Tuesday, October 23, 2012

142 අම්පාරේ මහ පිංකම

පත්තර කන්තෝරුවේ රාජකාරිය අහවර කර පුටුවකට බර දී  හෝරා දෙකක් පමණ ගත වන්නට ඇත... නිදිබර නෙත් කෙවෙනි පියවෙන්නට ආ නමුදු  අද දින සහභාගි වන්නට නියමිත පිංකමේ නාමයෙන් සිරා ඉවසා සිටියේය. අළුයම 4 පසුවී මිනිත්තු 30 ක් ගිය තැන දුරබණුව කම්පනය විය. 
Raj  යනුවෙන් එහි සටහන් වී තිබුනි. මල්ලි අපි ළගම එනවා පල්ලෙහාට වරෙන් ඔහුගේ ලෙංගතු හඩ සවන් පිරවීය.

එකම පාසලක ඉගෙන ගත් නිසාවෙන්දෝ බ්ලොග් අවකාශයේ පළමුවෙන්ම සැබෑ ජීවිතයේ මට හමුවූ චරිතය ඔහුය. 2012 සයිබර් අවුරුදු උත්සවයට සමගාමීව බ්ලොග් අවකාශයේ මිතුරන් විසින් සංවිධානය කල සමාජ සත්කාරය වෙත හිස් අහසෙ සදරු ලබා දුන් අදහසක් අනුව  අම්පාර දිස්ත්‍රික්කයේ උහන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් ගලහිටියාගොඩ  මහා විද්‍යාලයේ පුස්තකාලය සඳහා පොත් පරිත්‍යග කිරීමට පිටත් වෙන්නයි මේ සූජානම. මෙම වැඩසටහන යෝජනා වෙලා ක්‍රියාත්මක වෙන කාල සමයෙ සිරා බ්ලොග් අවකාශයේ හිටියෙ නැතත් එහි අවසාන භාගයෙදි  මගේ පාසල් සහෘදයා  Raj  විසින් සිදු කරන ලද ආරාධනයක් අනුව ඒ එක්ක අත්වැල් බැදගන්න සිරාටත් අවස්ථාව ලැබුනා...

දැනුමැති සමාජයක් උදෙසා පොතක් පරිත්‍යාග කරමු.. මේ පාඨය තමයි මේ වැඩසටහන පුරාවට භාවිතා වූ තේමාව. ඒ අනුව සිරා අත් පන්දුවක් සහ පොතක් මේ සත් කාර්යයට එකතු කලා...මාස ගණනක් තිස්සෙ වැර වෑයමෙන් එකතු කර ගත්ත සම්පත් මේ පුංචි පාසලට භාර දෙන්නට යන ගමනට මටත් ආරාධනාවක් ලැබුන නිසා ඔන්න සත්ගුණවත් සිරා කොලුවත් පෙරදා රාත්‍රියේ  රැකියාව නිසා ලද වෙහෙස මහන්සිය නොබලා මේ ගමනට එක්වුනා.. තවත් විශාල පිරිසක් මේ කාර්යය සංවිධානය කරන්න, ආධාර රැස් කරන්න තිරය  පිටුපස සිටියා... ඒ අය අතරින්  ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයෙන් රුපියල් 60000 /- ආධාර ලබා දීමට සම්බන්ධීකරණය කල අභීත සහ ඒ ඉල්ලීමට යහපත් ප්‍ර‍තිචාරයක් දැක්වූ එම ආයතනයේ දත්ත ජාල කලමණාකරු නිශාන්ත රත්නායක මහතාවත් මෙහිදී මතක් කල යුතුමයි. මේ  පිළිබද තවත් තොරතුරු මෙතැනින් කියවන්න පුලුවන්....

වෑන් රථය කියපු වෙලාවටම කාර්යාලය ළග... මල්ලි මේ තමයි වෙනී අයියා රාජ් තවත් බ්ලොග් සහෘදයෙක් මට හදුන්වා දුන්නා... ඔහුට පිටිපස්සෙන් හිටියෙ උදිත් මලයා. වෙනී සමග එකම අසුනක ඈදි ගත්තට පස්සෙ ඔන්න රථය පිටත්වුනා... අතර මගදි සද කිදුරා  ඊටත් පස්සෙ  වැප් සහ අන්තිමට  පාන් රාත්තල් 5 ක ටෝස්ට් කල සැන්ඩ්විච් මල්ලක් සහ පානීය ජල බෝතල් 2 එක්ක යක්කලින් රථයට නැගුනෙ  මගේ මරණය සමග සිහින. තවත් කීප දෙනෙක් මේ ගමන් යන්නට බහ දී තිබුනත් අවසන් මොහොතෙ යෙදුන වැඩරාජකාරි නිසා ඒ අය පැමිණ සිටියෙ නෑ....

හිරු උදාවට මොහොතක් තියෙද්දි හාත්පස තියෙන අදුර කපාගෙන රථය ඉදිරියට ඇදුනා... ඒ අතරතුර සහෘද බ්ලොග් කරුවන් සහ සිරාගේ දැනහැදුනුම් කමත් දළු ලා වැඩුනා... මේ සියල්ලන්ම ඉතා හොද මිතුරන් බවට පත්වුනා...

ප්‍රේම කථා, වීර කථා, ආගිය කථා, ජන කථා, රස කථා , බ්ලොග් ලොව සොදුරු සිදුවීම් අතර තුර සිරා බ්ලොග් කරණයට එන්නට  කලියෙන් ජීවන ගමනට සමු දී තිබූ සොදුරු මිනිසුන්  වූ ඔබා මාමා  සහ ඉලංදාරියා ගැනත් පිරිස කථා වුනා. කථාවෙන් කථාවෙන්  රථය නුවර ප්‍රදේශයට ලගා වුනා... අඩ අදුරත් එක්ක වෙලුනු  නුවර වැව දැඩි මීදුමට මැදි වී  ගෙන ආ දර්ශනය සිතුවමක් තරම් සුන්දරයි.

ඒ වෙද්දි ඇති වී තිබූ කුසගින්න සැන්ඩ්විච් පාන් පෙති මගින් සපුරා ගැනීමට උත්සාහ කලත් කුස තුල බුර බුරා නැගුන මහා ගින්න සන්තර්පනයට පාන් පෙත්තක් යනු කැලණි පාලම යටින් ගිය පොල්ලෙල්ලක් වගේ වුනා... ඒ නිසාම උඩුදුම්බර ප්‍රදේශයට එනවිට පිරිස උදෑසන ආහාරය ඉල්ලා සිටියත් නඩේ ගුරා රාජ් නිහඩයි... අවසානයේ සියල්ලන් එක්ව

අපිට කන්න දීපියව්.... කෝ කෑම.... නඩේ ගුරා නිදිද ?

ආදී වශයෙන් පැවැත්වූ උද්ඝෝෂණයේ ප්‍ර‍තිඵලයක් ලෙස උඩුදුම්බර චන්ද්‍රිකා හෝටලයෙන් උදෑසන ආහාරය ලබා ගැනීමට තීරණය වුනා...


මෙන්න නියම නඩේ ගුරෙක් Raj

උදෑසන ආහාරය ගිල දැමූ පසු පිටත් වූ රථය දහ අට වංගුව පෙනෙන මානයේ නතර කරන්නට වූයේ අපට හොරෙන් රෝදයක හුළං බැස යාම නිසාවෙන්... ඒ තත්වය පිළිසකර කරගන්නා තුරු වෙනි අයියා සමාවෙන්න වෙනී මාමා ඉතා විශිෂ්ඨ, කලාත්මක, සොබා සෞන්දර්යයෙන් අනූන ඡායාරූප පෙළක්ම ලබා ගත්තා...

අපට හොරෙන් ගිය හුළං
පොඩි උන් උඩ නග්ගා නිවැරදි කෝණය සොයන වෙනිවැල් අයියා
මෑතකදී මැනවින් නවීකරණය කර ඇති දහ අට වංගුවේ සිරි අසිරි නරඹමින්  පිරිස හසලක නගරය හරහා බිබිලට ගමන් කර  අනතුරුව අම්පාර පුදේශයට ලගා වුනා... මෙම වැඩසටහනේ සම්බන්ධීකාරක සදරු  කොළඹින් පිටත් වූ පිරිසට පැවසූවේ අම්පාර හාඩි උසස් අධ්‍යාපන ආයතනය ඉදිරිපට රැදී සිටින ලෙස වුවද ඔහු එතැනට පැමිණියේ මදක් පුමාද වී... ඔහුගේ ආගමනය අපේක්ෂාවෙන් සිටි බ්ලොග්කරුවන්  පැවසුවේ සදරු කොලුවා මුල්ල පටස් වත් ගේන්න යන්න ඇති බවකි.




මරන්න ගිය හරකෙක් බේරාගන්න ගියා... අපේ ගමේ හරක් මරන්න දෙන්නෙ නෑනෙ...  ඒ හින්දයි පොඩ්ඩක් පරක්කු වුනේ. 
බයිසිමොටෝවකින් පැමිණි සදරුගේ නිදහසට කරුණු දැක්වීම සාධාරණ එකක් නිසා ගැටලුවක් පැන නැගුනෙ නෑ...

සදරු පැදවූ බයිසිමොටෝව පසුපස ගිය අපගේ රථය ගම් නියම් ගම්, අතුරු මාර්ග, වෙල්යාය පසු කරමින් පාසල වෙත ගමන් ගන්නා මාර්ගයට වැටුනා... එදින සෙනසුරාදා දිනයක් නිසා... සුදු ඇදුමින් සැරසුනු දරු දැරියන් පාසල් පැමිණ තිබුනේ ඔවුන්ට ආධාර ලබා දෙන මේ වැඩසටහනට සම්බන්ධ වීමේ අරමුණ වෙනුවෙන්මයි. එහෙත් අප නියමිත වෙලාවට වඩා සෑහෙන වේලාවක් ප්‍ර‍මාද වීම නිසා ඇතැම් දරුවන් නැවතත් නිවසට යන්නට බස් නැවතුමේ රැදී සිටියා. එහෙත් අප ගමන්ගත්  රථය දුටු විගස පුදුමාකාර උද්යෝගයකින් නැවතත් ඔවුන් පාසල වෙත දිව ආවා...

පාසලේ විදුහල්පති පී.ජී ගුණරත්න මහතා ප්‍ර‍මුඛ ඇදුරු මඩුල්ලේ උණුසුම් පිළිගැනීම මැද බ්ලොග් නඩේ උත්සවය පැවැත්වෙන ප්‍ර‍ධාන ශාලාව වෙත පියමැන්නා... ශාලාව අසලදී බුලත් හුරුළු දී අප පිළිගත්තෙ විද්‍යාලයේ සිසුවෙක් හා සිසුවියක් විසින්.

බලන්න මේ දරුවන්ගේ අව්‍යාජ හිනාව

අපගේ ආගමණය අපේක්ෂාවෙන් පැය කීපයක් බලා හිද වෙහෙසට පත්ව තිබූ  සිසු දරුවන්ගේ නෙත් බලාපොරොත්තුවේ ආලෝකයත්, අලුත් පොත් කියැවීමේ පිපාසයත් නිසා ප්‍රමෝදයට පත්ව තිබුනා. පාසලේ ප්‍ර‍ධාන ශිෂ්‍ය නායිකාව විසින් උත්සව සභාව මෙහෙයවූ අතර ආගම සිහිකිරීමෙන් අනතුරුවයි කටයුතු ආරම්භ වූයේ.

