Monday, October 31, 2016

49 මොරිස් මයිනරය සහ Vibration

සිරා කොලුවාගේ බෑන්ඩ් කෙරුවාව ගැන බොහෝ තතු කාමරයට යන එන ඇත්තෝ සෑහෙන කාලයක සිට කියවති. පාසල් සමයේ මුලු හදින්ම පෙම්බැදි තූර්ය වාදක ඛණ්ඩ ඉතිහාසයත්, ඒ තුල විඳින්නට ලැබුන දුක්ඛ දෝමනස්සයන් මෙන්ම කම්කටොළුද නැවතිල්ලේ මෙනෙහි කරන වර්තමාන දවසක සිතට දැනෙන්නේ කදිම ප්‍ර‍හර්ශයකි. එදා සිරා කොලුවාගේ සම වයසේ සිටි අයිය බඩා, ජපන් චමියා, කිඩා වැනි උන් සමග කල මහත් කැපකිරීම් වල ප්‍ර‍තිඵලය ලෙස තවමත් අප විද්‍යාලයේ බටහිර තූර්ය වාදක ඛණ්ඩය යෙහෙන් වැජඹෙයි.

2003 වසරේ දවසක එවකට කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කල, දැන් කැන්ගරු දේශයේ වෙසෙන මංජු මලයා ප්‍ර‍සිද්ධ කලාකරුවන් කීප දෙනෙකු සමග සංගීත ප්‍ර‍සංගයක් පැවැත්වීමට සැලසුම් කලේ අපගේ බෑන්ඩ් ඉතිහාසයේ නවමු පියවරක් තබමිනි. ඒ සඳහා මංජු මලයා සහ පිරිවර තැබූ නාමය Vibration 2003 වූවේය. එතැන් පටන් වාර්ෂිකව පැවැත්වූ මේ ප්‍ර‍සංගය තෙවැනි වරටත් පවත්වන්නට කටයුතු යෙදිනි.

ඒ වන විට කණ්ඩායමේ ආදි ශිෂ්‍යයන් ලෙස කල දවස ගෙවූ සිරා කොලුවා ඇතුලු ආදි සාමාජිකයන්ගෙන් එවකට කණ්ඩායමේ සිටි සාමාජිකයන් Vibration 2006 ප්‍ර‍සංගය සඳහා උපරිම සහයෝගය බලාපොරොත්තු වන බව පැවසූයෙන් අප සියල්ලෝම මේ නව අත්දැකීම විඳගන්නට එක් වූයේ ඉතාම සතුටිනි.

ප්‍රවේශපත්‍ර‍ නිකුත් කොට, විද්‍යාලයට පරිභාහිර ප්‍රේක්ෂක සමූහයක් ඉදිරියේ පැවැත්වෙන ප්‍ර‍සංගයක් නිසා පුහුණුවීම් වෙත යොදවා තිබූ අධික බර තැබීම හේතුවෙන් ප්‍ර‍සංගයේ සංවිධාන කටයුතු සහ තවත් අටෝරාශියක් වැඩ කටයුතු ආදි සිසුන් වෙත පවරාගෙන ප්‍ර‍සංගයට වාදනයෙන් දායක වන පිරිස ඒ වගකීම් වලින් නිදහස් කිරීමට අපි තීරණය කළෙමු. සිරාගේ කාමරයේ අද කථාව ඇරඹෙන්නේ එතැනිනි.

පරණ උන් ටික තිතට ගේම ගහන්න ඕනෙ...දැන් ඉන්න කොල්ලො ටිකට බරක් නොවැටෙන්න. ඔය ගැන අපි කථා කරමු පොඩි මීටිමක් දාලා. හැමෝම වරෙල්ලා. ලොකු අයියා එවකට සේවය කල පරිගණක අධ්‍යාපනය සම්බන්ධ ආයතනයේ කාර්යාල භූමියේම අපි අපේ පළමු රැස්වීම පැවැත්වූවෙමු.

මේකෙ ලයිටින්ද, සවුන්ඩ්ස්ද, අරවද මේවද උපරිමයෙන් තියෙන්න ඕනෙ. මේක අපි ලයිව් රෙකෝඩ් කරලා ටීවී චැනල් එකක ගහමු අනුග්‍රාහකයෙක් හොයාගෙන. අපිට ඕනෙ නම් රොකෝඩින් එක සීඩී එකකට ගහලා විකුනන්නත් පුලුවන්.

ලොකු අයියා රැස්වීමේදී මහා පරිමාණ සැලසුමක් හෙළි කලද , අනෙකුත් උන් ඒ ඉලක්ක වෙත යාමට සහයෝගය දෙන බැව් කීවද අවසානයේ මේ මහා වගකීම් ගන්නට කිසිවෙකු නොපැමිණෙන බව අපේ අක්මා වලට දැනෙයි.

ඕකුන් එකෙක්වත් ඔය කිසිම දෙයක් කරන්න එන්නෙ නෑ බං. අපි දෙන්නා ගේම ගහමු. ජපන් චමියාත්, අයිය බඩාත් මමත් ඉතාම සමීප උන්ය. අයිය බඩා නාවික හමුදා තූර්ය වාදක රාජකාරි නිසා මේ කාරියට එන්නේ නැත.

කරන්න තියෙන දේවල් ටික බෙදාගෙන කරමු. අතේ ලොකු ගානක් නැති නිසා ලැබෙන සල්ලි පරිස්සමට වියදම් කරගෙන යං. මුලින්ම ආටිස්ට්ලට කථා කරලා ඒ අයව බුක් කරගමු. ඊට පස්සෙ ලයිටින් සවුන්ඩ්ස් ටික බලලා ඊට පස්සෙ යමු පෝස්ටර් බැනර් කටවුට් වලට.

රොඩ්නියයි, ඇන්ටයි දෙන්නම මගෙ යාලුවො බං..ඕනෙනම් මම උන් දෙන්නව අඩුවට සෙට් කරන්නං. ආදි සිසු ආම්ස්ට්‍රෝන් පෙර දවසක කිව් කථාව මට සැනින් මතක් විය.

අපි ආටිස්ට් වැඩේ ආමට දෙමු. ඌ තිතට වැඩේ දෙයි. චමියාද එයට විරුද්ධ නැත.

