසිද්ධ පෙට්‍රොනාස් නිවුන් කුළුණු සහිත ගොඩනැගිල්ලේ හිමිකරු ලංකාවේ යාපනයේ උපන් අයෙකු බැව් අසන්නට ලැබිනි. එය අද මැලේසියාවේ ජාතික සංඛේතයක් බදුය.

Wednesday, June 19, 2013

103 සිංගප්පූරුවේ ගණිකාවෝ

සිරාගේ රට කථා මාලාව තුල විවිධ ඉසව් පසුකරමින් පැමිණි ඔබ අද තවත් නැවුම් අත්දැකීමක් ලබනවා නිසැකය. ඒ මා  කියන්නට යන සිංගප්පූරුවේ ගණිකාවන් පිළිබද විස්තර දැනගැනීමෙන් අනතුරුවය.

ගණිකාවන් පිළිබද මා මීට පෙරද ලියා තිබේ. ඒ ලිපිය මෙතැනින් කියවිය හැකිය.

සිංගප්පූරුව තුල රැකියා සෙවීමේ කටයුත්ත සඵල නොවූ තැන තව දුරටත් ඒ කෙරෙහි වෙහෙසීමෙන් පලක් නැති බැව් මගේ අක්මාවට වැටහුනි. එතැන් සිට නිදහසේ රට තොට ඇවිදීමට කාලය වැය කල ආකාරය මම කලින් ලිපියකද කීවෙමි. විවිධ අය කී නිසාවෙන්ම නිතරම මා සවනත වැකුනු ස්ථාන දෙකක් සිංගප්පූරුවේ විය. සිංගප්පූරුවෙන් පිට වීමට ප්‍රථම ඒවාද දැක බලා ගැනීමට මා සිත ආශාවෙන් බර විය.

ඉන් එක් ස්ථානයක් වූයේ Orchard නම් පෙදෙසයි. අනෙක Geylang නම් විය. Orchard  යනු සිංගප්පූරුවේ සංචාරක ආකර්ශනය වැඩියෙන් දිනාගත් වාණිජ වටිනාකමක් ඇති පෙදෙසකි. ඒ නිසාමදෝ ඒ පළාතේ මාර්ග වල වැඩි වැඩියෙන් බටහිර සංචාරකයන් දැකිය හැකිය. මෙහි ලොව ඉස්තරම් ප්‍රමුඛ පෙළේ වෙළද සන්නාම වලින් යුතු නිෂ්පාදන අළෙවි කරන සුපිරි වෙළද සැල් රාශියකි. ඒ අතර ඇදුම් පැළදුම් ප්‍රමුඛ වෙයි. වැඩි මුදලක් වියදම් කර වෙළද පොලේ රවුමක් යන්නට ඔබ කැමති නම් ඔබ යා යුතුම තැනකි මේ.  Orchard  වෙත යාමට මට අවස්ථාව උදා වුනේ මැදියමත් පැන ගිය අවස්ථාවකය. විලාවේ මිතුරන්ගේ ක්ෂණික ආරාධනයෙන් කුල්මත් වූ මා වහා සූදානම් වී ඔවුන් සමග කුලී රථයකින් එහි යන්නට ප්‍රධාන මාර්ගය දෙසට පා ගමනින් ගියෙමි. මැදියම පසුවී තිබුනද විනෝදය සොයන බොහෝ දනා ඒ වෙද්දිත් මාර්ගයන් ඔබ මොබ සක්මන් කරන දර්ශනය ඉතා සුළභ විය.

සිරා උඹ ලංකාවෙදි නයිට් ක්ලබ් ගිහිල්ලා තියෙනවද ? විලාවේ සගයෙක් මගෙන් විමසයි. මගේ පිළිතුර වූයේ නැත යන්නයි. නයිට් ක්ලබ් සංස්කෘතියට මගේ ඇති අකමැත්තත්...අමාරුවෙන් උපයන මුදල් නිරපරාදේ වැය කිරීමට තරම් පිස්සුවක් මට නොතිබීමත් ඊට සාධාරණ හේතූන් විය. එහෙනං අද Orchard  ක්ලබ් එකකට යමං නිකං වෙනසකටත් එක්ක...පොඩ්ඩක් ඇවිදලා බලපන් සිංගප්පූරුවෙ නැත්තෙ මොනවද කියලා...මිතුරන්ගේ ආරාධනයෙන් කුලී රියක් තුලට වන් මට මෙය නම් අලුත්ම අත්දැකීමකි.

කුලී රථය පිටත් වී විනාඩි 15 පමණ ගෙවූ තැන උස් ගොඩනැගිල්ලක් ආසන්නයේ රථය නතර විය. එය Orchard  Tower නම් විය. මහල් කීපයකින් සමන්විත එහි බිම් මහලේ නොයෙක් වෙළද සැල් විය. නේක විසිතුරු විදුලි බල්බයන්ගෙන් ආලෝකමත්ව තිබූ ඒ සුන්දර රාත්‍රියේ මා ඇතුලු සගයෝ කුලී රථයෙන් බැස්සා පමණය. අප අසලට පැමිණියේ ඉන්දියානු පෙනුම සහිත මැදිවයසේ පුද්ගලයෙකි.

Orchard Towers  හි පිවිසුම


Sir do you need Indian girls ? හෙතෙම අනාරාධිතවම අපෙන් ඇසුවේය. ඒ ඉන්දියානු ගණිකාවන් සපයන තැරැව්කරුවෙකු බව කවුදෝ කොදුරනවා මට යන්තමින් ඇසුනි. No Thanks අපේ කාරුණික පිළිතුර හමුවේ  නැවතත් තමන් ආ දෙසටම ගිය ඔහු විසිතුරු ඇදුමින් සැරසුනු යුවතියන් කීප දෙනෙකු අසල නතර වන අන්දම අනතුරුව දැකගත හැකි විය.

දැන් කාරණය පැහැදිලිය. සාප්පු සංකීර්ණ / නයිට් ක්ලබ් අස්සෙන් ගණිකා ව්‍යාපාරයද කෙරෙන්නේය. ගණිකා වෘත්තිය නීතිගත කර ඇති සිංගප්පූරුවේ මෙය අරුමයක්ද නොවේ. නමුත් ඊට බලපාන නීති පද්ධතියක් වෙයි. ගණිකාවන්ට ගණුදෙනුකරුවන් හමුවීම සදහා වෙන්වූ ස්ථානයක මිස ජනතාව යනෙන පොදු ස්ථානයන් හිදී ගොදුරු සෙවීම සපුරා තහනම්ය. අත් බෑගයක් උරහිසේ දවටාගෙන තම ඇස්බෝල ඒ මේ අත කරකවන යුවතියෝ කවුරුන්දැයි මම හදුනා ගතිමි. ඒ අතර ආසියානු / යුරෝපා මෙන්ම අප්‍රිකානු ඇත්තියන්ද විය. සමහරෙක් බමන මතිනි. සියල්ලන්ම සමගියෙන් සමාදානයෙන් ලොව පැරණිම වෘත්තියේ නිරතවන සෙයකි. විලාවේ සගයෝ මා සමගම ස්වයංක්‍රීව පඩිපෙළින් ගොඩනැගිල්ල තුලට එළැඹි කල්හි සුරපුරක් සේ කාන්තියෙන් බබලන රාත්‍රී සමාජ ශාලා සමූහය දුටිමි. මේ ගොඩනැගිල්ලේ බොහෝ මහල්හි සමාජ ශාලා පිහිටා ඇති අන්දම දෙවන මහලෙන් තෙවන මහලටද, තෙවන මහලෙන් සිව් වන මහලටද පැමිණි මට හොදින් දැකගත හැකි විය.

වෛවර්ණ විදුලි එළි මවනා නියෝන් නාමපුවරු හැමතැනකම ඇත. ඒ ඉදිරිපිට ඇත්තේ තම ආයතනය වෙත ගණුදෙනුකරුවන් ගෙන්වා ගැනීමට පොර කන සේවක පිරිසකි. ඔවුන් අපටද අත වනා ආරාධනා කළෝය. බොහෝ සමාජ ශාලා සිංගප්පූරු ඩොලර් 10 - 20 ක පමණ ඇතුල්වීමේ ගාස්තුවක් ඇතුල්වීමේ ටිකට්පතක් හරහා  අයකරන නිසා අපි කිසි විටෙකත් උක්ත ආරාධනා කරා ප්‍රතිචාර නොදැක්වීමු. Orchard  Tower සෑම මහලක් පුරාම සිටින්නේ කෙටි ඇදුම් ආයිත්තම් වලින් සැරසී අත් බෑගයක් සහිතව ගමන් කරනා යුවතියන්ය. ඔවුන් අතර රූපයෙන් අගතැන්පත් අය මෙන්ම රුවෙන් අඩු අයද වූහ.

Entrance Free යනුවෙන් සදහන් පුවරුවක් ඉදිරියේ අපේ නෙත් නතර වුනි. දැන් සියල්ලන්ම ඒ තුලට යන්නට සූදානමෙන්ය. එහෙත් ඇති හැකි අයවලුන් වෙනත් ඒවා කරා ඇදෙද්දි නැති බැරි සිරාගේ වර්ගයේ උන්ට වෙනත් විකල්ප නැත. අප එහි රැදී උන් කෙටි විරාමය තුල ඒ කරා ගිය සුදු හම සහිත සෑම විදේශිකයෙකුටම යුවතියන්ගෙන් ලැබුනේ උණුසුම් පිළිගැනීමකි. සුද්දාගේ ඇගේ දැවටී ඔහු හා හුරතල් වන්නට පොරකන යුවතියන් පොකුරකි. මේ දර්ශනයෙන් කුල්මත් වූ අපේ යොවුන් හදවත් අපේ දෙපා වලට ඒ ඉසව්වට යන ලෙස බල කල නිසාවෙන් මොහොතකුදු පමා නොවී සුද්දන් අනුගමනය කළෙමු. එහෙත් අප පිළිගන්නට බල්ලෙක්වත් නැත. අපේ මුහුණු දෙසා බලා යුවතියෝ අහක බලාගනී. ලැජ්ජාව කට කපලාය. අප බලාපොරොත්තු වූ උණුසුම් පිළිගැනීම එහි නැත. සෑම තැනකම අපේ මුහුණු දුටු කල ඔවුන් සිතන්නේ අප ඉන්දියානුවන් යනුවෙනි. සුද්දන් අතදිග හැර වියදම් කරන නිසා ඔවුන්ට පුද සත්කාර කිරීමේ අරුමයක්ද නැත. අප දුටු වනම හිගන්නන් පිරිසක් බව එහි උන් යුවතියෝ අත්දැකීමෙන් දනිති.

මද වේලාවක් සමාජ ශාලාව තුල ඒ මේ අත හැරෙමින් යුවතියන් හා ආලිංගන නර්තනයන්හි යෙදී සිටින විදේශිකයන් දෙස නෙත් යොමා බලා සිටින විට අප අසලට පැමිණි සුන්දර Bouncer වරියක් (කරදර කාරයන් ඉවත දමන සේවිකාවක්) අපට නියම කලේ නිකං කාලය ගත කිරීමට අවස්ථාව දිය නොහැකි බවකි. අප අවම තරමේ බියර් බෝතලයක් හෝ ගත යුතුය. ඒ අවස්ථාවේ හිත හොද එකෙක් බියර් බෝතල් කීපයක් ඇනවුම් කලෙන් අපට තව දුරටත් එහි රැදී සිටිය හැකි විය. අප බියර් මිළදී ගන්නවා දුටු යුවතියන් කීප දෙනෙකු අප කරා අවුත් සුහද විය. සමහරු අදුරු මුලු වලට යන්නට කථා කරයි. මා කරා පැමිණි සොදුරු යුවතියකි. ඇයගේ මුහුණ සැබෑ ලෙසම සුන්දරය. ඈ මගේ අතින් අල්ලා ගත් නිසා ඇගේ අත්ලේ පහස මට දැනෙයි. එහෙත් ඒ තුලින් දැනුනේ කාන්තා පහසක් නොවේ...මා වහා අත්ල ගසාදමා පැත්තකට යොමු වූ අන්දම දුටු මිතුරෙක්...මොකෝ බන් යනුවෙන් විචාලේය. මේකි කෙල්ලෙක්ද කොල්ලෙක්ද කියලා ෂුවර් නෑ බං... මම පෙරළා පිළිතුරු දුන්නෙමි. මොනවා බලන්නද බං මේ පො--නයො. මූණු  වලට ප්ලාස්ටික් සර්ජරි කරලා තියෙන නිසා තමයි මෙච්චර ලස්සන, මේ මා එක්ක ඉන්න එකීගෙනුත් මම ඔය ප්‍රශ්නෙම ඇහුවා...මේකි කියනවා එයා කෙල්ලෙක්ලු...ෂුවර් නැත්නම් අල්ලලා බලන්නලු. මේ ක්ලබ් එකට නිකං එන්න දෙන්නෙ මේ වල් හැත්ත විතරක් ඉන්න හින්දද කොහෙද බොල......

