Wednesday, June 13, 2018

61 නුවර මැණිකේ

කලකට පසු කාමරයේ දොර විවර කරමි. සිරා කොලුවා සහ කාමරය අතර අතීතයේ දිනක තිබුනේ ගහට පොත්ත බඳු ඉතාම සමීප සබඳතාවයක් වුවද කාලයේ ඇවෑමෙන් ඒ සියලු දෑ වෙනස් වී තිබේ. ඇතැම් විටෙක ඇතැම් සිදුවීම් දෙස නිවී සැනසිල්ලේ බලන විට ඇතිවන්නේ විශ්මයකි. ඒවා කෙසේ සිදු වීදැයි සිතෙන තරමට පුදුම සහගතය. 

මැලේසියාවෙන් ලංකාවට ආනයනය වූ සිරා කොලුවා සිරි ලංකාවේදී අභිනවයෙන් ආරම්භ කල ව්‍යාපාරික කටයුතු මාස කීපයකට සීමා වෙද්දී, එයින් පසු මගේ නවාතැන වූයේ සිරිලංකාවේ සුප්‍රසිද්ධ සමාගමකි. ව්‍යාපාර හිමියාගේ තත්වයේ සිට නැවතත් මා වැටුප් ලබන සේවකයෙකුගේ තත්වයට පත් වූයෙමි. දන්නා හඳුනන කොල්ලාගේ  සිට බල්ලා දක්වා උන් යාලු ෆිට් එකට ඇතැම් රාජකාරි මට පැවරීමත් ඒවා ඉටු කර දුන් පසු ගාස්තු අයකර ගැනීම ඉබ්බාගෙන් පිහාටු ඉල්ලනවාට සමාන වීමත්, මගේ සේවාව ලබාගත් ඇතැම් මහා පරිමාණ කර්මාන්ත කරුවන්, තානාපති කාර්යාල, නැති බැරි උන්සේ මාස දෙක තුන ණයට ඉල්ලා සිටින විට සිරිලංකාවේ බිස්නස් සිරා කොලුවාට තිත්ත වූවේය. සැබැවින්ම මෙවැනි උන් සමග බිස්නස් කරනවාට වඩා වැටුපකට සේවය කිරීම අනවශ්‍ය හිසරද රාශියකින් ගැලවී යාමක් බැවින් මේ අලුත් වෙනසට මම ප්‍රිය වීමි. අවසානයේ මම තෘප්තිමත් සේවකයෙක් වූයෙමි.

සිරා කොලුවා මෑත වකවානුවේ දෙපයින් සමබරව  හිටගන්නා අයුරු දුටු ගෙදර බුදුන් අම්මා, කසාදය යන වචනය මිහිරි දැවටුමක ඔතා මා වෙත නිතර නිතර පෑයෙන් මම මහනුවර පළාතේ සුදු මැණිකේ කෙනෙකු බැහැ දකින්නට යාමට මුලින්ම එකඟ වූයෙමි. මේ ගමන පංගරාර්තු කරන්නට මා මිත්‍ර අයියා බඩා වින්දේ නොවිදිනා දුකකි. නිතර දෙවේලේ ඇගේ නිවසට මා ගැන තොරතුරු ඡායාරූප  ආදිය සපයමින් සිරා කොලුවා විවාහකයෙකු කරන්නට ඒකා දර දිය ඇද්දේ පරම මිත්‍ර  චේතාවෙන්දැයි, තමන් වැටුන වලේ අහිංසක සිරා කොලුවාද වට්ටන්නෙමියි යන උදාර සිතුවිල්ලෙන්දැයි තවමත් පැහැදිලි නැත.

ඡායාරූප වල පෙනෙන ඈ මට වඩා උසැති තැනැත්තියකැයි මට සිතෙන විට අයිය බඩා ඇගේ උස නිවැරදිව මැන මාවෙත සන්නිවේදනය කරන්නේය. ජායාරූප වල මා දකින ඈ සෙල්ලක්කාර යැයි මට සිතෙන විට වටෙන් පිටෙන් ඇගේ ජාතකය සොයා අයියබඩා මා වෙත සැලකරන්නේය. එවන් විටෙක මෙවන් මිතුරන් වාසනාවක් යැයි මට සිතුනේය.  

