Friday, July 26, 2019

39 ඔහු නුවන් කුලසේකර නම් විය | Tribute to Nuwan Kulasekara

ඒ 1999 වසරයි. ගම්පහ බණ්ඩාරනායකයේ උසස් පෙළ පන්ති  එම වසරට අලුතින් ආරම්භ වී ඒ වන විට වැඩි කාලයක් ගත වී තිබුනේ නැත. මේ  අවට වෙනත් පාසල් වලින් උසස් ප්‍ර‍තිඵල සහිතව සාමාන්‍ය පෙළ සමත් වී අප පාසලට නවකයන් ලෙස පැමිණි උන්, පාසලේ පැරණි සිසුන්ගෙන් යම් හිරිහැරයක් කරදරයක් වේදෝයි මෙන් භියෙන් සලිතව බිම බලාගෙන ගමන් කරන්නේ මේ කාලයේදී බව මා ඔබට කිව යුතුය. කොටින්ම සිරාගේ අතිජාත මිත්‍රයෙකුව සිටි නගා කොලුවාද පළවෙනි දවසේ පාසලට ආවේ සිරා කොලුවාගේ අතක එල්ලී බැව් මට හොඳින් මතකය. අමානුෂික නවක වදයක් කිසිසේත්ම නැතත් සින්දුවක් කියන්නට, බිස්කට් පැකට් එකක් ගෙනෙන්ට අලුත් උන්ට නියම වෙන මේ අපූරු කාල සීමාවේදී විදුහලේ 6 වසරේ සිටම අධ්‍යාපනය ලැබූ උන් ලෙස අප සිටියේ උදාරම් ලීලාවෙනි.

කාලය මාසය දෙක බැගින් ගත වෙද්දී, පරණ උන් අලුත් උන් එකට මුහු වෙද්දී,  සිරා කොලුවා අධ්‍යාපනය ලැබූ වාණිජ අංශයේ, සිරා කොලුවාගේ පන්තියේ සිට පන්ති කාමර දෙකක් එහායින් තිබෙන,  බඩපුබ්බා, දත්දිග දුමිතා, ඔටුවා,  වැනි නසරානි උන් වැඩිපුරම සිටි පන්තියක සිනාමුසු අහිංසක අලුත් මුහුණක් නිතර දෙවෙලේ පෙනෙන්නට වූවේය. පන්ති කාමරයෙන් ඔබ්බේ දකින හැම විටෙකම වාගේ ඔහුගේ හිස කැප් තොප්පියකින් ආවරණය වී තිබූ බැව් මට මතකය. 

සිරා කොලුවා ඒ කාලයේ විද්‍යාලයේ බටහිර තූර්ය වාදක කණ්ඩායමේ පැල පදියම් වී කටයුතු කල නිසා පාසල් වෙලාවෙන් වැඩි කාලයක් ගත කලේ විදුහලේ ක්‍රීඩා ගාරය තුලයි. බෑන්ඩ් කාමරයට යාබද අසල්වැසියන් වූයේ ක්‍රිකට් කාමරයයි. විවිධ වයස් කාණ්ඩායන්ට අයත් ක්‍රීඩකයන්ට සතියේ විවිධ දිනයන් පුහුණු වීම් සඳහා යොදා තිබුන එසමයෙහි, සිරා කොලුවා සමගම පෙර කී අහිංසකයාද එකම දිනෙක තම තමන්ගේ කණ්ඩායම් සමග පුහුණුවීම් පිණිස පාසල් වේලාවෙන් පසු පාසලේ රැදී සිටි නිසාම, එකම පන්තියක අධ්‍යාපනය නොලැබුවත් ඉන් එහා ගිය ශක්තිමත් මිත්‍ර‍ත්වයක අඩිතාලම දමන්නට පාසල් ක්‍රීඩා ගාරයේදී අපට හැකියාව ලැබුනි. මේ අලුත් මිත්‍ර‍යා නුවන් කුලසේකර නම් වූවේය. නිට්ටඹුවේ රන්පොකුණුගම සිට පාසලට පැමිණි ඔහුගේ පියා පොලිසියේ රාජකාරි කලේය. කිරිඳිවැල මධ්‍ය විද්‍යාලයෙන් ඔහු අපේ පාසලට පැමිණ තිබුනි.