උන්ගෙන් සමහරෙක් අපේ ඇගේ දැවටී කොකාකෝලා ඉල්ලයි. ඒ කෝලා කෝලා යනුවෙන් ගැහැණු ලාලිත්‍ය සමග දෙපසට ඇඹරීමෙනි. උච්චාරණයේ වෙනස්කම නිසා මට මේ වදන මුලින් අවබෝධ කරගත නොහැකි විය. මා මිතුරෙකුගෙන් ඇසූවේ මෙයාට කෝලා අරන් දෙන්නලු මොනවද බන් කෝලා කියන්නේ යනුවෙනි.  අපේ පසුම්බියට තට්ටු කරන්නට ඔව්හු කෙතරම් නම් වෙහෙස වනවාදෝයි  දුටු කල මේ සියල්ල ජීවත් වීම අරඹයා නොවේදැයි මට මොහොතකට සිතුනි. සමාජ ශාලාව තුල කොකාකෝලා කෑන් එකකටත් ලංකා මුදලින් රු 3000/- පමණ ගෙවිය යුතු නිසා කිසිවෙකු ඒ සදහා වියදම් කලේ නැති නැත යුවතියෝ අප අතහැර ගියහ. බියර් බෝතලයේ අඩිය පෑදුනු පසු Bouncer  යලිත් අප වෙත එන බව දුටු අපි සියල්ලෝ එතැනින් නික්මී නැවතත් විලාවට පැමිණියෙමු. රථ දෙකක නැගී  එකටම මෙන්  Orchard  ගිය අපි ආපසු ආවේ වෙන වෙනමය. අපෙන් සමුගෙන වෙනත් සමාජ ශාලාවකට රිංගූ සැට් එකට දෑහිතකාමී සුද්දෙක් නොමිලේ විස්කි කොටයක් ලබා දී ඇත. එහි බලයෙන් ඉතිරි අයවලුන් වැනි වැනී විලාවට එද්දී අප පැමිණ පැයක් පමණ ඉක්ම ගොස් තිබෙන්නට ඇත.

මේ රාත්‍රිය ගත වී දින කීපයකට පසු නැවතත් රාත්‍රියක පෙර පරිදිම කුලී රථ මගින් අපි Geylang  නම් ඉසව්වට ගියෙමු. ඒ පලාතේ අතුරු මාර්ගයන්හි ගණිකා ජාවාරාම ජයටම සිදුකෙරෙන බව මිතුරන් පැවසූවෙන් ගණිකාවක් ඇස් පනාපිට දැක ගැනීමේ අවස්ථාව මා හට අලුත් අත්දැකීමක් බැව් මම දැන සිටියෙමි. මීට පෙර මා ගණිකාවන් දැක ඇත්තේ  කොළඹ නගරයේ විවිධ අතුරු මාවත් වලදී උවත් මෙතරම් නිදහසේ ඔවුන් දැකගන්නේ පළමු වතාවටය.

Geylang  හි ගණුදෙනුකරුවන් හමුවන තුරු මාවත අද්දරට වී සිටින ගණිකාවන් පිරිසක්


Geylang අතුරු මාර්ග රාශියක් ඇති පෙදෙසකි. එහි සෑම මාර්ගයක්ම, ඒ ඒ මාර්ගයන් පිහිටා ඇති පිළිවෙල අනුව යෙදුනු  අංකයක් සහිතව මාර්ගය ආරම්භයේ ඇති බෝඩ් ලෑල්ලකින් සමන්විතය. අප යන විටත් Geylang අතුරු මාර්ග යම් තරමකට කාර්යය බහුල වී තිබුනි. අත්බෑගයන් සහිතව පාර අයිනේ සිටගෙන සිටින යුවතියන් රාශියකි. ඔවුන් පසුකර යන විට අපේ අත්වල අනාරාධිතවම එල්ලෙයි. සමහරෙක් Dont you like me ? යනුවෙන් අසයි. මේ සියල්ලෝම භද්‍ර යෞවනයට එළඹුනු ඇත්තියන්ය. මිතුරන්ගේ කථා බහට අනුව රටවල් ගණනාවක ගණිකාවන් විවිධ මාර්ග අනුව බෙදී සිටිති. ඒ අනුව තායි යුවතියන් සිටින්නේ ඔවුනට වෙන්වූ මාර්ගයේය. ජපන්/කොරියන්/වියට්නාම/චීන/හොංකොං/ඉන්දුනීසියා / පිලිපීනය යන රටවල යුවතියෝද තමන්ට වෙන්වූ මාර්ගයක ගනුදෙනුකරුවන් වෙනුවෙන් බලා සිටී. ගණිකා වෘත්තියේ යෙදෙන නපුංසකයින්  වෙනම අතුරු මාර්ගයක සිට ගණුදෙනුකරුවන් බලාපොරොත්තු වෙයි. ගැහැණු රුවක් සහ ඊට අවශේෂ අංගෝපාංග ඇති මුත් පිරිමි කටහඩක් ඇති උන් දුටු කලම යම් තරමක අපුලකින් මසිත පිරෙයි. මේ අයුරින් මාර්ගය අද්දර සිටගෙන ගණිකා වෘත්තියේ නිරත වීම සිංගප්පූරු නීතියෙන් තහනම් නිසා සියලුම යුවතියන් සිටින්නේ විමසිල්ලෙනි. සෑම යුවතියකටම ඇය මෙහෙයවන තැනැත්තෙකු (Broker) ඇති අතර යුවතියන්ට නුදුරින් පාර අද්දරක උනුන් තම යුවතියන් දෙස ඇස් යොමාගෙන බලා සිටී.

මගේ කැමරා කාචයට හසුවූ Geylang 12 හි සිටි නපුංසකයින් දෙදෙනෙක්




මේ අයුරින් විවිධ මාර්ගයන්හි ඇවිද යමින් විවිධ රටවලින් සිංගප්පූරුවට පැමිණ ගණිකා වෘත්තියේ නිරත වන තරුණියන් දැක ගතිමි. සමහර තැනක සල්වාරියෙන් හෝ සාරියෙන් සැරසුනු ඉන්දියා හා බංගලිදේශ යුවතියෝද වූහ. විවිධ රැකියා වල නිරතවීමට යැයි පවසා සිංගප්පූරුවට පැමිණ ගණිකා වෘත්තියේ යෙදෙන අපේ රටේ ඇත්තියන්ද සිටින බැව් සවනත වැකුනද අපට එවැනි කිසිවෙකු හදුනාගත නොහැකි විය.

එක් වරම ඇසුනේ විසිල් හඩකි. පාර අද්දර සිටගෙන සිටි යුවතියෝ කඩිගුලක් ඇවිස්සුනා මෙන් ක්ෂණිකව විවිධ තැන් වලින් රිංගා තත්පර ගණනක් ඇතුලත නොපෙනී ගියෝය. ඒ අවසරයෙන් පැමිණියේ රථ පෙළකි. ඒ සියල්ලම පොලිස් රථ වාහන බව පසුව දැනගන්නට ලැබුනි. පොලිස් යන නාමය රහිතව පුද්ගලික වාහන වල පැමිණියද  එවා  ඉවෙන් මෙන් හදුනාගන්නට තැරැව්කරුවන්ට හැකිය. ඔවුන් සියල්ලෝම ඉතා සහයෝගයෙන් මේ කාර්යයේ නිරත වෙයි. පොලිස් වාහන නික්ම ගොස් විනාඩි 15 ක් පමණ ගත වුවද යුවතියෝ නැත. Geylang මාර්ගයන් පාළුවට ගොසිනි. ඔවුන් මාර්ගයේ සිටගෙන සිටින සෑම තැනකම ඊට පිටුපසින් කුරුබිලියකි. හදිසි අවස්ථාවක පැන යාමට ඔවුන් යොදාගන්නේ ඒවාය.

තවත් මොහොතක් ඇවෑමෙන් විවිධ අහුමුළුවලින් නැවතත් යුවතියෝ දර්ශනය වන්නට විය. මේ අයගෙන් කෙනෙකු හා කථා බස් කරන්නට මට සිත්විය. මගේ මිතුරෙකු මා ආවරණය කර සිටියදී මා යුවතියකට කිට්ටු උනෙමි. ඇය ඉතාමත් රූමත් ළදකි. මා දුටු විගසම සිනාවකින් සංග්‍රහ කල ඇය Do you like me ? යනුවෙන් තාලයට විමසුවාය. අය කිරීම් කොහොමද ? මමද පෙරළ විමසුවෙමි. ඩොලර් 36, විනාඩි 30  යනුවෙන් ඇය පිළිතුරු දුන්නාය. ඇය සමග පැය භාගයක් ගත කිරීමට ලංකාවේ මුදලින් රු 3600/- වැය කල යුතු බැව් එහි අරුතයි. ගාණ අඩු නැද්ද ? මම නැවතත් විමසුවෙමි. ඇය නැවතත් සිනාවකින් යුතුව එය අවසන් මුදල බැව් පැවසුවාය. මිනිසුන් සමග ඉක්මනින් සුහද වීමට හැකි මගේ ක්‍රමවේදය ඔස්සේ මම ඇයට සමීප වීමි. විනාඩියක් දෙකක්  වල්පල් දොඩමින් ඇය හා තවත් සුහද වීමි. කොළ පැහැති කොට කලිසමකින් සහ ලා කහ පැහැති බ්ලව්සයකින් සැරසී සිටි ඇය විවිධ වර්ණයන්ගෙන් යුතු නූල් වලින්  ගෙත්තම් කල රෙදි වලින් නිමකල අත්බෑගයක් උරහිසේ දරා සිටියාය.  මෙවැනි විටෙක ඇගේ තැරැව්කරු අප දෙස නෙත් යොමා බලා සිටින හෙයින් මගේ මිතුරා තවමත් මා අවරණය කරගෙන සිටී. නම මොකක්ද ? කොහෙන්ද සිංගප්පූරුවට ආවෙ...කසාද බැදලද වැනි මගේ ගැටළු වලට ඇය කාරුණිකව පිළිතුරු දුන්නාය. මම තාතා...ඉන්දුනීසියාවෙන් ආවෙ...මට අවුරුදු 4ක ළමයෙකුත් ඉන්නවා...ඇය කැඩිච්ච ඉංගිරිසියෙන් පැවසුවාය. ඇයි මේ වගේ දේක නිරත වෙන්නෙ.....මම ඒ ගැටලුව ඇසුවේ නැත. ඒ පැනය යොමු කලා නම් සියලු දෙනා අඩු වැඩි වශයෙන් පෙළන දරිද්‍රතාව ඊට හේතුව බව ඇය නිසැකවම පවසනු ඇත.

Geylang මාර්ගයේ ඇතැම් තැන්හි සිය පියාගේ වයසටත් වැඩි පුද්ගලයින් විසින් මෙහෙයවන අවුරුදු 16 - 17 වැනි වයස් කාණ්ඩයන්ගේ යුවතියන්ද දුටුවෙමි. ඒ අය කෙළිදෙලින් පසුවූ අතර නිතරම අත රැදි කණ්නාඩියකින් බලමින් ලිප්ස්ටික් ගෑමටත්, කොණ්ඩය සැකසීමටත්, මාර්ගයේ ගමන් කරන අප වැනි ඇහැට කනට පේන කොල්ලන්ට උසුලු විසුලු කිරීමටත් කැමැත්ත ඇති අය වූහ. මේ ව්‍යාපාරය තුල සැළකිය යුතු චීන ජාතිකයන් පිරිසක්ද මම දිටිමි. මාර්ගය දෙපසම පිටතින් නිවෙස් ලෙස පෙනෙන සේ සකසා ඇති කාමර සපයන තැන් බොහොමයක් පාලනය කලේද චීන ජාතිකයන්ය. ගණුදෙනුකරුවන්ට ඒවා හදුනාගැනීමට පහසුවන සේ රතු පැහැති ලන්තෑරුම් බොහෝ තැන්හි ආලෝකමත් කර එල්ලා තිබුනි.

අප Geylang වලින් සමුගැනීමට මත්තෙන් සමහර තැරැව්කරුවන් සිය යුවතියන් රැගෙන නැවතත් සිය වාසස්ථාන කරා ගිය අතර කුඩා යතුරු පැදි වල දෙන්නා තුන්දෙනා බැගින් පටවාගෙන නික්ම ගිය ආකාරය අපේ උන් බොහොමයකට සිනහවක් මතු කළේය. එවැනි විටෙක තවමත් මාර්ගයේ රැදී සිටින තම මිතුරියන්ට අත වැනීමටද ඔව්හු අමතක නොකලහ.