පිළිගැනීමේ කථාව පැවැත්වූ විදුහල්පති තුමා අප සියල්ලන් නැවත් වරක් උණුසුම් අන්දමින් පිළිගත් අතර පාසලේ ඇති පොත්පත් හිග කමත්, අලුත් පොත් පත් කියවන්නට මේ දරු කැල කෙතරම් ආශාවෙන් සිටින වගත් පැහැදිලි කලා.  අනතුරුව විද්‍යාලයේ තවත් ශිෂ්‍යාවක් විසින් කථාවක් පැවැත්වූවා... ඇය නම් කැළයේ පිපුනු සැබෑම වන මලක් බදුයි.  ඉතාමත් දක්ෂ ලෙස වචන හැසිරූ ඇගේ කථික හැකියාව ඒ කථා බහ තුර මොනවට ඔප්පු වුනා... මෙවැනි මල් කැකුළු කැළයේම පර නොවෙන්නට ප්‍රාර්ථනා කරමින් සභාව ඇමතු නඩේ ගුරා රාජ්, බ්ලොග් යනු කුමක්දැයි කුඩා දරුවන්ට පැහැදිලි කර මෙවැනි සත්කාරයකට මග පෑදුනු ආකාරය මෙන්ම එහි සම්බන්ධීකරණය සිදු වූ ආකාරයත්, මෙම පාසල තෝරාගත් ක්‍ර‍මවේදයත් පැහැදිලි කලා...

පිළිගැනීමේ කථාව සමග විදුහල්පති තුමා

උත්සව සභාව වර්ණවත් කල වනමල් කැකුලිය
බ්ලොග් කරුවන් වෙනුවෙන් Raj සභාව අමතමින්
අනතුරුව එළඹියේ සියල්ලන් දෑස් අයාගෙන මෙතෙක් වේලා බලා සිටි අවස්ථාවයි. බ්‍ර‍වුන් පේපර් කවර වල ඔතා ගම් ටේප් අලවා තිබූ පොත් පාර්සල් අතරින් එකක් රාජ් විසින්  විදුහල්පති තුමා වෙත සංඛේතාත්මකව  භාර දුන් අවස්ථාවේ කන් බීරි වන තරමේ අත්පොලසන් හඩක් නැගුනේ ඒ කුඩා දෑත් එක් වීමෙනි... ඒ හඩ පසුපස තිබුනේ පොත් කියවන්නට ඔවුන් තුල පැවති  ආශාවේ තරම බව මා අමුතුවෙන් කිව යුතු නොවේ. අප සියල්ලන් නෙතු අග සතුටු කදුලු එක්තැන් වූ මේ සන්ධ්‍යාවට සහභාගි වීමට මා හට ආරාධනා කල Raj වෙත මා සිතෙන් දහස් වර ස්තූති කලේ මේ මතකය මියෙන තුරාවට සිතේ රැදෙන සංවේදී මොහොතක් වූ නිසාවෙනි. 



අඩු පහසුකම් සහිත පාසලක් වුවත් මේ කුඩා දරුවන්ගේ විනය ඉතා ඉහළ මට්ටමක තිබූ පව පැවසිය යුතුම කරුණකි. කිසිම විටෙක අනවශ්‍ය කථා බහේ නියැලුනේ නැති ඔවුන් ඉතාමත් ප්‍රියජනක ලෙස වාඩි වී නිශ්ශබ්දව උත්සව සභාවේ සිදුවන දෑ දෙස නෙත් අයා බලා සිටියහ. ඇතමෙක් ටයි පටියක් සහ සපත්තු  පැළද සිටිති තවෙකෙක් රබර් සෙරෙප්පු දෙකක් පැලද සිටිති. සමහරෙකුට  ටයි පටියක් නැත... අඩු වැඩි වශයෙන් මේ පෙනේනේ ඔවුන් පෙළන දරිදුතාව වුවත්..  අලුත් යමක් ඉගෙනගන්නට, තීන්ත සුවද එන අලුත් පොතක් කියවන්නට  පුංචි සිත් තුල නළියන ආශාව දෝරෙ ගලායන්නට ආසන්නය. උත්සව සභාව අවසන් වීමෙන් පසුව කුඩා මේසයක් මත සතපා තිබූ පොත් පාර්සල් ගුරුවරුන්ගේ මෙහෙයවීමකින් තොරව පුස්තකාලය වෙත රැගෙන යාමට කුඩා දරු දැරියන් පොර කමින්  ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූයේ එම පාර්සල් වල තිබූ අධික බර පවා නොසලකමිනි. ඔවුන්ගේ ආශාවන්ට  තටු ලැබී ඉගිලෙන මේ මොහොත ඔවුන්ගේ සිත්  ආනන්දයෙන් පුරවා ඇති සෙයකි.  



වැඩසටහන අවසානයේ විදුහල්පති තුමාගේ කුඩා කාර්යාලයට යාබද ශාලාවේ පුංචි පහේ  සංග්‍ර‍හයකි. ඔවුන්ගේ ශක්ති ප්‍ර‍මාණයෙන්  සංවිධානය වී තිබූ එය කට්ට සම්බෝලයක් සමග මයියොක්කා, රෝල්ස්, කේක්, කෙසෙල් ගෙඩි,  ආදියෙන් සමන්විත විය.  ඒ අතරතුර අප හා දොඩමළු වූ විද්‍යාලයේ ගුරු භවතුන් මගින් විද්‍යාලයේ පවතින අඩුපාඩු පිළිබද අප දැනුවත් උනා.



මේ කුඩා පාසලේ  දරු දැරියන් 651 අධ්‍යාපනය ලබති. ඔවුන්ගේ ගුරු මණ්ඩලය 39 දෙනෙකි. මේ ගුරු මණ්ඩලය තුල ඇත්තේ පුදුමාකර සමගියක් බව අපට ප්‍ර‍ත්‍යක්ෂ වූයේ ඔවුන් සමගින් කල කථා බහෙනි. කලා මාධ්‍යයෙන් පමණක් උසස් පෙළ පන්ති පැවැත්වෙන මෙහි චිත්‍ර‍ ගරුවරයෙක් නැත, දෙමළ උගන්වන්නට ගුරුවරයෙක්ද නැත. ඉංග්‍රීසි භාෂාව උගන්වන්නේ තවත් පාසලකට අනුයුක්ත ගුරු භවතෙකි. තත්වය එසේ වුවද ගිය වසරේ උසස් පෙළ ප්‍ර‍තිඵල 100 % කි.  ශිෂ්‍යත්ව විභාගයෙන් තිදෙනෙකු සමත් වී ඇති අතර වැඩිම ලකුණු  සංඛ්‍යාව 173 කි.

නගරයේ පාසල් වල මෙන් විවිධ සාරි විලාසිතා මේ ගුරු මහත්මීන්  අතර නැත, අත පිරෙන්න වළලු  මෙන්ම ගෙල සරසන රන් මාල තිබුනේද නැත,  අඩි උස සෙරෙප්පු දමා... පිට වැඩිපුර පෙනෙන ලෙස මෝස්තර දැමූ හැට්ට හැද සිටියේද නැත, ගුරුවරුන් බහුතරයද පැළද සිටියේ සපත්තු නොව සෙරෙප්පුය. ඔවුන්ද මේ දරුවන් නියෝජනය කරන සමාජයේ අයයි. දරුවන්ගේ ප්‍ර‍ශ්න ඔවුන්ගේ ප්‍ර‍ශ්න බදුය. එනමුත් මනුෂ්‍යත්වයෙන් නම් ඔවුන් සියල්ලන් අභිබවා පොහොසත්ය. 

ගුරු භවතුන් සමග බ්ලොග්කරුවන්

පන්ති කාමර තුල සිමෙන්ති බිම ඉරි තලා වලවල් හෑරී ගොස්ය. පුටුවේ සමබරව වාඩි වී අකුරු කරන්නට එම දරුවන්ට අවකාශ නැත. උත්සවය පැවැත්වූ ප්‍ර‍ධාන ශාලාවද එසේමය. පරිගණක 18 කින් සමන්විතව තිබූ පරිගණක විද්‍යාගාරයේ අද ක්‍රියාකාරී තත්වයේ ඇත්තේ පරිගණක දෙකක් පමණි. එහි වායුසමීකරණ සියල්ලද ක්‍රියාවිරහිතව ඇති අතර... ඒවා පිළිසකර කරන්නට අරමුදල් ඔවුන් සතුව නැත. සනීපාරක්ෂක පහසුකම් ඉතාමත් අසතුටුදායක මට්ටමක ඇති අතර  වැසිකිළි / කැසිකිළි ගරා වැටී ඇත. පානිය ජල ප්‍ර‍ශ්නයකටද පාසල මැදිව තිබේ. ඇතැම් පන්ති කාමර වලට සෙවන සලසන්නේ ටකරං තහඩුය... දිවා කාලයට ඉන් ජනිත වන්නේ ඉමහත් රස්නයකි. මෙම අඩුපාඩු පිළිබද ජාතික පුවත්පත් කීපයක අවධානය යොමු කරන්නට සිරා පොරොන්දු විය. මිනිස්කමේ ආශිර්වාදයෙන් ඔවුන් සමග බෙදාහදාගත් අපේ සුහදත්වයට තාවකාලික නැවතීමේ තිත තබමින් අපි ඔවුන්ගෙන් සමුගත්තේ නැවතත් දිණෙක පැමිණීමේ අරමුණින්.


විදුහලේ අඩුපාඩු පිළිබද දැනුවත් වෙමින්





විද්‍යාලයේ දරුවන් පෙලන අඩුපාඩු

ආධාර රැගෙන පැමිණි බ්ලොග් නඩය වෙත දිවා ආහාරය ලබාදුන්නෙ සදරු ගෙ නිවසෙදි. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අව්‍යාජ මිනිසුන් වන ඔවුන් ඉතාමත් ඉහළින් සියල්ලන් හට ආගන්තුක සත්කාර දැක්වූ බවත් නොකියාම බෑ... බ්ලොග් අවකාශයේ කාගෙත් හිත දිනාගත් සදරු බ්ලොග්කරණයේ යෙදෙන්නට සිරා හට උත්තේජනයක් වූ බවද නිරහංකාරව පැවසීම මගේ යුතුකමක්...  හිස් අහසෙ වරක් ලියැවෙච්ච අති විශේෂ කෝපි වර්ගය අපටත් ලබාදෙන්න ඔහු එකග වුවත් කාල වේලාවේ මද කම නිසා සදරුගෙන් මෙන්ම ඔහුගේ මව්තුමිය හා සුන්දර නැගණියගෙන් සමුගෙන නැවතත් කොළඹ බලා එන්නට අපට සිදුවුනා...

සදරුගේ නිවසින් ප්‍ර‍ණීත දිවා ආහාරය

සදරු,වෙනී, සිරා

ජීවිතයට අමතක නොවන අත්දැකීමක් එකතු කල ලස්සන දවසක් ගෙවීගියේ ඔන්න ඔහොමයි... මේ ගමන අතරතුර සිදුවුන රසබර දෑ සියල්ල ලියන්න සිරා වන මම උත්සුක නොවූයේ මෙම ගමනට සහභාගී වූ සහෝදර බ්ලොග් කරුවන් ඒ අඩුව පුරවාලනු ඇතැයි යන සිතිවිල්ල නිසයි. 


පොතක් පරිත්‍යාග කර කුඩා උන්ගේ මුවග සිනාවක් නංවන්නට දායක වූ සියල්ලන්ටම බොහොමත්ම පින්..


ඉතිරි අඩුපාඩු කීපයත් සම්පූර්ණ කර ගන්න ඔවුන්ට සරණ වෙන්න ඔබට පුලුවන් නම් එය වචනයෙන් කිව නොහැකි තරමේ උදව්වක් බවට පත්වේවි.



විද්‍යාලයේ අඩුපාඩු ගුරු භවතුන්ගේ හඩින්ම අහලා බලන්න.







