Sunday, March 30, 2014

52 ඇදහැලුණු අහස

පහන් දැල්ල සැලිසැලී දැල්වුණි. පහන මුදුණේ ලැගුම් ගත් කුකුළා සිය දෑසේ ඉලක්කය වෙනස් නොකර නොසෙල්වී සිටියි. පෙඟී ගිය කෘමින්ගේ තටුත් සිරුරුත් දෙකම ‍පහනේ තෙල් තුළ කිඳා බැස තිබුණි. නොවැසූ, තිර රහිත කවුළුවෙන් කිසිදු බාධාවක් නැති හෙයින්ම පැමිණි වියළි සුළඟ පහන් දැල්ල සමග සෙල්ලම් කරයි. පහනේ පිත්තල නෙරුව කළුතලා කරගත්, ඒ මේ අතට ඇඹරෙන දැල්ල නොනිවී සිටින්නට තැත් දරයි.
.......................................................................................................

ක්‍රීස්...... ක්‍රිස්... ක්‍රීස්...... ක්‍රිස්...

ඒ අතටත් මේ අතටත් පැද්දෙන විට අඹ අත්තේ වූ ලණුව ශබ්ද වන හඬ බණ පොත මත නෙත් තබා තිබුණද මිත්තණියගේ සවනට ඇසිණි.

සර සර හඬින් ඇගේ කොන්ඩය වියළි කොළ අතු මත සංගීත රටා මැවීය. ඇයට ඉහළින් නිල් අහස කැරළි ගැසුණු වලා තිර විහිදා හැරීය. වාරයෙන් වාරයට අඹ අත්ත ඇගේ සිරුරේ ඇදිල්ලට නතුව අසීරුවෙන් නැංවෙන කිරි කිරිය නැංවීය. පැද්දිල්ලකින් පැද්දිල්ලකට පයක් බිම ඇන ගැම්ම ගනිමින් ඈ ඔන්චිල්ලාවේ එල්ලී සිටියේ සිය කුඩා සිරුර පොළවට සමාන්තර ලෙස තබා ගනිමින් උඩුබැල්ලලෙන් අහස බලාගෙනයි. නිලට නිලේ බැබලුණු අාකාශය මූසල අළු පැහැයක් ගන්නා තුරුත්, කිරි සුදේ සිට රන් තැඹිලි දම් පැහැයෙන් වලාකුළු සැරසෙනා තුරුත් ඈ සිය ඉරියව්ව වෙනස් නොකරමින් ඔන්චිල්ලාවේ එල්ලී සිටියාය.

“දැන් ඇති නේද ඔය සෙල්ලම. බෙල්ල කඩා ගන්නද හදන්නෙ සඳා?”

ඒ ඇමතුමට ඇගෙන් හාවක් හූවක් නැත. සිටි ඉරියව්වේ කිසිදු වෙනසක් නොකළ ඈ කළ කාර්යය දිගින් දිගිටම පවත්වාගෙන ගියාය. දෙසවන් පියාගෙන ඇගේ කෙස් වැටිය බිම වූ වියළි අඹ කොළ මත ඇදී යන විට නැගෙන රළු රාවයට කන් දෙමින් මොහොතක් ගත කළාය. නැවතත් දෙනෙත් විදා මුහුදු රළ මෙන් හැඩ ගැසී ඇති වලාකුළුත් සිය දෑසත් ඔන්චිල්ලා ගමනේ ඉදිරියට පසුපසට සිදු වන ආගමනයන්ට මුහු කළාය.

“කී පාරක් කියන්නද ඇති කියල ඔය සෙල්ලම. මෙහෙ එනව මම කෝටුව ගන්න කලිං”

“අනේ අම්මේ ටිකා....ක්”

“මාව ඔතෙන්ට ගෙන්න ගන්නද හදන්නෙ? ආවොත් දන්නවනෙ”

මෙවර කිසි අවසරයක් නැති බව අවබෝධ කරගත් ඈ පොළවට සමාන්තර කරගත් කඳ කෙලින් කර, දෙපයම බිම තබා හැකිතාක් ඔන්චිල්ලාව ආපස්සට ගෙන උස් පැද්දුම් වාරයක් ගෙන දෙවැනි වාරයේදී ඔන්චිල්ලාවෙන් බිමට පැන දොරකඩ බලා සිටි අම්මා අසලට දිවීය.

“මෝඩ වැඩ කරන්න එපා කෙල්ලෙ. හොම්බ කට තුවාලකරගෙන එන්න විතරක් එපා අඬාගෙන”

ඈ කළ ක්‍රියාව බලා සිටි අම්මා ඈ පිළිගත්තේ බැනුමටම එක් කළ ටොක්කක්ද සමගිනි.

“දූවිලි කොළ රොඩු නාලා. බලාපන් සඳා උඹ වැද්දියක් වගේ. කෝ හිටහං”

“අනේ අම්මේ ටිකකින් ටිකකින්” යැයි කියමින් අම්මාගෙන් බේරී පැන යන්නට හැදූ සදා කෙල්ලව ඇගේ අම්මා විසින් ඈ සමීපයට ගත්තේ දුහුවිලි නා සිටි නිසාවෙන් නාවා ගෙට ගැනීමටයි. වියළි අඹ කොළ මත ඒමේ අතට ඇතිල්ලිම නිසාම ඇගේ කෙස් මත පැටළු‍ණු කොළ රොඩු ගණනාවක් විය. කෙතෙක් දැඟලූවත් අම්මාගෙන් මිදීමට ඇයට නොහැකි වූ හෙයින් ඇගේ අරමුණ පසෙක ලා අම්මාට අවනත වූ බව හඟවා නිහඬ වීමට ඈ තීරණය කළාය ඒ තවත් ගුටි මුරයකින් හෝ ටොකු පාරකින් අම්මා අවුස්සා ගැනීම ඇයගේම අවාසියට හේතු වන හෙයිනි.

ගෙට ඇතුල් වීමට හෝ ඇයට ඉඩක් නොතබා අම්මා ඇයව කෙලින්ම ලිඳ ලඟට ගෙන ගොස් දුහුවිල්ලේත් කහට පැල්ලම් වලත් හැඩ රටා මැවූ ඇගේ හැට්ටයත්, යට කලිසම හැරෙන්නට සායත් ගලවා රෙදි ගල මත හි‍ඳෙව්වාය.

“ඔය ඔය ඉඳගනින් විසේ නැතිව”

ගල මත සිටගැනීමට ගිය දියණිය නැවත අතින් ඇද හිඳුවන්නට ඇයට සිදු විය. සාය දෙකකුල් අතරට සිර කර බාල්දිය ලිඳ තුළට දමන මොහොතේ (වතුර ඇඟ මත හැලෙන්නටද පෙරාතුවම) සඳමාලිට සිතල හැදුනේ “රම්‍යා උඹ ඔය කෙල්ලව අසනීප කරන්නද හදන්නෙ” යැයි කියූ මිත්තණීයගේ වදනත් සමගිනි.

“අනේ අම්‍මෙ හෙට නාන්නම් බෑ... බෑ අද බෑ...”

සිය සහායට පැමිණි මිත්තණියගේ වදනින් ලද උත්තේජනයෙන් ගැයෙන්නට වූ ඇගේ යාදින්න ‘ජරාස්’ හඬින් ඈ මත ඇද හැළුණු වතුර බාල්දියේ හඬින් යටපත් විය. හිරිගඩු නැංවුණ සීතලත් සමගින් ගල මතින් පැන සිටගත් ඇගේ හිසේ බාල්දිය වැදුණෙන් නැවත අම්මාගෙන් ගුටියක් ලැබිණි.

“බලන්න අම්මෙ මේ කෙල්ලගෙ විසේ. අර ඔන්චිල්ලාව ගලවල දාන්න ඕන. ඒකෙ බුදියගෙන බිම දිගේ කොණ්ඩෙ අතුල්ල ගන්නවා. කලවැද්දියක් ගෙට ගන්න පුළුවන්ද? බලන්නකො විසේ තරම, ඔළුවත් වද්දගත්තා නැටිල්ලට ගිහින්”

රම්‍යා කීවේ නැවත ඇයව බාහුවෙන් ඇද රෙදි ගල මත හිඳුවමිනි. ගල් අතුරන ලද බිම බැඳි දියසෙවෙල් මත ලිස්සා වැටෙන්නට ගිය ඇය නොවැටී බේරුණේ වැටෙන්නට පෙර ඉඳගැනීමට හැකි වූ බැවිණි. එහෙත් රෙදි ගලේ අත වැදීමෙන් අල්ල සීරුණද ඇයට එහි වගක් නොවීය. කප්පියේ කැරකිල්ලෙන් නැගි කිරි කිරිය අසමින් ඇය වතුර බාල්දි හිස මත හැලෙනවාත් සමග හිස ඉහළ පහළ වනන්නට වූයේ පස් කණ්ඩියේ මීවන අතුද වතුර පහරට හසුව ඉහළ පහළ සෙලවුණූ හෙයිනි. කණ්ඩිය උඩ කෙටි බැම්ම මත හිඳගත් අත්තම්මා මිනිබිරියගේ දැඟලිල්ල දෙස බලමින් සිනහවෙමින් සිටියද සිය ලේලිය කෙරෙහි වූ දෝශාරෝපණය ඉවත්කර ගැනීමට නොසිතීය.

“කෙල්ල ලෙඩ වෙයි. විගහට නාවල ගෙට ගනිං. ඉරත් හැංගෙනකල්ම හිටියනෙ උඹත් මේකිව ඔන්චිල්ලාවෙන් බස්සගන්න”

“කොච්චර නම් කෑගැහුවද අම්මෙ. කෝ මේක කියන දෙයක් එක කනකට ගන්න ජාතියේයැ. අපිට පලියටමයි මුනුත් හැදෙන්නෙ.”

නැන්දම්මාගේ මුහුණ නොබලාම කී රම්‍යා සබන් පෙන පුම්බමින් සිටි සඳමාලිව ලණු කැරැල්ලෙන් අතුල්ලන්නට වූයේ “ඌයි අම්මේ රිදෙනවා” යැයි කියමින් ඇගෙන් බේරීමට දැඟලූ දියණිය තවත් සමීපයට ඇද ගනිමිනි.

“මේකනම් හොඳ කැලෑවකටමයි. බලන්නකො මේ සබන් වල කුණු පාට. කෙල්ලෙක් කියල වගක් තියේද නටන්න තියෙනවනම්”

“හා හා... දැන් ඔය ඇති බං. බලාපන් කෙල්ල වෙව්ලනව දියෙන් ගොඩ දාපු මාළුවෙක් වගේ. ඔන්න ඔය වතුර බාල්දි දෙකක් වක්කරල අහවරක් කොරල ගනිං”

“කෝ හිටිං එක විදිහකට”

වෙව්ලිල්ල නිසාම උඩ පනිමින් සිටි ඇයව රම්‍යා නැවතත් ගල මත හිඳවූවාය. එකින් එක වතුර බාල්දි හිස මත වැක්කෙරෙනවාත් සමගම හිස ගසා දමමින් පැද්දෙන කෙහෙ රැළින් වතුර මලක් සාදන්නට වූ සඳමාලිගේ ඒ උත්සාහයත් නැවතුණේ ‘මාව තෙමෙනව හරකියේ’ යැයි කියමින් අම්මාගෙන් නැවත ලද ටොකු පහර හේතුවෙනි. අම්මාගේ කේන්තිය ඇවිස්සීමට ලද හැම ඉඩ අවසරයම ප්‍රයෝජනයට ගන්නා මිනිබිරියගේ දඟකාරකම් දෙස මිත්තනිය බලා සිටියේ සිනහසෙමිනි.

.......................................................................................................
අවරගිර අහස වඩාත් අඳුරු කරමින් වලාකුළුවල දේදුනු වර්ණ මකා දමමින් හිරු තව තවත් කඳු අතර ගිලෙමින් පැවතිණි.

රාමු කනපිට ගැසූ බිත්තියෙහි සලබයෙක් වසා සිටියේය. උගේ අඳුරු කහ පැහැති පැල්ලම් ගැසුණු විසල් පියාපත් සුදු පැහැ බිත්ති තලය මත පැතිරී තිබිණි. ඉලිප්පී පෙනුණු ඇස් දෙකක් වැනි වූ, උගේ පූර්ව පියාපත් මත වූ කළු රවුම් පියාපත්වල කිළුටු කහ පැහැය මකාගෙන මතුවී බැබලීය. ඉහළින් දල්වා තිබූ විදුලි බුබුළ නිසා ඇතිවූ සිහින් සෙවනැල්ලක් සලබයාගේ පශ්චාත් පියාපත් වටකොට ඉරක් වන් අළු පැහැ සෙවනැල්ලක් මැවීය.
.......................................................................................................

“ආච්චම්මෙ, අහසෙ මුහුදක් තියෙනවද”

 මිත්තණි‍යගේ සමිපයට වී තෙත් හිසකෙස් තුවායෙන් පිසදා ගන්නා අතර සඳමාලි ඇසුවාය.

“අහසෙ කොයින්ද පුතේ මුහුදක්?”

“ඇයි ආච්චම්මෙ හැමදාම ඔන්චිලි පදිද්දි මං වලාකුල් දිහා බලන් ඉන්නවනෙ. එතකොට අහස එක එක විදිහ වෙනවනෙ. හරියට මුහුදෙ රැල්ල වගේ. රැළි රැළි රැළි රැළි ගොඩාආආආආයි”

“ඒ වලාකුළුනෙ පුතේ. මුහුදු රැළි නෙවෙයි”

“එහෙනම් ඒවා වේගෙන් යන්නෙ. අනික සැරින් සැරේ වෙනස් වෙනවනෙ. මං බලන් හිටිය ගොඩක් වෙලා. මුහුදෙ රැළි වගේ වලාකුළුත් සුදු පෙන ගොඩයි.”