වැඩේ දැනටම හරි වගේ මචං, උඹලගෙ කේන්දරත් හොඳට ගැලපෙනවලු...කෙල්ලගෙ අම්මා උඹලට දවල්ට කාලම යන්න එන්න කිව්වෙ ඒ අය කැමතියි වගේ නැත්තං එකපාර කෑමකට ආරාධනා කරන්නෙ නෑනෙ... නේද ? ජංගම දුරබණුවෙන් ඇමතූ දිනයක අයියා බඩා එසේ කීවේය.

නුවර පළාතේ ඈත ඉසව්වක පිහිටි මේ ඇත්තීගේ නිවසට දෙමාපියන් සමග මා ගිය ගමනේ රථාචාර්ය තනතුර උසුලන ලද්දේ ඊයෙ පෙරේදා දවසක කැන්ගරු දේශයට අපනයනය වූ මා මිත්‍ර අතුකෝරල ගොයියාය. අතුරු මාර්ගයට හැරෙන තැනදී අප පිළිගත් අයිය බඩා පෙන්වූ දිශාවන් ඔස්සේ ඇදී ගිය මෝටර් රථය අවසානයේ ගම් නියම් ගම් පසුකරමින් ගොස් රථ වාහන දෙකකට එකිනෙකා පරයා යා නොහැකි තරමේ කෙසඟ මාර්ගයක නතර වූවේය. අපේ ගමනට තවමත් නැවතීමක් නැත. අතුකෝරල ගොයියා සීරුවට පදවන රථය දැන් දැඩි ආනතියක කන්දක් තරණය කරයි. වාහනයේ ඉදිරිපස වීදුරුවෙන් අහස මිස වෙනත් කිසිවක් පෙනෙන්නට නැත. ඒ තරම් ආනතියක අපි දැන් සිරවී සිටින්නෙමු.

වාහනේ අදියිද බං....රථාචාර්ය අතුකෝරල මගෙන් විමසයි.

ට්‍රයි එකක් දෙමු...දවල්ට කාලා යන්නත් එක්කනෙ එන්න කිව්වෙ. මගේ වදනින් ඔද වැඩුන හෙතෙම ඇක්ස්ලේටර් ලෑල්ල අඩියටම පාගා කටුක මග තරණය කොට අවසානයේ මනමාලි කෙල්ලගේ මිදුලටම රථය පදවා ඉසිඹු ලෑවේය.

රථය මිදුලට පිවිසෙන විටම වටෙන් පිටෙන් මතුවූයේ නැදෑයින්ද, පවුලේ අයද, අසල්වාසීන්දැයි මා හට නිනව්වක් නොවීය. මමත් අතුකෝරල ගොයියත් සම වයසේ උන් නිසා අප දෙදෙනාගෙන් මනමාලයා කොයි එකාදැයි වටහා ගත නොහැකිව නරඹන්නන් වල්මත් වූ කලෙක අයිය බඩා අතින් සංඥා කලේ මා මනාලයා බවයි. එයින් ඔවුන්ගේ සැකය දුරු වී දෙකට තුනට පහත් වී ඉතාමත් උණුසුම් අන්දමින් මා පිළිගත්තෝය. සැබැවින්ම ඔව්හු හිත හොඳ මිනිසුන්ය.

මේ නිවස පිහිටා තිබුනේ මනරම් හෙල්මැළි කුඹුරු යායකට මායිම්ව වට පිටාවේ තිබුන අවශේෂ නිවාස වලින් හුදෙකලාවය. නිවස වට පිටාවේ විවිධ ආර්ථික භෝග හොඳින් වැඩී තිබුන අතර ඒ අතරින් සාදික්කා සහ මැංගුස් ප්‍රමුඛ වූ බැව් මට හොඳින් මතකය. 