මම කාමරේ වෙසෙන, සත්ගුණවත් සිරා කොලුවා.



ප.ලි

තිරය පිටුපස සමහර සිද්ධි... 

ඇතැම් ඡායාරූප මෙහි අනිවාර්යෙන්ම පල කල යුතු බවට මා හට තර්ජනද එල්ල වූ බව කරුණාවෙන් සලකන්න.





හසලක නගරයේ ෆාමසියක් අභියස සිට ප්‍රේමයෙන් වෙලුනු මැස්සන් යුවලක් දක්වමින් ෆාමසියේ සේවයේ නිරතව සිටි යුවතියකගේ ප්‍රේමය අයැද සිටියේ කවුදැයි මම නම් නොදනිමි.

සියල්ලන්ගෙ මූණත් තහඩු වෙන් වෙන් වශයෙන් දැකගන්න මෙතැනට යන්න.

Saturday, October 20, 2012

126 මුත්තරා බොක්ක නූලෙන් බේරුන දවසක්

බර්ර් ර්ර් බ්ර්ර්ර්..... 
මේසෙ උඩ තිබ්බ දුරබණුව සද්දෙ දාගෙන කම්පනය උනා...
හෙලෝ.... මචන්.... මම ප්‍රියා... අපේ අයියගෙ වෙඩිම ලබන මාසෙ...බොට පුලවන් නේද දෙවැනි මනමාලයා වෙන්න... එහා පැත්තෙන් එහෙම ඇහුනා....
අයියෝ ඕවා සිම්පල් බොලං... දෙවැනි මනමාලිත් ලස්සනට ඇති නොවැ.... සිරාගෙ හිත කිව්වා...ඒ උනාට කටෙන් පිට වුනේ හරි හරි මට පුලුවන් කියලා විතරමයි...
අපේ තාත්තා නුවර නිසා මුල් ඇදුම ඒ කිව්වෙ නිළමෙ ඇදුම තමා අයියට අදින්න කිව්වෙ,
ප්‍රියා එහෙම කිව්වම තමයි සිරා පැටලුනු අලකලංචියෙ තරම වැටහුනෙ....
ආයෙමත් සැරයක්... නිළමෙ ඇදුම...මම මටම කියා ගත්තා....

සිරා හාපුරා කියලා නෑදෑ කොලුවෙක්ගෙ වෙඩිමෙ දෙවැනි මනමාලයා වුනෙත් ඔය කියන නිළමෙ ඇදුම ඇදගෙන... ඒ ඇදුම ඇන්දම දැනෙන සනීපෙ දන්නෙ ඒක ඇන්ද පින්වතෙක් ම තමයි. බඩ ලොකුවට පෙන්නන්න කිටි කිටියෙ ඔතන රෙදි පටි නිසා දවස් දෙකක්වත් ඇග රිදෙන එක කිරි ගහට දැලි පිහියෙන් ඇන්න වගේ ෂුවර්... වාහනේ ඉදගත්තම හේත්තු වෙන්නවත් බෑ.... ඔලුවට ඔටුන්න දාලා සුටුස් ගානකොට නලලත් එක්කම ඔලුව රිදෙනවා...  අපි වගේ හොරිකඩයන්ට මේ ඇදුම ඇදගෙන ඉන්න බැරි උනාට උඩරට  සංස්කෘතියත් එක්ක බද්ද වෙච්ච පාරම්පරික වටිනා ඇදුමක් තමයි මේ නිළමෙ ඇදුම...මේ ඇදුමට පළදින  ආභරණත් එක්ක උදේ ඉදන් හවස් වෙනකන් තුන්සිය හැටපස් දවසෙම මුල් ඇදුම ඇදන් හිටපු උඩරට රජවරුන් වගේම, උඩරට ප්‍ර‍භූන් කෙතරම් නම් ශරීර ශක්තියක් ඇති පිරිසක් වෙන්න ඇතිද කියලා වෙනදා වගේම මගේ අක්මාවට ඔය ඇදුම ඇන්ද පළමු වංගියෙම දැනුනා.... එදා ඒ වෙඩිම අහවර වෙලා සිරා හිතුවෙ ආයෙ නම් මේ ඇදුමට අත තියන්නෙ නෑ කියලා...

එහෙම හිතාගෙන හිටිය සත්ගුණවත් සිරා කොලුවට හොදම යාලුවෙකුගෙන් ලැබුනු මේ ආරාධනවා පැහැර හරින්න තිබ්බ අමාරුකම නිසාම භාරගන්න සිද්ධ වුනා... ඒ උනාට ආයෙමත් සැරයක් අපහසුවෙන් ගත කරන පැය කිපය ගැන තමයි සිරාට නිතරම සිහි උනේ...

ඔන්න ඉතිං විදුලිවේගෙන් කාලය ගෙවිලා ගිහිල්ලා වෙඩිමට දිණ ළං වුනා.  අවසන් සතියෙ සිරාට ආහාරයට ගන්න අවසර තිබුනෙ නිර්මාංශ ආහාර විතරයි. උත්සවයට ඉස්සෙල්ලා දවසෙ හැන්දෑවෙ සිරා ප්‍රියාගෙ නිවසට සැපත් වුනා.. නිළමෙ ඇදුම කියන්නෙ සංස්කෘතියට බද්ධ වෙච්ච ඇදුමක් නිසා ඒක අදින්න කලින් කරන චාරිත්‍ර‍ වාරිත්‍ර‍ තියෙනවා... ප්‍රියාගෙ දෙමාපියන් නුවර ප්‍රදේශයේ අය නිසා  මේ පිළිබද ඉතාම සැළකිලිමත්... වෙඩිමට කලින්දා රාත්තිරියෙ නිවෙස තුලදි ගිහි අයෙකු පිරිත් කියලා ඇදුම අදින්න ඉන්න මනාලයා ඇතුලු පිරිසට ආශිර්වාද කරලා අතේ පිරිත් නූලක් බැන්දා...මුල් ඇදුම ඇදන් ඉන්න එක ටිකක් අමාරු උනාට එහි තියෙන වැදගත්කම/ වටිනාකම ගැන යමක් කියන්නත්  සිරාට හිතුනා...


මුල් ඇදුමේ නිජබිම ඉන්දියාව ලෙස තමයි සළකන්නෙ. මහනුවර රජකල නායක්කර් වංශික රජවරුන් විසින් ලංකාවට මෙය හදුන්වාදී ඇතැයි හිතන්න පුලුවන්.  එකල පැවති දැඩි කුල වාදය නිසාම සමාජයේ සුවිශේෂ යැයි පිළිගන්නා කුලයන් විසින් පමණක් මෙම ඇදුම භාවිතා කර තිබෙනවා. 1815 දී පමණ මුල් ඇදුම සියලුම රාජ වාසල නිලධාරීන් ඇදිය යුතු යැයි සම්මතයක් ඇති උනා. ඒ අනුව රටේ මහත්තයා, මොහොට්ටාල, දිසාව, බස්නායක නිළමේ යන රාජකීය තනතුරු දැරූවන් මුල් ඇදුම හැදි අතර තනතුරු වල තිබූ උස් පහත් කම් අනුව එහි වර්ණය හා මෝස්තර වෙනස් උනා. දැඩිමුන්ඩ දේවතාවාට අදාළ ඇදුමක් ලෙසත් මුල් ඇදුම සළකනවා..
උඩරට මුල් ඇදුම ඉතා වැදගත් මෙන්ම සිත් ඇදගන්නා ඇදුමක්,  වර්තමානය වන විට උඩරැටියන් පමණක් නොව අනෙකුත් පළාත් වල අයත් විශේෂ උත්සව අවස්ථා වලදී හා විශේෂයෙන්ම මංගල අවස්ථා වලදී මෙම ඇදුමෙන් සැරසෙනවා දකින්න පුලුවන්...

මේ තියෙන්නෙ මෝස්තර කීපයක්ම
ඡායාරූපය http://www.srilankanwedding.com/admin/images/17175105500.64773000%201347442803nilame.png

මෙන්න බොලේ සුදු අයියා කෙනෙකුත් ඉන්නවා....

ඔබත් විල්ලුද සැට්ටය, රෙදිකඩ සතර, කැටයම් කල පිහිය, අලංකාර කරන ලද කොන් හතරක් ඇති හිස් වැසුමෙන් සැරසුනොත් හරියටම ආදි කාලෙ වංශාධිපතියෙක් වගේම ඉදීවි...

නියම මුල් ඇදුමට ඉණ වඩා ඔතනා රෙදි කඩ 7 ක් අයත් වුවත් වර්තමානයේ එය 4ක් දක්වා අඩු වී තියෙනවා... මුල් ඇදුම වාණිජකරණය වීම ඊට හේතුව වෙන්න පුලුවන්.   මෙයට  අමතරව රැළි කලිසම, විල්ලුද පපු පටිය, සුදු තිප්පොටිය, පච්ච වඩම, සෝමාන, කාවනිය, විල්ලුද සැට්ටය, මල් ගස සහිත හිස් වැසුම, පිහිය, සපත්තු, පේරැස් මුද්ද සහ මාලය  යන අංග වලින් මුල් ඇදුම සමන්විතයි.

ලංකාවේ භාවිතා වන  ඇදුම් අතරින් වැඩිම කොටස් සංඛ්‍යාවකින් යුතු ඇදුම  තමයි මුල් ඇදුම හෙවත් නිළමෙ ඇදුම.  ඒ සදහා බහුතර රෙදි ප්‍ර‍මාණයක් භාවිතා වන නිසාම තවෙකෙකුගේ සහායකින් තොරව තනිව අදින්න නම් මේ කපේට බෑ ගොයියො... මෙම ඇදුම් සැකසීමේදී මෙන්ම ඇන්දවීමේදීද විවිධ සිරිත් විරිත් රාශියක් තියෙනවා.... ඔන්න කථාවෙ අස්සෙ අමතර තොරතුරු කීපයකුත් දෙසා බෑවා....


පිරිත් නූලත් බැදගෙන රාත්තිරී 12 ට පමණ නිදිදෙව්දුව වැළදගෙන ගල් පාන්දර 3 කණිසමට අවදිවෙලා පිරිසිදු වුනා...ඔන්න ඉතිං ඇදුම කුලියට සපයන නඩේ ඇත්තො නමෝ විත්තියෙන් අන්දන්න පටන් ගත්තා...මනමාලයා, මනමාලයගෙ යාලුවො දෙන්නා, පොඩි උන් මේ හැමෝටම ඔය ඇදුම අන්දන්න තියෙන හින්දා තමා තුනේ කණිසමට වැඩේ ආරම්භ කොලේ... මනමාලයට පස්සෙ  ඔන්න සිරාගෙ අවස්ථාවත් උදා වුනා... සිරාගෙ බඩ ගෙඩිය අනිත් උන්ට වඩා තරමක් වැඩි නිසා රෙදි පටි දෙකක් එතීමෙන් පස්සෙ වැඩේ ගොඩ ගියා...

ඔන්න ඉතිං සියල්ල සූජානම්... ප්‍රියාගෙ ඥාති හිත මිත්‍රාදින් අතර සිටි කාන්තා පාර්ශවයෙන් තමයි සිරාට වැඩි ප්‍ර‍තිචාර ලැබුනෙ ඇදුම ඇන්දම සිරා  සිරා කියලා. ලුණු මිරිස් සමග කිරිබත් කෑලි දෙක තුනක් ආමාශ ගත කරගෙන පිරිස වෙඩිමට යන්න මංගල රථයෙ ඈදි ගත්තා... හරිම අමාරුවෙන් යන්තමට  හේත්තු වෙලා   දැන් සිරා ඉන්නෙ...රථය ක්‍ර‍ම ක්‍ර‍මයෙන් ඇදෙනවා ඉස්සරහට...  මාළඹෙ කිට්ටුව තැනක තමයි උත්සව ශාලාව තිබ්බෙ.... රථය පිටත්වෙන්න මොහොතකට ඉස්සෙල්ලා මුත්තරා බොක්ක හිස් කලාට රථය පිටත්වෙලා මාළඹේ කිට්ටුවට එනකොට ටැංකිය පිරුනා... ඉන්න හිටින්න බෑ බොලං කට කපලා...