“අහස මුහුදක් වෙලා එකපාරම පොළවට කඩා වැටුණොත්...... ආච්චම්මෙ මං ඔන්චිල්ලා පදින වෙලාවෙ මට එහෙමමයි හිතුණෙ. බැරිවෙලාවත් දඩස් ගාලා අහස කඩා වැටුණනම් එහෙම”

මිණිබිරියගේ ඇඟ පිස දමමින් සිටි මිත්තණිය ඇගේ හීන කතා අසා සිටියේ විනෝදයෙනි. බොහෝවිට ඇගේ ප්‍රශ්න සඳහා තමා වෙත පිළිතුරු නොමැති බව ඇය දැන සිටියා සේම ජීවිතයේ හසරක් නොදැන හීන ලොවක කතා මවන ඇගේ කතා අසා සිතින් තුටු වීමට ඈ හුරු වී සිටියාය. ඇරත්, ඈ ලිඳට එබෙන විට ඇයට ඔච්චම් කරන ලිඳ තුළ සිටින කෙල්ල ගොඩගන්න කළ දැඟලිල්ල අවසානගේ ඇයත් ඇගේ සෙවනැල්ලත් අතර වූ හැංගිමුත්තම් කෙළියක් බවට පත්වද්දී, එපිටින් පෙනෙන හුන්නස්ගිරි කන්දෙන් උදා හිරු නැගෙතැයි සිතා ‘අත්තම්මෙ ඉර අල්ලල එන්න කන්දෙ යං’ යැයි කියද්දී, අතට අහුවෙන ඇඳුම් කපමින් ‘බෝනික්කන්ට ඇඳුම් මහන්න’ යැයි කියමින් රෙදි විනාස කරද්දී, අම්ම වගේ තුනපහ අඹරන්නවැයි කියමින් කටු බිත්ති මත කුරුම්බැට්ටි උලමින් සෙල්ලම් ගෙවල් දමද්දී, ගල් ලෑල්ල මත අකුරු කිරීම පසෙක ලා එය සෙල්ලම් ගෙදර එළවළු කපන ලෑල්ල බවටත්, කුඩු වන තෙක් කෙටූ හුණු කූරු සෙල්ලම් ගෙදර රස ආහාර බවටත් පත් වද්දී මිත්තණිය මිනිබිරියගේ කතන්දර අතර නිහඬ ප්‍රේක්ෂිකාවක් වූවාය.

ඇය සිය මිනිබිරියගේ වයසේ සිටියදී මැවූ සිහින අතරින් දැනට ඇගේ මතකයේ දුහුවිලි බැඳුණු හුයකින් එල්ලී තිබුණේ කුඹුරු යායක කෙළවර දොළ ඉස්මත්තේ වූ වරිච්චි ගෙපැලයි. දින සති මාස අවුරුදු වී දශක කිහිපයක් පසු කළ තැන ඇගේ සිහිනය ඉටු වූ අතර අද වන විට වෙනසකට වූයේ වරිච්චිය සමතලාකොට ඉහළට නැගුණු මෝඩ ගඩොලේ කපරාරුව මතින් හුණු පිරියම් කළ බිත්තිත්, පොල් අතු හෙවිල්ල වෙනුවට බිත්ති මතින් බලය විදාහල රටඋළු වහලත් පමණි. මෝඩ ගඩොල වසා කපරාරුවක් තිබූ හෙයින් රට උළු වලට මෝඩගඩොල් නොකැපෙන බව වසංවිණි. ‘කෙල්ලට සෙල්ලං කරන්න නංගියෙක් මල්ලියෙක් හිටියනම් හොඳා... නාකි අපි එක්ක ඒකි මොන සෙල්ලමක් නම් කරන්නද’ තමාත් සිය ලේලියත් මිනිබිරියත් අතර වූ පරම්පරා දුර මනිමින්, මිනිබිරිය බහ තෝරන්නට තෝරන්නට ඇය නිතර සිතූ සිතිවිල්ල මෑතකදී ඇගේ හින අතර තැන්පත් වු අවසන්ම හීනය විය. ඇරත් තම සිහින සැබෑ වූවා සේ මිනිබිරිය නිතර දකින සිහිනය - අහස මුහුදක් වී කඩා වැටීම - සැබෑවක් විණි නම් යන සිතිවිල්ල දැන් ඇගේ මනසට නැගෙද්දී මිනිබිරියගේ දහසකුත් සිහින කතා සියල්ල එක් වී ඈ සිතේ මහා කතන්දරකාරියක මවන ලදී.

“පුතේ මේ කොත්තමල්ලි එක බොන්න”

තම කෝප්පය අතට ගත් පසු ලේලිය සඳමාලි වෙත ගෙනෙනු ලැබූ කොත්තමල්ලි කෝප්පයත් මිත්තණීය විසින්ම සියතට ගත්තේ මිණීබිරියව ඈ පසෙකින් හිඳුවා ගනිමිනි. හරි බරි ගැසී කවිච්චිය මත හිඳගත් සඳමාලි කෙල්ලට ලි‍ඳේ සීතල වතුරෙන් ඇති කළ වෙව්ලිල්ල තවමත් පහව නොගිය බැවින් මිත්තණියගේ වොයිල් සාරියේ උණුහුමට තව තවත් ගුලි වූවාය.

“අම්මෙ හකුරු”

“නෑ නෑ සීනි දාලා තියෙන්නෙ”

“බෑ හකුරු ඕනි, නැත්තන් මට එපා මේවා”

“ටිකක් හරි කියන දෙයක් අහල ඉඳපන් ළමයා. එක මොහොතක් නිස්කලංකයක් නෑ. ඔය හැටි කෑගහන්න තියාගන්න එපා හිතුවක්කාරකමට”

ලේලිය නැවත කුස්සියට වැදෙන තුරු සිටි මිත්තණිය සිය හකුරු කැබැල්ල සඳමාලිට දුන්නේ “වැඩිපුර පැණි රස කෑවොතින් දත් නරක් වෙයි. පේනව නේද ආච්චි අම්මගෙ කටෙත් දත් නෑ” කියමිනි.

“එහෙනම් ආච්චම්ම හකුරු කන්නෙ දත් නැති නිසාද? මගෙත් ඉස්සරහ දත් සේරම නෑ. මේ.....” කියමින් සිය දත් මිත්තණියට පෙන්වූ ඇය “ඒ හින්ද මගේ දත් එනකන් අම්ම ආච්චම්මට දෙන හකුරු සේරම මට දෙන්න” යැයි කීවාය.
.......................................................................................................
සෙනග ගැවසුනද සියල්ලෝම එමෙ මෙහෙ ඇදුනේ සෙවනැලි සේය. කතා බස් බොහෝ වුණද ඒවාද කනකින් කනකට කොඳුරන රහස්ම පමණක් වී අවසානයේ හඳුනාගත නොහැකි අපැහැදිලි ශබ්ද රටා ගණනාවක් එකවිට දෙසවනට රිංගීය. තෙල් සිඳී යන විට දැල්ල නොනිවී තිබෙනු පිණිස නැවත නැවත පහනට තෙල් දැමුණි.
.......................................................................................................

උදෑසන සඳමාලි නිදි යහනෙන් නැගිට්ටුවා ගැනීමට ඇයව ඔන්චිල්ලාවෙන් බස්සවා ගැනීම තරම් හෝ දුහුවිලි නෑමේ ඇගේ ආශාවෙන් ඈත් කර තැබිම ඇයව අරලියා ගහෙන් බස්සවා ගැනීම තරම් අසිරු වූයේ නැත. පොළව මට්ටමේ සිට අතු බෙදි ගිය අරලියා ගසට ඈ පහසුවෙන් බඩගෑවේ බුදුන්ට පුදන ආච්චි අම්මාගේ මල් බන්දේසිය අරලියා මලින් පිරවිමට වඩා, ඇගේ සිහින ලෝකයේ වනාන්තරයක උස ගසක තැනූ පැලක ඈ විසින් හොබවනු ලැබූ වන දැරියකගේ චරිතය තුළ දැහැන්ගත විමටයි. බිත්ති මත උලන ලද කුරුම්බැට්ටි ලාටු ඈ සිය මුහුණ පුරා තවරාගත්තේද එම සිහිනයේ ජීවමාන කොටස්කාරියක වෙමිනි. හිරු එළිය වැටුණු විට වේවා අඳුරේම වේවා ඇය දවස අරඹන්නට ඕනෑම මොහොතක සූදානමින් සිටි අතර දවස තුළ ඈ විසින් කළ යුතු දෑ බොහෝ විය. එහෙයින් රැය පුරා වක ගැසී අත්තම්මා තුරුලේ ගුලිවි නිදන ඇය, උදෑසන පළමු මොහොතේම ඇගේ සවනට වැකෙන පළමු ඇමතුම් නදින්ම ඇඳ මත දිගෑදී හිරි ඇර ගනිමින් සිනා පාමින් අවදි වන්නීය.

“ඔය බලන්න ඉතිං, මේ ළමයට වෙන වැඩක් තියේද දවස පටන්ගත්ත මො‍හොතෙ පටන් ඔන්චිල්ලාවෙ එල්ලෙනව හැර”

ලේලියගේ නෝක්කාඩුව, සඳමාලිගේ මිත්තණිය බලාපොරොත්තු වූයේ ඇතුල් කාමරේ බණ පොතේ දෑස් රඳවා සිටි ඇගේ සවනට ඔන්චිල්ලාවේ කිරි කිරිය ඇසෙන්නට ගත් මොහොතේමය. එහෙත් එය මදක් පමා වූයේ කුස්සියේ වැඩපල අහවර කරමින් සිටින අතර ඇයට අඹ අත්තේ හැඬීම නෑසුණු හෙයින් විය හැකි බව ඈ සිතුවාය. ඒ වෙනුවට දියණිය කෙරෙහි වූ මැසිවිල්ල සිය නැන්දනිය වෙත ඈ පැවසුවේ නැන්දනියගේ කහට කෝප්පයද රැගෙන ඇතුල් කාමරයට පැමිණි විටයි.

“පොඩි කෙල්ල කාන්සියෙන්නෙ බං ඉන්නෙ. මක් වෙනවද මේ වයසට දාංගලේ තිබුණට. ආය ඉතිං කර දඬු උස්මාත් වුණාම දඟලන්නයැ”

“මෙයාගෙ විදිහටනම් අම්මෙ කොයි හැටි හිටීවිද මංදා ලොකු මහත් වෙද්දි” තරවටු මුහුණේ බැරෑරුම් කමක් මවාගනිමින් ඈ පැවසූයේ සිනාවක්ද සමගිනි. “අම්ම මොකෝ අද හකුරු නැතිවද තේ බොන්නෙ?” නැවතත් ඇය පැවසුවේ නැන්දනිය අතට දුන් හකුරු කැබැල්ල නැවත මේසය මත අරන් තබනු දුටු විටයි.

“උඹ ‍ඔය හැන්දැකරේ වෙනකන් කෙල්ලව නාවන්න තියාගන් නැතිව වේලපහින් ගෙට ගනින්. අව් රැල්ලක් වැටෙන් නැති වෙලේ නාවල ඒකි අසනිප වෙයි.”

“සඳාගෙන් සද්දයක් නෑ. මං පොඩ්ඩක් ගිහින් බලන්නම්.” ඔන්චිල්ලාවේ කිරි කිරිය නෑසුණු ඇය කීවාය.

“ඔය හකුරු කෑල්ලට කූඹි වහයි අම්මෙ. කෝ දෙන්න බෝතලේට දාන්න”

“ඔහේ තිබුණාවෙ.” කී ඇය නැවත බණ පොත වෙත දෑස් රඳවා ගත්තීය.

“අම්මේ................................................”

ඇසුණු මහා විලාපය කොහෙන් කොතැනින් කාගෙන් ඇසුණිද? එය හිතළුවක් පමණද? සැබැවින්ම ඇසුණේදැයි මිත්තණියට එකවරට සිතාගත නොහැකි විය. ඇලවී සිටි ඇඳ විට්ටමින් එසැවී ඇඳ මත හිඳගත් ඇය දොරපිලට ආවේ කෙසේදැයි ඇයවත් නොදත්තාය. කියවමින් සිටි බණ පොත කොහේ තැබුවේදැයි ඇයට මතකයක් නැති විය. නැගිට්ට කලබලයට අත මේස ගැට්ටේ වැදුණු බවක් ඇගේ මතකයේ නොවිණි. දොර පිලට ආ ඇය දුටු දෙය හරියාකාරව දකින්නත් පෙරාතුව අහසත් පොළවත් තමා අවට සියල්ලත් දැලි අඟුරු සේ කළු පැහැ ගත් බව පමණක් ඇගේ මතකයේ විය.

සමාන්තරව දිවෙන ඔන්චිල්ලාවේ ලණු දෙක තවමත් සමාන්තර ලෙස අඹ අත්තේ එල්ලී පහලින් ලී අසුන රඳවාගෙන සිටී. ඇඹරුණු ලණු දෙපටත්, ලණු දෙපට විසින් සිර කරගනු ලැබූ ඇ‍ගේ කුඩා සිරුරත්, ජීවයෙන් තොරව එල්ලී වැ‍ටුණු ඇගේ දෑතත් එහි විය. ඈ ආශා කළ ඇගේ ඔන්චිල්ලාව ඇගේ ගෙල වටා සිය ලණු සලකුණු තබා තිබුණි.
.......................................................................................................
සලබයාගේ අඳුරු පුල්ලි පැය ගණනක සිට බිත්තිය සිසාරා පැතිරී ඇත. නොනිවෙනා සේ රැකවලට හසුවූ පහන ඇගේ ඉස්මත්තේ විය. කවදාකවත් ඈට නුහුරු වූ නිසලත්වයක ගිලී සිටින සිය මිනිබිරියගේ සුදුමැලි වූ සිරුර මිත්තණියගේ පටල බැඳි දෑස් තෙත්කළ කඳුළු වලින් තව තවත් බොඳ කෙරිණි. විටින් විට සිය උගුර සිර කරගන්නා දුක විසින් ඈව සිහිසුන් කෙරිණි. නමුත් යළි යළිත් ඈ සිය මිණිබිරිය සොයා ආවාය.

“නැගිටපන් දුවේ, මං අම්මට හොරෙන් අදත් හකුරු කෑල්ලක් හංගගත්තා මගේ පැංචිට. අනේ නැගිටපන් මගේ රත්තරනේ”

නිමි.


මාසයේ 7 වෙනි ලිපිය වෙනුවෙන් සිරාගේ කාමරයට ලියා එව්වේ.


