Tuesday, October 16, 2012

120 අව්‍යාජ මිනිසෙකු දිටිමි.

ඒ 2011 වසරේ අගෝස්තු මාසයේ දිනයකි..... රන්ටැඹේ ජාතික ශිෂ්‍ය භට පුහුණු මධ්‍යස්ථානයේ කදවුරුගතව සිට සමස්ත ලංකා පළමු ස්ථානය දිනාගත් අපගේ  අපරදිග තූර්ය වාදක කණ්ඩායමේ වර්තමාන කොලු පොඩ්ඩන් හමු වෙන්නට බයිසිමොටෝ මගින්ම රංටැඹේ වෙත යාමට පිටත් වූ ගමනකි... සිරාගේ බයිසිකල් චාරිකා නඩේ අඩුවක් නැතිව සහභාගී වූ මේ චාරිකාව උදා අරුමැක්කේ පිටත් වූ එකකි. උදෑසන 8 වන විට බයිසිකල් කරුවන් කෑගල්ලට අතුරු උපද්‍ර‍වයකින් තොරව ලගා විය. දතා මල්ලීගේ බයිසිමොටෝවේ පශ්චාත් රෝදය අනතුරුදායක ලෙස තට්ටය පෑදෙන්නට ගෙවී තිබුන නිසා පිරිස සුනංගු නොවී ඒ වෙලාවේ නගරයේ විවෘතව තිබූ එකම ටයර් කඩයට සම්ප්‍රාප්ත විය. නගරය සාමකාමීය... උදා හිරු රැස්  ක්‍ර‍මයෙන් නගරය ගිලගන්නට මාන බලනවා වුවත් හාත්පස තිබුනේ සීතලකි...

ටයර් කඩය විශාල  එකකි... බැලූ බැල්මට එහි පුෂ් බයිසිකල් සදහා සේවා සැපයෙන්නේ නැත.. හිමිකරු යැයි කිවහැකි උස මහත මැදිවයසේ අයෙකු බුදු පහන දල්වා ආශිර්වාද ලබාගෙන සුවද දුම් හමන මද පවනට එකතු කරමින් සිටී. තත්වය එසේ වූවත් අපේ කථා නායකයා අහිංසක ලීලාවෙන් ඒ ඉදිරිපිට සිටගෙන සිටියේය. බැලූ බැල්මට හෙතෙම අහිංසක කමේ ප්‍ර‍තිමූර්තියකි... පළමු බැල්මෙන් සිරාගේ සිත දිනාගත්තෙකි... දතා මල්ලි අවශ්‍යතාව පවසා  කඩය තුලට යනතෙක්ම දරුවෙකු මෙන් ආදරයෙන් අල්ලාගෙන සිටි පාපැදිය දෙස දයාවෙන් බලා සිටි ඔහුගේ මුහුණේ මන්දාස්මිතියක් නැගින.


  ඔය සීයා මාර භාණ්ඩයක්... පොඩ්ඩක් කථා කරලා බලන්න....

බයිසිමොටෝවේ ටයරය ගලවන ගමන් කාර්මිකයා තෙපලූ හෙයින් සිරා උන්දෑ සමග වචනයක් දොඩන අටියෙන් ඔහු සමීපයට ගාටන්නට විය...

සීයෙ කොහොමද ඉතිං....
වරදක් නෑ පුතේ.....
මොකද උනේ...
බයිසිකලේ පැච් එකක් ගියා නොවැ... වෙන ලෙඩක් නම් මටම හදා ගන්න ඇහැකි... නැත්නම් අනිත් අඩුම කුඩුම ඔක්කොම මයේ ලග තියෙනවා....

එසේ ඇරඹුනු කථා බහ විවිධ අතුරු මාර්ග තරණය කර පෑ භාගයක් තරම් කාලසීමාවක් පැවතිනි... ඒ අවසානයේ මා විමතියට පත්  වූයේ මෙවැනි අධිවේගී සමාජයක් තුල මේ තරම් අව්‍යාජ මිනිසුන් තවමත් වෙසෙන බව දැනගැනීමෙනි....

මුතුබණ්ඩා තමයි ඔන්න සීයගෙ නම... මහනුවර පිළිමතලාව ඔහුගේ ගම..කථාවට ඉතාමත් ප්‍රියයි.. ඒ වගේම කථා බහ අතරතුර විහිලු තහලු කරන්නත් අමතක කරන්නේ නැති නිසාමදෝ නුවර තරුණයන් අතර මුතුබණ්ඩා සීයා ජනප්‍රිය චරිතයක් ලු... ඔවුන් ඔහු අමතන්නෙ ජොලි අන්කල් එහෙමත් නැත්නම් චූන් අන්කල් ලෙස... මේ විස්තර කිව්වෙ මුතු බණ්ඩා සීයාම තමයි....

මේ බයිසිකලේ අරගත්තෙ එකදාස් නමසිය හැට අටේ... ඉස්තරම් රැලේ බයිසිකලයක්...කීයද දන්නවද ගාන... රුපියල් 65/- යි... ඒ සන්දියෙ මම ඉතින් ශක්තිසම්පන්න පුරුෂයා...මඩ ගොවිතැන තමයි කොලේ...  කරකාරයක් බැදගෙන පිළිමතලාවෙම තමයි විසුවෙ... කටුමැට්ටෙන් යන්තම් ගේ පොඩ්ඩක් හදාගෙන අපි ජීවත් වුනේ...අදටත් මම ඉන්නෙ ඒ ගෙදර තමා... වෙනසකට තියෙන්නෙ මම දැන් ඉන්නෙ තනියෙන්.... මයෙ උන්දෑ කරුම ලෙඩක් හැදිලා අවුරුදු 4ට විතර ඉස්සර මිය පරලොව ගියා.... ඔන්න ඔහොමයි සීයා සීරාට විස්තර කියන්න පටන් ගත්තෙ.

මුතුබණ්ඩා සීයාට අනුව ඔහු දියණියකගේ සහ පුත්‍රයෙකුගේ පියෙක්....විවාහයෙන් පසු දියණිය ජීවත් වන්නේ කටුනායක ප්‍රදේශයේ.. පිළිමතලාවේ සිට ඔහු තවමත් දියණිය බැහැ දකින්නට යන්නේ පාපැදියෙන්..