මේ දර්ශන සියල්ලෙන් කුල්මත්ව Geylang  වලින් සමුගැනීමට මත්තෙන් අතුරු මගක් ආරම්භයේම තිබූ ඉන්දියානු ආපන ශාලාවකින් නූඩ්ල්ස් අනුභව කර  අයිස් කෝපි බිව් පසු නැවතත් විලාවට යාමට තීරණය කළෙමු. කිසිදු දුරාචාරයකට සම්බන්ධ නොවූ අපි හොද දරුවන් පිරිසක් වීමු.



මම කාමරේ වෙසෙන සත්ගුණවත් සිරා කොලුවා


ප.ලි

Geylang  හි ගණිකා ව්‍යාපාරය වසර 50 කටත් වඩා පැරණි එකකි.


මිතුරන් කියූ පරිදි වරක් ඒ අයගේ තවත් මිතුරෙකු ගණිකාවක් හා කාමරයක් තුල රමණයේ යෙදෙන විට කාන්තාව එක් වරම තම ඇදුම්ද රැගෙන කාමරය පිටුපස කපොල්ලකින් පැන ගියේලු. ඉන් මදකට පසුව පොලෝසියෙන් කාමරය තුලටම පැමිණ ඇති අතර උපන් ඇදුමෙන් යුතුව ඇද උඩ අපහසුවෙන් සිටින මිතුරා දෙස බලා සිනාවකින් සංග්‍රහ කර ඔවුන් ආපසු ගොස් ඇත. සිංගප්පූරු නීතිය අනුව දඩුවම් පැමිණවිය හැක්කේ ගණිකාවට පමණි. එයද වීදි ගණිකා වෘත්තියේ නිරත වේ නම් පමණි. සේවා ලාභියා හැමවිටම නිදහස්ලු.

ආපසු යන ගමනේදී කුලී රථය පැදවූ සිංගප්පූරු ජාතිකයා අප ඉන්දියානුවන් යයි සිතමින්. ඉන්දියානු කෙල්ලන් ඉන්න පැත්තට ගියේ නැද්දයි විමසුවේය. නැත යනුවෙන් පිළිතුරු දුන් පසු ඔහු කිව්වේ ඊළග වතාවේ අංක 22 හා 24 අතුරු මාවත් වලට ගියහොත් ඔවුන් මුණ ගැසිය හැකි බවකි.

ඇතැම් ඡායාරූප ගූගල් මගිනි.








Friday, June 14, 2013

82 සිංගප්පූරුවේ මිත්‍ර සමාගම

කාලය අස්පවේගයෙන් ගොස් සිංගප්පූරුව තුල මා ගත කරන හතර වෙනි සතියටද එළැඹුනි. මට සතියකට පමණ කලින් රැකියා දඩයම පිණිස සිංගප්පූරුවට පැමිණ ගාමිණී විලාවෙහි ලැගුම්ගෙන සිටි මෘදුකාංග ඉංජිනේරුවන් කීප දෙනෙකුම නැවත ලංකාවට ගියේ සිංගප්පූරුවේ රැකියා අපේක්ෂා කරන විදේශ සේවකයන් කෙරේ සිංගප්පූරු රජය පනවා ඇති නීති රීති වල තරම මොනවට කියා පාමිනි. මා ලංකාවෙන් පැමිණෙන විට සැලසුම් කරගෙන ආවේ මාස 2ක් මෙහි රැදී සිටින්නටය. සිංගප්පූරුව යනු ලාංකිකයන්ට වීසා ලබාගැනීමකින් තොරව යා හැකි රටවල් දෙකෙන් එකකි. ඒ අතරිනුත් දියුණුම රටයි. ගුවන්තොටුපලේදී ආගමන විගමන නිලධාරීන්ගේ පරීක්ෂා කිරීම් වලින් පසු මාසයක කාලයක් එරට රැදී ඉන්නට වරම් ලැබෙයි. දෙවැනි මසකට වීසා දීර්ඝ කරගැනීමට අන්තර්ජාලයෙන් ඒ සදහා ඉල්ලුම් කිරීමට සිංගප්පූරු රජය විසින් පවත්වාගෙන යන වෙබ් අඩවියක් ඇතත් ඒ ක්‍රමවේදයෙන් ඉල්ලුම් කරන අපේක්ෂකයන් බහුතරයක් වර්තමානයේ ඉන් අසමත් වන නිසා මා තෝරා ගත්තේ අනෙක් ක්‍රමයයි. එනම් ගොඩබිමෙන් මැලේසියාවට ගොස් දින දෙක තුනකට පසු නැවතත් සිංගප්පූරුවට පැමිණීමයි. එවිට තවත් මසක් මෙහි රැදී ඉන්නට වරම් ලැබේ.

අතීතයේදී සිංගප්පූරුවට පැමිණි පසු ලංකාවේදී අනුමත කරගත් මැලේසියානු වීසා නොමැතිව මැලේසියාවට ඇතුලුවීමට පහසුකම් තිබුනත් දැන් ඒ මාර්ගය අපට අවහිර වී තිබේ. දිගින් දිගටම මැලේසියාව තුල සිදුවූ මිනිස් ජාවාරම් නිසා මැලේසියානු රජය ශ්‍රී ලාංකිකයන් කෙරෙහි වන ආගමන නීති දැඩි කර ඇති හෙයින් ලංකාවෙන් පැමිණෙන විට මැලේසියානු වීසා රැගෙන ඒමට සැමට සිදුවෙයි. ඒ සදහාද පෙර නොවූ විරූ ලියවිලි ප්‍රමාණයක් වර්තමානයේ ඉදිරිපත් කලයුතු අතර බැංකු ගිණුම් වාර්තා පවා අවශ්‍යය.

පළමු මාසය තුල මා සිංගප්පූරුවේදී ලද අත්දැකීම් මෙන්ම එහි පවතින අලුත් නීති රීති නිසාවෙන් තවත් මසක් එහි ගත කිරීම ඵල රහිත මුදල් නිකරුණේ වැයවන වෑයමක් බව මට ඒ වන විටත් වැටහී තිබූ හෙයින් මැලේසියාව තුල දෙවැනි මස ගත කිරීමට මම ඉටා ගතිමි. මා කලින් සේවය කල ආයතනයකදී හදුනාගත් මිතුරෙකු ඒ වන විටත් මැලේසියාවේ සිටීම මට මහත් සහනයක් විය. එතැන් පටන් පරිගණක තිරයෙන් මෑත් වී රැකියා දඩයමෙන් ඉවත් වීමට අවස්ථාව ලද නිසා සිංගප්පූරුව තුල යම් තරමකට සංචාරයටත්, හමුවීමට නොලැබුනු මිතුරන් හමුවීමටත් අවකාශ සැලසුනි.

සාමාන්‍ය පෙළ කරන අවධියේ මගේ පාසලේ මගේ පන්තියේම සිටි මිත්‍රයෙකු වන නුවන් සිය බිරිදද සමගින් අද සේවය කරන්නේද සිංගප්පූරුවෙහිය. සාමාන්‍ය පෙළින් පසු ඔහු ගණිත අංශයත් මා වාණිජ අංශයත් තෝරාගැනීම නිසාවෙන් අප දෙදෙනා ඉන් පසු පාසල තුල පවා හමුවූයේ කලාතුරකිනි. ඒ මෙම අංශ දෙක පිහිටා තිබුනේ පාසලේ දෙකෙළවරක හෙයිනි. මොරටුව සරසවිය හරහා අනාගතයට සවිමත් අත්වැලක් ලැබූ ඔහු මට 2001 වසරින් පසු හමු වී තිබුනේ නැත. එහෙත් මූණු පොතේ මිතුරන් ගොන්නේ සිටීම නිසාත්, මා මිත්‍ර සහන් ඔහුගේද මිතුරෙකු වීම යන කාරණා මත මගේ සිංගප්පූරු ආගමනය ඔහු දැන සිටියේය.

මෙහි පැමිණි පසු දුරකථනයෙන් කීප වතාවක් කථා කලත් ඔහුගේ අවිවේකී කම මත අපට හමුවීමට අවස්ථාවක් නොලැබුනද මම සිංගප්පූරුවෙන් පිටත් වන පුවත අසා ඔහු මට ක්ෂණිකව ඔහුගේ නිවසේ රාත්‍රී භෝජනයකට ඇරයුම් කළේය.

උඹ මෙච්චර ලගට ඇවිල්ලා ආපහු යන්න හදද්දි මගේ ගෙදරට එක්ක ගියේ නැත්නම් මට සෑහෙන අවුල් බං... නුවන් එසේ පැවසුවේ අප අතර පවතින නිහඩ මිතුදම නිසා බැව් සක්සුදක් සේ පැහැදිලිය. ඔහුගේ නිවස කිට්ටුව ඇති Hougang දුම්රිය ස්ථානයට පැමිණ රැදී සිටින ලෙස මට දැනුම් දුන් හෙතෙම මා කැදවාගෙන යාමට පැමිණියේ ඔහුගේ බිරිදද සමගිනි. වසර 12 කට පසු මගේ පන්ති සගයා නැවත දකින්නට ලැබීම මට මෙන්ම ඔහුටද මහත් සතුටක්ම විය.

මේ මචං මගේ වයිෆ්...ඔහු මුලින්ම බිරිදට මා හදුන්වා දී පා ගමනින්ම නිවසට යන්නට විය. මමත් මචං ගාමිණී විලා එකේ මුලින්ම හිටියෙ. මෙයාව මෙහෙට එක්කගෙන ආවට පස්සෙ තමයි ඉතිං අපාර්ට්මන්ට් එකක් ගන්න හිතුවෙ. සිංගප්පූරුවේ මෙවැනි නවාතැනකට සෑහෙන මිළක් ගෙවිය යුතු වුවත් මේ දෙපලම මෘදුකාංග ඉංජිනේරුන් ලෙස වෘත්තියේ නිරතව සිටින හෙයින් එය ගැටලුවක් වී නැත.

වසර 12 කට පමණ පසු හමුවූ අපට  කථා කරන්නට කොතෙක් දේ නම් තිබේද ? අප දෙදෙනා මුලින්ම හමුවූ තැන සිට කල දග වැඩ මෙන්ම රසවත් සිදුවීම් වලින් නිවසේ ආලින්දය පිරී යද්දී ඔහුගේ බිරින්දෑ නිහඩවම රාත්‍රී භෝජනය පිළියෙල කලාය. කාලය ගතවූ අයුරු අපට දැනුනේවත් නැත. කථා කරන්නට එතරම් දේ තිබේ. 10 වසරේ සිටියදී නුවන් පන්තියේ ප්‍රථමයා නොවුනත් මුල් ස්ථාන 10 අතර තුර ස්ථානයක් වාර විභාගයෙන් නිරතුරුව දිනාගත් චරිතයකි. පොතටම ඇළී උන් චරිතයක් නොවූ නිසාම ඒකා තුල වූයේ තරමක දාංගලයකි. මෙවැනි දැගලිල්ලක් අතර තුර පන්තියේ ඇතුල්වීමේ දොරටුව හරහා ක්ෂණිකව පෙනී සිටියේ එකල අපට විද්‍යාව ඉගැන්වූ සුගතපාල ගුරුතුමාය. ඉතා විශිෂ්ඨ ගුරු පියෙකු වූ එතුමා තරහා ගියොත් නම් මෙල්ල කිරීම උගහටය. ඔහු එක්වරම නුවන් වෙත එළඹ මේ සැරේ පන්තියේ කී වෙනියාදැයි විමසීය. නුවන් එයට පිළිතුරු දුන්නේ 5 වෙනියා ලෙස බැව් මගේ මතකයේ තිබෙයි. එකෙනෙහිම උගේ කන්කෙටියෙන් අල්ලාගත් සුගතපාල සර් උඹ දගලනවා මදිවට බොරු කියන්නත් එනවා නේද...උඹ වගේ දගලන එකෙක් කොහොමද යකෝ 5 වෙනියා වෙන්නේ යි කෝපයෙන් හඩ තැලූ අතීතය අපි නැවතත් සිනාහඩ අතරින් මෙනෙහි කලෙමු. එන්න කෑම කාලා ඉන්න... නුවන්ගේ බිරිද ඒ සිනහවට විරාමයක් තැබූයේ කුස්සියේ කටයුතු අහවර වී ආහාර මේසය සූදානම් කිරීමෙන්ද අනතුරුවය.

අනේ රසද දන්නෙ නෑ...මම පළවෙනි වතාවට තමයි මේවා හැදුවෙ...ඇය කෑම මේසය මත වූ පැස්ටා බදුන දක්වමින් පැවසුවාය. ඒ කෙටි කාලය තුල ඇය තනිවම තවත් ආහාර වර්ග කීපයක්ම සකසා තිබුනි. තිදෙනාම ආහාර බෙදාගෙන අනුභවය ඇරඹුනු පසු ඇය නැවතත් පෙර ප්‍රශ්නයම නැගුවාය.