මාසයේ අවසන් ලිපිය වෙනුවෙන් සිරාගේ කාමරයට ලියා එව්වේ,

තිළිණි ෂැල්වින් (සිත්තරී මං)



ප.ලි

මාසයේ අවසාන ලිපිය ලියන්නට පාඨක ඔබට කල ආරාධනාව අනුව යමින් සිරා කොලුවා වන මා වෙත නිර්මාණයක් එවූ තිළිණි ෂැල්වින් සොයුරිය වෙත මාගේ නොමද ස්තූතිය හිමි වේ.

අප්‍රේල් මාසය සදහා හත්වෙනි ලිපිය ලියන්නේ ඔබද ? බ්ලොග් ලියන කියවන හැමටම මේ අවස්ථාව විවෘතය.

Wednesday, March 26, 2014

114 සිරිතිලක සහ කුලී රථය 2 කොටස

// මම බදින්න කැමති කෙනා ඔයා කියලා මට කියාගන්න පුලුවන් නම්.......සිරිතිලක සුක්කානමට හිස තබාගෙනම කල්පනා කලේය.//

එතනින් අහවර වූ පළමු කොටස කියවූයේ නැති අය මෙතැනින් ඒ කොටස කියවාගෙන එන්න.

නිදි නැති රැයක් සිරිතිලක වෙත උදාවූයේ කලකට පසුවය. කාර් රථය සමග දවස පුරා ඒ මේ අත ගොස් රෑ බෝ වී නිවසට පැමිණෙන හෙතෙම කා බී අහවර වූ වහාම ඇදට වැටෙන්නේ ඔහුගේ සිරුරට දැනෙනා අධික තෙහෙට්ටුව නිසාමය. එහෙත් අද නම් නින්ද ගව් ගානක් ඈතට ගොසිනි. ඔහුගේ සිත අමුතුම චමත්කාරයකින් පිරී පවතී. වසර 3ක්ම ඇය සමග කිලෝමීටර් 2 කට වඩා දුරක් තනි ගමනකදී නොගිය ඔහුට උදාවන්නට නියමිත අරුමැක්කේ සෑහෙන දුරක් රථය පදවන්නට නියම වී තිබේ.

නින්ද අහලකවත් නැති තැන සිරිතිලක සාලයේ තිබූ රේඩියෝව ක්‍රියාත්මක කලේය. නිවසේ රැදී සිටින කාලය මද හෙයින් ඔහුට ගුවන් විදුලියට සවන් දෙන්නට වේලාවක් නැතිය. මතක ඇති කාලයක තමා මේ යන්තරය ක්‍රියා කරවා නොමැති බව සිරිතිලකට හදිසියේ මෙන් සිහිපත් වූවේය.

පාලු අදුරු නිල් අහස මමයි
ඈත දිලෙන තනි තරුව ඇයයි
යුගයෙන් යුගයට හදවත් ඉල්ලන
බලාපොරොත්තුව පැතුම ඇයයි

අසාර වූ මහ පොළව මමයි
ගලා බසින දිය දහර ඇයයි
යුගයෙන යුගයට හදවත් නලවන
සදාකාලික වු සැපත ඇයයි

කැළෑව මැද කටු පදුර මමයි
පිපී වැනෙන මල් පොකුර ඇයයි
යුගයෙන් යුගයට හදවත් පුරවන
අදුරු වේදනා කැටිය ඇයයි

අමරදේවයන්ගේ හැගීම්බර කටහඩින් මේ ගැයෙන්නේ මගේ ගීතයදැයි විටෙක සිරිතිලකට සිතුනේය. තවත් ගීත දෙක තුනකට පසු සෙත්පිරිත් සජ්ජායනයටද සවන් දී සිරිතිලක නිදි දෙව්දුව වැළද ගන්නා විට මධ්‍යම රාත්‍රියේ කණිසමද ඔරලෝසුවේ සටහන් වන බවක් සිරිතිලක හට යාන්තමින් ඇසුනේය.
.......................................................................................................

සිරිතිලක තම රථය පදවාගෙන ගම්පහ ඉස්ටේසුම ආසන්නයට යන විටත් ඇය පැමිණ සිටියේ නැත. ඥාතියාගේ නිවසේ සිට දුම්රියෙන් පැමිණ ගම්පහ නගරයට පැමිණිය යුතු හෙයින් ඇයට වේලාවටම පැමිණීමේ අපහසුවක් ඇති බව හෙතෙම දනියි.

එහෙත් මද වේලාවක් ඇවෑමෙන් පැමිණි දුමිරියකින් බැස සුජාතා කඩිමුඩියේ සිරිතිලකගේ රථය වෙත පැමිණියාය.

මම පරක්කුද ? ඇය හිස දෙපසට වනා දගකාර ලෙස ඇසූ විලාශය සිරිතිලකගේ සිත ගත්තේය.

අනේ නෑ...මමත් මේ ආවා විතරයි....

මොකද මගේ දිහා කන්න වගේ බලාගෙන ඉන්නෙ....ඇය තම අත රැදි  ගමන් බෑගය හිල්මන් රථයේ පිටුපස ආසනයේ තබනා ගමන්ම සිරිතිලකගෙන් නෝක්කාඩුවට මෙන් විමසුවාය.

ඉස්කෝලෙ නෝනා හැමදාම දකින්නෙ ඔසරිය ඇදලා නොවැ...අද මේ ගවුමක් ඇදලා ඉන්න විදිය දැක්කම හරි අමුත්තක් දැනුනා ඒකයි. සිරිතිලක පිටුපස දොර වසා ඉදිරියට ඇදෙමින් පැවසුවේය.

ඉතිං මම ගවුමට ලස්සන නැද්ද ?

ලස්සනයි ලස්සනයි. ඉස්කෝලෙ නෝනා මොන ඇදුම ඇන්දත් ලස්සනයි.

අනේ අනේ..ඔයාට මම කී සැරයක් කිව්වද ඔය ඉස්කෝලෙ නෝනා කථාව කියන්න එපා කියලා. මගේ නම කියලා කථාකරන්නකො.

තමා හට මෙන් ඇයටත් ආදරයක සිතුවිලි පහල වී ඇතිදැයි විටෙක සිරිතිලක හට සිතෙයි. නමුත් කාන්තාව යනු වසර ගණනාවක් එක නිවෙසක ජීවත් වුවත් තේරුම් ගත නොහැකි අද්භූත ජනක සත්වයෙකුයැයි මාටින් අයියා කලකට පෙර කියූ කථාවක් සිරිතිලකට සිහිපත් වූවේය.

සුජාතා ඉදිරි ආසනයේ අසුන් ගත් වහාම රථය පිටත් විය. ඇගේ ආරාධනයෙන් අඹේපුස්ස තානායම් භූමියේ උදෑසන ආහාරය සදහා නැවතුන රථය එතැන් සිට එක පිම්මේ ඇගේ ගම්පියස බලා ඇදුනේය. කදු,හෙල්,බෑවුම් පසුකරමින් පැමිණි රථය කඩුගන්නාවද පසුකර නුවර නගරය තුලට පිවිසුනේය. නිතරම මේ ඉසව්වට නොපැමිණෙන හෙයින් දළදා වහන්සේ වැදපුදා ගන්නට විනාඩි කීපයක් සුජාතාගෙන් ඉල්ලා ගන්නට තරම් සිරිතිලක නිහතමානී වූවේය.

ඔහු හා දළදා වහන්සේ වැද පුදා ගන්නට ඇයද එක් වූවාය. රත් නෙළුම් මල් කීපයක් මිළදී ගත් සිරිතිලක එයින් දෙකක් ඇයට දුන්නාය. දළදා මැදුරේදී බුදුන් වහන්සේ අභියස ඒවා පුජා කරන කල ඔහු ප්‍රාර්ථනා කලේ ඇය තමාගේම වන්නටය.

බුදුන් වැදීමෙන් පසු තවත් මද වේලාවක් රථය තුල හිදිමින් නුවර වැවේ දිය රැළිති නැගෙනා සුන්දර දසුන දෙස බලා සිටි සිරිතිලක රථය පණ ගන්වා කෙමෙන් කෙමෙන් ඉදිරියට ඇදෙන විට සුජාතා නිහඩතාව බින්දාය.

මල් පූජා කරපු වෙලාවෙ මොනවද ඔයා ප්‍රාර්ථනා කලේ ඒ තරම් වෙලාවක් ඇස් පියාගෙන.

ඒක රහසක්..සිහින් සිනහවකින් මුව සරසා ගත් සිරිතිලක වංගුවකදී රථයේ වේගය අඩුකරමින් පැවසුවේය.

මොනවද ඔයා ප්‍රාර්ථනා කලේ...ඔහුද පෙරළා විමසුවේය.

තාත්තට ඉක්මනට සනීප වෙන්න කියලා...ඇය එතැන් සිට දැඩි කල්පනාවක නිමග්න වූ නිසාම සිරිතිලක ඇයට බාධා කිරීමෙන් වැළකුනේය. අවශ්‍ය තැනක නිවැරදි මාර්ගය පෙන්වීමට පමණක් සුජාතා වචනයක් දෙකක් දෙඩුවාය.

රථය කිරිමැටියාව මාර්ගය ඔස්සේ පැමිණ මොරගොල්ලට ලගාවන විට හිරු මුදුන් වෙමින් පැවතුනි. සුජාතා පෙන්වූ අතුරු මාර්ගයක් දිගේ මිනිස් ජනාවාසයන්ගෙන් තොර පාළු මාර්ගයක රථය තවත් මද වේලාවක් ධාවනය කිරීමෙන් පසුව ඇගේ නිවසට ලගා වන්නට සිරිතිලකට හැකි වූවේය.

ගෙමිදුලට රථය පැමිණෙන විට ඇගේ මෑණියන් වහ වහා රථය කරා දුව ආවාය. සුජාතාගේ පෙනුමට ඉතා ආසන්න පෙනුමක් ඇගේ මුහුණුවර තුල තිබූ නිසා ඇය කවරෙක්දැයි හදුනාගැනීමට සිරිතිලකට අපහසු වූයේ නැත. සුජාතාගේ අකමැත්ත නොසලකා වුවද ගමන් මල්ල අතට ගත් මෑණියන් එය නිවස තුල තබා නැවතත් රථය කරා අවුත් සිරිතිලක වෙත සිනාමුසු බැල්මක් හෙළුවාය.

ගේ ඇතුලට එන්න ළමයො....මට දුව එවපු ලියුම් කරදහි වල ඔය ළමයා ගැන කියලා තියෙනවා. මෙහෙන් ඉදගන්න, ගමන් මහන්සිය යන්න එක්ක තේ ටිකක් බීලා ඉමු. දුවගෙ අප්පච්චිව වෙද හාමුදුරුවො ලගට එක්කගෙන ගියා මේ දැන්.

ඒ අවසරයෙන් නිවස තුලට ගිය සුජාතා නැවත පිටතට පැමිණියේ දුම් දමනා තේ කෝප්පයක් සහ රස කැවිලි කීපයක්ද සමගිනි.
.......................................................................................................

සුජාතා නිවසට ඇරලවා රථය පදවාගෙන තනිව නිවසට පැමිණෙන විට සිරිතිලකට දැනුනේ පුදුමාකාර තනිකමකි. ඊටත් වඩා ඇයගේ නිවසේදී ඔහුට හමුවූ ඔවුන්ගේ අසල්වැසියෙකු පැවසූ කාරණයෙන් සුජාතා කෙරේ තම සිතේ ඇති ආදරය තව තවත් දැඩි වූ බවක් සිරිතිලකට හැගුනි.

මේ පවුලට මොන වින්නැහියක් උනාද මන්දා. ඉස්කෝලෙ හාමිනේගෙ අප්පච්චි  මුල්ගුරුතුමෙක් විදියට වැඩ කරලා විශ්‍රාම ගිහිල්ලා උන්නෙ. හදිස්සියෙම තමයි ඔය කරුම පිළිකා ලෙඩේ හැදුනෙ. දැන් මේ පවුලෙ මුලු සේසතම ලෙඩේට වියදම් කරලා ඉවරයි මගෙ හිතේ. බේරගන්න අමාරුයි කියලයි ආරංචිය. ඔය ගෑණු ළමයා විතරමයි මේ පවුලට ඉන්නෙ. මේ ගේ දොර ඉඩකඩම් ඔක්කොම එයාට. ඒ දරුවගෙ රූප සොභාවටයි උගත්කමටයි කරකාරෙ බදින්න නම් පිරිමි පෝලිමට ඒවි.

තවත් සති දෙකක් පමණ යනතෙක් ඇගේ තතු දැනගන්නට ක්‍රමයක් නොමැතිව, ඇගේ රුව දකින්නට නොමැතිව සිරිතිලක සිටියේ හිත් වේදනාවෙනි. කුලී ගමන් දිවිල්ල නවතා තකහනියක් ඇගේ නිවෙස බලා යන්නට හෙතෙම තීරණය කලත් මාටින් අයියාගේ බසට අවනතව හෙතෙම ඒ අදහස අත්හැර දැමුවේය. තාත්තා නැති තමාට තාත්තා කෙනෙකු මෙන් සිටිනා මාටින් අයියා සිරිතිලක හට බොහෝ සමීප පුද්ගලයෙකි.

හදිසියේ ජීවිතයට පැමිණෙන ආගන්තුක චරිතයක් අපේ හිත අද්දර නතර වී සිට නික්ම ගිය පසු දැනෙනුයේ මූසල හැගීමකි. ඒ හැගීමෙන් පීඩා විදිමින් හිල්මන් රථය සමග ජීවන සටනට උර දුන් සිරිතිලක වෙත නැවතත් ඇගේ ඒ නිල් දෙනෙත් සම්මුඛ වූයේ තවත් සතියක දෙකක පමාවකිනි.

ඉස්සර දවසක කාන්තියෙන් බැබලුනු ඒ නෙත් දෑල තුල තමා නොදන්නා ලොකු කථාවක් ලියවී ඇති බව ඇය රථයට නැගුන වහාම සිරිතිලක තේරුම් ගත්තේය. මොකද ඉස්කෝලෙ නෝනා මෙච්චර දවසක් දකින්න හිටියෙ නැත්තෙ. එයට පිළිතුරක් දෙනවා වෙනුවට ඇය ඔසරි පොටෙන් මුව වසා හඩා වැළපෙන්නට වූවාය. නගරයේ ප්‍රධාන පාසලක ගුරුවරියක් තමාගේ රථය තුල හඩාවැලපෙනු ඇය හදුනන කිසිවෙකු හෝ දුටුවොත් එය ඇයගේ නමට කැළලක් බව වටහාගත් හෙතෙම රථය අතුරු මාර්ගයක ධාවනය කර හුදෙකලා ඉසව්වක නතර කළේය.