අයියෝ ....මම ලංකාවෙ ඕනේම තැනකට යන්නෙ මේ බයිසිකලයෙන් තමා.... කටුනායකට බයිසිකලේ යන්න දුර වැඩි නැද්ද කියලා ඇහුවාම ඔහුගේ පිළිතුර එහෙමයි...

තුන් දොහොකට කලින් කෙලීගෙ ගෙදර ගියා... ඒකි වරකා කන්න රුසියා... මම අයිස් කැට ගොඩක් මැද්දෙන් වරකා මදුලුත් කීපයක් තියාගෙන තමයි කටුනායක ගියේ..... අද රාත්තිරියේ 12.20 ට තමයි ඔන්න දුවගෙ ගෙදරින් පිටත් වුනේ... 

උදෑසන 8 පමණ වන විට මුතුබණ්ඩා සීයා කෑගල්ලට ඇවිල්ලා තිබුනෙ පැය 8 කට ආසන්න කාලයක් බයිසිකලය පැදීමෙන් අනතුරුව...

මේ වගේ ගමන් බිමන් යනවට දරු මල්ලො කැමතිද.....සිරාගෙ ප්‍ර‍ශ්නෙට මුතුබණ්ඩා සීයා හිනාවුනා...

දරුවන්ට කියලා මට ඉන්නෙ ඔය කෙලී විතරයි දැන්...

එතකොට පුතා...

දියේ ගිලෙන්න ගිය කෙනෙක් බේරගන්න ගිහිල්ලා මයෙ කොල්ලා මැරිලා හුගක් කල්... වැලි ගොඩදාන රස්සාව තමයි කලේ... උගෙ මරණය ගැන හිතලමයි මයෙ ගෑණිත් ලෙඩ ඇදට වැටුනෙ....

ඉතිං සීයෙ ඇයි දුව ලගට යන්නෙ නැතුව පිළිමතලාවෙ තනියෙන් ඉන්නෙ....

දුවත් අමාරුවෙන් ජීවත් වෙන්නෙ... උන්ටත් මහලොකුවට සල්ලිය භාගෙ නෑ... නාකි මම උන්ට කරදරයක් වෙන්ට නරකයි... ඒ හින්දා මම තියෙන දෙයක් කාලා ගෙදරට වෙලා තනියෙන් ඉන්නවා.... දුව නිතර නිතර මා එක්ක කථා කරන්න මට සැල්ටොන් එකකුත් අරන් දුන්නා... මේ තියෙන්නෙ ඒක..... මේක වැඩිය වටින එකක් නෙමෙයි මගෙ හිතේ....මයෙ ගෙදර කරන්ට් එක නැති හින්දා ගේ ළග කඩේකින් තමයි මේකෙ බැටරිය චාර්ජ් කොරන්නෙ...

සීයගෙ පාපැදියත් අපූරු එකක්... ඊට අන්තර්ගත දේවල් බොහොමයක් තිබුනා...

මයේ බයිසිකලේ ඕනෙ දුර ගමනක් යන්ට පුලුවන්... මේ බලන්න තියෙන දේවල්... ඔහු එකිනෙක දෑ පෙන්වයි.



ඒ අතර හාල් මිටියක්, තේ පෝච්චියක්, පස් පංගුව පැකට් කීපයක්, විදුලි පන්දමක්, ආයුධ කට්ටලයක් වගේම බැටරි කීපයකින් ක්‍රියාත්මක වන පරිදි  පාපැදියටම සවිකල අපූරු රේඩියෝවක්ද වුනා....

රේඩියෝව
අද උදේ බයිසිකලේ නවත්තලා තියෙද්දි පෙරලුනා. දැන් රේඩියෝ එක වැඩ කරන්නෙ නෑ... වයර් එකක් ගැලවිලාද කොහෙද...

මම ගමනක් යද්දි උවමනා වුනොත් පාර අයිනෙ ලිපක් හදාගෙන තේ වතුර ටිකක් පස්පංගුව ටිකක් හදාගෙන බොනවා... මේ ඉස්සරහා කූඩෙ සීනි,කෝප්ප, හැදි වගේ අඩුම කුඩුමත් තියෙනවා....



සීයෙ බයිසිකලේ මෙහෙට ගන්න... පැච් එක දාලා දෙන්න.. කාර්මිකයා බෙරිහන් දුන් හෙයින් කථාව මදකට නවතා බයිසිකලය ඔහු සමීපයෙන් නවතා මුතුබණ්ඩා සීයා නැවතත් අප වෙත පැමිණියා... ඒ වන විට දතා මල්ලීගේ බයිසිමොටෝවේ කටයුතු අවසන් හෙයින් අපට ඔහුගෙන් සමුගැනීමට කාලය එළඹ තිබිනි.

සීයා උදේට කෑවද ? ඔහු සිනාවක් දක්වයි. මුහුණේ ඉරියව් අනුව නිරාහාරව සිටින බව පෙනේ.

අතේ සල්ලි තියෙනවද ? නැවතත් සිනාවකි... ආහාර ලබා ගැනීමට අත මිට මුදල් නැති සෙයකි.
ළග පාත කෑම කඩයකුත් නොවූ හෙයින් මුදල් නෝට්ටු කීපයක් ඔහු අත මිට මෙළවූ  ජපන් චමී...

ජපන් චමී සමග මුතුබණ්ඩා සීයා

ඔන්න බලපන් මචං  අපේ රටේ නියම මිනිස්සු 
යැයි පවසා යතුරු පැදියට නැගුනේය.

කාටවත්ම අතනොපා පරම්පරාගත කුඹුරු අස්වද්දමින් තනියෙන් ජීවත් වන ගමන් දියණියගේ දුක සැප බලන්නට ගත වාරු නැති මේ කාලසමයේදීත් හිත වාරුකර විදුලි වේගයෙන් දුවන වාහන වලට මැදිවී මෙතරම් දුරක් පාපැදියෙන් ගමන් කරන මුතුබණ්ඩා සීයා සැබෑ වීරයෙක් නොවේද ?

අනුන් සතු දේට ලොබ බැද, පරපණ නසනා මෙවන් කලියුගයක.. පුහුදුන් හරසුන් මිනිසුන්, කාඩ්බෝඩ් වීරයන් රජකරනා මෙවන් සමාජයක මුතුබණ්ඩා සීයා යනු සැබැවින්ම  ගැමිකමේ සුවද පතුරන අව්‍යාජ මිනිසෙකි. ඔහුට දීර්ඝායුෂම වේවා !