සතියක් දෙකක් ගත වන තැන මූලික කටයුතු නිම වී තිබුනි. නගරාධිපතිතුමාගේ අනුග්‍ර‍හය නිසා කටවුට් වලට නගර සභාවෙන් බදු මුදලක් අය කලේ නැත. ප්‍ර‍සංගය යෙදී තිබූ දිනය වන විට තම ශිෂ්‍ය ප්‍ර‍ජාවගේ දක්ෂතා මතින් තම කීර්ති නාමය දිදුලන බව දැන සිටි අපගේ බෑන්ඩ් මාස්ටර් හැකි සෑම විටෙකම පුහුණුවීම් සිදු කලේය. සිසුන්ගේ අධ්‍යාපන කටයුතු වලට සිදුවන බාධා අවම වන පරිදි යොදාගත් රාත්‍රී කාලයේ පුහුණුවීම්  සුලභ විය.

එකල මාස්ටර් විසින් භාවිතා කල ලා කොල පැහැති මොරිස් මයිනර් 1000 රථය ඒ සෑම රාත්‍රියකම ප්‍ර‍ධාන ශාලාව ආසන්නයේ නවතා තිබුනි. එහි ඉදිරි එක් දොරක් අගුලු දැමිය නොහැකි බවත්, මාස්ටර් බොහෝ විට රථයේ යතුර රැගෙන නොයන බවත් ඒ වන විට අපි අත්දැකීමෙන් දැන සිටියෙමු.

ප්‍ර‍සංගයේ වැඩ රාජකාරීන් අස්සේ මාස්ටර්ගේ රථය ඔහුට හොරා අපි සිත් සේ ධාවනය කළෙමු. රිය ධාවනයට හැකියාව තිබූ හැම එකාගෙම අතින් අතට මොරිස් මයිනරය මාරු වෙයි. ඇති පදම් මයිනරය එලවූ පසු හොඳ ළමයින් මෙන් මාස්ටර් නතර කල තැනම රථය නැවතත් නතර වෙයි.

සංවිධාන වැඩ කටයුතු වලට අත තිබූ මුදල් ඉතාම සීමිත වූ නිසාම අපි බොහෝ විට දන්නා අඳුනන අයගෙන් සහයෝගය පැතුවෙමු. ආනන්ද අයියාද එවැන්නෙකි. ඔහුගේ නිවසේ තිබූ කුඩා පහේ ලොරි බට්ටෙක් සිය මෑණියන්ට හොරෙන් රැගෙන විත් හෙතෙම බොහෝ විට අපේ කටයුතු වලට සහයෝගය දුන්නේ ඔහු බෑන්ඩ් කෙරුවාවට දායක වී නොමැති වුවද විදුහලේ ආදි සිසුවෙකු වූ අරුමය නිසාමය.

එක් දිනක් රාත්‍රියේ ගම්පහ නගර සීමාවේ කටවුට් බැනර් එල්ලන්නට යොදාගෙන සිටියෙමු. එහෙත් ගිවිසගත් වේලාව සෑහෙන්න පසු වී තිබුනත් ආනන්දයා නැත. ඒකාගේ ජංගම දුරබණුවද වැඩ නැත. සැකයක් නැත. ආනන්දයා සිය මෑණියන්ගෙන් ලුණු ඇඹුල් සහිතව අසා ගත් දිනයක් විය යුතුය. ඒ අතර තුර පුහුණුවීම් නිමකොට බෑන්ඩ් මාස්ටර් අප හට සම්මුඛ වෙයි.

උඹලා තවම ගියෙ නැද්ද බං...සෑර් විමසයි...

යන්න වාහනයක් නෑ සෑර්...ආනන්දයා ආවෙ නෑ...

ඉනිමගක් එහෙම තියෙනවද බැනර් එල්ලන්න...මාස්ටර් නැවතත් විමසයි.

ඔව් සෑර්....

එහෙනම් ඉනිමග කාර් එක උඩ තියාගෙන යමල්ලා මේකෙ...

සෑර් රථයේ රියදුරු අසුනේ වාඩි වන විට අවට සිටි බහුතරයද රථය තුලට රිංගන්නට මාන බැලූහ.

එහි ප්‍ර‍තිඵලය ලෙස රථය තුල සිටි පිරිස 7 කි. බොනට්ටුව දෙපසට වී ඉනිමග අල්ලාගෙන යන්නට තවත් දෙදෙනෙකි. ඩිකිය තුල තවත් දෙදෙනෙකි. එවිට සමස්ත මගීන් ගනන රියදුරු සමග 11 කි.

මේ මහා වන්දනා නඩයද සමග ඉඹි ගමනින් ඉදිරියට ඇදුන මොරිස් මයිනරය තැන් තැන් වල නතර වන්නේ ඒ ස්ථාන වල කටවුට් එල්ලීම උදෙසාය. එවන් විටෙක ගම්පහ පොලෝසියේ මුර සංචාරක ජීප් රථයක් අපට සම්මුඛ වූවේය. ගම්පහ පොලෝසියේ වාර්ෂික පරීක්ෂණ සඳහා කාලයක සිට තූර්ය වාදක සහයෝගය ලබා දුන් නිසා ඔව්හු අප කණ්ඩායම සමග මෙන්ම මාස්ටර් සමගද ඉතා හිතවත් ඇත්තෝ වූහ.

ආ..මාස්ටර්...අපි දන්නෙත් නෑනෙ මාස්ටර් ලොරියක් ගත්තා කියලා.

මොන ලොරිද කොල්ලො...මේ අපේ උන්ට බැනර් කෑලි ටික එල්ලගන්න වාහනයක් නෑ කියලා අටෝගෙන ඉද්දි කඩාවැටුනත් කමක් නෑ කියලා මේ කාර් එකට පටවගෙන ආවෙ.

ඒ රාත්‍රියේ අපගේ මාස්ටර් කෙරෙහි නූපන් මහා භක්තියක්..මේ ලියමන ලියනා මේ රාත්‍රියේ මගේ සිතේ උපදින්නේ මා එදාට වඩා අද වයසින් මුහුකුරාගොස් සිටින නිසා විය යුතුය. එදා ඔහු අප වෙනුවෙන් කල කැපකිරීම් වර්තමානයේ වඩ වඩාත් දැනෙන නිසා විය යුතුය.