අප්පච්චි නැතිවුනා....අැයට කීමට හැකිවුනේ එපමණකි. ආයාසයෙන් මෙතෙක් වේලා දරාගෙන සිටි හැඩුමට නිදහසේ ගලායන්නට ඉඩ දුන් ඇය සිරිතිලකගේ වමත තම දකුණතින් තරයේ අල්වා ගත්තාය. එදා නුවර ගමනට ගිය වියදම මම මේ මාසෙ පඩි ගත්තාම ගෙවන්නම්. ඇය දෙඇසේ කදුලක් පිටිඅත්ලෙන් පිස දමමින් පැවසුවාය.

මම ආයෙමත් තුන්මාසෙ දානෙ දවසට ගෙදර යන්නයි හිතාගෙන ඉන්නෙ.

ඇත්තද...මම එදා වගේ ගිහින් ඇරලවන්නම්...සිරිතිලක සුක්කානමට බර වෙමින් පැවසුවේය.

අනේ එපා....මට ඔයාට එහෙම ගමනකට ගෙවන්න සල්ලියක් නෑ දැන්...ඔයාට තවත් කරදර කරන එක මගේ හිතටත් හරි නෑ.

කොහොමටත් තව වැඩි කාලයක් මට ඔයා එක්ක මේ කාර් එකේ ඉස්කෝලෙ යන්න එන්න ලැබෙන එකක් නෑ.

ඒ මොකද ඒ ?

විශ්මය නිසාම ඉහළ ගිය ඇස් ගෙඩි දෙක දරාගෙන සිරිතිලක ඇගෙන් විමසුවේය.

අප්පච්චිගෙ මරණෙන් පස්සෙ අම්මා ඉන්නෙ හරිම හිත් අමාරුවෙන්. ඒ දෙන්නා මේච්චර කල් පවුල් කෑවට කිසිම ආරවුලක් වෙලා නෑ. හරිම සමගියෙන් ජීවත් වුනේ. අම්මා තනියෙන් හින්දා මම තීරණය කලා ගෙවල් පැත්තෙ ඉස්කෝලෙකට මාරුවක් හදා ගන්න. එහෙම බැරි උනොත් මම ගුරුකමින් අයින් වෙලා හරි අම්මගෙ තනියට ගෙදර ගිහින් නවතිනවා.

.......................................................................................................

සුජාතා උදෑසන පැවසූ වදන් වලින් පසු තමාට සිදුවූයේ කුමක්දැයි තම කාමරයේ ඇද මත වැතිරී සිටින සිරිතිලකට තවමත් තේරුම් ගත නොහැක. ඇය පාසල අසලින් රථයෙන් බැස ගිය පසු තමා අවට පරිසරයම කැරකෙන බවක් සිරිතිලකට දැනුනත් ඒ දෘෂ්ඨි මායාවක් විය යුතුය යන සිතුවිල්ලෙන් හෙතෙම තම දෙඇස් දෑතේ ඇගිලි වලින් පිරිමැද බැලුවේය. එහෙත් තමා තුල යම් විපර්යාසයක් සිදුවෙන බවක් ඉවෙන් මෙන් දැනුනු සිරිතිලක කුලී රථ ගාල පැත්ත පළාතක නොගොස් කෙලින්ම තම නිවසට ගියේය.

සිරිතිලකගේ නිවෙස ආසන්නයට කුලී ගමනක් පැමිණි මාටින් අයියා ඔහුගේ නොපැමිණීම බලන්නට මෙන් නිවෙසට සැපත් වූයේ මේ අතරයි. තම මිදුලට වාහනයක් පැමිණෙන හඩින් අවදිව නිවසේ ඉදිරිපිටට ඇවිද ගිය සිරිතිලක හට මාටින් අයියාගේ දෙනෙත් සම්මුඛ වූවේය.

මොකද මලයො අද ආවෙ නැත්තෙ....හයර් එකක් අහවර කරලා මම මේ තකහනියක්ම බොලා මුලිච්චි වෙන්න මේ ආවෙ. එසේ පවසා නිවසේ සාලය වෙත තීක්ෂණ බැල්මක් හෙලූ මාටින් අයියා,

කෝ මලයො අම්මා....

උන්දැ මේ දැන් රෙදි ටිකකුත් අරගෙන ඕවිටේ ලිදට ගියා නාගන්න කියලා.

ඉතිං කියහංකො බලන්න උඹට මොකදෑ උනේ ?

හරි වැඩේ මාටින් අයියෙ...එතැන් සිට උදෑසන තමා මුහුණ දුන් සිදුවීම නොවලහා විස්තර කරන්නට සිරිතිලක කටයුතු කලේය. තමාගේ පියා මෙන් ගෞරව සැළකුම් ලබනා මාටින් අයියාට කිව නොහැකි කිසිවක් ඔහුට නැත.

හත්වලාමයි...මලයො උඹේ ඇගේ ප්‍රෙෂර් එකවත් වැඩිඋනාද ? ඔය කථාව අහපු ගමන්, හැබෑටම උඹට ඔහොම උනේ ඇයි...මට ඇත්තම කියපං...උඹ ඉස්කෝලෙ නෝනට පණ ඇරලා ආදරෙයි නේද ?

ඒ ප්‍රශ්නයට පිළිතුරු දෙනවා වෙනුවට මුනිවත රැකගෙන සිටි සිරිතිලකගේ මුනිවත බිදී ගියේ මාටින් අයියා එකම ප්‍රශ්නය නැවත වතාවක් ඇසූ නිසාවෙනි.

එවරද පිළිතුරු දෙනු වෙනුවට මාටින් අයියාගේ දෑත් තරයේ අල්ලාගත් සිරිතිලක කථාකරගත නොහැකිව තවත් වේලාවක් කල්මැරුවේය.

කියපං මලයො...කියපන්...මට උඹ මගේම දරුවෙක් වගේ....එහෙව් එකේ උඹට මට කියන්න බැරි දෙයක් නෑනෙ.

කරදඩු උස් මහත් වූ තරුණයෙක් මෙසේ හඩා වැලපේයැයි මාටින් අයියා කිසිවිටෙකත් සිතන්නට නැත. නමුත් මෙතැනදී සිදුවූයේද ඒ නොසිතූ දෙයමය.

මම ඉස්කෝලෙ නෝනා වෙනුවෙන් ඕනෙම දෙයක් කරන්න ලෑස්තියි මාටින් අයියෙ. මේ ගතවෙච්ච අවුරුදු 3 ට මම මොන තරම් ඉස්කොලෙ නෝනට ආදරේ කරලද කියලා අද තමයි මට හරියටම වැටහුනේ.

එදා නුවර ගිය දවසෙ අයියලා මල්ලිලා නැති එයාට සහෝදරයෙක් වෙන්න මම හිතාගත්තා. තාත්තා නැති වෙච්ච බව ආරංචි උනාට පස්සෙ එයාව කරකාර බැදලා තාත්තගෙන් ලැබිච්ච උණුහුම, ආරක්ෂාව දෙන්න පුලුවන් ස්වාමියෙක් වෙන්න හිතාගත්තා. මට දැන් පිස්සු වගේ මාටින් අයියෙ. මම මේවා කාට කියලා කියන්නද ? ගෑණියෙක් ගැන කවදාවත් හිතපු නැති මට වෙච්ච වින්නැහියක්.

හැබෑට මලයො...මමයි සූටියයි විහිලුවට විහිලුවට ඉස්කෝලෙ නෝනා සම්බන්ධ කොරලා උඹට විහිලුවක් දෙකක් කලාට, මම හීනෙකින්වත් හිතුවෙ නෑ බං...උඹ ඔය තරම් තදට ඒ නෝනට ආදරේ කොරනවා ඇති කියලා.

තවත් සුනංගු වෙන්න කාරි නෑ...උඹ හොද වෙලාවක් බලලා නිවී සැනසිල්ලෙ මේ කාරණේ ගැන එයාට කියපං. වැඩිහිටියෙක් විදියට අවශ්‍ය වුනොත් මමත් මැදිහත් වෙන්නම්.

.......................................................................................................

මව්තුමිය නිවෙසට පැමිණීමෙන් පසු සාදා දුන් තේ කෝප්පයකින්ද සප්පායම් වී මාටින් අයියා සිරිතිලකගෙන් සමුගෙන ගිය පසු සිරිතිලක හට මහත් තනිකමක් මෙන්ම වේදනාවක්ද දැනෙන්නට විය. සුජාතා තමාගේම කරගන්නට හැකි වුවොත් මෙලොව වසනා වාසනාවන්තම පෙම්වතා තමා වේ යැයි ඔහුට සිතුනේය. සුජාතා වැනි රුවෙන් මෙන්ම ගුණයෙන්ද පොහොසත් තරුණියක් මේ ජීවිත කාලයටම තමාට යලි හමුනොවනු ඇති බව සිරිතිලක තරයේ ඇදහුවේය. තාත්තා නැති මට ඒ අඩුවද පුරවා කරදඩු උස්මහත් කල අම්මා සමග සහයෝගයෙන් ජීවත් වීමට සුජාතා තරම් ගැලපෙන තවත් කිසිවෙක් නැතැයි ඔහුගේ සිත දෙස් දෙයි.

රාත්‍රිය උදා වුවද නින්ද අහලකවත් නැත, තමාගේ ඇති අති මහත් කැමැත්ත ගැන දන්නා නිසාම අම්මා විසින් කාගෙන් හෝ මිළදී ගෙන මිරිසට පිසින ලද වෙල් මාළු වෑංජනය සමග බත් කටක් කන්නට කිසිම පිරියක් සිරිතිලකට අද නැත. ආදරය මෙතරම් වේදනාවක් යැයි සිරිතිලක දන්නේ පළමු වතාවටය.


මොකෝ බං කන්නෙ නැත්තෙ....ගල් ගිලලද ? උඹට අසනීපයක්ද ? දැන් කීයද වෙලාව.... අම්මාගේ ආමන්ත්‍රණය නිසා බත්පත අතට ගත්තද සිරිතිලක හට බත් කටකට දෙකකට වඩා කන්නට නොහැක. බත්පත කුස්සියේ තනිකර කාමරයට වැදුනු සිරිතිලක අරමුණකින් තොරව ඇදේ වැතිරුනද හදිසියේ පැන නැගෙනා විවිධ සිතුවිලි නිසා දිගින් දිගටම පීඩාවට පත් වී අවසානයේ නිදිදෙව්දුව වැළද ගන්නා විට තවත් හෝරා කීපයක්ම ගෙවී තිබුනි.
.......................................................................................................

උදෑසන කාලයේ සුජාතා දුටු විට හදවතේ ඇතුල් කොනක ඇතිවෙන සියුම් රිදීම දින දෙක තුනක් ගත වෙද්දී මහා වේදනාවක පෙරනිමිති පල කලෙන් හැකි ඉක්මනින් මේ වේදනාවෙන් මිදෙන්නට සිරිතිලක අධිටන් කලේය. ඇය නැවතත් තම ගම් ප්‍රදේශයට යන බව පවසා ගත වූ සති දෙකකට පමණ පසු එළඹෙන සිකුරාදා දිනයක තමාගේ සිතැගි නොවහලා ඇයට කියන්නට ඔහු තීරණය කලේය.

අතිශයින් රුදුරු වූ රාත්‍රීන් ගණනාවකට පසු මේ කියූ දිනය උදා විය. එදින උදෑසනත් ඇය සුපුරුදු ලෙස පාසල අසලදී රථයෙන් බසින්නට සූදානම් වූවාය.

ඉස්කෝලෙ නෝනා....

මොකක් ? කියලා තියෙනවා නේද මම....තම මුහුණට තරහවක සේයා ආරූඩ කරගත් සුජාතා සිරිතිලක දෙස තියුණු බැල්මක් හෙලුවාය.

සුජාතා... ඔහු පළමු වරට ඇය එසේ ආමන්ත්‍රණය කරන දිනය අදයි.

හ්ම්...... ඇය පිළිවදන් දුන්නාය.

මට අද හවසට ඔයා එක්ක ටිකක් කථා කරන්න පුලුවන්ද ?

අද හවසට මම මගේ යාලුවෙක් එක්ක සාරියක් දෙකක් ගන්න යන්න හිතාගෙන උන්නෙ. කියන දෙයක් දැන් කියන්න බැරිද ?

දැන් වෙලාව නෑ. මට පොඩි වෙලාවක් අවශ්‍යයි. සිරිතිලකගේ පිළිතුරු දැක්වීම හමුවේ ඇය නැවතත් තම මුව විවර කලාය.

කමක් නෑ එහෙනං..සාරි ගන්න වෙන දවසක් දා ගන්නම්. හවසට තියෙන දෙයක් කියන්නකො එහෙනං.... එසේ පවසා ඇය ඔහුගෙන් සමුගෙන ගියද ඇගේ ගාඩිනියා පුයර සුවද සිරිතිලකගේ තනියට රථය තුල නැවතී ගොස් තිබින.

.......................................................................................................

එදින පාසල අහවර වීමෙන් පසුව සුජාතාගේ අවසරය රැගෙන සිරිතිලක තම හිල්මන් රථය ප්‍රධාන මාවතට කිට්ටු අතුරු පාරක නතර කළේය.


මොකද මේ කවදාවත් නැතුව අමුත්තක්.... ඇය සිනාමුසුව සිරිතිලක දෙස බැලුවාය. අහස් නිල් පැහැයට හුරු ඔසරියකින් සැරසී සිටින ඇය කවදාටත් වඩා අද ලස්සන බවක් සිරිතිලකට සිතේ. සිනාසෙන විට කම්මුල වළ ගැහෙන ගෑණුන් වාසනාවන්ත බව කවුදෝ කියූ බවක් සිරිතිලකට මතකය. මේ හමා එන්නේ පාසලෙන් සමුගැනීමට මත්තෙන් ඇය තැවරූ පුයර වල සුවද විය යුුතුය. තවත් මොහොතක් ඒ සුවදින් නාස් පුඩු සන්තර්පණය කරගත්  සිරිතිලක ඉහළට ගත් ලොකු හුස්මක්ද සමගින් ඇය වෙත හැරුනේය.