මම කාමරේ වෙසෙන, සත්ගුණවත්  සිරා කොලුවා


ප.ලි

පුවත් වෙබ් අඩවියකට  අකුරු කර  ඊයක් යවා තිබූ හෙයින් මේ තොරතුරු හා ඡායාරූප එපරිද්දෙන්ම නැවතත් සටහන් කල හැකි විය.











120 comments:

  1. E manussyage munenma penqva ahinsaka manussayek vaga
    Hithe hayiya thamaa oya koi detath
    Apita muna nogahunata thaamath hoda minissu ithuru vela innava api athare
    Muthu banda seeyata madayath dirgaayusha prarthanaa karanavaa ..........!

    ReplyDelete
    Replies
    1. ඔබේ ප්‍රාර්ථනාව එලෙසම ඉටු වේවා.... මේ වගේ වයස්ගත ඇත්තො බහුතරය එහෙමයි... සිරාගෙ කිරි අම්මත් ඒ වගේ කවදාවත් කම්මැලි කමට හිටියෙ නෑ... නිකං ඉන්න ඒ අය දන්නෙත් නෑ... හැමවෙලේම මොනා හරි යමක් කරන්න තමයි ඕනෙ... ඒ නිසා ඒ අය දීර්ඝායුෂ වින්දා....

      Delete
  2. හ්ම්ම්ම්ම්ම්!

    හැබෑම මනුස්සයෙක්. තමගේ එකම දරුවාටවත් කරදර කරන්නෙ නැතුව.. නූගත් උනත්...දරුවන්ව හොඳින් තේරුම් අරගෙන ඉන්න හැබෑම මනුස්සයෙක්...

    ReplyDelete
    Replies
    1. ඒ මනුස්ස සුවද මටත් හදපුරාම දැනුනු නිසා තමයි එදා මේ විදියට පින්තූර කීපයක් අරන් හැමෝටම මේ කථාව බෙදා දෙන්න උවමනායි කියලා හිතුවෙ...

      Delete
  3. සරල ජීවිත.අපි කොච්චරක් කියල බැඳීම වලට අහුවෙලාද?

    නේද සත්ගුණවත් සිරා කොලුවෝ.......

    ReplyDelete
    Replies
    1. මිනිස්සුන්ට තියෙන බැදීම් වැඩිවෙන කොට මානසික සහනය දුරස් වෙනවා... සතුට ඈතට ඈතට යනවා... මානසික අසහනය නිසාම ලෙඩ රෝග හැදිලා ඉතා ඉක්මනින් ලොවෙන් තුරන් වෙනවා... ඔන්න සන්තෑසිය...

      සිරා යනු ඉතා සත්ගුණවත් කොලුවෙකි....

      Delete
  4. හැම මනුස්සයෙක්ම මේ වගේ හිතුවානම් මේ ලෝකේ කොච්චර නම් වෙනස් වෙයිද? හරිම සරල, සුන්දර කෙනෙක්...

    ලියවිල්ල වටිනවා සිරා...:)

    ReplyDelete
    Replies
    1. හැමදාම වගේ පොඩ්ඩි කාමරේ පැත්තට ඇවිල්ලා සිරාව දිරිගන්වනවාට ගොඩාක් ස්තූතියි...

      හැම කෙනෙක්ම මේ වගේ හිතුවා නම් ලෝකය බොහොම සොදුරු තැනක් වෙලා ජීවිතය ඇති තරම් විදින්න ලැබේවි...

      Delete
  5. මම ස්ථිර වශයෙන් කියන්නම් ලංකාවේ තව ගොඩාක් මේ වගේ සීයල ඉන්නවා. සිරා සමහරවිට දැකලා ඇති බොරැල්ල ටවුමේත් විෂිල් ගහගෙන බත් විකුනන්න යන සීයා.

    ReplyDelete
    Replies
    1. සුදීක මහතාගේ නාමය අද දින සුභාෂ් ලෙස වෙනස් වී ඇත්තේ කිම ?

      ඔබේ කථාව ඇත්ත... මේ වගේ දිරිය පියවරු වගේම මව්වරුත් ඕනෑ තරම් මේ සමාජයේ ඉන්නවා... එහෙත් ඒ අයගෙ වටිනාකම හදුනාගන්නෙ කීයෙන කී දෙනාද .... බොරැල්ලෙ සීයාව නම් මම දැකලා නෑ...

      Delete
  6. ඉතාම වටින ලිපියක්.මේ වගේ අහිංසක ජිවිත කීයක්නම් බිලිවෙලා ඇත්ද කඩිකුලප්පුව හැදුන මැති ඇමති ආරක්ෂකයන්ගේ සහ සම හරක් පදවන රෝද හතරේ වාහනවලට කියල හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. උන්ට ඉතිං ආයෙමත් මිනිස් ආත්මයක් ලබන්න සෑහෙන්න කාලාන්තරයක් බලා ඉන්න වෙනවා නොවැ...කකුළුවාගේත් දියකෙලි හැළිය රත්වෙන තුරු කියලා කියන්නෙ ඔන්න ඕකට තමා... ස්තූතියි කෙන්ජි කාමරේට එබුනට...

      Delete
  7. මෙයාලාට සීයා කියන එක වැරදියි.. මේ ඇවිල්ලා එළ කොල්ලෝ.. කවදාවත් වයසට නොයන අය... අතරින් පතර මෙහෙම අය හම්බ වෙනවා සමාජයේ...

    ReplyDelete
    Replies
    1. ඒ කථාවත් නිවැරදියි මාරයා... මුතුබණ්ඩා සීයා කථා කරද්දිත් කිසි විටෙක අහිමි වූ දේ ගැන තැවීමක් නෑ... ජීවිතය දිහා සුභවාදීව බලන බවක් තමා දැනුනෙ...

      Delete
  8. සල්ලි නැතුවට ඔව්වා තමා සිරා සුපිරි ජීවිත

    ReplyDelete
    Replies
    1. ආනන්ද සර්පයා දුටුවාද කියලනෙ බුදුන් වහන්සේ මුදල් පාර්සලය පෙන්නුවෙ...