ලොවක් දිනූ කුලේ

ක්‍රිකට් ක්‍රීඩාවට නවකයින් බඳවා ගන්නා බැව් ප්‍ර‍සිද්ධ කල පසු ඒ සඳහා සහභාගි වීමට කොල්ලන් බුරුතු පිටින් ක්‍රිකට් කාමරය සොයා ඒම එකල සුලභ දසුනකි. එහෙත් ක්‍රිකට් පුහුණුකරු කණිෂ්ක අයියා කාලයක් යන තුරු මේ උන්දලාට පිත්තක්, පන්දුවක් අල්ලන්ට දෙන්නේ නැත. ඒ වෙනුවට ඇත්තේ පිට්ටනියේ හැති වැටෙනකං දිවීමත්, තවත් අටෝරාශියක් ව්‍යායාමත් පමණකි. පන්දුවක්, පිත්තක් අල්ලන්නට නැති ක්‍රිකට් මොන ලබ්බකටදැයි සිතන මේ නවකයන් එකා දෙන්නා බැගින් එතැන් සිට ක්‍රිකට් ක්‍රීඩා පුහුණුවීම් වලට පැමිණීමෙන් වැලකී සිටින අතර මාසයකට දෙකකට කලියෙන් පිටිය පුරා දුවමින් සිටි ක්‍රිකට් ක්‍රීඩකයින් සිය ගණනක් අතරින්, ක්‍රිකට් උණ තදින් වැළදී ඇති 20 -30 පමණ තව දුරටත් පුහුණුවීම් සඳහා ඉතිරි වූ පසු කණිෂ්ක අයියා නිසි පුහුණුවීම් ආරම්භ කරයි. 

උසස් පෙළ කරනා සමයේදී ලෙදර් පන්දුව මුලින්ම අතට ගෙන වසර දෙකක කාලයක් තුල සීඝ්‍ර දියුණුවක් ලබන්නට එතෙක් කල් අප පාසලේ කිසිවෙකු සමත්ව නොසිටි නිසාම කුලේ අරභයා කණිෂ්ක අයියා සිටියේ උදාසීන ප්‍ර‍තිපත්තියක බැව්  පසුකලෙක කණිෂ්ක අයියා විසින්ම මා හට කියා තිබේ. උඩුගම්පලදී පැවති පාසල් ක්‍රිකට් තරගයකදී හා පුරා කියා කුලේ කඩුලු 5 ක් ලබා ගත්තේ මේ අතර තුරයි. තරගයේ විනිසුරුවරයෙකු තරගයෙන් පසු කණිෂ්ක අයියාට කියා ඇත්තේ මේ හාදයාගෙන් හැදෙන ලකුණු පේනවා...ඒ නිසා උනන්දුවෙන් බලන්න යනුවෙනි. අද ජාත්‍යන්තර තරුවක්ව බැබලුනත් එදා ඒ වදන් කීපය නොවෙන්නට අද නුවන් කුලසේකර කෙනෙකු සමහරවිටෙක බිහිනොවන්නට ඉඩ තිබුනි.

විනිසුරුවරයාගේ නිර්දේශයෙන් පසු පුහුණුකරුගේ වැඩි සැලකිල්ලට ලක් වූ කුලේගේ නිසග හැකියාවන් දිනෙන් දින ඔප් නැංවී ඔහු කදිම දක්ෂයෙකු වන්නට කාලයට සමාන්තරව ඔහුට හැකි වූවේය. අප පාසලේ පිටිය තුල ආරාධිත පාසලක් සමගින් පැවැත්වෙන ක්‍රිකට් තරගයක ප්‍ර‍තිවාදී පිතිකරුවන් දෙදෙනෙකු අතර ශක්තිමත් සම්බන්ධයක් බිද දමන්නට දග පන්දු යවන්නන් අසමත්ව සිටි බොහෝ අවස්ථා වල නැවත පන්දු යැවීමට කැඳවන කුලේ තම ප්‍ර‍ථම පන්දු වාරයෙන්ම ඒ කාරිය ඉටුකර දෙන්නේ මැට්න් එකේ පතිත වූ පසු පහළින් ඇඳී යන පන්දුවකට පිතිකරු කඩුල්ල මුවාකිරීමේ වරදට හසුකිරීමෙනි. වර්තමාන පන්දුයැවීමේ ඉරියව්වට ඉතාම සමාන ඉරියව්වකින් ඔහු පාසල් සමයේද පන්දු යැව්වේය.

වරක් කොළඹ ප්‍ර‍ධාන පාසලක ක්‍රිකට් කණ්ඩායමක් අප පාසල සමග තරගයකට සහභාගි වූවේය. මේ ප්‍ර‍තිවාදී කණ්ඩායම් නායකයා එම තරගයට කලියෙන් ක්‍රීඩා කල අවසන් ඉනිම 3 දීම පිට පිට ශතක රැස්කර මෙම තරගයට සහභාගී වූයේ පන්දු යවන්නන් තඹයකට මායිම් නොකරමින් උඩගු හැසිරීම් රටාවක් පෙන්වමිනි.