සුජාතා...........

කිසිම කිසි දිනයක තමාගේ නම මෙතරම් ආත්ම විශ්වාසයකින් යුතුව කියා නොමැති සිරිතිලක දෙස සුජාතා පුදුමයෙන් මෙන් බැලුවාය. දැඩි හිරු රශ්මියෙන් අවට පරිසරය දැවෙද්දී ඇය සිරිතිලකගේ රථය තුල හිද ඔසරි පොටෙන් පවන් සලාගත්තාය.

මම ඔයාට ආදරෙයි....

වට වංගු නෙැමැතිව තමාට කියන්න අවශ්‍ය දේ එක එල්ලේ ප්‍රකාශ කරන්නට හැකි වූ නිසා සිරිතිලකගේ සිතට දින ගණනක් දැනුනු මහා බර සැනෙකින් අහවර වී ඇති සෙයකි.

ඒ වදන අසා සිරිතිලක දෙස එක එල්ලේ බලා සිටි  සුජාතාගේ නිල් නෙතු සැණින් කදුලින් පිරී පිටාර ගලන්නට විය. තවත් මොහොතකින් එය සිහින් ඉකි බිදුමක්ව හිල්මන් රථය තුල වූ නිහඩතාව බිද දැම්මෙහිය.

ඇයි දෙයියනේ ඔයා මං ගැන එහෙම හිතුවෙ. දැන් හොදටම පරක්කුයි...ඇයට කීමට හැකි වූයේ එපමණකි. ඔසරි පොටෙන් වැසී ගිය ඇගේ මුහුණ අභිමුව සිරිතිලක සුක්කානම තදින් අල්ලා ගත්තේය.

කවුද ඒ වාසනාවන්තයා.... සිරිතිලක තමා තුල සැබෑවටම නැති මුත් කොහෙන්දෝ අහුලා ගත් සංයමයක් පෙන්වා ඇගෙන් විමසා සිටියේය.

අපේ ගමේ රොබට් මුදලාලිගෙ පුතා.

ඇය එසේ කීවද සිරිතිලක දන්නා රොබටෙක් නැත.

අප්පච්චි නැතිවෙන්න ඉස්සර මම ගෙදර ගිය අන්තිම නිවාඩුවෙ තමයි මේ මගුල තීන්දු කලේ. ඒ වෙද්දිත් අපේ වතුපිටි, ගෙවල් දොරවල්, ගොඩ මඩ ඉඩම් වලින් වැඩි හරියක් අප්පච්චිගෙ අසනීපෙට බේත් කරන්න මුදලාලිට උකස් කරලා තිබුනෙ. අම්මා අප්පච්චිව බේරගන්න රටේ හැම තැනම වෙද මහත්තුරු ලගට එක්ක ගෙන ගියා. කියපු කියපු හැම දේම කලා. බලි තොයිල් වලටම සෑහෙන ගානක් වියදම් උනා. ඒ අව් අස්සෙ ඒ පැත්තෙන් මේ යෝජනාවත් ආවා. තාත්තා ලෙඩ ඇදේ ඉදගෙනම කැමැත්ත දුන්නා...මගේ කැමැත්ත අකමැත්ත කවුරුවත් ඇහුවෙ නෑ. දැන් මේ මගුලට මම බෑ කිව්වොත් අම්මයි මමයි පාරට වැටෙනවා...ඒ හින්දා මම අනිවාර්යෙන්ම එයාව බදිනවා. මම වැටිලා ඉන්න තත්වය තේරුම් ගන්න ඔයාට පුලුවන් නේද ?

සුජාතා හැඩුම තදකරගෙන අවසානයේ අධිෂ්ඨානශීලීව වචන එකතු කලාය.

මම කවදාවත් හිතුවෙ නෑ ඔයා මා ගැන මෙහෙම හිතනවා ඇති කියලා. ඒ නිසයි මේ දේවල් මම වේලාසන කිව්වෙ නැත්තෙ. මම ඔයාට කවදාවත් බලාපොරොත්තුවක් දීලා තියෙනවද ?

ඇය එසේ විමසා සිරිතිලක දෙස එක එල්ලේ බලා සිටියාය. ඒ බැල්මේ තවත් හිරවෙන්නට නොහැකි තැන හෙතෙම වාහනයේ කවුළුවෙන් ඈත පෙනෙන කුරුළු පෙම් යුවලක් දෙස බලා සිටියේය. උන් දෙන්නා කෙතරම් නම් වාසනාවන්තද ? සිරිතිලකට එසේ සිතෙන්නට ඇත.

මගෙ අතින් නොදැනුවත්වම හරි එහෙම දෙයක් උනා නම් මට සමාවෙන්න. ඔයා හරිම හොද කෙනෙක්...ඔයාට කවදාවත් වරදින්නෙ නෑ...මට වඩා බොහොම හොද කෙනෙක් ඔයාට ලැබේවි. මම එහෙම වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා... ඇය සෙමෙන් සිරිතිලකගේ දෑත අල්වා ගත්තාය.

මට මගේම සහෝදරයෙක් වගේ ඔයාව දැනුනේ. එදා නුවර ගිය ගමනෙදි ඔයා මට උදව් කරපු විදිය මට අමතක නෑ. ඔයා කැමති නම් ඒ විදියට දිගටම මා එක්ක ඉන්න.

මම වේලාසනින් මේ ගැන කථා කලා නම් ඔයා මට කැමති වෙනවද ? සිරිතිලක සිත සනසාගනු වස් අවසන් පැනයද යොමු කලේය.

අනේ ඒ ගැන අහලා මගේ හිත රිදවන්න එපා. සුජාතා තම අත් බෑගයේ කර පටිය එක් අතකින් කරකවමින් සිට නතර කලාය.

මමත් ඔයාට දෙයක් කියන්න හිටියෙ ලබන සතියෙ. ඒත් ඒකත් අදම කියලා දානවා කියලා හිතුනා.

මගේ මාරුව අනුමත වෙලා. ලබන සතියෙ සිකුරාදා තමයි මම මේ ඉස්කෝලෙට එන අත්තිම දවස.

ඇගේ ඒ බස් ඇසූ පසු සිරිතිලකගේ හෘදය වස්තුව ඇතුලතින් තෙරපෙන්නා සේ දැනුන නිසා හෙතෙම ඉක්මනින් රථය පණ ගන්වා සුජාතා හට දුම්රිය ස්ථානය අසලින් බැසගන්නට අවස්ථාව ලබා දුන්නේය. සැනෙකින් රථයෙන් බිමට බට ඇය අඩියට දෙකට දුම්රිය ස්ථානය තුලට යන දසුන සිරිතිලක බොදවූ දෑසින් බලා සිටිනවා ඇය දුටුවේ නැත.

.......................................................................................................

සුජාතා බණ්ඩාර මැණිකේ ගුරු මෙනවිය ගම්පහ නගරය ආශ්‍රිතව ගෙවනා අවසන් සතියද එළඹුනි. නමුත් ඊට පෙර සතියේ සිකුරාදා සිදු වූ සිදුවීමෙන් පසු තවමත් සිරිතිලක රථ ගාලට රාජකාරී සදහා වාර්තා කර තිබුනේ නැත. තමාගේ පවුලේ වැඩකටයුතු කීපයක් නිසාවෙන් මාටින් අයියාටද ඔහු පිළිබද සොයාබලන්නට ඉස්පාසුවක් තිබුනේ නැත. සිරිතිලක නැති හෙයින් සුජාතා සූටියා සමග කුලී රථයෙන් ඉස්කෝල ගමන ගොස් අවසන් දිනය වන සිකුරාදා තමා හමුවන ලෙස මාටින් අයියා මගින් සිරිතිලක වෙත පණිවිඩයක් යැව්වාය. නමුත් එයට ඔහු ප්‍රතිචාරයක් දැක්වූයේ නැත. කෙසේ හෝ සිරිතිලකට සමුදීමකින් තොරවම ගම්පහට සමුදුන් සුජාතා බණ්ඩාර මැණිකේ ගම්පහ දුම්රිය ස්ථානයෙන් දුම්රියට නැගෙනා අවසන් අවස්ථාව දෙස මාටින් අයියා සහ සූටියා විස්සෝපව බලා සිටියෝය.



එදින සවස තකහනියක් සිරිතිලක සොයා ගිය මාටින් අයියාට දකින්නට ලැබුනේ කිසිදිනක බලාපොරොත්තු නොවූ සිදුවීමකි. හරහට දැමූ කොට දෙකක් උඩ සතපවා තිබූ සිරිතිලකගේ හිල්මන් රථයේ රෝද සියල්ලම ගලවා ඉවත් කර තිබුනි.

මොකද යකෝ උඹ මේ හම්බකරගෙන කාපු වාහනේට කරන්න යන්නෙ...මම කොච්චර මහන්සි වෙලාද තොට මේක අරගෙන දුන්නෙ. සිරිතිලකගේ අම්මා දහස් වර ගෝරනාඩු කලද සිරිතිලකට වගේ ගණනක් නැත.

මාටින් අයියා....මට සුජාතා දකින්න නැතුව පාක් එකේ කාර් එක දුවන්න බෑ...මෙච්චර කල් දුකට සැපට හිටිය මේ වාහනේ වෙන කෙනෙකුට විකුණන්න හිත හදාගන්නත් බෑ. අදින් පස්සෙ කවදාවත් මම ආයෙමත් හයර් දුවන්නෙ නෑ. අනේ දෙයියන්ගෙ නාමෙන් මේ ටික මේ අම්මට තේරුං කරලා දියන්.




සිරිතිලක කී ලෙසම හිල්මන් රථය නැවතත් කිසිම කිසි දිනක හයර් දිව්වේ නැත. සුජාතා, සිරිතිලක අතීත හමුවීම් වල රස මුසු තැන් මතක් කරමින්, අව්වට වේලෙමින් වැස්සට තෙමෙමින් මේ අජීවී වස්තුව තවත් දශක කීපයකට පසු මෙලොව උපදින සියලු දේ අනිත්‍ය යන දහම මේ යැයි කියමින් රෝද නොමැතිවම පොළවට දිරා පස් වන්නට ඇත.


පසු සටහන

සිරා කොලුවා අ.පො.ස සා/පෙ ගණිතය සහ විද්‍යාව විෂයන් සදහා අතිරේක පන්ති ගියේ ගම්පහ රෝහල ආසන්නයේ තිබූ පුද්ගලික ආයතනයක් වෙතය. මෙහි ගණිත පන්තියේ හිදගත් පසු ඊට එහායින් ඇති වත්තක් මැද රෝද නොමැතිව දිරා යමින් තිබූ පැරණි කාර් රථයක් සෑහෙන දවසක් මගේ නෙත ගැටී තිබුනි. කිසිම අංගෝපාංගයක් අඩු නැතුව සර්ව සම්පූර්ණව ඒ වන විටත් පැවති මේ රථය පිළිබද මගේ කුතුහලය නිවා දැමුවේ ඒ ආසන්නයේම පදිංචිව සිටි මගේ පාසලේ මිත්තරයෙකි.

ඒක මාර දුක හිතෙන කථාවක් බං...ඔය වාහනේ අයිතිව හිටිය සීයා ඉස්සර ගම්පහ ඉස්ටේසම ලග හයර් දුවලා. එයාට ඔය හයර් දුවන අස්සෙ ගම්පහ -------------------------ඉස්කෝලෙ උගන්වපු ටීචර් කෙනෙක්ගෙ හයර් එකක් සෙට් වෙලා. දවස ගානෙම ගිය එකක්. කොහොම හරි ටික කාලෙකට පස්සෙ සීයා ටීචර්ට බොහොම තදට ආදරේ කරලා...ඒ උනාට ටීචර් මෙයාට කැමති වෙන්නෙ නැතුව ගම්පහෙන් යන්න ගිහිල්ලා. ඒ ගොල්ලො මුණ ගැහුන අන්තිම දවසෙ ගෙදර ඇවිල්ලා කාර් එකේ රෝද හතරම ගලවලා, මම ආයෙ කවදාවත් හයර් දුවන්නෙ නෑ කියලා දැම්ම පාර තමයි මචෝ ඔය....

මේ සිද්ධිය මා හට විස්තර කල මිත්‍රයා 1998 වසරේ අපොස සා/පෙ විභාගයට හරියටම මාස දෙකකට පෙර නින්දේදී ඇතිවූ හෘදයාබාධයකින් මිය ගියේය. ඔහු අද සිටියා නම් මේ කථාවට තවත් බොහෝ සත්‍ය කරුණු එකතු කරන්නට හැකියාව ලැබෙන්නට ඉඩ තිබුනි.

වර්තමානයේත් මේ කියන රථය එම ස්ථානයේ තිබෙනවාදැයි මම නොදනිමි. ලංකාවට ගිය කලෙක ඒ පිළිබද සොයාබලා එය එතැන තිබුනොත් එහි නියම ඡායාරූපයක් පල කරන්නට පොරොන්දු වෙමි. එහෙත් මා 1998 දී දුටු දිය සෙවල හා විවිධ වැල් වර්ග වලින් යට වී ගිය රෝද 4 රහිත මේ අජීවී වස්තුවත්, ඒ පිටුපස සිටි අහිංසක/මුරණ්ඩු ප්‍රේම වන්තයාත්, ඒ සිදුවීම මා හට සැල කල මිය ගිය මිත්‍රයාත් සිහිවන හැම විටකම ඇතිවෙන්නේ පුදුමාකාර හිස් බවකි. පරාජිත හැගීමකි. ඒ හැගීම ඔබත් සමග බෙදා ගන්නට මගේ හිතේ මැවුනු කථාවක් අකුරු කරන්නට ගත් උත්සාහයක් ලෙස මේ කථාව සලකනු මැනවි. මේ කථාව සම්පූර්ණයෙන්ම මා හිතළුවකි. නමුත් රෝද ගැලවූ කථාව සුරංගනා කථාවක් බදු වුවද මේ අප වෙසෙනා ඉර හද යට සිදු වූ ඇත්තම ඇත්ත සිදුවීමකි.