එවකට අපගේ බෑන්ඩ් මාස්ටර්  ප්‍රේමසිරි ගම්හේවා මැතිඳුන්
 අපේ එකෙකුගේ විවාහ මංගල අවස්ථාවකදී සිය සැක්සෆෝනය වාදනය කරන අතරතුර.
දිවි මගේ 82 වන විය ඉක්මවා සිටියත් වෙඩිම අපේ එකෙකුගේ නම් අපේ මාස්ටර් අදටත් මෙලෙස වයයි.

අතුරු ආපදාවකින් තොරව ගම්පහ නගර සීමාවේ කටවුට් සහ බැනර් එල්ලාගන්නට මාස්ටර්ගෙන් ලැබුන සහයෝගය පිළිබඳ කියන්නට වදන් නැත.

ප්‍ර‍සංගයට තවත් ඇත්තේ සති දෙකකි. ඒ වන විටත් කලාකරුවන්ගේ නම් රැගත් පෝස්ටරය වාර කීපයකදීම ගම්පහ නගරය පුරා ඇළවී තිබුනි. කලාකරුවන් සම්බන්ධීකරණය ආම්ස්ට්‍රෝන් විසින් බාරගෙන තිබූ නිසා මමත් චමියාත් කිසි විටෙක ඔවුන් අමතන්නට උත්සාහ නොකලෙමු.

මචං ආමා සමහර වෙලාවට බුල කෙලිනවා. කෝකටත් කියලා ආටිස්ට්ලට කථා කරලා බලමු...මම සැනෙකින් ඇන්ටන් ජූඩ් හිතවතාගේ ජංගම දුරබණුවේ අංකය සොයා ඇමතූවෙමි...

කවුද ?

අපි මේ ගම්පහ ඉස්කෝලෙන්...අපේ සංගීතෙට දිනය මතකයි නේද ජූඩ් අයියා ?

මොන සංගීතයක්ද ?

ඇයි කිව්වෙ නැද්ද ?

කවුරුවත් මට කිව්වෙ නෑ එහෙම සංගීතයක් ගැන....

මාර වැඩේනෙ...අපි පෝස්ටරුත් ගහලා ඉවරයිනෙ...

එහෙම කොහොමද මගේ නම දාලා පෝස්ටර් ගහන්නෙ මම දන්නෙත් නෑනෙ...ජූඩ් අයියාට මල උපරිමේටම පැන ඇත. සමහර දවසක ආමා වැඩක් කළොත් හත් පොලේ ගාගන්නා වග අපට අමතක වූ අරුමය සිහිපත් කරමින් මම ජූඩ් අයියාට යාප්පුවෙන් කථා කළෙමි.

එහෙම කියන්න එපා ජූඩ් අයියා..ඔයා නාවොත් අපි අනාථ වෙනවා...

කවදද මල්ලි ඔය කියන දිනේ...

ජනවාරි මාසෙ ..... දවසෙ...

මට එන්න විදියක් නෑ.....එදා හැන්දෑවට හෙන්රි ජයසේන මහත්තයගෙ ගෙදර පැදුරු පාටියක්...

එහෙම කියන්න එපා අයියා...මේ වැඩේ කොට උඩ යයි එහෙම උනොත්..කොල්ලො ගොඩාක් මහන්සි වෙලා වැඩේ කරන්නෙ. මම වාහනයක් එවන්නං රත්මලානටම.

හරි මල්ලි මට දවස් දෙකක් දියං..මම හරියටම උත්තරේ දෙන්නං.

එයින් අනතුරුව අපේ ඇමතුම රොඩ්නි වර්ණකුල සහෘදයා වෙතද යොමු විය. එතැනදීද ආමා කිසිම දෙයක් ඔහු සමග කථා කොට නොතිබූ අතර අපේ වාසනාවට ඔහුට ප්‍ර‍සංගය යෙදී තිබුන දිනයට රාජකාරියක් යෙදී තිබුනේ නැත.

දින දෙකකට පසු ජූඩ් අයියාද සහභාගි වන්නට කැමති වූයෙන් අපේ සිත් සතන් වල නැගි භිය සංකා දුරුව ගියේය.

ප්‍ර‍සංගයට සතියක පමණ කාල පරාසයක් වන විට අමුතුම පිබිදීමකින් සියල්ලෝම ඉතා උවමනාවෙන් ප්‍ර‍සංගය සාර්ථක කරගන්නට වෙහෙසමින් සිටියෝය. සැම සන්ධ්‍යාවකම ටිකට් පත් අළෙවිය සහ ප්‍ර‍සංගය පිළිබද දැනුවත් කිරීමට අප තීරණය කොට සිටියෙමු. හැකි සැම විටෙකම ආනන්ද අයියා අම්මාගේ ඇස් වසා ලොරි භාගය පාසලට රැගෙන ආවේය. ගෙදරට හොරෙන් පන්නාගත් රුපියල දෙක එතකු කොට අපි ආනන්දයාගේ ලොරි භාගයේ ටැංකිය පිරවීමු. කොහෙන්දෝ පිනට සොයාගෙන විත් තිබූ යකඩ කටවල් දෙක ලොරි රථය මත සවිකල පසු එය ගම්පහ නගරයේ අහුමුළු නෑර සැරිසරයි. ප්‍ර‍සංගයේ ගුණ වර්ණනාව ගැයෙයි. ටිකට් පත් අළෙවි වෙයි.

මේ රථයේ සිට බොහෝ වෙලාවට නිවේදක භූමිකාව රගන්නට සිරා කොලුවාට සිදු වූවේය. ඇතැම් දවසක දෙරණ රූපවාහිනියේ දතා මලයාද මගේ සහයට පැමිණියෙන් කටයුතු තවත් පහසු විය. තනිව බොහෝ වෙලාවක් ප්‍ර‍චාරන කටයුතු සිදු කරන විට උගුරු දණ්ඩ පවා රිදුම් දෙන්නේ මට විවේකයක් දියං කොල්ලො යනුවෙන් පවසමිනි.

ජපන් චමියාගේ සහ සිරා කොලුවාගේ නායකත්වයෙන් අපට වඩා කණිෂ්ඨ සාමාජිකයන් රැසකගේම සහයෝගයෙන් ප්‍ර‍සංගයේ සංවිධාන කටයුතු මැනවින් සිදුවෙන පසුබිමක සෑම දිනෙකම රාත්‍රියේ පාසලට එක් රැස්වන පිරිස කෙමෙන් කෙමෙන් වැඩි වූවේය. ඒ අයට වගකීම් බෙදා දී අපද යම් කාර්යයක නිරත වූවෙන් සියලුම සැලසුම් හොඳින් ක්‍රියාත්මක කරන්නට හැකි බව මමත් චමියාත් අත් දැක්කෙමු. එහෙත් ප්‍ර‍සංගය පිළිබඳ පූර්ව රැස්වීම් තබා පොර සහ කොර ටෝක් දුන් ලොකු අයියා ඇතුලු කිසිම එකෙකු පාසල පැත්ත පළාතක තවමත් නැත.