කෑම හොදද ? ඔව් වරදක් නෑ රසයි, මගේ පිළිතුර හමුවේ ඇගේ මුවේ මන්දස්මිතියක් නැගුනි. හමු වී තවමත් වැඩි වේලාවක් ගත නොවුනත් ඇයද මා සමග සෑහෙන හිතවත් කමක් ඇතිකරගෙන ඇති සෙයකි.

පළමු වටය අවසානයේ අනේ තව බෙදා ගන්න...ඇගෙන් බේරුමක් නැත...මගේ තඩි බඩ ගෙඩිය දක්වා රාත්‍රියට අඩුවෙන් කෑම කන බව දැක්වුවද ගැලවීමක් නැති තැන බඩ පැත්තක දමා නැවතත් බුදින්නට මට සිදු විය. ආහාර වේල අවසානයේ පිරිනැමුනු හිමකිරම බදුනකින්ද සන්තර්පණය වූ පසු ඇය කීවේ මේ දින වල කාර්යාලයේ වැඩ අඩු නිසා දවස පුරාම සිංහල බ්ලොග් කියවන බවකි. මා එවිට සිරාගේ කාමරය පිළිබද විමසූ විට ඇගේ පිළිතුර වුයේ එය දැක ඇති මුත් කිසිදා කියවා නැති බවය. එය ලියන්නේ මා බැව් කී විට ඇය කීවේ ඊළග වතාවේ නිසැකවම කියවන්නම් කියාය.

මිත්‍රත්වයේ උණුසුමින් නැහුවුනු දෙහෝරාවකට පමණ පසු මම ඔවුන් දෙපලගෙන් සමුගැනීමට සැරසුනෙමි. ඒ අවස්ථාවේ මතක සටහනක් ලෙස අප තිදෙනාගේ ඡායාරූපයක් ගැනීමට අවැසි වූ නිසාවෙන් ඔවුන්ගේම නිවසේ කාමරයක් කුලී පදනම මත ලබාගෙන සිටින කොරියානු යුවතියක අපට පිළිසරණ වූවාය.

මම ඔවුන්ටද ඔවුන් මටද සුභ පැතීමෙන් අනතුරුව යලිදු මා දුම්රිය ස්ථානය දක්වා ඇරලවීමට දෙපලම එක්වූහ. ස්වයංක්‍රීය පඩිපෙළින් මා පහළට යද්දී මට සමුදෙමින් දෙදෙනාගේම සෙළවෙන අත් මම යන්තමින් දුටිමි.

මට නොයෙක් වර විවිධ උපකාර කල ජෙරමි හමුවීමට ඊට පසුදින යොදාගතිමි. සිංගප්පූරුවට පැමිණි පළමු දිනයෙන් පසු නැවත මා ඔහු මුණගැසෙන්නේ අදයි. අප දෙදෙනා සිටින්නේ රටේ දෙකෙළවරක විම එයට හේතුවයි. දම්පැහැති දුම්රිය මගෙන් රතු පැහැති දුම්රිය මගට මාරු වී Lake side දුම්රිය පල දක්වා ගමන්ගත් පසු ඔහුගේ රියෙන් මා රැගෙන යාමට ඔහු එකවී සිටියේය. දුම්රිය පලෙන් බැස බෑගයේ තිබූ ජංගම දුරබණුව රැගෙන බලන විට ජෙරමිගෙන් ඇමතුම් කීපයකි. මම සැනෙන් ඇමතුමක් ගත්තෙමි.

Lake Side දුම්රිය ස්ථානය


අනේ බං ෆෝන් තියෙන්නෙ කථා කරන්න, කොහෙ මගුලකද ඕක තිබ්බෙ....මම ස්ටේෂන් එක කිට්ටුව හිටිය නිසා උඹ කොහෙද බලන්න කථා කලේ....දැන් ට්‍රැෆික් එකේ මම ආපහු එනකං බලාගෙන හිටහං පැය භාගයක් විතර...කාපන් පරිප්පුව.... ඔහු කෝචොක් සිනහවක්ද සමගින් ඇමතුම විසන්ධි කලේය.

දුම්රියෙන් බසින විටම ඇදහැලෙන්නට වූ මහ වරුසාව තුරල් වන පාටක් නැත. රැකියා නිමවී නිවසට යන ජනතාව බස් රථ මගින් හා කුලී රථ මගින් ක්‍රමයෙන් වියැකී යයි. සුන්දර සිංගප්පූරු යුවතියන් දෙස ඇහේ පොට යනතුරු බලා සිටි මාගේ දෙකකුල් රිදෙන අවස්ථාව වන විට යන්තමින් ජෙරමි පැමිණියේය. ඒ වන විට පැය භාගයකටත් වඩා ඉක්මවා ගොස් තිබිණි.




ලංකාවේදී මා සේවය කල දැන්වීම් ප්‍රචාරණ ආතනයක මගේ අංශයේ කළමනාකරු ලෙස සේවය කල ජෙරමි ඔහුට සර් කියා ඇමතූ පළමු දිනයේම එය ප්‍රතික්ෂේප කල අතර මා හට ඇමතුවේ ඔහුගේ මිතුරෙකු ලෙස මචං යන වදන වැඩිපුර භාවිතයෙනි. සිංගප්පූරුවේදී ඔහු රාජකාරී කරන්නේ දැන්වීම් ප්‍රචාරණයට පරිභාහිර ආයතනයකය.

විනාඩි 15 ක පමණ ගමනකින් පසු ඔහුගේ නවාතැනට ළගා වීමට අපට හැකි විය. මචං මේ තමයි මගේ කම්පැණිය මට දීලා තියෙන ගේ මෙහෙ මාත් එක්ක කම්පැණියෙ වැඩ කරන තව දෙන්නෙක් ඉන්නවා. සිංගප්පූරුවේදීද කළමණාකාර තනතුරක සිටින නිසා ඔහුට වාහනයක් සහ නවාතැනක් ලැබී තිබේ.



ෆ්‍රිජ් එකෙන් කැමති දෙයක් අරන් බීපන්...ඔහුගේ සුන්දර නිවෙස ඔබ මොබ යමින් සිටින විට ලද ආරාධනයෙන් කුල්මත්ව මා තෝරා ගත්තේ ලංකාවේදී මේ ආකාරයෙන් පානය කරන්නට නැති පානයකි. එහි රසයට සමහරු අකමැති වුනත් කුළුදුලේ පානය කල නිසාදෝ මගේ අකමැත්තක් නොවුනි. තරමක පල් රසක් තිබුනද නරකම නැත. කුඩා කුරුම්බා කැබලිද බදුන තුල වෙයි. කරනවානම් වැඩ මෙව්වාය. අපේ රටේ ඇති තරම් තිබෙන කුරුම්බා ටින් කර අපනයනය කිරීමට අදහසක් පහළ නොවුනත් තායිලන්තයට නම් එය විදෙස් විනිමය ලබාදෙන නිපැයුමක් වී ඇත.


මගේ ඉදිරි වැඩපිළිවෙල පිළිබද සාකච්ඡා කිරීමෙන් අනතුරුව මගේ තීරණයට සිය කැමැත්ත පළකල ජෙරමි ඔහුගේ මිතුරෙකු වන සිංගප්පූරු ජාතික විශ්‍රාමික කමාන්ඩෝ උපදේශකයෙකු සමග රාත්‍රී භෝජනයකට මා රැගෙන ගියේය. රිචර්ඩ් නම් හෙතෙම ලංකාව ඇතුලු කලාපයේ රටවල් කීපයකම හමුදාවන් වෙත උපදේශකයෙකු ලෙස තම දැනුම ලබා දී ඇති බැව් මා සමග පැවසූවේය. මැලේසියාවට යාමට මා සූදානමින් සිටින බැව් සැළකල පසු රිචර්ඩ් මද සිනහවක් සමග මට කීවේ පරිස්සම් වෙන්න. මැලේසියාව සිංගප්පූරුවට වඩා සෑහෙන්න වෙනස්, එහෙ රෑට පාරෙ යන එක තරමක් අවධානම්, හරියට හොරු ඉන්නවා යනුවෙනි.

රාත්‍රී භෝජනය අවසානයේ මා ගාමිණී විලාවට ඇරළවීම පිණිස මේ දෙදෙනාම පැමිණි අතර ගාමිණී අයියා සමග කෙටි පිළිසදරකින් පසු ඔව්හු මට සුභපතා යලිත් දවසක හමුවන පැතුමෙන් නික්ම ගියහ.


මම කාමරේ වෙසෙන සත්ගුණවත් සිරා කොලුවා..


ප.ලි

නුවන් යනු ආරූඩ නාමයකි.


මා හට මිත්‍රත්වයේ උණුසුම සමග රසවත් රාත්‍රී භෝජන සංග්‍රහයක් භුක්ති විදීමට ආරාධනා කල මගේ මිතුරා සහ ඔහුගේ බිරිද ආදරයෙන් මතක් කරමි

Monday, June 10, 2013

137 කාමරේ ජාතකේ

ඉතිං ආයුබෝවන්ඩ කාලය අස්පවේගෙන් ගතවෙලා ගිහිල්ලා කොලුවා 1 වසරටත් ආවා. බොලා දන්න විදියට 1 වසරට එන්න එහෙම ලේසියෙන් පහසුවෙන් බෑ. මොට්ටසෝරි ගිහිල්ලා..හොටු පෙරාගෙන අඩලා...පාට් එක දාන කොල්ලන්ට අතින් බැරි නම් පැන්සලෙන් හරි ගහලා, අකුලු ලියන්න බෑ, අකුලු කැතයි  කියලා අම්මගෙන් වගේම ටීචෑර්ගෙනුත් බැනුම් අහලා තමයි 1 වසරට කොලුවෙක් එන්නෙ.

මේ කියන කොලුවා තමයි සත්ගුණවත් සිරා කොලුවා වන මම...බෝ පැලයක් වගේ අහිංසක කමට ඉන්න...ඉදලා හිටලා පොඩි ෂොට් එකක් දාගත්තට ඇල්වතුරත් නිවලා බොන...සිරා ඉතිං තමන්ගෙ පාඩුවෙ වැඩක් කොරන්න තමයි වැඩි මනාපෙ. පුංචි සන්දියෙ ඉදන්ම ගුරුවරුන් මගේ ලිවීමේ හැකියාව ගැන කථා කරලා තිබුන නිසා ඒ පිළිබද යම් විශ්වාසයක් සිරා කොලුවට තිබුනා. පුංචි පන්ති වලදි මම ලියන රචනාවට ඒ අය ලබා දුන්නු ලකුණු ගණනත් වැඩියි.

ඉස්සර ඉතිං පැන්සල් කොටේ උල් කරගෙන ඔලුව පාත් කරලා හිතේ මැවෙන දේවල් පොතක පතක ලිව්වට, මේ අබුද්දස්ස කාලෙ බොග් කියලා කොම්පීතරේට මුවාවෙලා පැන්සල වෙනුවට බටන් ඔබලා ලියන කලාවකුත් ආව නොවැ...මේ කියන බ්ලොග් ගැන කොලුවට ආරංචි උනේ සෑහෙන දොහක් ගිහිල්ලා...ආරංචිය එද්දි මං උන්නෙ බ්ලොග් මොට්ටසෝරියෙ....ඒ කාලෙ ඉතිං ඔය දුමී , දුකා වගේ ලොකු අයියලගෙ වැඩ කිඩ බලාගෙන තමයි සිරා උන්නෙ. මක්ක උනත් මේ වගේ බොගක් ලියන්න මටත් හිතුනත්...කොරන ක්‍රො‍මේ නොදන්න හින්දා ඉවසාන ඉන්න උනා. මෙන්න මේ අතර තමයි අඩා සදරුවා කියලා එකෙක් මේ තෝරු මෝරු අස්සෙ රිංගලා කොනක ඉදන් නෙලන්න ගත්තෙ...උගෙ ප්‍රේම කථාව නිසා බොග් ඉසව්ව සසල කරලා ගමන් ආරම්භ කරපු සදරුවා අන්තිමට අන්තිමට තමන්ගෙම කියලා අනන්‍යතාවක්ද මොකක්ද කියන එක හදාගෙන බ්ලොග් කලාව තුල යෝධයෙක් වුනේ වැඩි වැඩියෙන් සැට් එක බොග් කියවන්න හුරු කරලා වගේම අහක හිටිය අපි වගේ උන්ටත් බොග් ලියන්න දොළදුක බෙදලා දීලා.

ඒ නිසා මම ඉතාමත් අවංකයෙන් හෙවත් බොක්කෙන් කියන්නෙ බොගක් ලියන්න ඕනෙමයි කියන හැගීම මගේ හිතට දුන්නෙ හිස් අහසෙ සදරුවා...මේකා මුලිච්චි වෙච්ච වෙලාවෙත් මම මේ කථාව මේ විදියටම උගෙ මූණට දමලා ඇරියා...1 වසරට ආපු අද වගේ විශේෂ දවසක  දුකා/දුමී එක්ක සදරු කොලුවාවත් ආදරයෙන් මතක් කොරනවා.