      සල්ලි වලින් බොහෝ භෞතික සැප සම්පත් ගන්න පුලුවන් උනාට හිතේ සැනසුම/සතුට ගන්න බෑ... කෝටි ගණන් වටින යාන වාහන වලින් යන අයගෙ හිත් වල බොහෝ විට තියෙන්නෙ සතුටට වඩා පීඩනය/රෝග බිය/සොර සතුරු බිය... ආන්න ඒකට මේ වගේ සරළ චරිත ලග සතුට තියෙනවා කට පිරෙන්න...

      Delete
  9. ea widhita dakina Sirat Namata obina minhiak kiyala mata hitana. (ai Japan Chamila kiyana?).
    Jayawewa,
    Sajith

    ReplyDelete
    Replies
    1. ඔය කියන දතා මල්ලි කලාවට සම්බන්ධයි... එයා චිත්‍ර‍පට හා ටෙලිනාට්‍ය වලට තිරනාටක ලියන නිසා සමාජයේ හමුවෙන හැම චරිතයකටම බොහොම ලෙංගතුව කථා කරලා ඒ චරිත අස්සෙ හැංගිච්ච දේවල් එළියට ගන්නවා... ඔහුගෙන් මේ ක්‍රියාව මටත් පුරුදු වුනා... මමත් දැන් එහෙමයි...

      චමී කාලයක් ජපානයේ හිටියෙ... ඒ නිසාම දැන් ජපන් චමී... වාත්තු යකඩ වගේ නියම හදවතක් තියෙන සුපිරි කොල්ලෙක්...

      Delete
  10. සිරාම සීය කෙනෙක් තමයි.

    ReplyDelete
    Replies
    1. මෙහෙම සීයලා වාසනාවන්...

      Delete
  11. කලාතුරකින් සිරෝ ඔය වගේ මිනිස්සු හම්බුවේන්නේ..

    ReplyDelete
    Replies
    1. මොනවා කියනවද.. ඒ නිසාමනේ වචන දෙකක් තුනක් කථා කරන කොට බොහොම ලොකු සුන්දරත්වයක් දැනෙන්නෙ... හදවතේ තියෙන සුන්දර කම වචනයෙන් එළියට එනවා...

      Delete
  12. අපූරු මනුස්සයෙක් නේ..හිතේ දහිරිය තියන මිනිස්සු.. කලාතුරකින් තමයි ඔහොම කෙනෙක් මුණ ගැහෙන්නේ.වචනයක් කතා කරන්න ලැබෙන එකත් සන්තෝසයි එ වගේ කෙනෙක් එක්ක.

    ReplyDelete
    Replies
    1. ඔය සතුට මමත් වින්දා... ඇත්තමයි හරිම සරළ, හිත හොද පුදුමාකාර චරිතයක්... වැඩිහිටියෙක් විදියට හරිම ගෞරවයක් දැනෙනවා මේ වගේ අය ඇසුරු කරද්දි...

      Delete
  13. සිත සෙලවින ඔන්න හැබෑ ලක් චරිත ස්තුතී ලිපියට...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි රාජ්... එදා ලස්සන දවසක්...අමතක නොවෙන දවසක්...

      Delete
  14. මම මේ පෝස්ටුව කියෙව්වෙ හදවත හඬා වැටෙන අතරතුරේ ,,මගේ තාත්තා මතක් වුණා. ඇඟපත මහන්සි කරලා වැඩකරන මේ වගේ මිනිස්සු අපේ ගම්වල තාමත් ඉන්නවා. අපි මේ වයසට එනකොට මොන වගේ තත්වයක් උදා වෙයිද කියන්න බෑ, සිරෝ උඹ් මේ ලියන පිළිවෙලේ කතා වලට මම හරිම කැමතියි ..ජය..

    ReplyDelete
    Replies
    1. අන්දර යායේ ගීතයෙන් දිවුල්ගනේ ගායකයා කිව්වෙත් වැව්ගම් පත්තුවේ ජීවත් වන බහුතර පියවරුන් ගැන නොවැ... එවන් පියවරු නිසා තමයි අපේ ජාතිය අද මෙවන් තැනක හරි ඉන්නෙ... මෙවැනි පියවරු සැමකල් යෙහෙන් වැජඹේවා... ස්තූතියි රතු... ජය !

      Delete
  15. සිරාටත් මර චරිත තමයි හම්බුවෙන්නේ... මගේ ඇස්වලින් කඳුළු බේරැනා මේක කියවගෙන යද්දි....

    ReplyDelete
    Replies
    1. සතුටුයි සහෝදරිය ඔබ වැනි සංවේදී හදවතක් හිමි ඇත්තියක් බ්ලොග් අවකාශයේදී ඇසුරු කිරීමට ලැබීම ගැන... සංවේදී අය කවදාවත් ලෝකයට නපුරක් කරන්නෙ නෑ කියලා මම අත්දැකීමෙන් දන්නවා... ස්තූතියි... ඔබේ ජීවිතය වඩා වඩාත් සුන්දර වේවා...

      Delete
  16. මේ වගේ මිනිස්සු තමයි ජීවිතය කියන එකේ අර්ථය හරියටම දන්නේ .....

    ReplyDelete
    Replies
    1. කාලා, බීලා විනෝද වෙලා... තව එකෙක්ට පිටිපස්සෙන් පිහියෙන් ඇනලා ජීවත් වෙන උන්ට නම් මේ වගේ චරිත වලින් ගන්න දෙයක් තියෙනවා...

      Delete
  17. ම්..අපූරු මනුස්සයෙක්..සමහර වෙලාවට සාමාජය හැල්මේ දුවගෙන යනවා කිව්වට හැමෝම එහෙම නෑ වගේ..

    ReplyDelete
    Replies
    1. වර්තමාන සමාජයෙ නොනවතින රේස් එකට එක් වුනේ නැති මෙවැනි අව්‍යාජ චරිත ගම්බදව ඕනෑ තරම් ඉන්නවා... විමසිලිමත් වුනොත් හදුනාගන්න පුලුවන්...

      Delete
  18. සරල බව ජීවිතය කරගත් අව්‍යාජ චරිතයක්. සැබැවින්ම දරුවන්ට ආදරේ කරන කෙනෙක්. ලෝකේ කොච්චර වෙනස් උනත් නොවෙනස් චරිතයක්.
    නියම ලිපියක් සිරා....