එහෙත් කුලේගේ දකුණතින් නිදහස් වූ භයංකාර යෝකර් පන්දුවක් ඔහුගේ කඩුල්ලේ කෙලින්ම වැදී ලකුණු රැස්කිරීමටත් පෙරම මේ පිතිකරුවා ක්‍රීඩාගාරයට හරවා යවන්නට එදා කටයුතු කළේය. 

මේ සීසන් එකේ මට වැටුන හොඳම බෝලෙ තමයි අද වැටුනෙ.. තරගයෙන් අනතුරුව ඔහු තම හිතවතුන්ට එසේ කියා තිබුනේය. කුලේ තම පාසල් ක්‍රිකට් ජීවිතය තුල විද්‍යා විදුහලට එරෙහිව එක් ඉනිමකදී කඩුලු 9ක් ලබා ගැනීම තම හොඳම පන්දු යැවීම ලෙස සටහන් කොට තිබේ.

විදුහලේ නිවාසාන්තර ක්‍රීඩා තරග වලදීද කැපී පෙනුන කුලේ ගැමුණු නිවාසය වෙනුවෙන් පදක්කම් දිනා දෙන්නට මීටර් 400, 200 සහ සහාය දිවීම ආදි ඉසව් වල ධාවනයේ යෙදෙන විට කුලේ සැබැවින්ම තවත් සුගත් තිලකරත්න කෙනෙකු වනු ඇතැයි අපි එදා සිතුවෙමු. බොහෝ අය නොදන්නවා වූවත් කුලේ යනු වේගවත් ධාවකයෙකි.

පන්තිකාමරය තුල ඉඳහිට දවසක දකින, ක්‍රීඩාගාරයේදී හෝ ක්‍රීඩාපිටියේදී නිතරම දකින කුලේ සහ ක්‍රිකට් ඒ වන විට දෙදෙනෙකු නොව එකෙකු බවට පත්ව සිටියහ. මිතුරෙකු ලෙස ඔහුගේ හැකියාවන් පිළිබඳ කදිම අවබෝධයක් තිබූ මා වැනි බොහෝ උන් එකල කුලේ හා දොඩමළු වන සෑම විටකම පැවසූවේ

උඹට සිලෝන් ටීම් එකට ගහන්න පුලුවන් උත්සාහ කරපං යනුවෙනි.

උසස් පෙළ විභාගයෙන් අනතුරුව පාසලෙන් මෙන්ම මිත්‍ර‍ සම්පත්තියෙන්ද  සමුගෙන එකිනෙකා තම තමන්ගේ අනාගත සිහින හඹායන්නට අර අදින කාලයේදී කුලේ මට මගහැරුනේය. නැවත අප එකිනෙකා මුණ ගැහෙන කාලය වන විට ඔහු නුගේගොඩ ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කරමින් සිටියේය. ඒ සඳහා ඔහුට උපකාර කලේ ෂම්මි ලියනගේ අයියාය.

ක්‍රිකට් ආම්පන්න සහිත විශාල බෑගයක් කරේ එල්ලාගෙන, කොළඹට යන්නට දුම්රියක් එනතුරු ගම්පහ දුම්රිය ස්ථානයේ රස්තියාදු වෙමින් සිටි කුලේ එවකට ගම්පහ වාසීන්ට සුලභ දසුනක්ම වූවේය. ක්‍රිකට් පුහුණුවීම් නැති දිනවල සැහැල්ලු පන්දුවෙන් සය සාමාජික ක්‍රිකට් තරග වල සහභාගි වූ කුලේ එම වර්ගයේ තරග වලට වි‍ශේෂඥයෙකු විය. සැහැල්ලු පන්දු තරග වලට සහභාගි වීමට ඒ කාලයේ ලංකාව වටේම වාගේ ඔහු ගමන් කොට තිබේ.

පළමුව ශ්‍රී ලංකා ඒ කණ්ඩායමට කැඳවීම් ලද කුලේ ඉන්පසු ජාතික කණ්ඩායමට එක්වීමට වැඩි කාලයක් ගත වූයේ නැත. එක් උදෑසනක ලංකාදීප ක්‍රීඩා පිටුවේ දම්පැහැති පසුබිමක කුලසේකර ජාතික කණ්ඩායමට කැදවයි යනුවෙන් ප්‍ර‍වෘතියක් දුටු සිරා කොලුවාගේ චිත්ත සන්තානයම ප්‍රීතියෙන් පිනා ගියේ අවංක මිත්‍ර‍ත්වය වෙනුවෙනි. පාසල් සමයේදී  මිතුරෙකු අරභයා අප නිතර නිතර තෙපලූ වදන් යථාර්තයක් වීම කෙතරම් ප්‍රීතියක්ද ?