අම්පාරේදී සදරු මුලිච්චි වූ අවස්ථාව (වම්පස)....මැද්දෙන් ඉන්නෙ ලියන්නා හෙවත් වෙනී අයියා




දැන් ඉතිං ඔක්කොම හරී කියමුකො...ඒත් කොහොමද බොගක් අටවගන්නෙ...මට පුලුවන් විදියට ඒ කාරිය කොරගත්තත් තවත් නොදන්න දේවල් වගේම අඩුපාඩුත් බොගේ පිරිලා ඉතිරිලා. මෙන්න මේ වෙලාවෙ මගේ එවකට රාජකාරි ස්ථානයේ හිටිය සගයෙක් වෙච්ච ජංගම ග්‍රැෆික් දොස්තර මට සෑහෙන සහයක් දුන්නා. ඒකා නොඉන්න පැත්තක් ඇල වෙච්ච දරමැස්සක් වගේ එකක් තමයි මට අටවගන්න වෙන්නෙ. ඒ හින්දා 1 වසරට පා තබපු දා ජංගම ග්‍රැෆික් දොස්තරවත් ඉතාමත්ම ආදරයෙන් මතක් කරන්ට ඕනි.

දැන් ඉතිං සියල්ල හරි කියලා කියමුකො...ඒත් කෝ බොගට නමක්...බොගක් නැගලා යන්න නම්  දාන නමත් කියවන්න එන උන්ට කික් වෙන එකක් වෙන්ට ඕනෙ කියලා මගේ අක්මාවට ඒ වෙද්දිත් දැනිලා තිබුනෙ. අන්තිමට මට උදව් වුනේ නිහාල් නෙල්සන් මහත්තයා... ඒ කිව්වෙ එයාද නම දැම්මෙ... නෑ බොලං..එයාගෙ මෙන්න මේ සින්දුව තමයි මට ඒකට උපකාර වුනේ.....

සොමියට වරෙන් පුතා අගුලු දාලා නෑ දොරේ
අහපන් රියල් කථා ගුණෙ අයියගෙ කාමරේ
හිටපන් සයිඩ් එකෙන් වාඩි වෙලා සුමිතුරේ
මස්කට් පැණි බූන්දි තියෙනවා මගෙ කාමරේ

මේක ගුණෙ අයියගෙ බජව් දාන කාමරේ //

පච්ච සිරාලා එතකොට කොච්චි එලාලා
ගුස්පි රොබාලා එයි මෙහෙ සොමිය සොයාලා
සැප විදලා මචා වෙලා පීචං වීලා
කැපිලා යන්නෙ සක්විති සුව මෙහෙන් වළදලා
නළුමන්ලා නිලිමන්ලා කැමරා කටාලා
අලිවංශෙන් වැඩ පෙන්වන සුපර් මෑන්ලා
බර පොරවල් ෆොරින්ස් කකුල් එකට වැටීලා
Two Thousand Three Thousand යයි විසිකරලා

මේක ගුණෙ අයියගෙ බජව් දාන කාමරේ //

ටින්කිරි ටින් එකෙන් නැතිනම් ටොනික් ඩප්පියෙන්
ෆේස් ටු ෆේස් එනවා නම් වැඩ අතින් පයින්
සෙවල කිරල වැක්කෙරුවොත් තෙල් වීදාගමින්
වැලි ගල් කටු බොරු නෑ මගෙ වැඩ රාත්තලෙන්
කොත නම් කොත කුරුස වලට මගෙ ලග ඉඩ නැත
ඔය කාගෙත් වතගොත මගෙ ෆයිල් එකේ ඇත
දුකට සැපට මම එන්ටර් මම නැත බොරු ගොත
බ්ලේඩ් වලින් කැපෙන්නෙ නෑ කෙනෙකුගෙ හොද හිත

සොමියට වරෙන් පුතා අගුලු දාලා නෑ දොරේ.......

මේ ගීතය නිහාල් නෙල්සන් මහත්මයගෙ ගීත ගොන්නෙ ඉතාම ජනප්‍රිය ගීතයක්...ජාලෙ පරීක්ෂා කරලා බැලුවම ඒ ගැන ලියපු ලියවිලිත් සෑහෙන්න තියෙනවා...මෙතැනින් ගියොත් ගීතය අහන්න දකින්න පුලුවන්

මෙතැනින් ගියොත් ගීයෙ පද සංකල්පනාව ගැන විචාරයක් කියවන්න පුලුවන් බොලව්... මේ ලස්සන ගීතය ලියලා තියෙන්නෙ නැසීගිය හේමසිරි හල්පිට මහතා.

සිරා කොලුවා මේ ගීතයෙන් කාමරයට නමක් යෙදුවෙ...මගේ කාමරේ උස් මිටිකම්, පොහොසත් දුප්පත් භේදයකින් තොරව කියවන්න එන බොලා හැමටම විවෘත බව නොකියා කියන්න.

සින්දුවෙන් පස්සෙ බොගේ නම සිරාගෙ කාමරේ වුනා. හැමදේම සපුරාගෙන පළවෙනි පෝස්ට් එක ලියලා නමෝ විත්තියෙන් දොර ඇරපු සිරාගෙ කාමරේ ඉතිරිවෙලා තිබුනු තවත් ගැටළු කාමරේට ආපු සහෝදර බ්ලොග් කරුවන් විසදලා දුන්නා.  ඒ අයවත් අද වගේ විශේෂ දවසක මම බොහොම ආදරෙන් මතක් කරනවා. ඒ වගේම පස්සෙ කාලෙක මගේ ඉල්ලීමට සිරා කොලුවව සිතුවම් කරලා බොගේ උඩින් එල්ලගන්න අවස්ථාව සලසා දුන්නෙ අපේ ඉංග්‍රීසි සර් / මගේ ව්‍යාපාරික සහකරු හෙන්රි මහතා හෙවත් නව නිර්මාණ වලට කවදත් හිතැති හෙන්රි බ්ලොග්වෝකර්. එතුමාවත් මේ අවස්ථාවෙ ඉතාමත්ම ගෞරවයෙන් මතක් කරනවා. තව පොඩ්ඩෙන් මෙයාව අමතක වෙනවා...ඒ තමයි ඉතිහාසය පිළිබද සටහන් වලට කවදත් මට සහයෝගය දෙන පුරාවිද්‍යා උපාධිධාරී මගේ පැරණි පෙම්වතිය. (අලුත් කෙනෙක් තාම සැට් වී නැත) ඉදිරියේදි අලුත් ඉතිහාස කථා මාලාවකුත් ඇගේ පිහිටෙන් සිරාගෙ කාමරේට පැමිණෙන්න නියමිතයි. ඉතිං ඇයටත් මේ කරන උදව් වලට බොහොම ස්තුතියි කියන්න ඕනෙ.

බොග ලියන්න පටන් ගත්ත මුල්ම කාලෙ කමෙන්ටුවක් වැටෙනකං මම කොච්චර ආශාවෙන් බලාන හිටියද කියලා අදටත් මට හොදට මතකයි. ඒ ආශාව ගැන දැන හිටි නිසාමදෝ මගේ පළමු ලිපිය පළවෙලා දවසකට පස්සෙ පළමු කොමෙන්ටුව දඹදිව මහෞෂධ කියන නමින් ඇවිල්ලා කොටලා ගිහිල්ලා තිබ්බෙ මගේ කාර්යාල සගයා ජංගම ග්‍රැෆික් දොස්තර විසින්මයි. ඒ කියන්නෙ පළවෙනි දවසටම නෝ කමෙන්ට්.  මුල් කාලෙ කාමරේ දැන් ඉන්න අය පෙන්වන ගැජට් එකේ බොහෝ වෙලාවට පෙන්වූයෙ, කාමරේට තනි රැක්කෙ මම විතරයි. අද අලුත් පෝස්ටුවක් දාපු දවසක 20-30 එක් වරකට කාමරේට ආවත් මම මුල අමතක නැති පරණ සිරා කොලුවාමයි.

සිරාගෙ කාමරයේ පළමු කොමෙන්ටුව...
පිළිතුරු දෙනකොට මම දැනගෙන හිටියෙ නෑ මේ මගේ මිත්‍රයා ජංගම ග්‍රැෆික් දොස්තර  බව..


























සිරාගේ කාමරේ පළමු ලිපියේදී සහෝදර බ්ලොග් කරුවන් සහ
බ්ලොග් කියවීම පමණක් කරන DDT  මා දිරිගන්වා තිබූ ආකාරය

දෙවන පෝස්ටුවේදී සෙන්නා මට උදව්වක් කල ආකාරය
තවත් ටික කාලයක් ඉදිරියට යද්දි මා වටා පිරිසක් එකතු වුනා...බ්ලොග් ලියන පිරිසට අමතරව කියවන පිරිසකුත්...ඒ අය ඒ අයගෙ අදහස් විද්යුත් තැපැල් මාර්ගයෙන් එවද්දි දිගටම බ්ලොග් ලියන්න ධෛර්යය ශක්තිය මට එන්නත් වුනා. සිරා ඇයි මාසෙකට නිෂ්චිත අගයකින් පෝස්ට් ලියන්නෙ කියලත් සමහරු මගෙන් අහලා තියෙනවා. ඒකට හේතුව තමයි සිරාගෙ වාසනා අංකය 7 වීම. ඒ නිසාවෙන් මාසයකට ලියන ලිපි ප්‍රමාණය එපමණයි. වාසනා අංකය පිළිබද සාධකයටත් වඩා යම් සංවාදයක් ඇති කල යුතු සටහන් වලදි කියවන අයගෙ අදහස් ප්‍රකාශ කිරීමට යම් ප්‍රමාණවත් කාලයක් ලබා දිය යුතු බව තමයි මගේ පුද්ගලික අදහස. එය මෙතෙක් කල් ආරක්ෂා කරගන්න මට හැකිවෙලා තියෙනවා. මගේ ලිපි මාලාව බැලුවාම හතේ හත වැදිලා තියෙන ආකාරය අපූරුවට පෙනේවි.


සිරාගේ කාමරයේ පාඨකයන් විද්යුත් තැපෑලෙන් එවන ලද අදහස් කීපයක්

බ්ලොග් කලාව නිසා හොද මිනිසුන් රාශියක් හදුනාගන්නට වගේම සත්ක්‍රියාවන් කීපයකටම දායක වෙන්නත්...තවත් අයට ඒ සදහා මග පෙන්වන්නත් මට හැකි වුනා...ඒ හේතුවෙන් මේ වගේ දෙයක් පටන් ගැනීමට ලැබීම පිළිබද මම ඉතාමත් තෘප්තිමත්. ඒ නිසාම කොලුවා 1 වසරට පා තබද්දි දැනෙන්න යමක් කර තියෙනවා කියන සතුට මට තියෙනවා.

මුල් කාලයේ විනෝදාස්වාදයට බර සරළ දේ වැඩිපුර ලිව්වත් පසුව එය යම් යම් බැරෑරුම් මාතෘකා පවා ආවරණය කලා. හිට්ස් හඹා යාමේ උමතුවක් නැති සිරාගෙ කාමරේ කිසිවිටෙකත් කුණු හබ්බ ලියලා නෑ. ඉදිරියට ලියන්න අදහසකුත් නෑ. 

එවැනි සාඩම්බර වර්තමානයක් සිරාගේ කාමරයට ලැබුනේ මෙහි නිතර යන එන, කියවන ඔබ සියල්ලන් නිසයි. ඒ හේතුවෙන් සිරාගේ කාමරේ පළමු උපන්දිනය සමරන මේ විශේෂ දිනයේ මගේ හෘදයාංගම ස්තූතිය ඔබ සියල්ලන්ටම හිමි වෙනවා. අපේ මේ බැදීම තවත් කල් පවතීවා !



අපිට ජය වේවා !




මම කාමරේ වෙසෙන සත්ගුණවත් සිරා කොලුවා..


ප.ලි

මුල් කාලයේ මා භාවිතා කල භාෂා ස්වරූපයෙන් මෙම ලිපිය ආරම්භ කර වර්තමාන ස්වරූපයෙන් අවසන් කරන්නට සිතුවෙමි.

සදරු තරම් කෙටි කලකින් බ්ලොග් අවකාශය තුල පෙරළියක් කල කිසිවෙකුත් නැත. ඔහුටම ග්‍රාම්‍ය වූ ශබ්ද කෝෂයකින් හැඩ වූ ඔහුගේ බ්ලොග් ලියවිලි වල මිහිර මම වෙනත් කිසිදු බ්ලොග් කරුවෙකුගෙන් විද නැත. ඔහු වර්තමානයේ බ්ලොග් කලාවේ නොයෙදීම කියවන අපේ අවාසනාවද ?

කෙතරම් මහන්සි වී බ්ලොග් කෙරුවාව කලත්  කියවන ඔබ නැතිනම්...ඔබේ අදහස් නැතිනම් මේ ව්‍යායාමය ඉතාමත් නීරස බැව් මම අත්දැකීමෙන් දනිමි.