මේ කාලය වන විට තම පළමු සේවා ස්ථානය හා සම්බන්ධව සිටි ගණකාධිකාරී ජෝතියාද කඩි මුඩියේ එක් රැයක අප සොයා පැමිණියේ තමන්ට හැකි තරමේ සහයෝගයක් මේ ප්‍ර‍සංගය වෙනුවෙන් ලබා දීමේ පිවිතුරු අපේක්ෂාවෙනි. එදා මධ්‍යම රාත්‍රියේ සිට පසුදාට පහන් වන තුරුම ආනන්ද අයියාගේ ලොරි බාගයට පටවා ගත් පෝස්ටර් මිටිය සහ පාප්ප බාල්දි සමග අපි හරි හරියට ඔට්ටු වූයෙමු. ගම්පහ නගරයෙන් ආරම්භ වී නුවර පාර දිගේ නිට්ටඹුවට ගොස් ආපසු පැමිණෙන විට  අලුයම 4 පමණ වී තිබුනි. වර්ෂ අවසානය නිසාදෝ මේ ගමනේදී අධික ශීතලක් දැනුන අතර උඩු කයට ඇදුමක් නැතුව සීතලේ වෙව්ලමින් සිටි ජෝතියා අපට දුන් විනෝදය කිසි දිනක අමතක නොවන්නකි.

අපි වේලාසනම ගහපු පෝස්ටර් ටික බලන්න යමල්ලා. ජෝතියා එලෙස යෝජනා කලේ ටියුෂන් තරගය උපරිමයට තිබෙන ගම්පහ වැනි නගරයක පෝස්ටරයක් බේරා ගැනීම කලු නික සොයනවාටත් වඩා අපහසු කාරියක් බව ඒකා දැන සිටි නිසාය.

ජෝතියා නිවැරදිය. රාත්‍රී 12 ට පමණ අප විසින් අලවන ලද පෝස්ටරය මත පාන්දර 4 වන විට තවත් පෝස්ටර් 3 ක් ඇලවී හමාරය. ගම්පහ නගරයේ පෝස්ටර් කෙලියේ තරම දැන් ඔබට වැටහෙනු ඇත. අපගේ නිරීක්ෂණයට අනුව උසස් පෙළ නව පන්ති ආරම්භ කරන්නට වලිකන ටියුෂන් ගුරෙකුගේ පෝස්ටර් වලින් හිතා මතාම අපේ ප්‍ර‍සංගයේ පෝස්ටර් වැසී ඇති බව පෙනුනි. එතැන් සිට අපි නැවතත් පෝස්ටර් ඇළවීම ආරම්භ කළෙමු.

පාන්දර 5 න් පසු කිසිවෙකුත් පොස්ටර් අලවන්නට ගම්පහට එන්නේ නැත. එහෙයින් අප දැන් අලවන පෝස්ටර් වහන්නට කිසිවෙකු නැත. ටියුෂන් ගුරාගේ සියලුම පෝස්ටර් ප්‍ර‍සංගයේ පෝස්ටරයෙන් වැසී ගියේ කුජීත අන්දමිනි. අඩුම තරමේ පන්තිය පැවැත්වෙන ස්ථානයේවත් ඒකාගේ පෝස්ටරයක් ඉතිරි කරන්නට අපේ උන් කැමති වූයේ නැත. උදෑසන 7 වන විට ගම්පහ නගරයම අපගේ ප්‍ර‍සංගයේ පෝස්ටර් වලින් හැඩ වී තිබූ අතර සීතල හිමිදිරිය අස්සේ පාසල් යන මල් වැනි, වතුර ටැංකිය අසල පාසලේ යුවතියන්..මුලු රැයක් නිදි වරා කබ කඩමින් ආනන්ද අයියාගේ ලොරි තට්ටුවේ පිටුපසට වී සිටි අපට නෙත්කළු දසුනක්ම වූවේය.



මතු සම්බන්ධයි.




මම කාමරේ අරින සිරා කොලුවා.



ප.ලි

මනුෂ්‍යත්වයෙන් පිරිපුන් සැබෑ කලාකරුවෙකු වූ නැසීගිය ජූඩ් අයියා මේ ප්‍ර‍සංගය වෙනුවෙන් ලබා දුන් සහයෝගය සිරා කොලුවාට තවමත් අමතක නැත.

වයිබ්‍රේෂන් ප්‍ර‍සංගයේ හැඩරුව සහ තවත් කථා ඊලග කොටසින්...

Vibration 2003 වූ කලී සිරි ලංකාවේ ශිෂ්‍යභට බටහිර තූර්ය වාදක ඛණ්ඩයක්  ප්‍ර‍සිද්ධ කලාකරුවන් සමග පැවැත්වූ පළමු ප්‍ර‍සංගය වූ අතර එයින් පසු අගනගරයේ පාසල් කීපයක්ම මේ තේමාව යටතේ ප්‍ර‍සංගයන් පවත්වන ලදී.

සිරා කොලුවා හා පුරා කියා මයිනරයක් පැදවූයේ නම් ඒ අපේ මාස්ටර්ගේ මයිනරයයි. මයිනර් කාරයක ඇති ආතොල් එක දන්නේ ඒවා පැදවූ ඇත්තෙක්...ඇත්තියක් පමණකි.