අයියෙ මට නම් අමාරුයි බන්... හුජ්ජ කරන්න පුලුවන් තැනක නවත්තපන්කො....
රියදුරු ගොයියට එහෙම කිව්වම මනමාල ගොයියා......
ලැජ්ජ නැද්ද යකෝ ඔච්චර වටින ඇදුමක් ඇදගෙන අකුල් ගානෙ රිංගන්න... බලපන් වටේටම ගෙවල්... ඒ මදිවට පිටිපස්සෙ එන වාහන වල ගෑල්ළමයිනුත් ඉන්නවා... පොඩියක් අල්ලං ඉදපන් තව සුට්ට දුරයි....

හොද සුට්ට... තවත් කිලෝමීටර් 5ක් විතර ගියාට පස්සෙ මම ආයෙමත් ඉල්ලීම ඉදිරිපත් කොලා... ඒ වෙද්දි අපි ශාලාව කිට්ටුවටම ඇවිල්ලා... ඒ වගේම බේතකට අකුලක් හොයා ගන්න බැරි ඉසව්වක්.... ඉවසගෙන ඉදින් මලේ දැන් ළගටම ඇවිල්ලා තියෙන්නෙ කියලා මනමාල උන්නැහේ ආයෙත් කියපු නිසාම සිරා හක්ක තද කරගෙන ඉවසගෙන හිටියා...

ඔන්න ඉතිං උත්සව ශාලාව අභියසටම ආවට පස්සෙ සිරා හිත හදාගත්තා තව ඩිංගෙන් අමාරුව ඉවරයිනෙ කියලා..

ඉස්සරහ ගේට්ටුවෙන්ද වාහනේ ගන්නෙ... පැත්තෙ තියෙන අනිත් ගේට්ටුවෙන්ද ... වැඩිහිටියො අතර කථා බහක්, ඒ අස්සෙ සිරා එහෙට මෙහෙට වැනෙනවා හරියට නිමෙන්න හදන පහන් තිරයක් වගේ... කථාවෙන් කථාවෙන් නිවැරදි ගේට්ටුව තෝරගෙන ඇතුලට ගියා කියමුකො... ඔන්න ඉති සිරා රථයෙන් බහින්න හදනවා අමාරුව වැඩි කමට...

කොහෙ යන්නද  බොලා හදන්නෙ... වාහනෙන් බහින තැන ඉදලාම ෆොටෝ ගහන්න තියෙන නිසා පොඩ්ඩක් ඔහොම ඉදපන්... ප්‍රියාගෙ අයියා මොර දුන්නා... මුත්තරා බොක්ක දැන් පැළෙයි දැන් පැළෙයි කියන බයත් එක්ක බොක්ක පැළිලා සිරා රෝහල්ගත කරන ආකාරය... වෛද්‍ය ඇත්තො ශල්‍යකරුම  කරන ආකාරය සිරාට මැවිලා පේන්න උනා...

විනාඩි දෙක,තුන,හතර, පහ ගතවෙනවා... ඒත් වාහනෙන් බහින පාටක් නෑ.... කාර් රථයේ වීදුරු අස්සෙන් මනමාලිගෙ පාර්ශවයෙ පිරිස පේනවා.... මොකක්ද බොල මේ හරුපෙ.... රථයේ වීදුරුවක් පහත් කරලා සිරා අවට හිටි කෙනෙක්ගෙන් ඇහුවා...අයියා මක්කෙයි සුනංගු....

අඩා මල්ලියා... ෆොටෝ ගැෆර තෙමේ තාම මෙතනට ආවෙ නෑ බොල... ඒකා සූජානම් වෙලා එන තුරු හිටු කියලා ඒකා කිව්වා, හරියට මූණට දමලා ගැහුවා වගේ... හයියෝ සංසාරෙ.... සිරා දිග හුස්මක් අරන් ආසනයට බර දුන්නා.... ඇත්තමයි දැන් නම් කැපෑසිටි ඔව්ර් ලෝඩ්.... ඇගම හිරි වැටිලා.... මට මොනවද වේගන යනවා....

අනේ දෙයියො මගේ මූණ දිහා බැලුවා වගේ ඡායාරූප ශිල්පියා ඕන්න ආවා... උඩරට නැටුම්...  කරණම්... බල්ටි , වෙඩි සද්ද අස්සෙ  පිරිස විනාඩි කීපයක් ඉදිරියට ඇදිලා ශාලාවට පිවිසුනා...

අයියෙ සින්දුවක් කියලා එන්නද ? අසරණ සිරා ෆොටෝ ග්‍රැපර තෙමේගෙන් විමසුවා...

තව විනාඩි දෙකෙන් කසාදෙ රෙජිස්ටර් කරන නැකත... ඒ වෙලාවට බොලාත්  ඉන්න ඕනෙ... මේකෙ ටොයිලට් තියෙන්නෙත් දුරින් හින්දා ගිහිල්ලා එන්න වෙලාවකුත් නෑ මලේ කියලා ඒ ගොයියා මගෙ පිටට තට්ටුවක් දැම්මා....

කසාදෙ රෙජිස්ටර් කරලා.... පහන් පත්තු කරලා....බදින් උන් දෙන්නා කිරිබත් කවාගෙන, සමූහ ඡායාරූපත් ගත්තට පස්සෙ... දිගේලි කරපු ගොනාට නිදහස ලැබුනා වගේ සිරාගෙ සතුටුදායක අවස්ථාව ඒ කිව්වෙ සින්දුවක් කියන්න අවස්ථාව එළඹිලා  අදාළ ස්ථානයට වාර්තා කොරන්න දේවවරමින් අවස්ථාව ලැබුනා.

මුල්  ඇදුමෙ පොටවල්... රෙදි පටි ඔක්කොම අස්සෙන් අතදාලා ආයුදේ අල්ලගත්තම තමා නැවතිලා තිබ්බ සිරාගෙ නාඩි ආයෙත් වැටෙන්න උනේ.....හයියෝ එහෙමත් දවසක්... මතක් වෙද්දිත් හුජ්ජ බරයි වගේ බොලන්..... තමන්ගෙ අත මිට මොළව ගත්තම තියෙන සයිස් එකට තියෙන මුත්තරා බොක්ක මගේ පෙර පිනකට තමා නිරුපද්‍රිතව බේරිලා තිබුනෙ...


මම කාමරේ වෙසෙන, සත්ගුණවත් සිරා කොලුවා.


ප.ලි

ඔබේ අත මිට මොළවා ගත් කල ඇති ප්‍ර‍මාණය ආසන්න වශයෙන් ඔබේ මුත්‍රාශයේ ප්‍ර‍මාණයයි... එය කුඩා වුවත් මුත්‍රා එකතු වීමේදී ඇදෙන සුලු නිසා උපරිමය මිලිලීටර් 500 ක පමණ ධාරිතාවක් පවතී...

මුත්‍රාශයේ පුමාණය  කාන්තා / පිරිමි අනුව  විශාල වෙනසක් නොමැත... විකිපීඩියා තමයි ඒ බව කිව්වෙ... නැත්නම් බොලා කියයි මම ඕවා බල බලා ගියා කියලා...

මුල් ඇදුම ඇදන් ඉන්න ටිකක් අපහසු උනාට ඇන්දට පස්සෙ හරිම ආඩම්බර හැගීමක් එනවා බොලං... ඇදලම බලහල්ලකො...

කාමරේට පැමිණි ඔබත් මෙසේ අසරණ වූ දිණක් වේ නම් කොමෙන්ටුවක් ලෙස අනිත් අයත් එක්ක බෙදාගෙනම යන්න....


Tuesday, October 16, 2012

120 අව්‍යාජ මිනිසෙකු දිටිමි.

ඒ 2011 වසරේ අගෝස්තු මාසයේ දිනයකි..... රන්ටැඹේ ජාතික ශිෂ්‍ය භට පුහුණු මධ්‍යස්ථානයේ කදවුරුගතව සිට සමස්ත ලංකා පළමු ස්ථානය දිනාගත් අපගේ  අපරදිග තූර්ය වාදක කණ්ඩායමේ වර්තමාන කොලු පොඩ්ඩන් හමු වෙන්නට බයිසිමොටෝ මගින්ම රංටැඹේ වෙත යාමට පිටත් වූ ගමනකි... සිරාගේ බයිසිකල් චාරිකා නඩේ අඩුවක් නැතිව සහභාගී වූ මේ චාරිකාව උදා අරුමැක්කේ පිටත් වූ එකකි. උදෑසන 8 වන විට බයිසිකල් කරුවන් කෑගල්ලට අතුරු උපද්‍ර‍වයකින් තොරව ලගා විය. දතා මල්ලීගේ බයිසිමොටෝවේ පශ්චාත් රෝදය අනතුරුදායක ලෙස තට්ටය පෑදෙන්නට ගෙවී තිබුන නිසා පිරිස සුනංගු නොවී ඒ වෙලාවේ නගරයේ විවෘතව තිබූ එකම ටයර් කඩයට සම්ප්‍රාප්ත විය. නගරය සාමකාමීය... උදා හිරු රැස්  ක්‍ර‍මයෙන් නගරය ගිලගන්නට මාන බලනවා වුවත් හාත්පස තිබුනේ සීතලකි...

ටයර් කඩය විශාල  එකකි... බැලූ බැල්මට එහි පුෂ් බයිසිකල් සදහා සේවා සැපයෙන්නේ නැත.. හිමිකරු යැයි කිවහැකි උස මහත මැදිවයසේ අයෙකු බුදු පහන දල්වා ආශිර්වාද ලබාගෙන සුවද දුම් හමන මද පවනට එකතු කරමින් සිටී. තත්වය එසේ වූවත් අපේ කථා නායකයා අහිංසක ලීලාවෙන් ඒ ඉදිරිපිට සිටගෙන සිටියේය. බැලූ බැල්මට හෙතෙම අහිංසක කමේ ප්‍ර‍තිමූර්තියකි... පළමු බැල්මෙන් සිරාගේ සිත දිනාගත්තෙකි... දතා මල්ලි අවශ්‍යතාව පවසා  කඩය තුලට යනතෙක්ම දරුවෙකු මෙන් ආදරයෙන් අල්ලාගෙන සිටි පාපැදිය දෙස දයාවෙන් බලා සිටි ඔහුගේ මුහුණේ මන්දාස්මිතියක් නැගින.


  ඔය සීයා මාර භාණ්ඩයක්... පොඩ්ඩක් කථා කරලා බලන්න....

බයිසිමොටෝවේ ටයරය ගලවන ගමන් කාර්මිකයා තෙපලූ හෙයින් සිරා උන්දෑ සමග වචනයක් දොඩන අටියෙන් ඔහු සමීපයට ගාටන්නට විය...

සීයෙ කොහොමද ඉතිං....
වරදක් නෑ පුතේ.....
මොකද උනේ...
බයිසිකලේ පැච් එකක් ගියා නොවැ... වෙන ලෙඩක් නම් මටම හදා ගන්න ඇහැකි... නැත්නම් අනිත් අඩුම කුඩුම ඔක්කොම මයේ ලග තියෙනවා....