සැමවිටම මා ඉදිරිපත් කරන තොරතුරු වල නිරවද්‍යතාව පිළිබද දැඩි සේ සැළකිලිමත් වන නිසාම බොහෝ විට පෝස්ටුවක් ලියූ පසු කීප වතාවක්ම එහි අන්තර්ගතය පිළිබද සැළකිලිමත් වන්නෙමි. ඒ පිළිබද හොද දැනුමක් ඇති අය වෙත ඉදිරිපත් කර ඔවුන්ගේ අදහස් විමසමි. මෑතක ලියු සිංගප්පූරු ලිපි මාලාවද එලෙස පලවූ ඒවාය.

හිට්ස් හඹා නොගියද පළමු හිට්ස් ලක්ෂය මාස 9 දී පමණ සපුරා ගන්න සිරාගෙ කාමරේට හැකි වුනා. 
(විදේශ ගමන නිසා මාස දෙකක් එක දිගට බොග ලිව්වේ නැත)

පසුව එකතු කලා........

බ්ලොග් අවෝඩ්ස් 2012 තරග සමයේ Buzz Radio සමග සිරා අදහස් දැක්වූ ආකාරය



Easter Eggs Hand Basket Kindergarten Early Learning Education Toys Kids Toys 



Easter bunny bag, about 20 cm high, about 7 cm in diameter, complete with material accessories, self-adhesive, easy to make The finished product can hold small toys, put on a bunny bag, full of Easter atmosphere











Thursday, June 6, 2013

66 සිංගප්පූරුවේ ලංකාරාමය - සහ වව්නියාවේ ගුරු පුරප්පාඩු

සිංගප්පූරුවේ සිටියදී සිරා බොහෝ වාරයක් ආගිය ස්ථානයක් වටා අද සිරාගේ රට කථාව  දිගහැරේ.

සිංගප්පූරුවේ පවතින අති ධාවනකාරී ජන ජීවිතය පිළිබද කලින් ලිපියේදී සටහනක් තැබුවෙමි. මව්බිමේ සිය ආදරණීය පවුලෙන් වෙන් වී පීඩනයක් සහිත වාතාවරණයක් යටතේ සතියේ දින 5ක් සේවය කරන ලාංකිකයෙකුට එළඹෙන සති අන්තය මහත් සැනසීමක් ගෙන දෙන එකක් වනවා නොඅනුමානය. තමන්ගේ දේශයේම තවෙකෙක් හමු වී කථා බහ කිරීමට හෝ සිත් සේ නිදාගැනීමට සති අන්තය යොදා ගැනීමට ඔව්හු බොහෝ විට රිසි වෙති.

අපට හිමි නැති ඉසව්වක අපේ යයි කියා යන්නට හැකි තැනක් සිංගප්පූරුවේ තිබේ. පිටස්තරයන් ලෙස මෙහි වෙසෙන කවරෙකුට වුවද එය මහත් සහනයකි. ශ්‍රී ලාංකිකයන් සිංගප්පූරුවේ වෙසෙන අනිකුත් බහුතර ශ්‍රී ලාංකිකයන් හදුනා ගන්නේද, සිතේ නලියන තනිකම, පාලුව මදකට හෝ සංසිදුවා ගන්නේද සතියකට වරක් හෝ එහි පැමිණීමෙනි. ඒ ලංකාරාම බෞද්ධ විහාරස්ථානයයි.





1952 තරම් ඈත අවදියක ඇරඹී ඇති එහි පන්සලක තිබිය යුතු සියලුම අංග ඇති අතර ශ්‍රී මහා බෝධි ශාඛාවක් මෙන්ම අඩි 45 ක පමණ සැතපෙන බුදු පිළිමයක්ද වෙයි. ශ්‍රී ලංකාවෙන් වැඩම කල ස්වාමීන්වහන්සේ වැඩ සිටින ලංකාරාමයේ බුද්ධාලම්භන ප්‍රීතියෙන් යුතුව ආගමික කටයුතු වල නිරත වීමට හැකි කදිම පරිසරයක් නිර්මාණය වී තිබේ.






















































කාර්යාලය සහ පුස්තකාලය ඇතුලත් ගොඩනැගිල්ල

මහින්දාගමනය සංඛේතවත් කරන පිළිම වහන්සේ
මා සිංගප්පූරුවට පැමිණි පළමු දිනම එහි රැගෙන යාමට තරම් සහන් කාරුණික විය. Boon Keng දුම්රිය ස්ථානයෙන් බැස බස් රථයේ නැවතුම් 3ක් ගමන් කර එහි තනිව යාමට හැකි අයුරින් මග පෙන්වීමටද සහන් මා හට උපකාර විය. ලංකාවේ සිට සිංගප්පූරුවේ වගතුග සොයන කල දැන ගැනීමට ලැබුනු මේ විහාරස්ථානය වෙත යාමට මා සිත තුල නොතිත් ආශාවක් තිබිනි. සිංගප්පූරුවේ සිටින බහුතර ස්වදේශිකයන් සහ චීන ජාතිකයන් බෞද්ධයන්ය. ඔව්හු බහුතරය නිතර නැතත් පොහෝ දිනයන්හි ලංකාරාමයට පැමිණෙන බැව් මට දැනගැනීමට ලැබිනි. වෙසක් පොහෝ දින හැර අනෙකුත් පොහෝ දිනයන් සිංගප්පූරුවේ නිවාඩු දින නොවන නිසා පොහෝ දිනට ඉතා ආසන්න සති අන්තය ලංකාරාමයේ පෝ දින වැඩසටහන් සදහා යොදා ගනී.

ඇතැම් ස්වදේශිකයෙකු බෞද්ධ වුවද පන්සල් යාමට වේලාවක් නැති තරම් අවිවේකීය. එවැනි ඇත්තෝ පන්සලට අවැසි දෑ සම්පාදනය පිණිස තම ධනය පරිත්‍යාග කරයි. ඒ නිසාවෙන් ලංකාවේදී මෙන් නොව ලංකාරාමයට යන විට ගෙන යා යුත්තේ මල් පමණෙකි. හදුන්කූරු, පහන්තිර, පොල්තෙල් ආදී අනෙකුත් දෑ පරිත්‍යාග ශීලීන් විසින් සපයා දී ඇත. පන්සලට පැමිණෙන ඕනෑම බැතිමතෙකුට ඒවා නොමිලයේ භාවිතා කල හැක. මගේ මිතුරා සහන් මොනතරම් දහමට ලැදි තරුණයෙකුදැයි හොදින් වැටහුනේ ඔහු සමග පළමු දින ලංකාරාමයට ගිය ගමනේදීය. ඔහු විවිධ සුත්‍ර පවා කටපාඩමෙන්ම කියන ආකාරය දෙස මම විශ්මයෙන් අයාගත් දෑසෙන් බලා සිටියෙමි. ඔහු සමග එකටම සිටින ඔහුගේ මිත්‍රයාද එසේමය. සාරධර්ම වලපල්ලට යන වර්තමානයක මෙවැනි තරුණයන් දෙදෙනෙකු දැක ගැනීමට ලැබීමත්, ඔවුන් සමග මිතුදමක් ඇති කරගැනීමට ලැබීමත් පිළිබද මම අතිශයින් සතුටට පත් වෙමි.

පන්සලේ බෝ සමිදු අභියස මට කවදත් දැනුනේ අසීමිත සිසිලකි. එයට දේශ සීමා අතික්‍රමණය කල හැකි අසීමිත බලයක් තිබේ. බෝ සමිදු අභියස සිට ගාථා කියූ සෑම දිනකම මගේ නෙත් කෙවෙනි කදුලින් බර වූයේ අප හැර දමා දිව්‍ය ලෝකය බලා ගිය කිරි අම්මා මතක් වීමෙනි. ඇගේ වියෝවෙන් අනතුරුව මාස ගණනාවක් ගත වී ඇතත් ඒ වියෝවේ වේදනාව තවමත් මා පෙළයි. ඇගේ අත අල්ලාගෙන කුඩා කල පන්සල් ගිය බොදවූ මතකයත්, නායක ස්වාමීන් වහන්සේ සමීපයේ සිට ධර්මය ශුවණය කල මතකයත්, කඨින චීවරය රැගත් පෙරහැරේ වතාවක් ගමන් කල අයුරුත් අදුරු වූ සිතුවම් පටක් සේ යලි යලිත් මා සමීපයේ ජීවමාන වෙයි. මගේ නෙතගින් කදුලු බිදුවක් දෙකක් බෝ මළුවට පතිත වු අයුරු මා සමග සිටි කිසිවෙකුත් දුටුවේ නැත. මම ලංකාරාමයට ගිය සෑම සෙනසුරාදා දිනයකම බෝ මළුවේ සිට කිරි අම්මා මතක් කර ඇය දැන් සිටින ඉසව්වක සුවසේ සිටින්නට පැතුවෙමි. මගේ දෙමාපියන් නීරෝගී වෙන්නට පැතුවෙමි. කුඩා කල මා මෙන්ම මගේ සහෝදරයාද හදා වඩා ගැනීමට කිරි අම්මා මගේ මවට දුන් සහයෝගයත්...කුඩා අපගේ අත් පා හැඩගස්වන්නට කල මෙහෙවරත් මතක් වන මේ ලියන අවස්ථාවෙත් මගේ සිත රිදෙයි. නෙතු දෑල කදුලින් බොද වෙයි.

ලංකාරාමයේදී එළඹෙන සෙනසුරාදා සවස්වරුව පුදුමාකාර සැහැල්ලුවක්, සතුටක් සිතට මෙන්ම ගතටද ඇති කරයි. ලංකාවේදී පොහෝ දිනයක පවා පන්සල් නොගිය මා සිංගප්පූරුවේදී සෑම සති අන්තයකම පන්සල් යන තත්වයට පත් කලේ ඒ සැහැල්ලුව හා සතුටයි. සෙනසුරාදා රාත්‍රී 7.30 ට ඇරඹෙන භාවනා වැඩසටහනෙන් ආගමික කටයුතු ඇරඹෙයි. ඉන් පැයකට පමණ පසු ලංකාරාම බෞද්ධ සංගමය විසින් සියලුම බැතිමතුන් උදෙසා බුෆේ ක්‍රමයට රාත්‍රී ආහාරය පිළිගන්වයි. ඉන් අනතුරුව බෝ සමිදු සෙවනේ බොජ්ජංග සූත්‍රය දේශනා කිරීමෙන් අනතුරුව එදිනට නියමිත ආගමික කටයුතු අවසන් වෙයි.

මට සිංගප්පූරුවේ සිටින තාක් කල් භාවනා වැඩසටහනට සහභාගි වීමට නොහැකි වූයේ ජන්මාන්තර පුරුද්දක් බවට පත් වී ඇති මගේ ප්‍රමාදය නිසාවෙනි. බුෆේ ක්‍රමයට බැතිමතුන් වෙත රාත්‍රී ආහාරය ධර්ම ශාලාවේදී පිළිගන්වන අවස්ථාව සැබැවින්ම සුන්දරය. සිංගප්පූරුවේ වෙසෙන ඇතැම් ශ්‍රී ලාංකිකයන් සිය දරුවන්ද සමගින් මේ අවස්ථාවට එක් වෙයි. ඒ අතර තානාපති නිලධාරීන් මෙන්ම විවිධ උසස් තනතුරු දරන ඇත්තන්ද , සිංගප්පූරු මෙන්ම චීන ජාතිකයන්ද, සිටී. ශාලාවේ ඇති ශබ්ධ විකාශන උපකරණ මගින් ඒ අවස්ථාවේදී සිංහල ගීතාවලියක් වාදනය වීමට පටන් ගනී. ඒවා ශ්‍රවනය කරන විට අප නොරටක සිටින බවක් නොවැටහේ.


























ලංකාරාමයේ සිට රාත්‍රී ආහාරය අනුභව කරන චීන ජාතික දැරියක්
රාත්‍රී ආහාරය සම්පූර්ණයෙන්ම නිර්මාංශ ගණයේ එකකි. එහි සුදු/රතු බත්, අල වෑංජනය සමග ටෝෆු (සෝයා වලින් සාදන හතරැස් කොටුවක හැඩැති මාංශයක් මෙන් පෙනෙන චීන ආහාරයක්) පාන්, චීන ක්‍රමයේ නූඩ්ල්ස්, පපඩම්, සහ ආනමාලු කෙසෙල් තිබේ. බැතිමතුන්ට කැමති ලෙසකට ආහාර බෙදාගත හැක. භෝජන සංග්‍රහය අවසානයේ කැමති අයට තේ පානය කිරීමටද පුලුවන.