ප්‍රේමය යනු මේ යැයි කිසිවෙකුට නිශ්චිත අර්ථ කථනයක් දිය නොහැක. එය මිනිසාගේ පැවැත්මටද ඉවහල් වන අතිශය සොදුරු මනෝභාවයකි. නමුත් ප්‍රේමය කරදරයකින් තොරව ජය ගන්නෝ එදා මෙන්ම අදත් විරලය. තමාගේ සිත් ගත් ප්‍රේමයට අවංකව හා පණමෙන් ආදරය කරනා ප්‍රේමවන්තයන් හා ප්‍රේමවන්තියන් සිටිනා තාක් කල් මේ ඉරහද යට මෙවැනි සිදුවීම් විය නොහැකි යයි කාට නම් කිව හැකිද ?



මම කාමරේ වෙසෙන සත්ගුණවත් සිරා කොලුවා.




ප.ලි


පාලු අදුරු නිල් අහස මමයි - 
පද රචනය - මහගම සේකර
සංගීතය සහ ගායනය - පණ්ඩිත් අමරදේව

































Sunday, March 23, 2014

95 සිරිතිලක සහ කුලී රථය 1 කොටස

දෙවැනි වේදිකාවට පැමිණි දුම්රිය පොල්ගහවෙල බලා පිටත් වෙයි.
එම දුම්රිය පොල්ගහවෙල දක්වා සෑම දුම්රිය ස්ථානයකම නවත්වනවා ඇත.

ගම්පහ දුම්රිය ඉස්ටේසුමේ යකඩ කට වෙනදා වගේම බෙරිහන් දෙද්දී සිරිතිලක කුලී රථගාලේ පිටිපස්සට වන්නට තිබූ ගරාදි වැටට හේත්තු වී තමා හැර දමා ඉහළට ඇදෙනා ත්‍රී රෝසස් සිගරැට්ටුවේ දුමාරය දිහා මළානික දෑසින් බලා සිටියේය.

මදින් මද  හිරු එළිය නගරය ගිලගත්තා වුවත් හිරු දෙවියා තවමත් සැර පරුෂ නැත. රැකියාව බලා යන එන උන් හැර වෙනත් රාජකාරියකට යන අය තවමත් ගම්පහ නගරයේ පෙනෙන්නට නැත.

තම අත රැදි සිගරැට්ටුව තවමත් අවසන් නොවූ නමුත් එය අසළ වූ කුණු කාණුවකට විසි කර කමිස කොලරය අස්සට වන්නට ගෙල වටා දවටාගෙන සිටි ලේන්සුව අතට ගත් සිරිතිලක එයින් නළල් තලය ඔස්සේ පහළට ඇදෙමින් තිබූ සිහින් ඩා බිදුවකට නැවතීමේ තිත තබන්නට කල්පනා කලේය.

පොල්ගහවෙල දුම්රියේ පැමිණි මගීන් එකා දෙන්නා දුම්රිය ස්ථානයෙන් පිටතට එද්දී හෙතෙම ඒ දෙස විමසිල්ලෙන් බලා සිටියේය. අලංකාර ඔසරියකින් සැරසී මුතු දෙපොටකින් ගෙල සරසාගත් යුවතියක් දුම්රිය ස්ථානය ඉදිරියේ සිට අවට බලමින් සිටියාය. තවත් මොහොතකින් ඇගේ උරහිසේ රැදි බෑගයක් විවෘත කර ඉවතට ඇදගත් කඩදාසි කොළයක සටහන් වූ යමක් තනිව මුමුණමින් සිටිනා විටෙක මේ නම් නගරයට ආගන්තුක තැනැත්තියක් විය යුතු යැයි යන හැගීම සිරිතිලකට පහල වූවේය.

උදේ පාන්දර පළවෙනි ගමන මෙවැනි සුන්දර යුවතියක සමග යන්නට ඇත්නම්, ඒ සිතිවිල්ලෙන් මිදුන සිරිතිලක කෙමෙන් කෙමෙන් ඈ කරා ගියේය. තවමත් අනෙකුත් කුලී රථ කරුවන් රාජකාරියට පැමිණ නැති නිසා නිසැකවම මේ ගමන යා යුතු වන්නේ තමා යයි සිරිතිලකගේ සිත කීවේය.

නෝනා ගම්පහට ආගන්තුකයි වගේ. උදව්වක් එහෙම ඕනෙද..මම මේ ටැක්සි පාක් එකේ ඉන්නෙ.

ආනේ ඇත්තද...මම පළවෙනි වතාවට තමයි ගම්පහ ආවෙ. අද මගේ පත්වීමෙ වැඩ භාරගන්න තියෙන දවස, මෙන්න මේ ඉස්කෝලෙ ලගද තියෙන්නෙ, ඇය තම අත රැදි කඩදාසි කොළය සිරිතිලක වෙත පෑවාය.

ඇගේ වත කමලින් නික්මුනු ගාඩිනියා පුයර සුවද සිරිතිලකගේ තනිකඩ හිත ආශ්වාදයට පත් කළේය. සිරිතිලක හට කථාකරන්නට වචනයක් දෙකක් මතක් කරගන්නට තවත් මොහොතක් ගත විය.

වැඩිදුරක් නෑ නෝනා...මේ බොහොම ලග...ඉන්න මම ඇරලවන්නම්.

අනේ කරදර වෙන්න එපා. මම බස් එකක යන්නම්.

ඊළග බස් එකට තව පැය භාගයක් වත් යාවි. නෝනා අද පළවෙනි දවස නිසා වේලාසනම ගියොත් නරකද ?

ඒ වදනින් පසුබා ගිය ඇය සිරිතිලක අනුව යමින් ඔහුගේ නවීනතම හිල්මන් රථයේ පසුපස ආසනයට නැගුනේ තම ඔසරිපොට වම් අතින් තදින් අල්ලාගනිමිනි.
.......................................................................................................
එයින් පසු දිනද, ඊටත් පසුදිනද සිරිතිලකගේ කලු පැහැති හිල්මන් රථයම සෙවූ ඇය අවසානයේ එහි දිනපතා යන එන මගියෙකු බවට පත් වූවාය. නුවර ප්‍රදේශයෙන් පැමිණ, ගම්පහට ආසන්න පෙදෙසෙක ඤාති නිවසක නැවතී සිට ඉස්කෝල රස්සාවට දිනපතා ආගිය මේ සුරූපිනිය තම නවතම රථයේ නංවාගෙන උදෑසන කාලයටත්, පාසල අවසන් වෙන මධ්‍යහ්න වේලාවේත් නගරය තුල ධාවනය කිරීම සිරිතිලක වෙත සියුම් ආඩම්බරයක් ගෙන දුන්නේය.

දිනෙන් දින තමා සමග හිතවත් වෙමින්...දොඩමළු වන මේ තරුණිය ගැන මුලින්ම දුටු දින ඇති නොවූ සිතුවිලි පොදියකින් තම චිත්ත සන්තානය වෙලී යන අයුරක් සිරිතිලකට මදින් මද දැනෙන්නට ඇත.

සිරුරේ හැඩයට මනාව ගැලපෙන අත් බෝරිච්චි කල හැට්ටයක් සහිත ඔසරියෙන් හැඩ වූ යුවතියකට,ගෙලේ දැවටුන මුතු මාලයට, දිගටි ඇස් දෙකකට තම හදවතේ මෙතරම් පෙරළියක් කරන්නට හැකි වෙතැයි සිරිතිලක කිසිවිටෙකත් නොසිතුවේය. හා පුරා කියා ඇය මුලිච්චි වූ වසර තුනකට පෙර, සුන්දර උදෑසන සිහිපත් කරනා වාරයක් වාරයක් පාසා තම හදවතේ රිද්මය පවා වෙනස්වන බවක් ඔහුට හැගෙයි.

අද උදෑසන මෙන්ම එදත් පොල්ගහවෙල බලා යන දුම්රියෙන් ඇය ගම්පහ නගරයට පය තැබූ අයුරුත්, පළමු බැල්මෙන්ම නගරයට ආගන්තුක බව දැනුන නිසා ස්වේච්ඡාවෙන්ම ඇයට උදව් කරන්නට ඉදිරිපත් වූ ආකාරයත්...පාසල් ගුරුවරියක ලෙස ඇගේ පළමු පත්වීම ලද පාසල දක්වා ඇය තම රථයෙන් ගෙනගිය අන්දමත්, සිත්තම් පටයක ඇති රූප රාමු සේ වරින් වර ඔහුගේ ඉහ ඉද්දර ජීවමාන වෙයි.

මේ නම් පෙර සසරේ බැදීමක් විය යුතුය. ඇය වැනි උගත්, රූමත් ලලනාවක් තම පතිනිය කර ගන්නට ඇත්නම්......

ත්‍රී රෝසස් දුමෙන් ළය සැහැල්ලු කරගන්නට සිරිතිලකට සිතුනත් කීප විඩකදීම මේ කාරිය නවතා දමන ලෙස ඇගෙන් ලද ඉල්ලීම් ඔහුට හදිසියේ සිහිපත් විය. අද සිට හෝ ඇගේ බහට අවනත වෙන්නට හෙතෙම අමාරුවෙන් හෝ තීරණය කළේය. තමාගේ දුම්පානයට විරුද්ධ වන්නට තරම් ඇයට මා සමග ඇති බැදීම කුමක්දැයි සිරිතිලක හට නොවැටහෙයි.

ඇතුළු කාමරයක නිදනා තම මෑණියන් සිරිතිලකට පෙනෙයි. පියා මියගිය දා සිට තමා හදාවඩා ගන්නට ඇය හෙළු දහිරියත්, කණකර සමග පරම්පරාවෙන් ලැබුනු ඉඩමක්ද විකුණා කුලීරථ රියදුරෙක් වන්නට තමාට මග හෙළිකල මතකයත් ඔහුගේ හිත සංවේදී කරයි.

කවදා හරි බදින ගෑණි අපේ අම්මට සැළකුවේ නැත්තං....

මේ සිතුවිල්ල නිසාම කිසිකලෙකත් කාන්තා පරාණයක් දෙස උවමනාවෙන් නොබැලූ, විවාහයක් ගැන නොසිතූ  සිරිතිලකට සුජාතා බණ්ඩාරමැණිකේ නම් මේ යුවතියගේ ගතිගුණ හමුවේ ඒ අහේතුක භිය පහව ගොස් තිබේ.

හැමදාම පස්සෙ සීට් එකේනෙ යන්නෙ...අද මම ඉස්සරහට එන්නද ඩැයිවර් මහත්තයෝ ?
එක් උදෑසනක සුජාතා සිරිතිලකගෙන් විමසුවාය.

ඉස්කෝලෙ නෝනා කැමති නං එන්න...මගේ අහිතක් නෑ...අපිට ඉතිං වැඩිදුරක් යන්න තියෙන එකක්යැ...මේ නැග්ගා මේ බැස්සා....

කුලීරථ නැවතුමේ සිට ඇය උගන්වන පාසලට එතරම් දුරක් දුරක් නොමැති හෙයින් සිරිතිලක එසේ දෙඩුවේය.

ආ ගන්න....

මොනවද ඔය පාර්සලේ....

තමා වෙත දිගුකල පත්තර කොළයක ඔතන ලද පාර්සලයක් ඇගේ සුරතේ වෙයි. ඇගේ රෝස පැහැති සිහින් අතැගිලි මිසක සිරිතිලකට පාර්සලය පිළිබද වගේ ගනනක් නැත.

ඇයි එපාද...මම ගිය සතියෙ ගෙදර ගිය වෙලේ අම්මා හදලා දුන්න අළුවා...කජුත් දාලා....රහයි...

පාර්සලය තමා වෙත බාරදෙන විට ඇගේ රතැගිලි තමාගේ අතැගිලි හා ස්පර්ශ වූ කල සිරිතිලකට දැනුන හැගීම පෙර කිසිදු දිනක ඇති වූ එකක් නොවේ.

අනේ ඉස්කෝලෙ අහවර වෙන වෙලාවට මාව රස්තියාදුවෙ නොදමා අදත් වෙලාවට එනවා නේද...කාර් රථයෙන් බට සුජාතා ඔසරියේ නෙරිය සකසා ගන්නා අතරතුර ඉදිරි කවුළුවෙන් එබෙමින් සිරිතිලකගෙන් ඇසුවාය.

මේ අවුරුදු තුනටම මම ඕනෙ නම් දවස් දෙකක් පරක්කු වෙලා ඇවිල්ලා ඇති. ආයාසයෙන් මවාගත් තරහක් මුහුණට ආරූඩ කර ගනිමින් සිරිතිලක එසේ පැවසූවත් ඒ සැබෑ තරහක් නොවන බැව් ඇය දැන සිටියාය.

නෑ අනේ මේ අපේ ඉස්කෝලෙ නෝනලා ඔයා එන්න පරක්කු වෙද්දි මට විහිළු කරනවා මහත්තයා ආවෙ නැද්ද කියලා ඒකයි එහෙම කිව්වෙ...මම යන්නං එහෙනං.

ඇගේ පුළුලුකුල දෙපසට වැනෙනා රිද්මය දෙස තවත් මොහොතක් ආශා සහගත දෑසින් බලා සිටි සිරිතිලක හිස් හැගීමකින් යුතුව තම රථය කුලී රථ ගාලෙහි නැවැත්වූවේය.

සූටියෝ මෙන්න අපේ මනමාලයා ඇවිල්ලා...රථගාලේ ජේෂ්ඨ රියදුරා වන මාටින් අයියා කාගේත් හිත දිනාගත්තෙකි.

අපිට කොහෙන්ද මාටින් අයියා සිරිතිලක මලයට වදින හයර් වදින්නෙ...පේනවනෙ දැන් නුවර ඉස්කෝලෙ නෝනලා ඉස්සරහා සීට් එකේ යන්නෙ.....

උඹටත් එහෙම හයර් වදියි සූටියො...හැබැයි මේ ආත්මෙ නෙමෙයි...ඊලග ආත්මෙ...
දැන් අපේ කාලෙ ඉවරයි බං...බලහං අපේ වාහන වගේම තමයි අපේ පෙනුමත්...