එසේ ඇරඹුනු කථා බහ විවිධ අතුරු මාර්ග තරණය කර පෑ භාගයක් තරම් කාලසීමාවක් පැවතිනි... ඒ අවසානයේ මා විමතියට පත්  වූයේ මෙවැනි අධිවේගී සමාජයක් තුල මේ තරම් අව්‍යාජ මිනිසුන් තවමත් වෙසෙන බව දැනගැනීමෙනි....

මුතුබණ්ඩා තමයි ඔන්න සීයගෙ නම... මහනුවර පිළිමතලාව ඔහුගේ ගම..කථාවට ඉතාමත් ප්‍රියයි.. ඒ වගේම කථා බහ අතරතුර විහිලු තහලු කරන්නත් අමතක කරන්නේ නැති නිසාමදෝ නුවර තරුණයන් අතර මුතුබණ්ඩා සීයා ජනප්‍රිය චරිතයක් ලු... ඔවුන් ඔහු අමතන්නෙ ජොලි අන්කල් එහෙමත් නැත්නම් චූන් අන්කල් ලෙස... මේ විස්තර කිව්වෙ මුතු බණ්ඩා සීයාම තමයි....

මේ බයිසිකලේ අරගත්තෙ එකදාස් නමසිය හැට අටේ... ඉස්තරම් රැලේ බයිසිකලයක්...කීයද දන්නවද ගාන... රුපියල් 65/- යි... ඒ සන්දියෙ මම ඉතින් ශක්තිසම්පන්න පුරුෂයා...මඩ ගොවිතැන තමයි කොලේ...  කරකාරයක් බැදගෙන පිළිමතලාවෙම තමයි විසුවෙ... කටුමැට්ටෙන් යන්තම් ගේ පොඩ්ඩක් හදාගෙන අපි ජීවත් වුනේ...අදටත් මම ඉන්නෙ ඒ ගෙදර තමා... වෙනසකට තියෙන්නෙ මම දැන් ඉන්නෙ තනියෙන්.... මයෙ උන්දෑ කරුම ලෙඩක් හැදිලා අවුරුදු 4ට විතර ඉස්සර මිය පරලොව ගියා.... ඔන්න ඔහොමයි සීයා සීරාට විස්තර කියන්න පටන් ගත්තෙ.

මුතුබණ්ඩා සීයාට අනුව ඔහු දියණියකගේ සහ පුත්‍රයෙකුගේ පියෙක්....විවාහයෙන් පසු දියණිය ජීවත් වන්නේ කටුනායක ප්‍රදේශයේ.. පිළිමතලාවේ සිට ඔහු තවමත් දියණිය බැහැ දකින්නට යන්නේ පාපැදියෙන්..

අයියෝ ....මම ලංකාවෙ ඕනේම තැනකට යන්නෙ මේ බයිසිකලයෙන් තමා.... කටුනායකට බයිසිකලේ යන්න දුර වැඩි නැද්ද කියලා ඇහුවාම ඔහුගේ පිළිතුර එහෙමයි...

තුන් දොහොකට කලින් කෙලීගෙ ගෙදර ගියා... ඒකි වරකා කන්න රුසියා... මම අයිස් කැට ගොඩක් මැද්දෙන් වරකා මදුලුත් කීපයක් තියාගෙන තමයි කටුනායක ගියේ..... අද රාත්තිරියේ 12.20 ට තමයි ඔන්න දුවගෙ ගෙදරින් පිටත් වුනේ... 

උදෑසන 8 පමණ වන විට මුතුබණ්ඩා සීයා කෑගල්ලට ඇවිල්ලා තිබුනෙ පැය 8 කට ආසන්න කාලයක් බයිසිකලය පැදීමෙන් අනතුරුව...

මේ වගේ ගමන් බිමන් යනවට දරු මල්ලො කැමතිද.....සිරාගෙ ප්‍ර‍ශ්නෙට මුතුබණ්ඩා සීයා හිනාවුනා...

දරුවන්ට කියලා මට ඉන්නෙ ඔය කෙලී විතරයි දැන්...

එතකොට පුතා...

දියේ ගිලෙන්න ගිය කෙනෙක් බේරගන්න ගිහිල්ලා මයෙ කොල්ලා මැරිලා හුගක් කල්... වැලි ගොඩදාන රස්සාව තමයි කලේ... උගෙ මරණය ගැන හිතලමයි මයෙ ගෑණිත් ලෙඩ ඇදට වැටුනෙ....

ඉතිං සීයෙ ඇයි දුව ලගට යන්නෙ නැතුව පිළිමතලාවෙ තනියෙන් ඉන්නෙ....

දුවත් අමාරුවෙන් ජීවත් වෙන්නෙ... උන්ටත් මහලොකුවට සල්ලිය භාගෙ නෑ... නාකි මම උන්ට කරදරයක් වෙන්ට නරකයි... ඒ හින්දා මම තියෙන දෙයක් කාලා ගෙදරට වෙලා තනියෙන් ඉන්නවා.... දුව නිතර නිතර මා එක්ක කථා කරන්න මට සැල්ටොන් එකකුත් අරන් දුන්නා... මේ තියෙන්නෙ ඒක..... මේක වැඩිය වටින එකක් නෙමෙයි මගෙ හිතේ....මයෙ ගෙදර කරන්ට් එක නැති හින්දා ගේ ළග කඩේකින් තමයි මේකෙ බැටරිය චාර්ජ් කොරන්නෙ...

සීයගෙ පාපැදියත් අපූරු එකක්... ඊට අන්තර්ගත දේවල් බොහොමයක් තිබුනා...

මයේ බයිසිකලේ ඕනෙ දුර ගමනක් යන්ට පුලුවන්... මේ බලන්න තියෙන දේවල්... ඔහු එකිනෙක දෑ පෙන්වයි.



ඒ අතර හාල් මිටියක්, තේ පෝච්චියක්, පස් පංගුව පැකට් කීපයක්, විදුලි පන්දමක්, ආයුධ කට්ටලයක් වගේම බැටරි කීපයකින් ක්‍රියාත්මක වන පරිදි  පාපැදියටම සවිකල අපූරු රේඩියෝවක්ද වුනා....

රේඩියෝව
අද උදේ බයිසිකලේ නවත්තලා තියෙද්දි පෙරලුනා. දැන් රේඩියෝ එක වැඩ කරන්නෙ නෑ... වයර් එකක් ගැලවිලාද කොහෙද...

මම ගමනක් යද්දි උවමනා වුනොත් පාර අයිනෙ ලිපක් හදාගෙන තේ වතුර ටිකක් පස්පංගුව ටිකක් හදාගෙන බොනවා... මේ ඉස්සරහා කූඩෙ සීනි,කෝප්ප, හැදි වගේ අඩුම කුඩුමත් තියෙනවා....



සීයෙ බයිසිකලේ මෙහෙට ගන්න... පැච් එක දාලා දෙන්න.. කාර්මිකයා බෙරිහන් දුන් හෙයින් කථාව මදකට නවතා බයිසිකලය ඔහු සමීපයෙන් නවතා මුතුබණ්ඩා සීයා නැවතත් අප වෙත පැමිණියා... ඒ වන විට දතා මල්ලීගේ බයිසිමොටෝවේ කටයුතු අවසන් හෙයින් අපට ඔහුගෙන් සමුගැනීමට කාලය එළඹ තිබිනි.

සීයා උදේට කෑවද ? ඔහු සිනාවක් දක්වයි. මුහුණේ ඉරියව් අනුව නිරාහාරව සිටින බව පෙනේ.

අතේ සල්ලි තියෙනවද ? නැවතත් සිනාවකි... ආහාර ලබා ගැනීමට අත මිට මුදල් නැති සෙයකි.
ළග පාත කෑම කඩයකුත් නොවූ හෙයින් මුදල් නෝට්ටු කීපයක් ඔහු අත මිට මෙළවූ  ජපන් චමී...

ජපන් චමී සමග මුතුබණ්ඩා සීයා

ඔන්න බලපන් මචං  අපේ රටේ නියම මිනිස්සු 
යැයි පවසා යතුරු පැදියට නැගුනේය.

කාටවත්ම අතනොපා පරම්පරාගත කුඹුරු අස්වද්දමින් තනියෙන් ජීවත් වන ගමන් දියණියගේ දුක සැප බලන්නට ගත වාරු නැති මේ කාලසමයේදීත් හිත වාරුකර විදුලි වේගයෙන් දුවන වාහන වලට මැදිවී මෙතරම් දුරක් පාපැදියෙන් ගමන් කරන මුතුබණ්ඩා සීයා සැබෑ වීරයෙක් නොවේද ?

අනුන් සතු දේට ලොබ බැද, පරපණ නසනා මෙවන් කලියුගයක.. පුහුදුන් හරසුන් මිනිසුන්, කාඩ්බෝඩ් වීරයන් රජකරනා මෙවන් සමාජයක මුතුබණ්ඩා සීයා යනු සැබැවින්ම  ගැමිකමේ සුවද පතුරන අව්‍යාජ මිනිසෙකි. ඔහුට දීර්ඝායුෂම වේවා !


මම කාමරේ වෙසෙන, සත්ගුණවත්  සිරා කොලුවා


ප.ලි

පුවත් වෙබ් අඩවියකට  අකුරු කර  ඊයක් යවා තිබූ හෙයින් මේ තොරතුරු හා ඡායාරූප එපරිද්දෙන්ම නැවතත් සටහන් කල හැකි විය.











Friday, October 12, 2012

111 පොත්ගුලේදී ගින්දර ට පෙම් කළෙමි

ඔන්න ඉතිං  ආයෙමත් වංගියක් සිරාගෙ කාමරෙන් සිරාගෙ පෙම් ජවනිකාවක් ගැන ඇද බාන්නයි සිරා මේ සුජානම් වෙන්නෙ... සිරා කොලුවා කෙතරම් නම් සත්ගුණවත් වුනත්  ට්‍ර‍යි එක දීපු එකම එකියක්වත් මුල් කාලෙදි සිරාට සැට් උනේ නෑනෙ හැබෑටම... රතු කොණ්ඩෙ කියන්නෙ සිරාගෙ  ප්‍ර‍ථම ප්‍රේමය... එතකොට අද මේ කියන්න යන්නෙ සිරාගෙ අති (අ) සාර්ථක දෙවැනි ප්‍රේමය ගැන.

අ.පො.ස සා/පෙ එහෙම ගොඩ දාගෙන සිරා උසස් පෙළ පන්තියටත් ගියා කියමුකො... බෑන්ඩ් එකේ වැඩ අස්සෙ හීනියට හීනියට කරපු පාඩම් වැඩ කටයුතු විභාගෙට මාස 6 ක් විතර ලං උනාම ඉතාම උඝ්‍ර‍ තත්වයට පත් වුනා. රාත්තිරියට පන්සලේ පාඩම් කොරලා දවල් වරුව ගෙදරදි පාඩම් වැඩ කරන කාලසටහනක් තමයි සිරාට තිබුනෙ... ඒත් ඉතිං ඒකටත් හෙනහුරෙක් පාත් වුනා නොවැ.... ඒකා වෙන කවුරුවත් නෙවෙයි අපේ අසල්වාසී තරුණ කොලු ගැටයෙක්...  මේකාට සින්දු අහන්න උවමනා උනාම ගමටම ඇහෙන්න සින්දු අහන එක තමා සිරිත... මගේ කරුමෙට මම අකමැතිම ගායකයෙක් වන බස් අජිත් තමයි උගෙ ප්‍රියතම ගායකයා... පෙම් පත ඉරන්න එපා ගුරුතුමනි / පත්තරක කොලයක ඔතලා තිබුනා / පෙති ගිලිහී ගිය මල නුඹදෝ / කදුරු මලක් වාගේ සෙනෙහසට පිපෙන්න...... ඔන්න ඔය වගේ කර්ණ රසායන ගීත හැමදාම වගේ උගෙ රෙකෝඩ් බාර් එකෙන් දිනපතා වාදනය වෙන්න ගත්තම තමා මට තව දුරටත් නිවසේ ඉදන් පාඩම් වැඩ කොරන්න බැරි තත්වයක් උදා උනේ.... මේකාට සංගීත විචාර පාඩමක් කරලා හඩ අඩුවෙන් ගීත අහන්න පුරුද කරනවාට වඩා මම පාඩම් කරන ස්ථානය වෙනස් කලොත් හොදා කියලා හිතලා ඔන්න මම හාපුරා කියලා ගම්පහ මහජන පුස්තකාලෙ සාමාජිකයෙක් වුනා....