Sunday, October 23, 2016

50 බියුටිෆුල් ස්ටෝන්

කාලය - බෑන්ඩ් ගැහිල්ලෙන් සමුගත් ආසන්න දවසක හැන්දෑවක

ස්ථානය - ගම්පහ ටවුමෙ ඇට්ටේරියා ගහ යට ජයන්ත අය්යගෙ ස්පොට් එක 

අවස්ථාව -  ඉඟුරු දාපු ප්ලේන්ටියක් බොක්කට හලා ගන්න වෙලාවක්


මෙච්චර කාලයක් අව්වට කර උනා...වැස්සට තෙමුනා...ගුරුවරුන්ගෙන්,ගෙදරින් බැණුම් ඇහුවා...දැන් ඉතින් ඒ කෙළියත් ඉවරනෙ බං....ආයෙ ඉතින් බෑන්ඩ් ගහන්න වෙන්නෙ ලබන ආත්මෙදි තමා....ලොකු අයියා සියරැට් එකක් දකුණු අතින් මේසෙට තට්ටු කරන ගමන් අපි දිහා බලාගෙන කිව්වෙ හදිස්සියෙ යමක් මතක් වෙච්ච එකෙක් ගානට. ඉගුරු දාපු ප්ලේන්ටියෙන් ඉහළට ඇදෙන දුමාරයට තවත් ටිකකින් ලොකු අයියගෙ සියරැට් දුමත් එකතු උනා.

මොකෝ කියන්නෙ...කස්ටිය සෙට් වෙලා යමුද ට්‍රිප් එකක්...ප්ලේන්ටියෙ රස්නෙ වැඩිකමට අයිය බඩාගෙ දිව පිච්චුනත් මිනිහා අදහසක් දුන්නෙ එතෙක් වේලා කඩේ ඇතුලෙ තිබුන නිහඩතාවය බිඳිමින්.

අන්න ගින්දර අයිඩියා එක. යමල්ලා යමල්ලා එකෙන්ම යමල්ලා. ලොකු අයියා අයිය බඩාගෙ යෝජනාව සපථ කලේ කඩේ කොල්ලා ලොකු අයියට ගෙනත් දුන්න තේ කෝප්පෙ දිහා ජාගර බැල්මක් හෙලන ගමන්.

කොහෙද යනවා නම් යන්නෙ ලොකු අයියෙ...VP ගොයියා කඩේ ෂෝකේස් එක ඇතුලෙන් පේන කේක් කෑල්ලක් දිහා පෙරේත කමට බැලුවෙ ඒවා ගන්න තරම් අපේ ආර්ථිකය ශක්තිමත් නැති නිසා වෙන්න ඇති.

කොහෙ ගියත් අපි යන්නෙ බොන්නනෙ බං...ඒ හින්දා අඩියක් ගහලා ආතල් එකේ නාගන්න පුලුවන් තැනකට යමල්ලා.

එහෙනං අපි උණවටුන බීච් එකට යමු....බඩ මහත ජපන් චමියාගෙ අදහසට එකෙන්ම ඇන්කෝර් එකක් නැගුනා.

උණ වටුන

ඔය තියෙන්නෙ අදහස්...එක එකා එක එක කෝස්, ජොබ්, ලව් අරවා මේවා පටන් ගන්න කලියෙන් එහෙනං ඔය කියන ගමන යමල්ලා. නැත්තං ආයෙ අල්ලනවා බොරු. ලොකු අයියගෙ උපදෙස් අනුශාසනා මැද අපේ බෑන්ඩ් නඩේ හා හා පුරා කියලා විනෝද චාරිකාවක යෙදෙන්නයි මේ සූජානම.

ජයන්ත අයියගෙ ඇට්ටේරියා ගහ යට ස්පොට් එකේ ගතවුන තවත් සන්ධ්‍යා වරු දෙක තුනකින්, හිස් උන ප්ලේන්ටි කීපයකින්, විසිකරපු සියරැට් කොට දුසිමකට එකහමාරකට විතර පස්සෙ ගමනට දිනයක්...ගමන යන්න වාහනයක් වගේම ගමනට එකතු කරගන්න පිරිස පිළිබඳවත් අවසන් නිගමනයකට එන්න අපි හැමෝටම හැකියාව ලැබුනා. මෙච්චර කාලයක් දුක සැප එකට බෙදාගෙන එක පවුලෙ සහෝදරයො රැළක් වගේ හිටියට අපිට කවදාවත් විනෝද චාරිකාවක් යන්න තරමෙ ඉස්පාසුවක් තිබුනෙ නෑ. බෑන්ඩ් ගැහිල්ල අහවර කරලා පාසලෙනුත් සමු අරගෙන ඉන්න අල්ල පනල්ලෙ විනෝද චාරිකාවක් යන්න කාලය  ඇති පදම්.

අපේ පුංචි අම්මගෙ පුතාගෙ ගෙවල් ලග තියෙන රෝසා බස් කොටේ බුක් කලා. මොකද වෑන් එකකට කස්ටිය වැඩිනෙ. අනික බීලා වැඩිඋන උන් හිටියොත් උන්ටත් ආතොල් එකේ එන්න පුලුවන්නෙ. උදේ කෑම එක ගෙදරින් අරගෙන යමල්ලා. සල්ලිත් හිගයිනෙ තවම...ජොබ් කරන උන් ඉන්නෙත් මමයි අයිය බඩයි VP යයි විතරනෙ. දවල්ට ඔය මොනා මොනා හරි බඩට දාගමු. ආයෙ වෙන කොහෙවත් නැවතිලි නෑ. කෙලින්ම උණවටුනෙ අරිද ? නාන්න සෝටක් එහෙම අරගෙන වරෙල්ලා. ගෙදරින් ගන්න පුලුවන් උපරිම ගාන අරගෙන වරෙල්ලා. මොකද බෝතල් දෙක තුනක් නැතුව සොමියක් නෑනෙ.

ලොකු අයියා අපූරුවට ගමනේ අරමුණු පැහැදිලි කොලා. සිරා කොලුවත් ඉතින් ඒ වෙද්දි නෝ ජොබ් කම්පැණියෙ ප්‍රාදේශීය කළමණාකරුවෙක් විදියට වැඩ කොරාපු එකෙක් නිසා අපේ නිවසින් විවිධ වියදම් වෙනුවෙන් ලබා දුන්න මුදලින් එකතු කරගත්ත සොච්චම් මුදලක් එක්ක ගමන යන්න එකදු පහදු උනේ පුදුමාකාර සතුටකින්.

කාලය වෙනදා වගේම ටික් ටික් හඬින් ගලා ගියා. දවසින් දවස උණවටුන චාරිකාව යන දවස අපිට ලං උනා. අමතර මුදලක් හොයාගන්න පුලුවන් වෙච්ච උන් ගමන යන්න අලුතින් කමිසයක් කලිසමක් මිළදී ගත්තා. කොහොමින් කොහොම ඕන්න අපි ගමන යන දවසත් උදා උනා.

