Wednesday, March 29, 2017

34 කන්දේගමට අරුණළු පෑයූ වගයි.



එක දිගට ගෙවුනු වෙහෙසකර දිවා රෑ ගනනාවකට පසු තවත් එක් දිනයක් පමණක් ඉතිරිව තිබේ. හෙට දින අප යන චාරිකාව හුදෙක් විනෝද ගමනක් නොවේය. අප විසින් ගෙන යන දෑ, අප විසින් ඔවුන්ගේ ජීවිත තුලට එකතු කරන දෑ ඒ කුඩා ජීවීන්ගේ ජීවන ගමනට යම්කිසි හෝ ශක්තියක් වනු නිසැකය.

මාර්තු 19 වන දින රාත්‍රී 12 කණිසම ගෙවී 20 වෙනිදාව උදා වන ඇසිල්ලේ අපි පිටත් වීමු. මේ ගමන මෙසේ පිටත්වන්නට පෙර විඳින්නට වූ ගැහැට කොපමණක්දැයි අධි සුඛෝපභෝගී බස් රථයේ සුව පහසු අසුනකට බර වී, නුවර එළි සිසිලස විඳිමින් තවමත් ඝණ අඳුරේ එතී පසුපසට ගමන් කරන හාත්පස, රථයේ වීදුරු ජනෙල් තුලින් දකින සිරා කොලුවාගේ හිතට නිනව්වක් නැත.  පුංචි සිතිවිල්ලක් දැන් සෑහෙන දුරක් තරණය කර පැමිණ මහා ශක්තියක් බවට පත් වී හමාරය. අපට කිලෝමීටර් 200 කට එහායින් ගැහෙනා පුංචි හදවත් කොනක පුංචි සිහින දළු ලන්නේ අපේ ආගමනය අපේක්ෂාවෙන් සති ගනනාවක සිට ඔව්හු පෙරමග බලා සිටි නිසාය. මේ  ඒ පුංචි හිත් සුන්දර සිහින වල වෙළෙමින් නිදි සුව විඳින වේලාවයි.

2016 වසරේ දෙසැම්බර් මස හිතවතුන් කීප දෙනෙකු සමග එක් වී අරුණළු නමින් අලුත් ගමනක ආරම්භය සනිටුහන් කළෙමි. මේ සංකල්පය මගේ වුවත්, මේ සත්කාර්යය අපේය. මම යන වදනට වඩා අපි නැමැති වදන ශක්තියෙන් වැඩි බැව් මම තරයේ විශ්වාස කළෙමි.

අරුණළු ගැන සිරා කොලුවා වන මම නොවලහා බ්ලොග් ලියන, කියවන උන්ට කීවෙමි. ඇතමෙකු දුරකථන ඇමතුමකින් මා අමතන බැව් ඒ ලිපිය යටින් ලිව්වෝය. තවත් සමහරෙක් ආධාර මුදල් නොවලහා එවන බව කීවෝය. තවත් අය කාර්යාල මට්ටමින් උදව් කරන්නට ශපත කළෝය.

එහෙත් සෑමාත්, සඳරුවාත් පමණක් පුංචි හෝ සටහනක් තබා සිරා කොලුවාට සහාය වූවෝය. අසනීප වන්නට මත්තෙන් නිතර මේ ගැන සොයා බලා මා හට දහිරිය දුන්නේ විචාරක තුමාය. කුමන බාධක ආවත් මහනුවර සිට මේ වැඩසටහන වෙනුවෙන් විවිධ බාධක කම්කටොළු මැද අරමුදල් රැස් කරන්නට චතු මිතු සොයුරිය ඉදිරිපත් වූවාය. ඇය අවසානය දක්වාම ඒ කාරිය මැනවින් ඉටු කලාය.

මගේ ආයාචනය දුටු නමුත් එය සංවේදනය නොවූ ඇත්තන් වෙනතක් බලාන ගියෝය. තවත් කෙනෙක් සහයෝගය දෙන බැව් තරයේ පවසා නෑසු කන්ව සිටියෝය. කම්පා වන්නට කාරියක් නැත. මේ අප වෙසෙන, හුස්ම ගන්නා ලෝකයේ සැබෑ ස්වරූපයයි.

එයින් පසු අරුණළු හිස මත තබාගෙන ඉලක්කයනට සෑහෙන දුරකින්  සිටි මම මගේම පාසලේ  පැරණි හිතවතුන් සොයා ගියෙමි. ලංකාවේ මෙන්ම සයුරෙන් එතෙර දිවි ගෙවන ඔව්හු මාගේ ඉල්ලීමට දැක්වූයේ හෘදයාංගම ප්‍ර‍තිචාරයන්ය. ඒ ඉස්සර දවසක පාසල් සෙවනේ රැස් කරන ලද ධන ධාන්‍යයයි.