දැන් ඔන්න සිරාගෙ අලුත්ම නවාතැන ගම්පහ මහජන පුස්තකාලෙ මේ වගේ විභාග වලට ළමයි පාඩම් කරන කොටස... පන්සලේ පාඩම් කරපු අයගෙන් නගා සහ පුෂ්පෙ සිරා එක්ක මේ අලුත් තැනටත් ආවා. උදේ 8.00 සිට සවස 6.00 දක්වා ප්‍ර‍සිද්ධ නිවාඩු දින හැර අනෙක් සෑම දිනයක්ම පුස්තකාලෙ විවෘත නිසා වගේම නොයෙක් පොත පත පරිශීලනය කරන්න තිබ්බ අවස්ථාවත් නිසා මෙය පාඩම් වැඩ වලට කියාපු තැන.  ඊට අමතරව පාඩම් කරන්න කොල්ලො මෙතන්ට ඇදෙන්න තව හේතුවක් තිබ්බා... ඒ තමා මල් වගේ සුන්දර ළදුන්....

විශාල පුමාණයේ මේස හතරක එකක 20 ක වගේ ප්‍ර‍මාණයක් පාඩම් වැඩ කරනවා...පිරිමි පාර්ශවයට මේස 2 සහ කාන්තා පාර්ශවයට මේස 2 බැගින් සම අයිතීන් දෙපාර්ශවයම දිනාගෙන තිබුනා. පුස්තකාල ආගමනයෙන් පස්සෙ මාස 2 ක් වගේ සිරා ඉතා කැපවීමෙන් දිනපතා පුස්තකාලෙට ගාටලා පාඩම් වැඩ කරමින් සිටිද්දිම හැදුනා නේද කරුම ලෙඩේ ආයෙමත්......

මොන ලෙඩේද හැබෑටම...... ලව් අමාරුව බොල....

හයියෝ දැන් ඉතිං ආයෙමත් වසලා හමාරයි... ඒ දැරිවිත් දිණපතාම පුස්තකාලෙට එන නිසා දවස ගානෙ ඒ  සීදේවි මූණු පොඩ්ඩ දකින්න ලැබෙද්දි මගේ හදුන් පොත මාගරින් වගේ මෙව්වා වෙලා ගියා....

ඇගේ සිනහව මේ පෝස්ටුව ලියන අවස්ථාවෙත් මට හොදටම මතකයි...ඉතාම ලස්සන සිනහවක් ඇයට තිබුනෙ... සිනාසෙන විට ඇය පුදුමාකාර ලස්සනයි... ඇගේ නෙතු සගලත් ඊට නොදෙවෙනියි... අමුතුම ආකර්ශනයක් ඒ නෙතු දෑලෙ තිබ්බෙ... ඒ වගේ සිනාවක්... ඒ වගේ ඇස් දෙකක් එදා මෙදාතුර සිරා පෙම් කල කිසිවෙකුටත් තිබිලා නෑ.... ඒ නිසාම තමයි සිරා ඉතිං දන්න ශිල්ප ඔක්කොම දාලා බොක්කෙන්ම පෙරන්න ගත්තෙ....

මේ වගේ සත්කාර්යයන් වෙනුවෙන් අතහිත දෙන බොහොම පින්වත් දරුවො පිරිසක් තමයි පුස්තකාලෙ පිරිමි පාර්ශවයෙ හිටියෙ... කොළඹ / ගම්පහ විවිධ පාසල් නියෝජනය කරන අය මේ අතර හිටියට දිනපතාම හමුවෙද්දි ඇතිවෙච්චි සුහදකම නිසාම හරිම සමගි සම්පන්නවයි ඔන්න අපි හිටියෙ... ඒ උනාට කාන්තා පාර්ශවය නම් එහෙම නෑ... දැරිවියො අතර  මහලොකු සමගියක් තිබුනෙ නෑ...උන් එකෙක්ට එකෙක් ඉරිසියයි.

ඉතිං මෙන්න මේ වගේ පාඩම් කරන අය අතරින් තමන්ගෙ හදවත සොරාගන්න දැරිවි ගැන පාඩම් කරන අනිත් කොල්ලන්ට ප්‍ර‍සිද්ධ කලාට පස්සෙ ඒ හැමෝම උදව්වට එනවා...ඊට අමතරව තව කෙනෙක් ඒ ගෑණු දැරිවිටම සෙවල පෙරන එකත් නවතිනවා...

ඉතිං මෙන්න මේ විදියට නම් ප්‍ර‍සිද්ධ කලාට පස්සෙ   පුස්තකාලෙ ඇතිවෙච්ච පුටු ප්‍ර‍ශ්නෙකදි සිරා එක්ක පන්සලේ  පාඩම් කරපු නගා මගේ හිත ගත් දැරිවි අතින් කුජීතම වෙලා ගියාට පස්සෙ එයාට ගින්දර කියලා නමක් පටබැදුනා.... ගින්දර ගණිතය විෂයන් හදාරපු නිසා වාණිජ විෂයන් හදාරපු සිරාට අමතර පන්ති වලදි හමු වුනේ නෑ....

විභාග ආතතිය ඇගට අරන් දැන් හැමෝම බැහැලා පාඩම් කරනවා... ඒත් සිරාගෙ පොත මේසෙ උඩ... හිත ඈ ලග,  බැරිවෙලාවත් ඇයව එක එල්ලේම පේන විදියට අසුන් ගන්න බැරි උනොත් ඒ අවශ්‍යතාවය සපුරාගන්න පුලුවන් විදියට ආසනයක් ලබා දෙන්නත් සිරාගෙ පුස්තකාල මිත්තරයො පරිත්‍යාගශීලී වුනා...

ටික් ටික් ටික්.... කාලය කෙමෙන් ගෙවී යනවා... විභාගෙට ඇති දිණ ගනනත් එන්න එන්න ලං වෙනවා... විභාගෙන් පස්සෙ මේ හැමෝම වෙන්වෙලා යන නිසා ඊට කලින් පියවරක් ගන්නත් ඕනෙ... ඒත් උපන් ගෙයි ලැජ්ජාකාරයෙක් වෙච්ච සිරා  කලින් වතාවෙ සිද්ධ වුනා වගේ අදහස හිතේ හිරකරගෙන පීඩාවට පත් වෙමින් ඉද්දි තමා  පුස්තකාලෙ හිටපු අයගෙන් ඉටු දෙවියෙක් වගේ මගේම පාසලේ මට වඩා වසරක් වැඩිමල් සොයුරෙක් සිරාට අත දුන්නෙ... එතුමාට අපි කිව්වෙ බීඩියා කියලා...ඒ නිතරම කොල වලින් බීඩි ඔතලා  කනේ ගහගන්න පුරුද්දක් තිබුන නිසා....බීඩියා අද ලංකාවේ ඉහළම පෙලේ ආයතනයක කළමනාකරුවෙක්.

මේ පුස්තකාලෙම පාඩම් කරලා සරසවි ගිය අයත් පුරුද්දට වගේ සරසවියෙ විභාගවලටත් පාඩම් කරන්න මහජන පුස්තකාලෙටම ආවා. ඒ අතරින් කෙනෙක් තමයි වෛද්‍ය විද්‍යාලයේ අවසන් වසරෙ අධ්‍යාපනය ලැබූ පත්තරයා අයියා...

මල්ලි මේ කාලෙ තමා කෙල්ලෙක්ගෙන් අහන්න සුදුසුම කාලය...ඒ කිව්වෙ විභාගෙට මාස 3 කට විතර ඉස්සෙල්ලා,  පාඩම් කරලා කරලා සෑහෙන්න මහන්සි වෙලා ඉන්න නිසා මේ වගේ යෝජනාවක් ආපුවහම කෙල්ලො මානසික සහනයටත් එක්ක හා කියනවා කියලා තමා අපේ වෙන්න දොස්තර මහතා කිව්වෙ.... අපේ කොල්ලන්ගෙ අහුමුලු වල කැසිලි වලට ගාන්න ඕනෙ ක්‍රීම් ජාති ගැන මෙන්ම ආදරය සම්බන්ධ ගැටළුත් පත්තරයා අයියා ඒ දවස් වල පුස්තකාලෙ ඇතුලෙදි විසදලා දුන්නා...

ඔන්න ඉතිං බීඩියා මගේ හිත ගත් දැරිවි ගැන එයාගෙ චර පුරුෂයො සියල්ලම වාගේ යොදවලා සතියකට පස්සෙ වාර්තාවක් කැදෙව්වා... ඒකෙ හැටියට එයාගෙ තාත්තා විදුහල්පතිවරයෙක්, අම්මා ගුරුවරියක්, අක්කා කෙනෙක් විතරයි ඉන්නෙ.... දැනට කොල්ලෙක් නෑ..... කොල්ලෙක් නෑ කිව්වට පස්සෙ ඉතිං තව මොනවද... සිරා ප්‍රීතියෙන් ඔකද වුනා... හරියටම අර හිස් අහසෙ සදරුවා ඔකද වෙනවා වගේ... ඇත්තමයි සත්තයි....

ඊට පස්සෙ පුස්තකාල කොල්ලන්ගෙ ලව් ඔස්තාද් විද්වත් කමිටුව පුස්තකාලය ඉදිරිපිට තියෙන සුදු අරලියා ගහ යට රැස් වුනා... ගෑණු දැරිවියන්ගෙන් කැමැත්ත ගන්න සිරා ඇතුලුව කීප දෙනෙකුම හිටියා...බීඩියත් ඒ අතරින් කෙනෙක්.... එයාගෙ හිත අරන් තිබ්බෙ අපේ පාසල ලගම තියෙන රතු ටයි පටියක් තියෙන පාසලේ යගුලිය දාන ක්‍රීඩිකාවක්.... සිරාගෙ හිත අරන් තිබ්බෙ කොළ පාට ටයි පටියක් තියෙන වතුර ටැංකිය ලග පාසලේ දැරිවියක්...

බීඩියා කියන්නෙ ටිකක් විතර කොට චරිතයක්... ඉතිං ගෑල්ළමයෙක් මිනිහාගෙ හිත ගත්තොත් බීඩියා ඉස්සෙල්ලාම බලන්නෙ උස ඇතිද කියලා... ගෑනු දරුවා ඇවිදින වෙලාවක එයාගෙ ලගින්ම ඇවිදලා තමා මිනිහා උස මැන ගන්නෙ.... පළමු පරීක්ෂණය සාර්ථක නම් විතරයි ඒකා ඊළග පියවරට ගියේ....

පත්තරයා අයියා තමා ලව් අපේක්ෂක පිරිසට සුදුසුම කාල සමය තීරණය කල තීරකයා වුනේ... ඒ අනුව මුලින්ම බීඩියා... ඊට පස්සෙ ප්‍ර‍බුද්ධක... ඊටත් පස්සෙ තව එකෙක්... ඔය ලිස්ට් එකේ අන්තිමට හිටියෙ සිරා...