අතින් කටින් ගෙන ගිය දෑ එහෙන් මෙහෙන් තබා, සාලයේ කොනක වූ සැප පුටුවකට බර දුන් පසු සභාව මඳක් නිශ්චල වූවේය.  දැරිවියක බලන්නට මේ ආකාරයේ නිළ ගමනක් කුළුදුලේම ගිය නිසාදෝ සිරා කොලුවාගේ චිත්ත සන්තානය සමග භෞමික අඛණ්ඩතාවයද ප්‍රකම්පනය වී තිබුන හෙයින් මම මගේ ආසන්නයේම අතුකෝරල ගොයියාව හිඳුවා ගත්තෙමි.

එහෙත් වැස්සද ? ඕගොල්ලන්ට දැන් මහන්සිත් ඇති නේද සෑහෙන දුරක් ආවනෙ, කීයටද පිටත් වුනේ, ගේ හොයාගන්න අමාරු උනාද ? නානාප්‍රකාර ගැටලු එහෙන් මෙහෙටත්, මෙහෙන් එහෙටත් හුවමාරු වන වට පිටාවක සභාවේ ප්‍රධානියා වූයේ මනමාලි කෙල්ලගේ පියතුමායි.

ජීවිතයේ 70 දශකය පසුකර සිටි හෙතෙම ඉඩම් හිමි වැවිලිකරුවෙකි. ඔහුගේ දෑතේ පහස ලැබූ නිවස වටා වූ ගස් කොලන් සමූහය ඔහුගේ වැවිලිකාරකම පිළිබඳ දෙස් දෙයි. සාදික්කා තමයි මම ප්‍රධානව වවන්නෙ. ගිය අවුරුද්දෙ විතරක් සාදික්කා වලින් ලක්ෂ ...........ආදායමක් ලැබුනා. ඔහු වට පිටා බලා සැහැල්ලුවෙන් තෙපලුවේය.

තේ ටිකක් බීලා ඉමු...මහන්සිත් ඇතිනෙ...මනමාලි කෙල්ලගේ සහෝදරියන් කැළ පිරිවරා සිටි ඇගේ මැණියන් අප වෙත ලෙංගතු සිතින් ආරාධනා කළාය. නුවර මැණිකෙලාගේ දෑතින් හැදුන රස කැවිල්ලක් දෙකක් ආමාශගත කොට උණුසුම් තේ කෝප්පයකින් සන්තර්පණය වූ පසු ඒ උත්කර්ශවත් මොහොත උදා වූවේය.

දුවේ මෙහෙ එන්න.



මෑණියන්ගේ ආරාධනයෙන් එතෙක් වේලා නිවසේ ඇතුලත කාමරයක සිරවී සිටි මනමාලි කෙලී මවෙත පැමිණියේ බුලත් හෙප්පුවක් දෑතේ දරා ගනිමින් කඩිසර ගමනිනි. ඇය ඉතාම පැහැපත්, එමෙන්ම දිගු වරලසක් හිමි රුවැත්තියකි, ඇය රෙදිකඩකින් ආවරණය කල බුලත් හෙප්පුව මවෙත පෑවාය.

බුලත් හෙප්පුව දුන්නම මොකද කරන්නෙ...මම බුලත් කොළයක් අරගෙන හෙප්පුව පැත්තකින් තියනවද ? එහෙම නැත්තං හෙප්පුව විතරක් පැත්තකින් තියනවද...එහෙමත් නැත්තං බුලතයක් කනවද ? මෙවැනි ගමන් ගොස් පළපුරුදු මිත්තරයන් අමතා වේලාසනින් මේ චාරිත්‍රය ගැන තතු විත්ති දැන ගත් නිසාම සිරා කොලුවාට චකිතයක් නැත. 

බුලත් හෙප්පුව මවෙත දිගු කල ඇය එකෙනෙහිම දණහිසෙන් මඳක් පහත් වී ආයුබෝවන් කීවාය. හෙප්පුව ආවරණය කල  රෙදිකඩ ඉවත් කොට එය එතැන වූ මේසය මත තැබීමෙන් බුලත් සහ මා අතර වූ සබඳතාවය විසන්ධි කරන්නට මා හට හැකි වූවේය.