    ReplyDelete
    Replies
    1. කාමරයට සාදරයෙන් පිළිගන්නවා...

      මේ වගේ චරිත තවමත් සංකීර්ණ සමාජයක් තුල වෙසෙන බව ඇසීමට ලැබීමත් සතුටක්... ඒ අයගෙ ජීවන අත්දැකීම් අහද්දි සිතට දැනෙන සිතුවිලි බොහොම සුන්දරයි...

      ස්තූතියි !

      Delete
  19. සිරා උඹටත් සිරා මිනිස්සුනේ බං හම්බෙන්නෙ. ඇත්තෙන්ම වයසට ගියත් හිතින් තරුණ මිනිස්සු තවමත් ඉන්නව අපේ රටේ. දැන් කාලෙ හැදෙන උන්ට කිලෝමීටර් දෙකක් එහා තියෙන ටවුමට යන්න බයිසිකලයක් පැදගන්න බෑනේ. සමහර විට ඒ මිනිස්සු තරුණ කාලෙ අතපය මහන්සිකරල වැඩකරපු නිසා, වස විෂ නැති ගමේ හැදුනු දේවල් ආහාරයට එකතු කරගතිපු නිසා ඒ ශක්තියෙන් තමයි අදත් වැඩකරනව ඇත්තෙ. ඒ අතින් බැලුවම බං අපි මොක්කුද, අවුරුදු පනහ පනින කොට පැත්ත දාල වැටෙයි. එච්චරවත් ඉඳීද මන්දා.

    ReplyDelete
    Replies
    1. හැමදේම ක්ෂණික වෙච්ච ලෝකෙක පුද්ගල ආයුෂත් වෛද්‍ය විද්‍යාත්මකව දිගු වෙලා කියලා කිව්වට... එදා අහන්නවත් ලැබුනෙ නැති නොයෙක් ලෙඩ රෝග දැන් ඉතා සුලභ වෙලා... ලෙඩක් නැති මිනිස්සු කී දෙනාද අප අතර ඉන්නෙ... ඒ අතින් මුතුබණ්ඩා සීයා බොහොම වාසනාවන්තයි.. පැරැන්නො තමන්ට අවශ්‍ය කැම බිම තමන් විසින්ම නිපදවා ගත් අය නිසාම.. ශරීර සෞඛ්‍ය වගේම මානසික සහනයත් හොදින් වින්දා...

      සෝස්/ඩෙවල්/ෆ්‍ර‍යිඩ් මැද ජීවත් වෙන වර්තමාන පරපුර අවුරුදු හැටක් ජීවත් වුනොත් ලොකු දෙයක්...

      Delete
  20. අන්න මිනිස්සු.... ඇඩෙනවා නෙහ්

    ඒ සීයට - සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි රජෝ බොලාගෙ ප්‍රාර්ථනාවට...

      Delete
  21. මේ ලිපියට නම් බොහොම ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නලින් අයියා...

      Delete
  22. ලෑලි දොරට අදනං ඔන්න තඩි බෑවේ නෑ....
    සිරාවට ඔය තරමට සරල වෙන්න මටත් ලොකු ඕනකමක්නං තීනවා..
    බලමු තව අවුරුදු දෙකකිං විතර..

    ReplyDelete
    Replies
    1. ලෑලි දොර අද ඇරලා තිබ්බෙ වේලාහන ඉදන්... ඒක හින්දා වෙන්න ඇති...

      අවුරුදු දෙක තුනක් යන්න දෙන්න එපා මලේ දැන්ම උත්සාහ කරලා බලන්න... ව්‍යායාම කරන්න ඔය වගේ කල් මරපු හින්දම තමා... සිරාගෙ බඩ ගෙඩියත් ඉස්සරහට ඇවිල්ලා තියෙන්නෙ...

      Delete
  23. අපි නම් 50 පනිනකොට එලොව තමා.. මේ සෙල්ලම් හිතන්නවත් බෑ

    ReplyDelete
    Replies
    1. 50 පනිනකොට යටියන්තොට යයි කියලා හිතෙනවා නම්.. ව්‍යායාම ටිකක් හෙම කරලා පහසුවෙන් ජීරණය වෙන සෞඛ්‍ය සම්පන්න ආහාර නිතර ගන්න... එතකොට මී ගොඩයා සෙන්චරියක් දානවා ෂුවර්...

      Delete
  24. මුතුබණ්ඩා මහත්මයට දීර්ඝායුෂ ලැබෙන්න කියල පතනවා...සිරාගේ කාමරේත් සෙනඟ උතුරන්න ඔ‍නේ
    මේ වාගේ උතුම් පෝස්ට් දානවාට

    ReplyDelete
    Replies
    1. ඔබේ යහපත් ප්‍රාර්ථනාවට බොහොම ස්තූතියි... ආයෙත් දවසක එන්න මේ පැත්තට...

      Delete
  25. ලස්සන ලිපියක්....ඒ තරම් වයසට ගියත් හිතේ ශක්තිය ගැන දැන් ඉන්න කොල්ලන්ට ආදර්ශයක් වෙයි....

    ඇග වෙහෙසල වැඩ නොකරන තාක්ෂණයටම ජීවිතේ දියකරපු සිංහල කොල්ලන්ටනම් ආදර්ශයක්...

    හැමදාම වගේ සිරා ලිපියක්

    ජයම වේවා...

    ReplyDelete
    Replies
    1. මුතුබණ්ඩා සීයාට දීර්ඝායුෂ ලැබෙන්න කියල මමත් පතනවා...

      Delete
    2. ඇග වෙහෙසලා වැඩ කිරීම වගේම අසහනයෙන් තොර මානසික තත්වයත් දීර්ඝායුෂ විදින්නට හේතු සාධක වෙනවා... සිත්තමීගේ අහිංසක ප්‍රාර්ථනාවට මමත් එකතු වෙනවා... ජය !

      Delete
  26. සිරාගේ සිරා පොරක් ගැන විස්තරයක්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ලොකු ජෝන් අයියා....ජයම වෙන්න ඕනෙ...