ඔන්න දැන් සැට් එක පේලියට ගෑණු දරුවන්ගෙන් කැමැත්ත විමසනවා...  පත්තරයා අයියා කිව්වා වගේ විභාග මානසිකත්වය අස්සෙ සතියක විතර ඇවෑමෙන් කැමතියි කියලා උත්තරෙත් ලබා ගන්නවා... මෙන්න මේ විදියට සිරා ට කලින් හිටිය හැමෝම ගොඩ ගියා....

උඹත් අහපන් යකෝ ඉක්මනට... පේනවනෙ හැමෝම ගොඩ...

අනෙක් උන් එහෙම කිව්වට සිරා ට ඒ සදහා පුරුෂ ශක්තිය උත්පාදනය කරගන්න අමාරු වෙච්ච නිසාම ඒ වැඩේ දිනෙන් දින පස්සට ගියා... හැමදාම නෙත් කොනින් බලලා ගින්දරට මම කැමතියි කියන පණිවිඩේ දුන්නා... ඇයත් මගේ දිහා බලාගෙන ඉන්න නිසා වැඩේ ගොඩ යයි කියලා තමා මගේ අක්මාවට දැනුනෙ.

විභාගෙට තව මාස 3 යි... පාඩම් වැඩ අස්සෙ සිරාගෙ හිත ගින්දර නිසා පීඩනයට පත්වෙලා තියෙන්නෙ කියලා මගේ පුස්තකාල මිතුරන් දැන සිටියා... අ.පො.ස සා/පෙ කාලෙදි ලව් ලෙටරයක් ලියලා කැමැත්ත විමසුවාට අ.පෙ.ස උ/පෙ කාලෙ වෙනකොට  කෙල්ලගෙන් කෙලින්ම ඇහුවෙ නැති නම් ඒකා පිරිමියෙක් නෙමෙයි කියලා පිළිගැනීමක් තිබුන නිසා සිරාට ලව් ලෙටර් ලියන්න අදහසක් තිබුනෙත් නෑ...

ඔන්න ඔය වගේ වෙලාවක තමයි  වැඩිය පුස්තකාලෙට එන්නෙ නැති බීඩියගෙ වගේම මගෙත් මිත්තරයෙක් වෙච්ච... තමන්ට අකමැති වෙච්ච කෙල්ලෙක් අවුරුද්දකට පස්සෙ කැමති කරගත් නිසාවෙන්ම ලව් ඔස්තාද් කෙනෙකු බවට කොල්ලන් අතර පිළිගැනීමක් තිබූ තවලමා පුස්තකාලෙට කඩා පාත් වුනේ.... ආදරී එක්ක එහෙ මෙහෙ රවුම් ගහද්දි බස් එකේ යන්න සල්ලි නැති වෙච්ච දවසට තමා මිනිහා පුස්තකාලෙ පැත්තෙ එන්නෙ කාගෙන් හරි මුදලක් ඉල්ලගන්න....

ඔන්න මේ කියන දවසත් ඒ වගේ දවසක්....

මචං මේ සිරාගෙ කේස් එකක් තියෙනවා... විභාගෙට කලින් මේක ඉවරයක් කර ගන්න පොඩ්ඩක් උදව්වක් කරලා පලයන්....බීඩියා එහෙම කිව්වා...

ඒ වෙද්දි ගින්දර තමන්ගෙ යාලුවත් එක්ක ප්ලේන්ටියක් බොන්න පුස්තකාලෙ පිටිපස්සෙ තියෙන කැන්ටිමට ගිහිල්ලා හිටියෙ...

ඇත්තද මල්ලි... ඔය වගේ දේවල් හිතේ තද කරගෙන ඉන්නෙ ඕනෙ නෑ.... අහලා ඉවරයක් කරමු... එතකොට උඹට සෑහෙන්න සහනයක්... කෝ කෙල්ල...

කැන්ටිමට ගිහිල්ලා... මම තවලමාට කිව්වා...

එහෙනම් වරෙන් යන්න...

අනේ මට බෑ... මම කිව්වා...

පලයන් බන්... භය නොවී කියලා අනිත් එව්වො තල්ලුකරපු නිසාම භයේ ගැහි ගැහී ඔන්න සිරා උද්වේගකර අවස්ථාවට පිය මැන්නා.... අපරාදෙ කියන්න බෑ හැමෝම මට සුභ පැතුවා...

ඔන්න මමයි තවලමයි දැන් කැන්ටිම පැත්තට යනවා... ගින්දර යාලුවා එක්ක අපේ ඉදිරියට එනවා...

ගින්දරගෙ යාලුවා එච්චර ලස්සන එකියක් වුනේ නැති නිසාමදෝ ඒකිට කවුරුත්ම ට්‍ර‍යි කලේ නෑ...  තවලමා ඉස්සරහට ගිහින්  ගින්දරට කෙලින්ම කිව්වා මගේ යාලුවට ඔයාට දෙයක් කියන්න තියෙනවා කියලා...

ගින්දරගෙ යාලුවා සතුටෙන් ඉපිලී ගියා... මාත් එක්කද කියලා ඒකි වට පිට බලද්දි...

නෑ නෑ ඔයා එක්ක නෙමෙයි ඔයාගෙ යාලුවා එක්ක කියලා තවලමා ඒකිව පැත්තකට අරන් වෙනත් කථාවකට මුල පිරුවා....

ඔන්න දැන් ගින්දර තනි වෙලා... සිරාගෙ හදවත සෑහෙන වේගෙන් ගැහෙනවා... සද්දෙත් වෙනස්, හරියට මෝටරයක් දුවනවා වගේ.... ජීවිතේ ඉස් ඉස්සෙල්ලාම කෙල්ලෙක්ගෙන් කැමැත්ත මේ විදියට සෘජුව අහපු හැම කොල්ලෙක්ටම මේ අත්දැකීම පොදු ඇති...

මාස ගානක් හිතේ තදකර ගෙන විදවපු... රෑට රෑට නින්දෙදි සිහින මවපු.... හිතට බරක් වෙලා පීඩනයක් වෙච්ච මේ සිතුවිල්ලෙන් මම මිදෙනවාමයි කියලා පුරුෂ ශක්තිය අරන් සිරා ගින්දරට ලං වුනා....

ගින්දර මගෙ දිහා බලලා අහිංසක විදියට හිනා වුනා... ඒ හිනාවෙ සුන්දර කමට මට උතුර දකුණ මාරු උනා...

ම..මට ඔයා ගැන අදහසක් තියෙනවා.... මම බොහොම අමාරුවෙන් ඒ වචන පෙළ පිට කරගත්තා... දැන් හිත නිදහස් අමාරුම දේ කියාගත්තා නොවැ....

මගේ දිහා හොදට බලපු ගින්දර ඔලුව පැත්තකට ඇළ කරලා .

මගෙ හිතේ එහෙම දෙයක් ඔයා ගැන නෑනෙ....කියලා කිව්වා...

ඒක එහෙමම වෙන්න ඕනෙ කියලා නියමයක් නෑනෙ මමත් උත්තර දුන්නා...

මට කෙනෙක් ඉන්නවා... ගින්දර එහෙම කිව්වා.. ඊටත් පස්සෙ එයාගෙ හිත ගත්ත කොල්ලා ගැන දීර්ඝ විස්තරයකුත් කලා...

මා වටා පරිසරයම හිනාවෙනවා වගේ මට එවේලේ දැනුනෙ
 සමාවෙන්න මම කරදරයක් කලා නම්...  එහෙම කියලා මම ඇගෙන් සමුඅරන් කැන්ටිමට ගියා...

මගේ පස්සෙන් තවලමා දුවගෙන ආවා...

වැඩේ ගොඩද මල්ලි ... මොකද වුනේ.... උගෙන් ප්‍ර‍ශ්න වැළයි...

වැඩක් නෑ අයියා ඒකිට එකෙක් ඉන්නවලු... මාස ගානක් තිස්සෙ දැකපු හීනයක් එක්වරම බිද වැටුනාම කොච්චර නම් අප්සැට් ද ? කවද කාපු ටකරන්ද...

ගහපන් මල්ලි බිත්තියට හයියෙන්... මම නම් එහෙමයි මගේ හැගීම් පිට කරගන්නෙ... තවලමා එහෙම කිව්වට සිරා වෙනස්...

දුම් දුමන ප්ලෙන්ටි දෙකක් ගත්ත සිරා එකක් තවලමාට දීලා අපේක්ෂා භංගත්වයේ වේදනාව නැති වෙන්න කියලා එක හුස්මට ප්ලේන්ටිය ගිල දැම්මා...

උගුර දිගේ ආමාශයට පිච්චීගෙන ගලා බහින  ප්ලේන්ටිය අස්සෙ  සිරා පරාජිත හැගීමෙන් කැන්ටිමේ මේසෙකට වාරු දුන්නා...


මම කාමරේ වෙසෙන, සත්ගුණවත්  සිරා කොලුවා




ප.ලි

ඇගේ ඡායාරූපයක් මතක සටහනක් විදියට මට අවශ්‍ය වුනා... පුස්තකාලෙන් සමුගන්න දවසෙ සමූහ ඡායාරූපයක් ගන්න මම කටයුතු සූදානම් කරලා එහි පිටපතක් හැමෝම අතරෙ බෙදා දුන්නා... ඒ අනුව මේ ඡායාරූපයේ පිටපතක් ඇය ලගත් තිබෙනවා...

වර්ෂ 2001 න් පසු අද වනතුරු ඇයව මම නැවත වරක් දැක නෑ... ඒ අවස්ථාවේ ඇගේ පෙම්වතා වී හිටියෙ අපේ පාසලේම තවලමාගෙ යාලුවෙක් කියලා පස්සෙ දැනගත්තා... පසුකාලීනව ඒ ආදරය දෙදරා ගිය බවක් ආරංචි වුනා... අද ඇය කාගෙ හෝ පතිනිය වී සතුටින් ඇති කියලයි සිරා හිතන්නෙ...

පුස්තකාලෙ සිදුවෙච්ච ආදර කථා වලින් විවාහයක් දක්වා දුරදිග ගියේ පුබුද්ධගෙ සම්බන්ධය විතරයි...

මේ ඡායාරූපයේ ඉන්න බහුතර අය අද ඉංජිනේරුවන් , වෛද්‍යවරුන් හා ගණකාධිකරුවන්.... ඒ හීනයක් වගේ ලස්සන අතීතය සිරාගෙ කාමරයට එන යන ඔබ සියල්ලන් සමග බෙදා ගන්නයි මේ කථාව මෙහි සටහන් කලේ....මේ ඡායාරූපයේ සිරාගෙ හිත ගත් ගින්දරත් ඉන්නවා පුලුවන් නම් හදුනාගන්න... 

පුස්තකාලෙන් අපි සමුගන්න දවසෙ මම ඇයට සුභ පතන්නත් ඇය මට සුභ පතන්නත් අමතක කලේ නැති විත්තියත් සටහන්න කරන්න කැමතියි. 