බෑන්ඩ් කෙරුවාව වසර ගානක් කොරාපු එකෙක්ට වෙලාවට වැඩක් කරන්න කියලා අමුතුවෙන් කියලා දෙන්න උවමනා නෑ ආයුබොවන්ඩ. ඒ හින්දම උදැහැනැක්කෙ ලොකු අයියා එන්න කියලා නියම කරපු වෙලාවටම වගේ එකා දෙන්නා බැගින් ආව පිරිස රෝසා බස් එකක් පිරෙන්න තරමට එකතු උනා.

තවමත් හාත්පස කලුවරයි. සති අන්ත දවසක් නිසාම ගම්පහ නගරයේ තවමත් විශාල ජනතාවක් නෑ. මේ වටපිටාව දෙබෑ කරමින් තවත් මොහොතකින් අපි ඉදිරියේ නැවතුනේ  සුදු පාට බඳ මැදින් නිල් පාට ඉරි සටහන් උන රෝසා බස් එකක්. උණවටුන අපිට සමීප කරන්නෙ මේ රෝසා බස් කොටේ.

රෝසා මේ වගෙයි.

චාරිකාවට සහභාගි වෙන්න ඇවිත් උන්නු හැම දෙනාවම සාදරයෙන් පිළිඅරගෙන, නාම ලේඛණය කාරිය ලකුණු කරලා ඔන්න ඉතින් දෙයියන් බුදුන් සිහිකරගෙන උණවටුන චාරිකාව පිටත් උනා.

නිකං මළගෙදරක වගේ යන්න බෑ ඩෝ...කෝ බෑන්ඩ් කාමරයෙන් අරගෙන ආව බඩු ටික. ඔය ටිකත් සෙට් කරගෙන සින්දුවක් කියන ගමන් යමල්ලා. ලොකු අයියා හැමෝටම අණ දුන්නා. 

තවමත් හරියකට අඳුර මැකිලා නැති හුදෙකලා මාර්ගය දිගේ රෝසා කොටේ ඇදෙන්නෙ විවිධාකාරයේ ගීත ගොන්නකුත් දරාගෙන. පැය කීපයක් ගත උනාට පස්සෙ ගාලු පාරෙ මුහුදට යා උන හිස් භූමියක රෝසා ගිමන් හරින්න නතර උනේ අපේ බොකු බඩවැල් උදෑසන ආහාරයෙන් සන්තර්පණය කරගන්න ඉඩක් ලබා දෙමින්. 

පාතරාසයෙන් පස්සෙ ඔන්න ආයෙමත් රෝසා හැටට හැටේ උණවටුන බලා ඇදෙනවා. මෙන්න මේ වෙලාවෙ තමයි බස් රථයෙ ඉදිරියෙ හිටිය ලොකු අයියා තරමක කැප් තොප්පියක් එක එකාට ලං කරමින් බස් එකේ පස්සට ආවෙ.  බෝතල්වලට ආධාර කරපියව්....සියරැට් බොන උන් ඒකටත් කීය කීය හරි දියල්ලා...ලොකු අයියගෙ හඩ රෝසගෙ හඩට ඉහළින් නැගෙනවා.

මේ කියන කාලෙ වෙද්දි සිරා කොලුවා සුරා සූදුවෙන් තොර බෝ පැලයක් වගේ කොලුවෙක්. මේ දහජරා බීම මිනිහා පරිහාණිය කරා අරගෙන යනවා කියලා මගේ අක්මාවටම දැනිලා තිබුන නිසා මම ඒ වෙද්දි අමද්‍යප සංගමයෙ ඉහළ තනතුරක් දරමින් උන්නෙ. ඔයින් මෙයින් මගේ වාරයත් ආවා.

බෝතලේට කීයක් හරි දියං. ලොකු අයියගෙ කැප් තොප්පිය මගේ ඉස්සරහා නතර වෙලා. මයෙ දිහා බලාන උන්නා.

ලොකු අයියෙ මම බොන්නෙ නෑ.

උඹ නොබිව්වා කියලා හරියන්නෙ නෑ බොල බොන උන්ට බොන්න හරි මේකට කීයක් හරි දාහං...

මේ ලෝකය හරිම කුරිරුයි වෙලාවකට...අපි කොච්චර උත්සාහ කලත් යහපත් විදියට ජීවත් වෙන්න පාපමිත්තරයො ඉඩ දෙන්නෙම නෑ. ලොකු අයියගේ වදෙන් බේරෙන්නම බැරි උන තැන අනිත් උන් වගේම මටත් බෝතලයට ආධාර කරන්න සිද්ධ උනා.

කැප් තොප්පියට ආධාරයක් තියන ගමන්ම මම හිතින් හිතාගත්තෙ ලොකු අයියෙ මම උඹට දෙන්නං බැටේ කියලයි.

එකතු උන ආධාර මුදල ගැන ලොකු අයියා සතුටින්. ඔහුගෙ මුහුණෙ තිබුනෙ තෘප්තිමත් සිනා රැල්ල ඒ වගට සාක්ෂි. ගාලු පාරට යාබදව මුහුද පේන, වැඩියමක් නිවාස නොපෙනෙන තැනක රෝසා නතර උනා. ලොකු අයියා එක්ක බස් එකෙන් බැස්ස ජපන් චමියා, අයිය බඩා, කිඩා වගේ උන් තවත් මොහොතකින් බස් එකට නැගුනෙ සියරැට් පැකට් දෙක තුනක්, එවකට කාගෙ කාගෙත් නිළ පානය වෙලා තිබුන සීදුවෙ ගල් බෝතල් කීපයක්, බයිට් එකට අවශ්‍ය කළමනා, ෂැන්ඩියට උවමනා දේවල් සහ ප්ලාස්ටික් කොප්ප දුසිමක් සමගින්. මේ දර්ශනය දැකලා බේබදු කැලගෙ කට කනට ගිය අන්දම මගේ නෙත් වලට සම්මුඛ උනත් නොබොන සිරා කොලුවගෙන් එකතු කිරීමේ වෑයම ගැන මම හිටියෙ බොහොම තරහින්.

ඉර මුදුන් වෙන පැයේදි රෝසා උණවටුන වෙරළ පැත්තට ඇදෙන අතුරු මාර්ගයක මඳ දුරක් ගොහින් නතර උනා. ස්නානයට අවශ්‍ය කළමනා, ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය කළමනා සමග බෝතල් අඩුම කුඩුම ටිකත් හනි හනිකට වෙරළට ප්‍ර‍වාහනය උනා.