      Delete
  27. ලෑලි දොරට තට්ටුවක් දාලා අපියිත් මෙපැතතට ආවෝ
    නියම ලිපියක්

    ReplyDelete
    Replies
    1. හොදා හොදා... ඔය තියෙන පුටු කබලක ඈදි අරගෙන බෙලිමල් කෝප්පයක් හෙම සප්පායම් වෙලා යන්න බැරියැ...

      කොමෙන්ටුවට ස්තූතියි මලේ... ආයෙමත් දවසක එන්න හොදා...

      Delete
  28. දහිරිය සම්පන්න නියම මිනිසෙක්...

    ජය...

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත බණ්ඩො... ජය !

      Delete
  29. සිරෝ, මේක සති අන්ත පත්තරේකට ලිව්වොත් නරකද?

    ඔන්න මගේ අඟල් හයක් බස්සනවා ලිපියේ දෙවැනි කොටසේදී ඔයා අර ස්නයිපර් ලිපියේදී ඉල්ලලා තිබුන රම්බෝ පිහියත් එලියට එනවා.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. සති අන්ත පත්තර අද දුවන රේස් එක දැක්කම මේ වගේ ප්‍ර‍වෘත්තියක් ඒ අයට වැදගත් වෙයිද කියලත් හිතෙනවා... ඇසට නොපෙනෙන භූතයො/දේව හාස්කම්/මිනීමැරුම් ඕවානෙ නැගලම යන ලිපි... එහෙම අවස්ථාවක් ආවොත් ලියනවා...

      රම්බෝ පිහිය ගැන ලිව්වාට ස්තූතියි... ඒ පැත්තට අනිවාර්යෙන් එනවා නොවැ ඔබේ හරබර ලිපි කියවන්න... ජයම වේවා !

      Delete
  30. මොනව උනත් ආශාවල් පොදි බැඳගෙන නැති සැහැල්ලු ජීවිතයක් ගෙවන සීයා කෙනෙක් කියල ඡායාරූපයෙන්ම පෙනවා. අනවශ්‍ය උවමනා එපාකම් නැති, බැඳීම් ගැලීම් නැති ජීවිතේ හුඟාක් සරළයි, මානසික අතින් තෘප්තිමත්.

    මේ වගේ මාතෘකා පිළිඹඳව නිතර කතා කරන සිරාටත් ජය.

    ReplyDelete
    Replies
    1. මම සුරංගනා ලෝකෙක ජීවත් නොවෙන කෙනෙක් නිසා මට දැනෙන දේ ලියන්න කැමතියි... ඒ කථා බහ කියවලා කොමෙන්ටුවක් දාන්න තරම් නිහතමානී වීම පිළිබද ස්තූතියි...

      එපා පොදි බදින්නට කිසිදු දේ - මැරෙනවා අපි මැරෙනවා....

      Delete
  31. ලස්සනට උඹ අකුරු කරලා තියනවා කතාව..!!
    හිතේ දහිරිය තියන අපූරු මනුස්සයෙක්...!! මොනවා කියන්නද කියල හිතා ගන්න බෑ.. සීයාට දීර්ඝායුෂ ලැබෙන්න කියල මමත් ප්‍රාර්ථනා කරනවා..!!

    මම
    මයික්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මයික් අටෝරාසියක් වැඩ අස්සෙ දුර රටක ඉදගෙන හැමදාමත් මාව දිරිපත් කරනවාට... ඔබේ ප්‍රාර්ථනාව යථාර්තයක්ම වේවා !

      Delete
  32. මෙන්න මචං සිරා මිනිස්සු!!! හර්මන් ලූස් පැත්තේ යද්දී වගේ නේද මේ අපූරු සිද්ධිය වෙලා තියෙන්නේ....?

    ReplyDelete
    Replies
    1. හරියටම හරි නාඩියා... බොලත් කැඩෙට් කරුවෙක් නිසා විස්තරේ දන්නවා නොවැ... හර්මන් ලූස් තමා...

      Delete
  33. ගොඩක් වයසක මිනිස්සු හරි දෛර්මත්
    අපිත් උත්සහා කරමු වයසට යද්දී හොඳ විදියට ඉන්න.

    ReplyDelete
    Replies
    1. ඒ ධෛර්යමත් භාවයට අමතරව ඒ අය හරිම සුහදයි... පළමු වර අදුනගත්තත් කාලයක ඉදන් හදුනන විදියට තමයි කථා කරන්නෙ... ඔය පුරුදු අපේ කිරි අම්මටත් තිබුනා... පැරණි සමාජයේ ඒ ගති ලක්ෂණ ඒ ඇත්තො ලොවෙන් තුරන් වෙන දවසක නැතුව යාවි... සංකීර්ණ සමාජයක මෙවැනි ගති ලක්ෂණ වලට පැවැත්මක් නෑ...

      Delete
  34. අදහන්න ඕන මිනිස්සු බං..!
    අපේ ගම් වල තාම ඔය වගේ චරිත කලාතුරකින් තාම ඉන්නව.

    ReplyDelete
    Replies
    1. මම දන්නෙ නෑ... මට කොහෙ ගියත් ඔය වගේ චරිතයක් හමුවුනොත් පුදුමාකාර සමීප බවක් දැනෙනවා... ඒ මේ වගේ ගතිගුණ වලට මම ප්‍රිය කරන නිසා වෙන්න ඇති...

      Delete
  35. මට නම් දුකත් හිතුනා සිරා අය්යෙ..., ඒත් සීයා නම් සිරා මනුස්සයෙක්

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත මලයා... ජීවිතය ජීවත් කරන්න වෙර දරන ගමන් දරු සෙනෙහෙටත් ඉඩක් වෙන් කරලා... සංවේදී පියතුමෙක්...

      Delete
  36. සිරා, උඹ නමටම ගැලපෙන ලිපියක් ලියලා තියෙන්නෙ.
    සිරා මිනිහෙක් ගැන, සිරා බ්ලොග් කරුවෙක් ලියපු සිරා සටහනක්.
    උඹට ජය!

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. ස්තූතියි හෙන්රි අයියා... හැමදාම මට දැනෙන දේ තමයි මම අනිත් අයත් එක්ක බෙදා ගන්න උත්සාහ කරන්නෙ... ඒ නිසා වෙන්න ඕනෙ ඔබ සිරා බ්ලොග්කරුවෙක් ලෙස මා හැදින්වූයෙ... ජය !