Monday, October 8, 2012

80 ඛේදවාචකයක් වූ ක්‍රිකට් පරාජය


ක්‍රිකට් ක්‍රීඩාව ශ්‍රීලංකාවේ ජනප්‍රියතම ක්‍රීඩාවයි. සුදු ජාතිකයන්ගේ යටත් විජිතයන් වෙත ඔවුන් මගින් සංක්‍ර‍මණය වූ මෙම ක්‍රීඩාව අද අපේම ක්‍රීඩාවක් බදුය. ආසියානු කලාපයේදී  ප්‍රේක්ෂකයන් වෙතින් ඊට ඇත්තේ නොමද ආකර්ශනයකි. මා හට හමු වී ඇති ඇතැම් ඉන්දියානු ප්‍රේක්ෂකයන්  ක්‍රිකට් උණ වැලදුනු උන් ලෙස ඔවුන් හදුන්වනවාට කැමතිය. සිරා වරෙක ඉන්දියාව හා ලංකාව අතර අවසන් තරගයක් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ සිට නැරඹුවේ ඉන්දියානු ජාතික මාධ්‍යවේදීන් කීප දෙනෙකු සමග ඉන්දියානු ප්‍රේක්ෂකයන් පිරිවරාගෙනය. එදා එම මාධ්‍යවේදීන්, සහෝදර ඉන්දියානුවන් වෙත මා හදුන්වා දුන්නේ මේ අපේ හතුරෙකු ලෙසයි. ඒ තරම් අධ්‍යාත්මගත ආදරයක් ඔවුන්ගෙන් ක්‍රිකට් ක්‍රීඩාවට හිමිවී තිබේ.

1996 ලෝක කුසලාන තරගාවලියේදී  ඉන්දීය ක්‍රීඩකයන් දැක්වූ අසාර්ථක භාවය නිසාම ප්‍ර‍තිවිරුද්ධ ක්‍රීඩකයන් වෙත යම් යම් දෑ මගින් දමා ගැසීමට තරම් ඉන්දියානු ප්‍රේක්ෂකයා රෞද්‍ර‍වූයේද , තරග පරාජය වූ විට ඉන්දියානු ක්‍රීඩකයන්ගේ නිවාස වෙත පොලිස් ආරක්ෂාව ලබා දීමට සිදු වූයේද ඉන්දියානු ජනතාව ආගමක් මෙන් ක්‍රිකට් ක්‍රීඩාවට ලැදි වීමත්, ක්‍රීකට් ක්‍රීඩකයන් දෙවිවරුන් ලෙස සැලකීමත් නිසා පරාජයන්හිදී ඇතිවෙන චිත්ත ආවේගයන් නිසාය.

ඒ අර්ථයෙන් ගත් කල අපේ ප්‍රේක්ෂකයන් ඉතා නුවනැති  සංවර පිරිසකි. ඔවුන් කවදාවත් ප්‍ර‍තිවාදී ක්‍රීඩකයන්ට පහරදෙන්නට පෙළඹී නැත. ක්‍රීඩකයන්ගේ නිවාස වලට පොලිස් ආරක්ෂාවක් යෙදීමේ අවශ්‍යතාවයක්ද ලංකාවේ  නැත. ලංකාවේ ජාතික ක්‍රීඩාව නොවුනද මෙතරම් ජනප්‍රියත්වයක් ඊට හිමි වී ඇත්තේ ක්‍රිකට් ක්‍රීඩාවේ ඇති ආකර්ශනීය ස්භාවයත්, ටෙනිස් බෝලෙන් පවා ගම්බදව ක්‍රීඩා කිරීමට හැකි වීමත්, ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍ර‍හණ ලබා ගැනීමට ශ්‍රීලංකාවට හැකි වී ඇති එකම කණ්ඩායම් ක්‍රීඩාව වීම නිසාවෙන් යැයි මට සිතේ....

ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ගෙවීම් ඉතා ඉහළ තත්වයක ඇති නිසා දෙමාපියන්ද සිය දරුවන් වැඩි වශයෙන් ක්‍රිකට් ක්‍රීඩාවට නැඹුරු කරන වටපිටාවක්ද සැකසී තිබේ. මෙවන් වටපිටාවක් යටතේ 07 10 2012 ඉරිදා දින පැවති හතර වන 20 20 ලෝක කුසලාන අවසාන තරගය මා නැරඹුවේ මීගමුවේ සංචාරක හෝටලයක පිහිටි දැවැන්ත තිරයකිනි. මුහුදු වෙරළට වන්නට පිහිටා තිබූ මේ ස්ථානයේ  තරුණ , මහලු භේදයකින් තොරව සියල්ලන් තරගය නැරඹීමට ඒකරාශීව සිටි අතර ඒ හා DJ සංගීතය මෙන්ම මල්වෙඩිද මුසුවී තිබුනි. එහෙත් ලංකාවේ පරාජය පෙනෙන මානයට පැමිණි පසු සංගීතය මෙන්ම මල්වෙඩිද අතහැර දැමූ අතර ක්‍රීඩා ලෝලීන් අපේක්ෂා භංගත්වයට පත්වී විවිධ දෑ කියවමින් සිත සනසාගන්නට උත්සාහ දරනු දක්නට ලැබිනි.  ඇතැම් උන් ජනාධිපතිතුමාගේ ආගමනය පරාජයට හේතු විනැයි කියනුද ඇසිනි.

අපේ ක්‍රීඩකයන්ට පරාජ වූවා කියා බියවීමට කාරණයක් නැත... ඉන්දියාවේදී මෙන් නිවාස ගිණිබත් කරන්නට කවුරුත් කැස කවන්නේ නැත. එහෙත් ඉතිහාසයේ ප්‍ර‍ථම වරට ලංකාවේ ක්‍රිකට් ප්‍රේක්ෂකයන් දෙදෙනෙක්  අපේ සංවර ප්‍රේක්ෂක කැලගේ අභිමානයට කැළලක් එක් කරමින්  ක්‍රිකට් පරාජය ඉවසා ගත නොහී ජීවිතයෙන් සමුගත්තේ බෙල්ලේ වැල දමාගැනීමෙනි. මීට පෙර පරාජය දරාගත නොහැකිව හදිසි හෘදයාබාධ නිසා ලාංකික ප්‍රේක්ෂකයන් මියගොස් තිබුනත් දිවිනසාගත්තේ පළමු වරටය.

හැටන් කුඩා ඔය ප්‍රදේශයේ මහේන්ද්‍ර‍න් සුරේන්ද්‍ර‍න්  සහ පාදුක්ක ප්‍රදේශයේ 17 හැවිරිදි තරුණයෙක් මෙසේ ජීවිතයෙන් සමුගෙන ඇත. තරගය නැරඹීමෙන් අනතුරුව කලකිරුනු ස්භාවයෙන් මේ දෙදෙනාම හැසිරුනු බව ඔවුන්ගේ ඤාතීන් සපථ කරයි. ක්‍රිකට් ක්‍රීඩාව අරභයා මෙවැනි යමක් සිදුවීම ඉතාමත් ශෝචනීව තත්වයකි. ඔවුන්ගේ වටිනා තුරුණු දිවිය නිකරුනේ නාස්ති කරගෙන ඇත. දැන් දැන් අපේ ප්‍රේක්ෂක රුචිකත්වයත් ඉන්දියානු මට්ටමටම පැමිණෙන්නේදැයි යන සැකය අපේ හිත් වලට දැනෙන්නට වී තිබේ. 

නුවන් කුලසේකර යනු පාසල් කාලයේ සිටම මාගේ හිත මිත්‍රයෙකි. ලෝක කුසලාන අවසාන තරගයේදී මෙන්ම මෙම තරගයේදීද ඔහුගෙන් උඩ පන්දුවක් ගිලිහිනි. තරග දෙකේදීම උඩපන්දු ලබාදුන් පිතිකරුවන් වැඩි ලකුණු සංඛ්‍යාවක් රැස් කලහ. ඒ නිසාම තරගය අපෙන් ගිලිහී ගියේ යැයි ඇතැම් අය චෝදනා මුඛයෙන් කතා කලෝය. ලෝක කුසලාන තරගයේ උඩ පන්දුව ගැන විමසූ විට කුලේ මට පැවසුවේ

එදා පිට්ටනියෙ මිනිස්සු කෑ ගහන සද්දෙත්  එක්ක පන්දු රකින එක සෑහෙන අභියෝගයක් වූ බවකි.

කථාව ඇත්තකි. ක්‍රීඩකයෝද මනුෂ්‍යයෝය.. ඔවුන් අතින් වැරදි සිදුවිය හැක. ඒ නිසාමය ක්‍රිකට් මෙතරම් ආකර්ශනීය ක්‍රීඩාවක් වී තිබෙන්නෙ...

තර්ස්ටන් විද්‍යාලයීය ක්‍රීඩාංගනයේදී නිකුත් කල අවසන් පූර්ව තරග සීමිත ටිකට් පත් ප්‍ර‍මාණය ලබාගැනීමට පැමිණි අතිමහත් ප්‍රේක්ෂක කැල නිසා එහිදී ඇතිවූයේද  උණුසුම් තත්වයකි. ඇතැම් ප්‍රේක්ෂකයන් පාන්දරම පෝලිමට එකතු වූවන්ය. ඇතමෙක් ක්ලාන්ත විය. තවත් උන් ජලය ඉල්ලා කෑ ගැසුවෝය. අන්තිමට තත්වය පාලනයට පොලීසියටද තරමක් අපහසු විය.

සූරියවැවදී තරග නැරඹීමට අවස්ථාව නොලද ප්‍රෙක්ෂකයන් ක්‍රීඩා පිටියේ පිවිසුමේ පොදු දේපළ වලට අලාභ හානි කල අතර රථ ගාලේ නවතා තිබූ රථ වලටද හානි කලෝය.

මේ සියලු සිද්ධි එක්ව විමර්ෂනය කරන විට මට සිතෙන්නේ ශ්‍රීලාංකික ප්‍රෙක්ෂකත්වයත් දැන් දැන් ඉන්දියානු ප්‍ර‍චණ්ඩකාරී මට්ටමට පැමිණෙන්නේද යන්නයි.... ප්‍ර‍චණ්ඩත්වය හා මුසු වූ ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ගෙන් ක්‍රීඩාවට අබමල් රේණුවක දායකත්වය සැපයෙන්නේ නැත. ප්‍රේක්ෂකයා නැති ක්‍රිකට් තරගයක් යනු පරිප්පු නැති හෝටලයක් බදුය.  ක්‍රීඩකයන්ටද ක්‍රීඩාවට අවැසි දිරිය ලැබෙන්නේ ප්‍රෙක්ෂකයන්ගෙනි. මෙම තත්වය තව දුරටත් දරුණු වුවහොත් ක්‍රිකට් ක්‍රීඩාවෙන් අපේ ලංකාව උපයාගෙන ඇති කීර්තියට එය කලු පැල්ලමක් එක් කරනවා නොඅනු මානය.... එබැවින් එසේ නොවේවායි පතමි.

මම කාමරේ වෙසෙන, සත්ගුණවත්  සිරා කොලුවා



තර්ස්ටන් පිටියේදී පැවති උණුසුම් තත්වය අතරතුර ඡායාරූප පහතින්.....

ජන සන්නිපාතය පෝලිම් ගතව

ගිණි අව්වේ හිසට සෙවනක්
තෙරපීමේදී අත්හැරී ගිය පාවහන්

ක්ලාන්ත වූ අයෙක්

බලාපොරොත්තු සහගත දෑස්

වාද විවාද

ක්ලාන්ත වූ අයෙක් ඔසවාගනිමින් 





ජල බිදකට පොර කමින් 



ටිකට් පත් ලාභියෙක්





ප.ලි

ඡායාරූප සදහා අනුග්‍ර‍හය  ලංකාවේ ජාතික පුවත්පතක ඡායාරූප මාධ්‍යවේදියෙක් ලෙස කටයුතු කරන සිරාගේ සහෝදරයාගෙනි.

තරුණයන් මියගියේ යැයි ප්‍ර‍වෘත්තිය ලබාගත්තේ අන්තර්ජාල පුවත් අඩවියකිනි. ඒ ගැන විස්තර මෙතැනින්
Related Posts Plugin for WordPress, Blogger...