හොඳින් ඉර එළිය වැටුන ලස්සන දවසක අසිරිය සිත් පුරා විඳගනිමින් උන්න විදේශික ජෝඩු අප ඉදිරියේම ඔවුනොවුන් සිප ගත්තෙ අපේ කිරි කෝඩු හිත් දූෂණය කරමින්.

ස්නානය පිණිස යොදාගන්න සෝටෙන් සැරසුන බෑන්ඩ් නඩේ උණවටුන වෙරළෙ හෙවන තියෙන තැනක ස්ථාන ගත උනා. බෝතලයක් කඩාගෙන සවුදිය පුරනකම් කාට කාටත් ඉවසිල්ලක් නෑ. බොන්නෙ නෑ කියන අධිෂ්ඨානයෙන් ගෙදරින් ආව සිරා කොලුවගෙ දැහැන බිඳුනෙ ලොකු අයියා කල නොමනා වැඩෙන්. ඒ හින්දම මමත් බොන උන් අතරින් හිඳ ගත්තා.

උඹ බොන්නෙ නෑ කියලා මොත්තෙ දැම්මා නේද ඩෝ....මම දන්නෙ නැද්ද උඹ ගැන. ලොකු අයියා සාටර් හිනාවක් නගාගෙන කාට කාටත් මදි නොකියන්න උවමනා කළමනා බෙදා දුන්නා. මගේ හිතේ තියෙන තරහා මිනිහා දන්න එකක්යැ...දෙන්නං අද මම උඹට දුවන්නම. මගේ හිත මටම කිව්වා.

මඳින් මඳ සීදුවෙ  හතරැස් බෝතල් වල අඩිය පෑදෙද්දි සිරා කොලුවා උන්නෙ ලග නමමින්. මම තොප්පියට දාපු ගානට වඩා ගානක බීලා මගේ පාඩුව අවම කරගන්නවා. මගේ හිත දැන් එක අරමුණක නතර වෙලා.

අවසානයේ සිරා කොලුවට වෙච්ච දේ සිරා කොලුවා දන්නෙත් නෑ. මට මතක වෙරළේ තැනක ඉඳගෙන ගල් බෝතල් හිස් කරමින් උන්නා කියලා විතරයි.

දැන් සිරා කොලුවට ගැස්සෙන මතුපිටක අපහසුවෙන් වැතිරී ඉන්න බවක් දැනෙනවා. මේ කොහෙද ? මම තනිවම කල්පනා කොලා. ඇස් දෙක අරින්න අපහසුයි. ඔලුව බඹර චක්කරයක් ගානට කැරකෙනවා. මුලු ශරීර කූඩුවම තලා දාලා වගෙයි.

මූ මාර බීමක්නෙ බං බීලා තියෙන්නෙ. බලහං කීයටද කට් ඩවුන් උනේ....තාමත් නිදි.

ඌට දවල්ට කන්නත් බැරි උනානෙ...බොක්කෙ තිබ්බ ඔක්කොම උණවටුන වෙරළට හැලුවා.

ඕකා බොන්නෙ නෑ කියද්දි මමමයි තග දාලා ගානක් කපා ගත්තෙ. ඒ තරහට ලග නැමුවද මන්දා...

මොකද ලොකු අයියෙ කරන්නෙ..මූට ගම්පහට යනකම්ම ඇහැරුනේ නැත්තං අපි මොකද කරන්නෙ...

විවිධ කටහඬ මගේ සමීපයෙන්ම ඇහෙනවා...මම තවමත් උත්සාහ කරන්නෙ මම ඉන්නෙ කොහෙද කියලා හඳුනාගන්න. බොඳ වෙච්ච සිනමා රූප වගේ චාරිකාව යන්න පිටත් උන හැටි, රෝසා උණවටුන වෙරළ කිට්ටුව තැනක නතර උන හැටි මගේ සිහියට ආවා. මම අපහසුවෙන් ඇස් දෙක විවෘත කොලා.

ලොකු අයියෙ මෙන්න මූ ඇහැරුනා. ජපන් චමියා බෙරිහන් දුන්නා.

උඹට දැන් කොහොමද මල්ලි..අවුලක් නෑ නේද...උඹට වැඩි වෙලා බීච් එකේම ඩවුන් ගියා. මාර ගේමක් දීලා බස් එකට පටව ගත්තෙ ඇඳගෙන ආපු ඇඳුම් ටික අන්දවලා.

මට තිබහයි...බඩගිනියි. මම බොහොම අසරණ තාලෙට කිව්වා.

ඉඳින් ටිකක් ඉස්සරහා තේ කඩේක නතර කරන්න කියන්නං. ගාලු කොටුවටත් ගිහින් දවල්ට කෑවෙ හැන්දැ වෙලා. අපි තවම උණවටුනෙන් පිටත් උනා විතරයි බං.

තවත් පැය භාගයක පමණ ඇවෑමෙන් වැහැරී ගිය පෙනුමෙන් යුතු දුප්පත් තේ කඩයක් ඉදිරියේ රෝසා නතර උනා. 

බැහැලා වරෙන් මොනා හරි කාලා තේ ටිකක් බීහං...දවල්ට කන්නත් බැරි උනානෙ. ඔන්න ඕකනෙ බං කියන්නෙ තරමට බීහං කියලා...කොහෙද උඹලා බොන්න ගියාම තියෙන අරක්කු ඔක්කොම පෙරේත කමට බොන්න යනවනෙ. ලොකු අයියා තවමත් දෙහි කපයි.

සිරා කොලුවට ඔලුව කෙලින් කරගන්න තවමත් අමාරුයි. ඒත් මොනා හරි බඩට දාගන්න උවමනාව තදට දැනෙන නිසා වැනි වැනී තේ කඩේ ඇතුලට ගියේ බොහොම ආයාසයෙන්. තේ කඩේ මැද පුංචි වීදුරු ෂෝකේස් එකක කෑම වර්ග කීපයක් තිබුනා. ඊට එහායින් බොහොම පැරණි තාලෙ පුංචි ශීතකරණයක් තිබුනා.

මොනා හරි අරගෙන කාහං...ලොකු අයියා ආයෙමත් කිව්වා.