      Delete
  37. බොහෝම සැහැල්ලු මනසකින් තම මම ලිපිය කියෙව්වේ. දැන් මට හිතෙනවා ඒ සියට කොච්චර සුන්දර ළමා කාලයක් තියෙන්න ඇතිද කියල. එයාගෙ කලේ කොච්චර ලස්සන ගැමි ජීවන රටාවක් තියෙන්න ඇත්ද, මම ගොඩාක් අසයි ඒ වගේ සරල ජීවිතයක් ගෙවන්න. මේ අධ්‍යාපන තරගය නිසා මහා එපා කරපු කම්මැලි ජීවිතයක් මට තියන්නේ. අඩුම ගැනේ චාරිකාවක් වත් යන්න අවස්ථාවක් එන්නේ නෑ.අයියෝ 1920 ගණන් වල ඉපදුනානම්.....

    ReplyDelete
    Replies
    1. ඔය ආශාවන් ඔය විදියටම මටත් තියෙනවා...පරණ චිත්‍ර‍පටි දර්ශන දකිනකොට, පරණ වාහන පදින්න, සංකීර්ණ නැති එකල ජන ජීවිතය විදින්න තිබ්බා නම් කියලා හිතෙනවා...

      Delete
  38. දුර්ලබ මිනිසෙක්..

    ReplyDelete
    Replies
    1. ඔබ සමග මමත් එකග වෙමි...

      Delete
  39. සැබවින්ම සැබෑ මිනිසෙක්.. ගරු කලයුතු පියෙක් වගේම මිනිසුන් අතරේ උතුම් මිනිසෙක්.. මේ කතාව ගෙන ආඅ ඔබට බොහෝ පින්.. තෘප්තිමත් ජීවිතයක් කියන්නේ මෙන්න මේ ජීවිතයටයි.. ලෝකය යන පැත්තට වේගයෙන් යන අපි කවදාවත් නොලබන නොවිඳින තෘප්තිමත් භාවයේ සතුට ඔහුට හිමියි.. ඒ සතුටෙන් බිඳක් අපේ හිත්වලටත් කාන්දුකලා ඔබ.. .

    ReplyDelete
    Replies
    1. මුදල් වලින් පමණක් කිසිදා තෘප්තිමත් විය නොහැකි බව ඔහු පසක් කර තිබෙනවා... ජීවිතයේ තෘප්තිය කියන්නෙ අධ්‍යාත්මික හැගීමක් මුදලට ගත නොහැකි...

      Delete
  40. මොනවා කලත් අසන්තෘප්ත අපේ ජිවිත වල වටිනාකමක් නැත.

    ReplyDelete
    Replies
    1. එහෙත් අසංතෘප්ත අපේ ජීවිත අපට අවශ්‍ය නම් වෙනස් කල හැකියි...

      Delete
  41. කියල වැඩක් නැහැ සිරා මට සිරාවට ඇඳෙන්න ආවා. ඇත්තටම අන්න සුපිරි මිනිස්සු. කියල වැඩක් නැහැ. සිරාටත් බොහොම ස්තූතියි මේ කටහ්ව අපට ගෙනාවට

    ReplyDelete
    Replies
    1. මේ කටහ්ව කියවලා කොමෙන්ටුවක් දාගෙන ගියාට ස්තූතියි... ඇදෙන්න ආවට අඩන්න එපා....ඒක බොලාගෙ පට්ටමට හොද නෑ...

      Delete
    2. යකෝ නොන්ඩි දාන්න එපා. කතාව කියන එකේ අකුරු පැටලිලා එහෙම වැදිලා තියෙන්නේ. මොන පට්ටම්ද සිරා.. මනුස්සකම තමයි මං දන්නා විදියට ලොකුම පට්ටම.

      Delete
    3. මම හිතුවෙ බොලා හිතලාම එහෙම දාලා කියලා ඒකයි එහෙම කිව්වෙ... සිරා ළග නෑ නොවැ ඔය නෝන්ඩි....බෙලිමල් කෝප්පයක් බොමුද ?

      Delete
    4. අනේ නෑ සිරෝ. මගේ සිංහල දැනුම එච්චර හොඳ මදියි. අනෙක හදිස්සියේ ටයිප් කරන කොට ඔය වගේ මිස්ටේක් වෙනවා හම්මපා බෙලිමල් කෝප්පයක් බිව්වා කාලයක් මතක නැහැ. බොමු බොමු කිතුල් හකුරු කෑල්ලක් එක්කල ගන්ටකෝ බලන්න :)

      Delete
  42. සරල සුන්දර, ධෛර්‍ය වන්ත මනුස්සයෙක්!!!! ඇත්තටම පුදුම අහිංසකකමක් පේනවා!!! දීර්ඝායුෂ පතනවා ඒ සීයාට!!!

    ReplyDelete
    Replies
    1. හිතුවක්කාරි කාලෙකින් මේ පැත්තෙ.... ඔබට පෙනෙන ඔය අහිංසක කම එදා අපිත් දැක්කා... ඒක හරිම සංවේදියි...

      Delete
  43. මාරම විදිහට හිතට දැනුන පෝස්ට් එකක්..හරිම අපූරු මනුස්සයෙක්!
    ඔබ හිතට මාර සංවේදී වෙන්න ලියල තියනවා සහෝ..
    ජය!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි හිරු ඔබේ කොමෙන්ටුවට... නිතර කාමරයට යනෙන ඔබ වැනි අයගෙ දිරිගැන්වීම් තමා මට තියන සවිය... ස්තූතියි... ඔබටත් ජය !

      Delete
  44. කියන්න තියෙන්නේ වචන 3යි.. "හදවතක් තියන මනුස්සයෙක්"

    ReplyDelete
    Replies
    1. ඔබේ අදහසට මමත් එකගයි... ඇයි දැන් ඔබේ බ්ලොගියෙ අලුත් පෝස්ටු පල වෙන්නෙ නැත්තෙ ?

      Delete
  45. සිරා මල්ලි කතාව නම් මරු.නියම අව්යාජ සරල මනුස්සයෙක් කියල මුහුනෙන් පේනව.ඒ අතින් අපිට වඩා කොච්චර ඉස්සරහින් ඒ මිනිස්සු ඉන්නවද නේද?දිගටම ලියන්න ඔබට ජය. ඉන්දික

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අයියා... ඔබේ ප්‍ර‍තිචාර මට ඉමහත් සවියක්... දිගටම කාමරේට එන්න... ජය!