සිරිතිලක මලයා ඉතිං ගජ ඉලන්දාරියා නොවැ...මෙතනට එන ඕනෙ කෙනෙක්ට ඉස්සෙල්ලාම ඇහැ යන්නෙ මලයගෙ කාර් එකට....අලුත්ම වාහනේකට මෙතැන තියෙන්නෙ ඉතිං ඕක විතරනෙ...

තම කරවටා අතක් යවමින් සිගරැට් පැකැට්ටුව කමිස සාක්කුවෙන් ඉවතට අදිනා මාටින් අයියා තවත් මොහොතකින් සිරිතිලක වෙතද සිගරැට්ටුවක් දිගු කලේය.

ඉදා මලයො...

එපා මාටින් අයියෙ...මම සිගරට් බොන එක  නැවැත්තුවා...

අප්පද බොල...මාටින් අයියා, අද මේ හොදට ඉර පායලා තිබුනට දවල් වෙද්දි වහීද මන්දා...

මොකද බොල එක පාරටම එහෙව්  තීරණයකට ආවේ...සිරිතිලක වෙත දිගුකල සිගරැට්ටුව සූටියා වෙත දිගු කරමින්ම මාටින් අයියා විමසුවේය.

නෑ ඉතිං මටම හිතුනා...නැවැත්තුවා...සිරිතිලක කකුලේ මාපට ඇගිල්ලෙන් බිම හාරමින් පැවසුවේය.

ඉස්කෝලෙ නෝනද නවත්තන්න කිව්වෙ...අපිටත් එහෙම නෝනලා මුණ ගැහුනා නම් ගොඩාක් දේවල් නවත්තලා...නැද්ද මාටින් අයියා...සූටියා දුම් වලල්ලක් ඉහළට යවා පපු කැනැත්ත සැහැල්ලු කරගත්තේය.

හැබෑට මලයො උඹ වගේ කඩවසම් හාදයෙක්ට ඒ නෝනා හොදට කැපෙනවා බං. නරකද තව ටික දවසක් යන්න ඇරලා හිමින් සීරුවෙ අදහස කියලා බැලුවොත්...මොකද උඹ කියලා නරක එකෙක්යැ...තමන්ටම කියලා අලුත්ම කාර් එකක් තියෙනවා, ඉන්න හිටින්න ගේ තියෙනවා...උගත් කමත් උඹේ නරක නෑ නොවැ.

බලමුකො මාටින් අයියා...උඩරට ඇත්තියක් මේ මට කැමති වෙයිද ? එයා අද මට ගෙදරින් හදාගෙන ආපු අළුවා පාර්සලේකුත් දුන්නා උදේ ඉස්කෝලෙට අැරලපු වෙලේ. දවල්ට බත් කාලම කමු. දැන් මට එයාගෙන් කුලිය ගන්නවත් හිතෙන්නෙ නෑ.
.......................................................................................................
සල්ලි එපා නෝනෙ...මේ පොඩ්ඩ දුර දවස ගානෙ ආවා ගියා කියලා මට ලොකු පාඩුවක් නෑ. තවත් ටික දොහක් ගිය තැන සිරිතිලක ඇගට පතට නොදැනී කීවේය.

එහෙම කියන්න එපා සිරිතිලක. ඔයා කරන්නෙ ඔයාගෙ රස්සාව. ඔයා සල්ලි ගන්නෙ නැත්තං ඔයා එක්ක නැතුව මම වෙන කෙනෙක් එක්ක මීට පස්සෙ ඉස්කෝලෙ යනවා. ඒකට කැමතිද ?

තමා දෙස එක එල්ලේ බලා සිටිනා ඇගේ කාන්තිමත් දෙනෙත දෙස තවත් වේලා බලාසිටින්නට අපහසු වූයෙන් සිරිතිලක එක්වනම අහක බලාගත්තේය. ඒ ඇසිල්ලේ ගුලි වූ මුදල් නෝට්ටුවක් කමිසයේ උඩ සාක්කුවට ඇගේ අතැගිලි වල පහස ලබමින් වැටුන බවක් සිරිතිලකට දැනුනේය.

ඇගේ සුපුරුදු ගාඩිනියා පුයර සුවදින් තම නාස් කුහර මන්මත් වෙද්දී සිහින් රිදුමක් හටගත්තේ හදවතේ ඇතුලු නහරයකින් විය යුතු යැයි සිරිතිලකට සිතුනේය.

මම වෙන කෙනෙක් එක්ක මීට පස්සෙ ඉස්කෝලෙ යනවා.

ඒ වදන ඇසූ සැනින් මේ හැටි රිදෙන්නෙ ඇයි. මම සුජාතට ආදරේ කරනවද ? මේ හැගීමේ අවසානය කුමක් වෙයිද ? සිරිතිලක තමාගෙන්ම ඇසුවේය.

ඒ ගමන මොකද සද්දයක් නැත්තෙ...මා එක්ක තරහා වෙලාද, මම දන්නවා ඔයා මට ගොඩාක් හිතවත් බව, ඒ හින්දනෙ පළවෙනි දවසෙ ඉදලම ඔයාගෙ කාර් එකටම නගින්නෙ. ඇගේ සිහින් සිනා හඩ කෙතරම් මිහිරිද, ඇගේ රුව කෙතරම් මනහරද? මේ දෙවියන් මා වෙනුවෙන් මවපු කෙනාද ? සිතුවිලි සමුදායක අතරමංවූ සිරිතිලක හට රථයේ එන්ජිම පණගන්වන්නට තවත් මොහොතක් අවැසි වූවේය.
.......................................................................................................
එක් සති අන්තයේ දිනෙක ඇය පාසල අවසානයේ හිල්මන් රථයට නැගුනේ මට පොඩ්ඩක් ඔයා එක්ක කථා කරන්න ඕනෙ යනුවෙන් පවසමිනි. ඇයට කියන්නට ඇත්තේ කුමක්දැයි විමසනු රිසිව සිරිතිලකගේ හිත නොසන්සුන් වද්දී උපන් දා සිට ඇවිද ගිය ගම්පහ නගරයේ කිිසිදු කලෙකත් අත් නොවිදි සොදුරු අපහසුතාවක් ඔහුට දැනෙන්නට වූවේය.

කියන්න...සිරිතිලක ඇසෙන නොඇසෙන අයුරින් ඒ වදන තෙපළා ඇගේ විඩාබර මුහුණ දෙස බලා සිටියේය.

තාත්තට ගොඩාක් අසනීපයි කියලා අම්මා ටෙලිග්‍රෑම් එකක් එවලා...ඉක්මනටම ගෙදර එන්න කියලා. කෝච්චියෙ නුවරට ගිහිල්ලත් එතන ඉදන් සෑහෙන දුරක් යන්න තියෙනවා. නුවරින් කුලියට කාර් එකක් අරගෙන තනියෙන් ගෙදර යන්න මට භයයි. ගෙදර අයටත් මාව ගන්න කියලා මේ හදිස්සියේ එවන්න කෙනෙක් නෑ. හැමෝම තම තමන්ගෙ වැඩ එක්ක හිරවෙලා. පුලුවන්ද මට මේ වෙලාවෙ උදව් කරන්න. ඇය ආයාචනාත්මකව ඔහු දෙස බැලුවාය.

තමාගේ සිත තමාටත් හොරෙන් ආදරය කරනා යුවතිය උදව්වක් ඉල්ලූ කලෙක  එය කෙසේ ඉටුනොකර ඉන්නද ? සිරිතිලක ඇයට තමාට හැකි උපරිමයෙන් උදව් වන්නට ඉටා ගත්තේය.

ගාස්තුව විදියට සෑහෙන ගානක් යයි. ගම්පහ ඉදන්ම යන්න එපායැ. සිරිතිලක බැරෑරුම් පෙනුමක් මුහුණට ආරූඩ කරගනිමින් පැවසූ ආකාරයෙන් ඇය ඒ සත්‍යයක් බව සිතුවාය.

අනේ කමක් නෑ. ඔයා මගෙන් ගන්නෙ සාධාරණ ගානක් බව මම දන්නවා. ඇය බිම බලාගත්වනම කීවාය. පියාගේ අසනීපය නිතර ඇගේ මුව මඩලේ විකසිත වන සිනහව අතුරුදන් කර ඇති සෙයකි.

මට ශත පහක් එපා. ඔයා ඉස්සෙල්ලා තාත්තගෙ අසනීපයට වියදම් කරන්න. ඊට පස්සෙ අතේ තිබුනොත් මට කීයක් හරි දෙන්න, ඒ හොදටම ඇති...සිරිතිලක තිරිංග මත පාදය තද කරමින් පැවසුවේය.

අනේ....ඔයා කොච්චර හොද කෙනෙක්ද ? ගියර් ලිවරය මත තිබූ සිරිතිලකගේ වමත මත  තම දකුණත තබමින් ඇය පැවසුවේ හැගීම්බරවය. පාසලේ උගන්වද්දී ඇගේ අතේ ගෑවී තිබූ රටහුණු ස්වල්පයක් ඇයටත් හොරෙන් සිරිතිලකගේ පිටි අල්ලේ ගෑවී තිබුනි.

කවදා හරි ඔයාව බදින කෙනා හරිම වාසනාවන්ත කෙනෙක් වේවි. හෙට උදේ පාන්දර 6 ට ඉස්ටේසුම ලගට එන්න මම ඇවිල්ලා ඉන්නම් මෙතනට. ඇය නියමිත මුදල ගෙවා රථයෙන් බැස දුම්රිය ස්ථානය කරා ඇදෙන තුරුම සිරිතිලක පියවි සිහියට පැමිණ සිටියේ නැත.

මම බදින්න කැමති කෙනා ඔයා කියලා මට කියාගන්න පුලුවන් නම්.......සිරිතිලක සුක්කානමට හිස තබාගෙනම කල්පනා කලේය.



දෙවැනි කොටස



මම කාමරේ වෙසෙන සත්ගුණවත් සිරා කොලුවා.



ප.ලි

ඡායාරූපය මෙතැනින්

මේ කථාව දිගහැරෙන්නේ 70 දශකයේ මුල් කාලයේ බව සිතනු යහපති.





































Monday, March 17, 2014

83 ඩග්ලස් කැම්බල් සහ 70 දශකයේ සිරි ලංකාව

සිරාගේ කාමරයෙන් පසුගිය මාසයේ අවසාන ලිපිය ලෙස පල වූ ශ්‍රී ලංකාවේ 70 දශකයට අයත් ඡායාරූප පෙළ බොහෝ දෙනෙකුගේ අවධානයට ලක් විය. එම ලිපිය කියවූ බවට ගූගල් රාජයා මවෙත දැන්වූ පාඨකයන්ගේ සංඛ්‍යාවද ඉහළ එකකි. ඒ අනුව අපේ මව්බිමේ අප නොදුටු ඉතිහාසයකට අයත් ඡායාරූප දැකීමේ ආශාව ඇත්තේ මා හට පමණක් නොවන බැව් දැන් මම ඉදුරාම දනිමි.

නමුත් ඒ ලිපිය පලවී දින දෙකකට පමණ පසු සහෘද බ්ලොග් කරු චන්දන මවෙත එවූ ලින්කු කීපයකම ඒ කියන ඡායාරූප පල වී තිබුනි. ඒ මගේ ලිපිය පලවන්නටත් කලියෙනි. නමුත් ඒ කිසිම තැනක මේ වටිනා ඡායාරූප කාගේදැයි සටහනක් තිබුනේ නැත.

යමක් හොයන්නට සිතුනොත් එය මොන දිල්ලියෙන් හරි සොයාගැනීම මගේ ක්‍රමයයි. මගේ මෙන්ම මේ ඡායාරූප කෙරේ පෙම්බදින ඔබෙත් වාසනාව නිසාදෝ මේ කියන 70 දශකයේ ඡායාරූප වල සැබෑ හිමිකරුවා කවරෙක්දැයි සොයා ගැනීමට මම අධිටන් කළෙමි. අද ඔබ මේ කියවන්නට යන්නේ මා සොයාගත් ඒ අපූරු මිනිසා ගැනයි.

මගේ ලිපියේදී මා අනුමාන කල ලෙසම ඡායාරූප කීපයකම සිටි සුදු ජාතික කාන්තාවගේ සැමියා තමයි මේ වටිනා කියන ඡායාරූප සියල්ලේම හිමිකරුවා. ස්කොට්ලන්ත ජාතික ඩග්ලස් කැම්බල්  මහත්තයා තමයි ඒ. වෘත්තියෙන් ඉංජිනේරුවෙක් විදියට කටයුතු කලත් එතුමාගෙ විනෝදාංශය වෙලා තියෙන්නෙ ඡායාරූප කලාව. 1930 ගනන් වලදි පවුලේ විනෝද චාරිකා ආදිය ඡායාරූපයට නගලා පටන් ගත්ත මේ ක්‍රියාවලිය පස්සෙ පස්සෙ බොහොම විධිමත් ආකාරයෙන් කරන්න ඔහුට හැකි වුනා. මුල් කාලයේ කළුසුදු ඡායාරූප පමණක් ගන්න උනේ එකල තිබුන මෙවලම් වල ඒ වර්ණ දෙක පමණක් මතු කරන්නට හැකියාව තිබුන නිසයි.

අපේ කථා නායකයා වයස අවුරුදු 59 දී ස්කොට්ලන්තයේ සාම්ප්‍රදායික ඇදුමෙන් සැරසී.

නමුත් 1955 දි දකුණු අප්‍රිකාවට ගිය ව්‍යාපාරික චාරිකාවකදි කළු සුදු වලින් වර්ණ ඡායාරූප වලට මාරු වෙන්න එතුමාට හැකි වුනා. අපි කලින් ඡායාරූප එකතුවෙදි දැක්ක සුදු නෝනා තමයි ඩග්ලස් මහත්තයගෙ බිරිද. එයාගෙ නම කැත්ලින්. මේ ජෝඩුව බොහොම දැඩි ආදරයකින් යුතුව ජීවත් වෙච්ච යුවලක් බවයි දැනගන්න ලැබුනෙ.