කුලේ තම මංගල  එක්දින ජාත්‍යන්තර තරගය ලෙස එංගලන්තයට එරෙහිව දඹුල්ල ක්‍රීඩාංගනයේදී තරග වදින විට සිරා කොලුවා සිටියේ ඉගෙනීමට සමගාමීව පුංචි රැකියාවක නිරත වෙමිනි. රූපවාහිනියක් ළගපාත නොවූයෙන් තරගය සජීවීව නරඹන්නට හැකියාවක් ලැබුනේ නැති වුවත් ගුවන් විදුලි විස්තර ප්‍ර‍චාරය සමග මම ඒකාත්මිකව සිටියෙමි. ඔව් මේ දැන් නුවන් කුලසේකර තම ප්‍ර‍ථම එක්දින කඩුල්ල දවාගන්නවා යනුවෙන් ගුවන් විදුලි විස්තර විචාරකයා මොර දෙන විට, මමද සිතින් නුවන් කුලසේකර වී ඒ සතුට වින්දෙමි. එදා කුලේ සමග එකම තරගයකදී දිනූෂ ප්‍ර‍නාන්දු ද එක්දින වරම් හිමිකරගත්තත් ඔහුට කුලේට මෙන් දීර්ඝ කාලයක් කණ්ඩායමේ රැඳෙන්නට වරම් ලැබුනේ නැත

උඹ දන්නවද මචං...මම නුගේගොඩ ක්ලබ් එකට සෙල්ලං කරපු කාලෙ අවුරුදු එක හමාරක් විතර කලේ වතුර ඇදපු එක, ඒ කාලෙ එක මැච් එකක් වත් නෑ හැමදාම බංකුවෙ...අපේ කණ්ඩායමේ හොඳම බෝලර් ආබාධයකට ලක් වෙලා හිටිය දවසක තමයි නුගේගොඩ කණ්ඩායම වෙනුවෙන් මම මුලින්ම පන්දු යැව්වෙ.  ඔය ආසන්න කාලෙක නුගේගොඩ ක්‍රීඩා සමාජය සහ ගාලු ක්‍රීඩා සමාජය අතර වයස 23 න් පහළ තරගයක් විදියට පවත්වපු තරගයකදි මම ගත්ත හැට්‍රික් එකක්  දැකපු  ගාල්ල කණ්ඩායමේ ක්‍රීඩා කරපු හිරාන් ගුණසේකර  මාව ඒ කාලෙ ගාලු ක්‍රීඩා සමාජයෙ පුහුණුකරු විදියට කටයුතු කරපු අනූෂ සමරනායක මහතාට හඳුන්වා දුන්නා. නුගේගොඩ කණ්ඩායමෙන් පස්සෙ මම ගාලු ක්‍රීඩා සමාජයට එකතු උනා. ඒ කාලෙ ගාලු කණ්ඩායමේ නායකයා විදියට කටයුතු කලේ දිල්හාර ලොකුහෙට්ටි. ගාලු කණ්ඩායමට එකතු උන කාලෙ තමයි මාලිංගව මුලින්ම හමු උනේ.

චම්පක රාමනායක සර් ඒ වෙද්දි ජාතික කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු. අනුෂ සමරනායක මහතා තමයි NCC එකේ නෙට් බෝලර් කෙනෙක් විදියට මාව අරගෙන ගිහින් චම්පක රාමනායක සර්ට මාව පෙන්නුවෙ. එදා නෙට් එකේදි මම බෝල දාන විදිය බලලා ඊට පස්සෙ මේ දෙන්නම පුහුණුකරුවො විදියට මගේ පිටිපස්සෙන් ඉදන් විශාල සහයෝගයක් දුන්නා. මම ජාතික කණ්ඩායමට මේ තරම් ඉක්මනට එන්න ඒ දෙන්නා අති විශාල දායකත්වයක් දුන්නා.

කුලේගේ ඉවසීම එබඳුය. සමවයසේ අනිත් උන් උසස් අධ්‍යාපනය හෝ රැකියාවක නිරත වන විට තමන්ගේ හැකියාවන් පිළිබඳ විශ්වාසයෙන් ක්‍රීඩා කරන්නට තරගයක් හෝ නොමැතිව සෙසු ක්‍රීඩකයන්ට සත්කාර කරමින් බංකුවක් මතට වී තරග නරඹන්නෙකුව සිටි කුලේගේ අධිෂ්ඨානශීලී බව නිසැකවම විශාල එකකි.

ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩක නුවන් කුලසේකර දැන් ජනප්‍රිය තරුවකි. සිරා කොලුවා ජාත්‍යන්තර ක්‍රිකට් තරග වල ප්‍රවේශපත්‍ර‍ නිකුත් කිරීමට ක්‍රීඩා පිටිවලදී දායක වූ සමයේද කුලේ නොයෙක් වර ක්‍රීඩා පිටිය තුලදී හමු වූවේය. ඒ සෑම විටෙකම ඔහු අතීත මිත්‍ර‍යා පමණක්ම වූවේය. රූපවාහිනී කැමරාව ඉදිරියේ ඔබ දුටු නිරහංකාර ක්‍රීඩකයා කැමරාවෙන් ඔබ්බෙහි වූ සාමාන්‍ය ජීවිතයේදී එවැනිම කෙනෙකු මිස ධනයෙන් බලයෙන් උඩගු වූයේ නැත. බොහෝ ක්‍රිකට් ක්‍රීඩකයින් පසුකාලීනව ලබන ජනප්‍රියත්වය හරහා ධනවත් පවුලක යුවතියක සිය බිරිඳ ලෙස සරණ පාවා ගත්තද, එදා නුගේගොඩ ක්‍රීඩා සමාජයේ පුහුණුවීම් වලට යන එන අතර තුර දුම්රියේදී හදුනාගත් යුවතියක හා පෙමින් බැදුන කුලේ අවසානයේ ඇය සිය පතිනිය කරගත්තේය.

පාසල් සමයේදී කුලේ සමග එතරම් මිත්‍ර‍ත්වයක් නොතිබූ සිරා කොලුවාගේ මිත්තරයෙකුට තම විවාහ මංගල්ලය පිණිස කුලේ වෙතද ආරාධනා කරනු රිසි වූවේය. ඒ වකවානුව වන විට ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස ඉහළම තලයක වැජබෙමින් උන් හෙතෙම සහ මගුල් ගෙදර යා කරන පුරුක වන්නට මා හට සිදු වූවේය.

දිනක් දුරබණුවෙන් මම ඔහු ඇමතුවෙමි......

මචං මම ඩ්‍ර‍යිව් කරන ගමන්...පොඩ්ඩක් හිටහං අයින් කරලා නවත්තනකං..(පසුව කථා කරන්න යැයි කීවේ නැත)  

ඉතිං කියපං මොනවද විස්තර

අහවලාගෙ මගුල උඹට කියන්න ඕනෙලු...කොහොමද ඉන්විටේෂන් එක දෙන්නෙ..

ඉන්විටේෂන් ඕනෙ නෑ බං..මට දිනේ විතරක් කියහං..මම එන්නං...හැබැයි මැච් එකක් නැත්තං...

ඉන්විටේෂන් එක මගෙ ලග තියෙන්නෙ දැන්...ඒක දෙන්න පුලුවන් විදියක් කියහං..

උඹ වැඩ කරන පෑලියගොඩ තැනට අරන් වරෙන්...මම එතනට ඇවිත් ගන්නං...


එක් සැදෑවක එවකට මා සේවය කරමින් සිටි පෑලියගොඩ පිහිටි දැන්වීම් ප්‍ර‍චාරණ ආයතනයක් වෙත කුලේ පැමිණියේ රබර් සෙරෙප්පු දෙකක් පැලද ඉතාම සැහැල්ලුවෙනි. ආයතනයේ සේවය කල කොලු කුරුට්ටන් සියලුම දෙනා කුලේ වෙත හදුන්වා දුන්නේ ඉතාම කැමැත්තෙනි. හෙතෙම ඒ අය දැක්වූ ප්‍ර‍තිචාරයන් මැදිහත් සිතින් දරාගෙන ඔවුන් සමග ඉතාම කුලුපගව කථා බහ කළේය.

අයියා ටීවි එකේ පේන තරම් කලු නෑනෙ...වත්තල කක්කුට්ටා එසේ කියන විට කුලේගේ ප්‍ර‍තිචාරය වූයේ හැමදාම දකින අහිංසක සිනහවම වූවේය.

ආරාධනා පත්‍ර‍ය රැගෙන ගොස් සති දෙකකට පමණ පසු මගුල් රාත්‍රිය උදා වූවේය. රාත්‍රී 10 කණිසම පසුවී ඇතත් තවමත් කුලයා නැත. දුරකථනයට පිළිතුරු දෙන්නේද නැත, පොල්ලක්වත් තිබ්බද, මම දන්නා කුලේ එසේ නොවනා නිසා තවත් මොහොතක් බැලුවෙමි. එසැනින් ඔහුගේ රථය ප්‍ර‍ධාන ගේට්ටුවෙන් ඇතුලු වූවේය.