      Delete
  46. මමත් ඔය කිට්ටුවම ඉස්කොලෙක මලේ ඉගෙන ගත්තෙ.මටත් උබහෑගෙ ඉස්කෝලෙ ගෑන පොඩි අත්දෑකීම් තියනව.දෑන් අපි නාකිනෙ බොලන් මම 95 A/L.-......ඉන්දික සෞදියෙන්

    ReplyDelete
    Replies
    1. හදුනාගැනීමට ලැබීම පිළිබද සතුටුයි... අ.පො.ස උ/පෙ කලේ 95 නම් ඉතිං නාකියි තමා... හික් හික්...

      Delete
  47. ඔය වගේ චරිත ලංකාව පුරාම ඉන්නවා. ඒ තමයි නියම මිනිස්සු සහ විශිෂ්ට චරිත. අපේ ගේ ළගම එවැනි කෙනෙක් හිටියා. අපි "මාටිං ආතා" කියලා ඔහු අවුරුදු 96ක් වනතුරු තනියම ජීවත් වුනා. රස්සාවට කළේ කුරුදු තලන එක. හොදට කෑවා හොදට බිව්වා. කාටවත් බරක් වුනේ නෑ.
    මමත් තෝරාගන්නෙ ඒ මගමයි.(හැකි ඉක්මනින්)

    ReplyDelete
    Replies
    1. අනේ වාසනාවන්... අහන්නත් සතුටුයි... සුමිත් අයියා තවමත් අවිවාහකද ?

      Delete
  48. ඒ මහලු පියාට නිදුක් නිරෝගී සුවයම ලැබෙවා..

    ReplyDelete
    Replies
    1. මගෙත් ඒ පැතුමම තමයි තියෙන්නෙ... ස්තූතියි කුෂී මේ පැත්තට ආවට....

      Delete
  49. සැබෑම නිර්ව්‍යාජ සරල ජීවිතයක් ... අපිට මේ වගේ ජීවිත හීනයක් වේවි.
    සිරා එල පොස්ටුවක්.

    මේ නැවත දිණයක කියන ඒක දිනයක කියල හදපන් ... සෙන්නා දැකල නැතිව ඇති ...:D

    ReplyDelete
    Replies
    1. කාලෙකට පස්සෙ නොවැ කාමරේට ආවෙ... ඇත්ත අද තියෙන හැල්මෙ දුවන සමාජ ක්‍ර‍මයත් එක්ක අපිත් දිව්වෙ නැත්නම් අපි පරාදයි... ඒත් නිවී හැනහිල්ලේ නැවතිලා බලපු දවසක හිතේවි දිව්ව දිවිල්ල කිසිම මානසික සහනයක් දිලා නෑ කියලා....

      දිනය ඔන්න නිවැරදි කොලා.... ස්තුතියි ....

      Delete
  50. හරිම සරළ ජීවිත... අපි හැමදාම සල්ලි හම්බ කර කර ඒවා පස්සෙ දුවනවා, පරෙස්සම් කරනවා. කිසි නිදහසක් නෑ.... ඒ නිදහස අපේ ජීවිත වල නෑනෙ.... සරළ සුන්දර මිනිසෙක් ගැන සිරා ලියපු සිරාම පෝස්ට් එකක්....

    ReplyDelete
    Replies
    1. සීයට දීර්ඝායුෂ පතනවා......

      Delete
    2. ස්තූතියි ජිනේ... ඔබේ පැතුම් යථාර්ථයක්ම වේවා !

      Delete
  51. හැමදාම දුවන මේ රේස් එකෙන් මිදිල ඒ වගේ ජීවිතයක් ගතකරන්න තියනව නම් කොච්චර ශෝක්ද ?

    ReplyDelete
    Replies
    1. කාමරයට සාදරයෙන් පිළිගන්නවා...

      එහෙනම් හිතට ලොකු සැහැල්ලුවක් දැනේවි.... පොළොවෙ පය ගහලා ජීවත් වෙන බව, වටපිටාව,ගහකොළ වෙනදට වඩා ලස්සනයි කියලා හිතේවි....

      Delete
  52. සිරාවටම මචන් මේ මිනිස්සුන්ට තමයි සිරාම මිනිස්සු කියන්නේ මචන් සිරා, ඒ සීයාට දීර්ඝායුෂ ප්‍රර්ථනා කරනවා.

    ReplyDelete
  53. Replies
    1. ඔබේ වදන් වලටත් ස්තූතියි ඇපල්...

      Delete
  54. උගත්කම කරපින්නාගන ඉංග්‍රීසි තෙපලන සමාජයක වැඩිහිටියන් ලෙස පිදුම් කරන්නට මෙන්න අපුරු මිනිස්සු. අවිහිංසක අව්‍යාජ සිනාවක් තියන සරල සුන්දර මිනිසෙක්. කතා කල ටිකේ කාලය යනවා දැනෙන්න නැතුව ඇති නේද?

    ReplyDelete
  55. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. මචං, උඹ මගේ පොස්ට් එකේ කමෙන්ට් එකක සඳහන් කලේ මාලී ගැන. එතැන උඹට පණිවිඩයක් තියනවා. පොඩ්ඩක් බලපන් ගිහින්.

      Delete
  56. තමන්ට නැති දේ ගැන හිතමින් කම්පා වෙනවාට වඩා ලද දෙයින් සතුටු වෙලා තමන්ගේ පාඩුවේ සරලව ජීවත් වෙන මේ වගේ මිනිස්සු බෝසත්වරු

    ReplyDelete
    Replies
    1. ඇත්තටම....ඒ අයට මහා දේවල් නැති උනාට අවශ්‍යතාවයන් සීමිත නිසා...බොහොම සතුටෙන් ජීවත් වෙනවා...

      Delete
  57. වටින කතාවක් සිරෝ සිරාවටම.............................

    ReplyDelete

සිරාගෙ කාමරයට පැමිණියාට ස්තූතියි...

නැවත දිනයක ආයෙත් එන්න..... ඔබට ජය !

Related Posts Plugin for WordPress, Blogger...