රාත්‍රී ආහාරයෙන් සන්තර්පණය වූ පසු බොජ්ජංග සූත්‍ර දේශනාව බෝ සමිදු සෙවනේ අරඹන්නට කටයුතු යෙදෙයි. එදින උපන්දිනය සමරන අය, පූජාවේ දායකත්වය ගත් අය, තම මළගිය ඥාතියකු සිහි කිරීමට පැමිණි අය, දැල්වූ පහනක් අතැතිව බෝ මළුවට පිටතින් සිටගෙන සිටිති. අනෙකුත් පිරිස බිම එළන ලද පැදුරු මත වාඩි වූ පසු ඉංග්‍රීසි භාෂාවෙන් ගාථා සටහන් කරන ලද කොළ කීපයකින් සමන්විත ලිපි ගොනුවක් බදු ෆයිල් කවරයක් සෑම බැතිමතෙකුටම වෙන් වෙන් වශයෙන් ලැබේ. ඒ අවස්ථාවේ දේශනා කරන සෑම ගාථා පාඨයක්ම ඒ ගොනුවේ සටහන් වී තිබේ. චීන/සිංගප්පූරු/ බෞද්ධයන් සමග ශ්‍රී ලාංකික බහුතර බැතිමතුන් පැදුරු මත පිළිවෙලකින් තොරව වාඩි වී අවසන් වූ පසු බෝධීන් වහන්සේ වටා යැවූ පිරිත් නූලක් දෑතින් අල්ලාගෙන පිරිසට ඉදිරියෙන් මහා සංඝ රත්නය අසුන් ගනියි. ඒ අවස්ථාවේදී එදින උපන්දිනය සමරන අයවලුන්, පූජාවේ දායකත්වය ලබා ඇති අය හා තම මළගිය ඥාතියාට පින් පැමිණවීමට පැමිණි අය පිළිබද හැදින්වීමක් බොජ්ජංග  සූත්‍ර දේශනාවේ ප්‍රධානත්වය උසුලන ගුණරතන හිමියන් විසින් සිදුකරයි. අනතුරුව දැල්වූ පහන බැගින් අතැතිව සිටින පිරිස වෙන් වෙන් වශයෙන් පැදුරු මත හිදගෙන සිටින සෑම කෙනෙකු වෙතම පේළියට ගොස් තමන්ගේ පහනට ඒ සෑම කෙනෙකුගේම ආශිර්වාදය ලබාගෙන, අවසානයේ මහා සංඝරත්නයේ ආශිර්වාදයද ලබාගෙන බෝ මළුවේ තැන්පත් කර අනෙක් අය මෙන් පැදුරු මත වාඩි වෙති. දෙවියන්ට ධර්මය ශ්‍රවණය පිණිස ආරාධනා කිරීමෙන් පසු  බොජ්ජංග සූත්‍රය දේශනා කිරීම අරඹයි. එයට සියල්ලන්ම දායක වන අතර තාලයට වචන උච්චාරණය කරමින් සියල්ලන්ම ශබ්ද නගා පාලි පාඨයන් කියනා අන්දම සැබැවින්ම කන්කළුය.

උගත් මහා තෙර නමක් වන ගුණරතන හිමියන් චතුර ලෙස ඉංග්‍රීසි භාෂාව හසුරුවයි. පොදුවේ කටයුතු සිදුවෙන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් වුවත්, ශ්‍රී ලාංකිකයන්ට පමණක් යමක් අවධාරනය කල යුතු විටෙක සිංහල භාෂාවත්, චීන/සිංගප්පූරු ජාතිකයන්ට යමක් අවධාරනය කල යුතු විටෙක චීන භාෂාවත් උන් වහන්සේ භාවිතා කරයි. අධ්‍යයනයට අපහසු යැයි සම්මත චීන භාෂාව ඉතා හොදින් හැසිරවීමට උන් වහන්සේට හැකියාව තිබේ.

බොජ්ජංග  සූත්‍රය යනු නිරෝගී සම්පත ලබාගැනීමට ඉවහල්වන බුද්ධ දේශනාවකි. එහි අගය පිළිබද පිරිසට හැමදාමත් පැහැදිලි කරන ගුණරතන හිමියන් සෑම සෙනසුරාදාවකම ඒ සදහා සහභාගි වීමේ වැදගත්කම අවධාරනය කරයි. උන් වහන්සේ පාලි පාඨයන් කදිමෙට උච්චාරණය කරන නිසාවෙන්ම දෙසවනට ගෙන එන්නේ සුවයකි. සූත්‍ර දේශනාව අවසාන භාගයේදී හිමිනමක විසින් සුවද මලකින් සෑම අයෙකු වෙතම පැන් ඉසිමින් ගමන් කිරීම මෙහි ඇති විශේෂ ලක්ෂණයකි. සෑම දිනකම සූත්‍ර දේශනාව අවසානයේ සෑම බැතිමතෙකු වෙතම ගුණරතන හිමියන්ගේ සුරතින් වෙනිවැල්ගැට කෝප්පය බැගින් ලැබෙන අතර, පූජාවේ දායකත්වය ගත් අය ඇපල්,පෙයාර්ස්,කෙසෙල්,දොඩම් වැනි පළතුරු බැතිමතුන් වෙත නොමිලයේම ලබා දෙයි.

වෙනිවැල්ගැට පානය සහ පළතුරු බෙදාදෙන අවස්ථාවක්


පූජාව අවසානයේ දින කීපයක් කථා බස් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ගුණරතන හිමියන් සමග යම් තරමකට සුහද වීමේ හැකියාවක් සිරා කොලුවාට ලැබිනි. උන් වහන්සේට හිතවත්ව සිටින චීන හා සිංගප්පූරු දායකයින් මාර්ගයෙන් ලංකාවේ වව්නියාවේ පවත්වාගෙන යන සිංගප්පූරු පාසල නම් විද්‍යාලය පිළිබද අසන්නට ලැබුනේ මෙවැනි විටෙකය.

මගේ ඉස්කෝලෙ සිංහල,දෙමළ, මුස්ලිම් ජාති තුනේම ළමයි ඉන්නවා. රටට වැඩ කරන්න ඕනෙ නම් සංගම් හදාගෙන නතතුරු බෙදන්න ඕනෙ නෑ. තමන්ට හැකි විදියට කලාම හරි. මම මෙහෙන් සපයාගන්න අරමුදල් වලින් ඒ ළමයින්ට ඉගෙනගන්න ඕනෙ දේවල් සපයනවා, පාසලේ විදුලිබිල ගෙවනවා, ගුරුවරුන්ගෙ වැටුප් ගෙවනවා. මහත්තයාටත් පුලුවන් නම් අපිට එකතු වෙලා මේ දේවල් වලට සහයෝගය දෙන්න. බ්ලොග් අවකාශය හරහා අම්පාරේදී ගිය වසරේ කල මෙහෙවර පිළිබදව මමද උන්වහන්සේ දැනුවත් කළෙමි. අපේ කථා බහ අවසානයේ උන්වහන්සේ මවෙතින් උපකාරයක් ඉල්ලා සිටියේය.

මහත්තයට පුලුවන් නම් මට හොද ගුරුවරු ටිකක් හොයලා දෙන්න. ලංකාවෙ සම්මත වැටුප, නවතැන්, කෑම බීම, අවශ්‍ය නම් ප්‍රවාහන පහසුකම් පවා දෙන්න පුලුවන්. හැබැයි මගේ නීති රීති ටිකක් තියෙනවා ඒවාට එකග වෙන්න ඕනෙ. අවම මාස 6 ක් එකදිගට වව්නියාවෙ රැදී ඉදලා ඒ ළමයින්ට මුල ඉදන්ම උගන්වන්න ඕනෙ, තරුණ ගෑණු ළමයිනුත් ඉන්න නිසා විනය ඉතා හොද වෙන්න ඕනෙ, සුරා සූදුවෙන් වැළකී ඉන්නත් ඕනෙ. දැනට මට අවශ්‍ය පරිගණක විද්‍යාව සහ ඉංග්‍රීසි මුල සිටම උගන්වන්න පුලුවන් ගුරුවරු.

මේ සදහා සම්බන්ධ වී අසරණ දරුවන් පිරිසකට සරණවීමට ගුණරතන හිමියන් දරන වෑයමට ඔබත් ගුරුවරයෙකු ලෙස සම්පත් දායකයකු වීමට කැමති නම් infosira2012@gmail.com ලිපිනයට සිරා කොලුවා වන මට ඊයක් එවන්න. ඉන් පසු ගුණරතන හිමි සම්බන්ධ කරගත හැකි දුරකථන අංක පිළිබද මම ඔබට දැනුම් දෙන්නෙමි.


මම කාමරේ වෙසෙන සත්ගුණවත් සිරා කොලුවා..


ප.ලි

සරසවි අධ්‍යාපනය නිම කර රැකියාවක් අපේක්ෂාවෙන් සිටින තරුණ / තරුණියන් හට ඉහත කී ගුරු පුරප්පාඩු වඩා වැදගත් වේ යැයි මම සිතමි.

Monday, June 3, 2013

89 සිංගප්පූරුවේදී හමු වූ කළණ මිතුරා

සිංගප්පූරුව පිළිබද ලිපි මාලාවේ තවත් අලුත් යමක් ඔබට කියන්නයි මේ වෑයම.

සිංගප්පූරුවේ ජන ජීවිතය අති ධාවනකාරී වේගයකින් ඉදිරියට ඇදෙන්නකි. ඒ තුල නවීන තාක්ෂණයේ ආශිර්වාදය මොනවට ලැබී තිබුනද බොහෝ ස්වදේශිකයන් ජීවත් වන්නේ යම් කිසි වැඩසටහනකට අනුව ක්‍රියා කරන රොබෝ වරුන් පිරිසක් මෙනි. ඔවුන් තුල සිනහව, සුහදතාව ආදිය සීමා වී ඇත්තේ තමා හොදින් දන්නා කියන අය අතර පමණකි. දුම්රියේ මෙන්ම බස්රියේද හැමවිටම දැකිය හැක්කේ ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකථනයකට හෝ ටැබ් එකකට සම්පූර්ණ අවධානය යොමු කර ඇති තරුණ පිරිසකි. ඔවුන් ඒවායේ වහලුන් බවට පත්ව සිටිති.

මා නොයෙක් වර ඉතා රූමත් යුවතියන් දැක්කෙමි. එහෙත් ඒ ඇත්තියන්ගෙන් බහුතරයකගේ පිටතට පෙනෙන විවිධ අඩුපාඩු තිබිනි. සමහර අයගේ කකුල් බකල්ය. නැතිනම් මුහුණ ඇදය. කන්පෙති වක ගැසිලාය. අපේ මව්වරුන් තම දරුවන් කුඩා කලම දරුවා සිය දහස් වාරයක් අත පත ගාමින් මෙවැනි අඩුපාඩු සකසන බැව් ඔබ හොදින් දනී. ඒ සදහා බොහෝ විට මවට ඇගේ මවගේ (මිත්තනියගේ)  සහයෝගයද ලැබේ. එහෙත් සිංගප්පූරු මව්වරුන්ට දරුවා බිහිකිරීමෙන් පසු වැඩි කාලයක් ඔවුන් වෙනුවෙන් කැපවීමට ඉඩක් නැත. ආර්ථික සටන ජය ගන්නට ඇයද සැමියාට සහාය විය යුතුය. ඒ නිසාවෙන් දරුවා බිහිවී මාස දෙක තුනකට පසු මවගේ චරිතය ආරූඩ කරගන්නේ නිවසේ සේවිකාවකි. ඇය බොහෝවිට පිලිපීන ජාතික කාන්තාවකි. දරුවන්ගේ කටයුතු සදහා බොහෝ ස්වදේශිකයන් පිලිපීන ජාතික තරුණියන්ගේ සේවය ලබාගන්නා අන්දම මම දැක ඇත්තෙමි. ඒ ඔවුන් ඉතා කරුණාවෙන් දරුවන්ට සැලකුම් කරන නිසාවෙන් විය යුතුය. දරුවන්ද තමන්ගේ මවට වඩා මේ සේවිකාවන්ට ඇගෑළුම් පායි. දුම්රිය පලක් ආසන්නයේ පදිංචිව සිටින්නේ නම් උදෑසන මව සේවයට යන විට සේවිකාව දරුවාද ළදරු කරත්තයක තබා තල්ලු කරගෙන දුම්රිය ස්ථානය ආසන්නයට යයි. පාසල් යන වයසේ දරුවන් සිටී නම් ඔවුන් පාසල් රැගෙන යන්නේද ඇයයි. නැවතත් සන්ධ්‍යාවේ මව පිළිගැනීමට දරුවා සමග ඇය එන පෙර මගට යයි.