මම අත් දෙකට වර්ග දෙකක් එක සැරේ ගත්තා.

ඔච්චර එක සැරේ කන්න එපා යකෝ...ගෙවන්න සල්ලි නෑ...ලොකු අයියා වැද වැටෙනවා...ඒත් මට තවමත් මිනිහා එක්ක තරහයි. අතට ගත්ත අඩයකුයි ඥාණ කථාවකුයි කාලා අහවර වෙද්දි අනිත් උන් ටික ප්ලේන්ටියක් බොන්න සැට් වෙලා උන්නා.

මොනවද උඹට බොන්න ඕනෙ ? ලොකු අයියා ආයෙමත් ඇහුවා...සිරා කොලුවා ඒ දිනවල ප්‍ර‍සිද්ධ වෙලා තිබුන පැණි බීම ජාතියක නම කිව්වා. කඩේ හිමිකරුවා පුංචි ශීතකරණෙ ඇරලා බීම බෝතලයක් මගේ ඉදිරියෙ තියෙන ගමන් අනිත් උන්ගෙන් ඇහුවෙ මෙයාට වැඩි උනාද කියලයි. 

සිරා කොලුවා බොහොම අමාරුවෙන් කාලා බීලා ආයෙමත් බස් රථයට නගින්න තේ කඩයෙන් එළියට එද්දි ලොකු අයියා තමන්ගෙ පසුම්බියෙ අදුරු මුලු වල තිබ්බ මාරු කාසිත් එකතුකරගෙන කඩේ බිල ගෙවනවා යන්තමින් මතකයි.

දැන් ඔන්න රෝසා ආයෙමත් සැර දාගෙන ගාලු පාර දිගේ ඉදිරියට ඇදෙනවා. අයිය බඩා, ජපන් චමියා, කිඩා, ජෝතියා වගේම ලොකු අයියත් වරින් වර මා එක්ක කථා බහේ යෙදෙනවා.

උඹ නම් මාර යකෙක්...බීලා බීලා වැඩි වෙලා නටපු පිස්සුවක්.

මට මතක නෑනෙ බං...මට මතක වැල්ලට වෙලා අඩියක් ගගහා හිටියා කියලා විතරයිනෙ.

ඒ උඹටනෙ. උඹ ඇදගෙන වැටෙන්න කලින් වැල්ල පුරාම ඇවිද්දා....ඒ වෙද්දි සිංහල සහමුලින්ම අමතක වෙලා ඉංගිරිසි විතරයි පාවිච්චිය. උඹ අන්තිමට වැල්ලට වෙලා අව්ව තපින සුද්දියෙක් ලගට ගියා. ගිය ගමන් බියුටිෆුල් ස්ටෝන් කියලා ඒකිගෙ කකුල අත ගෑවා. ටිකක් දුරින් හිටිය සුද්දිගෙ මිනිහා උඹට නෙලන්න කියලා එතනට එද්දි අපි දහ අතේ ඌට වැදලා උඹව බේරගත්තෙ.

ඊට පස්සෙ තමයි මෙලෝ සිහියක් නැතුව ඇදගෙන වැටුනෙ. අන්තිමට මේ මහ සෙනග බලා ඉද්දිම උඹේ සෝට ගලවලා...අහවල් එකේ වැලි ගසලා බොහොම අමාරුවෙන් ඔය කලිසම ඇන්දුවෙ...දැන් තේරෙනවා නේද උඹ අපිට දුන්න ආතල් එකක තරමක්.

අනේ අම්මේ ආයෙ සැරයක් අපි ට්‍රිප් ගියොත් මම උඹෙන් නම් බොන්න කියලා කීයක් වත් එකතු කරන්නෙ නෑ...ඇත්තමයි සත්තයි. ලොකු අයියා පරාජිත හඬින් එහෙම කියද්දි බමන හිසින් යුතු වූ සිරා කොලුවට ජයග්‍රාහී සතුටක් දැනුනා.




මම කාමරේ අරින සිරා කොලුවා.




ප.ලි

බියුටිෆුල් ස්ටෝන් කථාව ඇත්තටම සිදු වූවක්ද, අනිත් උන් ගොතන ලද කථාවක් දැයි මම තවමත් නොදනිමි. මේ චාරිකාවෙන් පසු කාලයක් යන තුරු උන් බියුටිෆුල් ස්ටෝන් මතක් කරමින් සිරා කොලුවාගේ භෞමික අඛණ්ඩතාව කීතු කීතු කර දැම්මෝය.

බෑන්ඩ් නඩේ ඊලග වසරේද වාර්ෂික චාරිකාව ලෙස උණවටුනටම ගියෝය. පෙර වර්ෂයේ අමිහිරි මතකයත්, එතෙක් විඳිමින් හුන් නව නිංගිරාවත් නිසා මම එවර සැර පානයෙන් වැළකී හොද ළමයා වූයෙමි. පෙර චාරිකාවේ අත්දැකීම් නිසා එවර රෝසා කොටේට ලොකු අයියා විසින් තැඹිලි වල්ලක්ම පැටවූයේ කට් ඩවුන් වන උන්ගේ මතු ප්‍රයෝජනය පිණිසය.


අප කණ්ඩායමේ සිටි අයිය බඩාත්, කෂ්ඨාත් මා වෙනුවට එවර කට් ඩවුන් වූහ. උන් දෙදෙනා එදා අප හට දුන් ආතොල් එකට පිං සිදු වන්නට එයින් ඉදිරියට අපේ වාර්ෂික චාරිකාව මෙන්ම, බියුටිෆුල් ස්ටෝන් කථාවටද තිත තැබිනි.

ජයන්ත අයියාගේ ඇට්ටේරියා ගහ යට ස්පොට් එක වර්තමානයේ එතැන නැත. අද එතැන රාජ්‍ය බැංකුවක ශාඛාවක් ඇත.


සෑහෙන කාලයකට පසු බෑන්ඩ් කථාවක් ලීවෙමි. අතීතයේ දිනෙක මෙන් විවේකය නොමැති නිසා දැන් දැන් සිරාගේ කාමරය තුල ලිපියක් පල වන්නට ගත වන කාලය ඉතාම ඉහළ ගොස් තිබේ. එය හැකි තරම් අඩු කරගන්නට හැකි සෑම විටම උත්සාහ ගනිමි.
Related Posts Plugin for WordPress, Blogger...