පාසල් මිතුරන්ගේ ප්‍රධාන දායකත්වයෙන් අරුණළු ගිණුමේ ශේෂය දිනෙන් දින ඉහළ යන විට බ්ලොග් ලියන කියවන අතලොස්සක්ද ඊට දායක වූහ. මගේ හදවතේ නොසන්සුන් බව මඳින් මඳ දුරු වූවේය. ඒ වගට මහා බලපෑමක් කලේ ආධාර ඉල්ලා මා ලියූ බ්ලොග් ලිපිය ඔස්සේ මා සමග සම්බන්ධ වූ ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවර සිට ක්‍රියාත්මක වන රිද්ම පදනමේ සහෝදරත්වයයි. ඔව්හු රුපියල් මිලියනයක් වියදම් කරමින් කන්දේගම කණිෂ්ඨ විද්‍යාලයේ ගුරු නිළ නිවාස දෙකක් සම්පූර්ණයෙන් අලුත්වැඩියා කරන්නට කැමති වූවා පමණක් නොව මා සමග ක්ෂේත්‍ර‍ චාරිකාවක නිරත වන්නටද කැමති වූවෝය. මේ හිතවත්කම් පසෙකින් දළු ලන විට අනෙක් පසින් අරුණළු ගිණුම හිනැහෙන්නට වූවේය.

අප කන්දේගමට ක්ෂේත්‍ර‍ චාරිකාවක නිරත වූ දින ගුරු නිවස්නයන්ගේ ස්වරූපය දුටු පර්ත් නුවර ඇත්තන් තුෂ්ණිම්භූත වූහ. එහි තත්වය එතරම් නරක විය. වැසි කාලයට මේ නිවාස තුල නොතෙමෙන තැනක් නැත, නාන කාමර භයංකාර පෙනුමකින් යුතු වූයේ කාලයකින් ඒවායේ තීන්ත ගා නොතිබූ හෙයිනි. තමන්ගේ පළමු පත්වීමේ පළමු මාසය ගෙවමින් සිටි සුලෝචනා නම් ගුරු මෙනවියක් අප සමග පැවසූවේ ඒ සතිය තුල පමණක් අවස්ථා දෙකකදී නිවාසය තුලදී සර්පයන් මුණ ගැසුන බවකි. එයින් එක් සර්පයෙක් ලංකාවේ විෂ අධිකම සර්පයා වන තෙල් කරවලා බව කී ඇය මේ සිදුවීම් නිසා මහත් කම්පනයෙන් සිටින වග අපට රහසක් නොවීය. ගුරු නිවස්නයේ දොර ජනෙල් නිසි ආකාරව වසා දමන්නට නොහැකි වීමෙන් සර්පයන් නිවාසය තුලට එන්නට ඇත. විදුලිය බෙදාහැර ඇති රැහැන් පද්ධති රෙදි වැල් මෙන් නිවාසය පුරාම විහිදී පැවතුනි. මෙවන් වටපිටාවක දිවි ගෙවන ගුරුවරුන් වෙතින් කන්දේගම විද්‍යාලයේ දරුවනට උපරිම සේවයක් ලබා ගත හැකි වේද ?

කන්දේගම කුඩා දරුවෙකුගේ ඉංග්‍රීසි අභ්‍යාස පොත 

චිත්‍ර‍ කාමරය

23 වන බල සේනාංකයේ නිළධාරීන් සහ රිද්ම පදනමේ නියෝජිතයන් දෙදෙනා සමග

මේ ක්ෂේත්‍ර‍ චාරිකාවේදී 23 වන සේනාංකයේ  ඉහළ නිළධාරීන් හමුවීමට අපට වරම් ලැබුනේ සිරා කොලුවාගේ තූර්ය වාදක  ඉතිහාසයේ මා සමගම සිටි, මට වඩා වයසින් බාල චරිතයක් වූ වර්තමානයේ මේජර් වික්‍ර‍මසිංහ සොහොයුරා නිසාවෙනි. මේ සේනාංකයේ සමාජ සේවා කටයුතු භාරව සිටින කර්නල් ලලිත් අමුණුගම මහතා අරුණළු සංකල්පය සහ අපේ වෑයම මහත් ඉහළින් අගය කලා පමණක් නොව මේ සත්කාර්යය උදෙසා ශ්‍රී ලංකා යුධ හමුදාව පාර්ශවයෙන් බොහෝ සහායන් දෙන්නට ඉදිරිපත් වීමම අප ලද මහත් ජයග්‍ර‍හණයක් වූවේය.