ඩග්ලස්, කැත්ලින් යුවල

ඉතින් මේ දෙන්නා කොහේ හරි විනෝද චාරිකාවක යනවා නම් ඩග්ලස් මහත්තයා අතේ කැමරාව වැරදුනේම නෑ. ස්වභාව ධර්මයාට, සතා සීපාවට බොහොම ආදරය කරපු මනුස්සයෙක් විදියට හැම වෙලේම තමා දකින පරිසරයේ සුන්දරත්වය, මිනිස් ක්‍රියාකාරකම් කැමරාවට නගන්නත්, ඒ ඡායාරූප මුද්‍රණය කරලා එයට පාදක වෙච්ච ඉසව්ව, පුද්ගලයන් පසු කාලෙක නැවත මතකයට නගා ගත හැකි පරිදි ලොග් සටහනක් තබලා ඡායාරූපය සමගම සුරක්ෂිතව අමුණන්නත් මෙතුමා කටයුතු කර තිබෙනවා. ඒ නිසයි ලංකාවෙ පැරණි ඡායාරූප ගත්තෙ මේ මේ තැන් වල කියලා හරියටම අපිට දැනගන්න ලැබුනෙ.

1950 වගේ දුර ඈත කාලෙදි අද වගේ පහසුවෙන් ඡායාරූප කරණයේ යෙදෙන්න හැකියාවක් තිබිලා නෑ. ස්වයංක්‍රීය අති නවීන කැමරා ඒ කාලයේ තිබුනෙ නැති නිසා අද ස්වයංක්‍රීයව කැමරාව මගින් ඉටුවන කාර්යයන් තමා විසින්ම කර ගනිමින් ඉතා හොද තත්වයේ ඡායාරූපයක් ගැනීම හැම විටම අභියෝගයක්. අතේ ගෙන යා හැකි Exposure මීටරයක්, Range ෆයින්ඩරයක්, කැමරාවට වෙනම සවි කල යුතු ප්ලෑෂ් ගන් එකක් සමග මුලින්ම භාවිතා කරලා තියෙන්නෙ Voigtlander Vito B කියන වර්ගයේ කැමරාවක්. මේ ලිව්ව තාක්ෂණික වචන කීපය පිළිබද ඒ ක්ෂේත්‍රයේ නිරතවෙන අය හොදින්ම දන්නවා.



මේ කැමරාවෙන් පස්සෙ ඩග්ලස් මහත්තයගෙ ආයුදේ වෙලා තියෙන්නෙ  Zeiss Ikon Contaflex නම් කැමරාවක්. සෑහෙන කාලයක් යන තුරාවටම මේ කැමරාව ඔහු භාවිතා කර තිබෙනවා. ඒ අනුව අපි දුටු ලංකාවෙ ඡායාරූපත් ඔහු කාචයට හසුකරලා තියෙන්නෙ මේ කැමරාවෙන්. කැමරාවටම සවි වුන Exposure මීටරයත්, ලෙන්සය හරහා කදිමෙට නාභි (Zoom) ගත කරන්න හැකිවීමත්..ලෙන්සය ගලවා ඉවත් කර වෙනත් ලෙන්ස සවි කිරීමට හැකි වීමත් මේ කැමරාව සමග ඔහුට ලැබුන ප්‍රතිලාභ. පසු කාලීනව Wide Angle සහ  Telephoto ලෙන්ස දෙකකුත් ඔහු මෙයටම අමුණනවා. මේ සියලුම දේ දාගෙන යන්න කදිම හම් බෑගයකුත් කැමරාව සමගම ලැබිලා.

70 දශකයේ ලංකාවෙ ඡායාරූප ගත්ත කැමරාව


70 දශකයේ අග භාගයෙදි ඔහු තමන්ගෙ කැමරාව විදියට භාවිතා කරලා තියෙන්නෙ Minolta XD -7 කියන මාදිලියේ කැමරාවක්. කලින් තමා විසින්ම කල ඇතැම් සැකසුම් මෙම කැමරාව මගින් ස්වයංක්‍රීයවම ඉටුකර දීම ඔහුට පහසුවක් වන්නට ඇති. මේ සන්නාමයෙන්ම පසු කාලෙක පැමිණි  Minolta XD -700 කැමරාව තමයි කැම්බල් මහත්තයගෙ අන්තිම කැමරාව. මේ කැමරා දෙකේම Auto Zoom පහසුකම තිබිලා නෑ.



























මුල් කාලයේ මේ කැමරා සදහා භාවිතා කල දළ සේයා පට වල  සටහන් කල හැකි වූයේ අඩු ෂටර වේගයක්. ඒ නිසාම කැමරාව පොඩ්ඩක්වත් නොසෙල්වා තබාගෙන ඡායාරූප ගැනීම කලයුතුව තිබුනා. ඔහු භාවිතා කර තිබුනෙ  Kodakchrome  වර්ගයේ දළ සේයාපට. වරකට ඡායාරූප 36 ක් ගන්න පහසුකම් එහි තිබුනා. දළ සේයා පටයක් මිළදී ගැනීමේදී ලැබෙන මුදල් ගෙවූ ලියුම් කවරය සමග ඡායාරූප ශුද්ධ කරන තැනට භාර දුන්නම  තැපෑලෙන් තමයි නිවසට ඡායාරූප ලැබිලා තියෙන්නෙ. ඒ සදහා ගතවන දින කීපය ඩග්ලස් මහත්තයට සෑහෙන්න විඩාබර වෙන්න ඇති.

මේ කියන අදියර නිම වෙලා නිවසට දළ සේයාපටයක් ලැබුනම ඔහුගේ ඊළග පියවර මෙන්න මෙහෙමයි. තමන්ගෙ ඤාතීන්ට තමන් ගිය ගමන් බිමන් පිළිබද ඔහු විස්තර කර තිබෙන්නෙ (Slide Show) ස්ලයිඩ් ෂෝ ආකාරයට. එහෙමත් නැත්නම් විශාල තිරයක ඡායාරූපය විශාලනය කර පෙන්වීමෙන්.  එතැනදි ඡායාරූපයෙන් ඉදිරිපත් වන දෙය හොදින් විස්තර කරලා ඒ ස්ථානයේ තමන්ගෙ අත්දැකීම් එහෙමත් ඉතා රසවත්ව තම ඤාති සමූහයා වෙත එතුමා විසින් ඉදිරිපත් කල බව තමයි දැනගන්න තියෙන්නෙ. පළමුව බලන්නෙ සෑහීමකට පත්වෙන්න පුලුවන් තරමේ ගුණත්වයක් ඒ ඒ ඡායාරූපයේ තියෙනවද කියලයි. එහෙම නැත්තං ඒවා වැටෙන්නෙ කුණු බක්කියට. ඊට පස්සෙ තමන්ගෙ අතින්ම ඡායාරූපය සවි කරන කාඩ්බෝඩ් තීරුවෙ ඡායාරූපය පිළිබද විස්තර ලියනවා. වර්ෂය, දිනය, ස්ථානය ආදී වශයෙන්. මෙලෙස සූදානම් කල 35000 කට අධික ඡායාරූප තොගයක් ඔහුගේ ජීවිත කාලය තුල සැකසුනා. ඒ සදහා වසර 50 කටත් වඩා ගතවෙලා තියෙනවා.

70 දශකයේ ලංකාවේ ඡායාරූප තම අත් අකුරින් ලියූ විස්තර සහිතව සකසා ඇති අන්දම

කැම්බල් මහත්තයා වගේම එයාගෙ ප්‍රිය බිරිද කැත්ලින් මහත්මියත් අද ජීවතුන් අතර නෑ. ඇය මියගොස් තිබෙන්නෙ 1983 වසරෙදි. අපේ ඡායාරූප ශිල්පියා අවුරුදු 94 ආයු වළදලා 2007 වර්ෂයෙදි තමයි අභාවප්‍රාප්ත වෙලා තියෙන්නෙ. ඒ වයසෙදිත් ඔහුගේ අතින් කැමරාව ගිලිහී ගොස් තිබිලා නෑ. දිවි මගෙන් සමුගන්න අවස්ථාව වන විට එතුමා රටවල් 20 ක සංචාරය කර තිබෙනවා. කුඩා පොතක් සමග පෑනක් ලග තබා ගනිමින් නිරතුරුව තමා ගන්නා ඡායාරූප පිළිබද විස්තර ඒ අවස්ථාවේම ලියමින් එතුමා මේ ඡායාරූප නරඹන්නට හිතැති දහස් ගණනාවක් ජනතාව වෙනුවෙන් මහා ධනයක් රැස්කරලයි ජීවිතයෙන් සමුගන්නෙ.

දිවිමගේ  අවසන් කාලයේ 2007 දි.


අද එදා වගේ නෙමෙයි. ඡායාරූප කරණය වගේම ඒවා ඉන්පසු ඒවා වැඩිදියුණු කරන ආකාරයත් පුදුමාකාර දියුණුවකට ලක් වෙලා. කැම්බල් මහත්තයගෙ පුතා ඩන්කන් කැම්බල් (Duncan Campbell) තමන්ගෙ පියාගෙ ඡායාරූප එකතුවෙ තිබුන ඡායාරූප වලින්  30000 ක පමණ අතිවිශාල ප්‍රමාණයක් ඩිජිටල් කරණය කරන්න කටයුතු කලේ තාත්තා ජීවතුන් අතර සිටියදීමයි. තමන් සහ පවුලේ උදවිය සමග පමණක් මේ ඡායාරූප බෙදා ගැනීමෙන් පලක් නෑ කියලා හිතුව ඔහු සමස්ත ලෝකයම සමග ඒවා බෙදාගන්නට කටයුතු කල නිසයි ඔබට මෙන්ම මටද අතීත ලංකාවෙ හැඩතල අර විදියට බලන්න හැකි වුනේ.

මේ කාර්යය අවසන් වෙද්දි පියා ජීවතුන් අතර සිටියේ නැති වුවත් ඔහුගේ ආශිර්වාදය ඒ සදහා නිසැකවම ලැබෙන්නට ඇති. මේ අතිවිශාල ඡායාරූප එකතුව වර්තමානයේ ඒ පවුලෙ උරුමයක්. මියගිය පියාට දියහැකි හොදම ගෞරවය ලෙසයි මේ ඡායාරූප අන්තර්ජාලයට එකතු කොට ඇත්තෙ. 70 දශකයේ ලංකාවෙ ඡායාරූප පිළිබද අද ජීවතුන් අතර ඉන්නා භාරකරුවා ඩන්කන් නිසා මම ඔහුට පණිවිඩයක් යැව්වා මගේ ලියමන් සදහා ඒවා භාවිතා කරන්න අවසර දෙන්න කියලා. ඒ සදහා ඔහු මට එව්වෙ හරිම නිර්ව්‍යාජ පිළිතුරක්.


ඒ පිළිතුරෙන් මා සතුටට පත් වුනා වගේම 70 දශකයේ ශ්‍රී ලංකාවෙ ඡායාරූප මහා රාශියක් ඉදිරියේදී වරින් වර කාමරයෙන් බලාගන්න අවස්ථාවත් ඔබට ලැබෙනවා.

මේ ඡායාරූප මතු යහපත උදෙසා අරගෙන ඒවා සුරක්ෂිත කරලා තිබ්බ දිවංගත ඩග්ලස් කැම්බල් මහතාටත්, ඒවා සුරක්ෂිත කරන්න දායක වූ කැත්ලීන් මහත්මියටත් වර්තමාන පරපුර සමග ඒවා බෙදා හදාගන්න තීරණය කරපු ඩන්කන් කැම්බල් මහතාටත් අපි නොසෑහෙන්න ස්තූතිවන්ත විය යුතුයි. මෙවැනි සොදුරු මිනිසුන් නිසාම ලෝකයේ රුදුරු බව පරයා  සොදුරු බවම මොනවට පසක් වෙයි.


මෙම ලිපිය සදහා මුලාශ්‍රය



මම කාමරේ වෙසෙන සත්ගුණවත් සිරා කොලුවා.


ප.ලි

මැලේසියාවේ මාස 6 කට වරක් පැවැත්වෙන MATTA ( Malaysian Association of Travel and Tour Agents) සංචාරක අංශයේ දැවැන්තම ප්‍රදර්ශනය නිසා පසුගිය සතිය අතිශයින් කාර්යය බහුල එකක් විය. ඒ හේතුවෙන් බොහෝ බොග් මට මග හැරින. සුපුරුදු ලීලාවෙන් මේ සතියේ සිට නැවතත් සිරා කොලුවා බොලාගේ බොග් කියවන්නට එන බව කියනු රිසි වෙමි.

අතුරුදහන් වූ ගුවන් යානාව පිළිබද නවතම තොරතුර වනුයේ ගුවන් නියමුවන් දෙදෙනා යානාවේ සියලුම සන්නිවේදන මාර්ග ක්‍රියා විරහිත කරඇති බව, ගුවන් මගියෙකු ලෙස වෙස්වලාගත් ගුවන් යානා තාක්ෂණය පිළිබද ඉංජිනේරුවෙකු යානය තුල සිටි බවට සැක කරන බව, රේඩාර් සංඥා මග හැරීමට යානය අඩි 1500 ක පමණ පහතින් යාත්‍රා කර ඇති බව වැනි කාරණාය. මේ මොහොත වන විට ගුවන් යානය ගොඩබාන්නට ඇතැයි සැක කරන රටවල් 11 කි. ගුවන් යානය සෙවීමට එකතු වී ඇති රටවල් ගණන 25 කි. සන්නිවේදන චන්ද්‍රිකා 10 කි. මැලේසියාවේ බොහෝ  ප්‍රසිද්ධ ස්ථානයන්හි ගුවන් යානයේ අංකය සදහන් කර ඔවුන් වෙනුවෙන් දෙවියන් නමදින ලෙස විවිධ වැකි සටහන් කොට තිබේ.

පසුව ලියමි

මේ සටහන පිළිබද ලින්කුවක් මම ඩන්කන් කැම්බල් මහතා වෙත යැවීමි. ඒ පිළිබද මහත් සතුටට පත්ව මේ ලිපිය කියවන්නට බැරි වුවත් තම ඥාතීන්ගේ අවධානයටත් මෙය යොමු කරන බව එතුමා මට දන්වා එවා තිබුනි.















Related Posts Plugin for WordPress, Blogger...