නුවර මැණිකෙලා ඔසරිය අදින්නේ ඔවුනටම ආවේණික ක්‍රමයකට බැව් මා හට ප්‍රත්‍යක්ෂ වූයේ මා ඉදිරිපිට හිඳගෙන සිටින ඈ දෙස හොරෙන් බලනා විටදීය. අප ප්‍රදේශයේ එකියක් ඔසරිය අඳිනවාට වඩා අමුත්තක් එතැන තිබුනේය. එහි අමුතුම අලංකාරයක් තිබේ. ඔසරියෙන් එපිට තිබෙන ඇගේ පාදයේ ඇගිලි යන්තමින් පෙනෙයි. ඒවා කුඩා දරුවෙකුගේ මෙන් රෝස පැහැතිය.

මේ දෙන්නට කථා කරගන්න ඉඩ දීලා අපි ටිකක් ඈතට යමු.

ඒ බසට අවනත වූ අයියා බඩා සහ අතුකෝරල ගොයියා ඇසකින් තලු මරමින් ඉවත ගියෝය. ඇගේ මෑණියන් අප වටා සිටි ඇත්තන් සමග එතැනින් පිටව ගියෙන් හා පුරා කියා පැමිණි ගමනක උපරිම ඵල නෙලාගන්නට අවකාශය සැලසී තිබේ.

මේ ඔයාගෙ පළවෙනි වතාවද ?

මටත් කලියෙන් ඇය හඩ අවදි කලාය...ඔව් යනුවෙන් මම මුනිවත බින්දෙමි.

බොරු කියන්න එපා හොඳ පුරුදු කාරයෙක් වගේනෙ...

ඇත්තමයි...පළවෙනි වතාව....ඔයාගෙ ?

ඔයා 9 වෙනියා....මා සිතූ ලෙසම ඈ පුරුදු කාරියකි.

මෙච්චර කාලයක් ආපු අය ගැලපුනේ නැද්ද ?

සමහර ඒවගෙ කේන්දර ගැලපුනේ නෑ. සමහර අයට මම කැමති උනේ නෑ.

එතැනින් පසු ඇගේ රුචි අරුචිකම් දැනගන්නට තවත් ප්‍රශ්න දෙක තුනක් විමසන්නට ඇත. ආරූඩකරගත් කෘතිම ලැජ්ජාශීලී භාවයක් පෙන්වූ ඇය තවත් මොහොතකට පසු දැන් ඇති නේද කථා කලා යැයි මා හට පැවසුවාය.

දුර බැහැර ගෙවාගෙන, කාලය, මුදල් කැපකරගෙන ඇගේ නිවසට පැමිණි මා සමග කථා කරන්නට ඇයට ඇවැසි නැත්තේ ඇය විවාහයකයට අකමැති තැනැත්තියක නිසා බැව් මම සිතුවෙමි. ගෙදර අයවලුන්ගේ කරදරයෙන් මිදෙන්නට ඇය සමහර විටෙක මනාලයන් එනවාට කැමති වන්නට ඇත. මෙවැනි වයසක තැනැත්තියක් කුඩා දැරිවියක මෙන් හැසිරීම ප්‍රහේලිකාවකි. ඒ සිතුවිල්ල නිසාම ඇය රූපයෙන් සුන්දර වුවත් මගේ හිත් ගත්තේ නැත.

අනේ මගෙ කෙල්ල ලැජ්ජාවෙන් රතු වෙලා...