දැන් ඉතින් නැවතීමක් නැත. දිනෙන් දින අරුණළු වටා එකතු වන පිරිස ඉහළ ගියේය. පුංචි උන්ගේ බලාපොරොත්තු එහි සිට මහේෂ් ගුරුමහතා හරහා මා හට සන්නිවේදනය වූවේය. ඔවුනට උවමනා දෑ ලැයිස්තු එක දෙක තුන වශයෙන් මගේ කාර්යාල මේසය මත නතර වූහ. කෙසේ හෝ ඒ සියලුම දේ මිළදී ගන්නට මා සිත තුල ඇත්තේ නොපසුබස්නා දහිරියකි. 

මේවාට අමතරව වෛද්‍ය කඳවුරක්, එයට උවමනා භෞතික සම්පත්, මානව සම්පත් එකී නොකී බොහෝ දෑ අප ඉතා ඉක්මනින් සූජානම් කළෙමු. මේ කාරිය සඳහා වරින් වර දායක වූ මා මිත්‍ර‍යන් මේ වගකීම් කන්දරාවේ බර බොහෝ සේ සැහැල්ලු කළෝය. අවසානයේ සියලුම බාධක කම්කටොළු ජයගෙන අරුණළු ඉලක්කය වෙත ලඟා වන්නට අපි සමත් වූයෙමු.

අප යන විට ගෘහ විද්‍ය කාමරයේ   ඔවුන් සතුව තිබූ වටිනාම සම්පත්....

සංගීත, චිත්‍ර‍, ප්‍රාථමික අංශය, ගෘහ විද්‍යා, තොරතුරු තාක්ෂණ, ක්‍රීඩා, පුස්තකාල, විද්‍යාගාර ආදී අංශ ගණනාවකට අයත් බොහෝ භාණ්ඩ ප්‍ර‍මාණයක් ඔවුන් වෙත රැගෙන යන්නට තරම් අපේ ආර්ථික ශක්තිය ප්‍ර‍මාණවත් වූවේය. එක වර්ගයේ කුරුල්ලන් එක අත්තේ වහනවා කීවාක් මෙන්, මෙවැනි සත්කාරයකට කැමති බොහෝ පිරිසක් අරුණළු වටා එකතු පහදු වෙද්දී මගේ පාසල් මිත්‍ර‍යා නුවන් කුලසේකර, සචිත්‍ර‍ සේනානායක, මේරියන්ස් නලින් අයියා ප්‍රමුඛ මේරියන්ස්, සංගීතඥ අරුණ ගුණවර්ධන, ස්වාධීන රූපවාහිනියේ ඉන්ද්‍ර‍සිරි සුරවීර වැනි ප්‍ර‍සිද්ධ චරිතද එයට අයත් වීම අරුණළු එළිය තව තවත් තීව්ර කල බව රහසක් නොවේය.

මාර්තු 19 මධ්‍යම රාත්‍රිය උදා වූ ඇසිල්ලේ මේ සියලු තෑති භෝගත් රැගෙන දිඹුලාගල බලා පිටත් වූ බස් රථයේ ඇත්තේ කදිම නිහඩතාවකි. ඒ නිහඩතාව බිඳී ගියේ රථය පළමු නැවතුමේ නතර වූවාට පසුවයි. ගම්පහ රෝහල අසලින් මගේ පාසල් සගයන් දෙදෙනෙකු වූ වෛද්‍යවරු දෙදෙනෙක් රථය සමග එක් වූහ.

අළුයම 12.30 පමණ වන විට කොළඹ නුවර පාරේ මිරිස්වත්ත හන්දියේ ඉතිරි පිරිස අප එන තුරු බලා සිටියෝය. ඒ අතර පෙර සඳහන් කල ජනප්‍රිය චරිත කීපයක් වූහ. මේරියන්ස් කණ්ඩායමට පෙර දින අනුරාධපුර ප්‍ර‍සංගයක් පවත්වන්නට තිබූ බැවින් ඔව්හු හබරන වෛද්‍ය බලකා කඳවුරේදී අප සමග එක්වීමට කථිකා කර ගත්හ. හබරන වෛද්‍ය බලකා කඳවුරේ ඇත්තන් අප එන පෙර මග බලා සිටියේ අපේ උදෑසන ආහාරය පිළියෙල කිරීමේ වගකීම ඔව්හු ඉතාමත් සතුටෙන් භාරගෙන තිබූ නිසාවෙනි.

අන් අවස්ථාවකදී නොව මේ ගමනේදී සියලුම ඇත්තන් වේලාවට පැමිණ තිබීම සතුටට කාරණයක් වූහ. ඒ අතර වෙනසකට තිබුනේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර‍ සිය ප්‍රිය බිරිඳද කැටුව පැමිණ තිබීමයි. ඉතාම නිහතමානී යුවලක් වූ මේ දෙපළ කෙටි කාලයක් තුල බස් රථයේ සිටි සියල්ලන් සමගම මිත්‍ර‍ සමාගමේ වෙලුනෝය.