මේ මගුලේ අදුරු මුල්ලක බියර් වීදුරුවක් සමග මිතුරන් සියලු දෙනා එකදු පහදු වී සිටිනා කලෙක අවට මේස වල සිටි කිසිවෙකු කුලේ හඳුනාගත්තේ නැත. එහෙත් අප සිටි මේසය කරා පැමිණි විවාහක යුවලට පසුපසින් වීඩියෝ පිණිස එල්ල වූ අධි සැර ආලෝක ධාරාව නිසාම අවට පරිසරයට කුලේ නිරාවරණය වූවේය. ඒ සැනින් ක්‍රීඩා ලෝලීන් එක දෙන්නා බැගින් එහි පැමිණ ඔහු සමග ඡායාරූප ගැනීමත් කථා බහත් ඇරඹුනේය. ඒ ඒ ඇත්තන් සිටි ස්ථාන කරා ගොස් සුහද කථා බහේ නිරත වී නැවත අප කරා එන විට තවත් හෝරාවක් පමණ ගෙවී තිබුනේය. ඇතැම් කොලුවෙකු සිය පෙම්වතියට දුරකථන ඇමතුමක් ගෙන දුරබණුව කුලේ වෙත දික් කලේ අයියෙ මේ මගේ ගෑණු ළමයා ඔයා එක්ක කථා කරන්න ආසයි යනුවෙන් පවසමිනි.

මේ සියලු ප්‍ර‍තිචාර නිරහංකාරව දරාගත් කුලේ සැබැවින්ම මා හට පුදුමයක් වූවේය..

මම උඹ ඉන්න තැන හිටියා නම් ඔය තරම් නිරහංකාර වෙන එකක් නෑ කුලේ...මම එදා ඔහුගේ මුහුණටම කීවෙමි. සැබැවින්ම නුවන් කුලසේකර යනු නිරහංකාරකමේ ප්‍ර‍තිමූර්තියකි..

කුලේ තම හැකියාවෙන් ඉහළම තලයේ සිටි කාලයේ ප්‍ර‍කට කල දක්ෂතා යළි යළිත් ඔබට කියන්නට අවශ්‍ය නැත. පන්දුව දෙපසටම දෝලනය කරන්නට ඔහුට තිබුන හැකියාවත්, නිසි ඉලක්කට නිතරම පන්දු යැවීමත් පන්දුව පරණ වූ පසු ඔහු එල්ලකරන මරණීය යෝකර් පන්දුවත්, කල්යල් බලා එල්ල කරන වේගය අඩාල කල පන්දුවත් ඔහුගේ වත්කම් අතර වූවේය.

හරියට තැනට ස්ලෝ බෝලයක් දාන්න අවුරුදු දෙකක්වත් ප්‍රැක්ටිස් කරන්න ඕනෙ මචං...කුලේ දිනක් එසේ කීවා මතකය. ඒ අනුව ක්‍රිකට් ක්‍රීඩකයෙකු එම තත්වයට පැමිණීමට මොන තරම් මහන්සි විය යුතුද යන්න ඔබට අවබෝධ විය යුතුය.

මචං...උඹේ ක්‍රිකට් ජීවිතයෙදි හම්බඋනු පන්දුයවන්න අමාරුම පිතිකරුවා කවුද...සිරා කොලුවා දිනක් එවැනි ගැටලුවක් කුලේ වෙත යොමු කලේය.

එක්කෙනෙක් කියලා නෑ. දෙතුන් දෙනෙක් ඉන්නවා. විරේන්ද්‍ර ෂෙවාග්‍, ඇඩම් ගිල්ක්‍රිස්ට්, ක්‍රිස් ගේල් ඒ අතරින් ප්‍ර‍ධානයි. බෝලෙ එක දශමයක් එහා මෙහා උනා නම් මේ අයගෙන් සැරටම පාර වදිනවා කුලේගේ පිළිතුරු එවැනිය. කුලේ මා සමග කියා ඇති ආකාරයට විදේශ කණ්ඩායම් වලින් ඔහුගේ ඉතාම සමීපතම මිතුරන් වූයේ ඉන්දියානු කණ්ඩායමේ සුරේෂ් රයිනා සහ සහීර් ඛාන් දෙපලයි.