මොහොතකින් පැමිණි ඇගේ මෑණියන්ගේ අතිශෝක්ති වර්ණනාවෙන් අනතුරුව දහවල් බතට කාලය එළඹුනේය. මනමාල කෙලීගේ සහෝදරියන් විසින් වැරවීරියෙන් සකසන ලද විවිධ ව්‍යංජන සහිත සරු කෑම මේසයක් එහි වූවේය. හෙල්මැළි කුඹුරෙන් ලද බත ඒවා සමග මැනවින් මුසුකොට ආමාශය කරා යොමුකොට, අවසානයේ නුවර මී කිරිවලින්ද, ගෙවත්තෙන් නෙලා ගත් නැවුම් පළතුරු වලින්ද සප්පායම් වූ පසු භෝජන සංග්‍ර‍හය අවසන් වූවේය.

එයින් පසු පැවති පිළිසඳරේදී ඔවුන්ගේ අකමැත්තක් නැති බවත්, තරුණිය කැමති නම් විවාහය සිදුකල හැකි බවත් සැළ කෙරිණි. එයටම එක්වූ මගේ මාතාවද ඇගේ අකමැත්තක් නැති බවද කීවාය. මගේ තීරණය මෙන්ම ඇගේ තීරණයද එළඹෙන සතියේ ප්‍ර‍කාශයට පත් කරන අටියෙන් අපි නැවතත් ගම්බිම් බලා ආවෙමු. ඒ එන ගමනේදී මග දෙපස වූ දූරියන් අළෙවිසැල් දුටු විට මට මතක් වූයේ මැලේසියාවේදී අප දූරියන් අනුභව කල ආකාරයයි.

දූරියන් පුරුෂ ශක්තිය වර්ධනය කරන්න හොඳ කෑමක් ගොයියො...

මම අතුකෝරල ගොයියාට කිව්වා පමණි. ඒකා රථය නවතා ගෙඩි දෙකක්ම මිළට ගත්තේය. ඔයින් මෙයින් කාලය ටික් ටික් හඬින් ගලා ගියේය.

මොකද කියන්නෙ උඹ කෙල්ලට කැමතිද ?

දින කීපයක ඇවෑමෙන් අයිය බඩා ඇසුවේය.

අපි කෙල්ලට මුලින් කියන්න කියමු....කොහොමත් මගෙ හිතට ෆිට් එකක් නෑ. මම නොවලහා කීවෙමි.

එයින් අනතුරුව තවත් දින කීපයක් ගත වෙන්නට ඇත.

දිනක් තකහනියේ දුරබණුවෙන් මා ආමන්ත්‍ර‍ණය කල අයිය බඩා කීවේ මෙවැනි කථාවකි.

එදා බලන්න ගිය කෙල්ල මේ කසාදෙට කැමති නෑ කිව්වලු. ඒක අහලා ගෙදර උන්ට යකා නැගලා...ඒකිට ආයෙ කිසිම මනමාලයෙක් ගේන්නෙ නෑ කියලා තර්ජනය කරලා. කිසිම හේතුවක් නැතුව එන හැමෝටම ඒකි අකමැති වෙනවලු.

අකමැති වෙන්න හේතුව ඇහුවම හේතුවක් නෑ කියනවලු. මම හිතන්නෙ කෙල්ලට බඳින්න කැමැත්තක් නැතුව ඇති. ඒකයි ඒ වගේ උත්තර දෙන්නෙ. ඇරත් ඔය වගේ සීනි බෝල ගෑණු එක්ක මොන කසාදද  බං. තව හොඳ කෑලි දෙක තුනක් ඉන්නවා අපි එයාලව බලමු ඊලගට, එසේ කියූ අයිය බඩා දුරබණුව විසන්ධි කලේය.


කරුණු එසේ වුවත් සිරා කොලුවා දැන් ප්‍රිය සැමියෙකි. ඒ කෙසේද, කවුරුන්ද යන වග මීළග ලිපියෙන් කියමි.



මම කාමරේ අරින සිරා කොලුවා.




ප.ලි

ඊයේ දිනයට සිරාගේ කාමරය අටවා වසර 6 කි. වර්තමානයේ නිතරම නොලිව්වාට, අතීතයේ සිරා කොලුවා කැපවීමෙන් ලියූ හොඳ ස්පෝට්මීට් කොලුවෙකි. 


Related Posts Plugin for WordPress, Blogger...