අපට සිංගප්පූරු ජාතිකයන්ගෙන් ගත හැකි ආදර්ශයන් කීපයකි. ඔවුන් කිසිම විටෙක තවෙකෙකුගේ ඇද සොයන්නට යන්නේ නැත. තමා පසුකර යන අයෙකුගේ ඇදුමේ ඇද පෙන්වා තමන්ගේ මිතුරා /මිතුරිය සමග සිනාසෙනු මම කිසිවිටෙක දැක්කේ නැත. මෙහි සමාජය කාන්තාවන්ට මහත් සේ ගෞරව දක්වයි. රාත්‍රී මැදියම් කාලයේ වුවද කාන්තාවකට තනිව ඕනෑම මගක ඇවිද යා හැකි අතර ඇයට භිය වීමට කිසිම කාරණයක් නැත. ස්ත්‍රී දූෂණ / මනුෂ්‍ය ඝාතන වාර්තා නොවන තරම්ය. තරුණ කොල්ලන් සම වයසේ තමන් නොදන්නා යුවතියකට කිසිම ආකාරයක විහිළුවක් කරනු මම දුටුවේ නැත. කාන්තාවන්ට කැමති රැකියාවක නියැලෙන්නට පූර්ණ නිදහස ඇති අතර මෙහි පොදු ප්‍රවාහන සේවයට අදාළව තට්ටු දෙකේ විශාල බස්රථ පදවන කාන්තා රියදුරු වරියන්  පවා සිටී.

එවැනි අයෙකු පැදවූ බස් රථයක මා වරක් ගමන් කල අතර ඇය කාන්තාවක් කියා සෙසු රියදුරන් ඇයට වෙට්ටු දැම්මේ නැත. මහා මාර්ගයේ විනය ඉතා ඉහළය. ඒ නිසා වාහන පැදවීම පහසුය. අස්සෙන් දමා ඉස්සර කිරීම්, වාග් සංග්‍රාම නැත, පොලීසියට ජරාව දීම් නැත. සිංගප්පූරු පොලීසිය සෑම රටකම සිටිය යුතු වර්ගයේ පොලීසියක් වන්නේ ඔවුන් තමන්ගේ රටට ඉතාමත් අවංකව සේවය කරන පිරිසක් හෙයිනි. යම් වරදකට හසුව ඔවුන්ට පගාව දීමට තැත් කල ලංකාවේ ඇත්තෙක් දිනක් මට පැවසූයේ, මුදල් දෙස බලා සිනාසී, ඔය සල්ලි ඔයා තියාගන්න, කරන්න පුලුවන් උපකාරයක් කරන්නම් යනුවෙන් පොලිස් නිලධාරියෙක් ඔහුට පැවසූ බවය. උසස් පෙළ නිම කල පසු සරසවි අධ්‍යාපනයට සම්බන්ධ වීමට ප්‍රථම සෑම සිංගප්පූරු ජාතික සිසුවෙක්ම වසර දෙකක කාලයක් පොලීසියට හෝ හමුදාවට බැදී සේවය කල යුතුය යන්න මෙහි අනිවාර්ය සාධකයකි. එය ජාතික සේවය යනුවෙන් හදුන්වයි. ඒ හේතුවෙන් මහ මග දකින්නට ලැබෙන බහුතර පොලිස් නිලධාරීන් ශරීර වලින් කුඩා දරුවන් බදු පිරිසකි.

අනෙක් කාරණය අවංකත්වයයි. කුලී රථයකින් ගමන් කරන්නේ නම් යා හැකි කෙටිම දුර අනුගමනය කරන අතර රියදුරුට පාර වැරදීමකින් රථයේ කුලිය වැඩි වුවහොත් ඒ වැඩිවන මුදල අයකරන්නේ නැත. සිංගප්පූරුවේ කුලී රථ පැදවිය හැක්කේ සිංගප්පූරු ජාතිකයන්ට පමණක් වන අතර සෑම රථයක් තුලම GPS උපකරණයක් මෙන්ම CCTV කැමරාවක්ද තිබෙන බව මම කලින් වතාවකද ඔබට කී බැව් මතකය.

සිරාගේ කාමරයට නිතර යන එන ඔස්ට්‍රේලියාවේ වෙසෙන මගේ පාසල් මිත්‍රයා මයික් කාලයක් සේවය කලේ නැගෙනහිර ටිමෝරය නම් සිංගප්පූරුව ආසන්න දූපත් රාජ්‍යයකය. එහිදී ඔහුගේ හොදම මිත්‍රයකු වූයේ ට්‍රෙවෝ නම් සිංගප්පුරු ජාතිකයෙකි. කාලයේ ඇවෑමෙන් ඔහුගෙන් සමුගෙන මයික් වෙනත් දේශයකට ගියද මිතුදම බිදුනේ නැත. සිරා කොලුවා මෙහි පැමිණිකල මයික් තම පැරණි මිතුරාට මගේ වගතුග පවසා කල හැකි උදව්වක් කරන ලෙස පැවසූවෙන් දිනක් ට්‍රෙවෝ මා අමතා හමුවීමට අවැසි බැව් පැවසීය. රට තොට ගැන මගේ අවබෝධය අවම හෙයින් මට ඉතාමත් යාබද දුම්රිය ස්ථානයේදී රාත්‍රී 7 ට හමුවීමට කථිකා කර ගත්තෙමි.

මට දුම්රිය ස්ථානයට පා ගමනින් යන්නට ගත වන්නේ විනාඩි 5කි. හරියටම 7ට මම නිවෙසින් පිටත් වුනෙමි. 7.05 වන විට මම දුම්රිය ස්ථානයට ගොස් ට්‍රෙවෝ වෙත ඇමතුමක් ගත් කල මා වෙත පැමිණියේ සිංගප්පූරුවේදී නිතර දැකිය හැකි කුඩා ශරීරයකින් හෙබි සිංගප්පූරු ජාතිකයකු නොව දේහදාරී තරුණයෙකි.

මිත්‍රත්වයට සැබෑ අරුතක්....ට්‍රෙවෝ
යාලුවා ඔයා විනාඩි 5 ක් ප්‍රමාදයි යනුවෙන් හෙතෙම තම ඔරලෝසුව පෑයෙන් සිංගප්පූරු ජාතිකයන් කෙතරම් වෙලාව ගැන සැළකිලිමත් දැයි මට වැටහුනේ පළමු වතාවටය. අපි මොනවහරි කාලම කථා කරමු, මොනවද ඔයා කන්න කැමති යනුවෙන් විමසා ඇරඹුනු අපේ මිතුරු කම හිතාගත නොහැකි වේගයකින් ඉදිරියට ඇදුනේ මා මයික්ගේ මිතුරෙකු වූ නිසාමය.

පළමු හමුවීම තවත් රසකල  චීන ආහාර


මා හට මුදලින් මෙන්ම විවිධ දෑ මගින් කීප වාරයක් උපකාර කල ට්‍රෙවෝ සිංගප්පූරුවේ වර්තමානයේ විදේශික සේවකයන් කෙරෙහි රජය අනුගමනය කරන ප්‍රතිපත්තිය මෙන්ම එම තීරණයන් නිසා සිංගප්පූරු ආර්ථිකය යම් තරමකට පසුගාමී වී ඇති අන්දමද පැහැදිලි කළේය. ඔහුගේ ඉංග්‍රීසි උච්චාරණය චීන භාෂාවේ මෙන් නිසා ඇතැම් වචන ග්‍රහණය කර ගැනීමට අපහසුය. එවැනි විටෙක හෙතෙම කීප වතාවක් ඒ දේ නැවත නැවත උච්චාරණය කලත් මට ග්‍රහණය කර ගැනීමට අපහසු තැන දෑතින්ම හිස කසමින් ඔලුව අප සිටිනා මේසය මත තබා ගනී. ඔයාට වගේ තමයි ඔයාගෙ යාලුවටත් සමහර දේවල් එකසැරේ තේරුම් ගන්න බෑ. ඒත් එයා දෙවැනි සැරේ තේරුම් ගන්නවා. ඔයා දෙවැනි සැරේ තේරුම් ගන්නෙත් නෑ යනුවෙන් ඔහු සිනාසෙයි. එවැනි විටෙක සමාවෙන්න මගේ ඉංග්‍රීසි උච්චාරණය එතරම් හොද නෑ යනුවෙන් පවසන්නටද ට්‍රෙවෝ අමතක නොකරයි.

සති 4 කට පසු සිංගප්පූරුවෙන් මා සමුගැනීමට සූදානම් විය. ඒ මා කලින් සැලසුම් කල පරිදි රැකියාවකට එක් වීමට අපොහොසත් වීම නිසාවෙනි. මගේ තීරණය පිළිබද ට්‍රෙවෝ වෙත දැන්වූ විට හදිසියේ මා හමුවීමට වේලාවක් වෙන් කරගත් හෙතෙම එදිනද මට කලියෙන් පැමිණ සිටියේය. මගේ ප්‍රමාදයට සමාව ඉල්ලා ඇරඹුන අපේ කථා බහ ඔහුගේ අනුග්‍රහයෙන් එක් වූ රාත්‍රී භෝජන සංග්‍රහයකින්ද රසවත් විය. ඉන් අනතුරුව මා සමග ඔහු ගියේ නිමි ඇදුම් අළෙවි සැළක් වෙතය. ඔයාට ඕන දේවල් මෙතනින් ගන්න ඔහු පවසයි.

මට ගන්න දෙයක් නෑ... මම අවශ්‍ය දේවල් ලංකාවෙන් අරගෙන ආවෙ...ට්‍රෙවෝගේ මුදල් නිකරුණේ නාස්ති කිරීමට අකමැති වූ මම එසේ පිළිතුරු දුන්නද ඔහුගෙන් ගැලවී යන්නට මට ඉඩක් ලැබුනේ නැත. ගන්න මේ ටී ෂර්ට් , ඔයා මේ පාටට කැමතිද , මේ ෂර්ට් එක ඔයාට හොදට මැච් වෙයි. මේ ඩෙනිමත් ගන්න...මේ ආකාරයෙන් මගේ කැමැත්තකින් තොරව මා වෙනුවෙන් ඇදුම් සදහා මුදල් වියදම් කල ට්‍රෙවෝ අවසානයේ මට නියම සමින් නිමකල ඉන පටියක්ද තිළිණ කළේය.

ඔයා ලංකාවට නෙමෙයිනෙ යන්න යන්නෙ...ඒ නිසා මේ දේවල් ඔයා යන අලුත් රටේදි ප්‍රයෝජනවත් වෙයි. ඒ නිසා ගන්න. හෙතෙම ඉතා කරුණාවෙන් පවසා මට සමුදීමට නැවත දුම්රිය ස්ථානයටද පැමිණියේය. එහිදී නැවතත් තම පසුම්බියට අත පෙවූ හෙතෙම මට යම් මුදලක් ලබා දුන්නේය. මෙතරම් මුදලක් ඇදුම් වෙනුවෙන් වැය කර තවත් මුදල් ලබා ගැනීමට මම තරයේ විරුද්ධ වුවත් ට්‍රෙවෝගෙන් ගැලවීමක් ලැබුනේම නැති තැන මම ඔහුට ස්තූති වන්ත වී එය භාර ගතිමි.

හෙට නැති වුනත් පස්සෙ දවසක අපි අනිවාර්යෙන්ම සිංගප්පූරුවෙදි ආයෙත් හමු වෙනවා. පරිස්සමෙන් ඉන්න යාලුවා යනුවෙන් පවසා මගේ අත තරයේ අල්වාගෙන මට සමුදුන් ඔහු දුම්රිය ස්ථානයේ ස්කැලේටරයේ  නැගුනු මා පහළට ගොස් නොපෙනී යන තුරුම මා වෙත නෙත් යොමා බලා සිටියේය.

එදින රාත්‍රියේ විලාවට ගොස් මා නැවතත් මගේ කෘතඥතාව පලකර ට්‍රෙවෝ වෙත කෙටි පණිවිඩයක් යැව්වෙමි. එයට පිළිතුරු ලෙස ඔහු එවා තිබුනේ ඔහු විසින් මා වෙත කල උපකාර නැවත නැවත සදහන් කිරීම අනවශ්‍ය බවත් ඒවා සිතේ තබා ගැනීම පමණක් ප්‍රමාණවත් බවත්ය.

සිරා කොලුවා සැබැවින්ම තමන්ට හැකි ලෙස ඕනෑම කෙනෙකුට උදව් කරන චරිතයකි. ඒ නිසාමදෝ මගේ මේ චාරිකාව පුරාවටම මට මුණගැසුනේ පුදුමාකාර සුහදත්වයක් ඇති මිනිසුන්ය.



මම කාමරේ වෙසෙන සත්ගුණවත් සිරා කොලුවා..


ප.ලි

මේ මිත්‍රත්වයට පාලම වූ මයික් වෙත මගේ ප්‍රණාමය..

තවමත් දුරකථන ඇමතුම් හා විද්යුත් ලිපි මගින් ට්‍රෙවෝ මා පිළිබද තතු විමසයි. ඔහු CAT සන්නාමය සහිත බරවාහන යන්ත්‍රෝපකරණ සදහා ටිමෝරයේ කළමනාකරු (Country Manager) ලෙස සේවය කරයි.



Related Posts Plugin for WordPress, Blogger...