ජාතික කණ්ඩායමට එකතු වූ පසු තමාගේ ගමනට අඩිතාලම දැමූ පාසල අමතක නොකල කුලේ, අප පාසලේ දියුණුව පිණිස නිතරම කටයුතු කලේය. පාසලේ ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් නොයෙක් වර මුදලින් මෙන්ම ක්‍රිකට් උපාංග ප්‍ර‍දානයෙන්ද ඔහු දායක වී තිබේ. ආරාධනා ඇතත් නැතත් වාර්ෂික නිවාසාන්තර ක්‍රීඩා උලෙල නැරඹීමට ඒ කාලයේ ඔහු පැමිණියේ විශේෂයෙන්ම පැරණි මිතුරන් මුණගැසෙන්නට ඇති කැමැත්ත නිසාවෙන්මය. සැබැවින්ම ඔහු අපේ පාසලේ ගෞරවය දෙගුණ තෙගුණ කල සුජාත ආදි ශිෂ්‍යයෙක්ම වූවේය.

2014  පන්දුවාර 20 ලෝක කුසලානය ලංකාවට දිනා දීමට විශාල මෙහෙවරක් කල කුලේ වෙත අප පාසලෙන් උපහාර පුදනු ලැබූ අවස්ථාව. කුලේගේ දකුණු පසින් සිටින්නේ ඔහුගේ පාසල් පුහුණුකරු කණිෂ්ක අමරසිංහයි.



පාසලේ සහෝදර ක්‍රීඩකයන් සමග සුහද ක්‍රිකට් තරග පැවැත්වුන බොහෝ විටක කුලේ එම වටපිටාවේ සුලභ දසුනක් වූ අතර ජාත්‍යන්තර ක්‍රිකට් තරුවක් වන්නට පෙර සැහැල්ලු පන්දු ක්‍රීඩා කල පිත්ත තවමත් සුරැකිව එවැනි තරග වලට රැගෙන ඒමෙන්ම කුලේ යනු කුමන පුද්ගලයෙකුදැයි ඔබට වැටහෙනු ඇත. එවැනි තරගවලදී පුහුණුවීම් අතරතුර කීප වතාවක් කුලේගේ පන්දුවලට මා මුහුණදී ඇති අතර ඔහුගේ පන්දු පිතිකරු අපේක්ෂා කරනවාට වඩා වේගවත් බවට අත්දැකීම් ලැබුවෙමි. එවැනි තරග කීපයකදී කුලේ සමග එකම කණ්ඩායමක ක්‍රීඩා කිරීමට ලැබීමද මා ලද මහත් භාග්‍යයක් බැව් කිව යුතුමය.






පාසල් මිතුරෙකු සමාජ සත්කාරයක් කරනා සෑම විටෙකම නිහඩව ඒ සඳහා සිය මූල්‍ය දායකත්වය දැක්වූ කුලේ අප විසින් සංවිධානය කල අරුණළු වැඩසටහනත් සමග දිඹුලාගල ගිය ගමන සිරාගේ කාමරයට යන එන ඇතමෙකුට තවමත් මතකයේ තිබෙනවා වන්නට පුලුවන.

දිඹුලාගලදී දරුවන්ගේ දුක දැක සංවේදී වූ කුලේ







දිඹුලාගල දරුවන් සමග කුලේ සහ සචිත්‍ර‍ සේනානායක ක්‍රිකට් ක්‍රීඩා කල අයුරු


ක්‍රීඩකයෙකු ලෙස අප රටටත්, ලංකා ක්‍රිකට් කණ්ඩායමටත් අමිල මෙහෙයක් කල නුවන් කුලසේකර 2017 වසරේදී සිම්බාබ්වේ කණ්ඩායම සමග තරගවැදීමෙන් අනතුරුව නැවත ජාත්‍යන්තර පිටියේ දක්නට ලැබුනේ නැත. ඒ වන විට ඔහුගේ එක්දින කඩුලු මල්ල සටහන් වූයේ තරග 184 කදී කඩුලු 199 ක් ලෙසිනි. කුලේ පුද්ගලිකව කඩුලු 200 ක් ලබාගන්නට සිටියේ ඉතාම ආශාවෙනි. ඒ බැව් ඔහුගේ කථාබහෙන් අපට වැටහී තිබුනි. ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ කුලේගේ හැකියාවන් පහත පරිදිය.


එහෙත් විවිධ න්‍යාය පත්‍ර‍වලට අනුව ක්‍රීඩකයන් තෝරන, ඇතැම් ක්‍රීඩකයන්ට වැඩි වරප්‍ර‍සාද ලැබෙන, දක්ෂයින් හිටිගමන් නොපෙනී යන රටක, ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් වල අංක 1 ස්ථානයේ සිටි එකම ශ්‍රී ලාංකික පන්දු යවන්නාගේ වටිනාකමක් ක්‍රිකට් පරිපාලකයන්ට නොදැනී ගියේය. තේරීම් කමිටුවේ සභාපතිවරයා කුලසේකර යනු කවරෙක්දැයි මාධ්‍යයෙන් විමසන තරමට බුද්ධියෙන් හීන වී සිටියේය. එය සැබැවින්ම කණගාටුවට කරුණකි.