සුදු අරලියා ගහ යට ගම්පහ පුස්තකාලයේදී මට මුලිච්චි වූ මාතරයා දශකයකටත් පසු දවසක නැවත මුලිච්චි වූයේ ඖෂධවේදියෙකු ලෙස බෙහෙත් කන්දරාවක්ද සමගිනි. හැඳල ලාදුරු රෝහලේ සේවය කරන ඔහු වේලාසනින් පොරොන්දු වූ බෙහෙත් පෙට්ටියද සමගින් නියම වෙලාවට පැමිණ සිටියේය. එදා අප සමග පුස්තකාලයේදී පාඩම් වැඩ කල මිතුරන් කීප දෙනෙකුම අද මේ වැඩසටහනේ වෛද්‍ය භූමිකාවට පණ පොවන්නට මේ අළුයමේ පැමිණ සිටියේ ඔවුන්ගේ කාර්ය බහුල ජීවිත මඳකට අමතක කරමිනි.

මේ අළුයම් කාලයේ මහා මාර්ගයේ ධාවනය වන්නේ අල්ප වූ රථ වාහන ප්‍ර‍මාණයක් නිසාවෙන් අප සියල්ලෝම කරදරයකින් තොරව හබරන වෛද්‍ය බලකා කඳවුරට පැමිණියේ එහි ලගා වන්නට අපේක්ෂා කල වේලාවට වඩා හෝරා දෙකක් වේලාසනෙනි. ඒ වන විට අප වෙනුවෙන් උදෑසන ආහාර එහි සැකසෙමින් තිබූ අතර කඳවුරේ දෙවැනියා වූ මේජර් නිළයේ සිටි කාන්තා නිළධාරිනිය සිවිල් ඇදුමින් සැරසී අප සියල්ලෝ ඉතාම ආදරයෙන් පිළිගෙන සුහද කථා බහේ නිරතව සිටියාය.

උදෑසන ආහාරයෙන් පසු කන්දේගම කණිෂ්ඨ විද්‍යාලය වෙත යාමට ගැලපෙන ඇඳුමකින් සැරසෙන්නට කාට කාටත් ඇති තරම් විවේකය සහ පහසුකම් එහි සංවිධානය වී තිබුනි. අපගේ කටයුතු සියල්ලම අවසන් වී, පාතරාසය නිම වූ ඇසිල්ලේ නලින් අයියා ප්‍ර‍මුඛ මේරියන්ස් ඇත්තන් එහි පැමිණියේ එදින අළුයම අවසන් වූ ප්‍ර‍සංගයෙන් ඉතිරි වූ වෙහෙසද දරා ගනිමිනි.

මෙවැනි සත්කාර්යයකට දායක වන්නටත් සිතක් පහළ විය යුතුය. එසේ නොසිතෙන ඇත්තන් තමන්ට මොන තරම් සම්පත් තිබුනත් කිසිම විටෙක මෙවැනි වැඩපිළිවෙලක් සමග එක්වන්නේ නැත. ඒ අර්ථයෙන් ගත් කල මේ පැමිණ සිටින පිරිස ගැන, උදව් කල ඇත්තන් පිළිබඳ සිරා කොලුවා වන මා සිතේ ඇති වන්නේ භක්තිය මුසු වූ ගෞරවාන්විත හැගීමකි. ආර්ථික ගැටලු වලින් ගහන පරිසරයක සිට අකුරක් ඉගෙන ගන්නට වෙර දරන අහිංසක මල් කැකුලු වෙත ඔව්හු කල පරිත්‍යාගයන් බොහෝය.

අරුණළු මනුෂ්‍යත්වයේ සත්කාරයේ විස්තර / පින්තූර සහ අයවැය සමගින් ඊළග කොටසින් යළි හමු වෙමු.


මම කාමරේ අරින සිරා කොලුවා.



ප.ලි

සිරාගේ කාමරයේ අවසන් ලිපිය පල වී මාසයකටත් වැඩි කාලයක් ගත වී තිබේ. අරුණළු වැඩ පිළිවෙල අති සාර්ථක ලෙස අවසන් කිරීමට කාලය වැය කරන්නට සිදු වූ නිසා ඒ නිහැඩියාව ඇති වූයේය.


අරණළු සමග වාර්ෂිකව වැඩ කටයුතු කරන්නට බොහෝ පිරිසක් ශපථ කල සිටි නිසාම වාර්ෂිකව ඈත පළාතක දුප්පත් පාසලක් ඉලක්ක කොට අපේ වැඩසටහන  අඛණ්ඩව පැවැත්වීමට අපි තීරණය කළෙමු

Related Posts Plugin for WordPress, Blogger...