දේශීය ක්‍රීඩකයන් අතරින් කුලේගේ හොඳම මිතුරා වූයේ ලසිත් මාලිංගයි. ලසිත් මාලිංග සමගම  එකම තරගයකින් ක්‍රීඩාවෙන් සමුගන්නා බවට කුලේ අප සමග කියා සිටියේ මාස කීපයකට පෙර සිටයි.

ජාත්‍යන්තර ක්‍රිකට් ජීවිතයේ ඉස්සර දවසක ලස්සන මතකයක්

බුදු දහම නැමති සනාතන දහමට අනුව ඇතිවීම නැතිවීම, හමුවීම වෙන්වීම ලෝක ස්වභාවයයි. ඒ දහමට අනුව යමින් අපේ කුලයාද පෙරේදා දිනයේ (2019 අගෝස්තු 24) සිය වසර 15 ක ජාත්‍යන්තර ක්‍රිකට් ජීවිතයට සමු දුන්නේය. හෙතෙම වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කදිම මිතුරෙකි, උතුම් ගතිගුණ ඇති මිනිසෙකි. මෑත කාලීන ඉතිහාසයේ ලංකාවෙන් බිහිවූ ඉතාම නිහතමානී ක්‍රිකට් ක්‍රීඩකයාද ඔහුම වගට සාක්ෂි සපයන ක්‍රීඩා ලෝලීන් දහස් ගණනකි.

කුලේ නිසාම රූපවාහිනියෙක් ක්‍රිකට් තරග නැරඹු කාලය දැන් ඉතිං අහවරය. ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය තුල නැවතත් අංක 92 නැමති ජර්සි අංකය දකින්නට නැත. ඔහු ක්‍රීඩාකල කාලය ඉතිහාසය විසින් විසිතුරු සිත්තමක් කොට ඇත. සංගක්කාර දුවද්දී දැවී යාමෙන් බේරා ගැනීම, ඔස්ට්‍රේලියාවේදී කඩුලු 5ක් දවා ගැනීම, 20 යි 20 ලෝක කුසලානය දිනා ගැනීමට ඔහු දැක්වූ දායකත්වය, එංගලන්තයේදී චමින්ද වාස් සමග සම්පූර්ණ දිනයක් පිතිකරණයේ යෙදෙමින්, අර්ධ ශතකයක් රැස් කරමින් පරාජයෙන් ලංකා පිල ගලවා ගැනීම, බ්‍රෙට් ලී ඇතුලු කැංගරු දේශයේ පන්දු යවන්නන්ට පහර පිට පහර දෙමින් ඔහු රැස් කල ලකුණු 73. සහීඩ් අෆ්රීඩි නිදැල්ලේ හැරි පන්දුව කඩුල්ල වෙත දෝලනය වීම, අසාර් අලී ලකුණු 97ක් ලබා සිටියදී  කඩුල්ලේ වැදුන පන්දුවට විකට් කූරක් කැඩී යාම ආදී ඔහු විසින් නොයෙක් වර ප්‍ර‍කට කල දක්ෂතා, හෙට දවසේත් ඔහුට හිතැති සිත් වලින් මැකී නොයනු ඇත.

ගරා වැටෙමින් පවතින රටක, ලක්ෂ සංඛ්‍යාත ජනතාවකට එදිනෙදා ගැටලු අමතක කර සිතට සතුට ගෙන ආ ක්‍රිකට් ක්‍රීඩාවේ බලකනු එකිනෙක ගැලවෙමින් යන වටපිටාවක සිම්බාබ්වේ මෙන්ම ලංකාවද ටෙස්ට් තත්වයෙන් ඉවත් කලා යැයි හෙට දවසේ අසන්නට ලැබුනොත් එය පුදුමයට කාරණයක් නොවනු ඇත.

සිස්ටම් එකක් නැති රටක, ක්‍රිකට් ක්‍රීඩාව පමණක් සිස්ටම් ගත වනු ඇතැයි සිතීමම මොන තරම් විහිලුවක්ද ? 

කුලේ උඹට සුභ ගමන්....හෙට දවසේ වේග පන්දු පුහුණුකරුවෙකු ලෙස දෙවැනි ගමන අරඹමු...පණ අඳින ලංකාවේ ක්‍රිකට් ඔසවා තබමු.




මම කාමරේ අරින සිරා කොලුවා.




Related Posts Plugin for WordPress, Blogger...